Friday, November 13, 2015
ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (පළමු කොටස)
"ඔව් සර්..."
"එහෙනං තව ටිකකින් එන්නකෝ .."
ඒත් එක්කම මගේ මේසය දිහා බැලුව සෞම්‍යා නැගුනු හිනාවක් ආයාසයකින් යටපත් කරගන්නවා වගේ මට දැනුනා. අතින් කට වගගත්තු සෞම්‍යා එලියට ගියේ ලස්සන ඇස්දෙකෙන් හිනාවෙන ගමන්.
ෆෑන් එකේ ටක ටක සද්දේ ආයෙත්.
මට පිටුපාලා යන සෞම්‍යා දිහා බලාගෙන හිටපු මම පියවි සිහිය ලැබුවේ එයා දොරත් වහලා ගියාට පස්සේ මම හිතන්නේ. මේසේ දිහා බලපු මට තරු විසි වුනා. මම හෙන බිසී වගේ පේන්න හිටියට ෆයිල් එක තියාගෙන ඉඳලා තියෙන්නේ ඔලුවෙන් හිටවලානෙ. ශේහ් වස විලි ලජ්ජාවයි.
***
ටයිපෝ කිහිපයක් පමණක් සදා උඩින් පළකර ඇති උධෘතය ඉවාන්ගේ ප්‍රතිලෝම කෙටිකතාවේ කොටසකි. දැන් මේ කතාවේ සෞම්‍යා නැගුනු හිනාවක් ආයාසයකින් යටපත් කරගන්නේ ඇයි? ඇගේ ආයතන ප්‍රධානියාට විලිලැජ්ජා හිතෙන්නේ ඇයි?
වැඩ අධික බව බොරුවට පෙන්වීමට මේ කතාවේ ආයතන ප්‍රධානියා හදිසියේ අතට ගන්නා ලිපිගොනුව ඔහු තබාගෙන සිටින්නේ ඔලුවෙන් හිටවලාය. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු ලිපිගොනුවක් ඔලුවෙන් හිටවා තියාගැනීම සම්මතය නොවේ. ඒ නිසා සෞම්‍යාට මේ දසුනේ විහිළු සහගතබවක් දැනේ. ඇයට හිනා යන්නට එන්නේත්, සිදුවී ඇති දෙය අවබෝධ වනවිට ආයතන ප්‍රධානියාට විලිලැජ්ජා හිතෙන්නේත් ඒ නිසාය.
බොහෝදෙනෙක් ලිපිගොනුවක් ඔලුවෙන් හිටවා තබානොගෙන කෙලින් තබාගෙන කියවන්නේ එසේ කියවීම වඩා පහසු නිසාය. එසේ කියවීම වඩා පහසු වී ඇත්තේ කුඩා කල සිටම ලේඛණයක් මේ අයුරින් කියවීමට අප හුරුවී ඇති නිසාය.
අප බොහෝ දෙනෙකු කෙලින් තබාගෙන පොතක්, පත්තරයක් කියවූවත් එසේ නොකර සාමාන්‍යයෙන් ඔලුවෙන් හිටවා පත්තර බලන අයද සිටිති. සර්බියාවේ බෝජනා ඩැනිලොවික් එවැන්නියකි. ඇය ඔලුවෙන් හිටවා බලන්නේ පොත්, පත්තර පමණක් නොවේ. ඇගේ පරිගණක තිරයද උඩුයටිකුරු කළ එකකි. එමෙන්ම ඇගේ පරිගණකයේ යතුරු පුවරුවද තබා ඇත්තේ විරුද්ධ අතටය. උසයිස් නගර සභාවේ සේවය කරන ඇය වැඩ නිමකර නිවසට ගොස් උඩුයටිකුරු කර තබා ඇති රූපවාහිනිය නරඹන්නීය.
බෝජනාගේ මනස දකින ලෝකය අපදකින ලෝකයට සාපේක්ෂව උඩුයටිකුරු වූ එකකි. වෙනත් බොහෝ දෙනෙකු දකින ලෝකය බෝජනාට සාපේක්ෂව උඩුයටිකුරු වූ එකකි.
