වෙබ් ලිපිනය:

Sunday, August 14, 2022

එන ඩොලර් හා යන ඩොලර්

රුපියල් විකුණා ගැනීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියක විස්තර කළා. එහි විස්තර කළ පරිදි ලංකාව දැනට මුහුණ දෙන ඩොලර් හිඟය රුපියල් අතිරික්තයක් ලෙසද හැඳින්විය හැකියි. විකුණාගත නොහැකි අතිරික්තයක් ඇති විට එයට විසඳුම මිල අඩු කිරීම වුවත්, මේ වෙලාවේ එවැන්නක් කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳෙන්නේ ඇයි කියන එකත් මම පැහැදිලි කළා. කෙසේ වුවත්, වෙනත් කළ යුතු ඇතැම් දේ මුලින් කිරීමෙන් පසුව මේ ඩොලර් අතිරික්තයෙන් නිදහස් වීම පිණිස රුපියලේ මිල අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ දෙන්න වෙනවා.

වැටී සිටින වලෙන් ගොඩ යාමේ මාර්ගය තුළ කළ යුතු පළමු දෙය ණය ප්‍රතිව්‍යුහගත කර ණය හිමියන් විසින් වෙළඳපොළට රුපියල් සැපයීම තාවකාලිකව වැළැක්වීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් වනවා කියා කියන්නේ තමන්ට ලැබිය යුතු මුදල් අනාගතයේ දිනෙක ඩොලර් වලින් ලැබෙන බවට සහතිකයක් ණය හිමියන්ට ලැබෙනවා කියන එකයි. ඒ සහතිකය ලැබීමෙන් පසුව ඔවුන්ට වෙළඳපොළෙන් ඩොලර් එකතු කර ගැනීමට හදිස්සියක් නැතිව යනවා. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් කර ගැනීම වුවද දැඩි අභියෝගාත්මක කටයුත්තක් වුවත්, ඒ වැඩේ හොඳ විදිහට අවසන් වුනා කියා අපි හිතමු. මෙහිදී තමන්ගේ ණය හෝ ණයෙන් එකඟ වූ කොටසක් දැන්ම ආපසු නොගෙන යම් කාලයකට පසුව ආපසු ගැනීමට ඔවුන් එකඟ වෙනවා කියා හිතමු. ඉන් පසුව, විණිමය වෙළඳපොළේ රුපියල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයිද?

ණය ටික පැත්තකින් තිබ්බත් ලංකාව කාලයක් තිස්සේ නූපයූ ඩොලර් වියදම් කළ රටක්. ඒ වැඩේ තව දුරටත් කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ, ඩොලර් වියදම් ඩොලර් ආදායම් වල ප්‍රමාණයට සීමා කර ගන්න එක දිගටම කරන්න වෙනවා. 

ඒ මට්ටමට ඩොලර් වියදම් සීමා කර ගත්තා කියලත් ප්‍රශ්නය කෙළවර වෙන්නේ නැහැ. විදේශ ණය හා අදාළව තව දුරටත් ප්‍රශ්න දෙකක් ඉතිරි වෙනවා. පළමුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට යටත් නොවන දැනටත් දිගටම ගෙවාගෙන යන ණය ගෙවන්නත් උපයන ඩොලර් වලින් කොටසක් ඉතිරි කර ගන්න වෙනවා. මෙය කෙටිකාලීන ප්‍රශ්නයක්. ඊළඟට, පහු වෙලා හරි ඉතිරි ණය ටිකත් ගෙවන්න වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ එම ණය වලින් කොටසක් කපා හරින්න ණය හිමියන් කැමති වුනත්, ඉතිරි කොටස ගෙවන්න වෙනවා. එය දිගුකාලීන ප්‍රශ්නයක්.

