වෙබ් ලිපිනය:

Showing posts with label ගෝඨාභය රාජපක්ෂ. Show all posts
Showing posts with label ගෝඨාභය රාජපක්ෂ. Show all posts

Wednesday, March 16, 2022

දැඩි තීරණ හා හරි තීරණ


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වෙලාවකට පෙර ජාතිය ඇමතුවා. මිනිත්තු දහතුනක, සාපේක්ෂව කෙටි, කතාවක්. මම හිතන විදිහට මේ ජාතිය ඇමතීම මේ වෙලාවේ කළ යුතුවම තිබුණු දෙයක්. ඒ වගේම, කතාව ඕනෑවට වඩා දිග් ගස්සන්නේ නැතිව අවශ්‍ය කරුණු කෙටියෙන් කියපු එකත් හොඳයි. 

ජනාධිපති රාජපක්ෂට අනුව ඔහු දැඩි තීරණ කිහිපයක් ගන්න තීරණය කරලා. මිනිස්සු බොහෝ දෙනෙක් ගෝඨාභය රාජපක්ෂව තෝරා ගත්තේ ඔහු දැඩි තීරණ ගනු ඇතැයි යන විශ්වාසයෙන්. එවැනි දැඩි තීරණ ගත නොහැකි වීම යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේ නායකයින් සම්බන්ධව තිබුණු විවේචනයක්. 

මම හිතන්නේ, ඔහුව පත් කර ගත් අය අපේක්ෂා කළ පරිදිම ජනාධිපති රාජපක්ෂට විසින් කිහිප වරක්ම දැඩි තීරණ ගත්තා. ඒ දැඩි තීරණ නිසා රටට හා ජනතාවට විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සිදු වුනා. මෙයට හේතුව එම දැඩි තීරණ ජනප්‍රිය තීරණ මිස හරි තීරණ නොවීමයි. 

ජනාධිපතිවරයෙකු විසින් දැඩි තීරණ ගැනීම හොඳ වුවත්, වඩා වැදගත් හරි තීරණ ගැනීමයි. සමස්තයක් ලෙස මේ ආණ්ඩුවේ ප්‍රශ්නය වූයේ සැලසුමක් ඇතිව හරි තීරණ නොගැනීමයි. ඒ නිසා, ආණ්ඩුව විසින් ගත් බොහොමයක් දැඩි තීරණ ඉතා ඉක්මණින් සම්පූර්ණයෙන්ම ආපිට හරවන්න වුනා. දැන් සිදු වී තිබෙන්නේත් එයයි. 

කතාවේ දේශපාලන කොටස ගැන කෙතරම් විවේචන කළ හැකි වුවත්, අපි එම කොටස පැත්තකින් තියා ආර්ථික කොටසට එමු. වඩාත්ම වැදගත් කොටස වන්නේ ජනාධිපතිවරයාට අනුව විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමේ බලපෑමයි. 

මේ කතාවට අනුව, ඩොලරයේ මිල දිගටම රුපියල් 200 මට්ටමේ තියාගෙන සිටියානම් මෙම වසර තුළ ඇති වන තත්ත්වය මෙවැන්නක්. මේ ඉකොනොමැට්ටා කාලයක් තිස්සේ කියපු දේවල් නැවත මතක් කිරීමක් නෙමෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වෙලාවකට පෙර කියපු දේ සාරාංශගත කිරීමක්. 


ආනයන වියදම - ඩොලර් බිලියන 22යි

ණය ගෙවීම් - ඩොලර් බිලියන 6.9යි 

ගෙවීම් එකතුව - ඩොලර් බිලියන 28.9යි 


අපනයන ආදායම - ඩොලර් බිලියන 12යි 

සේවා ආදායම් - ඩොලර් බිලියන 3යි 

ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් බිලියන 2යි 

ණය හා ආයෝජන - ඩොලර් බිලියන 2.5යි 

ලැබීම් එකතුව - ඩොලර් බිලියන 19.5යි 


හිඟය - ඩොලර් බිලියන 9.4යි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටම අනුව විණිමය අනුපාතය පා කිරීම නිසා මේ තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද?


ආනයන වියදම - ඩොලර් බිලියන 20යි

ණය ගෙවීම් - ඩොලර් බිලියන 6.9යි 

ගෙවීම් එකතුව - ඩොලර් බිලියන 26.9යි 


අපනයන ආදායම - ඩොලර් බිලියන 13යි 

සේවා ආදායම් - ඩොලර් බිලියන 4යි 

ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් බිලියන 5යි 

ණය හා ආයෝජන - ඩොලර් බිලියන 2.5යි 

ලැබීම් එකතුව - ඩොලර් බිලියන 24.5යි 


හිඟය - ඩොලර් බිලියන 2.4යි.


ඒ කියන්නේ විණිමය අනුපාතය පා කිරීම නිසා ඩොලර් බිලියන 7ක් ඉතිරි වෙනවා කියන එකයි. ඉතිං හත් දෙයියනේ බලු බැණුම් අහගෙන, අවුරුදු ගාණක් තිස්සේ අපි කිවුවේ ඕකනේ!

පළමුව මම පොඩි තාක්ෂණික නිවැරදි කිරීම් ටිකක් කරන්නම්. සේවා ගිණුමට ලැබෙන ආදායම් වගේම වියදම්ද තිබෙනවා. මෙහි ඒ ගැන කතාවක් නැහැ. ඒ වගේම යම් මුදලක් විදේශ ප්‍රේෂණ ලෙස රටින් එළියට යනවා. එයද මෙහි නැහැ. ඒ නිසා අපි මෙහි සඳහන් සේවා ආදායම් යන්නෙන් අදහස් කර තිබෙන්නේ ශුද්ධ සේවා ආදායම් බවත්, ශ්‍රමික ප්‍රේෂණ යන්නෙන් අදහස් කර තිබෙන්නේ ශුද්ධ ශ්‍රමික ප්‍රේෂණ කියාත් සලකමු. ඒ වගේම ණය ගෙවීම් වලට පොලී ගෙවීම්ද ඇතුළත් සේ සලකමු.

ඉහත උපකල්පන යටතේ ගෝඨාභය රාජපක්ෂගේ ඇස්තමේන්තු නරක ඇස්තමේන්තු නෙමෙයි. කොහොමටත් මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ ඉන්න නිලධාරීන්ට මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ වගේම, පැත්තක ඉන්න අප‍ට කලින් අළුත්ම දත්තත් ඔවුන්ට ලැබෙනවා. මේ ඇස්තමේන්තු සමඟ මට බොහෝ දුරට එකඟ විය හැකියි. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය විසින් භාර ගනිද්දී පැවති තත්ත්වය ඉහත දෙවන තත්ත්වයට සමානයි. යහපාලන කාලයේදී ආසන්න වශයෙන් ඩොලර් 2.4කට කිට්ටු වාර්ෂික ගෙවුම් ශේෂ හිඟයක් තිබුණා. ඒ, ඒ වන විට අරගෙන තිබුණු ණය වෙනුවෙන් පොලී ලෙස වසරකට ගෙවිය යුතු වූ මුදලයි. විණිමය අනුපාතය පාවෙන තත්ත්වයක් යටතේ පරණ ණය වල වාරික ගෙවීම ඇතුළු අනෙකුත් වාර්ෂික වියදම් සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වැඩි අපහසුවක් නැතිව රටට එන නමුත් පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්න අවශ්‍ය ඩොලර් ටික රටට එන්නේ නැහැ. ඒ ප්‍රමාණයත් වෙළඳපොළෙන් එකතු කර ගන්නනම් සාමාන්‍ය සමතුලිත මිලටත් වඩා විණිමය අනුපාතය අවප්‍රමාණය කරන්න වෙනවා. එහෙම නැත්නම් අලුතෙන් ණය ගන්න වෙනවා. යහපාලන ආණ්ඩුව විසින් කළේත්, මේ ආණ්ඩුව දැන් කරන්න යන්නේත් දෙවැන්නයි.

මේ ආණ්ඩුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීම නිසා මීට අමතරව වසරකට ඩොලර් සැලකිය යුතු ප්‍රමාණයක් රටට අහිමි වුනා. ගෝඨාභය රාජපක්ෂට අනුවම 2022 වසර සඳහා මෙම ඇස්තමේන්තුව ඩොලර් බිලියන හතක්! ඔන්න මම එහෙම නෙමෙයි කියන්නේ. 

මේ වෙලාවේ මේ ඩොලර් බිලියන හත බේරා ගැනීම සඳහා ආණ්ඩුව දැඩි තීරණයක් අරගෙන. ඒ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හා ඒ හරහා "ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීම". ඔය උදෘත ඇතුළේ සඳහන්ව තිබෙන දෙයට සිංහලෙන් කියන තනි වචනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. කෙටියෙන් කිවුවොත් මෙතැන තියෙන්නේ ඇතැම් ආර්ථික විද්‍යාඥයින් විසින් මෙන්ම එජාප හා සජබ විසින්ද පසුගිය කාලය මුළුල්ලේ කළ යෝජනාව. 

මේ ටික කළොත් දැනට තිබෙන ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. ඒ කියන්නේ 2019ට ආපහු යන්න පුළුවන්. නමුත්, ආපහු 2007ට යාම ඊට වඩා දුර ගමනක්. ආපහු 1947ට යන එකනම් ගොඩාක්ම දුර ගමනක්!

තවත් වැදගත් දෙයක් මතක තියා ගන්න. ඉහත දෙවන ඇස්තමේන්තු ප්‍රායෝගික වන්නේ විණිමය අනුපාතය හරියටම පාවෙන්න ඉඩ හැරීමෙන් පසුව පමණයි. එය සිදු වෙමින් පවතින්නේයැයි මම හිතන නමුත් තවමත් සිදුව අවසන් වී නැහැ. ඩොලරය හරියටම පාවෙන්න පටන් ගන්නා විට එහි මිල කීයක් වෙයිද කියා ගෝඨාභයගේ කතාවේ නැහැ. 

Sunday, March 6, 2022

හැට නවය දෙපළු වීම

 

ආණ්ඩුව සමඟ සිටි සුළු පක්ෂ එකොළහක් හරහා ආණ්ඩුව තුළ මුල සිටම පැවති ප්‍රතිවිරෝධී බලවේග වඩා හොඳින් නිරාවරණය වී තිබෙනවා. මේ පක්ෂ එකොළහෙන් වැඩි ප්‍රමාණයක් වචනාර්ථයෙන්ම සුළු පක්ෂ. සමහරක් තනි පුද්ගලයෙකු විසින් ඔසොවාගත් බෝඩ් ලෑලි පමණයි. මේ අතර තිබෙන, මේ වන විටද යම් ජන පදනමක් ඇති, එකම පක්ෂය ශ්‍රීලනිපයයි. ශ්‍රීලනිපයට වුවද මේ වන විට තනිව මැතිවරණයකට මුහුණ දී ලබා ගත හැක්කේ ඉතා සුළු නියෝජනයක් පමණයි. තනි පක්ෂ ලෙස ගත්තොත්, විමල් වීරවංශගේ පක්ෂය ඇතුළු, අනෙකුත් පක්ෂ හෝ කණ්ඩායම් වලට එවැනි ජන බලයක් හෝ නැහැ.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය ඔවුන් විසින්ම විශාල ලෙස අතිශයෝක්තියට නංවා ඇතත් ඔහු විසින් ලබාගත් ඡන්ද ලක්ෂ හැට නවය ප්‍රතිශතයක් ලෙස ගත් විට 52.25%ක් පමණයි. ලංකාවේ ජනාධිපතිවරණ ගණනාවකදීම ජයග්‍රාහකයා විසින් මෙම ප්‍රතිශතය ඉක්මවූවා. 

ඇතැම් වාර්තා අනුව මේ වන විට ආණ්ඩුව අනුමත කරන ජනතා ප්‍රතිශතය 10% මට්ටම දක්වා පහත වැටී ඇති බව සමීක්ෂණ වාර්තා වලින් පෙනී ගොස් තිබෙනවා. කෙසේ වුවද, ආණ්ඩුව අනුමත කරන ප්‍රතිශතය 10% මට්ටමට පහත වැටී තිබීමෙන් ඔවුන් ආණ්ඩු විරෝධීන් වී ඇති බව හෝ පක්ෂය මාරු කර ඇති බවක් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ නැහැ.

"හරි මග" කණ්ඩායම තුළ සිටින ප්‍රධානම බලවේගය ශ්‍රීලනිපය වුවත්, කණ්ඩායමේ ගතිකත්වය මෙහෙයවෙන්නේ විමල් වීරවංශ හරහා. තනි විමල් වීරවංශට වඩා කණ්ඩායමකට හේත්තු වූ විමල් වීරවංශ ගොඩක් ශක්තිමත්. ඒ වගේම, කිසිසේත්ම සමජාතීය නොවන මේ එකොළහේ කණ්ඩායම එක මිටක් වූ විට තනි තනිව ලොකු වැදගත් කමක් නැති මේ කොටස් එකොළහ ඒ කොටස් වල එකතුවට වඩා ගොඩක් ලොකු බලවේගයක් බවට පත් වෙනවා. 

ගෝඨාභයව ජනාධිපති කළ ලක්ෂ හැට නවයේ බලවේගය කියන්නෙත් "අයිතිකරුවෙකු නැති" කුඩා කොටස් විශාල ප්‍රමාණයක එකතුවක්. ඒ සන්දර්භය තුළ "හරි මග" කණ්ඩායමේ කැරැල්ලෙන් හැටනව ලක්ෂය පළු වීමක් පෙන්නුම් කරනවා. මෙය රඟපෑමක්ද, සැබෑ දේශපාලනික බෙදීමක්ද කියන එක මම කතා කරන්න යන කරුණට එතරම් අදාළ නැහැ.

මට වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය මේ ගැටුම තුළින් පිළිබිඹු වන ආර්ථික දෘෂ්ඨිවාද ගැටුම දෙසයි. එම ගැටුම සමඟ දේශපාලන දෘෂ්ඨිවාද ගැටුමක්ද නොගැලවිය හැකි ලෙස ගැට ගැසී ඇති නිසා ඒ ගැන කතා නොකර ආර්ථික දෘෂ්ඨිවාද ගැටුම පිළිබඳව කතා කළ නොහැකියි. ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා, දේශපාලන දෘෂ්ඨිවාද ගැටුම ගැන කතා කිරීම මගේ අරමුණ නෙමෙයි. ඒ වගේම, මේ ආර්ථික දෘෂ්ඨිවාද ගැටුම ගැන කතා කළ යුතු වන්නේ අනාගතවාදී ප්‍රවේශයකින්.

සංවෘත ආර්ථිකයක් මුල් කරගත් සමාජවාදී ආර්ථික ජාතිකවාදය හැත්තෑවේ දශකයේ සිට "බැසගෙන ගොස්" ඉතිහාසයේ කුණු බක්කියට විසි වී අවසන්ව තිබෙන අදහසක්. මේ වන විට සංවෘත ආර්ථිකයන් ක්‍රියාත්මක වන උතුරු කොරියාව, කියුබාව වැනි රටවල් ලෝක සිතියමේ නැති, වෙනම ලෝකයක තිබෙන රටවල්. ආරක්ෂණවාදය හා ආර්ථික ජාතිකවාදයන් එලෙස අවසන්ව නැතත් විසි එක් වන සියවසේ ආර්ථික ජාතිකවාදයන් ක්‍රියාත්මක වන්නේ හැත්තෑව දශකය පමණ දක්වා පැවති පැරණි ලෝකයේ නීති යටතේ නෙමෙයි. 

හැත්තෑව දශකය පමණ වන තුරු ජාතික සමාජවාදී ස්වයංපෝෂිත ආර්ථික ක්‍රම පිළිබඳ අදහසට සැලකිය යුතු පිළිගැනීමක් ලෝකය පුරාම, විශේෂයෙන්ම ලංකාව වැනි තුන් වන ලෝකයේ රටවල, තිබුණා. සමගි පෙරමුණු පරීක්ෂණයෙන් පසුව ලංකාව තුළ මේ අදහස තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වුනා. චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසුව, ඒ වන තුරු ජාතික සමාජවාදී නැඹුරුවක් තිබුණු ශ්‍රීලනිපය ලිබරල් ජාත්‍යන්තරවාදය වෙත විතැන් වුනා. ඒ සමඟම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ එජාපය හා ශ්‍රීලනිපය අතර පැවති ආර්ථික ප්‍රතිපත්ති වෙනස්කම් බොහෝ සේ අඩුවුනා.

නමසිය අනූ තුනේදී පමණ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය විසින් "මානුෂික මුහුණුවරක් දී ධනවාදය හීලෑ කර ගන්නා බවට" උදාන පාඨයක් ඉදිරිපත් දමමින් ජාතික සමාජවාදය මත පදනම් වූ සංවෘත ආර්ථික ක්‍රමය අත හැර ජේආර් ජයවර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය වැළඳ ගත්තා. එයින් පසුව, සංවෘත ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටියේ ජවිපෙ සහ තවත් බෝඩ් ලෑලි පක්ෂ ටිකක් පමණයි. දැනට පෙනී යන පරිදි ජවිපෙ විසින්ද සංවෘත ආර්ථික ක්‍රමය අත හැරීමට උත්සාහ දරමින් සිටිනවා. විසි එක් වන සියවසේදී ජාතික සමාජවාදී සංවෘත ආර්ථික ක්‍රමයක් කරා යාම යනු බරකරත්තයෙන් අනුරාධපුරයට යාමට වඩා වැඩි දෙයක් නෙමෙයි. 

මහින්ද රාජපක්ෂ යටතේ රාජපක්ෂලාගේ ආර්ථික ක්‍රමය කිසි විටෙකත් ආරක්ෂණවාදයක්, සංවෘත ආර්ථික ක්‍රමයක් හෝ ජාතික සමාජවාදයක්ව පැවතුණේ නැහැ. එවැනි ආර්ථික ක්‍රමයක් හරහා රාජපක්ෂ දශකය තුළ දැකිය හැකි වූ සාපේක්ෂවව ඉහළ ආර්ථික වර්ධනය හා භෞතික සංවර්ධනය දැකිය හැකි වීමේ කිසිදු ඉඩක් තිබුණේ නැහැ. ඇත්තටම කියනවානම් වෙළඳපොළ මත පදනම් වූ ලිබරල්, ජාත්‍යන්තරවාදී ආර්ථික ක්‍රමයක් හරහා වුවද රාජපක්ෂ දශකයේ සංවර්ධනය කරා යාමේ හැකියාවක් තිබුණේ නැහැ. රාජපක්ෂලා එතැනින්ද එහාට ගියා. 

කෙසේ වුවත්, රාජපක්ෂ ක්‍රමය ජාතිකවාදී ආර්ථික ක්‍රමයක් නෙමෙයි. එය ලොවෙත් නැති ප්‍රතිජාතිකවාදී, ප්‍රතිආරක්ෂණවාදී ආර්ථික ක්‍රමයක්. ආරක්ෂණවාදය තුළ සිදු වන්නේ දේශීය නිෂ්පාදකයාට විදේශික නිෂ්පාදකයාට නැති විශේෂ වාසි සැලසීමයි. ලිබරල්, ජාත්‍යන්තරවාදී ආර්ථික ක්‍රමයක් තුළ දේශීය නිෂ්පාදකයා හා විදේශික නිෂ්පාදකයා එකිනෙකා සමඟ සාධාරණ තරඟයක නිරත විය යුතුයි. රාජපක්ෂ ක්‍රමය තුළ සිදු වුනේ විදේශීය නිෂ්පාදකයාට දේශීය නිෂ්පාදකයාට නැති විශේෂ වාසි සැලසීමයි. 

රාජපක්ෂ ආර්ථික ක්‍රමයේ සාර්ථකත්වයේ රහස මේ ප්‍රතිජාතිකත්වය හා ප්‍රතිආරක්ෂණවාදයයි. මේ ක්‍රමය යටතේ සිදු වන්නේ සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති ඇතුළු රාජ්‍ය ප්‍රතිපත්ති හරහා දේශීය නිෂ්පාදකයාගෙන් විදේශීය නිෂ්පාදකයා රැක ගැනීමයි. බොහෝ විට මෙහි විදේශීය නිෂ්පාදකයා වූයේ චීන හා ඉන්දියානු නිෂ්පාදකයින්. 

දේශීය නිෂ්පාදන කඩා වැටීම, ආනයන ඉහළ යාම හා අපනයන පහළ යාම සැලසුම්සහගතව, අහම්බයෙන් හෝ උගුලකට අසුවීමෙන් රාජපක්ෂලා විසින් ක්‍රියාත්මක කළ ආර්ථික ක්‍රමයේ නෛර්සර්ගික ලක්ෂණයක්. මේ දේවල් සිදු නොවී රාජපක්ෂ ක්‍රමයේ දැකිය හැකි සෞභාග්‍යයට පැවතිය නොහැකියි. මහන්සි වන ප්‍රමාණයට වඩා වැඩියෙන් පරිභෝජනය කළ හැකි ක්‍රමයක් කියන්නේ බොහෝ දෙනෙකුට සතුටු විය හැකි ක්‍රමයක්. එහෙත්, මේ ක්‍රමයේ ප්‍රශ්නය වන්නේ දිගින් දිගටම වැඩි වැඩියෙන් විදේශ ණය නොගෙන මෙවැනි ක්‍රමයක් පවත්වාගෙන යාමේ හැකියාවක් නැති වීමයි. ණය ගන්න බැරි වූ විට පිරමිඩය කඩා වැටී සියල්ල කණපිට හැරෙනවා. 

ගෝඨාභයව තෝරා පත් කරගත් හැට නව ලක්ෂයෙන් සැලකිය යුතු කොටසක්, ඇතැම් විට බාගයක් පමණ, රාජපක්ෂ දශකයේ ආර්ථික සංවර්ධනයෙන් ඇස් ගිනිකණ වට්ටවා ගත් අයයි. ඔවුන්ට යහපාලන ආණ්ඩු කාලය තුළ "රනිල් විසින් ආර්ථිකය විනාශ කර දැමීම" විශාල ප්‍රශ්නයක්ව තිබුණා. යහපාලන කාලය තුළ දැකිය හැකි වූයේ සාර්ව-ආර්ථික පරාමිතීන් සමතුලිතව තබා ගනිමින් එම කාලයේදී ලංකාවට ළඟා කර ගත හැකිව තිබුණු ආර්ථික වර්ධන වේගයයි.

