වෙබ් ලිපිනය:

Showing posts with label අපේ වියුණු. Show all posts
Showing posts with label අපේ වියුණු. Show all posts

Thursday, August 3, 2017

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති


මේ වන විට ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ ඉතා සීමිත පිරිසකි. ආණ්ඩුව පිහිටවීමට මුල් වූ, ආණ්ඩුවට සෘජුව සම්බන්ධ පමණක් නොව ආණ්ඩුවේම කොටස් ලෙස සැලකිය හැකි බොහෝ දෙනෙක්ද දැන් ආණ්ඩුව වෙනුවෙන් කතා කරනු නොපෙනේ.

මෙය දෙවසරකට පෙර පැවති තත්ත්වයෙන් විශාල ලෙස අපගමනය වීමකි. ඒ දවස් වල රැල්ල තිබුණේ කලින් ආණ්ඩුවේ වැරදි පෙන්වන පැත්තේය. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම ඒ දවස් වල ජනප්‍රිය රැල්ලයි. දැන් රැල්ල ආණ්ඩුවට බැනීමයි.

රටින් බැහැරව ජීවත් වන ඉකොනොමැට්ටාට ලංකාවේ වත්මන් ආණ්ඩුව සමඟ කිසිදු සෘජු සම්බන්ධයක් නැත. පරණ ආණ්ඩුවවට සම්බන්ධව සිටි, මේ ආණ්ඩුවට සම්බන්ධ නැති අය සමඟද කිසිදු සෘජු සම්බන්ධයක් නැත. අඩු වශයෙන් ලංකාවේ ජීවත් වූ කාලයේදීවත් ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධව සිටි හෝ නොසිටි කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ සෘජු සම්බන්ධයක් තිබුණේ නැත.

කෙසේ වුවද, ඇටෙන් පොත්තෙන් එළියට එන කාලයේ සිටම ඉකොනොමැට්ටාට ලංකාවේ දේශපාලනය ගැනත්, ලෝක දේශපාලනය ගැනත් උනන්දුවක් තිබුණේය. ඒ උනන්දුව තවමත් එසේම තිබේ. ලංකාවේ ජීවත්ව සිටියදීද අපට ලංකාවේ දේශපාලනය දෙස එයින් බාහිරව සිටිමින් බලන්නට හැකියාව තිබුණේය. රටින් බැහැරව සිටිද්දී එය වඩාත් පහසුවෙන් කළ හැකිය.

ආර්ථික විද්‍යාව යනු ඉකොනොමැට්ටා ඇටෙන් පොත්තෙන් එළියට එන කාලයේ සිටම අතැඹුලක් සේ දැන සිටි විෂයයක් නොවේ. එය අප පසුව හැදෑරූ විෂයයකි. එයට අමතරව එක පැත්තකින් මේ විෂයයේ ආකෘති (න්‍යාය) ගොඩනඟන්නට සුළු හෝ දායකත්වයක් දෙන්නටත්, අනෙක් පැත්තෙන් ලංකාවේ ආර්ථිකය මෙහෙයවන ආකාරය ගැන ප්‍රායෝගික අත්දැකීම් ලබන්නටත් අපට ඉඩකඩ ලැබී තිබේ. ඒ නිසා, ලංකාවේ ආර්ථිකය ගැන විමසන්නට අපට අනුන්ගේ කන්නාඩි අවශ්‍ය නැත.

එහෙත් එයින් කියවෙන්නේ අප මේ විෂයයේ කෙළ පැමිණ ඇති බව හෝ අප මෙහි ලියන හැම දෙයක්ම සර්ව සම්පූර්ණ බව නොවේ. අප ලියන්නේ අපේ නැණ පමණිනි. අප ලියන්නේ අප දන්නා දේ මත පදනම්වය. අප ලියන දෙයෙහි වැරැද්දක් හෝ අඩුපාඩුවක් ඇත්නම්, ඕනෑම කෙනෙක් විසින් නාමිකව හෝ නිර්නාමිකව එවැනි දේ පෙන්වාදීම පිළිබඳව අප අවංකවම සතුටු වන අතර පිළිගත හැකි අයුරින් පෙන්වා දුන් විටක එවැනි වැරැද්දක් හෝ අඩුපාඩුවක් පිළිගැනීමට අප පැකිලෙන්නේ නැත.

ප්‍රශ්නයක් විග්‍රහ කිරීමට වඩා සුදුසු ආර්ථික විද්‍යා ආකෘතියක් යොදා ගන්නටත්, එවැනි සුදුසු ආකෘතියක් නැති විට ප්‍රථම මූලධර්ම අනුව යමින් ගැලපෙන ආකෘතියක් හදා ගන්නටත් අපට බැරිකමක් නැත. එහෙත්, එසේ ආකෘති තෝරාගන්නට හෝ හදාගන්නට වෙන්නේ අප දන්නා තොරතුරු වලට සාපේක්ෂව වීම වැළැක්වීමට නොහැකිය. ඒ නිසා, නොදන්නා තොරතුරු දැනගන්නට ලැබෙන විට අප හිතන හා ප්‍රශ්න විග්‍රහ කරන ආකාරයද වෙනස් වන්නට ඉඩ තිබේ. අපට වඩා වැදගත් වන්නේ වඩා නිවැරදි දෙය සොයා යාම මිස ප්‍රතිරූප ගොඩනගාගැනීම හෝ පවත්වාගැනීම නොවේ.

අප නොදන්නා දේ බොහෝ වුවත්, මෙහි පළවන ඇතැම් බ්ලොග් ලිපි වල මාතෘකාවට අදාළ හැම දෙයක්ම පුළුල් ලෙස සාකච්ඡා නොකිරීමට එකම හේතුව එය නොවේ. බ්ලොග් ලිපි ලියන්නේ ඒවා කියවන සාමාන්‍ය පාඨකයින් ඉලක්ක කරමිනි. සිංහලයන් නොවන සුළු පිරිසක් මෙය කියවන පාඨකයින් අතර සිටියත්, මේ බ්ලොග් කියවන වැඩි දෙනෙකු සිංහලයෝ වෙති. මෙහිදී සිංහලයන් ලෙස අදහස් කරන්නේ වැඩි වශයෙන්ම සිංහලෙන් හිතන අයයි. මේ සිංහලයන් අතර ශ්‍රී ලාංකිකයින් නොවන සැලකිය යුතු පිරිසක්ද සිටිති.

ඉකොනොමැට්ටාගේ බ්ලොග් ලිපි කියවන රටවල් අය අතරින් 40%ක් පමණම ලංකාවෙන් පිට ජීවත් වන අයයි. වෙනත් බොහෝ සිංහල බ්ලොග් වල පාඨක සංයුතියද මීට සමානය. මේ අය අතර, තාවකාලිකව රටින් පිටව සිටින්නන් මෙන්ම ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටක් තෝරාගෙන ඇති ශ්‍රී ලාංකිකයෝද විශාල පිරිසක් සිටිති. ඔවුන්ගෙන් ඇතැම් අය මේ වන විට ශ්‍රී ලාංකිකයෝ නොවෙති. එහෙත්, ඔවුහු තවදුරටත් සිංහලයෝ වෙති. ජීවත් වන හෝ ඉපදුණු රට කුමක් වුවත් සිංහලයෙකුට හොඳින්ම තේරෙන්නේ සිංහලෙන් කියවන විටය.

ඉංග්‍රීසියෙන් කියවන අයට කියවන්නට දේවල් අඩු නැතුව තිබේ. එහෙත්, සාමාන්‍යයෙන් සිංහලෙන් ලියා ඇති දේ පමණක් කියවන අයට කියවන්නට එතරම්ම දේවල් නැත. ලංකාවේ සිට ඉකොනොමැට්ටාගේ බ්ලොග් ලිපි කියවන බොහෝ දෙනෙක් කියවීම සඳහා සිංහලෙන් ලියා ඇති දේ සොයන අයයි. ඔවුන් බොහෝ විට හොයන්නේ සිංහලෙන් කියවන්නට නොලැබෙන දේවල්ය.

ලංකාවෙන් පිට ජීවත් වන අය අතරත් වැඩිපුරම ලංකාවේ පත්තරම බලන, ලංකාවේ ටෙලිනාට්‍ය නැරඹීම සඳහා විශාල කාලයක් යොදවන, තමන් ජීවත් වන රටේ ජනමාධ්‍ය සාපේක්ෂව අඩුවෙන් පරිශීලනය කරන සැලකිය යුතු පිරිසක් සිටිති. එමෙන්ම, ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් ලියා ඇති දේ වැඩිපුර කියවන, ඒ අතරට සිංහල බ්ලොග් වැනි දේ වෙනුවෙන්ද යම් කාලයක් වැය කරන අයත් සිටිති. මේ අය සිංහල බ්ලොග් කියවන්නේ ලංකාවේ සංස්කෘතිය සමඟ තමන්ගේ ඇති ඓන්ද්‍රීය සම්බන්ධතාව නොකඩවා පවත්වා ගැනීම පිණිසය. ඔවුන්ට ලංකාවේ දේශපාලනය ගැනද උනන්දුවක් තිබේ.

අප බ්ලොග් ලිපි ලියන්නේ මේ සියලු වර්ග වල පාඨකයින් වෙනුවෙනි. බොහෝ විට, ඔවුන් උනන්දුවක් දක්වන මාතෘකා අපට පහසුවෙන් හඳුනාගත හැකිය. ඇතැම් විට, ඇතැම් දේවල් විස්තර කරන මෙන් අපට පෞද්ගලික (ඊමේල් හෝ ඉන්බොක්ස් හරහා) හෝ පොදු (කමෙන්ට් ලෙස) ඉල්ලීම් ලැබේ. අප අපේ අදහස්, විමර්ශන හෝ තොරතුරු ඉදිරිපත් කරන්නේ කාගේවත් පෞද්ගලික තීරණ බලහත්කාරයෙන් වෙනස් කිරීමට නොවේ. අපට එවැන්නක් කළ නොහැකිය.

අප විශ්වාස කරන පරිදි, ඒකීය පුද්ගලයන්ට තමන්ට හොඳම දෙය තෝරා ගැනීමට ස්වභාවික හැකියාවක් තිබේ. ඒකීය පුද්ගලයින් වෙනුවෙන් හිතන්නට සුවිශේෂී පුද්ගලයින් අවශ්‍ය නැත. එහෙත්, ඕනෑම පුද්ගලයෙකුට තමන්ට හොඳම දෙය තෝරා ගන්නට වෙන්නේ තමන්ගේ දැනුමට හා අත්දැකීම් වලට සාපේක්ෂවය. මේ දැනුම හා අත්දැකීම් සීමිතය. අප නොදන්නා දේ දන්නා දේ වලට වඩා බොහෝ වැඩිය. වෙනත් අයගේ දැනුම් හා අත්දැකීම් මගේ නිම්වළලු පුළුල් කරයි. එය වඩා හොඳ තීරණයක් ගැනීම පහසු කරයි. මෙහි ලියන ලිපි මඟින් ඉකොනොමැට්ටා අපේක්ෂා කරන්නේද එවැන්නක් අනෙකුත් අය වෙනුවෙන් පෙරළා කිරීමයි. ඉකොනොමැට්ටා විසින් ඉදිරිපත් කරන තොරතුරු හෝ විමර්ශන මත කැමති කෙනෙකුට කැමති තීරණයක් ගන්නට නිදහස තිබේ. කියන දේ අපැහැදිලිනම් පැහැදිලි කිරීමටත්, වැරදිනම් නිවැරදි කිරීමටත් ඉකොනොමැට්ටා සූදානම්ය.

මෙහි පළවන ලිපි කියවන හැම දෙනෙක්ම එක්කෝ තමන් විසින් මේ බ්ලොග් එක හොයාගත් අයෙකි. එසේ නැත්නම්, වෙනත් අයෙකුගේ මඟපෙන්වීම අනුව පැමිණි අයෙකි. ඉතා සීමිත අවස්ථා කිහිපයකදී හැර, ඉකොනොමැට්ටා විසින් ඔහුගේ පෞද්ගලික මිතුරන් තබා පවුලේ සමීපතම සාමාජිකයින් අතරවත් මෙය ප්‍රචාරණය කර නැත. ඒ ප්‍රචාරණයේ වැරැද්දක් ඇතැයි ඉකොනොමැට්ටා සිතන නිසා නොවේ. අප වැඩි බරක් තබන්නේ තබන්නේ මිනිසුන්ගේ රුචිකත්වයන් වෙනස් කර ගන්නට බලපෑම් කරමින් කෘතීම ලෙස ඉල්ලුමක් ඇති කිරීම කෙරෙහි නොව පවතින ස්වභාවික ඉල්ලුම හඳුනාගැනීමින් පවතින ඉල්ලුම සැපිරීම කෙරෙහි බැවිනි.

අපට ලංකාවේ ආණ්ඩු වෙනස් කරන්නට අවශ්‍ය නැත. ආණ්ඩු පවත්වාගෙන යන්නට උදවු කරන්නටද අවශ්‍ය නැත. ඒ තීරණ ලංකාවේ ඡන්දදායකින් විසින් සාමූහිකව ගත යුතු තීරණයි.

එහෙත්, ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ජීවත් වන මිනිසුන්ගේ අනාගත ජීවිත වඩා යහපත් වනු දකින්නට අප කැමතිය. ලංකාවෙන් බැහැරව සිටියත් ලංකාව යනු අපට තවත් එක් රටක් නොවේ. ලංකාවේ ආර්ථිකය හෝ සංස්කෘතිය විනාශ වනු දැකීම අපේ අභිප්‍රාය නොවේ.

ලංකාවේ ආර්ථිකය හා එහි විවිධ සංරචක පිළිබඳව අපේ න්‍යායාත්මක දැනුම, අපට ලැබී ඇති අත්දැකීම් හා අප විසින් පරිශීලනය කර ඇති සංඛ්‍යාලේඛණ මත පදනම් වූ විග්‍රහයක් අපට තිබේ. අප ලංකාවේ ආර්ථිකය ගැන ලියන්නේ මේ මූලික විග්‍රහය මත පදනම්වය.

අප දකින පරිදි, ලංකාවේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්න සියල්ලකම වාගේ මුල මූලික අසමතුලිතතාවන් දෙකකි. පළමුවැන්න, රාජ්‍ය අයවැය හිඟයයි. දෙවැන්න, ගෙවුම් ශේෂ හිඟයයි. අනෙක් ප්‍රශ්න බොහොමයක්ම මේ මූලික ප්‍රශ්න දෙකේ ව්‍යුත්පන්නයි. බොහෝ දෙනෙකු විසින් කතා කරන ණය අර්බුදයද හේතුවක් නොව ඵලයකි.

මේ මූලික ප්‍රශ්න දෙක මේ ආණ්ඩුව කාලයේ හෝ පසුගිය ආණ්ඩුව කාලයේ ඇති වූ ප්‍රශ්න නොවේ. ජේආර් විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු ඇති වූ ප්‍රශ්නද නොවේ. ලංකාව නිදහස ලැබූ කාලයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ප්‍රශ්න දෙකකි.

පැවති ආණ්ඩු විසින් වරින් වර මේ ප්‍රශ්න වලට විවිධ ආකාර වල විසඳුම් සෙවුවේය. ඒ විසඳුම් වලින් කිසිදු ප්‍රයෝජනයක් නොවූ බැව් අප නොකියමු. එහෙත්, සමස්තයක් ලෙස මේ ප්‍රශ්න කාලයත් සමඟ වර්ධනය වී තිබේ.

ඇතැම් අය අසන්නේ ධනවාදය නිසා ලංකාවට ලැබුණු දේ මොනවාද යන්නයි. ධනවාදය නිසා ලංකාවට මොනවා ලැබුණේද යන්න ප්‍රශ්නයක් වන්නේ කවදා හෝ ලංකාවේ ධනවාදයක් තිබුණේනම් පමණි. ලංකාවේ සාතිශය බහුතරය ධනවාදය කියා කියන්නේ කුමක්දැයි නොදන්නා බව මේ ප්‍රශ්නය විසින්ම පැහැදිලි කරයි.

වෙනත් අය තබා මේ ගැන බොහෝ කලක් යන තුරු අප දැන සිටියේද නැත. සමාජවාදය උගන්වන්නට ලංකාවේ බොහෝ අය සිටියත්, ධනවාදය කුමක්දැයි කියා දිය හැකි අය ලංකාවේ නොසිටි තරම්ය. ඒ නිසා, ධනවාදය ගැන අප දැන සිටියේද සමාජවාදීන් විසින් ඒ ගැන කියා දුන් දෙයයි. දුප්පතුන්ට මූලික පහසුකම්වත් නැතිව මැරෙන්නට අරිමින්, ධනවතුන්ට පමණක් රිසි සේ මුදල් සොයන්නට උදවු කරන ක්‍රමයක් වෙනුවෙන් කවර හෝ හෘද සාක්ෂියක් ඇති පුද්ගලයෙකුට පෙනී සිටින්නට නුපුළුවන. ධනවාදය ගැන සමාජවාදීන් විසින් කියා දුන් මේ දේවල් ගැන මෙන්ම ඇමරිකාව ගැනත්, වෙනත් බටහිර රටවල් ගැනත් අප "දැන සිටි" බොහෝ දේවල් ගැන අපට සැබෑවටම දැනගන්නට ලැබුණේ ඒ රටවල සමාජයන් හා ආර්ථිකයන් ක්‍රියාත්මක වන ආකාරය හරියටම නිරීක්ෂණය කරන්නට ලැබීමෙන් පසුවය.

අප ලංකාවේ පමණක් ජීවත්ව සිට තිබුණු කාලයේ උගත් බොහෝ ආර්ථික න්‍යායයන් සැබෑ ලෝකයේදී ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවක් අපට නොපෙණුනේය. වෙනත් බොහෝ අය මෙන්ම අප මෙය අවබෝධ කරගත්තේද න්‍යායයන්හි පවතින අඩුපාඩු ලෙසිනි. එහෙත්, මේ බොහෝ න්‍යායයන් වැරදි නොවන බවත්, ඒවා ක්‍රියාත්මක වන තැන් ලෝකයේ ඇති බවත් දැන් අප දනිමු. ලංකාවේදී, මේ දේවල් කියන අයුරින්ම සිදු නොවන්නේ ඇයිද යන්නත් අපට මේ න්‍යායයන් ඇසුරින්ම තේරුම් ගන්නට පුළුවන.

ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට පෙර ප්‍රශ්නයක් නිවැරදිව හඳුනාගත යුතුය. ඒ සඳහා ප්‍රශ්නයේ මුලට යා යුතුය. ප්‍රශ්නය හඳුනාගත්තද, ප්‍රශ්නයකට විසඳුම් ඇත්තේ එකක් පමණක් නොවේ. නිවැරදි විසඳුම් ගණනාවක් තිබෙන්නට පුළුවන. මේ විසඳුම් අතරින් හොඳම විසඳුම ඇතැම් විටක පැහැදිලිව පෙනෙන්නට තිබුණත් බොහෝ විට එය එසේ නැත.

කිසිවකු විසින් හෝ සාර්ථක ලෙස ධනවාදය ලංකාවට හඳුන්වා දෙනු නොලැබුවත්, බොහෝ දෙනෙකු විසින් පසුගිය සියවසේ මුල සිටම ලංකාවට සමාජවාදය හඳුන්වා දෙනු ලැබුණේය. මා මේ කතා කරන්නේ දාස් කැපිටාල්හි හෝ වෙනත් පොතක ඇති සමාජවාදයක් ගැන නොවේ. (කාල වේලා ලැබෙන පරිදි ඒ පැත්තත් කතා කිරීම වැදගත්යයි සිතන නමුත් මෙය විශාල කාලයක් වැය කළ යුතු කටයුත්තකි.) ලෝකයේ බොහෝ රටවල පැවති, විවිධ දේශපාලන පක්ෂ විසින් ලංකාවේද ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ හා කරන මධ්‍යගත සැලසුම් ක්‍රමය ගැනය.

ඓතිහාසිකව ලංකාවට සමාජවාදය පැමිණියේ ධනවාදයේ අනෙකා ලෙස නොවේ. අධිරාජ්‍යවාදයේ අනෙකා ලෙසය.

යුරෝපීයයන් ලංකාවට පැමිණෙන්නට පෙර ලංකාවේ රාජ්‍යය වූයේ රජු හා ඔහු වටා සිටි සීමිත පිරිසකි. එහෙත්, මේ කාලයේ වුවද රාජ්‍යයේ අඬුපඬු සමාජ ජීවිතයේ සෑම අස්සක් මුල්ලකටම පැතිරී තිබුණේ නැත. මේ කාලයේ රටේ ජනතාවට නඩත්තු කරන්නට වූ රාජ්‍යය එතරම් විශාල නොවූ නිසා එහි ලොකු බරක් නොතිබුණේය. මෙයින්  අදහස් වන්නේ එසේ වූ කාල වකවානු නොතිබුණු බව නොවේ. සමාජයේ ස්ථර අතර පැහැදිලි ධුරාවලියක් තිබුණත් රජා බොහෝ විට "අපේම එකෙක්" විය. ඒ නිසා, ඒ රජාව නඩත්තු කිරීමෙන් ජනතාවට ලැබුණු මොනවා හෝ දෙයක් තිබුණේය. අඩු ගානේ "අපට රජෙක් ඉන්නවා" කියා කියන්නට හෝ හැකි විය. රජු  "අපේම එකෙක්" නොවූ විට එවැනි රජුන් එළවන්නට ජනතාව ඉදිරියට ආවේය. (එය සිදුවුණු ආකාරය පැහැදිලි කරන්නට අප මෙහි උත්සාහ දරන්නේ නැත.)

