වෙබ් ලිපිනය:

Saturday, December 12, 2015

කෙලෙසක වලලමු මළ තුරඟා?

උතුරු ඇමරිකාවට යුරෝපීයයන් පිවිසීමට පෙර එහි විසූ රතු ඉන්දියානු ගෝත්‍ර අතර ඩකෝටා ගෝත්‍රය ප්‍රධාන එකකි. වත්මන් ඇමරිකාවේ උතුරු සහ දකුණු ඩකෝටා ප්‍රාන්ත වල මෙන්ම අවට පිහිටි මිනසෝටා, මොන්ටානා හා නෙබ්‍රස්කා ප්‍රාන්ත වලට අයත් බිම් වලත්, කැනඩාවේ මැනිටොබා හා සැස්කච්වාන් (Saskatchewan) ප්‍රාන්ත වලට අයත් බිම් වලත් ඔවුහු විසිරී සිටියහ. වසර දසදහසකට පමණ පෙර උතුරු ඇමරිකාවෙන් අසුන් වඳ වී සිටි නිසා යුරෝපීයයන් විසින් දහහත්වන සියවසේදී පමණ නැවත හඳුන්වා දෙන තුරු ඩකෝටාවන් ඇතුළු රතු ඉන්දියානු ගෝත්‍රිකයෝ අසුන් ගැන දැන නොසිටියහ.

කෙසේවුවද, අසුන්ගෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය ඉගෙන ගන්නට රතු ඉන්දියානුවන්ට යුරෝපීය දැනුම අවශ්‍ය නොවීය. ඉතා කෙටි කලෙකින්ම ඔවුහු අස් ශිල්පයෙහි නිපුණයෝ වූහ. මෙසේ අසුන්ගේ අහු මුළු අතගා හොඳ පුරුද්දක් තිබුණු ඩකෝටා ගෝත්‍රිකයින්ගේ ප්‍රචලිත කියමනක් තිබේ. "ඔබ පදින්නේ මළ අසෙකු බැව් දැනගත්විට කළ යුතු හොඳම දෙය වහාම අසුපිටින් බැසීමයි."

"When you discover you are riding a dead horse, the best strategy is to dismount."

ඇත්තටම අසු පිටින් නොබැස අපට වෙනත් විසඳුම් පරීක්ෂා කර බැලීමට පුළුවන. කසයෙන් වඩා වැරෙන් තැලිය හැකිය. කැරට් අල දිගු කළ හැකිය. ජොකියා මාරු කළ හැකිය. ඔය මොනවා කළත් අන්තිමේදී තවමත් අපි සිටින්නේ මළ අසු පිටමය.

අප මෙසේ කරන්නේ ඇයි? ඇතැම් විට මළ අසුට නැවත පණ ලැබෙනු ඇතැයි අපි සිතමු. ඇතැම් විට, අපට මෙතෙක් දුර පැමිණීමට උදවු වූ අසු අතහැර දැමීමට නොසිතේ. මෙය අසුට ඇති ආදරය, ආශාව, කෑදරකම හෝ කෘතගුණශීලීත්වය විය හැකිය. ඇතැම් විට අසු මියගොස් ඇති බැව් පිළිගැනීමට අපට අපහසුය. මේ කවරක් වුවද, තවදුරටත් මළ අසෙකු පැදීමෙන් අප කරන්නේ වඩා ජවසම්පන්න අළුත් අසෙකු පැදීමට ඇති අවස්ථාව අහිමි කර ගැනීමයි.

අප පදින මළ අසුන් අතර ආගමික විශ්වාස, යල් පැන ගිය නීති, දේශපාලන මත හා දේශපාලන පක්ෂ, ප්‍රතිපත්ති, ජීවන විලාසිතා, විනෝදාංශ, පුද්ගල සම්බන්ධතා වැනි බොහෝ දේ තිබේ. ඒත් මෙවැනි අසෙකුගේ පිටින් බැසීම හිතන තරම් පහසු නැත. වාණිජමය අරමුණක් නොමැතිව බ්ලොග් ලිවීම 'මෝඩ ආතල් එකකි'. (රයිගම්ගෙන් හොරාගත් කෑල්ලකි.) මේ කාර්යය මළ අසෙකු බව වැටහුණද අසුපිටින් බැසීම අමාරු කටයුත්තකි. කෙසේ වුවද, ඒ මේ 'මෝඩ ආතල් එකේ' ඇති ආතල් එක බ්ලොග් එක ජීවමානව පවත්වා ගැනීමේ ආවස්ථික පිරිවැය ඉක්මවන තාක් පමණි.

