වෙබ් ලිපිනය:

Friday, July 29, 2022

උද්ධමනය 60% පන්නයි!


ගෙවුණු ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය 60.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 90.9%ක්. කෙසේ වුවත්, මාසය තුළ දර්ශක අගය ඉහළ යාම මන්දගාමී වී තිබෙනවා. ජූනි මාසය තුළ දර්ශක අගය ඉහළ යාම 12.8%ක් වූ අතර ජූලි මාසය තුළ එම වැඩිවීම 4.5%ක් පමණයි. මෙයින් උද්ධමන පීඩනයේ යම් අඩු වීමක් පිළිබිඹු කරනවා. අධි-උද්ධමන තත්ත්වයක් සේ සැලකෙන්නේ මෙම අගය 50% ඉක්මවූ විටයි.

දැනට දැකිය හැකි ප්‍රවණතා අනුව, මගේ ඇස්තමේන්තුව වන්නේ ඔක්තෝබර් මාසය වන විට උද්ධමනය 80% පමණ දක්වා ඉහළ ගොස් එයින් පසුව ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි. එහෙත්, එය තීරණය වනු ඇත්තේ දැනට යෝජනා වී ඇති ස්ථායීකරණ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය අනුවයි. එම වැඩ පිළිවෙළ අඩාල වුවහොත්, ප්‍රතිඵලය අධි-උද්ධමන තත්ත්වයක් සමඟ එන ආර්ථිකයේ අති දැවැන්ත කඩා වැටීමක් විය හැකියි.

දැනට අර්බුදය විසඳීම සඳහා යෝජනා වී තිබෙන මාර්ග සිතියම කුමක්ද?

සංක්ෂිප්ත ලෙස කිවුවොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ අදාළ ණය මුදල ලබා ගැනීමයි. එසේ කිරීමෙන්, ප්‍රශ්නය කොයි තරම් දුරකට විසඳා ගත හැකිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතව ඇත්තේ ඩොලර් බිලියන 3ක පමණ මුදලක්. එම මුදල ලබා දෙන්නේ මහ බැංකුවටයි. එය රජයට ලබා දෙන ණයක් නෙමෙයි. එසේ වුවත්, මෙම ණය ලැබීමත් සමඟ වෙනත් ජාත්‍යන්තර ආයතන හා රටවල් විසින් රජයටද යම් ණය මුදලක් ලබා දීමට ඉඩ තිබෙනවා. මේ සියල්ලේ එකතුව ලෙස ඩොලර් බිලියන 5-6ක් පමණ එකතු කර ගැනීම අපේක්ෂිත ඉලක්කයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබා දීමෙන් අනතුරුව මහ බැංකුවට කරන්නට සිදුවන පළමු දෙය විණිමය අනුපාතය ස්ථාවර කර ගැනීමයි. මේ වන විට විණිමය අනුපාතය ස්ථාවර කර තිබෙන්නේ කෘතීම ලෙසයි. මෙහිදී ස්ථාවර කර ගැනීම යන්නෙන් අදහස් කළේ නියම පිළිවෙලට විණිමය අනුපාතය ස්ථාවර කර ගැනීමයි.

මේ වන විට මහ බැංකුව විසින් "මහ බැංකුවේ ණය" තව දුරටත් වැඩි කර නොගැනීමේ උත්සාහයක නිරතව සිටිනවා. 2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.9ක්. එහෙත්, සංචිත තිබුනේ ඩොලර් බිලියන 1.9ක් පමණයි. ඒ කියන්නේ, ඩොලර් බිලියන 4.0ක ශුද්ධ විදේශ විණිමය හිඟයක්. ජූනි අවසානය වෙද්දී මෙම ශුද්ධ විදේශ විණිමය හිඟය ඩොලර් බිලියන 4.5ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලැබෙන දවස වන විට මෙම හිඟය කොපමණ වී තිබේදැයි මා දන්නේ නැහැ. මොන විදිහකින් හෝ ඩොලර් බිලියන 5 සීමාවේ තියා ගනු ඇතැයි කියා අපි දැනට හිතමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මහ බැංකුව වෙත ඩොලර් බිලියන 3ක් ලැබුනොත් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 පමණ දක්වා වැඩි අකර ගන්න පුළුවන්. ඩොලර් බිලියන 6ක පමණ ණය තිබුණත්, එයින් ඩොලර් බිලියන 2.5ක් පමණම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු ණය. එම ණය ඉතා ඉක්මණින් ගෙවිය යුතු නැහැ. ඉතා ඉක්මණින් පියවිය යුතු මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන දෙකක් හෝ තුනක් පමණ විය හැකියි. ඒ කියන්නේ, එම ණය පියෙවුවාට පසුව නැවතත් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන දෙකකට හෝ තුනකට බහිනවා කියන එකයි. හැබැයි සංචිත සමාන වුවත්, මහ බැංකුව දැන් මුහුණ දෙන, "රෝල ගහන්න බැරි වීමේ" ප්‍රශ්නය එවිට අවසන් වෙනවා. 