ඉහත කී කණ්ඩායම ආර්ථික නොවන අර්ථයකින් ජාතිකවාදීන් විය හැකි වුවත්, ඔවුන් හැම දෙනෙක්ම ආර්ථික ජාතිකවාදීන් වූයේ නැහැ. මොනයම්ම අයුරකින් හෝ ආරක්ෂණවාදීන් හෝ ජාතික සමාජවාදීන් වූයේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුනේ අධිවේගී හා කාපට් කළ මාර්ග, ඒ මාර්ග වල ධාවනය කළ හැකි සුඛෝපභෝගී වාහන, ආනයනික බඩු රාක්ක වල පිරුණු සුපිරි වෙළඳසැල්, දරුවන්ට විදේශ අධ්‍යාපනය. නිවාඩුවට පිටරට සවාරි ආදියයි. ආරක්ෂණවාදය හා ජාතික සමාජවාදය යනු මෙහි ප්‍රතිවිරුද්ධ අක්ෂයයි.

හැට නව ලක්ෂයේ කණ්ඩායමට නාමික බටහිර විරෝධයක් තිබුණා විය හැකි වුවත් එවැනි විරෝධයක් මතුපිටින් පෙන්වීමට ඔවුන්ට හැකි වුනේ බටහිර සංවර්ධනය මත පදනම් වූ සුවපහසු ජීවිතය තුළයි. නමට බටහිර විරෝධීන් වනු මිස මේ වැඩි දෙනෙකුට ඇත්තටම බටහිර විරෝධයක් තිබුණේ නැහැ. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති හරහාද මේ දිස්නෙ ගහන ආර්ථිකයට වැට බැඳීමක් කිසිසේත්ම සිදු නොවුනත්, ඒ වෙනුවෙන් මිලක්ද ගෙවිය යුතු වුනා. රනිල්ගේ ප්‍රතිපත්ති හා ජේආර්ගේ ප්‍රතිපත්ති අතරද මේ වෙනස කැපී පෙනෙනවා. ජේආර්ගේ ක්‍රමය වඩා කිට්ටු රනිල්ගේ ක්‍රමයට නොව රාජපක්ෂ ක්‍රමයටයි. 

බදු කැපීම ඇතුළු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හරහා ගෝඨාභය විසින් ප්‍රදර්ශනය කළේ යහපාලන ආණ්ඩු කාලයේ නොතිබුණු සැපක්, එහි මිල ගෙවීමෙන් තොරව ලබා දෙන්නට තමන් සූදානම් බවයි. දිගින් දිගටම ණය ගැනීමට හැකි වීනම් මෙය කළ හැකිව තිබුණා. 

මේ අයුරින් ආර්ථික සෞභාග්‍යය වෙනුවෙන් ගෝඨාභය තෝරා ගත් අය මෙන්ම, බොක්කේ ජාතිකවාදීන් යම් පිරිසක්ද මේ  හැට නව ලක්ෂය ඇතුළේ සිටියා. ඒ අය යම් තරමකින් නලින් ද සිල්වාගේ මතවාදී දරුවන් හා එම මතවාදය එහෙන් මෙහෙන් ඇහිඳගත් යයි. තමන් බර කරත්තයෙන් අනුරාධපුරයට යාම වෙනුවෙන් පෙනී නොසිටින බව නලින් ද සිල්වා විසින් පුන පුනා කීවත් ප්‍රායෝගිකව නලින් ද සිල්වාගේ මතවාද හරහා සිදු වී තිබෙන්නේ බර කරත්තයෙන් අනුරාධපුරයට යාම ප්‍රවර්ධනය වීමයි. බටහිර දැනුමේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම හා බටහිර නම ගෑවුණු සියළු දෙය ප්‍රතික්ෂේප කිරීම ලංකාවේ බොහෝ දෙනෙකුට දෙකක් නොව එකක්. 

ලංකාවේ බටහිර විරෝධය නලින් ද සිල්වා විසින් හෝ ජාතිකවාදී කඳවුර විසින් ඇති කළ එකක් නෙමෙයි. එය කාලයක සිටම සමාජවාදී පක්ෂ විසින්ද වැපිරූ මතවාදයක්. ඊටත් පෙර සිටම අධිරාජ්‍ය විරෝධය හරහා නිසගයෙන්ම මතු වූ අදහස් සමුදායක්. බටහිර විරෝධයට තවමත් ලංකාව තුළ විශාල ඉල්ලුමක් තිබෙනවා. 

බොක්කේ ජාතිකවාදීන්ගේ මනෝරාජික සිහිනය කිසිවක් ආනයනය නොකර හැම දෙයක්ම ලංකාවේම හදා ගැනීමයි. එසේ කර ඒ දේවල් හැකි තරම් අපනයනය කර ආදායම්ද ඉපැයීමයි. ඒ ඉලක්කය කරා යා හැකි මාර්ගය ලෙස ඔවුන් දකින්නේ ආරක්ෂණවාදයයි. රජය මුල් වී අපනයන දිරි ගැන්වීමෙන් මෙවැන්නක් කළ හැකිය යන ආචීර්ණකල්පික අදහසෙහි මේ පිරිස තවමත් හිර වී සිටිනවා. විමල් වීරවංශ විසින් නියෝජනය කරන්නේද මේ අදහසයි.

ගෝඨාභයව බලයට පත් කළ හැටනව ලක්ෂයේ බලවේගය කියා කියන්නේ වලිගයක් නැති දෙපැත්තේ ඔලු දෙකක් තිබෙන දෙපත් නයෙක්. එක පැත්තකින් රාජපක්ෂලා විසින් අනුගමනය කරමින් සිටි ලිබරල් ජාත්‍යන්තරවාදයෙන්ද එහාට ගිය ප්‍රතිජාතිකවාදී, ප්‍රතිආරක්ෂණවාදී වැඩ පිළිවෙළ. අනෙක් පැත්තෙන් ලංකාවේ ජාතිකවාදීන් සැලකිය යුතු පිරිසකගේ සිහිනය වන ආරක්ෂණවාදී ජාතිකවාදය. මේ දෙකට මොන විදිහකින්වත් එකට යන්න බැහැ. 

රාජපක්ෂලාගේ දේශපාලන පෞරුෂය තුළ ඔවුන් මේ එකිනෙකට හාත්පසින් වෙනස් අවශ්‍යතා තිබෙන බලවේග දෙක එකතු කර ගැනීමට සමත් වෙනවා. මහින්ද රාජපක්ෂගේ කාලයේදී එම ආණ්ඩුව විසින් ඇත්තටම ක්‍රියාත්මක කළේ ප්‍රතිජාතිකවාදී, ප්‍රතිආරක්ෂණවාදී වැඩ පිළිවෙළ පමණයි. එහෙත්, ඔවුන් ප්‍රසිද්ධියේ කතා කරද්දී ආරක්ෂණවාදී ජාතිකවාදීන් ලෙස පෙනී සිටිමින් ලස්සනට මිනිස්සුන්ව ඇන්දුවා. ගොඩක් මිනිස්සුන්ට අවසාන වශයෙන් අවශ්‍ය වුනෙත් ඒ වගේ දෙයක්. හරියටම කිවුවොත් බටහිරට බැණ බැණ බටහිරින් එන දේවල් වල ප්‍රතිලාභ අත් විඳින්න. ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ රාජපක්ෂලා හදලා දුන්නා. 

මහින්දට තේරුණු, බැසිල්ට තේරෙන මේ සෙල්ලම ගෝඨාභයට හරියට තේරුණේ නැහැ. මහින්ද පපුවට ගහලා කරන බව කියන නමුත් ජීවිතේට නොකරන දේවල් ගෝඨාභය කරන්න ගියා. එක පැත්තකින් ගෝඨාභයට එහෙම නොකර බැරි වුනා. එක උදාහරණයක් ගත්තොත් මැතිවරණයට කළින් රාජපක්ෂලා MCC එක සම්බන්ධව අනුගමනය කළේ කොන්ඩම් ප්‍රතිපත්තියක්. මැතිවරණ වේදිකා වල කතා කරද්දී වුනත් රාජපක්ෂ පවුලේ අය MCC එකට විරුද්ධව කතා කළේ ඉතාම පරිස්සමෙන්. නමුත්, මැතිවරණයෙන් පස්සේ යූ-ටර්න් එකක් ගන්න බැරි තරමට වැඩේ දුර දිග ගිහින් තිබුණා. දැන් IMF නොයාමත් මේ වගේම වැඩක්.

මහින්දගේ අන්තිම අවුරුදු වලදීත් පීබී-විමල් ගැටුම් විදිහට ඔලු දෙකේ ප්‍රශ්නය මතු වුනා. හැබැයි මහින්ද මේ ප්‍රතිවිරෝධතා ඉතා හොඳින් කළමණාකරණය කරගත්තා. පීබී කරගෙන යන විදිහට කරන්න නොදී ඇඟිලි ගහන්න ගියොත් අමාරුවක වැටෙන බව මහින්දට ඉවෙන් වගේ තේරිලා තිබුණා. අනෙක් පැත්තෙන් පීබී මැතිවරණ වලට නොයන නිසා විමල්ට හිතුමනාපෙට පීබී මුවහමට තඩිබාන්නත් ඉඩ දීලා තිබුණා.

මේ සෙල්ලම තේරුම් ගත හැකි තරමේ දේශපාලන පරිණතභාවයක් ගෝඨාභයට තිබුණේ නැහැ. ඔහු පටන් ගත්තෙම නාරාහේන්පිට හාල් කඩේට පැනලා. ඊට පස්සේ මහ බැංකුවටත් පැන්නා. අන්තිමේදී කුඹුරටත් පැන්නා. දැන් වලං කද බිඳිලා. කුඹුරත් විනාසයි. 

ඔය ඔක්කොම වුනාට පස්සේ ගෝඨාභයට බැසිල් වෙත හැරෙනවා ඇරෙන්න වෙන මාර්ගයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. හැබැයි දැන් බැසිල්ට වුනත් එන්ජිම ස්ටාට් කරන්න ලේසි නැහැ.

Monday, January 3, 2022

සල්ලි දන්සැල හූව මකන්නද?


මහපොළ සංවත්සර උත්සව අවස්ථාවේදී මහපොළ ශිෂ්‍යත්වලාභීන්ට උත්සවාකාරයෙන් පළමු ශිෂ්‍යත්ව දීමනාව ලබා දෙන එක කාලයක් තිස්සේ සිදු වුනු වැඩක්. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයේ නිර්මාතෘ කාලයක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති සේ කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි බව කවුරුත් වගේ දන්නවා ඇතිනේ. ඉතිං විය යුතු පරිද්දෙන්ම ඔය උත්සව අවස්ථා වලදීත් වැඩි තැනක් ලැබුණේ ලලිත් ඇතුලත්මුදලිටයි. 

මහපොළ දහවෙනි සංවත්සරේ පැවැත්වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නගරයක. හැබැයි ඔය වෙද්දී ලංකාවේ දේශපාලනයේ සුවිශේෂී පෙරළියක් වෙලා. හැත්තෑ හතේ සිට එක දිගට අපරාජිතව හිටපු එජාපය දෙකඩ වෙලා. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජීඑම් ප්‍රේමචන්ද්‍ර වගේ එජාප දැවැන්තයෝ ජනාධිපති ප්‍රේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එමින් පක්ෂය ඇතුළේ විශාල කැරැල්ලක් ගහලා. 

මේ වැඩෙන් රට පුරා හිටපු එජාප විරෝධීන් ප්‍රීතියෙන් පිනා ගිහිනුයි හිටියේ. වසර දෙකකට පසුව එජාප ආණ්ඩුව වට්ටවන්න පුළුවන් වුණෙත් පක්ෂයේ වූ මේ බෙදීම නිසා. ශිෂ්‍යත්ව ප්‍රදානය නිසා මහපොළ උත්සව භූමිය සරසවි සිසුන්ගෙන් පිරිලා. සරසවි සිසුන් අති මහත් බහුතරය ආණ්ඩු විරෝධීන් හා එජාප විරෝධීන් බව කියන්නත් දෙයක් නෙමෙයිනේ. ජනාධිපති ප්‍රේමදාස එක්ක තිබුණු තරහත් එක්ක ලලිත් ඇතුලත්මුදලි ඇතුළු කණ්ඩායම හිටිවනම යම් තරමකින් හෝ සරසවි සිසුන්ගේ වීරයන් වෙලා. සතුරාගේ සතුරා මිතුරාය කියනවනේ.

ප්‍රධාන ආරාධිතයා ජනාධිපති ප්‍රේමදාස වුවත්, සංවිධායකයින්ට ලලිත් ඇතුලත්මුදලිට මහපොළ සංවත්සර වේදිකාවට ආරාධනා නොකර ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔහු වේදිකාවට ගොඩවන විට විශාල ලෙස එක් රැස්වී සිටි සරසවි සිසුන් ඇතුළු ජනකායෙන් නැඟුනේ දීර්ඝ, උත්කර්ෂවත් අත්පොළසන් නාදයක්. ඒ වන විටත් ජනප්‍රියත්වයෙන් පිරිහී සිටි, සරසවි සිසුන්ගේ ප්‍රසාදය කොහොමටත් දිනා නොසිටි රාජ්‍ය නායකයාට ලැබුණේ මෙවැනි පිළිගැනීමක් නොවන බව කියන්නත් දෙයක් නැහැනේ. 

ලංකාව වගේ විශාල රජයක් තිබෙන රටක රාජ්‍ය නායකයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ නිකම්ම මනුස්සයෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කිරීමක් නෙමෙයිනේ. ඔය වගේ දෙයක ප්‍රතිඵලය රටටම දැනෙන එකක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදීනම් ප්‍රතිඵලය දැනුනේ සරසවි සිසුන්ගේ මුදල් පසුම්බියට. නරක ප්‍රතිඵලයක් නෙමෙයි. මහපොළ දීමනාව එකපාරම සැලකිය යුතු ලෙස වැඩි වුනා. කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් සත පහකට මායිම් නොකළ සිසුන්ගේ ඉල්ලීමක් ක්‍රියාත්මක වෙන්න ගියේ මිනිත්තු ගානයි.

ටික දවසකට කලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හූ පාරක් කාපු කතාව කවුරුත් දන්නවනේ. ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ඔය සම්මානය ලැබෙන එක සුලබ දෙයක් නෙමෙයි. ඒ නිසා නිසා හෝ වෙනත් හේතුවක් නිසා ආණ්ඩුව එක පාරම සල්ලි දන්සැලක් දාලා.

බැසිල් රාජපක්ෂ නිවේදනය කර තිබෙන විදිහට ලක්ෂ 21කට වැඩි රාජ්‍ය සේවකයන්ට හා රජයේ විශ්‍රාමිකයන්ට වසරකට රුපියල් 60,000ක දීමනාවක් ලැබෙනවා. මුළු වියදම රුපියල් බිලියන 127ක් බවයි කියන්නේ. ලක්ෂ 17ක් වන සමෘද්ධිලාභීන්ගේ දීමනාවත් වැඩි කරලා. එතැනත් අඩු වශයෙන් රුපියල් බිලියන 20ක වියදමක්. ලැයිස්තුව තව දිගයි. මුළු වියදම රුපියල් බිලියන 200ක් පමණවත් වෙන්න පුළුවන්. සත පහක්වත් බදු වැඩි කරන්නෙත් නැහැ කියනවා.

මහ බැංකුවේ සංචිතත් හිටිවනම ඩොලර් බිලියන 1.5කින් වැඩි වෙලා. මැණික් මල්ලක්වත් හම්බ වෙලා ඇමරිකාවට ගෙනත් වෙන්දේසි කළාද කියලා හොයලා බැලුවත් ආරංචියක් නැහැ. කොහෙන් හරි ඩොලර් බිලියනයක් ලැබුණානම් එතැනම රුපියල් බිලියන 200ක් තියෙනවනේ. එහෙම කොහෙන් හරි සල්ලි ලැබුණද? කට්ටකාඩුවේ ලියල තිබුණු අරාබි නිසොල්ලාසයේ වෙළෙන්දාගේ සත්තුන්ට කතා කරන රහස වගේ කාටවත් කියන්න බැරි විදිහේ රහසක්වත්ද?

පසුගිය වසරේ අවසන් මාස තුන තුළ පමණක් කොළඹ පාරිභෝගික මිල දර්ශකය 7.4%කින් ඉහළ ගිහින්. ඒ අනුපාතයට තව මාස නවයක් මිල දර්ශකය ඉහළ ගියොත් උද්ධමනය 32.8% මට්ටමට යනවා. ඒ මෙතෙක් අච්චු ගහපු සල්ලි වල ප්‍රතිඵල. හූව මකා ගන්න හෝ වෙනත් හේතුවකට සල්ලි දන්සැල දැම්මේ අච්චු ගහලා නෙමෙයි කියලා හිතලා අපි හිත හදා ගනිමු!

Saturday, August 21, 2021

වසංගත බය, දුර්භික්ෂ බය හා ගෝටාබය


ගොඩක් අය ජනාධිපති ගෝටාබය රාජපක්ෂව සලකන්නේ දුර්වල සන්නිවේදකයෙක් ලෙසයි. කතාව බොරුවක්ම නෙමෙයි. නමුත්, හොඳ සන්නිවේදකයෙක් කියා කියන්නේ මොන වගේ කෙනෙකුටද? මහින්ද වගේ ඇදලා පැදලා "දැන් සැපද" කියලා අහන්න පුළුවන් කෙනෙක්ටද? සජිත් වගේ "ආදරණීය සදාදරණීය" කියලා පටන් ගන්න කෙනෙක්ටද? අනුර කුමාර වගේ "නැද්ද හා" කියල අහන කෙනෙක්ටද? 

ඊයේ කළ  ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ ජාතිය ඇමතීමේ කතාවේදීනම් ඔහු කියන්න අවශ්‍ය දේ ඉතා හොඳින් සන්නිවේදනය කළා. ආලවට්ටම් වැල් වටාරම් නැතුව පොයින්ට් එකට කරපු කතාවක් කියා කියන්න පුළුවන්. සුපුරුදු පුරාජේරුවනම් පොඩ්ඩක් තිබුණා. සමහර විට ලියලා දීපු කතාවක් කියෙවුවා වෙන්න පුළුවන්. ඒක අදාළ කරුණක් නෙමෙයි. කතාව කළේ ගෝටාබය.

කතාවක හොඳ නරක එහි ඉලක්කගත කණ්ඩායම අනුව වෙනස් වන දෙයක්. පොයින්ට් එකට කරන කතා හැමෝටම හරියන්නේ නැහැ. ඒ වුනත්, මැතිවරණ වේදිකාවකදී කරන කතා කොහොම වුනත්, රාජ්‍ය නායකයෙකු විසින් කතාවක් කරද්දී එහි අන්තර්ගතය දිහා ඇතැම් විට ලෝකයම බලා ඉන්නවා. මේ කතාවේ වැදගත් සංඥා ගණනාවක් තිබෙනවා. 

කෝවිඩ් සැමදා අප සමගය කියන අදහස වසංගතය ආරම්භයේදීම ප්‍රචලිත වූ අදහසක්. අදහසට පදනම් වුනේ බටහිර විද්‍යාත්මක චින්තනය වුවත්, විද්‍යාව මත පදනම් වූ මෙවැනි විශ්වාසයක් තහවුරු කළ හැකි සාධක ඒ වෙද්දී තිබුණේ නැහැ. දැන් තත්ත්වය වෙනස්. කෝවිඩ් අප හැර නොයන බව ඉතා පැහැදිලියි. කෝවිඩ් සමඟ සහජීවනයකට යනු හැර විකල්පයක් කිසිදු රටකට නැහැ. 

පෘථිවිය මත වෛරස් සැරිසරන්න පටන් ගත්තේ මිනිස්සු බිහි වෙන්නට විශාල කාලයකට පෙරයි. වෛරස් ආසාදන කියන්නේ මිනිස්සුන්ට අලුත් දෙයක් නෙමෙයි. ඉතිහාසය පුරා මිනිස්සු වෛරස් ආසාදන වලින් මිය ගියා. කෝවිඩ් වසංගතය ආරම්භයේදී වෛරස් පිළිබඳව තිබුණු දැනුම තරම් දැනුමක් මීට පෙර කිසිදු වසංගත අවස්ථාවක මිනිස්සුන්ට තිබුණේ නැහැ.

ලෝකයේ විවිධ දැනුම් පද්ධති තිබෙනවා. එහෙත්, කෝවිඩ් ආසාදනය පැතිරෙන ආකාරය පිළිබඳව බටහිර විද්‍යා දැනුමට කිට්ටුවෙන්වත් තැබිය හැකි වෙනත් කිසිදු විකල්ප දැනුමක් නැති බව මේ වෙද්දී ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වී තිබෙනවා. බටහිර විද්‍යා දැනුම වුවද පරිපූර්ණ දැනුමක් නෙමෙයි.

කෝවිඩ් හමුවේ මිනිස් සංහතිය හමුවේ දැනට තිබෙන එකම සාර්ථක අවිය එන්නත්කරණයයි. වෙනත් අවි තිබිය හැකි වුවත් ඒ කිසිවක සාර්ථකත්වය තහවුරු වී නැහැ. එහෙත් එන්නත්කරණයේද සීමාවන් තිබෙනවා. එන්නත්කරණය මගින් වුවද කෝවිඩ් මිහිමතින් තුරන් කළ නොහැකි බව දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වයයි. කෝවිඩ් සදා අප සමඟයි!

එන්නත්කරණය මගින් කෝවිඩ් ලෝකයෙන් හෝ ලංකාවෙන් තුරන් කළ නොහැකි වුවත් පාලනය කළ හැකියි. වල් අලි තරම් හීලෑ අලි දරුණු නැහැ. හීලෑ අලින්ද ඇත් ගොව්වන් ඔසොවා පොළොවේ ගහනවා. එහෙත්, හීලෑ අලින් නිසා වල් අලින්ගෙන් තරම් හානි හෝ මරණ සිදු වන්නේ නැහැ. ලංකාවේ ආණ්ඩුව වසංගතය ආරම්භයේදී පෙරහරේ ගෙනිච්චත්, හීලෑ අලින්ගෙන් මෙන් කෝවිඩ් හදන වෛරසයෙන් වැඩ ගන්නනම් බැහැ. 

වසංගතය ආරම්භයේදී කෝවිඩ් මර්දනය කළ හැකි එන්නත් පිළිබඳව තිබුණේ බලාපොරොත්තුවක් පමණයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක ආණ්ඩුවකට මෙය දුරස්ථ බලාපොරොත්තුවක්. දියුණු වන රටවල්ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් එන්නත් හදන වැඩේට අත ගැහුවත් ලංකාව එවැන්නක් කළ හැකි තැනක හිටියේ නැහැ. ඒ නිසා, ලංකාවට වෙන රටක එන්නත් හැදෙන තුරු බලා ඉන්න සිදු වී තිබුණා. මුල් කාලයේ ලංකාවේ ආණ්ඩුව අනුගමනය කළ කෝවිඩ් මර්දන ක්‍රමවේදයේ විශාල ප්‍රශ්න ඇතත්, සමස්තයක් ලෙස අදාළ ක්‍රියාවලිය පිළිබඳව වැරැද්දක් කියන්න බැහැ. 

