වෙබ් ලිපිනය:

Tuesday, October 15, 2019

කෘතිම බුද්ධිය හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය


සජිත්ලාගේ මෙගා මයින්ඩ්ස් තොරණ ගැන ලියපු ලිපිය හා අදාළව ප්‍රතිචාරයක් දමමින් පරිණත බ්ලොග්කරුවෙකු වන ජාලිය විසින් ප්‍රශ්නයකින් අවසන් වන පහත කමෙන්ටුව වත්පොතේ දමා තිබුණා.

"මට එකපාරටම මතක් උනේ අර දොස්තර හොඳ හිත කාටුන් එකේ කැප්ටන් දියරකුස්ගේ ආර් ටූ ඩී ටූ කොම්පියුටර් එක...මට මේ විහිලුවට වඩා ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. කෘතිම බුද්ධිය භාවිතය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා ගැලපෙන්නේ කොහොමද..ඒ තීරණවලට වගවීම ගලපා ගන්නේ කොහොමද කියන එක මොකක්ද ඔබේ අදහස?"

පළමුවෙන් කියන්නේ ඕනෑ, සජිත්ගේ මෙගා මයින්ඩ්ස් තොරණ කිසිසේත්ම කෘතිම බුද්ධිය රාජ්‍ය පාලනය සඳහා යොදා ගැනීමක් නෙමෙයි. තොරණේ විච්චූරණ ටික අයින් කළොත්, තොරණ පිටුපස්සේ තිබෙන සංකල්පය ඇතුළේ රාජ්‍ය පාලනය සඳහා වඩා පුළුල් පදනමකින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය යොදාගැනීම කියන අදහස තියෙනවා. එය හොඳ අදහසක්. නමුත්, අලුත් අදහසක් නෙමෙයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය යොදාගැනීම කියන්නෙත් කෘතිම බුද්ධිය යොදා ගැනීම කියන්නෙත් කරුණු දෙකක්.

කෘතිම බුද්ධිය කියන වචනයෙන් සාමාන්‍යයෙන් පොදුවේ අදහස් වන්නේ මෙතෙක් මිනිස් මොළය යොදවා සිදු කළ ඇතැම් කටයුතු හා ගත් තීරණ පරිගණකයකට භාර දීමයි. එසේ මිනිස් මොළය වෙනුවට පරිගණකයක් ආදේශ කිරීමෙන් අපේක්ෂා කරන වාසි අතර වැඩි නිරවද්‍යතාවය, වේගය හා අඩු වියදම කියන කරුණු තුනෙන් එකක් හෝ කිහිපයක් තිබෙනවා. නැත්නම් තේරුමක් නැහැනේ.

මානව ඉතිහාසයේ අති දීර්ඝ කාලයක් පුරාවට මිනිසුන්ගේ නිෂ්පාදන ධාරිතාව මාංශ පේශි වල ශක්තිය විසින් සීමා කෙරුණා. කොයි තරම් ශක්තිමත් මිනිසෙකුට වුවත් යෙදවිය හැකි වූ උපරිම ශක්තිය ප්‍රමාණවත් වුනේ සීමිත නිෂ්පාදන කාර්යයක් සඳහා පමණයි. මාංශ පේශි වල ශක්තිය වැය වන විට නැවත ඒ ශක්තිය ප්‍රතිස්ථාපනය කර ගැනීම සඳහා හදපු නිෂ්පාදන වලින් විශාල කොටසක් නැවත වැය කිරීම අවශ්‍ය වූ නිසා මේ යුගයේදී ප්‍රාග්ධනය එකතු කර ගැනීම පහසු කටයුත්තක් වුනේ නැහැ. බොහෝ විට යමෙකුට එසේ කළ හැකි වුනේ වෙනත් අයෙකුගේ මාංශ පේශි ශක්තිය යොදවා හදන නිෂ්පාදනයක අතිරික්තය "සූරාකෑම" මගිනුයි.

එහෙත් මේ වන විට නිෂ්පාදන කාර්යයන් සඳහා මාංශ පේශි වල ශක්තිය යොදා ගැනෙන්නේ ඉතාම සීමිතවයි. සමාජයක් විදිහට අප සතු නිෂ්පාදන ධාරිතාව ලෝකයේ සියලුම මිනිසුන්ගේ මාංශ පේශි වල ශක්තිය යොදවා කළ හැකි උපරිම නිෂ්පාදනය මෙන් සිය දහස් ගුණයක්. අපි දැන් කරන්නේ අපේ මාංශ පේශි වලට නිවාඩු දී යන්ත්‍ර සූත්‍ර විසින් අප විසින් කලින් කළ දේවල් කරන හැටි බලා ඉන්න එකයි. සතියක් පුරා ඇඳපු කිළුටු රෙදි ටික එකතු කර ගෙන ගඟට ගිහින් ගලේ ගසා අතුල්ලා සෝදා අවුවේ දමා වේලාගන්න කාලය නොයොදවා රෙදි සෝදන හා වේලන යන්ත්‍රයක් විසින් ඒ කටයුතු කර දෙන තුරු පැත්තකට වී විවේක ගන්න දැන් අපට පුළුවන්. එසේ වුවත්, මේ යන්ත්‍ර වලට හිතන එක හෝ තීරණ ගන්න එක කරන්න බැහැ. ඒ නිසා, හිතන්න හෝ තීරණ ගන්න අවශ්‍ය කාර්යයන් අප විසින්ම කර ගත යුතුයි.

කෘතිම බුද්ධිය යොදා ගැනීමේදී වෙන්නේ මෙතෙක් අප විසින්ම කර ගත් හිතීමට හා තීරණ ගැනීමට අවශ්‍ය කටයුතුත් යන්ත්‍ර වලටම පැවරීමයි. එහෙත්, එක දෙයක් පැහැදිලි කළ යුතුයි. පරිගණකයකට හෝ වෙනත් යන්ත්‍රයකට මිනිසෙකුට මෙන් හිතන්න බැහැ. කෘතිම බුද්ධිය කියා කියන්නේ මිනිසුන් විසින් කරන හිතීමට හා තීරණ ගැනීමට ආදේශකයක් වුවත් යන්ත්‍රයක් විසින් මිනිසෙකු මෙන් හිතීම හෝ තීරණ ගැනීම නෙමෙයි. බොහෝ විට කෘතීම බුද්ධිය කියන එකෙන් අදහස් වෙන්නේ ඇතැම් කාර්යයන්හිදී මිනිස් මොළයට වඩා කාර්යක්ෂම ඉතා සංකීර්ණ පරිගණක වැඩ සටහනක්.