පැවති ධුරාවලිය රටේ මිනිසුන් විසින් පවතින තත්ත්වය ලෙස පිළිගෙන තිබුණු නිසා ඒ හේතුවෙන් ජනතාව පීඩනයකින් සිටියේ නැත. පීඩනයක් දැනෙන්නේ පවතින තත්ත්වය පැවතිය යුතු සාමාන්‍ය තත්ත්වය නොවන බව දැනගත් විටය. අතීතයේ ජීවත් වූ මිනිසුන් හිතූ පැතූ ආකාරය අද සංස්කෘතිය තුළ ජීවත් වන කෙනෙකුට අතීතයට රිංගා නිරීක්ෂණය කළ නොහැකිය.

රජුට රටේ ඉඩම් වල හිමිකම තිබුණු නිසා, ඕනෑම ගැටිස්සියක අන්තඃපුරයට කැඳවිය හැකිව තිබුණු නිසා හෝ රාජ සභාවේ කිවිසුමක් යැවූ අයෙකුගේ හිස ගසා දැමිය හැකිය වූ නිසා ලංකාවේ රාජ්‍යය අදට වඩා විශාල රාජ්‍යයක් වූ බව අයෙකුට කියන්නට පුළුවන. ඉහත වාක්‍යයේ ඇති බොහෝ දේ අර්ධ සත්‍යයි. රජවරුන්ට අභිමතය ක්‍රියාත්මක කරන්නට ලැබුණු පැහැදිලි රාමුවක් තිබුණේය.

යුරෝපීයයන් එන්නට පෙර ලංකාවේ වැසියන් හා රජු අතර තිබුණේ ඉතා ලිහිල් සම්බන්ධතාවයකි. සාමාන්‍ය මිනිසුන්ට කළ හැකි දේවල් ඒ කාලයේදී රජය විසින් කළේ නැත. රජය මඟින් අවධානය යොමු කළේ විදේශ වෙළඳාම ඇතුළු විදේශ ප්‍රතිපත්තිය, නීතිය හා සාමය රැකීම, නියාමනය (තහනම් කැලෑ ආදිය) ආදී රාජ්‍ය මැදිහත්වීමක් නැතිවම බැරි කරුණු කෙරෙහිය. වැව් අමුණු හැදීම හා වෙහෙර විහාර හැදීම වැනි මහා පරිමාණ ප්‍රාග්ධන ආයෝජන වෙත රජය යොමු වුණේ සමාජ අතිරික්තයක් තිබුණු අවස්ථාවලදී මිස බදු වැඩි කරමින් හෝ ණය ගනිමින් නොවේ. (වෙහෙර විහාර හැදීම ආයෝජනයක් වන්නේ කෙසේද යන්න තමන් දැන් ජීවත් වන සංස්කෘතික රාමුවෙන් පිටත දැකිය නොහැකි අයට ප්‍රශ්නයක් විය හැකිය.) රජයේ ආරක්ෂක වියදම් වැඩි කෙරුණේ රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වූ කාල වලදී පමණි. එවැනි කාල වලදී ඒ වියදම් දරන්නට ජනතාව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය.

යුරෝපීයයන් ලංකාවට පැමිණීමත්, අන්තිමේදී ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක් වීමත් සමඟ ඉහත තත්ත්වයේ ආකෘතිමය වෙනසක් සිදු විය. 1815න් පසුව, ලංකාවේ රජය යනු බ්‍රිතාන්‍ය රජයේ කොටසක් විය. රජු තවදුරටත් "අපේ එකෙක්" නොවූ අතර, ඒ ගැන සතුටට පත් නොවූ රටේ ජනතාව විසින් තත්ත්වය වෙනස් කරගන්නට දැරුණු උත්සාහයන් සාර්ථක වුනේද නැත. ප්‍රායෝගිකව ලංකාවේ ජීවත් වූ හැම "සුද්දෙක්ම" වාගේ (බ්‍රිතාන්‍ය) රජයේ නියෝජිතයෙක් විය. ඔවුන් රජයේ රැකියාවක නිරතව සිටීම හෝ නොසිටීම මෙහිදී අදාළ කරුණක් නොවේ. සුද්දා සිවිල් සේවකයෙකු වුවත්, මිෂනාරියෙකු වුවත්,  වැවිලිකරුවෙකු වුවත් ඔවුන් සියල්ලන්ම විසින් කළේ බ්‍රිතාන්‍ය රජයේ පාලනය ලංකාවේ පවත්වාගෙන යාමයි.

ඉංග්‍රීසින් විසින් ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහයද විශාල ලෙස වෙනස් කළේය. මෙයින් සමස්තයක් ලෙස ලංකාවේ ආර්ථිකයේ නිෂ්පාදන ඵලදායීතාවය වැඩි විය. එහෙත්, එහි අතිරික්තය හිමි කර ගත්තේ ඉහතින් විස්තර කළ රජයේ පාර්ශ්වකරුවන් විසිනි. ඒ අතිරික්තයෙන් කොටසක් යටිතලපහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කෙරුණු අතර එවැනි ආයෝජන සිදු කළේ අනාගත ආදායම් ප්‍රවාහ අපේක්ෂා කරමින් මිස පාඩු ලබන්නට නොවේ. ආර්ථික ව්‍යුහයේ සිදුවූ වෙනස්වීම් නිසා රටේ ජනජීවිතයද සැලකිය යුතු ලෙස වෙනස් වූ අතර ඒ කෙරෙහි රාජ්‍යයේ බලපෑම තවදුරටත් නොසලකා නොහළ හැකි තරමට ව්‍යාප්ත විය.

ඉංග්‍රීසි පාලනයේ මුල් කාලයේදී රාජ්‍යය යනු ඉංග්‍රීසින් විය. ජනතාව වූයේ ලාංකිකයින්ය. ඒ නිසා, එක පැත්තකින් රාජ්‍ය විරෝධය යනු ආක්‍රමණිකයෙකුට විරුද්ධ වීමක් විය. රාජ්‍යය නඩත්තු කිරීම සඳහා ජනතාවට ගෙවන්නට වූ මිලට සරිලන දෙයක් ඉල්ලා සිටීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණේය. ජනතාවට ආපසු දිය යුතු දෙය තීරණය කළේ රජයයි. යුරෝපීයයන් පැමිණෙන්නට පෙර තිබුණු රාජ්‍යය තුළද මෙය සිදු වුනේ මේ ආකාරයෙන්ම වුවත්, ඒ කාලයේ රාජ්‍යය එතරම් පුළුල්ව නොතිබුණු නිසා මෙය ප්‍රශ්නයක් වූයේ නැත.

ඉංග්‍රීසි පාලනය ව්‍යාප්ත වෙද්දී, ඇතැම් ලාංකිකයින්ටද ලංකාවේ පැවති (ඉංග්‍රීසි) රාජ්‍යයේ කොටස් බවට පත් වෙන්නට හැකි විය. නිදහස ලැබෙන කාලය වන විට ලංකාවේ පැවති ඉංග්‍රීසි රාජ්‍යයේ ඉංග්‍රීසින්ට වඩා සිටියේ ස්වදේශිකයින්ය.

පෙර කී පරිදි, ඉංග්‍රීසින්ගේ ආර්ථික උපාය මාර්ග හේතුවෙන් ලංකාවේ නිෂ්පාදන ඵලදායීතාවය සැලකිය යුතු ලෙස වැඩි විය. එහෙත්, මේ අතිරික්තයෙන් විශාල කොටසක් වත්මන් ලංකාවේ භූමි සීමා ඇතුළත නොරැඳුනේය. ඇමරිකාවේ කොලනි වල පදිංචිව සිටි ඉංග්‍රීසින්ගෙන් බ්‍රිතාන්‍ය රජය විසින් එකතු කරගත් බදු මුදල් වෙනුවෙන් පවා ප්‍රමාණවත් යමක් බ්‍රිතාන්‍ය රජය වෙතින් ඔවුන්ට ආපසු නොලැබුණු පසුබිමක, ලංකාවේ එවැන්නක් සිදුවන්නට ඉඩක් නොතිබුණේය.

ඉංග්‍රීසින් විසින් ලංකාව ලාභ මධ්‍යස්ථානයක් (profit center) ලෙස දිගටම පවත්වා ගැනුණු අතර, අතිරික්තයෙන් සැලකිය යුතු කොටසක් බ්‍රිතාන්‍යයට ගියේය. ඉතිරිය බ්‍රිතාන්‍ය රජයේ පාලනය ලංකාව තුළ පවත්වා ගෙන යන්නට උදවු කළ ලාංකිකයින් හා මෙහි ජීවත් වූ යුරෝපීයයන් අත ඉතිරි විය. මේ ක්‍රමය තුළ ඉංග්‍රීසි රාජ්‍යයෙන් බැහැරව සිටි විශාල ලාංකිකයින් පිරිස, විශාල ලෙස නොවූවත්, ශුද්ධ අලාභ විඳින්නෝ වූහ. පසුගිය සියවසේ මුල වන විට පැවතුණේ මෙවැනි තත්ත්වයකි.

ඉහත තත්ත්වය තුළ, වැඩ වර්ජන හා විරෝධතා වැනි "සමාජවාදී උපක්‍රම" ජනප්‍රිය වීම තේරුම් ගන්නට අපහසු නැත. නිදහසට පෙර ලංකාවේ සමාජය සියල්ලන්ටම සමාන අවස්ථා තිබුණු සමාජයක් නොවීය. (එය තවමත් එසේමය.) සාමාන්‍ය ජනතාවට පෙනුණු පරිදි පීඩකයා වූයේ සුද්දාය. සුද්දා සමඟ කළු සුද්දෝද සිටියහ. සුද්දා මෙන්ම සුද්දා වටා සිටි කළු සුද්දන් විසින්ද නියෝජනය කළේ රජයයි. ඒ නිසා, සාමාන්‍ය මිනිසුන්ට පෙනෙන්නට තිබුණු පරිදි රාජ්‍ය විරෝධය යනු ආක්‍රමණිකයෙකුට එරෙහි විරෝධයක්ද විය. මේ ආක්‍රමණිකයාව ඉතිහාසයේ වෙනත් ආක්‍රමණිකයින්ව එළෙවුවාක් මෙන් දුනු ඊතල වලින් සටන් කර එළවිය නොහැකි බව මේ වන විට ඔවුහු දැන සිටියහ. විකල්පයක් නැතිව සිටි මිනිසුන්ට පැරණි වාමාංශික පක්ෂ වල නායකයින් විසින් සතුරාව මෙල්ල කළ හැකි අලුත් ආයුධ හඳුන්වා දුන්නේය. ලංකාවේ වර්ජන හා විරෝධතා ජනප්‍රිය වුණේ එවැනි පසුබිමකය.

පැරණි වාමාංශික පක්ෂ වල හෝ වෘත්තීය සමිති වල මෙහෙයවීමෙන් වර්ජන හා විරෝධතා වලට එක් වුනු බොහෝ ලාංකිකයින්ට ලංකාවේ සමාජවාදය බිහි කරන්නට උවමනාවක් තිබුණේ නැත. එහෙත්, රාජ්‍යය හා වැසියන් අතර විශාල පරතරයක් තිබුණු මේ කාලයේ වර්ජන හා විරෝධතා යනු ඔවුන්ට තිබුණු අඩු හෙට්ටු කිරීමේ හැකියාව වැඩි කරගත හැකි සාර්ථක ක්‍රමයක් විය. සහනාධාර යනු තමන්ගෙන් එකතු කර ගන්නා බදු මුදල් වලින් කොටසක් ආපසු ලබාගත හැකි ක්‍රියාවලියක් විය.

වඩාත්ම නිවැරදිව කියනවානම් ලංකාවට වර්ජන සංස්කෘතිය හඳුන්වා දුන්නේ වාමාංශික පක්ෂ විසින්ද නොවේ. එක්සත් ජාතික පක්ෂයේ මූල පක්ෂයක් ලෙස සැලකිය හැකි කම්කරු පක්ෂය හා එයට අනුබද්ධ වූ වෘත්තීය සමිති විසිනි. වාමාංශික පක්ෂ වෘත්තීය සමිති තුළ පෙරමුණට පැමිණියේ කම්කරු පක්ෂය විසින් සංවිධානය කළ 1929 ලේක්හවුස් වර්ජනය අසාර්ථක වීමෙන් පසුවය. ඊට පෙර, කම්කරු පක්ෂයේ මෙහෙයවීම යටතේ සිදුවුණු වරාය, දුම්රිය සේවක ඇතුළු වර්ජන ගණනාවක් සාර්ථක ලෙස අවසන් විය. 1920 දශකයේදී ඇරඹුණු ඇතැම් වර්ජන පොලීසිය සමඟ ගැටී පොලීසි ගිණි තැබීම දක්වා දුර දිග ගියේය. (මේ කාලය ගැන අපේ පවුලේ දැනට ජීවත්ව නැති වැඩිහිටියන්ගෙන් දැනගත් තොරතුරුද අපේ මතකයේ තිබේ.) මේ කාලයේ ආණ්ඩුව "අපේ" නොවූ නිසා මේ වර්ජන සිදු වුණේ රජයට එරෙහිව මෙන්ම ආක්‍රමණිකයෙකුටද එරෙහිවය.

නිදහස ලබා ගැනීමෙන් පසුවද ලංකාව විසින් පවත්වා ගෙන ගියේ ඉන් පෙර පැවති සාර්ව ආර්ථික ආකෘතියමය. එහෙත්, එක් පැහැදිලි වෙනසක් සිදු විය. ඒ, විදේශ සමාගම් සතුව පැවති ව්‍යවසායයන් ක්‍රමයෙන් ලංකාවේ රජයේ පාලනය යටතට ගනු ලැබීමයි.

උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ලංකාවම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වුවත්, එය එසේ වූ පමණින්ම එක රැයකින් ලංකාව ඉංග්‍රීසි ජාතිකයින්ට හෝ වෙනත් බටහිර රටවල උපන් අයට පැමිණ ජීවත් වන්නට හෝ ව්‍යාපාර කරන්නට සුදුසු ක්ෂේම භූමියක් වුනේ නැත. බටහිර රටක සිට ලංකාවට පැමිණ ජීවත්වීම ගැන හෝ ව්‍යාපාර කිරීම ගැන සිතන බොහෝ දෙනෙකුට අද මුහුණ පාන්නට සිදු වන ප්‍රශ්න බොහොමයක් එදාත් තිබුණේය. ඔවුන්ට සෞම්‍ය දේශගුණයක් වෙනුවට කටුක දේශගුණයක් තෝරාගන්නට සිදු විය. තමන්ගේ සංස්කෘතියෙන් දුරස් වන්නට සිදු විය. ලංකාවට රැගෙන එන ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ නිශ්චිත සහතිකයක් නොවීය. මේ සියල්ල පිළිබඳවම යම් තරමකින් සෑහීමකට පත් විය හැකි වුවත්, ලෝකය පුරා තිබුණු වැඩි ප්‍රතිලාභ ලබාගත හැකි වෙනත් බොහෝ තැන් සමඟ සසඳමින් තේරීමක් කළ යුතු විය.

මුල් කාලයේදී ඉංග්‍රීසි රජයට ලංකාවේදී දරන්නට සිදුවූ වියදම් ඔවුන් විසින් සොයාගත්තේ අසීරුවෙනි. ලංකාවේ ව්‍යාපාර කරන්නට, ජීවත් වන්නට හා සංචාරය කරන්නට මවු රටේ ජීවත් වූ ඉංග්‍රීසීන්ව පෙළඹවීමට ඔවුන්ට විශාල උත්සාහයක් දරන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රජයේ මිලිටරි හෝ සිවිල් සේවකයින් නොවූ සාමාන්‍ය ඉංග්‍රීසි ජාතිකයෝද ක්‍රමයෙන් ලංකාවට පැමිණීමටත්, ව්‍යවසාය ඇරඹීමටත් පටන් ගත්තේය. මේ ඇතැම් ව්‍යවසාය අසාර්ථක විය. තවත් ඒවා සාර්ථක විය. පසුකාලීනව, ඉංග්‍රීසින් අනුයමින් වෙනත් බටහිර රටවල වැසියන්, ජාතික සමාගම් හා බහුජාතික සමාගම් ලංකාවේ ව්‍යාපාර ඇරඹුවේය.

නිදහසට පෙර ලංකාවේ පැවති විදේශිකයින්ට අයත් වූ ව්‍යාපාර බොහොමයක් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කෙරුණු ලාභ ලැබූ ව්‍යාපාරයි. කිසියම් ව්‍යාපාරයක් ලාබ ලැබීම යනු ශ්‍රමය සූරාකෑමේ ප්‍රතිඵලයක් ලෙස ලඝු කළ හැකි දෙයක් නොවේ. එයට අවදානම් කළමනාකරණය, නවීන තාක්ෂනය, ව්‍යවසායකත්වය වැනි විවිධ කරුණු බලපායි.

සමස්තයක් ලෙස, බටහිර රටවල සිට ලංකාවට පැමිණ ව්‍යාපාර ඇරඹුවේ අවදානම් ගන්නට කැමති වුනු, ව්‍යවසායකත්වය අතින් ඉදිරියෙන් සිටි අයයි. මේ අය විසින් ඉපැයූ ලාභ සියල්ලම නොවේනම්, අඩු වශයෙන් එයින් වැඩි කොටසක් ඔවුන් විසින් අලුතින් නිර්මාණය කළ ධනයයි. එසේ නැතුව, ලංකාවෙන් හෝ වෙනත් අයගෙන් සූරාගත් ධනයක් නොවේ. ඔවුන් ලංකාවට පැමිණ ව්‍යාපාර නොඇරඹුවේනම් එවැනි ධනයක් ලංකාව තුළ නිර්මාණය නොවිය හැකිව තිබුණි.

කෙසේ වුවද, ඉහත කී අයුරින් ලංකාව තුළ විදේශිකයින් විසින් නිර්මාණය කළ ධනයෙන් සෑහෙන කොටසක් ඔවුන්ගේ මවු රටවලටම ගියේය. ලංකාව තුළ ඉතිරි වුණේ එයින් කොටසක් පමණි. එසේ වූ පමණින් ලංකාවට අයහපතක් වුණේද නැත. ව්‍යවසායයන්හි නැවත ආයෝජනය කළ ප්‍රාග්ධනය ලෙසත්, රජය විසින් බදු හරහා අය කරගෙන යටිතලපහසුකම් වෙනුවෙන් වැය කළ මුදල් ලෙසත්, රට ඇතුළත සිදු කෙරුණු පරිභෝජන වියදම් ලෙසත් ලාබයෙන් කොටසක් රට තුළ ඉතිරි විය. මේ ව්‍යවසායයන් වෙත ශ්‍රමය විකිණූ ලාංකිකයින් විසින් ලබාගත් අතිරික්තයක් ඇත්නම් එයත් ලංකාවට ලැබුණු ශුද්ධ ලාභයකි.

නිදහස ලැබෙන තුරු ලංකාවේ පැවතුණේ ලංකාවට විදේශ ප්‍රාග්ධනය ගලා එන රැල්ලකි. නිදහසින් පසු මේ ප්‍රාග්ධන ප්‍රවාහ ආපසු හැරුණේය. ලංකාවේ දේශපාලනය හා සංස්කෘතික සාධක මෙහි ජීවත් වූ ඉංග්‍රීසින් ඇතුළු බටහිරයන්ගේ අපේක්ෂිත අවම තත්ත්වයන්ගෙන් විතැන් වෙද්දී මෙය අපේක්ෂා කළ යුතු දෙයකි. කෙසේ වුවද, ලංකාවේ ආණ්ඩු විසින් ගත් ඇතැම් ක්‍රියාමාර්ග නොවීනම් මෙය සුමට ලෙස හා හානිකර නොවන ලෙස සිදු විය හැකිව තිබුණි.

