වෙබ් ලිපිනය:

Thursday, November 23, 2017

දරිද්‍රතාවය සමව බෙදාගැනීමේ සමාජවාදී සිහිනය


පහතින් ඇත්තේ මෙහි පළවූ පසුගිය ලිපියකට අජිත් ධර්මා විසින් දමා ඇති ප්‍රතිචාරයක කොටසකි.

"ඔය රටවල් දෙකම මන්දපෝෂණය තිබුනේ නැහැ. හේතුව සලක ක්‍රමයට පෝලිමේ ඉන්දල් අ හෝ කෑම දුන්න බඩගින්නේ නොහිටින්න. හොඳ කෑම නොවෙන්න පුළුවන්. ඒක ඇත්ත. රුවන් කියන සුඛෝපභෝගී ආහාර නැහැ. මම මේ කියුබන් ක්‍රමය හොඳයි කියනවා නෙවි. අපි විවේචනයක් කරන විට සාධාරණ විය යුතු නිසා."

මෙහි අජිත් ධර්මා විසින් කියන්නේ පැරණි සෝවියට් දේශයේ හා කියුබාවේ සියලු දෙනාටම බඩ පුරවා ගන්නට තරම් ප්‍රමාණවත් ආහාර සලාකයක් රජය විසින් ලබා දුන් බවයි.

ඊට පෙර ඉකොනොමැට්ටා විසින් පළ කළ වෙනත් ලිපියකට අජිත් ධර්මා විසින්ම දමා තිබුණු ප්‍රතිචාරයක් මෙසේය.

"ඔබ කිව්වා වගේ පගාව දීල ටෙලිෆෝන් එක ගන්න ඕනේ. ඔයඅර්ධ සමාජවාදී නැත්නම් ලනක්ව වගේ මුනිච්චාවට සමාජවාදී රටවල තිබූන ප්‍රශ්නයක්. සෝවියට් දේශයේ හැම ගෙදරකටම ආණ්ඩුවෙන් ටෙලිෆෝන් එකක් දීල තිබුන. කාටවත් බලෙන් ඉල්ලන්න ඕනේ කමක් තිබුනේ නැහැ. ඒ කියන්නේ පෞද්ගලික ගෙවල් නැහැනේ. ඔක්කොම ආණ්ඩුවේ. ඉතින් ආණ්ඩුවම දෙන්න ඕනේ. එතනයි වෙනස."

කියුබාව වැනි රටවල මන්දපෝෂණය නොතිබුණු බව වැනි දේ නිවැරදි නොවන බව අපි පැත්තකින් තියමු. එය මේ ලිපියේ සාකච්ඡා කරන කරුණට අදාළ නොවේ.

අජිත් ධර්මාගේ ප්‍රතිචාරය අනුව පැරණි සෝවියට් දේශයේ සෑම නිවසකටම රජය විසින් ස්ථාවර දුරකථනයක් ලබා දී තිබේ. එසේම, රටේ සියලු දෙනාටම කුසගිණි නිවා ගන්නට ප්‍රමාණවත් ආහාර සලාකයක් ලබා දී තිබේ. මේ ආහාර සලාකය සාමාන්‍ය පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ සියල්ල අඩංගු ප්‍රසස්ථ ආහාර වේලක්යැයි අපි උපකල්පනය කරමු. අජිත් ධර්මා විසින් විශේෂයෙන් සඳහන් කර නොතිබුණත් පැරණි සෝවියට් දේශයේ වැසියන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්ද රජය මඟින් සැපයූ බව අප දන්නා කරුණකි.

දැන් මේ හරහා මැවෙන්නේ ලංකාවේ බොහෝ සමාජවාදීන්ගේ සිහිනය වන පරමාදර්ශී සමාජයකි. ඔවුන්ගේ ඉලක්කය ලංකාව මෙවැනි තැනකට ගෙන යාමයි.

මේ සමාජවාදී ඉලක්කය දෙස විමසිල්ලෙන් බැලීමෙන්ම සමාජවාදී චින්තනයේ ඇති වැරැද්ද පැහැදිලිව පෙනේ. ඒ ගැන සාකච්ඡා කිරීමේදී අදාළ රටවල් මේ ඉලක්කය සැබෑවටම සපුරා ගත්තේද යන්න සැක නොකර අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු.

