වෙබ් ලිපිනය:

Showing posts with label කෘෂිකර්මය. Show all posts
Showing posts with label කෘෂිකර්මය. Show all posts

Saturday, May 23, 2020

ඉරණම් තුනක්!

ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව ආසියානු රටවල් තුනක්. 1991 වන විට මේ රටවල් තුනේම ශ්‍රමිකයින්ගෙන් අඩකට වඩා නිරතව සිටියේ කෘෂිකාර්මික අංශයේ රැකියාවකයි.

තායිලන්තය - ශ්‍රම බලකායෙන් 60.3%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 62.6%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 55.5%ක්

ඒ වන විට මේ රටවල් තුනේම දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය 2500 මට්ටමට වඩා අඩුයි.

තායිලන්තය - කැලරි 2,260යි.
ඉන්දියාව - කැලරි 2,297යි.
උතුරු කොරියාව - කැලරි 2,368යි.

බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක ඕනෑම රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්‍රමුඛ ඉලක්කයක් විය යුතු බව කවුරුත් වගේ එකඟ වන කරුණක්නේ. ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව කියන රටවල් තුනත් ඔය ඉලක්කය පස්සේ හඹා ගියා. හැබැයි එකම ක්‍රමයකට නෙමෙයි. ක්‍රම තුනකට. දෙපැත්තට වැටුණු සත්තිගුම්බ ජාතකයේ ගිරවු දෙන්නා වගේ මේ රටවල් තුනේ කෘෂිකර්මයත් අදාළ රටවල ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ඇසුරේ දශක තුනක් තිස්සේ වෙන වෙනම වැඩුනා.

රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික අංශය ටිකෙන් ටික හැකිළෙන බව මම කලින් පැහැදිලි කරලා තියෙනවනේ. රටක වෙළඳපොළ නිදහස්ව හා විවෘතව තිබෙන තරමට ඔය වැඩේ වඩා වේගයෙන් වෙනවා. කෘෂිකාර්මික අංශයේ ඉන්න ශ්‍රමිකයින් ගොවිතැනෙන් ඉවත් වෙලා වැඩි ආදායම් ඉපැයිය හැකි වෙනත් රැකියා කරා යොමු වෙනවා. අවශ්‍යනම් රාජ්‍ය මැදිහත්වීම් මගින් ඔය වැඩේ සිදුවෙන වේගය අඩාල කරන්න පුළුවන්. එසේ කරනවාද නැද්ද කියන එක දේශපාලනික කරුණක්.


තායිලන්තය ඒ රටේ ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ඈත් වෙන එක වලක්වන්න වැඩිපුර උත්සාහ කළේ නැහැ. ඒ වගේම, නිදහස් හා විවෘත වෙළඳ ප්‍රතිපත්තියක සිටියා. ඉන්දියාව තායිලන්තය තරමට විවෘත වුනේ හෝ තරඟයට නිරාවරණය වුනේ නැහැ. එහෙත්, රටේ කෘෂිකර්මය මුළුමනින්ම ආරක්ෂා කළේ හෝ රට සංවෘතව පවත්වා ගත්තේත් නැහැ. උතුරු කොරියාව ප්‍රතිපත්තියක් ලෙස රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීම ඉලක්ක කර රටේ කෘෂිකර්මය නැංවීම සඳහා විශාල රාජ්‍ය මැදිහත් වීම් කළා වගේම රටේ ආර්ථිකය සංවෘතව තබා ගනිමින් රටේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳ තරඟයෙන් ආරක්ෂා කරගත්තා.

මේ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙස තායිලන්තයේ ශ්‍රමිකයන් විශාල ලෙස කෘෂිකාර්මික අංශයෙන් ඉවත් වුනා. ඉන්දියාවේ එය සිදු වුනේ ඊට වඩා අඩුවෙන්. උතුරු කොරියාවේ හොඳටම අඩුවෙන්. 2017 වන විට මේ එක් එක් රටවල කෘෂිකාර්මික ශ්‍රම බලකායේ තත්ත්වය මේ විදිහයි.

තායිලන්තය - ශ්‍රම බලකායෙන් 31.6%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 42.4%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 51.3%ක්

අන්තිමට වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබෙන්නේ කවර ප්‍රතිපත්තියද කියා බලන්න වෙන්නේ මේ රටවල් තුනම විසඳුම් හොයපු මූලික ප්‍රශ්නය, ඒ කියන්නේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක, කොයි තරම් දුරකට සිදු වෙලාද කියන එක මතයි.


2017 වන විට මේ එක් එක් රටේ දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය මෙහෙමයි.

තායිලන්තය - කැලරි 2,827යි.
ඉන්දියාව - කැලරි 2,517යි.
උතුරු කොරියාව - කැලරි 2,032යි.

ඉන්දියාව හා තායිලන්තය මේ වන විට ලෝකයේ වැඩියෙන්ම සහල් අපනයනය කරන රටවල් දෙකයි. උතුරු කොරියාව තවමත් වගා සංග්‍රාම කරනවා.


Thursday, May 21, 2020

කෘෂිකර්මයෙන් ඔබ්බට...


පසුගිය 2019 වසරේ අවසන් කාර්තුවේදී ලංකාවේ ශ්‍රම බලකාය 8,181,442ක්. එයින් කෘෂිකර්ම, වන හා ධීවර අංශ වල සේවා නියුක්තිය 2,215,128ක් හෙවත් රටේ ශ්‍රම බලකායෙන් 27.1%ක්. නමුත් රටේ දළ දේශීය නිෂ්පාදිතයට මේ පිරිසගේ දායකත්වය 7.4%ක් පමණයි.

මෙය වෙනත් ආකාරයකින් කිවුවොත්, රටේ ශ්‍රමිකයින්ගෙන් 27%ක් වන මේ පිරිස විසින් උපයන්නේ රටේ ජාතික ආදායමින් 7.4%ක් පමණයි. ඉතිරි 73%ක පිරිස ආදායමින් 92.6%ක පංගුවක් ලබා ගන්නවා. මේ තත්ත්වයේ කිසියම් වෙනස් විය යුතු වැරැද්දක් තියෙනවද? එහෙමනම් ඒ කුමක්ද?

විසඳුමක් ලෙස ඇතැම් අය දකින්නේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ දැමීමේ අවශ්‍යතාවය. මෙහිදී මතුවන පළමු ප්‍රශ්නය එය කරන්නේ කොහොමද කියන එකයි. අනෙක් අංශ වල නිෂ්පාදිතයේ නාමික අගය නොවෙනස්ව තිබියදී, කෘෂිකාර්මික අංශයේ මිල අඩු නොවුනොත් මූර්ත නිෂ්පාදිතය ඉහළ යන විට කෘෂිකාර්මික අංශයේ ආදායම් පංගුවද වැඩි වෙනවා. ඒ වගේම මූර්ත නිෂ්පාදිතය එසේම තිබියදී සාපේක්ෂ මිල ඉහළ යන විටද කෘෂිකාර්මික අංශයේ ආදායම් පංගුව ඉහළ යා හැකියි. මොන ආකාරයකින් හෝ අවසානයේදී කෘෂිකාර්මික නොවන අංශ වල නාමික නිෂ්පාදිතය ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් කෘෂිකාර්මික අංශයේ නාමික නිෂ්පාදිතය ඉහළ නොගියොත් රටක කෘෂිකාර්මික අංශය හැකිලෙනවා.

සෛද්ධාන්තිකව නාමික කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ යා හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා.

1. කෘෂිකාර්මික ශ්‍රමිකයින් ප්‍රමාණය වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
2. වගා ඉඩම් ප්‍රමාණය වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
3. ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි වීම නිසා මූර්ත නිෂ්පාදිතය වැඩි වීම.
4. මූර්ත නිෂ්පාදිතය එසේම තිබියදී එම නිෂ්පාදිතයේ වෙළඳපොල වටිනාකම වැඩි වීම.

පළමුවැන්න හොඳ විසඳුමක් නොවන්නේ ඇයි?

ලංකාවේ සේවා වියුක්තිය මේ වන විට ගොඩක් අඩුයි. පසුගිය වසරේ අවසන් කාර්තුවේදී සේවා වියුක්ති අනුපාතය තිබුණේ 4.5% මට්ටමේ. කෘෂිකාර්මික ශ්‍රමිකයන් වීමේ විභවයක් තිබෙන අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති පිරිස් අතර රැකියා වියුක්ති අනුපාතය මීටත් වඩා අඩුයි, උදාහරණයක් ලෙස අපොස(සාපෙ) අසමත් අයගේ විරැකියා අනුපාතය 2.9%ක් පමණයි. ඒ නිසා, කෘෂිකාර්මික අංශයට ශ්‍රමිකයින් එකතු විය යුත්තේ දැනට වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අය අතරිනුයි.

මේ වන විට කෘෂිකර්මාන්තයෙන් පිටත ඉන්නේ කවර හෝ වඩා ඵලදායී නිෂ්පාදිතයක් කරන අයයි. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයෙන් උපයන ආදායමට වඩා වැඩි ආදායමක් වෙනත් ක්‍රමයකින් උපයන අය. ඒ නිසා, වෙනත් කිසිදු තත්ත්වයක් වෙනස් නොවී කෘෂිකාර්මික ශ්‍රමිකයින් ප්‍රමාණය වැඩි වන විට කෘෂිකාර්මික නිෂ්පාදිතය වැඩි වුනත් ඊට වඩා වැඩියෙන් අනෙකුත් අංශයක නිෂ්පාදිතය අඩු වී සමස්ත නිෂ්පාදිතය පහළ බසිනවා. ඒ නිසා සමස්තයක් ලෙස රටේ ජාතික ආදායම අඩු වෙනවා.

සමස්තයක් ලෙස රටේ ආදායම් මට්ටම් පහළ බහින විට කෘෂි නිෂ්පාදිත වලට තිබෙන දේශීය ඉල්ලුම අඩු වී මිල පහළ බහින නිසා නිෂ්පාදිතය වැඩි වුවත් එහි සමස්ත වටිනාකම අඩු වෙන්න වුනත් පුළුවන්. ඒ නැතත්, වැඩි පිරිසක් අතර බෙදී යාමේදී එක් අයෙකුගේ පංගුව අඩු වෙනවා. ඒ නිසා, මේ වැඩෙන් රටේ මූර්ත කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ ගියත්, කෘෂිකාර්මික අංශයේ ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යන්න තිබෙන ඉඩට වඩා පහළ යන්න තිබෙන ඉඩ වැඩියි. එය එසේ නොවෙන්නනම් ලංකාවේ කෘෂි නිෂ්පාදන වලට විශාල විදේශ ඉල්ලුමක් ඇති විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ පහසුවෙන් තරඟ කළ හැකි කිසියම් සාපේක්ෂ වාසියක් ලංකාවට තිබිය යුතුයි. ලංකාවට එවැනි විශේෂ වාසියක් නැහැ.

දෙවැන්න විසඳුමක් නොවන්නේ ඇයි කියන එක ඉතාම පැහැදිලියි. ලංකාවේ වගා කළ හැකි ඉඩම් මුලුමනින්ම වාගේ දැනටමත් වගාව සඳහා යොදා ගෙන අවසන්. සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ මෙන් හෝටන් තැන්නේ අර්තාපල් වවන්න හෝ සිංහරාජයේ දැව කපා විකුණන්න කිසිවෙක් යෝජනා කරනවා කියා මම හිතන්නේ නැහැ.

මූර්ත නිෂ්පාදිතය ඉහළ නැංවීම සඳහා ඉතිරිව ඇත්තේ තෙවන විකල්පය පමණයි. එනම්, ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි කිරීම. කළ හැකිනම් නරක අදහසක් නෙමෙයි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයක් වුනෙත් ඉඩම් ඒකකයකට අස්වැන්න වැඩි කර ගැනීම මගින් මූර්ත නිෂ්පාදිතය වැඩි කර ගැනීම. ඒ සඳහා සැලසුමේ වූ උපාය මාර්ග වුනේ පොහොර හා රසායන භාවිතය වැඩි කිරීම, වැඩි පලදාවක් දෙන වී වර්ග හඳුන්වා දීම, යාන්ත්‍රික ශ්‍රමය වැඩි වශයෙන් භාවිතා කිරීම වගේ දේවල්. කෘෂිකර්මය වෙත අනෙක් අංශ වල සිටි ශ්‍රමිකයින් තල්ලු කිරීම සැලසුමේ ඉලක්කයක් වුණේ නැහැ.

මූර්ත නිෂ්පාදිතයේ වෙළඳපොල වටිනාකම වැඩි කර ගැනීම කෙසේ වුවත් අඩු කර නොගැනීම සඳහා කෘෂිකාර්මික නොවන අංශ වල ශ්‍රමිකයින් විසින් උපයන ආදායම අඩු කර නොගැනීම වැදගත්. නැත්නම් කෘෂි නිෂ්පාදිත වලට තිබෙන දේශීය ඉල්ලුම අඩු වී මිල පහළ බහින නිසා නිෂ්පාදිතය වැඩි වුවත් එහි සමස්ත වටිනාකම අඩු වෙන්න වුනත් පුළුවන්.


මේ හැම කරුණකින්ම පැහැදිලි වෙන්නේ රටක් දියුණු වෙන්නනම් එම රටේ ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් විය යුතුයි කියන කාරණයයි. ලංකාවට යුරෝපීයයන් එන කාලයේ එංගලත්තය, ප්‍රංශය වගේ රටවල ශ්‍රමිකයින්ගෙන් බාගයකටත් වඩා නිරතව හිටියේ කෘෂිකාර්මික අංශයේ රැකියා වලයි. එහෙත් ඒ තත්ත්වය ටිකින් ටික වෙනස් වුනා. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, එක්සත් රාජධානිය වගේ රටවල කෘෂිකාර්මික අංශයේ සේවයේ නිරතව ඉන්නේ රටේ ශ්‍රම බලකායෙන් 1%ක පමණ පිරිසක්. මේ ප්‍රතිශතය තවමත් වැඩි අප්‍රිකානු හා ආසියානු රටවලයි.


එසේ වුවත්, කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය අතින් ඉහළින්ම ඉන්නේ එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල්. ආසියානු අප්‍රිකානු රටවල් ඉන්නේ ගොඩක් පහළින්.


දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික පංගුව අඩු වීමත්, ඒක පුද්ගල ආදායම ඉහළ යාමත් අතර සම්බන්ධය ඉතා පැහැදිලියි. එයින් පෙනෙන්නේ කෘෂිකාර්මික අංශයේ ඵලදායීත්වය කොයි තරම් ඉහළ රටක වුවත්, කෘෂිකාර්මික නොවන අංශ වල ඵලදායීත්වය ඊට වඩා වැඩි බවයි.


ශ්‍රමිකයින් සීඝ්‍රයෙන් කෘෂිකර්මයෙන් වෙනත් අංශ වලට විතැන් වීම සෝවියට් දේශය බිඳ වැටී සමාජවාදය කඩා වැටීමෙන් පසුව ගෙවුණු පසුගිය දශක තුනක පමණ කාලය තිස්සේ ලෝකය පුරාම දැකිය හැකි වූ ප්‍රවණතාවක්. 1991 වසරේදී ලෝකයේම ශ්‍රමිකයින්ගෙන් 43.7%ක් කෘෂිකාර්මික අංශය තුළ සිටියත් 2019 වන විට සිටියේ 26.9%ක් පමණයි.


මේ කාලය තුළ ලෝකයේ ආහාර නිෂ්පාදනයේ අඩුවක් සිදු වී නැහැ. අදාළ කාලය තුළ ලෝකයේ සෑම කලාපයකම පුද්ගලයෙකු ආහාර වලින් ලබා ගන්නා සාමාන්‍ය දෛනික කැලරි ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් අවශ්‍ය ප්‍රසස්ථ මට්ටම වන කැලරි 2500 ඉක්මවා තිබෙනවා. විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ ආහාර ඉල්ලුම සංතෘප්ත වී ඇති ආකාරය පිළිබිඹු කරමින් එම කලාපය පෙන්නුම් කරන රේඛාවේ වර්ධනය නැවතී රේඛාව තිරස් වී තිබෙනවා.


මෙයින් අදහස් වන්නේ ලෝකයේ ආහාර අවශ්‍යතාවය සැපිරීමට අවශ්‍ය පුද්ගලයින් ගණන විශාල ලෙස අඩු වී ඇති බවයි. ලංකාවේ ප්‍රවණතාව ලෝකයේ සමස්ත ප්‍රවණතාවයට බොහෝ කිට්ටුයි. 1991දී ලංකාවේ ශ්‍රමිකයන්ගෙන් 42.8%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිටියත් 2019 වන විට සිටියේ 24.5%ක් පමණයි.


මෙසේ කෘෂිකර්මයෙන් ඉවත් වූ ශ්‍රමිකයින්ට රැකියා නැති වී නැහැ. ඔවුන් කර්මාන්ත හා සේවා අංශ වල වඩා ඵලදායී රැකියා වල නිරත වෙනවා. වඩා ඉහළ ආදායම් උපයනවා. ඒ සමඟ ප්‍රමාණවත් තරමට ආහාර ලබා ගැනීමේ හැකියාවද ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා.


සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලසුමේ අරමුණු හා ඉලක්ක මොනවා වුනත් එම සැලසුමේ අවසන් ප්‍රතිඵලය වුනේ රටේ බොහෝ දෙනෙකුට අවශ්‍ය අවම දෛනික කැලරි ප්‍රමාණය නොලැබී යාමයි. එහෙත්, සාපේක්ෂව විවෘත ආර්ථිකයක් පැවති පසුගිය දශක තුනක කාලය තුළ ලංකාවේ ඒක පුද්ගල දෛනික කැලරි පරිභෝජනය ක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට 2500 මට්ටම ඉක්මවා තිබෙනවා.

(Image: https://www.tourradar.com/t/152775)

Sunday, May 17, 2020

ආර්ථිකය සැලසුම් කළ හැක්කේ කාටද?


ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,425,000ක් බව මම කලින් කිවුවනේ. මෙයින් බෝග වගාවේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 1,261,000ක්. ආහාර පිණිස "වගා කරන" මාළු හා ඉස්සන් ආදියද ඇතුළත්ව  සත්ව ගොවිපොළ වල සේවය කරන ශ්‍රමිකයින් ප්‍රමාණය 762,000ක්. ධීවර කර්මාන්තයේ හා දඩයමේ නිරත ප්‍රමාණය 62,000ක්. වන වගාවේ හා දැව කැපීමේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 166,000ක්. ඉහත කී කර්මාන්ත හා අදාළ කිසියම් සහායක සේවාවක නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 174,000ක්.

ඇමරිකාවේ මුළු ජනගහණය මිලියන 330ක් පමණ වෙනවා. එයින් ශ්‍රම බලකායට අයත් පිරිස 157,538,000ක්. මේ අනුව, ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 0.7%ක් හා ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණයි.

ඇමරිකාව ශුද්ධ ලෙස ආහාර අපනයනය කරන රටක්. පසුගිය 2019 වසරේදී ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය ඉපැයූ ශුද්ධ අපනයන ආදායම, එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කළ පසු ශේෂය, ඩොලර් 5,618,060,868ක්. ඩොලර් බිලියන වලින් 5.6ක්. (මුළු කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක්).

ඒ වගේම, ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණෙන ආහාර ප්‍රමාණයෙන් 31%ක් පමණ නාස්ති වෙනවා. 2010 ඇස්තමේන්තුවකට අනුව ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්.

ඇමරිකාව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින් විවිධ සුබසාධන වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. පසුගිය වසරේදී අඩු ආදායම්ලාභී පවුල් 17,964,000කට ආහාර මුද්දර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 60.4ක්. අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන දරුවන් මිලියන 29.6කගේ දිවා ආහාර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 14.2ක්. පාසැල් දරුවන් මිලියන 14.8කගේ උදේ ආහාර වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4.6ක් වැය කර තිබෙනවා. අඩු ආදායම්ලාභී ගර්භණී හා කිරිදෙන මවුවරුන් මිලියන 6.4කට ආහාර ආධාර ලෙස තවත් ඩොලර් බිලියන 5.2ක් වැය කර තිබෙනවා. මීට අමතරව හදිසි ආපදා ආහාර ආධාර, ළමා නිවාස හා මහළු නිවාස සඳහා ආහාර ආධාර, රතු ඉන්දියානු ආහාර ආධාර වැඩ සටහන් ඇතුළු තවත් ආහාර ආධාර වැඩ සටහන් ගණනාවක් ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. මෙසේ ආහාර සුරක්ෂිතතාව ඉලක්ක කළ සුබසාධන වැඩ සටහන් වෙනුවෙන් පමණක් වැය කර තිබෙන මුදල අවම වශයෙන් ඩොලර් බිලියන 92.7ක්.

