වෙබ් ලිපිනය:

Showing posts with label උද්ධමනය. Show all posts
Showing posts with label උද්ධමනය. Show all posts

Wednesday, July 7, 2021

ඇයි රත්තරං හැංගිලා?

 


ලංකානිවුස්වෙබ් වාර්තාවකට අනුව ලංකාව තුළ දැඩි රත්තරන් හිඟයක් ඇති වෙලා. මෙයට හේතුව "රන් ආභරණ නිෂ්පාදකයන් ඔවුන් සතු රත්රන් තොග සඟවා තබා ගනිමින් සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට නිදහස් කිරීම" බවත් "දේශීය වෙළඳපොල තුළ රන් පවුමක මිල රුපියල් 124,000 දක්වා ඉහළ ගොස් තිබෙන" බවත් එම වාර්තාවේම සඳහන්.

මේ බඩු හංගන කතාව කියන්නේ රත්තරන් හා අදාළව පමණක් නෙමෙයි. පෝර ගැනත් ඔය කතාවම කියනවා. කලකට පෙර හාල් ගැන කිව්වෙත් ඔය කතාවමයි. භාණ්ඩයකට පුද්ගලයෙකුට සාපේක්ෂ වටිනාකමක් මිසක් නිරපේක්ෂ වාස්තවික වටිනාකමක් නැති බව තේරුම් ගෙන ඉන්න අයටනම් මේ සිද්ද වෙන්නේ කුමක්ද කියා තේරුම් ගන්න අමාරු වෙන එකක් නැහැ. වටිනාකම ගැන ශ්‍රම න්‍යාය පමණක් දන්න අය කනිපින්දම් ගාන එක පුදුමයක් නෙමෙයි.

ලංකාවෙන් රත්තරන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ රත්තරන් සැපයුම තීරණය වෙන්නේ ආනයන මත. ආනයන සිදු නොවන තාක් රට ඇතුළේ රත්තරන් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් මේ දවස් වල රුපියලේ අගය කඩා වැටීමේ අවදානම ගැන ගොඩක් අය ඉන්නේ සැලකිල්ලෙන්. ඒ නිසා, තමන්ගේ රුපියල් ඩොලර්, රත්තරන් වගේ දේවල් වලට මාරු කරලා අගය ආරක්ෂා කර ගන්න උනන්දුවක් රටේ ඇති වී තිබෙනවා. ඒ නිසා, ඩොලර් ඉල්ලුම වගේම රත්තරන් ඉල්ලුමත් ඉහළ ගිහින්. සැපයුම එසේම තියෙද්දී ඉල්ලුම වැඩි වුනහම මිල ඉහළ යනවා.

මූලික ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වූ විට මිල යාන්ත්‍රනය ක්‍රියාත්මක වී එම පරතරය නැති කරනවා. මිල වැඩි වෙද්දී භාණ්ඩයක් සපයන්න නිෂ්පාදකයින්ට තිබෙන උනන්දුව වැඩි වෙලා ඉල්ලුම තරමටම සැපයුම වැඩි වීම හරහායි මේ පරතරය නැති වෙන්නේ. නමුත් රත්තරන් ලංකාවේ නිපදවන්න බැරි නිසා මිල කොයි තරම් ඉහළ ගියත් දේශීය සැපයුම වැඩි වෙන්නේ නැහැ. සැපයුම වැඩි වෙන්නේ රත්තරන් ආනයනය කළොත් පමණයි. එයට ඉඩ නොලැබෙන තුරු ඉල්ලුම හා සැපයුම පහසුවෙන් සමතුලිත වෙන්නේ නැහැ.

පෝර සම්බන්ධව තත්ත්වයත් මීටම සමානයි. පෝර ලංකාවේ නිපදවන්න බැරිකමක් නැතත් එය හදිස්සියෙන් කරන්න බැහැ. ඒ නිසා, හදිස්සියේම ආනයන තහනම් කළ විට ඉල්ලුම හා සැපයුම අතර, මිල යාන්ත්‍රනය තුලින් පහසුවෙන් නැති කළ නොහැකි, පරතරයක් ඇති වෙනවා. අඩු පරිමාණයකින් වුවත් හාල් සම්බන්ධව තත්ත්වයත් ඕකමයි. 

රටක ආර්ථික-දේශපාලන ක්‍රමය කොයි තරම් ධනවාදයෙන් ඈත්ව තිබුණත්, කොයි තරම් සමාජවාදයට බරව තිබුණත්, මූලික මිනිස් හැසිරීම් වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු බොහෝ දෙනෙක් හැකි හැම විටම ලාබ හොයනවා. යම් හෙයකින් රුපියලේ අගය විශාල ලෙස කඩා වැටුනොත් රුපියල් අතේ තියාගෙන ඉන්න අයට වෙන්නේ විශාල පාඩුවක්. දැනට වුනත් බැංකු පොලිය උද්ධමන අනුපාතිකයට වඩා අඩුයි. රුපියල් ඩොලර් වලට හරි රත්තරන් වලට හරි මාරු කිරීම මේ අවදානම අවම කර ගත හැකි ක්‍රමයක්. ධනවාදය ගැන හරි ආර්ථික විද්‍යාව ගැන හරි හාන්කවිසියක් නොදැන හිටියත් මිනිස්සුන්ට ඔය ටික තේරෙනවා. ඒ නිසා, රුපියල් වලට වගේම ඩොලර් වලටත් මේ වෙලාවේ විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවයි පෙනෙන්නේ.

ඉල්ලුම කොයි තරම් ඉහළ ගියත් ඩොලර් හෝ රත්තරන් හෝ සැපයුම ඉහළ යන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම නුදුරු දිනක සමතුලිත වන බවක් පෙනෙන්නත් නැහැ. ඒ කියන්නේ, රත්තරන් වල වගේම ඩොලර් එකේත් මිල ඉහළ යාමේ විභවයක් මිසක් පහළ යාමේ විභවයක් පෙනෙන්න නැහැ. 

ඔය වගේ වෙලාවක සිහියක් බුද්ධියක් තියෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් තමන් සතු ඩොලර් හෝ රත්තරන් හෝ විකුණන්නේ නැහැ. මොකද තමන්ට සාපේක්ෂව මේවායේ වටිනාකම වෙළඳපොළ වටිනාකමට වඩා වැඩියි. පෝර හෝ හාල් හා අදාළව වෙන්නෙත් ඕකමයි. රත්තරන් තොග තිබෙන අය මිල වැඩි වනු ඇතැයි අපේක්ෂාවෙන් තමන් සතු රත්තරන් නොවිකුණා සිටිද්දී රත්තරන් වලට ඉල්ලුම ඉහළ ගියාම මිල ඉහළ යන එක පුදුමයක් නෙමෙයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් දහසක රන් කාසියක් නිකුත් කරලා. මුහුණත වටිනාකම රුපියල් දහසක් වුනත් මේ රන් කාසිය රුපියල් දහසක් ගෙවා මහ බැංකුවෙන් මිල දී ගන්න බැහැ. මහ බැංකුව විසින් කාසියක් විකුණන්නේ රුපියල් 220,000ක මුදලකට.

ලංකාවට නිදහස ලැබෙන කොට ඇමරිකන් ඩොලරයක් රුපියල් 3.30ක් පමණයි. රන් අවුන්සයක නිල මිල ඇමරිකන් ඩොලර් 35යි. ඒ කියන්නේ රන් අවුන්සයක් රුපියල් 116කට අඩුයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ අඩ සියවස සැමරූ 1971 කාලය වෙද්දීත් ඩොලරයක් රුපියල් 5.95යි. රන් අවුන්සයක් රුපියල් 208ක් පමණ. නිදහසෙන් පසුව දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වී තිබුනත්, ඒ වෙද්දීත් නිල වටිනාකම අනුව රුපියල් දහසක් ගෙවා රන් අවුන්ස 4.8ක් මිල දී ගත හැකිව තිබුණා. රන් අවුන්ස 4.8ක රත්තරන් කියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් නිකුත් කළ රන් කාසියක තිබෙන රත්තරන් ප්‍රමාණය වගේ 13.57 ගුණයක්. ඒ කියන්නේ මේ කාසියේ තිබෙන රත්තරන් ප්‍රමාණයේ වටිනාකම ඒ වෙද්දී රුපියල් 73.68ක් පමණයි.

දැන් චීනය කොමියුනිස්ට් පක්ෂයේ සියවස සමරනවා. පහුගිය අවුරුදු පණහක මහ බැංකුවේ කෙරුවාව නිසා රුපියල කොයි තරම් බාල්දු වෙලාද කියනවානම් 1971දී රුපියල් 73.68ක වටිනාකමක් තිබුණු රත්තරන් ප්‍රමාණයක් දමලා හදපු රුපියල් දහසක කාසිය දැන් මහ බැංකුවට එහි මුහුණත වටිනාකමට විකුණන්න බැහැ. රුපියල් 1000 විකුණන්නේ රුපියල් 220,000කට.

අලුත් කාසියක කැරට් 22 රත්තරන් ග්‍රෑම් 12ක් තිබෙනවා. රන් පවුමක තිබෙන්නේ ග්‍රෑම් 7.98ක් පමණ. ඒ කියන්නේ මහ බැංකුව විසින් මේ කාසියේ මිල නියම කර තිබෙන පදනම අනුව බැලුවොත් මේ වෙද්දී රන් පවුමක වටිනාකම රුපියල් 146,300ක් විය යුතුයි. එහෙම තියෙද්දී වෙළඳපොළේ රන් පවුමක මිල රුපියල් 124,000ක් කියා කියන්නේ ගොඩක් අඩු මිලක්. මහ බැංකුව විසින්ම රන් පවුමක් රුපියල් 146,300කට මිල නියම කරද්දී රත්තරන් තොග අතේ තියෙන අය තමන්ගේ රත්තරන් රුපියල් 124,000 ගානේ නොවිකුණා මිල තවත් වැඩි වන තුරු බලා ඉන්න එක අහන්නත් දෙයක්ද?

Monday, April 19, 2021

බිට්කොයින් ගැන මහ බැංකුවෙන් අවවාදයක්!


අවුරුද්ද ඔන්න මෙන්න කියලා තියෙද්දී මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමේ අවදානම් පිළිබඳව මහජනයා දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. මහ බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කරනු මම දැක්කේ මුල් වරටයි. සමහර විට මේ එවැන්නක් කළ මුල් වතාව නොවෙන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මහ බැංකුවටත් හිසරදයක් වී තිබෙන බව පැහැදිලියි.

මීට ආසන්න කාලයේ අපේ ඇතැම් පාඨකයින් විසින්ද බිට්කොයින් ගැන ලියන මෙන් ඉල්ලා සිටියා. මේ ඉල්ලීම අලුත් ඉල්ලීමක්ම නෙමෙයි. පාඨකයින් විසින් කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්. 

බිට්කොයින් ගැන මම හොයන්න පටන් අරන් දැන් අවුරුදු දහයකටත් වඩා වැඩියි. ඒ වෙද්දී බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලර් සත ගණනක්. මුලින්ම බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලරය පහු කරද්දී මේ ගැන සැලකිය යුතු අවධානයක් යොමු වුනා. ඒ 2011 පමණ කාලයේදී. දැන් බිට්කොයින් එකක් ඩොලර් 55,000ක් පමණ වෙනවා. 

මේක ටිකක් තේරෙන විදිහකට පැහැදිලි කළොත්, අවුරුදු දහයකට කලින් කවුරු හරි රුපියල් සීයක් බිට්කොයින් වල ආයෝජනය කළානම් මේ වෙද්දී ඒ තැනැත්තා කෝටිපතියෙක්. මොකද පහුගිය අවුරුදු දහයක කාලය තුළ රුපියල් සීයේ බිට්කොයින් එකක් රුපියල් මිලියන දහයක් හෙවත් රුපියල් කෝටියක් වෙලා.