දැන් මේ පරමාදර්ශී රටක මධ්‍යගත සැලසුම්කරුවෙකු විසින් රට වැසියන් අතර දුරකථන බෙදා දිය යුතු හොඳම ක්‍රමය එක් නිවසකට එක් දුරකථනය බැගින් බෙදා දීම බව තීරණය කරයි. එහෙත්, රටේ ජීවත් වන සෑම දෙනෙකුටම දුරකථනයක ඇති ප්‍රයෝජ්‍ය වටිනාකම සමාන නැත.

දුරකථනයක් යනු අනවශ්‍ය කරදරයක් කියා සිතන සුළු පිරිසක් හෝ සිටිති. එවැන්නන්ට රජයෙන් ලබා දෙන දුරකථනය ප්‍රයෝජනයට නොගෙන සිටිය හැකි බව ඇත්තකි. එහෙත්, එහිදී සිදුවන්නේ සම්පත් නාස්තියකි. ඒ අතරම, පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුම දුරකථනයට ඇබ්බැහි වී සිටින නිවසකට එක් දුරකථනයක් ප්‍රමාණවත් නොවන්නට පුළුවන. රජය මඟින් නිවසකට එක් දුරකථනය මඟින් ලබා දීමෙන් පසු කැමති අයෙකුට තමන්ගේ දුරකථනය වෙනත් අයෙකුට විකිණීමට ඉඩ ලැබේනම් දුරකථන හුවමාරු ගණුදෙනු යම් ප්‍රමාණයක් හෝ සිදුවන බව ස්ථිරය. මෙවැනි නිදහස් ගනුදෙනුවකදී සිදුවන්නේ කිසියම් අයෙකු තමන්ට අනවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන දෙයක් එය වඩා අවශ්‍ය අයෙකුට දී දෙවැන්නාට වාසියක් සලසමින් තමන්ද වාසියක් ලැබීමයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ඇති අකාර්යක්ෂමතාවය වන්නේ දෙදෙනෙකුටම වාසි සැලසෙන මෙවැනි හුවමාරුවක් කරන්නට නිදහසක් නැති වීමයි.

ආහාර සම්බන්ධව සැලකූ විට මෙය පැහැදිලි කිරීම වඩා පහසුය. මේ සඳහා, පැරණි සෝවියට් දේශයටම යා යුතු නැත. පේරාදෙණියේ අක්බාර් කැන්ටිම වැනි තැනකට යාම ප්‍රමාණවත්ය.

මෙවැනි තැනක ලබා දෙනා කෑම වේල මධ්‍යම සැලසුම්කරුවෙකුගේ දැඩි නියාමනයකට ලක්ව තිබේ. ඒ අනුව, ටෙන්ඩරය භාරගන්නා අයෙකු නිශ්චිත මිලකට නිශ්චිත ද්‍රව්‍ය අඩංගු කෑම වේලක් ලබා දිය යුතුය. මෙය සාමාන්‍යයෙන් බත්, පරිප්පු හෝ මුං ඇට, මැල්ලුමක් හා එළවළුවක් වැනි අංග වලින් යුත් කෑම වේලකි. අවශ්‍යනම් වැඩිපුර මුදලක් ගෙවා මස්, මාළු හෝ බිත්තර වැනි දෙයක් මිල දී ගත හැකිය.

කෙසේ වුවත්, මේ ප්‍රසස්ථ කෑම වේල සියලුම පාරිභෝගිකයින්ගේ ප්‍රසස්ථම කෑම වේල නොවේ. බොහෝ දෙනෙක් කෑම වේල මිල දී ගෙන මේසයට පැමිණ වාඩි වෙන්නේම කොළ මැල්ලුම කුණු බක්කියට දැමීමෙන් පසුවය. එය කෙළින්ම සිදුවන සම්පත් නාස්තියකි. ඉන් පසුව, ඉතිරි වන එළවලුවද ඇතැම් අයගේ ප්‍රියජනක ආහාරයක් නොවිය හැකිය.

"මචං, මම පතෝල කන්නෙ නැහැ. උඹ කනවනම් මේ ටික ගනිං."