මේ ඇමරිකාවේ ආර්ථිකය සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් හොඳින් තිබුණු 2019 වසරේ තත්ත්වයයි. පෙර වසර වල මේ වියදම් මීට වඩා ගොඩක් වැඩියි. මේ වසරේදී නැවත මේ වියදම් විශාල ලෙස ඉහළ යයි.

ඒ වගේම මේ රාජ්‍ය අංශයේ දායකත්වය ඇති ආහාර ආධාර වැඩ සටහන් පමණයි. ඇමරිකාවේ හැම ලොකු කුඩා නගරයකම වගේ රාජ්‍ය මැදිහත්වීමක් නැති ආහාර බැංකු ක්‍රියාත්මක වෙනවා. එවැනි තැනකට යන කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ආහාර බැංකු 200ක් හරහා ආහාර ආධාර බෙදන එක් රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් පසුගිය වසර තුළ මිලියන 40කට වැඩි පිරිසකට ආහාර වේල් බිලියන 4.2ක් බෙදා දී තිබෙනවා. මා පෞද්ගලිකව දන්නා පරිදි මෙවැනි වැඩ සටහන් ක්‍රියාත්මක කරන ආගමික හා ආගමික නොවන ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා.

ඇමරිකාවේ ආහාර නාස්තියට එක් හේතුවක් වන්නේත් මේ ආකාරයට විවිධ සුබසාධන වැඩ සටහන් යටතේ මුදලක් නොගෙවා ආහාර ලබා ගැනීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට හිමිව තිබීමයි. තමන්ගේ අතින් මුදල් යන විට ආහාර නාස්තිය  වලක්වා ගන්න කෙනෙක් උනන්දු වුවත් නොමිලේ ආහාර ලැබෙන විට ඒ උනන්දුව අඩු වෙනවා. ආහාර නාස්තිය අනුමත නොකළත්, මෙවැනි සුබසාධන වැඩ සටහනක ප්‍රමුඛ ඉලක්කය වන්නේ ආහාර අවශ්‍ය අය වෙත ප්‍රමාණවත් හා සුදුසු ආහාර ලැබෙන බව සහතික කිරීම මිස ආහාර නාස්තිය අඩු කිරීම නෙමෙයි. එය ද්වීතියික ඉලක්කයක්.

මෙහි "සුදුසු" කියන වචනය ගැනත් යමක් කිව යුතුයි. ආහාර වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කරන කෙනෙක් තමන්ගේ ආහාර රුචියට වැඩි ප්‍රමුඛත්වයක් දෙනවා. එහෙත්, මුදල වැය කරන්නේ වෙනත් අයෙකු වූ විට යම් තරමකින් මුදල වැය කරන තැනැත්තාගේ රුචිකත්වය ඉස්මතු වීමක් වෙනවා. එහිදී වඩා රසවත් ආහාර වලට සාපේක්ෂව වඩා පෝෂ්‍යදායී ආහාර වලට වැඩි බරක් වැටෙනවා. මෙය යම් තරමකින් ආහාර නාස්තියට හේතු වෙනවා. විශේෂයෙන් එළවලු හා පළතුරු හා අදාළව.

ඇමරිකාවේ රජය, පාරිභෝගිකයින් හා ව්‍යාපාරික ආයතන විසින් ආහාර මිල දී ගැනීම වෙනුවෙන් 2018 වසරේදී වැය කර තිබෙන මුදල ඩොලර් බිලියන 1,710ක්. 2019 වියදමද මේ ආසන්න මුදලක් විය යුතුයි. මේ ආහාර මුළුමනින්ම වාගේ ඇමරිකාව ඇතුළත නිපදවුණු ආහාර කියා කියන්න පුළුවන්.

ඇමරිකාව විසින් 2019 දී ඩොලර් බිලියන 131.0ක ආහාර හා වෙනත් ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදිත ආනයනය කර ඇතත්, ඇමරිකාවේ කෘෂිකාර්මික අපනයන වලින් උපයා ඇති ආදායම ඊට වඩා වැඩියි. ඒ නිසා, ඇමරිකාව ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක නොසිටියත් ආහාර වලින් ස්වයංපෝෂිත රටක්. මෙය ආනයන තරඟයට බිය නොවී කාර්යක්ෂමතාවය තුළින් අත්පත් කරගත් තත්ත්වයක්. එසේ නැතිව ආණ්ඩුව විසින් ගොවියා ආනයන වලින් ආරක්ෂා කර, සහනාධාර දී, හෝ මධ්‍යගත සැලසුම් හරහා අත් කරගත් ජයග්‍රහණයක් නෙමෙයි. (ඇමරිකා චීන වෙළඳ යුද්ධය වැනි කරුණු පසුවට ඉතිරි කරමු.)

ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ වෙළඳ ශේෂය ධන අගයක් වනවාක් මෙන්ම ඇමරිකාවේ කෘෂි ආර්ථිකයට සාපේක්ෂව ඉතා සුළු අගයක්. ඊට සාපේක්ෂව ආහාර සුබසාධන වැඩසටහන් වල හා ආහාර නාස්තියේ බලපෑම ගොඩක් වැඩියි.

ඇමරිකාවේ ජීවත් වන ආහාර මිල දී ගැනීමේ හැකියාවක් ඇති අයගේ මුළු ආහාර ඉල්ලුම සැපයීමට, එවැනි හැකියාවක් නැති අය වෙනුවෙන් තිබෙන ආධාර වැඩසටහන් හරහා ඇති කෙරෙන අමතර ඉල්ලුම සැපයීමට මෙන්ම, සැලකිය යුතු නාස්තියක් දරා ගැනීමටද ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් ඇමරිකාව තුළ සිදු වෙනවා. මේ වෙනුවෙන් දායක වෙන්නේ ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් 1.5%ක පිරිසක් පමණයි. ඒ කියන්නේ රටේ ශ්‍රම බලකායෙන් 98.5%කටම කෘෂිකාර්මික අංශයේ රැකියා අහිමි වෙලා. ඒ අය පාරට වැටිලද?

රටේ ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණක් රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කරද්දී අනෙක් පිරිස රැකියා නැතිව නිකම් ඉන්නවානම් අවසාන වශයෙන් රට හිටපු තැනමයි. අර ලබා ගත්තු කෘෂිකාර්මික අංශයේ ඉහළ ඵලදායීතාවයෙන් ටික දෙනෙකුට යහපතක් වී ඇතත් (හෝ එසේ පෙනෙන්නට තිබුණත්) සමස්තයක් ලෙස රට හිටපු තැනමයි. අන්තිමට සිදු වෙලා තියෙන්නේ රටේ ආදායම් විෂමතාවය වැඩි වෙන එක පමණයි.

නමුත්, මෙය මේ විදිහට සිදු වෙන්න විධිහක් නැහැ. රටේ 98.5%ක් රැකියා නැතිව සිටියොත් ඉතිරි 1.5% විසින් හදන ආහාර මිල දී ගන්න ඒ අයට හැකියාවක් නැහැ. ඒ නිසා ආහාර වලට ඉල්ලුමක් නැහැ. ඉල්ලුමක් නැති නිසා ආහාර හදන අයට ඒ ආහාර විකුණගන්න බැහැ. ඒ නිසා ආදායමකුත් නැහැ. ඒ නිසා, මේ වගේ තත්ත්වයක් පවතින්නනම් අනිවාර්යයෙන්ම ඉතිරි 98.5% විසින් වෙන කවර හෝ රැකියාවක් කළ යුතුයි. නිෂ්පාදනයක් කළ යුතුයි. ආදායම් ඉපැයිය යුතුයි.

පසුගිය 2019 වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 21,427ක්. නමුත්, එයින් කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල නිෂ්පාදිතය ඩොලර් බිලියන 169.2ක් පමණයි. ඒ කියන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8%ක් පමණයි. කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රම බලකායෙන් 1.5%ක් වූ මිලියන 2.4ක පිරිස ඩොලර් බිලියන 169.2ක අගය එකතු කිරීමක් කරන අතරතුර මිලියන 155.1ක ඉතිරි ශ්‍රමිකයින් පිරිස විසින් ඩොලර් බිලියන 21,257ක අගය එකතු කිරීමක් කරලා තිබෙනවා. එහෙමනම් වඩා කාර්යක්ෂම කොයි කණ්ඩායමද?

ධනවාදී තරඟය හමුවේ ඇමරිකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉතිරි වී සිටින්නේ ඒ වැඩේට වඩාත්ම කාර්යක්ෂම පිරිසනේ. ඒ කියන්නේ කෘෂිකර්මයෙන් ඉවත් වෙලා තියෙන්නේ සාපේක්ෂව අකාර්යක්ෂම පිරිසක්. මෙය හරියටම නිවැරදි නැතත් දැනට අපි පහසුවට එහෙම කියමුකෝ. නමුත්, එසේ එළියට ගිය ශ්‍රමිකයින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉතිරි වූ පිරිස මෙන් දෙගුණයක දායකත්වයක් ආර්ථිකයට ලබා දෙන්න සමත් වී තිබෙනවා. සමස්තයක් ලෙස කෘෂිකාර්මික අංශයේ එක් ශ්‍රමිකයෙන් ඩොලර් 70,000ක අගය එකතු කිරීමක් කරද්දී කෘෂිකාර්මික නොවන අංශයක ශ්‍රමිකයෙක් ඩොලර් 137,000ක අගය එකතු කිරීමක් කරනවා. මේක වුනේ කොහොමද?

මිනිස්සු එකිනෙකා වෙනස්. ඒ අයගේ කුසලතා වෙනස්. වෙළඳපොළ පුළුල් වෙනවා කියා කියන්නේ හැම දෙනෙක්ම හැම දෙයක්ම කරන තැන ඉඳලා එක් එක් පුද්ගලයා තමන් වඩා කැමතිම, වඩා දක්ෂම දේ කරන තැන දක්වා ආර්ථිකය පරිණාමය වීමක්. මිනිහෙක් එක වැඩකදී කාර්යක්ෂම නොවුනත් කවර හෝ වැඩකදී කාර්යක්ෂම වෙනවා.

මේ ශ්‍රම විභජනය සමාජවාදීන් පවා එකඟ වෙන දෙයක්. හැම දෙයක්ම තමන් තනිවම කර ගන්න යාම අකාර්යක්ෂම බව සමාජවාදීන් විසිනුත් බොහෝ දුරට අවිවාදිතව පිළිගන්නවා. සමාජවාදයේ ප්‍රශ්නය මෙය සැලසුම්සහගතව කළමණාකරණය කරන්න යාමයි. ඔවුන් අසාර්ථක වන්නේ එතැනදී. මේ කියන පරිණාමය ස්වභාවිකව සිදු වන තරම් ප්‍රශස්ත ලෙස සැලසුම් කරන්න ප්‍රායෝගිකව කිසිවෙකුට හැකියාවක් නැහැ. බාධාවක් නැත්නම් නිදහස් වෙළඳපොළ විසින් අපූරුවට ඒ කාර්යය කරනවා.

(Images: https://www.koreatimes.co.kr/www/common/printpreviews.asp?categoryCode=103&newsIdx=262692)

Thursday, May 14, 2020

නාස්තිය අඩු කිරීමේ දේශපාලනය කුමක්ද?


නාස්තිය අඩු කිරීම ගැන කතා කරන කෙනෙක් පළමුව තමන් විසින් නාස්තිය ලෙස හඳුන්වන සංකල්පය නිරවුල් කර ගත යුතුයි. දෙවනුව නාස්තිය අඩු කළ යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත යුතුයි.

පුද්ගලයෙක්ට සාපේක්ෂව ගත්තොත් ඒ පුද්ගලයාගේ කිසියම් තීරණයක් හෝ පුරුද්දක් නිසා ඔහුටම (හෝ ඇයටම) අවාසියක් වෙනවානම් එය නාස්තියක්. මේ මූලධර්මය අනුව නිවසේ වතුර කරාමයක් හරියට නොවැසීම නිසා වතුර කාන්දු වෙනවානම් සහ ඒ හේතුව නිසා වතුර බිල ඉහළ යනවානම් එය නාස්තියක්. අනවශ්‍ය විදුලි බල්බයක් එක දිගටම දැල්වෙනවානම් එය නාස්තියක්. නමුත්, දිනපතා මිදුලේ මල් පැල වලට වතුර දමන එක හෝ වෙසක් පෝය දවසේ රෑ එළිවන තුරු විදුලි බුබුළු වැලක් දල්වා තිබීම නාස්තියක් නෙමෙයි. ඒ දේවල් වෙනුවෙන් මිලක් ගෙවන්න සිදු වුනත් ඒ හේතුව නිසා ලැබෙන සතුට මිල ගෙවන පුද්ගලයාට ඊට වඩා වටිනවා.

මට පාඩුවක් වෙන්නේ නැත්නම්, මගේ අසල්වැසියා වෙසක් දවසේ හෝ අවුරුද්ද පුරාම ඔහුගේ හෝ ඇයගේ නිවස වටේම විදුලි බුබුළු දැල්වීම නාස්තියක් කියා මට කියන්න බැහැ. එය අසල්වැසියාගේ තේරීමක්. නමුත්, රජය විසින් පවත්වන සැණකෙලියක විශාල විදුලි බුබුළු ප්‍රමාණයක් දැල්වෙනවානම් මට එය ප්‍රශ්න කළ හැකියි. ඒ එහි පිරිවැය සෘජුව හෝ වක්‍රව මටත් ගෙවන්න සිදු වෙන නිසයි.

සාමාන්‍යයෙන් සම්පත් නාස්තිය අඩු කරන විට කාර්යක්ෂමතාවය ඉහළ යනවා. එහෙත්, සම්පත් නාස්තිය අඩු කළ හැකි ප්‍රසස්ථ සීමාවක් තිබෙනවා. නාස්තිය ශුන්‍ය කිරීම හැමවිටම ප්‍රසස්ථම දෙය නෙමෙයි.

නිෂ්පාදන සාධක වඩාත්ම ඵලදායී තැනට යොමු වූ විට කාර්යක්ෂමතාවය ප්‍රශස්ත මට්ටමකට එනවා. එසේ නොවන තත්ත්වයක් හැම විටම අකාර්යක්ෂමයි. ලාබ සෙවීමේ තරඟයේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන සාධක වඩාත්ම ඵලදායී තැනට යොමු වෙනවා. එයට විකල්පය වන්නේ කිසිවෙකු විසින් එය සැලසුම් කිරීමයි. එහි අවාසි දෙකක් තිබෙනවා. පළමුවැන්න මේ සැලසුම නිවැරදි වනු ඇති බවට සහතිකයක් නැහැ. දෙවැන්න සැලසුම්කරු වෙනුවෙන් අනෙක් අයට කිසියම් පිරිවැයක් දරන්න සිදු වීමයි. නිදහස් වෙළඳපොළ මේ ප්‍රශ්න දෙකම විසඳනවා.

සංවෘත ආර්ථිකයකට සාපේක්ෂව විවෘත ආර්ථිකයක් හැම විටම වඩා කාර්යක්ෂමයි. පසුගිය 2019 වසරේදී ලංකාව සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 201.2ක්ද, කිරි නිෂ්පාදිත වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 311.9ක්ද වැය කර තිබෙනවා. තේ අපනයනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 1,346.4ක ආදායමක් උපයා තිබෙනවා.

අපි හිතමු මේ අපනයන වියදම අඩු කරගන්න අපි ඉඩම් කොටසක තේ ගලවලා තණකොල වවලා හරක් හැදුවා කියලා. තවත් ඉඩම් කොටසක උක් හා බීට් හිටවනවා. උඩරටනම් බීට්. පහතරටනම් උක්. ඊට පස්සේ ඔය උක් වලින් හා බීට් වලින් සීනි හදනවා. හරක්ගෙන් කිරි ගන්නවා. තේ වගාවේ ඉන්න කම්කරුවන් ටිකත් ඔය කර්මාන්ත දෙකට යොදවනවා. උසනම් උක් වවන්න. මිටිනම් බීට් වවන්න. උස මනින්න ආවේ නැත්නම් හරක් බලන්න. ඔහොම කරලා සමහර විට සීනි හා කිරි ආනයනය කරන්න යන වියදම අඩු කරගන්න පුළුවන් වෙයි. හැබැයි තේ අපනයන ආදායම අඩුවීම නිසා සිදුවෙන පාඩුව බොහෝ විට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්.

රටේ වගා කළ හැකි ඉඩම් හැම එකක්ම සමාන නැහැ. සමහර ඉඩම් උක් වලට යෝග්‍යයි. සමහර ඉඩම් බීට් වලට යෝග්‍යයි. සමහර ඉඩම් ඔය දෙකටම යෝග්‍යයි. දැන් අපිට මේ ඉඩම් වල උක් හෝ බීට් වවන්න අවශ්‍යනම් අපි ඉඩම් තෝරා ගන්නේ කොහොමද? හරියටම සැලසුම් කරන්න පුළුවන් කාටද? ඒ සැලසුම්කරුට ඒ වෙනුවෙන් කීයක් ගෙවන්න ඕනෑද?

ධනවාදය හරියට ක්‍රියාත්මක වෙනවානම් ඔය ප්‍රශ්නයට විසඳුම් හොයන්න අවශ්‍ය නැහැ. ඉඩමේ උක් වවලා අස්වැන්න අඩුකමින් පාඩු වෙන කොට මිනිස්සු උක් වෙනුවට බීට් දානවා. බීට් වලින් පාඩු වෙනකොට උක් දානවා. දෙකම වැවෙන ඉඩමක වඩා ලාබ ලැබිය හැකි දේ වවනවා. ඉඩම් ටික අන්තිමේදී ප්‍රසස්ථ ලෙස බෙදී ගිහින්.

ශ්‍රමය වුනත් එහෙමයි. බීට් වගාවට අත් ගුණයක් නැති, ආසාවකුත් නැති මනුස්සයා වගාවෙන් පාඩු වෙනකොට ඉඩම විකුණලා උක් වවන්න පුළුවන් ඉඩමක් ගන්නවා. උක් එක්ක ඔට්ටු අල්ලලා එපා වෙච්ච මනුස්සයා බීට් වවන්න යනවා. අන්තිමේදී කිසියම් වැඩක් කරන්න වඩා කැමති හා දක්ෂ පුද්ගලයා ඒ වැඩේට යොමු වෙනවා.

ප්‍රාග්ධනය තිබෙන මනුස්සයා උක් වලින් ලාබනම් උක් වලට ආයෝජනය කරනවා. වැඩේ පාඩුනම් බීට් වලට ආයෝජනය කරනවා. අන්තිමේදී ප්‍රාග්ධනය යොමු වෙන්නේ වඩාත්ම ප්‍රතිලාභ ලැබිය හැකි තැනටයි.

හැබැයි මේ හැම දෙයක්ම වෙන්නේ අසාර්ථක වන අයට තරඟයෙන් හැලෙන්න ඉඩ ඇරියොත් පමණයි. පාඩු වෙවී බීට් වවන ගොවියාව අනුන්ගේ වියදමෙන් ආරක්ෂා කරන්න ගියොත් ඒ ගොවියා කවදාවත් ඉඩම අත ඇරලා බීට් වලට වඩා ගැලපෙන ඉඩමකට යන්නේ නැහැ. බීට් වෙනුවට උක් වවන්නේ නැහැ.

නිදහස් වෙළඳපොළ තරඟය තුළ අසාර්ථක වෙන කෙනෙකුට තාවකාලිකව රැකියාවක් නැති, ආදායම් නැති නරක කාලයක් තියෙන්න පුළුවන්. ඒ වගේ කාලයක එවැන්නෙකු වෙනුවෙන් කෙටිකාලීනව කිසියම් සුබසාධනයක් කළාට කමක් නැහැ. නමුත්, එය එවැන්නෙකු විසින් වරක් අසාර්ථක වූ දෙයම දිගටම කරන්නට යොමු කරවන ආකාරයේ සුබසාධනයක් නොවිය යුතුයි. එසේ කිරීමෙන් ඔහුට හෝ ඇයට දිගුකාලීනව වෙන්නේ අයහපතක්.