කොහොම වුනත් බිට්කොයින් සම්බන්ධව පෞද්ගලිකව මට තිබෙන්නේ මිශ්‍ර හැඟීමක්. මේ ගැන ලියන්න කියා ඉල්ලීම් බොහෝ වර ආවත් එසේ කරන්න උනන්දුවක් ඇති නොවුනේ මේ මිශ්‍ර හැඟීම නිසා. එක පැත්තකින් බිට්කොයින් වගේ අතථ්‍ය මුදල් නිසා ලෝකය පුරා මහ බැංකු විසින් කරන "කැත වැඩේ" කරන්න බැරි වෙනවා. අනෙක් පැත්තෙන් එය වෙන්නේ වෙනත් අය විසින්ද ඒ "කැත වැඩේම" කරන එක හරහා.

පෞද්ගලිකව මට මුදල් වලින් සතුටක් ලැබෙන්නේ ඒ මුදල් නිසාම නෙමෙයි. ලැබෙන මුදලක මම කරන මොකක් හෝ දෙයක වටිනාකම පිළිබිඹු වන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් ආතල් එක තියෙන්නේ සල්ලි හොයන්න ගහන ගේම් එක ඇතුළේ මිසක් සල්ලි වල නෙමෙයි. මේ හේතුව නිසා මම කුඩා කාලයේ ඉඳලම ලොතරැයි මිල දී ගන්නේ නැහැ. බිට්කොයින් වල ආයෝජනය කරලා සල්ලි හොයන්න පුළුවන් බව පැහැදිලි වුනත් මට ඒ වැඩේට හිත යන්නේම නැහැ. 

බිට්කොයින් ජනප්‍රිය වෙන්න හේතු දෙකක් තිබෙනවා. පළමුවැන්න එක විදිහක දේශපාලනික හේතුවක්. ලෝකයේ රටවල් වල ජාතික මුදල් ඒකක වල අගය පාලනය කරන රජයයන් හා මහ බැංකු විසින් ඉතා කැත සූරාකෑමක් කරනවා. එය කරන්නේ සල්ලි අච්චු ගැසීම හරහා. ලංකාවේ රුපියල්, ඇමරිකන් ඩොලර් ඇතුළු බොහෝ ව්‍යවහාර මුදල් ඒකක වලට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ. මේ මුදල් වලට අපි කියන්නේ ආඥාප්ති ව්‍යවහාර මුදල් එහෙමත් නැත්නම් ෆියට් මුදල් කියලා. මුදල් වල වටිනාකම තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත. මේ ඉල්ලුම යම් ආකාරයක කෘතීම ඉල්ලුමක්.

මහ බැංකුව කියන විදිහට බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීම අවදානම් වැඩක්. ඇත්ත. නමුත් ප්‍රශ්නය මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු ළඟ තබා ගැනීමේ අවදානමක් නැද්ද කියන එකයි. රුපියල් නෝට්ටු වලත් ඒ වගේම අවදානමක් තිබෙනවා. බිට්කොයින් ප්‍රවර්ධකයින්ගේ ප්‍රධානම තර්කයක් වන්නේ මහ බැංකු විසින් කරනවාක් මෙන් ඔවුන් විසින් සීමාවක් නැතුව බිට්කොයින් සැපයුම වැඩි කරන්නේ නැහැ කියන එකයි.

අලුතින් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එහෙම අඩු වෙලා ගිහින් 2040 පමණ වෙද්දී බිට්කොයින් "අච්චු ගැසීම" සම්පූර්ණයෙන්ම නවතිනවා. නමුත් වෙනත් ඕනෑම මුදල් ඒකකයක් අලුතෙන් අච්චු ගැසීම එන්න එන්නම වැඩි වෙනවා වගේම එහි කිසිම සීමාවක් නැහැ. ඒ නිසා වෙනත් මුදල් වලට සාපේක්ෂව බිට්කොයින් වලට උද්ධමනයෙන් ආරක්ෂාවක් තිබෙනවා. 

මේ වෙනස හැර බිට්කොයින් වල අනෙක් මුදල් වලට නැති විශේෂ වටිනාකමක් තියෙනවද? එවැන්නක් නැහැ. බිට්කොයින් කියන්නෙත් ෆියට් මුදල් වර්ගයක්. බිට්කොයින් වලත් කිසිම නෛසර්ගික වටිනාකමක් නැහැ. 

ලොව පුරා අරාජිකවාදීන් අතර බිට්කොයින් ජනප්‍රියයි. මම අරාජිකවාදියෙක් නෙමෙයි. ඉතා පැහැදිලිවම රජය කියන්නේ අකාර්යක්ෂම යාන්ත්‍රනයක්. එසේ වුවත් රජයකින් කළ හැකි යම් කාර්යභාරයක්ද තිබෙනවා කියා මම විශ්වාස කරනවා. පෞද්ගලික සමාගමක් කියා කියන්නේ මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා යාන්ත්‍රණයක්. එවැන්නක් පවතින එක හොඳනම් මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා තවත් යාන්ත්‍රණයක් වන රජය මුළුමනින්ම අහෝසි වී යා යුතුයි කියා හිතන්න ලොකු හේතුවක් නැහැ. රජය ප්‍රශ්නයක් වන්නේ රජය සතුව ඕනෑවට වඩා වැඩි අධිකාරී බලයක් ගොනු වී එය තවදුරටත් මිනිසුන්ගේ පොදු හා සාමූහික යාන්ත්‍රණයක් නොවූ විටයි.

මේ වගේම තර්කයක් බිට්කොයින් හා අදාළවත් ගේන්න පුළුවන්. මහ බැංකු සල්ලි අච්චු ගහලා මුදල් උපයනවා වගේම බිට්කොයින් නිකුත් කළ මූලික කණ්ඩායම පැත්තක ඉඳලා බිට්කොයින් වලිනුත් සල්ලි හොයනවා. රජයයන් හා මහ බැංකු විසින් සල්ලි අච්චු ගහලා එකතු කර ගන්නා ධනය යන්නේ යම් සීමිත පිරිසක් අතට වුවත් බිට්කොයින් වලින් පෝසත් වෙන්නේ ඊට වඩා ගොඩක් පොඩි, සමහර විට අතේ ඇඟිලි වලින් ගිනිය හැකි, පිරිසක්. 

බිට්කොයින් සැපයුම සීමිතයි කියන එක ආකර්ශනීය "සටන් පාඨයක්". එහෙත් බිට්කොයින් වැනි අතථ්‍ය මුදල් පොදුවේ සැලකුවොත් එවැනි සීමාවක් නැහැ. මේ වැඩේ ඕනෑවට වඩා ව්‍යාප්ත වුනොත් පොදුවේ අතථ්‍ය මුදල් තවත් පිරමිඩ් ක්‍රමයක් වගේ වෙනවා. අනෙක් පැත්තෙන් චීනය මුලිනුත්, ඇමරිකාව ඉන් පසුවත් මේ වැඩේට රජයයන් ලෙසම අත ගහන්න යාමත් එක්ක මේ සමීකරණය වෙනත් පැත්තකට හැරෙන්න පුළුවන්. 

ප්‍රාග්ධනය එක්ක බොහෝ විට බලයත් එකට යනවා. ඉතාම දුරස්ථ කාරණාවක් වුවත් යම් හෙයකින් බිට්කොයින් හෝ වෙනත් යම් නිශ්චිත අතථ්‍ය මුදල් ඒකකයක් ලෝක පරිමාණයෙන් ප්‍රධානම මුදල් ඒකකය බවට පත් වෙනවා කියා අපි හිතමු. සෛද්ධාන්තිකව බිට්කොයින් වලට එවැනි තැනකට එන්න බැරිකමක් නැහැ. එවැන්නක් වෙනවා කියා කියන්නේ බිට්කොයින් හඳුන්වා දුන් මූලික කණ්ඩායම අත ලෝකයේ දේශපාලන බලයද කේන්ද්‍රගත වෙනවා කියන එකයි. 

මතක තියා ගන්න බිට්කොයින් හඳුන්වා දුන්නේ කවුරුවත් නමක් ගමක් නොදන්නා ඇනෝ කෙනෙක්. මුලින්ම "කණිනු ලැබූ" බිට්කොයින් විශාල ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ ඔහු සතුවයි. අලුතෙන් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙද්දී බිට්කොයින් සැපයුම තීරණය කිරීමේ බලය මේ පුද්ගලයා අතේ කේන්ද්‍රගත වෙනවා. 

බිට්කොයින් හෝ වෙනත් අතථ්‍ය මුදල් වල ආයෝජනය කරන අති මහත් බහුතරය සමපේක්ෂකයින්. ඔවුන් එසේ කරන්නේ ඉක්මණින් පෝසත් වෙන්නයි. ඉතා ඉක්මණින් මේ සමපේක්ෂකයින්ගේ සිහින බිඳ වැටෙන එකක්නම් නැහැ. ලෝකය පුරා මහ බැංකු විසින් විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමට මිනිසුන් පොළඹවමින් සිටින අතර ඒ නිසාම තවත් කාලයක් යන තුරු මේ වෙළඳපොළ කඩා වැටෙන එකක් නැහැ.

පළමු වරට පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහ ලොවක මිනිසුන් විසින් හෙලිකොප්ටරයක් පියාසර කළ අද දින වන විට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයකින් වයස අවුරුදු 16 ඉක්මවූ අය‍ට කෝවිඩ් එන්නතක් ලබා ගත හැකියි. මේ වෙද්දී ඇමරිකාවේ ජන ජීවිතය වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ එක්කම අපටද කාලයක් පැත්තකට දමා සිටි බොහෝ දේවල් ගැන නැවත අවධානය යොමු කරන්න සිදු වෙනවා. බ්ලොග් එක වෙනුවෙන් වැය කළ හැකි කාලය අඩු වෙනවා.

Monday, April 12, 2021

වෙනිසියුලාවෙන් බොලිවාර් මිලියනයේ නෝට්ටුවක්!


වෙනිසියුලාවේ මහ බැංකුව විසින් බොලිවාර් ලක්ෂ දෙකේ, ලක්ෂ පහේ හා මිලියනයේ නෝට්ටු තුනක් අලුතෙන් නිකුත් කර තිබෙනවා. නිකොලොස් මදුරෝගේ එක්සත් සමාජවදී පක්ෂ පාලනය යටතේ වෙනිසියුලාවේ දුප්පත්ම වැසියන් පවා මිලියනපතියන් වී සිටීම එයට හේතුවයි.

ප්‍රධාන වශයෙන්ම තෙල් අපනයනය මත යැපෙන වෙනිසියුලාවට අනූව දශකය අවසානයේදී කාලයක් තිස්සේ එක දිගට ඉහළ ගිය ලෝක තෙල් මිල විශාල වාසියක් වුනා. එවකට වෙනිසියුලාවේ ජනාධිපති වූ හියුගෝ චාවේස් ඉහළ ගිය තෙල් මිලේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් රට තුළ විශාල සුබසාධන ආර්ථිකයක් ඇති කළා. එයින් ඔහුගේ ජනප්‍රියතාවයද විශාල ලෙස ඉහළ ගියා. 

තෙල් මිල පහළ වැටීමත් සමග චාවේස්ගේ සුබසාධන ආර්ථික ප්‍රතිපත්ති අතේ පත්තු වෙන්න පටන් ගත්තා. එහෙත් සුබසාධන වියදම් කපා හැරීමක් සිදු වුනේ නැහැ. සුබසාධක වියදම් ඉහළ යද්දී ලැබෙන ජනප්‍රියත්වය හා විශාල වන රාජ්‍ය යාන්ත්‍රණය තුළ වංචා හා දූෂණ දළු දමා පැල වීමත් සාමාන්‍ය දෙයක්. ඉහළ යන අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජය සතු තෙල් සමාගමෙන් මුදල් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තෙල් සමාගමේ ආයෝජන ඇන හිටීම නිසා වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී ආර්ථික අර්බුදය තවත් උග්‍ර වුනා.

