වෙබ් ලිපිනය:

Showing posts with label වසංගතවේදය. Show all posts
Showing posts with label වසංගතවේදය. Show all posts

Thursday, April 23, 2020

කෝවිඩ් මරණ අනුපාතය


කෝවිඩ්-19 තර්ජනයට ලෝකයේ හැම රටක්ම මුහුණ දෙන්නේ බටහිර විද්‍යා දැනුම මත පදනම්වයි. ඒ දැනුම අසම්පූර්ණ එකක්. ඉතා පැහැදිලිවම රෝගය හඳුනා ගැනීම, රෝගීන් හඳුනා ගැනීම, රෝගය පැතිරීම වැළැක්වීම, මරණ වැළැක්වීම ආදී හැම දෙයක්ම  කෙරෙන්නේ විශාල අවිනිශ්චිතතා සමඟයි. එසේ වුවත්, මේ කරන දේවල් කිසිවක් අසාර්ථකයි කියා කියන්න බැහැ.ලෝකයේ බොහෝ රටවල් මේ වන විට මේ එක් එක් පියවර තුළ කවර ප්‍රමාණයකින් හෝ සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙනවා.

බටහිර විද්‍යා දැනුම පැත්තකට දමා කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දිය හැකි වෙනත් විකල්ප දැනුමක් අහලකවත් පෙනෙන්න නැහැ. එවැනි විකල්ප දැනුමක් තිබෙනවානම් මේ වෙලාවේ එවැනි දැනුමක් තිබෙන අය සද්ද වහගෙන ඉන්න හේතුවක් නැහැ. බටහිර විද්‍යාව අසරණ වෙලා කියා කෑගහන එකේ කිසියම් හෝ තේරුමක් තියෙන්නේ කිට්ටුවෙන් හෝ යන මොකක් හෝ විකල්පයක් තිබේනම් පමණයි. බටහිර දැනුමෙන්ම ගොඩ යන්න බලාගෙන ඉන්න ගමන් එම දැනුම විවේචනය කරන එකේ කිසිම තේරුමක් නැහැ.

කෝවිඩ්-19 සම්බන්ධව ලෝකයේ හැම රටක්ම වගේ එකඟ වන කරුණු රාශියක් තිබෙනවා. මේ රෝගය වෛරසයක් නිසා ඇති වන බව, එම වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන බව, වෛරසය ආසාදානය වන අයගෙන් වැඩි පිරිසකට ලොකු සංකූලතා ඇති නොවන බව, එහෙත් කිසියම් පිරිසක් මේ රෝගයෙන් මිය යන බව හා වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරීම සීමා වන විට වසංගතය පාලනය වන බව මේ විදිහට කවුරුත් එකඟ වන පොදු කරුණු. එහෙත්, වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරීම සීමා කිරීමේ (හෝ නොකිරීමේ) කටයුත්තේදී ලෝකයේ විවිධ රටවල් විවිධ ක්‍රමෝපායයන් අනුගමනය කරනවා

ස්වීඩනය වැනි රටක් පාසැල්, ක්‍රීඩාගාර, අවන්හල් ආදිය විවෘතව තබා ගෙන ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී තවත් ඇතැම් රටවල් සියළුම ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් දැඩි සේ පාලනය කර තිබෙනවා. රෝගයට හේතුවන වෛරසය එකම වුවත්, ආසාදනය වන මිනිසුන්ගේ සංස්කෘතිය හා සමාජ වටපිටාව සමාන නැති නිසා එක රටක් කරන දෙයක් දෙස බලා තවත් රටක් කරන දේ වැරදියි කියා කියන්න අමාරුයි. ඒ වගේම හේතු ගණනාවක් නිසා රට රටවල සංඛ්‍යාලේඛණ සංසන්දනය කරන එකත් ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්.

කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දෙන රටවල් අතරින් අයිස්ලන්තය සුවිශේෂී වන්නේ රටේ ජනගහණයෙන් වැඩිම ප්‍රතිශතයක් මේ වන විට පරීක්ෂාවට ලක් කර තිබෙන්නේ එරට නිසයි. මෙය ලියන මොහොත වන විට අයිස්ලන්තය විසින් අහඹු නියැදි කිහිපයක්ද ඇතුළුව එරට ජනගහණයෙන් 13%ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ වගේම, රටේ ජනගහණයෙන් 4.0%ක් කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට අයිස්ලන්තයේ කෝවිඩ්-19 පැතිරීම සෑහෙන දුරකට අවසන්ව තිබෙනවා. වැදගත්ම කරුණ අයිස්ලන්තයේ කෝවිඩ්-19 මරණ අනුපාතයයි. එම අනුපාතය තිබෙන්නේ 0.56% තරම් පහළ මට්ටමකයි. මෙය යුරෝපයේ බොහෝ රටවල පෙනෙන්නට තිබෙන මරණ අනුපාතයට වඩා බෙහෙවින්ම අඩුයි.

අයිස්ලන්තයට පසුව ජනගහණයෙන් වැඩිම ප්‍රතිශතයක් පරීක්ෂාවට ලක් කර තිබෙන රට එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. රටේ සියලුම පුරවැසියන් හා නේවාසිකයින්ව කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කිරීමේ ඉලක්කයක සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යය එරට ජනගහණයෙන් 8%ක්, එනම් 790,000 දෙනෙකු, මේ වන විට පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සංඛ්‍යාව අනුව බැලුවත් ඊට වඩා වැඩි පිරිසක් පරීක්ෂා කර තිබෙන්නේ තවත් රටවල් පහක් පමණයි. මේ වෙද්දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මරණ අනුපාතයද 0.59%ක් පමණයි.

ඇමරිකා එක්සත් ජනපදය මේ වෙද්දී මිලියන 4.2ක පිරිසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහෙත් මෙසේ පරීක්ෂාවට ලක් කර ඇති පිරිස ජනගහණයේ අහඹු නියැදියක් නෙමෙයි. බොහෝ විට ඇමරිකාවේදී කෝවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක් වන්නේ රෝග ලක්ෂණ ඇති අය පමණයි. ඒ නිසා, කෝවිඩ්-19 ආසාදනය වී රෝග ලක්ෂණ නොපෙන්වන විශාල පිරිසක් දැනට හඳුනාගෙන ඇති කෝවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවට ඇතුළත්ව නැහැ. ඒ ප්‍රමාණය කොපමණද කියා අප දන්නේ නැහැ.

මේ වන විට ඇමරිකාවෙන් හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් අතරින් මිය ගොස් ඇති ප්‍රතිශතය 5.6%ක් පමණ වෙනවා. මෙය අයිස්ලන්තයේ මෙන් දහ ගුණයක මරණ අනුපාතයක්. එහෙත්, මේ වන විට කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කර තිබෙන්නේ ඇමරිකාවේ ජනගහණයෙන් 1.3%ක් පමණයි. අයිස්ලන්තයේ මේ ප්‍රතිශතය ඇමරිකාවේ මෙන් 10 ගුණයක්.

ජර්මනියේ හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් අතරින් මිය ගොස් ඇති ප්‍රතිශතය 3.5%ක් පමණ වෙනවා. මෙය ඇමරිකාවට සාපේක්ෂව 1.6 ගුණයකින් අඩුයි. එහෙත් ජර්මනිය එරට ජනගහණයෙන් 2.1%කට ආසන්න ප්‍රතිශතයක් පරීක්ෂා කර තිබෙනවා. දෙරටේ පරීක්ෂා කර ඇති ප්‍රතිශත අතර අනුපාතයද 1.6ක්. ඇමරිකාවේ පරීක්ෂාවට ලක් වූ අය අතරින් ආසාදිතයින් 19.7%ක් හමු වී ඇතත් ජර්මනියේ  පරීක්ෂාවට ලක් වූ අය අතරින් හමු වී තිබෙන ආසාදිතයින් ප්‍රතිශතය 8.7%ක් පමණයි.

මේ දේවල් ඇසුරින් බරපතල හා නිශ්චිත නිගමන වලට එළැඹෙන්න බැහැ. එහෙත්, පෙනෙන්නට ඇති මරණ අනුපාතය සැබෑ අනුපාතයට වඩා බොහෝ වැඩි එකක් බව පෙනෙන්නට තිබෙනවා. ඇමරිකාවේ පරීක්ෂාවට ලක් වූ අයගෙන් පහෙන් එකක් පමණම ආසාදිතයින් වීමෙන් පෙනෙන්නේ ඇමරිකාවේදී පරීක්ෂාවට ලක් වන්නේ ආසාදිතයෙකු වීමට සැලකිය යුතු ඉඩක් තිබෙන අයෙකු පමණක් බවයි. ඇමරිකාවේ මරණ වලින් අඩක්ම වාර්තා වී තිබෙන නිවු යෝර්ක් හා නිවු ජර්සි ප්‍රාන්ත වල පරීක්ෂා කර ඇති අයගෙන් අඩක්ම කෝවිඩ්-19 ආසාදිතයින්.

ඇමරිකාවට සාපේක්ෂව බැලූ විට ජර්මනියේදී අඩු අවදානමක් ඇති අයද පරීක්ෂාවට ලක්වන නිසා වැඩි ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනෙනවා. අයිස්ලන්තයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින කෝවිඩ්-19 ආසාදිතයෙකු පරීක්ෂාවට ලක් වෙන්න තිබෙන ඉඩකඩ ජර්මනියට සාපේක්ෂව වුවත් කිහිප ගුණයකින් වැඩියි.

අවදානම අඩු පිරිස්ද වැඩි වැඩියෙන් පරීක්ෂා කරන තරමට හඳුනා ගැනෙන ආසාදිතයින් ප්‍රමාණය ඉහළ ගොස් මරණ අනුපාතය පහළ යනවා. නමුත්, එය කෝවිඩ්-19 මරණ අනුපාතය ලෙස පෙනෙන අගය තීරණය කරන එක් සාධකයක් පමණයි. ඒ නිසා,  කෝවිඩ්-19 මරණ අනුපාත සංසන්දනය කිරීම ඉතා අසීරු කටයුත්තක්.

Sunday, April 19, 2020

බටහිර අසරණ වීම


පසුගිය කාලයේ ඇතැම් අය නිතර කියූ කතාවක් වුනේ කෝවිඩ්-19 හමුවේ බටහිර අසරණ වී ඇති බවයි. සමහර අය දැකපු විදිහට බටහිර රටවල් අසරණ වෙලා. සමහර අය දැකපු විදිහට බටහිර විද්‍යාව අසරණ වෙලා. සමහර අය දැකපු විදිහට බටහිර ආර්ථික ක්‍රමය බිඳ වැටිලා. තවත් සමහර අයට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අසාර්ථක බව පැහැදිලි වෙලා. ඔය උප කුලක වලින් එකක සිටි ගොඩක් අය තවත් උප කුලක එකක හෝ කිහිපයකත් ඉන්නවා. එහෙම නැති අයත් ඉන්නවා.

බටහිර රටවල් ගැන, විශේෂයෙන්ම ඇමරිකාව ගැන, ලිපි කිහිපයකින්ම කතා කරලා තිබෙන නිසා බටහිර විද්‍යාව කියන කරුණට එමු. මෙහිදී බටහිර විද්‍යාව කියා කියන්නේ ලංකාවේ මේ වන විට බොහෝ දෙනෙක් එම යෙදුම යොදන අර්ථයෙන්. මේ කණ්ඩායම විසින් අවධාරණය කරන ප්‍රධාන කරුණක් වන්නේ බටහිර විද්‍යාව නොවන වෙනත් දැනුම් පද්ධති තිබෙන බවයි. මේ කරුණ හා අදාළව මගේ ප්‍රතිවිරෝධයක් නැහැ.

බටහිර විද්‍යාව කියා කියන්නේ තනි දැනුම් පද්ධතියක් හෝ නොවෙනස් වන දැනුම් පද්ධතියක් නෙමෙයි. ඒ වගේම පැහැදිලි ඉරක් ඇඳ වෙනත් දැනුම් පද්ධති වලින් නිශ්චිත ලෙස වෙන් කළ හැකි දැනුම් පද්ධතියකුත් නෙමෙයි. එසේ වුවත්, වෙනත් දැනුම් පද්ධති වල ඇති ඇතැම් සංකල්ප ප්‍රායෝගිකව බටහිර විද්‍යාව සමඟ ගලපන්න බැහැ. උදාහරණයක් විදිහට කිසියම් නොපෙනෙන දෙවි කෙනෙකු හරහා දැනුම ලබා ගැනීම බටහිර විද්‍යාවේ විධික්‍රමයක් නෙමෙයි. එය වෙනත් දැනුම් පද්ධති වල විධික්‍රමයක්.

අසරණ වීම කියන වචනයේ තේරුම ගත්තොත් එය වඩා ගැලපෙන්නේ දෙවි කෙනෙකු හරහා දැනුම ලබා ගැනීම මූලික විධික්‍රමය සේ සලකන දැනුම් පද්ධතියකටයි. දැනුමේ සම්භවය මේ දෙවියා නිසා දෙවියා පිටු පෑවොත්, දෙවියාව සම්බන්ධ කරගන්න බැරි වුනොත්, එහෙමත් නැත්නම් දෙවියාත් අසරණ වෙලානම් දැනුම් පද්ධතිය පහසුවෙන්ම බිඳ වැටෙනවා.

බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කිරීම කියන කරුණේදී මේ අසරණ වීම මේ ආකාරයෙන් සිදු වෙන්න ඉඩක් නැහැ. එහෙත්, වෙනත් අය නිර්මාණය කරන බටහිර විද්‍යා දැනුම තමන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගන්න බලාගෙන ඉන්න අය හා සම්බන්ධව මේ යෙදුමේ යම් තේරුමක් තිබෙනවා. දැනුම අලුතින් නිර්මාණය කරන අයට ඒ වැඩේ කරගන්න බැරි වුනොත්, එහෙමත් නැත්නම් ඒ අය සතු දැනුම වෙනත් අය වෙත සම්ප්‍රේෂණය නොවුනොත් ධුරාවලියේ පහළ ඉන්න අය අසරණ වෙන්න පුළුවන්. ඒ අතින් බැලුවොත්නම් දෙවියන්ගෙන් දැනුම ලබා ගන්න බලා ඉන්න අයගේ ප්‍රශ්නයම මෙහිත් තිබෙනවා.

බටහිර විද්‍යාවත් වෙනත් දැනුම් පද්ධති වගේම යම් මූලික විශ්වාස මත පදනම් වූ එකක් තමයි. ඒ නිසා, ඒ කරුණ මත පදනම්ව බටහිර විද්‍යාව වෙනත් දැනුම් පද්ධති වලින් වෙන් කරන්න බැහැ. ඒ වගේම, විධික්‍රමයක් ලෙස දෙවියන්ගෙන් දැනුම ලබා ගත හැකි බව කවුරු හෝ කියනවානම් එය නිශ්චිත ලෙස ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවකුත් අපට නැහැ. එහෙමනම් මේ හැම දැනුම් පද්ධතියකටම සමාන තැනක් හිමි විය යුතුද?

බටහිර විද්‍යාවට තිබෙන විවේචනයක් වන්නේ එය අනෙකුත් දැනුම් පද්ධති අතර ආධිපත්‍යයක් උසුලන බවයි. මේ පිළිබඳවත් මගේ කිසිදු ප්‍රතිවිරෝධයක් නැහැ. එහෙත්, මේ කතාව කියන බොහෝ දෙනෙක් සමඟ මා එකඟ නොවන තැනක් තිබෙනවා. ඒ බටහිර විද්‍යාව ආධිපත්‍යයක් උසුලන්නේ ඇයි කියන තැනේදී. මම දකින විදිහටනම් මෙය ස්වභාවිකව සිදුව ඇති දෙයක්. බටහිර විද්‍යාවේ අඩුපාඩු කොයි තරම් තිබුණත් වෙනත් කිසිදු දැනුම් පද්ධතියක් බටහිර විද්‍යාව සමඟ තරඟ කළ හැකි මට්ටමක නැහැ.

සමහර අයට සමහර විට දෙවියන්ගෙන් දැනුම ලබා ගන්න පුළුවන් කමක් ඇති. එහෙත්, එක්කෝ ඒ අයට සන්නිවේදන සීමාවන් තිබෙනවා. එහෙම නැත්නම් ඔය දැනුම ලබා දෙන දෙවියන්ටත් ඒ තරම් ලොකු දැනුමක් නැහැ. සෛද්ධාන්තිකව දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමේ හැකියාවක් තිබෙන්න පුළුවන් වුනත්, ඒ විදිහට ලබා ගන්නා දැනුමක් බටහිර විද්‍යාව වෙනුවට යොදා ගත හැකි ප්‍රායෝගික විකල්පයක් සේ සලකන්න කිසිදු හේතුවක් පෙනෙන්නේ නැහැ. වෙනත් සියලු සම්ප්‍රදායික දැනුම් පද්ධති වලටත් මෙය අදාළයි.

දැන් අපි කෝවිඩ්-19 කියන නිශ්චිත කරුණට එමු. කෝවිඩ්-19 කියා කියන්නේම බටහිර දැනුම් පද්ධතිය තුළ හැදුනු සංකල්පයක්. වෙනත් දැනුම් පද්ධතියක් තුළ කෝවිඩ්-19 ගැන කතා කරනවානම් එය අනිවාර්යයෙන්ම එය බටහිර දැනුම් පද්ධතියේ කර උඩ යාමක් (piggybacking).

දැනට වසර 250කට පෙර බටහිර රටවල මේ රෝගය මේ ආකාරයටම පැතිරුණානම් මෙය වෛරස් රෝගයක් ලෙස හඳුනා ගැනෙන්නේ නැහැ. එසේනම්, බොහෝ දෙනෙකු විසින් නිරීක්ෂණය කළ හැකිව තිබුණේ හුස්ම ගැනීම අසීරු වී බොහෝ දෙනෙකු මිය යන බවයි. එයට හේතුව දෙවි කෙනෙකු කෝප වීම කියා හිතා ප්‍රතිකාර ලෙස විවිධ පුද පූජා පැවැත්වීමත් සුලබව සිදු විය හැකිව තිබුණා.

බටහිර විද්‍යාව තුළ මුලින් රෝග පතුරුවන විෂබීජ පිළිබඳ දැනුමත්, පසුව වයිරස් පිළිබඳ දැනුමත්, ඊටත් පසුව සාර්ස් වෛරසය පිළිබඳ දැනුමත් වැඩි දියුණු වුණා. කෝවිඩ්-19 නම් වූ රෝගයක් හඳුනා ගැනෙන්නේ මේ දැනුම මත පදනම්වයි. මෙහිදී අදාළ රෝගය පතුරුවන නිශ්චිත වෛරසයක් හඳුනා ගැනෙනවා. නිශ්චිත කියා කීවත් රෝගය පතුරුවන වෛරස සියල්ලම එකිනෙකට හරියටම සමාන නැහැ. නිශ්චිත කියා කියන්නේ මේ වෛරස වල දැකිය හැකි පොදු ගුණ කාණ්ඩයකටයි.