කෑම මේසයේදී මේ වගේ දේවල් සිදුවිය හැකිය. කොළ මැල්ලුමද කුණු බක්කියට දමා අවසන් නිසා දැන් පළමු සිසුවාගේ පිඟානේ තිබෙන්නේ බත් හා පරිප්පු පමණි.

"කෝ උඹට බත් ටික කන්න දෙයක් දැන් නෑනේ. මේකෙන් තව පරිප්පු ටිකක් ගනිං."

මධ්‍යගත සැලසුම වෙනුවට පුද්ගල තේරීමට ඉඩදෙන බුෆේ ක්‍රමයක් තිබුණානම් තමන් කැමති දේ මිස අකැමැති දේ බෙදාගෙන්නට අවශ්‍ය නැත. නාස්තිය අඩු වන නිසා නියමිත මිලටම ලබාගත හැකි කෑම ප්‍රමාණය වැඩි වනු මිස අඩු වන්නේද නැත.

ඇමරිකාවේ අඩුආදායම්ලාභීන්ට ලබා දෙන සහනාධාරය සලාකයක් ලෙස නොව මුදලින් ලබා දෙන්නකි. මේ මුදල ගණනය කිරීමේදී දරු දෙදෙනෙකු ඇතුළුව හතරදෙනෙකු සිටින පවුලකට සතියකට එළවලු රාත්තල් 31.56ක් හා පළතුරු රාත්තල් 24.48ක් මිල දී ගන්නට ප්‍රමාණවත් මුදලක් ලබා දුන්නත් එවැනි පවුලක අය ඒ ප්‍රමාණයෙන් අඩක්වත් එළවලු හා පළතුරු ආහාරයට ගන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට කරන්නේ ඒ මුදල් ඉතිරි කරගෙන තෙල් හා මේද අඩංගු ආහාර හා රසකැවිලි වැඩිපුර ආහාරයට ගැනීමයි. එහෙත්, මෙයට විසඳුමක් ලෙස මේ අයට බලෙන් එළවලු හා පළතුරු කවන්නට ආණ්ඩුවට පුළුවන් කමක් නැත. කිසියම් අයුරකින් එළවලු හා පළතුරු සලාකයක් ලෙස ලබා දුන්නොත් සිදුවනු ඇත්තේ එම ආහාර කුණු බක්කි වලට යාම පමණි. දැනුවත් කිරීම් මඟින් පුද්ගල තේරීම් වෙනස් කිරීම මිස වෙනත් ආකාර වල මැදිහත්කිරීම් මඟින් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකිය.

ආහාර සහනාධාරය මෙන්ම ඇමරිකාවේ අඩුආදායම්ලාභී නිවසකට දුරකථන පහසුකම් ලබාගැනීම සඳහා "ලයිෆ්ලයින්" නම් වූ සහනාධාර වැඩසටහනක්ද ක්‍රියාත්මකව පවතී. මේ හරහා දුරකථනයක් නැති පවුලකට තමන් කැමති පරිදි ස්ථාවර දුරකථනයක් හෝ ජංගම දුරකථනයක් ලබා ගැනීමට පුළුවන. සහනාධාරය මඟින් දුරකථනයේ මිල ඇතුළු සම්බන්ධතාව ලබා ගැනීමේ මූලික වියදම් මෙන්ම මාසික ගාස්තු වලින්ද සැලකිය යුතු කොටසක් ප්‍රතිපූරණය කරන නිසා අඩුආදායම්ලාභී පවුලකට ඇමරිකාවේ අවම වැටුපට පැයක පමණ කාලයක් වැඩකර ඉපැයිය හැකි මුදලක් මසකට වැය කර දුරකථනයක් නඩත්තු කළ හැකිය. ස්ථාවර දුරකථන යනු ඇමරිකාවේ හෙමින් මිය යමින් තිබෙන සංකල්පයකි. ඒ නිසා, අඩුආදායම්ලාභීන් ඇතුළු බොහෝ ඇමරිකානුවන්ගේ දැන් තේරීම ජංගම දුරකථනයයි.

