වෙබ් ලිපිනය:

Monday, April 25, 2016

ඩෙංගු ගස් බඳිමුද?


ඩෙංගු යනු කලින් කලට ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්න වලට අමතරව දේශපාලනික හා සමාජ ප්‍රශ්න වලටද මුල්වන රෝගයකි. ඩෙංගු මර්දන වැඩසටහනකට ප්‍රචාරයක් ලබාදීම සඳහා වසර කිහිපයකට පෙර රජයේ සේවකයෙකුට තමාව ගස් බඳිනු ලැබීමේ ජවනිකාවක ප්‍රසිද්ධියේ රඟපාන්නට පවා සිදුවිය.

වසරකට ලොව පුරා මිලියන 400කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වන අතර එයින් 10,000-20,000 අතර පිරිසකගේ ජීවිත අහිමි වේ. රෝගයේ බලපෑම වැඩිපුරම ඇත්තේ ඝර්ම කලාපීය රටවලටය. 2013 දී නේචර් සඟරාවේ පළවූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව ලෝකයේ ඩෙංගු අවදානම වැඩිම රටවල් අතර ලංකාවද සිටී. 2014 දී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 47,502 දෙනෙකුද, පසුගිය වසරේදී 29,777 දෙනෙකුද වාර්තා වී තිබුණේය. සුවසේවා සපයන්නන් සහ පොදුවේ මහජනතාව අතර ඩෙංගු පිලිබඳ අවබෝධය වර්ධනය වීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුකරගන්නට හැකිවී ඇතත් මේ රෝගය තවමත් ලංකාවට තර්ජනයකි.



ඉතා මෑතක් වන තුරුම ඩෙංගු වලට ප්‍රතිකාරයක් හෝ ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබුණේ නැත. කෙසේවුවද, මේ හා අදාල පර්යේෂණ කලක් තිස්සේම සිදුවූ අතර ප්‍රංශයේ සැනෝෆි පැස්චර් (Sanofi Pasteur) සමාගම මඟින් වැඩිදියුණු කළ ඩෙන්ග්වැක්සියා (Dengvaxia) එන්නත ප්‍රථම ඩෙංගු එන්නත ලෙස මේ වන විට රටවල් කීපයකම භාවිතා වෙමින් පවතී. පසුගිය දෙසැම්බරයේදී මුලින්ම මෙක්සිකෝවෙන් මේ එන්නතට අනුමැතිය ලැබුණු අතර ඉන්පසුව බ්‍රසීලය, එල් සැල්වදෝර් හා පිලිපීනය යන රටවල්ද මේ එන්නත අනුමත කර ඇත. පිලිපීනය මේ එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළකට ඇතුළත් කරගන්නා පළමු රට වීමට නියමිතය.

වෙනත් බොහෝ ඖෂධ මෙන්ම මේ එන්නතද අහම්බෙන් සොයාගත් එකක් නොවේ. මේ එන්නත නිෂ්පාදනය කිරීම සඳහා සැනෝෆි පැස්චර් සමාගම විසින් දශක දෙකක පමණ කාලයක් පුරා යුරෝ බිලියන 1.5ක පමණ මුදලක් (ඩොලර් බිලියන 1.7ක් පමණ) වැය කර තිබේ. ඉන්පසුව, රටවල් 15ක පුද්ගලයින් 40,000ක් පමණ යොදාගනිමින් සිදුකළ අධ්‍යයනයන් 25ක දත්ත වලින් එන්නතේ සාර්ථකත්වය තහවුරු වී තිබේ.

එන්නත අලෙවි කිරීම මඟින් මේ සමාගම සිය ආයෝජනය පියවා ගැනීමටත්, දැරූ අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබීමටත් අපේක්ෂා කරන බව කිවයුතු නැත. කෙසේවුවද, ලෝකයේ ඩෙංගු රෝගීන්ගෙන් 70%ක් පමණ වාර්තාවන ආසියානු කලාපයේ පමණක් වසරකට ඩෙංගු ප්‍රතිකාර සඳහා වැය වන මුදල ඩොලර් බිලියන 6.5ක් පමණ බව සැලකූ විට තරමක් ඉහලින් මිල කෙරුනද බොහෝ රටවලට මේ එන්නත ආකර්ශනීය වීමට ඉඩතිබේ.


ලෝක බැංකුව විසින් ඩෙංගු අවදානම වැඩි රටවලට මේ එන්නත නිර්දේශ කළ බව වාර්තා වීමෙන් පසු එය ලංකාවේ භාවිතා කිරීම පිළිබඳව සොයා බලන්නට සෞඛ්‍ය ඇමතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වී තිබුණි. මේ ගැන අධ්යයනය කිරීමට කල් නොගැනීම හොඳ තීරණයකි. එසේ වුවද, මෙවැනි එන්නතක් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට ඇතුළත් කරගැනීමට පෙර තවත් ටික කලක් ඉවසිය යුතු බව මගේ අදහසයි. මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විස්තරාත්මක නිර්දේශ ඇතුළත් සම්පුර්ණ වාර්තාව එළිදැක්වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මාසයේදීය. එමෙන්ම, වෙනත් සමාගම් විසින් වැඩිදියුණු කර ඇති ඩෙංගු එන්නත් කිහිපයක්ද මේ වන විට අවසන් අදියර වල පිරික්සෙමින් ඇති බැවින් වසර අවසාන වන විට මේ වෙළඳපොළේ කිසියම් තරඟකාරිත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතී. 

යම් එන්නතක් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලට ඇතුළත් කිරීමට පෙර රෝගය වැළැක්වීම සඳහා එන්නතෙහි ඇති සඵලතාවට අමතරව වැය කරන මුදලට සාපේක්ෂව එයින් ලැබෙන වාසිය ගැනද සැලකිලිමත් විය යුතුය. බොහෝ එන්නත් වලින් එන්නත නොලබන අයටද වාසියක් සැලසේ. ඒ, යම් ප්‍රදේශයක වැඩි දෙනෙකු එන්නතක් ලබාගත් විට ඔවුන් රෝගවාහකයින් ලෙස ක්‍රියාකිරීම නැවතීමෙන් අනිත් අයගේ අවදානමද අඩුවන බැවිනි (herd effect). එහෙත්, මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු වැනි රෝගයකට අදාළව මේ වාසිය විශාල නැත. ඒ නිසා, මුල් අදියරේදී වඩාත්ම සුදුසු වන්නේ කැමති කෙනෙකුට මුදල් ගෙවා මිලදී ගත හැකි වන පරිදි එන්නත අනුමත කිරීමයි. ඩෙංගු රෝගයේ ස්වභාවය අනුව, වරක් රෝගය වැළඳුණු කෙනෙකුගේ අවදානම වැඩි නිසා එවැනි අයට හා/හෝ වැඩි අවදානම් කලාප වල ජීවත් වන අයට අවශ්‍යනම් එන්නත නොමිලේ ලබාදීමේ වරදක් නැත.

ඩෙංගු ගැන පසුගිය කාලයේ ඇති කර ඇති බිය නිසා (එහි වරදක්ම නැත.) මේ වන විට ඩෙංගු එන්නතක් මිලදී ගැනීම වැනි කාර්යයකදී සමාජය ඒ ගැන වැඩිවිස්තර සොයාබලන්නට නොපෙළඹේ. එවැනි තත්ත්වයක් තුළ, එන්නත නිෂ්පාදනය කරන්නේද එක් සමාගමක් පමණක් නිසා, මහජන ධනයෙන් කොටසක් උරා බොන්නට බලාසිටින මදුරුවන්ට ඩෙංගු මදුරුවාගේ උදවු ගැනීමට ඉඩකඩ විවර විය යුතු නැත. 


(Images: http://www.bbc.com, http://www.nature.com) 

Saturday, April 23, 2016

දවසට පැය කීයක්ද එහේ?


Animation show planet orbiting star from above, with star wobbling.

අනෙකුත් විෂයයන්ට සාපේක්ෂව භෞතික විද්‍යා විෂයයෙහි අපේ දැනුම දියුණුයැයි ඇතැම් අය සිතති. භෞතික විද්‍යාවේ විෂය පථය ඉතා පුළුල් එකක් වන අතර අපට නිරීක්ෂණය කළ හැකි විශ්වයේ සීමා දක්වා පැතිරේ. එසේ සැලකූ විට දන්නා දේ වලට වඩා නොදන්නා දේ වැඩිය. අනෙක් අතට ජීව විද්‍යාවේත්, සමාජ විද්‍යාවන්හිත් විෂය පථය පෘථිවියට, එහි වසන ජීවීන්ට හා ඔවුන්ගෙන් එක් වර්ගයක් වන හෝමෝ සේපියන්ස්ලාගේ භෞතික හා සමාජ ජීවිතයට බොහෝ දුරට සීමා වේ.

භෞතික විද්‍යාවේ විෂය පථය වඩා පුළුල් බව අමතක කළහොත්, අපේ එදිනෙදා කටයුතු වලට අදාළ වන භෞතික විද්‍යා දැනුම සාපේක්ෂව දියුණු මට්ටමක පවතී. මෙය අහම්බයක් නොවේ. භෞතික විද්‍යාව අද පවතින තැනට දියුණු වුණේ වසර දහස් ගණනකට පෙර සිටම මේ විෂය හා අදාළ දැනුම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීම නිසාය. වසර දෙදහසකට පමණ පෙරද භෞතික විද්‍යාව සැලකිය යුතු දියුණුවක් ලබා තිබුණේය. අඩු වශයෙන් වසර එක්දහස් හයසියයකට පෙර සිටම ඈතින් පිහිටි තාරකා වලට සාපේක්ෂව පෘථිවියේ, සූර්යයාගේ හා අනෙකුත් ග්‍රහවස්තූන්ගේ චලිතයන් සිදුවන ආකාරය නිවැරදිව තේරුම් ගැනීමට තරම් දැනුමක් අප සතු විය. මෙයට සාපේක්ෂව ජීව විද්‍යා විෂයයෙහි අප සතු වූයේ ඉතා අල්ප දැනුමකි. ජීවත්ව සිට මියයන කෙනෙකුගේ ජාන ඔහුගේ හෝ ඇයගේ දරුවෙකුගේ දරුවකුට හෝ පසු පරම්පරාවක අයෙකුට ලැබීම නිසා පෙර මිය ගිය පුද්ගලයාගේ අසම්පූර්ණ පිටපතක් නැවත ඇති වන්නේ කෙසේද යන්න ගැන දැනුම ඉතා මෑතක් වන තුරුම අපට ආගන්තුක විය.

මෙහිදී මා 'අප' යන වචනය භාවිතා කළේ හෝමෝ සේපියන්ස්ලා යන අර්ථයෙනි. මෙයට සිංහලයින් හා ලාංකිකයින්ද ඇතුළත්ය. සහශ්‍ර එකහමාරකට හෝ දෙකකට පෙරත් පර්සියාව, ග්‍රීසිය හා වත්මන් ඉන්දියාව ඇතුළු දැනුම් කේන්ද්‍ර අතර ඉතා හොඳින් දැනුම සංසරණය වූ නිසා මේ දැනුම යම් සීමිත පිරිසකගේ දැනුමක් ලෙස වර්ග කිරීම අපහසුය. එහෙත්, ලෝකයේ සෑම ප්‍රදේශයකම ජීවත් වූ හෝමෝ සේපියන්ස්ලා දැනුම අතින් සම මට්ටමක සිටි බව එයින් අදහස් නොවේ.

ඓතිහාසිකව අපේ කලාපයේ භෞතික විද්‍යා දැනුම දියුණු කළේ හින්දු හෝ මූල-හින්දු ගණිතඥයින්/ භෞතික විද්‍යාඥයින්  විසිනි. මා එසේ ඔවුන්ව හඳුන්වන්නේ ඔවුන් එදා පර්යේෂණ සිදුකර ඇති ක්‍රමවේද අද විද්‍යාත්මක ක්‍රමය ලෙස සැලකෙන දෙයින් විශාල ලෙස වෙනස් නැති නිසාය. මෙහිදී, පර්සියානු, අරාබි, ග්‍රීක හා රෝම ගණිතඥයින්/ භෞතික විද්‍යාඥයින් විසින් සොයාගත් දේ පිළිබඳවද මේ කලාපයේ පර්යේෂකයින් හොඳින් දැන සිට තිබේ.