ඉකොනොමැට්ටාට (වඩා නිවැරදිව ඉකොනොමැට්ටාව මැවූ සර්ව බලධාරී හෝ සර්වඥ නොවන මැවුම්කරුට) බ්ලොග් සටහනක් ලිවීමෙන් ලැබෙන මෝඩ ආතල් එකට සාපේක්ෂව එහි ආවස්ථික පිරිවැය අමාරුවෙන් වුවත් දරා ගැනීමට බැරි කමක් නැත. එක් හේතුවක් වන්නේ මේ බොහොමයක් සටහන් ලියන්නේ වෙනත් වැඩ වලින් හෙම්බත් වී සිටින විට 'බ්‍රේක් එකක්' ගැනීමට වීමයි. එවිට එහි ආවස්ථික පිරිවැය විශාල නොවේ. මෙසේ ලියන සටහන් සාමාන්‍යයෙන් එවෙලේම පෝස්ට් කරන්නේ නැත. පෝස්ට් කිරීමෙන් පසුව තවදුරටත් ඒවායේ පාලනය ලියුම්කරුට නැති බව කුඩා සිත්රිදුමක වියදමින් සෑහෙන කලකට පෙරම අවබෝධ කරගත් නිසා දැන්නම් කරන්නේ 'ගස අවශ්‍ය පමණට වැවෙන තුරුත් කප්පාදු අවසන් වන තුරුත්' පැලය තවානේම තබා ගැනීමයි (මේ පාර හොරකම මල්මිගෙනි).

වැඩිදෙනෙකු සටහනක් කියවන විටත්, විශේෂයෙන්ම වැඩි දෙනෙකු සටහන මුලින්ම පළ කල තැනට පැමිණ එය කියවන විටත් සතුටක් ලැබේ. කමෙන්ට් දකින විටත් බොහෝ විට සතුටක් දැනේ. ආරම්භයේදී කෙසේවෙතත් මේ වන විට සැලකිය යුතු පිරිසක් මගේ සටහන් කියවන්නට කෙලින්ම පැමිණෙති. වැඩිම පිරිසක් පැමිණෙන්නේ වත්පොත හරහාය. මේ අය වත්පොතෙහි ඉකොනොමැට්ටාගේ යාලුවෝ, යාළුවන්ගේ යාළුවෝ, යාළුවන්ගේ යාළුවන්ගේ යාළුවෝ ආදීහුය. එමෙන්ම, වෙනත් සින්ඩි සහ බ්ලොග්රෝල් හරහාද සැලකිය යුතු පිරිසක් පැමිණෙති. මේ සින්ඩි සහ බ්ලොග් වලින් කරන්නේ හිජාබය ඇඳි කතකගේ ඇස් දෙක පෙන්වනවාක් වැනි දෙයක් නිසා ඉතිරි ටික බලන්නට උනන්දුවක් ඇතිවී මේ අය පැමිණෙති.

පසුගිය මාස ගණන තුල මා විසින් ඉකොනොමැට්ටා අඩවියේ පලකළ ලිපි බොහෝ තැන්වල නැවත පළකෙරී තිබේ. මගේ දෙමවුපියන් ඉපදෙන්නටත් පෙර සිට පළවන ප්‍රධාන ජාතික පුවත්පතක් පවා අතාත්ත්වික ලේඛකයෙකුගේ ලිපියක් උපුටා පළ කිරීමට තරම් දිරිමත් වීම මා අපේක්ෂා කළ තත්ත්වයක් නොවේ. මෙවැනි උපුටා පළකිරීම් බොහොමයක එය උපුටාගත් තැන සඳහන්ව තිබුණු අතර ඇතැම් තැන්වල මුල් සටහනට පහසුවෙන් පිවිසිය හැකි පරිදි සම්පුර්ණ සබැඳියක් පළ වී තිබුණේය. ඇතැම් වෙබ් සයිට් වලින් මගේ ලිපි කියවා ඇති ගණන මුල් ප්‍රභවයෙන් එය කියවූ ගණන මෙන් කිහිප ගුණයකි.

මෙසේ මුළු ලිපියම වෙනත් තැනක පළ වූ විට නැවත මගේ වෙබ් අඩවියට පිවිසෙන්නට පාඨකයෙකුට අනිවාර්ය අවශ්‍යතාවක් නොමැති නිසා සින්ඩියකට හෝ රෝලකට එක්කළ විටෙක මෙන් සැලකිය යුතු පිවිසෙන්නන් වැඩි වීමක් නොපෙනේ. එහෙත්, ඉතා සුළු වශයෙන් වුවද වැඩිවීමක් සිදුවේ. ඇස් පමණක් පෙන්වූ විට ඇතිවන උනන්දුව ඇඟේ නූල් පොටක්වත් නැති විට ඇති විට ඇතිවන උනන්දුවට වඩා වෙනස්ය. කෙසේවුවද, වෙනත් තැන් වලින් මගේ ලිපි කියවන්නේ සාමාන්‍යයෙන් මගේ බ්ලොග් අඩවියට නොපිවිසෙන අයයි. ඒ නිසා ඒ අය මගේ බ්ලොගයට නොපැමිණීමෙන් මට විශේෂ අවාසියක් නොසැලසේ. මෙසේ පළ කිරීමේ ඇති ප්‍රධානම අවාසිය බ්ලොග් සටහනක් නැවත සංශෝධනය කිරීමට ඇති ඉඩකඩ සීමා වීමයි.