ලංකාවේ ව්‍යවසායයක් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි ජාතිකයෙකු කවර හෝ හේතුවක් නිසා එය විකුණා දමා රටින් පිටවන්නට හිතන්නේනම්, එසේ විකුණන්නේ තමන්ට එය විකිණිය හැකි වැඩිම මිලටය. ලංකාව නිදහස ලැබීමෙන් පසුව ආසන්න කාලය වැනි, රට තුළ සංස්කෘතික වෙනස්කම් සිදුවන කාලයක මෙවැනි ව්‍යවසායයක් මිල දී ගන්නට බොහෝ විට ඉදිරිපත් වන්නේ දේශීය ව්‍යවසායකයින්ය. එවැනි දේශීය ව්‍යවසායකයින් අතරින් වැඩිම මිලක් ගෙවන්නට සූදානම් වන පුද්ගලයා යනු අදාළ ව්‍යාපාරයෙන් වැඩිම ලාභ අපේක්ෂා කරන්නාය. මේ පුද්ගලයා දේශීය ව්‍යවසායකයින් අතරින් අදාළ ව්‍යාපාරය වඩාත්ම කාර්යක්ෂම ලෙස කරගෙන යා හැකි පුද්ගලයාද වේ. ඒ නිසා, එවැනි පුද්ගලයෙකු විසින් මෙහෙයවෙන ව්‍යාපාරයක් පෙර තරම් ලාභ නූපයනු ඇති වුවත්, ලාබ විශාල ලෙස අඩු වන්නේද නැත. අනික් අතට ලංකාවේ දිගටම ජීවත් වන්නට අදහස් නොකරන විදේශිකයකු විසින් තමන්ගේ ලාභ වලින් කොටසක් හෝ රටින් පිටතට ගෙන යන නිසා ඉහත කී ආකාරයේ නිදහසේ සිදුවන ව්‍යාපාර හිමිකම් සම්ප්‍රේෂණයකදී ලංකාවේ නිර්මාණය වී ලංකාව තුළ ඉතිරිවන නව ප්‍රාග්ධනය ඉහළ යාමට සැලකිය යුතු ඉඩක් තිබුණේය.

මෙයට අමතරව, සිදුවෙමින් පැවති සංස්කෘතික වෙනස්කම් හමුවේ වුවද තවදුරටත් කිසියම් විදේශික ව්‍යවසායකයින් පිරිසක් රට තුළ රැඳී සිටිනු ඇති අතර ඔවුන් තවදුරටත් ලාභ ලැබුවත්, ඒ ලාභ රට තුළම රැඳෙනු ඇත. ඔවුන් කෙසේ වුවත්, ඔවුන්ගේ දරුවන් හෝ දරුවන්ගේ දරුවන් ක්‍රමයෙන් ලාංකික සංස්කෘතිය තුළට අවශෝෂණය වනු ඇත. නිදහස ලැබෙන විට ලංකාවේ සිටි බර්ගර් ජාතිකයින් ලෙස හැඳින්වුණු අයගෙන් පැවතෙන්නන් මෙන්ම විප්ලවයෙන් පසු චීනයෙන් සංක්‍රමණය වූ අයගෙන් පැවතෙන්නන්ද බොහෝ දෙනෙකු මේ වන විට සංස්කෘතික ලෙස සිංහලයෝය.

කෙසේවුවද, මේ ව්‍යවසාය හිමිකම් සම්ප්‍රේෂණය ඇත්තටම සිදුවුනේ මේ තරම් සුමට ලෙස නොවේ. ව්‍යවසාය ජනසතු කිරීමේ නාමයෙන් රජය සතු කිරීම ඇරඹුනේය. ඒ නිසා, රජය සතු වූ ව්‍යවසායයන්ගේ කළමණාකරුවන් වුණේ ස්වභාවික ලෙස මේ හුවමාරුව සිදුවන්නට ඉඩ හැරියේනම් ඒවායේ කළමණාකරුවන් විය හැකිව තිබුණු රට තුළ සිටි දක්ෂම ව්‍යවසායකයින් නොවේ. ජනසතු කිරීම් හමුවේ ඇතැම් විදේශිකයින් විසින් සිය ව්‍යවසායයන් කඩිමුඩියේ කීයකට හෝ විකුණා යද්දී ඒවා හිමි කරගත් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් වුවද, බොහෝ විට, ඒ ව්‍යවසායයන් කළමනාකරණය කිරීමට වඩාත්ම සුදුසු අය නොවීය.

එහෙත්, ජනසතු කිරීම් ලෙස හැඳින්වුනු රජය සතු කිරීම් ඒ කාලයේ ජනප්‍රිය තේරීම් විය. බොහෝ දෙනා මේ ක්‍රියාවලිය දැක්කේ ආක්‍රමණිකයා සතුව තිබූ සම්පත් "අපේ රජය" වෙත ලැබීමක් ලෙසය. මේ "අපේ රජය" තවදුරටත් අපේ නොවන රජයක් බව වැඩි දෙනෙකු තේරුම් ගෙන නොසිටි අතර මේ තත්ත්වය වසර හැත්තෑවකට පසුවද ලොකුවට වෙනස් වී නැත.

ජනසතු කිරීම් වලින් පසුව සිදු වූ හොරකම්, දූෂණ හා නාස්ති ගැන බොහෝ දෙනෙක් කතා කරති. මේවා විශාල ප්‍රශ්න බව ඇත්තකි. එහෙත්, මේ ජනසතු කිරීම් වල තිබුණු ලොකුම ප්‍රශ්නය හොරකම්, දූෂණ හා නාස්ති නොවේ. හොරකම් හා දූෂණ නිසා රජය සතු විය යුතු ධනයක් වෙනත් අයෙකු අතට යයි. එහෙත්, රටක් ලෙස සැලකූ විට මේ ධනය රට තුළ කාගේ හෝ අතේ තිබේ. නාස්ති සම්බන්ධව මේ තර්කය සම්පූර්ණයෙන් නිවැරදි නොවන නමුත් නාස්තියේ ස්වභාවය අනුව නාස්ති කරන මුදල් වලින් වුවද කොටසක් රට තුළ ඉතිරි විය හැකිය.

හොරකම්, දූෂණ හා නාස්ති ආදිය අප කිසිසේත්ම අනුමත නොකරන නමුත් රජයේ අකාර්යක්ෂමතාවය ලෙස අප හඳුන්වන්නේ මේ දේවල්ම නොවේ. හොරකම්, දූෂණ හා නාස්ති ආදිය හේතුවෙන් රජයට අහිමි වන්නේ කවුරු හෝ විසින් නිර්මාණය කළ ධනයයි. වෙනත් අයුරකින් කියනවානම් දිගින් දිගටම හොරකම්, දූෂණ හා නාස්ති කිරීම පිණිස වුවද අලුතින් ධනය නිර්මාණය කළ යුතුය. එසේ අලුතින් ධනය නිර්මාණය නොවේනම් කලක් යද්දී හොරකම් කරන්නටවත් දෙයක් ඉතිරි නොවේ.

රජයේ අකාර්යක්ෂමතාවය ලෙස අප මූලික වශයෙන් හඳුන්වන්නේ ඉහත කී අයුරින් කවරෙකු හෝ විසින් නිර්මාණය කළ ධනයක් රජයට සම්බන්ධ පිරිස් විසින් හොරකම් කිරීම හෝ විනාශ කිරීම නොවේ. රජයේ පාලනය හේතුවෙන්, වෙනත් අයෙකු විසින් නිර්මාණය කළ හැකිව තිබුණු අලුත් ධනයක් නිර්මාණය වීම සිදු නොවීමයි.

මෙය පැහැදිලි කර ගැනීමට අපි උදාහරණයක් දෙස බලමු.

අපේ උදාහරණය ලෙස අපි "නිල් මොණරා" නම් වූ මනඃකල්පිත ගුවන් සේවයක් ගැන සිතමු. මේ ගුවන් සේවය වෙනුවෙන් රජය විසින් රුපියල් බිලියනයක ආයෝජනයක් කර තිබේ. ගුවන් සේවය වසරකට රුපියල් මිලියන 10ක පමණ සාමාන්‍ය ලාභයක් උපයයි. ගුවන් සේවය සාමාන්‍යයෙන් පාඩු නොලබයි. එහි පරිපාලකයෝ කිසිවෙකු හොරකම් නොකරති. දූෂණ නොකරති. එසේනම්, මෙය කාර්යක්ෂමද?

රජය භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් වසරකට 10%ක පොලියක් ගෙවන්නේයැයි සිතමු. එසේනම්, රුපියල් බිලියනයක් වසරක් හිරකර තැබීමේ ආවස්ථික පිරිවැය රුපියල් මිලියන 100කි. එහෙත්, "නිල් මොණරා" ගුවන් සේවයට හිරකර ඇති රුපියල් බිලියනය වෙනුවෙන් වසරකට ලැබෙන්නේ රුපියල් මිලියන 10ක් පමණි. මෙවැනි ව්‍යවසායයක් පෞද්ගලික ව්‍යවසායකයෙකු විසින් කිසි විටකත් නඩත්තු කරන්නේ නැත. රජයකට වුවද එවැන්නක් දිගින් දිගටම නඩත්තු කිරීමේ හැකියාවක් නැත.

රජය දැන් මේ දිගටම ලාබ ලබන ගුවන් සමාගම රුපියල් මිලියන 800 කට විදේශ සමාගමකට විකුණයි. (රජය ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියනයක් හෙවත් මිලියන 1000කි.) එය එම සමාගම විකිණිය හැකි ඉහළම මිලයි. මෙය නරක තීරණයක්ද?

නැත. බැලූ බැල්මට රජයට රුපියල් මිලියන 200ක අලාභයක් සිදු වේ. එහෙත්, එය ගනුදෙනුවේ නියම අලාබය හෝ ලාබය නොවේ.

ගුවන් සේවය විකුණා ලැබුණු මුදල් නිසා රජයේ ණය බර රුපියල් මිලියන 800කින් අඩු කරගත හැකි වන අතර වාර්ෂික පොලී වියදම රුපියල් මිලියන 80කින් පහළ යයි. ගුවන් සේවයෙන් ලැබුණු වාර්ෂික ලාබය වූ රුපියල් මිලියන 10 අහිමි වී ඇතත්, ගනුදෙනුව නිසා රජයට රුපියල් මිලියන 70ක වාර්ෂික ශුද්ධ වාර්ෂික ලාබයක් ලැබේ. ඒ නිසා, මේ ගනුදෙනුව නරක නැත.

විදේශ සමාගම විසින් "නිල් මොණරා" ගුවන් සේවය මිල දී ගන්නේ ඔවුන්ට එයින් ලාබ ලැබිය හැකි බව දන්නා නිසාය. ඔවුන්ගේ කළමනාකරණය යටතේ එහි වාර්ෂික ලාභ රුපියල් මිලියන 200 දක්වා ඉහළ යයි. එහෙත්, ඔවුන් ලාබ වැඩි කරගන්නේ සමාගමේ සේවය කළ ලාංකිකයින්ව "සූරාකෑම" මඟින් නොවේ. සමාගම යටතේ සේවක වැටුප්ද ඉහළ යන අතර ගුවන් සේවයේ ගුණාත්මක භාවයද ඉහළ යයි. වාර්ෂික ලාභයෙන් රුපියල් මිලියන 50ක් බදු ලෙස රජයට ගෙවන අතර ඉතිරි රුපියල් මිලියන 150 රටෙන් එළියට යයි. එහෙත්, සමාගම විසින් එසේ රටෙන් එළියට ගෙන යන්නේ ඔවුන් විසින් අලුතින් නිර්මාණය කළ ධනයයි.

සමාගම විසින් ගෙවන බදු මුදල්ද සමඟ ගුවන් සේවය නිසා රජයට ලැබෙන වාර්ෂික වාසිය රුපියල් මිලියන 120 දක්වා ඉහළ  යයි. එහෙත්, විදෙස් සමාගම විසින් උපයන ඉහළ ලාභ දකින රජය සිය ගුවන් සේවය ආපසු මිල දී ගන්නට තීරණය කරයි. ඒ වෙනුවෙන්, රජයට රුපියල් මිලියන 1,500ක් ගෙවන්නට සිදු වේ. ඊට වඩා අඩුවෙන් එය ආපසු විකිණීමට සමාගම එකඟ කර ගත නොහැකිය.

රජය විසින් පත් කළ අලුත් විධායකයින් විසින් ගුවන් සේවයේ ලාබ සමාගම යටතේ පැවති මටටමේම දිගටම පවත්වා ගන්නා නමුත් මේ අය අවංක පුද්ගලයෝ නොවෙති. ඔවුන් යටතේ හොරකම් හා මූල්‍ය වංචා සිදු වේ. ඒ නිසා, සැබෑ ලාභය රුපියල් මිලියන 200ක් වුවත් ගුවන් සේවය විසින් පෙන්වන ලාබය රුපියල් මිලියන 100ක් පමණි. විදෙස් සමාගම විසින් ගුවන් සේවය පාලනය කරද්දී රජයට බදු ලෙස වාර්ෂිකව ලැබුණේ රුපියල් මිලියන 50ක් පමණි. මුලින්ම සිටි හොරකම් නොකරන අවංක විධායකයින් විසින් වාර්ෂිකව උපයා දුන්නේ රුපියල් මිලියන 10ක් පමණි. එසේනම්, අලුත් විධායකයින් විසින් හොරකම් කළත් ආණ්ඩුවට ලාබද?

ගුවන් සේවය විසින් රුපියල් මිලියන 100ක වාර්ෂික ආදායමක් උපයන නමුත් ගුවන් සේවය වෙනුවෙන් කර ඇති ආයෝජනයේ ආවස්ථික පිරිවැය (10%ක පොලිය) රුපියල් මිලියන 150කි. ඒ නිසා, ඇත්තටම දැන් රජයට සිදුවන්නේ රුපියල් මිලියන 50ක අලාබයකි. විදෙස් සමාගම විසින් ගුවන් සේවය පාලනය කරද්දී ලැබුණු, දැන් නොලැබෙන රුපියල් මිලියන 50ක බදු මුදලද සැලකූ විට ශුද්ධ අලාභය රුපියල් මිලියන 100කි.

රජය විසින් පත්කළ අලුත් විධායකයා විසින් හොරකම් නොකළේනම් ගුවන් සමාගමේ ලාබ රුපියල් මිලියන 200ක් විය හැකිව තිබුණේය. එහෙත්, ඔහු හොරෙකි. ඔහුට එසේ අවංකව කටයුතු කරන්නට උවමනාවක් නැත. හොරෙක් වුවත් දක්ෂයෙකු වන ඔහු සමාගම හොඳින් කළමනාකරණය කර ලාබ වැඩි කර ඇත්තේ ඔහුට හොරකම් කරන්නට ලැබුණු ඉඩප්‍රස්තාව නිසාමය.

එසේනම්, මේ හොරාව ඉවත් කර මුලින්ම සිටි අවංක විධායකයාව නැවත පත් කළ යුතුද? ඔහු හොරෙක් නොවේ. එහෙත්, ඔහු දෙවන්නා තරම් දක්ෂ පුද්ගලයෙකුද නොවේ. ඔහු විසින් හොරකම් නොකළත්, ඔහු යටතේ සමාගම විසින් උපයනු ඇත්තේ රුපියල් මිලියන 10ක ලාබයක් පමණි. ඒ නිසා, අවසාන වශයෙන් සිදුවන්නේ රජයේ වාර්ෂික ශුද්ධ අලාභය තවත් රුපියල් මිලියන 90කින් වැඩි වීම පමණි.

ජාතික අවශ්‍යතා වැනි වෙනත් කවර හෝ හේතුවක් නිසා ඉහත විකල්ප දෙක අතරින් ආර්ථික වශයෙන් වාසිදායක විකල්පය වන විදෙස් සමාගමකට ගුවන් සමාගම දීම අත හැරියොත් ඉතිරි වන විකල්ප දෙකම රජයට අවාසිදායක නරක විකල්පයි.  ඇතැම් වෙලාවට තේරීමක් කිරීම යනු නරක විකල්ප දෙකක් අතරින් අඩු නරක තෝරා ගැනීමයි. මේ උදාහරණයේදී මෙන්, ඇතැම් විටෙක දක්ෂ හොරෙක්, අවංක එහෙත් අදක්ෂ පුද්ගලයෙකුට වඩා හොඳ තේරීමක් වන්නට පුළුවන.

කෙසේ වුවද, ජනතාවගේ සිහිනය අවංක හා දක්ෂ පුද්ගලයින්ය. එසේ සිතා තෝරා ගන්නා පුද්ගලයින් බොහෝ දෙනෙකු කලින් හිතූ තරම් දක්ෂ නැති බව, අවංක නැති බව හෝ දෙකෙන් එකක්වත් නැති බව දැනගන්නට ලැබෙන්නේ තේරීම කිරීමෙන් පසුවය. එවිට එවැනි පුද්ගලයෙකු ඉවත් කර වෙනත් පුද්ගලයෙකු තෝරා ගන්නට සිදුවේ. මෙය රාජ්‍යය සම්බන්ධ මූලික ප්‍රශ්නයකි. රාජ්‍යය විශාල වන තරමට එවැනි තේරීම් වැඩි ගණනක් කරන්නට සිදුවේ. මධ්‍යගත පාලන ක්‍රමයක් අකාර්යක්ෂම වීමට බලපාන ප්‍රධාන හේතුව මෙයයි.

නිදහස් වෙළඳපොළ ක්‍රමය මේ ප්‍රශ්නය ස්වභාවික ලෙසම විසඳයි. මෙහිදී පුද්ගලයින් ස්වඅභිමතාර්ථය වෙනුවෙන් කටයුතු කිරීම වෙනත් අයට ප්‍රශ්නයක් නොවනවා පමණක් නොව, එයම පද්ධතිය කාර්යක්ෂමතාවය කරා මෙහෙයවන යාන්ත්‍රනය බවටද පත්වේ. අදක්ෂ පුද්ගලයින් ස්වභාවික ලෙසම ඉවතට විසිවන අතර, පුද්ගලයින් කටයුතු කරන්නේ තමන්ගේම අභිවෘද්ධිය වෙනුවෙන් නිසා මධ්‍යගත පාලන ක්‍රමයකදී මෙන් වංක භාවය ප්‍රශ්නයක් වන්නේ නැත. මෙවැනි ක්‍රමයක කාර්යක්ෂමතාවය සමඟ මධ්‍යගත සැලසුම් ආර්ථිකයකට කෙසේවත් තරඟ කළ නොහැකිය.

සැබෑ තත්ත්වය මෙවැන්නක්නම්, මුල් යුගයේ වාමාංශික නායකයින් විසින් ලංකාව රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් වෙත තල්ලු කළේ ඇයි?

මෙය ඇත්තටම ඔවුන් විසින් ඒ කාලයේ කළ "වැරැද්දක්" බව කියන්නට නුපුළුවන. මේ නායකයින්ගෙන් බොහෝ දෙනෙකු රට වෙනුවෙන් හා සමාජය වෙනුවෙන් යමක් කරන්නට අවංකවම සිතූ හා ඒ වෙනුවෙන් ක්‍රියා කළ අයයි. මේ පරමාර්ථය වෙනුවෙන් ඔවුහු තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය වැය කළහ. ඉතිහාසය විසින් පෙන්වා දී ඇති පරිදි ඔවුන් මහන්සි වී ඇත්තේ අවසාන වශයෙන් අකාර්යක්ෂමතාවයට හා රටේ ජනතාවගේ අයහපතට හේතුවෙන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වීම වෙනම කතාවකි.

ආර්ථික දියුණුව කරා යාමේදී සමාජවාදී ප්‍රතිසංස්කරණ අකාර්යක්ෂම වුවත්, සමාජවාදී ප්‍රතිසංස්කරණ හරහා ආර්ථික විෂමතාවයන් අවම කිරීම වැනි වෙනත් ඉලක්ක කරා ළඟා වන්නට පුලුවන. කෙසේ වුවද, අඩු වශයෙන් විප්ලවයෙන් පසුව ගත වුනු මුල් අඩ සියවසක පමණ කාලය තුළ සෝවියට් දේශයට කැපී පෙනෙන ආර්ථික ජයග්‍රහණයයන්ද අත්පත් කරගත හැකි විය. සමාජවාදය මුල් කාලයේදී ජනප්‍රිය වීමට හේතු වුනේ මෙසේ ආර්ථික ජයග්‍රහණ හා වෙනත් ආර්ථික නොවන ඉලක්ක එකවර ළඟා කරගනිමින් සෝවියට් දේශය විසින් පෙන්වූ සාර්ථකත්වයයි. මේ ක්‍රමය යටතේ රජයේ මධ්‍යගත පාලනය යටතේ සිදුවුණු නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්‍රියාවලිය හරහා රජය විසින් උපයාගත් ලාභය රටේ ජීවත් වූවන්ගේ සමාජ සුබසාධනය වෙනුවෙන් වැය කෙරුණේය. මෙය සමාජයේ පහළ ස්ථර වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් රටේ ආදායම් විෂමතාවයන් අඩු කිරීමටත් හේතු විය.

