වෙබ් ලිපිනය:

Monday, December 16, 2019

අපිටත් කෙහෙල්!


මොරීසියෝ කැතලාන්ගේ කෝටි දෙකේ කෙසෙල් ගෙඩි කලා නිර්මාණය පිළිබඳව පසු කම්පන තරංග තවමත් පැතිරෙනවා. ටේප් කළ කෙසෙල් ගෙඩි මේ වෙද්දී වෙළඳ දැන්වීම් කිහිපයකටම යොදාගෙන තිබෙනවා. ටේප් කළ කෙසෙල් ගෙඩි මුද්‍රණය කළ ටී ෂර්ට්, කෝප්ප, ගමන් මලු ආදිය දැනටමත් වෙළඳපොළට ඇවිත්.

මියාමි නගරයේ සනීපාරක්ෂක කම්කරුවන් ඇඳුම් වල කෙසෙල් ගෙඩි ටේප් කරගෙන තමන් අවම වැටුප් ලබමින් අමාරුවෙන් ජීවිතය ගැට ගහ ගනිද්දී ටේප් කළ කෙසෙල් ගෙඩියක් ඩොලර් 120,000කට විකිණෙන එක ගැන විරෝධතා දක්වනවා. කෙහෙල් ගෙඩියක් ටේප් කර ගත්තොත් අපේ වටිනාකමත් වැඩි වෙයිද කියා ප්‍රශ්න කරනවා.

ඇතැම් අය කෙසෙල් ගෙඩි ටේප් කරගෙන සෙල්ෆි ගසා සමාජ මාධ්‍ය වල පළ කරන රැල්ලකුත් ඇති වෙලා. බ්රූක් ශීල්ඩ්ස් විසින් ඇගේ මුහුණේ කෙසෙල් ගෙඩියක් ටේප් කරගෙන ඉන්ස්ට්‍රාග්‍රෑම් ඡායාරූපයක් පළ කර තිබෙනවා. බ්රූක් ශීල්ඩ්ස් ගැටිස්සි කාලයේ රඟ පෑ බ්ලූ ලැගූන් චිත්‍රපටය අසූව දශකයේ මුල කාලයේ ලංකාවේත් නැගලා ගිය "ඇඩම්ස් ඔන්ලි" චිත්‍රපටියක්.

කෙහෙල් ගෙඩියක් ටේප් කර ගත්තා කියා සනීපාරක්ෂක කම්කරුවෙකුගේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. මේ වෙලාවේ එවැන්නක් කළ විට වෙනදා නොලැබෙන අවධානයක්නම් ලැබෙනවා. ඒ වගේම, ටේප් කළ කෙසෙල් ගෙඩි මුද්‍රණය කළ ටී ෂර්ට්, කෝප්ප, ගමන් මලු ආදියටත් මේ වෙලාවේ තාවකාලිකව පොඩි වෙළඳපොළක් හැදී තිබෙනවා.

කෙහෙල් ගෙඩියක් ටේප් කරන එක ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන්. එහෙත්, එහෙම කළා කියලා ඩොලර් 120,000කට විකුණන්න බැහැ. ඒ මිලට විකුණන්න පුළුවන් වුනේ මේ කෙහෙල් ගෙඩි ටේප් කළේ මොරීසියෝ කැතලාන් නිසායි. ඔහු මේ කලා කෘතියේ පිටපත් තුනක්ම අලෙවි කළා. පිටපත් දෙකක් ඩොලර් 120,000කට අලෙවි වීමෙන් පසුව තෙවන පිටපතේ මිල ඩොලර් 150,000 දක්වා ඉහළ දැම්මා.

ඩේවිඩ් ඩටූනා විසින් ලෙලි ගසා කෑවේ බිලී සහ බියට්‍රිස් කොක්ස් විසින් මුදල් ගෙවා වෙන් කරගෙන තිබුණු දෙවන පිටපතයි. ඔවුන් ඇමරිකානුවන්. පළමු පිටපත මිල දී ගෙන තිබෙන්නේ ප්‍රංශ ජාතික සේරා ඇන්ඩල්මන් විසින්. අවසන් පිටපත මිල දී ගැනීමට කෞතුකාගාර දෙකක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙවැනි ඉහළ මිලක් ගෙවා මිල දී ගත්තත් කෙසෙල් ගෙඩියක් දින කිහිපකට වඩා නරක් නොවී තියා ගන්න බැහැ. ඒ නිසා, මේ "විකටයා" කලා කෘතිය මිල දී ගන්නා අයට දින දෙක තුනකට වරක් කඩේ ගිහින් අලුත් කෙහෙල් ගෙඩියක් මිල දී ගෙන ඇවිත් පරණ කෙහෙල් ගෙඩියට මාරු කරන්න පඩි ගෙවා පුද්ගලයෙක්ව තියන්න වෙයි.

ඇමරිකාවේ සුපර් මාර්කට් එකකට ගියාම ඩොලර් දහයකට අඩුවෙන් ඩක් ටේප් රෝලක් එක්ක කෙහෙල් ඇවරියක්ම මිල දී ගන්න පුළුවන්. කෙහෙල් ඇවරිය හා ඩක් ටේප් රෝලට විනාඩි දහයක පමණ ශ්‍රමය එකතු කළාම කැතලාන්ගේ වගේම කලා කෘති හත අටක්ම හදා ගන්න පුළුවන්. එක ළඟ තිබ්බොත් කාටවත් වෙනස හොයා ගන්නත් බැරිවෙයි. නමුත්, එහෙම හදන විකටයෙක්ව ඩොලර් දහයකටවත් විකුණන්න බැහැ. පුළුවන්නම් හැමෝම වැඩේට බහියි.

ධනවාදී ක්‍රමයක් යටතේ, නිදහස් වෙළඳපොළක මිල කියා කියන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන තැන. මිල කියා කියන්නේ භාණ්ඩයක වටිනාකම නෙමෙයි. වටිනාකම කියා කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. ඩොලර් 120,000කට හෝ වැඩි මිලකට කැතලාන්ගේ විකටයා පිටපත් තුනක් අලෙවි වුනා කියන්නේ විකටයාව අඩු වශයෙන් එපමණකට මිල කරන, විකටයාගේ අඩු වශයෙන් එපමණ වටිනාකමක් දකින පාරිභෝගිකයින් තිදෙනෙකු සිටින බවයි.

විකටයා පිටපතක සමතුලිත වෙළඳපොළ මිල මෙපමණ වැඩි එහි සැපයුම පිටපත් තුනකට සීමා කර තිබෙන නිසයි. පිටපත් දහයක් වෙළඳපොළට දැම්මානම් මිල මෙතරම් ඉහළ යන්නේ නැහැ. එසේනම් වෙළඳපොළ මිල වෙන්නේ දහවන ගැනුම්කරු මෙයට දෙන වටිනාකමයි. විකටයා මිල දී ගත් ගැනුම්කරුවන් තිදෙනාට, ලංකාවේ ඇතැම් පොත් ප්‍රකාශකයින් විසින් කරනවායැයි කියන ආකාරයට, කැතලාන් විසින් මෙහි අමතර පිටපත් හදා විකුණන්නේ නැති බවට විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා, මින් පසු විකටයෙකු අවශ්‍ය අයෙකුට මේ තිදෙනාගෙන් අයෙකුට මුදල් ගෙවා එහි පිටපතක් මිල දී ගන්න වෙනවා. බොහෝ විට වැඩි මුදලකට.

කලා කෘතියක් මිල දී ගැනීමේදීත්, සමාගමක කොටස් මිල දී ගැනීමේදීත් බොහෝ විට වෙන්නේ එක සමාන දෙයක්. අවස්ථා දෙකේදීම ගැනුම්කරුවෙකු විසින් මුදල් ගෙවන්නේ අනාගතයේ මිල වැඩි වෙන්න තිබෙන ඉඩකඩ දෙස බලාගෙනයි. විකටයා  තෙවන පිටපත ඩොලර් 150,000කට විකිණෙනවා කියන්නේ මුල් ගැනුම්කරුවන් දෙදෙනාගේ වත්කම් වල වෙළඳපොළ අගය මේ වන විටත් ඩොලර් 30,000 බැගින් ඉහළ ගොස් තිබෙනවා.

ටික කලකට පෙර අප ඇතුළු බොහෝ දෙනෙකු විසින් කතා කළ ඔක්ස්ෆෑම් ධනපතියන්ගේ වත්කම් වල සාමාන්‍ය ස්වභාවයත් මෙයයි. ලෝකයේ බිලියනපතියන් බොහෝ දෙනෙකුගේ වත්කම් වැඩි ප්‍රමාණයක් කොටස් හිමිකම් වුවත්, ඒ වත්කම් වලින් 0.5%ක් පමණ කලා කෘති බව පැවසෙනවා. කලා කෘති වල වගේම කොටස් හිමිකම් වලත් වටිනාකම තීරණය වෙන්නේ ඒවා දැනට අයිති කාටද කියන එක මතයි.

ඒ නිසා, කොක්ස් ජෝඩුව තමන් ඩොලර් 120,000ක් ගෙවා මිල දී ගත් විකටයාව මියාමි නගරයේ සනීපාරක්ෂක කම්කරුවෙකුට නොමිලේ දුන්නොත් ඒ වහාම එහි වටිනාකම ඩොලර් දෙක තුනකට අඩු වෙනවා. ඒ කම්කරුවාට කෙහෙල් ගෙඩිය ලෙලි ගහලා කන එක ඇර විකටයාව තියාගෙන වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. විකටයා වෙනුවෙන් වැඩි වටිනාකමක් ලබා ගන්නනම් නැවත එයට ලොකු වටිනාකමක් දෙන අයෙකු හොයාගෙන එය විකුණන්න වෙනවා.

බිල් ගේට්ස්ගේ මයික්‍රෝසොෆ්ට් කොටස් හිමිකම් හෝ මාක් සකර්බර්ග්ගේ ෆේස්බුක් කොටස් හිමිකම් තුන්වන ලෝකයේ දුප්පතුන් අතර බෙදා දුන්නොත් වෙන්නෙත් ඕකම තමයි. අයිතිය ඒ ආකාරයට වෙනස් වුවහොත්, ඒ වහාම ඔය වත්කම් වල අගය බිංදුවටම වැටෙනවා.

Sunday, December 15, 2019

කලා කෘති වල වටිනාකම

භාණ්ඩයක වටිනාකම කියන දෙය ඇති වන්නේ ඉල්ලුම මත කියන එක පෙන්වන්න පුළුවන් හොඳම තැන මිල අධික කලා කෘති සඳහා තිබෙන වෙළඳපොළයි. කලා ආර්ථික විද්‍යාඥයින් විසින් මේ වෙළඳපොළ ගැන හදාරනවා.

කලා ආර්ථික විද්‍යාව (Art Economics) අලුත් හා ඉතා කුඩා අනු ක්ෂේත්‍රයක්. මේ විෂයයේ ප්‍රවීණයින් ඉන්නේ අතළොස්සක් පමණක් නිසා ඔවුන් ලොව පුරා විසිරී සිටියත් එකිනෙකා හොඳින් හඳුනන කුඩා කණ්ඩායමක්. මගේ මිතුරියක්ද මේ කණ්ඩායමේ සාමාජිකාවක්. ඔවුන් වසර කිහිපයක සිට ලෝක කලා කෘති වෙළඳාම පිළිබඳ වාර්ෂික වාර්තාවක්ද එළි දක්වනවා.

පසුගිය වසරේ දත්ත අනුව ලෝක කලා කෘති වෙළඳාම ඇමරිකන් ඩොලර් බිලියන 67.4ක්. මේ මුදල ආසන්න වශයෙන් 2018 වසරේදී ලංකාවේ රජයේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණයට සමානයි. මෙයින් ඩොලර් බිලියන 29.9ක් එනම් මුළු වෙළඳාමෙන් 44%ක් සිදු වුනේ ඇමරිකාවේදී. එක්සත් රාජධානියේ ඩොලර් බිලියන 14.0ක වෙළඳාමකුත්, චීනයේ ඩොලර් බිලියන 12.9ක වෙළඳාමකුත් සිදු වුනා. ලෝක කලා කෘති වෙළඳාමේ ප්‍රමුඛයින් වන්නේ ඇමරිකාව, එක්සත් රාජධානිය හා චීනයයි.

බොහෝ වෙළඳපොළවල් වල දැකිය හැක්කේ ඉතා විශාල පාරිභෝගික පිරිසක් හිටියත් නිෂ්පාදකයින් සීමිත ප්‍රමාණයක් පමණක් සිටීමයි. ඒ නිසා, පාරිභෝගිකයෙකුට සාමූහිකව මිස තනිව වෙළඳපොළට බලපෑමක් කරන්න අමාරුයි. නමුත්, කලා කෘති වෙළඳපොළේ දැකිය හැක්කේ තනිකරම එහි අනිත් පැත්තයි. මේ වෙළඳපොළේ නිෂ්පාදකයින් අති විශාල පිරිසක් හිටියත් පාරිභෝගිකයින් ඉන්නේ ඉතාම සීමිත පිරිසක් පමණයි. මේ පිරිස වන්නේ කලා කෘති එකතු කිරීමට කැමැත්තක් දක්වන බිලියනපතියන් දෙසීයක පමණ පිරිසක්. ඒ අයගෙන් කෙනෙකුට ටේප් පටියක් ගැසූ දක්ෂිණාවර්ත කෙහෙල් ගෙඩියක මිල රුපියල් කෝටි දෙකක් දක්වා නග්ගවන්න පුළුවන්.

බොහෝ විට පැරණි වන තරමට කලා කෘතියක මිල ඉහළ යනවා. ඒ නිසා, ජීවත් වන කලාකරුවන්ගේ නිර්මාණ වලට වඩා වැඩි මිලක් මියගිය කලාකරුවන්ගේ නිර්මාණ වලට ලැබෙනවා. පහතින් තියෙන්නේ පසුගිය වසරේදී වැඩිම මිලකට විකිණිනු ජීවත්වන කලාකරුවෙකුගේ කලා නිර්මාණයයි.


"කලාකරුවෙකුගේ ප්‍රතිබිම්බය- Portrait of an Artist (Pool with Two Figures)" ලෙස නම් කර තිබෙන මෙය බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියෙකු වන ඩේව්ඩ් හොක්නිගේ චිත්‍රයක්. 2018 නොවැම්බර් 15 වනදා මේ චිත්‍රය ඇමරිකන් ඩොලර් 90,312,500කට වෙන්දේසි වුනා. මේ චිත්‍රය 1972දී මුලින්ම විකුණා තිබෙන්නේ ඩොලර් 18,000ක මුදලකටයි. එසේ මිල දී ගත් ජේම්ස් ඇස්ටර් සහ ඔහුගේ බිරිඳ විසින් මාස හයක් යන්නත් කලින් එය ඩොලර් 50,000ක මුදලකට විකුණා තිබෙනවා.


මාස හයක කාලයක් පුරා වැඩිම මිලකට අලෙවි වුනු ජීවත් වන කලාකරුවෙකුගේ කලා නිර්මාණය ලෙස වාර්තාව දැරුවේ ඩේවිඩ් හොක්නිගේ "කලාකරුවෙකුගේ ප්‍රතිබිම්බය" චිත්‍රයයි. එහෙත්, පසුගිය 2019 මැයි 15 දින මේ වාර්තාව කැඩුනා. ඒ ජෙෆ් කූන්ගේ "හාවා" ඩොලර් මිලියන 91.1කට වෙන්දේසි වීමත් සමඟයි. මේ වානේ හාවාව මිල දී ගත්තේ ඇමරිකන් බිලියනපතියෙකු හා කලා කෘති එකතු කරන්නෙකු වන ස්ටීවන් ඒ. කොහේන් විසිනුයි. බොහෝ තැන් වල කතා කර ඇති ඩේමියන් හර්ස්ට්ගේ ෆෝමැල්ඩිහයිඩ් වල ගිල්වූ මෝරාව (The Physical Impossibility of Death in the Mind of Someone Living) මිල දී ගත් පුද්ගලයාත් මොහුයි.


මේ තරම් අධික මිල ගණන් වලට කලා කෘති විකිණෙන්නේ ඇයි කියන ප්‍රශ්නය කාට හරි අහන්න පුළුවන්. බොහෝ අය කතා කරන "මිල කළ නොහැකි කලා කෘති" කියා දේවල්නම් නැහැ. ඒක ඔය කලාකාරයින්ව රවට්ටන්න වෙන අය කියන කතාවක්. එහෙම නැත්නම් කලාකාරයින් විසින් තමන්වම රවට්ටා ගෙන සතුටු වන ආකාරයක්. ඕනෑම දෙයකට මිලක් තියෙනවා. කලාකෘතියක මිල මේ තරමටම ඉහළ යන්නේ එවැනි මිලක් ගෙවා කලාකෘතියක් මිල දී ගන්න සූදානම් අය ඉන්න නිසයි.