ඇමරිකාවේ ආදායම් මට්ටම් අනුව පහළින්ම සිටින අයෙකුට වුවද පෙර ලිපියේ විස්තර කර ඇති නොමසුරු ආහාර සහනාධාරය, දුරකථන සහනාධාරය, සෞඛ්‍ය පහසුකම් ඇතුළු අවම ජීවන තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන දේ ලැබේ. රජය මඟින් ලබා දෙන්නේ නොමිලේ ප්‍රතිකාර නොව සියලු වියදම් ආවරණය වන සෞඛ්‍ය රක්ෂණයක් නිසා ප්‍රතිකාර ගන්නට "ආණ්ඩුවේ ඉස්පිරිතාල වල" පෝලිම් වල ඉන්නට අවශ්‍යද නැත. අඩුආදායම් ස්ථරවල ජීවන තත්ත්වය මෙසේ ඉහළින් තිබීමට හේතු වී ඇත්තේ ආදායම් උපයන ඉහළ ස්ථර වලට බාධාවකින් තොරව එය කරන්නට ඉඩ සැලසීම මිස ඔවුන්ට තිරිංග දැමීම නොවේ.

සියල්ලන්ටම සමානව බෙදීමේ සමාජවාදී ඉලක්කයේ අරමුණ සමාජයේ පහළම ස්ථර වලට අවම ජීවන තත්ත්වයක් සහතික කිරීමයි. ඉහළ ස්ථර වලට කොහොමටත් එහි වාසියක් නැත. මේ පරමාදර්ශී සමාජවාදී ඉලක්කය අනුව බැලුවත් ධනවාදී ඇමරිකාව සිටින්නේ සමාජවාදී රටවලට වඩා ඉදිරියෙනි.

14 comments:

  1. ඔය සමාජවාදීන්ගේ පරමාදර්ශි වැඩ තියෙන්නේ පිටතට පේන්න විතරයි. තිරයෙන් වැහිච්චි ටික අධික ගඳයි.

    ReplyDelete
  2. ගර්භණි කාන්තාවන්ට ආණ්ඩුවෙන් දෙන රුපියල් විසිදාහේ වවුචර්යට බඩු ගැනීමේදී තමන්ට අවශ්‍ය කුමක්ද යන්න මිලදී ගන්නාට තෝරා ගත හැකියි.ඒ වවුචරයෙන් මිලදී ගත හැක්කේ ආහාර ද්‍රවය පමණක් වන අතර මිලදී ගත යුත්තේ කුමන ආකාරයේ ඒවාද යන්න වවුචරයේ සඳහන් කර තිබුනද භාණ්ඩ මිලදී ගැනීමේදී මිලදී ගන්නේ කුමන ආහාර ද්‍රවයද යන්න ගැන පාරිභෝගිකයින් හට බලපෑමක් නොකරේ.

    ReplyDelete
  3. අජිත් කියන්නේ මී හරකෙක්නේ. තාම අර උපතින් ආපු චින්තනේ අත අරගන්න බැරුව ඉන්නේ. එංගලන්තේ නෙමේ අඟහරු වල හිටියත් ඕකුන් වෙනස් වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. පේන හැටියට අජිත් ධර්ම කියන්නේ දේශපාලන හෙන්චයියෙක්, ලන්ඩන් මේයර් සහ ජෙරමි කෝබින්ගෙ පක්ශේ වෙනුවෙන් කඩේ ගිහින් මුදල් සහ වෙනත් කාසි-වාසි ලබනවා ඇති.

      Delete
    2. වමටත් නැති දකුණටත් නැති මනෝවිකාර දොඩවන්නකු වන බ්‍රිතාන්‍යයේ වර්තමාන කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින්ගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමේ කොන්ත්‍රාතුව නොනිලව බාර ගෙන සිටින ලාංකීය සම්භවයක් ඇති අකලට ශීර්ෂකේශපතනය වූ සංස්කෘතික මුදලාලි කෙනක් කරළියට පැමිණ සිටියි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පසුගිය සමයේ දී ජෙරමි කෝබින් මුනිවරයකු කරන්නට එම තැනැත්තා නොසෑහෙන්න වෙහෙසුණේ එමඟින් හෝ කම්කරු පක්ෂයෙන් නිල කොන්ත්‍රාතුවක් දිනා ගන්නටය. එහෙත් ලංකාවේ එක්සත් ජාතික පක්ෂයෙන් කොන්ත්‍රාතු ලබා ගන්නා සේ බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයෙන් කොන්ත්‍රාතු ලබා ගන්නට නොහැකි බව එම මුග්ධ තැනැත්තා නොදනියි. ලංකාවේ දී එක්සත් ජාතික පක්ෂයට ප්‍රශස්ති ගයන අතර එංගලන්තයේ දී කම්කරු පක්ෂයට ප්‍රශස්ති ගැයීම ද මෙම සංස්කෘතික මුදලාලිගේ දෙබිඩි ප්‍රතිපත්ති සහ කූට අභිලාෂයන් වටහා ගැනීමට කදිම සංසිද්ධියකි.