බ්ලොග් සටහනට කිසිම කමෙන්ටුවක් නොවැටෙන විට පාළු ගතියක් දැනේ. එමෙන්ම, ඇතැම් කමෙන්ට්ස් වලින් ලිපියේ කරුණු වලට අමතර යමක් එකතු වේ. තවත් ඒවායින් අළුතින් සිතන්නට හෝ සටහනක් ලියන්නට අදහස් පහළ කරයි. ඒ හැරුණු විට පිවිසෙන්නන්ගේ වැඩි වීමක් වනවානම් එසේ වන්නේ මෙවැනි කමෙන්ටුවකට දමන ප්‍රතිචාරය බලන්නට නැවත නැවත පැමිණෙන කිහිප දෙනෙකු නිසා මිස අළුතින් කිසිවෙකු පැමිණෙන නිසා නොවේ.

මට අදාලවනම් කමෙන්ට්ස් වලට පිළිතුරු ලිවීම සාපේක්ෂව වියදම් අධික කටයුත්තකි. මෙයට හේතුව ලිපියක් ලියනවාක් මෙන් නොව මෙය නිශ්චිත කාලයක් තුළ කළ යුතු නිසා කාලයේ ආවස්ථික පිරිවැය වඩා විශාල වීමයි. අනෙක් අතට ලියන්නට වෙන්නේ කලින් සැලසුම් කරගෙන සිටි ආකෘතියකට අනුව නොවේ. මෙසේ ආවස්ථික පිරිවැය වැඩිවුණත් මෙසේ කමෙන්ට්ස් වලට දමන ප්‍රතිචාර වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවේ. මේවා බලන්නට දෙවන වරට පැමිණෙන්නේ ඉතාම සීමිත පිරිසකි.

මා පෙර කී පරිදි අවශ්‍ය පමණට වවාගෙන කප්පාදු කර ඇති පැල ගණනාවක් දැනටත් තවානේ තිබේ. මේ ඇතැම් ලිපි වල තවදුරටත් කාලීන වැදගත්කමක් නැත. මේ ලිපි වල ඇතැම් දේශපාලන තත්ත්වයන් මෙන්ම විණිමය අනුපාතිකයේ හැසිරීම වැනි දේවල් ගැන කලකට පෙර සටහන් කළ දේවල් දැන් ඒ අයුරින්ම සිදුවී තිබේ. මේවා පළ නොකළේ, අදාල කාලයේදී ඒවා පළවුනිනම් ලැබිය හැකිව තිබුණු ප්‍රතිචාර වලට සුදුසු පරිදි පිළිතුරු දීමට කාලය වෙන් කළ නොහැකි වූ බැවිනි. මා මේ බ්ලොගය ආරම්භ කිරීමේදී පැවති ඉලක්ක කරා ලඟා වීමට අවශ්‍ය තරමට ලිපි දැනටමත් තවානේ ඇති නිසා ඒවා පළකිරීමේ ආවස්ථික පිරිවැයනම් දැනට එතරම් විශාල නැත.

පසුගිය සටහනට ලැබුණු ප්‍රතිචාර වලට තවමත් පිළිතුරු දී අවසන් නැත. එහෙත්, මගේ ආරම්භක සැලසුම් පවත්වා ගැනීම වැදගත් නිසා මේ සටහන පළ කරමි. අස්සයා මැරී ඇති බව දැනගත් විට කළ යුත්තේ අස්සයා පිටින් වහාම බැසීම වුණත් ගමනාන්තය කිට්ටුවක ඇත්නම් හොඳම වැඩේ ඉතුරු ටිකත් කොහොම හරි ඇද ගැනීමයි.

(Image: www.statue.com)

36 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පඬියා වගේ කමෙන්ට් කොටන්න ආවට දන්න පුකක් නෑ නේද ඩෝ

      Delete
    2. //පඬියා වගේ කමෙන්ට් කොටන්න ආවට දන්න පුකක් නෑ නේද ඩෝ//

      එසේය මහ රජ!!

      Delete
    3. දන්න පුකකුත් නෑ පුකේ මයිලුත් නෑ

      Delete
    4. //දන්න පුකකුත් නෑ පුකේ මයිලුත් නෑ//

      බික් තමයි රේසරේ!

      Delete
  2. මමත් උබේ බ්ලොග් එකට ආගන්තුකයෙක්. මාත් මේකට ආවේ සින්ඩියට පින් සිදු වෙන්න.

    ReplyDelete
    Replies
    1. සින්ඩි වලින් සෑහෙන පිරිසක් ඇවිත් තියෙනවා. සාමාන්‍යයෙන් සිංහල බ්ලොග් කියවන අය බොහෝ විට අලුත් බ්ලොග් එකක් ගැන දැනගන්නේ සින්ඩියකින්. නැත්නම් වෙනත් බ්ලොග් එකක ඇති සඳහනකින් හෝ රෝලකින්.

