වෙබ් ලිපිනය:

Wednesday, November 29, 2017

ඇමරිකානුවන් මිලියන 31කට එකවරම අධි රුධිර පීඩනය!


දෙසතියකට පමණ පෙර ඇමරිකාවේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් ගණන එකවරම මිලියන 31.1කින් ඉහළ ගියේය. ඊට පෙර දින දක්වාද ඇමරිකාවේ වැඩිහිටි ජනගහණයෙන් තුනෙන් එකක් එනම් මිලියන 72.2ක් අධි රුධිර පීඩන රෝගීහු වූහ. පසුගිය නොවැම්බර් 13 සඳුදා මේ ගණන එකවරම විශාල ලෙස ඉහළ යාමෙන් පසු මේ වන විට ඇමරිකානුවන් මිලියන 103.3ක් ප්‍රතිකාර ගත යුතු අධි රුධිර පීඩන රෝගීන්ව සිටිති.

එක දවසකින් එතෙක් නිරෝගීව සිටි ඇමරිකානුවන් මිලියන 31.1ක් ප්‍රතිකාර ගත යුතු මට්ටමේ අධි රුධිර පීඩන රෝගීන් වුනේ කොහොමද? 

මෙසේ අධි රුධිර පීඩන රෝගීන් ගණන එක වර වැඩි වීමට හේතු වුනේ ඇමරිකාවේ වෛද්‍ය සංගම් ගණනාවක් එක්ව ගත් තීරණයකි. මෙම තීරණය අනුව මෙයින් ඉදිරියට 130/80 මට්ටම ඉක්මවන රුධිර පීඩනයක් ඇති රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුය. එහෙත්, මෙතෙක් කල් 140/90 මට්ටම දක්වා රුධිර පීඩන මට්ටම් වලට ප්‍රතිකාර කළ යුතු ලෙස සැලකුණේ නැත.

පසුගිය කාලයේ ඇමරිකාවේ ස්වේච්ඡතාව (autism) රෝගය විශාල ලෙස ඉහළ යාම පසුපස ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේද එම රෝගයේ අර්ථදැක්වීම පුළුල් කිරීමයි.

රෝග කියන ඒවා නිරපේක්ෂ නොවන අතර කාලයට හා සංස්කෘතියට සාපේක්ෂය. මානසික රෝගයක් ලෙස දැන් සැලකෙන පිඩෝෆීලියාව (Pedophilia) මෑතක වන තුරුම රෝගයක් ලෙස හෝ වරදක් ලෙස සැලකුණේ නැත. දැන් බොහෝ සංස්කෘතීන්හි මෙය වරදක් ලෙස මෙන්ම මානසික රෝගයක් ලෙසද සැලකේ. සමලිංගික සේවනය හා අදාළව සිදුව ඇත්තේ එහි අනිත් පැත්තයි. එහෙත් දැනටත් මේ සම්මත වලට සෑම සංස්කෘතියකම එකම ආකාරයේ පිළිගැනීමක් නැත.

Tuesday, November 28, 2017

ශ්‍රමික ප්‍රේෂණ නිසා දේශීය නිෂ්පාදිතය අඩු වෙනවාද?


පසුගිය දිනවල තජිකිස්ථානය ගැන සිදු කෙරුණු කතා බහකදී වසර පහකට පමණ පෙර තජිකිස්ථානය ගැන රයිගම හන්දිය බ්ලොග් අඩවියේ ලියා තිබුණු ලිපියක් ගැන අවධානය යොමු විය. එහි මෙසේ සඳහන්ව තිබුණේය.

"කුඩු වෙළඳාම නැගල ගියත් සාමාන්‍ය තජික් ජනයාගේ ජිවිතයේ නම් වෙනසක් වෙලා නැහැ. රටේ ජනගහනයෙන් අඩක් ජිවත් වෙන්නේ දිනකට ඩොලර දෙකකට වඩා අඩු මුදලකින්. රටේ ආදායමෙන් 45% පමණ එන්නේ රටෙන් පිට ගොස් වැඩ කරන තජික් ජනයා එවන මුදලින් (අමතක කරන්න එපා “කුඩු” වලින් 30 -50% ක පමණ ප්‍රමාණයක් උපයනවා කියනවානේ. යකෝ වෙන මොනවත් නිපදවන්නේ නැත්ද?)"

මා මේ කොටස උපුටා ගන්නේ ලිපියේ කතා කරන කරුණට ප්‍රවේශයක් ලෙස පමණි. රයිගම හන්දිය ලේඛකයා විසින් ඔහුගේ ලිපියට පාදක කරගන්නට ඇතැයි මා සිතන අදාළ කාලයේ පළ වූ "දී ඉකොනොමිස්ට්" ලිපියකට අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හරහා තජිකිස්ථානය උපයන ආදායම එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 30-50% පමණ ප්‍රමාණයක් බව පර්යේෂකයෝ විශ්වාස කරති. මෙයට අමතරව තජිකිස්තානයට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 45%ක් පමණ බවත්, රටේ අඩක් දිනකට ඩොලර දෙකකට වඩා අඩු ආදායමක් ලබන බවත් අදාළ ලිපියේම සඳහන්ව ඇති කරුණුය. මෙයින් මේ ලිපියේ මගේ මූලික අවධානය යොමු කරන කරුණ වන්නේ ශ්‍රමික ප්‍රේෂණ වල ආර්ථික බලපෑමයි.

ලෝක බැංකු දත්ත අනුව 2008 වසරේදී තජිකිස්ථානයට ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 49.3%ක්ව පැවතී ඇති අතර 2016 වන විට 26.9% මට්ටමට අඩු වී තිබේ. අප බොහෝ විට කතා කරන, ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.9%ක් පමණක් බව සැලකූ විට තජිකිස්තානයට දැනට ලැබෙන පෙරට වඩා අඩු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වුවද එරට ආර්ථිකයට කෙතරම් විශාල බලපෑමක් කරන්නේදැයි සිතාගත හැකිය.

පසුගිය වසරේ තජිකිස්ථානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 796ක් පමණ වූ අතර, සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 6.95ක් විය. ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 81.3ක් බව සැළකු විට තජිකිස්ථානයේ මුළු දළ දේශීය නිෂ්පාදිතයම වුවද ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයට වඩා අඩුවුවත් ශ්‍රමික ප්‍රේෂණ වලින් ලංකාවේ ආර්ථිකයට ඇති බලපෑම තජිකිස්ථානයට සාපේක්ෂව අඩු බලපෑමකි. ඒ නිසා, ප්‍රශ්නය විශාලනය වී ඇති තජිකිස්ථාන ආර්ථිකය ගැන හැදෑරීමෙන් ශ්‍රමික ප්‍රේෂණ වලින් ලංකාවට සිදුවන බලපෑම පහසුවෙන් තේරුම් ගත හැකිය.

දැන් අපි අපේ මූලික  ප්‍රශ්නයට ගියොත්,  "යකෝ එතකොට තජිකිස්ථානය වෙන මොනවත් නිපදවන්නේ නැත්ද?".

කිසියම් රටක දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ කිසියම් කාලයක් (වසරක්) ඇතුළත ඒ රටේ නිපදවන සියළුම භාණ්ඩ හා සේවාවන් වල වෙළඳපොල වටිනාකමයි. මෙසේ නිපදවන භාණ්ඩ සාමාන්‍යයෙන් කාට හෝ විකිණේ. මේ මිල දී ගන්නා අය ඒ වෙනුවෙන් මුදල් වැය කළ යුතුය. ඒ නිසා, රටේ සමස්ත නිෂ්පාදිතයේ වටිනාකම සාමාන්‍යයෙන් රටේ සමස්ත වියදමටද සමාන විය යුතුය.

භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී කවරකු හෝ කරන වියදමක් තවත් අයෙකුගේ ආදායමක් වේ. ආදායම උපයන්නේ සමාගමක් විසින් වුවත් අවසානයේදී මේ ආදායම අදාළ සමාගමේ සැපයුම්කරුවන්, සේවකයින්, කොටස් හිමිකරුවන් ආදීන් අතර බෙදී යයි. ඒ නිසා, රටේ සමස්ත වියදම රටේ සමස්ත ආදායමටද සාමාන්‍යයෙන් සමාන විය යුතුය.

මෙහිදී සාමාන්‍යයෙන් කියා කිවුවේ මෙය හරියටම සිදු නොවන්නට ඉඩ ඇති බැවිනි. උදාහරණයක් ලෙස කිසියම් වසරක් තුළ රටක නිපදවන භාණ්ඩ වලින් කොටසක් නොවිකිණී ඉතිරි වන අතර, ඒ අයුරින් පෙර වසරේ ඉතිරිවූ භාණ්ඩ කොටසක් විකිණේ. මේ කොටස් දෙක හරියටම සමාන විය යුතු නැත. එවැනි කරුණු පැත්තකින් තබා අපට මෙසේ ලියන්නට පුළුවන.

රටේ සමස්ත නිෂ්පාදිතය = රටේ සමස්ත වියදම = රටේ සමස්ත ආදායම

මෙයින් සමස්ත වියදම කියන කොටස අපි වැඩිදුර විශ්ලේෂණය කරමු. මෙසේ කිරීමේදී පහසුව තකා අපි පළමුව සංවෘත ආර්ථිකයක් ඇති රටකින් පටන් ගනිමු.

රජයයන් විසින් ව්‍යාපාර කිරීම අමතක කළොත් රටක ආදායම් උපයන්නේ සමාගම් හෝ පුද්ගලයින් විසිනි. රජයක් කරන්නේ මේ ආදායමෙන් කොටසක් බදු ලෙස අය කර ගැනීමයි. (එහි හිලවුවට නිශ්චිත සේවාවන් ගණනාවක් සැපයීමද රජය විසින් කරයි.) සමාගම් වලින් බදු අය කළත් වක්‍ර ලෙස සිදුවන්නේ කිසියම් පුද්ගලයින් කණ්ඩායමකගේ ආදායමෙන් කොටසක් රජය විසින් ලබා ගැනීමයි. මෙසේ රජයට බදු ගෙවීමෙන් පසු පුද්ගලයින් වෙත ඉතිරි වෙන මුදල ඔවුන්ට වියදම් කළ හැකිය.

පුද්ගලයෙකුට තමන්ගේ ආදායම් වැය කළ හැකි ප්‍රධාන ආකාර දෙකකි. පළමු ආකාරය වන්නේ පරිභෝජනය කිරීම පිණිස මුදල් වැය කර භාණ්ඩ හෝ සේවාවන් මිල දී ගැනීමයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු හැමවිටම තමන්ගේ මුළු ආදායමම පරිභෝජනය පිණිස වැය නොකරන අතර, ආදායමෙන් කොටසක් ඉතිරි කරයි. මෙසේ ඉතිරි කරන මුදල එක්කෝ දිගු කාලයක් තිස්සේ පරිභෝජනය කළ හැකි නිවසක් හෝ වාහනයක් වැනි දෙයක් වෙනුවෙන් වැය කරයි. එසේ නැත්නම් බැංකුවක ඉතිරි කරයි. වැඩි ආදායමක් හෝ වැඩි ඉතිරියක් ඇති අයෙක්නම්, සෘජුවම කොටස්වෙළඳපොළ වැනි තැනක ආයෝජනය කරයි. ආදායමෙන් පරිභෝජන වියදම් ඉවත් කළ ලෙස ඉතිරි කොටස ආයෝජන වියදම්ය.

ආර්ථිකය සංවෘත නිසා රටේ ඕනෑම කෙනෙකුට මිල දී ගන්නට වෙන්නේ රටේම නිපදවූ දෙයකි. එමෙන්ම, තමන්ගේ ආදායමෙන් පරිභෝජන වියදම් වැය කිරීමෙන් පසු ඉතිරි වන කොටස යන්නේත් රට තුළම සිටින තවත් අයෙකු වෙතය. ණය ලබාගැනීම නිසා කිසියම් අයෙකුගේ වසරක් තුළ වියදම ආදායම ඉක්මවන්නට පුළුවන් වුවත්, මෙසේ ණය ලෙස බැංකුවකින් ලබාගන්නට වෙන්නේද තවත් අයෙකුගේ ඉතිරි කිරීමක් නිසා සාමාන්‍යයෙන් රටක් වශයෙන් ගත් විට රටේ සියලු දෙනා විසින් පරිභෝජනය කිරීමෙන් පසුව රටේ සමස්ත ආදායමෙන් කොටසක් ආයෝජනය සඳහා ඉතිරිවේ. මේ කොටස රටේ අනාගත නිෂ්පාදිතය ඉහළ දැමිය හැකි කාර්යයන්හි ආයෝජනය කෙරේ. දැන් අපට රටේ නිවාස ඒකක වල හා සමාගම් වල සියලු වියදම් මෙසේ ලියන්නට පුළුවන.

සමස්ත පෞද්ගලික වියදම් = පරිභෝජන වියදම් + ආයෝජන වියදම්

මෙයට රජයද එකතු කළ විට, සංවෘත ආර්ථිකයක් ඇති රටක් සඳහා අපට මෙවැනි සම්බන්ධතාවයක් ගොඩනැඟිය හැකිය.

සමස්ත නිෂ්පාදිතය (Y) = සමස්ත වියදම් (AE) = පරිභෝජන වියදම් (C) + ආයෝජන වියදම් (I) + රජයේ වියදම් (G)

Y = C + I + G

මෙහි රජයේ වියදම් යනු බදු මුදල් වැය කරමින් රජය විසින් කරන සියලු ආකාරයන්හි වියදම්ය.

විදේශ අංශයක්ද ඇති නිසා, විවෘත ආකෘතියක් විස්තර කිරීමට ඉහත සම්බන්ධතාවය ප්‍රමාණවත් නැත. විවෘත ආර්ථිකයක් ඇති රටක නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් රටින් පිටට අපනයනය කරන නිසා ඒ කොටස රට ඇතුළත ඉතිරි නොවේ. ඒ නිසා, C, I හා G ලෙස බෙදී යන්නේ අපනයනය කොට ඉතිරි වන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. ඒ නිසා, අපට මෙසේ ලියන්නට පුළුවන.

සමස්ත නිෂ්පාදිතය (Y) - සමස්ත අපනයනය (EX) = පරිභෝජන වියදම් (C) + ආයෝජන වියදම් (I) + රජයේ වියදම් (G)

කෙසේ වුවද, මේ අයුරින් භාණ්ඩ හා සේවාවන් අපනයනය කිරීම නිසා විදේශ විණිමය ලැබේ. ඒ විදේශ විණිමය වැය කර රටින් පිටත නිපදවූ භාණ්ඩ හා සේවාවන් රට තුළට ආනයනය කෙරෙන අතර මෙසේ රටේ නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් අපනයනය කිරීමෙන් පසු ඉතිරිවන කොටසට අමතරව රට තුළට ආනයනය කරන භාණ්ඩද පරිභෝජනය හෝ ආයෝජනය පිණිස මිල දී ගන්නට නිවාස ඒකක වලට, සමාගම් වලට හා රජයට හැකියාව තිබේ. ඒ නිසා, ආනයනද එකතු කර අපට මෙසේ ලියන්නට පුළුවන.

සමස්ත නිෂ්පාදිතය (Y) - සමස්ත අපනයනය (EX) + සමස්ත ආනයන (IM ) = පරිභෝජන වියදම් (C) + ආයෝජන වියදම් (I) + රජයේ වියදම් (G)

Y - EX + IM = C + I + G

Y = C + I + G + EX - IM

මෙහි අවසානයට ඇත්තේ ආනයන අපනයන පරතරය හෙවත් රටේ ගෙවුම් ශේෂයයි. එය ශුද්ධ අපනයන (NX - Net Exports) ලෙසද දැක්විය හැකිය.

Y = C + I + G + NX

ඉහත සමීකරණය සාර්ව ආර්ථික විද්‍යාවේදී යොදා ගන්නා මූලික සමීකරණයකි. මේ සමීකරණයට අනුව, කිසියම් රටක දළ දේශීය නිෂ්පාදිතය එම රටේ පරිභෝජන වියදම්, ආයෝජන වියදම්, රජයේ වියදම් හා ශුද්ධ අපනයන වලට සමානය.

පසුගිය මූල්‍ය වර්ෂයේදී ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය මේ කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා යෙන් බිලියන වලිනි. (මූලාශ්‍රය: පිටුව 21).

Y  = 537,902 (100%)
C  = 301,028 (56.0%)
I = 99,853 (18.6%)
G = 131,757 (24.4%)
NX =  5,264 (1.0%)

දැන් මෙයින් අදහස් වන්නේ කුමක්ද?

ජපානයේ සමස්ත දේශීය ආදායමෙන් පරිභෝජනය හෝ ආයෝජනය වෙනුවෙන් රජය හෝ පෞද්ගලික අංශය විසින් වියදම් කරන්නේ 99%ක් පමණි. ඉතිරි 1% වියදම් නොකර ඉතිරි වේ.

ඉහත පරිදි ඉතිරි වන මුදල සංසන්දනය කිරීමේ පහසුව පිණිස ජපාන යෙන් වලින් දක්වා තිබුණත් ඇත්තටම සිදුවන්නේ ඇමරිකන් ඩොලර් හෝ වෙනත් විදේශ මුදලකින් එම ජපාන යෙන් ගණනට සමාන මුදලක් ඉතිරි වීමයි. ජපානයේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් රට ඇතුළත අලෙවි නොකරන බැවින් ඒ කොටස රටේ වියදමක් වන්නේ නැත. එහෙත්, ඒ භාණ්ඩ හා සේවා ප්‍රමාණය රටෙන් පිටත විකුණා ලබන විදේශ මුදල් වැය කර ගෙන්වන භාණ්ඩ විකුණන්නේ රට ඇතුළත නිසා ඒ කොටස රටේ වියදමකි. කෙසේ වුවත්, ජපානය භාණ්ඩ හා සේවා අපනයනය කර උපයන මුළු මුදලම ආනයන සඳහා වැය නොකරන නිසා කිසියම් විදෙස් මුදල් ප්‍රමාණයක් ජපානයේ ඉතිරි වේ. මේ විදෙස් මුදල් වල වටිනාකම ජපාන යෙන් 1%කට සමානය.

දැන් මේ ඉතිරි වන 1%ට මොකද වෙන්නේ?

මේ මුදල බොහෝ දුරට ජපානයේ මහ බැංකුව වන ජපාන බැංකුවේ නිල සංචිත වලට එකතු වේ. එවිට ජපාන බැංකුව විසින් බොහෝ විට කරන්නේ මේ මුදල් යොදවා ඇමරිකාවේ ඩොලර් බැඳුම්කර මිල දී ගැනීමයි. මේ මුදලින් කොටසක් යුරෝ බැඳුම්කර මිල දී ගැනීම සඳහාද යෙදවීමට ඉඩ තිබේ. ජපානයේ වෙළඳ අතිරික්තයෙන් කොටසක් අපනයනකරුවන් විසින්ම රටින් පිටත බැංකුවක ඉතිරි කිරීමටද ඉඩ තිබේ.

ඉහත කී අයුරින් ජපානය වැනි රටවල් විසින් විදෙස් වෙළඳාමේදී ඉතිරි කර ගන්නා මුදල් වලින් විශාල ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදය වෙත ඇදී එයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවට ආනයන සඳහා වියදම් කිරීමට එරට අපනයන ආදායමට වඩා අමතර මුදලක් ලැබේ. මෙහි ප්‍රතිඵලය වන්නේ ඇමරිකාවේ අපනයන ආදායමට වඩා වැඩි මුදලක් ආනයන වෙනුවෙන් වැය කරන්නට ඇමරිකාවට හැකි වීමයි.

පසුගිය (2016) වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා ඩොලර් බිලියන වලිනි. (මූලාශ්‍රය: වගුව 1.1.5).

Y  = 18,624.5
C  = 12,820.7 (68.8%)
I = 3,057.2 (16.5%)
G = 3,267.7 (17.5%)
NX = -521.2 (-2.8%)

මේ සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන්නේ ඇමරිකාවේ දේශීය නිෂ්පාදිතය මෙන් 102.8%ක් ඇමරිකාව ඇතුළත වියදම් කෙරෙන බවයි.  මේ අමතර 2.8% වියදම් කරන්නට ඇමරිකාවට හැකි වී තිබෙන්නේ "උපකල්පිත වටිනාකමක් පමණක් ඇති" ඇමරිකන් ඩොලර් වෙනුවෙන් ජපානය වැනි රටවල් "සැබෑ වටිනාකමක් ඇති" පරිභෝජන භාණ්ඩ ඇමරිකාවට එවන බැවිනි.

දැන් අපි තජිකිස්තානයට යමු.

තජිකිස්තානයේ ජාතික ගිණුම් සම්බන්ධව වඩාත්ම අලුත් සංඛ්‍යාලේඛණ ඇත්තේ 2015 වසර සඳහාය. 2015 වසරේදී තජිකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතය කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා සොමොනි මිලියන වලිනි. (මූලාශ්‍රය: එක්සත් ජාතීන්ගේ සංගමයේ දත්ත).

Y  = 48,401.6
C  = 44,699.3 (92.4%)
I = 15,005.3 (31.0%)
G = 6,851.9 (14.2%)
NX = -20,453.0 (-42.3%)

දැන් මේ සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට මුලින්ම පෙනෙන්නේ තජිකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.7%ක කොටසක් මෙහි විසංයෝජනය කර ඇති අයිතම වලින් පැහැදිලි නොකෙරෙන බවයි. තජිකිස්ථානය වැනි විශාල අවිධිමත් ආර්ථිකයක් ඇති රටක ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේදී සිදු වන ඇස්තමේන්තු වරද හෝ වෙනත් කරුණක් මෙයට හේතු වනවා විය හැකිය. කෙසේ වුවත්, රටවල් දෙකකින්ම පරීක්ෂා කෙරෙන නිසා වෙළඳ හිඟය පිළිබඳ දත්ත වඩා නිවැරදි බව අපට සැලකිය හැකිය. එමෙන්ම මෙහි G වලට ඇතුළත්ව තිබෙන්නේ රජයේ පරිභෝජන වියදම් පමණි. රජයේ ආයෝජන වියදම් පෞද්ගලික ආයෝජන වියදම් (I) වලට එකතු කර තිබේ.

වෙළඳ හිඟය පමණක් සැලකුවත් අපට පෙනී යන්නේ තජිකිස්ථාන වැසියන් හා එහි රජය විසින් එරට දළ දේශීය නිෂ්පාදිතය මෙන් 142.3%ක මුදලක් වියදම් කරන බවයි. අවිධිමත් ආර්ථිකය හරහා ලැබෙන මුදල්ද සැලකූ විට මේ ප්‍රමාණය තජිකිස්ථානයේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් දෙගුණයකට ආසන්න වන්නට පුලුවන.

