දිනය: 2016 පෙබරවාරි 11
වේලාව: පෙරවරු 10:35
ස්ථානය: ජාතික පුවත් සමාජය, හෝල්මන් ලෝන්ග්, 13වන මහල, 529 වයඹ 14 වන වීදිය, වොෂින්ටන් ඩීසී.
ශ්‍රී ලංකා වේලාව: පස්වරු 9:05
කථක: ෆ්‍රැන්සිස් කෝර්ඩෝවා (ජාතික විද්‍යා පදනමේ අධ්යක්ෂ)
"නෝනාවරුනි මහත්වරුනි, අපි ගුරුත්ව තරංග නිරීක්ෂනය කළා!!! අපි එය කළා!!!!!!!!!!!! "
වසර බිලියන 1.3කට පෙර, පෘථිවිය මත බහුසෛලික ජීවීන් ව්‍යාප්ත වීම යාන්තම් ඇරඹුණු අළුත, කළු කුහර දෙකක් එකිනෙක වෙත ආකර්ෂණය වී එක් කළු කුහරයක් බවට පත් විය. මෙයින් එක් කළු කුහරයක් සූර්යයා මෙන් 36 ගුණයක්ද අනෙක සූර්යයා මෙන් 29 ගුණයක්ද විශාල විය. එකිනෙක වෙත ආකර්ෂණය වූ මේ කළු කුහර දෙක ඔවුනොවුන් වටා ආලෝකයේ වේගයෙන් අඩක පමණ වේගයෙන් භ්‍රමණය වෙමින් වේගයෙන් ලං විය. අවසානයේදී මේ කළු කුහර දෙක කිලෝමීටර 210ක පමණ කුඩා ඉඩකඩක් තුළ, සූර්යයා මෙන් 62 ගුණයක ස්කන්ධයක් සහිත තනි කළු කුහරයක් බවට පත් වුනේ සූර්යයා මෙන් තෙගුණයක ස්කන්ධයක් ශක්තිය බවට පරිවර්තනය කරමිනි. මේ සිදුවීම නිසා ඇති වූ ගුරුත්ව තරංග වසර බිලියන 1.3කට පසු, පසුගිය සැප්තැම්බර් 14 දින ග්‍රිනිච් වේලාවෙන් උදේ 09:50:45ට පෘථිවිය වෙත ලඟා විය.
ඇල්බට් අයින්ස්ටයින් විසින් ගුරුත්ව තරංග පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ වසර සියයකට පෙර 1916දීය. එදාමෙදාතුර න්‍යායාත්මක පදනම මත ගුරුත්ව තරංග වල පැවැත්ම භෞතික විද්‍යාඥයින් විසින් විශ්වාස කළත්, කිසිවෙකු ගුරුත්ව තරංග නිරීක්ෂණය කර නොතිබුණේය.
පසුගිය සැප්තැම්බර් 14 වන දින ඇමරිකාවේ ලුසියානාහි වේලාවෙන් අළුයම 02:50ට ලුසියානා ප්‍රාන්තයේ ලිවින්ස්ටන්හි පිහිටි විද්‍යාගාරයක සිට අභ්‍යාවකාශය නිරීක්ෂනය කරමින් සිටි විද්‍යාඥයින් පිරිසකට සංඛ්‍යාතය 35ක් වූ 'අමුතු' සංඥාවකට සවන් දීමට හැකි විය. තත්පර 0.25ක පමණ කාලයකට පසු මේ ශබ්දයේ සංඛ්‍යාතය 250 පමණ දක්වා ක්‍රමයෙන් වැඩි වී නෑසී ගියේය.
මේ වන විට වොෂින්ටන් ප්‍රාන්තයේ වේලාව අළුයම 04:50 විය. තත්පර 0.007කට පසුව මේ සංඥාව සැතපුම් දෙදහසක් පමණ දුරින් වොෂින්ටන් ප්‍රාන්තයේ හැන්කොක්හි සිට අභ්‍යාවකාශය නිරීක්ෂණය කරමින් සිටි විද්‍යාඥ කණ්ඩායමකටද අසන්නට හැකි විය. ලිවින්ස්ටන් සිට හැන්කොක් දක්වා මේ දැනුණේ වසර බිලියන 1.3කට පෙර එකට ගැටුණු කළු කුහර දෙකේ කම්පනයයි.
මෙවැනි නිරීක්ෂණ හා අදාළව වැරදීම් සිදු වීමට ඕනෑ තරම් ඉඩ ඇති නිසා නිරවද්‍යතාවය හරියටම තහවුරු කරගන්නා තෙක් වැඩිපුර කෑගහන්නට මේ විද්‍යාඥ කණ්ඩායම් හදිස්සි වුනේ නැත. මාස හතරකට පසු දැන් ඔවුන් මේ ශබ්දය වසර බිලියන 1.3කට පෙර කළු කුහර ගැටීම නිසා ඇතිවුණු ගුරුත්ව තරංග හේතුවෙන් ඇති වූ හඬක් බව තහවුරු කරගෙන තිබේ. වැරදීමක් ඇති වීමට ඇති සම්භාවිතාව 203 000 කට එකක් පමණි.
මේ ඇරී ඇත්තේ විශ්වය දෙස බැලිය හැකි අළුත්ම අළුත් කවුළුවකි. මෙහි වටිනාකම තවම හරියටම හිතාගන්නත් නොහැකිය.
පහතින් ඇත්තේ වසර බිලියන 1.3ක අතීතයක් ඇති ඒ හඬයි.
(Image: )