උදාහරණයක් විදිහට කෘතිම බුද්ධිය භාවිතයෙන් ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථයක් පෙන්වන්න පුළුවන්. වාහනයක් ධාවනය කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක්. ඒ සඳහා අඛණ්ඩ අවධානය සමඟ ක්ෂණික විශ්ලේෂණ හා තීරණ ගැනීමේ හැකියාව රියැදුරෙකුට අවශ්‍යයි. මේ වන විට මේ සියල්ල මිනිසෙකුට වඩා හොඳින් පරිගණකයකට කළ හැකියි.

තවත් උදාහරණයක් විදිහට ගුවන් තොටුපලකදී ගමන් බලපත්‍රය හා වීසා පරීක්ෂා කර රටට ඇතුළු වෙන්න අවසර දීමේ කාර්යය පෙන්වන්න පුළුවන්. දැනටමත් කෙරෙන මෙවැනි කටයුතු වලට අමතරව කෘතීම බුද්ධිය යොදාගෙන වෛද්‍යවරයෙකු විසින් කරන රෝග විනිශ්චය වැනි දේවල් වුවත් කළ හැකියි.

රාජ්‍ය පාලනයේදී කෘතිම බුද්ධිය යොදා ගත හැක්කේ කවර ආකාරයකටද?

මෙහිදී අප විසින් මුලින්ම විමසිය යුත්තේ රාජ්‍ය පාලනයේදී කෘතිම බුද්ධිය යොදා ගත යුත්තේ කවර තත්ත්වයන් යටතේද කියන එකයි. මුලින් කියූ පරිදි, රාජ්‍ය පාලනය සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමෙන් නිරවද්‍යතාවය, වේගය හා අඩු වියදම කියන වාසි තුනෙන් එකක් (හෝ කිහිපයක්) ලැබෙන්න පුළුවන්. කෘතිම බුද්ධිය යොදා ගැනීම නිසා වියදම අඩු වෙනවානම් එහි ගැටළුවක් නැහැ. එහෙත්, ලැබෙන්නේ මුල් වාසි දෙකෙන් එකක්නම් ඒ වාසි වෙනුවෙන් කොපමණ මුදලක් වැය කළ යුතුද කියන එක ගැන රජයක් විසින් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම වැඩි වූ නිරවද්‍යතාවයේ හෝ වේගයේ වාසිය වෙනුවෙන් වැඩි වූ පිරිවැය දරන්න රටේ මිනිස්සු සූදානම්ද කියන එකත් සොයා බැලිය යුතුයි. එසේ නැතිව රජයක් විසින් කෘතිම බුද්ධිය යොදා ගැනීමේ අරමුණින් කෘතිම බුද්ධිය යොදා ගැනීම තේරුමක් නැති සෝබන වැඩක් හා මුදල් නාස්තියක් පමණයි.

කෘතිම බුද්ධිය යොදාගෙන රජයකට වියදම් අඩු කර ගත හැක්කේ, එහෙම නැත්නම් ආදායම් ඉහළ නංවා ගත හැක්කේ කවර ආකාර වලින්ද කියන එකත්, ජාලියගේ ප්‍රශ්නයේ හරය වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා වගවීම මෙයට සම්බන්ධ වන ආකාරය ගැනත් කතා කිරීම පසුවට තබමු.

Monday, October 14, 2019

තනපට අහසට No BRA day


අවුරුදු හතරකට පෙර එන්රිකේ ඉග්ලේශියස් ලංකාවට ආපු වෙලාවේ තරුණියන් කිහිප දෙනෙකු විසින් තනපට ගලවා විසි කිරීම බොහෝ කතාබහට ලක් වූ සිදු වීමක්. මේ සිදුවීමට වඩාත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුණේ ජනාධිපති සිරිසේනගේ මඩු වලිග කතාවත් එයට එකතු වූ නිසයි.

ඊයේ (ඔක්තෝබර් 13) දිනය උතුරු ඇමරිකාවේ කාන්තාවන් රැසක් තනපටයක් නොපැළඳ සැහැල්ලුවෙන් සිටි දිනයක්. හැබැයි ඒ එන්රිකේ වැනි ගායකයෙකුගේ ගීයක් අසා කුල්මත් වූ නිසා නෙමෙයි. No BRA day ලෙස නම් කර තිබෙන මේ දිනයේ තමන්ගේ පියයුරු ගැන වැඩි අවධානයක් යොමු කරමින්, පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ ඇත්දැයි හඳුනා ගැනීම දිරි ගන්වනු ලබන නිසයි. ඒ වගේම පියයුරු පිළිකා ගැන අවධානය යොමු කෙරෙමින් පියයුරු පිළිකා පර්යේෂණ සඳහා මුදල් ආධාර එකතු කිරීමද මෙදින සිදු වෙනවා. ඔක්තෝබර් මාසය ඇමරිකාවේ මෙන්ම ලංකාවේද පියයුරු පිළිකා ගැන දැනුවත් වීමේ ජාතික මාසයද වෙනවා.

මේ දිනය මුලින්ම නම් කෙරී තිබෙන්නේ BRA day හෙවත් පියයුරු පිළිසකර කිරීම් පිළිබඳව දැනුවත් කිරීමේ (Breast Reconstruction Awareness) දිනය ලෙසයි. එහි අරමුණ වී තිබෙන්නේ සුවය ලැබූ පියයුරු පිළිකා රෝගීන්ව පියයුරු පිළිසකර කර ගැනීම පිණිස  උනන්දු කරවීමයි. පසුව මේ දිනය වඩා පුළුල් අරුතක් සහිතව No BRA day ලෙස විකාශනය වී තිබෙනවා.

පසුගිය 2018 වසර තුළ පමණක් ලංකාවෙන් පිළිකා රෝගීන් 23,530 දෙනෙකු හඳුනාගනු ලැබුණා. ඒ අතරින් වැඩිම පිරිසක් හෙවත් 3,091ක් පියයුරු පිළිකා රෝගීන්. පිළිකා රෝගීන් ලෙස හඳුනාගත් කාන්තාවන් අතරින් 24%ක්ම පියයුරු පිළිකා රෝගීන්. වසර තුළ පිළිකා හේතුවෙන් සිදුවූ මරණ ගණන 14,013ක්. ඒ අතරින් 1,183ක් පියයුරු පිළිකා හේතුවෙන් සිදු වූ මරණ.

