වෙබ් ලිපිනය:

Showing posts with label ලාබ. Show all posts
Showing posts with label ලාබ. Show all posts

Saturday, May 30, 2020

මරණ බය හමුවේ අහිතකර පුරුදු



ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාවේ සිදුවන මරණ වලින් 10%කට හේතුව දුම් පානයයි. ලංකාවේ දුම් පානය බොහෝ දුරට පිරිමින්ගේ පුරුද්දක්. ලංකාවේ පිරිමින් අතර දුම් පානය 2005දී වූ 40.5% මට්ටමේ සිට ක්‍රමයෙන් පහත වැටෙමෙන් ඇතත් 2018 වන විටත් පිරිමින්ගෙන් 28.4%ක් දුම්පානයෙන් ඈත්ව සිටියේ නැහැ.

ලංකාවේ දුම් පානය කරන්නන්ගෙන් 91%ක් සිගරැට් උරන්නන්. ඉතිරි ප්‍රමාණයෙන් වැඩි පිරිසක් බීඩි උරන්නන්. ලංකාවේ සිගරැට් වෙළඳපොළ බොහෝ දුරට ලංකා දුම්කොල සමාගමේ ඒකාධිකාරයක්. 2019 වසරේදී දුම්කොළ සමාගමේ පිරිවැටුම රුපියල් බිලියන 141.3ක්. එම මුදලින් රුපියල් බිලියන 120.4ක් ලබා ගෙන තිබෙන්නේ රජය විසිනුයි. බදු ගෙවීමෙන් පසුව සමාගමේ ලාබය රුපියල් බිලියන 17.3ක්. එම ලාබය බොහෝ දුරට රටෙන් පිටට යන මුදලක්. ලංකා දුම්කොළ සමාගමේ කොටස් වලින් 92.5%ක්ම අයිති බීඒටී හා පිලිප් මොරිස් බහුජාතික සමාගම් වලටයි. ඉතිරි කොටස් වලින්ද සැලකිය යුතු අයිතියක් විදේශිකයන් හෝ විදේශික සමාගම් සතුයි.

රජය විසින් හා දුම්කොල සමාගමේ කොටස් හිමිකරුවන් විසින් ලබා ගෙන ඇති ආදායම් මුළු පිරිවැටුමෙන් අඩු කළ විට විකිණූ සිගරැට් වල පිරිවැය සොයාගැනීම අමාරු නැහැ. සේවක පඩි නඩි, දුම්කොළ ඇතුළු අමුද්‍රව්‍ය වල වියදම හා විදුලි බිල ඇතුළු අනෙකුත් වියදම් සඳහා වැයවන මුළු පිරිවැය වන්නේ රුපියල් බිලියන 3.7ක පමණ මුදලක් පමණයි. දුම්කොළ සමාගමේ ඒකාධිකාරයේ උදවුවෙන් දුම්කොළ සමාගම හා රජය විසින් එකතු කර ගන්නා මුදල දුම්වැටි නිපදවීමට යන නිෂ්පාදන වියදමට සාපේක්ෂව හතළිස් ගුණයකට ආසන්න විශාල මුදලක්.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෑතකාලීන අධ්‍යයනයකට අනුව ලංකාවේ දුම්පානයේ අවාසිය වසරකට රුපියල් බිලියන 213.8ක්. මේ මුදලින් රුපියල් බිලියන 15.3ක් දුම්වැටි භාවිතය ආශ්‍රිත රෝග වෙනුවෙන් වැය වන මුදල්. ඉතිරි රුපියල් බිලියන 198.5 දුම්වැටි නිසා සිදුවන අකල් මරණ හා රෝග නිසාත්, ඵලදායීතාවය අඩු වීම නිසාත් රටේ නිෂ්පාදිතය පහළ යාමේ අවාසියයි.

අවාසියේ වැඩි කොටස වන රුපියල් බිලියන 179.3ක් දුම්වැටි ආශ්‍රිත රෝග නිසා වයස 70ට පෙර මිය යන අයගේ අඩු වූ ජීවිත කාලයන්හි වටිනාකමයි. මේ අවාසිය අදාළ අයගේ පවුල් වලට සිදුවන අවාසියක්. දුම්වැටි භාවිතය ආශ්‍රිත රෝග වෙනුවෙන් වැය වන මුදලෙන් රජයට වැය වන මුදල රුපියල් බිලියන 8.3ක් පමණයි. ඉතිරියෙන් රුපියල් බිලියන 5.9ක් රෝගීන්ගේ අතින් යන වියදම්. රුපියල් බිලියන 1.1ක් රක්ෂණ ගිවිසුම් හරහා පියවෙන වියදම්.

දුම්පානය නිසා සමස්තයක් ලෙස රටට විශාල පාඩුවක් වුනත්, රජයට සිදුවන්නේ විශාල වාසියක්. දුම්කොළ සමාගම විසින් කරන ප්‍රධාන කාර්යය දුම්වැටි නිපදවා විකිණීම නොව, කොමිස් මුදලක් ලබමින් රජයට ආදායම් එකතු කර දීම බව කිවුවොත් එය වඩා නිවැරදියි. දුම්වැටි අලෙවිය හරහා රජය විසින් උපයන බිලියන 120.4ක මුදල දුම්වැටි ආශ්‍රිත රෝග වෙනුවෙන් රජය වැය කරන රුපියල් බිලියන 8.3 මෙන් පහළොස් ගුණයකට ආසන්නයි.

කොරෝනා තර්ජනය දුම්පානය කරන්නන්ට වඩා අහිතකර ලෙස බලපෑමත්, කොරෝනා තර්ජනය හමුවේ රජය විසින් ගත් විවිධ ක්‍රියාමාර්ගත් නිසා 2020 පළමු කාර්තුව තුළ දුම්කොළ සමාගමේ අලෙවි ආදායම 13%කින් පහත වැටී තිබෙනවා. දෙවන කාර්තුව තුළ කොරෝනා බලපෑම මීට වඩා වැඩි විය යුතුයි.

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් මැයි 1-10 අතර ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් සිදු කර ඇති සමීක්ෂණයකට අනුව, දුම්පානය කරන්නන්ගෙන් 20%ක් කෝවිඩ් තර්ජනය හමුවේ දුම්පානය අතහැර තිබෙනවා. තවත් 68%ක් දුම් පානය සීමා කර තිබෙනවා. ඔවුන්ගෙන් 51%ක්ම පවසා ඇත්තේ කෝවිඩ් තර්ජනය අවසන් වීමෙන් පසුවද මේ තත්ත්වය එලෙසම පවත්වා ගැනීමට අදිටන් කරගෙන සිටින බවයි.

තෙවසරකට පෙර දුම්වැටි විරෝධී දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට සම්මානයක් ලබා දෙමින් එහි ක්‍රියාකාරකම් අගය කළා. එහෙත් එම වසර තුළද ලංකාවේ දුම්වැටි අලෙවිය, ඒ හරහා රජය ඉපැයූ බදු ආදායම මෙන්ම දුම්කොල සමාගමේ ලාබද පෙර වසරට වඩා ඉහළ ගියා. කාලයක් තිස්සේ රජයට කළ නොහැකි වූ හෝ කරන්නට අවශ්‍ය නොවූ කාර්යයයක් කොරෝනා වෛරසය විසින් සිදු කර තිබෙනවා.

හෙට (මැයි 31)  මේ වසරේ ලෝක දුම්වැටි විරෝධී දිනයයි.

Monday, May 25, 2020

සහල් මාෆියාව හඹා යමු!


මේ දවස් වල ලංකාවේ ආණ්ඩුව ආර්ථික කළමනාකරණය හා අදාළ අවුල් ජාලයක පැටලී ඉන්නවා. එක අවුලක් ලෙහන්න ගිහින් තවත් අවුල් ගණනාවක් හදා ගන්නවා. සහල් වෙළඳපොළ සම්බන්ධව දැනට ආණ්ඩුව පැටලී ඉන්න අවුලත් ඒ අවුල් ජාලයේම කොටසක්.

මතු පිටින් පේන්න තිබෙන පරිදි ඩඩ්ලි සිරිසේන හා ආණ්ඩුව අතර අවුලක් තිබෙනවා. ඒ අවුල ගැන කතා කිරීමට කාලය යොදවන්න මම කැමති නැහැ. එය තේරුමක් නැති දෙයක්. මේ අය කොහොමටත් එකම කණ්ඩායමක සාමාජිකයෝ. එළියට පේන්න තිබෙන අවුල තව ටික දවසකින් ඇතුළෙම විසඳිලා තියෙයි. (ලිපියේ මේ කොටස ලිවුවේ ඊයේ. මේ වන විටත් අවුල ලෙහිලා බව පෙනෙනවා!). නමුත්, අවුලට පාදක වී තිබෙන ලංකාවේ ආර්ථික ව්‍යුහයේ මූලික ආකෘතිමය ප්‍රශ්නය ඒ විදිහටම තියෙයි. මම අවධානය යොමු කරන්න කැමති ඒ මූලික ආකෘතිමය ප්‍රශ්නයටයි.

මේ ගැන කතා කරන්න කලින් පැහැදිලි කළ යුතු වෙනත් අවශේෂ කරුණු රාශියක් තිබෙනවා. ඒ හැම එකක්ම පැහැදිලි කරන්න තව ලිපි විසිපහක් තිහක් ලියන්න වෙයි. ඒ වැඩේට මාසයක් විතර යයි. ඒ නිසා, අපි ටිකක් ෆාස්ට් ෆෝර්වර්ඩ් කරමු. ඔය ෆාස්ට් ෆෝර්වර්ඩ් කියන වචනය අපේ තරුණ කාලයේ කැසට් යුගයේ වචනයක්. කැසට් යුගයට පසුව ඉපදුණු තරුණ අයට වචනය නුහුරු ඇති. හුරු වුනත් සමහර විට ඇඟට දැනෙන්නේ නැතුව ඇති.

කොහොමටත් මේ බ්ලොග් එකේ ලිපි ලියැවෙන්නේ වනකතා ස්ටයිල් එකට. එහෙමත් නැත්නම් කථා සරිත් සාගරයේ ස්ටයිල් එකට. හැබැයි ගොඩක් වෙලාවට අළුතෙන් අරින වරහන් වහන්න වෙන්නේ නැහැ. පරිගණක ක්‍රමලේඛන භාෂාවෙන් කියනවානම් පුනරාවර්තිතව නීඩායානය කරමින් (recursive nesting) යනවා මිසක් එළියට ඒමක් නැහැ. කෘෂිකර්මයට ආවේ කෝවිඩ් හා අදාළ වැදගත් කරුණු ටිකක් කතා කරන්න අවශ්‍ය මූලික ප්‍රවේශයක් විදිහටයි. දැන් යන්නේ වෙනම පැත්තකට. ඒකට කමක් නැහැ. මේ හැම දෙයක්ම වැදගත්නේ.

ප්‍රශ්නයක් ගැන කතා කරන්න කලින් කළ යුතු පළමු දෙය ප්‍රශ්නය නිවැරදිව හඳුනාගන්නා එකයි. ඇතැම් විට ලොකුවට දැඟලුවවාට විසඳුම් හොයන්න අවශ්‍ය ප්‍රශ්නයක් නැති වෙන අවස්ථාත් තිබෙනවා.

දැන් සිදු වෙමින් තිබෙන්නේ ආණ්ඩුව විසින් සහල් වලට පාලන මිලක් නියම කිරීමත්, ඒ මිලට සහල් සපයන්න මෝල් හිමියන් එකඟ නොවීමත් පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේම පාලන මිලක් නියම කිරීම තුළයි. පාලන මිලක් නැත්නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. එහෙමනම් ආණ්ඩුව විසින් සහල් වලට පාලන මිලක් නියම කර තිබෙන්නේ ඇයි?

පාලන මිලක් නොතිබුණානම් සහල් මිල වෙළඳපොළ තුළ තීරණය වෙනවා. කවර හෝ හේතුවක් නිසා වෙළඳපොළ සමතුලිත මිල නියම මිල නොවන බව ආණ්ඩුව විසින් තීරණය කර වෙනත් නිශ්චිත මිලක් නියම කර තිබෙනවා. ඒ මිල සමඟ මෝල් හිමියන් එකඟ නැහැ. ඒ නිසා ආණ්ඩුව සහ මෝල් හිමියන් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. වෙළඳපොළේ සහල් හිඟයක් ඇති වී තිබෙනවා.

ඉතා පැහැදිලි ලෙසම වෙළඳපොළේ සහල් හිඟයක් ඇති වීම ප්‍රශ්නයක්. විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයක්. පාලන මිල ඉවත් කළ වහාම ඒ ප්‍රශ්නය විසඳෙනවා. එහෙත්, පාලන මිලක් දැමීමට ආණ්ඩුව පෙළඹුණු කවර හෝ ප්‍රශ්නය එවිට නැවත ඇති වෙනවා. ඒ ප්‍රශ්නය කුමක්ද?

මෙය ආණ්ඩුව විසින් හඳුනාගෙන තිබෙන ප්‍රශ්නයක්. ආණ්ඩුවට අනුව වී මෝල් හිමියන් විසින් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සහල් මිලට බලපෑම් කරනවා. ඒ නිසා, වෙළඳපොළ මිල නියම මිල නෙමෙයි. වෙළඳපොළ මිල නියම මිල නොවන නිසා ආණ්ඩුවට අනුව ආණ්ඩුව විසින් වෙළඳපොළ මිලට මැදිහත්වීමක් කළ යුතුයි.

දැන් අපිට ආණ්ඩුව දකින ප්‍රශ්නය විශ්ලේෂණය කරන්න පොටක් පෑදී තිබෙනවා.

- ආණ්ඩුව කියන පරිදි මෝල් හිමියන් විසින් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සහල් මිලට බලපෑම් කරනවාද?
- එවැන්නක් සිදුවනවානම් එය රජය මැදිහත් වී වෙනස් කළ යුතු තත්ත්වයක්ද?

පළමු ප්‍රශ්නයෙන් පටන් ගනිමු. එහෙම කිවුවත් මේ ප්‍රශ්න දෙක එකිනෙකට ගැට ගැසී ඇති නිසා එකක් වෙනම ගලවලා ගන්නත් අමාරුයි.

සහල් මිල අවසාන වශයෙන් තීරණය කරන්නේ පාරිභෝගිකයා විසින්. ආනයනික සහල් සැපයුම හා වී අලෙවි මණ්ඩලය හරහා රජයේ මැදිහත් වීම පැත්තකින් තිබ්බොත් පාරිභෝගිකයා වෙත සහල් සැපයෙන සැපයුම් දාම ක්‍රියාවලිය මේ විදිහයි.

දේශීය වී නිෂ්පාදකයා -> වී එකතු කරන්නා/තැරැව්කරුවා  ->  මෝල් හිමියා -> තොග වෙළෙන්දා -> සිල්ලර වෙළෙන්දා -> පාරිභෝගිකයා

මෙතැනින් එහාට යන්න කලින් අපිට ඒකාධිකාරයක් කියන්නේ මොකක්ද කියා පැහැදිලි කර ගන්න වෙනවා. ඒ සඳහා, පළමුව තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද කියන තැනින් පටන් ගන්න වෙනවා.

නිදහස් වෙළඳාමට ඉඩ දුන් පමණින් හැම විටම තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නේ නැහැ. එය තීරණය කෙරෙන වෙනත් සාධක ගණනාවක් තිබෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේ ස්වභාවිකවම හැදෙන්නේ ඒකාධිකාරයක් වෙන්න පුළුවන්. ඒකාධිකාරම නැතත් බොහෝ විට ඒකාධිකාරයක් හා තරඟකාරී වෙළඳපොළක් අතර අතරමැදි තත්ත්වයන් හැදෙනවා.

තරඟකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ කිහිපයක් තිබෙනවා.
- කිසිදු තනි මිල දී ගන්නෙකුට (තනි පාරිභෝගිකයෙකුට) වෙළඳපොල මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. තිබෙන මිල  වාසිදායකනම් මිල දී ගන්න පුළුවන්. නැත්නම් මිල දී නොගෙන ඉන්න පුළුවන්. එච්චරයි.
- කිසිදු තනි විකුණන්නෙකුටත් (තනි නිෂ්පාදකයෙකුටත්) වෙළඳපොල මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. තිබෙන මිල  වාසිදායකනම් විකුණන්න  පුළුවන්. නැත්නම් නොවිකුණා ඉන්න පුළුවන්. එච්චරයි.

වෙළඳපොළ මිලට කිසිදු නිෂ්පාදකයෙකු හෝ පාරිභෝගිකයෙකු විසින් බලපෑම් කරන්නේ නැත්නම් මිල තීරණය වෙන්නේ කොහොමද?

තනි පුද්ගලයෙකුට මිල තීරණය කරන්න බැරි වුනත් සියලුම නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් විසින් තනි තනිව සිතා ගන්නා තීරණ වල ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොල මිල තීරණය වෙනවා. මෙය සිදුවන ආකාරය පිළිබඳ වැඩි පැහැදිලි කිරීම් අවශ්‍යනම් එය වෙනම කරන්නම්. දැනට අපි ඉදිරියට යමු.

මේ කියපු විදිහේ තරඟකාරී වෙළඳපොළක් ඇති වෙන්නනම් ඇතැම් මූලික කරුණු කිහිපයක් ඉටු විය යුතුයි. ඒ කරුණු බොහෝ දුරට නිෂ්පාදන තාක්ෂනය හා සම්බන්ධයි.

- විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටිය යුතුයි. එයින් කිසිදු පාරිභෝගිකයෙකුට වෙළඳපොළට බලපෑමක් වන තරම් විශාල මිල දී ගැනීමක් කිරීමේ අවශ්‍යතාවයක් නැති විය යුතුයි.
- විශාල නිෂ්පාදකයින් පිරිසක් සිටිය යුතුයි. එයින් කිසිදු අයෙකු වෙළඳපොළට බලපෑමක් වන තරම් විශාල නිෂ්පාදනයක් නොකරන්නේ විය යුතුයි.
- කැමති ඕනෑම පුද්ගලයෙකුට ඉතා කෙටි කලක් තුළ නිෂ්පාදකයෙක් වීමට නෛසර්ගික බාධාවක් නොතිබිය යුතුයි.
- කැමති ඕනෑම නිෂ්පාදකයෙකුට වහාම නිෂ්පාදනයෙන් ඉවත් වීමට බාධාවක් නොතිබිය යුතුයි.

දැන් මේ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ මේ විදිහටයි. කිසියම් බාහිර හේතුවක් නිසා ඉල්ලුම අඩු වුනොත්, සැපයුම් අතිරික්තයක් ඇති වෙනවා. එවිට අදාළ භාණ්ඩය විකුණා ගැනීම අසීරු වෙද්දී තරඟය නිසා මිල පහත වැටෙනවා. වඩා කාර්යක්ෂම සැපයුම්කරුවන්ට මෙය විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒ අඩු වූ මිල යටතේත් ලාබ තියෙනවා. එහෙත්, අකාර්යක්ෂම නිෂ්පාදකයින්ට මේ අඩු වූ මිලට භාණ්ඩ සපයා ලාබ ගන්න බැහැ. ඔවුන්ට කර්මාන්තයෙන් ඉවත් වෙන්න වෙනවා. එවිට සැපයුම පහළ ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල ස්ථාවර වෙනවා.

කිසියම් බාහිර හේතුවක් නිසා ඉල්ලුම වැඩි වුනොත් මෙහි අනිත් පැත්ත වෙනවා. භාණ්ඩ හිඟයක් ඇති වී මිල ඉහළ යනවා. ඉහළ ගිය මිල යටතේ දැනට ඉන්න නිෂ්පාදකයින් තරමටම කාර්යක්ෂම නැති අයටත් ලාබ ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා, අලුත් නිෂ්පාදකයින් බිහි වී සැපයුම ඉහළ යනවා. එවිට ඉල්ලුම හා සැපයුම සමතුලිත වී මිල ස්ථාවර වෙනවා.

නිදහස් වෙළඳාමට බාධාවක් නොතිබුණත් හැම විටම තරඟකාරී වෙළඳපොළක් බිහි නොවන බව මම කිවුවනේ. එයට විවිධ හේතු තිබෙනවා. නිෂ්පාදන තාක්ෂනය ගොඩක් සංකීර්ණ වීම එක් බාධාවක්. ලාබ ලැබීමේ අවස්ථාවක් තිබුණත් තාක්ෂනය ළඟ නැත්නම් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැහැනේ. ඒ නිසා, නිෂ්පාදන තාක්ෂනය සරල වූ තරමට තරඟකාරී වෙළඳපොළක් බිහි වීමට තිබෙන ඉඩකඩ ඉහළ යනවා. නිෂ්පාදනය ආරම්භ කිරීමට විශාල මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම තවත් බාධාවක්. ඔය වගේ තවත් නෛසර්ගික බාධා තිබෙනවා.

මේ වගේ නෛසර්ගික බාධා ඇති විට, එහෙම නැත්නම් රාජ්‍ය මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වන කෘතීම බාධා හේතුවෙන්, ඒකාධිකාර හෝ ඒකාධිකාර හා තරඟකාරී වෙළඳපොළක් අතර අතරමැදි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී වුවත් ගනුදෙනු සිදු වෙන්නේ නිදහසේ නිසා එහි පාර්ශ්ව දෙකෙන් එකකටවත් පාඩුවක් වෙන්නේ නැහැ. එහෙත්, එක් පාර්ශ්වයට අනෙක් පාර්ශ්වයේ ලාබය අඩු කර තමන්ගේ ලාබය වැඩි කර ගන්න පුලුවන්. මෙය සිදු වන්නේ එක් පාර්ශ්වයකට වෙළඳපොල මිලට බලපෑමක් කිරීමේ හැකියාවක් ලැබීම මතයි.

බොහෝ විට මෙසේ වෙළඳපොළ මිලට බලපෑමක් කිරීමේ හැකියාව ලැබෙන්නේ සැපයුම්කරුටයි. එය තනි පුද්ගලයෙකුට හිමි වූ විට ඒකාධිකාරයක් ලෙස හැඳින්වෙනවා. මෙහි අනෙක් පැත්ත, එනම් තනි පාරිභෝගිකයෙකුට මිල තීරණය කිරීමේ හැකියාවක් ලැබීම ක්‍රයෛකාධිකාරයක් ලෙස හැඳින්වෙනවා.

දැන් අපි නැවත සහල් වෙළෙඳපොළේ සැපයුම් දාම ක්‍රියාවලිය වෙත අවධානය යොමු කළොත් එහි අන්ත දෙකේම ඉන්නේ වෙළඳපොල මිල තීරණය කිරීමේ හැකියාවක් නැති අයයි. ඉතා කලාතුරකින් හැර තනි සහල් පාරිභෝගිකයෙකුට මිල හෙට්ටු කිරීමේ හැකියාවක් නැහැ. වී ගොවියන් බොහෝ දෙනෙකු සම්බන්ධව තත්ත්වයත් එවැන්නක්. ලංකාවේ වී ගොවියන්ගෙන් 95%ක් සතුවම තිබෙන්නේ කුඹුරු අක්කර පහකට අඩු ප්‍රමාණයක්. කුඹුරක සාමාන්‍ය ප්‍රමාණය අක්කර දෙකයි. මේ අයට වෙළඳපොළ මිලට වී විකුණනු මිස මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, අපට අවධානය යොමු කරන්න වෙන්නේ සැපයුම් දාමයේ මැද කොටස් වෙතයි.

සැපයුම් දාමයේ පාරිභෝගිකයාට කලින් ඉන්නේ සිල්ලර වෙළෙන්දා. මේ සිල්ලර වෙළෙන්දා බොහෝ විට සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක්. සමහර වෙලාවට සුපිරි වෙළඳසැල් දාමයක වෙළඳසැලක් වෙන්නත් පුළුවන්. ඒත් සුපිරි වෙළඳසැල් වලට තවමත් ලංකාවේ ඒකාධිකාරී බලයක් නැහැ. එක පැත්තකින් සුපිරි වෙළඳසැල් අතරම පවතින තරඟය. අනෙක් පැත්තෙන් සම්ප්‍රදායික සිල්ලර වෙළෙන්දෝ. ඒ නිසා, පාරිභෝගිකයෙකු විසින් සිල්ලර වෙළෙන්දෙක් එක්ක කරන ගනුදෙනුවේදී පාරිභෝගිකයාට විශාල තේරීමක් තිබෙනවා. සිල්ලර වෙළෙන්දාට හිතු මනාපෙට මිලට බලපෑම් කරන්න බැහැ.

අනෙක් කොනේ දේශීය වී නිෂ්පාදකයාට පසුව හමුවෙන වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා මේ සැපයුම් දාමයේ අනිවාර්ය පුරුකක් නෙමෙයි. ඔහු බොහෝ විට වී මෝල් හිමියෙකුගේ නියෝජිතයෙක්. එහෙම නැත්නම් ඔය වී වවන පැත්තක රැකියාව කරන රජයේ සේවකයෙක් වගේ කෙනෙක්. මේ පුද්ගලයා විසින් කරන්නේ වී ගොවියාගෙන් වී ටික මිල දී ගෙන පසුව කීයක් හෝ තියාගෙන මෝල් හිමියාට විකුණන එකයි. ඇතැම් විට වැඩේට යොදවන්නේ වී මෝල් හිමියාගේම සල්ලි.

සාමාන්‍යයෙන් මේ වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා වී මිල දී ගන්නේ අස්වැන්න කැපෙන්න කලින්. අස්වැන්න කැපෙන කොට අනික් පැත්තට විකුණලා දමනවා. ඒ නිසා වී ගබඩා කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ගබඩා කර ගන්නා අයත් ගොඩක් වෙලාවට තමන්ගේම ගෙදර කොටසක ටික කලකට වී ටික ගබඩා කර ගන්නවා මිසක් ඔය වැඩේට කියලා මුදල් ආයෝජනය කරලා වී ගබඩා හදන්නේ නැහැ.

මේ විදිහට කලින්ම වී ටික විකුණන එකෙන් වී ගොවියාට වාසි දෙකක් ලැබෙනවා. පළමුව කලින් අතට මුදලක් ලැබෙන එක. හැබැයි මේ විදිහට බොහෝ විට ලැබෙන්නේ අත්තිකාරම් මුදලක් පමණයි. දෙවැන්න වී අස්වැන්න ලැබෙන විට මිල පහළ වැටී තිබීමේ අවදානමෙන් ආරක්ෂා වීම. ඒ අතින් මෙය ඉදිරි සුරැකුම් ගිවිසුමක් වගේ. වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා විසින් උපයන ලාබය මේ වෙනුවෙන් වී ගොවියා විසින් ගෙවන මිලක් කියා කියන්න පුළුවන්.

මේ වැඩේ සංකීර්ණ වැඩක් නොවනවාක් මෙන්ම බොහෝ දෙනෙක් විසින් කරන වැඩක්. වැඩේ කරන මිනිස්සු ලොකු ධනවතුන් නෙමෙයි. ඒ වගේම වැඩේ පාඩුනම් වී ගොවියා කෙළින්ම වී මෝල් හිමියා වෙත යනවා මිසක් අතරමැදියෙකු හරහා යන්නේ නැහැ.

දැන් ඉතිරි වෙලා ඉන්නේ තොග වෙළෙන්දා සහ වී මෝල් හිමියා. මේ තොග වෙළෙන්දා බොහෝ විට අවට කඩ විස්සකට තිහකට තොග සපයන ප්‍රාදේශීය නගරයක තිබෙන වෙළඳසැලක්. බොහෝ විට සෘජුවම සිල්ලර වෙළඳාමේත් යෙදෙනවා. පාරිභෝගිකයා කෙළින්ම සිල්ලර වෙළෙන්දා වෙත නොඑන්නේ සිල්ලර වෙළෙන්දා විකුණන මිල තොග වෙළෙන්දාගේ මිලට වඩා ගොඩක් වැඩි නැති නිසයි. තොග වෙළෙන්දෙකුට තමන්ගේ ප්‍රදේශයේ කිසියම් ඒකාධිකාරී බලයක් තියෙන්න පුළුවන්. එහෙත් ලංකාවම ගත්තහම මේ කියන මට්ටමේ තොග වෙළෙන්දෝ විශාල පිරිසක් ඉන්න නිසා එක් අයෙකුට සමස්ත වෙළඳපොල තුළ කළ හැකි විශාල බලපෑමක් නැහැ. සහල් වෙළඳපොළේ තොග වෙළෙන්දාගේ භූමිකාව එතරම් විවේචනයට ලක් වෙලත් නැහැ. ඒ නිසා අපි එයාවත් පැත්තකින් තියමු.

දැන් ඉතිරි වී ඉන්නේ වී මෝල් හිමියා. වී මෝල් හිමියා විසින් මේ සැපයුම් දාමය ඇතුලෙ කරන කටයුතු කිහිපයක්ම තිබෙනවා. පළමුව, කෙළින්ම ගොවියාගෙන් හෝ අතරමැදියෙකු හරහා වී මිල දී ගැනීම. මේ වෙනුවෙන් සැලකිය යුතු මුදල් ආයෝජනයක් කළ යුතුයි. දෙවනුව, මේ මිල දී ගන්නා වී සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. ඒ වෙනුවෙන් සැලකිය යුතු මූලික ආයෝජනයක් කළ යුතුයි. තෙවනුව, වී සහල් බවට පත් කිරීම. මේ වැඩේට සැලකිය යුතු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වනවාක් මෙන්ම සැලකිය යුතු විචල්‍ය පිරිවැයක්ද දරන්න වෙනවා. අවසාන වශයෙන්, සහල් තොග වෙළෙන්දන් වෙත ප්‍රවාහනය කිරීම. බොහෝ දුරට මෙහි තිබෙන්නේ විචල්‍ය පිරිවැයක්.

ඉහත කී කාර්යයන් කරන වී මෝල් හිමියන් විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. එහෙත්, ඒ අය අතරින් බොහෝ දෙනෙක් සුළු හෝ මධ්‍යම පරිමාණ වී මෝල් හිමියෝ. සහල් මාෆියාවක් පවත්වා ගෙන යන බවට චෝදනා එල්ල වී තිබෙන්නේ වී මෝල් හිමියන් අතර සිටින මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකුටයි.

සහල් මෝල් ව්‍යාපාරය තුළ කෙතරම් පිරිසක් සිටියත් ඒ අතරින් හතර පස් දෙනෙක්ගේ පංගුව ගොඩක් විශාලයි. නිශ්චිත සංඛ්‍යලේඛන නැතත් මේ කරුණ පිළිබඳ පොදු එකඟතාවයක් තිබෙනවා. මේ මොහොතේ වත්මන් ආණ්ඩුව සහල් මාෆියාවක් ගැන කතා කරනවා. මීට පෙර වරින් වර දැන් විපක්ෂයේ ඉන්න එජාප හා ජවිපෙ විසින්ද මේ සහල් මාෆියාව ගැන කතා කරලා තිබෙනවා. ඒ නිසා, මේ කරුණ ලංකාවේ පක්ෂ දේශපාලනයට පිටින් තිබෙන දෙයක් කියා නිගමනය කරන්න පුළුවන්.

මා කලින් විස්තර කළ පරිදි, තරඟකාරී වෙළඳපොළකින් වෙනස්ව, ඒකාධිකාරයක් ඇති තැනක සැපයුම්කරුට වෙළඳපොළ මිලට තමන්ගේ අභිමතය පරිදි බලපෑම් කළ හැකියි. එයින් කියන්නේ සැපයුම්කරුට අසීමිත ලෙස මිල ඉහළ දමමින් තමන්ගේ ලාබ වැඩි කර ගත හැකි බව නෙමෙයි. ඒකාධිකාරයක් ඇති විට පවා ඉල්ලුම් සාධක නොසලකා හැර මිල ඉහළ දමන්න බැහැ. එහෙත්, ඒකාධිකාරයක් ඇති සැපයුම්කරුවෙකුට තරඟකාරී වෙළඳපොලක සැපයුම්කරුවෙකු විසින් උපයන "සාමාන්‍ය ලාභය" ඉක්මවන "සුපිරි ලාබයක්" ලැබීමේ හැකියාව තිබෙනවා.

මේ විදිහට සුපිරි ලාබ ලැබීමේ හැකියාවක් ලැබෙන්නේ ඒකාධිකාරයක් ඇති විට පමණයි. ඒ කියන්නේ එකම එක සැපයුම්කරුවෙක් පමණක් සිටින විට. සහල් මෝල් කර්මාන්තයේ එවැනි තත්ත්වයක් නැහැ. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ටික පැත්තකින් තිබ්බත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් හතර පස් දෙනෙක්වත් ඉන්නවා. මේ වගේ තත්ත්වයක් කතිපයාධිකාරී වෙළඳපොළ තත්ත්වයක් ලෙස හඳුන්වනවා.

කතිපයාධිකාරී වෙළඳපොළ තත්ත්වයක් ඇති විට අවසන් සමතුලිතතාවය තීරණය වන්නේ මේ සීමිත පිරිස අතර තිබෙන තරඟයේ ප්‍රමාණය අනුවයි. සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණක් සිටියත් ඒ දෙදෙනා ඉතා ආක්‍රමනශීලී ලෙස එකිනෙකා සමඟ තරඟ කළොත් අවසන් ප්‍රතිඵලය තරඟකාරී වෙළඳපොලක සමතුලිතතාවයටම සමානයි. මෙහිදී වෙළඳ තරඟයේ වාසිය පාරිභෝගිකයාට මුළුමනින්ම ලැබෙනවා. විශාල සැපයුම්කරුවන් පිරිසක් නොසිටීම ප්‍රශ්නයක් නෙමෙයි. සැපයුම්කරුවන්ට සාමාන්‍ය ලාභ වලට අමතරව සුපිරි ලාභ කිසිවක් හිමි වන්නේ නැහැ.

මෙහි අනෙක් අන්තය ලෙස සැපයුම්කරුවන් දෙදෙනකු හෝ හත් අට දෙනෙකු තනි කණ්ඩායමක් හෙවත් කාටලයක් ලෙස කටයුතු කරන්න පුළුවන්. එහිදී ඔවුන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා එකිනෙකා සමඟ තරඟ නොකර තම තමන්ගේ පංගු පිළිබඳ සම්මුතියකට එනවා. මෙය ලිඛිත හෝ වාචික ගිවිසුමක් නැතිව අවබෝධය මත සිදු වන දෙයක් වෙන්න පුළුවන්. එවැනි අවබෝධයක් ඇති වෙන්න හමු වී කතාබහ කරන්න අවශ්‍ය වන්නේත් නැහැ. දැන් ඔය විපක්ෂයේ ඉන්න කොට ආණ්ඩු පක්ෂයේ හොරකම් ගැන කොයි තරම් කතා කළත්, ආණ්ඩු මාරු වුනාට පස්සේ ඒවා පස්සේ පන්නලා දඬුවම් නොදෙන්නේ කතාබහ කරගෙන ඩීල් දමාගෙනම නෙමෙයිනේ. ඔය වගේ දේවල් වැඩිදුර නොගෙනියන එක තමන්ට වාසියි කියන අවබෝධය දෙපැත්තටම තිබෙනවා. මේකත් බොහෝ විට ඒ වගේ දෙයක්.

