වෙබ් ලිපිනය:

Saturday, December 23, 2017

රුසියා ගිය තේ කුරුමිණියා


තේ කන්ටේනරයක හැංගී අනවසරයෙන් රුසියාවට ඇතුළු වූ කුරුමිණියෙකු නිසා සෑහෙන අලකලංචියක් වී තිබේ. කතාව කවුරුත් දන්නා නිසා ඒ ගැන අමුතුවෙන් විස්තර කරන්නට දෙයක් නැත.

රුසියාව හා ලංකාව අතර සම්බන්ධතා වලට මේ වන විට දිගු ඉතිහාසයක් තිබේ. පීටර් රීව්ස්ගේ ශ්‍රී ලංකා ඩයස්පෝරා විශ්වකෝෂයට අනුව රුසියන් තානාපති කාර්යාලයක් ගාල්ලේ පිහිටුවා ඇත්තේ 1882 වසරේදී වන අතර 1891දී එය කොළඹට ගෙනැවිත් තිබේ. නොවැම්බර් විප්ලවයෙන් කලකට පසුව, 1958 පෙබරවාරි 25 දින ලංකාව හා සෝවියට් දේශය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව දෙරට අතර වූ සම්බන්ධතා වඩා පුළුල් වූ අතර එවකට ලංකාවේ ප්‍රධාන අපනයන වූ තේ, රබර් හා පොල් නිෂ්පාදන සෝවියට් දේශයට යැවීම ආරම්භ විය. සෝවියට් දේශය බිඳ වැටුණද රුසියාව හා ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම බිඳ වැටුණේ නැත.

ඇඟලුම් කර්මාන්තය දියුණු වීමට පෙර ලංකාවට වැඩිම අපනයන ආදායමක් ලැබුණේ තේ වලිනි. මෑතක් වන තුරුම ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරු වූයේ රුසියාවයි. දැනටත් රුසියාව ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවෙකි. ඊට අමතරව, රබර් හා රබර් අත්වැසුම් ආදී රබර් නිෂ්පාදනත්, පොල් නිෂ්පාදනත් රුසියාව තවමත් ලංකාවෙන් ආනයනය කරයි.

ඉහත පරිදි රුසියාව ලංකාවෙන් තේ පමණක් නොව රබර් හා පොල් වැනි වෙනත් දේද දිගින් දිගටම ආනයනය කළත්, දශකයකට පමණ පෙර කාලය දක්වාත් ලංකාව රුසියාවෙන් සැලකිය යුතු දෙයක් ආනයනය නොකළේය. ඒ නිසා, දෙරට අතර වෙළඳ ශේෂය දිගින් දිගටම පැවතුණේ ලංකාවේ වාසියටය.

පසුගිය දසවසරක පමණ කාලය තුළ ලංකාව හා රුසියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම ක්‍රමයෙන් රුසියාවේ වාසියට වෙනස් විය. ඒ සඳහා හේතු වූයේ කුමක්ද යන්න පැහැදිලි නැත. 2009 වසර වන විටද නොගිණිය හැකි මට්ටමක තිබුණු රුසියානු ආනයන ඉන් පසු ඉතා වේගයෙන් ඉහළ ගියේය. එහෙත්, ලංකාවෙන් රුසියාවට සිදු කරන අපනයන ස්ථාවරව පැවතුණේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව හා රුසියාව අතර වූ වෙළඳ ශේෂ අතිරික්තය වසරින් වසර ක්‍රමයෙන් කුඩා වී ගොස් ලංකාවේ අවාසියට හේතු වන මට්ටමටම පැමිණියේය.

මහ බැංකු වාර්තා දත්ත මත පදනම් වන පහත වගුවෙන් පෙන්වා ඇති පරිදි, පසුගිය දෙවසර තුළ ලංකාව හා රුසියාව අතර වෙළඳාම සිදු වී තිබෙන්නේ රුසියාවේ වාසියටය. වෙනත් ලෙසකින් කියනවානම්, පසුගිය දෙවසර තුළ ලංකාව විසින් රුසියාවට තේ ඇතුළු සියලු අපනයන යවා ඉපැයූ මුදලට වඩා වැඩි මුදලක් රුසියානු ආනයන වෙනුවෙන් වැය කර තිබේ. මෙයට අමතරව, විවිධ උපාධි හැදෑරීමට රුසියාවට යන සිසුන් හරහාද සැලකිය යුතු විදේශ විණිමයක් ලංකාවෙන් රුසියාවට යයි.


පසුගිය 2016 වසර තුළ තේ අපනයනයෙන් ලංකාව ලැබූ සමස්ත ආදායම ඩොලර් මිලියන 1,269ක් හෙවත් ඩොලර් මිලියන 10,310ක මුළු අපනයන ප්‍රමාණයෙන් 12.3%කි. එයින් රුසියාවට විකුණා ඇති තේ වලින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 143ක් හෙවත් සමස්ත තේ අපනයන ආදායමෙන් 11.3%කි. මේ අනුව, රුසියාවට තේ යැවීමෙන් ලංකාව උපයා ඇති ආදායම සමස්ත අපනයන ආදායමෙන් 1.4%කට අඩු වන අතර ඒ මුදලද ආනයන වෙනුවෙන් නැවත රුසියාවට ගෙවා තිබේ. (මෙයට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ඇඟලුම් වලින් උපයන ආදායම සමස්ත අපනයන ආදායමෙන් 20.4%කි.)

කෙසේ වුවද, මේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළේ රුසියානු-ශ්‍රී ලංකා වෙළඳ පරිමාව හා ද්විපාර්ශ්වික වෙළඳාමේ වාසි අවාසි සංසන්දනාත්මක ලෙස පෙන්වීමට මිස රුසියාවට තේ යැවීමේ වැදගත්කම අවතක්සේරු කිරීමට නොවේ. එය ලංකාවට ඉතා වැදගත්ය.

තේ ගැන කතා කරන්නට පෙර රුසියාවෙන් ලංකාවට සිදුවන ආනයන පසුගිය වසර හතක කාලය තුළ ඩොලර් මිලියන 3ක සිට 200ක් දක්වා 66 ගුණයකින් ඉහළ ගොස් ඇත්තේ ඇයිදැයි විමසිය යුතුය. මේ ගැන ස්ථිර අදහසක් පළ කරන්නට තරම් තොරතුරු මා සතුව නැති නිසා, ඒ සඳහා පාදක විය හැකිව තිබුණු හේතු ගැන සිතන්නට සිදු වේ. ඒ, පහත කරුණු වලින් එකක් හෝ කිහිපයක් විය හැකිය.

1. දිගින් දිගටම රුසියාවේ අවාසියට හා ලංකාවේ වාසියට තිබුණු වෙළඳ ශේෂය ගැන රුසියාව සැලකිලිමත් වී එය ඔවුන්ගේ වාසියට හරවා ගන්නට කටයුතු කිරීම.
2. ලංකාවේ විණිමය අනුපාතිකය අවශ්‍ය පමණට අවප්‍රමාණය නොවීම නිසා ලංකාවේ අපනයන තරඟකාරීත්වය ක්‍රමයෙන් අඩු වී රුසියානු අපනයන වල තරඟකාරිත්වය ඉහළ යාම.
3. ලංකාවේ කිසියම් පිරිසක් විසින් රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගෙන රුසියාවෙන් භාණ්ඩ ආනයනය කරන්නට  පටන් ගැනීම.

ලංකාව සමඟ වෙළඳ හිඟයක් දිගින් දිගටම පැවතෙන විට රුසියාවට ඒ වෙනුවෙන් ඩොලර් උපයන්නට සිදු වේ. ඒ ලංකාවට අවශ්‍ය වන්නේ ඩොලර් මිස රූබල් නොවන බැවිනි. එහෙත්, ඩොලර් යනු රුසියාවටද අවශ්‍ය දෙයකි. ඒ නිසා, ඉහත පළමු කරුණ අපට පහසුවෙන් බැහැර කළ නොහැකිය.

කෙසේ වුවත්, 2016 වසරේදී රුසියාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 282කි. ආනයන වියදම ඩොලර් බිලියන 180කි. වෙළඳ ශේෂය ඩොලර් බිලියන 102ක අතිරික්තයකි. මේ ගණන් සමඟ සැසඳූ විට ලංකාව සමඟ වෙළඳාමෙන් රුසියාවට වන අවාසිය ගිණිය හැකි එකක් නොවේ. ඉතිහාසය පුරා විශාල ගෙවුම් ශේෂ අර්බුද වල සිටි අවස්ථා වලදී වුවද රුසියාව ලංකාව වැනි රටක් සමඟ කරන වෙළඳාමෙන් සිදුවන අවාසි ලොකු ප්‍රශ්නයක් ලෙස සිතා නැත.

දෙවැන්නද සලකා බැලිය හැකි කරුණකි. එහෙත්, එය ලංකාවේ විදේශ වෙළඳාමට පොදුවේ බලපාන ප්‍රශ්නයක් මිස රුසියාව සමඟ කරන වෙළදාමට පමණක් විශේෂයෙන් බලපාන තත්ත්වයක් නොවේ. මේ අනුව, ඉහත තෙවන කරුණට අපට සෑහෙන බරක් දෙන්නට පුළුවන.

ලංකාව රුසියාවෙන් ආනයනය කරන්නේ මොනවාද?

මේ හා අදාළවද විස්තරාත්මක දත්ත සොයාගන්නට නැතත් ලෝක වෙළඳ සංවිධානයේ දත්ත අනුව මෙය විවිධාංගීකරණය වූ පැසකි. මාධ්‍ය වාර්තා වල කතා කෙරෙන ඇස්බැස්ටෝස් හෝ ඇස්බැස්ටෝස් නිෂ්පාදන අමුද්‍රව්‍ය ඒ අතර තිබෙනවා විය හැකි වුවත් එය රුසියානු ආනයන සමස්තය නොවේ. රුසියානු ආනයන වලට සාපේක්ෂව ලංකාවෙන් එහි යවන අපනයන විවිධාංගීකරණය වී ඇත්තේ ඉතා අඩුවෙන් වන අතර අපනයන ආදායමෙන් 75-80% පමණම ලැබෙන්නේ තේ වලිනි.

රුසියාවට තේ යවා ලංකාව උපයන්නේ සමස්ත අපනයන ආදායමෙන් 1.4%කට නොවැඩි මුදලක් වුවත් එහි ක්ෂුද්‍ර ආර්ථික බලපෑම් සාර්ව ආර්ථික බලපෑම් වලටද වඩා විශාලය. රුසියාවට තේ අපනයනය කරන නිශ්චිත අපනයනකරුවන් සිටින අතර ඔවුන්ට තේ විකුණන නිශ්චිත අතරමැදියන් පිරිසක් හා නිශ්චිත තේ නිෂ්පාදකයින් පිරිසක් සිටිති. මේ පිරිස් විශාල රැකියා ගණනක් ජනනය කරන අතර ලංකාවේ පවුල් ගණනාවක් රුසියාවට යවන තේ වලින් යැපේ. ඩොලර් මිලියන 143ක සමස්ත අපනයන ආදායමම අහිමි වුවත් රටක් ලෙස ලංකාවට මහා විශාල ප්‍රශ්නයක් වන්නේ නැතත්, රට තුළ තේ කර්මාන්තයේ නියැලෙන්නන්ට එය විශාල ප්‍රශ්නයකි. අනෙක් අතට, රුසියාවෙන් ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ආනයනය කිරීමක් සිදුවේනම් බොහෝ දුරට එහි වාසිය ලබන්නේ පසුගිය වසර කිහිපය ඇතුළත රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ගොඩ නඟා ගෙන ඇති ආනයනකරුවෙකු හෝ කිහිප දෙනෙකි.

රුසියාව ලංකාවේ තේ තහනම් කරන්නට හේතු වී ඇත්තේ තේ තොගයක සිට හමු වී ඇති කුරුමිණියෙකි. රුසියාව පැත්තෙන් බැලූ කළ මේ තීරණය තර්කානුකූලය.

ඕනෑම රටක් තමන් විසින් ආනයනය කරන ආහාර හා කෘෂිකාර්මික භෝග වල තත්ත්වය ගැන අතිශයින්ම සංවේදීය. නවසීලන්තයෙන් එන කිරිපිටි තොගයක කුරුමිණියෙකු සිටියොත් ලංකාව ක්‍රියා කරනු ඇති ආකාරය සිතා ගන්නට අපහසු නැත. මෙවැනි සිදු වීමකින් පසු, රුසියාව ලංකාවේ තේ තහනම් නොකළත් ඒ සිදුවීම පමණක් වුවද ලංකාවේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලුම විශාල ලෙස පහත හෙළන්නට හේතු විය හැකිය.

ලංකාවේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලුම පහත වැටුණු විට එහි වැඩිම බලපෑමකට ලක්වන පිරිස අතර ඉහළින්ම සිටින්නේ රුසියාවට තේ යවන අපනයනකරුවන්ය. ඔවුන් රුසියාවට තේ යවන්නේ පළමුව තේ හැර වෙනත් ආදේශක සමඟත්, දෙවනුව වෙනත් රටවල තේ සමඟත්, තෙවනුව ලංකාවේම වෙනත් අපනයනකරුවන් සමඟත් තරඟ කරමිනි. මේ තරඟයෙන් එළියට විසි නොවන්නටනම් තමන්ගේ අපනයන වල තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක තිබිය යුතු බව ඔවුන් නොදන්නවා නොවේ. රජය මැදිහත්වී තේ අපනයන තහනම ඉවත් කරගත්තත් කුරුමිණියා යැවූ අපනයනකරුට නැවත රුසියාවට තේ යවන්නට නොලැබෙන්නට ඉඩ තිබේ.

ඇතැම් අය විශ්වාස කරන පරිදි රුසියාව ලංකාවේ තේ තහනම් කර ඇත්තේ ලංකාව ඇස්බැස්ටෝස් තහනම් කිරීමට එකට එක කිරීමක් ලෙසිනි. මේ කතාව ඇත්තක්නම්, සැබෑ ප්‍රශ්නය කුරුමිණියෙකු සිටීම නොවේ. ඇස්බැස්ටෝස් තහනම හරහා රුසියාවට රිදවීමයි.

රුසියාවට ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට එකට එක කරන්නට අවශ්‍ය වෙලාවේම ලංකාවෙන් යවන තේ තොගයක කුරුමිණියෙක් හමු විය හැකිද? මේ කුරුමිණියා කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? ඇස්බැස්ටෝස් තහනම් කිරීම ගැන අමනාපයෙන් සිටි රුසියාව හිතාමතාම කුරුමිණි කතාවක් ගෙතුවාද?

ඇස්බැස්ටෝස් තේ සම්බන්ධය ඇත්තක්නම් ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට සෑහෙන්න රිදී තිබිය යුතුය. රුසියාවට ඒ තරමටම රිදෙන්නටනම් ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට ලොකු පාඩුවක් සිදුවිය යුතුය.

පෙර කී පරිදි රුසියාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 282කි. ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ඇතුළු රුසියාවෙන් ලංකාවට එවන මුළු භාණ්ඩ තොගයේම වටිනාකම ඩොලර් බිලියන 0.2කි. එනම්, රුසියාවේ අපනයන ආදායමෙන් 0.1%කටත් අඩු ප්‍රමාණයකි. ලංකාවට එවන මුළු අපනයන තොගයම නැති වුණත්, එසේ නැත්නම් එය හිටිවනම දෙගුණ වුනත්, රුසියාවට දැනෙන්නේවත් නැත. රූබලයේ බාහිර වටිනාකම (විණිමය අනුපාතිකය) උච්ඡාවචනය වීම නිසා පැයක් වැනි කාලයක් තුළ සිදුවන බලපෑම ඊට වඩා වැඩිය. ඒ නිසා, ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට සැලකිය යුතු ආර්ථික බලපෑමක් සිදු වේයැයි සිතීම පදනම් විරහිතය.

කෙසේ වුවද, ලෝකයේ විශාලතම ඇස්බැස්ටෝස් නිෂ්පාදකයා මෙන්ම අපනයනකරුද රුසියාවයි. ඇස්බැස්ටෝස් නිසාම ප්‍රසිද්ධ වූ ඇස්බැස්ට් වැනි නගර පවා රුසියාවේ තිබේ. එම නගරය කේන්ද්‍ර කර කටයුතු කරන උරල්ඇස්බැස්ට් සමාගම පමණක් රුසියානු ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් නිෂ්පාදිතයෙන් 45%ක් හා ලෝක නිෂ්පාදිතයෙන් 22%ක් නිපදවන අතර එයින් 78%ක් අපනයනය කරයි. 2015 වසරේදී ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් අන්තරායකර ද්‍රව්‍යයක් ලෙස නම් කරමින් අපනයනය නියාමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්මත නොවීමට හේතු වූයේද රුසියාව, කියුබාව, කසකස්ථානය, කිර්ගිස්තානය, ඉන්දියාව, පකිස්ථානය හා සිම්බාබ්වේ යන රටවල විරුද්ධත්වයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ඇස්බැස්ටෝස් හේතුවෙන් වසරකට සිදුවන මරණ ගණන 107,000කි. වෘත්තිමය සුරක්ෂිතතාව පිළිබඳ ගැටළු නිසා ලොව පුරා සිදුවන මරණ වලින් අඩක්ම සිදුවන්නේ ඇස්බැස්ටෝස් හේතුවෙනි. ඇස්බැස්ටෝස් භාවිතයේ ඇති සෞඛ්‍යමය හානි සලකමින් මේ වන විට ලෝකයේ රටවල් 55ක් පමණ ඇස්බැස්ටෝස් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේ කර නැති ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව වැනි රටවල ඇස්බැස්ටෝස් භාවිතය දැඩි නියාමනයකට ලක් කර භාවිතය සීමා කර තිබේ. ලෝක කම්කරු සංවිධානය විසින් ක්‍රොසයිඩොලයිට් ඇස්බැස්ටෝස් වැනි ඇස්බැස්ටෝස් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතත් ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් තවමත් රටවල් ගණනාවක බහුලව භාවිතා වේ.