      තෙරේසා මේගේ කන්සර්වෙටිව් දේශපාලනයට එතරම් කැමැත්තක් නොමැති වත් (තෙරේසා මේ කෙරෙහි එංගලන්තයේ ද කිසියම් ජනතා විරෝධයක් පවතී) ජෙරමි කෝබින් ඔක්ෆර්ඩ්හි උගත්තෙරේසා මේගෙන් බඩ කට පුරා කෑවේ ය. ටෝරි පක්ෂ ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විරාජමාන කළ අතිවිශිෂ්ට කථික නාමලියට තෙරේසා මේ ගේ නාමය අයත් නො වන්නට හැකි ය; එහෙත් ඇය පෙර දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සංවාද කළ ලීලය නම් මනබන්ධනීය ය. ජෙරමි කෝබින් අසරණ ව බලා සිටියා පමණි. කෝබින්ට කෙසේ වෙතත් කෝබින් කාල් මාර්ක්ස් කරවන්නට දත කන ලාංකීය සම්භවයක් ඇති සංස්කෘතික මුදලාලිට නම් මේ ගේ වාග් ප්‍රහාරයෙන් උණ ගෙන ඇති බවට සැකයක් නැත!

      තෙරේසා මේ අබියස ජෙරමි කෝබින් කිච ව, පච ව, ඔද්දල ව යන සැටි පහත පුරුකෙන් නැරඹිය හැකි ය.

      https://youtu.be/KJnhT71wX7s

      Delete
    3. එකොනොමැට්ටා මේ වගේ අමු බොරු දෙසා බාන ප්‍රතිචාර, මම ඔය පක්ෂවල කොන්ත්‍රාත්තු ගන්නවා වගේ ඒවා පල කිරීමෙන් ඔබ මොකක් හරි බලාපොරොත්තු වෙනවද? මිහරක්කේ වගේ කියන නින්දා අපහාස සමාජවාදයට ටිකක් හරි හොඳ යයි අපක්ෂපාතිව කියන අයෙකුට අපහස කිරීමෙන් ඇමෙරිකාවේ සිට පොඩි හෝ ප්‍රීතියක් ලබනවද

      Delete
    4. මේ ප්‍රතිචාරය උඩින් තිබෙන කමෙන්ට් ඉවත් කරන්න කියා කරන ඉල්ලීමක්ද? එහෙමනම් මම අයින් කරන්නම්. ප්‍රතිචාරයක් ඉවත් කළ යුතුනම් එය කෙළින්ම කියන්න.

      අසභ්‍ය වචන, පවුලේ සාමාජිකයින් ගැන කතා කිරීම වැනි කරුණු මත මිස මම ප්‍රතිචාර ඉවත් කර නැහැ. කවුරු හෝ කිසියම් දේශපාලන පක්ෂයක මතවාදය ප්‍රවර්ධනය කරන්න මුදල් ගැනීම වරදක් කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා කාට හෝ එසේ කියන එක අපහාසයක් කියා හිතන්නෙත් නැහැ. නමුත්, පදනමක් නැතුව කවුරු හෝ ඔබට එසේ චෝදනා කරනවානම් එයින් ඔබට සිත් රිදීමක් ඇති වනවා විය හැකියි. එක් එක් පුද්ගලයාට සිත් රිදීම් වන සීමාව මම දන්නේ නැහැ. ඇමරිකාවේ මොනවා හෝ හොඳක් ලියන කොටත් සමහර අයට සිත් රිදෙනවා. සමාජවාදයේ අකාර්යක්ෂමතාවය ගැන කතා කරන කොටත් ඇතැම් අයට සිත් රිදෙනවා. ආගම් ගැන කතා කරන කොට, සයිටම් වැනි දේවල් ගැන කතා කරන කොට සමහර අයට සිත් රිදෙනවා. උඩ තියෙන කමෙන්ට් එක වැනි ඒවායින් මටනම් කිසිම සතුටක් හෝ කණගාටුවක් ඇති වන්නේ නැහැ. යල් පැනගිය, වැරදි මතවාද ප්‍රවර්ධනය කරමින් මිනිසුන්ගේ අනාගතය තවත් අයහපත් කරන්න උදවු කරන ලියවිලි දකින විටනම් කණගාටුවක් ඇති වෙනවා.