මේ ආකාරයේ කාටලයක් හැදුනු පසු සැපයුම්කරුවන් සියලු දෙනාම තනි ඒකකයක් ලෙස පාරිභෝගිකයාට එරෙහිව කටයුතු කරමින් තමන්ගේ ලාබ හැකි තරමින් වැඩි කරගන්නවා. අවසාන ප්‍රතිඵලය තනි සැපයුම්කරුවෙකු පමණක් සිටින විට ඇති වන තත්ත්වයට සමානයි.

මේ කතා කළ දෙවන තත්ත්වය වගේම මුලින් කිවූ පළමු තත්ත්වයත් කතිපයාධිකාරී වෙළඳපොලක ඇති විය හැකි නමුත් ඔය අන්ත දෙකෙන් එකකට යන්නේ ඉතා කලාතුරකින්. බොහෝ විට සැපයුම්කරුවන් අතර එකිනෙකා කෙරෙහි පරිපූර්ණ විශ්වාසයක් නැහැ. එවැනි විශ්වාසයක් මත කටයුතු කරගෙන යද්දී එක් අයෙකුට අනෙත් අයට වංචා කර තමන්ගේ ලාබ වැඩි කර ගන්න පුළුවන්. ඒ නිසා, පූර්ණ ඒකාධිකාරයක් ඇති වෙන්න කලින් බොහෝ විට සම්මුතිය බිඳ වැටෙනවා.

අනෙක් පැත්තෙන් බොහෝ විට සැපයුම්කරුවන් අතර පූර්ණ තරඟයක් ඇති වෙන්නේත් නැහැ. ටික දුරක් යද්දී දෙපැත්තම හති වැටෙනවා. අවසානයේදී පාරිභෝගිකයින්ට මිසක් තමන්ට යහපතක් නොසැලසෙන බව දෙපැත්තටම තේරුම් යනවා. එවිට තරඟය නැවතී සම්මුතියක් ඇති වෙනවා.

මෙය පැහැදිලි කරන්න අපි හාල් මෝල් කර්මාන්තයටම එමු. අපි හිතමු සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටියා කියා. මේ එක් අයෙකුට හාල් කිලෝවක් හදන්න යන අවම මිල රුපියල් 80යි කියා කියමු. ඒ කියන්නේ ඊට වඩා අඩු මිලකට ඔහු කොහොමටත් හාල් විකුණන්නේ නැහැ. අනෙක් මෝල් හිමියාගේ තත්ත්වයත් එයමයි.

දැන් පළමු මෝල්හිමියා රුපියල් 10ක ලාබයක් තියාගෙන රුපියල් 90 බැගින් සහල් විකුණනවා. දෙවැන්නාත් එයම කරනවා. පාරිභෝගිකයාට විකල්ප දෙකක් තිබෙනවා. දෙකේදීම මිල සමානයි. ගුණාත්මක භාවයේ කිසිදු වෙනසක් නැත්නම් පාරිභෝගිකයා විසින් අහඹු ලෙස කාගේ හෝ හාල් මිල දී ගන්නවා. හාල් ඉල්ලුම කිලෝ 100ක්නම් එක් අයෙකුගේ හාල් කිලෝ 50 බැගින් විකිණෙනවා. කිලෝවකින් ලාබය රුපියල් 10ක් නිසා රුපියල් 10x50 = 500ක ලාබයක් එක් මෝල් හිමියෙක්ට ලැබෙනවා.

මේ වගේ තත්ත්වයක් කිසියම් අලිඛිත එකඟතාවයක් ලෙස දිගු කාලයක් පවතින්න පුළුවන්. ඒ සඳහා මෝල් හිමියන් දෙන්නා යාලුවෝ වෙන්න අවශ්‍ය නැහැ. සමහර විට පෞද්ගලික ජීවිතයේ මරා ගන්න තරම් තරහක් තිබෙන දෙන්නෙක් අතර වුවත් මෙවැනි ව්‍යාපාරික එකඟතාවයක් ඇති වෙන්න පුළුවන්.

අපි හිතමු ඔහොම කාලයක් යද්දී පළමු සැපයුම්කරුගේ ව්‍යාපාරයේ පාලනය ඔහුගේ පුතාට යනවා. පුතා හොයා බලනවා ලාබ වැඩි කරගත හැකි ක්‍රමයක්. එක පාරටම මිල රුපියල් 89 දක්වා අඩු කළොත් මුළු වෙළඳපොළම තමන්ගේ බව ඔහුට තේරෙනවා. ඊට අමතරව මිල අඩු වෙද්දී ඉල්ලුමත් තරමක් ඉහළ යනවා. දැන් කිලෝවකින් ලාබය රුපියල් 9ක් පමණයි. කිලෝ 105ක් විකිණෙනවා. ඒ කියන්නේ රුපියල් 9x105 = 945ක ලාබයක්. කලින් ලාබය රුපියල් 500ක් පමණයි. තාත්තා අවුරුදු ගාණක් තිස්සේ මොනාද කරලා තියෙන්නේ?

මේ වැඩෙන් පළමු සැපයුම්කරුගේ ලාබය විශාල ලෙස ඉහළ ගියත් දෙවන සැපයුම්කරු නැත්තටම නැති වෙනවා. ඔහුට සතයක්වත් නැහැ. ඊළඟ වටයේදී ඔහු රිටර්න් එක දෙනවා. මිල රුපියල් 88 දක්වා අඩු කරනවා. හාල් කිලෝ 110ක් විකිණෙනවා. ලාබය රුපියල් 8x110 = 880ක්. දැන් පළමුවැන්නා හාන්සි. පළමු වටයේදී රුපියල් 445ක් වැඩියෙන් ලැබුණත් දෙවන වටයේදී තිබුණු 500ත් නැති වෙලා. එහෙමයි කියලා වැඩේ අතාරින්නත් බැහැ. ඔහු මිල තවත් අඩු කරනවා.

ඔය වැඩේ දිගින් දිගටම වෙනවා. දෙන්නාම දැඩි ආක්‍රමණශීලී ස්ථාවරයක හිටියොත් අන්තිමට තරඟය නවතින්නේ මිල රුපියල් 80 මට්ටමට වැටුණු පසුවයි. ඊටත් වඩා අඩුවෙන් හාල් විකුණන එක කොහොමටත් පාඩු නිසා කලින් වැඩේ නැවතුනේ නැත්නම් තරඟය එතනදී අනිවාර්යයෙන්ම නවතිනවා. අන්තිමට දෙන්නාටම ඉතිරි වෙන්නේ වෙළඳපොළේ මුලින් තිබුණු 50% පංගුවමයි. නමුත්, ආරම්භයේදී තිබුණු රුපියල් 10ක සුපිරි ලාබය දැන් නැහැ. දැන් තිබෙන්නේ පිරිවැය ආවරණය වන සාමාන්‍ය ලාබයක් පමණයි. තරඟකාරී වෙළඳපොළක තත්ත්වය.

අපි හිතමු ඔය වැඩේ වෙන විදිහකට වුනා කියලා. පළමු සැපයුම්කරුගේ පුතා ව්‍යාපාරයේ පාලනය බාර ගත් වහාම දෙවන සැපයුම්කරු හමු වී ඩීල් එකක් දමනවා. ඩීල් එක අනුව දෙන්නාම වෙළඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝ 50 සිට 45 දක්වා අඩු කරනවා. දැන් වෙළඳපොළට එන්නේ සහල් කිලෝ 90ක් පමණයි. ඒ නිසා රුපියල් 90 සිට 92 දක්වා හාල් මිල ඉහළ යනවා. හාල් කිලෝවකින් ලාබය රුපියල් 12 දක්වා වැඩි වන නිසා විකිණෙන හාල් ප්‍රමාණය අඩු වුනා කියා පාඩුවක් නැහැ. දැන් එක් අයෙකුගේ ලාබය රුපියල් 12x45 = 540යි. දෙන්නාගේම ලාබ ඉහළ ගිහින්.

ඔය වැඩේ තවත් එහාට ගෙනියන්න පුළුවන්. අපි හිතමු සැපයුම කිලෝ 10කින් අඩු කළාම මිල රුපියල් 2කින් වැඩි වෙනවා කියලා. ඒ අනුව, සැපයුම කිලෝ 40x2 = 80ක් වූ විට මිල රුපියල් 94 වී කිලෝවකින් ලාබය රුපියල් 14 දක්වා ඉහළ යනවා. දැන් එක් අයෙකුගේ ලාබය රුපියල් 14x40 = රුපියල් 560ක්.

නමුත් ඔය වැඩේ දිගින් දිගටම කරන්න බැහැ. අපි හිතමු සැපයුම කිලෝ 30x2 = 60ක් දක්වා අඩු කළා කියා. සැපයුම කිලෝ 10කින් අඩු කරද්දී මිල රුපියල් 2 බැගින් වැඩි වී රුපියල් 8 කින්, ඒ කියන්නේ රුපියල් 98 දක්වා ඉහළ ගිහින්. හාල් කිලෝවකින් ලාබය රුපියල් 18ක්. එහෙත්, එක් අයෙකුගේ සමස්ත ලාබය රුපියල් 18x30 = 540ක් පමණයි. ඒ නිසා, මේ විදිහට එකඟතාවයක් ඇති වුනත් මිල යම් නිශ්චිත මට්ටමක් දක්වා වැඩි වී වැඩේ නවතිනවා. ඊටත් වඩා මිල වැඩි කරන එක සැපයුම්කරුවන්ට පාඩුයි. හැබැයි ඒ වෙද්දී පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවහම මිල ගොඩක් ඉහළ ගිහින්. සැපයුමත් ගොඩක් අඩු වෙලා.

ඔය ආකාරයේ වෙළඳපොල සම්මුති මගින් සැපයුම්කරුවන්ට විශාල සුපිරි ලාබ උපයන්න පුළුවන්. නමුත්, සැපයුම්කරුවන් එකිනෙකා අතර ඔය මට්ටමේ සම්මුතියක් පවත්වා ගත හැකි තරමට එකඟතාවයක් ගොඩ නැගෙන්නේ නැහැ. සැපයුම්කරුවන් වැඩි වන තරමට ඒ අයගෙන් එක්කෙනෙක් සම්මුතිය කඩන්න තිබෙන ඉඩ ඉහළ යනවා.

උදාහරණයක් විදිහට අපි හිතමු රුපියල් 90 මිලට කිලෝ 100ක ඉල්ලුම සැපයුම්කරුවන් පස් දෙනෙක් අතර බෙදී ගිහින් තිබුණා කියලා. එක් අයෙක් කිලෝ 20ක් සපයන නිසා එක් අයෙකුගේ ලාබය රුපියල් 10x20 = 200යි. කිලෝවක ලාබය රුපියල් 12 දක්වා වැඩි කර ගන්නනම් සැපයුම කිලෝ 90 මට්ටමට සීමා කළ යුතුයි. ඒ කියන්නේ එක් අයෙක් සැපයිය යුත්තේ කිලෝ 18ක් පමණයි. එවිට එක් අයෙකුගේ ලාබය රුපියල් 12x18 = 216 දක්වා ඉහළ යනවා.

හතර දෙනෙක්ම එකඟ වූ පරිදි කිලෝ 9 බැගින් වෙළඳපොළට දමද්දී පස් වැන්නා ඒ අඩුව හරියන්න කිලෝ 28ක්ම දැම්මොත් මොකද වෙන්නේ?

දැන් වෙළඳපොළට එන හාල් සැපයුම කිලෝ 18x4 + 28 = 100යි. ඒ කියන්නේ මුල් ප්‍රමාණයමයි. ඒ නිසා මිල රුපියල් 90මයි. කිලෝවකින් ලාබය කලින් ලැබුණු රුපියල් 10මයි. එකඟතාවය අනුව කටයුතු කළ එක් අයෙකුට දැන් ලැබෙන්නේ රුපියල් 180ක් පමණයි. රුපියල් 20ක් පාඩුයි. නමුත්, එකඟතාවය කඩපු සැපයුම්කරුගේ ලාබය රුපියල් 280ක් වෙලා. කලින් ලැබූ රුපියල් 200ක ලාබයට වඩා රුපියල් 80ක් ලාබයි. එකඟතාවය තුළ සිටියානම් ලැබෙන ලාබය වන රුපියල් 216ට වඩා රුපියල් 64ක් ලාබයි.

ගොඩක් වෙලාවට එක් සැපයුම්කරුවෙකු මිල එකඟතාවයකින් බැහැර වෙද්දී එය පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් වුනත් සැපයුම සීමා කිරීමේ එකඟතාවයක් පිළිපදිනවාද නැද්ද කියන එක පහසුවෙන් නිරීක්ෂණය කරන්න අමාරුයි. කවුරු හෝ හොර කරලා බව තේරෙන්නේ හිතපු විදිහට මිල ඉහළ නොගිය විටයි. එයින් පසුවත් හොර කරපු කෙනා කවුද කියලා හරියටම දැන ගන්න අමාරුයි. මේ බව සියලු දෙනාම දන්නා නිසා කණ්ඩායමේ හැමෝම උත්සාහ කරන්නේ හොර කරන්නයි. ඒ නිසා, මේ ආකාරයේ සැපයුම කෘතීම ලෙස සීමා කර මිල ඉහළ යන්න ඇරීමෙන් ලාබ ලබන සම්මුති වලට වැඩි දුරක් යන්න බැහැ.

අනෙක් පැත්තෙන් සැපයුම්කරුවන් එකිනෙකා අතර ඇති වන තරඟත් අවසානය දක්වා යන්නේ නැහැ. වැඩෙන් හැමෝම අමාරුවේ වැටෙන බව කාටත් තේරෙන අවස්ථාවක් එනවා. එවිට සැපයුම්කරුවන් අතර තරඟය නවතිනවා.

මේ හේතු නිසා ලංකාවේ සහල් මෝල් ව්‍යපාරය වගේ කතිපයාධිකාරී වෙළඳපොලක සමතුලිතතාවය තරඟකාරී වෙළඳපොල අන්තය හා ඒකාධිකාර අන්තය අතර යම් තැනක නවතිනවා. ඒ කියන්නේ, මෝල් හිමියන්ට යම් ප්‍රමාණයක සුපිරි ලාබ උපයන්න අවස්ථාවක් සැලසෙනවා. නමුත්, ඒ සුපිරි ලාබ ඒකාධිකාරයක මට්ටමටම යන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය රජය මැදිහත් වී මේ තත්ත්වය වෙනස් කළ යුතුද කියන එකයි. ඒ සඳහා, අපට කතිපයාධිකාරී වෙළඳපොලක් ඇති වී තිබෙන්නේත්, පවතින්නේත් ඇයි කියන එක විග්‍රහ කරගන්න වෙනවා. ඇතැම් විට කතිපයාධිකාරී වෙළඳපොලක් පවතින්නේ තිබිය හැකි වඩාත්ම කාර්යක්ෂම තත්ත්වය එය නිසා වෙන්න පුළුවන්. එහෙමනම්, එය වෙනස් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, බොහෝ විට එය එසේ නොවන්න පුළුවන්.

මෙය නිගමනය කිරීමට හොඳ ප්‍රවේශයක් වන්නේ ලංකාවේ සහල් වෙළඳපොළ හා එහි සැපයුම් දාමයේ පුරුක් ඓතිහාසිකව විකාශනය වී ඇති ආකාරය අධ්‍යයනය කිරීමයි. දැනටමත් ලිපිය ගොඩක් දිග නිසා අපි එය වෙනත් ලිපියකට ඉතිරි කරමු.

(Image: https://wallhere.com/en/wallpaper/742926)

Saturday, May 9, 2020

පැරකුම් යුගයකට නැවත යා යුතුද?


"මුහුදට ඇද්දෙන මහ ගංගා – කුඹුරට යළි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදු වෙලා – බිඳලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් – නිජ භූමිතලේ ලංකා..."

කියවන අය අතර ඔය පද ටික හිතේ නැති කෙනෙක් නැතුව ඇති නේද? ඔය සින්දුවේ කියන ආකාරයට පැරකුම් යුගයකට නැවත යාමේ අරමුණ හෝ ඉලක්කය ගැන අපට වරින් වර අහන්න ලැබෙනවා. පැරකුම් යුගයේදී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ බව සඳහන් වෙනවා.

මේ කියන පැරකුම් යුගය ක්‍රිස්තු වර්ෂ 1153–1186 අතර කාලයයි. ලංකාවට පෘතුගීසීන් ආවේ ක්‍රිස්තු වර්ෂ 1505දී. ඒ කියන්නේ පැරකුම් යුගයේ අවසානය හා පෘතුගීසි ආගමනය අතර කාලය වසර 319ක් පමණයි. පෘතුගීසි ආගමනයේ සිට මේ වන විට තවත් වසර 515ක් ගෙවිලා. මම මෙයින් කියන්න අදහස් කළේ පැරකුම් යුගය කියන එක ලංකාවේ ඉතිහාසය එක්ක බැලුවහම සාපේක්ෂව නූතන යුගයක් කියන එකයි, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉතිහාසය මීට වඩා ගොඩක් කෙටි වුවත් ලංකාවේ ඉතිහාසය පැරකුම් යුගයෙන් ගොඩක් එහාට යනවා. මහින්දාගමනය සිදු වූ තැන් සිට පැරකුම් යුගය දක්වා කාලය පැරකුම් යුගයේ සිට අද දක්වා කාලයට වඩා දිගු කාලයක්.