ගොවියෙකු අක්කරයකින් වී කිලෝ දෙදාහක අස්වැන්නක් ලබා ගැනීමෙන් පසුව එයින් සීයක් මොන විදිහකින් හෝ නාස්ති වුනොත් ඒ නාස්තිය ගොඩක් අයට පේනවා. නමුත්, වැරදි ඉඩමක වැරදි ගොවියා වී වගා කිරීම නිසා අස්වැන්න කිලෝ සීයකින් අඩු වෙන එක ගොඩක් අයට පේන්නේ නැහැ. නිදහස් වෙළඳපොළකින් කරන්නේ කවදාවත්ම අස්වනු සේ නොනිපදවුණු, ඒ නිසා කිසිවෙකුට නොපෙනුණු, වී කිලෝ ගණනක් නාස්ති වී යාම නවත්වන එකයි.

නාස්තිය අඩු කිරීමේ දේශපාලනයක් කවදාවත් නිදහස් වෙළඳපොළට හෝ ජාත්‍යන්තර වෙළඳාමට එරෙහි දේශපාලනයක් වෙන්න බැහැ. නිදහස් වෙළඳපොළට එරෙහි වීම කියන්නේම අති විශාල සම්පත් නාස්තියක්.

Wednesday, May 13, 2020

ආහාර නාස්තිය නැති කරන්න බැරිද?


ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික පර්යේෂණ සේවාවේ ඇස්තමේන්තු අනුව, 2010 වසරේදී ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණි ආහාර ප්‍රමාණය රාත්තල් බිලියන 430ක්. මේ ආහාර ප්‍රමාණයෙන් 31%ක් හෙවත් රාත්තල් බිලියන 133ක් පරිභෝජනයට නොගෙන නාස්ති වී තිබෙනවා. මේ ආහාර ප්‍රමාණය නාස්ති වී තිබෙන්නේ සිල්ලර අදියරට පැමිණීමට පෙර සිදුවන වගා හානි හා පසු අස්වනු හානි වලට අමතරවයි. ඒ හානි ගැන පසුව වෙනම කතා කරමු.

ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්. ඒ කියන්නේ මේ විදිහට නාස්ති වී තිබෙන්නේ එම වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් තුන් ගුණයකට ආසන්න වටිනාකමක් ඇති ආහාර ප්‍රමාණයක්. තවත් විදිහකට කියනවානම් කැලරි ට්‍රිලියන 141ක්. ඒ අනුව, එක් ඇමරිකානුවෙකු විසින් දවසකට කැලරි 1,249ක ශක්තියක් ජනනය කරන ආහාර නාස්ති කරනවා. ඒ කියන්නේ මුළු ලංකාවටම අවුරුදු 8කට පමණ කෑමට අවශ්‍ය ආහාර ප්‍රමාණය. එක් පුද්ගලයෙකු විසින් දවසකට ඩොලර් 1.40ක වටිනාකමක් ඇති ආහාර රාත්තල් 1.2ක් නාස්ති කිරීමක්.

මේ විදිහට නාස්ති කරන ආහාර වල වටිනාකමින් 30.0%ක් හෙවත් ඩොලර් බිලියන 48.5ක් කුකුළු මස්, මාළු හා වෙනත් මස් වර්ගයි. ලෝකයේ විශාල පිරිසකගේ සුඛෝපභෝගී ආහාර. 18.6%ක් එළවලු. 16.7%ක් කිරි නිෂ්පාදිත. 12,3%ක් පළතුරු. 8.3%ක් තෙල් හා මේද. 6.9%ක් ධාන්‍ය. 4.1%ක් සීනි හා රසකාරක. බර අනුව බැලුවොත් රාත්තල් බිලියන 25.4ක කිරි නිෂ්පාදිත. රාත්තල් බිලියන 25.2ක එළවළු. රාත්තල් බිලියන 18.5ක ධාන්‍ය. රාත්තල් බිලියන 18.4ක පළතුරු රාත්තල් බිලියන 3.9ක කුකුළු මස් හා රාත්තල් බිලියන 7.2ක වෙනත් මස් වර්ග. රාත්තල් බිලියන 1.5ක මාළු. බිලියන 25ක පමණ බිත්තර ප්‍රමාණයක්.

මේ ආහාර නාස්තිය මා හෝ ඇමරිකාවේ වෙනත් කිසිවෙකු විසින් උත්කර්ශයට නංවන දෙයක් නෙමෙයි. 2030 වන විට ආහාර නාස්තිය 50%කින් අඩු කර ගැනීම ඇමරිකාවේ ඉලක්කයක්. ඇමරිකාවේ ඔය වගේ ඉලක්ක බොහෝ විට ප්‍රායෝගික ඉලක්ක. "එක ආහාර රාත්තලක් නාස්ති නොකිරීමේ" හෝ "වසර තුනක කඩිනම් වැඩ පිළිවෙලකින්" මේ වැඩේ කිරීමේ ඉලක්කයක් ඇමරිකාවට නැත්තේ බොරු ඉලක්ක ඉදිරියට දැම්මා කියා ඒ ඉලක්ක කවදාවත් අත් පත් කර ගන්න බැරි නිසයි.

මම පෞද්ගලිකවත් ආහාර නාස්තියට සංවේදීයි. අපේ දරුවෙකු ආහාර නාස්ති කළ විට මට බොහෝ විට ඇති වන්නේ විශාල කණගාටුවක් හා කේන්තියක්. මේ ඇතැම් ආහාර වර්ග ගැන අප කොයි තරම් කෙළ හලා ඇත්ද කියන එකත් අදටත් ලෝකයේ කී දෙනෙක් ආහාර නැති කමින් කුසගින්නේ ඉන්නවාද කියන එකත් එවිට මතක් වෙනවා. ඇතැම් විට පිසූ ආහාරයක ඉතා සුළු ප්‍රමාණයක් ඉතිරි වී ඇති විට එය කුණු බක්කියට නොදා තනිකරම නාස්තිය වැළැක්වීමේ අරමුණින් ආහාරයට ගන්න පෙළඹුමක් ඇති වෙනවා. මේ පෙළඹුම ජාන වලින් එන දෙයක් වෙන්න ඇති. නමුත්, ඒ පුරුද්ද හැම අතින්ම නරක හා හානිදායක පුරුද්දක්.

මේ ටික මුලින්ම ලිවුවේ මේ ලිපියේ අරමුණ ආහාර නාස්තිය දිරිමත් කිරීම නොවන බව පැහැදිලිව කියන්නයි. එසේ වුවත්, ආහාර නාස්තිය අඩු කිරීම හැම විටම වඩාත්ම කාර්යක්ෂම දෙය නෙමෙයි. ඇතැම් විට ආහාර නාස්ති වෙන්න අරින එකයි වඩාත්ම කාර්යක්ෂම දෙය. මම උදාහරණ කිහිපයක්ම දෙන්නම්.

මේ ලිපියේ සංඛ්‍යාලේඛණ පදනම් වෙන්නේ සිල්ලර අදියරේදී හා පාරිභෝගික අදියරේදී නාස්ති වන ආහාර මතයි. එහෙත් ඊට පෙර ගොවිපලේදී හා පසු අස්වනු අවදියේදීත් ආහාර නාස්ති වෙනවා.

ගොවිපොළේදී ආහාර නාස්ති වන එක් ක්‍රමයක් වන්නේ අස්වනු නෙලාගන්නේ නැතිව ගොවිපොළේම විනාශ වෙන්න ඇරීමයි. මෙයට හේතු වෙන්නේ මිල ගොඩක් අඩු වීම හෝ අස්වනු අඩු වීම වෙන්න පුළුවන්. අස්වනු නෙලීමේ ශ්‍රමය වෙනුවෙන් ගෙවිය යුතු මිල එම අස්වනු විකුණා ලැබිය හැකි ආදායමට වඩා වැඩිනම් අස්වනු නෙලන්නේ නැතිව විනාශ වෙන්න අරින එක වඩා කාර්යක්ෂමයි. මෙහිදී විශාල ආහාර ප්‍රමාණයක් නාස්ති වනවා තමයි. නමුත්, විකල්පය වන්නේ ඊට වඩා වටිනාකමක මිනිස් හෝ යාන්ත්‍රික ශ්‍රමය නාස්ති කිරීමයි. ඒ නිසා එය නොකර ආහාර නාස්ති කිරීම වඩා කාර්යක්ෂමයි.

පසු අස්වනු අවදියේදීත් මෙවැනි තත්ත්වයන් තියෙන්න පුළුවන්. නෙලාගත් අස්වනු ගබඩා කර තබා ගැනීමට වියදමක් යනවා.  ඊළඟ කන්නයේ අස්වනු එන විට ඒ වෙලාවේ මිල දී ගන්න යන වියදමට වඩා පරණ අස්වනු එතෙක් ගබඩා කර තබා ගැනීමේ වියදම වැඩිනම් එම අස්වනු ගබඩා කර ආරක්ෂා කර ගැනීම කාර්යක්ෂම නොවන්න පුළුවන්. මේ අස්වනු වෙනුවෙන් දැනටමත් මිලක් ගෙවා තිබුණත් එය ගිලුණු පිරිවැයක්. ඒ මුදල දැනටම ගිහින් ඉවරයි. ආහාර තොගය තවත් කල් තියා ගැනීමෙන් වෙන්නේ පාඩුව තව තව වැඩි වෙන එකයි.

ඊළඟට සිල්ලර අදියරේදී කල් ඉකුත් වන ආහාර විනාශ කරන්න වෙනවා. මේ ආහාර වලින් වැඩි කොටසක් ඇත්තටම නරක් වෙලා නොතිබෙන්න පුළුවන්. එහෙත් භාවිතයට නුසුදුසු වෙන්න සැලකිය යුතු සම්භාවිතාවක් තිබෙනවා. නරක් වී තිබීමේ ඉඩක් ඇති ආහාර විකිණීමෙන් සිදු විය හැකි හානිය හා සැසඳූ විට එම ආහාර විනාශ කර දැමීමේ හානිය අඩුයි.

අවසාන වශයෙන් පාරිභෝගික අදියර. අපි අපට අවශ්‍ය තරමට වඩා ආහාර මිල දී ගන්නේ, ආහාර පිසින්නේ හා ආහාර පිඟානට බෙදා ගන්නේ ඇයි? ඇත්තටම ඉතා කලාතුරකින් හැර කෙනෙක් නාස්ති කිරීමේ අරමුණින් ආහාර පිඟානට බෙදා ගන්නේ නැහැ. බෙදාගන්නේ කන්න. ඒත් ගත්ත ආහාර ප්‍රමාණය කා ගන්න බැරි බව තේරෙන්නේ පසුවයි. මෙහිදී අවිඥානකව මිනිස්සු කරන්නේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්න උත්සාහ කිරීමක්. ආහාර යම් ප්‍රමාණයක් නාස්ති වීමේ හානියට සාපේක්ෂව ආහාර මදි වී කුසගින්නේ ඉන්න වීමේ හානිය වැඩියි. බොහෝ විට ඇත්ත තත්ත්වය මෙවැන්නක් නොවුණත් අප පරිණාමය වී සිටින ආකාරය අනුව අපට හිතෙන්නේ මේ විදිහටයි.

යම් තරමක් වැඩියෙන් ආහාර පිසින එකෙන් පිසූ ආහාර ප්‍රමාණවත් නොවී නැවත ආහාර උයන්න සිදු වීමේ අවදානම අඩු වෙනවා. නැවත වරක් ආහාර පිසින්න සිදු වුවහොත් ඉන්ධන, ශ්‍රමය, කාලය ගොඩක් නාස්ති වෙනවා. ආහාර නාස්තිය ඉහළ ගියත්, ආහාර නැවත පිසීමේ අවදානම අඩු වන නිසා මේ වැඩේ කාර්යක්ෂමතාවය ඉහළ යවන්නක් වෙන්න පුළුවන්. මේ විදිහට වැඩියෙන් උයන හෝ වැඩියෙන් බෙදාගන්නා ආහාර වෙනුවෙන් වැය කරන මුදල කුසගින්නේ සිටීමේ අවදානම අඩු කර ගැනීම සඳහා මිල දී ගන්නා රක්ෂණයක වාරික මුදල වගේ දෙයක්.

මේ කියපු හැම අවස්ථාවකදීම ආහාර නාස්ති කිරීම අකාර්යක්ෂම දෙයක් නොවන්න තිබෙන ඉඩකඩ ඉහළ යන්නේ මිනිසුන්ගේ කාලයේ හා ශ්‍රමයේ වටිනාකමට සාපේක්ෂව ආහාර ඉතා සුලබ හා මිල අඩු වූ විටයි. එය සිදු වන්නේ ආහාර නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම කාර්යක්ෂම වූ පසුවයි.

ඇමරිකාවේ හැම පුද්ගලයෙක්ම නිවසේ සිදුවන ආහාර නාස්තිය මුළුමනින්ම අඩු කළා කියා ඒ ආහාර ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් කොනක සිටින කුසගින්නේ සිටින කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ ආහාර නිෂ්පාදනය වන්නේම මේ විදිහේ නාස්තියක් වන නිසා. මිනිස්සු තමන්ට කුසගින්නේ ඉන්න සිදුවීමේ අවදානම අඩු කර ගැනීම සඳහාත් ආහාර වෙනුවෙන් යම් මුදලක් වැය කරනවා. ඒ පරිභෝජනය සඳහා ඇත්තටම අවශ්‍ය ආහාර වලට ගෙවන මිලට අමතරවයි. මෙය කැමැත්තෙන් ගෙවන මිලක්.

මේ විදිහට බොහෝ දෙනෙක් ඇත්තටම ආහාරයට ගන්න ප්‍රමාණයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් මිල දී ගන්න නිසා ආහාර ඉල්ලුම වැඩි වී මිලත් යම් තරමකින් ඉහළ යනවා. ඒ වෙළඳපොළ ඉල්ලුම සැපයීමේදී ආහාර සැපයුමද ඉහළ යනවා. යම් හෙයකින් මේ නාස්තිය නොතිබුණානම් එම අමතර ආහාර ප්‍රමාණය නිෂ්පාදනය වන්නේම නැහැ.

සමහර වෙලාවට අපේ කුණු බක්කියට යන්නේ ලංකාවෙන් ආනයනය කළ සහල් වලින් පිසූ බත්. මේ විදිහට කුණු බක්කියට යන බත් ටික වෙනුවෙනුත් ලංකාවට අපනයන ආදායමක් හා කිසියම් විදේශ විණිමය ප්‍රමාණයක් ලැබිලා. ඒ නාස්තියත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වෙනවා. ගෙවුම් ශේෂ හිඟයෙන් අඩු වෙනවා.

මේ ටික ලිවුවේ ආහාර නාස්තිය දිරිමත් කරන්න නෙමෙයි. එහෙත්, ඕනෑම දෙයක ප්‍රසස්ථ මට්ටමක් තිබෙනවා. අලියා සතියකට පාරක් එන්න ඉඩ තිබෙනවානම් නිදිමරාගෙන පැල් රකින එක කාර්යක්ෂම වෙන්න පුළුවන්. එහෙත්, අවුරුදු දහයකට වරක් කුඹුර පාලු කරන්න ඉඩ තිබෙන අලියෙක්ගෙන් අස්වනු රැකගන්න ඒ අවුරුදු දහයම පැල් රකින එක කාර්යක්ෂම දෙයක් නොවෙන්න පුළුවන්.

Tuesday, May 12, 2020

කුඹුරට තල්ලු කිරීම හා කුඹුරෙන් ගොඩගැනීම


ලංකාවේ කෘෂිකර්ම, වන හා ධීවර අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,215,128ක්. ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,425,000ක්. ගණන් ආසන්නව සමානයි.

ඇමරිකාවේ බෝග වගාවේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 1,261,000ක් පමණයි. ලංකාවේ බෝග වගාවේ යෙදෙන ප්‍රමාණය මට සොයා ගත හැකි වුනේ නැහැ. නමුත්, එම ප්‍රමාණය ඉහත ගණනින් 70%ක් පමණවත් වේයැයි හිතන්න පුළුවන්.

ලංකාවේ වගා කළ හැකි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,300,000ක්. මේ ගණන ඉහත ශ්‍රමිකයින් ගණනින් බෙදු විට එක් ශ්‍රමිකයෙකුට අක්කර 1.45ක් වැටෙනවා. ඉහත ශ්‍රමිකයන් ගණනට ධීවරයින්ද ඇතුළත් නිසා අක්කර ගණන 2ක් පමණ කියා හිතන්න පුළුවන්. ලංකාවේ කුඹුරු ඉඩමක සාමාන්‍ය ප්‍රමාණයත් අක්කර දෙකයි.

ඇමරිකාවේ වගා කළ හැකි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 152,262,500ක්. ශ්‍රමිකයින් ගණනින් බෙදු විට එක් ශ්‍රමිකයෙකුට අක්කර 298.25ක්. අක්කර 300ක් කියමු.

ලංකාවේ ගොවියාගේ මූලිකම ප්‍රශ්නය තියෙන්නේ මෙතැනයි. කොයි තරම් කාර්යක්ෂම වුනත් අක්කර 300කින් ගන්න අස්වැන්න අක්කර දෙකකින් ගන්න බැහැ. ලංකාවේ වගා කළ හැකි ඉඩම් සියල්ලම වගේ මේ වන විටත් වගාව සඳහා යොදා ගෙන අවසන් නිසා මේ ප්‍රමාණය වැඩි කරන්නත් බැහැ.

ඉඩම් වැඩි කරන්න බැරිනම් කරන්න වෙන්නේ ගොවියන් අඩු කරන එකයි. එක් ගොවියෙකු සතු ඉඩම් ප්‍රමාණය ඇමරිකාවේ තරමට වැඩි කරන්නනම් ශ්‍රමිකයින් ගණන 11,000ක් පමණ දක්වා අඩු කරන්න වෙනවා. එවැන්නක් හදිසියේ කළ නොහැකි බව ඉතා පැහැදිලියි. නමුත්, කළ යුත්තේ ක්‍රමක්‍රමයෙන් කෘෂිකර්මයෙන් ශ්‍රමිකයන් ඉවත් වෙන්න ඉඩ සලසන එකයි.

කෘෂිකර්මයෙන් ශ්‍රමිකයන් ඉවත් වෙන්න ඉඩ හැරීම කියන එකෙන් අදහස් වෙන්නේ රට කෘෂිකර්මයෙන් ඉවත් වීම හෝ ගොවීන් පාරට ඇද දැමීම නෙමෙයි. කෘෂිකර්මයට වඩාත්ම කැමති හා වඩාත්ම දක්ෂ පිරිසට රැඳෙන්න හැර අකමැත්තෙන් ගොවිතැන් කරන අයට වඩා ඵලදායී වෙනත් කටයුත්තක නිරත වෙන්න ඉඩ හැරීමයි. ගොවියාගේ ජීවන තත්ත්වය උසස් වෙන්නනම් එය අනිවාර්යයෙන්ම විය යුතුයි.

මේ විදිහට ශ්‍රමිකයින් කර්මාන්තයෙන් ඉවත් වෙනවා කියන්නේ එයට සමාන්තරව යාන්ත්‍රික ශ්‍රමයෙන් ශ්‍රම හිඟය පියවෙනවා කියන එකයි. එවිට අස්වනු ඵලදායීතාවයත් ඉහළ යනවා. එයින්ද ආදායම් වැඩි වෙනවා.

මේ වැඩේ කවුරුවත් කරන්න අවශ්‍ය නැහැ. මොකද ශ්‍රමිකයින් බලෙන් එළියට ඇද දමා ඔවුන්ට යහපතක් කරන්න බැහැ. කළ යුත්තේ කෘෂිකර්මය නැංවීමේ ලේබලය යටතේ කර්මාන්තයේ දැනට සිටින ශ්‍රමිකයින් එහිම හිර කර තබන එකෙන් වැළකී සිටීමයි. ගොවියා රැක ගැනීමේ අරමුණින් කියා කරන බොහෝ දේවල් වලින් වෙන්නේ ගොවියාව මේ කර්මාන්තය ඇතුළේ කූඩු කෙරෙන එකයි.