      Delete
  3. මම හිතුව අය වය ගැන ලිපි දමය් කියල . අර තවානේ ඒවත් තියෙනවනම් දාන්න ඉක්මනට...

    ReplyDelete
    Replies
    1. අයවැය ගැන ලියන්න පටන් ගත්තත් එය අවසන් කළ නොහැකි වුනා, අනුර. ගොඩක් සංඛ්‍යා හදාරන්න සහ විශ්ලේෂණය කරන්න වෙන නිසා එවැන්නක් ගොඩක් වෙලායන වැඩක්. මතුපිටින් පේන දේවල් ගැන කතා කළා කියලා විශේෂ ප්‍රයෝජනයක් නැහැනේ.

      Delete
  4. බ්ලොග් කාරයෙක් කොමෙන්ට් බලාගෙන ලියන්න හොඳ නැහැ. මම නම් කොමෙන්ට් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එක වරක් කොමෙන්ට් බොක්ස් එක වහලත් ලියන්න ගත්තා. ඉල්ලීමක් නිසයි යළි ඕපන් කලේ. බ්ලොග් එකක සාර්ථකත්වය කියන්නෙ හිට්ස් වැඩිවීම. මුල් කාලෙදි මාත් කොමෙන්ට්වලට ආස වුනා තමයි. නමුත් බ්ලොග් කෙරුවාවෙදි කාලය වැඩියෙන්ම වේස්ට් වෙන්නෙ කොමෙන්ට් බල බල රිප්ලයි කර කර අනුන්ගෙ බ්ලොග් වලට ගිහින් කොමෙන්ට් කරන්න ගියාම ලොකු කාලයක් ගත වෙනවා.එතකොට ලිවිල්ලත් එපා වෙනව. තමන්ගෙ සතුට වෙනුවෙන් ලියාගෙනම යන එකයි නියම ක්‍රමය.

    ReplyDelete
    Replies
    1. //තමන්ගෙ සතුට වෙනුවෙන් ලියාගෙනම යන එකයි නියම ක්‍රමය.// එය තමයි කරන්නේ. ඒත් කෙනෙක් කමෙන්ට් එකක් දැම්මහම එයට ප්‍රතිචාරයක් දක්වන්න වෙලාව හොයාගන්න බැරි වුනහම හිතට හරි මදි.

      Delete
  5. dont stop this... we enjoy your writing

    ReplyDelete
    Replies
    1. Thanks, Ano! I don't plan to disappoint my regular readers. Just trying to reach the audience who values what I write most.

      Delete
  6. බ්ලොග් ලිවිල්ලත් කොටි වලිගෙ අල්ලගත්ත වැනිය. බ්ලොග්කරුවන් ඉදහිට මැසිවිලි නගන්නේ කාලවේලා ප්‍රශ්නය නිසාය. විචාරකට සහ සමරසේකරට හැර රැකියා කරන ගෙදර දොරේ වැඩතියන හැමෝටම මෙය අනවශ්‍ය බරකි. ඇත්ත කතාව එයයි.

    අනුන්ගෙ බ්ලොග් වල මට කොමෙන්ට් දාන්න ඇත්තටම අවශ්‍ය දෙක තුනකි. එහෙත් මම වරකට කොමෙන්ට් 20 ක් 25 ක් දමමි (රිප්ලයිද සමග ) .ඒ හිතවත්කමටය. දැම්මට පස්සෙ ඒවට ලැබෙන රිප්ලයිද බලන්නට සිතේ. ලොකු කාලයක් නාස්ති වේ.

    මම සිටින්නෙ දෙකට දෙවාරේය. බුකිය නම් කළමනාකරනය කර ගතිමි. මෙයටද යම් දෙයක් ලබන අවුරුද්දෙ සිට කරමි (කල්‍යානගෙ බ්ලොග් එකේ කී ලෙසම ).

    ලියන එක නවත්වන්න එපා. වෙනත් බ්ලොග් වල කොමෙන්ට් කිරීම දැඩි ලෙස සීමා කරන්න. එවිට එපා වීමකින් තොරව ලියන්නට හැකිවේවි.

    ReplyDelete
    Replies

    1. //දැම්මට පස්සෙ ඒවට ලැබෙන රිප්ලයිද බලන්නට සිතේ.// මෙයත් කමෙන්ට් දැමීම අඩුවීමට එක් හේතුවක්. කමෙන්ට් එකක් දමා එයට ලැබෙන ප්‍රතිචාරය නොකියවීම මට හිතෙන්නේ කෑම ඇනවුම් කරලා නැඟිටලා යනවා වගේ වැඩක් කියලා. (වඩා හොඳ උපමාවක් මතක් වුණත් ලිවුවේ නැහැ) එක් බ්ලොග් එකකට කිහිප වරක් යාමේදී වෙන්නේ තවත් බ්ලොග් එකක් කියවන අවස්ථාව මඟ හැරීම.

