වෙබ් ලිපිනය:

Tuesday, May 25, 2021

ආක්ෂා සහ ලිහිණි

 

මම දෙවෙනි ඉනිම නොවරදවා හෝ එක දිගට බලන කෙනෙක් නෙමෙයි. නමුත් ඉඳහිට බැලෙනවා. කොහොමත් ඉතිං මාසෙකට පාරක් බැලුවත් අල්ලගන්න අමාරුවක් නැති ටෙලි නාට්‍යයක්නේ. ඕකේ අනුහස්, ලිහිණි හා ආක්ෂා අතර තිබුණු තුන් කොන් ප්‍රේමය ආක්ෂාගේ වාසියට විසඳුනු බව කතාව බලන අයට රහසක් නෙමෙයිනේ. හැබැයි අනුහස්ගේ අම්මා උදේනිගේ වැඩි කැමැත්ත තිබුණේ ලිහිණිටයි.

දැන් උදේනිගේ හිත වෙනස් වෙලා. ඒක වෙන්නේ ආක්ෂා කාර් එක විකුණලා අනුහස්ට සල්ලි දුන්නට පස්සේ. ආක්ෂා කාර් එක විකුණලා අනුහස්ට සල්ලි දෙන්නේ ආක්ෂාට කාර් එකක් තිබුණු නිසා. ලිහිණිට කාර් එකක් තිබුණානම් ලිහිණිත් ඔය දෙයම කරයි. නමුත් ලිහිණිට කාර් එකක් නොතිබුණු නිසා ලිහිණිට ආක්ෂාට තිබුණු විකල්පය තෝරා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. 

සතුට කියන්නේ සල්ලි වලට නෙමෙයි. නමුත් සල්ලි තියෙනවානම් සතුට ලැබෙන දේවල් කරන්න වැඩි අවස්ථාවන් ගණනක් ලැබෙනවා. ඒ වගේම වෙනත් අය සතුටු කළ හැකි දේවල් කරන්නත් වැඩි වැඩි අවස්ථාවන් ගණනක් ලැබෙනවා. වැඩිපුර සල්ලි තිබීම හොඳ දෙයක් වන්නේ ඒ නිසයි.

රටක් ගත්තත් ප්‍රතිපත්ති සම්පාදනයේදී එකම ඉලක්කය විය යුත්තේ භෞතික සංවර්ධනය නෙමෙයි. එහෙත්, භෞතික සංවර්ධනය නොවන, දියුණුව ලෙස හැඳින්විය හැකි අනෙක් දේවල් කරන්නත් භෞතික සංවර්ධනය අවශ්‍යයි. 

සමාජයේ පහළ ස්ථර වල සිටින අය ගැන සානුකම්පික වීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත්, එවැනි අයට උදවු කළ හැක්කේ කවුරු හෝ පිරිසක් විසින් ඒ අය වෙනුවෙනුත් සම්පත් ජනනය කිරීමක් කරනවානම් පමණයි.

රටක ආර්ථිකය සමස්තයක් ලෙස ප්‍රසාරණය වන විට ඒ රටේ පහළ ස්ථර වල සිටින අයගේ ජිවන තත්ත්වයත් වඩා යහපත් වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න වැඩි දායකත්වය දෙන සීමිත පිරිසට ඒ වැඩේ කරන්න ඉඩ නොදුන් විට වෙන්නේ සමස්තයක් ලෙස ආර්ථිකය එක තැන පල් වෙන එකයි. එයින් දිගුකාලීනව වෙන්නේ ඒ සීමිත පිරිසගේ වගේම පහළ ස්ථර වල සිටින අයගේත් ජිවන තත්ත්වය අයහපත් වෙන එකයි. 

ධනවාදය පෙනී සිටින්නේ වෙරළු ගෙඩිය හරි හතකට බෙදා ගෙන කෑම වෙනුවෙන් නෙමෙයි. වෙරළු ගෙඩිය පුළුවන් තරම් ලොකු කර ගැනීම වෙනුවෙන්. ගොඩක් අයට ඒ ලොකු වෙරළු ගෙඩියෙන් හතෙන් කොටසක් ලැබෙන්නේ නැති වුනත් ලැබෙන කොටස පොඩි වෙරළු ගෙඩියකින් හතෙන් එකකට වඩා ලොකුයි.

Saturday, May 22, 2021

චීනය ලොකු වීම


චීන ආර්ථිකය මේ වන විට ඇමරිකන් ආර්ථිකය තරමටම වගේ ලොකුයි. මෙතෙක් ලෝකයේ ලොකුම ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය වුවත්, ඉදිරියේදී මේ තැන චීනයට ලැබෙන එක පැහැදිලි කරුණක්. ඇමරිකාව පහු කරගෙන චීන ආර්ථිකය මුල් තැනට පැමිණීමේ පසුබිම් කතාව කුමක්ද?

රටක ආර්ථිකය වර්ධනය වෙන්නේ කොහොමද කියන එක මේ වෙද්දී අපි පැහැදිලි කර ගෙන තිබෙනවා. මෙය තේරුම් ගැනීමේ පහසුව සඳහා අපි කොබ්-ඩග්ලස් ආකෘතිය යොදා ගත්තා. එම ආකෘතිය අනුව, ආර්ථිකයේ ප්‍රමාණය තීරණය කරන ප්‍රධාන සාධක තුන වන්නේ රටක නිෂ්පාදනය සඳහා යොදවන ප්‍රාග්ධනය (K), නිෂ්පාදනය සඳහා යොදවන ශ්‍රමය (L) හා එම සාධක දෙක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂනයේ ඵලදායිතාවයි (A). 

මෙහි නිෂ්පාදනය සඳහා යොදවන ශ්‍රමය (L) තීරණය වන්නේ රටේ නිෂ්පාදනයට දායක වන ශ්‍රමිකයන් ගණන, එක් ශ්‍රමිකයෙකු විසින් වැඩ කරන පැය ගණන සහ ශ්‍රමිකයෙකු විසින් යොදවන පැයක ගුණාත්මක භාවය මතයි. පුහුණු ශ්‍රමිකයෙකුගේ පැයක ගුණාත්මක භාවය වැඩියි. මේ සියල්ල අපි පෙර ලිපියෙන් විස්තරාත්මකව කතා කළා. මේ ලිපියෙන් අපි ඇමරිකාවේ හා චීනයේ අදාළ සංඛ්‍යාලේඛන පරික්ෂා කර බලමු.


ඉහත වගුවේ පෙන්වා ඇති පරිදි චීන ආර්ථිකයේ ප්‍රමාණය ඇමරිකානු ආර්ථිකයේ ප්‍රමාණයට ආසන්න වුවත් චීන ශ්‍රමිකයන් ගණන ඇමරිකන් ශ්‍රමිකයන් ගණන මෙන් පස් ගුණයකටත් වඩා වැඩියි. ඒ කියන්නේ ආර්ථිකයන්ගේ ප්‍රමාණ සමාන වුවත්, ඇමරිකන් ශ්‍රමිකයෙකු විසින් චීන ශ්‍රමිකයෙකු උපයන මුදල මෙන් පස් ගුණයක් උපයනවා. මේ සංසන්දනය කර තිබෙන්නේ දෙරටේ ක්‍රය ශක්ති වෙනස්කම් හා ගැලපීමෙන් පසුවයි. ඒ නිසා, මේ මගින් සෘජු ලෙසම දෙරටේ ශ්‍රමිකයන්ගේ ජිවන තත්ත්වයන් සංසන්දනය කළ හැකියි.

ඊට අමතරව චීන ශ්‍රමිකයෙකු විසින් ඇමරිකානු ශ්‍රමිකයෙකු විසින් වැඩ කරන කාලය මෙන් 23%ක් කාලයක් වැඩිපුර වැඩ කරනවා. ඒ අනුව, චීන ශ්‍රමිකයෙකු විසින් පැයකට උපයන මුදල මෙන් 6.2 ගුණයක මුදලක් ඇමරිකන් ශ්‍රමිකයෙකු විසින් පැයකදී උපයනවා. මේ වෙනසට එක හේතුවක් වන්නේ ඇමරිකන් ශ්‍රමිකයෙකු සතුව චීන ශ්‍රමිකයෙකු සතු මානව ප්‍රාග්ධනය මෙන් 39%කින් වැඩි මානව ප්‍රාග්ධනයක් තිබීමයි. එහෙත්, එක සමාන මට්ටමකට මානව ප්‍රාග්ධනය තිබෙන ඇමරිකානු ශ්‍රමිකයෙකු හා චීන ශ්‍රමිකයෙකු සැලකුවත් ඇමරිකානු ශ්‍රමිකයා විසින් පැයකදී චීන ශ්‍රමිකයා විසින් උපයන මුදල මෙන් 4.5 ගුණයක් උපයනවා. 

ඇමරිකාවේ වගේම චීනයේත් ජාතික ආදායමින් ශ්‍රමය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස 60%ක් පමණ වුවත් චීනයේ කොටස ඇමරිකාවේදී බෙදී යනවාක් මෙන් පස් ගුණයක පමණ පිරිසක් අතර බෙදී යනවා. ඒ වගේම, ඔවුන් ඇමරිකානුවන්ට වඩා 23%ක කාලයක් වැඩ කරනවා. එක සමාන මානව ප්‍රාග්ධනයක් තිබෙන ඇමරිකානුවෙකු චිනෙකු මෙන් 4.5 ගුණයක් උපයන්නේ කොහොමද? ඇමරිකාව නිෂ්පාදනයේදී චීනයට වඩා ප්‍රාග්ධනය යොදා ගැනීම මීට හේතුවද?

සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන්නේ එසේ නොවන බවයි. චීනය සතු ප්‍රාග්ධන සංචිතය ඇමරිකාවේ ප්‍රාග්ධන සංචිතයට වඩා 18%කින් වැඩියි. මේ වන විට ලෝකයේ ලොකුම ප්‍රාග්ධන සංචිතය තිබෙන්නේ චීනයේ. ඒ කියන්නේ ඇමරිකාවේ මෙන් 4.5 ගුණයක ශ්‍රම බලයක් යොදා, ඇමරිකාව යොදවනවාට වඩා 18%ක් වැඩි ප්‍රාග්ධනයක් යොදවා චීනය විසින් නිපදවන අතිරික්තය ඉක්මවන අතිරික්තයක් තවමත් ඇමරිකාව විසින් නිපදවනවා. ඇමරිකාව එය කරන්නේ කොහොමද?

ඇමරිකාවේ සාර්ථකත්වය තනිකරම රඳා පැවතී තියෙන්නේ ඵලදායිතාවය මත. එක සමාන නිෂ්පාදන සාධක ප්‍රමාණයක් යොදවා චීනය විසින් නිපදවන අතිරික්තය මෙන් 2.8 ගුණයක් ඇමරිකාව විසින් නිපදවනවා. එය ඇමරිකානු ව්‍යවසායකත්වයයි. 

කෙසේ වුවත්, මෙය චීනයේ මෑතකාලීන සීඝ්‍ර ආර්ථික වර්ධනය නොසලකා හැරීමක් නෙමෙයි. 1970-2019 අතර කාලයේ දී ඇමරිකන් ආර්ථිකය 3.8 ගුණයකින් වර්ධනය වෙද්දී චීන ආර්ථිකය 18.3 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව, 1970දී ඇමරිකන් ආර්ථිකයෙන් පහෙන් පංගුවක් වූ චීන ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය තරමටම ලොකු වී තිබෙනවා. එය සිදු වුනේ කොහොමද?

පළමුව, මේ කාලය තුළ චීනයේ ජනගහණ වර්ධන වේගය 1.1% වුවත් ඇමරිකාවේ එම වේගය තිබුණේ 0.9% මට්ටමේ. මේ හේතුව නිසා ඇමරිකානු ජනගහණය 57%කින් වර්ධනය වෙද්දී, චීන ජනගහණය 73%කින් වර්ධනය වුනා. දෙවනුව, ඇමරිකාවේ රැකියා නියුක්තිය 19%කින් ඉහළ යද්දී, චීනයේ එය 28%කින් ඉහළ ගියා. තෙවනුව, මේ කාලය තුළ ඇමරිකානුවකු විසින් වසරකට වැඩ කරන පැය ගණන 7%කින් අඩු වෙද්දී චීනයේ එය 10%කින් වැඩි වුනා. සිවුවනුව, ඇමරිකාවේ මානව ප්‍රාග්ධන සංචිත 22%කින් ඉහළ යද්දී චීනයේ 86%ක වැඩි වීමක් සිදු වුනා. මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ ශ්‍රම බලය 2.1 ගුණයකින් ඉහළ යද්දී චීනයේ ශ්‍රම බලය 4.5 ගුණයකින් වැඩි වුනා. 

ශ්‍රම බලයේ සිදු වූ වෙනසටත් වඩා ලොකුම වෙනසක් සිදු වුනේ ප්‍රාග්ධන සංචිත වලයි. 1970-2019 අතර කාලයේ දී ඇමරිකාවේ ප්‍රාග්ධන සංචිත 3.2 ගුණයකින් ඉහළ යද්දී, චීනයේ ප්‍රාග්ධන සංචිත 20.1 ගුණයකින් ඉහළ ගියා. නිෂ්පාදන සාධක මේ විදිහට විශාල ලෙස ඉහළ යද්දී චීනයේ ඵලදායිතාවයද වැඩි වේගයකින් ඉහළ ගියා. ඇමරිකාවේ ඵලදායිතා වර්ධනය 25%ක් වෙද්දී  චීනයේ  ඵලදායිතා වර්ධනය 86%ක්.

චීනයේ මේ ප්‍රවණතාව මේ විදිහට දිගටම පවතියිද? චීන ජනගහණය දිගින් දිගටම වර්ධනය වන එකක් නැහැ. පුරෝකථන අනුව චීන ජනගහණය අඩු වීමට නියමිතයි. ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රම බලකාය තවත් වැඩි වෙන්නත් ලොකු ඉඩක් නැහැ. ඒ වගේම වැඩ කරන පැය ගණනත් මීට වඩා වැඩි විය නොහැකියි. එහෙත් මානව ප්‍රාග්ධනය අතින් චීනයට ඇමරිකාවේ මට්ටමට එන්න බැරිකමක් නැහැ. ඒ වගේම චීනයේ භෞතික ප්‍රාග්ධන සංචිතත් තව දුරටත් ඉහළ යා හැකියි. මේ සාධක වලින් චීනයට ඇමරිකාව ඉක්මවා යම් දුරක් යා හැකි වුවත් විශාල දුරක් යා නොහැකියි. එහෙත් ඵලදායීතාවය අතින් ඇමරිකාවට වඩා බොහෝ පසුපසින් සිටින චීනයට ඉතා පහසුවෙන්ම සිය ඵලදායීතාවය දෙගුණ කර ගන්න පුළුවන්. එහි ප්‍රතිඵලය චීන ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය මෙන් දෙගුණයක් හෝ ඊටත් වඩා විශාල වීමයි. 

ඇමරිකාවට මෙය වලක්වා ගත හැකි ක්‍රමයක් තිබෙනවාද? ඇමරිකාව තුළ ස්වභාවිකව ජනගහණය වර්ධනය වීමේ නැඹුරුවක් නැහැ. ඒ නිසා, ඇමරිකානු ජනගහණය විශාල ලෙස වර්ධනය විය හැක්කේ මහා පරිමාණයෙන් සංක්‍රමණිකයන්ට ඇමරිකාවට පැමිණීමට අවස්ථාව සැලසීමෙන් පමණයි. චීනය නැගී එද්දී ලෝකය තුළ ඇමරිකානු දේශපාලන හා ආර්ථික බලය පවත්වා ගැනීම සඳහා ඇමරිකාවේ ජනගහණය බිලියනයක් දක්වා වර්ධනය කර ගත යුතු බව දැනටමත් ඇතැම් අය යෝජනා කර ඇතත් එවැන්නක් සිදු වීමේ ඉඩක් නැහැ. 

ඇමරිකාවේ ජනගහණය මෙන් 4.4ක ජනගහණයක් සිටින චීනයේ ආර්ථිකයට වඩා ලොකු ඇමරිකන් ආර්ථිකයක් පැවතිය හැක්කේ ඇමරිකාවේ ඵලදායිතාවය චීනයේ මෙන් තුන් හතර ගුණයක් වැඩි මට්ටමක පවත්වා ගත හැකිනම් පමණයි. එයද ප්‍රායෝගිකව කළ නොහැක්කක්. ඇමරිකාවේ ඵලදායිතාවය ඉහළ දමා ගන්නනම් ඇමරිකාවට අලුත්ම ක්‍රමවේද හොයා ගන්න වෙනවා. එහෙත්, ඵලදායීතාව අතින් ඇමරිකාවට වඩා බොහෝ පසුපසින් සිටින චීනයට කරන්න තිබෙන්නේ ඇමරිකාව දැනටමත් කර ඇති දේ කරන එක පමණයි. 

චීනය මෙය ඉතා හොඳින් කරනවා. ඇමරිකාවේ සරසවි වල ඉගෙනුම ලබන මිලියනයක් පමණ වන විදේශ සිසුන්ගෙන් 35%ක්ම එන්නේ චීනයෙන්. ඔවුන් බොහෝ දෙනෙක් නැවත ආපසු චීනයට යනවා. ඇමරිකාවේ ඉගෙන ගෙන, ජිවත් වී, රැකියා කළ අය ප්‍රතිපත්ති තිරණ ගන්නා මුල් පුටු වලට දමන්න චීන කොමියුනිස්ට් පක්ෂය පැකිලෙන්නේ නැහැ. චීන ආර්ථිකය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වීමට සමාන්තරව දැනට පවතින ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික-දේශපාලනික ආකෘතිය අභියෝගයට ලක් වීමේ හැකියාවද හිතා ගන්න අමාරු දෙයක් නෙමෙයි.