ස්ටීවන් කොහේන් වගේ බිලියනපතියෙක් ඩොලර් මිලියන අනූ එකකට කලා කෘතියක් මිල දී ගන්නේ ඔහුට ඒ කලා කෘතිය ගෙවන මුදලට වඩා වටින නිසයි. මේ කතාව දෙවිදිහකින් විග්‍රහ කළ හැකියි. එක්කෝ කලාකෘතිය ඒ මුදලේ තරමටම වටිනවා. එහෙම නැත්නම් අදාළ මුදල කලාකෘතිය තරමට වටින්නේ නැහැ.

කලාකෘතියක වගේම මුදල් වල වටිනාකමත් සාපේක්ෂයි. ඩොලර් මිලියනයක් අපි බොහෝ දෙනෙකුට වටින තරමට කොහේන්ට වටින්නේ නැහැ. වෙනත් බිලියනපතියන් බොහෝ දෙනෙකුට වටින්නේත් නැහැ. ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයින්ගේ වත්කම් බොහොමයක්ම කොටස් හිමිකම්. සමාගම් කොටසක වටිනාකමත් කලාකෘතියක වටිනාකම වගේම ඉල්ලුම මතයි තීරණය වෙන්නේ. ඒ නිසා, තමන්ගේ වත්කම් සමාගම් කොටස් වලින් තියා ගත්තත් කලාකෘති ලෙස තියා ගත්තත් වැඩි වෙනසක් නැති බව මේ බිලියනපතියන් ගොඩක් අය දන්නවා. ඒ නිසා, ටේප් එකක් ගැසූ කෙසෙල් ගෙඩියක් වෙනුවෙන් වුවත් විශාල මුදලක් අත් හැර දමන්න නොපැකිලෙන අය ඔවුන් අතර ඉන්නවා.

මේ වගේ කලාකෘතියක් ඩොලර් බිලියන ගණනකට විකිණුනහම ඉහළම ස්ථරය අතේ එක්රැස් වී තිබෙන ධනයෙන් යම් කොටසක් පහළට එනවා. ඒ මුදල් කලාකරුවන් අතර වගේම මේ කර්මාන්තයේ අතරමැදියන් සේ කටයුතු කරන විශාල පිරිසක් අතර බෙදී යනවා. ඒ නිසා, කලාකෘති වෙළඳපොල කියන්නේ එක පැත්තකින් ඉහළ ස්ථරය අතේ එක්රැස් වෙන ධනය පහළට කාන්දු කරන යාන්ත්‍රණයක්.



Saturday, December 14, 2019

භාණ්ඩයක වටිනාකම කියන්නේ මොකක්ද?



මම මුලින්ම පේරාදෙණි සරසවියට ගියේ නමසිය අසූ හයේ අවුරුද්දේ දවසක. නමුත්, ඒ සරසවි සිසුවෙකු ලෙස නෙමෙයි. ඒ වෙද්දී, සරසවියට තේරිලා හිටියේ නැහැ. පේරාදෙණි ගියේ අසූ හයේ අවුරුද්දේ පැවැත්වුනු වෛද්‍ය ප්‍රදර්ශනය බලන්නයි. මේ ගමන හේතු ගණනාවක් නිසා හොඳින් මතක තිබෙන ගමනක්. ඉන් පසුව, පේරාදෙණියේ සරසවි සිසුවෙකුව සිටි කාලයේදී, නමසිය අනූ තුනේදීත් පේරාදෙණියේ වෛද්‍ය ප්‍රදර්ශනයක් පැවැත්වුණා. කියනවානම් කියන්න ඒ හා සමාන්තරව සිදුවුණු ගොඩක් දේවලුත් තියෙනවා.

ඔය කාලය වෙද්දී භීෂණ යුගය ආරම්භ වෙලා තිබුණේ නැහැ. අපි හිටියේ උසස් පෙළ පන්ති වල. වෛද්‍ය ප්‍රදර්ශනය බලන්න ගිය ගමන සඳහා පංතියේ සහෝදර සිසුසිසුවියන් වගේම ගුරුවරු කිහිප දෙනෙක්ද සහභාගී වුණා. ප්‍රදර්ශනය බලන්න සෑහෙන සෙනඟක් ඇවිත් හිටපු නිසා ප්‍රදර්ශන කුටි ඉදිරිපස දිග පෝලිම් තිබුණා. ගොඩක් කුටි වල තිබුණේ ශරීරය ගැන හෝ ලෙඩ රෝග ගැන විස්තර. බොහෝ විට ෆෝමලින් දමපු මිනී හෝ ශරීර කොටස් එක්ක. පේරාදෙණියේ පරිසරය සුන්දර වුනත් ප්‍රදර්ශන කුටි ඇතුළේ සුන්දර දේවල් ඒ තරම් තිබුණේ නැහැ.

එක ප්‍රදර්ශන කුටියක තේමාව වුණේ පෝෂණය. ඒ කුටියේනම් ෆෝමලින් දමපු ශරීර කොටස් වගේ "අප්‍රසන්න" දේවල් තිබුණේ නැහැ. ඇතුළු වෙන්න ලොකු පෝලිමක් තිබුණේත් නැහැ. ඔය කුටියේ මුල්ලක පෝෂ්‍යදායී ආහාර වේලක් ප්‍රදර්ශනය කරලා තිබුණා. පිඟානකට බෙදපු ඇත්තම බත් එකක්. තව මාළු කෑල්ලක්, පරිප්පු, බෝංචි, කොළ මැල්ලුමක් වගේ දේවලුත් තිබුණා. පැත්තක පොඩි දීසියක අතුරුපසත් තිබුණා. ලොකු ඇම්බුන් කෙහෙල් ගෙඩියක්!

ප්‍රදර්ශන කුටියෙන් එළියට ආවට පස්සේ අපේ එකෙක්ට ඔය ඇම්බුන් කෙහෙල් ගෙඩිය ගැන පොඩි දොළ දුකක් ඇති වුනා.

"කොහොමද අර තිබ්බ ඇම්බුන් ගෙඩියේ සයිස් එක? මෙන්න!" පොර අත මිට මොළවලා අනෙක් අත වැලමිටට උඩින් තියලා කෙහෙල් ගෙඩියේ සයිස් එක පෙන්නනවා. දැන් කට්ටියගේ සැලසුම කෙහෙල් ගෙඩියට ගේමක් දෙන්න. පේරාදෙණි කැම්පස් ඇවිදින් ඔහොමවත් දෙයක් නොකර ආපහු යන්න බෑනේ!

ඉතිං මොකද කරන්නේ? බහුතර ජනතා කැමැත්ත අනුව එකට හිටපු හතර පස් දෙනාම ආපහු පෝලිමේ මුලට එකතු වුණා. කට්ටියට තියෙන්නේ අර පෝෂ්‍යදායී ආහාර වේල ගැන එතැන හිටපු වෛද්‍ය ශිෂ්‍යාවගෙන් මොන මොනවා හරි ප්‍රශ්න අහමින් ඇගේ අවධානය රඳවා ගැනීමයි. ඔය අතරේ අපේ යාලුවා කෙහෙල් ගෙඩිය උස්සනවා.

සැලසුම අවුල් වුනේ නැහැ. අපි එළියට ගියාට පස්සේ අර පෝෂ්‍යදායක ආහාර වේලට අතුරුපස නැහැ. හිස් පිඟාන විතරයි. ඔය කතාව ඔතැනින් ඉවරයි. අපි කෙහෙල් ගෙඩිය බෙදාගෙන කාලා ප්‍රදර්ශනයත් බලලා ගෙදර ආවා. ප්‍රදර්ශනයකින් කෙහෙල් ගෙඩියක් ඉස්සුවා කියලා පත්තර වල වැටුණේ නැහැ. ඒක ඒ තරම් වැදගත් ප්‍රවෘත්තියක් නෙමෙයිනේ. කෙහෙල් ගෙඩිය උස්සලා බව දැක්කහම එතැන හිටපු වෛද්‍ය ශිෂ්‍යාවට සමහර විට මළ පනින්න ඇති.

ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස තබා තිබෙන කෙහෙල් ගෙඩියක් කන එක සාමාන්‍යයෙන් ලොකු ප්‍රවෘත්තියක් නෙමෙයි. නමුත්, මේ කෙහෙල් ගෙඩිය ඩොලර් 120,000ක්, ඒ කියන්නේ රුපියල් කෝටි දෙකකටත් වැඩිය වටින කෙහෙල් ගෙඩියක්නම් තත්ත්වය ටිකක් වෙනස්. කෙහෙල් ගෙඩියේ විස්තරේ අජිත් පැරකුම් විසින් ලියා තිබෙනවා. මම නැවත ලියන්නේ නැහැ.

ඩොලර් 120,000 කෙසෙල් ගෙඩිය කාපු කලා රඟදැක්වීම

ප්‍රශ්නය මේකයි. කිසියම් භාණ්ඩයක වටිනාකම කියා කියන්නේ මොකක්ද?

ධනවාදය හා මාක්ස්වාදය වෙනස් වන නිශ්චිත තැන තියෙන්නේ මේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුරේ. මාක්ස්වාදය අනුව භාණ්ඩයකට නිශ්චිත නෛසර්ගික වටිනාකමක් තිබෙනවා. ඒ වටිනාකම අදාළ භාණ්ඩය පරිභෝජනය කරන පුද්ගලයා මත වෙනස් වෙන්නේ නැහැ. නමුත්, ධනවාදය අනුව භාණ්ඩයකට එවැනි නිශ්චිත නෛසර්ගික වටිනාකමක් නැහැ. වටිනාකම තීරණය වන්නේ අදාළ භාණ්ඩය පරිභෝජනය කරන පුද්ගලයා මතයි. ඒ අනුව, වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

නිදහස් ගනුදෙනු වලින් ගනුදෙනුවේ දෙපාර්ශ්වයටම වාසි සැලසෙන්නේ මේ ආකාරයට එක් එක් පුද්ගලයා එකම භාණ්ඩයට ලබා දෙන වටිනාකම වෙනස් නිසයි. කෙහෙල් ගෙඩියක් මට වටින්නේ රුපියල් දහයක් වුනත් තවත් කෙනෙකුට එයම රුපියල් පණහක් වටින්න පුළුවන්. දැන් මම මේ කෙසෙල් ගෙඩිය රුපියල් තිහකට විකිණුවොත් මට රුපියල් විස්සක වාසියක් ලැබෙනවා. කෙහෙල් ගෙඩිය මිල දී ගන්නා ගැනුම්කරුවාටත් රුපියල් විස්සක වාසියක් ලැබෙනවා. ගනුදෙනුව සිදු වුනේ රුපියල් විස්සකට හෝ හතළිහකට වුවත් ලැබෙන වාසි වෙනස් වුවත් දෙදෙනාටම වෙන්නේ වාසියක්. ගැනුම්කරුවාට කෙසෙල් ගෙඩිය රුපියල් දහයක්වත් වටින්නේ නැත්නම් ගනුදෙනුවක් සිදු වන්නේ නැහැ. ඒ නිසා, කිසිවෙකුට අවාසියක් වෙන්නෙත් නැහැ.

රුපියල් කෝටි දෙකකට කෙහෙල් ගෙඩියක් මිල දී ගන්න මටනම් අවශ්‍ය නැහැ. සල්ලිත් නැහැ. එහෙත්, මිල දී ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් කෙහෙල් ගෙඩියකට ටේප් එකක් ගහලා කවුරු හෝ විසින් එය වටිනා කලා කෘතියක් ලෙස නම් කරලා ඩොලර් 120,000කට මිල කරන එකේ කිසිම වැරැද්දක් නැහැ.

ඇමරිකාව වගේ රටක ඕනෑම කෙනෙකුට තමන්ගේ කලා කෘතියක් කැමති මිලකට මිල කර වෙළඳපොළට දමන්න තහනමක් නැහැ. එහෙම දැම්ම පලියට ඕනෑම කෙනෙකුට ටේප් එකක් ගහපු කෙහෙල් ගෙඩියක් ඩොලර් 120,000කට විකුණන්න බැහැ. හැබැයි ඒ වගේ මිලකට කෙහෙල් ගෙඩියක් මිල දී ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් දෙන්නාට නිදහසේ ගනුදෙනුවක් කර ගන්න කිසිම බාධාවකුත් නැහැ. මොකද ධනවාදය අනුව කෙහෙල් ගෙඩියක හෝ කෙහෙල් ගෙඩියක් යොදාගෙන හදපු කලා නිර්මාණයක නිශ්චිත නෛසර්ගික වටිනාකමක් නැහැ. වටිනාකම තීරණය කරන්නේ එය මිල දී ගන්නා පුද්ගලයා විසින්. භාණ්ඩයකට එවැනි නිශ්චිත නෛසර්ගික වටිනාකමක් නැති නිසා සූරාකෑම කියා දෙයකුත් නැහැ.


Thursday, December 12, 2019

පශ්චාත්තාප්ප පශ්චාත්තාප නොවන්නට...


තාප්ප පින්තාරු කිරීමේ රැල්ල තවමත් නැගලා යනවා. මේ තාප්ප චිත්‍ර ඇඳිල්ලට විවිධ විවේචනත් එල්ල වී තිබෙනවා. මුල් වචන වලින්ම නොවූවත් මේ ඒවායින් සමහරක්.

- චිත්‍ර වල දැකිය හැකි සිංහල බෞද්ධ ආධිපත්‍යය
- යුද මානසිකත්වයක් නිරූපනය කිරීම
- බුද්ධිමය දේපොළ අයිතිය ගරු නොකරමින් චිත්‍ර හොරකම් කිරීම
- මෙවැනි තාප්ප චිත්‍ර දිගටම නඩත්තු කිරීමේ අසීරුව.

මේ පශ්චාත්තාප්ප විවේචන වලට යම් පදනමක් නැතුවා නෙමෙයි. කොහොම වුනත්, මම කතා කරන්න යන්නේ මේ විවේචන  ගැන නෙමෙයි. තාප්ප පින්තාරු කිරීමේ රැල්ල මතු වී තිබෙන පසුබිම ගැනයි.

හැම වයස් කාණ්ඩයකම වගේ අයගේ කිසියම් දායකත්වයක් පේන්න තිබුණත්, වැඩේට වැඩිපුරම බැහැලා ඉන්නේ දහඅටේ විස්සේ, එහෙමත් නැත්නම් විසි ගණන් වල ඉන්න, තරුණ තරුණියෝ. විවිධ ප්‍රදේශ වල තනි තනිව සංවිධානය වන මේ තරුණ කණ්ඩායම් විසින් තාප්ප පින්තාරු කරනවා වගේම කාණු සුද්ද කිරීම වගේ තවත් දේවලුත් කරනවා. මේ වයසේ තරුණ තරුණියන් මේ ආකාරයට දීප ව්‍යාප්තව මේ වගේ වැඩකට බහිනවා දකින්න ලැබුණු මුල් අවස්ථාව මෙය කියා කියන්න පුළුවන්. ඇතැම් විට වෙන වෙන අරමුණු ඉස්මතු වුනත්, මේ ගොඩක් අයගේ අරමුණ රට ලස්සන කිරීමයි.

මේ වැඩෙන් පේන්නේ රටේ මිනිස්සුන්ට මොනවා හෝ දෙයක් කරන්න සැබෑ උවමනාවක් ඇති වුනොත්, රජයෙන් බාධාවක් නොවන පසුබිමක කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද කියන එකයි. මේ වගේ වැඩක් ආණ්ඩුවෙන් කරන්න ගියානම් කොයි තරම් මුදලක් හා කාලයක් වැය වෙයිද? අන්තිමේදී මධ්‍යගත සැලසුමක් යටතේ වැඩේ මීට වඩා හොඳින් වෙයිද?

මේ චිත්‍ර වලට අයිතිකාරයෙක් නැහැ. චිත්‍ර වෙනුවෙන් බරපැන දරන අය, මහන්සි වෙන අය එයින් ලබන සතුට හැර බලාපොරොත්තු වන වෙන දෙයක් නැහැ. එහෙම අවස්ථා ඇති. නමුත්, බොහෝ විට නැහැ. වැඩේ කරන නිශ්චිත කෙනෙක්, නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. නමුත්, වැඩේ කෙරෙනවා. ඒ වගේම, කඩේ යාමක් කියා කිව හැකි දෙයකුත් නෙමෙයි. වැඩේට බැහැලා ඉන්න හැමෝම වැඩේ කරන්නේ කැමැත්තෙන් හා සතුටෙන්. නියම සමාජ ක්‍රියාකාරිත්වයක් කියා කියන්න පුළුවන් අවස්ථාවක්.