මේ සමස්ත කතාව ඇතුළේ පැහැදිලිව කියවෙන දේ තමයි මෙතෙක් දිගින් දිගටම කරගෙන ආපු අලුත් ණය වලින් පරණ ණය ගෙවමින් පරිභෝජනය කළ සුන්දර අතීතයට නැවත යන්න බැහැ කියන එක. ඒ විතරක් නෙමෙයි. දැනට එකතු වී තිබෙන පරණ ණය ආපසු ගෙවීම සඳහාත් යම් තරමකින් පරිභෝජනය කැප කරන්න වෙනවා කියන එක.

විශාල කාලයකට පස්සේ පසුගිය ජූනි මාසයේදී ලංකාවේ වෙළඳ ශේෂය ධන පැත්තට ගිහින් තිබෙනවා. කියන විදිහට අන්තිමට වෙළඳ ශේෂය ධන පැත්තේ තිබිලා තියෙන්නේ 2002දී. මේ විදිහට වෙළඳ ශේෂය ධන පැත්තට යාම සාමාන්‍ය තත්ත්වයක් යටතේ සිදු වූ දෙයක් නොවන බව කාට වුනත් පැහැදිලියි. ආනයන පාලනයක් නොතිබුනානම් ඔය වැඩේ වෙන්නේ නැහැ. හැබැයි ආනයන පාලනය නිසා හෝ වැඩේ වෙලා තියෙනවා.

ජූනි මාසයේ වෙළඳ ශේෂය ධන පැත්තට යන්නේ එක පැත්තකින් ආනයන පාලනය හා ඩොලර් හිඟය හේතුවෙන් ආනයන වියදම විශාල ලෙස අඩු වෙද්දී අනෙක් පැත්තෙන් අපනයන ආදායමත් සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා. ඩොලර් මිලියන 21ක අතිරික්තය  විශාල මුදලක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ වගේ අතිරික්තයක් වාර්තා වෙන්නේ ඩොලර් මිලියන සිය ගණනක වෙළඳ හිඟයක් ආවරණය කර ගෙනයි. වෙළඳ හිඟය වැසී යනවා කියන්නේ සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ ටික අතිරික්තයක් විදිහට ඉතිරි වෙනවා කියන එකයි.

ඩොලර් හිඟයට පිළියමක් විදිහට ඩොලරයක මිල ඉහළ යන්න දීම විකල්පයක්නම් ඒ වැඩෙන් ඉලක්ක කෙරෙන්නේ අපනයන ආදායම් වැඩි කර ගැනීම හා ආනයන වියදම් අඩු කර ගැනීම. වෙන ක්‍රමයකට වුනත් දැන් ඔය දෙකම වෙලා. මම හිතන්නේ අපනයන ආදායම් වල වැඩි වීම තිරසාර එකක් කියලා. ආනයන වියදම් ගැනනම් ඒ කතාව කියන්න බැහැ. නිදහසේ ආනයන කරන්න ඉඩ ඇරියොත් ආනයන වියදම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. හැබැයි එහි යම් තිරසාර අඩු වීමක් තිබිය යුතුයි. ඒ කියන්නේ, වෙළඳ හිඟය පියැවී තියෙන්නේ ඩොලරයක මිල රුපියල් 360 දක්වා ඉහළ යාම නිසා නොවුනත්, ඒ හේතුව නිසා වෙළඳ හිඟයේ පැහැදිලි අඩු වීමක් සිදු වී තිබිය යුතුයි.

අපනයන වියදම් ඩොලර් මිලියන 1,200 මට්ටමට අඩු වීම මම පෞද්ගලිකව අපේක්ෂා නොකළ දෙයක්. මගේ අදහස වුනේ මේ වියදම ඩොලර් මිලියන 1,400 සීමාවෙන් පහළට ගන්න එක කළ නොහැකි තරම් අසීරු වැඩක් කියලයි. මේ අඩුවීම ජූනි මාසයේ ඇති වූ තාවකාලික තත්ත්වයක්ද කියලා බලාගන්න වෙන්නේ ජූලි මාසයේ දත්ත ලැබුණු පසුවයි. 