කෝවිඩ්-19 පතුරුවන SARS-CoV2 ලෙස හඳුන්වන වෛරසය කියන්නේ බටහිර විද්‍යාවේ අර්ථදැක්වීමක්. එය මීට පෙර සාර්ස් රෝගයට හේතු වූ SARS-CoV වෛරසයට සැහෙන තරමකින් සමානයි. ඒ නිසා, SARS-CoV2 වෛරසය අර්ථදක්වා තිබෙන්නේ එම වෛරස වලට පොදු, එහෙත් SARS-CoV වැනි වෙනත් වෛරස වල දැකිය නොහැකි පොදු ගුණ ආශ්‍රයෙනුයි. කෝවිඩ්-19 ආසාදිතයෙක් කියා කියන්නේ මේ SARS-CoV2 වෛරසය ශරීරගත වූ අයෙක්. එහෙත්, SARS-CoV2 වෛරසය ශරීරගත වූ ඇතැම් අයට කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවෙන්න පුළුවන්. කෝවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුන්වන කුලකයට එවැනි අයත් ඇතුළත්.

බටහිර විද්‍යාවේ කෝවිඩ්-19 ආසාදිතයෙකු හඳුනා ගැනෙන්නේ මේ අර්ථදැක්වීම මත පදනම්වයි. ඒ අනුව, මේ වන විට බොහෝ දෙනෙක් දන්නා පීසීආර් පරීක්ෂණයකින් කරන්නේ කිසියම් පුද්ගලයෙකුගේ උගුරෙන් හා/හෝ නාසයෙන් ලබාගන්නා ජීව ද්‍රව්‍ය සාම්පලයක SARS-CoV2 වෛරස යම් අවම ප්‍රමාණයක් තිබේදැයි හඳුනාගත හැකිද කියා පරීක්ෂා කිරීමයි. එම පරීක්ෂණයකින් කෝවිඩ්-19 ආසාදිතයෙකු යම් නිරවද්‍යතාවයක් සහිතව හඳුනාගත හැකියි. එහෙත්, පරීක්ෂණ ප්‍රතිඵල හැම විටම නිවැරදි නැහැ.

මේ විදිහට පීසීආර් පරීක්ෂණයකින් රෝගීන් හඳුනා ගැනීමේ අරමුණ කුමක්ද? රෝගියෙකු හඳුනා ගත්තා කියා කළ හැකි නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් නැහැ. එහෙත්, පීසීආර් පරීක්ෂණයකින් හඳුනා ගැනෙන ඇතැම් රෝගීන් මිය යාමට ඇති ඉඩකඩ අඩු කර ගන්න පුළුවන්. ඔවුන්ට ඇති විය හැකි අනෙකුත් සංකූලතා අඩු කර ගන්නත් පුළුවන්.

කෝවිඩ්-19 ආසාදිතයෙකු සුව වන්නේ සිරුරේ හැදෙන ස්වභාවික ප්‍රතිශක්තියෙන්. වෛරසය ශරීරගත වූ ඇතැම් අය සුව වන තුරුම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ප්‍රතිදේහ පරීක්ෂාවකින් මෙවැනි අය හඳුනාගත හැකියි. කැලිෆෝර්නියාවේ සිදු කර තිබෙන එක් පරීක්ෂණයකට අනුව හඳුනාගත් සෑම කෝවිඩ්-19 ආසාදිතයෙකුටම හඳුනා නොගත් 50-85 අතර ප්‍රමාණයක් ඉන්නවා. මේ ප්‍රතිඵලය විවාදිත එකක් වුවත් එවැනි සෑහෙන පිරිසක් සිටින්නට ඉඩ තිබෙනවා.

කෝවිඩ්-19 මර්දනය සඳහා බටහිර විද්‍යාවේ ක්‍රමවේදය වන්නේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමට තිබෙන ඉඩකඩ අඩු කිරීමයි. ලංකාව, චීනය, ස්වීඩනය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, අයිස්ලන්තය, දකුණු කොරියාව වැනි ලෝකයේ විවිධ රටවල් වෛරසය සම්ප්‍රේෂණය වීම පාලනය කිරීමට එකම උපක්‍රම භාවිතා නොකළත් මේ හැම රටක්ම විශ්වාසය තබා තිබෙන්නේ බටහිර දැනුම මතයි. SARS-CoV2 වෛරසය ශරීරයට ඇතුළු වීම නිසා කෝවිඩ්-19 රෝගය ඇති වන බවත්, SARS-CoV2 වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙන බවත්, SARS-CoV2 වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරීම පාලනය කිරීම මගින් රෝගය පාලනය කළ හැකි බවත් මේ හැම රටක්ම විශ්වාස කරනවා. ඒ වගේම පීසීආර් පරීක්ෂණ මගින් වෛරසය ආසාදනය වී තිබෙන බොහෝ දෙනෙකු හඳුනාගත හැකි බවත් විශ්වාස කරනවා. මේ සියල්ල සිදු වන්නේ බටහිර විද්‍යාවේ දැනුම් පද්ධතිය තුළයි.

කෝවිඩ්-19 කියා කියන්නේ වෙනත් විකල්ප දැනුම් පද්ධති වලට එම දැනුම් පද්ධති වලින් කළ හැකි දේ පෙන්වීමට මගඟු අවස්ථාවක්. එය කරන අයෙක් තමන් කොයි තරම් දුරකට බටහිර විද්‍යාවෙන් ස්වායත්තද කියන එක පැහැදිලිව කිව යුතුයි. බටහිර විද්‍යාවේ දැනුමක් වෙනත් දැනුම් පද්ධතියක යොදා ගැනීමේ වරදක් නැහැ. එහෙත්, බටහිර විද්‍යාව සමඟ එකට යන්නේත් වෙන්ව යන්නේත් කොයි තැන් වලදීද කියා කිව යුතුයි.

පළමු ප්‍රශ්නය වන්නේ යොදා ගන්නා කවර හෝ දැනුම් පද්ධතිය විසින් කෝවිඩ්-19 නම් වූ SARS-CoV2 වෛරසය හරහා බෝවෙන ලෙඩක් තිබෙන බව පිළිගන්නේද යන්නයි. එසේ නැත්නම් ඔවුන් මේ රෝගය අර්ථ දක්වන ආකාරය පැහැදිලිව සඳහන් කළ යුතුයි. දෙවන ප්‍රශ්නය කෝවිඩ්-19 නම් වූ SARS-CoV2 වෛරසය හරහා පැතිරෙන රෝගය හෝ වෙනත් හේතුවක් නිසා හැදෙන වෙනත් රෝගය හඳුනාගන්නා නිර්ණායකය කුමක්ද කියන එකයි. ප්‍රතිකාර ප්‍රශ්නය තෙවන ප්‍රශ්නයයි.

තවමත් දිනපතා ලංකාවෙන් කෝවිඩ්-19 රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගැනෙනවා. එසේ හඳුනා ගැනෙන්නේ පීසීආර් පරීක්ෂණ වලින්. මේ පරීක්ෂණ 100%ක් නිවැරදි නැහැ.

දැන් ලංකාවේ බොහෝ රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින්. කිසියම් අයෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන්නේ බුද්ධි අංශ ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් කරන පරීක්ෂාවන් හරහා. මේ පරීක්ෂාවන් සෑහෙන තරම් නිවැරදියි. කෝවිඩ්-19 ආසාදිතයින් විය හැකි බොහෝ දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමු වෙන්නේ ඒ නිසයි.

මේ නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින අය අතරින් සැබෑ කෝවිඩ්-19 ආසාදිතයින්, එසේ නැත්නම් වෙනත් අයුරකින් අර්ථ දක්වන ආසාදිතයින්, කලින් හඳුනාගත හැකි විකල්ප දැනුමක් තියෙනවද? අදාළ පුද්ගලයින්ගේ නාඩි පරීක්ෂා කර, කේන්ද්‍ර පරීක්ෂා කර හෝ කිසියම් දෙවි කෙනෙකුගෙන් විමසා මෙය කළ හැකිද?

කරන්න තියෙන්නේ ඉතා සරල දෙයක්. නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින අඩු වශයෙන් 1000ක පමණ පිරිසකගේ කවර හෝ දෙයක් පරීක්ෂා කර ඔවුන් ආසාදිතයින් හා නිර්-ආසාදිතයින් ලෙස වර්ග කිරීමයි. ප්‍රතිඵල 100%ක් නිවැරදි විය යුතු නැහැ. යම් තරමක සාර්ථකත්වයකින් හෝ මෙය කළ හැකිනම් සාමාන්‍ය පුද්ගලයින් අතර සිටින ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා එම ක්‍රමය යොදාගත හැකියිනේ.

දැන් ලංකාවේ පවතින වාතාවරණය තුළ ඔය වගේ වැඩක් කරන්න ඉදිරිපත් වෙන කෙනෙකුට අවස්ථාවක් නොලැබෙන්න හේතුවක් නැහැ.

Saturday, April 18, 2020

චීන සංඛ්‍යාලේඛණ හා බටහිර කණ්ණාඩි

වුහාන් වල කෝවිඩ්-19 මරණ ප්‍රමාණය ඊයේ (අප්‍රේල් 17) එක වරම 50%කින් ඉහළ ගියා. ඒ අලුතින් මරණ සිදු වූ නිසා නෙමෙයි. චීනය විසින් කලින් ප්‍රකාශයට පත් කර තිබුණු සංඛ්‍යාලේඛණ හදිසියේම සංශෝධනය කළ නිසයි. මේ අනුව වුහාන්හි කලින් මරණ ගණන වූ 2,579ට තවත් මරණ 1,290ක් එකතු වී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් විසින් කෝවිඩ්-19 හා අදාළ තොරතුරු සැඟවූ බවට චීනයට හා ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කිරීමෙන් පසුව මේ සංශෝධනය සිදු වීම අහම්බයක් නොවෙන්න පුළුවන්.


මේ සමඟ චීනයේ  කෝවිඩ්-19 මරණ අනුපාතය 4.0 සිට 5.6% දක්වා ඉහළ ගියා. එහෙත්, යුරෝපයේ රටවල් ගණනාවකම මරණ අනුපාතය මීටත් වඩා වැඩියි. ඉතාලියේ කෝවිඩ්-19 ආසාදිතයින්ගෙන් 13.2%ක්ද, ප්‍රංශයේ 12.6%ක්ද, එක්සත් රාජධානියේ 13.4%ක්ද, බෙල්ජියමේ 19.8%ක්ද, ස්පාඤ්ඤයේ 10.5ක්ද මෙය ලියන මොහොත වන විට මිය ගිහින්. ආසාදිතයින් වැඩිම රටවල් දහය අතර සිටින ඉරානයේ මරණ අනුපාතය 6.2%ක්ද, තුර්කියේ 2.3%ක්ද, ජර්මනියේ 3.1%ක්ද, ඇමරිකා එක්සත් ජනපදයේ 5.2%ක්ද වෙනවා. ඇමරිකාවේ මරණ අනුපාතය ඉදිරියේදී මීට වඩා වැඩි වෙන්න ඉඩ තිබෙනවා. චීනයේ හැර අනෙක් හැම රටකම මරණ අනුපාත පහළ යන්න තිබෙන ඉඩට වඩා ඉහළ යන්න තිබෙන ඉඩ වැඩියි.

කොහොම වුනත් මේ වෙද්දී ලැයිස්තුවේ උඩින්ම ඉන්න හැම රටකම වගේ කෝවිඩ්-19 පැතිරීම පාලනය වී තිබෙනවා. මේ වෙද්දී වේගයෙන්ම කෝවිඩ්-19 පැතිරෙන ජනගහණය වැඩි රටවල් වන්නේ රුසියාව, බ්‍රසීලය හා ඉන්දියාවයි.

ඇමරිකාව, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් මේ වෙද්දී ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම ගැන කතා කරමින් ඉන්නවා. ජර්මනියේ වසංගත චක්‍රය පහළට නැඹුරු වී මේ වන විට සති දෙකකට කිට්ටු වුනත් ඇමරිකාවේ එය සිදු වුනා පමණයි. වසංගත චක්‍රය පහළට නැඹුරු වීමෙන් මුළු ආසාදිතයින් ප්‍රමාණය අඩුවන බවක් අදහස් වන්නේ නැහැ. අඩු වන්නේ ආසාදිතයින් වැඩි වන වේගය පමණයි. මෙය සමාන කළ හැක්කේ උද්ධමනය අඩු වුනත් බඩු මිල ඉහළ යාමටයි. වාහනයක වේගය අඩු වුනත් වාහනය ඉදිරියට යනවා.

කොහොම වුනත් මේ කොයි රටේත් වසංගත චක්‍ර පහළට නැඹුරු වී තිබෙන්නේ සාමූහික ප්‍රතිශක්තිය ලැබීම නිසා ස්වභාවිකව නෙමෙයි. පැතිරීම පාලනය කිරීම සඳහා ගත් විවිධ උපාය මාර්ග නිසයි. ඒ ක්‍රියාමාර්ග ලිහිල් කළ වහාම රෝගය පැතිරීම නැවතත් ඉහළ යාමට ඉඩ තිබෙන බව ඉතා පැහැදිලියි. ඒ නිසා, නැවත ආර්ථික කටයුතු ආරම්භ කළ යුත්තේ සැලසුම් සහගත ලෙස ටිකෙන් ටිකයි.

ලංකාවේ දැන් පවතින තත්ත්වය ගැන ඇතැම් අයගේ අදහස වන්නේ එය රබර් බෝලයක් දියේ ඔබා ගෙන සිටීමක් බවයි. මේ කතාව නිවැරදියි. ඒ වගේම ඇමරිකාව, ජර්මනිය ඇතුළු අනෙක් හැම රටක් හා අදාළවත් ඒ කතාව නිවැරදියි. තෙරපුම අඩු කරන විට මේ රබර් බෝල ටිකෙන් ටික උඩට එයි. එහෙත්, රෝගය පාලනය කර ගැනීම පිළිබඳ අත්දැකීම් දැන් හැම රටකටම වගේ තිබෙන නිසා බෝලය ඕනෑවට වඩා උඩට එන්න පෙර නැවත යටට ඔබා ගන්න අසීරු වෙන එකක් නැහැ. එන්නතක් හෝ ප්‍රතිකාරයක් වැඩි දියුණු වන තුරු කාට කාටත් ඔය සෙල්ලම දිගටම කරන්න වෙයි.

කෝවිඩ්-19 පාලනයේදී චීනය හැර ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් මුළුමනින්ම සාර්ථක නැහැ. චීනයත් සාර්ථකයි කියා කියන්න පුළුවන් වෙන්නේ චීනය ප්‍රසිද්ධ කරන තොරතුරු හා සංඛ්‍යාලේඛණ නිවැරදියි කියන පදනමින් පමණයි. එහෙත්, චීන සංඛ්‍යාලේඛණ සැක කරන්න හේතු රැසක් තිබෙනවා.

As of 20 February, 2114 of the 55,924 laboratory confirmed cases have died (crude fatality ratio [CFR] 3.8%) (note: at least some of whom were identified using a case definition that included pulmonary disease). The overall CFR varies by location and intensity of transmission (i.e. 5.8% in Wuhan vs. 0.7% in other areas in China). In China, the overall CFR was higher in the early stages of the outbreak (17.3% for cases with symptom onset from 1-10 January) and has reduced over time to 0.7% for patients with symptom onset after 1 February (Figure 4). The Joint Mission noted that the standard of care has evolved over the course of the outbreak.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනය හා ඒකාබද්ධව ජාත්‍යන්තර විශේෂඥයින් ගණනාවකගේද දායකත්වය ලබාගනිමින්  කෝවිඩ්-19 සම්බන්ධව ලෝකයේ අනෙකුත් රටවල් දැනුවත් කරමින් හා එම රටවලට මාර්ගෝපදේශ සපයමින් පෙබරවාරි තෙවන සතියේදී ප්‍රකාශයට පත් කළ වාර්තාවකට අනුව චීනයේ හුබෙයි පළාතෙන් පිටත දළ මරණ අනුපාතය පැවතුනේ 0.7% මට්ටමේ. එහෙත්, වුහාන්හි එම අනුපාතය 5.8% මට්ටමේ පැවතුණා.


වසංගතය පැතිරෙන අවදියේදී දළ මරණ අනුපාතය නියම මරණ අනුපාතයට වඩා වැඩියෙන් පෙනෙන බව මේ වාර්තාවේ අවධාරණය කර තිබුණු අතර එයට හේතු පැහැදිලි කිරීමක්ද කර තිබුණා. රෝගය ආරම්භයේදී ප්‍රතිකාර ක්‍රම පිළිබඳ දැනුමක් හා පළපුරුද්දක් නොතිබුණත් කල් යාමේදී රෝගය පිළිබඳව වඩා හොඳින් තේරුම් ගැනීමෙන් පසු මරණ අනුපාතය අඩු වූ බව මේ පැහැදිලි කිරීමයි. ජනවාරි මුදලදී දළ මරණ අනුපාතය 17.3% මට්ටමේ තිබුණත්, ඒ වන විට අලුතෙන් හඳුනා ගන්නා අලුත් රෝගීන් හා අදාළව මේ අනුපාතය 0.7%ක් පමණක් බව වාර්තාවේ සඳහන් වුනා.

දළ මරණ අනුපාතය කාලයත් සමඟ අඩු වූ ආකාරයත්, වුහාන් වලින් පිටතදී අඩු මට්ටමක පැවතීමත් අවධාරණය කරමින් චීනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව පෙන්වා දුන්නේ කෝවිඩ්-19 මරණ අනුපාතය 0.7%කට වඩා වැඩි විය නොහැකි බවයි.


(Image: https://covid-19.chinadaily.com.cn/a/202003/24/WS5e793868a3101282172815f4.html)

ඉහත වාර්තාව පිළියෙල කල කණ්ඩායමේ ප්‍රධානීන් දෙදෙනාගෙන් එක් අයෙක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ්‍ය ජනරාල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය බ්රූස් ඒල්වර්ඩ් විසින් පෙබරවාරි 25 දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදීද  ඔහු ඉහත කරුණු සඳහන් කළා.

BA: Oh yes, Wuhan’s higher mortality rate; so there are a couple of things that probably contribute to that. One is... Well, three things would contribute to the difference that we see. 

The first is it happened at a different time; Wuhan started fast and early. People didn’t know what we were dealing with, we were learning how to treat this, and remember they’d been through six different treatment guidelines. So some of that high mortality you’re seeing is the first couple of treatment guidelines when we were learning how to do this. 

The second thing was just the sheer scale of the numbers, and this is specialised care. So that could have been a challenge. But the third thing, and this goes back to the point that Helen was making, that at the beginning of this outbreak, remember people were finding severe disease and that’s why the alarm bells went off.

කෙසේ වුවත්, වඩා වැදගත් වන්නේ මිය යන මිනිසුන් ගණන මිස මරණ අනුපාතය නොවන බව අවධාරණය කරන්නට බ්රූස් ඒල්වර්ඩ් අමතක කළේ නැහැ.

But one important thing I want to highlight, folks, is I’ve heard it say the mortality rate is not so bad because there are actually way more mild cases. Sorry, the same number of people that were dying still die, and if that was a problem and a concern, that is still a big problem and a concern.

So we have to be careful how we interpret these numbers sometimes.