පැරකුම් යුගයේදී ලෝකයේ අනෙක් හැම රටකම මිනිස්සු කොළ අතු ඇඳගෙන හිටියේ නැහැ. ඒ කාලය වන විට ලෝකයේ විවිධ රටවල් යම් මට්ටමක දියුණුවක් අත් කරගෙන හිටියා. ඉතාලියේ බොලොඤ්ඤ සරසවිය ආරම්භ කර තිබෙන්නේ පැරකුම් යුගයට වසර 65කට පෙර ක්‍රිස්තු වර්ෂ 1088දී. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය ආරම්භ කරල තියෙන්නේ පැරකුම් යුගයට වසර 57කට පෙර ක්‍රිස්තු වර්ෂ 1096දී. පැරකුම් යුගය වන කොට වැනීසිය මහා පරිමාණයෙන් නැවු තනමින් හා ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙමින් සෑහෙන තරමේ ආර්ථික සමෘද්ධියක් අත් පත් කර ගෙන.

මේවා ලිවුවා කියලා ජාතික අභිමානය අඩු කරගන්න අවශ්‍ය නැහැ. පැරකුම් යුගය ලංකා ඉතිහාසයේ ඉතා සමෘද්ධිමත් යුගයක්. වැනීසිය මට්ටමේ නොහිටියත් ඒ කාලයේ ලංකාව ආනයන, අපනයන හා ප්‍රති-අපනයන කර විශාල වශයෙන් ආදායම් ඉපැයූ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්. ලංකාව විසින් දකුණු ඉන්දියාවෙන් පිටත රටක් ආක්‍රමණය කළ එකම අවස්ථාව ලෙස සැලකිය හැකි අරමණ ආක්‍රමණය සිදු වුනෙත් මේ කාලයේ. මේ ගැන කලින් ලියූ ලිපි මාලාවක් පහත තිබෙනවා.

වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට...





අපට කතා කරන්න අවශ්‍ය වී ගොවිතැන ගැනනේ. රෝදය අළුතින් හොයා ගන්න කාලය මිඩංගු නොකර මම මේ ගැන භූෂණ කල්හාරගේ සිංහලේ බ්ලොග් අඩවියේ පළ කර තිබුණු ලිපියක කොටස් උපුටා දක්වන්නම්. ඔහු ඉතිහාසය ගැන සෑහෙන දැනුමක් තිබෙන, විශ්වාසනීය මූලාශ්‍ර හෝ වෙනත් තාර්කික පදනමක් සහිතව කරුණු ඉදිරිපත් කරන කෙනෙක් නිසා ඔහු ලියා ඇති දේ ගැන නැවත හොයා බලන්න හේතුවක් මට පෙනෙන්නේ නැහැ.

"මහාවංශය වැනි වංශ කතා මූලාශ්‍ර සහ අට්ඨ කතා වල දැක්වෙන ආකාරයට අනුරාධපුර ශිෂ්ඨාචාරය ආරම්භයේ පටන්ම විවිධ අවස්ථා වලදී මෙරට දරුණු සාගත තත්වයන්ට මුහුණ දී ඇත." 

"...පුරාතන සහ මධ්‍යතන යුගයන්හී මෙරට තුල වරින් වර දුර්භීක්ෂ තත්වයන් ඇති වුවද පාලකයන් නිරතුරුව ඒවා මැඩපැවැත්වීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගත් බවත් ඒ අනුව ආහාර බෝග නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් රටේ පරිභෝජනය උදෙසා අවශ්‍ය තරමින්වත් තිබෙන්නට ඇති බවත් අනුමාණ කල හැක. මුළු දිවයින පුරාම සියළු කල්හීම එකම තත්වයක් බලපැවත්වීද? එසේම ප්‍රභූ සහ සංඝ සමාජයේ සිට සමාජයේ පහල ස්ථරය නියෝජනය කල ගැමියන් දක්වා මේ තත්වය එසේම පැවතීද යන්න අවසාන නිගමනයකට එලඹිය හැකි කාරණා නොවේ."

"මෙරටින් සහල් අපනයනය කල බවට අපගේ වංශ කතා වල කිසිදු සඳහනක් හමු නොවන අතර ඒ පිළිබඳව ඇත්තේ  එකම එක සාක්ෂ්‍යක් පමණි. ... මෙරට "පෙරදිග ධාන්‍යාගාරය" යන යෙදුම බොහෝවිට ඇතිවන්නට ඇත්තේ මේ එකම තොරතුර පාදක කරගෙන වීමට පුළුවන. ... කෙසේ නමුත් මෙරටට සහල් ආනයනය සිදු කල බවට වූ සාධක කිහිපයක්ම හමුවේ."

මුළු ලිපියම පහත සබැඳියෙන් කියවිය හැකියි.


දැන් අපි වැදගත්ම කරුණට එමු. පැරකුම් යුගයේ ලංකාව සහල් (බොහෝ විට වී) අපනයනය කළා වෙන්න පුළුවන්. නමුත්, එසේ අපනයනය කළ සහල් ප්‍රමාණය රටේ මුළු සහල් නිෂ්පාදනයෙන් විශාල කොටසක් වෙන්න බැහැ. අරමණ ආක්‍රමණය ගැන මා ලියා ඇති ලිපි පෙළේ තිබෙන කරුණු අනුව සමහර විට එක සහල් නැවක් පිටරට යවා ඒ පිළිබඳව විශාල ප්‍රචාරයක් කළා වෙන්න පුළුවන්. එහෙම නැතුව ලංකාවෙන් මුළු පෙරදිගටම සහල් යවපු බව පිළිගන්න සාධක නැහැ.

හැබැයි ඔය කියන පැරකුම් යුගයේ වගේම වරින් වර වෙනත් කාල වකවානු වලදීත් ලංකාවේ සහල් අතිරික්තයක් තිබුණා කියන එක පිළිගන්න පුළුවන්. වැවු, අමුණු, දාගැබ් හදන්න ශ්‍රමය යොදවන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන අතිරික්තයක් තිබුණානම් පමණයි. වී හෝ සහල් අපනයනය කරන්න හෝ ගබඩා කරන්න පුළුවන් වෙනවා කියන්නේ රටේ සියලු දෙනාටම ආහාරයට ගන්න අවශ්‍ය සහල් ප්‍රමාණයට වඩා රටේ නිපදවුනා කියන එක වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. 

සමහර විට පිරිසක් සතුව විශාල අතිරික්තයක් තිබුණත් ඉතිරි පිරිස බඩගින්නේ හිටියා වෙන්න බැරිද? අපි එහෙම වුනේ නෑ කියලා හිතමු.

අනෙක් අතට වැවු, අමුණු, දාගැබ් හදන්න ශ්‍රමය ඉතිරි වුනා කියා කියන්නේ ඒ අයට කන්න දෙන්න ආහාර හදන්න ඉතිරි පිරිසට හැකි වුනා කියන එකයි. ඇතැම් විට කුඹුරු වැඩ නැති දවස් වල මේ වගේ වෙන වැඩ කළා වෙන්නත් පුළුවන්.

දැන් අපි අපේ ඇස්තමේන්තු වලට එමු.

අපි හිතමු රටේ නිපදවන සහල් රටේ සියලුම දෙනා පරිභෝජනය කිරීමෙන් පසුව යම් ප්‍රමාණයක් ඉතිරි වී ඒ ප්‍රමාණයෙන් කොටසක් අපනයනය කළා කියලා. තවත් කොටසක් ගබඩා කර ගත්තා කියමු. අපනයනය කරපු ප්‍රමාණය පරිභෝජනය කළ ප්‍රමාණයෙන් 5%ක් ලෙසත්, ගබඩා කර ගත් ප්‍රමාණය 45%ක් ලෙසත් සලකමු. ඒ කියන්නේ පරිභෝජනය කළ ප්‍රමාණයෙන් 50%ක් අතිරික්තය. වෙනත් විදිහකට කිවුවොත් නිපදවපු ප්‍රමාණයෙන් තුනෙන් එකක් අතිරික්තය.

ඊළඟ ප්‍රශ්නය රටේ ජනගහණයෙන් කොපමණ පිරිසක් මේ වී ප්‍රමාණය නිපදවන්න දායක වුනාද කියන එකයි. පැරණි ලංකාවේ ජීවත් වූ අයගෙන් බොහෝ දෙනෙක් වී ගොවිතැනේ යෙදුනු බව අප දන්නා නිසා එසේ නොයෙදුණු ප්‍රතිශතය ඇස්තමේන්තු කරන එක වඩා පහසුයි.

කුඩා දරුවන් හා මහල්ලන් - 30%
රජවරුන්, ප්‍රාදේශීය ප්‍රභූවරුන් හා බෞද්ධ භික්ෂූන් - 1%
ගොවිතැන් නොකරන පහත් කුල වල අය - 10%
ගර්භණී/ කුඩා ළමුන්ට කිරි දෙන කාන්තාවන් - 4%
වැව්, අමුණු හදන්න හා රාජ්‍ය සේවයට ගිය අය - 5%
එකතුව - 50%

ඒ කියන්නේ රටේ ජනගහණයෙන් 50%ක්වත් වී ගොවිතැනේ යෙදෙනවා. ඒ පිරිස රටේ මුළු ජනගහණයට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙන් 150%ක් හදනවා. මේ අනුව, එක් අයෙකු තවත් දෙදෙනෙකුට බත සපයනවා.

දැන් අපි ඇමරිකාවට ආවොත් ඇමරිකාවේ වී ගොවිපොළවල් 5,500ක පමණ ප්‍රමාණයකින් මිලියන 330ක් වන ඇමරිකානුවන්ට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවනවා. ඇමරිකාවේ ප්‍රධාන ආහාරය බත් නොවන නිසා මේ සංසන්දනයේ වැරැද්දක් තියෙනවනේ. ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 100ක් වුනත්, ඇමරිකාවේ එය කිලෝග්‍රෑම් 10ක් පමණයි. ඒ නිසා, ඇමරිකානුවන් ලංකාවේ තරමටම බත් කනවානම් ඇමරිකාවේ වී ගොවිපොළවල් 5,500ක පමණ ප්‍රමාණයකින් මිලියන 33ක් පමණ ඇමරිකානුවන්ට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවනවා කියන එකයි නිවැරදි. එතකොට ඇමරිකාවේ එක වී ගොවියෙක් තව කී දෙනෙකුට බත සපයනවද? 

ඇමරිකාවේ එක වී ගොවියෙක් ලංකාවේ හයදාහකට කන්න ප්‍රමාණවත් හාල් ප්‍රමාණයක් නිපදවනවා. කලින් ඇස්තමේන්තුව අනුව පැරකුම් යුගයේ වී ගොවියෙක් නිපදවලා තියෙන්නේ තව දෙන්නෙක්ට කන්න ප්‍රමාණවත් සහල් ප්‍රමාණය පමණයි. ඔය රජ කාලේ වී අමුණු ගණන් අස්වද්දපු යෝදයෝ ගැන කියනවනේ. එහෙම අය ඉන්න ඇති. හැබැයි අද ඇමරිකාවේ වී ගොවියෙක් කන්න දෙන තරම් පිරිසකට ඒ වගේ යෝදයෙක් වුනත් බත සැපයුවා කියා කියන්න බැහැ.

පැරකුම් යුගයේ එක ගොවියෙක් වී වවන කොට තව දෙන්නෙක් වැව් අමුණු හදන්න, ගෙවල් වල ළමයි බලාගන්න, අනිත් අයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න, ආයුධ හදන්න, නැවු හදන්න, රටවල් ආක්‍රමණය කරන්න වගේ වෙනත් වැඩ සඳහා ඉතුරු වුනා. අද ඇමරිකාවේ එක වී ගොවියෙක් වී වවන කොට වෙනත් ආහාර හදන්න, නැවු හදන්න, ගුවන් යානා හදන්න, කෝවිඩ් එන්නත් හදන්න, අඟහරු යානා හදන්න, බ්ලොග් ලියන්න, ඉරානයට බෝම්බ දමන්න, කුමන්ත්‍රණ කරන්න, ලංකාවේ ඉඩම් ටික අල්ල ගන්න ගිවිසුම් හදන්න වගේ වැඩ වලට තව හය දාහක් ඉතුරුයි.

ඒ ඇමරිකාවනේ. පැරකුම් යුගය එක්ක අද ලංකාව සංසන්දනය වෙන්නේ කොහොමද? අතරින් පතර හාල් ආනයනය කළත් බොහෝ දුරට ලංකාවට අවශ්‍ය හාල් ප්‍රමාණය රට ඇතුළේ හදා ගන්නවනේ. අපි කියමු රටේ සහල් අවශ්‍යතාවයෙන් 80%ක් රට ඇතුළේ හදා ගන්නවා කියලා. මේ හාල් ටික හදා ගන්න කී දෙනෙක් ඕනෑද? 2019 අවසන් කාර්තුවේදී කෘෂිකර්ම, වන හා ධීවර අංශයේ රැකියා වල නිරත වූ පිරිස 2,215,128ක්. ලංකාවේ ජනගහණය ඔය වගේ දහගුණයක් පමණ වෙනවනේ. ඒ කියන්නේ ජනගහණයෙන් 10%ක්. අපි කියමු ඔය 10%න් 80%ක්ම කළේ වී වවන එක කියලා. එතකොට 8%ක්.

දැන් මේ 8% රටේ 80%කට බත සපයනවා. ඒ කියන්නේ එක වී ගොවියෙක් තව 9 දෙනෙකුට කන්න දෙනවා. ඇමරිකාවේ හයදාහ කිට්ටුවකවත් නැහැ තමයි. හැබැයි පැරකුම් යුගයට වඩා තුන් ගුණයක් පමණ කාර්යක්ෂමයි.

මේ ගණන් හැදිල්ලට මම සංඛ්‍යා ගත්තේ මට හිතෙන හැටියටයි. ඒ නිසා, මූලාශ්‍ර මොනවාද කියලා අහන්න එපා. මේ ගණන් හරියටම හරි කියා මම කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම විශාල මිනුම් වරදක් මේ ඇස්තමේන්තු වල තියෙනවා. මොකද පරාක්‍රමබාහු යුගයේ මේ සංඛ්‍යාලේඛණ තියෙන සෙල්ලිපි නැහැනේ. හැබැයි මේ සංඛ්‍යාලේඛණ සැලකිය යුතු ලෙස වෙනස් වුනත් මම මේ කියන කතාව වෙනස් වෙන්නේ නැහැ. අද වෙනකොට ලංකාව පැරකුම් යුගයේ ඉඳලා සෑහෙන්න ඉදිරියට ඇවිල්ලයි තියෙන්නේ.

අපේ ඉතිහාසය ගැන අපි දැන ගන්න ඕනෑ. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නත් අවශ්‍යයි. ඒ ගැන අභිමානයක් ඇති කරගන්න එකත් හොඳයි. හැබැයි එහෙම කියලා ආපහු හැරිලා අතීතයට යන්න අවශ්‍ය නැහැ. දැන් ඉන්න තැනින් ඉදිරියට යන්නනම් ඉන්න තැනට වඩා කාර්යක්ෂම තැනක් දිහා බලාගෙනයි ඉදිරියට යා යුත්තේ.

Wednesday, May 6, 2020

ධනවාදය අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකරයි!


වී ගොවිතැනින් අපි නැවතත් ධනවාදයට එමු. ඇමරිකාවේ කුඹුරු අක්කරයක් කරන්න ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකක් පමණ යනවා. ඉන්දියාවේ කුඹුරු අක්කරයක් කරන්න වියදම් වන මුදල එයින් 40%කට වඩා වැඩි නැහැ. ලංකාවේ කුඹුරු අක්කරයක් කරන්න වියදම් වන මුදල වුවත් ඇමරිකාවේ වියදමෙන් 60%කට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ, ලංකාවේ හෝ ඉන්දියාවේ වී ගොවියෙක්ට ඇමරිකාවේ වී ගොවියෙක්ට වඩා අඩු මිලකට වී සපයන්න පුළුවන්. එහෙම තියෙද්දී, ඇමරිකාවේ වී ගොවියා ඉන්දියාවේ වී එක්ක තරඟ කරන්නේ කොහොමද?

මේ ප්‍රශ්නයම ලංකාව හා ඉන්දියාව හා අදාළව ඇහුවොත් පිළිතුරු තරමක් පැහැදිලියි. ලංකාවේ සහල් හිඟයක් ඇති වුනු විටක හැර බොහෝ විට ආණ්ඩුව විසින් සහල් ආනයනය වළක්වනවා. ආනයනය කරන සහල් වලට බදු පනවනවා. පොහොර වලට සහනාධාර දෙනවා. වතුර නොමිලේ දෙනවා. රජය මැදිහත්ව සහතික මිලකට වී මිල දී ගන්නවා. ඔය වගේ ගොඩක් දේවල් කරනවනේ.

ඇමරිකාවේ ඔය දේවල් බොහොමයක්ම කෙරෙන්නේ නැහැ. ඇමරිකාවට සහල් ආනයනය කරන්න බාධාවක් නැහැ. ඉන්දියාව වගේ රට වලට GSP සහන පවා ලැබෙනවා. පොහොර සහනාධාර නැහැ. වතුර නොමිලේ ලැබෙන්නේ නැහැ. මිල පහත වැටීමෙන් සිදු විය හැකි අවදානම නැති කර ගන්න ගොවීන් විසින් රක්ෂණයක් ලබා ගත යුතුයි. එම රක්ෂණ වාරිකයේ වියදමෙන් කොටසක් පමණක් රජය විසින් සුබසාධනය කරනවා.

ඇමරිකාවේ ගොවිපොළක වැඩ කරන මධ්‍යස්ථ කම්කරුවෙකුගේ දෛනික වැටුප ඩොලර් 99.84ක් වෙනවා. ලංකාවේ වියලි කලාපයේ මේ ගණන රුපියල් 1,381ක්ද, තෙත් කලාපයේ 1,166ක්ද වෙනවා. ඒ කියන්නේ ඩොලර් 6-7ක් පමණ. ඉන්දියාවේනම් ප්‍රාන්තය හා ස්ත්‍රීපුරුෂ භාවය අනුව බොහෝ විට ඉන්දියානු රුපියල් 200-300 අතර. ඒ කියන්නේ ඩොලර් 3-4 පමණ. ඇමරිකාවේ නුපුහුණු ශ්‍රමය දළ වශයෙන් ඉන්දියාවේ මෙන් 30 ගුණයක් හා ලංකාවේ මෙන් 15 ගුණයක් පමණ මිල අධිකයි.