මේ අනුව පැහැදිලි වන පරිදි, නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හරහා තජිකිස්ථානය උපයන ආදායම එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 30-50% පමණ ප්‍රමාණයක් බවත්, තජිකිස්තානයට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 45%ක් පමණ බවත් කියන විට එයින් අදහස් වන්නේ තජිකිස්ථානය කිසිවක් නිපදවන්නේ නැති බව නොවේ. තජිකිස්ථානය තුළ කලක් තිස්සේ සිදුවූ නිෂ්පාදන කටයුතු එසේම සිදු වේ. ඒ නිෂ්පාදන විකුණා උපයන ආදායමට අමතරව, තවත් එවැනිම පමණ ආදායමක් "වෙනත් ක්‍රම වලින්" තජිකිස්ථානය උපයයි. ඒ නිසා, තජිකිස්ථාන වැසියන්ගේ සැබෑ ජීවන තත්ත්වය එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් නිරූපණය වන තරමටම නරක නැත.

තජිකිස්තානයට සිය දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා වියදම් කරන්නට හැකි වී තිබෙන්නේ එරටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ නිසාය.  මෙහිදී විශ්ලේෂණය කෙරුණු 2015 වසර තුළ තජිකිස්තානයට පැමිණි ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 28.8%කි.

ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන්නේ කිසියම් විදේශ මුදලකි. තජිකිස්ථානය හා අදාළව මෙසේ බොහෝ විට ලැබෙන්නේ රූබල්ය. එහෙත් තජිකිස්තානයේ දේශීය නිෂ්පාදකයින්ගේ පිරිවැය සොමොනි වලින් වැය කළ යුතු නිසා ඔවුන්ට ඔවුන්ට රූබල් අවශ්‍ය නැත. රටේ දළ දේශීය නිෂ්පාදිතය වැටුප් හා ලාභ ලෙස බෙදී යද්දී මේ නිෂ්පාදිතය මිල දී ගැනීමට අවශ්‍ය ඉල්ලුමද සොමොනි වලින්ම ඇති වන නිසා පිටතින් ලැබුණු රූබල් වලින් මිල දී ගන්නට තරම් භාණ්ඩ හා සේවා රටේ ඉතිරි වන්නේ නැත. ඒ නිසා, මේ රූබල් වලින් වැඩක් ගන්නටනම් රූබල් අවශ්‍ය වන රුසියාවෙන් භාණ්ඩ හා සේවා ආනයනය කළ යුතුය. එසේ නැත්නම් අපනයන සීමා කළ යුතුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස තජිකිස්තානයට ශ්‍රමික ප්‍රේෂණ පැමිණීමට සමාන්තරව ආනයනද ඉහළ ගොස් අපනයන අඩු වෙයි. රටේ වෙළඳ ශේෂ හිඟය පුළුල් වෙයි.

තජිකිස්තානයේ තරමටම නැතත් මෙය යම් තරමකින් ලංකාවටද අදාළය.

පසුගිය 2016 වසරේදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා රුපියල් බිලියන වලිනි. (මූලාශ්‍රය: වගුව 3).

Y  = 11,839.0
C  = 8,003.8 (67.6%)
I = 3,723.9 (31.4%)
G = 1,015.1 (8.6%)
NX = -903.8 (-7.6%)

මෙහිද, තජිකිස්ථානයේ මෙන්ම, G වලට ඇතුළත්ව තිබෙන්නේ රජයේ පරිභෝජන වියදම් පමණි. රජයේ ආයෝජන වියදම් පෞද්ගලික ආයෝජන වියදම් (I) වලට එකතු කර තිබේ.

ඉහත සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන පරිදි, ලංකාවේ පෞද්ගලික අංශය හා රජය එක්ව කරන සමස්ත වියදම් රටේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා 7.6%කින් වැඩිය. මේ අමතර වියදමෙන් වැඩි කොටසක් පියවෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ වලිනි.

ශ්‍රමික ප්‍රේෂණ රට තුළට ගලා එද්දී එයට අනුරූප වෙළඳ හිඟයක් පවත්වා ගැනීම ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට හේතු වන්නේ නැත. එහෙත්, ලංකාවේ මෙන්ම තජිකිස්තානයේද දැකිය හැකි ප්‍රශ්නයක් වන්නේ මෙසේ ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු තරමින් ලැබෙද්දී වුවද, වෙළඳ ශේෂ හිඟය ඊටත් වඩා වැඩි වීම නිසා ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදුවීමයි. මෙයට හේතු වන කරුණු හා මේ ප්‍රශ්නය විසඳාගත හැකි ආකාරය අපි ඉදිරි ලිපියකට ඉතිරි කරමු.

Thursday, November 23, 2017

දරිද්‍රතාවය සමව බෙදාගැනීමේ සමාජවාදී සිහිනය


පහතින් ඇත්තේ මෙහි පළවූ පසුගිය ලිපියකට අජිත් ධර්මා විසින් දමා ඇති ප්‍රතිචාරයක කොටසකි.

"ඔය රටවල් දෙකම මන්දපෝෂණය තිබුනේ නැහැ. හේතුව සලක ක්‍රමයට පෝලිමේ ඉන්දල් අ හෝ කෑම දුන්න බඩගින්නේ නොහිටින්න. හොඳ කෑම නොවෙන්න පුළුවන්. ඒක ඇත්ත. රුවන් කියන සුඛෝපභෝගී ආහාර නැහැ. මම මේ කියුබන් ක්‍රමය හොඳයි කියනවා නෙවි. අපි විවේචනයක් කරන විට සාධාරණ විය යුතු නිසා."

මෙහි අජිත් ධර්මා විසින් කියන්නේ පැරණි සෝවියට් දේශයේ හා කියුබාවේ සියලු දෙනාටම බඩ පුරවා ගන්නට තරම් ප්‍රමාණවත් ආහාර සලාකයක් රජය විසින් ලබා දුන් බවයි.

ඊට පෙර ඉකොනොමැට්ටා විසින් පළ කළ වෙනත් ලිපියකට අජිත් ධර්මා විසින්ම දමා තිබුණු ප්‍රතිචාරයක් මෙසේය.

"ඔබ කිව්වා වගේ පගාව දීල ටෙලිෆෝන් එක ගන්න ඕනේ. ඔයඅර්ධ සමාජවාදී නැත්නම් ලනක්ව වගේ මුනිච්චාවට සමාජවාදී රටවල තිබූන ප්‍රශ්නයක්. සෝවියට් දේශයේ හැම ගෙදරකටම ආණ්ඩුවෙන් ටෙලිෆෝන් එකක් දීල තිබුන. කාටවත් බලෙන් ඉල්ලන්න ඕනේ කමක් තිබුනේ නැහැ. ඒ කියන්නේ පෞද්ගලික ගෙවල් නැහැනේ. ඔක්කොම ආණ්ඩුවේ. ඉතින් ආණ්ඩුවම දෙන්න ඕනේ. එතනයි වෙනස."

කියුබාව වැනි රටවල මන්දපෝෂණය නොතිබුණු බව වැනි දේ නිවැරදි නොවන බව අපි පැත්තකින් තියමු. එය මේ ලිපියේ සාකච්ඡා කරන කරුණට අදාළ නොවේ.

අජිත් ධර්මාගේ ප්‍රතිචාරය අනුව පැරණි සෝවියට් දේශයේ සෑම නිවසකටම රජය විසින් ස්ථාවර දුරකථනයක් ලබා දී තිබේ. එසේම, රටේ සියලු දෙනාටම කුසගිණි නිවා ගන්නට ප්‍රමාණවත් ආහාර සලාකයක් ලබා දී තිබේ. මේ ආහාර සලාකය සාමාන්‍ය පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ සියල්ල අඩංගු ප්‍රසස්ථ ආහාර වේලක්යැයි අපි උපකල්පනය කරමු. අජිත් ධර්මා විසින් විශේෂයෙන් සඳහන් කර නොතිබුණත් පැරණි සෝවියට් දේශයේ වැසියන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්ද රජය මඟින් සැපයූ බව අප දන්නා කරුණකි.

දැන් මේ හරහා මැවෙන්නේ ලංකාවේ බොහෝ සමාජවාදීන්ගේ සිහිනය වන පරමාදර්ශී සමාජයකි. ඔවුන්ගේ ඉලක්කය ලංකාව මෙවැනි තැනකට ගෙන යාමයි.

මේ සමාජවාදී ඉලක්කය දෙස විමසිල්ලෙන් බැලීමෙන්ම සමාජවාදී චින්තනයේ ඇති වැරැද්ද පැහැදිලිව පෙනේ. ඒ ගැන සාකච්ඡා කිරීමේදී අදාළ රටවල් මේ ඉලක්කය සැබෑවටම සපුරා ගත්තේද යන්න සැක නොකර අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු.

දැන් මේ පරමාදර්ශී රටක මධ්‍යගත සැලසුම්කරුවෙකු විසින් රට වැසියන් අතර දුරකථන බෙදා දිය යුතු හොඳම ක්‍රමය එක් නිවසකට එක් දුරකථනය බැගින් බෙදා දීම බව තීරණය කරයි. එහෙත්, රටේ ජීවත් වන සෑම දෙනෙකුටම දුරකථනයක ඇති ප්‍රයෝජ්‍ය වටිනාකම සමාන නැත.

දුරකථනයක් යනු අනවශ්‍ය කරදරයක් කියා සිතන සුළු පිරිසක් හෝ සිටිති. එවැන්නන්ට රජයෙන් ලබා දෙන දුරකථනය ප්‍රයෝජනයට නොගෙන සිටිය හැකි බව ඇත්තකි. එහෙත්, එහිදී සිදුවන්නේ සම්පත් නාස්තියකි. ඒ අතරම, පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුම දුරකථනයට ඇබ්බැහි වී සිටින නිවසකට එක් දුරකථනයක් ප්‍රමාණවත් නොවන්නට පුළුවන. රජය මඟින් නිවසකට එක් දුරකථනය මඟින් ලබා දීමෙන් පසු කැමති අයෙකුට තමන්ගේ දුරකථනය වෙනත් අයෙකුට විකිණීමට ඉඩ ලැබේනම් දුරකථන හුවමාරු ගණුදෙනු යම් ප්‍රමාණයක් හෝ සිදුවන බව ස්ථිරය. මෙවැනි නිදහස් ගනුදෙනුවකදී සිදුවන්නේ කිසියම් අයෙකු තමන්ට අනවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන දෙයක් එය වඩා අවශ්‍ය අයෙකුට දී දෙවැන්නාට වාසියක් සලසමින් තමන්ද වාසියක් ලැබීමයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ඇති අකාර්යක්ෂමතාවය වන්නේ දෙදෙනෙකුටම වාසි සැලසෙන මෙවැනි හුවමාරුවක් කරන්නට නිදහසක් නැති වීමයි.

ආහාර සම්බන්ධව සැලකූ විට මෙය පැහැදිලි කිරීම වඩා පහසුය. මේ සඳහා, පැරණි සෝවියට් දේශයටම යා යුතු නැත. පේරාදෙණියේ අක්බාර් කැන්ටිම වැනි තැනකට යාම ප්‍රමාණවත්ය.

මෙවැනි තැනක ලබා දෙනා කෑම වේල මධ්‍යම සැලසුම්කරුවෙකුගේ දැඩි නියාමනයකට ලක්ව තිබේ. ඒ අනුව, ටෙන්ඩරය භාරගන්නා අයෙකු නිශ්චිත මිලකට නිශ්චිත ද්‍රව්‍ය අඩංගු කෑම වේලක් ලබා දිය යුතුය. මෙය සාමාන්‍යයෙන් බත්, පරිප්පු හෝ මුං ඇට, මැල්ලුමක් හා එළවළුවක් වැනි අංග වලින් යුත් කෑම වේලකි. අවශ්‍යනම් වැඩිපුර මුදලක් ගෙවා මස්, මාළු හෝ බිත්තර වැනි දෙයක් මිල දී ගත හැකිය.

කෙසේ වුවත්, මේ ප්‍රසස්ථ කෑම වේල සියලුම පාරිභෝගිකයින්ගේ ප්‍රසස්ථම කෑම වේල නොවේ. බොහෝ දෙනෙක් කෑම වේල මිල දී ගෙන මේසයට පැමිණ වාඩි වෙන්නේම කොළ මැල්ලුම කුණු බක්කියට දැමීමෙන් පසුවය. එය කෙළින්ම සිදුවන සම්පත් නාස්තියකි. ඉන් පසුව, ඉතිරි වන එළවලුවද ඇතැම් අයගේ ප්‍රියජනක ආහාරයක් නොවිය හැකිය.

"මචං, මම පතෝල කන්නෙ නැහැ. උඹ කනවනම් මේ ටික ගනිං."

කෑම මේසයේදී මේ වගේ දේවල් සිදුවිය හැකිය. කොළ මැල්ලුමද කුණු බක්කියට දමා අවසන් නිසා දැන් පළමු සිසුවාගේ පිඟානේ තිබෙන්නේ බත් හා පරිප්පු පමණි.

"කෝ උඹට බත් ටික කන්න දෙයක් දැන් නෑනේ. මේකෙන් තව පරිප්පු ටිකක් ගනිං."

මධ්‍යගත සැලසුම වෙනුවට පුද්ගල තේරීමට ඉඩදෙන බුෆේ ක්‍රමයක් තිබුණානම් තමන් කැමති දේ මිස අකැමැති දේ බෙදාගෙන්නට අවශ්‍ය නැත. නාස්තිය අඩු වන නිසා නියමිත මිලටම ලබාගත හැකි කෑම ප්‍රමාණය වැඩි වනු මිස අඩු වන්නේද නැත.

ඇමරිකාවේ අඩුආදායම්ලාභීන්ට ලබා දෙන සහනාධාරය සලාකයක් ලෙස නොව මුදලින් ලබා දෙන්නකි. මේ මුදල ගණනය කිරීමේදී දරු දෙදෙනෙකු ඇතුළුව හතරදෙනෙකු සිටින පවුලකට සතියකට එළවලු රාත්තල් 31.56ක් හා පළතුරු රාත්තල් 24.48ක් මිල දී ගන්නට ප්‍රමාණවත් මුදලක් ලබා දුන්නත් එවැනි පවුලක අය ඒ ප්‍රමාණයෙන් අඩක්වත් එළවලු හා පළතුරු ආහාරයට ගන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට කරන්නේ ඒ මුදල් ඉතිරි කරගෙන තෙල් හා මේද අඩංගු ආහාර හා රසකැවිලි වැඩිපුර ආහාරයට ගැනීමයි. එහෙත්, මෙයට විසඳුමක් ලෙස මේ අයට බලෙන් එළවලු හා පළතුරු කවන්නට ආණ්ඩුවට පුළුවන් කමක් නැත. කිසියම් අයුරකින් එළවලු හා පළතුරු සලාකයක් ලෙස ලබා දුන්නොත් සිදුවනු ඇත්තේ එම ආහාර කුණු බක්කි වලට යාම පමණි. දැනුවත් කිරීම් මඟින් පුද්ගල තේරීම් වෙනස් කිරීම මිස වෙනත් ආකාර වල මැදිහත්කිරීම් මඟින් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකිය.

ආහාර සහනාධාරය මෙන්ම ඇමරිකාවේ අඩුආදායම්ලාභී නිවසකට දුරකථන පහසුකම් ලබාගැනීම සඳහා "ලයිෆ්ලයින්" නම් වූ සහනාධාර වැඩසටහනක්ද ක්‍රියාත්මකව පවතී. මේ හරහා දුරකථනයක් නැති පවුලකට තමන් කැමති පරිදි ස්ථාවර දුරකථනයක් හෝ ජංගම දුරකථනයක් ලබා ගැනීමට පුළුවන. සහනාධාරය මඟින් දුරකථනයේ මිල ඇතුළු සම්බන්ධතාව ලබා ගැනීමේ මූලික වියදම් මෙන්ම මාසික ගාස්තු වලින්ද සැලකිය යුතු කොටසක් ප්‍රතිපූරණය කරන නිසා අඩුආදායම්ලාභී පවුලකට ඇමරිකාවේ අවම වැටුපට පැයක පමණ කාලයක් වැඩකර ඉපැයිය හැකි මුදලක් මසකට වැය කර දුරකථනයක් නඩත්තු කළ හැකිය. ස්ථාවර දුරකථන යනු ඇමරිකාවේ හෙමින් මිය යමින් තිබෙන සංකල්පයකි. ඒ නිසා, අඩුආදායම්ලාභීන් ඇතුළු බොහෝ ඇමරිකානුවන්ගේ දැන් තේරීම ජංගම දුරකථනයයි.

ඇමරිකාවේ ආදායම් මට්ටම් අනුව පහළින්ම සිටින අයෙකුට වුවද පෙර ලිපියේ විස්තර කර ඇති නොමසුරු ආහාර සහනාධාරය, දුරකථන සහනාධාරය, සෞඛ්‍ය පහසුකම් ඇතුළු අවම ජීවන තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන දේ ලැබේ. රජය මඟින් ලබා දෙන්නේ නොමිලේ ප්‍රතිකාර නොව සියලු වියදම් ආවරණය වන සෞඛ්‍ය රක්ෂණයක් නිසා ප්‍රතිකාර ගන්නට "ආණ්ඩුවේ ඉස්පිරිතාල වල" පෝලිම් වල ඉන්නට අවශ්‍යද නැත. අඩුආදායම් ස්ථරවල ජීවන තත්ත්වය මෙසේ ඉහළින් තිබීමට හේතු වී ඇත්තේ ආදායම් උපයන ඉහළ ස්ථර වලට බාධාවකින් තොරව එය කරන්නට ඉඩ සැලසීම මිස ඔවුන්ට තිරිංග දැමීම නොවේ.

සියල්ලන්ටම සමානව බෙදීමේ සමාජවාදී ඉලක්කයේ අරමුණ සමාජයේ පහළම ස්ථර වලට අවම ජීවන තත්ත්වයක් සහතික කිරීමයි. ඉහළ ස්ථර වලට කොහොමටත් එහි වාසියක් නැත. මේ පරමාදර්ශී සමාජවාදී ඉලක්කය අනුව බැලුවත් ධනවාදී ඇමරිකාව සිටින්නේ සමාජවාදී රටවලට වඩා ඉදිරියෙනි.

Wednesday, November 22, 2017

ඇමරිකාවේ දුප්පතුන්ගේ කෑම


ඇමරිකාවේ අඩුආදායම්ලාභී පවුලකට ආහාර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහනාධාර මුදල පවුලේ සාමාජිකයින් ගණන, ඔවුන්ගේ වයස් මට්ටම් ආදී කරුණු අනුව වෙනස් වේ. වයස 19-50 අතර වැඩිහිටියන් දෙදෙනෙකු, වයස 6-8 දරුවෙකු හා වයස 9-11 අතර දරුවෙකු ලෙස හතර දෙනෙකු සිටින "සම්මත පවුලක" ආහාර වියදම ඩොලර් 649ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එවැනි පවුලක් ඉහත මුදලින් පහත සඳහන් පරිදි සතියක් තුළදී ආහාර රාත්තල් 130.61ක් මිල දී ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

-ධාන්‍ය රාත්තල් 12.26ක්
-එළවළු රාත්තල් 31.56ක්
-පළතුරු රාත්තල් 24.48ක්
-කිරි හා කිරි නිෂ්පාදන රාත්තල් 42.39ක්
-මස් වර්ග හා මාෂභෝග රාත්තල් 13.29ක්
-තෙල් සහ මේද, රසකැවිලි හා වෙනත් ආහාර රාත්තල් 6.63ක්



කෙසේ වුවත් මිනිසුන්ගේ ආහාර පුරුදු ආණ්ඩුවට වෙනස් කළ නොහැකිය. ඉහත සඳහන් උදාහරණයේ දැක්වෙන සාමාජිකයින් සිටින සම්මත පවුලක් සතියක් තුළදී අවශ්‍ය පමණ එළවලු හා පළතුරු පරිභෝජනය නොකරන අතර වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු තෙල් සහ මේද, රසකැවිලි අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය කරති. සම්මත පවුලක් සතියක් තුළදී ආහාර රාත්තල් 106.06ක් පරිභෝජනය කරන්නේ පහත පරිදිය.

-ධාන්‍ය රාත්තල් 10.58ක්
-එළවළු රාත්තල් 13.31ක්
-පළතුරු රාත්තල් 11.40ක්
-කිරි හා කිරි නිෂ්පාදන රාත්තල් 18.81ක්
-මස් වර්ග හා මාෂභෝග රාත්තල් 13.31ක්
-තෙල් සහ මේද, රසකැවිලි හා වෙනත් ආහාර රාත්තල් 38.65ක්

මීට අමතරව මේ එක් එක් ප්‍රවර්ගය ඇතුළත ඇති අයිතමයන් අතරින්ද රජය විසින් සහනාධාරලාභීන් පරිභෝජනය කරනු ඇතැයි අපේක්ෂා කරන දේ සහ ඇත්තටම ඔවුන්  පරිභෝජනය කරන දේ අතර විශාල වෙනස්කම් තිබේ.

කිසියම් පවුලකට මාසිකව ලැබෙන ආහාර සහනාධාර මුදල තීරණය කරන්නේ පහත පරිදිය. පළමුව, පවුලේ සියළු දෙනාගේම මුදල් ආදායම් ගණනය කර නිවාස කුලී හෝ බැංකු ණය වාරික, විදුලි බිල් හා ජල බිල් වැනි මාසික බිල්පත් ගාස්තු ආදිය එම ආදායමෙන් අඩු කෙරේ. එවිට, ඉතිරි වන මුදලින් තුනෙන් එකක් ආහාර සඳහා වියදම් කිරීමේ හැකියාව පවුලකට ඇතැයි සලකා, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉහත මුදල එසේ අත ඉතිරි නොවන බව පෙනේනම්, ඉතිරි මුදල ආහාර සහනාධාරයක් ලෙස ලබා දේ.

මේ ආහාර සහනාධාරයට අමතරව ගර්භණී මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට හා වයස අවුරුදු 5 නොඉක්මවූ දරුවන්ට ඔවුන්ගේ වයස් සීමාවන් අනුව පෝෂ්‍යදායී ආහාර සලාකයක් වෙනම ලැබේ. එයට කිරි, චීස්, ළදරු ආහාර හා කිරිපිටි, සෝයා නිෂ්පාදන, සීරියල්, ටින් මාළු, බිත්තර, යෝගට්, එළවළු හා පළතුරු, පළතුරු යුෂ, පාන් හෝ හාල්, පරිප්පු හෝ කවුපී, යෝගට් හා රටකජු බටර් ආදිය ඇතුළත්ය. අඩුආදායම්ලාභී පාසැල් දරුවන්ට නොමිලේ දිවා ආහාරද ලැබේ.