මේ තත්ත්වය තුළ මහ බැංකුවට ඩොලරයක මිල නිදහසේ තීරණය වීමට ඉඩ දෙන්න පුළුවන් වෙනවා. එසේ කිරීමෙන් පසුව ඩොලරයක සැබෑ මිල කීයක් වෙයිද කියන එක හරියටම කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. එසේ වුවත්, එම මිල රුපියල් දහදාහක් හෝ ලක්ෂයක් නොවන බවනම් කියන්න පුළුවන්. දැන් මේ වෙලාවේ ඩොලරයක මිල නිදහසේ තීරණය වීමට ඉඩ දෙන්න ඇරියොත්නම් මිල එවැනි මට්ටමක් දක්වා වුවත් යන්න පුළුවන්.

මගේ පෞද්ගලික ඇස්තමේන්තුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසුවද ඩොලරයක මිල නවතිනු ඇත්තේ දැන් පවතින මිලට වඩා සැලකිය යුතු තරම් ඉහළ තැනක බවයි. මේ මිල පහසුවෙන්ම රුපියල් 500ක් පමණ විය හැකියි. එහෙත්, දැනටමත් සාදා අවසන්ව ඇතැයි සිතන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ එය එසේ නොවන්නට පුළුවන්. අසීරු ඉලක්කයක් වුවත්, ඩොලරයක මිල දැන් පවතින මට්ටම ආසන්නයේ තබා ගැනීම මහ බැංකුවේ අපේක්ෂාව බව පෙනෙන්න තිබෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු වහාම ශ්‍රී ලාංකිකයින්ට විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීමට තිබෙන බාධාවන් ඉවත් වී, අවිධිමත් වෙළඳපොළ බිඳ වැටෙනවා. ඊට අමතරව, විදේශිකයින් විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමද නැවත ආරම්භ වෙනවා. ඒ නිසා, දිගුකාලීන ප්‍රශ්න එසේම තිබුණත්, රටේ ආර්ථිකය 2019ට පෙර වූ ආකාරයෙන් ගෙන යා හැකි තත්ත්වයක් ඇති වෙනවා.

හැබැයි මේ සියල්ල වෙන්නේ කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණොත් පමණයි. ඒ සඳහා පූර්ව කොන්දේසියක් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. එය අභියෝගාත්මක කටයුත්තක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට එළැඹී අදාළ ස්ථායීකරණ වැඩපිළිවෙළ ණය ලබා දුන් අයට ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. ඒ නිසා, දැන් තිබෙන ප්‍රමුඛ කාර්යය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට එළැඹීමයි.

මේ කාරණය සිදුවීමටනම් අදාළ වැඩ සටහන ක්‍රියාත්මක කළ හැකි දේශපාලන සහයෝගයක් අවශ්‍ය වෙනවා. එයින් අදහස් වන්නේ කුමක්ද?

එක්කෝ මෙම වැඩපිළිවෙළ හා එකඟ වන ආණ්ඩුවකට ඉදිරි වසර තුනක පමණ කාලය තුළ අභියෝගයක් නොමැතිව ආණ්ඩු බලය පවත්වා ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා ණය ලබා දුන් අයට පෙනෙන්නට තිබිය යුතුයි. එසේ නැත්නම්, එම කාලය තුළ බලයට පත් වීමට ඉඩ තිබෙන ආණ්ඩුව හෝ ආණ්ඩු විසින්ද අදාළ වැඩපිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කරනු ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුයි. 

මෙය සිදු වුනා කියා අනෙක් හැම දෙයක්ම හොඳින් සිදු වන බවට සහතිකයක් නැතත් මේ ටික සිදු නොවන තුරු වෙනත් කිසිවක් සිදු වන්නේ නැහැ. දැනට පෙනෙන පරිදි රනිල් වික්‍රමසිංහට සම්මුතියෙන් අනෙකුත් සියළු පාර්ශ්ව වල සහයෝගය ලබා ගත හැකි බවක් පෙනෙන්නට නැහැ. ඒ තත්ත්වය තුළ වෙනත් ආකාරයකින් දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඔහු උත්සාහ ගනිමින් සිටින බව පේනවා. මේ වැඩේ සාර්ථක වෙයිද නැද්ද කියන එක දේශපාලනික කරුණක්. දේශපාලනික කරුණු මේ ලිපියේ කතා නොකර සිටිමු. මට දැනට කියන්න පුළුවන්කම තියෙන්නේ කවර ආකාරයකින් හෝ දේශපාලන ස්ථාවරත්වය ඇති වන තුරු මේ මාර්ග සිතියම ඔස්සේ ගමනක් නැති බවයි.