      Delete
  7. ඉකොනමැට්ටා....මට පේන විදිහට නම් 'බොහෝවිට' බ්ලොග් වල කමෙන්ට් වැටෙන්නේ 'උඹ මගේ පුක කසනවා,මම උඹේ පුක කසනවා' තියරියටය...තවත් බ්ලොග්වල කමෙන්ට් වැටෙන්නේ එවා ගමේ කෝපි කඩේ වගේ බ්ලොග් බලන්නන්ගේ කෝපි කඩය වී ඇති හෙයිනි....ඒ අතර ඉතා රසවත් බ්ලොග්කීපයක්ද මේ තියරිවලින් වෙන් වී කමෙන්ට්ස් ඉතා විශාල ප්‍රමානයක් ආකර්ශණය කර ගනී...එහෙත් ඉතා හොද බ්ලොග් කීපයක්ද ද කමෙන්න්ට්ස් නැති වේලෙන තත්වයකට පත් ව ඇති බවක් පෙනී යනවා...

    කෙසේ නමුත් අවුරුදු පහක් පමන වන මගේ බ්ලොග් අත්දැකීම තුල මා ඉගෙන ගත් වැදගත් පාඩමක් නම් කමෙන්ට්ස් බලා ගෙන බ්ලොග් ලිවීම නොකල යුතු බවය... වඩා වැදගත් වන්නේ ඕබගේ අදහස ඔබට කීමට ඇති අයුරින් වඩා වැඩි පාඨක පිරිසකට ලං කිරීමට වග බලා ගැනීමය....ඔබගේ ලිපි පැල තාවානේ සාත්තු වන්නේ පාඨකයාගේ විවේචනයට ඇති බියෙන් නම් එය එසේ සිදු නොවිය යුතු බව මගේ අදහසය..එහෙත් එසේ තවාන් වෙන්නේ පැලය වඩා හොදීන් කරුණු එකතු කිරීමට නම් ඒ සම්භන්ධව මගේ විවේචනයක් නැත.......

    කෙසේ නමුත් අප ලියන දෑ වඩා වැඩි පාඨක පිරිසකට ලං කිරීම අපගේ යුතුකමය...කමෙන්ට්ස් වලට වඩා හිට්ස් සංඛ්‍යාව මා වැදගත් කොට දකින්නේ එහෙයිනි...එයින් ඔබගේ ලිපිය කියවන පිරිස ගැන දල අවබෝඅධයක් ලබා ගත හැඉකි බව මගේ අදහසය...මේ සංඛ්‍යාව වැඩි කිරීමට උත්සහ කල යුතු උනත් වඩා වැදගත් වන්නේ තමන්ට කීමට ඇති දෙය ඒ ආකාරයෙන් පැවසීම බව මගේ අදහසය...

    මම ඔබගේ ලිපි බොහෝ විට කියවන නමුත් පොදු වේ කාල ප්‍රශ්ණය නිසා කමෙන්ට් කිරීම මග හැරී යයි....ඕබගේ රහ ලිපිවල මම සධාරණයක් ඉ‍ටු නොකීරීම ගැන සමා වෙන්න....

    අශ්වයා පිට යෑමෙන් බලාපොරොත්තුවන්නේ කුමක්දැයි පලමුව විසදා ගත් යුතුය.....ගමන කාල වේලාවට යා ගත නොහැකි නම් මල අශ්වයාගෙන් බැසිය යුතුය....එහෙත් අවට සිරි නරඹබින් යන ආතල් ගමනකට නම් මල අශ්වයා වුවද කම් නැත...මන්ද වැදගත් වන්නේ ගමන බැවිනි.......

    ReplyDelete
    Replies
    1. //තවත් බ්ලොග්වල කමෙන්ට් වැටෙන්නේ එවා ගමේ කෝපි කඩේ වගේ බ්ලොග් බලන්නන්ගේ කෝපි කඩය වී ඇති හෙයිනි.//

      අඩොව්.... අපේ රසිකගෙ බ්ලොග් එකට මුකුත් කියන්ඩ එපා හරිය....

      Delete
    2. //ඔබගේ ලිපි පැල තාවානේ සාත්තු වන්නේ පාඨකයාගේ විවේචනයට ඇති බියෙන් නම් එය එසේ සිදු නොවිය යුතු බව මගේ අදහසය.එහෙත් එසේ තවාන් වෙන්නේ පැලය වඩා හොදීන් කරුණු එකතු කිරීමට නම් ඒ සම්භන්ධව මගේ විවේචනයක් නැත//

