වෙබ් ලිපිනය:

Thursday, March 26, 2020

ඇමරිකාවේ කොරෝනා


අද උදේ (ලංකාවේ) ගෙදරින් දුරකථන ඇමතුමක් ආවා. ලංකාවේ නෑදෑ හිතවතුන් ගණනාවක් අපේ ගෙදරට කතා කරලා මගේ සහ පවුලේ අයගේ සුවදුක් විමසා තිබෙනවා. ඇතැම් අය වත්පොත හා වෙනත් සමාජ මාධ්‍ය හරහා සුවදුක් විමසනවා.

අප තවමත් හොඳින් ඉන්නවා. එහෙත් අප සියලු දෙනාම දෙසතියක පමණ සිට ස්වේච්ඡාවෙන් නිවාස අඩස්සිගත වෙලයි ඉන්නේ. මගේ සේවය මේ වන විට අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබෙනවා. එහෙත්, අපගේ ප්‍රාන්තයේද නිවසේ රැඳී සිටීමේ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව මේ වන විට මගේ සේවා ස්ථානයට ඇතුළුවීමද දැඩි සීමා කිරීමකට ලක් කර තිබෙනවා.

පෞද්ගලිකව මටනම් මෙය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. මා කොහොමටත් පුරුදු වී සිටියේ නිවසේ සිට වැඩ කරන්නයි. දරුවන්ගේ පාසැල්ද වසා නැතත් පාසැල් යාමක් සිදු වන්නේ නැහැ. අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදු වෙනවා. අපේ ගෙදර අනෙකුත් අයත්, හොඳ පුරුද්දක් නොවුනත්, දවසේ වැඩි වෙලාවක් පරිගණකයක් සමඟ ගත කරන අයයි. ඒ නිසා, පවතින තත්ත්වය අපට සාමාන්‍ය ඇමරිකානුවෙකුට තරම් දැඩි පීඩනයක් ගෙන දෙන්නේ නැහැ.

පවතින තත්ත්වය ඇඳිරි නීතියක් වැනි තත්ත්වයක් නෙමෙයි. අපට අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් පිටතට යාමේ බාධාවක් නැහැ. අත්‍යවශ්‍ය කටයුතු ලැයිස්තුවට අපගේ පවුලේ සාමාන්‍ය "අවශ්‍ය කටයුතු" විශාල ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙන තිබෙන නිසා සාමාන්‍යයෙන් කරන දේවල් වලින් අපට දැන් නොකළ හැක්කේ අවන්හලකින් කෑම ගැනීම වැනි සීමිත කටයුතු කිහිපයක් පමණයි. එහෙත්, මා නිවසටම වී සිටින්නේ අප සිටින ප්‍රදේශයේත් මේ වන විට ආසාදිතයින් සිය ගණනක් සැරිසරනවා විය හැකි නිසා අනවශ්‍ය අවදානමක් නොගත යුතු නිසයි.

අපේ අසල්වැසියන් සියලු දෙනාද මා මෙන්ම සිතන බව ඉතා පැහැදිලියි. වෙනදා මෙන් පාරවල් වල තොරතෝංචියක් නැතිව  වාහන සද්ද ඇහෙන්නේ නැහැ. සුපිරි වෙළඳසැලකට ගියත් වෙනදා වගේ සෙනඟ නැහැ.

මෙය ලියන මොහොත වන විටත් හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව ඉහළින්ම සිටින්නේ චීනයයි. දෙවැනි තැන ඉතාලියත්, ඉන් පසුව ඇමරිකාවත් ඉන්නවා. ජෝන් හොප්කින්ස් සරසවියේ සංඛ්‍යාලේඛණ මෙහෙමයි.

චීනය - 81,667
ඉතාලිය - 74,386
ඇමරිකා එක්සත් ජනපදය - 68,572

හෙට දවස අවසන් වන විට ඇමරිකාව මෙහි උඩින් සිටින රටවල් දෙකම පසුකර මුල් තැනට පැමිණීමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් එය එසේ නොවුනොත් අනිද්දා දිනයේ එය අනිවාර්යයෙන්ම වෙයි. පසුගිය සතිය තුළ ඇමරිකාව ඉතා වේගයෙන් මේ ලැයිස්තුවේ ඉහළට පැමිණි බව කවුරුත් දන්නා දෙයක්.

ලංකාවේ බොහෝ දෙනෙක් අපේ සුවදුක් විමසන්නේ ඇමරිකාවේ සංඛ්‍යාලේඛණ වල පෙනෙන්නට තිබෙන මේ භයංකාර වර්ධන නැඹුරුව නිසයි. එය ඇත්තටම ඉතා භයංකාර වර්ධනයක් තමයි. එහෙත්, පෞද්ගලිකව මටනම් මේ සංඛ්‍යාලේඛණ වලින් විශේෂ බයක් දැනෙන්නේ නැහැ. ඇමරිකාවේ තත්ත්වය ගැන බොහෝ දෙනෙකුට දැන් දැනෙන හා ඉදිරි සති කිහිපය තුළ දැනෙන්නට නියමිත බය මට දැනී දැන් සති දෙක තුනක් වෙනවා. ඒ නිසා, දැන් විශේෂ අමුත්තක් නැහැ.

මගේ විෂය වසංගතවේදය නෙමෙයි. එහෙත්, මා යම් නිපුණතාවයක් දක්වන විෂය වසංගතවේදයට බොහෝ කිට්ටු විෂයක්. ඒ නිසා, සිදු විය හැකි දෙය තරමක් කලින් තේරුම් ගන්න එක මට අපහසු වුනේ නැහැ. වසංගතවේදය පිළිබඳ විශේෂඥ මට්ටමේ නිපුණතාවක් ඇති විශාල පිරිසක් ඇමරිකාවේ ඉන්නවා. ඒ අය මේ වෛරස් තර්ජනය හමුවේ නිකම් සිට නැහැ. ඒ බව මා ඉතා විශ්වාසයෙන් යුතුව කියන්නේ මේ කරුණ හා අදාළව ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් සිටින තැන් වල හා ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් නොවන ඉහළම මට්ටමේ අයට උපදෙස් දෙන අය අතර මා සමඟ පෞද්ගලික (වෘත්තීය) සම්බන්ධතා ඇති අය කිහිප දෙනෙක්ම සිටින නිසයි.

ඇමරිකාව හා අදාළව දැන් දකින්නට ලැබෙන සංඛ්‍යාලේඛණ වගේම ඉදිරි සති වලදී දකින්නට ලැබිය හැකි මීටත් වඩා නරක සංඛ්‍යාලේඛණ ඇමරිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට විමතියක් දනවන එකක් නැහැ. ඔවුන්ට මෙයින් සිදු විය හැකි හානිය ගැන පැහැදිලි අවබෝධයක් තිබෙනවා. එහෙමනම්, රෝගය පැතිරෙන්නත්, මිනිස්සු මැරෙන්නත් ඉඩ දෙන්නේ ඇයි කියා කාට හෝ අහන්න පුළුවන්. ඔය තරම් මහ ලොකු විශේෂඥයින් ඉන්න ඇමරිකාවට තත්ත්වය පාලනය කර ගන්න බැරි ඇයි?

ඇමරිකාව රෝගය පාලනය කරන්නේ නිශ්චිත සැලසුමකට අනුවයි. සැලසුම සකස් කර තිබෙන්නේ වසංගතයේ හානියේ ස්වභාවය ගැන නිසි අධ්‍යයනයකින් පසුවයි. රෝගය යම් මට්ටමක් දක්වා පැතිරෙන්නට හැරීමත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේම කොටසක්. සංකීර්ණ තාක්ෂණික කරුණු ගණනාවක් ගැන විස්තර නොකර මේ ගැන පැහැදිලි කරන එක පහසු නැහැ. එහෙත්, මම යම් උත්සාහයක් දරන්නම්.

කෝවිඩ්-19 වෛරසය එක් අයෙකුගෙන් 2.2 දෙනෙකුට පැතිරෙන බව ඔබ අසා ඇති. බැලූ බැල්මටම මෙය රෝගය පැතිරෙන ආකාරය ගැන ඉතා සරල පැහැදිලි කිරීමක් මෙන් පෙනෙනවා. එහෙත්, මේ අංකය තේරුම් ගැනීමටනම් වසංගතවේදයේ ආකෘති ගැන පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. එසේ නැතිව මේ අංකය ගැන විග්‍රහ කරන්න යාම දේශපාලනඥයින් විසින් කෝවිඩ් වලට ඖෂධ යෝජනා කරනවා වගේ විහිළුවක්. හැබැයි හොඳ වෙලාවට මා කියූ ආකෘති ගැන නොදන්නා අයෙකුට මෙහි තිබෙන විහිළුව තේරෙන්නේ නැහැ.

මෙහි 2.2 ලෙස මාධ්‍ය වලින් ප්‍රචාරය වන්නේ මූලික ප්‍රජනන අංකය (Basic reproduction number) කියන අංකයයි. මෙය වසංගතවේදියෙකුට ඉතා වැදගත් අංකයක්. වසංගතවේදයේදී වගේම කිසියම් ජනගහණයක වර්ධනය ගැන කතා කරන විටත් මෙවැනි අංකයක් යොදා ගන්න පුළුවන්. මුස්ලිම්වරු ලංකාවේ බහුතරය වෙයිද කියා පිරිසකට කාලයක් ප්‍රශ්නයක් තිබුණනේ. එතකොට සිංහල ජාතිය වඳ වෙයිද කියලත් සමහර අය ගණන් හදා තිබෙනු මා දැක තිබෙනවා. මේ වගේ දෙයකටත් මේ අංකය යොදා ගන්න පුළුවන්. වසංගතවේදයේදී මේ අංකය පිටුපස සංකීර්ණ කතාවක් තිබුණත් එය යොදාගෙන පහසුවෙන් කතාව පැහැදිලි කරන්න පුළුවන්. මා එතැනින් පටන් ගත්තේ ඒ නිසයි.

ඇත්තටම වැදගත්ම කරුණ වන්නේ මේ අංකය 1.0 ට වඩා අඩුද වැඩිද කියන එකයි. හේතුව ඉතා සරලයි. මේ අංකය 1.0ට වඩා අඩුනම් රෝගය කාලයත් සමඟ ස්වභාවිකවම මර්දනය වෙනවා. එහෙත්, අංකය 1.0ට වඩා වැඩිනම් එය ක්‍රමක්‍රමයෙන් ජනගහණය පුරා වර්ධනය වෙනවා. අංකය හරියටම 1.0 නම් රෝගය ජනගහණය තුළ ස්ථාවර මට්ටමක දිගටම පවතිනවා.