මේ වන විට ලංකාවේ ආණ්ඩුව එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තබා ඇතුවාක් මෙන්ම ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඒ බව සෘජුවම ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවම එන්නත් කිරීමෙන් පසුව වුවත් ලංකාවෙන් කෝවිඩ් තුරන් වෙන එකක් නැහැ. හැමදාම රට වහගෙන ඉන්නත් බැහැ. 

කෝවිඩ් එක්ක ජීවත් වෙන්නනම් දිගින් දිගටම එන්නත් අවශ්‍ය වෙනවා. පරීක්ෂණ කට්ටලද අවශ්‍ය වෙනවා. වසරකට වරක් රටේ ජනගහණය එන්නත් කරන එක බටහිර රටවල සාමාන්‍ය දෙයක්. එහෙත්, මෙවැන්නක් ලංකාවට පුරුදු දෙයක් නෙමෙයි. යටිතල පහසුකම් ප්‍රශ්නය විසඳා ගැනීම හා පවතින සෞඛ්‍ය ආකෘතිය තුල වැඩේ සංවිධානය කර ගැනීම අසීරු වන එකක් නැතත්, මේ වැඩේට දිගින් දිගටම මුදල් හා විදේශ විණිමයත් අවශ්‍ය වෙනවා. ලංකාවේ රජයට නැත්තේම ඔය දෙකයි!

රට වැහීම කියා කියන්නේ මිනිස් ජීවිත හා ආර්ථිකය අතර සිදු කරන තේරීමක් නෙමෙයි. ආර්ථිකය කියා කියන්නෙත් මිනිස් ජීවිතම තමයි. දෙපැත්තේම තියෙන්නේ මිනිස් ජීවිත. රට වැහීමෙන් මිනිස් ජීවිත බේරෙනවද අහිමි වෙනවද කියන එක පවතින තත්ත්වය අනුව තීරණය වන, වෙනස් වන දෙයක්.

තාවකාලිකව මොනවා කළත්, ආණ්ඩුව මේ වෙලාවේ සිතිය යුත්තේ පවතින තත්ත්වය දිගුකාලීනව කළමණාකරණය කර ගන්නේ කොහොමද කියන එකයි. ලංකාව තුළ එන්නත් නිෂ්පාදනය ආරම්භ කළ හැකිනම් එය වසංගත ප්‍රශ්නයට වගේම ආර්ථික ප්‍රශ්න වලටද තාවකාලික මෙන්ම දිගුකාලීන විසඳුමක්. මේ වෙලාවේදී චීනයට තිබෙන භූ දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා මේ වැඩේට ප්‍රයෝජනයට ගත හැකියි. 

එන්නත් නිපදවීමේ කලාව ලාංකිකයන්ට අල්ලා ගත හැකි දෙයක්. මේ වගේ වැඩ වලට ලාංකිකයෝ දක්ෂයි. මම කියන්නේ තිබෙන එන්නත් වල මාත්‍රා නිෂ්පාදනය කිරීම ගැන පමණක් නෙමෙයි. එය කෙටිකාලීනව හා මැදිකාලීනව හොඳ ඉලක්කයක්. දිගුකාලීනව අලුත් එන්නත් හදන වැඩේටත් අත ගහන්න බැරිකමක් නැහැ. එක් නිශ්චිත එන්නතක් සාර්ථක වීමේ සම්භාවිතාව ඉතා අඩු වුවත්, වැඩේ දිගටම කරගෙන යද්දී එකක් පත්තු වුනොත් ලැබෙන වාසිය ඉතා විශාලයි. මාත්‍රා නිෂ්පාදනය වුවත් අපනයනය ඉලක්ක කරගෙන කළ හැකිනම් විශාල වෙළඳපොළක් තිබෙනවා. එය ලේසියකට නැති වන වෙළඳපොළක් නෙමෙයි.

Thursday, August 13, 2020

ගෝටාට අසූව ඩබල් කළ හැකිද?

පෙර ලිපියකට ප්‍රතිචාරයක් දමමින් එක් පාඨකයෙකු විසින් සඳහන් කර තිබුණේ මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන් සියල්ලන්ම එසේ කළේ "ජාතිය බේරා ගැනීමට" නොවන බවයි. මේ කතාව බොරුවක් නෙමෙයි. ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන් පිරිස විෂමජාතීය පිරිසක්. ඒ තුළ විවිධ අභිලාශ තිබෙන කණ්ඩායම් ගණනාවක් සිටිනවා. ආණ්ඩුවට මුහුණ දෙන්න වී තිබෙන ප්‍රධානම අභියෝගයක් වන්නේද එයයි. අප විසින් පහත ප්‍රතිචාරය තව දුරටත් විශ්ලේෂණය කරන්නේ මේ කරුණ පිළිබඳව සැලකිල්ලට ගනිමිනුයි.

"Only thing I know , we had GDP less than USD 20 Bil since 1948-2005 and it went up to 80 Bil USD by 2015. (Wijebahu)"

ඉහත ප්‍රතිචාරය අනුව 2005 වසර වන විට, එනම් පසුගිය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වන විට, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 20කට අඩුයි. 2015දී එම ආණ්ඩුව ගෙදර යන විට එම අගය ඇමරිකන් ඩොලර් බිලියන 80 ඉක්මවලා. ඒ කියන්නේ, බැලූ බැල්මටම පෙනෙන පරිදි වසර දහයක් ඇතුළත රටේ ජාතික ආදායමේ ඩොලර් අගය හතර ගුණයකින් වැඩි වෙලා. 

මේ ආණ්ඩුව වෙනුවෙන් සහයෝගය දෙන බොහෝ දෙනෙක් එසේ කරන්නේ ආර්ථික සාධක වලට ප්‍රමුඛත්වය දෙමින් නෙමෙයි. එය පුද්ගල කැමැත්ත පිළිබඳ ප්‍රශ්නයක්. එහි වැරැද්දක් නැහැ. ඇතැම් විට ආර්ථිකයේ දරුණු කඩා වැටීමක් හමුවේ වුවත් එම පිරිස ආණ්ඩුව අත නොහැර සිටීමට ඉඩ තිබෙනවා.

කෙසේ වුවත්, පසුගිය රාජපක්ෂ දශකය තුළදී පෙනෙන්නට තිබුණු හා/හෝ මවා පෙන්වනු ලැබ තිබුණු "ආශ්චර්යය" හමුවේ දෑස් නිලංකාර කරගෙන සිටින, ඒ හේතුව නිසා මේ ආණ්ඩුවට සහයෝගය දෙන යම් පිරිසක්ද ඉන්නවා. එම පිරිස මේ ආණ්ඩුවට සහයෝගය දෙන අය අතරින් සුළුතරයක් යන්න මගේ අදහසයි. 

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව රටේ ජාතික ආදායමේ ඩොලර් අගය හතර ගුණයකින් වැඩි කළේය ආදී කරුණු වලට බරක් තබන්නේ මේ පිරිසයි. මේ විශ්වාසය ඇතුළේ මේ ආණ්ඩුව විසින් ඉදිරි අවුරුදු පහ ඇතුළත රටේ ජාතික ආදායමේ ඩොලර් අගය අවම වශයෙන් දෙගුණ කරනු ඇතැයි යන විශ්වාසය ගැබ්ව තිබෙනවා කියා මා හිතනවා. 

චන්ද්‍රිකා ආණ්ඩුවේ අවසන් කාලයේදී නිදහසින් පසු මුල් වරට ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුනා. ඉන් පසු බලයට පත් වූ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පැවති කාලය තුළ රටේ ආර්ථිකය නැවත හිස එසෙවුවා. ඊට පෙර, 1970-77 සමාජවාදී පරීක්ෂණයෙන් දුර්වලව සිටි රටේ ආර්ථිකය ජේආර් ජයවර්ධන බලයට පත් වීමෙන් පසුව අළුත් පණක් ලබා නැගී සිටියා. මේ ආදී කරුණු නිසා රටේ ආර්ථිකය ගොඩ දැමිය හැක්කේ එජාපයටය යන ජනප්‍රිය මතයක් ඇති වී තිබුණා. 2015දී බලයට පත් වන විට එජාප ආණ්ඩුවේ හා එහි නායක රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමනාකරණ හැකියාව පිළිබඳව රටේ බොහෝ දෙනෙකුට අවිශ්වාසයක් තිබුණේ නැහැ. එහෙත්, ඒ බොහෝ දෙනෙක් දැන් කියන්නේ හොඳින් තිබුණු ආර්ථිකය යහපාලන ආණ්ඩුව විසින් විනාශ කර දැමූ බවයි. 

ලංකාව නිදහස ලබන විට රටේ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය පිළිබඳ ප්‍රශ්නයක් හෝ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ ප්‍රශ්න දෙකම නිදහසින් පසුව ඇති වූ ප්‍රශ්න. නිදහස් වූ ලංකාවට ජාතික අභිලාශ තිබුණා. ජාතික අභිලාශ ඉටු කර ගැනීම වෙනුවෙන් ඇතැම් විට ආර්ථික අභිලාශ කැප කරන්න සිදු වෙනවා. එය බොහෝ විට රටක පුරවැසියන් කැමැත්තෙන් කරන දෙයක්. නැගෙනහිර ජර්මනිය නැවත බටහිර ජර්මනියට එකතු කර ගැනීම නිසා බටහිර ජර්මන් වැසියන්ගේ අනාගත අපේක්ෂිත ජාතික ආදායම් මට්ටම 10%කින් පමණ පහළ ගියත් ඒ පිළිබඳව කිසිවකු මැසිවිලි නගන්නේ නැහැ.

නිදහස ලැබූ ලංකාවේ ආර්ථික වටිනාකමක් ඇති සම්පත් හා ව්‍යවසායයන් බොහොමයක් විදේශිකයින් සතුව තිබුණා. ජාතික අභිලාශ අනුව යමින් එම සම්පත් රජය සතු කර ගනු ලැබුවා. එහෙත්, මෙසේ රජය සතු කරගැනීම් හැම විටම සිදු වුනේ ජාතික අභිලාශ පෙරදැරිව නෙමෙයි. සමාජවාදී අභිලාශ පෙරදැරිවයි. රටේ දේශීය ව්‍යවසායකයින් සතු සම්පත් හා ව්‍යවසාය රජය සතු කර ගැනීම නිසා දිගින් දිගටම රටක් වශයෙන් ගෙවන්න සිදු වුනේ නොගෙවිය යුතුව තිබුණු මිලක්. එවැන්නක් සිදු වුනේ සමාජවාදී අභිලාශ මත පදනම්ව මිස ජාතික අභිලාශ මත පදනම්ව නෙමෙයි.

රටේ සම්පත් ටිකෙන් ටික මධ්‍යම රජයේ පාලනයට නතු වීම නිසා එක පැත්තකින් පෞද්ගලික අංශයේ නිෂ්පාදන හැකියාව පහත වැටී රජයට අය කරගත හැකිව තිබුණු බදු ආදායම් ක්‍රමයෙන් අඩු වෙද්දී, අනික් පැත්තෙන් අකාර්යක්ෂමතාවය නිසා පාඩු ලබන්නට වූ රාජ්‍ය අංශය රජයේ අයවැයට බරක් වී රජයේ අයවැය හිඟය ටිකෙන් ටික පුළුල් වෙන්න පටන් ගත්තා. කාලයක් තිස්සේ ලංකාවට ආදායම් උපයා දුන් කෘෂි නිෂ්පාදන වල අපනයන තරඟකාරීත්වය අඩු වී ගෙවුම් ශේෂය මතද පීඩනයක් ඇති වන්නට වුනා. රටේ විදේශ වත්කම් වලට සාපේක්ෂව බැරකම් ඉහළ යන්න පටන් ගත්තා.

ලංකාවේ ආර්ථිකයේ මේ නිදන්ගත රෝග දෙකට විසඳුම් සෙවීමේ ඉතිහාසය අවම වශයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව කාලය දක්වා පැරණියි. සමගි පෙරමුණේ උපාය මාර්ගය වූ ආනයන පාලනය හේතුවෙන් රටේ ආර්ථික වර්ධනය විශාල ලෙස සීමා වුනා වගේම රට තුළ විශාල භාණ්ඩ හිඟයක් ඇති වුනා. එවර ලංකාව සමාජවාදය පිළිබඳව ඉගෙනගත් පාඩම් රටේ සාමූහික විඥානය තුළ තවමත් රැඳී තිබෙනවා.

අසාර්ථක වූ සමගි පෙරමුණු පරීක්ෂණය කෙළවර වුනේ ජේආර් ජයවර්ධනට හයෙන් පහක බලයක් ලැබීමෙන්. නිදහස ලැබුණු කාලයේ සිටම ජේආර්ගේ සිහිනය වුනේ සිංගප්පූරු මාදිලියේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ මෙහෙයවෙන, ණයෙන් දුවන ආර්ථිකයක්. ලංකාවේ බොහෝ දෙනෙක් ධනවාදය ලෙස හඳුනා ගන්නේත්, එතෙක් මෙතෙක් ලංකාවේ ආණ්ඩු විසින් අනුගමනය කරන මූලික ආර්ථික-දේශපාලන ආකෘතිය වන්නේත් ජේආර් විසින් හඳුන්වා දුන් ක්‍රමයයි. 

මේ පවතින ක්‍රමය තුළ ධනවාදී ක්‍රමයකදී මෙන් යම් පුද්ගලයෙකුට මුල සිට ආර්ථික හිණිපෙතේ ඉහළ නගින්න ඉඩකඩ ඇතත්, ඒ කවර ආකාරයකින් හෝ රාජ්‍ය යාන්ත්‍රනය සමඟ බද්ධ වීමෙන් මිසක් තමන්ගේ ව්‍යවසායකත්වය මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, දිගින් දිගටම සිදුවන බලය හා ප්‍රාග්ධනය අතර වන කැත ගනුදෙනුවක් මේ ක්‍රමය ඇතුළේ තිබෙනවා. මතුපිටින් පෙනෙන්නට ඇති පරිදි නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයක් තිබුණත්, ඒ වෙළඳපොළට නිදහසේ හැසිරීමේ සැබෑ ඉඩකඩක් විවරව නැහැ. මේ තිබෙන සීමිත වෙළඳපොළ නිදහසටද එරෙහි දේශපාලන ව්‍යාපාර තිබුණත් වෙළඳපොළ නිදහසට ඇති බාධා ඉවත් කිරීම වෙනුවෙන් හඬක් නොනැගෙන තරම්.

ජේආර්ගේ ආකෘතිය යටතේ රටේ ආර්ථික වර්ධන වේගය කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. එයට සාපේක්ෂව රජයේ අයවැය හිඟය හා රටේ ශුද්ධ විදේශ බැරකම්ද ඉහළ ගොස් අනාගත ආණ්ඩු වලට එම ප්‍රශ්න ඉතුරු වුනා. මේ ප්‍රශ්න වලට චන්ද්‍රිකා ආණ්ඩුවේ විසඳුම වුණේ රාජ්‍ය ව්‍යවසායයන් විකිණීමයි. එමගින් තාවකාලිකව රජය මුහුණ දෙමින් සිටි මූලික ප්‍රශ්න දෙකම විසඳාගත හැකි වුනා. ලැබුණු අරමුදල් වලින් අයවැය හිඟය පියවා ගැනීමට ඉඩ සැලසෙද්දී, විදේශ ව්‍යවහාර මුදලින් ලැබුණු අරමුදල් වලින් ගෙවුම් ශේෂ ප්‍රශ්නය තාවකාලිකව විසඳුණා. එහෙත්, මේ ප්‍රශ්න දෙකෙන් එකක්වත් ස්ථිරව විසඳුනේ නැහැ. ඒ ප්‍රශ්න අනාගතයට ඉතුරු වුනා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ මෑතකාලීන පාලකයන් අතරින් ජේආර් ජයවර්ධනගේ රාජ්‍යමූල්‍ය ආකෘතියෙන් යම් තරමකින් බැහැරව කටයුතු කළ කෙනෙක්. ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වල ආණ්ඩු පවා ජේආර්ගේ ආකෘතිය ආදරයෙන් වැළඳගෙන සිටිත්දී ජේආර්ගේ බෑණාගේ තේරීම වුනේ කීනීසියානු පිම්බීමක් වෙනුවට රාජ්‍යමූල්‍ය විනය පිලිබඳව සැලකිලිමත් වීමයි. ඒ හරහා ආර්ථිකයේ නිදන්ගත ප්‍රශ්න වලට ප්‍රතිකාර කිරීමයි. 

ඔහුට ඒ සඳහා අවශ්‍ය ධෛර්යයද නොඅඩුව තිබුණා. 2001-2004 අතර වසර දෙකහමාරක කෙටි කාලයක් තුළදී රටේ ආර්ථික වර්ධන වේගයද එහි දිගුකාලීන සාමාන්‍ය අගයට වඩා ඉහළින් තබා ගනිමින්, රජයේ වියදම් විශාල ලෙස සීමා කිරීම මගින් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය ප්‍රතිශතාංක තුනකින් පමණ අඩු කර ගැනීම හරහා ණය ගැනීම සීමා කර උද්ධමනය හා පොලී අනුපාතික වාර්තාගත මට්ටමකට පහත හෙලීමටත්, ජංගම ගිණුම් ශේෂය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස හැත්තෑ හතෙන් පසු මෙතෙක් වාර්තා වී ඇති අවම මට්ටමට ගෙන එන්නටත්, ගෙවුම් ශේෂ අතිරික්තයක් පවත්වා ගන්නටත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සමත් වුනා. ඒ අනුව, ආර්ථික කළමනාකරණය සම්බන්ධව බොහෝ දෙනෙක් රනිල් පිළිබඳව විශ්වාසය තැබීම හේතු සහගතව කළ දෙයක්.

පසුගිය යහපාලන ආණ්ඩුව විසින්ද ඉහත කී රාජ්‍යමූල්‍ය විනය පවත්වා නොගත්තා නෙමෙයි. ඔවුන් බැනුම් අසාගෙන බදු වැඩි කරමින් හා රාජ්‍ය වියදම් සෑහෙන තරමකින් සීමා කරමින් ඉතා අසීරුවෙන් ප්‍රාථමික ශේෂය ධන පැත්තට හැරෙවුවා. ඇතැම් විට මෙවර ඔවුන් පෙර අවස්ථාවේදී ගියාටත් වඩා දුර ගියා වෙන්න පුළුවන්. එහෙත්, 2005දී රනිල් වික්‍රමසිංහට භාර ගන්න වූ ආර්ථිකය 2001දී මෙන් වසර දෙකහමාරකින් ගොඩ දැමිය හැකි එකක් නෙමෙයි. ඒ නිසා, පසුගිය ආණ්ඩුවට ආර්ථිකයේ ක්ෂණික කඩා වැටීමක් වලක්වා ගනු හැර වැඩිමනත් දෙයක් කළ හැකි වූයේ නැහැ.

පසුගිය මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට ආරම්භයේදීම හා මැද භාගයේදී සුවිශේෂී බෝනස් දෙකක් හිමි වුනා. පළමුව, මානව කේන්ද්‍රීයව බැලුවොත් විශාල ඛේදවාචකයක් වුවත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළව විශාල පාරිතෝෂිකයක් වූ සුනාමිය පැමිණීමෙන් පසුව ගලා ආ විදේශාධාර හා ලැබුණු ණය සහන නිසා ශුද්ධ විදේශ විණිමය ප්‍රවාහ ඉහළ ගොස් රටේ බොහෝ ආර්ථික නිර්ණායකයන් තිබිය යුතුවාට වඩා හොඳින් පෙනෙන්න පටන් ගත්තා. පසුව දිගින් දිගටම විදේශ ණය ලබා ගනිමින් එම ණය වල උදවුවෙන් රුපියල ශක්තිමත්ව තියා ගැනීම සඳහා උත්තේජනයක් සපයන්න ඇත්තේ මේ සුනාමි ආධාර සුනාමියයි.

දෙවන පාරිතෝෂිකය යුද්ධය කෙමෙන් නිමාව දකිද්දී රටේ ආර්ථික වර්ධන වේගය පෙර සිතාගත නොහැකි වූ තරමට ඉහළ යාමයි. යුද්ධය මුළුමනින්ම අවසන් වීමට පෙර, නැගෙනහිර බිම්පෙදෙස් නිදහස් වීමෙන් පසුව, මේ තත්ත්වය නිරීක්ෂණය කළ හැකි වුනා. ආර්ථික වර්ධන වේගය මෙතෙක් වාර්තා වී තිබුණු මට්ටම් ඉක්මවා ඉහළ නැංවීමේ හැකියාවක් තිබෙන බවට ආණ්ඩුවට විශ්වාසයක් ඇති කරන්න ඇත්තේත්, පසුව ණයෙන් දුවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආදිය හරහා ඉහළ ආර්ථික වර්ධන වේගයක් කෙසේ හෝ පවත්වා ගැනීමට ආණ්ඩුවට පෙළඹවීමක් ඇති කරන්න ඇත්තේත් මේ දෙවන පාරිතෝෂිකයයි.

දැන් මේ ආණ්ඩුව මුහුණ දී සිටින තත්ත්වය එක් අතකින් පසුගිය යහපාලන ආණ්ඩුව මුහුණ දුන් තත්ත්වයට සමානයි. රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂ භාර දුන් ආර්ථිකය ඔහුට ඊට කාලයකට පෙර චන්ද්‍රිකා කුමාරතුංග විසින් භාර දුන් ආර්ථිකය තරම් පහසුවෙන් ගොඩ දැමිය හැකි එකක් නෙමෙයි. ඒ නිසා, 2002-2004 උපක්‍රම 2015දී ප්‍රමාණවත් වුණේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂට දැන් මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේත් එවැනිම ප්‍රශ්නයකටයි. රනිල් වික්‍රමසිංහ විසින් 2019දී ගෝඨාභයට භාර දුන් ආර්ථිකය පහළොස් වසරකට පෙර ඔහු විසින්ම ගෝඨාභයගේ වැඩිමල් සොයුරාට භාර දුන් ආර්ථිකයට වඩා බොහෝ සේ දුර්වල වී ඇති ආර්ථිකයක්. ඒ නිසා, මහින්ද රාජපක්ෂට ලැබුණු සාපේක්ෂ වාසි බොහොමයක් ගෝඨාභයට නැහැ. ඒ නිසා, ඇතැම් අය විශ්වාස කරන පරිදි මහින්ද විසින් වසර දහයකින් රටේ ආර්ථිකයේ ඩොලර් අගය හතර ගුණයක් කළත්, මහින්දගේ සොහොයුරාට එවැන්නක් කිරීම පහසු වැඩක් නෙමෙයි. මැතිවරණයට පෙර කෙසේ වුවත්, මහින්ද යුගයේ ආර්ථික සෞභාග්‍යය ගැන මැතිවරණයෙන් පසුවත් දිගටම කතා කරන ආණ්ඩුවේ ආධාරකරුවන් විසින් දැන හෝ නොදැන කරමින් සිටින්නේ ගෝඨාභයගේ ආණ්ඩුවේ ගෙල සිර කිරීමක්.