එක තැනක අඳින චිත්‍ර තව තැනක කොපි වෙනවා. සමහර විට ඒ විදිහටම. සමහර විට තරමක් වෙනස් වෙලා. සමහර වෙලාවට විවේචන එනවා. විවේචන එන විට චිත්‍ර වල ස්වභාවය වෙනස් වෙනවා. නියාමනයක් සිද්ධ වෙන්න හැම විටම නියාමකයෙකු අවශ්‍ය නැහැ.

තාප්ප වල චිත්‍ර අඳින එක ආණ්ඩුවක් මැදිහත් වී කළ යුතු තරම් වැදගත් දෙයක් නෙමෙයි කියා කාට හරි කියන්න පුළුවන්. නමුත්, හිතලා බැලුවොත් පොදු අරමුදල් වැය කරලා ඔයිට වඩා තේරුමක් නැති දේවල් කොයි තරම්නම් කරනවද? ඒ වගේ වෙලාවක බරපැන දරන්න වෙන්නේ රටේ සියලු දෙනාටමයි. නමුත්, දැන් මේ චිත්‍ර අඳින්න කාලය, ශ්‍රමය හා මුදල් වැය කරන්නේ එසේ කිරීමෙන් කවර හෝ සතුටක් ලබන අය පමණයි. ආණ්ඩුව කරන තුරු බලා නොඉන්නවානම් ඔයාකාරයට මිනිස්සුන්ටම එකතු වෙලා කරගන්න පුළුවන් දේවල් රාශියක් තිබෙනවා.

ගෝඨාභය දිනන්න කලින් රට පුරා තිබුණු රැල්ලක් වුනේ 225ම එපා කියන රැල්ල. මේ කතාවෙන් කියැවුනේ සම්ප්‍රදායික දේශපාලනඥයින් ප්‍රතික්ෂේප වෙමින් ඇති බවයි. ඔය 225ම එපා රැල්ලේ පීනන්න ගොඩක් අය ඉදිරිපත් වුනා. ඇතැම් දේශපාලන පක්ෂත් රැල්ල දිහා බලාගෙන ඔරු මූදට තල්ලු කළා. නමුත්, අන්තිමට රැල්ල කැරකුණේ ගෝඨාභය දිශාවටයි.

සම්ප්‍රදායික දේශපාලනඥයින් එපා කියන රැල්ලක් පැවතුනු බව බොරුවක් නෙමෙයි. එහෙම එකක් තිබුණා. අන්තිමේදී ඒ රැල්ල ගෝඨාභය පැත්තට කැරකුණා. ගෝඨාභයගේ ජයග්‍රහණයට හේතු වූ විවිධ රැළි අතර 225ම එපා කියා හිතූ විශාල පිරිසක්ද ඉන්නවා. මේ අයගෙන් විශාල කොටසක් මෙවර පළමු වරට ඡන්දය භාවිතා කළ තරුණ තරුණියන්.

ගෝඨාභය පසුගිය ආණ්ඩුව ඇතුළේ සිටියත්, ඒ ආණ්ඩුව ඇතුළේ විශාල කාර්යභාරයක් කළත්, සම්ප්‍රදායික දේශපාලනඥයෙක් වී සිටියේ නැහැ. සරලවම කියනවානම් ඔහු අර 225න් කෙනෙකු වූයේ නැහැ. ඒ නිසා, 225ම එපා වූ අයට ගෝඨාභය පිළිබඳව බලාපොරොත්තු තියන්න පුළුවන්කම තිබුණා. ජාතිකත්වය පිබිදීම වැනි වෙනත් ප්‍රවාද ගණනාවක් තියෙනවා තමයි. නමුත්, ඊට අමතරව මෙවර ක්‍රම විරෝධීන්ගේ ඡන්ද විශාල ප්‍රමාණයකුත් ගෝඨාභය විසින් ලබාගත්තා. සිංහල බහුතර ප්‍රදේශ වල අලුත් ඡන්ද වලින් සියයට අනූවක් පමණම ලැබුණේ ගෝඨාභයට වෙන්න පුළුවන්.

දහ අටේ විස්සේ තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් නිසගවම ක්‍රම විරෝධීන්. ඒ සඳහා කවුරුවත් ඔවුන්ව පොළොඹවන්න අවශ්‍ය නැහැ. අවුරුදු දහතුනක් දාහතරක් වන තුරු ළමයින්ගේ වීරයින් වෙන්නේ දෙමවුපියන්. ගොඩක් වෙලාවට තාත්තා. ඒත්, ඒ වයස පනින කොට, අර රවියා කියන විදිහට පස් පොල කළු වෙන්න පටන් ගන්න කොට, මේ අයට ස්වාධීන වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වයසේදී දෙමවුපියන් කරන දේවල් වල වැරදිමයි පෙනෙන්නේ. දහඅටක් වගේ වෙනකොට ඔය තත්ත්වය ඔඩු දුවනවා. ගෙදර විතරක් නෙමෙයි රටේම වැඩ සිද්ද වෙන්නේ නුහුරට බව පේන්න ගන්නවා. ඔය තත්ත්වය වෙනස් කරන්න ඇම්මක් ඇති වෙනවා.

පහුගිය දශක කිහිපය පුරාවටම ඔය රට වෙනස් කරන ඇම්ම හැදුනු තරුණ තරුණියන්ගේ ඇම්ම සනීප කරලා දෙන්න ඉදිරිපත් වුනේ වාමාංශික පක්ෂ. අන්තිම අවුරුදු පණහ ගත්තොත් දකුණේදී ජවිපෙ. උතුරේදීනම් එල්ටීටීඊ ප්‍රධාන විවිධ සංවිධාන. පස්සේ පස්සේ දකුණේ ඇම්ම තිබුණු සමහර තරුණයෝ හමුදා වලටත් ගියා.

හැත්තෑ එකේදී හා අසූ අට අසූ නවයේදී ජවිපෙ එක්ක විනාශ වෙලා ගියේ රට හොඳ අතට වෙනස් කරන්න ඇම්මක් අවංකවම තිබුණු තරුණ තරුණියෝ. ඒ යුග වලදී මේ තරුණ තරුණයින්ට ආදර්ශයට ගන්න සමාජවාදී ලෝකයක් පේන්න තිබුණා. එහෙම පේන්න තිබුණු ලෝකය කඩා වැටිලා සමාජවාදය මායාවක් බව පෙනුනට පස්සෙත් ජවිපෙට දිගින් දිගටම ලංකාවේ තරුණ තරුණියන් ආකර්ෂණය කර ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි මේ ගොඩක් අයට ජවිපෙ අම්බලමක් වුනා පමණයි. අම්බලමේ දිගටම සෙනඟ හිටියත් ඒ එකම පිරිසක් නෙමෙයි.

දහඅටෙන් විස්සෙන් ජවිපෙ අම්බලමට ගොඩ වුනු ගොඩක් අය විසිපහක් තිහක් වෙද්දී අම්බලමෙන් පිට වුනත්, ඔය වැඩේ දිගින් දිගටම සිදු වුනු නිසා ජවිපෙට රටේ 5%ක පමණ ස්ථිර ඡන්ද පදනමක් තිබුණා. ස්ථිර කිවුවත් මේක ගලන ගඟක තැන් දෙකක් අතර තිබෙන වතුර ටික වගේ. පහළින් වතුර අයින් වෙන කොට උඩින් වතුර එනවා. මෙවර ජවිපෙ 3%ට බැස්සේ වෙනදා වගේම පහළින් වතුර අයින් වුනත්, උඩින් වතුර ආවේ නැති නිසයි. මෙවර පළමු වරට ජවිපෙ තරුණයින් අතින් ප්‍රතික්ෂේප වුනා. හොඳට හෝ නරකට තරුණ ඡන්ද ගියේ ගෝඨාභයට. එක පැත්තකින් එය පෙන්වන්නේ පක්ෂයක් ලෙස ජවිපෙ පරිණත වීම.

දැන් ඉන්න තරුණයෝ අන්තර්ජාලය එක්ක හැදුණු පරම්පරාවක්. කලින් පරම්පරා වගේම දූපතේ හතර මායිම් ඇතුළේ කොටු වෙලා හිටියත්, අලුත් පරම්පරාවට අන්තර්ජාලය හරහා ලෝකය දකින්න පුළුවන්. ඒ නිසා, අපේ තරුණ කාලයේ අපි හිර වී සිටි දූපත් මානසිකත්වය ඔවුන්ට නැහැ. තමන්ට තිබෙන රට වෙනස් කරන, රට හදන ඇම්මට බේත සමාජවාදය කියා ඔවුන්ව රවට්ටන්න බැහැ. බටහිර ධනවාදී රටවල් වල තමන්ට ලංකාවේ නොපෙනෙන ගොඩක් දේවල් තිබෙන බව ඔවුන් දකිනවා. ඔවුන්ගේ සිහිනය ලංකාව ඒ වගේ රටක් කර ගන්න එක මිසක් සමාජවාදය කරා යන එක නෙමෙයි.

දහඅටේ විස්සේ තරුණයින්ගේ තිබෙන ප්‍රධානම යහපත් ලක්ෂණයක් තමයි අනුන් යමක් කර දෙන තුරුම නොසිට තමන්ට කළ හැකි දේ කරන්න ඉදිරිපත් වන එක. කාලයක් තිස්සේම ජවිපෙ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න තරුණ තරුණියන් හොයා ගන්න අමාරු නොවුනේ මේ වයස් කාණ්ඩයේ දැකිය හැකි මේ ලක්ෂණය නිසා. දැන් තීන්ත බාල්දි අරගෙන මේ අය කරන්නේත් කවුරුවත් කියන තුරු නොසිට තමන්ට පුළුවන් තරමින් හා තමන්ට තේරෙන ආකාරයෙන් රට වෙනුවෙන් තමන්ගේ වගකීම් යුතුකම් ඉටුකරන එකයි.

අපේ පරම්පරාවේ තරුණයෝ තීන්ත බාල්දි උස්සගෙන ගිහින් "ඉන්දීය වඳුරු හමුදා පන්නනු!", "පළාත් සභා අහෝසි කරනු!" කියා තාප්ප වල ලිවුවා. දැන් තරුණයෝ තීන්ත බාල්දි උස්සගෙන ගිහින් තාප්ප වල චිත්‍ර අඳිනවා. ප්‍රතිඵලය වෙනස් වුවත් අරමුණු වල ලොකු වෙනසක් නැහැ.

ගෝඨාභය පැමිණීමත් එක්ක ලංකාවේ දකුණේ තරුණ තරුණියන්ට කිසියම් බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා. ඒ බලාපොරොත්තුව දැන් තිබෙනවාට වඩා හොඳ රටක් පිළිබඳවයි. ඒ වෙනුවෙන් තමන්ට හැකි දෙයක් කරන්නත් ඔවුන් සූදානමෙන් ඉන්නවා. මේ වගේ උතුරන තරුණ ජවයක් හරි අච්චුවකට දමලා නිවෙන්න ඇරියොත් හදා ගන්න බැරි දෙයක් නැහැ. ඒ වගේම, මේ රැල්ල නිවැරදිව තේරුම් නොගත්තොත්, වැඩි කල් නොගොස්, ඔය උතුරන තරුණ ජවයටම පිච්චිලා ගොඩක් දේවල් විනාශ වෙලා යන්නත් පුළුවන්. එහෙම වෙලා පශ්චාත්තාප්ප පශ්චාත්තාප සිදු නොවෙන්න වග බලාගැනීම ආණ්ඩුවේ වැඩක්!



Monday, December 9, 2019

බදු කැපිල්ල බේබි කැපිල්ලක්ද?



බේබි කැපිල්ල කියන වචනය සමහර විට ප්‍රාදේශීය ව්‍යවහාරයක් වෙන්න පුළුවන්. ඔය වචනයේ සම්භවය ගැනත් මට අදහසක් නැහැ. කොහොම වුනත්, බේබි කැපිල්ල කියා කියන්නේ කාඩ් කුට්ටම භාවිතයෙන් කරන ලංකාවේ ජනප්‍රිය සූදුවක්. දැන් ජනප්‍රිය නැත්නම් කාලයකට පෙර ජනප්‍රියව තිබූ සූදුවක්. වඩා ප්‍රචලිත වචනය බූරුවා ගැසීම.

සමහර අය අවුරුදු කාලයේදී නැත්නම් මළ ගෙදරකදී විනෝදයට බේබි කපනවා. බේබි කැපිල්ලට ඇබ්බැහි වූ තවත් සමහර අය දිනපතාම මේ වැඩේ කරනවා. වෙනත් සූදු වලින් වගේම මේ සූදුවෙනුත් කිසිදු ක්‍රීඩකයෙකුට දිගුකාලීනව දිනන්න බැහැ. නමුත්, ඇතැම් දින වල සූදුවෙන් වාසි වෙන්න පුළුවන්. සමහර විට එක දිගට දින කිහිපයක්ම දිනන්න පුළුවන් වෙන්නත් ඉඩ  තිබෙනවා. හැබැයි පරදින්න ගත්තහම ඒ දිනපු වාසි සියල්ලම නැති වෙනවා.

බේබි කැපිල්ලෙන් හැමදාම දිනන එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ මේ ක්‍රීඩාව සංවිධානය කරන පුද්ගලයා. කවුරු දිනුවත්, පැරදුනත් බූරු පොළේ අයිතිකාරයාට තෝන් ලැබෙනවා.

මේ දවස් වල කතාව බේබි කැපිල්ල ගැන නෙමෙයි. බදු කැපිල්ල ගැනයි. සමහර කරුණු අතින් ඔය දෙකේ ලොකු වෙනසකුත් නැහැ.

මේ වන විට ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ විශාල ලිහිල් කිරීමක් දකින්න තිබෙනවානේ. මේ පසුපස ආර්ථික විද්‍යා න්‍යාය මත පදනම් වූ උපාය මාර්ගික හේතු තිබෙනවාද? එහෙම නැත්නම් මෙය ඉදිරි මැතිවරණය ඉලක්ක කරගත් තාවකාලික රැවටීමක් පමණක්ද?

මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන් තාවකාලිකව ආර්ථිකය ප්‍රසාරණය කිරීම ලෝකයේ රටවල් බොහොමයක්ම විසින් කරන දෙයක්. මේ වැඩේ කරන්නේ රටේ නිෂ්පාදනය එහි විභව මට්ටමට වඩා පහත වැටී තිබෙන අවස්ථා වලයි. මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන් ආර්ථිකය කෘතීම ලෙස තාවකාලිකව පුම්බන්නේ රටේ සමස්ත නිෂ්පාදනය අඩු වී තිබෙන්නේ එම නිෂ්පාදන අලෙවි කළ හැකි තරමේ සමස්ත ඉල්ලුමක් නැති වූ විට කියන කේන්සියානු අදහස මතයි.

කේන්සියානු අදහස අනුව වුවත් මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන් ආර්ථිකයක් දිගින් දිගටම පුම්බන්න බැහැ. එහෙත්, ඇතැම් තත්ත්වයන් යටතේ තාවකාලිකව එය කළ හැකියි. ආර්ථිකය ප්‍රසාරණය කිරීමට පෙර රටේ මේ තත්ත්වයන් පවතීදැයි නිවැරදිව හඳුනාගත යුතුයි.

රටේ නිෂ්පාදන ධාරිතාව හා සැබෑ නිෂ්පාදිතය අතර පරතරයක් ඇති බව හඳුනා ගන්නේ කොහොමද? එවැනි පරතරයක් ඇති කාලයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පූර්ණ ධාරිතාවෙන් සිදු වන්නේ නැහැ. එයට හේතුව පූර්ණ ධාරිතාවෙන් නිෂ්පාදනය කර විකිණිය හැකි තරමේ ඉල්ලුමක් රටේ නැති වීමයි. වෙනත් විදිහකින් කිවුවොත් ඉල්ලුමට වඩා සැපයුම වැඩි නිසයි. ඉල්ලුමට වඩා සැපයුම වැඩි වීමේ ප්‍රතිඵලයක් විදිහට මිල මට්ටම් පහත වැටෙනවා. ඒ නිසා, උද්ධමනය ඉතා අඩු මට්ටමකට වැටෙනවා. ඇතැම් විට අවධමනකාරී තත්ත්වයක් ඇති වෙනවා. සමාගම් වල ලාබ අඩුවන නිසා ඔවුන් සේවකයින් සේවයෙන් ඉවත් කරනවා. එවිට විරැකියාව ඉහළ යනවා. රටේ ප්‍රාග්ධන හා ශ්‍රම සම්පත් වලින් විශාල කොටසක් ප්‍රයෝජනයට නොගැනෙන නිසා ආර්ථිකය හැකිලෙනවා.

