වෙබ් ලිපිනය:

Showing posts with label ජනාධිපතිවරණය. Show all posts
Showing posts with label ජනාධිපතිවරණය. Show all posts

Thursday, October 31, 2019

පෑඩ් එකේ වැදී නිකම්ම ලැබුණු බවුන්ඩරිය


සමාජ ආර්ථික තත්ත්වය අනුව පහළින් සිටින ජන කණ්ඩායම් වෙනුවෙන් ආධාර ලෙස ලබා දීම පිණිස භාණ්ඩ එකතු කිරීම (supply drives) ඇමරිකාවේ සුලභ දෙයක්. පාසැල්, කාර්යාල, සරසවි, සුපිරි වෙළඳසැල් වැනි බොහෝ තැන් වල මේ වැඩේ නිතර කෙරෙනවා. පාසැල්, කාර්යාල වගේ තැන් වල මේ වගේ ආධාර එකතු කිරීමක් තිබෙන දවසක ඒ ගැන කලින් දැනුම් දී නියමිත දිනයේ විවිධ අය රැගෙන එන බඩු දමන්න ලොකු පෙට්ටියක් තැබීම සාමාන්‍ය ක්‍රමයයි. සුපිරි වෙළඳසැලකදීනම් අපට මේ ආකාරයට කිසියම් ජන කණ්ඩායමකට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවේ (needs list) ඇති දෙයක් මිල දී ගෙන එය මුදල් ගෙවීමේ කවුන්ටරයටම ආපසු දුන් විට අදාළ භාණ්ඩය කවුන්ටරය අසල තිබෙන පෙට්ටියකට දමනවා.

පසුගිය සතියේත් මෙවැනි භාණ්ඩ එකතු කිරීමක් ගැන විද්‍යුත් ලිපියක් ලැබුණා. එහි තරමක විශේෂත්වයක් තිබුණා. විද්‍යුත් ලිපිය එවා තිබුණේ සමාජ විද්‍යා මහාචාර්යවරියක් විසින්. ඇය මේ සෙමෙස්ටරයේ ප්‍රථම උපාධිය හදාරන සිසුන්ට "ඒඩ්ස් සහ සමාජය" නම් පාඨමාලාවක් උගන්වනවා. ඇමරිකාවේ සරසවි වල පාඨමාලා වල විෂය නිර්දේශ සෑම වසරකම අලුත් වෙනවා වගේම උගන්වන විෂයනුත් අලුත් වෙනවා.

කෘතිම බුද්ධිය වැනි අලුත් දේවල් එකතු කරමින් රටේ අවශ්‍යතා අනුව වෙනස් වෙන්නේ තාක්ෂණ විෂයයන් පමණක් නෙමෙයි. සමාජ විද්‍යා විෂයනුත් රටේ අවශ්‍යතා අනුව අලුත් වෙනවා. ඒ නිසා, උපාධියක් හදාරන කෙනෙකුට රස්සාවක් හොයා ගන්න පිකටිං කරන්න අවශ්‍ය නැහැ. උසස් අධ්‍යාපනය වෙනුවෙන් අතින් මුදල් ගෙවිය යුතු නිසා කරන ආයෝජනයට ප්‍රතිඵලයක් ලැබෙන බව තහවුරු නොවන පාඨමාලා වලට තිබෙන ඉල්ලුම ටිකෙන් ටික නැති වෙලා එවැනි පාඨමාලා අහෝසි වෙලා යනවා. ඒ වෙනුවට අලුත් පාඨමාලා එනවා.

ඔය විදිහට ලංකාවේ සරසවි වල සමාජ විද්‍යා පීඨ වල ඉගැන්විය හැකි "මැද පෙරදිග රැකියා වල නිරත කාන්තාවන්ගේ පවුල් වල සමාජ ප්‍රශ්න", "යුද්ධයට සහභාගී වී ආපසු ආ සෙබළුන් හා සමාජය", "අන්තර්-වාර්ගික ආතතීන් හා සමාජය" වගේ ඕනෑ තරම් අලුත් විෂයයන් ගැන හිතන්න පුළුවන්. ඒ වගේ අලුත් විෂයයන් ලංකාවේ සරසවි වල උගන්වනවාද නැද්ද කියා මම දන්නේ නැහැ. ඇමරිකාවේනම් එසේ වෙනවා. ඔය "ඒඩ්ස් සහ සමාජය" පාඨමාලාව එක උදාහරණයක්.

දැන් මේ පාඨමාලාව හදාරන සිසුන් විසින් එය සමත් වෙන්න කළ යුතු දේවල් අතර විභාග වලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගණනාවක් තියෙනවා. සහභාගිත්ව පරීක්ෂණයක් කරමින් අවම පැය ගණනක් ඒඩ්ස් රෝගීන් බහුල ප්‍රජාවන් සමග ගත කළ යුතුයි. ඒ වගේම, එච්අයිවී ආසාදනය වීමේ අවදානම වැඩිම ජන කොටස් වෙනුවෙන් නිශ්චිත අවම පැය ගණනක් ස්වේච්ඡාවෙන් සේවය කළ කළ යුතුයි. ඔවුන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය දේ එකතු කර බෙදා දීමත් මේ පාඨමාලාවේම කොටසක්. මා මුලින් කී විද්‍යුත් ලිපිය ලැබුණේත් මෙවැනි ආධාර එකතුවක් හා අදාළවයි.

අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවේ ඉහළින්ම තිබුණේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා. සබන්, ෂැම්පු, දත්බෙහෙත්, දත් බුරුසු ආදී භාණ්ඩ ගණනාවක් පහළින් තිබුණා. අදාළ දවසේ මේ වෙනුවෙන් තබා තිබුණු පෙට්ටියට ඔය දේවල් ගොඩක් එකතු වී තිබුණා. ගොඩක් අය පැකිලීමක් නැතුව සනීපාරක්ෂක තුවා ගෙනත් පෙට්ටියට දැම්මා.

මේ වටෙන් ගොඩෙන් එන්නේ සජිත්ගේ සනීපාරක්ෂක තුවා කතාවට බව කියවන අයට නොතේරෙන්න හේතුවක් නැහැනේ. මේ ගැන අජිත් පැරකුම්, රසික, අජිත් ධර්මා වගේ තවත් ගොඩක් අයත් ලියා තිබුණා. සජිත් ඔය කතාව කිවුවේ කොයි තරම් සීරියස් විදිහටද කියා මම දන්නේ නැහැ. ඒ වගේම, සජිත් යම් විදිහකින් දිනුවොත් ඔය වැඩේ කරයිද කියන්නත් මම දන්නේ නැහැ. කොහොම වුනත් මේ කතාව නිසා දැන් සජිත්ට ලොකු ගැම්මක් ඇවිත් තිබෙනවා. බෝලෙට හරියට පාරක් ගහගන්න බැලුව දඟල දඟල හිටපු මනුස්සයගෙ පෑඩ් එකේ වැදිලා බවුන්ඩරියක් ගියාම කොහොමද ආතල් එක?

ඔසප් දරිද්‍රතාවය කියන එක දැන් ලෝකය පුරාම කතාබහට ලක්වන කරුණක්. මේ ප්‍රශ්නය තුන්වන ලෝකයේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. සංවර්ධිත රටවල් බොහොමයක කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. මේ සම්බන්ධව අවධානය යොමු කිරීම සඳහා පසුගිය 19 වෙනිදා පළමු වරට ඇමරිකාවේ ජාතික ඔසප් දිනයකුත් පැවැත් වුනා. වෙන මොනවා නැතත් සජිත් නිසා මේ ප්‍රශ්නය ගැන කතාබහක් ඇති වීමම ලොකු දෙයක්.

මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වය වුනේ වැඩි සද්දයක් නැති වීමයි. එක පැත්තකින් එයට හේතු වී තිබෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමයි. ලෝකයේ ස්වාධීන මිනිස්සු හෝ ස්වාධීන කොමිසම් නැහැ කියා කාට හෝ තර්ක කරන්න පුළුවන්. ඒ තර්ක කොහොම වුනත්, මැතිවරණය පැවැත්වෙන ආකාරය සෑහෙන තරමකින් නියාමනය කරන්න මැතිවරණ කොමිසම සමත් වී සිටින බව කාට වුනත් පිළිගන්න වෙනවා.

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සාපේක්ෂව එතරම් සක්‍රිය නැති වීමට එකම හේතුව ස්වාධීන මැතිවරණ කොමිසම කියා මා හිතන්නේ නැහැ. මෙහි ඊට වඩා දෙයක් තිබෙනවා. බොහෝ දෙනෙක් නිරීක්ෂණය කර තිබෙන ආකාරයට ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයෙක් වන ගෝඨාභය රාජපක්ෂ වැඩි සද්දයක් නැහැ. ඇතැම් අය හිතන්නේ එයට හේතුව ඔහුට ටෙලිප්‍රොම්ටරයක් නැතිව කතා කරන්න බැරිකම කියලයි. එයත් එක් හේතුවක් වෙන්න පුළුවන්. නමුත්, එකම හේතුවනම් නෙමෙයි. මේ සාපේක්ෂ නිහඬතාවයට, මම හිතන හැටියට, ප්‍රධාන හේතුව මේ වන විට ලංකාවේ ඡන්දදායකයින් සිටින තැනයි.

හැත්තෑ හතේ ඉඳන් අවුරුදු දාහතක් බලයේ සිටි එජාප ආණ්ඩුව පරාජය කරලා මිනිස්සු චන්ද්‍රිකාව පත් කරගත්තේ ඒ වන විට එජාපය එපාවටම එපා වෙලා හිටපු නිසයි. එයින් පස්සේ එජාපය කවදාවත් කලින් තිබුණු එජාපය වුනේ නැහැ. 2015දී මිනිස්සු එජාපය ප්‍රමුඛ සන්ධානයට ඡන්දය දුන්නේ රාජපක්ෂලා පරාජය කරන්න මිසක් එජාපය නැවතත් ආකර්ශනීය වූ නිසා නෙමෙයි. 2015දී වුනෙත් ඔය වගේම දෙයක්. සැලකිය යුතු පිරිසකට රාජපක්ෂලා එපාවටම එපා වුනා. ඒ එපා වුනු රාජපක්ෂලාව ඒ පිරිසට තවමත් නැවත ආකර්ශනීය වෙලා නැහැ. නමුත්, රාජපක්ෂලා වෙනුවට තෝරාගත් එජාපයත් ඒ තරමටම හෝ වැඩිපුර එපා වෙලා.

වත්පොතේ කෙනෙක් පළ කර තිබුණු අදහසක් වුනේ ලංකාවේ මිනිස්සුන්ට කළ හොඳ ඉක්මනින් අමතක වන නමුත් කළ නරක ලේසියෙන් අමතක වෙන්නේ නෑ කියන එකයි. මේ හේතුව නිසා එජාප හා රාජපක්ෂලා දෙගොල්ලන්ම එපා වීමේ වාසිය ජවිපෙට ලොකුවට ලැබෙන්නෙත් නැහැ. දැන් වෙනස් වී හිටියත් ජවිපෙ අපකීර්තිමත් ඉතිහාසයත් මිනිස්සුන්ට තවම මතකයි. ඒ නිසා, මේ පාර ගොඩක් දෙනෙක් ඡන්දය දෙන්නේ තමන් අකැමැතිම පුද්ගලයාව පරද්දන්න මිසක් කැමැතිම පුද්ගලයාව දිනවන්න නෙමෙයි. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵලය තීරණය කරන පාවෙන ඡන්දදායක පිරිස. සාපේක්ෂ නිහඬතාවයට හේතුව ඔන්න ඕකයි.

ගෝඨාභය රාජපක්ෂ කතා කරන තරමට ඔහුව වැඩි අවධානයට ලක් වෙනවා. එවිට ඔහුගේ හොඳට වඩා මතක් වෙන්නේ අඩුපාඩුයි. ඒ නිසා, ඔහු කතා කරන තරමට වාසිය සජිත්ටයි. ඕකේ අනිත් පැත්තත් ඔහොමමයි. සජිත් කතා කරන තරමට ඡන්ද වැඩිවෙන්නේ ගෝඨාභයටයි. ඒ නිසා, මේ වෙලාවේ ප්‍රතිවාදී අපේක්ෂකයාට මතු වෙන්න දී නිහඬව සිටීම තමයි සජිත්ට වගේම ගෝඨාභයටත් වාසි. දෙන්නම වේගවත් ප්‍රහාර එල්ල කරන්න ගියොත් වෙන්නේ දෙන්නම අවුට් වෙලා ජවිපෙ පැත්තට වාසිය කැරකෙන එකයි.

මෙච්චර දවස් වැඩිපුර කතා කළේ සජිත්. ගෝඨාභයගෙන් වැඩි සද්දයක් ඇහුණේ නැහැ. සජිත් කතා කරන තරමට ඡන්ද වැඩි වුනේ ගෝඨාභයට. සජිත් තමන්ට ඡන්ද එකතු කරන හැටි ගෝඨාභය පැත්තකට වෙලා බලා හිටියා. දැන් පෑඩ් කතාවෙන් පස්සේ තත්ත්වය ටිකක් වෙනස් වෙලා. මේ කතාව අල්ලාගෙන කරපු විවේචන නිසා වුනේ ගෝඨාභය කඳවුරේ වහගෙන හිටපු අඩුපාඩු මතු වුන එකයි.

ගැහැණු කියන්නේ ඡන්දදායකයින්ගෙන් 50%ක් හෝ ඊටත් වැඩි ප්‍රතිශතයක්. මතුපිටින් නිරීක්ෂණය කරලා ඔවුන් හිතන හැටි තේරුම් ගන්න ලේසි නැහැ. ගැහැණු නැගිට්ටහම නොහිතන දේවල් වෙන්න පුළුවන්. සජිත් සනීපාරක්ෂක තුවා නිකම් දෙයිද, නොදෙයිද, දෙනවානම් කවර ආකාරයකින් දෙයිද කියන එක වගේ දේවල් එතරම් වැදගත් කරුණු නෙමෙයි. හිතාමතා හෝ අහම්බෙන් සජිත්ට අහුවුනේ නිලයක්. මේ කතාව කරපු දවසේ ඉඳලා පොදුජන පෙරමුණු පාක්ෂිකයෝ සජිත්ට ඡන්ද එකතු කරනවා.

Sunday, October 13, 2019

ඇල්පිටි වැල්ලට නොආ රැල්ල

ටික කලක සිට සජිත් පාක්ෂිකයින් විසින් සජිත් රැල්ලක් ගැන කතා කරමින් හිටියා. මෑතකාලීනව දේශපාලන අදහස් අතින් සජිත්ට සමාන සේ සැලකිය නොහැකි මංගල, චම්පික වගේ පිරිසුත් මේ රැල්ල හමන අතටම හබල් ගාන්න පටන් ගැනීමත් එක්ක රටේ කොහොම වුනත්, එජාපය ඇතුළේ ලොකු සජිත් රැල්ලක් ඇති වුනා. ඒ රැල්ලට අහු වෙලා එජාප ජනාධිපති අපේක්ෂකයා විය හැකිව සිටි අනෙකුත් ප්‍රබල තරඟකරුවන් වූ කරු හා රනිල්ගේ නම් වැල්ලේ දිය වී ගියා. එජාප ගාලුමුවදොර රැළියේදීත් එජාප පාක්ෂිකයින්ගේ උද්‍යෝගය කැපී පෙනුනා. නමුත්, ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ සජිත් රැල්ලක් පේන්න නැහැ.

ඒ වගේම, පහුගිය කාලයේ මතු වී ආ තවත් රැල්ලක් වුනේ 225ම එපා කියන රැල්ලයි. මේ රැල්ල එක්ක ගොඩයන්න බලාගෙන විවිධ ස්වාධීන අපේක්ෂකයින් විසින් රුවල් දැම්මා. මේ රැල්ල නිසා වඩාත්ම කලබල වුනු අය අතර ජවිපෙ ඉදිරියෙන්ම හිටියා. කලක සිටම ජවිපෙ විසින් උනුත් එපා මුනුත් එපා කියන අදහස සමාජගත කරමින් සිටි අතර ඒ අදහස යම් පිරිසක් විසින් පිළිගත්තා. 225ම එපා කියන අදහස ආවේ උනුත් එපා මුනුත් එපා කියන අදහස වඩා පුළුල් වෙලා උනුත්, මුනුත් ගොඩට අරුනුත් එකතු වෙලයි. මේ රැල්ලත් එක්ක ජවිපෙ එක්තරා උභතෝකෝටිකයට මුහුණ දුන්නා. ජවිපෙට ඉදිරියට යන්න "උනුත් එපා මුනුත් එපා" කියන අදහස ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය වුවත්, ඒ අදහස වර්ධනය වීමේ ස්වභාවික ප්‍රතිඵලයක් විදිහට "225ම එපා" කියන අදහස ප්‍රවර්ධනය වීම වලක්වා ගැනීමේ අභියෝගයට ඔවුන්ට මුහුණ දෙන්න වුනා. ඒ නිසා, ස්වාධීන පුද්ගලයකු සඳහා වූ ඉල්ලීම යටපත් කරමින් පක්ෂ ක්‍රියාකාරිකයෙකු තරඟයට දමන්න ජවිපෙට සිදු වුනා. ජවිපෙ සාමාජිකයින් තුළත් ජනාධිපතිවරණය පිළිබඳ ලොකු බලාපොරොත්තු තිබුණු බව ඔවුන්ගේ ගාලු මුවදොර රැළියෙන් පෙනුණත් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළනම් ජවිපෙ රැල්ලක් පේන්න තිබුණේ නැහැ.

ගෝඨා රැල්ල ඔය දෙකටම වඩා පරණ රැල්ලක්. කලින්ම ආ ගෝඨා රැල්ල කලින්ම බිඳී ගියා. ගෝඨා තරඟයට ඉදිරිපත් වන විට පීක් එක ඉවරයි. නමුත්, ගෝඨා හිටියේ අනෙක් අපේක්ෂකයින්ට වඩා ගොඩක් ඉදිරියෙන්. මගේ තක්සේරුව අනුවනම් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ ගෝඨා රැල්ලක් කියා එකකුත් නැහැ.

පහුගිය දවස් වල මා ලංකාවේ මා සාමාන්‍යයෙන් කතා කරන කිහිප දෙනෙකුට කතා කළා. විවිධ දේශපාලන පක්ෂ වලට කඩේ යන්නන්, රැල්ල හමන අතට ඔරුව පදින්නන් හා නිර්පාක්ෂිකයින් ඇතුළු විවිධ කොටස් ඇතුළත් මේ පිරිස ලංකාවේ දේශපාලන ප්‍රවණතා ගැන අදහසක් ගැනීම සඳහා ප්‍රමාණවත් නියැදියක් බව බොහෝ වර තහවුරු වී තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණ වලට පෙර මේ පිරිසට කතා කළ විට පොදුජන පෙරමුණ අනපේක්ෂිත ලෙස ඉදිරියට එන බව පෙනුනත්, ඒ වෙලාවේ එවැන්නක්‌ සිදු වේයැයි මට හිතුනේ නැහැ. එහෙත්, මැතිවරණයෙන් පසුව තේරුණේ මගේ නියැදිය මත විශ්වාසය තැබිය හැකිව තිබුණු බවයි.

මෙවර කතා කළ විට පෙනුනේ ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් ඇති බවයි. ඒ වගේම ගෝඨාභය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ කිසියම් වික්ෂිප්ත භාවයක් ඇති බවයි.

ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, මේ රැල්ල තිබෙන්න අරටු බැහැපු එජාප පාක්ෂිකයින් අතරම මිස එයින් පිටත නෙමෙයි. මේ වෙද්දී ගම් වල ඉතිරි වී ඉන්නේ ඉතා සීමිත එජාප පවුල් ගණනක්. ඔවුන් ඉතාම අභියෝගාත්මක තත්ත්වයන් යටතේත් පක්ෂය අත් හැර නොගිය අයයි. රනිල්ගේ නායකත්වය යටතේ මේ පිරිසට ලැබුණු දෙයක් නැහැ. සජිත්ගේ නායකත්වය යටතේ තමන්ට යමක් ලැබෙයි කියා මේ පිරිස හිතනවා. ඒ නිසා, ගම් වල සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, ඒ රැල්ල එජාප ඡන්ද ප්‍රතිශතය ඉහළ දමන මට්ටමකට ඇවිත් නැහැ. සිදු වී තිබෙන්නේ පාක්ෂිකයින්ගේ උද්‍යෝගය වැඩි වීමක් පමණයි.

ඒ වගේම, ගම් වල බොහෝ දෙනෙක්ට ගෝඨාභය වැදගත් චරිතයක් නෙමෙයි. බොහෝ දෙනෙක්ට ඔහු වැදගත් වන්නේ මහින්දගේ සහෝදරයා හා නියෝජිතයා ලෙසයි. ගම් වල බොහෝ පිරිසක් තවමත් භක්තිමත් මහින්දවාදීන්. මහින්දගේ සහයෝගය ලබන කාට වුවත් මේ පිරිසගේ ඡන්ද ලැබෙනවා. ඇල්පිටියේදී පොදුජන පෙරමුණට ලැබී තිබෙන්නේත් මේ මහින්දවාදීන්ගේ ඡන්දයි.

මේ වන විට එජාපයට හා පොදුජන පෙරමුණට (පැරණි ශ්‍රීලනිපයට) වගේම ජවිපෙටත් රටේ ස්ථිර ඡන්ද පදනමක් තිබෙනවා. ජවිපෙ රැල්ලක් තිබෙනවානම් තිබෙන්නේ මේ ඡන්ද පදනම තුළයි. ඔවුන් මේ ඡන්ද පදනම පුළුල් කරගන්න විශාල උත්සාහයක් දරනවා.