මේ වන විට ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් කණින ප්‍රධාන රටවල් වන්නේ රුසියාව, චීනය, බ්‍රසීලය හා කසකස්ථානයයි. ඇස්බැස්ටෝස් අපනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ රුසියාව, බ්‍රසීලය, කසකස්ථානය, චීනය හා ඉන්දියාවයි. ඒ අතරින්ද, ලෝක ඇස්බැස්ටෝස් අපනයන වලින් 56%ක්ම කරන්නේ රුසියාවයි. ලෝකයේ වැඩියෙන්ම ඇස්බැස්ටෝස් ආනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය හා ලංකාවයි.

ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර නැති බොහෝ රටවල පවා පසුගිය දශකය තුළ ඇස්බැස්ටෝස් භාවිතය විශාල ලෙස අඩුවී ඇතත් රටවල් කිහිපයක සිදුවී ඇත්තේ එහි අනිත් පැත්තයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පසුගිය කාලයේදී ඇස්බැස්ටෝස් භාවිතය ඉහළ ගිය රටවල් අතළොස්සට ලංකාවද අයත්ය. මේ තත්ත්වය සලකා බලන විට ලංකාව විසින් ඇස්බැස්ටෝස් ආනයනය ක්‍රමයෙන් නැවැත්වීමට ගත් තීරණයට පැහැදිලි පදනමක් තිබේ.

ලෝක ඇස්බැස්ටෝස් අපනයන වලින් 56%ක්ම කරන්නේ රුසියාව වුවත් මේ අපනයන වලින් රුසියාවට ලැබෙන ආදායම එතරම්ම විශාල නැත. ඒ, සමස්ත ලෝක ඇස්බැස්ටෝස් වෙළඳ පරිමාවම ඇමරිකන් ඩොලර් මිලියන 344ක් පමණක් වන බැවිනි. රුසියාව ඇස්බැස්ටෝස් අපනයනය කර උපයන මුළු මුදල ඇමරිකන් ඩොලර් මිලියන 191ක් පමණක් වන අතර (2015 දත්ත) එම මුදල රුසියාවේ සමස්ත අපනයන ආදායම වන ඩොලර් බිලියන 282න් 0.1%කටත් අඩුය. මගේ ඇස්තමේන්තු අනුව, ලංකාවට අපනයනය කරන ඇස්බැස්ටෝස් ප්‍රමාණයේ සමස්ත වටිනාකමම ඩොලර් මිලියන 20ක පමණ  මුදලක් වන අතර මේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රුසියාවෙන් ආනයනය කරනවා වුවත් රුසියන් ලංකා ඇස්බැස්ටෝස් වෙළඳාම ඩොලර් මිලියන 20 නොඉක්මවයි. මේ තරම් සොච්චම් මුදලක් වෙනුවෙන්, බොහෝ රටවල් විසින් දැනටමත් ගෙන ඇති මහජන සෞඛ්‍යය හා අදාළ තීරණයක් ගැනීමට එකට එක කරමින්, ලංකාවට දඬුවම් කරන්නට රුසියාවට අවශ්‍යද යන්න සැක සහිතය.

කෙසේ වුවත්, ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් අන්තරායකර ද්‍රව්‍යයක් ලෙස නම් කරමින් අපනයනය නියාමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාවට රුසියාව විරුද්ධ විය. ඒ නිසා, අපට දැනට ප්‍රචලිතව ඇති මතය මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, රුසියාව වැනි ප්‍රබල රටක් ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට සෘජුවම විරෝධය නොපා කුරුමිණියෙක් සම්බන්ධ කරගෙන තේ ආනයනය තහනම් කරන්නට යොමුවීමද තරමක් අසාමාන්‍ය දෙයකි.

ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට දැනෙන බලපෑමක් සිදුනොවුණත් එයින් විශාල පාඩුවක් වන කොටස් නැත්තේ නැත. මෙහිදී මුලින්ම සැක මතු වන්නේ ලංකාවට රුසියාවෙන් ඇස්බැස්ටෝස් ආනයනය කර ලාභ ලබන කණ්ඩායම් පිළිබඳවය. පසුගිය වසර කිහිපය ඇතුළත රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගනිමින් රුසියන් ඇස්බැස්ටෝස් ආනයනය කර ලංකාවේ ප්‍රචලිත කළ අයටනම් ඇස්බැස්ටෝස් තහනම නිසා සිදුවන්නේ විශාල හානියකි. ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක කිරීමට ආසන්නව අහඹු ලෙස සිදු වූ කුරුමිණි ගමන හා එයට ප්‍රතිචාර ලෙස රුසියාව විසින් ලංකාවේ තේ ආනයනය කිරීම තහනම් කිරීම සම්බන්ධ කරමින් කතාවක් ගොතන්නට එවැනි අයෙකුට නුවණ පෑදෙන්නට බැරිකමක් නැත. යම් හෙයකින් එය එසේ වූවානම්, ඇස්බැස්ටෝස් තහනම අකුළා ගනිමින් ආණ්ඩුව ලස්සනට ඇඳගෙන තිබේ.

Tuesday, December 19, 2017

ලෝකයේ ධනවත්ම පවුල?



මේ වන විට ලෝකයේ වැඩිම වත්කම් හිමි පුද්ගලයා වී සිටින්නේ ඇමසන් ඩොට් කොම්හි සභාපති ජෙෆ් බෙසෝස්ය. අද (දෙසැම්බර් 19)  උදෑසන, මේ ලිපිය ලියන මොහොත වන විට ඔහුගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 99.9ක්ව පැවති අතර දවස ඇතුළත මේ ගණන ඩොලර් බිලියන 100 ඉක්මවන්නට ඉඩ තිබේ. ඉතිහාසයේ ජීවත්ව සිටි, අද මුදලින් මීට වඩා වත්කම් හිමිව තිබුණු පුද්ගලයින් ගැන ලිපියක් ටික දවසකට පෙර දේශකයා විසින් පළ කර තිබුණේය

කාලයෙන් කාලයට විවිධ පුද්ගලයින් විසින් මෙවැනි විශාල වත්කම් ප්‍රමාණයන් එක් රැස් කරගන්නා අතර ඔවුන්ගේ ඇවෑමෙන් පසු සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ වත්කම් අදාළ පුද්ගලයාගේ උරුමකරුවන් අතර බෙදී යාමයි. මේ අයුරින් උරුමයෙන් විශාල ධනයක් ලබන ඇතැම් අය උනන්දුවක් නැති කමින් හෝ දක්ෂතාවයක් නැති කමින් එසේ ලැබුණු වත්කම් ක්ෂය කර ගන්නා නමුත්, ඒ වත්කම් තව දුරටත් වර්ධනය කරගන්නා අයද සිටිති. ඒ නිසා, ධනවතෙකුගේ උරුමකරුවන්ද බොහෝ විට ධනවතුන් ලෙසම ජීවත් වන නමුත් මෙය සදාකාලිකවම හා හැමවිටම මෙසේ වන්නේ නැත. උරුමකරුවන් වැඩි දෙනෙකු අතර ධනය බෙදී යාමත්, පසු පරම්පරා වල අය මුල් පරම්පරාවේ අය තරම් කාර්යක්ෂම ලෙස සිය වත්කම් කළමනාකරණය නොකිරීමත් නිසා කිසියම් අයෙකු විසින් එක් රැස් කරගන්නා ධනය හේතුවෙන් බොහෝ විට හත් මුතු පරම්පරාවක්ම ගොඩ යන්නේ නැත.

ෆෝර්බ්ස් ඇස්තමේන්තු අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයා ජෙෆ් බෙරෝස් වුවත්, ඇමරිකාවේ ධනවත්ම පවුල ලෙස සැලකෙන්නේ වෝල්මාර්ට් ව්‍යාපාර සමූහයේ කොටස් වලින් අඩකට වඩා උරුමයෙන් හිමිකරගෙන සිටින වෝල්ටන් පවුලයි.

ඇමරිකාවට වරක් හෝ පැමිණ ඇති අයෙකු වෝල්මාර්ට් සුපිරි වෙළඳ සැලකට වරක් හෝ ගොඩ වී තිබෙන්නට ඉඩ තිබේ. ඇමරිකාව පුරා විසිරී ඇති වෝල්මාර්ට් සුපිරි වෙළඳ සැල් යනු ඇමරිකානු සංකේතයක් කියා කියන්නට පුළුවන. වසර 55ක ඉතිහාසයක් ඇති වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය තුළ මේ වන විට ලෝකය පුරා විසිරුණු සිල්ලර වෙළඳසැල් 11,700ක් පමණ දක්වා ව්‍යාප්ත වී තිබේ. එහෙත්, තවමත් ප්‍රධාන වෝල්මාර්ට් යනු බොහෝ දුරට ඇමරිකා එක්සත් ජනපදයේ දේශීය වෙළඳපොල ඉලක්ක කරගත් ආයතනයකි.  

වෝල්මාර්ට් නිර්මාතෘ සෑම් වෝල්ටන් හා ඔහුගේ සොහොයුරු බඩ් වෝල්ටන් විසින් 1962 වසරේදී අර්කන්සාස් හිදී පළමු වෝල්මර්ට් වෙළඳසැල ආරම්භ කළේ පාරිභෝගිකයින්ට අඩු මිලකට, තත්ත්වයෙන් හොඳ භාණ්ඩ ලබා දීමේ අරමුණිනි. පසුගිය ඔක්තෝබර් අවසානය වන විට ඇමරිකාවේ පමණක් වෝල්මාර්ට් සුපිරි වෙළඳසැල් 3,552ක්, සෑම්ස් ක්ලබ් වෙළඳසැල් 660ක් ඇතුළු සිල්ලර වෙළඳසැල් 5,412ක් තිබීමෙන් පෙනෙන්නේ සෑම් වෝල්ටන්ගේ සංකල්පයේ සාර්ථකත්වයයි. 

සෑම් වෝල්ටන් පිළිකාවකින් මිය යන්නට වසරකට පෙර, 1991දී මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටිහි සෑම්ස් ක්ලබ් වෙළඳසැලක් ආරම්භ කරමින් වෝල්මාර්ට් ආයතනය පළමු වරට ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටතට සිය ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කළේය. මේ වන විට මෙක්සිකෝව පුරා විසිරී ඇති වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල්  ගණන 2,317කි. මීට අමතරව කැනඩාවේද  වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් 410ක් ඇති අතර ඒ අනුව උතුරු ඇමරිකාව තුළ පමණක් ඇති වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් ගණන 8,000 ඉක්මවයි. 

බ්‍රසීලයේ වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් 485ක්ද, ආර්ජන්ටිනාවේ 107ක්ද, චිලියේ (වෙනත් වෙළඳනම් වලින්) 371ක්ද, කොස්ටරිකාවේ 244ක්ද, එල් සැල්වදෝරයේ 91ක්ද, හොන්ඩියුරාස්හි 101ක්ද, ගෝතමාලාවේ 232ක්ද, නිකරගුවාවේ 95ක්ද ලෙස දකුණු හා මධ්‍යම ඇමරිකාව තුළද වෝල්මාර්ට් ජාත්‍යන්තර ජාලය මේ වන විට ව්‍යාප්ත වී තිබේ. එක්සත් රාජධානිය තුළ "ඇස්ඩා" වෙළඳ නාමය යටතේ ක්‍රියාත්මක වන සිල්ලර වෙළඳසැල් 638ක අයිතියද, ජපානය තුළ "සෙඉයු" වෙළඳ නාමය යටතේ ක්‍රියාත්මක වන සිල්ලර වෙළඳසැල් 638ක අයිතියද වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය සතුය.

වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය 1996දී චීනය තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර මේ වන විට චීනය තුළ වෝල්මාර්ට් සුපිරි වෙළඳසැල් 386ක් ඇතුළු වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් 424ක් ක්‍රියාත්මකව පවතී. වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය ඉන්දියාවට ඇතුළු වුණේ 2009දීය. මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 9ක වෝල්මාර්ට් ව්‍යාපාර ජාලයට අයත් සිල්ලර වෙළඳසැල් 20ක් වෙනත් වෙළඳ නාමයකින් විවෘතව පවතී. අප්‍රිකානු මහාද්වීපයේ දකුණු අප්‍රිකාව, ඝානා, බොට්ස්වානා, කෙන්යාව, සැම්බියාව, උගන්ඩාව, මලාවි, මොසැම්බික්, ටැන්සානියාව, ස්වාසිලන්තය, උගන්ඩාව, නයිජීරියාව, ලෙසොතෝ වැනි රටවල් ගණනාවකද වෝල්මාර්ට් ක්‍රියාත්මකය.

වෝල්මාර්ට් නිර්මාතෘ සෑම් වෝල්ටන් 1992 වසරේදී මිය යාමෙන් පසු ඔහුගේ උරුමය සෑම් වෝල්ටන්ගේ දරුවන් සිවුදෙනා වූ රොබ්, ජෝන්, ජිම් හා ඇලිස් අතර බෙදී ගියේය. 1995දී සෑම් වෝල්ටන්ගේ සොහොයුරු හා වෝල්මාර්ට් සම-නිර්මාතෘ බඩ් වොල්ටන්ද මිය ගියේය. ඉන් පසුව, බඩ් වෝල්ටන්ගේ උරුමය ඔහුගේ දියණියන් දෙදෙනා වූ ඈන් හා නැන්සි අතර බෙදී ගියේය. ඉන් පසුව, 2005දී ගුවන් යානා අනතුරකින් සෑම් වෝල්ටන්ගේ දරුවෙකු වූ ජෝන් වෝල්ටන්ද මිය ගියේය. ජෝන් සතු වූ වෝල්මාර්ට් කොටස් හිමිකම් වලින් අඩක් පුණ්‍ය කටයුතු සඳහා වෙන් කෙරුණු අතර, තුනෙන් එකක් ඔහුගේ පුත් ලූකාස්ටත්, හයෙන් එකක් දෙවන බිරිඳ වූ ක්‍රිස්ටිටත් හිමි විය. මේ අනුව, රොබ්, ජිම්, ඇලිස්, ඈන්, නැන්සි, ලූකාස් හා ක්‍රිස්ටි අතර මේ වන විට වෝල්මාට් නිර්මාතෘන්ගේ උරුමය බෙදී ගොස් තිබේ. මේ හත් දෙනාට දැනට වෝල්මාර්ට් කොටස් වලින් 54%ක් පමණ අයිතිය. අද (දෙසැම්බර් 19) වන විට වෝල්මාර්ට් පවුලේ එක් එක් සාමාජිකයාගේ වත්කම් මෙසේය.

රොබ් වෝල්ටන්- ඩොලර් බිලියන 45.5
ජිම් වෝල්ටන්- ඩොලර් බිලියන 46.5
ඇලිස් වෝල්ටන්- ඩොලර් බිලියන 46.2
ඈන් වෝල්ටන්- ඩොලර් බිලියන 6.6
නැන්සි වෝල්ටන්- ඩොලර් බිලියන 5.8
ලූකාස් වෝල්ටන්- ඩොලර් බිලියන 16.0
ක්‍රිස්ටි වෝල්ටන්- ඩොලර් බිලියන 7.4

මේ අනුව වෝල්මාර්ට් පවුලේ සාමාජිකයින්ගේ වත්කම් වල එකතුව අද වන විට ඇමරිකන් ඩොලර් බිලියන 174කි. මේ අය අතරින් ජිම්, ඇලිස් හා රොබ් පිළිවෙලින් ලෝකයේ ඉහළම වත්කම් හිමිකරුවන්ගේ ලැයිස්තුවේ 14, 15 හා 16 ස්ථාන වල සිටිති.

Wednesday, December 13, 2017

පිරිමි හෙම්බිරිස්සාව


"කුෂානි, ඇයි අද තනියම? කෝ මහත්තයා?"

"එයාට ටිකක් සනීප මදි, මිසිස් පෙරේරා!"

"හදිස්සියෙම? පන්සලට එන්න බැරි තරම් ලොකු අසනීපයක්ද?"

"අනේ නෑ, මිසිස් පෙරේරා! මේ පොඩි හෙම්බිරිස්සාවක්. ඒ වුණාට මහා ලොකු ලෙඩක් හැදුන වගෙ පොරෝගෙන නිදි!"

"හඃ! හඃ!! ඔහොම තමයි පිරිමින්ගේ හැටි! අපේ එක්කෙනාටත් පොඩි හෙම්බිරිස්සාවක් හැදුනොත් ඉතිං මහා ලොකු ලෙඩක් හැදුන වගෙ තමයි කතා කරන්නේ..."

මේ වගේ දෙබසක් ඔබ කවරදාක හෝ අසා නොතිබෙන්නට ඉඩක් නැත.