දැන් මේ අංකය හරියටම 1.0 නම් එයින් කියන්නේ එක් ආසාදිතයෙකු විසින් තමන්ට රෝගය වැළඳී තිබෙන කාලය ඇතුළත තවත් එක් ආසාදිතයෙකුට රෝගය බෝකරන බවයි. මෙය දළ පැහැදිලි කිරීමක්. අංකය 2.0 නම් එක් අයෙකු විසින් දෙදෙනෙකුව ආසාදනය කරනවා. අංකය 0.5නම් එයින් අදහස් වන්නේ එක් අයෙකු විසින් වෙනත් අයෙකු ආසාදනය කිරීමේ සම්භාවිතාව 50%ක් බවයි. R0 (ආර් නෝට්) ලෙස වසංගතවේදීන් විසින් හඳුන්වන මේ අංකය හා අදාළ ආකෘති(ය) හා ගණිතමය පැහැදිලි කිරීම් වෙත මා යන්නේ නැහැ. හරියටම පැහැදිලි කරන්නනම් ආකෘතියෙන් පටන් ගත යුතුයි.

මීට පෙර පැතිරුණු කොරෝනා පවුලේම මර්ස් වයිරසය ගැන ඔබ අසා ඇති. එය වැළඳුනු අයගෙන් 38%ක් පමණම මිය ගියා. එහෙත්, සමස්තයක් මර්ස් වයිරසය නිසා මේ වන තුරු ලෝකයෙන්ම මිය ගොස් තිබෙන්නේ 858 දෙනෙකු පමණයි. 2012 සැප්තැම්බර් සිට මුළු කාලයටම වයිරසය ආසාදනය වී තිබෙන්නේද 2,494 දෙනෙකුට පමණයි. මර්ස් වෛරසයේ R0 අගය 0.47 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා.

රෝගයක් පැතිරෙන්නනම් මුලින්ම එය ජනගහණයේ කිසියම් පිරිසකට බාහිරින් සම්ප්‍රේෂණය විය යුතුයි. මර්ස් වෛරසය පැමිණි සේ සැලකෙන්නේ ඔටුවන්ගෙනුයි. අපි හිතමු මුලින්ම ඔටුවන්ගෙන් 100 දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වුනා කියා. දැන් මේ 100 දෙනාගෙන් තවත් 47 දෙනෙකුටත්, ඒ 47 දෙනාගෙන් තවත් 22 දෙනෙකුටත් ලෙස වෛරසය පැතිරෙනවා. එහෙත්, මුල් අවස්ථාවෙන් පසුව දිගින් දිගටම ඔටුවන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය නොවන්නේනම් රෝගය පැතිරීම නිශ්චිත කාලයකට පසුව ස්වභාවික ලෙසම නැවතෙනවා.

කෝවිඩ්-19 වෛරසයේ R0 අගය 2.2 ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මේ ඇස්තමේන්තු ගැනත්, R0 අගය ගැන වැඩි විස්තරත් පසුව කතා කරමු. දැනට අපි පහසුවට මේ 2.2 නිශ්චිත අගයක් කියා හිතමු. දැන් ලංකාවට ඉතාලියේ සිට (වෙනත් බාහිර ජනගහණයක සිට) ආසාදිතයින් 10 දෙනෙකු එනවා. ඔවුන් විසින් ලාංකිකයින් 22 දෙනෙකුට රෝගය බෝ කරනවා. ඒ 22 විසින් තවත් 48 දෙනකුටත්, ඒ අය තවත් 106 දෙනෙකුටත් ආදී වශයෙන් රෝගය බෝ කරනවා. මේ ක්‍රියාවලිය කොයියම් ආකාරයකින් හෝ නැවතුණේ නැත්නම් අන්තිමේදී රටේ ඉතා විශාල පිරිසකට වෛරසය බෝවෙනවා.

කලින් කිවුවා වගේ R0 අගය සම්බන්ධ වැදගත්ම කරුණ එය 1.0 ට අඩුද වැඩිද කියන එකයි. අගය 1.0 ට වැඩිනම් රෝගය එන්න එන්නම ව්‍යාප්ත වෙනවා. අගය විශාල වන තරමට රෝගය ව්‍යාප්ත වන වේගයත් වැඩියි. අගය කුඩා වූ තරමට රෝගය වඩා ඉක්මණින් නොපෙනී යනවා.

මේ R0 අගය එන්නේ වසංගතවේදයේ කිසියම් ආකෘතියකින් බව මම කලින් කිවුවනේ. මෙවැනි ආකෘතිත් ගණනාවක්ම  තිබෙනවා. ඒ නිසා, අදාළ නිශ්චිත ආකෘතියකින් බැහැරව මේ අගය ගැන කතා කිරීමේත් අවුලක් තිබෙනවා. ඒ තරම් දුරට නොගියොත්, මේ R0 අගයට රෝගය පවතින කාලය හෝ රෝගය නිසා මිය යාමට තිබෙන ඉඩකඩ වැනි දේ අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා, R0 අගය 2.0 බව කියන විට කිසියම් රෝගයක් තවත් දෙදෙනෙකුට බෝවෙන්නේ සතියකින් වෙන්නත්, වසර 30-40කින් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට එච්අයිවී  හා අදාළ R0 අගය 4.6 ක් පමණ නිසා එක් අයෙකුගෙන් තවත් හතර පස් දෙනෙකුටම වෛරසය ආසාදනය වන නමුත් එය සිදු වන්නේ වසර 20ක පමණ කාලයක් ඇතුළතයි. කෝවිඩ්-19 රෝගයේ R0 අගය 2.2ක් වීම ප්‍රශ්නයක් වන්නේ රෝගයේ ජීව චක්‍රය සති දෙක තුනක් පමණක් වීමද නිසයි.

ආසාදිතයෙකු රෝගයක් පතුරන කාලයද සැලකිල්ලට ගෙන R0 අගය කොටස් කිහිපයකට විසංයෝජනය කරන්න පුළුවන්.

R0 = (ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන) X (එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව) X (ආසාදිතයෙකු විසින් රෝගය සම්ප්‍රේෂණය කරන දින ගණන)

මෙහි අවසාන සාධකය වෛරසයේ ස්වභාවය ඇතුළු ජීව විද්‍යාත්මක කරුණු මත බොහෝ දුරට තීරණය වන දෙයක් නිසා එය රටින් රටට නොවෙනස්ව තිබිය හැකියි. එහෙත්, දෙවන සාධකය සමාජයීය හා ජීව විද්‍යාත්මක කරුණු කරුණු වල එකතුවක්. පළමුවැන්න තනිකරම සමාජයීය කරුණක්. මේ අනුව, එකම වෛරසය හා අදාළ R0 අගය රටින් රටට හා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැකි බව පැහැදිලි විය යුතුයි.

නිවු යෝර්ක් වැනි ජනාකීර්ණ නගරයක ජීවත් වන අයෙකු විසින් දිනකට හමුවන පුද්ගලයින් ගණන ග්‍රාමීය ප්‍රදේශයක එම ගණනට වඩා ගොඩක් වැඩියි. ඒ වගේම දෙවන කරුණ සංස්කෘතික සාධක ආදිය මත වෙනස් විය හැකියි. අතට අත දෙන හෝ වැළඳ ගන්නා හමුවක් හා ආයුබෝවන් කියා හෝ දණ ගසා වඳින හමුවක දෙවන සාධක සමාන වන්නේ නැහැ. ඒ නිසා, 2.2 කියන අගය කෝවිඩ්-19 හා අදාළව හැම රටකටම එක සේ බලපාන අගයක් නෙමෙයි. එය හරියටම දැනගන්නනම් කිසියම් ජනගහණයකට අදාළ දත්ත යොදාගෙන අධ්‍යයනයක් කළ යුතුයි.

දැන් ලංකාව විසින් කරන පරිදි ඇඳිරි නීති දමා මිනිසුන් ගෙවල් වලට සීමා කළ විට ඉහත කී "ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන" පහත දැමිය හැකියි. ආසාදිතයින් සේ සැක කරන අය නිරෝධායනය මගිනුත් එය කළ හැකියි. දුරස්ව සිටීම අනුගමනය කිරීමෙන් "එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව" අඩු කළ හැකියි. මේ ක්‍රියා මාර්ග මඟින් තාවකාලිකව R0 අගය 1.0 මට්ටමට වඩා පහළට ගත්තොත් රෝගය පැතිරීම ක්‍රමක්‍රමයෙන් අඩු වී යනවා. එසේ වෙද්දී නැවත ඉහත කී දැඩි නියාමනයන් ලිහිල් කළොත් නැවතත් රෝගය පැතිරෙන්න පටන් ගන්නවා. රටක මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා රටාව තාවකාලිකව වෙනස් කළ හැකි වුවත් ස්ථිර ලෙස වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා, මේ වැඩෙන් ප්‍රතිඵලයක් ගන්න අවසන් කෝවිඩ්-19 රෝගියාත් සුවවන තුරු R0 අගය පහළින් තියා ගන්න වෙනවා. එහෙම කළත් ප්‍රශ්නයක් තිබෙනවා. එය පසුවට තියමු.

දැන් මේ ලංකාව කරන දේ ඇමරිකාව නොකළේ ඇයි? සාධාරණ වශයෙන්, ආසියානු රටවල් කරන දේ බටහිර රටවල් නොකරන්නේ ඇයි?

බොහෝ දෙනෙකුගේ නිගමනය අනුව, ඇමරිකාවට රටේ සමාජ සැකැස්ම හා සමාජ සම්බන්ධතා වල ස්වභාවය අනුව R0 අගය 1.0 මට්ටමෙන් පහළට ගැනීමේ හැකියාවක් නැහැ. මා හිතන්නේ අනෙකුත් බටහිර රටවල් හා අදාළ තත්ත්වයත් එයයි. බැරිම නැහැ. නමුත්, එසේ කරන්න උත්සාහ කිරීමේ හානිය රෝගය පැතිරීමේ හානියට වඩා වැඩි විය හැකියි. දැනට ගන්නා ක්‍රියාමාර්ග නිසා R0 අගය පහළ බසිනු ඇති වුවත් ඒ නිසා රෝගය පැතිරීමේ වේගය අඩු වනු මිස රෝගය පැතිරීම සම්පූර්ණයෙන් අඩු වන එකක් නැහැ. එහෙමනම්, අවසානයේදී ඇමරිකාවේ හැමෝටම කෝවිඩ්-19 හැදෙයිද?

එහෙම වෙන්නේ නැහැ. බෝවෙන රෝගයක් පැතිරීම ස්වභාවිකවම පාලනය වන යාන්ත්‍රණයක් තිබෙනවා. මේ වෛරසය වරක් ආසාදනය වූ කෙනෙකුට එම වෛරසය නැවත ආසාදනය වෙන්නේ නැහැ. ඒ බව හරියටම කියන්න කල් වැඩිනම්, අඩු වශයෙන් එම වෛරසය ඉතා කෙටි කාලයක් ඇතුළත නැවත ආසාදනය වෙන්නේ නැහැ.