මේ විෂයයන්ට අදාළව බෞද්ධ හා ජෛන පර්යේෂකයින් සිටියේ හින්දු, සෞරාෂ්ඨ හෝ ග්‍රීක/රෝම පර්යේෂකයින්ට වඩා පිටුපසිනි. එයට පැහැදිලි හේතු තිබේ. අප දන්නා ලෝකයට බාහිර උපරි ව්‍යුහයක් ගැන විශ්වාසය තබන සංස්කෘතියක් තුළ තමාගේ පාලනයෙන් තොර භෞතික ක්‍රියාවලීන් තේරුම් ගැනීම සඳහා වැඩි බරක් පැටවේ. එහෙත්, එවැන්නක් ගැන විශ්වාසය නොතැබූ බෞද්ධ හා ජෛන පර්යේෂකයින්ට තමන් නොවැදගත් දේ ලෙස සැලකූ ග්‍රහවස්තූන්ගේ චලිතයන් ආදිය ගැන සොයන්නට කාලය මිඩංගු කිරීමට අවශ්‍ය නොවීය. මිනිස් මනස තේරුම් ගැනීමට උත්සාහ කළ බෞද්ධ පර්යේෂකයින් අතින් මනෝ විද්‍යාව වැනි වෙනත් ක්ෂේත්‍ර වලට එළිය වැටුණේය.

බයිබලයේ පැරණි ගිවිසුම අනුව (උත්පත්ති, 5) ආබ්‍රහමික දෙවියන් විසින් ලෝකය මැවීමෙන් පසු "ආලෝකයට දවාල කියා ද, අන්ධකාරයට රාත්‍රිය කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය." ක්‍රිස්තියානි බයිබලයට වඩා පැරණි හීබෘ බයිබලයේද (බෙරෙෂිට්, 5) මෙය මෙලෙසම කියැවේ. මේ පැරණි ලියවිලි වල මෙලෙස සටහන් වී ඇත්තේ ඒ කාලයේ දවස පිළිබඳව සමාජයේ පැවති අදහසයි.

මේ අනුව, දවසක් යනු දිවා කාලයක් හා රාත්‍රී කාලයකි. යුරෝපීය බලපෑම් මත වෙනස් වන තුරු ලංකාවේද දවසක් ලෙස සැලකුනේ දිවා කාලයක හා රාත්‍රී කාලයක එකතුවකි. හිරු උදාවෙන් ඇරඹුණු මේ දවස පසුදින හිරු උදාව සමඟ අවසන් විය. මෙවැනි දවසක කොටස් දෙකක් විය. හිරු උදාවේ සිට හිරු බසින තුරු දිවා කාලයයි. හිරු බැසීමේ පටන් පසුදින උදය වන තුරු රාත්‍රී කාලයයි. මේ එක් එක් කොටසක් හෝරා තිහකට බැගින් බෙදුණේය. ඒ හෝරාවක් විනාඩි ආදී ලෙස තවදුරටත් බෙදා තිබුණේය.

මේ වන විට සම්මතය වන පැය යන සංකල්පයට සාපේක්ෂව පැරණි සිංහල ක්‍රමය අනුව දිවා පැයක්, රාත්‍රී පැයකින් වෙනස් විය. එමෙන්ම දවසේ දිගද මේ වන විට සම්මතය වන දවසකට සාපේක්ෂව නියතයක් නොවීය. ඉර උදාව හා ඉර බැසීම අනුව දවසේ දිග වෙනස් විය. සමකය ආසන්නයේ පිහිටි ලංකාවට මෙන්ම තරමක් ආසන්නයේ පිහිටි ඉන්දියාවට හෝ මැද පෙරදිගට වුවද මෙය ප්‍රශ්නයක් නොවූ අතර ජීවන රටාවන් සමඟ ඉතා හොඳින් ගැලපුණේය.

දිවා රාත්‍රී චක්‍ර වලට වෙනත් සතුන් මෙන්ම හෝමෝ සේපියන්ස්ලාද පරිණාමිකව හැඩ ගැසී සිටිති. හෝමෝ සේපියන් දරුවෙකු මවු කුසින් එළියට පැමිණ මමත්වයක් සහිත පුද්ගලයකු බවට පත්වන කාලයේ (මේ ගැන විස්තර කරන්නට කලින් ලියූ වෙනත් ලිපි මාලාවක් අවසන් කළ යුතුව තිබේ.) ඔහුගේ හෝ ඇයගේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව සකස්වන්නේද දිවා රාත්‍රී ආලෝක වෙනසට සංවේදී වෙමිනි. ඒ නිසා, ලොව පුරා සිටින විවිධ සංස්කෘතීන්ට අයත් හෝමෝ සේපියන්ස්ලා විසින් පොදුවේ දිවා රාත්‍රී චක්‍රයක් දවසක් ලෙස සැලකීම අහම්බයක් නොවේ.

පෘථිවියට දිවා රාත්‍රී ඇති වන්නේ පෘථිවියේත් සූර්යයාගේත් පිහිටීමේ සිදුවන සාපේක්ෂ වෙනස්කම් නිසාය. පැරණි ලෝකය මේ සාපේක්ෂ චලිතය තේරුම් ගත්තේ නිශ්චලව ඇති පොළොව වටා සූර්යයා ගමන් කිරීමක් ලෙසිනි. එහෙත්, මේ ලිපිය කියවන බොහෝ දෙනෙකු එම අදහසට එකඟ නොවන්නට ඉඩ තිබේ. පොළොව වටා ඉර ගමන් කරන්නේය යන දැනුම විස්ථාපනය කරමින් ඉර වටා පොළොව ගමන් කරන්නේය යන දැනුම පසුව ප්‍රමුඛත්වය ගත්තේය. කෙසේවුවද මේ දැනුම් පද්ධති දෙකම අපට පොළොවට සාපේක්ෂව සූර්යයාගේ පිහිටීම දැන ගැනීමට උදවු කරන ආකෘති පමණි.

කිසියම් වස්තුවක චලිතය ගැන කතා කළ හැක්කේ තවත් වස්තුවකට සාපේක්ෂව පමණි. ඔබ බොරලැස්ගමුවෙන් එකසිය විස්සකට අමාරුවෙන් නැඟ ගත් පසු එසේ නොකළ හැකිව බස් නැවතුමේ නැවතුණු මඟියෙකුට සාපේක්ෂව ඉදිරියට යයි. එහෙත්, බසයේ සිටින මඟීන්ට සාපේක්ෂව ඔබ ආසනයකට හේත්තුවක් දමාගෙන නිශ්චලව සිටී. ටික වේලාවකට පසු පොල්ල අල්ලගෙන පස්සට යන මෙන් කොන්දොස්තරවරයා ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරයි. ඔබ මේ ඉල්ලීම ඉටු කරයි. ඔබ පස්සට යන බව බසයේ අනෙක් මඟීන්ට පෙනේ. එහෙත්, මුලින් බස් නැවතුමේ නැවතුනු මඟියාට සාපේක්ෂව ඔබ තවමත් ඉදිරියට යයි.

චලිතයක් හැමවිටම සාපේක්ෂය. ඒ නිසා, බුදුන් වහන්සේ විසින් "මම නැවතී සිටිමි. දුවන්නේ ඔබයි!" කියා අංගුලිමාලට කියන විට එයින් අදහස් කළ දෙය අමතක කළත් සාපේක්ෂ චලිතය අනුව වුවද මෙහි වැරැද්දක් නැත. ඒ අයුරින්ම, ඉර පොළොව වටා යන ලෙස සැලකීම, පොළොව ඉර වටා යන බව සැලකීමට වඩා විශාල වරදක් ඇති දෙයක් නොවේ.

වඩා නිවැරදි භෞතික විද්‍යා ආකෘතියක් අනුව පොළොව වටා ඉරවත්, ඉර වටා පොළොවවත් ගමන් නොකරයි. මේ අනුව, සිදුවන්නේ පොළොවේත්, ඉරේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා (barycenter) ඉරත් පොළොවත් දෙකම ගමන් කිරීමයි (ලිපිය ආරම්භයේ ඇති ආකෘතිය බලන්න). මේ අයුරින්ම හඳේත්, පොළොවේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා හඳත්, පොළොවත් ගමන් කරයි. හඳට සාපේක්ෂව පොළොවේ ස්කන්ධය ඉතා අධික නිසා මේ පොදු ගුරුත්ව කේන්ද්‍රය තිබෙන්නේ පෘථිවිය ඇතුලේමය. එහෙත් පෘථිවියේ මධ්‍යයේ සිට මතුපිට දක්වා ඇති දුරෙන් 70-80% අතර ප්‍රදේශයකය. ඒ නිසා පොළොව වටා හඳ ගමන් කරන බව කීම වඩා හොඳ ප්‍රවාදයකි.

සූර්යයාගේ ස්කන්ධය සමඟ සසඳන විට පෘථිවියේ ස්කන්ධය ඉතා කුඩා නිසා පෘථිවියේ බලපෑමෙන් සූර්යයාගේ චලිතයට සැලකිය යුතු බලපෑමක් නොවේ. එහෙත්, සූර්ය ග්‍රහ මණ්ඩලයේ තවත් ග්‍රහ වස්තු රැසක් තිබේ. වඩා නිවැරදි ආකෘතියක් අනුව සිදු වන්නේ සූර්ය ග්‍රහ මණ්ඩලයේම පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා සූර්යයාද ඇතුළු මේ ග්‍රහ වස්තු සියල්ලම චලනය වීමයි. පෘථිවියේ ස්කන්ධය සාපේක්ෂව කුඩා වුවත් බ්රුහස්පති වැනි විශාල ග්‍රහ වස්තුවකට සූර්යයාගේ චලිතයට සැලකිය යුතු බලපෑමක් කළ හැකිය. බ්රුහස්පතිගේ ආකර්ශනය හේතුවෙන් පමණක් සූර්ය ග්‍රහ මණ්ඩලයේ ගුරුත්ව කේන්ද්‍රය සූර්යයාගේ පෘෂ්ඨයෙන්ද පිටතට ඇදේ.

අනෙකුත් විශාල ග්‍රහයින් වන සෙනසුරුට, යුරේනස්ට හා නෙප්චූන්ටද සූර්ය ග්‍රහ මණ්ඩලයේ පොදු ගුරුත්ව කේන්ද්‍රයට 'දැනෙන' බලපෑමක් කළ හැකිය. මේ ග්‍රහවස්තු සියල්ලම සූර්යයාට සාපේක්ෂව එකම පැත්තක ඇති විට සූර්ය ග්‍රහ මණ්ඩලයේ පොදු ගුරුත්ව කේන්ද්‍රය සූර්යයාගේ මධ්‍යයේ සිට සූර්ය පෘෂ්ඨයට ඇති දුර මෙන් දෙගුණයක් දක්වා ඈත් විය හැකිය. එවිට සූර්යයා චලනය වන පථය සාපේක්ෂව විශාල එකකි. එමෙන්ම, අනෙකුත් විශාල ග්‍රහයින් සියල්ලම බ්රුහස්පති සිටින පැත්තට ප්‍රති විරුද්ධ පැත්තේ ස්ථානගත වූ විට සිදුවන සමතුලනය නිසා මේ පොදු ගුරුත්ව කේන්ද්‍රය සුර්යයාගේ ගුරුත්ව කේන්ද්‍රයටම ආසන්න වේ.

දිවා රෑ යුගලයකින් සමන්විත දවසක් ගැන සම්ප්‍රදායික අදහස වූයේ දවසක් යනු ඉරට පොළොව වටා යාමට ගතවන කාලය බවයි. වත්මන් සම්මතය අනුව දවසක් යනු පැය විසිහතරකි. මේ අදහස නිවැරදිය. පොළොව නිශ්චලව ඇති ලෙස සැලකුවහොත් ඉරට පොළොව වටා යාමට පැය විසිහතරක් ගතවේ.

දවස ගැන ඇති තවත් ජනප්‍රිය අදහසක් වන්නේ පොළොවට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන කාලය පැය විසිහතරක් බවයි. සූර්ය කේන්ද්‍රීයව සිතූ විට, පොළොව සිය අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කරයි. සූර්යයා සහ පොළොව අතර චලිතයේ වඩා සංකීර්ණ සංරචක කිහිපයක්ම ඇතත් මේ සරල ආකෘතිය දවස ගැන කතා කරන්නට ප්‍රමාණවත්ය. අවුරුද්ද ගැන කතා කරන විටනම් මේ චලිතයේ අනෙකුත් සංරචක ගැනද අවධානය යොමු කිරීමට සිදුවේ.

