වෙබ් ලිපිනය:

Saturday, August 24, 2019

සජිත් හා එජාපය


සජිත් ප්‍රේමදාසව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තවමත් නිල වශයෙන් නම් කරලා නැහැ. එහෙත්, ඔහු තමාව එජාප ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරගෙන මේ වන විට සෑහෙන දුරක් ගිහින් තිබෙනවා. මේ වන විට ගිහින් තිබෙන දුර අනුව ඔහුට ආපසු හැරෙන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම, මේ වෙද්දී එජාපයේ බහුතර සහයෝගය සජිත් විසින් දිනාගෙන තිබෙන බවකුත් පෙනෙනවා.

සජිත් එජාපය ඇතුළේ ඉදිරියට එන්නේ රනිල් විරෝධයක් එක්කයි. පක්ෂය ඇතුළේ ඒකාධිපතියෙක් සේ කටයුතු කිරීම ගැන රනිල්ට චෝදනා කෙරෙනවා. මේ චෝදනාව කරන අය ඇඟිල්ල දිගු කර පෙන්වන ප්‍රධාන කරුණක් වන්නේ රනිල් එජාප නායකයාව සිටින දීර්ඝ කාලයයි. ඒ වගේම රනිල් මැතිවරණ විසි නවයක් හෝ එවැනි ගණනක් පැරදී ඇති බවත් කියනවා.

මා දන්නා තරමින් රනිල් පෞද්ගලිකව පැරදී තිබෙන්නේ මැතිවරණ දෙකක් පමණයි. ඒ 1999 හා 2005 ජනාධිපතිවරණයි. දෙවන අවස්ථාවේදී ඔහු ජනාධිපති ධුරය ආසන්නයටම ගියා. ඒ වගේම, රනිල් තරඟ කළ මහ මැතිවරණ ගණනකදීම ඔහු විශාල මනාප ප්‍රමාණයන් ලබමින් තේරී පත් වුනා. එජාපය ඇතුළේ හා පාර්ලිමේන්තුව ඇතුළේ ඔහුගේ තනතුරකට අභියෝග එල්ල වූ අවස්ථා ගණනාවකදීත් ඔහු පැරදුණේ නැහැ. එහෙත්, රනිල්ගේ නායකත්වය යටතේ එජාපය මැතිවරණ ගණනාවක් පැරදුනා. මේ ප්‍රමාණය මා ගණන් කර නැහැ. එය ඔය කියන විසි ගණන විය හැකියි.

එජාපය වැනි පක්ෂයක් ඇතුළේ වුවත් පක්ෂ නායකයෙකුට දිගුකාලීනව බලහත්කාරයෙන් ධුරයක් දැරිය නොහැකියි. එජාපය දිගින් දිගටම මැතිවරණ පරාජය වෙද්දීත් රනිල්ගේ නායකත්වය නැති නොවුනේ රනිල් බලහත්කාරයෙන් ධුරය දැරූ නිසා නෙමෙයි. ඔහු එම කාලය ඇතුළත එජාපයේ සිටි ජනප්‍රියම නායකයා වූ නිසයි. එජාපය ඇතුළේ සජිත්ට රනිල්ට වඩා වැඩි සහයෝගයක් තිබුණානම් මේ වෙද්දී සජිත් එජාප නායකයා වෙලා. සැපයුම එන්නේ ඉල්ලුම පසුපසින්.

රනිල් එජාප නායකයාව සිටි කාලයේ එජාපයට හිටපු හොඳම නායකයා රනිල්. ඒ කාලයේ එජාපය මැතිවරණ විසි ගණනක් පැරදුනා කියා කියන්නේ ඒ කාලය ඇතුළත එජාපයේ හිටි හොඳම නායකයාටත් ගොඩදාන්න බැරි තැනකට එජාපය වැටී හිටියා කියන එක මිසක් සජිත් හෝ වෙනත් අයෙක් එජාප නායකයා වුනානම් තත්ත්වය වෙනස් විය හැකිව තිබුනා කියන එක නෙමෙයි. ඒ වගේම, රනිල් මෙතෙක් (ඔහු නායකයාව සිටි කාලයේ) එජාපයට හිටපු හොඳම නායකයා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ තත්ත්වය වෙනස් වී නැති බව හෝ අනාගතයේදී වෙනස් නොවන බවත් නෙමෙයි. වෙනස් බාහිර තත්ත්වයන් යටතේ පක්ෂය ඇතුළේ සිටින වෙනත් කෙනෙක් එජාප නායකත්වයට රනිල්ට වඩා සුදුසු වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා සජිත් වෙන්නත් පුළුවන්.