චාවේස්ගේ මරණයෙන් පසුව මදුරෝ බලයට පත් වුනත් චාවේස්ගේ දේශපාලන ප්‍රතිපත්ති දිගටම ඉදිරියට ගියා. අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්ති හමුවේ රාජ්‍ය පාලකයන්ගේ අන්තිම තුරුම්පුව වන සල්ලි අච්චු ගැසීම කරා වෙනිසියුලාව යොමු වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය යක්ෂයෙකු සේ හිස ඔසොවද්දී මිල පාලනය ආදී සම්ප්‍රදායික සමාජවාදී උපක්‍රම වලින් තත්ත්වය තවත් දරුණු අතට හැරුණා.

පාන් රාත්තලක, සීනි කිලෝවක මිල බොලිවාර් ලක්ෂ ගණනක් දක්වා ඉහළ යද්දී මදුරෝ රජය ප්‍රශ්නයට සුහුරු දේශීය විසඳුමක් හොයා ගත්තා. ඒ සියලුම මිල ගණන් වලින් බින්දු පහක් කපා දැමීමයි. 2018 අගෝස්තු 20 දින සිට ක්‍රියාත්මක වූ මේ බින්දු කැපිල්ලෙන් පසු ඒ වන විට බොලිවාර් ලක්ෂ දහයකට අලෙවි වුනු පාරිභෝගික භාණ්ඩයක මිල බොලිවාර් දහය දක්වා අඩු වුනා. හැබැයි මේ සුහුරු විසඳුමෙන් පසුවත් වැඩිකලක් බඩුමිල පහළින් තියා ගන්න බැරි වුනා.




මේ වෙද්දී වෙනිසියුලාවේ හාල් කිලෝවක් බොලිවාර් මිලියන 2.5ක්ද, තක්කාලි කිලෝවක් බොලිවාර් මිලියන 5ක්ද, කුකුළෙක් බොලිවාර් මිලියන 14.6ක්ද වෙනවා. දවසකට වේලක් කන වෙනිසියුලානු වැසියෙක් ඇත්නම් ඔහු අනිවාර්යයෙන්ම මිලියනපතියෙක්. බොලීවියාවේ මහ බැංකුවේ දත්ත අනුව මේ වන විට (2021 අප්‍රේල් 13) ඇමරිකානු ඩොලරයක මිල බොලිවාර් 2,290,488.29ක්. 

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් කලකට පෙර ප්‍රකාශ කළේ ලංකාවද වෙනිසියුලාව ආදර්ශයට ගනිමින් ඔවුන් පසුපස පියවර තැබිය යුතු බවයි.

Monday, March 8, 2021

ලෝකය වටා දින හැත්තෑ දෙකකින්


නෙලී බ්ලයි යන අන්වර්ථ නාමයෙන් ලියූ එලිසබෙත් ජේන් කොක්‍රේන් නම් නිවු යෝර්ක් වර්ල්ඩ් පුවත්පතේ මාධ්‍යවේදිනිය 1889 නොවැම්බර් 14 වනදා තනිවම ලෝකය වටා චාරිකාවක් ආරම්භ කර දින 72කින් මේ චාරිකාව අවසන් කරනවා. එය එවකට ලෝක වාර්තාවක්. මෙම චාරිකා විස්තරය "ලෝකය වටා දින හැත්තෑ දෙකකින්" නමින් 1890 වසරේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

එලිසබෙත් ජේන් කොක්‍රේන් කියන්නේ මේ චාරිකාවට පෙර මානසික රෝගියෙකු ලෙස මානසික රෝගී නිවාසයකට ඇතුළු වී "පිස්සන් කොටුවක දින දහයක්" නමින් පොතක් ලියා නෙලී බ්ලයි නමින් ප්‍රසිද්ධ වී සිටි, පුරෝගාමී ගවේෂනාත්මක මාධ්‍යවේදිනියක් වගේම ස්ත්‍රීවාදිනියක්. ඒ දවස් වල මානසික රෝගී නිවාස වල මානසික රෝගීන්ට ප්‍රතිකාර දෙනවා වෙනුවට ඔවුන්ව සමාජයෙන් වෙන් කර කොටු කර තියන එකයි සිදු වුනේ. ඔවුන්ට ලැබුණේ ඉතාම නරක මට්ටමක සැලකිලි. මේවාට "මානසික රෝහල්" කියන වචනයට වැඩිය ගැලපුනේ "පිස්සන් කොටු" කියන වචනයයි. ගවේෂනාත්මක මාධ්‍යවේදිනියක ලෙස නෙලී බ්ලයි විසින් සිදු කළ පුරෝගාමී මෙහෙවර නිසා මේ පිස්සන් කොටු ඇතුළේ සිදුවන අමානුෂික දේවල් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනා.

අපේ කතානායිකාවගේ ගමනේ අරමුණ වුනේ 1872දී පළ වූ ජූර්ස් වර්න්ගේ "ලෝකය වටා දින අසූවකින්" ප්‍රබන්ධය සැබෑවක් කිරීමයි. සමහර ප්‍රබන්ධ වලින් ලෝකයට සැබෑ බලපෑමක් කළ හැකියි. ඔගස්ටා වික්ටෝරියා නෞකාවෙන් නිවු යෝර්ක් සිට ගමන් අරඹන අපේ කථා නායිකාව රටවල් ගණනාවක් පසු කර සැලසුම් කළ දිනට දින දෙකකට පෙර 1889 දෙසැම්බර් 8 වන දින උදේ නවය වෙද්දී කොළඹ වරායට සේන්දු වෙනවා. ඈ නවතින්නේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ. චීනය බලා පිටත් වෙන්න පෙර දින පහක් කොළඹ නැවතී සිටිනවා. මේ දවස් පහ තුළ ඈ බොහෝ දේ දැක බලාගෙන වාර්තා කර තිබෙනවා. ඒ ඓතිහාසික තොරතුරු අපි පැත්තකින් තියමු.

වැදගත්ම කරුණ වන්නේ ඇමරිකාවෙන් පිටත් වීමෙන් පසුව ඇයට පළමු වරට ඇමරිකන් මුදල් දකින්න ලැබෙන්නේ ලංකාවේදී වීමයි. ඒද ආභරණ ලෙස මිස මුදල් ලෙස නෙමෙයි. ඇමරිකන් මුදල් වලින් ඇයට ලංකාවේදී ගෙවීම් කළ හැකි වෙන්නේ 60%ක වට්ටමකටයි. එහෙත් ආභරණ ලෙස භාවිතා කළ රත්තරන් කාසි සම්බන්ධව එවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ඩොලර් විස්සක රත්තරන් කෑල්ලකට ලංකාවේදී හොඳ මිලක් ලැබෙනවා. ඒ රත්තරන් වලට නෛසර්ගික වටිනාකමක් තිබුණු නිසා.

"For the first time since leaving America I saw American money. It is very popular in Colombo and commands a high price–as jewelry! It goes for nothing as money. When I offered it in payment for my bills I was told it would be taken at sixty per cent discount. The Colombo diamond merchants are very glad to get American twenty dollar gold pieces and pay a high premium on them. The only use they make of the money is to put a ring through it and hang it on their watch chains for ornaments."

වසර 130කට පෙර ඇමරිකන් ඩොලරයට තිබුණු සැලකිල්ල ඔය වගේ එකක්. ඒ දවස් වල ලෝකයේ වැඩිම පිළිගැනීමක් තිබුණු මුදල් ඒකකය බ්‍රිතාන්‍ය පවුමයි. ඇමරිකන් ඩොලර් සුළු ප්‍රමාණයක් අරගෙන ගියත් එලිසබෙත් ජේන් කොක්‍රේන් ඉතිරි මුදල් අරගෙන යන්නේ බ්‍රිතාන්‍ය පවුම් හා රත්තරන් ලෙසයි. ඩොලරයට තැනක් නොතිබුනත්, ඒ කාලයේදී බ්‍රිතාන්‍ය පවුම් වලට ලෝකයේ හැම රටකම පිළිගැනීමක් තිබුණා.

ලංකාවේ ගොඩක් අයට රත්තරන් ප්‍රමාණයක් ගැන පැහැදිලි අදහසක් තියෙන්නේ පවුම් වලින් කියූ විටයි. රත්තරන් කාසි ආභරණ ලෙස පැළඳීම ලංකාවේ කාලයක සිට තිබී ඇති පුරුද්දක්. රත්තරන් පවුමක් කියා කියන්නේ බ්‍රිතාන්‍ය පවුමක කාසියක්. මේ පවුමේ කාසි 4.25ක ආසන්න ලෙස ට්‍රෝයි අවුන්සයක රත්තරන් තිබෙනවා. පවුම් බාගත් තියෙනවනේ. පවුම් බාගේ හෙවත් සිලිං දහයේ කාසි 8.5ක රත්තරන් ට්‍රෝයි අවුන්සයක් තියෙනවා.

ඔය කාලයේ රටවල් අතර විණිමය අනුපාතය තීරණය වුනේ මුදල් ඒකක වල රන් වටිනාකම මත. 1934 වන විටත් රන් අවුන්සයක් ඇමරිකන් ඩොලර් 20.67ක් වූ බව මම කිවුවනේ. එතකොට පවුමක රන් අවුන්ස 4.25යි.

රන් අවුන්ස 1 = ඇමරිකන් ඩොලර් 20.67 = ස්ටර්ලින් පවුම් 4.25

මේ අනුව, 

ස්ටර්ලින් පවුම් 1 = ඇමරිකන් ඩොලර් 20.67/4.25 = 4.86.

ඔය කාලයේ ලංකාවේ රුපියලක අගය තීරණය වුනේ ඉන්දියාවේ රුපියලක අගය මත. ඉන්දියාවේ රුපියලක අගය තීරණය වුනේ ස්ටර්ලින් පවුමකින් 1/10ක, එහෙමත් නැත්නම් සිලින් 2ක අගය මත. ඒ කියන්නේ රුපියල් පහකට පවුම් බාගයක් ගන්න පුළුවන්කම තිබුණා. රුපියල් දහයකට පවුමක් ගන්න පුළුවන් වුනා.

දැන් පවුමක් කීයද?

මේ අනුපාතය අනුව ඩොලරයක මිල රුපියල් 2.05ක් පමණ වෙනවා. අපේ කථානායිකාව ඩොලර් මාරු කරගෙන තියෙන්නේ 60%ක වට්ටමකට. ඒ කියන්නේ ඒ දවස් වල කොටුවේ ඩොලර් මාරු කරලා තියෙන්නේ සත 82ක් වගේ ගාණකට. 

ඩොලර් විස්සේ රත්තරන් කෑල්ලක් කියන්නේ රන් අවුන්සයක් විය යුතුයි. පවුම් 4.25ක්. මේකටනම් රුපියල් 45ක් විතරවත් ලැබෙන්න ඇති!

රත්තරන්, ඩොලර් එක්කම අද ජාත්‍යන්තර කාන්තා දිනයේදී එලිසබෙත් ජේන් කොක්‍රේන්ගේ පුරෝගාමී මෙහෙවරත් සිහිපත් කරමු. ඒ දවස් වල කාන්තාවක් සූට්කේස් එකක් අරගෙන තනිවම ලෝකය වටා යනවා කියන්නේ ඇත්තටම ලොකු වැඩක්.

Wednesday, March 3, 2021

රත්තරන් මංකොල්ලය


සල්ලි කියන්නේ මොනවාද? සත්තු සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. මිනිස් සතා පරිණාමය හරහා අනෙක් සතුන්ගෙන් වෙනස් සතෙක් විදිහට බිහි වෙද්දී සල්ලි කියා හැඳින්විය හැකි දෙයක් තිබුණේ නැහැ. එහෙත්, මිනිස් සමාජය පරිණාමය වෙද්දී සල්ලි කියන සංකල්පය හොයා ගත්තා. මිනිස්සු සල්ලි හොයා ගැනීම කියන එක මිනිස්සු ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීම කියන එකට සමාන්තරව තේරුම් ගන්න පුළුවන්.