මා එසේ කියන්නේ ඇයි?

ලංකාවේ වත්මන් ඒක පුද්ගල ආදායම තුන් ගුණයකට මඳක් වැඩියෙන් වැඩි වුවහොත් ලංකාව සංවර්ධිත රටක්. 2005-2015 අතර කාලයේ ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකට ආසන්නව වැඩි වී තිබෙනවා. එහෙමනම් ගෝඨාභය රාජපක්ෂගේ වසර පහක ධුර කාලය අවසන් වන විට ලංකාව සංවර්ධිත රටක මායිමට ඇවිත් තියෙයිද? තව අවුරුදු හත අටක් යන කොට ලංකාව සංවර්ධිත රටක් වෙලා තියෙයිද?

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපට මුලින්ම පෙර කී පරිදි රාජපක්ෂ පාලන කාලයේදී හතර ගුණයකින් පමණ වැඩි වුණු ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය එය සෑදී තිබෙන සංරචක වලට විසංයෝජනය කරන්න සිදු වෙනවා. මේ කාර්යයේදී ඉන් පසුව යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ දේ වැදගත් නැතත් අපි සංසන්දනය පිණිස එම කාලයත් ගනිමු.

නාමික දළ දේශීය නිෂ්පාදිතය (ඩොලර් බිලියන)

2004      20.7

2014      79.4

2019      84.0

මේ අනුව, 2005-2014 කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වසරකට 14.4% බැගින් ඉහළ ගොස් ඇතත් 2015-2019 කාලයේ එම ඉහළ යාම 1.1%ක් පමණයි.

මේ ආකාරයට නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය දෙස බලන එකේ තිබෙන එක් මූලික වැරැද්දක් වන්නේ ඇමරිකන් ඩොලරයේ වටිනාකම වසරින් වසර වෙනස් වල බව මෙහිදී සැලකිල්ලට ගෙන නොතිබීමයි. මා මේ කියන්නේ ඇමරිකන් ඩොලරයක රුපියල් අගය වෙනස් වීම ගැන නෙමෙයි. ඒ කරුණට අපි පසුව එමු. මේ කතා කරන්නේ ඇමරිකාවේ උද්ධමනය නිසා ඇමරිකානු ඩොලරයටම සාපේක්ෂව එහි අගය වෙනස් වීම ගැනයි. ඒ නිසා, අපට ඇමරිකාවේ උද්ධමනයේ බලපෑම ඉවත් කර මේ සංඛ්‍යා සංසන්දනය කරන්න වෙනවා. 

ආසන්න වශයෙන් 2004 ඇමරිකානු ඩොලරයක දැන් වටිනාකම ඩොලර් 1.36ක්ද, 2014 ඩොලරයක දැන් වටිනාකම ඩොලර් 1.08ක්ද, 2019 ඩොලරයක දැන් වටිනාකම ඩොලර් 1.01ක්ද වෙනවා. නියම අනුපාත යොදා ඉහත ගණන් 2020 මූර්ත ඩොලර් වලට (වසරේ මැද ජූනි මාසයේ අගය සලකමින්) පරිවර්තනය කළ විට ඉහත සංඛ්‍යා වෙනස් වෙන්නේ මේ ආකාරයටයි.

දළ දේශීය නිෂ්පාදිතය (2020 ඩොලර් බිලියන)

2004      28.13

2014      85.88

2019      84.54

දැන් මේ ගණන් වල උද්ධමනයේ බලපෑමක් නැති නිසා හරිනම් සැබෑ ආර්ථික වර්ධනය පෙන්විය යුතුයි. මේ ගණන් අනුව, 2005-2014 කාලය තුළ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 13.1%ක් විය යුතුයි. 2015-2019 කාලය තුළ ලංකාවේ ආර්ථිකය වසරකට 0.2% බැගින් හැකිලී තිබිය යුතුයි. නමුත්, එය එසේ නොවූ බව අපි දන්නවා. එහෙමනම් මෙහි වැරැද්ද කුමක්ද? 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ රුපියල් වලින් මිසක් ඩොලර් වලින් නෙමෙයි. එම ගණන් ඩොලර් වලට හරහා පෙන්වීම තුළ තිබෙන්නේ රැවටිල්ලක්. 2005-2014 අතර ලංකාවේ මූර්ත වර්ධන වේගය ඉහළ මට්ටමක වූ බව සැබෑවක් වුවත් එය 13.1% මට්ටමේ තිබුණේ නැහැ. එම වසර දහය තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය වුනේ 6.4%ක් පමණයි. නමුත්, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය 14.4% බැගින් ඉහළ ගොස් තිබෙනවා. එයින්, 1.3%කට හේතුව ඇමරිකාවේ උද්ධමනයයි. එසේනම්, ඉතිරි 6.7% ආවේ කොහෙන්ද?

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපට ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ රුපියල් අගයෙන් පටන් ගන්න වෙනවා. කොහොමටත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ රුපියල් වලින් බව මම කිවුවනේ.

නාමික දළ දේශීය නිෂ්පාදිතය (රුපියල් බිලියන)

2004        2,091

2014      10,361

2019      15,016

මේ අනුව, 2005-2014 කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ රුපියල් අගය වසරකට 17.4% බැගින් ඉහළ ගොස් ඇතත් 2015-2019 කාලයේ එම ඉහළ යාම 7.7%ක් පමණයි. රටේ ජාතික ආදායමේ සැබෑ වැඩිවීම, එහෙමත් නැත්නම් මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන වේගය හොයාගන්න මේ ගණන් වලින් අදාළ කාල වල පැවති උද්ධමනයේ බලපෑම ඉවත් කරන්න වෙනවා. 2005-2014 කාලයේ සාමාන්‍ය උද්ධමනය 11.0%ක්. 2015-2019 කාලයේ සාමාන්‍ය උද්ධමනය 3.9%ක්. මේ අනුව, අදාළ කාලවල් වල සැබෑ ආර්ථික වර්ධනය පිළිවෙලින් 17.4% -11.0% = 6.4%ක් සහ 7.7% - 3.9% = 3.8%ක් වෙනවා.

දැන් මේ 6.4% ආර්ථික වර්ධනය ඩොලර් වලින් බැලූ විට 14.4% දක්වා වැඩි වී පෙනෙන්නත්, 3.8% ආර්ථික වර්ධනය 1.1% වී පෙනෙන්නත් හේතුව කුමක්ද? 2005-2014 කාලය තුළ ඇමරිකාවේ සාමාන්‍ය උද්ධමනය 2.3%ක්.  2015-2019 කාලය තුළ එය 1.5%ක්. ඒ නිසා, හරිනම් මේ ගණන් 6.4% + 2.3% = 8.7%ක් හා 3.8% + 1.5% = 5.3%ක් විය යුතුයි. එහෙත්, එය එසේ නොවූයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විණිමය අනුපාතිකය ඇමරිකාව හා ලංකාව අතර උද්ධමන වෙනසට ගැලපෙන පරිදි වෙනස් නොවීම නිසයි.

ඇමරිකාවේ බඩු මිල 2.3% බැගින් ඉහළ යද්දී ලංකාවේ බඩු මිල 11.0% බැගින් ඉහළ යනවා කියා කියන්නේ ඇමරිකන් බඩු ලංකාවට සාපේක්ෂව වසරකට 8.7% බැගින් ලාබ වෙනවා කියන එකයි. පොදුවේ මෙය ආනයනික බඩු දේශීය නිෂ්පාදන වලට සාපේක්ෂව ලාබ වීමක් කියා කියන්න පුළුවන්. එහි ප්‍රතිඵලය වන්නේ අපනයන සමඟ තරඟ කළ නොහැකිව දේශීය කර්මාන්ත වැසී යාමයි. එසේ නොවන්නටනම් රුපියල ඩොලරයට සාපේක්ෂව 8.7%කින් අවප්‍රමාණය වෙන්නට සලස්වන්න වෙනවා. එහෙත්, 2005-2014 කාලය තුළ රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වුනේ නැහැ  අනෙක් අතට 2015-2019 කාලය තුළ රුපියල අවප්‍රමාණය විය යුතුව තිබුණේ 3.9% - 1.5% = 2.4%කින් පමණක් වුවත්, පෙර වසර වල රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වී නොතිබුණු නිසා ඊට වඩා තරමක් හෝ වැඩියෙන් අවප්‍රමාණය වීමට ඉඩ හැරිය යුතු වුනා.

මේ අනුව පැහැදිලි වනු ඇති පරිදි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය මෙසේ විශාල ලෙස වැඩි වී පෙනෙන්නට ප්‍රධානම හේතුව "වැරදි" විණිමය අනුපාතිකයක් යොදා ගනිමින් රුපියල් වලින් මනින අගයක් ඩොලර් වලින් පෙන්වීමයි. මේ ආකාරයෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙස රාජ්‍ය ණය පෙන්වන විට ඩොලර් වලින් මනින විදේශ ණය රුපියල් වලට හැරවෙන්නේ "වැරදි" විණිමය අනුපාතිකයක් යොදා ගනිමින් නිසා එම ණය ප්‍රමාණය අඩුවෙන් පෙනෙනවා. වෙනත් නිර්ණායකද වැඩි කර පෙන්වන්නට අවශ්‍ය වූ විට රුපියල් ඩොලර් වලිනුත්, අඩු කර පෙන්වන්නට අවශ්‍ය වූ විට ඩොලර් රුපියල් වලිනුත් පෙන්වීමෙන් නැති සෞභාග්‍යයක් පෙන්විය හැකියි.

අපි නැවත මුල් ප්‍රශ්නයට එමු. මොන විදිහකින් හරි 2005-2014 කාලය තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය හතර ගුණයකින් වැඩි කරලා පෙන්නුවනේ. මේ ආණ්ඩුවටත් ඒ වැඩේ ඒ විදිහටම කරල පෙන්නන්න පුළුවන්කමක් තියෙනවද? 

අපි කතාව අවුරුදු පහකට සීමා කරමු. 2025 වෙද්දී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය දෙගුණයක් කරලා පෙන්වන්න මේ ආණ්ඩුවට පුළුවන් වෙයිද? මේ වැඩේ කරන්නනම් වසරකට 14.9%කින් ඔය අගය වැඩි කරන්න වෙනවා. ඔය අවුරුදු පහේ රටේ ඇත්ත ආර්ථික වර්ධනය කොයි මට්ටමට උස්සගන්න පුළුවන් වෙයිද? 2005-2014 අතර ලැබුණු යුද්ධය අවසන් කිරීමේ බෝනස් එක නැවත ලැබෙන්නේ නැහැ. එය සුවිශේෂී තත්ත්වයක්. ඒ නිසා, කීනිසියානු පිම්බීම් වලින් පමණක් අපහසුවකින් තොරව ඒ දශකයේ ලබාගත් 6.4% සාමාන්‍යයට නැවත යන්න පුළුවන්කමක් ඇතැයි මම හිතන්නේ නැහැ. 

හැත්තෑ හතෙන් පස්සේ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 5%කට කිට්ටුයි. පහුගිය අවුරුදු හතරේදී ආර්ථික වර්ධනය ඔය මට්ටමට පහළින් තිබුණු නිසා එහි වාසියකුත් තිබෙනවා. තව පුළුවන් උප්පරවැට්ටි හැම එකම දමලා 6%ක සාමාන්‍ය වර්ධනයක් ගත්තා කියලා අපි හිතමු. තව 8.9%ක් ඕකට එකතු කළ යුතුයි. ඒක කරන්න වෙන්නේ විණිමය අනුපාතිකය උද්ධමන වෙනස සමඟ ඉහළ යාම යටපත් කිරීමෙන්.

ඉදිරි අවුරුදු පහේ ඇමරිකාවේ උද්ධමනය 2%ක් පමණ වෙයි. ඇමරිකාව මේ ඉලක්ක මට්ටම ඒ තරම් වෙනස් වෙන්න ඉඩ හරින්නේ නැහැ. ඩොලරයක රුපියල් මිල මොන විදියෙන් හරි අවුරුදු පහක්ම දැන් මට්ටමේම තියා ගත්තා කියා හිතමු. එහෙම තත්ත්වයක් යටතේ මේ ඉලක්කයට යන්න ලංකාවේ සාමාන්‍ය උද්ධමනය 11% මට්ටමට යන්න ඉඩ දෙන්න වෙනවා. නමුත්, දැන් කාලයක් තිස්සේම මහ බැංකුව විසින් උද්ධමනය 5-6% මට්ටමේ තියාගෙනයි ඉන්නේ. උද්ධමනය ඉහළ ගියොත් ඊට අනුරූපව පොලී අනුපාතිකත් ඉහළ යනවා. එවිට, ආණ්ඩුවේ වියදම් ඉහළ ගොස් අයවැය හිඟය තවත් පුළුල් වෙන නිසා එය ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙනවා. අනෙක් අතට උද්ධමනය ඉහළ යා නොදී තියා ගන්න එකත් ආණ්ඩුවේ ඉලක්කයක්. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනය 6% මට්ටමේවත් තියා ගන්න වෙනවා. 

මේ අනුව උද්ධමන වෙනස 4%ක්. ඩොලරයක අගය කිසිදු වෙනසක් නැතිව දැන් මට්ටමේම තියා ගත්තොත් ආර්ථික වර්ධනයේ ඩොලර් අගය ඉහළ යාම 10% මට්ටමට ගන්න පුළුවන්. එය 14.9% මට්ටමට ගන්නනම් අවුරුද්දකට 4.9% බැගින් ඩොලරයේ අගය පහළ දමා ගන්න වෙනවා. ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඩොලරය අවුරුදු පහක් දැන් තිබෙන මට්ටමේ තියාගන්න එකත් මොන විදිහකින්වත් කරන්න බැරි දෙයක්. ඒ නිසා, කලින් වතාවේ වගේ අවුරුදු පහකින් ජාතික අදායම දෙගුණ වෙයි කියලා කවුරු හරි බලා ඉන්නවානම් ඒක අර එළුවාගේ මොකක්ද වැටෙනකම් බලා ඉන්නවා වගේ වැඩක්!

(Image: https://srilankaequity.forumotion.com/t31351-real-reason-for-presnt-level-of-stock-market-in-sri-lanka)

Friday, August 7, 2020

පාර ක්ලියර්!

ලංකාවේ මහ මැතිවරණයට කිසිසේත්ම සම්බන්ධයක් නැති වෘත්තීය කටයුතු කිහිපයක් නිසා බ්ලොග් එක පැත්තේ එන්න වෙලාව හොයා ගන්න අසීරු වුනත් හැමදාම කරන පරිදි මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ යම් විශ්ලේෂණයක් නොකරත් බැහැනේ. මා හැම විටම කියන පරිදි මිනිස්සු වෙනස් වෙන විට ආණ්ඩු වෙනස් වෙනවා. ආණ්ඩු වලට වියුක්ත පැවැත්මක් නැහැ.

පෙර ලිපියක ලියූ පරිදි "1956, 1970, 1977, 1994, 2010, 2015, 2018, 2019 ආදී සෑම අවස්ථාවකම මහජන මතය ප්‍රබල ලෙස මතු වුනා". දැන් 2020දී නැවතත් ඒ දෙයම සිදු වී තිබෙනවා. මා හිතන්නේ මේ ප්‍රතිඵලය මැතිවරණයට පෙර කිසිවෙකුටත් මෙලෙසම පුරෝකථනය කළ නොහැකි වූ බවයි.

මේ මැතිවරණයෙන් ආණ්ඩුව ජයගනු ඇති බව කිසිදු සැකයක් තිබුණු කරුණක් නෙමෙයි. මගේ ඇස්තමේන්තුව වුනේ ආණ්ඩුව 125-130 අතර මන්ත්‍රී ධුර ප්‍රමාණක් ලබා ගනු ඇති බවයි. එමෙන්ම මගේ විශ්වාසය වූයේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය යම් තරමකින් හෝ අඩු වී ඇති බවයි. ඒ නිසා, පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යම් පිරිසකට කෝවිඩ් අවදානම හමුවේ ඡන්දය දීමට තරම් ගැම්මක් මේ වන විට නැති විය හැකි බවයි. 

එජාපය දෙකට බෙදීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කළ විශාල පිරිසක් මෙවර ඡන්දය භාවිතා නොකරනු ඇති බවත්, එජාපය ඉතා දරුණු පරාජයක් ලබනු ඇති බවත් මා පුරෝකථනය කළත් එජාපය නැත්තටම නැති වී යාම මා කිසිසේත්ම පුරෝකථනය කළ දෙයක් නෙමෙයි. මගේ අවම තක්සේරුව වූයේ එජාපයට අඩු වශයෙන් කොළඹින් හා ගම්පහින් මන්ත්‍රී ධුර දෙකක් බැගින්, කුරුණෑගලින් හා කළුතරින් මන්ත්‍රී ධුරය බැගින් හා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර දෙකක් ලෙස මන්ත්‍රී ධුර 8ක් වත් ලැබෙයි කියා. උපරිම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 15ක පමණ ප්‍රමාණයක්.

ජවිපෙ සම්බන්ධව මගේ අවම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර හතරක්. ඒ දැනට ලබා ගෙන ඇති මන්ත්‍රී ධුර තුන සහ මාතරින් තවත් මන්ත්‍රී ධුරයක් ලෙසයි. උපරිම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 7ක පමණ ප්‍රමාණයක්. අපේ ජනබල පක්ෂය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි කර ගැනීමට තිබුණු ඉඩකඩද මා විසින් පුරෝකථනය කළා. ශ්‍රීලනිපය වෙනම තරඟ කළ දිස්ත්‍රික්ක වලදී මන්ත්‍රී ධුර කිසිවක් හිමි කර ගනු ඇතැයි මා පුරෝකථනය කළේ නැහැ. 

සමගි ජන බලවේගය පිළිබඳ මගේ ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 50-60 අතර ප්‍රමාණයක්. එය එතරම් වැරදි නැහැ. එහෙත්. මා ඇස්තමේන්තු කළේ සජබ හා එජාප මන්ත්‍රී ධුර එකතුව 65-75 ආසන්න ප්‍රමාණයක් වනු ඇති බවයි. සමස්තයක් ලෙස ඡන්ද භාවිතය මා ඇස්තමේන්තු කළාට වඩා වැඩියි. මගේ ඇස්තමේන්තුව වූයේ 65%ක පමණ ප්‍රතිශතයක්. 

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක විසින් ලැබූ ඡන්ද ප්‍රමාණය අනුව එම පක්ෂයට ලැබිය හැකිව තිබුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි. එහෙත්, ඔවුන් එම ඡන්ද ප්‍රමාණයම ලබද්දී ප්‍රධාන පක්ෂ වල ඡන්ද භාවිතය අඩු වූවානම් ජවිපෙ ප්‍රතිශතය ඉහළ ගොස් ඔවුන්ට වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් හිමි වෙනවා. මෙය යම් තරමකට සිදු වුනත් මා ඇස්තමේන්තු කළ තරමටම සිදු වුනේ නැහැ. පොදුජන පෙරමුණේ ඡන්ද යම් ප්‍රමාණයකින් අඩු විය හැකි වුවත්, එජාප කඳවුරේ ඡන්ද භාවිතය ඊට වඩා වැඩියෙන් පහළ යන නිසා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශත ඉහළ යනු ඇතැයි මා නිවැරදිව පුරෝකථනය කළත්, පොදුජන පෙරමුණේ ඡන්ද ඉහළ යනු ඇතැයි මා සිතුවේ නැහැ.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය 69,24,255ක්. මෙවර ශ්‍රීලනිපය වෙනම තරඟ කර ලබාගත් ඡන්දද ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය විසින් ලබා ඇති ඡන්ද ප්‍රමාණය 69,20,272ක්. මේ ගණන් ඉතාම ආසන්නයි. කරුණා අම්මාන්ගේ, පිල්ලෙයාන්ගේ, ඩග්ලස් දේවානන්දාගේ හා අතාවුල්ලාගේ පක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී සහාය දුන්නේත් ගෝඨාභය රාජපක්ෂටයි. ඒ නිසා, ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට එම පක්ෂ වල ඡන්දත් යම් ප්‍රමාණයක් ඇතුළත්. මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය විසින් ලබා ඇති ඡන්ද වලට ඉහත පක්ෂ වල ඡන්දද එකතු කළ විට එකතුව 71,18,731ක්. මේ අනුව, කෝවිඩ් තර්ජනය මධ්‍යයේ වුවත් ගෝඨාභය කඳවුර විසින් 1,94,476ක ඡන්ද ප්‍රමාණයක් අලුතින් එකතු කර ගැනීමට සමත් වී තිබෙනවා. 

කෙසේ වුවත්, ගෝඨාභය කඳවුර විසින් සමස්තයක් ලෙස ලක්ෂ දෙකක පමණ ඡන්ද ප්‍රමාණයක් වැඩි කර ගෙන තිබීමෙන් එම කඳවුරේ ඡන්ද ගිලිහී නොමැති බවක් අදහස් වෙන්නේ නැහැ. ගෝඨාභය කඳවුරේ මූල කඳවුරු පිහිටි දකුණේ සිංහල බෞද්ධ නාගරික දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ. කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක වලදී ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ ඡන්ද වලින් ලක්ෂ දෙකක් පමණ, හරියටමනම් 1,96,287ක් අඩු වී තිබෙනවා. එයින් 1,82,404ක්ම අඩු වී තිබෙන්නේ බස්නාහිර හා දකුණු පළාත් වල නාගරික දිස්ත්‍රික්ක පහේදී.

