වෙබ් ලිපිනය:

Saturday, October 20, 2018

ව්‍යවසායකයන් බිහි කරන්නේත් රජයද?


රටක ආර්ථිකය ඉදිරියට ගෙන යන්න ව්‍යවසායකයන් කොයි තරම් විශාල කාර්ය භාරයක් කරනවද කියන එක මා බොහෝ වර පැහැදිලි කර ඇති කරුණක්. ව්‍යවසායකයින්ට ඔලුව උස්සන්න තිබෙන බාධා අවම වන තරමට රටකට වේගයෙන් ඉදිරියට යන්න පුළුවන්.

දැන් මේ ව්‍යවසායකයින්ට තිබෙන බාධා මොනවාද? රටක නිදහස් වෙළඳාමට රජයේ බලපෑම් වැඩි වන තරමට ව්‍යවසායකයකත්වය අඩු වෙලා රජයේ වහල්ලු වැඩි වෙනවා. රජයේ ඇඟිලි ගැසීම් අඩු වන තරමට ව්‍යවසායකයින් වැඩි වැඩියෙන් බිහිවෙනවා.

ව්‍යවසායකයින් කියන්නේ අර්ථ දැක්වීම අනුවම පවතින වාතාවරණය යටතේ වෙනත් අයට කළ නොහැකි දෙයක් කරන පිරිසක්. ව්‍යවසායකයෙකු වෙන්න රජයෙන් උදවු බලාගෙන ඉන්න කෙනෙක්ට හොඳ ව්‍යවසායකයෙක් කියන්න බැහැ. ව්‍යවසායකයෙකු වෙන්න කවුරු හෝ රජයේ උදවු හොයනවනම් එය නිදහස් චින්තකයෙකු වෙන හැටි ඉගෙන ගන්න ටියුෂන් පන්තියකට යනවා වගේ වැඩක්.

පසුගිය අයවැයෙන් ලංකාවේ ව්‍යවසායකයින් දිරිගන්වන වැඩ පිළිවෙලක් යෝජනා වුණා. මේ වන විට එය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පේනවා. ව්‍යවසායකත්වය දිරි ගන්වන එකත් රජය විසින් කරන්න යාම තුළම මෙහි තිබෙන අවුල පෙනුණත් අඩු වශයෙන් අරමුණ හොඳ එකක් නේද කියන අදහසින් මම මේ ගැන ලිවුවේ නැහැ. වෙමින් තිබෙන්නේ මා හිතූ දෙයම බව දැන් දැනගන්නට ලැබෙන ආරංචි අනුව පැහැදිලියි.

මේ ව්‍යවසායකයින් දිරිගන්වන වැඩ සටහනේ ආකෘතිය කුමක්ද? මෙහිදී වෙන්නේ තමන් ව්‍යවසායකයෙකු බව රජයට පෙන්විය හැකි කෙනෙකුට වෙනත් අයට නොලැබෙන වාසියක් රජයෙන් ලැබෙන එකයි. ඒ වෙනත් අයට වඩා අඩු පොලියකට හා අඩු කොන්දේසි යටතේ ලැබෙන ණයක්. වෙනත් විදිහකින් කිවුවොත් ව්‍යවසායකයෝ වැඩේට බහින්නේ වෙනත් අයට නොලැබෙන වාසියක් ලබමින්.

ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය ලැබෙන විට පාඩු ලබන පිරිසකුත් ඉන්න ඕනෑනේ. දැන් මේ පාඩුව රාජ්‍ය බැංකු වලට හෝ රජයට. ඒ කියන්නේ මේ ව්‍යවසායකයින් බිහි කිරීම සිදු වෙන්නේ මහජන මුදල් යොදාගනිමිනුයි.

පහුගිය කාලයේ ලංකාවේ බැංකු වලින් වයස හැටක් වූ අයට වැඩි පොලියක් ගෙවන්න පටන් ගත්තා. මම හිතන්නේ මෙය තවමත් වෙනවා. මේ එක්කම වයස හැටක් නොවූ අය හැට පිරුණු වැඩිහිටියන්ගේ නමින් මුදල් තැන්පත් කරන්න ගත් බව මා දන්නා දෙයක්. එවැන්නක් වැළැක්වීමේ හැකියාවක් නැහැ.

ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය දෙනවා කියපු ගමන් වෙන්නේ මොනවා හෝ කතාවක් හදාගෙන ඔය ණය ගන්න කට්ටිය පෝලිමේ එන එකයි. ඔය නමින් නොවුනත් ඔයිට කලිනුත් ස්වයං රැකියා ණය කියා අඩු පොලියට ණය දුන් අවස්ථා තියෙනවා. ඒ වෙලාවල් වල වුනෙත් ඕකමයි.

රජයේ මැදිහත් වීමෙන් සහනදායී පදනමකින් ණය දෙන කොට අනිවාර්යයෙන්ම වෙන්නේ වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණයට වඩා වැඩි ණය ඉල්ලුමක් ඇති වීමයි. එතකොට මේ ඉල්ලුම්කරුවන් අතරින් ව්‍යවසායකත්වය වැඩි අය කවුද කියන එක තෝරන්න වෙන්නේ බැංකු නිලධාරීන්ටයි. ඔවුන් විසින් තෝරා ගැනෙන අයට මහජන මුදලින් වාසියක් සැලසෙනවා. තෝරා නොගන්නා අයට එය නැහැ. මේ වගේ වෙලාවක ණය පාස් කර ගැනීමේ ආට් එක දන්න අය තමයි අන්තිමට නියම ව්‍යවසායකයෝ වෙන්නේ.

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩා සහනදායී පදනමකට ලැබෙන ණය මුදල ලබා ගැනීම ඉස්සර වුනොත් අවසන් ප්‍රතිඵලය එතරම් හොඳ එකක් නොවෙන්න පුළුවන්. බැංකුව මහජන මුදල් නාස්ති කරද්දී ණය ලබාගත් අය ඒ මුදල් වෙනත් කටයුතු වෙනුවෙන් යොදවලා ව්‍යවසායකයෝ කොහොම වුණත් ණයකරුවෝ බිහිවෙන්න පුළුවන්.

මේ ආකෘතියේ පොඩි වෙනසක් කළානම් අවුල ලිහාගන්න බැරි නැහැ. රජයේ බැංකු විසින් කළ යුත්තේ ඔවුන් හඳුනාගන්නා ව්‍යවසායකයින්ට ණය දීම වෙනුවට ඔවුන් පටන් ගන්න යන ව්‍යාපාරයක කොටස් මිල දී ගැනීමයි. උදාහරණයක් විදිහට ව්‍යවසායකයාට 60%ක් තියෙද්දී බැංකුවට 40%ක් කොටස් මිල දී ගන්න පුළුවන්. එවිට බැංකුවට තමන්ගේ ආයෝජනයෙන් වාසියක් ලබා ගන්න තිබෙන උනන්දුව වැඩියි. ව්‍යාපාරය බංකොලොත් වුනොත් ව්‍යවසායකයා ණයකරුවෙක් වෙන්නෙත් නැහැ.

මේ විදිහට මුදල් ආයෝජනය කරද්දී අවදානම අමතක කර වැඩේ ගොඩ ගියොත් විශාල ලාභයක් තිබෙන ව්‍යාපෘති පමණක් තෝරා ගැනීම වැදගත්. ව්‍යාපෘති දහයකින් නවයක් බංකොලොත් වුවත් ඉතුරු එකෙන් ඒ අලාභය ආවරණය වන බවට බැංකුව වගබලාගන්න ඕනෑ.

වඩාත්ම හොඳ විදිහ මේ විදිහට කරන ආයෝජන නැවත වෙනත් අයට විකුණන එකයි. ව්‍යාපෘති දහයක් පමණ එකතු කරලා ඒ සමස්ත ආයෝජනය කොටස් කරලා නැවත විකුණන්න පුළුවන්. වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් අවදානම් ගන්න කැමති අය ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා.

ඒ තරම් ලොකු වෙනසක් කරන්න අමාරුනම් දැනට ඔය ලබා දෙන ණය එකතු කරලා ඒ එකතුව කොටස් කරලා නැවත විකුණන්න උත්සාහ කරන්න පුළුවන්. බැංකුව ව්‍යවසායකයින් හරියට තෝරගෙනනම් ණය වෙනත් අයෙකුට ආපසු විකුණන එක අමාරු වෙන්න හේතුවක් නැහැ. එහෙම කරන්න බැරිනම් ඒ කියන්නේ ව්‍යවසායකයින් හඳුනා ගැනීමේ හැකියාවක් රජයේ බැංකු වලට නෑ කියන එකයි.

Thursday, October 18, 2018

මව්බිමේ ජනතාවට ද්‍රෝහියෙක් නොවනු!


ලංකාවේ රජයේ සරසවියක සේවය කරමින් සිටියදී බැඳුම්කරයකට අත්සන් තබා උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමෙන් පසුව ආපසු නොපැමිණි අය රජයට ගෙවිය යුතු මුදල් ප්‍රමාණ දවස කිහිපයකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ ලැයිස්තුවේ 485 දෙනෙකුගේ නම්, තනතුරු, ලිපින, ගෙවිය යුතු මුදල් ප්‍රමාණ, ඇපකරුවන්ගේ නම් ඇතුළු විස්තර රැසක් ඇතුළත්. 

මා මේ ගැන දැනගත්තේ ගොසිප්ලංකා වෙබ් අඩවියෙන්. එහි සඳහන් විදිහට ජාතික පුවත්පත් වල පිටු 4ක් පුරා දැන්වීමක් ලෙස මේ තොරතුරු පළ කර තිබෙනවා. රජයට අයවිය යුතු මුළු මුදල රුපියල් මිලියන 813ක්. ඩොලර් මිලියන පහකට ටිකක් අඩුයි. මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ලබා දීම නිසා රජයට අහිමි වූ බදු මුදලෙන් අටෙන් එකකට ආසන්න මුදලක්. වැඩිම මුදල ගෙවිය යුතු තැනැත්තා රුපියල් මිලියන 26.5ක් ගෙවිය යුතුයි. එක වාහනයකින් අහිමි වන බදු මුදලට තරමක් අඩු මුදලක්. රුපියල් 1,127ක් තරම් අඩු මුදලක් ගෙවිය යුතු අයත් ලැයිස්තුවේ ඉන්නවා.

මටනම් මෙය රජයේ අකාර්යක්ෂමතාවය පිළිබිඹු කරන තවත් එක් කටයුත්තක් පමණයි. මම එහෙම කියන්නේ මගේ හෝ මා පෞද්ගලිකව දන්නා කිසිවකුගේ නම් මේ ලැයිස්තුවේ තිබෙන නිසා නෙමෙයි. මෙහි නම් සඳහන් කිසිවකු මා පෞද්ගලිකව දන්නේ නැහැ. ඇතැම් විට මේ කටයුත්ත පසුපස වෙනම ගේමක් තියෙනවා වෙන්නත් පුළුවන්. මේ වගේ පුවත්පත් දැන්වීමකින් රජයට එල්ලවන මිනිස්සුන්ගේ විරෝධය තාවකාලිකව වෙනත් අතකට යොමු කරන්න පුළුවන්. ඉටු කරගත හැකි වෙනත් අරමුණුත් තිබෙනවා.

ගොසිප්ලංකා පුවත අනුව පුවත්පත් දැන්වීමේ මෙවැනි ඉල්ලීමක් තිබෙනවා. 

"මෙරට ජනතාව අනේකවිද දුක්ඛ දෝමනස්සයන් මැද එදා වේල පිරිමසා ගැනීම පිණිස ඉතා වෙහෙසකර ලෙස උපයා ගත් මුදලින් ගෙවන ලද බදු මුදලින් පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුනි. රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුන්නේ ද ඔවුන්ගේම මුදලෙනි. ඔබ බොහෝ දෙනෙකුට මහපොළ ශිෂ්‍ය ආධාර ලබා දුන්නෙමු. ඔබට පශ්චාත් උපාධි සඳහා ණය ආධාරය ලබා දුන්නේ ද එම ජනතාව ලේ, දහඩිය, කඳුළු වගුරා උපයා ගත් මුදලෙනි. 

ඔබ එසේ ලබාගෙන බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය කරමින් ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් මිලියන 813 ඉක්මවා ඇත.

එසේ ලද මුදල්වලින් ඔබ අද උගතකු වී වෙනත් රටවල හෝ ආයතනවල උසස් නිලතල හොබවමින් වැජඹෙන බව අප දනිමු. අනාගත පරම්පරාවට අධ්‍යාපනය ලබාදීම සඳහා ඔබ ජනතාවගෙන් ලබාගත් ණය මුදල මෙම මොහොතේ අපට ඇවැසිව ඇත. උපන් බිමට සහ මව්බිමේ ජනතාවට ඔබ ද්‍රෝහියෙක් නොවනු ඇතැයි අප විශ්වාස කරමු. ණයකරුවනි, ඇපකරුවනි පහත සඳහන් මුදල් සහ ඒ මත පොලී මුදල් වහාම ගෙවා ණයෙන් නිදහස් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි."

රජයේ නිවේදනයක් වුවත් ලියල තියෙන්නේ අර අසූ අට අසූ නමය කාලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අත් පත්‍රිකා වල තිබුණු භාෂාවෙන්. මෙහි මුල් කොටස ප්‍රස්තුතයට සෘජුව අදාළ දෙයක් නෙමයි. මේ මුදල් ගෙවිය යුත්තේ පශ්චාත් උපාධි සඳහා පිටව යාමේදී අත්සන් කර තිබෙන බැඳුම්කරයේ කොන්දේසි අනුව මිසක්, පළමු වසරේ සිට උසස් පෙළ දක්වා හෝ ඉන්පසුව රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය දක්වා ඉගෙන ගැනීම වෙනුවෙන් නෙමෙයි. ඒ කොටස එකතු කර තිබෙන්නේ මේ මුදල් ගෙවිය යුතු අය වෙනුවෙන් නෙමෙයි. එහි ඉලක්කය කුමක්ද කියන එක ඔබම හිතා බලන්න.

මේ ලැයිස්තුවේ ඉන්න බොහෝ දෙනෙකුට එහි කියන ආකාරයට පශ්චාත් උපාධි සඳහා ණය ආධාර ලබා දී තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. අනිවාර්යයයෙන්ම මෙහි සිටින අතිමහත් බහුතරය තමන්ගේ කුසලතා මත විදෙස් රටකින් ශිෂ්‍යත්වයක් ලැබ රටින් පිටවූ අය විය යුතුයි. එහෙම නැතුව රජයේ සරසවි ඇදුරෙකුට පශ්චාත් උපාධි හැදෑරීමේ මුළු වියදමම "ජනතාව ලේ, දහඩිය, කඳුළු වගුරා උපයා ගත්" මුදලින් ලැබෙනවානම් එය ඉතාම කලාතුරකින් සිදුවන්නක් විය යුතුයි. එහෙම නැත්නම් මේ විදිහට ජනතාව කියා කියන්නේ බටහිර රටවල් වල බදු ගෙවන ජනතාව ගැනත් හිතාගෙනද දන්නෙ නැහැ.

මේ අයගෙන් සෑහෙන පිරිසක් වැටුප් සහිත නිවාඩු අරගෙන ගිය අය වෙන්න පුළුවන්. ඒ අනුව, බොහෝ විට මේ ණය කියන්නේ එසේ අධ්‍යාපනය සඳහා රටින් පිටව සිටියදී ලබාගත් වැටුප්.