මේ අවාසිදායක තත්ත්වයන් සියල්ල හමුවේ ඇමරිකාවේ වී ගොවියා ලාබ ලබන්නේ වී ගොවිතැනේ කාර්යක්ෂමතාවය වැඩි නිසයි. ඉන්දියාවේ හෝ ලංකාවේ වී ගොවියෙකු අක්කරයකින් ලබා ගන්නා වී ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් පමණ ඇමරිකාවේ වී ගොවියෙකු ලබා ගන්නවා.

මේක මම මේ දැන් හොයා ගත් දෙයක් හෝ ගොඩක් අය නොදන්නා රහසක් නෙමෙයිනේ. පහළින් තියෙන්නේ කිහිප දෙනෙකු විසින් පසුගිය ලිපි වලට දැමූ ප්‍රතිචාර.

"නැගෙනහිර ආසියනු රටවල් අක්කරයකට ගන්න වි අස්වැන්නෙන් අපි ගන්නේ හරියටම භාගයයි.ඒ කියන්නේ අපිට අවශ්‍ය වි නිපදවා ගැනිමට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක භූමි ප්‍රමාණයක් අපි භාවිතා කරනවා.මේ අස්වැන්න අඩුකම තමයි ගොවියා දුප්පත් විමට හේතුව."
- විපුල අබේසිංහ

"මට හිතෙන විදියට ලන්කාවෙ ගොවිතැන පාඩු ලබන්න අකාර්යක්ෂමතාවය ගොඩක් බලපානවා."
- Mahesh

"ලංකාවේ අස්වැන්න අඩු වෙන්න එක හේතුවක් වෙන්නේ වී ගොවිතැනට නොසුදුසු වැලි සහිත ඉඩම් වී වගාවට යොදා ගැනීම, ලැබෙන සහනාධාර සහ පහසුවෙන් වාරි ජල සම්පාදනය කළ හැකි තැන් වල පැවතීම නිසා ඒවා අතහැර දැමෙන්නෙත්  නෑ.නමුත් වාරිජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පලදායී නොවන අයුරින් අපතේ යන්නත්, ක්‍රිටිකල් අවධි වලදී ජල හිඟයක් ඇතිවෙන්නත් එය හේතු වෙනවා."
-ඇණයා Nut Man

"ජපානය වී අස්වැන්න ඉහල දැමීම සඳහා යාන්ත්‍රීකරණය කළ හැකි අයුරින් සියළු ගොවිබිම් නැවත සකස්කළ බව කියවා එහෙන් මෙහෙන් කියවා තියනවා, ඊට පෙර එහි පැවතියේ අපේ උඩරට වැනි කුඩා කුඹුරු කියායි හැඟුනේ. එහිදී ඉඩම් අයිතිය ප්‍රතිසංස්කරණය වුනාදැයි පැහැදිලි නොවූ නමුත් පසු කාලීනව ඉඩම්කට්ටි විශාල වී ඇති බව පෙනී යනවා, අපටත් ඒවැනි ප්‍රතිසංස්කරනයක් අවශ්‍යයි නේද?"
-ඇණයා Nut Man

ඉහත ප්‍රතිචාර වල වී ගොවිතැන හා අදාළ ගැටළු වගේම විසඳුම් යෝජනාද තිබෙනවා. ඇමරිකාව වගේ රටක මෙහි සඳහන් ඉඩම් කට්ටි විශාල වීම, යාන්ත්‍රීකරණය, වාරි ජල කළමනාකරණය, වී වගාව සඳහා සුදුසු ඉඩම් යොදා ගැනීම ආදිය හරහා කාර්යක්ෂමතාවය වැඩි වෙද්දී ලංකාවේ එහෙම වෙලා නැත්තේ ඇයි? ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර මේ දේවල් තේරෙන කිසිවෙකු නැති වෙන්න විදිහක් නැහැනේ.

ඇත්තටම ලංකාවේ එහෙම වෙලා නැත්තේ ඇයි කියා ඇහුවොත් එය අසාධාරණ ප්‍රශ්නයක්. පහුගිය කාලය පුරාවට ලංකාවේ වී වගාවේ කාර්යක්ෂමතාවය ටිකෙන් ටික ඉහළ ගිහින් තියෙනවා. ඒ සඳහා බොහෝ දෙනෙක් දායක වෙලත් තියෙනවා. නමුත්, අවසාන වශයෙන් ඇමරිකාවේ වී ගොවිතැන ලංකාවේ හා ඉන්දියාවේ වී ගොවිතැනට වඩා ගොඩක් කාර්යක්ෂමයි. එහෙම වුනේ කොහොමද?

මේ කතාවට ධනවාදය සම්බන්ධ වෙන්නේ මෙතැනදී. ඇමරිකාවේ ආණ්ඩු වී ගොවීන්ගේ ප්‍රශ්න හඳුනා ගෙන ඒවාට විසඳුම් දීලා නැහැ. වී වගාව කාර්යක්ෂම කරලත් නැහැ. කුඩා ඉඩම් කට්ටි ලොකු කරලත් නැහැ. සහතික මිල රක්ෂණයේ වාරික මුදලින් කොටසක් හැර වෙනත් සුබසාධනය කිරීම් කරලත් නැහැ. වී වවන්න තැන් වෙන් කරලා දීලත් නැහැ. වී වවන ඉඩම් වෙනත් වැඩකට යොදා ගැනීම වලක්වලත් නැහැ. කෙටියෙන්ම කිවුවොත් ලංකාවේ හැටියට ආණ්ඩුව විසින් කිසිම දෙයක් කරල නැහැ.

ඇමරිකාවේ වී ගොවීන්ගේ ලාබ වල රහස ඔය විදිහට ආණ්ඩුව විසින් කිසිම දෙයක් නොකර වෙළඳපොළට ඉඩ දීමයි. එහි ප්‍රතිඵලයක් විදිහට ධනවාදය ක්‍රියාත්මක වී තිබෙනවා. කිසිකෙනෙක් ඇමරිකාවේ වී වගා කර්මාන්තය කාර්යක්ෂම කිරීමේ අරමුණ වෙනුවෙන් වැඩ කරලා නැහැ. කවුරුත් වැඩ කරලා තියෙන්නේ තම තමන්ගේ ලාබ වැඩි කර ගැනීමේ අරමුණෙන්. එහි අවසාන ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාවේ වී වගා කර්මාන්තය කාර්යක්ෂම වී තිබෙනවා.

අකාර්යක්ෂමතාවය හමුවේ ධනවාදය කුරිරුයි. සානුකම්පික නැහැ. ධනවාදයට අකාර්යක්ෂමතාවය හමු වූ විට හැකි ඉක්මණින් අකාර්යක්ෂමතාවය විනාශ කර දමනවා. ආයේ බල බලා ඉඳීමක් නැහැ. හැබැයි ධනවාදය ලාබ හොයන්නන්ට උදවු කරනවා. වෙනත් සමහර රටවල ආණ්ඩු හා දේශපාලන පක්ෂ සාමාජිකයින් වගේ ලාබ හොයන අයගේ පස්සේ පන්නමින් ඔවුන් සමාජ සතුරන් සේ සලකා විනාශ කර දමන්නේ නැහැ.

ලාබ හා කාර්යක්ෂමතාවය කියන්නේ එකම කාසියේ දෙපැත්තයි. ලාබ හෙවීමේ තරඟය තුළ අකාර්යක්ෂමතාවය ටිකෙන් ටික මිය යනවා. ලාබ ලැබීම පහත් කොට සලකන සමාජ වලදී කාර්යක්ෂමතාවය පෑල දොරෙන් පැන යනවා. ධනවාදය අකාර්යක්ෂමතාවයට මානුෂික ලෙස සලකන්නේ නැහැ.

ආර්ථික වාසි සොයා මිනිස්සු රටකින් රටකට සංක්‍රමණය වෙනවා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රන් ඉල්ලම් මතු වූ කාලයේ චීන ජාතිකයින් හතළිස් දහසක් පමණ ඉසුරු සොයා ඇමරිකාවට පැමිණ තිබෙනවා. මේ මිනිස්සු ඇමරිකාවට ආවේ පක්ෂ සාමාජිකයින් කැට හොල්ලා එකතු කරපු සල්ලි වලින් කම්කරු සම්මේලනයකට ගිහින් ආතල් එකක් ගන්න පක්ෂ නායකයෙක් වගේ ඇමරිකාවේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා යන්න නෙමෙයිනේ. ඒ නිසා, ඒ මිනිස්සුන්ට තමන් චීනයේදී ආහාරයට ගත් බත් ඇමරිකාවේදීත් ඕනෑ වුනා. ඒ එක්ක එක පාරටම ඇමරිකාවේ හාල් වලට සැලකිය යුතු ඉල්ලුමක් ඇති වුනා.

නොසන්සිඳුණු ඉල්ලුමක් කියා කියන්නේ ව්‍යවසායකයෙකුට ලාබ ලබන්න අවස්ථාවක්. ධනවාදය ලාබ හොයන ව්‍යවසායකයින්ට අකුල් හෙළන්නේ නැහැ. ඔය වගේ ඉල්ලුමක් සපුරන්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් චීනයෙන් හෝ වී වවන වෙනත් රටකින් සහල් ආනයනය කරන එක. දෙවන එක ඇමරිකාවේ වී වවන එක. දෙකෙන් වඩා කාර්යක්ෂම කොයි එකද කියන එක තීරණය වෙන්නේ ලැබෙන ලාබ මතයි. ඇමරිකාවේ වී වවන එක නරක විකල්පයක් නොවූ නිසා පසුගිය සියවසේ මුල හරියේදී ඒ වැඩේ පටන් ගත්තා. තවමත් තිබෙන කැලිෆෝනියාවේ සැක්රමෙන්ටෝ නිම්නය ආශ්‍රිත වී කලාපය එහි ප්‍රතිඵලයක්.

ඇමරිකාව වගේ ධනවාදී රටක වී වවන ගොවියෙකු මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙකක් තිබෙනවා. පළමු එක රට ඇතුළේ වෙළඳ තරඟයට මුහුණ දීම. දෙවැන්න ආනයනික සහල් සමඟ තරඟ කරන එක.

ලෝකයේ හාල් නිෂ්පාදනය බොහෝ දුරට සිදු වෙන්නේත්, වැඩිපුරම හාල් පරිභෝජනය කරන්නේත් ආසියා කලාපයේ. හාල් කර්මාන්තය හා අදාළව සැලකු විට චීනය, ඉන්දියාව, තායිලන්තය වැනි දැවැන්තයින් හමුවේ ඇමරිකාව හාල් කෑල්ලක්. හාල් කිලෝවක මිල තීරණය කරන්නේ ඒ දැවැන්තයින් විසිනුයි. ඇමරිකාවට මිලට බලපෑමක් කරන්න බැහැ.

වී ගොවිතැන ශ්‍රමමූලික කර්මාන්තයක්. ලංකාව ගත්තොත් වියලි කලාපයේ අක්කරයක වී වවන්න මිනිස් දින 17ක් අවශ්‍යයි. තෙත් කලාපයේ තවත් වැඩියි. ලංකාව, ඉන්දියාව වගේ රටවල මිනිස් ශ්‍රමය ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් ලාබ බව කලිනුත් කිවුවනේ. එහෙමනම් ඇමරිකාව තරඟයට මුහුණ දෙන්නේ කොහොමද?

එක විසඳුමක් වන්නේ ආරක්ෂණවාදය. සහල් ආනයනය තහනම් කළානම් ඇමරිකාවේ වී ගොවීන්ට ඇමරිකාව ඇතුළේ වැඩි මිලකට හාල් විකුණන්න පුළුවන්. හැබැයි ජීවිතේට ජාත්‍යන්තරේට යන්න බැහැ. ඒ වගේම, කොයි වෙලාවක හරි ආනයන තහනම ඉවත් කළ වහාම ඇමරිකාවේ දේශීය වී ගොවියා හාන්සි. හරියට ජේආර් රට විවෘත කරපු ගමන් සමගි පෙරමුණු නිෂ්පාදකයෝ වාෂ්ප වෙලා ගියා වගේ.

ඇමරිකාවේ ප්‍රතිපත්තිය සාමාන්‍යයෙන් මේ වගේ බියගුළු එකක් නෙමෙයි. කෝවිඩ් වලින් බේරෙන්න රට වහගෙන ඉන්න පුළුවන්. හැබැයි කොච්චර කල් කියලා ඔහොම ඉන්නද? කවදා හරි රට ඇරපු ගමන් බඩු. මැරෙන එකා මැරෙන්න ඇරලා කරන වැඩ ඒ විදිහටම කරගෙන ගියානම් දුර්වල අය මැරිල ගිහින් ඉතුරු වෙන්නේ වෛරස් එකකටවත් බය නැති මිනිස්සු.

වෛරස් සම්බන්ධව ඇමරිකාව ඒ වගේ ප්‍රතිපත්තියක නැහැ. නමුත්, වී ගොවීන් ඇතුළු නිෂ්පාදකයින් සම්බන්ධව ඇමරිකාවේ ප්‍රතිපත්තිය ඔය වගේ එකක්. පලයන් ගිහිං සටන් කරපන්. පුළුවන්නම් චීනයේ, ඉන්දියාවේ වී ගොවීන් එක්ක සටන් කරලා දිනපන්. බැරිනම් මැරියන්.

ඉතිං මොනවා කරන්නද? ඇමරිකාවේ වී ගොවියාට ලෝකයේ අනෙක් රටවල් එක්ක සටන් කරන්න වෙනවා. නමුත්, මෙය සාධාරණ තරඟයක් නෙමෙයි. ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 30 ගුණයක් වැඩියි. ඒ නිසා, ඇමරිකාවේ වී ගොවියෙක්ට ඉන්දියාවේ වී ගොවියන් 30 දෙනෙක් එක්කයි සටන් කරන්න වෙලා තියෙන්නේ. තනි ඇමරිකන් කාරයා ගිහින් තිහකට ගේම දීලා එන හොලිවුඩ් චිත්‍රපට වල වගේ.

ඔහොම තිහකට තනියම ගේම දීලා එන්න පුළුවන් ඇමරිකානුවෝ ඉන්නවා. හැබැයි ගොඩක් ඇමරිකානුවන්ට ඔය වගේ දෙයක් කරන්න බැහැ. ධනවාදය විසින් කරන්නේ එහෙම පුළුවන් කෙනාව හොයා ගෙන අවස්ථාව දෙන එකයි. මේ කටයුත්තේදී අතින් පයින් ගහගන්න යනවාට වඩා ආයුධයක් අරන් යාම කාර්යක්ෂමයි. ඒ කියන්නේ ඇමරිකාවේ වී ගොවියා විසින් කළ යුත්තේ මිනිස් ශ්‍රමය යොදා ගැනීම පුළුවන් තරම් අඩු කරලා වැඩි වැඩියෙන් යාන්ත්‍රික ශ්‍රමය යොදවන එකයි. තිහකට ගහන එකේ රහස තියෙන්නේ එතැනයි.

ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 15 ගුණයක් හා ලංකාවේ මෙන් 30 ගුණයක් මිල අධික බව මම කිවුවනේ. එසේ තියෙද්දීත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න යන ශ්‍රමයේ වියදම ලංකාවේ වියදමට වඩා අඩුයි. ලංකාවේ වී අක්කරයක් වවන්න මිනිස් දින 17ක් අවශ්‍ය වුවත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න උපයෝගී කර ගන්නේ මිනිස් පැය 4ක් පමණයි. ලංකාවේ වී ගොවියා දවස් 17ක් තිස්සේ කරන වැඩ ඇමරිකාවේ වී ගොවියා පැය 4කින් කරන්නේ යාන්ත්‍රික ශ්‍රමයේ උදවුවෙන්.

ඇමරිකාවේ යාන්ත්‍රික ශ්‍රමය ඇමරිකාවේ මිනිස් ශ්‍රමයට වඩා ලාබයි. ඒ නිසා, මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය යොදාගත් විට කාර්යක්ෂමතාවය ඉහළ යනවා. හැබැයි ඇමරිකාවේ යාන්ත්‍රික ශ්‍රමය වුවත් ලංකාවේ හෝ ඉන්දියාවේ මිනිස් ශ්‍රමය තරම් ලාබ නැහැ. ඒ නිසා, මේ වැඩේ කළා කියලත් ලංකාවේ හෝ ඉන්දියාවේ වී ගොවියෙක් එක්ක තරඟ කරන්න බැහැ. ඒ වැඩේට අස්වැන්න වැඩි කරගන්නම වෙනවා.

අස්වැන්න වැඩි කරගන්න පුළුවන් එක ක්‍රමයක් වන්නේ පොහොර හා රසායන වැඩියෙන් යොදන එකයි. ඇමරිකානු ගොවියා එය කරනවා. හැබැයි එයින් ආදායම වගේම වියදමත් ඉහළ යනවා.

ඇමරිකාවේ කෘෂිකර්මය හා අදාළ මූලික පර්යේෂණ බොහොමයක්ම කෙරෙන්නේ විශ්ව විද්‍යාල ආශ්‍රිතවයි. බොහෝ විට ගොවීන් විසින් මෙවැනි පර්යේෂණ සඳහා මුදල් ප්‍රදාන සිදු කරනවා. මිල ගෙවිය යුත්තේ වාසිය ලබන පුද්ගලයා කියන එක ඇමරිකානු ක්‍රමයයි.