      මගේ බ්ලොග් එක පටන් ගත් දින සිට මේ දක්වා කිසිම කමෙන්ටුවක් ඉවත් කිරීමට හෝ මොඩරේෂන් දැමීමට සිදු නොවූ බව මගේ ලිපි කියවන අයට ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුය. ඇතැම් දේවල් මට අවශ්‍ය පරිදිම කීමෙන් මට අවශ්‍ය කාර්යය ඉටුවන්නේ නැත. උදාහරණයක් ලෙස "බබර ක්‍රාහ්මන" කියා ඇති පරිදි පිරිසක් කෙනෙකුට ගල් ගසා මරන්නට සූදානම් වනවිට මා පිරිස අතර සිට "බබර ක්‍රාහ්මනව" විවේචනය කිරීමෙන් මේ පුද්ගලයාට කිසිදු යහපතක් නොසැලසෙන අතර ඇතැම් විට මටද ගල් වදින්නට පුළුවන. මෙවැනි වෙලාවක "බබර ක්‍රාහ්මන" ධර්මය අනුව ගල් ගැසීම සිදු නොකළ යුතු බව පැහැදිලි කිරීමෙන් ජීවිතයක් බේරා ගත හැකි විය හැකිය. ඇතැම් විට මෙවැනි දේවල් ගැන සැලකිලිමත් වන්නට සිදුවේ. ඒ සඳහා "බබර ක්‍රාහ්මන" ධර්මය හැදෑරීමට සිදුවේ. මෙය ගල් ගසන අයට නොකියා "බබර ක්‍රාහ්මනට" විරුද්ධ අය ඉදිරියේ විවේචනය කිරීමෙන් කොහොමටත් වැඩක් නොවේ. මෙය පාලු ගෙයි වලං බිඳීමක් පමණි.

      එමෙන්ම, නිරායාසයෙන්ම ලියැවෙන ඇතැම් ඇත්ත දේවල් ඒවායේ ස්වභාවය අනුව බොහෝ දෙනෙකුට 'පොර ටෝක්' මෙන් පෙනීමේ ඉඩකඩ ගැනද සැලකිලිමත් වන්නට සිදුවේ. මේ දෙකටම වඩා, මේ වන විට මගේ ඇතැම් ලිපි උපුටා පළ කර ඇති තැන් වලින් (මේවා ගැන මට දැනුම්දීමක් කර ඇත්තේ නෙලුම්යායෙන් පමණි. අනෙත් තැන් වෙනත් අය විසින් දැනුම් දුන් හෝ සෙවුම් යාන්ත්‍රණයක් මගින් පෙන්වූ ඒවාය.) කියවන පිරිස කෙළින්ම කියවන ගණනට වඩා වැඩි නිසාත්, එවැන්නක යම් වරදක් ඇත්නම් මට නිවැරදි කළ නොහැකි නිසාත් වඩා සුපරික්ෂාකාරී වීමට සිදුවේ. එසේ නැත්නම් හිතාමතා නොකළත් වැරදි දැනුම් සමාජගත කිරීමේ වරදින් මට ගැලවිය නොහැකිය.

      //ඕබගේ රහ ලිපිවල මම සාධාරණයක් ඉ‍ටු නොකීරීම ගැන සමා වෙන්න// මා එසේ සිතන්නේ නැත. මගේ ලිපි වරක් හෝ කියවූ අයෙකු මගේ මහන්සියට සාධාරණය ඉටුකොට ඇත. එමෙන්ම, මා ලියන දේවලට කැමති නැති නිසා ඒවා නොකියවා ඉන්නා අයද කරන්නේ සාධාරණය ඉටු කිරීමකි. කියවීමෙන් සතුටක් නොලැබේනම් හිතවත්කමට මේ සටහන් කියවීම මා අපේක්ෂා නොකරන්නකි. ඒ හේතුවෙන්, මා මේ බ්ලොගය මගේ පෞද්ගලික මිතුරන් අතර වුවද ප්‍රචාරණය කර නැත. මගේ කියවන අය ගැන මට ඉතා පුළුල් අවබෝධයක් තිබේ. මෙයට ඒ එක් එක් අය පිවිසෙන රටාවන්, වේලාවන්, ඇබ්බැහි වී ඇති තරම, පැමිණෙන මාර්ග වැනි දේ පිලිබඳ දැනුම ඇතුළත්ය. මේ දේවල් ඉතා පහසුවෙන් දැනගැනීමට තාක්ෂණය උදවු කරන නිසා ඒ සඳහා අකාර්යක්ෂම ක්‍රම උපයෝගී කර ගැනීමට මට අවශ්‍ය නැත. මේ දත්ත අධ්‍යයනය කිරීමෙන් කියවන්නන්ගේ රුචිකත්වය තේරුම් ගැනීම අපහසු නැත. (මා බ්ලොග් එක ලිවීමට පෙර ඔබ ලියා ඇති ආකරයේ ලිපි මෑතකදී ලියා නැති බව පෙනේ.)

      ඔබ කියා ඇති අනෙක් දේවලට එකඟයි.

      Delete
  8. එක එක සත්ව තියනවානේ.
    කාන්තාරේ නැව ගත්තම කථන්දරේ වෙනස්..අතරමං වෙලා දියපොදක් නැතිව නන්නත්තාර උනාම කරන දෙය තමයි ඔටුවාගේ බෙල්ල (පණපිටින් ) හිල්කර බීම.මරලා කනවත් එක්ක.කාලය ඉසස්රහට ගියත් මේක තාම එහෙමයි. :)

    අනික් කාරනේ -කලාව,ප්‍රසිද්දිය,ජනප්‍රියත්වය ලැබෙන දේවල බේසික් තියරි එක තමයි මේවා අසුරු සැනින් බිදි යා හැකි බව.