      Delete
  4. මං මේ දවස්වල Sansom ගේ Lamentation කියවනව. Anabaptistලා ගැන කියවීම කුතුහලය දනවනවා


    http://nogodzone.blogspot.com/2007/01/those-crazy-anabaptists-europes-first.html

    ReplyDelete
    Replies
    1. අශ්ව කරත්ත වලින් යන, සරල උපකරණ පාවිච්චි කරන, දරුවන් දිගටම පාසැල් නොයවන, ප්‍රතිශක්තිකරණය නොකරන අමීෂ්ලා මම ඉන්න ප්‍රාන්තයේත් ඉන්නවා. මේ අය නවීන සංවර්ධනය ඇතුළෙම නවීන සංවර්ධනයෙන් ඈත්ව ජීවත්වන පිරිසක්. ඒ වගේම ඔවුන් ඇමරිකාවේ වැඩිම ජනගහණ වර්ධන වේගයක් තිබෙන කණ්ඩායමක්. මේ අය ඇමරිකාවේ ප්‍රධාන සංස්කෘතියට වෙනස් සංස්කෘතියක සිටිමින්, ප්‍රධාන සංස්කෘතිය සමඟ ගැටුමක් නැතිව ජීවත් වන කණ්ඩායමක්.

      Delete
  5. මැට්ට මහත්තයෝ, ඔබ රුවන් කියන අන්දමට කියුබාවේ (දැන් නොවේ) හා සෝවියට් දේශයේ මන්ද පෝෂණය තිබෙන කටහ්වක් කි නිසයි මම ඔය ටික කිව්වේ. කියුබාවේ දැන් මන්ද පෝෂණය තියනවා කියා ඔබ හිතුවත් ලියුවත් යුඑන් වාර්තාවකම තියනවා එහි මන්ද පෝෂණය නැහැ කියල. ඒ ලින්ක් එකත් කපන්නේ කොටන්නේ නැතිව දැම්ම නම් හරිනේ.
    ඇමෙරිකාවේ ඔය කියන විධිහට සාගින්න නැත්නම් හොඳයි . බ්‍රිතාන්‍යයේ නම් ළඳරු දුප්පත්කම වැඩිවෙලා කියල මේ දවස් වල කියනවා.
    සියල්ලන්ටම සමානව බෙදීමේ සමාජවාදී ඉලක්කයේ අරමුණ සමාජයේ පහළම ස්ථර වලට අවම ජීවන තත්ත්වයක් සහතික කිරීමයි. ඉහළ ස්ථර වලට කොහොමටත් එහි වාසියක් නැත.// තරමක් දුරට ඇත්ත. හැබැයි කොමියුන්ස්ට් පක්ෂයේ ඉහල ස්ථරවලට වඩා හොඳ කෑම ලැබුන ඒ ගොල්ල වඩා සමාන නිසා.

    ReplyDelete
    Replies
    1. //කියුබාවේ දැන් මන්ද පෝෂණය තියනවා කියා ඔබ හිතුවත් ලියුවත් යුඑන් වාර්තාවකම තියනවා එහි මන්ද පෝෂණය නැහැ කියල. ඒ ලින්ක් එකත් කපන්නේ කොටන්නේ නැතිව දැම්ම නම් හරිනේ. //
      කරුණාකර ඔය කියන යුඑන් වාර්තාවේ ඔය කියන කොටස උපුටාගෙන ලින්ක් එකක් සමඟ මෙහි දමන්න. මම කපන්නේ කොටන්නේ නැහැ.