මුල් අදියරේදී හඳුනා ගතහොත් පියයුරු පිළිකා ඇතුළු ඕනෑම පිළිකාවකට ප්‍රතිකාර කිරීම පහසුයි. පියයුරු පිළිකාවක ලක්ෂණ මුල් අදියරේදීම හඳුනා ගැනීම පිණිස අඩු වශයෙන් මසකට වරක්වත් තමන්ගේ පියයුරු වල ගැටිත්තක් හෝ අසාමාන්‍ය තද ගතියක් ඇති තැනක් ඇත්දැයි විමසිලිමත් වීම නිර්දේශ කෙරෙන අතර මාස් ශුද්ධියෙන් පසු දහවන දිනයේ හෝ එවැනි නිශ්චිත දිනයක මේ ස්වයං පරීක්ෂාව සිදු කිරීම වඩා යෝග්‍ය බව පැවසෙනවා.

මේ ස්වයං-පරීක්ෂාව කරන ආකාරය පිළිබඳව ලංකාවේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ උපදෙස් පහත තිබෙනවා.



Sunday, October 13, 2019

ඇල්පිටි වැල්ලට නොආ රැල්ල

ටික කලක සිට සජිත් පාක්ෂිකයින් විසින් සජිත් රැල්ලක් ගැන කතා කරමින් හිටියා. මෑතකාලීනව දේශපාලන අදහස් අතින් සජිත්ට සමාන සේ සැලකිය නොහැකි මංගල, චම්පික වගේ පිරිසුත් මේ රැල්ල හමන අතටම හබල් ගාන්න පටන් ගැනීමත් එක්ක රටේ කොහොම වුනත්, එජාපය ඇතුළේ ලොකු සජිත් රැල්ලක් ඇති වුනා. ඒ රැල්ලට අහු වෙලා එජාප ජනාධිපති අපේක්ෂකයා විය හැකිව සිටි අනෙකුත් ප්‍රබල තරඟකරුවන් වූ කරු හා රනිල්ගේ නම් වැල්ලේ දිය වී ගියා. එජාප ගාලුමුවදොර රැළියේදීත් එජාප පාක්ෂිකයින්ගේ උද්‍යෝගය කැපී පෙනුනා. නමුත්, ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ සජිත් රැල්ලක් පේන්න නැහැ.

ඒ වගේම, පහුගිය කාලයේ මතු වී ආ තවත් රැල්ලක් වුනේ 225ම එපා කියන රැල්ලයි. මේ රැල්ල එක්ක ගොඩයන්න බලාගෙන විවිධ ස්වාධීන අපේක්ෂකයින් විසින් රුවල් දැම්මා. මේ රැල්ල නිසා වඩාත්ම කලබල වුනු අය අතර ජවිපෙ ඉදිරියෙන්ම හිටියා. කලක සිටම ජවිපෙ විසින් උනුත් එපා මුනුත් එපා කියන අදහස සමාජගත කරමින් සිටි අතර ඒ අදහස යම් පිරිසක් විසින් පිළිගත්තා. 225ම එපා කියන අදහස ආවේ උනුත් එපා මුනුත් එපා කියන අදහස වඩා පුළුල් වෙලා උනුත්, මුනුත් ගොඩට අරුනුත් එකතු වෙලයි. මේ රැල්ලත් එක්ක ජවිපෙ එක්තරා උභතෝකෝටිකයට මුහුණ දුන්නා. ජවිපෙට ඉදිරියට යන්න "උනුත් එපා මුනුත් එපා" කියන අදහස ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය වුවත්, ඒ අදහස වර්ධනය වීමේ ස්වභාවික ප්‍රතිඵලයක් විදිහට "225ම එපා" කියන අදහස ප්‍රවර්ධනය වීම වලක්වා ගැනීමේ අභියෝගයට ඔවුන්ට මුහුණ දෙන්න වුනා. ඒ නිසා, ස්වාධීන පුද්ගලයකු සඳහා වූ ඉල්ලීම යටපත් කරමින් පක්ෂ ක්‍රියාකාරිකයෙකු තරඟයට දමන්න ජවිපෙට සිදු වුනා. ජවිපෙ සාමාජිකයින් තුළත් ජනාධිපතිවරණය පිළිබඳ ලොකු බලාපොරොත්තු තිබුණු බව ඔවුන්ගේ ගාලු මුවදොර රැළියෙන් පෙනුණත් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළනම් ජවිපෙ රැල්ලක් පේන්න තිබුණේ නැහැ.

ගෝඨා රැල්ල ඔය දෙකටම වඩා පරණ රැල්ලක්. කලින්ම ආ ගෝඨා රැල්ල කලින්ම බිඳී ගියා. ගෝඨා තරඟයට ඉදිරිපත් වන විට පීක් එක ඉවරයි. නමුත්, ගෝඨා හිටියේ අනෙක් අපේක්ෂකයින්ට වඩා ගොඩක් ඉදිරියෙන්. මගේ තක්සේරුව අනුවනම් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ ගෝඨා රැල්ලක් කියා එකකුත් නැහැ.

පහුගිය දවස් වල මා ලංකාවේ මා සාමාන්‍යයෙන් කතා කරන කිහිප දෙනෙකුට කතා කළා. විවිධ දේශපාලන පක්ෂ වලට කඩේ යන්නන්, රැල්ල හමන අතට ඔරුව පදින්නන් හා නිර්පාක්ෂිකයින් ඇතුළු විවිධ කොටස් ඇතුළත් මේ පිරිස ලංකාවේ දේශපාලන ප්‍රවණතා ගැන අදහසක් ගැනීම සඳහා ප්‍රමාණවත් නියැදියක් බව බොහෝ වර තහවුරු වී තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණ වලට පෙර මේ පිරිසට කතා කළ විට පොදුජන පෙරමුණ අනපේක්ෂිත ලෙස ඉදිරියට එන බව පෙනුනත්, ඒ වෙලාවේ එවැන්නක්‌ සිදු වේයැයි මට හිතුනේ නැහැ. එහෙත්, මැතිවරණයෙන් පසුව තේරුණේ මගේ නියැදිය මත විශ්වාසය තැබිය හැකිව තිබුණු බවයි.

