වෙබ් ලිපිනය:

Monday, March 15, 2021

අන්දරේ සීනි කෑ හැටි (දෙවන කොටස)

අන්දරේට වගේ හැමෝටම රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැනත්, මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩුවීම ඉල්ලුම් වක්‍රයෙන් නිරූපණය වන ආකාරයත්, පාරිභෝගික අතිරික්තය කියන සංකල්පය ගැනත්, මිල වැඩි වෙද්දී පාරිභෝගික අතිරික්තය අඩු වන ආකාරය ඉල්ලුම් වක්‍රය තුළ නිරූපණය වන ආකාරයත් කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගනිමු.

සීනි, හාල්, පොල් වගේ පාරිභෝගික භාණ්ඩයකට ඉල්ලුමක් තිබුණු පමණින් පාරිභෝගිකයෙක්ට එම භාණ්ඩය හිමි කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. භාණ්ඩය සපයන්න කැමති සැපයුම්කරුවෙකුත් ඉන්න ඕනෑ. සැපයුම්කරුවෙක් පාරිභෝගිකයෙකුට භාණ්ඩයක් සපයන්නේ ඇයි? තමන්ට ලාබයක් ගන්න. නැතුව වෙන මුකුත් අමාරුවකට නෙමෙයිනේ. 

සැපයුම්කරුවා සමහර විට භාණ්ඩයේ නිෂ්පාදකයාම වෙන්න පුළුවන්. නැත්නම් අතරමැදියෙක් වෙන්න පුළුවන්. බොහෝ විට දෙවැන්න.

නිෂ්පාදකයෙක්ගෙන් භාණ්ඩයක් මිල දී ගන්න ගණනටම එය පාරිභෝගිකයාට විකුණලා අතරමැදියෙකුට ලාබයක් ලබන්න බැහැ. කීයක් හරි වැඩියෙන් විකුණන්න වෙනවා. කීයක් වැඩියෙන්ද? එහෙම ගාණක් කියන්න බැහැ. එය සාධක ගණනාවක් මත තීරණය වන දෙයක්. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩයක් ලබා දෙන අතරමැදි ක්‍රියාවලියේ විවිධ වියදම් තිබෙනවා. මේ වියදම් අතරමැදියා විසින් පියවා ගත යුතුයි.

නිෂ්පාදකයාගේ ලාභය = මිල - පිරිවැය 

භාණ්ඩයක වෙළඳපොළ මිල ඉහළ යද්දී එම මිලට භාණ්ඩය විකුණා අතරමැදියෙකුට ලැබිය හැකි ලාභ ඉහළ යනවා. ඒ නිසා මිල ඉහළ යද්දී වෙළඳපොළකට සැපයුම්කරුවන් වැඩි වැඩියෙන් ආකර්ශනය වෙනවා. සැපයුම ඉහළ යනවා. රුපියල් 85ට සීනි නොසපයන සැපයුම්කරුවන් මිල රුපියල් 120 වෙද්දී සිනි සපයන්න පටන් ගන්නවා. ඉල්ලුම් වක්‍රයේ බෑවුම පහළට නැඹුරු වූ එකක් වුවත් සැපයුම් වක්‍රයේ බෑවුම ඉහළට නැඹුරු වූ එකක්. පහත රූපයේ වගේ.

තිරස් අක්ෂයෙන් පෙන්වන්නේ කිසියම් මිලකට සියළුම සැපයුම්කරුවන් විසින් සපයන සීනි හෝ වෙනත් එවැනි භාණ්ඩයක සැපයුම් ප්‍රමාණය. සිරස් අක්ෂයෙන් භාණ්ඩයේ මිල.

සැපයුම් ප්‍රමාණය තීරණය වන්නේ පිරිවැය මත. ඒ කියන්නේ ඉහත රූප සටහනේ ඇති නිදර්ශනයේ රුපියල් 110කට නොවැඩි මිලකට සැපයිය හැකි උපරිම සීනි ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 600ක් පමණයි. කවර හෝ හේතුවක් නිසා ඒ මිලට ඊට වඩා සීනි සපයන්න බැහැ. එහෙම පුළුවන්කමක් තිබෙනවානම් ඒ පුළුවන් කෙනාට රුපියල් 110 බැගින් තවත් සීනි සපයා ලාබයක් ලබන එක නොකර සිටින්න හේතුවක් නැහැ. ඒ නිසා ඒ හේතු මොනවාද කියා හොයන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. 

සීනි මිල රුපියල් 120 වූ විට තවත් සීනි කිලෝග්‍රෑම් මිලියන 50ක ප්‍රමාණයක් සැපයිය හැකි වෙනවා. ඒ සීනි කිලෝග්‍රෑම් මිලියන පණහේ පිරිවැය රුපියල් 110ට වඩා වැඩි වුවත් රුපියල් 120ට වඩා අඩුයි. ඒ නිසා රුපියල් 110ට විකුණා ලාබ ගන්න බැරි වුනත් රුපියල් 120ට විකුණා ලාබ ගන්න පුළුවන්. එකම භාණ්ඩයක්, එකම ගුණාත්මක භාවයකින් යුතුව නිපදවා වෙළඳපොළට දමන්න සැපයුම්කරුවන් දෙදෙනෙකුට යන වියදම හැම විටම සමාන නැහැ. ඇතැම් සැපයුම්කරුවන් වඩා කාර්යක්ෂමයි. ඇතැම් අය සාපේක්ෂව අකාර්යක්ෂමයි. 

මිල අඩු මට්ටමක තිබෙන විට භාණ්ඩයක් සපයා ලාබ ලැබිය හැක්කේ වඩාත්ම කාර්යක්ෂම සැපයුම්කරුවන්ට පමණයි. එහෙත් මිල ඉහළ යද්දී සාපේක්ෂව අකාර්යක්ෂම සැපයුම්කරුවන්ටත් කිසියම් ලාබයක් ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. සැපයුම් වක්‍රය උඩු අතට බෑවුම් වන්නේ ඒ නිසයි. මේ ක්‍රියාවලිය තුළදී නිසගයෙන්ම මුලින් වෙළඳපොළේ සිටි වඩා කාර්යක්ෂම සැපයුම්කරුවන්ගේ ලාබද ඉහළ යනවා. එයට හේතුව මිල ඉහළ ගියත් ඔවුන්ගේ පිරිවැය ඉහළ නොයාමයි.

භාණ්ඩයක මිල ඉහළ යද්දී සැපයුම්කරුවන්ගේ ලාබ ඉහළ යාම ක්‍රම දෙකකට සිදු වෙනවා. පළමුව මිල ඉහළ යාමට පෙර විකුණූ සෑම ඒකකයකටම දැන් කලින් ලැබුණාට වඩා වැඩි මිලක් ලැබෙනවා. පහත රූප සටහනේ කොළ පැහැති චතුරශ්‍රයෙන් පෙන්වන්නේ එසේ වැඩි වන ලාබ ප්‍රමාණයයි. ඊට අමතරව සැපයුම් ප්‍රමාණය ඉහළ යන නිසා රූපයේ නිල් පැහැති ත්‍රිකෝණයෙන් පෙන්වන ලාබ කොටසද එකතු වෙනවා. ඒ කොටසේ ඉන්නේ අළුතෙන් වෙළඳපොළට එකතු වූ සාපේක්ෂව අකාර්යක්ෂම සැපයුම්කරුවන් හෝ සැපයුම්.

හැබැයි ඉහත කී පරිදි මිල ඉහළ යාමේදී සැපයුම්කරුවන්ගේ ලාබ ඉහළ යාම සඳහා භාණ්ඩයට ප්‍රමාණවත් ප්‍රමාණවත් ඉල්ලුමක් තිබිය යුතුයි. අපි පළමු කොටසෙන් පැහැදිලි කරගත් පරිදි භාණ්ඩයක මිල ඉහළ යද්දී ඉල්ලුම අඩු වෙනවා. මිල ඉහළ යද්දී සැපයුම්කරුවෙකුට විකිණිය හැකි භාණ්ඩ ප්‍රමාණය සීමාවීමක් වෙනවා. ඒ නිසා, සැපයුම්කරුවෙකුට ඔය විදිහටම ලාබ වැඩි කරගන්න බැහැ.

එහෙමනම් කොයි තරම් ලාබ වැඩි කරගන්න පුළුවන්ද? එය දැන ගන්නනම් අපට ඉල්ලුම් සැපයුම් සමතුලිතාවය හොයා ගන්න වෙනවා. ඉල්ලුම් සැපයුම් සමතුලිතාවය තෙවන කොටසින් සාකච්ඡා කරමු.

Sunday, March 14, 2021

අන්දරේ සීනි කෑ හැටි (පළමු කොටස)

අන්දරේගේ කතාව ගොඩක් ප්‍රසිද්ධයිනේ. රජ වාසල මිදුලේ පැදුරු වල සීනි වනා තිබුණා. රජ කාලේ ලංකාවේ සීනි හැදුවාද කියලා අහන්න එපා. ආනයනික සීනිද කියලා අහන්නත් එපා. 

සීනි ගැන අන්දරේට හොඳට තේරෙනවා. ඒ වුනාට නොතේරුණා වගේ රජ්ජුරුවන්ගෙන් අහනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ වෙන්න බැහැ.

"රජතුමනි, අර පැදුරු වල මොනවද වනල තියෙන්නේ?"

රජා වෙනුවෙන් උත්තර දෙන්න ලේකම් කෙනෙක් නැති නිසා රජාම උත්තර දෙනවා. රජවරු කොහොමත් ඇත්ත කියනවට වැඩිය බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්න කැමතියිනේ.

"මේ පස් වගයක් වේලෙන්න දැම්මා, අන්දරේ!"

"අනේ තොගෙ පස්. තෝ රජා නිසා හිතනව ඇති තෝ ඇරෙන්න අනෙක් හැම මිනිහගේම ඔලුවෙ තියෙන්නෙ පස් කියලා!" අන්දරේ හිතනවා. හැබැයි කියන්නෙ නැහැ. ඕවා කියන්න ගිහින් ආදාහනය වෙන්න වෙයිද භූමදානය වෙන්න වෙයිද කියලා කවුද දන්නේ? 

අන්දරේ මෝඩයා වගේ ඉඳලා පුතානෝවත් හවුල් කරගෙන සීනි වලින් ගොඩ යන්න ගේමක් සෙට් කරනවා. "උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්" කිය කියා පුතා එක්ක පෙරලි පෙරලී සීනි කනවා. හැබැයි අන්දරේගේවත් පුතාගේවත් කටේ පස් වැටෙන්නේ නැහැ. රජාට පාඩුවක් වෙන්නෙත් නැහැ. ඔය සීනි වල පාඩුව අන්තිමට රජාව නඩත්තු ක‍රන මිනිස්සුන්ටයි.

අන්දරේට වගේ හැමෝටම රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

අපි පටන් ගනිමු ඉල්ලුම් වක්‍රයෙන්. සැපයුමට පස්සේ එමු. 

ඉල්ලුම් වක්‍රය කියන එක ඉහත පෙන්වා ඇති ආකාරයේ එකක්. තිරස් අක්ෂයෙන් පෙන්වන්නේ සීනි හෝ වෙනත් එවැනි භාණ්ඩයකට තිබෙන ඉල්ලුම. සිරස් අක්ෂයෙන් භාණ්ඩයේ මිල.

ඉල්ලුම් වක්‍රයේ හැඩය මෙහි තිබෙන හැඩයම විය යුතු නැහැ. එහෙත්, එකම එක අවශ්‍යතාවයක් තිබෙනවා. වක්‍රය පහළට බෑවුම් විය යුතුයි. ඒ ඇයි?

සීනි වගේ පාරිභෝගික භාණ්ඩයක මිල ඉහළ යද්දී භාණ්ඩයට තිබෙන ඉල්ලුම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. මම හිතන්නේ මේක බොහෝ දෙනෙක්ට පහසුවෙන් එකඟ විය හැකි සරල කරුණක්. ඉල්ලුම හා අදාළව අපි මේ උපකල්පනය හැර වෙන බරපතල උපකල්පන කිසිවක් කරන්නේ නැහැ.

අපි හිතමු කවුරු හෝ කෙනෙක් පාලන මිලට සීනි කිලෝ එකක් ගන්න රුපියල් සීයක් අරගෙන කඩේ ගියා කියලා. කඩේ සීනි කිලෝ එකක් එකසිය විස්සයි. අසූපහට සීනි තියෙන කඩයක් හොයන එක තාප්ප වල චිත්‍ර ඇඳපු කට්ටිය හොයනවටත් වඩා අමාරුයි. රුපියල් සීයට සීනි කිලෝ එකක් ගන්න බැහැනේ. ඉතිං හැටක් දීලා සීනි පන්සීයක් අරගෙන ගෙදර යන්න වෙනවා. හැමෝටම ඔය වැඩේ වුනේ නැතත් සීනි මිල ඉහළ යන හැම වෙලාවකම යම් කිසි පිරිසකට තමන් මිල දී ගන්න සීනි ප්‍රමාණය අඩු කරන්න සිදු වෙනවා. ඒ නිසා සමස්තයක් ලෙස සීනි වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වෙනවා.

සීනි කිලෝ එකක මිල අසූ පහේ ඉඳලා එකසිය විස්සට ගියාම පාරිභෝගිකයින්ට පාඩුවක් වෙනවද? 

මේක ටිකක් පරිස්සමෙන් තේරුම් ගත යුතු කරුණක්. අසූ පහේ ඉඳලා එකසිය විස්සට සීනි මිල වැඩි වුනහම කවුරු හෝ කෙනෙක් තමන්ගේ සීනි පරිභෝජනය කිලෝ එකේ ඉඳලා ග්‍රෑම් පන්සීය දක්වා අඩු කරන්නේ ඇයි?

මේ පාරිභෝගිකයාට පළමු සීනි ග්‍රෑම් පන්සීය අඩුම වශයෙන් රුපියල් හැටක් වටිනවා. නමුත් දෙවන ග්‍රෑම් පන්සීය රුපියල් හැටක් වටින්නේ නැහැ. එහෙම වටිනවානම් කරාබු දෙක උගස් කරලා හරි එකසිය විස්ස ගෙවලා සීනි කිලෝ එකක් ගන්නවා. පළමු සීනි ග්‍රෑම් පන්සීය හා දෙවන සීනි ග්‍රෑම් පන්සීය අතර කිසිම භෞතික වෙනසක් නැහැ. නමුත්, වටිනාකම් කියන ඒවා මිනිස්සුන්ට සාපේක්ෂ දේවල් මිසක් වාස්තවික දේවල් නෙමෙයි. එහෙම හිතුවේ සමාජ විද්‍යාවන් භෞතික විද්‍යාව පස්සේ නොන්ඩි ගගහා ගිය යුගයේ. තවමත් ඒ අතීතයේ ජීවත් වන අය ඇර වෙන කවුරුවත් දැන් එහෙම හිතන්නේ නැහැ. 

මේ උදාහරණයේදී පාරිභෝගිකයා කඩේට ආවේ රුපියල් සීයක් අරගෙනයි. නමුත්, රුපියල් පන්සීයක් අරගෙන ආවත් ඔය වැඩේම වෙන්න පුළුවන්. සීනි අසූපහට තිබුණානම් කිලෝ එකක් ගන්නවා. එකසිය විස්සට ගියාම ගන්නේ සීනි පන්සීයක් පමණයි. මොකද පාරිභෝගිකයාට සාපේක්ෂව පළමු සීනි පන්සීය රුපියල් හැටක් වටින නමුත් දෙවන සීනි පන්සීය රුපියල් හැටක් වටින්නේ නැති නිසා. සීනි උදාහරණය අවුල් වගේනම් එළවලු උදාහරණයක් ගැන හිතන්න. බෝංචි කිලෝ එකක් සීය ගානේ ගන්න කෙනෙක් බෝංචි දෙසීය වුනාමත් කිලෝ එකක්ම ගන්නවද?

පාරිභෝගිකයාට සාපේක්ෂව පළමු සීනි පන්සීයේ වටිනාකම කීයද? එය රුපියල් හැටක්, සීයක්, එකසිය පනහක් හෝ දෙසීයක් වෙන්න පුළුවන්. අපි හරියටම දන්නේ නැහැ. නමුත් එය අනිවාර්යයෙන්ම රුපියල් හැටට සමාන හෝ වැඩි අගයක් විය යුතුයි. නැත්නම් පාරිභෝගිකයා සීනි මිල දී නොගෙන ආපසු හැරී යනවා.

පාරිභෝගිකයාට සාපේක්ෂව දෙවන සීනි පන්සීයේ වටිනාකම කීයද? එය රුපියල් 59.99 හෝ ඊට අඩු අගයක් විය යුතුයි. ඒ ඇයි? මේ පාරිභෝගිකයා කඩේ ආවේ රුපියල් 85ට තිබුණානම් සීනි කිලෝ එකක් ගන්න හිතාගෙනයි. ඇය සීනි පන්සීයක් වෙනුවෙන් රුපියල් 60ක් ගෙවුවා. එහෙත් දෙවන සීනි පන්සීයක් වෙනුවෙන් රුපියල් හැටක් ගෙවුවේ නැහැ.

අපි හිතමු පාරිභෝගිකයාට සාපේක්ෂව පළමු සීනි පන්සීයේ වටිනාකම රුපියල් 100ක් කියා. ඇය සීනි මිල දී ගත්තේ පන්සීය රුපියල් 60 බැගින්. ඒ කියන්නේ ඇයට සාපේක්ෂව සීනි වල වටිනාකමට වඩා රුපියල් 40ක් අඩුවෙන්. මෙය ඇයට ගනුදෙනුවෙන් සිදුවූ වාසියක්. ආර්ථික විද්‍යාවේදී මේ වාසිය හඳුන්වන්නේ පාරිභෝගික අතිරික්තය ලෙසයි.

පාරිභෝගික අතිරික්තය = පාරිභෝගිකයාගේ සාපේක්ෂ වටිනාකම - ගෙවූ මිල 

නිදහස් ගනුදෙනුවකදී කිසිම විටක පාරිභෝගික අතිරික්තය සෘණ අගයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පාරිභෝගිකයෙකුට පාඩුවක් වෙන්නේ නැහැ. සිදුවෙන්නේ පාරිභෝගික අතිරික්තය අඩු වැඩි වීමක් පමණයි. යම් විදිහකින් සීනි කිලෝවක් රුපියල් 85 බැගින් මිල දී ගත හැකිව තිබුනනම් ඇගේ පාරිභෝගික අතිරික්තය 100 - 42.50 = 57.50ක් වෙනවා. සීනි කිලෝවක් රුපියල් 120ක් වූ නිසා පාරිභෝගික අතිරික්තය 100 - 60 = 40 දක්වා අඩු වුනා. මෙය පාරිභෝගිකයාගේ ලාබය රුපියල් 17.50කින් අඩු වීමක් වුවත් පාරිභෝගිකයාට පාඩු වීමක් නෙමෙයි. 

අපි හිතමු පාරිභෝගිකයාට සාපේක්ෂව දෙවන සීනි පන්සීයේ වටිනාකම රුපියල් 50ක් කියා. සීනි කිලෝ එකක් රුපියල් 85ට තිබුණානම් ඇය දෙවන සීනි පන්සීයද මිල දී ගන්නවා. එසේ කළානම් ඇගේ පාරිභෝගික අතිරික්තය රුපියල් 50 - 42.50 - 7.50ක්. එහෙත් සීනි කිලෝවක් රුපියල් 60ක් වූ බැවින් ඈ සීනි මිල දී ගත්තේ නැහැ. යම් හෙයකින් ඈ රුපියල් 60ක් ගෙවා තවත් සීනි 500ක් මිල දී ගත්තානම් ඇයට රුපියල් 10ක පාඩුවක් වෙනවා. නමුත්, ඈ දෙවන සීනි පන්සීය මිල දී නොගත් නිසා ඇයට එවැනි පාඩුවක් සිදු වුනේ නැහැ. පාඩුවක් සිදු නොවුනත් ඇයට ලබා ගත හැකිව තිබුණු ලාබයක් අහිමි වුනා. එසේ අහිමි වූ ලාබය හෙවත් පාරිභෝගික අතිරික්තය රුපියල් 7.50ක්.

සීනි මිල රුපියල් 85 ලෙස තිබුණේනම් මේ පාරිභෝගිකයාට පළමු සීනි පන්සීයෙන් රුපියල් 57.50ක් හා දෙවන සීනි පන්සීයෙන් රුපියල් 7.50ක් ලෙස රුපියල් 65ක පාරිභෝගික අතිරික්තයක් හිමි වෙනවා. එහෙත් සීනි මිල රුපියල් 120 වූ නිසා ඇයට පළමු සීනි පන්සීයෙන් රුපියල් 40ක් පමණක් පාරිභෝගික අතිරික්තය ලෙස ලැබෙනවා. සමස්තයක් ලෙස රුපියල් 65 - 40 = 25කින් පාරිභෝගික අතිරික්තයේ අඩු වීමක් සිදු වී තිබෙනවා. එහෙත් මෙය ලාබය අඩු වීමක් මිසක් පාඩුවීමක් නෙමෙයි. නිදහස් වෙළඳපොළ ගනුදෙනු වලින් කිසිවෙකුට ලාබ මිසක් පාඩු වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුට පාරිභෝගික භාණ්ඩයක පළමු ඒකකයේ වටිනාකම වැඩියි. දෙවන ඒකකයේ වටිනාකම අඩුයි. තෙවන ඒකකයේ වටිනාකම තවත් අඩුයි. මේ උදාහරණයේ පාරිභෝගිකයාට තෙවන සීනි ග්‍රෑම් පන්සීයක වටිනාකම වැඩිම වුවහොත් රුපියල් 42.49ක් පමණයි. කිලෝ එක 85ට තිබියදී වුවත් සීනි කිලෝවක් මිසක් කිලෝ එකහමාරක් මිල දී ගැනීමට ඇය සැලසුම් නොකළේ ඒ නිසයි. 