ජේආර් ජයවර්ධන දක්වා කාලය තුළ එජාප නායකයින් බිහි වුනේ සම්ප්‍රදායික ප්‍රභූ පන්තිය තුළින්. ඒ වගේම සම්ප්‍රදායික ප්‍රභූ පංතියේ හා ඉහළ මධ්‍යම පංතියේ සහයෝගය වැඩියෙන් ලැබූ පක්ෂය වුනේත් එජාපයයි. රට පුරා විසිරී සිටි ප්‍රභූ පවුල් වල සේවකයින් සේ වැඩ කළ, උගත්කමක් හෝ දේශපාලන අවබෝධයක් ලොකුවට නොතිබුණු ග්‍රාමීය කම්කරුවන් විශාල පිරිසක්ද හාම්පුතා කැමති පක්ෂයේ අපේක්ෂකයෙකුට ඡන්දය දුන්නා. වතු කම්කරුවන් ඔවුන්ගේ දේශපාලන නායකයින් උපදෙස් දෙන ආකාරයට ඡන්දය දුන්නා.

එජාපයේ වගේම ශ්‍රීලනිපයේත්, සෑහෙන තරමකින් අනෙකුත් වාමාංශික පක්ෂ වලත් නායකයින් සම්ප්‍රදායික ප්‍රභූ පන්තිය තුළින්ම බිහි වූ අය වුවත්, ශ්‍රීලනිපයේ සාමාජිකයින් වුනේ ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය මධ්‍යම පාන්තිකයින්. වාමාංශික පක්ෂ වලට ග්‍රාමීය මධ්‍යම පාන්තිකයින් අතර වගේම නාගරික කම්කරුවන් අතරත් යම් පදනමක් තිබුණා. මේ කණ්ඩායම් අතර එජාපය ජනප්‍රියව සිටියේ නැහැ.

ජේආර්ගෙන් පසුව එජාපයේ නායකයා වුනේ රණසිංහ ප්‍රේමදාසයි. ඔහුට එජාප නායකයා වෙන්න පුළුවන් වුනේ ජේආර් විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්ති නිසා සමාජයේ සිදු වූ ව්‍යුහමය වෙනස්කම් හේතුවෙන් එජාපයේ පාක්ෂික ව්‍යුහයත් වෙනස් වීම නිසයි. ජේආර් විසින් හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ ආර්ථිකය තුළ වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව වැඩි ඉඩක් විවෘත වුනා. එහි ප්‍රතිඵලයක් විදිහට සමාජයේ පහළ ස්ථර වල ආදායම් ඉහළ ගිහින් ජීවන තත්ත්වය උසස් වුනා. මෙයට සාපේක්ෂව මධ්‍යම පංතියට ලොකු ආර්ථික වාසි නොලැබුණු නිසා සාපේක්ෂ උගත්කමක් තිබුණු මධ්‍යම පාන්තිකයින් පසුකරමින්, ආර්ථික තලයේදී, අඩු උගත්කමක් තිබුණු සමාජ ධුරාවලිය ඇතුළේ වැඩි පිළිගැනීමක් නොතිබුණු රැකියා කළ අය මතු වුනා. ඒ අයට එජාපයේ ප්‍රතිපත්ති ආකර්ශනීය වෙද්දී එජාපය ඇතුළේ මේ ස්ථරයට නායකත්වය දිය හැකි පුද්ගලයෙකුට ඉල්ලුමක් ඇති වුනා. ඒ ඉල්ලුම හා ගැලපුනේ රණසිංහ ප්‍රේමදාස.