මේ අඩුව ආවරණය වී තිබෙන්නේ දෙමළ ජනයා වැඩිපුර වෙසෙන උතුරු නැගෙනහිර පළාත් වලින් හා නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්ක වලින් අමතර ඡන්ද 3,28,986ක් එකතු කර ගැනීමට එම කඳවුර සමත්ව තිබීම නිසයි. කඳුරට දෙමළ ජනතාව යම් ප්‍රමාණයක් වාසය කරන ඉතිරි දිස්ත්‍රික්ක වලදී හා පොළොන්නරුවේදී ගෝඨාභය කඳවුර විසින් තවත් ඡන්ද 61,777ක් එකතු කරගෙන තිබෙනවා. ලක්ෂ හතරකට ආසන්න මේ ඡන්ද වලින් 1,98,459ක් කරුණා අම්මාන්ගේ, පිල්ලෙයාන්ගේ, ඩග්ලස් දේවානන්දාගේ හා අතාවුල්ලාගේ පක්ෂ හරහා ලබා ගෙන ඇති ඡන්ද වුවත් ඉතිරි ලක්ෂ දෙකක පමණ ඡන්ද ප්‍රමාණය ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය විසින් සෘජුවම ලබාගත් ඡන්දයි.

මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ඡන්ද අඩු වී නැහැ. ඇතැම් අය ජවිපෙ ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියත් ජවිපෙ සතු ඡන්ද ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්. එම ප්‍රමාණය ඔවුන්ට ලැබී තිබෙනවා. මාතර හා කොළඹ හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක වලදී ජාතික ජන බලවේගය විසින් මෙවර ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 3,41,222ක් පමණයි. එම දිස්ත්‍රික්ක වලින් පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක විසින් ඡන්ද 3,41,311ක් ලබා ගත්තා. මේ ඡන්ද ප්‍රමාණ ඉතාම ආසන්නයි. ජාතික ජන බලවේගයේ ඡන්ද වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වී තිබෙන්නේ කොළඹ හා මාතර දිස්ත්‍රික්ක වලදී පමණයි. කොළඹදී වැඩිවීම 13,797ක් වන අතර මාතරදී වැඩිවීම 13,697ක්.

මෙවර මැතිවරණයේදී සුනිල් හඳුන්නෙත්ති පරාජය වීම ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකු ලෙස පොදුජන පෙරමුණේ හා එජාප දේශපාලනඥයින් විසින් පවා හැඳින්වීම එයට හේතුවයි. සුනිල් හඳුන්නෙත්තිගේ ජයග්‍රහණය තකා බොහෝ දෙනෙකු බර දමන බව පෙනෙන්නට තිබුණා. 

මාතරින් ජාජබට මන්ත්‍රී ධුරයක් හිමි නොවුණත් මේ බර තැබීම් වලින් වැඩක් වී නැති බව කියන්න බැහැ. ජාජබ විසින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන්නේ මාතර දිස්ත්‍රික්කයෙන්. එමෙන්ම ප්‍රතිශතයක් ලෙස වැඩිපුරම ජාජබ ඡන්ද ඉහළ ගොස් තිබෙන්නේත් මාතරදී. එය 58.4%ක විශාල වැඩි වීමක්. එසේ තිබියදීත් මාතරින් ජාජබට මන්ත්‍රී ධුරයක් අහිමි වීමෙන් පිළිබිඹු වන්නේ උපක්‍රමයක් ලෙස කොටයෙන් ගොඩයන්න බලා සිටීමේ අවදානමයි. කොටය බොහෝ විට ජවිපෙ වාසියට හිටියත් හැමදාම නත්තල් නැහැ. 

මාතරදී සුනිල් හඳුන්නෙත්ති සාධකය මෙන් කොළඹදී අනුර කුමාර සාධකය බලපෑවා වෙන්න පුළුවන්. එසේ නැත්නම් ලැයිස්තුවේ සිටි විමල් කැටපේආරච්චි වැනි අලුත් මුහුණු වලට යම් ඡන්ද ප්‍රමාණයක් ආකර්ෂණය වුනා වෙන්න පුළුවන්. මාතර වැඩි වීමට ආසන්නව සමාන මේ වැඩි වීම නොවන්නට ජාජබ කොළඹ මන්ත්‍රී ධුරයත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ජවිපෙ පදනම් ඡන්ද හැරුණු විට ජාජබ විසින් සුළු හා පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් ඒ කොළඹදී හා මාතරදී පමණයි.

සජිත් ප්‍රේමදාස විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 55,64,239ක් ලබා ගත්තා. මෙවර සජබ හා එජාප ඡන්ද වල එකතුව 30,21,419ක් පමණයි. මෙයට ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දුන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ වල ඡන්දද එකතු කළ විට එකතුව 35,96,422ක්. ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ලැබුණු ඡන්ද වලින් ලක්ෂ 20කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙවර භාවිතා වී නැහැ. මෙවර ප්‍රතිඵලය වෙනස් කිරීමට හේතු වුනානම් ඒ මෙසේ භාවිතා නොවුණු ඡන්දයි. මේ අඩු වීම සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ඡන්ද වලට සාපේක්ෂව උතුරු නැගෙනහිරදී 20-30% අතරත් දකුණේදී 40% පමණත් බව පෙනෙනවා. උතුරු නැගෙනහිර පළාත් හා නුවරඑළිය දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක වලදී සජිත් ප්‍රේමදාස විසින් ලබාගත් ඡන්ද වලින් මෙවර සජබට ලැබී තිබෙන්නේ 54.6%ක් පමණයි. එජාපය විසින් තවත් 5.1%ක් ලබා ගනිද්දී ඉතිරි 40.3% වාෂ්ප වී ගොස් තිබෙනවා. එම ඡන්ද ගෝඨාභය කඳවුරට හෝ ජාජබටද ලබාගත හැකි වී නැහැ. මේ ඡන්ද මොනවාද?

රනිල් වික්‍රමසිංහ ප්‍රධාන එජාපය තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වීම මා මතුපිටින් කියවන්නේ නැහැ. මතුපිටින් බැලුවොත් රනිල්ව ප්‍රතික්ෂේප වී සජිත් මතු වී තිබෙනවා. එජාපය ප්‍රතික්ෂේප වී සමගි ජන බලවේගය මතු වී තිබෙනවා. එය යම් ආකාරයකින් ශ්‍රීලනිපය ප්‍රතික්ෂේප වී පොදුජන පෙරමුණ මතු වීමට සමානයි. එහෙත්, මේ මතුපිටින් පෙනෙන කාරණයෙන් මා බැරෑරුම් ලෙස ගන්නේ රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප වීම කියන කාරණය පමණයි.

එජාපය දෙකඩ වීමෙන් පසුව එජාපයේ ජනප්‍රිය චරිත වැඩි ප්‍රමාණයක් හිටියේ සමගි ජන බලවේගය සමඟයි. එහෙත්, මේ වැඩි දෙනෙක්ට සජිත්ව අවශ්‍ය වුනේ එජාපය ජයග්‍රහණය කරා මෙහෙයවීම සඳහා පහුරක් සේ යොදාගැනීමට පමණයි. එය රනිල්ට කළ නොහැකි බව කාලය විසින් තහවුරු කරද්දී එජාපය අත නොහැර ඉතිරිව සිටි අයට වූ විකල්පය වූයේ අලුත් මූණක් දමා බැලීමයි. එසේ නැතිව රනිල්ව එළවා ගැනීමට වූ උවමනාව නෙමෙයි. රනිල් යටතේ පක්ෂය ජයග්‍රහණය කරවීමේ හැකියාවක් තිබුනානම් ඔය ගොඩක් අයට රනිල්ව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පක්ෂයේ මහජන නියෝජිතයින්ට වගේම පහළ මට්ටමේ ඉතිරි වී සිටින සාමාජිකයින්ටත් අවශ්‍ය වුනේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි ජොකියෙක් මිස සජිත් ප්‍රේමදාස කියන විශේෂිත පුද්ගලයා නෙමෙයි. ඒ අර්ථයෙන් බැලු විට සමගි බලවේගය ඉතාම අසාර්ථක පරීක්ෂණයක්.

එජාපයේ ප්‍රශ්නය එහි නායකයා රනිල් වික්‍රමසිංහව සිටීම නෙමෙයි. එය ඊට වඩා මූලික මට්ටමේ ප්‍රශ්නයක්. එජාපය කලක සිට දිගින් දිගටම පැරදෙන්නේ එජාපයේ ප්‍රතිපත්ති වලට ඉල්ලුම අඩු වීම නිසා මිසක් එහි නායකයා පිළිබඳ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ජවිපෙට තිබෙන ප්‍රශ්නයත් මෙයමයි. එහෙම නැතුව මිනිස්සු ඇත්ත මිනිස්සුද බොරු මිනිස්සුද කියන එකේ අවුලක් නෙමෙයි. ප්‍රතිපත්ති අවුල්නම් ඇත්ත මිනිස්සු කරන්න ඉඩ තිබෙන්නේ ඒ අවුල් ප්‍රතිපත්ති ඇත්තටම ක්‍රියාත්මක කරන එක බව ඡන්දදායකයා දන්නවා. අවුල් ප්‍රතිපත්ති වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින මිනිස්සුන්ට වැඩිය වඩා හොඳ සේ පෙනෙන ප්‍රතිපත්ති වෙනුවෙන් බොරුවට හෝ පෙනී සිටින මිනිස්සු හොඳයි. පළමු තේරීමේ ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අවුල්. දෙවැනි තේරීම හරියන්න යම්කිසි හෝ ඉඩක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස විසින් එජාපයේ පාක්ෂික ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒවා කොහොමටත් පක්ෂයට ලැබෙන ඡන්ද.  මේ වෙලාවේ එජාපය කියා කියන්නේ අලියා නෙමෙයි ටෙලිෆෝනය කියා එජාප පාක්ෂිකයා තීරණය කර තිබෙනවා. හරියට පසුගිය පළාත් පාලන ඡන්දයේදී ශ්‍රීලනිපය කියන්නේ අත නෙමෙයි පොහොට්ටුව කියා තීරණය කළා වගේ. නමුත්, රනිල්ගේ නායකත්වය යටතේ ලැබිය හැකිව තිබුණු ඡන්ද සෑහෙන ප්‍රමාණයක් සජිත්ගේ පක්ෂයට ලබා ගත හැකි වී නැහැ. එහෙමනම් ඒ ඡන්ද රනිල්ට නොලැබුනේ ඇයි?

මගේ අදහසනම් මෙයට හේතුව මේ නොවැටුණු ඡන්ද එජාප ඡන්ද නොවීමයි. ඒ ඡන්ද 2015දී මෛත්‍රීපාලට ලැබෙන්න ඇති. 2019දී සජිත්ටත් ලැබෙන්න ඇති. එහෙත්, ඒ ඡන්ද රාජපක්ෂ විරෝධී පාවෙන ඡන්ද මිසක් එජාප ඡන්ද නෙමෙයි. රාජපක්ෂ විරෝධී ඡන්ද කිවුවත් ඒවා කොටස් දෙකකට දමන්න පුළුවන්. පළමු කොටස 2015ට පෙර තිබුණු රාජපක්ෂලාගේ ක්‍රමයට විරුද්ධ ඡන්ද. දෙවන කොටස ඒ පොදු විරෝධය ඉක්මවා ගිහින් පෞද්ගලිකව රාජපක්ෂලාට වෛර කරන මට්ටම දක්වා ගිය අයගේ ඡන්ද. පළමු කාණ්ඩයේ අයට මහින්ද හා ඔහුගේ කණ්ඩායම ප්‍රශ්නයක් වුනත් ගෝඨාභය ප්‍රශ්නයක් නෙමෙයි. දෙවෙනි කණ්ඩායමට මහින්ද වගේම ගෝඨාභයත් අවුල්. සමහර විට ගෝඨාභය වැඩිපුර අවුල්.

මහින්දගේ ආණ්ඩුව එක්ක ප්‍රශ්න තිබුණු ඇතැම් අය 2015දී යහපාලනයට ඡන්දය දී දැන් ගෝඨාභය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එහෙත්, 2015දී යහපාලනයට ඡන්දය දුන් අයගෙන් යම් කොටසකට දැන් විකල්පයක් නැති වෙලා. එජාප පාක්ෂිකයින්ට සජිත් අලුත් බලාපොරොත්තුවක් වුනත් ඉහත කී පාවෙන ඡන්දායකයින්ට සජිත් විකල්පයක් නෙමෙයි. ඒ කොටස දැන් රනිල්ව වගේම ජවිපෙත් අත ඇරලා ඕනෑ මගුලක් කියා වෙන දෙයක් බලා ගෙන ඉන්නවා වගෙයි පෙනෙන්නේ. 

පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වී තිබෙන ඡන්ද ප්‍රමාණය 1,35,452ක් පමණයි. මෙවර මහ මැතිවරණයේදී 7,44,673ක්. මේ පස් හය ගුණයක වැඩි වීමෙන් පෙනෙන්නේත් මා කියන කාරණය වෙන්න පුළුවන්. ඡන්දදායකයින්ගේ සාක්ෂරතා මට්ටම අඩු ග්‍රාමීය දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව කොළඹ ඇතුළු නාගරික දිස්ත්‍රික්ක වල ඡන්ද වැඩිපුර ප්‍රතික්ෂේප වීමෙන් මේ කරුණ තවත් තහවුරු වෙනවා.

සමගි ජන බලවේගය හරහා චම්පික රණවකට ඊළඟ පියවරට යන්න පාර කපා ගැනීමේ උත්සාහයක්ද තිබුණු බව ගොඩක් දෙනෙක්ට රහසක් නෙමෙයි. ඒ ව්‍යාපෘතියද එතරම් සාර්ථක වී නැති බවයි පෙනෙන්න තිබෙන්නේ. මේ කරුණු සියල්ලම ගත්තහම එක දෙයක් පැහැදිලියි. ගෝඨාභය කඳවුරට බාධාවක් නැතුව වාහනය එළවන්න පාර ක්ලියර්!

විරුද්ධ දිශාවෙන් වාහන කිසිවක් එන්න නැහැ කියා කියන්නේ වාහනය එළවන්න විශාල නිදහසක් ලැබෙනවා කියන එකයි. හැබැයි එයින් කියැවෙන්නේ අනතුරු සිදු වෙන්න ඉඩක් නෑ කියන එක නෙමෙයි. ඉස්සරහ බලාගෙන එළෙවුවේ නැත්නම් වාහනේ පාරෙන් එළියට පනින්න පුළුවන්. 

ගෝඨාභය ඉදිරියේ තිබෙන ප්‍රධානම අභියෝගයත් මේ ලැබුණු ඡන්ද ප්‍රමාණයම තමයි. ඡන්ද කියා කියන්නේ බලාපොරොත්තු. රාජපක්ෂ විරෝධී කඳවුරේ ලොකු කොටසක් විකල්පයක් නැති වීම නිසා ඡන්දය දීමෙන් වැලකී සිට ඇතිවාක් මෙන්ම පොහොට්ටුවට ඡන්දය දුන් අයගෙන් සැලකිය පිරිසක් එසේ කර තිබෙන්නේද වෙනත් විකල්පයක් නැති නිසා බව මගේ අදහසයි. එක පැත්තකින් සරත් වීරසේකර, නාලක ගොඩහේවා, චන්න ජයසුමන වගේ අය මනාප වලින් ඉහළටම ඇවිත් තිබෙනවා. අනෙක් පැත්තෙන් මහින්දගේ පරණ ආණ්ඩුවේ සිටි බොහෝ විට විවේචන වලට පාත්‍ර වූ අයත් මනාප ලැයිස්තු වල උඩට ඇවිත් තිබෙනවා. 

යහපාලන ආණ්ඩුවට ආණ්ඩුවෙන් එළියේ වගේම ආණ්ඩුව ඇතුළෙත් බරපතල ප්‍රශ්න තිබුණා. මේ ආණ්ඩුවට එළියේ ලොකු ප්‍රශ්න නැතත් ඇතුළේ විසඳාගත යුතු ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම එළියේ දේශපාලන ප්‍රශ්න නැතත් විශාල අභියෝග තිබෙනවා. ඒ අභියෝග සුළුපටු නැහැ. ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා ආණ්ඩුව මේ ලැබුණු ජනවරම ප්‍රයෝජනයට ගනු ඇතැයි ප්‍රාර්ථනා කරමින් අපි අළුත් ආණ්ඩුවට සුබ පතමු!

Wednesday, June 17, 2020

රෑටත් පත්තුවෙන මහ බැංකුවේ (රතු?) ලයිට්


ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකුවට තමන් කියන දේ වහාම කරන මෙන් කළ අණ කිරීම අනුව මේ වන විටද මහ බැංකුව විසින් ජනාධිපතිවරයාට අවශ්‍යව තිබූ පරිදි මුදල් ප්‍රතිපත්ති තීරණ වහාම ගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා. මා හිතන හැටියට මෙය ලංකාවේ ජනාධිපතිවරයෙකු විසින් ලංකාවේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව මෙවැනි සෘජු බලපෑමක් කළ පළමු අවස්ථාවයි. මේ අවස්ථාව හා අදාළව බලපෑමක් යන වචනයට වඩා ගැලපෙන්නේ අණ කිරීමක් යන යෙදුමයි. ඒ අණ කිරීමේ තිබෙන තර්ජනාත්මක ස්වරූපය ඕනෑම කෙනෙකුට නිරීක්ෂණය කළ හැකියි.

"මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කරුණාකරලා මම කියන දේ සම්මත කරන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ සැලසුම හෙට උදේ වෙනකොට මට දෙන්න."

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකුවට ලබා දී තිබෙන්නේ විකල්ප දෙකක් පමණයි. පළමුවැන්න ඔහුට අවශ්‍ය පරිදි වහාම මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම. දෙවැන්න පැය 24කට අඩු කාලයක් තුළ විකල්පයක් ඉදිරිපත් කිරීම. ඒ විදිහට විකල්පයක් ඉදිරිපත් කළත් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හරියන එකක් විය යුතුයි.

"මහබැංකුවත් භාණ්ඩාගාරයත් තමයි Monitory & fiscal Policy එක කරන්නේ. හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න."

පැය 24කට අඩු කාලයක් ඇතුළත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හරියන වෙනත් විකල්පයක් දෙන එක ප්‍රායෝගිකව මහ බැංකුවට කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, ඉතිරිව තිබෙන එකම විකල්පය ජනාධිපතිවරයා කියන විදිහට කටයුතු කරන එකයි. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කියන දේ කරන්න බැරිනම් නිලධාරියෙකුට පෞද්ගලිකව තිබෙන අනෙක් විකල්පය තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන මහ බැංකුවෙන් අස්වෙලා යන එකයි. ලංකාව වගේ රටක මේ වගේ වෙලාවක ඒ වගේ තීරණයක් ගැනීමෙන් මහ බැංකුවේ රැකියාව හා ඒ ආශ්‍රිත වරප්‍රසාද වලට වඩා තවත් බොහෝ දේවල් අහිමි වෙන්න බැරිකමක් නැහැ.

රෑ තිස්සේ වැඩ කිරීමෙන් පසුව මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති තීරණ මේ වන විට දැනුම් දී තිබෙනවා. රෑ තිස්සේ වැඩ කර තිබෙන්නේ විකල්ප හොයන්න නොවන බව ඉතා පැහැදිලියි. අවසාන වශයෙන් මේ තීරණ වලින් පිළිබිඹු වෙන්නේ ජනාධිපතිවරයාට අවශ්‍යව තිබූ දේ මහ බැංකුව විසින් ඉටු කර ඇති බවයි. කියන දේ එළෙසම කරන්න වුනත් තාක්ෂණික පියවර ගණනාවක් අනුගමනය කරන්න සිදු වෙනවා. මහ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයත්, මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව කටයුතු කරන දෙපාර්තමේන්තු වල නිලධාරීනුත් රෑ තිස්සේ මේ තාක්ෂණික කටයුතු කර ඇති බව පෙනෙනවා.

මහ බැංකුවේ ක්‍රියා කලාපය අනුව පහත කරුණු දෙකෙන් එකක් තහවුරු වෙනවා. සිදු වී තිබෙන්නේ මේ දෙකෙන් කවර හෝ එකක් විය යුතුයි.
- ඉතා අකාර්යක්ෂම ආයතනයක් වූ මහ බැංකුවට හා එහි අකාර්යක්ෂම නිලධාරීන්ට රටේ ප්‍රධාන විධායකයාගේ සෘජු මැදිහත්වීම හමුවේ කාර්යක්ෂම වන්නට සිදු වී තිබීම.
- ජනාධිපතිවරයාගේ තර්ජනාත්මක බලපෑම හමුවේ මහ බැංකුව විසින් අනුමත කර ක්‍රියාත්මක කළ යුතුව නොතිබුණු මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට සිදු වීම.

ඇත්තටම සිදු වුනේ කුමක්ද කියා පිළිතුරු දෙන එක මහ බැංකුවේ නිලධාරීන්ගේ වැඩක්.

"සෞඛ්‍ය අර්බුදය ඒක ආර්ථික අර්බුදයක් වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල පවා මහ බැංකු විශාල පියවර ගන්නවා. ඇමරිකාවේ FED (සන්ධීය සංචිත බැංකුව) එක අමෙරිකානු ඩොලර් බිලියන 600 මේ ප්‍රෝගෑම් හදලා. අද නිවේදනය කළා. ඕස්ට්‍රේලියාව සහ ජපානය. ඒ වගේම මේ අපේ රට අවට තියෙන පොඩි රටවල්වල මහබැංකු මේ වැඩසටහන පටන් අරන්. දැන් මේ බලන්න FED Commits to use full range of Tools to help the Economy through unprecedented time."

මෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් "ලොකු රටවල්" හා "පොඩි රටවල්" ලෙස රටවල් වර්ග කරනවා. මේ වර්ගීකරණය අනුව ඇමරිකාව ලොකු රටක්. ඇමරිකාව මුල සිටම සෞඛ්‍ය අර්බුදය හා ආර්ථික අර්බුදය කළමණාකරණය කළේ එක් තනි අර්බුදයක් ලෙස සලකමින් නිශ්චිත සැලසුමක් හා ඉලක්ක ඇතිවයි. ඇමරිකාවේ සෞඛ්‍ය අර්බුදය පාලනය නොකළත් ආර්ථික අර්බුදයක් ඇති විය හැකිව තිබුණා. එහෙත්, ජීවිත බේරාගැනීම සඳහා සෞඛ්‍ය අර්බුදය පාලනය කළ යුතුව තිබුණා. සෞඛ්‍ය අර්බුදය පාලනය කරන තරමට ආර්ථික අර්බුදය උග්‍ර වන නිසා සෞඛ්‍ය අර්බුදය පාලනය කළ යුතු වූයේ එසේ කිරීමේ වාසිය ආර්ථික අර්බුදය උග්‍ර වීම නිසා සිදුවන හානියට වඩා වැඩි වන මට්ටමට පමණයි.