      Delete
  6. //මේ පරමාදර්ශී සමාජවාදී ඉලක්කය අනුව බැලුවත් ධනවාදී ඇමරිකාව සිටින්නේ සමාජවාදී රටවලට වඩා ඉදිරියෙනි.//
    ඒක හින්ද වෙන්නැති සෝවියට් දේශය වැටුනේ. සමාජවාදී රටවල් වලින් මම සෝවියට් දේශයේ හිටි නිසා අනිත් රටවලට ගිය නිසා දන්නවා ඔවුන්ගේ රටවල් සාගින්න වගේ ප්‍රශ්න තිබුනේ නැහැ කියල. මම කිව්වේ එපමණයි. ආහාර හිගකන්න වෙන මිනිස්සු ඉන්න දුප්පත් රටවල් සමාජවාදය දිහා බලන්නේ ඒකයි

    ReplyDelete
    Replies
    1. ඔය කතාව අපි පොඩි කාලෙ ඉඳන්ම නැවත නැවත අහල තියෙන කතාවක්නේ. මෙය නැවත නැවත කීමෙන් කෙළින්ම නොකිවුවත් ප්‍රවර්ධනය කරන අදහස වන්නේ ඇමරිකාව වගේ රටවල දුප්පත් මිනිස්සු කන්න නැතුව බල්ලො බළල්ලු වගෙ මැරිල යනව කියන එකයි. (සමහර අය කෙළින්ම එසේ කියනවා) ඔය කතාව වගේ කතා නිසා ලංකාව ඇතුළු දුප්පත් රටවල මිනිස්සුන්ගෙන් කොටසක් සමාජවාදයට ආකර්ශනය වුනා. අඩුවෙන් වුනත් දැනටත් එය වෙනවා. මේ කතාවල කිසියම් ඇත්තක් ඇති කියා ඇමරිකාවේ පදිංචියට එන්න පෙර මමත් හිතුවා. නමුත්, ඇමරිකාවට ආවට පස්සෙ මට පෙනෙන්නේ එහි අනිත් පැත්තයි. ඇමරිකාවේ වැඩිපුරම ස්ථුලතාවයෙන් පෙළෙන්නේ දුප්පත් මිනිස්සු. මේවා ඇමරිකාවේ ජීවත්වන කෙනෙක්ට පෙනෙන්න තියෙන, ඒ වගේම සංඛ්‍යාලේඛණ වලිනුත් පැහැදිලිව පෙනෙන්න තියෙන දේ. මේ ලිපි කිහිපය ලිවුවේ මේ දේවල් ගැන කවුරුවත් කතා කරන්නේ නැති තරම් නිසා. එසේ වන්නේ ලංකාවේ නිදහසින් පසු මතවාදී ආධිපත්‍යය ඉසිලූ සමාජවාදීන් විසින් කලාව, විධිමත් හා අවිධිමත් අධ්‍යාපනය ආදිය හරහා ධනවාදය අමානුෂික බවත්, සමාජවාදය මානුෂික බවත් හිතන්න පුරුදු කර තිබෙන නිසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවෙන් බටහිර රටවලට සංක්‍රමණය වී සිටින ඇතැම් අය නොකරම බැරි නිසා සමාජවාදය ප්‍රතික්ෂේප කළත් එය කරන්නේ තමන්ගේ පෞද්ගලික ජීවන රටාව සාධාරණීකරණය කර ගත හැකි මට්ටමට පමණයි. ඔලුවේ තියෙන්නේ පරණ යල් පැන ගිය අදහස්ම නිසා "ධනවාදය හොඳ වුවත් එහිත් අඩුපාඩු තියෙනවා" කියා මැදහත් පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් ආපහු යන්නේ පරණ අන්තවාදී අතීතයටමයි. කවුරුහරි හොරකමක් කර එය සාධාරණීකරණය කරන විට පාර්ශ්ව දෙකටම මැදහත් විසඳුමක් යෝජනා කරමින් "හොරකම් කළ මුදලින් බාගයක් ආපහු දී අපි මෙය සෙට්ල් කර ගනිමු" කියන එක නිවැරදි දෙය නෙමෙයි. ඒ වගේම ඔය සල්ලි ඔක්කොම අයිතිකරුට දෙන්න කියන එක අන්තවාදයක් නෙමෙයි.

      Delete
    2. මෙන්න මේ ටික තමයි මටත් මගේ මී හරකා කමෙන්ට් එකෙන් කියන්න ඕන උනේ

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...