රටේ සියල්ලන්ටම ප්‍රමාණවත් හා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම ලේ හලන විප්ලව කර ළඟා කරගත යුතු ඉලක්කයක් නොවේ. ඇමරිකාවේ අඩුආදායම්ලාභීන්ට ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ සමස්තයක් ලෙස රටේ සියල්ලන්ගේ ආහාර අවශ්‍යතා ඉක්මවන තරමේ ආහාර නිෂ්පාදනයක් රට තුළ සිදුවන බැවිනි. මේ බොහෝ ආහාර වර්ග තාක්ෂනය යොදාගනිමින් මහා පරිමාණයෙන් වගා කෙරේ. ඒ ලාභ පිණිස කෘෂිකර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් විසින් මිස ලාභ නොසොයන සමූහගොවිපොළ හිමිකරුවන් විසින් නොවේ. ඔවුන්ට තමන්ගේ ලාභ වැඩි කරගත හැක්කේ හැකිතාක් අඩු වියදමකින් වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම මඟිනි. මේ ඉලක්කය කරා ඔවුන් වැඩි වැඩියෙන් ගමන් කරද්දී ආහාර නිෂ්පාදනය ඉහළ ගොස් ආහාර මිල අඩු වේ.

ඇමරිකානුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු ආහාර සහනාධාරය ලබයි. ඔවුන්ට ආහාර සහනාධාරය නොලැබුණානම් රටේ සමස්ත ආහාර ඉල්ලුම දැන් පවතින මට්ටමට වඩා අඩු විය හැකිව තිබුණේය. එසේනම්, ආහාර මිල දී ගැනෙන්නේ දැනට වඩා අඩුවෙන් නිසා නිෂ්පාදනය වන්නේද දැනට වඩා අඩු ප්‍රමාණයකි. ආහාර සහනාධාර නිසා ආහාර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර මිල අඩු වී තිබේ. ආහාර සහනාධාර මුදල වැය කර වෙනත් දේ මිල දී ගත නොහැකි නිසා අවශ්‍ය පමණට ආහාර මිල දී ගැනීමෙන් පසු මෙම සහනාධාර ගිණුමේ ඉතිරි වන මුදලක ආවස්ථික පිරිවැයක් නැත. මෙය ආහාර නාස්තියටද හේතුවේ.

ආහාර සහනාධාරය නොතිබුණානම් රටේ ආර්ථික අවපාතයක් ඇති වී බොහෝ දෙනෙකුගේ ආදායම් අඩුවන විට ආහාර සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස අඩු වේ. එහෙත්, ආහාර සැපයුම ක්ෂණිකවම අඩු වන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ ආහාර මිල විශාල ලෙස පහත වැටීමයි. මෙය ආදායම් අඩු වෙද්දී අඩුආදායම්ලාභීන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන ස්වභාවික යාන්ත්‍රණයයි.

මේ අයුරින්ම රටේ වැඩි දෙනෙකුගේ ආදායම් තාවකාලිකව ඉහළ ගොස් ආහාර ඉල්ලුම ඉහළ යනවිට, නිෂ්පාදනය සමානුරූපී ලෙස වැඩි නොවන නිසා ආහාර මිල විශාල ලෙස ඉහළ යයි. ඒ නිසා, ආදායම් ඉහළ ගිය පමණින් බොහෝ දෙනෙකුට ආහාර පරිභෝජනය වැඩි කරන්නට ලැබෙන්නේ නැත. මෙවැනි අවස්ථාවක නිෂ්පාදකයින් විසින් මිල ඉහළ දමා පාරිභෝගික අතිරික්තය "සූරා ගන්නා බව" යම් අයෙකුට පෙනෙන්නට පුළුවන. නමුත්, ඇත්තටම සිදුවන්නේ එවැන්නක් නොවේ. යම් හෙයකින් නිෂ්පාදකයින් විසින් මිල වැඩි නොකළහොත් සිදුවන්නේ මිල අඩු වුවත් මිල දී ගන්නට ආහාර නැති වීම නිසා පෝලිම් ඇතිවීම පමණි.

ආහාර මිල ස්ථාවරව තබා ගැනීමටනම් ආහාර සඳහා ඇති ඉල්ලුම මෙන්ම සැපයුමද ස්ථාවරව තිබිය යුතුය. ඇමරිකාවේ ආහාර සහනාධාර නිසා සිදුවන එක් යහපත් දෙයක් වන්නේ රටේ ආහාර මිල ස්ථාවරව පැවතීමයි.

ආර්ථික අවපාතයක් ඇතිවී බොහෝ දෙනෙකුට රැකියා අහිමි වන විට ආහාර සහනාධාර ලබන පිරිස් වැඩි වේ. මේ අයුරින්ම ආර්ථිකය වඩා වේගයෙන් වර්ධනය වී විරැකියාව අඩුවන විට ආහාර සහනාධාර ලබන ගණන අඩු වේ. ඒ නිසා ආර්ථිකයේ උච්ඡාවචනයන්ට අනුරූපව සමස්ත ආහාර ඉල්ලුම විශාල ලෙස වෙනස් නොවේ. ඒ නිසා, සැපයුම වෙනස් නොවුවහොත් මිලද ස්ථාවරව පවතී.

ධනවාදී ආර්ථිකයක මිල යනු නිෂ්පාදකයින්ට ලබා දෙන ස්වභාවික සංඥාවකි. මිල අඩු වන විට නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් ඈත් වෙති. මිල ඉහළ යන විට කර්මාන්තය වෙත ඇදී එති. කෘෂිකර්මාන්තය වැනි ස්වභාවික සම්පත් මත පදනම් වූ කර්මාන්තයකින් නිෂ්පාදකයින් ඉවත් වන නිෂ්පාදනය සඳහා යොදාගත් සම්පත් අපතේ යාමක් සිදුවන්නට වැඩි ඉඩක් තිබේ. මේ සම්පත් යම් හෙයකින් වෙනත් ආර්ථික කටයුත්තක් වෙනුවෙන් යොදා ගතහොත්, නැවත කර්මාන්තයට පිවිසෙන්නෙකුට සම්පත් හිඟයකට මුහුණ පාන්නට සිදු විය හැකිය. මිල යාන්ත්‍රණයට මෙවැනි ප්‍රශ්න වලටද ස්වභාවික විසඳුම් ලබා දෙන්නට බැරි නැතත්, ආහාර මිලේ හා සැපයුමේ වෙනස්වීම් වලට බොහෝ දෙනෙක් සංවේදී වන අතර වෙනත් භාණ්ඩ හා සේවා වලට වඩා වැඩියෙන් ආහාර ද්‍රව්‍ය වල මිල ස්ථාවරත්වය ප්‍රිය කරති.

ආහාර සහනාධාර වල ප්‍රතිඵලයක් ලෙස ආහාර ඉල්ලුම දිගුකාලීනව ස්ථාවරව තිබෙන නිසා නිෂ්පාදකයින්ට මිල වෙනස්වීම් වලට ප්‍රතිචාර දක්වමින් නොසිට දිගින් දිගටම නිෂ්පාදනයේ යෙදීමට අවකාශ සැලසෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාලගුණ වෙනස්වීම් වැනි සාධක නිසා නොවේනම් දිගුකාලීනව ආහාර සැපයුමද ස්ථාවර වේ. මෙසේ තමන් මුහුණ දෙන අවිනිශ්චිතතාවයන් අඩු වීම ආහාර සහනාධාර නිසා නිෂ්පාදකයින්ට ලැබෙන වක්‍ර වාසියකි. ඉල්ලුම හා සැපයුම දෙකම වඩා ස්ථාවර වෙද්දී ආහාර මිලද ස්ථාවරව පවතී. ප්‍රධානම හේතුව නොවූවත්, හැටේ දශකයේ ආහාර සහනාධාර හඳුන්වාදීමෙන් පසු ඇමරිකාවේ ආහාර උද්ධමනය ඉන් පෙර යුගයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ස්ථාවර වී තිබේ.

(Image: http://homespunoasis.com/thrifty-food-plan-shopping-results-week-2/)

Saturday, November 18, 2017

ලංකාවේ දුප්පත්තු සහ ඇමරිකාවේ දුප්පත්තු


ටික දවසකට පෙර ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබුණු 2016 ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන ප්‍රතිශතය 4.1% දක්වා අඩු වී තිබේ. සංඛ්‍යාත්මක ලෙස මේ ප්‍රමාණය 843,913 කි. වසර 20කට පෙර ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළුණු ජන ප්‍රතිශතය 28.8%ක් වූ අතර එම මට්ටමට සාපේක්ෂව වත්මන් තත්ත්වය ඉතා හොඳ මට්ටමකි. මෙයින් පෙනෙන්නේ රටේ ජාතික ආදායම වැඩි වෙද්දී එහි ප්‍රතිඵල ක්‍රමයෙන් අඩු ආදායම්ලාභී ස්ථර වෙතද ගලා එන ආකාරයයි.

පසුගිය 2016 වසරේදී ඇමරිකාවේ දරිද්‍රතාවයෙන් පෙළුණු ජන ප්‍රතිශතය 12.7%ක් විය. පසුගිය වසර පණහක පමණ කාලය තුළ මේ ප්‍රතිශතය විශාල ලෙස වෙනස් වී නැත. සංඛ්‍යාත්මක ලෙස මේ ප්‍රමාණය මිලියන 40.6 කි. ලංකාවේ මුළු ජනගහණය මෙන් ආසන්න වශයෙන් දෙගුණයකි.

එසේනම්, ඇමරිකාවේ දිළිඳුකම ලංකාවේ දිළිඳුකමට වඩා අතිශයින්ම වැඩිද?

ඇතැම් අය හිතාගෙන ඉන්නේ ඇමරිකාවේ සල්ලි තියෙන අයට පීනනන්ට සල්ලි තියෙද්දී සල්ලි නැති විශාල පිරිසක් මූලික පහසුකම් පවා නැතිව දුක් විඳිමින් සිටින බවයි.

දිළිඳුකම පිළිබඳ සංඛ්‍යාලේඛණ සංසන්දනය කරද්දී එය ඉතා සැලකිල්ලෙන් කළ යුතුය. කිසියම් රටක දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස් හඳුනාගැනීම සඳහා යොදාගන්නා සම්මත ආදායම් මට්ටමක් තිබේ. මෙය රටින් රටට වෙනස් වේ. කිසියම් රටක් ගත්තද එය වසරින් වසර වෙනස් වේ.

ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින් ගණන හඳුනා ගැනීම සඳහා මේ අයුරින් යොදාගන්නා සම්මත ආදායම් මට්ටම ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් මාසයකට වරක්  යාවත්කාලීන කරයි. 2017 අගෝස්තු මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා මට්ටම ලෙස සැලකුණේ මසක ආදායම රුපියල් 4475 ඉක්මවන්නේද යන්නයි. මොනරාගල දිස්ත්‍රික්කය සඳහා යොදාගත් ආදායම් මට්ටම රුපියල් 3912ක් විය. ලංකාවම පොදුවේ ගත් විට රුපියල් 4305ක් විය.

ඇමරිකාවේ මේ අයුරින් දරිද්‍රතාවයෙන් පෙළෙන අය හඳුනා ගැනීම සඳහා යොදාගන්නා ආදායම් මට්ටමද ප්‍රාන්ත, නගර ආදිය සඳහා වෙන වෙනම ගණනය කරන අතර විවිධ නිල කටයුතු සඳහා මහාද්වීපික ඇමරිකාව සඳහා (හවායි හා ඇලස්කා හැර ඉතිරි ප්‍රාන්ත) පොදුවේ යොදාගන්නා මට්ටමක්ද තිබේ. මෙය ගණනය කරන්නේ ලංකාවේ මෙන් පුද්ගලයෙකු පදනම් කරගෙන නොව පවුලක් පදනම් කර ගනිමිනි. 2017 වසර සඳහා තනි පුද්ගල පවුලක දරිද්‍රතා සීමාව වසරකට ඩොලර් 12,060ක්ද, ද්විපුද්ගල පවුලකට ඩොලර් 16,240ක්ද, ත්‍රිපුද්ගල පවුලකට ඩොලර් 20,420ක්ද, සිවුපුද්ගල පවුලකට ඩොලර් 24,600ක්ද විය.

ඇමරිකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් ලෙස හඳුනා ගැනෙන්නේ වාර්ෂිකව ඉහත ආදායම් මට්ටම් නූපයන පවුල් වල සාමාජිකයින්ය. සාමාන්‍ය ඇමරිකානු පවුලක සාමාජිකයින් ගණන 2.58ක් පමණ වුවත් ලංකාවේ ඒ ගණන 4කට ආසන්න නිසා සැසඳීමක් කිරීමට ඩොලර් 24,600 මට්ටම යොදාගත්තොත් මෙය ඩොලර් 2,050ක මාසික ආදායමකි. එනම් රුපියල් 314,716ක පමණ මාසික ආදායමකි. මේ ආදායම් මට්ටම සැලකුවහොත් ලංකාවේ 95%ක් පමණම දිළින්දන් ලෙස සැලකිය හැකිය.

ධනවාදී රටක් වුවත් ඇමරිකාවේ අඩුආදායම්ලාභීන් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වේ. ඒ අතර නොමිලේ හෝ සහන මිලකට ලැබෙන ආහාර, සෞඛ්‍ය පහසුකම්, නිවාස, දුරකථන, පෙර පාසැල් අධ්‍යාපනය, දිවාසුරැකුම් පහසුකම් ආදිය ඇතුළත්ය. මෙවැනි පහසුකම් ලබාදීමේදී සාමාන්‍යයෙන් පදනම් කරගන්නේ ඉහත කී දරිද්‍රතා ආදායම් මට්ටමයි.

ආහාර සහනාධාරය සැලකුවොත්, දරිද්‍රතා ආදායම් සීමාව මෙන් 130%ක් නොඉක්මවන පවුල් වලට ෆෙඩරල් ආහාර සහනාධාර ලැබේ. මේ මට්ටමට අහු නොවන පවුල් වලටද ඇතැම් ප්‍රාන්ත රජයන් විසින් ආහාර සහනාධාර ලබා දේ. උදාහරණයක් වශයෙන් වොෂින්ටන් ප්‍රාන්තයේ දරිද්‍රතා ආදායම් සීමාව මෙන් 200%ක් නොඉක්මවන පවුල් වලට ආහාර සහනාධාරය ලබාගත හැකිය. සිවු දෙනෙකු සිටින පවුලකට මේ සීමාව මසකට ඩොලර් 4100කි. මෙය සැලකිය යුතු තරම් ඉහළ ආදායම් මට්ටමකි. සෞඛ්‍ය සහනාධාරය වැනි වෙනත් සහනාධාර හා අදාළවද ඇත්තේ මෙවැනිම තත්ත්වයකි.

පසුගිය අගෝස්තු මාසයේදී ෆෙඩරල් ආහාර සහනාධාරය ලබා ගත් ඇමරිකානුවන් ගණන මිලියන 41.3කි. තවත් ඇමරිකානුවන් හා ඇමරිකාවේ සිටින විදේශිකයින් විශාල පිරිසක් ප්‍රාන්ත රජයන්ගේ අරමුදල් වලින් ආහාර සහනාධාරය ලබාගන්නට ඇත. ආහාර සහනාධාරය වෙනුවෙන් ඇමරිකන් ෆෙඩරල් රජය විසින් පමණක් ඩොලර් බිලියන 70ක පමණ මුදලක් වාර්ෂිකව වැය කරයි. කුඩා දරුවන්, ගර්භණී මවුවරුන් වැනි වෙනත් විශේෂිත කණ්ඩායම් ඉලක්ක කරගත් ආහාර සහනාධාර වැඩ සටහන් ආදිය සඳහා වැය කරන මුදල්ද එකතු කළ විට ඇමරිකාවේ ආහාර සහනාධාර වෙනුවෙන් වාර්ෂිකව වැය කරන බදු මුදල් ප්‍රමාණය ලංකාව හෝ හෝ කියුබාව වැනි රටක සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න වශයෙන් සමානය.

ත්‍රිපුද්ගල පවුලකට ඩොලර් 511 ක් පමණ දක්වා මුදලක්ද, සිවු පුද්ගල පවුලකට ඩොලර් 649 ක් පමණ දක්වා මුදලක්ද මාසිකව ආහාර සහනාධාර ලෙස ලබාගත හැකිය. මේ සහනාධාරය ලබාගැනීම සඳහා ඩෙබිට් කාඩ්පතක්‌ ලබා දෙන අතර මාස්පතා සහනාධාර මුදල ගිණුමට ස්වයංක්‍රීය ලෙස බැර කෙරේ. සුපිරි වෙළඳසැල් ආදියේදී මේ කාඩ්පත වෙනත් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මෙන් භාවිතා කළ හැකිය. එහෙත්, එයින් මිලදී ගත හැක්කේ ආහාර ද්‍රව්‍ය පමණි. මත්පැන්, දුම්වැටි ආදිය හෝ ආහාර නොවන වෙනත් දේ එම කාඩ්පතෙන් (සාමාන්‍යයෙන්) මිල දී ගත නොහැකිය. මේ ආහාර සහනාධාරය ඇමරිකාවේදී වුවද සැලකිය යුතු මුදලකි. සහනාධාර කාඩ්පතකින් ගෙවීම් කරන විට බදු මුදල් බිල් පතෙන් ඉවත් වීම නිසා ගෙවන්නට වෙන්නේද වෙනත් අය ගෙවනවාට වඩා අඩු මුදලකි.

ඇමරිකාවේ අඩුආදායම්ලාභී පවුල්වලට ලබාදෙන ඉහත ආහාර සහනාධාරය හැරුණු විට වයස අවුරුදු පහට අඩු දරුවන්ට හා ගර්භණී මවුවරුන්ට කිරි, බිත්තර, ධාන්‍ය ආදී නිශ්චිත ආහාර ද්‍රව්‍ය ගණනාවක් ලබාදෙන වෙනත් වැඩසටහනක්ද තිබේ. ඇමරිකාවේ ආහාර බැංකු ඉදිරිපිට දිගු පෝලිම් දකින්නට නැත්තේ ආහාර අවශ්‍ය බොහෝ දෙනෙකුට මෙවැනි සහනාධාර ලැබෙන බැවිනි.

ඇමරිකාවේ ධනය උපයන්නන් විසින් ගෙවන බදු මුදල් යොදවා ලබා දෙන නිර්ලෝභී ආහාර සහනාධාර නිසා අඩුආදායම්ලාභී පවුල් වල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුව විසඳෙන නමුත් එහි අහිතකර ප්‍රතිඵලද තිබේ. අඩුආදායම්ලාභීන්ගේ ස්ථුලතාවය හා වෙනත් බෝ නොවන රෝග විශාල ලෙස ඉහළ යාම, ආහාර නාස්තිය ඉහළ යාම හා රැකියා නොකර සිටින්නට පෙළඹීම එයින් කිහිපයකි.

Thursday, November 16, 2017

ආහාර නාස්තිය අඩුකර කුසගිණි නිවිය හැකිද?



දිවා ආහාරය ගන්නා වෙලාවට මා සිටින්නේ සේවා ආයතනයේනම් මට ඒ සඳහා යා හැකි තැන් කිහිපයක් තිබේ. මේ එක් තැනක් අපේ ආයතනයෙන්ම නඩත්තු කෙරෙන, බුෆේ ක්‍රමයට ආහාර ලබා ගත හැකි තැනකි. ආහාර ගෙන අවසන් වීමෙන් පසු පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු ආදිය කැරකෙන රාක්කයක තැබීම සඳහා කවුළුවක් පැත්තක තිබේ. එතැනින් ඒවා දීසි හෝදන යන්ත්‍රයකට යනවා විය යුතුය. එසේනම් ඊට පෙර පිඟන් වල ඇති ඉතිරි වූ ආහාර ඉවත් කෙරෙන ක්‍රමයක්ද තිබෙනවා විය යුතුය. මේ කටයුත්ත මුළුමනින්ම ස්වයංක්‍රීයව සිදු නොවනවා වන්නටද පුළුවන.

පසුගිය සතියේ දිනෙක දිවා ආහාරය ගෙන පිඟන් ආදී අඩුම කුඩුම ටික මේ රාක්කයේ තබන්නට යන විට දකින්නට ලැබුණේ අතරමඟ මේසයක් තබාගෙන ඉඳුල් පිඟන් කෝප්ප එකතු කරමින් සිටි දෙතුන් දෙනෙකි. මේ අය රාක්කයේ තබන්නට පෙර කෑම ගෙන අවසන් වූ පිඟන් ඉල්ලාගෙන ඒවායේ වූ ඉතිරි කෑම භාජනයකට එකතු කරමින් සිටියහ. ඒ පොලිස් කොත්තු හදන්නට නොවේ. ආහාර නාස්තිය පිළිබඳ සමීක්ෂණයක කොටසක් වශයෙනි. ඔවුහු මෙසේ එකතු කරගත් ආහාර කැබලි කිරා බලමින් අතේ වූ ඉලෙක්ට්‍රොනික උපකරණයක් මඟින් පැත්තක වූ ඉලෙක්ට්‍රොනික පුවරුවක එදින ඒ වන විට ඉවත දමා තිබුණු ආහාර රාත්තල් ගණන යාවත්කාලීන කරමින් සිටියහ.

සතිය පුරාම මේ කටයුත්ත මෙසේ සිදු වූ අතර නාස්ති වන ආහාර ප්‍රමාණය ඉලෙක්ට්‍රොනික තිරයෙහි දකින්නට ලැබෙන විට බොහෝ දෙනෙකුට අවශ්‍ය පමණට වඩා ආහාර බෙදා නොගන්නට පෙළඹීමක් ඇති වූවා නිසැකය. (ඉකොනොමැට්ටානම් කොහොමටත් පිඟානේ ඇති කරපිංචා කොළයක්වත් ලේසියකට ඉතිරි කරන්නේ නැත.)

ඇමරිකාවේ ඉතා විශාල ආහාර නාස්තියක් සිදු වේ. 2010 වසරේ ඇස්තමේන්තු අනුව වසර තුළ එක් අයෙකු විසින් නාස්ති කර ඇති ආහාර ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් රාත්තල් 218.9කි. රාත්තල් බිලියන 133ක් වන මේ ආහාර ප්‍රමාණයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 161.6ක් වන අතර නිෂ්පාදනය කරන මුළු ආහාර ප්‍රමාණයෙන් 31%කි. 2030 වසර වන විට මෙසේ නාස්ති වන ආහාර ප්‍රමාණය 50%කින් අඩු කර ගැනීම ඇමරිකාවේ ජාතික ඉලක්කයකි.

ලංකාව ඇතුළු ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල පමණක් නොව ඇමරිකාවේද ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්න ඇති විශාල පිරිසක් ජීවත් වෙති. ආහාර ප්‍රශ්නය අපේ කාලයේදී හෝ ඊට පෙර ලංකාවේ ඉපදුණු බොහෝ දෙනෙකුට නොතේරෙන දෙයක් නොවූවත්, අපේ දරුවන්ට මෙහි බරක් පතලක් හරියටම නොතේරේ. ඒ නිසා, ආහාර පරිභෝජනය නොකර ඉවත දමන විට අපට දැනෙන වරදකාරී හැඟීම ඔවුන්ට නොදැනේ. ඇමරිකාවේ බොහෝ දෙනෙකුගේ තත්ත්වයද එසේම වන්නට පුළුවන.