චීනයේ තොරතුරු නිදහසේ රටින් එළියට නොඑන බව කවුරුත් දන්නා කරුණක්. එහෙත්, චීනය විසින් කෙතරම් දුරකට කෝවිඩ්-19 හා අදාළ තොරතුරු හිතාමතා වසං කළාද කියා මම දන්නේ නැහැ. රෝගය පැතුරුණු මුල් කාලයේ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ නිවැරදි නොවෙන්න වෙනත් හේතු ඕනෑ තරම් තියෙනවා.

වුහාන් වල කෝවිඩ්-19 පැතිරෙන කොට ඒ පිළිබඳව ඇමරිකාවේ පොදු මතය වුනේ එහි සැබෑ තත්ත්වය මීට වඩා ගොඩක් නරක බවයි. බොහෝ විට මේ තොරතුරු පැතිරුණේ ඇමරිකාවේ ජීවත්වන චීන සංක්‍රමිකයින් හරහා. මා සේවය සඳහා යන එන අතර දේශපාලන හා සමාජ ආර්ථික කරුණු සාකච්ඡා කෙරෙන එෆ්එම් රේඩියෝ චැනලයකට සවන් දෙනවා. පෙබරවාරි මාසය ආසන්නයේ චීනයේ සංචාරය කළ හා එහි තමන්ගේ පවුලේ සාමාජිකයින් ජීවත් වන බව පැවසූ චීන නම් තිබුණු අය මේ චැනලය හරහා අදහස් දැක්වීම ඒ දවස් වල සුලබ සිදුවීමක්. මේ ඇතැම් අයගේ "විශේෂඥ මතය" වුනේ චීනයේ කෝවිඩ්-19 පැතිරී ඇති ප්‍රමාණය නිල සංඛ්‍යාලේඛණ වල ඇති ගණනට වඩා කිහිප ගුණයකින් වැඩි බවයි. ඇතැම් අයට මේ "කිහිප ගුණය" තිස් ගුණයක්. තවත් අයට සිය ගුණයක්.

අපි පෙර කී ලෝක බැංකු වාර්තාවට ගියොත්, එයින් දළ වශයෙන් අදහස් වන්නේ කෝවිඩ්-19 මරණ ප්‍රමාණය 0.7% මට්ටමේ තබා ගැනීම අපහසු නොවන බවයි. රෝගය ගැන වූ අනවබෝධය නිසා හා පහසුකම් සීමාවන් ඉක්මවා යාම නිසා වුහාන් වල මෙන් 5.8% පමණ මට්ටමකට මරණ අනුපාතය ඉහළ යා හැකි බවද එයින් අදහස් වෙනවා. මා හිතන විදිහට ඇමරිකාවේ උපාය මාර්ගික සැලසුම් සකස් වුනේ මේ දැනුම මත පදනම්වයි. ඇමරිකාව මුල සිටම උත්සාහ කළේ සෞඛ්‍ය පද්ධතියේ සීමාවන් නිසා සිදු වන මරණ අඩු කර ගන්නයි. චීනයට වඩා හොඳ සෞඛ්‍ය පහසුකම් තිබෙන (හෝ එසේ සිතා සිටින) බටහිර රටවල මරණ අනුපාතය චීනයේ තරමටම එනම් 0.7% මට්ටමට හෝ ඉහළ නොයනු ඇතැයි විශ්වාශයක් පොදුවේ බටහිර රටවලට තිබෙන්න ඇති.

එක්සත් රාජධානියෙන් මුලදී මතු වූ සාමූහික ප්‍රතිශක්තිය පිළිබඳ අදහස ගැනත් යමක් කතා කළ යුතුයි. සාමූහික ප්‍රතිශක්තිය මත ප්‍රශ්නය අවසන් වන තුරු කිසිවක් නොකර සිටීම කිසි විටෙකත් ඇමරිකාවේ උපාය මාර්ගය වුනේ නැහැ. එහෙත්, සැලසුම් සකස් කිරීමේදී මේ සාමූහික ප්‍රතිශක්තිය කියන කරුණද සලකා බැලුනා. දැන් රට නැවත විවෘත කිරීමේ සාකච්ඡාව තුළද එම කරුණ සාකච්ඡා වෙනවා.

කෝවිඩ්-19 සඳහා සාමූහික ප්‍රතිශක්තිය ඇති වීමට ආසාදනය විය යුතු ජනගහණ ප්‍රතිශතය කිසිවෙකු හරියටම දන්නේ නැතත් අපට දළ අදහසක් තිබෙනවා. අපි මේ ප්‍රතිශතය පිළිබඳ ඇස්තමේන්තුවක් ලෙස 70% ගනිමු. ඒ වගේම මරණ අනුපාතය චීනයේ වුහාන් වලින් පිටත මරණ අනුපාතය ලෙස දැන සිටි 0.7% ලෙස සලකමු. එසේ වුවහොත්, ස්වභාවික ප්‍රතිශක්තිය ඇති වන විට ජනගහණයෙන් 0.5%ක් පමණ මිය යනවා. ප්‍රමාණාත්මකව ඇමරිකානු ජනගහණයෙන් 0.5%ක් කියා කියන්නේ මිලියන 1.65ක  පමණ පිරිසක්. එය ඇමරිකාවට දරා ගත නොහැකි, විශාල සමාජ කම්පනයක් ඇති කළ හැකි මරණ ප්‍රමාණයක්. එවන් තත්ත්වයක් ඇමරිකන් දේශපාලනඥයින් විසින් හෝ අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් බැරෑරුම් ලෙස නොසලකන්න කිසිදු හේතුවක් නැහැ.

නමුත්, පොදු වශයෙන් ඇමරිකාවේ මතය වුනේ චීනයේ හඳුනා නොගත් කෝවිඩ්-19 ආසාදිතයින් තවත් විශාල ප්‍රමාණයක් සිටි බවයි. අපි හිතමු චීනය විසින් හඳුනාගත්තේ සැබෑ ආසාදිතයින්ගෙන් 10%ක් කියා. ඒ තත්ත්වය ඇමරිකාවට ආදේශ කළොත්, ජනගහණයෙන් 7%ක් කෝවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා විට 70% ස්වභාවික ප්‍රතිශක්ති මට්ටම ඇති වෙලා. ඒ කියන්නේ උපරිම මරණ ගණන 165,000ක් පමණයි. යම් හෙයකින් චීනය විසින් හඳුනාගත්තේ සැබෑ ආසාදිතයින්ගෙන් 1/30ක් පමණක්නම් සිදු විය හැක්කේ මරණ 55,500ක් පමණයි. ඇමරිකාවේ සෞඛ්‍ය සේවය වඩා හොඳ නිසා ඒ ප්‍රමාණයත් අඩු වෙන්න පුළුවන්.

මම මේ කියන්නේ මගේ මතය හෝ ඇමරිකාවේ වසංගත රෝග විද්‍යාඥයින්ගේ පොදු මතය ගැන නෙමෙයි. එහෙත් මෙවැනි  ගණනය කිරීම් ඇතැම් අය විසින් කළා. ඇතැම් ඇමරිකානු දේශපාලනයින් වුවත් මේ විදිහට හිතුවා වෙන්න පුළුවන්.

මේ වගේ ගණනය කිරීම් කළ අය විසින් වරද්දාගත් දෙයක් තිබුණා. චීනය විසින් වාර්තා කළේ හෝ හඳුනාගත්තේ සැබෑ ආසාදිතයින්ගෙන් 10%ක් කියා අපි හිතමු. එහෙමනම් චීනය හඳුනා ගෙන තිබෙන හෝ වාර්තා කර තිබෙන මරණ ප්‍රමාණය හරියටම හරි කියා කියන්නේ කොහොමද? ආසාදිතයින් ප්‍රමාණය වගේම මරණ ප්‍රමාණයත් වාර්තා කර තිබෙන්නේ 10% අනුපාතයෙන්නම් දළ මරණ අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. යම් හෙයකින් මරණ වාර්තා කිරීම සිදු වී තිබෙන්නේ වඩා අඩුවෙන්නම් දළ මරණ අනුපාතය තවත් වැඩි වෙන්න පුළුවන්.

දැනට දකින්නට ලැබෙන දත්ත අනුව, කෝවිඩ්-19 සැබෑ මරණ අනුපාතය මුලින් හිතුවාට වඩා කිහිප ගුණයක් වැඩි බව ඉතා පැහැදිලියි. බටහිර රටවල් අතර සාපේක්ෂව අඩු මරණ අනුපාතයක් තිබෙන ජර්මනියේ පවා මේ අනුපාතය 3%ට වැඩියි. මරණ ප්‍රමාණය 5% මට්ටමට වඩා පහළින් තබා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවයි පෙනෙන්නේ. ඒ වගේම, හඳුනා නොගත් කෝවිඩ්-19 ආසාදිතයින් යම් ප්‍රමාණයක් සිටියත් ඒ ප්‍රමාණය හඳුනාගත් ප්‍රමාණය මෙන් දහ පහළොස් ගුණයක් නොවන බවත් පෙනෙන්නට තිබෙනවා. ඒ ප්‍රමාණය හඳුනාගත් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. කිහිප ගුණයක් වෙන්නත් පුළුවන්. (ඇතැම් ඇස්තමේන්තු අනුව මෙය 50-85 ගුණයක්)

දැනට පෙනෙන්නට ඇති කරුණු අනුව රෝගය පාලනයක් නැතිව ව්‍යාප්ත වුවහොත් ඇමරිකාවේ ජනගහණයෙන් 4-5%ක් පමණ දක්වා වුවත් මිය යා හැකියි. ඒ තත්ත්වයට සාපේක්ෂව දැනට පුරෝකථනය කර ඇති පළමු වටයේ මරණ ගණන ජනගහණයෙන් 0.02%ක් පමණයි. ඒ කියන්නේ සිදු විය හැකි මරණ ප්‍රමාණයෙන් 0.5%ක් පමණ. දැනට ගන්නා ආකාරයේ ක්‍රියාමාර්ග හරහා කළ හැක්කේ සිදු විය හැකි මරණ කල් දැමීම පමණයි. ඒ අතර ප්‍රතිකාර ක්‍රම හා එන්නත් වැඩි දියුණු විය යුතුයි. එය සිදුවන තෙක් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයට ගෙන ඒම සිහිනයක් පමණයි.

Thursday, April 16, 2020

අයිස්ලන්ත පරීක්ෂණය


අයිස්ලන්තය කියන්නේ ලංකාව වගේම මුහුදෙන් වට වූ දූපතක්. ප්‍රමාණයෙන් ලංකාව වගේ එකහමාරක් පමණ ලොකුයි. එහෙත් එරට ජනගහණය ලංකාවේ ජනගහණයෙන් හැටෙන් එකකටත් අඩුයි. ඒ කියන්නේ අයිස්ලන්තයේ එක් පුද්ගලයෙක් ඉන්නා ඉඩ ප්‍රමාණයේ ලංකාවේනම් මිනිස්සු සීයක් පමණ ඉන්නවා. ලංකාවට කටුනායක ගුවන් තොටුපොළ වගේම අයිස්ලන්තයට බාහිර ලෝකය සමඟ තිබෙන ප්‍රධානම සම්බන්ධය කැප්ලවික් ගුවන් තොටුපොළයි.

කෝවිඩ්-19 අභියෝගයට මුහුණ දීම හා අදාළව අයිස්ලන්තය සුවිශේෂී රටක්. ඒ අයිස්ලන්තය එරට නිරෝගී පුද්ගලයින්ද අහඹු ලෙස පරීක්ෂා කරමින් මේ වන විට රටේ ජනගහණයෙන් විශාල ප්‍රතිශතයක් කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කළ පුරෝගාමී රටක් බවට පත්ව සිටීම නිසයි. වෙනත් කිසිදු රටක් මෙතෙක් මෙපමණ විශාල අහඹු නියැදියක් පරීක්ෂාවට ලක් කර ප්‍රතිඵල ඉදිරිපත් කර නැහැ.

මේ වන විට අයිස්ලන්ත වැසියන්ගෙන් සෑම 9 දෙනෙකුටම අයෙක් කෝවිඩ්-19 පරීක්ෂාවට ලක් වී තිබෙනවා. මෙයට සාපේක්ෂව ඇමරිකානුවන් අතරින් පරීක්ෂාවට ලක් වී ඇත්තේ සෑම 100 දෙනෙකුටම අයෙක් පමණයි. ලංකාවේනම් තවමත් පරීක්ෂා කර තිබෙන්නේ සෑම 4500කටම එක් අයෙක් පමණයි.

අයිස්ලන්තයේ අහඹු නියැදි පරීක්ෂණය හා අදාළ පර්යේෂණ පත්‍රිකාවක් ඊයේ දිනයේ පළ වුනා. අදාළ පර්යේෂණයේදී ජනගහණ නියැදි දෙකක් හා ඉලක්කගත වැඩි අවදානම් නියැදියක්ද පරීක්ෂා කෙරුණා. ඉලක්කගත වැඩි අවදානම් නියැදියට අයත් වුනේ විදේශ සංචාරයක නිරත වූ, කෝවිඩ්-19 ආසාදිතයෙකු ඇසුරු කළ හෝ කෝවිඩ්-19 රෝගයට අදාළ කිසියම් හෝ රෝග ලක්ෂණයක් පෙන්වන අයයි. පළමු ජනගහණ නියැදියට ඇතුළත් වුනේ ස්වේච්ඡාවෙන් පරීක්ෂාව සඳහා ඉදිරිපත් වූ නිරෝගී අයයි. අහඹු ලෙස තෝරා ගෙන පරීක්ෂණය සඳහා සහභාගී කරගත් කණ්ඩායමක් දෙවන ජනගහණ නියැදියට ඇතුළත් වුනා.

ඉලක්කගත කණ්ඩායමේ  9199 දෙනෙකුගෙන් 1221 දෙනෙකු (13.3%) ආසාදිතයින් සේ හඳුනා ගැනුණා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී කණ්ඩායමේ 10,797 දෙනෙකු අතර ආසාදිතයින් 87 දෙනෙකු සිටියා. අහඹු නියැදියේ 2,283 දෙනෙකු අතර තවත් ආසාදිතයින් 13 දෙනෙකු සිටියා. මේ අනුව, පරීක්ෂාවට ලක් කෙරුණු හඳුනාගත් අවදානමක් නොතිබුණු 13,080 දෙනෙකු අතරද ආසාදිතයින් 100 දෙනෙකු හමු වුනා. මේ අයගෙන් 43 දෙනෙකුටම පසුව හෝ කිසිදු රෝග ලක්ෂණයක් පහළ වී නැහැ. එමෙන්ම ඉලක්කගත කණ්ඩායමෙන් හඳුනාගත් 83 දෙනෙකුටද රෝග ලක්ෂණ පහළ වී නැහැ.


Wednesday, April 15, 2020

පළමු රෝගියා

පසුගිය ජනවාරි 19 වනදා ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ ස්නෝහොමිෂ් කවුන්ටියේ වෛද්‍ය මධ්‍යස්ථානයකට 35 හැවිරිදි පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණුනා. අපි පහසුවට ඔහුව චැන්ග් කියා හඳුන්වමු. දින හතරක පමණ සිට වරින් වර මතුවන මඳ උණක් හා කැස්සක් තිබුණු බව ඔහු පවසා සිටියා. මේ වන විට චීනයෙන් අලුත් රෝගයක් හඳුනාගෙන තිබුණත් එය විශාල ලෙස පැතිරී තිබුණේ නැහැ. වුහාන් නගරය වසා දමනු ලැබුවේත් ජනවාරි 23 දිනයි.

ඇමරිකාවේ වෛද්‍ය මධ්‍යස්ථානයකදී සාමාන්‍යයෙන් කරන පරිදි රෝග ලක්ෂණ විමසීමෙන් පසුව චැන්ග්ට මුඛ ආවරණයක් ලබා දුන්නා. මිනිත්තු 20කට පසුව ඔහුට වෛද්‍යවරයා හමු වීමේ අවස්ථාව ලැබුණා. එහිදී ඔහු දැනුම් දුන්නේ තමන් සිය ඥාතීන් ජීවත් වන චීනයේ වුහාන්හි සංචාරය කර නැවත ඇමරිකාවට පැමිණියේ ජනවාරි 15 දින බවයි.

ඒ වන විට වුහාන්හි සත්ව ආහාර වෙළඳපොළක් ආශ්‍රිතව මේ අලුත් රෝගය වැළඳුනු පුද්ගලයින් හමු වී ඇති බව චීනය විසින් දැනුම් දී තිබුණා. එහෙත්, ජනවාරි 14 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර තිබුණු පරිදි අලුත් රෝගය මිනිසුන් හරහා සම්ප්‍රේෂණය වන බවට සාක්ෂි නැති බව චීන බලධාරීන් විසින් දැනුම් දී තිබුණා. වසංගත තර්ජනයක් ඇති බව චීනය නිල වශයෙන් පිළිගත්තේ ජනවාරි 21 දිනයි.


චැන්ග් වුහාන්හි සංචාරය කර තිබුණත් ප්‍රශ්නගත සත්ව ආහාර වෙළඳපොළ පැත්තේ ගිහින් තිබුණේ නැහැ. එහෙත්, මේ වන විට වුහාන්හි අලුත් වෛරසයක් පැතිරෙමින් ඇති බව ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය විසින් මහජනතාවට දැනුම් දී තිබුණා. එම නිවේදනය පිළිබඳව චැන්ග් දැනුවත්ව සිටියා. උණ හා කැස්ස එතරම් බරපතල නොවූවත් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුනේ ඒ නිසයි. ඒ වගේම ඔහු මේ තොරතුරු වෛද්‍යවරයාට දැනුම් දුන්නා.

චැන්ග්ගේ ශරීර උෂ්ණත්වය, රුධිර පීඩනය, හෘද ස්පන්දය, ස්වශන රිද්මය, ඔක්සිජන් ප්‍රමාණය ඇතුළු දර්ශක ඒ වන විට සාමාන්‍ය තත්ත්වයෙන් තිබුණා. පපුවේ එක්ස්-කිරණ ඡායාරූපයකින්ද කිසිදු අසාමාන්‍ය බවක් පෙනුණේ නැහැ. ඒ වන විට ලෝකය දැන සිටි කොරෝනා වෛරස් වර්ග හතරක් ඇතුළු වෛරස් ගණනාවක් සඳහා ඔහුව පරීක්ෂා කළත් ඒ කිසිදු වෛරසයක් ඔහුට ශරීරගත වී තිබුණේ නැහැ.

කෙසේ වුවත් අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය විසින් මේ රෝගියා වුහාන්හි සංචාරය කර තිබීම ගැන සලකා බලා ප්‍රාන්තයේ හා ජාතික මට්ටමේ ආයතන දැනුවත් කළා. තමන් සත්ව ආහාර වෙළඳපොළ පැත්තේ නොගිය බවත්, කිසිදු ආසාදිතයෙකු හා සෘජුව ගැටුණේ නැති බවත් චැන්ග් විසින් කියා සිටියත් රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානයේ මතය වූයේ ඔහුව නිවාසගත නිරෝධායනය සඳහා යොමු කර නිරීක්ෂණය කළ යුතු බවයි. ඒ අතර චැන්ග්ගේ නාසයෙන් හා උගුරෙන් ලබා ගත් සාම්පල  රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය වෙත යැවුනා. (ස්නොහොමිෂ් හා රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය පිහිටි ඇට්ලන්ටා අතර දුර කිලෝමීටර 4,300ක් පමණ වෙනවා.)