ඉංග්‍රීසි භාෂාවේ "පිරිමි හෙම්බිරිස්සාව" යන අරුත ඇති "man flu" නම් වූ වචනයක් තිබේ. මෙයින් අදහස් කරන්නේ ගැහැණියකට සාමාන්‍ය හෙම්බිරිස්සාවක් පමණක් වන දෙය පිරිමින් විසින් තමන්ට පමණක් වැළදුණු මහා භයානක ලෙඩක් ලෙස සලකන බවයි. එයට හේතුව ලෙස සාමාන්‍යයෙන් දක්වන්නේ ලෙඩේ පෙන්වමින් ගැහැණුන්ගෙන් වැඩි සැලකිලි ලබන්නට පිරිමින් විසින් දක්වන කැමැත්තයි. කාලයක් තිස්සේ පිරිමින්ට කෙරෙන මේ ආකාරයේ චෝදනා නිසා පිරිමින් විසින් තමන්ගේ අමාරුකම් අමාරුවෙන් ඉවසා ගනිමින් තමන්ගේ හෙම්බිරිස්සා අමාරුව පිටතට නොපෙන්වා සිටින අවස්ථාද තිබේ.

"දැන් හොඳටම අමාරුයි කිවුව නේද, ප්‍රභාත්? උදේ පාන්දර පිණි බබා මිදුලෙ ඉඳල තව වැඩි කරගන්නෙ නැතුව ගෙට වෙලා ඉන්න. ඔය වැඩේ වෙන දවසක කරන්න බැරියැ..."

"මේ වැඩෙත් කෙරෙන්න එපායැ, කුෂානි. හෙම්බිරිස්සාව කියල ගෙට වෙලා හිටියොත් මේ ටික මෙහෙම්මම තියෙයි!"

ලෙඩක් හෝ තුවාලයක් සිදු වූ විට යමෙකුට ඇතිවන අමාරුකම් හා දැනෙන වේදනාව දන්නේ ඒ පුද්ගලයාම පමණි. වෙනත් කෙනෙකුට එය හරියටම දැන ගන්නට ක්‍රමයක් නැත. මේ නිසා, අපට ඇතැම් විට හිතෙන්නේ වෙනත් ඇතැම් අය පොඩි අමාරුවකටත් ඕනෑවට වඩා කෑගහන බවයි. ඒ වගේම, ඇතැම් විට ඇතැම් අය ඇත්තටම පොඩි අමාරු වලටත් ලොකුවට කෑගහන විට එය බොරුවක් බව වෙනත් අයට තේරුම් ගත හැකි ක්‍රමයක් නැත. 

මෙය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය හා හෙද වෘත්තිකයින් නිතර මුහුණ දෙන ප්‍රශ්නයකි. ප්‍රශ්නයට පිළියමක් ලෙස ඩොනා වොං හා කොනී බේකර් විසින් හඳුන්වා දුන් "මුහුණු මිනුම" බටහිර රටවල සෞඛ්‍ය සේවකයින් විසින් බහුලව යොදාගත්තත් මෙයද පරිපූර්ණ මිනුමක් නොවේ. එක් අයෙකුගේ වේදනාව වෙනත් අයෙකුට හරියටම ග්‍රහණය කරගත හැකි ක්‍රමයක් නැත.


කිසියම් වේදනාවකින් පෙළෙන අයෙකුගේ වේදනාවට හේතු වන කරුණ අප විසින්ද කිසියම් දිනෙක අත් විඳ ඇත්නම් ඒ අවස්ථාවේදී අප විඳි වේදනාව ඇසුරින් අපට අනෙක් පුද්ගලයාගේ වේදනාව ගැන අදහසක් ගත හැකිය. නිවැරදි නොවූවත්, අප බොහෝ දෙනෙකුට අනෙකාගේ වේදනාව ගැන ඇති දැක්ම මෙවැන්නකි.

හෙම්බිරිස්සාවක් නොහැදුණු කෙනෙක් නැත. බොහෝ ළමුන් කුඩා කාලයේදී හෙම්බිරිස්සාවක් නැතිව ගෙවන දවස් ගණනට වඩා හෙම්බිරිස්සාව සමඟ ගෙවන දින ගණන වැඩිය. අප බොහෝ දෙනෙකු හෙම්බිරිස්සාවක් "හෙම්බිරිස්සාවක්" ලෙස මිස ලෙඩක් ලෙස සලකන්නේ නැත.

හෙම්බිරිස්සාවක් වැනි ඉතා සාමාන්‍ය ලෙඩක් හැදුණු විට හැසිරිය යුතු ආකාරයද අප ඉගෙන ගන්නේ සමාජයෙනි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු හෙම්බිරිස්සාවක් හැදුණා කියා නිවාඩු දමා ගෙදර ඉන්නේ හෝ එදිනෙදා කළ යුතු වැඩ අතපසු කරන්නේ නැත. හෙම්බිරිස්සා අමාරුව කෙතරම් වුවත් ඒ අමාරුව අමාරුවෙන් ඉවසා සිටින්නේ වෙනත් බොහෝ අයද එසේ කරන බැවිනි. විශේෂයෙන්ම නිවසක කාන්තා පාර්ශ්වය හෙම්බිරිස්සාව තියාගෙනත් ගෙදර සාමාන්‍ය වැඩ සියල්ල කරන විට පිරිමියෙකුට හෙම්බිරිස්සාව කියා ඇඳට වී පොරවාගෙන සිටීම අසීරුය. ලිපියේ උඩින්ම ඇති දෙබසේ ඇති ආකාරයේ චෝදනා අහන්නට ලැබෙන්නේ එහෙම කරන්න ගිය විටය.

කොහොම වුනත් මේ පිරිමි හෙම්බිරිස්සා කතාවේ ඇත්ත නැත්ත කුමක්ද?

මෙතෙක් කාලයක් කිසිවකු විසින් හොයා බලන්නට උනන්දු නොවූ පිරිමි හෙම්බිරිස්සා කතාවේ ඇත්ත නැත්ත සොයා බලන්නට උනන්දු වූ කැනේඩියානු සරසවියක සායනික සහකාර මහාචාර්යවරයෙකු හා වෛද්‍යවරයෙකු වන කයිල් සූ විසින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්හි නත්තල් කලාපයේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවකට අනුව, පිරිමින් විසින් වැඩි සැලකිලි ලබා ගන්නට හෙම්බිරිස්සා අමාරුව අතිශයෝක්තියට නඟමින් බොරු කරන්නේ නැත. පිරිමින්ට දැනෙන හෙම්බිරිස්සා අමාරුව ගැහැණුන්ට දැනෙන අමාරුවට වඩා ඇත්තටම වැඩිය.

ඉහත වෙනසට හේතුව පිරිමි හා ගැහැණු හෝමෝන වල වෙනස්කම් නිසා පෙනහළු ආශ්‍රිත වෛරස් රෝග වලට එරෙහිව මේ දෙපාර්ශ්වයේ ප්‍රතිශක්තිකර පද්ධති ක්‍රියාත්මක වෙන වෙනස් ආකාරයන්ය. සැබෑ තත්ත්වය මෙසේ තිබියදී "දේශපාලනික නිවැරදි බව" වෙනුවෙන් "ගැහැණුන්ට මෙන්ම පිරිමින්ටද දැනෙන්නේ එකම වේදනාව" බව සිතීමේ ප්‍රතිඵලය වන්නේ මෙවැනි රෝග වලින් පීඩා විඳින ලෝක ජනගහණයෙන් අඩක් වන පිරිමින්ට හෙම්බිරිස්සාව හැදුණු විට අවශ්‍ය තරමට අවධානය නොලැබී ඔවුන් අසාධාරණයට ලක් වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගැහැණුන්ට වඩා වැඩි පිරිමින් ප්‍රමාණයක් පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳ මිය යති.

බොහෝ පර්යේෂකයින් විසින් සිය පර්යේෂණ අපක්ෂපාතී ලෙස කළත් "දේශපාලනික ලෙස නිවැරදි නොවන" මතයක් ප්‍රවර්ධනය කරන ප්‍රතිඵලයක් ප්‍රසිද්ධ කිරීමට මැලි වන බව රහසක් නොවේ. පසුගිය දෙසියවසක පමණ කාලය තුළ දේශපාලනික ලෙස වඩා නිවැරදි මතය ලෙස සැලකුණේ සියලු මිනිසුන් සමානය යන අදහස හෝ එහි ප්‍රභේදයි. ඒ කාලය තුළ ප්‍රසිද්ධියට පත් කෙරුණු පර්යේෂණ ප්‍රතිඵල වලින්ද මේ අදහස ඉස්මතු විය. එහෙත්, පසුගිය දශකයක පමණ කාලය තුළ මේ තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් දකින්නට පුළුවන.

Tuesday, December 12, 2017

තට්ටයින්ට කරන අවවාදයයි!

ඔබ අකලට කෙස් හැලී තට්ටය පෑදීම නිසා පීඩා විඳින්නෙක්ද? එසේ නැත්නම්, අකලට හිස කෙස් පැසීම නිසා පීඩා විඳින්නෙක්ද? එසේනම්, මෙන්න ඔබට තවත් නරක ආරංචියක්!

ඔබට හෘදයාබාධයක් හැදෙන්නටද සැලකිය යුතු අවදානමක් තිබේ.

හෘදයාබාධ හැදීමේ අවදානම හඳුනාගැනීම සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නා නිර්ණායක වන්නේ සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය, තරබාරුකම, පවුලේ වෙනත් අයට හෘදයාබාධ හැදී තිබීම, අධික රුධිර පීඩනය, දියවැඩියාව, දුම්බොන්නෙකු වීම ආදී කරුණුය. එහෙත්, මේ කරුණු සියල්ලම මත වුවද හෘදයාබාධ හැදීමේ ඉඩකඩ එතරම්ම නිවැරදිව පුරෝකථනය කළ නොහැකිය. බොහෝ දෙනෙකුට මේ අවදානම් සාධක නොතිබියදී පවා හෘදයාබාධ වැළඳේ.

නවතම පර්යේෂණයකින් පෙනී ගොස් ඇති පරිදි "පිරිමි මෝස්තරයට" තට්ටය පෑදීම හා අකලට කෙස් පැසීමද ඉදිරියේදී  හෘදයාබාධයක් හැදෙන්නට ඇති අවදානම පෙන්වන සාධකයි.

වයස අවුරුදු 40 නොඉක්මවූ ඉන්දියානු පිරිමි අතරින් හෘද රෝගීන් 790කුත්, සංසන්දනය කිරීම සඳහා පාලිත කණ්ඩායමක් ලෙස එම වයස් කාණ්ඩයේම නිරෝගී පිරිමින් 1,270කුත් යොදා ගනිමින් සිදු කළ මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පෙනී ගොස් ඇත්තේ "පිරිමි මෝස්තරයට" අකලට තට්ටය පෑදීම හෘද රෝග වැළඳීමේ අවදානම 5.6 ගුණයකින් ඉහළ දමන බවයි. අකලට කෙස් පැසීම මේ අවදානම 5.3 ගුණයකින් ඉහළ දමන අතර තරබාරු වීම 4.1 ගුණයකින් හෘද රෝග අවදානම ඉහළ නංවයි. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව හෘද රෝග පුරෝකථනය කිරීමේ හැකියාව අනුව දියවැඩියාව, දුම්බීම ආදී අනෙක් කරුණු සියල්ල තිබෙන්නේ ඉහත කරුණු තුනට වඩා පිටුපසිනි.

මොකක්ද මේ "පිරිමි මෝස්තරයට" තට්ටය පෑදීම?

වයසත් සමඟ කෙස් යාම ක්‍රම දෙකකට සිදු වේ. මේ ක්‍රම දෙක හැඳින්වෙන්නේ "පිරිමි මෝස්තරයට" කෙස් යාම හා "ගැහැණු මෝස්තරයට" කෙස් යාම ලෙසිනි. පිරිමින්ගේ කෙස් යාම වැඩි වශයෙන්ම පිරිමි මෝස්තරයට සිදු වීමත්, ගැහැණුන්ගේ කෙස් යාම වැඩි වශයෙන්ම ගැහැණු මෝස්තරයට සිදු වීමත් මත මේ නම් කිරීම සිදු කර තිබේ.



ගැහැණු මෝස්තරයට කෙස් යාමේදී හිසේ සෑම තැනකම වාගේ කෙස් ඒකාකාරී ලෙස තුනී වන අතර පිරිමි මෝස්තරයට කෙස් යාම සුවිශේෂී රටාවකට සිදු වේ. මෙහිදී මුලින්ම හිසේ ඉදිරිපස හා හිස් මුදුනේ කෙස් හැලී හිස පිටුපස හා හිස දෙපස කෙස් ඉතිරි වේ. පිරිමි මෝස්තරයට කෙස් යාමට හේතුවන ඇතැම් ජානමය සාධක හා හෝමෝන හඳුනාගෙන ඇතත් ගැහැණු මෝස්තරයට කෙස් යාම ගැන එවැනි දැනුමක් තවමත් නැත.

පර්යේෂණ දත්ත අනුව පෙනී ගොස් ඇත්තේ පිරිමි මෝස්තරයට කෙස් යාම පුද්ගලයකුගේ සැබෑ වයස මත නොව "සනාල වයස (vascular age)" මත තීරණය වන්නක් බවයි. සනාල වයස යනු ඔබේ හෘදය වස්තුව කෙතරම් වයසට ගොස් ඇත්ද යන්නයි. හෘද ස්පන්දන තරංග ප්‍රවේගය හා හෘදයේ ධමනි වල ඝනකම මැනීමෙන් පුද්ගලයෙකුගේ සනාල වයස ඇස්තමේන්තු කළ හැකිය.

මේ ආකාරයේ වෛද්‍ය විද්‍යා පර්යේෂණ පදනම් වන්නේ සංයුක්ත නිරීක්ෂණ මත මිස න්‍යාය මත නොවේ. ඒ නිසා, මේ පර්යේෂණ ප්‍රතිඵලයෙන් කියන්නේ අකලට තට්ටය පෑදීම හා කෙස් පැසීම හෘද රෝග වැළඳීමේ අවදානම හඳුනාගත හැකි නිර්ණායක බව මිස හෘද රෝග වලට හේතු බව නොවේ. ඒ නිසා, තට්ටය පෑදීම වලක්වා ගැනීමෙන් හෘද රෝග අවදානම අඩු වේයැයි හරියටම කිව නොහැකිය.

ඉන්දියානු පිරිමින් යොදාගනිමින් සිදු කර ඇති පර්යේෂණයක් නිසා මේ නිරීක්ෂණ බටහිර රටක පුද්ගලයින් යොදාගනිමින් කරන මෙවැනි පර්යේෂණයකට වඩා ලංකාවට අදාළ විය හැකිය.

Monday, December 11, 2017

හිරගෙදර සියල්ලේ අවසානයද? (දෙවන කොටස)


පසුගිය ලිපියෙන් අප කතා කළේ මිෂෙල් ජෝන්ස්ට වසර පණහක සිර දඬුවමක් නියම වීමට හේතු වූ පසුබිම් කතාවයි. බැලූ බැල්මටම ඇය තමන්ගේම කුසින් වැදූ වයස අවුරුදු හතරක ආබාධිත දරුවාට තාඩන පීඩන කර මරා දැමූ හෝ නොසැලකිල්ල නිසා මැරෙන්නට සැලැස්වූ අපරාධකාරිනියකි. ඇගේ දරුවා වූ බ්‍රෙන්ඩන්ගේ මළ සිරුර පසුව හෝ හමු නොවුනත්, එම දරුවා මිය ගොස් ඇති බව සිතන්නට සැලකිය යුතු තරම් සාධක තිබුණේය. එහෙත්, එම මරණය සිදු වූ ආකාරය හරියටම දන්නේ මිෂෙල් පමණි.

මිෂෙල්ගේ මිතුරියන් හා අසල්වැසියන් විසින් ලබා දුන් සාක්ෂි ඇයට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කිරීම සඳහා යොදා ගැනුණු අතර මේ ඇතැම් සාක්ෂි පදනම් වුයේ ඈ විසින්ම ඔවුන්ට කියා තිබුණු දේවල්ය. බොහෝ විට මිෂෙල් විසින් බ්‍රෙන්ඩන්ව මරා දමන්නට අදහස් නොකළා වන්නට ඇත. එහෙත්, ඇය දරුවා සම්බන්ධයෙන් දක්වා තිබුණු නොසැලකිල්ල ඉතා පැහැදිලිය. දරුවා මිය ගොස් ඇතැයි සැක සිතීමෙන් පසු ඇය දරුවාව වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් නොතිබුණු අතර අඩු වශයෙන් දරුවා අතුරුදහන්ව සිටින බව පොලීසියට පැමිණිලි කර හෝ නොතිබුණේය. අවසාන වශයෙන් වසර පණහක සිර දඬුවමක් ගෙවීම සඳහා ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරයට යන්නට ඇයට සිදු විය.

ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරය ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් සඳහාම වෙන්වූ පළමු බන්ධනාගාරයයි. 1873දී මේ බන්ධනාගාරය ස්ථාපනය කිරීමට පෙර කාන්තා රැඳවියන්වද යොමු කර තිබුණේ ඉන්දියානා රාජ්‍ය බන්ධනාගාරය වෙතය. එහිදී, කාන්තාවන්ට විවිධ අඩන්තේට්ටම් වලට මුහුණ දෙන්නට සිදු වී ඇති අතර පිරිමි සිරකරුවන් විසින් පමණක් නොව බන්ධනාගාර නිලධාරීන් විසින් පවා කාන්තා රැඳවියන් දූෂණය කිරීම සාමාන්‍ය දෙයක්ව තිබී ඇත. එයට විරුද්ධ වන කාන්තාවන් නිරුවත් කර අනෙකුත් පිරිමි හා කාන්තා රැඳවියන් ඉදිරියේ කසපහර දීම සිදුවී ඇති බවට වාර්තා තිබේ. මේ යුගය සමාජ විරෝධීන් ලෙස සැලකුණු සිරකරුවන්ගේ අයිතිවාසිකම් ගැන ලෝකයේ කවර සමාජයක් හෝ එතරම් සැලකිලිමත් වූ කාලයක් නොවේ.