මොන විදිහකින් හරි ජූනි මාසයේ ඔය වැඩේ වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ආනයන සඳහා වැය වී තිබෙන්නේ අපනයන ආදායම් ටික පමණයි. ඒ අතර අනෙක් පැත්තනේ ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ලෙස ඩොලර් මිලියන 333කුත් ලැබී තිබෙනවා. ඒ කියන්නේ ආනයන වියදම් වලට වඩා වැඩියෙන් ඩොලර් මිලියන 350ක් පමණ රටට ලැබී තිබෙනවා. මේ ඩොලර් ප්‍රමාණය බොහෝ විට හදිසි ණය ගෙවීම සඳහා වැය වුනා වෙන්න පුළුවන්. 

ජූලි මාසයේ තත්ත්වයත් ජූනි මාසයේ වගේමද කියා මම හරියටම දන්නේ නැහැ. යම් විදිහකින් අමාරුවෙන් හෝ වෙළඳ ශේෂය සමතුලිතව පවත්වා ගෙන, ශ්‍රමික ප්‍රේෂණ ආදියෙන් ලැබෙන ඩොලර් ටිකෙන් ණය ගෙවාගෙන ගියොත් යම් කාලයක් යද්දී බැංකු පද්ධතියේ ණය වලින් සැලකිය යුතු කොටසක් අඩු කර ගන්න වුනත් පුළුවන්. සෘණ පැත්තේ තියෙන බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යන බව (සෘණ අගය අඩු වන බව) පැහැදිලිව පෙනෙන්න ගත්තොත් කෙටි කාලයක් තුළ ගොඩක් දේවල් වෙනස් වෙනවා. මේ වෙනස මාස තුන හතරකදී වුනත් වෙන්න පුළුවන්. 

මොන විදිහකින් හෝ මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතියේ විදේශ වත්කම් ධන පැත්තට ගියොත් එතැනින් එහාට රුපියලේ අගය ස්ථාවර කර ගන්න එක අමාරු දෙයක් නෙමෙයි. බැංකු පද්ධතියේ විදේශ වත්කම් ධන පැත්තට නොගියත් යමින් තිබෙන බව පැහැදිලිව පෙනුණු වහාම බැංකු පද්ධතිය හරහා නොඑන ශ්‍රමික ප්‍රේෂණ නැවත බැංකු පද්ධතිය හරහා එන්න පටන් ගන්නවා. ඊටත් වඩා වැදගත්ම දේ කෙටිකාලීන ආයෝජන එන්න පටන් ගන්න එකයි.

මේ වන විට රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික 28% පමණ මට්ටමක තියෙනවා. ඩොලරයක මිලත් ස්ථාවරව තිබෙනවා. ඒ කියන්නේ විදේශ ආයෝජකයෙකුට ඉතාම ආකර්ශනීය තත්ත්වයක්. එහෙම තියෙද්දිත් ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වලට විදේශිකයන්ගේ ඉල්ලුමක් පේන්න නැත්තේ රුපියල් කරන ඩොලර් නැවත ඩොලර් කර ගන්න පුළුවන් වීම ගැන සහතිකයක් නැති නිසා. ඒ වගේම, ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ දිගටම තියා ගත හැකි වෙයි කියන එක ගැන සහතිකයක් නැති නිසා. මොන විදිහකින් හෝ ඔය තත්ත්වය වෙනස් වුනොත් කෙටිකාලීන ආයෝජන විදිහට ඩොලර් ලංකාවට එන්න ගන්නවා. එහෙම එද්දී ඩොලරයක මිල කොහොමටත් ස්ථාවර වෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණොත් ඔය වැඩේ වෙනවා. එකවර ලැබෙන්නේ ඩොලර් බිලියනයක් වගේ ගාණක් පමණක් වුනත්, එයින් සැලකිය යුතු "මානසික" බලපෑමක් වීමෙන් කෙටිකාලීන ප්‍රාග්ධන ආයෝජන කරාමය ඇරෙන්න පුළුවන්. සංචාරක ඉපැයීම් විශාල ලෙස ඉහළ ගියොත් ඊට කලින්ම වුනත් ඔය කරාමය ඇරෙන්න පුළුවන්. ඔය දෙකෙන් එකක්වත් සිදු නොවුනොත් බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ දමා ගන්න එක ලේසි නැහැ. හැබැයි අඩු වශයෙන් තියෙන මට්ටමේ තියා ගන්න පුළුවන්. 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් සැලකිය යුතු ලෙස ඉහළ යන තුරු විණිමය අනුපාතය පා කරන්න අමාරුයි. ඒ කියන්නේ ආනයන සීමා ඉවත් කරන්නත් අමාරුයි. හැබැයි ආනයන සීමා දිගටම පවත්වා ගන්නත් බැහැ. එහෙම කරනවා කියන්නේ රටේ මූර්ත අංශය දවසෙන් දවස පස්සට යනවා කියන එකයි. හැකි මුල් අවස්ථාවේම විණිමය අනුපාතය පා කරන්න වෙනවා. ඒ වගේම, ඒ මොහොතේ සිට දිගුකාලීන විසඳුම් ගැන අවධානය යොමු කරන්න වෙනවා. 

විණිමය අනුපාතය ස්ථාවරව තියාගෙන පොලී අනුපාතික ඉහළින් තියා ගැනීම මගින් විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම හොඳ කෙටිකාලීන උපක්‍රමයක්. හැබැයි මේ උගුලේ හිර වුනෙත් ඔය වැඩෙන්ම තමයි. එහෙම කියලා දැන් මේ වැඩේ නොකර ඉන්න බැහැ. ලිං කටෙන්ම ගොඩ යාමේ උත්සාහයක් කියලා හිතලා අවබෝධයෙන් යුතුව වැඩේට අත ගහන්න ඕනෑ. 

ඒ එක්කම අමතක නොකළ යුතු දෙය ආනයන සීමා ඉවත් කරලා රුපියල නිදහස් කළ වහාම ඔය විදිහට එකතු වන කෙටිකාලීන ප්‍රාග්ධනය ආපහු යනවා කියන එක. ඒක මතක තියාගෙන රටට එන ඩොලර් ටික පරිස්සම් කර ගන්න වෙනවා. කලින් දිගින් දිගටම කරපු වැරැද්ද මේ විදිහට රටට එන කෙටිකාලීන ප්‍රාග්ධනය ආනයන වෙනුවෙන් වැය කර නාස්ති කරගත් එකයි. 

වෙනත් විදිහකින් කිවුවොත්, ඩොලරයක මිල දැන් තියෙන මට්ටමේම තියෙද්දී මොන විදිහකින් හෝ රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ ගියොත්, ඒ ඩොලර් ටික ආනයන වෙනුවෙන් වැය නොකළ යුතුයි. එක්කෝ ණය ආපසු ගෙවන්න යෙදවිය යුතුයි. නැත්නම් බැංකු පද්ධතිය ඇතුළේ සංචිත ලෙස රඳවා තබා ගත යුතුයි. ඒ වගේම, යම් මොහොතක ආනයන සීමා ඉවත් කරන්න තීරණය කරනවානම්, එයට සමාන්තරව ඩොලරයක මිල රිසි සේ ඉහළ යන්න ඉඩ ඇරිය යුතුයි. ඩොලරයේ මිල පාලනය කිරීම සඳහා බැංකු පද්ධතියේ එකතු වී තිබෙන විදේශ සංචිත නොවිකිණිය යුතුයි.

දැන් ඉන්න තැන සිට කෙටිකාලීනව වගේම දිගුකාලීනවත් ගොඩ යා හැකි මාර්ග සිතියම ඕකයි. දිගුකාලීනව ආනයන වෙනුවෙන් වැය කළ යුත්තේ උපයන ඩොලර් පමණයි. එයින්ද යම් කොටසක් පරණ ණය ගෙවන්න වෙන් කරන්න වෙනවා. කෙටිකාලීන ප්‍රාග්ධනය ලෙස ඕනෑවටත් වඩා ඩොලර් රටට ගලාගෙන ආවොත් ඒ ඩොලර් ආනයන වෙනුවෙන් වැය නොකර සංචිත ලෙස තබා ගත යුතුයි. ඔය වැඩේ කළොත් අපනයන ආදායම් ටිකෙන් ටික වැඩි වී ආනයන වියදම් ඒ හා ගැලපෙයි.