රටක් ආර්ථික වශයෙන් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික අංශය ක්‍රමයෙන් හැකිලෙන එක අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක්. රටේ කෘෂිකාර්මික අංශය ගොඩක් විශාලයි කියා කියන්නේ ඒ රටේ මිනිස්සු කනවා බොනවා හැර වෙනත් ජීවිතයක් නැති බවයි. කෘෂිකාර්මික අංශය 10%ක් කියා කියන්නේ කන බොන දේ මෙන් දහ ගුණයක් වෙනත් දේවල් පරිභෝජනය කරනවා කියන එකයි.  කෘෂිකාර්මික අංශය 1%ක් කියා කියන්නේ කන බොන දේ මෙන් සිය ගුණයක් වෙනත් දේවල් පරිභෝජනය කරනවා කියන එකයි. මේක හරියටම මේ විදිහටම නොවුණත් කතාව මේ වගේ එකක්.

රටක කෘෂිකාර්මික අංශය හැකිලෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ රටේම මිනිස්සුන්ට කන්න දෙන්න අවශ්‍ය ආහාර ප්‍රමාණය හදන්න අවශ්‍ය මිනිස්සු ගණන අඩු වෙනවා කියන එකයි. වෙන දේවල් කරන්න ශ්‍රමය නිදහස් වෙන්නේ එතකොටයි.

පැරකුම් යුගයේ වැව් අමුණු හදන්න ශ්‍රමය නිදහස් වුනේ ගොවිතැන් කළ පිරිසට රටටම කන්න දෙන්න පුළුවන් වූ නිසා. ඇමරිකාව කන බොන දේ හදා ගන්නවාට වඩා තව ගොඩක් දේවල් කරන්නේ රටේ ඉතා සුළු පිරිසකට රටටම කන්න දෙන්න පුළුවන්කම තිබෙන නිසා.

වී ගොවිතැන ඕනෑ නැහැ. අපි තේ වගේ වෙන දෙයක් ගනිමු. කලින් පෝස්ට් එකේ විස්තර කරපු පරිදි ආහාර අපනයනයෙන් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නේ තේ වලින්නේ.

දැන් ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් වගේනේ. අපි හිතමු තව අවුරුදු දහයකින් ඕක 8000ක් වුනා කියලා. සමාජ සාධාරණත්වය ගැන හිතනවානම් තේ ශ්‍රමිකයෙකුගේ ආදායමත් අඩු වශයෙන් දෙගුණ විය යුතුයිනේ. එතකොට තේ කර්මාන්තයේ පිරිවැයට මොකද වෙන්නේ? කර්මාන්තය පවතින්න පුලුවන්ද?

අනිවාර්යයෙන්ම බැහැ. තව අවුරුදු දහයකට පස්සේ තේ කර්මාන්තය පවතින්නනම් අනිවාර්යයෙන්ම යාන්ත්‍රීය ලෙස දළු කඩන්න වෙනවා. එවිට දැන් ඉන්න ශ්‍රමිකයින්ගෙන් සෑහෙන පිරිසකට රැකියා අහිමි වෙනවා. ඒ අයට කරන්න මොනවා හෝ රැකියා ජනනය විය යුතුයි. මොකද රටෙන් බාගයකගේ ආදායම දෙගුණ වෙලා අනිත් බාගයට රස්සා නැති වෙනවා කියන්නේ රට එතැනමයි. රටේ ආදායම දෙගුණ වෙනවා කියන්නේ කාගේත් වාගේ ආදායම දෙගුණ වීමයි.

ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් වන, ධීවර හා දඩයම් අංශද ඇතුළුව කෘෂිකාර්මික අංශයේ රැඳී ඉන්නේ 1.5%ක් පමණයි. ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතයට ඒ අයගේ දායකත්වය ඩොලර් බිලියන 169.2ක්. ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය මෙන් දෙගුණයක් පමණ වුවත් ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 0.8%ක් පමණයි. ඉතිරි 98.5% කර්මාන්ත හා සේවා අංශ වල (රාජ්‍ය අංශයද ඇතුළුව) රැකියා කරමින් දළ ජාතික නිෂ්පාදිතයෙන් 99.2%කට දායකත්වය සපයනවා.

ලංකාවේ කෘෂිකාර්මික අංශය ශ්‍රම බලකායෙන් 25.8%ක්. එහෙත්, ඔවුන්ගෙන් දළ ජාතික නිෂ්පාදිතයට තිබෙන දායකත්වය 7.4%ක් පමණයි. කර්මාන්ත හා සේවා අංශ වල (රාජ්‍ය අංශයද ඇතුළුව) සේවය කරන එමෙන් තුන් ගුණයක පිරිස දළ ජාතික නිෂ්පාදිතයෙන් 93.6%කට දායකත්වය සපයනවා.

ලංකාව ගත්තත් ඇමරිකාව ගත්තත් එක දෙයක් ඉතා පැහැදිලියි. කෘෂිකර්මයෙන් ඉවත් වන පිරිස් වඩා ඵලදායී වෙනත් රැකියා වල යෙදෙනවා මිස කරන්න වැඩක් නැතුව වේලෙන්නේ නැහැ. ඒ වගේම, ඒ පිරිස ඉවත් වුනා කියා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සමස්ත නිෂ්පාදිතය හෝ ඵලදායීතාවය අඩු වෙන්නේත් නැහැ.

ධනවාදී ක්‍රමයක් පවතිද්දී ශ්‍රමිකයෙක් කෘෂිකර්මයෙන් ඉවත් වී වෙනත් අංශයක රැකියාවකට මාරු වෙන්නේ එය තමන්ට වඩා වාසිදායක නිසා. ඒ වගේම තවත් ශ්‍රමිකයෙක් එසේ ඉවත් නොවී කෘෂිකර්මයේම රැඳී සිටින්නේත් එය තමන්ට වඩාත්ම වාසිදායක නිසා. ඇතැම් අවස්ථා වලදී මෙය අඩු නරක තෝරා ගැනීමක් වෙන්නත් බැරිකමක් නැහැ. එය තීරණය වන්නේ යම් පුද්ගලයෙකු සතු කුසලතා හා රටේ තිබෙන විකල්ප මතයි.

ලෝකයේ හැම රටක්ම වගේ පටන් අරන් තිබෙන්නේ කෘෂිකාර්මික රටවල් විදිහටයි. රටක ආර්ථිකය ටිකෙන් ටික දියුණු වන විට කෘෂිකාර්මික අංශයත් ටිකෙන් ටික හැකිලෙනවා. එය වඩා වේගයෙන් වෙනවා කියා කියන්නේ රටක් වඩා වේගයෙන් දියුණු වෙනවා කියන එකයි. හැබැයි මෙහිදී කෘෂිකාර්මික අංශය හැකිලෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ එම ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් ප්‍රමාණය අඩු වෙනවා කියන එක මිසක් කෘෂිකර්ම අංශයේ සමස්ත නිෂ්පාදිතය අඩු වෙනවා කියන එක නෙමෙයි.

රටේ ආර්ථිකය ඉදිරියට යොමු කරවන දේශපාලනයක ඉලක්කය විය යුත්තේ කෘෂිකර්මය වෙත තවත් වැඩි වැඩියෙන් පිරිස් යොමු කරවන එක නෙමෙයි. එසේ කිරීමෙන් වෙන්නේ එම ක්ෂේත්‍රයේ දැනටමත් ඉන්න ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය තවත් පහත වැටෙන එකයි. ඒ වෙනුවට, වෙනත් ක්ෂේත්‍ර වල රැකියා බිහි වී ඒ හරහා ඉහළ යන ආදායමෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වන ඉල්ලුම ඉහළ ගිය විටනම් කෘෂිකාර්මික ශ්‍රමිකයන්ට වන්නේ යහපතක්.



Monday, May 11, 2020

ආහාර ආනයන වියදම වැඩිද?


ලංකාවේ හා ඇමරිකාවේ වී වගාවේ කාර්යක්ෂමතාවය ගැන අපි සංසන්දනයක් කළා. පැහැදිලිවම ඇමරිකාවේ වී ගොවිතැන් කෙරෙන විදිහ වඩා කාර්යක්ෂමයි. ලංකාවේ කුඹුරු අක්කරයකින් ලබා ගන්නා වී අස්වැන්න වගේ දෙතුන් ගුණයක් ඇමරිකාවේ වී ගොවියෙක් විසින් ලබා ගන්නවා. නමුත්, ඇමරිකාවේ වී ගොවියෙක්ට සාපේක්ෂව ලංකාවේ වී ගොවියෙක් දුප්පතෙකු වී සිටින්න ප්‍රධාන හේතුව මෙය නෙමෙයි. හේතුව මෙයනම් ඇමරිකාවේ වී ගොවියෙකුගේ ආදායම ලංකාවේ වී ගොවියෙකුගේ ආදායම මෙන් දෙතුන් ගුණයක් විය යුතුයි. එහෙත්, එම පරතරය ඊට වඩා බොහෝ විශාලයි.

අජිත් ධර්මා විසින් යෝජනා කළ සමුහ ගොවිපොළ සංකල්පයෙන් ලොකු ප්‍රයෝජනයක් නොලැබෙන්නේත් මේ හේතුව නිසයි. ගොවීන් විශාල පිරිසක් එකතු වී ලොකු තනි ගොවිපොළක් හදා ගත්තොත් ප්‍රමාණයේ වාසිය ලබා ගෙන අස්වැන්න වැඩි කර ගන්න පුළුවන්. නමුත්, ලැබෙන අස්වැන්න එසේ එකතු වූ ගොවීන් පිරිස අතර බෙදී ගියාට පසුව එක් අයෙකුට ලොකු වාසියක් නැහැ. ඇමරිකාවේ ගොවියෙකු විශාල ආදායමක් ලබන්නේ එක් ගොවියෙකු සතුව විශාල ඉඩම් ප්‍රමාණයක් තිබීමේ වාසිය ලබා ගනිමිනුයි. වී ගොවිතැන ගැන අපි අවධානය යොමු කළත් පොදුවේ කෘෂිකාර්මික අංශය පිළිබඳ තත්ත්වය මෙයයි.

මේ කරුණින් තවත් දෙයක් පැහැදිලි වෙනවා. ලංකාව වගේ රටවල ප්‍රධාන ප්‍රශ්නය ගොඩක් අය හිතාගෙන ඉන්නවා වගේ ප්‍රාග්ධනය නැතිකම නෙමෙයි. ප්‍රාග්ධනය පොම්ප කරලා ආර්ථිකයකට තාවකාලික තල්ලුවක් දෙන්න පුළුවන් වුනත් ආර්ථිකයක් දිගින් දිගටම දියුණු වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි වීම මතයි. මේ කරුණ ඉදිරියේදී ඉඩ ලැබෙන පරිදි ලිපි මාලාවකින් පැහැදිලි කරන්න බලන්නම්. මෙතැනදී කාර්යක්ෂමතාවය කියා කියන්නේ දැනට තිබෙන සම්පත්ම යොදා ගෙන නිෂ්පාදනය වැඩි කර ගන්න එකයි.

ප්‍රාග්ධනය නිසා රටවල් දියුණු වෙනවනම් අප්‍රිකානු රටවලට දශක ගානක් තිස්සේ ලැබුණු විදේශාධාර නිසා ඒ රටවල් මේ වෙද්දී මීට වඩා සෑහෙන්න දියුණු වෙලා තියෙන්න ඕනෑ. ලංකාවේ ගොඩක් ආණ්ඩු වල ඉලක්කය වූ (හා වන) සෘජු විදේශ ආයෝජන කියන්නේත් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් නිසි සේ අවබෝධ කරගෙන නැති තාක්ෂනික උගුලක් තියෙන තැනක්. ඇඟලුම් වැනි රැකියා ජනනය ක‍රන අංශයක හෝ රටේ නැති තාක්ෂණයක් රටට ගෙනෙන ආයෝජනයක් හැර ප්‍රාග්ධනය පමණක්ම  බලාගෙන ගෙන්න ගන්න සෘජු විදේශ ආයෝජන වලින් යහපතකට වඩා අයහපතක් වෙන්න ඉඩ වැඩියි. කොහෙන් හෝ ගෙන්න ගන්න අවශ්‍ය වන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන කවර හෝ තාක්ෂණයයි.

ඇමරිකාවේ කෘෂිකර්මය මේ තරම් කාර්යක්ෂමනම් ලංකාවේ ගොවියෙක්ට කෙසේවත් ඇමරිකාවේ ගොවියෙක් එක්ක තරඟ කරන්න බැරිද? ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමෙන් ලංකාවට අවාසියක් මිස වාසියක් නැද්ද? ලංකාවේ වී ගොවියා ආරක්ෂා කර ගන්න ආනයන තහනම් කරන්නම වෙනවද?

මේ කරුණ මගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ලිපි මාලාවේ පැහැදිලි කරලා තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාමෙන් මේ වගේ තත්ත්වයක් යටතේ වුවත් දෙරටටම වාසි ගන්න පුළුවන්. ඇමරිකාවේ වී ගොවියා වැඩි ආදායමක් ලබනවා. ඇමරිකාවේ වී ගොවිතැන වඩා කාර්යක්ෂමයි. එසේ වුවත් ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ වී හෝ සහල් කිලෝවක නිෂ්පාදන වියදම අඩුයි. ඒ නිසා, ලංකාව ආනයන වලට බිය විය යුතු නැහැ. (ඉන්දියාව වගේ රටවල් ගැන පසුව වෙනම කතා කරමු)

හැබැයි මේ හේතු මත රටක් ආහාර වලින් ස්වයංපෝෂිත වීම නරක දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඕනෑම රටකට ආර්ථික නොවන වෙනත් ජාතික අභිලාශ තියෙනවා. රටක් ආහාර වලින් ස්වයංපෝෂිත වීමත් බොහෝ රට වල ජාතික අභිලාශයක්.

මේ වැඩේ මොන විදිහකින්වත් කරන්න බැරි සිංගප්පූරුව වගේ රටවල් තිබෙනවා. එහෙත්, ආහාර වලින් ස්වයංපෝෂිත වීම ලංකාව ඇතුළු ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකට කළ හැකි දෙයක්. මම මේ ලිපි මාලාව ආරම්භයේදීම පැහැදිලි කළ පරිදි බෝග වගාව සඳහා අවශ්‍ය ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් යම් ප්‍රමාණයක් බොහෝ රටවල් සතුයි. ඇමරිකාව, කැනඩාව, රුසියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලට මේ කටයුත්තේදී වැඩි වාසියක් තිබුණත් ලංකාව වැනි රටකට වුවත් මේ වැඩේ කරන්න බැරිකමක් නැහැ. හැබැයි වැඩේ සාර්ථක වෙන්නේ දොරගුළු නොවසා කළ විටයි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීමේ අභිලාෂය නරක එකක් නෙමෙයි. වැරැද්ද එය කළ ආකාරයේ. ඇමරිකාව වුවත් ආහාර වලින් ස්වයංපෝෂිත රටක්. නමුත්, එසේ ස්වයංපෝෂිත වී සිටින්නේ විවෘත වෙළඳපොළ තරඟයට මුහුණ දී කාර්යක්ෂමතාවය වැඩි කරගෙන මිස දොරවල් වහගෙන හැංගිලා නෙමෙයි.

ඇත්තටම කියනවානම් ලංකාවේ කෘෂිකාර්මික අංශය දැනටත් ඉතා සාර්ථකව වෙළඳපොළ තරඟයට මුහුණ දෙනවා. ලංකාවේ කෘෂි කාර්මික අංශයේ විශාල ප්‍රශ්නයක් නැහැ. පහත තිබෙන්නේ පසුගිය 2019 වසරේ ලංකාවේ ආනයන වියදම් වලින් ආහාර සඳහා වැය වූ මුදලයි. දත්ත සියල්ල ළඟදී නිකුත් වූ 2019 මහා බැංකු වාර්තාවෙන්. ගණන් ඇමරිකන් ඩොලර් මිලියන වලින්.

හාල්-  12.8
සීනි හා රසකැවිලි - 201.2
කිරි නිෂ්පාදිත - 311.9
පරිප්පු - 79.9
වෙනත් ආහාර හා පාන වර්ග - 821.2
ආහාර හා පාන වර්ග ආනයන වියදම් එකතුව - 1426.9

ලංකාවට තිරිඟු හා ඉරිඟු ආනයනය කරන්නේ පාරිභෝගික භාණ්ඩයක් ලෙස නෙමෙයි. කාර්මික අමුද්‍රව්‍යයක් ලෙසයි. පාරිභෝගික ද්‍රව්‍යයක් වෙන්නේ ලංකාවේදී සකස් කිරීමෙන් පසුවයි. ඒ නිසා, ඉහත එකතුවට තිරිඟු හා ඉරිඟු අයත් වී නැහැ.  2019දී ලංකාවට ආනයනය කර තිබෙන තිරිඟු හා ඉරිඟු වල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 346.4ක්.

කෙසේ වුවත්, ඉහත මුළු ආනයන ප්‍රමාණයම ලංකාවේ ආහාර පාන ආනයන වියදම් වලට එකතු කරන එක නිවැරදි නැහැ. 1980දී ප්‍රීමා කම්හල ත්‍රිකුණාමලයේ හදන කොට එය ලෝකයේ ලොකුම තිරිඟු ඇඹරුම් කම්හල් සංකීර්ණයයි. ආරම්භයේ සිටම එම කම්හල ඇඹරූ පිටි ආසියාවේ වෙනත් රටවලට අපනයනය කළා. කමක් නැහැ අපි මේ මුළු වියදමම එකතු කරමු.

ආහාර හා පාන වර්ග ආනයන වියදම් මුළු එකතුව = 1426.9 + 346.4 = ඩොලර් මිලියන 1773.3

මේ ගණන රුපියල් වලට හැරෙවුවොත් රුපියල් බිලියන 300කට වැඩ වැඩියි. 2019දී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදිතය (වන හා ධීවර උප අංශද ඇතුළත්ව) රුපියල් බිලියන 1,113.8ක්. දැව කොටස ඉවත් කළ විට රුපියල් බිලියන 1000ක් පමණ වෙනවා. එහෙම බැලුවොත් රුපියල් 1000ක ආහාරපාන රට ඇතුළේ හදන කොට ආනයන සඳහා රුපියල් 300ක් වැය වෙනවා. ඒ කියන්නේ ඒ කොටස රට ඇතුළේ හදා ගත්තොත් ඒ අනුරූපී ඩොලර් ප්‍රමාණය ඉතුරුයි.

මේ ගණනය අසම්පූර්ණයි. මොකද අපේ කෘෂිකාර්මික නිෂ්පාදිතයෙන් කොටසක් අපි අපනයනය කරලා තියෙනවා. එහෙමනම් අපි කෘෂිකාර්මික අංශයේ අපනයන ආදායමත් සලකා බැලිය යුතුයි. 2019 වසරේ ලංකාවේ අපනයන ආදායම් මෙහෙමයි. ඇමරිකන් ඩොලර් මිලියන වලින්.

තේ - 1,346.4
රබර් - 24.2
පොල් - 329.5
කුළුබඩු - 312.5
එළවළු - 32.0
සකස් නොකළ දුම්කොළ - 34.7
සුළු අපනයන බෝග - 120.0
මුහුදු ආහාර - 262.5
එකතුව - 2,461.9

තව මීට අමතරව කාර්මික අපනයන ලෙස ඩොලර් මිලියන 447.0ක අපනයන ආදායමක් සකස් කළ ආහාර, පාන වර්ග හා දුම්කොළ වලින් උපයාගෙන තිබෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 866.1ක රබර් නිෂ්පාදන අපනයන ආදායමින් කොටසකුත් ලංකාවේ හැදූ රබර් වල අපනයන ආදායමක් සේ සලකන්න වෙනවා. ඒවා අපි පැත්තකින් තියමු.

ඉහත එකතුව පමණක් ගත්තොත් ආහාර පාන අපනයන ආදායම ඩොලර් මිලියන 2,461.9ක්. ආනයන වියදම 1426.9ක්. තිරිඟු හා ඉරිඟු එකතු කළොත් ඩොලර් මිලියන 1773.3ක්. අවසාන වශයෙන් ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සැලකිය යුතු ශුද්ධ වෙළඳ අතිරික්තයකුයි තියෙන්නේ.