ඇමරිකානු සමාජ ක්‍රියාකාරිනියක රෝඩා කොෆින් හා සිවිල් යුද්ධයේදී හෙදියක ලෙස කටයුතු කර ඇති සේරා ස්මිත් විසින් ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරය පිහිටුවීමට මුල් තැන ගන්නේ මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාන්තා රැඳවියන්ගේ තත්ත්වය වඩා යහපත් කිරීමේ අරමුණිනි. රෝඩා කොෆින්ගේ සමාජ ක්‍රියාකාරිත්වය හමුවේ ඉන්දියානා රජයට කාන්තා බන්ධනාගාරය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන්නට සිදුවන අතර සේරා ස්මිත් එහි ආරම්භක බන්ධනාගාර අධිකාරීවරිය බවට පත්වේ. මේ හේතුව නිසා පසුගිය කාලය පුරාම සමාජ ක්‍රියාකාරිනියන් ලෙස රෝඩා කොෆින් හා සේරා ස්මිත්ව ගෞරවාදරයට ලක්ව තිබේ.

මිනීමැරුමකට වරදකාරිය වී ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරයේ බිත්ති අතරට ජීවිතයෙන් අඩසියවසක් සිර කරන්නට සිදු වුවත් මිෂෙල් ජෝන්ස් ඒ හේතුවෙන් ජීවිතය පිළිබඳ යහපත් බලාපොරොත්තු අතහරින්නේ නැත. රැඳවියක ලෙස බන්ධනාගාරයේ නීති පුස්තකාලයේ සේවය අරඹන ඇය ඒ අතර නීතිය පිළිබඳ මූලික වෘත්තීය සුදුසුකමක් (පැරාලීගල්) ලබා ගනී. ඉන් පසුව, 2004 වසර වෙද්දී බෝල් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධියක්ද හිමි කර ගනී.

මිෂෙල් ඇතුළු තවත් කාන්තා රැඳවියන් ගණනාවකගේ ජීවිත වල හැරවුම් ලක්ෂ්‍ය ලකුණු කරන්නේ තවත් සමාජ ක්‍රියාකාරිනියකි. ඒ ස්වේච්ඡා පදනමින් ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරය තුළ අධ්‍යපනික වැඩ සටහනක් අරඹන කෙල්සි කෝෆ්මන්ය. ඇගේ සහයට පිළිගත් සරසවි වල විශ්‍රාමික මහාචාර්යවරු ඇතුළු තවත් කණ්ඩායමක් එකතු වේ. මිෂෙල්ට ඇමරිකානු ඉතිහාසය පිළිබඳ පර්යේෂිකාවක ලෙස නමක් සටහන් කරන්නට ලැබෙන්නේ මේ පිරිස නිසාය.

කෙසේවුවද, ඇමරිකාවේ බන්ධනාගර රැඳවියකට වුවත් නිදහස් පර්යේෂිකාවකට ලැබෙන පහසුකම් බොහොමයක් සිහිනයක් පමණි. ඔවුන්ට අද කාලයේ පර්යේෂකයෙකුට නැතිවම බැරි අන්තර්ජාල පහසුකම් නැත. බන්ධනාගාර පුස්තකාලයේ පොත් විශාල ගණනක් තිබුණත් ඒවා ප්‍රබන්ධ මිස අධ්‍යාපනික ග්‍රන්ථ නොවේ. සාමාන්‍යයෙන් ඇමරිකාවේ පුස්තකාල බොහොමයක ඇති ඉතා වටිනා පහසුකමක් වන්නේ රටේ වෙනත් පුස්තකාලයක ඇති පොතක් ගෙන්වා ගැනීමට ඇති හැකියාවයි. එහෙත්, මේ අයුරින් වෙනත් පුස්තකාලයක ඇති පොතක් බන්ධනාගාර පුස්තකාලයට ලැබෙන්නට සෑහෙන කලක් ගත වී ඇති බව පැවසේ. ඒ නිසා, මිෂෙල්ට තමන්ට අවශ්‍ය වන මූලාශ්‍ර බොහොමයක් පරිශීලනය කරන්නට වෙන්නේ බාහිර ස්වේච්ඡා ක්‍රියාකාරිකයන්ගේ උදවුවෙනි.

කෙසේවුවද, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කාන්තා බන්ධනාගාරය ලෙස සැලකෙන ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරයේ ආරම්භක අවධිය හා අදාළ ලිපිගොණු රැසක් එහි තිබුණු අතර ඒවා කිසිවෙකුගේ සැලකිල්ලට ලක්වී නොතිබුණේය. ඇමරිකානු ඉතිහාසය හා අදාළ වටිනා ලියවිලි ගොන්නක් ලෙස සැලකිය හැකි මේ ලේඛණ පිළිබඳව විමර්ශනයක් අරඹන්නට කෙල්සි කෝෆ්මන් විසින් මිෂෙල්ව යොමු කරවයි. එහිම තවත් රැඳවියක වන ලෝරි රෙකෝඩ්ද ඇයට එකතු වේ, ඒ වන විට ලෝරිද බෝල් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධියක්ද හිමි කරගෙන අවසන්ය.

අප එදිනෙදා අසන දකින දේවලින් අප මතක තබා ගන්නේ අපට අවශ්‍ය දේ පමණි. අපට අනවශ්‍ය දේ අප හිතාමතාම හෝ නොවැදගත් ලෙස සැලකීම නිසා අමතක කර දමන්නෙමු. කිසියම් සමාජයක සාමූහික මතකය පිළිබඳව ඇත්තේද මෙවැනිම තත්ත්වයකි. සමාජයකට පොදුවේ මතක තබා ගන්නට අවශ්‍ය නොවන දෑ කාලයත් සමඟ එම සමාජයේ සාමූහික මතකයෙන් ගිලිහී යයි. ඉතිහාසය බවට පත් වන්නේ සාමූහික මතකය තුළ ඉතිරිවන කොටස පමණි. උදාහරණයක් ලෙස මාලදිවයින මුස්ලිම් රටක් වීමෙන් පසුව එහි බෞද්ධ ඉතිහාසය බොහෝ දුරට සාමූහික මතකයෙන් ඉවත්ව තිබේ. අශෝක බුද්ධාගම ලංකාවේ ව්‍යාප්ත වීමෙන් පසුව මහාවංශයට පෙර යුගය පිළිබඳ තොරතුරු බොහොමයක් ලාංකිකයින්ගේ සාමූහික මතකයෙන් ගිලිහී ඇත. මෙවැන්නක් සිදුවන්නට සියවස් ගණනක් කල් ගත විය යුතු නැත.

ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරයේ ආරම්භක අවධිය හා අදාළ ලිපිගොණු පරීක්ෂා කළ මිෂෙල්ට හා ලෝරිට ඒ වන විට ඇමරිකානුවන්ගේ සාමූහික මතකයෙන් ගිලිහී ගොස් තිබුණු බොහෝ දේ දැනගන්නට ලැබුණේය. ඒ වාර්තා අනුව, මේ වන විට වීරවරියන් වී සිටින සේරා ස්මිත් වැනි අය හිතන තරම්ම සුදු චරිත නොවන බවත් කාන්තා රැඳවියන් හා අදාළව ඇය අනුගමනය කර ඇත්තේ ඉතා දැඩි ප්‍රතිපත්තියක් බවත් ඇයට පැහැදිළිව දකින්නට ලැබුණේය. කාන්තාවන් සඳහාම වෙන්වූ මේ බන්ධනාගාරය තුළ පවා රැඳවියන්ට සෑහෙන තරමේ අඩන්තේට්ටම් සිදු වී ඇති අතර එහි මුලින්ම පැමිණි රැඳවියන්ට මිෂෙල්ලාට තරම් හොඳ ජීවිතයක් එහිදී උරුම වී නැත.

ලේඛණ පරීක්ෂා කිරීමේදී මිෂෙල් ඇතුළු පිරිසට දකින්නට ලැබුණු පුදුම එළවන සුළු නිරීක්ෂණයක් වූයේ මුල් කාලයේ මේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් අතර ගණිකාවන් පිළිබඳ වාර්තා ඇත්තේම නැති තරම් බවයි. එහෙත්, වෙනත් ඓතිහාසික වාර්තා අනුව මේ කාලය ගණිකා වෘත්තිය විශාල ලෙස ව්‍යාප්තව තිබුණු කාලයකි. මේ ඔස්සේ කරුණු විමසන ඔවුන්ට සොයාගන්නට ලැබෙන්නේ මෙයට හේතුව ඒ කාලයේදී ඇමරිකාවේ තිබී ඇති "මග්දලේනා ලොන්ඩරි" බවයි. චරිතය අයහපත් කාන්තාවන් අල්ලා සිරගත කර තැබීම සඳහා අයර්ලන්තයේ තිබී ඇති මෙවැනි මග්දලේනා ලොන්ඩරි ගැන ඒ වන විටද අනාවරණය වී තිබුණේය.

ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරය ආරම්භ කරන්නට පස්මසකට පෙර ඉන්දියානාපොලිස්හිද මෙවැනි මග්දලේනා ලොන්ඩරියක් තිබී ඇති බවත්, පෞද්ගලික (කතෝලික පල්ලි මඟින් නඩත්තු කරන) බන්ධනාගාර ලෙස සැලකිය හැකි එවැනි මග්දලේනා ලොන්ඩරි අඩු වශයෙන් 23ක් ඊට පෙර ඇමරිකාව පුරා ආරම්භ කර ඇති බවත් මිෂෙල් හා ලෝරිට සොයාගන්නට හැකි විය. ඉතිහාසයේ මේ කාලපරිච්ඡේදය පිළිබඳ ඇමරිකානු සාමූහික මතකයෙන් ගිලිහී තිබුණු මේ තොරතුරු අනාවරණය කරමින් මිෂෙල් ජෝන්ස් හා ලෝරි රෙකෝඩ් විසින් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව මේ වසරේදී "Journal of the Indiana Academy of the Social Sciences" ජර්නලයේ පළ වූ අතර ඊට පෙර එම ජර්නලය පළ කරන ඉන්දියානා සමාජ විද්‍යා ඇකඩමියේ වාර්ෂික රැස්වීමේදී බන්ධනාගාරගතව සිටි මිෂෙල් හා ලෝරි විසින් වීඩියෝකන්ෆරන්ස් ක්‍රමයට මේ පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කළේය. එම පත්‍රිකාව සඳහා අදාළ වසරේ එම සංගමයට ඉදිරිපත් කෙරුණු හොඳම පර්යේෂණ පත්‍රිකාව සඳහා වන ත්‍යාගය හිමි විය.

මිෂෙල් ජෝන්ස් ගැන කතාබහ නැවතත් කරලියට එන්නේ මේ වසරේදී හාර්වඩ් විශ්ව විද්‍යාලය ඇතුළු ඇමරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල රැසකට ආචාර්ය උපාධි අපේක්ෂිකාවක ලෙස මිෂෙල් ජෝන්ස් අයදුම් කිරීමත් සමඟය. ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා හාර්වඩ් විශ්ව විද්‍යාලයට ඇතුළු වීම මිනීමැරුමකට චෝදනා ලබා ඇති අයෙකු හිරෙන් නිදහස් වීමටත් වඩා අසීරු කාර්යයක් බව කිව යුතු නැත.

ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සරසවි බොහොමයක් සිසුන් තෝරා ගැනීමේදී එය කරන්නේ සිසුන්ගේ කුසලතා හා අදාළ කරුණු හැර ජාතිය, ආගම, ලිංගිකත්වය වැනි වෙනත් කරුණු දෙස නොබලමිනි. විශේෂයෙන්ම හාර්වඩ් විශ්ව විද්‍යාලය මුදල් ගෙවීමේ හැකියාව පවා නොසලකා හැමවිටම දක්ෂ සිසුන් පමණක්ම ඇතුළු කරගන්නා ආයතනයකි. කෙසේ වුවත්, තවමත් ඇතැම් සරසවි අයදුම්පත් වල දැකිය හැකි දෙයක් වන්නේ "ඔබ කෙදිනක හෝ අපරාධ වරදකට වරදකරු වී ඇත්ද?" යන්නයි. පිළිතුර "ඔව්" යන්නනම් අදාළ සිදුවීම විස්තර කළ යුතුය. මේ ප්‍රශ්නය සාර්ථක ලෙස අධ්‍යාපනය ලැබීමට ඇති කුසලතාවට සම්බන්ධ නොවන කරුණක් නිසා එමඟින් කිසියම් වෙනස් ලෙස සැලකීමකට ඉඩකඩ විවර කරයි. මේ හේතුව නිසා ඇමරිකාවේ සරසවි වල මෑතකාලීන ප්‍රවණතාවයක්ව තිබෙන්නේ මේ ප්‍රශ්නය අයදුම්පත් වලින් ඉවත් කිරීමයි.

ඇමරිකාවේ සරසවියක ආචාර්ය උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අයදුම්කරන්නන් අතරින් සුදුසු තැනැත්තන් තෝරා ගැනීම සාමාන්‍යයෙන් අදාළ අධ්‍යයනාංශය විසින් කරන්නකි. එහෙත්, මේ තේරීම සරසවියේ වෙනත් තැන් වලින්ද අනුමත විය යුතුය. හාර්වඩ් සරසවියේ ඉතිහාස අධ්‍යයනාංශය විසින්ද මේ අයුරින් ඔවුන්ට ලැබුණු අයදුම්පත් අතරින් වඩා යෝග්‍ය සිසුසිසුවියන් සීමිත පිරිසක් ආචාර්ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා තෝරා ගත්තේය. මෙසේ තෝරාගත් ලැයිස්තුවට මිෂෙල් ජෝන්ස්ගේ නමද ඇතුළත් විය. කෙසේ වුවද, ඇගේ අතීතය හා අදාළ සුවිශේෂී තත්ත්වය නිසා මේ ලිපිගොනුව අනුමැතිය පිණිස විශ්ව විද්‍යාලයේ ඉහළ මට්ටමේ කමිටුවකට යොමු වූ අතර එහිදී ඇගේ අයදුම්පත ප්‍රතික්ෂේප විය. මිෂෙල්ව හාර්වඩ් සරසවියේ ආචාර්ය උපාධි පාඨමාලාවට ඇතුළත් කර නොගැනීමට හේතුව ලෙස සඳහන් කෙරුණේ මිෂෙල් විසින් ඇගේ අයදුම්පත සමඟ ඉදිරිපත් කරන පෞද්ගලික ප්‍රකාශනයෙහි සිය අතීත වැරදි ගැන අඩුතක්සේරුවකින් යුතුව කතා කර තිබීමයි. මෙය ඇගේ ශාස්ත්‍රාලයීය අවංක බව පිළිබඳව සැක සංකා ඇති කරන බව අදාළ කමිටුවේ නිගමනය විය.

කුසලතා පදනම මත ඉතිහාස අධ්‍යයනාංශය විසින් තෝරාගැනීමෙන් පසුව හාර්වඩ් සරසවිය විසින් මිෂෙල් ජෝන්ස්ට එහි දොරගුළු වැසීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් විය. කෙසේ වුවද, එක් දොරක් වැසෙන විට ඇයට ඇමරිකාවේ වෙනත් සරසවි රැසකම දොරගුළු විවර වූ අතර ඒ අතරින් ඇගේ තේරීම වූයේ නිවුයෝර්ක් සරසවියයි. දැන් ඈ එහි ආචාර්ය උපාධිය හදාරන පළමු වසර ශිෂ්‍යාවකි. එයට අමතරව, මිෂෙල් රැඳවියන් නැවත සමාජගත කිරීම වෙනුවෙන්ද ක්‍රියාකාරී ලෙස කටයුතු කරමින් සිටී. ඇමරිකානු ඉතිහාසය පිළිබඳ පර්යේෂිකාවක් හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස ඈ අනාගතයේදීද පුවත් මවනු ඇතැයි සිතිය හැකිය.

පහත පළමු ඡායාරූපයෙන් පෙනෙන්නේ ඉන්දියානාපොලිස් කාන්තා බන්ධනාගාරය ආරම්භ කෙරුණු මුල් කාලයේදී  වික්ටෝරියානු සදාචාරය මත පදනම්ව හික්මවනු ලැබූ රැඳවියන් කුකුළන්ට කෑම දෙන ආකාරයයි. දෙවන ඡායාරූපයේ පෙනේනෙන් මිෂෙල් ජෝන්ස් හා තවත් ශිෂ්‍යාවක් බන්ධනාගර නිල ඇඳුමෙන් සැරසී පර්යේෂණ කටයුත්තක නියැලී සිටින ආකාරයයි. ලිපිය ආරම්භයේ දැකිය හැක්කේ රෝචෙස්ටර් සරසවියෙන් උපාධිය ලබාගන්නා සිරකරුවන් කණ්ඩායමකි. ඇමරිකාවේ සරසවි ගණනාවක්ම සිරකරුවන් වෙනුවෙන් උපාධි මට්ටමේ පාඨමාලා පවත්වයි. මේ වැඩ සටහන් බොහොමයක්ම ආරම්භ වී ඇත්තේ ස්වේච්ඡා ක්‍රියාකාරීන්ගේ කැපවීමෙන් හා සම්පත් දායකත්වයෙන් මිස රජයේ මැදිහත්වීමෙන් නොවේ.