එජාපය ඇතුළේ පහළ ස්ථර වල අයගේ කොටස් වල සංයුතිය ක්‍රමයෙන් ඉහළ ගියා. මුලින්ම රණසිංහ ප්‍රේමදාස වටා හිටියේ නාගරික අඩුආදායම්ලාභීන්. එහෙත්, ආර්ථිකයේ විදේශ අංශය වඩා විවෘත කිරීමේ ප්‍රතිඵල ගම් වලට යද්දී සමාජ ධුරාවලියේ පහළින් සිටි ග්‍රාමීය කොටස්ද පක්ෂයක් ලෙස එජාපය වෙතත්, පුද්ගලයෙක් ලෙස රණසිංහ ප්‍රේමදාස වෙතත් වැඩි වැඩියෙන් ආකර්ෂණය වී මේ කණ්ඩායම එජාපයේ ප්‍රමුඛ කණ්ඩායම වුනා. රණසිංහ ප්‍රේමදාස එජාප නායකයා වීම මෙහි ප්‍රතිඵලයක්.

රණසිංහ ප්‍රේමදාස විසින් ජවිපෙ කැරැල්ල මර්දනය කිරීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග එක්ක එජාපයේ ග්‍රාමීය ඡන්දදායක පදනම දිය වෙන්න පටන් ගත්තා. රණසිංහ ප්‍රේමදාසගේ මරණය ගැන දැනගත් ගම් වල මිනිස්සු කිරිබත් උයා පාරවල් වලට දැම්මා. රතිඤ්ඤා පත්තු කළා. මං හිතන්නේ මේ වගේ දෙයක් සිදු වුනේ මේ අවස්ථාවේ හා ප්‍රභාකරන් මිය ගිය අවස්ථාවේ පමණයි. එජාපයේ දාහත් අවුරුදු පාලනය අවසන් කරමින් චන්ද්‍රිකා කුමාරතුංගට ජනාධිපති වෙන්න පුළුවන් වුනේ ජවිපෙ භීෂණයට ප්‍රතිචාර ලෙස එජාපය විසින් පවත්වාගෙන ගිය ප්‍රතිභීෂණය අවසන් වෙද්දී එතෙක් එජාපය සතුව පැවති ග්‍රාමීය ඡන්ද පදනම එජාපය කෙරෙන් විකර්ශනය වීම නිසයි.

ජවිපෙ දෙවන කැරැල්ල අවසානයේ එජාප ග්‍රාමීය ඡන්ද පදනම දිය වී යද්දී නැවතත් එජාප පාක්ෂික ව්‍යුහයේ ආකෘතිමය වෙනසක් ඇති වුනා. ඉහළ මධ්‍යම පාන්තිකන් නැවතත් එහි ප්‍රමුඛ කණ්ඩායම බවට වීමට සාපේක්ෂව රනිල්ට එජාපයේ නායකත්වය ලැබුනා.

යුද්ධයෙන් පසුව මහින්ද සිංහල ගැමියන් අතර විශාල ලෙස ජනප්‍රිය වෙද්දී එජාපයේ ග්‍රාමීය ඡන්ද පදනම හොඳටම දුර්වල වුනා. රාජපක්ෂලා සෑහෙන තරමකින් සමාජයේ ඉහළ ස්ථර වල සහයෝගයත් ලබා ගත්තා. එහෙම නැත්නම් රාජපක්ෂලාට සහයෝගය දැක්වූ අය සමාජයේ ඉහළ ස්ථරය බවට පත් වුනා. එයට සමාන්තරව එජාපය නාගරික හා අර්ධ නාගරික ඉහළ හා පහළ මධ්‍යම පාන්තිකයින්ගේ පක්ෂයක් බවට පත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස එජාපය ඇතුළේ රනිල් වැනි අයෙකුට නියෝජනය කළ හැකි පාක්ෂික ප්‍රතිශතය ක්‍රමයෙන් ඉහළ ගියා. නමුත්, මෙය සිදු වුනේ සමස්තයක් ලෙස එජාපය දිය වීම තුළ මිස වර්ධනය වීම තුළ නෙමෙයි. මෙයින් වෙනස්ව අසූව දශකයේදී රණසිංහ ප්‍රේමදාස එජාපයේ නායකත්වයට තල්ලු කළ ව්‍යුහමය වෙනස එජාපය වඩා විශාල කළ වෙනසක්.