ඇතැම් අය කියන්නේ මේ ආහාර නාස්තියට හේතුව ඇමරිකානු රජය විසින් බදු මුදල් යොදවමින් ආහාර නිෂ්පාදනය සුබ සාධනය කිරීම හා ඒ හේතුවෙන් මිල නියම මට්ටමට වඩා අඩුවෙන් පැවතීම බවයි. එහෙත්, ඒ තර්කය නිවැරදියැයි මා සිතන්නේ නැත.

ඇමරිකාවේ වසරකට ඩොලර් බිලියන 25ක පමණ මුදලක් කෘෂිකාර්මික නිෂ්පාදන සුබසාධනය පිණිස වැය කරන නමුත් ඒ මුදල් මුළුමනින්ම වාගේ වැය කෙරෙන්නේ මහා පරිමාණයෙන් වගා කෙරෙන ඉරිඟු, තිරිඟු, සෝයා බෝංචි, හාල් සහ කපු වෙනුවෙනි. එහෙත්, නාස්ති වන ආහාර වැඩි ප්‍රමාණයක් මේවා නොවේ. එමෙන්ම, මේ අරමුදල් බොහෝ විට වැය කෙරෙන්නේද මිල ස්ථාවරව තබා ගැනීමේ අරමුණින් මිස මිල අඩු කිරීමේ අරමුණින් නොවේ.

පාරිභෝගිකයින් විසින් මිල දී ගැනීමෙන් පසු ආහාර නාස්ති කිරීමට මනෝවිද්‍යාත්මක සාධකයක්ද හේතු වේ. ආහාර හිඟයක් යනු ඕනෑම මිනිසෙකුට විශාල ලෙස බිය ගෙන දෙන කරුණකි. එයට පරිණාමික හේතු තිබේ. ඒ නිසා, යම් ප්‍රමාණයක් ඉවත දමන්නට සිදු වුවත්, ආහාර ප්‍රමාණවත් නොවීමේ අවදානම ගැන සිතමින් යටි හිතේ ඇති ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පරිණාමික බිය පහවන තුරු ආහාර තමා සතුව තබා ගන්නට බොහෝ මිනිස්සු පෙළඹෙති.

මෙහි ප්‍රතිඵලය වන්නේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර තමන් සන්තකයේ තබා ගැනීමට පෙළඹීමක් ඇති වීම හා ඒ හේතුවෙන් ආහාර සඳහා පරිභෝජන අවශ්‍යතාවය ඉක්මවන ඉල්ලුමක් ඇති වීමයි. ඒ ඉල්ලුම සැපයෙන තරමට ආහාර නිෂ්පාදනය වන අතර මේ නිසා ආහාර නාස්තියේ අවසාන ප්‍රතිඵලය වන්නේ පරිභෝජනයට අවශ්‍ය පමණට වඩා ආහාර නිෂ්පාදනය වීමයි. එය ආහාර මිල අඩු වීමටද හේතු වනවා වන්නට පුළුවන.

ලෝකය පුරා සාගින්නෙන් පෙළෙන විශාල පිරිසක් සිටිති. කුසට අහරක් නැතිව හාමතේ මියයන අය මෙන්ම පවුල් පිටින් සිය දිවි නසා ගන්නා අවස්ථාද තිබේ. මෙය ප්‍රශ්නයකි.

ලෝකය පුරා විශාල පිරිසක් මෙසේ සාගින්නෙන් පෙළෙද්දී තවත් විශාල පිරිසක් ආහාර නාස්ති කරති. මෙයද ප්‍රශ්නයකි.

කෙසේවුවත්, පිරිසක් විසින් ආහාර නාස්ති කිරීම හා තවත් පිරිසක් සාගින්නෙන් පෙළීම වෙනස් ප්‍රශ්න දෙකක් මිස එකම ප්‍රශ්නයේම කොන් දෙකක් නොවේ. වෙනත් අයුරකින් කියනවානම්, ඉහත විස්තර කළ ආහාර නාස්තිය අඩු කළා කියා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දී සිටින අයට යහපතක් සැළසෙන්නේ නැත.

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් මෑතකදී සිදුකළ කියුබානු සංචාරයක් අළලා ඔහු විසින් ලියා ඇති ලිපියක කොටසක් මෙසේය

"සංචාරකයන්ට හෝටල් වල ආහාර හිඟයක් නැත​. එහෙත් අප හෝටල් වලදී   සොසේජස්, කුකුල් මස්, හරක් මස්, රිබ්ස්, චීස්, යන ආහාර යහමින් කන විට කියුබානු වේටර් වරුන් සහ වේටර්වරියන් ගේ වේදනාකාරී දෙනෙත් මා දුටුවෙමි. තවද ආහාර බොහෝ සෙයින් බෙදා ගෙන නොකා ඉවත දමන සංචාරකයන් පොදුවේ කරන්නේ අපරාධයක් බව මා පසක් කලෙමි. මේ සංචාරකයන් ඉවත දමන බිත්තර , මස් හෝ සොසේජස් පවුලක සතියක සලාකය බව ඔවුන් නොදනිති. මා සමග කතා කල එක් වේටර්වරියක් පැවසුවේ ඇය ජීවත් වන්නේ පස් හැවිරිදි පුතා සහ වියපත් වූ මව සමග බවයි. මවට විශ්‍රාම වැටුපක් ලැබේ. එහෙත් සලාකයට ලැබෙන ආහාර පවුලේ යැපීමට ප්‍රමාණවත් නැත​. මේ නිසා ඇය අසීරුවෙන් හෝ මුදල් සොයාගෙන කළු කඩයෙන් හාල් සහ මස් මිලදී ගෙන ළමයාගේ කුසගිනි නිවන්නීය​."

රුවන්ට මෙන්ම බොහෝ දෙනෙකුට එකවරම දැනෙන්නේ කුස නොපිරුණු කියුබානු වේටර්වරුන් සහ වේටර්වරියන් වේදනාකාරී දෙනෙතින් බලා සිටිද්දී, ආහාර බොහෝ සෙයින් බෙදාගෙන නොකා ඉවත දමන සංචාරකයන් විසින් පොදුවේ කරන්නේ අපරාධයක් බවයි. එහෙත්, ඇත්ත තත්ත්වය එහි අනිත් පැත්තයි. සංචාරකයින් තමන්ට කන්නට හැකි තරම් පමණක් ආහාර බෙදාගෙන ඉතිරිය හෝටලයේ ඉතිරි කළා කියා මේ වේටර්වරුන්ගේ හා වේටර්වරියන්ගේ කුසවල් පිරෙන්නේ නැත. එහෙත්, මේ සංචාරකයින් විසින් ආහාර මිල දී ගෙන නාස්ති කර දමන හැම විටකම හෝටලයේ ආදායම හා ලාභ වැඩි වේ. කියුබාවට විදේශ විණිමය ලැබේ. කියුබානු වේටර්වරුන් සහ වේටර්වරියන්ගේ රැකියා සුරක්ෂිතතාවය හා ඒ හරහා ලැබෙන ආහාර සුරක්ෂිතතාවය ඉහළ ගොස් ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත් වේ.

මේ අයුරින්ම මුදල් ගෙවා ආහාර මිල දී ගැනීමෙන් පසු එම ආහාර වලින් කොටසක් කුණු බක්කියට දමන ඇමරිකානුවෙක් ඒ ආහාර වල නිෂ්පාදන පිරිවැය හා සැපයුම් දාමයේ සිටින විවිධ පුද්ගලයින්ගේ හෝ ආයතන වල ලාභ වෙනුවෙන් මුදල් ගෙවා අවසන්ය. ඒ නිසා ආහාර පරිභෝජනය කළත්, නාස්ති කළත් වෙනත් අයෙකුට පාඩුවක් සිදු නොවේ. මෙවැනි පාරිභෝගිකයින් විසින් පරිභෝජනය නොකර ඉවත දමන ආහාර වෙනුවෙන් වැය කරන මුදල යනු අවශ්‍ය වූ විට අවශ්‍ය ආහාර ළඟ නොතිබීම නිසා දැනෙන ආහාර සුරක්ෂිතතා අවදානම අඩු කර ගැනීම වෙනුවෙන් ගෙවන මිලකි.

මේ අයුරින්ම, සැපයුම් දාමයේ අවසන් අදියර වන පාරිභෝගිකයින් වෙත පැමිණෙන්නට පෙර සිල්ලර වෙළදසැල් වලදීද ආහාර නාස්ති වේ. එසේ වන්නේ සිල්ලර වෙළඳසැල් වල සාමාන්‍ය ඉල්ලුමට වඩා තොග ගොඩ ගසාගෙන සිටින බැවිනි. සිල්ලර වෙළඳසැල් හිමියන් එසේ කරන්නේ ආහාර මිල දී ගන්නට පාරිභෝගිකයෙකු පැමිණි විට වෙළඳසැලේ භාණ්ඩ නැති වීමේ අවදානම අවම කිරීමටය. අවශ්‍ය ප්‍රමාණයට පමණක් තොග තබා ගත් විට සිදුවන්නේ ඉල්ලුම සුළුවෙන් හෝ වැඩි වූ විට වෙළඳසැලෙහි භාණ්ඩ හිඟයක් ඇති වීමයි. එවැනි වෙළඳසැලක් පාරිභෝගිකයින්ට ආකර්ෂණීය තැනක් නොවේ. පාරිභෝගිකයින්ට අවශ්‍ය වන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ද්‍රව්‍යය මිලදී ගත හැකි තැනකි.

පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමට යාමේදී සිල්ලර වෙළඳසැලකට සාමාන්‍ය ඉල්ලුමට වඩා තරමක් වැඩියෙන් භාණ්ඩ ගබඩා කරන්නට සිදුවන අතර මේ භාණ්ඩ වලින් කොටසක් විකුණන්නට පෙර කල් ඉකුත් වේ. එසේ නාස්ති වන භාණ්ඩ වල මිලද වක්‍ර ලෙස ගෙවන්නේ පාරිභෝගිකයින් විසිනි. එය ඔවුන් විසින් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙය මිල දී ගන්නට තිබීම සහතික කර ගැනීම සඳහා ගෙවන මිලකි.

සිල්ලර වෙළඳසැල් වලදී හා මිලදී ගැනීමෙන් පසු නිවසේදී නාස්ති වන ආහාර සඳහාද පරිභෝගිකයින් විසින් සෘජුව හෝ වක්‍රව මුදල් ගෙවන බැවින් එම ආහාර පරිභෝජනය කළද නොකළද සිදුවන්නේ සමස්ත ඉල්ලුම ඉහළ යාම නිසා නිෂ්පාදනයද ඉහළ යාමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිල වෙනස් වන්නේ කෙසේද යන්න තීරණය වන්නේ යොදාගන්නා නිෂ්පාදන තාක්ෂනය මතය. ආහාර නිෂ්පාදනය සඳහා යොදාගන්නා මූලික සම්පත් එතරම්ම සීමාකාරී නොවන ඇමරිකාව වැනි රටක නිෂ්පාදන පරිමාව ඉහළ යන විට නිෂ්පාදන ඒකකයක් සඳහා පිරිවැය පහළ යාමට විශාල ඉඩකඩක් තිබේ. ඒ නිසා, නාස්ති කරන්නට ආහාර මිල දී ගැනීමේ ශුද්ධ ප්‍රතිඵලය මිල අඩුවීම විය හැකිය. ඒ නැතත්, නාස්ති කරන ආහාර වෙනුවෙන් ගෙවන මුදල් තවත් බොහෝ දෙනෙකුගේ ආදායමක් වන නිසා එයින් විශාල පිරිසකගේ කුසගිණි නිවන්නට උදවුවක් වනවා විය හැකිය. එහෙත්, මේ ආහාර නාස්තිය අඩු කිරීමෙන් කාගේවත් කුසවල් පිරෙන්නේ නැත.

කෙසේවුවද, මෙයින් අදහස් කරන්නේ ආහාර නාස්ති කිරීම හොඳ දෙයක් බව හෝ ආහාර සුරක්ෂිතතාවය ප්‍රශ්නයක් නොවන බව නොවේ. මේ දෙක අතර පෙනෙන ආකාරයේ සම්බන්ධයක් නැති බවයි.

ආහාර නාස්ති කිරීමේ ඇති ලොකුම ප්‍රශ්නය කුණු ප්‍රශ්නයයි. මීතොටමුල්ල සිද්ධියෙන් පසුව ඇතැම් අය කිවුවේ "ලංකාවේ මෙහෙම වුනත්, පිටරට වලටනම් කුණු කියන්නේ සම්පතක්" බවයි. එහෙත්, කුණු වලින් වත්පොතේ ඇතැම් අය කියන ආකාරයට ආදායම් ඉපැයිය නොහැකිය. කුණු කියන්නේ කොහොමත් කුණුය.

ප්ලාස්ටික්, ලෝහ, වීදුරු වැනි බොහෝ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළත් තවමත් ඇමරිකාවේ කුණු වලින් විශාල කොටසක් අවසන් වශයෙන් යන්නේ ලෑන්ඩ්ෆිල් සයිට් වලටය. මෙසේ ලෑන්ඩ්ෆිල් සයිට් වල වලලා දමන කුණු වලින් සැලකිය යුතු කොටසක් ඉවත දැමූ ආහාරයි. මේ හේතුවෙන් මෙන්ම විශාල ලෙස ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය නිසාද සැලකිය යුතු තරමේ පාරිසරික ප්‍රශ්න ඇති වේ. ආහාර නාස්තියේ ඇති ලොකුම ප්‍රශ්නය මේ පාරිසරික ප්‍රශ්නයි.

ආහාර නාස්ති වනු දැක බලා සිටින්නට බැරිකම පෞද්ගලිකව මටද තිබෙන ප්‍රශ්නයකි. කුඩා කල සිට රැගෙන ආ මේ පුරුද්දේ ප්‍රතිඵලය වන්නේ කිසියම් ආහාරයකින් සුළු ප්‍රමාණයක් ඉතිරි වී ඇති විට කන්නට ඇත්තටම අවශ්‍ය නැතත්, අහක යන නිසා කා දමන්නට සිතීමයි. එහෙත්, මේ පුරුද්දෙන් නරකක් මිස හොඳක් වන්නේ නැත. එක පැත්තකින් නාස්තිවනවා කියා සිරුරට අවශ්‍ය නොවන කැලරි ප්‍රමාණයක් ඇතුළු කර ගැනීමෙන් සෞඛ්‍යයට නරක බලපෑමක් වේ. අනෙක් පැත්තෙන් මේ අන්තිම ආහාර කොටස කුණු බක්කියට නොදා සිටියා කියා හාමතේ සිටින කිසිවකුට යහපතක් සැලසෙන්නේද නැත. සිදුවන එකම යහපත ලෑන්ඩ්ෆිල් සයිට් එකකට යන කුණු වලින් ටිකක් අඩු වීම පමණි.

සාගින්නෙන් පෙළෙන අය ගැන කණගාටුවක් ඇත්නම් කළ යුත්තේ ආහාර අපතේ යැවීම සීමා කිරීම නොව එවැන්නන් වෙත ආහාර ලැබෙන පරිදි කිසියම් සක්‍රිය මැදිහත්වීමක් කිරීමයි. ඇමරිකාවේ බොහෝ තැන් වල මේ ආකාරයේ ආහාර එකතු කිරීම් සිදු වේ. සුපිරි වෙළඳසැලක එවැන්නක් සිදුවන විට පාරිභෝගිකයෙකුට කිසියම් කල් තබාගත හැකි ආහාර වර්ගයක් හෝ කිහිපයක් තමන්ට අවශ්‍ය අනෙකුත් බඩු සමඟ මිල දී ගෙන පැත්තක තිබෙන පෙට්ටියකට දැමිය හැකිය. එවිට, සුපිරි වෙළඳසැල විසින් මේ ආහාර අවශ්‍ය පුද්ගලයින් වෙත බෙදා හරී. මෙය බොහෝ විට සිදු කරන්නේ ආහාර බැංකුවක් හරහාය. ඇමරිකාවේ බොහෝ ගම් හා නගර වල ක්‍රියාත්මක වන මෙවැනි ආහාර බැංකු පවත්වාගෙන යන්නේ ස්වේචඡා සේවකයින් විසිනි. එවැනි තැනකට යන අයෙකුට අඩුආදායම්ලාභීන්ට රජයෙන් ලබා දෙන ආහාර සලාක ලබා ගන්නා විටකදී මෙන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් හෝ නැත.

(Image: https://followgreenliving.com/food-waste-generation-care/)

Saturday, November 11, 2017

සයිටම් අරගලයේ ශේෂ පත්‍රය


ආණ්ඩුව විසින් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරන බවට වාචික හා ලිඛිත පොරොන්දුවක් දීමෙන් පසුව වසරකට වඩා කාලයක් තිස්සේ ඇදී ගිය සයිටම් විරෝධී සටන අවසන් විය. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි වීම කෙසේ වුවත්, අඩු වශයෙන් ජීවිත හානි නැතිව මේ අරගලය අවසන් වීම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

ජීවිත හානි සිදු නොවූවත් සයිටම් විරෝධී අරගලයේ සමාජයීය හානිය සැලකිය යුතු තරම්ය. මේ හානියෙන් වැඩිම කොටස අනාගත වෛද්‍යවරුන් වන්නට නියමිතව සිටින වෛද්‍ය සිසුන්ටය. සයිටම් අරගලයේ පාර්ශ්වකරුවන්ගේ ශේෂ පත්‍ර ගණනය කළ හැක්කේ මේ හානි ගැනද විමසීමෙන් පසුවය.

සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමට ආණ්ඩුව විසින් ගත් හදිසි හෝ හදිසි ලෙස පෙනෙන්නට සලස්වා ඇති තීරණයත් සමඟ බොහෝ සයිටම් විරෝධීන් මෙන්ම, සයිටම් විරෝධ විරෝධීන්ද කම්පනයට පත්ව ඇති බව පෙනේ. එවැනි බොහෝ දෙනෙකුගේ නිහඬතාවයෙන් පෙනෙන්නේ එයයි. මා මේ කියන්නේ සෘජුවම මේ ප්‍රශ්නයේ පාර්ශ්වකරුවන් වූ, ප්‍රශ්නයේ කේන්ද්‍රයේ සිටි අය ගැන නොව සයිටම් විරෝධී හෝ සයිටම් විරෝධ විරෝධී ස්ථාවරයක සිටිමින් පැත්තකට වී ආතල් එකක් ගත් අය ගැනය. ප්‍රශ්නයේ කේන්ද්‍රයේ සිටි අයට මේ තීරණය එතරම් විශාල කම්පනයක් ඇති නොකළා වන්නටද පුළුවන.

ජවිපෙට, පෙසපෙට මෙන්ම පොදුවේ සරසවි සිසුන්ටද මේ ආකාරයේ අරගල කිරීම පිළිබඳ මනා පළපුරුද්දක් තිබේ. මේ කණ්ඩායම් විසින් කරන අරගල පොදු හෝ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳා ගැනීම වෙනුවෙන් තනි පුද්ගලයෙකු විසින් හෝ කණ්ඩායමක් විසින් අසංවිධානාත්මක ලෙස අරඹන වහලයක් උඩට නැඟ කරන උපවාසයකට හෝ ගව ඝාතනයට එරෙහිව ගිණි තබා ගැනීමක් වැනි හදිසියේ ආරම්භ කරන අසංවිධානාත්මක විරෝධතාවයකට සමාන කළ නොහැකිය.

ජවිපෙ, පෙසපෙ හෝ පොදුවේ සරසවි සිසුන් අසාධාරණයක් වන හැම විටකම විරෝධතා දක්වන්නට යන්නේ නැත. විශේෂයෙන්ම, එවැනි විරෝධතාවකින් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන බව සක්සුදක් සේ පැහැදිලිව ඇති විට මේ කණ්ඩායම් වලට අයත් පිරිස් කළු ගල් වල ඔලුව ගසාගන්නට යන්නේ නැත. ඔවුන් සාමාන්‍යයෙන් මේ ආකාරයේ අරගලයක් ආරම්භ කරන්නේ ඔවුන්ගේ තක්සේරුව අනුව එසේ කිරීමෙන් ප්‍රතිඵලයක් ලබා ගත හැකි බව පෙනෙන්නට ඇති විටය. මෙවැනි තක්සේරුවක් සෑහෙන තරම් නිවැරදිව කරන්නට තරම් පළපුරුද්දක් මේ කණ්ඩායම් තුනටම තිබේ. ඊට අමතරව, ප්‍රසස්ථ අවස්ථාවේදී අරගලයක් නිමා කර එයින් ඉවත් වීමටද ඔවුන් දක්ෂය.

සයිටම් විරෝධීන්ට ඇති එක් විවේචනයක් වන්නේ පසුගිය ආණ්ඩුව කාලයේ ඔවුන් මේ ආකාරයෙන් විරෝධතා නොදැක්වූ බවයි. මෙයට සයිටම් විරෝධීන් අතර සිටි විවිධ අය ලබා දුන් ප්‍රතිචාර සමාන නැතත්, ඔවුන්ගෙන් ඇතැම් අය ලබා දෙන අවංකයයි සැලකිය හැකි ප්‍රතිචාරයක් වන්නේ මෙවැන්නකි.

"ඇත්ත! ඒ වෙලාවේ එහෙම කළා කියල වැඩක් නොවෙන බව අපි දැනගෙන හිටියා. ඒක නිසා තමයි දැන් මේ පුළුවන් වෙලාවෙ වැඩේ කරගන්න බලන්නේ.."

දැඩි ප්‍රතිරෝධයක් දැක්වීමෙන් මේ ආණ්ඩුව ලවා සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරගත හැකි බව අඩු වශයෙන් මේ අරගලයේ අවසන් අදියර වලදී පෙනෙන්නට තිබුණේය. එහෙත්, පැහැදිලි නොවූයේ ඒ සඳහා කොපමණ ප්‍රතිරෝධයක් අවශ්‍යද යන්නයි.

සයිටම් විරෝධී අරගලය ආකාරයේ විරෝධතා ව්‍යපාරයකට එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා සමාජය කම්පනය කරන්නට සිදු වේ. එහෙත්, මෙය එක් වර කළ නොහැකිය. ඒ නිසා, අවශ්‍ය තරමට සමාජය කම්පනය වන තාක් කල් අරගලය ඇදගෙන යන්නට සිදු වේ. ඒ සඳහා අරගලය දිගින් දිගටම පෝෂණය කරන්නට තරම් කැපවීමක් ඇති පිරිසක් අවශ්‍ය වේ. මෙසේ දිගින් දිගටම පෝෂණය නොවන අරගලයක් ක්‍රමයෙන් දියාරු වී යයි.