අපට අදාළ වන කාල පරාස තුළ නිශ්චලව පවතින්නේයැයි උපකල්පනය කළ හැකි ඈතින් ඇති (වඩා නිවැරදිවනම්, අතීතයේදී පැවති) තාරකාවන්ට සාපේක්ෂව පොළොවට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන්නේ පැය 23.93447ක් පමණි. එනම් 23 මිනිත්තු 56 තත්පර 4.09කි. ඒ අනුව, දවසක් යනු පොළොවට සිය අක්ෂය වටා අංශක 360කින් කැරකීමට ගතවන කාලයට වඩා විනාඩි 3 තත්පර 55.91කින් වැඩි කාලයකි. වෙනත් අයුරකින් කිවහොත් පොළොවට සිය අක්ෂය වටා වටයක් හා තවත් අංශකයකට ආසන්න ප්‍රමාණයක් (අංශක 360.9856ක්) යාමට ගතවන කාලයයි.



වත්මන් භාවිතයේ සම්මත පැය විසිහතරේ දවස පදනම් වන්නේ පෘථිවිය සිය අක්ෂය වටා කැරකී සූර්යයා කලින් සිටි තැනට පැමිණීමට ගත වන කාලය අනුවය. පෘථිවිය සිය අක්ෂය වටා කැරකෙන නමුත් සූර්යයා වටා නොයන්නේනම් එය අංශක 360කින් කැරකුණු පසු සූර්යයා කලින් සිටි තැනින්ම හමුවනු ඇත. එහෙත්, පෘථිවිය සිය අක්ෂය වටා කැරකෙන අතරම සූර්යයා වටාද ගමන් කරන බව සැලකූ විට (ඉහත රූප සටහනේ පරිදි) මෙය මෙලෙසම සිදු නොවේ. පෘථිවිය සිය අක්ෂය වටා අංශක 360කින් කැරකෙන විට සූර්යයා වටාද අංශකයකට ආසන්න දුරක් ගමන් කරන නිසා වටය කැරකී බලන විට සූර්යයා සිටින්නේ අංශකයක් පිටුපසිනි. ඒ නිසා සූර්යයා සමඟ පෙර වූ දිශානතිය පවත්වාගැනීමට තවත් වැඩිපුර ටිකක් කැරකෙන්නට සිදුවේ.

පෙර කී ලෙස දිනකට අංශකයකට ආසන්න ප්‍රමාණක් වැඩියෙන් කරකැවීමේ ප්‍රතිඵලය ලෙස වසරකදී එකතුවන මේ 'කොට කෑලි' වල එකතුව තවත් අංශක 360කි. ඒ නිසා ආසන්න වශයෙන් දින 365.25ක් ලෙස සැලකෙන අවුරුද්දකදී පෘථිවිය සිය අක්ෂය වටා වටා ඇත්තටම 366.25 වරක් (ආසන්න වශයෙන්) කැරකේ.

වසරක් තුළදී පෘථිවිය සිය අක්ෂය වටා කැරකෙන වාර ගණන (ආසන්නව) 366.25ක් පමණ වුවද පෘථීවි කේන්ද්‍රීයව සිතූ විට පෘථීවිය වටා සූර්යයා කැරකෙන වාරගණන (ආසන්නව) 365.25ක් පමණි. ඒ නිසා ශක කැලැන්ඩරය ගත්තද, සම්මත ග්‍රෙගෝරියන් කැලැන්ඩරය ගත්තද දවස යන සංකල්පය වඩා හොඳින් ගැලපෙන්නේ පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය සමඟය. අනෙක් අතට සූර්ය කේන්ද්‍රීය ආකෘතිය යනු සූර්යයා මත සිටින නිරීක්ෂකයෙකුට විශ්වය පෙනෙන ආකාරයද නොවේ. යම් හෙයකින් සූර්යයා මත නිරීක්ෂකයෙකු සිටින්නේයයි උපකල්පනය කළහොත් ඒ නිරීක්ෂකයාට පෙනෙන ලෝකය ගැන කතා කරන්නටනම් සූර්යයා සිය අක්ෂය වටා කැරකෙන බවත්, සූර්ය ග්‍රහ මණ්ඩලයේ පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා භ්‍රමණය වන බවත් සැලකිල්ලට ගත යුතුය.

පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය මත පදනම් වූ දවස නමැති සරල සංකල්පය සූර්ය කේන්ද්‍රීය ආකෘතිය සමඟ ගලපා ඇත්තේ ඉතා අසීරුවෙනි. මෙසේ ගැලපීමෙන් පසු පෘථිවියට සිය අක්ෂය වටා කැරකී 'සූර්යයා සිටි තැනට' පැමිණෙන්නට ගතවන කාලය පැය විසිහතරක් ලෙස අර්ථ දක්වා තිබේ. මෙය අර්ථදැක්වීමක් නිසා මේ පැය විසිහතර යනු වෙනස් නොවන දෙයකි.

මා පෙර කී පරිදි සිංහල පැයක් යනු දිවා කාලයේනම් සූර්යෝදයේ සිට සූර්ය අස්තය දක්වා කාලයෙන් තිහෙන් එකකි. රාත්‍රී කාලයේනම් සූර්ය අස්තයේ සිට ඊළඟ දින සූර්යෝදය දක්වා කාලයෙන් තිහෙන් එකකි. සූර්යෝදය හා සූර්ය අස්තය සිදුවන වේලාවන් අනුව ග්‍රෙගෝරියන් පැයකට සාපේක්ෂව සිංහල පැයක කාලය වෙනස් වේ. එහෙත්, සිංහල කාලය අනුව දවසට ඇත්තේ පැය හැටකි. එය වෙනස් වන්නක් නොවේ. රුපියල කෙතෙක් බාල්දු වුවද රුපියලට ඇත්තේ සත සීයක්ම ලෙසිනි.

ග්‍රෙගෝරියන් සම්මතයට පුරුදු වී සිටීම නිසා අපට හිතෙන්නේ 'ඉංග්‍රීසි' පැයක් යනු මෙසේ වෙනස් නොවන ස්ථිර කාලයක් බවයි. දිනකට ඇති ඉංග්‍රීසි පැය ගණන විසිහතරක් වන්නේද දිනකට ඇති සිංහල පැය ගණන හැටක් වන ආකාරයෙන්ම සම්මතය අනුවය. එයද වෙනස් නොවන්නක් නොවේ. එක් අතකින් පෘථිවියේ භ්ර්මන වේගය වෙනස් වේ. අනෙක් අතෙන් සූර්යයා වටා පෘථිවිය ගමන් කරන පථය ඉලිප්සාකාර එකක් නිසාත්, සූර්යයා වටා ගමන් කරන වේගය ඒකාකාරී නොවන නිසාත් සිය අක්ෂය වටා වටයක් භ්‍රමණය වීමට ගතවන කාලය තුළ එය සූර්යයා වටා ගමන් කරන දුර නිශ්චිත නැත. ඒ නිසා සූර්යයා 'කලින් සිටි' තැනට පැමිණීමට ගතවන කාලය සෑම දිනකම සමාන නැත. මෙයට විසඳුමක් ලෙස මෙසේ ගතවන කාලයේ සාමාන්‍ය අගය පැය විසිහතරක් ලෙස සැලකුවද දීර්ඝ කාලීනව මේ සාමාන්‍ය අගයද යම් තරමකින් හෝ වෙනස් වේ. ඒ නිසා අවසාන වශයෙන් කාලය කියන්නේද වැඩි දෙනාගේ සම්මුතියකි.

අවුරුද්ද හා අදාලව ඇති අවුල් සැලකූ විට දවස හා සම්බන්ධව අවුල් නොමැති තරම්ය. ඒ ගැන පසුව කතා කරමු.

(Image: http://spaceplace.nasa.gov/barycenter/en/)

Tuesday, April 19, 2016

මුස්ලිම් වයස, සිංහල වයස හා ග්‍රෙගෝරියන් වයස


වයස යනු අප බොහෝ දෙනෙකු බොහෝ සංවේදී සංකල්පයකි. බොහෝ සංස්කෘතීන්හි කෙනෙකුගේ වයස යනු ඔහු හෝ ඇය උපන් දින සිට අද දක්වා ගතවූ කාලයයි. (ඇතැම් සංස්කෘතීන්හි මේ ආරම්භක මොහොතද වෙනස් අවස්ථාවක් වුවද මේ ලිපියෙන් ඒ ගැන සාකච්ඡා නොකෙරේ.) වයස සාමාන්‍යයෙන් අවුරුදු, මාස හා දින වලින් ගණනය කෙරේ.

කෙනෙකුගේ උපන් දිනය මෙන්ම අද දිනයත් භාවිතා කරන කැලැන්ඩරයට සාපේක්ෂය. මේ වන විට සවුදි අරාබිය, ඉරානය වැනි රටවල් අතළොස්සක් හැරුණු විට ලෝකයේ රටවල් බොහොමයක්ම භාවිතා කරන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරයයි. එහෙත්, වෙනත් රටවල් බොහොමයකම ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට සමාන්තරව වෙනත් කැලැන්ඩරද භාවිතා වේ. හොඳම උදාහරණය ලංකාවයි. 1971 අංක 79 දරන නිවාඩු දින පණත අනුව ශ්‍රී ලංකා රජය විසින් නිවාඩු දින ගණනය කිරීම සඳහා අඩු වශයෙන් කැලැන්ඩර් පහක් භාවිතා කරයි.

-නිදහස් දිනය, මහ සිකුරාදා, මැයි දිනය හා නත්තල සඳහා නිවාඩු දෙන්නේ කතෝලික පල්ලියෙන් යෝජනා කළ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුවය.
-වෙසක් දිනට පසු දිනද ඇතුළුව පෝය නිවාඩු දහතුන (හෝ දහහතර) තීරණය කරන්නේ බෞද්ධ චන්ද්‍ර-සූර්ය කැලැන්ඩරය අනුවය.
-මහා සිවරාත්රී හා දීපාවලී නිවාඩු තීරණය කෙරෙන්නේ හින්දු චන්ද්‍ර-සූර්ය කැලැන්ඩරය අනුවය. මෙය බෞද්ධ චන්ද්‍ර-සූර්ය කැලැන්ඩරයට බොහෝ දුරට සමානය.
-රාමසාන්, හජ්ජි හා මිලාද්-උන්-නබි නිවාඩු දින තීරණය කරන්නේ ඉස්ලාම් හිජ්රි කැලැන්ඩරය අනුවය.
-තයිපොංගල් නිවාඩුව හා සිංහල/දෙමළ අවුරුදු නිවාඩු දෙක තීරණය කරන්නේ සිංහල/හින්දු ශක කැලැන්ඩරය අනුවය.


ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අද දිනය 2016 අප්‍රේල් 19යි (2016-04-19). බුද්ධ වර්ෂයෙන් මේ ගෙවෙන්නේ 2559 බක් පුර තෙළෙස්වකයි (2559-11-13). ශක වර්ෂයෙන් 1938 මේෂරවි 7 දිනයි (1938-01-07). ඉස්ලාම් කැලැන්ඩරය අනුව 1437 රජාබ් 11 දිනයි (1437-07-11). මේ එක් එක් කැලැන්ඩරය අනුව වසර ඇරඹෙන්නේ විවිධ දින වලදීය.

භාවිතා කරන කැලැන්ඩරයේ වසර ඇරැඹෙන්නේ කවර දිනයකද යන්න එතරම් වැදගත් කරුණක් නොවේ. එහෙත්, මේ එක් එක් කැලැන්ඩරය අනුව අවුරුද්දක දිග වෙනස් වේනම් එය තවත් බොහෝ දේ වලට බලපෑමක් කරයි. උදාහරණයක් ලෙස අපේ වයස මෙන්ම අප උපන්දිනය ලෙස සමරන දිනයද අප භාවිතා කරන කැලැන්ඩරයට සාපේක්ෂය.

ඉස්ලාම් කැලැන්ඩරයේ අවුරුද්ද තීරණය වන්නේ පෘථිවියට සාපේක්ෂව චන්ද්‍රයාගේ ගමන අනුවය. ඒ අනුව, මාසයක් ඇරඹෙන්නේ අළුත් සඳක් සමඟය. මෙවැනි මාස දොළහක් අවුරුද්දකි. අවුරුද්දකට දින 354-355 පමණ වේ. ග්‍රෙගෝරියන් හා සිංහල/ශක කැලැන්ඩර වල අවුරුද්ද  තීරණය වන්නේ පෘථිවියට සාපේක්ෂව සූර්යයාගේ (වෙනත් විදිහකින්, සූර්යයාට සාපේක්ෂව පෘථිවියේ) ගමන අනුවය. මේ අවුරුද්දකට දින 365ක් හෝ 366කි. සිංහල/ශක කැලැන්ඩර වල සූර්යයාගේ ගමන අනුවම මාස වෙන් කර ඇති අතර ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ එයම තරමක් අපිළිවෙල ලෙස සිදු කර තිබේ. 