    ReplyDelete
    Replies
    1. මල්මි කියන දේවලට මම කැමති කියන දේවලුත් කියවලා නොකියන දේවලුත් කියවන්න පුළුවන් නිසයි. මම සාමාන්‍යයෙන් කරන්නේ ඔය 'අසුරු සැනින් බිදි යා හැකි' සබන් බුබුළු උඩ යවලා බිඳෙන්න කලින් මමම ඇඟිල්ලෙන් අනින එකයි. වෙන අයගේ ඒවානම් හැදෙන බිඳෙන හැටි පැත්තකට වෙලා බලා ඉන්නවා.

      Delete
  9. ඉකොනෝ... මම කියන්න හදන හැම දේම ස්වයන් විවේචනයට ලක් වෙනව වගේ දැනෙනවා... කොහොම උනත් ලියන එකයි වැදගත්... ලිවිම සහ කොමෙන්ට් දැමීම දෙකෙන් ලිවිම තෝරාගත්තොත් වටිනා බවයි මගේ අදහස...

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් දෙක බැලන්ස් කරන්න හදනවා, සජ්ජා.

      Delete
  10. ඇත්තටම ඔබේ බ්ලොග් එක මේ වන විට අවකාශයේ තිබෙන ගුණාත්මක අතින් වැඩිම බ්ලොග් එකක්. ඔබ වගේ පැසුණු මිනිහෙක් සිංහලෙන් බ්ලොග් ලියන එක බ්ලොග් අවකාශෙට එළියක්.පිට කසනව නෙමෙයි. ඒක තමයි ඇත්ත. ඔබේ බ්ලොග් සටහන්වලින් බොහෝ දැනුමක් ලැබුන.ලිවීම ඔබේ අයිතියක්.දිගටම ලිවුවොත් අපි කැමති.

    ReplyDelete
    Replies
    1. පැහිල ඉදිල ගහෙන් වැටෙන්න කලින් පුළුවන් තරම් ලියනව, ඇනෝ. ස්තුතියි කමෙන්ට් එකට. ඇත්තටම මේ ලිපිය පටන් ගත්තේ ඔය ඇතැම් නීති, විශ්වාස වගේ මළ අසුන් ගැන කතා කරන්න හිතාගෙන. මඟක් යනකොට ඔළුවට ආවේ මේ බ්ලොග් කෙරුවාව.

      Delete
  11. බ්ලොග් ලෝකයට එක්වී අවුරුද්දක් වත් නැති මමත් මේ ගැන යමක් කිව යුතුයි. විවිධ බ්ලොග් ගැන නොදැනීම අපේ හිතේ වර්ගීකරණයක් වෙලා තියෙනවා. සමහර බ්ලොග් වලට මම යනකොටම එන්නේ තව හොඳ එකක් ලියල ඇති කියල හිතාගෙන. ඒ ඒවයේ මට දැනෙන සාහිත්‍ය රසයට. තවත් ඒවලට යනකොට යන්නේ හිනා වෙන්න පුලුවන් කියල හිතාගෙන. උපන්ගෙයිම ලැබුන උපහාස රසය තවත් තියුණු කරගන්න ඒව උදව් වෙනව. තව ඒවා බ්ලොග් මිතුරොත් එක්ක අපහාස උපහාස කරගන්න හොඳ තැන් නිසා යනවා. තව ඒවා ගැඹුරු අදහස් තිබුණට කියවලා එලියට එනකොට ඉතුරුවෙලා දෙයක් නෑ කියල හිතෙනවා. ඔය අතර මමත් මගේ සත දෙක දාන්න ටොයි පෝස්ට් දානවා. මේ හැම ජාතියෙම බ්ලොග් ගාන බොහෝයි.ඔය ඔක්කොම ඒව වෙන වැඩ නැතිවෙලාවට මනස පොඩ්ඩක් උද්දීපනය කරගන්න හොඳයි.

    ඒ වුනාට විශේශ බ්ලොග් තියෙනවා. පෝස්ට් එකක් දාල තිබුණොත් ශුවර් දන්න දේට එහා යමක් ඉගෙන ගන්න තේරුම් ගන්න පුලුවන් බ්ලොග්. අවාසනාවට ඉතාම කුඩා ප්‍රමාණයක්. මේක ඒවයින් එකක්. බොහෝ විට කමෙන්ට්ස් නොදමන්නේ ඒ ගැන ඊට වඩා දෙයක් කීමට හෝ ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට මගේ දැනීම / හැකියාව සීමිත නිසා. මෙම බ්ලොග් එක නැවතුනොත් ඒකනම් ලොකු හිස් අවකාශයක් වේවි.