ජවිපෙ හෝ සරසවි සිසුන් (අන්තරේ) වැනි මේ ආකාරයේ අරගල ගැන වෘත්තීය පළපුරුද්දක් ඇති කණ්ඩායමක් සාමාන්‍යයෙන් අඛණ්ඩ උපවාස වලට මිස මාරාන්තික උපවාස වලට ලේසියකට යන්නේ නැත. එසේ කිරීම ඉල්ලන් කෑමක් බව ඔවුහු හොඳාකාරවම දනිති. මේ කණ්ඩායම් මාරාන්තික උපවාසයක් ගැන හිතන්නේ තමන්ගේ ඉල්ලීම ඉතා ඉක්මණින් ලැබෙන බවට ලොකු විශ්වාසයක් ඇති වූ විටක තීරණ ගන්නා අයට උපරිම පීඩනයක් එල්ල කිරීම සඳහා පමණි.

මාරාන්තික උපවාසයකදී මෙන් නොව අඛණ්ඩ උපවාසයකදී තනි පුද්ගලයෙක් දිගටම ආහාර වර්ජනය කිරීමක් සිදු වන්නේ නැත. මෙහිදී සිදුවන්නේ හොඳින් බඩ පිරෙන්නට ආහාර ගැනීමෙන් පසු කිසියම් උපවාස කරුවෙකු තමන්ගේ උපවාස මුරයේ පැය ගණන අවසන් වන තුරු අට්ටාලයක් මතට වී ආහාර නොගෙන සිටීම පමණි. එවැන්නකුගේ උපවාස මුරය ඇරඹෙන්නට පෙර හා උපවාස මුරය අවසන් කිරීමෙන් පසු ආහාර ගැනීම සඳහා පහසුකම් බොහෝ විට ඉතා සැලකිල්ලෙන් සංවිධානය කෙරේ. ඒ නිසා, අඛණ්ඩ උපවාසයක් වසර ගණනක් වුවද ඇදගෙන යන්නට බැරිකමක් නැත.

මෙයින් අදහස් කරන්නේ අඛණ්ඩ උපවාසයක් කාලයක් තිස්සේ ඇදගෙන යාම පහසු දෙයක් බව නොවේ. පැය හයේ හෝ අටේ උපවාස මුරයකට වුවත් දිගින් දිගටම වාඩි කරවන්නට පිරිස් සොයා ගැනීම පහසු නැත.

අඛණ්ඩ උපවාසයක් හරහා කිසියම් ප්‍රශ්නයක් කෙරෙහි ජනතා අවධානය යොමු කරවා ගත හැකි වුවත් ඉන් ඉදිරියට එයින් ප්‍රයෝජනයක් ගැනීම අසීරුය. සයිටම් ප්‍රශ්නය කෙරෙහි ප්‍රමාණවත් ජනතා අවධානයක් යොමු වී තිබුණු අතර එය අමුතුවෙන් ඉහළ දමන්නට අවශ්‍යව තිබුණේ නැත. සයිටම් විරෝධීන් හමුවේ වූ අභියෝගය ප්‍රශ්නය කෙරෙහි ප්‍රමාණවත් ජනතා අවධානයක් යොමු නොවීම නොව සයිටම් විරෝධී මතවාදයට ජනතාව ප්‍රමාණවත් තරමින් සංවේදී නොවීමය. ප්‍රශ්නය ජනතාවගේ පොදු ප්‍රශ්නයක් බව ඒත්තු ගන්වන්නට සයිටම් විරෝධීන් කෙතරම් උත්සාහ කළත් ඔවුන්ට එය කළ නොහැකි විය. සයිටම් විරෝධයට කිසි විටකත් පුළුල් ජනතා සහයක් ලැබුණේ නැත.

තත්ත්වය මෙසේ තිබියදීත්, සයිටම් විරෝධී ප්‍රධාන කණ්ඩායම් මාරාන්තික උපවාසයක් ගැන හිතුවේ නැත. ඒ, මස් රාත්තලම ඉල්ලන සටනකදී මාරාන්තික උපවාසයකට යාම අනතුරුදායක බව ඔවුන් පළපුරුද්දෙන්ම දැන සිටි නිසාය.

වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියන් විසින් මාරාන්තික උපවාසයක් ඇරඹුවේ තත්ත්වය මෙසේ තිබියදීය. මෙවැනි සිදුවීම් වලදී තිරය පිටුපස වෙන දේවල් ගැන මනා අවබෝධයක් ඇති නිසා අවසන් නිගමන වලට එන්නට මා හදිස්සි නොවන නමුත් මේ වැඩේට වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියන් අතගැසීම පුළුල් සැලසුමක කොටසක් ලෙස නොව ස්වභාවික ලෙසම සිදු වූවක් වන්නට සෑහෙන ඉඩකඩක් තිබේ. එසේ සිතූ විට, සයිටම් විරෝධී සටනේ සමතුලිතතාව ක්ෂණිකව වෙනස් වූ ආකාරය තේරුම් ගැනීම පහසුය. ඒ පදනම මත බැලූ විට මෙය සයිටම් විරෝධී ව්‍යාපාරයට හදිසියේම ලැබුණු බෝනස් එකකි. යම් හෙයකින් දෙමවුපියන් උපවාසයට එකතු වුනේ හදිසි තීරණයක් මත නොව පුළුල් සැලසුමක කොටසක් ලෙසයැයි සැලකුවත් එයින් සයිටම් විරෝධී ව්‍යාපාරයට විශාල ජවයක් ලැබුණු බව පැහැදිලිය.

පැවති පසුබිම තුළ මාරාන්තික උපවාසයකට වාඩි වීම යනු ආපසු හැරවීමට අසීරු, විශාල අවදානමක් ඇති  ක්‍රියාවකි. කැමැත්තෙන් සිය දිවි නසා ගන්නා වෙනත් පුද්ගලයෙකුට මෙන්ම මාරාන්තික උපවාසයක යෙදෙන්නෙකුටද මිය යන්නට පෙර කිසියම් අවස්ථාවකදී ජීවිත ආශාව ඇති වේ. එහෙත්, උපවාසකරුවෙකුගේ මරණයක් හෝ විරෝධතාවක් මර්දනය කිරීමේදී පත්තු වන තුවක්කුවක් හරහා තමන්ගේ ඉල්ලීම් දිනාගන්නට බලා සිටින පිරිසකගේ සිරකරුවකුව සිටින, නිරාහාරව සිටීමෙන් දුර්වල වී සිටින අයෙකුට තමන්ට උපවාසය අත හරින්නට අවශ්‍ය වන විට ලොක්කෙක්ගේ අතින් තැඹිලි වතුර ටිකක් බී උපවාසය අත්හැරීම පහසු නොවන්නට පුළුවන.

සයිටම් විරෝධය සමඟ එකතු වී සිටි ඇතැම් කණ්ඩායම් ඉලක්ක කළේ මේ හරහා කිසියම් ආකාරයක අරාජිකත්වයක් වර්ධනය කර ගැනීමටය. එහෙත් සයිටම් විරෝධයට එකතු වී සිටි තවත් බොහෝ දෙනෙකුට තිබුණේ එවැනි අවශ්‍යතාවයක් නොවේ. ඔවුන්ට තිබුණේ, පෙර කී පරිදි, සිය වෘත්තිය, අනාගත වෘත්තිය හෝ දරුවන්ගේ අනාගත වෘත්තිය පිළිබඳ ප්‍රශ්නයකි. කෙසේ වුවද, දශක කිහිපයකට පෙර මෙවැනිම තත්ත්වයක් යටතේ රටේ අරාජිකත්වයක් වර්ධනය විය. මේ අරගලයද දිගටම ඇදුනානම් හෝ ආණ්ඩුව එය මර්දනය කිරීමට ඉක්මන් වූවානම් ව්‍යවස්ථා විරෝධය වැනි තවත් දේවල් එයට එකතු විය හැකිව තිබුණේය.

ලංකාවේ ජනමතය මරණ වලට සංවේදීය. යම් හෙයකින් සයිටම් විරෝධතාවයක් මර්දනය කිරීමේ උත්සාහයක් තුළ පොලිස් වෙඩි තැබීමක් වී මරණයක් සිදු වුණේනම් ජනමතය සැලකිය යුතුව වෙනස් විය හැකිව තිබුණේය. සයිටම් අරගලය තුළ සිටි ඇතැම් කොටස් ඒ බව පැහැදිලිව දැන සිටියේය. මේ ආණ්ඩුව එසේ කරනු ඇති බවට ජනමතයක් ඔවුන් කලින්ම හදමින්ද සිටියේය. එහෙත්, ආණ්ඩුව මෙය හඳුනාගෙන තිබුණු බව පෙනෙන්නට තිබුණේය.

මාරාන්තික උපවාසය ආරම්භ වුණේ මස් රාත්තලම ඉල්ලන අසාධාරණ සටනක් හමුවේ පවා ආණ්ඩුව විසින් මරණයක් ලබා දීම පරක්කු කරමින් සිටි පසුබිමකදීය. ඒ නිසා, මේ උපවාසය හරහා හෝ බලාපොරොත්තුවෙන් සිටි මරණය ලබා ගනිමින් සයිටම් අරගලය වඩා පුළුල් තලයකට ව්‍යාප්ත කර ගැනීමේ උත්සාහය ආණ්ඩුව විසින් නොසලකා හැරිය හැකිව තිබුණු කරුණක් නොවේ.

සයිටම් වෛද්‍ය පීඨය වසා දමන බව දැනුම් දෙමින් ආණ්ඩුව විසින් පෙන්නුම් කළේ උපාය මාර්ගික ලෙස ඔවුන් සයිටම් විරෝධී දේශපාලනය තුළ සිටි කොටස් වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. දෙවනු කී කොටස් දශක දෙකකට පෙර යොදාගත් උපක්‍රමය ප්‍රතිචක්‍රීකරණය කරමින් සිටිද්දී, ආණ්ඩුව විසින් පෙන්නුම් කළේ තමන් එතැන් සිට බොහෝ දුර ගොස් ඇති බවයි.

ඇතැම් අය කියන්නේ ආණ්ඩුව විසින් කිසිවක් නුදුන් බව හා එසේ කිසිවක් නොලබාම සයිටම් අහෝසි කිරීමේ සටන අතහරින්නට සයිටම් විරෝධීන්ට සිදුවී ඇති බවයි. එය එසේයැයි මා සිතන්නේ නැත. යමෙක් එසේ හිතන්නේනම් එය සයිටම් විරෝධීන්ව මෙන්ම ආණ්ඩුවද අවතක්සේරු කිරීමකි. ඉතා පැහැදිලිව සයිටම් විරෝධීන්ට පිළිගත හැකි විසඳුමක් ආණ්ඩුව විසින් ලබා දී තිබේ. එය කුමක් වුවද, වැදගත් කරුණ එය සයිටම් විරෝධීන්ට පිළිගත හැකි විසඳුමක් වීමයි. ඔවුන්ව තාවකාලිකව රැවැට්ටීමෙන් ආණ්ඩුවට මේ වෙලාවේ වාසියක් ලැබිය නොහැකිය.

සයිටම් ප්‍රශ්නය විසඳීම නිසා ලොකුම හානිය වුණේ ඒ හරහා වෙනත් අරමුණු ඉටු කරගැනීමට බලා සිටි කොටස් වලටය. ඔවුන්ට අන්තිමේදී ලැබුණු දෙයක් නැත. එවැනි කොටස් ඉදිරියේදීද තමන්ට එල්ලීමට ඉඩක් ඇති මේ ආකාරයේ ප්‍රශ්න හොයනු ඇතත් එය පහසු කරුණක් නොවේ. වෛද්‍ය සංගමය ප්‍රධාන වෛද්‍යවරුන් සයිටම් විරෝධය සමඟ සිටීම නිසා ආණ්ඩුවට එරෙහි මේ අරගලයේ සමතුලිතතාවය වෙනස් වූ ආකාරය, වෙනත් ආණ්ඩු විරෝධී අරගලයකදී ඇති නොවිය හැකි සුවිශේෂී තත්ත්වයකි.

ආණ්ඩුව සයිටම් අහෝසි කිරීමේ අවසන් තීරණයට එන්නත් පෙරම වෛද්‍යවරුන් සමඟ කිසියම් එකඟතාවයකට පැමිණ තිබුණේය. ඇත්තටම කියනවානම් සයිටම් අරගලයට හා හැකි දුර ලකුණු වුණේ ඒ අවස්ථාවේදීමය.

සයිටම් විරෝධයට මුල් වූ වෛද්‍යවරුන්ගේ හා අනාගත වෛද්‍යවරුන්ගේ සැබෑ ප්‍රශ්නය වූයේ ඒ හරහා ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින් සැපයුම විශාල ලෙස ඉඩ යා හැකි වීමේ ප්‍රශ්නයයි. මෙවැන්නක් ඇත්තටම සිදුවීමේ ඉඩක් තිබුණු අතර සයිටම් හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ නොතිබුණත් තව වසර ගණනාවකට පසු වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නට ඉඩ තිබේ. මේ ප්‍රශ්නය ගැන කතා කිරීම සඳහා මේ ලිපියේ ඉඩ වෙන් කරන්නට අදහසක් නැතත්, මෙය දැනට ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ව සිටින බොහෝ දෙනෙක් දන්නා කරුණකි. මධ්‍යගත සැලසුම් යටතේ සැපයුම තීරණය වන විටක ඉල්ලුම හා සැපයුම අතර හිඟයක් මෙන්ම අතිරික්තයක්ද ඇති විය හැකිය. සයිටම් වැනි තවත් වෛද්‍ය පීඨ ඉදිවීම නිසා මේ තත්ත්වය වඩා ඉක්මණින් ඇතිවිය හැකිව තිබුණේය.

ඉහත කී ආකාරයේ තත්ත්වයක් ඇති වී අනාගත වෛද්‍ය උපාධිධාරියෙකු රැකියා පෝලිමේ වේලීම දැනට සේවයේ යෙදෙන වෛද්‍යවරයෙකුට විශාල ප්‍රශ්නයක් නොවූවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවන්නේද නැත. වෙළඳපොල තරඟය වැඩිවීම නිසා සිදුවන අවාසිය පැත්තකින් තිබ්බත් එහි වෘත්තීය ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්ද තිබේ. ලංකාවේ නීතිඥ වෘත්තිය හා අදාළව දැනටමත් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ. දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ට වඩා වැඩියෙන් මේ ප්‍රශ්නය වෛද්‍ය සිසුන්ට දැනේ. ඔවුන්ගේ දෙමවුපියන්ටද දැනේ.

අනෙක් අතට දිගින් දිගටම පංති වර්ජනය කරමින් සිටි වෛද්‍ය සිසුන්ට ඒ හේතුව නිසා ජීවිත කාලීන ආර්ථික අවාසියක් එකතු වෙමින් තිබුණේය. සයිටම් අහෝසි කිරීමත්, ඒ හේතුවෙන් තවත් වසර ගණනකට වෛද්‍ය සැපයුම සීමාවීමත් නිසා ඔවුන්ට ජීවිතකාලීන වාසියක් ලැබුණත් අරගලය ඇදී ගිය කාලය සැලකූ විට ඔවුන්ට ශුද්ධ වාසියක් ලැබුණේද යන්න සැක සහිතය. දෙමවුපිය උපවාසය ඇරඹෙන විට ඔවුන් වැය කර තිබුණු ආවස්ථික පිරිවැය සැලකූ විට සයිටම් අහෝසි නොකළේනම් ඔවුන්ට අවසාන වශයෙන් ලැබිය හැකිව තිබුණේ ශුද්ධ අලාභයකි. සයිටම් හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ නැතත්, ලංකාවේ අනාගත වෛද්‍ය සැපයුම හා රැකියා පුරප්පාඩු සැලකූ විට ඔවුන්ගේ දැන් තත්ත්වයේත් ලොකු වෙනසක් නොතිබෙන්නට පුළුවන.

වෛද්‍ය සිසුන්ට සාපේක්ෂව මේ අරගලයේදී වෛද්‍යවරුන් විසින් කළේ අඩු කැපකිරීමකි. එහෙත්, ඔවුන්ට ලැබුණු වාසියද එතරම් විශාල නැත. සයිටම් හේතුවෙන් කිසියම් අවාසියක් හෝ එය අහෝසි කිරීම නිසා වාසියක් ලැබෙන්නේ සාපේක්ෂව තරුණ වෛද්‍ය වරුන්ටය. එහෙත්, එවැනි වාසියක් වුවද, පෙර විස්තර කළ හේතුවම මත දිගුකාලීන හෝ විශාල එකක් නොවනු ඇත.

බිස්නස් කාරයෙක් කියන්නේත් වෛද්‍යවරයෙකු වැනිම ජනතාවට සේවයක් සලසන අයෙකි. එහෙත්, බොහෝ දෙනෙක් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුව "නෙවිල් මුදලාලි" ලෙස හැඳින්වූයේ මේ මුදලාලිගේ සේවය ගැන ගෞරවයක් වශයෙන් නොවේ. ඇත්තටම නෙවිල් ප්‍රනාන්දු හොඳ බිස්නස් කාරයෙක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට අත ගැසීම කිසියම් ව්‍යවසායකයෙකු විසින් ගන්නා අවදානමට සරිලන තරමේ ලාභ නොලැබිය හැකි කටයුත්තකි. සයිටම් අරගලයේ අවසන් ප්‍රතිඵලය විසින්ද ඔප්පු කර ඇත්තේ එයයි.

නෙවිල් ප්‍රනාන්දු සයිටම් වෛද්‍ය පීඨය හා ශික්ෂණ රෝහල වෙනුවෙන් ආයෝජනය කළ මුදල් හෝටල් හෝ ඉදිකිරීම් (තට්ටු නිවාස) වැනි ක්ෂේත්‍රයක යෙදෙවුවානම් ඔහුට මීට වඩා අඩු අවදානමක් ගෙන වැඩි ලාබයක් ලැබිය හැකිව තිබුණේය. ඒ නිසා, තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයට යමක් කරන්නට ඔහුට ඇත්තටම අවශ්‍යතාවයක් තිබුණා වන්නට පුළුවන. නෙවිල් ප්‍රනාන්දුගේ අරමුණ වූයේ මුදල් ලාභ වුවත්, පුරෝගාමියෙකු වීමේ කීර්තිය වුවත් අවසාන වශයෙන් ඔහු අපේක්ෂා කළ දෙය ඔහුට ලැබී නැත. මේ අනුව, නෙවිල් ප්‍රනාන්දු අසාර්ථක ව්‍යවසායකයෙකි.

කෙසේ වුවත්, නෙවිල් ප්‍රනාන්දු සයිටම් ආයෝජනය කළේ රාජපක්ෂලා තවත් කලක් බලයේ සිටිනු ඇතැයි යන විශ්වාසයෙන් වන්නට පුළුවන. සයිටම් අරඹන කාලයේ පෙනෙන්නට තිබුණු පරිදි රාජපක්ෂලා ගෙදර යැවීම ළඟක වූ දෙයක් නොවේ. මේ අනුව, නෙවිල් ප්‍රනාන්දුට විශාල අලාභයක් විඳින්නට වුණේ ගණන් වරද්දා ගැනීම නිසායැයි කියන්නටද පුළුවන.

දැනට සිටින සයිටම් වෛද්‍ය පීඨ සිසුන්ට බාධාවක් නැතිව උපාධිය ලබාගැනීමට ඉඩ සැලසෙනු ඇතත් ඔවුන්ටද විශාල අවාසියක් වී ඇති බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

සයිටම් විරෝධීන් අතර විවිධ කණ්ඩායම් සිටියාක් මෙන්ම සයිටම් විරෝධ විරෝධීන් අතරද විවිධ කණ්ඩායම් සිටියේය. මේ අයගෙන් කොටසක් දොස්තරලා සමඟ ඇරියස් තිබුණු අයයි. තවත් කොටසක් සයිටම් අරගලය සමඟ සිටි ජවිපෙ හා පෙසපෙ වැනි පක්ෂ සමඟ ඇරියස් තිබුණු අයයි. සයිටම් අරගලය පවතින ආණ්ඩුවට එරෙහි අරගලයක්ය යන අදහසින් එයට විරුද්ධ වූ අයද සිටියේය. එහෙත්, මේ සියලු කොටස් ඉවත් කළද සයිටම් අරගලය අසාධාරණ බවත්,  පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ඉඩ සැලසිය යුතු බවත් සිතූ විශාල පිරිසක්ද වූහ. සයිටම් නිසා සෘජු වාසි ලබන කොටස් හැර වෙනත් අය සංවිධානාත්මක ලෙස හඬක් නැගුවේ නැතත්, සයිටම් විරෝධී අරගලයට සාපේක්ෂව ලංකාවේ උසස් අධ්‍යාපන ආකෘතිය ගැන විශාල කතිකාවක් ඇති විය. මෙය ඉතා සාධනීය එකකි. මේ කතිකාවේ ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙනු ඇත.

සයිටම් ප්‍රශ්නය කිසිවිටෙකත් ලංකාවේ බහුතර ජනතාවගේ ප්‍රශ්නයක් වුණේ නැත. ඇත්තටම කියනවානම් මේ ප්‍රශ්නයේ අන්ත දෙකේම හිටියේ සෑහෙන තරමකින් අතිපිහිත වන එකම සමාජ ස්ථරයකි. සයිටම් විරෝධීන් මෙන්ම සයිටම් විරෝධ විරෝධීන් වැඩි දෙනෙක්ද සිටියේ මේ එකම සමාජ ස්ථරය ඇතුළේය.

සයිටම් ප්‍රශ්නය හේතුවෙන් ලංකාවේ සමාජය බෙදුණේ තිරස් අතට නොව සිරස් අතටය. පුළුල් අර්ථයෙන් එය දේශපාලනික බෙදීමක් වුවත් මේ බෙදුම් ඉර වැටී තිබුණේ සම්ප්‍රදායික දේශපාලන මතවාද අනුව නොව ඒ මතවාද එක එකක් ඇතුළෙනි. සයිටම් විරෝධ විරෝධීයෙකු වුණේ සයිටම් විරෝධියාගේම අනික් පලුවයි. සයිටම් විරෝධයට සංවිධානාත්මක ප්‍රතිරෝධයක් නොආවේ එබැවිනි.

මේ කරුණ මතුපිටින් පෙනෙනවාට වඩා වැදගත් කරුණකි.

සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ වලට ඉල්ලුමක් එන්නේ "සල්ලිකාරයන්ගේ මෝඩ පුත්තුන්ගෙන්" නොවේ. (පුරුෂ ලිංගිකත්වය යොදාගත්තේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව යමිනි.) ලංකාවේ සල්ලිකාරයන්ගේ මෝඩ පුත්තුන්ට වෛද්‍ය පීඨයකට ගොස් කටු නොකෑවාට තවත් කරන්නට වැඩ ඕනෑ තරම් තිබේ. ඒවා මා විස්තර කරන්නට යන්නේ නැත.

ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට පමණක් නොව සමස්තයක් ලෙස පෞද්ගලික අධ්‍යාපනයටම ඉල්ලුම එන්නේ නාගරික හෝ අර්ධ නාගරික, ඉහළ මධ්‍යම පාන්තික ස්ථරය තුළ සිටින සාපේක්ෂව හොඳ අධ්‍යාපනයක් ලබා සිටින දෙමවුපියන්ගේ දරුවන්ගෙනි. ජාත්‍යන්තර පාසැල් වලට දරුවන් යැවීම වැනි දේ සැලකූ විට, මේ ඉල්ලුම ක්‍රමයෙන් පහළ මධ්‍යම පන්තිය වෙතද ව්‍යාප්ත වේ. ලංකාවේ රජයේ වෛද්‍ය පීඨ වල පුරප්පාඩු වලින් විශාල ප්‍රමාණයක් පුරවන්නේද මේ ස්ථරයමය.

ලංකාවේ ඉහළම ආදායම් ලබන, වෘත්තීය රැකියා නොකරන ස්ථරයට රජයේ වෛද්‍ය පීඨ වලින් තබා සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ වලින්ද වැඩක් නැත. පහළ ස්ථර වලට සයිටම් පමණක් නොව රජයේ වෛද්‍ය පීඨද ළඟා වීමට අසීරු ඉලක්කයකි. ඒ නිසා, මේ ප්‍රශ්නයම ලංකාවේ සමාජයේ එක ස්ථරයක් ඇතුළේ තිබෙන ප්‍රශ්නයකි. එහෙත් මේ ස්ථරය ලංකාවේ දේශපාලන බලය තිබෙන ස්ථරයයි.

මෙයට සාපේක්ෂව, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල අරගලය සිදුවන කාලයේදී රජයේ වෛද්‍ය පීඨ වල සිටි (හෝ ඒවාට ඇතුළු විය හැකිව සිටි) සිසුන්ගේ සමාජ ආර්ථික පදනම අද තරම් ඉහළ මට්ටමක තිබුණේ නැත. සංකේතීය වශයෙන් කියනවානම්, ඒ කාලයේදී රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වුණේ කලා උපාධිධාරී ගුරුවරයෙකුගේ හෝ මධ්‍ය මහා විද්‍යාලයකින් උගත් රජයේ සේවකයෙකුගේ දරුවෙකි. අද රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වන්නේ වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු වැනි වෘත්තිකයෙකුගේ දරුවෙකි (මෙය කරුණ පැහැදිලි කිරීම සඳහා ලියන්නක් නිසා කිසියම් අතිශයෝක්තියක් තිබේ). සයිටම් ප්‍රශ්නය "ඇතුළේ" ප්‍රශ්නයක් වූ නිසා එය "ඇතුළේම විසඳාගැනීම" පහසු විය.

සයිටම් වෛද්‍ය පීඨයට හෝ වෙනත් එවැනි වෛද්‍ය පීඨයකට දරුවෙකු යවන්නට සිටි අයෙකුට සයිටම් අහෝසි කිරීම නිසා ලොකු අවාසියක් වන්නේ නැත. කොහොමටත් මේ ස්ථරයේ පළමු ඉලක්කය වන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලයකට දරුවෙකු ඇතුළු කර ගැනීමයි. පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබා රජයේ දන්ත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන, ලංකාවේ සරසවි වලින් තමන් ලැබූ සහතික සිය සායනයේ දැන්වීම් පුවරුවක් පුරා ප්‍රදර්ශනය කරන, උසස්පෙළ දරුවෙකුගේ පියෙකු විභාග වංචාවකට උදවු ගැනීම සඳහා රුපියල් මිලියනයක් ටියුෂන් ගුරුවරයෙකුට ගෙවීමම උදාහරණයක් ලෙස සැලකුවත් ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා ආදායම් වෙනසක් නැතිව සැමටම එක සේ ලැබෙන ආකාරය ගැන හිතාගන්නට පුළුවන.

සයිටම් කියන්නේ සල්ලිකාරයින්ගේ මෝඩ පුත්තුන් වෙනුවෙන් හැදුණු තැනක් නොව රජයේ වෛද්‍ය පීඨ වලට දරුවන් යවන සමාජ ස්ථරයටම අලුතින් ලැබුණු තවත් විකල්ප අවස්ථාවක් පමණි. එය නැති වුනා කියා ඔවුන්ට ලොකු අවාසියක් වන්නේ නැත. විදෙස් සරසවියකට දරුවන් යැවීම වැනි විකල්ප සයිටම් වලටද වඩා වාසිදායක නිසා සයිටම් වලින් ඔවුන්ට විශාල වාසියක් ලැබී තිබුණේ නැත. සයිටම් රැකගැනීම වෙනුවෙන් සංවිධානාත්මක ව්‍යුහයක් ගොඩ නොනැඟුනේ එබැවිණි.

වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට විරුද්ධ වුවත්, පොදුවේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම නිසා ප්‍රයෝජන ගන්නේ සයිටම් වලට එරෙහි වූ සමාජ ස්ථරයමය. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මඟින් පිරිනමන වෙනත් උපාධි සඳහා පවතින ඉල්ලුම එන්නේ මේ සමාජ ස්ථරයෙනි. ඒ නිසා, මේ අයට පොදුවේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම පිළිබඳව ප්‍රශ්නයක් නැතුවා පමණක් නොව එවැනි විරෝධයකදී මේ සයිටම් විරෝධීන් මෙන්ම සයිටම් විරෝධ විරෝධීන්ද හිටගන්නේ එකම පැත්තේය. ඒ නිසා, සයිටම් අහෝසි කිරීම නිසා ලැබුණු කිසියම් පන්නරයක් වේනම් එය පොදුවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහි අරගලයක් දක්වා ව්‍යාප්ත කිරීමට කිසිදු විභවයක් නැත.

මෙහිදී වෛද්‍ය අධ්‍යාපනය පමණක් වෙනස් ලෙස සැලකුණේ එම වෘත්තියේ ඇති සුවිශේෂීතාවක් නිසා නොවේ. වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා සැපයීමේ වෙළඳපොළේ පවතින සුවිශේෂීතාවය නිසාය. වෙනත් වෘත්තීය ක්ෂේත්‍ර වලින් වෙනස්ව එහි ඇත්තේ මධ්‍යගත ලෙස සැලසුම් කෙරෙන රාජ්‍ය ඒකාධිකාරයකි. ලංකාවේ රාජ්‍ය ව්‍යුහය තවදුරටත් පුළුල් කළ නොහැකි නෛසර්ගික සීමාවකට දැනටමත් පැමිණ ඇති බැවින් අනාගත වෛද්‍ය උපාධිධාරීන්ගේ රැකියා සුරක්ෂිතභාවය හා අදාළව පිපිරෙන්නට නියමිත කාල බෝම්බය පිපිරීම සයිටම් අහෝසි වූ පමණින් වැළකෙන්නේ නැත. ඒ ප්‍රශ්නය විසඳාගත හැක්කේ වෙළඳපොළ කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණි.

Thursday, November 9, 2017

සයිටම් අහෝසි කිරීම ආණ්ඩුවේ පරාජයක්ද?


සයිටම් වෛද්‍ය පීඨය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ. සයිටම් විරෝධී ව්‍යාපාරය ක්‍රමිකව ගොඩ නැඟුණු හා විකාශනය වුනු ආකාරය අනුව මේ අවස්ථාවේදී ආණ්ඩුවට කළ හැකිව තිබුණු හොඳම දෙය මෙන්ම කළ යුතුව තිබුණු දෙයද මෙයයි. මේ තීරණය නිසා දීර්ඝකාලීනව ඇතැම් අහිතකර ප්‍රතිඵල ඇති වෙනු ඇතත්, මේ තීරණය වෙනුවට ගත හැකිව තිබුණු විකල්ප තීරණ නිසා ඇති විය හැකිව තිබුණු ප්‍රතිඵල ඊට වඩා අහිතකරය.

සයිටම් වෛද්‍ය පීඨය ආරම්භ කළේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව නොව පසුගිය ආණ්ඩුව කාලයේදීය. එහෙත්, සයිටම් ගැටලුවට මුහුණ දෙන්නට වූයේ වත්මන් ආණ්ඩුවටය.

මේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හා කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින අතර ඒ අරමුණ වෙනුවෙන් සැලකිය යුතු දෙයක් කරයි. එවැනි ප්‍රතිපත්තියක සිටින ආණ්ඩුවකට පෞද්ගලික ව්‍යවසායකයෙකු විසින් උසස් අධ්‍යාපන සේවාවන් මුදලට විකිණීමට විරුද්ධ වීමේ හැකියාවක් නැත. ඒ නිසා, ආණ්ඩුව මුල සිටම සිටියේ සයිටම් වෛද්‍ය පීඨය වසා නොදමන ස්ථාවරයකය. කෙසේ වුවද, සයිටම් විරෝධය හමුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මුල සිටම කිසියම් නම්‍යශීලී බවක්ද පෙන්නුවේය. සයිටම් විරෝධය වර්ධනය වී මේ අයුරින් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමෙන් අවසන් වීමට එම නම්‍යශීලී භාවයද හේතුවක් විය. පසුගිය ආණ්ඩුවේ පාලකයින් බලයේ සිටියානම් සයිටම් විරෝධය මේ තරම් දුරදිග යන්නේ නැත.

වත්මන් ආණ්ඩුවේ නම්‍යශීලී භාවය ප්‍රදර්ශනය වුනේ සයිටම් ප්‍රශ්නයේදී පමණක් නොවේ. අයවැය යෝජනා වල සිට එක්ටා දක්වා විවිධ අවස්ථා වලදී තමන්ගේ මුල් ප්‍රතිසංස්කරණ යෝජනා අකුලා ගනිමින්, ආණ්ඩුව විසින් පැහැදිලිව ප්‍රදර්ශනය කළේ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහා ලොකු මිලක් ගෙවන්නට තමන් සූදානම් නැති බවයි.

බොහෝ දෙනෙක් මේ තත්ත්වය තේරුම් ගන්නේ ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම ලෙසිනි. එහෙත්, ඇත්තටම එය පවතින දේශපාලන බලතුලනයේ ප්‍රතිඵලයකි.

එක පැත්තකින් ආණ්ඩුව සමඟ රටේ විශාල පිරිසක් නැත. අනෙක් පැත්තෙන් වත්මන් ආණ්ඩුව කියන්නේ සමජාතීය කණ්ඩායමක් නොව එකිනෙකා සමඟද ප්‍රශ්න ඇති කණ්ඩායම් කිහිපයක එකතුවකි. ඒ නිසා, වත්මන් ආණ්ඩුවට තමන් වඩා සුදුසුයැයි හිතන ප්‍රතිපත්ති කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. එය නරක තත්ත්වයක්ද නොවේ.

සයිටම් විරෝධීන් අතර කණ්ඩායම් ගණනාවක් සිටි අතර ඒ කණ්ඩායම් වලට සයිටම් වෛද්‍ය පීඨයට විරුද්ධ වීමට ඔවුන්ගේම හේතු තිබුණේය. මේ අතරින් රජයේ වෛද්‍යවරුන්ට වෘත්තීය ප්‍රශ්නයක් තිබුණු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට නායකත්වය දුන්නේය. අනාගත වෛද්‍යවරුන් වෙන්නට සිටි වෛද්‍ය පීඨ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමවුපියන්ටද තිබුණු ප්‍රශ්නය මෙහිම දිගුවකි. මේ වෘත්තීය ප්‍රශ්නය විවිධ මාන තිබුණු එකකි. තමන්ගේ වෘත්තීය ප්‍රශ්න හෝ පෞද්ගලික ශුභ සිද්ධිය වෙනුවෙන් කතා කිරීමට හා සාමකාමී ලෙස අරගල කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති අතර එසේ කිරීම නරක දෙයක් නොවේ.

සයිටම් වෛද්‍ය පීඨය සාර්ථක ව්‍යාපෘතියක් වූවානම් තවත් එවැනි වෛද්‍ය පීඨ ගණනාවක් ලංකාවේ ඇති විය හැකිව තිබුණේය. ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ගේ පැත්තෙන් බැලූ විට ඔවුන්ගේ වෘත්තිය හා අදාළව ඉදිරියේදී කොහොමටත් ඇතිවන්නට නියමිත ඇතැම් ගැටළුකාරී තත්ත්වයන් මේ හේතුවෙන් උග්‍ර විය හැකිව තිබුණේය. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කර දැමීම යනු තවත් කලකට ලංකාවේ එවැනි පෞද්ගලික වෛද්‍ය පීඨ ඇති වීම වලක්වාගැනීමක්ද විය.

අනෙක් අතට, ආණ්ඩුවට හෝ සයිටම් වෛද්‍ය පීඨයට සම්බන්ධයක් නැති, සයිටම් වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙක් එසේ කළේද මේ හේතුව නිසාමය. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමෙන් පසු දශක දෙකකටත් වැඩි කාලයක් යන තුරු ලංකාවේ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ වූයේ නැත. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමෙන් පසු තවත් දිගු කාලයකට ලංකාවේ පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ නොවනු ඇත.

සයිටම් විරෝධය සමඟ සිටි ප්‍රධානම දේශපාලන බලවේග දෙක ජවිපෙ හා පෙසපෙයි. මේ පක්ෂ දෙකම මාක්ස්වාදී සමාජවාදී පක්ෂයි. අධ්‍යාපන සේවා සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් ලෙස තබාගැනීම සමාජවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයකි. ඒ නිසා, ඔවුන්ටද සයිටම් විරෝධී ව්‍යාපාරය සමඟ එකතු වන්නට හේතු තිබුණේය. තමන් විශ්වාස කරන මතවාදයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සක්‍රිය මැදිහත්වීමක් කරන්නට දේශපාලන පක්ෂයකට අයිතියක් තිබේ.

මෙයට අමතරව මේ අරගලය තුළ සිටි ප්‍රධානම බලවේගය සරසවි සිසුන්ය. ඔවුන්ගෙන් වෛද්‍යපීඨ සිසුසිසුවියන් හා පෙසපෙ ජවිපෙ පක්ෂ දෙකේ ක්‍රියාකාරීන් ඉවත් කළහොත් ඉතිරි අයට මේ කටයුත්තෙන් ලැබුණු සෘජු වාසියක් නැත. අඩුම වශයෙන් මේ කොටස, ඔවුන් විශ්වාස කළ පරිදි, නිදහස් අධ්‍යාපනය රැක ගන්නට ඉදිරිපත් වූවෝය. බොහෝ දෙනෙක් සිතන පරිදි සරසවි සිසුන් යනු පෙසපෙට හෝ ජවිපෙට අවශ්‍ය පරිදි නැටවිය හැකි පිරිසක් නොවේ. එම පක්ෂ වලට සරසවි සිසුන්ගේ සහයෝගය ලබාගත හැක්කේ හා ඔවුන්ට නායකත්වය දිය හැක්කේ ඒ සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය වී ඇති විටකදී පමණි.

කවර ආකාරයකින් හෝ සයිටම් විරෝධය තුළ විශාල පිරිසක් එකතු වී සිටියේය. මේ බොහෝ දෙනෙකු ඉතා සක්‍රිය මැදිහත්වීමක්ද කළේය. එයට සාපේක්ෂව සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට මුල සිටම විශාල පිරිසක් සිටියේ නැත. සයිටම් සිසුන් හා දෙමවුපියන් හැරුණු විට එසේ පෙනී සිටි අයද තනි පුද්ගලයින් මිස සංවිධානාත්මක කණ්ඩායමක් නොවූ අතර, ඔවුන් බොහෝ දෙනෙකුට පොදුවේ අධ්‍යාපනයේ නිදහස මිස සයිටම් වෛද්‍ය පීඨය වැදගත් දෙයක් වූයේ නැත.

සයිටම් විරෝධය සංවිධානාත්මක බලයක් ලෙස මතු වී දිගින් දිගටම ඇදෙන විට ආණ්ඩුවට එය නොසලකා සිටිය හැක්කේ සයිටම් වෙනුවෙන් හෝ පොදුවේ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන්ද එවැනිම සංවිධානාත්මක දේශපාලන බලයක් මතු වේනම් පමණි. එවැන්නකට නායකත්වය දීමේ ශක්‍යතාවයක් තිබුණු කණ්ඩායම් දෙකක් සිටියේය. ඒ එජාපය හා ශ්‍රීලනිපයයි. මේ පක්ෂ දෙකටම සිය ප්‍රතිපත්ති අනුව සයිටම් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් තිබුණේය.

ශ්‍රීලනිපයේ රාජපක්ෂවාදී බලවේග සයිටම් විරෝධය හරහා ආණ්ඩුව අසීරුවට පත්වනු බලා සිටි අතර ඔවුන්ට සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍ය නොවීය. තමන් පෙනී සිටින ප්‍රතිපත්ති ජනතාව වෙතට ගෙනයාමේ දක්ෂතාවයක් නැති ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙකටද එවැන්නක් කළ නොහැකි විය.

සයිටම් විරෝධීන්ගේ පීඩනය ක්‍රමයෙන් වැඩි වෙද්දී ආණ්ඩුවට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබුණේය. පළමුවැන්න අනම්‍යව සිටීමයි. දෙවැන්න යම් පමණකින් නම්‍යශීලී වීමයි. මේ දෙකෙන් ආණ්ඩුවේ තේරීම වූයේ දෙවැන්නයි. මේ නම්‍යශීලිත්වයේ ප්‍රතිඵලය වූයේ  "දැන් ටිකක්. පසුව ඉතිරි ටික" ක්‍රමයට සයිටම් විරෝධී සටන දිගටම ඇදී යාමයි. ආණ්ඩුව විසින් සයිටම් අහෝසි කරන බව නිවේදනය කරන විටත් සයිටම් වලින් ඉතිරිව තිබුණේ වලිග කෑල්ලක් පමණි. ඒ කෑල්ල තියා ගැනීම සඳහා ලොකු මිලක් ගෙවන්නට ආණ්ඩුව යොමු නොවන බව පැහැදිලි කරුණක් විය.

ආණ්ඩුව මුල සිට දැඩි ප්‍රතිපත්තියක සිටියේනම් ප්‍රතිඵලය වඩා හොඳ එකක් විය හැකිව තිබිණැයි කිව නොහැකිය. අරගලයේ මුල් අවස්ථාවේදී කිසිවක් නුදුන්නේනම් ආණ්ඩුවට සිදුවන්නේ බලය යොදා අරගලය මර්දනය කිරීමේ විකල්පය තෝරා ගන්නටය. සයිටම් විරෝධය තුළ සිටි කණ්ඩායම් සියල්ලේම නොවූවත් ඇතැම් කණ්ඩායම් වල ඉලක්කය වූයේ එවැනි තත්ත්වයකි. ආණ්ඩුව එය හඳුනා ගත්තේය. නොඉවසිලිමත් පොලිස් නිලධාරියෙකු අතින් තුවක්කුවක් පත්තු වූවානම් තත්ත්වය බොහෝ වෙනස් විය හැකිව තිබුණේය.

සයිටම් විරෝධී අරගලය අවසාන අදියරේදී තිබුණු තැන අනුව සයිටම් අහෝසි කරන තුරු එය අවසන් වන්නට ඉඩක් නොතිබුණේය. ඒ නිසා, ඒ වෙලාවේද ආණ්ඩුවට තෝරා ගත හැකිව තිබුණේ දරුණු මර්දනයකට යාම හා සයිටම් අහෝසි කිරීම යන විකල්ප දෙකෙන් එකකි. සයිටම් අහෝසි කිරීමේ නරක ප්‍රතිඵල තිබුණත්, විරෝධය මර්දනය කරන්නට යාමේ ප්‍රතිඵල ඊට වඩා හානිකර විය හැකි බව ආණ්ඩුව නිවැරදිව තේරුම් ගත්තේය. එවිට ඉතිරි වන්නේ සයිටම් අහෝසි කිරීමේ විකල්පය පමණි. එය හැකි ඉක්මණින් කළ තරමට හානිය අවමය.

ආණ්ඩුවේ තීරණය මේ වෙලාවේ ගත හැකිව තිබුණු හොඳම තීරණයයි. එමෙන්ම, පසුව වලිග කෑලි ඉතිරි කර නොගෙන තීරණය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කර ප්‍රශ්නය අවසන් කිරීමටද ආණ්ඩුව සැලකිලිමත් විය යුතුය. සයිටම් අහෝසි කිරීමෙන් පසුව වෛද්‍යවරුන්ට හා වෛද්‍ය සිසුන්ට ප්‍රශ්නය ඇදගෙන යන්නට අවශ්‍යතාවයක් නැති වේ. ආණ්ඩුවේ පැත්තෙන් සයිටම් විරෝධීන්ට වෙනත් විරෝධතා නිමිති ලබාදීමක්ද කර නැත. කෙසේ වුවත්, ආණ්ඩුව සයිටම් විරෝධය හමුවේ නැමීම තවත් එවැනි විරෝධතා වලට පූර්වාදර්ශ සපයන්නට ඉඩ තිබේ.

මතුපිටින් පෙනෙන පරිදි සයිටම් සටනින් දේශපාලනික වාසියක් ලැබුණේ ජවිපෙට හා පෙසපෙටය. මේ පක්ෂ දෙකෙන් මැතිවරණයදී බලයක්ව සිටින්නේ ජවිපෙයයි. ජවිපෙය එල්ලුණේ පෙසපෙ හා සරසවි සිසුන් විසින් ඇදගෙන ගිය අරගලයක වුවත් අවසන් වශයෙන් මැතිවරණයකදී මෙහි වැඩි වාසිය ලබන්නේ ජවිපෙයි.

පළාත් සභා ඡන්දය නුදුරු දිනක පැවැත්වෙන්නට නියමිතව ඇති අතර මෙය පොදුජන පක්ෂය, එජාපෙ හා ශ්‍රීලනිප අතර තුන් කොන් සටනක් විය හැකිය. ඇතැම් විට එජාපෙ හා ශ්‍රීලනිප එක්ව තරඟ කරන්නටද ඉඩ තිබේ. මේ දෙකෙන් කුමක් වුවත්, ආණ්ඩුවේ පක්ෂ දෙකට පොදුජන පක්ෂයෙන් දැඩි තරඟයක් එල්ල වීමට නියමිත අතර එතරම් හොඳ නැති මැතිවරණ ප්‍රතිඵලයක් ආණ්ඩුව අස්ථාවර කරන්නට වුවද පුළුවන.

ජවිපෙ වඩා ජනප්‍රිය වීම යනු ආණ්ඩු විරෝධී ඡන්ද වැඩි ප්‍රමාණයක් ජවිපෙ විසින් ලබාගැනීමයි. ජවිපෙ විසින් ආණ්ඩු විරෝධී ඡන්ද වැඩියෙන් ආකර්ෂණය කරගන්නා තරමට ආණ්ඩුවේ පක්ෂ දෙකට පොදුජන පක්ෂය අභිබවන්නට ඇති ඉඩකඩ වැඩිවෙයි. ඒ නිසා, මේ වෙලාවේ සයිටම් අහෝසි කිරීමෙන් වක්‍ර ලෙස ආණ්ඩුවටද දේශපාලන වාසියක් ලැබී තිබේ.

Sunday, November 5, 2017

කාගෙත් ලේ රතු පාටද?