චැන්ග්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජනවාරි 20 දින රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය විසින් හඳුනා ගත්තා. චීනය විසින් වෛරසයේ ජෙනෝමය හඳුනාගෙන ඒ වන විට ප්‍රසිද්ධ කර තිබීම මේ සඳහා උදවු වුනා. චැන්ග්ගේ උගුරෙන් හා නාසයෙන් ලබාගත් සාම්පල දෙකෙන්ම අලුත් වෛරසය හමු වුනා. ඒ වන විට ඔහුට රෝග ලක්ෂණ පහළ වී දින හතරක් ගිහින්.

තවත් දින තුනකට, හතකට හා අටකට පසුව ඔහුගේ උගුරෙන් හා නාසයෙන් ලබාගත් සාම්පල නැවත නැවතත් පරීක්ෂා කෙරුණා. අවසන් අවස්ථාවේදී, එනම් රෝග ලක්ෂණ පහළ වී දින 12කට පසුව නාසයෙන් වයිරසය හමු වුවත් උගුරෙන් හමු වුනේ නැහැ.

චැන්ග්ට වරින් වර මතු වූ උණ හා කැස්ස හැර හුස්ම ගැනීමේ අපහසුකම් හෝ වෙනත් බරපතල රෝග ලක්ෂණ පහළ වුනේ නැහැ. එහෙත්, රෝග ලක්ෂණ පහළ වී නවවන දිනයයේදී ලබාගත් එක්ස්-කිරණ ඡායාරූප වලින් නිවුමෝනියා තත්ත්වයක් පෙන්නුම් කළා. ඒ නිසා ඔහුට ඔක්සිජන් ලබා දුන්නා. බැක්ටීරියා ආසාදනයක් සිදු වීම වැළැක්වීමට ප්‍රතිජීවක ඖෂධද ලබා දුන්නා. තවත් දින හතරකට පසු එම තත්ත්වයන් නොපෙනී ගියා.

ඇමරිකාව පුරා පැතිරී ගියේ චැන්ග්ගෙන් පටන් ගත් රැල්ලයි. චැන්ග්ව හඳුනාගනු ලැබූවත් එසේ හඳුනා ගනු නොලැබූ තවත් අය ඇමරිකාවට ඇතුළු වී ඉන්න ඇති. වොෂින්ටන් ප්‍රාන්තය ඇමරිකාවේ මුලින්ම කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත් ප්‍රාන්තයයි. ඒ නිසා, මුලින්ම කෝවිඩ්-19 අවසන් විය යුත්තේත් එම ප්‍රාන්තයේයි. එය එසේම සිදු වෙමින් තිබෙනවා. පසුව කෝවිඩ්-19 පැතුරුණු ප්‍රාන්ත වල කෝවිඩ්-19 අවසන් වෙන්න තව සති ගණනක් යයි.



චැන්ග් ඇමරිකාවට කෝවිඩ්-19 රැගෙන ඒම, ඇමරිකාවේ කෝවිඩ්-19 පැතිරීම හා නැවත ඇමරිකාව යථා තත්ත්වයට පත් වෙමින් තිබීම ලංකාවට බලපාන්නේ කොහොමද? පසුගිය සති කිහිපය තුළ සීඝ්‍රයෙන් අවප්‍රමාණය වී ඩොලරයට රුපියල් දෙසීය ඉක්මවූ රුපියලේ ගමන නැවත යම් තරමකින් ආපසු හැරවී ඇති බව පෙනෙනවා. ඊට පෙර ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල ඵලදා වක්‍රය මේ හැරවුම පෙන්නුම් කළා.


Tuesday, April 14, 2020

කොරෝනා හඳුනා ගැනීම


කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 වලට එරෙහි අරගලය තුළ ලංකාව ඇතුළේ වගේම ලෝක මට්ටමේදීත් කොරෝනා හඳුනා ගැනීමේ සංකල්පීය ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තටම මේක වෙනත් ඕනෑම සංකල්පයකට අදාළ පොදු ප්‍රශ්නයක්. මේ වෙලාවේ කොරෝනා හා අදාළව මේ ප්‍රශ්නය ගැන කතා කළාම ප්‍රශ්නය පැහැදිලි කරන්න ලේසියි. ඒ වගේම කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂණ ගැන කතා කරන්නනම් මුලින්ම මේ සංකල්පීය ප්‍රශ්නය තේරුම් අරගෙන ඉන්න වෙනවා.

කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 කියන්නේ මොකක්ද? කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 රෝගියෙක් කියන්නේ කවුද?

ගොඩක් අය දන්නා විදිහට කොරෝනා කියන්නේ ලෙඩක්. ලෙඩක් කියන්නේ මොකක්ද කියන එකත් අපට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ තරම් දුරට නොගිහින් අපි දැනට කොරෝනා වලින් නවතිමු. ලේඛකයාගේ පහසුවට මේ ලිපියේ කොරෝනා කියා කෙටියෙන් හඳුන්වන කෝවිඩ්-19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙන මේ රෝගය කුමක්ද?

රෝගයක් අර්ථ දැක්වෙන්නේ කිසියම් දැනුම් පද්ධතියක්, සංස්කෘතියක් ඇතුළේ. සිංහල ක්‍රමයට මේ ලෙඩේ දෙය්යන්නේ ලෙඩක් කියා හඳුන්වන බව ඇතැම් අය කියනවානේ. ඒ කතාවට මම එකඟ නැහැ. කොරෝනා හෝ කෝවිඩ්-19 කියන ලෙඩේ තිබෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් දැන් බටහිර දැනුම් පද්ධතිය ලෙස හඳුන්වන දැනුම් පද්ධතිය තුළයි. ඒ ලෙඩේ වෙනත් දැනුම් පද්ධතියක නැහැ. තියෙනවානම් තියෙන්නේ හරියටම ඒ ලෙඩේම නොවන වෙනත් ලෙඩක්.

කොහොම වුනත් මේ කතාව වෙනත් දැනුම් පද්ධති පිළිබඳ කතාවකුත් නෙමෙයි. මේ සාකච්ඡාව සඳහා ඒ තරම් දුර යන්න අවශ්‍ය නැහැ. මා සාකච්ඡාව ගෙන යන්නේ තනිකරම බටහිර දැනුම් පද්ධතිය තුළ සිටයි.

මේ අවුරුද්ද පටන් ගන්නා තුරුම කෝවිඩ්-19 කියා ලෙඩක් තිබුණේ නැහැ. මම මෙයින් අදහස් කරන්නේ කෝවිඩ්-19 කියා කියන නම ගැන නෙමෙයි. වෙනත් නමකින් හෝ මීට පෙර මේ ලෙඩේ තිබුණේ නැහැ. කලින් නොතිබුණු ලෙඩක් මේ විදිහට හදිසියේ හැදෙන්න ගත්තේ කොහොමද? මේ කතා කරන්නේ ලෙඩේ ආවේ සර්පයින්ගෙන්, වවුලන්ගෙන්, විද්‍යාගාරයකින් හෝ උල්කාපතයකින්ද කියන එකත් නෙමෙයි. ඒ මොන ආකාරයකින් හෝ ලෝකයට අලුත් ලෙඩක් ඇති වීම පිළිබඳ සංකල්පීය ප්‍රශ්නයක්.

චීනයේදී මුලින්ම නිරීක්ෂණය කරනු ලැබුවේ සාර්ස් වැනි ශ්වසන පද්ධතිය ආසාදනය කරන මාරාන්තික රෝගයක් පැතිරෙන බවයි. බටහිර වෛද්‍ය විද්‍යාව හා වසංගත විද්‍යාව තුළ ඒ වන විට සාර්ස් ලෙස හැඳින්වුණු වෛරස් රෝගයක් පිළිබඳ දැනුමක් තිබුණා. සාර්ස් රෝගය 2002දී චීනයේ සිට පැතිරුණු වෛරස් රෝගයක්. 2004 සිට ලෝකයේ සාර්ස් රෝගීන් සිටියේ නැහැ. ඉන් පසුව මැද පෙරදිග කේන්ද්‍රීයව මර්ස් නම් වූ රෝගයක්ද පැතිරුණා. සාර්ස් වලට වගේම මර්ස් වලටද හේතු වුනේ කොරෝනා වර්ගයේ වෛරසයක්. මේ රෝගය හඳුනා ගැනෙන්න පෙර කොරෝනා වර්ගයේ වෛරස පිළිබඳ දැනුමක් තිබුණා.

පසුව කෝවිඩ්-19 සඳහා හේතු වන වෛරසය හොයා ගත්තා. එයත් කොරෝනා වෛරසයක්. කෝවිඩ්-19 රෝගියෙකු ලෙස හඳුනා ගැනෙන්නේ මෙම වෛරසය ශරීරගත වී ඇති අයයි. අදාළ වෛරසය නම් කර තිබෙන්නේ SARS-CoV-2 ලෙසයි. පහසුවට කොරෝනා වෛරසය යන පොදු නම මා යොදන්නේ මේ විශේෂිත වෛරසයටයි.

මේ වන විට නව කොරෝනා වෛරසයේ ජෙනෝමය මුළුමනින්ම හඳුනාගෙන තිබෙනවා. ඕනෑම ජීවියෙකුගේ භෞතික සැකැස්ම පිළිබඳ තොරතුරු ජෙනෝමය තුළ සටහන්ව තිබෙනවා. වෛරසයක් ජීවියෙකු ලෙස සැලකෙන්නේ නැතත් ජීවීන් සතු ඇතැම් ලක්ෂණ වෛරස් වලටත් තියෙනවා. ජීවය කියන එකත් තවත් සංකල්පයක්.

ජෙනෝමයක් හැදී තිබෙන්නේ භෂ්ම යුගල ලෙස හඳුන්වන මූලික ඒකක වලින්. ජෙනෝමයක තිබෙන භෂ්ම යුගල ගණන වැඩි වන තරමට ජීවයක සංකීර්ණතාව ඉහළ යනවා. මිනිස් ජෙනෝමයක භෂ්ම යුගල බිලියන තුනකටත් වඩා තිබෙනවා. එහෙත්, SARS-CoV-2 වෛරසයක තිබෙන්නේ භෂ්ම යුගල තිස් දහසක පමණ ප්‍රමාණයක් පමණයි.

මිනිස් ජෙනෝමයක තිබෙන බිලියන තුනකට අධික භෂ්ම යුගල වලින් 99%කටත් වඩා ප්‍රමාණයක් සියලුම මිනිසුන්ට පොදුයි. මිනිසුන් එකිනෙකා අතර තිබෙන සියලුම වෙනස්කම් වලට හේතු වෙන්නේ ඉතිරි 1%කට අඩු භෂ්ම යුගල වල ඇති විවිධත්වයයි. ඒ නිසා, මිනිස් ජෙනෝමයේ තිබෙන පොදු "මිනිස් ගුණ" හඳුනාගැනීම අපහසු නැහැ.

කොහොම වුනත්, මේ පොදු මිනිස් ගුණ කියා කියන්නේ ජෙනෝමයේ ඉතිරි 99%ම නෙමෙයි. එයින් විශාල කොටසක් වෙනත් ජීවීන්ටත් පොදුයි. උදාහරණයක් විදිහට මිනිසුන්ගේ හා චිම්පන්සීන්ගේ ජෙනෝම වල භෂ්ම යුගල වලින් 96%ක්ම සමානයි.

කෝවිඩ්-19 හදන SARS-CoV-2 වෛරස සියල්ලම එකිනෙකට සමාන නොවුනත්, එම වෛරස SARS-CoV-2 වෛරස ලෙස හඳුනාගත හැකි පොදු ලක්ෂණ තිබෙනවා. ඒ වගේම, සාර්ස් හා මර්ස් රෝග වලට හේතු වූ කොරෝනා වෛරස වලට හා මේ වෛරසයට පොදු වෙනත් ලක්ෂණද තිබෙනවා. කෝවිඩ්-19 ආසාදිතයින් හඳුනා ගන්නා පීසීආර් පරීක්ෂණ පදනම් වෙන්නේ  SARS-CoV-2 වෛරස වල ජෙනෝමයේ දැකිය හැකි පොදු ලක්ෂණ මතයි.

කෝවිඩ්-19 රෝගය වගේම SARS-CoV-2 වෛරසයද හඳුනා ගැනුණේ ඉතා මෑතකදී. ඒ නිසා, ඒ වන විට රෝගියෙකු SARS-CoV-2 ආසාදිතයෙකුදැයි හඳුනාගත හැකි පරීක්ෂණ කිසිවක් තිබුණේ නැහැ. එහෙම තියෙන්න විදිහක් නැහැනේ. පරීක්ෂණ ක්‍රමවේදයක් හදන්නනම් මුලින්ම SARS-CoV-2 ජෙනෝමය හඳුනාගත යුතුයි. ඉන් පසු, එම ජෙනෝමයේ සියළුම SARS-CoV-2 වෛරස වලට පොදු එහෙත් SARS-CoV-2 වෛරස වලට පමණක් අනන්‍ය කොටස් හඳුනා ගත යුතුයි.

මේ වන විට අවම වශයෙන් ලෝකයේ රටවල් හත අටක සමාගම් ගණනාවක් විසින් පීසීආර් පරීක්ෂණ ගණනාවක් වැඩි දියුණු කර තිබෙනවා. මේ පරීක්ෂණ සියල්ලම වගේ එකිනෙකින් වෙනස්. එසේ වෙනස් වන්නේ SARS-CoV-2 වෛරසය හඳුනා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා හඳුනා ගැනීමේ ලක්ෂණය හෝ ලක්ෂණ මතයි. ඒ අනුව, මේ පරීක්ෂණ වල නිරවද්‍යතාවයද එකිනෙකින් වෙනස් වෙනවා. මේ කතා කරන්නේ පීසීආර් කුලකයට අයත් පරීක්ෂණ ගැන පමණයි. වෙනත් මූලධර්ම මත පදනම් වූ පරීක්ෂණ අපි දැනට පැත්තකින් තියමු. ඒවා කොහොමටත් වෙනස්.

කිසිම වෛද්‍ය පරීක්ෂණයක් 100%ක් නිවැරදි නැහැ. ඕනෑම පරීක්ෂණයකින් රෝගියෙකු සේ හඳුනා ගැනෙන අයගෙන් යම් කොටසක් ඇත්තටම රෝගීන් නෙමෙයි. ඒ වගේම රෝගීන් නොවන සේ හඳුනා ගැනෙන අයගෙන් කොටසක් ඇත්තටම රෝගීන්. පරීක්ෂණයකින් සැබෑ රෝගීන් නිවැරදිව හඳුනා ගැනෙන ප්‍රතිශතය එම පරීක්ෂණයේ සංවේදීතාව ලෙසත්, රෝගීන් නොවන්නන් එසේ නොවන සේ හඳුනා ගැනෙන ප්‍රතිශතය එම පරීක්ෂණයේ නිශ්චිතතාව ලෙසත් හැඳින්වෙනවා.

ඕනෑම වෛද්‍ය පරීක්ෂණයක සංවේදීතාව හා නිශ්චිතතාව 100%ට වඩා අඩුයි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ හා පොදු වශයෙන් බටහිර විද්‍යාවේ අවම දැනුමක් මිස බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් නෙමෙයි. ඒ නිසා, කිසියම් වෛද්‍ය පරීක්ෂණයකදී ව්‍යාජ ආසාදිතයින් හා ව්‍යාජ නිර්-ආසාදිතයින් කිසියම් ප්‍රමාණයක් හඳුනා ගැනෙනවා. මේ ව්‍යාජ ආසාදිත හා ව්‍යාජ නිර්-ආසාදිත ප්‍රතිශත අඩු හා සංවේදීතාව හා නිශ්චිතතාව වැඩි වෛද්‍ය පරීක්ෂණයක් හොඳ වෛද්‍ය පරීක්ෂණයක්.

චීනයේ වුහාන්හි මේ අලුත් රෝගය පැතිරෙන්න පටන් ගත් අලුතම ඒ වන විට තිබුණු දැනුම මත පදනම්ව මෙය කොරෝනා වර්ගයේ වෛරසයක් හේතුවෙන් බෝවන රෝගයක් බව සැක කෙරුණා. එවැනි සැකයක් ඇති වූ පසු ඊළඟ ඉදිරි පියවර වන්නේ එවැනි වෛරසයක් ඇති බව තහවුරු කර ගැනීම හා එම වෛරසය නිවැරදිව හඳුනා ගැනීමයි. කෙටි කලකින් වෛරසයක ජෙනෝමය මුළුමනින්ම හඳුනාගත හැකි තාක්ෂණයක් අප සතුව තිබෙනවා.

චීනය විසින් ඉතා ඉක්මණින් අලුත් වෛරසයේ ජෙනෝම කේත හොයාගෙන අනෙකුත් රටවල් සමඟ එම දැනුම බෙදාගත්තා. මීට පෙර සාර්ස් රෝගය පැතිරෙද්දී චීනය එසේ කර තිබුණේ නැහැ. ජෙනෝම කේත දැනගත් විට මුලින්ම වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂා වැඩි දියුණු කරන්නත්, ඉන් පසුව ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩි දියුණු කරන්නත් අවස්ථාව සැලසෙනවා.

දැන් මෙහිදී අප වෛරසය හඳුනා ගැනීම කියා කියන්නේ කුමක්ද? මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වනවා වගේම වෛරස්ද එකිනෙකින් වෙනස්. වෛරසයක් හඳුනා ගැනීම කියා කියන්නේ මේ රෝගය බෝ කරන වෛරස් සියල්ලටම තිබෙන පොදු ලක්ෂණ හඳුනා ගැනීමයි. ඒ අතරම, මේ රෝගය බෝකරන වෛරස් අනෙක් වෛරස් වර්ග වලින් අනන්‍යව හඳුනා ගැනීමටත් හැකි විය යුතුයි.

වෛරසය හඳුනා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා නියැදි ප්‍රමාණය වැඩි වූ තරමට ඉහත කාර්යය වඩා නිවැරදිව කළ හැකියි. එහෙත්, මේ වගේ වෙලාවක වැඩේ කල් දමන්නත් බැහැ. කොහොම හරි චීනයෙන් එකතු කරගත් නියැදි මත පදනම්ව මුලින්ම වෛරසය හඳුනා ගනු ලැබුණා. ඒ නියැදි වලින් හමු වූ වෛරස 99.98%ක් පමණම එකිනෙකට සමානයි. ඒ වගේම 79%ක් පමණ සාර්ස් රෝගයට හේතු වූ වෛරසයට සමානයි.

අලුත් වෛරසයේ ජෙනෝමය පිළිබඳ තොරතුරු අතට ලැබීමෙන් පසුව ලෝකයේ විවිධ රටවල් විසින් එහි විවිධ කොටස් ඉලක්ක කර ගනිමින් වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂාවන් වැඩි දියුණු කරන්න පටන් ගත්තා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන මධ්‍යස්ථානය විසින් වැඩි දියුණු කළ පරීක්ෂාවේදී මෙහි තැන් (සලකුණු) තුනක් හඳුනා ගැනීම ඉලක්ක කළා. එයින් පළමු සලකුණු දෙකෙන් SARS-CoV-2 වෛරසය අනන්‍ය ලෙසත්, තෙවන සලකුණෙන් සාර්ස්, මර්ස් වෛරසද ඇතුළත් වෛරස් කුලකයත් හඳුනා ගැනුණු අතර නියැදිය මිනිස් සිරුරකින් ලබාගත් බව තහවුරු කර ගැනීමේ සිවු වන පරීක්ෂාවක්ද සිදු කෙරුණා.