"අනෙත් අයට මෙය මහා පුදුම දෙයක් වගේ පෙනුනත් මටනම් මෙය ඉතාම සාමාන්‍ය දෙයක්. මා ඉපදුනේම මේ විදිහටයි. මේ තමයි මා ලෝකය දකින ආකාරය." බෝජනා කියයි.
***
අපට සැබැවින්ම ලෝකය දැකිය හැකිද? මෙය මතුපිටින් පෙනෙනවාට වඩා සංකීර්ණ ප්‍රශ්නයකි.
අපේ ඇස් වල ඇති කාච මඟින් කැමරාවකින් කරන්නාක් මෙන් බාහිර වටපිටාවේ 'ඡායාරූපයක්' මොළයට ග්‍රහණය කරගත හැකි සංඥාවක් බවට හරවයි. මේ සංඥාව විශ්ලේෂණය කරන්නේ මොළය විසිනි. ඇස් වලින් ලබාගන්නා සංඥාවේ යම් බාහිර වස්තුවක් පිහිටි ස්ථානය පිලිබඳ නිශ්චිත තොරතුරු අඩංගු නොවේ. එහි ඇත්තේ වෙනස් වස්තු ලෙස අප විසින් හඳුනාගන්නා දේවල් වල පිහිටීම් පිලිබඳ සාපේක්ෂ තොරතුරු පමණි. උදාහරණයක් ලෙස පරිගණක තිරය ඇත්තේ යතුරු පුවරුවට වඩා දුරින් බව මිස කොතරම් සෙන්ටි මීටර් ගණනක් දුරින්ද යන තොරතුර මේ සංඥාවේ නැත.
දුර පිලිබඳ අදහසක් මොළයට අවශ්‍ය වන්නේ අපේ චලනයන් සම්බන්ධීකරණය කර ගැනීම සඳහාය. උදාහරණයක් ලෙස මගේ මේසය මත ඇති පෑන ග්‍රහණය කර ගැනීමට කුමන දිශාවට කෙතරම් දුරක් මා මගේ අත චලනය කල යුතුද? මේ සඳහා මගේ ඇසෙන් ලබා ගන්නා රූප සහ මගේ චලනයන් අතර තිබිය යුතු සම්බන්ධතාවය මොළය මඟින් නිවැරදිව ක්‍රමාංකනය කරගත යුතුය. කෝප්පයක් අල්ලන්නට පුරුදු වන කුඩා දරුවෙකු කරන්නේ මෙයයි. මේ ක්‍රමාංකනය එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි.
අපේ ඇස පිටුපසට ඇසේ කාචයෙන් ප්‍රක්ෂේපණය කර සංඥාවක් බවට හරවන රූපය ඇත්තටම උඩුයටිකුරු වූ එකකි. එය 'ඇති හැටියෙන්' දකින්නේ මොළයයි.
බෝජනාගේ ඇස් වල කිසිදු ආබාධයක් නැත. ඇගේ ඇස් වලින් බාහිර පරිසරයේ උඩුයටිකුරු කළ පිළිබිඹුවක් මොළයට ලබාදේ. වෙනස ඇත්තේ ඇගේ මොළය මෙසේ ලබාගන්නා දත්ත සැකසුම් කරන ආකාරයේය. බොහෝදෙනෙකුගේ මොළයන් මෙවැනි උඩුයටිකුරු වූ පිළිබිඹු නැවත උඩයට හරවා 'නිසි ලෙස' ග්‍රහණය කරගත්තත් බෝජනාගේ මොළය එසේ කරන්නේ නැත.
කෙසේ වුවද, මෙසේ උඩුයටිකුරු ලෙස ලෝකය දැකීම කෙනෙකුට ප්‍රශ්නයක් නොවේ. එවැනි අයෙකු උපතේ සිටම දකින ලෝකය උඩුයටිකුරු වූ එකක් බැවින් එවැන්නෙකු කුඩා කල සිටම මේ උඩුයටිකුරු වූ ලෝකයේ ජීවත් වන්නට පුරුදු වේ. අවුලක් වුනොත් වෙන්නේ වෙනත් අයෙක් මේ ලෝකය කෙළින් සිටවන්නට හැදුවොත් පමණි.