අවසාන වශයෙන් ඇමරිකානු වී ගොවියා මුහුණ දෙන ධනවාදී තරඟය කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමේ තරඟයක්. වෙළඳපොළේ රැඳී ඉන්නනම් මොන විදිහකින් හෝ ආදායම් වැඩි කරගෙන වියදම් අඩු කරගත යුතුයි. නමුත්, සහල් මිලට බලපෑමක් කිරීමේ හැකියාවක් නැති නිසා ආදායම් වැඩි කර ගත හැක්කේ අස්වනු ඵලදායීතාව වැඩි කර ගැනීමෙන් පමණයි. අනෙක් අතට මිනිස් ශ්‍රමය, යාන්ත්‍රික ශ්‍රමය, ඉඩම් කුලිය, පොහොර, රසායන ආදියේ මිල තීරණය කෙරෙන්නේත් බාහිර සාධක නිසා ඇමරිකානු වී ගොවියාට වියදම් අඩු කර ගැනීම සඳහා මේ සියළු සාධක ප්‍රසස්ථ ලෙස කළමනාකරණය කරන්න වෙනවා.

ඔය බරපතල කටයුත්ත හැමෝටම කරන්න බැහැ. දැන වෙළඳාම් නොදැන ගොවිතැන් කියා කිවුවට ඒ පරණ කතා දැන් හරියන්නේ නැහැ. නොදැන ගොවිතැන් කරන ඇමරිකානු වී ගොවියා තරඟයෙන් පරදිනවා. ඇමරිකානු ධනවාදය අකාර්යක්ෂමතාවයට සානුකම්පික නැහැ. තරඟයෙන් පරදින ගොවියෙකුට කරන්න වෙන්නේ තමන්ගේ ඉඩම වඩා දක්ෂ පුද්ගලයෙකුට බදු දී පැත්තකට වෙන එකයි. නොදැන ගොවිතැන් කර පරදිනවාට වඩා ඒ වැඩේ ලාබයි.

වඩා දක්ෂ ලෙස වී ගොවිතැන් කළ හැකි මිනිස්සු ඇමරිකාවේ වගේම ලංකාවෙත් ඉන්නවා. පහළ කොපි කර තිබෙන ප්‍රතිචාරයේ කතා කරන්නේ ඒ වගේ මිනිස්සු ගැන.

"ලාබ පාඩු මන්දා මාසෙට ලස්සේ හමාරේ පඩි ගන්න අපේ සමහර ෆොර්මන් ල සුපවයිසර්ලා එහෙමත් සති දෙක තුන no pay දාල ගිහින් කුඹුරු වැඩ කරලා එනවා.. :))"
- කල්‍යාණ මිත්‍ර

මේ විදිහට ලංකාවේ කුඹුරක් බදු ගන්න කෙනෙක්ට අක්කරයකට (අතින්) යන වියදම කුඹුර අයිතිකාරයා කුඹුර කළානම් යන වියදම වගේ දෙතුන් ගුණයක්. ඒ වුනත්, ඒ මනුස්සයා ලාබ ගන්නවා. නමුත්, කුඹුර අයිතිකාරයාට ලාබ ගන්න බැහැ. හැම වැඩේම හැම කෙනාටම එක වගේ හොඳින් කරන්න බැහැ කියන එකට මේ උදාහරණයම ප්‍රමාණවත්. ධනවාදය විසින් කරන්නේ එහෙම වැඩක් කාර්යක්ෂමව කළ හැකි අයට ඒ වැඩේ කරන්න අවස්ථාව සලසන එකයි. ධනවාදය අමානුෂිකයි කියා කියන මිනිස්සු, දේශපාලන පක්ෂ හා ආණ්ඩු විසින් කරන්නේ අකාර්යක්ෂමතාවයට උල්පන්දම් දෙන එකයි.

ධනවාදය යටතේ අවසාන වශයෙන් ඉඩම් සුළු පිරිසක් අතේ එකතු වෙනවා. එය කාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතුවක්. පැරණි සෝවියට් දේශය වගේ සමාජවාදී රටවල් සමූහ ගොවිපොළවල් වගේ සංකල්ප හරහා ඔය වැඩේ වෙනත් ආකාරයකට කරන්න උත්සාහ කළා. ලංකාවේ ගම් වල තිබුණු පැරණි අත්තම් ක්‍රමය වුවත් කුඹුරු කට්ටි කුඩා වීමේ අවාසි අඩු කර ගැනෙන ක්‍රමයක්. එහෙත්, මේ වෙද්දී ලංකාවේ කුඹුරු ඉඩම් වලින් 44.6%ක්ම අක්කරයට අඩුයි. 70.9%ක්ම අක්කර දෙකට අඩුයි. 95.3%ක්ම අක්කර පහට අඩුයි.


ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ ඉඩම් හිමි වැවිලිකරුවෝ කියා පිරිසක් හිටියා. ඒ අය ඕපපාතිකව පහළ වුනු අය නෙමෙයි. ඉඩම් හිමි වැවිලිකරුවන් වුනේ ඒ වැඩේට දක්ෂතාවයක් තිබුණු අය. සමගි පෙරමුණු ආණ්ඩුවෙන් අක්කර පණහේ නීතිය දමලා කළේ අකාර්යක්ෂමතාවයට සානුකම්පික වීමයි. ලංකාවේ නිදහස් වෙළදපොළ බාධාවක් නැතුව ක්‍රියාත්මක වුවහොත් කාලයක් යද්දී ඔය කුඹුරු ඉඩම් බදු ගන්නා පිරිස් අතරින් කුඹුරු හිමි ධනපති පන්තියක් හැදෙයි.

ඇමරිකාවේ මේ වැඩේ දිගින් දිගටම සිදු වෙද්දී වී ගොවිතැන් කරන ඉඩම් ඒ වැඩේ වඩාත් කාර්යක්ෂමව කරන ටික දෙනෙක් අතට එකතු වී තිබෙනවා. මෙසේ වන විට වී ගොවිපොළක ප්‍රමාණය එන්න එන්නම විශාල වෙනවා. එයට සමාන්තරව යාන්ත්‍රික ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ යනවා. අවශ්‍ය වන මිනිස් ශ්‍රමය අඩු වෙනවා. ඒ වගේම අවශ්‍ය මිනිස් ශ්‍රමයේ ස්වභාවයත් වෙනස් වෙනවා. නුපුහුණු ශ්‍රමය තව දුරටත් වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ යන්ත්‍ර ක්‍රියා කරවිය හැකි පුහුණු ශ්‍රමයක්.

ඇමරිකාවේ බොහෝ ගොවීන්ට ගුවන් යානා තිබෙනවා. ලොකු ඒවා නෙමෙයි. ඇට ඉහින්න, වල්නාශක ආදිය ඉහින්න යොදාගන්නා කුඩා ගුවන් යානා. මේ ගුවන් යානා එළවන්න පුහුණුවක් අවශ්‍යයි. අනෙක් සංකීර්ණ උපකරණ ක්‍රියා කරවන්නත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ශ්‍රමය මූලික ශ්‍රමයට වඩා මිල අධිකයි. ලංකාවේ වී ගොවීන් ගුවන් යානා උපයෝගී කරගෙන ගොවිපොළේ වැඩ කරන්න තව කොයි තරම් කාලයක් යයිද? ගොවියන් වෙනුවෙන් පෙනී සිටින සමාජවාදීන් සිටින තුරු ඔය වැඩේ කවදාවත් වෙන එකක් නැහැ. ඒ අයට අවශ්‍ය අකාර්යක්ෂමතාවය දිරි ගන්වමින් ගොවියා හැමදාම වත්මන් ගොවියා ලෙසම සිටිනවා දකින්නයි.

ඇමරිකාවේ වී ගොවිපොළක සාමාන්‍ය ප්‍රමාණය අක්කර 500ක්. හැබැයි බොහෝ දුරට මේ අක්කර පන්සීයේම වැඩ ටික කර ගන්නේ ගොවි පවුලේම සාමාජිකයින් විසින්. කුලී ශ්‍රමය ඉතාම අඩුයි. අක්කරයකට අවශ්‍ය ශ්‍රමය පැය හතරක් නිසා එක් අයෙක් දවසකට පැය 8ක් හා සතියකට දවස් 5ක් බැගින් සති 50ක් වැඩ කරන ශ්‍රමය පමණයිනේ අවශ්‍ය වෙන්නේ. පවුලේ අයම එකතු වී වැඩ ටික තනියම කරගන්න නිසා මේ අය ගොවීන්ම තමයි. ආයේ වෙන කාගෙවත් "ශ්‍රමය සූරා කන" ස්වාමියෝ නෙමෙයි.

ඒ වගේම මේ අයගෙන් තුනෙන් එකක් පමණ උපාධිධාරීන්. මෙවැනි ගොවි පවුල් වල දරුවන් කෘෂි ආර්ථික විද්‍යාව ඉගෙනගන්න උනන්දු බව මම අත්දැකීමෙන්ම දන්නා දෙයක්. ඒ අය "කුඹුරෙන් පාඩුයි කියලා තේරෙන්න ගොවියා ආර්ථික විද්‍යා උපාධියක් අරං තියෙන්න ඕනි නෑ" කියා අධ්‍යාපනයේ වැදගත්කම අවතක්සේරු කරන පසුගාමී අය නෙමෙයි. ඇමරිකාවේ වී වගාවේ යෙදෙන ගොවි පවුලක සාමාන්‍ය මාසික ආදායම ඩොලර් 23,000ක් පමණ හෙවත් ලංකාවේ රුපියල් වලින් 437,000ක් 4,370,000ක් පමණ වෙනවා.

ඇමරිකාවේ ගොවීන්ගේ මේ සාර්ථකත්වයට හේතුව අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකිරීමයි. ශතවර්ෂ ගාණක පළපුරුද්ද, සම්ප්‍රදායික දැනුම, පැරණි රජවරු හදපු තවමත් ප්‍රයෝජනයට ගන්න වැව් අමුණු විශාල ප්‍රමාණයක්, කෘෂිකර්මය වෙනුවෙන් වෙන්වූ රජයේ ආයතන ගණනාවක්, ගොවියන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක්, පොහොර සහනාධාර, සහතික මිල, කුඹුරු ඉඩම් රැක ගැනීමේ හා අඳ ගොවියන් රැක ගැනීමේ නීති, පුරන් කුඹුරු අස්වද්දන හමුදා, නොමිලේ ලබා දෙන කෘෂිකර්ම උපාධි ආදී මෙකී නොකී හැම දෙයක්ම එක්ක ලංකාවේ මුළු ජනගහණයෙන් අඩු වශයෙන් දහයෙන් එකක් පමණ දායක වී අවුරුද්දකට නිපදවන සහල් ප්‍රමාණය වගේ දෙගුණයකට වඩා හදන්නේ ඇමරිකාවේ පන්දහසක පමණ ගොවියන් පිරිසක් විසිනුයි. ගොවීන් පැත්තකින් තිබ්බත්, ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයින් ප්‍රමාණය පමණක් දසදහසකට වැඩියි.

ඇමරිකාවේ වෙන ඕනෑම ක්ෂේත්‍රයක් ගත්තත් ඔය වගේම කතාවක් තියෙනවා. අප ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ මේ දේවල් ඇස් දෙකට පේන්න තිබෙන නිසා මිසක් හිතළු මත පදනම් වූ මනෝ ලෝක වල සිට නෙමෙයි.

Tuesday, May 5, 2020

ඇමරිකා-වී, ඉන්දියා-වී හා ලංකා-වී

කලින් පෝස්ට් එකේ කළේ ඇමරිකාවේ හා ඉන්දියාවේ අක්කරයක වී වවන්න යන වියදම සැසඳීමක්. එහි මා ලංකාව ගැන කතා කළේ නැහැ. පෝස්ට් එකේ සංඛ්‍යාලේඛණ මම හදපුවා නෙමෙයි. මම කළේ ඉන්දියන් රුපියල් ගණන් හැටෙන් බෙදා ඩොලර් වලට හරවන එක පමණයි.

මේ සංඛ්‍යාලේඛණ ගොවීන්ට යන සැබෑ වියදම් එකතු කර හදපුවා. එහෙත්, වගුවේ  තියෙන්නේ සාමාන්‍ය අගයන්. තනි ගොවීන් ගත්තහම මීට වඩා අඩු වියදමකින් වී වවන අයත්, වැඩියෙන් වියදම් කරන අයත් ඉන්නවා. ඒ වගේම ඉන්දියාවේ සමීක්ෂණය බෙංගාලය ආශ්‍රිතව කරපු එකක් නිසා ඉන්දියාවේම වෙනත් පැති වල තත්ත්වයේ වෙනසක් තියෙන්න පුළුවන්.

කොහොම වුනත් මට පෙන්වා දෙන්න අවශ්‍ය වුනේ මේ දේවලුයි.
- ඇමරිකාවේ කුඹුරු අක්කරයක් වවන්න යන වියදම ඉන්දියාවට සාපේක්ෂව ගොඩක් වැඩියි.
- ඉන්දියාවේ (බෙංගාලයේ) කුඹුරු කෙරුවාවෙන් ලාබ ගන්න අක්කරයකින් වී කිලෝ ග්රෑම් 1,330ක අස්වැන්නක් ලබා ගැනීම ප්‍රමාණවත්.
-එහෙත්, ඇමරිකාවේ කුඹුරු කෙරුවාවෙන් ලාබ ගන්නනම් අක්කරයකින් වී කිලෝ ග්රෑම් 3,300ක් ලබා ගත යුතුයි. එය අමාරු ඉලක්කයක්.

එම ලිපියේ අවසානයේ මූලාශ්‍රය සදහන් කර තිබෙන පර්යේෂණ පත්‍රිකාව අනුව බෙංගාලයේ වී ගොවීන් ඇත්තටම ලාබ ලබන්නේ නැහැ. එහෙත්, ඉන්දියාවේ වී ගොවීන් විශාල ලාබයක් ලබන බව ගණන් හදා පෙන්වා ඇති තැන් කිහිපයක්ම අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. එම ගණන් බැලීම් හා පෙර කී පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තු ප්‍රධාන වශයෙන්ම වෙනස් වන්නේ එක් කරුණකින්. පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තුවට ඉඩමේ ආවස්ථික පිරිවැයද එකතු කර තිබෙනවා. මෙය සැලකිය යුතු මුදලක්. එය අත ඇරියොත් වියදම ගොඩක් අඩුයි.

දැන් අපි ලංකාවට එමු. ලංකාවේ වී අක්කරයක් වවන්න යන වියදම පිළිබඳවත් මෙවැනි ඇස්තමේන්තු තිබෙනවා. මම හදපුවා නෙමෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදපුවා. මේ ඇස්තමේන්තු වාරි ජල වී කර්මාන්තය හා වැසි ජල වී කර්මාන්තය සඳහා වෙන වෙනම පහත වගුවේ තිබෙනවා. සංසන්දනය කිරීම සඳහා ඇමරිකාවේ ගණන් 190 බැගිනුත් ඉන්දියාවේ ගණන් 2.50 බැගිනුත් රුපියල් වලට හරවා තිබෙනවා.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණන් අනුව වාරි ජල වී කර්මාන්තයේ වියදම් පියවගන්න අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 1,222ක් ලබා ගැනීම ප්‍රමාණවත්. වැසි ජල වී කර්මාන්තයෙන් ලාබ ගන්න අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 1,268ක් ලැබුනහම ඇති.  එහෙම බැලුවොත් ලංකාවේ වී ගොවියා ඉන්නේ ඉන්දියාවටත් වඩා වාසිදායක තැනක. මේ ඊයේ පෙරේදා ආණ්ඩුව වී වල සහතික මිල වැඩි කරන්න කලින් තත්ත්වය. දැන් විදිහටනම් මේ ගණන් තවත් අඩු වෙන්න ඕනෑ.

වාරි ජල වී කර්මාන්තයෙන් අක්කරයකට වී කිලෝ ග්‍රෑම් 2,130ක් ලබා ගන්න පුළුවන්. එහෙම බැලුවහම මාර ලාබයි. වැසි ජල වී කර්මාන්තයෙන් අක්කරයකට වී කිලෝ ග්‍රෑම් 1,486ක් ලබා ගත හැකියි. ඒ වැඩෙත් පාඩුවක් නැහැ. වැඩේ ඔය තරම්ම ලාබනම් ලංකාව ආනයනික සහල් වලට බය වෙන්නේ ඇයි? කිසි ප්‍රශ්නයක් නැතුව තරඟ කරන්න පුළුවන් වෙන්න ඕනැනේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු වල අඩුපාඩු කිහිපයක්ම තියෙනවා. වගුවේ ඇමරිකා, ඉන්දියා තීරු වල තිබෙන ලංකා තීරු වල නැති අයිතම දිහා බැලුවහම ඒ බව නොපෙනෙන්න හේතුවක් නැහැ.

වාරි ජල වී කර්මාන්තයේ වතුර වල වියදම දරන්නේ වී ගොවීන් විසින් නෙමෙයි. පොදුවේ රටේ හැමෝම. මහවැලිය හදන්න ගත්ත ණය සහ පොලිය තවම ගෙවනවා. මුල් ණය මුදල ලබා දුන් අයට දැන් මේ ණය ගෙවලා ඉවර ඇති. හැබැයි ඒ ගෙවලා තියෙන්නේ වතුර විකුණලා සල්ලි අරගෙන නෙමෙයි. අලුත් ණය අරගෙන. ඒ අලුත් ණයත් දැන් ගෙවලා ඇති. ඒ තවත් ණය අරගෙන. අන්තිමට මහවැලිය හදන්න ගත්ත සල්ලි වලට තවම පොලී ගෙවනවා. ගොවීන්ට වතුර නොමිලේ.