මුල්ම කාලයේදී ප්‍රාග්ධනය කියා කියන්නේ මොන වගේ දෙයක්ද? සමහර විට මරා ගත්ත ලොකු සතෙක්. සමහර විට ආයුධයක් ලෙස යොදා ගත හැකි ගල් පතුරක්. ඔය මොකක් වුනත් ප්‍රාග්ධනය කියන්නේ ශ්‍රමය වැය කර ලබාගත යුතු දෙයක්. 

සල්ලි කියන්නේත් එවැනිම දෙයක්. ශ්‍රමය වැය කර හදා ගත් ගල් ආයුධයක් ශ්‍රමය වැය කර මරා ගත් සතෙක් එක්ක හුවමාරු කර ගනිද්දී සතා වගේම ගල් පතුරත් සල්ලි බවට පත් වෙනවා. මුල් කාලයේදී සල්ලි වුනේ ඔය වගේ වැඩක් තියෙන, පරිභෝජනය කළ හැකි භාණ්ඩ. සල්ලි කියා මම කිවුවත් මෙහිදී අදාළ භාණ්ඩයම හුවමාරු වෙනවා මිසක් සල්ලි කියා විශේෂ හෝ අමුතු දෙයක් නැහැ.

කාලයක් හද්දී මේ ක්‍රමය ටිකෙන් ටික වෙනස් වුනා. සමහර භාණ්ඩ ගනුදෙනු වලදී භාවිතා වුනේ ඒ වෙලාවේ පරිභෝජනය කරන්න අවශ්‍ය වූ නිසා නෙමෙයි. පසුව ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි වූ නිසා.

මහන්සියෙන් හදාගත් ගල් ආයුධ දීලා මරපු සත්තු ලබාගන්න පුළුවන් වුනත් ඒ  මරපු සත්තු කාලයක් තියා ගන්න බැහැ. ධාන්‍ය වගේ දෙයක් ලබා ගත්තොත් කාලයක් තියා ගන්න පුළුවන්. මරපු සතෙක් අවශ්‍යවූ වෙලාවට ධාන්‍ය සමඟ හුවමාරු කර ගන්නත් පුළුවන්. ඔය විදිහට මිනිසුන් අතර ගනුදෙනු වැඩි වීම, ප්‍රාග්ධනය රැස් වීම වගේම ගනුදෙනු හරහා මිනිසුන් අතර සාමූහිකත්වය වර්ධනය වීම කාලයක් තිස්සේම සිදු වුනු දෙයක්.

මුල් කාලයේදී මුදල් හැටියට භාවිතා වුනේ කාලයක් සුරක්ෂිතව තබා ගත හැකි අතරම යම් පරිභෝජන වටිනාකමක් තිබුණු දේවල්. කාලයත් සමඟ මේ වැඩේට යොදාගත් දේවල් අතරින් රත්තරන් මුල් තැනට පත් වුනා. 

රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුර

රත්තරන් වලින් ප්‍රයෝජනයට ගත හැකි විවිධ දේ හැදිය හැකියි. රත්තරන් මාල, මුදු, කරාබු, දේව රූප, ඔටුනු, රන් ත්‍රිශූල, රත්තරන් අස්සයෝ ඔය ඕනෑ දෙයක්. රත්තරන් සියවස් ගාණක් වුනත් තියා ගන්න පුළුවන්. නරක් වෙන්නේ නැහැ. ඒ නිසා, විවිධ විකල්ප අතරින් මුදල් විදිහට රත්තරන් උඩට ආපු එක පුදුමයක් නෙමෙයි. හැම රටකම රත්තරන් නිධි නොතිබීම මෙයට බාධාවක් වුනේ නැහැ. 

රත්තරන් නරක් නොවුනත් හොර හතුරන්ගෙන් පරිස්සම් කර ගෙන එහා මෙහා ගෙන යන එක ටිකක් අමාරු වැඩක්. කෝච්චියක යද්දී මාලේ කඩා ගන්න බැරි නැහැනේ. ලොකු රත්තරන් ප්‍රමාණයක් ෂොපින් බෑග් එකක දාගෙන බස් එකේ ගෙනිච්චොත් කොහොමද? 

ඔය වගේ ප්‍රශ්න නිසා ගනුදෙනු වලදී රත්තරන් භාවිතය වෙනුවට රන් සහතික භාවිතය ජනප්‍රිය වෙන්න ගත්තා. දැන් කවුරු හෝ වෙළෙන්දෙක් ධාන්‍ය මිල දී ගත්තහම රන් වලින් ගෙවන්නේ නැතිව, රන් වල අයිතිය සහතික කළ ලියවිල්ලක් දෙනවා. "මා සතුව ඔබේ රන් මෙපමණ තිබෙනවා" වගේ. වෙළෙන්දා විශ්වාසනම් ප්‍රශ්නයක් නැහැනේ. කැමති වෙලාවක ගිහින් තමන්ට ලැබිය යුතු රත්තරන් ටික ඉල්ල ගන්න පුළුවන්.

මේක හරියට ඉඩම් ඔප්පුවක් වගේ. ඉඩම් ඔප්පුවක් කියන්නේ කිසිම වටිනාකමක් නැති කඩදාසි ටිකක් විතරයිනේ. නමුත්, ඉඩමක ඇත්ත වටිනාකමක් තියෙනවා. ඒ ඇත්ත වටිනාකම ඔප්පු කිරීමට තිබෙන සාක්ෂිය තමයි ඉඩම් ඔප්පුව.

මුල් කාලයේ මුදල් නෝට්ටු කියා කියන්නෙත් ඔය ඉඩම් ඔප්පු වගේම දෙයක්. කාට හෝ කෙනෙක්ට බැංකුවක රත්තරන් තැන්පත් කරලා ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබා ගන්න පුළුවන්. මේ මුදල් නෝට්ටු නිකම්ම නිකම් කඩදාසි  පමණයි. නමුත්, බැංකුවේ තිබෙන රත්තරන් වල අයිතිය තහවුරු කරන්නේ ඔය නෝට්ටු. කැමති වෙලාවක බැංකුවට නෝට්ටු දීලා රත්තරන් ආපහු ගන්න පුළුවන්.

නෝට්ටු ලබා ගන්න බැංකුවට දෙන්න රත්තරන් හොයා ගන්නේ කොහොමද? එක්කෝ රත්තරන් හාරලා හොයා ගන්න ඕනෑ. එහෙම නැත්නම් හාරලා හොයා ගත්ත කෙනෙක්ට වෙන මොනවා හෝ ප්‍රයෝජනවත් දෙයක් දීලා ලබා ගන්න ඕනෑ. ඔය කොයි විදිහට ලබා ගත්තත් රත්තරන් කියා කියන්නේ ශ්‍රමය වැය කර අයිති කර ගත යුතු දෙයක්. ඒ කියන්නේ රත්තරන් හුවමාරුවට ලැබෙන නෝට්ටුත් ශ්‍රමය වැය කර අයිති කර ගත යුතු දෙයක්. සෘජුව නැතත් වක්‍ර ලෙස හෝ මේ කඩදාසි වල සැබෑ වටිනාකමක් තිබෙනවා. 

මේ වෙද්දී ලෝකයේ බොහෝ රටවල මුදල් නෝට්ටු නිකුත් කිරීමේ ඒකාධිකාරය තියෙන්නේ රටේ මහ බැංකුවට. සමහර විට රටවල් ගණනාවකට පොදු එක මහ බැංකුවකට. සමහර විට මුදල් අධිකාරියකට.

කාලයකට පෙර මහ බැංකු විසින් මුදල් නිකුත් කළේ තමන් සතු රන් සංචිත වල වටිනාකමට යම් ආකාරයකින් ගලපමින්. එක්කෝ එම මුළු වටිනාකමම හෝ එයින් යම් අවම ප්‍රතිශතයක් රන් වලින්ම තියා ගන්නවා. එහෙම නැත්නම් විදේශ මුදලකින් තියා ගන්නවා. විදේශ මුදල නිකුත් කළ මහ බැංකුවත් එහි වටිනාකමට රන් සංචිත ගැලපීමක් කර තිබෙන නිසා ඔය දෙකේ වෙනසක් නැහැ. සල්ලි නිකම්ම කඩදාසි වුනත් එහි සැබෑ වටිනාකමක් තිබෙනවා. 

ලංකාව පැත්තකින් තියලා ඇමරිකාව ගම්මුකෝ. 1933 වන තුරු ඇමරිකන් ඩොලරය හා රන් වටිනාකම අතර සෘජු සම්බන්ධයක් තිබුණා. ඇමරිකානුවන්ට කැමති පරිදි ඩොලර් හෝ රත්තරන් තියා ගැනීමේ නිදහස තිබුණා. ඒ නිසා කවුරු හෝ කෙනෙක් රත්තරන් ඩොලර් කළේ පැවති රන් මිල යටතේ ඩොලර් හා රත්තරන් වල වටිනාකම් සමාන සේ සැලකූ නිසයි. 

ඩොලර් ගන්න දිය යුතු රත්තරන් තරමට ඩොලර් වටින්නේ නැතැයි සිතූ කෙනෙක්ට තමන්ගේ වත්කම් ඩොලර් වලට මාරු නොකර රත්තරන් විදිහටම තියාගන්න පුළුවන්කම තිබුණා. නමුත්, යුද තත්ත්වයක් යටතේ ලැබුණු බලතල මත 1933 අප්‍රේල් 5 වනදා නිකුත් කළ ජනාධිපති රූස්වෙල්ට්ගේ විධායක නියෝගයක් මගින් සියලුම ඇමරිකානුවන්ට තමන් සතු වූ රත්තරන් 1933 මැයි 1 දිනට පෙර ඇමරිකාවේ මහ බැංකුව වූ ෆෙඩරල් සංචිත බැංකුවට ලබා දීමට නියෝග කෙරුණා.

රත්තරන් කිවුවහම රත්තරන් විතරක්ම නෙමෙයි. බැංකු වල තිබුණු රත්තරන් වල අයිතිය වෙනුවෙන් ලබා ගෙන තිබුණු රන් සහතිකපත්ද ෆෙඩරල් සංචිත බැංකුවට ලබා දිය යුතු වුනා. රන් ආභරණ ආදිය හැර විශාල ප්‍රමාණ වලින් රන් ළඟ තබා ගැනීම මේ නියෝගය අනුව දැඩි දඬුවම් ලැබිය හැකි, නීති විරෝධී කටයුත්තක් වුනා. 

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපනය කළේ 1913 අවුරුද්දේදී. මුල සිටම වුනත් ෆෙඩරල් සංචිත බැංකුව විසින් නිකුත් කළ ඩොලර් වල වටිනාකමටම රත්තරන් තියා ගන්න අවශ්‍ය වුනේ නැහැ. එහෙත්, අවම වශයෙන් නිකුත් කළ මුදල් වලින් 40%ක වටිනාකමට රත්තරන් සංචිත පවත්වා ගත යුතු වුනා. 1933 වන කොට ෆෙඩරල් සංචිත බැංකුව විසින් මේ පදනම මත නිකුත් කළ හැකි මුදල් ප්‍රමාණය මුළුමනින්ම වගේ නිකුත් කරලයි තිබුණේ. 

මහ බැංකුවේ තිබෙන රත්තරන් ප්‍රමාණයට සාපේක්ෂව සංසරණයට එකතු කරන ඩොලර් ප්‍රමාණය වැඩි වෙද්දී රත්තරන් වලට සාපේක්ෂව ඩොලර් එකක අගය පහළ බහිනවා. ඩොලර් නෝට්ටු වලට වඩා රත්තරන් වටින බව තේරිලා තිබුණු නිසා මිනිස්සු තමන්ගේ වත්කම් රත්තරන් වලින් තියා ගන්න පටන් ගත්තා. මිනිස්සුන්ගේ රත්තරන් මහ බැංකුවට ගන්න නියෝග කරන්න සිදු වුනේ ඒ නිසයි.