ඇත්තටම වෙන්නේ ආහාරපාන ආනයනය කිරීම නිසා ලංකාවේ සල්ලි පිටරටට යන එක නෙමෙයි. එහි අනික් පැත්තයි. ලංකාවේ විශාල වෙළඳ හිඟයට හේතුව කෘෂිකාර්මික අංශයේ ප්‍රශ්නයක් නෙමෙයි. ගොවියා ධනවතෙකු වී නැත්තේත් ආනයන තරඟය නිසා නෙමෙයි.

Sunday, May 10, 2020

රොබින්සන් කෲසෝගේ දූපත සොයායාම


මොන හේතුවකටද මන්දා ස්වයංපෝෂණය කියන එක මම ගොඩක් පොඩි කාලේ සිට යම් වයසක් යන තුරු ඇලුම් කරපු යුතෝපියානු සිහිනයක්. ස්වයංපෝෂණය කියා කිවුවහම ඕකේ විවිධ මට්ටම් තියෙනවනේ. අපට රටක් විදිහට, ගමක් විදිහට නැත්නම් තනි පුද්ගලයෙක් හෝ පවුලක් විදිහට ස්වයංපෝෂණය වෙන එක ගැන සිහින මවන්න පුළුවන්. ඇතැම් විට ඔය වගේ සිහිනයක් හඹා ගිහින් ඉලක්කය අත්පත් කර ගන්නත් පුළුවන්.

මම සිහින මැවුවේ අමුම අමු රොබින්සන් කෲසෝ පන්නයේ ස්වයංපෝෂණය වීමක් ගැනයි. වැඩේ පටන් ගත්තේ ගොඩක්ම පොඩි කාලෙනේ. මම හිතන්නේ සමහර විට අපි ගොඩක් දෙනෙක්ට ඔය මගේම පාළු විමානෙක නිසංසලේ රහසේ තනි වෙන සිහිනය ජාන වලින් ස්වභාවිකවම එනවා ඇති. අපේ ළමයි වුනත් පුටු හරස් කරලා ඕවට උඩින් ඇඳ ඇතිරිල්ලක් දමාගෙන ඕක අස්සට වෙලා ඉන්න ආස කළ කාලයක් තිබුණා. සුරංගනා කතා සහ වෙනත් කතා වලින් අදහස ආවා වෙන්නත් පුළුවන්. නර්චර් නැත්නම් නේචර්.

ඒ දවස් වල රටක් විදිහට හෝ ගමක් විදිහට හිතන්න තරම් අනන්‍යතා හැදිලා නැහැ. අපි ඔය අනන්‍යතා හදා ගන්නේ ටික ටික ලොකු වෙන කොටනේ. පොඩිම කාලේ මුලින්ම දැනෙන්නේ තමන් තමන්ගේ පවුලේ සාමාජිකයෙක් කියන එක පමණයි. කවදා හරි මේ පවුලෙන් අයින් වෙලා තමන්ගේම පවුලක් හදා ගන්න වෙනවා කියන අවබෝධයත් ඒ එක්කම ආවත් ඒ කා එක්කද කියන එක පැහැදිලි නැහැ. ඒ නිසා, සිහින මවන්න වෙන්නේ රොබින්සන් කෲසෝ කෙනෙක් වීම ගැනයි. සමහර අයගේ පොඩි කාලේ සිහින වලනම් තවත් කවුරු හෝ හිටිය බව මම අහල තියෙනවා. මගේ සිහිනයේනම් අඩු ගානේ ෆ්‍රයිඩේ කෙනෙක්වත් හිටියේ නැහැ.

ඔය සිහිනය තනිකරම මනෝරාජික අදහසක් නොවන බව තහවුරු කරගත හැකි හේතු මට තිබුණා. අපේ නෑදෑයින් හෝ හිතවතුන් අතර මේ තත්ත්වයට කිට්ටු අය ටික දෙනෙක් හෝ සිටීම එයට හේතුවයි. කුඹුරෙන් හාල්. කොරටුවෙන් එළවලු, වත්තෙන් පළතුරු. වත්ත පහළ කිතුල මැද්දහම පැණි හා හකුරු. එළදෙනගෙන් කිරි. කිකිළියන්ගෙන් බිත්තර. සමහර අය ඉඳහිට උගුලක් අටවලා හෝ වෙනත් ක්‍රමයකින් සතෙක් මරා ගන්න එකත් කරනවා. ගොඩක් වෙලාවට ආහාර කියලා පිටින් මිල දී ගන්නේ ලුණු කරවල වගේ දේවල් ටිකක් පමණයි. හකුරු වගේ දෙයක් විකුණලා ඒ සඳහා මුදල් හොයාගන්න පුළුවන්. තව අවුරුද්දකට සැරයක් වගේ ඇඳුමක් ගන්නත් කීයක් හරි සල්ලි ඕනෑ.

ඔය වගේ ආහාර වලින් බොහෝ දුරට ස්වයංපෝෂණය වූ අය ඕනෑ තරම් දැකලා තිබුණු නිසා ඒ වැඩේ මනෝරාජික අදහසක් කියලා මට හිතුනේ නැහැ. කටු මැටි ගහපු පොල් අතු හෙවිල්ලපු මූලික මට්ටමේ ගෙයක් හදාගන්න එකත් තනියම කරන්න පුළුවන්. පිටින් සැපයුම් අවශ්‍ය නැහැ. එතකොට පැදුරු වට්ටි වගේ ඒවත් වියා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම මට කරලා අත්දැකීම් තිබුණු දේවල්. ප්‍රශ්නය තිබුණේ ආහාර නොවන වෙනත් අවශ්‍යතා ගැනයි.

ප්‍රධානම ප්‍රශ්නයක් වුනේ ඇඳුම්. ඒ ගැන මට හිතාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. බාහිර සමාජයේ වෙන කවුරුවත්ම එක්ක ගැටෙන්නේ නැත්නම් ඇඳුම් අවශ්‍යත් නැහැ. ඒත් ඒ ගැන සහතිකයක් නැහැනේ. පුටු හරස් කරලා ඇඳ ඇතිරිලි දමලා හදා ගන්න ගේකට වුනත් කවුරු හරි ලොකු කෙනෙක් ඔලුව දමන එක නවත්තන්න බැහැනේ. ඒ වගේ වෙලාවක හරියකට ඇඳුමක් නැත්නම් මාර ලැජ්ජාවක්නේ වෙන්නේ.

එතකොට ලෙඩක් වුනොත්? පොඩි ලෙඩ වලටනම් මොනවා හරි අත් බේතක් කරගන්න පුළුවන්. ඒ දවස් වල කොහොමටත් හැම දේටම ඉස්පිරිතාල වලට හෝ දොස්තරලා හොයාගෙන ගියේ නැහැ. ඒත් ලොකු ලෙඩක් හැදුණොත්?

ඔය ඔක්කොටමත් වැඩිය ලොකුම ප්‍රශ්නය අනිත් ඔක්කොම කළත් රටේ නීති පද්ධතියෙන් හා ආණ්ඩුවෙන් නිදහසක් නැති කමයි. තමන්ට අවශ්‍ය දේවල් මොන විදිහකින් හෝ හොයා ගෙන පිරිමහගත්තත් ආණ්ඩුවෙන් නිදහසක් නොලැබෙන බවත් ආණ්ඩුවට යම් යම් "යුතුකම්" කරන්නම වෙන බවත් මොන ආකාරයකින් හෝ ගොඩක් පොඩි කාලෙම මට තේරිලා තිබුණා.

ඇමරිකාවේ ඉන්න කෙනෙක්ටනම් තමන්ගේ ඇමරිකානු පුරවැසිකම අත ඇරලා රටක් නැති කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ දවස්වල ඔහොම දේවල් ගැන දැනගෙන හිටියේ නැහැනේ. ඇඳ ඇතිරිල්ල උස්සලා සෙල්ලම් ගෙදරට ඔලුව දාන වැඩිහිටියා වගේ ආණ්ඩුව ඔලුව දමන එකත් වලක්වන්න බැරි දෙයක් බවයි පෙනෙන්න තිබුණේ. දැන් හිතල බැලුවහම ඒ දවස් වලත් ඒ ගැනනම් හරි අවබෝධයක් තිබිල තියෙනවා.

ඔය වගේ යුතෝපියානු සිහිනයක් දකින්න පුළුවන්කම තිබුණේ ඒ දවස් වල, මට අයිති වෙලා නොතිබුණත්, අම්මාගෙන් උරුම වූ ඉඩමක්ද පවුලේ වත්කම් අතර තිබීමයි. ඉඩමේ කුඹුරු කෑල්ලක් සහ ගොඩ ඉඩම් කොටසක් තිබුණා. පැත්තක පොඩි ඇළ පාරකුත් තිබුණා. තව වෙන මොනවද?

පේරාදෙණියේ ඉන්න කාලේ සරසවි සංවාද පර්ෂදය කියලා එකක් තිබුණා. මෙහි නිලධාරී මණ්ඩලයට මමත් පසුව සම්බන්ධ වුනත් මේ කියන අවස්ථාව වන විට මතක හැටියට, එවැනි විශේෂ සම්බන්ධයක් තිබුණේ නැහැ. ඕකෙන් විවිධ දේශපාලන අදහස් හා මතවාද දරන අයට ආරාධනා කරලා දේශන මාලාවක් පැවැත්වුණා. ඔය විදිහට ආරාධනා ලැබූ එක් පුද්ගලයෙක් වුනේ ප්‍රේමකුමාර එපිටවල. මාතෘකාව ස්වයංපෝෂණය හා අදාළ එකක්.

ප්‍රේමකුමාර එපිටවල ගොඩක් ප්‍රසිද්ධ වෙලා හිටියේ මුද්‍රා නාට්‍ය, බතික් වගේ දේවල් වලට. එහෙත් අපිට වැදගත් වුනේ වෙනත් දෙයක්. ඒ ඔහු විස්තර කළ ඔහුගේ ස්වයංපෝෂිත ජීවිතය. කුඹුරෙන් හාල්. වත්තෙන් එළවලු. ඒ විතරක් නෙමෙයි අර මට පොඩි කාලේ වදයක්ව තිබුණු අනෙක් මූලික ප්‍රශ්නත් ඔහු විසඳාගෙන. ඇඳුම් හදා ගන්න කපු කටින යන්ත්‍රයක්. වෙන එකක් තියා කඩදාසි හදලා ඒ කඩදාසි වල මුද්‍රණය කරන එකත් කරන්නේ ගෙදරමයි. ගෙදර කිවුවට සෘතුව අනුව ජීවත් වෙන්න රම්‍ය, සුරම්‍ය, සුභ කියලා ගෙවල් තුනක්ම තියෙනවා. කියන විදිහට අන්තිමට ඉතිරි වී තියෙන එකම ප්‍රශ්නය කාර් එකට පැට්‍රෝල් ගහන එකයි.

දේශනයනම් හරිම ආකර්ශනීයයි. අඩු වශයෙන් අපි කීප දෙනෙකුට. හැබැයි කිවුවටම විශ්වාස කරන්නේ කොහොමද? අපිට ගිහිල්ලම බලන්න අවශ්‍ය වුනා. අපි කිවුවේ දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇතැම් විට මේ ලිපිය කියවනවා විය හැකි මගේම කණ්ඩායමේ මිතුරෙක් හා දැන් කැනඩාවේ ජීවත්වන ඒ දවස්වල නිතරම මතවාදී සාකච්ඡා සඳහා එකතු වූ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක මිතුරෙක්. දෙවනු කී මිතුරා ප්‍රේමකුමාර එපිටවලව සම්බන්ධීකරණය කරගෙන දවසක් දාගත්තා.

අන්තිමට අපි තුන් දෙනා කියපු වෙලාවට ඔහුගේ ඊරියගම හරියේ තිබුණු නිවසේ ගේට්ටුව අසළට ගියා. මතක හැටියට ටික වෙලාවකින් ඔහු කොහේ හෝ සිට මෝටර් රථයෙන් ආවා. එහෙම නැත්නම් අපි එන්න ටික වෙලාවකට පෙර එහි පැමිණි බව කිවුවා.

මහත් බලාපොරොත්තු තියාගෙන ගියත් අපිට මුලින්ම පවා දකින්න ලැබුණේ කඩා වැටී තිබුණු ස්වයංපෝෂිත ආර්ථිකයක්. නිවස ඉදිරිපිට හදා තිබුණු රම්‍ය සුරම්‍ය කුටි, කාලයකින් පාවිච්චියට ගෙන නොතිබුණු කපු කටින යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය වගේ දේවල් පෙන්නුවා මතකයි. ක්‍රියාත්මක කර පෙන්නුවේනම් නැහැ. ක්‍රියාත්මක කළ නොහැකි වීමට හේතු පමණයි අපට ලැබුණේ.

අපේ ස්වයංපෝෂණ සිහිනය කඩා වැටුණේ කිහිප වරක් අසා කුඹුරු ගැන දැන ගැනීමෙන් පසුවයි. කුඹුරු පොළොන්නරුවේ. මිනිස්සු දම්මවලා වැඩ කරනවා. දේශනය වෙලාවේ අපි දැකපු ආශ්චර්යය නැහැ. තීම් පාක් එකකින් ලබන විනෝදය ලබන්නනම් හොඳයි.

මේ තමයි මම රොබින්සන් කෲසෝ පන්නයේ ස්වයංපෝෂණය වීමක් ගැන බරපතල ලෙස හිතපු අන්තිම අවස්ථාව. අපි කිහිප දෙනෙක්ට රොබින්සන් කෲසෝලා වෙන්න බැරිකමක් නැහැ. නමුත්, එය ඉතාම අකාර්යක්ෂම නිසා මේ වැඩේ කළ හැක්කේ වෙන මොන ක්‍රමයකින් හෝ සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් එකතු කරගෙන සිටින ධනවතෙකුට පමණයි. ලෝකයේ විශාල පිරිසකට රොබින්සන් කෲසෝලා වෙන්න අවශ්‍ය තරම් සම්පත් මිහිමත නැහැ. ස්වයංපෝෂණ ආකෘතියේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ඒකයි.

නිදහස් ගනුදෙනු කියන්නේ මේ සම්පත් හිඟයට දැනට තිබෙන හොඳම විසඳුමයි.


Saturday, May 9, 2020

පැරකුම් යුගයකට නැවත යා යුතුද?


"මුහුදට ඇද්දෙන මහ ගංගා – කුඹුරට යළි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදු වෙලා – බිඳලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් – නිජ භූමිතලේ ලංකා..."

කියවන අය අතර ඔය පද ටික හිතේ නැති කෙනෙක් නැතුව ඇති නේද? ඔය සින්දුවේ කියන ආකාරයට පැරකුම් යුගයකට නැවත යාමේ අරමුණ හෝ ඉලක්කය ගැන අපට වරින් වර අහන්න ලැබෙනවා. පැරකුම් යුගයේදී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ බව සඳහන් වෙනවා.

මේ කියන පැරකුම් යුගය ක්‍රිස්තු වර්ෂ 1153–1186 අතර කාලයයි. ලංකාවට පෘතුගීසීන් ආවේ ක්‍රිස්තු වර්ෂ 1505දී. ඒ කියන්නේ පැරකුම් යුගයේ අවසානය හා පෘතුගීසි ආගමනය අතර කාලය වසර 319ක් පමණයි. පෘතුගීසි ආගමනයේ සිට මේ වන විට තවත් වසර 515ක් ගෙවිලා. මම මෙයින් කියන්න අදහස් කළේ පැරකුම් යුගය කියන එක ලංකාවේ ඉතිහාසය එක්ක බැලුවහම සාපේක්ෂව නූතන යුගයක් කියන එකයි, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉතිහාසය මීට වඩා ගොඩක් කෙටි වුවත් ලංකාවේ ඉතිහාසය පැරකුම් යුගයෙන් ගොඩක් එහාට යනවා. මහින්දාගමනය සිදු වූ තැන් සිට පැරකුම් යුගය දක්වා කාලය පැරකුම් යුගයේ සිට අද දක්වා කාලයට වඩා දිගු කාලයක්.

පැරකුම් යුගයේදී ලෝකයේ අනෙක් හැම රටකම මිනිස්සු කොළ අතු ඇඳගෙන හිටියේ නැහැ. ඒ කාලය වන විට ලෝකයේ විවිධ රටවල් යම් මට්ටමක දියුණුවක් අත් කරගෙන හිටියා. ඉතාලියේ බොලොඤ්ඤ සරසවිය ආරම්භ කර තිබෙන්නේ පැරකුම් යුගයට වසර 65කට පෙර ක්‍රිස්තු වර්ෂ 1088දී. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය ආරම්භ කරල තියෙන්නේ පැරකුම් යුගයට වසර 57කට පෙර ක්‍රිස්තු වර්ෂ 1096දී. පැරකුම් යුගය වන කොට වැනීසිය මහා පරිමාණයෙන් නැවු තනමින් හා ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙමින් සෑහෙන තරමේ ආර්ථික සමෘද්ධියක් අත් පත් කර ගෙන.

මේවා ලිවුවා කියලා ජාතික අභිමානය අඩු කරගන්න අවශ්‍ය නැහැ. පැරකුම් යුගය ලංකා ඉතිහාසයේ ඉතා සමෘද්ධිමත් යුගයක්. වැනීසිය මට්ටමේ නොහිටියත් ඒ කාලයේ ලංකාව ආනයන, අපනයන හා ප්‍රති-අපනයන කර විශාල වශයෙන් ආදායම් ඉපැයූ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්. ලංකාව විසින් දකුණු ඉන්දියාවෙන් පිටත රටක් ආක්‍රමණය කළ එකම අවස්ථාව ලෙස සැලකිය හැකි අරමණ ආක්‍රමණය සිදු වුනෙත් මේ කාලයේ. මේ ගැන කලින් ලියූ ලිපි මාලාවක් පහත තිබෙනවා.

වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට...





අපට කතා කරන්න අවශ්‍ය වී ගොවිතැන ගැනනේ. රෝදය අළුතින් හොයා ගන්න කාලය මිඩංගු නොකර මම මේ ගැන භූෂණ කල්හාරගේ සිංහලේ බ්ලොග් අඩවියේ පළ කර තිබුණු ලිපියක කොටස් උපුටා දක්වන්නම්. ඔහු ඉතිහාසය ගැන සෑහෙන දැනුමක් තිබෙන, විශ්වාසනීය මූලාශ්‍ර හෝ වෙනත් තාර්කික පදනමක් සහිතව කරුණු ඉදිරිපත් කරන කෙනෙක් නිසා ඔහු ලියා ඇති දේ ගැන නැවත හොයා බලන්න හේතුවක් මට පෙනෙන්නේ නැහැ.

"මහාවංශය වැනි වංශ කතා මූලාශ්‍ර සහ අට්ඨ කතා වල දැක්වෙන ආකාරයට අනුරාධපුර ශිෂ්ඨාචාරය ආරම්භයේ පටන්ම විවිධ අවස්ථා වලදී මෙරට දරුණු සාගත තත්වයන්ට මුහුණ දී ඇත." 

"...පුරාතන සහ මධ්‍යතන යුගයන්හී මෙරට තුල වරින් වර දුර්භීක්ෂ තත්වයන් ඇති වුවද පාලකයන් නිරතුරුව ඒවා මැඩපැවැත්වීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගත් බවත් ඒ අනුව ආහාර බෝග නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් රටේ පරිභෝජනය උදෙසා අවශ්‍ය තරමින්වත් තිබෙන්නට ඇති බවත් අනුමාණ කල හැක. මුළු දිවයින පුරාම සියළු කල්හීම එකම තත්වයක් බලපැවත්වීද? එසේම ප්‍රභූ සහ සංඝ සමාජයේ සිට සමාජයේ පහල ස්ථරය නියෝජනය කල ගැමියන් දක්වා මේ තත්වය එසේම පැවතීද යන්න අවසාන නිගමනයකට එලඹිය හැකි කාරණා නොවේ."