ඇමරිකාව රටක් විදිහට හැකි ඉක්මණින් රට කොරෝනා වලින් තොර කිරීම ඉලක්ක කර ඉන්පසු ආර්ථිකය ගැන හිතන සැලසුමක හිටියේ නැහැ. එවැනි ඉලක්කයක් ඵලදායී නොවන බව මුල සිටම පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ලෝකයේ කිසිදු රටක් තවමත් කොරෝනා වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වී නැහැ. දැඩි පාලනයක් යටතේ කොරෝනා පාලනය කළ චීනයේ පසුගිය දින හතර ඇතුළත 44(33), 40(32), 49(39), 57(38) ලෙස අළුත් රෝගීන් හමු වී තිබෙනවා. මේ අලුත් රෝගීන්ගෙන් වැඩි දෙනෙක් රට ඇතුළෙන් හමු වූ අයයි. වරහන් තුළ තිබෙන්නේ රට ඇතුළෙන් හමු වූ රෝගීන්. දූපත් රාජ්‍යයක් වීමේ වාසිය හමුවේ රට කොරෝනා වලින් තොර කළ නවසීලන්තයෙන්ද ඊයේ දිනයේ නැවතත් රෝගීන් දෙදෙනෙකු හමු වී තිබෙනවා. ආර්ථිකය ගැන අඩු අවධානයක් යොදවා පළමුව කොරෝනා අවසන් කිරීම ඉලක්ක කළ රටවල් ගණනාවකටද අවසාන වශයෙන් ඇමරිකාව වැනි රටවල් අනුගමනය කරමින් කොරෝනා සමඟ ජීවත් වීමට සිදු වී තිබෙනවා.

කොරෝනා හමුවේ රටේ සෞඛ්‍ය අර්බුදයක් මෙන්ම ආර්ථික අර්බුදයක්ද ඇති වීම නොවැලැක්විය හැකි බව ඇමරිකාව මුල සිටම අවබෝධ කර ගෙන සිටියා. සෞඛ්‍ය අර්බුදයට මුහුණ දෙන අතරම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා විවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගත්තා. බොහෝ ආර්ථික විද්‍යාඥයින් විසින් මේ අවස්ථාව හඳුනා ගත්තේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වලින් ප්‍රයෝජනයක් ලැබිය හැකි විශේෂ අවස්ථාවක් ලෙසයි. මේ කාරණයේදී ඇමරිකානු රජය ඇතුළු රජයයන් විසින් සාමාන්‍යයෙන් කරන කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති අපහරණය කිරීමට විරුද්ධ වන අය පවා මේ අවස්ථාව සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුනා ගත්තා.

කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වලින් දිගුකාලීනව රටක ආර්ථික වර්ධනය වැඩි කරන්න බැහැ. ඒ සඳහා, රටේ "සැබෑ" ආර්ථික වර්ධනයක් සිදු විය යුතුයි. කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වලින් කළ හැක්කේ ව්‍යාපාර චක්‍ර හේතුවෙන් ආර්ථික වර්ධනයේ සිදුවන විචල්‍යතාව අවම කිරීම පමණයි. රටේ නිෂ්පාදන හා සේවා කර්මාන්ත වලට නිෂ්පාදන විභවයක් තියෙද්දී හදන භාණ්ඩ හෝ සේවා විකුණාගත හැකි තරමේ ඉල්ලුමක් නැති කමින් නිෂ්පාදනය සීමා කිරීමට සිදුවී තිබෙන අවස්ථා වලදී රජයට හෝ මහ බැංකුවට මැදිහත් වී ඉල්ලුම ඉහළ දමන්න පුළුවන්. එවිට නිෂ්පාදනය ඉහළ යනවා.

පසුගිය දවස් වල තෙල් මිල විශාල ලෙස පහත වැටුනා. එයට හේතු වුනේ ඉන්ධන සඳහා ඉල්ලුම විශාල ලෙස අඩු වීමයි. ඒ වෙලාවේ ඇමරිකාවේ රජය මැදිහත් වෙලා වෙළඳපොළෙන් තෙල් මිල දී ගත්තා. මේ වගේ දෙයක් කළ විට ඉල්ලුම යම් තරමකින් හෝ ඉහළ යනවා. කර්මාන්තය බිඳ වැටෙන එක යම් තරමකින් හෝ සීමා වෙනවා.

මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම වැඩි කළ විට රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එවිට භාණ්ඩ හා සේවා මිල ඉහළ යන නිසා නිෂ්පාදකයින් වැඩියෙන් වෙළඳපොළට භාණ්ඩ සපයන්න පෙළඹෙනවා. නිෂ්පාදනය ඉහළ යනවා. එහෙත්, මේ වෙලාවේ තත්ත්වය වෙනස්. මිනිස්සු භාණ්ඩ හා සේවා මිල දී නොගෙන ගෙවල් වලට වී ඉන්නේ කෝවිඩ් නිසා මිසක් භාණ්ඩ හා සේවා මිල දී ගන්න අවශ්‍ය නැති නිසා නෙමෙයි. ඒ නිසා, මුදල් සැපයුම වැඩි කළා කියා ඉල්ලුම වැඩි වන්නේ නැහැ. නිෂ්පාදනය වැඩි වන්නේත් නැහැ. එහෙමනම් ඇමරිකාව මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ කවර අරමුණකින්ද?

රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඩු වීම ඇතැම් අංශ වලට වැඩියෙන් බලපානවා. උදාහරණයක් විදිහට සංචාරක සේවා හා ගුවන් ගමන්. මේ අංශ වල සමාගම් පාඩු ලබන විට සේවකයින්ගේ රැකියා අහිමි වෙනවා. එවිට ඔවුන්ට තමන්ගේ ණය වාරික ගෙවා ගන්න බැරි වෙනවා. එය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයට බලපානවා. එම අංශයේ සමාගම් පාඩු ලබන විට තවත් පිරිසකට රැකියා අහිමි වෙනවා.

මේ අවදානම අඩු කර ගන්න ඇමරිකාව විවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගත්තා. නිවාස ඒකක වලට සෘජුවම මුදල් ලබා දීම ඇමරිකාව කළ එක් දෙයක්. දරු දෙදෙනෙකු සිටින විවාහක පවුලකට ඩොලර් 3,400ක මුදලක් රජය විසින් ලබා දුන්නා. ඒ මුදල ඇමරිකාවට සාපේක්ෂව වුවත් විශාල මුදලක්. මෙහි අරමුණ වුනේ ඇමරිකානු වැසියන් තමන්ගේ නිවාස ණය, වාහන ණය, ජල විදුලි දුරකථන ආදී බිල්පත්, ක්‍රෙඩිට් කාඩ් බිල් ආදිය කලට වෙලාවට ගෙවනු ඇති බවට වග බලා ගැනීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික අර්බුදයක් ඇති වීම වැළකෙන්නේ නැතත් ඇමරිකාවේ රැකියා යම් ප්‍රමාණයක් ආරක්ෂා වුනා. ඒ නිසා, නැවත රට විවෘත කරන විට මේ සමාගම් විසින් නැවත අලුතින්ම සේවකයින් බඳවාගත යුතු නැහැ. සේවකයින් විසින් නැවත අලුතින් රැකියා සොයාගත යුතු නැහැ.

මේ ආකාරයේ වියදමක් ඇමරිකාවේ ෆෙඩරල් රජයට දරන්න සිදු වෙන්නේ බදු මුදල් වැය කරමිනුයි. එහෙත්, මේ වෙලාව බදු ආදායම් අඩු වී තිබෙන වෙලාවක් මිසක් වැඩි වී තිබෙන වෙලාවක් නෙමෙයි. ඒ නිසා, ෆෙඩරල් රජයට භාණ්ඩාගාර සුරැකුම්පත් විකුණා මුදල් හොයා ගන්න වෙනවා. ඇමරිකාවේ ෆෙඩරල් රජයට මේ වෙලාවේ ඉතා අඩු පොලී අනුපාතිකයකට භාණ්ඩාගාර සුරැකුම්පත් විකිණීමේ හැකියාව තිබෙනවා. අඩු පොලියකට ලබා ගත්තත් මේවා ණය. පසුව මේ ණය පියවන්න වෙනවා. ඒ බදු මුදල් වලින්.

කෝවිඩ් අර්බුදය හමුවේ ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින් රාජ්‍යමූල්‍ය උත්තේජනයක් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් රටේ ආර්ථිකයට පොම්ප කර තිබෙනවා. ඇමරිකාව වගේ රටක රජයකට එසේ කිරීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් මුදල් සැපයුමද වැඩි කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ උද්ධමන අවදානම ගැන සැලකිලිමත්ව ඉතා පරිස්සමෙන්. ඇමරිකාවේ වගේම ලෝකයේ වෙනත් සංවර්ධිත රටවල් හා ආර්ථික ශක්තියෙන් පොහොසත් රටවල් බොහෝ ගණනක් මේ වෙලාවේ පෙර නොවූ විරූ තරමේ රාජ්‍යමූල්‍ය උත්තේජන හා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්න පෙළඹී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලොකු රටවල් ලෙස හඳුන්වන්නේ මේ රටවල් විය යුතුයි.

ඉහත කී "ලොකු රටවල්" විසින් කරන හැම දෙයක්ම "පොඩි රටවල්" වලට කරන්න අමාරුයි. මගේ අදහස අනුව ගෝඨාභය රාජපක්ෂ විසින් "අපේ රට අවට තියෙන පොඩි රටවල්" ලෙස හඳුන්වන්නේ භූමි ප්‍රමාණය හෝ ජනගහණය අනුව කුඩා රටවල් වෙන්න බැහැ. බොහෝ විට ඔහු "පොඩි රටවල්" ලෙස හඳුන්වන රටවල් අතරට ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල්ද අයත් වෙනවා වෙන්න පුළුවන්. මේ "පොඩි රටවල්" විසින්ද සැලකිය යුතු දේ කර ඇතත් ඒ රටවලට "ලොකු රටවල්" කරන හැම දෙයක්ම කරන්න පුළුවන්කමක් නැහැ. ලොකුපොඩිකම් කොහොම වුනත් කාලයක් තිස්සේ තමන්ගේ රටේ ආර්ථිකය යම් තරමකින් හෝ සමතුලිතව පවත්වාගත් රටවල් මේ තත්ත්වයට සාර්ථකව මුහුණ දෙද්දී එසේ පවත්වා නොගත් රටවල් දෙකොණ පූට්ටු වී ඉන්නවා. ලංකාවට වෙලා තියෙන්නේත් වතුර රත් වෙද්දී හැලියේ කකුළුවාට වුනු දෙයයි.

"දැන් අපි මොකක්ද පාවිච්චි කරලා තියෙන Tool එක. කිසි දෙයක් නෑ. කිසිම දෙයක් මේ වෙනුවෙන් අපේ මහ බැංකුව කරලා නෑ."

"ඔයගොල්ලො ලඟ විවිධ tools තියෙනවා මේකට. ඒ tools පාවිච්චි කරන්නට ඕන. හැබැයි අපේ මහබැංකුව කිසිම tool එකක් පාවිච්චි කරන්නේ නෑ. නිකන් නිදාගන්නවා."

මේ කතාව අසාධාරණ හා අසත්‍ය කතාවක්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කෝවිඩ් අර්බුදය හමුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රාශියක් අරගෙන තිබෙනවා. ඒ ක්‍රියාමාර්ග වල යෝග්‍යතාවය හා ප්‍රමාණාත්මක භාවය විෂයමූලික කරුණක්. ඇත්තටම ප්‍රශ්නය මහ බැංකුව විසින් ජනාධිපතිවරයාට අවශ්‍ය වූ මුදල් ප්‍රතිපත්ති තීරණ ගෙන නොතිබීමයි.

"අපි කිව්වේ රුපියල් බිලියන 150 ක් බැංකුවලට දෙන්න. මේ Business වල වැරැද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට Security එකක් හැටියට තියාගෙන බැංකුවලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ආර්ථිකය දුවවන්න. මේ Money Circulation එකනේ. මේක සිම්පල් දෙයක්."

සැබෑ ප්‍රශ්නය මෙහි පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. කෝවිඩ් අර්බුදය හමුවේ ලංකාවේ රජයට ප්‍රායෝගිකව කිසිදු රාජ්‍යමූල්‍ය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් නැහැ. මම හිතන්නේ රජය විසින් ලබා දුන් එකම රාජ්‍යමූල්‍ය උත්තේජනය තෝරාගත් අඩුආදායම්ලාභීන් පිරිසකට රුපියල් 5000 බැගින් ලබා දීමයි. එය ලබාදුන් ආකාරය පිළිබඳවත් විවිධ විවේචන තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශය අනුව රටේ විවිධ සමාගම් වලට රජය විසින් විශාල මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒ මුදල කොපමණ මුදලක්ද කියා නිශ්චිතව සඳහන්ව නැහැ. කෙසේ වුවත්, ගෝඨාභය රාජපක්ෂ විසින්ම කියන විදිහට කේන්සියානු උත්තේජනයක් අවශ්‍ය වෙලා තිබෙන මේ වෙලාවේ ලංකාවේ රජය විසින් රටේ සමාගම් වලින් ලබා ගත් භාණ්ඩ හා සේවා වෙනුවෙන් මුදල් ගෙවන්නේ නැහැ. මෙසේ මුදල් නොගෙවා සිටීම සමාන කළ හැක්කේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යොදාගනිමින් ආර්ථිකය තවත් සංකෝචනය කිරීමකටයි. ඒ කියන්නේ පවතින ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියකටයි.

ගෝඨාභය රාජපක්ෂට ආර්ථික අර්බුදය තවත් උග්‍ර වනු දකින්න හෝ රටේ ආර්ථිකය කඩා වැටෙනු දකින්න කිසිදු උවමනාවක් නැති බව ඉතාම පැහැදිලියි. ඒ කියන්නේ ලංකාවේ රජය මේ ආකාරයට පියවිය යුතු බැරකම් නොපියවා ඉන්නේ එය කළ හැකි වෙනත් ආකාරයක් නැති නිසයි. මෙය රජයක් බංකොලොත් වී කඩා වැටීමේ ආරම්භක සංඥාවක්.

පවතින තත්ත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ මේ ආණ්ඩුව නෙමෙයි. නිදහසින් පසුව අනුගමනය කළ සමාජවාදී ප්‍රතිපත්ති නිසා හැදුණු තුවාලයට ජේආර් දුන් බෙහෙත් නිසා තුවාලය තවත් උග්‍ර වුනා. දැන් ආණ්ඩුව වටා ඉන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙහෙයවූ අය තුවාලය වණයක් කළා. යහපාලන ආණ්ඩුව කකුල නොකපා බේරාගන්න උත්සාහ කළත් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබුණේ නැති නිසා ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ලෙස භාර ගන්න වුනේත් කපන්න තිබෙන කකුලක්. නමුත්, ඒ හේතුව නිසා ඔහුට දැන් පවතින ප්‍රශ්නයේ වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඔහු විසින් යෝජනා කළ හා බලයට පැමිණි වහාම ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති හරහා කළේත් කකුල නොකපාම බැරි වෙන තැනකට රට තල්ලු කිරීමයි. කෝවිඩ් නිසා වුනේ එය තරමක් ඉක්මන් වීම පමණයි.

දැන් ලංකාවේ රජයට රජය බංකොලොත් වීම වලක්වා ගන්න කළ හැකි දෙයක් නැති තැනටම වැටිලා. මහ බැංකුවට දුන් "අවවාද" මේ නොහැකියාව මහ බැංකුව පිට පැටවීමේ උත්සාහයක්. මුදල් ප්‍රතිපත්ති වලින් මේ වෙලාවේ විශාල දෙයක් කරන්න බැරි වුනත් යම් කිසි කාලයකට පොඩි "රැවටීමක්" කරන්න පුළුවන්. සති හයකින් මහ මැතිවරණයක් තිබෙන පසුබිමක ඒ වගේ රැවටීමකින් පවතින ආණ්ඩුවට යම් දේශපාලන වාසියක් ලබා ගන්න පුළුවන්.

රජයෙන් මුදල් ලැබිය යුතු අයට ඒ මුදල් නොලැබීම රජයේ නොහැකියාව වුවත්, ඒ මුදල් ඒ අයට අයිති මුදල්. මේ සමාගම් රජයට මොනවා හෝ භාණ්ඩ හෝ සේවා සම්පාදනය කළ සමාගම්. ඒ නිසා, රජය විසින් තමන්ගේ යුතුකම ඉටු නොකරනවානම් හෝ කිරීමේ නොහැකියාවකින් ඉන්නවානම් මහ බැංකුව විසින් යම් මැදිහත් කිරීමක් කිරීම සාධාරණයි. මෙය වෙනත් රටවල සිදු වනවා වගේ ආර්ථික අර්බුදය හමුවේ බංකොළොත් වෙන්න යන සමාගම් වලට මහ බැංකුව විසින් ඇප දීමක් (bail out) නෙමෙයි. මෙහිදී මහ බැංකුව විසින් ඇප දෙන්නේ ආර්ථික අර්බුදය හමුවේ බංකොළොත් වෙන්න යන ලංකාවේ රජයටයි.

මේ සමාගම් වලට රජයෙන් ලැබිය යුතු ගෙවීම් සිදු කර නැහැ. රජය බංකොලොත් නොවුනොත් මේ මුදල් කොයි වෙලාවක හෝ එම සමාගම් වලට ලැබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යෝජනා කර තිබෙන්නේ මෙසේ ලැබෙන්න තිබෙන මුදල් ඇපයට තබා ගෙන එම සමාගම් වලට ණය දෙන්න වාණිජ බැංකු වලට ඉඩ සලසන ලෙසයි.

මේ ආකාරයෙන් මහ බැංකුවට "අවවාද" කරන්න සිදු වී තිබෙන්නේ කවර හේතුවක් නිසා හෝ දැනට මේ ලැබෙන්න තිබෙන මුදල් ඇපයට තබා ගෙන වාණිජ බැංකු විසින් ණය නොදෙන නිසයි. එයට මහ බැංකුවේ නියාමන කොන්දේසිද හේතු වනවා විය හැකි වුවත්, වෙනත් හේතුද තිබෙන බව පැහැදිලියි. රජයෙන් මුදල් ලැබිය යුතු අයට අවශ්‍ය වන්නේ තමන්ට ලැබෙන්න නියමිත මුදල් මිසක්, බැංකු ණයක් නෙමෙයි. ඒ නිසා, ඔවුන් මේ වෙනුවෙන් පොලියක් ගෙවන්න කැමති වෙන්නේ නැහැ. ඔවුන්ට එසේ පොලියක් ගෙවන්න සිදු වීම සාධාරණත් නැහැ. නමුත්, වාණිජ බැංකු විසින් මේ අනාගත ලැබීම් ඇපයට තියාගෙන වුවත් ණය දෙනවානම් ඒ සඳහා ගැලපෙන පොලියක් අය කළ යුතුයි. වෙන කෙනෙකුට වැඩි පොලියකට ණය දෙන්න පුළුවන්කම තිබියදී අඩු පොලියට මේ අයට ණය දෙන්න වාණිජ බැංකු ඉදිරිපත් වෙන්නේ නැහැ. කතාවේ නැතත් ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකුවට බලපෑම් කරන්නේ වාණිජ බැංකු වලට මේ අයට අඩු පොලියකට ණය ලබා දීමට ඉඩ සලසන ක්‍රමයක් හදන්න කියලයි.

දැන් මහ බැංකුව විසින් කියපු දේ කරලා තියෙනවා. වාණිජ බැංකු වලට මහ බැංකුවෙන් 1% බැගින් ණය අරගෙන 4% බැගින් ඒ ණය නිකුත් කරන්න පුළුවන්. මීට පෙර මහ බැංකුව විසින් වෙන් කළ රුපියල් බිලියන 27.5ක මුදලද ඇතුළත්ව රුපියල් බිලියන 150ක මුදලක්. ඒ කියන්නේ අලුතෙන්ම තවත්  රුපියල් බිලියන 122.5ක මුදලක් මහ බැංකුව විසින් එළියට දමනවා. පාරිභෝගිකයින්ට මේ ණය ගන්න පුළුවන් වෙන්නේ රජයෙන් ලැබිය යුතු ගෙවීම් ඇපයට තබා පමණක් වෙන්න බැහැ. වැඩි විස්තර අද හෙටම එළියට එයි.

මේ වැඩෙන් වාණිජ බැංකු වලට 3%ක පොලී ආන්තිකයක් ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ වාණිජ බැංකු විසින් තියා ගන්නේ ඔය වගේ පොලී ආන්තිකයක් නිසා මෙහි වාණිජ බැංකු වලට විශාල හොඳක් හෝ නරකක් නැහැ. ඔවුන්ට කරන්න තියෙන්නේ මහ බැංකුවෙන් සල්ලි අරගෙන පාරිභෝගිකයින්ට නිකුත් කරන එකයි. ඒ වෙනුවෙන් වැය වෙන පිරිවැය ආවරණය කරගන්න 3% ආන්තිකය ප්‍රමාණවත්.

රජයෙන් මුදල් ලැබෙන්න තිබෙන අයට මේ වැඩෙන් වාසියක් වෙන්නේ නැහැ. තමන්ට අයිති, තමන්ට ලැබෙන්න තිබෙන මුදල් වෙනුවට දැන් ඔවුන්ට සිදු වී තිබෙන්නේ 4%ක පොලියට ණය ගන්නයි. රජය විසින් පහුවෙලා හරි මුදල් ගෙවන කොට පොලියක් එක්ක ගෙවනවානම් ප්‍රශ්නයක් නැහැ. එවැනි දෙයක් වන බවක් මම හරියටම දන්නේ නැහැ. මගේ උපකල්පනය පොලියක් නොගෙවන බවයි. මෙය වැරදි උපකල්පනයක්නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න. එවිට ලිපියේ අදාළ කොටස  සංශෝධනය කරන්නම්.

මේ වැඩේ වාසිය තනිකරම රජයටයි. මේ වෙලාවේ රාජ්‍ය සුරැකුම්පත් විකුණලා මුදල් හොයාගෙන මේ ගෙවීම් කළොත් 7%ක පමණ පොලියක් ගෙවන්න වෙනවා. දැන් ඒ වෙනුවට වාණිජ බැංකු වලින් ණයක් ලබා ගන්න අවස්ථාව දීලා පොලියක් නොගෙවා මුදල් ගෙවන එක ප්‍රමාද කරන්න පුළුවන්. මහ බැංකුව අය කරන 1% පොලියත් අවසාන වශයෙන් මහා භාණ්ඩාගාරයටම ලැබෙන නිසා 8%කම වාසියක් තිබෙනවා.