යමෙක් ලියන්නට ඉගෙනගන්නේ තමන් දකින ආකාරයටය. මේ නිසා උඩුයටිකුරු වූ අකුරු දකින අයෙකු එසේම ලියන්නටද පෙළඹීමට ඉඩතිබේ. මෙවැන්නන් පිළිබඳව බොහෝ කලක සිට වාර්තා වී තිබේ.
කෙසේ වුවද, මේ අයුරින් උඩුයටිකුරු වූ ලෝකයක් දකින බොහෝ අයට තමන්ට රිසි ලෙස උඩුයටිකුරු කර ලියන්නට, කියවන්නට සමාජයෙන් ඉඩ නොලැබේ. වමත් හුරු දරුවන්ට දකුණත හුරු කරවන්නාවක් මෙනි.
අපේ මොළයේ ඇති අනුගතවීමේ ඇති හැකියාව පුදුම සහගතය. යමෙකුට විශේෂ කණ්ණාඩියක් පළඳවා ලෝකය උඩුයටිකුරු ලෙස එක දිගටම පෙනෙන්නට සැලැස්වුවහොත් සතියක් යන විට ඔහු හෝ ඇය මේ අළුත් තත්ත්වයට පුරුදු වේ.
බෝජනාගේ සැබෑ ගැටළුව ලෝකය උඩුයටිකුරු ලෙස පෙනීම නොවේ. ඇතැම් දේවල් එසේ නොපෙනීමයි.
මගේ ලිපි සාමාන්‍යයෙන් දිග වැඩි නිසාත්, මේ හා අදාල වෙනත් කරුණු රැසක් ඇති නිසාත් මේ ලිපිය කොටස් වශයෙන් පළ කෙරෙනු ඇත.
(Photo credit: http://www.nydailynews.com/news/world/woman-sees-upside-article-1.1297128)
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
මේ ලිපිය නම් එල ද බ්‍රා..දිග නෑ එක හුස්මට කියෙව්වා.
ReplyDeleteබෝජනාගේ සැබෑ ගැටළුව ලෝකය උඩුයටිකුරු ලෙස පෙනීම නොවේ. ඇතැම් දේවල් එසේ නොපෙනීමයි.//
එතකොට එයාට අපහසුවක් නැද්ද?
අපි ඉතුරු කොටස් වලින් මේ ගැන කතා කරමු, මෙන්ඩා.
Deleteඒකත් මරු නේද....... එතකොට එයාට මිනිස්සු එහෙම පෙනෙන්නෙත් ඔලුවෙන් හිටවලා තියෙන විදිහටද?
ReplyDeleteඊළඟ කොටස බලන්න, ආර්යන්.
Deleteඅපේ දේසපාලුවන්ටත් පේන්නේ මෙහෙමද දන්නෙ නෑ...
ReplyDeleteඊට අමතරව තව බලවත් අක්ෂි රෝගයක් තමයි දැක්කත් නොදැක්කා වගේ ඉන්න එක...
"අතට ලැබෙන ගාන අනුව පෙනීම" කාටත් පහසුවෙන් වැලදෙන නිට්ටාවට සුවකල නොහැකි බලවත් අක්ෂි රෝගයකි.මේ දිනවල මෙම රෝගය "ඇවන්ගාඩ් වෛරස් අක්ෂි ප්‍රදාහය" නමින් සක්‍රිය වී ඇත.මෙම නව වෛරස් මාදිලිය ආසාදනය නිසා බොහෝ දෙනෙකුට පෙනීමට අමතරව ගුදය අවට ප්‍රදේශය අහිමිවීමට හැකියාවක්ද පවතී.
Deleteරාජිතලා කෑ ගහන්නේ එයාලට සල්ලි හම්බ උනේ නැති නිසා කියලා විජේදාස රාජපක්ෂ මහත්තයා කියලා තියෙන්නේ....