නමුත් කෙටිකාලීනව ඔය වැඩේ කරන්න බැරි බව මම කලින් පැහැදිලි කළානේ. ඒ නිසා, දැනට විණිමය අනුපාතය පාලනය කරන්න වෙනවා. එය කරන තුරු ආනයන පාලනයත් කරන්න සිදු වෙනවා. මෙය කළ යුත්තේ මේ කරන්නේ අඩු නරක තෝරා ගැනීමක් බව අමතක නොකරමිනුයි. ලැබෙන ඩොලර් ටික අපනයන කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙනුත්, සංචාරක කර්මාන්තය වැනි ඩොලර් උපයන කර්මාන්ත වෙනුවෙනුත් වෙන් කරන එක කළ යුතුම දෙයක්. IMF සල්ලි නැතත් රට ගොඩ යන බව පේනවානම් IMF එක ඉතා ඉක්මණින් සල්ලි දෙනවා. IMF සල්ලි දුන්නත් ගොඩ යන පාටක් පේන්න නැත්නම් වෙන්නේ මොනවා හරි කතාවක් කියලා වැඩේ පස්සට දමන එක. 

අනාගතය ගැන කියන්න තවමත් ඉක්මන් වැඩි වුවත්, මහ බැංකු අධිපති මාරුවෙන් පසුව සිදු වූ ප්‍රතිපත්ති වෙනස්කම් වල ප්‍රතිඵල පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. රටේ තත්ත්වය හොඳ අතට හැරී නැතත්, තවත් නරක අතට යන එක නැවතී ඇති බව නිර්ණායක ගණනාවකින්ම පෙන්නුම් කරනවා.

පළමුව, ශ්‍රමික ප්‍රේෂණ වල වැඩි වීමක් නොපෙනුනත් අඩු වීමේ ප්‍රවණතාව නැවතී තිබෙනවා. දෙවනුව, පාලිත තත්ත්වයක් යටතේ වුවත්, වෙළඳ ගිණුම තුලනය වී තිබෙනවා. තෙවනුව, මුදල් සැපයුම වේගයෙන් වැඩි වීම නැවතී ස්ථාවර වී තිබෙනවා. සිවු වනුව, පුළුල් මුදල් සැපයුමේ සංරචක වන රජයට හා පෞද්ගලික අංශයට බැංකු අංශයෙන් දෙන ණය ලොකුවට අඩු වී නැතත් තිබුණු මට්ටමේ ස්ථාවර වී තිබෙනවා. මෙය ආර්ථික වර්ධනය කෙරෙහි හානිකර බලපෑමක් කරන නමුත් දැන් තිබෙන්නේ ආර්ථික වර්ධනය ගැන සිතිය හැකි තත්ත්වයක් නෙමෙයි. පස් වෙනුව, බැංකු අංශයේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ ගොස් නැතත් අඩු වීම නැවතී ස්ථාවර වී තිබෙනවා. 

මේ සියල්ල සාධනීය තත්ත්වයන් වුවත්, අර්බුදයෙන් ගොඩ යාම සඳහා මේ තත්ත්වයන් තවදුරටත් හොඳ අතට හැරිය යුතුයි. එහෙත්, පවතින තත්ත්වය එක දිගට එලෙසම පවත්වා ගැනීම වුවද විශාල අභියෝගයක්. මහ බැංකුවට එය කළ හැකි වනු ඇත්තේ ඉතා ඉක්මණින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කර රජයේ අයවැය තුලනය කරගන්නේනම් පමණයි.



No comments:

Post a Comment

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...