මීට අමතරව මහ බැංකුව විසින් වාණිජ බැංකු වල සංචිත පොලී අනුපාතික 2% දක්වා අඩු කරලා තිබෙනවා. මෙය මහ බැංකුවේ අධිප්‍රතික්‍රියාවක් ලෙස හිතනවාට වඩා මෙයත් "රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට" අවශ්‍ය පරිදි ගත් ක්‍රියාමාර්ගයක් කියා හිතන්න පුළුවන්. මේ හරහා රුපියල් බිලියන 115ක මුදලක් ආර්ථිකයට මුදා හැරෙනවා. මෙය මේ වන විට රටේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන රුපියල් බිලියන 64ක අතිරික්ත ද්‍රවශීලතාවයට එකතු වෙනවා. එවිට එකතුව රුපියල් බිලියන 180ක් පමණ. 4% පොලියට ණය ලබා දීම සඳහා අලුතෙන් නිකුත් කර තිබෙන රුපියල් බිලියන 122.5ක මුදලෙන් සැලකිය යුතු කොටසක්ද අතිරික්ත ද්‍රවශීලතාවය ලෙස එකතු විය හැකි නිසා මේ ගත්තු (හෝ ගන්න සිදු වුනු) හදිස්සි තීරණයෙන් රටේ අතිරික්ත ද්‍රවශීලතාවය රුපියල් බිලියන 250ක් පමණ දක්වා ඉහළ යන්න පුළුවන්.

මේ මුදල් කන්දරාව බැංකු වලට වහාම ණය ලෙස නිකුත් කරන්න බැහැ. ඒ නිසා, වාණිජ බැංකු විසින් කරන්නේ නැවත මේ මුදල් මහ බැංකුවේම තැන්පත් කරන එකයි. ඒ වෙනුවෙන් මහ බැංකුවට 5.5%ක පොලී අනුපාතිකයක් ගෙවන්න වෙනවා. එක පැත්තකින් පාරිභෝගිකයින්ට 4% බැගින් බැංකු වලින් ණය ගන්න අවස්ථාව ලැබෙද්දී අනෙක් පැත්තෙන් 7%ක පොලී අනුපාතිකයකට බැංකු වලම හෝ භාණ්ඩාගාර සුරැකුම්පත් වල මුදල් තැන්පත් කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම, එක පැත්තකින් වාණිජ බැංකු වලට 1% පොලියට මහ බැංකුවෙන් ණය ගන්න ගමන්ම 5.5% පොලියට මහ බැංකුවට ණය දෙන්න පුළුවන්කම තිබෙනවා. මේ වෙළඳපොළවල් දෙකක් වුනත් මේ දෙක එකිනෙකට සම්බන්ධයි. මේ තත්ත්වය යටතේ මහ බැංකුවට ඉදිරියේදී අනිවාර්යයෙන්ම ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරන්න සිදු වෙනවා. ඒ නිසා, මේ වෙලාව අතේ සල්ලි තිබෙන අයට දිගුකාලීන බැඳුම්කර මිල දී ගන්න හොඳ අවස්ථාවක්.

මහ බැංකුවේ රාජකාරිය දිගුකාලීනව රටේ මිල ස්ථායීතාවය පවත්වා ගැනීම මිසක් "රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න" වැඩ කිරීම නෙමෙයි. එයින් අදහස් කරන්නේ ආණ්ඩුව සමඟ ගැටුම් ඇති කර ගත යුතු බව නෙමෙයි.

මහ බැංකුවේ හා රජයේ රාජකාරි දෙක එකක්ම නෙමෙයි. මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති එකට යන වෙලාවල් වගේම නොයන වෙලාවලුත් තියෙනවා. බොහෝ රටවල් වල මහ බැංකු ස්වාධීන ආයතන ලෙස පවත්වා ගැනීම කෙරෙහි ලොකු බරක් තබා තිබෙන්නේ ඒ නිසයි.

රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එක අසාර්ථකනම් මිනිස්සුන්ට එය ප්‍රතික්ෂේප කරන්න අවස්ථාව තිබෙනවා. එවිට වෙන ජනාධිපති කෙනෙක් පත් වෙයි. එහෙත්, රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගියොත් ප්‍රතික්ෂේප වෙන්නේ මහ බැංකුව කියන ආයතනය මිසක් එහි වත්මන් පාලකයින් නෙමෙයි. එහෙම වුනොත් මහ බැංකුවේ රෑටත් පත්තු වෙන ලයිට් සදහටම නිමිලා යන්න පුළුවන්.

මහ බැංකුව විසින් හදිස්සියේ තීරණ ගත්තේ දේශපාලන බලපෑම් වල පීඩනයට යටත් වෙලා නෙමෙයිනම්, හැම පැත්තක් ගැනම හොයා බලලා රටේ යහපත වෙනුවෙන්නම්, එහෙම වෙන එකක් නැහැ. ඒක එහෙමනම් ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රසිද්ධියේම කියපු විදියට "ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ රාජකාරිය" නොකර "නිකන් නිදාගන්න" එකයි මෙච්චර කල් කරලා තියෙන්නේ.

Saturday, March 21, 2020

ආණ්ඩු වැරදිද?


මේ වන විට හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා ඇති අතර මරණ ප්‍රමාණය දහතුන් දහසකට ආසන්න වී තිබෙනවා. වයිරසයේ මූලාරම්භය වූ චීනයේ දැනට හඳුනාගෙන තිබෙන මුළු ආසාදිතයින් ප්‍රමාණය ජනගහණය මිලියනයකට 58 දෙනෙකු පමණයි. එයින් මිය ගොස් ඇති ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 2.34ක් පමණයි.

චීනයට සාපේක්ෂව බැලූ විට ඉතාලියේ හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 886ක්ද, මිය ගොස් ඇති ප්‍රමාණය ජනගහණය මිලියනයකට 79.78ක් පමණ තරම් විශාලයි. ඉතාලියේ මරණ අනුපාතය පවා චීනයේ ආසාදිත අනුපාතයට වඩා ගොඩක් වැඩියි. මම හිතනවා තත්ත්වයේ බැරෑරුම්කම මේ සංසන්දනයෙන් පැහැදිලි වෙයි කියා.

කොරෝනා කියන වචනය කිරුළ යන තේරුම තිබෙන ඉතාලි භාෂාවේ වචනයක්. බිලියන 1.4ක ජනගහණයක් සිටින චීනය පහු කරගෙන මිලියන 60ක ජනගහණයක් සිටින ඉතාලිය කෝවිඩ්-19 කිරුළ වෙත කිට්ටු වෙමින් සිටීම ඉතාම ඛේදනීය තත්ත්වයක්.

කොරෝනා කියන වචනය ඉතාලි භාෂාවේ වගේම ස්පාඤ්ඤ භාෂාවේත් වචනයක්. තේරුම සමානයි. ස්පාඤ්ඤය ජනගහණය අතින් ඉතාලියටත් වඩා කුඩා රටක්. එහි ජීවත් වන්නේ මිලියන 46ක පිරිසක්. ස්පාඤ්ඤයේ ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට ජනගහණය මිලියනයකට 543ක් වන අතර මරණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට 29.48ක්.

ඇමරිකා එක්සත් ජනපදය මේ වෙද්දී ලෝකයේ රටවල් අතරින් කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අනුව හතරවන තැනට පැමිණ සිටිනවා. ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ඉහළ ගිය රටාව මෙහෙමයි.

මාර්තු 2 - 100
මාර්තු 10 - 994
මාර්තු 18 - 9259

මේ වන විට ඇමරිකාවේ හඳුනාගත් කොරෝනා රෝගීන් ප්‍රමාණය 24,000 ඉක්මවලා. හෙට වන විට ඇමරිකාව ස්පාඤ්ඤය පහු කරලා ලැයිස්තුවේ තුන් වන තැනට එයි. මෙතෙක් පැවති රටාව අනුව, දළ වශයෙන් ගත්තොත් දින 8කින් ආසාදිතයින් ප්‍රමාණය 10 ගුණයකින් පමණ වැඩිවෙනවා. ඒ නිසා, මාර්තු 26 වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ රට බවට ඇමරිකාව පත් වෙන්න විශාල ඉඩකඩක් තිබෙනවා.

මේ මාසය අවසන් වන විට ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ දෙකක් පමණ දක්වා ඉහළ ගොස් තිබිය හැකියි. ඇමරිකාව වඩාත්ම නරක අඩියකට පත් වනු ඇත්තේ ඉන් පසුවයි.

මේ ටික ලිවුවේ විශේෂ හේතුවක් නිසායි. ඇමරිකාවේ ජීවත් වන අපේ ඇතැම් හිතවතුන් අපේ නහය ළඟටම කොරෝනා වෛරස් ඇවිත් තියෙද්දී ලංකාවේ ආණ්ඩුව විවේචනය කරනවා. නමුත්, ඒ අය ලංකාවට යෝජනා කරන දේවල් ඇමරිකාවේවත් කරලා තිබෙන දේවල් නෙමෙයි. ඒ වගේම, ඇමරිකාවේ කරලා තිබෙන හැම දෙයක්ම සාර්ථක ක්‍රියාමාර්ග බව තහවුරු වෙලත් නැහැ. මම හිතන්නේ මේ ගොඩට දමන්න පුළුවන් ලාංකික සම්භවයක් ඇති අය වෙනත් බටහිර රටවල් වලත් ඉන්නවා. මම ඒ අය අත හැරලා දන්න ඇමරිකාව ගැන පමණක් කතා කරන්නම්.

කෝවිඩ්-19 පැතිරෙමින් තිබුණු මුල් අවදියේදී හැම රටකම වගේ ආණ්ඩු උත්සාහ කළේ පවතින තත්ත්වයෙන් දේශපාලන වාසියක් ගන්නයි. මේ තත්ත්වය ඇමරිකාවේ වගේම ලංකාවේත් පෙනෙන්න තිබුණා. ඒ වගේම, අනිත් පැත්තෙන්, බලයේ සිටි දේශපාලන පක්ෂ වලට විරුද්ධ කොටස් කළේත් ඒකමයි. මේ කාටවත් මුලදී ප්‍රශ්නයේ සැබෑ ගැඹුර අවබෝධ වී තිබුණේ නැහැ.

දැන්නම් තත්ත්වය වෙනස් වෙලා. ලෝකයේ හැම රටකම වගේ ආණ්ඩු වලට දැන් මොනවා හෝ කරන්නම සිදු වී තිබෙනවා. ඒ වගේම, ආණ්ඩු විසින් මොනවා කළත් ගොඩ දාන්න බැරි තැනකට ප්‍රශ්නය තල්ලු වෙලාත් තිබෙනවා.

කෝවිඩ්-19 ප්‍රශ්නය ලෝකයටම පොදු ප්‍රශ්නයක්. මේ වෙලාවේ චීනය පිට, බටහිර රටවල් පිට, සංක්‍රමණිකයින් පිට හෝ සුළු ජාතීන් පිට වැරැද්ද පටවා ගොඩ යාමේ හැකියාවක් නැහැ. දැන් ඒ සීමාව පැනලා. ඒ අතින් ලෝකයේ හැම ආණ්ඩුවක්ම මුහුණ දී සිටින්නේ සමාන ප්‍රශ්නයකටයි. අනෙක් පැත්තෙන් ප්‍රශ්නය පොදු වුවත් කෝවිඩ්-19 බලපෑම ලෝකයේ හැම රටකටම සමාන නැහැ. ඒ නිසා, ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනත් රටවල් විසින් යොදාගත් උපාය මාර්ග ඒ විදිහටම භාවිතා කරන්න බැහැ. එක් එක් රටට තමන් මුහුණ දී සිටින සුවිශේෂී තත්ත්වයන් ගැන හිතන්න වෙනවා.

මේ වෙලාවේ කළ යුත්තේ එක් එක් රට විසින් තමන්ට වඩාත්ම යෝග්‍ය වැඩ පිළිවෙළ තෝරා ගෙන ඒ අනුව කටයුතු කිරීමයි. මේ කටයුත්තේදී එක් එක් රටවල් වල ආණ්ඩු වලට මුල් තැන ලැබීම නොවැලැක්විය හැකි දෙයක්. ඒ නිසා, තමන් දේශපාලනික වශයෙන් මොන තැනක හිටියත් කවුරුත් කළ යුත්තේ තමන් ජීවත් වන රටේ පොදු වැඩ පිළිවෙලට හැකි තරමින් අනුගත වෙන එකයි. මෙය දේශපාලනික භේද වලට මුල් තැන දිය යුතු අවස්ථාවක් නෙමෙයි.

හැබැයි එහෙම කියලා ආණ්ඩු වලට අත්තනෝමතික ලෙස හැසිරෙන්න ඉඩ දිය යුතු නැහැ. ආණ්ඩු විසින් ජනතාව සමඟ සංවාදයක් පවත්වාගත යුතු අතරම, එය එළෙස නොවෙනවානම් ආණ්ඩු හරි තැනට ගන්න බල කරන්නත් වෙනවා. වැදගත් කරුණ ආණ්ඩු විවේචනය කළ යුත්තේ සාධනීය ලෙස මිසක් රටම අමාරුවේ වැටී තිබෙන වෙලාවේ ආණ්ඩුව වට්ටවන අදහසින් නෙමෙයි. මොකද මේ වෙලාව ඕනෑම ආණ්ඩුවක් විශාල අර්බුදයක ඉන්න වෙලාවක්. ඒ වගේ වෙලාවක ආණ්ඩුව තවත් අපහසුවට පත් කළා කියා ඇතිවන සුගතියක් නැහැ.

චීනයෙන් පටන් ගත්තොත්, චීනය කෝවිඩ්-19 ලෝක වසංගතයකට මුහුණ දුන්නේ නැහැ. චීන රජයට මුහුණ දෙන්න සිදු වී තිබුණේ රටේ සීමිත ප්‍රදේශයක පැතිරුණු වෛරසයකටයි. මේ වන විට චීනයෙන් හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් 81,000කින් 50,000ක්ම හමු වී තිබෙන්නේත්, දැනට සිදුව ඇති මරණ 3,250කින් 2500කට වඩා වාර්තා වී තිබෙන්නේත් වුහාන් නගරය ආශ්‍රිතවයි. එහි ජීවත්වන ජනගහණය මිලියන 11ක් පමණයි. මෙය ලංකාවේ ජනගහණයෙන් අඩක් පමණ වුවත් චීනයේ ජනගහණයෙන් 0.8%ක් පමණයි.

මෙවැනි අවස්ථාවකදී රටක ජනගහණයෙන් 1%කටත් අඩු පිරිසක් වාසය කරන නගරයක් දැඩි නියාමනයකට ලක් කිරීම ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. මෙවැන්නක් අනුපාතිකව සමාන කළ හැක්කේ ලංකාවේ ජාඇල හෝ වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් මෙවැනි නියාමනයකට ලක් කිරීමකටයි.

චීනයේ කෝවිඩ්-19 පැතිරෙන කොට එම වෛරසයේ ස්වභාවය ගැන කිසිවෙකුට අද තිබෙන තරමේවත් දැනුමක් තිබුණේ නැහැ. මීට පෙර පැතිරුණු සාර්ස් හා මර්ස් වැනි වෛරස පිළිබඳ අත්දැකීම් අනුව කෝවිඩ්-19 මරණ අනුපාතය වඩා විශාල අනුපාතයක් විය හැකිව තිබුණා. චීන රජය විසින් කළේ රටේ අනෙකුත් ප්‍රදේශ වලට වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා වුහාන් නගරයේ ජීවත් වූ මිලියන 11ක ජනගහණය අවදානමක හෙළන එකයි. චීන රජය විසින් ගත් ඒ තීරණය ආණ්ඩුවකට ගන්නට අමාරු තරමේ දැඩි එකක්.

වුහාන් වල ජනගහණය මිලියනයකට ආසාදිතයින් ප්‍රමාණය 4,513 දක්වාත්, ජනගහණය මිලියනයකට මරණ ප්‍රමාණය 226 දක්වාත් ඉහළ ගියා. මෙය ඉතාලියේ දැන් පවතින තත්ත්වයට වඩා කිහිප ගුණයකින් දරුණු තත්ත්වයක්!

වුහාන් වල කෝවිඩ්-19 පැතිරෙන එක නැවතුනේ ඒ ප්‍රදේශයේ විශාල පිරිසක් වෛරසයට නිරාවරණය වී ඔවුන්ගේ සිරුරු වල ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් පසුව ස්වභාවිකවම වෙන්න පුළුවන්. චීන රජය විසින් කොයි තරම් සීමා කළත් වෛරසය වුහාන් වලින් පිටතටද පැතිරුණා. එසේ පැතිරෙද්දී චීන රජය විසින් තවත් ප්‍රදේශ වුහාන් මෙන්ම දැඩි නියාමනයකට ලක් කළා.

එහෙත්, චීනයට මුළු රටම "ලොක්ඩවුන්" කරන්න අවශ්‍ය වුනේ නැහැ. චීනය තුළ කෝවිඩ්-19 බොහෝ දුරට හුබෙයි ප්‍රාන්තයට සීමා වුනා. මුළු හුබෙයි ප්‍රාන්තයම ගත්තත් චීන ජනගහණයෙන් 4.4%ක් පමණයි. සංසන්දනාත්මකව බැලුවොත් මීගමුව, කටාන, වත්තල, ජාඇල වගේ ප්‍රදේශ ඇතුළත් කොටසක ඉන්න ජනගහණ අනුපාතය.

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පිටතට සිදු වුනු කෝවිඩ්-19 හානිය සාපේක්ෂව ඉතා සුළු එකක්. එය  ජනගහණය මිලියනයකට ආසාදිතයින් 10ක් හා මරණ 0.09ක් පමණයි. මෙය සමානුපාතිකව බැලුවොත් ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් 210ක් පමණ හමු වී මරණ දෙකක් සිදු වීමට සමාන තත්ත්වයක්. අනෙක් අතට වුහාන් තත්ත්වය බැලුවොත් ලංකාවෙන් ආසාදිතයින් ලක්ෂයක් පමණ හමු වී එයින් පන්දහසක් පමණ මිය යාම වැනි භයානක තත්ත්වයක්.

චීන රජය විසින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් වුහාන් වලින් පිටත එවැනි හානියක් සිදු වීම වැලකී තිබෙනවා. නමුත්, ඒ හේතුව නිසාම චීනය විසින් ගත් ක්‍රියාමාර්ග එලෙසම ගැනීමෙන් අනෙකුත් රටවලටද වසංගතය පැතිරීම වලක්වා ගත හැකැයි අදහස් වන්නේ නැහැ.

චීනයෙන් ඇමරිකාවට ආවොත් ඇමරිකාවට මුලින්ම වෛරසය පැතිරිය හැකිව තිබුණේ චීනයෙන්. ලංකාව ඇතුළු අනෙකුත් රටවල් මුහුණ දුන්නේද එවැනිම තත්ත්වයකටයි. මේ අදියරේදී ඇමරිකාව මෙන්ම ලංකාවද වුහාන්හි සිර වී සිටි සිය රටවල පුරවැසියන් රටට ගෙන්වාගෙන නිසි පරිදි නිරෝධායනයකට ලක් කළා. කළ යුතුව තිබුණු පරිදිම දෙරටම මුල් අදියරේදී තමන්ගේ දේශ සීමා හරහා වයිරසය රටට පැමිණීම පිළිබඳව සැලකිලිමත් වුනා. එහෙත්, මෙවැනි කටයුත්තකදී ලංකාව වැනි මුහුදෙන් වට වූ දූපතකට හා ඇමරිකාව වැනි විශාල රටකට එකම ක්‍රියාමාර්ග ගැලපෙන්නේ නැහැ.

ඇමරිකානුවන් සංචරනයේ නිදහස ඉහළින්ම අගය කරන පිරිසක්. ඇමරිකාවට ඇතුළු විය හැකි තැන් ගණනාවක් තිබෙනවා. ඒ වගේම ඇමරිකාව හා චීනය සමඟත්, ඇමරිකාව හා යුරෝපීය රටවල් සමඟත් තිබෙන සංස්කෘතික සබඳතා ඉතා දැඩියි. කවර නියාමනයන් යටතේ වුවත් දින ගණනක් හෝ ඇතැම් විට කිසි විටෙකත් රෝග ලක්ෂණ නොපෙන්වන කෝවිඩ්-19 වෛරසය සිරුරේ දරාගත් අයෙකු ඇමරිකාවට පැමිණීමේ ඉඩකඩ ලංකාවේ එම ඉඩකඩට වඩා ගොඩක් වැඩියි.

ප්‍රායෝගිකව ලංකාවට විදේශිකයෙකුට පැමිණීමට හැකි එකම මාර්ගය කටුනායක ගුවන් තොටුපොළ හරහා රටට ඇතුළු වීමයි. මත්තලින් හෝ මෑතකදී විවෘත කෙරුණු පලාලි ගුවන් තොටුපොළ හරහා සැලකිය යුතු පිරිසක් රටට ඇතුළු වී ඇතැයි මා හිතන්නේ නැහැ. ඒ නිසා, ලංකාව මෙහිදී සිටියේත්, දැනට ඉන්නේත් යම් වාසිදායක තැනකයි. අනෙක් අතට අමාරුවෙන් දුවන ආර්ථිකයක් ඇති ලංකාව වැනි රටකට කටුනායක වැසීමේ හෝ ඇඳිරි නීතිය පනවා රටේ ආර්ථික කටයුතු නැවැත්වීමේ හානිය ඉතා විශාලයි. මේ වගේ තත්ත්වයක් යටතේ හැම දෙයක්ම සලකා බලා වඩා නිවැරදි තීරණ ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි.

කෝවිඩ්-19 තර්ජනය හමුවේ ලංකාවේ ආණ්ඩුව, විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළ ආකාරය නරකයැයි කියන්න බැහැ. මෙය අඩු නරක තෝරා ගත යුතු අවස්ථාවක්. කොයි තීරණය ගත්තත් අන්තිමට කවර හෝ හානියක් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ මැතිවරණය කල් දැමීම මැතිවරණ කොමිසමට තීරණය කරන්නට ඉඩ හැරීම වගේම අනෙකුත් තීරණ වලදී වෛද්‍ය වෘත්තිකයින්ට ඇහුම්කන් දීමත් මා අගය කරනවා.

කෝවිඩ්-19 අදාළව දැනට නිරීක්ෂණය කළ හැකි කරුණු අනුව ලංකාව තවමත් සිටින්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලට වඩා සුරක්ෂිත තැනකයි. දැනට හමු වූ ආසාදිතයින් වැඩි දෙනෙකු විදේශයකින් පැමිණ නිරෝධායන කඳවුරක සිටි අයයි. තවමත් ප්‍රජා සම්ප්‍රේෂණ තත්ත්වය දක්වා තත්ත්වය ඔඩු දුවා ඇති බවක් නොපෙනෙන නමුත් තවත් සතියක් දෙකක් පමණ යන තුරු එය ස්ථිරව කියන්න පුළුවන් කමක් නැහැ. කෝවිඩ්-19 හා අදාළව මේ වන තුරු ලංකාවේ ආණ්ඩුව හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් කටයුතු කර ඇති ආකාරය පැසසුමට ලක් විය යුතුයි. අඩු වශයෙන් ඇමරිකන් ආණ්ඩුව කටයුතු කරන තරම් හොඳින් ලංකාවේ ආණ්ඩුවත් මේ වෙලාවේ කටයුතු කර තිබෙනවා.