රැකියාවෙන් අස් නොවී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදෙස්ගත වන සරසවි ඇදුරෙකුගේ බැඳුම්කර මුදලට ඇතුළත් වන්නේ ඒ කාලයේ ලබාගත් වැටුප් පමණක් නෙමෙයි. වැටුප් රහිත නිවාඩු ගත්තත් බැඳුම්කරයට මුදලක් එකතු වෙනවා. ඒ වගේම ඇතැම් විදේශ ශිෂ්‍යත්වලාභීන්ගේ ශිෂ්‍යත්ව මුදලේ වටිනාකමත් බැඳුම්කරයට එකතු වෙනවා. මේ අවස්ථා වලදී ඇත්තටම මහජන මුදල් වැයවීමක් සිදු වෙන්නේ නැහැ.

කොහොම වුනත්, බැඳුම්කරයකට අත්සන් තබා රටින් පිටවන අයෙක් එසේ රටින් යන්නේ නැවත සේවයට වාර්තා නොකළොත් බැඳුම්කරයේ මුළු මුදලම රජයට ගෙවන්න එකඟ වෙලයි. ඒ නිසා, රටට ආපසු එන්නේ නැත්නම් බැඳුම්කරයේ කොන්දේසි අනුව ගෙවිය යුතු මුදල අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. එහි කතා දෙකක් නැහැ.

එහෙම ගෙවුවේ නැත්නම් කළ යුත්තේ කුමක්ද?

බැඳුම්කරය අනුව ගෙවිය යුතු මුදල ආපසු ගෙවීම කවුරු හෝ විසින් පැහැර හරිනවානම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් කළ යුත්තේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. රටින් පිට සිටින තැනැත්තාව අල්ලගන්න බැරිනම් ලංකාවේ සිටින ඇපකරුවන්ව අල්ලගන්න පුළුවන්. ඔවුන්ව ඇපකරුවන් සේ පිළිගෙන තිබෙන්නේ අදාළ මුදල ආපසු ගෙවන්න පුළුවන් තරම් ආදායමක් තිබෙන නිසයි. 

බැඳුම්කර අත්සන් කර විදෙස්ගත වී ආපසු නොඑන හැමෝම අදාළ මුදල ගෙවීම පැහැර හරින්නේ නැහැ. නමුත් එසේ පැහැර හරින අය ඉන්නවා. ඒ අයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග නොගැනීම රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක්. එයින් වෙන්නේ ගෙවිය යුතු මුදල් නිසි පරිදි ගෙවන අයට තමන් මෝඩයින් සේ දැනෙන එකයි. ඒ නිසා, තවත් අය මුදල් ආපසු ගෙවීම පැහැර හරින්න ඉඩ තියෙනවා. හැබැයි මුදල් ආපසු අය කර ගැනීමට ක්‍රියා කළ යුත්තේ ගිවිසුමේ කොන්දේසි අනුව නීතිමය වශයෙන් මිසක් පුවත්පත් දැන්වීම් පළ කිරීම වැනි මහජන මුදල් නාස්ති කරමින් කරන සෝබන වැඩ හරහා නෙමෙයි.

මගේ විශ්වාසය අනුව පුවත්පත් දැන්වීමේ නම් සඳහන් බොහෝ දෙනෙක් තමන් ගෙවිය යුතු මුදල ගෙවීම පැහැර හැර සිටින අය නෙමෙයි. මේ ඇතැම් අය ගොසිප්ලංකා පුවතට ප්‍රතිචාර දක්වමින් ඒ බව සඳහන් කර තිබෙනවා. ගොඩක් අය මුල් ගිවිසුමේ කොන්දේසි අනුව හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ පසුව ඇති කරගත් එකඟතාවයක් මත මාසික වාරික සේ තමන් ගෙවිය යුතු මුදල් පියවමින් සිටිනවා. පුවත්පත් දැන්වීමේ තිබෙන්නේ පසුගිය වසර අවසාන වෙද්දී ඒ අයට ගෙවන්න ඉතිරිව තිබුණු හිඟ ශේෂයයි. ඉන්පසුව ගත වූ මාස අට තුළ මේ ඇතැම් අය හිඟ මුදල් සියල්ලම පියවා අවසන්ව ඇති බව ඔවුන් සඳහන් කරනවා. 

ලැයිස්තුවේ අවසානයට නම් තිබෙන 60 දෙනෙක් පමණ ගෙවිය යුතුව තිබෙන්නේ රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලක්. 180 දෙනෙක් පමණම ගෙවිය යුත්තේ ලක්ෂ 5කට වඩා අඩු මුදලක්. මේ අය අතර පසුගිය මාස දහය ඇතුළත තමන්ගේ ණය වාරික ගෙවා අවසන් කළ අය ඉන්න පුළුවන්. ඒ නැතත්, ගිවිසුම අනුව වාරික වශයෙන් තමන් ගෙවිය යුතු මුදල් ගෙවමින් සිටින අයෙක් බැඳුම්කරයේ කොන්දේසි අනුව මුදල් ගෙවීම පැහැර හැර තිබෙන අයෙක් සේ සලකන්න බැහැ.

ජාතික පුවත්පතක පිටුවක දැන්වීමක් සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වැය වනවා කියා මම හිතනවා. ඒ අනුව පත්තර හතරක දැන්වීම් දැම්මොත් ලක්ෂ හයක්. එක පිටුවක නම් 120ක් පමණ තිබෙන නිසා එක නමක් පළ කරන්න වියදම රුපියල් පන්දාහක් පමණ වෙනවා. ඊටත් අඩු මුදලක් ගෙවිය යුතු අයත් මේ ලැයිස්තුවේ ඉන්නවා.

බැඳුම්කරයක් අත්සන් කර රටින් පිටවී එහි කොන්දේසි අනුව ගෙවිය යුතු මුදල නොගෙවා සිටීම ඉතා පැහැදිලිවම වරදක්. ඒ වරද කරන්න ඉඩ හැරීමෙන් වෙන්නේ තවත් අය ඒ වරදට පෙළඹවීමක්. නමුත්, බැඳුම්කරයේ කොන්දේසි අනුවම හෝ පසුව ඇති කරගත් එකඟතාවයක් මත වාරික වශයෙන් මුදල් ගෙවමින් සිටින අයගේ නම් මේ ලැයිස්තුවේ තිබෙනවානම් එය අදාළ පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමක්. ඒ වගේම මුදල් අය කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය නිසිපරිදි අනුගමනය නොකර පුවත්පත් දැන්වීම් දැමීම තවත් මහජන මුදල් නාස්තියක් පමණයි.

ලංකාවට ආපහු ආපු නැති එක ගැන මේ අයට පොඩි හරි අවුලක් තිබුණනම් ලංකාවේ වෙන මේ වගේ විහිළු වැඩ දැක්කම හිත හදාගන්න පහසුවක් වෙයි.

රුපියල අවප්‍රමාණය වීමේ වාසිය පුහු තර්කයක්ද?

අජිත් නිවාඩ් කබ්රාල් සමග කරපු පුවත්පත් සාකච්ඡාවකට පාඨකයෙකු අපේ අවධානය යොමු කරවලා තිබුණා. එහි අදාළ කොටස පහත උපුටා දැක්වෙනවා.

"රුපියලේ අගය පිරිහීමෙන් ආර්ථිකයට වාසි අත්වන බව කියන අය ද සිටිති. තාක්ෂණික වශයෙන් මේ තත්ත්වය යොදාගෙන එසේ විග්‍රහ කළ හැකිය. අපනයන වර්ධනය වීමට අපනයන තරගකාරිත්වය වැඩි කිරීමට රුපියලේ අගය පිරිහීමෙන් ශක්තියක් ලැබෙන බව ඉහත පදනමේ සිට පෙන්වා දිය හැකිය. මේ තර්කය වසර පනහක පමණ සිට ඉදිරිපත්ව තිබේ. මේ තර්කයේ ඇත්තක් තිබේ නම් 8.83 ක තිබූ රුපියලේ අගය අද 170 වන විට මහා පරිමාණයෙන් අපනයන වර්ධනය වී තිබිය යුතුය. එහෙත් එවැන්නක් සිදුව නැත. ​ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 40 කින් පමණ පසුගිය කාලයේදී අඩුවී තිබේ. එසේ වූ පමණින් එයින් කිසිදු ප්‍රයෝජනයක් ලැබී නැත. එනිසා යම් යම් අය ගොඩ නඟන ඉහත කී තර්කය පුස්සකි. තාක්ෂණික වශයෙන් මෙවන් තර්ක ගොඩනැඟුවද කිසිදු අවස්ථාවක ප්‍රායෝගිකව මේ මහ පොළොවේ එවැන්නක් සිදුව තිබෙනු දක්නට නැත. පොතේ යම් යම් කරුණු කාරණා සඳහන්ව තිබේ. ඇතැම් ලේඛකයෝද මේවා ලියති. කවුරු කුමක් කීවද ඒවා ප්‍රායෝගිකව නොවන්නේ නම් කිසිදු පලක් නැත.

ඇතැම් විශේෂඥයන් යැයි කියා ගන්නා අය ද මෙවන් පුහු තර්ක ගොඩනඟති. රුපියලේ අගය පිරිහීම රටට යහපත් බව ඔවුහු පෙන්වා දුන්හ. එයින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ තරමය. ජනතාව අතරට ගොස් මෙවන් ප්‍රකාශ කළහොත් මොවුන්ට නිසි ප්‍රතිචාර ලැබෙන බවනම් පැහැදිලිය."

දැන් මෙයින් කියැවෙන්නේ කුමක්ද? කබ්රාල් කියන්නේ මේ වෙලාවේ රුපියල පිරිහීම වාසිදායක බව න්‍යායාත්මකව නිවැරදි වෙන්න පුළුවන් වුවත් ප්‍රායෝගිකව වැරදි බවයි. ආර්ථික විද්‍යා න්‍යාය ගැන ඔහුට විශ්වාසයක් නැති බව පේනවා. ඔහු කියන්නේ මේ වාසි මහ පොළොවේ දකින්න නොලැබෙන බවයි.

වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තියක් හා අදාළව පුහුණුවක් ලබා තිබෙන කෙනෙක් "දකින" දේ එවැනි පුහුණුවක් නැති කෙනෙකුට නොපෙනෙන්න පුළුවන්. තමන්ට නොපෙනෙන දෙයක් කෙනෙක්ට විශ්වාස කරන්න අමාරුයි. එහෙම විශ්වාස කරනවනම් කරන්න වෙන්නේ අදාළ විෂයයෙහි පුහුණුවක් ලබා තිබෙන විශේෂඥයා දකිනවා කියන දේ මත විශ්වාසය තියමිනුයි. 

විශේෂඥයෙකුට පෙනෙන ඇතැම් දේවල් වෙනත් අයෙකුට පෙන්වන්න අමාරුයි. පුහුණුවක් ඇති අයෙක් ස්කෑන් ඡායාරූපයක හෝ එක්ස්-රේ ඡායාරූපයක දකින දේ වෙනත් අයෙකුට ඇඟිල්ල දිගු කර පෙන්නුවත් නොපෙනෙන්න පුළුවන්. ඒ දෙවැන්නාට එය දකින්න අවශ්‍ය පුහුණුව නැති නිසා. නමුත්, අදාළ තැනැත්තෙකුට එසේ දකින සුවිශේෂී දෙයක් පෙන්වන්න උත්සාහයක් හෝ ගැනීම වැදගත්. ඇතැම් විට පෙන්වා දීමෙන් පසුව දෙවැන්නා එය දකින්න ඉඩ තිබෙනවා. හැබැයි දකින්න උවමනාවක් නැති අයෙක්ටනම් ඒ විදිහට පෙන්වීම අසීරුයි. දැක්කත් නොදැක්කා වගේ ඉන්න අයත් ඉන්නවා. 

බටහිර වෛද්‍යවරයෙකු පිළිකාවක් හඳුනාගෙන ශල්‍ය කර්මයකින් සිරුරේ කිසියම් කොටසක් ඉවත් කරන්න කිවුවට පස්සේ එසේ නොකර පිලිකාව සුව කර දෙන්න ඉදිරිපත් වන අය ඉන්නවා. මෙහිදී බටහිර වෛද්‍ය මතය ප්‍රතික්ෂේප කරන කෙනා මෙහෙම කියන්න පුළුවන්.

"ඔය දොස්තරලා ඉගෙන ගෙන තියෙන විදිහට ඔය විදිහට ඔපරේෂන් කරන එක හරි ඇති. ඒත් ඔහොම ඔපරේෂන් කරලත් මැරිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද?"

මේ වගේ වෙලාවක විකල්ප වෛද්‍යක්‍රමයක් හදාරා පුහුණුවක් ලබා ඇති අයෙක් වෙනත් මතයක් ඉදිරිපත් කිරීම එක් කරුණක්. එවැනි කිසිදු දැනුම් පද්ධතියක් මත පදනම් නොවී තමන්ගේ හිතුමනාපයට ලෙඩාගේ ජීවිතය සමග සෙල්ලම් කිරීම තවත් කරුණක්.

කබ්රාල් කියන්නේ දශකයක් පමණ කාලයක් ලංකාවේ මහ බැංකුවේ හිටපු අධිපති. ඇතැම් විට අනාගත ආණ්ඩු වෙනසකින් පසුව ලංකාවේ ආර්ථිකය මෙහෙයවීමේ කාර්ය භාරය නැවතත් ඔහුගේ අතට එන්න වුවත් බැරිකමක් නැහැ. මෙහිදී ඔහු විසින්ම පැහැදිලිවම කියන විදිහට ඔහු ආර්ථික විද්‍යා න්‍යාය ගැන විශ්වාසය නොතබන කෙනෙක්. මෙය හරියට බටහිර වෛද්‍ය විද්‍යාව ගැන විශ්වාසය නොතියන, දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු හෝ නොවන කෙනෙක් බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරන රෝහල් වල රෝහල් ප්‍රධානියා ලෙස කටයුතු කිරීම වැනි දෙයක්.

කබ්රාල් කියන විදිහට ඔහු ක්‍රියා කරන්නේ ඔහුට මහ පොළොවේ පෙනෙන දේ අනුවයි. එතැනින් නොනවතින ඔහු න්‍යාය අනුව නිවැරදි දෙය ජනතාවට කියන්න ගියොත් "ජනතාව නිසි ප්‍රතිචාර" දක්වනු ඇති බවත් කියනවා. එහෙම දේවලුත් වෙලා තියෙන නිසා ඒ ගැනත් සටහන් කර තබන්න වෙනවා.

"මේ තර්කයේ ඇත්තක් තිබේ නම් 8.83 ක තිබූ රුපියලේ අගය අද 170 වන විට මහා පරිමාණයෙන් අපනයන වර්ධනය වී තිබිය යුතුය.

කබ්රාල් මේ කියන්නේ 1976 සිට කාලය ගැනයි. 1976දී තිබුණේ නියම විණිමය අනුපාතය නොවන බවත් එය 1977 වෙද්දී 15.56ක් වූ බවත් අපි අමතක කරමු. ඔහු කියන 8.83 හා 170 ගණන් ගත්තත් ඩොලරයක අගය රුපියල් වලින් වැඩි වෙලා තිබෙන්නේ විසි ගුණයකට ටිකක් අඩුවෙන්. එහෙම වැඩි වෙද්දී ලංකාවේ අපනයන පරිමාවත් විසිගුණයකට වඩා වැඩියෙන් වැඩි වෙලා තිබෙනවා. 1976දී අපනයන පරිමාව ඩොලර් මිලියන 558.8ක් පමණයි. 2017දී ඩොලර් මිලියන 11,360.4ක්.

කොහොම වුණත් මේ පැහැදිලි කිරීම පුහු තර්කයකට ප්‍රතිචාරයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් පුහු ප්‍රති-තර්කයක් පමණයි. රුපියල අවප්‍රමාණය කිරීමෙන් පමණක් අපනයන වර්ධනය කළ හැකි බව කිසිදු ආර්ථික විද්‍යාඥයෙක් කියන්නේ නැහැ. ඒ වගේම රුපියල ශක්තිමත් වීම නරක දෙයක් කියා කියන්නෙත් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ මහ බැංකුව විසින් අලුත් මුදල් විශාල ලෙස සංසරණයට එකතු කිරීම නිසා රුපියල දුර්වල වීමෙන් පසුව විදේශ ණය යොදා ගනිමින් රුපියල කෘතීම ලෙස ඉහළින් තියපු එකෙයි. 

