වෙබ් ලිපිනය:

Sunday, June 12, 2022

ඇමරිකාවේ උද්ධමනයත් වාර්තා තබයි!


පසුගිය මැයි මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 8.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර 40ක් තුළ ඇමරිකාවෙන් වාර්තා වන ඉහළම උද්ධමනයයි. 1980දී උද්ධමනය 14.6% පමණ මට්ටමට යාමෙන් පසුව පසුගිය දශක හතර තුළ ඇමරිකාවේ උද්ධමනය අඩු මට්ටමක තිබුණා. 

පසුගිය කාලය තුළම ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් 2%ක උද්ධමනයක් ඉලක්ක කර එම ඉලක්කය සපුරා ගත්තා. මේ වන විට ඇමරිකාවේද මහ බැංකුව අසමත්ව ඇති අතර එය දේශපාලන ප්‍රශ්නයක්ව තිබෙනවා. 

ඇමරිකාවේ උද්ධමනයට හේතුවද වෙනත් රට වල උද්ධමනයට හේතු වන සාමාන්‍ය කරුණයි. එනම් ඕනෑවට වඩා සල්ලි අච්චු ගැසීමයි. 2008 ආර්ථික අවපාතයෙන් පසුවද ඇමරිකාව විශාල ලෙස සල්ලි අච්චු ගැසුවත් බොහෝ දෙනෙකු පුරෝකථනය කළ පරිදි ඊට අනුරූප ලෙස උද්ධමනය ඉහළ ගියේ නැහැ. අච්චු ගැසූ සල්ලි ඇමරිකාවෙන් පිටතට ගලා යාමත්, ඇමරිකාව තුළද ධනවතුන් අත රැඳීමත් මෙයට හේතු සේ සැලකිය හැකියි. මෙයින් වෙනස්ව මෙවර හැම නිවසකටම චෙක්පත් තැපැල් කර යවනු ලැබුවා. ඒ නිසා පාරිභෝගික භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වී මිල ඉහළ ගියා.

ඇමරිකානුවන්ට උද්ධමනය දැනෙන්නේ ලාංකිකයින්ට උද්ධමනය දැනෙන විදිහටම නෙමෙයි. ඒ දෙරට පාරිභෝගිකයන්ගේ වියදම් රටා වෙනස් නිසයි. ලාංකිකයින්ගේ මුළු වියදම් වලින් 50%කටත් වඩා ආහාර වෙනුවෙන් වැය කළ යුතු වුවත් ඇමරිකානුවෙකු ආහාර වෙනුවෙන් වැය කරන්නේ 8.3%ක් පමණයි. 

ඇමරිකාවේ වියදම් රටාව  (අප්‍රේල් 2022)

ආහාර ද්‍රව්‍ය 8.3%

මත්පැන් හා දුම්වැටි 1.4%

ඇඳුම්, පාවහන් ආදිය 2.5%

නිවාස, ජලය, විදුලිය හා ගෑස් ආදිය 38.0%

ගෘහ භාණ්ඩ 4.0%

සෞඛ්‍යය 8.4%

ප්‍රවාහනය 19.0%

විනෝදාස්වාදය 5.1%

අධ්‍යාපනය 2.6%

හෝටල් හා අවන්හල් 5.1%

වෙනත් භාණ්ඩ හා සේවා 2.2%

සන්නිවේදනය 3.6%

එකතුව 100.0%


ලංකාවේ වියදම් රටාව  (අප්‍රේල් 2022)

ආහාර ද්‍රව්‍ය 50.7%

මත්පැන් හා දුම්වැටි 3.1%

ඇඳුම්, පාවහන් ආදිය 2.9%

නිවාස, ජලය, විදුලිය හා ගෑස් ආදිය 13.3%

ගෘහ භාණ්ඩ 2.9%

සෞඛ්‍යය 4.4%

ප්‍රවාහනය 9.8%

විනෝදාස්වාදය 1.2%

අධ්‍යාපනය 2.6%

හෝටල් හා අවන්හල් 3.9%

වෙනත් භාණ්ඩ හා සේවා 4.0%

සන්නිවේදනය 1.6%

එකතුව 100.0%


Saturday, June 11, 2022

නන්දලාල්ට තව සති තුනයි!


රටේ ආර්ථික අර්බුදය පෙර නොවූ විරූ මට්ටමකට උග්‍ර වී ඒ තුළින් දේශපාලන හා සමාජ අර්බුදයක්ද මතු වීමෙන් පසුව මහ බැංකු අධිපති ධුරයේද වෙනසක් සිදු වුනා. අධිපති ධුරය භාරගත්තේ සැලකිය යුතු කාලයක් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති දක්වා තනතුරු හොබවා විශ්‍රාම ගැනීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට වී සිටි, ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධාරියෙක්ද වන, නන්දලාල් වීරසිංහයි. 

ආර්ථිකයේ ප්‍රශ්න තවමත් විසඳී නැහැ. වසර දහයක් පමණවත් යන තුරු ප්‍රශ්න සියල්ල විසඳෙන එකකුත් නැහැ. අවුරුදු 74ක ප්‍රශ්න ඊට වඩා අඩු කාලයකින් විසඳිය නොහැකියි. එහෙත් නිවැරදි මාර්ගෝපදේශනයක් ඇත්නම් ආර්ථිකය තවතවත් අගාධයට යාම වලක්වා ගත හැකියි. එය සිදු නොවන්නේනම් විනාශයේ කෙළවර කුමක් වේදැයි කාටවත් කියන්න බැහැ.

නන්දලාල් වීරසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමෙන් පසුව ඉතා ඉක්මණින් සාධනීය වෙනස්කම් රැසක් කිරීමට පියවර ගත්තා. මේවා වරින් වර ලියා තිබෙන නිසා එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. ඒ කර තිබෙන දේවල් වුවත් පැලැස්තර තමයි. නමුත් මේ වෙලාවේ පැලැස්තර දමනවාට වඩා දෙයක් ක්ෂණිකව කළ නොහැකියි. නන්දලාල් වීරසිංහ විසින් ක්ෂණික ප්‍රශ්න වලට පැලැස්තර දමන අතරම වරින් වර ඔහුගේ දිගුකාලීන දැක්ම ගැන අදහස් ප්‍රකාශ කිරීමටද පැකිලී නැහැ.

අඩුපාඩු තිබිය හැකි වුවත්, තවමත් නන්දලාල්ගේ ක්ෂණික පිළියම් කිසිවක් අතේ පත්තු වී නැහැ. ඒ වගේම, දිගුකාලීන වෙනසක් වෙනුවෙන් යමක් කිරීමට ඔහුට තවමත් අවස්ථාවක් ලැබීත් නැහැ. එවැනි වෙනස්කම් කළ හැකි වාතාවරණයක් තවමත් රටේ නැහැ. නන්දලාල්ගේ අනාගත සාර්ථකත්වය ගලේ කෙටී නැතත්, ඔහු තවමත් අසාර්ථක වී නැහැ. 

කෙසේ වුවත්, නන්දලාල් වීරසිංහගේ අධිපති පත්වීම වලංගු වන්නේ ජූනි 30 දක්වා පමණයි. මීට පෙර වරක් මාධ්‍ය ඉදිරියේ පැවසූ පරිදි ඔහු ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් නොවුනත්, එසේම දේශපාලන අධිකාරිය විසින් ඉල්ලා අස්වෙන සේ බල කරනු නොලැබුවත්, ඔහුගේ අධිපති ධුරය තව තෙසතියකින් ඉබේටම අහෝසි වී යනවා.

මුදල් නීති පණත අනුව මහ බැංකු අධිපති වරයෙකු හෝ වෙනත් මුදල් මණ්ඩල සාමාජිකයෙකු පත් කිරීමෙන් අනතුරුව වසර හයක කාලයක් යන තුරු එම පත්වීම වලංගුයි. එම කාලය නිම වන තුරු මුදල් මණ්ඩල සාමාජිකයින් ඉවත් කළ නොහැකියි. මෙය නීතියෙන් මහ බැංකු ස්වාධීනත්වය ස්ථාපිත කර ඇති ආකාරයයි. එහෙමනම්, නන්දලාල් වීරසිංහගේ පත්වීම මේ තරම් ඉක්මනින් කල් ඉකුත් වන්නේ ඇයි?

මහ බැංකු අධිපති ධුරය පිළිබඳ මෑත ඉතිහාසයට එබී බැලුවොත්, 2004 ජූනි 1 වෙනිදා එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් හේලීස් සභාපති වූ සුනිල් මෙන්ඩිස්ව වසර හයක කාලයකට මහ බැංකු අධිපති සේ පත් කළා. එය මහ බැංකු අධිපති ධුරයට පෞද්ගලික අංශයේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු පත් කරනු ලැබූ මුල්ම අවස්ථාවයි. ඊට පෙර, එක් අවස්ථාවක හැර, දිගින් දිගටම මහ බැංකු අධිපති සේ පත් කරනු ලැබුවේ මහ බැංකුවේම කාලයක් සේවය කර පළපුරුද්දක් තිබුණු නිලධාරීන්වයි.

සුනිල් මෙන්ඩිස්ගේ ධුර කාලය 2010 ජූනි 30 දක්වා වලංගුව තිබුණත්, දෙවසරක් ධුරයේ කටයුතු කිරීමෙන් පසුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. මෙවැනි අවස්ථාවක කරන්නේ ඔහුගේ ඉතිරි වී ඇති ධුර කාලය තුළ අධිපති ධුරයේ කටයුතු කිරීම සඳහා වෙනත් අයෙකු පත් කිරීමයි. ඒ අනුව, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සුනිල් මෙන්ඩිස්ගේ ඉතිරිව ඇති වසර හතරක කාලය සඳහා අජිත් නිවාඩ් කබ්රාල්ව පත් කළා. 

ඉන් පසුව, 2010 ජූනි 30 දින එම ධුර කාලය අවසන් වීමෙන් පසුව මහින්ද රාජපපක්ෂ විසින් නැවතත් වසර 6කට අජිත් නිවාඩ් කබ්රාල්වම එම ධුරයට පත් කළා. මේ අනුව, අජිත් නිවාඩ් කබ්රාල්ගේ ධුර කාලය 2016 ජූනි 30 දින දක්වා වලංගුව පැවතුණා. එතෙක් ඔහුව ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ.