හැබැයි ඒ වගේම අනික් අතට මෙය ඕනෑවට වඩා උදම් ඇණිය යුතු තත්ත්වයක්ද නෙමෙයි. මේ වසංගතය ලෝකයෙන්ම තුරන් වන තුරු ලෝකයේ කිසිම රටක් සුරක්ෂිත නැහැ. ඒ නිසා, වෙනත් රටවල් සමඟ සසඳමින් ලංකාව විවේචනය කිරීම වගේම ඕනෑවට උඩ පනින්නට යාමත් මේ වෙලාවේ නොකළ යුතු දෙයක්. අර චීන කාන්තාව සුව වීමෙන් පසුව ලෝකයෙන් කෝවිඩ්-19 තුරන් කළ පළමු රට වැනි කතා දකින්නට ලැබුණා. ඒ වගේ දේවල් ප්‍රචාරය වීම නිසා රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය වන සැලකිල්ල නැතිව යා හැකියි.

කෝවිඩ්-19 හා අදාළව බටහිර රටවල් කටයුතු කරන්නේ දිගුකාලීන සැලසුමකට අනුවයි. ලංකාව ඇතුළු ආසියාතික රටවල් කටයුතු කරන්නේ එවැනි නිශ්චිත සැලසුමක් නැතිව එදිනෙදා වෙනස් වන තත්ත්වයන් අනුවයි. එය සංස්කෘතිය හෝ අධ්‍යාපන ක්‍රමය නිසා ඇති වී තිබෙන වෙනසක්. අප පුරුදු වී සිටින්නේ විභාගය ආසන්න වූ විට පාඩම් කරන්න මිසක් එදිනෙදා වැඩ එදිනෙදා කරන්න නෙමෙයි. මෙය ඒ වෙනස්කම් නැති කර ගන්න අවස්ථාවක් නෙමෙයි. මේ වෙලාවේ කළ යුත්තේ ලංකාවට හොඳම දෙය කරන්න ලංකාවටත්, ඇමරිකාවට හොඳම දෙය කරන්න ඇමරිකාවටත් හැකි උදවුවක් කරන එකයි. ඒවා එකම දේවල් විය යුතු නැහැ.

Friday, February 14, 2020

දේවානි ජයතිලක, ආණ්ඩුව සහ නිහඬ බහුතරයේ හඬ


මාධ්‍ය වාර්තා අනුව පෙනෙන්නේ ආණ්ඩුව දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටින්නට තීරණය කර තිබෙන බවයි. කාට හරි අවශ්‍යනම් එතකොට සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී සිටි අය ආණ්ඩුවට අයිති නැද්ද කියා අහන්න පුළුවන්. ඒ වගේම, මේ පෙනී සිටීම කොයි තරම් අවංකද කියන එක ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත්, වැදගත් වන්නේ පොදු වශයෙන් ආණ්ඩුවේ ඉහළ ස්ථරය ඉතා පැහැදිලි ලෙසම දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටීම කියන කරුණයි.

දේවානි ජයතිලක වෙනුවෙන් ආණ්ඩු විපක්ෂ භේදයක් නැතිව හැම දේශපාලන පක්ෂයකම අය පෙනී සිටියා. ආණ්ඩුවට හිතවත් යම් පිරිසක් සනත් නිශාන්ත වෙනුවෙනුත් පෙනී සිටියා. ඔවුන් දේවානි ජයතිලකගේ කවර හෝ වැරැද්දක් හොයා ගන්න උත්සාහ කළා. නමුත්, ඒ වැඩේ සාර්ථක වුනේ නැහැ.

දේවානි ජයතිලක සනත් නිශාන්ත හමුවේ නීතිය වෙනුවෙන් පෙනී සිටින්නේ ඇය ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂයකට හිතවත් නිසා නොවන බව පැහැදිලියි. ඇයට යම් හෙයකින් එවැනි හිතවත්කමක් තිබුණානම් ඒ හේතුව නිසා ඒ වෙලාවේ ඇය ක්‍රියා කළ ආකාරය අගය කළ නො යුත්තේද නැහැ.

මේ සිද්ධියෙන් පසුව, ඇතැම් ආණ්ඩු හිතවාදීන් විසින් ක්ෂණිකවම ඇගේ අතීතය ගැන හොයා බලා තිබෙන බව පේනවා. එසේ කරන්න ඇත්තේ ඇගේ කුමක් හෝ දේශපාලන සම්බන්ධයක් හරි, වෙනස් ආකාරයකින් කටයුතු කළ අවස්ථාවක් හරි හොයා ගන්න වෙන්න පුළුවන්. නමුත්, එවැනි සොයා බැලීම් කළ අයට හෙළිදරවු වෙන්න ඇත්තේ මේ සිදු වීම අහම්බයක් නොවන බවයි. ඇය මීට පෙරත් කියන්න තිබෙන දෙය මේ විදිහටම කාට වුනත් බය නැතිව කියා තිබෙනවා. මෙවර සිදු වුනු එකම වෙනස අදාළ සාකච්ඡාව සමාජ මාධ්‍ය වල හිට් වීමයි.

සමහර වෙලාවට හදිසියේ සිදු වන අහඹු සිදු වීම් සමාජ මාධ්‍ය වල හිට් වෙනවා. නමුත්, අහඹු සිදු වීම් කියන ඒවා සිදු වන්නේ අහඹු පසුබිමක නෙමෙයි. කිසියම් අහඹු සිදු වීමක් සිදු වන්නේ එවැන්නක් සිදු වීමට ඉඩ තිබෙන පසුබිමකයි. මෙහිදී වී තිබෙන්නේත් එවැන්නක්. වීඩියෝ නොකළ හා ඒ නිසා වැඩි දෙනෙක් නොදන්නා දේවානි ජයතිලක හා සම්බන්ධ මෙවැනි සිදු වීම් තවත් සිදු වී තිබෙනවා විය හැකියි. ඒ වගේම, දේවානි ජයතිලක හැර තවත් මෙවැනි රාජ්‍ය නිලධාරීන්ද ඕනෑ තරම් ඇති.

අනෙක් පැත්තෙන් ගත් විට මේ සිද්ධිය සනත් නිශාන්ත හා සම්බන්ධ මෙවැනි එකම සිද්ධිය වෙන්න විදිහක් නැහැ. ඔහු රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි බලපෑම් කිරීම බොහෝ විට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම, පක්ෂ විපක්ෂ භේදයක් නැතිව මහජන නියෝජිතයින් බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ මේ වෙලාවේ සනත් නිශාන්ත කටයුතු කර තිබෙන ආකාරයටයි. ඔවුන්ට දේවානි ජයතිලක වැනි කෙනෙක් සම්මුඛ වෙන්නේ කලාතුරකින්. වෙනස් විය යුත්තේ ඒ තත්ත්වයයි.

දේවානි ජයතිලක වෙනුවෙන් මේ වෙලාවේ බොහෝ දෙනෙක් පෙනී සිටියේ ඇයි? බොහෝ දෙනෙක් කියා කිවුවේ ආණ්ඩුව ගැන නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු ගැන. ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රතික්‍රියාවක් පමණයි.

විවිධ හේතු මත මිනිස්සු දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටියා. ඒ අතරින් සැලකිය යුතු පිරිසක් එසේ කළේ ඈ පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීම අගය කරමිනුයි. පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීම හා පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ නීති වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ වෙනස් කරුණු දෙකක්. මෙහිදී සනත් නිශාන්ත විසින් කරන වැරැද්ද පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙනී නො සිටීම නෙමෙයි. ඔහු එසේ කළ යුතුම නැහැ. ඔහු කරන වැරැද්ද පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ නීති වෙනුවෙන් පෙනී නො සිටීමයි. (ක්‍රියාවෙන් මෙසේ වුවත්, සනත් නිශාන්ත පාර්ලිමේන්තුවේදී හා මැතිවරණ ප්‍රචාරණයේදී පෙනී සිටින්නේ පරිසරය රැක ගැනීම වෙනුවෙනුයි.)

දේවානි ජයතිලකට කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ අනන්‍ය වූ මතවාදයක් නැතුව ඇති. එවැන්නක් තිබුණත් මෙහිදී ඇය එය තමන්ගේ රාජකාරිය සමඟ පටලවාගෙන නැහැ. එහෙත්, ඇයට පරිසරය හා සංවර්ධනය සම්බන්ධ තමන්ගේම වූ මතවාදයක් තිබෙන බව පෙනෙනවා. රාජ්‍ය නිලධාරිනියක එවැනි තමන්ගේ පෞද්ගලික මතවාදත් රාජකාරිය සමඟ පටලවා ගත යුතු නැහැ. මේ වෙලාවේ ඇගේ රාජකාරිය ඇගේ පෞද්ගලික මතවාදය සමඟ හොඳින් පෑහෙනවා. ඒ නිසා ඇය බොක්කෙන්ම තමන්ගේ රාජකාරිය කරනවා.

කඩොලාන රැක ගැනීම ලංකාවේ නීතිය අනුව දේවානි ජයතිලක විසින් කළ යුතු දෙයක්. එහෙත්, මතවාදයක් ලෙස සැලකූ විට එය තවත් එක් මතවාදයක් පමණයි. වෙනත් අයට මේ හා අදාළ වෙනත් මතවාද දැරීමේ අයිතියක් තිබෙනවා. කඩොලාන වලට වඩා පිට්ටනිය වටින මිනිස්සු ඕනෑ තරම් ඉන්න පුළුවන්. සනත් නිශාන්ත විසින් නීතිය නැවීමට බලපෑම් කිරීම වැරැද්දක් වුවත් ඔක්සිජන් අවශ්‍ය නැතැයි සිතන මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමේ වැරැද්දක් නැහැ.

ඔහුට අවශ්‍යනම් ඒ මිනිසුන් වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස කඩොලාන කපා පිට්ටනියක් ඉදි කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකියි. එය හරිද වැරදිද කියා තීරණය කිරීම ඔහුට ඡන්දය දෙන හෝ නොදෙන ඡන්දදායකයින්ගේ වැඩක්. යම් හෙයකින් එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්, කවර මහජන විරෝධතා තිබුණත්, රාජ්‍ය නිලධාරිනියක පෙනී සිටිය යුත්තේ කඩොලාන කැපීම වෙනුවෙනුයි. ඒ වගේ වෙලාවක, දේවානි ජයතිලක වැනි රාජ්‍ය නිලධාරිනියකගේ පෞද්ගලික මතවාද හා රුචි අරුචිකම් ඇගේ රාජකාරිය සමඟ ගැටෙන්න පුළුවන්.

මේ වෙලාවේ සනත් නිශාන්ත නියැලී සිටියේ ජනප්‍රියවාදී දේශපාලනයකයි. ආණ්ඩුව සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී නොසිට දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටින්නේත් ජනප්‍රියවාදී පදනමක සිටයි. මහින්ද රාජපක්ෂ විසින් අවුරුදු දහයක් තිස්සේ ආණ්ඩු කළේත් ජනප්‍රියවාදය මත පදනම්වයි. ජවිපෙ වැනි පක්ෂත්, සජිත් වැනි අයත් කරන්නේ එයමයි. රනිල් අසාර්ථක වුනේ ඔහු ජනප්‍රියවාදියෙකු නොවූ නිසා. දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු ජනප්‍රියවාදියෙකු වීමේ වැරැද්දක් නැහැ. එය මහජන මතය සමඟ අනුගත වීමක්.

රාජපක්ෂ දශකය ඇතුළත රාජපක්ෂලාගේ ජනප්‍රියවාදය තුළ බොහෝ විට සිදු වුනේ සනත් නිශාන්තලා වැනි මහින්ද රාජපක්ෂ වටා සිටි පිරිසක් මහින්ද රාජපක්ෂ විසින් සතුටු කිරීම සහ සනත් නිශාන්තලා වැනි අය විසින් ඔවුන් වටා සිටි තවත් පිරිසක් සතුටු කිරීමයි. අර ඔක්සිජන් අවශ්‍ය නැති පිරිස ඒ පිරිසයි. මේ පිරිසගේ හඬ වැඩි නිසා ඔවුන්ගේ මතය රටේ බහුතර මතය මෙන් පෙනෙන්නට තිබුණත්, ඇත්තටම ඔවුන් සුළුතරයක්. ඔවුන්ට ජනප්‍රියවාදී දේශපාලනය තුළ බලපෑමක් කිරීමට ශක්තිය ලැබී තිබුණේ රටේ නිහඬ බහුතරයකගේ නිහඬකම විසිනුයි. මේ නිහඬ බහුතරය තමන්ගේ හඬ අවදි කළේ වසර කිහිපයකට වරක් එන මැතිවරණයකදී පමණයි.

දේවානි ජයතිලක සිද්ධියේදී වුනේ සමාජ ජාලා හරහා නිහඬ බහුතරයේ හඬ මතු වීමයි. ජනප්‍රියවාදී ආණ්ඩුවකට බහුතරයේ හඬ නොසලකා ඉන්න බැහැ.

ගෝඨාභයට කොහොම වුනත් මහින්දට සනත් නිශාන්ත කටයුතු කළ ආකාරය ගැන ප්‍රශ්නයක් තියෙනවා කියා හිතන්න අමාරුයි. සනත් නිශාන්ත සමඟ ඉන්න මිනිස්සු ටික සතුටු කිරීමට මහින්ද, ගෝඨාභය හෝ වෙනත් ඕනෑම ජනප්‍රියවාදී දේශපාලනඥයෙකු පැකිලෙන එකක් නැහැ. හැබැයි එසේ කිරීමෙන් තමන් වඩා විශාල පිරිසක් අතර අප්‍රසාදයට පත් වීමට නියමිත බව පෙනේනම් කවුරුවත් එවැනි දෙයක් කරන්නේ නැහැ.

මේ වෙලාවේ වුනේ ඒකයි. සමාජ ජාලා හරහා නිහඬ බහුතරයේ හඬ මතු වීම නිසා ඔක්සිජන් අවශ්‍ය නැති කණ්ඩායමේ හඬ යටපත් වී ගියා. මිනිස්සු හරි තැන ඉන්නවානම් ඕනෑම ආණ්ඩුවකට හරි තැනට එන්න වෙනවා.

Wednesday, January 15, 2020

සුබ තයිපොන්ගල් දිනයක්!


අද (ජනවාරි 15) ලංකාවේ නිවාඩු දවසක්. ඒ තයිපොංගල් දිනය වෙනුවෙනුයි. ලංකාවේ තයිපොංගල් උත්සවය සමරන්නේ දෙමළ හින්දු අනන්‍යතාවය ඇති පිරිසයි. තමිල්නාඩුවේද මේ උත්සවය මේ නමින්ම සැමරෙනවා. ඉන්දියාවේ තවත් ප්‍රාන්ත ගණනාවක මේ දිනය මේ නමින්ම හෝ වෙනත් නමකින් සැමරෙනවා.

ඉංග්‍රීසීන් ලංකාව ආණ්ඩු කරන්න පටන් ගැනීමෙන් පසු, 1886 වන තුරු බෞද්ධ, හින්දු හෝ ඉස්ලාම් ආගමික උත්සව පැවැත්වෙන දින ලංකාවේ පොදු නිවාඩු දින වූයේ නැහැ. නමුත්, ක්‍රිස්තියානි නිවාඩු දින ගණනාවක්ම ලංකාවේ පොදු නිවාඩු දින සේ නම් කර තිබුණා. 1886 අංක 4 දරන නිවාඩු දින පණතින් එම නිවාඩු දින ලැයිස්තුවට ක්‍රිස්තියානි නොවන ආගමික නිවාඩු දින තුනක් එකතු වුණා. ඒ, හින්දු අලුත් අවුරුද්ද, වෙසක් පසළොස්වක පෝය හා මහමදිකයන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන්. මීට අමතරව බැංකු නිවාඩු දින අතරට තයිපොංගල් නිවාඩුවක්ද මේ පණතින් එකතු කෙරුණා.

ඉහත පණතින් අප්‍රේල් අලුත් අවුරුද්ද හින්දු අලුත් අවුරුද්දක් ලෙස මිස සිංහල අලුත් අවුරුද්දක් සේ හඳුන්වා නොතිබීම කැපී පෙනෙන කරුණක්. ඒ වගේම, හින්දු නිවාඩු දිනයක් තෝරා ගැනීමේදී ප්‍රමුඛතාවය ලැබී තිබෙන්නේ තයිපොංගල් දිනයට නොව තමිල් පුතාන්ඩු (දෙමළ අලුත් අවුරුදු) දිනයටයි. තයිපොංගල් දිනය ලංකාවේ පොදු නිවාඩුවක් කෙරෙන්නේ 1914 වසරේ සිටයි. එතැන් සිට අද දක්වාම තයිපොංගල් දිනය ලංකාවේ පොදු නිවාඩු දිනයක්.

සිංහල අලුත් අවුරුද්ද වගේම දෙමළ අලුත් අවුරුද්දත් ආරම්භ වෙන්නේ මේෂ සංක්‍රාන්තියෙන්. ලංකාවේ, ඉන්දියාවේ හා කලාපයේ තවත් රටවල භාවිතා වන සූර්ය දින දර්ශන අනුව මේෂ සංක්‍රාන්තියෙන් ඇරඹෙන පළමු මාසය ජ්‍යොතිෂ්‍යයේදී හැඳින්වෙන්නේ මේෂ රවි මාසය ලෙසයි. තයිපොංගල් දිනය වගේම තමිල් පුතාන්ඩු දිනයත් තමිල්නාඩු ප්‍රාන්තයේ නිවාඩු දිනයක්. ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත ගණනාවකම හා තවත් නැගෙනහිර ආසියානු රටවල් ගණනාවකම විවිධ නම් වලින් මේෂ සංක්‍රාන්තිය සමරනවා.

අවුරුද්දේ ඉතිරි මාසද මේ අයුරින්ම පිළිවෙලින් රාශි චක්‍රය අනුව නම් කර තිබෙනවා. ඒ අනුව, දහවන මාසය මකර රවි මාසයයි. දෙමළ දින දර්ශනය අනුව මකර රවි මාසය තෛ මාසය ලෙස හැඳින්වෙනවා. සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට යාමත් සමඟ මේ මාසය ඇරඹෙනවා. ඒ සංසිද්ධිය මකර සංක්‍රාන්තිය ලෙස හැඳින්වෙනවා. තෛපොංගල් නමින් සැමරෙන්නේත් මේ මකර සංක්‍රාන්තියමයි.

නිරයන ජ්‍යෝතිෂ්‍යය අනුව සූර්යයා උත්තරායනය ආරම්භ කරන දවස තෛපොංගල් හෙවත් මකර සංක්‍රාන්ති දවසයි. එහෙත්, දැන් සැබැවින්ම සූර්යයා උත්තරායනය ආරම්භ කරන්නේ දෙසැම්බර් 21 ආසන්න දිනයකයි. නිරයන ජ්‍යෝතිෂ්‍යය නක්ෂත්‍ර වර්ෂය මත පදනම් වීමත්, නක්ෂත්‍ර වර්ෂයක් නිවර්තන වර්ෂයකට වඩා මිනිත්තු 20ක් පමණ දිගු වීමත් නිසා මේ පරතරය වසරින් වසර වැඩි වෙනවා. ක්‍රිස්තු වර්ෂ 543දී පමණ ජ්‍යෝතිෂ්‍යයෙහි සායන නිරයන භේදය ඇති වන කාලයේ සිදු වීම් දෙකම සිදු වී තිබෙන්නේ එකවරයි. ඒ කාලයේදී මේෂ සංක්‍රාන්තිය සිදු වී තිබෙන්නේ වසන්ත විෂුවය සිදුවීමට සමගාමීවයි.

තෛපොංගල් යන වචනයේ මුල් කොටස හැදී තිබෙන්නේ අදාළ මාසයේ නමින්. එහි දෙවන කොටසින් අදහස් වෙන්නේ දෙමළ ජාතිකයින් විසින් බොහෝ විට උත්සව අවස්ථා වලදී හදන ගිතෙල්, මුං ඇට, හකුරු ආදිය මුසු කිරිබතයි. සිංහලයින් දැන් අවුරුදු කිරිබතට වැඩිපුර දේවල් එකතු කරන්නේ නැතත් සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ තවමත් තිබෙන්නේ හකුරු, ගිතෙල්, තල වැනි වෙනත් දෑද මිශ්‍ර කිරිබතක් හදා ගත යුතු බවයි.

ලංකාවේ රාජ්‍ය නායකයින් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයින් වුවත් ඔවුන් තෛයිපොංගල් උත්සවය සැමරීම වරද්දන්නේ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද අද මෝදර ශ්‍රී වෙන්කටේෂ්වරන් මහා විෂ්ණු දේවාලයේදී හින්දු බැතිමතුන් සමඟ තෛයිපොංගල් උත්සවය සැමරීම සඳහා එක් වී තිබෙන අතර සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂ නායක කාර්යාලයේදී තෛයිපොංගල් සැමරුමක් පවත්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ තෛපොංගල් දින නිවේදනය පහත තිබෙනවා.

"ලෝකවාසී දෙමළ ජනතාව මහත් හරසරින් පිළිගන්නා තෛපොංගල් මංගල්‍යය සමරන ශ්‍රී ලාංකේය දෙමළ සහෝදරත්වය සමග මම ද සතුටින් එක්වෙමි.

තෛපොංගල් උත්සවයත් සමඟ අන්‍යොන්‍ය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇති වන නවමු බැඳීම පවුල් ඒකකයේ සිට සමස්ත සමාජය පුරා විහිද යයි. එමගින් දෙමාපිය දූදරු, ගුරු දෙගුරු ඥාති හිතමිත්‍රාදීන් මෙන්ම, පාලකයන් පාලිතයන් අතර ද මානව ගුණයෙන් යුතු සාමාජයීය බැඳීම තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මාගේ විශ්වාසය යි.

තෛපොංගල් දින වන්දනාවට පාත්‍ර වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුරු දුරලන ආලෝකයත් වන්නේ යම් සේද, උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතය ද ප්‍රභාමත් වේවා යි ප්‍රාර්ථනය කරමි!"


(Image: https://twitter.com/USAmbSLM/status/1217272764668809216/photo/1)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...