භාණ්ඩයක වටිනාකම කියන දෙය ඇති වන්නේ ඉල්ලුම මත කියන එක පෙන්වන්න පුළුවන් හොඳම තැන මිල අධික කලා කෘති සඳහා තිබෙන වෙළඳපොළයි. කලා ආර්ථික විද්‍යාඥයින් විසින් මේ වෙළඳපොළ ගැන හදාරනවා.
කලා ආර්ථික විද්‍යාව (Art Economics) අලුත් හා ඉතා කුඩා අනු ක්ෂේත්‍රයක්. මේ විෂයයේ ප්‍රවීණයින් ඉන්නේ අතළොස්සක් පමණක් නිසා ඔවුන් ලොව පුරා විසිරී සිටියත් එකිනෙකා හොඳින් හඳුනන කුඩා කණ්ඩායමක්. මගේ මිතුරියක්ද මේ කණ්ඩායමේ සාමාජිකාවක්. ඔවුන් වසර කිහිපයක සිට ලෝක කලා කෘති වෙළඳාම පිළිබඳ වාර්ෂික වාර්තාවක්ද එළි දක්වනවා.
පසුගිය වසරේ දත්ත අනුව ලෝක කලා කෘති වෙළඳාම ඇමරිකන් ඩොලර් බිලියන 67.4ක්. මේ මුදල ආසන්න වශයෙන් 2018 වසරේදී ලංකාවේ රජයේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණයට සමානයි. මෙයින් ඩොලර් බිලියන 29.9ක් එනම් මුළු වෙළඳාමෙන් 44%ක් සිදු වුනේ ඇමරිකාවේදී. එක්සත් රාජධානියේ ඩොලර් බිලියන 14.0ක වෙළඳාමකුත්, චීනයේ ඩොලර් බිලියන 12.9ක වෙළඳාමකුත් සිදු වුනා. ලෝක කලා කෘති වෙළඳාමේ ප්‍රමුඛයින් වන්නේ ඇමරිකාව, එක්සත් රාජධානිය හා චීනයයි.
බොහෝ වෙළඳපොළවල් වල දැකිය හැක්කේ ඉතා විශාල පාරිභෝගික පිරිසක් හිටියත් නිෂ්පාදකයින් සීමිත ප්‍රමාණයක් පමණක් සිටීමයි. ඒ නිසා, පාරිභෝගිකයෙකුට සාමූහිකව මිස තනිව වෙළඳපොළට බලපෑමක් කරන්න අමාරුයි. නමුත්, කලා කෘති වෙළඳපොළේ දැකිය හැක්කේ තනිකරම එහි අනිත් පැත්තයි. මේ වෙළඳපොළේ නිෂ්පාදකයින් අති විශාල පිරිසක් හිටියත් පාරිභෝගිකයින් ඉන්නේ ඉතාම සීමිත පිරිසක් පමණයි. මේ පිරිස වන්නේ කලා කෘති එකතු කිරීමට කැමැත්තක් දක්වන බිලියනපතියන් දෙසීයක පමණ පිරිසක්. ඒ අයගෙන් කෙනෙකුට ටේප් පටියක් ගැසූ දක්ෂිණාවර්ත කෙහෙල් ගෙඩියක මිල රුපියල් කෝටි දෙකක් දක්වා නග්ගවන්න පුළුවන්.
බොහෝ විට පැරණි වන තරමට කලා කෘතියක මිල ඉහළ යනවා. ඒ නිසා, ජීවත් වන කලාකරුවන්ගේ නිර්මාණ වලට වඩා වැඩි මිලක් මියගිය කලාකරුවන්ගේ නිර්මාණ වලට ලැබෙනවා. පහතින් තියෙන්නේ පසුගිය වසරේදී වැඩිම මිලකට විකිණිනු ජීවත්වන කලාකරුවෙකුගේ කලා නිර්මාණයයි.
"කලාකරුවෙකුගේ ප්‍රතිබිම්බය- Portrait of an Artist (Pool with Two Figures)" ලෙස නම් කර තිබෙන මෙය බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියෙකු වන ඩේව්ඩ් හොක්නිගේ චිත්‍රයක්. 2018 නොවැම්බර් 15 වනදා මේ චිත්‍රය ඇමරිකන් ඩොලර් 90,312,500කට වෙන්දේසි වුනා. මේ චිත්‍රය 1972දී මුලින්ම විකුණා තිබෙන්නේ ඩොලර් 18,000ක මුදලකටයි. එසේ මිල දී ගත් ජේම්ස් ඇස්ටර් සහ ඔහුගේ බිරිඳ විසින් මාස හයක් යන්නත් කලින් එය ඩොලර් 50,000ක මුදලකට විකුණා තිබෙනවා.
මාස හයක කාලයක් පුරා වැඩිම මිලකට අලෙවි වුනු ජීවත් වන කලාකරුවෙකුගේ කලා නිර්මාණය ලෙස වාර්තාව දැරුවේ ඩේවිඩ් හොක්නිගේ "කලාකරුවෙකුගේ ප්‍රතිබිම්බය" චිත්‍රයයි. එහෙත්, පසුගිය 2019 මැයි 15 දින මේ වාර්තාව කැඩුනා. ඒ ජෙෆ් කූන්ගේ "හාවා" ඩොලර් මිලියන 91.1කට වෙන්දේසි වීමත් සමඟයි. මේ වානේ හාවාව මිල දී ගත්තේ ඇමරිකන් බිලියනපතියෙකු හා කලා කෘති එකතු කරන්නෙකු වන ස්ටීවන් ඒ. කොහේන් විසිනුයි. බොහෝ තැන් වල කතා කර ඇති ඩේමියන් හර්ස්ට්ගේ ෆෝමැල්ඩිහයිඩ් වල ගිල්වූ මෝරාව (The Physical Impossibility of Death in the Mind of Someone Living) මිල දී ගත් පුද්ගලයාත් මොහුයි.
මේ තරම් අධික මිල ගණන් වලට කලා කෘති විකිණෙන්නේ ඇයි කියන ප්‍රශ්නය කාට හරි අහන්න පුළුවන්. බොහෝ අය කතා කරන "මිල කළ නොහැකි කලා කෘති" කියා දේවල්නම් නැහැ. ඒක ඔය කලාකාරයින්ව රවට්ටන්න වෙන අය කියන කතාවක්. එහෙම නැත්නම් කලාකාරයින් විසින් තමන්වම රවට්ටා ගෙන සතුටු වන ආකාරයක්. ඕනෑම දෙයකට මිලක් තියෙනවා. කලාකෘතියක මිල මේ තරමටම ඉහළ යන්නේ එවැනි මිලක් ගෙවා කලාකෘතියක් මිල දී ගන්න සූදානම් අය ඉන්න නිසයි.
ස්ටීවන් කොහේන් වගේ බිලියනපතියෙක් ඩොලර් මිලියන අනූ එකකට කලා කෘතියක් මිල දී ගන්නේ ඔහුට ඒ කලා කෘතිය ගෙවන මුදලට වඩා වටින නිසයි. මේ කතාව දෙවිදිහකින් විග්‍රහ කළ හැකියි. එක්කෝ කලාකෘතිය ඒ මුදලේ තරමටම වටිනවා. එහෙම නැත්නම් අදාළ මුදල කලාකෘතිය තරමට වටින්නේ නැහැ.
කලාකෘතියක වගේම මුදල් වල වටිනාකමත් සාපේක්ෂයි. ඩොලර් මිලියනයක් අපි බොහෝ දෙනෙකුට වටින තරමට කොහේන්ට වටින්නේ නැහැ. වෙනත් බිලියනපතියන් බොහෝ දෙනෙකුට වටින්නේත් නැහැ. ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයින්ගේ වත්කම් බොහොමයක්ම කොටස් හිමිකම්. සමාගම් කොටසක වටිනාකමත් කලාකෘතියක වටිනාකම වගේම ඉල්ලුම මතයි තීරණය වෙන්නේ. ඒ නිසා, තමන්ගේ වත්කම් සමාගම් කොටස් වලින් තියා ගත්තත් කලාකෘති ලෙස තියා ගත්තත් වැඩි වෙනසක් නැති බව මේ බිලියනපතියන් ගොඩක් අය දන්නවා. ඒ නිසා, ටේප් එකක් ගැසූ කෙසෙල් ගෙඩියක් වෙනුවෙන් වුවත් විශාල මුදලක් අත් හැර දමන්න නොපැකිලෙන අය ඔවුන් අතර ඉන්නවා.
මේ වගේ කලාකෘතියක් ඩොලර් බිලියන ගණනකට විකිණුනහම ඉහළම ස්ථරය අතේ එක්රැස් වී තිබෙන ධනයෙන් යම් කොටසක් පහළට එනවා. ඒ මුදල් කලාකරුවන් අතර වගේම මේ කර්මාන්තයේ අතරමැදියන් සේ කටයුතු කරන විශාල පිරිසක් අතර බෙදී යනවා. ඒ නිසා, කලාකෘති වෙළඳපොල කියන්නේ එක පැත්තකින් ඉහළ ස්ථරය අතේ එක්රැස් වෙන ධනය පහළට කාන්දු කරන යාන්ත්‍රණයක්.
Sunday, December 15, 2019
කලා කෘති වල වටිනාකම
Labels:
ආර්ථික විද්‍යාව,
ආවස්ථික පිරිවැය,
කලාව,
චිත්‍ර
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
වැදගත් ලිපියක්.. කළු සල්ලි සුදු කිරිමක් කලාකෘති වෙළදපොල පසුපස තියනවා කියල අහල තියනවා.
ReplyDeleteකවදහරි දවසක "වෝල් ආර්ට්" වලටත් හොඳ කලක් ඒවිද?
ReplyDeleteමම ලියමින් ඉන්නා ලිපියකටත් වැදගත් කරුණු කිහිපයක් නිකම්ම ලැබුණා. ස්තුතියි ඉකොනෝ!
ReplyDelete