වෙබ් ලිපිනය:

Thursday, January 19, 2017

'අපි වෙනුවෙන් අපි' ණය...

ආණ්ඩු විසින් කරන ප්‍රධානම කාර්යයක් වන්නේ රටේ ජනතාව වෙනුවෙන් ණය වීමයි. පසුගිය සැප්තැම්බර් අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුයියල් බිලියන 9,402.0ක් විය. මේ අනුව 2016 ජූනි මාසයේ වූ රුපියල් බිලියන 9,062.2ක ණය මල්ල තවත් රුපියල් බිලියන 339.8කින් වැඩි වී තිබේ. මේ වැඩි වූ ණය වලට මුළුමනින්ම දායක ඇත්තේ විදේශ ණය වැඩි වීමයි. ලංකාවේ විදේශ ණය ප්‍රමාණය සැප්තැම්බර් අවසානය වන විට රුපියල් 4,069.7 දක්වා වැඩි වී ඇති අතර දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,332.3කි. 

මෙසේ අපි වෙනුවෙන් ආණ්ඩුව ණය වන අතර අපි වෙනුවෙන් අපිද ණය වෙමු.

ලංකාවේ බොහෝ දෙනෙකුට කඩේ යාම නුපුරුදු දෙයක් නොවේ. ඉකොනොමැට්ටා මුලින්ම කඩේ යන්නට පටන් ගත්තේ ඉකොනොමැට්ටාට වයස අවුරුදු හතක් පමණ වූ කාලයේදීය. ඉකොනොමැට්ටාව මුලින්ම කඩේ යැව්වේ ඉකොනොමැට්ටාගේ අප්පච්චීය. අප්පච්චිලාට කොහොමටත් කඩේයාම පුරුදු කිරීමට මනා ප්‍රවීණතාවයක් තිබේ. ලාබාල වයසකදී කඩේ යන්නට අවස්ථාවක් ලැබුණු විට එය වදයක් ලෙස නොසිතේ. ඒ වෙනුවට හිතෙන්නේ තමන්ට ලොකු පොරක් වෙන්නට අනගි අවස්ථාවක් ලැබුණු බවයි.

ඒ කාලයේ ඉකොනොමැට්ටා කඩේ ගොස් ගෙන ආ මොනවා හෝ දේ බොහෝ විට ගෙන ආවේ අත්පිට මුදලට නොවේ. පොතටය. රැගෙන එන්නට නියම කරනු ලැබූ දේ මුදලාලිගෙන් ඉල්ලා සිටීමෙන් පසුව "පොතට දාන්න" කියා කියන එක මුදලාලිට සල්ලි දී ඉතුරු සල්ලි ආපසු රැගෙන එනවාට වඩා පහසුය. මේ ෂොපින් බෑග් යුගයට පෙර පත්තර පිටු ගොටු වල දුඹුරු සීනි පැක් කර හණ නූලකින් ඔතා ගැට ගසා දුන් යුගයයි.

අනූව දශකය පමණ දක්වා පැවති මේ පොත් ක්‍රමය වැඩිපුර හැදෑරීම් සිදු කෙරී නැති පුළුල් ක්ෂුද්‍ර ණය (මයික්‍රෝ ක්‍රෙඩිට්) ක්‍රමයකි. ස්වභාවිකවම පරිණාමය වී පැමිණි ක්‍රමයකි. අනූව දශකයේ පමණ සිට ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් ව්‍යාප්ත වෙද්දී මුදලාලිලාගේ පොත් වෙනුවට ක්‍රමයෙන් ක්‍රෙඩිට් කාඩ් ආදේශ විය. මේ ක්‍රෙඩිට් කාඩ් වලින් කරන්නේද හරියටම මුදලාලිගේ පොතෙන් කළ කාර්යයයි.

පසුගිය සැප්තැම්බර් අවසානය වන විට ලංකාවේ වාණිජ බැංකු විසින් නිකුත් කරනු ලැබ සක්‍රියව පැවති ක්‍රෙඩිට් කාඩ්පත් ගණන 1,276,698කි. ලංකාවේ නිවාස ඒකක ගණන මේ ප්‍රමාණය මෙන් සිවු ගුණයක් පමණ වීමත්, ක්‍රෙඩිට් කාඩ්පත් හිමි බොහෝ දෙනෙකු සතුව කාඩ්පත් එකකට වඩා තිබීමත් සැලකූ විට පෙනීයන්නේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය තවමත් බහුලව සිදුවන්නේ මධ්‍යම පාන්තික, නිශ්චිත මාසික වැටුපක් ගන්නා, නාගරික හෝ අර්ධ නාගරික සමාජ ස්ථරය තුළ බවයි. බැංකුවට පෙන්විය හැකි නිශ්චිත මාසික ආදායමක් නොමැති අයෙකුට ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීම අපහසු වීම මෙය පැහැදිලි කරයි.