එසේනම්, මේ මග හැර වෙනත් මගක් තිබේද? දැනට ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයින් සියලු දෙනාම මෙන්ම මහ බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද අනෙකුත් බාහිර පාර්ශ්වයන් බොහොමයක් විසින්ද විශ්වාසය තබන හා දැනට යෝජනා වී තිබෙන, වඩාත්ම ප්‍රායෝගික වැඩ පිළිවෙළ මෙයයි. මේ වැඩපිළිවෙල හා ගැලපිය හැකි වෙනත් කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් යෝජනා වී නැහැ. සමස්තයක් ලෙස ගත්තොත්, ප්‍රධාන දේශපාලන ධාරා දෙකම මේ වන විට පෙනී සිටින්නේ මේ වැඩපිළිවෙළ වෙනුවෙනුයි. ඔවුන් බෙදී සිටින්නේ වෙනත් දේශපාලනික කරුණු හා අදාළවයි.

කෙසේ වුවත්, මේ වැඩ පිළිවෙළ වුවත් සාර්ථක වන බවට අනිවාර්ය සහතිකයක් තිබෙන වැඩපිළිවෙලක් නෙමෙයි. ඒ වගේම, එහි අතුරු ප්‍රශ්නද තිබෙනවා. 

පළමු ප්‍රශ්නය මේ මාර්ග සිතියම ඔස්සේ ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලබා ගන්න යම් කාලයක් ගත වීමයි. මෙම කාලය අඩු වශයෙන් මාස හයක් පමණවත් විය හැකියි. ඊට වඩා බොහෝ කල් යන්නත් පුළුවන්. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ අභියෝග රැසක් තිබෙනවා. ඒ නිසා, එතෙක් කල් "ජීවත් වීම" ඉතිරි වන ප්‍රශ්නයක්. මේ සඳහා විසඳුමක් සේ යෝජනා වී තිබෙන්නේ අසල්වැසි රටකින් කෙටිකාලීන ණය ලබා ගැනීමයි. එසේ කෙටිකාලීන ණය ලබා ගත හැකිද යන්න තීරණය වන්නේ අදාළ රටවල විදේශ ප්‍රතිපත්තිය මතයි. 

මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමේදී තිබෙන ප්‍රධානම අභියෝගය රජයේ අයවැය සමතුලනය කර ගැනීම හා ඒ සඳහා අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. මේ ගැනත් අපි පසුව වෙනම කතා කරමු. මේ ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රටේ ආර්ථිකය අඩු වශයෙන් 10%කින් වත් සංකෝචනය වීම නොවැලැක්විය හැකියි. හැම දෙයක්ම හොඳම විදිහට සිදු වුනත්, රටේ ජාතික ආදායම නැවත 2019දී තිබුණු තැනට එනු ඇත්තේ 2025 පමණ වන විටයි.

එතකොට ඩොලරයක මිලට හා උද්ධමනයට කුමක් වෙයිද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත්තත් ඉදිරි වසර කිහිපය තුළ මහ බැංකුවට එම ණය ආපසු ගෙවන්න වෙනවා. එසේ ගෙවීම සඳහා වෙළඳපොළෙන් රුපියල් මිල දී ගන්න වෙනවා. මිල දී ගන්න වෙන්නේ කවර ආකාරයකින් හෝ රටට එන ඩොලර්. ඒ තත්ත්වය තුළ ඩොලරයක මිල එකවර සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් පසුවද දිගින් දිගටම යම් පමණකින් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක්. කිසියම් මට්ටමක ඩොලරයක මිල රඳවා ගැනීම වැනි දෙයක් කිරීමේ හැකියාවක් නැහැ.

මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගනිද්දී රුපියල් සැපයුම ඉහළ යනවා. එයට සමානුපාතිකව මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය අඩු නොකළහොත් මුදල් සැපයුම ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් කරන්න වෙනවා. රාජ්‍ය අයවැය සමතුලනය කිරීම ඉතා අසීරු නිසා කෙටිකාලයක් තුළ සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම නැවැත්වීමේ හැකියාවක් නැහැ. මේ අනුව බැලූ විට උද්ධමනය පහළ යනු ඇතත්, අර්බුදයට පෙර පැවති තනි ඉලක්කමක මට්ටමකටනම් දැන්ම එන එකක් නැහැ. මගේ අදහස තවත් දෙවසරක් පමණ උද්ධමනය 20% හෝ වැඩි මට්ටමක පවතිනු ඇති බවයි. ඒ කියන්නේ පොලී අනුපාතිකද වසර දෙක තුනක් යන තුරු විශාල ලෙස අඩු නොවනු ඇති බවයි.

හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවුනොත්? ගොඩක් වෙලාවට හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවෙන්න පුළුවන්. කලින් විස්තර කළේ පැවතිය හැකි හොඳම තත්ත්වය  (best case scenario). අනෙක් පැත්ත (worst case scenario) බැලුවොත් තියෙන්නේ පතුලක් නොපෙනෙන අගාධයක්! 

#ඉකොනොමැට්ටා

No comments:

Post a Comment

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...