එක පැත්තකින් එජාප හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන විරෝධයට වඩා ලොකු විරෝධයක් ජවිපෙ හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන නිසා ජවිපෙට පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ආකර්ෂණය කර ගැනීම සිහිනයක්. අනෙක් පැත්තෙන්, මේ වෙද්දී එජාපය මොනවා කළත් අත නොහරින පිරිසක් හැර අනෙක් සියලු දෙනාම වගේ එජාපය හැර ගොස් අවසන් නිසා ජවිපෙට ආකර්ශනය කර ගත හැකි ඡන්ද ඒ ගොඩේත් නැහැ. ජවිපෙ විසින් ඉලක්ක කරන්නේ ඔය දෙකටම නැති පිරිසයි.

ජවිපෙ තුළ තිබෙන රාජපක්ෂ විරෝධය එජාප විරෝධයට වඩා වැඩියි. මේ නිසා, කලක සිටම ජවිපෙට රතු අලි ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබලය ගැන ජවිපෙ එතරම් වද වෙන්නේත් නැහැ. ජවිපෙ විසින් දැන් හදාගෙන තිබෙන ජාතික ජන බලවේගයේ ලාංඡනයත් ටිකක් විතර රතු අලියෙක්ගේ රූපයක් වගේ.

ජවිපෙ විසින් මේ වෙලාවේ උත්සාහ ගනිමින් ඉන්නේ සමාජවාදීන්ගේ හෝ ධනපති විරෝධීන්ගේ ඡන්ද ආකර්ශනය කර ගන්න නෙමෙයි. එහෙම කරලා දැන් ඉන්න තැනින් අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි බව ඔවුන් නිවැරදිව අවබෝධ කරගෙන ඉන්නවා. ඇත්තටම කියනවානම් ජවිපෙට දැන් ඇණයක් වී තිබෙන්නේ ඔවුන්ගේම ඉතිහාසයයි. ඒ නිසා, ඔය රතු අලි හංවඩුව එක පැත්තකින් බැලුවහම ජවිපෙට වෙස් වලාගත් ආශීර්වාදයක්. ඇතැම් පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ජවිපෙට මඩ ගහන්න හිතාගෙන විවිධ දේ ප්‍රචාරය කරනවා. එවැනි එක පොස්ටුවක සැබෑ අව්‍යාජ විප්ලවවාදී නායකයින් කියා රෝහණ විජේවීර ඇතුළු පිරිසකුත්, ධනපතියන්ට කඩේ යන නායකයින් කියා අනුර කුමාර ඇතුළු පිරිසකුත් පෙන්වනවා. මම හිතන්නේ මේ වෙලාවේ මේ වගේ පෝස්ට් ජවිපෙට වාසියි.

ඇල්පිටියට නැවත ආවොත්, එහි ප්‍රතිඵලය මා ඉහත සඳහන් කළ ප්‍රවාද සියල්ල සමඟ මනාව සැසඳෙනවා. එජාපය විසින් ලබාගෙන තිබෙන්නේ 2015 ජනවාරියට පෙර ඔවුන් ලබාගත් අවම එජාප ඡන්ද ප්‍රතිශතය පමණයි. ජවිපෙ ලබාගෙන තිබෙන්නේත් ඔවුන්ගේම පාක්ෂික ඡන්ද පමණයි. පොදුජන පෙරමුණ කියලාත් වෙනසක් නැහැ. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ විසින් (ඔවුන්ගේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම්ද ඇතුළත්ව) ලබාගත්තේ 41.2%ක ඡන්ද ප්‍රතිශතයක් වුවත්, 2015 ජනාධිපතිවරණයේදී මහින්ද විසින් 47.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ඇල්පිටිය ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ පොදුජන පෙරමුණ තවමත් ඉන්නේ ඒ මට්ටමට පහළින් බවයි. මෙයින් පෙනෙන්නේ ගෝඨාගමනයෙන් පසුව මහින්දවාදී ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි.

සමස්ත ප්‍රතිඵලයම විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ පොදුජන පෙරමුණේ, එජාප හෝ ජවිපෙ ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි. එසේනම් ඉතිරි ඡන්ද ටික කෝ?

ඇල්පිටිය ඇතුළේනම් මේ ඡන්ද ටික තිබෙන්නේ එජනිස ගොඩේ. නමුත්, මේ එජනිස ඡන්ද ඇත්තටම එජනිස ඡන්දද?

මම හිතන විදිහටනම් මේ ඡන්ද එජනිස ඡන්දම නෙමෙයි. වෙනත් විකල්පයක් නැති තැන පොදුජන පෙරමුණ, එජාප හා ජවිපෙ තුනම එපා වී සිටින පිරිස ඒ විරෝධය පෙන්වීම පිණිස එජනිසය තෝරා ගෙන තිබෙනවා වෙන්න පුළුවන්. වෙනත් අයුරකින් කිවුවොත්, පාවෙන ඡන්ද ටික තියෙන්නේ එජනිස ගොඩේ. ජනාධිපතිවරණයට එජනිස අපේක්ෂකයෙකු ඉදිරිපත්ව නැති පසුබිමක මේ ඡන්ද වල ඉදිරි හැසිරීම ගොඩක් වැදගත්.

ගොඩක් අය චම්පිකව හඳුනා ගන්නේ රැල්ල හමන පැත්ත ගැන ඉවක් තිබෙන දේශපාලනඥයෙකු ලෙසයි. මංගලත් මේ ගොඩට දැමිය හැකි, තියුණු දේශපාලන ඉවක් තිබෙන දේශපාලනඥයෙක්. ඔවුන් සජිත්ගේ පැත්ත ගත්තේ මෙවර ඔවුන්ට ගණන් වැරදුනු නිසාද? පැත්තක සිටින අපට නොපෙනෙන බොහෝ දේ දේශපාලනය ඇතුළේ සිටින ඔවුන්ට පෙනෙන නිසා එය එසේයැයිම හිතන්නත් අමාරුයි.

මේ වන විට දැකිය හැකි ඡන්ද සංයුතිය අපට 2015 ජනාධිපතිවරණයට පෙර පැවති ඡන්ද සංයුතිය සමඟ සැසඳිය හැකියි. ජනාධිපතිවරණයට පෙර අවසන් වලට පැවැත්වුණේ පළාත් සභා මැතිවරණයි. වට හතරකින් පැවැත්වුණු එම මැතිවරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය මෙසේයි.

එජනිස- 54.0%
එජාප- 26.4%
ජවිපෙ- 4.0%
ප්‍රපෙ- 4.0%
වෙනත්- 11.6%

මෙවැනි පසුබිමක පැවති ජනාධිපතිවරණයෙන් එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයගත්තේ නැහැ. ප්‍රතිඵලය වුනේ මෙවැන්නක්.

මහින්ද රාජපක්ෂ- 47.6%
මෛත්‍රීපාල සිරිසේන- 51.3%

එජාප, ජවිපෙ, ප්‍රපෙ හා දෙමළ මුස්ලිම් පක්ෂ වල ඡන්ද සියල්ල ලැබුණේ මෛත්‍රීපාල සිරිසේනට කියා හිතුවත්, ඔහු එජනිස ඡන්ද වලින් 6.5%ක් පමණද ලබාගෙන තිබෙන බව පැහැදිලියි. මේ ඡන්ද එජාප හෝ ජවිපෙ ඡන්ද නොවන, රාජපක්ෂ විරෝධී ඡන්දයි. එම පළාත් සභා ඡන්ද වටයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබුණු ඡන්ද දමන්න වෙන්නේත් මේ ගොඩටයි. එවිට, එජාප, ජවිපෙ හෝ සුළු ජාතික පක්ෂ වල ඡන්ද නොවන රාජපක්ෂ විරෝධී ඡන්ද එකතුව 10.5%ක් පමණ වෙනවා. මා හිතන විදිහට ඇල්පිටියේදී එජනිසයට ලැබුණු ඡන්ද වැඩි ප්‍රමාණයක් මේ ඡන්දයි.

පසුගිය ජනාධිපතිවරණයට පෙර තත්ත්වය හා සැසඳූ විට එජාප හා ජවිපෙ පක්ෂ දෙකම ඉන්නේ තරමක් ඉදිරියෙන්. ඒ වගේම, පොදුජන පක්ෂය තනිව ගතහොත් ඉන්නේ 2016දී මහින්ද රාජපක්ෂ සිටියාට වඩා දුර්වල තැනකයි. එජාප, ජවිපෙ හා සුළු ජාතික පක්ෂ සියල්ලේම ඡන්ද එකතු කළත්, පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතයට අඩුයි. එහෙත්, වෙනස එතරම් විශාල නැහැ. ඒ වගේම, මේ දෙගොඩෙන් එක් ගොඩක්වත් 50% මට්ටම ආසන්නයේ නැහැ. ඒ නිසා, මැතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපාන්නේ එජනිස ඡන්ද සේ පෙනෙන්නට තිබෙන, එහෙත් එජනිස ඡන්ද කියා මා නොසිතන සැලකිය යුතු තරම් විශාල පාවෙන ඡන්ද ප්‍රතිශතයයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගිලිහුණු ඡන්ද නැවත ආකර්ශනය කර ගැනීමට පොදුජන පෙරමුණ අසමත් වීම විශේෂ අවධානයට යොමු විය යුතු කරුණක්. එයින් පෙනෙන්නේ, 2015 ජනවාරියේදී වූ මේ පිරිසගේ රාජපක්ෂ විරෝධය මේ වන විටත් මුළුමනින්ම සමනය වී නැති බවයි. එසේ වුවත්, මේ ඡන්ද එජාපය හෝ ජවිපෙ වෙත ආකර්ශනය වී නැහැ. ඒ වගේම, මේ පිරිස දේශපාලනිකව  සබුද්ධික පිරිසක් නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර ඉන්න හේතුවක් නැහැ. එය බොහෝ විට තමන් අකැමැති විකල්ප අතරින් අඩු නරක තෝරා ගැනීමක් විය හැකියි කියා සිතන්න පුළුවන්. ඒ නිසා, අවසන් ප්‍රතිඵලය තීරණය විය හැක්කේ ඉදිරි මාසය ඇතුළත ප්‍රධාන අපේක්ෂකයින් හා මේ වෙලාවේ ලංකාවේ දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි මෛත්‍රීපාල සිරිසේන වැනි වෙනත් ඇතැම් අය හැසිරෙන ආකාරය මතයි.

Friday, October 11, 2019

ඇල්පිටි සංඥාව


ඇල්පිටියේ පොඩි ඡන්දයේ ප්‍රතිඵල මේ වන විට පිට වී තිබෙනවා. ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 56.3%
එජාප - 24.4%
එජනිස - 12.7%
ජවිපෙ - 5.9%
වෙනත් - 0.7%

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම් වලදී ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය සභා වල සමස්ත ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 51.9%
එජාප - 25.2%
එජනිස - 12.1%
ජවිපෙ - 6.1%
වෙනත් - 4.7%

ඉහත ප්‍රතිඵල සසඳා බැලූ විට පසුගිය මාස 20 ඇතුළත සිදු (නො)වී තිබෙන වෙනස්කම් නිරීක්ෂණය කළ හැකියි.

1. සජිත් රැල්ලක් කියා එකක් නැත. එජාප ග්‍රාමීය ඡන්ද තරමකින් හෝ අඩු වී මිස වැඩි වී නැත.
2. ජවිපෙ රැල්ලක් කියා එකක්ද පෙනෙන්නටවත් නැත.
3. පොදුජන පෙරමුණේ ඡන්ද යම් තරමකින් වැඩි වී ඇත. එහෙත්, ඒ වැඩි වූ ඡන්ද ප්‍රතිශතය සමඟ වුවද පොදුජන පෙරමුණ තනිව රටේ 50%ක ඡන්ද ගත හැකි තැනක නැත.
4. ශ්‍රීලනිප ඡන්ද යම් තරමකින් හෝ වැඩි වී මිස අඩු වී නැත.

පුංචි ඡන්දය පිළිබඳව මා අනාවැකි පළ නොකළත්, මගේ ඇස්තමේන්තුව වූයේ 2018 පෙබරවාරියේදී ශ්‍රීලනිපය විසින් ලබාගත් ඡන්ද වලින් අඩක්වත් මේ වන විට පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී තිබිය යුතු බවයි. එහෙත් එය එසේ වී නැත. එයින් පෙන්නේ රාජපක්ෂලා සමඟ මොනවා හෝ ප්‍රශ්න තිබෙන සැලකිය යුතු පිරිසක් ශ්‍රීලනිපය සමඟ තවමත් රැඳී සිටින බවයි. මේ පිරිස පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී නැති අතර එජාප හෝ ජවිපෙ වෙතද ගොස් නැත. ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය මත පදනම්ව මේ පිරිස ජනාධිපතිවරණයේදී කෙසේ හැසිරෙනු ඇත්දැයි නිගමනය කළ නොහැකිය.

ඇල්පිටිය ප්‍රතිඵලය ලංකාව ආදේශ කළ විට පෙනෙන චිත්‍රය මෙවැන්නකි.

ශ්‍රීලපොප- 44.7%
එජාප - 28.6%
එජනිස - 12.7%
ජවිපෙ - 5.6%
වෙනත් - 8.4%

මේ අනුව පෙනෙන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කෙරෙන්නේ පොදුජන පෙරමුණ වෙත ගොස් නැති ශ්‍රීලනිප ඡන්ද වලින් බවයි.

(Image: https://www.arabnews.com/node/1562771/world)

Thursday, October 10, 2019

ඡන්ද බිඳෙයි පය බුරුලින්!


ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඇතැම් අපේක්ෂකයින් එසේ ඉදිරිපත් වී සිටින්නේ වෙනත් අපේක්ෂකයෙකුට ලැබෙන ඡන්ද කඩන්න කියා ජනප්‍රිය චෝදනාවක් තිබෙනවා. ස්වරූපය අනුවම, මේ චෝදනාව පරස්පර විරෝධී එකක්. කවර හෝ අපේක්ෂකයෙකුගේ ඡන්ද කැඩෙනවා කියන ප්‍රකාශය ඇතුළේ තිබෙන මූලික උපකල්පනය වන්නේ ඒ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම ලැබෙන ඔහුට හෝ ඇයට "අයිති"  කිසියම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා කියන එකයි. අනෙක් අතට, වෙන කෙනෙක්ට ඉදිරිපත් වී මේ ඡන්ද වලින් කොටසක් ඔහුට හෝ ඇයට ලැබෙන එක වැළැක්විය හැකිනම් එයින් තහවුරු වන්නේ ඒ ඡන්ද අදාළ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම ලැබෙන්නට නියමිතව තිබුණු ඡන්ද නොවන බවයි. ඒ කියන්නේ ඡන්ද කඩන කතාවට තාර්කික පදනමක් නැති බවයි.

කොහොම වුනත් අමතර අපේක්ෂකයෙකු ඉදිරිපත් වන හැම විටෙකම අනෙකුත් අපේක්ෂකයින්ගේ ඡන්ද වලට සුළු හෝ සෘණාත්මක බලපෑමක් වෙනවා කියන එක පැහැදිලි කරුණක්. වටින් ගොඩින් කතා නොකර අපි දැනට තරඟයට ඉදිරිපත් වී ඉන්න අපේක්ෂකයින්ගේ නම් වලින්ම කතා කරමුකෝ. කවුරුත් වගේ පිළිගන්න පරිදි දිනන්න ඉඩක් තිබෙන්නේ ගෝඨාභය හෝ සජිත්නේ. අපි හිතමු තරඟයට ඉදිරිපත් වුනේ මේ දෙන්නා පමණයි කියා. එහෙම වුනානම්, ඡන්දදායකයෙකුට තිබෙන්නේ විකල්ප තුනක් පමණයි. ඒ ගෝඨාභයට ඡන්දය දීම, සජිත්ට ඡන්දය දීම හා ඡන්දය නොදා සිටීම කියන විකල්ප තුනයි. වැඩිම ඡන්ද ගන්න අපේක්ෂකයා වලංගු ඡන්ද වලින් 50%කට වඩා අරගෙන ජනාධිපති වෙනවා.

දැන් ගෝඨාභය හා සජිත්ට අමතරව තෙවන අපේක්ෂයෙකු ලෙස අනුර කුමාර එකතු වෙනවා කියමු. එතකොට මොකක්ද වෙන්නේ? අනුර කුමාරටත් කිසියම් ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ඡන්ද කොටස් තුනකට වර්ග කළ හැකියි. ඒ ගෝඨාභයට ලැබිය හැකිව තිබුණු ඡන්ද, සජිත්ට ලැබිය හැකිව තිබුණු ඡන්ද හා ඒ දෙදෙනාටම ලැබිය නොහැකිව තිබුණු ඡන්ද ලෙසයි. මෙහිදී අනුර කුමාර තරඟයට ඉදිරිපත් වීම නිසා ගෝඨාභය හා සජිත් දෙදෙනාගේම ඡන්ද අඩු වෙනවා. ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශත සමානුපාතිකව ඊටත් වඩා වැඩියෙන් අඩුවෙනවා.

යම් හෙයකින් අනුර කුමාර විසින් ගෝඨාභයට ලැබිය හැකිව තිබුණු ඡන්ද හෝ සජිත්ට ලැබිය හැකිව තිබුණු ඡන්ද එකක්වත් නොගෙන ඒ දෙදෙනාටම ලැබිය නොහැකිව තිබුණු ඡන්ද පමණක් ගත්තත් ගෝඨාභය හා සජිත් දෙදෙනාගේම ඡන්ද ප්‍රතිශත අඩු වෙනවා. එහෙත්, එය සිදු වන්නේ සමානුපාතිකව නිසා ජයග්‍රාහකයා කවුද කියන කරුණ වෙනස් වන්නේ නැහැ. ජයග්‍රාහකයාට 50% නොලැබෙන්නට ඉඩක් තිබුණත් ජයග්‍රහණය වැළකෙන්නේ නැහැ. (මේ උදාහරණයේදී අනුර කුමාර විසින් ලබා ගන්නේ සජිත්ට හා ගෝඨාභයට කොහෙත්ම කැමති නැති අයගේ ඡන්ද පමණක් නිසා ඔවුන් දෙවන මනාපයක් ලබා නොදෙයි කියා උපකල්පනය කළ හැකියි.)

නමුත්, තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වූ විට ඔහුට ලැබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයින්ට ලැබිය නොහැකිව තිබුණු ඡන්ද පමණක් නොවන නිසා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද ප්‍රතිශත වඩා වැඩියෙන් අඩු වෙනවා. ඒ වගේම, එය සිදු වන්නේ සමානුපාතිකව නෙමෙයි. ඇතැම් විට කලින් මුල් තැන සිටි අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශතය වඩා වැඩියෙනුත්, දෙවන තැන සිටි අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශත අඩුවෙනුත් අඩු වීම නිසා (පළමු මනාපය පමණක් සැලකූ විට) ජයග්‍රාහකයා කවුද කියන එක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තෙවන අපේක්ෂයෙකු ඉදිරිපත් වීම නිසා ප්‍රතිඵලය වෙනස් වෙනවා. මෙහිදී සිදු වුනේ තෙවන අපේක්ෂකයා විසින් ඡන්ද කැඩීමක්ද?

එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. තෙවන අපේක්ෂකයෙකු වෙනුවෙන් පළමු මනාපය දෙන අයෙකු එසේ කරන්නේ ඔහු හෝ ඇය ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නාටම වඩා මේ තෙවන අපේක්ෂකයාට කැමති නිසයි. ඒ කියන්නේ තෙවන අපේක්ෂකයා විසින් ලබා ගන්නේ ඔහුගේ හෝ ඇයගේම ඡන්ද මිසක් කාගෙන්වත් කඩා ගන්න ඡන්ද නෙමෙයි. සිවුවන, පස්වන හෝ තිස්පස්වන අපේක්ෂකයාටත් මේ කතාව අදාළයි.

(Image: http://www.dailymirror.lk/article/Towards-the-Presidential-Elections-151637.html)

Wednesday, October 9, 2019

බර ඔබේ උර මතයි!


මැතිවරණ කොමිසම විසින් කියා තිබෙන ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ගණන "අසාමාන්‍ය ලෙස" වැඩි වීම නිසා මැතිවරණ වියදම රුපියල් බිලියනයකින් ඉහළ ගොස් තිබෙනවා. කොහොම වුනත්, පසුගිය ජනාධිපතිවරණ දෙකේදීත් පිළිවෙලින් අපේක්ෂකයින් 22ක් හා 19ක් ඉදිරිපත් වූ නිසා මැතිවරණ කොමිසම විසින් මුලින් වියදම ඇස්තමේන්තු කිරීමේදී අඩු වශයෙන් අපේක්ෂකයින් 20-25 අතර ප්‍රමාණයක්වත් තරඟ කරනු ඇතැයි නොහිතන්න හේතුවක් නැහැ. ඒ නිසා, අනපේක්ෂිත වැඩි වීම අපේක්ෂකයින් 10-15 අතර ප්‍රමාණයකට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. වියදම රුපියල් බිලියනයකින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන්නේ මේ ආකාරයට අනපේක්ෂිත ලෙස වැඩි වූ අපේක්ෂකයින් 10-15 නිසයි. ඒ කියන්නේ එක් අපේක්ෂකයෙකු තරඟයට එකතු වීම නිසා රුපියල් මිලියන 70-100 අතර ප්‍රමාණයකින් ඇස්තමේන්තුගත වියදම ඉහළ ගොස් තිබෙනවා කියන එකයි.

අපේක්ෂකයින් ප්‍රමාණය ඉහළ යන කොට මේ ආකාරයට වියදම ඉහළ යන්නේ කොහොමද?