රනිල්ට එජාපය තුළ බලය වැඩි වීමත්, එජාපය සමස්තයක් ලෙස දිය වීමත් යන කරුණු දෙකම එකම සංසිද්ධියක මුහුණත් දෙකක් මිස හේතුවක් හා ඵලයක් නෙමෙයි. එජාපය දිගින් දිගටම මැතිවරණ පැරදුණේ රනිල් නායකත්වයේ සිටි නිසා නෙමෙයි. ඒ වගේම, රනිල්ට දිගු කලක් එජාප නායකත්වයේ ඉන්න හැකි වුනේ ඔහු ඒකාධිපතියෙක් වූ නිසා හෝ ගේම් ගැහීමේ දක්ෂයෙක් වූ නිසාත් නෙමෙයි. මේ සියල්ලටම හේතු වුනේ එජාපයේ ග්‍රාමීය ඡන්ද පදනම විශාල ලෙස දිය වී යාමයි. එයට රණසිංහ ප්‍රේමදාස කාලයේ උච්ඡස්ථානයට පත් වූ හා ජේආර්ගේ කාලයේ ආරම්භ වූ ජවිපෙට එරෙහි ප්‍රතිභීෂණය පළමුවත්, මහින්ද විසින් උතුරේ යුද්ධය අවසන් කිරීම දෙවනුවත් හේතු වුනා.

මේ දෙකෙන් එකක්වත් රනිල්ගේ නායකත්වයේ වැරදි නෙමෙයි. මේ දේවල් වන කාලයේ රනිල් නායකයා වී සිටියා. රනිල්ට එජාප නායකයා ලෙස තත්ත්වය වෙනස් කිරීමේ හැකියාවක් නොතිබුණාක් මෙන්ම, එය කළ හැකි වෙනත් අයෙක් එජාපයේ සිටියේත් නැහැ. එහෙම බැලුවහම රනිල්ට දිගුකලක් එජාප නායකයා වී ඉන්න ලැබුණේ මහින්ද නිසා කියා කියන්න පුළුවන්.

මහින්ද පැරදී මෛත්‍රීපාල ජනාධිපති වෙද්දී හෝ ඉන් පසුව මහින්දගේ ග්‍රාමීය ඡන්ද පදනම දිය වී ගියේ නැහැ. මහින්දට නැති වුනේ හා එජාපය වෙත යම් තරමකින් ආකර්ශනය වුනේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින්ගේ ඡන්දයි. ඒ නිසා, මේ වෙනස එජාපයේ සංයුතියට බලපෑවේ රනිල්ගේ නායකත්වයට තවත් වාසිදායක වන ආකාරයටයි. පසුගිය මාසය පමණ වන තුරුම රනිල්ට සාපේක්ෂව සජිත්ට එජාපය ඇතුළේ වාසිදායක තත්ත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු විසින් දිගින් දිගටම තමාගේ පියා විසින් ආකර්ශනය කරගෙන සිටි සමාජ ස්ථරයට ආමන්ත්‍රණය කරමින් සිටියා.

එජාප නායකත්ව අර්බුදය රනිල්ට අවාසිදායක හා සජිත්ට වාසිදායක ලෙස මේ වෙද්දී වෙනස් වී තිබෙනවා. වෙනස ආරම්භ වී  තිබෙන්නේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභයව නම් කරනු ලැබීමෙන් පසුවයි. වෙනසේ බලපෑම තීරණාත්මක අදියරකට පැමිණ තිබෙන්නේ අනුර කුමාර දිසානායක අපේක්ෂයෙකු ලෙස මතු වීමත් සමඟයි.

ගෝඨාභය වගේම අනුර කුමාර දිසානායක විසින්ද ඉලක්ක කරන්නේ නාගරික හා අර්ධ නාගරික ඉහළ හා පහළ මධ්‍යම පාන්තික කණ්ඩායම්. ඔවුන් මෙය කරන්නේ තමන්ගේ ග්‍රාමීය ඡන්ද පදනම් මත හිටගෙන තමයි. තමන්ගේ කියා කිවුවත් ගෝඨාභයට ඔහුගේම කියා ග්‍රාමීය ඡන්ද පදනමක් නැහැ. තිබෙන්නේ මහින්ද සතු  ග්‍රාමීය ඡන්ද පදනමක්.