(Image: http://www.rochester.edu/newscenter/rochesters-prison-education-program-aims-to-transform-lives-of-inmates-undergraduates/)

Sunday, December 10, 2017

හිරගෙදර සියල්ලේ අවසානයද? (පළමු කොටස)


දින දෙකකට පෙර (දෙසැම්බර් 7 දින) කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිදු වූ විවාහයක් ගොසිප් ලංකා වෙබ් අඩවිය වාර්තා කර තිබුණේය. මේ විවාහය මෙසේ වාර්තා කරන්නට හේතු වී තිබුණේ විවාහය සඳහා පසුබිම්ව තිබුණු සුවිශේෂී හේතුවයි. වාර්තාව අනුව මේ විවාහයේ මනාලිය ස්විටි ෂෙලින් ෂමිලා බක් නම් වූ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මනාලයා වසර 37 1/2ක සිර දඬුවමක් විඳිමින් සිටින තැනැත්තෙකි. මේ ගැන ගොසිප් ලංකා පිටුවේ පළ වී ඇති අමතර විස්තර මෙසේය.

"රටේ සියලූම බන්ධනාගාරවල රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්  පෙනී සිටින ඇය මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු වන සෙනරත් බන්දුල වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නව ඇයට හේතුවක් නැති බවකි. බිරිඳ වූයේ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි යැයි ඔහු පවසා ඇත්තේ ෂමිලා අපහසුවට පත් කරන්නටය. එම අභියෝගය භාර ගත් ෂමිලා අවිවාහකයකු වන බන්දුල සමඟ විවාහ වෙන්නට තීරණය කළාය. ඒ අනුව බන්ධනාගාර අධිකාරීගෙන් ද, තවත් නිලධාරින් බොහෝ දෙනකුගෙන්ද ඇය ඔහු හා විවාහ වන්නට අවසර ඉල්ලා සිටියාය. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත. වසර තුනක් තිස්සේ මේ වෙනුවෙන් ඇවිද ගිය ඇය අවසානයේදී බන්ධනාගාර ඇමැති ඩී. එබ්. ස්වාමිනාදන් මහතා හමුවන්නට ගියාය. අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරින්ගෙන් ද සහාය ලැබිණි. මෙම විවාහයට අවශ්‍ය සියලූ පහසුකම් සලස්වන ලෙස නියෝග කරමින් අමාත්‍යංශයෙන් ලිපියක් ද නිකුත් කෙරිණි. මංගල්‍යයට දින නියම වුයේ ඒ අනුවය."

මේ සිද්ධිය පසුබිමෙහි මා නොදන්නා බොහෝ දේ තිබිය හැකි වුවත් මේ කාන්තාව විසින් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කලක් තිස්සේ අනවරත අරගලයක නිරත වෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඇතැම් ප්‍රතිචාරකරුවන් විසින් සැක පළ කරන පරිදි ඇගේ මේ සමාජ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් බටහිර රටකින් ඩොලර් නොලැබෙන බව මට සහතික කළ නොහැකි වුවත්, එසේ ලැබුණද ඒ හේතුව නිසා ලංකාවේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යමෙක් කරන අරගලයක වටිනාකම හෑල්ලු වෙන්නේ නැත.

ලංකාවේ බන්ධාගාර රැඳවියන්ගේ තත්ත්වය ඉතාම ශෝචනීය බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. පහතින් ඇත්තේ ඒ ගැන විස්තර කරමින් අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා තිබුණු ලිපියක කොටසකි.

"ලංකාවේ සිරගෙවල්වල සාමාන්‍යයෙන් ඇඳන් නැත. මදුරු දැල් නැත. මා සිතන පරිදි මදුරු කොයිල් පවා තහනම් ය. විදුලි පංකා නැත. සාමාන්‍ය වාට්ටුවල නම් විවිධ රෝගාබාධ ඇති, අපිරිසිදු, කුඩුකාර, කොලුකාර, ඒඩ්ස්කාර, මදාවි, පිස්සු ආදී විවිධාකාර ඩයල් සමග එකට වැටී සිටිය යුතු ය. දළයන්ගේ හෙවත් බලවත් හිරකාරයන්ගේ උදහසට ලක් වුණොත් නිදාගන්නට සිදු වන්නේ ඩස්බින් එක හෝ කක්කුස්සිය හෝ ළඟ ය.

සෙල් හෙවත් සිරමැදිරි තුළ එක්කෝ තනිව, නැතිනම් තුන්දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සමග රැය පහන් වන තුරු සිටිය යුතු ය. සෙල් එකට දමා වැසූ පසු පසුදා පහන් වන තෙක් මුත්‍රා, මළපහ කළ යුතු වන්නේ ඒ සඳහා දෙන බාල්දියකට ය. එය කුටිය තුළ ම තබා ගත යුතු ය. මේ කුටිවල බොහෝ විට වාතාශ්‍රය දුර්වල ය. සාමාන්‍යයෙන් සියලු සිරගෙවල් අධික ලෙස තදබද ය."

ලෝකයේ කවර රටක වුවත් හිර ගෙදරක ජීවිතය සුන්දර නැත. එහෙත්, ලංකාවේ තත්ත්වයට සාපේක්ෂව බටහිර රටවල බන්ධාගාර රැඳවියන්ගේ තත්ත්වය සෑහෙන තරම් යහපත් බව කිව යුතුය. එය දවසකින් දෙකකින් ඇති වූ තත්ත්වයක් නොවේ. විශාල කාලයක් තිස්සේ ෂමිලා බක් වැනි සමාජ ක්‍රියාකාරිකයන්ගේ අරගල ආදිය හරහා ඇති වූ තත්ත්වයකි.

කිසියම් රටක නිදහස් පුරවැසියන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා සැපිරෙන පසුබිමක් නොතිබියදී, සිරකරුවන්ගේ තත්ත්වය පමණක් යහපත් වන්නට ඉඩක් නැත. ලෝකයේ බොහෝ රටවල සමාජ ධුරාවලියේ පහළින්ම ජීවත් වන නිදහස් මිනිසුන්ගේ ජීවන තත්ත්වයද අජිත් පැරකුම් ජයසිංහ විසින් ඉහත විස්තර කර ඇති තත්ත්වයට කිසියම් අයුරකින් සමානය. ඇඳන්, මදුරු කොයිල්, මදුරු දැල් නැතිව නිදන නිදහස් මිනිසුන් ලංකාවේ වුවත් දුලබ නැත. මෙසේ ලියන්නේ සිරකරුවන් මුහුණ දෙන තත්ත්වය සාමාන්‍යීකරණය කිරීමට දරන උත්සාහයක් ලෙස නොවේ.

කිසියම් රටක සිරකරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් පහසුකම් සලකන්නට හැකි වන්නේ ඒ පහසුකම් වල පිරිවැය දරන මිනිසුන්ට ඒ සඳහා ආර්ථික ශක්තියක් ඇති තරමටය. ඒ නිසා, බටහිර රටක හිර ගෙදරක ඇති පහසුකම් ලංකාවේ සිරකරුවෙකුට සැපයීම ඕනෑවට වඩා ලොකු ඉලක්කයකි. කෙසේවුවද, හිරකරුවන්ට හිරගෙදර අපායක් වීමට එකම හේතුව භෞතික පහසුකම් අඩුකම පමණක් නොවේ. ෂමිලා බක්ගේ පහත ප්‍රකාශයෙන් පිළිබිඹු වන්නේ මේ තත්ත්වයයි.

"ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ කියලා. ඒකට යටින් ගහන්න ඕන ‘නිලධාරින් අමනුෂ්‍යයෝය’ කියලා."

ඉහත තත්ත්වය වෙනස් කිරීමටනම් පිරිවැය ඉහළ නැංවිය යුතු නැත. අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණි.

බොහෝ විට හිරගෙදරට යන්නේ එසේ යා යුතු අය වුවත් එසේ නොවන අවස්ථාද තිබේ. නිවැරදිකරුවන් හිර ගෙදරට යාම ඉඳහිට වුවත් සිදුවන දෙයකි. "දේශපාලන සිරකරුවන්" යන යෙදුම මතභේදකාරී එකක් වුවත් දේශපාලනය නිසා ඇතැම් අයට හිර ගෙදරට යන්නට සිදුවන බවද රහසක් නොවේ. චෝදනා ගොනු නොකර රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ දිනයේද උද්ඝෝෂණයක් කර තිබුණේය.

සාමාන්‍යයෙන් කිසියම් පිරිසකගේ හෝ අනුකම්පාව ලබා ගන්නා විවිධ හේතූන් මත දඬුවම් ලබන නිවැරදිකරුවන් හා දේශපාලන සිරකරුවන් පමණක් නොව කිසිවෙකුට අනුමත කළ නොහැකි සම්මත අපරාධ කර හිර ගෙදරට යන අය පවා බොහෝ විට කිසියම් ආකාරයක වින්දිතයෝය. සමාජයට වැඩදායක පුද්ගලයෙකු එක් නිමේෂයකින් දරුණු අපරාධකරුවෙකු විය හැකිය.

අපරාධකරුවෙකුට දඬුවමක් ලෙස සිරගත කර තැබීමේ අරමුණු කුමක් වුවත්, කවර අයුරකින් හෝ එවැන්නෙකු නැවත පුනරුත්ථාපනය කර සමාජයට වැඩදායක පුරවැසියෙකු බවට පත් කළ හැකිනම් එය හැම අතින්ම සාධනීය දෙයකි. විවිධ හේතු මත සමාජයට වැඩදායක මිනිසුන් දරුණු අපරාධකරුවන් වනවාක් මෙන්ම, නිසි මාර්ගෝපදේශනයක් ලැබීම නිසා දරුණු අපරාධකරුවන් සමාජයට වැඩදායක පුද්ගලයින් වී ඇති අවස්ථාද ඕනෑ තරම් තිබේ. මේ සඳහා අප බොහෝ දෙනෙකු දන්නා අංගුලිමාල චරිතය හොඳම උදාහරණයකි.

මේ දිගු පූර්විකාව ලිවුවේ නිවුයෝර්ක් සරසවියේ ආචාර්ය උපාධිය හදාරන සිසුවියක වන මිෂෙල් ජෝන්ස් ගැන ලියන්නටය. මිෂෙල් පසුගිය අගෝස්තුවේදී ආචාර්ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා නිවුයෝර්ක් සරසවියට පැමිණියේ තමන්ගේම සිවු හැවිරිදි දරුවාගේ මිනීමැරුමට වරදකාරිය වී පනස් අවුරුදු සිර දඬුවමක් ලබා, එම දඬුවම් කාලයෙන් වසර විස්සකට අධික කාලයක් සිරගෙදර ගත කර නිදහස ලැබීමෙන් දිනකට පසුවය. ඇගේ කතාව ඇමරිකානු සමාජයේ විවිධ පැතිකඩ කෙරෙහි ආලෝකය හෙළන්නකි. ඇමරිකාව වැනි රටක පවා බාලවයස්කරුවන් මුහුණ දෙන අවදානම් පිළිබඳව අවධානය යොමු කරවන්නකි.

දෙමවුපියන්ගෙන් දරුවකුට ලැබිය යුතු මාර්ගෝපදේශනය වෙනුවට කුඩා කළ සිටම ගෘහස්ථ හිංසනයේ ගොදුරක් වන මිෂෙල් එන්ග්‍රන් ජෝන්ස් බාලවයස්කාර දැරියකව සිටියදීම ආදරය සොයා කෙවින් සිම්ස් වෙත ලං වෙයි. කෙවින් සිම්ස්ද ඒ වන විට ඉහළ පංතියක පාසැල් සිසුවෙකි. මේ ආදරය දුරදිග ගොස් මිෂෙල් ගැබ් ගන්නා විට ඇගේ වයස යන්තම් අවුරුදු 14ක් වූවා පමණි. මිෂෙල්ට අනුව මේ ගැබ් ගැනීමට හේතු වූ ලිංගික එක්වීම සිදුවන්නේ ඇගේ අනුමැතියෙන් තොරවය.

ගැබ් ගැනීමෙන් පසුව මිෂෙල්ට සිදුවන්නේ වැඩිහිටියන්ගේ තාඩන පීඩන වලට තවත් වැඩියෙන් ලක් වන්නටය. සිය දියණිය ගැබ් ගෙන සිටින බව දැනගන්නා මිෂෙල්ගේ මව ලී පුවරුවකින් ඇගේ උදරයට පහර දෙයි. මෙසේ ගැබිණියක ලෙසද තාඩන පීඩන වලට ලක්වන මිෂෙල් 1987 නොවැම්බර් 11 දින බ්‍රෙන්ඩන් ලෙස පසුව නම් කරන පිරිමි දරුවා වදන විට ඇගේ වයස යාන්තම් අවුරුදු 15කි. මේ දරුවා වර්ධනය අසාමාන්‍ය වීමේ නිදන්ගත ආබාධයකින්ද පෙළෙන අයෙකි.

කෙවින් සිම්ස් දරුවාගේ පීතෘත්වය පිළිගන්නා අතර දරුවාගේ භාරකාරත්වය මිෂෙල්ට හිමි වෙද්දී, කෙවින්ට දරුවා බලන්නට පැමිණීමේ අයිතිය ලැබේ. ඒ අනුව, මිෂෙල් දරුවාද සමඟ ඇගේ දෙමවුපියන් වෙත යයි. එහෙත්, කුඩා බ්‍රෙන්ඩන්ට තබා මවක් වුවත් තවමත් බාලවයස්කාර දැරියක වන මිෂෙල්ට ජීවත් වීමට සුදුසු වාතාවරණයක් ඒ නිවසේ නැත.

බ්‍රෙන්ඩන්ට වයස මාස හතක් වෙද්දී, ඉන්දියානාපොලිස්හි ළමා කාර්යාංශය විසින් තවදුරටත් බාලවයස්කාර දැරියක වන මිෂෙල්ගේ භාරකාරත්වය පවරා ගනිමින් ඇයව නිවසින් ඉවත් කර ගනී. ඒ සමඟ, බ්‍රෙන්ඩන්ගේ භාරකාරත්වය ඔහුගේ පියා වූ කෙවින්ට හිමිවන අතර කෙවින් හා ඔහුගේ මව දරුවාට රැකවරණය සලසන්නට පටන් ගනී.

බ්‍රෙන්ඩන්ට වයස අවුරුදු තුනක් වෙද්දී, ඒ වන විට තවදුරටත් බාලවයස්කාරියක නොවන මිෂෙල්ට නැවතත් බ්‍රෙන්ඩන්ගේ භාරකාරත්වය හිමි වේ. 1992 මැයි මාසයේදී මහල් නිවාසයක ඒකකයක් (එපාර්ට්මන්ට් එකක්) බද්දට ගන්නා මිෂෙල් බ්‍රෙන්ඩන් සමඟ එහි පදිංචියට යයි. 1992 ජූලි මාසයේ දිනක මිෂෙල් ඇගේ මිතුරියක වන ඩෙබෝරා සමඟ සති අන්ත නාට්‍ය වැඩමුළුවකට සහභාගී වීම සඳහා ඩිට්‍රොයිට් බලා පිටත් වෙයි. මෙය සැතපුම් 300ක පමණ දුරක පිහිටි නගරයකි.

ඩෙබෝරා විසින් විමසූ විට මිෂෙල් පවසන්නේ බ්‍රෙන්ඩන් බලා ගැනීම වෘත්තියක් ලෙස දරුවන් බලා ගන්නා අයෙකුට (බේබිසිටර් කෙනෙකුට) පැවරූ බවයි. මේ ගමන නිමවා ආපසු පැමිණීමෙන් පසු මිෂෙල්ගේ යෙහෙළියන්ට හා අසල්වැසියන්ට බ්‍රෙන්ඩන්ව දකින්නට නැති බව පෙනේ. දරුවා ගැන විමසන ඔවුන්ට පිළිතුරු දෙමින් මිෂෙල් පවසන්නේ දරුවා ඔහුගේ පියා සමඟ සිටින බව හෝ එසේ නැත්නම් පියාගේ මව සමඟ සිටින බවයි.

මේ අතර, මිෂෙල් විසින් වරින් වර ඇගේ මෝටර් රථයේ පිටත හා ඇතුළත නැවත නැවත සෝදන බව මිෂෙල්ගේ ඉහළ මාලයේ ජීවත් වන පදිංචිකරු නිරීක්ෂණය කරයි. මේ අතරවාරයේ දිනක මහල් නිවාස සංකීර්ණයේ කළමණාකරුට හදිසියෙන්ම දකින්නට ලැබෙන්නේ මිෂෙල්ගේ  ඒකකයේ කාමරයක ඉදිරි ජනේලයේ මැස්සන් සිය ගණනක් වසා සිටින බවයි. ඒ අනුව, නිවසට ඇතුළු වී පරීක්ෂා කරන ඇයට සැර දුර්ගන්ධයක් ආඝානය වේ. බ්‍රෙන්ඩන් විසින් මෙට්ටයේ මුත්‍රා කර ඇති බව පවසන මිෂෙල් එය පිරිසිදු කර දෙන්නට පොරොන්දු වෙයි. වසර අවසානයේදී මහල් නිවාසයෙන් ඉවත්වන මිෂෙල් ඇගේ තවත් යෙහෙළියක වන මහාලියා සමඟ පදිංචියට යයි.

මේ අතරවාරයේ බ්‍රෙන්ඩන් බලන්නට එන්නට වෙලාවක් වෙන් කර ගැනීම පිණිස කෙවින් හා ඔහුගේ මව දිගින් දිගටම උත්සාහ කරන නමුත් මිෂෙල් ඔවුන්ගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදෙමින් මඟ හරී. මේ ගැන සැක සිතන කෙවින්ගේ මව මහාලියාගෙන් මේ ගැන විමසයි. එහි ප්‍රතිඵලයක් ලෙස මහාලියා මිෂෙල්ව දිගින් දිගටම ප්‍රශ්න කරයි. තමන් ඩිට්‍රොයිට් ගොස් පැමිණෙන විට බ්‍රෙන්ඩන් මිය ගොස් සිටි බවත්, ඔහුගේ සිරුර පොරෝණයක දවටා සිය මෝටර් රථයෙන් ගෙන ගොස් කැලෑවට දැමූ බවත් අය මහාලියාට පවසයි. ප්‍රශ්න කිරීම් හමුවේ ඩෙබෝරාටද ඇය මීට සමාන කරුණු පවසයි.