මෙවර කතා කළ විට පෙනුනේ ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් ඇති බවයි. ඒ වගේම ගෝඨාභය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ කිසියම් වික්ෂිප්ත භාවයක් ඇති බවයි.

ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, මේ රැල්ල තිබෙන්න අරටු බැහැපු එජාප පාක්ෂිකයින් අතරම මිස එයින් පිටත නෙමෙයි. මේ වෙද්දී ගම් වල ඉතිරි වී ඉන්නේ ඉතා සීමිත එජාප පවුල් ගණනක්. ඔවුන් ඉතාම අභියෝගාත්මක තත්ත්වයන් යටතේත් පක්ෂය අත් හැර නොගිය අයයි. රනිල්ගේ නායකත්වය යටතේ මේ පිරිසට ලැබුණු දෙයක් නැහැ. සජිත්ගේ නායකත්වය යටතේ තමන්ට යමක් ලැබෙයි කියා මේ පිරිස හිතනවා. ඒ නිසා, ගම් වල සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, ඒ රැල්ල එජාප ඡන්ද ප්‍රතිශතය ඉහළ දමන මට්ටමකට ඇවිත් නැහැ. සිදු වී තිබෙන්නේ පාක්ෂිකයින්ගේ උද්‍යෝගය වැඩි වීමක් පමණයි.

ඒ වගේම, ගම් වල බොහෝ දෙනෙක්ට ගෝඨාභය වැදගත් චරිතයක් නෙමෙයි. බොහෝ දෙනෙක්ට ඔහු වැදගත් වන්නේ මහින්දගේ සහෝදරයා හා නියෝජිතයා ලෙසයි. ගම් වල බොහෝ පිරිසක් තවමත් භක්තිමත් මහින්දවාදීන්. මහින්දගේ සහයෝගය ලබන කාට වුවත් මේ පිරිසගේ ඡන්ද ලැබෙනවා. ඇල්පිටියේදී පොදුජන පෙරමුණට ලැබී තිබෙන්නේත් මේ මහින්දවාදීන්ගේ ඡන්දයි.

මේ වන විට එජාපයට හා පොදුජන පෙරමුණට (පැරණි ශ්‍රීලනිපයට) වගේම ජවිපෙටත් රටේ ස්ථිර ඡන්ද පදනමක් තිබෙනවා. ජවිපෙ රැල්ලක් තිබෙනවානම් තිබෙන්නේ මේ ඡන්ද පදනම තුළයි. ඔවුන් මේ ඡන්ද පදනම පුළුල් කරගන්න විශාල උත්සාහයක් දරනවා.

එක පැත්තකින් එජාප හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන විරෝධයට වඩා ලොකු විරෝධයක් ජවිපෙ හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන නිසා ජවිපෙට පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ආකර්ෂණය කර ගැනීම සිහිනයක්. අනෙක් පැත්තෙන්, මේ වෙද්දී එජාපය මොනවා කළත් අත නොහරින පිරිසක් හැර අනෙක් සියලු දෙනාම වගේ එජාපය හැර ගොස් අවසන් නිසා ජවිපෙට ආකර්ශනය කර ගත හැකි ඡන්ද ඒ ගොඩේත් නැහැ. ජවිපෙ විසින් ඉලක්ක කරන්නේ ඔය දෙකටම නැති පිරිසයි.

ජවිපෙ තුළ තිබෙන රාජපක්ෂ විරෝධය එජාප විරෝධයට වඩා වැඩියි. මේ නිසා, කලක සිටම ජවිපෙට රතු අලි ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබලය ගැන ජවිපෙ එතරම් වද වෙන්නේත් නැහැ. ජවිපෙ විසින් දැන් හදාගෙන තිබෙන ජාතික ජන බලවේගයේ ලාංඡනයත් ටිකක් විතර රතු අලියෙක්ගේ රූපයක් වගේ.

ජවිපෙ විසින් මේ වෙලාවේ උත්සාහ ගනිමින් ඉන්නේ සමාජවාදීන්ගේ හෝ ධනපති විරෝධීන්ගේ ඡන්ද ආකර්ශනය කර ගන්න නෙමෙයි. එහෙම කරලා දැන් ඉන්න තැනින් අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි බව ඔවුන් නිවැරදිව අවබෝධ කරගෙන ඉන්නවා. ඇත්තටම කියනවානම් ජවිපෙට දැන් ඇණයක් වී තිබෙන්නේ ඔවුන්ගේම ඉතිහාසයයි. ඒ නිසා, ඔය රතු අලි හංවඩුව එක පැත්තකින් බැලුවහම ජවිපෙට වෙස් වලාගත් ආශීර්වාදයක්. ඇතැම් පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ජවිපෙට මඩ ගහන්න හිතාගෙන විවිධ දේ ප්‍රචාරය කරනවා. එවැනි එක පොස්ටුවක සැබෑ අව්‍යාජ විප්ලවවාදී නායකයින් කියා රෝහණ විජේවීර ඇතුළු පිරිසකුත්, ධනපතියන්ට කඩේ යන නායකයින් කියා අනුර කුමාර ඇතුළු පිරිසකුත් පෙන්වනවා. මම හිතන්නේ මේ වෙලාවේ මේ වගේ පෝස්ට් ජවිපෙට වාසියි.

ඇල්පිටියට නැවත ආවොත්, එහි ප්‍රතිඵලය මා ඉහත සඳහන් කළ ප්‍රවාද සියල්ල සමඟ මනාව සැසඳෙනවා. එජාපය විසින් ලබාගෙන තිබෙන්නේ 2015 ජනවාරියට පෙර ඔවුන් ලබාගත් අවම එජාප ඡන්ද ප්‍රතිශතය පමණයි. ජවිපෙ ලබාගෙන තිබෙන්නේත් ඔවුන්ගේම පාක්ෂික ඡන්ද පමණයි. පොදුජන පෙරමුණ කියලාත් වෙනසක් නැහැ. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ විසින් (ඔවුන්ගේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම්ද ඇතුළත්ව) ලබාගත්තේ 41.2%ක ඡන්ද ප්‍රතිශතයක් වුවත්, 2015 ජනාධිපතිවරණයේදී මහින්ද විසින් 47.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ඇල්පිටිය ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ පොදුජන පෙරමුණ තවමත් ඉන්නේ ඒ මට්ටමට පහළින් බවයි. මෙයින් පෙනෙන්නේ ගෝඨාගමනයෙන් පසුව මහින්දවාදී ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි.