එක පවුලේ සහෝදරයින් වුවත්, මහින්ද හා ගෝඨාභය අතර ඇතැම් පැහැදිලි වෙනස්කම් තිබෙනවා. ගෝඨාභය මහින්දගෙන් වෙනස් වන තැන් නාගරිකයින්ට මිස ගැමියන්ට ආකර්ශනීය තැන් නෙමෙයි. ඒ නිසා හෝ වෙනත් හේතු නිසා, තවමත් ගම් වල ගෝඨාභය රැල්ලක් නැහැ. ගෝඨාභය සමඟ ඉන්නේ 2015දී මහින්ද සමඟ සිටි අය පමණයි. ගෝඨාභය සම්බන්ධව ප්‍රචලිත කතා ඇත්ත වුනත් බොරු වුනත් ඒ කතා වල බලපෑමක් තිබෙනවා. මහින්ද සමඟ 2015දී සිටි ඇතැම් අයත් ගෝඨාභය හා අදාළව වැනෙන සුළු තැනක සිටින බව පෙනෙනවා. එහෙත්, ඔවුන් රාජපක්ෂ විරෝධී කඳවුරකට හේත්තු වී නැහැ. මැතිවරණය පැවැත්වෙන විට ඔවුන් බොහෝ විට ගෝඨාභයට ඡන්දය දෙයි කියා හිතන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ගෝඨාභයට තවමත් මහින්ද සමඟ නොසිටි නාගරික ඡන්දදායකින් ආකර්ශනය කර ගැනීමට හැකි වී ඇති බවක් පෙනෙන්නේත් නැහැ.

රාජපක්ෂ විරෝධී කඳවුරේ නාගරික ඡන්දදායකයින් විශාල ප්‍රමාණයක් මේ වන විට එජාපය කෙරෙන් දුරස්ථව සිටිනවා. එජාපය ඇතුළේ රනිල්ගේ නායකත්වය අභියෝගයට ලක් කිරීමට හැකි වී තිබෙන්නේ මේ හේතුව නිසයි. පොදුවේ එජාප ඡන්ද පදනම දිය වී තිබෙන අතර, මේ වටයේදී දිය වී තිබෙන්නේ නාගරික ඡන්දයි. ඒ නිසා, එජාප පාක්ෂිකයින් අතරේ සංඛ්‍යාත්මක ලෙස ග්‍රාමීය ඡන්දදායකයින් වැඩි වී නැතත්, ඔවුන්ගේ සංයුතිය ඉහළ ගොස් තිබෙනවා. එයට සාපේක්ෂව එජාපය ඇතුළේ සජිත් බලවත් වී තිබෙනවා.

දැනට කරලියට පැමිණ සිටින අපේක්ෂකයින් අතරින් ගෝඨාභය වගේම අනුර කුමාර දිසානායක විසිනුත් ඉලක්ක කරන්නේ නාගරික මධ්‍යම පාන්තික ප්‍රජාවයි. මේ තත්ත්වය තුළ ග්‍රාමීය ඡන්දදායක පදනම ඉලක්ක කරන අපේක්ෂකයෙකුට පිරවිය හැකි යම් රික්තකයක් තිබෙනවා. ඒ රික්තකය දෙස සජිත් ප්‍රේමදාස වගේම ඔහු එක්ක සිටින දක්ෂ සංවිධායකයකු හා දේශපාලන ඉවක් ඇති අයෙකු වන මංගල විසින් ඇස ගසා ගෙන සිටිනවා.

පවතින තත්ත්වය යටතේ මෛත්‍රීපාල සිරිසේනගේ භූමිකාව යම් තරමකින් තීරණාත්මකයි. ඔහුට තනි පුද්ගලයෙකු ලෙස කළ හැකි බලපෑමට වඩා කිහිප ගුණයකින් වැඩි බලපෑමක් සජිත් හා එකතු වීම මඟින් කළ හැකියි. මෛත්‍රීපාල ගෝඨාභයට සහයෝගය නොදී ස්වාධීනව සිටීම හා සජිත්ට සහයෝගය දීම කියන්නේ කරුණු දෙකක්.