පරීක්ෂාව සඳහා උපයෝගී කර ගන්නේ සැක සහිත පුද්ගලයින්ගේ නාසයෙන් හා උගුරෙන් ලබාගත් නියැදි දෙකක්. පළමුව මේ නියැදි දෙක මිශ්‍ර කිරීමෙන් පසුව හඳුනා ගැනීමේ පහසුව සඳහා පෝෂණ මාධ්‍යයක් තුළ වෛරසය වර්ධනය වෙන්නට හරිනවා. ඉන් පසුව, පෙර කී සලකුණු තුන පරීක්ෂා කර බලනවා. අදාළ සලකුණු තුනෙන් එකක්වත් හඳුනා ගැනුනේ නැත්නම් සහ හතර වන පරීක්ෂණයෙන් මෙය සැබෑ නියැදියක් බව තහවුරු වී ඇත්නම් රෝගියා ආසාදිතයෙකු නොවන බව තහවුරු කරනවා. මුල් සලකුණු දෙකෙන් අඩු වශයෙන් එකක් හඳුනා ගත හැකිනම් රෝගියා කෝවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනෙනවා.  මුල් සලකුණු දෙකෙන් එකක්වත් හඳුනා ගත නොහැකි වුවත් තෙවන සලකුණ හමු වූයේනම් කෝවිඩ්-19 ආසාදිතයෙකු වීමේ ඉඩක් ඇති (presumptive positive) පුද්ගලයෙකු ලෙස හඳුනා ගැනෙනවා.

අපි හිතමු මේ පරීක්ෂණය හෝ මෙවැනි වෙනත් පරීක්ෂණයක කෝවිඩ්-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමේ මූලධර්මය හරියටම හරි කියා. එසේ වුවත්, රෝගියාගේ නාසයෙන් හා උගුරෙන් නියැදි එකතු කර ගන්නා අවස්ථාවේදී පසුව වර්ධනය කර ගත හැකි තරම් ප්‍රමාණවත් වෛරස් ප්‍රමාණයක් "අහු විය" යුතුයි. වෛරසය ශරීරගත වූ මුල්ම දවස් වල වගේම වෛරසය පෙනහළු දක්වා ගමන් කිරීමෙන් පසුවත් නාසයෙන් හා උගුරෙන් එකතු කර ගන්නා නියැදි වලින් ප්‍රමාණවත් තරම් වෛරස් හමු නොවෙන්න පුළුවන්. මේ හේතුවත් වෛරසය හඳුනා ගන්නා ක්‍රමවේදයේම තිබෙන වෙනත් අඩුපාඩුත් නිසා කිසියම් පීසීආර් පරීක්ෂාවක සංවේදීතාව අඩු වෙන්න පුළුවන්.

පොදුවේ කිසියම් පරීක්ෂාවක සංවේදීතාව ඉහළ දමන්න උත්සාහ කරන විට එහි නිශ්චිතතාව අඩු වීම සාමාන්‍ය තත්ත්වයයි. නිශ්චිතතාව වැඩි කරන විට සංවේදීතාව අඩු වෙනවා. ඒ නිසා, මේ දෙක අතර සමතුලිතතාවයක් පවත්වා ගත යුතුයි. කෝවිඩ්-19 ආසාදිතයෙකු නොවන අයෙකු ආසාදිතයෙකු සේ හඳුනා ගැනීමේ හානියට සාපේක්ෂව කෝවිඩ්-19 ආසාදිතයෙකු ආසාදිතයෙකු නොවන සේ හඳුනා ගැනීමේ හානිය අඩුද වැඩිද? එය තීරණය වන්නේ පවතින සංදර්භය තුළයි.

සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂාවක් සඳහා අනුමැතිය ලබා දෙන්නේ එහි නිශ්චිතතාව හා සංවේදීතාව ඇතුළු තාක්ෂණික කරුණු පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුව පමණයි. පවතින තත්ත්වය යටතේ එවැනි  පුළුල් අධ්‍යයනයක් සඳහා ඉඩක් ලැබී නැහැ. චීනය වගේම ඇමරිකාව විසින්ද මුලින්ම වැඩි දියුණු කළ පරීක්ෂා වල විශාල ප්‍රශ්න තිබුණා. ඇතැම් පරීක්ෂා වල සංවේදීතාව තිබුණේ 60-70% මට්ටමේ. දැන් වුනත්, කිසියම් පීසීආර් පරීක්ෂාවකින් සැබෑ ආසාදිතයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හඳුනා ගැනෙන්නේ නැහැ. මේ ප්‍රතිශතය හරියටම දන්නේ නැහැ. ඒ වගේම, එම ප්‍රතිශතය එහෙමත් නැත්නම් පරීක්ෂාවක සංවේදීතාව, විවිධ රටවල සමාගම් රැසකින් හදා තිබෙන හැම පීසීආර් පරීක්ෂාවකටම පොදු නැහැ.

පීසීආර් පරීක්ෂාවකින් සැබෑ ආසාදිතයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හඳුනා ගැනෙන්නේ නැතිවා වගේම එසේ හඳුනා ගැනෙන යම් ප්‍රතිශතයක් සැබෑ ආසාදිතයින්ගෙන් නොවන්නත් පුළුවන්. මේ ප්‍රතිශතය කුඩා එකක් වෙන්න පුළුවන්. එහෙත්, අපි හරියටම දන්නේ නැහැ.

මේ අවිනිශ්චිතතා සියල්ල මධ්‍යයේ අපි කෝවිඩ්-19 රෝගියෙකු ලෙස කෙනෙක්ව නම් කරන්නේ පීසීආර් පරීක්ෂාවක ප්‍රතිඵලය මතයි. ඒ, මේ සියලු සීමාවන් මැද වුවත් එසේ කිරීම නොකිරීමට වඩා ප්‍රතිඵලදායක නිසයි. පරීක්ෂා කිරීම් අඩු කළ යුතු බවක් හෝ පරීක්ෂා කිරීම තේරුමක් නැති බවක් මේ ලිපියෙන් කිසිසේත්ම අදහස් කෙරෙන්නේ නැහැ. එහෙත්, මේ පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම් වී අපට දකින්නට ලැබෙන සංඛ්‍යාලේඛණ ඇසුරින් බරපතල නිගමන වලට පැමිණෙන්න කලින් මේ දේවල්ද දැන සිටිය යුතුයි.

(Image: https://www.flickr.com/photos/niaid/albums/72157712914621487/with/49531042877)

Monday, April 13, 2020

ලංකාවේ කොරෝනා

චීනයේ, ඇමරිකාවේ හා වෙනත් රටවල කොරෝනා පැතිරෙන ආකාරය ගැන මා වරින් වර අදහස් පළ කළත් ලංකාවේ කොරෝනා පැතිරෙන ආකාරය විග්‍රහ කරන්න ගියේ නැහැ. එයට හේතුව ලංකාවේ දත්ත වල ස්වභාවය අනුව ලොකු නිගමන වලට පැමිණීමේ හැකියාවක් නොතිබීමයි. එහෙත්, මේ වෙද්දී මාසයක පමණ දත්ත එක් රැස් වී තිබෙන නිසා යම් නිගමන වලට පැමිණෙන්න පුළුවන්.

ලංකාවේ මෙතෙක් කොරෝනා ව්‍යාප්තිය අදියර තුනකට බෙදන්න පුළුවන්. පළමු රෝගියා හමු වීමේ සිට දෙවන රෝගියා හමු වීම දක්වා කාලය පළමු අදියරයි. ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා හමු වුනේ ජනවාරි 27 වනදා. මගේ මතකය නිවැරදිනම් මෙසේ ලංකාවේදී හඳුනා ගැනුණු චීන කත දකුණු ආසියාවෙන්ම හමු වූ පළමු කොරෝනා ආසාදිතයායි.

චීනයේ වුහාන් නගරය වසා දමනු ලැබූයේ ජනවාරි 23 දිනයි. ඉහත කී චීන කත ලංකාවට පැමිණ තිබුණේ ඊට පෙරයි. ලංකාවේ චීන තානාපති කාර්යාලයට අනුව, වුහාන් නගරය වසා දැමීමෙන් අනතුරුව චීන තානාපති කාර්යාලය විසින් ඒ වන විට ලංකාවේ සිටි චීන ජාතිකයින්ව දිනපතා සමීපව නිරීක්ෂණය කර තිබෙනවා. කොරෝනා අවදානම සහිත අයෙකු ලෙස පෙර කී තැනැත්තියව හඳුනාගෙන ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබෙන්නේ චීන තානාපති කාර්යාලය විසිනුයි. ඉන් පසුව ඇය සුවය ලබා චීනය බලා පිටත්ව ගියා.

මේ පළමු ආසාදිතයාගෙන් වෙනත් කිසිවෙකුට රෝගය බෝ වුනේ නැහැ. ඇයව මුලදීම හඳුනා ගැනීම එයට උදවුවක් වෙන්න ඇති. ඒ වන විට ලංකාවේ රජය කොරෝනා පාලනය ගැන බරපතල ලෙස හිතා තිබුණේ නැහැ. එසේ හිතන්න තරම් අවශ්‍යතාවයක් තිබුණේත් නැහැ. එහෙත්, චීන තානාපති කාර්යාලයට අනුව ඔවුන් ලංකාව තුළ චීන ජාතිකයින් හරහා රෝගය ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳව ඒ වන විටද සැලකිලිමත්ව සිට ඇති බව පෙනෙනවා.

පළමු කාන්තාව සුවය ලබා පිටව යාමෙන් අනතුරුව ඇතැම් අය ඒ ගැන ඕනෑවටත් වඩා උදම් ඇනුවා. කොහොම වුනත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලැබීම ඉතාම සාමාන්‍ය දෙයක්. ආසාදිතයින්ගෙන් අවම වශයෙන් 80%කට පමණම රෝහල්ගත වීමක් හෝ අවශ්‍ය වන්නේ නැහැ. මේ පළමු රෝගියා ලංකාවෙන් හමු වීම වගේම ඇය සුවය ලබා පිට වී යාමත් අහඹු සිද්ධි පමණයි. එහෙත්, ඇයගෙන් තවත් කිහිප දෙනෙකුට රෝගය පැතිරීමේ අවදානමක් තිබුණා. චීන තානාපති කාර්යාලයට අනුව ඒ අවදානම පහව තිබෙන්නේ ඔවුන්ගේ සැලකිලිමත්කම නිසයි.

ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දෙවන අදියර ලෙස මා සලකන්නේ දෙවන කොරෝනා රෝගියා හමු වූ තැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීම දක්වා කාලයයි. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු කාලය මා තෙවන අදියර සේ සලකනවා.දෙවන රෝගියා හමු වූ දින සිට දිනපතාම වගේ ලංකාවෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු හමු වෙනවා. දෙවන අදියරේදී වැඩිපුර හමුවුනේ ආනයනික ආසාදිතයින්. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුව ඒ තත්ත්වය නැවතුනා.


කටුනායක ගුවන් තොටුපළ වසා දමනු ලැබුවේ මාර්තු 19 වනදා. දෙවන රෝගියා හමු වුනේ ඊට සතියකට පෙරයි. මේ සතිය ඇතුළත ලංකාවෙන් දිනකට හමුවන අලුත් කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය දවසින් දවසම ඉහළ ගියා. ගුවන් තොටුපොළ වසා දැමීම තවත් කල් ගියානම් එසේ කල් යන එක් දවසක් තුළදී වුවත් රෝගීන් ප්‍රමාණය සාපේක්ෂව සැලකිය යුතු තරමින් ඉහළ යා හැකිව තිබුණා. ඒ නිසා, ඒ වෙලාවේ ගුවන් තොටුපොළ වසාදැමීම ලංකාව විසින් ගත් හොඳ තීරණයක්.

දින කිහිපයකට කලින් ගුවන් තොටුපළ වසා දැමුවානම් ආනයනික රෝගීන්ගේ යම් අඩුවක් විය හැකිව තිබුණා. එහෙත්, රටක් බාහිර ලෝකය සමඟ තිබෙන සම්බන්ධය මුළුමනින්ම කපා දැමීම හිතා මතා ගත යුතු තීරණයක්. ඒ තීරණය මීට පෙර ගත හැකිව හෝ ගත යුතුව තිබුණා කියා මා හිතන්නේ නැහැ. ඒ වගේම දින කිහිපයකට පෙර ගුවන් තොටුපොළ වසා දැමුවානම් ලංකාවට කොරෝනා රෝගීන් ඇතුළු වීමේ ඉඩක් කිසිසේත්ම නොතිබුණා කියා කියන්නත් බැහැ. මේ වෛරසය කොයි වෙලාවේ හෝ රටට ඇතුළුවීම වලක්වනු අසීරු දෙයක්.

ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වීම කෙරෙහි බලපෑ වැදගත්ම තීරණය කටුනායක ගුවන් තොටුපොළ වසා දමනු ලැබීමයි. ඒ සමඟම ආනයනික රෝගීන් රටට පැමිණීම වැළකුණා. මා මේ කරුණු කියන්නේ සමස්තයක් ලෙසයි. ආණ්ඩුව විසින් ගත් ඇතැම් තීරණ වල අඩුපාඩු දැකිය හැකි වූ බව එතරම් අදාළ කරුණක් නෙමෙයි.

රට බාහිර ලෝකයෙන් වෙන් කර ගැනීමෙන් පසුව, තෙවන අදියරේදී, කොරෝනා පාලන උපාය මාර්ග වල අවධානය යොමු විය යුතු වූයේ එක් පෙරමුණකට පමණයි. එහෙත්, ඊට පෙර දෙවන අදියරේදී පෙරමුණු දෙකක සටන් කළ යුතුව තිබුණා. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු මේ දක්වාම ලංකාවේ ආණ්ඩුව විසින් අනුගමනය කරන ප්‍රධානම උපක්‍රමය සබඳතා හඹා යාමයි. මේ කටයුත්තේදී ආණ්ඩුව උතුරේ යුද්ධයේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් සිටින බව පේනවා.

මේ වන විට අලුතෙන් හඳුනා ගැනෙන රෝගීන් බොහෝ දෙනෙක් ඊට පෙර අවදානම් සහිත පුද්ගලයින් සේ හඳුනා ගෙන නිරෝධායනයට ලක් කෙරුණු අය වීමෙන් මේ උපක්‍රමයේ සාර්ථකත්වය පෙනෙනවා. ඒ අතරම, එසේ පෙර හඳුනා නොගැනුණු ආසාදිතයින්ද වරින් වර මතු වීමෙන් හා දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය අඩු නොවී ස්ථාවර මට්ටමක තිබීමෙන් ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ සීමාවන් පෙන්වා දෙනවා.

රට බාහිර ලෝකයට වසා දැමීමෙන් පසුව අලුතින් රෝගීන් හමුවන රටාව මේ වෙද්දී ඉතාම පැහැදිලියි. හමුවන රෝගීන් ගණන විචලනය වුවත් සාමාන්‍ය වශයෙන් දිනකට අලුත් රෝගීන් හය දෙනෙකු පමණ හමු වන බව පෙනෙනවා. වෙනත් බොහෝ රටවල සිදු වූ අයුරින් දිනකට හමුවන රෝගීන් ගණන එන්න එන්නම වැඩි නොවීම සැනසිල්ලට කරුණක්. එහෙත්, දිනකට හමුවන රෝගීන් ගණන එන්න එන්න අඩු වන බවක්ද පැහැදිලිව නොපෙනීම කණස්සල්ලට කරුණක්.

මේ කරුණු අනුව පෙනෙන්නේ දිනකට හමුවන රෝගීන් ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමටනම් දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් එළෙසම පවත්වා ගත යුතු බවයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ උපක්‍රම ලිහිල් කළහොත් ඉතා ඉක්මනින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. යම් හෙයකින් කටුනායක ඇරියොත්නම් වහාම ප්‍රශ්නය උග්‍ර වන බව පැහැදිලියි. ඒ වගේම දැනට කරන සියලු කටයුතු එක දිගටම එළෙසම කළත් ආසන්න දිනයකදී අලුත් රෝගීන් හමු වීම මුළුමනින්ම අවසන් වේයැයි හිතන්න අමාරුයි.

Friday, April 10, 2020

ඇමරිකාවේ කෝවිඩ් හා ලංකාවේ ආර්ථිකය

මේ වන විට ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම පාලනය වී තිබෙන බව පැහැදිලියි. එයින් අදහස් වෙන්නේ ඉදිරි දවස් වලදී රෝගීන් හමු නොවන බව හෝ මරණ සිදු නොවන බව නෙමෙයි. ඇමරිකාවේ කෝවිඩ්-19 මරණ ප්‍රමාණය මේ වන විට 18,000ක් පමණ වෙනවා. වොෂින්ටන් සරසවියේ ඇස්තමේන්තු අනුව, මේ මරණ ප්‍රමාණය 60,000 පමණ දක්වා ඉහළ යා හැකියි.


(Grapph: https://covid19.healthdata.org/united-states-of-america)

එහෙමනම්, කෝවිඩ්-19 පැතිරීම පාලනය වී ඇති බව කියන්නේ කොහොමද?

කිසියම් රටක කෝවිඩ්-19 පැතිරීම ආරම්භ වූ අවදියේදී ඝාතීය වර්ධනයක් දකින්න ලැබෙනවා. ඇමරිකාවේ හා යුරෝපීය රටවල් බොහොමයකම මේ තත්ත්වය දකින්න ලැබුණා. රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය ඇතුළු ලොකු ජනගහණයක් සිටින හා ප්‍රමාද වී කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දුන් රටවල මේ වන විට මේ ඝාතීය වර්ධන තත්ත්වය දැකිය හැකියි. එහෙත්, ඇමරිකාව හා යුරෝපීය රටවල් බොහොමයක් මේ වන විට ඝාතීය වර්ධන අවදිය පසු කර රේඛීය වර්ධන අවදියකට අවතීර්ණ වී තිබෙනවා. ඒ කියන්නේ, තවමත් දිනපතා රෝගීන් වැඩි වන නමුත් දිනකට වැඩිවන රෝගීන් ගණන එන්න එන්නම වැඩි වෙන්නේ නැහැ. ලංකාවේනම් මුල සිටම දැකිය හැකිව තිබුණේ රේඛීය වර්ධනයක්.


(Grapph: https://www.worldometers.info/coronavirus/)

කලින්ම හා වේගයෙන්ම රෝගය පැතිරුණු රටවල් කලින්ම ඝාතීය වර්ධන අවදිය පසු කළා. ඒ නිසා, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය වැනි රටවල සිදු විය හැකි මරණ වලින් විශාල ප්‍රමාණයක් දැනටමත් සිදු වී හමාරයි. නමුත්, ටික දවසකට පෙර ඝාතීය වර්ධන අවදිය පසු කළ ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ මරණ ප්‍රමාණය තවත් කිහිප ගුණයකින් වැඩි වෙයි.