Attribution:

Feenstra, Robert C., Robert Inklaar and Marcel P. Timmer (2015), "The Next Generation of the Penn World Table" American Economic Review, 105(10), 3150-3182, available for download at www.ggdc.net/pwt.

Wednesday, May 19, 2021

ආර්ථික වර්ධනය හා ඵලදායිතාවය


කාලයක් ලෝකයේ ලොකුම ආර්ථිකය වුනේ බ්‍රිතාන්‍යයයි. පසුව ඇමරිකාව එතැනට ආවා. එහෙත්, මේ කුසලානය ඇමරිකාවෙන් චීනය වෙත මාරු වෙමින් තිබෙන බව, ඇතැම් විට දැනටම මාරු වී තිබෙන බව, පැහැදිලි කරුණක්. ඇතැම් අය මෙය ධනවාදය හා සමාජවාදය සම්බන්ධ සංසන්දනාත්මක කරුණක් සේ දකිනවා. විශේෂයෙන්ම මා පෙන්වා දුන් ධනවාදයේ කාර්යක්ෂමතාවය පිළිබඳ අදහස සමඟ නොගැලපෙන නිරීක්ෂණයක් සේ දකිනවා. ධනවාදය හා සමාජවාදය මෙයට කිසිසේත්ම සම්බන්ධ නැති පැත්තක තිබෙන කරුණක් නොවූවත්, එම සංසන්දනය පැත්තකින් තියා මේ ගැන පහසුවෙන්ම පැහැදිලි කළ හැකියි.

සමාජවාදී පරමාදර්ශය ධනවාදී පරමාදර්ශයට වඩා සාධනීය නොවන්නේ ඇයි කියන එක මා මේ වන විට ප්‍රමාණවත් අයුරින් පැහැදිලි කර තිබෙනවා. අප ලියන දේ කියවන සීමිත පිරිස අතරින් සමාජවාදය පිළිබඳ යම් විශ්වාසයක් තබන, එහෙත් ආගමක් සේ මාක්ස්වාදය නොඅදහන කිහිප දෙනෙකු විසින් මෙතෙක් වරින් වර මතු කළ ප්‍රශ්න සියල්ලටම අප විසින් පැහැදිලි හා විස්තරාත්මක පිළිතුරු සපයා තිබෙනවා. එහෙත් එවැනි පැහැදිලි කිරීම් වලින් ආගමික අන්තවාදයක සිටින්නෙකුටනම් වැඩක් වෙන එකක් නැහැ.

උදාහරණයක් විදිහට මේ අදහස ගැන සිතන්න.

"පන්තිභේදයකින් තොර සමාජයක් බිහිකරන්න "ඔය කියන" කාර්යක්ශමතාවයෙ කිසිම අවශ්‍යතාවයක් නැහැ. පුද්ගලයාගේ කැමැත්ත අකමැත්ත අදාලත් නෑ."

ධනවාදය හා මාක්ස්වාදය සසඳන්නනම් අප එවැනි සැසඳීමක් කළ හැකි කිසියම් ආරම්භක ස්ථානයක් සොයා ගත යුතුයි. සමාජවාදීන් සේ තමන්ව හඳුන්වා ගන්නා බොහෝ දෙනෙක් භෞතික සංවර්ධනය හා මිනිස් නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා. සෝවියට් දේශය පස් අවුරුදු සැලසුම් හැදුවේ භෞතික සංවර්ධනය ඉලක්ක කර ගෙනයි. කොමියුනිස්ට් ප්‍රකාශනයේ සමාජවාදී රාජ්‍යයක අරමුණක් සේ සඳහන්ව තිබෙන්නේ කොමියුනිස්ට් ක්‍රමයකට යාමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමයි. පෞද්ගලික දේපොළ අයිතිය බැහැර කළත්, සමස්තයක් ලෙස සමාජවාදය තුළ පුද්ගල කැමැත්තට ඉඩක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඓතිහාසික භෞතිකවාදය විශ්වාස කරන්නෙකු ධනවාදය සලකන්නේ සමාජවාදය තරම් දියුණු නැතත් ඊට පෙර එළැඹෙන දියුණු අදියරක් ලෙසයි. මේ අරමුණු වලින් බැහැර නොවූ සමාජවාදියෙකු සමඟ ධනවාදය ගැන කතා කළ හැකි ආරම්භක ස්ථානයක් තිබෙනවා. 

භෞතික සංවර්ධනය හා මිනිස් නිදහස පැත්තකට දමා කෙසේ හෝ "පංති රහිත" සමාජයක් හැදීමේ අරමුණක සිටින අයෙකු සමඟ සංවාදයක් ඇති කරගත හැකි ආරම්භක ස්ථානයක් හොයා ගන්න අමාරුයි තමයි. එවැන්නෙකුට අනුව වෙනත් විදිහකට හිතන හැම කෙනෙක්ම මුලා වී සිටින අයයි. ඔවුන්ට තේරෙන දෙය ලෝකයේ අනෙක් කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් අයගේ කැමැත්ත වැඩක් නැහැ. අනෙක් අයගේ කැමැත්තෙන් වැඩක් නැති නිසා අනෙක් අයට භෞතික සංවර්ධනය අවශ්‍ය වීම වැදගත් දෙයක් නෙමෙයි. අවශ්‍ය වන්නේ කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ පංති රහිත සමාජයක් හදන එකයි. එහි භෞතික සංවර්ධනය හෝ මිනිස් නිදහස නොමැති වීම ප්‍රශ්නයක් නෙමෙයි. 

භෞතික සංවර්ධනය හා පුද්ගල නිදහස වැදගත් සේ නොසලකන වෙනත් අය සිටිනවා. ඇතැම් ආගමික අදහස් වලින් උගන්වන්නේ භෞතික සම්පත් අතහැරීම ගැනයි. තවත් ආගමික අදහස් පුද්ගල කැමැත්ත දේව කැමැත්තකට යටපත් කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එවැනි අදහස් තිබීමේ කිසිදු වැරැද්දක් නැතුවා වගේම එම අදහස් ධනවාදය සමඟ ගැටෙන්නේද නැහැ. එහෙත් මෙවැනි අදහස් දරන අයෙකු එම අදහස් හා එකඟ නොවන අනෙකුත් අය මත තමන්ගේ අදහස් බලහත්කාරයෙන් පටවන්නට ගිය විට ගැටුමක් ඇති වීම වැළැක්විය නොහැකියි. 

මෙවැනි අය ලෝකය වෙනස් කළ යුතු නියම විදිහ ගැන අනෙක් කාටවත් නැති සුවිශේෂ අවබෝධයක් තමන්ට තිබෙනවායැයි සිතා සිටින ශාස්තෘන් පිරිසක් වනවාට අමතරව ලෝකය වෙනස් කිරීමේ සුවිශේෂී වගකීමක් තමන් මත පැවරී ඇති බවද සිතනවා. හැබැයි ඔවුන්ට මෙවැනි අදහස් දරමින් ජිවත් වෙන්න හැකි වී තිබෙන්නේත් අනෙක් මිනිසුන් මිනිස් නිදහස හා පුද්ගල කැමැත්ත අගය කරන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් මේ වගේ අය අවශ්‍ය නැති බව කියන්නේ වෙනත් අයගේ පුද්ගල කැමැත්තයි. ඔවුන්ට තමන්ගේ පුද්ගල කැමැත්ත ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. 

ඔය වගේ ආගමික අන්තවාදී අදහස් ගැන වැඩිපුර කතා කරන එක පසුවට තියලා අපි නැවත චීනය වෙත එමු. චීනයේ හෝ වෙනත් රටක ආර්ථිකය වර්ධනය වන්නේ කොහොමද? 

ආර්ථිකයක ප්‍රමාණය නිර්ණය කරන සාධක තුනක් අපි මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රමය (L), ප්‍රාග්ධනය (K) සහ මේ නිෂ්පාදන සාධක දෙක නිෂ්පාදිතයක් (Y) බවට හරවන ඵලදායීතා සංගුණකය (A).

Y = F(K,L) = AKαLß 

මතක තියා ගන්න දැන් අප කතා කරන්නේ ආර්ථික වර්ධනය ගැන මිසක් එහි ඵලය බෙදිය යුතු ආකාරය ගැන නෙමෙයි. ඒ නිසා මෙය ධනවාදයට හෝ සමාජවාදයට සෘජුව අදාළ නැති තාක්ෂනික කරුණක්.

ආර්ථික වර්ධනය කියා කියන්නේ Y වැඩි කරන එක. එය කරන්නනම් A, K හෝ L වැඩි කළ යුතුයි. අපි මේ එකින් එක ගැන වැඩිපුර විමසා බලමු. L හෙවත් ශ්‍රම බලය තීරණය කරන පළමු සාධකය කිසියම් රටක ජනගහණයේ ප්‍රමාණයයි. ජනගහණය වැඩි වූ තරමට ශ්‍රම බලකායද වැඩි වෙනවා. එහෙත්, ජනගහණයේ වයස් කාණ්ඩ ව්‍යාප්තිය, රැකියා නියුක්තියේ ප්‍රමාණය, කාන්තාවන් කෙතරම් දුරට රැකියා වල නිරත වෙනවාද යන්න ආදී සංස්කෘතික හා සමාජයීය කරුණු ආදියද ශ්‍රම බලකාය කෙරෙහි බලපානවා. ඒ නිසා, ජනගහණය සමාන රටවල් දෙකක ශ්‍රම බලකායේ ප්‍රමාණයන් වෙනස් විය හැකියි. 

දෙවනුව වසරකට එක් ශ්‍රමිකයෙකු වැඩ කරන සාමාන්‍ය පැය ගණන. වැඩ කරන පැය ගණන වැඩි වෙද්දී ශ්‍රම බලය වැඩි වන බව තේරුම් ගැනීමට අපහසු නැති කරුණක්. සම්මත නිවාඩු දින ගණන, අර්ධකාලීන රැකියා කරන ප්‍රමාණය ආදී කරුණු මත මෙම පැය ගණන වෙනස් විය හැකියි.

තෙවනුව, වඩාත්ම වැදගත් කරුණ. ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය. මානව ප්‍රාග්ධනය කියා කියන්නේත් මෙයටයි. අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, පළපුරුද්ද, මනා සෞඛ්‍යය, වෘත්තීය ආචාර ධර්ම භාවිතය ආදී බොහෝ කරුණු මත ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ශ්‍රම බලය කියා කියන්නේ මේ සාධක තුනේම ගුණිතයයි.

ශ්‍රම බලය (L) වැඩි වන විට නිෂ්පාදිතය (Y) වැඩිවන බව අප දන්නවා. එහෙත්, L වැඩිවන අනුපාතයටම Y වැඩි වෙන්නේ නැහැ. L වැඩි කර ගෙන යද්දී Y වැඩි වන නමුත් එසේ වැඩි වන වේගය එන්න එන්නම අඩු වෙනවා. හරියට මේ වගේ. 


ඉහත වගුවේ පෙන්වා ඇති පරිදි ශ්‍රම බලය (L) දහ ගුණයකින් වැඩි වෙද්දී Y වැඩි වී තිබෙන්නේ හතර ගුණයකින්. මොන විදිහකින් හරි ආර්ථිකය හතර ගුණයකින් ප්‍රසාරණය වෙලා තිබෙනවා. නමුත්, එයින් අදහස් වෙන්නේ රටේ මිනිස්සුන්ගේ ජිවන තත්ත්වය හතර ගුණයකින් ඉහළ ගියා කියන එක නෙමෙයි. එය තීරණය වන්නේ L වැඩි වුනේ කොහොමද කියන එක අනුවයි. 

ශ්‍රම බලය (L) වැඩි වුනේ රටේ ජනගහණය වැඩි වීම හා එයට සමානුපාතිකව ශ්‍රම බලකාය ඉහළ ගිය නිසා කියා අපි හිතමු. දැන් රටේ ජනගහණය 10 ගුණයකින් වැඩි වී තිබුණත් ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 4 ගුණයකින් පමණයි. ඒ නිසා, එක් අයෙකුට ලැබෙන කොටස 40%ක් දක්වා අඩු වෙලා. ඒ කියන්නේ රටේ ආර්ථිකය වර්ධනය වෙලා වුවත් රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහළ ගිහින්.

අපි හිතමු රටේ ජනගහණය හා ශ්‍රම බලකාය එලෙසම තියෙද්දී වැඩ කරන පැය ගණන දහ ගුණයකින් වැඩි වූ නිසා ශ්‍රම බලය ඉහළ ගියා කියලා. කලින් දවසකට පැයක් වැඩ කළ කෙනෙක් දැන් පැය දහයක් වැඩ කරනවා. (මෙය එතරම් ප්‍රායෝගික නැති පරිකල්පනීය උදාහරණයක්. වෙන දේ පැහැදිලිව පෙන්වන්න දහ ගුණයකින් වැඩි කළත් වැඩ කරන පැය ගණන සියයට දහයකින් වගේ වැඩි වුනහම වෙන්නෙත් ඕකම තමයි.) 


දැන් එක් ශ්‍රමිකයෙකුට ලැබෙන කොටස හතර ගුණයකින් වැඩි වෙලා. නමුත්, වැඩ කරන පැය ගණන දහ ගුණයකින් වැඩි වෙලා. ඒ කියන්නේ පැයකට ලැබෙන ආදායම 40%ක් දක්වා අඩු වෙලා. කලින් තරමටම නරක තත්ත්වයක් නොවුනත් හොඳ තත්ත්වයක් කියා කියන්න අමාරුයිනේ. කෙනෙක් මෙය හොඳ තත්ත්වයක් සේ සලකන්න පුළුවන්. තවත් කෙනෙක් එසේ නොසලකන්න පුළුවන්. සමහර විට එක් අයෙක් රැකියා කළ නිවෙසක දෙදෙනාම රැකියා කරන්න පටන් ගැනීම නිසාත් මේ වගේම දෙයක් වෙන්න පුළුවන්. දැන් පවුල් ඒකකය විසින් යොදවන සමස්ත ශ්‍රම කාලය දෙගුණ වුනත් එහි ප්‍රතිලාභ දෙගුණ වී නැහැ.

රටේ ජනගහණය හා ශ්‍රම බලකාය එලෙසම තියෙද්දී, වැඩ කරන පැය ගණනත් වැඩි නොකර, ශ්‍රම බලය වැඩි කර ගන්න පුළුවන්. ඒ මා පෙර විස්තර කළ තෙවැනි ක්‍රමයට මානව ප්‍රාග්ධනය වැඩි කර ගැනීමෙන්. එහෙමත් නැත්නම් ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමෙන්. මෙහිදී සිදු වන දෙය කලින් අවස්ථා වලදී සිදුවන දෙයම නෙමෙයි. ශ්‍රම බලය දහ ගුණයකින් වැඩි වීම නිසා Y හතර ගුණයකින් වැඩි වෙනවා. එහෙත් සමස්තයක් ලෙස ශ්‍රම-කාලය වැඩි වී නැති නිසා එක් ශ්‍රමිකයෙකුගේ ජිවන තත්ත්වයද හතර ගුණයකින් වැඩි වී තිබෙනවා. අවස්ථා තුනේදීම රටේ ආර්ථිකය එක තරමටම වර්ධනය වී තිබුණත් රටේ මිනිසුන්ගේ ජිවන තත්ත්වය වර්ධනය වී (හෝ  අවවර්ධනය වී) තිබෙන්නේ එකම ආකාරයකින් නෙමෙයි. 

ඉහත පැහැදිලි කිරීම් වලින් පෙනෙන්නේ ශ්‍රම බලය වැඩි කරගත යුතු හොඳම ආකාරය මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම බවයි. මේ ප්‍රකාශය ලංකාව මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා බරක් දමා තිබෙන බවට මා කලින් ලිපියක පෙන්වා දී තිබෙන කරුණ සමඟ ගලපන්නේ කොහොමද? ඉතා පැහැදිලිවම මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම සාධනීය දෙයක්. නමුත් ප්‍රශ්නය වන්නේ එහි පිරිවැයක්ද තිබීමයි. මානව ප්‍රාග්ධනය ඉහළ නැංවිය යුතු වුවත් එය කළ යුත්තේ එහි ආන්තික ප්‍රතිලාභ පිරිවැය නොඉක්මවන මට්ටමක් දක්වා පමණයි. කිසිම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැ කියා කියනවනේ!

තුබූ තැනක සොර සතුරන් ගත   නොහෙනා

එසැඩ මනා වත් වතුරෙන් වල         නොයනා

කෝප වුවත් රජ මැතිඳුන් ගත     නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු             රැකෙනා

කවුරුත් වගේ ඔය කවිය අහල ඇති. මේ කවියෙන් කියන්න හදන්නේ කෙනෙකුට කළ හැකි සුරක්ෂිතම ආයෝජනය මානව ප්‍රාග්ධනය බවයි. පෞද්ගලික ප්‍රාග්ධනයේ සුරක්ෂිතතාව පිළිබඳව කිසිදු සහතිකයක් නැති සමාජයක මානව ප්‍රාග්ධනය වඩා හොඳ ආයෝජනයක් වුවත් එය වුවත් සොරකම් කළ නොහැකි, ස්වභාවික විපත් වලින් මුළුමනින්ම ආරක්‍ෂිත, රජයට පැහැර ගත නොහැකි දෙයක් නෙමෙයි. භෞතික ප්‍රාග්ධනයට වගේම මානව ප්‍රාග්ධනයටත් ඔය අවදානම් පොදුයි. ඒ වගේම භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් කාලයත් සමඟ ක්ෂය වී යනවා. භෞතික ප්‍රාග්ධන සංචිත වගේම මානව ප්‍රාග්ධන සංචිතත් නඩත්තු කළ හැක්කේ ක්ෂය වන ප්‍රමාණය දිගින් දිගටම ප්‍රතිපූරණය කිරීමෙන් පමණයි. මේ සඳහා වත්මන් නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කරන්නම වෙනවා.

ඉහත පෙන්වූ පරිදි, ජනගහණය වැඩි වෙන්නේ නැත්නම්, වැඩ කරන කාලය වැඩි වෙන්නේත් නැත්නම්, ශ්‍රම බල සංචිතය පවත්වා ගැනීම සඳහා ක්ෂය වන මානව ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කරන්න වෙනවා. නිෂ්පාදිතය වැඩි කර ගන්නනම් එසේ ක්ෂය වීම ප්‍රතිපූරණය කරනවාට වඩා අමතර ආයෝජනයක් කළ යුතුයි. එසේ මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ක්ෂය වීම ඉක්මවන ආයෝජන කිරීමෙන් අනාගත නිෂ්පාදිතය ඉහළ දමා ගත හැකි වුවත්, ඒ සඳහා K හා A අඩු නොවන බවටද වග බලා ගත යුතුයි.

නමුත් කාලයත් සමඟ භෞතික ප්‍රාග්ධන සංචිතද ක්ෂය වන බව අප දන්නවා. ඒ නිසා ක්ෂය වන මානව ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කරන අතරම ක්ෂය වන භෞතික ප්‍රාග්ධනයද ප්‍රතිපූරණය කළ යුතු වෙනවා. ඔය දෙකම කරන්න වෙන්නේ වත්මන් නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කර ගැනීමෙන්. නිෂ්පාදිතය බෙදී යන්නේ සමාජවාදී ක්‍රමයටද නැත්නම් ධනවාදී ක්‍රමයටද කියන එක මත මෙය වෙනස් වෙන්නේ නැහැ.

දැන් අපට මේ කතා කළ දේවල් ඇසුරෙන් L හෝ K වැඩි කර Y වැඩි කර ගැනීමේ සීමාවන් හඳුනා ගන්න පුළුවන්. අප මෙතෙක් කතා නොකළ ස්වභාවික සම්පත් වලින් පටන් ගනිමු. ලෝකයේ රටවල ආර්ථික වර්ධනය ස්වභාවික සම්පත් හොයා ගැනීම මත තීරණය වුනු කාලයක් තිබුණා. ස්වභාවික සම්පත් අයිතිය වෙනුවෙන් යුද්ධ ඇති වුනේ ඒ කාලයේදී. දැනටත් මෙය සිදු නොවනවා නෙමෙයි. එහෙත්, ස්වභාවික සම්පත් කියන්නේ තව දුරටත් ආර්ථික වර්ධනය සඳහා වැදගත්ම සාධකයක් නෙමෙයි.

ස්වභාවික සම්පත් අලුතින් සොයාගත් විට K වැඩි වෙනවා. මේ ක්‍රමයට ආර්ථික වර්ධනය පවත්වා ගන්නනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් ස්වභාවික සම්පත් හොයා ගත යුතුයි. නමුත් එය කළ හැකි දෙයක් නෙමෙයි. අලුතෙන් හොයා ගත හැකි ස්වභාවික සම්පත් වල සීමාවක් තිබෙනවා. දැන් ලෝකය ඒ සීමාවට ඇවිත්. අඟහරු ජනාවාස කිරීම වගේ ලොකු දෙයක් කළොත් මිසක් ස්වභාවික සම්පත් වැඩි වැඩියෙන් හොයා ගැනීම මගින් කිසිම රටකට ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවත්වා ගන්න බැහැ.

ස්වභාවික සම්පත් වැඩි වැඩියෙන් සොයා ගැනීමේ හැකියාවක් නැති නිසා ප්‍රාග්ධනය වැඩි කර ගන්නනම් අතිරික්තයෙන් කොටසක් ඉතිරි කළ යුතුයි. වැඩි ප්‍රතිශතයක් ඉතිරි කරන රටක ප්‍රාග්ධන සංචිත ඉහළ යනවා. අඩු ප්‍රතිශතයක් ඉතිරි කරන රටක ප්‍රාග්ධන සංචිත පහළ යනවා. හැබැයි මේ දෙකම සිදුවන සීමාවක් තිබෙනවා. ඉතිරි කිරීම් වැඩි වී ප්‍රාග්ධන සංචිත ඉහළ යද්දී ක්ෂය වන ප්‍රාග්ධනයත් සමානුපාතිකව ඉහළ යනවා. ඉතිරි කිරීම් අඩු වී ප්‍රාග්ධන සංචිත පහළ යද්දී ක්ෂය වන ප්‍රාග්ධනයත් සමානුපාතිකව පහළ යනවා. මොකද හැම විටම ක්ෂය වෙන්නේ තිබෙන ප්‍රාග්ධන සංචිතයේ ප්‍රතිශතයක්. 

මේ හේතුව නිසා රටක ඉතිරි කිරීම් අනුපාතය කොපමණ වුවත්, ප්‍රාග්ධන සංචිතය යම් මට්ටමකට පැමිණ ස්ථාවර වෙනවා. ඒ මට්ටමේදී ජාතික ඉතිරි කිරීම් ක්ෂය වන ප්‍රාග්ධනයට හරියටම සමානයි. ඉතිරි කිරීම් අනුපාතය හෝ ප්‍රාග්ධනය ක්ෂය වන අනුපාතය වෙනස් වුනේ නැත්නම් රටක ප්‍රාග්ධන සංචිතය ගතික සමතුලිතතාවයකට එනවා. රටේ නිෂ්පාදිතය හා ප්‍රාග්ධන සංචිත අතර අනුපාතය නියත මට්ටමකට එනවා. ඒ නිසා, K වැඩි කරලා Y වැඩි කරන්න බැහැ. එහෙත්, මෙවැනි සමතුලිතතාවයකට එන තුරු යම් කාලයක් ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකියි. 

අනෙක් පැත්තෙන් L වැඩි කර ගැනීම සඳහා වැඩ කරන පැය ගණන වැඩි කිරීම කළ හැකි දෙයක් නෙමෙයි. මානව සම්පත් වැඩි කර ගැනීම සඳහා ඉතිරි කිරීම් යොදා ගත යුතුයි. එයද අසීමිත ලෙස කළ නොහැකියි. ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමේදී වගේම ගතික සමතුලිතතාවයකට එනවා. ජනගහනය වැඩි වන විට L වැඩි වුවත් එම ක්‍රමයේදී රටේ ආර්ථිකය ප්‍රසාරණය වන නමුත් රටේ පුද්ගලයින්ගේ ජිවන තත්ත්වය නරක අතට මිස හොඳ අතට හැරෙන්නේ නැහැ. ඒ නිසා, මෙයත් අතීතයට අයත් දෙයක්. අවසාන වශයෙන් K හෝ L වැඩි කිරීමෙන් Y වැඩි කළ හැකි වුවත් එය කළ හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. මේ මගින් රටකට ලොකු ආර්ථික වර්ධනයක් දිගටම පවත්වා ගන්න අමාරුයි. 

වර්තමාන සන්දර්භයේ කිසියම් රටකට ඉහළ ආර්ථික වර්ධනයක් දිගටම පවත්වා ගත හැක්කේ A වැඩි කර ගැනීමෙන්, ඒ කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය, එහෙමත් නැත්නම් ඵලදායිතාවය වැඩි කර ගැනීමෙන්, පමණයි. 

ඵලදායිතාවය කියා කියන්නේ නිෂ්පාදනය සඳහා ස්වභාවික සම්පත් හෝ ප්‍රාග්ධනය වැඩි වැඩියෙන් යොදා ගැනීම නෙමෙයි. වැඩියෙන් මහන්සි වී වැඩියෙන් වැඩ කිරීමත් නෙමෙයි. ඒ දෙක ගැනම අපි දැනටමත් කතා කරලා ඉවරයි. ඵලදායිතාවය කියා කියන්නේ අඩු සම්පත් ප්‍රමාණයක් වැය කර, අඩු ශ්‍රමයක් යොදවා, වැඩි නිෂ්පාදනයක් කරන එකටයි. ව්‍යවසායකත්වය කියන්නේ ඒකටයි. ව්‍යවසායකයා කියා කියන්නේ ප්‍රාග්ධන හිමියාට නෙමෙයි. ප්‍රාග්ධන හිමියා විසින් ලබා ගන්නේ තමන් යෙදවූ ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ. ව්‍යවසායකයෙකු විසින් කරන්නේ තමන්ගේ නිර්මාණශිලිත්වය වෙනුවෙන් ප්‍රතිලාභ ලබන එකයි. ඇය එම ලාබ ලබන්නේ ප්‍රාග්ධන හිමියාට වගේම ශ්‍රමිකයාටත් ඔවුන්ගේ කොටස් වෙන් කර දීමෙන් පසුවයි. 

ධනවාදී පරමාදර්ශය තුළ ප්‍රාග්ධන හිමියෙකුට "ඕනෑ තරම්" ලාබ ලබන්න ඉඩ දෙන්නේ නැහැ. ක්‍රමය විසින්ම ලැබිය හැකි ලාබ සීමා  කරනවා. එහෙත්, ධනවාදය විසින් ව්‍යාවසායකයෙකුගේ ලාබ එලෙස සීමා කරන්නේ නැහැ. නිර්මාණශිලිත්වයට ඕනෑ තරම් දුර යා හැකියි. 

අපි මේ වගේ කොබ් ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයකින් පටන් ගනිමු.

Y = F(K,L) = 10K0.4L0.6 

මෙයින් අදහස් වන්නේ පවතින තාක්ෂනය යොදා ගනිමින් K සහ L එක් ඒකකය බැගින් යොදා ගෙන Y ඒකක දහයක් නිපදවිය හැකි බවයි. එම ඒකක දහය බෙදා ගන්නේ කොහොමද කියන එක ද්විතියික කාරණයක්. ධනවාදී පරමාදර්ශය තුළ ශ්‍රමිකයන්ට ඒකක 6ක් හා ප්‍රාග්ධන හිමියන්ට ඒකක 4ක් හිමි වෙනවා. මෙවැනි තත්ත්වයක් තිබියදී කවුරු හෝ කෙනෙක් වඩා කාර්යක්ෂම තාක්ෂණයක් හොයා ගන්නවා. එය මෙවැන්නක්.

Y = F(K,L) = 20K0.4L0.6 

දැන් මේ පුද්ගලයාට පමණක් K සහ L එක් ඒකකය බැගින් යොදා ගෙන Y ඒකක විස්සක් නිපදවිය හැකියි. එයින් ශ්‍රමිකයන්ට ඒකක 6ක් හා ප්‍රාග්ධන හිමියන්ට ඒකක 4ක් ලබා දීමෙන් පසුව මේ ව්‍යවසායකයාට ඉතිරි ඒකක දහය තියා ගන්න පුළුවන්. ශ්‍රමිකයෙකුට හෝ ප්‍රාග්ධන හිමියෙකුට ඊට වඩා දෙයක් ඉල්ලා හෙට්ටු කරන්න බැහැ. මොකද වෙනත් කිසිවෙකුගෙන් ඔවුන්ට ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ.

හැබැයි ව්‍යවසායකයෙකුට මෙවැනි ලොකු ලාබයක් ලැබිය හැක්කේ අලුත් තාක්ෂනය හෝ නිෂ්පාදන ක්‍රමවේදය හොයා ගෙන කෙටිකලක් යන තුරු පමණයි. ඇයගේ ලාබ දකින අනෙක් සියලුම නිෂ්පාදකයන් විසින්ද ඉතා ඉක්මණින් තමන්ගේ වාහන වල චතුරශ්‍රාකාර රෝද රවුම් කර ගන්නවා. එවිට ශ්‍රමිකයන්ට වගේම ප්‍රාග්ධන හිමියන්ටත් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි විකල්ප අවස්ථා හමු වෙනවා. මෙය මුලින්ම නිරීක්ෂණය කරන ශ්‍රමිකයන් හා ප්‍රාග්ධන හිමියන් විසින් එක්කෝ තමන්ගේ නිෂ්පාදන සාධක වෙනත් තැනකට විතැන් කරනවා. එසේ නැත්නම් ඉන්න තැනම සිට හෙට්ටු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය 6 සිට 12 දක්වාත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4 සිට 8 දක්වාත් වැඩි වෙනවා. 

ව්‍යවසායකයෙකුට ලාබ ලැබිය හැක්කේ මෙය සිදුවීමට ගත වන කාලය තුළ පමණයි. අලුත් දැනුම සමාජයීය දැනුමක් වූ විට නැවතත් නිෂ්පාදිතය බෙදී යන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර පමණයි. මෙහිදී රටේ සමස්ත නිෂ්පාදිතය වැඩි කරන්නේ ව්‍යවසායකයා විසින් මිස ශ්‍රමිකයා හෝ ප්‍රාග්ධන හිමියා විසින් නෙමෙයි. ඔවුන්ගේ දායකත්වයක් නැතුවා නෙමෙයි. එහෙත් එය සීමිතයි. මේ එක් එක් කොටස ගණන් හිලවු ඇතිව පෙන්වා දිය හැකි දේවල් මිස වියුක්ත සංකල්ප පමණක් නෙමෙයි.

තාක්ෂනය නිරන්තරයෙන් දියුණු වෙන්නේ ධනවාදී ක්‍රමයකදී පමණක් නෙමෙයි. රජයේ මෙහෙයවීම යටතේ සෝවියට් දේශය විසින් බොහෝ දේ සොයා ගත්තා. නිර්මාණය කළා. සාමාන්‍යයෙන් මාක්ස්වාදී අදහස වන්නේ යම් පුද්ගලයෙකු විසින් අලුත් යමක් නිර්මාණය නොකළොත් වෙනත් කවුරු හෝ කෙනෙකු විසින් ඒ දෙය කරනු ඇති බවයි. ඒ පදනම මත නිර්මාපකයාට නිර්මාණයේ ප්‍රතිලාභ හිමිවන්නේ නැහැ. ධනවාදය තුළ, අවශ්‍ය පමණ ලාබ ලබා ගැනීමේ අවස්ථාවක් දී, ව්‍යවසායකත්වය දිරිමත් කෙරෙනවා. එහෙත් ධනවාදය තුළ ව්‍යවසායකයෙකුට මේ ඉහළ ප්‍රතිලාභ ලැබෙන්නේ කෙටි කාලයකට පමණයි. එයින් පසුව එය සමාජයීය ප්‍රතිලාභයක් බවට පත් වෙනවා. ප්‍රායෝගික නිදර්ශන වලින් පෙනෙන්නේ මේ ක්‍රමය වඩා සාර්ථක බවයි. 

පෞද්ගලික අංශය මුල් වී, ලාබ ලැබීමේ අරමුණින් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත හදද්දී රාජ්‍ය අංශය මුල් වී සයිනෝෆාර්ම් එන්නත හැදුවා. දෙකම වැඩ කරනවා. එහෙත් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත වඩා ඉක්මණින් ආවා. ඒ වගේම එය වඩා සාර්ථක එන්නතක්. 

මෙහි කතා කළ පසුබිම් කරුණු මත පදනම්ව අපට චීන ආර්ථිකය ලෝකයේ ලොකුම ආර්ථිකය බවට පත් වීම ගැන කතා කළ හැකියි. එය වෙනත් ලිපියකට ඉතිරි කරමු. අදට ඇති.

Monday, May 17, 2021

හයේ පාර හා මිලියනයේ තෑග්ග


"කොහෙන් හෝ පටන් ගත යුතුය. හිත හිතා හිටියොත් මේ වැඩේ කවදාවත් කෙරෙන්නේ නැත. වැදගත් වන්නේ කොහෙන් හෝ පටන් ගැනීම මිස පටන්ගත් තැන නොවේ. ඒ නිසා, ඔන්න ඔහේ නිකම්ම පටන් ගනිමු."

ඉකොනොමැට්ටාගේ බොජුන්හල විවෘත කරමින් මුලින්ම පළ කළ ලිපිය ආරම්භ වී තිබුණේ ඉහත පරිදියි. නිකම්ම පටන්ගත් මේ වියුණුව මුලින්ම කියවූයේ ඉතාම සීමිත පිරිසක්. එහෙත් වැඩි කල් නොයා එම පිරිස ටිකෙන් ටික වර්ධනය වුනා. ඒ පිරිස විසින් දිගින් දිගටම ලියන්න උත්තේජනයක් සැපයුවා. 


අපේ වියුණුව පටන්ගෙන දැන් වසර හයක් ගත වෙලා. වසර හයක් කියන්නේ සැලකිය යුතු තරම් දිගු කාලයක්. ලේඛකයා විසින් මෙවැනි දිගු කාලයක් එක දිගට කර තිබෙන දේවල් ඉතාම සීමිතයි.

මෙය මේ වියුණුවේ පළවන 960 වන ලිපිය. දැනට පළව ඇති ලිපි බොහොමයක් ආර්ථික විද්‍යාවට සම්බන්ධ ඒවා වුවත් වෙනත් විවිධ විෂය පරාසයක ලිපිද අප මෙහි ලියා පළ කර තිබෙනවා. එහෙත් ලියා නැති, ලියන්නට අවශ්‍ය තවත් විෂයයන් හා මාතෘකා ගණනාවක් තිබෙනවා.

වියුණුව පටන් ගනිද්දී ලේඛකයාගේ සතුට වෙනුවෙන් ලේඛකයාට අවශ්‍ය දේ සටහන් කරනු හැර වෙනත් කිසිදු බරපතල ඉලක්කයක් තිබුණේ නැහැ. දැනුත් එහි වෙනසක් නැහැ. 

මම හිතන විදිහට අප මේ වියුණුව පටන් ගන්නා විට "සිංහල බ්ලොග් වල ස්වර්ණමය යුගය" අවසන් වෙලා. විශේෂයෙන්ම පහුගිය වසර දෙකක පමණ කාලය තුළ සමස්තයක් ලෙස බ්ලොග් කියවීම වගේම ලිවීමත් අඩු වෙලා තිබෙනවා. එහෙත් සීමිත බ්ලොග් ප්‍රමාණයක් කාලයේ පරීක්ෂණය සමත්ව ඉතිරි වී තිබෙනවා. ඒ එක්කම බ්ලොග් වලත්, බ්ලොග් කියවන්නන්ගේත් යම් ගුණාත්මක වර්ධනයක්ද දැකිය හැකියි.  

අප ලියන දේ නොවරදවා කියවන අතරම වෙනත් අය මෙය කියවීම වැළැක්වීමේ අරමුණින් විවිධ දේ කරන පිරිසක්ද බිහි වී තිබීමෙන් පෙනෙන්නේ අප ලියන දෙයින් ඇතැම් අයට දැනෙන බලපෑමක් සිදු වන බවයි. අප ලියන දේ කියවා ඔබට වෙනස් වෙන්නට අවශ්‍යයැයි සිතෙනවානම් ඔබ වෙනස් වෙන්න. එහෙත් අප ඔබට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. අප ලියන දේ කියවා ඔබ සතුටක් ලබනවානම් මෙය කියවන්න. ඔබට දැනෙන්නේ කේන්තියක්නම්, වෛරයක්නම් මෙය නොකියවා ඉන්න. 


හැකි තරම් විශාල පාඨක පිරිසක් වෙතට අප ලියන දේ ගෙන යාම අප විසින් කිසි විටෙකත් ඉලක්කයක් කරගෙන නැහැ. එවැනි ඉලක්කයක් දැනටත් අපට නැහැ. කෙසේ වුවත්, රටවල් 120කින් මිලියනය ඉක්මවූ පිවිසුම් ප්‍රමාණයක් මේ වන විට අපට ලැබී තිබෙනවා. අපට ලැබුණු මිලියනයේ තෑග්ග අප අගය කරනවා. 

වසර හයකට පෙර අප පළ කළ පළමු ලිපිය අවසන් කළ විදිහටම මේ ලිපියත් අප අවසන් කරනවා.

එහෙමනම් ඉතිං ඔහොම යං!

Friday, May 14, 2021

අඹ කැඩීම හා අඹ බෙදීම


ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න. එවිට තවත් අමතර කරුණු ඉදිරිපත් කළ හැකියි.

මේ ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිතුරු තිබෙනවා. ඒ පිළිතුරු වලටද පිළිතුරු තිබෙනවා. එහෙත් කවුරු හෝ විසින් පළමුව නිසි පිළිතුරක් ලබා දෙන තුරු, අප විසින්ම මේ ප්‍රශ්න ඉදිරිපත් කර අප විසින්ම පිළිතුරුද සපයන්න අප අපේ කාලය නාස්ති කරන්නේ නැහැ. 

ආදායම් විෂමතා තිබීම මේ ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිගත හැකි පිළිතුරක් නෙමෙයි. ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ දකින අයෙකු එයින් පියවරක් පසුපසට ගොස් ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් වන්නේ ඇයි කියන එක පැහැදිලි කළ යුතුයි. ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ අප විසින්ද හඳුනා ගන්නා නමුත් ඒ ආදායම් විෂමතා තිබීම යන කරුණ මතම පදනම්ව නොව එහි ද්විතීයික ප්‍රතිඵල මත පදනම්වයි. ආදායම් විෂමතා තිබීම නිසා ඇති වන හෝ ඇති විය හැකි ප්‍රශ්න වලට විසඳුම් ලැබේනම් ආදායම් විෂමතා තිබීම තිබීම ප්‍රශ්නයක් නොවනවාක් මෙන්ම බොහෝ හේතු මත ආදායම් විෂමතා තිබීම සාධනීය දෙයක් ලෙස හඳුන්වන්නද පුළුවන්.

වසර හයකට ආසන්න කාලයක් අප සමාජවාදයට එරෙහිව ධනවාදය වෙනුවෙන් පෙනී සිටියා. එසේ සමාජවාදය විවේචනය කිරීමේ පදනම මේ වන විට පැහැදිලි කර අවසන්ව තිබෙනවා කියා මම හිතනවා. අපේ සමාජවාදී විරෝධය ජනතා විමුක්ති පෙරමුණ විසින් අසූඅට අසූනවය කාලයේ සිදු කළ බස් ගිණි තැබීම හා මිනී මැරීම ආදිය වැනි දේවල් මත පදනම් වූ සරල විරෝධයක් නොවන බව කාට වුවත් පැහැදිලි විය යුතුයි.

අප සමාජවාදයට එරෙහිව ලියද්දී ඇතැම් අය මෙහි පැමිණ ධනවාදයට හා ඇමරිකාවට එරෙහිව වට්ටෝරු ප්‍රතිචාර දමනවා. වැරදි කරුණු ඉදිරිපත් වන විට අපට වෙලාව තිබෙන අවස්ථා වලදී මේ වට්ටෝරු ප්‍රතිචාර වලටද ප්‍රතිචාර සපයා ඇතත්, අපට ධනවාදය හෝ ඇමරිකාව සමඟ අනුරාගී බැඳීමක් නැති බවද කිව යුතුයි. අප සමාජවාදයට එරෙහිව ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ කරුණු හා තර්ක මත පදනම්වයි. ඇමරිකාව ගැන බොහෝ විට කතා කරන්නේ සංසන්දනයක් කිරීමක් කළ යුතු වූ විටයි. ධනවාදය හා ඇමරිකාව කියන්නේ කරුණු දෙකක්. ඇමරිකාවේ සිදුවන හැම දෙයක්ම සිදු වන්නේ ධනවාදයේ මූලධර්ම අනුව නෙමෙයි.

ධනවාදය කියා කියන්නේ කෝකටත් තෛලයක් නෙමෙයි. එය සමාජවාදයට සාපේක්ෂව කාර්යක්ෂමයි. එය ඉතාම පැහැදිලියි. එහෙත් කාර්යක්ෂමතාවය හැම විටම සමාජයක එකම ඉලක්කය විය යුතු නැහැ. වෙනත් සමාජයීය අරමුණු වෙනුවෙන් කාර්යක්ෂමතාවය කැප කළ යුතු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම ධනවාදයේ සීමාවන් තිබෙනවා. මේ සීමාවන් ගැන කතා කරන්න කලින් සමාජවාදය පැත්තකට කර තියන්න වෙනවා. 

ධනවාදය පවතින තත්ත්වය එලෙසම නඩත්තු කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ධනවාදය තුළ සමාජ ප්‍රගමනය සිදු වන්නේ නිරන්තරයෙන්ම පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කර ගැනීම හරහායි. එහි ආරම්භක පියවර ලෙස පවතින තත්ත්වයේ අඩුපාඩු හඳුනාගෙන විවේචනය කළ යුතුයි. අප විසින්ද මෙය කරනවා. එහෙත් ඒ සමාජවාදී ප්‍රවේශයකින් නෙමෙයි. 

යහපත් වෙනසක් සඳහා පවතින තත්ත්වය එකවර උඩුයටිකුරු කළ යුතුයැයි අප සිතන්නේ නැහැ. ආර්ථික කළමනාකාරණයේ සිට දේශපාලනය වෙතට පැමිණියොත්, දේශපාලනය ස්ථානගත විය යුත්තේ දැන් අප ජිවත් වන මේ මොහොතේ මිස අතීත ශ්‍රී විභූතියක හෝ මනෝරාජික අනාගතයක නෙමෙයි. ධනවාදය යනු අතීතයෙන් පාඩම් ඉගෙන, අනාගත දැක්මක් ඇතිව, මේ මොහොත කළමනාකරණය කර ගැනීමයි. මේ මොහොත වෙනස් කර ගැනීමයි.

සම්පත් බෙදීම පිළිබඳ ධනවාදී පරමාදර්ශය වන්නේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ශ්‍රම සම්පාදකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ප්‍රාග්ධන සම්පාදකයාටත් ලැබිය යුතු බවයි. මාක්ස්වාදය විසින් ඓතිහාසික තර්කනයක් මත පදනම්ව ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ප්‍රාග්ධන සම්පාදකයාට හිමි වීම ප්‍රතික්ෂේප කරනවා. එහෙත්, මාක්ස්වාදී පරමාදර්ශය තුළද වක්‍ර ලෙස මේ දෙයම සිදු වෙනවා. 

මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ශ්‍රමයේම වෙනත් ස්වරූපයක් සේ හඳුනා ගන්නවා. ඒ අනුව, ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වෙන් නොකෙරුණත්, ප්‍රාග්ධනය නිර්මාණය කිරීම සඳහා වැය කෙරුණු ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් කිරීම හරහා වක්‍ර ලෙස මේ දෙයම සිදු වෙනවා. මේ හේතුව නිසා පරිපූර්ණ ධනවාදයකත්, මාක්ස්වාදය මත පදනම් වූ පරිපූර්ණ සමාජවාදයකත්, ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ විශාල ලෙස වෙනස් වෙන්න හේතුවක් නැහැ. මෙහිදී මා ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ කියා කියන්නේ සියලුම ශ්‍රමිකයින් සමස්තයක් සේ සලකා මිස ශ්‍රමිකයන් තනි තනිව ගෙන නෙමෙයි. ශ්‍රමිකයන් තනි තනිව ගත්තොත්නම් අනිවාර්යයෙන්ම වෙනසක් තිබෙනවා. මේ කරුණට අපි පසුව එමු.

පරිපූර්ණ ධනවාදී හෝ පරිපූර්ණ සමාජවාදී සමාජ ලෝකයේ කොහේවත් නැහැ. කවදාවත් තිබිලත් නැහැ. එහෙත් වඩා ධනවාදී හා වඩා සමාජවාදී රටවල් අපට පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. මේ රටවල් වල නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී ගොස් තිබෙන ආකාරය පරීක්ෂා කළ විට ධනවාදී රටවල ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටසේ අඩුවක් නැති බව හා බොහෝ විට වැඩි බව අපට පැහැදිලිව පෙනෙනවා. මෙය ඉතා පැහැදිලිව පෙනෙන්න තියද්දී ප්‍රාග්ධනය විසින් ශ්‍රමය සූරාකෑම ගැන කතා කරන එක තේරුමක් නැති, පදනමක් නැති දෙයක්.

අතිරික්තය බෙදී යාමේ විෂමතා ගැන කතා කරන්න අපට ප්‍රාග්ධනය ගාවගන්න අවශ්‍ය නැහැ. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් නොකෙරෙන ශ්‍රමය වෙනුවෙන් පමණක් ප්‍රතිලාභ වෙන් කෙරෙන මනඃකල්පිත ධනවාදයක් ගැන අපි හිතමු. ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙනවා කියන එක ඇත්තටම වෙන්නේ අපි ඉගෙන ගන්න, උගන්වන ධනවාදී ආකෘතිය ඇතුළේ. මේ ආකෘතියත් මාක්ස්වාදී ආකෘතිය වගේම වියුක්ත ආකෘතියක්. සැබෑ ලෝකය තියෙන හැටියටම තියෙද්දී අප‍ට වියුක්ත ලෙස මේ ධනවාදී ආකෘතිය පමණක් වෙනස් කරන්න පුළුවන්. මේ විකල්ප ආකෘතියේ ප්‍රාග්ධන හිමියෝ නැහැ. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභත් නැහැ. එහෙත් ප්‍රාග්ධනය සම්පාදනය කිරීම සඳහා ශ්‍රමය යෙදවූ අයට ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ආකෘතිය මේ විදිහට වෙනස් කළත් සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් වෙන දේ ඒ විදිහටම වෙනවා. වෙනස් වන්නේ එය අප තේරුම් ගන්න විදිහ පමණයි. මාක්ස්වාදී ආකෘතියේ තිබෙන සූරාකෑම දැන් තියෙන්නේ කොහේද?

ධනවාදී බෙදීම හා මාක්ස්වාදී බෙදීම එකිනෙකින් වෙනස් වන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස මත කියන එක මතුපිටින් පෙනෙන්න තියෙන දෙයක් පමණයි. එසේ පෙනෙන්නේ අපේ විග්‍රහයන් තුළ. ආකෘති තුළ. ආකෘති වෙනස් කළොත්, අඩු වශයෙන් පරමාදර්ශී තත්ත්වයන් තුළ, ලොකු වෙනසක් නැහැ. එහෙමනම්, මේ දෙකේ වෙනස කුමක්ද?

ප්‍රාග්ධනය පැත්තකටම කරලා මේ වෙනස පැහැදිලි කරන්න පුළුවන්. ප්‍රාග්ධනයේ කොටස අයින් කරලා ශ්‍රමයේ පංගුව නියතයක් සේ සැලකුවත්, ක්‍රම දෙකේදී එම පංගුව එක් එක් ශ්‍රමිකයන් අතර බෙදී යන්නේ එකම ආකාරයට නෙමෙයි. මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ආදාන (input) මත පදනම් වූ බෙදීමක්. ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රතිදාන (output) මත පදනම් වූ බෙදීමක්. 

මෙය තේරුම් ගැනීමට පහසු සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ගෙඩි පිරුණු විශාල අඹ ගසක් තිබෙනවා. අවශ්‍යනම් මෙය පොදු ප්‍රාග්ධනයක් කියා හිතමු. කුඩා දරුවන් කණ්ඩායමක් අඹ කඩා ගන්න අඹ ගහට පොලු ගහනවා. පොලු ගැහුවේ නැත්නම් අඹ කන්න ලැබෙන්නේ නැහැ. එහෙත් ගහන පොලු හැම එකක්ම අඹ වල්ලක වදින්නේ නැහැ. අඹ කන්නනම් පළමුව පොලු ගහන්න මහන්සි විය යුතුයි. එක දිගට වැඩි වෙලාවක් පොලු ගහන දරුවාට බොහෝ විට වැඩියෙන් අඹ ලැබෙනවා. දෙවනුව පොලු ගැහීමේ කුසලතාවයක් තිබිය යුතුයි. එක සමාන මහන්සියක් වෙන දරුවන් දෙදෙනෙකු අතරින් ඉලක්කයට පොලු ගැසීමේ කුසලතාවය තිබෙන අයෙකුට බොහෝ විට වැඩියෙන් අඹ ලැබෙනවා. මීට අමතරව ඇතැම් විට වාසනාවද බලපානවා. ලොකු අඹ වල්ලකට මුල් වරම කණා ෂොට් එකක් වදින්න පුලුවන්. ධනවාදයක් ඇතුළේ සාර්ථක වීමට ඔය කරුණු තුනම බලපානවා.

දැන් ධනවාදය විසින් යෝජනා කරන බෙදීම කුමක්ද? අඹ වල අයිතිය එම අඹ කඩා ගැනීම සඳහා පොල්ල ගැසූ දරුවාටයි. මේ පදනම මත සියලුම දරුවන් අතර අඹ සමසමව බෙදී යන්නේ නැහැ. එහෙත්, සියලුම දරුවන්ට අඹ කඩා ගන්න සමාන අවස්ථා තිබෙනවා. මහන්සි වී පොලු නොගැසීම නිසා හෝ ගහපු පොලු අඹ වලට නොවැදීම නිසා අඹ නොලැබුණු අයෙකුට අඹ කන්න ලැබෙන්නේ අඹ කඩාගත් අයෙකුගේ සහකම්පනය මතයි. ආදාන කොපමණ වුවත් ප්‍රතිදාන නැත්නම් එයින් පලක් නැහැ.

මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ආදාන මත පදනම් වූ බෙදීමක්. ඒ අනුව, අඹ කැඩීම වෙනුවෙන් වැය කළ ශ්‍රම කාලය අනුව අඹ බෙදී යා යුතුයි. සියලු දෙනාම අඹ කඩන්න පැය බැගින් මහන්සි වුනානම් අඹ සමසමව බෙදෙනවා. බෙදෙනවා කියා කිවුවත් මේ බෙදීම කරන කෙනෙක් සිටිය යුතුයි. ලැබෙන අඹ ඉදුණු අඹද අමු අඹද කියා තීරණය වන්නේ මේ බෙදන්නා මතයි. ඒ වගේම බෙදන්නා එක අඹයක්වත් නොකැඩූ අයෙක් වෙන්න පුළුවන්. එක් දරුවෙකු අඹ කඩන්න ආවේ පැය බාගයකට පසුවනම්, එතෙක් කිසිවකු විසින් අඹ කිසිවක් කඩාගෙන නොතිබුණේ හා අඹ වැටුනේ ඔහුගේ පළමු පොලු පාරෙන් වුවත්, ඔහුට ලැබෙන්නේ අනෙක් අයට ලැබෙන අඹ ප්‍රමාණයෙන් බාගයක් පමණයි.

මාක්ස්වාදී බෙදීම තුළ කවුරුවත් ඉලක්කයට පොලු ගහන්න මහන්සි වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ පුළුවන් තරම් මහන්සි වී පොලු ගැසීම මිසක් ගහන පොලු අඹ වල වැදෙන එක නෙමෙයි. එහෙත්, ධනවාදය තුළ ඉලක්කය පුළුවන් තරම් අඹ කඩා ගැනීම මිසක් පුළුවන් තරම් මහන්සි වී පොලු ගැසීම නෙමෙයි. මේ වෙනස නිසා, ධනවාදී ක්‍රමයකදී වැඩියෙන් අඹ කැඩෙනවා. එහෙත් අඹ සමානව බෙදෙන්නේ නැහැ. සමාජවාදී ක්‍රමයකදී කැඩෙන අඹ ටික ආසන්න වශයෙන් සමානව බෙදෙනවා. 

ධනවාදී ක්‍රමයේදී සාධාරණත්වය තීරණය කිරීමේ බලය සතු අඹ කඩන දරුවා හොඳම අඹය කනවා. සමාජවාදී ක්‍රමයේදී සාධාරණත්වය තීරණය කිරීමේ බලය සතු අඹ බෙදන දරුවා හොඳම අඹය කනවා. අඹ වෙනුවට කෝවිඩ් එන්නත් වගේ ඕනෑම දෙයක් දමාගන්න පුළුවන්.

Thursday, May 13, 2021

නිදහස් දින ඉලක්කය

ඊයේ ඇමරිකාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින් අවුරුදු 12-15 වයස් කාණ්ඩය සඳහාද පයිසර්-බයෝඑන්ටෙක් එන්නත අනුමත කළා. ඇමරිකානුවන් මිලියන 17ක් (5.3%ක්) මෙම වයස් කාණ්ඩයට ඇතුළත්. මේ අනුව, මේ වන විට කෝවිඩ් එන්නතක් ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා තිබෙන පිරිස ඇමරිකානු ජනගහණයෙන් 84%ක්.

දැන් ඇමරිකාවේදී කෝවිඩ් එන්නතක් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටිය යුතු නැහැ. කලින් දැනුම් දීමක් නොකර සුපිරි සැලකට ගිහින් එන්නතක් ලබා ගන්න පුළුවන්. එන්නතක් ලබා ගැනීම සඳහා කාලයක් බලාගෙන සිටි මා වැනි අය මේ වෙද්දී එන්නත් ලබාගෙන අවසන්. ඉතිරිව සිටින පිරිස එන්නත් ලබා ගැනීමට අකැමැති හෝ උනන්දුව අඩු අයයි. 


එන්නත් ලබා ගැනීම දිරිමත් කිරීම සඳහා නිවුයෝර්ක් වැනි නගර වල නාගරික දුම්රියපොළ වලදිද එන්නත් ලබා දීම ආරම්භ කර තිබෙන අතර එන්නතක් ලබා ගන්නා අයෙකුට දින හතක කාලයකට දුම්රිය වාර ප්‍රවේශපතක් නොමිලයේ ලබා දෙනවා. ඒ වගේම මේ වෙද්දී ඇමරිකාව පුරා ඌබර් හා ලිෆ්ට් ටැක්සි සේවාවන් හරහා එන්නත් ලබා ගැනීමට අවශ්‍ය අයට නොමිලේ ප්‍රවාහන පහසුකම්ද සැලසෙමින් තිබෙනවා.

ඇමරිකානු ආණ්ඩුවේ ඉලක්කය වන්නේ එන්නත්කරණය හරහා කෝවිඩ් පාලනය කර ඇමරිකානු නිදහස් දිනය වෙද්දී රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමයි. ඒ සඳහා තවත් සති හතක පමණ කාලයක් තිබෙනවා.  

ලංකාවේ නිදහස් දිනය ලංකාවේ ආණ්ඩුව විසින් උජාරුවට සමරන නමුත් රටේ සාමාන්‍ය මිනිසුන්ගේ උත්සවයක් නෙමෙයි. ලංකාවේ බොහෝ දෙනෙකුට නිදහස් දිනය කියන්නේ තවත් එක නිවාඩු දිනයක්. එහෙත් ඇමරිකාවේ නිදහස් දිනය කවුරුත් වගේ සමරන සාමාන්‍ය මිනිසුන්ගේ උත්සවයක්. ඒ අර්ථයෙන් ලංකාවේ හැමෝම පොදුවේ සමරන ජාතික උත්සව නැහැ. ජාතික උත්සවයකට ආසන්නම දෙය වන අවුරුද්දද ලංකාවේ හැම ජනවාර්ගිකයෙකු විසින්ම සමරන්නේ නැහැ. 

ස්වදේශීය ඇමරිකානුවන් හා අදාළව ගත් විට ඇමරිකානු නිදහස කියන්නේ කුමක්ද කියන එක සංකීර්ණ කරුණක්. එහෙත් මෙම උත්සවය රාජ්‍ය උත්සවයක් නොවී පෞද්ගලික සංස්කෘතික කටයුත්තක් වී තිබීම නිසා බොහෝ ස්වදේශීය ඇමරිකානුවන්ටද අපහසුවක් නැතිව ඇමරිකානු නිදහස් දිනය සැමරීමට හැකි වී තිබෙනවා. 

මේ වන විටද කෝවිඩ් සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙන්නේ ඇමරිකානුවන්ගෙන් 35.4%ක් පමණක් වුවත්, එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ගෙන සිටින අය ඉදිරි සති කිහිපය ඇතුළත දෙවන මාත්‍රාවද ලබා ගනු ඇති බව පැහැදිලි කරුණක්. වයස අවුරුදු 65 ඉක්මවූ ඇමරිකානුවන්ගෙන් 84%ක්ද, වයස අවුරුදු 18 ඉක්මවූ ඇමරිකානුවන්ගෙන් 59%ක්ද මේ වන විට එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන තිබෙනවා. මේ ප්‍රතිශත නරක නැතත්, ඉතිරිව සිටින පිරිස අතරින් බොහෝ දෙනෙක් කෝවිඩ් සඳහා එන්නතක් ලබා ගැනීමට උනන්දුවක් නැති හෝ එය සෘජුවම ප්‍රතික්ෂේප කරන අයයි.


ජනාධිපති බයිඩන්ගේ ඉලක්කය වන්නේ ජූලි 4 වන විට වැඩිහිටි ඇමරිකානුවන්ගේ 70%ක් එන්නත් කිරීමයි. මේ ඉලක්කය කරා යාම අසීරු වන එකක් නැහැ. එහෙත්, එයින් පසුව සාමූහික ප්‍රතිශක්තිය කරා යාමනම් පහසු ඉලක්කයක් නෙමෙයි. අපේක්ෂා කළ හැකි පරිදිම, අඩු වයස් කාණ්ඩ අතර එන්නත්කරණය පිළිබඳ උනන්දුවද අඩුයි. ඒ වගේම, කළු ජාතිකයින් හා හිස්පැනික් අය එන්නත් ලබා ගන්නේ සුදු ජාතිකයින් හා ආසියාතිකයින්ට වඩා අඩුවෙන්. 

මේ තත්ත්වය මුල සිටම නොදැන සිටි තත්ත්වයක් නෙමෙයි. ඇමරිකාව ඇස්ට්‍රසෙනිකා එන්නත වැනි අඩු ඵලදායී එන්නත් වෙනුවට ඉහළ ඵලදායීතාවයක් සහිත එන්නත් වැඩි වශයෙන් භාවිතයට ගැනීම වාසිදායක වන්නේ එවැනි එන්නත් මගින් සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීම ඇමරිකාවට ඉතාම අසීරු ඉලක්කයක් නිසයි. එහෙත්, ප්‍රමාණවත් පිරිසක් එන්නත් කළ හැකිනම් එවැනි එන්නතක් මගින් වුවත් සාමූහික ප්‍රතිශක්තිය ලබා ගත හැකියි. 

පෞද්ගලික මට්ටමෙන් ගත්තොත්නම් අනුමත ඕනෑම එන්නතක් හොඳ එන්නතක්. එන්නතක් ගැනීමෙන් පසුවද කෝවිඩ් ආසාදනය වීමට තිබෙන සම්භාවිතාව ගන්නා එන්නත අනුව අඩු වැඩි වෙනවා වුවත්, ලැබෙන කවර හෝ එන්නතක් ගැනීමෙන් කෝවිඩ් හැදී මැරෙන්න වෙන සම්භාවිතාව ශුන්‍ය මට්ටම ආසන්නයටම අඩු කර ගන්න පුළුවන්.

Wednesday, May 12, 2021

කෝවිඩ් හා විකල්ප දැනුම


කෝවිඩ් වලින් බේරෙන්න ඉන්දියානුවන් ඔවුන්ගේ විකල්ප දැනුම් භාවිතා කරන ආකාරය රොයිටර් පුවත් සේවය විසින් වාර්තා කර තිබෙනවා. රොයිටර් වීඩියෝවේ පෙන්වන පරිදි, ගුජරාටි ප්‍රාන්තයේ වැසියන් කෝවිඩ් වලින් ආරක්ෂා වීම සඳහා ඔවුන්ගේ ඇඟ පුරා ගොම සහ ගව මුත්‍රා ආලේප කර ගන්නවා. මේ පිරිස අතර සිටින ඖෂධ සමාගමක සහාය කළමණාකරුවෙකු බව කියන ගෞතම් මනිලාල් කියන විදිහට වෛද්‍යවරුන් පවා කෝවිඩ් වලින් බේරෙන්න මේ වැඩේ කරනවා. ඔහු කියන විදිහට පසුගිය වසරේදී ඔහු කෝවිඩ් වලින් බේරී තියෙන්නෙත් මේ විදිහටයි.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සුන්දර් සිං කියන විදිහට ජලය සමඟ මිශ්‍ර කර ගව මුත්‍රා පානය කිරීමෙන් කෝවිඩ් වලින් බේරෙන්න පුළුවන්. තමන් අත්දැකීමෙන් දැන ගෙන තිබෙන මේ කරුණ සුන්දර් සිං විසින් වෙනත් අයටත් නිර්දේශ කරනවා. 

ගොම හෝ ගව මුත්‍රා වලින් කෝවිඩ් සඳහා ආරක්ෂාවක් ලැබෙන බව තහවුරු වී නැතුවා වගේම එසේ නොවන බවද තහවුරු වී නැහැ. ඇතැම් ඉන්දියානුවන් මේ ආකාරයෙන් ඔවුන්ගේ විශ්වාස මත පදනම්ව මේ වැඩේ කළත්, ඉන්දියානු රජය මෙම විකල්ප දැනුම වෙනුවෙන් පෙනී සිටින බවක්නම් වාර්තා වී නැහැ.

ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා ශ්‍රමයේ ප්‍රතිලාභ අඩු වී ඇති ආකාරය පැහැදිලි කළ පෙර ලිපියට ප්‍රතිචාර ලෙස එක් පාඨකයෙකු විසින් "එහෙම කාලයක් තිස්සේ මේ ගැන කරපු දේවල් නොකර හිටියා නං ශ්‍රමිකයන්ගේ තත්ත්වය මීටත් වඩා අහයපත් වෙන්න බැරිද?" යනුවෙන් අසා තිබුණා. මේ වගේ ප්‍රශ්නයකට සියයට සියයක් නිවැරදි නිශ්චිත පිළිතුරක් දෙන්න බැහැ. මොකද අපට ප්‍රතිපරිසිද්ධික තත්ත්වය නිරීක්ෂණය කිරිමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මෙවැනි ප්‍රශ්නයකට සෘජු අනුභූතික පිළිතුරක් තිබීමේ හැකියාවක් නැහැ. තිබිය හැක්කේ තාර්කික පිළිතුරක් පමණයි.

කොවිඩ් වලින් ආරක්ෂා වීම සඳහා ගොම හා ගව මුත්‍රා ආලේප කර ගැනීම ගැන කතා කරද්දීත් අපට මේ ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙනවා. "ගොම හා ගව මුත්‍රා ආලේප කර ගැනීම සිදු නොකළේනම් තත්ත්වය මීටත් වඩා අහයපත් වෙන්න බැරිද?"

Monday, May 10, 2021

ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් සමාජවාදය!


ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.

කිසිවෙකු විසින් මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන තුරු මාක්ස්වාදය පිළිබඳ මගේ විවේචනය දිගින් දිගටම ඇදගෙන යන එකේ තේරුමක් නැතත්, තවදුරටත් පැහැදිලි කළ යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පසුව, අනෙක් "වාද" ගැනත් එකින් එක හෙමිහිට කතා කරමු. 

ආර්ථික තලයේදී මාක්ස්වාදය ධනවාදයෙන් වෙනස් වන ප්‍රධානම කරුණ මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමයි. මාක්ස් ජිවත් වූ කාලයේ ඔහු නිරීක්ෂණය කළ දේවල් මත පදනම්ව ඔහු තමන්ගේ න්‍යාය හරහා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම ඉතාම ස්වභාවික දෙයක්. ඔහු ජිවත් වූ යුගයේ මා ජීවත් වූවානම් "ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද?" කියා මා අසන එකක් නැහැ. මාක්ස්වාදයට විසඳුම් දිය හැකි, එහෙත් ධනවාදයට විසඳුම් දිය නොහැකි සේ පෙනුණු ප්‍රශ්න ඒ යුගයේදී පෙනෙන්නට තිබුණා. 

එතැන් සිට අද දක්වා කැපී පෙනෙන ලෙස කාලය තුළ වෙනස් වී තිබෙන්නේ නිෂ්පාදන තාක්ෂනය මිස ධනවාදය නෙමෙයි. එයින් කියන්නේ ධනවාදයේ ස්වරූපය වෙනස් වී නැති බව නෙමෙයි. ධනවාදය කියා කියන්නේම නිෂ්පාදන තාක්ෂනය සමග නිරන්තරයෙන් වෙනස් වන දෙයක්. නිෂ්පාදන තාක්ෂනයේ ප්‍රගමනය කෙරෙහි ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය බලපෑමක් කරනවා. ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය කෙරෙහි පවතින ධනවාදයේ ස්වරූපය බලපෑමක් කරනවා. ධනවාදයේ ස්වරූපය නැවත නිෂ්පාදන තාක්ෂනය මත තීරණය වෙනවා. මෙය චක්‍රීය සම්බන්ධයක්. 

මෙයින් වෙනස්ව මාක්ස් ඇතුළු බොහෝ සමාජවාදීන් විසින් දකින්නේ රේඛීය සමාජ ප්‍රගමනයක්. එහි අවසානයේ මනෝරාජික කොමියුනිස්ට් සමාජයක් තිබෙනවා. මේ අදහස මට ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙත් මෙය අනිවාර්යතාවක් සේ දකින්න හේතු කිසිවක් මට පෙනෙන්නේ නැහැ. වෙනත් විකල්ප අනාගතයන් ගණනාවක්ද මට පෙනෙනවා. උදාහරණයක් විදිහට රොබෝලා විසින් මිනිසුන්ව මුළුමනින්ම විනාශ කර දමන හෝ සුරතල් සතුන් සේ නඩත්තු කරන අනාගතයක් හැදෙන්න බැරිකමක් නැහැ. අනාගතය නිශ්චිත ලෙස තීරණය වී ඇතැයි මම සිතන්නේ නැහැ. එය තීරණය වනු ඇත්තේ අද අප කරන දේවල් මතයි. ඇතැම් විට ගොඩක් පොඩි, සරල දේවල් නිසා වෙන්න පුළුවන්.

ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රාග්ධන හිමියන්ට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හිමිවියයුතු බවයි. මේ හේතුව මත ප්‍රාග්ධන හිමියන් අනිවාර්යයෙන්ම එන්න එන්නම පෝසත් වෙනවාද? පැහැදිලිවම නැහැ.

ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රාග්ධන හිමියා විසින් පරිභෝජනය කරන කොටස අපි පැත්තකින්ම තියමු. ඒ කියන්නේ එම ප්‍රතිලාභ වලින් කිසිවක්ම පරිභෝජනය නොකරනවා කියා සිතමු. එසේ වුවද, ප්‍රාග්ධන හිමියකු විසින් උපයන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හේතුවෙන් ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වන්නේ නැහැ. එයට හේතුව නිෂ්පාදනයේදී ප්‍රාග්ධනය වැය වී අවසන් නොවන නමුත් යම් තරමකින් ක්ෂය වීමයි. කාලයක් මිරිස් අඹරද්දී මිරිස් ගලක් වුවත් ගෙවෙනවා. කාලයක් වී කොටද්දී ගල් වංගෙඩියක් වුනත් හෑරෙනවා. පරිගණක, ගොඩනැගිලි, මහා මාර්ග, රථ වාහන, පාලම්, යන්ත්‍ර සූත්‍ර යම් කාලයක් යද්දී තවදුරටත් ප්‍රයෝජනයට ගත නොහැකි තරමට ක්ෂය වී යනවා. දිගින් දිගටම වගා කරද්දී ඉඩම් නිසරු වෙනවා. 

මෙසේ ක්ෂය වන ප්‍රාග්ධනය ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රතිපූරණය නොවුනොත් වෙන්නේ ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම වෙනුවට ක්ෂය වීමයි. මේ කාරණයේදී ධනවාදය ප්‍රාග්ධන හිමියාගේ පැත්ත ගන්නේ නැහැ. ක්ෂය වී යන තමන්ගේ ප්‍රාග්ධන සංචිත නඩත්තු කළ හැකි හෝ වර්ධනය කරගත හැකි තරම් ප්‍රතිලාභ ලැබෙන තැන් සොයමින් ඒවා ආයෝජනය කිරීම ප්‍රාග්ධන හිමියෙකු විසින් නිරන්තරයෙන් කළ යුතු වැඩක්. එහිදී ප්‍රාග්ධන හිමියෙකුට තරඟ කරන්න වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අනෙකුත් ප්‍රාග්ධන හිමියන් සමඟයි. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර තරඟයක් ඇති වන්නේත්, හෙට්ටු කිරීම් අවශ්‍ය වන්නේත්, වෙළඳපොළ තරඟය දුර්වල වී ඒකාධිකාර හැදුනු විටයි. 

මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ක්ෂය වීම කියන කාරණයේදී ඇත්තටම කරන්නේ ප්‍රාග්ධනයේ පැත්ත ගන්න එකයි. මාක්ස්වාදී බෙදීමකදී අතිරික්තය ගණන් බලන්නේම ප්‍රාග්ධනය ක්ෂය වීම ප්‍රතිපූරණය කිරීමෙන් පසුවයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම නඩත්තු කිරීම වැනි අවස්ථා වලදී වෙන්නේ ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනයේ පැත්ත ගැනීමක්. ශ්‍රමයේ කොටස අඩු වෙලා ප්‍රාග්ධනයේ කොටස වැඩි වෙනවානම් ප්‍රාග්ධන හිමියා ඒකීය පුද්ගලයෙකු නොවී රජය වුනා කියලා ශ්‍රමිකයාට යහපතක් වෙන්නේ නැහැ.

ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ ක්ෂය වන ප්‍රාග්ධනය පමණක්ද? ඇතැම් ප්‍රාග්ධන හිමියන්ට ධනවාදී ක්‍රමයකදී ක්ෂය වන ප්‍රාග්ධනය හෝ නොලැබෙන නමුත් සමස්තයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ට බොහෝ විට ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි යමක් ලැබෙනවා. ඒ වගේම ධනවාදී ක්‍රමයකදී සාමාන්‍යයෙන් කාලයත් සමඟ රටක ප්‍රාග්ධන සංචිත වර්ධනය වීමක්ද සිදු වෙනවා. ඒ නිසා, ධනවාදී ක්‍රමයකදී ශ්‍රමිකයන්ට සාපේක්ෂ අවාසියක් සිදු වෙනවද?

සමාජවාදී ක්‍රමයකදී වුවත් ප්‍රායෝගිකව අතිරික්තයෙන් ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්. ඕනෑම සමාජවාදී රටක් තමන්ගේ ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමටත්, අනාගතය ඉලක්ක කර ආයෝජනය කිරීමටත් පෙළඹෙනවා. මුලින්ම අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ඇමරිකාවටත් වඩා විශාල ආයෝජන කළේ සෝවියට් දේශයයි. දැන් චීනය ගත්තත් ඔවුන්ගේ ප්‍රාග්ධන ආයෝජන ගොඩක් වැඩියි. සෑම වසරකම චීනය ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කරන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්.

මෙයින් පැහැදිලි වනු ඇත්තේ ධනවාදය හා සමාජවාදය අතර මූලධාර්මික වෙනස්කම් කෙතෙක් වුවත් අවසාන වශයෙන් ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය ප්‍රායෝගිකව බෙදී යන ආකාරය පිළිබඳ වෙනස්කම් ඉතා සියුම් බවයි. ඒ නිසා, ධනවාදය යටතේ ප්‍රාග්ධනයට වාසි සැලසෙන බව හා සමාජවාදය යටතේ ශ්‍රමයට වාසි සැලසෙන බව වැනි කරුණු නිශ්චිතව ප්‍රකාශ කළ හැකි තර්කානුකූල පදනමක් අපට නැහැ. එවැනි වෙනස්කම් ඇත්දැයි අපට පරීක්ෂා කර බැලිය හැක්කේ අනුභූතික කරුණු මත පදනම්වයි.

අපි නැවතත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වෙත යමු. 

Y = F(K,L) = AKαLß 

මෙහි α හා ß පරාමිතීන්ගෙන් පෙන්වන්නේ කිසියම් නිෂ්පාදනයක් සඳහා ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ දායකත්වය. ධනවාදී ක්‍රමයකදී ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය බෙදී යා හැකි සේ සැලකෙන්නේ α හා ß අතර අනුපාතයටයි. එහෙත්, ඇමරිකාව හෝ ජර්මනිය වැනි, සෛද්ධාන්තික පූර්ණ ධනවාදයන් නොවන එහෙත් ධනවාදයට වඩා බර රටක් ගත්තොත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර මේ අනුපාතයටම බෙදී නොයනවා විය හැකියි. විශේෂයෙන්ම ප්‍රාග්ධන හිමියන් සතුව යම් ඒකාධිකාරයක් තිබීම හා ඒ මත පදනම්ව ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වලට වඩා වැඩි යමක් ලබා ගැනීම අපට එකවර බැහැර කරන්න බැහැ. 

මේ α හා ß කර්මාන්තය අනුව වෙනස් වෙනවා. සංචාරක සේවා සැපයීම වැනි කර්මාන්තයකට ශ්‍රමයේ දායකත්වය වැඩියි. දුම්රිය ප්‍රවාහනය වැනි කර්මාන්තයකට ප්‍රාග්ධනයේ දායකත්වය වැඩියි. ස්වයංකරණය වැඩි වන තරමට ශ්‍රමයේ දායකත්වයද අඩු වෙනවා. කෙසේ වුවත්, කිසියම් රටක් හා අදාළව අපට මේ පරාමිතීන්ගේ සාමාන්‍ය අගයක් රටේ එම අගයයන් සේ සලකන්න පුළුවන්. ලෝකයේ රටවල් අතර නිෂ්පාදන තාක්ෂනයන්හි මේ කරුණ හා අදාළ වන විශාල වෙනස්කම් නොමැති නිසා පුළුල් ආර්ථිකයන් ඇති රටවල් අතර α හා ß අගයයන්හි විශාල වෙනස්කම් තිබිය නොහැකියි.   

ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව වැනි රටක් ඉතාම පහසුවෙන් පුළුල් ආර්ථිකයක් ඇති රටක් සේ හඳුනාගත හැකියි. එහෙත්, තෙල් මත රැඳුණු මැද පෙරදිග රටවල් හා සංචාරක කර්මාන්තය මත රැඳුනු ඇතැම් කුඩා දූපත් රාජ්‍ය එසේ සැලකිය නොහැකියි. එවැනි රටවල α හා ß අගයයන් ආර්ථිකයේ ප්‍රමුඛ කර්මාන්තයේ එම අගයයන්ට සමීප වෙනවා. රටක නිෂ්පාදන ශ්‍රිතයේ α හා ß අගයයන් අපට හරියටම නිශ්චිතව මැන ගැනීම අසීරු වුවත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ඇත්තටම බෙදී යන විදිහ අපිට හරියටම හොයා ගන්න පුළුවන්. ධනවාදී රටවල් සමාජවාදී රටවල් වලට වඩා කොපමණ ශ්‍රමය සූරාකනවද කියා පරික්ෂා කර බලන්න පුළුවන් හොඳම විදිහ මේ සංඛ්‍යාලේඛණ පරීක්ෂා කරන එකයි. මතක තියා ගන්න අපි මේ පරික්ෂා කරන්නේ සමාජවාදීන්ට ගොඩක් වැදගත් දෙයක් මිසක් ධනවාදීන්ට එතරම් වැදගත් දෙයක් නෙමෙයි.

ලෝකයේ එක් එක් රටවල සමස්ත නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ආකාරය පහත වගුවේ තිබෙනවා. අවසන් තීරුවේ තිබෙන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය.


බොහෝ බටහිර රටවල ශ්‍රමය වෙනුවෙන් වෙන් කෙරෙන පංගුව ජාතික ආදායමෙන් 60%කට ආසන්නයි. ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් වන කොටස 40%ක් පමණ.

ඇමරිකා එක්සත් ජනපදය - 59.4%

එක්සත් රාජධානිය - 59.1%

ප්‍රංශය - 62.2%

ජර්මනිය - 63.0%

ඕස්ට්‍රේලියාව - 58.2%

කැනඩාව - 65.3%

ඩෙන්මාර්කය - 62.5%

ෆින්ලන්තය - 59.2%

ස්වීඩනය - 54.9%

පෘතුගාලය - 58.8%

නවසීලන්තය - 55.7%


ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ප්‍රතිශතය අනුව බැලුවොත්, අපේ පාඨකයන් අතර සිටින ඇතැම් අයගේ පරමාදර්ශී රාජ්‍ය ආකෘතිය ක්‍රියාත්මක වන ස්කැන්ඩිනේවියන් රටවල් හා අනෙකුත් බටහිර රටවල් අතර වෙනසක් නැහැ. ඒ වගේම, රුසියාව, චීනය වගේ රටවල් වලත් ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස 60%කට ආසන්නයි.

රුසියාව - 56.0%

චීනය - 57.4%


එහෙත්, ලංකාවේ දැකිය හැක්කේ මේ අනුපාතය කණපිට හැරී ඇති තත්ත්වයක්. 

ශ්‍රමය - 38.8%

ප්‍රාග්ධනය - 62.2%

මෙහෙම වෙන්නේ ලංකාවේ නිෂ්පාදන ශ්‍රිතය වෙනස් නිසාද? ප්‍රාග්ධනය වෙනුවෙන් මේ තරම් ඉහළ ප්‍රතිලාභ ලැබෙන වෙනත් රටවල් නැද්ද? 

නැත්තේ නැහැ. එවැනි තවත් රටවල් තිබෙනවා. මේ මැද පෙරදිග රටවල ශ්‍රමයේ පංගුව.

ඉරානය - 32.3%

ඉරාකය - 29.6%

කුවේට් - 24.5%

ඕමාන් - 30.3%

කටාර් - 17.3%

සවුදි අරාබිය - 28.1%

මේ රටවල පුළුල් ආර්ථිකයක් නැහැ. ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම දුවන්නේ තෙල් මත. ශ්‍රමය සපයන බොහෝ දෙනෙක් විදේශිකයෝ. ඒ අයට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ප්‍රාග්ධනය සමඟ සටන් කරන්න බැහැ. ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා අඩු දෙයක් වුවත් තමන්ගේ රටවල රැකියා කර ඔවුන්ට ඒ මුදලවත් උපයන්න බැහැ. ඒ නිසා දෙන දෙයක් බාර ගන්න වෙනවා. සමස්තයක් ලෙස ශ්‍රමය වෙනුවෙන් අඩු කොටසක් වෙන් කෙරුණත් මේ රටවල් වල ස්වදේශිකයන්ට එයින් වාසියක් මිස පාඩුවක් නැහැ.

එහෙත් ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැහැ. ලංකාව ප්‍රාග්ධන මූලික නිෂ්පාදනයක යෙදෙන රටක් නෙමෙයි. එහෙමනම් ලංකාවේ ශ්‍රමයේ පංගුව මෙතරම් අඩු ඇයි? මේ තමයි අවුරුදු 73ක ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති වල අවසන් ප්‍රතිඵලය!

මැද පෙරදිග රටවල් තෙල් මත දුවන, පුළුල් පදනමක් නැති ආර්ථිකයන් වනවාට අමතරව බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී නොවන රාජ්‍ය ඒකාධිකාරයන්ද වෙනවා. මේ රටවල ප්‍රාග්ධන හිමිකාරිත්වය සම්බන්ධව තිබෙන්නේ සමාජවාදයෙන් යෝජනා කරන ආකාරයේ ඒකාධිකාරයක්. මැද පෙරදිග රටවල වගේම කවුරුවත් සමාජවාදී රටක් සේ හඳුන්වන්නේ නැති, එහෙත් සමාජවාදී ආකෘතියේම රටක් වන සිංගප්පූරුවේ ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදෙන්නේත් වෙනිසියුලාව වැනි සමාජවාදී රටක ජාතික ආදායම බෙදී යන විදිහටමයි. මේ රටවල් මේ කාරණයෙන් ලංකාවෙන් වෙනස් නැහැ. එම රටවල ශ්‍රමයේ පංගුව පහත දැක්වෙනවා.

වෙනිසියුලාව - 41.7%

සිංගප්පූරුව - 44.0%


විවිධ රටවල ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාත දිහා බැලුවත් ලංකාවේදී ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් වැඩියි කියන කරුණ කැපී පෙනෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය - 7.4%

එක්සත් රාජධානිය - 8.7%

ප්‍රංශය - 4.6%

ජර්මනිය - 5.0%

ඕස්ට්‍රේලියාව - 4.7%

කැනඩාව - 5.0%

ඩෙන්මාර්කය - 5.5%

ෆින්ලන්තය - 6.0%

ස්වීඩනය - 5.9%

පෘතුගාලය - 5.5%

නවසීලන්තය - 8.3%

රුසියාව - 2.3%

චීනය - 8.5%

වෙනිසියුලාව - 5.6%

සිංගප්පූරුව - 15.9%

ඉරානය - 8.0%

ඉරාකය - 12.5%

කුවේට් - 12.8%

ඕමාන් - 11.8%

කටාර් - 20.7%

සවුදි අරාබිය - 11.7%

ලංකාව - 22.7%

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලංකාවේ මානව ප්‍රාග්ධන සංචිත වැඩි කරන්න කාලයක් තිස්සේ කරපු දේවල් වලින් ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් වී ඇති බවයි. එහෙත් ඇත්තටම එයින් සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් පවතින්නේත් එහි අනෙක් පැත්තයි. මානව ප්‍රාග්ධනය සුලභ වී ශ්‍රමය අතර තරඟය වැඩි වන තරමට එහි වාසිය ලැබෙන්නේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසටයි. ශ්‍රමය "සූරාකෑම" නැති වෙන්නේ ප්‍රාග්ධන හිමියන් වැඩි වී ඔවුන් අතර තරඟය තියුණු වන තරමටයි. 

කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ වුවත් චීනය මේ පාඩම ඉගෙන ගෙන හොඳින් ක්‍රියාත්මක කරනවා. එහෙත් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම වගේ දැන හෝ නොදැන කාලයක් තිස්සේ කරලා තියෙන්නේත්, තවමත් කරමින් ඉන්නේත්, ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනය වෙනුවෙන් සේවය කරන එකයි.

Sunday, May 9, 2021

සයිනෝෆාර්ම් ගහ ගන්නවද?

චීන සයිනෝෆාර්ම් එන්නත ගැන ගොඩක් පාඨකයින් අහල තියෙනවා. එන්නතක් ගහ ගන්නවද කියන එක හිතා මතා ගත යුතු පෞද්ගලික තීරණයක්. ඉතා පැහැදිලිවම මම එන්නත් විරෝධියෙක් නෙමෙයි. එන්නත් වීරෝධීන්ට එරෙහිව මම මේ වියුණුවේ ලියා තිබෙන්නේ කෝවිඩ් එන්න ගොඩක් කලින් සිටයි. එහෙත් එයින් අදහස් වන්නේ ඕනෑම එන්නතක් වෙනුවෙන් කොන්දේසී විරහිතව පෙනී සිටින බව නෙමෙයි. පෞද්ගලිකව වුවත් මගේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන හැම එන්නතක්ම මම ගහ ගන්නේ නැහැ.

මේ වන විට මගේ පෞද්ගලික වෛද්‍යවරයා විසින් මට ශින්ගල්ස් රෝගය සඳහා එන්නතක් ලබා ගැනීම නිර්දේශ කර තිබෙනවා. එහෙත් මම පසුගිය වසර කිහිපය පුරාම එම එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ශින්ගල්ස් කියන්නේ පැපොල රෝගයේ බරපතලකම අඩු තත්ත්වයක්. පැපොල හැදුනු අයගේ සිරුරේ පැපොල හදන වෛරසය අක්‍රියව තිබී කාලයකට පසු නැවත මතු වීමෙන් ශින්ගල්ස් රෝගය හැදෙනවා. මට කවදාවත් පැපොල හැදී නැහැ. ඒ වගේම පැපොල රෝගය සඳහා එන්නත් ලබා ගෙන තිබෙන නිසාත්, ඇමරිකාවේ පැපොල රෝගය සුලභ නැති නිසාත් මට පැපොල හැදීමේ අවදානම එතරම් වැඩියි කියා මම හිතන්නේ නැහැ. මගේ ගණනය කිරීම් අනුව මට ශින්ගල්ස් රෝගය හැදීමේ අවදානම ඉතාම අඩුයි. යම් හෙයකින් හැදුනත් එයින් මැරෙන්න ඉඩක් නැහැ. දවස් තුන හතරක් අමාරුව දරන්න වෙයි. අපේක්ෂිත හානිය එපමණයි. එම හානිය වලක්වා ගැනීම සඳහා එන්නත ලබා ගත්තොත් දවසක් දෙකක් අතුරු ආබාධ වල අමාරුව විඳින්න වෙනවා. ඒ නිසා, මේ එන්නත ලබා ගැනීම පිළිබඳව මම තවමත් බරපතල ලෙස සලකා බලා නැහැ. 

එසේ වුවත්, කෝවිඩ් සම්බන්ධව මම හිටියේ ලැබෙන මුල් අවස්ථාවේදීම ලැබෙන කවර හෝ සාර්ථක එන්නතක් ලබා ගන්නවා කියන අදහසේ. මේ වෙද්දී ඇමරිකානුවන්ගෙන් දහයෙන් එකකට "නිල වශයෙන්" කෝවිඩ් හැදිලා. ගෙදරින් එළියට බහිද්දී අහම්බෙන් හමුවන ඕනෑම කෙනෙක් කෝවිඩ් ආසාදිතයෙක් විය හැකියි. අල්ලපු ගෙදර මනුස්සයා මාස දෙකකට පෙර කෝවිඩ් වලින් මිය ගොස් බව දැන ගත්තේ එන්නත් දෙකම ලබා ගෙන ගෙයින් එළියට බහින්න පටන් ගත්තට පසුවයි. අහල පහළ තව කී දෙනෙක් කෝවිඩ් වලින් මැරිලද දන්නේ නැහැ. කෝවිඩ් වෛරසය ඕනෑම වෙලාවක පිටට තට්ටුවක් දමන්න පුලුවන්. ශින්ගල්ස් වගේ නෙමෙයි. අනෙක් අතට කෝවිඩ් වලින් මැරෙන්න, හොඳටම අමාරු වෙන්න සහ දිගුකාලීන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ අතිනුත් ශින්ගල්ස් වගේ නෙමෙයි. 

කෝවිඩ් වලින් ගැලවෙන්න දැනට තිබෙන එකම දිගුකාලීන විසඳුම එන්නත්කරණය පමණයි. ඒ හැර වෙනත් විකල්පයක් නැති බව මේ වෙද්දී සක් සුදක් සේ පැහැදිලි වෙලා අවසානයි. කෝවිඩ් වගේ රෝගයක් වැඩි දෙනෙකුට පැතිරෙන තරමට වෛරස් සංචිතය වැඩි වීම නිසා අලුත් ප්‍රභේද වැඩි වැඩියෙන් බිහි වෙනවා. මේ අලුත් ප්‍රභේද අතරින් වේගයෙන් පැතිරෙන ප්‍රභේද වලට පරිණාමික වාසියක් තිබෙන නිසා එවැනි ප්‍රභේදයක් බිහි වී ටික කලකින් එම ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වෙනවා. 

පහත රූප සටහනේ පෙන්වා තිබෙන්නේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ලෙස හැඳින්වෙන B.1.1.7 ප්‍රභේදය පසුගිය මාස කිහිපය ඇතුළත ඇමරිකාවේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වූ ආකාරයයි. මෙය වසර මුලදීම ඉතා නිවැරදිව පුරෝකථනය කර තිබුණු තත්ත්වයක් බවද කිව යුතුයි.


කෝවිඩ් වැනි වසංගතයක් ජය ගන්නනම් සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගන්නම වෙනවා. රෝගය ඔහේ බෝවෙන්න ඇරියොත් කවදා හරි සාමූහික ප්‍රතිශක්තිය ඇති වෙයි. ඒ වෙද්දී දැන් මැරෙනවා වගේ කිහිප ගුණයක පිරිසක් මැරිලා තවත් විශාල පිරිසකට විවිධ දිගුකාලීන ආබාධ ඇති වී තිබීම නොවැලැක්විය හැකියි. එය විකල්පයක් නෙමෙයි. ඒ වගේම කෝවිඩ් නැවත නැවතත් ආසාදනය විය හැකි නිසා පළමු වටයේදී බේරෙන කෙනෙක් දෙවන වටයේදී මැරෙන්න පුළුවන්. මේ තත්ත්වය හමුවේ වසංගතය ජය ගන්න තිබෙන එකම පිළියම එන්නත්කරණය හරහා සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීමයි. ස්වභාවිකව හෝ එන්නත්කරණය හරහා කිසිම දවසක සාමූහික ප්‍රතිශක්තිය ඇති නොවෙන්නත් විශාල ඉඩකඩක් තිබෙන බවද අමතක නොකළ  යුතුයි. ඒ කියන්නේ කෝවිඩ් එක්ක දිගටම ජීවත් වෙන්න වෙනවා කියන එකයි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම, අත් සේදීම, එක්රැස්වීම් වලින් වැලකීම ආදිය හරහා කෝවිඩ් ව්‍යාප්තිය මන්දගාමී කළ හැකි වුවත් මේ කිසිවක් ස්ථිර විසඳුම් නෙමෙයි. මේ දේවල් වලින් කළ හැක්කේ එන්නත්කරණය හරහා සාමූහික ප්‍රතිශක්තිය ලබා ගන්නා තුරු කල් ගැනීමයි. ඒ වගේම සාමූහික ප්‍රතිශක්තිය ලැබෙන තුරු තිබෙන විකල්පය වන්නේ මේ අවශේෂ දේවල් කරන එකයි.

එන්නත්කරණය හරහා සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව මේ වන විට තිබෙන හොඳම නිදර්ශනය ජිබ්රෝල්ටාවයි. ජිබ්රෝල්ටාව ස්පාඤ්ඤයේ දකුණු කෙළවරේ, අප්‍රිකානු මහාද්වීපයට ආසන්නව හා උතුරින් පිහිටි පිහිටි, එක්සත්  රාජධානියට අයත් වර්ග සැතපුම් වර්ග සැතපුම් 2.6ක ප්‍රදේශයක්. ජනගහණය 33,682ක් පමණයි. ජනගහණයේ අනුපාතයක් ලෙස සැළකු විට කෝවිඩ් මරණ ගණන අතින් දෙවැනි තැනත්, කෝවිඩ් ආසාදිතයින් ගණන අතින් පස්වැනි තැනත් සිටින්නේ ජිබ්රෝල්ටාවයි. 

රට වසා තබා ගැනීම මගින් පසුගිය දෙසැම්බරය වන තුරුම කොවිඩ් පාලනය කර ගැනීමට ජිබ්රෝල්ටාව සමත් වුනත් ශීත සෘතුව එළැඹෙද්දී තත්ත්වය නරක අතට හැරුණා. කෙසේ වුවත්, එක්සත් රාජධානිය විසින් ජිබ්රෝල්ටාවේ කුඩා ජනගහණයට ප්‍රමාණවත් තරම් පයිසර්-බයෝ එන්ටෙක් එන්නත් ලබා දීම නිසා ජිබ්රෝල්ටාවට කෝවිඩ් වලින් ගොඩ යන්න හැකි වුනා. පසුගිය මාර්තු මාසයේදී වයස අවරුදු 16ට වැඩි සියලුම ජිබ්රෝල්ටා වැසියන්ට මෙන්ම එහි රැකියා කරන 16,000ක් පමණ වන ස්පාඤ්ඤ වැසියන්ටද පයිසර්-බයෝ එන්ටෙක් එන්නත් ලබා ගැනීමේ අවස්ථාව හිමිවුනා. ඔවුන්ගෙන් 85%කට වඩා වැඩි පිරිසක් එන්නත් ලබාගෙන තිබෙනවා. මාර්තු මැද සිට ජිබ්රෝල්ටාවෙන් වාර්තා වී තිබෙන්නේ කෝවිඩ් ආසාදිතයින් 8 දෙනෙක් පමණයි. මරණ කිසිවක් වාර්තා වී නැහැ. 

සීෂෙල්ස් දූපත අප්‍රිකානු මහාද්වීපයේ කොටසක් සේ සැලකෙන ඉන්දියානු සාගරයේ පිහිටි ලක්ෂයකට මදක් අඩු ජනගහණයක් සිටින රටක්. පසුගිය ජනවාරි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සීෂෙල්ස් වෙත චීන සයිනෝෆාර්ම් එන්නත් 50000ක  තොගයක් ප්‍රදානය කළා. ඉන් පසුව ඉන්දියාව විසින් ඇස්ට්‍රසෙනිකා එන්නත් 50000ක තොගයක්ද ප්‍රදානය කළා. මේ වන විට සිය ජනගහණයෙන් 61%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙන සීෂෙල්ස් ලෝකයේ රටවල් අතරින් ජනගහණයෙන් වැඩිම පිරිසක් එන්නත් කර ඇති රටයි. එක් එන්නත් මාත්‍රාවක් ගත් පිරිසද ඇතුළුව ජනගහණයෙන් 70%ක් මේ වන විට එන්නත් කර තිබෙනවා. එසේ වුවත් මේ වන විට සීෂෙල්ස්හි වේගයෙන් කෝවිඩ් ව්‍යාප්ත වන නිසා එම රටට නැවතත් දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදු වී තිබෙනවා. පසුගිය සති වල කෝවිඩ් හැදී තිබෙන අයගෙන් තුනෙන් එකක්ම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයයි.

මිලියන දහයකට වඩා වැඩි ජනගහණයක් සිටින ඊශ්‍රායලය මේ වන විට පයිසර්-බයෝඑන්ටෙක් එන්නත යොදා ගනිමින් සිය ජනගහණයෙන් 60%ක් එන්නත් කර තිබෙන අතර එයින් 56%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙනවා. මේ වන විට ඊශ්‍රායලයෙන් හමුවන කෝවිඩ් ආසාදිතයින් ගණන වගේම කෝවිඩ් මරණ ප්‍රමාණයත් විශාල ලෙස පහත වැටී තිබෙනවා. එහෙත් ඊශ්‍රායලය තරමටම වගේ ජනගහණ ප්‍රතිශතයක් එන්නත් කර තිබෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි ඊශ්‍රායලයේ මෙන් කෝවිඩ් පාලනය වී ඇති බවක් පෙනෙන්නට නැහැ. සයිනෝෆාර්ම් එන්නත මුලින්ම අනුමත කළ රට එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සයිනෝෆාර්ම් එන්නතට අමතරව පයිසර්-බයෝඑන්ටෙක් එන්නතද ලබා දෙනවා.

කෝවිඩ් වලින් විශාල ලෙස බැට කෑ බටහිර රටක් වූ එක්සත් රාජධානිය තුළ මේ වෙද්දී බොහෝ දුරට වසංගතය පාලනය වී තිබෙනවා. ප්‍රධාන වශයෙන් පයිසර්-බයෝඑන්ටෙක් හා ඇස්ට්‍රසෙනිකා එන්නත්ද යම් තරමකින් මොඩර්නා එන්නත්ද භාවිතා කළ එක්සත් රාජධානිය සිය ජනගහණයෙන් 52%ක් එන්නත් කර තිබෙන අතර එයින් 25%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙනවා. 

පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් ප්‍රධාන වශයෙන්ද, ජොන්සන් සහ ජොන්සන් එන්නත යම් තරමකින්ද භාවිතා කළ ඇමරිකාව සිය ජනගහණයෙන් 45%ක් එන්නත් කර තිබෙන අතර එයින් 33%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙනවා. එක්සත් රාජධානියේ තරමටම නැතත් ඇමරිකාවේද කෝවිඩ් වසංගතය මේ වන විට බොහෝ දුරට පාලනය වී තිබෙනවා.

ලංකාවට යාබද මාලදිවයින සිය ජනගහණයෙන් 57%ක් එන්නත් කර තිබෙන අතර එයින් 24%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙනවා. එහෙත් මේ වන විට මාලදිවයින තුළ ඉතා වේගවත් කෝවිඩ් ව්‍යාප්තියක් දැකිය හැකියි.

සමස්තයක් ලෙස කෝවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වය පිළිබඳව තවමත් දැකිය හැක්කේ තරමක් අවිනිශ්චිත සංඥාවක්. එන්නත්කරණයෙන් ප්‍රතිඵල ගැනීම සඳහා ජනගහණයෙන් සැලකිය යුතු පිරිසක් ප්‍රතිශක්තිකරණය කළ යුතුවාක් මෙන්ම ලබා දෙන එන්නත අනුවද ප්‍රතිඵලය වෙනස් වන බව පැහැදිලියි. මෙයින් මා අදහස් කළේ එන්නත්කරණය අසාර්ථක බව නෙමෙයි. වෙනත් ඕනෑම විකල්පයකට වඩා එන්නත්කරණය සාර්ථක බව ඉතාම පැහැදිලියි. එහෙත් එන්නත්කරණය මගින් වුවද වසංගතය මැඩ පැවැත්වීම විශාල අභියෝගයක්.



දැනට ලෝකයේ විවිධ රටවල භාවිතා වන කෝවිඩ් එන්නත් එකොළහක් අතරින් හයකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබෙනවා. මේ විවිධ එන්නත් අතරින් වඩාත්ම විශ්වාසනීය එන්නත සේ සැලකිය හැක්කේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නතයි. පයිසර් සමාගම මෙවැනි වැඩකට දිගුකාලීන පළපුරුද්දක් හා සැලකිය යුතු තරමේ යටිතල පහසුකම් තිබෙන බහුජාතික සමාගමක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මුලින්ම ලැබුනේ මෙම එන්නතටයි. 95%ක ඵලදායිත්වයක් පෙන්වන පයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලොව පුරා රටවල් 92ක භාවිතා වන අතර අතුරු ආබාධ ප්‍රශ්න මතු වී නැහැ. 

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත මෙන්ම තවත් mRNA එන්නතක් වන මොඩර්නා එන්නතද 95%ක ඵලදායිත්වයක් පෙන්වා ඇති අතර එම එන්නතෙන්ද අතුරු ආබාධ ප්‍රශ්න මතු වී නැහැ. ඇමරිකාව තුළ අනුමත වූ දෙවන එන්නත වන මොඩර්නා එන්නතටද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබෙන අතර මේ වන විට රටවල් 42ක භාවිතා වෙනවා. පයිසර්-බයෝඑන්ටෙක් එන්නත තරමටම වාගේ විශ්වාසනීය මොඩර්නා එන්නත අඩු රටවල් ගණනක භාවිතා වෙන්නේ සැපයුම පිළිබඳ සීමාවන් නිසයි. ඇමරිකානු ෆෙඩරල් රජයේ ආධාර යටතේ එන්නත වැඩි දියුණු කළ මොඩර්නා සමාගම පයිසර් සමාගම මෙන් විශාල යටිතල පහසුකම් හෝ ජාත්‍යන්තර සම්බන්ධතා නැති සාපේක්ෂව කුඩා ඇමරිකානු සමාගමක්. 

ඵලදායිත්වය අතින් ඉහළම මට්ටමක තිබුණත් පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් තවමත් මුළුමනින්ම වාගේ භාවිතා වෙන්නේ සංවර්ධිත රටවලයි. සංවර්ධිත රටවල් විසින් එන්නත් මුලින්ම වෙන් කර ගැනීමත්, එන්නත් වල ඉහළ මිලත් මෙයට හේතු වී ඇතත් ප්‍රධානම හේතුව වන්නේ මේ එන්නත් දෙකම සෙල්සියස් අංශක සෘණ 20ක පමණ උෂ්ණත්වයක ගබඩා කර තබා ගත යුතු වීමයි. ලංකාව ඇතුළු බොහොමයක් රටවලට එවැන්නක් කළ හැකි තරමේ යටිතල පහසුකම් නැහැ. ඒ නිසා, අඩු ආදායම්ලාභී රටවලට මේ හොඳම විකල්ප දෙක අත හැර වෙනත් විකල්ප ගැන හිතන්න වෙනවා.

දැනට ලෝකයේ රටවල් වැඩිම ගණනක භාවිතා වන කෝවිඩ් එන්නත ඇස්ට්‍රසෙනිකා එන්නතයි. මුලින්ම පයිසර්-බයෝඑන්ටෙක් එන්නත අනුමත කිරීමෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දකුණු කොරියාවේ හා ඉන්දියාවේ නිපදවන ඇස්ට්‍රසෙනිකා එන්නත් සඳහා අනුමැතිය දුන්නා. මේ වන විට ලොව පුරා රටවල් 148ක මිලියන 200කට අධික පිරිසක් ඇස්ට්‍රසෙනිකා එන්නත් ලබා ගෙන තිබෙනවා. ඇස්ට්‍රසෙනිකා එන්නතේ ඵලදායිත්වය 76% පමණ වන අතර සුළු පිරිසකට ලේ කැටි ගැසීමේ තත්ත්වයක්ද ඇති වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වන්නේ එන්නතෙහි වාසි සැලකූ විට එහි හානි ඉතා අඩු බවයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබෙන තවත් එන්නතක් වූ ජොන්සන් සහ ජොන්සන් එන්නතෙහි ඵලදායීතාව 70% පමණ වන අතර දැනට රටවල් 15ක භාවිතා වෙනවා. මෙම එන්නත ලබා ගත් අය අතරින්ද ලේ කැටි ගැසීමේ තත්ත්වයන් වාර්තා වී තිබෙනවා.

සයිනෝෆාර්ම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ හයවන එන්නතයි. එම එන්නත මේ වන විට රටවල් 38ක භාවිතා වෙනවා. එන්නතේ ඵලදායීතාව 78% පමණ මට්ටමක තිබෙනවා. සයිනෝෆාර්ම් එන්නත කෝවිඩ් සඳහා "දිව ඔසුවක්" නොවන අතර "හොඳම එන්නත" ද නෙමෙයි. එහෙත්, ප්‍රායෝගික හේතු මත පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් භාවිතා කිරීමේ හැකියාවක් නැති ලංකාව වැනි රටකට ඉතිරි වී තිබෙන විකල්ප අතරින් හොඳ විකල්පයක්. මම ලංකාවේ වාසය කළානම් මේ අවස්ථාවේදී සයිනෝෆාර්ම් එන්නත විද ගන්නට පැකිලෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් ලැබී නැතත් මේ වන විට රටවල් 32ක භාවිතා වන රුසියානු ස්පුට්නික් එන්නතද ලංකාව වැනි රටකට හොඳ විකල්පයක් කියා මම හිතනවා.

කෙසේ වුවත් තවත් එක් දෙයක් කිව යුතුයි. චීනයේ කෝවිඩ් පාලනය වී තිබෙන්නේ සයිනෝෆාර්ම් එන්නත නිසා නෙමෙයි. චීනය ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස ඒ සඳහා අවශ්‍ය වන පමණ පිරිසකට සයිනෝෆාර්ම් එන්නත ලබා දී නැහැ. මේ වන විට එන්නත්කරණය හරහා කෝවිඩ් පාලනය කර ගෙන ඇති බව පෙනෙන්නේ 95%ක ඵලදායිත්වයක් ඇති පයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබාගත් රටවල් හෝ ප්‍රදේශ පමණයි. 70-80% මට්ටමේ ඵලදායිත්වයක් ඇති එන්නතකින් වසංගතය පාලනය කරන්නනම් ජනගහණයෙහි වඩා විශාල ප්‍රතිශතයක් එන්නත් කළ යුතු වෙනවා. ඒ නිසා, දිගුකාලීන විසඳුමක් ලෙස හැකි තරම් පිරිසකට හැකි තරම් ඉක්මණින් ඉහත කී කවර හෝ එන්නතක් ලබා දිය යුතු අතර වසංගතය පාලනය වන තුරු අනෙකුත් සියලුම කෙටිකාලීන උපක්‍රමද අනුගමනය කරන්නම වෙනවා.

පයිසර්-බයෝඑන්ටෙක් වැනි හොඳම එන්නතක් ගත්තත් පුද්ගලයෙකු කෝවිඩ් වලින් මුළුමනින්ම ආරක්‍ෂිත නැහැ. ඒ වගේම එන්නත් මගින් ලබා ගන්නා ප්‍රතිශක්තියද රෝගය ආසාදනය වීමෙන් ලැබෙන ප්‍රතිශක්තිය මෙන්ම ඉතා ඉක්මණින් ක්ෂය වී යනවා. බොහෝ විට වසරකට පමණ වරක් කෝවිඩ් සඳහා නැවත නැවත එන්නත් ලබා ගන්න වෙයි. මෙය බටහිර රටවලට පුරුදු දෙයක් වුවත් ලංකාව වැනි රටකට පුරුදු හෝ දරා ගත හැකි දෙයක් නෙමෙයි. ඉදිරියේ ඇති වන තත්ත්වයට මුහුණ දෙන්නනම් දැන්ම ඒ ගැන සිතා සැලසුම් කළ යුතුයි. ලංකාව මේ වෙලාවේ හැකි තරම් උත්සාහ කළ යුත්තේ කවර හෝ එන්නතක් ලංකාවේම හදා ගැනීම ගැනයි. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් ලංකාව සතුයි. වැඩේ හරියට කර ගත්තොත් දිගුකාලීනව ස්ථායී අපනයන ආදායමක්ද ලැබිය හැකි වැඩක්. 

Wednesday, May 5, 2021

දියුණුවට විකල්ප මාර්ග

ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.

මාක්ස්වාදය හැරුණු විට ලෝකයේ මෙතෙක් බිහි වූ අනෙක් හැම ආගමක්ම වගේ පෞද්ගලික ප්‍රාග්ධනය වෙනුවෙන් පෙනී සිටිනවා. බෞද්ධ ගිහියන් සඳහා වන මූලිකම මාර්ගෝපදේශය වන පන්සිල් වලින් දෙවැන්න පෙනී සිටින්නේ පෞද්ගලික දේපොළ අයිතිය වෙනුවෙනුයි. යුදෙවු හා ක්‍රිස්තියානි දස පනත්ද, හින්දු මහාපාටකද, ජෛනයන්ගේ පස්යමද පෞද්ගලික දේපොළ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ඉස්ලාම් ආගමික සම්ප්‍රදාය පෞද්ගලික දේපොළ අයිතිය රැක ගැනීම වෙනුවන් අත් කපා දැමීම වැනි දැඩි දඬුවම් පවා යෝජනා කරනවා. හැම දෙනෙකුම යමක් පිළිගත් පමණින් එහි නිරවද්‍යතාවය තහවුරු වන්නේ නැතත්, මාක්ස්වාදය හැර අනෙකුත් සෑම දැනුම් සම්ප්‍රදායක් තුළම මානව ප්‍රගතිය සඳහා පෞද්ගලික ප්‍රාග්ධනයේ වැදගත්කමට බර තබා තිබෙනවා.

කොබ්-ඩග්ලස් ආකෘතිය තුළ අපි නිෂ්පාදන සාධක ලෙස ශ්‍රමය හා ප්‍රාග්ධනය හඳුනා ගත්තා. වෙනත් ඕනෑම ආකෘතියක් වගේම කොබ්-ඩග්ලස් ආකෘතිය කියන්නේත් එයින් නිරුපණය කෙරෙන ක්‍රියාවලියේ සැබෑ හැසිරීම තේරුම් ගැනීම සඳහා යොදා ගන්නා සරල ආකෘතියක් මිස සැබෑ තත්ත්වය නෙමෙයි. සැබෑ ලෝකයේදී අපට නිෂ්පාදන සාධක ලෙස විවිධ දේ හමු වෙනවා. ආකෘතිය තුළදී මේ සියල්ල ශ්‍රමය හා ප්‍රාග්ධනය ලෙස ගොඩවල් දෙකකට ඌණනය කෙරෙනවා. මෙහි ශ්‍රමය ලෙස පුළුල්ව හැඳින්වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකට මිනිසෙකුගේ සෘජු දායකත්වය. ප්‍රාග්ධනය යටතට වැටෙන්නේ මිනිසෙකුගේ භෞතික ශරීරයෙන් පරිබාහිර අනෙකුත් නිෂ්පාදන සාධක.

මේ ආකෘතිය තුළ නිෂ්පාදනය සඳහා මිනිසකුගේ සෘජු දායකත්වය වෙන් කර හඳුනා ගන්නේ මිනිසකු භෞතික ප්‍රපංචයක් පමණක් නොව "ආත්මයක්" සහිත හැඟීම් දැනීම් ඇති අයෙකු සේ සැලකෙන නිසයි. මිනිසෙකුට තමන්ගේ සතුට වෙනුවෙන් නිෂ්පාදිතය පරිභෝජනය කළ හැකියි. ප්‍රාග්ධනය යටතට වැටෙන නිෂ්පාදන සාධක වලට එවැන්නක් කළ නොහැකියි. ඒ කියන්නේ නිෂ්පාදනයේ අවසන් අරමුණ මිනිසුන්ට පරිභෝජනය කළ හැකි ප්‍රමාණය වැඩි කර ගැනීම. ශ්‍රමයේ ප්‍රතිලාභ වලින් වගේම ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ වලින්ද අවසන් වශයෙන් යහපත සැලසෙන්නේ මිනිසුන්ටයි. බෙදීම සමාජවාදී වුවත්, ධනවාදී වුවත් මෙහි වෙනසක් නැහැ. 

මිනිස්සු අනෙකුත් සතුන්ගෙන් වෙනස් වන ප්‍රධානම කරුණක් වන්නේ මිනිස්සුන්ට වර්තමානයෙන් ඔබ්බට තමන්ගේ අඛණ්ඩ පැවැත්මක් ගැන අවබෝධයක් තිබීමයි. ඒ නිසා, මිනිස්සු අනෙක් සතුන්ගෙන් වෙනස්ව තමන්ගේ වර්තමාන පරිභෝජනය ගැන පමණක් නොව අනාගත පරිභෝජනය ගැනද හිතනවා. මේ විදිහට මිනිස්සුන්ට "මම" නම් වූ අඛණ්ඩ පැවැත්මක් ගැන හිතන්න පුළුවන් වූ කාලයේ පටන් ඔවුන් තමන් සතු සම්පත් එසැණින් පරිභෝජනය කර අවසන් නොකර අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කරන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට මිනිසුන් සතුව වත්කම් එකතු වෙනවා. මේ වත්කම් හරහා ලැබෙන රක්ෂණය නිසා අතිරික්ත කාලයක් ඉතිරි වෙනවා. ඒ අතිරික්ත කාලය නිර්මාණශීලී කටයුතු සඳහා යොදවන්න හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නවෝත්පාදන බිහි වෙනවා. අද දක්වාම මානව සංහතියේ ප්‍රගමනය සිදු වන්නේ මේ නවෝත්පාදන හරහා.

මිනිසෙකුගේ වත්කම් සේ ගොඩ නැගෙන්නේ මිනිසෙකු සතු වත්මන් සම්පත් වලින් පරිභෝජනය කර අවසන් නොකරන කොටස. එම වත්කම් එලෙසම ආරක්ෂා කර ගත හැකිනම් අනාගත පරිභෝජනය සඳහා යොදා ගත හැකියි. එසේ නැත්නම් අවදානමක් ගෙන ආයෝජනය කළ හැකියි. කමතෙන් එන වී වලින් කොටසක් බිස්සට යද්දී කොටසක් බිත්තර වී වලට වෙන් වෙනවා. වේලක් දෙවේලක් බඩගින්නේ ඉන්න වුනත් බිත්තර වී ටික කොටලා බත් උයන්නේ නැහැ. එහෙම කරන කෙනෙක් තමන්ගේ මුළු අනාගතයම අවදානමේ හෙළා ගන්නවා.

නිෂ්පාදන සාධක කියා කියන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන නමුත් නිෂ්පාදනයෙන් පසුවද ඉතිරි වන දේවල්. කොකිස් හදද්දී හාල් පිටි, පොල් කිරි, පොල් තෙල් හා කහ වැය වී අවසන් වෙනවා. එහෙත්, කොකිස් අච්චුව, තාච්චිය, හිරමණය, වංගෙඩිය, මෝල්ගහ හා ලිප ඉතිරි වෙනවා. කොකිස් හැදූ ශ්‍රමිකයාත් ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා කියන එකෙන් අදහස් වන්නේ නිෂ්පාදන සාධක ක්ෂය නොවන බව නෙමෙයි. ඒවාද ක්ෂය වෙනවා. එහෙත් ක්ෂය වී අවසන් වන්නේ නැහැ.

ඇතැම් නිෂ්පාදන සාධක මිනිසුන් විසින් නිර්මාණය නොකළ "දෙවියන් විසින්" හෝ "ස්වභාව ධර්මය විසින්" නිර්මාණය කළ දේවල්. රන්, රිදී, ඛනිජ තෙල්, මුහුදේ මත්ස්‍ය සම්පත්, ඉඩම් ආදිය මිනිස්සු නිර්මාණය කළ දේවල් නෙමෙයි. එහෙත්, පරිගණක, වාහන, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර ආදිය මිනිසුන් විසින් නිර්මාණය කළ දේවල්. අප ප්‍රාග්ධනය සේ සැලකූ ගොඩට මේ දෙවර්ගයම ඇතුළත්. ශ්‍රමය තුළත් මේ ආකාරයෙන්ම සංරචක දෙකක් තිබෙනවා. එකක් මූලික ශ්‍රමය. දෙවැන්න විශේෂිත ශ්‍රමය.

කාල් මාක්ස්ලාගේ කාලයේදී ප්‍රාග්ධනයේ වගේම ශ්‍රමයේත් ගොඩක්ම තිබුණේ මේ ස්වභාවික සංරචකයි. ගොඩක් වෙලාවට ප්‍රාග්ධනය ලෙස සැලකුනේ ඉඩම්. ශ්‍රමය ලෙස සැලකුනේ මාංශ පේශි ශක්තිය. ස්වභාවික දෙයක් පොදු අයිතියට යටත් විය යුතුයැයි සිතීමේ පදනමක් තිබෙනවා. ඒ වගේම මූලික ශ්‍රමයේ වටිනාකම සමාන සේ සැලකීමේත් පදනමක් තිබෙනවා. එහෙත් දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්. බොහෝ නිෂ්පාදන කර්මාන්ත වලට ස්වභාවික ගොඩට දැමිය හැකි ආකාරයේ ප්‍රාග්ධනය යොදා ගැනෙන්නේ නොසලකා හළ හැකි තරම් අඩුවෙන්. මූලික ශ්‍රමය වුවත් එහෙමයි. අද වෙද්දී ප්‍රාග්ධනය වගේම ශ්‍රමය කියා කියන්නෙත් වර්තමාන පරිභෝජනය කැප කරමින් සම්පත් ආයෝජනය කර අලුතෙන්ම නිර්මාණය කර ගත යුතු දේවල් මිසක් කාගේත් ප්‍රයෝජනයට දෙවියන් විසින් මවා තිබෙන දේවල් නෙමෙයි.

නවීන කර්මාන්ත බොහොමයක්ම හා අදාළව කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ L කියා කියන්නේ මානව ප්‍රාග්ධනය. ඒ වගේම බොහෝ විට K කියා කියන්නේ ස්වභාවික සම්පත් නෙමෙයි. මේ සංරචක දෙකම ආයෝජනය කර අලුතෙන්ම ගොඩ නගා ගත යුතු දේවල් මිසක් ස්වභාවිකව පවතින හොයාගත යුතු දේවල් නෙමෙයි. ඒ යුගය දැන් අවසන්. 

ඓතිහාසිකව බැලුවොත් L වලින් K ගොඩ නැගුනා මිස එහි අනෙක් පැත්ත වුනේ නැහැ. එහෙත් දැන් L ගොඩ නැගෙන්නේ K වලින්. මූලික අධ්‍යාපනයකින් හා මූලික සෞඛ්‍ය ආයෝජනයන්ගෙන් වැර නොගැන්වුණු මූලික ශ්‍රම ඒකකයක ආන්තික ඵලදායීතාවය මේ වෙද්දී ඉතාම අඩුයි.

මැද පෙරදිග රටවල් වැනි ව්‍යතිරේඛ අත ඇරියොත් වර්තමාන රාජ්‍යයයන් බොහොමයක් විසින්ම L වැඩි කර ගත යුත්තේත්, K වැඩි කරගත යුත්තේත් දැනට උපයන ආදායමෙන් කොටසක් ඉතිරි කර ආයෝජනය කිරීම මගිනුයි. L වැඩි වෙද්දී වගේම K වැඩි වෙද්දීත් ආර්ථිකයක් ප්‍රසාරණය වෙනවා. මේ නිෂ්පාදන සාධක අඩු වුනොත් ආර්ථිකයක් හැකිලෙනවා. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සම්පත් බෙදී යාම මොන විදිහට සිදු වුනත් එසේ බෙදී යන සම්පත් පරිභෝජනය කර අවසන් කළොත් ආර්ථිකයක් හැකිලෙනවා මිස වර්ධනය වන්නේ නැහැ.

ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතිරික්තය බෙදා හැරීම රජයේ පාලනයට නතු වූ විට මේ නිෂ්පාදන සාධක අතර අතිරික්තය බෙදී යන ආකාරය වගේම එක් එක් නිෂ්පාදන සාධකයේ ප්‍රමාණය වෙනස් වන ආකාරය තීරණය වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ රුචි අරුචිකම් මත. එසේ නොවූ විට නිදහස් වෙළඳපොළ අදිසි හස්තය විසින් මේ අනුපාතය තීරණය කෙරෙනවා. නිදහස් වෙළඳපොළ විසින් තීරණය කෙරෙන අනුපාතය වඩාත්ම කාර්යක්ෂම අනුපාතයයි. ඒ නිසා, එවැනි ආර්ථිකයක් වඩා වේගයෙන් වර්ධනය වෙනවා.


ඉහත රූප සටහනේ (2,2) කොටුවේ සිටින රටකට (10,10) කොටුව දක්වා ඉක්මණින්ම යා හැක්කේ එහි විකර්ණය දිගේ ගමන් කළ විටයි. නිදහස් වෙළඳපොළක් ඇති විට රටක් දියුණු වන්නේ එම පථය දිගේ. පහත වගුවෙන් පෙන්වා ඇති පරිදි එම පථය දිගේ ගමන් කරද්දී ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය 6 ලෙසත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4 ලෙසත් නොවෙනස්ව පවතිනවා. නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන්නේත්, එම නිෂ්පාදන සාධක වෙනුවෙන් ආයෝජන සිදුවන්නේත්, පවතින නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය මත තීරණය වන මෙම අනුපාතයටයි.


රටක් මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ තිබෙන සීමිත සම්පත් සියල්ල මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ආයෝජන සිදු කළ නොහැකි වීමයි. ඉහත රූපයේ නිල් පැහැ සිරස් තීරුවෙන් පෙනෙන්නේ භෞතික ප්‍රාග්ධනයේ වැදගත්කම අවතක්සේරු කර දිගින් දිගටම මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට සිදු වන දෙයයි. මෙහි වාසිය වැඩිපුරම යන්නේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසටයි. තැඹිලි පාට තිරස් තීරුවෙන් පෙනෙන්නේ මානව ප්‍රාග්ධනයේ වැදගත්කම අවතක්සේරු කර දිගින් දිගටම භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට සිදු වන දෙයයි. එහි වාසිය ශ්‍රමිකයන්ට ලැබෙනවා. එහෙත් ශ්‍රමිකයන් සීමිත පිරිසකට පමණයි.

වෙළඳපොළට රාජ්‍ය මැදිහත්වීම අඩු බටහිර රටවල් වර්ධනය වන්නේ මේ වගුවේ විකර්ණය දිගේ. එම රටවල් දකුණට පියවරක් යද්දී පහළටත් පියවරක් යනවා. ආදායම් විෂමතා අඩු කිරීමට මුල් තැන දී කටයුතු කර තිබෙන ලංකාව හා පැරණි සෝවියට් දේශය වැනි සමාජවාදී රටවල් පහළට පියවර තබන තරමට දකුණට පියවර තබා නැහැ. ඒ වගේම ස්වභාවික සම්පත් මත යැපෙන මැද පෙරදිග රටවල් දකුණට ගොස් ඇති තරමට පහළට ගොස් නැහැ. මේ දෙකම සාපේක්ෂව අකාර්යක්ෂමයි. කාලයක් තිස්සේ පහළට ගමන් කළ චීනය පසුව සුක්කානම හරවා දකුණට ගමන් කරන්න පටන් ගත්තා. මේ වෙද්දී චීනය වංගුවක් ගසා විකර්ණයට කිට්ටු වී සිටිනවා. 

මේ හැම රටක්ම දියුණු වෙනවා. නමුත් ඇතැම් රටවල් වඩා වේගයෙන් දියුණු වෙනවා. විකර්ණයට කිට්ටුවෙන් සිටි තරමට වඩා වේගයෙන් දියුණු විය හැකියි. ලංකාව දැන් ඉන්න තැන අනුව ලංකාවට තිබෙන්නේ මානව ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. තිබෙන මානව ප්‍රාග්ධන සංචිතයට සරිලන තරමේ ප්‍රාග්ධන සංචිතයක් නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා එක වර ලොකු ප්‍රාග්ධන ගලා ඒමක් සිදු වුනොත් ලංකාවට ලොකු පිම්මක් පනින්න පුළුවන්. ප්‍රාග්ධන හිමියෙක් ප්‍රාග්ධනය අරගෙන එන්නේ වැඩි ප්‍රතිලාභයක් ලබන්නයි. එය සූරාකෑමක් නෙමෙයි. දෙපැත්තටම වාසි සිදුවන (win-win) ගනුදෙනුවක්. ලංකාවට ප්‍රාග්ධනය පැමිණීම නිසා ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ඉහළ යනවනම් ප්‍රාග්ධනය ගේන්නේ චීනයද, ඉන්දියාවද, ඇමරිකාවද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. ප්‍රාග්ධන හිමියන් කොයි තරම් ප්‍රතිලාභ ලබනවද කියන එකත් ගැටළුවක් කර ගත යුතු දෙයක් නෙමෙයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...