අපි හිතමු පාරිභෝගිකයාට සාපේක්ෂව තෙවන සීනි පන්සීයක වටිනාකම රුපියල් 30ක් කියා. සීනි පන්සීයක් රුපියල් 42.50 බැගින් මිල දී ගත්තේනම් ඇයට සිදුවන්නේ රුපියල් 12.50ක පාඩුවක්. යම් හෙයකින් සීනි කිලෝවක මිල රුපියල් 60ක් වුනානම් අය සීනි කිලෝ එකහමාරක්ම මිල දී ගන්නවා.

මේ පාරිභෝගිකයා පමණක් සැලකුවොත් සීනි වලට ඇගේ ඉල්ලුම වෙනස් වෙන්නේ කොහොමද? මෙහිදී අපි පහසුවට හිතමු සීනි මිල දී ගන්න පුළුවන් ග්‍රෑම් 500 ඒකක වලින් පමණක් කියා. මෙය ග්‍රෑම් 100 හෝ ග්‍රෑම් 50 දක්වා අඩු කළා කියලත් මේ කතාව වෙනස් වෙන්නේ නැහැ.

- සීනි පන්සීයක් රුපියල් 30ක් හෝ අඩුනම් ඉල්ලුම අවම වශයෙන් කිලෝ 1.5ක්.

- සීනි පන්සීයක් රුපියල් 30-50 අතරනම් ඉල්ලුම කිලෝ 1ක්

- සීනි පන්සීයක් රුපියල් 50-100 අතරනම් ඉල්ලුම ග්රෑම් 500ක්.

- සීනි පන්සීයක් රුපියල් 100ට වැඩිනම් ඉල්ලුමක් නැහැ. 

මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා කියන එක ඉතාම පැහැදිලියි. වෙනත් පාරිභෝගිකයෙක් ගත්තොත් ඉල්ලුම් අඩු වෙන්නේ මේ මිල ගණන් වලදීම විය යුතු නැහැ. එහෙත් කවර හෝ ආකාරයකින් මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. එක් එක් මිල ගණන් යටතේ රටේ හැම පාරිභෝගිකයෙකුගේම ඉල්ලුම අරගෙන එකට එකතු කළොත් අපට සුමට වක්‍රයක් ලැබෙනවා. එය ඉහත රූපයේ වැනි පහළට බෑවුම් වූ වක්‍රයක්. 

උදාහරණයක් විදිහට අපි හිතමු සීනි කිලෝවක මිල රුපියල් 110 සිට 120 දක්වා ඉහළ යද්දී ලංකාවේ වාර්ෂික සීනි ඉල්ලුම කිලෝ ග්‍රෑම් මිලියන 600 සිට 550 දක්වා අඩු වුනා කියලා. මේ විදිහට මිල ඉහළ යද්දී ආකාර දෙකකින් පාරිභෝගික අතිරික්තයේ අඩු වීමක් වෙනවා. 

මිල ඉහළ යාමෙන් පසුවත් සීනි කිලෝ මිලියන 550ක් විකිණෙනවා. ඒ සීනි මිල දී ගන්නා හැම පාරිභෝගිකයෙක්ගේම සාපේක්ෂ සීනි වටිනාකම රුපියල් 120ට වඩා වැඩි නිසා කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ. නමුත් කලින් ලැබුණු ලාභය, හරියටමනම් පාරිභෝගික අතිරික්තය, දැන් කිලෝවකට රුපියල් 10කින් අඩු වෙලා. ඒ කියන්නේ සමස්තයක් ලෙස පාරිභෝගික අතිරික්තය රුපියල් මිලියන 550 x 10 = රුපියල් බිලියන 5.5කින් අඩු වෙලා. කොළ පාට චතුරශ්‍රයෙන් පෙන්වා තිබෙන්නේ මේ අඩු වීමයි. 

මිල ඉහළ යද්දී පාරිභෝගික අතිරික්තයේ අඩු වීම ඉහත කොළ පාට චතුරශ්‍රයෙන් පෙන්වා තිබෙන කොටස පමණක් නෙමෙයි. කලින් පාරිභෝගිකයින් විසින් මිලදී ගත් සීනි කිලෝ මිලියන 50ක් දැන් මිලට විකිණෙන්නේ නැහැ. මේ සීනි කලින් මිල දී ගත් පාරිභෝගිකයන්ට සාපේක්ෂව කිලෝවක වටිනාකම රුපියල් 110ට වඩා වැඩි වුවත් 120ට වඩා අඩුයි. ඒ නිසා මේ අය අලුත් මිලට සීනි මිල දී ගන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට පාඩුවක් වී නැතත් කලින් ලැබුණු ලාබය හෙවත් පාරිභෝගික අතිරික්තය දැන් නැති වෙලා. නිල් පාට ත්‍රිකෝණයෙන් පෙන්වා තිබෙන්නේ ඒ අඩු වීමයි. සීනි මිල ඉහළ යාම නිසා පාරිභෝගික අතිරික්තයේ සිදු වූ සමස්ත අඩු වීම ඉහත කොළ පාට චතුරශ්‍රයේත් නිල් පාට ත්‍රිකෝණයේත් වර්ග ඵල වල එකතුවයි.

භාණ්ඩයක මිල අඩු වන තරමට පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. භාණ්ඩයක මිල වැඩි වන තරමට පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා. පාරිභෝගිකයන් ගැන පමණක් හිතනවානම් භාණ්ඩයක මිල අඩු වන තරමට හොඳයි. නමුත්, රටක පාරිභෝගිකයෝ වගේම නිෂ්පාදකයෝ කියා පිරිසකුත් ඉන්නවා. සීනි වගේ දෙයක් හා අදාළව තත්ත්වය ටිකක් වෙනස් වුවත් හාල්, පොල්, කහ වගේ දෙයක් ගැන හිතුවොත් මෙය ඉතාම පැහැදිලියි. සාධාරණත්වය කියා කියන්නේ රටේ හැම දෙනෙක් ගැනම එක විදිහට හිතන එක මිසක් පාරිභෝගිකයන් ගැන පමණක් හිතන එක නෙමෙයි. ඒ නිසා අපට සාධාරණත්වය වගේ දේවල් ගැන කතා කරන්න කලින් සැපයුම් වක්‍රය ගැනත් හදාරලා ඉන්න වෙනවා.

සැපයුම් වක්‍රය ගැන දෙවන කොටසින් කතා කරමු. ඊට පෙර මේ කොටස පිළිබඳ ගැටළු ඇත්නම් ඒවා විසඳාගෙනම ඉදිරියට යමු.

Friday, March 12, 2021

අයිසෙක් නිවුටන්ගේ විණිමය අනුපාතය


කියවන අය අතරේ අයිසෙක් නිවුටන් කියන නම අහල නැති කෙනෙක් නැතුව ඇතිනේ? කමක් නෑ. මමම කියන්නම් කවුද කියලා. අයිසෙක් නිවුටන් කියන්නේ 1696 අවුරුද්දේ ඉඳලා අවුරුදු තිස් එකක් එංගලන්තයේ රාජකීය ටන්කනයේ එහෙමත් නැත්නම් රෝයල් මින්ට් එකේ වෝඩන් හා පසුව මාස්ටර් ලෙස සේවය කළ පුද්ගලයා.

පුරප්පාඩු වූ තනතුරට අයදුම් කරන අයිසෙක් නිවුටන් 1696 අප්‍රේල් මාසයේදී රෝයල් මින්ට් එකේ වෝඩන් ලෙස පත් වෙනවා. ඒ වෙද්දී ඔහු "ස්වභාවික දර්ශනයේ ගණිතමය මූලධර්ම" කියලා පොතක් එහෙම ලියලා ටිකක් ප්‍රසිද්ධ වෙලයි හිටියේ. 

අයිසෙක් නිවුටන් රෝයල් මින්ට් එකේ වෝඩන් ලෙස පත් වෙලා අවුරුදු තුනකට පස්සේ රෝයල් මින්ට් එකේ මාස්ටර් විදිහට සේවය කළ පුද්ගලයා මිය ගිහින් එම තනතුර පුරප්පාඩු වෙනවා. මාස්ටර් තනතුර වෝඩන් තනතුරට වඩා පහළ තනතුරක්. හැබැයි රජය වෙනුවෙන් කාසි ටන්කනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ ඔය මාස්ටර් තනතුරේ ඉන්න පුද්ගලයාටයි. ඒ නිසා, කාසි ටන්කනය කරන අයට උප-කොන්ත්‍රාත්තු දීලා කොමිස් විදිහට හොඳ ආදායමක් ලබන්න පුළුවන්කම තිබෙන රස්සාවක්. 1699 නත්තල් දවසේ නිවුටන් වෝඩන් කමෙන් අයින් වෙලා මාස්ටර් විදිහට වැඩ භාර ගත්තා. ඉන් පසු මැරෙන තුරුම ඔය තනතුර අත ඇරියේ නැහැ.

කොමිස් ගන්නවා කිවුවට මේ කිවුවේ තනතුර දරන පුද්ගලයාට නිල වශයෙන්ම ලැබුණු කොමිස් මුදල් ගැන. එහෙම නැතුව හොරට කොමිස් ගහපුවා නෙමෙයි. නිවුටන්ව සැලකෙන්නේ ඉතා අවංකව සේවය කළ රාජ්‍ය නිලධාරියෙක් හැටියටයි. වරක් පවුම් පන්දහසක අල්ලසක්ද ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පැවසෙනවා. 

මොන නම භාවිතා කළත් ඔය කාලයේ ලෝකයේ තිබුණේ ප්‍රධාන මුදල් ඒකක දෙකයි. එකක් රත්තරන්. අනෙක් එක රිදී. අනෙක් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව රත්තරන් හෝ රිදී වල වටිනාකම තීරණය වුනේ ඉල්ලුම හා සැපයුම මත. මේ විදිහට රත්තරන් හා රිදී වල සාපේක්ෂ වටිනාකම් එකිනෙකින් ස්වායත්තව වෙනස් වෙද්දී  රත්තරන් හා රිදී යොදා හදා තිබුණු මුදල් වල සාපේක්ෂ හුවමාරු අගයන්ද නිදහසේ තීරණය වුනා. 

මුලින්ම එංගලන්තයේ ස්ටර්ලින් රිදී කාසි ටන්කනය කළේ කාසි 240ක බර රාත්තලක් වන විදිහටයි. මේ රාත්තල දැන් රාත්තලකින් 80%ක් පමණ බර රාත්තලක්. සිලිමක් වුනේ ඔය කාසි 12ක බරක්. එතකොට සිලිම් 20ක් රාත්තලක් බරයි. ඔය රාත්තලකට අවුන්ස 12ක් තිබුණා. ඒ කියන්නේ අවුන්සයක බරක් කියන්නේ රිදී කාසි 20ක බරක්. මේ ස්ටර්ලින් කාසි තමයි පසුව පැන්ස කාසි වුනේ.

දැන් මට්ටමට නැති වුනත් සල්ලි බාල්දු කරන වැඩේ දිගින් දිගටම සිදු වුනු වැඩක්. මේ වැඩෙන් රජයට බදු නොගහා බදු ගහන්න පුළුවන් වුනා. මුලින්ම සල්ලි බාල්දු කරන එක කියලා කළේ රිදී වලට ටික ටික තඹ කලවම් කරන එක. ඔහොම ගිහින් දාහත්වන සියවස පටන් ගනිද්දී පැන්ස කාසි රාත්තලක බර හැදුනේ රිදී අවුන්ස හතරක (තුනෙන් එකක) හා තඹ අවුන්ස අටක (තුනෙන් දෙකක) කලවමකින්.

සල්ලි බාල්දු කළාම එක පාරට මිනිස්සු රැවටෙනවා. මේ වැඩේ ටික ටික මිසක් එක පාරට කරන්නේ නැහැනේ. මුලින්ම රිදී වලට තඹ යාන්තමින් කලවම් කරනවා. පස්සේ ටිකෙන් ටික රිදී අඩු කරලා තඹ අනුපාතය වැඩි කරනවා. වෙනසක් වුනා කියා එක පාරට තේරෙන්නේ නැහැ. එහෙත් රිදී කාසියක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක්ට දැන් රිදී වෙනුවට ලැබෙන්නේ තඹ කලවමක්.

එක පාරට තේරුණේ නැතත් කාලයක් යද්දී තමන්ට ලැබෙන කාසි වල හිතපු තරම් වටිනාකමක් නැති බව මිනිස්සුන්ට තේරෙන්න ගන්නවා. එතකොට මිනිස්සු වැඩි පඩි ඉල්ලනවා. පැන්සයකට විකුණපු තමන්ගේ නිෂ්පාදන වලට පැන්ස දෙකක් ඉල්ලන්න ගන්නවා. ඔන්න උද්ධමනය. 

රජය රිදී වලට තඹ කලවම් කරන්නේ මිනිස්සුන්ව රවට්ටලා නොතේරෙන්න බද්දක් ගහන්නනේ. එහෙම නැත්නම් අඩු රිදී ප්‍රමාණයක් ගෙවලා වැඩි ශ්‍රමයක් මිල දී ගන්න. මිනිස්සු ඕක තේරුම් අරගෙන වැඩි පඩි ඉල්ලන කොට සල්ලි බාල්දු කරපු එකේ වාසිය නැතුව යනවා. එතකොට සල්ලි තවත් බාල්දු කරන්න වෙනවා. මිනිස්සුන්ට වටින්නේ කාසියක තිබෙන රිදී ප්‍රමාණය මිසක් එහි මුළු බර නොවන බව පැහැදිලි වුණාම තුනෙන් එකක් රිදී තිබෙන කාසියක් වෙනුවට එම බරෙන් තුනෙන් එකක තනි රිදී කාසියක් ආදේශ වෙනවා. කලවම් කාසියේ රිදී තියෙන්නේ තුනෙන් පංගුවක් පමණක් බව දැනගත්තට පස්සේ මිනිස්සුන්ට ඔය දෙකේ වෙනසක් නැති නිසා තඹ කලවම් කරන එකේ තේරුමක් නැහැ. බර අඩු රිදී කාසියක්ම දෙන්න පුළුවන්.

දාහත්වන සියවස පටන් ගනිද්දී ට්‍රෝයි රාත්තලක් බර රිදී වලින් රිදී සිලින් කාසි 60ක් කැපුවා. නමුත් ඒ වෙද්දීත් පවුම සිලිං 20යි. ස්ටර්ලින් වල පසුකාලීන වර්ෂන් එක වූ පැන්ස 240යි. ඒ කියන්නේ ඒ වෙද්දී ට්‍රෝයි රාත්තලක් බර රිදී සමාන වෙන්නේ පැන්ස 720ක තිබෙන රිදී වලට. සල්ලි වල වටිනාකම මුල් වටිනාකමෙන් 1/3ක් දක්වා බාල්දු වෙලා. එහෙමත් නැත්නම් බඩු මිල තුන් ගුණයකින් වැඩි වෙලා. 

දාහත් වන සියවස මුලදී එංගලන්තයේ සල්ලි තවත් බාල්දු වෙනවා. ට්‍රෝයි රාත්තලක් බර රිදී වලින් කපන සිලින් කාසි ගණන 62 දක්වා වැඩි කෙරෙනවා. අයිසෙක් නිවුටන්ගේ ප්‍රසිද්ධ වාර්තාව ඉදිරිපත් කෙරුණු 1717 සැප්තැම්බර් 21 දින වෙද්දී තිබුණේ ඔය රාත්තලට සිලින් හැට දෙකේ රිදී සම්මතය. රිදී කිවුවට තනි රිදීමත් නෙමෙයි. කොටස් 120කින් කොටස් 111ක් රිදී හා ඉතිරිය වැඩි වටිනාකමක් නොතිබුණු වෙනත් ලෝහයක් වූ කලවමක්.

ඔය දවස් වල එංගලන්තයේ රන් කාසිත් නිකුත් වී තිබුණා. රන් පවුමේ මුල් ස්වරූපය වූ ගිනි කාසිය එවැන්නක්. දැනටත් ලංකාවේ ඉතිරි වී තිබෙන ගිනි කනවා, ගිනි ගණන් වගේ යෙදුම් වල සම්භවය ඔය ගිනි කාසිය. ගිනි කාසි ටන්කනය කර තිබුණේ කැරට් විසි දෙකේ රත්තරන් රාත්තලක් ගිනි කාසි 44.5ක බරට සමාන වෙන විදිහටයි. කැරට් විසි දෙකේ කියා කියන්නේ කොටස් 22/24ක් රත්තරන්. ඉතිරි 2/24 රිදී.

අපි හිතමු රත්තරන් ගිනි කාසියක වටිනාකම රිදී සිලිං කාසි 20කට සමානයි කියලා. දැන් අපිට මේ සමානතාවය යොදාගෙන රන් හා රිදී අතර විණිමය අනුපාතිකය හොයා ගන්න පුළුවන්. නිවුටන් ගණන් හදලා පෙන්නපු විදිහට එංගලන්තයේ රත්තරන් රාත්තලක වටිනාකම රිදී රාත්තල් 15.57කට පමණ සමාන වුනා. 

"I humbly represent, that a pound weight Troy of Gold eleven ounces fine and one ounce allay is cut into 44½ Guineas, and a pound weight of Silver eleven ounces two penny weight fine & eighteen penny weight allay is cut into 62 Shillings. And according to this rate, a pound weight of fine gold is worth Fifteen pounds weight six ounces seventeen penny weight & five grains of fine silver..."

මුදල් විදිහට රන් කාසි හා රිදී කාසි භාවිතා කළේ එංගලන්තයේ පමණක් නෙමෙයි. අනෙක් රට වලත් රන් වලින් හදපු කාසි හා රිදී වලින් හදපු කාසි භාවිතා වුනා. ඒ අනුව, රන් හා රිදී වටිනාකම් අතර කිසියම් අනුපාතයක් තිබුණා. කාසි තිබුනේ එක වර්ගයකින් පමණක් වුනත් එම කාසි එක්ක අනෙක් ලෝහය හුවමාරු වන අනුපාතයක් තිබුණා. හැබැයි මේ අනුපාතය රටින් රටට වෙනස් වුනා.

අයිසෙක් නිවුටන්ගේ වාර්තාවේ තිබෙන තොරතුරු අනුව, චීනයේ හා ජපානයේ රත්තරන් රාත්තලක් හුවමාරු වුනේ රිදී රාත්තල් නවයකට හෝ දහයකට. නැගෙනහිර ඉන්දියාවේ රිදී රාත්තල් දොළහකට. ප්‍රංශයේ රිදී රාත්තල් පහළොවකට. ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ රිදී රාත්තල් දහසයකට.

යුරෝපයේ ස්පාඤ්ඤය හා පෘතුගාලය වැනි රටවල් කිහිපයක් ඇරුනහම ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව  එංගලන්තයේ රත්තරන් වල රිදී මිල ඉහළ මට්ටමකයි තිබුණේ. ඒ නිසා, එංගලන්තයෙන් භාණ්ඩ ආනයනය කරන රටවල් හැම වෙලාවෙම වගේ ගෙවුවේ රත්තරන් වලින්. රත්තරන් රාත්තලක බඩු වලට රිදී රාත්තල් 15.57ක් ගෙවන්න වෙනවනේ. ඉන්දියාව, චීනය වගේ ආසියාතික රටවල රත්තරන් රාත්තලක වටිනාකම රිදී රාත්තල් 15.57ක වටිනාකමට වඩා ගොඩක් අඩුයි. ඒ නිසා රත්තරන් වලින් ගෙවන එක ලාබයි. රිදී වලින් ගෙවන එක වාසියි. 

අනෙක් අතට එංගලන්තයට භාණ්ඩ අපනයනය කරද්දී චීනය වගේ රටවල් රත්තරන් බාර නොගෙන රිදී වලින්ම ගෙවන්න කියලා ඉල්ලුවා. මේ නිසා එංගලන්තයේ රිදී දිගින් දිගටම එළියට ගිහින් රිදී හිඟයක් ඇති වුනා. එංගලන්තයට චීනය ඉන්දියාව වගේ රටවලින් බඩු ගන්න එක ප්‍රශ්නයක් වුනා. නිවුටන්ට විසඳන්න වුනේ මේ බැරෑරුම් ප්‍රශ්නය.

නිවුටන්ගේ විසඳුම වුනේ පවුම (සිලිං විස්ස) අවප්‍රමාණය කිරීම. මේ යෝජනාව ක්‍රියාත්මක වුනා. ඒ අනුව, ගිනි එකක් සිලිං 21 කට සමාන කරමින් රන් හා රිදී අතර විණිමය අනුපාතය වෙනස් කෙරුණා. මේ අනුපාතයට රන් අවුන්සයක මිල පවුම් 4.25 ක් බවට පත් වුනා.