Deleteඒ කියන්නේ....
ඔව්වොව් ඒ කියන්නෙ ඒක තමයි...
Deleteසිකුරාද ලංකාදීපෙ කාටුන් එක්කත් ඕ කතාව අහල තිබ්බ හිහි
ඇබ්බැහි කොයිවත් වගේ ටිකකලක් යනවිට සාමාන්‍ය තත්ත්වය වෙනවනේ, මාතා. ඊට පස්සේ ඒක විශේෂ තත්ත්වයක් බව තමන්ටවත් තේරෙන්නේ නැහැ.
Deleteඑතකොට එයා අකුරු ලියන්නේ කොහොමද?
ReplyDeleteඉතුරු කොටස් වල අපි මේ ගැන කතා කරමු, පොඩ්ඩි.
Delete"අපේ මොළයේ ඇති අනුගතවීමේ ඇති හැකියාව පුදුම සහගතය"
ReplyDelete----
බහුතර සමාජ අනුගතවීම් වලදී,
අප එකිනෙකාගේ මොළය පිහිටන විවිධ ස්ථාන එයට බලනොපෑම ඊටත් වඩා පුදුම සහගතය.
ඒකනේ වැඩේ!
Deleteහොඳ ලිපියක් ඉකෝ.පෙනීම,ඇසීම වගේම අනෙකුත් සංවේදන සම්බන්ධයෙන් මොළයේ වෙන වෙනම උත්තේජනය වන කොටස් තිබෙනවා.යම් විදියකින් ඒ කොටසක් නිසි පරිදි ක්‍රියාත්මක නොවුනොත් හෝ හානියක් උනොත් සාමාන්‍ය ජීවිතේ එහෙන් පිටින්ම අවුල් ජාලාවක් වෙනව.බෝජනාගේ ගැටලුව ඒ තරමටම බරපතල වෙලා නැති නිසා ඇයට ඇයගේ සාමාන්‍ය ජීවිතය අපහසුවකින් තොරව ගෙවන්න පුලුවන්කම තියනවා...
ReplyDeleteඔබ කියන කරුණු නිවැරදියි, මනෝ. ඒත් මෙතැනදී ඇසේ හෝ මොලයේ කිසිම භෞතික ආබාධයක් නැහැ.
Deleteසංජානනය perception සම්බන්ධ ගැටළුවක් නේද මේක?
ReplyDeleteඔබ හරි, විචාරක. නියම වචනය ඉදිරිපත් කළාට ස්තුතියි!
Deleteමම අහලා තියෙනවා ළදරුවෙක්ට මුල් මාද කීපයතුල ලෝකය පෙනෙන්නේ ඔය ආකාරයට බව.
ReplyDeleteඔවු, ජගත්. වැඩිපුර පර්යේෂණ කෙරී නැතත් එහෙම තමයි බොහෝ දෙනෙක් සිතන්නේ.
Deleteඅප් සයිඩ් ඩවුන් කියල පිලුමක් නං බැලුව වගේ මතකයි ඒක නං සයි ෆයි
ReplyDeleteමේකත් දුරුලභ ගණයේ රෝගයක් වෙන්න ඇති නෙ ඉකොනො...
ලංකාවෙ හිටිය නං ඔය කෙලිත්ති ඉවරයි
ඇයි යකෝ ...
කියන්න ඕන නෑ නෙව
ඇත්තටම මේකට රෝගයක්ම කියන්නත් බැහැ. (වැඩි දෙනෙක්ට ලෝකය පෙනෙන්නේ බෝජනාට වගේනම් රෝගීන් කියන්න වෙන්නේ එසේ නොපෙනෙන අයටයි.) අප රෝගයක් අර්ථ දක්වන විදිහ අනුව එසේ කීමට හෝ නොකීමට පුළුවන්.
Delete˙ʞuᴉɥʇ I 'doʇ oʇ ɯoʇʇoq ɯoɹɟ ǝsǝuɐdɐſ puɐ ʇɟǝl ʇo ʇɥƃᴉɹ ɯoɹɟ ǝʇᴉɹʍ sqɐɹ∀
ReplyDelete˙ʎɐʍ pɹɐpuɐʇs ǝɥʇ ɯoɹɟ ʇuǝɹǝɟɟᴉp sᴉ ǝɔᴉʇɔɐɹd ǝɥʇ 'ǝsɐɔ sᴉɥʇ uI ˙ʎʇǝᴉɔos ɐ sɐ 'ƃuᴉʇᴉɹʍ ɟo ʎɐʍ pɹɐpuɐʇs ɹᴉǝɥʇ sᴉ sᴉɥ┴ ˙ʇɔǝɹɹoɔ ǝɹɐ no⅄ ˙ɐʞᴉsɐɹ 'sǝ⅄
Deleteහැමදේම කනපිටට පෙනෙනවනම් ඇයි පත්තර විතරක් අනිත් අතට බලන්නේ
ReplyDeleteමේක තමයි මෙතන තියෙන වැදගත්ම කරුණ, ජගත්. හැමදේම උඩුයටිකුරුව පේනවනම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නය ඇතැම් දේවල් පමණක් ඇයට 'හරියට' පෙනෙන්නේ ඇයි කියන කරුණ. නිශ්චිතම පිළිතුරක් නැතත් හොඳ පැහැදිලි කිරීමක් තිබෙනවා. ඉදිරි ලිපි වලින් කතාකරමු.
Deleteප්‍රස්නේ ඔබට පෙනෙන්නේ මට පෙනෙන විදියට නොවන බව මට නොපෙනීම නොවෙද
ReplyDeleteහරියටම හරි, JP. මේක ගොඩක් මූලික මට්ටමේ ප්‍රශ්නයක්. දැන් කකුළුවන්ට ප්‍රස්තා පිරුළු තිබුණනම් උන් කියන්නේ මිනිස්සු ඇදේට යන ගමන් උන්ගේ පැටවුන්ට ඇදේට යන්න කියා දෙනවා කියලයි. ලෝකයේ ඉන්න කෙලින් යන්න පුළුවන් එකම සත්තු ජාතිය අපි කියලත් කියයි.
Deleteඅද තමා කියෙව්වේ.
ReplyDeleteතරමක් පමා වෙලා හරි මම ආස කරන වර්ගයේ ලිපියක්. වෙනස් විදියට ලෝකය දැකීමක්. මට නිතරම හිතෙන දෙයක් තමයි අපේ ඇස් වලට පෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයට නෙවෙයි කියන එක. උදාහරණෙකට අඩි 5ක් උස කෙනෙක්ගේ නියම උස අඩි 6ක් හරි 4ක් හරි වෙන්න පුළුවන්. මිම්මත් අපේ පෙනීමට සාපේක්ෂව හදා ගත්තු එකක්. අලියට අපිව ලොකුවට පේනවද දන්නේ නෑනේ.
ReplyDeleteමගේ දුවත් මුලින්ම අංක සහ අකුරු කිහිපයක් අනෙක් පැත්තට ලිව්වා. ගුරුතුමිය මේක නිවැරදි කරන්න ගොඩක් වෙහෙසුනා. බැරිම තැන විභාගයේදී ඇය ලකුණු කැපුවා. මම ගූගල් කරලා ඒ ගැන ගොඩක් කියෙව්වා. සමහර අය තමන්ගේ මුළු නමම අනික් පැත්තට ලියනවා. ඒ කියන්නේ අග සිට මුලට. අයින්ස්ටයින් පවා කුඩා කාලේ මේ ක්‍රමයට ලියලා තියෙනවා. මේකට හේතුව තමන් දකින විදිය. කුඩා කාලෙදී ඉලක්කම් අකුරු පවා පින්තූර ලෙස තමයි ග්‍රහණය කර ගන්නේ. පස්සේ ඒවා ලියද්දී තමයි ළමයි දැන ගන්නේ හරි පැත්ත. සමහරුන්ගේ මොළයට මේක අනිත් පැත්තට යන වෙලාවල් තියෙනවා.