රාජ්‍ය සුබසාධන ප්‍රතිපත්ති හේතුවෙන් රටේ පහළ ස්ථර වෙත සම්පත් සම්ප්‍රේෂණය වන විට එවැන්නන්ට තමන්ගේ රටේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක බව දැනේ. එහෙත් රජයකට සම්පත් නිර්මාණය කළ නොහැකිය. රජයක් විසින් සුබසාධනය හරහා බෙදා හරින්නේ, අදාළ සමාජයේම කිසියම් පිරිසක් විසින් නිර්මාණය කරන සම්පත් වලින් කොටසකි. එවැනි සම්පත් දායකයින් තමන්ගේ සම්පත් වලින් කොටසක් රජය විසින් උදුරා ගනු ලැබීම පිළිබඳව සතුටු නොවුවත්, ඒ පිරිස විශාල ධනයක් උපයන සුළු පිරිසක් හා ඔවුන් උපයන දෙයින් වාසි ලබන කණ්ඩායම විශාල පිරිසක්නම් එවැනි ක්‍රමයකට සැලකිය යුතු කාලයක් බිඳ නොවැටී පැවතෙන්නට පුළුවන. එහෙත්, කාලයත් සමඟ මෙසේ ධනය උපයන සුළු පිරිස අධෛර්යමත් වීමත්, ඔවුන්ගේ ධනය  ක්‍රමයෙන් ක්ෂය වීමත් සමඟ මෙවැනි ක්‍රමයක් අර්බුදයට යයි.

සුබසාධන ප්‍රතිපත්ති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන සමාජවාදී නොවන රටවල් අදටත් තිබේ. ඒ අතර, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්කැන්ඩිනේවියානු රටවල් හා මැදපෙරදිග ඇතැම් රටවල් ඉහළින්ම සිටී. මේ රටවල පුරවැසියන්ට කිසිදු ආදායමක් නූපදූවත් රජයෙන් බොහෝ දේ ලැබේ. මේ රටවල් හා විප්ලවයෙන් පසු සෝවියට් දේශය එකතු කළ හැකි පොදු කුලකයක් තිබේ. ඒ, මේ රටවල් සියල්ලම එම රටවල ජනගහණයට සාපේක්ෂව විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයකට හිමිකම් කීමයි.

කිසියම් රටක අලුතින් ධනය නිර්මාණය වීමට හේතුව වන්නේ ඒ රටේ මිනිසුන්ගේ මහන්සියට වඩා වාසනාවනම්, එනම් කිසියම් රටක විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් ඇත්නම්, එවැනි රටක මිනිසුන්ගේ ව්‍යවසායකත්වය අඩු වුවද යහපත් ජීවන මට්ටමක් කාලයක් පවත්වා ගැනීමට බැරිකමක් නැත. එවැනි ස්වභාවික සම්පත් වල ප්‍රතිලාභ රටේ කිහිප දෙනෙකු අත තිබෙනවාට වඩා සියලු දෙනා අතර බෙදීයාම සාධාරණ වනවා පමණක් නොව එවැනි සම්පත් රජය විසින් කළමනාකරණය කිරීම හේතුවෙන් අකාර්යක්ෂමතා වැඩි වීමක් සිදුවන්නේද නැත (සාපේක්ෂ ප්‍රකාශයකි). මේ ස්වභාවික සම්පත් වලට ඉඩම්ද ඇතුළත්ය.

ලංකාව ඉහත කී රටවල් තරම් වාසනාවන්ත රටක් නොවේ. කුඩා ඉඩක සැලකිය යුතු ජනගහණයක් ගාල් වී සිටින ලංකාවේ මිනිසුන්ගේ බඩවල් පුරවන්නට ස්වයංජාත හාල් පහළ වන්නේ නැත. පවතින සීමිත සම්පත් උපයෝගී කර ගනිමින් රටට අලුතින් ධනය නිර්මාණය කිරීමට රටට ව්‍යවසායකයින් අවශ්‍යය. ව්‍යවසායකයින් දිරිමත් වන්නේ ඔවුන්ට ලාබ ලැබීමට ඇති හැකියාව තුළය. මේ ලාබ ඔවුන් විසින් අලුතින් නිර්මාණය කරන ධනය මිස වෙනත් අයගෙන් සූරාකන හෝ හොරාකන ධනයක් නොවේ. එසේ කරන්නෝ ව්‍යවසායකයෝ නොවෙති.

ලංකාවට සාපේක්ෂව විශාල ස්වභාවික සම්පත් සංචිතයකට හිමිකම් කියන ඇමරිකාවේ ආර්ථිකය ඉදිරියට එළවන්නේ ඒ සම්පත් වලින් නොවේ. ව්‍යවසායකත්වය තුළිනි. සමාජවාදී රටක් වුවත් දැන් චීනයේ සිදුවන්නේද එයයි.

සෝවියට් දේශයේ රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් ආර්ථිකය අවසානයේදී බිඳ වැටුනත් එය සෑහෙන කාලයක් අල්ලා සිටියේය. එහෙත්, සමාජවාදය හේතුවෙන් වෙනත් රටවලට එවැනි ආර්ථික දියුණුවක් ලැබුණේ නැත. චීනය හැර අනෙක් සෑම සමාජවාදී රටක්ම වාගේ සෝවියට් දේශයෙන් අඩු වැඩි වශයෙන් යැපුණු පරපෝෂිතයෝ වූහ. කෙසේ වුවද, නිදහසෙන් පසු පළමු දශක තුන තුළ ලංකාවේ ආර්ථිකය සැලසුම් කළ ඇතැම් අයට සෝවියට් දේශය පරමාදර්ශී රාජ්‍යයක් ලෙස පෙනීම අදට සාපේක්ෂව බලා වැරැද්දක්යැයි කිව නොහැකිය.

ඉංග්‍රීසින් විසින් ලංකාව කළමනාකරණය කළේ පාඩු ලබමින් නොවේ. ලංකාවේ ආර්ථිකය හොඳින් කළමනාකරණය ඔවුහු එයින් සැලකිය යුතු ලාබයක් ලැබූහ. ලංකාවේ අනාගත යහපත ගැන හිතමින් නොවූවත් ඔවුහු ඒ ලාබයෙන් කොටසක් මෙහි ආයෝජනය කළෝය. ඉතිරිය රටෙන් පිටට රැගෙන ගියහ. මෙසේ රටෙන් පිටට ගෙන ගිය කොටස ගැන කතා කරන බොහෝ දෙනෙක් අමතක කරන්නේ ඔවුන් එසේ රැගෙන ගියේ ඔවුන් විසින් නිර්මාණය කළ ධනය බවයි. (මේ කියන්නේ ආර්ථික වටිනාකමකට වඩා වෙනත් වටිනාකම් ඇති, ලංකාවෙන් රැගෙන ගිය, ඔවුන් විසින් නිර්මාණය නොකළ ඇතැම් දේ ගැන නොවේ.)

නිදහසින් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවට "අපේ ආණ්ඩුවක්" ලැබීමෙන් පසු ලාංකිකයින්ට අවශ්‍ය වුනේ කලින් සුද්දා රැගෙන ගිය අතිරික්තය තමන් අතරේ බෙදාගෙන හැකි ඉක්මණින් භුක්ති විඳින්නටය. සුබසාධන ආණ්ඩු වලින් මේ ලාබ මිනිස්සුන්ට ලැබුණේය. ඒ නිසා, ආණ්ඩුව තමන්ගේ එකක් බව මිනිස්සුන්ට දැනුණේය.

ලංකාව නිදහස ලබන විට ඉංග්‍රීසීන්ගෙන් ලැබුණේ අද මෙන් අයවැය හිඟයක් හෝ ගෙවුම් ශේෂ හිඟයක් තිබුණු ආර්ථිකයක් නොවේ. දේශීය හෝ විදේශීය ණය ගොඩ ගැසුණු ආර්ථිකයක්ද නොවේ. රටේ සීමිත විදේශ ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් විශාල විදේශ සංචිත ප්‍රමාණයක් ඉතිරිව තිබුණු ශක්තිමත් ආර්ථිකයකි. ඒ නිසා, සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යාම මුල් කාලයේදී ගැටලුවක් වූයේ නැත. ඒ කාලයේ රටේ සිටි දුප්පත් මිනිස්සුන්ට රජයෙන් ඇත්තටම යමක් ලැබුණේය.

මේ තත්ත්වය වෙනස්  වන්නට වැඩි කලක් නොගියේය.

(ඉන්පසු සිදුවුණේ කුමක්ද? මාතෘකාව ගැන කතා නොකරම වචන 5000ක් පමණ ලියැවී ඇත. ඒ නිසා, සෙස්ස පස්සට තබමු.)

(Image: https://www.colombotelegraph.com/index.php/two-immoral-acts-of-sirisena-ranil-government/)

Wednesday, May 17, 2017

දෙකක් කතා කිරීම හා දෙකක් දා ගැනීම


"දෙකක් කතා කරල මිසක් පස්ස බලන්නෙ නෑ!"

සමහර අය ඔහොම කියන වෙලාවල් තිබේ. එහෙම කතා කරන සමහර අය කිවුවා වගේම දෙකක් කතා කරන තුරු පස්ස බලන්නේ නැත. ඒත්, ඔහොම කියන ගොඩක් අය නිකමට වගේ ඕක කිවුවාට දෙකක් කතා කරන්න යන්නේ නැත. ඒ දෙකක් කතා කිරීම කියන තරම්ම ලේසි නැති නිසාය. සමහර වෙලාවට කලින්ම දෙකක් දාගත් විට දෙකක් කතා කිරීමට උත්තේජනයක් ඇතිවේ.

ලොකුවට බලාපොරොත්තුවක් නොතිබුණත් ඉකොනොමැට්ටාත් අන්තිමේදී දෙකක් කතා කර තිබේ!

ඉකොනොමැට්ටා බ්ලොග් ලියන්නට පටන් ගත්තේ 2015 මැයි 18 වෙනිදාය. ඒ අනුව, 2017 මැයි 18 වෙනිදා වන විට ඉකොනොමැට්ටා මේ වියුණුව හරහා අවුරුදු දෙකක්ම කතා කර තිබේ.

අවුරුදු කිවුවාට අවුරුදු වර්ග තිබෙන්නේ එකක් නොවේ. දැන් මෙහි දෙකක් කතා කළ බව කියන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ අවුරුදු අනුවය. ග්‍රෙගෝරියන් අවුරුද්දකට දින 365ක් හෝ 366ක් තිබේ. ඉකොනොමැට්ටාගේ පළමු ග්‍රෙගෝරියන් අවුරුද්දට දින 366ක් තිබුණු නිසා අවුරුදු දෙකට දින 731කි. මෙය ග්‍රෙගෝරියන් අවුරුද්දක සාමාන්‍ය දිග අනුව හෝ නිවර්තන, නක්ෂත්‍ර මෙන්ම ඇනොමලිස්ටික් යන මොන ක්‍රමයට බැලුවත් අවුරුදු දෙකකට වඩා පැය 12කට ආසන්න කාලයකින් දිග වැඩිය.

ග්‍රෙගෝරියන් දින දර්ශනය වෙනුවට ජුලියන් දින දර්ශනය දිගටම භාවිතා කළේනම් ඉකොනොමැට්ටා බ්ලොග් එක ආරම්භ කළ දිනය වෙන්නේ 2015 මැයි 5 දිනයි. එමෙන්ම, සිංහල සූර්ය දින දර්ශනය අනුවනම් ශක වර්ෂ 1937 වෘෂභරවි මාසයේ තෙවන දිනයි. වෘෂභරවි මාසය සිංහල සූර්ය දින දර්ශනයේ දෙවන මාසයයි. මේ දින දර්ශන දෙක අනුවද 2017 මැයි 18 දිනට බ්ලොග් එකට වසර දෙකක් සම්පූර්ණ වේ. සූර්ය දින දර්ශනය අනුව 2017 මැයි 18 යනු ශක වර්ෂ 1939 වෘෂභරවි මාසයේ තෙවන දිනයි.

සිංහල චන්ද්‍රමාස ක්‍රමය අනුව, ඉකොනොමැට්ටා බ්ලොග් එක ආරම්භ කළ දිනය බුද්ධ වර්ෂ 2559 පොසොන් මාසයේ පළමු දිනය වන පුර පෑලවිය දිනයයි. එතැන් සිට දෙවසරක් ගත වී, බුද්ධ වර්ෂ 2561 පොසොන් මාසයේ පළමු දිනය වන පුර පෑලවිය දිනය එළැඹෙන්නේ 2017 මැයි 26 වෙනිදාය. ඒ නිසා සිංහල චන්ද්‍ර කැලැන්ඩරය අනුව දෙවන සංවත්සරය සමරන්නට ඉකොනොමැට්ටාට තවත් සතියක් බලා ඉන්නට සිදුවේ. චන්ද්‍ර වර්ෂ අනුව සංවත්සරය කල් යන්නේ මේ දෙවසර තුළ අධික මාසයක් එකතු වී ඇති බැවිනි.

අධික මාස එකතු කිරීමක් නොකරන චන්ද්‍ර කැලැන්ඩරයක් වන ඉස්ලාම් හිජ්රි කැලැන්ඩරය අනුව බ්ලොග් එක ආරම්භ කළ දිනය 1436 අටවන මාසය වන ශබාන් මාසයේ පළමු දිනයයි. 1438 ශබාන් මාසයේ පළමු දිනය යෙදුනේ 2017 අප්‍රේල් 26 දිනටය. ඒ නිසා, ඒ කැලැන්ඩරය අනුවනම් දැන් ඉකොනොමැට්ටා දෙකක් කතා කර සති තුනකටත් වඩා වැඩිය.

මේ අවුරුදු දෙක ඇතුළත ඉකොනොමැට්ටාට සම්මාන මෙන්ම අවමානද ලැබුණේය. ඒ මොනවා ලැබෙද්දීත් ඉකොනොමැට්ටා සමඟ දිගටම රැඳී සිටි පාඨක පිරිස ඉකොනොමැට්ටාගේ ලොකුම ශක්තියයි. මේ කාලය තුළ ඉකොනොමැට්ටාගේ බොජුන්හල වෙත පැමිණි ඇතැම් අය දැන් මේ වියුණුවේ පමණක් නොව සිංහල වියුණු අතරද පෙනෙන්නට නැත. ඇතැම් අය බ්ලොග් වලට පමණක් නොව ජීවිතයටද සමුදී ඇත. ඒ අයත්, තවමත් මෙහි පැමිණෙන අයත් ඇතුළු බොහෝ දෙනෙක් දිගින් දිගටම ඉකොනොමැට්ටාව දිරිමත් කළ බව ස්තුති පූර්වකව සඳහන් කළ යුතුය.

කෙසේ වුවත්, සමස්තයක් ලෙස පාඨකයින් ඉවත් වනවාට වඩා වැඩියෙන් සිදුවී ඇත්තේ අළුත් පාඨකයින් එකතු වීමයි. පාඨකයින් සංඛ්‍යාවට වඩා ඉකොනොමැට්ටාව සතුටට පත් කරන්නේ මුල් වසරට සාපේක්ෂව දැන් මෙහි ලිපි කියවන බොහෝ දෙනෙක් කැමැත්තෙන් කියවන අය වීමයි.   විශේෂයෙන්ම දෙවන වසර තුල සිදු වුනු ප්‍රධානම වෙනස කලින් සින්ඩි හරහා පැමිණි බොහෝ දෙනෙක් දැන් කෙළින්ම මෙහි ලිපිනය ඇතුළු කරමින් පැමිණීමයි. ඒ අතරම, ඉඳහිට කියවන්නට තමන් කැමති ආකාරයේ වෙනත් දෙයක් නැති විට අකැමැත්තෙන් මෙහි පැමිණි අය දැන් බොහෝ දුරට අඩුවී තිබේ.

කිසිදා කමෙන්ට් නොදැම්මත් දිගටම නොවරදවා මෙහි පැමිණෙන හා නන් අයුරින් මේ වියුණුව ප්‍රචාරණය කරන පාඨකයින් විශාල පිරිසක් සිටින බව ඉකොනොමැට්ටා නොදන්නවා නොවේ. ඒ අය ඇතුළු සියළුම පාඨකයින්ගේ ශක්තියෙන් දෙකක් කතා කරන්නට පෙර ඉකොනොමැට්ටාට දෙකක් දමා ගන්නට හැකිවුණා පමණක් නොව මදි පාඩුවට තවත් බාගයක් දාගන්නට
හැකි විය.



අපි දිගටම හමුවෙමු!

(Image: https://vinepair.com/wine-blog/wine-toast-new-years-hate-champagne/)

Tuesday, April 25, 2017

අරුන්දතී ගුවන් විදුලි වැඩසටහන


ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිට භාෂා පණහකින් විකාශනය කෙරෙන EB4 ගුවන් විදුලි සේවයේ ශ්‍රී ලාංකික (සිංහල) සේවය ඉදිරිපත් කරන සඳැල්ල වැඩ සටහනේ අද තේමාව වූයේ අරුන්දතියයි. මේ FM නාලිකාවේ ඉරිදා දිනවල උදයේ පැයක් හා අඟහරුවාදා දිනවල රාත්‍රියේ පැයක් ලෙස සිංහල වැඩසටහන් විකාශනය වේ. බ්‍රිස්බේන් වේලාවෙන් පස්වරු දහයේ සිට පැයක කාලයක් විකාශනය වූ අද සඳැල්ල වැඩසටහන සඳහා අරුන්දතිය තේමා කරගැනීමට හේතු වී තිබුණේ දින කිහිපයකට පෙර ඉකොනොමැට්ටාගේ බොජුන්හලේ පළ කෙරුණු "වික්ටර්ගේ අරුන්දතී හා ජෝතිපාලගේ අරුන්දතීලා" නම් වූ ලිපියයි.

වැඩසටහන ඇරඹුණේ ඉකොනොමැට්ටාගේ ලිපියේ කතා නොකළ, මෑතකදී විකාශනය කෙරී ඇති අරුන්දතී ටෙලිනාට්‍යයේ තේමා ගීතයෙනි.

"අරුන්දතී සලුපටින් මිදී
මා ලඟට ලංව එවී
ඔය රහස් කතා ඇස් පියන් වසා
ඇස් වලට තුරුළු වේවී..."



මේ ගීතය ප්‍රචාරය කිරීමෙන් පසුව වැඩසටහන් සම්පාදකයෝ ඔවුන්ගේ අසන්නන් වෙනුවෙන් ඉකොනොමැට්ටාගේ බොජුන්හල හා ඉකොනොමැට්ටාව හඳුන්වා දීමෙන් අනතුරුව වැඩසටහනට ඉකොනොමැට්ටාව සම්බන්ධ කර ගත්තේය. මේ සඳහා මුල් වුනේ EB4 ගුවන් විදුලි සේවයේ ශ්‍රී ලාංකික කණ්ඩායමේ සාමාජිකයෙකු වන, මා පෞද්ගලිකව නොහඳුනන තිසරයි.

මෙහිදී ඉකොනොමැට්ටා පලකළ අදහස් බොහොමයක් බ්ලොග් ලිපියේ ලියා ඇති නිසා නැවත ලිවිය යුතු නැත. මෙහිදී කියැවුණු, මුල් ලිපියේ නැති එක් විශේෂ කරුණක් වන්නේ අරුන්දතී තාරකාව හෝ එය අයත්වන සප්තාර්ශී තාරකා මණ්ඩලය ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි මෙල්බර්න් හෝ සිඩ්නි වැනි නගරයකට නොපෙනෙන බවයි. ඒ, ඒ නගර වල සිටින අය මරණයට ආසන්නව සිටින නිසා නොවේ. සප්තාර්ශී තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ පොළොවේ උතුරු දෙසට වන්නට නිසාය.

මා හිතන පරිදි, බ්‍රිස්බේන් වැනි තරමක් උතුරට වන්නට පිහිටි නගරයක සිට වුවද මේ තාරකා මණ්ඩල නොපෙනුණත්, ඕස්ට්‍රේලියාවේ වඩා උතුරට වන්නට ඇති පෙදෙසක සිට මේ තාරකා දැකිය හැකිය. මේ අයුරින්ම ඕස්ට්‍රේලියානු ජාතික කොඩියේ ඇති දකුණු කුරුසිය උත්තරාර්ධගෝලයේ සමකයෙන් ඈත පෙදෙස් වලට නොපෙනේ.

දැන් නොපෙනුණත් වසර දෙදහසකට පමණ පෙර දකුණු කුරුසිය ඉර බසින වෙලාව ආසන්නව සමකයෙන් උතුරේ පිහිටි ජෙරුසලම ඇති ප්‍රදේශයට පමණක් නොව දකුණු යුරෝපයේ වතිකානුව තිබෙන ප්‍රදේශයටද පෙනී තිබේ. මේ පෙදෙස් වල ක්‍රිස්තියානිය පැතිරෙන්නට පෙර පැවති ජනශ්‍රැති අනුව දෙවියන් (හිරු) හැන්දෑවේ කුරුසියේ හැපී මිය යන අතර නැවත පසුදා උදේ උත්ථානය වේ. කෙසේවුවද, පොළොවේ පූර්වායනය නිසා වසර දෙදහසකට පමණ පෙර ඔවුන්ට දකුණු කුරුසිය නොපෙනී ගියේය.