ඩෙබෝරාගේ හා මහාලියාගේ පෙරැත්තය මත මිෂෙල් රැකියාවෙන් නිවාඩු ගෙන මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත යයි. බ්‍රෙන්ඩන්ව තනිව නිවසේ දමා ඩිට්‍රොයිට් ගොස් ආපසු පැමිණෙන විට දරුවා මියගොස් සිටි බවත්, පසුව මළ සිරුර කැලෑවට ගෙනගොස් දැමූ බවත් ඇය එහිදී පාපොච්ඡාරණය කරයි. පොලීසිය දිගින් දිගටම බ්‍රෙන්ඩන්ගේ මළ සිරුර සෙවුවත් එය හමු නොවේ. මේ සිදුවීම් වෙන්නේ 1994දීය. මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් පිටවීමෙන් පසු 1995 සැප්තැම්බර් මාසයේදී නැවත රැකියාවට යන මිෂෙල් නොවැම්බර් මාසයේ දිනෙක ඇගේ මිතුරියක වන ක්ලැරිසාටද පරණ කතාවම කියයි.

"දරුව මැරුණේ උඹ ගහලද?"  ක්ලැරිසා අසයි.

"මං හිතන්නේ..." මිෂෙල් පිළිතුරු දෙයි.

මීට අමතරව දරුවාගේ මළ සිරුර දැමූ තැන ගැන තමන් පොලීසියට වැරදි තොරතුරු ලබාදුන් බවද මිෂෙල් ක්ලැරිසාට කියයි.

යමෙක් තමන් අපරාධයක් කළ බව පිළිගැනීම මත පමණක් පුද්ගලයෙකු නීතියෙන් වරදකරුවෙකු කළ නොහැකිය. ඒ සඳහා අපරාධයක් සිදුවී ඇති බව මෙන්ම, අදාළ අපරාධය එම පුද්ගලයා විසින්ම සිදුකර ඇති බවද තහවුරු විය යුතුය. බ්‍රෙන්ඩන්ගේ මළ සිරුර හමු නොවූ නිසා මිෂෙල්ට එරෙහිව චෝදනා ගොනු කිරීම පහසු කටයුත්තක් වුණේ නැත. කෙසේ වුවද, අවසානයේදී ඉන්දියානා රජය මිෂෙල්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට සමත් වූ අතර 1996 ඔක්තෝබර් 22 දින චෝදනා දෙකකට වැරදිකාරිය වූ මිෂෙල් මිනීමැරුම සඳහා වසර පණහක්ද, දරුවාව නොසලකා හැරීම සඳහා වසර තුනක්ද ලෙස එකවර ගෙවී යන දඬුවම් දෙකක් ලබමින් බන්ධනාගාරගත විය.

ඉන්පසුව ඇගේ ජීවිතය ගෙවුණු ආකාරය අපි ඉදිරි කොටසින් කතා  කරමු.

Thursday, December 7, 2017

ඇමරිකානු ජනමතය වෙනස් කළ පර්ල් වරාය මෙහෙයුම



මිලියන පණහකට අධික ජීවිත ප්‍රමාණයක් විනාශ කරමින් අවසන් වූ දෙවන ලෝක යුද්ධය මිනිස් ඉතිහාසයේ සිදු වූ විශාලතම අවි ගැටුම ලෙස සැලකේ. හිට්ලර්ගේ නායකත්වය යටතේ, 'නාසි' ලෙස කෙටියෙන් හැඳින්වෙන ජර්මනියේ ජාතික සමාජවාදී කම්කරු පක්ෂය විසින් ප්‍රවර්ධනය කළ දේශපාලන මතවාදය වටා පෙළ ගැසී සිටි ජර්මානුවන් විසින් 1939 සැප්තැම්බරයේදී පෝලන්තය ආක්‍රමණය කිරීම දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ලෙස සැලකුණත් එයින් වසර දෙකකට පසුවත් ඇමරිකාව මේ යුද්ධයට සම්බන්ධ වී නොසිටියේය.

දෙවන ලෝක යුද්ධය ඇමරිකාවේ එළිපත්තට එන තුරුම ඇමරිකන් ආණ්ඩුවේ ස්ථාවරය වූයේ ලෝක දේශපාලනයට මැදිහත් වී අහක යන ලෙඩ ඇඟේ දමා නොගැනීමයි. වඩා නිවැරදිව කියනවානම්, ඇමරිකාවේ මහජන මතය වූයේ තමන්ගේ ආණ්ඩුව ලෝක යුද ගැටුම් වලට මැදිහත් නොවී සිටිය යුතු බව වූ නිසා ඇමරිකන් ආණ්ඩුවට මහජන මතය නොසලකා එවැනි මැදිහත්වීම් කිරීමට හැකියාවක් තිබුණේ නැත.

ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වන විට ජර්මනිය, ජපානය හා ඉතාලිය යන රටවල් වලින් සමන්විත වූ අක්ෂ පාර්ශ්වය යුරෝපයේ සම්ප්‍රදායික යුද බලවතුන් වූ ප්‍රංශය හා බ්‍රිතාන්‍යය අභිබවමින් සැලකිය යුතු යුද ජයග්‍රහණ ලබාගෙන තිබුණේය. ඇමරිකන් මැදිහත්වීම දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කළේය.

ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමට පෙර සිදු වූ වැදගත් දේශපාලනික සිදුවීමක් වූයේ 1939 අගෝස්තු 23 දින ස්ටාලින්ගේ නායකත්වය යටතේ පැවති සෝවියට් දේශයේ හා ජාතික සමාජවාදී ජර්මනියේ විදේශ ඇමතිවරුන් අතර අත්සන් කෙරුණු මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතියයි. සිය දෙරට අතර පිහිටි රටවල් ආක්‍රමණය කරමින් එම බිම්කොටස් සෝවියට් දේශය හා ජර්මනිය අතර බෙදාගන්නට පසුබිම සැලසුනේ මේ සම්මුතියෙනි. මේ සම්මුතිය අනුව බෝල්කන් රටවල් හා ෆින්ලන්තය සෝවියට් දේශයටත් එයින් බටහිරට වූ රටවල් ජර්මනියටත් වෙන් කරමින් බෙදුම් ඉරක් ඇඳුනේය. මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය අත්සන් කර මාස කිහිපයකට පසු දෙරට අතර පුළුල් වෙළඳ සම්මුතියකටද අත්සන් තැබුණේය.

ජර්මනිය හා සෝවියට් දේශය එකිනෙකා සමඟ සටන් නොකිරීමටත්, එක් රටක සතුරු රටකට අනෙක් රට උදවු නොකරන්නටත් එකඟ වෙමින් මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය අත්සන් කිරීමෙන් අනතුරුව 1939 සැප්තැම්බරයේදී ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කරමින් එහි කොටසක් ඈඳා ගත්තේය. එයට සමාන්තරව ෆින්ලන්තය ආක්‍රමණය කළ සෝවියට් දේශය 1939 නොවැම්බරය වෙද්දී පෝලන්තයේ කොටසක් යටත් කර ගත් අතර ලිතුවේනියාව, ලැට්වියාව හා එස්ටෝනියාවද ඈඳා ගත්තේය. 1940 ජනවාරිය වෙද්දී ෆින්ලන්තය සෝවියට් දේශයට යටත් වීමෙන් හා ෆින්ලන්ත බිම්පෙදෙස් වලින් කොටසක් සෝවියට් දේශයට අයිති වීමෙන් සෝවියට්-ෆින්ලන්ත යුද්ධය අවසන් විය. 1940 අප්‍රේල් මාසය වෙද්දී ජර්මනිය විසින් නොර්වේ හා ඩෙන්මාර්කයත්, තවත් මසකට පසු ලක්සම්බර්ග්, බෙල්ජියම හා නෙදර්ලන්තයත් ආක්‍රමණය කළ අතර මැයි මාසය වෙද්දී ප්‍රංශයද ආක්‍රමණය කළේය.

ජර්මනිය, ජපානය හා ඉතාලිය අතර යුද සම්මුතිය අත්සන් කෙරුණේ 1940 සැප්තැම්බර් මාසයේදීය. ඉන්පසුව යුද්ධය යුරෝපයේ ඉතිරි රටවලට පමණක් නොව යුරෝපයෙන් පිටතටද පැතිරුණේය.

මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය අත්සන් කරමින් ස්ටාලින්ගේ සෝවියට් දේශය හා හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මනිය අතර ඇති කරගත් එකඟත්වය දෙවසරක්වත් පැවතුණේ නැත. දෙරට විසින් යටත් කරගත් පෝලන්තයේ කොටස් සම්බන්ධව පැවති මතභේද දුරදිග යද්දී ජර්මනිය විසින් මොටොලොව්-රිබන්ට්‍රොප් සම්මුතිය ඒකපාර්ශ්වික ලෙස අවසන් කරමින් 1941 ජූනි 22 දින බාබරෝසා මෙහෙයුම ආරම්භ කළේය. ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම යුද මෙහෙයුම විය හැකි බාබරෝසා මෙහෙයුම ආරම්භයේදී සාර්ථක වුවත්, අවසානයේදී එය ජර්මනියට පාරාවළල්ලක් විය.

අක්ෂ පාර්ශ්වයට එරෙහි මිත්‍ර පාර්ශ්වයට සෝවියට් දේශයද එකතු වීමෙන් පස් මසකට පසු ජපානය විසින් පර්ල් වරායට පහර දීමත් සමඟ ඇමරිකාවද යුද්ධයට අවතීර්ණ විය. ඇමරිකානුවන් 2,402ක් මරණයට පත් කරමින් ඉරිදා දිනක උදෑසනක මේ ප්‍රහාරය අනපේක්ෂිත ලෙස එල්ල වන විට ජපානය ඇමරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කර තිබුණේ හෝ නැත. ඒ නිසා, මේ ප්‍රහාරය යුද අපරාධයක් ලෙස සැලකේ.

පර්ල් වරාය මෙහෙයුමෙන් පසුව ඇමරිකාවද දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වූ අතර මිත්‍ර පාර්ශ්වයේ ජයග්‍රහණයෙන් දෙවන ලෝක යුද්ධය අවසන් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක දේශපාලනයේ විශාල වෙනස්කම් සිදුවිය. ලංකාව වැනි යුරෝපීය රටවල යටත් විජිත වලට නිදහස ලැබීමටද දෙවන ලෝක යුද්ධය විශාල බලපෑමක් කළේය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සම්ප්‍රදායික යුද බලවතුන් වූ බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අභිබවා ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය ලෝක බලවතුන් ලෙස කැපී පෙනෙන්නට විය. ඒ අතරම, ලිබරල් ජාත්‍යන්තරවාදය හා සමාජවාදී ජාත්‍යන්තරවාදය විකල්ප දේශපාලන ආකෘති දෙකක් ලෙස ලෝක ව්‍යාප්ත වන්නටද පටන් ගත්තේය.

ලෝක දේශපාලනයට මැදිහත් නොවී තමන්ගේ වැඩක් බලාගෙන සිටින්නට කැමැත්තෙන් සිටි ඇමරිකානුවන්ගේ ජනමතය තීරණාත්මක ලෙස වෙනස් කරන්නට හේතු වූ අවස්ථාවක් ලෙස පර්ල් වරාය ආක්‍රමණය පෙන්විය හැකිය. ඒ වෙනසේ බලපෑම අද දක්වාත් දකින්නට පුළුවන.

පර්ල් වරාය ආක්‍රමණය සිදු වී අදට වසර 76කි.

Wednesday, November 29, 2017

ඇමරිකානුවන් මිලියන 31කට එකවරම අධි රුධිර පීඩනය!


දෙසතියකට පමණ පෙර ඇමරිකාවේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් ගණන එකවරම මිලියන 31.1කින් ඉහළ ගියේය. ඊට පෙර දින දක්වාද ඇමරිකාවේ වැඩිහිටි ජනගහණයෙන් තුනෙන් එකක් එනම් මිලියන 72.2ක් අධි රුධිර පීඩන රෝගීහු වූහ. පසුගිය නොවැම්බර් 13 සඳුදා මේ ගණන එකවරම විශාල ලෙස ඉහළ යාමෙන් පසු මේ වන විට ඇමරිකානුවන් මිලියන 103.3ක් ප්‍රතිකාර ගත යුතු අධි රුධිර පීඩන රෝගීන්ව සිටිති.

එක දවසකින් එතෙක් නිරෝගීව සිටි ඇමරිකානුවන් මිලියන 31.1ක් ප්‍රතිකාර ගත යුතු මට්ටමේ අධි රුධිර පීඩන රෝගීන් වුනේ කොහොමද? 

මෙසේ අධි රුධිර පීඩන රෝගීන් ගණන එක වර වැඩි වීමට හේතු වුනේ ඇමරිකාවේ වෛද්‍ය සංගම් ගණනාවක් එක්ව ගත් තීරණයකි. මෙම තීරණය අනුව මෙයින් ඉදිරියට 130/80 මට්ටම ඉක්මවන රුධිර පීඩනයක් ඇති රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුය. එහෙත්, මෙතෙක් කල් 140/90 මට්ටම දක්වා රුධිර පීඩන මට්ටම් වලට ප්‍රතිකාර කළ යුතු ලෙස සැලකුණේ නැත.

පසුගිය කාලයේ ඇමරිකාවේ ස්වේච්ඡතාව (autism) රෝගය විශාල ලෙස ඉහළ යාම පසුපස ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේද එම රෝගයේ අර්ථදැක්වීම පුළුල් කිරීමයි.

රෝග කියන ඒවා නිරපේක්ෂ නොවන අතර කාලයට හා සංස්කෘතියට සාපේක්ෂය. මානසික රෝගයක් ලෙස දැන් සැලකෙන පිඩෝෆීලියාව (Pedophilia) මෑතක වන තුරුම රෝගයක් ලෙස හෝ වරදක් ලෙස සැලකුණේ නැත. දැන් බොහෝ සංස්කෘතීන්හි මෙය වරදක් ලෙස මෙන්ම මානසික රෝගයක් ලෙසද සැලකේ. සමලිංගික සේවනය හා අදාළව සිදුව ඇත්තේ එහි අනිත් පැත්තයි. එහෙත් දැනටත් මේ සම්මත වලට සෑම සංස්කෘතියකම එකම ආකාරයේ පිළිගැනීමක් නැත.

Tuesday, November 28, 2017

ශ්‍රමික ප්‍රේෂණ නිසා දේශීය නිෂ්පාදිතය අඩු වෙනවාද?


පසුගිය දිනවල තජිකිස්ථානය ගැන සිදු කෙරුණු කතා බහකදී වසර පහකට පමණ පෙර තජිකිස්ථානය ගැන රයිගම හන්දිය බ්ලොග් අඩවියේ ලියා තිබුණු ලිපියක් ගැන අවධානය යොමු විය. එහි මෙසේ සඳහන්ව තිබුණේය.

"කුඩු වෙළඳාම නැගල ගියත් සාමාන්‍ය තජික් ජනයාගේ ජිවිතයේ නම් වෙනසක් වෙලා නැහැ. රටේ ජනගහනයෙන් අඩක් ජිවත් වෙන්නේ දිනකට ඩොලර දෙකකට වඩා අඩු මුදලකින්. රටේ ආදායමෙන් 45% පමණ එන්නේ රටෙන් පිට ගොස් වැඩ කරන තජික් ජනයා එවන මුදලින් (අමතක කරන්න එපා “කුඩු” වලින් 30 -50% ක පමණ ප්‍රමාණයක් උපයනවා කියනවානේ. යකෝ වෙන මොනවත් නිපදවන්නේ නැත්ද?)"

මා මේ කොටස උපුටා ගන්නේ ලිපියේ කතා කරන කරුණට ප්‍රවේශයක් ලෙස පමණි. රයිගම හන්දිය ලේඛකයා විසින් ඔහුගේ ලිපියට පාදක කරගන්නට ඇතැයි මා සිතන අදාළ කාලයේ පළ වූ "දී ඉකොනොමිස්ට්" ලිපියකට අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හරහා තජිකිස්ථානය උපයන ආදායම එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 30-50% පමණ ප්‍රමාණයක් බව පර්යේෂකයෝ විශ්වාස කරති. මෙයට අමතරව තජිකිස්තානයට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 45%ක් පමණ බවත්, රටේ අඩක් දිනකට ඩොලර දෙකකට වඩා අඩු ආදායමක් ලබන බවත් අදාළ ලිපියේම සඳහන්ව ඇති කරුණුය. මෙයින් මේ ලිපියේ මගේ මූලික අවධානය යොමු කරන කරුණ වන්නේ ශ්‍රමික ප්‍රේෂණ වල ආර්ථික බලපෑමයි.

ලෝක බැංකු දත්ත අනුව 2008 වසරේදී තජිකිස්ථානයට ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 49.3%ක්ව පැවතී ඇති අතර 2016 වන විට 26.9% මට්ටමට අඩු වී තිබේ. අප බොහෝ විට කතා කරන, ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.9%ක් පමණක් බව සැලකූ විට තජිකිස්තානයට දැනට ලැබෙන පෙරට වඩා අඩු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වුවද එරට ආර්ථිකයට කෙතරම් විශාල බලපෑමක් කරන්නේදැයි සිතාගත හැකිය.