සමස්ත ප්‍රතිඵලයම විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ පොදුජන පෙරමුණේ, එජාප හෝ ජවිපෙ ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි. එසේනම් ඉතිරි ඡන්ද ටික කෝ?

ඇල්පිටිය ඇතුළේනම් මේ ඡන්ද ටික තිබෙන්නේ එජනිස ගොඩේ. නමුත්, මේ එජනිස ඡන්ද ඇත්තටම එජනිස ඡන්දද?

මම හිතන විදිහටනම් මේ ඡන්ද එජනිස ඡන්දම නෙමෙයි. වෙනත් විකල්පයක් නැති තැන පොදුජන පෙරමුණ, එජාප හා ජවිපෙ තුනම එපා වී සිටින පිරිස ඒ විරෝධය පෙන්වීම පිණිස එජනිසය තෝරා ගෙන තිබෙනවා වෙන්න පුළුවන්. වෙනත් අයුරකින් කිවුවොත්, පාවෙන ඡන්ද ටික තියෙන්නේ එජනිස ගොඩේ. ජනාධිපතිවරණයට එජනිස අපේක්ෂකයෙකු ඉදිරිපත්ව නැති පසුබිමක මේ ඡන්ද වල ඉදිරි හැසිරීම ගොඩක් වැදගත්.

ගොඩක් අය චම්පිකව හඳුනා ගන්නේ රැල්ල හමන පැත්ත ගැන ඉවක් තිබෙන දේශපාලනඥයෙකු ලෙසයි. මංගලත් මේ ගොඩට දැමිය හැකි, තියුණු දේශපාලන ඉවක් තිබෙන දේශපාලනඥයෙක්. ඔවුන් සජිත්ගේ පැත්ත ගත්තේ මෙවර ඔවුන්ට ගණන් වැරදුනු නිසාද? පැත්තක සිටින අපට නොපෙනෙන බොහෝ දේ දේශපාලනය ඇතුළේ සිටින ඔවුන්ට පෙනෙන නිසා එය එසේයැයිම හිතන්නත් අමාරුයි.

මේ වන විට දැකිය හැකි ඡන්ද සංයුතිය අපට 2015 ජනාධිපතිවරණයට පෙර පැවති ඡන්ද සංයුතිය සමඟ සැසඳිය හැකියි. ජනාධිපතිවරණයට පෙර අවසන් වලට පැවැත්වුණේ පළාත් සභා මැතිවරණයි. වට හතරකින් පැවැත්වුණු එම මැතිවරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය මෙසේයි.

එජනිස- 54.0%
එජාප- 26.4%
ජවිපෙ- 4.0%
ප්‍රපෙ- 4.0%
වෙනත්- 11.6%

මෙවැනි පසුබිමක පැවති ජනාධිපතිවරණයෙන් එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයගත්තේ නැහැ. ප්‍රතිඵලය වුනේ මෙවැන්නක්.

මහින්ද රාජපක්ෂ- 47.6%
මෛත්‍රීපාල සිරිසේන- 51.3%

එජාප, ජවිපෙ, ප්‍රපෙ හා දෙමළ මුස්ලිම් පක්ෂ වල ඡන්ද සියල්ල ලැබුණේ මෛත්‍රීපාල සිරිසේනට කියා හිතුවත්, ඔහු එජනිස ඡන්ද වලින් 6.5%ක් පමණද ලබාගෙන තිබෙන බව පැහැදිලියි. මේ ඡන්ද එජාප හෝ ජවිපෙ ඡන්ද නොවන, රාජපක්ෂ විරෝධී ඡන්දයි. එම පළාත් සභා ඡන්ද වටයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබුණු ඡන්ද දමන්න වෙන්නේත් මේ ගොඩටයි. එවිට, එජාප, ජවිපෙ හෝ සුළු ජාතික පක්ෂ වල ඡන්ද නොවන රාජපක්ෂ විරෝධී ඡන්ද එකතුව 10.5%ක් පමණ වෙනවා. මා හිතන විදිහට ඇල්පිටියේදී එජනිසයට ලැබුණු ඡන්ද වැඩි ප්‍රමාණයක් මේ ඡන්දයි.

පසුගිය ජනාධිපතිවරණයට පෙර තත්ත්වය හා සැසඳූ විට එජාප හා ජවිපෙ පක්ෂ දෙකම ඉන්නේ තරමක් ඉදිරියෙන්. ඒ වගේම, පොදුජන පක්ෂය තනිව ගතහොත් ඉන්නේ 2016දී මහින්ද රාජපක්ෂ සිටියාට වඩා දුර්වල තැනකයි. එජාප, ජවිපෙ හා සුළු ජාතික පක්ෂ සියල්ලේම ඡන්ද එකතු කළත්, පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතයට අඩුයි. එහෙත්, වෙනස එතරම් විශාල නැහැ. ඒ වගේම, මේ දෙගොඩෙන් එක් ගොඩක්වත් 50% මට්ටම ආසන්නයේ නැහැ. ඒ නිසා, මැතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපාන්නේ එජනිස ඡන්ද සේ පෙනෙන්නට තිබෙන, එහෙත් එජනිස ඡන්ද කියා මා නොසිතන සැලකිය යුතු තරම් විශාල පාවෙන ඡන්ද ප්‍රතිශතයයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගිලිහුණු ඡන්ද නැවත ආකර්ශනය කර ගැනීමට පොදුජන පෙරමුණ අසමත් වීම විශේෂ අවධානයට යොමු විය යුතු කරුණක්. එයින් පෙනෙන්නේ, 2015 ජනවාරියේදී වූ මේ පිරිසගේ රාජපක්ෂ විරෝධය මේ වන විටත් මුළුමනින්ම සමනය වී නැති බවයි. එසේ වුවත්, මේ ඡන්ද එජාපය හෝ ජවිපෙ වෙත ආකර්ශනය වී නැහැ. ඒ වගේම, මේ පිරිස දේශපාලනිකව  සබුද්ධික පිරිසක් නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර ඉන්න හේතුවක් නැහැ. එය බොහෝ විට තමන් අකැමැති විකල්ප අතරින් අඩු නරක තෝරා ගැනීමක් විය හැකියි කියා සිතන්න පුළුවන්. ඒ නිසා, අවසන් ප්‍රතිඵලය තීරණය විය හැක්කේ ඉදිරි මාසය ඇතුළත ප්‍රධාන අපේක්ෂකයින් හා මේ වෙලාවේ ලංකාවේ දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි මෛත්‍රීපාල සිරිසේන වැනි වෙනත් ඇතැම් අය හැසිරෙන ආකාරය මතයි.