තෝරාගත් රටවල් කිහිපයක සිදු විය හැකි මරණ ප්‍රමාණයන් පිළිබඳ දැනට තිබෙන (වෙනස් විය හැකි) ඇස්තමේන්තු හා දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණ මේ විදිහයි.

ඇමරිකා එක්සත් ජනපදය 18,000 -> 61,500
ඉතාලිය 19,000 -> 20,500
ස්පාඤ්ඤය 16,000 -> 18,500
ප්‍රංශය 12,000 -> 15,500
එක්සත් රාජධානිය 9,000 -> 37,000
ජර්මනිය 2,600 -> 7,000
නෙදර්ලන්තය 2,500 -> 18,000
බෙල්ජියම 3,000 -> 4,300

මේ ලැයිස්තුවේ තිබෙන රටවල් ලංකාවේ ඇඟලුම් මිල දී ගන්නා ප්‍රධාන රටවල්. 2018 වසරේදී මේ රටවල් ලංකාවෙන් මිල දී ගත් ඇඟළුම් වල වටිනාකම ඩොලර් මිලියන වලින් මෙහෙමයි.

ඇමරිකා එක්සත් ජනපදය 2,269
ඉතාලිය 463
ස්පාඤ්ඤය 23
ප්‍රංශය 64
එක්සත් රාජධානිය 737
ජර්මනිය 265
නෙදර්ලන්තය 130
බෙල්ජියම හා ලක්සම්බර්ග්  214

සමස්තයක් ලෙස ඩොලර් බිලියන 5 කට ආසන්න වූ ලංකාවේ ඇඟලුම් අපනයන ආදායමෙන් 90%ක් පමණම ලැබෙන්නේ ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් සහ යුරෝපීය සංගමයේ රටවලින්. 60%කට වඩා ලැබෙන්නේ එක්සත් රාජධානියෙන් හා ඇමරිකා එක්සත් ජනපදයෙන්.

කෝවිඩ්-19 පැතිරීමත් සමඟම මේ රටවල මිනිස්සු ගෙවල් වලට වී ඉන්නවා. මේ තත්ත්වය හෙමින් මිසක් එකවර වෙනස් වෙන එකක් නැහැ. මේ වගේ වෙලාවක මිනිස්සුන්ට අලුතින් ඇඳුම් මිල දී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් ඇඳුම් ඇඳලා කොහේ කියලා යන්නද?

ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපානවා. චීනයේ කෝවිඩ්-19 පැතිරී චීන ආර්ථිකය දුර්වල වන විට වෙන්නේ ලංකාවේ ආනයන අඩු වී වියදම් පහළ බහින එකයි. නමුත්, ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරෙන කොට වෙන්නේ ලංකාවේ අපනයන අඩු වී ආදායම් පහළ බහින එකයි. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ජාත්‍යන්තර බැඳුම්කර වල ආයෝජනය කරන ආයෝජකයෝ ඔය බව හොඳින්ම දන්නවා.

ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත්තේ යුරෝපයේ අනෙක් ඇතැම් රටවලට වඩා තරමක් පසුවයි. මේ රටවල් දෙකේ කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය ඝාතීය ලෙස වර්ධනය වුනු කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ඒ ආකාරයටම ඉහළ ගියා.

පසුගිය සතියේ ඇමරිකාව හා බ්‍රිතාන්‍යය මේ ඝාතීය වර්ධන අවදිය පහු කිරීමත් සමඟම ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ක්ෂණිකව ස්ථාවර වී තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ් පැතිරීම පාලනය වීම රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගත හැකි විකල්ප බොහොමයක්ම දැනටමත් ප්‍රයෝජනයට ගෙන අවසන්ව දහ අතේ කල්පනා කරමින් ඉන්න ලංකාවට යම් තරමක හෝ අස්වැසිල්ලක් වෙයි.

එහෙත්, මේ නැඹුරුවෙන් පෙන්වන්නේ ඇමරිකාව එක් සටනක් ජයගෙන ඇති බව මිස යුද්ධය දිනා අවසන් බව නෙමෙයි. යුරෝපය හා අදාළව තත්ත්වයත් එසේමයි. කෝවිඩ්-19 පළමු චක්‍රය අපේක්ෂා කර තිබුණු පරිද්දෙන්ම අවසන් වෙමින් ඇති බව පෙනෙන්නට ඇතත්, දෙවන චක්‍රයක් මතු වීමේ අනතුර එසේම තිබෙනවා.

මේ තත්ත්වය ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර වල ඵලදා වක්‍රයෙන්ද පිළිබිඹු වෙනවා. කෙටි අන්තයේ පොලී අනුපාතික අඩු වී ඇතත් වක්‍රයේ මැද කොටස ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ අවදානම පසුපසට තල්ලු වී ඇතුවා මිස පහව ගොස් නැති බවයි.


Monday, April 6, 2020

කන්ද පාත් කිරීම

කෝවිඩ්-19 හමුවේ බටහිර රටවල උපාය මාර්ගය වී තිබෙන්නේ වක්‍රය සමතලා කිරීමයි (flattening the curve). දැන් මේ විදිහට සමතලා කරන වක්‍රය කුමක්ද? ඒ, කාලයත් සමඟ ආසාදිතයින් ගණන වෙනස් වන ආකාරය පෙන්වන වක්‍රයයි.

කලින් ලියූ "කුටීර ආකෘති" කියන ලිපියේ පහළින්ම තිබෙන රූප සටහනේ රතු පාටින් සලකුණු කර තිබෙන්නේ එම වක්‍රයයි. එය කාලයත් සමඟ ක්‍රමයෙන් ඉහළ ගොස් කිසියම් ශිඛරයකට ලඟා වීමෙන් පසුව ක්‍රමයෙන් පහත බසින වක්‍රයක්. හරියට කුඩා කඳු ගැටයක් වගේ. බටහිර උපක්‍රමය වන්නේ මේ කන්ද පාත් කරන එකයි.

උපක්‍රමයක් ලෙස කන්ද පාත් කරන්න කලින් පළමුව මෙවැනි කන්දක් තිබෙන බව හඳුනාගත යුතුයි. මා විස්තර කළ "අආඉ ආකෘතිය" අනුසාරයෙන් මේ වක්‍රයේ හැඩය නිර්ණය කරන්න පුළුවන්. ගණිතයේ භාෂාවෙන් කියනවානම් ඒ සඳහා අවකල සමීකරණ තුනක් විසඳිය යුතුයි. අපට ලැබෙන විසඳුම ස්ථිතික විසඳුමක් නෙමෙයි. ගතික විසඳුමක්. ඒ කියන්නේ උත්තරය විදිහට ලැබෙන්නේ නිශ්චිත සංඛ්‍යාවන් නෙමෙයි. නිශ්චිත සංඛ්‍යා ශ්‍රේණි. එහෙමත් නැත්නම් කාලය එක්ක කිසියම් නිශ්චිත ආකාරයකින් වෙනස් වන සංඛ්‍යා පේලි.

ආසාදිතයින් සංඛ්‍යාව පෙන්වන රතු වක්‍රය ගත්තොත් මේ සංඛ්‍යා පේලියේ සංඛ්‍යා වල අගය ක්‍රමයෙන් වැඩි වී ඉන් පසුව ක්‍රමයෙන් අඩු වෙනවා. වක්‍රයේ කිසියම් තැනකට වමෙන් ඇති කොටසේ ඉඩ ප්‍රමාණයෙන් ඒ වන විට රෝගය ආසාදනය වූ මුළු ප්‍රමාණය පෙන්වනවා. මේ ප්‍රමාණයට ඒ වන විට සුව වූ හෝ මිය ගොස් ඇති අයද ඇතුළත්. වක්‍රය ශුන්‍ය මට්ටමට පහත් වීමෙන් පසුව එහි ඉඩ ප්‍රමාණයෙන් වසංගතය ආසාදනය වූ මුළු පිරිස පෙන්වනවා.

වැදගත්ම කාරණය වන්නේ මේ ආකෘතිය අනුව වසංගතය අවසාන වීම සඳහා ජනගහණය තුළ සිටින සියලුම දෙනාට වෛරසය ආසාදනය විය යුතු නැති වීමයි. කිසියම් නිශ්චිත සංඛ්‍යාවකට (ප්‍රතිශතයකට) වෛරසය ආසාදනය වීමෙන් පසුව වසංගතය අවසන් වන බව ගණිතමය විසදුමෙන් පෙන්වනවා.

දැන් මේ සියල්ල ඉහත කී ආකෘතිය අනුව සිදු විය යුතු දේවල්නේ. සැබෑ ලෝකයේ ඕක ඔය ආකාරයටම සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද?

මේ ආකෘතිය අලුත් එකක් නෙමෙයි. වසර අනූවක් පමණ පැරණි ආකෘතියක්. පහුගිය කාලය මුළුල්ලේම විවිධ වසංගත පැතිරෙන ආකාරය මේ ආකෘතිය හෝ එහිම වැඩි දියුණු කළ සංකීර්ණ ස්වරූපයක් අනුසාරයෙන් සාර්ථකව විස්තර කරන්න හැකි වී තිබෙනවා. රෝග වැළැක්වීම සඳහා එන්නත් කිරීමේ පදනමත් මේ ආකෘතිය මත තීරණය වී ඇති එකක්.

වක්‍රයේ හැඩය නිශ්චිත එකක් කියා කීවත් එය එසේ වන්නේ එම හැඩය තීරණය කරන පරාමිතීන් නිශ්චිත වූ විටයි. පරාමිතීන් වෙනස් වන විට වක්‍රයේ හැඩයත් වෙනස් වෙනවා. පරාමිතීන් වෙනස් වී තිබෙන හා වෙනස් විය හැකි ආකාරය දන්නවානම් වක්‍රයේ හැඩය වෙනස් වන ආකාරය නිර්ණය කළ හැකියි. පරාමිතීන් කවර හෝ ආකාරයකින් පාලනය කළ හැකිනම් වක්‍රයේ හැඩයද පාලනය කළ හැකියි. උපක්‍රමයක් ලෙස වක්‍රය සමතලා කිරීමට උත්සාහ කරන්නේ ඒ පදනමිනුයි.

පෙර ලිපි වලින් විස්තර කළ මූලික ප්‍රජනන අංකය මේ වක්‍රයේ හැඩය තීරණය කරන එක් පරාමිතියක්. එහෙත්, එය එකම පරාමිතිය නෙමෙයි. එකම මූලික ප්‍රජනන අංකය තිබියදී විවිධ වක්‍ර තිබෙන්න පුළුවන්. "කෝවිඩ් පැටවු ගහන හැටි" ලිපියේ මා පෙන්වූ උදාහරණ දෙකේදීම මූලික ප්‍රජනන අංකය සමානයි. එහෙත්, රෝගය පැතිරෙන වේගය වෙනස්. එක අවස්ථාකදී කන්ද උසයි කෙට්ටුයි. අනෙක් අවස්ථාවේදී කන්ද කොටයි මහතයි. පහත රූප සටහනේ දැකිය හැක්කේ එවැනි උස් හා පැතලි වක්‍ර දෙකක්. (සැබෑ වක්‍ර මෙහි පෙන්වා ඇති වක්‍ර මෙන් සමමිතික විය යුතු නැහැ.)

මෙයින් පෙනෙන්නේ මූලික ප්‍රජනන අංකය එසේම තිබුණත් ආසාදිතයෙකු රෝගය වෙනත් අයෙකුට ආසාදනය කිරීමට ගන්නා කාලය වැඩි වන විට වක්‍රය වඩා පැතලි වන බවයි. හැබැයි එසේ වුනා කියා කන්ද හැදී තිබෙන පස් ගොඩ අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආසාදිතයින් ප්‍රමාණය එලෙසම ඉන්නවා.

එහෙමනම් කන්දේ පස් අඩු කරන්නම බැරිද? බැරි නැහැ. මූලික ප්‍රජනන අංකය පහළට ගත්තොත් කන්දේ පස් අඩු වෙනවා. මෙය කන්දේ පස් තුනී කරනවා වෙනුවට පස් කපා පැත්තකට දැමීමක් වගේ දෙයක්. එහෙම කපා අයින් කරන පස් පැත්තක වෙනම ගොඩ ගැහෙනවා. ඒ පස් වලින් අලුත් කන්දක් හැදෙනවා. දෙවන චක්‍රය කියා කියන්නේ ඒ අලුත් කන්දටයි.

අපි හිතමු අපේ මුළු ශක්තියම යොදවලා මුළු කන්දේම පස් ඉවත් කළා කියා. දැන් අපිට කිසිම අමාරුවක් නැතිව කන්ද (කන්ද තිබුණු තැන) තරණය කරන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් දුරින් ආයෙම ඒ වගේම කන්දක් තියෙනවා. අන්තිමට අර මහා කන්ද අයින් කරන්න දරපු මුළු මහන්සියේම තේරුමක් නැහැ. ශක්තිය තියෙනවානම් ඒ කන්දත් කලින් වගේම අයින් කරන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ කෙළවරක් නැහැ. හැමදාම කඳු අයින් කර කර ඉන්නවා මිසක් ගමන යන්න වෙන්නේ නැහැ.

ඒ කියන්නේ කන්ද තියෙන විදිහටම තියෙන එක හොඳයිද?

මෙතැන තියෙන ප්‍රශ්නය විශාල පිරිසකට තරණය කරන්න බැරි තරමට මේ කන්ද උසයි. විශේෂයෙන්ම වයස්ගත අයට හා විවිධ රෝගාබාධ තිබෙන අයට කන්ද නගින්න බැහැ. ඒ අය හති වැටිලා මැරෙනවා. හැබැයි එවැනි හැමෝමත් නෙමෙයි. අනූව පැනපු ඇතැම් වයස්ගත අයත් කන්ද තරණය කරනවා.

ඒ වගේම, නිරෝගී, තරුණ අයෙක්ටනම් කන්ද තරණය කරන එක එතරම් අමාරු නැහැ. එහෙත්, එවැනි ඇතැම් අයටත් කන්ද තරණය කර ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා.

සමාජයක් විදිහට අපට කන්ද තරණය කරන්න අමාරු අයට කිසියම් උදවුවක් දෙන්න පුළුවන්. එසේ කිරීමෙන් වැඩි පිරිසක් එහා පැත්තට යවා ගන්න පුළුවන්. නමුත්, වෙනත් අය වෙනුවෙන් අප‍ට කළ හැකි දේවල් වල සීමාවක් තිබෙනවා. රතු හරස් කඩ ඉර ඒ සීමාවයි. මේ සීමාව ලකුණු වී තිබෙන්නේ කිසියම් රටක සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව මතයි.

කන්ද රතු ඉරට වඩා උසනම් තනිවම කන්ද නැගගන්න බැරි අයට රටේ සෞඛ්‍ය පද්ධතියෙන් උදවුවක් ගන්න බැරි වෙනවා. මොන විදිහකින් හෝ කන්ද ඒ මට්ටමට පාත් කරගත්තොත් කන්ද නැග ගන්න අමාරු සියල්ලන්ටම උදවු කරන්න අපට පුළුවන්.

අපි කන්ද මේ මට්ටමට පාත් කරගත්තා කියා කියමු. ඒත් කන්දක් තියෙනවා. රටේ සෞඛ්‍ය පද්ධතියෙන් උදවු ලැබුණත් කිසියම් පිරිසකට ඒ පාත් කළ කන්දත් නැග ගන්න අමාරුයි. ඒ නිසා, ඒ පිරිස මිය යනවා.

එහෙමනම් කන්ද තවත් පාත් නොකරන්නේ ඇයි? තේරුමක් නැහැනේ. කන්ද මුළුමනින්ම පාත් කළොත් ඕනෑම වයස්ගත හෝ රෝගී කෙනෙක් පහසුවෙන් ඔතැනින් යයි. නමුත්, ටිකක් දුර යන කොට අර අයින් කරපු පස් ගොඩ නැවත හමු වෙනවා. ආපහු ප්‍රශ්නයේ මුලටමයි ඇවිත් ඉන්නේ.

කන්ද සමතලා කරද්දී කොහොමටත් පැත්තක තව පස් ගොඩක් හැදෙනවා. නමුත්, ඒ පස් ගොඩ පළමු පස් ගොඩ තරම් ලොකු නැත්නම් බොහෝ විට පළමු කන්ද තරණය කළ කෙනෙකුට දෙවන එකත් ගොඩ දාගන්න පුළුවන්.

ඒ වගේම මේකේ තවත් පැත්තකුත් තියෙනවා. කන්ද පාත් කරන එක ලේසි වැඩක් නෙමෙයි. කන්ද තරණය කරද්දී මැරෙන අය අඩු කරගන්න උත්සාහ කර කන්ද කපන්න මහන්සි වීම නිසා ඒ මහන්සියට වැඩි පිරිසක් මැරෙනවානම් ඒත් තේරුමක් නැහැනේ.

Saturday, April 4, 2020

කුටීර ආකෘති

මේ ලිපිය ලියන්නෙත් වසංගතවේදයේ ආකෘති ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙනුයි. එහෙත්, ඕනෑම කෙනෙකුට අඩු වශයෙන් කොටසක් හෝ තේරුම් ගත හැකි වෙන්න පුළුවන් තරම්ම සරලවයි මම ලියන්නේ.

වසංගත පැතිරෙන ආකාරය ආකෘතිගත කරන්න ඉතා ජනප්‍රියව හා සුලභව යොදා ගැනෙන්නේ කුටීර ආකෘති. විවිධ වසංගත පැතිරෙන ආකාරය විස්තර කිරීමට විවිධ කුටීර ආකෘති යොදා ගැනෙනවා. ඒ ආකෘති අතර විවිධ වෙනස්කම් තිබුණත් මූලික ලක්ෂණ අනුව බොහෝ දුරට සමානයි. ඒ නිසා අපි පැරණිම හා සරලම කුටීර ආකෘතියකින් පටන් ගනිමු. ආකෘතිය සරල වුවත් මෙය කෝවිඩ්-19 සඳහා බොහෝ දුරට ගැලපෙනවා.

මේ ආකෘතිය අනුව කිසියම් ජනගහණයක සිටින නිශ්චිත පුද්ගලයෙක් කිසියම් නිශ්චිත අවස්ථාවක ඉන්නේ කුටීර තුනකින් එකක් ඇතුළේ. ආරම්භයේදී ඉන්නේ පළමු කුටීරයේ. ඉන් පසුව, දෙවන කුටීරයටත් අවසානයේදී තෙවන කුටීරයටත් යනවා. මේ කුටීර තුන අපි අ, ආ, ඉ කියා හඳුන්වමු. මේ නාමකරණය අනුවම යමින් අපට මේ ආකෘතිය "අආඉ ආකෘතිය" ලෙස හඳුන්වන්න පුළුවන්. මේ සිංහල නම ඉකොනොමැට්ටාගේ නමක්. සමහර විට නිවැරදි තාක්ෂනික යෙදුමක් ඇති. මම දන්නේ නැහැ. ඉංග්‍රීසි නම SIR ආකෘතිය.