    බ්ලොග් එකේ නමින්ම හිතුවොත් ආවස්ථිත පිරිවැයක් ඇති. එමෙනම පෝස්ට් වල තියෙන කරුණු අනුව එම ආවස්ථිත පිරිවැයත් විශාල ඇති. ඒ ඔබේ පැත්තෙන්. අපේ (මගේ ) පැත්තෙන් නම් මෙවැනි බ්ලොගයක් නැවතුනොත් ලැබිය හැකිවූ ලාභයක් ලැබීම නැවතීමේ පිරිවැය අතිවිශාලයි.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට ස්තුතියි, ඉයන්. ලියන දේවලට වටිනාකමක් ලැබෙන්නේ කියවන අය නිසයි. ගොඩක් වෙලා අරගෙන, මහන්සි වෙලා ලියූ ඇතැම් ලිපි වලට වඩා හදිස්ස්සියෙන් ලියන ඒවා සමහර වෙලාවට ගොඩක් ජනප්‍රිය වෙනවා. හැබැයි කියවන ගණනත් එක් නිර්ණායකයක් පමණයි. සමහර දේවල් කාලීනව වැදගත් වුනත් පස්සේ වටිනාකමක් නැහැ.

      Delete
  12. (ඉයන් December 13, 2015 at 12:35 PM)

    ඒ වුනාට විශේශ බ්ලොග් තියෙනවා. පෝස්ට් එකක් දාල තිබුණොත් ශුවර් දන්න දේට එහා යමක් ඉගෙන ගන්න තේරුම් ගන්න පුලුවන් බ්ලොග්. අවාසනාවට ඉතාම කුඩා ප්‍රමාණයක්. මේක ඒවයින් එකක්. බොහෝ විට කමෙන්ට්ස් නොදමන්නේ ඒ ගැන ඊට වඩා දෙයක් කීමට හෝ ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට මගේ දැනීම / හැකියාව සීමිත නිසා. මෙම බ්ලොග් එක නැවතුනොත් ඒකනම් ලොකු හිස් අවකාශයක් වේවි..........


    මීට වඩා මොනවා කියන්නද?

    ReplyDelete
    Replies
    1. තිලංකලා වගේ අය නිසා තමයි මේ බ්ලොග් එක තාම තියෙන්නේ. දිගටම කියවන නිශ්චිත පිරිසක් ඉන්නකොට තනියම තීරණ ගන්න අයිතියක් නැහැ වගේ දැනෙනවා.

      Delete
  13. කියවන අපිටනම් හිතෙන්නේ මේ අස්සයගේ හොඳම ජවසම්පන්නම කාලය බවයි.. :)

    ඔය ආවස්ථික පිරිවැය බැලන්ස් කරද්දී කියවන මනුස්සයාගේ සතුට හා දැනුමට එකතු වෙන දේ කැල්කියුලේට් කරන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අස්සයගේ හොඳම ජවසම්පන්නම කාලය බව ඇත්ත, කමි. ඒ කියන්නේ මීට වඩා වේගයෙන් දුවන්න බැහැ කියන එකයි. :)

      Delete
  14. දුවන්න පුළුවන් අශ්වයෙක් ඉන්න කොට ජොකියා මාරු කරන්නත් හොඳ නැහැ.මේ අශ්වයාට,ජොකියාට හොඳට දුවන්න පුළුවන්න තවමත්.

    ReplyDelete
    Replies
    1. නෑ, මනෝජ්. අස්සයා මාරු කළත් ජොකියා මාරු කරන්නේ නැහැ.

      Delete
  15. සමහර බ්ලොග් පොස්ට් වලට සම්බන්ද වෙන්න තරම් දැනුමක් නැතත් පොඩි හරි කමෙන්ට් එකක් දාලා යන්නෙ ලියන අය ධෙර්්‍යමත් කරන්න..
    මොන වර්ගිකරනයන් යටතේ තිබුනත් හැම බ්ලොග් එකකම පොස්ට් එකකම චුටි හරි ගතයුතු දෙයක් මට තියනවා..

    ReplyDelete
    Replies
    1. ලියන කෙනාට අමතරව කවුරු හෝ කියවන බ්ලොග් එකක් කියන්නේ කුමක් හෝ වටිනාකමක් තියෙන බ්ලොග් එකක්. බ්ලොග් ලියන්නෝ වගේම කියවන්නෝත් විවිධයි. බ්ලොග් කියවීමේත් ආවස්ථික පිරිවැයක් තිබෙනවා. වෙලාව අඩු වෙනකොට කෙනෙකුට කියවන්න වෙන්නේ තමන් වැඩිපුරම කැමති බ්ලොග්. වෙනත් බ්ලොග් වලට වගේම මගේ බ්ලොග් එකටත් ගොඩක් කැමති අය, කොහෙත්ම කැමති නැති අය වගේම වෙන කියවන්න දෙයක් ඇත්තෙම නැත්නම් පමණක් කියවන අය සිටීම සාමාන්‍ය තත්ත්වයක්.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...