Saturday, October 12, 2019

ගම් උදා රොබෝ සහ කෘතිම බුද්ධිය


ජේආර් ජයවර්ධනගේ ආණ්ඩුවේ හිටපු දෙවන පෙළ නායකයින් බොහෝ දෙනෙක්ට ඔවුන් වැඩිපුරම අවධානය යෙදවූ කටයුතු හා බැඳුනු ප්‍රතිරූපයක් හැදී තිබුණා. ලලිත්නම් මහපොළ, ගාමිණීනම් මහවැලිය, රනිල්නම් යොවුන්පුර, ප්‍රේමදාසනම් ගම්උදාව...

මේ එක් එක් පුද්ගලයා විසින් තමන්ගේ ප්‍රතිරූප පුම්බා ගනු පිණිස විශාල වියදමක් දරමින් විවිධ වැඩ සටහන් සංවිධානය කළා. ගම්උදා සංවත්සර උත්සවය මේ වැඩසටහන් අතර ප්‍රමුඛතම වැඩසටහනක්. ජූනි 23 දිනට යෙදුණු රණසිංහ ප්‍රේමදාසගේ උපන් දිනයට සමාන්තරව ලංකාවේ විවිධ ප්‍රදේශ වල වාර්ෂිකව මේ උත්සවය පැවැත්වුනා. මුලින්ම යාපහුවේ. ඉන් පසුව, අම්පාර, තිස්සමහාරාමය, දඹුල්ල, නිකවැරටිය, අනුරාධපුර (පණ්ඩුලගම), හිඟුරක්ගොඩ, ඇඹිලිපිටිය, කතරගම, ආනමඩුව, මහියංගනය වගේ තැන් වල.

මේ ගම්උදා ප්‍රදර්ශන භූමි වලදී කවදාවත් කෝච්චියක ගිහින් නැති අයට කෝච්චියක යන්න ලැබුණා. කවදාවත් සිරීපාදේ ගිහින් නැති අයට සිරීපාදේ යන්න ලැබුණා. කවදාවත් මිහින්තලේ දැකලා නැති අයට මිහින්තලේ නගින්න ලැබුණා. තව ඔය වගේ බොහෝ දේවල් තිබුණා.

අසූව දශකයේ මුල් කාලය මගේ පියා තමන් කරපු රැකියාවට අමතරව ඇඟේ අමාරුවට විවිධ සංවිධාන සමඟ එකතු වී සමාජ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කළ කාලයක් නිසා ගම්උදා සංවත්සර, මහපොළ සංවත්සර ආදිය පැවැත්වෙන විට ඔහුත් සමඟ මෙවැනි ප්‍රදර්ශන භූමියක වූ කුටියක සතියක් හෝ දින කිහිපයක් ගත කිරීමේ අවස්ථාව මටත් ලැබුණා. ඔය වගේ වෙලාවක කුටිය සකස් කිරීම, පෝස්ටර් ඇඳීම වගේ කටයුතු වලට දායක වෙන්නත් ලැබුණා. ප්‍රදර්ශන භූමියේ නිදහසේ සැරිසරමින් බලන්න තිබුණු දේවල් බලාගන්නත් අවස්ථාව ලැබුණා.

අසූව දශකයේ මුල් කාලයේ පැවැත්වුණු ගම්උදා හෝ මහපොල ප්‍රදර්ශන කුටියකදී ඔය ආකාරයට දකින්න ලැබුණු ප්‍රදර්ශන භාණ්ඩයක් මට තවමත් මතකයි. ඒ රොබෝ කෙනෙක්. මේ රොබෝව ඉතා ආකර්ශනීය නිමාවකින් හදා තිබුණා.

රොබෝ කෙනෙක් කවදාවත් දැකලා නොතිබුණත්, සිංහලට පරිවර්තනය කර තිබුණු ආතර් සී ක්ලාක් වගේ අයගේ කතා කියවලා තිබුණු නිසා රොබෝව බලන්න තිබුණේ සිරීපාදේ හරි මිහින්තලේ හරි යනවාට වඩා ලොකු උනන්දුවක්. පෝලිම ටිකක් දිග වුනත්, ප්‍රදර්ශන භූමියේ දින ගණනක්ම ගත කරන්න අවස්ථාව තිබුණු නිසා කාලය බාධාවක් වුනේ නැහැ. පෝලිමේ ඉඳලා රොබෝ ළඟට යා ගත්තට පස්සේ රොබෝගෙන් ප්‍රශ්නයක් දෙකක් අහන්න ලැබෙනවා. රොබෝ උත්තර දෙනවා.

රොබෝගේ ප්‍රමාණය අනුව මේ රොබෝ අස්සේ මනුස්සයෙක්ට හැංගිලා ඉන්න බැහැ. ඒ වුනත්, උත්තර දෙන්නේ කවුරු හෝ මනුස්සයෙක් කියන එකනම් එක පාරටම තේරුම් ගියා. ඒ කියන්නේ, රොබෝ කෙනෙක් පෙන්වනවා කියා මේ කරන්නේ මිහින්තලේ සිරීපාදේ පෙන්නනවා වගේම බොරුවක්!