දැන් මේ කුටීර තුන මොනවාද? ඒවා මොනවාද කියා කිවුවට පස්සේ මම මේ ආකෘතිය "අආඉ ආකෘතිය" ලෙස හැඳින්වූවේ ඇයි කියන එකත්, ඉංග්‍රීසියෙන් SIR ආකෘතිය කියන්නේ ඇයි කියන එකත් පැහැදිලි වෙයි.

පළමු කුටීරය - අවදානමක සිටින පිරිස (susceptible)
දෙවන කුටීරය - ආසාදිත පිරිස (infected)
තෙවන කුටීරය - ඉවත් වූ පිරිස (removed)

කෝවිඩ්-19 වගේ අලුතෙන්ම පැතිරෙන රෝගයක් ගත්තහම ආරම්භයේදී රටේ මුළු ජනගහණයම ඉන්නේ පළමු කුටීරය ඇතුළේ. තවම මේ රෝගයට කිසිවෙකුව එන්නත් කර නැහැ. කිසිවෙකුට ස්වභාවික ප්‍රතිශක්තිය ඇති බව තහවුරු වෙලත් නැහැ. දෙවන චක්‍රයකදීනම් තත්ත්වය වෙනස්.

පළමු කුටීරයේ ඉන්න අය ක්‍රමයෙන් දෙවන කුටීරයට යනවා. දෙවන කුටීරයේ ඉන්න අය සුව වූ පසු හෝ මිය යාමෙන් පසු තෙවන කුටීරයට යනවා. මේ ආකෘතියේදී සුව වූ අය සහ මිය ගිය අය වෙන් කර අධ්‍යයනය කරන්නේ නැහැ. දෙගොල්ලොම ඉන්නේ එක ගොඩේ. ආකෘතියේ උපකල්පන අනුව, ඔය දෙකෙන් කොයි එක වුනත් ආසාදිතයින් ප්‍රමාණය අඩු වෙන එකයි වෙන්නේ.

අපි මේ කණ්ඩායම් තුන ඉංග්‍රීසි මුල් අකුරු අනුව යමින් මේ විදිහට හඳුන්වමු.

S = S(t) - අවදානමක සිටින පිරිස
I = I(t) - ආසාදිත පිරිස
R = R(t) - ඉවත් වූ පිරිස

ඒ වගේම රටේ මුළු ජනගහණය N ලෙස හඳුන්වමු.

මෙහිදී අපි S, I හා R නිශ්චිත අගයන් ලෙස සලකා නැහැ. කිසියම් මොහොතක එම අගයන් නිශ්චිත වුවත් කාලයත් සමඟ වෙනස් වෙනවා. S(t), I(t) හා R(t) ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. එහෙමනම්, කිසියම් මොහොතක රටේ මුළු ජනගහණය කොපමණද? එම ප්‍රමාණය මේ කුටීර තුනේ ඉන්නා පිරිස් වල එකතුවට සමාන විය යුතුයි.

N = S(t) + I(t) + R(t)

දැන් මේ N කාලයත් සමඟ වෙනස් වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනෑනේ.

- කෝවිඩ්-19 මරණ නිසා
- කෝවිඩ්-19 නොවන මරණ නිසා
- අලුත් දරු උපත් නිසා
- රටින් පිටතට යන හා රටට එන අය නිසා.

මේ ආදී විවිධ හේතු නිසා රටේ මුළු ජනගහණය කාලයත් සමඟ වෙනස් වෙනවා. ඒ සියලු කරුණු සලකා බැලෙන වඩා සංකීර්ණ ආකෘති තිබුණත් මේ මූලික ආකෘතියේදී අපට N නියතයක් ලෙස උපකල්පනය කරන්න පුළුවන්. කෝවිඩ්-19 නිසා වසරක් තුළදී රටක ජනගහණයෙන් 1%ක් මිය යා හැකියි කියා හිතුවත්, සාමාන්‍යයෙන් වසරක් ඇතුළත ජනගහණ වර්ධනයද 1%ක්නම් අන්තිමට ජනගහණයේ වෙනසක් වෙන්නේ නැහැ. ඔය වැඩේ ඔහොම හරියටම සමතුලිත නොවුනත් කෙටි කාලයක් තුළ කෝවිඩ්-19 තිබුණා හෝ නොතිබුණා කියා රටේ ජනගහණය විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ.

අපි හිතමු ආරම්භයේදී කවර හෝ ආකාරයෙන් රටේ යම් පිරිසක් ආසාදනය වුනා කියා. මේ ප්‍රමාණය m කියා කියමු. දැන්, රටේ ජනගහණයෙන් මේ m පිරිස හැර අනෙක් සියලු දෙනාම ඉන්නේ පළමු කුටීරයේ. ආසාදනය වූ අය ඉන්නේ දෙවන කුටීරයේ. තෙවන කුටීරයේ කිසිවෙකු නැහැ. ඒ නිසා,

S(0) = N - m
I(0) = m
R(0) = 0

උදාහරණයක් විදිහට අපි හිතමු මුළු ජනගහණය 100 හා ආරම්භයේදී ආසාදනය වී සිටි ගණන 2 බව. මේ උදාහරණයේදී,

S(0) = 98
I(0) = 2
R(0) = 0

ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මෙය පැහැදිලි කිරීම සඳහා අපට ඉතා කුඩා නිශ්චිත කාලාන්තරයක් තුළදී පළමු කුටීරයේ සිට දෙවන කුටීරයටත්, දෙවන කුටීරයේ සිට තෙවන කුටීරයටත් "ගලා යාමක්" සිදු වන ආකාරය පිළිබඳව ප්‍රවාදයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා, අපි පහත උපකල්පන කරමු.

1. ඉතා කුඩා නිශ්චිත කාලාන්තරයක් තුළදී පළමු කුටීරයේ සිට දෙවන කුටීරයට ගලා යාමේ වේගය පළමු කුටීරයේ සිටින අයෙකු දෙවන කුටීරයේ සිටින අයෙකුව හමු විය හැකි අවස්ථා ගණනට අනුලෝමව සමානුපාතිකයි. ඕනෑම අයෙකු තවත් අයෙකු සමඟ අහඹු ලෙස මිශ්‍ර විය හැකි බව අපි කලින්ම උපකල්පනය කරලා තියෙන නිසා මෙම අවස්ථා ගණන S(t) * I(t)  ගුණිතයට සමානයි. ඉහත උදාහරණය ගත්තොත් දැනට පළමු කුටීරයේ (අවදානම් තත්ත්වයේ) ඉන්න 98 දෙනාට දෙවන කුටීරයේ සිටින ආසාදිතයින් ඕනෑම කෙනෙක් හමු විය හැකි නිසා මෙවැනි හමු 98*2 = 196ක් සිදු විය හැකියි. එසේ හමුවන අවස්ථාවකදී රෝගය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව β ලෙස සැලකුවොත්, මෙම කාලාන්තරය අතරතුර β * S(t) * I(t) දෙනෙකු අලුතෙන් ආසාදනය වෙනවා. උදාහරණයක් ලෙස අපි හිතමු β = 1/100 කියා. ඒ කියන්නේ ඉහත කී සිදු විය හැකි හමු 196දී ආසන්න වශයෙන් ආසාදනය වීම් 2ක් පමණ සිදු විය හැකියි.

පහත දුඹුරු පාටින් ඇති කොටස් ගණිතය හදාරා ඇති අයට පමණයි. අනෙක් අයට එම කොටස් අතහැර කියැවුවා කියා අඩුවක් වෙන්න හේතුවක් නැහැ.

මේ අනුව,

පළමු කුටීරයේ සිට දෙවන කුටීරයට ගලා යාමේ වේගය  ∝ S(t) * I(t)

මුළු ජනගහණය N නියතයක් නිසා අපට මෙසේද කියන්න පුළුවන්.

පළමු කුටීරයේ සිට දෙවන කුටීරයට ගලා යාමේ වේගය  ∝ S(t) * I(t)/N 

මෙහි I(t)/N යනු කිසියම් මොහොතක ජනගහණය තුළ ආසාදිතයින්ගේ ප්‍රතිශතයයි.

අපට නියතයක් යොදා ගෙන මෙහි සමානුපාතික ලකුණ ඉවත් කළ හැකියි. මේ නියතය අපි β ලෙස හඳුන්වමු. මේ අනුපාතයට කාලයත් සමඟ පළමු කුටීරයේ ජනගහණය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා,

dS(t)/dt = -β * S(t) * I(t)/N.


2. දෙවන කුටීරයේ සිට තෙවන කුටීරයට ගලා යාමේ වේගය දෙවන කුටීරයේ සිටින (ආසාදිතයින්) ගණනට අනුලෝමව සමානුපාතිකයි. අපි හිතමු දෙවන කුටීරයේ සිටින අයෙකු තෙවන කුටීරයට යාමට (සුව වීමට හෝ මියයාමට) දින 10ක් ගත වන බව. ඒ අනුව, දෙවන කුටීරයේ සිටින අයෙකු දිනක් තුළ එයින් ඉවත් වීමේ සම්භාවිතාව 1/10යි. එහි 20 දෙනෙකු ඉන්නවානම් එයින් දෙදෙනෙකු දිනක් ඇතුළත තෙවන කුටීරයට යනවා.

මේ අනුව,

දෙවන කුටීරයේ සිට තෙවන කුටීරයට ගලා යාමේ වේගය  ∝ I(t)

අපට නියතයක් යොදා ගෙන මෙහිද සමානුපාතික ලකුණ ඉවත් කළ හැකියි. මේ නියතය අපි γ ලෙස හඳුන්වමු. මේ අනුපාතයට කාලයත් සමඟ තෙවන කුටීරයේ ජනගහණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ නිසා,


dR(t)/dt = γ * I(t)


දැන් අපට කාලයත් සමඟ ආසාදිතයින් ප්‍රමාණයද පහසුවෙන්ම සූත්‍රගත කළ හැකියි.

දෙවන කුටීරයේ ජනගහණය (ආසාදිතයින් ගණන) වෙනස් වීම = පළමු කුටීරයෙන් එකතු වන ප්‍රමාණය - තෙවන කුටීරයට ඉවත් වන ප්‍රමාණය.

අවකල සමීකරණයක් ලෙස,

dI(t)/dt = β * S(t) * I(t)/N - γ * I(t).

ඉහත අවකල සමීකරණ තුන එක් පද්ධතියක් ලෙස සලකා විසඳිය හැකියි. එවිට, අපට කිසියම් මොහොතක එක් එක් කුටීරයේ සිටින ජනගහණය සඳහා විශ්ලේෂණාත්මක විසඳුමක් ලැබෙනවා. නිරීක්ෂණය කරන දත්ත යොදාගනිමින් එහි පරාමිතීන් හොයා ගන්න පුළුවන්. මගේ කලින් ලිපි වල විස්තර කළ R0 අගය මේ අවකල සමීකරණ වල එන β/γ අගයට සමාන බවද ගණිතය යොදා ගෙන පෙන්වා දිය හැකියි. එහෙත් එය යොදා ගන්නා කුටීර ආකෘතිය අනුව වෙනස් වෙන්න පුළුවන්.

මේ ආකෘතියට අනුව කාලයත් සමඟ එක් එක් කුටීරයේ සිටින ප්‍රමාණය වෙනස් වෙන්නේ පහත රූප සටහනේ පෙන්වා දී තිබෙන ආකාරයේ රටාවකටයි.



(Image: https://www.researchgate.net/publication/224209140_To_agent-based_simulation_from_System_Dynamics/figures?lo=1)

Thursday, April 2, 2020

කෝවිඩ් පැටවු ගහන හැටි


වසංගත පැතිරීම ආකෘතිගත කරන ආකාරය සම්බන්ධ තාක්ෂනික කරුණු දැන ගන්න කැමති බව කිහිප දෙනෙක්ම ලියල තිබුණනේ. මෙය ඇත්තටම බ්ලොග් ලිපි දෙක තුනකින් පැහැදිලි කළ හැකි තරම් සරල දෙයක් නෙමෙයි. තනිකරම විෂයයක්නේ. කොහොම වුනත් මේ වගේ අලුත් නොදන්නා විෂයයක් ගැන උනන්දුවක් ඇති වීම මේ අඳුරු වලාවේ එක් රිදී රේඛාවක් කියා කියන්න පුළුවන්. යන විදිහට ගොඩක් දෙනෙක්ට ආර්ථික විද්‍යාව ගැන දැන ගන්න විශාල උනන්දුවක් ඇති වෙන්නත් ලොකු කාලයක් යන එකක් නැහැ.

වසංගත පැතිරීම ගැන කතා කරන්න කලින් අපි ඒ සඳහා දැන ගන්න අවශ්‍ය මූලික කරුණක් කතා කරමු. මේ ලිපිය ලියන්නේ ගණිතය හා සංඛ්‍යානය ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙනුයි. අනෙක් අයට ටිකක් බර වැඩි වෙන්න පුළුවන්.

අපි අර මූලික ප්‍රජනන අගය ගැනත් එය ඇස්තමේන්තු කිරීමේ අසීරුව ගැනත් ගොඩක් කතා කළානේ. දැනට අපි ඒ සියල්ල අමතක කරලා මේ අගය 2.0 ලෙස සලකමු. ඒ කියන්නේ එක් ආසාදිතයෙක් තවත් දෙදෙනෙකුට රෝගය පතුරුවනවා. මේ ගණන නිවැරදි බවත්, හැම ආසාදිතයෙක්ම තවත් ආසාදිතයින් දෙදෙනෙකුට රෝගය පතුරුවන බවත් අපි උපකල්පනය කරමු. අප්‍රේල් පළමුවෙනිදා රටේ එක් අයෙක් කෙසේ හෝ ආසාදනය වුනා කියා හිතමු. එහෙමනම්, දවස් 21කට පසුව රටේ ආසාදිතයින් ගණන ඇස්තමේන්තු කරන්න කාට හරි පුලුවන්ද?

මෙය ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ ගැටළුවක්. මේ සරල ගැටළුවට වුවත් විසඳුමක් හොයා ගැනීම පහසු නැහැ. ඒ ඇයි?

මේ ආසාදිතයා වෙනත් අයට රෝගය බෝ කරන්නේ දවස් කීයකට පස්සෙද කියන එක අපි දන්නේ නැහැ. එය සිදු වන්නේ 22වන දවසේනම් 21 වන දවස වන විටත් රටේ ඉන්නේ අර පළමු රෝගියා පමණයි. විසඳුම හොයා ගන්නනම් අපට තවත් වැඩිමනත් තොරතුරු අවශ්‍ය වෙනවා.

උදාහරණයක් විදිහට ආසාදිතයෙක් ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා කියා අපි හිතමු. දැන් පළමු දිනයේ සිට රෝගීන් වැඩි වෙන්නේ මේ ආකාරයටයි.

1 - 1
2-  1
3-  2
4-  3

දැන් පළමු රෝගියා තමන්ගේ "යුතුකම" කරලා ඉවරයි. ඔහු හෝ ඇය තවත් දෙදෙනෙකුට රෝගය බෝකරලා. මේ රෝගීන් දෙන්නාව අපි 2A හා 2B රෝගීන් ලෙස නම් කරමු. මෙයින් පසුව රෝගය පැතිරෙන්නේ මොන ආකාරයටද?

වැඩේ සංකීර්ණ නිසා අපි අපේ පහසුවට මේ විදිහේ උපකල්පනයක් කරමු. මුල් රෝගියා වගේම අනෙක් සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා. මේ උපකල්පනය මත අපට ගණන් හදාගන්න පුළුවන්.

දැන් අර 2A රෝගියා ආසාදනය වුනේ 3 වන දවසේ නිසා ඇය 5 හා 6 දින වලදී තවත් දෙදෙනෙකුට (3A සහ 3B පුද්ගලයින්ට) වෛරසය සම්ප්‍රේෂණය කරනවා. නමුත්, 2B රෝගියා ආසාදනය වුනේ 4 වන දවසේ නිසා ඔහු තවත් දෙදෙනෙකුට (3C  සහ 3D පුද්ගලයින්ට) වෛරසය සම්ප්‍රේෂණය කරන්නේ 6 හා 7 දින වලදී. ඒ අනුව, ඊළඟ දවස් දෙකේදී තත්ත්වය මෙහෙමයි.

5- 4  (1, 2A, 2B, 3A)
6- 6  (1, 2A, 2B, 3A, 3B , 3C)

හත් වෙනි දවසේ වෙන්නේ කුමක්ද? හත් වන දවසේදී 2B විසින් 3D ආසාදනය කරනවා. ඒ සමඟම දෙවන පරම්පරාවේ රෝගීන් රෝගය බෝ කර අවසන් වෙනවා. ඒ අතර තුන් වන පරම්පරාව වැඩ පටන්ගන්නවා. හත් වන දවසේ 3A විසින් 4A ආසාදනය කරනවා. එතැන් සිට වැඩේ යන හැටි පහත පෙන්වා තිබෙනවා. මෙහි තේරුම් ගැනීමේ පහසුව පිණිස එක් එක් පරම්පරාවේ රෝගීන් වෙන වෙනම තීරු වල දක්වා තිබෙනවා. අන්තිම තීරුව එක් එක් දිනය අවසානයේ මුළු ආසාදිතයින් ගණන.

1 1 1
2 1
3 1 2
4 1 3
5 1 4
6 2 6
7 1 1 8
8 3 11
9 3 1 15
10 1 4 20
11 6 1 27
12 4 5 36
13 1 10 1 48
14 10 6 64
15 5 15 1 85
16 1 20 7 113
17 15 21 1 150
18 6 35 8 199
19 1 35 28 1 264
20 21 56 9 350
21 7 70 36 1 464

මේ අනුව දින 8කට පමණ වරක් ආසාදිතයින් ප්‍රමාණය 10 ගුණයකින් ඉහළ යන බව පේනවා ඇති. එය ඇමරිකාවේ රටාවට ආසන්නව සමානයි.

මේ ඇස්තමේන්තුව හැදුවේ සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා කියන උපකල්පනය මතයි. දැන් අපි හිතමු මේ වැඩේ වෙන්නේ ටිකක් පහුවෙලා කියලා. දෙවන උදාහරණයේදී සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 4 වන හා 5 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා. මේ වෙනස සමඟ රෝගීන් වැඩි වෙන ආකාරය වෙනස් වෙන්නේ කොහොමද? එය පහත පෙන්වා තිබෙනවා.

1 1 1
2 1
3 1
4 1 2
5 1 3
6 3
7 1 4
8 2 6
9 1 7
10 1 8
11 3 11
12 3 14
13 1 1 16
14 4 20
15 6 26
16 4 1 31
17 1 5 37
18 10 47
19 10 1 58
20 5 6 69
21 1 15 85

කලින් තත්ත්වය යටතේ දින 21කට පසුව 464 දෙනෙකුට රෝගය ව්‍යාප්ත වුනා. දැන් එම ගණන 85 දක්වා අඩු වෙලා. නමුත්, අවස්ථා දෙකේදීම මූලික ප්‍රජනන අංකය සමානයි.

මෙතැන වෙන්නේ මේ වගේ දෙයක්. කිසියම් රටක රතු හා කොළ කියා ජනවර්ග දෙකක් ඉන්නවා. කොයි ජනවර්ගයේ වුවත් එක් කාන්තාවක් වදන්නේ හරියටම දරුවන් දෙන්නෙක් පමණයි. එහෙමනම් එක ජනවර්ගයක් වැඩියෙන් වර්ධනය වෙන්න පුළුවන්ද?