මහ බැංකුව විසින් පවරාගත් රත්තරන් වෙනුවෙන් අවුන්සයකට ඩොලර් 20.67 බැගින් ගෙවීමක් කළා. ඉන් පසුව එක් පුද්ගලයෙකුට ලඟ තබා ගත හැකි වූයේ ඩොලර් 100කට අඩු වටිනාකමක් තිබෙන රත්තරන් පමණයි. ඒ කියන්නේ අවුන්ස 5කට ටිකක් අඩු ප්‍රමාණයක්. ඉන් පසුව ඇමරිකානුවන්ට තමන්ගේ වත්කම් රත්තරන් වලින් තබා ගැනීම, රත්තරන් ගනුදෙනු සඳහා යොදා ගැනීම, රටින් පිට කිරීම ආදිය තහනම් වුනා. මේ තහනම් ටිකෙන් ටික ඉවත් වුනේ 1965 වසරේ සිටයි.

මුදල් විදිහට රත්තරන් භාවිතා කිරීමේ විකල්පය නැති වුනාට පස්සේ ඇමරිකානුවන්ට ගනුදෙනු කිරීම සඳහා තිබුණු එකම විකල්පය ඩොලරයයි. රාජ්‍ය බලහත්කාරය හරහා ඩොලරයට ඒකාධිකාරයක් හැදුනා. මේ ඒකාධිකාරය ඇමරිකානු රජය ශක්තිමත් කිරීමට වගේම ඇමරිකාවේ ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමටත් අද දක්වාම උපකාරී වෙනවා. 

මේ වෙද්දී රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1,800ක් පමණ වෙනවා. 1933දී ඇමරිකාවේ රජයේ නියෝගය අනුව තමන්ගේ රත්තරන් ෆෙඩරල් සංචිත බැංකුවට භාර දුන්න ඇමරිකානුවන්ට ලැබුනේ ඩොලර් 20කට පොඩ්ඩක් වැඩියෙන්. ඒ වෙලාවේ ලැබුණු ඩොලර් විස්සේ කොළයක් අද වෙනකම් තියා ගත්තානම් එහි වටිනාකම අදටත් ඩොලර් විස්සම තමයි. පරණ නෝට්ටු එකතු කරන කෙනෙක් සමහර විට කීයක් හරි වැඩියෙන් දෙයි. 

මේ ගණන් දෙක අතර වෙනස, ඒ කියන්නේ ඉතිරි ඩොලර් 1,780, ඇමරිකානු රජය හා මහ බැංකුව එකතු වී පහුගිය කාලය පුරා ඇමරිකානුවන්ට නොදැනී ඇමරිකානුවන්ගේ පොකට් ගහපු මුදලක්. ලෝකයේ අනෙක් රට වලත් ඔය වැඩේම වෙනවා. එය සිදු වෙන්නේ සල්ලි අච්චු ගැහීම හරහා. 

ඇමරිකානුවන් සතුව තිබුණු රත්තරන් ටික එකතු කර ගෙන අවුන්සයට ඩොලර් 20.67 බැගින් ඩොලර් නෝට්ටු දීලා අනෙක් අතට  ඇමරිකන් රජය ඩොලරයේ අගය අවප්‍රමාණය කළා. 1933 මැයි එක සිට සාමාන්‍ය පුද්ගලයින්ට රත්තරන් ළඟ තබා ගන්න බැරි වුනත් මොනවා හෝ වැඩකට රත්තරන් අවශ්‍ය වූ අයෙකුට අවශ්‍යතාවය පෙන්වා ඩොලර් 20.67 බැගින් ෆෙඩරල් සංචිත බැංකුවෙන් රත්තරන් මිල දී ගන්න පුළුවන්කම තිබුණා. ඒ දවස් වල මිනිස්සු රත්තරන් දත් දැම්මනේ. ලංකාවෙත් සමහර අය දැම්මේ. ඔය රත්තරන් දත් හදන්න වගේ වැඩකට දන්ත වෛද්‍ය වරයෙකුට අවශ්‍යනම් ෆෙඩරල් සංචිත බැංකුවෙන් ඉහත මිලට රත්තරන් මිල දී ගන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ ඩොලරයක වටිනාකම රත්තරන් අවුන්සයකින් 22.67න් පංගුවක් ලෙස තව දුරටත් පැවතුණා. හැබැයි බොහොම ටික කාලයයි.

1934 ජනවාරි 30 සිට බලාත්මක කෙරුණු නීතියකින් රත්තරන් අවුන්සයක මිල ඩොලර් 35කට සමාන කෙරුණා. ඒ එක්කම, එතෙක් පැවති ඩොලර් දීලා අවශ්‍යතාවයකට මහ බැංකුවකින් රත්තරන් මිල දී ගන්න තිබුණු හැකියාවත් ඇමරිකානුවන්ට නැති කරනු ලැබුවා. වෙනත් විදිහකට කිවුවොත් ඩොලර් 22.67 බැගින් රටේම තිබුණු රත්තරන් ටික බලහත්කාරයෙන් එකතු කර ගෙන ඒ වෙනුවට මිනිස්සුන්ට ඩොලර් නෝට්ටු දුන්නට පස්සේ ඇමරිකන් රජය ඒකපාර්ශ්විකව ඒ ඩොලර් එක බාල්දු කළා. 

අපි මෙහෙම කියමුකෝ. ඔය රත්තරන් එකතු කර ගැනිල්ල වෙද්දී කවුරු හෝ ඇමරිකානුවෙකුට රත්තරන් අවුන්සයක් දීලා බඩු මල්ලක් ගන්න පුළුවන්කම තිබුණානම් ඩොලර් 20.67ක් දීලත් ඒ බඩු මල්ලම ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඩොලර් එක බාල්දු කළාට පස්සේ දැන් මේ බඩු මල්ල ගන්න ඩොලර් 35ක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අතේ තිබුණු රත්තරන් අවුන්ස 1.69ක් වෙනුවෙන් ලැබුණු ඩොලර් ප්‍රමාණය. රත්තරන් අවුන්සයක් දීලා මිල දී ගත හැකිව තිබුණු බඩු ටික ගන්න දැන් රත්තරන් අවුන්ස 1.69කට සමාන ඩොලර් ඕනෑ. ඩොලර් වල වටිනාකම 41%කින් අඩු වෙලා.

මේක සමාන කරන්න පුළුවන් වෙන්නේ 41%ක බද්දක් අලුතින් අය කරන එකටයි. නමුත්, බදු විදිහට නැතිව සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ගේ පොකැට් එකට ගැහුවම ඕක මිනිස්සුන්ට එක පාරට තේරෙන්නේ නැහැ. උද්ධමනය කියන්නේ නිහඬ මාරයෙක්. බදු වගේ එක පාරට මරන්නේ නැහැ. ටික ටික මැරෙන්න අරින්නේ.

ඇමරිකානුවන් අතේ තිබුණු රත්තරන් ෆෙඩරල් සංචිත බැංකුවට ගන්න අවශ්‍ය වුනේ ඒ වෙද්දී තිබුණු නීතිය අනුව ඩොලර් එළියට දැමිය හැකි වුනේ ඩොලර් වල වටිනාකමෙන් 40%කට සමාන රත්තරන් බැංකුවේ සංචිත වල තියාගෙන පමණක් වූ නිසා. එතෙක් කල් ඩොලර් එළියට දමන්න පුළුවන් වුනේ කවුරු හරි තමන්ගේ කැමැත්තෙන්ම රත්තරන් ගෙනත් දීලා ඩොලර් ඉල්ලුවොත් පමණයි. 1933 නියෝගය අනුව බලහත්කාරයෙන් රත්තරන් ලබා ගෙන ඩොලර් එළියට දමන්න පුළුවන් වුනා. හැබැයි එහෙම කරලත් ඩොලර් එළියට දමන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඩොලර් එක බාල්දු කරපු ගමන්ම ෆෙඩරල් සංචිත බැංකුවට ඩොලර් ප්‍රමාණය 69%කින් වැඩි කරන්න පුළුවන් වුනා. 

ඔය වැඩේ ඔතැනින් නැවතුනේ නැහැ. ෆෙඩරල් සංචිත බැංකුව දිගින් දිගටම සල්ලි අච්චු ගහමින් ඩොලර් එක බාල්දු කළා. රත්තරන් අවුන්සයක මිල ඩොලර් 35 විදිහට නමට තිබුනත් ඒ මිලට ගන්න රත්තරන් කොහේවත් තිබුණේ නැහැ. ෆෙඩරල් සංචිත බැංකුව හෝ ෆෙඩරල් සංචිත බැංකුවේ රත්තරන් පසුව අයිති කරගත් ඇමරිකන් රජය ඇමරිකානුවන්ට මේ රත්තරන් කවදාවත් ආපසු දුන්නේ නැහැ. නමුත්, විදේශ රටවල් එක්ක මේ මිලට රත්තරන් හුවමාරු කර ගත්තා. ගොඩක් රටවල් ඇමරිකාවට රත්තරන් විකුණලා අවුන්සයට ඩොලර් 35 ගානේ ලබා ගත්තා. රත්තරන් අවශ්‍ය වෙලාවට ඩොලර් දීලා ආපහු රත්තරන් ගත්තා. 

කාලයක් මේ වැඩේ ඔය විදිහට ගියා. රට ඇතුළේ කොහොම වුනත් රටින් පිටට ඩොලර් 35ක රන් අවුන්සයකට වඩා වටිනාකමක් තිබුණු නිසා ඇමරිකාවේ රත්තරන් එකතු වෙලා ඩොලර් ඇමරිකාවෙන් පිටට ගියා. ලෝකය පුරාම ඇමරිකන් ඩොලරය ව්‍යාප්ත වුනා. එහෙත්, 1970 පමණ වෙද්දී ඩොලර් එකට තිබුණු ඉල්ලුම අඩු වුනා. අනෙක් රටවල් ඩොලර් දීලා රත්තරන් ආපහු ගන්න පටන් ගත්තා. ඇමරිකාවට ඩොලර් හා රත්තරන් එක්ක තිබුණු සම්බන්ධය කඩලා දමන්න වුනා. රත්තරන් මිල නිදහසේ තීරණය වෙන්න ගත්තා. වෙනත් විදිහකින් කිවුවොත් රත්තරන් වලට සාපේක්ෂව ඩොලර් එකේ මිල නිදහසේ තීරණය වෙන්න ගත්තා.

දැන් රත්තරන් අවුන්සයක් ඩොලර් 1,800ක්. 1933දී රජයට ගත්ත රත්තරන් අවුන්සයක් වෙනුවෙන් දුන්න කඩදාසි කොළේ වටිනාකම තවමත් ඩොලර් විස්සමයි. ඩොලර් වෙනුවට රත්තරන් අතේ තියා ගන්න පුළුවන් වුනානම් අද වෙද්දී ඩොලර් 1,800ක වටිනාකමක් තිබෙනවා. ඉතුරු ඩොලර් 1,780ම බදු නොකියා ගහපු බදු. ඔය වැඩේ තවමත් දිගින් දිගටම වෙනවා. ඇමරිකාවේ විතරක් නෙමෙයි. වෙන රටවලත්.

Friday, February 26, 2021

සල්ලි උඩ පීනා ගොඩයයිද ගිලී මැරෙයිද?


කිසියම් අයෙකු විසින් මෙහි අප ලිවිය යුතු දේවල් ගැන අපට උපදෙස් දෙමින්, එසේ නොකරන්නේනම් කළ හැකි දේ ගැන මෘදු තර්ජනයක්ද කර තිබෙනවා. ඔහු (හෝ ඇය) කියන විදිහට ඔහු අපේ ෆේස්බුක් පිටුව රිපෝර්ට් කර තිබෙන කණ්ඩායමේ කෙනෙක්. අපට දෙන උපදෙස හෝ තර්ජනය වන්නේ ලංකාව ගැන ලිවීමෙන් වැලකී සිටිය යුතු බවයි.