ඔය වගේ බොරුවක් අතටම අහුවුණාම පොඩි එකෙක්ට රොබෝව අන්නනකම් ඉවසිල්ලක් නැති වෙනවනේ. නමුත්, සංවිධායකයින් රොබෝ එක්ක ඒ තරම් වෙලාවක් ඉන්න දෙන්නේ නැහැ. පෝලිම ඉස්සරහට යා යුතුයි. මමත් අත ඇරියේ නැහැ. මේ පැත්තෙන් එළියට ගිහින් නැවත පෝලිමේ අගට එකතු වෙනවා. කාමරයට එන තුරු පෝලිමේ සිටිමින් රෝබෝගෙන් ඊළඟ වාරයේ අහන ප්‍රශ්නය ගැන හිතනවා. දෙතුන් පාරක් මේ වැඩේ කළාට පස්සේ රොබෝ දන්න දේවල් හා නොදන්න දේවල් ගැන පැහැදිලි වුනත් රොබෝගේ කටින් කවුරු හෝ කෙනෙක් කතා කරන්නේ කොහොමද කියන එකනම් හරියටම අල්ලගන්න බැරි වුනා. මම හිතන්නේ මේ කාලය වන විට මම රැහැන් රහිත මයික් එකක් දැකලා තිබුණේ නැහැ.

පොඩි කාලේ මතකයක් වූ මේ රොබෝව දශක ගාණකට පස්සේ නැවත මතකයට ආවේ සජිත්ගේ කෘතීම බුද්ධි වීඩියෝව දැකලා. සජිත්ගේ කෘතීම බුද්ධිය ගැන කාට වුනත් තේරෙන නිසා ඒ ගැන කතා කිරීම පැත්තකින් තියලා, සජිත් විසින් ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න තෝරාගෙන තියෙන මනුස්සයාගේ සාමාන්‍ය බුද්ධිය ගැන විතරක් පොඩ්ඩක් කතා කරමු.

සජිත් විසින් තිරය පිටුපස සිටින කවුරු හෝ මනුස්සයාව සහ වේදිකාවේ අටවා තියෙන විච්චූර්ණ ටික යොදා ගන්නේ පසුගිය සතියේ බඩුමිල වෙනස් වුනු ආකාරය ගැන දැන ගන්න සහ උද්ධමනය පාලනය කරන ආකාරය ගැන උපදෙස් ලබා ගන්නයි. ඔහුට ලැබෙන දත්ත අනුව කිරිපිටි මිල වැඩි වෙලා. ගෑස් මිල අඩු වෙලා. සජිත්ගේ සාමාන්‍ය බුද්ධියට වැටහෙන ආකාරයට මේ වගේ වෙලාවක රාජ්‍ය පාලනය කියා කියන්නේ කිරිපිටි මිල නැවත පෙර මට්ටමට අඩු කිරීම හා අඩු වූ ගෑස් මිල නැවත වැඩි නොවන බවට වග බලා ගැනීමයි.

කිරිපිටි මිල නැවත අඩු කරන්නේත්, ගෑස් මිල නැවත වැඩි වෙන්න නොදී තියෙන මට්ටමේම තියා ගන්නේත් කොහොමද කියා සජිත්ගේ සාමාන්‍ය බුද්ධියට නොවැටගෙන නිසා ඔහු මේ ගැන ඔහුගේ කෘතීම බුද්ධියෙන් උපදෙස් ගන්නවා. කෘතීම බුද්ධියෙන් සජිත්ට උපදෙස් ලැබෙනවා. සරල උපදෙස්!

කිරිපිටි මිල අඩු කිරීම සඳහා බදු අඩු කළ යුතුයි. ගෑස් මිල ඒ මට්ටමේම තියා ගන්නනම් ගෑස් වල ආනයනික මිල නැවත ඉහළ යන විට රජය මැදිහත් වී අඩු මිලට ගෑස් ලබා දිය යුතුයි. ඒ කියන්නේ, රජය විසින් ආදායම් අඩු කරගෙන වියදම් වැඩි කළ යුතුයි.

කෘතීම බුද්ධියකින් උපදෙස් නොගත්තත් මෙතෙක් කල් ආණ්ඩු කළ ගොඩක් අය කළේත් ඔය ටිකම තමයි. රජයේ අයවැය හිඟය මේ තරම් වැඩි වෙලා තියෙන්නෙත්, ණය බර මේ තරම් ඉහළ ගිහින් තියෙන්නෙත් ඔය කෙරුවාවේ ප්‍රතිඵලයක් විදිහටයි. රටේ තිබෙන අවුල් සියල්ලටම වගේ හේතු වී තිබෙන්නේ රාජ්‍ය මැදිහත්වීම් වුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සියළු දෙනාම වගේ අඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ රාජ්‍ය මැදිහත්වීම් තවදුරටත් වැඩි කිරීම වෙනුවෙනුයි. සජිත්ගේ කෘතීම බුද්ධි සහායකයාත් ඒ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්.

අයවැය හිඟය තවත් ඉහළ යන්න ඉඩ අරිමින්, ඒ හිඟය පියැවීමට වැඩි වැඩියෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම කෙළවර වෙන්නේ උද්ධමනය වැඩිවී රටේ භාණ්ඩ හා සේවා සියල්ලේම මිල ඉහළ යාමෙන් බව තේරුම් ගන්න ලන්ඩන් ආර්ථික විද්‍යා උපාධි හෝ කෘතිම බුද්ධියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් තිබෙන කෙනෙකුට වුවත් එය තේරෙන්න ඕනෑ.

(Image: http://newshub.lk/en/2019/10/10/sajith-says-future-govt-will-be-based-on-artificial-intelligence-management/)

Friday, October 11, 2019

ඇල්පිටි සංඥාව


ඇල්පිටියේ පොඩි ඡන්දයේ ප්‍රතිඵල මේ වන විට පිට වී තිබෙනවා. ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 56.3%
එජාප - 24.4%
එජනිස - 12.7%
ජවිපෙ - 5.9%
වෙනත් - 0.7%

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම් වලදී ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය සභා වල සමස්ත ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 51.9%
එජාප - 25.2%
එජනිස - 12.1%
ජවිපෙ - 6.1%
වෙනත් - 4.7%

ඉහත ප්‍රතිඵල සසඳා බැලූ විට පසුගිය මාස 20 ඇතුළත සිදු (නො)වී තිබෙන වෙනස්කම් නිරීක්ෂණය කළ හැකියි.