පසුගිය කාලයේ මේ විදිහට ණයට ගත් ඩොලර් වල උදවුවෙන් විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තියා ගැනීම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ලංකාවේ අපනයන පරිමාව සීඝ්‍රයෙන් පහතට වැටුණා. මෙහිදී කබ්රාල් මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ කාලය තුළ සිදු වූ අපනයන බිඳ වැටීම කැපී පෙනෙනවා. රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය කළත් ඒ බිඳ වැටීමෙන් ගොඩ ඉන්න වසර කිහිපයක් යයි.

පහත රූප සටහන හා ප්‍රස්තාරය දෙස බැලු විට මේ කියන කරුණ හුදෙක් න්‍යායාත්මක කරුණක් පමණක් නොවන බව පැහැදිලි වෙයි. ඩොලරයක නාමික අගය හා ක්‍රය ශක්ති සාම්‍ය අගය අතර අනුපාතය 2001ට සාපේක්ෂව 2010 වෙද්දී 61.6% මට්ටමට පහළ වැටුණා. එයට සමාන්තරව ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන පරිමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 37.3%ක සිට 19.5% දක්වා අඩු වුණා. ඉන්පසුව රුපියල යම් තරමකින් අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරපු නිසා හානිය ඒ මට්ටමේ නැවතුනත් මේ හානිය සුළුපටු නැහැ.




රුපියල ඕනෑවට වඩා ශක්තිමත්ව තියන තරමට අපනයන භාණ්ඩ නිපදවීම පාඩු ලබන කටයුත්තක් වෙනවා. එවිට මේ නිෂ්පාදන කර්මාන්ත ක්‍රමයෙන් බිඳ වැටෙනවා. හැබැයි කෙනෙක් අවුරුදු ගණනක් කරපු ව්‍යාපාරයක් එකපාරටම වහලා දාන්නේ නැහැ. මොකද ඒ වන විටත් විශාල ස්ථිර පිරිවැයක් යොදවලා අවසන් නිසා. විණිමය අනුපාතිකය නිවැරදි වෙයි කියා නිෂ්පාදකයෝ බලා ඉන්නවා. ඒ නිසා නිෂ්පාදනය නවත්වන්නේ වසර කිහිපයකට පසුව. භාණ්ඩ පමණක් ගත්තොත් ලංකාවේ අපනයන පරිමාව දදේනි ප්‍රතිශතයක් ලෙස 2001 සිට 2016 දක්වාම පහළ ගියා. 29.3% මට්ටමේ ඉඳලා 12.7% මට්ටම දක්වාම. 

රුපියල අවප්‍රමාණය වෙද්දී නැවතත් දේශීය නිෂ්පාදන ක්‍රමයෙන් ලාභදායී වෙනවා. ඒ වුනත්, ඒ ලාබය බලාගෙන දේශීය කර්මාන්ත බිහිවෙන්න වසර කිහිපයක් යනවා. භාණ්ඩ නිෂ්පාදනය එකවරම ආරම්භ කරන්න අමාරුයි. භාණ්ඩ අපනයනයේ තිබුණු ප්‍රවණතාව 2017දී යාන්තමින් අනිත් පැත්ත හැරෙමින් තිබෙන බව පේනවා.

කොහොම වුනත් ආර්ථිකයේ සේවා අංශය විණිමය අනුපාතික වෙනසට ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා. මොකද සේවා නිපදවන ව්‍යාපාර අරඹන්න ලොකු ස්ථිර පිරිවැයක් අවශ්‍ය නොවන නිසා. 2001 දී දදේනියෙන් 8.1%ක් වූ සේවා අපනයන 2010 වෙද්දී 4.3% මට්ටමට වැටුණා. දැන් 8.9% මට්ටමට වැඩි වෙලා තිබෙනවා. රුපියල යම් තරමකින් අවප්‍රමාණය වෙන්න ඉඩ දීම නිසා මේ අවුරුද්දේ 10% මට්ටමට කිට්ටු වෙයි කියා මම හිතනවා.

Wednesday, October 17, 2018

ගැලවීමේ මාර්ගය සේවා ආර්ථිකයයි!

ලංකාව කියන්නේ තව දුරටත් කෘෂි කාර්මික හෝ කාර්මික රටක් නෙමෙයි. පසුගිය 2017 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 57%ක්ම සේවාවන්. වසරක් තුළ ආර්ථිකය ප්‍රසාරණය වීමේදී සේවා අංශයේ දායකත්වය ඊටත් වඩා වැඩියි. ඒ කියන්නේ මේ 57% ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩි වෙමිනුයි තියෙන්නේ.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ආදිය වෙනුවෙන් කරන පොදු වියදම් හරහා ලංකාව මානව ප්‍රාග්ධනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. ඒ අතරම, රටේ ඉතුරුම් අනුපාතය ආයෝජන අනුපාතයට වඩා අඩු නිසා, විදේශ ණය නැත්නම්, ප්‍රාග්ධන සංචිත ප්‍රසාරණය වීමක් සිදු නොවන තරම්. 

කෘෂිකාර්මික හා කාර්මික අංශ වලට සාපේක්ෂව සේවා නිෂ්පාදන සඳහා වැඩිපුර අවශ්‍ය වෙන්නේ මානව ප්‍රාග්ධනයයි. ඒ නිසා, මානව ප්‍රාග්ධනය වේගයෙන් වර්ධනය වන, එහෙත් භෞතික ප්‍රාග්ධනය එසේ වර්ධනය නොවන ලංකාව වගේ රටක කාර්මික නිෂ්පාදන වර්ධනය කරනවාට වඩා සේවා නිෂ්පාදන වර්ධනය කිරීම පහසුයි. ඇත්තටම ස්වභාවිකව වෙන්නෙත්, විය යුත්තේත් ඒකම තමයි. 

බැටින් ලයින් එක ශක්තිමත්නම් පුළුවන් තරම් ස්කෝර් කරන්න ඕනෑ. බෝලිං ලයින් එක හොඳනම් විකට් ගන්න ඕනෑ. එහෙම නැතුව බැරි මගුල පස්සේ පන්නමින් හිටියොත් මැච් එක පරදිනවා.

මානව ප්‍රාග්ධනය තරඟකාරී මට්ටමක තිබෙන ලංකාව වගේ රටකට සේවා නිෂ්පාදනයේදී වෙනත් රටවල් එක්ක තරඟ කිරීම පහසුයි. ඒ නිසා, ජාත්‍යන්තර වෙළඳාමේදී භාණ්ඩ නිපදවා අපනයනය කර ආදායම් උපයනවාට වඩා පහසුවෙන් සේවා අපනයනය හරහා විදේශ විණිමය ඉපැයිය හැකියි. 

කොහොමටත් ලංකාවේ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව සේවා අපනයන  ආදායම ක්‍රමයෙන් වර්ධනය වෙමිනුයි තියෙන්නේ. අවශ්‍ය දිරි ගැන්වීම් නොකඩවා ලැබුණොත් තව වසර කිහිපයක් යද්දී ලංකාවේ සේවා අපනයන ආදායම භාණ්ඩ අපනයන ආදායමට වඩා වැඩි වෙයි. දැනටත් සේවා අපනයන වලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ප්‍රමාණයෙන් 70%කට පමණ ආසන්නයි.

බළලා මැටියෙන් වුනත් මීයෝ අල්ලනවනම් ප්‍රශ්නයක් නෑ කියනවනේ. ඒ වගේ, රටට ඩොලර් එනවනම් ඒ භාණ්ඩ අපනයනයෙන්ද නැත්නම් සේවා අපනයනයෙන්ද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. භාණ්ඩ අපනයන හා ආනයන අතර හිඟයක් තිබුණත්, එය ඉක්මවන අතිරික්තයක් සේවා වෙළඳාමෙන් ගන්න පුළුවන්නම් රටට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් එන්නේ නැහැ.

ගොඩක් අය කියන කතාවක් තමයි ඩොලර් එක කීයට ගියත් වාහන, ඉන්ධන වගේ දේවල් ආනයනය අඩු නොවන බව. ඒ වගේම අපේ අපනයන ඩොලර් එකේ මිලට ප්‍රතිචාර නොදක්වන බවත් අහන්න ලැබෙනවා. මේ කතා වල යම් කිසි පදනමක් තිබෙනවා. 

මේ වන විට ඩොලර් හිඟය නිසා ලංකාවේ අත්‍යාවශ්‍ය නොවන ආනයන සෑහෙන තරමකට අඩු වෙලයි තියෙන්නේ. ඒ නිසා, ඩොලර් එක කීයට ගියත් ආනයන පරිමාව විශාල ලෙස අඩුවෙන එකක් නැහැ. ඒ වගේම, අපනයන වැඩි කරන එක එක පාරටම කරන්නත් බැහැ.

එහෙමනං ඉකොනොමැට්ටා කියනවා වගේ තවදුරටත් ඩොලර් එකේ මිල ඉහළ යන්න ඇරියොත් රට අමාරුවේ නේද?

නෑ. එහෙම වෙන්නේ නැහැ.

අවුල ලිහන යතුර තියෙන්නේ සේවා ආර්ථිකයේ. අපනයන වෙළඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කරන එක ක්ෂණිකව කරන්න බැරි වුනත්, සේවා නිෂ්පාදන ඉහළ දමන එක ක්ෂණිකව කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සම්පත් රට ඇතුළේ තියෙනවා. 

මේ ආණ්ඩුව බලයට පත් වුනාට පස්සේ යම් තරමකින් විණිමය අනුපාතිකය ඉහළ යන්න ඉඩ දුන්නා. ඒ හේතුව නිසා වෙළඳ ගිණුමේ හිඟය ලොකුවට අඩු වුනේ නැතත්, සේවා ගිණුමේ අතිරික්තය දැනෙන තරමට ඉහළ ගියා. මේ අවුරුද්දේ තවත් ඉහළ යයි.

ඉකොනොමැට්ටා අනාවැකිකරුවෙක් නොවෙයි. එහෙත්, මේ වසර ඉවර වෙද්දී රුපියල් 180 පමණ මට්ටමටත්, 2019 වසර තුළදී  රුපියල් 220-230 මට්ටමටත් ඩොලරයක මිල ඉහළ යන්න ඇරලා පහුගිය කාලයේ සිදුවුණු ඓතිහාසික වැරැද්ද නිවැරදි කළොත් 2020 වෙද්දී ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් නැති වෙයි කියන එක මගේ දැඩි විශ්වාසයයි.

මේක වෙන්නේ කොහොමද?

දැනටත් මූල්‍ය සේවා අංශය හැර ලංකාවේ අනෙකුත් සේවා අංශයන් සියල්ලම ඩොලර් උපයනවා. උදාහරණයක් විදිහට අපි සංචාරක අංශය ගනිමු. 2017 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයින් රටට ඩොලර් බිලියන 3.9ක් ගෙනාවා. ලංකාවේ අය විදේශ සංචාර වෙනුවෙන් ඩොලර් බිලියන 1.6ක් වැය කළා. මේ අනුව, ඩොලර් බිලියන 2.4ක් ලංකාවේ ඉතිරි වුනා. 

ඩොලර් එක වැඩි වන විට ලාංකිකයින්ට විදේශ සංචාර වඩා මිල අධික වෙනවා. එවිට ඔය ඩොලර් බිලියන 1.6න් කොටසක් ඉතුරු වෙනවා. ඒ වගේම සංචාරකයින්ට ලංකාව වඩා ලාභදායී වන නිසා රටට එන ඩොලර් ඉහළ යනවා. මෙය සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාම මගින් වගේම ඔවුන් වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩි වීමෙනුත් වෙන්න පුළුවන්. 

අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඩොලර් අතිරික්තය ඉහළ යන එකයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කරලා ඉතුරු කරගන්න සොච්චමකට වැඩිය ලොකු ගාණක් මේ විදිහට ඉතුරු වෙයි.

ගුවන් ප්‍රවාහනය වගේ වෙනත් අංශයක් ගනිමු. විදේශිකයෙක් ශ්‍රී ලන්කන් ප්‍රවේශ පත්‍රයක් මිල දී ගන්නා විට රටට ඩොලර් එනවා. ලාංකිකයෙක් වෙනත් ගුවන් සේවයක් භාවිතා කරන කොට ඩොලර් එළියට යනවා. ගුවන් සේවා සැපයීමේ වියදම බොහෝ දුරට ඉන්ධන වියදම. එය කොයි ගුවන් සේවයටත් සමානයි. පිරිවැය වෙනස් වෙන්නේ අනෙකුත් වියදම් වලින්. ඩොලර් එක ඉහළ යන කොට ලංකාවට සාපේක්ෂව අනෙක් රටවල මේ අනෙකුත් වියදම් ඉහළ යනවා. එතකොට ශ්‍රී ලන්කන් එකට සාපේක්ෂව අඩු මිලකට ප්‍රවේශපත් විකිණිය හැකියි. ඒ හරහා වෙනත් ගුවන් සේවා වලට යන ලාංකිකයින්ගේ මුදල් ඉතුරු කර ගත්තොත් එතැනම සෑහෙන ඩොලර් ප්‍රමාණයක්.

සේවා ආනයන අපනයන සිදුවන ආකාරය මතුපිටින් පෙනෙන්නේ නැහැ. පිටරටක කෙනෙක් ලංකාවට කතා කරන හැම වෙලාවෙම ලංකාවට මුදල් එනවා. කතා කරන්නේ මොබිටෙල් දුරකථනයකටනම් ඒ සමාගමටයි මුදල් එන්නේ. දුරකථන ඇමතුමට මුදල් අය කලේ ස්කයිප් එකෙන් කියමු. කෝල් එක එන්නේ මොබිටෙල් එකකටනම් එම සමාගම කරන්නේ සේවා සැපයීමක්. ඔවුන් එහි මිල අය කරගන්නවා. මේ විදිහටම වෙනත් රටක දුරකථනයකට ලංකාවේ සිට කතා කරද්දී ඩොලර් එළියට යනවා. ඩොලර් එකේ මිල වැඩි වෙද්දී මේ සමතුලනය වහාම වෙනස් වෙනවා. භාණ්ඩ නිෂ්පාදනයේදී වගේ කාලයක් ගත වෙන්නේ නැහැ.

මහ බැංකු වාර්තාවෙන් උපුටාගෙන පළ කරන පහත වගුවේ තිබෙන්නේ ලංකාවේ සේවා ගෙවීම් හා ලැබීම්. 2017 වසරේදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 11.36ක් රටට එනකොට සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 7.76ක්ම ලැබී තිබෙනවා. ඒ වගේම වෙළඳ ගිණුම ඩොලර් බිලියන 9.62ක හිඟයක් පෙන්වද්දී සේවා ගිණුමේ තිබෙන්නේ ඩොලර් බිලියන 3.3ක අතිරික්තයක්. 


ඩොලර් එක කීයට ගියත් ජංගම ගිණුමේ ශේෂය වෙනස් නොවන බව ඇතැම් අය කියනවනේ. සාමාන්‍ය අයත් නෙමෙයි. ලංකාවේ ආර්ථිකය මෙහෙයවීමේ බලය තිබුණු, තිබෙන හෝ ඉදිරි කාලයේදී ගන්නට ඉඩ ඇති අය. ඩොලර් එක මේ තරමට හෝ ඉහළ යන්න ඉඩ දීමේ බලපෑම කොයි තරම්ද කියන එක ඉදිරි ලිපියකින් පෙන්වන්නම්.

Tuesday, October 16, 2018

අමුඩ ගසා වැළැක්විය නොහැකි ඩොලර් අතීසාරය

ගෙවුම් ශේෂ අර්බුදයට මුහුණ දීමේ ආණ්ඩුවේ (මහ බැංකුවේ) උපාය මාර්ග අතර ආනයන සීමා කිරීමේ උත්සාහය කැපී පෙනෙනවා. ඇතැම් අය පෙන්වා දී තිබෙන්නේ මේ ආකාරයෙන් ආනයන සීමා කිරීම එතරම් ප්‍රතිඵලදායක නොවන බවයි. ඒ තර්කයට පදනමක් තිබෙනවා.

මේ වන විට ලංකාවේ ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයක් පමණ වන බව ඇත්ත. නමුත්, ආනයන වෙනුවෙන් වැය කරන්න ඩොලර් රට තුළට කොහෙන් හෝ පැමිණිය යුතු නිසා අපනයන අඩු වන විට ආනයනත් අඩු වෙනවා.

පසුගිය ආණ්ඩුව කාලයේ ක්‍රියාත්මක කළ විණිමය ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ අපනයන විශාල ලෙස අඩු වුණා. මා මෙහිදී අඩු වුනා කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවයි. මෙසේ අපනයන ආදායම් අඩු වීමට සාපේක්ෂව ආනයන වියදමුත් අඩු වුණා. ඒ අඩු වුනෙත් රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවයි. ඒ අනුව, දැන් ලංකාවේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්තහම හැත්තෑ හතට කලින් කාලයටත් වඩා අඩු බව මා කලින් ලිපියකින් පෙන්වා දුන්නා.

එහෙම අඩු වෙලා මේ වන විට ඇත්තටම වැඩි වශයෙන්ම රටට ආනයනය කරන්නේ ආනයනය නොකරම බැරි දේවල්. ඒ නිසා ආනයන වියදම් තවත් අඩු කිරීම ඉතාම අමාරු කටයුත්තක්. කෙසේ හෝ කළ යුත්තේ ණය නොවන මාර්ග වලින් ඩොලර් හොයා ගැනීමයි. එය වහාම කරන්න අමාරු වෙයි. නමුත් කරන්න බැරිකමක් නැහැ.

ගණන් හිලවු වලින් පෙන්වනවානම් ආනයන වියදම් වලින් 22.3%ක්ම යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්‍රවාහන උපකරණ වැනි ආයෝජන භාණ්ඩ. තවත් 54.5%ක් අන්තර් භාණ්ඩ. පරිභෝජන භාණ්ඩ ලෙස සැලකෙන්නේ ආනයන වලින් 21.5%ක් පමණයි. එයිනුත් පරිප්පු, සීනි, කිරි නිෂ්පාදන, බෙහෙත් වර්ග වැනි ප්‍රධාන අයිතමයන් කෙටිකාලීනව සීමා කිරීම අසීරුයි. පහත වගුව උපුටාගත්තේ මහ බැංකු වාර්තාවෙන්.


මහ බැංකුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සේ නම් කර ඇති ලැයිස්තුවේ තිබෙන දේවල් ආනයනය කිරීම සීමා කළා කියා ලොකුවට ඩොලර් ඉතිරි වීමක් වෙන එකක් නැහැ. එය අතීසාරයට ගහන අමුඩයක් පමණයි.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කියන එක මහ බැංකුවට තීරණය කළ හැකි දෙයක් නෙමෙයි. පසුගිය දවසක නරඹපු රූපවාහිණී වැඩ සටහනකදී කීර්ති පැස්කුවෙල් විසින් විදේශ සංචාරයක් අතරතුර ඔහුට වූ ඇබැද්දියක් විස්තර කළා. ඔහු කියපු විදිහට ප්‍රසංගයකට පෙර නැවතී සිටි නිවසකදී තවත් සහෝදර කලාකරුවෙක් ඔහු පාවිච්චි කරන කිසියම් ආලේපනයක් ඔහුගෙන් නොවිමසා මුහුණේ උලාගෙන ඉවර කර දමනවා. මේ ආලේපනය ඔහු නිශ්චිත ආලේපන වර්ග දෙකක් යොදා ගෙන හදා ගන්නා එකක්. ඒවා නැති වීමෙන් ඔහු විශාල අසීරුවකට පත් වෙනවා. ඒවා ඔහුගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ.

මගේ පියාගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වුණේ ඔහු පානය කළ දුම්වැටි වර්ගය හා ප්ලේන් ටී. අනෙක් කිසිවක් ඔහුට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වුණේ නැහැ. වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක් සමඟ පරිගණකයක් මගේ අත්‍යාවශ්‍ය ලැයිස්තුවේ උඩින්ම තිබෙනවා.

සංචාරක කර්මාන්තය මේ වන විට ලංකාව ඩොලර් උපයන ප්‍රධාන මාර්ගයක්. තමන්ගේ රටේදී මිල දී ගත හැකි දේවල් ලංකාවේදී මිල දී ගත හැකි වීම බොහෝ සංචාරකයින්ට වැදගත් කරුණක්. මේ ඇතැම් සංචාරකයින්ට කිසියම් සන්නාමයක සුවඳ විලවුන් වර්ගයක් හෝ ආලේපන වර්ගයක් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒ නිසා, ඔය අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමා කිරීම කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක්.

කොහොම වුනත් අතීසාරය සුව වන තුරු අමුඩ නැතුව ඉන්නත් බැහැ.

Monday, October 15, 2018

සිස්සත්තේ


පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නැවතත් කතාබහක් ඇති වෙලා තියෙනවනේ. මේ ගැන ලිපියක් ලියන්න හිත හිතා ඉන්න අතරේ ලියන්න හිතපු ගොඩක් දේවල් අජිත් පැරකුම් විසින් ලියා තිබෙන බව දැක්කා. ඒවා නැවත ලියන්න අවශ්‍ය නැහැනේ. පැරාගේ ලිපියට ලින්ක් එකක් මේ ලිපිය අන්තිමට තියෙනවා. කොහොම වුනත්, එහි නැති මගේ අත්දැකීම් හා අදහස් ටිකක් සටහන් කරන්නම්.

පටන් ගන්න වෙන්නේම පොර ටෝක් ටිකකින්. පොර ටෝක් වුණත් බොරු නොවන නිසාත්, මාතෘකාවට අදාළ නිසාත් ලියන්නම වෙනවා.

ඉකොනොමැට්ටා පහේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වූ කෙනෙක්. ඒ දවස් වල විභාග ප්‍රතිපල දීමේ ක්‍රියාවලිය පරිගණකගත කරලා තිබුණේ නැහැ. ඒ නිසා මගේ ලකුණු ප්‍රමාණය ලංකාවෙන් කී වැනි තැනද කියා දැනගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. හරියටම දන්නේ එය දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ප්‍රමාණය වූ බව පමණයි.

ඒ කාලයේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම හා ප්‍රතිඵල ලේඛණ සකස් කිරීම දිස්ත්‍රික් මට්ටමින් හෝ ප්‍රාදේශීය අධ්‍යාපන කොට්ඨාශ මට්ටමෙන් සිදුවුණා කියලයි මම හිතන්නේ. ප්‍රතිඵල ලැබුණු දවසේම ප්‍රාදේශීය අධ්‍යාපන කොට්ඨාශයේ වැඩිම ලකුණ බවත් සතියකට පමණ පස්සේ දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණ බවත් දැනගන්න ලැබුණා.

මා ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ අවුරුද්දේ ලංකාවේ ඕනෑම පාසැලකට ඇතුළු වීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණයත් වඩා ගොඩක් වැඩියි. මුළු ලකුණු ප්‍රමාණයෙන් අඩු වෙලා තිබුණේ බොහොම ටිකයි. හැබැයි එවැනි ලකුණු ප්‍රමාණයක් ගැනීමේ ඉලක්කයක් ඒ දවස්වල මට තිබුණේ නැහැ. දෙමවුපියන් මේ වෙනුවෙන් ලොකු බරක් දැම්මෙත් නැහැ. කොහොමටත් ඒ කාලයේ දැන් වගේ පහළ පන්තිවල ළමුන් ටියුෂන් ගියේ නෑනේ.

ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල අනුව, ඒ කාලයේ මෙන්ම දැනටත් ලංකාවේ ජනප්‍රියම පාසැලට ඇතුළු වීමේ අවස්ථාව මට හිමි වන විට මම මා පහේ ශිෂ්‍යත්වය ලියූ ප්‍රාථමික පාසැලේ සිට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ මධ්‍ය මහා විද්‍යාලයකට ඇතුළත් වෙලා. ඒ ඇතුළත්වීමේ විභාගයක් හරහා. ජනවාරි මාසයේ එහි ඇතුළු වී සති කිහිපයකින් ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ලැබෙන්නට නියමිත පාසැල ගැන දැනුම් දීම ලැබුණා.

මේ වන විට මගේ වයස අවුරුදු එකොළහක් වෙලා. වයස අවුරුදු එකොළහක ගොඩක් දරුවන්ට වගේම ඒ කාලයේදී මටත් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා හිමි වන්නේ කුසලතා අනුව පමණක් නොවන බව අවබෝධ වී තිබුණේ නැහැ. එය මට මුලින්ම දැනුනේ ශිෂ්‍යත්වය කොයි තරම් ඉහළින් සමත් වුණත් ඒ හේතුව නිසා මට ලැබෙන කිසිම කෙහෙම්මලක් නැති බව අවබෝධ වීමත් සමඟයි.

ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල අනුව යා හැකිව තිබුණු අගනුවර පාසැලට යාමේ අවස්ථාව මට ලැබුණේ නැහැ. එයට හේතු වූ කරුණු අතරින් ප්‍රධාන කරුණක් වුණේ මාව කොළඹ බෝඩින් කර ඉගැන්වීමේ වියදම දැරීමේ හැකියාවක් මගේ පියාට නොතිබීමයි. ඔහුට එවැනි හැකියාවක් නොතිබීමට ඔහුගේ ආදායම් සීමාවන් තරමටම වාගේ ඔහුගේ මූල්‍ය කළමනාකරණයේ වූ දුර්වලතාවයනුත් හේතු වුණා.

මේ ගැන මගේ පසුකාලීන ආකල්පය උදාසීන එකක්. ඇතැම් විට මා එකී කොළඹ පාසැලට මාරු වුනානම් සරසවි ප්‍රවේශය වඩා අසීරු වෙන්න තිබුණා.අනෙක් අතට මා පසුකාලීනව ඉතා අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණයන් වඩා පහසුවෙන් හා/හෝ වඩා කලින් ලඟා කරගන්න ඉඩ ලැබෙන්නත් තිබුණා. සිදු වූ දේ මිස සිදු නොවූ දේ දැන ගැනීමේ හැකියාවක් අපට නැහැනේ. කොහොම වුණත් ශිෂ්‍යත්වයෙන් මට "අයිති වූ" පාසැලට යන්න නොලැබීම ගැන ඒ කාලයේ මට තිබුණේ විශාල කණගාටුවක්.

ශිෂ්‍යත්වය සමත්වීම නිසා දරුවෙකුට ලැබෙන අනික් වාසිය අදාළ මාසික දීමනාවයි. මගේ පියාගේ ආදායම් මට්ටම අනුව මට එය ලැබුනෙත් නැහැ. රජයේ සේවකයක් වූ ඔහුට ඔහුගේ ආදායම සැඟවීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත්, අපට වඩා ගොඩක් හොඳින් ජීවත් වුණු, "මුදලාලිලාගේ" දරුවන් වූ මගේ ඇතැම් මිතුරන්ට ශිෂ්‍යත්ව ආධාර මුදල් හිමි වුණා.

පසුකාලීනව මහපොළ ආධාර හා අදාළවත් තිබුණේ මෙවැනි තත්ත්වයක්. ව්‍යාපාර, වතුපිටි ආදියෙන් ලොකු ආදායම් ඉපැයූ දෙමවුපියන්ගේ දරුවන් වූ මගේ ඇතැම් මිතුරන් ශිෂ්‍යත්ව ආධාරය වගේම මහපොළ ආධාර මුදලත් ලබා ගන්න සමත් වුණා. බොහෝ විට මේ අවස්ථාවන් අහිමි වුණේ රජයේ සේවකයන්ගේ දරුවන්ට. ආදායම පිළිබඳ සැඟවිය නොහැකි වාර්තා නොතිබුණු අයෙකුට පවුලේ ආදායම අවශ්‍ය තරමට වඩා අඩු බවට ග්‍රාමසේවක සහතිකයක් ලබා ගැනීම අසීරු වුණේ නැහැ. ප්‍රායෝගිකව ඒ වගේ වෙලාවක ග්‍රාමසේවක කෙනෙක් බලන්නේ දරුවාගේ පැත්තයි.

"ළමයෙක්ට ඉගෙන ගන්න කීයක් හරි ලැබෙන එකනේ!"

කොහොම වුණත් යම් කිසි අයුරකින් මට ඒ වෙලාවේ ශිෂ්‍යත්ව ආධාර ලැබුණානම් මගේ ජීවිතයේ ලොකු වෙනසක් විය හැකිව තිබුණද? මම හිතන්නේ නැහැ.

මම දන්නා තරමින් දැනට මාසික ශිෂ්‍යත්ව ආධාර මුදල සේ ලැබෙන්නේ රුපියල් පන්සීයක් වැනි මුදලක්. ඇතැම් විට මා වැරදි වෙන්න පුළුවන්. මෙය රුපියල් දාහක් වුනත් මා කියන කතාව අවලංගු වෙන්නේ නැහැ. ඒ කාලයේ මේ මුදල රුපියල් පනහක් හෝ අද රුපියල් පන්සීයකට සමාන කළ හැකි එවැනි මුදලක්.

අඩු ආදායම්ලාභී දරුවෙකුට මේ වගේ සොච්චම් මුදලක් ලැබුණා කියලා දරුවාගේ දෙමවුපියන්ට දරුවාව රටේ හොඳම පාසැලකට යැවීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, එවැනි දරුවෙකුට අදට වුවත්, ශිෂ්‍යත්ව ප්‍රතිඵලය කුමක් වුවත්, ශිෂ්‍යත්ව ආධාරය ලැබුණත් නොලැබුණත්, දෙමවුපියන් සතුව ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් නැත්නම්, අධ්‍යාපනයේ සම අවස්ථා හිමි වෙන්නේ නැහැ. වැඩි කැමැත්තක් තිබෙන දෙයක් නොවූවත්, පෞද්ගලිකව මගේම අත්දැකීම් සටහන් කළෙත් මේ කරුණට බරක් දමන්නයි.

පහේ ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භක අරමුණ වෙලා තියෙන්නේ ගම් වල ඉන්න දක්ෂ සිසුන්ට මධ්‍ය මහා විද්‍යාල වලට ඇතුළු වී ඉහළට ඉගෙන ගන්න අවස්ථාව සැපයීම කියා කියනවනේ. මම හිතන්නේ මුල කාලයේ ඒ අරමුණ සෑහෙන තරමකින් ඉටු වුනා. හැබැයි දැන්නම් එවැන්නක් වෙන්නේ නැහැ.

ආර්ථික දුෂ්කරතා තිබෙන දක්ෂ දරුවෙකුට තමන්ගේ දක්ෂතාවය අනුව කැමැති ඉලක්කයකට යන්න ඉඩ සැලසීම තහවුරු කරන්නනම් එවැන්නකුට දැන් ගෙවනවාට වඩා සැලකිය යුතු මුදලක් ගෙවිය යුතුයි. ඒ මුදලින් නේවාසික ගාස්තු, ප්‍රවාහන ගාස්තු, අමතර පොත්පත් සඳහා වියදම්, පාසැලේ අධ්‍යාපන චාරිකා ආදිය වැනි වෙනත් දේ සඳහා වියදම් ආදිය වගේම ටියුෂන් ගාස්තුත් ආවරණය නොවනවානම් සම අවස්ථා සැලසීමක් සිදු වෙන්නේ නැහැ.

මේ විදිහට බැලුවහම තේරුමක් වෙන්නනම් දරුවෙක්ට මාසයකට රුපියල් පන්දාහක මුදලක්වත් ගෙවිය යුතුයි. එය දැන් මුදල වගේ දහ ගුණයක මුදලක්.

ශිෂ්‍යත්ව ආධාර සඳහා දැනට වෙන් කරන මුදලින් ආධාර ලබන එක් දරුවෙකුට දැන් මුදල මෙන් දහගුණයක මුදලක් දෙන්නනම් ශිෂ්‍යත්ව ආධාර ලබන සිසුන් ගණන දහයෙන් එකක් දක්වා අඩු කරන්න වෙනවා. දැනටත් ශිෂ්‍යත්වය සමත් වෙන්නේ වැඩිම ලකුණු ගන්න 10% පමණක් නිසා එයින් අදහස් වෙන්නේ වැඩිම ලකුණු ගන්න 1%කට පමණක් ආධාර ලැබිය හැකි බවයි. මම හිතන්නේ වැඩි සිසුන් ප්‍රමාණයකට තේරුමක් නැති සුළු මුදලක් දෙනවට වඩා, වඩාත්ම දක්ෂ සීමිත සිසුන් ගණනකට ඔවුන්ගේ අනාගතය වෙනස් කරන්න තරම් ප්‍රමාණවත් මුදලක් දෙන එක වඩා හොඳයි කියලයි.

ශිෂ්‍යත්වය සමත් වන ඉතා දුප්පත් දරුවෙකුට මාසයකට රුපියල් 5000ක් දුන්නොත් ඒ මුදල දරුවාගේ පවුලේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. එහෙම වුනොත්, සිසුවාගේ අනාගතය වෙනස් කිරීමේ අරමුණ ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා, මේ මුදල් සෘජුව ලබා නොදී පාසැල් නේවාසිකාගාරයට හෝ ලියාපදිංචි පාසැල් ප්‍රවාහන සේවා සපයන්නෙකු වැනි අයෙකුට ගෙවීම වඩා සුදුසුයි.

ලංකාව වගේ රටක පවුලක ආදායම් මට්ටම හරියටම හොයන එකත් පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා, වඩා සුදුසු ක්‍රමය වන්නේ හරි වැරදි පරීක්ෂා කරනවා වෙනුවට තමාගේ ආදායම අඩු බව කියා ආධාර මුදල් ඉල්ලන සියලු සිසුන්ට මේ ආධාරය දෙන එකයි. ආධාරය දෙන්නේ කුසලතා පදනමින් නිසා එහි ඇති වැරැද්දක් නැහැ. කොයි තරම් ධනවත් පවුලක ඉපදුනත් පහේ පන්තියේ දරුවෙක් කියන්නේ ආදායම් උපයන්නෙක් නෙමෙයි. විශාල ආදායමක් උපයන සුළු පිරිසක් පමණක් ආධාරය නොගෙන ඉඳියි.

ඇත්තටම අවශ්‍යතාවය වන්නේ දක්ෂ දරුවෙක්ට තමන් කැමති පාසැලකට ගිහින් අධ්‍යාපනය ලබන්න ඉඩ සැලසීම නිසා ඒ සඳහා අවශ්‍ය සියලු වියදම් වෙන් කිරීමයි විය යුත්තේ. මේ මුදල දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්න පුළුවන්. පාසල් නේවාසිකාගාරයක යන දරුවෙකුට ඒ වෙනුවෙන් වියදම් දරන්න වෙනවා. ගෙදර සිට යන දරුවෙකුට පාසැල් වෑන් රථ වෙනුවෙන් මුදල් වැය කරන්න වෙනවා. ඒ නිසා, වඩාත්ම හොඳ ක්‍රමය සියල්ලන්ටම රුපියල් 5000 ගානේ දෙනවා වෙනුවට එවැනි කිසියම් උපරිමයකට යටත්ව අවශ්‍ය වියදම් සියල්ල ගෙවන එකයි. ඒ වියදම් වලට පහත ආකාරයේ වියදම් එකක් හෝ කිහිපයක් ඇතුළත් විය හැකියි.

1. පාසැල් නේවාසිකාගාර ගාස්තු- කෙළින්ම පාසැලට, අවශ්‍යනම් ලියාපදිංචි නේවාසිකාගාර පහසුකම් සපයන්නන්ට. එවැනි සිසුන්ට වාරය මුල හා අග ඇතුළුව නියමිත වාර ගණනක් ගෙදර යන්න සහ ආපසු එන්න වියදම, වැඩිහිටියන්ගේ ප්‍රවාහන වියදම්ද ඇතුළත්ව.
2. ප්‍රවාහන ගාස්තු- ලියාපදිංචි ප්‍රවාහන සේවා සපයන්නන්ට 
3. පාසැලෙන් සිසුන්ගෙන් අය කරන විවිධ ගාස්තු- කෙළින්ම පාසැලට 
4. වාරයකට වරක් අමතර පොත් පත් ගන්න මුදලක්- පොත් වල බිල්පත් ඉදිරිපත් කළ යුතුයි. අවශ්‍යනම් මේ මුදලින් ක්‍රීඩා භාණ්ඩ වැනි දෙයක් ගන්නත් පුළුවන්.

ඔය වගේ ක්‍රමවේදයක් හැදුවොත් හැම සිසුවෙකු වෙනුවෙන්ම උපරිම මුදල ගෙවන්න අවශ්‍ය වන එකක් නැහැ. ශිෂ්‍යත්වය සමත් හෝ අසමත් ඉහළ ආදායම් ලබන පවුල් වල දරුවන් වෙනුවෙන් වැය කරන මුදල් ඔවුන්ගේ දෙමවුපියන්ගේ බදු ආදායමෙන් අඩු කිරීම වැනි සහනයකුත් දුන්නට කමක් නැහැ.

මගේ කාලයේ කෙසේ වුවත් ඊට ගොඩක් කලින් පහේ ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසුව ගමේ පාසැල් වලින් අලුත පිහිටවූ මධ්‍ය මහා විද්‍යාල වලට ඇතුළු වෙලා පසුව රජයේ ඉහළම මට්ටමේ නිලධාරීන්, සරසවි මහැදුරන් ආදීන් වූ අය ගැන මම දන්නවා. නමුත් මගේ කාලය වන විටත් පහේ ශිෂ්‍යත්වය මධ්‍යම පාංතික දරුවන්ට වඩා හොඳ පාසැල් වලට යන්න ඉඩ සලසන, දුප්පත්ම ළමයින් බැහැර කරන එකක් වී අවසානයි. ගෙවන ආධාර මුදල ප්‍රමාණවත් තරමින් වැඩි කරලා සීමිත පිරිසකට පමණක් මේ අවස්ථාව දුන්නොත් නැවතත් පහේ ශිෂ්‍යත්වයේ මුල් අරමුණ ඉටු වෙන්න පුළුවන්.

මීට අමතරව පහේ ශිෂ්‍යත්වය මේ වන විට පාසැල් වල හයේ පංතියට සිසුන් ඇතුළු කර ගැනීමේ ප්‍රධාන නිර්ණායකයක් වෙලාත් තිබෙනවානේ. ඒ අරමුණ වෙනුවෙනුත් ශිෂ්‍යත්වය යොදා ගැනීමේ වැරැද්දක් නැහැ. නමුත්, සිසුන් බඳවා ගැනීමේදී ශිෂ්‍යත්ව ලකුණුම නොබලා ශිෂ්‍යත්වය, ඇතුළත්වීමේ විභාගයක්, ඒ දෙකම, ඒ දෙකෙන් කැමති එකක්, වෙනත් නිර්ණායක ආදී ක්‍රමවේදයක් යොදා ගැනීමේ නිදහස එක් එක් පාසැලට ලබා දුන්නනම් වඩා හොඳයි කියලයි මම හිතන්නේ. 

දැන් පවතින ක්‍රමයනම් වයස අවුරුදු දහයක පමණ දරුවෙකුට ඔරොත්තු නොදෙන තරම්. නමුත්, වෙනත් විකල්පයකුත් පේන්න නැති නිසාත්, ළඟම පාසැල හොඳම පාසැල වැනි ඉලක්ක කෙටිකාලීනව ලඟා කරගන්න අමාරු නිසාත්, ශිෂ්‍යත්වය මුළුමනින්ම අහෝසි කරන එක සුදුසුයි කියන්නත් බැහැ. ඒ නිසා, පහේ ශිෂ්‍යත්වයේ තිබෙන සාධනීය අංග තියාගෙන සිසුන් මත තිබෙන පීඩනය අවම කළ හැකි ප්‍රතිසංවිධානයකටයි යා යුත්තේ.

මේ මගේ සතපහ. පැරාගේ ලිපියට ලින්ක් එකක් පහළින්.

පහේ ශිෂ්‍යත්වය අධ්‍යාපන ක්‍ර‍මයේ ගැටලුවක් ලෙස


(Image: http://www.hirunews.lk/149298/grade-5-scholarship-examination-cut-off-marks-announced-get-full-list)

Thursday, October 11, 2018

සතුට, කුඩු හා ණය


අපි සතුට ගැන කතා කරමින් හිටියනේ. ඇතැම් අය සතුට තියෙන්නේ මුදල් වල කියා හිතනවා. තවත් අය එහි අනිත් අන්තයට ගිහින් මුදල් නිසා සතුට නැති වනවා කියා හිතනවා.

සාමාන්‍යයෙන් මුදල් නිසා සතුට නැති වන්නේ නැහැ. නමුත්, එසේ විය හැකි තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේම, මුදල් වැඩි වූ පමණින් හැම විටම සතුට වැඩි වෙන්නේ නැති වුවත්, ඇතැම් අය හා අදාළව එය එසේ වෙන්න පුළුවන්. මිනිස්සු එකෙක් අනෙකාගෙන් වෙනස්.

බොහෝ දෙනෙක් හා අදාළව මුදල් හා සතුට අතර තිබෙන්නේ වක්‍ර සම්බන්ධයක්. මුදල් නිසාම සතුට වැඩි නොවන නමුත් මුදල් යහමින් ඇති අයෙකුට තමන්ගේ සතුට වැඩි කරන වෙනත් දේවල් වෙනුවෙන් ඒ මුදල් යොදවන්න පුළුවන්. මුදල් යහමින් නැති කෙනෙකුට වෙන්නේ තිබෙන දෙයින් සතුටු වන්නයි.

කොහොම වුනත්, මුදල් එක් රැස් කර ගැනීමෙන් සතුටු වන අයත් ලෝකයේ ඉන්නවා. එවැනි අය ගැන කතා බෞද්ධ සාහිත්‍යයේ වගේම වෙනත් ආගමික සාහිත්‍යයන් වලත් දැකිය හැකියි. ඒ කියන්නේ ඒ වර්ගයේ මිනිස්සු සහශ්‍ර ගණනකටත් පෙර සිට ලෝකයේ හිටියා. එහෙම නැතුව ධනවාදයක් හෝ වෙන කෙහෙම්මලක් නිසා ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි.

මුදල් හැරුණු විට දැනුම, සෞඛ්‍යය, ආගමිකත්වය, පවුල් සම්බන්ධතා, සමාජ සම්බන්ධතා, ලිංගික සම්බන්ධතා, බලය, කීර්තිය වගේ වෙනත් බොහෝ දේවල් වලින් මිනිස්සු සතුටු වෙනවා. ඇතැම් අය, ඇතැම් විට, මේ වගේ වෙනත් දෙයකින් ලැබෙන සතුට වෙනුවෙන් තමන්ගේ අතේ තිබෙන මුදල් කැප කරනවා.

සමහර අය උපුටා දක්වන ඇතැම් පාඨ අනුව ඇතැම් අය ජීවිත කාලයෙන් සෑහෙන කොටසක් මුදල් හොයන්න වෙන් කරලා අන්තිමේදී ධනවතුන් වෙනවා. ඉන් පසුව, ඔවුන්ට තේරෙනවා තමන්ට දැනුම, සෞඛ්‍යය, ආගමිකත්වය, පවුල් සම්බන්ධතා වගේ සතුට ලැබිය හැකි බොහෝ දේ මග හැරී ඇති බව. නමුත්, ඒ වන විට පරක්කු වැඩියි!

දැන් ඔය කතාව උපුටා දක්වන ගොඩක් අය එයින් පෙන්වන්නේ මුදල් පස්සේ පැන්නීමේ තිබෙන නිරර්ථක බවයි. නමුත්, ඔය කතාවේ වෙනත් පැති තිබෙනවා.

සාහිත්‍යකරුවන් ඇතුළු විවිධ කලාකරුවන් ඉහත කතාවට ප්‍රචාරයක් ලබා දෙනවා. ඒ මගින්, එක අතකින් කරන්නේ කොයි තරම් මුදල් ඉපැයූවත් ඒ මුදල් ඉතා ඉක්මණින් නාස්ති කර වත්මන් සතුට වෙනුවෙන් අනාගත සතුට කැප කරන මෙවැනි ඇතැම් අයගේ ජීවන රටාව සාධාරනීකරණය කිරීමයි. කලාකරුවන්ගේ අදහස් ඉතා පහසුවෙන් සාමාන්‍ය ජනතාව අතරට යන නිසා වෙනත් බොහෝ අයත් මුදල් පස්සේ පැන්නීම නිරර්ථක දෙයක් කියා හිතනවා.

ජීවිත කාලයෙන් වැඩි කොටසක් මුදල් පස්සේ පන්නලා ධනවතෙක් වුනාට පස්සේ තමන් එතැනට එද්දී මග හැරුණු වෙනත් දේවල් ගැන කණගාටු වන අය ඕනැ තරම් ඇති. නමුත්, ජීවිතයේ අවසන් කාලය සතුටින් ගෙවන්න තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගැනීම ගැන නොසිතමින් ජීවිතයේ මුල් කාලය වෙනත් දේවල් වලට යෙදවීම ගැන අන්තිම කාලයේදී පසුතැවෙන අය ඇතැම් විට ඊට වඩා ගොඩක් වැඩි ඇති.

මෙතැන තියෙන අවුල මුදල් පස්සේ පැන්නීම හෝ නොපැන්නීම නෙමෙයි. ස්වභාවිකවම ජීවිතයේ තිබෙන අවිනිශ්චිතභාවය හා ඒ අවිනිශ්චිතභාවය ගැන අපට තිබෙන නොදැනුමයි.

අවසන් කාලයේදී තමන්ගේ සෞඛ්‍යය ගැන කණගාටු වෙන්න වෙන බව ස්ථිරවම දන්නවානම් යමෙක් බොහෝ විට මුල් කාලයේදී සල්ලි හොයන්න යොදවන කාලයෙන් කොටසක් සෞඛ්‍යය වෙනුවෙන් යොදවන්න ඉඩ තිබෙනවා. ඒ වගේම, අවසන් කාලයේ සල්ලි නැති කමින් පීඩා විඳින්න වන බව ස්ථිරවම දන්නවානම් මුල් කාලයේ තමන්ගේ සතුට කැප කරලා මුදල් ඉතිරි කරන්න පෙළඹෙන්න ඉඩ තිබෙනවා.

මිනිස්සු හැම වෙලාවෙම ගන්නේ තමන්ගේ සතුට ඉහළ නංවන, තමන්ට හොඳම තීරණ වුවත් ඒ තීරණ නිසා අනාගත සතුටට සිදුවන බලපෑම ගැන නිවැරදි තක්සේරුවකට පැමිණීම හැම විටම කෙරෙන දෙයක් නෙමෙයි.

මත්ද්‍රව්‍ය භාවිතයෙනුත් මිනිස්සු සතුටක් ලබනවා. අපි පහසුවට කුඩු ගැහීම කියා කියමු.

මිනිස්සු කුඩු ගහන්නේ එයින් සතුටක් ලැබෙන නිසා. ඒ සතුට ක්ෂණික සතුටක්. නමුත් සතුට දිගටම පවතින්නේ නැහැ. පැය කිහිපයකට පස්සේ කික් එක නැතුව යනවා. එවිට නැවතත් කුඩු ඕනෑ වෙනවා.

මේ විදිහට සතුටින් ඉන්න දිගින් දිගටම කුඩු ගහන කෙනෙක් කලක් යද්දී කුඩු වලට ඇබ්බැහි වෙනවා. එවිට ඇති වන්නේ වෙනත් තත්ත්වයක්. දැන් සතුටින් සිටීම කෙසේ වෙතත් කුඩු නැතුව ඉන්න වෙලාවට හැදෙන සික් එක නිසාම කුඩු ගහන්න වෙනවා. කලින් ගත්ත ප්‍රමාණයම ගත්තා කියා දැන් ආතල් එකක් නැහැ. සික් එක නැති වෙන එක විතරයි වෙන්නේ. ඒත් පැය කිහිපයකට විතරයි. ආතල් ගන්නනම් කලින් ප්‍රමාණයට වඩා කුඩු අවශ්‍යයි.

ඔය විදිහට දිගින් දිගටම ආතල් ගන්නනම් ගන්න කුඩු ප්‍රමාණය දවසින් දවස වැඩි කරන්න වෙනවා. කලින් ප්‍රමාණයම ගත්තොත් වෙන්නේ සික් එක නැති වෙන එක විතරයි. ඒකත් නොගත්තොත් ඉන්නම බෑ. මේ වැඩේ කෙළවර වෙන්නේ කොතැනින්ද?

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය නොවී තිබෙනවානම් හොඳයි. නමුත්, ඒ සඳහා මහලු කාලය සතුටින් ගෙවීම පිණිස දැන් මහන්සි වී මුදල් ඉතිරි කරන කෙනෙක් වගේ වැඩ කළ යුතුයි. ඒ කියන්නේ අනිත් හැමදේම අමතක කරලා සල්ලි හොයන්න මැරෙනවා කියන එක නෙමෙයි. තමන්ගේ ආදායම්, වියදම් හා ඉතිරි කිරීම් බැලන්ස් කර ගැනීමයි කළ යුත්තේ. සමහර වෙලාවට තමන්ගේම අනාගත සතුට වෙනුවෙන් තරමක් දුරට අද සතුට කැප කරන්න වෙනවා.

ඩොලර් වලින් ණය අරගෙන රුපියල බැලන්ස් කරන එක හරියටම කුඩු ගහනවා වගේ වැඩක්. සල්ලි එනකොට ආතල්. ආර්ථිකයේ නිර්ණායක හැම එකක්ම වගේ හොඳින් පෙනෙන්න තියෙනවා.

ආයෝජන සිදු වෙනවා. හැබැයි අනුන්ගේ සල්ලි වලින්. ඒ නිසා දළ දේශීය නිෂ්පාදිතය වේගයෙන් වර්ධනය වෙනවා. හැබැයි ස්වභාවිකව නෙමෙයි.

ඩොලර් එකේ මිල අඩුයි. හැබැයි ණයට ගත්ත ඩොලර් වෙළඳපොළට එකතු වන නිසා. ඩොලර් එක අඩු නිසා ආනයනික භාණ්ඩ වල මිල අඩුයි. ඒ නිසා උද්ධමනයත් අඩුයි. රටේ නිපදවන බඩු වලට වඩා අඩු මිලකට ආනයනික බඩු මිල දී ගන්න පුළුවන්. අපනයන වලට වඩා ආනයන වැඩි නිසා රටේ පරිභෝජනය හා ආයෝජනය රටේ ආදායමට වඩා වැඩියි. මිනිස්සුන්ගේ සතුට වැඩියි.

දේශීය කර්මාන්ත එකින් එක වැහිලා ගියත් රටේ විරැකියාව අඩුයි. හැබැයි ඒ රජය විශාල කරමින් රැකියා ලබා දෙන නිසා මිස ඵලදායී වැඩක් කෙරෙන නිසා නෙමෙයි. වැඩිවන රජයේ වියදම් අර ණය වලින් ආවරණය වෙන නිසා බදු වැඩි කරන්නත් අවශ්‍ය නැහැ.

ඩොලර් වලින් ණය වැඩි වුනත් ඒ ඩොලර් යොදාගෙන රුපියල අධිප්‍රමාණය කරන්න පුළුවන් නිසා රුපියල් වලින් බැලුවහම ණය අඩු වෙලා. ඒ එක්කම, ණය වලින් රජයේ ආයෝජන ඇතුළු වියදම් ඉහළ යන නිසා දළ දේශීය නිෂ්පාදිතයත් වැඩි වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බැලුවහම පෙනෙන්නේ රජයේ ණය අඩුවන බවයි.

රුපියල ශක්තිමත් වෙන නිසා පිටරට තිබෙන ඩොලර් ලංකාවට ගේන එක දවසකින් හෝ පරක්කු කළොත් පාඩුයි. ඒ නිසා, එලියේ තිබෙන හැම ඩොලරයක්ම ක්ෂණිකව රට ඇතුළට එනවා. නමුත්, පිටට යවන ඩොලර් දවසක් හෝ පරක්කු කරල යවන තරමට වාසියි.

එළියෙන් 2-3% පොලියකට ඩොලර් වලින් ණය ගන්න පුළුවන්. ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර ආදියට 10%ක විතර පොලියක් ලැබෙනවා. ඒ අතර රුපියලත් අධිප්‍රමාණය වෙනවා. රුපියල 2-3%කින් ඉහළ ගියොත් එළියෙන් ගන්න ණය වල පොලිය ගෙවන්න ඒ වෙනසම ඇති. එතකොට අර 10%ක පොලිය එහෙම්මම ලාබ. අවදානමක් නැති ලාබයක් (සාපේක්ෂ පදනමකින්).

අවදානමක් නැතිව ලාබයක් ගන්න පුළුවන් නිසා ආයෝජකයෝ සල්ලි අරගෙන එන්නේ පෝලිමේ. දැන් රුපියල වැඩි මහන්සියක් නැතුව තවතවත් ශක්තිමත් වෙනවා.

හැම දේම නියමෙටම වෙනවා තමයි. හැබැයි මේ හැම දෙයක්ම රඳා පවතින්නේ ඩොලර් වලින් ණය අරගෙන රුපියල බැලන්ස් කිරීම මතයි. කුඩු ගහල ගන්න ආතල් එක වගේම තමයි. ණය ආපහු ගෙවන්න වෙනකොට කික් එක ඉවර වෙලා සික් එක හැදෙනවා.

ණය ගෙවන්න රජයට සල්ලිත් නැහැ. බදු වැඩි කරලා සල්ලි හොයාගත්තත් රුපියල් ඩොලර් කරන්න රටේ ඩොලරුත් නැහැ. ඒ නිසා ණය ගෙවන්න වෙන්නේ තවත් ණය අරගෙනයි.

රජය වෙළඳපොළෙන් නැති ඩොලර් ගන්න ගිය වහාම වෙන්නේ රුපියල ඉතා වේගයෙන් අවප්‍රමාණය වීමයි. එතකොට අර කලින් ඩොලර් අරගෙන ඇවිත් ආයෝජනය කරපු අය බලන්නේ පුළුවන් ඉක්මණින් තමන්ගේ ඩොලර් එළියට ගෙනියන්නයි. එළියේ ඩොලර් තියෙන එය බලන්නේ ඒවා ගේන එක හැකිතරම් පරක්කු කරන්නයි.

ඩොලර් එක වැඩි වෙන කොට ආනයනික බඩු වල මිල වැඩි වෙලා උද්ධමනය ඉහළ යනවා. රජයට වගේම පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි කරන්න වෙනවා. පෞද්ගලික අංශයේ ලාබ අඩුවෙලා රජයට ඒ මාර්ගයෙන් ලැබෙන බදු අඩු වෙනවා. රජයේ සේවක වැටුප් ඉහළ යාම නිසා රජයේ අයවැය හිඟය ඉහළ යනවා. රජයට වක්‍ර බදු ඉහළ දමන්න වෙනවා. වියදම් සීමා කරන්න වෙනවා. ආතල් ඔක්කොම ඉවරයි.

හැබැයි විසඳුමක් තිබෙනවා. ඒ තව ණය ගන්න එක. පොලියත් ගෙවන්න තිබෙන නිසා කලින් ප්‍රමාණයම අරගෙන මදි.

ගන්න කුඩු මාත්‍රාව එන්න එන්නම වැඩි කළොත් ආතල් එක දිගටම තියාගන්න පුළුවන්. පහුගිය ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වුණේ එයයි. දැන් ආණ්ඩුව කුඩු ගහන්නේ සික් එක නැති කරගන්න අවශ්‍ය තරමට විතරයි. ඒ නිසා ආතල් නැහැ. හැබැයි සික් එක නැති කරගන්න අවශ්‍ය කුඩු ප්‍රමාණය වුවත් එන්න එන්නම වැඩි වෙනවා.

කුඩු ගහන්න පුරුදු වුන කෙනෙක්ව පුනරුත්ථාපනය කරන එක අමාරු හා කල් යන වැඩක්. ඒ කාලයේ සික් එක අමාරුවෙන් හෝ විඳවන්න වෙනවා. අමාරුව වැඩි කමට වැඩේ අත ඇරියොත් ආපහු හිටපු තැනමයි.

(Image: http://www.thequotepedia.com/you-cant-buy-happiness-but-you-can-buy-drugs-and-thats-kind-of-the-same-thing-drugs-quote/)

Wednesday, October 10, 2018

රුපියලේ අගය වෙනස් වෙනකොට ණය ප්‍රමාණයට මොකද වෙන්නේ?

ඉහත ශීර්ෂය යටතේ වන යූටියුබ් වීඩියෝවක් මේ දවස් වල සංසරණය වෙනවා. මෙහි තිබෙන්නේ හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයක් හා එයට අජිත් නිවාඩ් කබ්රාල් විසින් දක්වන ප්‍රතිචාරයක්.


එහි හර්ෂ ද සිල්වා මෙහෙම කියනවා.

"අපි හිතමු ඩොලර් දහයක ණයක් තියෙනවා කියලා. එතකොට රුපියල [ඩොලරය] 150යි කියමු. එතකොට 1500යි. ...දැන් අපි හිතමු රුපියල  [ඩොලරය] 160ට ගියා කියලා. එතකොට ඩොලර් ගෙවන්න තියෙන්නේ 100යි. හැබැයි රුපියල් වලින් බලන කොට රුපියල් 1600ක්. ...ඇත්ත වශයෙන්ම ණය වැඩි වෙලා නැහැ. ණය තියෙන්නේ 100මයි. රුපියල් වලින් මේක ගණන් හැදුවොත් 150 ඉඳල 160ට වැඩි වෙලා තියෙනවා."

අජිත් නිවාඩ් කබ්රාල්ගේ ප්‍රතිචාරය මෙවැන්නක්.

"හර්ෂ [ද] සිල්වා මන්ත්‍රී තුමා පාර්ලිමේන්තුවට ගියේ 2010දී. එතකොට රුපියලේ අගය තිබුණේ රුපියල් 111ක් හැටියට. එතකොට ඩොලර් 100ක් අරන් තිබුණනම් ආණ්ඩුවට ලැබුණේ 111 ගානේ 11,100යි. දැන් 2018දී ඒ සල්ලි ගෙවන්න යනවනම් ආණ්ඩුව ආණ්ඩුවට තියෙන්නේ ඩොලර් 100ක් ගන්න 171 ගානේ. එතකොට 17,100ක් ගෙවන්න ඕනෑ. එතකොට රුපියල් 6000ක් වැඩිපුර ගෙවන්න වෙනවා. දැන් මේ සිල්ව මහත්තයට අමතක වෙලාද ඕක?"

දැන් මේ දෙන්නගෙන් ඇත්ත කියන්නෙ කවුද? බොරු කියන්නෙ කවුද?

දෙන්නගෙන් එක්කෙනෙක්වත් බොරු කියන්නෙ නැහැ. නමුත්, මේ දෙන්නම කියන්නේ කතාවේ තමන්ට අවශ්‍ය කොටස විතරයි. දෙන්නම නොකියන කොටසකුත් මෙතැන තියෙනවා. සමහර විට මේ ප්‍රකාශ උපුටා ගත් තැන්වල මීට වඩා යමක් තිබෙනවා වෙන්න පුළුවන්. ඒ ගැන මම දන්නෙ නැහැ. එහෙම තිබුණත් නැතත්, අපි මේ වීඩියෝවේ දැකිය හැකි කොටස හා අදාළව කතා කරමු.

හර්ෂ ද සිල්වා කියන විදිහට ඔහු පෙන්වන උදාහරණයේදී ණය වැඩි වෙලා නැහැ. ඩොලර් 100ක ණය නොවෙනස්ව තියෙද්දී රුපියල් වලින් බැලුවහම එය වැඩියෙන් පෙනෙන එක පමණයි වෙලා තියෙන්නේ.

රජය ඩොලර් වලින් ගන්න ණය රුපියල් වලින් ගෙවන්න බැහැ. ඒ නිසා, මෙහිදී රුපියල් ගණනට වඩා වැදගත් වෙන්නේ ඩොලර් ගණනයි. ඒ අනුව, හර්ෂ ද සිල්වා කියන කතාව ඇත්ත.

නමුත්, මෙහි තිබෙන හර්ෂ ද සිල්වා නොකියන දෙය වන්නේ රජය විසින් ණය අරගෙන තිබෙන්නේ ඩොලර් වලින් වුවත් එය ආපසු ගෙවීමට අවශ්‍ය මුදල් හොයාගන්න රජය ඩොලර් වලින් ආදායමක් උපයන්නේ නැති බවයි.

රජය ආදායම් උපයන්නේ රුපියල් වලින්. ඒ නිසා, ණය ආපසු ගෙවන්න වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. හර්ෂ ද සිල්වාගේ උදාහරණයම ගත්තොත් ඩොලරය රුපියල් 150 ලෙස තිබෙද්දී ගන්න ඩොලර් 10ක ණයකින් රජයට ලැබෙන්නේ රුපියල් 1500ක් පමණයි. නමුත්, මේ මුදල ආපසු ගෙවන්න යන විට ඩොලරය රුපියල් 160 වෙලානම් ගෙවන්නේ ඩොලර් 100ම වුවත් ඒ වෙනුවෙන් වැඩිපුර රුපියල් 100ක් වැය කරන්න වෙනවා.

උදාහරණයක් විදිහට ගත්තොත් 2004 අන්තිමේදී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 9,522ක්. ඩොලරය රුපියල් 104.61යි.

ඔය අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා දවස ලංකාවේ කාටවත් අමතක වෙන්න විදිහක් නෑනේ. එදා සිදුවුනේ ලංකා ඉතිහාසයේ සිදුවුණු ඛේදජනකම ස්වභාවික විපත්තියක්.

කොහොම වුනත් ඔය කණගාටුදායක සිද්ධිය නිසා දිගින් දිගටම පැසවමින් ඔඩු දුවන ලංකාවේ ගෙවුම් ශේෂ තුවාලයටනම් තාවකාලිකව වුවත් අස්වැසිල්ලක් ලැබුණා. සුනාමි ආධාර ලෙස ලැබුණු විදේශ විණිමය, ණය වාරික කපා හැරීම් හා ආපසු අය කරගැනීම් කල් දැමීම වගේ හේතු නිසා 2005 අවුරුද්දේ මුල හරියේදී ලංකාවේ ගෙවුම් ශේෂය මත වන පීඩනය අඩු වෙලා වසර අවසාන වෙද්දී ඩොලරයක අගය රුපියල් 102.12 දක්වා 2.49කින් පහළ ගියා.