අපි හිතමු කෝවිඩ්-19 R0 අගය හැදෙන්නේ මේ විදිහටයි කියා. මෙය උදාහරණයක් පමණයි.

ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන = 100
එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව = 0.001
ආසාදිතයෙකු විසින් රෝගය සම්ප්‍රේෂණය කරන දින ගණන = 22

R0 = 100 X 0.001 X 22 = 2.2

මේ R0 අගය අර්ථදක්වන්නේ රෝගය පැතිරෙන අවස්ථාවේ එක් අයෙකු නිසා බිහිවන ද්වීතියික ආසාදිතයින් ගණන කියලයි. රෝගය පැතිරෙන අවස්ථාවේ කියා විශේෂයෙන් කියන්නේ ඒ වන විට කිසිවෙකුට ප්‍රතිශක්තිකරණය නැති නිසයි. ඒ නිසා අහම්බෙන් හමු වෙන 100 දෙනාගෙන් ඕනෑම කෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය විය හැකියි. නමුත්, යම් පිරිසකට රෝගය වැළඳී සුව වූ පසු එම පුද්ගලයාට රෝගය වහාම නැවත වරක් හැදෙන්නේ නැහැ. ඒ වගේම රෝගය දැනට තිබෙන කෙනෙකුට නැවත හැදෙන්න දෙයකුත් නැහැනේ. රෝගය හැදෙන්නේ කලින් එය නොහැදුණු අයට පමණයි.

අපි හිතමු ඇමරිකාවේ ජනගහණයෙන් 50%කට රෝගය හැදුණා කියලා. දැන් කෙනෙකුට දවසකට 100 දෙනෙකු හමු වුනත් ඒ අයගෙන් රෝගය හැදෙන්න ඉඩක් තිබෙන අය ඉන්නේ 50ක් පමණයි. ඒ නිසා, ඇත්තටම රෝගය බෝ වෙන්නේ 100 X 0.001 X 22 X 0.5 = 1.1 දෙනෙකුට පමණයි. මේ අගයට කියන්නේ ඵලදායී ප්‍රජනන අංකය හෙවත් R අගය (Effective reproduction rate) කියලයි. ආරම්භයේදී R අගය හා R0 අගය සමාන වුවත් රෝගය ක්‍රමයෙන් පැතිරෙද්දී R අගය ටිකෙන් ටික පහළ වැටී යම් අවස්ථාවක 1.0ට වඩා අඩු වෙනවා. එවිට රෝගය පැතිරීම මන්දගාමී වී එය නොපෙනී යනවා. ප්‍රතිශක්තිකරණය මගින් කරන්නේත් මේ අගය පහත හෙළන එකයි.

මේ විදිහට R අගය පහත වැටී 1.0 මට්ටමට එන්නනම් ජනගහණයෙන් කොපමණ පිරිසකට වෛරසය ආසාදනය වෙන්න අවශ්‍යද? ඔබට පෙනෙනවා ඇති එම ප්‍රතිශතය 1 -1/R0 අගයට සමාන බව. එවිට රෝගය වැළඳිය හැකි ප්‍රතිශතය 1/R0 අගයට සමාන වන නිසා R අගය 1.0 බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට R0 අගය 2.2ක්නම්, 1 - 1/R0 = 55% පමණ වෙනවා. ඒ කියන්නේ ජනගහණයෙන් 55%කට වෛරසය ආසාදනය වූ විට රෝගය පැතිරෙන එක මන්දගාමී වෙන්න පටන් ගන්නවා. අපි හිතමු දුරස්කරණය, පාසැල් වැසීම ආදිය මගින්  R0 අගය තාවකාලිකව 1.5 දක්වා අඩු කළා කියා. එවිට 1- 1/R0 = 33% දක්වා පහළ යනවා. ඒ කියන්නේ රෝගය පැතිරීම ස්වභාවිකව මන්දගාමී වන්නේ අඩු පිරිසකට රෝගය පැතිරුණාට පසුවයි.

අපි නිකමට වගේ හිතමු ඇමරිකාව දැඩි නීති දමා මොන විදිහකින් හෝ මුලදීම වෛරසය මර්දනය කළා කියා. එසේ කිරීමේ ප්‍රශ්නය වන්නේ නැවත ඒ දැඩි නීති ලිහිල් කළ වහාම කොහෙන් හෝ නැවත වෛරසය රටට එන්න පුළුවන්කමක් තිබීමයි. එවිට නැවත මුලින් හිටපු තැනමයි. මෙහිම අනෙක් අන්තය වන්නේ බ්‍රිතාන්‍යය මුලින් කළා වගේ පෙර කී 55% මට්ටමට රෝගය ආසාදනය වන තුරු එය පැතිරෙන්න හැරීමයි. මෙහි 55% හැරුම් ලක්ෂ්‍යයයි. මන්දගාමීව වුවත් එයින් පසුවත් යම් දුරක් රෝගය පැතිරෙනවා. මෙහි ප්‍රශ්නය වන්නේ රෝගය පැතිරීමේ වේගය නිසා අවශ්‍ය රෝහල් පහසුකම් මඳ කමින් විශාල පිරිසක් මිය යාමයි. ඒ නිසා, ඇමරිකාව විසින් අනුගමනය කරන්නේ අතරමැදි පිළියමක්. මෙහිදී රෝගය පැතිරීම මුළුමනින්ම වැළකෙන්නේ නැති වුවත් රෝගයේ හානිය අවම වෙනවා.

අපි හිතමු විවිධ ක්‍රියාමාර්ග නිසා R0 අගය 2.2 සිට 1.5 දක්වා අඩු වුනා කියා. දැන් රෝගය කලින් තරම්ම පිරිසකට හැදී නැහැ. මෙහි අවාසිය නැවත දෙවන වටයකින් රෝගය මතු වීමයි. එහෙත් මුල් වටයේදී සැලකිය යුතු පිරිසකට රෝගය හැදී තිබෙන නිසා දෙවන වටය එතරම් භයානක නැහැ. රටේ සෞඛ්‍ය පද්ධතියට එය දරාගත හැකියි. දැන් ගන්නා ක්‍රියාමාර්ග වල අරමුණ වන්නේ දෙවන වටයකින් රෝගය පැතිරීමේ ඉඩ ඉතිරි කරමින් වුවත් පළමු වටයේ හානිය හැකි පමණ අඩු කර ගැනීමයි. දෙවන වටයට පෙර එන්නතක් වැඩි දියුණු කර ගත්තොත් දෙවන වටය වලක්වා ගන්නත් පුළුවන් වෙයි.

තවත් බොහෝ කරුණු විස්තර කරන්න පුළුවන්. ඔය ඇතිනේ!

40 comments:

  1. 'එහෙත් මුල් වටයේදී සැලකිය යුතු පිරිසකට රෝගය හැදී තිබෙන නිසා දෙවන වටය එතරම් භයානක නැහැ.'

    එහෙම වෙන්නේ කොහොමද? මුල් වටයේ කොරොනා හැදුනම ඊලග වටේ ආයේ හැදෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වැදගත් කරුණ මෙහි අනිත් පැත්තයි. දැඩි තීරණ හරහා R0 අගය කිසියම් කාලයක් පාලනය කරගෙන සිටිය හැකි වුවත් ඒ සීමා කිරීම් ඉවත් කළ වහාම වෛරසයට ආසාදනය නොවූ අය අතර වෛරසය පෙර වේගයෙන්ම පැතිරීමේ අවදානම එළෙසම තියෙනවා. වරක් වැළඳුනු අයට නැවත වැළඳුනත් නැතත් වරක් හෝ නොවැලඳුණු අයට නැවත රෝගය වැළඳිය හැකි බව අප සහතිකවම දන්නවා.

      Delete
  2. එහෙනම් ඒකද මේ දිනපතා ඇමරිකාවෙ ලෙඩ්ඩු වැඩි වෙන්නෙ? කලින් වැලදුන කෙනෙකුට ආයෙ වැලදෙන්නැ කියලා තහවරු කරන්ද එහෙම තීරණයක් අරන් තියෙන්නෙ? මට මතකයි චීනෙන් ඇහුනා හැදිලා සුව වෙච්ච අයට ආයෙ හැදුන කතාවක්...

    ReplyDelete
    Replies
    1. ඒ පුවතේම දිගුවක් තිබුනානේ නැවත වැළදුන බවට කීප තැනකින්ම වාර්තාවී තිබුනත්, විධිමත් අධ්‍යයන වල ප්‍රතිපල නොවන බවත්, පළමු වර රෝග විනිශ්චය වැරදී තිබීමේ හැකියාවක් ඇති බවත්.

      Delete
    2. මෙය මිනිසුන්ට වැළඳුනු පළමු වෛරස් රෝගය නෙමෙයි. සාමාන්‍යයෙන් වරක් වෛරසයක් ආසාදනය වූ කෙනෙකුට බොහෝ විට එය නැවත ආසාදනය වෙන්නේ නැහැ. එහෙත්, එසේ වන අවස්ථාත් තිබෙනවා. නමුත්, එවැනි අවස්ථා වලදී පවා, (1) දෙවන වර ආසාදනය වීමේ සම්භාවිතාව 1.0ට වඩා ගොඩක් අඩුයි. 0.0ට ආසන්නයි. (2) ඉතා ඉක්මණින් දෙවන ආසාදනයක් වීමේ ඉඩකඩ ඉතාමත්ම අඩුයි. බොහෝ විට දෙවන වර ආසාදනය වන්නේ කාලයකට පසුවයි. (3) දෙවන වර ආසාදනය වූවත් එය පළමු වර තරම් දරුණු නොවන නිසා වෙනත් අයෙකුට බෝවීමේ හැකියාව ගොඩක් අඩුයි. මේ හේතු තුන නිසා මේ වෙලාවේ කලින් මේ රෝගය වැළඳුණු කෙනෙකුට ආයෙ වැළඳෙන්නේ නෑ කියන එක තහවුරු කරගන්න මහන්සි වෙන එක අනවශ්‍ය දෙයක්. එවැන්නක් ප්‍රශ්නයක් වෙන්නේ වසරක් වැනි කාලයක් ඇතුළත් පළමු වර වෛරසය ආසාදනය වූ හැම දෙනාටම වගේ නැවත වයිරසය ආසාදනය වනවානම් පමණයි. එවැන්නක් තහවුරු වී නැහැ. මේ වෙලාවේ මේ රෝගය සම්බන්ධව දැනගත යුතු ඊට වඩා වැදගත් කරුණු ගණනාවක් තිබෙනවා. ඒවා මේ ලිපියේ කතා කර නැහැ.

      Delete
    3. මෙයටම අදාළ කරුණක් ලෙස එන්නත් කිසිවකින් අදාළ රෝගය නොවැළඳෙන බව 100%ක් සහතික කෙරෙන්නේ නැහැ. නමුත්, එය වැදගත් කරුණක් නෙමෙයි. අවශ්‍ය වන්නේ එම සම්භාවිතාව ඉහළ අගයක් ගැනීම පමණයි. මේ වන විට ප්‍රතිශක්තිකරණය මඟින් ඇතැම් රෝග මිහිපිටින් තුරන් කර තිබෙනවා. රෝග විශාල ප්‍රමාණයක් පාලනය කර තිබෙනවා. මේ අවස්ථාවේ කරන්නේ එයම නෙමෙයි. එන්නතක් වැඩි දියුණු කර ගන්නා තුරු හැකි තරම් හානිය අවම කර ගැනීමක්. දෙවන වටයක් ගැන පමණක් අවධානය යොමු කරන්නේ තෙවන වටයකට පෙර එන්නතක් වැඩි දියුණු කර ගැනීම පිළිබඳ විශ්වාසයෙන්. එහෙත්, මේ රෝගය පැතිරීමේ පරාමිතීන් අනුව එන්නතක් වැඩි දියුණු කර ගත්තත් දෙවන වටයකට පෙර එය විශාල පිරිසකට ලබා දීම අසීරුයි.

      Delete
    4. දැන් මෙතැනදී එන්නතක් දියුණු කර ගන්නා තුරු ලෙඩය පාලනය කිරීම හොඳ නැත්ද?

      Delete
    5. පැහැදිලිව හොඳයි. දැන් ඇමරිකාව කරන්නේ ඒක තමයි. මම හිතන විදිහට අනෙකුත් බටහිර රටවල් බොහොමයක් කරන්නේත් එයයි. නමුත්, අපට පවතින යථාර්තයන් අමතක කර මනෝ ලෝකයක තීරණ ගන්නත් බැහැ. එන්නතක් වැඩි දියුණු කර ඒ හරහා ප්‍රතිශක්තිය ලබා ගන්න අවම කාලයක් ගත වෙනවා. එන්නත් කියන්නේ මහා පරිමාණයෙන් හැදිය හැකි දෙයක් නෙමෙයි. උතුරු අර්ධ ගෝලයේ ශීත කාලය එළැඹෙන විට ඉන්ෆ්ලුවන්සා පැතිරීම වලක්වන්න ලබා දෙන එන්නත් ප්‍රමාණය කලට වේලාවට හදන එක ලෝකය පුරා සමාගම් විශාල ගණනක් එකතුව මනා සම්බන්ධීකරණයක් ඇතුව ඉතා අසීරුවෙන් කරන දෙයක්. ඒ මේ පිළිබඳ දශක ගණනක අත්දැකීම් තියෙද්දී. කොවිඩ්-19 සඳහා සාර්ථක එන්නතක් අද හොයා ගත්තත් ඇමරිකාවේ රැළේ ප්‍රතිශක්තිය ඇති වීම සඳහා අවශ්‍ය අවම ජනගහණයට එය ලබා දෙන්න අඩු වශයෙන් මාස දහඅටක්වත් යයි කියා ඇස්තමේන්තු කර තිබෙනවා. පවතින තත්ත්වය අනුව මුලින්ම එන්නතක් හොයා ගෙන නිෂ්පාදනය කරන රටවල් බොහෝ විට එය මුලින්ම තමන්ගේ රටේ අයට පමණක් ලබා දෙන්න ඉඩ තිබෙනවා. මුලින්ම හදන එන්නත් වල ඵලදායීතාවය (එන්නත ලබාගැනීමෙන් පසුව වෛරසය ආසාදනය නොවීමේ සම්භාවිතාව) ඉතා විශාල වෙයි කියා හිතන්න බැහැ. මේ ආදී තවත් කරුණු ගණනාවක් නිසා අනෙකුත් සැලසුම් හදන්න වෙන්නේ අඩු වශයෙන් වසරක්වත් යන තුරු අවශ්‍ය අවම ජනගහණය එන්නත් කිරීමේ විකල්පයක් නැතැයි යන පදනමින්. ඒ අනුව, උපාය මාර්ගය වන්නේ ඒ කාලය තුළ හානිය අවම කර ගැනීමයි. උදාරණයක් ලෙස අහඹු ලෙස පැතිරෙන්න හැරීමේ විකල්පයට සාපේක්ෂව තරුණ අයට වෛරසය මුලදී වැඩි වැඩියෙන් ආසාදනය වෙන්න ඉඩ හරින තරමට වයස්ගත අයගේ ජීවිත වඩා සුරක්ෂිත වෙනවා. ඉදිරි වසරක කාලය තුළ රෝග චක්‍ර දෙකක් ඇති විය හැකියි. පළමු චක්‍රය ග්‍රීෂ්ම කාලයේ අවසන් වී ශීත කාලය එද්දී දෙවන චක්‍රය එන්න ඉඩ තිබෙනවා. මුලදී රෝගය බොහෝ දුරට පැතිරී ගියොත් දෙවන චක්‍රයක් එන එකක් නැහැ. එහෙත්, විශාල පිරිසක් පළමු චක්‍රයෙන්ම මිය යා හැකියි. කිසිවක් නොකර සිටීම හොඳ විකල්පයක් නොවන්නේ ඒ නිසයි. ඒ වගේම, මුල් චක්‍රය ඕනෑවට වඩා පාලනය කළොත්, ශීත කාලයේ ඉන්ෆ්ලුවන්සා සමඟ එකට එන දෙවන චක්‍රයේ මරණ විශාල ලෙස වැඩි විය හැකියි. ඒ නිසා, පාලනය කළ යුත්තේ සමස්තය ගැන හිතලා. නමුත්, එය කරන්න වෙන්නේ නොදන්නා පරාමිතීන් විශාල ප්‍රමාණයක් එක්කයි. ඒ නිසා, සැලසුම් වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. ඉඩ ලැබෙන පරිදි දෙවන ලිපියකින් විස්තර කරන්නම්. කළ හැකි ප්‍රශස්තම දේ කළත්, එම සැලසුම් අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක වුනත්, එන්නතක් හදාගන්නා තුරු කාලය තුළ සැලකිය යුතු හානියක් වෙනවා.

      Delete
  3. 'වසංගතවේදය පිළිබඳ විශේෂඥ මට්ටමේ නිපුණතාවක් ඇති විශාල පිරිසක් ඇමරිකාවේ ඉන්නවා. ඒ අය මේ වෛරස් තර්ජනය හමුවේ නිකම් සිට නැහැ. ඒ බව මා ඉතා විශ්වාසයෙන් යුතුව කියන්නේ මේ කරුණ හා අදාළව ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් සිටින තැන් වල හා ප්‍රතිපත්ති තීරණ ගන්නා විශේෂඥයින් නොවන ඉහළම මට්ටමේ අයට උපදෙස් දෙන අය අතර මා සමඟ පෞද්ගලික (වෘත්තීය) සම්බන්ධතා ඇති අය කිහිප දෙනෙක්ම සිටින නිසයි.'

    මහත්තයා, ඇමරිකාවේ ඉහල පෙලේ නිලධාරියෙක් ලග වැඩ කරන සුළු නිලධාරියෙක් කොන්ඩේ කපන්න එන බාබර්ගේ ගෙදරට පුවත්පත් බෙදාහරිනවද? (PR)

    ReplyDelete
  4. ඒ කියන්නේ ලංකාව දත කටපූට්ටු කරං ගන්න ක්‍රියාමාර්ග වලින් සැබෑ සාර්තකත්වයක් ලබන්න නම් , මේකට බෙහෙතක් හොයා ගන්න ඕනේ...නැත්තං පලවෙනි වටයෙදි අපි දින්නත්, දෙවැනි වටයෙදි අපි පරදිනවා

    ReplyDelete
    Replies
    1. මටත් මේක නම් හිතුනා. ඇඳිරි නිතිය හෙමදාන්නේ මෙපමණ කලින්. තේරුමක් නැහැ.

      Delete
    2. මේ දේවල් වල තේරුමක් තියෙනවාද නැද්ද කියන එක තීරණය වන්නේ කොයි තරම් කල් අල්ලා ගෙන සිටිය හැකිද කියන කාරණාව මතයි. බටහිර රටවල් විසඳුම් හොයන්නේ මේ මොහොතේ තිබෙන ප්‍රශ්නයට නෙමෙයි. දිගුකාලීන ප්‍රශ්නයකට. ප්‍රශ්න වලට දිගුකාලීන ස්ථිර විසඳුම් සෙවීම වගේම එන විදිහට මුහුණ දීමත් එක් විකල්පයක්. දෙවැන්න සාර්ථක වෙන අවස්ථාත් තිබෙනවා. මෙය කාලය විසින් තීරණය කරයි.

      Delete
    3. ශ්‍රී ලංකාව වගේ රටකට ඇඳිරි නීතියෙන් දිගු කලක් අල්ලන් ඉන්න බැහැ කියල මම හිතන්නේ. හැබැයි ඉවුන්ගේ දෙවන උපක්‍රමය සාර්ථක වෙයි. වැඩියෙන් පැතිරෙන ප්‍රදේශ ඇඳිරි නිතිය මගින් පාලනය කරමින් වෙනත් ප්‍රදේශ වල සාමාන්‍ය ජන ජිවිතයට කිසියම් ප්‍රමාණයකට ඉඩ දීම , නිෂ්පාදන ආර්ථිකයකට ඉඩ හැරීමත් වැදගත්

      Delete
  5. සරු ලිපියක්. ඒත් බර වැඩිද මන්දා.... එහෙම වුනාම සමහරු කියවීම අත් හරිනවනේ, ඒක අපරාදයක්නේ.

    ReplyDelete
  6. මාර තියරි නේ. ඒ කියන්නේ මේ යන්නේ රිහසල් සීන් එකක් නේද. එල එල දැන් වෙද්දී 85+ නේද. ඒත් අවුලක් නෑ මහත්තයා කියන විදියට ස්ට්‍රැටජික් ගේම් එකක්නේ. එල එල. දෙවැනි වටේ ගේම ගහමු අහ්.. මහත්තයා නාලාද ඉන්නේ.

    ReplyDelete
  7. මම ටයිම් සගරාවේ දැක්කා., ඇමෙරිකාව පාලනයකින් තොරව, කොරෝනාව බෝ වීමට හැරියොත් අමෙරිකාව තුල මිලියන 2ට අධික මරණ සංක්‍යාවක් පූර්වකථනය කරන බව.

    කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කල රටක් වෙන්නෙ දකුණු කොරියාව. ඔවුන් සාර්ස් වෛරසයට මුහිණ දී ලබා ඇති අත්දැකීම් සමග මෙය පාලනය කිරීමට සමත් උනා යැයි පවසනවා.

    දකුනු කොරියාවේ රහස වන්නේ ඔවුන් රෝගීන් හදුනා ගැනීමට ඒ සදහා අවශය පරීකශනය මහජනතාව වෙත පුළුල්ව ලබා දීම සහ ඔවුන්ගේ සෞඣ්‍ය සේවා අතර මනා අන්තර් සංවිධනයයි.

    නමුත් අමෙරිකාව අනුගමනය කරන ස්භාවික ප්‍රතිශක්තිකරන ස්ට්‍රැටජි එකේදී ,අමෙරිකාවේ දැනට පවතින සෞඞය සේවයේ අඩුපාඩු ගණනය කර ඇති විය හැකි මරණ සංඞයාව පිලිබද බඩා නිවරදි පූර්ව කථනය කර තිබෙනවාද?

    උදාහරනයක් ලෙස ඇමෙරිකාවේ සියළු පුරවැසියන්ට සෞඞය රක්ශණ ක්‍රමයක් ඇත්තෙ නෑ... සමහර විට රක්ෂණ ක්‍රමයක් තිවුනත් , එමහින් කොවිඩ් ප්‍රතිකාර ආවරණය වන්නේ නෑ. ටයිම් සගරාව පවසන ආකාරයට කොවිඩ් ප්‍රතිකාර සදහා ඩොලර් 30,000/= පමන එක රෝගියෙකුට වැය වන අතර , රක්ශණ ක්‍රමයක් තිබුනත් රෝගියෙකුට ඩොලර් 1000ත් 3000ත් අතර ප්‍රාමානයක් බිලක් ගෙවීමට සිදු විය හැකියි.

    මේ පිලිබද ඉකෝන්ගේ අදහස් මොනවා
    මොනවා ද?

    කෙසේ නමුත්, ස්භාවික ප්‍රතිශක්තිය සමග බැදුනු සංවර්ධිත රාජය වල ස්ට්‍රැටජි එක පිලිබද ඉකෝන්ගේ විද්‍යාත්මක පැහැදිලි කිරීමට ගොඩක් ස්තූතියි.

    මීට මාසයකයට පමන පෙර , ජර්මනියේ ආසාදිතයන් ඉතා ස්වල්පයක් පමනක් සිටි අවස්ථාවක ඇන්ජෙලා මර්කෙල් තම ජනගහන්‍යෙන් 60% පමන මෙය ආසාදනය වන බව ප්‍රකාශ කලා..මේ කථාව මට ඒ කාලයේදී තේරුම් ගන්න බැරි උනත්, දැන් ඔබගේ ලිපියත් සමග මේ මැජික් නොම්මරය ආවේ කොතනින්දැයි පැහැදිලි වෙනවා

    ReplyDelete
    Replies
    1. //මම ටයිම් සගරාවේ දැක්කා., ඇමෙරිකාව පාලනයකින් තොරව, කොරෝනාව බෝ වීමට හැරියොත් අමෙරිකාව තුල මිලියන 2ට අධික මරණ සංක්‍යාවක් පූර්වකථනය කරන බව.//

      //නමුත් අමෙරිකාව අනුගමනය කරන ස්භාවික ප්‍රතිශක්තිකරන ස්ට්‍රැටජි එකේදී ,අමෙරිකාවේ දැනට පවතින සෞඞය සේවයේ අඩුපාඩු ගණනය කර ඇති විය හැකි මරණ සංඞයාව පිලිබද බඩා නිවරදි පූර්ව කථනය කර තිබෙනවාද?//

      //මීට මාසයකයට පමන පෙර , ජර්මනියේ ආසාදිතයන් ඉතා ස්වල්පයක් පමනක් සිටි අවස්ථාවක ඇන්ජෙලා මර්කෙල් තම ජනගහන්‍යෙන් 60% පමන මෙය ආසාදනය වන බව ප්‍රකාශ කලා..මේ කථාව මට ඒ කාලයේදී තේරුම් ගන්න බැරි උනත්, දැන් ඔබගේ ලිපියත් සමග මේ මැජික් නොම්මරය ආවේ කොතනින්දැයි පැහැදිලි වෙනවා//

      වැරදියට තේරුම් ගන්න එපා. මෙය සංකීර්ණ කරුණක් නිසා එකවර හැම දෙයක්ම විස්තර කරන්න අමාරුයි. මේ කොටසින් මම උත්සාහ කළේ උඩ ඔබ කියා තිබෙන මැජික් අංකය හා රෝගය ව්‍යාප්ත වන ආකාරය ගැන මූලික කරුණු පැහැදිලි කරන්න පමණයි. වෙලාව ලැබෙන පරිදි ඉතිරි කරුණු පැහැදිලි කරන්නනම්. සමහර අය වලිගෙ පාගාගෙන තිබුණත් මෙය එක රටක් අනුගනමනය කරන ක්‍රියාමාර්ගය අනෙක් රටවල ඒවාට වඩා හොඳයි කියා පෙන්වන්න හෝ එක් උපාය මාර්ගයක් වෙනුවෙන් පෙනී සිටින්න ලියපු ලිපියක් නෙමෙයි. ඇමරිකාව ස්වභාවික ප්‍රතිශක්තියෙන් ප්‍රශ්නය විසඳෙන තුරු බලා ඉන්නේ නැහැ. නමුත් මෙහි ඇති ගැටලුව වන්නේ ඇමරිකාවේ සෞඛ්‍ය සේවය කොපමණ දියුණු වුනත් මේ වසංගතයේ විනාශය හමුවේ එයින් වැඩක් නැහැ. රෝහල් ඇඳන් 1000ක් අවශ්‍ය වන අවස්ථාවකදී එක රටක ඇඳන් 2ක් හා තවත් රටක 20 තිබුණා කියා ලොකු වෙනසක් නැහැ. ඒ නිසා හානිය අවම කර ගන්න හැකි හැම දෙයක්ම කරනවා. නමුත්, කණගාටුදායක ඇත්ත වන්නේ පවතින පරාමිතීන් අනුව මොන දේ කළත් ස්වභාවික ප්‍රතිශක්තියෙන් ප්‍රශ්නය විසඳෙන තුරු මෙය අවසන් නොවීමට ඉඩ තිබීමයි. එය හිතාමතා තෝරා ගැනීමක් නෙමෙයි. තෝරා ගන්න සිදු වී ඇති දෙයක්. ඇමරිකාව ඒ නරක තත්ත්වයට හැකි තරමින් සූදානම්ව සිටිනවා පමණයි. අද දිනයේ ඇමරිකාවේ ආසාදිතයින් ප්‍රමාණය 100,000 පනී. මෙතෙක් පැවති තත්ත්වය අනුව ඇමරිකාව තුළ දින 8කින් රෝගීන් ගණන 10 ගුණයකින් පමණ වැඩි වෙනවා. මෙය දිගටම වුනොත් වෙන්නේ මොකක්ද කියා හිතන්න. අප්‍රේල් 5 මිලියනයයි. අප්‍රේල් 13 මිලියන 10යි. අප්‍රේල් 21 මිලියන 100යි. ඇමරිකාවේ ජනගහණය මිලියන 327යි. කරන දේවල් නිසා මේ තත්ත්වය සෑහෙන්න පාලනය වෙයි. නමුත්, ඊට පෙර දැන් පෙනෙන්නට ඇති 85,000 ඉතා විශාල මට්ටමකට වැඩි වෙන එක වලක්වන්න බැහැ. බොහෝ විට ආණ්ඩු විසින් කරන දේවල් වල ප්‍රතිපලයක් එන්න කලින් ස්වභාවික ප්‍රතිශක්තියේ ප්‍රතිඵලයක් ලැබෙන්න ඉඩ තිබෙනවා. මෙය වසංගත විද්‍යාවේ මූලධර්ම අනුව පෙනෙන්නට තිබෙන යථාර්තයක් මිසක් ඇමරිකාවේ හෝ වෙනත් රටවල උපාය මාර්ගික තේරීමක් නෙමෙයි. එකම දෙය මේ රටවල් තමන්ගේ සැලසුම් සකස් කර තිබෙන්නේ මේ තත්ත්වය ගැන අවබෝධයක් ඇතුවයි. මෙයින් මම කියන්නේ අනෙක් රටවල් එසේ නොකළ බව නෙමෙයි. අවම වශයෙන් චීනය කළේ ඒ අවස්ථාව අනුව හොඳම දෙය කියා මම හිතනවා. දකුණු කොරියාව ගැනත් එසේ කියන්න පුළුවන්. නමුත්, ඔවුන් මුහුණ දුන් ප්‍රශ්නය හා වත්මන් ප්‍රශ්නය එකක්ම නෙමෙයි. චීනය කළේ භූතයා අල්ලලා බෝතලේට දමා වහන්න අමාරු නිසා කාමරේම වහන එකයි. එය ඒ වෙලාවේ හරි ගියා. නමුත් දැන් භූතයා එළියේ. ඉන්න තැනක් දන්නේ නැහැ. ඒ නිසා භූතයා එළියේ සිටිද්දී අපිට බෝතලේට රිංගා සීල් කරගෙන ඉන්න වී තිබෙනවා. මෙය කළ හැකි සීමාවක් තිබෙනවා. හැමදාම බෝතලේ ඇතුළේ ඉන්න බැහැ. ඒ නිසා, අපට භූතයා සමඟ සහජීවනයකට පුරුදු වෙන්න වෙනවා. මගේ ප්‍රාර්ථනය නොවුනත් ඉන්දියාව, පකිස්තානය, රුසියාව වැනි ජනගහණය වැඩි රටවල ඊයේ සංඛ්‍යාලේඛණ අනුව ඊළඟ වටයක මහා විනාශයකට පසුබිම සකස් වෙමින් තිබෙනවා. මේක මානව සංහතිය මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් මිසක් එක් එක් රටවල් මුහුණ දෙන ප්‍රශ්නයක් නෙමෙයි. නමුත්, එක් එක් රටට ප්‍රශ්නයට මුහුණ දෙන්න වී තිබෙන්නේ එකම තත්ත්වයන් යටතේත් නෙමෙයි.

      Delete
    2. //මේ රටවල් තමන්ගේ සැලසුම් සකස් කර තිබෙන්නේ මේ තත්ත්වය ගැන අවබෝධයක් ඇතුවයි.// ඇමෙරික එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය වගේම ජනතාව ටෙස්ට් කරන්නේ නැහැ. රැලේ ප්‍රතිෂක්තියට නොකියා ඉඩ හරිනවා. නමුත් ඉන් සෑහෙන ප්‍රමාණයක් මිය යනවා. සමහර මරණ වලක්වන්න බැරි වුනත් හරි ටෙස්ට් එකකින් පුළුවන්. ජර්මනියේ මරණ අඩු ඒකයි. බටහිර තමන්ම ඉදිරිපත් කරන මානුෂිය මූලධර්ම වලට එය පටහැනියි. චීනයත් ඒකම කළා. එලියට ආවේ නැහැ. සාමාන්‍ය චීන මිනිසුන් ගෙන් ඇහුවම කියනව එහම කල බව.

      Delete
    3. ඇත්තටම මෙහි සෑහෙන තරමකට තිබෙන්නේ සංඛ්‍යානමය කරුණක්. කෝවිඩ්-19 හැදී සුව වුනු, එහෙත් ඒ බව නොදන්නා බොහෝ දෙනෙක් ඉන්නවා. රෝහලකට යන්නේ රෝගය උග්‍ර වූ අය පමණයි. ඒ නිසා සැබෑ කෝවිඩ්19 මරණ අනුපාතය පෙනෙන්න තිබෙන අනුපාතයට වඩා ගොඩක් අඩු විය යුතුයි. (එක් අධ්‍යනයක් අනුව මාර්තු 19 වන විට බ්‍රිතාන්‍ය ජනගහණයෙන් බාගයක්ම දැන හෝ නොදැන ආසාදනය වී අවසන්. https://www.reddit.com/r/COVID19/comments/fonnt8/fundamental_principles_of_epidemic_spread/) මේ අනුපාතය අප හරියටම දන්නේ නැහැ. (මෙය ඇත්තටම මම දෙවන ලිපියකින් විස්තර කරන්නයි හිටියේ. ගෙදර ඉඳලා ගොඩක් දේවල් සම්බන්ධීකරණය කළ යුතු නිසා වෙලාව හොයා ගැනීම අසීරුයි).

      ටෙස්ට් කිරීමේ වෙනස්කම් වල බලපෑම මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

      බ්‍රිතාන්‍යය - සැබෑ ආසාදිතයින් ගණන 200,000
      ජර්මනිය - සැබෑ ආසාදිතයින් ගණන 100,000

      මරණ අනුපාතය (කොයි රටේ වුනත්) - 350/100000

      මේ අනුව,
      බ්‍රිතාන්‍යය - මරණ ගණන 700
      ජර්මනිය - මරණ ගණන 350

      මේ ගණන් උදාහරණ පමණයි.

      බ්‍රිතාන්‍යය - පරීක්ෂණ වලින් හමු වූ ආසාදිතයින් ගණන 15,000
      ජර්මනිය - පරීක්ෂණ වලින් හමු වූ ආසාදිතයින් ගණන 50,000

      බ්‍රිතාන්‍යය - පෙනෙන්නට ඇති මරණ අනුපාතය 700/15000
      ජර්මනිය - පෙනෙන්නට ඇති මරණ අනුපාතය 350/50000

      මම මෙය එකම හේතුව කියා කියන්නේ නැහැ. ජර්මනියේ සෞඛ්‍ය පහසුකම් සාපේක්ෂව හොඳයි. වැඩි දෙනෙකු කලින් පරීක්ෂා කිරීමේ සැලකිය යුතු වාසියකුත් තිබෙනවා. නමුත්, බොහෝ දුරට මේ වෙනස පෙනෙන්නට ඇති සැබෑ නොවන දෙයක්. වැඩි දෙනෙක් පරීක්ෂා කරන විට මරණ අනුපාතය අඩුවන බව පෙනෙනවා මිස ඇත්තටම මරණ අනුපාතය (පෙනෙන තරමට) අඩු වෙන්නේ නැහැ. පරීක්ෂා නොකරන තරමට එකම මරණ අනුපාතය වුවත් මරණ අනුපාතය වැඩියෙන් පෙනෙන එකයි වෙන්නේ.

      Delete
  8. Time will say the true impact. Stay safe everyone. May triple gem bless all living beings.

    ReplyDelete
  9. මේ කෝවිඩ්-19 වෛරස වසංගතවේද වෛරස් නාට්‍යය හොඳින් රග පෑ චීනය...

    A. දර්ශනය 1: *
    තිරය ​​විවෘත වේ: චීනය රෝගාතුර වෙයි, "අර්බුදයකට" ඇතුළු වෙයි.. චීනයේ වෙළඳාම අඩාල වෙයි. තිරය ​​වැසෙයි.

    B.* දර්ශනය II. *
    තිරය ​​විවෘත වේ: චීන මුදල් අවප්‍රමාණය වී ඇත. ඔවුන් කිසිවක් කරන්නේ නැත. තිරය ​​වැසෙයි.

    C * දර්ශනය III. *
    තිරය ​​විවෘත වේ :: චීනය පදනම් කරගත් යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සමාගම්වල වෙළඳාමේ අඩුවීම හේතුවෙන් ඔවුන්ගේ කොටස් ඒවායේ වටිනාකමෙන් 40% කින් පහත වැටේ.

    D.* දර්ශනය IV. *
    තිරය ​​විවෘත වේ :: ලෝකයම රෝගාතුර වී ඇත, චීනය යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සමාගම් වලින් 30% ක කොටස් ඉතා අඩු මිලකට මිලදී ගනී. තිරය ​​වැසෙයි.

    E.* දර්ශනය V. *
    තිරය ​​විවෘත වේ: චීනය රෝගය පාලනය කර ඇති අතර යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සමාගම් දැන් චීනය සතුය. චීනය තීරණය කරන්නේ මෙම සමාගම් චීනයේ රැඳී සිට ඩොලර් බිලියන 20,000 ක් උපයා ගන්නා බවයි. තිරය ​​වැසෙයි.

    නාට්‍යය හඳුන්වන්නේ කෙසේද?

    * දර්ශනය VI: *
    * චෙක්මේට්! *

    * නැවත සකස් කිරීම නමුත් සත්‍යය *

    ReplyDelete
    Replies
    1. ඊයේ සහ අද අතර වීඩියෝ දෙකක් බෙදාහරින ප්‍රතිපත්ති තීරණ ගන්නා මට්ටමේ අය පසු වී ඇති අතර එය මා සැක කළ නමුත් කිසිදු පදනමක් නොමැති දෙයක් මට ඔවුන් ඒත්තු ගැන්වූහ. එය මගේ අනුමානයක් පමණි. කොරෝනා වයිරසය චීන ජාතිකයන් විසින්ම හිතාමතාම ප්‍රචාරය කළ බව දැන් මට ඒත්තු ගොස් තිබේ.

      මුලදී ඔවුන් ඕනෑවට වඩා සූදානම් විය. රෝහල් ආරම්භ වී සති තුනකට පසු දින 14 ක් සහ ඇඳන් 12,000 ක් රෝහල් දැනටමත් ඉදිවෙමින් පවතී. ඔවුන් ඇත්තටම සති දෙකකින් ඒවා ගොඩනඟා ගත්තා.

      විශිෂ්ඨයි....

      ඊයේ ඔවුන් නිවේදනය කළේ ඔවුන් වසංගතය නැවැත්වූ බවයි. ඔවුන් එය සමරමින් වීඩියෝ නිකුත් කර , ඔවුන් සතුව එන්නතක් පවා ඇති බව නිවේදනය කරයි. සියලු ජානමය තොරතුරු නොමැතිව ඔවුන් එය ඉක්මණින් නිර්මාණය කරන්නේ කෙසේද? හොඳයි, ඔබ සූත්‍රයේ හිමිකරු නම් එය කිසිසේත් අපහසු නැත.

      අද මම දුටුවා ඩෙන් ෂියාඕ පිං බටහිරට බාගෙට ලනුවක් දුන් ආකාරය විස්තර කරන වීඩියෝවක්. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ බටහිර සමාගම්වල ක්‍රියාකාරිත්වය දැවැන්ත ලෙස පහත වැටුණි. චීනය මම බලාපොරොත්තු ලෙසම, කොටස් මිල පහළට ගිය විට ඒවා මිලදී ගත්තා. දැන් ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය විසින් චීනයේ නිර්මාණය කරන ලද මෙම හුවමාරු සහ ඔවුන්ගේ ප්‍රාග්ධනය චීනය අතට පත්විය. ඒවා දැන් චීනය අතට පත්විය. ඔවුන්ට අවශ්‍ය සියල්ල බටහිරට විකිණීමට. ඔබට තේරෙනවාද?

      මේ කිසිවක් අහම්බෙන් සිදුවිය නොහැක. මහලු මිනිසුන් කිහිප දෙනෙකු මිය ගිය බව සැලකූ චීනය අඩු විශ්‍රාම වැටුප් ගෙවීමට වන නමුත් කොල්ලය අති විශාලය. මේ වන විට බටහිර මූල්‍යමය වශයෙන් පරාජයට පත්වී ඇත. බටහිර ඔවුන් කුමක් කළ යුතු දෙයක් නොදනී .

      දක්ෂ ලෙස දරුනු වීම. චීන කොමියුනිස්ට්වාදීන් කලේ එයයි.
      මෙයට අමතරව, චීනය දැන් එක්සත් ජනපද භාණ්ඩාගාරයේ විශාලතම තනි හිමිකරුවන් වන අතර ට්‍රිලියන 1.18 ක වැඩිම කලක් සිටි ජපානය අභිබවා යයි.

      එකම අරමුණක් සහ එක ලෙසම...

      රුසියාව සහ උතුරු කොරියාව කොවිඩ් 19 හි අඩු හෝ ශුන්‍ය සිදුවීම් ඇති කරන්නේ කෙසේද?
      ඒ ඔවුන් චීනයේ දැඩි සගයන් වන නිසා ද?

      අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදය / දකුණු කොරියාව / එක්සත් රාජධානිය / ප්‍රංශය / ඉතාලිය / ස්පාඤ්ඤය සහ ආසියාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

      එහෙත් වුහාන් හදිසියේම මාරාන්තික වෛරසයෙන් නිදහස් වන්නේ කෙසේද?

      චීනය පවසන්නේ ඔවුන් ගත් දැඩි ආරම්භක පියවර ඉතා දැඩි බවත්, වෙනත් ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීම සඳහා වුහාන් අගුලු දමා ඇති බවත් ය..

      එනමුත් චීන අගනුවර බීජිනයට කොරෝනාව පහර නොදුන්නේ ඇයි? වුහාන් පමණක් ඇයි?
      ඒ ගැන කල්පනා කල යුතු නොවෙද?

      Delete
    2. හොඳයි .. වුහාන් දැන් ව්‍යාපාර සඳහා විවෘතයි

      බොහෝ විට අමරිකා - චීන වෙළඳ යුද්ධයේදී ඇමරිකාව විසින් චීනයට රිදවීම නිමා කරන්නේ කොවිඩ් -19 වීමට බොහෝ ඉඩ ඇත...

      ඇමරිකාව සහ ඉහත සඳහන් සියලු රටවල් මූල්‍යමය වශයෙන් විනාශයට පත්ව ඇත.
      චීනය සැලසුම් කළ පරිදි ඇමරිකානු ආර්ථිකය කඩාවැටෙනු ඇත.