5 comments:

  1. 1- සජිත් / මංගල (පක්ෂයට පිටින් ආපු)ට මේ තරම් නිදහසේ හැසිරෙන්න දීල රනිල් කරන්නෙ එක්තරා ආකාරයක කැම්පෙන් එකක්ද

    2-දේශපාලන ගේම් එක හොදින්ම දන්න/ සංධාන හදල හොද පලපුරුද්දක් ඇති මංගල සංධානයක් හදන්න හිතලවත් නැති දැනටත් ජවිපෙ වෙනම යන තත්වයක් තියෙද්දි සජිත්ව අරන් යන්නෙ කොහොටෙද? චන්දිකා හා හොද සම්බන්දයක් ඇති මංගල මේ කරන්නෙ නිදහස් පක්ෂය නැවත නැගිටවන්න හදන සැලැස්මක්ද ?

    ReplyDelete
    Replies
    1. සමහර විට ඔය හැම දෙයක්ම ගොඩක් ලොකු සැලසුමක කොටස් වෙන්නත් පුළුවන් නේද?

      Delete
  2. ජනපතිවරණයක් එනවා රට හොල්ලා
    කිහිපදෙනෙක් පොරකනවා ඉව අල්ලා
    මුස්ලිම් චන්ද ගන්නා හැටි බලපල්ලා
    හිතුනොත් මමත් එනවා මම හිස්බුල්ලා

    ReplyDelete
  3. ඇත්ත නැත්ත දාදු දමයි දිවි හටන් බිමේ
    නැත්ත මතින් ඇත්ත නැඟී සිටියි අන්තිමේ
    විනිස දවස පැමිණි දාට කරුමයා අසයි
    කවුද හරි, කවුරුද හරි!
    (චිත්‍රපට ගීයකිනි)

    ReplyDelete
  4. වැරදියි.

    රනිල් ඒ කාලේ ඉඳලම හිටියේ LTTE එක්ක ඩීල් එකක, චන්ද්‍රිකාත් එහෙමයි. මේ දෙන්න පොඩි කාලේ එකට නටපු අය.

    JR රනිල්ව ගත්තේ නෑ කමට, කැබිනට් එකට ගත්තේ ඌට වැඩ පුළුවන් කමට නෙමෙයි නෑ කමට. JR ට මේක රටක් විදියට ඉදිරියට ගෙන යාම ගැන දැක්මක් තිබ්බා පැහැදිළිවම, රනිල්ට එහෙම එකක් නෑ.

    ප්‍රේමදාස මැරෙනකොට රනිල් සභානායක. ඌට සභානායක කම දීල බලයක් ආරෝපණය කරවීම තමයි JRගේ කැමැත්ත උනේ. ඒ රවී ජයවර්ධන දේශපාලනේට එන්න අකමැති උන නිසා.සමහර විට රවී අකමැති වෙන්න හේතුවත් රනිල් කියන සර්පයා ගැන හරියට දැනගෙන හිටි නිසාය කියල හිතන්න පුළුවන්.

    කොහොම හරි ප්‍රේමදාස ආමර් වීදියේ බාබු එක්ක ඌර්ධවපාතනය වෙනකොට රනිල් සභානායක. රනිල්ට LTTE එක්ක සම්බන්ධයක් තිබුණ විතරක් නෙමේ සිටිකොතෙත් යම් බලයක් / නිදහසක් තිබුණා. ප්‍රේමදාස මැරුණම මිනිස්සු කිරිබත් දන්සැල් දීල ප්‍රභාකරන්ට පිං අනුමෝදන් කළා මිස වැඩේ සිද්ධ උනේ කොහොමද පාර හේදුවේ මොකද, වෝහාරික පරීක්‍ෂණයක් මොකක්වත් නැත්තේ මොකද කියල ඇහුවේ නෑ. ආරියාවටත් ඕනේ උනේ මාලිගාවේ ඉතුරු ටික කාලෙත් ඉන්න මිසක් මිනිහට ඇත්තටම අංචිය ඇද්දේ කවුද කියල හොයන්න නෙමෙයි.