මේ වගේ වෙලාවක මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යොදාගෙන තත්ත්වයේ වෙනසක් කළ හැකියි. මුදල් ප්‍රතිපත්ති වලින් පොලී අනුපාතික අඩු කළ විට ණය ගැනීම් ඉහළ ගොස් මුදල් සංසරණය ඉහළ යනවා. බදු අඩු කළ විට හා රජයේ වියදම් වැඩි කළ විටත් එයම වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ඉල්ලුම වැඩි වී භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. එයින් දිරිමත් වන නිෂ්පාදකයින් නිෂ්පාදනය වැඩි කරනවා. සේවකයින් අලුතින් බඳවා ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. විරැකියාව අඩු වෙනවා. ඒ එක්කම උද්ධමනයත් වැඩි වෙනවා.

මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලින් ආර්ථිකය තාවකාලිකව ප්‍රසාරණය කිරීමේදී ගෙවිය යුතු මිලක් තිබෙනවා. බදු අඩු කිරීම හා රජයේ වියදම් වැඩි කිරීම නිසා රජයේ අයවැය හිඟය ඉහළ යනවා. එවිට, ඒ අඩුව පුරවන්න ණය ගන්න වෙනවා. පසුව ගත් ණය පොලිය සමඟ ගෙවන්න වෙන නිසා අවශ්‍ය මට්ටමට ආර්ථිකය ප්‍රසාරණය වූ පසුව රජයේ වියදම් කපා, බදු වැඩි කර අයවැය අතිරික්තයක් හදා ගන්න වෙනවා. ඒ වගේම, පොලී පහත දැමීම සඳහා මහ බැංකුවට තාවකාලිකව අලුත් මුදල් සංසරණයට එකතු කරන්න වෙනවා. ඉන් පසුව, මේ මුදල් නැවත ආපසු එකතු කරගන්න වෙන්නේ පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ ඇරලයි.

කේන්සියානු අදහස අනුව මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන් ආර්ථිකයක් ප්‍රසාරණය කිරීමෙන් පසුව නැවත එය සංකෝචනය කළ යුතුයි. මේ දෙපැත්තම සමතුලිතව නොතිබුණොත් එන්න එන්නම රටේ මුදල් සැපයුම හා රජයේ ණය ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මුදලේ අගය දිගින් දිගටම පිරිහෙනවා. නමුත්, දිගුකාලීනව ආර්ථික වර්ධනයේ වෙනසක් වෙන්නේ නැහැ. දිගුකාලීනව වෙන්නේ භාණ්ඩ හා සේවා වල මිල මට්ටම් හා විදේශ මුදල් ඒකක වල විණිමය අනුපාතික ඉහළ යාම පමණයි.

ව්‍යාපාර චක්‍ර වල බලපෑම නිසා ආර්ථික අවපාතයක් ඇති වූ විට මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. කේන්සියානු ආකෘතිය අනුවම වුවත්, ආර්ථිකය කොහොමටත් නැවත තිබුණු තැනට එනවා. මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා කරන්න අදහස් කරන්නේ ආර්ථිකය සාමාන්‍ය මට්ටමට වඩා සෙමින් හෝ වේගයෙන් වර්ධනය වීම සීමා කරන එකයි. එහෙම නැතුව, මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලින් දිගුකාලීනව ආර්ථික වර්ධනය වැඩි කරන්න බැහැ. නමුත්, බොහෝ ආණ්ඩු එසේ කළ හැකි බව පෙන්වනවා. මේ කටයුත්තේදී ආණ්ඩු ක්‍රියා කරන්නේ බූරු පොළේ අයිතිකාරයා වගෙයි. බූරු පොළට ගොඩක් අය එන්නේ දිනන්න බලාගෙනයි. බේබි කපන කවුරුත් අන්තිමේදී පරදින බව බූරු පොළේ අයිතිකාරයා කවදාවත් කියන්නේ නැහැ.

ආණ්ඩු හා මහ  බැංකුව විසින් මොනවා කළත්, ලංකාවේ ආර්ථිකය දිගුකාලීනව වර්ධනය වෙලා තියෙන්නේ 4.5-5.0% අතර වේගයකින්. ඒ තමයි ලංකාවේ ආර්ථිකයට දිගුකාලීනව වර්ධනය විය හැකි වේගය. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති යොදාගෙන මේ වේගය තාවකාලිකව වසර කිහිපයක් තිස්සේ වැඩි කළ හැකි වුවත්, පසුව නැවත ආර්ථිකය මන්දගාමී වෙනවා. අන්තිමට වෙන්නේ රුපියල පිරිහීම පමණයි. දිගින් දිගටම ලංකාවේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත්, ඩොලරයේ මිල ඉහළ යාමත් සිදු වෙන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති යොදාගෙන ආර්ථිකය ප්‍රසාරණය කරන්න උත්සාහ දැරීම නිසායි. නමුත්, දිගුකාලීනව බැලුවහම ආර්ථික වර්ධන වේගය වෙනස් වෙලා නැහැ.

ඇත්තටම කියනවානම් සෛද්ධාන්තික අර්ථයෙන් ලංකාවේ ව්‍යාපාර චක්‍ර නැහැ. ලංකාවේ සමාගම් වලට ලාබ අඩු වූ විට සේවකයින් ඉවත් කරන්න බැහැ. ඒ හේතුව, නිසාම ලංකාවේ සමාගම් ලාබ වැඩි වෙන කාලවල් වලදී විශාල ලෙස සේවකයින් බඳවා ගන්නෙත් නැහැ. මේ හේතුව නිසා රටේ සමස්ත ඉල්ලුම වැඩි වුනා කියා ලංකාවේ සමාගම් වල නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. එහෙම වැඩි කරන්න තරම් ධාරිතාවක් බොහෝ සමාගම් වලට නැහැ. ඒ නිසා, ඉල්ලුම නැති නිසා විභව නිෂ්පාදනය සිදු වෙන්නේ නැහැ කියන එක ලංකාවේ බොහෝ සමාගම් වලට අදාළ නැහැ.

ලංකාවේ ව්‍යාපාර චක්‍ර ඇති වෙන්නේ එක්කෝ ලංකාවේ මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල අතුරු පලයක් විදිහට. එහෙම නැත්නම්, බටහිර රටවල ඇතිවන ව්‍යාපාර චක්‍ර වල අතුරු පලයක් විදිහට. ඉදිකිරීම් කර්මාන්තයට පළමු කරුණ බලපානවා. අපනයන කර්මාන්ත වලට හා සංචාරක කර්මාන්තය වගේ ක්ෂේත්‍ර වලට දෙවන කරුණ බලපානවා.

මේ වගේ ලංකාවේ ආර්ථිකයේ ඇතැම් අංශ වලට ව්‍යාපාර චක්‍ර වල බලපෑමක් තිබෙනවා. ඒ අංශ වල වර්ධනය රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වලින් තාවකාලිකව වැඩි කළ හැකියි. නමුත්, පොදුවේ ගත්තහම ලංකාවේ ක්‍රියාත්මක කරන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති නිසා බොහෝ විට වෙන්නේ සමස්ත සැපයුම වැඩි වෙනවාට වඩා වේගයෙන් සමස්ත ඉල්ලුම වැඩි වෙන එකයි. මොකද ලංකාවේ පරිභෝජනය කරන භාණ්ඩ බොහොමයක් ආනයනික භාණ්ඩ. මේ භාණ්ඩ වලට දේශීය ආදේශක තිබෙන අවස්ථා වලදී වුවත්, හදිසියේ වැඩිවන ඉල්ලුමක් සැපයිය හැකි නිෂ්පාදන ධාරිතාවක් අදාළ දේශීය කර්මාන්ත වලට නැති නිසා  රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කළ විට අන්තිමට වෙන්නේ ආනයන ඉහළ යන එකයි.

අතුරු කතා වැඩියි වගේ නේද? බදු අඩු කිරීමේ ප්‍රතිඵල ගැනනේ අපිට අවධානය යොමු කරන්න ඕනෑ වෙලා තිබුණේ. මේ ගැන විවිධ අය අපේ වියුණුවේම අදහස් දක්වා තිබෙනවා. ඒ අදහස් ගැන ප්‍රතිචාර දක්වන්න මහන්සි නොවී අපි රජය පැත්තෙන් කියන දෙයම බලමු. පහතින් තියෙන්නේ දින කිහිපයකට පෙර මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිල නිවේදනයක කොටස්.

"ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වර්ධනය වෙමින් පවත්නා උද්ධමන නැඹුරුව සමග දළ දේශීය නිෂ්පාදිතයේ 2%ක තරම් අඩු වර්ධන මට්ටමක් වාර්තා කර ඇති අවධියක මෙම බදු ප්‍රතිසංස්කරණයේ ආරම්භය සිදු කරනු ලැබ තිබේ."

"ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) සහ උපයන විට බද්ද ඉවත් කිරීම මෙන් ම වැට් බද්ද 8% දක්වා අඩු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ හා සේවාවල මිල අඩුවනු ඇති අතර මේ හරහා උද්ධමනය මධ්‍යස්ථභාවයකට ද පත්වනු ඇත."

"2019 සඳහා අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය හිඟය ඇස්තමේන්තු ගත ප්‍රමාණයට වඩා වැඩි වනු ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක් පමණ විය හැකිය. අපේක්‍ෂා කළ ආදායමට වඩා සැලකිය යුතු අඩුවීමක් හේතුවෙන් සහ ප්‍රධාන වශයෙන් මන්දගාමී වර්ධනය සහ මැතිවරණ ආශ්‍රිත වියදම් වැඩිවීම මෙයට හේතු වනු ඇත."

"මධ්‍ය කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් දක්වා අයවැය හිඟය අඩු කිරීමේ මාවතක් ඔස්සේ සිය මෙහෙයුම් නැවත සකස් කිරීමට සහ ණය තොගය තාර්කිකකරණය සමඟ කළමනාකරණය කළ හැකි මට්ටම් කරා ගෙනයෑමට රජය සාමූහික ප්‍රයත්නයක් දරමින් සිටියි."

"ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් කැපවී සිටින ජාත්‍යන්තර මූල්‍ය ආයතන (අයිඑෆ්අයි) සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ අඛණ්ඩ සම්බන්ධතාවය මත මෙම උත්සාහයන් ක්‍රියාත්මක කෙරේ."

දැන් මේ කියන කතාවේම මූලික අවුලක් තිබෙනවා. නිවේදනය අනුව, ආර්ථික වර්ධනය 2% තරමටම අඩු වී ඇති නිසා ආර්ථිකය වර්ධනය කිරීමට බදු අඩු කර ඇති බව කියන්න හදන බව පෙනෙනවා. ඒ කියන්නේ, ආර්ථිකය වර්ධනය වෙන්නේ විභව මට්ටමට අඩුවෙන් බව හඳුනාගෙන තිබෙනවා. ඒ එක්කම උද්ධමන නැඹුරුව වර්ධනය වෙමින් ඇති බවකුත් කියනවා. උද්ධමන නැඹුරුව වර්ධනය වෙනවානම් එයින් කියැවෙන්නේ රටේ සමස්ත ඉල්ලුම සමස්ත සැපයුමට වඩා වැඩි බවයි. ඒ අනුව බැලුවොත් 2% වර්ධනයත් ඕනෑවට වඩා වැඩි වර්ධනයක්. සමස්ත ඉල්ලුම සමස්ත සැපයුමට වඩා වැඩිනම් කළ යුත්තේ බදු තවත් වැඩි කර ආර්ථික වර්ධනය අඩු කරන එකයි. එසේ නැත්නම් මුදල් සැපයුම සංකෝචනය කර ආර්ථික වර්ධනය අඩු කරන එකයි.

මේ අවුරුද්දේ ආර්ථික වර්ධනය මේ තරමටම අඩු වෙන්න හේතු වුනේ පාස්කු බෝම්බ ප්‍රහාර නිසා ආර්ථිකයේ ඇති වූ තාවකාලික පසුබෑමයි. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ මේ පසුබෑම සිදු වුනා. එවැනි තාවකාලික පසුබෑමක් ඉතා ඉක්මණින් නැවත යථා තත්ත්වයට පත් වෙනවා. ඒ සඳහා මුදල් ප්‍රතිපත්ති හෝ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ නැහැ. අපි හිතමු පාස්කු ප්‍රහාරය නොවන්නට 2019 හා 2020 ආර්ථික වර්ධනය පෙර සැලසුම් කර තිබුණු 3.5% හා 4.0% මට්ටම් වලම තිබිය හැකිව තිබුණා කියා. දැන් පාස්කු ප්‍රහාරය නිසා සංචාරකයින් පැමිණීම අඩු වී 2019 ආර්ථික වර්ධනය 2%ට අඩු වෙනවා. නමුත්, 2020දී සංචාරක කර්මාන්තය නැවත මුල් මට්ටමට පැමිණියහොත් 2020 ආර්ථික වර්ධනය 5.5%ක් වෙනවා. මොකද ආර්ථික වර්ධනය ගණනය කරන්නේ 1.5%ක් පහළ මට්ටමක සිට නිසා.

මුදල් අමාත්‍යංශ නිවේදනය අනුව බදු අඩු කිරීම නිසා උද්ධමනය පහළ යනවා. බදු අඩු කිරීම නිසා පහළ යන්නේ ජීවන වියදම් දර්ශකය මිස උද්ධමනය නෙමෙයි. ජීවන වියදම් දර්ශකය කියා කියන්නේ උද්ධමනය මනින මිනුම මිස උද්ධමනය නෙමෙයි. උද්ධමනය කියා කියන්නේ රුපියලේ මිල දී ගැනීමේ හැකියාව දිගුකාලීනව අඩුවීම. ගඟේ වතුර පිරිසිදුද කියා පරීක්ෂා කරන වතුර සාම්පලය පිරිසිදු කළා කියා ගඟේ වතුර පිරිසිදු වෙන්නේ නැහැ. උණ අඩු කළා කියා උණට හේතු වුනු රෝගය අඩු වෙන්නේ නැහැ.

මුදල් අමාත්‍යාංශ නිවේදනයේ වැදගත්ම කොටස මේ කොටසයි.

"2019 සඳහා අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය හිඟය ඇස්තමේන්තු ගත ප්‍රමාණයට වඩා වැඩි වනු ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක් පමණ විය හැකිය."

මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේම තිබෙන 2019 වසර සඳහා වූ අයවැය ඇස්තමේන්තු අනුව, වසර තුළ රාජ්‍ය මූල්‍ය හිඟය ඇස්තමේන්තු කර තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.4% ක් හෙවත් රුපියල් බිලියන 685 ක් ලෙසයි. මුදල් අමාත්‍යාංශයේම ඇස්තමේන්තු අනුව දැන් මේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.6% කින්, ඒ කියන්නේ රුපියල් බිලියන 405 කින් පමණ ඉහළ යනවා.


අයවැය හිඟය මේ ආකාරයට ඉහළ යාම ප්‍රශ්නයක් බව මුදල් අමාත්‍යාංශය නොදන්නවා නෙමෙයි. "මධ්‍ය කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් දක්වා අයවැය හිඟය අඩු කිරීමේ මාවතක් ඔස්සේ සිය මෙහෙයුම් නැවත සකස් කිරීමට" රජය උත්සාහ කරන බව මුදල් අමාත්‍යාංශය විසින් කියන්නේ ඒ නිසයි. පෙර වූ මැදිකාලීන සැලසුම අනුව 2024 වන විට අයවැය හිඟය 2% මට්ටම දක්වා අඩු කර ගැනීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබුණා. අලුත් සැලසුම වන්නේ අඩුම වශයෙන් 2024 වන තුරු සෑම වසරකදීම කලින් සැලසුම් කළාට වඩා වැඩියෙන් ණය ගැනීමයි. බදු අඩු කිරීම නිසා ආදායම් ඉහළ යනවානම් 2019දී කෙසේ වුවත් අඩු වශයෙන් වසර පහකට පසුව හෝ රජයේ අයවැය හිඟය කලින් සැලසුම් කර තිබුණු මට්ටමට වඩා අඩු විය යුතුයි.

වසරකට රුපියල් බිලියන 400ක පමණ අමතර මුදලක් හොයා ගන්නවා කියන එක පහසු වැඩක් නෙමෙයි. මුදල් අමාත්‍යංශය බොහෝ විට ආදායම් වැඩියෙනුත්, වියදම් අඩුවෙනුත් ඇස්තමේන්තු කරන නිසා මේ අමතර මුදල මීට වඩා වැඩි මුදලක් වෙන්න පුළුවන්. මේ වගේ මුදලක් දේශීය වෙළඳපොළෙන් ලබා ගන්න ගියොත් පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යන්න දෙන්න වෙනවා. එතකොට අර ආර්ථිකය ප්‍රසාරණය කිරීම කියන එක වෙන්නේ නැහැ. විකල්පයක් විදිහට මහ බැංකුවෙන් මුදල් ලබා ගත්තොත්, ඒ කියන්නේ සල්ලි අච්චු ගැහුවොත්, වහාම ප්‍රශ්නයක් ඇති නොවුණත් වසර දෙකකට පමණ පසුව උද්ධමනය නැවත විශාල ලෙස ඉහළ යයි. එය ඊට කලින්ම වෙන්නත් පුළුවන්. එතකොට අර බදු අඩු කිරීමේ සහනය නැතුව යනවා.