      ඇමරිකාව වර්තමානයේ ලෝකයේ බලවත්ම රට වන බැවින් චීනය එය ඇමරිකාව යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බව දනී.
      එබැවින් චීනය විසින් වෛරසයක් භාවිතා කරමින්, අමරිකානු/ලෝක ආර්ථිකය අඩපණ කර සහ ජාතික සහ එහි ආරක්ෂක හැකියාවන් අඩපණ කලහ...

      මට විශ්වාසයි අමරිකානු පහල මන්ත්‍රී මන්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි ට්‍රම්ප් පෙරළා දැමීමට මේ සඳහා දායක වූ බවට, මෑතදී ජනාධිපති ට්‍රම්ප් සෑම විටම කියා සිටියේ සෑම අංශයකින්ම හොදට ඇමරිකානු ආර්ථිකය වැඩිදියුණු වූ ආකාරය සහ රැකියා නැවත ඇමරිකාවට පැමිණීම ගැනය...

      ට්‍රම්ප්ගේ MAKE AMERICA GREAT AGAIN දර්ශනය විනාශ කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ ආර්ථික සංහාරයක් නිර්මාණය කිරීමයි.

      දෝෂාභියෝගය හරහා ට්‍රම්ප් ඇද වැට්ටීමට නැන්සි පෙලෝසිට නොහැකි විය. එබැවින් චීනය සමඟ එක්ව වෛරසයක් මුදා හැරීමෙන් ට්‍රම්ප් විනාශ කිරීමට ඇය යොමු විය.

      වුහාන් හී කොරෝනා වසංගතය ප්‍රදර්ශනයක් පමණක්ම විය.

      වෛරස් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී චීනයේ ජනාධිපති ෂී ජින් පිං එම වෛරසයේ බලපෑමට ලක් වූ ප්‍රදේශ නැරඹීම සඳහා ගිය විට සරල RM1 මුහුණු ආවරණයක් පැළඳ සිටියේය.
      එනමුත් චීනයේ ජනාධිපති වශයෙන් ඔහුගේ හිස සිට පාදය දක්වා ආවරණය කළ යුතුව තිබුණි. නමුත් එය එසේ නොවීය.

      හේතුව නම්, කොරෝනා වෛරසයෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා චීන ජනපතිට දැනටමත් වැක්සීන් ඖෂධ එන්නත් කර ඇති වීමයි. එයින් අදහස් කරන්නේ වෛරසය මුදා හැරීමට පෙරම චීනය සතුව වැක්සීන් ප්‍රතිකාරයක් ක්‍රියාත්මක කර, එය ඔවුන් සතු කරගෙන තිබූ බවයි.

      චීනයේ දැන් දැක්ම වන්නේ දැඩි ආර්ථික පසුබෑම් අද්දර සිටින රටවලින් දැන් ඒ රටවල් සතු ව්‍යාපාරවල කොටස් මිලදී ගැනීමෙන් ලෝක ආර්ථිකය පාලනය කිරීමයි.

      තවත් තරමක් කල් ගිය පසු, චීනය විසින් ඔවුන්ගේ වෛද්‍ය පර්යේෂකයන් විසින් වෛරසය විනාශ කිරීමට ප්‍රතිකාරයක් සොයාගෙන ඇති බවට නිවේදනයක් කරනු ඇත.

      ඒ වන විට චීනය සියළුම බටහිර රටවල් හා ඔවුන්ගේ සන්ධානවල ව්‍යාපාරවල කොටස් හිමි කරගෙන සිටිය යුතු අතර එම අතීත බලවත් රාජ්‍යයන් ඉතා ඉක්මනින්ම නව ලෝක පාලකයාගේ වහලුන් බවට පත් වී සිටිනු ඇත.

      ඒ නව ලෝක පාලකයාගේ නාමය "චීනය" වනු ඇත...

      Delete
    3. මම මෙපමණ තද විධිහට නොහිතුවත් මගේ මාර්තු 9 ලිපියෙන් යෝජනා කලේ පෙනෙන විධිහට චීනයේ විද්‍යාගාරයකින් නිපදවනු එකක් ලෙසත අතපසු වීමකින් එලියට ගිය බවත්. . මට තවමත් හිතෙන්නේ එහෙමයි. මම වැරදි වෙන්න පුළුවන්.

      Delete
  10. හොඳ ලිපියක්
    //අංකය 2.0 නම් එක් අයෙකු විසින් දෙදෙනෙකුව ආසාදනය කරනවා//
    ඒ කියන්නේ දල වශයෙන් එක අයෙකුගෙන් දෙදෙනෙකුටත්, දෙදෙනෙකුගෙන් හතර දෙනෙකුටත් බෝවෙනවා කියන එක නෙමෙයිද. මම ගොඩක් ප්‍රස්ථාර හැදුවේ එහෙම බලල.
    හැබැයි කිසියම් අවස්ථාවකදී මේක නතර වෙන්නේ නැත්ද ලියන අදහස මගේ හිතේ නිතරම තිබුනා. දැන් තියෙන දත්ත දිහා බැලුවම වැඩිවෙලා ගිහින්, ප්‍රතිශක්තිය ලැබිල හරි වෙනත් ක්‍රියාමාර්ග නිසාඅඩු වෙනවා කියල පෙනෙනවා. එකොන් ගේ ලිපිය නිසා එයට පිළිතුරු ලැබුනා.
    ?/ඒ නිසා, ඇත්තටම රෝගය බෝ වෙන්නේ 100 X 0.001 X 22 X 0.5 = 1.1 දෙනෙකුට පමණයි. මේ අගයට කියන්නේ ඵලදායී ප්‍රජනන අංකය හෙවත් R අගය (Effective reproduction rate) කියලයි.// මම මෙන්න මේක සැලකුවේ නැහැ.
    හැබැයි දැනට පැතිරෙන වේගය අනුව අර එක් අයෙකුගෙන් දෙදෙනෙකුට බෝවෙන එක ඒ විධිහටම සිදුවෙන බවයි පෙනෙන්නේ.

    එකොනොමැට්ට එක වැදගත් දෙයක් ලියා නැහැ. පසුව ලියන්න ඉන්නවද දන්නේ නැහැ.
    //මුල් වටයේදී සැලකිය යුතු පිරිසකට රෝගය හැදී තිබෙන නිසා දෙවන වටය එතරම් භයානක නැහැ.// මම ලියපු ලිපි වල මේක කිව්වා. වයිරස් ප්‍රභේදය ගැන. චීනය මුලදී දන්නේ නැති වුනත් දැන් චීන විද්‍යාඥයන් කියන එක. වයිරසයේ 70% පමණ දරුණු ලෙස හැදෙන දෙවන ප්‍රභේදය. (strain ) මුලින් හැදුනු කෙනෙකුට මේ දෙවෙනි එක නැවත හැදෙනවා.

    ReplyDelete
    Replies
    1. //හැබැයි දැනට පැතිරෙන වේගය අනුව අර එක් අයෙකුගෙන් දෙදෙනෙකුට බෝවෙන එක ඒ විධිහටම සිදුවෙන බවයි පෙනෙන්නේ.//

      ගණිත හෝ පරිගණක විද්‍යා දැනුමක් තිබෙන මගේ මිතුරන් බොහෝ දෙනෙක් දත්ත මත පදනම්ව පුරෝකථනයන් කරන්න උත්සාහ කරනවා. වෘත්තීය තලයේදී ඇතැම් අය මැෂින් ලර්නින් ඇල්ගොරිද්ම් යොදා ගනිමින් පුරෝකථනය කරන්න උත්සාහ කරනවා. මැෂින් ලර්නින් මූලධර්මය වන්නේ නිරීක්ෂණය කර තිබෙන දත්ත අනුසාරයෙන් ශ්‍රිතය ඇස්තමේන්තු කිරීමයි. මේ කරුණේදී එය හරියන්නේ නැහැ. මොකද අප නිරීක්ෂණය කරන්නේ ශ්‍රිතයේ ආරම්භක කොටස පමණයි. එය වෙනස් වන ආකාරය ආකෘතිගත කළ හැකි දත්ත අප සතුව නැහැ. අනෙක් පැත්තට වසංගතවේදයේදී කරන්නේ දශක ගණනාවක් තිස්සේ "වැඩ කර ඇති" ආකෘති අනුසාරයෙන් පුරෝකථනය කරන එකයි. එහිත් ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආකෘති වැඩ කර තිබෙන්නේ පරණ වසංගත වලටයි. කෝවිඩ්-19 සඳහා එම ආකෘති යොදා ගැනීමේදී කැලිබ්රේට් කළ යුතුයි. එය කළ හැක්කේ දත්ත අනුසාරයෙන්. ඒ නිසා මේ දත්ත හා ආකෘති එකතු කර ගැනීමෙන් පමණයි නිවැරදි පුරෝකථනයක් කළ හැක්කේ. මේ දෙපැත්තේම ප්‍රවීණතාවයක් තිබෙන අය අඩුයි. නමුත්, පර්යේෂකයින් කණ්ඩායම් ලෙස එකතු වී වැඩ කරනවා.

      Delete
    2. දෙවන කරුණ බොහෝ දුරට තවමත් නොදන්නා කලාපයේ තිබෙන දෙයක්. ඔබ කියන පර්යේෂණ පත්‍රිකාවේ කෝවිඩ්-19 strains දෙකක් හඳුනාගෙන තිබෙනවා. ඉන් පසුව, තවත් එකක පහක් හඳුනාගෙන තිබෙනවා.

      https://www.medrxiv.org/content/medrxiv/early/2020/03/17/2020.03.15.20035204.full.pdf?%253fcollection=

      නමුත්, මේ හා අදාළව තවමත් තිබෙන්නේ ඉතා සීමිත දැනුමක්. එක් නගරයක සීයකගේ හෝ දෙසීයකගේ රුධිර පරීක්ෂණ ප්‍රතිඵල මිලියන ගණනකට සාධාරණීයකරණය කිරීම සැලකිල්ලෙන් කළ යුතු දෙයක්.

      ඉදිරි කාලයේදී අලුත් තොරතුරු තවත් ලැබෙයි. ඒ වගේම වෛරසයත් පරිණාමය විය හැකියි. දිගුකාලීන සැලසුම් කළ යුතුවා වගේම වෙනස් වන තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමත් වැදගත් වන්නේ ඒ නිසා. හැබැයි ශීත කාලයේ හැදෙන ඉන්ෆ්ලුවන්සා ගැන තිබෙන දැනුම අනුව මෙය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එහි strains ගණනාවක් තිබෙනවා වගේම ඒවා වෙනස් වෙනවා.