    චන්ද්‍රිකා පළාත් සභාවේ මහඇමති උනේ ලලිත් ඇතුලත්මුදලි වෙඩි කාපු නිසා. ඒක ගියේ ප්‍රේමදාසගේ ගිණුමට උනත් ප්‍රේමදාසට උනේ පාඩුවක්. හොඳ දේශපාලන ඉවක් තියෙන ප්‍රේමදාස ඒ වගේ ගොන් කමක් හිතා මතා කරන්නේ නෑ. එහෙනම් ප්‍රේමදාසගේ ගිණුමට බැර වෙන්න එකට නටපු චන්ද්‍රිකාට පාර හැදෙන්න වැඩේ කළේ කවුද?

    ඊළඟට ජනාධිපතිවරණෙ. ගාමිණී දිසානායක ඉදිරිපත් උණා. ගාමිණී ජනාධිපති වෙන්න තිබුණු ඉඩ අඩු උනත්, දිනුවත් නැතත් පක්‍ෂ නායකයා වෙන්න හිටියේ ගාමිණී. එහෙම උනානම් හරින් ප්‍රනාන්දු O/L ලියන්නේ ගාමිණීගේ පක්‍ෂ නායකත්වය යටතේ. එහෙම උනානම් 1999 ගාමිණී ජනාධිපති වෙනවා. රනිල් ගේ දේශපාලනේ අඳුරු වෙනවා. ඉතිං ගාමිණීටත් වාෂ්ප වෙන්න සිද්ධ උණා.

    චන්ද්‍රිකා එක්ක එකට නටපු රනිල් 1999 තමන්ගේ වයස හරි බව දන්නවා, නැත්නම් LTTE ට රටෙන් බාගයක් දෙන්න ලෑස්ති වෙච්ච ගෑණිව මරා ගන්න ප්‍රභාකරන්ට උවමනා වෙන්නේ නෑ. වැඩේ ගැස්සෙනවා. චන්ද්‍රිකා ජනාධිපති වෙනවා. ඒත් පාර්ලිමේන්තුවේ ඔළු මාරු කරලා රනිල් අගමැති වෙලා LTTE එකට කළ ගුණ සළකනවා. නැද්ද? හදිසියේ ගාමිණී අතුකෝරාල මැරෙන්නේ මොකද, තලතා දේවීවත් ඒ ගැන හොයනවද, නෑ. බය !

    ඉතුරු ටික දැන් කාලේ ළමයි දන්නා නිසා ලියන්නේ නෑ.

    ඔයා කොච්චර හුණු ගාන්න හැදුවත් රනිල් දරුණුම ගණයේ ඒකාධිපතියෙක් - මිනී උඩින් බලයට ගිය මිනිහෙක්. ව්‍යවස්තා කුමන්ත්‍රණ මිනිහගේ සෙල්ලම්. එජාප ව්‍යවස්ථාවට මිනිහ දුන්න ටින්කරින් පාර කොහොමද? "පුරප්පාඩුවක් ඇති විට" කියල විතරයි දැම්මේ, දැන් පක්‍ෂ නායකත්වය තෝරන්න බෑ, ඇයි පුරප්පාඩු නෑ. මූ මැරෙන්නෙත් නෑ, අස් වෙන්නෙත් නෑ. වැඩ කරන්නේ ව්‍යවස්ථාවට අනුව ලු. නායකයා තෝරන්නේ කෘත්‍යාධිකාරියෙන්, කෘත්‍යාධිකාරිය පත් කරන්නේ නායකයා, අන්න චක්‍රීය චින්තනය. 19 වෙනි සංශෝධනය ගෙනල්ල ගහපු ගැටේ කොහොමද? අගමැති වෙනස් කරන්න නම් එජාප ව්‍යවස්ථාව වෙනස් කරලා එන්න වෙන තත්වයක් තියෙන්නේ.

    ඉතිං ඒක නිසා මේ වෙලා තියෙන නස්පැත්ති දෙවියන්ගේ වැඩ (acts of God) කියල රනිල සුද්ද කරන්න ලෑස්ති වෙන්න එපා. මේවා අලින්ගේ අපේ වැඩ - රනිල් කිව්වේ.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...