බෞද්ධ/හින්දු චන්ද්‍ර-සූර්ය කැලැන්ඩර ඉහත ක්‍රම දෙකේ එකතුවකි. මෙහිදී, චන්ද්‍රයාගේ ගමන අනුව සාමාන්‍ය අවුරුද්දක් දින 354-355 පමණ වේ. මෙය සූර්ය කැලැන්ඩරයකට සාපේක්ෂව දින 11ක් පමණ කෙටි කාලයකි. කෙසේ වුවද, වසර තුනකට පමණ වරක් 'අධික' මාසයක් එක් කිරීම මඟින් මේ කැලැන්ඩරය සූර්ය කැලැන්ඩරය සමඟ සම්පාත කෙරේ. ඒ නිසා, දීර්ඝකාලීනව ශක කැලැන්ඩරයේ හා බෞද්ධ කැලැන්ඩරයේ කාලය ගැලපේ. එහෙත්, ඉස්ලාම් කැලැන්ඩරයේ මෙවැන්නක් සිදු නොවේ.

ඉස්ලාම් කැලැන්ඩරය ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට වඩා කෙටි නිසා ඉස්ලාම් කැලැන්ඩරය අනුව වසරක් ඉක්මනින් ගෙවේ. මේ නිසා ඔබේ උපන්දිනයද දින 11ක් පමණ කලින් එළැඹේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 33ක් වන විට ඉස්ලාම් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 34ක් පමණ වේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 66ක් වන විට ඉස්ලාම් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 68ක් පමණ වේ. (මේ නිසා අවශ්‍යනම් කැලැන්ඩරය වෙනස් කිරීමෙන් අපේක්ෂිත ආයුකාලය වසර දෙකහමාරකින් පමණ වැඩි කර ගැනීමට පුළුවන.)

මේ තරම් විශාල වෙනසක් නැතත් ග්‍රෙගෝරියන් අවුරුද්ද සහ සිංහල අවුරුද්දද හරියටම සමාන නැත. මේ වෙනසට හේතුව පෘථිවියට සූර්යයා වටා යාමට ගතවන කාලය මනින ක්‍රමයයි. රවුමක් ගොස් කලින් සිටි තැනටම පැමිණි බව දැනගැනීමටනම් සිටින තැන යම් අයුරකින් සලකුණු කළ යුතුය. සිංහල අවුරුද්ද ගණනය කිරීමේදී මේ 'හිටපු තැන' සලකුණු කරගන්නේ ඉතා ඈතින් පිහිටි තාරකා ඇසුරිනි. ග්‍රෙගෝරියන් අවුරුද්ද ගණනය කිරීමේදී එය කරන්නේ පෘථිවිය සූර්යයා වටා යන පථය පිහිටි තලය මත පෘථිවියේ අක්ෂයේ ප්‍රක්ෂේපනයත්, පෘථිවියේ සිට සූර්යයා තෙක් ඇඳිය හැකි රේඛාවත් අතර කෝණය ඇසුරිණි. මේ දෙවැන්න, ඈතින් පිහිටි තාරකා වලට සාපේක්ෂව වසරක් තුළ යම් තරමකින් පෘථිවිය චලනය වන දිශාවට විරුද්ධ අතට චලනය වන නිසා අංශක 360ක් සම්පූර්ණ කිරීමට පෙර පෘථිවිය "කලින් සිටි තැනට" පැමිණේ. මේ නිසා ග්‍රෙගෝරියන් අවුරුද්දක් සිංහල අවුරුද්දකට වඩා විනාඩි ගණනක් කෙටිය


ඒ අනුව, උඩරට ගිවිසුමේ දින යෙදීමට උපයෝගී කරගත් සිංහල ශක කැලැන්ඩරය අතහැර ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට මාරු වීම නිසා අපට පැය ගණනකින් තරුණ වීමට හැකි වී තිබේ.

(Image: www.familyholiday.net)

Saturday, April 16, 2016

අවුරුද්දෙන් අවුරුද්ද කල් යන සිංහල අවුරුදු උදාව

තවත් සිංහල අළුත් අවුරුද්දක් උදා විය. වෙනත් එකතු කිරීම් නැතිව සිංහල අළුත් අවුරුද්ද කියා ලිවුවේ මේ බ්ලොග් ලිපිය කියවන අය අතරින් මේ අවුරුද්ද සමරන සියල්ලන්ම පාහේ සිංහලයන්යැයි මා සිතන නිසාය. මේ සිංහල අවුරුද්දට මුල් වන සිදුවීම ඉන්දියන් උප මහාද්වීපයේ හා ආසන්න තවත් රටවල් කිහිපයක වෙසෙන ජන කණ්ඩායම් රැසක් හා ඒ ජන කණ්ඩායම් වලට අයත් ලෝ පුරා වෙසෙන  ඩයස්පෝරිකයෝද කිසියම් අයුරකින් සමරති. එයට ලංකාවේ ජීවත්වන දෙමළුන්ද ඇතුළත්ය.

මෙවර සිංහල අවුරුදු උදාව හෙවත් සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සිදුවූයේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 13 දින පස්වරු 7:48ටය. ඒ මොහොතේදී ශක වර්ෂයෙන් 1937 වසර ගෙවී 1938 වසර උදා විය. මේ වන විට, සිංහල අවුරුද්ද උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 13 දින හෝ 14 දිනයි. පහතින් ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ එම ව්‍යවහාර දින දසුන අනුව මේෂ සංක්‍රාන්තිය හෙවත් නව අවුරුදු උදාව සිදු වූ මොහොතයි.

2016 අප්‍රේල් 13 පස්වරු 7:48
2015 අප්‍රේල් 14 පස්වරු 1:47
2014 අප්‍රේල් 14 පෙරවරු 7:37
2013 අප්‍රේල් 14 පෙරවරු 1:29
2012 අප්‍රේල් 13 පස්වරු 7:20
2011 අප්‍රේල් 14 පස්වරු 1:01
2010 අප්‍රේල් 14 පෙරවරු 6:58
2009 අප්‍රේල් 14 පෙරවරු 12:47

මේ අනුව පෙනෙන්නේ මේ වන විට අප්‍රේල් 13 දිනක අවුරුදු උදාව සිදුවන්නේ අධික අවුරුදු වලදී පමණක් බවයි. එසේ නැත්නම් එය සිදුවන්නේ අප්‍රේල් 14 දිනකය. කෙසේ වුවද, මෙය හැමවිටම මේ අයුරින්ම සිදුවී නැත. ඉදිරියේදී සිදුවන්නේද නැත. දශක තුන හතරකට පෙර, මා කුඩා කාලයේ, අවුරුදු උදාව වැඩි වශයෙන්ම සිදුවුනේ අප්‍රේල් 13 දිනකය.

සිංහල අවුරුදු දිනය ග්‍රෙගෝරියන් දින දසුන අනුව, වසරින් වසර ඉදිරියට තල්ලුවේ. ඒ, සිංහල අවුරුද්දක් ග්‍රෙගෝරියන් අවුරුද්දකට වඩා මඳක් දිග වැඩි නිසාය. පසුගිය වසර වල අවුරුදු උදාවන් අතර ගතවූ කාලය පිරික්සූ විට මෙය පැහැදිලිය.

2015/16 : දින 365 පැය 6 විනාඩි 01
2014/15 : දින 365 පැය 6 විනාඩි 10
2013/14 : දින 365 පැය 6 විනාඩි 08
2012/13 : දින 365 පැය 6 විනාඩි 09
2011/12 : දින 365 පැය 6 විනාඩි 19
2010/11 : දින 365 පැය 6 විනාඩි 03
2009/10 : දින 365 පැය 6 විනාඩි 11

මේ අනුව, සූර්යයාගේ ගමන අනුව සිංහල අවුරුද්දක් සාමාන්‍යයක් ලෙස දින 365 පැය 6 කට වඩා විනාඩි 9-10 පමණ දීර්ඝ බව පෙනේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ වසරක සාමාන්‍ය දින ගණන 365ක් වන අතර වසර 4කට වරක් දින 366කින් යුත් අධික අවුරුදු එළැඹේ. මේ අනුව, සිංහල අවුරුද්දේ දිග දින 365 පැය 6 වීනම් වසර හතරකට පසු සිංහල අවුරුදු උදාව සිදුවනු ඇත්තේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව එය මේ වසරේ සිදුවූ මොහොතේදීමය. එහෙත්, සිංහල අවුරුද්ද විනාඩි ගණනකින් දීර්ඝ නිසා මේ මොහොත කල් යනු ඇත. මෙයට අමතරව ග්‍රෙගෝරියන් දින දසුන අනුව 1900 වැනි සියවස් වසරක් අධික අවුරුද්දක් වන්නේ සියවස් හතරකට වරක් පමණි. මේ අනුව, වසර 400ක කාලයක් තුළ සිංහල අවුරුදු උදාව තවත් දින තුනකින් ඉදිරියට යයි. සිංහල අවුරුද්ද මේ වන විට අප්රේල් මස 13 හෝ 14 දිනක උදාවන්නේ වසර ගණනක් පුරා මේ සිදුවීම මෙසේ ඉදිරියට තල්ලු වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ක්වේරෝස් පියතුමා විසින් සටහන් කර ඇති පරිදි (පෙරේරා පියතුමාගේ ඉංග්‍රීසි පරිවර්තනය, වෙළුම 1 පිටුව 107) පෘතුගීසි සමයේදී බක් මහ එළැඹී ඇත්තේ මාර්තු මාසයේදීය. එමෙන්ම, වෙසක් හා පොසොන් උත්සව පැවතී ඇත්තේ පිළිවෙලින් අප්‍රේල් හා මැයි මාස වලදීය. රොබර්ට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී සිංහල අවුරුදු උදාව සිදු වුනේ මාර්තු මස 27, 28 හෝ 29 වන දිනකය. ("Their New year is always either the 27th, or the 28th, or the 29th of March"- An Historical Relation of the Island Ceylon in the East Indies. CHAP IV.) රොබර්ට් නොක්ස් විසින් හා ක්වේරෝස් පියතුමා විසින් මේ දින වාර්තා කර ඇත්තේ ජුලියන් කැලැන්ඩරය අනුවයැයි සැලකුවහොත් නිරයන ජ්‍යෝතිෂය අනුව මේ කාලයේ මේෂ සංක්‍රාන්තිය සිදුවිය යුතුව තිබුණු ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අප්‍රේල් 8 ආසන්න දිනයක් සමඟ මෙය තරමකට ගැලපේ. (එහෙත්, ජේ ඩබ්ලිවු බෙනට් විසින් වාර්තා කර ඇති පරිදි 1841 දී සිංහල අවුරුදු දිනය සමරා ඇත්තේ මාර්තු මස 21 වෙනි දිනයි. ඒ දිනය ගැලපෙන්නේ සායන ජ්‍යෝතිෂය සමඟය. මේ අනුව, අවස්ථා කිහිපයකදීම සිංහල අවුරුද්ද ගණනය කිරීමේ ක්‍රමවේදයේ ආකෘතිමය වෙනස්කම් වී ඇති බව පෙනේ.)

සිංහල අවුරුදු උත්සව දිනය මෙන්ම වෙසක් දිනයද ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දින බවට පත් කෙරුණේ 1885 මාර්තු 27 දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟිනි. කොටහේනේ දීපදුත්තාරාමයේ පෙරහැරට අන්‍යාගමිකයින් විසින් පහර දීමෙන් පසු ඇති වූ ආගමික ගැටුම් හමුවේ කිසියම් සංහිඳියාවක් ඇති කිරීම මෙහි අරමුණ විය. ශක වර්ෂ 1805 (ක්‍රිස්තු වර්ෂ 1885/86) ඈපා පංචාංග ලිත අනුව එම වසරේ මේෂ සංක්‍රාන්තිය සිදු වී ඇත්තේ අප්‍රේල් මස 11 දිනයි. ඒ අනුව, 1885 අවුරුදු නිවාඩුව අප්‍රේල් මස 11 වන දිනත්, මේ අයුරින්ම වෙසක් නිවාඩුව අප්‍රේල් මස 28 දිනත් ලබාදී තිබේ. බෞද්ධ කොඩිය පළමුව එළි දක්වා ඇත්තේද 1885 අප්‍රේල් 28 එළැඹුණු වෙසක් පුන් පෝ දිනයේදීය.

නිවර්තන වසර සමඟ ආසන්නව ගලපමින් සාදා ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ අවුරුද්දක් සිංහල අවුරුද්දකට වඩා මඳක් කෙටි නිසා සිංහල අවුරුදු උදාව අප්‍රේල් 13 දිනක සිදුවනු ඇත්තේ ඉදිරි දශක කිහිපය තුළ එළඹෙන අධික අවුරුදු වලදී පමණි. මේ අනුව, තවත් දශක කිහිපයකට පසු සිංහල අවුරුදු උදාව අප්‍රේල් 15 දක්වා තල්ලු වනු ඇත.