ඉහත ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්නන් විසින් සැප්තැම්බර් අවසානය වෙද්දී ලබාගෙන තිබුණු මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 68,556 කි. මේ අනුව, ක්‍රෙඩිට් කාඩ් ගිණුමක සාමාන්‍ය ණය ප්‍රමාණය රුපියල් 53,698 කි. මේ 'අපි වෙනුවෙන් අපි' ගන්නා ණයයි.

8 comments:

  1. වෙළදාම කියන මායාවට අහු නොවෙන හැටි ලියන්න බැරිද ඔබට ජනී ජනයාගේ හිතසුව පිණිස....:)

    ReplyDelete
    Replies
    1. වෙළඳාම මායාවක් වගේ දැනෙනවද? :)

      Delete
    2. "මාක්ටින්" ගැන ඉගෙන ගනිද්දි හිතට දැනුනේ එහෙම :)

      Delete
  2. ඔය ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ කුඩු වගේ ජාතියක්. අතේ සතේ නැති වුණත් ඕනම ලොකු ගානක් කාඩ් එකෙන් ගෙවලා ණය වෙන එක කුඩු ගහලා ඇබ්බැහිය වගේ දෙයක්. අන්තිමට වෙන්නෙ මාසෙ පඩිය ලැබුණාම ක්‍රෙඩිට් කාඩ්වල minimum payment ගෙවලා, ආපහු සල්ලි නැති වුණාම තව තවත් ණය වෙන්න. අනික සල්ලිවලින් ගෙවනවා වගේ නෙමෙයි, කාඩ් එකෙන් ගෙවද්දි දැනෙන්නෙ නෑ. හොඳම වැඩේ හදිස්සියකට එක කාඩ් එකක් තියාගෙන අනික්වා ඔක්කොම කැන්සල් කර දැමීමයි.

    ReplyDelete
    Replies
    1. //අනික සල්ලිවලින් ගෙවනවා වගේ නෙමෙයි, කාඩ් එකෙන් ගෙවද්දි දැනෙන්නෙ නෑ.// මෙය පර්යේෂණ වලින් තහවුරු වී ඇති දෙයක්. භාණ්ඩයක් ගෙන මුදල් ගෙවන විට හෝ චෙක්පතකින් ගෙවන විට තමන්ගේ අතේ ඇති දෙයක් (ලෝහ කැබලි හෝ කඩදාසි) තමන්ගේ අතින් යනවා. ඒ නිසා "ගනු" හා "දෙනු" දෙකම කෙනෙකුට දැනෙනවා. කාඩ් පතකින් ගෙවන විට යමෙක් දෙන "ප්ලාස්ටික් කෑල්ල" නැවත ආපසු ලැබෙන නිසා මනස අවිඥානිකව තේරුම් ගන්නේ "දෙනු" නැතිව "ගනු" පමණක් ලැබෙන බවයි. ඒ නිසා තමන්ගේ අතින් මුදල් යනවිට මෙන් "හිතට දුකක්" දැනෙන්නේ නැහැ. මෙය වැඩියෙන් මිල දී ගැනීමට පෙළඹවීමක් ඇති කරනවා. ඉස්සර තිබුණු "මුදලාලිගේ පොතෙන්" වුණෙත් මෙවැනි දෙයක්. අය කරන ගණන පොඩ්ඩක් වැඩි කර පොතට දැමීමෙන් මුදලාලි තමන්ගේ පොලිය හා අවදානම ආවරණය කරගත්තා.