අපේක්ෂකයින් ගණන වැඩි වන තරමට ඡන්ද පත්‍රිකාවේ දිග වැඩි වෙනවා. මෙවර ඡන්ද පත්‍රිකාව අඩි 2කුත් අඟල් 2ක් (සෙන්ටි මීටර 66ක්) දිග එකක්. ඡන්ද පත්‍රිකාව දිග වැඩි වන තරමට මුද්‍රණ වියදම්ද ඉහළ යනවා. එහෙත්, ඉහළ යන මුද්‍රණ වියදම් කියන්නේ මැතිවරණයේ සමස්ත වියදම ඉහළ යන එක් ආකාරයක් පමණයි. වියදම විශාල ලෙස වැඩි වන්නේ මුද්‍රණ වියදම් ඉහළ යාම නිසාම නෙමෙයි.

ඡන්ද පත්‍රිකාව විශාල වන විට ඡන්ද පෙට්ටියකට දැමිය හැකි ඡන්ද පත්‍රිකා ප්‍රමාණය අඩු වෙනවා. බොහෝ විට එක ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද දමන්නේ එක් පෙට්ටියකට හෝ ගැහැණු හා පිරිමි ලෙස පෙට්ටි දෙකකට වුවත්, මෙවර එසේ කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, මෙවර අමතර ඡන්ද පෙට්ටි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අමතර ඡන්ද පෙට්ටි සකස් කිරීම හෝ අළුතින් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් දැනටමත් කටයුතු කරමින් සිටිනවා. ඡන්ද පෙට්ටි ගණන වැඩි වන විට ඡන්ද පොළකට අවශ්‍ය නිලධාරීන් ගණනත් වැඩි වෙනවා. එවිට වියදමත් ඉහළ යනවා.

ඡන්ද මධ්‍යස්ථානයක් තුළ රැඳී සිටීමට එක් අපේක්ෂකයෙකුගේ නියෝජිතයින් දෙදෙනෙකුට ඉඩ දෙනවා. අපේක්ෂකයින් 35ක් කියා කියන්නේ නියෝජිතයින් 70ක්. ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළේ අපේක්ෂකයන්ගේ නියෝජිතයින් 70කට පහසුකම් සැලසීම ඉතා අසීරු කටයුත්තක්. මේ සඳහා ලොකු ඉඩක් අවශ්‍යයි. ඒ වගේම 70 දෙනෙකුගේ අනන්‍යතා පරීක්ෂා කිරීම ආදිය වෙනුවෙන් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. මේ ආකාරයට උදෙන්ම ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණෙන නියෝජිතයින් හවස් වන තුරුම එක දිගට එහි රැඳී ඉන්නේ නැහැ. බොහෝ දෙනෙක් කෑම, තේ ආදිය සඳහා පිටත යන්නේ තමන් වෙනුවට ආදේශකයින් අසුන් ගන්වලා. එහෙම ඡන්දපොළ නියෝජිතයින් මාරු වන සෑම විටෙකම ඔවුන්ගේ අනන්‍යතා පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ වගේම, මෙවැනි පිරිසක් ඡන්ද මධ්‍යස්ථානය ඇතුළේ ගැවසෙන විට ඔවුන්ව නිරීක්ෂණය කිරීමට හා පාලනය කර ගැනීමට නිලධාරීන් වැඩි පිරිසක් අවශ්‍ය වෙනවා. ඒ වගේම, අමතර පොලිස් නිලධාරීන් ප්‍රමාණයක්ද අවශ්‍ය වෙනවා.

දැනට තෝරාගෙන තිබෙන ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දපොළ නියෝජිතයින් 70කට පහසුකම් සැලසීමට ඉඩකඩ මදි විය හැකියි. මැතිවරණ කොමිසමට එවැනි තැන් වෙනුවට වඩා ඉඩකඩ තිබෙන විකල්ප ස්ථාන හඳුනා ගන්න වෙනවා. මේ තත්ත්වය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලටත් බලපානවා. ගණන් කිරීමේ මධ්‍යස්ථානයක රැඳී සිටීමට එක් අපේක්ෂකයෙකුගේ නියෝජිතයින් 5 දෙනෙකුටම අවසර ලැබෙනවා. මේ අනුව මෙවර නියෝජිතයින් 175 දෙනෙකුට පහසුකම් සැලසිය යුතුයි. ඔය තරම් පිරිසකට එකවර ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ හැකිද කියන එකත් ප්‍රශ්නයක්. මෙවැනි පිරිසකට ඉඩ ලබා දෙන්න පුළුවන් තරම් ඉඩකඩ නැති ගණන් කිරීමේ මධස්ථාන වෙනුවට විකල්ප ස්ථාන හොයා ගන්න වෙයි.

ඔයාකාරයට ඉඩකඩ ඇති තැන් හොයා ගත්තත්, ගණන් කිරීමේ කටයුත්තට වෙනදාට වඩා වැඩි කාලයක් යනවා. ඒ වගේම වැඩි නිලධාරීන් පිරිසක්ද අවශ්‍ය වෙනවා. එයට සමාන්තරව ඔවුන්ට කෑම බීම, වැසිකිලි, ප්‍රවාහන පහසුකම් වැනි සුබසාධන සේවා සැපයීම සඳහා යන වියදම් වගේම ඒ වැඩ වලට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණයත් ඉහළ යනවා. ඒ වගේම විදුලි බිල්, ජල බිල්, ජෙනරේටර් සඳහා වියදම් ආදී අනෙකුත් වියදම්ද වැඩි වෙනවා. මැතිවරණ කොමිසම විසින් ඉහත කී පරිදි රුපියල් බිලියනයකින් වියදම ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කරන්න ඇත්තේ මේ කරුණු සියල්ල සලකා බැලීමෙන් පසුවයි.

මැතිවරණ කොමිසමේ ඇස්තමේන්තු අනුව එක් අමතර අපේක්ෂකයෙකු නිසා මැතිවරණ වියදම රුපියල් මිලියන 70-100කින් පමණ ඉහළ යන පේනවා. නමුත්, අපේක්ෂකයෙකු විසින් ඇප සේ තැන්පත් කළ යුත්තේ රුපියල් 50,000ක් හෝ 75,000ක් පමණයි. ඉතිරි වියදම් පැටවෙන්නේ සාමාන්‍ය මහ ජනතාවගේ උර මතයි. මැතිවරණයේ මුළු වියදම ඡන්දදායකයන් සියල්ලන්ම විසින් සම සමව දරා ගන්නවා කියාත්,  ඒ ආකාරයට වියදමට දායක වෙන්නේ තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා නිසා කියාත් හිතුවොත්, කිසියම් අවම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයින් තරඟයට එකතු වීම හේතුවෙන් වෙනත් අයට අනවශ්‍ය බරක් වැටෙන්නේ නැහැ කියා නිගමනය කරන්න පුළුවන්.

මේ අවම ඡන්ද ප්‍රමාණය කොපමණද? එක් ඡන්දදායකයෙකු තරඟයෙන් ඉවත් වුවහොත් මැතිවරණයේ වියදම පහළ යන්නේ රුපියල් මිලියන 70-100කින්. එනම්, මුළු වියදමෙන් 1.5%-2%ක් පමණ අඩු වෙනවා. ඒ නිසා, කිසියම් අපේක්ෂකයෙකු විසින් අඩු වශයෙන් මුළු ඡන්ද වලින් 2%ක් පමණවත් ලබා ගන්නවානම් එවැන්නෙකු ඡන්දයට ඉදිරිපත් වීමේ වියදම ඔහුගේ හෝ ඇයගේ ඡන්දදායකයින් විසින් පියවා ඇතැයි නිගමනය කරන්න පුළුවන්. එසේ නැත්නම්, අදාළ අපේක්ෂකයා තරඟයට එකතු වීම නිසා ඉහළ ගිය වියදම ගෙවන්න වෙන්නේ ඒ අපේක්ෂකයාගේ දේශපාලනය සමඟ එකඟ නොවන, ඔහුට හෝ ඇයට අකැමැති වෙනත් ඡන්දදායකයින්ටයි.

ලංකාවේ පැවැත්වුණු පළමු ජනාධිපතිවරණ දෙකට ස්වාධීන අපේක්ෂයින් ඉදිරිපත් වුනේ නැහැ. පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හය දෙනෙකුගෙන් හතර දෙනෙකු හා දෙවන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ තිදෙනාම 2% ඉක්මවා ඡන්ද ලබාගත්තා. එහෙත්, ඉන් පසුව, 1999 ජවිපෙ අපේක්ෂකයා හැර වෙනත් කිසිදු තෙවන අපේක්ෂකයෙකු 1% ඉක්මවා ඡන්ද ලබා නැහැ. මෙවර ඉදිරිපත්ව සිටින අපේක්ෂයින්ගෙන් සිවු දෙනෙකු හැර ඉතිරි අය 1% මට්ටම නොඉක්මවන බව පැහැදිලියි. ඔවුන් නිසා ඉහළ යන වියදම වැටෙන්නේ ඔවුන්ට කැමැත්තක් නොදක්වන ඡන්දදායකයින්ගේ උර මතයි.

ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඇතැම් අය තරඟයට ඉදිරිපත්ව සිටින්නේ තමන්ගේ මතවාදය ප්‍රවර්ධනය කිරීමටයි. ඔවුන්ට තමන්ගේ මතවාදය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ ඒ මතවාද වලට ඉල්ලුමක් නැති නිසයි. ඉල්ලුමක් නැති මතවාදයක් කවුරු හෝ විසින් ප්‍රවර්ධනය කිරීමේ වරදක් නැහැ. හැබැයි තමන්ගේ වියදමෙන් හෝ තමන්ගේ මතවාදයට කැමති අයගේ වියදමෙන්!

Monday, October 7, 2019

ජනාධිපති තරඟය ලාබ වැඩියිද?

මේ වන විට නොවැම්බර් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. ඇප මුදල් තැන්පත් කළ අයගෙන් හය දෙනෙකු නාම යෝජනා භාර දී නැහැ. ඒ අය අතරින් චමල් රාජපක්ෂ නාම යෝජනා භාර නොදීමට හේතුව පැහැදිලි කරුණක්. ඔහු ඇප මුදල් තැන්පත් කළේ ගෝඨාභයට එරෙහි නඩුවේ තීන්දුව අවාසිදායක එකක් වුනානම් ගෝඨාභය වෙනුවට තරඟ කිරීමටයි. නාම යෝජනා නුදුන් ඉතිරි අය අතර කුමාර් වෙල්ගමත් කැපී පෙනෙනවා.

කොහොම වුනත්, අවසාන වශයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. මෙය වාර්තාගත තරඟකරුවන් ගණනක්. තරඟකරුවන් ප්‍රමාණය ඉහළ යාම නිසා ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදම රුපියල් බිලියන හතරේ සිට පහ දක්වා රුපියල් බිලියනයකින් ඉහළ යනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් ගණන ඉහළ යන තරමට ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදමත් ඉහළ යනවා. නමුත්, එය සිදු වන්නේ රේඛීය ලෙස නෙමෙයි. ඒ කියන්නේ වැඩිවන සෑම අපේක්ෂකයෙකු හේතුවෙන්ම වියදම වැඩි වන්නේ සමාන මුදලකින් නෙමෙයි.

තරඟ කරන්නේ එක් අයෙක් පමණක්නම්, ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු නැහැ. ඒ නිසා, වියදම නොසලකා හැරිය හැකි තරම් සුළු වියදමක් පමණයි. එහෙත්, තරඟකරුවන් ගණන දෙදෙනෙකු වූ වහාම වියදම විශාල ලෙස ඉහළ යනවා. ජනාධිපතිවරණය පැවැත්වීමේ අවම වියදම මෙන්ම දෙවන තරඟකරුවකු ඉදිරිපත් වීමේ ආන්තික වියදම රුපියල් බිලියන 3.5 කට අඩු නැතැයි මා හිතනවා. මැතිවරණ රාජකාරි වල නිරත වන නිලධාරීන් වෙනුවෙන් ගෙවිය යුතු දීමනා, ඉන්ධන වියදම් ඇතුළු ප්‍රවාහන වියදම් හා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ වියදම් ආදිය මෙයට ඇතුළත්.

තරඟකරුවන් ගණන වැඩිවන තරමට මේ සියලුම වියදම් ඉහළ යනවා. මා හිතන ආකාරයට තෙවන අපේක්ෂකයාගෙන් පසුව වැඩිවන සෑම අපේක්ෂකයෙකු නිසාම ඉහළ යන ආන්තික පිරිවැය යම් තරමකින් හෝ ටිකින් ටික ඉහළ යනවා. ඒ කියන්නේ, තෙවන අපේක්ෂකයෙකු එකතු වීම නිසා වියදම රුපියල් මිලියන 30කින් ඉහළ යනවානම්, සිවුවන අපේක්ෂකයෙකු එකතු වූ විට වියදම රුපියල් මිලියන 30කට වඩා වැඩියෙන් ඉහළ යනවා.


මේ ආකාරයට තරඟයට අමතර අපේක්ෂකයෙකු එකතු වීම නිසා ඉහළ යන මැතිවරණ වියදම තරඟ කරන මුළු අපේක්ෂයින් ගණන මත තීරණය වන්නක් වුවත්, අපට කිසිදු අපේක්ෂකයකු පළමු අපේක්ෂකයා හෝ අවසන් අපේක්ෂකයා ලෙස නම් කරන්න පදනමක් නැති නිසා කිසියම් නිශ්චිත අපේක්ෂකයෙකු තරඟයට එකතු වීම නිසා ඉහළ ගිය මැතිවරණ වියදම ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, එක් අපේක්ෂයෙකුගේ වියදම ලෙස අපට සලකන්න වෙන්නේ මුළු වියදම අපේක්ෂකයින් ගණනෙන් බෙදූ විට ලැබෙන මුදලයි.

රුපියල් බිලියන පහක වියදම තිස් පහෙන් බෙදූ විට රුපියල් මිලියන 143ක පමණ මුදලක්. නමුත්, එයින් කියැවෙන්නේ එක් අපේක්ෂකයෙකු තරඟයෙන් ඉවත් වූවානම් රුපියල් මිලියන 143ක පමණ මහජන මුදල් ඉතිරි වන බව නෙමෙයි. එසේ ඉතිරි වන මුදල රුපියල් මිලියන 30කට පමණ ආසන්න මුදලක් විය හැකියි. පසුගිය ජනාධිපතිවරණ සඳහා වැය වූ මුදල් ප්‍රමාණ පිළිබඳ දත්ත තිබේනම් මේ මුදල වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි.

හරි. ගණන කීය වුනත් තරඟකරුවෙකු එකතු වීමේ සැලකිය යුතු වියදමක් තියෙනවනේ. දැන් මේ වියදම දරන්නේ කවුද?

වියදම දරන්නේ රටේ ජනතාව මිස ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් නෙමෙයි. අපි 18ට අඩු අය අයින් කරලා රටේ ඡන්දදායකයින් ගණනින් බෙදලා බලමු. මේ ගණන මිලියන 15.7ක්නේ. ඒ කියන්නේ එක් ඡන්දදායකයෙකු විසින් දරන වියදම රුපියල් 320ක් පමණ වෙනවා.

මැතිවරණ පැවැත්වීම වෙළඳපොළ යාන්ත්‍රනය තුළ තීරණය වන ක්‍රියාවලියක් නොවන නිසා ඡන්දදායකයකුට මැතිවරණයේ වටිනාකම රුපියල් 320ට වඩා වැඩිද කියා අපිට හරියටම නිගමනය කරන්න බැරි වුනත්, එය එසේයැයි අපි උපකල්පනය කරමු. බොහෝ දෙනෙක් මැතිවරණයෙන් තමන් කැමති අපේක්ෂකයාව තෝරා පත් කර ගන්න විශාල උනන්දුවක් දරනවනේ. ඒ උනන්දුව එක්ක බැලුවහම ඔය රුපියල් 320 ලොකු ගාණක් නෙමෙයි කියා හිතන්න අමාරු නැහැ.

එතකොට ඡන්දය නොදාන අය? ඒ අය අතරෙන් වුවත් සෑහෙන පිරිසකට ජනාධිපතිවරණය රුපියල් 320ක් වටිනවා කියා මම හිතනවා. ඔවුන් ඡන්දය නොදැමීමෙන් අදහස් වන්නේ ඡන්දය දමන අයගේ බහුතර තීරණය සමඟ අනුගත වීමට තිබෙන කැමැත්ත මිසක් ඡන්දය පැවැත්වෙනවාට තිබෙන අකැමැත්තක් කියා මම හිතන්නේ නැහැ. නමුත්, මැතිවරණ අවශ්‍ය නැති, මැතිවරණය වෙනුවෙන් රුපියල් 320ක් වැය කරන්න කැමති නැති යම් පිරිසකුත් ඇති. ඒ අයටනම් සිදු වෙන්නේ අකැමැත්තෙන් මැතිවරණ වියදම් වලට දායක වෙන්නයි. එහෙම අය ගොඩක් ඉන්නවා කියා මම හිතන්නේ නැහැ. මොකද මැතිවරණ තියන්න කියා ඉල්ලන අය මිසක් මැතිවරණ එපා කියා කියන අය එතරම් නැහැනේ.

මේ විදිහට රටේ ගොඩක් අය ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් 320 බැගින් ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා කියා හිතුවොත්, ඔවුන් ඒ මිල කැමැත්තෙන් ගෙවන්නේ තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු දැකීමෙන් ලබන මානසික සතුට හා වෙනත් මුදල් වාසි ඇත්නම් ඒවා වෙනුවෙනුයි. වෙනත් අයෙකු ජයග්‍රහණය කළොත් ඒ සතුට ලැබෙන්නේ නැහැ.

තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි සහතිකයක් කිසිදු ඡන්දදායකයෙකුට නැහැ. එහෙත්, ඒ සඳහා කිසියම් සම්භාවිතාවක් තිබෙන බව ඔවුන් දන්නවා. අපේක්ෂයා දිනුවොත් ලැබෙන මානසික හෝ මුදල් වාසිය මේ සම්භාවිතාවයෙන් ගුණ කළ විට ඡන්දදායකයෙකුගේ අපේක්ෂිත වාසියේ වටිනාකම ලැබෙනවා. ඡන්දදායකයෙකු ඡන්දයකට කැමති වන්නේ මේ අපේක්ෂිත වාසිය මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිලට වඩා වැඩිනම් පමණයි.

ඇතැම් ඡන්දදායකයින්ට මේ විදිහට මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවීමෙන් පසුව ලැබෙන අතිරික්ත වාසිය වුවත් ගොඩක් වැඩියි. මැතිවරණ වලදී තමන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් මුදල් හා ශ්‍රමය වැය කරන්නේ එවැනි අයයි. තවත් ඇතැම් අයට කවුරු දිනුවත් වෙනසක් නැහැ. ඒ නිසා, මැතිවරණයෙන් වැඩක් නැහැ. නමුත්, එහෙම කියලා එවැන්නෙකුට මැතිවරණයේ වියදම් වලට දායක නොවී සිටීමේ හැකියාවක් නැහැ. රජය ඒ මුදල කොහොමටත් බලෙන්ම ගන්නවා. ඒ නිසා, එවැන්නෙකුට කළ හැක්කේ මැතිවරණය හා අදාළව තමන්ගේ පාලනය යටතේ තිබෙන වියදම් කොටස අඩු කර ගැනීම පමණයි. ඡන්දය නොදා සිටීම එය කරන එක් ක්‍රමයක්.

දැන් මේ ඡන්දදායකයාගේ පැත්තනේ. එතකොට අපේක්ෂකයාගේ පැත්ත?

අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ලැබෙන ප්‍රධානම වාසිය වන්නේ එසේ ඉදිරිපත් වීමෙන් රටේ ජනාධිපති වීමට අවස්ථාවක් ලැබීමයි. ජනාධිපති වීමේ වාසි ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත්, මේ වාසි ලැබෙන්නේ දිනුවොත් පමණයි. දිනන එක සහතික නැහැ. එහෙත්, දිනන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. ඒ අනුව, ලැබෙන අපේක්ෂිත වාසිය ගණනය කළ හැකියි. දිනන්න කවර හෝ සම්භාවිතාවක් පෙනෙන්නට ඇති අයෙකුට මේ අපේක්ෂිත වාසිය ඉතා විශාල එකක්. එයට සාපේක්ෂව දැරිය යුතු වියදම එතරම් විශාල නැහැ.

නමුත්, මේ වාසිය තිබෙන්නේ ජයග්‍රහණය කිරීමට කවර හෝ සම්භාවිතාවක් ඇත්නම් පමණයි. එහෙමනම්, ජයග්‍රහණය කරන්න කිසිම ඉඩක් නැති බව හොඳින්ම දන්නා අපේක්ෂයින් බුරුතු පිටින් තරඟයට ඉදිරිපත් වෙන්නේ ඇයි?

මෙයට හේතුව, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට කිසිදු ඉඩක් නැතත්, තරඟයට ඉදිරිපත් වීමේ වෙනත් වාසි තිබීමයි. මේ වෙනත් වාසි යනු ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා ලැබෙන ප්‍රචාරනාත්මක වාසියයි.

මේ වාසියත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇතැම් අපේක්ෂකයින් හා ගත් විට ඔවුන් මේ ප්‍රචාරනාත්මක වාසිය යොදා ගන්නේ තමන්ගේ අනාගත දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන්. නමුත්, මේ වන විට මීට අමතරව මේ ප්‍රචාරනාත්මක වාසිය දේශපාලනික නොවන පෞද්ගලික වාසි වෙනුවෙන් ලබා ගැනීමේ ප්‍රවනතාවක්ද ඇති වී තිබෙනවා. ඒ පෞද්ගලික වාසිය වෙනත් අපේක්ෂයෙකු දිනවීමෙන් හෝ වෙනත් අපේක්ෂයෙකුගේ ජයග්‍රහණය වැළැක්වීමෙන් ලබන වාසියක් වෙන්නත්, ඒ දෙකම නොවන වඩා පෞද්ගලික ආකාරයේ වාසියක් වෙන්නත් පුළුවන්.