කාගෙත් ලේ රතු පාට බව නිතර ඇහෙන කියමනකි. එහෙම කියන අය අතරේ "අපිනම් කැපුවත් කොළ!" කියා කියන අයත් "අපේනම් ලේත් නිල් පාටයි!" කියන අයත් නැත්තේම නැත. කියන කොට එහෙම කිවුවත් කපා බැලුවොත් එහෙම කියන කාගෙත් වාගේ ලේ රතු පාටය.

පන්සල් වල දකින්නට ඇති මුගලන් හාමුදුරුවන්ගේ පිළිමත්, දේවාල වල ඇති විෂ්ණු දෙවියන්ගේ පිළිමත් පාට කර තිබෙන්නේ නිල් පාටිනි. කුඩා කල ලංකාවේ ජීවත් වූ මට මේ මුගලන් පිළිම හා විෂ්ණු පිළිම නිතර දැකීම නිසාම එහි අමුත්තක් නොතිබුණත්, මගේ දරුවන්ට කුඩා කල එවැනි පිළිම දකින්නට ලැබී නොතිබුණේය.

මගේ වැඩිමල් දරුවාගේ වයස වසර හතක් පමණ වූ කාලයේ ලංකාවට ගිය අවස්ථාවක මම දරුවන් හා මගේ සොයුරාද සමඟ මා කලක් ලඟින් ඇසුරු කළ විහාරස්ථානයකට ගියේ වයස්ගතව සිටින විහාරාධිපති හිමියන් හමු වී සතුටු සාමීචියක යෙදෙන්නටය. මා මේ කටයුත්තෙහි යෙදෙන අතර මගේ දරුවෝ මගේ සොයුරාද සමඟ විහාර ගේ බලන්නට ගියෝය.

පණ්ඩිත හාමුදුරුවන් (අප කුඩා කාලයේ මේ හාමුදුරුවන්ව ඇමතූ පරිදි) හා මා කතාබහේ යෙදී සිටියදී දරුවන් සමඟ මගේ සොයුරාද එතැනට ආවේය.

"කොහොමද විහාර ගේ බැලුවද?"

හාමුදුරුවෝ ඉංග්‍රීසි භාෂාවෙන් මගේ දරුවෝ විමසූහ. මේ හාමුදුරුවන්ට ප්‍රාචීන භාෂාත්‍රයෙහි පමණක් නොව ඉංග්‍රීසි භාෂාවේද හසළ දැනුමක් තිබේ. මා කුඩා කාලයේ මේ හිමියන්ගෙන් පාලි හා සකු බස් මෙන්ම ඉංග්‍රීසි බසද උගෙන තිබේ.

කෙසේ වුවත්, ඇමරිකානු උච්ඡාරණයට හුරුවී සිටින මගේ දරුවන්ට ඉංග්‍රීසි බසෙහි කෙතරම් හසළ වුවත්, ලංකාවේ සාමාන්‍ය උච්ඡාරණයෙන් කතා කරන අයෙකු කියන දෙය තේරුම් ගැනීම අපහසුය. එය ඔවුන්ට වෙනත් බසක් මෙනි. එහෙත්, ඔවුන්ට ඊට වඩා පහසුවෙන් සිංහල තේරුම් ගත හැකිය. ඒ ඔවුන් සිංහල කතා කරනු අසා ඇතත් ලංකාවේ උච්ඡාරණයෙන් ඉංග්‍රීසි කතා කරනු එතරම් අසා නැති බැවිනි.

"මොනව හරි ප්‍රශ්නයක් තියෙනවනම් හාමුදුරුවන්ගෙන් අහන්න!"

අවුල තේරුම්ගත් මගේ සොයුරා වැඩිමල් දරුවාගෙන් සිංහලෙන්ම ඉල්ලා සිටියේය.

"හාමුදුරුවනේ මුගලන් හාමුදුරුවෝ නිල් පාට ඇයි?"

දරුවා ක්ෂණිකව සිංහලෙන්ම ප්‍රශ්නය ඇසූ ආකාරයෙන් පෙනී ගියේ මගේ සොයුරාගෙන් මුලින් ඇසූ ප්‍රශ්නයක් ඔහු හාමුදුරුවන් පිට පටවා ඇති බවයි. මට එක වරම කිසියම් අපහසුතාවයක් ඇති වුණේ දරුවා නුසුදුසු ප්‍රශ්නයක් ඇසුවේදැයි යන සැකය නිසාය.



මා කුඩා කාලයේදී සාමාන්‍යයෙන් හිමිනමකගෙන් මේ ආකාරයේ ප්‍රශ්න අසා නැත. එහෙත්, කවුරු හෝ වැඩිහිටියෙකුගෙන් කුඩා කල හරියටම මේ ප්‍රශ්නයම අසා තිබේ.

"මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ හොරුන්ගෙන් හොඳටම ගුටි කාලනේ. ගුටි කාලම ඇඟ නිල් වුණා. පිළිම නිල් පාටින් හදන්නෙ ඒකයි!"

කුඩා කාලයේ මට එසේ කී කවුරු හෝ වැඩිහිටියා ඇත්තටම එසේ හිතා හිටියා වන්නට හෝ මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස එවේලේ කටට ආ පිළිතුරක් දුන්නා විය හැකිය.

කෙසේ වුවත්, පණ්ඩිත හාමුදුරුවන්ගේ පිළිතුර වුණේ එය නොවේ. ඔහු පිළිතුර දුන්නේ මගේ සොයුරාගේ මුහුණ බලාගෙන මිස දරුවන්ගේ මුහුණ බලාගෙනද නොවේ. මගේ දරුවෙකු පිට දමා ඇසුවේ සොයුරාගේ ප්‍රශ්නයක් බව හාමුදුරුවෝ තේරුම් ගත්තා විය හැකිය.

"ඔය කළු පාට කියන එක තමයි මිනිස්සු නිල් පාට කියල කියනව ඇත්තෙ නේද? නැත්නම් නිල් පාට මිනිස්සු කොහෙද ඉන්නෙ?"

ඇතැම් විට මගේ සොයුරා වඩා "ආගමික" පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වූවා විය හැකිය.

නිල් පාට මිනිස්සු අප දැක නැත. එහෙත්, නිල් පාටයැයි කිව හැකි තරමටම කළු පැහැ අයනම් මා දැක තිබේ. කෙසේ වුවත්, කිසිවෙකු කවරදාකවත් කළු හංසයින් නිරීක්ෂණය කර නැති වූ පමණින් කළු හංසයින් නැති බව තහවුරු වන්නේ නැත.

සියවස් දෙකකට පමණ පෙර ප්‍රංශයේ සිට ඇමරිකාවට පැමිණි සංක්‍රමණිකයෙකු වූ මාර්ටින් ෆියුගේට් එළිසබෙත් ස්මිත් සමඟ විවාහ වී කෙන්ටකිහි ට්‍රබල්සම් ක්‍රීක් පෙදෙසේ පදිංචි විය. ඔවුන් නොදැන හිටියත් මේ දෙදෙනාගේම සිරුරේ ඉතා දුලබ නිලීන ජාන ප්‍රභේදයක් තිබුණේය. මේ ජානය ඉතාම දුලබ නිසා එය දරන දෙදෙනෙකු විවාහ වීම ගිණිය නොහැකි තරම් දුලබ සිදුවීමක් වුවත් අහම්බෙන් එය සිදුවිය.

මේ විවාහයේ ප්‍රතිඵලය වූයේ තරමක් අමුතු එකකි. මේ දෙදෙනාට ලැබුණු දරුවන් හත් දෙනෙකුගෙන් සිවු දෙනෙකුම නිල් පැහැ අයයි!



මෙසේ සිරුර නිල් පැහැ ගන්වන ජානය යමෙකුට දෙමවුපියන්ගෙන් අයෙකුගෙන් උරුම වූ පමණින් ඔහුගේ හෝ ඇයගේ සිරුර නිල් පැහැ ගන්නේ නැතත්, මවුපිය දෙදෙනාගෙන්ම මේ ජානය උරුම වූ විට සිරුර නිල් පැහැ ගනී. මාර්ටින්ගේ මෙන්ම එලිසබෙත්ගේද සිරුරු වල මේ නිලීන ජානය බැගින් තිබුණත්, ඔවුන්ගේ සිරුරු වල සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුගේ සිරුරු වල තිබෙන සක්‍රිය ජානය බැගින්ද තිබුණු නිසා ඔවුන්ගේ සිරුරු නිල් පැහැ වූයේ නැත. මාර්ටින් හා එලිසබෙත් වැනි කිසියම් ජානයක නිලීන ප්‍රභේදයෙන් (r) හා සක්‍රිය ප්‍රභේදයෙන් (R) එක බැගින් ඇති මවුපිය යුවලකගේ දරුවන්ට ජාන උරුම විය හැකි ආකාර හතරක් තිබේ.

(1) දෙදෙනාගෙන්ම සක්‍රිය ජාන උරුම වීම (RR)
(2) පියාගෙන් සක්‍රිය ජානය හා මවගෙන් නිලීන ජානය උරුම වීම (Rr)
(3) මවගෙන් සක්‍රිය ජානය හා පියාගෙන් නිලීන ජානය උරුම වීම (rR)
(4) දෙදෙනාගෙන්ම නිලීන ජාන උරුම වීම (rr)

ඉහත අවස්ථා හතරෙන් පළමු අවස්ථා තුනේදීම බාහිර වශයෙන් දැකිය හැක්කේ සක්‍රිය ජානයේ ක්‍රියාකාරිත්වයයි. ඒ නිසා, දරුවන් නිල් පැහැ වන්නේ නැත. එහෙත්, සිවුවන අවස්ථාවේදී දරුවන්ට සක්‍රිය ජාන කිසිවක් නැති නිසා නිලීන ජානයේ ලක්ෂණ මතු වී දරුවෝ නිල් පැහැ ගැන්වෙති.

මාර්ටින් හා එලිසබෙත් දෙදෙනාම සිටියේ (2) හෝ (3) අවස්ථාවකය. ඒ නිසා, ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුගේ සිරුරු නිල් පැහැ නොවූවත්, ඔවුන් දෙදෙනාම සිරුරු නිල් පැහැ ගන්වන නිලීන ජානය ඉදිරි පරම්පරා වලට උරුම කළ හැකි වාහකයන්ව සිටියහ. එහෙත්, හමේ බාහිර පෙනුමෙන් ඔවුන්ට සමාන බොහෝ දෙනෙකුට තිබෙන්නේ ඉහත (1) අවස්ථාවෙන් විස්තර කරන සක්‍රිය ජාන කට්ටලයයි.

මාර්ටින් හා එලිසබෙත් මෙන් (2) හෝ (3) අවස්ථාවක සිටින අයෙකුට සාමාන්‍යයෙන් විවාහ වන්නට සිදුවන්නේ (1) අවස්ථාවේ සිටින අයෙකු සමඟය. ඒ, ඉතිරි අවස්ථා තුනේ සිටින අය ඉතා දුර්ලභ බැවිනි. එවැනි අයෙකුට උපදින දරුවන්ට අඩුම වශයෙන් එක් සක්‍රිය ජානයක් හෝ ලැබෙන නිසා ඔවුන්ගේ සිරුරු වල නිලීන ජානයේ ලක්ෂණ මතු වීමට ඉඩක් නැතත්, නිලීන ජානය ඉදිරි පරම්පරාවන්ට සම්ප්‍රේෂණය කරන වාහකයින් එම දරුවන් අතරින් බිහි විය හැකිය.

මාර්ටින් හා එලිසබෙත්ගෙන් බිහි වුනු දෙවන පරම්පරාවේ ෆියුගේට් වරුන් අහඹු ලෙස කා සමඟ හෝ විවාහ වූයේනම්, මේ විවාහ සහකරුවන් බොහෝ විට සක්‍රිය ජාන යුගලයක් තිබුණු RR පුද්ගලයින් විය හැකිව තිබුණු නිසා නිල් පැහැ පුද්ගලයින් නැවත බිහි නොවිය හැකිව තිබුණේය. එහෙත්, ප්‍රවාහන පහසුකම් හා සන්නිවේදන පහසුකම් අද මෙන් පුළුල්ව නොපැවති ඒ කාලයේ ඇමරිකාවේ ගම්බද පෙදෙසක් වූ ට්‍රබල්සම් ක්‍රීක්හි පදිංචිකරුවන් විසින් විවාහය සඳහා බොහෝ විට තෝරාගත්තේ අහල පහළම අයෙකි. මෙසේ අහල පහළ සිටි බොහෝ දෙනෙක් එලිසබෙත්ගේ ඥාතීන් වූ අතර ඒ අය අතර නිල් පැහැ ගන්වන ජානය දැරූ වාහකයෝ තවත් සිටියහ. මෙහි ප්‍රතිඵලය වූයේ නිල් පැහැ ෆියුගේට් වරුන් පරම්පරා කිහිපයක්ම බිහිවීමයි.

සිරුරු නිල් පැහැ වුවත් නිල් පැහැ ෆියුගේට්වරුන්ට වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න නොතිබුණු අතර ඔවුහු සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෝ වූහ. අහල පහළ අයට ඔවුන්ගේ නිල් පැහැය ප්‍රශ්නයක් වුනේද නැත. කොහොමටත් අහල පහළ සිටි බොහෝ දෙනෙක් ඔවුන්ගේම ඥාතීන්ය. දුෂ්කර ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ නිල් පැහැ ෆියුගේට්වරුන් ගැන බාහිර ලෝකය එතරම් දැන සිටියේද නැත.

පසුව සොයාගත් පරිදි ෆියුගේට් වරුන්ගේ නිල් පැහැයට හේතු වුණේ ඔවුන්ගේ රුධිරය නිල් පැහැ වීමයි. රුධිරය රතු පැහැ වීමට හේතුව එහි ඇති හිමොග්ලොබීන්ය. හිමොග්ලොබීන් වලට යකඩ අණු හරහා ඔක්සිජන් අණු සමඟ සම්බන්ධ විය හැකිය. රතු පැහැය ලැබෙන්නේ එවිටය. එහෙත්, එක් හිමොග්ලොබීන් ප්‍රභේදයක් වන මෙට්-හිමොග්ලොබීන් වලට මේ අයුරින් ඔක්සිජන් අණු සමඟ සම්බන්ධ වීමේ හැකියාවක් නැත.

සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයේ හිමොග්ලොබීන් අතර මෙට්-හිමොග්ලොබීන් 1-2% ප්‍රමාණයක් තිබේ. මේ ප්‍රතිශතය ඉහළ යන විට එන්සයිමයක් මඟින් මෙට්-හිමොග්ලොබීන් නැවත සාමාන්‍ය හිමොග්ලොබීන් බවට හරවයි. එහෙත්, මේ එන්සයිමය නිපදවීමට උදවුවන සක්‍රිය ජානය අඩු වශයෙන් දෙමවුපියන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන්වත් නොලැබුණු විට ඉහත පරිවර්තනය නිසි පරිදි සිදු නොවීම නිසා මෙට්-හිමොග්ලොබීන් ප්‍රතිශතය විශාල ලෙස ඉහළ යාමෙන් ඔවුන්ගේ රුධිරය නිල්-දුඹුරු පැහැයක් ගනී. ඒ හේතුවෙන් ඔවුන්ගේ හමද නිල් පැහැ වේ.

දැන් මෙට්-හිමොග්ලොබිනීමියා ලෙස හැඳින්වෙන සිරුරේ මෙට්-හිමොග්ලොබීන් ප්‍රතිශතය ඉහළ යාම ජානමය නොවන වෙනත් හේතු මතද ඇති විය හැකි තත්ත්වයක් වන අතර ඒ හේතුවෙන් වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකිය. මෙට්-හිමොග්ලොබිනීමියාව ජාන වලින් උරුම කරගත් නිල් පැහැ ෆියුගේට් වරුන්ට මේ තත්ත්වය නිසා වෙනත් ශාරීරික රෝගී තත්ත්වයන් ඇති නොවුනත්, ඔවුන්ගේ පසු පරම්පරා වල ඇතැම් අයට මෙය මානසික ප්‍රශ්නයක් විය.

ක්‍රිස්තු වර්ෂ 1960 වසරේදී කෙන්ටකි සරසවියේ සේවයට ගිය රුධිරවේදියෙකු වූ මැඩිසන් කැවීන්ට ට්‍රබල්සම් ක්‍රීක්හි නිල් පැහැ මිනිසුන් ගැන අසන්නට ලැබුණේය. මේ ගැන වැඩිදුර තොරතුරු සොයමින් සිටි ඔහුගේ චිකිත්සාගාරයට එක් දිනක් හදිසියේම නිල් පැහැ පිරිමියෙකු හා කාන්තාවක පැමිණියෝය. ඒ සොයුරු සොයුරියන් වූ පැට්‍රික් රිචී හා රේචල් රිචීය. පළමුව, ඔවුන්ගේ හදවත් හා පෙනහළු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ ඔහුට ඒවායේ වැරැද්දක් නොපෙණුනේය. පසුව, ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කළ මැඩිසන් කැවීන්ට ඔවුන්ගේ සිරුරු වල නිල් පැහැයට හේතුවන රුධිරයේ අධික මෙට්-හිමොග්ලොබින් සාන්ද්‍රනයත්, එයට හේතුවන එන්සයිම හීනතාවයත් සොයාගත හැකි විය.

විසෙන් විස නසන්නාක් මෙන් නිල් පැහැ ෆියුගේට්ලාගේ නිල් පැහැය නැති කරන්නට උදවු වුණේද තවත් නිලකි. ඒ මෙතිලීන් බ්ලූය. මෙතිලීන් බ්ලූ සිරුරට එන්නත් කිරීමෙන් පසුව පැට්‍රික් හා රේචර් සොයුරු සොයුරියෝ ක්ෂණිකවම රෝස පැහැති වූහ. එහෙත්, සිරුරෙන් මෙතිලීන් බ්ලූ ඉවත් කරන නිසා ඔවුන්ට දිනපතාම මෙතිලින් බ්ලූ පෙති වශයෙන් ගන්නට විය. මෙතිලීන් බ්ලූ ගන්නා විට ඔවුන්ගේ මුත්‍රාද නිල් පැහැයට හැරුණු අතර ඇතැම් නිල් පැහැ ෆියුගේට්ලා මෙය විස්තර කර ඇත්තේ බෙහෙත් වලින් සිය සිරුරේ නිල් පැහැය දිය කර හැරීමක් වශයෙනි.

නිල් පැහැ ෆියුගේට්ලා ආවාහ විවාහ හරහා මිශ්‍ර වීම නිසා නිලීන ජාන දෙකක් එකතු වීමේ ඉඩකඩ අඩු වී ගිය අතර දැන් නිල් පැහැ ෆියුගේට්ලා ඇමරිකාවේ දකින්නට නැත. එහෙත්, මේ නිලීන ජානය රැගෙන යන වාහකයින් සිටින නිසා එවැනි දෙදෙනෙකු එකතු වූ විටක නැවතත් නිල් පැහැ දරුවෙකු බිහි වන්නට ඉඩ තිබේ.

Saturday, November 4, 2017

සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (දෙවන කොටස)


සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (පළමු කොටස)

සෝවියට් දේශය විසින් ඉලක්ක කළේ සමාජයේ විවිධ ස්ථර අතර හා රටේ විවිධ ප්‍රදේශ අතර ආදායම් විෂමතා අවම වූ සමාජයක් හැදීමටය. එහෙත්, සෝවියට් දේශයට අයත් වූ විවිධ රටවල් අතර සැලකිය යුතු තරමේ ආදායම් විෂමතා තිබී ඇති බව අපි පෙර කොටසින් පෙන්වා දුන්නෙමු. එයට අමතරව සෝවියට් දේශයේ විවිධ අධ්‍යාපන මට්ටම් වල සිටි ශ්‍රමිකයන් අතර මෙන්ම ගැහැණු හා පිරිමි අතරද සැලකිය යුතු තරමේ ආදායම් විෂමතා තිබී ඇත.

සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර සෝවියට් රජය විසින් රටේ පවුල් වල ආදායම් පිළිබඳ පුළුල් සමීක්ෂණ සිදු කර ඇතත් මේ සමීක්ෂණ දත්ත අඩු වශයෙන් සාමාන්‍ය සෝවියට් පර්යේෂකයින්ට හෝ භාවිතා කිරීමට ඉඩ ලැබුණේ නැත. සෝවියට් රජය විසින් ප්‍රසිද්ධ කළේ සැලකිල්ලෙන් තෝරාගත් සාරාංශ දර්ශක පමණි. එහෙත්, සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඇතැම් පර්යේෂකයින්ට මේ දත්ත විශ්ලේෂණය කිරීමට අවස්ථාව සැලසුණේය.

ඇමරිකා එක්සත් ජනපදය වැනි ධනවාදී රටක වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්නා අයෙකුට වැඩි ආදායමක් ඉපැයීමේ අවස්ථාව තිබේ. එහෙත්, එවැන්නෙකු වැඩිදුර ආයෝජනය පිණිස යොදවන්නේ තමන්ගේ පෞද්ගලික ධනය නිසා මේ ප්‍රතිලාභ හෝ එයින් කොටසක් ඒ අමතර ආයෝජනය සඳහා ලැබෙන ප්‍රතිලාභ ලෙසද සැලකිය හැකිය. සෝවියට් දේශය වැනි අධ්‍යාපනය සඳහා පෞද්ගලිකව ආයෝජනය කළ යුතු නැති සමාජවාදී රටකදී මේ තර්කය ධනවාදී රටකදී එතරම්ම වලංගු නැත. එහෙත්, කාලය හා ශ්‍රමය වශයෙන් හෝ වැඩිදුර අධ්‍යාපනය ලබන්නෙකු විසින් දරන, ශිෂ්‍යයන්ට රජයෙන් ලබාදෙන ප්‍රතිලාභ වලින් ආවරණය නොවන, කිසියම් ආවස්ථික පිරිවැයක් තිබිය හැකිය. එවැනි ආවස්ථික පිරිවැයක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පසුකාලීන වැටුප් වෙනසක් ලෙස පිළිබිඹු විය හැකිය.

සෝවියට් ආර්ථිකය මධ්‍යගත ලෙස සැලසුම් කෙරුණේ මාක්ස් හා එංගල්ස් ආදීන්ගේ අදහස් මත පදනම්වය. මේ අදහස් අනුව, කවර හෝ ප්‍රයෝජනවත් නිෂ්පාදන කාර්යයක් වෙනුවෙන් යෙදවෙන ශ්‍රමය සමාන ලෙස සැලකුනේය. ගැහැණු පිරිමි භේදයක් නොසලකා ශ්‍රමයට සමාන ලෙස සැලකීම සෝවියට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ද තහවුරු කර තිබුණු ප්‍රමුඛ ඉලක්කයක් විය. එහෙත්, ප්‍රයෝගිකව මෙය මෙලෙසින්ම සිදු වී නැත.