මේ වගේ තර්ජන වලින් පෙනෙන්නේ අප ලියන දේවල් වලින් සිදු වන පොඩි බලපෑම වුවත් මේ අයට දරා ගැනීමට අමාරු මට්ටමට පැමිණ ඇති බවයි. පෙර ලිපිය හා අදාලවනම් මුඛ්‍ය කාරණාව ලංකාව මේ දවස් වල කරන මහා පරිමාණ සල්ලි අච්චු ගැසීමයි. අප ලිවුවත්, නොලිවුවත් සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵල ඇස් පනාපිට පෙනෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. ලංකාවේ විදේශ ණය අර්බුදය අද තත්ත්වයට පත් වීමට නියමිත බව අප වසර පහකට වැඩි කාලයක සිට කියනවා. ඒ කියූ දේවල් මේ වෙද්දී සැබෑ වී තිබෙනවා. සල්ලි අච්චු ගැහීම ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.

අප පෞද්ගලිකව ලංකාව දෙස බලා සිටියත් නැතත් ලෝකය ලංකාව දෙස බලා සිටින එක වලක්වන්න අමාරුයි. කොරෝනා හැදී මිය යන අයගේ මළ සිරුරු වලින් වෛරසය පැතිරීමේ හැකියාව පිළිබඳ ලංකාවේ විද්‍යාත්මක මතය පවා තීරණය වෙන්නේ ලංකාව දෙස ලංකාවට පිටත සිට බලා සිටින අය මතයි. කාලයක් තිස්සේ ලංකාවේ පනවා තිබෙන වාහන ආනයන සීමා කිරීමත් ඒ විදිහටම දිගටම තියෙනවාද නැද්ද කියන එක තව ටික දවසකින් ලංකාවට වාහන එවන ලොකු අයියා තීරණය කරයි.

තොරතුරු හා අදහස් වාරණය කර වර්තමානය හා අතීතය යම් තරමකින් වෙනස් කළ හැකි වුවත් එසේ වෙනස් කළ හැක්කේ සීමිත අවකාශයක් ඇතුළේ පමණයි. ගෙදරට දාන චන්ඩිපාට් ගෙදරින් පිටට ඔට්ටු නැහැ. මාධ්‍ය ප්‍රචාරණ හා මාධ්‍ය වාරණ හරහා තොරතුරු හා අදහස් සැඟවීම හෝ වෙනස් කිරීම රබර් බෝලයක් යට ඔබාගෙන ඉන්නවා වගේ වැඩක්. රබර් බෝලය නොහිතන වෙලාවක නොහිතන තැනකින් උඩ එන්න පුළුවන්. 

අපේ ෆේස්බුක් පිටු අප පටන්ගත්තේ අපට අවශ්‍ය තැනට යාමට අවශ්‍ය පහුරක් ලෙස පමණයි. දැන් අපට මේ ෆේස්බුක් පිටු එතරම්ම වැදගත් නැහැ. අවශ්‍ය වුවහොත්, අවශ්‍ය අවස්ථාවක නැවත ෆේස්බුක් හරහා අපට අවශ්‍ය පිරිස වෙත ලඟා වෙන්න බැරිකමකුත් නැහැ.

මේ වියුණුව ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි. මේ වෙද්දී ඉකොනොමැට්ටා සන්නාමයක් වී අවසන්. වියුණුව දැන්ම අත හැර දමන්නට අපට අදහසක් නැතත්, කිසියම් ආකාරයකින් වියුණුව අහිමි වුවහොත් එය කිසිසේත්ම ලෝක විනාශය වෙන එකක් නැහැ. 

සමහර දේවල් තීරණය කරන්නේ ඇල්ගොරිදම් වලින් නිසා මේ ඇල්ගොරිදම් ගැන අවබෝධයක් තිබෙන කෙනෙකුට හෝ කණ්ඩායමකට ඒවා නොමඟ යවා අපේ වියුණුව වාරණයකට ලක් කිරීම කළ නොහැකි දෙයක් නෙමෙයි. ඒ වගේ තත්ත්වයක් ඇති වුවහොත් ඔබට www.economatta.com හරහා තවදුරටත් ඉකොනොමැට්ටා වියුණුව කියවීමේ අවස්ථාව ඉතිරි වෙයි. දැන් ඔබ මේ ලිපිනය භාවිතා කළ විට ඔබව http://economatta.blogspot.com/ වෙත යොමු කෙරෙන නමුත් බ්ලොගර් භාවිතා කිරීම ප්‍රශ්නයක් වූ අවස්ථාවක අපට ඔබව වෙනත් සත්කාරක පරිගණකයක් වෙත යොමු කරවිය හැකියි.

ලංකාව දිහාම බලා ගෙන ඉන්න, ඇමරිකාවේ කොන් වෙලා ඉන්න අපි වගේ අයට පේන විදිහට ලංකාවේ ණය අර්බුදය මේ මොහොත වෙද්දී ඉතාම උග්‍ර වී තිබෙන්නේ කෝවිඩ් නිසා නෙමෙයි. ආණ්ඩුව මාරු වූ වහාම සිදු කළ තේරුමක් නැති බදු කප්පාදුව අර්බුදයට එක් ප්‍රධාන හේතුවක්. පසුගිය වස‍රේ පළමු මාස 11 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,128.9ක් පමණයි. මෙය පෙර වසරට සාපේක්ෂව 30% ඉක්මවන අඩු වීමක්. බදු ආදායම රුපියල් බිලියන 484.10කින් පහළ යද්දී පුනරාවර්තන වියදම් රුපියල් 259.50කින් වැඩි වෙලා තිබෙනවා.

ආදායම් අඩු වී වියදම් වැඩි වෙද්දී පරතරය පියවාගන්න වෙන්නේ ණය වලින් කියන එක ඉතාම පැහැදිලියිනේ. මේ කියන්නේ පරණ ණය ගැන නෙමෙයි. පසුගිය වසරේ පළමු මාස එකොළහේ පමණක් ආදායම් වියදම් පරතරය පියවා ගැනීම සඳහා අලුතෙන්ම ගත යුතු වූ ණය ගැන. කාලයක සිටම ලංකාව පරණ ණය හා පොලී කොහොමටත් ගෙවන්නේ අලුත් ණය වලින්නේ. පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ සෑහෙන කාලයකට පසුව ප්‍රාථමික හිඟය ලෙස හඳුන්වන, පරණ ණය හැර අලුත් ආදායම් හා වියදම් අතර පරතරය අතිරික්තයක් වූ බවත් මතක් කළ යුතුයි.

ණය අවශ්‍යතාවය කොයි තරම් වැඩි වුවත් මේ වෙලාවේ විදේශ ණය ගැනීම ලංකාවට සිහිනයක්. ජනවාරි 18 කල් පිරෙන ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරය ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගන්නා අයෙක් මේ වෙද්දී එසේ කරන්නේ 44.24%ක පොලියක් (ඩොලර් වලින්) ලැබෙනවානම් පමණයි. මේ වෙලාවේ විදේශ ණය වාණිජ පදනමකින් ගන්නවානම් ගන්න වෙන්නේ ඔය වගේ පොලියකටයි. ඒ නිසා තිබෙන එකම විකල්පය දේශීය වෙළඳපොළෙන් ණය ගන්න එකයි.

දේශීය වෙළඳපොළේ විශාල මුදල් අතිරික්තයක් මේ වෙද්දී තිබුණත් ආණ්ඩුවට අවශ්‍ය තරම් අඩු පොලියකට ණය දෙන්න කවුරුවත් කැමති නැහැ. වාණිජ බැංකු විසින් වැඩිපුර සල්ලි රුපියල් බිලියන 170කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවට ණයට නොදී දවසේ පොලියට ආපහු මහ බැංකුවේම තැන්පත් කරනවා. මහ බැංකුව මේ සල්ලි වලට 4.5%ක පොලියක් ගෙවනවා. අවුරුද්දක ණයකට ආණ්ඩුව ගෙවන්න කැමති උපරිම පොලිය 5%ක් පමණ වුවත් ඒ පොලියට ආණ්ඩුවට දේශීය වෙළඳපොළෙන් ණය ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ දිගින් දිගටම සල්ලි අච්චු ගහන එකයි. 

නොවැම්බර් අවසානය වෙද්දී රජයේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,424.1ක්. 2019 අවසානයේදී සිට ගතවුණු මාස 11 තුළ 27%ක වැඩි වීමක්. මෙයින් සැලකිය යුතු කොටසක් පියවාගෙන තිබෙන්නේ සල්ලි අච්චු ගහලා. සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් කරන්නේ රජය විසින් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණා මුදල් ලබා ගැනීම. අවුරුද්දකට කලින්, 2020 පෙබරවාරි අවසානයේදී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 78ක් පමණයි. 2021 පෙබරවාරි අවසන් වෙද්දී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 810ක්. කොහොමද සල්ලි අච්චු ගැහිල්ල?

අර කතාවට කියන්නේ සල්ලි උඩ පීනනවා කියලා. අපි වගේ ඇමරිකාවේ ඉන්න කොන් වෙච්ච අයට ඔය වගේ සල්ලි උඩ පීනිල්ලක් බලා ගන්න ලේසියකට ඉඩක් නොලැබෙන නිසා මේ දවස්වල අපි ලංකාව දිහාම බලාගෙන ඉන්නවා. අපිට ලංකාව ගැන ලියන්න එපා කියන අයනම් සමහර විට සල්ලි එක්ක කොහේට හරි පීනයි. හැබැයි ලංකාවේ පහළ ස්ථර වල ගොඩක් මිනිස්සුන්ටනම් වෙන්නේ ඔය සල්ලි ගංවතුරේ ගිලිලා මැරෙන්නයි.

Thursday, February 25, 2021

විස්ස දී හිස් අතින්?


මට මතක ඇති කාලයේ සංසරණයේ තිබුණු ලොකුම වටිනාකමක් තිබුණු කාසිය රුපියලේ කාසියයි. ඉඳහිට රුපියලේ කොළයක් හමු වුනත්, ඒ වෙද්දී රුපියලේ කොළය සංසරණයෙන් ඉවත් වෙලා. රුපියලේ කාසියෙන් පහළට සත පණහ, සත විසිපහ, සත දහය, සත පහ, සත දෙක හා සතය භාවිතයේ තිබුණා. සතයකින් හෝ සත දෙකකින් මිල දී ගත හැකි දෙයක් නොතිබුනත් මොනවා හෝ දෙයක් මිල දී ගනිද්දී සතයක් අඩුනම් එය මිල දී ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඉතුරු දෙනකොටනම් සතය නොදී ඉන්න වෙලාවල් තිබුණා. 

රුපියලෙන් ඉහළට කාසි තිබුණේ නැහැ. රුපියල් දෙකේ කොළයෙන් පටන් ගත්තහම රුපියල් පහේ, දහයේ, පනහේ හා සීයේ කොළ තිබුණා. ලොකුම කොළේ රුපියල් සීය. විස්සේ කොළ තිබුණේ නැහැ. දැනුත් ඔය කතාවට කියනවනේ දෙකේ කොළේට වැටුනා කියලා. මම මුලදී හිතාගෙන හිටියේ ඔය කියන්නේ රුපියල් දෙකේ කොළේ ගැන කියලා. ඇයි ඒ දවස් වල තිබුණු වටිනාකමෙන් අඩුම කොළේ ඒකනේ. පස්සේ තමයි බූරු කුට්ටම ගැන දැන ගත්තේ. බූරු කුට්ටමේ වටිනාකම අඩුම කොළේ දෙකේ කොළේ කියා කිවුවත් දෙකේ කොළේ ගොඩක් සෙල්ලම් වලට ගන්නවා. එහෙමවත් ගන්නේ නැති කොළ දෙකකුත් තියෙනවා. 