මේ යන ආකාරයට ගියොත් අනාගතයේදී වෙළඳ ප්‍රචාරණය අරමුණු කර ගනිමින් වුවත් අපේක්ෂකයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි. උදාහරණයක් විදිහට කුඩ නිෂ්පාදකයෙකුට තමන්ගේ කුඩ ප්‍රචාරණය කර ගැනීම පිණිස කුඩය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එය වෙළඳ දැන්වීම් වෙනුවෙන් මුදල් වැය කරනවාට වඩා ලාබ විය හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුව බැලුවොත්, දිනන්න ඉඩක් තිබුණත් නැතත්, ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ හැරීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම, නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුව බැලුවොත් කවුරු හෝ තමන්ට කවර හෝ වාසියක් ලැබෙන කටයුත්තක නිරත වීමේ වැරැද්දක් නැහැ. ඒ නිසා යමෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ දිනීමේ අරමුණින්ද එහෙම නැත්නම් වෙනත් අරමුණකින්ද කියන එක අදාළ කරුණක් නෙමෙයි. එහෙමනම්, මේකේ තියෙන වැරැද්ද මොකක්ද?

මෙතැන තිබෙන වැරැද්ද මෙහිදී අනුන්ගේ පානෙන් එළිය බැලීමක් හෙවත් ෆ්‍රී රයිඩින් ප්‍රශ්නයක් තිබීමයි. කෙනෙක් කිසියම් වාසියක් ලැබීමේ කිසිදු අවුලක් නැතත්, එහි මිල ගෙවන්න වෙන්නේ වෙන අයෙකුටනම් එහි වැරැද්දක් තිබෙනවා. මෙහිදී, සුළු පිරිසක් විසින් අනිසි සේ ලබා ගන්නා ප්‍රචාරාත්මක වාසියේ මිල ගෙවන්න සිදු වන්නේ ඒ මිල ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් හෝ කැමැත්තක් නැති පිරිසකටයි.

උදාහරණයක් විදිහට ටියුෂන් ගුරුවරයෙක් තමන්ට වැඩිපුර සිසුන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරණයට තරඟ කරනවා කියා හිතමු. ඔහුට දිනන්න කිසිදු අරමුණක් නැහැ. ජනාධිපතිවරණයට තරඟ කර ලබන ප්‍රචාරනාත්මක වාසිය වෙන ආකාරයකින් ලබා ගන්නනම් ඔහුට මිලියන ගණනක් වැය වෙනවා. මේ වැඩේ ඊට වඩා ලාබයි. ඒ නිසා, ඔහුට විශාල වාසියක් ලැබෙනවා. එහි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ඔහු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා මිලියන ගණනකින් මැතිවරණ පිරිවැය ඉහළ යාමයි. එය ගෙවන්න වෙන්නේ වෙනත් පිරිසකටයි. ඔවුන්ට ඒ මිල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. රජයෙන් ඒ මුදල ඔවුන්ගෙන් බලෙන්ම අය කර ගන්නවා.

ඉහත කී තත්ත්වය වලක්වා ගන්නනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයෙකුගෙන් එහි මිල අය කර ගත යුතුයි. තරඟකරුවන් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල හරහා සිදු වන්නේ මේ කාර්යයයි. අවශ්‍ය අවම ඡන්ද ප්‍රතිශතය ලබා ගන්නා අපේක්ෂකයෙකුට තමන් විසින් තැන්පත් කළ ඇප මුදල ආපසු ලැබෙනවා. ඔවුන්ගේ මැතිවරණ පිරිවැය කොටහ ගෙවන්නට කැමැත්තෙන් සිටින පිරිසක් රටේ සිටින බව තහවුරු වී තිබෙන නිසා ඇප මුදල ආපසු දීමේ වැරැද්දක් නැහැ. එහෙත්, ඒ බව තහවුරු කළ නොහැකි අය තමන් නිසා ඉහළ ගිය මැතිවරණ වියදම් පියවිය යුතුයි. ඇප මුදල් රාජසන්තක කිරීමේ මූලධර්මය මෙයයි.

ජනාධිපතිවරණයට තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු විසින් රුපියල් 50,000ක මුදලක්ද ස්වාධීන අපේක්ෂකයෙකු විසින් රුපියල් 75,000ක මුදලක්ද ඇප සේ තැන්පත් කළ යුතුයි. මේ ඇප මුදල ආපසු ලැබෙන්නේ 12.5%ක අවම ඡන්ද ප්‍රතිශතයක් ලබාගතහොත් පමණයි. මෙතෙක් ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම සිදුවී තිබෙන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයින් දෙදෙනාගේ හැර අනෙකුත් සියලුම අපේක්ෂයින්ගේ ඇප මුදල් රාජසන්තක වීමයි. මේ ආකාරයට තමන්ගේ ඇප මුදල රාජසන්තක වන බව දැන දැනම බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඇප ලෙස තැන්පත් කරන සොච්චම් මුදලට සාපේක්ෂව තමන්ට ලැබෙන ප්‍රචාරනාත්මක වාසිය ගොඩක් වැඩි නිසයි.

මේ ඇප මුදල් නිර්ණය වී තිබෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පණතේ ප්‍රතිපාදන අනුවයි. 1981දී රුපියල් 50000ක් කියා කියන්නේ සැලකිය යුතු මුදලක්. ඒ වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 5,725ක් පමණයි. එහෙත්, 2018 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 666,817 දක්වා 116 ගුණයකින් වැඩි වී තිබෙනවා. මේ වැඩි වීමට උද්ධමනය හේතුවෙන් රුපියලේ මූර්ත අගය පහළ යාම සහ මූර්ත ආර්ථික වර්ධනය යන කරුණු දෙකම හේතු වී තිබෙනවා. එයට සමාන්තරව මැතිවරණ වියදම්ද ඉහළ ගොස් ඇතත් අපේක්ෂයින් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණ වෙනස් වී නැහැ.

පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂයක අපේක්ෂයෙකු විසින් තැන්පත් කළ යුතු වූ ඇප මුදල එවක රටේ ඒක පුද්ගල ආදායම මෙන් 8 ගුණයකටත් වැඩියි. එසේ තිබියදීත් අපේක්ෂකයින් 6 දෙනෙකු තරඟයට ඉදිරිපත් වුනා. ඉන් පසුව, රටේ ආදායම් ක්‍රමයෙන් ඉහළ යද්දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය ඇප මුදල ක්‍රමක්‍රමයෙන් සුළු මුදලක් බවට පත් වුනා. රුපියල් 50,000ක් කියා කියන්නේ 2018දී ලංකාවේ ඒක පුද්ගල ආදායමෙන් 1/13කටත් අඩු මුදලක්. මේ ආකාරයට ඇප සේ තැන්පත් කළ යුතු මුදලේ නාමික අගය වෙනස් නොවීම හා මූර්ත අගය පහළ යාමට සමාන්තරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තරඟකරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.

1982- 6
1989- 3
1994- 6
1999- 13
2005- 13
2010- 22
2015- 19
2019- 35

රටේ ඒක පුද්ගල ආදායම ඉහළ යාම සැලකුවොත් 1981දී නිර්ණය වූ රුපියල් 50,000 හා 75,000 මුදල් ප්‍රමාණ 2018 වන විට රුපියල් මිලියන 5.8 හා රුපියල් මිලියන 8.7 මට්ටමට ඉහළ ගොස් තිබිය යුතුයි. නමුත්, එසේ වී නැහැ. ඊළඟ ජනාධිපතිවරණයට පෙර හෝ මේ ඇප මුදල් ප්‍රමාණ විශාල ලෙස ඉහළ නොදැම්මොත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයින් ගණන සීය පන්නයි.

Sunday, August 25, 2019

දත්ත මත පදනම් වූ ආර්ථික ගමනක්!

"සත්‍ය තොරතුරු, සත්‍ය දත්ත මත අපි අපේ ඉදිරි ගමන ක්‍රියාත්මක කරන්න ඕනෑ. විශේෂයෙන්ම දත්ත මත පදනම් වූ, දැනුම මත පදනම් වූ ආර්ථික ගමනක්, සමාජීය ගමනක්, ජාතික ගමනක් අපි ක්‍රියාත්මක කරන්න ඕනෑ."


මේ කතා කරන්නේ සජිත් ප්‍රේමදාස. ඔහුට තවමත් නිල වශයෙන් එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වී නැහැ. එය ඔහුට හිමි වේදැයි අප දන්නේ නැහැ. ඔහුට අපේක්ෂකත්වය ලැබුණත්, එතැනින් එහාට කොයි තරම් දුරක් ඔහුට යන්න හැකි වේදැයි අපි දන්නේ නැහැ. කොහොම වුනත්, අවස්ථාවක් ලැබුනොත් ඔහු යන්න හිතාගෙන ඉන්න ගමන ගැනයි මෙහි ඔහු කියන්නේ. ඔහු

මෙහි කියන සත්‍ය තොරතුරු හා සත්‍ය දත්ත මොනවාද කියා ඔහු කියන්නේ නැහැ. එහෙත් මෙහි සත්‍ය කියන විශේෂණය යෙදීමෙන් ඔහු පෙන්වන්න හදන්නේ බොරු තොරතුරු හා බොරු දත්ත මත ඔහුගේ ඉදිරි ගමන ක්‍රියාත්මක නොකරන බව වෙන්න පුළුවන්. එහෙත්, බොරු තොරතුරු හා බොරු දත්ත වලින් සත්‍ය තොරතුරු හා සත්‍ය දත්ත වෙන් කර ගන්නා ආකාරය ගැන ඔහු කිසිවක් කියා නැහැ.

සජිත් විසින් මේ කතාව කළ රැළිය සංවිධානය කර තිබුණේ මංගල සමරවීර විසිනුයි. මංගල සමරවීර දැනටත් ලංකාවේ මුදල් ඇමති. ලංකාවේ රජයේ අයවැය හදන්නේ කවුරු වුනත්, එය පාර්ලිමේන්තුවේ කියවන්නේ මුදල් ඇමති විසින්. ඒ නිසා, සජිත්ගේ රැළියේදී මුදල් ඇමති මංගල විසින් ඉදිරිපත් කළ තොරතුරු හා දත්ත වලට අපේ අවධානය යොමු විය යුතුයි.

හැත්තෑ හත දක්වාම ලංකාවේ ආණ්ඩු මාරු වලට නිකම් ලැබෙන ආහාර සලාකය හා බඩු මිල බලපෑවා. සිරිමාවෝ බණ්ඩාරනායකගේ හඳෙන් හාල් වලට වගේම ජේආර්ගේ ඇට අටටත් අදාළ මැතිවරණ වලදී ඡන්ද වැටුනා. ජේආර් විසින් නැති කළ හාල්පොත නැවත ලබාදීම අසූ දෙකේ ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව කඳවුරේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වුනා. එහෙත්, අසූ දෙකේදී  හෙක්ටර් කොබ්බෑකඩුවට හාල්පොත පෙන්නා ඡන්ද ගන්න බැරිවුනා.

හැත්තෑ හතෙන් පස්සේ ලංකාවේ බඩු මිල සෘජුව රජය මඟින් පාලනය කළ ක්‍රමය වෙනස් වුනා. ඉන් පසු, අද වන තුරුම බොහෝ පාරිභෝගික භාණ්ඩ වල මිල තීරණය කෙරෙන්නේ විවෘත වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මතයි. ඒ වෙනසින් පසුව, ලංකාවේ මැතිවරණ වලදී නිකම් ලැබෙන හාල් හෝ හාල් සේරුවක මිල වැනි නිර්ණායක වලට ලැබුණේ අඩු වැදගත්කමක්.

රණසිංහ ප්‍රේමදාස මැතිවරණයට ඉදිරිපත් වෙමින් ප්‍රකාශ කළේ නැති බැරි අය ඇති හැකි අය කරන බවයි. මෙය එතෙක් කල් සමාජවාදීන් විසින් පට්ට ගැසූ ධනපතියන් භංග කිරීමේ විකල්පයට වඩා බොහෝ ඉදිරිගාමී අදහසක්. අද වන විට ලංකාවේ ජන බලයක් සහිත සියලුම දේශපාලන පක්ෂ පෙනී සිටින්නේ රටේ මිනිස්සුන්ට ජීවත්වීමට අවශ්‍ය මූලික දේ මිල දී ගත හැකි තරම් ආදායමක් ඉපැයීමට අවස්ථා සැපයෙන ක්‍රමයක් වෙනුවෙන් මිස, දැනට ලබන ආදායමට මිල දී ගත හැකි තරම් අඩු මට්ටමකට  භාණ්ඩ මිල සීමා කරන ක්‍රමයක් වෙනුවෙන් නෙමෙයි. මිල පාලනය බොහෝ යල් පැන ගිය අදහසක්.

සෘජු මිල පාලනය යල් පැනගිය අදහසක් වුවත් ලෝකයේ හැම ආණ්ඩුවක්ම වක්‍ර ලෙස භාණ්ඩ හා සේවා මිල පාලනය කරනවා. මෙය කරන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කර ගනිමිනුයි. ඒ නිසා, ලංකාවේ හෝ වෙනත් රටක කිසියම් භාණ්ඩයක මිල මුළුමනින්ම වෙළඳපොළ සාධක මත පමණක් නිර්ණය වනවා කියා කියන්න බැහැ.



මාතර රැළියේදී මංගල සමරවීර විසින් යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලංකාවේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ගණනාවක හා ඉන්ධන වල මිල වෙනස් වූ ආකාරය දත්ත ඉදිරිපත් කරමින් පෙන්නා දෙනවා. දත්ත වල මූලාශ්‍රය පිළිබඳවනම් සඳහනක් නැහැ. ඔහු පෙන්වන ආකාරයට මේ හැම භාණ්ඩයකම වාගේ මිල ගණන් යහපාලන ආණ්ඩුව පැවති කාලය තුළ අඩු වී තිබෙනවා. සීනි වල පමණක් එදා මිල ගැන මිස අද මිල ගැන ඔහු කතා කරන්නේ නැහැ. සමහර විට ඔහු සතු දත්ත අනුව සීනි මිල වැඩි වී තිබෙන නිසා ඔහු එය හිතාමතා මගහැරියා වෙන්න පුළුවන්.


මංගලගේ ලැයිස්තුවේ තිබෙන ආහාර ද්‍රව්‍ය සියල්ලේම වාගේ සාමාන්‍ය මිල ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි. ඔවුන් සාමාන්‍යයෙන් එක කඩයකින් මිල ගණන් ලබා ගන්නේ නැහැ. දිවයින පුරා පිහිටි වෙළඳසැල් ගණනාවකින් මිල ගණන් ලබාගෙන සාමාන්‍ය අගයකුයි ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ. ඒ වගේම, සෑම සතියකම එකම තත්ත්වයේ භාණ්ඩ වල මිල ගණන් ලබා ගැනීමටත් ඔවුන් සැලකිලිමත් වෙනවා. මේ සතියේ ලොකු පොල් ගෙඩියක මිලත්, ලබන සතියේ ඊට වඩා පොඩි පොල් ගෙඩියක මිලත් ගන්නේ නැහැ. ඒ නිසා,  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල දත්ත වඩා නිවැරදියි. ඉන්ධන වර්ග වල මිල ගණන් තෙල් සංස්ථාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. පහත තිබෙන්නේ මංගලගේ ලැයිස්තුවේ තිබෙන පාරිභෝගික භාණ්ඩ වල (ගෑස් වල හැර) 2015 ජනවාරි පළමු සතියේදී හා 2019 අගෝස්තු දෙවන සතියේදී මිල ගණන් පිළිබඳ නිල සංඛ්‍යාලේඛනයි.

මංගලගේ තොරතුරු නිල සංඛ්‍යාලේඛන තරමටම "සත්‍ය තොරතුරු, සත්‍ය දත්ත" බව පෙනෙන්නේ නැතත්, පොදු වශයෙන් බැලූ විට මේ ලැයිස්තුවේ තිබෙන බොහෝ පාරිභෝගික භාණ්ඩ වල මිල පසුගිය කාලය තුළ අඩු වී තිබෙන බව හෝ ලොකුවට වැඩි වී නැති බව පෙනෙනවා. එසේ වුවත්, මෙවැනි තෝරාගත් භාණ්ඩ කිහිපයක මිල අඩු වීමට හේතුව රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය බව කියන්න බැහැ. කිසියම් නිශ්චිත භාණ්ඩයක මිලට සැපයුම් සාධක වලින් විශාල බලපෑමක් සිදුවිය හැකියි. උදාහරණයක් විදිහට වී අස්වනු හොඳ වන විට හාල් මිල අඩු වෙන්නේ ආණ්ඩුව විසින් කරන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා, රටේ භාණ්ඩ මිල විචලනය වීම ගැන පොදුවේ බලන විට භාණ්ඩ හා සේවා රැසක් අඩංගු පැසක මිල වෙනස් වූ ආකාරය විමසා බලන්න වෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එය කරනවා.

පහත තිබෙන්නේ පවුලක සාමාන්‍ය වියදම් මත පදනම්ව, ජාතික පාරිභෝගික මිල දර්ශනය පිළියෙළ කිරීමේදී උපයෝගී කරගන්නා දත්ත අනුසාරයෙන් කළ එවැනි සංසන්දනයක්.


යහපාලන ආණ්ඩුව පැවති කාලයේ පොදු වශයෙන් බැලූ විට කිසිදු කාණ්ඩයක භාණ්ඩ හා සේවා මිල අඩු වී නැහැ. මංගල විසින් තෝරා ගෙන තිබෙන ආහාර හා ඉන්ධන කියන්නේ අඩුවෙන්ම මිල වැඩි වී ඇති කාණ්ඩ තුනෙන් දෙකක්. එහෙත්, එම කාණ්ඩ වලත් මිල පොදු වශයෙන් ගත් විට වැඩි වී තිබෙනවා. ඔහු විසින් තෝරා ගෙන ඇත්තේ එම කාණ්ඩ වලට අයත් මිල අඩු වී ඇති අයිතමයන් කිහිපයකුයි.

කොහොම වුනත්, රටක භාණ්ඩ හා සේවා සියල්ලකම මිල දිගින් දිගටම අඩු වෙනවානම් එය හොඳ තත්ත්වයක් නොවන බව සජිත්ගේ රැළියට සහභාගී වී සිටින මිනිස්සු හා ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් උපාධිධාරියෙකු වන සජිත් කෙසේ වුවත් වේදිකාවේ සිටින හර්ෂ වැනි අය දැන නොසිටින්න හේතුවක් නැහැ. හාල් මිල පහළ යාම පාරිභෝගිකයින්ට සතුටට කරුණක් වුවත්, වී ගොවියන්ට සතුටු විය හැකි කරුණක් නෙමෙයි. රතු පරිප්පු ලංකාවේ වවන්නේ නැති වුනත්, ආනයනික රතු පරිප්පු මිල පහළ යන විට ලංකාවේ වවන මුං ඇට කවුපී ආදියේ මිලත් පහළ යනවා.

පසුගිය සිවු වසර තුළ ලංකාවේ බඩු මිල පහළ ගොස් නැතත් විශාල ලෙස වැඩි වී නැහැ. පොදුවේ රටක මිල මට්ටම තීරණය වෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම මතයි. රටේ ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට වඩා අඩු වූ විට මිල මට්ටම පහත වැටෙනවා. එය සිදුවෙන්නේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා ඉල්ලුම පහත වැටීමෙනුයි. පසුගිය වසර හතර ඇතුළත ලංකාවේ ආර්ථිකය වර්ධනය වුණේ සාමාන්‍ය  මට්ටමට වඩා අඩු වේගයකින්. එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටම පහත වැටීම ආණ්ඩුවකට ආඩම්බර විය හැකි කරුණක් නෙමෙයි.

ආර්ථික වර්ධනය විභව මට්ටමට වඩා පහත වැටීම අයහපත් දෙයක් වන්නේ එය රටේ විරැකියාව ඉහළ දැමීමට හේතු වන නිසයි. ආර්ථික වර්ධනය අඩු වන වකවානු වලදී රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති උපයෝගී කරගනිමින් ආර්ථිකයට මුදල් පොම්ප කර සමස්ත ඉල්ලුම ඉහළ දැමීම බොහෝ රටවල ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ඒ නිසයි. නමුත්, ලංකාවේ රජය  දැනටමත් දරා සිටින විශාල ණය බර නිසා විරැකියාව අඩු කරමින් ආර්ථිකය පුම්බනවාට වඩා ණය බර අඩු කර ගැනීමට ප්‍රමුඛතාවය දීමට ලංකාවේ රජයට සිදු වී තිබෙනවා. මා එහි වරදක් දකින්නේ නැහැ.

රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය මට්ටමට වඩා අඩු වුණාම එක්කෝ ණය අරගෙන, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගසා ආර්ථිකය පුම්බන්න වෙනවා. එසේ නොකළොත් එක පැත්තකින් මිල මට්ටම පහත වැටෙද්දී අනෙක් පැත්තෙන් විරැකියාව ඉහළ යනවා. නමුත්, මංගල සමරවීර කියන ආකාරයටනම් පසුගිය කාලයේදී අලුතින් රැකීරක්ෂා ලක්ෂයකට වඩා ඇති වී තිබෙනවා.


මංගල සමරවීර මෙසේ කිවුවත් රැකියා නියුක්තිය පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුවනම් 2015 පළමු කාර්තුවේ සිට 2019 පළමු කාර්තුව දක්වා කාලය තුළ සිදු වී තිබෙන්නේ ලංකාවේ රැකියාවක නියුතු ජනගහණය 8,502,270 සිට 8,182,970 දක්වා 319,300කින් අඩු වීමයි. එහෙත්, මේ කාලය තුළ පෞද්ගලික අංශයේ රැකියා නියුක්තිය 71,760 කින් ඉහළ ගොස් ඇති බවද කිව යුතුයි. රජය ප්‍රසාරණය කරමින් රැකියා සැපයීමට යහපාලන රජය කටයුතු නොකිරීම අගය කරනවා මිස අප එහි වරදක් නොදකින බවද කිව යුතුයි.

Saturday, August 24, 2019

සජිත් හා එජාපය


සජිත් ප්‍රේමදාසව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තවමත් නිල වශයෙන් නම් කරලා නැහැ. එහෙත්, ඔහු තමාව එජාප ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරගෙන මේ වන විට සෑහෙන දුරක් ගිහින් තිබෙනවා. මේ වන විට ගිහින් තිබෙන දුර අනුව ඔහුට ආපසු හැරෙන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම, මේ වෙද්දී එජාපයේ බහුතර සහයෝගය සජිත් විසින් දිනාගෙන තිබෙන බවකුත් පෙනෙනවා.

සජිත් එජාපය ඇතුළේ ඉදිරියට එන්නේ රනිල් විරෝධයක් එක්කයි. පක්ෂය ඇතුළේ ඒකාධිපතියෙක් සේ කටයුතු කිරීම ගැන රනිල්ට චෝදනා කෙරෙනවා. මේ චෝදනාව කරන අය ඇඟිල්ල දිගු කර පෙන්වන ප්‍රධාන කරුණක් වන්නේ රනිල් එජාප නායකයාව සිටින දීර්ඝ කාලයයි. ඒ වගේම රනිල් මැතිවරණ විසි නවයක් හෝ එවැනි ගණනක් පැරදී ඇති බවත් කියනවා.

මා දන්නා තරමින් රනිල් පෞද්ගලිකව පැරදී තිබෙන්නේ මැතිවරණ දෙකක් පමණයි. ඒ 1999 හා 2005 ජනාධිපතිවරණයි. දෙවන අවස්ථාවේදී ඔහු ජනාධිපති ධුරය ආසන්නයටම ගියා. ඒ වගේම, රනිල් තරඟ කළ මහ මැතිවරණ ගණනකදීම ඔහු විශාල මනාප ප්‍රමාණයන් ලබමින් තේරී පත් වුනා. එජාපය ඇතුළේ හා පාර්ලිමේන්තුව ඇතුළේ ඔහුගේ තනතුරකට අභියෝග එල්ල වූ අවස්ථා ගණනාවකදීත් ඔහු පැරදුණේ නැහැ. එහෙත්, රනිල්ගේ නායකත්වය යටතේ එජාපය මැතිවරණ ගණනාවක් පැරදුනා. මේ ප්‍රමාණය මා ගණන් කර නැහැ. එය ඔය කියන විසි ගණන විය හැකියි.

එජාපය වැනි පක්ෂයක් ඇතුළේ වුවත් පක්ෂ නායකයෙකුට දිගුකාලීනව බලහත්කාරයෙන් ධුරයක් දැරිය නොහැකියි. එජාපය දිගින් දිගටම මැතිවරණ පරාජය වෙද්දීත් රනිල්ගේ නායකත්වය නැති නොවුනේ රනිල් බලහත්කාරයෙන් ධුරය දැරූ නිසා නෙමෙයි. ඔහු එම කාලය ඇතුළත එජාපයේ සිටි ජනප්‍රියම නායකයා වූ නිසයි. එජාපය ඇතුළේ සජිත්ට රනිල්ට වඩා වැඩි සහයෝගයක් තිබුණානම් මේ වෙද්දී සජිත් එජාප නායකයා වෙලා. සැපයුම එන්නේ ඉල්ලුම පසුපසින්.

රනිල් එජාප නායකයාව සිටි කාලයේ එජාපයට හිටපු හොඳම නායකයා රනිල්. ඒ කාලයේ එජාපය මැතිවරණ විසි ගණනක් පැරදුනා කියා කියන්නේ ඒ කාලය ඇතුළත එජාපයේ හිටි හොඳම නායකයාටත් ගොඩදාන්න බැරි තැනකට එජාපය වැටී හිටියා කියන එක මිසක් සජිත් හෝ වෙනත් අයෙක් එජාප නායකයා වුනානම් තත්ත්වය වෙනස් විය හැකිව තිබුනා කියන එක නෙමෙයි. ඒ වගේම, රනිල් මෙතෙක් (ඔහු නායකයාව සිටි කාලයේ) එජාපයට හිටපු හොඳම නායකයා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ තත්ත්වය වෙනස් වී නැති බව හෝ අනාගතයේදී වෙනස් නොවන බවත් නෙමෙයි. වෙනස් බාහිර තත්ත්වයන් යටතේ පක්ෂය ඇතුළේ සිටින වෙනත් කෙනෙක් එජාප නායකත්වයට රනිල්ට වඩා සුදුසු වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා සජිත් වෙන්නත් පුළුවන්.

ජේආර් ජයවර්ධන දක්වා කාලය තුළ එජාප නායකයින් බිහි වුනේ සම්ප්‍රදායික ප්‍රභූ පන්තිය තුළින්. ඒ වගේම සම්ප්‍රදායික ප්‍රභූ පංතියේ හා ඉහළ මධ්‍යම පංතියේ සහයෝගය වැඩියෙන් ලැබූ පක්ෂය වුනේත් එජාපයයි. රට පුරා විසිරී සිටි ප්‍රභූ පවුල් වල සේවකයින් සේ වැඩ කළ, උගත්කමක් හෝ දේශපාලන අවබෝධයක් ලොකුවට නොතිබුණු ග්‍රාමීය කම්කරුවන් විශාල පිරිසක්ද හාම්පුතා කැමති පක්ෂයේ අපේක්ෂකයෙකුට ඡන්දය දුන්නා. වතු කම්කරුවන් ඔවුන්ගේ දේශපාලන නායකයින් උපදෙස් දෙන ආකාරයට ඡන්දය දුන්නා.

එජාපයේ වගේම ශ්‍රීලනිපයේත්, සෑහෙන තරමකින් අනෙකුත් වාමාංශික පක්ෂ වලත් නායකයින් සම්ප්‍රදායික ප්‍රභූ පන්තිය තුළින්ම බිහි වූ අය වුවත්, ශ්‍රීලනිපයේ සාමාජිකයින් වුනේ ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය මධ්‍යම පාන්තිකයින්. වාමාංශික පක්ෂ වලට ග්‍රාමීය මධ්‍යම පාන්තිකයින් අතර වගේම නාගරික කම්කරුවන් අතරත් යම් පදනමක් තිබුණා. මේ කණ්ඩායම් අතර එජාපය ජනප්‍රියව සිටියේ නැහැ.

ජේආර්ගෙන් පසුව එජාපයේ නායකයා වුනේ රණසිංහ ප්‍රේමදාසයි. ඔහුට එජාප නායකයා වෙන්න පුළුවන් වුනේ ජේආර් විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්ති නිසා සමාජයේ සිදු වූ ව්‍යුහමය වෙනස්කම් හේතුවෙන් එජාපයේ පාක්ෂික ව්‍යුහයත් වෙනස් වීම නිසයි. ජේආර් විසින් හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ ආර්ථිකය තුළ වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව වැඩි ඉඩක් විවෘත වුනා. එහි ප්‍රතිඵලයක් විදිහට සමාජයේ පහළ ස්ථර වල ආදායම් ඉහළ ගිහින් ජීවන තත්ත්වය උසස් වුනා. මෙයට සාපේක්ෂව මධ්‍යම පංතියට ලොකු ආර්ථික වාසි නොලැබුණු නිසා සාපේක්ෂ උගත්කමක් තිබුණු මධ්‍යම පාන්තිකයින් පසුකරමින්, ආර්ථික තලයේදී, අඩු උගත්කමක් තිබුණු සමාජ ධුරාවලිය ඇතුළේ වැඩි පිළිගැනීමක් නොතිබුණු රැකියා කළ අය මතු වුනා. ඒ අයට එජාපයේ ප්‍රතිපත්ති ආකර්ශනීය වෙද්දී එජාපය ඇතුළේ මේ ස්ථරයට නායකත්වය දිය හැකි පුද්ගලයෙකුට ඉල්ලුමක් ඇති වුනා. ඒ ඉල්ලුම හා ගැලපුනේ රණසිංහ ප්‍රේමදාස.

එජාපය ඇතුළේ පහළ ස්ථර වල අයගේ කොටස් වල සංයුතිය ක්‍රමයෙන් ඉහළ ගියා. මුලින්ම රණසිංහ ප්‍රේමදාස වටා හිටියේ නාගරික අඩුආදායම්ලාභීන්. එහෙත්, ආර්ථිකයේ විදේශ අංශය වඩා විවෘත කිරීමේ ප්‍රතිඵල ගම් වලට යද්දී සමාජ ධුරාවලියේ පහළින් සිටි ග්‍රාමීය කොටස්ද පක්ෂයක් ලෙස එජාපය වෙතත්, පුද්ගලයෙක් ලෙස රණසිංහ ප්‍රේමදාස වෙතත් වැඩි වැඩියෙන් ආකර්ෂණය වී මේ කණ්ඩායම එජාපයේ ප්‍රමුඛ කණ්ඩායම වුනා. රණසිංහ ප්‍රේමදාස එජාප නායකයා වීම මෙහි ප්‍රතිඵලයක්.

රණසිංහ ප්‍රේමදාස විසින් ජවිපෙ කැරැල්ල මර්දනය කිරීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග එක්ක එජාපයේ ග්‍රාමීය ඡන්දදායක පදනම දිය වෙන්න පටන් ගත්තා. රණසිංහ ප්‍රේමදාසගේ මරණය ගැන දැනගත් ගම් වල මිනිස්සු කිරිබත් උයා පාරවල් වලට දැම්මා. රතිඤ්ඤා පත්තු කළා. මං හිතන්නේ මේ වගේ දෙයක් සිදු වුනේ මේ අවස්ථාවේ හා ප්‍රභාකරන් මිය ගිය අවස්ථාවේ පමණයි. එජාපයේ දාහත් අවුරුදු පාලනය අවසන් කරමින් චන්ද්‍රිකා කුමාරතුංගට ජනාධිපති වෙන්න පුළුවන් වුනේ ජවිපෙ භීෂණයට ප්‍රතිචාර ලෙස එජාපය විසින් පවත්වාගෙන ගිය ප්‍රතිභීෂණය අවසන් වෙද්දී එතෙක් එජාපය සතුව පැවති ග්‍රාමීය ඡන්ද පදනම එජාපය කෙරෙන් විකර්ශනය වීම නිසයි.

ජවිපෙ දෙවන කැරැල්ල අවසානයේ එජාප ග්‍රාමීය ඡන්ද පදනම දිය වී යද්දී නැවතත් එජාප පාක්ෂික ව්‍යුහයේ ආකෘතිමය වෙනසක් ඇති වුනා. ඉහළ මධ්‍යම පාන්තිකන් නැවතත් එහි ප්‍රමුඛ කණ්ඩායම බවට වීමට සාපේක්ෂව රනිල්ට එජාපයේ නායකත්වය ලැබුනා.

යුද්ධයෙන් පසුව මහින්ද සිංහල ගැමියන් අතර විශාල ලෙස ජනප්‍රිය වෙද්දී එජාපයේ ග්‍රාමීය ඡන්ද පදනම හොඳටම දුර්වල වුනා. රාජපක්ෂලා සෑහෙන තරමකින් සමාජයේ ඉහළ ස්ථර වල සහයෝගයත් ලබා ගත්තා. එහෙම නැත්නම් රාජපක්ෂලාට සහයෝගය දැක්වූ අය සමාජයේ ඉහළ ස්ථරය බවට පත් වුනා. එයට සමාන්තරව එජාපය නාගරික හා අර්ධ නාගරික ඉහළ හා පහළ මධ්‍යම පාන්තිකයින්ගේ පක්ෂයක් බවට පත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස එජාපය ඇතුළේ රනිල් වැනි අයෙකුට නියෝජනය කළ හැකි පාක්ෂික ප්‍රතිශතය ක්‍රමයෙන් ඉහළ ගියා. නමුත්, මෙය සිදු වුනේ සමස්තයක් ලෙස එජාපය දිය වීම තුළ මිස වර්ධනය වීම තුළ නෙමෙයි. මෙයින් වෙනස්ව අසූව දශකයේදී රණසිංහ ප්‍රේමදාස එජාපයේ නායකත්වයට තල්ලු කළ ව්‍යුහමය වෙනස එජාපය වඩා විශාල කළ වෙනසක්.

රනිල්ට එජාපය තුළ බලය වැඩි වීමත්, එජාපය සමස්තයක් ලෙස දිය වීමත් යන කරුණු දෙකම එකම සංසිද්ධියක මුහුණත් දෙකක් මිස හේතුවක් හා ඵලයක් නෙමෙයි. එජාපය දිගින් දිගටම මැතිවරණ පැරදුණේ රනිල් නායකත්වයේ සිටි නිසා නෙමෙයි. ඒ වගේම, රනිල්ට දිගු කලක් එජාප නායකත්වයේ ඉන්න හැකි වුනේ ඔහු ඒකාධිපතියෙක් වූ නිසා හෝ ගේම් ගැහීමේ දක්ෂයෙක් වූ නිසාත් නෙමෙයි. මේ සියල්ලටම හේතු වුනේ එජාපයේ ග්‍රාමීය ඡන්ද පදනම විශාල ලෙස දිය වී යාමයි. එයට රණසිංහ ප්‍රේමදාස කාලයේ උච්ඡස්ථානයට පත් වූ හා ජේආර්ගේ කාලයේ ආරම්භ වූ ජවිපෙට එරෙහි ප්‍රතිභීෂණය පළමුවත්, මහින්ද විසින් උතුරේ යුද්ධය අවසන් කිරීම දෙවනුවත් හේතු වුනා.

මේ දෙකෙන් එකක්වත් රනිල්ගේ නායකත්වයේ වැරදි නෙමෙයි. මේ දේවල් වන කාලයේ රනිල් නායකයා වී සිටියා. රනිල්ට එජාප නායකයා ලෙස තත්ත්වය වෙනස් කිරීමේ හැකියාවක් නොතිබුණාක් මෙන්ම, එය කළ හැකි වෙනත් අයෙක් එජාපයේ සිටියේත් නැහැ. එහෙම බැලුවහම රනිල්ට දිගුකලක් එජාප නායකයා වී ඉන්න ලැබුණේ මහින්ද නිසා කියා කියන්න පුළුවන්.

මහින්ද පැරදී මෛත්‍රීපාල ජනාධිපති වෙද්දී හෝ ඉන් පසුව මහින්දගේ ග්‍රාමීය ඡන්ද පදනම දිය වී ගියේ නැහැ. මහින්දට නැති වුනේ හා එජාපය වෙත යම් තරමකින් ආකර්ශනය වුනේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින්ගේ ඡන්දයි. ඒ නිසා, මේ වෙනස එජාපයේ සංයුතියට බලපෑවේ රනිල්ගේ නායකත්වයට තවත් වාසිදායක වන ආකාරයටයි. පසුගිය මාසය පමණ වන තුරුම රනිල්ට සාපේක්ෂව සජිත්ට එජාපය ඇතුළේ වාසිදායක තත්ත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු විසින් දිගින් දිගටම තමාගේ පියා විසින් ආකර්ශනය කරගෙන සිටි සමාජ ස්ථරයට ආමන්ත්‍රණය කරමින් සිටියා.

එජාප නායකත්ව අර්බුදය රනිල්ට අවාසිදායක හා සජිත්ට වාසිදායක ලෙස මේ වෙද්දී වෙනස් වී තිබෙනවා. වෙනස ආරම්භ වී  තිබෙන්නේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභයව නම් කරනු ලැබීමෙන් පසුවයි. වෙනසේ බලපෑම තීරණාත්මක අදියරකට පැමිණ තිබෙන්නේ අනුර කුමාර දිසානායක අපේක්ෂයෙකු ලෙස මතු වීමත් සමඟයි.

ගෝඨාභය වගේම අනුර කුමාර දිසානායක විසින්ද ඉලක්ක කරන්නේ නාගරික හා අර්ධ නාගරික ඉහළ හා පහළ මධ්‍යම පාන්තික කණ්ඩායම්. ඔවුන් මෙය කරන්නේ තමන්ගේ ග්‍රාමීය ඡන්ද පදනම් මත හිටගෙන තමයි. තමන්ගේ කියා කිවුවත් ගෝඨාභයට ඔහුගේම කියා ග්‍රාමීය ඡන්ද පදනමක් නැහැ. තිබෙන්නේ මහින්ද සතු  ග්‍රාමීය ඡන්ද පදනමක්.

එක පවුලේ සහෝදරයින් වුවත්, මහින්ද හා ගෝඨාභය අතර ඇතැම් පැහැදිලි වෙනස්කම් තිබෙනවා. ගෝඨාභය මහින්දගෙන් වෙනස් වන තැන් නාගරිකයින්ට මිස ගැමියන්ට ආකර්ශනීය තැන් නෙමෙයි. ඒ නිසා හෝ වෙනත් හේතු නිසා, තවමත් ගම් වල ගෝඨාභය රැල්ලක් නැහැ. ගෝඨාභය සමඟ ඉන්නේ 2015දී මහින්ද සමඟ සිටි අය පමණයි. ගෝඨාභය සම්බන්ධව ප්‍රචලිත කතා ඇත්ත වුනත් බොරු වුනත් ඒ කතා වල බලපෑමක් තිබෙනවා. මහින්ද සමඟ 2015දී සිටි ඇතැම් අයත් ගෝඨාභය හා අදාළව වැනෙන සුළු තැනක සිටින බව පෙනෙනවා. එහෙත්, ඔවුන් රාජපක්ෂ විරෝධී කඳවුරකට හේත්තු වී නැහැ. මැතිවරණය පැවැත්වෙන විට ඔවුන් බොහෝ විට ගෝඨාභයට ඡන්දය දෙයි කියා හිතන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ගෝඨාභයට තවමත් මහින්ද සමඟ නොසිටි නාගරික ඡන්දදායකින් ආකර්ශනය කර ගැනීමට හැකි වී ඇති බවක් පෙනෙන්නේත් නැහැ.

රාජපක්ෂ විරෝධී කඳවුරේ නාගරික ඡන්දදායකයින් විශාල ප්‍රමාණයක් මේ වන විට එජාපය කෙරෙන් දුරස්ථව සිටිනවා. එජාපය ඇතුළේ රනිල්ගේ නායකත්වය අභියෝගයට ලක් කිරීමට හැකි වී තිබෙන්නේ මේ හේතුව නිසයි. පොදුවේ එජාප ඡන්ද පදනම දිය වී තිබෙන අතර, මේ වටයේදී දිය වී තිබෙන්නේ නාගරික ඡන්දයි. ඒ නිසා, එජාප පාක්ෂිකයින් අතරේ සංඛ්‍යාත්මක ලෙස ග්‍රාමීය ඡන්දදායකයින් වැඩි වී නැතත්, ඔවුන්ගේ සංයුතිය ඉහළ ගොස් තිබෙනවා. එයට සාපේක්ෂව එජාපය ඇතුළේ සජිත් බලවත් වී තිබෙනවා.

දැනට කරලියට පැමිණ සිටින අපේක්ෂකයින් අතරින් ගෝඨාභය වගේම අනුර කුමාර දිසානායක විසිනුත් ඉලක්ක කරන්නේ නාගරික මධ්‍යම පාන්තික ප්‍රජාවයි. මේ තත්ත්වය තුළ ග්‍රාමීය ඡන්දදායක පදනම ඉලක්ක කරන අපේක්ෂකයෙකුට පිරවිය හැකි යම් රික්තකයක් තිබෙනවා. ඒ රික්තකය දෙස සජිත් ප්‍රේමදාස වගේම ඔහු එක්ක සිටින දක්ෂ සංවිධායකයකු හා දේශපාලන ඉවක් ඇති අයෙකු වන මංගල විසින් ඇස ගසා ගෙන සිටිනවා.

පවතින තත්ත්වය යටතේ මෛත්‍රීපාල සිරිසේනගේ භූමිකාව යම් තරමකින් තීරණාත්මකයි. ඔහුට තනි පුද්ගලයෙකු ලෙස කළ හැකි බලපෑමට වඩා කිහිප ගුණයකින් වැඩි බලපෑමක් සජිත් හා එකතු වීම මඟින් කළ හැකියි. මෛත්‍රීපාල ගෝඨාභයට සහයෝගය නොදී ස්වාධීනව සිටීම හා සජිත්ට සහයෝගය දීම කියන්නේ කරුණු දෙකක්.


Tuesday, August 20, 2019

අනුර කුමාර ඉදිරිපත් වුනේ ඇයි?


අනුර කුමාර දිසානායක මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව බර තබා දැනුම් දී තිබෙනවා. එහෙත්, එජාප අපේක්ෂයාව එළි දැක්වීමෙන් අනතුරුව අනුර කුමාර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ලිස්සා යනු ඇතැයි ඇතැම් අය අදහස් පළ කරනවා. සාධක ගණනාවක් මත එය එසේ වේයැයි මා හිතන්නේ නැහැ.