ඔබ සැමට සුබ අළුත් අවුරුද්දක්!

(Image: www.lanka.com)

Monday, April 11, 2016

නෙය්යප්පම් හා අච්චප්පම්

පැණිරස කෑමට සහ තෙල් කෑමට හෝමෝ සේපියන්ස්ලාගේ ඇති කැමැත්ත ජාන වලින්ම එන එකකි. සියවස් කිහිපයකට පෙර මැල්තුසියානු උගුලෙන් ගැලවෙන තුරු, අතළොස්සක් හැර ලෝකය පුරා ජීවත් වූ මිනිසුන්ගේ සාමාන්‍ය ඉරණම වූයේ ජීවිත කාලය පුරාම කුසගින්නෙන් පීඩා විඳීමයි. වසර දස දහස් ගණනක් වූ මේ දීර්ඝ කාලය තුළ වැඩි කැලරි ප්‍රමාණයක් ලබා ගත හැකි ආහාර වන සීනි හා තෙල් අඩංගු ආහාර යනු කෙනෙකුට කලාතුරකින් ලැබුණු 'සුඛෝපභෝගී භාණ්ඩ' විය.

අපේ මුතුන් මිත්තන්ට බොහෝ විට ඉඳහිට හෝ කන්නට ලැබුණු ප්‍රධානම සීනි ප්‍රභවය වූයේ ඉදුණු පළතුරකි. ආහාර කල් තබා ගැනීමේ හා සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ ක්‍රම පිලිබඳ දැනුම අපට ඉතාම මෑතක් වන තුරුම නොතිබුණු දැනුමකි. ඒ නිසා, අපේ දීර්ඝ පරිණාමික ඉතිහාසය තුළ මෙවැනි ඉදුණු පළතුරු පිරුණු ගසක් හදිසියේ දක්නට ලැබුණු විට කළ හැකිව තිබුණු හොඳම දෙය වූයේ හැකිතාක් එවේලේම ආහාරයට ගැනීමයි. යම් හෙයකින් වාසස්ථානය වෙත ගෙන ආවද නරක් වෙන්නට පෙර අළුත් පිට ආහාරයට ගැනීම වඩා තර්කානුකූල විය. එසේ ආහාරයට ගන්නට ප්‍රිය කළ ජාන සැකැස්මක් තිබුණු අය එසේ නොතිබුණු අයට සාපේක්ෂව කුසගින්නෙන් මියගියේ අඩුවෙනි. මේ නිසා, කල් යාමේදී ඉතිරි වූයේ පැණිරසට ප්‍රිය කරන්නන්ගෙන් පැවත එන්නන්ය. මේ අයුරින්ම, අධික කැලරි ධාරිතාවක් ඇති මේදය පිරුණු ආහාර වලට ප්‍රිය කළ අයටද පරිණාමික වාසියක් ලැබුණේය.

ඉතා කිට්ටු තරංග ආයාම ඇති කොළ, රතු හා කහ පැහැයන් වෙන් වශයෙන් දුර සිටම හඳුනාගත හැකි පරිදි මේ තරංග ආයාම පරාසයේදී සංවේදී වන (කොළ හා රතු)  කේතු සෛල වර්ග දෙකක්
අපේ ඇස් වල පරිණාමය වුණේත් මෙසේ ඉදුණු සහ නොඉදුණු පළතුරු ඇති ගස් දුර සිටම හඳුනාගත හැකි වන පරිද්දෙනි. එමෙන්ම, පිරිමින් දඩයම් කරද්දී, සිය වාසස්ථාන අවට පලවැල නෙළූ කාන්තාවන්ගේ දෘෂ්ඨිය පිරිමින්ගේ දෘෂ්ඨියට වඩා හොඳින් පරිණාමය වී ඇත්තේත් මේ නිසාය.

කුසගින්නේ පෙළෙන මිනිසුන් තවමත් ලොවේ අඩු නැතත්, කාර්මික විප්ලවයෙන් පසු අපේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවන් ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වීමත්, වැය කරන දෛනික කැලරි ප්‍රමාණය විශාල ලෙස අඩුවීමත් නිසා දැන් අපේ මේ පරිණාමික අතීතය අපේ අයහපතට හේතු වී ඇත. සීනි සහ තෙල් වලට අපේ ඇති සහජ කැමැත්ත දියවැඩියාව, හෘදයාබාධ, ආඝාත මෙන්ම පිළිකා වැනි ආයුෂ කෙටි කරන රෝග රැසකට හේතු වේ. එහෙත්, සහජ කැමැත්ත නිසා බොහෝ දෙනෙකු 'අකාල මරණ' වලට ඇති කැමැත්ත කෙසේ වෙතත් 'කාල මැරෙන' එකට කැමතිය.

පහතින් ඇත්තේ එසේ 'කාල මැරෙන්නට' කැමති අයට කේරළ රසකැවිලි වට්ටෝරු දෙකකි.


නෙය්යප්පම්



අච්චප්පම්

 

Wednesday, April 6, 2016

මරණාසන්න අත්දැකීම්


ලොව පුරා විවිධ රටවල විවිධ සංස්කෘතීන් යටතේ ජීවත් වූ හෝ ජීවත් වන පුද්ගලයින් විසින් වාර්තා කර ඇති මරණාසන්න අත්දැකීම් වල පුදුමාකාර සමානත්වයක් තිබේ. ඉතා දීප්තිමත් ආලෝකයක් දැකීම, සිරුරෙන් ඉවත්ව අහසේ පාවීම, කාලය පිලිබඳ හැඟීමක් නොමැති වීම, වේදනා රහිත සුවදායක හැඟීම් මෙන්ම 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ ගැන පූර්ණ අවබෝධයක් තිබීම බොහෝ දෙනෙකු විසින් වාර්තා කර ඇත.

ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලකටම වාගේ පොදු මූලික විශ්වාසයක් වන්නේ ශරීරය තුළ පිහිටි, භෞතික නොවන, ස්ථිර පැවැත්මක් ඇති ආත්මයක් පිලිබඳ අදහසයි. එක් එක් ආගමේ අවසන් අරමුණ වෙනස් වුවද, සිරුර අතහැර මේ අවසන් අරමුණ කරා ලඟා වන්නේ ඉහත කී ආත්මයයි. මේ අදහස අනුව, මරණය යනු භෞතික සිරුරින් මේ ආත්මය ඉවත්ව යාමයි. ප්‍රධාන ආගම් අතරින් මෙවැනි ආත්මයක් නැති බව ප්‍රකාශ කෙරෙන්නේ බුද්ධ දර්ශනය තුළ පමණි. කෙසේවුවද, ප්‍රායෝගිකව බොහොමයක් බෞද්ධයින්ට මේ 'අනාත්ම' සංකල්පය පැහැදිලි නැති බැවින් බුද්ධාගම අදහන බොහොමයක් පිරිස්ද මේ කරුණ හා අදාළව බොහෝ විට අනෙකුත් ආගම් අදහන අයගෙන් වෙනස් නැත.

මරණාසන්න අත්දැකීම් පැහැදිලි කෙරෙන ප්‍රධාන ප්‍රවාද දෙකක් තිබේ. මෙයින් පළමුවැන්න අනුව, මේ අත්දැකීම් වලට හේතුව සිරුර තුළ පැවති ආත්මය සිරුරෙන් පිටව කිසියම් කාලයකට පසුව නැවත සිරුර තුළට පිවිසීමයි. එසේ සිරුරෙන් පිටව සිටින කාලය තුළද, මේ ආත්මයට බාහිර පරිසරයේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තිබේ. මේ ප්‍රවාදය බොහෝ දෙනෙකුගේ ආගමික විශ්වාස සමඟ වඩා හොඳින් ගැලපේ.


දෙවන මතය අනුව, මරණාසන්න අත්දැකීම් යනු සැබෑවටම මොළය අක්‍රීයව පැවති කාලයේ ලැබූ අත්දැකීම් නොවේ. ඒවා, මොළය අක්‍රිය වීමට ආසන්නව හෝ නැවත ක්‍රියාකාරී වූ වහාම ලැබුණු අත්දැකීම් විය හැකිය. ඊට අමතරව, කිසියම් 'හිස්තැන් පිරවීමේ' ක්රියාවලියක්ද මෙහිදී සිදුවේ. මේ ප්‍රවාදය අනුව, අක්‍රීයව පැවති කාලය තුළ මොළය විසින් අළුත් තොරතුරු ලබා නොගනී. කෙසේවුවද, 'මියයාමට පෙර' අවස්ථාවේ සිට 'නැවත පණ ලැබුණු' අවස්ථාව දක්වා ජීවිතය සුමටව, අඛණ්ඩව ගලා නොයාම මොළය විසින් විසඳාගත යුතු ගැටළුවකි.

මා උදේ සේවයට යන විට නිවසේ බඩුභාණ්ඩ තිබුණු පිළිවෙලත්, මා දොරගුළු ලූ බවත් මට හොඳ හැටි මතකය. එහෙත්, මා ආපසු පැමිණෙන විට මගේ නිවසේ දොර විවෘතව ඇති අතර හා මගේ ලිපිගොනු යම් කිසිවෙකු විසින් අවුස්සා දමා තිබේ. මා නිවසේ නැති අතරේ සිදු වූ දේ මා නොදනිතත්, මා දන්නා දේ ඇසුරින් හැකි පරිදි මේ 'හිස්තැන පුරවා ගැනීමට' මගේ මොළය ක්‍රියා කරයි. දෙවන ප්‍රවාදය අනුව, මරණාසන්න අත්දැකීම් වලදී සිදුවන්නේද මෙවැන්නකි. වෛද්‍යවරුන් හා අනෙකුත් රෝහල් සේවකයින් විසින් කරන්නට ඇතැයි මා මගේ පෙර අත්දැකීම් ඇසුරින් සිතන දේත්, මරණය ගැන මගේ ආගමික විශ්වාස මත මා හිතන දේත්, මා අසා ඇති වෙනත් මරණාසන්න අත්දැකීම් අනුවත් මගේ මොළය විසින් මේ හිස්තැන පුරවයි.

මරණාසන්න අත්දැකීම් මඟින් ඉහත මා ඉදිරිපත් කළ මත දෙකෙන් එකක්වත් වැරදි හෝ නිවැරදි බව තහවුරු නොවේ. එම මත දෙකෙන් කවර එකක් මඟින් වුවද මරණාසන්න අත්දැකීම් පැහැදිලි කළ හැකිය.

ස්ටනි බෘක්හි පිහිටි නිවු යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සහාය මහාචාර්ය සෑම් පාර්නියා ප්‍රධාන ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින් සිදු කළ, බොහෝ දෙනෙකු විමසිල්ලෙන් බලා සිටි පර්යේෂණයේ අරමුණ වූයේ මේ ගැටළුව විසඳා ගැනීමයි. 2008 වසරේදී ඇරඹුණු මේ පර්යේෂණ අධ්‍යනය සඳහා ඇමරිකාවේ, එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රියාවේ පිහිටි රෝහල් 15ක නේවාසිකව සිටි හදවත අකර්මන්‍ය වීමෙන් පසු 'නැවත පණ ලබා දීමට' උත්සාහ ගැනුණු රෝගීන් යොදා ගැනිණි. මෙහිදී පර්යේෂකයින් විසින් යොදාගත් උපාය මාර්ගය වූයේ රෝගියා සිටි කාමරයේ උස් රාක්කයක් මත ඉතා හොඳින් පෙනෙන (චිත්‍රයක් වැනි) කිසියම් භාණ්ඩයක් රැඳවීමයි. කෙසේවුවද, ඇඳ මත වැතිර සිටින විට මෙය නොපෙනෙන අතර කාමරයේ සිවිලිම මට්ටමේ සිට බිම බලන විට පමණක් මේ භාණ්ඩය ඉතා පැහැදිලිව දර්ශනය වේ. රෝගීන්ට මේ භාණ්ඩය පැහැදිලිව විස්තර කළ හැකිනම් එයින් අදහස් වන්නේ මරණාසන්න අත්දැකීම් යනු 'මියගොස් සිටි කාලයේ' සැබෑවටම සිදුවූ දේ බවයි.
 

රෝගීන් 2,060 දෙනෙකුව යොදා ගෙන සිදුකළ මේ දැවැන්ත පරීක්ෂණයේ ප්‍රතිඵල 2014 දෙසැම්බරයේදී 'රීසස්ටිකේෂන්' ජර්නලයේ පළවිය. මේ පර්යේෂණ ප්‍රතිඵලය විශාල මාධ්‍ය අවධානයක්ද දිනා ගත්තේය. කෙසේවුවද, අදාළ පර්යේෂකයින්ට ඔවුන් විසඳුම් සෙවූ මූලික ගැටළුවට පැහැදිලි පිළිතුරක් ලබා දීමට හැකිවී නැත. 

පර්යේෂණය සඳහා යොදාගත් රෝගීන් අතරින් 'ආපසු ඒමට' හැකි වුනේ 140 දෙනෙකුට පමණි. ඔවුන් අතරින්ද, විස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වීමට යෝග්‍ය තත්ත්වයක සිටියේ 101 දෙනෙකු පමණි. ඒ අතරින්, 9 දෙනෙකු කිසියම් ආකාරයක මරණාසන්න අත්දැකීම් ලබා තිබුණු අතර 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ මතක තිබුණේ දෙදෙනෙකුට පමණි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට මේ කාලය තුළ සිදු වූ ඇතැම් දේ නිවැරදිව විස්තර කළ හැකි වී තිබේ. කෙසේවුවද, මේ දෙදෙනාම හදිසි තත්ත්වයක් යටතේ මේ අත්දැකීම් ලබන විට සිටියේ අර 'මල් පෝච්චිය තිබුණු' කාමරයේ නොවූ නිසා මුලින් සැලසුම් කළ පරීක්ෂණයනම් සිදුවී නැත.

නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් දත්ත නොමැති නිසා මේ පරීක්ෂනයෙන්ද මරණාසන්න අත්දැකීම් පිලිබඳ ගැටළුව විසඳී නොමැත.


(Image: www.acts17.net)

Wednesday, March 30, 2016

නෙළුම් පතක රැඳි තෙල් බිඳුවක් සේ...


තෙල් හා වතුර කලවම් නොවේ. ඒ වගේම නෙළුම් කොළේ දිය රැඳෙන්නේත් නැත. ඒ අනුව, තෙල් සහ නෙළුම් දෙකටම වතුර ඇලජික්ය. තෙල් සහ නෙළුම් අතර වෙනත් සම්බන්ධතාවයක් ගැනනම් මතකයට එන්නේම නැත.

ඉකොනොමැට්ටා විසින් ලියා පළ කළ තෙල් ගැන ලිපියකට නෙළුම් සම්මානයක් ලැබී තිබේ. "ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට" නම් වූ මේ ලිපිය පළකළේ පසුගිය දෙසැම්බර් මස 21 වෙනිදාය. ඒ ලිපියෙන් කතා කළේ ඊට දින තුනකට පෙර සිදුවූ ඇමරිකානු බොරතෙල් අපනයන තහනම ඉවත් කිරීම, ඒ සඳහා හේතු වූ කරුණු හා වසර හතළිහකට පෙර එම තහනම පැනවීමට හේතු වූ පසුබිම ගැනය.

ඉහත ලිපිය පළ කිරීමෙන් පසු මතු වූ අදහසක් වූයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහතයාම ඇමරිකාව හා සවුදි අරාබිය එකතු වී කෘතිමව ඇති කළ තත්ත්වයක් බවයි. දින දෙකකට පසු දෙසැම්බර් මස 23 වන දින "තෙල් මිල ඉහළ යයිද?" යන මාතෘකාව යටතේ ඉකොනොමැට්ටාගේ අඩවියේ පළ කළ තවත් ලිපියක් මඟින් පැහැදිලි කළේ එය එසේ නොවන බවයි. තෙල්මිල පහළ යාමට හේතු වූ දීර්ඝකාලීන හා ආසන්න හේතු එහිදී සාකච්ඡා කෙරිණි. මේ ලිපිය පලවී තෙමසක් ඉක්මගොස් ඇති මේ මොහොතේ සාකච්ඡා කෙරෙන්නේ ලෝක තෙල් වෙළඳපොළ හා අදාළව ඉන්පසුව සිදුවූ වර්ධනයන් ගැනය.


එම ලිපියේ මම මෙසේ සඳහන් කළෙමි.

"මේ අවස්ථාවේ ඇමරිකාව සහ සවුදි අරාබිය අතර ඇත්තේ ගල උඩ සටනකි."

"...මිල මට්ටම පහත තබා ගැනීමෙන් සවුදි අරාබිය අපේක්ෂා කරන්නේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් කිරීමටය. මේ වන විට සවුදි අරාබිය ඔවුන්ගේ අරමුණ වෙත සෑහෙන දුරකට ලඟා වී සිටී. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකාවේ අළුත් ශල්ක තෙල් කැනීම් අට්ටාල ඉදිවීම විශාල ලෙස අඩුවී තිබේ. එහෙත්, මේ සඳහා සවුදි අරාබියටද විශාල වන්දියක් ගෙවීමට සිදුවේ...තෙල් මිල පහළ යද්දී සවුදි අරාබියේ අයවැය හිඟය ඉහළ යයි. ඒ නිසා මේ ක්‍රීඩාවෙන් අන්තිමේදී සවුදි අරාබිය පැරදෙන්නටත් බැරි නැත."

"...ඇමරිකාව සහ සවුදි අරාබිය අතර මේ ක්‍රමෝපායික ක්‍රීඩාවේ ජයග්‍රහණය කාට හිමි වේදැයි කියන්නට තවමත් කල් වැඩිය. "

මේ ලිපි පළ කෙරෙන විට තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 40 මට්ටමේ පැවතුනු අතර පසුගිය පෙබරවාරි මැද වන විට මේ මිල 2003 සිට පැවති අඩුම මිල වන ඇමරිකන් ඩොලර් 26 මට්ටම දක්වාම අඩු විය. කෙසේවුවද, එතැන් සිට ගතවූ පසුගිය සති හය තුළ ලෝක තෙල්මිල නැවතත් ඇමරිකන් ඩොලර් 40 මට්ටමට පැමිණ ස්ථාවර වී තිබේ. මෙයින් අදහස් වන්නේ කුමක්ද? පෙර ලිපි වලින් කතා කළ ගල උඩ සටනේ දිනුම ලැබුණේ කාටද?

පසුගිය මාස හතරේ දත්ත අනුව පෙනීයන්නේ සවුදි අරාබිය ඔවුන් බලාපොරොත්තු වූ අරමුණ කරා ලඟා වී ඇති බවයි.


2011 වසර ආරම්භයේදී ඇමරිකාවේ සක්‍රිය කැනීම් අට්ටාල 1,220ක් පැවති අතර එම වසර අවසාන වන විට මෙම සංඛ්‍යාව 1,694 දක්වා වැඩි විය. 2013 වසර ඇරඹෙන විට මේ ගණන 2007 දක්වා තවදුරටත් වැඩි විය. මේ වර්ධනයට හේතු වූයේ පැවති ඉහළ තෙල්මිල හේතුවෙන් ශල්ක තෙල් කැණීම් සඳහා වන ආයෝජන දිරිමත් වීමයි.

කෙසේවුවද, 2014 මැද වන විටත් ඇමරිකන් ඩොලර් 100-110 මට්ටමේ පැවති තෙල්මිල එතැන් සිට කඩා වැටෙන්නට පටන් ගැනීමත් සමඟ ආයෝජන ප්‍රවාහ ඇණහිටීම නිසා අළුතින් අළුත් කැණීම් අට්ටාල ඉදිකිරීම සිදුවුණේ ඉතා සෙමිනි. අළුතින් කැණීම් අට්ටාල ඉදිකිරීම නැවතීමෙන් පසු පැරණි කැණීම් අට්ටාල ක්‍රමයෙන් කල් ඉකුත්ව භාවිතයෙන් ඉවත් වෙද්දී ඇමරිකාවේ සක්‍රිය කැණීම් අට්ටාල ගණන ක්‍රමයෙන් අඩුවන්නට විය.

පසුගිය 2015 ආරම්භයේදී සක්‍රියව පැවති කැණීම් අට්ටාල 1,811 වසර අවසානය වන විට 698 දක්වා අඩු විය. එහෙත්, පසුගිය වසර තුළ ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදනයේ අඩුවක් පෙනෙන්නට නොතිබුණේය. එයට හේතු වූයේ, නිෂ්පාදනයෙන් ඉවත් වූයේ වඩා අකාර්යක්ෂම කැණීම් අට්ටාල වීමත්, දිගටම නිෂ්පාදනයේ යෙදුණු කැණීම් අට්ටාල වල ඵලදායිතාව ඉතා විශාල ලෙස දියුණු කෙරුණු නිසාත්ය. කෙසේවුවද, හැම දෙයකටම සීමාවක් තිබේ.

පසුගිය මාර්තු 24 දින වන විට ඇමරිකාවේ සක්‍රිය කැණීම් අට්ටාල ගණන 464 දක්වා අඩුවී ඇති අතර එය තවදුරටත් අඩු වන ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම, පෙබරවාරි මාසයේ පමණ සිට ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදන පරිමාවන්ද අඩුවෙමින් පවතී. මේ අනුව සවුදි අරාබිය විසින් ඇමරිකාවේ දරාගැනීමේ සීමාව සාර්ථක ලෙස පරික්ෂාවට ලක්කර තිබේ. තෙල් මිල ඇමරිකන් ඩොලර් 26 මට්ටමට වැටී නැවතත් ඉහළ යාමෙන් පෙනෙන්නේ මිල පහත වැටිය හැකි අවසාන සීමාව එය බවයි. අළුත් කැණීම් අට්ටාල ඉදිවීම අඩාල වී ඇති නිසා ඉදිරි වසර දෙකක පමණ කාලය තුළ ඇමරිකානු බොරතෙල් නිෂ්පාදනය තවදුරටත් පහත වැටීමෙන් තෙල් මිල තරමක් දුරට ඉහළ යා හැකිය.

අනෙක් අතට ඉදිරියේදී තෙල්මිල විශාල ලෙස ඉහළ යාමේ හැකියාවක්ද නැත. තෙල්මිල ඇමරිකන් ඩොලර් 55-70 මට්ටමට ලඟාවුවහොත් ඇමරිකාවේ ශල්ක තෙල් කැනීම් අට්ටාල රැසක් නැවතත් වහා ඉදිවනු ඇත.

මෑතකාලීන තෙල් මිලේ සිදුවූ වෙනස්කම් නිසා සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවලටත්, රුසියාවටත් ඇති වූ බලපෑම ගැනත් සවුදි-රුසියානු ගිවිසුමේ අනාගතය ගැනත් පසුව කතා කරමු.


(Image: skycare.unetedu.vn)

Sunday, March 27, 2016

නොපෙනෙන ලොව දකින්නට විටමින්


අප දකින වර්ණ යනු වස්තුවක කිසියම් භෞතික ලක්ෂණයක් නොවේ. යම් වස්තුවක් මඟින් පරාවර්තනය කරන විද්‍යුත් චුම්භක තරංග වල වලට ප්‍රතිචාර ලෙස අපේ ඇස් හා මොළය අපට "පෙන්වන" ගුණයකි. දැනට දෙසියවසකට පමණ පෙර අප දැන සිටි එකම විද්‍යුත් චුම්භක තරංග ප්‍රභවය දෘශ්‍ය ආලෝකය පමණක් වුවද නැනෝ මීටර 390-720 අතර වූ මේ තරංග ආයාම පරාසය සමස්ත විද්‍යුත් චුම්භක තරංග ආයාම පරාසයෙන් ඉතාම සුළු කොටසක් පමණක් බව දැන් අප දනිමු. එසේනම්, අපට සෘජුවම දැකගත නොහැකි බොහෝ දේ භෞතික ලෝකයේ ඇති බව පැහැදිලිය.

මෙසේ අපට සාමාන්‍යයෙන් ග්‍රහණය නොවන දේ දැකිය හැකි පරිදි අපේ ඉන්ද්රියමය සීමාවන් අතික්‍රමණය කළ නොහැකිද?

ඉන්ද්රියමය සීමාවන් අතික්‍රමණය කළ හැකි "විද්‍යාවට අහු නොවන" ක්‍රම ගැන ඕනෑ තරම් ලියැවී තිබේ. මා කතා කරන්නේ එවැනි ප්‍රවේශයන් ගැන නොවේ. අපට අපේ ජීව විද්‍යාත්මක මෙහෙයුම් පද්ධතියේ දෘඩාංග හා මෘදුකාංග උත්ශ්‍රේණි කර ගැනීම මඟින් දෘශ්‍ය පරාසය පුළුල් කර ගත නොහැකිද?