කොහොම වුනත් දෙකේ කොළේට ඒ දවස් වල සැලකිය යුතු වටිනාකමක් තිබුණා. ගෙදරට ආපු කෙනෙක් දෙකේ කොළයක් මිට මෙලෙවුවානම් එය වටිනා මුදලක්. ඒ කාලයේ සත ගණන් වලට මුද්‍රිත පොත් මිල දී ගන්න පුළුවන්කම තිබුණා.

විස්සේ කොළයක් මුලින්ම ආවේ ජේආර් බලයට ඇවිත් සල්ලි අච්චු ගහන මැෂිම දවල් රෑ නැතුව වැඩ කරන්න ගත්තට පස්සේ. හරියටම කියනවනම් 1979 මාර්තු මාසේ.  මම හිතන්නේ ජේආර් අලුතෙන් හදපු සමාජවාදී ජනරජය මොන වගේ එකක්ද කියලා හරියටම තේරෙන්න පටන් ගත්තේ ඔය කාලයේදී. අළුතෙන් ජපන් වාහන, විශේෂයෙන්ම රීකන්ඩිෂන් මෝටර් සයිකල්, රට පුරා සුලභ වෙද්දී රෝහල් වල අලුතෙන් "හොන්ඩා වාට්ටු" හැදෙන්න පටන් ගත්තා. කාන්තාවෝ ඩුබායි යන්න පටන් ගත්තා. ෂොපින් බෑග් මුලින්ම දකින්න හම්බ වුනා. 

මුලින්ම මේ ෂොපින් බෑග් වලට කිවුවේ ඩුබායි බෑග් කියලා. රුපියල් පහ ගානේ මුලදී විකුණපු ඩුබායි බෑග් සතියක් දෙකක් යද්දී පහට තුන වුනා. සැපයුම්කරුවන් වැඩි වෙද්දී ඉල්ලුම සමානුපාතිකව වැඩි නොවුන නිසා ඉතාම කෙටි කාලයක් තුළ ඩුබායි බෑග් ෂොපින් බෑග් වෙලා සත විසිපහට හෝ සත දහයට බැස්සා. පස්සේ කඩදාසි ගොටු වෙනුවට ආදේශ වුනා. නිකම් දෙන ගානට වැටුනා. 

ඔය කාලයේ දවසක් මගේ පන්තියේ යාළුවෙක් ලස්සන දිලිසෙන සුදු සත පහක් පෙන්නුවා. ඒ දවස් වල තිබුණේ සත පහේ හා දහයේ තඹ කාසි. තඹ සත පහක් අරගෙන සුදු සත පහක් ගෙදරින් ගෙනත් දෙන්න මේ යාලුවා මට පොරොන්දු වුනා. පොරොන්දුව ඒ විදිහටම ඉටු වුනා. 

යාළුවාට බැගෑපත් වී තඹ සතයකට ඇලුමිනියම් සත පහක් මාරු කරගත්තත් අවුරුද්දක් පමණ යද්දී තඹ සත පහේ හා තඹ සත දහයේ කාසි අතුරුදහන් වී ඇලුමිනියම් සත පහේ හා සත දහයේ කාසි සුලභ වුනා. ගනුදෙනු වලදී සතයට හා සත දෙකට තිබුණු වැදගත්කම නැති වෙලා ගිහින් ෂොපින් බෑග් තත්ත්වයට පත් වුනා. අසූව දශකයේ මුල් කාලය වෙද්දී ප්‍රායෝගික තත්ත්වයන් යටතේ අඩුම වටිනාකමක් තිබෙන කාසිය සත පහ බවට පත් වුනා. සතයට රවුම් වී තිබුණු බොහෝ මිල ගණන් සත පහට රවුම් වුනා.

රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ණය ගන්නවාට අමතරව ජේආර්ගේ ආණ්ඩුව මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගැහුවා. රජයේ සේවකයින්ගේ වැටුප් එලෙසම තියෙද්දී බඩු මිල විශාල ලෙස ඉහළ ගියා. ඔය පසුබිමේ ජූලි වර්ජනය ආවා. වර්ජකයින්ව ගෙදර යවපු ජේආර් සල්ලි අච්චු ගහන මැෂිම අක්‍රිය කළේ නැහැ. අසූ එකේදී පන්සීයේ හා දාහේ කොළ ආවා. දෙසීයේ කොළ ආවේ ඊට පස්සේ. චන්ද්‍රිකාගේ කාලයේදී දෙදාහේ කොළ ආවා. ඊටත් පස්සේ මහින්ද රාජපක්ෂ හා කබ්රාල් අත්සන් කරලා පන්දාහේ කොළයක් එළියට දැම්මා. 

ලොකු කොළ සංසරණයට එකතු වෙද්දී පොඩි කොළ එකෙන් එක අතුරුදහන් වෙමින් කාසි ආදේශ වුනා. දෙකේ කාසි, පහේ කාසි වලින් දෙකේ කොළ, පහේ කොළ විස්ථාපනය වුනා. ඊට පස්සේ දහයේ කාසිය ආවා. සත වලට වටිනාකමක් නැතුව ගියා. මම හිතන්නේ රුපියලේ කාසියකට වුනත් දැන් ප්‍රායෝගිකව වටිනාකමක් නැති තරම්.

දැන් මහ බැංකුව සිය හැත්තෑ වන සංවත්සරය සමරන්න රුපියල් විස්සේ කාසියක් සංසරණයට එකතු කරනවා. වැඩි කල් නොයා රුපියල් විස්සේ කොළත් සංසරණයෙන් ඉවත් වෙලා යයි. මහ බැංකුවේ හැත්තෑ වසරක කාර්ය භාරය දෙකේ කොළේට දැමිය හැකි නොවූවත්, අවුරුදු හැත්තෑවක් තිස්සේ මහ බැංකුව විසින් කරලා තියෙන්නේ ලොකු කොළ එකින් එක දෙකේ කොළේට දැමීම කියන එකනම් නොකියාම බැහැ. 

විස්සයි විස්ස ඉවර වෙන්නේ විස්සත් ඉවර කරගෙනයි. වේගවත් ආර්ථික සංවර්ධනයක් කරා යාම සඳහා තුනෙන් දෙක මදි වී විස්ස හරහා උපරිම බලතල ලබාගත් ආණ්ඩුව දැන් විසි හතර පැයේම සල්ලි සල්ලි අච්චු ගහනවා. ඒ අච්චු ගහන්නේ ලොකු කොළ. විස්ස හොඳටම බාල වෙලා නිසා විස්ස අච්චු ගහලා එළියට දමන එක නවත්වලා. ඒ වෙනුවට විස්සේ කාසියක් එනවා. මේ දවස් වල සල්ලි අච්චු ගහන හැටියට විස්සේ කාසියකින් ගන්න පුළුවන් දෙයක් ඉතුරු වෙයිද? විස්ස දැනටමත් දෙකේ කොළේට වැටිලද? විස්ස දීලත් අන්තිමට ලැබෙන කිසිම දෙයක් නැති වෙද්දී ඇති වන අපේක්ෂා භංගත්වය මොන විදිහට පුපුරයිද? 

Wednesday, September 30, 2020

එලොව පොල් දැකල තියෙනවද?


"මොකද නිකම් එලොව පොල් පෙනිල වගේ?"

කවුරු හරි තේරුමක් නැතිව ඔහේ බලාගත්තු අතේ බලා ඉන්නකොට දකින අය ඔහොම අහනවා. ඔය ප්‍රශ්නය අහන සමහර අය පොඩි කාලේ එලොව පොල් දැකල ඇති. මමනම් දැකල තියෙනවා.

මම පොඩි කාලේ එලොව පොල් දැකල තියෙනවා වගේම වෙන අයට එලොව පොල් පෙන්නලත් තියෙනවා. ඕක අපි පොඩි කාලේ කරපු සෙල්ලමක්. සෙල්ලමක් කිවුවට සෙල්ලමක්මත් නෙමෙයි. ඕක ඇත්තටම බුලි කිරීමක්. 

සාමාන්‍යයෙන් එලොව පොල් පෙන්නන එක අවුරුදු නවයක දහයක වයසේ ළමයි තමන්ට වඩා අවුරුදු දෙක තුනක් බාල ළමයින්ට කරන දෙයක්. අයියා කෙනෙක් මල්ලි කෙනෙක්ට වගේ. 

ඕක පටන් ගන්නේ මෙහෙමයි.

"මල්ලි එලොව පොල් දැකල තියෙනවද?"

"නෑ"

"පෙන්නන්නද?"

"හා" 

"එහෙනම් එන්න"

දැන් මල්ලි ළඟට ආවහම අයියා කරන්නේ මල්ලිගේ පිටිපස්සෙන් ඇවිත් අත් දෙක හැඳි දෙකක් වගේ බොකුටු කරලා මල්ලිගේ කන් වැහෙන විදිහට දෙපැත්තෙන් තියලා තද කරලා මල්ලිව උස්සන එකයි. ඔය විදිහට ඉස්සුවහම මල්ලිට එලොව පොල් පේන්න පටන් ගන්නවා. ආයේ දෙවන පාරකට අයියා කෙනෙකුට ඒ මල්ලිට එලොව පොල් පෙන්නන්න ලැබෙන්නේ නැහැ.

"මල්ලි එලොව පොල් දැකල තියෙනවද?"

"ඔව්. දැකල තියෙනවා!"

කතාව එතැනින් ඉවරයි. අයියලා මල්ලිලාගේ ප්‍රශ්නයක්නේ. දුරදිග යන්නේ නැහැ. හැබැයි මල්ලි බලාගෙන ඉන්නේ අයියා වගේ ලොකු වෙලා එයාටත් එලොව පොල් පෙන්නන්න කවුරු හරි මල්ලි කෙනෙක් හම්බ වෙනකම්. 

එලොව පොල් මොන වගේද? එලොව පොල් වල වට ප්‍රමාණය අඟල් 12-13 අතරද? නැත්නම් අඩුද වැඩිද? එලොව පොල් වල වට මනින්නේ අඟල් වලින් නෙමෙයිද? සෙන්ටි මීටර් වලින්ද? එලොව පොල් ගෙඩියක මිල කියද? 

ඔය ප්‍රශ්න අහන්න වෙන්නේ එලොව පොල් දැකපු කෙනෙක්ගෙන්ම තමයි. 

පෙරේදා මූඩිස් සමාගම විසින් ලංකාවේ ආණ්ඩුවටත් එලොව පොල් පෙන්නලා. මුදල් අමාත්‍යංශයේ නිවේදනය දිහා බැලුවහම පෙනෙන්නේ එම සමාගම විසින් ආණ්ඩුවට ඉතා හොඳින් එලොව පොල් පෙන්වලා බවයි. 

ණය අවදානම් ශ්‍රේණිය C කාණ්ඩයට වැටෙනවා කියා කියන්නේ ඉතාම බරපතල තත්ත්වයක්. මෙතෙක් කල් ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම කරගෙන ආවේ අලුත් ණය ගනිමින් පරණ ණය පියවන එකයි. ඉදිරි කාලයේදී ඒ වැඩේ කලින් තරම් පහසුවෙන් කරන්න ලැබෙන එකක් නැහැ. තව දවස් හතරකින් කල් පිරෙන ඩොලර් බිලියනයක බැඳුම්කරය වෙනුවෙන් මුදල් ගෙවන්න සිදු වෙනු ඇත්තේ තිබෙන සීමිත සංචිත වලිනුයි. ප්‍රශ්නය බරපතල වෙන්න පටන් ගනු ඇත්තේ ඉන් පසුවයි.