මගේ අදහස අනුව මෙවර ජනපතිවරණයට ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම 2015 ට පෙර සිටම ජවිපෙ සැලසුම් කළ ඉදිරි ක්‍රියාමාර්ග හා ගැලපෙන්නක්. 2015දී ජවිපෙ ප්‍රමුඛතාවය දුන්නේ රාජපක්ෂ රෙජීමය බලයෙන් පහ කිරීමටටයි. ඔවුන් එය කිරීමට සමත් වුනා. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය සඳහා ජවිපෙ දායකත්වය තීරණාත්මක ලෙස බලපෑවා. එහෙත්, ජවිපෙ ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටියේ වක්‍ර ලෙසයි. ඔවුන් ජනතාවට "අන්න ඉබ්බා. මෙන්න ගින්දර" කියා පෙන්නුවා මිසක් ඊට වඩා වැඩි දෙයක් කිවුවේ නැහැ. එසේ කළේ "ඉබ්බා පුච්චන්න කියා අපි කවදාවත් කියා නැහැ" කියා පසුව කීමේ ඉඩකඩ වෙනුවෙනුයි. නමුත්, තමන්ට වාසිදායක තත්ත්වයන් යටතේදී "ඉබ්බව වගේම ගින්දරත් පෙන්නුවේ අපි. අනෙක් අය කළේ අපි පෙන්නුවාට පස්සේ ඉබ්බව පුච්චපු එක විතරයි" කියා කීමේ විකල්පයත් ඔවුන් ඉතිරි කර ගත්තා.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදී යහපාලනය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවන්ට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව ඉතා ඉක්මණින්ම අසාර්ථක වීමට නියමිතව තිබුණු බව මුල සිටම පැහැදිලිව පෙනුණු දෙයක්. ජවිපෙත් මේ බව නිවැරදිව ඇස්තමේන්තු කළා. පැවති තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාම සඳහා රනිල් වික්‍රමසිංහ සතුව මාර්ග සිතියමක් තිබුණා. එහි මූලික හා ප්‍රධානම උපාය මාර්ගය වූයේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමයි. එහෙත්, ශ්‍රීලනිප දෙකඩ වීම වෙනුවට සිදු වුනේ ශ්‍රීලනිපය නැති වීම නිසා රනිල්ගේ සැලසුම් සාර්ථක වූයේ නැහැ.

ජවිපෙ සැලසුම් පදනම් වූයේද රනිල්ගේ සැලසුම් වලට සමාන්තරවයි. ශ්‍රීලනිපය දෙකඩ වී දුර්වල වීමෙන් පසුව එජාපයටද මතු වෙන්නට ඉඩ නොදී පක්ෂ දෙක කෙරෙහිම කලකිරෙන විශාල පිරිස තමන් වෙත ආකර්ශනය කර ගැනීම ජවිපෙ අභිලාශය වුනා. ජවිපෙ විසින් බැඳුම්කර සිදුවීම උපයෝගී කරගෙන එජාපයට මුලදීම මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේ එජාපයේ ගමනට තිරිංග දමා තමන්ගේ ගමන වේගවත් කර ගැනීමට මිස රාජපක්ෂලාට නැවත බලයට එන්න තිබෙන ඉඩකඩ වැඩි කරන්න නෙමෙයි.

එජාප හා ජවිපෙ සැලසුම් වෙනස් වුනේ මහින්ද විසින් ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීට දී පැත්තකට වීමත් සමඟයි. බැලූ බැල්මටට මෙය පෙනුණේ මෛත්‍රීට වගේම එජාපයට හා ජවිපෙටත් ලැබුණු අනපේක්ෂිත වාසියක් විදිහටයි. එහෙත්, ඉත්තන් කිහිප දෙනෙක් කැපෙන්නට ඇරීමෙන් රාජපක්ෂලාට දාන් යන්න පාරක් ඇරුණා.

ජවිපෙ ඇතුළේ සිටිමින් එජාපයට අවශ්‍ය පරිදි කටයුතු කරන බවට චෝදනාවක් කලක සිටම අනුර කුමාරට එල්ල වී තිබෙනවා. ඒ වගේම ජවිපෙට පොදුවේ "රතු අලි" ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබල් ගහන කණ්ඩායම් අතර රාජපක්ෂවාදීන් වගේම ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම් දෙකේ අයත් කැපී පෙනෙනවා.

කිසියම් දේශපාලන පක්ෂයක් ඇතුළේ වෙනත් පක්ෂයක ඉත්තන් සිටීම අමුතු දෙයක් නෙමෙයි. ජවිපෙ ඇතුළෙත් එවැනි අය සිටිය හැකියි. විමල් වීරවංශ වැනි අය ජවිපෙ ඇතුළේ සිටියදී රාජපක්ෂලාට අවශ්‍ය පරිදි කටයුතු කර ඇති බව පැහැදිලියි. ඒ ආකාරයටම අනුර කුමාර එජාපයට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරනවා කියා මට සහතික විය නොහැකියි. හැබැයි එවැනි තත්ත්වයක් තිබේනම් එය ජවිපෙ සාමාජිකයින්ගේ හා නිලධාරී මණ්ඩලයේ ප්‍රශ්නයක්. ඔවුන්ට එය ප්‍රශ්නයක් නොවේනම් හෝ එවැනි ප්‍රශ්නයක් නොපෙනේනම් ජවිපෙට පිටින් සිටින අය එය ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ.

බාහිර නිරීක්ෂකයෙක් ලෙස මා දැකපු ආකාරයටනම් සිදු වුනේ ඇතැම් තත්ත්වයන් යටතේදී ජවිපෙ හා එජාප අවශ්‍යතා සමපාත වීමක්. එය ජවිපෙ එජාපය වෙනුවෙන් කඩේ යමක් ලෙස ලඝු කරන්න බැහැ. ජවිපෙ උත්සාහ කළේ මුලින් එජාපයේ උදවුවෙන් රාජපක්ෂ කල්ලිය ඇතුළු ශ්‍රීලනිපත්, දෙවනුව එජාපයත් දුර්වල කර 2020දී රාජ්‍ය බලය වෙත කිට්ටු කරන්නයි. ඔවුන් ඉලක්ක කළ පරිදි බොහෝ දේ සිදු වුනේ නොමැති තත්ත්වයක් යටතේ වුවත් වෙනම තරඟ කිරීම ඔවුන්ට මේ වෙලාවේ ගත හැකි හොඳම ක්‍රියා මාර්ගයයි. මේ මා දකින පළමු හේතුව.

පසුගිය දෙවරම ජවිපෙ විසින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ එම පක්ෂයේ සැලකිය යුතු ව්‍යුහමය වෙනසක් සිදු වීමෙන් පසුවයි. පළමු කැරැල්ලෙන් පසුව නිදහස ලබා නැවත සංවිධානය වීමෙන් පසුව 1982දී රෝහණ විජේවීර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනා. මෙය කළේ බලහත්කාරයෙන් රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණින් හැදූ ජවිපෙ පක්ෂ ව්‍යුහය මැතිවරණ ඉලක්ක කර යම් තරමකින් වෙනස් කර ගැනීමෙන් පසුවයි. මේ ආකාරයෙන්ම දෙවන කැරැල්ලෙන් පසුව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පසුව 1994දී නිහාල් ගලප්පත්තිව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට උත්සාහයක් ගත්තත්, ඒ වන විටත් දෙවන කැරැල්ලේ තුවාල සුව වී නොතිබූ නිසා ඔවුන්ගේ දෙවන ජනාධිපතිවරණ පරීක්ෂණය 1999 දක්වා කල් දමන්න සිදුවුණා.

මෙවර ජවිපෙ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ජවිපෙ තුන්වන කැරැල්ලේ තුවාල සුව කරගැනීමෙන් පසුවයි. පළමු කැරලි දෙකේදී මෙන් ජවිපෙ තුන් වන කැරැල්ලේදී රටට හානියක් සිදු වුනේ නැහැ. දැනෙන බලපෑමක් සිදු වුනෙත් නැහැ. එහෙත්, මුල් කැරළි අවස්ථා දෙකේදී වගේම පක්ෂයේ ආකෘතිමය රාමුවට හානි සිදු වුනා. ඉන් පසුව, මේ හානි ප්‍රතිසංස්කරණය කර ගනිමින් ජවිපෙට ව්‍යුහමය වෙනස්කම් කර ගන්න සිදු වුනා.

පක්ෂ අභ්‍යන්තරයට සීමා වූ ජවිපෙ තුන් වන කැරැල්ල 2012දී සිදු වූ කුමාර් ගුණරත්නම් ඇතුළු කණ්ඩායමේ වෙන් වීමයි. ඊට පෙර 2008දී සිදු වූ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ වෙන්වීම නිසා ජවිපෙ ඡන්ද පදනම විශාල ලෙස බිඳ වැටුණත්, එම කණ්ඩායමේ වෙන් වීම ජවිපෙ පක්ෂ ව්‍යුහයට බලපෑවේ නැහැ. ප්‍රසිද්ධියේ මොනවා කිවුවත්, 2012 වන තුරුම ජවිපෙ යනු මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කළ පක්ෂයක් නෙමෙයි. ඔවුන් මැතිවරණ ජයග්‍රහණ උපයෝගී කර ගත්තේ පක්ෂයේ ආරම්භයේ සිටම පැවතුනු අවසාන අරමුණ වූ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ ඉලක්කය කරා යාමට උදවු වන අතරමැදි ඉලක්ක ලෙස පමණයි. නමුත්, ජවිපෙ ක්‍රමයෙන් මැතිවරණ ජයග්‍රහණ ලබා ගනිද්දී මුල් අරමුණ වෙනුවෙන් පෙනී සිටින කොටස් ක්‍රමයෙන් පක්ෂය තුළ දුර්වල වී 2012දී ඔවුන්ව තීරණාත්මක ලෙස පරාජය කෙරුණා.

විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට වෙන්ව යාමට සිදු වීමත් මෙයට සම්බන්ධයි. ඔවුන් ජවිපෙ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී ඉලක්ක වෙනුවෙන් මුලින්ම පෙනී සිටි කණ්ඩායමක්. එහෙත්, බාහිර නිරීක්ෂකයින්ට ඔවුන් පෙනුනේ පක්ෂයේ ප්‍රබලයින් ලෙස වුවත්, ඔවුන්ට පක්ෂය ඇතුළේ බලයක් නොතිබුණු නිසා පක්ෂය ප්‍රතිසංස්කරණය වීම වෙනුවට සිදු වුනේ ඔවුන් එළියට විසි වීමයි.

කුමාර් ගුණරත්නම් කණ්ඩායම ඉවත් වීමෙන් පසුවත් ජවිපෙ පක්ෂ ව්‍යුහය ඇතුළේ භක්තිමත් මාක්ස්වාදීන් ඉතිරිව සිටිනවා. ඔවුන් ඇතැමෙකුට පක්ෂය ඇතුළේ තවමත් විශාල බලයක් තිබෙනවා. ටිල්වින් ද සිල්වා උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. පක්ෂයේ නියමුවා පුවත්පත වැනි තැන් වල තවමත් ප්‍රමුඛතාවය ලැබෙන්නේ ලෙනින්ලාගේ මූලධර්මවාදී ආගමික පාඨ වලටයි. එසේ වුවත්, ජවිපෙ මේ වන විට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයක් ලෙස රූපාන්තරණය වෙමින් පවතින බව පැහැදිලියි.

එක් වෙබ් අඩවියක පෙන්වා දී තිබුණේ  අනුර කුමාර මෙවර රතු කමිසයක් ඇඳ නොසිටි බව හා සමාජවාදය යන වචනය ඔහුගේ කතාවේ කිසි තැනක සඳහන් නොකළ බවයි. එමෙන්ම, අනුරගේ මෙවර කතාවේ ලෙනින්, මාක්ස් හෝ එංගල්ස් කියූ දේවල් කිසිවක් නැහැ. අඩු වශයෙන් රෝහණ විජේවීර කියූ දේවල් හෝ නැහැ. ඒ වෙනුවට ඔහු උපුටා ගන්නේ ඇමරිකානු සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වූ මාටින් ලූතර් කිංග්වයි. මෙයින් පෙනෙන්නේ ජවිපෙ සමාජවාදය අතහැර ඇති බවයැයි අප කියන්නේ නැහැ. මෙය හිතා මතාම කරන රැවටීමක් විය හැකියි. එහෙත්, ඒ ආකාරයේ රැවටීමක් වුවත් ජවිපෙ ඉතිහාසයට සාපේක්ෂව විශාල වෙනසක්. ආරම්භයේදී ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් වූයේත් රැවටිල්ලක් ලෙස වුවත්, ඒ රැවටිල්ල නිසා දිගුකාලීනව ජවිපෙ පක්ෂ ව්‍යුහයේ සැබෑ වෙනසක් සිදු වුනා.

අනුර කුමාරගේ කතාවේ වැදගත්ම කොටස ලෙස මා දකින්නේ පහත කොටසයි.

"ඒ වගේම පුද්ගල නිදහස පිළිබඳ ප්‍රශ්නය. මිනිස් සංහතිය මානව වර්ගයාගේ උසස්තතම නිර්මාණයන් අත්පත් කර ගත්තේ කෙසේද? ඒ නිර්මාණයන් අත්පත් කර ගත්තේ ඇතිවන අදහස් ඇතිවන සිතුවිලි පෙට්ටගමක් අස්සට දාල ඉබියතුරු දාල වසා තැබීමෙන් නෙමෙයි. මානව සංහතියේ ප්‍රගමනය නිර්මාණය වී තිබෙන්නේ නිදහස් අදහස් ගැටීමෙන්. ඒ නිදහස් අදහස් අතර සමාජ ප්‍රගමනයට හිතකර මතයන් උරා ගැනීමෙන්. එසේ නැතිව වසා තැබීමෙන් නෙමෙයි. ඒ නිසා අපේ සමාජය ඉදිරියට ගෙන යා හැකි වන්නේ පුද්ගල නිදහස වගේම නිදහස් මතයන් දැරීමේ අයිතිය පිළිගැනීමෙන් පමණයි. සමාජයට විනයක් නිර්මාණය කළ හැක්කේ එතැනින් පමණයි. සමාජය ඇතුළේ නීතියේ සහ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ හැකි වන්නේ එතැනින් පමණයි. එසේ නැතිව ඇති කර ගන්නා ලද කවර වර්ගයේ විනයක්, එසේ නැතිව ඇති කර ගන්නා ලද කවර වර්ගයේ නීතියේ සහ විධානයේ ආධිපත්‍යයක් ජනතාව පීඩාවට පත් කරන්නක් හැර අන් කවරක් නෙමෙයි. ඒ නිසා අපි පුද්ගලික නිදහස පිළිබඳව විවෘතව කටයුතු කළ යුතු අවදියකට අප අවතීර්ණ වී සිටිනවා."

අන් මත දරන්නන් කුරුරු ලෙස ඝාතනය කළ පක්ෂයක් මෙවැනි තැනකට පැමිණීම ඉතා වැදගත් පරිවර්තනයක්. මෙහි අනුර කුමාර විසින් කතා කරන පුද්ගලික නිදහස කියන සංකල්පයේ ඉතා වැදගත් අංගයක් වන්නේ ඒකීය පුද්ගලයින්ට නිදහස් ගනුදෙනු වල යෙදීමට තිබෙන අයිතියයි. සමාජවාදය ධනවාදයෙන් වෙනස් වන්නේ සමාජවාදය තුළ රාජ්‍ය මැදිහත්වීම් හරහා ඒ නිදහසට බාධා කිරීමත්, ධනවාදය තුළ එසේ නොකිරීමත් යන කරුණ මතයි. අනුර කුමාරගේ කතාවේ රටේ හා ජනතාවගේ ආර්ථික දියුණුව ගැන කතා කළත් ඒ වෙනුවෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග ගැන කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඇතැම් විට සමාජවාදී ඉතිහාසයක් තිබෙන පක්ෂයක් විදිහට තවමත් ජවිපෙට නිදහස් වෙළඳපොල සංකල්පය වෙනුවෙන් පෙනී සිටින්න අමාරු ඇති.

යම් සීමාවන් තවමත් තිබුණත් මේ එළැඹෙන්නේ පක්ෂය ඇතුළට සීමා වූ ජවිපෙ තෙවන කැරැල්ලෙන් පසුව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කරගැනීමෙන් පසුව එළැඹෙන පළමු ජනාධිපතිවරණයයි. ඒ නිසා, මෙවරත් පෙර අවස්ථා දෙකේදී වගේම මේ වෙනසට ජනතාව ප්‍රතිචාර දක්වන ආකාරය දැන ගැනීමේ උවමනාවක් ජවිපෙට තිබෙනවා. මෙය ඔවුන් තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන දෙවන හේතුවයි.

ජවිපෙ මින් පෙර ජනාධිපතිවරණයකට සිය අපේක්ෂකයින් ඉදිරිපත් කළ අවස්ථා දෙකම බොහෝ දෙනෙකුට යම් තරමකින් හෝ ප්‍රධාන පක්ෂ දෙකම එපා වී තිබුණු අවස්ථාවන්. නිදහසේ සිට හැත්තෑ හත දක්වාම ලංකාවේ සිදුවුනේ එජාපය හා ශ්‍රීලනිපය (හෝ එම පක්ෂ මුල් වූ සන්ධාන) මාරුවෙන් මාරුවට බලයට පැමිණීමයි. නමුත්, 1982 වන විටත් ලංකාවේ මිනිස්සුන්ට සමගි පෙරමුණු ආණ්ඩුවේ සමාජවාදය අමතක වී තිබුණේ නැහැ. ඒ නිසා, ජේආර්ගේ ආණ්ඩුව පෙරළා නැවත ශ්‍රීලනිපය බලයට පත් කර ගැනීමේ සූදානමක් ඒ වන විටත් රටේ තිබුණේ නැහැ. අනෙක් අතට ජේආර්ගේ ආණ්ඩුව ගැන කළ කිරුණු විශාල පිරිසක් ඒ වන විට රටේ හිටියා. එවර ජවිපෙ විසින් ඉලක්ක කළේ මෙසේ ප්‍රධාන පක්ෂ දෙකම ගැන කළ කිරුණු පිරිසයි.

චන්ද්‍රිකා දෙවන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට තිබුණේත් මේ වගේ තත්ත්වයක්. ඒ වන විට 62.3%ක ජනවරමකින් බලයට පත්ව සිටි නූතන විහාර මහා දේවිය චෞර රැජින සේ බෞතීස්ම ලබා සිටියත්, ජනතාවටට එජාපයේ "දාහත් අවුරුදු සාපය" අමතකව තිබුණේත් නැහැ. ජවිපෙ උත්සාහ කළේ මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නයි. දැන් නැවතත් එවැනිම වටපිටාවක් සකස් වී තිබෙනවා. ජවිපෙ තරඟයට එන්නේ ඒ නිසයි.

කිසියම් ඡන්ද පදනමක් තිබෙන තෙවන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන විට හැමවිටම වගේ නැගෙන චෝදනාවක් වන්නේ මේ අපේක්ෂකයා එන්නේ ඡන්ද කඩන්න කියන එකයි. මට මතක ඇති කාලයේ මේ චෝදනාවට වැඩිපුරම ලක් වුනේ මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණයකදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූ තෙවන අපේක්ෂකයා වන ඔසී අබේගුණසේකරයි. මේ චෝදනාව අප මේ වියුණුවේ ලිපියක් පළ කළ විට අපව කිසියම් දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සම්බන්ධ කර සිතීමට තරමක් සමානයි.

අප ලියන ඇතැම් දේ වලින් ඇතැම් දේශපාලන පක්ෂ වලට හෝ පුද්ගලයින්ට වාසියක් හෝ අවාසියක් වෙන්න පුළුවන්. නමුත්, එය අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආකාරයටම තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වන හැම විටකම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද කැඩෙනවා. දෙදෙනාගෙන් එක් අයෙකුගේ ඡන්ද වැඩියෙන් කැඩෙන නිසා තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වීමෙන් ප්‍රතිඵලය වෙනස් වෙන්නත් පුළුවන්. නමුත්, ගෝඨාභයගේ හෝ එජාප අපේක්ෂකයාගේ ඡන්ද කැඩෙනවාද නැද්ද කියන එක ජවිපෙ ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම හෝ නොකිරීම ඔවුන්ගේ අයිතියක්.

ඒකීය පුද්ගලයින්ගේ තේරීම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට, වැඩි විකල්ප ගණනක් ලැබීමට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. තෝරා ගැනීමට තිබෙන විකල්ප ප්‍රමාණය ඉහළ යන තරමට සිදු වන්නේ යහපතක්. අලුතෙන් එකතු වෙන විකල්පයක් තමන්ට සාපේක්ෂව නරක එකක් වුවත් මෙහි වෙනසක් නැහැ. විකල්පය නරක එකක්යැයි පෙනේනම් එය තෝරා නොගෙන සිටීමේ අයිතිය පුද්ගලයෙකුට තිබෙනවා. එහෙත්, විකල්ප අඩු වූ විට වෙන්නේ අඩු නරක තෝරා ගන්න වෙන්න පුළුවන්.

ඒ වගේම ලංකාවේ ජනාධිපතිවරණයකදී මනාප භාවිතා කිරීමේ නිදහසද තිබෙන නිසා මේ ඡන්ද කඩන කතාව කොහෙත්ම අදාළ එකක් නෙමෙයි. තෙවන අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කරන අයෙකුට ඒ හේතුවෙන් තමන් අකැමැති අයෙකු බලයට පත් වේයයි බයක් තිබේනම්, එය වළකනු පිණිස තමන්ගේ දෙවන මනාපය භාවිතා කළ හැකියි. එවිට අවසන් ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. 1982 ජනාධිපතිවරණයේදී තමන්ට පළමු මනාපය දෙන අයගේ දෙවන මනාපය සිරිමාවෝ බණ්ඩාරනායක වෙත ලබා දෙන මෙන් කොල්වින් ආර් ද සිල්වා විසින් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියා.

පොදුජන පෙරමුණ හා එජාපය යන පක්ෂ දෙකටම එරෙහි විකල්ප අපේක්ෂකයෙකු සේ පෙනී සිටින අනුර කුමාරට හෝ ඔහුගේ පක්ෂය වන ජවිපෙට කොල්වින් ආර් ද සිල්වා විසින් කළ ආකාරයේ ඉල්ලීමක් ප්‍රසිද්ධියේ කරන්න අමාරුයි. එහෙත්, ජවිපෙ සාමාජිකයෙකු ලෙස පෙනී නොසිටින ජාතික ජන බලවේගයේ ප්‍රකාශකයෙකුට එවැනි ඉල්ලීමක් කළ හැකියි. ජවිපෙටම වුවත් අප්‍රසිද්ධියේ තමන්ගේ විශ්වාසවන්ත සාමාජිකයින් දැනුවත් කළ හැකියි. ජවිපෙ සතුව මේ විකල්පය තිබෙන නිසා, අවසාන මොහොතේ අනුර කුමාර තරඟයෙන් ඉවත් වේයැයි හිතන්න පුළුවන් කමක් නැහැ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පක්ෂයක් ලෙස ජවිපෙට ඉතා වැදගත් දෙයක්.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ එජාපය හා ජවිපෙ විසින් රාජපක්ෂලාට කළ චෝදනා හා රාජපක්ෂලාගේම හැසිරීම් නිසා විශාල පිරිසකට රාජපක්ෂලාව එපා වුනා. ඔවුන් යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන්නා. ඉන් පසුව රාජපක්ෂලා හා ජවිපෙ විසින් වගේම මෛත්‍රීපාල පාර්ශ්වය විසින්ද  බැඳුම්කර චෝදනාව එල්ල කරමින් එජාපයට විශාල පහරක් ගැහුවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂලා එපා වී යහපාලනයට ආ විශාල පිරිසකට එජාපයත් එපා වුනා. නමුත්, මේ පිරිස් ජවිපෙ මුලින් ගණන් හදා බලා තිබූ ආකාරයට ඔවුන් වෙත ආවේ නැහැ. මහින්ද පාර්ශ්වයේ රතු අලි ලේබල් එක නිසා එජාපයෙන් ඉවත් වන පිරිස් ජවිපෙන්ද ඉවත් වුනා. ඉන් පසුව, මේ පිරිස් නැවතත් දින පණහේ ඔක්තෝබර් විප්ලවය වෙලාවේ මහින්දට හා මෛත්‍රීට එරෙහිව නැගී සිටියා. එහෙත්, ඔවුන් එජාපය වෙත හෝ ජවිපෙ වෙත නැවත ආකර්ශනය වුනේ නැහැ.

අවසාන ප්‍රතිඵලය විදිහට මේ වෙද්දී එජාප, ශ්‍රීලනිප (පොදුජන පෙරමුණද ඇතුළුව) හා ජවිපෙ තුනම එපා වී 225ම එපා කියා කියන පිරිසක් රටේ බිහි වී සිටිනවා. ඒ අයගේ ඉල්ලුම සපුරමින් අපේක්ෂකයින් කිහිප දෙනෙක්ද කරලියට පැමිණ තිබෙනවා. දැන් තිබෙන තත්ත්වය අනුව, රාජපක්ෂ කඳවුරේ ඡන්ද තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් ජවිපෙ සතුව නැහැ. මෑතකාලීන ඉතිහාසය පුරාම ජවිපෙ වෙත ආකර්ෂණය වුනේ ශ්‍රීලනිප ඡන්ද වුවත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. ජවිපෙට යම් තරමකින් හෝ ගෝඨාභයට සෘජු බලපෑමක් කළ හැක්කේ ඔහුට ලැබෙන්නට ඉඩ තිබෙන පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමෙන් පමණයි.

ජවිපෙ විසින් තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර එජාප අපේක්ෂයෙකුට සෘජුව හෝ වක්‍රව සහාය පළ කිරීම මඟින් මේ පාවෙන ඡන්ද එජාපය වෙත තල්ලු කළ නොහැකි තරමට ජවිපෙ විසින් බැඳුම්කර සිද්ධිය උපයෝගී කර ගනිමින් එජාපයට බැට දී අවසන්. ඒ නිසා, ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩ ඇති නාගානන්ද කොඩිතුවක්කු හෝ රොහාන් පල්ලෙවත්ත වැනි අයෙකුට ලබා ගත හැකි කිසියම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේ ඡන්ද මෙතෙක් ජවිපෙට ලැබුණු ජවිපෙ නොවන ඡන්ද. ජවිපෙ විසින් අනුර කුමාර වෙත ආකර්ශනය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ මේ පාවෙන ඡන්දයි.

එහෙමනම්, ජවිපෙ විසින් ගාමිණී විජේසිංහ වැනි අයෙකු නොදා තමන්ගේ නායකයාම තරඟයට ඉදිරිපත් කළේ ඇයි? අපේ පහසුව සඳහා අපි අර විකල්ප අපේක්ෂකයා නාගානන්ද කියා හිතමු. දැන් නාගානන්ද වෙනුවෙන් ඡන්දය දෙන්නේ පක්ෂ තුනම එපා කියා කියන අයයි. මේ ඡන්ද සඳහා තරඟ කරන්න ගාමිණී විජේසිංහ දැම්මා කියා කියමු. දැන් තේරීම තියෙන්නේ දේශපාලන පක්ෂයක ඉත්තෙක්ව සිටින ස්වාධීන පුද්ගලයෙක් හා එසේ නොවන ස්වාධීන පුද්ගලයෙක් අතරයි. මේ වැඩෙන් අවශ්‍ය කාර්යය නොකෙරෙන බව පැහැදිලියි. ජවිපෙට ස්වාධීන පුද්ගලයෙක් තරඟයට දමා 225ම එපා කියන අයගේ ඡන්ද ලබා ගන්න බැහැ.

මේ තත්ත්වය යටතේ ජවිපෙ විසින් උත්සාහ කරන්නේ 225ම එපා කියන අදහසට මතවාදීව එරෙහි වෙමින් මේ පාවෙන ඡන්ද ආකර්ශනය කර ගන්නයි. විකල්ප අදහසක් ලෙස ඔවුන් කියන්නේ ජනතාව අතර කාලයක් සිටි කෙනෙකුට ආදේශකයක් වීමට රොකට් කාරයෙකුට නොහැකි බවයි. මේ කතාව ගැලපෙන්නේ ජවිපෙ දැනට සිටින නායකයෙකුටයි. වඩාත්ම ගැලපෙන්නේ එහි නායකයාටයි. ඔහුට අවම වශයෙන් ජවිපෙ ඡන්ද සියල්ලම ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

අනුර කුමාරව ඉදිරිපත් කිරීමේ තිබෙන ප්‍රශ්නය වන්නේ ඔහුව "රතු අලියෙක්" සේ හඳුනා ගෙන තිබීමයි. එහෙත්, මෙය ප්‍රශ්නයක් වන්නේ රාජපක්ෂ කඳවුරේ ඡන්ද ඉලක්ක කරනවානම් පමණයි. ජවිපෙ දැන් ඉලක්ක කරන්නේ යහපාලනයට ලැබුණු, මේ වන විට යහපාලනයෙන් ගිලිහී ඇති ඡන්දයි. ජවිපෙ මෙවර තනිව තරඟ කරන තෙවන හේතුව මෙන්ම, ජවිපෙ අපේක්ෂකයා අනුර කුමාර වන්නේද මේ නිසයි.

අනුර කුමාර ඉදිරිපත් පත් වීම නිසා අවසන් ප්‍රතිඵලයට සිදු වන බලපෑම මෛත්‍රීපාල සිරිසේනගේ හැසිරීම, එජාප අපේක්ෂකයා කවුරුන්ද යන වග හා ඉදිරිපත් විය හැකි නාගානන්ද වැනි "ස්වාධීන" අපේක්ෂකයින් මත තීරණය වනවාක් මෙන්ම ඒ දේවල් සිදුවන ආකාරයද අනුර කුමාරගේ ඉදිරිපත් වීම මත යම් තරමකින් වෙනස් විය හැකියි.

Monday, August 19, 2019

ජවිපෙ මැතිවරණ පුරාණය


ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක් නෙමෙයි. මේ වන විට එම පක්ෂයේ ඉතිහාසය වසර පණහකටත් වඩා වැඩියි. පක්ෂය හදන කාලයේ එහි නිර්මාතෘ රෝහණ විජේවීර වයස අවුරුදු විසි එකක තරුණයෙක්. පළමු කැරැල්ලට සහභාගී වූ තරුණයින්ගේ සාමාන්‍ය වයස අවුරුදු 20ක් සේ සැලකෙනවා.

රෝහණ විජේවීරව මරා දමන විට ඔහුගේ වයස අවුරුදු 46යි. පළමු කැරැල්ලට සහභාගී වූ අය ඒ වන විට ජීවත්ව සිටියේනම් ඒ බොහෝ දෙනෙක්ගේ වයසද ආසන්න වශයෙන් එපමණ වෙනවා. නමුත්, විජේවීරගේ මරණය සිදුවුණු කාලය වන විට පළමු කැරැල්ලට සහභාගී වූ බොහෝ දෙනෙක් ජවිපෙ සමඟ සිටියේ නැහැ. ඒ වන විට ජවිපෙ සමඟ සිටි හා ජවිපෙ දෙවන කැරැල්ලට සහභාගී වූ බොහෝ අය ඒ කාලය වන විට අවුරුදු විස්සකට ආසන්නව සිටි අයයි.

ජවිපෙ ආරම්භයේ සිට දෙවන කැරැල්ල අවසන් වූ කාලය දක්වාම එම පක්ෂයේ සාමාජිකයින්ව සිටියේ තරුණ තරුණියන්. ඒ හැර ජවිපෙ පවුල් කියා කිව හැකි පවුල් නොතිබුණු තරම්. මුල් කැරැල්ලට සහභාගී වූ බොහෝ දෙනෙක්ගේ දෙමවුපියන් සම්ප්‍රදායිකව පැරණි වාමාංශික පක්ෂයකට සහයෝගය දැක්වූ අය. දෙවන කැරැල්ලට සහයෝගය දැක්වූ බොහෝ දෙනෙකුගේ දෙමවුපියන් ශ්‍රීලනිප පාක්ෂිකයින්. මේ අය අතරින් බොහෝ දෙනෙකු තමන්ගේ දරුවන් ජවිපෙ සාමාජිකයින්ව සිටින බව දැන සිටියේ නැහැ.

ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න පටන් ගත්තේ දෙවන කැරැල්ලෙන් පසුව නෙමෙයි. එහෙත්, දෙවන කැරැල්ල පරාජය වීමෙන් පසුව එම පක්ෂය දිගටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කටයුතු කරමින් සිටිනවා. එම කාලය දශක දෙකකට ආසන්නයි.

දෙවන කැරැල්ලෙන් පසුව පක්ෂය නැවත ගොඩ නැගූ එවකට තරුණ වියේ සිටි නායකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් එම පක්ෂයේ නායකයින් ලෙස කටයුතු කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් මේ වන විට රෝහණ විජේවීර මිය යන විට සිටි වයස පහු කරලා. මේ වන විට ජවිපෙ හා අදාළ තීරණ ගන්නේ වයස අවුරුදු පණහක් පමණ වූ පරිණත පිරිසක්. පක්ෂයේ නායක හා ජනාධිපති අපේක්ෂක අනුර කුමාරත් වයස අවුරුදු පණහක් වූ පරිණත පුද්ගලයෙක්.

ජවිපෙ තව දුරටත් තරුණයින්ගේ පක්ෂයක් නෙමෙයි. පක්ෂයේ ඉහළ තලයේ සිටින පුද්ගලයින් සමඟම ජවිපෙද පරිණත වී තිබෙනවා. මේ වන විට ජවිපෙ පවුල් කියා හැඳින්විය හැකි පවුල් රටේ සිටිනවා. තරුණයෙකු තව දුරටත් ගෙදරට හොරෙන් ජවිපෙ දේශපාලනය කළ යුතුද නැහැ.

ජවිපෙ මුලින්ම ජනාධිපතිවරණයකට තරඟ කළේ 1982දී. එය ලංකාවේ පළමු ජනාධිපතිවරණයද වූවා. ජනාධිපතිවරණයට තරඟ කළේ පක්ෂයේ නිර්මාතෘ හා එවකටද නායකයා වූ රෝහණ විජේවීරමයි.

මේ පළමු ජනාධිපතිවරණය පැවැත්වෙන විට රටේ ජනාධිපතිව සිටියේ ජේආර් ජයවර්ධනයි. ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයාව සිටියේද එජාපයෙන් තරඟ කළ ඔහුමයි. රටේ මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය සියල්ලක්ම තුළ ජේආර්ගේ ඒකාධිකාරය පැහැදිලි ලෙස කැපී පෙනුනා.

පළමු ජනාධිපතිවරණයේදී ජේආර්ගේ ප්‍රතිවාදියා ලෙස සටනක් දීමේ වැඩිම ශක්‍යතාව තිබුණේ ශ්‍රීලනිප නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායකට වුවත්, ජනාධිපතිවරණය පැවැත්වෙන විට ඇගේ ප්‍රජා අයිතිය අහිමිව තිබූ බැවින් ඇයට තරඟ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඊට අමතරව ඒ වන විට ශ්‍රීලනිපය දෙපිලකට බෙදී පක්ෂයේ අයිතිය හා සම්බන්ධවද ගැටළු පැන නැගී තිබුණා. ශ්‍රීලනිප අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවට එම පක්ෂයේ සියලු දෙනාගේම ආශීර්වාදය ලැබුණේ නැහැ. මේ තත්ත්වය තුළ 1982 ජනාධිපතිවරණය තනි අස්සයෙකු දිවූ තරඟයක්.

මේ කාලය වෙද්දී ජවිපෙ ඉලක්කය වූයේ රටේ දෙවන ප්‍රධාන දේශපාලන බලවේගය ලෙස ශ්‍රීලනිපය අභිබවා ඉදිරියට පැමිණීමයි. ජනාධිපතිවරණයේදී තමන්ට ආණ්ඩුවට එරෙහි ඡන්ද වලින් විශාල කොටසක් ලබා ගත හැකි වනු ඇති බව රෝහණ විජේවීර විසින් තක්සේරු කර තිබෙන්න ඇති. කෙසේ වුවත්, ඔහුට ලබා ගත හැකි වූයේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 4.19%ක් පමණයි.

දෙවන ජනාධිපතිවරණය පැවැත්වෙන විට එජාපයට පෙර වූ ජනප්‍රියත්වය තව දුරටත් එසේම තිබුණේ නැහැ. තෙවන අපේක්ෂකයෙකු ලෙස ඔසී අබේගුණසේකරද ඉදිරිපත්ව සිටියත්, ශ්‍රීලනිප අපේක්ෂිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක ඒ වන විට එජාපය සමඟ තරඟ කළ හැකි මට්ටමකට ජනප්‍රිය සිටියා. ජේආර් ජයවර්ධන විසින් රණසිංහ ප්‍රේමදාසට අවස්ථාව ලබා දුන්නේ පැරදෙන්නට නියමිත බව පෙනෙන්නට තිබුණු ජනාධිපතිවරණයකට තරඟ කිරීමටයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මුලින්ම ඉදිරිපත් වූයේ ජවිපෙද ඇතුළත් පක්ෂ අටක සන්ධානයක පොදු අපේක්ෂිකාව ලෙසයි. එහෙත්, මැතිවරණයට පෙර ජවිපෙ මේ පොදු සන්ධානයෙන් ඉවත් වුනා. එක පැත්තකින් ජවිපෙ විසින් සන්ධානයකට ඇතුළු වී ශ්‍රීලනිප ඡන්ද තමන් වෙත හරවා ගැනීමට උත්සාහ කරද්දී, ශ්‍රීලනිප විසින් එජාපයට එරෙහිව ජවිපෙ ඉදිරියට දමා පැත්තක සිට පහසුවෙන් බලය ලබා ගන්නට උත්සාහ කිරීම මේ සන්ධානය බිඳ වැටීමට හේතු වූවා විය හැකියි.

දෙවන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වීමට ප්‍රධානම හේතුව වූයේ ජවිපෙ භූමිකාවයි. ජවිපෙ විසින් එම මැතිවරණය වර්ජනය කිරීමෙන් නොනැවතී මැතිවරණ රාජකාරි වල නියැලෙන පුද්ගලයින්ට මෙන්ම ඡන්දය දමන්නන්ටද මරණ තර්ජන එල්ල කළා පමණක් නොව මැතිවරණ රාජකාරි වල නියැලුණු ඇතැම් නිලධාරීන්ව වෙඩි තබා මරා දැමුවා. මේ මැතිවරණයේදී මැතිවරණ රාජකාරි වල නියැළුණු අයෙකු ලෙස අනෙකුත් නිලධාරීන් හා ඡන්දදායකයින් සිටි මානසිකත්වය මා පෞද්ගලිකවම අත් විඳි දෙයක්. ඡන්ද පොළ රාජකාරි කළ බොහෝ දෙනෙකු පෙර දින හරියකට නින්දක් ලැබුවේ නැහැ. පළමුවෙන් ඡන්දය දමන පස් දෙනා මරා දමන බව දන්වා තිබුණු නිසා, බොහෝ දෙනෙක් වෙනත් අය ඡන්දය දමන තුරු බලා සිටියා.

ජවිපෙ දෙවන කැරැල්ලේ බලපෑම වැඩිපුරම තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායකට වැඩිම සහයෝගයක් තිබුණු ප්‍රදේශ වලයි. ඒ නිසා, ඡන්ද වැළැක්වීම වැඩිපුරම බලපෑවේ ඈ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ හැකිව තිබුණු ඡන්දදායකයින්ටයි. ජවිපෙ තර්ජන නොවන්නට රණසිංහ ප්‍රේමදාසටට එවර ලංකාවේ ජනාධිපති නොවිය හැකිව තිබුණා.

ජවිපෙ අපේක්ෂාව වූයේද දෙවන ජනාධිපතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කරනු දැකීමයි. මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ජයග්‍රහණය කළහොත් එජාප විරෝධී බලවේග දෙකට බෙදෙනු ඇති බවත්,  එජාපය ජය ගැනීමෙන් පසුව සියලු ආණ්ඩු විරෝධී බලවේග තමන් වටා එකතු කරගෙන රාජ්‍ය බලය ලබා ගැනීම පහසු වනු ඇති බවත් ජවිපෙ තක්සේරුව වුනා. ඇත්තටම සිදු වූ දෙය නැවත විස්තර කළ යුතු නැහැ.

කොහොම වුනත්, ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළ හෝ ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කළ පළමු අවස්ථාව ලෙස 1988 ජනාධිපතිවරණය හඳුනාගත හැකියි.

තෙවන ජනාධිපතිවරණය පැවැත්වෙන විට ජවිපෙ නැවත සංවිධානය වී පළමු වරට පාර්ලිමේන්තු නියෝජනයක්ද හිමි කර ගෙන සිටියා. එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් නාම යෝජනා භාර දුන්නා. නමුත්, මේ වන විටත් ජවිපෙට රට පුරා නිදහසේ ඡන්ද ප්‍රචාරණය කළ හැකි වාතාවරණයක් හෝ ප්‍රබල යාන්ත්‍රණයක් නොතිබුණු නිසා ඔහුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ ඉඩකඩක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ වගේම, මේ මැතිවරණය ආසන්නයේදී ගාමිණී දිසානායක ඝාතනය වීම හා එජාපයෙන් තරඟය සඳහා ඉදිරිපත් කළ ඔහුගේ බිරිඳ ශ්‍රීමා දිසානායක ප්‍රබල ප්‍රතිවාදිනියක නොවීම නිසා එජනිස අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ ජයග්‍රහණය පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

වසරක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට චන්ද්‍රිකාගෙන් පොරොන්දුවක් ලබා ගනිමින් නිහාල් ගලප්පත්ති නොනිල ලෙස තරඟයෙන් ඉවත් වුනා. මේ පොරොන්දුව ඉටු නොවන පොරොන්දුවක් බව ජවිපෙ දැන නොසිටින්නට හේතුවක් නැහැ.  චන්ද්‍රිකාට ජයග්‍රහණය කිරීමට ජවිපෙ සහයෝගය වැදගත් නොවූවත්, ඒ වෙලාවේ විධායක ජනාධිපති ධුරයට රටේ තිබුණු විරෝධය අනුව මේ පොරොන්දුව නොදී සිටීමේ දේශපාලනික හානියක් ඇයට තිබුණා. පොරොන්දුව ලබා ගැනීම හරහා කෙටිකාලීනව චන්ද්‍රිකාගේ ජයග්‍රහණයට අයිතිවාසිකම් කීමේ හැකියාව මෙන්ම දිගුකාලීනව චන්ද්‍රිකා යනු විශ්වාසය තැබිය නොහැකි තැනැත්තියක බව පෙන්වා දීමේ වාසි ජවිපෙ විසින් ලබා ගත්තා.

සිවුවන ජනාධිපතිවරණය පැවැත්වුණු 1999 වන විට චන්ද්‍රිකාගේ ජනප්‍රියත්වය සෑහෙන පමණකින් ගිලිහී තිබුණත්, එජාපයේ "දාහත් අවුරුදු සාපය" බොහෝ දෙනෙකුට අමතක වී නොතිබුණු නිසා චන්ද්‍රිකාට එරෙහිව තරඟ කළ රනිල් වික්‍රමසිංහට චන්ද්‍රිකාව මිනිස්සුන්ට එපා වීමේ වාසිය ලබා ගත හැකි තත්ත්වයක් ද තිබුණේ නැහැ. මේ ආකාරයට ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහිම කළ කිරුණු සැලකිය යුතු ඡන්ද දායක පිරිසක් සිටීම ජවිපෙ වැනි තෙවන බලවේගයකට වාසිදායක තත්ත්වයක්. අනෙක් අතින් මේ වන විට ජවිපෙ සංවිධාන ජාලය නැවතත් රට පුරා ව්‍යාප්ත වී තිබුණා.