නිරවි යුද සමයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ඇමරිකානු නාවික සෙබළුන් යොදාගනිමින් අධෝරක්ත කිරණ දැකිය හැකි පරිදි මිනිස් දෘශ්‍ය පරාසය පුළුල් කිරීමේ පරීක්ෂ
සිදු කෙරී තිබේ. පසුව අතහැර දමනු ලැබුවද, යම් සාර්ථකත්වයක් ලබා ඇති මේ පර්යේෂණ සිදුකර ඇත්තේ ඉතා සරල ක්‍රමවේදයක් අනුගමනය කරමිනි.

අපට නැනෝ මීටර 390-730 පරාසයෙන් පිටත තරංග ආයාම නොපෙනෙන්නේ අපේ ඇස් වල ඇති කේතු සෛල සංවේදී වන්නේ එම පරාසය තුළ පමණක් බැවිනි. එසේනම්, කිසියම් අයුරකින් අපේ කේතු සෛල වල සංවේදීතාව වැඩි කළ නොහැකිද?

කේතු සෛල නිෂ්පාදනය සඳහා විටමින් ඒ උපකාරී වේ. විටමින් ඒ ඌණතා ඇති විට ඇස් පෙනීම දුර්වල වන්නේ මේ නිසාය. මේ විටමින් ඒ කාණ්ඩයේ සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර වල ඇති විටමින් ඒ-1 වලට අමතරව එයට ආසන්න ව්‍යුහයක් ඇති විටමින් ඒ-2 ප්‍රභේදයක්ද තිබේ. මේ පර්යේෂණ වලදී සිදු කෙරුණේ හිතාමතාම විටමින් ඒ-1 සහිත ආහාර පාලනය කර ඒ වෙනුවට විටමින් ඒ-2 අඩංගු ආහාර ලබා දීමයි.

ආලෝක සංවේදී සෛල නිෂ්පාදනය කිරීමට විටමින් ඒ-1 නොලැබෙන විට අපේක්ෂා කළ පරිදිම සිරුර ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් විටමින් ඒ-2 වලින් මේ ප්‍රභා සංවේදී සෛල නිපදන්නට පටන් ගත්තේය. ඒවා තුන්හතර  ගුණයක් වැඩියෙන් සංවේදී විය. මේ අනුව, පර්යේෂණය සඳහා යොදාගත් සෙබළුන්ට යම් තරමකින් කලින් නොපෙනුණු දේ පෙනෙන්නට විය. අධෝරක්ත කිරණ සංවේදීතාව ලබාගැනීම මඟින් බලාපොරොත්තු වුනේ වඩා හොඳ රාත්‍රී දැක්මක් (නයිට් විෂන්) ලබා ගැනීමයි.

පර්යේෂණය සාර්ථක වුවද මේ කාලයේදීම රාත්‍රියේ පෙනීම ලබා දෙන උපාංග වැඩි දියුණු කෙරුණු බැවින් එම පර්යේෂණ තවදුරටත් ඉදිරියට ගෙනයාමේ වැදගත්කම අඩුවිය. කිසිදු සරසවියකට හෝ රජයකට සම්බන්ධ නැති ස්වේච්ඡා පර්යේෂක කණ්ඩායමක් (science for the masses) දැන් මේ පැරණි පර්යේෂණය ඉදිරියට ගෙනයාමට නවමු උත්සාහයක් දරති.


දෘශ්‍ය වර්ණාවලියේ රතු අන්තයේ තත්ත්වය මෙසේ වෙද්දී, ජම්බුල අන්තයේ ඇත්තේ වෙනස් තත්ත්වයකි. අපේ ඇස් වල ඇති කෙටි (නිල්) කේතු සෛල සාමාන්‍යයෙන් අපට දැකිය නොහැකි නැනෝමීටර 390ට වඩා අඩු තරංග ආයාම වලටද සංවේදීය. එහෙත් මේ තරංග ආයාම අපේ ඇස් වල කාච මඟින් පෙරන නිසා ඒවා ඇසේ දෘෂ්ඨි විතානය කරා ළඟා නොවේ.

ඇසේ සුද මතුවූ විට ඇතැම් රෝගීන්ගේ අක්ෂි කාචය ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කෙරේ. මෙසේ කළ විට ආලෝක කිරණ නාභිගත නොවීම නිසා පෙනීම අපැහැදිලි වීම වැළැක්වීම සඳහා බාහිර හෝ අභ්‍යන්තර කෘතීම කාචයක් ඇතැම් විට යොදාගැනේ. කෘතීම කාචයක් සහිතව හෝ රහිතව උපතින් ලැබුණු අක්ෂි කාචය ඉවත් කළ විට පාරජම්බුල කිරණ වලට දෘෂ්ඨි විතානය කරා ළඟා වීමට තිබුණු බාධාවන්ද යම් තරමකින් ඉවත්වේ. මෙසේ අක්ෂි කාචය ඉවත් කරනු ලැබූ රෝගීන්ට යම් තරමක පාරජම්බුල දෘෂ්ඨියක් ලැබී ඇති බවද වාර්තා වී තිබේ.

හිතාමතාම හෝ වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් අපේ ජීව විද්‍යාත්මක පද්ධතිය 'හැක් කිරීමෙන්' අපට අපේ ඉන්ද්‍රියන්ගේ සංවේදීතා සීමාවන් නිසා නොපෙනෙන ලෝකයෙන් යම් කොටසක් දැකිය හැකිය. එහෙත්, මෙසේ උත්ශ්‍රේණි කරගැනීමෙන් ලබාගත හැක්කේ  අපේ විජානනයේ ඉතා සීමිත දියුණුවක් පමණි. කෙසේවුවද, මෙවැනි උත්ශ්‍රේණි කරගැනීම් සඳහා වන නිරන්තර උත්සාහයන් මඟින් පෙනෙන්නේ අපේ ජීවවිද්‍යාත්මක සීමාවන් අතික්‍රමණය කිරීමට හෝමෝ සේපියන්ස්ලා දක්වන උනන්දුවයි.


(Image: http://www.lifenews.com/2013/12/16/human-engineering-augmenting-human-sight-into-the-infrared-range/)

Wednesday, March 23, 2016

කපුටාගේ කැත කපුටාගේ ප්‍රශ්නයක් නොවේ!


කපුටා කළුය. කැතය. මොණරා ලස්සනය. පාට මහ ගොඩකි.

"එයාට තියෙන පාට ගනින්න මගේ මේ ඇ‍ඟේ තියෙන පිහාටු මදි. ඒ තරමට එයාගේ පිහාටුවෙන් පිහාටුවට එක එක පාට!” මොණරා ගැන කපුටා මෙසේ හිතනවායැයි අපි සමහර වෙලාවට හිතමු.

කපුටා හිතන විදිහ ගැන අපට හිතා ගන්නට නොහැකිය. ඒ නිසා අපට කළ හැකි හොඳම උපකල්පනය වන්නේ කපුටාත් අපි හිතන විදිහටම හිතන බව හිතීමයි.

කළු පාට කැත බව අපට කියන්නේ අපේ මොළය බව අපි බොහෝ දෙනෙකු දනිමු. ඇතැම් වෙලාවට කළු දැකුම්කළු වන බවත් අපි දනිමු. ඒ වගේම, කතාවල කෙසේ වුවත්, කපුටන් අපි මෙන්ම හිතන බව අපි බොහෝ දෙනෙකු ඇත්තටම නොහිතන්නෙමු.

මොණරාගේ ලස්සන ගැන කපුටා හිතන්නේ කෙසේවුවද, 1970 පමණ දක්වා ස්වභාව විද්‍යාඥයින් පවා සිතුවේ කපුටාට මොණරාව පෙනෙන්නේ අපට පෙනෙන ලෙසටම කියාය.

මොණරාගේ පිල් කළඹේ නැති පාටක් හෙවීම අමාරු වෙද්දී කපුටා කළුම කළු වුනේ ඇයි?

මොණරාගේ පිල් කළඹේ වැදී පරාවර්තනය වන විද්‍යුත් චුම්භක තරංග වලින් නැනෝමීටර 400 සිට 700 දක්වා තරංග ආයාමයක් ඇති විද්‍යුත් චුම්භක තරංග අපේ ඇස් වල කාච මඟින් පෙරා දෘෂ්ඨි විතානය මත ප්‍රක්ෂේපණය කරයි. මේ පරාසයෙන් පිටත ඇති අධෝරක්ත හා පාරජම්බුල පරාස වල විද්‍යුත් චුම්භක තරංග වලට එසේ අපේ ඇස් වල කාච විනිවිදින්නට නොහැකිය.

අපේ ඇස් වල ඇති කේතු සෛල වර්ග තුන මේ පරාසයේ වෙනස් තරංග ආයාමයන්ට වෙනස් ලෙසින් සංවේදී වේ. මේ වෙනස්කම් හඳුනාගන්නා අපේ මොළය විසින් කේතු සෛල මඟින් ලබා දෙන වෙනස් සංඥා වෙනස් වර්ණ ලෙස හඳුනා ගනී. ඒ නිසා මොණරාගේ පිල් කළඹ අපට වර්ණවත්ව පෙනේ.

මේ අයුරින්ම කපුටාගේ පියාපත් වල වැදී පරාවර්තනය වන විද්‍යුත් චුම්භක තරංගද අපේ ඇස වෙත පැමිණේ. එහෙත්, මෙසේ පැමිණෙන විද්‍යුත් චුම්භක තරංග වල තරංග ආයාමයන් නැනෝමීටර 400 සිට 700 දක්වා පරාසයෙන් පිටතනම් ඒවාට අපේ ඇසේ කාච විනිවිදිය නොහැකිය. එසේ විනිවිද පැමිණියද, අපේ ඇස් වල කේතු සෛල උත්තේජනය කිරීමට තරම් තීව්රතාවයක් නැත්නම් මොළයට සංඥාවක් නොලැබේ. අපේ ඇස් වල කේතු සෛල හෝ යෂ්ඨි සෛල කිසිවක් උත්තේජනය කිරීමට කපුටාට නොහැකි නිසා අපිට කපුටාව කළු කැත සතෙක් ලෙස පෙනේ.

කපුටාට අපේ කේතු සෛල හෝ යෂ්ඨි සෛල කිසිවක් උත්තේජනය කිරීමට කිසිම උවමනාවක් නැත. කපුටාට අවශ්‍ය වන්නේ කපුටීගේ කේතු සෛල හා  යෂ්ඨි සෛල උත්තේජනය කිරීමටය. කපුටාට වැඩක් කර ගත හැකි වන්නේ එවිටය. එහෙමනම් කපුටා කපුටීව ආකර්ෂණය කරගන්නේ කොහොමද?

මෙහි ඇති ගැටළුව වන්නේ කපුටීට කපුටාව පෙනෙන්නේ අපට පෙනෙන ආකාරයේම කළු, කැත සතෙක් ලෙසද යන්නයි.

හෝමෝ සේපියන්ස්ලාගේ ඇස් වල තියෙන්නේ කේතු සෛල වර්ග තුනක් පමණක් වුවත් බොහෝ පක්ෂීන්ගේ ඇස් වල කේතු සෛල වර්ග හතරක් තිබේ. එමෙන්ම, හෝමෝ සේපියන්ස්ලාගේ අක්ෂි කාච විනිවිද නොයන පාරජම්බුල කිරණ වලට කුරුල්ලන්ගේ අක්ෂි කාච විනිවිද ගොස් උන්ගේ ඇස් වල ඇති පාරජම්බුල කිරණ වල තරංග ආයාමයට සංවේදී වන, අපට නැති  සිවුවන වර්ගයේ කේතු සෛල සංවේදී කරන්නට පුළුවන. මේ නිසා, එක් අතෙකින් අපට නොපෙනෙන තරංග ආයාම කුරුල්ලන්ට පෙනේ. අනෙක් අතින් අපට නොපෙනෙන වෙනස් වර්ණ ප්‍රභේද මිලියන ගණනක් කුරුල්ලන්ට පෙනේ.

චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකු දකින ලෝකය ත්රිකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට කිසිදා තේරුම් ගත නොහැකිය. ඒකකේතුක, එනම් කළුසුදු, දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ දෘෂ්ඨිය යනු කුමක්දැයි තේරුම් ගත නොහැක්කාක් මෙනි.

එක් කේතු සෛලයක සංවේදිතා මට්ටම් සියයක් ඇතැයි සැලකුවහොත් ඒකකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වෙන් වශයෙන් හඳුනාගත හැක්කේ වර්ණ සියයක් පමණි. එහෙත්, ද්විකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ දසදහසක්ද, ත්‍රිකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ මිලියනයක්ද වෙන් වශයෙන් හඳුනාගැනීමට පුළුවන. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ මිලියන දහයක් වෙන් වශයෙන් හඳුනාගැනීමට පුළුවන. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකු දකින ලෝකය ත්‍රිකේතුක දෘෂ්ඨියක් ඇති අප බොහෝ දෙනෙකුට සිතාගන්නටවත් නොහැකි වර්ණවත් ලෝකයකි.