ඉකොනොමැට්ටාට අදහස් දැක්වීමට ඉඩ සැලසීමෙන් පසුව වැඩ සටහනේ ඉතිරි කොටස තුළ ඔවුහු අරුන්දතී ගැන ලියැවුණු සිංහල ගී ගැන කතා කළහ. ඒ ගී අතර විජය කුමාරතුංගයන් ගයන මේ මියුරු ගීයද තිබුණේය.

"කරඹ යායේ ළවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ ඔබ බලන්නයි අරුන්දතී.."


වැඩ සටහන අවසාන වුණේ ඉකොනොමැට්ටාගේ මුල් සටහන සමඟද පළවුණු එච් ආර් ජෝතිපාලයන් ගයන "දොළොස්මහේ පහණ වාගෙ" ගීතයෙනි. මේ ගීතයේ රචකයා මා නොදන්නා නමුත් එහිද අරුන්දතී තාරකාවට සම්බන්ධයක් ඇති බව පෙනේ. ගීත රචකයා මෙහිදී කිසියම් තරුණියකට අරුන්දතී ලෙස අමතන්නේ ඇය තනිව ගමන් නොයා මල්ලී සමඟම ගමන් බිමන් යන නිසා සමච්චලයටය.

අරුන්දතී තේමා කරගත් සඳැල්ල වැඩසටහනට ඔවුන්ගේ http://www.4eb.org.au/4eb-ondemand වෙබ් අඩවියට ගොස් "Sri Lankan" වැඩ සටහන තේරීමෙන් ඉදිරි සතියක කාලය තුළ (ඊළඟ වැඩසටහන විකාශනය කෙරෙන තුරු) සවන් දිය හැකිය. 

පසු සටහන: මේ වන විට මේ වැඩසටහන යූටියුබ් වෙතද උඩුගත කර තිබේ.

Sunday, March 26, 2017

අධික තත්පරය


පෙර ලිපියෙන් විස්තර කළ පරිදි අවුරුද්දක් යනු පොළොවට ඉර වටා රවුමක් යාමට ගතවන කාලයය යන්නද සරල කතන්දරක් පමණි. ඇත්තටම කියනවානම් මේ කතන්දරය ඉරට තාරකා මණ්ඩල හරහා වටයක් යාමට ගතවන කාලය යන සංකල්පයටත් වඩා අවිනිශ්චිත හා අවුල් සහගත සංකල්පයකි. ඒ, පොළොව ඉර වටා ගමන් කරන එවැනි නිශ්චිත පථයක් නැති බැවිනි. එකම ගඟ දෙවරක් දැකිය නොහැකි අයුරින්ම, පොළොව දෙවරක් එකම පථයේ ඉර වටා නොයයි.

පොළොව ඉර වටා යන නිශ්චිත පථයක් නොමැති නිසා අපට ඇතැම් කටයුතු වලදී අපේ පහසුවට එවැනි පථයක් ඇති බව උපකල්පනය කිරීමට සිදුවේ. මේ උපකල්පනය හරියටම නිවැරදි නොවන නිසා අපට මේ පථය කිසියම් ආකාරයකින් අර්ථදැක්වීමට සිදුවේ. එවැනි අර්ථදැක්වීම් එකකට වඩා තිබිය හැකි හා තිබෙන නිසා පොළොව ඉර වටා යාමට ගතවන කාලය ලෙස අපට මිනුම් එකකට වඩා තිබේ. නක්ෂත්‍ර වසරක් හා ඇනෝමලිස්ටික් වසරක් අතර ඇති මිනිත්තු  4කුත් තත්පර 42ක වෙනසට හේතුවද මෙවැනි අර්ථදැක්වීම් වල ඇති වෙනසකි.

කෙසේ වුවද, නක්ෂත්‍ර වසරක් හා ඇනෝමලිස්ටික් වසරක් අතර වෙනස ප්‍රායෝගිකව ජනජීවිතය හා අදාළව විශාල ප්‍රශ්නයක් ඇති නොකරයි. ඒ අතරම, පොළොවේ, විශේෂයෙන්ම සමකයෙන් ඈත ප්‍රදේශ වල කාලගුණ රටා සමඟ මේ වසරක කාලය මැනවින් ගැලපේ. ඒ නිසා, සහශ්‍ර ගණනකට පෙර පෙරදිග මෙන්ම අපරදිග ලෝකයේත් අවුරුද්ද ලෙස බොහෝ විට සැලකුණේ නක්ෂත්‍ර වර්ෂයයි. වසරේ ආරම්භය ලෙස සැලකුණු දින ඉර හා දිශානුගතව පැවති තාරකාව වෙනස්වීම නිසා අවුරුද්දේ ආරම්භය
වෙනස් වුවත් මේ පදනම මත ගණනය කෙරුණු අවුරුද්දක කාලය ගිණිය හැකි තරමින් වෙනස් වුණේ නැත.

පොළොවේ කාලගුණ රටා, විශේෂයෙන්ම සෘතු, වෙනස්වන චක්‍රය නක්ෂත්‍ර වර්ෂයක කාලය සමඟ ආසන්න ලෙස ගැලපීමට හේතු වන්නේ පොළොව තමන් වටා භ්‍රමණය වන අක්ෂයෙහි අංශක 23.5කට මඳක් අඩු (23°26′13.4″) ආනතියයි. මේ ආනතිය හේතුවෙන් පොළොවේ සමකයෙන් ඈත පෙදෙස් වල ශිශිර, වසන්ත, ගිම්හාන හා හේමන්ත සෘතු ඇති වන ආකාරයත්, දිවා රාත්‍රී කාල වල දිග වෙනස් වන ආකාරයත් පෙර ලිපියකින් විස්තර කර තිබේ.

සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, පොළොව ඉරවටා යද්දී ඉරේ බලපෑම පොළොවේ උතුරු හා දකුණු අර්ධගෝල වලට සමමිතික ලෙස සිදුවන්නේ අවස්ථා දෙකකදී පමණි. ඒ වසන්ත විෂුවය හා හේමන්ත විෂුවය සිදුවන (මේ වසරේ මාර්තු 20 හා සැප්තැම්බර් 22) දින වලදීය. ඉතිරි දින වල පොළොවේ උතුරු හා දකුණු අර්ධගෝල වලට ඉරේ බලපෑම සිදුවන්නේ අසමමිතිකවය. මේ අසමමිතිය වඩාත්ම විශාල වන්නේ ගිම්හාන හා ශිශිර සූර්ය නිවෘත්තීන් සිදුවන (මේ වසරේ ජූනි 21 හා දෙසැම්බර් 21) දිනවලදීය. මෙය වාර්ෂික චක්‍රයක් ලෙස සිදුවන අතර ග්‍රෙගෝරියන් දින දර්ශනයටද පදනම් වන නිවර්තන වර්ෂය යනු මේ චක්‍රය සම්පූර්ණ වීමට ගතවන කාලයයි.

පොළොව ඇද වුවත්, පොළොවේ ඇදය වෙනස් නොවී එක විදිහකට තිබුණානම් නිවර්තන වර්ෂයක් නක්ෂත්‍ර වර්ෂයකට සමාන විය හැකිව තිබුණේය. එහෙත්, පොළොවේ මේ ඇදයත් හැමදාම එක විදිහට තියෙන්නේ නැත. කලකදී මේ ඇදය අංශක 22.1 පමණ දක්වා අඩුවන අතර තවත් කාලයකදී අංශක 24.5 පමණ දක්වා වැඩි වේ. මේ වන විට මේ ඇදය අංශක 23.5 පමණ  වුවත් එය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. ක්‍රිස්තු වර්ෂ 11,800 පමණ වන තුරු මේ ඇදය ටික ටික ටික අඩුවී අවම මට්ටමට පැමිණීමෙන් පසු නැවත වැඩි වන්නට පටන්ගනු ඇති අතර මෙය (nutation) වසර 41,000කට පමණ වරක් චක්‍රීය ලෙස සිදුවේ. (රූප සටහනේ පොළොව කැරකෙන දිශාව ලකුණු කර ඇති ආකාරය නිවැරදි නැත.)



මේ කාලයේ පොළොවේ ඇදය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නිසා පොළොවේ ඉර සෘජුව මුදුන් වන උතුරු හා දකුණු සීමාවන්ද වසරින් වසර සමකය දෙසට විතැන් වේ. උතුරු හා දකුණු ධ්‍රැව ආශ්‍රිතව ඇති සමකයට සාපේක්ෂව සමසකට වරක් දිවා රෑ මාරුවන, සුරයන්ගේ හා අසුරයන්ගේ අඩවි ටිකෙන් ටික කුඩා වේ. කෙසේ වුවද, ඉහත හේතුව නිසාද නිවර්තන වසර දිගුකාලීනව නක්ෂත්‍ර වර්ෂයකින් වෙනස් විය යුතු නොවේ.

පොළොවේ ඇදය වෙනස් වන එකම ආකාරය ඉහත ආකාරය නොවේ. මේ ආනතිය වසර 26,000කට පමණ වරක් තුන්වන මානයක බමරයක් සේ වාමාවර්තව (දක්ෂිණාවර්තව භ්‍රමණය වන පොළොවට ප්‍රතිවිරුද්ධව) කැරකේ. චක්‍රීය ලෙස සිදුවන මේ වෙනස්වීම පූර්වායනය (precession) ලෙස හැඳින්වේ.


 
පූර්වායනය හේතුවෙන් එක් හේමන්ත විෂුවයක සිට තවත් හේමන්ත විෂුවයකට හෝ එක් ශිශිර සූර්ය නිවෘත්තියක සිට තවත් ශිශිර සූර්ය නිවෘත්තියකට ගතවන්නේ නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව පොළොවට ඉර වටා රවුමක් යාමට ගත වන කාලයට වඩා වසර 1/26,000කින් හෙවත් මිනිත්තු 20කුත් තත්පර 25කින් පමණ කෙටිය.

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී ජීවත් වූ ග්‍රීක විද්‍යාර්ථියෙකු වූ (වත්මන් බෙදීම් අනුව ඔහු ජීවත් වූ පෙදෙස අයත් වන්නේ තුර්කියටය) හිපාර්කස් විසින් ආකාශ නිරීක්ෂණ සටහන් කර තිබුණු පැරණි ලේඛණ පරීක්ෂා කරමින් සූර්යය නිවෘත්ති හා විෂුවයන් සිදුවන දින කාලයත් සමඟ වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළේය. ඔහුගේ ගණනය කිරීම් අනුව, එවකට භාවිතා කළ නක්ෂත්‍ර වසර මත පදනම් වූ දින දර්ශනය වසර 100කට පමණ වරක් දවසක් 'වැඩියෙන්' ගමන් කළේය. අද අප දන්නා පරිදි මේ වෙනස වසර 71කට (26,000/365) දවසකි.

හිපාර්කස්ගේ නිරීක්ෂණ මත පදනම්ව බටහිර දින දර්ශනය සෘතු වෙනස්වීම් සමඟ ගැලපෙන පරිදි 'නිවැරදි' කෙරුණේය. ඒ අනුව, ජුලියන් දින දර්ශනයට මෙන්ම ග්‍රෙගෝරියන් දින දර්ශනයටත් සූර්ය නිවෘත්ති මත පදනම් වූ නිවර්තන වසර යොදා ගැනුණේය.

ග්‍රීසියෙහි සිදුවුණු හිපාර්කස්ගේ නිරීක්ෂණ පිළිබඳ දැනුම භාරතීය විද්‍යාර්
ථින්ටද රහසක් නොවීය. එහෙත්, සමකය ආසන්නයේ පිහිටි (වත්මන්) ඉන්දියාවට සිය දින දසුන සෘතු වෙනස්වීම් සමඟ ගැලපීම එතරම් වැදගත් නොවූ නිසා භාරතීය දිනදසුන් තවදුරටත් නක්ෂත්‍ර වසර මතම පදනම් විය.

ග්‍රෙගෝරියන් දින දසුන නිවර්තන වසර මත පදනම් වුවත් ග්‍රෙගෝරියන් සැලසුම නිවර්තන වසර සමඟ වුවද හරියටම නොගැලපේ. ග්‍රෙගෝරියන් වසරක් නිවර්තන වසරකට වඩා තරමක් දිගය. ඒ නිසා ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ වසරක් හා නිවර්තන වසරක් අතරද තත්පර 27ක වෙනසක් තිබේ. මේ නිසා අප දැනට භාවිතා කරන කැලැන්ඩරයත්, නක්ෂත්‍ර වසර මත පදනම් වූ සිංහල අවුරුද්ද ගණනය කිරීමට හා (ඉන්දියානු) ජ්‍යෝතිෂයේදී යොදාගන්නා කැලැන්ඩරයේ වසරක් අතර ඇති වෙනස මිනිත්තු 19කුත් තත්පර 58කි.

සාමාන්‍ය වෙනස මෙය වුවත්, මේ වෙනස සෑම වසරකදීම සමාන නොවේ. එයට හේතුව නක්ෂත්‍ර වසරක දිග බොහෝ දුරට සමාන වුවත්, නිවර්තන වසරක දිග වසරින් වසර වෙනස් වීමයි. මෙයට හේතුව පොළොව ඉර වටා ගමන් කරන පථය ඉලිප්සාකාර නොවීම හා එහි වෙනස් තැන් හරහා ගමන් කරන්නේ එකම වේගයකින් නොවීමයි.

කෙසේවුවද, වඩා ස්ථිර නක්ෂත්‍ර වසරක කාලය හා දවසක පැය ගණන වුවද කිසිදා වෙනස් නොවන දේවල් නොවේ. ඉතා සුළුවෙන් වුවත් මේවාත් වෙනස් වේ. පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වන වේගය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර මේ නිසා පොළොවට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට දැන් ටික කලකට ගතවුණාට වඩා වැඩි කාලයක් ගතවේ. මේ වෙනස දිනකට මිලිතත්පර 1.7ක් පමණ ඉතා සුළු වෙනසක් වුවත් මේ සුළු වෙනස එකතු වීම නිසා මාස 19කට පමණ වරක් තත්පරයක වෙනසක් ඇති වේ. මෙය නිවැරදි කරගැනීම සඳහා කලින් කලට අධික තත්පරයක් එකතු කරන්නට සිදුවේ.

පසුගිය වසර 46ක කාලය තුළ 27 වරක් මේ අයුරින් අධික තත්පර එකතු කරමින් දැනට භාවිතා කරන සම්මත කාලය නිවැරදි කරනු ලැබ ඇති අතර අවසන් වරට මෙවැනි නිවැරදි කිරීමක් කෙරුණේ පසුගිය දෙසැම්බර් 31 දින මධ්‍යම රාත්‍රියේදීය. ඒ අනුව, පසුගිය 2016 දෙසැම්බර් 31 දින මධ්‍යම රාත්‍රී 11:59:59 තත්පරයෙන් පසුව එළඹුණු තත්පරයේදී 2017 නව වසර උදාවුණේ නැත. ඒ වෙලාවේ එළඹුණේ 11:59:60 තත්පරයයි. 2017 නව වසර උදාවුණේ තත්පර 61ක් දිගින් යුතු වූ මේ අන්තිම මිනිත්තුවෙන් පසුවය. සමහර වෙලාවට මිනිත්තුවක කාලයක් අපට තත්පර 60කට වඩා දිගු ලෙස දැනේ. ඒ, ඇත්තටම ඒ මිනිත්තුව තත්පර 60කට වඩා දිග නිසා වෙන්නටත් පුළුවන. 


වෙනස්වීම් තේරුම් ගැනීම සඳහා අප හදාගෙන ඇති කාලය නම් වූ සංකල්පය පදනම් වන්නේ අප ඇතැයි සිතන කිසියම් නොවෙනස් වන දෙයක් මතය. එහෙත්, වඩා හෙමින් වෙනස් වන දේවල් මිස එවැනි නොවෙනස් වන දේවල් නැත.


විල් මත නෙළුම් හෙලුවත් කැළුම්
ගල් පර තලයි රැළි මෙන් හැඟුම්...
වෙරළේ තෙරේ අප හමුවෙනා
කිසිවෙකු නෑ දන්නේ ආදරේ...
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...
ඔබ හා මා ඉන්නා තත්පරේ...
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...

ඊයේ පැවති නෙළුම්යාය සම්මාන ප්‍රදානෝත්සවයේදී ඉකොනොමැට්ටාගේ බ්ලොග් අඩවි අගය කර ඇති බව මේ දැන් දැනගන්නට ලැබුණු අතර ඒ පිළිබඳව සංවිධායකයින්ට ස්තුතිවන්ත වන අතර සියළුම සම්මානලාභීන්ට සුභපතමු!

(Image: http://www.theskepticsguide.org/the-leap-second-insertion, http://sciences-physiques.ac-dijon.fr/astronomie/lexique/lexique_astro/p/precession_equinoxes.htm, wikipedia)

Tuesday, May 17, 2016

ග්‍රෙගෝරියන් අවුරුද්ද, නක්ෂත්‍ර අවුරුද්ද හා ඉකොනොමැට්ටාගේ අවුරුද්ද


වර්තමාන ලෝකයේ ලංකාවද ඇතුළු බොහෝ රටවල භාවිතා වන ප්‍රමුඛ දින දසුන වන ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ දවසක් යනු කුමක්ද යන්නත්, පැරණි සිංහල දින දසුනේ දවසක් යනු කුමක්ද යන්නත් අපි පෙර ලිපියෙකින් කතා කළෙමු. ග්‍රෙගෝරියන් දවසක් යනු පෘථිවියට සිය අක්ෂය වටා කරකැවී, එම අක්ෂයට ලම්බකව පිහිටි තලයකට පෘථිවි මධ්‍යයේ සිට සූර්යයා පිහිටි තැන දක්වා ඇඳිය හැකි මනඃකල්පිත රේඛාවක ප්‍රක්ෂේපනය කරා නැවත පැමිණීමට ගතවන කාලයයි. සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, පෘථිවියට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන කාලයට වඩා මඳක් වැඩි මෙම කාලය අර්ථදැක්වීම අනුව පැය විසි හතරකි. 

දීර්ඝකාලීනව පෘථිවියේ සමකයෙන් වඩා දුරස්ථ නොවන ප්‍රදේශ වල ඇති වන දිවා රාත්‍රී චක්‍රයක සාමාන්‍ය දිග මෙවැනි පැය විසිහතරක දවසක් හා සම්පාත වේ. මෙසේ අර්ථ දක්වන පැය විසි හතරක දවස යන සංකල්පයට සාපේක්ෂව හා ඈතින් පිහිටි තරු වල පෘථිවියට පෙනෙන පිහිටීමට සාපේක්ෂව පෘථිවියට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට පැය 23 මිනිත්තු 56 තත්පර 4.098903691ක පමණ සාමාන්‍ය කාලයක් ගතවේ. කෙසේවුවද, මේ කාලයද වෙනත් බොහෝ සාධක අනුව වෙනස් වන්නකි. එමෙන්ම, පෘථිවියට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන කාලය දිගුකාලීනව දිවාරාත්‍රී චක්‍රයක දිග සමඟ සම්පාත වන්නේද නැත.

සූර්ය ග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තු අතර සිදුවන සාපේක්ෂ චලිතය විස්තර කිරීමට දැන් යොදාගන්නා සූර්ය කේන්ද්‍රීය ආකෘතිය ජනප්‍රිය වීමට පෙර ජනප්‍රියව පැවති පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව දවසක් යනු සූර්යයාට පෘථිවිය වටා වටයක් කරකැවීමට ගත වන කාලයට මෙන්ම දිවාරාත්‍රී චක්‍රයකටද සමානය. මේ කාලය දිගුකාලීනව ග්‍රෙගෝරියන් දවසක් සමඟද සම්පාත වේ. සූර්ය කේන්ද්‍රීය ආකෘතියේදී මෙන් පෘථිවිය සිය අක්ෂය වටා සිදුකරන චලිතය හා පෘථිවිය සූර්යයා වටා සිදු කරන චලිතය ලෙස සංරචක දෙකකට විභේදනය කිරීමක් අවශ්‍ය නොවන නිසා මේ දෙවන ආකෘතිය වඩා සරලය. තේරුම් ගැනීම පහසුය.

ග්‍රෙගෝරියන් දවස පිලිබඳ සංකල්පය බිහි වුනේ සූර්ය කේන්ද්‍රීය ආකෘතිය ජනප්‍රිය වීමට බොහෝ කලකට පෙර පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය ජනප්‍රියව තිබියදීය. ඒ නිසා, ග්‍රෙගෝරියන් දවසද පෘථිවි කේන්ද්‍රීයව බිහි වූ සංකල්පයකි. ග්‍රෙගෝරියන් දවස සූර්ය කේන්ද්‍රීය ආකෘතිය ඇසුරින් විස්තර කිරීම වඩා සංකීර්ණ කාර්යයක් වන්නේ ඒ නිසාය.


දිවා රාත්‍රී චක්‍ර වලට අමතරව චක්‍රීයව සිදුවන තවත් බොහෝ සංසිද්ධි හෝමෝ සේපියන්ස්ලා විසින් දිගුකාලීනව නිරීක්ෂණය කර තිබේ. දිවා රාත්‍රී චක්‍ර 29-30 කට පමණ වරක් චන්ද්‍ර චක්‍ර හා කාන්තාවන්ගේ ඔසප් චක්‍ර පුනරාවර්තනය වේ. එමෙන්ම, දිවා රාත්‍රී චක්‍ර 365-366 කට පමණ වරක් කාලගුණ චක්‍ර පුනරාවර්තනය වේ. මාස හා අවුරුදු යන සංකල්ප වලට පදනම් වන්නේ මේ සංසිද්ධීන්ය.

පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව, සූර්යයා, වෙනත් ග්‍රහ වස්තු මෙන්ම ඈතින් පිහිටි තාරකාද පෘථිවිය වටා ගමන් කරයි. මේ ඈතින් පිහිටි තාරකාවෝ දීර්ඝ කාලයක් තිස්සේ පෘථිවියට පෙනෙන පරිදි එකිනෙක අතර ඇති දුර නොවෙනස්ව පවත්වා ගනී. අහසේ පෙනෙන්නට ඇති දහස් ගණනක් වූ තාරකාවෝ පොළොව වටා කැරකෙන්නේ එක් සමූහයක් වශයෙනි. එහෙත්, අහසේ ඇති සූර්යයා හා චන්ද්‍රයා ඇතුළු ග්‍රහවස්තු ලෙස හඳුනාගන්නා වස්තූන් නක්ෂත්‍ර තාරකා පංති ප්‍රධාන අනෙකුත් තාරකා සමූහය සමඟ රෑනේ ඉගිලෙන්නේ නැත. ඒවාට තමන්ටම ආවේණික වූ ගමන් තිබේ.

පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව, සූර්යයා පෘථිවිය වටා ගමන් කරන්නේ නක්ෂත්‍ර තාරකා ගමන් කරනවාට වඩා අඩු වේගයකිනි. මේ නිසා කිසියම් නිශ්චිත දීර්ඝ කාලයක් තුළ පෘථිවිය වටා සූර්යයා ගමන් කරන වට ගණන පෘථිවිය වටා නක්ෂත්‍ර තාරකා ගමන් කරන වට ගණනට වඩා අඩුය. නිරීක්ෂණ ඇසුරින් කාලයක් තිස්සේ ගණනය කර ඇති මේ වට ගණන් පිළිබඳ හා කාලය පිළිබඳ සූර්ය සිද්ධාන්ත සමයේ පැවති දැනුම පහත සඳහන් ආකාරයේ එකකි.


කාලයේ ප්‍රභේද දෙකකි. අපට සංකල්පීය වශයෙන් අවබෝධ කරගත හැකි හා එසේ කළ නොහැකි කාලය වශයෙනි. අපට සංකල්පීය වශයෙන් අවබෝධ කරගත හැකි කාලයද මැනිය හැකි, සැබෑ කාලය (මූර්ත- मूर्त, මුහුර්ත- मुहूर्त) හා මැනිය නොහැකි බැවින් සැබෑ නොවන නමුත් සංකල්පීය ලෙස අවබෝධ කර ගත හැකි කාලය (අමූර්ත- अमूर्त) ලෙස ප්‍රභේද දෙකකි. (10 වන ශ්ලෝකය)

මූර්ත කාල ඒකකයක් වන නක්ෂත්‍ර අහෝරාත්‍රයක් යනු පෘථිවිය මත ඇතිවන දිවාරාත්‍රී චක්‍රයකි. [මෙය පැරණි සිංහල දවසකටද  සමානය.] අහෝරාත්‍රයකට ඝටිකා හැටකි. [මේ අනුව, ඝටිකාවක් පැරණි සිංහල පැයකි.] (12 වන ශ්ලෝකය)

ඝටිකාවකට පල හැටකි. [මේ අනුව පල එකක් සිංහල විනාඩි එකකද, ග්‍රෙගෝරියන් තත්පර 24කටද සමානය.] මේ කාලයේදී මැනීමේ හැකියාවක් තිබුණු කුඩාම කාල අන්තරය වූයේ පල එකකින් හයෙන් කොටසක් වූ ප්‍රාණ එකකි. ප්‍රාණ එකක් වත්මන් තත්පර හතරකට පමණ සමාන විය. (11 වන ශ්ලෝකය) කෙසේවුවද, සංකල්පීය වශයෙන් මීට වඩා බොහෝ කුඩා කාලාන්තර හඳුනාගෙන තිබුණේය.


මහා යුගයක් යනු නක්ෂත්‍ර තාරකාවන්ට පොළොව වටා වාර 1,582,237,828 ක් යාමට ගතවන කාලයයි (34 වන ශ්ලෝකය). මෙවැනි මහා යුගයක් තුළදී සූර්යයා පොළොව වටා වාර 1,577,917,828 ක් ගමන් කරයි (37 වන ශ්ලෝකය). කල්පයක් යනු මෙවැනි මහා යුග දහසකි (20 වන ශ්ලෝකය).  මහා යුගයක් තුළදී සුරයන්ගේ හා අසුරයන්ගේ අහෝරාත්‍රයන් 4,320,000 ක් ගෙවී යයි. සුරයන්ගේ හා අසුරයන්ගේ අහෝරාත්‍රයක් යනු මිනිසුන්ගේ වසරකි (15 හා 16 වන ශ්ලෝක).

ඉහත තොරතුරු අනුව සුර හෝ අසුර දිනක් හෙවත් මිනිස් වසරක් තුළදී සූර්යයා පොළොව වටා වාර 365.2587565 ක්ද, නක්ෂත්‍ර තාරකා වාර 366.2587565 ක්ද ගමන් කරයි.


මේ අනුව, නක්ෂත්‍ර තාරකා හා සූර්යයා වෘත්තාකාර ධාවන පථයක මැරතන් තරඟයක නිරතව සිටින බව සැලකුවහොත් අඩු වේගයකින් දුවන සූර්යයා සහ අනෙකුත් තාරකා අතර පරතරය දිනෙන් දින වැඩි වේ. එහෙත් කිසියම් කාලයකට පසුව නක්ෂත්‍ර තාරකාවන් 'රවුමක ලීඩ් එකක් ගැනීම නිසා' නැවතත් සූර්යයා සමඟ සිටින තැනටම පැමිණේ. සූර්ය සිද්ධාන්ත වසරක් යනු මේ 'රවුමේ ලීඩ් එක ගැනීමට' නක්ෂත්‍ර තාරකාවන්ට ගතවන කාලයයි. වෙනත් අයුරකින් කිවහොත් පොළොවට නිරීක්ෂණය වන පරිදි, නක්ෂත්‍ර තාරකාවන්  (සමඟ සූර්යයා) පොළොව වටා සිදු කරන නැගෙනහිර සිට බටහිරට සිදු කරන චලිතයට සාපේක්ෂව සූර්යයාට ප්‍රතිවිරුද්ධ දිශාවට පොළොව වටා වටයක් යාමට ගතවන කාලයයි. සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව පොළොවට සූර්යයා වටා වටයක් යාමට ගත වන කාලයද සංකල්පීය වශයෙන් මෙයමය. නක්ෂත්‍ර වර්ෂයක් (sidereal year) ලෙස හැඳින්වෙන්නේ මේ කාලයයි. 

වත්මන් මිනුම් අනුව, නක්ෂත්‍ර වසරක් යනු පැය විසි හතරේ ග්‍රෙගෝරියන් දින 365.256363004 ක් පමණ වේ. මේ කාලය සූර්ය සිද්ධාන්ත යුගයේ ඇස්තමේන්තුවෙන් වෙනස් වන්නේ මිනිත්තු 3කුත් තත්පර 26.8කින් පමණි. කෙසේ වුවද, ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ පදනම වනුයේ දින 365.242189ක් පමණ දිග, නක්ෂත්‍ර වසරකට වඩා මිනිත්තු 20කුත් තත්පර 24.6කින් කෙටි නිවර්තන වසරයි (tropical year). මේ නිවර්තන වසර ගැන පසුව වෙනත් ලිපියකින් කතා කරමු. 

ඉකොනොමැට්ටාගේ බොජුන්හල විවෘත කළේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව පසුගිය වසරේ මැයි 18 දිනයි. නක්ෂත්‍ර වසරක දිග අනුව බැළුවද, නිවර්තන වසරක දිග අනුව බැළුවද, ඇනෝමලිස්ටික් වසරක (anomalistic year) දිග අනුව බැළුවද, ඉකොනොමැට්ටාගේ බොජුන්හලට දැන් වයස වසරකි. ග්‍රෙගෝරියන් දින දසුන අනුව 2016 අධික අවුරුද්දක් වූ බැවින් දින 366 කට පසුව ඉකොනොමැට්ටාගේ පළමු උපන් දිනය හෙට (මැයි 18) එළැඹේ.



පසුගිය කැලැන්ඩර් වසර අවසානයේදී මෙන්ම, වියුණුව අරඹා ගතවෙන පළමු වසර තුළදීද ඉකොනොමැට්ටාගේ සැපයුම් ඉලක්ක, ඉල්ලුම් කළමනාකරණ ඉලක්ක ඇතුළු සියළු ඉලක්ක අපේක්ෂා කළ අයුරින්ම සැපිරී තිබේ. වසරක් ඉකොනොමැට්ටා සමඟ රැඳී සිටිමින් නොයෙක් අයුරින් සහයෝගය දැක්වූ ඔබ සියල්ලන්ටම ඉකොනොමැට්ටාගේ ස්තුතිය හිමි වේ.



Friday, January 1, 2016

සතපහකින් කළ හැකි දේ...

උඩ රූපයේ ඇත්තේ ඇමරිකාවේ භාවිතා වෙන සතපහේ කාසියක දෙපැත්තයි. එය ව්‍යක්ත ව්‍යවහාරයේදීද සාමාන්‍යයෙන් හඳුන්වන්නේ 'නිකල්' යනුවෙනි. රටක කාසි එය නිපදවා ඇති ලෝහය අනුව හඳුන්වනු ලැබීම ජනප්‍රිය භාවිතාවකි. කෙසේවුවද, ඇමරිකන් සතපහේ කාසිය නිමවා ඇත්තේ තනිකරම නිකල් වලින් නොවේ. එහි සංයුතියෙන් හතරෙන් තුනක් තඹ වන අතර ඉතිරි හතරෙන් එක නිකල්ය. රිදී පැහැයක් ගන්නා මේ මිශ්‍ර ලෝහය (alloy) කුප්‍රෝනිකල් (cupro-nickel) ලෙස හැඳින්වේ. ඇතැම් විට චීන රිදී හා ජර්මන් රිදී ලෙසද මේ මිශ්‍ර ලෝහය හැඳින්වේ.

ඇමරිකාව තුළදී ව්‍යක්ත ව්‍යවහාරයේදී නිකල් (Nickel) යන වචනයෙන් අදාල ලෝහය හෝ සතපහේ කාසිය හැඳින්වුනද, අව්‍යක්ත ව්‍යවහාරයේදී (slang) මේ වචනයට තවත් තේරුම් තිබේ. ඇතැම් විට මේ වචනයෙන් අදහස් වන්නේ අඩුම මිලකට ලබා ගතහැකි නීති විරෝධී මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයකි. තවත් විටක මේ වචනයෙන් වසර පහක සිර දඬුවමක් අදහස් කෙරේ.

ඩොලර් පනස්පන්දහස ඉක්මවූ ඒක පුද්ගල ආදායමක් ඇති ඇමරිකාවේ වැසියෙකුට නිකල් එකක් ලොකු මුදලක් නොවේ. එහෙත්, ඇමරිකාව තුළදී නිකල් එකකට පමණක් නොව සාමාන්‍ය ව්‍යවහාරයේදී 'පෙනී' ලෙස හඳුන්වන සතයේ කාසියකට වුවද වටිනාකමක් තිබේ. ඇමරිකාව තුළදී ඩොලර් දහයක නෝට්ට්ටුක් දී ඩොලර් 9.99ක් වටිනා භාණ්ඩයක් මිලදී ගතහොත් ඉතිරි සතය කිසිවිටක නොලැබී නොයයි. එමෙන්ම මේ සතය ඉල්ලා සිටි විට ඇතැම් රටවල වෙනවාක් මෙන් කඩේ මුදලාලි විසින් පාරිභෝගිකයාට දෙකක් ඇණ එළියට ඇද දැමීමනම් කිසිවිටක සිදු නොවේ. ඇත්තටම එය ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් වුවද කිසිවිටෙක ඇති නොවේ. මෙය වෙනත් බටහිර රටවලටද පොදු දෙයකි.

සතෙන් සතය හෝ සතපහෙන් සතපහ එකතු කර ඩොලරයක් හදනවාට අමතරව ඇමරිකන් සතපහකින් ගතහැකි වැඩක් තිබේද? ඇත්තටම තිබේ.

තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම මඟින් කාර්යක්‍ෂමතාව ඉහළ නංවන ඇමරිකන් ආර්ථික ක්‍රමයත්, තාක්ෂණයේ දියුණුවත් හේතුවෙන් සතපහකට ඉතා හොඳ තත්ත්වයේ ඇති, භාවිතා කළ පොත් පහක් එකක් සතය බැගින් ඇමසන් වෙබ් අඩවියෙන් මිලදී ගැනීමට පුළුවන. කෙසේ වුවද, තැපැල් ගාස්තුව ලෙස ඩොලර් 3.99ක් ගෙවීමට සිදුවන බැවින් මේ පොතක් නිවසට ගෙන්වා ගැනීමට යන මුළුවියදම ඩොලර් හතරක් වෙයි. පහතින් ඇත්තේ පසුගිය දෙසතිය තුළ එසේ ඇමසන් වෙබ් අඩවියෙන් සතය බැගින් ගෙවා මිලදී ගත හැකිව තිබුණු පොත් පහකි. තැපැල් ගාස්තු හැර, පොත් පහටම ගෙවිය යුත්තේ සතපහකි.

1. Rich Dad Poor Dad - Robert Kiyosaki


2. Wave - Sonali Deraniyagala

3. Sofie's World - Jostein Gaarder

4. Kon-Tiki: Across the Pacific in a Raft - Heyerdahl, Thor

5. The Winds of Sinhala - De Silva, Colin

තෙල් මිල ඉතා අඩු මට්ටමක පවතින මේ දින වල ඇමරිකාව තුළ පෙට්‍රල් ගැලුමක් මිලදී ගැනීමට වැය වන්නේ ඩොලර් දෙකකට වඩා අඩු මුදලකි. පෙට්‍රල් ගැලුමකින් වාහනයක් කිලෝමීටර හතළිහක් පමණ ධාවනය කිරීම අසීරු කරුණක් නොවේ. මේ අනුව, මේ දිනවල සතපහක පැට්‍රල් වලින් කිලෝමීටරයක පමණ දුරක් මෝටර් රථයක් ධාවනය කරවිය හැකිය.

දැනට ඇමරිකන් ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 146ක් පමණ වේ. මේ අනුව, ඇමරිකන් සතපහක් රුපියල් 7.30ක් පමණ වේ. ලංකාවේදී රුපියල් 7.30කින් කළ හැක්කේ කුමක්ද?


මේ තියෙන්නේ ලංකාවේ සතපහේ කාසියකි. ලංකාවේ සතපහේ කාසියකින්නම් දැන් සතපහක වැඩක් නැත. ඒ වුණත්, මේ සතපහටත් කලකට පෙර ලොකු දේවල් කරන්නට පුළුවන් විය. සතපහ සතපහට වැටුණේ අපේ ආර්ථික ප්‍රතිපත්ති වලට පින් සිදුවන්නටය.

මේ තියෙන්නේ මෙසේ උජාරුවට සිට දැන් සතපහටම වැටී සිටින අපේ සතපහේ කතාවයි.

සතපහක උපත

Wednesday, December 30, 2015

සී යා නැක්ස්ට් යා...!!!

මේ සටහන පළ වී එක් විසි පැයෙකින් නවසීලන්තයේ සහ ෆිජිහි සිට ඉකොනොමැට්ටාගේ බොජුන්හලට ගොඩවදින පාඨකයින්ට හෝමෝ සේපියන්ස්ලා වත්මනෙහි භාවිතා කරන ප්‍රමුඛ දින දසුන අනුව නව වසරක් උදා වේ. පැය දෙසාළිසෙකින් ඇමරිකාවේ කැලිෆෝර්නියා, වොෂින්ටන්, ඔරිගන් හා නෙවාඩා ප්‍රාන්ත වල සිටත් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සිටත් මෙහි ගොඩවදින පාඨකයින් හට නව නව වසර උදාවේ. මේ අතරේ ගෙවෙන එක් විසි පෑ කාලාන්තරය තුළ මගේ පාඨකයින් සියල්ලන්ගේම දින දසුන් අළුත් වනු ඇත.

දිනදසුන අනුව වසරක අවසානය යනු ගෙවෙන වෙනත් ඕනෑම මොහොතකට වඩා සුවිශේෂී මොහොතක් නොවේ. ඒ නිසාම, වෙනත් ඕනෑම මොහොතක වුවද කළ හැකි, පසුගිය කාල වකවානුවක් පිලිබඳ පසු විපරමක් කිරීමට මෙය නුසුදුසු අවස්ථාවක් නොවේ. මේ අයුරින්ම සියය හෝ පනස්දහස වැනි 'රවුම්' සංඛ්‍යාවක් වෙනත් 'රවුම් නැති' සංඛ්‍යාවකට වඩා සුවිශේෂී නොවේ. කෙසේ වුවද, වසරක අවසානය මෙන්ම, යම් නිශ්චිත ලිපි ගණනක් ලියා අවසන් කරන අවස්ථාව හෝ නිශ්චිත හිට්ස් ගණනක් කරා ලඟා වන අවස්ථාව බොහෝ විට බ්ලොග් කරුවෙකු විසින් තමන්ගේ බ්ලොග් කෙරුවාව ගැන පසු විපරමක් කිරීමට යොදාගැනීම නරක දෙයක් නොවේ.

මා මේ වියුණුව අරඹා මේ වන විට ගෙවෙන්නේ තිස්තුන්වන සතියයි. සති තිස් තුනක් වියුණුවක් නඩත්තු කිරීම ලොකුවට පාරම්බාන්නට තරම් දෙයක් නොවේ. සාපේක්ෂව, මෙය ඉතා කෙටි කාලයකි. කෙසේ වුවද, මා මෙය අරඹන විට (නො)පැවති බලාපොරොත්තු අනුව මෙය සැලකිය යුතු ආශ්චර්යයකි. හරියටම කියනවානම් දශක ගණනක සිට එදාවේල ක්‍රමයට ඇදගෙන යන ලංකාවේ ආර්ථිකය තාමත් විශාල අර්බුදයකට නොගොස් තිබෙන්නාක් වැනි ආශ්චර්යයකි.

ආර්ථික විද්‍යාවේ දෙපැති වෙළඳපොළවල් (Two-sided markets) නම් වූ සංකල්පයක් තිබේ. මා දන්නා තරමින් මෙවැනි වෙළඳපොළවල් ගැන මූලික හෝ අතරමැදි ආර්ථික විද්‍යා පාඨමාලාවකදී ඉගැන්වීමක් නොකෙරේ. පාරිභෝගිකයින් විසින් බොහොමයක් භාණ්ඩ මිල දී ගන්නේ යම් නිශ්චිත, ප්‍රමුඛ ක්‍රමයකින් සතුටක් හෝ වාසියක් (උපයෝගීතාවක්) ලැබීම අරමුණු කරගෙනය. උදාහරණයක් ලෙස බොහෝ දෙනෙකු චෙරි, ස්ට්‍රෝබෙරි, තක්කාලි හෝ හරක් මස් මිල දී ගන්නේ කෑමෙන් ලබන සතුට පිණිසය. ඇඳුමක් මිලදී ගන්නේ ඇඳීමෙන් ලබන සතුට වෙනුවෙනි. පොතක් මිල දී ගන්නේ කියවීමෙන් ලබන සතුට වෙනුවෙනි. පොතක් නොකියවා රාක්කයේ තබා ගැනීමෙන් සතුටු වන අයද සිටියත් එවැන්නන් අරමුණු කරගෙන පොත් 'නිපදවීමක්' සාමාන්‍යයෙන් සිදු නොවේ. මෙසේ එකම ආකාරයේ අවශ්‍යතාවක් වෙනුවෙන් භාණ්ඩයක් මිලදී ගන්නා 'සමජාතීය' පාරිභෝගිකයින් වෙනුවෙන් භාණ්ඩ නිපදවා විකුණන වෙළඳපොළක් 'එක්පැති වෙළඳපොළක්' (One-sided market) ලෙස හැඳින්වේ.  මූලික හෝ අතරමැදි ආර්ථික විද්‍යා පාඨමාලාවකදී බොහෝ විට උගන්වන්නේ මෙවැනි එක්පැති වෙළඳපොළවල් හා අදාළ විවිධ ආකෘතීන්ය.

දෙපැති වෙළඳපොළක පාරිභෝගික කණ්ඩායම් දෙකක් සිටිති. මේ කණ්ඩායම් දෙකේ අවශ්‍යතා මුළුමනින්ම වෙනස්ය. උදාහරණයක් ලෙස පුවත්පත් වෙළඳපොළ ගත හැකිය. වැඩිදෙනෙකු පුවත්පත් මිලදී ගන්නේ එහි ඇති ලිපි, ප්‍රවෘත්ති වැනි දේ කියවීමටය. මේ පළමු පාරිභෝගික වෙළඳපොළ තුළ සාමාන්‍යයෙන් නිෂ්පාදකයාගේ ලාභය වැඩිවන්නේ වැඩි පිටපත් ගණනක් විකිණීමෙනි. ඒ සඳහා හොඳ ලිපි සහ කාලීන පුවත් හැකිතරම් පළ කළ යුතුය. පුවත්පත් හා අදාළව දෙවන පාරිභෝගික කණ්ඩායමක්ද සිටිති. මේ අය මූලිකවම පුවත්පතක් මිල දී ගන්නේ දැන්වීම් බැලීම සඳහාය. රැකියා ඇබෑර්තු, මංගල යෝජනා හෝ විකිණීමට ඇති මෝටර් රථ පිලිබඳ දැන්වීම් වෙනුවෙන්ම සිළුමිණ හෝ සන්ඩේ ඔබ්සර්වර් වැනි පුවත්පත් මිල දී ගන්නා පාඨක පිරිසක් සිටින බව රහසක් නොවේ. මේ දෙවන පාරිභෝගික කණ්ඩායමට පුවත්පත් විකිණීමෙන්ද පුවත්පත් සමාගමකට යම් ලාභයක් ලැබෙන නමුත් දෙවන පාරිභෝගික වෙළඳපොළ තුළ ප්‍රධාන වශයෙන්ම ලාභ ලැබෙන්නේ දැන්වීම් පළකිරීම වෙනුවෙන් අයකරන ගාස්තු වලිනි.

දෙපැති වෙළඳපොළක අලෙවි කිරීම සඳහා භාණ්ඩයක් නිපදවීමේදී ලාභ වැඩිකරගැනීම සඳහා මේ වෙළඳපොළෙහි අංශ දෙක මැනවින් කළමනාකරණය කළ යුතුය. පුවත්පතක ඇති මුළු ඉඩ ප්‍රමාණයෙන් දැන්වීම් සඳහා වෙන් කරන ඉඩ ප්‍රමාණය වැඩි වන විට දෙවන පාරිභෝගික කණ්ඩායම තුළ ඉල්ලුම වැඩි වන නමුත් පළමු පාරිභෝගික කණ්ඩායම තුළ ඉල්ලුම අඩුවේ. පළමු කණ්ඩායම ප්‍රධාන පාරිභෝගික කණ්ඩායම බැවින් එවිට අලෙවිවන මුළු පිටපත් ගණනද අඩුවේ. මේ නිසා අඩුවන ලාභය දැන්වීම් ගාස්තු වලින් ආවරණය වේනම් ප්‍රශ්නයක් නැත. එහෙත්, සාමාන්‍යයෙන් වැඩිපුර දැන්වීම් ලැබෙන්නේ වැඩි පිටපත් ගණනක් විකිණෙන පුවත්පත් වලටය. ලුහුඬු දැන්වීම් කියවීමට පුවත්පත් මිලදී ගන්නා යම් පිරිසක් සිටියත් භාණ්ඩ හා සේවා ප්‍රචාරණ දැන්වීම් වලින් ඉලක්ක කෙරෙන්නේ ලිපි හෝ ප්‍රවෘත්ති කියවීම සඳහා පුවත්පතක් මිලදී ගන්නා පාඨකයින්වය. මේ නිසා දැන්වීම් ගාස්තු වලින් ලැබෙන ආදායම වැඩි කරගැනීමට වුවද දැන්වීම් සඳහා වෙන්කරන ඉඩ සීමා කර ආකර්ශනීය ලිපි හා පුවත් අවශ්‍ය ප්‍රමාණයට පළ කිරීමට සිදුවේ.

වාණිජ අරමුණකින් තොරව 'අතින් කයිට් කරගෙන' ලියන බ්ලොග් එකක් වුවද එක්තරා ආකාරයකින් දෙපැති වෙළඳපොළක් වෙනුවෙන් නිපදවන භාණ්ඩයකි. බොහෝදෙනෙකු (මාද ඇතුළුව) කියන්නේ තමන් ලියන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් බවයි. එහෙත්, මේ කාටත් යම් පාඨක පිරිසක් අවශ්‍යය. යමෙක් බ්ලොගයක් ඕනෑම අයෙකුට කියවිය හැකි පරිදි විවෘතව තබන්නේ තමන් ලියන දෙය කිසියම් නොදන්නා පාඨක පිරිසක් වෙත අලෙවි කිරීමේ අරමුණිනි. කෙසේ වුවද, එක් එක් බ්ලොග්කරුවාට ළඟා වීමට අවශ්‍ය කරන පාඨක කණ්ඩායම ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වෙනස්විය හැකිය. බ්ලොග්කරුවෙකුට තමන්ට අවශ්‍ය දෙය අවශ්‍ය පරිදි ලිවීමෙන්ද, එසේ ලියන දෙය වැඩි පිරිසක් විසින් කියවීමෙන්ද සතුටක් ලැබේ. මෙය බ්ලොගයක් විවෘතව තබන සියල්ලන්ටම පාහේ පොදු විය යුතුය. මෙහිදී තමන්ට අවශ්‍ය දෙය ලිවීමෙන් ලැබෙන සතුට පුවත්පතක් දැන්වීම් පළකර ලබන ආදායම වැනි දෙයකි.

ඇතැම් විට බ්ලොග් කරුවෙකු ලියන 'තමන්ට අවශ්‍ය දෙය' කියවන්නට කැමති පිරිස අතළොස්සකි. හරියටම තමන්ට අවශ්‍ය දෙයම නොවන නමුත් එයට බොහෝ කිට්ටු දෙයක් ලිවීමෙන් ඇතැම් විට මේ පාඨක පිරිස වැඩි කර ගත හැකිය. පාඨකයින් වැඩි කර ගැනීම වෙනුවෙන් තමන් ලියන දෙය හෝ ශෛලිය වෙනස් කිරීමේදී මේ දෙපැති වෙළඳපොළෙහි එක් අංශයකින් ලැබෙන ලාභය වැඩිවී තවත් අංශයකින් ලැබෙන ලාභය අඩුවේ. ඇතැම් අය පාඨක අවශ්‍යතා සලකමින් වැඩිපුර නම්‍යශීලි වෙති. තවත් අය මෙසේ නම්‍යශීලි වෙන්නේ ඉතා අඩුවෙනි.

ඉතා පැහැදිලිවම මගේ පාඨකයින් නිසා මම දිරිමත් වූයෙමි. බොහෝදුරට මා ලියූවේ මට අවශ්‍ය දේ වුවත්, මගේ ලිපි කියවන පිරිස මෙයට වඩා අඩු වීනම් මා මෙපමණ කෙටි කලක් තුළ දැනට ලියා පළකර ඇති ලිපිගණන නොලියනු ඇත. එනයින්, මා මගේ පාඨකයින්ගේ 'ඉල්ලුම' නිරීක්ෂණය කරමින් 'සැපයුම' වෙනස් කර තිබේ. එමෙන්ම, පාඨක ප්‍රතිචාර සලකමින් මගේ ලිපි වල විෂය පථය, ශෛලිය මෙන්ම වෙනත් තාක්ෂණික කරුණුද යම්තාක් දුරකට වෙනස් කර ඇත.

මේ වියුණුව ඇරඹීමට ආසන්නම හේතුවක් වූයේ ඉකොනොමැට්ටාගේ මැවුම්කරු විසින් වත්පොත හරහා පලකළ සටහන් කිහිපයකට නොදන්නා පාඨකයින් රැසකගෙන් ලැබුණු ප්‍රතිචාරයි. පසුගිය  වසර ඇරඹෙන තුරුම ඉකොනොමැට්ටාගේ මැවුම්කරු විසින් ඔහුගේ පෞද්ගලික වත්පොත් ගිණුමේ මිතුරන් ලෙස තබා ගත්තේ ඔහු විසින් සැබෑ ජීවිතයේදී කිසියම් කලෙක ඇසුරු කළ ඇති අය පමණි. එසේ නොදන්නා අයගේ ඉල්ලීම් අනුමත නොකෙරිණි. එහෙත්, වත්පොත හරහා 'හොඳ මිනිසුන් සහ ගැහැණුන්' හමුවන විට මේ ප්‍රතිපත්තියෙන් යම්තාක් දුරකට බැහැර වීමට සිදු විය. මෙසේ එක් වූ කිහිප දෙනාගෙන් කිසිදු ගැටළුවක් මතු නොවූවත්, එවැනි ඉල්ලීම් ගොඩගැහෙද්දී එක් අතකින් ලියන දේ කියවන්නට කැමති අයට අවස්ථාවක් දීමේ උවමනාවේත්, අනෙක් අතින් පෞද්ගලික හා වෘත්තීය තොරතුරු නොදන්නා පුද්ගලයින් සමඟ බෙදාගැනීමට තිබුණු අකැමැත්තේත් ප්‍රතිඵලය වූයේ ඉකොනොමැට්ටා අනන්‍යතාවයේ සහ මේ වියුණුවේ උපතයි.

වියුණුව අරඹන විට කරන්නට අවශ්‍ය දෙය පිලිබඳ යම් අදහසක් විය. පළමු අරමුණ වූයේ, වරකට එක බැගින් මූලික ආර්ථික විද්‍යා මූල ධර්ම සරලව ඉදිරිපත් කරන ලිපි මාලාවක් ලිවීමයි. මෙයින් අපේක්ෂා කළේ පසුව වඩා ගැඹුරු කරුණු කතා කරන මට්ටමට වියුණුව පැවතුණහොත් කියන දේවල් නොතේරෙන්නට ඉඩ ඇති අයට සරල කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය වූ විට යොමු කළ හැකි පදනම් ලිපි මාලාවක් ගොඩ නඟා ගැනීමයි. මෙයට සම්බන්ධ නැති, දෙවන අරමුණ වූයේ බොහෝ දෙනෙකුට කියවා රස විඳින්නට තරම් දෙයක් ඇතැයි මා අවංකවම සිතූ සහ තවදුරටත් සිතන විවිධ වෘත්තීය, භූගෝලීය, සමාජ හා සංස්කෘතික ක්ෂේත්‍ර වල පැතිරුණු පෞද්ගලික අත්දැකීම් සටහන් කිරීමටය. මෙයින් දෙවන අරමුණ ලේඛකයාගේ පදනම නොදන්නා පිරිසක් අරභයා ලිවීමේදී නොගැලපෙන්නක් බව වැඩි කල් නොයාම පැහැදිලි වූ බැවින් ඒ ආකාරයේ ලිවූ ලිපි වුවද වැඩි ප්‍රමාණයක් පළ කෙරුණේ නැත. දෙවන අරමුණ මේ වන විට ප්‍රමුඛ අරමුණක් නොවේ.

පළමු අරමුණනම් බැහැර කළ නොහැක්කකි. කෙසේ වුවද, මේ අරමුණ හා හොඳින් ගැලපෙන්නේ දැනට ලියා ඇති ලිපි වලින් අඩක් පමණ පමණක් පමණි. ඒ ලිපි වුවද නිශ්චිත පිළිවෙළකට ලියැවී නැත. මෙයට එක් හේතුවක් වූයේ පාඨකයින් රඳවා තබා ගැනීම සඳහා ඔවුන්ගේ රසඥතාවන් සලකමින් නම්‍යශීලි වීමයි. කෙසේ වුවද, මේ ලිපි බොහොමයක් අදාළ අරමුණ හා ගැටෙන ඒවා නොවේ. මේවා අතර හිස්තැන් පිරවීමෙන් ලොකු කලාලයක් වියන්නට බැරිකමක් නැත.

තෙසතියකට පමණ පෙර ඉකොනොමැට්ටාගේ මැවුම්කරු සිතුවේ වසර අවසානයේදී ඉකොනොමැට්ටා අනන්‍යතාවයට සමු දී මුල් අරමුණ පමණක් වෙනුවෙන් වෙන් වුණු වියුණුවක් අළුතින් ඇරඹිය යුතු බවයි. මේ ගැන පෙර දැනුම්දීමක් කිරීමට නොසිතුවත් පෙර සටහනකින් ඉබේම වාගේ ඒ ගැන ඉඟියක් පළ විය. එයට ලැබුණු ප්‍රතිචාර කිහිපයක් සහ වෙනත් අය පෞද්ගලිකව දැක්වූ ප්‍රතිචාර නිසා මේ අදහස නැවතත් වෙනස් විය. කාල වේලා ප්‍රශ්න ඇතත් ඉකොනොමැට්ටාගේ බොජුන්හල ලබන නවවසරේදීත් විවෘතව පවතිනු ඇත. ලිපි පළ වන වේගය අඩු විය හැකි වුවත් ආකෘතියේ සැලකිය යුතු වෙනසක් සිදු නොවනු ඇත. ඒ සමඟම ආර්ථික විද්‍යා විෂයයට අදාළ ලිපි වෙනුවෙන් ඇති නැඹුරුව නොගිලිහෙන පරිදි පවත්වා ගැනීම සඳහා යම් වෙනසක් කෙරෙනු ඇත.



ඔබ සැමට සුබ නව වසරක්!

සී යා නැක්ස්ට් යා...!!!

(Image: almostnakedanimals.wikia.com)

Saturday, December 12, 2015

කෙලෙසක වලලමු මළ තුරඟා?

උතුරු ඇමරිකාවට යුරෝපීයයන් පිවිසීමට පෙර එහි විසූ රතු ඉන්දියානු ගෝත්‍ර අතර ඩකෝටා ගෝත්‍රය ප්‍රධාන එකකි. වත්මන් ඇමරිකාවේ උතුරු සහ දකුණු ඩකෝටා ප්‍රාන්ත වල මෙන්ම අවට පිහිටි මිනසෝටා, මොන්ටානා හා නෙබ්‍රස්කා ප්‍රාන්ත වලට අයත් බිම් වලත්, කැනඩාවේ මැනිටොබා හා සැස්කච්වාන් (Saskatchewan) ප්‍රාන්ත වලට අයත් බිම් වලත් ඔවුහු විසිරී සිටියහ. වසර දසදහසකට පමණ පෙර උතුරු ඇමරිකාවෙන් අසුන් වඳ වී සිටි නිසා යුරෝපීයයන් විසින් දහහත්වන සියවසේදී පමණ නැවත හඳුන්වා දෙන තුරු ඩකෝටාවන් ඇතුළු රතු ඉන්දියානු ගෝත්‍රිකයෝ අසුන් ගැන දැන නොසිටියහ.

කෙසේවුවද, අසුන්ගෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය ඉගෙන ගන්නට රතු ඉන්දියානුවන්ට යුරෝපීය දැනුම අවශ්‍ය නොවීය. ඉතා කෙටි කලෙකින්ම ඔවුහු අස් ශිල්පයෙහි නිපුණයෝ වූහ. මෙසේ අසුන්ගේ අහු මුළු අතගා හොඳ පුරුද්දක් තිබුණු ඩකෝටා ගෝත්‍රිකයින්ගේ ප්‍රචලිත කියමනක් තිබේ. "ඔබ පදින්නේ මළ අසෙකු බැව් දැනගත්විට කළ යුතු හොඳම දෙය වහාම අසුපිටින් බැසීමයි."

"When you discover you are riding a dead horse, the best strategy is to dismount."

ඇත්තටම අසු පිටින් නොබැස අපට වෙනත් විසඳුම් පරීක්ෂා කර බැලීමට පුළුවන. කසයෙන් වඩා වැරෙන් තැලිය හැකිය. කැරට් අල දිගු කළ හැකිය. ජොකියා මාරු කළ හැකිය. ඔය මොනවා කළත් අන්තිමේදී තවමත් අපි සිටින්නේ මළ අසු පිටමය.

අප මෙසේ කරන්නේ ඇයි? ඇතැම් විට මළ අසුට නැවත පණ ලැබෙනු ඇතැයි අපි සිතමු. ඇතැම් විට, අපට මෙතෙක් දුර පැමිණීමට උදවු වූ අසු අතහැර දැමීමට නොසිතේ. මෙය අසුට ඇති ආදරය, ආශාව, කෑදරකම හෝ කෘතගුණශීලීත්වය විය හැකිය. ඇතැම් විට අසු මියගොස් ඇති බැව් පිළිගැනීමට අපට අපහසුය. මේ කවරක් වුවද, තවදුරටත් මළ අසෙකු පැදීමෙන් අප කරන්නේ වඩා ජවසම්පන්න අළුත් අසෙකු පැදීමට ඇති අවස්ථාව අහිමි කර ගැනීමයි.

අප පදින මළ අසුන් අතර ආගමික විශ්වාස, යල් පැන ගිය නීති, දේශපාලන මත හා දේශපාලන පක්ෂ, ප්‍රතිපත්ති, ජීවන විලාසිතා, විනෝදාංශ, පුද්ගල සම්බන්ධතා වැනි බොහෝ දේ තිබේ. ඒත් මෙවැනි අසෙකුගේ පිටින් බැසීම හිතන තරම් පහසු නැත. වාණිජමය අරමුණක් නොමැතිව බ්ලොග් ලිවීම 'මෝඩ ආතල් එකකි'. (රයිගම්ගෙන් හොරාගත් කෑල්ලකි.) මේ කාර්යය මළ අසෙකු බව වැටහුණද අසුපිටින් බැසීම අමාරු කටයුත්තකි. කෙසේ වුවද, ඒ මේ 'මෝඩ ආතල් එකේ' ඇති ආතල් එක බ්ලොග් එක ජීවමානව පවත්වා ගැනීමේ ආවස්ථික පිරිවැය ඉක්මවන තාක් පමණි.

ඉකොනොමැට්ටාට (වඩා නිවැරදිව ඉකොනොමැට්ටාව මැවූ සර්ව බලධාරී හෝ සර්වඥ නොවන මැවුම්කරුට) බ්ලොග් සටහනක් ලිවීමෙන් ලැබෙන මෝඩ ආතල් එකට සාපේක්ෂව එහි ආවස්ථික පිරිවැය අමාරුවෙන් වුවත් දරා ගැනීමට බැරි කමක් නැත. එක් හේතුවක් වන්නේ මේ බොහොමයක් සටහන් ලියන්නේ වෙනත් වැඩ වලින් හෙම්බත් වී සිටින විට 'බ්‍රේක් එකක්' ගැනීමට වීමයි. එවිට එහි ආවස්ථික පිරිවැය විශාල නොවේ. මෙසේ ලියන සටහන් සාමාන්‍යයෙන් එවෙලේම පෝස්ට් කරන්නේ නැත. පෝස්ට් කිරීමෙන් පසුව තවදුරටත් ඒවායේ පාලනය ලියුම්කරුට නැති බව කුඩා සිත්රිදුමක වියදමින් සෑහෙන කලකට පෙරම අවබෝධ කරගත් නිසා දැන්නම් කරන්නේ 'ගස අවශ්‍ය පමණට වැවෙන තුරුත් කප්පාදු අවසන් වන තුරුත්' පැලය තවානේම තබා ගැනීමයි (මේ පාර හොරකම මල්මිගෙනි).

වැඩිදෙනෙකු සටහනක් කියවන විටත්, විශේෂයෙන්ම වැඩි දෙනෙකු සටහන මුලින්ම පළ කල තැනට පැමිණ එය කියවන විටත් සතුටක් ලැබේ. කමෙන්ට් දකින විටත් බොහෝ විට සතුටක් දැනේ. ආරම්භයේදී කෙසේවෙතත් මේ වන විට සැලකිය යුතු පිරිසක් මගේ සටහන් කියවන්නට කෙලින්ම පැමිණෙති. වැඩිම පිරිසක් පැමිණෙන්නේ වත්පොත හරහාය. මේ අය වත්පොතෙහි ඉකොනොමැට්ටාගේ යාලුවෝ, යාළුවන්ගේ යාළුවෝ, යාළුවන්ගේ යාළුවන්ගේ යාළුවෝ ආදීහුය. එමෙන්ම, වෙනත් සින්ඩි සහ බ්ලොග්රෝල් හරහාද සැලකිය යුතු පිරිසක් පැමිණෙති. මේ සින්ඩි සහ බ්ලොග් වලින් කරන්නේ හිජාබය ඇඳි කතකගේ ඇස් දෙක පෙන්වනවාක් වැනි දෙයක් නිසා ඉතිරි ටික බලන්නට උනන්දුවක් ඇතිවී මේ අය පැමිණෙති.