      Delete
  3. මේකේ තවත් පැත්තක් තියෙනවා, උතුරු ඇමරිකාවේ සමහර ණයවරපත් (ක්‍රෙඩිට් කාර්ඩ් වලට කියන ඉංග්‍රීසියෙන් කියන්නේ එහෙමයි හරිද!) නිකුත් කරන ආයතන තම සේවාදායකයන්ට විවිධ වරප්‍රසාද සපයනවා. සමහර ණයවරපත් භාවිතයෙන් ගෙවීම් කලවිට වාහන කුලියට ගැනීමේදී රක්ෂණ ගාස්තු ගෙවන්න අවශ්‍ය නැහැ. ඉලෙක්ට්‍රොනික උපාංග සමහර ණයවරපත් මහින් මිලයට ගත්විට එහි වගකීම් කාලසීමාව දෙගුණ වනවා. සමහර කාඩ්පත් ශුද්ධ ගනුදෙනු බවල වටිනාකමින් 1%-4% දක්වා මුදල් ආපසු දෙනවා. හොඳම කරුණ වන්නේ මේ වරප්‍රසාද ලබන 'සමහර' ණයවරපත් සඳහා වාර්ෂික ගාස්තුවක් නොමැති වීමයි.

    මට අන්තිමට කියන්න ඕනේ මේකයි, ලෝකේ තියෙන හැම දේම වගේ ණයවරපතුත් පමණ දැන, තම නැණ පමණට.....

    ReplyDelete
    Replies
    1. මම මේ ණයවරපත් (නම හරි ඇති කියා හිතනවා) භාවිතා කරන්නේ තනිකරම මේ වාසිය වෙනුවෙන්. තවමත් මම (ඇමරිකාවේදී) ණයවරපත් පොලිය හෝ වාර්ෂික ගාස්තු ලෙස සතයක්වත් ගෙවල නැහැ. මා මිලදී ගන්නා හැමදෙයකටම අඩුම වශයෙන් 1.5% ක මුදලක් ආපසු ලැබෙනවා. ඇතැම් දේ වලට ගෙවන මුදලින් 7.5% දකවා ආපසු ලැබෙනවා. (මුලින්ම 5% ලෙසත් මෙසේ එකතු වූ මුදල් ජංගම ගිණුමකට දමන විට අමතර 50% ලෙසත්). කාඩ්පත් වැඩි ප්‍රමාණයක් තබාගෙන වැඩි වාසියක් ලැබිය හැකි වුවත් වැඩි කාඩ් ගණනක් නඩත්තු කිරීම අපහසු නිසා කාඩ් කිහිපයක් පමණයි පාවිච්චි කරන්නේ. ඇත්තටම මම ලංකාවේ සිටි කාලයේදීත් මේ වාසිය ගත්තා. ඒ කාලයේ ණයවරපත් නිකුත් කළේ ANZ ග්‍රින්ඩ්ලේස් (පසුව ස්ටෑන්ඩර්ඩ් චාර්චාඩ් විසින් මිලදී ගත්) හා එච්එස්බීසී පමණයි. මගේ වාර්ෂික සාමාජික ගාස්තුව රුපියල් 500ක් වුණත්, 1% මුදලක් ආපසු ලැබුණු නිසා වසරකට එමෙන් කිහිප ගුණයක මුදලක් ආපසු ලබාගත්තා. මේ ආපසු ගෙවීම කළේ නිශ්චිත තැන් වලින් බඩු මිල දී ගත හැකි කූපන් ලෙසයි. ඇමරිකාවේදී මෙන් මුදල් ආපසු ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. අදාළ ලැයිස්තුවේ ආර්පිකෝ සුපර් මාර්කට් එකත් තිබුණා. (එවකට තිබුණේ නාවින්නේ එක පමණයි). එතැනින් ඕනෑම දෙයක් වගේ ගත හැකි නිසා මේ කූපන් වල මුදල් තරමටම හුවමාරු වටිනාකමක් තිබුණා. බොහෝ විට මම කළේ සේවය කළ ආයතනය වෙනුවෙන් කළ වියදම් මගේ ණයවරපතෙන් ගෙවා එම මුදල් පසුව ප්‍රතිපූරණය (claim) කර ගැනීම. ඒ නිසා මගේ ණයවරපත් බිල මෙන්ම ආපසු ලැබුණු මුදලත් සැලකිය යුතු මුදලක් වුණා. වසර කිහිපයක්ම සිංහල අවුරුද්දට වියදම් කළේ මේ මුදල්.

      Delete
  4. ඇත්තෙන්ම ක්‍රෙඩිට් කාර්ඩ් උගුලේ නොවැටී ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන හැටි ගෑන් සරලව කියා දෙන ලිපියක් ලියන්නකෝ සර්

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...