ජයග්‍රහණය ඉතා දුරස්ථ බව දැන දැනම නන්දන ගුණතිලකව සිවුවන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමෙන් ජවිපෙ කරුණු කිහිපයක් ඉලක්ක කරන්නට ඇතැයි සිතිය හැකියි. පළමුව, මෙය ඔවුන්ට ඔවුන් සතු ඡන්දදායක පදනම ඇස්තමේන්තු කර ගැනීමට උදවුවක්.  දෙවනුව, ඔවුන්ට යම් නියෝජනයක් ලබා ගත හැකි බව පෙනෙන්නට තිබුණු මහ මැතිවරණයට ඉදිරිපත් වන්නට පෙර මෙවැනි ප්‍රධාන මැතිවරණයකට ඉදිරිපත් වීමෙන් මහ මැතිවරණයේදී ප්‍රචාරක වාසියක් ලබා ගත හැකියි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නන්දන ගුණතිලකව තෝරා ගත්තත් ඔහු ඒ වන විට ජවිපෙ නායකයා නෙමෙයි. ඒ වගේම, ඔහුට වඩා ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකුම ඒ වෙද්දී ජවිපෙ සතුව සිටියා. එසේ තිබියදී නන්දන ගුණතිලකව අපේක්ෂකයා සේ ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මහ මැතිවරණයට පෙර අඩු වශයෙන් රට හඳුනන තවත් එක් අපේක්ෂකයෙකු බිහි කර ගැනීම විය හැකියි. මේ වෙද්දී ජවිපෙ සතුව දිස්ත්‍රික් නායකයින් සේ දැමීමට අවශ්‍ය තරමට හෝ රට හඳුනන පුද්ගලයින් සිටියේ නැහැ.

සිවුවන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ පරාජයට තෙවන අපේක්ෂකයෙකු ලෙස නන්දන ගුණතිලක ඉදිරිපත් වීම බලපෑවේයැයි සිතිය නොහැකියි. චන්ද්‍රිකා කුමාරතුංගගේ ඡන්ද ප්‍රතිශතය පළමු වාරයට සාපේක්ෂව විශාල ලෙස පහත වැටී තිබුණත්, ඈ 50% මට්ටම ඉක්මවා ඡන්ද ලබාගත්තා. යම් හෙයකින්, ජවිපෙ මැදිහත්වීම හේතුවෙන් ප්‍රතිඵලය වෙනස් වීමේ ඉඩකඩක් තිබුණේ වුවද මේ අවස්ථාව වන විට එය ජවිපෙට ප්‍රශ්නයක් වන්නට හේතුවක් නැහැ. ඔවුන්ට රනිල් හා චන්ද්‍රිකා අතරින් එක් නිශ්චිත අයෙකු බලයට පත් කර ගැනීමට විශේෂ කැමැත්තක් නොතිබෙන්න ඇති.

නන්දන ගුණතිලක විසින් 1999 ජනාධිපතිවරණයේදී 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. මේ ප්‍රතිශතය 1982දී රෝහණ විජේවීර විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයට ඉතා ආසන්නයි. 2000 මහ මැතිවරණයේදී ජවිපෙ ඡන්ද පදනම 6.00% දක්වාත්, 2001 වන විට 9.10% දක්වාත් වර්ධනය වුනා. ඒ ගැම්මටම ගියානම් ජවිපෙට තනි පක්ෂයක් ලෙස තවත් ඉදිරියට යා හැකිව තිබුණා. එහෙත්, 2004 මහ මැතිවරණය අබිමුව එජනිස ලෙස ශ්‍රීලනිපය හා සන්ධානගත වීම නිසා ජවිපෙට තාවකාලික වාසියක් ලැබුණත් එයින් දිගුකාලීනව එම පක්ෂයට සිදු වූයේ හානියක්.

ආරම්භයේ සිට ඉතා මෑතක් වන තුරුම ජනතා විමුක්ති පෙරමුණේ ඉලක්කය වුනේ ශ්‍රීලනිප හා පැරණි වාමාංශික පක්ෂ වටා එක්රැස් වී සිටි එජාප විරෝධී ජන කොටස් තම පක්ෂය වටා එකතු කර ගන්නයි. ඔවුන්ට බොහෝ විට මේ ඉලක්කයට යන්න පුදුම හදිස්සියක් තිබුණා. හදිස්සියට හේතුව වෙන්න ඇත්තේ පක්ෂය වගේම පක්ෂයේ සාමාජිකයින් වැඩි දෙනෙක්ද දුර දිග නොබලා හදිසි තීරණ ගන්නා වයසක සිටීම වෙන්න ඇති.

වේගයෙන් වර්ධනය වෙමින් තිබුණු හා ඒ වන විටත් 9.10% මට්ටමට වර්ධනය වී තිබුණු ඡන්ද පදමනක් අතේ තියාගෙන ශ්‍රීලනිපය සමඟ සන්ධානයක් හදන්න ජවිපෙ යොමු වෙන්න ඇත්තේ එසේ කිරීමෙන් තමන්ගේ දිගුකාලීන ඉලක්කයට වඩා ඉක්මණින් යා හැකි වනු ඇතැයි සිතූ නිසා වෙන්න ඇති. මේ දිගුකාලීන ඉලක්කය තමන්ගේ ජන පදනම වඩා පුළුල් කරගැනීම මිස පාර්ලිමේන්තු නියෝජනය වඩා වැඩි කර ගැනීම වූවා කියා මා හිතන්නේ නැහැ. එහෙත්, 2004 මහ මැතිවරණයේදී ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය අපේක්ෂා නොකළ ලෙස 39 දක්වා ඉහළ ගියා.

මේ මැතිවරණයේදී මා ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් භාර නිලධාරියෙකු ලෙස කටයුතු කර ඉන් පසුව ගණන් කිරීමේ මධ්‍යස්ථානයකද කටයුතු කළා. ඒ නිසා, ඡන්ද පොළ නියෝජිතයින්, අපේක්ෂයින් හා ඡන්දදායකයින්ගේ හැසිරීම් මෙන්ම ඡන්ද හා මනාප සලකුණු වී තිබුණු රටාවන්ද පැහැදිලිව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව, පෙනී ගියේ තමන්ගේ නියෝජනය වැඩි කර ගැනීම සඳහා ජවිපෙ අනුගමනය කළ ක්‍රමවේදය සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබුණු බවයි.

එම මැතිවරණයේදී සාමාන්‍ය ශ්‍රීලනිප ඡන්දදායකයින්ගෙන් ජවිපෙ ඉල්ලා සිටියේ ජවිපෙ අපේක්ෂකයෙකුටත් එක් මනාපයක් ලබා දෙන ලෙසයි. ශ්‍රීලනිප අපේක්ෂකයින් මෙය ප්‍රශ්නයක් ලෙස සැලකුවේ නැහැ. ඔවුන් අවධානය යොමු කළේ තමන්ගේ පිලේම තරඟකරුවන් අභිබවා වැඩි මනාප ගන්නයි. එතරම් ප්‍රසිද්ධියක් නැති ජවිපෙ අපේක්ෂකයින් විසින් තේරී පත් වීමට ප්‍රමාණවත් මනාප ප්‍රමාණයක් ලබා ගනු ඇතැයි ඔවුන් විශ්වාස කළේ නැහැ. සරලව කියනවානම් ඔවුන් බලාගෙන හිටියේ ජවිපෙ උදවුවෙන් තමන්ගේ නියෝජනය හා මනාප ප්‍රමාණය වැඩි කරගන්නයි.

ජවිපෙ විසින් පොදුවේ සියලුම ඡන්දදායකයින්ගෙන් අඩු වශයෙන් එක් මනාපයක් හෝ ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතරම ජවිපෙ අපේක්ෂකයින්ට පමණක් මනාප දෙන මෙන් තමන්ගේ පාක්ෂිකයින්ව දැනුවත් කර තිබුණා. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස බොහෝ දිස්ත්‍රික්ක වල ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින් වැඩිම මනාප ලබමින් තේරී පත් වුනා. ජවිපෙට ඇමති ධුර හතරක්ද හිමි වුනා. මේ මැතිවරණයට බෞද්ධ භික්ෂූන් ඉදිරිපත් කළ ජාතික හෙළ උරුමයද තනිව තරඟ කර මන්ත්‍රී ධුර නවයක් හිමි කර ගත්තා.

මහින්ද රාජපක්ෂ පළමු වර ජනාධිපති ධුරයට තරඟ කරද්දී ඔහු පසුපස සිටි ප්‍රධානම බලවේග දෙක ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමයයි. මැතිවරණයෙන් ජයගත් මහින්ද හා ප්‍රධාන ප්‍රතිවාදියා වූ රනිල් අතර වූ පරතරය 1.86%ක් පමණයි. මෙතෙක් පැවති වෙනත් කිසිදු ජනාධිපතිවරණයකදී සටන මෙතරම් තීව්‍ර ලෙස පැවතී නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික හෙළ උරුමය යන පාර්ශ්ව දෙකෙන් එකක් හෝ මහින්දට සහයෝගය ලබා නුදුන්නානම් 2005දී ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහයි. එම පාර්ශ්ව දෙකේ සහාය ලැබුණත්, එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ ඡන්ද දැමීම නොවැළැක්වූයේනම් මහින්දට දිනන්න ලැබෙන්නේ නැහැ. 2005 ජනාධිපතිවරණය ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළේයැයි සැලකිය හැකි දෙවන අවස්ථාවයි.

එක වර ලැබුණු මන්ත්‍රී ධුර 39 වගේම ඇමති ධුර හතරත් ජවිපෙට දරා ගත හැකි වූයේ නැහැ. පක්ෂයක් ලෙස ජවිපෙ රාජ්‍ය පාලනයට දායක විය හැකි තරමට පරිණත වී සිටියේ නැහැ. ඔවුන් පුරුදු වී සිටියේ පවතින ආණ්ඩු විසින් කරන දේවල් වලට විරුද්ධ වීමට පමණයි. ඒ නිසා, ලැබුණු ආණ්ඩු බලය පක්ෂයේ ජන පදනම වර්ධනය කර ගැනීම සඳහා උදවු කර ගැනීමට ජවිපෙ සමත් වුනේ නැහැ. ඒ අතර, ජවිපෙ ජාතිකවාදී හා ජනප්‍රියවාදී කොටස් ජවිපෙන් ගලවා තමන් වෙත ලං කර ගැනීමට මහින්ද සමත් වීම නිසා එක පැත්තකින් ජවිපෙ හා ශ්‍රීලනිපය අතර දීගය කැඩී යාමත් අනික් පැත්තෙන් ජවිපෙ මැතිවරණ ගැම්ම නැති වීමත් සිදු වුනා.

යුද ජයග්‍රහණයෙන් පසුව මහින්දගේ ජනප්‍රියත්වය විශාල ලෙස ඉහළ ගියා. ඔහුට දෙවන වර තේරී පත් වෙන්න ජවිපෙ හෝ වෙනත් කිසිදු තෙවන පාර්ශ්වයක සහාය අවශ්‍ය වූයේ නැහැ. ඔහුගේ ජයග්‍රහණය වලක්වන්න ජවිපෙට පුළුවන්කමක් නොතිබුණත්, එජාපයේද සහයෝගය ලබන පොදු අපේක්ෂකයෙකු ලෙස සරත් ෆොන්සේකාව මහින්දට එරෙහිව ඉදිරිපත් කරමින් ජවිපෙ ඒ සඳහා උත්සාහයක් ගත්තා. ඉන් පසුව සරත් ෆොන්සේකා පාර්ශ්වය සමඟ සන්ධානයක් හදාගෙන 2005 මැතිවරණයට ඉදිරිපත් වූවත්, එහිදී එම සන්ධානයට ලැබුණේ 5.59%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මේ වන විට ජාතිකවාදී ඡන්ද ආකර්ශනය කර ගත හැකි තැනක ජවිපෙ නොසිටියාක් මෙන්ම මතවාදී ලෙස ජවිපෙ ජාතිකවාදයෙන් බැහැර වෙමින් සිටියා.

දෙවන කැරැල්ලෙන් පසුව ජවිපෙ තුළ සිදු වූ පළමු විභේදනය විමල් වීරවංශ පාර්ශ්වය ඉවත්ව යාමයි. ඔහු ජවිපෙ මැතිවරණ වේදිකා වල වැඩිම ආකර්ශනයක් ලබාගත් කථිකයා ලෙස හැඳින්විය හැකියි. ජවිපෙන් ඉවත් වීමෙන් පසුව මේ දක්වාම ඔහු ජවිපෙට එරෙහිව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සේවය කරමින් සිටිනවා.

විමල් වීරවංශ පාර්ශ්වය ඉවත් වීමෙන් පසුව ජවිපෙ දෙවන විභේදනය සිදු වී කුමාර් ගුණරත්නම් පාර්ශ්වය ජවිපෙන් ඉවත්ව ගියා. මැතිවරණ වලට මුහුණ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් සේ කටයුතු කරන බව පෙන්වූවත් ඒ වන විටත් ජවිපෙ විසින් ඔවුන්ගේ ආරම්භක දේශපාලනික ඉලක්කය වූ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණ අතහැර තිබුණේ නැහැ. විමල් වීරවංශ පක්ෂයෙන් ඉවත් වීමෙන් පසුව ජවිපෙ අභ්‍යන්තරය මෙන්ම ඒ වන විටද යටිබිම්ගතව සිටි ජවිපෙ නායකයින්ද සෑහෙන තරමකින් පිටතට එළිදරවු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස හා වෙනත් කරුණු හේතුවෙන් ජවිපෙ දෙවන විභේදනය සිදු වුනා.

දෙවන විභේදනය නිසා ජවිපෙ ඡන්ද පදනමට හානි වුනේ නැහැ. එයින් සිදු වුනේ ඔවුන්ගේ කාඩර්වරුන් අහිමි වීමයි. මේ වන විටත් රට දැන සිටි හා මැතිවරණ වේදිකා වල දැකිය හැකි වූ ජවිපෙ නායකයින් හැම විටම පක්ෂය ඇතුළේ බලපෑමක් කළ අය හැකි වූයේ නැහැ. රට දැන නොසිටි රහසිගත නායකයින් පක්ෂය ඇතුළේ බලය හෙබවූවා. මේ තත්ත්වය වෙනස් වුනේ දෙවන විභේදනයෙන් පසුවයි. අනුර කුමාර දිසානායක කියා කියන්නේ ජවිපෙ ජාතිකවාදී හා විප්ලවවාදී පාර්ශ්ව පක්ෂයෙන් ඉවත් වීමෙන් පසුව පක්ෂය තුළ ඉදිරියට ආ නායකයෙක්. ඔහුගෙන් නියෝජනය වන්නේ ජවිපෙ දැන් සිටින "නූතන" අදියරයි.

ඉහත කණ්ඩායම් දෙකම ඉවත් වීමෙන් පසුව, 2015 මහ මැතිවරණයේදී තනිව තරඟ කර ජවිපෙ විසින් ලබාගත්තේ 4.87%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණ වලදී ජවිපෙ විසින් 5.76%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා.

මේ සංඛ්‍යා දෙස බැලූ විට 2015 ජනවාරිය ආසන්නයේදී ජවිපෙ ඡන්ද පදනම පිළිබඳව අදහසක් ගත හැකියි. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන අතර වූ පරතරය 3.70%ක් පමණයි. ඒ අනුව, ජවිපෙ සහයෝගය මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට තීරණාත්මක ලෙස බලපෑවා. මෙය ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළ තෙවන අවස්ථාවයි.

ජවිපෙ අපේක්ෂකයෙකු තරඟ කර තිබෙන්නේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ හතෙන් දෙකකදී පමණයි. ඒ අවස්ථා දෙකම තෙවන විකල්පයකට රටේ කිසියම් ඉල්ලුමක් තිබුණු අවස්ථා ලෙස මෙන්ම ජවිපෙ පක්ෂ ව්‍යුහයේ කිසියම් සැලකිය යුතු වෙනසක් වීමෙන් පසුව පැවති මුල්ම මැතිවරණ ලෙස සැලකිය හැකියි. අවස්ථා හතෙන් අවස්ථා තුනකදී ඔවුන් තරඟ නොකර ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කිරීමට සමත් වුනා. තවත් එක් අවස්ථාවකදී, 2010දී, ඔවුන් එසේ කිරීම සඳහා අසාර්ථක උත්සාහයක් දැරුවා. ඉතිරි අවස්ථාවේදී දේශපාලනික වාසියක් ලබා ගනිමින් නොනිල ලෙස තරඟයෙන් ඉවත් වුනා.

අනුර කුමාර දිසානායකව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීම තේරුම් ගන්න වෙන්නේ ජවිපෙ මැතිවරණ ඉතිහාසය හා අදාළ මේ පසුබිම් කරුණු පාදක කර ගනිමිනුයි.

(Image: http://www.dailymirror.lk/print/opinion/can-anuras-logical-oratory-spur-peoples-imagination/172-42702)

Sunday, August 18, 2019

අනුර කුමාර දිසානායක


මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ වත්මන් නායක අනුර කුමාර දිසානායකව නම් කර තිබෙනවා. ඔවුන් ජාතික ජන බලවේගය නමින් ජනාධිපතිවරණයට හා අනෙකුත් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීමට යන බව කියනවා.

ජාතික ජන බලවේගය නමින් ආවත් එම බලවේගය ඇතුළේ තිබෙන්නේ ජවිපෙම තමයි. එහි වෙනත් කොටස් ඇත්නම් ඒ සියල්ලක්ම ජන බලයක් නැති නාමික සංවිධාන. මේ ආකාරයට පරණ වයින් අලුත් බෝතල් වල දැමීම ජවිපෙට අලුත් දෙයක් නෙමෙයි. එය ජවිපෙ විසින් මීට පෙර වාර ගණනාවක් අත් හදා බලා ඇති දෙයක්.

ඉදිරි ජනාධිපතිවරණය හා අදාළව පළමු බර පියවර තැබුවේ පොදුජන පෙරමුණයි. එම පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව නම් කරමින් එක වරම ලොකු ගැම්මක් ගත්තා. ඊට පෙර ක්‍රියාත්මක වීමට එජාපය විසින් උත්සාහයක් දැරුවත්, එම පාර්ශ්වයට සිය ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එකඟතාවයකට පැමිණීමට තවමත් හැකි වී නැහැ. මේ අයුරින් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ප්‍රතිවාදියා තවමත් සැඟවුණු අමුත්තෙක්ව සිටියදී, ජවිපෙ විසින් ජනාධිපතිවරණය ඉලක්ක කර සැලසුම් සහගත ඉදිරි පියවරක් තබා තිබෙනවා.

සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා හඳුන්වාදීම නාට්‍යානුසාරී ලෙස කිරීමට එම පක්ෂය විසින් විශාල උත්සාහයක් දරා තිබුණා. අවසන් මොහොත තෙක් අපේක්ෂකයාගේ නම රහසක්ව තබා ගැනීමද එහි කොටසක්. එහෙත්, මේ අපේක්ෂකයා අනුර කුමාර හෝ වෙනත් ප්‍රධාන පෙළේ ජවිපෙ නායකයෙක් බවට ඉඟි පළ කෙරී තිබුණා. ජාතික ජන බලවේගයේ සමාරම්භක රැළියට විශාල ජනතා සහභාගිත්වයක් පෙන්වීමටත්, එම බලවේගයට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතා කොටස් වල පුළුල් සහායක් ඇති බව පෙන්වීමටත් ඔවුන් විශේෂ ප්‍රමුඛතාවයක් දී තිබුණා.

පළමු අරමුණ වෙනුවෙන් සිය සාමාජිකයින් හා ආධාරකරුවන් පවුල් පිටින් ගාලු මුවදොර පිටියට ගෙන්වීමට ඔවුන් පෙළඹී ඇති බව සෙනඟ අතර කුඩා දරුවන් විශාල වශයෙන් දැකිය හැකි වීමෙන් පෙනෙනවා. වේදිකාවේ කෙසේ වුවත් සෙනඟ අතර දෙමළ බස තේරුම් ගත හැකි වැඩි දෙනෙකු නැති බව ප්‍රතිචාර වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම, ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අනුර කුමාරව හඳුන්වා දීමේදී දැකිය හැකි ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ පැමිණි අය අතරින් බොහෝ අය කිසියම් "සර්ප්‍රයිස් එකක්" බලාපොරොත්තුවෙන් සිට අපේක්ෂාභංගත්වයට පත් වූ අයුරකියි.

ජනතා විමුක්ති පෙරමුණ, අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව, පුද්ගල චරිත ඉස්මතු කිරීමට වඩා පක්ෂ සාමූහිකත්වයට මුල් තැන දෙනවා. නමුත්, මහ මැතිවරණයකදී මෙන් නොව ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා කවුද කියන එක ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරනවා. ජවිපෙ වැනි පක්ෂයක් විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියන එකෙන් එම පක්ෂයේ මැතිවරණ ඉලක්කය ගැන අදහසක් ලබා ගත හැකියි.

ජවිපෙ පැත්තෙන් බැලූ විට ඔවුන්ගේ තේරීම නරක එකක් නෙමෙයි. මේ ගැන අපේ විග්‍රහය පසුව ඉදිරිපත් කෙරෙනු ඇති.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...