කෙසේ වුවද, 2015 ආණ්ඩු මාරුවෙන් පසුව අජිත් නිවාඩ් කබ්රාල් ස්ව කැමැත්තෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කෙරුනේ කබ්රාල්ගේ පුරප්පාඩුව පිරවීමටයි. ඒ අනුව, කබ්රාල්ගේ දෙවන ධුර කාලය අවසාන වීමට නියමිතව තිබුණු 2016 ජූනි 30 දින අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන් වුනා. ඒ දින වල ඇතැම් තැන් වල වාර්තා වී තිබුණු පරිදි බැඳුම්කර වංචා චෝදනා එල්ල වීමෙන් පසුව ඔහු ධුරයෙන් ඉල්ලා අස් වුනේ හෝ ඉවත් කරනු ලැබුවේ නැහැ. 

අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමිව වසර 6ක කාලයකට මහ බැංකු අධිපති සේ පත් කෙරුණා. මේ අනුව, ඔහුගේ ධුර කාලය අවසන් විය යුතුව තිබුණේ 2022 ජූනි 30 දිනයි. එසේ වුවත්, කබ්රාල් විසින්ද දුන් වැරදි පූර්වාදර්ශයම අනුගමනය කරමින්, 2019 ආණ්ඩු මාරුවෙන් පසුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා.

මේ වන තුරුද ගෙවී යන්නේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ඉතිරිව ඇති ධුර කාලයයි. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ තවත් අධිපතිවරුන් තිදෙනෙකු එම ධුරයේ කටයුතු කර තිබෙනවා. ඉතිරිව ඇති ධුර කාලය සඳහා පත් කරනු ලැබූ ඩබ්ලියු ඩී ලක්ෂමන් මෙන්ම අජිත් නිවාඩ් කබ්රාල්ද කලින්ම ඉල්ලා අස්වීම (හෝ එසේ කිරීමට බල කරනු ලැබීම) නිසා නන්දලාල් වීරසිංහට ධුරය භාර ගැනීමට සිදු වුනේ මාස තුනකටත් අඩු කාලයක් සඳහා පමණයි. ඔහුගේ පත්වීම ජූනි 30 දින කල් ඉකුත් වෙනවා. 

මීළඟට මහ බැංකු අධිපති සේ පත් කරනු ලබන කවර හෝ පුද්ගලයෙකුට 2028 ජූනි 30 දක්වා වසර හයක් ධුරයේ කටයුතු කළ හැකියි. මහ බැංකු අධිපති ලෙස නන්දලාල් වීරසිංහවම නැවත පත් කරයිද එසේ නැත්නම් වෙනත් අයෙකුව පත් කරයිද යන්න තවමත් අවිනිශ්චිතයි. මෙම අවිනිශ්චිතතාව නන්දලාල් වීරසිංහට මෙන්ම මහ බැංකුවේ නිලධාරීන්ටද ප්‍රශ්නයක්ව නොතිබෙන්නට හේතුවක් නැහැ. පසුගිය කාලයේ රටේ ආර්ථිකය සම්බන්ධව ගනු ලැබූ බොහෝ තීරණ වලට මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ පුද්ගලයාගේ පෞද්ගලික රුචි අරුචිකම් බලපෑ බව රහසක් නෙමෙයි.

Friday, June 10, 2022

සංචිත පොඩ්ඩක් වැඩි වෙලා!


කලකට පසු මහ බැංකුවේ සංචිත සුළුවෙන් වුවත් ඉහළ ගොස් තිබෙනවා. අප්‍රේල් මාසය අගදී මහ බැංකුව සතු වූ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,812ක්. මැයි මාසය අවසන් වෙද්දී මෙම සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,920 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම සංචිත වලින් වැඩි කොටසක් "ප්‍රයෝජනයට ගත නොහැකි" සංචිත බව ප්‍රචලිත කරුණක්. එසේ වුවද, වැඩි වී තිබෙන්නේ ප්‍රයෝජනයට ගත හැකි සංචිතයි.

මැයි මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ වලද යම් වර්ධනයක් දැකිය හැකියි. අප්‍රේල් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණේ ඩොලර් මිලියන 248.9ක් පමණක් වුවත්, මැයි මාසයේදී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 304.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවත්, අප්‍රේල් මාසයේදී සංචාරක ඉපැයීම් වලින් ලැබුණු ඩොලර් මිලියන 113.3 මැයි මාසයේදී ඩොලර් මිලියන 54.3 දක්වා අඩු වීම නිසා ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාමේ වාසිය නිශේධනය වී තිබෙනවා. අප්‍රේල් මාසයේදී මෙන්ම මැයි මාසයේදීද ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් වල එකතුව ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 350කට ආසන්න විදේශ විණිමය ප්‍රමාණයක් පමණයි. 

මේ අනුව, මාසික අපනයන ආදායම ඩොලර් බිලියනයක් සේ සැලකුවත් ආනයන වෙනුවෙන් වැය කිරීම සඳහා සඳහා රටට ලැබෙන්නේ ඩොලර් මිලියන 1,350කට ආසන්න මුදලක් පමණයි. ආනයන ඉල්ලුම යම් තරමකින් අඩු වී තිබිය හැකි වුවත් බොහෝ විට ඩොලර් මිලියන 1,750ක් පමණවත් විය හැකියි. එයින් අදහස් වන්නේ තවමත් මසකට ඩොලර් මිලියන 400ක පමණ ඩොලර් ප්‍රමාණයක් කොහෙන් හෝ හොයා ගත යුතුව තිබෙනවා කියන එකයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලක් ඉතා ඉක්මණින් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. කොයි තරම් හදිස්සි කළත් ඒ සඳහා අවම වශයෙන් මාස ගණනක් යන බව පැහැදිලියි. ඒ වන තුරු උදවු කරන්නට සූදානම්ව සිටින්නේ ඉන්දියාව පමණයි. ඉන්දියාවෙන් කීයක් හරි ඉල්ලා ගන්නත් දිගින් දිගටම බැගෑපත් වෙන්න වෙනවා. 

ඉන්දියානු ණය පහසුකම නිසා ඉන්දියාවෙන් කරන ආනයන වෙනුවෙන් අදාළ ආනයනකරුවන් විසින් මුදල් ගෙවිය යුතු වුවත් ඒ මුදල් ඉන්දියාවට නොගොස් මහ බැංකුවේ ඉතිරි වෙනවා. මහ බැංකුව විසින් එම මුදල් පසුව ඉන්දියාවට ගෙවිය යුතුයි. මැයි මාසය තුළ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය මිලියන 108කින් ඉහළ ගොස් තිබුණත්, බොහෝ විට මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය ඊට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා විය හැකියි.

රටට ඩොලර් අද්දවා ගැනීම සඳහා මහ බැංකුව විසින් මහ බැංකුවට කළ හැකි දේවල් කරමින් සිටිනවා. මහ බැංකුව විසින් අලුතෙන්ම ගත් ප්‍රතිපත්ති තීරණය වාණිජ බැංකු වල ඩොලර් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොලී සීමාව ඉවත් කිරීමයි. මෙවැනි ක්‍රියාමාර්ග වලින් යම් ප්‍රතිඵල ලැබිය හැකි වුවත් බංකොලොත් රටක බංකොලොත් මහ බැංකුවකට කළ හැකි දේ ඉතා සීමිතයි. 

Tuesday, June 7, 2022

බදු කැපිල්ලේ වාසිය ගියේ කාටද?

දෙවසරකට පෙර ආණ්ඩුව විසින් සිදු කළ බදු අඩු කිරීම වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ බව දැන් පොදුවේ පිළිගැනෙන කරුණක්. මේ වන විට එම බදු සංශෝධනය යම් පමණකින් ආපසු හරවා තිබෙනවා. එහෙත්, මුළුමනින්ම නෙමෙයි. බදු වැඩි කිරීම් වලින් පසුවද රජයේ ආදායම් අවශ්‍ය පමණ වැඩි වන එකක් නැහැ. ඒ ගැන අපි පසුව වෙනම කතා කරමු.

පහත තිබෙන්නේ 2020 බදු අඩු කිරීම් එක් එක් ආදායම් කාණ්ඩයට බලපෑ ආකාරයයි. මෙය සකස් කිරීමේදී සියලු වක්‍ර බදු හා රජය අය කරන ගාස්තු පරිභෝජනයට සමානුපාතික සේ සලකා තිබෙනවා. ආදායම් බදු අවම ආදායම් බදු සීමාවෙන් උඩ පිරිස් විසින් ගෙවූ බව උපකල්පනය කර තිබෙනවා. 

ජනප්‍රිය මතය කුමක් වුවත් ඉහළම ආදායම් කාණ්ඩයට බදු කැපිල්ලෙන් ලැබුණු වාසිය අනෙක් අයට ලැබුණු වාසියට වඩා අඩුයි. බදු කැපිල්ලෙන් වැඩිම ප්‍රතිලාභ ලැබුවේ මාසික ආදායම රුපියල් 41,667 සිට රුපියල් 250,000 දක්වා වූ පිරිසයි. කලින් සෘජු බදු ගෙවූ ඔවුන් දැන් ගෙවන්නේ වක්‍ර බදු පමණයි. බදු කැපිල්ල නිසා 2019දී 1,550,000ක් වූ බදු ගෙවන්නන් ප්‍රමාණය 2021 වන විට 412,000 දක්වා අඩු වුනා.

බදු කැපිල්ලට පෙර 2019 වසරේදී රටේ නිවාස ඒකක වලින් 70%ක් රජයෙන් ලබන ප්‍රතිලාභ වලට වඩා අඩුවෙන් බදු ගෙවමින් අනෙක් අයගේ වියදමෙන් සුබසාධනය වුනා. ඉතිරි 30% ශුද්ධ වශයෙන් රජයට බදු ගෙවුවා. බදු කැපිල්ලෙන් පසුව රටේ නිවාස ඒකක වලින් 90%ක්ම රජයෙන් ලබන ප්‍රතිලාභ වලට වඩා අඩුවෙන් බදු ගෙවමින් අනෙක් අයගේ වියදමෙන් සුබසාධනය වෙනවා. ශුද්ධ වශයෙන් රජයට බදු ගෙවන්නේ ඉහළම 10% පමණයි. 



Monday, June 6, 2022

උද්ධමනය කාටත් දැනෙන්නේ එක විදිහටද?