"මෙරටින් සහල් අපනයනය කල බවට අපගේ වංශ කතා වල කිසිදු සඳහනක් හමු නොවන අතර ඒ පිළිබඳව ඇත්තේ  එකම එක සාක්ෂ්‍යක් පමණි. ... මෙරට "පෙරදිග ධාන්‍යාගාරය" යන යෙදුම බොහෝවිට ඇතිවන්නට ඇත්තේ මේ එකම තොරතුර පාදක කරගෙන වීමට පුළුවන. ... කෙසේ නමුත් මෙරටට සහල් ආනයනය සිදු කල බවට වූ සාධක කිහිපයක්ම හමුවේ."

මුළු ලිපියම පහත සබැඳියෙන් කියවිය හැකියි.


දැන් අපි වැදගත්ම කරුණට එමු. පැරකුම් යුගයේ ලංකාව සහල් (බොහෝ විට වී) අපනයනය කළා වෙන්න පුළුවන්. නමුත්, එසේ අපනයනය කළ සහල් ප්‍රමාණය රටේ මුළු සහල් නිෂ්පාදනයෙන් විශාල කොටසක් වෙන්න බැහැ. අරමණ ආක්‍රමණය ගැන මා ලියා ඇති ලිපි පෙළේ තිබෙන කරුණු අනුව සමහර විට එක සහල් නැවක් පිටරට යවා ඒ පිළිබඳව විශාල ප්‍රචාරයක් කළා වෙන්න පුළුවන්. එහෙම නැතුව ලංකාවෙන් මුළු පෙරදිගටම සහල් යවපු බව පිළිගන්න සාධක නැහැ.

හැබැයි ඔය කියන පැරකුම් යුගයේ වගේම වරින් වර වෙනත් කාල වකවානු වලදීත් ලංකාවේ සහල් අතිරික්තයක් තිබුණා කියන එක පිළිගන්න පුළුවන්. වැවු, අමුණු, දාගැබ් හදන්න ශ්‍රමය යොදවන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන අතිරික්තයක් තිබුණානම් පමණයි. වී හෝ සහල් අපනයනය කරන්න හෝ ගබඩා කරන්න පුළුවන් වෙනවා කියන්නේ රටේ සියලු දෙනාටම ආහාරයට ගන්න අවශ්‍ය සහල් ප්‍රමාණයට වඩා රටේ නිපදවුනා කියන එක වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. 

සමහර විට පිරිසක් සතුව විශාල අතිරික්තයක් තිබුණත් ඉතිරි පිරිස බඩගින්නේ හිටියා වෙන්න බැරිද? අපි එහෙම වුනේ නෑ කියලා හිතමු.

අනෙක් අතට වැවු, අමුණු, දාගැබ් හදන්න ශ්‍රමය ඉතිරි වුනා කියා කියන්නේ ඒ අයට කන්න දෙන්න ආහාර හදන්න ඉතිරි පිරිසට හැකි වුනා කියන එකයි. ඇතැම් විට කුඹුරු වැඩ නැති දවස් වල මේ වගේ වෙන වැඩ කළා වෙන්නත් පුළුවන්.

දැන් අපි අපේ ඇස්තමේන්තු වලට එමු.

අපි හිතමු රටේ නිපදවන සහල් රටේ සියලුම දෙනා පරිභෝජනය කිරීමෙන් පසුව යම් ප්‍රමාණයක් ඉතිරි වී ඒ ප්‍රමාණයෙන් කොටසක් අපනයනය කළා කියලා. තවත් කොටසක් ගබඩා කර ගත්තා කියමු. අපනයනය කරපු ප්‍රමාණය පරිභෝජනය කළ ප්‍රමාණයෙන් 5%ක් ලෙසත්, ගබඩා කර ගත් ප්‍රමාණය 45%ක් ලෙසත් සලකමු. ඒ කියන්නේ පරිභෝජනය කළ ප්‍රමාණයෙන් 50%ක් අතිරික්තය. වෙනත් විදිහකට කිවුවොත් නිපදවපු ප්‍රමාණයෙන් තුනෙන් එකක් අතිරික්තය.

ඊළඟ ප්‍රශ්නය රටේ ජනගහණයෙන් කොපමණ පිරිසක් මේ වී ප්‍රමාණය නිපදවන්න දායක වුනාද කියන එකයි. පැරණි ලංකාවේ ජීවත් වූ අයගෙන් බොහෝ දෙනෙක් වී ගොවිතැනේ යෙදුනු බව අප දන්නා නිසා එසේ නොයෙදුණු ප්‍රතිශතය ඇස්තමේන්තු කරන එක වඩා පහසුයි.

කුඩා දරුවන් හා මහල්ලන් - 30%
රජවරුන්, ප්‍රාදේශීය ප්‍රභූවරුන් හා බෞද්ධ භික්ෂූන් - 1%
ගොවිතැන් නොකරන පහත් කුල වල අය - 10%
ගර්භණී/ කුඩා ළමුන්ට කිරි දෙන කාන්තාවන් - 4%
වැව්, අමුණු හදන්න හා රාජ්‍ය සේවයට ගිය අය - 5%
එකතුව - 50%

ඒ කියන්නේ රටේ ජනගහණයෙන් 50%ක්වත් වී ගොවිතැනේ යෙදෙනවා. ඒ පිරිස රටේ මුළු ජනගහණයට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙන් 150%ක් හදනවා. මේ අනුව, එක් අයෙකු තවත් දෙදෙනෙකුට බත සපයනවා.

දැන් අපි ඇමරිකාවට ආවොත් ඇමරිකාවේ වී ගොවිපොළවල් 5,500ක පමණ ප්‍රමාණයකින් මිලියන 330ක් වන ඇමරිකානුවන්ට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවනවා. ඇමරිකාවේ ප්‍රධාන ආහාරය බත් නොවන නිසා මේ සංසන්දනයේ වැරැද්දක් තියෙනවනේ. ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 100ක් වුනත්, ඇමරිකාවේ එය කිලෝග්‍රෑම් 10ක් පමණයි. ඒ නිසා, ඇමරිකානුවන් ලංකාවේ තරමටම බත් කනවානම් ඇමරිකාවේ වී ගොවිපොළවල් 5,500ක පමණ ප්‍රමාණයකින් මිලියන 33ක් පමණ ඇමරිකානුවන්ට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවනවා කියන එකයි නිවැරදි. එතකොට ඇමරිකාවේ එක වී ගොවියෙක් තව කී දෙනෙකුට බත සපයනවද? 

ඇමරිකාවේ එක වී ගොවියෙක් ලංකාවේ හයදාහකට කන්න ප්‍රමාණවත් හාල් ප්‍රමාණයක් නිපදවනවා. කලින් ඇස්තමේන්තුව අනුව පැරකුම් යුගයේ වී ගොවියෙක් නිපදවලා තියෙන්නේ තව දෙන්නෙක්ට කන්න ප්‍රමාණවත් සහල් ප්‍රමාණය පමණයි. ඔය රජ කාලේ වී අමුණු ගණන් අස්වද්දපු යෝදයෝ ගැන කියනවනේ. එහෙම අය ඉන්න ඇති. හැබැයි අද ඇමරිකාවේ වී ගොවියෙක් කන්න දෙන තරම් පිරිසකට ඒ වගේ යෝදයෙක් වුනත් බත සැපයුවා කියා කියන්න බැහැ.

පැරකුම් යුගයේ එක ගොවියෙක් වී වවන කොට තව දෙන්නෙක් වැව් අමුණු හදන්න, ගෙවල් වල ළමයි බලාගන්න, අනිත් අයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න, ආයුධ හදන්න, නැවු හදන්න, රටවල් ආක්‍රමණය කරන්න වගේ වෙනත් වැඩ සඳහා ඉතුරු වුනා. අද ඇමරිකාවේ එක වී ගොවියෙක් වී වවන කොට වෙනත් ආහාර හදන්න, නැවු හදන්න, ගුවන් යානා හදන්න, කෝවිඩ් එන්නත් හදන්න, අඟහරු යානා හදන්න, බ්ලොග් ලියන්න, ඉරානයට බෝම්බ දමන්න, කුමන්ත්‍රණ කරන්න, ලංකාවේ ඉඩම් ටික අල්ල ගන්න ගිවිසුම් හදන්න වගේ වැඩ වලට තව හය දාහක් ඉතුරුයි.

ඒ ඇමරිකාවනේ. පැරකුම් යුගය එක්ක අද ලංකාව සංසන්දනය වෙන්නේ කොහොමද? අතරින් පතර හාල් ආනයනය කළත් බොහෝ දුරට ලංකාවට අවශ්‍ය හාල් ප්‍රමාණය රට ඇතුළේ හදා ගන්නවනේ. අපි කියමු රටේ සහල් අවශ්‍යතාවයෙන් 80%ක් රට ඇතුළේ හදා ගන්නවා කියලා. මේ හාල් ටික හදා ගන්න කී දෙනෙක් ඕනෑද? 2019 අවසන් කාර්තුවේදී කෘෂිකර්ම, වන හා ධීවර අංශයේ රැකියා වල නිරත වූ පිරිස 2,215,128ක්. ලංකාවේ ජනගහණය ඔය වගේ දහගුණයක් පමණ වෙනවනේ. ඒ කියන්නේ ජනගහණයෙන් 10%ක්. අපි කියමු ඔය 10%න් 80%ක්ම කළේ වී වවන එක කියලා. එතකොට 8%ක්.

දැන් මේ 8% රටේ 80%කට බත සපයනවා. ඒ කියන්නේ එක වී ගොවියෙක් තව 9 දෙනෙකුට කන්න දෙනවා. ඇමරිකාවේ හයදාහ කිට්ටුවකවත් නැහැ තමයි. හැබැයි පැරකුම් යුගයට වඩා තුන් ගුණයක් පමණ කාර්යක්ෂමයි.

මේ ගණන් හැදිල්ලට මම සංඛ්‍යා ගත්තේ මට හිතෙන හැටියටයි. ඒ නිසා, මූලාශ්‍ර මොනවාද කියලා අහන්න එපා. මේ ගණන් හරියටම හරි කියා මම කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම විශාල මිනුම් වරදක් මේ ඇස්තමේන්තු වල තියෙනවා. මොකද පරාක්‍රමබාහු යුගයේ මේ සංඛ්‍යාලේඛණ තියෙන සෙල්ලිපි නැහැනේ. හැබැයි මේ සංඛ්‍යාලේඛණ සැලකිය යුතු ලෙස වෙනස් වුනත් මම මේ කියන කතාව වෙනස් වෙන්නේ නැහැ. අද වෙනකොට ලංකාව පැරකුම් යුගයේ ඉඳලා සෑහෙන්න ඉදිරියට ඇවිල්ලයි තියෙන්නේ.

අපේ ඉතිහාසය ගැන අපි දැන ගන්න ඕනෑ. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නත් අවශ්‍යයි. ඒ ගැන අභිමානයක් ඇති කරගන්න එකත් හොඳයි. හැබැයි එහෙම කියලා ආපහු හැරිලා අතීතයට යන්න අවශ්‍ය නැහැ. දැන් ඉන්න තැනින් ඉදිරියට යන්නනම් ඉන්න තැනට වඩා කාර්යක්ෂම තැනක් දිහා බලාගෙනයි ඉදිරියට යා යුත්තේ.

Wednesday, May 6, 2020

ධනවාදය අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකරයි!


වී ගොවිතැනින් අපි නැවතත් ධනවාදයට එමු. ඇමරිකාවේ කුඹුරු අක්කරයක් කරන්න ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකක් පමණ යනවා. ඉන්දියාවේ කුඹුරු අක්කරයක් කරන්න වියදම් වන මුදල එයින් 40%කට වඩා වැඩි නැහැ. ලංකාවේ කුඹුරු අක්කරයක් කරන්න වියදම් වන මුදල වුවත් ඇමරිකාවේ වියදමෙන් 60%කට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ, ලංකාවේ හෝ ඉන්දියාවේ වී ගොවියෙක්ට ඇමරිකාවේ වී ගොවියෙක්ට වඩා අඩු මිලකට වී සපයන්න පුළුවන්. එහෙම තියෙද්දී, ඇමරිකාවේ වී ගොවියා ඉන්දියාවේ වී එක්ක තරඟ කරන්නේ කොහොමද?

මේ ප්‍රශ්නයම ලංකාව හා ඉන්දියාව හා අදාළව ඇහුවොත් පිළිතුරු තරමක් පැහැදිලියි. ලංකාවේ සහල් හිඟයක් ඇති වුනු විටක හැර බොහෝ විට ආණ්ඩුව විසින් සහල් ආනයනය වළක්වනවා. ආනයනය කරන සහල් වලට බදු පනවනවා. පොහොර වලට සහනාධාර දෙනවා. වතුර නොමිලේ දෙනවා. රජය මැදිහත්ව සහතික මිලකට වී මිල දී ගන්නවා. ඔය වගේ ගොඩක් දේවල් කරනවනේ.

ඇමරිකාවේ ඔය දේවල් බොහොමයක්ම කෙරෙන්නේ නැහැ. ඇමරිකාවට සහල් ආනයනය කරන්න බාධාවක් නැහැ. ඉන්දියාව වගේ රට වලට GSP සහන පවා ලැබෙනවා. පොහොර සහනාධාර නැහැ. වතුර නොමිලේ ලැබෙන්නේ නැහැ. මිල පහත වැටීමෙන් සිදු විය හැකි අවදානම නැති කර ගන්න ගොවීන් විසින් රක්ෂණයක් ලබා ගත යුතුයි. එම රක්ෂණ වාරිකයේ වියදමෙන් කොටසක් පමණක් රජය විසින් සුබසාධනය කරනවා.

ඇමරිකාවේ ගොවිපොළක වැඩ කරන මධ්‍යස්ථ කම්කරුවෙකුගේ දෛනික වැටුප ඩොලර් 99.84ක් වෙනවා. ලංකාවේ වියලි කලාපයේ මේ ගණන රුපියල් 1,381ක්ද, තෙත් කලාපයේ 1,166ක්ද වෙනවා. ඒ කියන්නේ ඩොලර් 6-7ක් පමණ. ඉන්දියාවේනම් ප්‍රාන්තය හා ස්ත්‍රීපුරුෂ භාවය අනුව බොහෝ විට ඉන්දියානු රුපියල් 200-300 අතර. ඒ කියන්නේ ඩොලර් 3-4 පමණ. ඇමරිකාවේ නුපුහුණු ශ්‍රමය දළ වශයෙන් ඉන්දියාවේ මෙන් 30 ගුණයක් හා ලංකාවේ මෙන් 15 ගුණයක් පමණ මිල අධිකයි.

මේ අවාසිදායක තත්ත්වයන් සියල්ල හමුවේ ඇමරිකාවේ වී ගොවියා ලාබ ලබන්නේ වී ගොවිතැනේ කාර්යක්ෂමතාවය වැඩි නිසයි. ඉන්දියාවේ හෝ ලංකාවේ වී ගොවියෙකු අක්කරයකින් ලබා ගන්නා වී ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් පමණ ඇමරිකාවේ වී ගොවියෙකු ලබා ගන්නවා.

මේක මම මේ දැන් හොයා ගත් දෙයක් හෝ ගොඩක් අය නොදන්නා රහසක් නෙමෙයිනේ. පහළින් තියෙන්නේ කිහිප දෙනෙකු විසින් පසුගිය ලිපි වලට දැමූ ප්‍රතිචාර.

"නැගෙනහිර ආසියනු රටවල් අක්කරයකට ගන්න වි අස්වැන්නෙන් අපි ගන්නේ හරියටම භාගයයි.ඒ කියන්නේ අපිට අවශ්‍ය වි නිපදවා ගැනිමට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක භූමි ප්‍රමාණයක් අපි භාවිතා කරනවා.මේ අස්වැන්න අඩුකම තමයි ගොවියා දුප්පත් විමට හේතුව."
- විපුල අබේසිංහ

"මට හිතෙන විදියට ලන්කාවෙ ගොවිතැන පාඩු ලබන්න අකාර්යක්ෂමතාවය ගොඩක් බලපානවා."
- Mahesh

"ලංකාවේ අස්වැන්න අඩු වෙන්න එක හේතුවක් වෙන්නේ වී ගොවිතැනට නොසුදුසු වැලි සහිත ඉඩම් වී වගාවට යොදා ගැනීම, ලැබෙන සහනාධාර සහ පහසුවෙන් වාරි ජල සම්පාදනය කළ හැකි තැන් වල පැවතීම නිසා ඒවා අතහැර දැමෙන්නෙත්  නෑ.නමුත් වාරිජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පලදායී නොවන අයුරින් අපතේ යන්නත්, ක්‍රිටිකල් අවධි වලදී ජල හිඟයක් ඇතිවෙන්නත් එය හේතු වෙනවා."
-ඇණයා Nut Man

"ජපානය වී අස්වැන්න ඉහල දැමීම සඳහා යාන්ත්‍රීකරණය කළ හැකි අයුරින් සියළු ගොවිබිම් නැවත සකස්කළ බව කියවා එහෙන් මෙහෙන් කියවා තියනවා, ඊට පෙර එහි පැවතියේ අපේ උඩරට වැනි කුඩා කුඹුරු කියායි හැඟුනේ. එහිදී ඉඩම් අයිතිය ප්‍රතිසංස්කරණය වුනාදැයි පැහැදිලි නොවූ නමුත් පසු කාලීනව ඉඩම්කට්ටි විශාල වී ඇති බව පෙනී යනවා, අපටත් ඒවැනි ප්‍රතිසංස්කරනයක් අවශ්‍යයි නේද?"
-ඇණයා Nut Man

ඉහත ප්‍රතිචාර වල වී ගොවිතැන හා අදාළ ගැටළු වගේම විසඳුම් යෝජනාද තිබෙනවා. ඇමරිකාව වගේ රටක මෙහි සඳහන් ඉඩම් කට්ටි විශාල වීම, යාන්ත්‍රීකරණය, වාරි ජල කළමනාකරණය, වී වගාව සඳහා සුදුසු ඉඩම් යොදා ගැනීම ආදිය හරහා කාර්යක්ෂමතාවය වැඩි වෙද්දී ලංකාවේ එහෙම වෙලා නැත්තේ ඇයි? ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර මේ දේවල් තේරෙන කිසිවෙකු නැති වෙන්න විදිහක් නැහැනේ.

ඇත්තටම ලංකාවේ එහෙම වෙලා නැත්තේ ඇයි කියා ඇහුවොත් එය අසාධාරණ ප්‍රශ්නයක්. පහුගිය කාලය පුරාවට ලංකාවේ වී වගාවේ කාර්යක්ෂමතාවය ටිකෙන් ටික ඉහළ ගිහින් තියෙනවා. ඒ සඳහා බොහෝ දෙනෙක් දායක වෙලත් තියෙනවා. නමුත්, අවසාන වශයෙන් ඇමරිකාවේ වී ගොවිතැන ලංකාවේ හා ඉන්දියාවේ වී ගොවිතැනට වඩා ගොඩක් කාර්යක්ෂමයි. එහෙම වුනේ කොහොමද?

මේ කතාවට ධනවාදය සම්බන්ධ වෙන්නේ මෙතැනදී. ඇමරිකාවේ ආණ්ඩු වී ගොවීන්ගේ ප්‍රශ්න හඳුනා ගෙන ඒවාට විසඳුම් දීලා නැහැ. වී වගාව කාර්යක්ෂම කරලත් නැහැ. කුඩා ඉඩම් කට්ටි ලොකු කරලත් නැහැ. සහතික මිල රක්ෂණයේ වාරික මුදලින් කොටසක් හැර වෙනත් සුබසාධනය කිරීම් කරලත් නැහැ. වී වවන්න තැන් වෙන් කරලා දීලත් නැහැ. වී වවන ඉඩම් වෙනත් වැඩකට යොදා ගැනීම වලක්වලත් නැහැ. කෙටියෙන්ම කිවුවොත් ලංකාවේ හැටියට ආණ්ඩුව විසින් කිසිම දෙයක් කරල නැහැ.

ඇමරිකාවේ වී ගොවීන්ගේ ලාබ වල රහස ඔය විදිහට ආණ්ඩුව විසින් කිසිම දෙයක් නොකර වෙළඳපොළට ඉඩ දීමයි. එහි ප්‍රතිඵලයක් විදිහට ධනවාදය ක්‍රියාත්මක වී තිබෙනවා. කිසිකෙනෙක් ඇමරිකාවේ වී වගා කර්මාන්තය කාර්යක්ෂම කිරීමේ අරමුණ වෙනුවෙන් වැඩ කරලා නැහැ. කවුරුත් වැඩ කරලා තියෙන්නේ තම තමන්ගේ ලාබ වැඩි කර ගැනීමේ අරමුණෙන්. එහි අවසාන ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාවේ වී වගා කර්මාන්තය කාර්යක්ෂම වී තිබෙනවා.

අකාර්යක්ෂමතාවය හමුවේ ධනවාදය කුරිරුයි. සානුකම්පික නැහැ. ධනවාදයට අකාර්යක්ෂමතාවය හමු වූ විට හැකි ඉක්මණින් අකාර්යක්ෂමතාවය විනාශ කර දමනවා. ආයේ බල බලා ඉඳීමක් නැහැ. හැබැයි ධනවාදය ලාබ හොයන්නන්ට උදවු කරනවා. වෙනත් සමහර රටවල ආණ්ඩු හා දේශපාලන පක්ෂ සාමාජිකයින් වගේ ලාබ හොයන අයගේ පස්සේ පන්නමින් ඔවුන් සමාජ සතුරන් සේ සලකා විනාශ කර දමන්නේ නැහැ.

ලාබ හා කාර්යක්ෂමතාවය කියන්නේ එකම කාසියේ දෙපැත්තයි. ලාබ හෙවීමේ තරඟය තුළ අකාර්යක්ෂමතාවය ටිකෙන් ටික මිය යනවා. ලාබ ලැබීම පහත් කොට සලකන සමාජ වලදී කාර්යක්ෂමතාවය පෑල දොරෙන් පැන යනවා. ධනවාදය අකාර්යක්ෂමතාවයට මානුෂික ලෙස සලකන්නේ නැහැ.

ආර්ථික වාසි සොයා මිනිස්සු රටකින් රටකට සංක්‍රමණය වෙනවා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රන් ඉල්ලම් මතු වූ කාලයේ චීන ජාතිකයින් හතළිස් දහසක් පමණ ඉසුරු සොයා ඇමරිකාවට පැමිණ තිබෙනවා. මේ මිනිස්සු ඇමරිකාවට ආවේ පක්ෂ සාමාජිකයින් කැට හොල්ලා එකතු කරපු සල්ලි වලින් කම්කරු සම්මේලනයකට ගිහින් ආතල් එකක් ගන්න පක්ෂ නායකයෙක් වගේ ඇමරිකාවේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා යන්න නෙමෙයිනේ. ඒ නිසා, ඒ මිනිස්සුන්ට තමන් චීනයේදී ආහාරයට ගත් බත් ඇමරිකාවේදීත් ඕනෑ වුනා. ඒ එක්ක එක පාරටම ඇමරිකාවේ හාල් වලට සැලකිය යුතු ඉල්ලුමක් ඇති වුනා.

නොසන්සිඳුණු ඉල්ලුමක් කියා කියන්නේ ව්‍යවසායකයෙකුට ලාබ ලබන්න අවස්ථාවක්. ධනවාදය ලාබ හොයන ව්‍යවසායකයින්ට අකුල් හෙළන්නේ නැහැ. ඔය වගේ ඉල්ලුමක් සපුරන්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් චීනයෙන් හෝ වී වවන වෙනත් රටකින් සහල් ආනයනය කරන එක. දෙවන එක ඇමරිකාවේ වී වවන එක. දෙකෙන් වඩා කාර්යක්ෂම කොයි එකද කියන එක තීරණය වෙන්නේ ලැබෙන ලාබ මතයි. ඇමරිකාවේ වී වවන එක නරක විකල්පයක් නොවූ නිසා පසුගිය සියවසේ මුල හරියේදී ඒ වැඩේ පටන් ගත්තා. තවමත් තිබෙන කැලිෆෝනියාවේ සැක්රමෙන්ටෝ නිම්නය ආශ්‍රිත වී කලාපය එහි ප්‍රතිඵලයක්.

ඇමරිකාව වගේ ධනවාදී රටක වී වවන ගොවියෙකු මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙකක් තිබෙනවා. පළමු එක රට ඇතුළේ වෙළඳ තරඟයට මුහුණ දීම. දෙවැන්න ආනයනික සහල් සමඟ තරඟ කරන එක.

ලෝකයේ හාල් නිෂ්පාදනය බොහෝ දුරට සිදු වෙන්නේත්, වැඩිපුරම හාල් පරිභෝජනය කරන්නේත් ආසියා කලාපයේ. හාල් කර්මාන්තය හා අදාළව සැලකු විට චීනය, ඉන්දියාව, තායිලන්තය වැනි දැවැන්තයින් හමුවේ ඇමරිකාව හාල් කෑල්ලක්. හාල් කිලෝවක මිල තීරණය කරන්නේ ඒ දැවැන්තයින් විසිනුයි. ඇමරිකාවට මිලට බලපෑමක් කරන්න බැහැ.

වී ගොවිතැන ශ්‍රමමූලික කර්මාන්තයක්. ලංකාව ගත්තොත් වියලි කලාපයේ අක්කරයක වී වවන්න මිනිස් දින 17ක් අවශ්‍යයි. තෙත් කලාපයේ තවත් වැඩියි. ලංකාව, ඉන්දියාව වගේ රටවල මිනිස් ශ්‍රමය ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් ලාබ බව කලිනුත් කිවුවනේ. එහෙමනම් ඇමරිකාව තරඟයට මුහුණ දෙන්නේ කොහොමද?

එක විසඳුමක් වන්නේ ආරක්ෂණවාදය. සහල් ආනයනය තහනම් කළානම් ඇමරිකාවේ වී ගොවීන්ට ඇමරිකාව ඇතුළේ වැඩි මිලකට හාල් විකුණන්න පුළුවන්. හැබැයි ජීවිතේට ජාත්‍යන්තරේට යන්න බැහැ. ඒ වගේම, කොයි වෙලාවක හරි ආනයන තහනම ඉවත් කළ වහාම ඇමරිකාවේ දේශීය වී ගොවියා හාන්සි. හරියට ජේආර් රට විවෘත කරපු ගමන් සමගි පෙරමුණු නිෂ්පාදකයෝ වාෂ්ප වෙලා ගියා වගේ.

ඇමරිකාවේ ප්‍රතිපත්තිය සාමාන්‍යයෙන් මේ වගේ බියගුළු එකක් නෙමෙයි. කෝවිඩ් වලින් බේරෙන්න රට වහගෙන ඉන්න පුළුවන්. හැබැයි කොච්චර කල් කියලා ඔහොම ඉන්නද? කවදා හරි රට ඇරපු ගමන් බඩු. මැරෙන එකා මැරෙන්න ඇරලා කරන වැඩ ඒ විදිහටම කරගෙන ගියානම් දුර්වල අය මැරිල ගිහින් ඉතුරු වෙන්නේ වෛරස් එකකටවත් බය නැති මිනිස්සු.

වෛරස් සම්බන්ධව ඇමරිකාව ඒ වගේ ප්‍රතිපත්තියක නැහැ. නමුත්, වී ගොවීන් ඇතුළු නිෂ්පාදකයින් සම්බන්ධව ඇමරිකාවේ ප්‍රතිපත්තිය ඔය වගේ එකක්. පලයන් ගිහිං සටන් කරපන්. පුළුවන්නම් චීනයේ, ඉන්දියාවේ වී ගොවීන් එක්ක සටන් කරලා දිනපන්. බැරිනම් මැරියන්.

ඉතිං මොනවා කරන්නද? ඇමරිකාවේ වී ගොවියාට ලෝකයේ අනෙක් රටවල් එක්ක සටන් කරන්න වෙනවා. නමුත්, මෙය සාධාරණ තරඟයක් නෙමෙයි. ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 30 ගුණයක් වැඩියි. ඒ නිසා, ඇමරිකාවේ වී ගොවියෙක්ට ඉන්දියාවේ වී ගොවියන් 30 දෙනෙක් එක්කයි සටන් කරන්න වෙලා තියෙන්නේ. තනි ඇමරිකන් කාරයා ගිහින් තිහකට ගේම දීලා එන හොලිවුඩ් චිත්‍රපට වල වගේ.

ඔහොම තිහකට තනියම ගේම දීලා එන්න පුළුවන් ඇමරිකානුවෝ ඉන්නවා. හැබැයි ගොඩක් ඇමරිකානුවන්ට ඔය වගේ දෙයක් කරන්න බැහැ. ධනවාදය විසින් කරන්නේ එහෙම පුළුවන් කෙනාව හොයා ගෙන අවස්ථාව දෙන එකයි. මේ කටයුත්තේදී අතින් පයින් ගහගන්න යනවාට වඩා ආයුධයක් අරන් යාම කාර්යක්ෂමයි. ඒ කියන්නේ ඇමරිකාවේ වී ගොවියා විසින් කළ යුත්තේ මිනිස් ශ්‍රමය යොදා ගැනීම පුළුවන් තරම් අඩු කරලා වැඩි වැඩියෙන් යාන්ත්‍රික ශ්‍රමය යොදවන එකයි. තිහකට ගහන එකේ රහස තියෙන්නේ එතැනයි.

ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 15 ගුණයක් හා ලංකාවේ මෙන් 30 ගුණයක් මිල අධික බව මම කිවුවනේ. එසේ තියෙද්දීත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න යන ශ්‍රමයේ වියදම ලංකාවේ වියදමට වඩා අඩුයි. ලංකාවේ වී අක්කරයක් වවන්න මිනිස් දින 17ක් අවශ්‍ය වුවත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න උපයෝගී කර ගන්නේ මිනිස් පැය 4ක් පමණයි. ලංකාවේ වී ගොවියා දවස් 17ක් තිස්සේ කරන වැඩ ඇමරිකාවේ වී ගොවියා පැය 4කින් කරන්නේ යාන්ත්‍රික ශ්‍රමයේ උදවුවෙන්.

ඇමරිකාවේ යාන්ත්‍රික ශ්‍රමය ඇමරිකාවේ මිනිස් ශ්‍රමයට වඩා ලාබයි. ඒ නිසා, මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය යොදාගත් විට කාර්යක්ෂමතාවය ඉහළ යනවා. හැබැයි ඇමරිකාවේ යාන්ත්‍රික ශ්‍රමය වුවත් ලංකාවේ හෝ ඉන්දියාවේ මිනිස් ශ්‍රමය තරම් ලාබ නැහැ. ඒ නිසා, මේ වැඩේ කළා කියලත් ලංකාවේ හෝ ඉන්දියාවේ වී ගොවියෙක් එක්ක තරඟ කරන්න බැහැ. ඒ වැඩේට අස්වැන්න වැඩි කරගන්නම වෙනවා.

අස්වැන්න වැඩි කරගන්න පුළුවන් එක ක්‍රමයක් වන්නේ පොහොර හා රසායන වැඩියෙන් යොදන එකයි. ඇමරිකානු ගොවියා එය කරනවා. හැබැයි එයින් ආදායම වගේම වියදමත් ඉහළ යනවා.

ඇමරිකාවේ කෘෂිකර්මය හා අදාළ මූලික පර්යේෂණ බොහොමයක්ම කෙරෙන්නේ විශ්ව විද්‍යාල ආශ්‍රිතවයි. බොහෝ විට ගොවීන් විසින් මෙවැනි පර්යේෂණ සඳහා මුදල් ප්‍රදාන සිදු කරනවා. මිල ගෙවිය යුත්තේ වාසිය ලබන පුද්ගලයා කියන එක ඇමරිකානු ක්‍රමයයි.

අවසාන වශයෙන් ඇමරිකානු වී ගොවියා මුහුණ දෙන ධනවාදී තරඟය කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමේ තරඟයක්. වෙළඳපොළේ රැඳී ඉන්නනම් මොන විදිහකින් හෝ ආදායම් වැඩි කරගෙන වියදම් අඩු කරගත යුතුයි. නමුත්, සහල් මිලට බලපෑමක් කිරීමේ හැකියාවක් නැති නිසා ආදායම් වැඩි කර ගත හැක්කේ අස්වනු ඵලදායීතාව වැඩි කර ගැනීමෙන් පමණයි. අනෙක් අතට මිනිස් ශ්‍රමය, යාන්ත්‍රික ශ්‍රමය, ඉඩම් කුලිය, පොහොර, රසායන ආදියේ මිල තීරණය කෙරෙන්නේත් බාහිර සාධක නිසා ඇමරිකානු වී ගොවියාට වියදම් අඩු කර ගැනීම සඳහා මේ සියළු සාධක ප්‍රසස්ථ ලෙස කළමනාකරණය කරන්න වෙනවා.

ඔය බරපතල කටයුත්ත හැමෝටම කරන්න බැහැ. දැන වෙළඳාම් නොදැන ගොවිතැන් කියා කිවුවට ඒ පරණ කතා දැන් හරියන්නේ නැහැ. නොදැන ගොවිතැන් කරන ඇමරිකානු වී ගොවියා තරඟයෙන් පරදිනවා. ඇමරිකානු ධනවාදය අකාර්යක්ෂමතාවයට සානුකම්පික නැහැ. තරඟයෙන් පරදින ගොවියෙකුට කරන්න වෙන්නේ තමන්ගේ ඉඩම වඩා දක්ෂ පුද්ගලයෙකුට බදු දී පැත්තකට වෙන එකයි. නොදැන ගොවිතැන් කර පරදිනවාට වඩා ඒ වැඩේ ලාබයි.

වඩා දක්ෂ ලෙස වී ගොවිතැන් කළ හැකි මිනිස්සු ඇමරිකාවේ වගේම ලංකාවෙත් ඉන්නවා. පහළ කොපි කර තිබෙන ප්‍රතිචාරයේ කතා කරන්නේ ඒ වගේ මිනිස්සු ගැන.

"ලාබ පාඩු මන්දා මාසෙට ලස්සේ හමාරේ පඩි ගන්න අපේ සමහර ෆොර්මන් ල සුපවයිසර්ලා එහෙමත් සති දෙක තුන no pay දාල ගිහින් කුඹුරු වැඩ කරලා එනවා.. :))"
- කල්‍යාණ මිත්‍ර

මේ විදිහට ලංකාවේ කුඹුරක් බදු ගන්න කෙනෙක්ට අක්කරයකට (අතින්) යන වියදම කුඹුර අයිතිකාරයා කුඹුර කළානම් යන වියදම වගේ දෙතුන් ගුණයක්. ඒ වුනත්, ඒ මනුස්සයා ලාබ ගන්නවා. නමුත්, කුඹුර අයිතිකාරයාට ලාබ ගන්න බැහැ. හැම වැඩේම හැම කෙනාටම එක වගේ හොඳින් කරන්න බැහැ කියන එකට මේ උදාහරණයම ප්‍රමාණවත්. ධනවාදය විසින් කරන්නේ එහෙම වැඩක් කාර්යක්ෂමව කළ හැකි අයට ඒ වැඩේ කරන්න අවස්ථාව සලසන එකයි. ධනවාදය අමානුෂිකයි කියා කියන මිනිස්සු, දේශපාලන පක්ෂ හා ආණ්ඩු විසින් කරන්නේ අකාර්යක්ෂමතාවයට උල්පන්දම් දෙන එකයි.

ධනවාදය යටතේ අවසාන වශයෙන් ඉඩම් සුළු පිරිසක් අතේ එකතු වෙනවා. එය කාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතුවක්. පැරණි සෝවියට් දේශය වගේ සමාජවාදී රටවල් සමූහ ගොවිපොළවල් වගේ සංකල්ප හරහා ඔය වැඩේ වෙනත් ආකාරයකට කරන්න උත්සාහ කළා. ලංකාවේ ගම් වල තිබුණු පැරණි අත්තම් ක්‍රමය වුවත් කුඹුරු කට්ටි කුඩා වීමේ අවාසි අඩු කර ගැනෙන ක්‍රමයක්. එහෙත්, මේ වෙද්දී ලංකාවේ කුඹුරු ඉඩම් වලින් 44.6%ක්ම අක්කරයට අඩුයි. 70.9%ක්ම අක්කර දෙකට අඩුයි. 95.3%ක්ම අක්කර පහට අඩුයි.


ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ ඉඩම් හිමි වැවිලිකරුවෝ කියා පිරිසක් හිටියා. ඒ අය ඕපපාතිකව පහළ වුනු අය නෙමෙයි. ඉඩම් හිමි වැවිලිකරුවන් වුනේ ඒ වැඩේට දක්ෂතාවයක් තිබුණු අය. සමගි පෙරමුණු ආණ්ඩුවෙන් අක්කර පණහේ නීතිය දමලා කළේ අකාර්යක්ෂමතාවයට සානුකම්පික වීමයි. ලංකාවේ නිදහස් වෙළදපොළ බාධාවක් නැතුව ක්‍රියාත්මක වුවහොත් කාලයක් යද්දී ඔය කුඹුරු ඉඩම් බදු ගන්නා පිරිස් අතරින් කුඹුරු හිමි ධනපති පන්තියක් හැදෙයි.

ඇමරිකාවේ මේ වැඩේ දිගින් දිගටම සිදු වෙද්දී වී ගොවිතැන් කරන ඉඩම් ඒ වැඩේ වඩාත් කාර්යක්ෂමව කරන ටික දෙනෙක් අතට එකතු වී තිබෙනවා. මෙසේ වන විට වී ගොවිපොළක ප්‍රමාණය එන්න එන්නම විශාල වෙනවා. එයට සමාන්තරව යාන්ත්‍රික ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ යනවා. අවශ්‍ය වන මිනිස් ශ්‍රමය අඩු වෙනවා. ඒ වගේම අවශ්‍ය මිනිස් ශ්‍රමයේ ස්වභාවයත් වෙනස් වෙනවා. නුපුහුණු ශ්‍රමය තව දුරටත් වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ යන්ත්‍ර ක්‍රියා කරවිය හැකි පුහුණු ශ්‍රමයක්.

ඇමරිකාවේ බොහෝ ගොවීන්ට ගුවන් යානා තිබෙනවා. ලොකු ඒවා නෙමෙයි. ඇට ඉහින්න, වල්නාශක ආදිය ඉහින්න යොදාගන්නා කුඩා ගුවන් යානා. මේ ගුවන් යානා එළවන්න පුහුණුවක් අවශ්‍යයි. අනෙක් සංකීර්ණ උපකරණ ක්‍රියා කරවන්නත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ශ්‍රමය මූලික ශ්‍රමයට වඩා මිල අධිකයි. ලංකාවේ වී ගොවීන් ගුවන් යානා උපයෝගී කරගෙන ගොවිපොළේ වැඩ කරන්න තව කොයි තරම් කාලයක් යයිද? ගොවියන් වෙනුවෙන් පෙනී සිටින සමාජවාදීන් සිටින තුරු ඔය වැඩේ කවදාවත් වෙන එකක් නැහැ. ඒ අයට අවශ්‍ය අකාර්යක්ෂමතාවය දිරි ගන්වමින් ගොවියා හැමදාම වත්මන් ගොවියා ලෙසම සිටිනවා දකින්නයි.

ඇමරිකාවේ වී ගොවිපොළක සාමාන්‍ය ප්‍රමාණය අක්කර 500ක්. හැබැයි බොහෝ දුරට මේ අක්කර පන්සීයේම වැඩ ටික කර ගන්නේ ගොවි පවුලේම සාමාජිකයින් විසින්. කුලී ශ්‍රමය ඉතාම අඩුයි. අක්කරයකට අවශ්‍ය ශ්‍රමය පැය හතරක් නිසා එක් අයෙක් දවසකට පැය 8ක් හා සතියකට දවස් 5ක් බැගින් සති 50ක් වැඩ කරන ශ්‍රමය පමණයිනේ අවශ්‍ය වෙන්නේ. පවුලේ අයම එකතු වී වැඩ ටික තනියම කරගන්න නිසා මේ අය ගොවීන්ම තමයි. ආයේ වෙන කාගෙවත් "ශ්‍රමය සූරා කන" ස්වාමියෝ නෙමෙයි.