නිවුටන් කොයි තරම් ගණන් කාරයෙක් වුනත් විණිමය අනුපාතය සකස් කිරීම මගින් රටේ තිබුණු රිදී කාසි රටෙන් පිටවෙන එක වලක්වාගන්නනම් බැරි වුනා. ගණන් කාරයෙක් කියා කිවුවට නිවුටන් කියා කියන්නේ කොටස් ආයෝජන කරන්න ගිහින් අන්තිම කාලයේදී සේසතම නැති කර ගත්ත මනුස්සයෙක්නේ. ඒ වගේම සම්ප්‍රදායික දැනුම් පිළිබඳව හැදෑරීම සඳහා රහසිගතව විශාල කාලයක් වැය කරපු කෙනෙක්. 

නිවුටන් විණිමය අනුපාතය හැදුවේ යුරෝපය සමඟ කරන වෙළඳාමට ගැලපෙන විදිහටයි. ආසියාතික රටවල් සමඟ කරන වෙළඳාමට ඔහු තිබ්බේ ඉතා අඩු බරක්. විණිමය අනුපාතයේ තවදුරටත් තිබුණු විශාල අසමතුලිතතාවය නිසා නිවුටන්ගේ රන් සම්මතයෙන් පස්සේ සිදු වුනේ එංගලන්තයේ රිදී කාසි ඔක්කොම වගේ රටෙන් පිටතට ඇදී යාමයි. එයින් පස්සේ එංගලන්තය කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ රිදී සම්මතය බිඳ වැටිලා රන් සම්මතයකට යන්න වුනා. නිවුටන්ගේ අවුන්සයට පවුම් 4.25 රන් සම්මතයනම් කාලයක්ම වෙනස් නොවී තිබුණා.

එංගලන්තයෙන් එළියට ගිය රිදී කාසි ඉන්දියාවේ ගොඩ ගැහුනා. ඉන්දියාවේ රත්තරන් එංගලන්තට ගියා. එංගලන්තය රන් කාසි වලට මාරු වෙද්දී ඉන්දියාවේ ජනප්‍රිය වී තිබුණේ රිදී කාසි. ලංකාවේ මුලින් භාවිතා වුනේත් මේ ඉන්දියානු රිදී කාසි. මුලින් පවුමක වටිනාකමට හදපු ගිනි එකක් සිලිං 21 කරලා කාලෙකට පස්සේ එංගලන්තය සිලිං 20ක් වටින පවුමේ රන් කාසි නිකුත් කළා. මේ පවුමේ කාසියක රත්තරන් ප්‍රමාණය ගිනි එකක ප්‍රමාණයෙන් 20/21ක්. ලංකාවේ රත්තරන් පවුම් කියා කියන්නේ ඔය කාසියක තිබෙන රත්තරන් ප්‍රමාණය. නිවුටන්ගේ වාර්තාවේ යෝජනා කරපු විදිහටම ඔය රන් පවුම් 4.25ක රත්තරන් ට්‍රෝයි අවුන්සයක් තියෙනවා.

යුරෝපයට සාපේක්ෂව ආසියානු රටවල රිදී වල රන් වටිනාකම ඉහළ මට්ටමක තිබුණා. ඉන්දියානුවන් රිදී කාසි අත ඇරලා රන් කාසි ලබා ගන්න කැමති වුනේ නැහැ. ඒ නිසා ඉන්දියාවේ වගේම ඉන්දියාව හරහා ලංකාවෙත් වැඩිපුර ජනප්‍රිය වෙලා තිබුණේ රිදී කාසි. ලංකාවේද භාවිතා වූ ඉන්දියානු රුපියලක් මුලදී සිලිං දෙකක වටිනාකමක් ඇති සේ සැලකුණා. එංගලන්තයේ සිලිං විස්සක් පවුමකට සමාන සේ සැලකුණා. ඒ අනුව බ්‍රිතාන්‍ය පවුමක් රුපියල් දහයක් වුනා.

නෙලී බ්ලයි යන අන්වර්ථ නාමයෙන් ලියූ එලිසබෙත් ජේන් කොක්‍රේන් ලංකාවට එන්න වසර දෙක තුනකට කලින් රිදී මිල විශාල ලෙස පහළ ගිහින් ඉන්දියානු රුපියල් වල සැබෑ වටිනාකම පහත වැටුනා. ඊට සාපේක්ෂව ඉන්දියාවේ වගේම ලංකාවේත් රත්තරන් වල වෙළඳපොළ මිල කාසි වල නාමික අගයට වඩා ගොඩක් ඉහළ ගියා. නෙලී බ්ලයිට ඇගේ ඩොලර් විස්සේ රත්තරන් කෑල්ල එහි නාමික මිලට වඩා වැඩි මිලකට කොටුවේදී මාරු කරන්න පුළුවන් වී තිබෙන්නේ ඒ නිසයි. හරියට අද වෙනවා වගේ.

පහතින් තියෙන්නේ මේ වියුණුව පටන් ගත් දිනට පසු දින පළ කළ ලිපියක්. නිවුටන් ගැන සමහර දේවල් එම ලිපියේ තිබෙනවා. වියුණුවේ පළ වූ තෙවන ලිපිය. නමුත් නිවුටන් ගැන වැඩිපුර කතා නොවන ඇතැම් සුවිශේෂී දේවල් මේ ලිපියේ වගේම ඒ ලිපියේත් නැහැ. 

"එල්ලෙන සියල්ල රඹුටන් නොවේ."

ඒ දවස් වල අපේ වියුණුව කියෙවුවේ දහ පහළොස් දෙනෙක් වගේ ඉතාම සුළු පිරිසක් පමණයි. දැන් ආපසු හැරී බැලුවත් පෙනෙන්නේ ලියන්න පටන් ගත් විදිහ හා අවුරුදු හයකට ආසන්න මෙතෙක් ආ මග නරක නැති බවයි. 

ප්‍රධාන වශයෙන්ම පාඨක පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිව ලියූවක් වුවත් ඉහත ලිපියේ මම මෙහෙම ලියා තිබෙනවා.

"ඔය කියන ඇපලය වැටෙන විට අයිසෙක් නිවුටන් ට්‍රිනිටි කොලිජියේ දීප්තිමත් සිසුවෙකුව සිට ගණිතය සහ භෞතික විද්‍යාව මැනවින් හදාරා තිබුණේය. ඒ නිසා, තවත් අලුත් භෞතික විද්‍යා නියමයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකි විය. යම් කිසි ආකාරයකින් ඔහුගේ විෂයය (ආර්ථික විද්‍යාව වැනි) වෙනකක් වීනම් ඉතිහාසය තරමක් වෙනස් විය හැකිව තිබුණි."

ඇත්තමට කියනවානම් ඒ දවස් වල නිවුටන්ට ගණිතය සහ භෞතික විද්‍යාව වගේ විෂයයක් මිසක් ආර්ථික විද්‍යාව හදාරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අද අර්ථයෙන් එහෙම විෂයයක් ඒ කාලයේ තිබුණේ නැහැ. නිවුටන් ආර්ථික විද්‍යා සංකල්ප තේරුම් ගත්තේ භෞතික විද්‍යා න්‍යාය ඇසුරෙන්. මෙය ලෝක ඉතිහාසයේ නිවුටන්ට පසු කොටස විශාල ලෙස වෙනස් කළා. ඒ අර්ථයෙන් බැලුවොත් අයිසෙක් නිවුටන් කියන්නේ ලෝකයම වෙනස් කළ කෙනෙක්. කවුරුවත් සාකච්ඡා කර තිබෙන බවක් මා දන්නේ නැතත් කාල් මාක්ස් වගේම ඇඩම් ස්මිත් විසින් පසුකාලීනව වටිනාකම් න්‍යාය හදන්නේ නිවුටන්ගේ රන් වටිනාකම් න්‍යායේ ආභාෂය ලබමින්.

නිවුටන් රාජකීය ටන්කනාගාරයේ රස්සාව කරන අතර ගෙදර ගිහින් හවසට ඇල්කෙමි පරීක්ෂණ කරද්දී ජෝන් ලොක් ඉල්ලුම් සැපයුම් න්‍යාය ගැන අදහස් ලියා පළ කළා. පසුව ඇඩම් ස්මිත් විසින් නිවුටන්ගේ ආභාෂය ලබන අතරම ජෝන් ලොක්ගේ අදහස් වර්ධනය කළා. එහෙත් කාල් මාක්ස් ඔවුන්ව නොසලකා හරිමින් භෞතික විද්‍යාව පස්සේම නොන්ඩි ගගහා ගියා. ඔහු වඩා වැදගත් සේ සැලකුවේ හේගල්ගේ දර්ශනවාදය හා මනෝරාජික සමාජවාදීන්ගේ අදහස්.

Wednesday, March 10, 2021

ප්‍රාග්ධනය එක්රැස්වීම


කාර්මික විප්ලවයෙන් පස්සේ කෙටි කාලයක් ඇතුළත යුරෝපයේ විශාල සමාජ පරිවර්තනයක් ඇති වුනා. දිගු කාලයක් තිස්සේ පැවති නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වීමත් එක්ක ඇති වුනු කම්හල් වල වැඩ හොයාගෙන ගම් වල හිටපු මිනිස්සු විශාල වශයෙන් නගර කරා ඇදුනා. ශ්‍රමය විකිණීම සඳහා තරඟය වැඩි වෙද්දී ශ්‍රමය ලාබ වුනා. ශ්‍රමිකයන්ට ඉතා අයහපත් තත්ත්වයන් යටතේ දිගු පැය ගණනක් වැඩ කරන්න සිදු වුනා. ඇඩම් ස්මිත්ගේ ඉඳලා කාල් මාක්ස් දක්වා වූ කාලයේ ජීවත් වුනේ මේ සමාජ පරිවර්තනය ඇහෙන් දැකපු උදවිය. ඔවෙන්, ෆුරියේ, මැල්තුස් වගේ අය ඔය අතරමැද කාලයේ ජීවත් වුනු අය.

ඔය කාලයේ ශ්‍රමිකයන්ගේ තත්ත්වය ගොඩක් නරක මට්ටමක තිබුණේ ඇයි කියන කාරණාව අපට දැන් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. 

ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට ධනවාදී මූලධර්ම අනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදී යා යුතු ආකාරය මෙසේ ලියන්න පුළුවන්.

w = ∂Y/∂L = (1-α)Y/L

r = ∂Y/∂K = αY/K

විශාල පිරිසක් සතුව ශ්‍රමය තියෙද්දී, ප්‍රාග්ධනය තිබෙන්නේ සුළු පිරිසක් සතුවනම් ඉහත w හා r වලට මොකද වෙන්නේ? Y හා  α නොවෙනස්ව තිබෙන තත්ත්වයක් යටතේ L වැඩි වන තරමට w පහළ යනවා. සාමාන්‍ය භාෂාවෙන් කිවුවොත් ශ්‍රමය විකුණන්න ඕනෑ තරම් අය ඉන්න නිසා ඒ අය අතර තරඟයෙන් වැටුප් පහළ යනවා. නමුත්, ප්‍රාග්ධන හිමියන් ඉන්නේ සුළු පිරිසක් නිසා ඒ අය අතර ඒ තරම් තරඟයක් නැහැ. එහෙම තරඟයක් ඇති වෙන්නේ ශ්‍රමය හොයා ගන්න අමාරු තරමේ හිඟයක් ආවානම් පමණයි. ඔය කාලයේ එවැනි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ප්‍රාග්ධනය හොයාගෙන ශ්‍රමය ආවා මිසක් ශ්‍රමය හොයා ගෙන ප්‍රාග්ධනයට යන්න වුනේ නැහැ. K අඩු නිසා r ඉහළ මට්ටමක තිබුණා.

ඔය කාලයේ උපත් පාලනයක් තිබුණේ නැහැනේ. සාමාන්‍ය ශ්‍රමිකයෙකුට දරුවන් විශාල ප්‍රමාණයක් හිටියා. පවුලක බඩවල් පුරවන එක ලේසි නැහැ. ලැබෙන වැටුපෙන් පවුලකට යාන්තමින් හෝ ජීවත් වෙන එක පහසු වුනේ නැහැ. පවුල නඩත්තු කරගෙන යාන්තමින් ජීවත් වෙන්න පැය ගාණක් වැඩ කරන්න වුනා. යාන්තම් කරදඬු උස්මහත් වෙද්දී ළමයින්ටත් කම්හලක රස්සාවක් හොයා ගන්න වුනා. 

මේ කම්කරුවන්ගේ දුක්ඛිත ජීවිත ගැන බොහෝ දෙනෙක් සානුකම්පිකව බැලුවා. විසඳුම් හෙවුවා. ඇඩම් ස්මිත් දැක්කේ එක විසඳුමක්. ඔවෙන් වෙන විසඳුමක්. මාක්ස් තවත් විසඳුමක්.

ඇඩම් ස්මිත්ගේ අදහස වුනේ ප්‍රාග්ධන හිමියන් අතර තරඟය වැඩි වෙද්දී ශ්‍රමය ආකර්ෂණය කර ගැනීම සඳහා කම්කරුවන්ට වඩා හොඳ වැටුප් ගෙවන්න සිදු වෙනවා කියන එකයි. මේ අදහස නිවැරදි බව අද වන විට පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා. එහෙත්, කාල් මාක්ස්ගේ පුරෝකථනය වුනේ ප්‍රාග්ධන හිමියන් විසින් දිගින් දිගටම ශ්‍රමිකයන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය අවම වැටුපක් පමණක් ලබා දෙමින් අතිරික්තය මුළුමනින්ම සූරාකන නිසා කම්කරුවන්ගේ තත්ත්වය කොහොමටවත්ම වෙනස් වෙන්නේ නෑ කියන එකයි.

ඇඩම් ස්මිත්ට සාපේක්ෂව මාක්ස්ට සියවසක ඉතිහාසයේ වාසිය තිබුණා. මාක්ස්ගේ ප්‍රවාද හැදුනේ ඇඩම් ස්මිත් විසින් ආර්ථික විද්‍යාවට එකතු කළ දේ, ඔවෙන් හා ෆුරියේ වැනි මනෝරාජික සමාජවාදීන්ගේ අදහස් හා හේගල්ගේ දර්ශනය උකහා ගනිමිනුයි. මාක්ස්ගේ තර්කය වුනේ නිවැරදි විද්‍යාත්මක ප්‍රවාදයකින් දැනට පවතින තත්ත්වය පමණක් පැහැදිලි කළ හැකි වීම ප්‍රමාණවත් නොවන බව හා මිනිස් ඉතිහාසයම පැහැදිලි කළ හැකි විය යුතු බවයි.

ගැලීලියෝගෙන් පස්සේ බටහිර භෞතික විද්‍යාවේ සීඝ්‍ර ප්‍රගතියක් ඇති වුනා. අලුත් භෞතික විද්‍යා නියම වලින් බොහෝ දේවල් පැහැදිලි කරන්න පුළුවන් වුනා. ඒ එක්කම ඒ විදිහටම සමාජ විද්‍යාවන්ද වර්ධනය කළ හැකි නියම හොයා ගන්න ලොකු උනන්දුවක් ඇති වී තිබුණා. දැනුම හොයා ගැනීමේ ඉලක්කය වුනේ පරම සත්‍යයක් එළිදරවු කර ගැනීමයි. ෆුරියේ වැනි අය උත්සාහ කළේ පදාර්ථ, පදාර්ථ වල ගුණ, ජීවය වගේම මිනිස් සමාජය ක්‍රියා කරන මූලික නියම එළිදරවු කර පැහැදිලි කරන්නයි. වෙනත් විදිහකින් කිවුවොත් දෙවියන් වහන්සේගේ සැලසුම එළිදරවු කර ගැනීම. 

කාල් මාක්ස් මේ සැලසුමෙන් දෙවියන් වහන්සේව අයින් කළා. එහෙත්, සැලසුමක් තිබෙනවා කියන අදහස අයින් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු දෙවියන් වහන්සේ නැතුව ඒ සැලසුම එළිදරවු කර පැහැදිලි කළා. කාල් මාක්ස් විසින් දැකපු විදිහට මිනිස්සුන්ට දුක් විඳින්න සිදුවන ආරම්භක පාපය පෞද්ගලික ප්‍රාග්ධනයයි. ඔහු දුටු අනාගත පාරාදීසියේ පොදු දේපොළ මිසක් පෞද්ගලික දේපොළ නැහැ.

මාක්ස්ගේ විග්‍රහය පටන් ගන්නේ මිනිස්සු සතුව ප්‍රාග්ධනය නැති අතීතයකින්. මා කලින් ලිපියක ලියූ පරිදි මිනිස්සු මිනිස්සු වෙන්නේම ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමට සමාන්තරවයි. ප්‍රාග්ධනය නැති මිනිස් සමාජයක් හා සත්තු අතර වෙනසක් නැහැ. කෙසේ වුවත්, ආන්තීය තත්ත්වයක් විදිහට අපිට මේ වගේ තත්ත්වයක් ගැන හිතන්න පුළුවන්.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ α=0  වූ විට අපට මෙසේ ලියන්න පුළුවන්.

Y = F(K,L) = AKαL1-α = AK0L1-0 = AL

මෙහි L මිස K නැහැ. නිෂ්පාදිතයේ වටිනාකම ශ්‍රමයට සමානුපාතිකයි. මේ අනුව, නිෂ්පාදිතය කියන්නේ ශ්‍රමයේම වෙනත් ස්වරූපයක් කියා අපට කියන්න පුළුවන් නිසා, එම තර්කය මත පදනම්ව භාණ්ඩයක වටිනාකම ඒ වෙනුවෙන් යෙදවූ ශ්‍රම ඒකක ගණනට සමාන ලෙස අපට සලකන්න පුළුවන්. මෙය මාක්ස්වාදයේ මූලික උපකල්පනයක්. එහෙත් මෙය මාක්ස්ගේ කාලයේදී දැන සිටි දෙයක් මිසක් මාක්ස් විසින් එකතු කළ දෙයක් නෙමෙයි. ඇඩම් ස්මිත් විසින්ද මෙය මෙලෙසම සලකා තිබෙනවා. ඒ කාලය වෙද්දී භාණ්ඩයක වටිනාකම පිළිබඳ අද පිළිගැනෙන සම්මත න්‍යායයන් වැඩිදියුණු වී තිබුණේ නැහැ.

භාණ්ඩයක වටිනාකම හැදෙන්නේ එය නිපදවීම සඳහා යෙදවූ ශ්‍රමය නිසා පමණක්නම් එම වටිනාකමේ අයිතිය තිබෙන්නේ ශ්‍රමය යෙදවූ ශ්‍රමිකයාටයි. ඒ අනුව, ශ්‍රමය නොයොදවා ලාභයක් උපයන ප්‍රාග්ධන හිමියා විසින් කරන්නේ ශ්‍රමිකයා සතු දෙයක් සූරාකන එකයි. ඉතා සරලව මාක්ස්වාදයේ පදනම ඕකයි.

මාක්ස්වාදය තුළ, එහෙමත් නැත්නම් ඓතිහාසික භෞතිකවාදය තුළ, ඉහත කී ආකාරයෙන් ශ්‍රමය පමණක් නිශ්පාදනය සඳහා යොදවන, ප්‍රාග්ධනයක් නැති කාලය හැඳින්වෙන්නේ ආදි කොමියුනිස්ට් සමාජය විදිහටයි. ඊට පස්සේ වහල් යුගය, වැඩවසම් යුගය හා ධනවාදය ලෙස සමාජය විකාශනය වෙනවා. මාක්ස්ගේ ප්‍රවාදය අනුව ධනවාදයෙන් පස්සේ කොමියුනිස්ට් සමාජයක් එනවා. මේ පරිණාමය කවුරුවත් සැලසුම් කරන දෙයක් නෙමෙයි. කොහොමටත් සිදුවන දෙයක්. 

මාක්ස්වාදයටම අනුව වුනත් ධනවාදී නිෂ්පාදනය සිදු වෙන්නේ ශ්‍රමය පමණක් නිෂ්පාදන සාධක ලෙස යොදා ගනිමින් නෙමෙයි. නිෂ්පාදන සාධකයක් විදිහට ප්‍රාග්ධනයත් යොදා ගැනෙනවා. එහෙත්, මාක්ස්වාදයට අනුව ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් හිමි විය යුතු නැහැ. සියල්ල ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතුයි.

මේ තර්කයේ පදනම වන්නේ පෞද්ගලික ප්‍රාග්ධනය කියා කියන්නේම ඓතිහාසික "වැරැද්දක්" කියන එකයි. ආරම්භයේදී නිෂ්පාදිතය ශ්‍රමය මත පමණක් පදනම් වූ නිසා පෞද්ගලික ප්‍රාග්ධනය රැස් වන්නේ එක් අයෙකු විසින් වෙනත් අයෙකුගේ ශ්‍රමයේ ප්‍රතිලාභ තමන් සතු කර ගැනීමෙන් කියන එක මාක්ස්වාදී අදහසයි. උදාහරණයක් විදිහට වහල් හිමියෙක් විසින් වහලෙකුගේ ශ්‍රමය සූරාකමින් ප්‍රාග්ධනය එක්රැස් කර ගන්නවා.

ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීමේ ක්‍රියාවලිය මාක්ස් විසින් දැක්කේ ප්‍රචණ්ඩ ලෙස සිදු වූ දෙයක් විදිහටයි. පිරිසක් විසින් යම් ප්‍රදේශයක් කොටුකර ගෙන එහි සිටින තවත් පිරිසක් බැහැර කරනවා. එසේ බැහැර කරනු ලැබූ පිරිසට ජීවත් වීම සඳහා කුලී ශ්‍රමිකයන් වෙන්න සිදු වෙනවා. ප්‍රාග්ධන හිමියන් හා ශ්‍රමිකයන් කියා කොටස් දෙකක් හැදෙන්නේ ඔය විදිහටයි. 

මාක්ස්ට කලින් ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීමේ ක්‍රියාවලිය ඇඩම් ස්මිත් විසින් දැක තිබුණේ සාමකාමීව සිදු වූ දෙයක් විදිහටයි. නාස්තිකාරයෝ හා විවිධ විෂමාචාර වල යෙදෙන්නෝ ලැබෙන දේ අනෙක් අතට වියදම් කරද්දී මසුරෝ සල්ලි ඉතුරු කරනවා. මේ වැඩෙන් යම් පිරිසක් අතේ පමණක් ප්‍රාග්ධනය එකතු වෙනවා. අද නූතන ධනවාදී සමාජයක් දිහා බැලුවහම මාක්ස් විසින් සමච්චලයට ලක් කළ ඇඩම් ස්මිත්ගේ ප්‍රවාදය නිවැරදි බව පේනවා.

ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීම එකම ආකාරයකට පමණක් සිදු වුනා කියලා මම හිතන්නේ නැහැ. ඇඩම් ස්මිත් විස්තර කරපු ආකාරයට සාමකාමීව වගේම කාල් මාක්ස් විස්තර කළ ආකාරයට ප්‍රචණ්ඩ විදිහටත් ඔය වැඩේ වෙන්න ඇති. මේ හේතු දෙකට අමතර තුන් වන හේතුවක් විදිහට වාසනාව කියන සාධකයත් ඉදිරිපත් කරන්න පුළුවන්. වාසනාව කියා මම කියන්නේ අහඹුතාවය.

කාලයකට ඉස්සර රත්නපුර පැත්තේ ගොඩක් අය පතල් රස්සාව කළානේ. දැන් ඔය වගේ කර්මාන්තයකදී L විශාල ලෙස වැඩි කළා කියලා Y ඒ තරම් වැඩි වෙන්නේ නැහැ. Y වැඩි වෙන්නේ මැණිකක් හම්බ වුනොත් පමණයි. මෙහිදී වෙන්නේ A වැඩි වෙන එක. ඒ කියන්නේ Y/L හෙවත් ශ්‍රම ඒකකයකට නිෂ්පාදිතය. එකම මහන්සිය වෙන දෙන්නෙක් අතරින් වටිනා මැණිකක් හොයා ගන්න වාසනාව තිබුණු කෙනා ලොකු ධනවතෙක් වෙනවා. අනික් අය දිගටම දුප්පත්තු. මෙහිදී Y/L = A කියා කියන්නේ වාසනාව මිසක් තාක්ෂනය නෙමෙයි.

මේ උදාහරණයේදී තරම්ම පැහැදිලි නැතත් ඔය වාසනාව හෙවත් අහඹුතාවය බොහෝ කර්මාන්ත වල Y/L කෙරෙහි බලපෑමක් කරනවා. උදාහරණයක් විදිහට කාලගුණය, දේශගුණය, පසේ ස්වභාවය ආදී දේවල්. විශේෂයෙන්ම මුදල් කියන දේ හොයා ගත්තට පස්සේ.

ඉතිහාසයේ යම් අවස්ථාවක රන් හා රිදී මුදල් බවට පත් වෙනවා. ඒ එක්කම මිනිස්සුන්ට ධනවත් වෙන්න විකල්ප මාර්ගයක් හිමි වෙනවා. ඒ රන් හෝ රිදී හොයන එක. රන් හෝ රිදී හොයා ගන්න කෙනෙකුට ආහාර, රෙදි පිළි වගේ අත්‍යවශ්‍ය දේවල් හදාගන්න මහන්සි නොවී ඒවා හදන කෙනෙක්ගෙන් මිල දී ගන්න පුළුවන්. අනෙක් අතට ආහාර, රෙදි පිළි වගේ දේවල් නිපදවන කෙනෙකුට රන්, රිදී හාරන්න මහන්සි නොවී මිල දී ගැනීම හරහා ඒවා අයිති කරගෙන ධනවතෙක් වෙන්න පුළුවන්.

මුල්ම කාලයේදී නයිල් ගඟේ ඉවුරක ඇවිද ගෙන යන කෙනෙකුට අහම්බෙන් වගේ දිලිසෙන රත්තරන් කෑල්ලක් අහු වෙන්න ඇති. ලස්සන නිසා ළඟ තියාගෙන හිටපු මේ රත්තරන් කෑල්ල වෙනත් කෙනෙකුට දීලා මරපු සතෙක්ව ලබා ගන්න පුළුවන් බව පස්සේ තේරෙන්න ඇති. කොහොම කොහොම හරි කාලයක් යද්දී රන් හා රිදී ලෝකය වටේම ධන සංචිත ලෙස සැලකෙන්න පටන් ගත්තා.

රන් රිදී හැම තැනම නැහැ. මේවා තියෙන තැනක මිසක් නැති තැනක ඉන්න කෙනෙක් කොයි තරම් මහන්සි වෙලා පොළොව හෑරුවත් රන් රිදී හමු වෙන්නේ නැහැ. වාසනාව කියන සාධකය මෙහිදී බලපානවා. ලෝක ඉතිහාසය පුරා සමහර රටවල් ධනවත් වෙන්නත් තවත් සමහර රටවල් දුප්පත් වෙන්නත් රන් රිදී වගේ වටිනා වස්තු තිබීම වැනි අහඹු කරුණුත් යම් තරමකින් බලපෑවා. ලංකාවේ රන් රිදී නොතිබුණත් ඒ වගේම වටිනා මුතු හා මැණික් තිබුණා. ඇත්දළ වගේ දේවලුත් තිබුණා. මේ දේවල් සමඟ හුවමාරු කරලා රන් හා රිදී ලබා ගන්න පුළුවන් වුනා.

ඇමරිකන් ඩොලරය ජාත්‍යන්තර මුදල් ඒකකය බවට පත් වෙන්න කලින් ඒ තැන තිබුණේ බ්‍රිතාන්‍ය පවුමට. එහෙත් පවුමේ තිබුණේ එහි අඩංගු වූ රන් වල වටිනාකම. ඔය විදිහට ලෝකයේ විවිධ රටවල භාවිතා වූ කාසි වලට තිබුණේ ඒ කාසි වල තිබුණු රන් හෝ රිදී වල වටිනාකම. රන් හා රිදී වල වටිනාකම තීරණය වුනේ ඉල්ලුම හා සැපයුම මත. 

රන් වලට වඩා වැඩිපුරම මුදල් විදිහට භාවිතා වුනේ රිදී. රුපියල් කියන වචනය හැදිලා තියෙන්නෙත් රිදී යන අදහස තිබෙන රුප්‍ය (रूप्य) කියන සංස්කෘත වචනයෙන්. හීබෘ භාෂාවේ කෙසේ (כסף) කියන වචනයේ වගේම ආජෙන්ටුම් (argentum) කියන ලතින් වචනයේත් රිදී කියන තේරුම වගේම මුදල් කියන තේරුමත් තිබෙනවා.

අටවන සියවසේදී ඇන්ග්ලෝ සැක්සන් වරු භාවිතා කළේ ස්ටර්ලින් ලෙස හැදින්වුනු රිදී කාසි. මේ රිදී කාසි 240ක මළු ලොකු ගනුදෙනු වලදී යොදා ගත්තා වගේම බර මැනීමේ ඒකකයක් විදිහට භාවිතා වුනා. ඒ වගේ මල්ලක් පවුන් (Pound) එකක් ලෙස හැඳින්වුනා. පවුන් එකක එහෙමත් නැත්නම් රාත්තලක් බර ස්ටර්ලින් රිදී කාසි මළු වලින් ගනුදෙනු කළේ ලොකු පෝසත්තු. එංගලන්තය රිදී කාසි වෙනුවට රන් කාසි වලට මාරු වුනේ ගොඩක් පස්සේ. අයිසෙක් නිවුටන්ගේ කාලය වෙද්දී යුරෝපයේ රිදී කාසි ගොඩක් බාල්දු වෙලා. රන් මිල රිදී මිල මෙන් පහළොස් ගුණයක් පමණ වෙලා. නමුත්, ඒ කාලය වෙද්දීත් චීනයේ හා ඉන්දියාවේ වැඩි ඉල්ලුමක් තිබුණේ රිදී කාසි වලටයි.

Tuesday, March 9, 2021

දරුවන් සමඟ ඉගෙන ගැනීම


පසුගිය සති දෙක තුනේ මම මනෝරාජික සමාජවාදීන් ලෙස සැලකෙන ඔවෙන් හා ෆුරියේගේ මුල් ලේඛණ කිහිපයක් නැවත හැදෑරුවා. මෙහිදී කියෙවුවා නොකියා හැදෑරුවා කියා කියන්නේ ඒ දෙකේ වෙනසක් තිබෙන නිසා. පොතක් කියවන එක ඉතා ඉක්මණින් කළ හැකි දෙයක්. හැදෑරීම ඊට වඩා වෙනස්. මොකක් හෝ වැදගත් දෙයක් අහුවුනාම පොත කියවන එක තාවකාලිකව නවත්තලා එයට අදාළ පසුබිම් කරුණු දැන ගන්න වෙනත් දේ කියවන්න වෙනවා. එහෙම කියවද්දී තවත් දේවල් කියවන්න වෙනවා. පොත කියවීම නවත්තපු තැනට නැවත එන්න වෙන්නේ වරහන් එකින් එක වහගෙන. මේක ටිකක් වෙලාව යන වැඩක්. ඔය වගේ දෙයක් කරන්න මාතෘකාව ගැන සෑහෙන උනන්දුවක් ඇති විය යුතුයි.

මේ වැඩේ මම කාලයක් තිස්සේම කරන වැඩක්. ඇත්තටම කියනවානම් වියදම් අධික ඇබ්බැහියක්. මනෝරාජික සමාජවාදය ගැන නෙමෙයි. උනන්දුවක් ඇති වන ඕනෑම දෙයක් ගැන හැකි තරම් ගැඹුරින් හදාරනවා. තනිකරම මගේ සතුට වෙනුවෙන් කරන වැඩක්. ඔය වැඩේ කරද්දී ලියන්න සුදුසුයි කියා හිතන දෙයක් තමයි මෙහි කෙටියෙන් ලියා පළ කරන්නේ.

මනෝරාජික සමාජවාදීන්ගේ මුල් ලේඛන කියවන්න උනන්දුවක් ඇති වෙන්න එක් ප්‍රධාන හේතුවක් වුනේ අජිත් ධර්මා විසින් දමා තිබුණු ප්‍රතිචාර කිහිපයක්. හැබැයි එය එකම හේතුව නෙමෙයි. හරියටම ඔය දවස් වලම තවත් දෙයක් සිදුවුණා. මෙය තනිකරම අහම්බයක්. 

පසුගිය මාර්තු මාසයේ ඉඳලා අපේ දරුවෝ ඉගෙන ගන්නේ ගෙදර ඉඳලා. අවශ්‍යනම් පාසැල් යැවිය හැකියි. නැත්නම් ගෙදර සිට අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න පුළුවන්. අපේ දරුවන්ව අපි තවමත් පාසැල් යැවුවේ නැහැ.

ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමයේ විභාග වලට සාපේක්ෂව පැවරුම් වලට සෑහෙන බරක් තියෙනවනේ. සරසවි වල වගේම පාසැල් වලත් එහෙමයි. දරුවෝ මේ පැවරුම් සම්පූර්ණ කරලා සබ්මිට් කරද්දී ඔවුන්ට එන ඊමේල් එකේ පිටපතක් මටත් එනවා. මේවා එකින් එක බැලුවේ නැතත් අවධානයෙන් ඉන්න බව පෙන්වන්න ඉඳහිට මේ පැවරුම් ගැන දරුවන් එක්ක කතා කරනවා. ඊමේල් එකේ මාතෘකාව අනුව සමහර පැවරුම් වලට එක පාරටම අවධානය යොමු වෙනවා.

මම ජනවාරි මාසයේ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ගැන ලිවුවනේ. ඕක ඉදිරිපත් කළේ ඒ අනුසාරයෙන් මාක්ස්වාදය ගැන පැහැදිලි කිරීමක් කරන්න හිතාගෙන. ගොඩක් වෙලාවට ලිපි ලියවෙන්නේ හිතන පිළිවෙලටම නෙමෙයි. අවුරුදු හතර පහකට කලින් ලියන්න හිතාගෙන හිටපු සමහර ලිපි තවම ලියවිලා නැහැ. මනෝරාජික සමාජවාදීන් හා විද්‍යාත්මක සමාජවාදීන්ද  ඇතුළු යුතෝපියාවන් ගැන විස්තර කළ අය අනාගතය ගැන ශුභවාදීව බලපු අයනේ. ඔය වගේම, අනාගතය ගැන අශුභවාදී ලෙස බලමින් දිස්තෝපියානු අනාගතයන් ගැන විස්තර කළ අයත් ඔය කාල වකවානු වලම හිටියා. ඔය කණ්ඩායම් දෙකටම උත්තේජනයක් සැපයුවේ කාර්මික විප්ලවයෙන් පසුව යුරෝපයේ කම්කරුවන්ගේ ජීවිත වල පැවති දුක්ඛිත තත්ත්වය. සමහර අය ජීවත් වුනේ පොළොව යට හාරපු උමං ඇතුළේ. මේ වගේ තැන් දැනටත් බලා ගන්න පුළුවන්.

ෆුරියේ, ඔවෙන් වගේ අය අනාගතය දිහා ශුභවාදීව බලද්දී ඔවුන්ගේ සමකාලීනයෙකු වූ තෝමස් මැල්තුස් වගේ අය අනාගතය දිහා බැලුවේ අශුභවාදී ලෙසයි.

මැල්තුසියානු උගුලෙන් ගැලවීම

මේ වෙද්දී අපට ෆුරියේට, මාක්ස්ට හෝ මැල්තුස්ට නොතිබුණු, අවුරුදු දෙසීයකට ආසන්න ඉතිහාසයේ වාසිය තියෙනවා. සමාජවාදීන් විසින් පුරෝකථනය කළ දේවල් සිදු වී නැතුවාක් වගේම මැල්තුස් වගේ අශුභවාදීන් පුරෝකථනය කළ දේවල් සිදු වෙලාත් නැති බව දැන් අපි දන්නවා. 

නමුත් එය ඒ අයගේ වැරැද්දක් නෙමෙයි. අපි කාටවත් අනාගතය හරියටම පුරෝකථනය කරන්න බැහැ. න්‍යාය හදන්න පුළුවන්. එහෙත් ඒවා හරියන බවට කිසිම සහතිකයක් නැහැ. හරිගියා කියලත් එයින් න්‍යාය නිවැරදි බව ඔප්පු වෙන්නේ නැහැ. සමහර දේවල් හරියන්නේ අහම්බ නිසා. 

ඒ නිසා අපි විය හැකි ඕනෑම දෙයක් අනාගතය ලෙස භාර ගත යුතුද? නැහැ. හරියටම පුරෝකථනය කරන්න බැරි වුනත් අපට අනාගතය ගැන පුරෝකථන කළ හැකියි. එකම දේ ඒවා අනිවාර්යයෙන් එලෙසම සිදු විය යුතු නැති බව අප තේරුම් ගත යුතුයි. 

අපට අනාගතය ගැන පුරෝකථන කරන්න වෙන්නේ අතීතය දිහා බලාගෙන. අතීතයේ විවිධ අය කරපු පුරෝකථන වැරදුනේ ඇයි කියන එක හදාරලා අපට අනාගතය වඩා නිවැරදිව පුරෝකථනය කළ හැකියි. වෙනත් විදිහකට කිවුවොත් විවිධ අය කලින් කරලා තිබෙන වැරදි නැවත නොකර සිටිය හැකියි. අප සතුව තිබෙන අවුරුදු දෙසීයක ඉතිහාසයේ වාසිය පැත්තකට දමලා දහනවවන සියවසේ මුල දැන සිටි දේවල් මත පමණක් පදනම්ව කළ හැකි වූ පුරෝකථන දැන් කරන්න යන එකේ කිසිම තේරුමක් නැහැ. ඒ අතරම ඒ කාලයේ ජීවත් වූ අයට ඔවුන් කළ දේ වෙනුවෙන් අවශ්‍ය ගෞරවයද හිමි විය යුතුයි.

අවුරුදු පහකට කලින් මැල්තුස් ගැන ලිවුවේ දිගින් දිගටම යන ලිපි පෙළක් ලියන්න හිතාගෙනයි. නමුත් ඒ වැඩේ මග ඇරුනා. ඔහොම ලියන්න හිතාගෙන හිටපු සහ තවමත් ලියන්න හිතාගෙන ඉන්න ලිපි මාලා සිය ගණනක් තිබෙනවා. ඔය ගොඩක් ඒවා කවදාවත් ලියන්න ලැබෙන එකක් නැහැ. 

ෆුරියේ, ඔවෙන්, මැල්තුස් වගේ අය ගැන නැවත අවධානය යොමු වුනේ දරුවෙකුගේ පැවරුම් කිහිපයක් නිසා. දවස ගානේ එන ඊමේල් එකකට එකවර ඇහැ ගියේ එහි මාතෘකාව "කොමියුනිස්ට් ප්‍රකාශනය" වූ නිසා. පොඩි පන්ති වල සිටියදීම ආර්ථික විද්‍යාව උගන්වන නමුත් ඇමරිකාවේ පාසැල් වල ඔය වගේ දේවල් උගන්වන බවක් මම දැනගෙන හිටියේ නැහැ. පස්සේ දරුවාගේ පැවරුම් වල විස්තර තිබෙන ලින්ක් එක ක්ලික් කරලා ගියාම මනෝරාජික සමාජවාදීන් ගැන හා මාක්ස්වාදී අදහස් වර්ධනය වීම ඇතුළු ගොඩක් දේවල් දරුවාගේ පැවරුම් ගොඩේ තිබෙනවා.

මෙය කියවන ගොඩක් අයට ඇමරිකාව සම්බන්ධව තිබෙන්නේ ඔලුවෙන් අහක් කරන්න අමාරු අටුවම් බැහැපු අදහස්. ඒ නිසා ගොඩක් අය මම ඇමරිකාව උඩට උස්සලා ලියනවා වගේ අදහසක ඉන්නවා. ලංකාවේ ඉපදුනු, සමාජවාදීන්ගේ දැනුම් ආධිපත්‍යය යටතේ හැදී වැඩුණු මගේ ඔළුවෙන් වුනත් ඇමරිකාව සම්බන්ධ ඔය වගේ අටුවම් බැහැපු අදහස් තවමත් බැහැර වෙලා නැහැ. ඒ නිසා එක පාරටම මගේ ඔළුවට ආවේ "යකෝ මේ පොඩි එවුන්ට මාක්ස්වාදය ගැන උගන්නනවා! මේ ඇමරිකාවේ?" කියලයි. 

ඇමරිකාවේ විෂයයක් යටතේ උගන්වන්නේ මොනවද කියන එක ගුරුවරයා විසින් තීරණය කරන දෙයක් නිසා මෙය ගුරුවරයාට අවශ්‍ය වූ සාමාන්‍ය තත්ත්වය නොවන එකතුවක්ද කියලත් හිතුනා. ඒ එක්කම එක පාරටම වුනත් ඒ වගේ දෙයක් ඔළුවට ආපු එක ගැන මටම ලැජ්ජා හිතුනා. "ඇමරිකාවේ පොඩි එවුන්ට සමාජවාදය ගැන ඉගැන්විය යුතු නැත්තේ ඇයි?"

මාක්ස්වාදය මූලධර්මය කරගත් සමාජවාදී රටකට සමාජවාදය පවත්වා ගන්නනම් මාක්ස්වාදය කියන්නේ සත්‍යය බවත්, එය විද්‍යාත්මක බවත්, අනෙක් විකල්ප විද්‍යාත්මක නොවන බවත් අධ්‍යාපනය හරහා ඔළු වලට පොම්ප කරන්න වෙනවා. විකල්ප අදහස් වාරණය කරන්න වෙනවා. එහෙම කළත් සමහර අදහස් ස්වභාවිකවම පැන නගින්න පුළුවන්. ඒ නිසා ඊට කලින්ම ඒ වගේ නිකම්ම හිතෙන්න පුළුවන් දේවල් වල වැරදි වර්ෂන් එකක් ඔළුවට දමන්න වෙනවා. කාලයක් තිස්සේම සැලසුම් සහගතව ධනවාදය ගැන පට්ටපල් බොරු ජනගත කරලා තියෙන්නේ ඔය හේතුව නිසයි. ආගම් ගැන වුනත් එහෙමයි. සෝවියට් දේශය කඩා වැටුනට පස්සේ ආගම් නැවත ජනප්‍රිය වෙන්නේත්, ඇමරිකාවට සංක්‍රමණය වන කවදාවත් ආගම් ගැන අසා නොතිබූ ඇතැම් චීන්නු උග්‍ර ආගමික භක්තිකයෝ වෙන්නෙත් ඒකයි.

ධනවාදී රටක් ධනවාදය පවත්වා ගන්න කළ යුත්තේ ඕකේම අනික් පැත්තද? ධනවාදයට එරෙහි විකල්පයක් ගැන දැන ගන්න ඉඩ නොදෙන තරමට වෙනත් කවර හෝ ක්‍රමයකින් එවැනි විකල්පයක් ගැන හදිසියේ දැනගත් විට ඇති වන කම්පනය විශාලයි. මාක්ස්වාදය ගැන එක පාරටම දැන ගන්න ඇමරිකාවේ ඉපදෙන දරුවෙක් ඒ කෙරෙහි ආකර්ශනය වෙන්න පුළුවන්. තහනම් මත්ද්‍රව්‍ය පස්සේ යන්න උත්තේජනයක් ඇති වෙන ආකාරයට. ධනවාදයට වඩා මාක්ස්වාදය කොයි තරම් පසුගාමීද කියා කෙනෙකුට පැහැදිලිව පෙනෙන්න ගන්නේ ඔය දෙකම සංසන්දනාත්මකව හදාරන තරමටයි.

ඇමරිකාවේ මාක්ස්වාදය උගන්වන්නේ ධනවාදී දෘෂ්ඨි කෝණයකින්ද? මේකත් මට හොයා බලන්න අවශ්‍ය වූ දෙයක්. පැහැදිලිවම නැහැ. පැවරුම් ආශ්‍රිතව උගන්වද්දී දරුවන් අන්තර්ජාලයේ තිබෙන විවිධ තොරතුරු හොයා බලනවා. මාක්ස්වාදය ගැන තිබෙන තොරතුරු බොහොමයක්ම මාක්ස්වාදීන් විසින්ම උඩුගත කරපුවා. ඒ නිසා බොරු උගන්වන්න බැහැ.

මේ කරුණත් පැහැදිලියිනේ. මාක්ස්වාදය ගැන දරුවන්ට බොරු ඉගැන්නුවා කියා කියමු. සමාජවාදී රටක වගේ ඇමරිකාවේ තොරතුරු වාරණය කරන්න බැහැ. තමන්ට උගන්නලා තියෙන්නේ බොරු බව කොයි වෙලාවේ හෝ අහුවෙනවා. එහෙම වුන වෙලාවක ඇමරිකාවේ තිබෙන ක්‍රමය පිළිබඳ විශ්වාසය එක පාරටම කඩා වැටෙනවා. ඇත්තටම දරුවන්ට ඉගැන්වීමක් කෙරෙන්නේ නැහැ. ගුරුවරයාගේ මාර්ගෝපදේශනය යටතේ ඔවුන් විසින්ම තොරතුරු හොයාගෙන ඉගෙන ගන්න එකයි වෙන්නේ.

මම මෙහි පළ කර තිබෙන ලිපි විශාල ගණනකට උත්තේජනය සපයා තියෙන්නේ දරුවන් එක්ක නැවත ඉගෙන ගන්නා දේවල්. එක්කෝ මම  ලංකාවේ පාසැල් පාඨ ග්‍රන්ථ වලින් සැලසුම් සහගතව කාන්දු කර තිබෙන දැනුම හැර මේ ගොඩක් දේවල් ගැන හරියට දන්නේ නැහැ. එහෙම නැත්නම් පහුගිය අවුරුදු හතළිහක පණහක කාලය තුළ දැනුම ගොඩක් වෙනස් වෙලා. බොහෝ විෂයයන් හා අදාළව මේ තත්ත්වය දැකිය හැකියි. අපි දන්නවා කියා හිතාගෙන ඉන්න ගොඩක් දේවල් ඇත්තටම දන්නේ නැති බව තේරෙන්නේ දරුවන් එක්ක කතා කළාමයි. 

Monday, March 8, 2021

ලෝකය වටා දින හැත්තෑ දෙකකින්


නෙලී බ්ලයි යන අන්වර්ථ නාමයෙන් ලියූ එලිසබෙත් ජේන් කොක්‍රේන් නම් නිවු යෝර්ක් වර්ල්ඩ් පුවත්පතේ මාධ්‍යවේදිනිය 1889 නොවැම්බර් 14 වනදා තනිවම ලෝකය වටා චාරිකාවක් ආරම්භ කර දින 72කින් මේ චාරිකාව අවසන් කරනවා. එය එවකට ලෝක වාර්තාවක්. මෙම චාරිකා විස්තරය "ලෝකය වටා දින හැත්තෑ දෙකකින්" නමින් 1890 වසරේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

එලිසබෙත් ජේන් කොක්‍රේන් කියන්නේ මේ චාරිකාවට පෙර මානසික රෝගියෙකු ලෙස මානසික රෝගී නිවාසයකට ඇතුළු වී "පිස්සන් කොටුවක දින දහයක්" නමින් පොතක් ලියා නෙලී බ්ලයි නමින් ප්‍රසිද්ධ වී සිටි, පුරෝගාමී ගවේෂනාත්මක මාධ්‍යවේදිනියක් වගේම ස්ත්‍රීවාදිනියක්. ඒ දවස් වල මානසික රෝගී නිවාස වල මානසික රෝගීන්ට ප්‍රතිකාර දෙනවා වෙනුවට ඔවුන්ව සමාජයෙන් වෙන් කර කොටු කර තියන එකයි සිදු වුනේ. ඔවුන්ට ලැබුණේ ඉතාම නරක මට්ටමක සැලකිලි. මේවාට "මානසික රෝහල්" කියන වචනයට වැඩිය ගැලපුනේ "පිස්සන් කොටු" කියන වචනයයි. ගවේෂනාත්මක මාධ්‍යවේදිනියක ලෙස නෙලී බ්ලයි විසින් සිදු කළ පුරෝගාමී මෙහෙවර නිසා මේ පිස්සන් කොටු ඇතුළේ සිදුවන අමානුෂික දේවල් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනා.

අපේ කතානායිකාවගේ ගමනේ අරමුණ වුනේ 1872දී පළ වූ ජූර්ස් වර්න්ගේ "ලෝකය වටා දින අසූවකින්" ප්‍රබන්ධය සැබෑවක් කිරීමයි. සමහර ප්‍රබන්ධ වලින් ලෝකයට සැබෑ බලපෑමක් කළ හැකියි. ඔගස්ටා වික්ටෝරියා නෞකාවෙන් නිවු යෝර්ක් සිට ගමන් අරඹන අපේ කථා නායිකාව රටවල් ගණනාවක් පසු කර සැලසුම් කළ දිනට දින දෙකකට පෙර 1889 දෙසැම්බර් 8 වන දින උදේ නවය වෙද්දී කොළඹ වරායට සේන්දු වෙනවා. ඈ නවතින්නේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ. චීනය බලා පිටත් වෙන්න පෙර දින පහක් කොළඹ නැවතී සිටිනවා. මේ දවස් පහ තුළ ඈ බොහෝ දේ දැක බලාගෙන වාර්තා කර තිබෙනවා. ඒ ඓතිහාසික තොරතුරු අපි පැත්තකින් තියමු.

වැදගත්ම කරුණ වන්නේ ඇමරිකාවෙන් පිටත් වීමෙන් පසුව ඇයට පළමු වරට ඇමරිකන් මුදල් දකින්න ලැබෙන්නේ ලංකාවේදී වීමයි. ඒද ආභරණ ලෙස මිස මුදල් ලෙස නෙමෙයි. ඇමරිකන් මුදල් වලින් ඇයට ලංකාවේදී ගෙවීම් කළ හැකි වෙන්නේ 60%ක වට්ටමකටයි. එහෙත් ආභරණ ලෙස භාවිතා කළ රත්තරන් කාසි සම්බන්ධව එවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ඩොලර් විස්සක රත්තරන් කෑල්ලකට ලංකාවේදී හොඳ මිලක් ලැබෙනවා. ඒ රත්තරන් වලට නෛසර්ගික වටිනාකමක් තිබුණු නිසා.

"For the first time since leaving America I saw American money. It is very popular in Colombo and commands a high price–as jewelry! It goes for nothing as money. When I offered it in payment for my bills I was told it would be taken at sixty per cent discount. The Colombo diamond merchants are very glad to get American twenty dollar gold pieces and pay a high premium on them. The only use they make of the money is to put a ring through it and hang it on their watch chains for ornaments."

වසර 130කට පෙර ඇමරිකන් ඩොලරයට තිබුණු සැලකිල්ල ඔය වගේ එකක්. ඒ දවස් වල ලෝකයේ වැඩිම පිළිගැනීමක් තිබුණු මුදල් ඒකකය බ්‍රිතාන්‍ය පවුමයි. ඇමරිකන් ඩොලර් සුළු ප්‍රමාණයක් අරගෙන ගියත් එලිසබෙත් ජේන් කොක්‍රේන් ඉතිරි මුදල් අරගෙන යන්නේ බ්‍රිතාන්‍ය පවුම් හා රත්තරන් ලෙසයි. ඩොලරයට තැනක් නොතිබුනත්, ඒ කාලයේදී බ්‍රිතාන්‍ය පවුම් වලට ලෝකයේ හැම රටකම පිළිගැනීමක් තිබුණා.

ලංකාවේ ගොඩක් අයට රත්තරන් ප්‍රමාණයක් ගැන පැහැදිලි අදහසක් තියෙන්නේ පවුම් වලින් කියූ විටයි. රත්තරන් කාසි ආභරණ ලෙස පැළඳීම ලංකාවේ කාලයක සිට තිබී ඇති පුරුද්දක්. රත්තරන් පවුමක් කියා කියන්නේ බ්‍රිතාන්‍ය පවුමක කාසියක්. මේ පවුමේ කාසි 4.25ක ආසන්න ලෙස ට්‍රෝයි අවුන්සයක රත්තරන් තිබෙනවා. පවුම් බාගත් තියෙනවනේ. පවුම් බාගේ හෙවත් සිලිං දහයේ කාසි 8.5ක රත්තරන් ට්‍රෝයි අවුන්සයක් තියෙනවා.

ඔය කාලයේ රටවල් අතර විණිමය අනුපාතය තීරණය වුනේ මුදල් ඒකක වල රන් වටිනාකම මත. 1934 වන විටත් රන් අවුන්සයක් ඇමරිකන් ඩොලර් 20.67ක් වූ බව මම කිවුවනේ. එතකොට පවුමක රන් අවුන්ස 4.25යි.

රන් අවුන්ස 1 = ඇමරිකන් ඩොලර් 20.67 = ස්ටර්ලින් පවුම් 4.25

මේ අනුව, 

ස්ටර්ලින් පවුම් 1 = ඇමරිකන් ඩොලර් 20.67/4.25 = 4.86.

ඔය කාලයේ ලංකාවේ රුපියලක අගය තීරණය වුනේ ඉන්දියාවේ රුපියලක අගය මත. ඉන්දියාවේ රුපියලක අගය තීරණය වුනේ ස්ටර්ලින් පවුමකින් 1/10ක, එහෙමත් නැත්නම් සිලින් 2ක අගය මත. ඒ කියන්නේ රුපියල් පහකට පවුම් බාගයක් ගන්න පුළුවන්කම තිබුණා. රුපියල් දහයකට පවුමක් ගන්න පුළුවන් වුනා.

දැන් පවුමක් කීයද?

මේ අනුපාතය අනුව ඩොලරයක මිල රුපියල් 2.05ක් පමණ වෙනවා. අපේ කථානායිකාව ඩොලර් මාරු කරගෙන තියෙන්නේ 60%ක වට්ටමකට. ඒ කියන්නේ ඒ දවස් වල කොටුවේ ඩොලර් මාරු කරලා තියෙන්නේ සත 82ක් වගේ ගාණකට. 

ඩොලර් විස්සේ රත්තරන් කෑල්ලක් කියන්නේ රන් අවුන්සයක් විය යුතුයි. පවුම් 4.25ක්. මේකටනම් රුපියල් 45ක් විතරවත් ලැබෙන්න ඇති!

රත්තරන්, ඩොලර් එක්කම අද ජාත්‍යන්තර කාන්තා දිනයේදී එලිසබෙත් ජේන් කොක්‍රේන්ගේ පුරෝගාමී මෙහෙවරත් සිහිපත් කරමු. ඒ දවස් වල කාන්තාවක් සූට්කේස් එකක් අරගෙන තනිවම ලෝකය වටා යනවා කියන්නේ ඇත්තටම ලොකු වැඩක්.

Saturday, March 6, 2021

ෆුරියේගේ සුරංගනා කතා


චාල්ස් ෆුරියේගේ මනෝරාජික සමාජවාදය අනුව ලෝකය හා මිනිස් සමාජය වෙනස් වෙන්නේ අවුරුදු 80,000ක චක්‍රයකට අනුවයි. මෙයින් පළමු වසර 40,000 ආරෝහණ කම්පන සිදුවන කාලයක්. ඉතිරි වසර 40,000 අවරෝහණ කම්පන සිදු වන කාලයක්. මේ වගේ චක්‍ර අනන්ත ප්‍රමාණයක් තිබෙනවා. එක චක්‍රයක් ඇතුළේ අදියර හතරක් තිබෙනවා. ආරෝහණ කම්පන අදියර දෙකක් හා අවරෝහණ කම්පන අදියර දෙකක් ලෙස. ඒ වගේම එක් අසූ අවුරුදු චක්‍රයක කාල පරිච්ඡේද 32ක් තිබෙනවා.

ෆුරියේ තමන්ගේ අදහස් ඉදිරිපත් කරන කාලය වෙද්දී (දහනව වන සියවසේ මුල) භෞතික විද්‍යාව සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන අවසන්. කාල් මාක්ස් වගේම චාල්ස් ෆුරියේත් තමන්ගේ ප්‍රවාද හදන්නේ භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගගහා යමින්. හැබැයි ෆුරියේගේ ප්‍රවාද වල පැත්තක පැහැදිලිවම පෙනෙන්න දෙවියන් වහන්සේ ඉන්නවා. ඔහු ඔහුගේ "විශ්වීය චලනයන් පිළිබඳ සාධාරණ න්‍යාය" ඉදිරිපත් කරන්නේ විශ්වීය චලනයන් පිළිබඳ දෙවියන් වහන්සේගේ ගණිතමය නීති පැහැදිලි කරන්නයි.

ෆුරියේගේ චක්‍රීය විශ්වය පිළිබඳ අදහස බෞද්ධ අදහසට සමීප එකක් වනවා වගේම විශ්වීය චලනයන් පිළිබඳ චතුර්විධ න්‍යාය පංච නියාම වලට තරමක් සමානයි. ඔහු දෙවියන් වහන්සේ විසින් මැවූ ලෝකය ක්‍රියාත්මක වන නියාමයන් පැහැදිලි කරන්නේ කොටස් හතරක් යටතේ.

1. ද්‍රව්‍ය වල වෙනස්වීම 

2. පාට, සුවඳ වැනි ද්‍රව්‍ය නොවන ඓන්ද්‍රීය ලක්ෂණ වෙනස් වීම

3. සතුන්ගේ වෙනස් වීම 

4. සමාජයේ වෙනස් වීම

ඔහුට අනුව ඔහුට පෙර සිටි නිවුටන්, කෙප්ලර් වගේ අය ඒ වෙද්දී ද්‍රව්‍ය වල වෙනස්වීම සෑහෙන තරමකින් පැහැදිලි කරලා. ඔහු කරන්නේ අනෙක් කොටස් හා මේ කොටස් අතර අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරන එකයි. ෆුරියේගේ දර්ශනවාදය අනුව ලෝකයේ මවනු නොලැබූ දේවල් තුනක් තිබෙනවා.

1. දෙවියන් වහන්සේ / ශුද්ධාත්මය (හිතාමතා කරන චලනයන්)

2. ද්‍රව්‍ය (ස්වභාවික චලනයන්)

3. චලනයන් සිදු වන ස්වභාවික නීති 

අවුරුදු 80,000ක චක්‍රය අදියර හතරකට බෙදුවත් මේ අදියර සමාන නැහැ. පළමු හා අවසන් අදියර වසර 5,000කින් ගෙවෙනවා. ඒ එක් එක් අදියරේ කාල පරිච්ඡේද 7 බැගින් තිබෙනවා. දෙවන හා තුන්වන අදියර වල කාල පරිච්ඡේද නවය බැගින් තිබෙනවා. මේ එක් අදියරක් වසර 35,000ක්. මිනිස්සුන්ට දුක් විඳින්න වෙන්නේ පළමු හා අවසන් අදියර වලදී පමණයි. අවුරුදු 10,000ක් දුක් විඳින්න වුනත් සැප විඳින්න අවරුදු 70,000ක් තියෙනවා. දුක් විඳින අදියරකදී හත් වරකුත්, සැප විඳින අදියරකදී නව වරකුත් සමාජය වෙනස් වෙනවා. ඒ වගේම, සත්තු හා භෞතික ලෝකයත් චක්‍රීය ලෙස වෙනස් වෙනවා. 

අටවන හා විසිවස් වන කාල පරිච්ඡේද සංක්‍රාන්ති කාල. හොඳම කාල පරිචේදය දහසය වැන්නයි. එතෙක් හැම දේම හොඳ පැත්තට වෙනස් වුනත් එයින් පසුව අනිත් පැත්තට යනවා. දැන් (1800දී) අප ගෙවන්නේ අට වන කාල පරිච්ඡේදය. එයින් පසුව එන්නේ අවුරුදු 70,000ක සැප විඳින කාලය.

චාල්ස් ෆුරියේ පෙන්වා දෙන විදිහට දෙවියන් වහන්සේ විසින් මිනිස්සු වර්ග 16ක් මවා තිබෙනවා. ඒ වර්ග එකිනෙකාට සමාන නැහැ. පැරණි මහාද්වීපයේ වර්ග නවයක් හා ඇමරිකාවේ වර්ග හතක්. එකිනෙකාගෙන් වෙනස්ව දෙවියන් වහන්සේ විසින් මවපු මේ ප්‍රාථමික මනුෂ්‍ය වර්ග 16න් 4ක් විෂමජාතීය වර්ග ලෙසත් ඉතිරි 12 සමජාතීය වර්ග ලෙසත් ඔහු හඳුන්වනවා. සමජාතීය වර්ග අතර වෙනස්කම් අඩුයි.

මුලින්ම දෙවියන් වහන්සේ මේ එක් එක් මිනිස් වර්ගය මවලා තියෙන්නේ පොළොවේ වෙනස් තැන් වල. ඒ නිසා, මේ වර්ග එකිනෙකාට හමු වන්නේ කාලයක් ගිහින්, විවිධ චලනයන්ගේ ප්‍රතිඵලයක් විදිහට. එක වර්ගයක් පමණක් ඇමරිකාවේ වගේම පැරණි මහාද්වීපයේත් ඉන්නවා. ලංකාවේ වැද්දෝ අයත් වන්නේ මේ වර්ගයට. දෙවියන් වහන්සේ විසින් ලංකාව එය පිහිටි තැන තියන්න හේතුවත් ෆුරියේ විසින් පැහැදිලි කරනවා.

මහාද්වීප හා දිවයින්, මිනිස් වර්ග වගේම සත්ත්ව වර්ගත් දෙවියන් විසින් තෝරාගත් තැන් වලින් තියා තිබෙනවා. නපුරු සත්තු වැඩි හරියක් සමකය ආසන්න වෙන්න. මිනිස්සු, සත්තු, ගස්වැල් වගේම ග්‍රහවස්තුත් "සංසර්ගයේ" යෙදෙනවා. පළමුව තමන්ගේම දක්ෂිණ ධ්‍රැවය හා උත්තර ධ්‍රැවය අතර. පසුව වෙනත් ග්‍රහයින් එක්ක. මිනිස් සමාජය වෙනස් වෙන්නේ ද්‍රව්‍ය, ඓන්ද්‍රීය ලක්ෂණ හා සතුන් වෙනස් වන චක්‍රයට සමාන්තරවයි. 

ද්‍රව්‍ය චලනයේ ප්‍රතිඵලයක් ලෙස කාලයත් එක්ක මුළු පෘථිවියේම දේශගුණය වෙනස් වෙනවා. උෂ්ණ හා ශීත කාලගුණ නැතිවී ලෝකය පුරාම සමශීතෝෂ්ණ කාලගුණයක් ඇති වෙනවා. උත්තර ධ්‍රැවය ඇතුළු හැම තැනකම වගා කළ හැකි වෙනවා. සීබ්‍රාවන් වැනි බොහෝ සතුන් ගෘහස්ථ සතුන් වෙනවා. අනෙක් සතුන් මිනිස්සු එක්ක මිත්‍රශීලී වෙනවා. 

ආහාර ඉතාම සුලබ වෙනවා. කුකුළු කෑම පවා ප්‍රංශයේ රජවරු කන කෑම වලට වඩා හොඳ වෙනවා. අට වන කාල පරිච්ඡේදයේදී මිනිස්සුන්ගේ සාමාන්‍ය උස අඩි 7ක් වෙනවා. පෘථිවිය විසින් වෙස්ටා, ජුනෝ, සීරීස්, පැලස් හා මර්කරි නම් වූ තවත් හඳවල් පහක් ආකර්ශනය කර ගන්නවා. මුහුදු වතුර ලෙමනේඩ් රස වෙනවා. මුහුදේ ජීවත්වන භයානක සතුන් වඳ වී යනවා. අපේක්ෂිත ආයු කාලය අවුරුදු 144ක් වෙනවා. දුප්පත්ම පැලන්ස්ටරියක ඉපදෙන කෙනෙකුට පවා හැම දෙයක්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. වැඩ ලෙස කළ යුත්තේ තමන් කැමති දේවල් පමණයි. 

ඔය ගොඩක් කතා දැන් ජීවත් වන කෙනෙකුට සුරංගනා කතා වගේ පෙනෙයි. එහෙත්, ෆුරියේගේ ප්‍රවාද විශ්වාස කළ මනෝරාජික සමාජවාදීන් විශාල ප්‍රමාණයක් හිටියා. ඒ අය අතරින් දහස් ගණනක් ඔහු යෝජනා කළ ආකාරයට ජීවත් වෙමින් සමාජ ප්‍රගමනය ඉක්මන් කරන්න උත්සාහ කළා. කාල් මාක්ස් ආමන්ත්‍රණය කළේ ඔය වගේ තැනක හිටපු මිනිස්සුන්ට.

ෆුරියේට අනුව සමාජ ප්‍රගමනය සිදු වන යාන්ත්‍රනය කුමක්ද? එය සිදු වන්නේ දෙවියන් වහන්සේගේ සැලසුමට අනුවයි. ෆුරියේගේ සුරංගනා කතා විශ්වාස කරන්න පුළුවන්කම තිබුණු කෙනෙකුට කාල් මාක්ස්ගේ ප්‍රවාද විද්‍යාත්මක සේ පෙනෙන එක අහන්නත් දෙයක් නැහැ. 

එකිනෙකට ගැලපෙන හා ඉතාම විස්තරාත්මක ප්‍රවාදයක් වුවත්, ෆුරියේගේ ප්‍රවාද වලට විශ්වාසනීය පදනමක් නැහැ. හැබැයි ඒ ප්‍රවාද වලින් කාල් මාක්ස් ගේ අදහස් වලින් මෙන් හානියකුත් නැහැ. වෙනත් අයට ඇණයක් නොවන තුරු, දිව්‍ය ලෝක හා දෙවිවරු ගැන මිනිස්සු විශ්වාස කරන ආකාරයෙන්ම, කෙනෙකුට මනෝරාජික අනාගත ලෝකයක් ගැන විශ්වාස කිරීමේ නිදහස තිබිය යුතුයි.

Friday, March 5, 2021

අන්තවාද හා භක්තිවාද


මනෝරාජික සමාජවාදය ගැන දිගින් දිගටම ලියන්න අදහසක් තිබුණේ නැහැ. මම මේ වියුණුව පටන් ගත් තැන සිට සමාජවාදය ලෙස හැඳින්වූවේත්, විවේචනය කළේත් මාක්ස් හා එංගල්ස්ගෙන් පටන් ගත් විද්‍යාත්මක සමාජවාදය ලෙස පොදුවේ හැඳින්වෙන දැනුම් සම්ප්‍රදායයි. මම හිතන විදිහට නිදහසට පෙර හා නිදහසින් පසුව ලංකාවේ කිසියම් දේශපාලන බලයක් තිබුණු, සමාජවාදීන් ලෙස පෙනී සිටි හැම දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක්ම වගේ පෙනී සිටියේ විද්‍යාත්මක සමාජවාදය වෙනුවෙන්.

විද්‍යාත්මක සමාජවාදය ගොඩ නැගුනේ ඊට පෙර ජීවත් වූ මනෝරාජික සමාජවාදීන්ගේ අදහස් මත පදනම්ව හා මනෝරාජික සමාජවාදය තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප කරමින්. තමන් සමාජවාදියෙක් ලෙස තේරුමක් ඇතිව හඳුන්වා ගන්නා ඕනෑම කෙනෙක් (88/89 කාලයේ සිටි ගල්කටස් සමාජවාදීන් හා දැන් දැකිය හැකි ඇතැම් ෆේස්බුක් සමාජවාදීන් හැර) ඔය දෙකේ වෙනස පැහැදිලිව දන්නවා කියා හිතන නිසාත්, සමාජවාදයට තේරුමක් ඇතුව හෝ නැතුව විරුද්ධ ගොඩක් අය ඔය වෙනසට එතරම් සංවේදී නැති නිසාත්, අන්තර්ජාලයේ ඕනෑ තරම් තොරතුරු තිබෙන නිසාත් මනෝරාජිකයෙන් විද්‍යාත්මක සමාජවාදයට සිදු වූ පරිණාමය හෝ පිම්ම ගැන විස්තර කරන්න මම වචන නාස්ති කරන්නේ නැහැ.

මනෝරාජික සමාජවාදය විවේචනය නොකර විද්‍යාත්මක සමාජවාදය පමණක් දිගටම විවේචනය කළේ මනෝරාජික සමාජවාදය වඩා සාධනීය ලෙස සැලකූ නිසා නෙමෙයි. මාක්ස්ගෙන් පසුව මනෝරාජික සමාජවාදය තීරණාත්මක ලෙස පරාජය වෙලා අවසන් කියා බොහෝ සමාජවාදීන් විසින් හිතන නිසයි. ඔය ගැන ලියන්න ගියානම් ඕනෑම මාක්ස්වාදියෙක් "ඉතිං ඔය ටික මාක්ස් පැහැදිලි කරලා දැන් කොච්චර කල්ද?" කියලා අනික් අතට අහනවා. කතාවත් ඇත්ත. 

කලින් ලිපියේ සඳහන් කළ පරිදි මනෝරාජික සමාජවාදය වෙත තරමකින් හෝ අවධානය යොමු කළේ අජිත් ධර්මා නිසා. මේ පාරේ වැඩි දුර යන්න හිතා ගෙන නොහිටියත් අජිත්ගේ අලුත් ලිපියකට වැටී තිබුණු කමෙන්ට් එකක් නිසා තව ටිකක් දුරට යන්න තීරණය කළා.  "Who Must Not Be Named" කෙනෙකුගේ කමෙන්ට් එකක් කියා කියන්න අවශ්‍ය නැහැ. අපේ බ්ලොග් හිතවතෙක් වන D.G.M බස්සාගේ කමෙන්ට් එකක්.

"මනෝරාජික සමාජවාදය කියන වචනෙ මුලින්ම ඇහුවෙ ඔබෙන්, ඒත් අපට "ලිබරල් ආට්ස්" උගන්වපු ආචාර්‍යවරයෙක්, වරක් මෙසේ කිව්වා " සමහරවිට මාක්ස්ට වැරදුනේ නැති වෙන්නෙ පුළුවන්, මාක්ස් කිව්වෙ "පූර්ණ සමාජවාදී සමාජයක් බිහිවන්නේ ධනවාදය හරහාය", ලෙනින් "ජම්ප් ද ගන්" කියලාය.

පූර්ණ සමාජවාදය වගේම "දාස් කැප්ටාල්" වන්දනාවත්, "Who Must Not Be Named" ගේ ධනවාදී භක්තිය තරම්ම අන්තවාදීයි කියල හිතෙන්නෙ මට විතරමද? කෙසේ වුනත්, ඇමරිකාවේ මනෝරාජික සමාජවාදී කොලනිවල අසාර්ථකත්වය පිළිබඳව ඔහු ගෙන එන තර්ක ලේසියෙන් අහක දැමිය නොහැකියි."

ඔය කමෙන්ට් එකේ ලියා තිබෙන පරිදි ලෙනින්ට මිස මාක්ස්ට වැරදුනේ නැති බව අජිත් ධර්මා විසින්ද ඉදිරිපත් කර තිබුණු අදහසක්. මම හිතන්නේ මම මෙය ඔහුට පැහැදිලි කළා. 88/89න් පසුව මම හිතාගෙන හිටියේ වැරදුනේ ජවිපෙට මිසක් මාක්ස්ට හෝ ලෙනින්ට නොවන බවයි. වැරැද්ද ජවිපෙ වැරැද්දක් නොව මාක්ස්ගේ ඉඳන්ම එන උරුමයක් කියන එක පැහැදිලි වුනේ ජවිපෙ වැරැද්ද හොයන්න යාමේදීයි. එහෙම නැත්නම් ගිහින් නවතින්නේ විකොස වගේ තැනක.

මේ ගැන විස්තරාත්මක ලිපියක් වෙනම ලියන්න හිටියත් දැන් ඒ වැඩේ කල් දාලා බස්සාගේ ප්‍රතිචාරය ඔස්සේ ඉදිරියට යන්න වෙනවා. මනෝරාජික කියන නමින්ම කියනවා වගේ මනෝරාජික අදහස් කියන්නේ නිශ්චිත තාර්කික පදනමක් නැති මිනිස්සුන්ගේ හිතළු. ගලිවර්ගේ චාරිකා වලදී හමු වුනු රටවල් හෝ ඇලිස්ගේ විස්මලන්තය ඇත්තටම තිබිය හැකියි කියා කවුරුවත් හිතනවායැයි මම හිතන්නේ නැහැ. මනෝරාජික සමාජවාදී අදහස් කියා කියන්නේත් ඔය වගේ හිතළු මත පදනම් වූ විවිධ මිනිසුන්ගේ අදහස් සමූහයකට කියන පොදු නමක්. 

අජිත්ගේ අලුත් ලිපියේ (ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය) මෙවැනි අර්ථදැක්වීමක් තිබෙනවා.

"මනෝරාජික සමාජවාදීන් යනු දියුණු ධනවාදයෙන් පසු කොමියුනිස්ට්වාදී හෙවත් පූර්ණ  සමාජවාදී සමාජයක් එළඹෙන්නේය යන විශ්වාසයෙන් කටයුතු කරන්නෝ වෙති. ඔවුන් පන්ති අරගලයකින් බලය ලැබීමේ අවශ්‍යතාවයක් නැති බවට ද විශ්වාස කරති."

ඔය අර්ථදැක්වීම ගැන හෝ පොදුවේ අජිත්ගේ ලිපියේ තිබෙන කරුණු ගැන මට එතරම් ප්‍රශ්නයක් නැහැ.

මනෝරාජික සමාජවාදය කියන එක විද්‍යාත්මක සමාජවාදය මෙන් පොදුවේ අරගෙන විවේචනය කරන්න හෝ සාකච්ඡා කරන්න බැහැ. ඒ වගේම දියුණු ධනවාදයෙන් පසු කොමියුනිස්ට්වාදී හෙවත් පූර්ණ සමාජවාදී සමාජයක් බිහිවන්නේ කොහොමද කියන එක පිළිබඳවද විවිධ අදහස් තියෙන්න පුළුවන්.

මේ හේතු නිසා මම අජිත් ධර්මාගෙන් පහත ප්‍රශ්න දෙක ඇහුවා. 

"මනෝරාජික සමාජවාදය පොදුවේ ගත්තහම මිනිස්සුන්ට තිබිය හැකි වෙනස් අදහස් සමූහයක් අතරින් තවත් එක් අදහසක් පමණයි. අජිත්ගේ මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද? අජිත් කවුරු හෝ නිශ්චිත මනෝරාජික සමාජවාදියෙකු කියන දේ විශ්වාස කරනවානම් ඒ කවුද?"

පළමු ප්‍රශ්නයට අජිත් විසින් මෙතෙක් පැහැදිලිව පිළිතුරු දී නැහැ. සමහර විට පිළිතුරක් පසුව දෙන්න ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට අළුත් ලිපිය ඇතුළේ තියෙන්නේ ඒ පිළිතුර වෙන්න පුළුවන්. 

ඔය ප්‍රශ්නයට මාක්ස් විසින් පැහැදිලි පිළිතුරක් ලබා දී තිබෙනවා. මාක්ස්ගේ පිළිතුර නොපිළිගනිමින් අනාගත පූර්ණ සමාජවාදී සමාජයක් ගැන කතා කරන්නනම් විකල්ප ප්‍රවාදයක් අවශ්‍ය වෙනවා. අජිත්ගේ පිළිතුර කුමක්ද කියා මම තවම දන්නේ නැහැ. එවැනි නිශ්චිත පිළිතුරක් තිබෙනවාද කියා මම දන්නේත් නැහැ. ඉහත අජිත්ගේ අර්ථදැක්වීම අනුවනම් එය විශ්වාසයක් පමණයි. එයත් පිළිගත හැකි පිළිතුරක්. විශ්වාස වලට පැහැදිලි කිරීම් අවශ්‍ය නැහැ. දෙවන ප්‍රශ්නයට අජිත් විසින් පැහැදිලිව පිළිතුරු දී තිබෙනවා.

"එක අදහසක් කියන්නේ ඉතින් එක අවුරුදු ගනනක් තිස්සේ 1700 ගණන් වල සිට ආ අදහස් ගොන්නක්. එක්කෙනක් කියල නැහැ. රොබට් ඔවෙන්, තෝමස් මෝර්, චාල්ස් ෆුරියේ, ක්‍රපොත්කින්, ප්ලෙහනොව් තරමක් දුරට, ටෝල්ස්ටෝයි , ඇලෙක්සැන්ඩර් දුබ්චෙක් වැනි අය තමා."

මෙයින් තෝමස් මෝර් විසින් කළේ ප්‍රබන්ධයක් ප්‍රබන්ධයක් ලෙසම ලියන එක පමණක් නිසා මම ඔහුගේ අදහස් විවේචනය කරන්න යන්නේ නැහැ. එසේ කිරීම ඇලිස් දුටු විස්මලන්තය විවේචනය කරනවා වගේ තේරුමක් නැති වැඩක්. කවුරුවත් ඔහුව බරපතල ගණයේ මනෝරාජික සමාජවාදියෙක් ලෙස සලකනවා කියා මම හිතන්නේ නැහැ. ඔහුගේ ප්‍රබන්ධයෙන් පසුකාලීන මනෝරාජික සමාජවාදීන්ට පෙළඹවීමක් වෙන්න ඇති.

තෝමස් මෝර් මෙන් නොව ඔවෙන් හා ෆුරියේ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළේ ප්‍රබන්ධ විදිහට නෙමෙයි. එම අදහස් මත මහ පොළොව මත සමාජවාදී සමාජ ගොඩ නැගුණා. මේ දෙන්නා අතරින්ද වැඩිම බලපෑමක් කළේ ෆුරියේ. ඔහුගේ අදහස් මත ගොඩ නැගුනු පැලන්ස්ටරි 40ක් පමණ ඇමරිකානු භූමිය තුළ පමණක් ගොඩ නැගුනා. බොහෝ ඒවා අවුරුද්දෙන් දෙකෙන් බිඳ වැටුනත් ඇතැම් ඒවා අවුරුදු දහයක් පමණ කාලයක් තිබුණා. ඇමරිකාවෙන් පිටත ෆුරියේගේ මවුරට වූ ප්‍රංශයේ හා යුරෝපයේ තවත් රටවල් ගණනාවකද මේ වගේ පැලන්ස්ටරි විශාල ප්‍රමාණයක් ගොඩ නැගුණා. 

මම දන්නා තරමින් ප්‍රායෝගිකව වැඩිම බලපෑමක් කළ මනෝරාජික සමාජවාදියා ෆුරියේ. ෆුරියේ හෝ ඔවෙන් හැරුණු විට වෙනත් කිසිම මනෝරාජික සමාජවාදියෙකුගේ අදහස් මත ලෝකයේ සමාජවාදී සමාජ බිහි වී නැහැ. ඔවුන් දෙදෙනාගේ අදහස් මත නිදහස් කැමැත්තෙන් බිහි වූ සමාජවාදී සමාජ වසර කිහිපයකට වඩා ස්ථායී ලෙස පැවතී නැහැ.

මෙයින් වෙනස්ව මාක්ස්ගේ විද්‍යාත්මක සමාජවාදය මත පදනම්ව බිහි වූ සමාජවාදී සමාජ ලෝකයෙන් තුනෙන් එකක බිම් ප්‍රදේශයක් වසාගනිමින් සියවසකට ආසන්න කාලයක් ස්ථායී ලෙස පැවතුනා. උතුරු කොරියාව වැනි රටවල තවමත් තිබෙනවා. (අඩු වශයෙන් තිබෙනවා කියා අපි හිතනවා. ගිහින් බලන්න ලේසි නෑනේ!) විද්‍යාත්මක සමාජවාදය කියා කියන්නේත් ෆුරියේ සමාජවාදය වැනිම සුරංගනා කතාවක් බව අද අපට පෙන්වාදිය හැකි නමුත් ඒ වසර 150කට පමණ පසුවයි. දිගුකාලීනව අසාර්ථක වුනත් විද්‍යාත්මක සමාජවාදය මත පදනම් වූ සමාජ ක්‍රමයක් විශාල කාලයක් ස්ථායී ලෙස පැවතිය හැකියි. එයට හේතුව මනෝරාජික සමාජවාදයේ නැති බලහත්කාරයක් විද්‍යාත්මක සමාජවාදය තුළ තිබීමයි.

මම අජිත්ගේ ලිපියෙන්ම කොටසක් උපුටා දක්වන්නම්.

"සැප්තැම්බරයේදී පෙට්‍රොගාඩ් සෝවියට් සභාවේ  බහුතරය වූයේ බෝල්ෂෙවිකයන්  වන අතර ලෙනින් ගේ නායකත්වයෙන් බලය අල්ලා ගැනීම කෙරුනේ නොවැම්බර් හත් වනදාය. ලෙනින්  මේ සඳහා සැරසුනේ  1905 කැරැල්ලේ සිටය. "කළ යුත්තේ කුමක්ද" නමැති පොතින් අදහස් කළ ලෙසින්ම ඔහු ඉතාමත් විනයගරුක කණ්ඩායමක් පක්ෂයක් ලෙස සංවිධානය  කළ අතර 1917 පෙබරවාරි  සිට ලෙනින් රුසියාවට පැමිණි අප්‍රේල් මාසය දක්වා ලෙනින් ගේ කණ්ඩායමේ මුළු රුසියාවේම සිටියේ පනස්දහසකට  අඩු ප්‍රමාණයකි. මුළු රුසියාවේ ජනගහණය මිලියන 90 කට මදක් අඩුවෙනි.  නමුත් ඔවුන් ලෙනින් සිට ගන්නට කීවිට හිට ගන්නටත්, ඉඳ ගන්නට කීවිට හිඳ ගන්නටත් සැදී පැහැදී සිටි හමුදා විනයක් සහිත කණ්ඩායමක් විය. අහසේ යන බැලුමක් මෙන් 1917 ඔක්තෝබර් වන විට රුසියානු අහසේ පාවෙමින් තිබූ බලය ලබා ගත්තේ මේ කණ්ඩායමයි. නමුත් ඒ වන විට ඔවුන් ලක්ෂයක් දක්වා සාමාජික සංඛ්‍යාවකට වැඩි වූ තිබුණි. ප්‍රතිශතයක් වශයෙන් 0.1 පමණය.  (මේ නිසා කලබල සහිත ආර්ථික අවපාත කාලයක 3% ට හෝ දස දහසකට ඔච්චම් කිරීම අවදානම් සහගත බවද සඳහන් කරමි. අවශ්‍ය වන්නේ තීක්ෂණ නායකයෙකු හා අණට කීකරු වන සාමාජිකයන් සංඛ්‍යාවක් පමණකි.)"

මනෝරාජික සමාජවාදය මතවාදී තලයේදී තීරණාත්මක ලෙස පරාජය කළ විද්‍යාත්මක සමාජවාදීන්ගේ අදහස් මත මෙතෙක් ලෝකයේ ගොඩ නැගී තිබෙන හැම සමාජවාදී සමාජයකම ඉහත විස්තර කෙරෙන තත්ත්වය දැකිය හැකියි. මේ සමාජවාදී සමාජ බොහොමයක් ගොඩ නැගී තිබෙන්නේ සුළු පිරිසක් විසින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය අල්ලා ගෙන එම බලය පවත්වා ගැනීම හරහා. එහෙමත් නැත්නම් මහජන කැමැත්තෙන් ලබාගත් බලය බලහත්කාරයෙන් දිගටම පවත්වා ගැනීම හරහා. හැබැයි මේ වගේ ක්‍රමයකට කාලයක් ස්ථායීව පවතින්න පුළුවන්. මෑතකාලීන ඉතිහාසයේ විශාල කාලයක් පැවතුණේ රාජාණ්ඩු. අවසානයේදී බිඳ වැටුණත් රාජාණ්ඩු කියා කියන්නේත් කාලයක් ස්ථායී ලෙස පැවතිය හැකි ක්‍රමයක්. 

මේ වෙද්දී ලෝකයේ සමාජවාදීන් අතර විශාල බෙදීම් තිබෙනවා. එහෙත් අඩු වශයෙන් ස්ටාලින් වගේ කෙනෙක් වෙනුවෙන් මේ වන විට සමාජවාදීන් කිසිවෙකු පෙනී නොසිටින තරම්. සමහර අය ස්ටාලින්ගෙන් පස්සට ගිහින් ස්ටාලින් වැරදි වුනත් ලෙනින් හරි බව කියනවා. තවත් සමහර අය ලෙනින්ගෙනුත් පස්සට ගිහින් ලෙනින් වරද්දා ගත්තත් මාක්ස් හරි බව කියනවා. විද්‍යාත්මක සමාජවාදය ලෙස වැරදියට හඳුන්වන මතවාදය මාක්ස්ගේ සිටම වැරදියි. දැනටමත් පැහැදිලි කර නැති වැඩි විස්තර අපි පසුවට ඉතිරි කරමු. 

මාක්ස් වැරදිනම් මාක්ස්ට පෙර සිටි විද්‍යාත්මක සමාජවාදීන් නිවැරදිද? මාක්ස් වැරදි වුනත් මනෝරාජික සමාජවාදය පිළිබඳ මාක්ස්ගේ විවේචන වලට පැහැදිලි පදනමක් තිබෙනවා. මාක්ස්වාදය අඩු වශයෙන් බැලූ බැල්මට සුරංගනා කතාවක් නෙමෙයි. එහෙත්, මාක්ස්ට පෙර තිබුනු මනෝරාජික සමාජවාදය සුරංගනා කතාවක් කියන එක ඕනෑම කෙනෙකුට බැලූ බැල්මටම පේනවා. 

මාක්ස්ට පෙර මනෝරාජික සමාජවාදයේ දියුණුම තත්ත්වය ෆුරියේවාදය කියා කියන්න පුළුවන්. මම අජිත්ගෙන් අහපු "මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද?" කියන ප්‍රශ්නයට ෆුරියේ විසින් පැහැදිලි හා ඉතා විස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නා. ඇමරිකාව හා යුරෝපය පුරා පැලන්ස්ටරි විශාල ප්‍රමාණයක් හැදුනේ එම මතවාදය මත පදනම්වයි. 

මාක්ස් විසින් හේගල්ගේ ද්විඝටනාත්මක තර්කනය මත පදනම්ව සමාජ පරිණාමය පිළිබඳ අලුත් ප්‍රවාදයක් හැදුවේ සමාජ පරිණාමය පිළිබඳ ෆුරියේගේ විස්තරාත්මක ප්‍රවාදයට විකල්පයක් විදිහටයි. ඊට පෙර බටහිර ලෝකයේ සැලකිය යුතු පිරිසක් ෆුරියේගේ මනෝරාජික සමාජවාදය පිළිගත්තා. ෆුරියේවාදය ගැන ලියන්න හිතාගෙන පටන් ගත්තත් ලිපිය දිග වැඩියි. එය පසුවට තියමු.

බස්සා කියන අන්තවාදී ධනවාදී භක්තියක් තිබෙන "Who Must Not Be Named" කවුද කියා හොයා ගන්නනම් බැරි වුනා. කවුරු වුනත් ඔය කියන මනුස්සයාත් ඇමරිකාවේ මනෝරාජික සමාජවාදී කොලනිවල අසාර්ථකත්වය පිළිබඳව විස්තර කර තිබෙන බව පෙනෙනවා. සමහර විට සිංහලෙන් ලියන කෙනෙක් නෙමෙයි වෙන්න ඇති. සිංහලෙන් ලියන අය අතරනම් අන්තවාදී ධනවාදී භක්තියක් තිබෙන අය මට කවදාවත්ම හමු වෙලා නැහැ. ඇමරිකාවේදීනම් එවැනි අය හමු වෙනවා. 

උඩම රූපයේ තිබෙන්නේ රොබට් ඔවෙන් විසින් සැලසුම් කළ, හදා නිම කළ නොහැකි වූ උතෝපියාව.

Wednesday, March 3, 2021

රත්තරන් මංකොල්ලය


සල්ලි කියන්නේ මොනවාද? සත්තු සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. මිනිස් සතා පරිණාමය හරහා අනෙක් සතුන්ගෙන් වෙනස් සතෙක් විදිහට බිහි වෙද්දී සල්ලි කියා හැඳින්විය හැකි දෙයක් තිබුණේ නැහැ. එහෙත්, මිනිස් සමාජය පරිණාමය වෙද්දී සල්ලි කියන සංකල්පය හොයා ගත්තා. මිනිස්සු සල්ලි හොයා ගැනීම කියන එක මිනිස්සු ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීම කියන එකට සමාන්තරව තේරුම් ගන්න පුළුවන්.

මුල්ම කාලයේදී ප්‍රාග්ධනය කියා කියන්නේ මොන වගේ දෙයක්ද? සමහර විට මරා ගත්ත ලොකු සතෙක්. සමහර විට ආයුධයක් ලෙස යොදා ගත හැකි ගල් පතුරක්. ඔය මොකක් වුනත් ප්‍රාග්ධනය කියන්නේ ශ්‍රමය වැය කර ලබාගත යුතු දෙයක්. 

සල්ලි කියන්නේත් එවැනිම දෙයක්. ශ්‍රමය වැය කර හදා ගත් ගල් ආයුධයක් ශ්‍රමය වැය කර මරා ගත් සතෙක් එක්ක හුවමාරු කර ගනිද්දී සතා වගේම ගල් පතුරත් සල්ලි බවට පත් වෙනවා. මුල් කාලයේදී සල්ලි වුනේ ඔය වගේ වැඩක් තියෙන, පරිභෝජනය කළ හැකි භාණ්ඩ. සල්ලි කියා මම කිවුවත් මෙහිදී අදාළ භාණ්ඩයම හුවමාරු වෙනවා මිසක් සල්ලි කියා විශේෂ හෝ අමුතු දෙයක් නැහැ.

කාලයක් හද්දී මේ ක්‍රමය ටිකෙන් ටික වෙනස් වුනා. සමහර භාණ්ඩ ගනුදෙනු වලදී භාවිතා වුනේ ඒ වෙලාවේ පරිභෝජනය කරන්න අවශ්‍ය වූ නිසා නෙමෙයි. පසුව ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි වූ නිසා.

මහන්සියෙන් හදාගත් ගල් ආයුධ දීලා මරපු සත්තු ලබාගන්න පුළුවන් වුනත් ඒ  මරපු සත්තු කාලයක් තියා ගන්න බැහැ. ධාන්‍ය වගේ දෙයක් ලබා ගත්තොත් කාලයක් තියා ගන්න පුළුවන්. මරපු සතෙක් අවශ්‍යවූ වෙලාවට ධාන්‍ය සමඟ හුවමාරු කර ගන්නත් පුළුවන්. ඔය විදිහට මිනිසුන් අතර ගනුදෙනු වැඩි වීම, ප්‍රාග්ධනය රැස් වීම වගේම ගනුදෙනු හරහා මිනිසුන් අතර සාමූහිකත්වය වර්ධනය වීම කාලයක් තිස්සේම සිදු වුනු දෙයක්.

මුල් කාලයේදී මුදල් හැටියට භාවිතා වුනේ කාලයක් සුරක්ෂිතව තබා ගත හැකි අතරම යම් පරිභෝජන වටිනාකමක් තිබුණු දේවල්. කාලයත් සමඟ මේ වැඩේට යොදාගත් දේවල් අතරින් රත්තරන් මුල් තැනට පත් වුනා. 

රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුර

රත්තරන් වලින් ප්‍රයෝජනයට ගත හැකි විවිධ දේ හැදිය හැකියි. රත්තරන් මාල, මුදු, කරාබු, දේව රූප, ඔටුනු, රන් ත්‍රිශූල, රත්තරන් අස්සයෝ ඔය ඕනෑ දෙයක්. රත්තරන් සියවස් ගාණක් වුනත් තියා ගන්න පුළුවන්. නරක් වෙන්නේ නැහැ. ඒ නිසා, විවිධ විකල්ප අතරින් මුදල් විදිහට රත්තරන් උඩට ආපු එක පුදුමයක් නෙමෙයි. හැම රටකම රත්තරන් නිධි නොතිබීම මෙයට බාධාවක් වුනේ නැහැ. 

රත්තරන් නරක් නොවුනත් හොර හතුරන්ගෙන් පරිස්සම් කර ගෙන එහා මෙහා ගෙන යන එක ටිකක් අමාරු වැඩක්. කෝච්චියක යද්දී මාලේ කඩා ගන්න බැරි නැහැනේ. ලොකු රත්තරන් ප්‍රමාණයක් ෂොපින් බෑග් එකක දාගෙන බස් එකේ ගෙනිච්චොත් කොහොමද? 

ඔය වගේ ප්‍රශ්න නිසා ගනුදෙනු වලදී රත්තරන් භාවිතය වෙනුවට රන් සහතික භාවිතය ජනප්‍රිය වෙන්න ගත්තා. දැන් කවුරු හෝ වෙළෙන්දෙක් ධාන්‍ය මිල දී ගත්තහම රන් වලින් ගෙවන්නේ නැතිව, රන් වල අයිතිය සහතික කළ ලියවිල්ලක් දෙනවා. "මා සතුව ඔබේ රන් මෙපමණ තිබෙනවා" වගේ. වෙළෙන්දා විශ්වාසනම් ප්‍රශ්නයක් නැහැනේ. කැමති වෙලාවක ගිහින් තමන්ට ලැබිය යුතු රත්තරන් ටික ඉල්ල ගන්න පුළුවන්.

මේක හරියට ඉඩම් ඔප්පුවක් වගේ. ඉඩම් ඔප්පුවක් කියන්නේ කිසිම වටිනාකමක් නැති කඩදාසි ටිකක් විතරයිනේ. නමුත්, ඉඩමක ඇත්ත වටිනාකමක් තියෙනවා. ඒ ඇත්ත වටිනාකම ඔප්පු කිරීමට තිබෙන සාක්ෂිය තමයි ඉඩම් ඔප්පුව.

මුල් කාලයේ මුදල් නෝට්ටු කියා කියන්නෙත් ඔය ඉඩම් ඔප්පු වගේම දෙයක්. කාට හෝ කෙනෙක්ට බැංකුවක රත්තරන් තැන්පත් කරලා ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබා ගන්න පුළුවන්. මේ මුදල් නෝට්ටු නිකම්ම නිකම් කඩදාසි  පමණයි. නමුත්, බැංකුවේ තිබෙන රත්තරන් වල අයිතිය තහවුරු කරන්නේ ඔය නෝට්ටු. කැමති වෙලාවක බැංකුවට නෝට්ටු දීලා රත්තරන් ආපහු ගන්න පුළුවන්.

නෝට්ටු ලබා ගන්න බැංකුවට දෙන්න රත්තරන් හොයා ගන්නේ කොහොමද? එක්කෝ රත්තරන් හාරලා හොයා ගන්න ඕනෑ. එහෙම නැත්නම් හාරලා හොයා ගත්ත කෙනෙක්ට වෙන මොනවා හෝ ප්‍රයෝජනවත් දෙයක් දීලා ලබා ගන්න ඕනෑ. ඔය කොයි විදිහට ලබා ගත්තත් රත්තරන් කියා කියන්නේ ශ්‍රමය වැය කර අයිති කර ගත යුතු දෙයක්. ඒ කියන්නේ රත්තරන් හුවමාරුවට ලැබෙන නෝට්ටුත් ශ්‍රමය වැය කර අයිති කර ගත යුතු දෙයක්. සෘජුව නැතත් වක්‍ර ලෙස හෝ මේ කඩදාසි වල සැබෑ වටිනාකමක් තිබෙනවා. 

මේ වෙද්දී ලෝකයේ බොහෝ රටවල මුදල් නෝට්ටු නිකුත් කිරීමේ ඒකාධිකාරය තියෙන්නේ රටේ මහ බැංකුවට. සමහර විට රටවල් ගණනාවකට පොදු එක මහ බැංකුවකට. සමහර විට මුදල් අධිකාරියකට.

කාලයකට පෙර මහ බැංකු විසින් මුදල් නිකුත් කළේ තමන් සතු රන් සංචිත වල වටිනාකමට යම් ආකාරයකින් ගලපමින්. එක්කෝ එම මුළු වටිනාකමම හෝ එයින් යම් අවම ප්‍රතිශතයක් රන් වලින්ම තියා ගන්නවා. එහෙම නැත්නම් විදේශ මුදලකින් තියා ගන්නවා. විදේශ මුදල නිකුත් කළ මහ බැංකුවත් එහි වටිනාකමට රන් සංචිත ගැලපීමක් කර තිබෙන නිසා ඔය දෙකේ වෙනසක් නැහැ. සල්ලි නිකම්ම කඩදාසි වුනත් එහි සැබෑ වටිනාකමක් තිබෙනවා. 

ලංකාව පැත්තකින් තියලා ඇමරිකාව ගම්මුකෝ. 1933 වන තුරු ඇමරිකන් ඩොලරය හා රන් වටිනාකම අතර සෘජු සම්බන්ධයක් තිබුණා. ඇමරිකානුවන්ට කැමති පරිදි ඩොලර් හෝ රත්තරන් තියා ගැනීමේ නිදහස තිබුණා. ඒ නිසා කවුරු හෝ කෙනෙක් රත්තරන් ඩොලර් කළේ පැවති රන් මිල යටතේ ඩොලර් හා රත්තරන් වල වටිනාකම් සමාන සේ සැලකූ නිසයි. 

ඩොලර් ගන්න දිය යුතු රත්තරන් තරමට ඩොලර් වටින්නේ නැතැයි සිතූ කෙනෙක්ට තමන්ගේ වත්කම් ඩොලර් වලට මාරු නොකර රත්තරන් විදිහටම තියාගන්න පුළුවන්කම තිබුණා. නමුත්, යුද තත්ත්වයක් යටතේ ලැබුණු බලතල මත 1933 අප්‍රේල් 5 වනදා නිකුත් කළ ජනාධිපති රූස්වෙල්ට්ගේ විධායක නියෝගයක් මගින් සියලුම ඇමරිකානුවන්ට තමන් සතු වූ රත්තරන් 1933 මැයි 1 දිනට පෙර ඇමරිකාවේ මහ බැංකුව වූ ෆෙඩරල් සංචිත බැංකුවට ලබා දීමට නියෝග කෙරුණා.

රත්තරන් කිවුවහම රත්තරන් විතරක්ම නෙමෙයි. බැංකු වල තිබුණු රත්තරන් වල අයිතිය වෙනුවෙන් ලබා ගෙන තිබුණු රන් සහතිකපත්ද ෆෙඩරල් සංචිත බැංකුවට ලබා දිය යුතු වුනා. රන් ආභරණ ආදිය හැර විශාල ප්‍රමාණ වලින් රන් ළඟ තබා ගැනීම මේ නියෝගය අනුව දැඩි දඬුවම් ලැබිය හැකි, නීති විරෝධී කටයුත්තක් වුනා. 

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපනය කළේ 1913 අවුරුද්දේදී. මුල සිටම වුනත් ෆෙඩරල් සංචිත බැංකුව විසින් නිකුත් කළ ඩොලර් වල වටිනාකමටම රත්තරන් තියා ගන්න අවශ්‍ය වුනේ නැහැ. එහෙත්, අවම වශයෙන් නිකුත් කළ මුදල් වලින් 40%ක වටිනාකමට රත්තරන් සංචිත පවත්වා ගත යුතු වුනා. 1933 වන කොට ෆෙඩරල් සංචිත බැංකුව විසින් මේ පදනම මත නිකුත් කළ හැකි මුදල් ප්‍රමාණය මුළුමනින්ම වගේ නිකුත් කරලයි තිබුණේ. 

මහ බැංකුවේ තිබෙන රත්තරන් ප්‍රමාණයට සාපේක්ෂව සංසරණයට එකතු කරන ඩොලර් ප්‍රමාණය වැඩි වෙද්දී රත්තරන් වලට සාපේක්ෂව ඩොලර් එකක අගය පහළ බහිනවා. ඩොලර් නෝට්ටු වලට වඩා රත්තරන් වටින බව තේරිලා තිබුණු නිසා මිනිස්සු තමන්ගේ වත්කම් රත්තරන් වලින් තියා ගන්න පටන් ගත්තා. මිනිස්සුන්ගේ රත්තරන් මහ බැංකුවට ගන්න නියෝග කරන්න සිදු වුනේ ඒ නිසයි.

මහ බැංකුව විසින් පවරාගත් රත්තරන් වෙනුවෙන් අවුන්සයකට ඩොලර් 20.67 බැගින් ගෙවීමක් කළා. ඉන් පසුව එක් පුද්ගලයෙකුට ලඟ තබා ගත හැකි වූයේ ඩොලර් 100කට අඩු වටිනාකමක් තිබෙන රත්තරන් පමණයි. ඒ කියන්නේ අවුන්ස 5කට ටිකක් අඩු ප්‍රමාණයක්. ඉන් පසුව ඇමරිකානුවන්ට තමන්ගේ වත්කම් රත්තරන් වලින් තබා ගැනීම, රත්තරන් ගනුදෙනු සඳහා යොදා ගැනීම, රටින් පිට කිරීම ආදිය තහනම් වුනා. මේ තහනම් ටිකෙන් ටික ඉවත් වුනේ 1965 වසරේ සිටයි.

මුදල් විදිහට රත්තරන් භාවිතා කිරීමේ විකල්පය නැති වුනාට පස්සේ ඇමරිකානුවන්ට ගනුදෙනු කිරීම සඳහා තිබුණු එකම විකල්පය ඩොලරයයි. රාජ්‍ය බලහත්කාරය හරහා ඩොලරයට ඒකාධිකාරයක් හැදුනා. මේ ඒකාධිකාරය ඇමරිකානු රජය ශක්තිමත් කිරීමට වගේම ඇමරිකාවේ ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමටත් අද දක්වාම උපකාරී වෙනවා. 

මේ වෙද්දී රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1,800ක් පමණ වෙනවා. 1933දී ඇමරිකාවේ රජයේ නියෝගය අනුව තමන්ගේ රත්තරන් ෆෙඩරල් සංචිත බැංකුවට භාර දුන්න ඇමරිකානුවන්ට ලැබුනේ ඩොලර් 20කට පොඩ්ඩක් වැඩියෙන්. ඒ වෙලාවේ ලැබුණු ඩොලර් විස්සේ කොළයක් අද වෙනකම් තියා ගත්තානම් එහි වටිනාකම අදටත් ඩොලර් විස්සම තමයි. පරණ නෝට්ටු එකතු කරන කෙනෙක් සමහර විට කීයක් හරි වැඩියෙන් දෙයි. 

මේ ගණන් දෙක අතර වෙනස, ඒ කියන්නේ ඉතිරි ඩොලර් 1,780, ඇමරිකානු රජය හා මහ බැංකුව එකතු වී පහුගිය කාලය පුරා ඇමරිකානුවන්ට නොදැනී ඇමරිකානුවන්ගේ පොකට් ගහපු මුදලක්. ලෝකයේ අනෙක් රට වලත් ඔය වැඩේම වෙනවා. එය සිදු වෙන්නේ සල්ලි අච්චු ගැහීම හරහා. 

ඇමරිකානුවන් සතුව තිබුණු රත්තරන් ටික එකතු කර ගෙන අවුන්සයට ඩොලර් 20.67 බැගින් ඩොලර් නෝට්ටු දීලා අනෙක් අතට  ඇමරිකන් රජය ඩොලරයේ අගය අවප්‍රමාණය කළා. 1933 මැයි එක සිට සාමාන්‍ය පුද්ගලයින්ට රත්තරන් ළඟ තබා ගන්න බැරි වුනත් මොනවා හෝ වැඩකට රත්තරන් අවශ්‍ය වූ අයෙකුට අවශ්‍යතාවය පෙන්වා ඩොලර් 20.67 බැගින් ෆෙඩරල් සංචිත බැංකුවෙන් රත්තරන් මිල දී ගන්න පුළුවන්කම තිබුණා. ඒ දවස් වල මිනිස්සු රත්තරන් දත් දැම්මනේ. ලංකාවෙත් සමහර අය දැම්මේ. ඔය රත්තරන් දත් හදන්න වගේ වැඩකට දන්ත වෛද්‍ය වරයෙකුට අවශ්‍යනම් ෆෙඩරල් සංචිත බැංකුවෙන් ඉහත මිලට රත්තරන් මිල දී ගන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ ඩොලරයක වටිනාකම රත්තරන් අවුන්සයකින් 22.67න් පංගුවක් ලෙස තව දුරටත් පැවතුණා. හැබැයි බොහොම ටික කාලයයි.

1934 ජනවාරි 30 සිට බලාත්මක කෙරුණු නීතියකින් රත්තරන් අවුන්සයක මිල ඩොලර් 35කට සමාන කෙරුණා. ඒ එක්කම, එතෙක් පැවති ඩොලර් දීලා අවශ්‍යතාවයකට මහ බැංකුවකින් රත්තරන් මිල දී ගන්න තිබුණු හැකියාවත් ඇමරිකානුවන්ට නැති කරනු ලැබුවා. වෙනත් විදිහකට කිවුවොත් ඩොලර් 22.67 බැගින් රටේම තිබුණු රත්තරන් ටික බලහත්කාරයෙන් එකතු කර ගෙන ඒ වෙනුවට මිනිස්සුන්ට ඩොලර් නෝට්ටු දුන්නට පස්සේ ඇමරිකන් රජය ඒකපාර්ශ්විකව ඒ ඩොලර් එක බාල්දු කළා. 

අපි මෙහෙම කියමුකෝ. ඔය රත්තරන් එකතු කර ගැනිල්ල වෙද්දී කවුරු හෝ ඇමරිකානුවෙකුට රත්තරන් අවුන්සයක් දීලා බඩු මල්ලක් ගන්න පුළුවන්කම තිබුණානම් ඩොලර් 20.67ක් දීලත් ඒ බඩු මල්ලම ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඩොලර් එක බාල්දු කළාට පස්සේ දැන් මේ බඩු මල්ල ගන්න ඩොලර් 35ක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අතේ තිබුණු රත්තරන් අවුන්ස 1.69ක් වෙනුවෙන් ලැබුණු ඩොලර් ප්‍රමාණය. රත්තරන් අවුන්සයක් දීලා මිල දී ගත හැකිව තිබුණු බඩු ටික ගන්න දැන් රත්තරන් අවුන්ස 1.69කට සමාන ඩොලර් ඕනෑ. ඩොලර් වල වටිනාකම 41%කින් අඩු වෙලා.

මේක සමාන කරන්න පුළුවන් වෙන්නේ 41%ක බද්දක් අලුතින් අය කරන එකටයි. නමුත්, බදු විදිහට නැතිව සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ගේ පොකැට් එකට ගැහුවම ඕක මිනිස්සුන්ට එක පාරට තේරෙන්නේ නැහැ. උද්ධමනය කියන්නේ නිහඬ මාරයෙක්. බදු වගේ එක පාරට මරන්නේ නැහැ. ටික ටික මැරෙන්න අරින්නේ.

ඇමරිකානුවන් අතේ තිබුණු රත්තරන් ෆෙඩරල් සංචිත බැංකුවට ගන්න අවශ්‍ය වුනේ ඒ වෙද්දී තිබුණු නීතිය අනුව ඩොලර් එළියට දැමිය හැකි වුනේ ඩොලර් වල වටිනාකමෙන් 40%කට සමාන රත්තරන් බැංකුවේ සංචිත වල තියාගෙන පමණක් වූ නිසා. එතෙක් කල් ඩොලර් එළියට දමන්න පුළුවන් වුනේ කවුරු හරි තමන්ගේ කැමැත්තෙන්ම රත්තරන් ගෙනත් දීලා ඩොලර් ඉල්ලුවොත් පමණයි. 1933 නියෝගය අනුව බලහත්කාරයෙන් රත්තරන් ලබා ගෙන ඩොලර් එළියට දමන්න පුළුවන් වුනා. හැබැයි එහෙම කරලත් ඩොලර් එළියට දමන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඩොලර් එක බාල්දු කරපු ගමන්ම ෆෙඩරල් සංචිත බැංකුවට ඩොලර් ප්‍රමාණය 69%කින් වැඩි කරන්න පුළුවන් වුනා. 

ඔය වැඩේ ඔතැනින් නැවතුනේ නැහැ. ෆෙඩරල් සංචිත බැංකුව දිගින් දිගටම සල්ලි අච්චු ගහමින් ඩොලර් එක බාල්දු කළා. රත්තරන් අවුන්සයක මිල ඩොලර් 35 විදිහට නමට තිබුනත් ඒ මිලට ගන්න රත්තරන් කොහේවත් තිබුණේ නැහැ. ෆෙඩරල් සංචිත බැංකුව හෝ ෆෙඩරල් සංචිත බැංකුවේ රත්තරන් පසුව අයිති කරගත් ඇමරිකන් රජය ඇමරිකානුවන්ට මේ රත්තරන් කවදාවත් ආපසු දුන්නේ නැහැ. නමුත්, විදේශ රටවල් එක්ක මේ මිලට රත්තරන් හුවමාරු කර ගත්තා. ගොඩක් රටවල් ඇමරිකාවට රත්තරන් විකුණලා අවුන්සයට ඩොලර් 35 ගානේ ලබා ගත්තා. රත්තරන් අවශ්‍ය වෙලාවට ඩොලර් දීලා ආපහු රත්තරන් ගත්තා. 

කාලයක් මේ වැඩේ ඔය විදිහට ගියා. රට ඇතුළේ කොහොම වුනත් රටින් පිටට ඩොලර් 35ක රන් අවුන්සයකට වඩා වටිනාකමක් තිබුණු නිසා ඇමරිකාවේ රත්තරන් එකතු වෙලා ඩොලර් ඇමරිකාවෙන් පිටට ගියා. ලෝකය පුරාම ඇමරිකන් ඩොලරය ව්‍යාප්ත වුනා. එහෙත්, 1970 පමණ වෙද්දී ඩොලර් එකට තිබුණු ඉල්ලුම අඩු වුනා. අනෙක් රටවල් ඩොලර් දීලා රත්තරන් ආපහු ගන්න පටන් ගත්තා. ඇමරිකාවට ඩොලර් හා රත්තරන් එක්ක තිබුණු සම්බන්ධය කඩලා දමන්න වුනා. රත්තරන් මිල නිදහසේ තීරණය වෙන්න ගත්තා. වෙනත් විදිහකින් කිවුවොත් රත්තරන් වලට සාපේක්ෂව ඩොලර් එකේ මිල නිදහසේ තීරණය වෙන්න ගත්තා.

දැන් රත්තරන් අවුන්සයක් ඩොලර් 1,800ක්. 1933දී රජයට ගත්ත රත්තරන් අවුන්සයක් වෙනුවෙන් දුන්න කඩදාසි කොළේ වටිනාකම තවමත් ඩොලර් විස්සමයි. ඩොලර් වෙනුවට රත්තරන් අතේ තියා ගන්න පුළුවන් වුනානම් අද වෙද්දී ඩොලර් 1,800ක වටිනාකමක් තිබෙනවා. ඉතුරු ඩොලර් 1,780ම බදු නොකියා ගහපු බදු. ඔය වැඩේ තවමත් දිගින් දිගටම වෙනවා. ඇමරිකාවේ විතරක් නෙමෙයි. වෙන රටවලත්.

Tuesday, March 2, 2021

මනෝරාජික සමාජවාදය


අජිත් ධර්මා අප මේ වියුණුව පටන් ගත් කාලයේ සිටම අප සමඟ සංවාද කරන අයෙක්. අප සමඟ වැඩිපුරම සංවාද කර තිබෙන්නේ ඔහු විය හැකියි. මෑතක දී ඔහු තමන්ව මනෝරාජික සමාජවාදියෙකු ලෙස හඳුන්වා ගෙන තිබුණා. බොහෝ විට ඔහුගේ පැත්තෙන් මෙය අලුත් හඳුන්වා ගැනීමක් නොවෙන්න ඇති. එහෙත් මෙවැන්නක් මීට පෙර මගේ අවධානයට යොමු වී තිබුණේ නැහැ.

මනෝරාජික සමාජවාදය ගැන ලොකුවට කතා කරන්න මගේ අදහසක් නැහැ. කාමරයේ අලි ඉඳිද්දී අලින්ගේ ඇඟේ ඉන්න කටුස්සන් ගැන කතා කරන්න කාලය යොදවන එකේ තේරුමක් නැහැ. මෙයින් අදහස් කළේ මනෝරාජික සමාජවාදය කියන්නේ කතා කරන්නවත් නොවටිනා කටුස්සෙක් කියන එක නෙමෙයි. කතා කරන එක වඩා වැදගත් අලි කාමරයේ ඉන්නවා කියන එකයි.

මනෝරාජික සමාජවාදය ගැනත් මේ වෙලාවේ පොඩ්ඩක් කතා කළ යුත්තේ අජිත් ධර්මා නිසා නෙමෙයි. සමහර අය තවමත් සමගි පෙරමුණු මාදිලියේ මනෝරාජික සිහිනයක ඉන්න බව පෙනෙන නිසයි. සමගි පෙරමුණු කාලයේ මමත් කුඩා දරුවෙක්. අද ජීවත් වන වයස අවුරුදු පණහක කෙනෙකු වුවත් හැත්තෑ හතේදී අවුරුදු හයක දරුවෙක්. ගොඩක් අය සමගි පෙරමුණු කාලය ගැන හිතන්නේ පැරකුම් යුගය ගැන හිතන විදිහටමයි.

මිනිස්සුන්ට බොහෝ කලක සිට විවිධ මනෝරාජික අදහස් තිබුණා. ඒ ඇතැමුන්ට මනෝරාජික සමාජවාදී සමාජයක් පිළිබඳ අදහස්ද තිබුණා. මේ අදහස් වල ආරම්භය යම් තරමකින් ආගමිකයි. සංඝ සමාජය එක්තරා ආකාරයක සමාජවාදී සමාජයක්.  "අගත අනගත චතුදිස සගස" කියන එකේ "අගත අනගත" කොටස මම ඉතාම කැමති කොටසක්. මෙහි "අනගත" කොටස සමාජවාදීන්ද ඇතුළු බොහෝ දෙනෙකුට මග ඇරෙනවා. ලංකාවේ වත්මන් ණය අර්බුදයට හේතුවත් එයයි. ඉපදෙන්නට ඉන්න අයගේ අයිතිවාසිකම් ගැන බොහෝ දෙනෙක් සංවේදී නැහැ.

සංඝ කියන එකේ අදහසම සාමූහිකත්වයක් කියන එකයි. මේ අදහස බෞද්ධ සම්ප්‍රදායට අනන්‍ය එකක් නෙමෙයි. කතෝලික ඇතුළු අනෙකුත් ආගමික සම්ප්‍රදායයන් ඇතුළේත් ඉතිහාසය පුරා මේ ආකාරයේ සාමූහිකත්වයන් ගොඩ නැගී තිබෙනවා. එවැනි සාමූහිකත්වයන් සියවස් ගණනාවක් පුරා ස්ථායී ලෙස පැවතී තිබෙනවා. මූලධර්මයක් විදිහට මේ ආකාරයේ ආගමික සාමූහිකත්වයක් ඇතුළේ පොදු දේපොළ මිසක් පෞද්ගලික දේපොළ නැහැ. සම්පත් වෙනුවෙන් එකිනෙකා අතර තරඟයක්ද නැහැ.

අජිත්ගේ මනෝරාජික සමාජවාදී ලැයිස්තුවේ මුලින්ම තිබුණු නම් තුන පිළිවෙලින් රොබට් ඔවෙන්, තෝමස් මෝර් හා චාල්ස් ෆුරියේ. මේ තුන් දෙනා විසින්ම නියෝජනය කරන්නේ මාක්ස්ට වඩා පැරණි යුගයක්. මේ අය අතරින් තෝමස් මෝර්ව මම සලකන්නේ ප්‍රබන්ධකරුවෙක් විදිහටයි. ඔහුගේ "යුතෝපියා" යනු මූලික වශයෙන්ම ප්‍රබන්ධයක්. 1516 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණු මේ මේ ප්‍රබන්ධය තුළ "යුතෝපියා" ලෙස නම් කරන්නේ දකුණු ඇමරිකාවට පහළින් පිහිටි මනඃකල්පිත දිවයිනක හැදෙන පරමාදර්ශී සමාජයක්. 

රොබට් ඔවෙන් හා චාල්ස් ෆුරියේ ජීවත් වුනේ තෝමස් මෝර් ජීවත් වූ කාලයෙන් සියවස් කිහිපයකට පසුවයි. මනෝරාජික සමාජවාදීන් ලෙස හැඳින්වුවත් මේ දෙන්නා ඔවුන්ගේ මනෝරාජික සමාජයන් මහ පොළොව මත ඇත්තටම ගොඩ නැගීමට උත්සාහයක් දැරූ අයයි. රොබට් ඔවෙන් විසින් ගොඩ නැගූ සමාජවාදී සමාජය පිහිටි තැනට ඇමරිකාවේ මා ජීවත් වන තැන සිට පැය කිහිපයකින් යා හැකියි. කෝවිඩ් නොවන්නට අප වසරකට කිහිප වරක් මෙම ප්‍රදේශය හරහා යනවා.

සමාජවාදී හෝ වෙනත් අදහස් මත පදනම් වූ මනෝරාජික සමාජ විශාල ප්‍රමාණයක් ඇමරිකාව තුළ වරින් වර ස්ථාපනය කර තිබෙනවා. බොහෝ විට මෙවැනි කාර්යයක් පටන් ගන්නේ ධනවතෙකු විසින් ඉඩම් මිල දී ගැනීමෙන්. වේල්සයේ ධනවත් රෙදි නිෂ්පාදකයෙකු හා මනෝරාජික සමාජවාදියෙකු වූ රොබට් ඔවෙන් විසින්ද මේ ආකාරයෙන් ඔහුගේ ධනය යොදවා ඇමරිකාවේ වත්මන් ඉන්දියානා ප්‍රාන්තයේ කොනක පිහිටි නිවු හාර්මනි නගරය මිල දී ගෙන එහි ඔහුගේ මනෝරාජික සමාජය ඇති කිරීමට උත්සාහ කළා. 

රොබට් ඔවෙන් විසින් මිල දී ගන්න පෙරද නිවු හාර්මනි නගරය යුතෝපියාවක්. එහි සමාරම්භකයා වගේම ඉඩම් මිල දී ගෙන යුතෝපියාවක් පිහිටවූ මුල් අයිතිකරු යොහාන් ජෝජ් රැප්. කණ්ඩායමක් සමඟ ජර්මන් ලුතරන් පල්ලියෙන් කැඩී යන ඔහු හාර්මනි සොසයිටි නමින් අලුත් ආගමික නිකායක් හදනවා. 1814 වසරේදී පෙනිසිල්වේනියාවේ හාර්මනි ප්‍රදේශය හැර යන මේ කණ්ඩායම විසින් ඉන්දියානා ප්‍රාන්තයේ ඉඩම් මිල දී ගෙන නිවු හාර්මනි නමින් ඔවුන්ගේ යුතෝපියාව හදනවා. 1824දී තමන්ගේ ආගමික යුතෝපියාව ලෙස ගොඩ නැගූ නගරය රොබට් ඔවෙන්ට විකුණන හාර්මනි සොසයිටි සාමාජිකයින් නැවත පෙනිසිල්වේනියා ප්‍රාන්තයටම යනවා.

අක්කර 20,000ක් පමණ වූ ඉඩම් හා ගොඩනැගිලි මිල දී ගැනීමට රොබර්ට් ඔවෙන් විසින් ඩොලර් 150,000ක මිලක් ගෙවා තිබෙනවා. ඔහු මේ හරහා අපේක්ෂා කළේ ඔහුගේ න්‍යායාත්මක සමාජවාදය ප්‍රායෝගිකව ගොඩ නැගිය හැකි එකක් බව පෙන්වා දීමයි. ඒ වෙනුවෙන් ඔහු සෑහෙන වැඩ කොටසක් කළත් රොබර්ට් ඔවෙන්ගේ සමාජවාදී පරීක්ෂණය අසාර්ථක වෙන්න අවුරුදු දෙකක්වත් ගියේ නැහැ. අවුරුදු තුනක් යන්නත් කලින් රොබර්ට් ඔවෙන් ඔහු ඇමරිකාවේ හදපු යුතෝපියාව අත ඇරලා ආපහු තමන්ගේ රටටම ගියා.

චාල්ස් ෆුරියේගේ අදහස් මත පදනම්ව ෆුරියේ ව්‍යාපාරය හරහා ඒකරාශි වී සිටි ඔහුගේ අනුගාමිකයන් විසින්ද අසාර්ථක වූ ඔවෙන්ගේ නිවු හාර්මනි පරීක්ෂණයෙන් දශක කිහිපයකට පස්සේ යුතෝපියානු සමාජවාදී සමාජ ගණනාවක් ස්ථාපනය කළා. වත්මන් ටෙක්සාස් ප්‍රාන්තයේ ලා රියුනියන් එවැන්නක්. 

සමාජවාදී වේවා ආගමික වේවා මනෝරාජික අදහස් තිබෙන ගොඩක් අයගේ තේරීම වෙන්නේ ඇමරිකාව වගේ නිදහස් රටක්. මෑතකාලීනව ඕෂෝගේ අනුගාමිකයින් විසින් ඔවුන්ගේ යුතෝපියාව හදන්න තෝරා ගත්තේත් ඇමරිකාව. ඉන්දියාව හෝ ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ. ඇමරිකාවේ තවමත් යුතෝපියාවන් තුළ ජීවත් වන ප්‍රජාවන් ඉන්නවා.

සමාජවාදී වේවා ආගමික වේවා මනෝරාජික අදහස් තිබෙන ගොඩක් අයගේ තේරීම වෙන්නේ ඇමරිකාව වගේ නිදහස් රටක්. මෑතකාලීනව ඕෂෝගේ අනුගාමිකයින් විසින් ඔවුන්ගේ යුතෝපියාව හදන්න තෝරා ගත්තේත් ඇමරිකාව. ඉන්දියාව හෝ ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ. ඇමරිකාවේ තවමත් යුතෝපියාවන් තුළ ජීවත් වන ප්‍රජාවන් ඉන්නවා.

ෆුරියේවාදීන් විසින් 1840 දශකයේදී ඇමරිකාව තුළ ලා රියුනියන් වැනි ඔවුන්ගේ පැලන්ස්ටරි (phalansteries/phalanxes) හතළිහක් පමණ හදා තිබෙනවා. මේවායින් බොහොමයක්ම වසර දෙක තුනක් යද්දී බිඳ වැටී තිබෙනවා. 1850 වන විට සියල්ලම බිඳ වැටී අවසන්. 

බෞද්ධ සංඝ සමාජය වැනි සාමූහිකත්වයන් සාර්ථක ලෙස සියවස් ගණනාවක් තිස්සේ පැවතී තිබෙනවා. එහෙත්, සමාජවාදය හෝ වෙනත් මනෝරාජික න්‍යායයන් මත පදනම් වූ සාමූහිකත්වයන් එසේ ස්ථායී ලෙස වැඩි කලක් පැවතී නැහැ. බෞද්ධ සංඝ සමාජයේ සාමූහිකත්වය ඔවෙන්වාදීන්ගේ හෝ ෆුරියේවාදීන්ගේ සාමූහිකත්වයන් මෙන් සංවෘත පද්ධතියක් නෙමෙයි. එවැන්නක් ස්ථායී ලෙස පවතින්නේ බාහිර සමාජය සමඟ පවත්වාගන්නා සහජීවනය තුළයි. සංඝ සමාජයට අයිති භෞතික සම්පත් කිසිවක් එම සමාජය තුළ නිර්මාණය කර ගත් දේවල් නොවන නිසා සාමූහිකයේ කිසිදු සාමාජිකයෙකුට එම භෞතික සම්පත් වල පෞද්ගලික අයිතියක් නොතිබීම ඉතාම තර්කානුකූලයි.

මෙයින් වෙනස්ව ඔවෙනියානු හා ෆුරියේවාදී සාමූහිකයක් සංවෘත පද්ධතියක්. සාමූහිකය සඳහා අවශ්‍ය සම්පත් එම සාමූහිකය තුළම නිර්මාණය කර ගත යුතුයි. ඔවෙන්ගේ හා ෆුරියේගේ අනුගාමිකයින්ගේ (ෆුරියේවාදීන් විසින් පැලන්ස්ටරි හදන විට ෆුරියේ මිය ගිහින්) පරීක්ෂණ වලින් පෙනී ගියේ පොදු දේපොළ ක්‍රමය මත පදනම් වූ සංවෘත සාමූහිකත්වයක් ස්ථායී ලෙස පවත්වා ගැනීම අසීරු බවයි. 

ෆුරියේට ඔහුගේම න්‍යායික පදනමක් තිබුණා. එය පසුකාලීන මාක්ස්වාදයට වඩා ගොඩක් වෙනස්. ෆුරියේවාදය මත පදනම් වූ පැලන්ස්ටරි වල අතිරික්තය බෙදුවේ නිශ්චිත අනුපාතයකටයි (pp. 77).

ශ්‍රමය වෙනුවෙන් 5/12ක්  

ප්‍රාග්ධනය වෙනුවෙන් 4/12ක් 

කුසලතා වෙනුවෙන් 3/12ක් 

ප්‍රාග්ධනය වෙනුවෙන් 4/12ක් කියන එකෙන් අදහස් වෙන්නේ මා විසින් පෙර විස්තර කර තිබෙන කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ α = 1/3 ලෙස ඔහු විසින් සලකා ඇති බවයි. 

මනෝරාජික සමාජවාදී අදහස් දරුණුවටම විවේචනය කළේ මාක්ස් හා පසුකාලීන මාක්ස්වාදීන් විසිනුයි. මාක්ස්වාදීන්ගේ මූලිකම ලියවිල්ලක් වන කොමියුනිස්ට් ප්‍රකාශනයේද රොබට් ඔවෙන්ගේ හා චාල්ස් ෆුරියේගේ මනෝරාජික සමාජවාදී අදහස් සෘජුවම විවේචනයට ලක් වෙනවා. දැනට ඇති. ඉදිරි ලිපියකින් වැඩි විස්තර කතා කරමු.

Reference:

Hillquit, M. (1910). History of socialism in the United States. Funk & Wagnalls Company.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...