පසුගිය මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 39.1% මට්ටමේ පැවතුණා. ඇතැම් අය කියන්නේ "මහ පොළොවේ" පෙනෙන උද්ධමනය මීටත් වඩා වැඩි බවයි. නිසි ක්‍රමවේදයකට ගණනය නොකර මහ පොළොවෙන් හෝ වෙනත් විකල්ප ක්‍රම වලින් උද්ධමනය හොයා ගන්න යාම සාර්ථක ප්‍රවේශයක් නොවන බව මම කලින් පැහැදිලි කර තිබෙනවා. එසේ වුවත්, උද්ධමනය 39.1% යන්නෙන් අදහස් වෙන්නේ හැමෝටම උද්ධමනය දැනෙන්නේ එක විදිහට කියන එක නෙමෙයි.

උද්ධමනය ගණනය කරන්නේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ පරිභෝජන රටාව මත පදනම්වයි. එහෙත්, කිසියම් තනි පුද්ගලයෙක් හෝ පවුලක් සැලකූ විට පරිභෝජන රටාව මේ සාමාන්‍ය රටාවට හරියටම සමාන වෙන්නේ නැහැ. කවදාවත් ගෑස් වලින් උයපු නැති ගෙදරකට ගෑස් මිල වැඩි වීම දැනෙන්නේ නැහැ. ඉන්ධන මිල ඉහළ යාම මුලින්ම දැනෙන්නේ වාහන තිබෙන අයට. පසුව බස් ගාස්තු වැඩි කළ විට එය දැනෙන්නේ බස් වල යන අයට. එකිනෙකාගේ පරිභෝජන රටා අනුව කෙනෙකුට දැනෙන උද්ධමනය වෙනස්.

පහළම ආදායම් ස්ථර වල අය තමන්ගේ ආදායමෙන් වැඩි කොටසක් වැය කරන්නේ ආහාර වලට. ආදායමක් නැතත් ණය වෙලා හරි මොනවා හෝ නොකා ජීවත් වෙන්න බැහැ. මිනිස්සු වෙන දේවල් කරන්න හිතන්නේ බඩ පිරුණට පසුවයි. ආදායම ඉහළ යද්දී මිනිස්සු ආහාර සඳහා වැය කරන වියදම්ද ඉහළ දමන නමුත් ලැබෙන අමතර රුපියලකින් ආහාර සඳහා වැය කරන මුදල එන්න එන්නම අඩු කරනවා. ඒ නිසා, ආදායම ඉහළ යද්දී ආහාර පරිභෝජනය සමානුපාතිකව ඉහළ යන්නේ නැහැ. ආහාර සඳහා වෙන් කරන ආදායම් කොටස එන්න එන්නම අඩු වෙනවා.

මේ විදිහට ආදායම් ඉහළ යද්දී ආහාර සඳහා වෙන් කරන ආදායම් කොටස එන්න එන්නම අඩු වන අතර ආහාර නොවන පරිභෝජන වියදම් එන්න එන්න වැඩි වෙනවා. හැබැයි යම් ආදායම් මට්ටමකින් පසුව මේකත් නවතිනවා. එවැනි ඉහළ ආදායම් මට්ටමකදී මිනිස්සු පරිභෝජනය තවත් වැඩි නොකර ආයෝජන වැඩි කරනවා. පහත රූප සටහනෙන් මෙය පැහැදිලිව දැකිය හැකියි.

ලංකාවේ පහළම ආදායම් ස්ථරය තමන්ගේ ආදායමෙන් 76.2%ක්ම ආහාර සඳහා වැය කරනවා. අනෙකුත් වියදම් 48.6%ක්. මේ දෙකේ එකතුව 124.8%ක්. ඒ කියන්නේ 24.8%ක් ණය වෙලා හෝ වෙනත් ක්‍රමයකින් ලැබෙන්න ඕනෑ. නමුත්, රටේ ඉහළම ආදායම් ස්ථරය ආහාර වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 12.7%ක් පමණයි. අනෙකුත් පරිභෝජන වියදම් වෙනුවෙන් 58.9%ක් වැය කරනවා.එකතුව 71.6%යි. ඒ කියන්නේ ඉතිරි කොටස ආයෝජනය කරනවා කියන එකයි.

පසුගිය මාසයේ උද්ධමනය 39.1% වුවත් ආහාර උද්ධමනය 57.4% තරම් ඉහළ මට්ටමක තිබුණා. මෙහි බලපෑම පහළම ආදායම් කාණ්ඩයට ඉතා දරුණුවට දැනෙන බව පැහැදිලි විය යුතුයි. නමුත්, ඉහළම ආදායම් කාණ්ඩයට මෙය ලොකුවට දැනෙන්නේ නැහැ. ආහාර හා අනෙකුත් භාණ්ඩ හා සේවා පරිභෝජනය ක‍රන අනුපාතයේ වෙනස්කම් අනුව විවිධ ආදායම් කාණ්ඩ වලට උද්ධමනය බලපාන්නේ වෙනස් ආකාර වලින්. රටේ ජනගහණයෙන් 80%කටම උද්ධමනය 39.1%ට වඩා වැඩියෙන් දැනෙනවා. ඉහළම ආදායම් ලබන 20%ට උද්ධමනය දැනෙන්නේ එම ගාණට වඩා අඩුවෙන්.

උද්ධමනය දුප්පතාට වැඩියෙන් බලපානවා කියන එක මෙයින් පැහැදිලි විය යුතුයි. සෘජු බදු මෙන් නොව වක්‍ර බදු රටේ හැමෝටම ගෙවන්න වෙනවා. එහෙත් පහළම සමාජ තීරු වලට වුවත් වක්‍ර බදු නිසා සිදුවන හානිය උද්ධමනයේ හානියට වඩා අඩුයි.



බදු ගෙවන්නේ කවුද?

රටක බදු ප්‍රතිපත්තිය කුමක් විය යුතුද කියන එක දේශපාලනික කරුණක්. දේශපාලනික කරුණු වලට හැමෝටම එකඟ වෙන්න බැහැ. ඒ නිසා, ඒ වගේ දෙයක් ගැන සෘජුව අදහස් ප්‍රකාශ කරන්න මම කැමැති නැහැ. කොහොම වුනත්, මේ වගේ දෙයක් ගැන තමන්ගේ දේශපාලනික මතය හදාගන්න කලින් පවතින බදු ක්‍රමය මොන වගේ එකක්ද කියන එක ගැන හරි අවබෝධයක් අරගෙන ඉන්න ඕනෑ. 

පහත වගුවේ තියෙන්නේ එක් එක් ආදායම් කාණ්ඩය බදු ගෙවන ආකාරය හා ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබන ආකාරය පිළිබඳ සාරාංශයක්. මෙහි ආදායම් දශකයක් කියා කියන්නේ ලංකාවේ නිවාස ඒකක වලින් 10%ක්. ලංකාවේ මුළු නිවාස ඒකක ගණන මිලියන 5.7ක්. ඒ අනුව, එක ආදායම් දශකයකට පවුල් 570,000ක් ඇතුළත්. පළමු ආදායම් දශකයට අයත් වන්නේ දුප්පත්ම පවුල් 10%. දෙවැන්න ඊළඟ පවුල් 10%. පැහැදිලියිනේ.


මෙහි එක් එක් ආදායම් දශකයේ මධ්‍යන්‍ය ආදායම 2019දී ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ආදායම් හා වියදම් සමීක්ෂණය හරහා හොයාගත් ගණන්. එක් එක් ආදායම් කාණ්ඩයේ බදු ගෙවීම් මගේ ඇස්තමේන්තු. මේ ඇස්තමේන්තු සර්ව සම්පූර්ණ නැහැ. අදහසක් ගැනීම සඳහා පමණයි. ගණනය කරපු ක්‍රමය මේකයි. අවම ආදායම් බදු සීමාව අනුව සෘජු බදු සියල්ල ගෙවන්නේ දහවන ආදායම් දශකයේ අය. වක්‍ර බදු හා අනෙකුත් ගාස්තු සියල්ල පරිභෝජනයට සමානුපාතික සේ සලකා ආදායම් කාණ්ඩ අතර බෙදා හැර තිබෙනවා. රජයේ වියදම් වල ප්‍රතිලාභ බෙදා හැරීමේදී සමෘද්ධි වියදම් පහළ 30% අතර බෙදාහැර අනෙකුත් වියදම් සියලු දෙනා අතර සම සේ බෙදා හැර තිබෙනවා. පොලී වියදම් හා ණය ගෙවීම් මෙහි ඇතුළත් නැහැ. මේ බදු වැඩි කරන්න පෙර 2021දී රජයේ ආදායම් හා වියදම්.

සාමාන්‍යයෙන් සාධාරණත්වය ගැන හිතනවානම් අඩු ආදායම් දශක වල බදු අනුපාතික අඩු විය යුතුයි. වැඩි ආදායම් දශක වල බදු අනුපාතික වැඩි විය යුතුයි. නමුත් මෙහි දැකිය හැක්කේ එහි අනෙක් පැත්ත. හැබැයි ඉහළම ආදායම් දශකය තමන්ගේ ආදායමෙන් 42%ක්ම බදු සේ ගෙවනවා. ඉහළ ධනවත් පංතියෙන් සැලකිය යුතු බදු ආදායමක් රටට එන්නේ නෑ කියන එක බොරුවක්.

ගොඩක් අය කියන්නේ ආණ්ඩුව තමන්ගෙන් හැම දෙයකින්ම බදු අය කරනවා කියලයි. නමුත් ඇත්තටම ශුද්ධ වශයෙන් බදු ගෙවන්නේ ඉහළම ආදායම් ලබන 10% පමණයි. අනෙක් හැමෝම ගෙවන බදු වලට වඩා ප්‍රතිලාභ රජයෙන් ලබාගන්නවා. පහළ ආදායම් ස්ථර වල ඉන්න 40% එහෙම ප්‍රතිලාභ ලබාගත්තට කමක් නැහැ. නමුත්, අතරමැද ඉන්න අයත් ඒ විදිහට ගෙවන බදු වලට වඩා ප්‍රතිලාභ ලැබිය යුතුද? 

Sunday, June 5, 2022

මහ බැංකුව තාමත් සල්ලි අච්චු ගහනවද?


සල්ලි අච්චු ගැසීම ප්‍රශ්නයක් වුවත්, යම් කාලයක් යන තුරු තවත් සල්ලි අච්චු ගහන්න සිදු වෙන බව පසුගිය දවසක අගමැතිවරයා ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් අගමැතිවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ.  සල්ලි අච්චු ගැහිල්ල කිය කියා කරන්නෙත් නැහැ. ඔහුට මේ වගේ ප්‍රකාශයක් කරන්න සිදු වුනේ මේ වෙද්දී රටේ මිනිස්සු සල්ලි අච්චු ගැහිල්ල ගැන විමසිල්ලෙන් ඉන්න නිසයි. කොහොම වුනත්, ඔය වගේ ප්‍රකාශ වලට වඩා වැදගත් ඇත්තටම වෙලා තියෙන්නේ කුමක්ද කියන එකයි. 

සල්ලි අච්චු ගැසීම කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ රජය විසින් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන එක. රජයට මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙන්නේ වෙන කවුරුවත් බිල්පත් මිල දී ගන්නේ නැති වුනාම. එහෙම නැත්නම් වෙන අය බිල්පත් මිල දී ගැනීම සඳහා ඉල්ලන පොලිය ගෙවීමට රජය සූදානම් නැති විට.

සාමාන්‍යයෙන් හැම බදාදා දවසකම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනවා. පසුගිය සති තුනේ වෙන්දේසි දිහා බැලුවහම එම සති තුන තුළ රටේ ආර්ථිකයේ යම් යහපත් වර්ධනයක් සිදු වී තිබෙන බව පැහදිලිව දකින්න පුළුවන්. ඩොලරයක කළුකඩ මිල දිහා බැලුවහමත් මේ වෙනස ඒ විදිහටම පේන බව මම කලින් ලිපියක විස්තර කළා.

දැන් මම මේ විදිහට යහපත් වර්ධනයක් කියා කියන්නේ සති තුනකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව. එය ඉතා හොඳ තත්ත්වයක් බව හෝ මේ වර්ධනය මේ විදිහට දිගටම පවතියි කියන එක එයින් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ නැහැ. ඕනෑ වෙලාවක සුළු දෙයකින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ බංකොලොත් වෙච්ච රටක් ගැන. ඒ පසුබිමත් අමතක නොකර අපි පසුගිය තෙසතිය තුළ දැකිය හැකි වූ යහපත් වර්ධනයන් දිහා බලමු. 

මැයි 18 වෙන්දේසිය 

රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 50,000ක්,  දින-182 බිල්පත් රුපියල් මිලියන 20,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,000ක් වෙන්දේසියට දමනවා. එහෙත් මිල දී ගන්නේ දින-91 බිල්පත් රුපියල් මිලියන 6,416ක්,  දින-182 බිල්පත් රුපියල් මිලියන 3,433 ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 6,626 ක් පමණයි. ඒ කියන්නේ රජයට ඒ සතියේ රුපියල් මිලියන 90,000ක් අවශ්‍ය වුවත් බිල්පත් විකුණා හොයා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් මිලියන 16,475ක් පමණයි. දැන් මේ මදිපාඩු මුදල හොයා ගන්නේ කොහොමද?

මැයි 19 වෙනිදා රජය මහ බැංකුවට රුපියල් බිලියන 85ක පමණ භාණ්ඩාගාර බිල්පත් විකුණනවා. ඒ කියන්නේ එපමණ සල්ලි අච්චු ගැසීමක් වෙනවා. මේ ගැන මම අදාළ සතියේ ලිවුවා. 

රජයට වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් සියල්ල විකුණා ගන්න බැරි වෙන්නේ ලන්සු ඉදිරිපත් කළ අය ඉහළ පොලියක් ඉල්ලා සිටි නිසා. රජය වෙනුවෙන් මහ බැංකුව විසින් භාර ගන්නේ 24% මට්ටම නොඉක්මවන පොලියක් ඉල්ලන අයගේ ලන්සු පමණයි. ඒ කියන්නේ සල්ලි අච්චු නොගසා ඉන්නනම් පොලී අනුපාතික 28-31% මට්ටමට ඉහළ යාමට ඉඩ දිය යුතුව තිබුණා. වෙනත් විදිහකින් කිවුවොත් මැයි 18 වන විට වෙළඳපොළ අපේක්ෂාව වුනේ පොලී අනුපාතික ඉදිරියේදී විශාල ලෙස වැඩි වනු ඇති බවයි.

ඒ නිසා, 24% පමණ පොලියක් ගෙවා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය හොයා ගන්න බැරි වුනා. රජය (වෙනුවෙන් මහ බැංකුව) ගෙවන්න සූදනම්ව සිටි උපරිම පොලී අනුපාතික පහත පරිදියි.

දින-91: 24.07%

දින-182: 24.69%

දින-364: 24.50%

ඉහත පොලී අනුපාතික යටතේ ලබා ගන්න පුළුවන් වුනේ රුපියල් මිලියන 16,475ක් පමණයි.

මැයි 25 වෙන්දේසිය 

රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 45,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 22,500ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 22,500ක් වෙන්දේසියට දමනවා. දින-91 බිල්පත් රුපියල් මිලියන 60,116ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 4,272ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 25,612ක් වෙන්දේසියෙන් මිල දී ගන්නවා. ඒ කියන්නේ අවශ්‍ය මුදල වූ රුපියල් මිලියන 90,000 හොයා ගන්නවා. හැබැයි ඒක කරන්නේ දින-91 බිල්පත් වැඩියෙනුත්, දින-182 බිල්පත් අඩුවෙනුත් අරගෙන. ඒ ඇයි?

ලංසු ඉදිරිපත් කරන ගොඩක් අය දින-91 බිල්පත් වැඩියෙන් ඉල්ලනවා. දින-182 බිල්පත් ඉල්ලන්නේ අඩුවෙන්. ඒ කියන්නේ, වෙළඳපොළ අපේක්ෂාව වුනේ පොලී අනුපාතික තව දුරටත් ඉහළ යනු ඇති බවයි. දින-91 බිල්පත් වැඩියෙන් ඉල්ලන්නේ ඉක්මණින් සල්ලි ආපසු ලබාගෙන වැඩි පොලියකට නැවත ආයෝජනය කරන්න බලාගෙන.

කොහොම හරි මොන විදිගෙන් හෝ අවශ්‍ය සල්ලි ටික ලැබුණු නිසා සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. ඇත්තටම බිලියන තුනකින් පමණ පහළ යනවා. 

අවශ්‍ය අරමුදල් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ගෙවන්න සිදු වූ උපරිම පොලී අනුපාතික පහත පරිදියි.

දින-91: 23.65%

දින-182: 24.22%

දින-364: 24.30%

සුළුවෙන් වුවත් පෙර සතියට සාපේක්ෂව පොලී අනුපාතික පහළ ගිහින් බව පේනවා ඇතිනේ. 

ජූනි 1 වෙන්දේසිය 

රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 40,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 23,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,000ක් වෙන්දේසියට දමනවා. දින-91 බිල්පත් රුපියල් මිලියන 37,199ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 25,227ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,574ක් වෙන්දේසියෙන් මිල දී ගන්නවා. ඒ කියන්නේ අවශ්‍ය මුදල වූ රුපියල් මිලියන 83,000 හොයා ගන්නවා පමණක් නෙමෙයි ආසන්න වශයෙන් වෙන්දේසියට දාපු ප්‍රමාණ වලින්ම මිල දී ගන්නටත් පුළුවන් වෙනවා. පොලී අනුපාතිකත් පහළ ගිහින්. 

ඒ කියන්නේ, වෙළඳපොළ අපේක්ෂාවන් වෙනස් වෙලා. දැන් අපේක්ෂාව පොලී අනුපාතික ඉදිරි කාලයේදී පහළ යනු ඇති බවයි. දින-91 බිල්පත් නොඉල්ලා දින-182 හා දින-364 බිල්පත් ඉල්ලන්නේ පොලිය අඩු වෙන්න කලින් වැඩි කාලයකට තමන්ගේ ප්‍රතිලාභ සහතික කර ගන්නයි. 

මේ විදිහට වෙළඳපොළ අපේක්ෂාවන් වෙනස් වෙන්නේ බදු වැඩි කිරීමට ගත්ත තීරණයත් එක්ක. වැඩි කරපු බදු ආදායම් තවම රජයට ලැබිලා නැහැ. ඒක කවුරුත් දන්නවනේ. හැබැයි මේ සල්ලි ඉදිරි කාලයේදී රජයට ලැබෙනවා. ඒ නිසා, භාණ්ඩාගාර බිල්පත් විකුණා සල්ලි හොයන්න තිබෙන අවශ්‍යතාවයත් පහළ ගිහින් රජයට අඩු පොලියකට බිල්පත් විකුණන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම, සල්ලි අච්චු ගැහිල්ල සීමා වන නිසා මහ බැංකුවට පොලී අනුපාතික වැඩි කරන්න පීඩනයක් එන්නේත් නැහැ. මේ සියල්ල ලංසුකරුවෝ දන්නවා. ඒ නිසා, පොලිය අඩු වෙන්න කලින් මේ වෙලාවේ බිල්පත් ගන්න ඔවුන් තරඟ කරනවා. සති දෙකකට කලින් සිදුවුනේ මෙහි අනෙක් පැත්ත.

ඒ එක්කම මහ බැංකුව සතු බිල්පත් ප්‍රමාණය තවත් රුපියල් බිලියන හයකින් පමණ අඩු වෙලා. මහ බැංකුව සතු බිල්පත් කල් පිරුණු විට බිල්පත් ගන්න යෙදවූ සල්ලි පොලියත් එක්ක ආපසු මහ බැංකුවට එනවා. එවිට මුදල් සැපයුම පහළ යනවා. ඒ කියන්නේ අච්චු ගහලා එළියට දමපු සල්ලි වලින් කොටසක් නැවත සංසරණයෙන් ඉවත් වෙනවා. 

බදු වැඩි කිරීමේ වාසි ක්ෂණිකවම පෙනෙන්න තිබෙනවා. බදු බර මිනිස්සු මතම වැටෙනවා වුනත් බදු වැඩි නොකර සල්ලි අච්චු ගැසූ විට වෙන්නෙත් ඒකම තමයි. බොහෝ විට දෙවැන්නේ හානිය වැඩියි. පොලී අනුපාතික ඉහළ ගියාම වැඩි වන වියදම් පියවන්න වෙන්නෙත් තව සල්ලි අච්චු ගහලා. මේ තත්ත්වය දැන් ක්ෂණයකින් වෙනස් වෙලා තියෙනවා. බදු වැඩි කිරීමේ බර වැඩිපුර වැටෙන්නේ ධනවතුන් මතයි. එහෙත් සල්ලි අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළ ගිය විට එහි බර වැඩිපුර පැටවෙන්නේ දුප්පතුන් මත. 

දුප්පතුන් තමන්ගේ ආදායම මුළුමනින්ම යොදවන්නේ පරිභෝජනය සඳහා. එහෙත් ධනවතුන් ඔවුන්ගේ ආදායමෙන් විශාල කොටසක් ආයෝජනය කරනවා. උද්ධමනය වැඩි වී පොලී ඉහළ යද්දී දුප්පතුන්ට මෙන්ම ධනවතුන්ටද හානියක් වුවත් ආදායමට සාපේක්ෂව වැඩි හානියක් වෙන්නේ දුප්පතුන්ටයි. ආයෝජන වෙනුවෙන් වැඩි ප්‍රතිලාභ ලැබෙන නිසා ධනවතුන්ට එයින් වාසියක් වෙන්න වුනත් පුළුවන්. බදු වැඩි කිරීමේ හානියද සියල්ලන්ටම වුවත් වැඩි බරක් වැටෙන්නේ ධනවතුන් මතයි. 

ජූනි 1 වෙන්දේසියේදී අවශ්‍ය අරමුදල් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ගෙවන්න සිදු වූ උපරිම පොලී අනුපාතික පහත වැටී තිබුනේ මේ විදිහටයි.

දින-91: 22.75%

දින-182: 23.60%

දින-364: 23.75%

ජූනි 8 වෙන්දේසිය 

ඊළඟ බැඳුම්කර වෙන්දේසිය තියෙන්නේ ජූනි 8. මේ වෙන්දේසිය සඳහා රජය වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් මිලියන 98,000ක බිල්පත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ දින-91 බිල්පත් රුපියල් මිලියන 40,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 30,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 28,000ක් ලෙසයි. මේ බිල්පත් ප්‍රමාණය වෙන්දේසි කර ගන්න පුළුවන් වෙයිද? ඒ සඳහා කොපමණ පොලියක් ගෙවන්න වෙයිද? එසේ නැත්නම් මහ බැංකුවටම මේ බිල්පත් වලින් යම් ප්‍රමාණයක් මිල දී ගන්න වෙයිද? අපි වෙන්දේසියෙන් පසුව බලමු.

Saturday, June 4, 2022

ලංකාවේ අධි උද්ධමන භීතිකාව ඉවරද?

අධි උද්ධමනය ලෙස හඳුන්වන්නේ උද්ධමනය මනින දර්ශකයක අගය මාසයක් තුළ 50%කින් ඉහළ ගිය විටයි. සාමාන්‍යයෙන් උද්ධමනය සේ හඳුන්වන්නේ දර්ශකයක අගයේ වසරක් තුළ සිදුවන වෙනස් වීම. මාසයකට 50%ක වැඩි වීමක් කියන්නේ වසරකට 12,875%ක වැඩි වීමක්. එහෙමත් නැත්නම් 12,875%ක උද්ධමනයක්.

ලංකාවේ උද්ධමනය මේ වන විට ඉතිහාසයේ කවදාවත් නොතිබුණු තරමකට වැඩි වෙලා. ඉදිරි මාස වල තවත් වැඩි වෙයි. මෙය බිය විය යුතු හා සැලකිලිමත් විය යුතු කරුණක්. නමුත් අවශ්‍ය පමණට මිස අනවශ්‍ය පමණට බිය විය යුතු නැහැ. දැනටනම් ලංකාවේ ඉහළ මට්ටමක උද්ධමනයක් මිසක් අධි උද්ධමන තත්ත්වයක් නැහැ. 

හැම විටම වගේ පවතින තත්ත්වය එලෙස නොදැක අතිශයෝක්තියට නැංවීමෙන් වෙන්නේ ඇත්තටම අවධානය අවශ්‍ය දෙය අවධානයෙන් ගිලිගෙන එකයි. හොඳම උදාහරණය හොරකම් හා දූෂණ. මිලියනයක හොරකම බිලියන දහයක් කළාම එහෙම හොරකමක් වුනේ නැහැ කියන එක පෙන්වන්න ඉතාම පහසුයි. අන්තිමට වෙන්නේ අර මිලියනයේ හොරකම යට යන එක. අධි උද්ධමන කතාවෙන් වෙන්නෙත් ඔය වගේ වැඩක්. 

ලංකාවේ උද්ධමනය මනින කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) හෝ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) යන දෙකෙන් එකක්වත් තවම මාසයකට 50%කින් ඉහළ ගොස් නැහැ. එහෙත්, මහ බැංකුවේ දත්ත අනුව 2022 මාර්තු මාසයේදී ඩොලරයක මිල රුපියල් 201.06 සිට 306.08 දක්වා 52.2%කින් ඉහළ ගියා. මේ සමඟම ලංකාව ඇමරිකානු මහාචාර්යවරයෙකු වන ස්ටීව් හැන්කිගේ අවධානයට යොමු වුනා. ඔහු ලෝකයේ කඩා වැටෙන මුදල් ඒකක ගැන විශේෂඥයෙක්.

ස්ටීව් හැන්කි විසින් රටක උද්ධමනය මැනීම සඳහා භාවිතා කරන විකල්ප දර්ශකයක් තිබෙනවා. ඒ අනුව, උද්ධමනය සේ සලකන්නේ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය වෙනස් වීමේ හා ඩොලරයක මිල වෙනස් වීමේ එකතුවයි.  ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය මාසයක් තුළ වෙනස් වන්නේ ඉතා සුළුවෙන් නිසා ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ ඩොලරයක මිල වෙනස් වීමයි. ,ඒ පදනම මත බැලුවොත් නිල විණිමය අනුපාතයේ වෙනස්වීම අනුව 2022 මාර්තු මාසයේදී ලංකාවේ අධි උද්ධමන තත්ත්වයක් පැවතී තිබිය යුතුයි. 

කෙසේ වුවත් හැන්කි ඔහුගේ දර්ශකය ගණනය කිරීම සඳහා මහ බැංකුවේ නිල විනිමය අනුපාතය යොදා ගන්නේ නැහැ. ඔහු  ඒ සඳහා දත්ත ලබා ගන්නේ වෙනත් තැනකින්. පහත පළමු වගුවේ පෙන්වා තිබෙන්නේ ඩොලරයක නිල මිල හා හැන්කිගේ මූලාශ්‍රය අනුව කළුකඩ මිල පසුගිය කාලය තුළ වෙනස් වී ඇති ආකාරයයි.

මේ අනුව පෙනෙන පරිදි හැන්කිගේ උද්ධමන දර්ශකය කිසිදු මාසයක 50%කින් වැඩි වී නැහැ. එහෙත්, 2022 පෙබරවාරි හා මාර්තු මාස වලදී එම දර්ශකය 25% ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. කිසියම් රටක උද්ධමන දර්ශකය (ඔහුගේ මිනුම අනුව) මාසයක් තුළ 25%කින් වැඩි වී ඇත්නම් හැන්කි එය නිරන්තරව පරීක්ෂාවට ලක් කරන්න පටන් ගන්නවා. 

පහත දෙවන වගුවේ පෙන්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ  (CCPI), ජාතික පාරිභෝගික මිල දර්ශකයේ  (NCPI), ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකයේ (US CPI) හා ක්‍රය ශක්ති සාම්‍යය (PPP) මත පදනම් වූ හැන්කිගේ උද්ධමන දර්ශකයේ මාසික වෙනස් වීමයි. මේ අනුව පෙනෙන්නේ අධි උද්ධමන තත්ත්වයක් පෙන්වන්නේ නැතත් ලංකාවේ නිල උද්ධමන දර්ශක අනුව මාසික මිල වෙනස් වීම මේ වන විට ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. 


මැයි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය හා ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. එහෙත් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ හැසිරීම දෙස බලා  ජාතික පාරිභෝගික මිල දර්ශකයේ හැසිරීම ගැන අදහසක් ගන්න පුළුවන්.

හැන්කිගේ ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම් වූ දර්ශකය (PPP I) නිල උද්ධමන දර්ශක දෙකටම වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. විකල්පයක් ලෙස නරක නැතත්, මෙහි නිල උද්ධමන දර්ශක හා කිට්ටුවෙන් තැබිය හැකි නිරවද්‍යතාවයක් නැහැ. නිල දර්ශක පදනම් වන්නේ අයිතමයන් සිය ගණනක මිල ගණන් වෙනස් වීමේ සාමාන්‍ය අගය මතයි. එහෙත්, හැන්කිගේ දර්ශකය පදනම් වන්නේ එක් වෙබ් අඩවියකින් ලබා ගන්න ඩොලරයක කළුකඩ මිල මතයි.

ගෙවුණු මැයි මාසයේදී ඩොලරයක කළුකඩ මිල 3.3%කින් පහත වැටී තිබෙනවා. තවම සංඛ්‍යාලේඛණ ඇවිත් නැතත් ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය මාසයක් තුළ කීයටවත් 3.3%කින් වැඩි වන්නේ නැහැ. ඒ කියන්නේ හැන්කිගේ දර්ශකය නිවැරදිනම් මැයි මාසයේදී ලංකාවේ මිල මට්ටම් අඩු වී තිබිය යුතුයි. මැයි මාසයේදී ඒ විදිහට ලංකාවේ බඩු මිල කලින් තිබුණාට වඩා පහළ ගිහින්ද? 

හැන්කිගේ දර්ශකය මහ පොළොවේ පවතින සැබෑ තත්ත්වය වඩා හොඳින් නිරූපණය කරන බව හිතන අයට මෙය හිතන්න කාරණයක්. සම්මත ක්‍රම තිබියදී තමන්ගේ රුචිකත්වයට ගැලපෙන මිනුම් තෝරා ගත් විට ඔය වගේ අවුල් ඇති වෙනවා. ඩොලරයක කළුකඩ මිල පහළ යද්දී හැන්කිගේ දර්ශකය තවත් පහළ යයි. හැබැයි ලංකාවේ බඩු මිල පහළ යන එකක් නැහැ.

Friday, June 3, 2022

ආයෙත් ඩොලර් එක හිර කරගෙනද?

දවසකට දෙකකට සැරයක් රුපියල් පහකින් හෝ දහයකින් ඉහළ ගිය ඩොලරයක මිල දැන් ඒ විදිහට ඉහළ යන්නේ නැහැ. ඩොලරයක මිල රුපියල් 360 ආසන්නයේ ස්ථාවර වෙලා. හැබැයි ස්ථාවර වෙලා කිවුවට මෙතැන ඇත්තටම වෙලා තියෙන්නේ මහ බැංකුව මැදිහත් වී මිල ස්ථාවර කිරීමක් කියන එක කාටවත් රහසක් නෙමෙයි.

මීට කලින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන ඉඳලා වෙච්ච සන්තෑසිය කාටවත් රහසක් නෙමෙයිනේ. දැන් ආයෙත් නැවත වටයකින් ඒ වගේම දෙයක් වෙන්නද යන්නේ?

කලින් පාර ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගන්න ගිහින් මහ බැංකුවේ සංචිත බිංදුවටම හිඳුනා. දැන් මහ බැංකුව සතුව සංචිත නැහැ. එහෙමනම් ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්නේ කොහොමද? එහෙම කරන එකේ මොකක් හෝ තේරුමක් තියෙනවද? 

වෙළඳපොළ තුළ ඩොලරයක මිල තීරණය වන්නේ ලංකාව ඇතුළේ ඩොලර් වලට තිබෙන ඉල්ලුම හා ඩොලර් සැපයුම මත. අපනයන, ශ්‍රමික ප්‍රේෂණ, සංචාරකයින්, රජය විසින් ගන්නා ණය, බැංකු වලට එන ඩොලර් තැන්පතු ආදිය හරහා රටට ඩොලර් එනවා. ආනයන, විදේශ සංචාර, ණය ආපසු ගැනීම් ආදිය ඉහළ යද්දී ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ විට ඩොලර් අවශ්‍ය අයට වෙළඳපොළේ තිබෙන සීමිත ඩොලර් ප්‍රමාණය මිල දී ගැනීමට තරඟ කරන්න වෙනවා.  ඒ තරඟය නිසා ඩොලරයේ මිල ඉහළ යනවා. ඩොලරයේ මිල ඉහළ ගියාම ආනයන ඉල්ලුම, විදේශ සංචාර ආදිය අඩු වෙලා ඩොලර් ඉල්ලුමත් පහළ ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඕක තමයි ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන සාමාන්‍ය ක්‍රමය.

එතකොට පහුගිය කාලයේ වුනේ කුමක්ද? විශාල ලෙස සල්ලි අච්චු ගහපු නිසා ආනයන ඉල්ලුම ඉහළ ගියා. ඇයි අතේ තියෙන රුපියල් වියදම් කරන්න ක්‍රමයකුත් හැදෙන්න ඕනෑනේ. නමුත් සල්ලි අච්චු ගැහුවා කියලා රටේ නිෂ්පාදනය වැඩි නොවන නිසා මිල දී ගන්න වෙන්නේ ආනයනය කරන දේවල්. 

දැන් ඔය විදිහට ආනයන ඉල්ලුම වැඩි වෙද්දී ඩොලර් ඉල්ලුමත් ඉහළ යනවා. හැබැයි ඩොලර් සැපයුම වැඩි වෙන්නේ නැහැනේ. මහ බැංකුව විසින් කළේ සංචිත විකුණමින් ඉල්ලුමට සරිලන තරමට ඩොලර් සපයන එක. එවිට එම ඩොලර් ආනයන සඳහා යොදා ගන්න පුළුවන්. මොන විදිහෙන් හෝ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිසා මිල ඉහළ යන්නේ නැහැ. ඔය වැඩේ කරන්න ගිහින් අවසාන වශයෙන් රටේ ඩොලර් සංචිතය බිංදුවටම හිඳුනා කියලා අපි දන්නවනේ.

දැන් මහ බැංකුවට ඔය වැඩේ කරන්න බැහැ. මොකද ඔය වැඩේ කරන්න පුළුවන් සංචිත අතේ තියෙනවානම් පමණයි. ඒ කියන්නේ ඩොලරයක මිල කීයට ගියත් මහ බැංකුවට උඩ බලාගෙන ඉන්නවා මිසක් කරන්න පුළුවන් දෙයක් නැහැ. මිල ඉහළ යාමෙන්ම ඉල්ලුම හා සැපයුම සමතුලිත විය යුතුයි.

මේ වෙද්දී මිල ඉහළ ගොස් තියෙන තරමට හා වෙනත් ක්‍රියාමාර්ග නිසා හරිනම් ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්න ඕනෑ. නමුත් තවමත් ඒක වෙලා නැහැ. ඊට ප්‍රධාන හේතුව කලින් ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ඒ විදිහටම නොලැබීම. ඒකට හේතුව දේශපාලන හේතු නිසා පිටරට වල ඉන්න අය සල්ලි එවන්නේ නැතුව සිටීම වගේ සරල දෙයක් නෙමෙයි. හේතුව මම පැහැදිලි කරන්නම්.

ස්ටීව් හැන්කි ගැන දැන් හැමෝම වගේ දන්නවනේ. ඔහු ලංකාවේ උද්ධමනය ගණනය කරන්න ගන්නේ ඩොලරයක කළුකඩ මිල. මේ දත්ත ගන්නේ රුපියල් ගෙවා ක්‍රිප්ටෝ ඇතුළු වෙනත් මුදල් වර්ග මිල දී ගත හැකි වෙබ් අඩවියකින්. පසුගිය පෙබරවාරි මාසය පමණ දක්වා මේ වෙබ් අඩවියේ රුපියල් ගනුදෙනු සිදු වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. සමහර විට දවස් ගාණකට එකක්. ගනුදෙනු සිදුවන මිලත් බැංකු වල මිලට ආසන්නයි. 

පෙබරවාරි මාසයේදී පමණ එකවර හදිසි වෙනසක් වෙනවා. දෛනික රුපියල් ගනුදෙනු ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යනවා. බැංකු වල මිල හා කළුකඩ මිල අතර පරතරයද විශාල ලෙස වැඩි වෙනවා. 

පහත රූප සටහන දිහා බැලුවහම මෙය හොඳින් දකින්න පුළුවන්. දැන් මේ වුනේ කුමක්ද?

විණිමය සමපේක්ෂකයෝ කියලා ජාතියක් ලෝකයේ ඉන්නවා. මේ අය බලාගෙන ඉන්නේ ව්‍යවහාර මුදල් ගනුදෙනු වලින් තමන්ට ලොකු ලාබයක් ගන්න පුළුවන් අවස්ථාවක් එළැඹෙන තුරු. රටක මහ බැංකුවක් පිස්සු කෙලිනවා කියන්නේ ඒ වගේ වාසියක් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක්. ජෝජ් සෝරෝස් ඔය විදිහට වෙලාව බලලා එංගලන්තයේ මහ බැංකුවටත් ගේම දුන්න හැටි අහල ඇතිනේ. 

ලංකාවේ මහ බැංකුව සංචිත විකුණමින් ඩොලරයේ මිල ආරක්ෂා කරගෙන ඉන්නවා කියන එකත්, ඔය වැඩෙන් කොයි වෙලාවක හෝ කෙළවගන්නවා කියන එකත් අපි වගේ මැට්ටන්ට පවා කලින්ම තේරුණ එකේ ඕවා ගැන නිරන්තර අවධානයෙන් ඉන්න විණිමය සමපේක්ෂකයන්ට ඕක මීටර් නොවී තියෙන්නේ නැහැනේ. හැබැයි මේ ගොල්ලෝ හදිස්සි වෙන්නේ නැහැ. බලාගෙන ඉන්නවා.

ඔහොම ගිහින් ගිහින් ලංකාවේ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටෙනවා. දැන් කොයි වෙලාවේ හෝ ඩොලර් එක අතාරින්න වෙනවා කියන එක සහසුද්දෙන්ම පේනවා. ඔන්න ඔය වෙලාවේ සමපේක්ෂකයෝ වැඩ පටන් ගන්නවා. බැංකු ඩොලර් වලට රුපියල් 200ක් පමණක් ගෙවද්දී ලංකාවට සල්ලි එවන්න අවශ්‍ය අයට රුපියල් 240-260 වගේ ගණන් දීලා ඒ ඩොලර් මිල දී ගන්නවා. මේ විදිහට වැඩි මිලට ඩොලර් මිල දී ගන්නවා කියන්නේ අඩු මිලට රුපියල් විකුණනවා කියන එක. හැබැයි විකුණන්නේ නැති රුපියල්. ඉංග්‍රීසියෙන් කිවුවොත් රුපියල් ෂෝර්ට් සෙල් කරනවා.

මේ වැඩේ අවදානම් වැඩක්. හැබැයි ඔය වගේ වැඩ වලට අතගහන්නේ පළපුරුද්දක් තිබෙන අය. ඒ එක්කම ලංකාවේ රුපියලේ අපේක්ෂිත කඩා වැටීම, උද්ධමනය ආදිය තිබෙනවාටත් වඩා අතිශයෝක්තියට නංවලා මිනිස්සු බය කළාම ලංකාව ඇතුළේ රුපියල් ඉල්ලුම පහළ ගිහින් ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ඩොලරයකට විශාල මුදලක් ගෙවන්න සූදානම් වන වාතාවරණයක් හැදෙනවා. ඊට පස්සේ අතින් සල්ලි යට නොකරම ලාබ එකතු කරන්න පටන් ගන්න පුළුවන්. 

ලංකාවට එවන්න ඉන්න ඩොලරයක් රුපියල් 240ට අරගෙන ගෙදර අයට ඒ සල්ලි දෙන්න පොරොන්දු වුනා කියමු. අනෙක් පැත්තෙන් ඒ ඩොලර් එක රුපියල් 260ට ලංකාවේම කාට හරි විකුණලා අවශ්‍ය රුපියල් ටික එකතු කරගන්න ගමන් ලාබෙකුත් තියා ගන්නවා. ඔය වැඩේ දිගටම කරද්දී එකතු වන රුපියල් ලාබ ටිකත් ඔය ක්‍රමයෙන්ම ඩොලර් කර ගන්න පුළුවන්, අන්තිමේදී සල්ලි යට නොකරම ඩොලර් වලින්ම විශාල ලාබයක් ලැබිලා. විණිමය සමපේක්ෂණය කියන්නේ ඔය වගේ වැඩක්. 

මම හිතන විදිහට මේක ලංකාවට එන ශ්‍රමික ප්‍රේෂණ නොලැබී යන්න ප්‍රධානම හේතුවක්. විණිමය සමපේක්ෂකයා විසින් තමන්ට ලාබ හොයන්න කරන අතරමැදි ක්‍රියාවලිය හරහා ශ්‍රමික ප්‍රේෂණ ලංකාවට නොපැමිණ රටින් පිට නවතිනවා. ලංකාවේ ඉන්න තමන්ගේ අතේ රුපියල් තියෙන අය ඒ රුපියල් ක්‍රිප්ටෝ වලට හැරවීම සඳහා හෝ ඩොලර් වලට හැරවීම සඳහා සමපේක්ෂකයා හරහා මේ ඩොලර් ලබා ගන්නවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය වෙන්නේ ලංකාවේ ඉන්න අතේ රුපියල් වත්කම් තිබෙන බොහෝ දෙනෙක් තුළ රුපියල විශාල ලෙස කඩා වැටෙයි කියා තිබෙන බය නිසා. ඒ බය නැත්නම් ඒ අය වැඩි මිලක් දීලා ක්‍රිප්ටෝ මිල දී ගන්නේ නැහැ. එහෙම ඩොලර් හෝ ක්‍රිප්ටෝ ගන්න කෙනෙක් නැත්නම් විණිමය සමපේක්ෂකයන්ට ක්‍රියාත්මක වී රුපියල් ෂෝට්සෙල් කිරීමෙන් ලාබ ගන්නත් බැහැ. 

පෙබරවාරි මාසයේදී විතර විණිමය සමපේක්ෂකයෝ ලංකාවේ රුපියලට ඇටෑක් කරනවා. එහෙම කරලා පෙබරවාරි අවසානය වෙද්දී ඩොලරයක කළු කඩ මිල රුපියල් 270 පමණ දක්වා ඉහළ දමනවා. මේක කරන්නේ ගණන් හදලා. රුපියල් 270 කියන්නේ ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව බැලුවොත් (ආසන්න වශයෙන්) රුපියල තිබිය යුතු මිල. මේ විදිහට කළුකඩ මිල එහි "නියම මිල" දක්වා ඉහළ යාමෙන් පසුව මහ බැංකුවට රුපියල අත නොහැර බැරි වෙනවා. 

මේ වගේ වැඩක් කලින්ම කළානම් මහ බැංකුව වැඩිපුර සංචිත ටිකක් විකුණලා රුපියලේ පාලනය අතට ගන්නවා. සමපේක්ෂකයන් වැඩේට අත ගහන්න පෙබරවාරි වනකම් බලා ඉන්නේ ඒ නිසා. විණිමය සමපේක්ෂකයන්ගේ සාමාන්‍ය උපාය මාර්ගය වන්නේ හොඳටම දුර්වල වෙනකම් ඉඳලා එක පාරෙන් නොකවුට් කරන එක. 

සමපේක්ෂකයින් ක්‍රියාත්මක වුනේ නැත්නම් ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ටමකට යාමෙන් පසුව මිල ස්ථාවර විය යුතුව තිබුණා. නමුත් සමපේක්ෂකයින් විසින් ශ්‍රමික ප්‍රේෂණ එවන අයට රුපියල් ෂෝට් සෙල් කරමින් රුපියලේ පාලනය අතට ගත්තා. ඉන්පසුව දවසකට දෙකකට වරක් ඩොලරය රුපියල් පහකින් දහයකින් වැඩි වෙන්න පටන්ගත්තා. මහ බැංකුවට සංචිත මුදා හැරීම හරහා තත්ත්වය පාලනය කිරීමට ඉඩක් ඉතිරි වී තිබුණේ නැහැ. 

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයක මිල කීයට ගියත් ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ. මිල ඉහළ යාමේදී ආනයන ඉල්ලුම ආදිය පහළ යනවා වුවත් එක් සීමාවකින් පසුව ඒ වැඩේ වෙන්නේ නැහැ. ඉන්ධන, ආහාර, ඖෂධ ආදිය මිල වැඩි කිරීමෙන් පමණක් ලොකුවට සීමා කරන්න බැහැ. ඒ නිසා, ඩොලරයක මිල 360 දක්වා ඉහළ ගියාට පස්සේ එම මිල තවදුරටත් ඉහළ යන්න දීමෙන් ඩොලර් ඉල්ලුම විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල දවසින් දවස ඉහළ යද්දී ඩොලර් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම ඉහළ යනවා. ඒ නිසා, තවදුරටත් දිගින් දිගටම මිල ඉහළ යන්න දෙනවා වෙනුවට මිල මාර්ගෝපදේශනය ඇතුළු තවත් ක්‍රියාමාර්ග හරහා සමපේක්ෂණ ඉල්ලුම පාලනය කරන්න උත්සාහ දැරීම හොඳ ප්‍රවේශයක්. 

රූප සටහන දිහා බැලුවහම මේ කරුණ තහවුරු වෙනවා. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්න කියලා බැංකු වලට කියලා නැහැ. දවසක් ඇතුළත මිල ඉහළ දැමිය හැකි ප්‍රමාණය පමණයි සීමා කරලා තිබෙන්නේ. නමුත් මිල ඉහළ ගිහින් නැහැ. ඒ කියන්නේ මේ මිල සම්බන්ධව බැංකු වලට ප්‍රශ්නයක් නැහැ කියන එකයි. හැබැයි මහ බැංකුව විසින් නොනිල ලෙස බැංකු වල විණිමය අනුපාතය පාලනය කරනවාද කියලා අපි දන්නේ නැහැ. එහෙමත් වැඩ වෙනවනේ. 

වැදගත්ම දේ ඒක නෙමෙයි. මොන විදිහෙන් හෝ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්න බව පැහැදිලිව පේනවනේ. මේ මිල නියම මිල නෙමෙයිනම්, නියම මිල වඩා වැඩි මිලක්නම්, ඔහොම කරද්දී ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරය ටිකෙන් ටික වැඩි වෙන නිසා කළුකඩ මිල ටිකෙන් ටික ඉහළ යා යුතුයිනේ. නමුත් ඇත්තටම වෙමින් තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත. මහ බැංකුව මේ වැඩේ පටන් ගත් දවසේ ඉඳලා කළුකඩ මිල ටිකෙන් ටික පහළ වැටෙන්න පටන් අරන්. ඒ ඇයි?

සමපේක්ෂකයන්ගේ ගේම් එක වැඩ කරන්නේ දවසින් දවස ඩොලර් එක වැඩි වෙද්දී ඇති වන බය එක්ක. ඔය බයට ලංකිකයෝ කීය හෝ දීලා ඩොලර් ගන්නවා. වැඩේ පාඩුවකුත් නැහැනේ. අද අරන් හෙට ආපහු විකිණුවත් රුපියල් දහයක් විතර වාසියි. රට ඇතුළේ ඔය ඉල්ලුම තියෙන තුරු සමපේක්ෂකයින්ට බය නැතුව රුපියල් ෂෝට් සෙල් කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් වැඩි මිලක් ගෙවලා ශ්‍රමික ප්‍රේෂණ ටික එකතු කරගන්න පුළුවන්. 

මහ බැංකුවේ තීරණය නිසා දැන් වැඩේ බැක්ෆයර් වෙලා.  රට ඇතුළේ තිබුණු සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම එක පාරටම අඩු වෙලා. ඒ එක්ක කළුකඩ මිල ටිකෙන් ටික පහත වැටෙනවා. මැයි 15 වන විට රුපියල් 442.74 දක්වා ඉහළ ගොස් තිබුණු ඩොලරයක කළුකඩ මිල ඊයේ (ජූනි 2) වෙද්දී රුපියල් 411.06 දක්වා පහත වැටිලා. මහ බැංකුවේ මිල එලෙසම තිබියදී කළුකඩ මිල අඩු වීමෙන් පෙනෙන්නේ සමපේක්ෂණ ඉල්ලුම අඩු වෙමින් තිබෙන බවයි.

මේ අනුව, මහ බැංකුවේ උපක්‍රමය සාර්ථක වී තිබෙන බව පේනවා. ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති විට මිල ඉහළ යන්න දීමේ අරමුණ ඉල්ලුම අඩු කර එම පරතරය නැති කිරීමයි. පවතින සුවිශේෂී තත්ත්වය තුළ එය අසීරු වුවත් මහ බැංකුව විසින් වෙනත් ක්‍රමයකින් ඩොලර් ඉල්ලුම අඩු කිරීමට සමත් වී තිබෙනවා.

එහෙමනම් මේ වැඩේ කරන්න ඩොලරයක මිල රුපියල් 360 වන තුරු හිටියේ ඇයි? ඔය වැඩේ කලින්ම කරන්න තිබුණනේ?

එහෙම කරන්න බැහැ. මේක මහ බැංකුව සහ විණිමය සමපේක්ෂකයින් අතර ගේම් එකක්. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටියේ එය තිබිය යුතු නියම මිල ඊට වඩා වැඩි බව ඕනෑම කෙනෙකුට පැහැදිලිව තිබියදී. තමන් කරන වැඩේ "වැරැද්දක්" තිබෙන බව ඒ වෙලාවේ මහ බැංකුව දැනගෙනයි ඉන්නේ. විණිමය සමපේක්ෂකයින් විසින් ඇඟිල්ලෙන් ඇනලා මහ බැංකුව හෙළුවෙන් බව පෙන්නූ  වහාම මහ බැංකුවට විලි වහගන්න සිදු වුනේ ඒ නිසා.

දැන් තත්වය හරියටම අනෙක් පැත්ත. ඩොලරයක මිල රුපියල් 360ක් කියන්නේ ඕනෑවට වඩා වැඩි මිලක් බව සමපේක්ෂයෝ දන්නවා. මහ බැංකුව විසින් දැන් ඒ බව ඔවුන්ට පෙන්වා දී තිබෙනවා. මිල රුපියල් 300 පමණ මට්ටමක තියෙද්දී ඔය වැඩේම කළානම් බොහෝ විට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඔය වගේ වැඩකින් ප්‍රතිඵලයක් ලැබෙන්නනම් ඩොලරයක මිල දැන් තිබෙන මිලට වඩා අඩු විය යුතු බව මහ බැංකුව විතරක් හිතලා හරියන්නේ නැහැ. අනෙක් පැත්තේ ඉන්න විණිමය සමපේක්ෂයින් විසින්ද ඒ විදිහටම හිතන්න ඕනෑ. ඔවුන් හිතන්නේ තව දුරටත් මිල වැඩි විය යුතු බවනම් වැඩේ බැක්ෆයර් වෙනවා.

මහ බැංකුව පැත්තෙන් ගත් තීරණය තරමක් අවදානම් තීරණයක්. නමුත් ප්‍රතිඵල වලින් පෙනෙන්නේ මහ බැංකුවේ විනිශ්චය නිවැරදි බවයි. 

Thursday, June 2, 2022

උද්ධමනය වැරදිද?


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු මැයි මාසයේදී ලංකාවේ උද්ධමනය 39.1%ක් වුනා. ඇතැම් අය හිතන්නේ "යථාර්තය" මීටත් වඩා නරක බවයි. ඔවුන් එසේ කියන්නේ ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙන ඇතැම් භාණ්ඩ හා සේවා නිදසුන් සේ පෙන්වමිනුයි.

උදාහරණයක් විදිහට 2021 මැයි මාසයේදී රුපියල් 1,493ක් වූ කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් 2022 මැයි වන විට රුපියල් 5,350 දක්වා වැඩි වෙලා. මෙය 258.34%ක මිල වැඩි වීමක්. ඒ වගේම, 2021 මැයි මාසයේදී රුපියල් 621.37ක් වූ අමු මිරිස් කිලෝග්‍රෑම් එකක් 2022 මැයි වන විට රුපියල් 1,684.19 දක්වා වැඩි වෙලා. මෙය 169.89%ක මිල වැඩි වීමක්. එහෙමනම් උද්ධමනය 39.1% කියන එක හරිද?

උද්ධමනය කියා කියන්නේ ගෑස්, අමු මිරිස් වගේ පාරිභෝගික භාණ්ඩ දෙක තුනක මිල වැඩිවීම නෙමෙයි. සමස්තයක් ලෙස ගෙදරක වියදම් ඉහළ යාම. ගෑස්, අමු මිරිස් ඉහළ යද්දී වෙනත් මොනවා හරි බඩු ගණනාවක මිල අඩු වුනොත් සමස්තයක් ලෙස ගෙදරක වියදම් වැඩි නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට 2021 මැයි මාසයේදී රුපියල් 735.09ක් වූ කවුපී කිලෝග්‍රෑමයක මිල 2022 මැයි වන විට රුපියල් 661.73 දක්වා අඩු වෙලා. මෙය 9.98%ක මිල අඩු වීමක්. ඔය විදිහට ගොඩක් බඩු වල මිල ඉහළ යන අතරේ වුවත් සමහර බඩු වල මිල පහළ යනවා. තවත් සමහර බඩු වල මිල ඉහළ ගියත් ලොකුවට ඉහළ යන්නේ නැහැ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කරන්න භාණ්ඩ හා සේවාවන් 392ක්ම උපයෝගී කර ගන්නේ ඒ නිසා.

මේ භාණ්ඩ හා සේවා සියල්ලම ඉදිරිපත් කරන්න ගියොත් ලොකු ඉඩක් යන නිසා ඒ  භාණ්ඩ හා සේවාවන් 392 කාණ්ඩ 12ක් යටතේ වර්ග කරමු. අදාළ භාණ්ඩ මිල දී ගැනීම සඳහා 2013 වසරේදී කොළඹ නාගරික ප්‍රදේශ වල නිවසක වැසියන් විසින් වැය කළ මුදල් ප්‍රමාණ පහත තිබෙනවා. වරහන් ඇතුළේ තියෙන්නේ මුළු වියදමෙන් අදාළ කාණ්ඩයට වැය කළ ප්‍රතිශතය.

ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග - රුපියල් 17,044.70 (28.2%)

මද්‍යසාර පාන සහ දුම්කොල - රුපියල්  620.31 (1.0%)

රෙදිපිළි සහ පාවහන් - රුපියල් 1,383.22 (2.3%)

නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන - රුපියල්  19,306.27 (32.0%)

ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව - රුපියල්  1,533.73 (2.5%)

සෞඛ්‍යය - රුපියල්  2,650.13 (4.4%)

ප්‍රවාහනය - රුපියල්  6,401.44 (10.6%)

සන්නිවේදනය - රුපියල් 1,993.16 (3.3%)

විනෝදාස්වාද හා සංස්කෘතික කටයුතු - රුපියල් 785.87 (1.3%)

අධ්‍යාපනය - රුපියල් 3,538.72 (5.9%)

ආපනශාලා හා හෝටල් - රුපියල්  3,101.87 (5.1%)

වෙනත් විවිධ භාණ්ඩ හා සේවා - රුපියල්  2,005.31 (3.3%)

එකතුව - රුපියල් 60,364.74 (100.0%)

උද්ධමනය කියා කියන්නේ ඔය මුළු වියදම වසරකදී වැඩි වන ප්‍රතිශතය. ඒ කියන්නේ උද්ධමනය 100% වෙන්නනම් ඔය රුපියල් 60,364.74 වසරකින් පසුව දෙගුණ විය යුතුයි. අපි හිතමු "නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන" පමණක් 100%කින් ඉහළ ගියා කියලා. දැන් මුළු වියදම ඉහළ යන්නේ රුපියල් 19,306.27කින් පමණයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 32.0%යි. ඒ කියන්නේ උද්ධමනය 32% වෙනවා මිසක් 100% වෙන්නේ නැහැ. එහෙම වෙන්නනම් එක්කෝ හැම දෙයක්ම 100% බැගින් වැඩි වෙන්න ඕනෑ. නැත්නම් එසේ වැඩි නොවන ඒවාටත් හරියන්න අනෙක් ඒවා වැඩියෙන් වැඩි වෙන්න ඕනෑ. 

පහත තියෙන්නේ 2021 මැයි හා 2022 මැයි අතර ඉහත එක් එක් කාණ්ඩය තුළ මිල වෙනස් වී ඇති ආකාරය.

ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග - 57.4%

මද්‍යසාර පාන සහ දුම්කොල - 18.7%

රෙදිපිළි සහ පාවහන් - 37.0%

නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන - 13.1%

ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව - 33.8%

සෞඛ්‍යය - 21.3%

ප්‍රවාහනය - 91.5%

සන්නිවේදනය - 0.0%

විනෝදාස්වාද හා සංස්කෘතික කටයුතු - 30.6%

අධ්‍යාපනය - 14.6%

ආපනශාලා හා හෝටල් - 50.3%

වෙනත් විවිධ භාණ්ඩ හා සේවා - 40.5%

එකතුව - 39.1%

මේ අනුව පෙනෙනවා ප්‍රවාහනය වැනි ඇතැම් කාණ්ඩ වල මිල ඉහළ යාම 91.5% තරම් වුවත් සන්නිවේදනය වැනි මිල වෙනස් වුනේම නැති කාණ්ඩත් තිබෙනවා. උද්ධමනය කියන්න ඔය හැම එකකම සාමාන්‍ය අගයක්.

මේ එක් එක් කාණ්ඩය ඇතුළට ගිහින් බැලුවහමත් ඔය වගේම තත්ත්වයක් දැකිය හැකියි. උදාහරණයක් විදිහට අපි "නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන" කාණ්ඩය පරීක්ෂා කර බලමු. මේ කාණ්ඩයේ වියදම් වැඩි වීම 13.1% වුනේ කොහොමද?

ඔය කාණ්ඩය ඇතුළේ ගෙදරක මුළු වියදම් වලින් 32.0%ක් තියෙනවා. 

නිවාස කුලිය - 22.69%

නිවාස අලුත්වැඩියා හා නඩත්තු - 1.15%

ජලය - 1.06%

විදුලිය - 4.39%

LP ගෑස් - 2.19%

භූමි තෙල් - 0.31%

දර - 0.19%

එකතුව - 32.0%

මේ අනුව පෙනෙන්නේ LP ගෑස් මිල 200% ඉක්මවා වැඩි වී ඇතත් මේ කාණ්ඩයේ තිබෙන නිවාස කුලී, නිවාස අලුත්වැඩියා හා නඩත්තු, ජල හා විදුලි බිල් ගාස්තු ආදීය වැඩි වී නැති බවයි. මේ අතරින් විශාලම බරක් ඇති අයිතමය වන නිවාස කුලිය ඩොලරයේ මිල මත තීරණය වන එකක් නෙමෙයි. ජලය, විදුලිය හා ඉන්ධන ආදියේ මිල තීරණය කරන්නේ රජය විසින්. ඒ නිසා ඩොලරය ඉහළ යාම බලපාන්නේ රජය විසින් මිල වැඩි කළොත් පමණයි. ආහාර වැනි වෙනත් කාණ්ඩයක් ඇතුළට ගියත් මෙවැනි විවිධ අයිතමයන් හඳුනාගන්න පුළුවන් වෙයි.

මුල් ප්‍රශ්නයට නැවත එමු. එහෙමනම් 39.1% උද්ධමනය හරිද?

මේක තීරණය වන්නේ උද්ධමනය මනින්න අවශ්‍ය වන්නේ කුමකටද කියන එක අනුවයි. අරමුණ පවුලක වියදම් වැඩි වූ ආකාරය ගැන දැන ගැනීමනම් මේ මිනුමේ වැරැද්දක් නැහැ පමණක් නෙමෙයි මෙයින් වියදම් වැඩි වීම ඕනෑවටත් වඩා වැඩියෙන් පෙන්වනවා වෙන්න පුළුවන්. මොකද මේ ගණනය කිරීමේදී උපකල්පනය කරන්නේ මිල කොපමණ ඉහළ ගියත් 2013දී මිනිස්සු මිල දී ගත්ත දේවල් ඒ ප්‍රමාණ වලින්ම දැනුත් මිල දී ගන්නවා කියන එකයි. නමුත්, මිනිස්සු මිල විශාල ලෙස වැඩි වන දේවල් මිල දී ගැනීම සීමා කරනවා. ඒ නිසා, පවුලක වියදම් ඔය තරමටම වැඩි වෙන්නේ නැහැ.

අනෙක් පැත්තෙන් මහ බැංකුව වගේ ආයතනයක් උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මේ දිහා බලනවානම් ඇත්ත උද්ධමනය මීට වඩා ටිකක් වැඩියි කියා හිතන එකේ වැරැද්දක් නැහැ. මොකද විදුලි බිල්, ඉන්ධන මිල ගණන් වගේ දේවල් රජය විසින් පාලනය නොකර වෙළඳපොළ තුළ තීරණය වුනානම් ඔය සමස්ත වැඩිවීම දර්ශකයෙන් පේනවට වඩා ඉහළ අගයක් ගන්නවා. ඉදිරි මාස වලදී රජයට මේ පාලිත මිල ගණන් සංශෝධනය කරන්න සිදු වෙන නිසා එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය තවත් වැඩි වීමට නියමිත බව මහ බැංකුව විසින් තේරුම් ගත යුතුයි. හැබැයි ස්ටීව් හැන්කිගේ ගණන් හැදීම ඕනෑවට වඩා වැඩි ඇස්තමේන්තුවක්. මොකද උද්ධමන දර්ශකයෙන් 22.69%ක් වන නිවාස කුලිය ඇතුළු තවත් අයිතමයන් ගණනාවක් ඩොලරයක මිල වැඩි වන අනුපාතයෙන් වැඩි වෙන්න සෛද්ධාන්තික හෝ ප්‍රායෝගික හේතුවක් නැහැ. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...