ඒ වගේම පෝර වියදමෙන් වැඩි කොටසක් දරන්නේත් පොදුවේ රටේ හැමෝම විසින්. ඒ ගණන් එකතු කලොත් මේ වියදම් ඇස්තමේන්තුව ඉහළ යනවා.

මේ සියල්ලටම වැඩිය ලොකුම අඩුපාඩුව කුඹුරු ඉඩම් වල බදු අගය මෙහි නැති වීමයි. ඇමරිකාවේ හා ඉන්දියාවේ ඇස්තමේන්තු වල ඒ ගණන් තියෙනවා. සාමාන්‍යයෙන් මේ මිල සැලකිය යුතු මිලක්. ගොවියෙක් වගා කරන්නේ තමන්ගේම ඉඩම වුවත්, ඉඩම බදු දී ලබා ගත හැකි ආදායම ආවස්ථික පිරිවැයක් විදිහට මේ ඇස්තමේන්තුවට එකතු විය යුතුයි. ඒ ගණන දැන ගන්න කුඹුරු බද්දට දෙන මිල ගණන් හොයා ගන්න වෙනවා. ලංකාවේ කුඹුරු කිරීමේ නියම වියදම දැන ගන්නනම් මේ අයිතමයන්ද එකතු විය යුතුයි.

මම හිතන්නේ ලංකාවේ කුඹුරු බද්දට දීම හා ගැනීම බොහෝ විට අත යටින් වෙන දෙයක්. අත යට වෙන දේවල් ගැන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට තොරතුරු හොයා ගන්න අමාරුයි. නිවැරදි ආකාරයකට සමීක්ෂණයක් නොකර මේ පිළිබඳ ඇස්තමේන්තු හදන්නත් අමාරුයි. මා පෞද්ගලිකව දන්නා තොරතුරු අනුව වියලි කලාපයේ කුඹුරු අක්කරයක කන්නයක බදු වටිනාකම අඩු වශයෙන් රුපියල් පනස් දාහක් පමණවත් වෙනවා. සමහර අය අස්වැන්නෙන් තුනෙන් එකටත් බදු දෙනවනේ. එහෙම බැලුවත් ඔය කිට්ටුව ගාණක්. අනික් අතට මේ කුඹුරු අක්කරයක මිල ලක්ෂ දහයක් පහළොවක් පමණ වන නිසාත් රටේ පොලී අනුපාතික 8-10%ක පමණ මට්ටමේ තිබෙන නිසාත් කන්නයක කාලයට පොලිය ඔය කිට්ටුවට එනවා.

කොහොම බැලුවත් ඉඩමේ බදු වටිනාකම එකතු කළාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව දෙගුණයක් පමණ වෙනවා. එතකොට වියලි කලාපයේ වුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වන ලාබය නැහැ. මේ කියන්නේ කිසිවෙකුට ලාබ නැහැ කියන එක නෙමෙයි. කුඹුරු බදු ගන්න අයට අනිවාර්යයෙන්ම ලාබ තියෙන්න ඕනෑ. නැත්නම් බදු ගන්න අමාරුවක් නැහැනේ. ඒ වගේම බදු දෙන අයගේ පැත්තෙන් බැලුවොත් ඒ අය කුඹුර බදු දෙන්නේ කුඹුර කරනවාට වැඩිය බදු දෙන එක ලාබ නිසයි. ඒ කියන්නේ ඒ අයම කුඹුර කළානම් ඉඩමේ බදු වටිනාකම අඩු කළාම අතින් පාඩුයි.

මේ කිවුවේ වියලි කලාපයේ ඉඩම් ගැන. තෙත් කලාපයේ කුඹුරු ඉඩම් බදු අරගෙන කුඹුරු වැඩ කරන අය ඉන්න බවක් මම දන්නේ නැහැ. බදු අරගෙන කුඹුරු කිරීම අනිවාර්යයයෙන්ම පාඩුයි. ඒ නිසා, ඒ ඉඩම් වල වටිනාකම මේ ක්‍රමයට තක්සේරු කරන්න බැහැ. හැබැයි මේ ඉඩම් වල විකුණුම් මිල වියලි කලාපයේ ඉඩම් වල මිලට වඩා වැඩියි. මේ ඉඩම් අක්කර ගානට යන්නේ නැහැ. බොහෝ විට විකිණෙන්නේ පර්චස් ගාණට. තෙත් කලාපයේ ඉඩම් වල වටිනාකමට හේතුව වී වගාවෙන් ලැබිය හැකි ආදායම නෙමෙයි. ඉඩම් වල වටිනාකම එකතු කළොත් වී වගා කරන එක අනිවාර්යයෙන්ම පාඩුයි.

මේ හැම දෙයක්ම ලිවීමෙන් මම පෙන්වා දෙන්න හදන්නේ ලංකාව කුඹුරු කරන එක අත ඇරිය යුතු බව නෙමෙයි. එහෙම හිතනවානම් එය වැරදි අදහසක්. කුඹුරු කිරීම පාඩු වෙන්නේ යන වියදම ලැබෙන ආදායමට වඩා අඩු නිසයි. වෙනත් විදිහකට කියනවානම් කාර්යක්ෂමතාවය අඩු නිසයි. නමුත්, ඇමරිකන් උදාහරණයෙන් පෙනෙන්නේ ලංකාවේ වී ගොවිතැනට වඩා කාර්යක්ෂම වෙන්න තව සෑහෙන අවකාශයක් තියෙනවා කියන එකයි. එහෙමනම්, එය නොවෙන්නේ ඇයි?

අත ඇරලා දමන්න ඕනෑ ලංකාවේ වී ගොවිතැන නෙමෙයි. ලංකාවේ වී ගොවිතැන වගේම තවත් බොහෝ දේවල් අකාර්යක්ෂම වෙන්න හේතු වී තිබෙන සාධකයි.

මෙහි ලියන දේවල් හැමවිටම සංවාදයට විවෘතයි. හැබැයි ලිපියේ ලියා නැති දේ හිතින් මවාගෙන විවේචනය කළාට අපට කරන්න දෙයක් නැහැ. ලිපියේ වැරැද්දක් තිබේනම් එය පැහැදිලිව පෙන්වන්න. මඩින් නෙමෙයි ගොඩින් එන්න!

Reference:
COST OF CULTIVATION OF AGRICULTURAL CROPS - 2018 YALA, Volume 75, SOCIO ECONOMICS AND PLANNING CENTRE, DEPARTMENT OF AGRICULTURE, July 2019.

ඇති සේ දකින නැති ලාබ

ලෝකයේ ලොකුම සහල් නිෂ්පාදකයා චීනය වුවත්, ලෝකයේ ලොකුම සහල් අපනයනකරු ඉන්දියාවයි. ඉන්දියාවේ නිපදවන සහල් සමඟ ලංකාවට මෙන්ම ඇමරිකාවටත් තරඟ කරන්න වෙනවා. ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් දෙදාහක් පමණයි. ලංකාවේ ඒක පුද්ගල ආදායම එමෙන් දෙගුණයක්. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ මෙන් තිස් ගුණයක්.

ඇමරිකාවට වගේම ලංකාවට සාපේක්ෂවත් ඉන්දියාවේ ශ්‍රමය ලාබයි. වී ගොවිතැන සඳහා අවශ්‍ය ශ්‍රමය වෙනුවෙන් ඉන්දියාවේදී ගෙවිය යුත්තේ ලංකාවේදී ගෙවන්නට අවශ්‍ය මිලට වඩා අඩු මිලක්. ඇමරිකාවේදීනම් මිනිස් ශ්‍රමය වෙනුවෙන් විශාල මිලක් ගෙවිය යුතුයි.

ශ්‍රමය වෙනුවෙන් ඉන්දියාව මෙන් දෙගුණයක මිලක් ගෙවන ලංකාවට ඉන්දියාවේ නිපදවන සහල් සමඟ තරඟ කරන්න බැරි වෙන්නත්, ඉන්දියාව මෙන් තිස් ගුණයක මිලක් ගෙවන ඇමරිකාවට ඉන්දියාවේ නිපදවන සහල් සමඟ තරඟ කරන්න පුළුවන් වෙන්නත් හේතුව කුමක්ද?

පහත වගුවේ තිබෙන්නේ ඉන්දියාවේ හා ඇමරිකාවේ අක්කරයක වී වවන්න යන වියදමයි. ඇමරිකාවට ඩොලර් දාහක් වියදම් වුනත්, ඉන්දියාවට වියදම් වෙන්නේ ඩොලර් හාර සීයක් පමණයි. ඉන්දියාවේ වී ගොවියෙක් මේ වියදම ආවරණය කර ගන්න අක්කරයකින් ලබා ගත යුත්තේ වී කිලෝ ග්‍රෑම් 1330ක් පමණයි. එතැනින් උඩ ලාභ. එහෙත්, ඇමරිකාවේ වී ගොවියෙක්ට ලාබ ලබන්න හැකි වෙන්නේ අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 3300කට වඩා වැඩියෙන් ලබා ගත්තොත් පමණයි.


ඇමරිකාවේ ගොවියෙක් අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 3400ක් පමණ ලබා ගන්නවා. ඒ නිසා, සුළු වුවත් ලාබයක් තිබෙනවා. ඉන්දියාවේ කුඹුරු ඉඩම් අක්කරයකින් ලැබෙන්නේ වී කිලෝ ග්‍රෑම් 1080ක පමණ ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ඉන්දියාවේ ගොවියෙකුට වී වගාවෙන් ඇත්තටම ලාබයක් නැහැ. එහෙමනම්, ඉන්දියාවේ ගොවීන් වී වගා කරන්නේ ඇයි?

ඉන්දියාවේ ගොවියෙකු අක්කරයක වී වවන්න යන වියදමෙන් අවම වශයෙන් 40%ක් මුදල් ලෙස වැය වන වියදම් නෙමෙයි. මේ ප්‍රමාණය 50% පමණ දක්වා කොටසක් වෙන්න පුළුවන්. ගොවි පවුලේ සාමාජිකයින් විසින් යොදවන ශ්‍රමය ඇත්තටම වියදමක් වුවත් ඒ වෙනුවෙන් පවුලේ අය වැටුප් ලබා ගන්නේ නැහැ. තමන්ට අයත් ඉඩම වී ගොවිතැන වෙනුවෙන් යොදා ගැනීමේ  ආවස්ථික පිරිවැයත් එවැනිම නොපෙනෙන වියදමක්. බොහෝ විට ගොවිතැන් වැඩ වලට යොදා ගන්න හරක් තමන්ගේම හරක්.

ඉන්දියාවේ බොහෝ ගොවීන්ට මෙන්ම ලංකාවේ බොහෝ ගොවීන්ටත් ඉහත කී වියදම් වියදම් සේ දැකිය හැකි අවබෝධයක් නැහැ. ඔවුන් වියදම් සේ දකින්නේ අතින් වියදම් වන මුදල් පමණයි. අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 900ක් ලැබෙන විට ඒ වියදම් ආවරණය වෙනවා. ගොඩක් ගොවීන් හිතන්නේ ඉතිරි මුදල ලාබයක් කියලයි. එහෙත්, නොපෙනෙන වියදම් සැලකූ විට ඒ ලාබය පාඩුවක් බවට පත් වෙනවා.

References

McBride, W. D. et al. (2018). US Rice Production in the New Millennium: Changes in Structure, Practices, and Costs. Economic Research Service, Economic Research Bulletin, (202).

Show, S. (2018). Cost of Cultivation and Profitability of Agriculture in West Bengal: A Study with Special Reference to Backward Region of West Bengal. Economic Affairs63(4), 1067-1075.

Tuesday, February 4, 2020

පාඩු හා වංචා


සාමාන්‍යයෙන් නිදහස් ගනුදෙනුවකින් ඒ ගනුදෙනුවෙහි යෙදෙන පාර්ශ්ව කිසිවකට පාඩුවක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කොරෝනා බිය පැතිරෙන්න කලින් රුපියල් පහළොවකට විකුණපු මුහුණු වැස්මක් රුපියල් පණහකට විකුණන ෆාමසියක් ගැන හිතන්න. රුපියල් පනහක ගෙවා තමන්ගේ කැමැත්තෙන් මුහුණු වැස්මක් මිල දී ගන්නා අයෙක් එසේ කරන්නේ ඇයට එහි වටිනාකම අඩුම වශයෙන් රුපියල් පණහක්වත් වන නිසායි. ඉතා පැහැදිලිවම මෙහිදී ෆාමසියට ලාබයක් ලැබෙන නමුත් එයින් අදහස් වන්නේ පාරිභෝගිකයාට පාඩුවක් වෙන බව නෙමෙයි.

මේ අවස්ථාවේදී පාරිභෝගිකයාට පාඩුවක් නොවන නමුත් පාරිභෝගිකයාගේ ලාබය අඩු වීමක් වෙනවා. කෙනෙකුට අවශ්‍යනම් විකල්ප තත්ත්වයක් යටතේ පාරිභෝගිකයාට ලැබෙන්න තිබුණු වැඩි ලාබය සමඟ සසඳා ඇයට සිදු වුනු සාපේක්ෂ පාඩුව ඇස්තමේන්තු කළ හැකියි. එහෙම කරන අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම ගණුදෙනුවේ එක් පාර්ශ්වයකට නිදහස් ගනුදෙනුවකින් ලැබිය හැකි ලාබය ඉක්මවන කිසියම් අවම ලාබයක් ලබන්න නීතිමය අයිතියක් තිබෙන අවස්ථා වලදී.

මිල පාලනයේදී වෙන්නේ ඔය වගේ වැඩක්. මිල පාලනය හරහා එක පාර්ශ්වයකට ලැබිය හැකි අවම ලාබය නීතියෙන් තහවුරු කරනවා කියන්නේ අනෙක් පාර්ශ්වයට ලැබිය හැකි උපරිම ලාබය සීමා කිරීමක්ද වෙනවා.

සාමාන්‍යයෙන් නිදහස් ගනුදෙනුවකින් ඒ ගනුදෙනුවෙහි යෙදෙන පාර්ශ්ව කිසිවකට පාඩුවක් වෙන්නේ නැති වුනත් එසේ සිදු වන විශේෂ අවස්ථා තිබෙනවා. එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයට වංචාවක් කිරීම එවැනි අවස්ථාවක්. සුලබවම සිදු වන වංචාවක් වන්නේ භාණ්ඩය හෝ සේවාව විකුණන පාර්ශ්වය විසින් එහි සැබෑ ස්වභාවය වංචනික ලෙස සඟවා මිල දී ගන්නා පුද්ගලයාගෙන් වැඩි මුදලක්  ගැනීමයි.

මේ ආකාරයේ වංචා වලට තේරෙන සිංහලෙන් නංගී පෙන්වා අක්කා දීම් කියා කියන්න පුළුවන්. නංගිව පෙන්වන්නේම වංචනික අදහසින්. පාරිභෝගිකයා මිල ගෙවන්නේ නංගිගේ වටිනාකම වෙනුවෙන්. එහෙත් ලැබෙන්නේ අක්කාවයි. දුරකථන, රක්ෂණ වැනි සේවා සපයන ආයතන බොහෝ වෙලාවට මේ වැඩේ කරනවා. මෙවැනි අවස්ථාවන් ගැන බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙකු දැන සිටි විචාරක ජීවත්ව සිටියදී කිහිප වරක්ම කණස්සල්ලෙන් හා කේන්තියෙන් යුතුව ලියා තිබුණු බව මතකයි.

ගනුදෙනුවකදී එක් පාර්ශ්වයකට මේ ආකාරයේ වංචාවක් කර ලාබයක් ලබන්න ඉඩ සැලසෙන්නේ ගනුදෙනුවට අදාල භාණ්ඩය හෝ සේවාව පිළිබඳව දෙපාර්ශ්වය සතු තොරතුරු අතර ඇති අසමමිතිය නිසායි. උදාහරණයක් විදිහට පාවිච්චි කළ මෝටර් රථයක් විකුණන අවස්ථාවක් ගැන හිතන්න. මෝටර් රථය කාලයක් පාවිච්චි කර එය විකුණන පුද්ගලයා එහි තිබෙන අට අනූවක් රෝග ගැන දැන සිටියත්, ඒ ලෙඩ ගැන වාහනය විකුණද්දී ගැනුම්කරුට දැනුම් දී ලැබෙන අර්පණය පහත දමා ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම රෝගියෙකු පරීක්ෂා කරන වෛද්‍යවරයෙකු රෝගයේ ස්වභාවය පිළිබඳව දැන ගන්නා සියලු දේ රෝගියා දන්නේ නැහැ. මේ අවස්ථා තොරතුරු අසමමිතිය පිළිබඳ උදාහරණ වුවත්, ඒ හේතුව නිසා වංචා සිදු වීමේ ඉඩක් ඇති වෙනවා මිස හැම විටම වංචා සිදු වෙන්නේ නැහැ.

වංචාවක් කියන එකෙන් අදහස් වෙන්නේ ලාබයක් ලබා ගැනීමේ අදහසින් වෙනත් පාර්ශ්වයක් රැවටිල්ලකට ලක් කිරීමයි. එහිදී රැවටිල්ලට ලක් වන පාර්ශ්වයට පාඩුවක් සිදු වෙනවා. නමුත්, ගනුදෙනුවකදී රැවටිල්ලක් සිදු වන හැම අවස්ථාවකම වංචාවක් සිදු වූ ලෙස සැලකෙන්නේ නැහැ. ඒ, ගනුදෙනුවකදී විචක්ෂණශීලී වී, නොරැවටී සිටීම  පුද්ගලයෙකුගේ වගකීමක් නිසා. ගනුදෙනුව සිදු කරද්දී මෝඩයෙකු සේ හැසිරී රැවටුණු බව පස්සේ කියලා වැඩක් නැහැ.

ඒ වගේම, නිදහස් ගනුදෙනුවකදී එහි යෙදෙන කිසිදු පාර්ශ්වයකට පාඩුවක් නොවන බව මා කීවත්, අවදානමක් තිබෙන ගනුදෙනු හා අදාළව මෙය අවදානම හා ගැලපීමෙන් පසුව පාඩුවක් නොවන බව ලෙස වෙනස් විය යුතුයි. කෙනෙක් දැන දැනම අවදානමක් ගෙන ගනුදෙනුවක නිරත වූ විට පාඩුවක් සිදු වීමේ පැහැදිලි ඉඩක් තිබෙනවා. එය අනෙක් පාර්ශ්වය විසින් කළ වංචාවක් සේ සැලකිය නොහැකියි.

මේ වගේ සංකීර්ණ කරුණු ගණනාවක් සලකා බැලිය යුතු නිසා සාමාන්‍යයෙන් ගනුදෙනුවකදී එක් පාර්ශ්වයක් විසින් වංචාවක් කළාද කියන එක තීරණය කිරීම අසීරු  නීතිමය කාර්යයක්. එහිදී, එක් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයක් රවටා තිබිය යුතු අතර ඒ හේතුව නිසා පළමු පාර්ශ්වයට ලාබයකුත් දෙවන පාර්ශ්වයට අලාබයකුත් සිදු වී තිබිය යුතුයි. එහෙත්, මේ ලාබය හා අලාබය බොහෝ විට සමාන වෙන්නේ නැහැ. ඇතැම් විට කෙනෙක් වංචනික ලෙස ලබන ලාබය නිසා අනෙක් පාර්ශ්වයට සිදු වන ලාබය සාපේක්ෂව අඩු එකක් වෙන්න පුළුවන්. එහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්.


මේ ලිපිය සමඟ පලවන්නේ උදය ආහාරය සඳහා ගන්නා සීරියල් පැකට්ටුවක ඡායාරූප දෙකක්. පැකට්ටුවේ මුහුණත දෙස ඈත සිට බැලූ විට "100% OATS" ලෙසත්. තරමක් කිට්ටු වූ විට "100% WHOLE GRAIN OATS" ලෙසත් පෙනෙනවා. කුඩාවට වැල් අකුරෙන් ලියා තිබෙන "Made with" යන කොටස පෙනෙන්නේ ඉතා සැලකිල්ලෙන් බැලුවොත් පමණයි. "Made with" යන්න අතහැර කියවූ විට ඔළුවට යන්නේ වෙනස් තේරුමක්.

ඒ වගේම, මෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ දෙස බැලුවොත් සංතෘප්ත මේද හා කොලෙස්ටරෝල් 0% ලෙස සඳහන්ව තිබෙන බව පෙනෙනවා. 0% කියන්නේ කිසියම් දෙයක් අඩංගු නොවන බව නෙමෙයි. එම සංඝටක තිබෙන්නේ 0.5%කට වඩා අඩුවෙන් බවයි. 0.49% යන්නෙහි දශම ඉවත් කර රවුම් කළ විට 0% වෙනවා. එය දශමස්ථානයකට රවුම් කළොත් 0.5% වෙන නිසා 0.0% ලෙස සඳහන් කරන්න බැහැ. ඒ වගේම, මේ ගණනය සිදු කර තිබෙන්නේ දිනකට සීරියල් ග්රෑම් 36කට වඩා ආහාරයට නොගන්නා බව සලකමිනුයි. පැකට්ටුවේ එමෙන් 15 ගුණයක් සීරියල් තිබෙනවා.

මෙහි රැවටීමක් තිබෙනවා. එය හිතා මතා කරන දෙයක්. රැවටෙන කෙනෙකුට පාඩුවකුත් වෙනවා. ඒ වගේම එයින් සීරියල් නිෂ්පාදකයාට වාසියකුත් වෙනවා. නමුත්, මෙය වංචාවක් සේ සැලකෙන්නේ නැහැ. පැකට්ටුවේ මුද්‍රණය කර ඇති කරුණු කියවීම හා අවබෝධ කර ගැනීම පාරිභෝගිකයාගේ වැඩක්. නිෂ්පාදකයා විසින් බොරු කියා නැහැ. එක විදිහකින් මෙහි සිදු වන්නේ "පිට නෑ" කියමින් කමිස විකුණන ආකාරයේ වැඩක්.  "පිට නෑ" කියන වෙළෙන්දාත් බොරු කියා නැහැ. මේ වගේ රැවටීමක් වංචාවක්ද කියන එක රටේ පවතින නීතිය අනුව තීරණය වන දෙයක්.

ඩොලර් 120,000කට විකිනුණු කෙසෙල් ගෙඩියක් ගැන අපි පසුගිය දෙසැම්බර් මාසයේදී කතා කළානේ. මේ කෙසෙල් ගෙඩිය මෙතරම් මිලකට විකිණුනේ එය සීමිත සැපයුමක් ඇති කලා කෘතියක් වූ නිසයි. අදාළ මිල ගෙවා කෙසෙල් ගෙඩිය මිල දී ගන්නා අයෙකුට එම කලා කෘතියේ පිටපත් තුනකට වඩා නිකුත් නොකරන බවට සහතිකයක්ද ලැබෙනවා. සැපයුම මීට වඩා වැඩි වුනානම් මිල මෙතරම් ඉහළ යන්නේ නැහැ. යම් හෙයකින් මුල් පිටපත් තුන අලෙවි කිරීමෙන් පසුව අදාල කලාකරුවා විසින් තවත් පිටපත් නිකුත් කළොත්, මුල් පිටපත් වල වටිනාකම විශාල ලෙස පහත වැටෙනවා. එවැන්නක් නංගිව පෙන්නා අක්කා දීමක් මෙන්ම වංචාවක්ද වෙනවා.

බැඳුම්කර වෙන්දේසියකදී මුලින් දැනුම් දුන් ප්‍රමාණයට වඩා බැඳුම්කර නිකුත් කළ විට වෙන්නේත් මේ වගේ දෙයක්. එසේ කළ වහාම මුල් බැඳුම්කර ප්‍රමාණය පමණක් නිකුත් කරනු ඇතැයි හිතාගෙන ලන්සු තැබූ ගැණුම්කරුවන්ට පාඩුවක් වෙනවා. නමුත්, වෙන්දේසියේ කොන්දේසි වල මුලින් දැනුම් දුන් ප්‍රමාණයට වඩා වැඩියෙන්  බැඳුම්කර නිකුත් කරන්නට ඉඩ තිබෙන බව සඳහන් කර තිබෙනවානම්, ඒ ගැන සැලකිලිමත් වී අවදානමට සරිලන සේ ලන්සු තැබීම ගැනුම්කරුවන්ගේ වැඩක් බවට පත් වෙනවා. එසේ නොකර යමෙක් පාඩු ලැබූ පමණින් එය අනෙක් පාර්ශ්වය විසින් කළ වංචාවක් වෙන්නේ නැහැ.

කොහොම වුනත් "පිට නෑ" වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී සාමාන්‍ය සිහි බුද්ධිය තිබෙන අයෙකු "පිට නෑ" කියන එක තේරුම් ගන්නේ කොහොමද කියා සොයා බලා වංචාවක් සිදුවී ඇති බව හෝ නැති බව තීරණය කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා.

Friday, December 27, 2019

රාජ්‍ය බැංකු ලාබ ලබනවද?

පසුගිය දිනෙක මුදල් අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබුණේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දී තිබුණු බැංකු ණය කපා දැමීමට රජය තීරණය කර තිබෙන බවයි. මෙහි පිරිවැය කාගෙන්ද කියන එක එතරම් පැහැදිලි නැහැ.

ලංකාවේ බැංකු ව්‍යාපාරය තුළ රාජ්‍ය බැංකු වල කොටස තවමත් සෑහෙන තරම් විශාලයි. ආණ්ඩු විසින් වරින් වර ගන්නා සහන පොලී අනුපාතික යටතේ ණය ලබා දීම, ණය කපා දැමීම වැනි දේශපාලන තීන්දු බොහෝ විට සෘජුවම බලපාන්නේ රාජ්‍ය බැංකු වලටයි. ඒ නිසා, රාජ්‍ය බැංකු වලට පෞද්ගලික බැංකු සමඟ තරඟ කිරීමේදී යම් අවාසියක් වෙනවා කියා කියන්න පුළුවන්.

ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුන වන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි. පසුගිය දශකයක පමණ කාලය තුළ මේ රාජ්‍ය බැංකු තුනේ ප්‍රතිලාභ අනුපාතික දෙස බැලූ විට පෙනී යන්නේ එම බැංකු අදාළ කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත ප්‍රධාන පෙළේ දේශීය සමාගම් වලට සාපේක්ෂව ඉහළ  ප්‍රතිලාභ අනුපාතික වාර්තා කර ඇති බවයි. 

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුළත් ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකු වන සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව හා හැටන් නැෂනල් බැංකුව සමඟ සංසන්දය කළත් රාජ්‍ය බැංකු විසින් උපයා තිබෙන ලාබ කැපී පෙනෙනවා.



Tuesday, December 17, 2019

ලංකාවේ සමාගම් කොයි තරම් ලාබ ලබනවාද?

පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ ජාතික ආදායම කිහිප ගුණයකින් වැඩි වී තිබෙනවා. එහෙත්, රජයේ බදු ආදායම් සමානුපාතිකව වැඩි වී නැහැ. එයින් අදහස් වෙන්නේ වැඩි වූ ජාතික ආදායම උපයන කණ්ඩායම හා බදු දැලට අහු වී සිටින කණ්ඩායම එකම කණ්ඩායමක් නොවන බවයි.

රටක ජාතික ආදායම විවිධ ආකාර වලින් විභේදනය කළ හැකියි. මෙසේ ජාතික ආදායම විභේදනය කළ හැකි එක් ආකාරයක් වන්නේ ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු කොටස හා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු කොටස ලෙස කොටස් දෙකකට බෙදීමයි. සමාගමක ලාබ ශ්‍රමයේ ප්‍රතිලාභ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස බෙදී යනවා. ශ්‍රමයේ ප්‍රතිලාභ වන්නේ සමාගමේ සේවකයින් වැටුප්, පාරිතෝෂික හා වෙනත් ප්‍රතිලාභ සේ ලබා ගන්නා කොටසයි. ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ යනු කොටස් හිමියන් ලාභාංශ සේ ලබන මුදලයි. ලාභාංශ සේ ලබා නොගෙන නැවත කරන ආයෝජනයන්ද මෙයටම ඇතුළත්.

භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන සමාගමකට ඒ සඳහා ශ්‍රමය හා ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක දෙක අවශ්‍ය වෙනවා. මේ එක් එක් නිෂ්පාදන සාධකය වැඩි වැඩියෙන් යොදවන තරමට නිෂ්පාදනය ඉහළ යනවා. එහෙත්, එසේ නිෂ්පාදනය ඉහළ යන්නේ සමානුපාතිකව නෙමෙයි. නිෂ්පාදන සාධක ඒකකයක ඵලදායීතාවය ඒකක ගණන වැඩි වෙද්දී ක්‍රමයෙන් පහළ යනවා. ඒ නිසා, නිෂ්පාදනයේදී ශ්‍රමය හා ප්‍රාග්ධනය යෙදවිය යුතු ප්‍රශස්ත මට්ටමක් තිබෙනවා. ඒ මට්ටම පවතින තාක්ෂණයේ ස්වභාවය මත තීරණය වන්නක්.

නිදහස් වෙළඳපොළක් සමතුලනය වීමේදී ස්වභාවිකවම ශ්‍රමය හා ප්‍රාග්ධනය මේ ප්‍රශස්ත මට්ටමට යෙදවෙන නිසා එය කිසිවෙකු විසින් අමුතුවෙන් සැලසුම් කළ යුතු නැහැ. සමාගම් ලාබ පිණිස ක්‍රියා කරද්දී සමතුලිතතාවය ස්වභාවිකවම ඇති වෙනවා.

ලංකාවේ වෙළඳපොල පරිපූර්ණ නිදහස් වෙළඳපොළක් නෙමෙයි. නීති හෝ සම්ප්‍රදාය නිසා ලංකාවේ සමාගමකට ලාබ අඩුවන විට සේවකයින් ඉවත් කිරීමේ හැකියාවක් නැහැ. මේ බාධකය නිසා ලංකාවේ සමාගම් ලාබ වැඩි වන කාල වකවානු වලදී තාවකාලිකව සේවකයින් බඳවා ගන්නේත් ඉතා අඩුවෙන්. මම මේ කතා කරන්නේ භාණ්ඩ හා සේවා නිපදවන සම්ප්‍රදායික සමාගම් ගැන. ඉදි කිරීම් වැනි ක්ෂේත්‍ර වල තත්ත්වය වෙනස්.

ශ්‍රමය වගේම ලංකාවේ ප්‍රාග්ධනය නිදහසේ චලනය වෙන්නෙත් ඉතා සීමිතවයි. බොහෝ විශාල සමාගම් වල කොටස් හිමිකම් එම සමාගම් වල ආරම්භකයන්ගේ පවුල් උරුමයන්. ලාබ අඩු වුනා කියා මේ කොටස් හිමියන් තමන්ගේ ප්‍රාග්ධනය ඉවත් කරගෙන වෙනත් තැන් වල ආයෝජනය කරන්නේ නැහැ. වෙනත් අයට තමන්ගේ කොටස් හිමිකම් අයිති කරගන්න ඉඩ හරින්නේත් නැහැ.

කෙටිකාලීනව ශ්‍රමය හෝ ප්‍රාග්ධනය නිදහසේ චලනය නොවන නිසා සිදුවන්නේ කෙටිකාලීනව ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ නිෂ්පාදන ඵලදායිතාව විචලනය වීමයි. ඒ නිසා, කෙටිකාලීනව ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභත් විචලනය වෙනවා. එහෙත්, දිගුකාලීනව සමතුලිතතාවයක් ඇති වීම මේ බාධක නිසා වැළකෙන්නේ නැහැ.

ලංකාවේ සමාගම් වල කොටස් හිමිකම් දරන අය තමන්ගේ ප්‍රාග්ධනය වෙනුවෙන් කොපමණ ප්‍රතිලාභ ලබනවද?

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් අතරින් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුළත් කර ගෙන තිබෙන්නේ රටේ ප්‍රමුඛතම සමාගම් සේ සැලකිය හැකි සමාගම් 20ක්. පහත වගුවේ තිබෙන්නේ මේ සමාගම් 20 පසුගිය දශකය තුළ කොටස් හිමිකම් වෙනුවෙන් ලබා ඇති ප්‍රතිලාභ අනුපාතිකයි. කිහිප වරක් පරීක්ෂා නොකළ නිසා මේ සංඛ්‍යාලේඛණ 100%ක්ම නිවැරදි නොවිය හැකි වුවත් තිබිය හැකි වැරදි නිසා ලිපියෙන් පෙන්වා දෙන කරුණ වෙනස් වෙන්න හේතුවක් නැහැ.


මේ සමාගම් අතරින් දුම්කොළ සමාගම, නෙස්ලේ සමාගම හා චෙව්රෝන් සමාගම සැලකිය හැක්කේ බහුජාතික සමාගම් ලෙසයි. විණිමය අනුපාතික විකෘතියේ වාසි ඇතුළු වෙනත් වාසි ලබන එම සමාගම් තුනත්, ඩිස්ටලරීස් සමාගමත් ඉවත් කළ විට අනෙකුත් දේශීය සමාගම් වල සාමාන්‍ය නාමික ප්‍රතිලාභ අනුපාතිකය 14%ක් පමණ වෙනවා. උද්ධමනය 6%ක් ලෙස සැලකුවහොත් මෙය 8%ක පමණ මූර්ත ප්‍රතිලාභ අනුපාතිකයක්. ඇමරිකාවේ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් සාමාන්‍යයෙන් උපයන දිගුකාලීන මූර්ත ප්‍රතිලාභ අනුපාතිකයද 8% පමණ වෙනවා.

ලංකාවේ එක් අවුරුදු භාණ්ඩාගාර බිල්පත් අනුපාතිකය 9%ක් පමණ වෙනවා. දිගුකාලීන බැඳුම්කර පොලී අනුපාතිකය මීටත් වඩා ප්‍රතිශතාංක කිහිපයක් වැඩියි. ඒ කියන්නේ, සමාගම් වල ආයෝජනය කිරීමේ අවදානම සැලකූ විට ලංකාවේ පෞද්ගලික සමාගම් වලට මුදල් යොදවන අය ලබන විශේෂ වාසියක් නැහැ. ඒ නිසා, මේ සමාගම් නියැලී සිටින නිෂ්පාදන කර්මාන්ත වල මීට වඩා තරඟකාරිත්වයක් ඇති වීමේ ඉඩක් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් අලුත් තරඟකරුවන් මේ කර්මාන්ත වලට පැමිණීමේ ලොකු ඉඩක් නැහැ. එසේ වෙනවානම් විය හැක්කේ දැනට සිටින සමාගම් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සමාන්තරවයි.

රජය විසින් දේශීය ණය ලබා ගැනීමේදී ගෙවන පොලී අනුපාතික විශාල ලෙස අඩු නොවුනොත් ළඟකදී තත්ත්වයේ වෙනසක් වීමේ ඉඩක් නැහැ. රජයේ අයවැය හිඟය විශාල ලෙස අඩු නොවුණහොත් ණය ලබා ගැනීමේදී රජයට ගෙවන්න සිදුවන පොලී අනුපාතික අඩුවෙන්න ඉඩක් නැහැ.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...