සමස්තයක් ලෙස සෝවියට් දේශය තුළ සරසවි අධ්‍යාපනය ලැබූ අයෙකු ප්‍රාථමික මට්ටමට වඩා අධ්‍යාපනය නොලැබූ අයෙකුට වඩා 46.2%කින් වැඩි වැටුපක් 1984 වසරේදී උපයා තිබේ. 1989 වසරේදීද මේ අනුපාතය 45.7% මට්ටමේ තිබී ඇත. උපාධිධාරී පිරිමියෙකු හා ගැහැණියක අතර සාමාන්‍ය වැටුප් වෙනස 1984දී 24.3%ක්ද, 1989දී 26.9%කි. මීට අඩු අධ්‍යාපන මට්ටමක සිටින පිරිමි හා ගැහැණු අතරද මෙවැනිම ආදායම් වෙනස්කම් දැකිය හැකිය. උපාධිධාරී පිරිමියෙකු ප්‍රාථමික මට්ටමට වඩා අධ්‍යාපනය නොලැබූ ගැහැණියක මෙන් දෙගුණයක පමණ ආදායමක් උපයා තිබේ. වැඩි අධ්‍යාපනයක් ලැබූ අය ලැබූ වෙනත් වරප්‍රසාද වල වෙනස (උදාහරණයක් ලෙස වඩා හොඳ නිවාස) සැලකූ විට විෂමතාවයන් මීටත් වඩා වැඩි විය යුතුය. එමෙන්ම ඇතැම් සෝවියට් ජනරජ වල පැවතී ඇති ආදායම් විෂමතා සමස්තයක් ලෙස සෝවියට් සංගමයේ ආදායම් විෂමතාවයටද වඩා බොහෝ වැඩිය.

පහත වගු සෝවියට් නිල සංඛ්‍යාලේඛණ උපුටා දක්වන හෙන්රික් ෆ්ලැකියර්ස්කිගේ 1992 පර්යේෂණ පත්‍රිකාවෙනි. 





Friday, November 3, 2017

සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (පළමු කොටස)


දින කිහිපයකට පෙර අජිත් පැරකුම් ජයසිංහගේ w3lanka වියුණුවේ පැරණි සෝවියට් දේශයේ කොටසක් වූ වත්මන් තජිකිස්තානය ගැන අවධානය යොමු කර තිබුණේය. ලිපියේ ප්‍රධාන මාතෘකාව ජනප්‍රිය තජිකිස්තාන ගායිකාවක වන නොසියා කරමටුල්ලෝ සහ කලකට පෙර ඝාතනය කරනු ලැබ ඇති ඇගේ පියා ගැන කතා කිරීම වුවත්, වසර පහකටත් පෙර රයිගම හන්දිය වියුණුවේ පළ වී තිබූ ලිපියකින් කොටසක් උපුටා ගනිමින් තජිකිස්තානයේ වත්මන් තත්ත්වය කෙරෙහිද එහි අවධානය යොමු කර තිබුණේය.

වසර පහක් කියන්නේ මිනිසෙකුගේ ජීවිත කාලය සැලකූ විට දිගු කාලයකි. එවැනි කාලයක් තුළ බ්ලොග් ලිපියක සඳහන් කරුණු පමණක් නොව, ලේඛකයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු සිතන පතන ආකාරය පවා සැලකිය යුතු ලෙස වෙනස් විය හැකිය. ඒ නිසා, එවැන්නක් ගැන කතා කළ යුත්තේ සැලකිල්ලෙනි. කෙසේ වුවද, රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට සියවසක් පිරෙන්නට දින කිහිපයක් ඉතිරිව ඇති මේ වෙලාවේ, මේ ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵල ගැන කතා කරන්නට ප්‍රවේශයක් වශයෙන් තජිකිස්තානය ගැන වසර පහකට පෙර රයිගම හන්දියේ ලියැවී ඇති දේ යොදා ගත හැකිය.

රයිගම හන්දිය ලේඛකයා මෙන්ම මමත් සෝවියට් සමුහාණ්ඩු ගැන මුලින්ම දැනගත්තේ මුදල් නොගෙවා ගෙන්වා ගත හැකිවූ සෝවියට් දේශය සඟරා වලිනි. ඔහු මෙන් මා තජිකිස්තානයට හෝ අසල්වැසි රටකට තාවකාලිකව සංචාරය කර හෝ නැත. එහෙත්, ඇමරිකාවේ ජීවත් වන තජිකිස්තාන සංක්‍රමනික මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ම ලඟින් ඇසුරු කර ඇති නිසා තජිකිස්තාන කෑම ගැන ඔහු කියන දේ සමඟ මටද එකඟ විය හැකිය. රට ගැන සමස්තයක් ලෙස මා නොදන්නා නමුත් තජිකිස්තාන සංක්‍රමනිකයින් වන මගේ මිතුරු මිතුරියන්නම් පුළුල් දැක්මක් ඇති සුන්දර මිනිසුන්ය.

වැල් වටාරම් අතහැර ලිපියේ සාරාංශය වෙත ගියහොත් අද තජිකිස්තානය කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ වලින් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මඟින් යැපෙන දුප්පත් රටකි. ලෝක බැංකු දත්ත අනුව පසුගිය වසරේ තජිකිස්තානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 796ක් පමණක් විය. එම වසරේ ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3635 ක් විය. සියවස් තුන්කාලක් සමාජවාදී සෝවියට් සංගමයේ කොටසක් වූ රටක අද තත්ත්වය එහෙමය.

පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටවල් අතරින් අද වන විට අඩුම ඒක පුද්ගල ආදායමක් ලබන්නේ තජිකිස්තානය වුවත් භූගෝලීය ලෙස සෝවියට් සංගමයේ පරිධියේ පිහිටා තිබුණු තවත් රටවල් ගණනාවක තත්ත්වයද එතරම්ම සතුටුදායක නැත. කිර්ගිස්තානය, මොල්දෝවා, උස්බෙකිස්තානය හා යුක්රේනය වැනි තවත් පැරණි සෝවියට් රටවල් ගණනාවක් අද වන විට ඒක පුද්ගල ආදායම අනුව සිටින්නේ ලංකාවට වඩා පසුපසිනි. එහෙත්, සැලකිය යුතු ඒක පුද්ගල ආදායමක් ලබන ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව වැනි රටවල්ද ඒ අතර තිබේ.

පැරණි සෝවියට් දේශයේ කොටස් වූ රටවල් අතර මේ තරම් ආදායම් විෂමතාවයක් දකින්නට හැකි වී තිබෙන්නේ කෙසේද?

ධනවාදය විවේචනය කරන්නට පැහැදිලි හේතුවක් හොයා ගන්නට අමාරු බොහෝ සමාජවාදීන් පුන පුනා කියන්නේ ධනවාදය ආදායම් විෂමතාවන්ට හේතුවන බවයි. එමෙන්ම, සමාජවාදය මාකටිං කිරීමට වැඩිපුරම යොදාගන්නා තර්කය වන්නේද එමඟින් ආදායම් විෂමතා අඩුවන බවයි.

මේ තර්කය පදනමක් නැති එකක්ම නොවේ. ආදායම් විෂමතා නැති කිරීම ලිබරල් ධනවාදයේ ඉලක්කයක් නොවේ. සියල්ලන්ටම සමාන ආදායම් උපයන්නට ඉඩ සැලසීම සමාජවාදීන්ගේ ඉලක්කයකි. ලිබරල් ධනවාදීන්ගේ ඉලක්කය වන්නේ සියල්ලන්ටම ආදායම් උපයන්නට සමාන ඉඩ සැපයීමයි. මේ දෙකෙන් පළමු ඉලක්කයට වඩා දෙවැන්න කාර්යක්ෂම බව තවදුරටත් න්‍යායාත්මක කරුණක් පමණක් නොවේ. ඉතිහාසය විසින් තහවුරු කර ඇති දෙයකි.

වඩා අකාර්යක්ෂම වුවත් දෙවන ඉලක්කය වඩා සාධාරණ බව සමාජවාදීහු සිතති. මිනිසකුගේ මූලික අවශ්‍යතා ගැන සැලකූ විට සමාජවාදීන්ගේ සිතීමට පදනමක් තිබේ. ඇමරිකා එක්සත් ජනපදය වැනි සංකල්පීය ධනවාදයකට වඩාත්ම ආසන්න රටක පවා ළමුන්, ගර්භණී කාන්තාවන්, ආබාධිතයින්, වයස්ගත අය හා අඩු ආදායම්ලාභීන් වැනි කොටස් වල ආහාර, සෞඛ්‍යය හා අධ්‍යාපනය ආදිය සුබසාධනය වෙනුවෙන් සැලකිය යුතු තරමේ සම්පත් සම්ප්‍රේෂනයක් සිදුවීමෙන් පෙනෙන්නේ 'අනිත් එකා මැරුණත් මගේ ලාභය' කියා සිතීම සාමාන්‍ය මිනිස් ස්වභාවය නොවන බවයි. ප්‍රශ්නයක් මතුවන්නේ සම්පත් සමසේ බෙදීම ඉලක්ක කර ගනිමින් වැඩිපුර සම්පත් උපයන අයගේ ධනය බලහත්කාරයෙන් පැහැර ගන්නට යාමේදීය.

ආදායම් ඉපයීමේ හැකියාව අතින් සියලු මිනිස්සු සමාන නොවෙති. එසේ සමාන වේනම් බලහත්කාරයෙන් සමාජවාදයක් බිහි කරන්නට අවශ්‍ය නොවේ. පවතින අමුද්‍රව්‍ය යොදාගනිමින් සම්පත් නිර්මාණය කිරීම ඇතැම් අයට වෙනත් අයට වඩා කාර්යක්ෂම ලෙස කළ හැකිය.

සැමට සමානව සම්පත් බෙදී යාම තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම පුද්ගලයින් විසින් නිපදවන සම්පත් වලින් කොටසක් අකාර්යක්ෂම පුද්ගලයින් අතට කිසියම් ආකාරයකින් සම්ප්‍රේෂණය කළ යුතුය. මේ සම්ප්‍රේෂණය වීම යම් පමණකින් ස්වභාවික ලෙසම සිදුවන නමුත්, සම්පත් සමානව  බෙදෙන මට්ටමට එය ස්වභාවික ලෙස සිදු වන්නේ නැත. වැඩිපුර සම්පත් නිපදවීමේ හැකියාව ඇති අයෙකු එයින් කොටසක් වෙනත් අය සමඟ ස්වේච්ඡාවෙන් බෙදාගන්නට කැමති විය හැකි වුවත් එයට සීමාවක් තිබේ. ඒ මට්ටමෙන් ඔබ්බට සම්පත් සම්ප්‍රේෂණයක් සිදු කළ හැක්කේ බලහත්කාරයෙන් පමණි.

මිනිස්සු යනු ස්වභාවික ලෙසම ස්වඅභිමතාර්ථය පතන්නෝය. මහන්සියෙන් තොරව වෙනත් අයෙකු උපයන දෙයක් ලබා ගත හැකිනම් එයට අකැමති අය නැත. සම්පත් සමානව බෙදී යන ක්‍රමයක් ඇත්නම් අකාර්යක්ෂම පුද්ගලයින්ට වඩා කාර්යක්ෂම පුද්ගලයින්ගේ මහන්සියේ ප්‍රතිඵලයෙන් කොටසක් පැත්තක සිට ලබා ගන්නට පුළුවන. ඒ නිසා, කාර්යක්ෂම පුද්ගලයින්ගේ මහන්සියේ ප්‍රතිඵල අකාර්යක්ෂම පුද්ගලයින් විසින් සූරාකන එවැනි ක්‍රමයකට කැමති අකාර්යක්ෂම පුද්ගලයින් කොටසක් කොයි සමාජයේත් සිටිති. එහෙත්, මේ පිරිස බහුතරය නොවන බව පෙනෙන්නේ බහුතර මිනිසුන්ගේ කැමැත්තෙන් බිහි කළ හෝ පවත්වාගෙන ගිය සමාජවාදී රජයක් ලෝකයේ කොහේවත් තිබී නොමැති වීමෙනි.

ධනවාදී ආර්ථිකයක ආදායම් සමසේ බෙදීම ඉලක්ක නොකෙරෙන්නේ එසේ කිරීමෙන් වඩා කාර්යක්ෂම කොටස් අධෛර්යමත් කෙරෙන බැවිනි. වැඩි ආදායම් ඉපදවීමේ ඉඩකඩ වඩා කාර්යක්ෂම වීමට පුද්ගලයෙකුව පොළඹවයි. වැඩි දෙනෙකු වැඩි ආදායම් උපයන විට රටක සමස්ත ආදායම ඉහළ යයි.

සෝවියට් දේශය විසින් ඉලක්ක කළේ මෙසේ වඩා කාර්යක්ෂම පුද්ගලයින්ට වැඩි ලාභ ලබන්නට ඉඩ සැලසීම මඟින් සමස්ත නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීම නොවේ. සියළු නිෂ්පාදන සාධක රජය යටතේ තබා ගනිමින් (සෝවියට් ව්‍යවස්ථාවේ 10 වගන්තිය) රටේ භෞතික හා භෞතික නොවන ශ්‍රමය සපයන පුද්ගලයින් අතරත්, ගම් හා නගර ඇතුළු ප්‍රදේශ අතරත් විෂමතා නැති කරමින් (සෝවියට් ව්‍යවස්ථාවේ 19 වගන්තිය) සමජාතීය සමාජයක් හැදීමයි. සෝවියට් සංගමයට රටවල් 15ක් අයත්ව තිබූ අතර ව්‍යවස්ථාවේ 36 වන වගන්තියෙන් මේ සියලු රටවල වැසියන්ට සමාන ලෙස සැලකීම තහවුරු කර තිබුණේය. මේ අනුව, බැලූ බැල්මටම පෙනෙන්නේ සෝවියට් සංගමයේ සාමාජික රටවල් අතර ඒ කාලයේ ආදායම් විෂමතා තිබෙන්නට ඉඩක් නැති බවයි. එසේනම්, මේ රටවල් අතර අද පවතින ආදායම් විෂමතාවයට හේතුව සෝවියට් සංගමය බිඳී යාමද?

පහත වගුවේ ඇත්තේ පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටවල් වල පසුගිය වසරේ ඒක පුද්ගල ආදායමයි. සියලු සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකන් ඩොලර් වලිනි. මූලාශ්‍රය ලෝක බැංකුවයි.


වගුවෙන් පෙනෙන පරිදි පැරණි සෝවියට් සංගමයේ රටවල් අතරින් මේ වන විට ඒක පුද්ගල ආදායම අනුව රුසියාවට වඩා ඉදිරියෙන් ඉන්නේ රටවල් තුනක් පමණි. අනෙක් රටවල් සියල්ලම ඉන්නේ රුසියාවට වඩා පසුපසිනි. ඒ රටවලට එහෙම වුණේ රුසියාවෙන් වෙන් වූ නිසාද?

උඩ සිතියම දෙස බැලුවොත් එහි කොල පැහැයෙන් ලකුණු කර ඇති බෝල්ටික් රටවල් තුනේ ඒක පුද්ගල ආදායම රුසියාවේ ඒක පුද්ගල ආදායම මෙන් දෙගුණයකට ආසන්න වන අතර කහ පැහැයෙන් දක්වා ඇති රටවල ආදායම රුසියාවේ ආදායමට වඩා විශාල ලෙස අඩු නැත. එහෙත්, රතු පැහැයෙන් ලකුණු කර ඇති පරිධියේ රටවල ඒක පුද්ගල ආදායම් රුසියාවේ ඒක පුද්ගල ආදායමෙන් අඩකටත් අඩුය.

සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුවත් එහි සාමාජිකයින්ව සිටි රටවල් රුසියාව සමඟ වූ සම්බන්ධය අත හැර දැම්මේ නැත. පැරණි සෝවියට් සංගමයේ රටවල් පහළොවෙන් තුනක් හැර ඉතිරි රටවල් සියල්ලම රුසියානු පොදුරාජ්‍ය මණ්ඩලය එසේත් නැත්නම් ස්වාධීන පොදු රාජ්‍ය මණ්ඩලය ලෙස (CIS) එකට සිටියේය. රුසියානු පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ එකතු නොවූයේ පැරණි සෝවියට් සංගමයේ රටවල් අතරින් රටවල් තුනක් පමණි. ඒ බෝල්ටික් කලාපයේ පිහිටි ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව යන රටවල් තුනයි.

මේ බෝල්ටික් රටවල් තුන කියා සිටියේ සෝවියට් සංගමය විසින් බලහත්කාරයෙන් සිය රටවල් ඈඳා ගත්තා මිස තමන් කැමැත්තෙන් සෝවියට් සංගමය සමඟ එක්ව නොසිටි බවයි. මේ අනුව, රුසියාව සමඟ පැවති සම්බන්ධතාව තවදුරටත් පවත්වා ගැනීමට මේ රටවල් තුනට අවශ්‍ය වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් ඉලක්ක කළේ යුරෝපීය සංගමයට එකතු වීමටය.

අදවන විට රුසියානු පොදු රාජ්‍ය මණ්ඩලයට එකතු නොවූ මේ රටවල් තුනේ ඒක පුද්ගල ආදායම් වල සාමාන්‍යය ඇමරිකන් ඩොලර් 15,524කි. රුසියානු පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ සිටි රටවල ඒක පුද්ගල ආදායම් වල සාමාන්‍යය ඇමරිකන් ඩොලර් 3,481කි.

කෙසේ වුවද, පැරණි සෝවියට් සංගමයේ රටවල් අතර මේ වන විට පෙනෙන්නට තිබෙන ආදායම් විෂමතාවයට එකම හේතුව එම රටවල් සෝවියට් සංගමයෙන් නිදහස් වීමෙන් පසු කටයුතු කළ වෙනස් ආකාරයන් නොවේ. සෝවියට් සංගමය ලෙස එකතු වී සිටි කාලයේද මේ රටවල් අතර සැලකිය යුතු ආදායම් විෂමතා තිබුණේය.

ආදායම් විෂමතා නැති කරන්නට කෙතරම් උත්සාහ කළත් සෝවියට් සංගමයට ඒ ඉලක්කය පවා සපුරා ගන්නට ලැබුණේ එක්තරා මට්ටමකට පමණි. සෝවියට් සංගමය විසින් ප්‍රසිද්ධ කළ නිල ප්‍රකාශන වල මේ හා අදාළ සංඛ්‍යාලේඛණ සෘජුවම ඉදිරිපත් කර නොතිබුණත්, අදාළ කරුණ විමසා බලන්නට ප්‍රමාණවත් දත්ත එම තොරතුරු අතරේ සැඟවී තිබුණේය.

ඇතැම් පර්යේෂකයින් විසින් සෝවියට් සංගමයේ නිල සංඛ්‍යාලේඛණ විශ්ලේෂණය කරමින් සංගමය බිඳ වැටෙන්නට ආසන්නව එහි සාමාජික රාජ්‍ය අතර පැවති ආදායම් විෂමතා ගැන අධ්‍යයනයන් සිදුකර විමර්ශිත ජර්නල වල පළ කර තිබේ. හෙන්රික් ෆ්ලැකියර්ස්කිගේ 1992 අධ්‍යයනයත් (International Journal of Sociology, Vol. 22, No. 3), ඇලෙක්සීව් හා ග්ලැඩීගේ 1993 අධ්‍යයනයත් සෝවියට් සංගමය බිඳ වැටුණු අලුත එසේ සිදු කළ අධ්‍යයන පිළිබඳ උදාහරණයි.


ඇලෙක්සීව් හා ග්ලැඩීගේ 1993 පර්යේෂණ පත්‍රිකාවේ 2A වගුව අනුව, 1988දී තජිකිස්තාන වැසියන්ගෙන් 58.6%කගේ මාසික ආදායම රූබල් 75කට වඩා අඩු වූ අතර උස්බෙකිස්තානයේ මේ ප්‍රතිශතය 44.7%ක්ද, කිර්ගිස්තානයේ 37.1%ක්ද විය. නමුත්, ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව යන රටවල රූබල් 75කට වඩා අඩු ආදායම් ලැබූ අය සිටියේ පිළිවෙලින් 3.2%ක්, 3.6%ක් හා 3.9%ක් පමණි. අනෙක් අතට ලැට්වියාවේ 28.3%ක්ද, ලිතුවේනියාවේ 24%ක්ද, එස්ටෝනියාවේ 33.6%ක්ද රූබල් 200 ඉක්මවන මාසික ආදායමක් ලබද්දී තජිකිස්තානයේ එම ආදායම් මට්ටම ඉක්මවූ අය සිටියේ 1.4%ක් පමණි.

අද වන විට විශාලනය වී තිබෙන්නේ සෝවියට් සංගමය පැවති කාලයේද එහි සාමාජික රටවල් අතර තිබුණු හා විවිධ ආදායම් ස්ථර අතර තිබුණු (ලිපියේ විස්තරාත්මක ලෙස කතා කර නැති) ආදායම් විෂමතාවයන්ය. සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් සෝවියට් සංගමය විසින් විවිධ ආදායම් ස්ථර අතර ආදායම් විෂමතා අඩු කරගත් බව සැබෑවක් වුවත්, සංඛ්‍යාලේඛණ මඟින් පෙනෙන පරිදි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ ඇතැම් ස්කැන්ඩිනේවියානු රටවල්ද ඒ තරමටම හෝ ඊටත් වැඩියෙන් ආදායම් විෂමතාවය අඩුකරගෙන තිබීම විශේෂත්වයකි.

සෝවියට් සංගමය ක්‍රියාත්මකව පැවති කාලයේදීද එහි පරිධියේ වූ මධ්‍යම ආසියානු රටවල තත්ත්වය මධ්‍යයේ වූ රටවල තරම් යහපත්ව තිබී නැත. එපමණක් නොව, තජිකිස්තානයේ අද පෙනෙන්නට ඇති විශාල අවිධිමත් ආර්ථිකයේ ඉතිහාසයද සෝවියට් සංගම් යුගයට දිව යන්නකි. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු එහි සාමාජික රටවල සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූවන් යොදාගනිමින් සිදු කළ සංගණනයකට අනුව (Berkeley-Duke Project on the Second Economy in the U.S.S.R.) පෙනෙන්නේ ඒ වන විටද සෝවියට් සංගමයට අයත්ව තිබුණු මධ්‍යම ආසියාතික රටවල විශාල අවිධිමත් ආර්ථිකයක් තිබී ඇති බවයි. එහෙත්, සෝවියට් සංගමයට අයත් වූ බෝල්ටික් රටවල එවැනි තත්ත්වයක් තිබී නැත.

අවිධිමත් ආර්ථිකයේ බලපෑමද සැලකූ විට සෝවියට් සංගමයේ පැවති ආදායම් විෂමතාවයන් ඉහත පර්යේෂණ පත්‍රිකා වල පෙනෙනවාටත් වඩා වැඩි විය යුතු බව අදාළ විශ්ලේෂකයින්ගේ අදහසයි. මේ සමාජවාදීන් විසින් උත්කර්ෂයට නංවන සමාජවාදයේ එකම යහපත හා අදාළව වුවද පැවතී ඇති තත්ත්වයයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...