පසුගිය වසරේ තජිකිස්ථානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 796ක් පමණ වූ අතර, සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 6.95ක් විය. ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 81.3ක් බව සැළකු විට තජිකිස්ථානයේ මුළු දළ දේශීය නිෂ්පාදිතයම වුවද ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයට වඩා අඩුවුවත් ශ්‍රමික ප්‍රේෂණ වලින් ලංකාවේ ආර්ථිකයට ඇති බලපෑම තජිකිස්ථානයට සාපේක්ෂව අඩු බලපෑමකි. ඒ නිසා, ප්‍රශ්නය විශාලනය වී ඇති තජිකිස්ථාන ආර්ථිකය ගැන හැදෑරීමෙන් ශ්‍රමික ප්‍රේෂණ වලින් ලංකාවට සිදුවන බලපෑම පහසුවෙන් තේරුම් ගත හැකිය.

දැන් අපි අපේ මූලික  ප්‍රශ්නයට ගියොත්,  "යකෝ එතකොට තජිකිස්ථානය වෙන මොනවත් නිපදවන්නේ නැත්ද?".

කිසියම් රටක දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ කිසියම් කාලයක් (වසරක්) ඇතුළත ඒ රටේ නිපදවන සියළුම භාණ්ඩ හා සේවාවන් වල වෙළඳපොල වටිනාකමයි. මෙසේ නිපදවන භාණ්ඩ සාමාන්‍යයෙන් කාට හෝ විකිණේ. මේ මිල දී ගන්නා අය ඒ වෙනුවෙන් මුදල් වැය කළ යුතුය. ඒ නිසා, රටේ සමස්ත නිෂ්පාදිතයේ වටිනාකම සාමාන්‍යයෙන් රටේ සමස්ත වියදමටද සමාන විය යුතුය.

භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී කවරකු හෝ කරන වියදමක් තවත් අයෙකුගේ ආදායමක් වේ. ආදායම උපයන්නේ සමාගමක් විසින් වුවත් අවසානයේදී මේ ආදායම අදාළ සමාගමේ සැපයුම්කරුවන්, සේවකයින්, කොටස් හිමිකරුවන් ආදීන් අතර බෙදී යයි. ඒ නිසා, රටේ සමස්ත වියදම රටේ සමස්ත ආදායමටද සාමාන්‍යයෙන් සමාන විය යුතුය.

මෙහිදී සාමාන්‍යයෙන් කියා කිවුවේ මෙය හරියටම සිදු නොවන්නට ඉඩ ඇති බැවිනි. උදාහරණයක් ලෙස කිසියම් වසරක් තුළ රටක නිපදවන භාණ්ඩ වලින් කොටසක් නොවිකිණී ඉතිරි වන අතර, ඒ අයුරින් පෙර වසරේ ඉතිරිවූ භාණ්ඩ කොටසක් විකිණේ. මේ කොටස් දෙක හරියටම සමාන විය යුතු නැත. එවැනි කරුණු පැත්තකින් තබා අපට මෙසේ ලියන්නට පුළුවන.

රටේ සමස්ත නිෂ්පාදිතය = රටේ සමස්ත වියදම = රටේ සමස්ත ආදායම

මෙයින් සමස්ත වියදම කියන කොටස අපි වැඩිදුර විශ්ලේෂණය කරමු. මෙසේ කිරීමේදී පහසුව තකා අපි පළමුව සංවෘත ආර්ථිකයක් ඇති රටකින් පටන් ගනිමු.

රජයයන් විසින් ව්‍යාපාර කිරීම අමතක කළොත් රටක ආදායම් උපයන්නේ සමාගම් හෝ පුද්ගලයින් විසිනි. රජයක් කරන්නේ මේ ආදායමෙන් කොටසක් බදු ලෙස අය කර ගැනීමයි. (එහි හිලවුවට නිශ්චිත සේවාවන් ගණනාවක් සැපයීමද රජය විසින් කරයි.) සමාගම් වලින් බදු අය කළත් වක්‍ර ලෙස සිදුවන්නේ කිසියම් පුද්ගලයින් කණ්ඩායමකගේ ආදායමෙන් කොටසක් රජය විසින් ලබා ගැනීමයි. මෙසේ රජයට බදු ගෙවීමෙන් පසු පුද්ගලයින් වෙත ඉතිරි වෙන මුදල ඔවුන්ට වියදම් කළ හැකිය.

පුද්ගලයෙකුට තමන්ගේ ආදායම් වැය කළ හැකි ප්‍රධාන ආකාර දෙකකි. පළමු ආකාරය වන්නේ පරිභෝජනය කිරීම පිණිස මුදල් වැය කර භාණ්ඩ හෝ සේවාවන් මිල දී ගැනීමයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු හැමවිටම තමන්ගේ මුළු ආදායමම පරිභෝජනය පිණිස වැය නොකරන අතර, ආදායමෙන් කොටසක් ඉතිරි කරයි. මෙසේ ඉතිරි කරන මුදල එක්කෝ දිගු කාලයක් තිස්සේ පරිභෝජනය කළ හැකි නිවසක් හෝ වාහනයක් වැනි දෙයක් වෙනුවෙන් වැය කරයි. එසේ නැත්නම් බැංකුවක ඉතිරි කරයි. වැඩි ආදායමක් හෝ වැඩි ඉතිරියක් ඇති අයෙක්නම්, සෘජුවම කොටස්වෙළඳපොළ වැනි තැනක ආයෝජනය කරයි. ආදායමෙන් පරිභෝජන වියදම් ඉවත් කළ ලෙස ඉතිරි කොටස ආයෝජන වියදම්ය.

ආර්ථිකය සංවෘත නිසා රටේ ඕනෑම කෙනෙකුට මිල දී ගන්නට වෙන්නේ රටේම නිපදවූ දෙයකි. එමෙන්ම, තමන්ගේ ආදායමෙන් පරිභෝජන වියදම් වැය කිරීමෙන් පසු ඉතිරි වන කොටස යන්නේත් රට තුළම සිටින තවත් අයෙකු වෙතය. ණය ලබාගැනීම නිසා කිසියම් අයෙකුගේ වසරක් තුළ වියදම ආදායම ඉක්මවන්නට පුළුවන් වුවත්, මෙසේ ණය ලෙස බැංකුවකින් ලබාගන්නට වෙන්නේද තවත් අයෙකුගේ ඉතිරි කිරීමක් නිසා සාමාන්‍යයෙන් රටක් වශයෙන් ගත් විට රටේ සියලු දෙනා විසින් පරිභෝජනය කිරීමෙන් පසුව රටේ සමස්ත ආදායමෙන් කොටසක් ආයෝජනය සඳහා ඉතිරිවේ. මේ කොටස රටේ අනාගත නිෂ්පාදිතය ඉහළ දැමිය හැකි කාර්යයන්හි ආයෝජනය කෙරේ. දැන් අපට රටේ නිවාස ඒකක වල හා සමාගම් වල සියලු වියදම් මෙසේ ලියන්නට පුළුවන.

සමස්ත පෞද්ගලික වියදම් = පරිභෝජන වියදම් + ආයෝජන වියදම්

මෙයට රජයද එකතු කළ විට, සංවෘත ආර්ථිකයක් ඇති රටක් සඳහා අපට මෙවැනි සම්බන්ධතාවයක් ගොඩනැඟිය හැකිය.

සමස්ත නිෂ්පාදිතය (Y) = සමස්ත වියදම් (AE) = පරිභෝජන වියදම් (C) + ආයෝජන වියදම් (I) + රජයේ වියදම් (G)

Y = C + I + G

මෙහි රජයේ වියදම් යනු බදු මුදල් වැය කරමින් රජය විසින් කරන සියලු ආකාරයන්හි වියදම්ය.

විදේශ අංශයක්ද ඇති නිසා, විවෘත ආකෘතියක් විස්තර කිරීමට ඉහත සම්බන්ධතාවය ප්‍රමාණවත් නැත. විවෘත ආර්ථිකයක් ඇති රටක නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් රටින් පිටට අපනයනය කරන නිසා ඒ කොටස රට ඇතුළත ඉතිරි නොවේ. ඒ නිසා, C, I හා G ලෙස බෙදී යන්නේ අපනයනය කොට ඉතිරි වන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. ඒ නිසා, අපට මෙසේ ලියන්නට පුළුවන.

සමස්ත නිෂ්පාදිතය (Y) - සමස්ත අපනයනය (EX) = පරිභෝජන වියදම් (C) + ආයෝජන වියදම් (I) + රජයේ වියදම් (G)

කෙසේ වුවද, මේ අයුරින් භාණ්ඩ හා සේවාවන් අපනයනය කිරීම නිසා විදේශ විණිමය ලැබේ. ඒ විදේශ විණිමය වැය කර රටින් පිටත නිපදවූ භාණ්ඩ හා සේවාවන් රට තුළට ආනයනය කෙරෙන අතර මෙසේ රටේ නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් අපනයනය කිරීමෙන් පසු ඉතිරිවන කොටසට අමතරව රට තුළට ආනයනය කරන භාණ්ඩද පරිභෝජනය හෝ ආයෝජනය පිණිස මිල දී ගන්නට නිවාස ඒකක වලට, සමාගම් වලට හා රජයට හැකියාව තිබේ. ඒ නිසා, ආනයනද එකතු කර අපට මෙසේ ලියන්නට පුළුවන.

සමස්ත නිෂ්පාදිතය (Y) - සමස්ත අපනයනය (EX) + සමස්ත ආනයන (IM ) = පරිභෝජන වියදම් (C) + ආයෝජන වියදම් (I) + රජයේ වියදම් (G)

Y - EX + IM = C + I + G

Y = C + I + G + EX - IM

මෙහි අවසානයට ඇත්තේ ආනයන අපනයන පරතරය හෙවත් රටේ ගෙවුම් ශේෂයයි. එය ශුද්ධ අපනයන (NX - Net Exports) ලෙසද දැක්විය හැකිය.

Y = C + I + G + NX

ඉහත සමීකරණය සාර්ව ආර්ථික විද්‍යාවේදී යොදා ගන්නා මූලික සමීකරණයකි. මේ සමීකරණයට අනුව, කිසියම් රටක දළ දේශීය නිෂ්පාදිතය එම රටේ පරිභෝජන වියදම්, ආයෝජන වියදම්, රජයේ වියදම් හා ශුද්ධ අපනයන වලට සමානය.

පසුගිය මූල්‍ය වර්ෂයේදී ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය මේ කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා යෙන් බිලියන වලිනි. (මූලාශ්‍රය: පිටුව 21).

Y  = 537,902 (100%)
C  = 301,028 (56.0%)
I = 99,853 (18.6%)
G = 131,757 (24.4%)
NX =  5,264 (1.0%)

දැන් මෙයින් අදහස් වන්නේ කුමක්ද?

ජපානයේ සමස්ත දේශීය ආදායමෙන් පරිභෝජනය හෝ ආයෝජනය වෙනුවෙන් රජය හෝ පෞද්ගලික අංශය විසින් වියදම් කරන්නේ 99%ක් පමණි. ඉතිරි 1% වියදම් නොකර ඉතිරි වේ.

ඉහත පරිදි ඉතිරි වන මුදල සංසන්දනය කිරීමේ පහසුව පිණිස ජපාන යෙන් වලින් දක්වා තිබුණත් ඇත්තටම සිදුවන්නේ ඇමරිකන් ඩොලර් හෝ වෙනත් විදේශ මුදලකින් එම ජපාන යෙන් ගණනට සමාන මුදලක් ඉතිරි වීමයි. ජපානයේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් රට ඇතුළත අලෙවි නොකරන බැවින් ඒ කොටස රටේ වියදමක් වන්නේ නැත. එහෙත්, ඒ භාණ්ඩ හා සේවා ප්‍රමාණය රටෙන් පිටත විකුණා ලබන විදේශ මුදල් වැය කර ගෙන්වන භාණ්ඩ විකුණන්නේ රට ඇතුළත නිසා ඒ කොටස රටේ වියදමකි. කෙසේ වුවත්, ජපානය භාණ්ඩ හා සේවා අපනයනය කර උපයන මුළු මුදලම ආනයන සඳහා වැය නොකරන නිසා කිසියම් විදෙස් මුදල් ප්‍රමාණයක් ජපානයේ ඉතිරි වේ. මේ විදෙස් මුදල් වල වටිනාකම ජපාන යෙන් 1%කට සමානය.

දැන් මේ ඉතිරි වන 1%ට මොකද වෙන්නේ?

මේ මුදල බොහෝ දුරට ජපානයේ මහ බැංකුව වන ජපාන බැංකුවේ නිල සංචිත වලට එකතු වේ. එවිට ජපාන බැංකුව විසින් බොහෝ විට කරන්නේ මේ මුදල් යොදවා ඇමරිකාවේ ඩොලර් බැඳුම්කර මිල දී ගැනීමයි. මේ මුදලින් කොටසක් යුරෝ බැඳුම්කර මිල දී ගැනීම සඳහාද යෙදවීමට ඉඩ තිබේ. ජපානයේ වෙළඳ අතිරික්තයෙන් කොටසක් අපනයනකරුවන් විසින්ම රටින් පිටත බැංකුවක ඉතිරි කිරීමටද ඉඩ තිබේ.

ඉහත කී අයුරින් ජපානය වැනි රටවල් විසින් විදෙස් වෙළඳාමේදී ඉතිරි කර ගන්නා මුදල් වලින් විශාල ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදය වෙත ඇදී එයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවට ආනයන සඳහා වියදම් කිරීමට එරට අපනයන ආදායමට වඩා අමතර මුදලක් ලැබේ. මෙහි ප්‍රතිඵලය වන්නේ ඇමරිකාවේ අපනයන ආදායමට වඩා වැඩි මුදලක් ආනයන වෙනුවෙන් වැය කරන්නට ඇමරිකාවට හැකි වීමයි.

පසුගිය (2016) වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා ඩොලර් බිලියන වලිනි. (මූලාශ්‍රය: වගුව 1.1.5).

Y  = 18,624.5
C  = 12,820.7 (68.8%)
I = 3,057.2 (16.5%)
G = 3,267.7 (17.5%)
NX = -521.2 (-2.8%)

මේ සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන්නේ ඇමරිකාවේ දේශීය නිෂ්පාදිතය මෙන් 102.8%ක් ඇමරිකාව ඇතුළත වියදම් කෙරෙන බවයි.  මේ අමතර 2.8% වියදම් කරන්නට ඇමරිකාවට හැකි වී තිබෙන්නේ "උපකල්පිත වටිනාකමක් පමණක් ඇති" ඇමරිකන් ඩොලර් වෙනුවෙන් ජපානය වැනි රටවල් "සැබෑ වටිනාකමක් ඇති" පරිභෝජන භාණ්ඩ ඇමරිකාවට එවන බැවිනි.

දැන් අපි තජිකිස්තානයට යමු.

තජිකිස්තානයේ ජාතික ගිණුම් සම්බන්ධව වඩාත්ම අලුත් සංඛ්‍යාලේඛණ ඇත්තේ 2015 වසර සඳහාය. 2015 වසරේදී තජිකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතය කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා සොමොනි මිලියන වලිනි. (මූලාශ්‍රය: එක්සත් ජාතීන්ගේ සංගමයේ දත්ත).

Y  = 48,401.6
C  = 44,699.3 (92.4%)
I = 15,005.3 (31.0%)
G = 6,851.9 (14.2%)
NX = -20,453.0 (-42.3%)

දැන් මේ සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට මුලින්ම පෙනෙන්නේ තජිකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.7%ක කොටසක් මෙහි විසංයෝජනය කර ඇති අයිතම වලින් පැහැදිලි නොකෙරෙන බවයි. තජිකිස්ථානය වැනි විශාල අවිධිමත් ආර්ථිකයක් ඇති රටක ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේදී සිදු වන ඇස්තමේන්තු වරද හෝ වෙනත් කරුණක් මෙයට හේතු වනවා විය හැකිය. කෙසේ වුවත්, රටවල් දෙකකින්ම පරීක්ෂා කෙරෙන නිසා වෙළඳ හිඟය පිළිබඳ දත්ත වඩා නිවැරදි බව අපට සැලකිය හැකිය. එමෙන්ම මෙහි G වලට ඇතුළත්ව තිබෙන්නේ රජයේ පරිභෝජන වියදම් පමණි. රජයේ ආයෝජන වියදම් පෞද්ගලික ආයෝජන වියදම් (I) වලට එකතු කර තිබේ.

වෙළඳ හිඟය පමණක් සැලකුවත් අපට පෙනී යන්නේ තජිකිස්ථාන වැසියන් හා එහි රජය විසින් එරට දළ දේශීය නිෂ්පාදිතය මෙන් 142.3%ක මුදලක් වියදම් කරන බවයි. අවිධිමත් ආර්ථිකය හරහා ලැබෙන මුදල්ද සැලකූ විට මේ ප්‍රමාණය තජිකිස්ථානයේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් දෙගුණයකට ආසන්න වන්නට පුලුවන.

මේ අනුව පැහැදිලි වන පරිදි, නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හරහා තජිකිස්ථානය උපයන ආදායම එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 30-50% පමණ ප්‍රමාණයක් බවත්, තජිකිස්තානයට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 45%ක් පමණ බවත් කියන විට එයින් අදහස් වන්නේ තජිකිස්ථානය කිසිවක් නිපදවන්නේ නැති බව නොවේ. තජිකිස්ථානය තුළ කලක් තිස්සේ සිදුවූ නිෂ්පාදන කටයුතු එසේම සිදු වේ. ඒ නිෂ්පාදන විකුණා උපයන ආදායමට අමතරව, තවත් එවැනිම පමණ ආදායමක් "වෙනත් ක්‍රම වලින්" තජිකිස්ථානය උපයයි. ඒ නිසා, තජිකිස්ථාන වැසියන්ගේ සැබෑ ජීවන තත්ත්වය එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් නිරූපණය වන තරමටම නරක නැත.