තෙවන ක්‍රමය විදේශ ණය ගැනීමයි. පසුගිය රාජපක්ෂ දශකයේ ප්‍රධාන ආර්ථික උපක්‍රමය වුණෙත් මෙයයි. විදේශ ණය අරගෙන රුපියල් වලට මාරු කළ විට රටේ රුපියල් අඩු වන නිසා මුදල් සංසරණය වැඩි වීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා, උද්ධමනය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දේශීය මූල්‍ය වෙළඳපොළෙන් ණය ගන්නේ නැති නිසා පොලී අනුපාතික ඉහළ යන්නෙත් නැහැ. ණයට ගත් ඩොලර් ආනයන වෙනුවෙන් වියදම් කළ හැකි නිසා, රටේ නිෂ්පාදනය ඉහළ නොගියත්, වැඩිවන දේශීය ඉල්ලුමට හරියන්න අඛණ්ඩ භාණ්ඩ සැපයුමකුත් තිබෙනවා. ණයට ගන්නා ඩොලර් මුදා හරිමින් විණිමය අනුපාතිකය පහළින් තියාගත්තොත්, ඩොලර් වලින් ණය ඉහළ ගියත් රුපියල් වලින් බැලූ විට ණය ඉහළ යාමක් නොපෙනෙන නිසා ණය අර්බුදය සඟවන්න පුළුවන්.

හැබැයි ඔය ඔක්කොම කරන්න වෙන්නේ ප්‍රමාණවත් තරම් විදේශ ණය ලබා ගන්න පුළුවන් වුනොත් පමණයි. මේ අවුරුද්දේ තියෙන ණය වල පොලී හා වාරික ලෙස විශාල මුදලක් ගෙවන්නත් තියෙද්දී මෙය කළ හැකිද?

බැහැ කියා කියන්න බැහැ. ලංකාවේ විදේශ ණය බර රටට සාපේක්ෂව කොයි තරම් ලොකු වුනත්, ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව වගේ රටකට ඩොලර් බිලියනයක් දෙකක් ඒ තරම්ම ලොකු මුදලක් නෙමෙයි. ඇමරිකාවට කොහොම වුනත් ඉන්දියාවට හා චීනයට ලංකාවට ණය දෙන එකේ වාසියක් තිබෙනවා. ලංකාවේ ආනයන වලින් විශාල ප්‍රමාණයක් එන්නේ ඉන්දියාවෙන් හා චීනයෙන්. නමුත්, මේ රටවල් දෙකම ලංකාවෙන් එතරම් දෙයක් ආනයනය නොකරන නිසා සෑම වසරකම මේ රටවල් සමඟ විශාල ද්විපාර්ශ්වික වෙළඳ හිඟයක් තිබෙනවා.

දැන් මේ බදු අඩු කිරීම නිසා මිනිස්සු අතේ මුදල් සංසරණය වැඩි වී භාණ්ඩ ඉල්ලුම වැඩි වුනා කියා කියමු. ඔය ඉල්ලුම සපුරන්න වෙළඳපොළට භාණ්ඩ එන්නේ කොහෙන්ද? ප්‍රධාන වශයෙන්ම ඉන්දියාවෙන් හා චීනයෙන්. එවිට ඔය රටවල් දෙක සමඟ වෙළඳ හිඟය තවත් වැඩි වෙනවා. මේ හිඟය පියවන්න වෙන්නේ ඩොලර් වලින්. නමුත්, ඩොලර් කොහෙන්ද?

ඩොලර් ඉල්ලුමට සරිලන සැපයුමක් නැති වුණොත් ඩොලරයේ මිල විශාල ලෙස ඉහළ යනවා. එවිට රටේ ආනයනික භාණ්ඩ වල මිල විශාල ලෙස ඉහළ යනවා. ඉන්දියානු හා චීන බඩු වලට ඉල්ලුම අඩු වෙනවා. මේ භාණ්ඩ රටේ නිපදවන එක වාසිදායක නිසා දේශීය නිෂ්පාදකයින් දිරිමත් වෙනවා. එවිට පාඩුව කාටද? ඉන්දියාවට හා චීනයටයි.

මේ තත්ත්වය නිසා මේ වෙලාවේ ලංකාවට ණය දෙන එක ඉන්දියාවට වගේම චීනයටත් වාසියි. ඇත්තටම ණය දෙනවා කියා කීවත් සල්ලි දීමක් කියා දෙයක් වෙන්නේම නැහැ. දෙන ණය වල වටිනාකමට ලංකාවෙන් භාණ්ඩ ආනයනය කරන එකයි වෙන්නේ. පොලියත් එක්ක ණය එකතු කරගන්න එක පස්සේ කරයි. ඉන්දියාවනම් දැනටමත් අඩු පොලියට ණයක් පොරොන්දු වෙලා. අඩු වුණත් පොලියක් තියෙනවා. ඒ වගේම මෙය ණයක් මිස ආධාරයක් නෙමෙයි. චීනය වුණත් මේ වෙලාවේ ණය දෙන්න අකැමැති වෙන එකක් නැහැ.

ඉන්දියාව හා චීනය විසින් ණය දීමේ ප්‍රවණතාවක් තිබුණත් මේ අවුරුද්දේ ගෙවන්න තිබෙන ණය වාරික හා පොලියට අමතරව බදු කැපිල්ල නිසා ඉහළ ගිය අයවැය හිඟය පියවන්න තවත් ඩොලර් බිලියන දෙකක් විතර හොයා ගන්න එක ඒ තරම්ම ලේසිත් නැහැ. "ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් කැපවී සිටින ජාත්‍යන්තර මූල්‍ය ආයතන (අයිඑෆ්අයි) සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ අඛණ්ඩ සම්බන්ධතාව" අමතක කරලා නැත්තේ ඒකයි.

(Image: http://www.lankadeepa.lk/)


Friday, December 6, 2019

ණය වැඩි වීම හා ආදායම් වැඩිවීම

රජයේ ණය ප්‍රමාණය එන්න එන්නම ඉහළ ගියත් ආදායම්ද සමාන්තරව ඉහළ යන්නේනම් ප්‍රශ්නයක් නැතැයි ඇතැම් අය කියනවා. ඒ කතාවේ අඩුපාඩු තිබුණත් කතාවට පදනමක් තිබෙන නිසා අඩුපාඩු ගැන කතා කිරීම පසුවට තබා ආදායම් වැඩි වීම ගැන මුලින් කතා කරමු.

ණය ගැනීම හෝ ණය ප්‍රමාණය ඉහළ යාම හැම විටම නරක දෙයක් නෙමෙයි කියන එක ඇත්ත. ණය ලෙස ලබා ගන්නා මුදල් නිසි සේ ආයෝජනය කර ණය හා පොලිය ආපසු ගෙවා අමතර ලාබයක්ද ලැබිය හැකි අවස්ථා තිබෙනවා. ඒ වගේ වෙලාවක ණය ගැනීමේ වරදක් නැහැ.

ණය නිසා ඔය කියන විදිහට ආදායම් ලැබෙනවානම් ගත් ණය හා පොලී ආපසු ගෙවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ වෙලා තියෙන්නේ එහෙම දෙයක්ද?

අපි කතා කරමින් සිටියේ ලංකාවේ රජයේ ණය ගැනනේ. ණය අරගෙන රජය කරන ආයෝජන වල ලාබ එක්කෝ රජයට සෘජුවම ලැබෙන්න ඕනෑ. එහෙම නැත්නම් රටේ වෙන කාට හෝ ලැබී බදු හරහා වක්‍ර ලෙස රජයට ලැබෙන්න ඕනෑ. ඔය දෙකෙන් කොයි එක වුවත්, රජයේ ආදායම ඉහළ යා යුතුයි. ණය ආයෝජන වල ප්‍රතිඵල ලෙස රටේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වී ඇති විටක රජයේ බදු ආදායම වැඩි කර ගැනීම සඳහා අමුතුවෙන් බදු වැඩි කරන්න අවශ්‍ය නැහැ. රටේ ආදායම් ඉහළ යන විට බදු අනුපාතික නිශ්චිතව තිබුණත්, රජයේ බදු ආදායම සමාන්තරව ඉහළ යා යුතුයි. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ආදායම කිසියම් ස්ථාවර මට්ටමක දිගටම තිබිය යුතුයි.

නමුත්, ඇත්තටම වෙලා තිබෙන්නේ ඒකද? අඩු වශයෙන් දශක තුන හතරක සිට සිදු වෙමින් තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ආදායම් වසරින් වසර අඩු වීමයි. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් දිගින් දිගටම රජයේ ආදායම් අඩු වීමේ ප්‍රවණතාව වෙනස් කර ගැනීමට සමත් වුවත් එසේ කළේ බදු අනුපාතික ඉහළ දමලයි. ණය වැඩි වී තිබෙන්නේ ඒ ණය ඵලදායී ලෙස ආයෝජනය කිරීම නිසානම් එහෙම වෙන්නේ කොහොමද?


Thursday, December 5, 2019

යහපාලන ණය හා රාජපක්ෂ ණය

ණය ගැන ලියූ පෙර ලිපියට ප්‍රතිචාර සේ තැන් තැන් වල ඇති තොරතුරු රැසක් කොපි කර තිබෙනවා. ඇතැම් තොරතුරු කොපි කර ගෙන තියෙන්නේ පසුගිය වසර මුල මහින්ද රාජපක්ෂගේ නමින් නිකුත් වුනු නිවේදනයකින්. මේ නිවේදනයෙන් පෙන්වන්න උත්සාහ කර තිබුණේ යහපාලන ආණ්ඩුව විසින් පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස ණය ලබා ගෙන ඇති බවයි.

විවේචකයින් උත්සාහ කළත්, යහපාලන ආණ්ඩුව විශාල ලෙස ණය ලබා ගෙන ඇති බව පෙන්වීම මාකට් වන කතාවක් නෙමෙයි. එයට හේතුව මිනිස්සු මේ කතාව විශ්වාස නොකිරීම හෝ සැක කිරීම නෙමෙයි. ගොඩක් අයට කොහොමටත් ඔය කතා තේරෙන්නේ නැහැ. කතාව මාකට් නොවෙන්නේ මේ කතාව මිල දී ගන්නට ඉඩක් ඇති පාරිභෝගික පිරිස වන රාජපක්ෂවාදීන්ට යහපාලන ආණ්ඩුව විවේචනය කරන්න වෙනත් දේවල් ගණනාවක් තිබෙන නිසයි.

යහපාලන ආණ්ඩුවනම් අනික් දේවල් කෙසේ වුවත් රාජපක්ෂ ණය සෑහෙන තරමකින් මාකට් කර ගත්තා. පස්සේ පස්සේ මේ කතාව මිනිස්සුන්ට එපා වුනේ ඇඩ් වැඩි කම නිසාමයි. බදු වැඩි කරද්දීත් කිවුවේ රාජපක්ෂ ණය ගෙවන්න බදු වැඩි කරන්න සිදු වී ඇති බවයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට, 2014 අගදී, රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391ක්. 2018 අවසානය වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,978ක් දක්වා ඉහළ ගිහින් තිබුණා. පසුගිය ජූලි මාසය අවසන් වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 12,646ක් වෙලා. බැලූ බැල්මටම පෙනෙන විදිහට යහපාලන ආණ්ඩුව පැවති කාලය ඇතුළත රුපියල් බිලියන 5,255ක ණය අලුතින් අරගෙන තිබෙනවා. යහපාලන ආණ්ඩුව එපමණ ණය ගත්තානම් මේ සල්ලි වලින් කළේ කුමක්ද කියන ප්‍රශ්නය මතු වෙනවා.

රජයේ ණය ප්‍රමාණය මේ විදිහට වැඩි වී තිබෙන්නේ පසුගිය කාලය ඇතුළත මෙපමණ මුදලක් අලුතෙන් ණය සේ ලබා ගත් නිසා නෙමෙයි. ණය ප්‍රමාණය වෙනස් වන හේතු ගණනාවක් තිබෙනවා. යහපාලන ආණ්ඩුව විශාල ලෙස අලුතින් ණය ලබා ගෙන ඇති බව කීම බොරුවක්. ඒ වගේම, යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබාගත් ණය ගෙවුවා කියන එකත් බොරුවක්.

දෙවන කරුණට මුලින් ආවොත් යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂ ණය සතයක්වත් ගෙවා නැහැ. මෙයින් කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ගත් ණය වල වාරික යහපාලන ආණ්ඩුව විසින් නොගෙවූ බව නොවෙයි. සියලු ණය වාරික හා පොලිය නිසි පරිදි ගෙවා තිබෙනවා. එහෙත්, එසේ ණය ගෙවා තිබෙන්නේ අලුතින් ණය වී මිස ආදායම් උපයා නෙමෙයි. අලුත් ණයකින් පරණ ණයක් ගෙවීම ණය ගෙවීමක් සේ සලකන්න බැහැ. එසේ කළා කියා ණය අඩු වෙන්නේ නැහැ.

අනෙක් අතට යහපාලන ආණ්ඩුව විසින් අලුත් ණය වලින් රාජපක්ෂ ආණ්ඩුවේ ණය පියවා දැමූ පසුව ඒ අලුත් ණය යහපාලන ණය කියා කියන්න බැහැ. ඒ ණය තව දුරටත් රාජපක්ෂ ණයම තමයි. එකම ණය මුදලින් පරණ ණය ගෙවන්නත්, අලුත් සංවර්ධන වැඩ කරන්නත් බැහැ. ඒ නිසා, කිසියම් ආණ්ඩුවක් විසින් පරණ ආණ්ඩුවක ණය අලුත් ණය වලින් ගෙවා දැමූ විට ඒ අලුත් ණය සැලකිය යුත්තේ පරණ ආණ්ඩුවේ ණය ලෙසයි.

කොහොම වුනත් පසුගිය කාලයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,255කින් වැඩි වී තිබෙනවානේ. ඒ කියන්නේ අලුත් ණය වලින් පරණ ණය ගෙවීමට අමතරව මෙපමණකින් ණය වැඩි වී තිබෙනවා. එහෙමනම්, ඒ ප්‍රමාණය යහපාලන ආණ්ඩුවේ අලුත් ණයද?

ඒත් නැහැ. යහපාලන ආණ්ඩුව බලයට එන විට තිබුණු රජයේ ණය ප්‍රමාණය වූ රුපියල් බිලියන 7,391 වසර හතරකට පසුව ඒ විදිහටම තියෙන්නේ නැහැ. මේ ණය ප්‍රමාණයෙන් සතයක්වත් යහපාලන ආණ්ඩුව විසින් ගෙවා නැති නිසා වසරින් වසර ඒ ණයට පොලිය එකතු වෙනවා. ඒ පොලිය ගෙවන්නෙත් අලුත් ණය වලින් නිසා පොලියත් ණය ප්‍රමාණයට එකතු වී වැල් පොලී වෙනවා. මේ විදිහට ණය ප්‍රමාණය වසරින් වසර ඉහළ යනවා කියා කියන්නේ රජයට වියදම් කළ හැකි මුදලක් අතට ලැබුණා කියන එක නෙමෙයි. ඒ නිසා, ණය වැඩි වුවත් සිදු වූ දෙයක් නැති බව ඇත්ත.

පොලී එකතු වීමට අමතරව ණය ප්‍රමාණය වැඩි වන තවත් ආකාර තිබෙනවා. ඩොලරයක මිල ඉහළ ගිය විට ඩොලර් ණය ප්‍රමාණය ඉහළ නොගියත් ඒ ණය වල රුපියල් අගය වැඩි වෙනවා. නමුත්, එයින් අදහස් වෙන්නේ රජයට වියදම් කළ හැකි මුදලක් අතට ලැබුණු බව නෙමෙයි. ඩොලර් ණය වල අගය වෙනස්වනවා වගේම විවිධ හේතු මත සුරැකුම්පත් වල මිල වෙනස් වන විට රුපියල් ණය ප්‍රමාණයේ අගයත් වෙනස් වෙනවා. මේ අවස්ථා කිසිවකදී රජයට වියදම් කළ හැකි මුදලක් ලැබෙන්නේ නැහැ. නමුත්, ණය ඉහළ යනවා.

එහෙමනම්, යහපාලන ආණ්ඩුව ණය අරගෙනම නැද්ද?

කිසියම් වසරක් තුළදී රජය විසින් ඉපැයූ ආදායම් ඉක්මවා වියදම් කළොත් ඒ වෙනස පියවා ගන්න වෙන්නේ ණය වලින්. යහපාලන ආණ්ඩුව 2015දී ආදායම ඉක්මවා රුපියල් බිලියන 320ක් වැය කළා. රුපියලේ නාමික අගය අනුව බැලුවොත් මෙය වසරක් තුළ රජය ණය වූ විශාලම මුදලයි. ඒ ණය හා ඒ මත එකතු වූ පොලියත්, ණය මුදලේ වටිනාකම වෙනස් වීමත් සැලකිය හැක්කේ යහපාලන ආණ්ඩුව විසින් ලබාගත් අලුත් ණය ලෙසයි.

ඉන් පසුව, 2016දී යහපාලන ආණ්ඩුව විසින් ආදායම ඉක්මවා තවත් රුපියල් බිලියන 29ක් වැය කළා. නමුත්, 2017දී රුපියල් බිලියන 2ක් හා 2018දී රුපියල් බිලියන 91ක් ඉතිරි කළා. මේ සියලු ඉතිරි කිරීම් වලින් පසුවත් යහපාලන ආණ්ඩුව 2015දී වූ ණය ආවරණය වෙන්නේ නැහැ. පොලී හා වටිනාකම් වෙනස්වීම් සැලකූ විට 2018 අවසානයේදී වූ රජයේ ණය වලින් යහපාලන ණය ප්‍රමාණය රුපියල් බිලියන 377ක්. කෙසේ වුවත්, මේ ප්‍රමාණය රුපියල් බිලියන 11,978ක මුළු ණය ප්‍රමාණයෙන් 3.1%ක් පමණයි. ඒ කියන්නේ ඉතිරි 96.9%ම, එනම් රුපියල් බිලියන 11,601ක්ම පරණ ණය, පරණ ණය වල පොලිය හා පරණ ණය වල වටිනාකම වෙනස් වීම. යහපාලන ආණ්ඩුව ආදායම ඉක්මවා සතයක්වත් වියදම් නොකළත් රජයේ ණය ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 11,601ක් වෙලා.

එහෙමනම්, ඉතිරි රුපියල් බිලියන 11,601 රාජපක්ෂ ණයද?

ඉතිරි ණය වලින් සැලකිය යුතු කොටසක් රාජපක්ෂ ණය වුවත්, වැඩි ප්‍රමාණයක් රාජපක්ෂ ණය නෙමෙයි. 2004 අවසානය වන විටත් රජය රුපියල් බිලියන 2,140ක් ණය වී සිටියා. ඒ ණය වලට වසරින් වසර 2014 වන තුරුම රාජපක්ෂ ණය එකතු වුනා. රාජපක්ෂ ණය වලට වගේම පරණ ණය වලටත් පොලිය එකතු වී පොලිය වැල් පොලී වුනා, රුපියල පිරිහෙන විට විදේශ ණය වල රුපියල් අගය ඉහළ ගියා. 2014 අග වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391ක් වී 2018 අග වන විට රුපියල් බිලියන 11,601ක් වුනා. නමුත්, එයින් රාජපක්ෂ ණය ප්‍රමාණය ලෙස සැලකිය හැක්කේ රුපියල් බිලියන 2,210ක් හෙවත් 2018 මුළු ණය ප්‍රමාණයෙන් 18.5%ක් පමණයි. ඉතිරි කොටස රාජපක්ෂ ආණ්ඩුවට පෙර ආණ්ඩු වලින් උරුම වූ ණය.

නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු සියල්ලක්ම ණය වුනා මිස ණය ගෙවුවේ නැහැ. 2018 අගදී ලංකාවේ රජයේ ණය ප්‍රමාණය වූ රුපියල් බිලියන 11,978ට නිදහසින් පසු රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම දායක වී තිබෙනවා. වැඩිම දායකත්වය ජයවර්ධන ආණ්ඩුවෙන්. මා පෙරද ලියා ඇති පරිදි ලංකාවේ ණය අර්බුදය රාජපක්ෂ ආණ්ඩුවේ නිර්මාණයක් කියා කියන්න බැහැ . රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ගෙවුම් ශේෂ අර්බුදයක් නිර්මාණය කිරීමයි.



Saturday, November 30, 2019

ණයෙන් ණය ගෙවීම

ලංකාවේ රජය ණය ගෙවන්නේ අලුතෙන් ණය අරගෙන බව ගොඩක් අය දන්නා සරල කතාවක්. නමුත්, මේ කතාව ලංකාවේ රජයේ ණය අර්බුදයේ සැබෑ ස්වභාවය පැහැදිලි කිරීමට තරම් ප්‍රමාණවත් කතාවක් නෙමෙයි. ඇත්ත කතාව මීට වඩා ගොඩක් භයංකාර එකක්.

ණයෙන් ණය ගෙවීම ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. එය යහපාලන ආණ්ඩුව හෝ රාජපක්ෂ ආණ්ඩුව කාලයේ පටන් ගත් දෙයක්ද නෙමෙයි. ඒ තියා ජේආර්ගේ කාලයේ පටන් ගත් දෙයක්ද නෙමෙයි. අඩු වශයෙන් 1956 සිටම ලංකාව කළේ අලුත් ණය වලින් පරණ ණය පියවන එකයි. ඊට අමතරව 1992දී හැර 2016 දක්වා සෑම වසරකදීම ලංකාවේ රජය වාර්ෂිකව ඉපැයූ ආදායම් ඉක්මවා වියදම් කළා. ඒ වෙනස පියවා ගත්තේත් ණය වලින් නිසා ණය වසරින් වසර වැඩි වුනා.

පසුගිය 2016 හා 2017 වසර වලදී රජය වැය කළේ ඉපැයූ ආදායමට වඩා අඩු මුදලක්. මේ වසරේ වැය කරන්න ඇස්තමේන්තු කර තිබුණේත් උපයන ආදායමට වඩා අඩු මුදලක්. නමුත්, ඒ විදිහට කිසියම් වසරකදී ආදායමට වඩා අඩුවෙන් වියදම් කළා වුවත්, ඒ හේතුව නිසාම ණය ප්‍රමාණය පහළ යන්නේ නැහැ. ණය අඩු වෙන්නනම්, සියලු වියදම් වලින් පසුව ආදායමෙන් ඉතිරි කර ගන්නා මුදල අඩු වශයෙන් පරණ ණය වල පොලී ගෙවන්න ප්‍රමාණවත් විය යුතුයි.

පසුගිය දෙවසරේදී රජය යම් මුදලක් ඉතිරි කළත් පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්න තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කළේ නැහැ. ඒ නිසා, පරණ ණය ගෙවන්න වගේම පරණ ණය වල පොලිය ගෙවන්නත් අලුතින් ණය ගන්න වුනා. අලුත් ණය ගන්නේ පරණ ණය ගෙවන්නනම් ණය විශාල ලෙස වැඩි වෙන්නේ කොහොමද කියා කෙනෙකුට අහන්න පුළුවන්. ණය වැඩි වෙන්නේ පරණ ණය වලට අමතරව ඒ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ගෙවන්නත් අලුත් ණය ගත යුතු නිසයි. 2016 වන තුරුම වුනේ ඕකයි.

පරණ ණය ගෙවන්න අලුත් ණය ගත යුතුයි. පරණ ණය වල පොලිය ගෙවන්නත් අලුත් ණය ගත යුතුයි. ඊට අමතරව කිසියම් වසරක් තුළ රජය ආදායම ඉක්මවා කරන වියදම් පියවන්නත් අලුත් ණය ගත යුතුයි. පරණ ණය ගෙවන්න ගන්න අලුත් ණය නිසා රජයේ ණය ප්‍රමාණය වැඩි නොවුනත්, පරණ ණය වල පොලිය වෙනුවෙන් ගන්නා අලුත් ණය නිසා ණය ප්‍රමාණය ඉහළ යනවා.

කිසියම් වසරක රජයේ ආදායම් හා වියදම් සමානනම්, ඒ කියන්නේ ප්‍රාථමික ශේෂය ශුන්‍යනම්, අලුත් ණය ගන්න වෙන්නේ පරණ ණය වල පොලිය ගෙවන්න පමණයි. ප්‍රාථමික ශේෂය සෘණ අගයක්නම් සමස්ත අයවැය හිඟය ප්‍රාථමික ශේෂය ඉක්මවනවා. ඒ හිඟයට සමානව අලුත් ණය ගන්න වෙනවා. ප්‍රාථමික ශේෂය ධනනම් අයවැය හිඟය ප්‍රාථමික ශේෂයට වඩා අඩුයි. එහෙත්, ප්‍රාථමික ශේෂය වසරේ පොලී වියදමට වඩා අඩුනම් සමස්ත අයවැය ශේෂය හිගයක් නිසා අලුතෙන් ගන්න අවශ්‍ය ණය ප්‍රමාණය පරණ ණය ගෙවන්න අවශ්‍ය මුදලට වඩා වැඩියි. ඒ නිසා ණය වැඩි වන ප්‍රමාණය අඩු වෙනවා මිසක් ණය අඩු වෙන්නේ නැහැ. ණය වැඩි වන විට පොලී වියදමද වැඩි වෙනවා. පසුගිය දෙවසර තුළ සිදු වුනේ එයයි.

පහත රූප සටහනේ කහපාට තීරුවෙන් පෙනෙන්නේ දැනට ලබාගෙන තිබෙන ණය වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල වසරින් වසර වැල් පොලී වෙමින් ඉහළ යන ආකාරයයි. ප්‍රාථමික ශේෂය ධන අගයක් වුවත් මේ වැල් පොලී වීම නිසා ණය වැඩි වෙනවා. පසුගිය වසර කිහිපයේදී රජයේ ආදායම් විශාල ලෙස වැඩි කරගෙන හා වියදම් විශාල ලෙස කප්පාදු කර තිබියදීත් අයවැය හිඟය අඩු නොවී ස්ථාවර මට්ටමක තිබුණේ මේ ආකාරයට පරණ ණය වල පොලී වියදම් වසරින් වසර ඉහළ ගිය නිසයි. මේ ප්‍රවණතාව ඉදිරි වසර කිහිපයේදී වෙනස් වන එකක් නෙමෙයි.



Friday, November 29, 2019

ණය හා විනය

අලුත් ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව, මූලික වටයේදීම ගන්නා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක් ලෙස රජයේ බදු ප්‍රතිපත්ති ලිහිල් කරන බව නිවේදනය කර තිබෙනවා. මෙය අලුත් ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගයේ කොටසක් සේ හිතනවාට වඩා දේශපාලනික උපාය මාර්ගයක් සේ සැලකීම වඩා නිවැරදියි. බදු ප්‍රතිපත්තිය හරහා අපේක්ෂා කර තිබෙන්නේ ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලන වාසියක් ගැනීමයි. ඒ නිසා, මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි සිතිය හැකි ආර්ථික උපාය මාර්ග ගැන මේ ක්‍රියාමාර්ගය දෙස පමණක් බලා පුරෝකථනය කළ නොහැකියි.

මේ අයුරින්ම යහපාලන ආණ්ඩුව පිහිටවූ වහාම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විශාල ලෙස ඉහළ දැම්මා. ඒ හේතුව නිසා රාජ්‍ය වියදම් විශාල ලෙස ඉහළ ගියා. එහෙත්, 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව යහපාලන ආණ්ඩුව විසින් දිගින් දිගටම මහන්සි දැරුවේ රාජ්‍ය වියදම් අඩු කිරීම හා රාජ්‍ය ආදායම් ඉහළ දමා ගැනීම සඳහායි. මේ කාර්යයේදී පසුගිය ආණ්ඩුව විසින් නිදහසින් පසු ලංකාවේ කිසිදු ආණ්ඩුවක් විසින් නොපෙන්වූ තරමේ දැඩි මූල්‍ය විනයක් පෙන්නුම් කළා.

පසුගිය ආණ්ඩුව එසේ කටයුතු කළේ එය දේශපාලන සිය දිවි හානි කර ගැනීමක්ව තිබියදීයි. ඇතැම් විට සුළු ජාතික ඡන්ද වලින් ඉදිරි මැතිවරණ ජය ගත හැකි වනු ඇතැයි යන මිථ්‍යාවේ ගැලී සිටි නිසා ඔවුන් බය නැතුව මේ වැඩේට අත ගැහුවා විය හැකියි. එසේ නැත්නම්, වෙන කළ හැකි දෙයක් නැති වූ නිසා වියදම් සීමා කළා වෙන්නත් පුළුවන්. හේතුව කුමක් වුවත්, පසුගිය වසර හතර ආණ්ඩුවේ ආදායම් වියදම් පරතරය ඉතා විශාල ලෙස අඩු කර ගනිමින් ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නැවත නියම මාර්ගයට දමා ගත් සුවිශේෂී කාල පරිච්ඡේදයක්. ඒ වෙනුවෙන්, පසුගිය ආණ්ඩුවට විශාල ගෞරවයක් හිමි විය යුතුයි.

දැන් ආණ්ඩුව වෙනස් වී තිබෙනවා. මහ මැතිවරණය අවසන් වන තුරු මේ ආණ්ඩුවෙන් නිවැරදි ආර්ථික වැඩ පිළිවෙලක් අපේක්ෂා කරන්න බැහැ. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව මේ ආණ්ඩුවට නැවත රටේ ආර්ථිකය විනාශ මුඛයට යොමු නොකෙරෙන ආර්ථික වැඩ පිළිවෙලක් ගැන හිතන්නට වෙනවා. අලුත් ආණ්ඩුව මෙහෙයවන්නේ, බොහෝ දුරටම, පසුගිය රාජපක්ෂ ආණ්ඩුව මෙහෙයවූ අයම වුවත් මේ ආණ්ඩුව රාජපක්ෂ දශකයේ කටයුතු කළ ආකාරයෙන් වෙනස්ව කටයුතු කරන්න සූදානම්ව සිටින බව ප්‍රදර්ශනය කරමින් සිටිනවා. මේ තත්ත්වය දිගටම පවතීද නැද්ද යන්න ගැන සහතිකයක් නැතත් අශුභවාදී වීමට තවම කල් වැඩියි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ගණනාවක් අලුත් ආණ්ඩුවේ සිටියත් ඔවුන් අතර ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයෙකු නැතිවීම අඩුවක්. ඒ නිසා, ඔවුන්ට ඔවුන්ගේ කඳවුරේ සිටින වෙනත් අය කෙරෙහි විශ්වාසය තියන්න වෙනවා. පසුගිය රාජපක්ෂ දශකයේදී ලංකාවේ ආර්ථිකය විශාල අර්බුදයක් කරා තල්ලු කළේත් මේ කණ්ඩායමේ අයම වීම ප්‍රශ්නයක්. ඒ නිසා, නැවත පැරණි පාරටම වැටෙන්න තිබෙන ඉඩකඩ බැහැර කරන්නත් බැහැ. කොහොම වුනත් මේ සියලු කරුණු ගැන අප මෙහි සාකච්ඡා කරන්නේ නැහැ. හැම දෙයක්ම එකවර කතා කළොත් කොහොමටත් කියවන අයට බර වැඩි වෙයි. ඒ නිසා, දැනට එක් සරල කරුණකට පමණක් අවධානය යොමු කරමු.

අපගේ පෙර ලිපිය ආර්ථිකය ගැන කතා කළ එකක් නොවූවත් කිහිප දෙනෙකු විසින් රටේ ආර්ථිකය හා අදාළ කරුණු ගණනාවක් ගැන කතා කරමින් ප්‍රතිචාර දමා තිබුණා. මේ එක් ප්‍රතිචාරයක තෝරාගත් කොටස් දෙකක්.

"පහුගිය කාලේ රජයේ ආදායම් වලට සාපේක්ෂව වියදම් සෑහෙන්න වැඩිවුණා."

"එහෙනම් 2016-2019 ගහපු බදු ගැහිල්ලට අය වැය පරතරය පට්ට විදියට අඩුවෙලා තියෙන්න ඕනෙ.. ඒ වෙනුවට පරතරය තව තව වැඩි වෙලා තියෙන්නේ කියලා නම් පේනවා."

මේ කරුණු සඳහන් කළ පාඨකයා විසින් ලියා තිබෙන්නේ ඔහු හෝ ඇය ඇත්තටම සිතා සිටින දෙය විය හැකියි. ඒ වගේම, මෙය කියවන බොහෝ දෙනෙක් මෙන්ම මෙය නොකියවන රටේ සිටින බොහෝ දෙනෙක්ද මෙසේ සිතා සිටිනවා විය හැකියි.