ඒ වගේම මේ අයගෙන් තුනෙන් එකක් පමණ උපාධිධාරීන්. මෙවැනි ගොවි පවුල් වල දරුවන් කෘෂි ආර්ථික විද්‍යාව ඉගෙනගන්න උනන්දු බව මම අත්දැකීමෙන්ම දන්නා දෙයක්. ඒ අය "කුඹුරෙන් පාඩුයි කියලා තේරෙන්න ගොවියා ආර්ථික විද්‍යා උපාධියක් අරං තියෙන්න ඕනි නෑ" කියා අධ්‍යාපනයේ වැදගත්කම අවතක්සේරු කරන පසුගාමී අය නෙමෙයි. ඇමරිකාවේ වී වගාවේ යෙදෙන ගොවි පවුලක සාමාන්‍ය මාසික ආදායම ඩොලර් 23,000ක් පමණ හෙවත් ලංකාවේ රුපියල් වලින් 437,000ක් 4,370,000ක් පමණ වෙනවා.

ඇමරිකාවේ ගොවීන්ගේ මේ සාර්ථකත්වයට හේතුව අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකිරීමයි. ශතවර්ෂ ගාණක පළපුරුද්ද, සම්ප්‍රදායික දැනුම, පැරණි රජවරු හදපු තවමත් ප්‍රයෝජනයට ගන්න වැව් අමුණු විශාල ප්‍රමාණයක්, කෘෂිකර්මය වෙනුවෙන් වෙන්වූ රජයේ ආයතන ගණනාවක්, ගොවියන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක්, පොහොර සහනාධාර, සහතික මිල, කුඹුරු ඉඩම් රැක ගැනීමේ හා අඳ ගොවියන් රැක ගැනීමේ නීති, පුරන් කුඹුරු අස්වද්දන හමුදා, නොමිලේ ලබා දෙන කෘෂිකර්ම උපාධි ආදී මෙකී නොකී හැම දෙයක්ම එක්ක ලංකාවේ මුළු ජනගහණයෙන් අඩු වශයෙන් දහයෙන් එකක් පමණ දායක වී අවුරුද්දකට නිපදවන සහල් ප්‍රමාණය වගේ දෙගුණයකට වඩා හදන්නේ ඇමරිකාවේ පන්දහසක පමණ ගොවියන් පිරිසක් විසිනුයි. ගොවීන් පැත්තකින් තිබ්බත්, ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයින් ප්‍රමාණය පමණක් දසදහසකට වැඩියි.

ඇමරිකාවේ වෙන ඕනෑම ක්ෂේත්‍රයක් ගත්තත් ඔය වගේම කතාවක් තියෙනවා. අප ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ මේ දේවල් ඇස් දෙකට පේන්න තිබෙන නිසා මිසක් හිතළු මත පදනම් වූ මනෝ ලෝක වල සිට නෙමෙයි.

Tuesday, May 5, 2020

ඇමරිකා-වී, ඉන්දියා-වී හා ලංකා-වී

කලින් පෝස්ට් එකේ කළේ ඇමරිකාවේ හා ඉන්දියාවේ අක්කරයක වී වවන්න යන වියදම සැසඳීමක්. එහි මා ලංකාව ගැන කතා කළේ නැහැ. පෝස්ට් එකේ සංඛ්‍යාලේඛණ මම හදපුවා නෙමෙයි. මම කළේ ඉන්දියන් රුපියල් ගණන් හැටෙන් බෙදා ඩොලර් වලට හරවන එක පමණයි.

මේ සංඛ්‍යාලේඛණ ගොවීන්ට යන සැබෑ වියදම් එකතු කර හදපුවා. එහෙත්, වගුවේ  තියෙන්නේ සාමාන්‍ය අගයන්. තනි ගොවීන් ගත්තහම මීට වඩා අඩු වියදමකින් වී වවන අයත්, වැඩියෙන් වියදම් කරන අයත් ඉන්නවා. ඒ වගේම ඉන්දියාවේ සමීක්ෂණය බෙංගාලය ආශ්‍රිතව කරපු එකක් නිසා ඉන්දියාවේම වෙනත් පැති වල තත්ත්වයේ වෙනසක් තියෙන්න පුළුවන්.

කොහොම වුනත් මට පෙන්වා දෙන්න අවශ්‍ය වුනේ මේ දේවලුයි.
- ඇමරිකාවේ කුඹුරු අක්කරයක් වවන්න යන වියදම ඉන්දියාවට සාපේක්ෂව ගොඩක් වැඩියි.
- ඉන්දියාවේ (බෙංගාලයේ) කුඹුරු කෙරුවාවෙන් ලාබ ගන්න අක්කරයකින් වී කිලෝ ග්රෑම් 1,330ක අස්වැන්නක් ලබා ගැනීම ප්‍රමාණවත්.
-එහෙත්, ඇමරිකාවේ කුඹුරු කෙරුවාවෙන් ලාබ ගන්නනම් අක්කරයකින් වී කිලෝ ග්රෑම් 3,300ක් ලබා ගත යුතුයි. එය අමාරු ඉලක්කයක්.

එම ලිපියේ අවසානයේ මූලාශ්‍රය සදහන් කර තිබෙන පර්යේෂණ පත්‍රිකාව අනුව බෙංගාලයේ වී ගොවීන් ඇත්තටම ලාබ ලබන්නේ නැහැ. එහෙත්, ඉන්දියාවේ වී ගොවීන් විශාල ලාබයක් ලබන බව ගණන් හදා පෙන්වා ඇති තැන් කිහිපයක්ම අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. එම ගණන් බැලීම් හා පෙර කී පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තු ප්‍රධාන වශයෙන්ම වෙනස් වන්නේ එක් කරුණකින්. පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තුවට ඉඩමේ ආවස්ථික පිරිවැයද එකතු කර තිබෙනවා. මෙය සැලකිය යුතු මුදලක්. එය අත ඇරියොත් වියදම ගොඩක් අඩුයි.

දැන් අපි ලංකාවට එමු. ලංකාවේ වී අක්කරයක් වවන්න යන වියදම පිළිබඳවත් මෙවැනි ඇස්තමේන්තු තිබෙනවා. මම හදපුවා නෙමෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදපුවා. මේ ඇස්තමේන්තු වාරි ජල වී කර්මාන්තය හා වැසි ජල වී කර්මාන්තය සඳහා වෙන වෙනම පහත වගුවේ තිබෙනවා. සංසන්දනය කිරීම සඳහා ඇමරිකාවේ ගණන් 190 බැගිනුත් ඉන්දියාවේ ගණන් 2.50 බැගිනුත් රුපියල් වලට හරවා තිබෙනවා.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණන් අනුව වාරි ජල වී කර්මාන්තයේ වියදම් පියවගන්න අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 1,222ක් ලබා ගැනීම ප්‍රමාණවත්. වැසි ජල වී කර්මාන්තයෙන් ලාබ ගන්න අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 1,268ක් ලැබුනහම ඇති.  එහෙම බැලුවොත් ලංකාවේ වී ගොවියා ඉන්නේ ඉන්දියාවටත් වඩා වාසිදායක තැනක. මේ ඊයේ පෙරේදා ආණ්ඩුව වී වල සහතික මිල වැඩි කරන්න කලින් තත්ත්වය. දැන් විදිහටනම් මේ ගණන් තවත් අඩු වෙන්න ඕනෑ.

වාරි ජල වී කර්මාන්තයෙන් අක්කරයකට වී කිලෝ ග්‍රෑම් 2,130ක් ලබා ගන්න පුළුවන්. එහෙම බැලුවහම මාර ලාබයි. වැසි ජල වී කර්මාන්තයෙන් අක්කරයකට වී කිලෝ ග්‍රෑම් 1,486ක් ලබා ගත හැකියි. ඒ වැඩෙත් පාඩුවක් නැහැ. වැඩේ ඔය තරම්ම ලාබනම් ලංකාව ආනයනික සහල් වලට බය වෙන්නේ ඇයි? කිසි ප්‍රශ්නයක් නැතුව තරඟ කරන්න පුළුවන් වෙන්න ඕනැනේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු වල අඩුපාඩු කිහිපයක්ම තියෙනවා. වගුවේ ඇමරිකා, ඉන්දියා තීරු වල තිබෙන ලංකා තීරු වල නැති අයිතම දිහා බැලුවහම ඒ බව නොපෙනෙන්න හේතුවක් නැහැ.

වාරි ජල වී කර්මාන්තයේ වතුර වල වියදම දරන්නේ වී ගොවීන් විසින් නෙමෙයි. පොදුවේ රටේ හැමෝම. මහවැලිය හදන්න ගත්ත ණය සහ පොලිය තවම ගෙවනවා. මුල් ණය මුදල ලබා දුන් අයට දැන් මේ ණය ගෙවලා ඉවර ඇති. හැබැයි ඒ ගෙවලා තියෙන්නේ වතුර විකුණලා සල්ලි අරගෙන නෙමෙයි. අලුත් ණය අරගෙන. ඒ අලුත් ණයත් දැන් ගෙවලා ඇති. ඒ තවත් ණය අරගෙන. අන්තිමට මහවැලිය හදන්න ගත්ත සල්ලි වලට තවම පොලී ගෙවනවා. ගොවීන්ට වතුර නොමිලේ.

ඒ වගේම පෝර වියදමෙන් වැඩි කොටසක් දරන්නේත් පොදුවේ රටේ හැමෝම විසින්. ඒ ගණන් එකතු කලොත් මේ වියදම් ඇස්තමේන්තුව ඉහළ යනවා.

මේ සියල්ලටම වැඩිය ලොකුම අඩුපාඩුව කුඹුරු ඉඩම් වල බදු අගය මෙහි නැති වීමයි. ඇමරිකාවේ හා ඉන්දියාවේ ඇස්තමේන්තු වල ඒ ගණන් තියෙනවා. සාමාන්‍යයෙන් මේ මිල සැලකිය යුතු මිලක්. ගොවියෙක් වගා කරන්නේ තමන්ගේම ඉඩම වුවත්, ඉඩම බදු දී ලබා ගත හැකි ආදායම ආවස්ථික පිරිවැයක් විදිහට මේ ඇස්තමේන්තුවට එකතු විය යුතුයි. ඒ ගණන දැන ගන්න කුඹුරු බද්දට දෙන මිල ගණන් හොයා ගන්න වෙනවා. ලංකාවේ කුඹුරු කිරීමේ නියම වියදම දැන ගන්නනම් මේ අයිතමයන්ද එකතු විය යුතුයි.

මම හිතන්නේ ලංකාවේ කුඹුරු බද්දට දීම හා ගැනීම බොහෝ විට අත යටින් වෙන දෙයක්. අත යට වෙන දේවල් ගැන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට තොරතුරු හොයා ගන්න අමාරුයි. නිවැරදි ආකාරයකට සමීක්ෂණයක් නොකර මේ පිළිබඳ ඇස්තමේන්තු හදන්නත් අමාරුයි. මා පෞද්ගලිකව දන්නා තොරතුරු අනුව වියලි කලාපයේ කුඹුරු අක්කරයක කන්නයක බදු වටිනාකම අඩු වශයෙන් රුපියල් පනස් දාහක් පමණවත් වෙනවා. සමහර අය අස්වැන්නෙන් තුනෙන් එකටත් බදු දෙනවනේ. එහෙම බැලුවත් ඔය කිට්ටුව ගාණක්. අනික් අතට මේ කුඹුරු අක්කරයක මිල ලක්ෂ දහයක් පහළොවක් පමණ වන නිසාත් රටේ පොලී අනුපාතික 8-10%ක පමණ මට්ටමේ තිබෙන නිසාත් කන්නයක කාලයට පොලිය ඔය කිට්ටුවට එනවා.

කොහොම බැලුවත් ඉඩමේ බදු වටිනාකම එකතු කළාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව දෙගුණයක් පමණ වෙනවා. එතකොට වියලි කලාපයේ වුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වන ලාබය නැහැ. මේ කියන්නේ කිසිවෙකුට ලාබ නැහැ කියන එක නෙමෙයි. කුඹුරු බදු ගන්න අයට අනිවාර්යයෙන්ම ලාබ තියෙන්න ඕනෑ. නැත්නම් බදු ගන්න අමාරුවක් නැහැනේ. ඒ වගේම බදු දෙන අයගේ පැත්තෙන් බැලුවොත් ඒ අය කුඹුර බදු දෙන්නේ කුඹුර කරනවාට වැඩිය බදු දෙන එක ලාබ නිසයි. ඒ කියන්නේ ඒ අයම කුඹුර කළානම් ඉඩමේ බදු වටිනාකම අඩු කළාම අතින් පාඩුයි.

මේ කිවුවේ වියලි කලාපයේ ඉඩම් ගැන. තෙත් කලාපයේ කුඹුරු ඉඩම් බදු අරගෙන කුඹුරු වැඩ කරන අය ඉන්න බවක් මම දන්නේ නැහැ. බදු අරගෙන කුඹුරු කිරීම අනිවාර්යයයෙන්ම පාඩුයි. ඒ නිසා, ඒ ඉඩම් වල වටිනාකම මේ ක්‍රමයට තක්සේරු කරන්න බැහැ. හැබැයි මේ ඉඩම් වල විකුණුම් මිල වියලි කලාපයේ ඉඩම් වල මිලට වඩා වැඩියි. මේ ඉඩම් අක්කර ගානට යන්නේ නැහැ. බොහෝ විට විකිණෙන්නේ පර්චස් ගාණට. තෙත් කලාපයේ ඉඩම් වල වටිනාකමට හේතුව වී වගාවෙන් ලැබිය හැකි ආදායම නෙමෙයි. ඉඩම් වල වටිනාකම එකතු කළොත් වී වගා කරන එක අනිවාර්යයෙන්ම පාඩුයි.

මේ හැම දෙයක්ම ලිවීමෙන් මම පෙන්වා දෙන්න හදන්නේ ලංකාව කුඹුරු කරන එක අත ඇරිය යුතු බව නෙමෙයි. එහෙම හිතනවානම් එය වැරදි අදහසක්. කුඹුරු කිරීම පාඩු වෙන්නේ යන වියදම ලැබෙන ආදායමට වඩා අඩු නිසයි. වෙනත් විදිහකට කියනවානම් කාර්යක්ෂමතාවය අඩු නිසයි. නමුත්, ඇමරිකන් උදාහරණයෙන් පෙනෙන්නේ ලංකාවේ වී ගොවිතැනට වඩා කාර්යක්ෂම වෙන්න තව සෑහෙන අවකාශයක් තියෙනවා කියන එකයි. එහෙමනම්, එය නොවෙන්නේ ඇයි?

අත ඇරලා දමන්න ඕනෑ ලංකාවේ වී ගොවිතැන නෙමෙයි. ලංකාවේ වී ගොවිතැන වගේම තවත් බොහෝ දේවල් අකාර්යක්ෂම වෙන්න හේතු වී තිබෙන සාධකයි.

මෙහි ලියන දේවල් හැමවිටම සංවාදයට විවෘතයි. හැබැයි ලිපියේ ලියා නැති දේ හිතින් මවාගෙන විවේචනය කළාට අපට කරන්න දෙයක් නැහැ. ලිපියේ වැරැද්දක් තිබේනම් එය පැහැදිලිව පෙන්වන්න. මඩින් නෙමෙයි ගොඩින් එන්න!

Reference:
COST OF CULTIVATION OF AGRICULTURAL CROPS - 2018 YALA, Volume 75, SOCIO ECONOMICS AND PLANNING CENTRE, DEPARTMENT OF AGRICULTURE, July 2019.

ඇති සේ දකින නැති ලාබ

ලෝකයේ ලොකුම සහල් නිෂ්පාදකයා චීනය වුවත්, ලෝකයේ ලොකුම සහල් අපනයනකරු ඉන්දියාවයි. ඉන්දියාවේ නිපදවන සහල් සමඟ ලංකාවට මෙන්ම ඇමරිකාවටත් තරඟ කරන්න වෙනවා. ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් දෙදාහක් පමණයි. ලංකාවේ ඒක පුද්ගල ආදායම එමෙන් දෙගුණයක්. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ මෙන් තිස් ගුණයක්.

ඇමරිකාවට වගේම ලංකාවට සාපේක්ෂවත් ඉන්දියාවේ ශ්‍රමය ලාබයි. වී ගොවිතැන සඳහා අවශ්‍ය ශ්‍රමය වෙනුවෙන් ඉන්දියාවේදී ගෙවිය යුත්තේ ලංකාවේදී ගෙවන්නට අවශ්‍ය මිලට වඩා අඩු මිලක්. ඇමරිකාවේදීනම් මිනිස් ශ්‍රමය වෙනුවෙන් විශාල මිලක් ගෙවිය යුතුයි.

ශ්‍රමය වෙනුවෙන් ඉන්දියාව මෙන් දෙගුණයක මිලක් ගෙවන ලංකාවට ඉන්දියාවේ නිපදවන සහල් සමඟ තරඟ කරන්න බැරි වෙන්නත්, ඉන්දියාව මෙන් තිස් ගුණයක මිලක් ගෙවන ඇමරිකාවට ඉන්දියාවේ නිපදවන සහල් සමඟ තරඟ කරන්න පුළුවන් වෙන්නත් හේතුව කුමක්ද?

පහත වගුවේ තිබෙන්නේ ඉන්දියාවේ හා ඇමරිකාවේ අක්කරයක වී වවන්න යන වියදමයි. ඇමරිකාවට ඩොලර් දාහක් වියදම් වුනත්, ඉන්දියාවට වියදම් වෙන්නේ ඩොලර් හාර සීයක් පමණයි. ඉන්දියාවේ වී ගොවියෙක් මේ වියදම ආවරණය කර ගන්න අක්කරයකින් ලබා ගත යුත්තේ වී කිලෝ ග්‍රෑම් 1330ක් පමණයි. එතැනින් උඩ ලාභ. එහෙත්, ඇමරිකාවේ වී ගොවියෙක්ට ලාබ ලබන්න හැකි වෙන්නේ අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 3300කට වඩා වැඩියෙන් ලබා ගත්තොත් පමණයි.


ඇමරිකාවේ ගොවියෙක් අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 3400ක් පමණ ලබා ගන්නවා. ඒ නිසා, සුළු වුවත් ලාබයක් තිබෙනවා. ඉන්දියාවේ කුඹුරු ඉඩම් අක්කරයකින් ලැබෙන්නේ වී කිලෝ ග්‍රෑම් 1080ක පමණ ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ඉන්දියාවේ ගොවියෙකුට වී වගාවෙන් ඇත්තටම ලාබයක් නැහැ. එහෙමනම්, ඉන්දියාවේ ගොවීන් වී වගා කරන්නේ ඇයි?

ඉන්දියාවේ ගොවියෙකු අක්කරයක වී වවන්න යන වියදමෙන් අවම වශයෙන් 40%ක් මුදල් ලෙස වැය වන වියදම් නෙමෙයි. මේ ප්‍රමාණය 50% පමණ දක්වා කොටසක් වෙන්න පුළුවන්. ගොවි පවුලේ සාමාජිකයින් විසින් යොදවන ශ්‍රමය ඇත්තටම වියදමක් වුවත් ඒ වෙනුවෙන් පවුලේ අය වැටුප් ලබා ගන්නේ නැහැ. තමන්ට අයත් ඉඩම වී ගොවිතැන වෙනුවෙන් යොදා ගැනීමේ  ආවස්ථික පිරිවැයත් එවැනිම නොපෙනෙන වියදමක්. බොහෝ විට ගොවිතැන් වැඩ වලට යොදා ගන්න හරක් තමන්ගේම හරක්.

ඉන්දියාවේ බොහෝ ගොවීන්ට මෙන්ම ලංකාවේ බොහෝ ගොවීන්ටත් ඉහත කී වියදම් වියදම් සේ දැකිය හැකි අවබෝධයක් නැහැ. ඔවුන් වියදම් සේ දකින්නේ අතින් වියදම් වන මුදල් පමණයි. අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 900ක් ලැබෙන විට ඒ වියදම් ආවරණය වෙනවා. ගොඩක් ගොවීන් හිතන්නේ ඉතිරි මුදල ලාබයක් කියලයි. එහෙත්, නොපෙනෙන වියදම් සැලකූ විට ඒ ලාබය පාඩුවක් බවට පත් වෙනවා.

References

McBride, W. D. et al. (2018). US Rice Production in the New Millennium: Changes in Structure, Practices, and Costs. Economic Research Service, Economic Research Bulletin, (202).

Show, S. (2018). Cost of Cultivation and Profitability of Agriculture in West Bengal: A Study with Special Reference to Backward Region of West Bengal. Economic Affairs63(4), 1067-1075.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...