ආණ්ඩුවට සල්ලි අච්චු ගහලා දේශීය ණය ගෙවන්න පුළුවන්. නමුත්, රුපියල් මිසක් ඩොලර් අච්චු ගහන්න බැහැ. ඒ වගේම රුපියල් අච්චු ගහන්න පුළුවන් වුනත්, එසේ කිරීමෙන් එහි ප්‍රතිවිපාක වලටත් මුහුණ දෙන්න වෙනවා.

මහින්ද රාජපක්ෂ මුලින්ම ජනාධිපති වීමෙන් පසුව 2004-2005 කාලයේදී ඔය සල්ලි අච්චු ගැහිල්ල ජයටම කළා. වැඩේ කෙළවර වුනේ රටේ උද්ධමනය 30% පන්නලා. සල්ලි අච්චු ගැහීම වෙනුවට විදේශ ණය ගැනීම විකල්පයක් හැටියට තෝරා ගත්තේ ඒ විදිහට වැඩේ පත්තු වුනාට පසුවයි. දැන් වෙලා තියෙන්නේ සල්ලි අච්චු ගැහීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැති වීමයි.

කෝවිඩ් පිටින් දාලා දැනටමත් මහ බැංකුව විශාල සල්ලි ප්‍රමාණයක් අච්චු ගහලයි තියෙන්නේ. මෙහි ප්‍රතිඵලයක් විදිහට රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යමින් තිබෙනවා. උද්ධමනය කියන්නේ එයටයි. පොල් මිල ඉහළ යාමත්, මුළුමනින්ම නොවුනත්, උද්ධමනයේ ප්‍රතිඵලයක්.

උද්ධමනය කියා කියන්නේ කිසියම් රටක භාණ්ඩ හා සේවා වල මිල සමස්තයක් ලෙස ඉහළ යන එකටයි. භාණ්ඩ වල මිල ගණන් ඉහළ යන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් රටක උද්ධමනය ගැන දැන ගන්න පුළුවන්. නමුත්, රටක විකිණෙන හැම භාණ්ඩයකම හා සේවාවකම මිල වෙනස් වල ආකාරය නිරීක්ෂණය කරන්න ප්‍රායෝගිකව අමාරු නිසා ඒ වෙනුවට කරන්නේ තෝරාගත් භාණ්ඩ හා සේවා සීමිත ප්‍රමාණයක මිල ගණන් අඛණ්ඩව නිරීක්ෂණය කරන එකයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය කියා කියන්නේ ඒ ආකාරයට උද්ධමනය මනින්න හදාගත් නිර්ණායක දෙකක්.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් කොළඹ වැසියෙකු සාමාන්‍යයෙන් මිල දී ගන්නා භාණ්ඩ හා සේවාවන් වල මිල නිරූපණය කෙරෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් මුළු රටේම තත්ත්වය පිළිබිඹු වෙනවා. උද්ධමනය හේතුවෙන් රටේ ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ යා හැකි වුවත්, උද්ධමනය මනින ආකාරය අනුව එය පාරිභෝගික මිල දර්ශකයකින් නිරූපණය වෙන්නේ අදාළ භාණ්ඩය එම පාරිභෝගික මිල දර්ශකය හැදීමට යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ කොටසක්නම් පමණයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසට අයිතම 246ක් ඇතුළත්. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි අයිතම 287ක් තිබෙනවා. ඒ නිසා මේ දර්ශක යොදාගෙන මනින උද්ධමනය වෙනස් වෙන්නේ ඔය අයිතමයන්ගෙන් එකක මිල වෙනස් වුනොත් පමණයි. ඒ අයිතම අතරිනුත් ඇතැම් අයිතම වලින් තිබෙන බලපෑම අනෙක් ඒවායේ බලපෑමට වඩා ගොඩක් වැඩියි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි වැඩිම බරක් තිබෙන අයිතමය ගෙවල් කුලී වියදමයි. එය 11.55%ක්. මේ අනුව, වසරක් තුළ ගෙවල් කුලී වියදම් 10%කින් වැඩි වුනොත්, ඒ හේතුව නිසා උද්ධමනය 1.16%කින් ඉහළ යනවා. ගෙවල් කුලී වියදම් වලින් පසුව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වැඩිම බරක් තිබෙන්නේ පොල් වලටයි. එය 3.21%ක්. වසරක් තුළ පොල් මිල 10%කින් ඉහළ ගියොත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුසාරයෙන් මනින උද්ධමනය 0.32%කින් ඉහළ යනවා. වසරක් තුළ පොල් මිල 30%කින් ඉහළ ගියොත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුසාරයෙන් මනින උද්ධමනය 1%කින් පමණ ඉහළ යනවා.  

මේ ආකාරයට පොල් වැනි දෙයක මිල අඛණ්ඩව නිරීක්ෂණය කිරීමේදී මතුවන ගැටළුවක් වන්නේ හැම පොල් ගෙඩියක්ම එක සමාන නොවීමයි. මේ මාසයේ ලොකු පොල් ගෙඩියක මිලත්, ඒ ළඟ මාසයේ පොඩි පොල් ගෙඩියක මිලත් යොදා ගත්තොත් මිල වෙනසින් නිරූපණය වෙන්නේ පොල් ගෙඩියේ ප්‍රමාණයේ වෙනස්වීම මිසක් මිල වෙනස් වීම නෙමෙයි. ඒ නිසා, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලොකු, මධ්‍යම හා කුඩා ලෙස පොල් වර්ග කර කාණ්ඩ තුනක් යටතේ මිල ගණන් එකතු කර ගෙන පසුව ඒ මිල ගණන් යොදා ගෙන පොල් ගෙඩියක සාමාන්‍ය මිල හදා ගන්නවා. මේ වැඩේ කරද්දී වැඩේ හරියට  කෙරෙන්න මිල ගණන් එකතු කරන නිලධාරීන්ට නිශ්චිත නිර්ණායක ලබා දිය යුතුයි. නැත්නම්, එක් එක් පුද්ගලයා තමන්ගේ කැමැත්ත පරිදි ලොකු, මධ්‍යම හා කුඩා ලෙස පොල් වර්ග කරන්න පුළුවන්. එහෙම කරලා හරියන්නේ නැහැනේ.

පහත තිබෙන්නේ පසුගිය අගෝස්තු මාසයේදී එසේ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගත් පොල් මිල ගණන්. 


ලොකු - රුපියල් 83.96

මධ්‍යම - රුපියල් 75.77

කුඩා - රුපියල් 64.20

සාමාන්‍ය අගය - රුපියල් 74.64


වසරකට පෙර 2019 අගෝස්තු මාසයේදී පොල් මිලගණන් මේ විදිහයි.


ලොකු - රුපියල් 54.24

මධ්‍යම - රුපියල් 47.49

කුඩා - රුපියල් 39.17

සාමාන්‍ය අගය - රුපියල් 46.07


මේ අනුව පෙනෙනවා 2019 අගෝස්තු සිට 2020 අගෝස්තු දක්වා වූ වසරක කාලය තුළ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 46.07 සිට රුපියල් 74.64 දක්වා 58.9%කින් ඉහළ ගොස් තිබෙන බව. සැප්තැම්බර් තුන් වන සතිය අවසන් වෙද්දී පොල් මිල ගණන් මෙහෙමයි.


ලොකු - රුපියල් 88.70

මධ්‍යම - රුපියල් 79.80

කුඩා - රුපියල් 70.23

සාමාන්‍ය අගය - රුපියල් 79.57


මෙය පෙර වසරට සාපේක්ෂව 64.0%ක වැඩිවීමක්. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි පොල් වලට 3.21%ක බරක් තිබෙන බව මම කලින් කිවුවනේ. ඒ කියන්නේ පොල් මිල 64.0%කින් වැඩි වුනහම උද්ධමනය 2.05%කින් ඉහළ යනවා. 

දැන් පොල් සඳහා උපරිම මිලක් නියම කළාම වෙන්නේ මොකක්ද?


ලොකු - රුපියල් 70

මධ්‍යම - රුපියල් 65

කුඩා - රුපියල් 60

සාමාන්‍ය අගය - රුපියල් 65


උද්ධමනය එක පාරටම පහළ යනවා වගේම එතැනින් එහාට වැඩි වෙන්නේත් නැහැ. හැබැයි මතක තියා ගන්න පොල් මිල කියන්නේ උද්ධමන දර්ශකය ඇතුළේ රටේ සමස්ත භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නියෝජනය කරන නියෝජිතයෙක් මිසක් උද්ධමනය නෙමෙයි. ඒ නිසා, මේ ආකාරයට උද්ධමන දර්ශකය ටින්කරින් කළා කියලා ඇත්තටම රටේ උද්ධමනය අඩු වෙන්නේ නැහැ. එය වැහෙනවා පමණයි. 

අර ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබිච්ච ආකාරය ගැන කතාවක් තියෙන්නේ. ඇත්තද බොරුද කියලනම් මම දන්නේ නැහැ. ඩොනමෝර් කොමිසම විසින් ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන එක සුදුසුද කියා තීරණය කරන්න කලින් රටේ ගොවියෝ, ධීවරයෝ ඇතුළු විවිධ කණ්ඩායම් හමුවෙන්න ගියා කියනවා. ඔහොම යනවා කිවුවට ලංකාවේ කවුරු හරි නායකයෙක්නේ එක්ක යන්නේ. කට්ටිය කාර් එකේ ගිහින් කුඹුරක් අයිනේ, වැල්ලක් ළඟ වගේ අහඹු තැනක වාහනය නවත්වනවා. ඉන් පසු කොමිසමේ සාමාජිකයෝ බැහැලා ගිහින් ගොවියන්, ධීවරයින් වගේ සාමාන්‍ය පුද්ගලයින්ගෙන් අදහස් විමසනවා.

ඔය විදිහට කොමිසමේ සාමාජිකයින් එක්ක කතා කරපු ලංකාවේ ගොවීන්ට, ධීවරයින්ට එහෙම ලංකාවේ වගේම ලෝකයේ සමාජ දේශපාලනික තත්ත්වයන් ගැන බොහොම හොඳ අවබෝධයක් තිබුණු බවත්, ආපු සුද්දන් එක්ක කිසිදු අපහසුවක් නැතිව හොඳ ඉංග්‍රීසියෙන් කතා කළා කියලත් කියනවා. කොමිසමේ සාමාජිකයෝ පිටත් වුනාට පස්සේ අර ගොවියෝ හා ධීවරයෝ අමුඩ ගලවලා ටයි කෝට් ඇඳගෙන ආපහු කොළඹ ආවලු.

ඔය කතාව බොරුවක් වෙන්න ඇති. හැබැයි ලංකාවේ එතෙක් මෙතෙක් වෙලා තියෙන දේවල් දිහා බැලුවහම කතාවේ ඇත්තක් තියෙන්නත් පුළුවන්. කුඹුරක් අයිනේ අහම්බෙන් හමුවෙන්න ගොවියෝ විදිහට අන්දලා සරසවි ශිෂ්‍යයෝ තිබ්බා කියලා රටේ සාමාන්‍ය ජනතාවගේ උගත්කම වැඩි වෙන්නේ නැතුවා වගේම පොල් මිල කෘතීම ලෙස සීමා කළා කියලා රටේ සැබෑ උද්ධමනය අඩු වෙන්නෙත් නැහැ. සැබෑ උද්ධමනය බලාගන්න තිබෙන අවස්ථාව නැති වෙන එක පමණයි වෙන්නේ.

පොල් මිල පාලනය කරන්න ගත්ත තීරණයෙන් පෙනෙන්නේ ආණ්ඩුව මූඩිස් ආයතනය විසින් පෙන්වන්න කලින්ම එලොව පොල් දැකලා බවයි. ෆේස්බුක් වාක්‍යයකින් ලිපිය අවසන් කරන්නම්.

යාලුවනේ, ඔයාලා එලොව පොල් දැකල තියෙනවද?

(දැකලා නැත්නම් බය වෙන්න එපා. හිච්චි කාලේ එලොව පොල් බලපු මල්ලිලා දැන් ලොකු වෙලා!)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...