පසුගිය කාලය රජයේ ආදායම් වලට සාපේක්ෂව වියදම් අඩු වූ කාලයක්. එවැනි කාලයක් ලංකා ඉතිහාසයේ මෑතකදී තිබුණේම නැහැ. 1956 සිට 2016 දක්වාම ලංකාවේ රජයේ ප්‍රාථමික අයවැය ශේෂය ධන අතට හැරුණේ එකම එක වසරකදී පමණයි. ඒත් යාන්තමින්. එහෙත්, 2017 හා 2018 වසර වලදී ප්‍රාථමික ශේෂය ධන අතට හැරවීමට පසුගිය ආණ්ඩුව සමත් වුණා. අප පසුගිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි හා පෙනී සිටින ප්‍රධානම හේතු අතරින් එකක් වන්නේ මේ වෙනසයි. පසුගිය ආණ්ඩුව විසින් කළ කැප කිරීම් නිසා මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීම දැන් ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. විය යුත්තේද එයයි.


ප්‍රාථමික අයවැය ශේෂය කියා කියන්නේ කුමක්ද?

ප්‍රාථමික අයවැය ශේෂය කියා කියන්නේ රජයේ සමස්ත ආදායම් හා වෙනත් ලැබීම් වලින් පොලී වියදම් හැර අනෙකුත් වියදම් අඩු කළ විට ඉතිරි වන මුදලයි. සමස්ත අයවැය ශේෂය කියා කියන්නේ මේ ඉතිරි මුදලින් පොලී වියදම්ද ගෙවූ පසු ඉතිරි වන මුදලයි. පොලී වියදම් කියා කියන්නේ පෙර වසර වලදී ලබාගත් ණය වෙනුවෙන් දැරිය යුතු වියදමක්. කිසියම් වසරක රජයේ වියදම් අඩු කළා කියා එම වසරේදීම මේ පොලී වියදම් අඩු වෙන්නේ නැහැ.

ප්‍රාථමික අයවැය ශේෂය සෘණ අගයක් ගන්නවා කියා කියන්නේ එම වසරේ රජයේ ආදායම් වලට වඩා වියදම් වැඩි බවයි. එසේනම්, ඒ අඩුව පුරවන්න වෙන්නේ ණය අරගෙනයි. ඊට අමතරව පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්නත් ණය ගන්න වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික ශේෂය සෘණ අගයක පවත්වා ගන්නා සෑම වසරකදීම රජයේ ණය ප්‍රමාණය ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි වසර වලදී ගෙවිය යුතු පොලී වියදමද එන්න එන්නම වැඩි වෙනවා. 1956 සිටම වුනේ මෙයයි. මේ චක්‍රයෙන් මිදෙන්නනම් අනිවාර්යයෙන්ම රජයේ ප්‍රාථමික අයවැය ශේෂය ධන අගයක පවත්වා ගන්න වෙනවා.

කාලයක් තිස්සේ සෘණ මට්ටමක තිබෙන ප්‍රාථමික අයවැය ශේෂය ධන අගයක් කළ හැක්කේ කොහොමද? ඒ සඳහා, එක්කෝ රජයේ ආදායම් වැඩි කරගත යුතුයි. නැත්නම් වියදම් අඩු කළ යුතුයි. පසුගිය ආණ්ඩුව සෑහෙන පමණකින් ඔය කටයුතු දෙකම කළා.

පොලී වියදම් හැරුණු විට ලංකාවේ ආණ්ඩුවේ පුනරාවර්තන වියදම් වලින් විශාල කොටසක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් හා තෝරාගත් කණ්ඩායම් වෙනුවෙන් ලබා දෙන සීමිත සහනාධාර වෙනුවෙනුයි. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්  වියදම් ක්ෂණිකව අඩු කිරීමේ හැකියාවක් නැහැ. කළ හැක්කේ මේ වියදම් තවත් වැඩි නොකර සිටීම පමණයි. ලංකාවේ රජය විසින් දැනට ලබා දෙන සහනාධාර කපන එකත් ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ නිසා, පසුගිය ආණ්ඩුව විසින් දිගින් දිගටම කළේ රජයේ ප්‍රාග්ධන වියදම් අඩු කරන එකයි. බොහෝ දෙනෙක් රාජපක්ෂ කාලයේදී මෙන් රටේ සංවර්ධනයක් සිදු නොවන බවක් දැක්කේත්, ආර්ථික වර්ධන වේගය අඩු වුනේත් මේ ප්‍රාග්ධන වියදම් කප්පාදුව නිසයි.

රජයකට ආදායම් ඉපැයිය හැකි ප්‍රධානම ආකාරය බදු ගැසීමයි. පසුගිය ආණ්ඩුවේ බදු ගැහීම ගැන කවුරුත් දන්න නිසා තවත් අමුතුවෙන් කිව යුතු නැහැනේ. ප්‍රාථමික අයවැය ශේෂය ධන අගයක් බවට පත් කර ගැනීමට පසුගිය ආණ්ඩුවට හැකි වුනේ මේ ආකාරයට බදු ඉහළ දමා ආදායම් වැඩි කර ගැනීමත්, ප්‍රාග්ධන වියදම් අඩු කිරීමත් යන දෙකම කළ නිසයි. මේ දේවල් කළේ ඇයි කියන එක ගැන රටේ ජනතාව නිසියාකාරව දැනුවත් කිරීමට පහුගිය ආණ්ඩුව සමත් නොවූ නිසා බොහෝ දෙනෙකු දකින්නේ ආණ්ඩුව බදු වැඩි කළත් කළ දෙයක් නැති බවයි.

පසුගිය ආණ්ඩුවේ සමහර අය කිවුවේ රාජපක්ෂලා ගත් ණය ගෙවීමට බදු වැඩි කරන්න සිදු වී තිබුණු බවයි. මේ කතාව එක්ක නිරායාසයෙන්ම මතු වෙන ප්‍රශ්නයක් වන්නේ බදු ගැහුවේ රාජපක්ෂ ණය ගෙවන්නනම් යහපාලන ආණ්ඩුව පැවති කාලයේදී ණය අඩු නොවුනේ ඇයි කියන එකයි. යහපාලන ආණ්ඩුවට ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම දේශපාලන උපාය මාර්ගයක් ලෙස රාජ්‍ය සේවක වැටුප් විශාල සේ වැඩි කළ බවත් කවුරුත් දන්නා දෙයක්. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේදී රජයේ ප්‍රාථමික අයවැය ශේෂය පෙර නොවූ විරූ තරම් (නාමික රුපියල් අගය අනුව) ඉහළ ගියා. එසේ වුවත්, ඉන් පසුව එම ආණ්ඩුව රජයේ ආදායම් වියදම් නිසි සේ කළමනාකරණය කළා. පසුගිය 2018 වසරේදී රජය ඉපැයූ ආදායමෙන් රුපියල් මිලියන 91,421ක් ඉතිරි කළා.

ලංකාව හිර වී සිටින ණය උගුලෙන් ගොඩ යාමටනම් ධන ප්‍රාථමික ශේෂයක් පවත්වා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක්. එහෙත්, එය කිසිසේත්ම ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි. ප්‍රාථමික ශේෂය ධන අගයක් වුවත්, එම ශේෂය පැරණි ණය වල පොලී ගෙවීමට ප්‍රමාණවත් නැත්නම්, පොලී ගෙවන්න තවත් ණය ගන්න වෙනවා. එවිට රටේ ණය ඉහළ යනවා. රටේ ණය ඉහළ ගිය විට ඉදිරි වසර වල පොලී වියදම් තවත් ඉහළ යනවා.

ඉතා අසීරුවෙන් ප්‍රාථමික ශේෂය ධන අගයක් කර ගෙන තිබුණත්, එම ශේෂය තවමත් රටේ වාර්ෂික පොලී වියදමට වඩා ගොඩක් වැඩියි. පසුගිය වසරේ රටේ වාර්ෂික පොලී වියදම රුපියල් මිලියන 852,190ක්. ඒ නිසා, සමස්ත අයවැය ශේෂය තවමත් හිඟයක්. මේ හිඟය පියවන්න අලුත් ණය අවශ්‍ය වූ නිසා පසුගිය සිවු වසර තුළත් වසරින් වසර රටේ ණය බර වැඩි වුනා. තිබෙන ණය ආපසු ගෙවීම පැත්තකින් තිබ්බත්, ණය තවත් වැඩි කර නොගැනීමටනම් වාර්ෂිකව පොලී වියදම් ගෙවීමට ප්‍රමාණවත් තරම් ප්‍රාථමික ශේෂයක් ඉතිරි කර ගත යුතුයි. ඒ කියන්නේ සමස්ත අයවැය ශේෂය ධන අගයක් විය යුතුයි.

පසුගිය ආණ්ඩුවේ සැලැස්ම වූයේ ඉදිරි වසර කිහිපය තුළදී මේ ඉලක්කය කරා යාමයි. රටේ ආර්ථික ස්ථාවරත්වය ගැන හිතනවානම් අලුත් ආණ්ඩුවටත් මෙවැනි ඉලක්කයක් තබා ගන්න වෙනවා. ඒ වගේම, ඒ ඉලක්කය කරා යා හැකි මූල්‍ය විනයක්ද අවශ්‍ය වෙනවා.

එවැනි මූල්‍ය විනයක් පවත්වා ගත්තත් මෙය පහසු වැඩක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව විසින් කළ සියලු දේවල් වලින් පසුවත් 2018 වසරේ ගෙවිය යුතු වූ ණය පොලිය එම වසරේ රජයේ සමස්ත ආදායම් හා ලැබීම් වලින් 44%ක්. ඉතිරි කරගත් ප්‍රාථමික ශේෂය ආදායම් හා ලැබීම් වලින් 5%ක් පමණයි. ප්‍රාථමික ශේෂය ධන වුවත්, මේ වෙනස රටේ ණය තොගයට අලුතින් එකතු වන නිසා 2019දී රජය විසින් ගෙවිය යුතු පොලී වියදම තවත් ඉහළ යනවා. ණය දිගින් දිගටම ඉහළ යාම නවත්වා ගන්නනම් ආදායමෙන් 44%කට වඩා ඉතිරි කරන්න වෙනවා. එය වසර පහ හයකින් ළඟා කර ගත හැකි ඉලක්කයක් නොවන නිසා මොන තරම් හොඳ මූල්‍ය විනයක් තිබුණත් තවත් වසර ගණනාවක් යන තුරු රටේ ණය බර එන්න එන්නම වැඩි වෙන එක වුනත් නවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා, ප්‍රාථමික ශේෂය කෙසේ හෝ ටිකෙන් ටික ඉහළ නංවා ගන්න එක අලුත් ආණ්ඩුවට කරන්නම වෙන දෙයක්.

Wednesday, November 27, 2019

සඳු සේ මුදු ඉර සේ සැර රජෙක්...


රටක පාලනය මෘදු හෝ දැඩි වෙන්නේ පාලකයාගේ චරිත ස්වභාවයට වඩා රටේ පවතින දේශපාලන බලතුලනයේ ස්වභාවය අනුවයි. පෙර ලිපිය මගින් අවධානය යොමු කරවන්න හැදුවේ මේ කරුණටයි. පාලනයට අභියෝගයක් නැති වූ විට චරිත ස්වභාවය අනුව පෞද්ගලික ජීවිතයේදී මෘදු පුද්ගලයක් වුවත් දරුණු ඒකාධිපතියෙක් සේ රූපාන්තරණය වෙන්න පුළුවන්. ඒ වගේම, රටේ දේශපාලන බලය පාලකයා වෙත කේන්ද්‍රගත වී නැත්නම්, රටේ ආයතනික පද්ධතිය ශක්තිමත්නම්, කොයි තරම් දැඩි පාලකයෙක්ට වුවත් ඒකාධිපතියෙකු සේ හැසිරෙන්න බැහැ.

කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත වී තිබෙන ඇමරිකාව වැනි රටවල පාලකයා ඒකාධිපතියෙකු සේ හැසිරීම වැළැකී තිබෙන්නේ රටේ මිනිස්සු සවිඥානකව සුදුසු චරිත ස්වභාව තිබෙන පුද්ගලයින් පාලකයින් සේ පත් කර ගැනීම නිසාම නෙමෙයි. එය එසේ නොවූ අවස්ථා පෙන්වීම අසීරු නැහැ. ඇමරිකාවේ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ස්ථාපිතව තිබෙන වෙනත් බොහෝ රටවලද පාලකයෙකු අත්තනෝමතික ලෙස හැසිරීමට තිබෙන ඉඩකඩ සීමා කර තිබෙන්නේ රටේ ආයතනික පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීම හරහා.

මෙය ආකාර කිහිපයකින් සිදු වෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලතුලනය ව්‍යවස්ථාව හරහා තහවුරු කර තිබෙනවා. දිගින් දිගටම, අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා, සිවිල් බලවේග ශක්තිමත්ව සිටීම රටේ ඓතිහාසික සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් කියා හිතන්න පුළුවන්. ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන රාජ්‍යයේ ප්‍රධාන කුළුණු තුන අතර තුලනය ප්‍රායෝගිකව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේත් මේ දෙවන කරුණ නිසා. මීට අමතරව ප්‍රධාන දේශපාලන පක්ෂ අතර බලය බෙදී යන ආකාරයේ බලපෑමකුත් තිබෙනවා.

කරුණු මෙසේ වුවත්, පාලකයෙකුගේ සාමාන්‍ය චරිත ස්වභාවය අනුව පාලනයේ ස්වභාවය වෙනස් නොවනවා කියා කියන්න බැහැ. ආයතනික ව්‍යුහය කොයි තරම් ප්‍රබල වුවත්, ප්‍රමාණවත් ජනතා බලයක් තිබෙන පාලකයෙකුගේ පුද්ගල ස්වභාවය රටට බලපෑමක් කරන එක වලක්වන්න බැහැ. ඒ නිසා, ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සු පාලකයෙකු තෝරා ගැනීමේදී මේ පුද්ගල සාධක ගැනත් සැලකිලිමත් වෙනවා.

රටක පාලකයෙක් සේ මිනිස්සු හොයන්නේ මොන වගේ චරිත ලක්ෂණ තිබෙන පුද්ගලයෙක්ද?

ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් කියා කියන්නේ එක පැත්තකින් අපේ නියෝජිතයෙක්. අපේ නියෝජිතයෙක් කියා කියන්නේ අපට අවශ්‍ය දේ අප‍ට අවශ්‍ය අයුරින් කිරීම සඳහා අප විසින් තෝරා ගන්නා අයෙක්. මෙවැනි පුද්ගලයෙකු අපට අවශ්‍ය දේ මිස තමන්ට අවශ්‍ය දේ කරලා හරියන්නේ නැහැ. ඒ නිසා, ඔහු හෝ ඇය අපට සවන් දෙන අයෙකු විය යුතුයි. අපට අවශ්‍ය දෙය වෙනස් වන විට ඒ බව දැනෙන තරම් අපට සමීප මෘදු, සංවේදී පුද්ගලයෙක් විය යුතුයි. අපේ අදහස් නොතකා තමන්ට හෝ වෙනත් අයට අවශ්‍ය දේ කරන අයෙකු නොවිය යුතුයි.

හැබැයි පාලකයා මේ ආකාරයට අපට සවන් දෙන මෘදු, සංවේදී පුද්ගලයෙක් වුවත් ඔහු හෝ ඇය සංවේදී විය යුත්තේ අපේ (මගේ) අවශ්‍යතා ඉටු කරන තරමට පමණයි. ඔහු හෝ ඇය රටේ හැම දෙනාගේම අදහස් අහන, ක්‍රියාත්මක කරන තරමට සංවේදී නොවිය යුතුයි. වෙනත් අයට අවශ්‍ය, අපට අවශ්‍ය නොවන දේ නොකරන තරමට පාලකයා දැඩි විය යුතුයි. ඒ දේවල් නොකරන බව සෘජුව කිව හැකි කොන්දක් පාලකයාට තිබිය යුතුයි. නායකයෙක් කියා කියන්නේ එහෙම කෙනෙක්ටයි.

තවත් විදිහටකට කියනවානම් පාලකයා මට අවශ්‍ය දේ මටත් කලින් දැනගෙන මට අවශ්‍ය විදිහටම කරන මෘදු, සංවේදී පුද්ගලයෙක් විය යුතුයි. (ඒක දැනගන්න ටෙලිපති නැත්නම් හැමදාම උදේ නැගිට්ට ගමන් මගේ මුහුණු පොතේ උඩ ඉඳලා පහළට ගිහින් බැලුවත් කමක් නෑ!) ඒ එක්කම මේ පුද්ගලයා මා හැර වෙනත් අය කියන කියන දේවල් නොකර සෘජුව ප්‍රතික්ෂේප කරන දැඩි පුද්ගලයෙකුත් විය යුතුයි. (පොඩි දඬුවමක් දුන්නටත්, නැත්නම් ඊටත් වඩා දරුණු ක්‍රියාමාර්ගයක් ගත්තත් අපි මොකුත් කියන්නේ නෑ!)