අපට පාරජම්බුල කිරණ දැකිය නොහැකි වුවත් විවිධ වස්තු වලින් පරාවර්තනය කරන පාරජම්බුල කිරණ වල තරංග ආයාම මැනීමේ හැකියාව තිබේ. කුරුල්ලන් සම්බන්ධව සිදුකර ඇති මේ ආකාරයේ පරීක්ෂණ තුළින් අපට කුරුල්ලන් දකින වර්ණවත් ලෝකය ගැන අදහසක් ලබාගත හැකිය. 

අප කළු පැහැයෙන් දකින බොහෝ කුරුල්ලන්ගේ පිහාටු වලින් අපට සංවේදී නොවන පාරජම්බුල කිරණ පරාවර්තනය කරයි. සිරුරේ තැන්තැන්වල ඇති පිහාටු වලින් මෙසේ පරාවර්තනය කරන්නේ සමාන තරංග ආයාම ඇති විද්‍යුත් චුම්භක තරංගම නොවේ. එමෙන්ම, ගැහැණු හා පිරිමි කුරුල්ලන්ගේ මේ රටාවන් සමානද නැත. මේ අනුව පැහැදිලි වන්නේ, අපට කළු කැත සේ පෙනෙන බොහෝ කුරුල්ලන් එසේ පෙනෙන්නේ අපේ ඉන්ද්‍රියයන්ගේ ඇති සීමාවන් නිසා බවයි. කුරුල්ලන්ගේ අපට නොපෙනෙන සැබෑ වර්ණ ඔවුන්ගේ ගැහැණු සත්තුන්ට පෙනේ.



මේ අයුරින්ම, අප සිතන්නේ ඇතැම් කුරුල්ලන් අනුන්ගේ කූඩු වල දමන බිත්තර ඔවුන්ට තමන්ගේ බිත්තර වලින් වෙන් කර හඳුනාගත නොහැකි බවයි. එහෙත්, බොහෝ විට අපට එක පාටින් පෙනෙන මේ බිත්තර ඔවුන්ට ඉතා පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිය.

ඇතැම් විට අහසේ ඉතා ඉහළ පියාඹන මාංශභක්ෂක කුරුල්ලෙකු ක්ෂණිකව පහත් වී තණබිමක සිටින මීයෙකු ඩැහැගනී. එහෙත්, අපට එහි මීයෙකු සිටි බව නොපෙනේ. ඇත්තටම මේ කටයුත්ත කුරුල්ලාට ඉතා පහසු වැඩකි. අර මීයා තමන් යන මාර්ගය මුත්‍රා වලින් සලකුණු කරමින් යයි. මේ සලකුණු වලින් පරාවර්තනය කරන පාරජම්බුල කිරණ, අපට නොපෙනුණත්, ගොළුබෙල්ලෙකු ගිය පාර සටහන් වන අයුරින් පැහැදිලිව තණබිමේ සලකුණු වේ. මේ සලකුණ ඉතා ඉහළ අහසේ සිට වුවද පැහැදිලිව පෙනෙන නිසා ක්ෂණිකව පහත් වී මීයාව අල්ලාගැනීම පහසුවෙන් කළ හැකි දෙයකි.


කුරුල්ලන් නරඹන්නට යන අය සාමාන්‍යයෙන් පරිසරයේ පාටට කිට්ටු, කැමෆ්ලාජ් ඇඳුමක් ඇඳගෙන යාම පුරුද්දකි. එහෙත්, ඔවුන් නොදන්නා කරුණක් වන්නේ රෙදි වල ඇති සායම් වලින් මෙන්ම රෙදි සේදීමට යොදන ද්‍රව්‍ය වලින්ද අපට නොපෙනෙන පාරජම්බුල කිරණ පරාවර්තනය කර යවන බවයි. මේ නිසා අප කොතරම් හොඳින් කැමෆ්ලාජ් වී හිටියත් කුරුල්ලන්ට ඉතා පැහැදිලිව, වෙනස්ම පාට දෙකක් ලෙස ඈත තියාම පහසුවෙන් හඳුනාගත හැකිය. 

හෝමෝ සේපියන්ස්ලා බොහෝ දෙනෙකුට ඇත්තේ ත්රිකේතුක දෘෂ්ඨියක් වුවත්, පිරිමින්ගෙන් 8%කට පමණත් ගැහැණුන්ගෙන් 0.5%කට පමණත් ඇත්තේ ද්විකේතුක දෘෂ්ඨියකි. එමෙන්ම, කාන්තාවන් අතර චතුර්කේතුක දෘෂ්ඨිය ඇති අය සුළු ප්‍රතිශතයක්ද සිටිති. ඔවුන් දකින ලෝකය අනෙත් අය දකින ලෝකයට වඩා අතිශයින්ම වර්ණවත් ලෝකයකි. කෙසේවුවද, මෙවැනි කාන්තාවන් බොහෝ දෙනෙකු තමන්ට චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති බව නොදනිති. එයට හේතුව, අප ජීවත් වන්නේ ත්රිකේතුක දෘෂ්ඨියක් ඇති අය වෙනුවෙන් සැලසුම් කළ ලෝකයක වීමයි.

මෙය කියවන ඔබ කාන්තාවක්නම්, ඔබට පෙනෙන වෙනස් වර්ණ වෙනත් අයට වෙන් වශයෙන් හඳුනාගත නොහැකි බව කෙදිනක හෝ ඔබට සිතී ඇත්ද?


(Images: www.birdbgone.co, archives.evergreen.edu, atrl.net )

Sunday, March 20, 2016

කළු, කැත කපුටා හා ලස්සන මොණරා


අද ලිපිය පටන්ගන්නේ රන්දිල් නෝනා විසින් පරිවර්තනය කර නිදහස් සිතිවිලි වියුණුවේ පළකර ඇති කතාවකිනි.

තමන්ගේ ජිවිතය ගැන බොහොම තෘප්තිමත් සිතින් පසු වූ හුදෙකලා කපුටෙක් ඈත ඈත වනන්තරයේ වාසය කළේය. නමුත් පළමු වරට හංසයෙකු දුටු දා පටන් ඔහුගේ සිතුවිලි වෙනස් විය.

“අනේ අප්පේ, මේ හංසයා සුදු ම සුදුයිනේ” කපුටා සිතුවේය.

“ඒකට මම!, මම කට්ට කලුයි. මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත් ම කුරුල්ලා මේ හංසයා වෙන්න ඕනෑ”

අනතුරුව තමන්ගේ සිතුවිල්ල පිළිබඳ ව ඔහු හංසයා සමග පැවසීය.

“ඇත්තටම,” හංසයා පිළිතුරු දුන්නේය.

“පාට දෙකක් තියෙන, ගිරවෙකු දකින කං මාත් මං ගැන හිතාගෙන හිටියේ එහෙම තමයි. එයා දැකපු දවසේ මට තේරුණා ප්‍රීතිමත් ම කුරුල්ලා මං නෙමෙයි ඒ ගිරවා තමයි කියලා.”

ඉක්බිති අපේ මේ කපුටා ඒ ගිරවා සොයාගෙන ගියේය. ගිරවා ඔහුට සිය සිතුවිලි මෙසේ පැහැදිලි කළේය.

“මම ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ එක ඇත්ත. හැබැයි ඒ මොණරෙකු දකින කං විතරයි. මට තියෙන්නේ පාට දෙකයි. ඒකට මොණරාට! එයාට තියෙන පාට ගනින්න මගේ මේ ඇ‍ඟේ තියෙන පිහාටු මදි. ඒ තරමට එයාගේ පිහාටුවෙන් පිහාටුවට එක එක පාට”

ඉතිරි කොටස කියවීමට කැමති කෙනෙකුට නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියට පිවිස කියවීමට පුළුවන.

දැන් මේ කතාව අනුව,
-කපුටා කළුය.
-හංසයා සුදුය.
-ගිරවාට පාට දෙකකි.
-මොණරාට පාට මහ ගොඩකි.
-කළු පාටට වඩා සුදුපාට ලස්සනය.
-සුදු පාටට වඩා පාට දෙකක් ලස්සනය.
-පාට දෙකකට වඩා පාට මහ ගොඩක් ලස්සනය.

අවුරුදු දහස් ගණනක් පුරා අපි කුරුල්ලන් ගැන ඔයාකාරයට හිතුවෙමු. පහතින් ඇත්තේ අවුරුදු දහස් ගණනක් පැරණි සංස්කෘත සුභාෂිතයක් හා එහි සිංහල තේරුමයි.

काकः कृष्णः पिकः कृष्णः को भेद पिककाकयोः
वसन्तसमये प्राप्ते काकः काकः पिकः पिकः

කපුටාත් කළුය කොවුලාත් කලුය.
එසේනම් කපුටාගේත් කොවුලාගේත් වෙනස කුමක්ද?
වසන්ත කාලය පැමිණි කළ,
කපුටාගේ කාකනාදයත් කොවුලාගේ කූජනයත් ඇසෙනු ඇත!

මෙතැනදීත් අපේ සිතීම මෙවැන්නකි.
-කපුටා කළුය.
-කොවුලාද කළුය.
-ඒ නිසා පෙනෙන හැටියට කපුටාගේත් කොවුලාගේත් වෙනසක් නැත.
-කපුටු හඬ අමිහිරිය.
-කොවුල් හඬ මිහිරිය.
-හඬේ වෙනසින් කපුටාත් කොවුලාත් වෙනස් බව දැනගත හැකිය.

(කපුටාගේත් කොවුලාගේත් වෙනසක් නොපෙනෙන්නේ කටවහගෙන ඉන්න තාක්කල් පමණි. අවශ්‍යනම්, වැඩක් කරන්නට අවස්ථාවක් ලැබෙන තුරු හෝ විපක්ෂයේ ඉන්න තාක්කල් කියන්නත් බැරිකමක් නැත.)

උත්තර අර්ධගෝලයේ රටවලට අද (මාර්තු 20) වසන්තය එළැඹේ. ලංකාවේනම් දැන් කපුටෝත්, කෝකිලයෝත් හවුලේ කුණු අහුලාගෙන කති. මගේ ආයතනයේ සේවකයින්ගෙන් විද්‍යුත් ලිපියක් මඟින් ඊයේ කාරුණිකව ඉල්ලා තිබුණේ ආයතන භූමිය පුරා නිදහසේ සැරිසරන පාත්තයින් කණ්ඩායම් වලට කෑම දීමෙන් වැළකෙන ලෙසය. ඒ පාත්තයින් පිලිබඳ වූ තරහකට නොවේ. පාත්තයින්ගේම හොඳටය.

මිනිස්සු බොහෝවිට පාත්තයින්ට දෙන්නේ උන් ස්වභාවික පරිසරයෙන් අහුලාගෙන කන කෑමම නොවේ. තමන් කන කෑමයි. මේ වැඩේ දිගටම කරන විට උන් මිනිස් කෑම වලට පුරුදු වෙති. උන්ගේ සිරුරු පරිණාමය වී ඇත්තේ මිනිස් ආහාර බුදීමට නොවන බැවින් මේ ආහාර නිසා පාත්තයෝ නොයෙක් රෝගාබාධ වලට ලක්වෙති. අර විද්‍යුත් ලිපියෙන් පාත්තයින්ට කෑම නොදමන ලෙස ඉල්ලා සිටියේ ඒ නිසාය. මිනිස්සු පාත්තයින්ට දමන්නේ තමන් කන "හොඳ කෑම" වුවත් අවසාන ප්‍රතිඵලය ලංකාවේ කුණු අහුලාගෙන කන කපුටන්ගේ හා කොවුලන්ගේ තත්ත්වයෙන් වෙනස් නැත. ඇත්තටමනම්, කුණු අහුලාගෙන කන කපුටන්ට හා කොවුලන්ට මීට වඩා තේරීමක් තිබේ.

අප බොහෝ විට සිතන්නේ අපේ දෑස් වලට ලස්සනට පෙනෙන, දෙසවනට මිහිරි නාද සේ ඇසෙන, දිවට රස අහර සේ දැනෙන සියළු දේ වෙනත් අයටත් එසේම පෙනෙන, ඇසෙන, දැනෙන බවයි. එහෙත්, ඇත්ත එය නොවේ.

(දෙවන කොටසක්ද ඇතත් තවමත් ලියා නැති බැවින් එය පළ කෙරෙන දිනය හරියටම කිව නොහැක.)

(Image: www.moralstories.org)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...