ඒ වගේම 2005 අවුරුද්දේදී ලංකාවේ මධ්‍යම රජයේ විදේශ ණයත් ඩොලර් මිලියන 9,368 දක්වා ඩොලර් මිලියන 155කින් පහළ ගියා. ඒ කියන්නේ, ඩොලර් මිලියන 155ක ණය ආපසු ගෙවුවා. අවුරුද්ද අන්තිමට තිබුණු ඩොලරයක මිල අනුව මේ මුදල රුපියල් මිලියන 15,807ක්. නමුත්, අවුරුද්ද මුල තිබුණු ඩොලරයක මිල අනුව බැලුවොත් ඊට වඩා රුපියල් මිලියන 385ක් වැඩියි.

මේ අනුව බැලුවහම රුපියල ශක්තිමත් වීම නිසා රජයට රුපියල් මිලියන 385ක වාසියක් අත් වුනු බව කියන්න පුළුවන්. ඒ අනුව, 2005 අවුරුද්දට අදාළව අජිත් නිවාඩ් කබ්රාල්ගේ තර්කය නිවැරදියි.

හැබැයි අජිත් නිවාඩ් කබ්රාල්ගේ තර්කය නිවැරදි වන්නේ මේ සහස්‍රය සැලකුවොත් 2005 අවුරුද්දට පමණයි. මොකද මේ විදිහට රුපියල ශක්තිමත් වීම වාසියක් වෙන්නෙත්, රුපියල අවප්‍රමාණය වීම අවාසියක් වෙන්නෙත් රජය ණය ආපසු ගෙවනවනම්නේ!

සුනාමිය නිසා ගොඩ ගිය අවුරුද්දෙන් පස්සේ පහුගිය ආණ්ඩුව හෝ මේ ආණ්ඩුව යටතේ කිසිම අවුරුද්දකදී ශුද්ධ වශයෙන් බැලුවහම මධ්‍යම රජයේ ණය ආපසු ගෙවල නැහැ. හර්ෂ ද සිල්වා වගේම අජිත් නිවාඩ් කබ්රාලුත් නොකියන කතාව ඕකයි. හැම අවුරුද්දකම කරල තියෙන්නේ තවතවත් ණය අලුතින් ගන්න එකයි.

රජයට වෙළඳපොළෙන් වැඩි මිලට ඩොලර් ගන්න එක අවාසියක් වෙන්නේ ණය ආපසු ගෙවනවනම්. නමුත්, රජය දිගින් දිගටම කරන්නේ අලුතින් ඩොලර් ණය අරගෙන වෙළඳපොළේ විකුණන එකයි. එහෙම විකුණද්දී ඩොලර් එක ඉහළ යන තරමට රජයට වාසියි. රුපියල ශක්තිමත් වීම අවාසියි.

උදාහරණයක් විදිහට 2010 අවුරුද්දේදී රුපියල් 114.38 සිට රුපියල් 110.95 දක්වා රුපියල් 3.43කින් ඩොලරයක මිල පහළ ගියා. නමුත්, එහෙම වුනේ ලංකාවේ ආනයන ආදායම් ඉක්මවා අපනයන ආදායම් ඉහළ යාම වගේ ස්වභාවික හේතුවකින් නෙමෙයි. මධ්‍යම රජය විසින් ඩොලර් 2,856ක විදේශ ණය අරගෙන එයින් සෑහෙන කොටසක් විදේශ විණිමය වෙළඳපොළට මුදා හැරීම නිසා.

මේ ඩොලර් 2,856ක මුදලේ රුපියල් වටිනාකම 110.95 ගණනේ බැලුවොත් රුපියල් මිලියන 316,908ක්. නමුත්, රුපියල 114.38 මට්ටමේම තිබුණානම් රජයට තවත් රුපියල් මිලියන 9,797ක් ලැබෙනවා. රුපියල ශක්තිමත් වීම නිසා වුණේ ඒ මුදල රජයට නොලැබී යාමයි.

දිගින් දිගටම වැඩි වැඩියෙන් විදේශ ණය ගැනීම හොඳ දෙයක් හෝ අප අනුමත කරන දෙයක් නෙමෙයි. නමුත්, ප්‍රායෝගික තත්ත්වයන් යටතේ ලංකාවේ සිදු වන්නේ එයයි. එහෙම නැතුව ණය ආපසු ගෙවීමක් කොහෙත්ම සිදු වන්නේ නැහැ.

මධ්‍යම රජය විසින් විදේශ ණය ආපසු ගෙවන්න වෙළඳපොළෙන් වැඩි මිලට ඩොලර් මිල දී ගන්නවානම් ඩොලරයක මිල ඉහළ යාම අවාසියක්. නමුත්, මධ්‍යම රජය විසින් කරන්නේ අලුත් ඩොලර් ණය අරගෙන ඒ ඩොලර් වෙළඳපොළේ විකුණන එකයි. ඒ නිසා, ඩොලරයක මිල ඉහළ යන තරමට මධ්‍යම රජයට ලැබෙන රුපියල් ප්‍රමාණය ඉහළ ගිහින් බදු වැඩි කර මුදල් හොයන්න තිබෙන අවශ්‍යතාවය පහළ යන එකයි වෙන්නේ.

පසුගිය 2017 අවුරුද්දේදී රුපියල අවප්‍රමාණය වීම නිසා ණයට ගත් ඩොලර් විකිණීමේදී රජයට ලැබුණු අමතර මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 11,782ක්. ඊට පෙර අවුරුදු බැලුවත් දැකිය හැක්කේ වාසියක්.

මේ අවුරුද්ද ඇතුළත ඩොලරයක මිල අඩු වශයෙන් රුපියල් 20කින් වැඩි වනු ඇතැයි සිතමු. ඒ අතර මධ්‍යම රජයේ ණය ඩොලර් බිලියන 2.5කින් වැඩි වනු ඇතැයි සිතමු (මේ ගණන් දෙකම මීට වඩා බොහෝ වැඩි විය හැකියි). ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් රජයට මේ අවුරුද්දේ අඩු වශයෙන් රුපියල් බිලියන 50ක් වැඩිපුර ලැබෙනවා කියන එකයි.


Sunday, October 7, 2018

ඔබට සතුටුයිද දැන්?


ටික දවසකට කලින් ලියපු ලිපියකින් මම කියන්න උත්සාහ කළේ මිනිහෙකුගේ ආදායම, වත්කම් වගේ දේවල් හා ලබන සතුට අතර තිබෙන්නේ දුර්වල සම්බන්ධයක් බවයි. ධනය වැඩි අයෙකුගේ ධනය තවතවත් වැඩි වන විට සතුට වැඩි වෙන්නේ ඉතා සෙමින්. එයට හේතු ගණනාවක් තිබෙනවා. කොහොම වුනත් ඒ හේතු ගැන මේ වෙලාවේ කතා කරන්න අදහසක් නැහැ.

මිනිස්සු තමන්ට මුදලින් අවාසි වෙන තීරණ ගන්න අවස්ථා ඕනෑ තරම් තිබුණත්, ඒ වගේ වෙලාවල් වලදීත් තමන්ගේ සතුට අඩු වෙන තීරණ ගන්නේ නැහැ. මුදල් වලින් පාඩුවක් වෙන තීරණයක් ගැනීම නිසා වෙනත් ක්‍රමයකින් තමන්ගේ සතුට වැඩි වෙනවනම් මිනිහෙක් ගන්නේ සතුට වැඩිවන තීරණය මිසක් මුදල් වැඩිවන තීරණය නෙමෙයි. රැකියාව, විවාහය, සංක්‍රමණය වගේ ගොඩක් තීරණ වලදී මේ කරුණ පෙනෙන්න තිබෙනවා.

ඉහත කතාව ගැන කියවපු කිසි කෙනෙක් විරුධත්වයක් දැක්වූයේ නැහැ. නමුත්, ඇතැම් අය මම කියූ දෙයින් තවත් ගොඩක් ඉදිරියට ගිහින් මුදල් නිසා සතුට අඩු වෙනවා කියන අනිත් අන්තයටම ගිහින් ඉන්න බව පෙනුණා. අදාළ පර්යේෂණම නොවුනත් ඒ පර්යේෂණ උපුටා දක්වමින් පළ කළ පුවත්පත් ලිපි වලටත් අවධානය යොමු කරවලා තිබුණා.

ආදායම හා සතුට අතර තිබෙන සම්බන්ධය මම පෞද්ගලිකවත් අධ්‍යයනය කර තිබෙන කරුණක්. ඒ වගේම, මේ හා අදාළව පර්යේෂණ පත්‍රිකා පළ කරලා තිබෙන ඇතැම් අය මා හොඳින් දන්නා අය. තවත් අය එක්ක වරක් හෝ කතා කරල තිබෙනවා. මේ හා අදාළව ලියැවී තිබෙන ගොඩක් දේවල් කියවලත් තිබෙනවා. ඒ හැම දෙයකින්ම පසුව මගේ පෞද්ගලික නිගමනයනම් මේ කරුණ ගැන ඒ ලියා ඇති කිසිම දෙයකින් ලොකු නිගමන වලට එන්න නොහැකි බවයි. ඒ පර්යේෂණ ගැන තිබෙන විවේචන සිංහලෙන් ලියන බ්ලොග් එකක ලියන එකේ තේරුමක් නැති නිසා මෙහි ලියන්නේ නැහැ.

ධනය අතට ලැබෙද්දී සතුට අඩුවනවානම් එයින් අදහස් වෙන්නේ මිනිස්සුන්ට ධනවත් වෙන්න පහසුකම් සැලසීම වැරැද්දක් කියන එකයි. මිනිස්සුන්ට දුප්පතුන් විදිහටම ඉන්න දුන්නම සතුටු වෙනවනම් ඒ සතුට නැති කරන එක මොන තරම් අපරාදයක්ද?

නමුත්, මේ තර්කය නිවැරදි නැහැ. ධනය අතේ තිබෙන කෙනෙකුට ඒ ධනය නිසා තමන්ගේ සතුට අඩු වෙනවා කියා තේරෙනවනම් තමන්ගේ ධනය වෙන කාට හරි දීල නිදහස් වෙන එක හරිම පහසු දෙයක්. කතා වල ඒ වගේ දේවල් සුලභ වුවත් සැබෑ ලෝකයේ එවැනි දේ නිතර වෙන්නේ නැහැ. නමුත්, සිදුවන අවස්ථා තිබෙනවා. මේ විදිහට තමන් අතේ තිබෙන ධනයෙන් නිදහස් වෙන්න බලාගෙන ඉන්න, ධනය නිසා පීඩා විඳින මිනිස්සු ගණනට සාපේක්ෂව බැලුවහම ධනය නැති කමින් පීඩා විඳින මිනිසුන් ගණන ගොඩක් වැඩියි.

අපේ කට්ටකාඩුවේ ලොකු මල්ලී ලියා තිබෙන විදිහට, ලලිත් ගුණවර්ධන, බස්සා වගේ අය එකඟ වෙලා තිබෙන විදිහට "අපි බොහෝ දෙනෙක් අල්පේච්ඡ වන්නේ තේරීමක් (choice) ලෙස නොව වෙනත් විකල්පයක් නොමැති වීම නිසා". ධනය තිබෙන කෙනෙක්ට අල්පේච්ච ජීවිතයක් ගත කරන්න අවශ්‍යනම් ඒකට ලොකු බාධාවක් නැහැ. ඒ වගේම, එවැන්නෙකු සතුටු වෙන්නේ වඩා සුඛෝපභෝගී දිවි පැවැත්මකින්නම් ඒ සඳහා අවශ්‍ය ධනයත් ඔහු සතුව තිබෙනවා.

නමුත්, ධනය නැති කෙනෙකුට මේ තේරීම නැහැ. එවැනි කෙනෙක් ඇතැම් විට අර විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු සමග සංවාදයක යෙදුණු මාළුකාරයා වගේ තමන්ගේ දැන් ජීවිතයෙන් හොඳටම සතුටු වෙන කෙනෙක්නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම කෙනෙක්ට ලොකු බිස්නස් එකකට අතගහන්න යෝජනා කරන එකෙත් තේරුමක් නැහැ.

ඒ වුණත්, හැම මාළුකාරයාම හිතන්නේ ඔය සංවාදයේ පැටලුණු මාළුකාරයා වගේ නෙමෙයි. ගොඩක් අය තමන්ගේ දැන් ජීවිතයෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. එහෙම අය බලාගෙන ඉන්නේ දැන් ඉන්න තැනින් අඩියක් ඉස්සරහට තියන්නේ කොහොමද කියලයි.

තවත් ගොඩක් අය සල්ලි හොයන්න වැඩිපුර මහන්සි නොවෙන්නේ සල්ලි වලට අකැමැති නිසා නෙමෙයි. සල්ලි හොයන්න සිදුවිය යුතු මහන්සියට අකැමැති නිසයි. එහෙම මහන්සි නොවී ධනය එක්රැස් කරගන්න ක්‍රමයක් තියෙනවනම් මේ ගොඩක් අය එපා කියන්නේ නැහැ.

මම පෞද්ගලිකව ගත්තොත් මට ජීවත් වෙන්න මහගොඩක් දේවල් අවශ්‍ය නැහැ. මම තරුණ කාලයේදීවත් බඩු මිල දී ගනිද්දී සන්නාම පස්සේ පන්නපු කෙනෙක් නෙමෙයි. මට අවශ්‍යනම් මීට වඩා ටිකක් වැඩි ආදායමක් ලැබිය හැකි රැකියාවක් හොයාගන්න අපහසු නැහැ. නමුත්, දැන් රැකියාව කරද්දී තිබෙන නිදහසට මම කැමතියි.

මේකම වෙනත් විදිහකට කියනවනම් වඩා වැඩි ආදායමක් හොයන්න දැන් මම සතුට ලබන වෙනත් දේවල් කැප කරන්න මම කැමති නැහැ. එහෙම නැතුව පහසුවෙන් මුදල් ලැබෙනවනම් සංචාරයේ යෙදීම වගේ දේවල් වෙනුවෙන් තවත් ඕනෑ තරම් මුදල් වැය කරන්න බැරිකමක් නැහැ.

මෙහෙම කිවුවත් මම මේ කියන අල්පේච්ඡ ජීවිතය කියන්නේ මොන වගේ එකක්ද? වැඩිය නෙමෙයි දැනට අවුරුදු දහයකට කලින් මම ගෙවපු ජීවිතයට ආපහු ගිහින් මට අද තරමටම සතුටින් ඉන්න පුළුවන් වෙයිද? මම හිතන්නේ නැහැ.

හැම දෙනාම නොවුනත් අල්පේච්ඡ දිවි පැවැත්මකින් සතුටු වෙන මම වගේ තවත් ගොඩක් අය තමන්ගේ ඒ අල්පේච්ඡ ජීවිතය අර්ථ දක්වාගන්නේ තමන් දැන් ඉන්න සමාජ තත්ත්වයට සාපේක්ෂවයි. මොන විදිහෙන් හෝ තමන් ඉන්න තැනින් උඩට යාමේ පිස්සුවක් (මා ඇතුළු) මේ අයට නැති වෙන්න පුළුවන්. නමුත්, තමන් ගතකරන ජීවිතය හිතාහිටි තරම්ම අල්පේච්ඡ එකක් නොවන බව හරියටම තේරෙන්නනම් මොකක් හෝ අවුලක් වෙලා දැන් ඉන්න තැනින් අඩියක් පහළට වැටෙන්න ඕනෑ.