තජිකිස්තානයට සිය දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා වියදම් කරන්නට හැකි වී තිබෙන්නේ එරටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ නිසාය.  මෙහිදී විශ්ලේෂණය කෙරුණු 2015 වසර තුළ තජිකිස්තානයට පැමිණි ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 28.8%කි.

ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන්නේ කිසියම් විදේශ මුදලකි. තජිකිස්ථානය හා අදාළව මෙසේ බොහෝ විට ලැබෙන්නේ රූබල්ය. එහෙත් තජිකිස්තානයේ දේශීය නිෂ්පාදකයින්ගේ පිරිවැය සොමොනි වලින් වැය කළ යුතු නිසා ඔවුන්ට ඔවුන්ට රූබල් අවශ්‍ය නැත. රටේ දළ දේශීය නිෂ්පාදිතය වැටුප් හා ලාභ ලෙස බෙදී යද්දී මේ නිෂ්පාදිතය මිල දී ගැනීමට අවශ්‍ය ඉල්ලුමද සොමොනි වලින්ම ඇති වන නිසා පිටතින් ලැබුණු රූබල් වලින් මිල දී ගන්නට තරම් භාණ්ඩ හා සේවා රටේ ඉතිරි වන්නේ නැත. ඒ නිසා, මේ රූබල් වලින් වැඩක් ගන්නටනම් රූබල් අවශ්‍ය වන රුසියාවෙන් භාණ්ඩ හා සේවා ආනයනය කළ යුතුය. එසේ නැත්නම් අපනයන සීමා කළ යුතුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස තජිකිස්තානයට ශ්‍රමික ප්‍රේෂණ පැමිණීමට සමාන්තරව ආනයනද ඉහළ ගොස් අපනයන අඩු වෙයි. රටේ වෙළඳ ශේෂ හිඟය පුළුල් වෙයි.

තජිකිස්තානයේ තරමටම නැතත් මෙය යම් තරමකින් ලංකාවටද අදාළය.

පසුගිය 2016 වසරේදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා රුපියල් බිලියන වලිනි. (මූලාශ්‍රය: වගුව 3).

Y  = 11,839.0
C  = 8,003.8 (67.6%)
I = 3,723.9 (31.4%)
G = 1,015.1 (8.6%)
NX = -903.8 (-7.6%)

මෙහිද, තජිකිස්ථානයේ මෙන්ම, G වලට ඇතුළත්ව තිබෙන්නේ රජයේ පරිභෝජන වියදම් පමණි. රජයේ ආයෝජන වියදම් පෞද්ගලික ආයෝජන වියදම් (I) වලට එකතු කර තිබේ.

ඉහත සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන පරිදි, ලංකාවේ පෞද්ගලික අංශය හා රජය එක්ව කරන සමස්ත වියදම් රටේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා 7.6%කින් වැඩිය. මේ අමතර වියදමෙන් වැඩි කොටසක් පියවෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ වලිනි.

ශ්‍රමික ප්‍රේෂණ රට තුළට ගලා එද්දී එයට අනුරූප වෙළඳ හිඟයක් පවත්වා ගැනීම ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට හේතු වන්නේ නැත. එහෙත්, ලංකාවේ මෙන්ම තජිකිස්තානයේද දැකිය හැකි ප්‍රශ්නයක් වන්නේ මෙසේ ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු තරමින් ලැබෙද්දී වුවද, වෙළඳ ශේෂ හිඟය ඊටත් වඩා වැඩි වීම නිසා ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදුවීමයි. මෙයට හේතු වන කරුණු හා මේ ප්‍රශ්නය විසඳාගත හැකි ආකාරය අපි ඉදිරි ලිපියකට ඉතිරි කරමු.

Thursday, November 23, 2017

දරිද්‍රතාවය සමව බෙදාගැනීමේ සමාජවාදී සිහිනය


පහතින් ඇත්තේ මෙහි පළවූ පසුගිය ලිපියකට අජිත් ධර්මා විසින් දමා ඇති ප්‍රතිචාරයක කොටසකි.

"ඔය රටවල් දෙකම මන්දපෝෂණය තිබුනේ නැහැ. හේතුව සලක ක්‍රමයට පෝලිමේ ඉන්දල් අ හෝ කෑම දුන්න බඩගින්නේ නොහිටින්න. හොඳ කෑම නොවෙන්න පුළුවන්. ඒක ඇත්ත. රුවන් කියන සුඛෝපභෝගී ආහාර නැහැ. මම මේ කියුබන් ක්‍රමය හොඳයි කියනවා නෙවි. අපි විවේචනයක් කරන විට සාධාරණ විය යුතු නිසා."

මෙහි අජිත් ධර්මා විසින් කියන්නේ පැරණි සෝවියට් දේශයේ හා කියුබාවේ සියලු දෙනාටම බඩ පුරවා ගන්නට තරම් ප්‍රමාණවත් ආහාර සලාකයක් රජය විසින් ලබා දුන් බවයි.

ඊට පෙර ඉකොනොමැට්ටා විසින් පළ කළ වෙනත් ලිපියකට අජිත් ධර්මා විසින්ම දමා තිබුණු ප්‍රතිචාරයක් මෙසේය.

"ඔබ කිව්වා වගේ පගාව දීල ටෙලිෆෝන් එක ගන්න ඕනේ. ඔයඅර්ධ සමාජවාදී නැත්නම් ලනක්ව වගේ මුනිච්චාවට සමාජවාදී රටවල තිබූන ප්‍රශ්නයක්. සෝවියට් දේශයේ හැම ගෙදරකටම ආණ්ඩුවෙන් ටෙලිෆෝන් එකක් දීල තිබුන. කාටවත් බලෙන් ඉල්ලන්න ඕනේ කමක් තිබුනේ නැහැ. ඒ කියන්නේ පෞද්ගලික ගෙවල් නැහැනේ. ඔක්කොම ආණ්ඩුවේ. ඉතින් ආණ්ඩුවම දෙන්න ඕනේ. එතනයි වෙනස."

කියුබාව වැනි රටවල මන්දපෝෂණය නොතිබුණු බව වැනි දේ නිවැරදි නොවන බව අපි පැත්තකින් තියමු. එය මේ ලිපියේ සාකච්ඡා කරන කරුණට අදාළ නොවේ.

අජිත් ධර්මාගේ ප්‍රතිචාරය අනුව පැරණි සෝවියට් දේශයේ සෑම නිවසකටම රජය විසින් ස්ථාවර දුරකථනයක් ලබා දී තිබේ. එසේම, රටේ සියලු දෙනාටම කුසගිණි නිවා ගන්නට ප්‍රමාණවත් ආහාර සලාකයක් ලබා දී තිබේ. මේ ආහාර සලාකය සාමාන්‍ය පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ සියල්ල අඩංගු ප්‍රසස්ථ ආහාර වේලක්යැයි අපි උපකල්පනය කරමු. අජිත් ධර්මා විසින් විශේෂයෙන් සඳහන් කර නොතිබුණත් පැරණි සෝවියට් දේශයේ වැසියන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්ද රජය මඟින් සැපයූ බව අප දන්නා කරුණකි.

දැන් මේ හරහා මැවෙන්නේ ලංකාවේ බොහෝ සමාජවාදීන්ගේ සිහිනය වන පරමාදර්ශී සමාජයකි. ඔවුන්ගේ ඉලක්කය ලංකාව මෙවැනි තැනකට ගෙන යාමයි.

මේ සමාජවාදී ඉලක්කය දෙස විමසිල්ලෙන් බැලීමෙන්ම සමාජවාදී චින්තනයේ ඇති වැරැද්ද පැහැදිලිව පෙනේ. ඒ ගැන සාකච්ඡා කිරීමේදී අදාළ රටවල් මේ ඉලක්කය සැබෑවටම සපුරා ගත්තේද යන්න සැක නොකර අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු.

දැන් මේ පරමාදර්ශී රටක මධ්‍යගත සැලසුම්කරුවෙකු විසින් රට වැසියන් අතර දුරකථන බෙදා දිය යුතු හොඳම ක්‍රමය එක් නිවසකට එක් දුරකථනය බැගින් බෙදා දීම බව තීරණය කරයි. එහෙත්, රටේ ජීවත් වන සෑම දෙනෙකුටම දුරකථනයක ඇති ප්‍රයෝජ්‍ය වටිනාකම සමාන නැත.

දුරකථනයක් යනු අනවශ්‍ය කරදරයක් කියා සිතන සුළු පිරිසක් හෝ සිටිති. එවැන්නන්ට රජයෙන් ලබා දෙන දුරකථනය ප්‍රයෝජනයට නොගෙන සිටිය හැකි බව ඇත්තකි. එහෙත්, එහිදී සිදුවන්නේ සම්පත් නාස්තියකි. ඒ අතරම, පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුම දුරකථනයට ඇබ්බැහි වී සිටින නිවසකට එක් දුරකථනයක් ප්‍රමාණවත් නොවන්නට පුළුවන. රජය මඟින් නිවසකට එක් දුරකථනය මඟින් ලබා දීමෙන් පසු කැමති අයෙකුට තමන්ගේ දුරකථනය වෙනත් අයෙකුට විකිණීමට ඉඩ ලැබේනම් දුරකථන හුවමාරු ගණුදෙනු යම් ප්‍රමාණයක් හෝ සිදුවන බව ස්ථිරය. මෙවැනි නිදහස් ගනුදෙනුවකදී සිදුවන්නේ කිසියම් අයෙකු තමන්ට අනවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන දෙයක් එය වඩා අවශ්‍ය අයෙකුට දී දෙවැන්නාට වාසියක් සලසමින් තමන්ද වාසියක් ලැබීමයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ඇති අකාර්යක්ෂමතාවය වන්නේ දෙදෙනෙකුටම වාසි සැලසෙන මෙවැනි හුවමාරුවක් කරන්නට නිදහසක් නැති වීමයි.

ආහාර සම්බන්ධව සැලකූ විට මෙය පැහැදිලි කිරීම වඩා පහසුය. මේ සඳහා, පැරණි සෝවියට් දේශයටම යා යුතු නැත. පේරාදෙණියේ අක්බාර් කැන්ටිම වැනි තැනකට යාම ප්‍රමාණවත්ය.

මෙවැනි තැනක ලබා දෙනා කෑම වේල මධ්‍යම සැලසුම්කරුවෙකුගේ දැඩි නියාමනයකට ලක්ව තිබේ. ඒ අනුව, ටෙන්ඩරය භාරගන්නා අයෙකු නිශ්චිත මිලකට නිශ්චිත ද්‍රව්‍ය අඩංගු කෑම වේලක් ලබා දිය යුතුය. මෙය සාමාන්‍යයෙන් බත්, පරිප්පු හෝ මුං ඇට, මැල්ලුමක් හා එළවළුවක් වැනි අංග වලින් යුත් කෑම වේලකි. අවශ්‍යනම් වැඩිපුර මුදලක් ගෙවා මස්, මාළු හෝ බිත්තර වැනි දෙයක් මිල දී ගත හැකිය.

කෙසේ වුවත්, මේ ප්‍රසස්ථ කෑම වේල සියලුම පාරිභෝගිකයින්ගේ ප්‍රසස්ථම කෑම වේල නොවේ. බොහෝ දෙනෙක් කෑම වේල මිල දී ගෙන මේසයට පැමිණ වාඩි වෙන්නේම කොළ මැල්ලුම කුණු බක්කියට දැමීමෙන් පසුවය. එය කෙළින්ම සිදුවන සම්පත් නාස්තියකි. ඉන් පසුව, ඉතිරි වන එළවලුවද ඇතැම් අයගේ ප්‍රියජනක ආහාරයක් නොවිය හැකිය.

"මචං, මම පතෝල කන්නෙ නැහැ. උඹ කනවනම් මේ ටික ගනිං."

කෑම මේසයේදී මේ වගේ දේවල් සිදුවිය හැකිය. කොළ මැල්ලුමද කුණු බක්කියට දමා අවසන් නිසා දැන් පළමු සිසුවාගේ පිඟානේ තිබෙන්නේ බත් හා පරිප්පු පමණි.

"කෝ උඹට බත් ටික කන්න දෙයක් දැන් නෑනේ. මේකෙන් තව පරිප්පු ටිකක් ගනිං."

මධ්‍යගත සැලසුම වෙනුවට පුද්ගල තේරීමට ඉඩදෙන බුෆේ ක්‍රමයක් තිබුණානම් තමන් කැමති දේ මිස අකැමැති දේ බෙදාගෙන්නට අවශ්‍ය නැත. නාස්තිය අඩු වන නිසා නියමිත මිලටම ලබාගත හැකි කෑම ප්‍රමාණය වැඩි වනු මිස අඩු වන්නේද නැත.

ඇමරිකාවේ අඩුආදායම්ලාභීන්ට ලබා දෙන සහනාධාරය සලාකයක් ලෙස නොව මුදලින් ලබා දෙන්නකි. මේ මුදල ගණනය කිරීමේදී දරු දෙදෙනෙකු ඇතුළුව හතරදෙනෙකු සිටින පවුලකට සතියකට එළවලු රාත්තල් 31.56ක් හා පළතුරු රාත්තල් 24.48ක් මිල දී ගන්නට ප්‍රමාණවත් මුදලක් ලබා දුන්නත් එවැනි පවුලක අය ඒ ප්‍රමාණයෙන් අඩක්වත් එළවලු හා පළතුරු ආහාරයට ගන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට කරන්නේ ඒ මුදල් ඉතිරි කරගෙන තෙල් හා මේද අඩංගු ආහාර හා රසකැවිලි වැඩිපුර ආහාරයට ගැනීමයි. එහෙත්, මෙයට විසඳුමක් ලෙස මේ අයට බලෙන් එළවලු හා පළතුරු කවන්නට ආණ්ඩුවට පුළුවන් කමක් නැත. කිසියම් අයුරකින් එළවලු හා පළතුරු සලාකයක් ලෙස ලබා දුන්නොත් සිදුවනු ඇත්තේ එම ආහාර කුණු බක්කි වලට යාම පමණි. දැනුවත් කිරීම් මඟින් පුද්ගල තේරීම් වෙනස් කිරීම මිස වෙනත් ආකාර වල මැදිහත්කිරීම් මඟින් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකිය.

ආහාර සහනාධාරය මෙන්ම ඇමරිකාවේ අඩුආදායම්ලාභී නිවසකට දුරකථන පහසුකම් ලබාගැනීම සඳහා "ලයිෆ්ලයින්" නම් වූ සහනාධාර වැඩසටහනක්ද ක්‍රියාත්මකව පවතී. මේ හරහා දුරකථනයක් නැති පවුලකට තමන් කැමති පරිදි ස්ථාවර දුරකථනයක් හෝ ජංගම දුරකථනයක් ලබා ගැනීමට පුළුවන. සහනාධාරය මඟින් දුරකථනයේ මිල ඇතුළු සම්බන්ධතාව ලබා ගැනීමේ මූලික වියදම් මෙන්ම මාසික ගාස්තු වලින්ද සැලකිය යුතු කොටසක් ප්‍රතිපූරණය කරන නිසා අඩුආදායම්ලාභී පවුලකට ඇමරිකාවේ අවම වැටුපට පැයක පමණ කාලයක් වැඩකර ඉපැයිය හැකි මුදලක් මසකට වැය කර දුරකථනයක් නඩත්තු කළ හැකිය. ස්ථාවර දුරකථන යනු ඇමරිකාවේ හෙමින් මිය යමින් තිබෙන සංකල්පයකි. ඒ නිසා, අඩුආදායම්ලාභීන් ඇතුළු බොහෝ ඇමරිකානුවන්ගේ දැන් තේරීම ජංගම දුරකථනයයි.

ඇමරිකාවේ ආදායම් මට්ටම් අනුව පහළින්ම සිටින අයෙකුට වුවද පෙර ලිපියේ විස්තර කර ඇති නොමසුරු ආහාර සහනාධාරය, දුරකථන සහනාධාරය, සෞඛ්‍ය පහසුකම් ඇතුළු අවම ජීවන තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන දේ ලැබේ. රජය මඟින් ලබා දෙන්නේ නොමිලේ ප්‍රතිකාර නොව සියලු වියදම් ආවරණය වන සෞඛ්‍ය රක්ෂණයක් නිසා ප්‍රතිකාර ගන්නට "ආණ්ඩුවේ ඉස්පිරිතාල වල" පෝලිම් වල ඉන්නට අවශ්‍යද නැත. අඩුආදායම් ස්ථරවල ජීවන තත්ත්වය මෙසේ ඉහළින් තිබීමට හේතු වී ඇත්තේ ආදායම් උපයන ඉහළ ස්ථර වලට බාධාවකින් තොරව එය කරන්නට ඉඩ සැලසීම මිස ඔවුන්ට තිරිංග දැමීම නොවේ.

සියල්ලන්ටම සමානව බෙදීමේ සමාජවාදී ඉලක්කයේ අරමුණ සමාජයේ පහළම ස්ථර වලට අවම ජීවන තත්ත්වයක් සහතික කිරීමයි. ඉහළ ස්ථර වලට කොහොමටත් එහි වාසියක් නැත. මේ පරමාදර්ශී සමාජවාදී ඉලක්කය අනුව බැලුවත් ධනවාදී ඇමරිකාව සිටින්නේ සමාජවාදී රටවලට වඩා ඉදිරියෙනි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...