පැහැදිලිවම ඔව්. එසේ නොවන්නේ ජනවර්ග දෙකේම කාන්තාවන් දරුවන් වදන්නේ එකම වයසකදීනම් පමණයි. එසේ නැත්නම් අඩු වයසෙන් විවාපත් වී දරුවන් වදන කණ්ඩායම වැඩියෙන් බෝවෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේ අඩුවෙන් දරුවන් හදන කණ්ඩායම වැඩියෙන් බෝවෙන්න වුවත් පුළුවන්.

Wednesday, April 1, 2020

කොරෝනා පාලනය


කොරෝනා පැතිරීම ගැන මෙතෙක් ලිවූ ලිපි කිහිපයකින්ම උත්සාහ කළේ වසංගතවේදයේදී යොදා ගැනෙන සම්මත ආකෘති හා අදාළ මූලික කරුණු කිහිපයක් පැහැදිලි කරන්නයි. ඒ හැර, කොරෝනා දේශපාලනය ගැන හෝ කොරෝනා අභියෝගය හමුවේ ලංකාව විසින් ගන්නා ක්‍රියාමාර්ග ගැන මා කතා කළේ නැහැ. විස්තර කළ යුතු තාක්ෂණික කරුණු තවත් රැසක් තිබෙනවා. එහෙත්, කියවන බොහෝ දෙනෙකුට වැදගත් වන්නේ ලංකාවට කුමක් වෙයිද කියන එක නිසා ඒ ගැනත් ටිකක් කතා කරමු. එහෙත්, මෙය මා දකින පරිදි පවතින තත්ත්වය පිළිබඳ විග්‍රහයක් මිස කාවවත් විවේචනය කිරීමක් හෝ කාටවත් කඩේ යාමක් නෙමෙයි.

පළමුවෙන්ම කියන්න තියෙන්නේ ලෝකයේ කිසිදු රටක් කොරෝනා පරාජය කර නැහැ. යමෙක් එහෙම හිතනවානම් එය මුලාවක්. නමුත්, විවිධ රටවල් විවිධ මට්ටම් වලින් රෝගය පාලනය කරගෙන ඉන්නවා.

මූලික ප්‍රජනන අංකය ගැනත්, එය ඇස්තමේන්තු කිරීමේ අපහසුව ගැනත් මම පැහැදිලි කළානේ. මේ පිළිබඳ අවිනිශ්චිතතා කොපමණ තිබුණත් එක දෙයක් සක් සුදක් සේ පැහැදිලියි. ඒ මේ අගය 1.0 ට වඩා වැඩියි කියන එකයි. ඒ කියන්නේ රෝගය පැතිරීම මොනයම් ක්‍රමයකින් හෝ පාලනය නොකළොත්, රටක බහුතරයට රෝගය හැදෙන තුරු පැතිරීම නවතින්නේ නැහැ. සම්මත ආකෘති අනුව රෝගය පැතිරීම නවතින්නේ විශාල පිරිසකට රෝගය වැළඳී, එයින් යම් පිරිසක් මිය ගොස් ඉතිරි පිරිසට ස්වභාවික ප්‍රතිශක්තිය ලැබුණු පසුවයි. නමුත්, කිසිම රටක් තවමත් ඒ තත්ත්වය කිට්ටුවත් ගිහින් නැහැ. ඒ නිසා, කොපමණ පිරිසක් මැරෙයිද, කොපමණ පිරිසකට ස්වභාවික ප්‍රතිශක්තිය ලැබෙයිද, එහෙම ස්වභාවික ප්‍රතිශක්තිය ලැබුනොත් එය කොපමණ කලක් තියෙයිද වගේ කරුණු ගැන අපට තවම කිසිම දෙයක් සහසුද්දෙන්ම කියන්න බැහැ.

රෝගය වැඩිපුරම ව්‍යාප්ත වී තිබෙන රටවල් වන ඉතාලියේ හා ස්පාඤ්ඤයේ ජනගහණයෙන් ආසන්න වශයෙන් දහසකට දෙදෙනෙකු පමණ මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙනවා. නමුත්, එම රටවල පවා තවමත් දහසකින් 998 දෙනෙකු එසේ හඳුනා නොගත් අයයි. යම් හෙයකින් නොදැනම වෛරසය ආසාදනය වී අවසන්ව නැත්නම් මේ අයට කොයි වෙලාවක හෝ වෛරසය වැළඳිය හැකියි. අනිවාර්යයෙන්ම මේ අයගෙන් යම් කොටසකට මේ වන විට නොදැනම වෛරසය වැළඳී තිබිය හැකි වුවත් ඒ ප්‍රමාණය කොපමණද කියා අප දන්නේ නැහැ. කිසිම අදහසකුත් නැහැ.

මේ තත්ත්වය ලංකාවට හෝ වෙනත් රටකට කියා වෙනස් වන දෙයක් නෙමෙයි. ලංකාවට අදාළ මූලික ප්‍රජනන අංකය 2.2 නොවිය හැකියි. එහෙත් එය 1.5 වුනත් 4 වුනත් රෝගය පැතිරෙන වේගය වෙනස් වනවා මිස රෝගය පැතිරීම නවතින්නේ නැහැ. මෙය මතක තබා ගත යුතු පළමු වැදගත් කරුණයි.

දෙවන වැදගත් කරුණ වන්නේ විවිධ ක්‍රියාමාර්ග හරහා රෝගය පැතිරීම පාලනය කළ හැකි බවයි. ඒ කියන්නේ අපට අපේ උත්සාහයෙන් මූලික ප්‍රජනන අංකය අඩු කර ගත හැකියි. එය 1.0 මට්ටමෙන් පහළට ගත්තොත් රෝගය පැතිරීම ක්‍රමයෙන් අඩු වී අන්තිමේදී නවතිනවා. පාලිත තත්ත්වයන් යටතේදී එය 1.0 මට්ටමෙන් පහළට ගෙන මාසයක් දෙකක් එලෙසම පවත්වා ගත හැකි බව චීනය විසින් ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ඒ වගේම, ඉතාලිය හා ස්පාඤ්ඤය වැනි රටවල්ද ඇතුළුව ලෝකයේ හැම රටක්ම වගේ මූලික ප්‍රජනන අංකය යම් තරමකින් අඩු කරගෙන තිබෙනවා. එහෙත්, 1.0 මට්ටමෙන් පහළට නොගත්තොත් රෝගය පැතිරීමේ වේගය මිස රෝගය පැතිරීම අඩු වන්නේ නැහැ. හැම බටහිර රටකම වගේ තවමත් රෝගය පැතිරෙන්නේ ඒ නිසයි. දැනට පවතින තත්ත්වයන් අනුව ස්වභාවික ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වීමෙන් මිස බටහිර රටවල රෝගය පැතිරීමේ වේගය මිස රෝගය පැතිරීම නවතින්න ඉඩක් නැහැ.

එක ඇනෝ කෙනෙක් අසා තිබුණා හදිසියේ කෝවිඩ් හැදී ඉකොනොමැට්ටා මළොත් දැනගන්නේ කොහොමද කියා. එහෙම වුනොත්, මටනම් දැනගන්න වෙන්නේ නැහැ. මම මැරිලානේ!

ඉදිරි නරක කාලය ඇතුළත අපි කවුරු වුනත් මැරෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. මේ වන විට අපේ පැත්තේ දන්නා කියන අයටත් රෝගය වැළඳෙමින් තිබෙනවා. ගෙදරටම වී හිටියත්, කොයි තරම් පරිස්සම් වුනත් කොයි වෙලාවක හෝ අපිත් වෛරසයේ ගොදුරක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් ඇමරිකාවේ හිටියා කියා ලොකු වාසියක් නැහැ. ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වෙන්නේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය මතයි. ඒක මේ හදිස්සියේ ලොකුවට වැඩි කරගන්න පුළුවන් කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා, මම මේ ගැන එතරම් වද වෙන්නේ නැහැ. මම වැඩිපුර වද වෙන්නේ මගේ පාලනයට නතු දේවල් ගැනයි.

ඕක තමයි තත්ත්වය. හැබැයි එහෙමයි කියා මම ඇමරිකාව හෝ ඇමරිකන් ආණ්ඩුව විවේචනය කරන්නේ නැහැ. මේ හා අදාළව ආණ්ඩුවට ඔයිට වඩා කරන්න ලොකු දෙයක් නැහැ. කොරෝනා හැදී ඉකොනොමැට්ටා මැරුණත් මෙය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ ඉකොනොමැට්ටාගේ යාළුවෝ, නෑදෑයෝ හැඟීම්වර වෙලා ඇමරිකාව විවේචනය කළ හැකි වුනත් එසේ වූ පමණින් මේ කරුණ වෙනස් වෙන්නේ නැහැ.

එක දෙයක් හැර ලංකාවේ ආණ්ඩුව විසින් කළ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් ඇමරිකාවේ ආණ්ඩුව විසිනුත් කළා. ලංකාවට කළ නොහැකි ඇමරිකාව වැනි රටකට කළ හැකි තවත් දේවලුත් කළා. ලංකාව කරන දේවල් වලින් ඇමරිකාව විසින් නොකළේ සබඳතා හඹායාම (contact tracing) පමණයි. එය ඇමරිකාවට හෝ වෙනත් බටහිර රටකට කළ නොහැකි දෙයක්. එවැනි දෙයක් කරන්න ගියොත් මේ රටවල මූලික පදනමම බිඳ වැටෙනවා.

ලංකාව වගේම චීනය හා දකුණු කොරියාවත් රෝගය පාලනය සඳහා මේ සබඳතා හඹායාම කියන උපක්‍රමය සාර්ථකව භාවිතා කළා. මේ කටයුත්තේදී ලංකාවට විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබීම වාසියක් වුනා. මේ වෙලාවේ වාසියක් වූ පමණින් මා විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. එහෙත්, යම් තත්ත්වයන් යටතේ එවැන්නක වාසියක් තිබෙන බව කියන්නට මැලි වන්නේත් නැහැ.

මේ වන විට ලංකාවෙන් හමු වී තිබෙන්නේ කොරෝනා රෝගීන් 146 දෙනෙකු පමණයි. ඔවුන්ගෙන් විශාල පිරිසක් වෙනත් රටකදී රෝගය බෝ කරගත් අය හෝ නිරෝධායනය වෙමින් සිටියදී හඳුනාගත් අයයි. මා විස්තර කළ මූලික ප්‍රජනන අංකය යොදා ගත හැක්කේ රෝගය ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට පැමිණි විට පමණයි. ඒ නිසා, මෙතෙක් ලංකාවේ වාර්තා වී තිබෙන ආනයකික ආසාදිතයින්ගේ දත්ත මත ලොකු නිගමන වලට එන්න බැහැ. කොහොම වුනත් එක දෙයක් පැහැදිලියි. ලංකාව තවමත් මූලික ප්‍රජනන අංකය 1.0 ට පහළින් හෝ ආසන්නව පවත්වා යනවා. එසේ නැත්නම් මේ වන විට රෝගය මීට වඩා වේගයෙන් ව්‍යාප්ත විය යුතුයි.

බටහිර රටක දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් ලංකාව අනුගමනය කරන ක්‍රමයේ අඩු වශයෙන් ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබෙනවා. පළමු ප්‍රශ්නය මිනිස්සුන්ට වන පීඩාවක් වලක්වන්න ආණ්ඩුව විසින් ඔවුන්ට වෙනත් විශාල පීඩාවක් කිරීමයි. නමුත්, එය ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්තනම් එවැනි පීඩාවක් තිබෙන බව කියන්න බැහැ. ඇමරිකාවේදී හේතුවක් නැතිව පොලීසියෙන් වාහනයක් නවතා හැඳුනුම්පත පරීක්ෂා කළොත් එය ලොකු අවුලක්. නමුත්, ලංකාවේ ජීවත් වන කෙනෙකුට එය සාමාන්‍ය දෙයක්. ඇඳිරි නීතිය විශාල පීඩාවක් වුවත් ලාංකිකයින්ට නුපුරුදු දෙයක් නෙමෙයි. අපේ වයසේ අයටනම් 88/89 කාලයේ අවුරුදු දෙක තුනක් එක දිගටම ඇඳිරි නීතිය යටතේ ජීවත් වී පුරුද්දක් තිබෙනවා. උතුරු නැගෙනහිර අයටනම් දශක ගණනක්. මේ හේතු නිසා ලොකු සහෝදරයා ගෙදරටම හොම්බ දමන එක මේ වෙලාවේ ලංකාවේ වැඩි දෙනෙකුට වෛරස් තර්ජනයට සාපේක්ෂව හිතට වද දෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ලංකාව හා අදාළව මා මේ කරුණ බැහැර කරනවා.

දෙවන ප්‍රශ්නය සම්පත් සීමාවන් පිළිබඳ ප්‍රශ්නයක්. දැනට ලංකාවේ ඉන්නේ කෝවිඩ්-19 රෝගීන් 150කට අඩු ප්‍රමාණයක්. එහෙත්, මා දන්නා තරමට අඩු වශයෙන් විසි දහසක පමණ පිරිසක් රාජ්‍ය යාන්ත්‍රනය විසින් නිරන්තරව නිරීක්ෂණය කෙරෙමින් පවතිනවා. රටේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙන නිසා මෙය කළ හැකියි. ලංකාවේ විශාල රාජ්‍ය යාන්ත්‍රණය ඉතා අකාර්යක්ෂමයි. නමුත්, මේ වෙලාවේ වෙන්නේ එසේ අකාර්යක්ෂමව තිබුණු සම්පත් ප්‍රයෝජනයට ගැනීමක්. ආණ්ඩුව විසින් කොරෝනා මර්දනය කරන්න අලුතින් රාජ්‍ය සේවකයින් හෝ හමුදා සෙබළුන් බඳවාගෙන නැහැ. ඒ නිසා දැනට සිටින රාජ්‍ය සේවකයින් මේ ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම උචිත දෙයක්. ඇමරිකාවේ රජය සතුව මෙවැනි ප්‍රයෝජනයට නොගැනෙන මානව සම්පත් නැහැ.

එහෙත් යම් හෙයකින් රෝගීන් ප්‍රමාණය 1500 දක්වා වැඩි වුනොත් මේ වැඩේ මේ ආකාරයෙන්ම කරගෙන යන්න බැරි වෙනවා. එවිට යටට ඔබා ගෙන සිටින රබර් බෝලයක් උඩ එනවා වගේ දැනට 1.0 මට්ටමේ හෝ පහළින් තිබෙන R0 අගයද ඉහළ යනවා. රෝගීන් ගණන 150 සිට 1500 දක්වා ඉහළ යන එක් අහඹු සිදු වීමක් නිසා එක සතියක් ඇතුළත විය හැකි දෙයක්. කොයි තරම් හොඳින් තත්ත්වය කළමනාකරණය කළත් එවැන්නක් වීමේ අවදානමක් තිබෙනවා. එසේ නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කිසිවෙකු විසින් තමන්ගේ නොසැළකිල්ල නිසා රටේ විශාල පිරිසක් අවදානමක නොහෙළනු ඇතැයි අපේක්ෂා කරමු.

තෙවන ප්‍රශ්නය වන්නේ මේ වැඩේ මේ විදිහට කොයි තරම් කාලයක් කරන්නද කියන එකයි. සතියක්? මාසයක්? අවුරුද්දක්?

බටහිර රටවල්, විශේෂයෙන්ම ඇමරිකාව හා බ්‍රිතාන්‍යය, ඕනෑවට වඩා දැඩි පාලනයකට නොයන්නේ මේ නිසා. ලංකාව කවදා හෝ ඇඳිරි නීතිය ඉවත් කළ යුතුයි. කවදා හෝ ගුවන් තොටුපොළ ඇරිය යුතුයි. එසේ කළ විට වහාම රෝගය වේගයෙන් පැතිරිය හැකියි. කොහොම වුනත් මේ හේතුව නිසාම ලංකාව කරන වැඩේ තේරුමක් නැහැ කියා කියන්න බැහැ.

තරමක් දේශපාලනික කරුණකට ආවොත් ලංකාව ස්වයංපෝෂිත කිරීමේ සිහිනයක සිටින අය ඉන්නවා. මා මෙය මේ ලිපියෙන්  වැඩිපුර විශ්ලේෂණය කරන්න අදහසක් නැහැ, එසේ නොකර කියන්න තිබෙන දේ කියනවානම්, ලංකාව වගේ කුඩා රටකට එය කළ නොහැකියි. මා මෙයින් කියන්නේ රටේ හැදිය හැකි හැම දෙයක්ම පිටින් එන තුරු බලා සිටිය යුතු බව නෙමෙයි. පැහැදිලිවම එය නොකළ යුතු දෙයක්. මා කියන්නේ ලංකාවට දොරගුළු වසාගෙන විශාල කාලයක් සිටිය නොහැකි බවයි. එවැන්නක් කළ හැක්කේ චීනය, ඉන්දියාව, රුසියාව, ඇමරිකාව හා සමස්ත යුරෝපීය සංගමය වැනි විශාල ජනගහණයක් හා භූමියක් ඇති දේශපාලන ඒකකයකට පමණයි. ලංකාව වැනි රටකට දොරවල් වහගෙන ඉන්න පුළුවන්. එහෙත් එසේ සිටිද්දී රටේ ජීවන තත්ත්වය අනිවාර්යයයෙන්ම දැන් තිබෙන තත්ත්වයෙන් ගොඩක් පහළට වැටෙනවා.

එහෙමනම් මේ කරන වැඩේ තේරුමක් තිබෙනවාද? මෙතැනදී අපට මා කලින් විස්තර කර තිබෙන ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කුමක්ද කියා හිතන්න වෙනවා. මේ අවස්ථාව ලෝකයේ හැම රටක්ම දොරගුළු වහගෙන ඉන්න අවස්ථාවක්. ඒ නිසා, ලංකාව විවෘතව තබා ගැනීමේ වාසි මේ වෙද්දී කොහොමටත් නැති වෙලයි තියෙන්නේ. ඒ තත්ත්වය මාස ගණනකට වෙනස් වෙන්න ඉඩක් නැහැ.

පශ්චාත්-කෝවිඩ් ලෝකය දැන් තිබෙන ලෝකයම වෙන එකක් නැහැ. ගොඩක් දේවල් වෙනස් වී තිබෙයි. ලංකාව වගේ පර්යන්තයේ තිබෙන රටකට ඒ වෙනස්කම් සිදු වන ආකාරය දිහා බලා ඉන්නවා ඇර වෙනස්කම් වලට ලොකුවට දායක වෙන්න අමාරුයි. කරන්න පුළුවන්කම තියෙන්නේ සිදුවන වෙනස්කම් දෙස බලා උචිත ලෙස හැඩ ගැහෙන එකයි. ඒ වැඩේට කාලය අවශ්‍යයි. මොන දේ කළත් යම් අවස්ථාවක ලංකාවේත් කොරෝනා පැතිරෙන්න පුළුවන්. නමුත්, ඒ දවස කල් දමාගත් තරමට ලංකාවට තත්ත්වයට මුහුණ දෙන එක වඩා පහසු වෙයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...