ඒ වගේම, මේ වගේ අල්පේච්ඡ ජීවිත ගෙවන (නැවතත් මා ඇතුළු) ගොඩක් අයගේ වත්කම් හෝ ආදායම් මොන විදිහකින් හෝ පොඩ්ඩක් ඉහළ ගිය විට වෙන්නේ ඔය අල්පේච්ඡකම තවදුරටත් තිබුණත් එහි ලක්ෂණ වෙනස් වෙන එකයි. බයික් එකක් ගන්න පුළුවන් කෙනෙක් කැමැත්තෙන්ම බස් එකේ යමින් තමන්ගේ අල්පේච්ඡ ජීවිතය ගැන සතුටු වෙද්දී ටොයෝටා ලෑන්ඩ් කෲෂර් එකක යන්න පුළුවන් කෙනෙක් ඩබල් කැබ් එකක යමින් තමන්ගේ අල්පේච්ඡ ජීවිතය ගැන සතුටු වෙනවා වෙන්න පුළුවන්.

තමන්ගේ මූලික අවශ්‍යතා ඉටුකරගන්න තරම් වත්කම් හෝ ආදායම් නැති අයෙක් තමන් දැනට ගත කරන ජීවිතයෙන් සතුටු වෙන්නේම නැති බව කියන්න බැරි නමුත් එවැනි අයෙකුට කිසියම් මුදලක් ලැබුණු විට වැඩිවන සතුට ධනවතෙකුට මුදලක් ලැබුණු විට වැඩිවන සතුටට වඩා ගොඩක් වැඩියි. ආදායම් මට්ටම යම් තැනකට ආවට පස්සේ හැමෝටම නොවුනත් ගොඩක් අයට සල්ලි පස්සේ පැන්නීම ඇති වෙනවා. නමුත්, එයින් කියන්නේ සල්ලි එපා වන බව හෝ සල්ලි නිසා සතුට අඩුවන බව නෙමෙයි. වෙනත් ඇතැම් දේවල් වලින් ලැබෙන සතුට සල්ලි වලින් ලැබෙන සතුටට වඩා වැඩි බවයි.

මේ වගේ වෙලාවට මිනිස්සු දැනුම, සෞඛ්‍යය වගේ ඉලක්ක පස්සේ පන්නන්න ගන්නවා. බලය හා පිළිගැනීම වගේ ඉලක්ක පස්සේ පන්නන අයත් ඉන්නවා. එය එක් එක් පුද්ගලයා සතුටු වන ආකාරය මත තීරණය වන්නක්.

සාමාන්‍යයෙන් අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම් සැලකෙන්නේ ආයෝජනයක් හැටියටයි. මේ අදහස අනුව යමෙක් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් හෝ කාලය යොදවන්නේ ඒ  හේතුවෙන් අනාගතයේදී තමන්ගේ ආදායම් ඉහළ යනු ඇතැයි විශ්වාස කරන නිසයි. නමුත්, එය එහෙම නොවන අවස්ථා තිබෙනවා. දශක ගණනක් රැකියාව කර විශ්‍රාම යාමෙන් පසුව සරසවි වල උපාධි පාඨමාලා හදාරන්න එන අය ඉන්නවා. ඒ එන්නේ අනාගතයේ තමන්ගේ ආදායම් වැඩි කරගන්න නෙමෙයි. ඒ වගේම, තමන්ගේ රැකියාවට අදාළ නැති වෙනත් දේ ඉගෙන ගන්න මුදල් හා කාලය යොදවන අය ඉන්නවා. (මේ දවස්වල අර්ධ ශතකය පහුකරපු අපේ මිත්‍රයෝ කිහිප දෙනෙක් මාර උනන්දුවෙන් සංගීතය හදාරනවා.)

කෙනෙක්ගේ රැකියාව ඔහුගේ හෝ ඇයගේ ආදායම් මාර්ගය වනවාක් මෙන්ම යම්තාක් දුරකට සතුට ලබන මාර්ගයක් එහෙමත් නැත්නම් විනෝදාංශයක්ද වන බව මම කලින් ලිපියක සඳහන් කළානේ. ඔයාකාරයටම අධ්‍යාපනය කියන්නෙත් ආයෝජන භාණ්ඩයක් වගේම යම් තරමකට පරිභෝජන භාණ්ඩයක්. ඇතැම් අය ඉගෙන ගන්නේ ඒ හේතුවෙන් තමන් ලබන සතුට නිසා.

සෞඛ්‍යය කියන එක ගත්තත් තත්ත්වය ඔය වගේම තමයි. අනාගත ආයෝජනයක් විදිහට හොඳ සෞඛ්‍ය පුරුදු වෙනුවෙන් ආයෝජනය කරන අය වගේම මෙවැනි ඇතැම් හොඳ සෞඛ්‍ය පුරුදු වලින් සතුටු වන අයත් ඉන්නවා. එවැනි අයට එවැනි කටයුතු සතුට ලබන මාර්ගයක්. පරිභෝජන භාණ්ඩයක්.

එක් එක් පුද්ගලයා සතුට ලබන ආකාරය වෙනස්. එය තීරණය වන්නේ කොහොමද කියන එක හරියටම පැහැදිලි කළ හැකි ආකාරයක් නැහැ. මෙවැනි ඇතැම් වෙනස්කම් කුඩා කාලයේදීම දකින්න පුළුවන්.

ඇතැම් ළමයි කුඩා කාලයේදී පාඩම් වැඩ වලට යොමු කරන්න දෙමවුපියන්ට සෑහෙන මහන්සියක් දරන්න වෙනවා. නමුත්, ක්‍රීඩා කිරීම හා අදාළව තනිකරම එහි අනිත් පැත්ත. ගොඩක් වෙලාවට සෙල්ලම් නවත්තලා පොත අතට ගන්නේ දෙමවුපියෙක් හොඳින් කතා කර කීමේ සීමාව පැන්නටත් පස්සෙයි. හැබැයි හැම ළමයාම ඔහොම නැහැ. මම හිටියේනම් තනිකරම අනිත් පැත්තේ. ඒ වර්ගයේ ළමයෙක්ට පොත් පත් කියවන්න කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත්, පොත පැත්තකින් තියා එළියට බහින්න කියා කියන්න වෙන්නේ ටිකක් සැර දාලයි.

දැන්නම් එන්න එන්නම මේ දෙවන කාණ්ඩයේ ළමයි වැඩියි. හැබැයි එළියට බහින්නේ නැත්තේ පොත්පත් නිසා නෙමෙයි.

යමෙක් තමන්ගේ රැකියාවෙන් සතුටු වන එකේ කිසියම් අවාසියකුත් තිබෙනවා. එවැනි අයෙකුට තරමක් අඩු වැටුපක් ගෙවා වුවත් රැකියාව තුළ රඳවා ගන්න අපහසුවක් නැහැ. ඒ වගේම, අධ්‍යාපනය නිසා සතුටු වන කෙනෙක් ලැබෙන ප්‍රතිලාභ ගැන නොහිතා හෝ ඊට වඩා වැඩියෙන් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන නිසා එහි ප්‍රතිලාභ වෙනත් අයට, ඇතැම් විට පොදුවේ සමාජයට ලැබෙන්න පුළුවන්. නමුත්, රැකියාවෙන් හෝ අධ්‍යාපනයෙන් සතුටු නොවන කෙනෙක් ඒ වෙනුවෙන් කාලය හා ශ්‍රමය යොදවන්නේ තමන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය තරමේ මූල්‍යමය වාසියක් සැලසෙනවානම් පමණයි.

ඇතැම් අය ශාරීරික ව්‍යායාම කිරීමෙන් සතුටු වෙනවා. නමුත්, පෞද්ගලිකව මම ශාරීරික ව්‍යායාම කරන්නේ එය ආයෝජනයක් ලෙස සලකලයි. එවිට වියදම වැඩියෙන් දැනෙනවා. මේ වැඩෙන් නිරායාසයෙන්ම සතුටක් ලැබෙනවානම් වඩා පහසුවෙන්, අඩු වියදමකින්, එය කරන්න තිබුණා. මේ වියදම කියන්නේ මුදල් නෙමෙයි.

අපට සතුටක් ලැබෙන දේවල් කිරීම අපේ තේරීමක් වුවත් අපට සතුටක් ලැබෙන්නේ මොන දේවල් වලින්ද කියන එක අපේ තේරීමක් කියා මම හිතන්නේ නැහැ. එය දෙවියන්ගේ කැමැත්ත හෝ කර්මය හෝ අපට අහම්බෙන් ලැබුණු ජාන වෙන්න පුළුවන්.

(Image: https://partners4prosperity.com/money-and-happiness/)

Friday, October 5, 2018

බොරු නොකියන මිනිස්සු


ඊයේ මා සහභාගී වූ රැස්වීමකදී එක් අයෙක් යම් කරුණක් ගැන සඳහන් කරමින් කිවුවේ එය ට්‍රම්ප් බොරුවකටත් වඩා ලොකු බොරුවක් බවයි. බොරු කියන එක හොඳ දෙයක් කියා සැලකෙන්නේ නැති වුනත් බොරු කියන්නන් නැති තැනක් නැහැ.

බොරු කීම කියන කරුණ දිහා සදාචාරාත්මක හෝ ආගමික පදනමකින් බලන්නේ නැති වුනත් මම සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ. ඒ බොරුවක් කියන එක ස්වභාවිකවම මට අමාරු දෙයක් නිසා.

මටනම් බොරුවක් කියන්න හිතන එකත් ආතතියක් ඇති කරන දෙයක්. ඒ වුනත්, කටේ තොලේ නොගැවී බොරු කියන අය ඕනෑ තරම් ඉන්නවා. සමහර අයටනම් ස්වභාවිකවම ඇත්ත කියන එක ගොඩක් අමාරු වැඩක්ද කියලා හිතෙන තරම්.

බොරු කියන්න අකැමැති වුනත් ඇත්ත කියන්න අමාරු අවස්ථා ඕනෑ තරම් එනවා. ඒ වෙලාවට බොරුවක් නොකියා ඇත්තත් නොකියා බේරෙන්න කුමක් හෝ උපක්‍රමයක් යොදන්න වෙනවා. මේ ප්‍රශ්නයට මුහුණ දෙන විවිධ අය භාවිතා කරන උපක්‍රම සමහර විට සමාන ඇති.

"මං බොරු කියන්නේ නෑ. ඒත් ඕනේ තරම් අවස්ථා උදාවෙනවා සත්‍යය හෙළි කරන්නත් බැරි. ඒ වෙලාවට තමා මං උපක්‍රමශීලි වෙන්නේ. මෙන්න ගුරුමුෂ්ටි නැතිවම මගේ ප්‍රයෝග. රිසි නම් අත්හදා බලන්න. කිසිදු ගෙවීමක් කළ යුතු නොවේ!

ඇත්ත බොරුවක් විදියට කීම: හිතමුකෝ කවුරු හරි මගෙන් අහනවා 'තමුසේ මාව අමාරුවේ දැම්මා නේද අරයාට මේක කියලා?'. ඒකට ඍජු උත්තරේ 'ඔව්' කියන එක එයාට කියන්න මට ඕනේ නැති නම් මං මෙහෙම කියාවි. "ආනේ, ඔයා කොහොමද ඕක ඔච්චර හොඳට දැනගත්තේ?" - "බලාගෙන ගියාම ඔයාට හොඳට පේන කියන්නත් පුළුවන්නේ. නරකයිද ඒක පටන් ගත්තොත්!" - "ඔයා එහෙම හිතනවා නම් මං මොකටද ආයේ නැහැයි කියන්නේ." - "ෂාහ්! මෙයා දැන් ෂර්ලොක් හෝම්ස්ටත් වැඩිය හපනෙක් වෙලානේ,රහස් හෙවිල්ලෙදී." වගේ ප්‍රකාශවලින් එකක්.

මඟ හැර යාම: "මහත්තයෝ, තරහ නැතිව ගෙනෙනවාද ලොකු කොළයක්, මං සේරම සහසුද්දෙන්ම ලියලා දෙන්න?"

අභියෝග කිරීම: "එක්කන් එන්නකෝ ඔය කතාව ඔයාට කිව්ව මනුස්සයාව. මං එයාගෙ ඉස්සරහම ඔයාට කියන්නම්." - " ඔයා මගේ අදහස් ප්‍රකාශ කිරීමේ මානව නිදහසත් උල්ලංඝනය කරන්නයි සුදෝ හදන්නේ!"  

ඔයාලා ඔතැනදී ඉතාම ප්‍රවේසම් විය යුතුයි වචන තෝරා ගැනීමේදීත්. ප්‍රතිවාදියාව ප්‍රකෝප නොවෙන විදියේ වදන්, ඔහුට ගරු කරන විදියටයි මං නම් කියන්නේ. ඔය මොනවා කිව්වත් ඉඟි-බිඟිවලින්, උච්චාරණයෙන් පොලිෂ් කරලා ගන්නත් ඕනේ. එව්වා වරදින්නෙ නැහැ, මට නම්."

උඩින් තිබෙන කොටස ලිවුවේ මම නෙමෙයි. නිදිගේ පංච තන්තරේ ලියන නිමල් දිසානායක. අපූරු ලේඛණ ශෛලියක් හා ලියන්න ඕනෑ තරම් අත්දැකීම් තිබෙන බව පෙනෙන බ්ලොග්කරුවෙක්. පහුගිය මාස හයට ලිපි 79ක් ලියල තියෙනවා.

ඉකොනොමැට්ටා ලියන්න පටන් ගත්තේ අවුරුදු තුනහමාරකට කලින්. ඒ කාලයේ බ්ලොග් ලියමින් සිටි ඇතැම් අය දැන් පෙනෙන්න නැහැ. තවත් ඇතැම් අය ලිපියක් පළ කරන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ. ඒ වුනත්, ඒ අඩුව පිරිමැහෙන්න අලුත් බ්ලොග් ආරම්භ වීම සතුටට කරුණක්.

අහස් ගව්වෙන් එහා ලෝකය මාස තුන හතරකට කලින් පටන් අරන් තිබෙන තවත් බ්ලොග් එකක්. ලියන්නේ අනුරුද්ධ වැලිගමගේ. කැනඩාවේ ජීවත් වන ලාංකිකයෙක්. ඔහු ලියන දේවල් කියවන්න වගේම කැනඩාවේ සිට විකාශනය වන සවණ ගුවන් විදුලියට සවන් දෙන්නත් ඔහුගේ බ්ලොග් අඩවියෙන් ඉඩ සලසනවා.

නිමල් දිසානායක වගේ අයට බොරු කියන්න අමාරුයි කිවුවත් ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක පැහැදිලි නැති වෙලාවට අපි කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියන එක අපිටවත් හරියටම නිර්ණය කරන්න අමාරුයි. ඒ වගේ වෙලාවට බොරු නොකියා ඉන්න උපක්‍රමයක් තියෙනවද?

අහස් ගව්වෙන් එහා ලෝකය හරහා සවන් දිය හැකි සවණ ගුවන් විදුලියේ ප්‍රචාරය වී තිබෙන කිසි දිනෙක බොරු නොකී මිනිහා කතාවට සවන් දුන්නොත් එහෙම උපක්‍රමයක් ගැනත් දැන ගන්න පුළුවන්.

සවණ ගුවන් විදුලියට මේ කතාව අරගෙන තිබෙන්නේ තවත් බ්ලොග් අඩවියකින්. එයනම් අලුත් එකක් නෙමෙයි. නිලූක කදුරුගමුව ලියන පරිවර්තන බ්ලොග් එක. අප්‍රිකානු ජනකතාවක් කියා කියන මේ කතාව අවුරුදු කිහිපයකට පෙර එහි පළ වී තිබෙන කතාවක්.

අපි ඉතිං බොරු කියන්නේ නෑනේ. ජීවිතේටම කියල තියෙන එකම බොරුව තමයි ඔය අන්තිමටම කිවුවේ!

(Image: https://www.parhlo.com/i-am-a-muslim-and-i-support-donald-trump-because/)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...