පසුගිය මාස ගණන තුල මා විසින් ඉකොනොමැට්ටා අඩවියේ පලකළ ලිපි බොහෝ තැන්වල නැවත පළකෙරී තිබේ. මගේ දෙමවුපියන් ඉපදෙන්නටත් පෙර සිට පළවන ප්‍රධාන ජාතික පුවත්පතක් පවා අතාත්ත්වික ලේඛකයෙකුගේ ලිපියක් උපුටා පළ කිරීමට තරම් දිරිමත් වීම මා අපේක්ෂා කළ තත්ත්වයක් නොවේ. මෙවැනි උපුටා පළකිරීම් බොහොමයක එය උපුටාගත් තැන සඳහන්ව තිබුණු අතර ඇතැම් තැන්වල මුල් සටහනට පහසුවෙන් පිවිසිය හැකි පරිදි සම්පුර්ණ සබැඳියක් පළ වී තිබුණේය. ඇතැම් වෙබ් සයිට් වලින් මගේ ලිපි කියවා ඇති ගණන මුල් ප්‍රභවයෙන් එය කියවූ ගණන මෙන් කිහිප ගුණයකි.

මෙසේ මුළු ලිපියම වෙනත් තැනක පළ වූ විට නැවත මගේ වෙබ් අඩවියට පිවිසෙන්නට පාඨකයෙකුට අනිවාර්ය අවශ්‍යතාවක් නොමැති නිසා සින්ඩියකට හෝ රෝලකට එක්කළ විටෙක මෙන් සැලකිය යුතු පිවිසෙන්නන් වැඩි වීමක් නොපෙනේ. එහෙත්, ඉතා සුළු වශයෙන් වුවද වැඩිවීමක් සිදුවේ. ඇස් පමණක් පෙන්වූ විට ඇතිවන උනන්දුව ඇඟේ නූල් පොටක්වත් නැති විට ඇති විට ඇතිවන උනන්දුවට වඩා වෙනස්ය. කෙසේවුවද, වෙනත් තැන් වලින් මගේ ලිපි කියවන්නේ සාමාන්‍යයෙන් මගේ බ්ලොග් අඩවියට නොපිවිසෙන අයයි. ඒ නිසා ඒ අය මගේ බ්ලොගයට නොපැමිණීමෙන් මට විශේෂ අවාසියක් නොසැලසේ. මෙසේ පළ කිරීමේ ඇති ප්‍රධානම අවාසිය බ්ලොග් සටහනක් නැවත සංශෝධනය කිරීමට ඇති ඉඩකඩ සීමා වීමයි.

බ්ලොග් සටහනට කිසිම කමෙන්ටුවක් නොවැටෙන විට පාළු ගතියක් දැනේ. එමෙන්ම, ඇතැම් කමෙන්ට්ස් වලින් ලිපියේ කරුණු වලට අමතර යමක් එකතු වේ. තවත් ඒවායින් අළුතින් සිතන්නට හෝ සටහනක් ලියන්නට අදහස් පහළ කරයි. ඒ හැරුණු විට පිවිසෙන්නන්ගේ වැඩි වීමක් වනවානම් එසේ වන්නේ මෙවැනි කමෙන්ටුවකට දමන ප්‍රතිචාරය බලන්නට නැවත නැවත පැමිණෙන කිහිප දෙනෙකු නිසා මිස අළුතින් කිසිවෙකු පැමිණෙන නිසා නොවේ.

මට අදාලවනම් කමෙන්ට්ස් වලට පිළිතුරු ලිවීම සාපේක්ෂව වියදම් අධික කටයුත්තකි. මෙයට හේතුව ලිපියක් ලියනවාක් මෙන් නොව මෙය නිශ්චිත කාලයක් තුළ කළ යුතු නිසා කාලයේ ආවස්ථික පිරිවැය වඩා විශාල වීමයි. අනෙක් අතට ලියන්නට වෙන්නේ කලින් සැලසුම් කරගෙන සිටි ආකෘතියකට අනුව නොවේ. මෙසේ ආවස්ථික පිරිවැය වැඩිවුණත් මෙසේ කමෙන්ට්ස් වලට දමන ප්‍රතිචාර වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවේ. මේවා බලන්නට දෙවන වරට පැමිණෙන්නේ ඉතාම සීමිත පිරිසකි.

මා පෙර කී පරිදි අවශ්‍ය පමණට වවාගෙන කප්පාදු කර ඇති පැල ගණනාවක් දැනටත් තවානේ තිබේ. මේ ඇතැම් ලිපි වල තවදුරටත් කාලීන වැදගත්කමක් නැත. මේ ලිපි වල ඇතැම් දේශපාලන තත්ත්වයන් මෙන්ම විණිමය අනුපාතිකයේ හැසිරීම වැනි දේවල් ගැන කලකට පෙර සටහන් කළ දේවල් දැන් ඒ අයුරින්ම සිදුවී තිබේ. මේවා පළ නොකළේ, අදාල කාලයේදී ඒවා පළවුනිනම් ලැබිය හැකිව තිබුණු ප්‍රතිචාර වලට සුදුසු පරිදි පිළිතුරු දීමට කාලය වෙන් කළ නොහැකි වූ බැවිනි. මා මේ බ්ලොගය ආරම්භ කිරීමේදී පැවති ඉලක්ක කරා ලඟා වීමට අවශ්‍ය තරමට ලිපි දැනටමත් තවානේ ඇති නිසා ඒවා පළකිරීමේ ආවස්ථික පිරිවැයනම් දැනට එතරම් විශාල නැත.

පසුගිය සටහනට ලැබුණු ප්‍රතිචාර වලට තවමත් පිළිතුරු දී අවසන් නැත. එහෙත්, මගේ ආරම්භක සැලසුම් පවත්වා ගැනීම වැදගත් නිසා මේ සටහන පළ කරමි. අස්සයා මැරී ඇති බව දැනගත් විට කළ යුත්තේ අස්සයා පිටින් වහාම බැසීම වුණත් ගමනාන්තය කිට්ටුවක ඇත්නම් හොඳම වැඩේ ඉතුරු ටිකත් කොහොම හරි ඇද ගැනීමයි.

(Image: www.statue.com)

Friday, June 19, 2015

සාක්කුව පිරෙන්න රිදී ඕනෑද?


ඉකොනොමැට්ටාගේ භෝජනශාලාව විවෘත කර දැනට මාසයකි. මාසයකට කලින් ඔන්න ඔහේ නිකම්ම පටන් ගත්තත් මාසයේ ප්‍රගතිය නරක නැත. මාසෙට කෑම වට්ටෝරු විසි දෙකක් හදා තිබේ. බලාගෙන ගියාම ලොකු ගානකි. කෑම පිඟන් හාරදාහක් ඉක්මවා විකිණී ඇත. තව පිඟන් දාහත් දාහක් ඉක්මවා ගූගල් ප්ලස් වලින් විකිණී ඇත.

මේ සෙනඟ ආවේ මුල සිටම කිහිප දෙනෙකුගෙන් ලැබුණු ආධාර උපකාර නිසාය. ඉකොනොමැට්ටාගේ කෑම හොඳද නරකද කියා ඉකොනොමැට්ටාට  තීරණය කළ නොහැකි නිසා ඉකොනොමැට්ටා රේඩියෝ පත්තර වල ඇඩ් දැම්මේ නැත. කඩේ දාපු බෝඩ් ටික පමණි. ඉකොනොමැට්ටාගේ ප්‍රතිපත්තිය කඩේට එන පාරිභෝගිකයින්ට පුළුවන් තරම් හොඳින් සැලකීමයි.

මේ මාසය තුළ ඉකොනොමැට්ටා ගොඩක් දේවල් ඉගෙන ගත්තේය. ඒ අනුව පටන් ගන්න කොට තිබුණු චිත්තරේ ගොඩක් වෙනස් විය. බ්ලොග් අවකාශය පිරී ඇත්තේ මුලින් හිතා හිටි විදියට හිච්චි කොල්ලන්ගෙන් නොවේ. පරිණත අයගෙනි. එය සතුටට කරුණකි. ඒ වගේම දුකටද කරුණකි. කොහොමත් හොඳ කෑම කන අයට ඉකොනොමැට්ටාගේ කෑම වලින් වැඩක් තියේදැයි වෙලාවකට හිතේ.

තවත් ටිකක් ඇනලයිස් කර බැලූ විට ඉකොනොමැට්ටාගේ පාරිභෝගිකයින්ගෙන් හරි අඩකට වඩා ඉන්නේ ලංකාවෙන් පිටය. දිනපතා පැමිණෙන පාරිභෝගිකයින්ද සිටින නමුත් සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකු කඩේට එන්නේ දවස් තුනකට වරකි. ආ විට සාමාන්‍යයෙන් කෑම පිඟන් තුනක් පමණ අවසන් කරයි.

මේ අනුව ඉකොනොමැට්ටාගේ මැටි මොළේට තේරුම් ගියේ මුලින් වැඩිපුර මෙනු අයිටම් ටිකක් දමා තිබීම හොඳ වුණත්, අජීර්ණ ඇති නොවීමටනම් සතියකට අළුත් වට්ටෝරු තුනක් පමණ හඳුන්වා දීම හොඳ ඉලක්කයක් බවයි.

ඒ වගේම, දැනට ඇති සංඛාලේඛණ අනුව පෙනී ගියේ වැඩි දෙනෙකු ජංජාලගත වන්නේ සතියේ දිනවල වැඩ කරන වෙලාවේ බවයි. (වැඩ කරන වෙලාවට එහෙම දෙයක් හරි කිරීම ලොකු දෙයකි.) මේ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා හොඳ දවස් ලෙස තෝරාගත් ඉකොනොමැට්ටා රාහුකාලය පන්නා හොයාගත් ශුභ මුහුර්තයකට කෑම මේසයට ඔටෝ සර්ව් වන පරිදි ඊළඟ කෑම පිඟාන ශීතකරණයේ තැන්පත් කළේය. ඊළඟ සතිය ඉකොනොමැට්ටාට ගමන් බිමන් හා වැඩ අධික වීමත් මෙයට හේතු විය.

බ්ලොග් වලට ඇබ්බැහිවීම පරාභවයට කරුණකි යන රසිකභාෂිතය සත්‍යයක් බව පසක් කරමින් උදේ පාන්දරම ලැබුණු ඊයක් නිසා සියල්ල අවුල් විය.

ඇමරිකාවේ ප්‍රධාන ගුවන් සමාගමක තාක්ෂණික අංශයක සේවය කරන මගේ උගත් මිතුරා කියවා හෝ නොකියවා යොමු කළ ඊය අනුව මගේ සාක්කු රිදී වලින් පුරවා ගැනීමේ ස්වර්ණමය නොවූවත් රජතමය අවස්ථාව දැන් මා හමුවේ ඇත.

මෙය වසර 823කට වරක් එළෙඹෙන ඉතා දුර්ලභ අවස්ථාවකි. එසේ වන්නේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින තුන බැගින් ඇති අගෝස්තු මාසයක් 2015දී උදාවන නිසාය.

චීන ෆෙන්ග් ෂුයි අනුව මේ 'සිල්වර්- පොකට්ස් ෆුල්' වාසනාව ලැබීමට කළ යුත්තේ වහාම මේ ඊය මිතුරන් කිහිප දෙනෙකුට යොමු කිරීමයි. වැඩේ මිස් කරගත්තොත් තව අවුරුදු 823ක් බලා සිටීමට සිදු වනු ඇත. ඒ විතරක්නම් මදැයි? දවස් හතරකින් මාව දුප්පත් වීමටත් නියමිතය. (ඉකොනොමැට්ටා කොහොමටත් ඉතිං දුප්පතා නිසා ඒකෙනෙම් අවුලක් නැත.)

යාළුවන්ට මේ ඊය යවා උන්ගේ සාක්කු රිදී වලින් පුරවන්ඩ ඉකොනොමැට්ටාට ටිකක් කිචි වගේ නිසා ඉකොනොමැට්ටා වැඩේ අල්ලලා දැම්මේය. අනෙක් අතට, සාක්කුවේ රිදී කාසි පිරුණාම ඉකොනොමැට්ටාට කොහොමත් අවුල්ය. ක්‍රෙඩිට් කාඩ් ගෙනියන්නේ ඒ නිසාය.

යාලුවාට පහතින් ඇති පිළිතුර ලියා යැවූ ඉකොනොමැට්ටා අද ඔටෝ සර්ව් වීමට නියමිතව තිබුණු කෑම පිඟාන පොඩ්ඩක් පස්සට තල්ලු කර මේ සැලඩ් එක සර්ව් කරන්නේ ඒ අනුවය.

"ඕකේ තියෙන්නේ පට්ටපල් බොරුවකි. අමු ජෝක් එකකි.

1. වසර 823කට පෙර මෙය අත්හදා බැලීමට ඒ කාලයේ චීනයේ ඊ-මේල් තිබෙන්නට ඇතැයි සිතමි.
2. වසර 823කට පෙර චීන කැලැන්ඩර් වල අගෝස්තු මාසයක් තිබුණාද කියා මම නො අසමි.
3. මෙය සම්භාවිතාව අනුව සාමාන්‍යයෙන් (පිළිවෙලින් නොවූවත්) වසර 7කට වරක් සිදු වන නිසා වසර 823ක් බලා සිටීමට අවශ්‍ය නැත. පසුගිය 2014දී මෙය සිදු වූ අතර 2022දී මෙන්ම 2025දීත් නැවත සිදුවනු ඇත.
4. (හොඳම එක) 2015 අගෝස්තු මාසයේ සිකුරාදාවල් පහක් ඇත්තේ චීන කැලැන්ඩර් වල විය යුතුය. මගේ කැලැන්ඩරේනම් ඇත්තේ හතරකි.

කොහොම වුනත් දවස් හතරකින් සල්ලි හම්බ වුනොත් අපිටත් කියන්ඩ, හොඳේ! :)"

යාළුවා තාමත් යාළුවෙක්යැයි සිතමි.

(ඇත්තටම 2022දී මෙය නැවත සිදු නොවන අතර 2025 හා 2031දී සිදු වේ. කී දෙනෙක් චෙක් කළාද?)

Friday, June 5, 2015

පවතින ක්‍රමය වෙනස් කිරීමේදී ඇතැම් දේ අහිමි වේ.


ඉකොනොමැට්ටා බොග පටන්ගත්තේ රනිල් අගමැතිකම භාරගත්තාටත් වඩා හදිස්සියෙනි. රනිල්ට අගමැතිකම් කර පළපුරුද්දක් තිබුණාට ඉකොනොමැට්ටාට  බොග දමා පළපුරුද්දක් තිබුණේ නැත. අඩුගානේ සිංහල කොටා පළපුරුද්දක් තිබුනේද නැත. මේ නිසා ඉකොනොමැට්ටාටත් වුනේ පළමුවෙනි වතාවට කැබිනට් ඇමති කමක් භාරගත් සජිත් වාගේ වැඩි කතා නැතුව මේ රස්සාවට අදාළ තාක්ෂණික කරුණු අතපත ගා ඉගෙන ගන්නටය. මෙසේ කිරීමේදී ව්‍යවස්ථා සංශෝධන කීයක් ඉබේ පාස් වුනාද කියා දිමුට තරමවත් අවබෝධයක් ඉකොනොමැට්ටාට නැත. ඒ නිසා නිකමට වාගේ දහඅටක් ලකුණුකර අද සිදුකළ දහනමවැනි සංශෝධනය ගැන කතා කරමු.


දහනමවැනි සංශෝධනය අමාරුවෙන් සම්මත කර දැමීමට විධායක ඒකාධිපති ඉකොනොමැට්ටාට හිතුනේ ජනතා ඉල්ලීම් සලකමින්ය. ජනතාව කිවුවට සූ ගාලා දෙන්නෙකි. රසිකොලොජිස්ට් සහ අටම්පහුරයි. මේ ජනතා ඉල්ලීම වුනේ ඉකොනොමැට්ටාගේ දැන්වීම් පුවරුව බ්ලොගර් කමෙන්ට් ක්‍රමයට මාරු කිරීම හොඳ බවයි. ඉතිං ඔය ලොක්කෝ කාටත් වගේ ඉකොනොමැට්ටාටත් ජනතා ඉල්ලීම ඇහුනාට ඕක තේරුණේ නැත. ඒ නිසා අඳුරේ සෑහෙන්න අත පත ගාන්නට සිදු විය.


පසුව අවබෝධ වූ පරිදි ඉකොනොමැට්ටා බොග පටන් අරන් තිබුනේ ගූගල්ගේ 'ඩිෆෝල්ට්' හිත නොරිදවමනි. අර ඩීඑස් මුලින්ම සුද්දන්ගේ හිත නොරිදවා පටන් ගත්තා වගේය. දවසක් දෙකක් යනකොට එක එක ගැජට් කෑලි අහුවිය. මෙයින් එකක් පාවිච්චි කර ගූගල් ප්ලස් සමඟ තානාපති සම්බන්ධතා ඇති කර ගත හැකිවිය. ඒත් ගැටයක් තිබුණේය. ඒක ඉකොනොමැට්ටා අවබෝධ කරගෙන නොහිටි නිසා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට අසුවී තිබේ.


ඉකොනොමැට්ටා හිතුවේ මේ සංශෝධනය (අපි නිකමට කියමු දහඅටවන සංශෝධනය කියා) කළවිට ගූගල් ප්ලස් ජනතාවටත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබෙන නිසා ප්‍රජාතන්ත්‍රවාදය තවත් පුළුල් වනු ඇති බවයි. ඒත්, අම්මටසිරි, සිදු වී ඇත්තේ හිතූ දෙයම නොවේ. ගූගල් ප්ලස් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබී තිබේ. හැබැයි උන්ට විතරය. අනිත් එවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඩී එස් ගේ හතලිස් අටේ පණතින් ඉන්දියානු දෙමළුන්ට අහිමි වුන විදියටම නිකම්ම නැති වෙලාය.


ඉකොනොමැට්ටාටත් ගොඩක් ලොක්කන්ට වගේ රසිකොලොජිස්ට් සහ අටම්පහුර ඇඟිල්ලෙන් ඇන පෙන්වන තුරු සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නය තේරුණේම නැත. කඩේට ගොඩ වෙන සෙනඟ හැටියට කෑම කා යන අයගේ සද්දයක් නැති නිසා ඉකොනොමැට්ටා හිතුවේ ඉකොනොමැට්ටාගේ ෆ්‍රයිඩ් රයිස් වල පතෝල වල වගේ කියන්ඩ තරම් ගුණයක් හෝ අගුණයක් නැති බවයි.


කෙසේ හෝ අන්තිමේදී යූඇම්පියට විධායක ජනාධිපති ක්‍රමයේ නරකත්, ශ්‍රී ලංකා එකට පළාත් සභා වල හොඳත්, හෙළ උරුමයට මහින්දගේ අඩුපාඩුත් අවබෝධ වුණා වගේ ඉකොනොමැට්ටාටත් දන්නෙම නැතුව (අර අනිත් දහඅටට අත ඉස්සුවා වගේ) සම්මත කර තිබුණු දහඅටවන සංශෝධනයේ අඩුපාඩු අහුවුණු නිසා එය රිවර්ස් කිරීමට දහනව වෙනි සංශෝධනය දෙකෙන් දෙකේ ඒකච්ඡන්දයෙන් සම්මත කළ බව මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් නැති නිසා ඉකොනොමැට්ටා වන මා විසින්ම සතුටින් දැනුම් දෙමි. මේ අනුව ඇනෝලා ඇතුළු ගූගල් ප්ලස් නැති හුදී ජනයාගේ ප්‍රතිචාර දැක්වීමේ අයිතිය නැවතත් තහවුරු කර ඇත.


ඒ අතරම මේ වැඩේ කරන්නට ගොස් ගූගල් ප්ලස් හරහා පැමිණ බැබලි බැබලී තිබුණු අතලොස්සක් වූ වටිනා කමෙන්ට්ස් රැසක්ම සුදු වෑන් නැතුවම අතුරුදහන් වී ඇති බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.


උතුරේ ජීවත් වූ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත වූ විට සිදු වූ අයුරින්ම කලින් කමෙන්ට්ස් දැමීමට නොහැකි වූ කියවන්නන්ගේ අදහස් එකතු කළ විට ලොකු වෙනසක් වී කලින් නොපෙනුණු වෙනත් අඩුපාඩු ගොඩක් පෙනී යා හැකිය. ඒවා භාරගැනීමට සහ සලකා බැලීමට ඉකොනොමැට්ටා තව දුරටත් සුදානම්ය.


(මීට වඩා සිරා දෙයක් කියවන්ඩ බලාගෙන ආවනම් සොරි මෙයාලා...)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...