දැන් මෙතැන තිබෙන මනෝ විද්‍යාත්මක පැත්ත බැලුවොත් අපි හොයන්නේ අපේ අම්මගෙනුයි තාත්තාගෙනුයි ලැබුණු දේවල් දෙවර්ගයම තිබෙන පැකේජ් එකක්. බඩගිණි වුනහම, නිදිමත වුනහම අම්මට වගේ දැනෙන්න ඕනෑ. තාත්තා ළඟ ඉන්න කොට දැනෙන රැකවරණය, ආරක්ෂාවත් දැනෙන්න ඕනෑ. සඳු සේ මුදු ඉර සේ සැර පාලකයෙක්!

මිනිස්සුන්ට මැතිවරණයකදී වඩා ආකර්ශනීය වෙන්නේ මේ ගුණාංග දෙක අවශ්‍ය පමණට මුසු වූ අයයි. අවශ්‍ය මුසුව අවස්ථාව අනුව වෙනස් වෙනවා. තමන්ට අවශ්‍ය දේ කර ගැනීම ප්‍රමුඛතාවය වූ විට මෘදු ගුණාංග වලට ඉල්ලුම වැඩි වෙනවා. වෙනත් අයට අවශ්‍ය දේ කර ගැනීම වැළැක්වීම ප්‍රමුඛතාවය වූ විට දැඩි ගුණාංග වලට ඉල්ලුම ඉහළ යනවා. යුද්ධ, ත්‍රස්තවාදී තර්ජන, සැබෑ හෝ මවාගත් සතුරන් පෙනෙන විට දැඩි පාලකයෙක්ගේ අවශ්‍යතාවය මතු වෙනවා. පාලකයාගේ දැඩිකම තමන්වම පීඩාවට පත් කරන බව තේරුණු විට මෘදු පාලකයෙක්ගේ අවශ්‍යතාවය මතු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන අපූර්වත්වය වන්නේ රටේ මිනිස්සුන්ට යම් අවස්ථාවක තිබෙන ප්‍රමුඛ අවශ්‍යතාවය අනුව ගැලපෙනම පාලකයා තෝරා දෙන්න එම ක්‍රමයට හැකිවීමයි.

තමන්ටම පීඩනයක් දැනුනත්, මුදු පාලකයෙක් වෙනුවට දැඩි පාලකයෙක්ව හොයන වෙලාවලුත් තිබෙනවා. එහෙම වෙන්නේ තමන්ටම තමන් ගැන විශ්වාසයක් නැති වූ වෙලාවට. තාත්තගේ තීරණය තමන්ගේ තීරණයට වඩා හොඳ එකක් කියා දරුවෙක් විශ්වාස කරනවා වගේ. ඒ වගේ වෙලාවට තාත්තගෙන් පාරක් කෑවත්, ටිකක් තරහා ගියත්, තාත්තා ගැන ආදරය වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. පාරක් ගැහුවත් අපේම හොඳටනේ!

යම් පුද්ගලයෙකුට මැතිවරණයකදී ඉදිරියට එන්නනම් තමන්ගේ දැඩි හා මුදු ගුණ දෙවර්ගයම ප්‍රදර්ශනය කරන්න වෙනවා. එක් තැනක යමෙක් සටහන් කර තිබුණේ රණසිංහ ප්‍රේමදාස විසින් කළේයැයි සැලකෙන ඇතැම් දරුණු ක්‍රියා ගැන ලියූ මාධ්‍යවේදීන් කිසිවෙකුට ඔහුගෙන් කවදාවත් හිරිහැරයක් වී නැති බවයි. එහි අදහස තමන් දරුණු පාලකයෙකු බව ප්‍රචාරය වනවාට ඔහු කැමැත්තෙන් සිටි බවයි. ඒ අතරම දුප්පතාගේ දුකට සංවේදී පුද්ගලයෙකු ලෙස මෘදු ප්‍රතිරූපයක් හදා ගැනීමටද ඔහු සමත් වුනා.

ගැහැණියක් තමන්ගේ මෘදු බව අමුතුවෙන් තහවුරු කළ යුතු නැහැ. ගැහැණියක් වූ පමණින්ම නිරායාසයෙන්ම මෘදු බව තහවුරු වෙනවා. ගැහැණියකට අසීරු දැඩි බව තහවුරු කිරීමයි. යකඩ ගැහැණිය වැනි යෙදුම් දේශපාලනයේදී හොඳින් අළෙවි වන්නේ ඒ යෙදුමේ දැඩි හා මෘදු ගුණ දෙකම හොඳින් පැකේජ් වී ඇති නිසයි. සුන්දර නාරි දේහයක් ඇතුළෙන් ගොරෝසු පිරිමි කටහඬක් ඇහෙන කොටත් මේ ගුණාංග දෙකම මතු වෙනවා. "ධනවාදයට මානුෂික මුහුණුවරක් දීම" වැනි කතා වලිනුත් යමෙකුට මේ ගුණාංග දෙකම එක වර ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ධනවාදය කියන්නේ කුමක්ද කියා නොදන්න, කාලයක් තිස්සේ සමාජවාදීන්ගෙන් ධනවාදය ගැන ඉගෙනගෙන තිබෙන ලංකාවේ ගොඩක් අයට ධනවාදය කියන්නේ හරියට හීලෑ කර ගත්තොත් වැඩ ගොඩක් ගන්න පුළුවන් භයානක, නමුත් නැතිවම බැරි, යකෙක්. ධනවාදයට මානුෂික මුහුණුවරක් දෙනවා කියපු ගමන් මේ දරුණු යකාට මෘදු ගතියක් ආරෝපණය වෙනවා.

මහින්ද රාජපක්ෂ මුලින්ම ප්‍රසිද්ධ වුනේ මානව හිමිකම් ගැන සංවේදී මෘදු පුද්ගලයෙක් වගේම, අතුරුදහන් වූ තරුණයින් ගැන කතා කරන්න හා ඔවුන් වෙනුවෙන් ජීනීවා යන්න තරම් බය නැති දැඩි පුද්ගලයෙක් විදිහටයි. ජනාධිපති වී සිටියදී ඔහු මේ දැඩි හා මෘදු ප්‍රතිරූප දෙකම හොඳින් නඩත්තු කළා. එක පැත්තකින් බටහිර බලවේග වලට නොනැමී යුද්ධය දිගටම කර ගෙන යන්න තරම් දැඩි පෞරුෂත්වයක්. අනිත් පැත්තෙන් අහම්බෙන් හමු වෙන කාගේ හෝ දරුවෙකු වඩාගෙන හුරතල් කරන සංවේදී මනුස්සයෙක්!

රනිල් වික්‍රමසිංහට කවදාවත් ඔය මෘදු, සංවේදී ප්‍රතිරූපය හදා ගන්න පුළුවන් වුනේ නැහැ. සමහර විට පෞද්ගලික ජීවිතයේදී ඔහු මෘදු, සංවේදී පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. ඒ ගැන දන්නේ ඔහු සමඟ ලඟින් සිටි අයයි. එය එසේ වුවත් නොවුවත්, රටේ මිනිස්සු හිතන ආකාරය සමඟ සුසර වෙන්න රනිල් වික්‍රමසිංහට කවදාවත්ම හැකි වුනේ නැහැ. එහෙත්, ඔහුට යම් දැඩි ප්‍රතිරූපයක් තිබුණා. දැඩි කියන එකෙන් අදහස් වෙන්නේ අපේ යහපත වෙනුවෙන් අපට වඩා හොඳින් යමක් කළ හැකියි කියන අදහසයි. නායකයෙක් මෙවැනි අයෙක් කියා දැනෙන විට ඔහු හෝ ඇය කරන්නේ මොනවාද කියා නොතේරුණත් විශ්වාසය මත පදනම්ව ඔහුට අවස්ථාව දෙන්න මිනිස්සු පෙළඹෙනවා. බැඳුම්කර චෝදනා එල්ලවන තුරු රනිල්ට මිස්ටර් ක්ලීන් ප්‍රතිරූපයක් තිබුණා. එජාපයට ආර්ථිකය ගොඩදැමිය හැකි බවට විශ්වාසයක් රටේ තිබුණා. විපක්ෂයෙන් එල්ල කළ බටලන්ද කතා නිසා රනිල්ගේ දැඩි ප්‍රතිරූපය තවත් තහවුරු වුනා.

එජාපය විසින් රනිල් වෙනුවට සරත් ෆොන්සේකාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී වෙනසක්. යම් හෙයකින් සරත් ෆොන්සේකා ජනාධිපති වුනානම් ඔහුට විධායක බලය ලැබුණත් දේශපාලන බලය ලැබෙන්නේ රනිල්ටයි. ඒ නිසා, ඒ වෙලාවේ කිසිවෙකුටත් රනිල්ගෙන් වියුක්තව  සරත් ෆොන්සේකා පුද්ගල චරිතය දෙස බලන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඒ වන විට යුද්ධයේ අවසන් අදියරේ කටයුතු කළ ආකාරයෙන් මහින්දගේ දැඩි ප්‍රතිරූපය රටේ ඉතා හොඳින් තහවුරු වී තිබුණා. කොටින්ම ඔහු ජාතියේ අප්පච්චී වෙලා තිබුණා. නමුත්, යුද්ධය අවසන් නිසා ඒ වෙලාවේ මිනිස්සු හෙවුවේ සාපේක්ෂව මෘදු ප්‍රතිරූපයක්. ටිකෙන් ටික දියාරු වෙමින් තිබුණත් මහින්දට ඒ වන විටත් රනිල්ට නොතිබුණු මෘදු ප්‍රතිරූපයක් තිබුණා. ඒ නිසා, රනිල්ට මහින්දගේ ප්‍රතිරූප දෙකෙන් එකක් එක්කවත් තරඟ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. රනිල් වෙනුවට තරඟයට දමපු සරත් ෆොන්සේකාට රනිල්ට තරමටවත් මෘදු ප්‍රතිරූපයක් තිබුණේ නැහැ. ඔහුට මහින්දව පැරදවිය හැකි දැඩි ප්‍රතිරූපයක් තිබුණා. එහෙත්, යුද්ධය අවසන් වීමෙන් පසුව මිනිස්සුන්ට මහින්දටත් වඩා දැඩි පාලකයෙක් අවශ්‍ය වුනේ නැහැ.

සරත් ෆොන්සේකා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන චරිතය ආදේශ කළ පසු තත්ත්වය වෙනස් වුනා. ඒ වෙලාවේ, මිනිස්සු දැක්කේ රාජපක්ෂ පාලනය ඕනෑවට වඩා දැඩි එකක් බවයි. මෛත්‍රීපාල සිරිසේන චරිතය මහින්ද රාජපක්ෂ චරිතයට වඩා මෘදු එකක් බව පෙනෙන්න තිබුණා. නමුත්, ඔහු අවශ්‍ය පමණ දැඩි ගුණය ප්‍රදර්ශනය කළේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ චරිත දෙකම එකට ගත් විට මහින්ද රාජපක්ෂ චරිතය සමඟ තරඟයක් දිය හැකි පැකේජ් එකක් හැදුණා. එක පැත්තකින් මහින්දට වඩා මෘදු, සංවේදී මෛත්‍රී. බාල සෙරෙප්පු දමන, බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරන, පොළොවෙන් මතු වූ නායකයා. අනෙක් පැත්තෙන් අවශ්‍ය පමණ දැඩි රනිල්. ටයි කෝට් අඳින, අපි වෙනුවෙන් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන, අපි වෙනුවෙන් අපිට නොතේරෙන මොකක් හෝ දෙයක් කරන්නට යන නායකයා. 2015දී මහින්දව අතහැර යහපාලනයට මාරු වූ නාගරික පිරිස් රනිල්ගෙන් බලාපොරොත්තු වුනේ, තමන්ට පීඩාකාරී නොවන තරමට මුදු, රට හදන දැඩි පාලනයක්.

යහපාලන ආණ්ඩුවෙන් මේ පිරිස් බලාපොරොත්තු වූ තමන්ට නොතේරෙන පුදුම සහගත දෙය කවදාවත් ඉටු වුනේ නැහැ. තමන්ගේ තොප්පිය ඇතුළේ මැජික් කිසිවක් නැති බව රනිල්ගේ ආණ්ඩුව දිගින් දිගටම පෙන්නුවා. යහපාලන ආණ්ඩුවට 2015දී ඡන්දය දුන් අයට මෘදු පාලනයක් ලැබුණා. එහෙත්, අවශ්‍ය පමණ දැඩි පාලනයක් ලැබුණේ නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය තමන්ට සවන් දෙන ආණ්ඩුවක් මිසක් රටේ හැම දෙනාටම සවන් දෙන ආණ්ඩුවක් නෙමෙයි. තවත් විදිහකින් කිවුවොත් පුද්ගලයෙක් ලෙස මෛත්‍රීපාල ප්‍රතිරූපයෙන් අපේක්ෂා කළ දේවල් වුනා. ඒත් රනිල් ප්‍රතිරූපයෙන් අපේක්ෂා කළ දේවල් වුනේ නැහැ. ඒ නිසා, 2019දී මිනිස්සු හෙවුවේ සාපේක්ෂව දැඩි ප්‍රතිරූපයක්.

ගෝඨාභය රාජපක්ෂ හරහා මිනිස්සු හොයපු දැඩි ප්‍රතිරූපය හමු වුනා. ඒ දැඩි ප්‍රතිරූපය සමඟ එජාපයේ රනිල්ට, සජිත්ට හෝ කරු ජයසූරියට තරඟ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. කොහොම වුනත්, ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිරූපය මිනිස්සු හෙවුවට වඩා වැඩියෙන් දැඩි ප්‍රතිරූපයක්. ගෝඨාභය මහින්ද මෙන් දරුවන් සුරතල් කළේ නැහැ. වැඩිහිටියන්ව සුරතල් කළේත් නැහැ. ඒ වුනත්, 2010දී හා 2015දී එජාපය කළා වගේම මෙවර රාජපක්ෂ කඳවුර විසින් ඉදිරිපත් කළේත් පැකේජ් එකක්. මෙවර දැඩි ප්‍රතිරූපය ගෝඨාභයගේ. මෘදු, සංවේදී ප්‍රතිරූපය මහින්දගේ.

එජාපයට මෙවර තරඟ කරන්න සිදු වී තිබුණේ මහින්ද-ගෝඨාභය පැකේජ් එක එක්කයි. එය 2015දී තනි මහින්ද සමඟ රනිල් හා මෛත්‍රී තරඟ කළ තරම් පහසු කටයුත්තක් වුනේ නැහැ. මේ වැඩේට රනිල් සමඟ තවත් පුද්ගලයෙකු පැකේජ් කළ යුතු වුවත් ඒ පුද්ගලයා තෝරා ගන්න තිබුණේ එම කඳවුරේ සිටි අය අතරිනුයි.

රනිල් කොහොමටත් පැකේජ් එකේ කොටසක් නිසා එජාපයට පටන් ගන්න වුනේම අවාසිදායක තැනකින්. රනිල්ට මහින්ද හෝ ගෝඨාභය සමඟ තරඟ කළ හැකි දැඩි ප්‍රතිරූපයක් තිබුණේ නැහැ. මහින්දට සාපේක්ෂව මෘදු ප්‍රතිරූපයක් තිබුණෙත් නැහැ. කරු ජයසූරිය ප්‍රතිරූපයේත් වැඩි වෙනසක් තිබුණේ නැහැ.

රනිල්, කරු, සජිත් අතරින් ඔය අංශ දෙකම සැලකූ විට වැඩියෙන්ම ඉස්සරහින් හිටියේ සජිත්. එහෙත්, ඔහුටත් මහින්ද සමඟ තරඟ කළ හැකි මෘදු ප්‍රතිරූපයක් හෝ ගෝඨාභය සමඟ තරඟ කළ හැකි දැඩි ප්‍රතිරූපයක් තිබුණේ නැහැ. කෙටියෙන් කියනවානම්, රනිල්, කරු, සජිත් තිදෙනාගෙන් කවුරු ආවත් මහින්ද-ගෝඨාභය පැකේජ් එක සමඟ තරඟ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා, පුද්ගල ප්‍රතිරූප අනුව බැලුවොත් රාජපක්ෂ කඳවුර මුල සිටම සිටියේ ප්‍රතිවාදී පිලට වඩා ඉදිරියෙන්.

රාජපක්ෂලා හමුවේ දැන් තිබෙන අභියෝගය මේ ප්‍රතිරූප දෙකම සමතුලිත ලෙස දිගටම නඩත්තු කරන එකයි.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...