1. සජිත් රැල්ලක් කියා එකක් නැත. එජාප ග්‍රාමීය ඡන්ද තරමකින් හෝ අඩු වී මිස වැඩි වී නැත.
2. ජවිපෙ රැල්ලක් කියා එකක්ද පෙනෙන්නටවත් නැත.
3. පොදුජන පෙරමුණේ ඡන්ද යම් තරමකින් වැඩි වී ඇත. එහෙත්, ඒ වැඩි වූ ඡන්ද ප්‍රතිශතය සමඟ වුවද පොදුජන පෙරමුණ තනිව රටේ 50%ක ඡන්ද ගත හැකි තැනක නැත.
4. ශ්‍රීලනිප ඡන්ද යම් තරමකින් හෝ වැඩි වී මිස අඩු වී නැත.

පුංචි ඡන්දය පිළිබඳව මා අනාවැකි පළ නොකළත්, මගේ ඇස්තමේන්තුව වූයේ 2018 පෙබරවාරියේදී ශ්‍රීලනිපය විසින් ලබාගත් ඡන්ද වලින් අඩක්වත් මේ වන විට පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී තිබිය යුතු බවයි. එහෙත් එය එසේ වී නැත. එයින් පෙන්නේ රාජපක්ෂලා සමඟ මොනවා හෝ ප්‍රශ්න තිබෙන සැලකිය යුතු පිරිසක් ශ්‍රීලනිපය සමඟ තවමත් රැඳී සිටින බවයි. මේ පිරිස පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී නැති අතර එජාප හෝ ජවිපෙ වෙතද ගොස් නැත. ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය මත පදනම්ව මේ පිරිස ජනාධිපතිවරණයේදී කෙසේ හැසිරෙනු ඇත්දැයි නිගමනය කළ නොහැකිය.

ඇල්පිටිය ප්‍රතිඵලය ලංකාව ආදේශ කළ විට පෙනෙන චිත්‍රය මෙවැන්නකි.

ශ්‍රීලපොප- 44.7%
එජාප - 28.6%
එජනිස - 12.7%
ජවිපෙ - 5.6%
වෙනත් - 8.4%

මේ අනුව පෙනෙන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කෙරෙන්නේ පොදුජන පෙරමුණ වෙත ගොස් නැති ශ්‍රීලනිප ඡන්ද වලින් බවයි.

(Image: https://www.arabnews.com/node/1562771/world)

රටම බලා සිටින ඇල්පිටිය



මේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵලය දෙස රටම බලා සිටිනවා. තව පැය විසිහතරක් ඇතුළත ප්‍රතිඵලය දැන ගන්න පුළුවන් වෙයි.

ඇල්පිටිය කියන්නේ ලංකාව නෙමෙයි. සමස්ත ලංකාවට සාපේක්ෂව ඇල්පිටිය කියන්නේ සිංහල, බෞද්ධ, ග්‍රාමීය ප්‍රදේශයක්. ඒ නිසා, ඇල්පිටිය ප්‍රතිඵලය සෘජුවම ලංකාවට ආදේශ කළ නොහැකි වුවත්, ඇල්පිටිය ප්‍රතිඵලය දෙස බලා සමස්ත ලංකාව ගැන නිගමන වලට එළැබීමේ හැකියාවක් නැත්තේම නැහැ. ඇල්පිටිය ප්‍රතිඵලය කියන්නේ පසුගිය මාස 20 ඇතුළත ඡන්දදායකයන්ගේ හැසිරීම වෙනස් වී ඇති ආකාරය පරීක්ෂා කළ හැකි කැඩපතක්.

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පිරික්සූ විට කිසියම් පැහැදිලි රටාවක් හඳුනාගත හැකියි. ඒ රටාවෙන් වෙනස් රටාවක් දැකිය හැක්කේ වෙනස් ජනවාර්ගික සංයුතියක් ඇති නාගරික ප්‍රදේශයක් වන ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ පමණයි. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය හා ඡන්දය නොපැවැත්වුණු ඇල්පිටිය හැර ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 51.8%
එජාප - 25.3%
එජනිස - 12.1%
ජවිපෙ - 6.1%
වෙනත් - 4.7%

ඇල්පිටිය ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වීමෙන් පසුව එම ප්‍රතිඵලය සැසඳිය යුත්තේ ඉහත ප්‍රතිඵලය සමඟයි.

Thursday, October 10, 2019

ඡන්ද බිඳෙයි පය බුරුලින්!


ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඇතැම් අපේක්ෂකයින් එසේ ඉදිරිපත් වී සිටින්නේ වෙනත් අපේක්ෂකයෙකුට ලැබෙන ඡන්ද කඩන්න කියා ජනප්‍රිය චෝදනාවක් තිබෙනවා. ස්වරූපය අනුවම, මේ චෝදනාව පරස්පර විරෝධී එකක්. කවර හෝ අපේක්ෂකයෙකුගේ ඡන්ද කැඩෙනවා කියන ප්‍රකාශය ඇතුළේ තිබෙන මූලික උපකල්පනය වන්නේ ඒ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම ලැබෙන ඔහුට හෝ ඇයට "අයිති"  කිසියම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා කියන එකයි. අනෙක් අතට, වෙන කෙනෙක්ට ඉදිරිපත් වී මේ ඡන්ද වලින් කොටසක් ඔහුට හෝ ඇයට ලැබෙන එක වැළැක්විය හැකිනම් එයින් තහවුරු වන්නේ ඒ ඡන්ද අදාළ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම ලැබෙන්නට නියමිතව තිබුණු ඡන්ද නොවන බවයි. ඒ කියන්නේ ඡන්ද කඩන කතාවට තාර්කික පදනමක් නැති බවයි.

කොහොම වුනත් අමතර අපේක්ෂකයෙකු ඉදිරිපත් වන හැම විටෙකම අනෙකුත් අපේක්ෂකයින්ගේ ඡන්ද වලට සුළු හෝ සෘණාත්මක බලපෑමක් වෙනවා කියන එක පැහැදිලි කරුණක්. වටින් ගොඩින් කතා නොකර අපි දැනට තරඟයට ඉදිරිපත් වී ඉන්න අපේක්ෂකයින්ගේ නම් වලින්ම කතා කරමුකෝ. කවුරුත් වගේ පිළිගන්න පරිදි දිනන්න ඉඩක් තිබෙන්නේ ගෝඨාභය හෝ සජිත්නේ. අපි හිතමු තරඟයට ඉදිරිපත් වුනේ මේ දෙන්නා පමණයි කියා. එහෙම වුනානම්, ඡන්දදායකයෙකුට තිබෙන්නේ විකල්ප තුනක් පමණයි. ