රටේ විධායකය ක්‍රියා කර ඇති ආකාරය ව්‍යවස්ථානුකූලද නැද්ද කියන කරුණ රටට දිගුකාලීනව ලොකුවටම බලපාන කරුණක්. නමුත්, එය නිරාකරණය කර ගැනීමට කිසිදු පාර්ශ්වයක් උත්සාහ දරන බවක් පෙනෙන්නේ නැහැ. ප්‍රමුඛත්වය ලැබී තිබෙන්නේ ආණ්ඩු බලය ලබාගැනීම/ පවත්වා ගැනීම කියන කරුණටයි.
නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන බලකණු තුන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කොටස් තුනයි. ඇමරිකාව වැනි රටක රාජ්‍ය ආකෘතිය හැදී තිබෙන්නේ මේ අංග තුන අතර සෑහෙන තරමේ බල තුලනයක් සහිතවයි. එක්සත් රාජධානිය වැනි රටවල ව්‍යවස්ථාදායකය විධායකයට වඩා බලවත්.
ලංකාව නිදහස ලැබූ තැන් පටන්, 1978 ව්‍යවස්ථාව හඳුන්වා දෙන තුරුම තිබුණේ පාර්ලිමේන්තුවට යටත් නාමික විධායක ජනාධිපතිධුරයක්. නමුත්, 1978 ව්‍යවස්ථාවෙන් එය වෙනස් වී පූර්ණ විධායක ජනාධිපති ධුරයක් ඇති වුණා. 2015 අප්‍රේල් 28 වනදා 19 වන සංශෝධනය හරහා මේ තත්ත්වයේ විශාල වෙනසක් සිදු වුනා. පාර්ලිමේන්තුව නියෝජනය කළ එක් මන්ත්‍රීවරයෙකු හැර එජාප, ශ්‍රීලනිප, ජවිපෙ, දෙමළ හා මුස්ලිම් පක්ෂ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කළ සියළු පක්ෂ වලට අයත් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ මේ සංශෝධනය හරහා විධායක ජනාධිපතිගේ බලතල විශාල ලෙස කප්පාදු කර ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වගකිව යුතු තනතුරක් බවට පත් කෙරුණා.
ඒ අනුව, 33A අනුව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වුනා.
මේ අනුව, 2015 අප්‍රේල් 28 දින සිට ලංකාවේ ජනාධිපතිවරයා කියන්නේ ඊට පෙර සිටි ජනාධිපතිවරයාම නෙමෙයි. ඒ ධුරය දරන පුද්ගලයා එකම පුද්ගලයෙක් වීම වෙනත් කරුණක්.
ලංකාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව කාලයක් තිස්සේම තිබුණු ඉල්ලීමක්. 19 වන සංශෝධනය කෙටුම්පත් කිරීමේදී මෙය සලකා බැලුනත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුනේ ඇතැම් සංශෝධන කළ හැක්කේ ජනමතවිචාරණයක් හරහා පමණක් බවයි. ඒ අනුව, අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා අගමැතිවරයා වන ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වැනි වෙනස්කම් කළ හැකි වුනේ නැහැ.
ලංකාවේ ජනාධිපතිධුරය මේ වන විට නාමික ධුරයක් වී නැහැ. නමුත්, කලින් වූ පූර්ණ විධායක බලතල මේ වන විට සීමා වී තිබෙනවා. එයට සාපේක්ෂව ව්‍යවස්ථාදායකය ශක්තිමත් වී තිබෙනවා. මේ අවස්ථාව ලංකාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බලය බෙදී ගොස් තිබෙන ආකාරය පරීක්ෂාවට ලක් වන අවස්ථාවක්.
ඉහත නෛතික කරුණේ සිට ලංකාවේ දේශපාලන පක්ෂ අතර මේ වන විට පවතින බල අරගලයට නැවත ආවොත්, අවසාන වශයෙන් මෙය පාර්ලිමේන්තුවේ වඩා හොඳ ආකාරයකින් විසඳී අවසන් වෙයි කියා මා හිතනවා. ඒ අතරම, මෙය ඕනෑවට වඩා දිග්ගැස්සී වීදි සටන් හරහා විසඳෙන්න යාමේ අවදානමත් මෙහි තිබෙනවා.
අද සිදු වී තිබෙන ආකාරයේ වෙනසක් සිදු විය යුතු බව දිගු කාලයක් තිස්සේම යෝජනා කළ පුද්ගලයෙක් ලෙස නලින් ද සිල්වා ගැන කතා නොකර බැහැ. ඔහුගේ ලිපි වල කොටස් ඇතැම් අය මෙහි පෙර ලිපි වලට ප්‍රතිචාර ලෙස උපුටා දක්වා තිබෙනවා. මා ඔහු ගැන විශේෂයෙන් සඳහන් කරන්න හේතු වන දෙවන කරුණ ඔහු වෙනත් ඕනෑම කෙනෙක් මෙන්ම අපක්ෂපාතී පුද්ගලයෙකු නොවූවත්, තමන්ගේම මතයක් තිබෙන ස්වාධීන පුද්ගලයෙක් සේ මා සලකන නිසයි.
නලින් ද සිල්වා විසින් යෝජනා කළ පළමු දෙය රනිල්ව එළවීම සඳහා මහින්ද විසින් මෛත්‍රීපාලට ශක්තිය දිය යුතු බවයි. ඔහු එය කියන අවස්ථාවේදී එය සිදුවීමට අසීරු දෙයක් මෙන් තිබුණත් මේ වන විට එය සිදු වී තිබෙනවා.
දෙවනුව, නලින් ද සිල්වා විසින් එය කළ හැකි ආකාරයක් යෝජනා කළා. ඔහු (ඔහුගේ මතය අනුව) පෙන්වා දුන්නේ පවතින ව්‍යවස්ථාවට පටහැනි නොවී මෙය කළ හැකි බවයි. ව්‍යවස්ථාව නොසලකා හැරිය යුතු බව ඔහු යෝජනා කළේ නැහැ.
දැනටත්, මහින්ද පාර්ශ්වයේ මෙන්ම මෛත්‍රී පාර්ශ්වයේ අයත් කියන්නේ ඔවුන් කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුව බවයි. මේ බව කියමින් ගෙනෙන තර්ක අතර ජනප්‍රියම තර්කය වන්නේ ජාතික ආණ්ඩුවේ එක් පක්ෂයක් ඉවත් වූ පසුව අමාත්‍ය මණ්ඩලය අහෝසි වන බවයි. අදාළ තර්කය ගෙන එන අය අතරින් එක් අයෙක් වන අලි සබ්‍රිව අජිත් පැරකුම් ජයසිංහ විසින් උපුටා දක්වනවා. අදාළ උපුටනය පහත ලිපියේ තිබෙනවා.
අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබේදැයි විමසිය යුතු ද? නැද්ද?
ජාතික ආණ්ඩුවේ එක් පක්ෂයක් ඉවත් වූ පසුව අමාත්‍ය මණ්ඩලය අහෝසි වන්නේය යන්න ඉතාම දුර්වල තර්කයක්. ජාතික ආණ්ඩුවක් තිබීම හෝ නොතිබීම අදාළ වන්නේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය හා අදාළව පමණයි. මෙය නලින් ද සිල්වා විසින්ම පහත ලිපියේ පැහැදිලි කර තිබෙනවා.
රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව
පවතින ව්‍යවස්ථාව යටතේම ජනාධිපතිවරයාට අගමැතිවරයාව ඉවත් කළ හැකි බව නලින් ද සිල්වා විසින් යෝජනා කරන්නේ වෙනත් පදනමකිනුයි. මා නලින් ද සිල්වාගේ මතය සමඟ එකඟ වන්නේ නැතත්, ඒ මතය විමසිල්ලට ලක් කරන්න කැමතියි. මගේ වචන වලින් කියනවානම් නලින් ද සිල්වා යෝජනා කරන්නේ බොහෝ විට නොසැලකිල්ල නිසා හෝ අතපසුවීම් නිසා ව්‍යවස්ථාවේ දැකිය හැකි අසංගත තැන් ඔහු පෙනී සිටින දේශපාලන අරමුණ වෙනුවෙන් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයයි. නීතිය හා සම්බන්ධ කටයුතු වලදී මෙවැනි දේ සිදුවීම සාමාන්‍ය දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.
මෙහිදී නලින් ද සිල්වා යෝජනා කරන්නේ 43 (3) වගන්තිය අනුව මෙය කළ හැකි බවයි.
"43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරුන්ට භාර විෂය වෙනස් කළ හැකියි. 43 (1) හා 43 (2) වගන්ති අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැතිගේ අදහස් විමසිය යුතු බවට සඳහනක් ඇති නමුත් 43 (3) එවැනි සඳහනක් නැහැ. සමහරවිට මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පතේ අතපසු වීමක් වන්න පුළුවන්. එසේ වුවත් 43 (3) අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. ඒ අගමැතිත් ඇතුළුව."
මේ තර්කයේ පදනම වන්නේ 43(3) වගන්තියේ "අමාත්‍ය මණ්ඩලය" යන අර්ථදැක්වීමට අගමැතිධුරයත් අයත් වන බවයි. පහත තිබෙන්නේ 43(3) වගන්තිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ වචන පටලැවිල්ලක් ගැන මහින්ද රාජපක්ෂ විසින් කියා ඇති නිසා මා කෙළින්ම අවධානය යොමු කරන්නේ සිංහල පිටපතටයි.
නලින් ද සිල්වා කියන 43(3) අනුව්‍යවස්ථාව තනිව බැලුවොත් ඔහු කියන කරුණට යම් පදනමක් තිබිය හැකි බව පෙනෙනවා. නමුත්, ඊට පෙර තිබෙන 42 අනුව්‍යවස්ථාවේ කෙටි ටයිටලය "අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය" වීමෙන් පෙනෙන්නේ "අමාත්‍ය මණ්ඩලය" යන අර්ථ දැක්වීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළත් නොවන බවයි. 43(3) අනුව්‍යවස්ථාවේ කතා කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ගැන පමණයි. නමුත්, මේ හා අදාළව වෙනත් ආකාර වලින් තර්ක කිරීමටත් ඉඩක් තිබෙනවා.
නලින් ද සිල්වා කියන ආකාරයට 43(3) අනුව අගමැති වෙනස් කළ හැකියි කියා සිතමු. 43(3) අනුවම, එසේ කිරීමෙන් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම වෙනස් වෙන්නේ නැහැ. 46(2) අනුව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය පවතින තුරු අගමැති ධුරය අහෝසි වෙන්න විදිහක් නැහැ. ඒ නිසා, 43(3) අනුව්‍යවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය යන්නට අගමැති ද ඇතුළත් සේ සැලකීම පරස්පරයක්.
ඇත්තටම ව්‍යවස්ථාවේ පරස්පර සෑහෙන්න තිබෙනවා. මේ පරස්පර හමුවේ නිවැරදි දෙය කුමක්ද කියා නලින් ද සිල්වා හෝ මා හෝ හිතන ආකාරය නෛතික ලෙස හා ප්‍රායෝගික ලෙස වැදගත් නොවුණත් ජනාධිපතිවරයා හා කථානායකවරයා හිතන ආකාරය වැදගත්. මේ වෙලාවේ ඔවුන් හිතන්නේ දෙආකාරයකටයි.
ජනාධිපතිවරයා හිතන ආකාරයට ඔහුට ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත් කර අලුත් අගමැතිවරයකු පත් කළ හැකියි. කතානායකවරයා හිතන ආකාරයට ඔහුට එය කළ නොහැකියි. මෙය සුළුපටු අර්බුදයක් නෙමෙයි. මේ වෙලාවේ බලය හුවමාරු වීම පිළිබඳ කරුණක් පමණකුත් නෙමෙයි.
මේ වගේ වෙලාවක අවසන් තීරණය තියෙන්නේ කාගේ අතේද? පහත උපුටා දක්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125(1) අනුව්‍යවස්ථාව. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අපි වගේ බ්ලොග් පඩංගු ලියන හාල් කෑලි වලට වගේම වෙනත් ව්‍යවස්ථා විශාරදයින්ටත් අදහස් දක්වන්න පුළුවන් වුවත් ඒවා නිකම්ම නිකම් අදහස් පමණයි.
මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාව අනුව අර්ථ නිරූපණය කළ වහාම පවතින අර්බුදය විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ වාසියට කැරකෙනවා. එය කොයි පැත්තට කැරකෙයිද කියා ස්ථිරව කීමේ හැකියාවක් මට නැහැ. අදාළ පාර්ශ්ව දෙකෙන් එකක්වත් ඒ අවදානම ගන්න සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. මෙහි කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිඵල ගැන පසුව කතා කරමු.