      Delete
    3. මම business intelligence කන්සල්ටන්ට් කෙනෙක් නිසා එකොන් කියන එක හරි. මම prediction කරන විධිහ ඒ කියන්නේ ප්‍රස්ථාරය හැසිරෙන විධිහ නිරික්ෂනය කරලා ඉන්පසු එයට හරියන ගණිතමය සමීකරණය මගින් තවත් ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න පුළුවන් නිසා එහම් තමයි මගේ ගණන් ඉදිරිපත් කලේ. එහෙම ඉදිරියේදී චයිරසය හැසිරෙන ආකාරය නිගමනය කරන්න පුලුවන්. එය වැරදි නැහැ. මොකද මම පටන් ගත්තේ පෙබරවාරි වල චීනයේ ඉඳන්. වෙන රටවලට ඇවිත් නැහැ. එංගලන්තයේ මරණ එකක් වත් නැහැ. මම මරණ එනවා කියපුවහම ඔය නිකන් හෙම්බිරිස්සාවට ඔපමණ බය ඇයි කියල ඔෆිස් එකේ අය විහිළුවකට ගත්ත. නමුත් මාර්තු මැද වෙන කොට ඔවුන්ට තේරුනා මම නිවැරදි බව. මටම ඒක වැටහුනේ ඉතාලිය හා ජර්මනිය සන්සන්දනය කරද්දී.
      ඔය වැඩිවෙන ආකාරය සහ මරණ ප්‍රක්ෂේපනය කරන කොට මම සැලකිල්ලට ගත්තේ ටෙස්ට් කරනවද නැත්ද යන කරුණ. ජර්මනිය හැම වැසියෙකුටම ටෙස්ට් කරන නිසා මරණ වැලක්වෙනවා. අනික ජර්මනියේ නිදහස් සෞඛ්‍ය ය සේවය ඇමෙරිකාවට වඩා හොඳයි කියල මම හිතන්නේ. ඒකත් බලපෑවා .
      එකොන් හරි කිව්වා. මම දැනට හෙව්වේ මුලික පැතිරෙන අවධිය විතරයි.
      ද පීක් වුනාට පස්සේ මරණ 3000-5000 අතරේදී වයිරසයේ පැතිරීමේ වේගය සහ මරණ අඩුවෙනවා කියන එක නිරීක්ෂණය කළා. ඒ කියන්නේ අර ෆ්ලැට් වෙන්න පටන් ගන්න එක. ඒ ගැන තමයි තියන්න ඕනේ. එතැනදී මේ එකොන් ඉහත කියන constraints වැදගත්වේවි.
      දෙවෙනි strain - ඒක තව කියවන්න. දැනට මැරුණු තරුණ අය හා හැදිලා අමාරු වුන් තරුණ අයට හැදිලා තියෙන්නේ ඒක බව චීන වෛද්‍යවරු කියනවා. ඔවුන් පර්යේෂණ දත්ත එලියට දාන්නේ හෙමින් හෙමින්. ඒකට හේතුව දන්නේ නැහැ. බලධාරීන් නිසා වෙන්න ඇති. අනික එක නගරයක සීයක දෙසීයක අයගෙන් 100000, 500000 සාධාරණ කරන්න පුළුවන්. මොකද ලෝකයේ තවම අසාදිත ප්‍රමාණය මිලියන් භාගෙකට ලන්වුනේ පෙරේදා නිසා. තනි රටක් තවම එතනට තවම ඇවිත් නැහැ. මම කියන්නේ එතනට එන්න දෙන්න එපා කියලයි. මොකද මැරෙන ගාණ වැඩිවෙන නිසා.
      අවසාන එක - මම මේ දවස් වල ගණනය කරලා පෙන්වන හදන්නේ චීනය බොරු කීවේ කියල. 3500-4000 විතරක් මැරුන එක ගැන. විශ්වාසදායක අය කිහිප දෙනක්ම කිව්වා ගෙවල් වලින් ගෙනත් මිනී වලදාපු හැටි. ඒ වීඩියෝ කොහෙවත් දාන්න බැහැලු . authenticate කරන්න බැහැ මට චෛනිස් බැරි නිසා. තව කාලයක් ඉන්න වෙනවා ඒවා බලන්න. හැබැයි එතකොට කෝච්චිය ගිහිල්ල ඉවරයි.

      Delete
    4. අනිත් කරන මේ ට්‍රම්ප් සහ බොර්සි ජොන්සන් ගෙන් කෙරුවාව වැරදි ඇයි කියන එක , මිනිසුන්ව ටෙස්ට් කරන්නේ නැහැ. ඒවාට මුදල් වෙන් කලේ නැහැ. ආරක්ෂක අංශ වලටහැදුනොත් , හමුදාවට නේවි එයාෆෝස් වලට හැදුනොත් , රටක් අනාරක්ෂිත වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒක භයානක තත්වයක්.
      යුරෝපයේ - අනාථයන් බොහොමයක් එනිසාම මිය යන්නට නියමිතයි. (කඳවුරු වලට පැතිරුනොත්)

      Delete
    5. ඇමරිකාවේ ටෙස්ට් වී තිබෙන ප්‍රමාණය ගොඩක් අඩුයි කියා මම හිතනවා. සැබෑ ආසාදිතයින් ගණන පෙනෙන්නට ඇති ගණනට වඩා ගොඩක් වැඩි විය යුතුයි.

      Delete
  11. Well written article and logical. Sorry, not replying in Sinhala because it takes me too long.

    රටක මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා රටාව තාවකාලිකව වෙනස් කළ හැකි වුවත් ස්ථිර ලෙස වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා, මේ වැඩෙන් ප්‍රතිඵලයක් ගන්න අවසන් කෝවිඩ්-19 රෝගියාත් සුවවන තුරු R0 අගය පහළින් තියා ගන්න වෙනවා.

    Dont quite agree above. If you eradicate from the country then only those entering can spread. Can limit even that with quarantine for those coming from infected countries, health report and/or proof of vaccination (if exists)*. No different from policies the US and West expect of Sri Lankans. eg vaccinations and health report.

    *Currently we dont have any of these policies in Sri Lanka. Any foreigner, specially from the west can enter without any health reports.

    ReplyDelete
    Replies
    1. If I understood your point correctly, what you propose is to change the way some of the things happening in SL permanently. First, there's a difference between the technical definitions of eradication and elimination of a disease. We can say that a disease is eradicated when it has completely disappeared from the entire earth and the risk of having a new infection is almost zero. Then we don't need any control measures. When a disease has disappeared completely from a country or many countries but the risk of a future infection is still there, we say it is eliminated from the country. In this case it will be an elimination. After eliminating a disease we need continuous strict control measures to avoid reemergence. That's what you propose. Yes, that is theoretically possible and practically not impossible but very hard to implement and maintain for a long period due to other constraints. If SL plans to implement a policy like that the country has to sacrifice some economic gains like a part of the income from tourism. However, at least for some period of time that type of control measures will be needed. When the West addresses this issue somehow and a vaccination will be available the problem is mostly solved. The challenge is to handle the situation until that.

      Delete
    2. I think by now you would have heard that the "herd immunity" model had problems. to quote

      "You bought the world’s most sophisticated hammer, so everything looks like a nail, even when it turns out to be nitroglycerin.

      But other pandemics don’t require ventilators nearly as often as coronavirus does. So the model, which was originally built around flu, didn’t include a term for ventilator shortages. Once someone added that in, the herd immunity strategy went from clever idea to total disaster, and the UK had to perform a disastrous about-face. "

      If SL plans to implement a policy like that the country has to sacrifice some economic gains like a part of the income from tourism. However, at least for some period of time that type of control measures will be needed. When the West addresses this issue somehow and a vaccination will be available the problem is mostly solved.

      Regardless before a vaccination, even if we open the country, tourism will suffer. People (unless they are desperate*) wont travel*.
      Anyway you look at it our economy will suffer. No working in Mideast, Korea and China, i.e fx (those in the west dont send money regularly).

      *I think there be Sri Lankan and foreigners from Europe and US) desperate to come to Sri Lanka where either eliminated or low incidence. That is a Prediction and will verified or discarded in 9 month.


      Delete
    3. When you write "herd immunity" model, I think, what you mean is a Laissez-faire strategy to wait until the herd immunity solves the problem. The strategy followed in the US, even at the beginning, was not that. Whether you follow a Laissez-faire strategy or an alternative strategy of active non-medical intervention, we first need to assess the baseline outcomes. For that we need to understand how the disease propagates under various scenarios. What I have explained here is related to a time-tested model(s) used used for that purpose. The effect of all the resource constraints and bottlenecks you mention here have been studied when predicting outcomes under baseline and alternative scenarios. The strategy to "flatten the curve" is a best response under the circumstances we face. However, there are many uncertainties with the parameters of the model since this is a new disease.

      On SL, as you say, I agree that the country will face economic hardships anyway. That's why I think a relatively aggressive strategy is more appropriate for SL. However, as in the case of the US, there are many uncertainties. So, we need to closely monitor new developments.

      Delete
  12. /* මා යම් නිපුණතාවයක් දක්වන විෂය වසංගතවේදයට බොහෝ කිට්ටු විෂයක්. */

    සමහර ඉකොනොමිස්ට්ලා නම් වසංගත වගේ තමයි!

    ReplyDelete
  13. ඉතාලියේ ස්පාඥ්ඤයේ ස්විස් රටේ වාර්ථාවී ඇති රෝගීන් ප්‍රමාණය දැන් තියෙන දත්ත අනුව මිලියනයකට රෝගීන් 1500ක්. මේක සරලවම ගත්තොත් අපේ රටේ මිලියන 20ටම හැදුනත් වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය 30,000ක්. ආසන්නව ගත්තොත් ලංකාවෙ සුනාමියෙන් සෙතපෝච්චි වෙච්ච ප්‍රමාණය. ඒ වාර්තාවෙන ආසාධිතයින්ගෙන් මැරෙන්නේ සීයට තුනක් වන දුර්වල වයසක අය නම්..ඒ ලොස් එක වෙනුවෙන් අපි මේ කරන වසාසිට සුසුම් හෙලීම කොපමණ වැදගත්ද මන්දා.. සාහසික තමයි..ඒත් අපිට කවදා හරි වැඩට යන්න වෙන්නේ ඉරපායලා තියෙද්දි.

    ReplyDelete
  14. හොඳ ලිපියක්. ඒත් මටනම් හිතාගන්න අමාරුයි ලංකාව ඉන්දියාව වගේ රටවල් මේකට මුහුණ දෙන්නේ කොහොමද කියල. මේවගේ තියෙන ප්‍රශ්නේ වඩා සංකීර්නයි.

    ReplyDelete
  15. Great article Econo. This shows the real issue we are facing.
    While agreeing on the most government policies so far adopted, by any means thats not the end of the issue.

    ReplyDelete
  16. Los Alamos National Laboratory has just calculated a median R0 value of 5.7 for COVID-19

    https://wwwnc.cdc.gov/eid/article/26/7/20-0282_article?deliveryName=USCDC_333-DM25287

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...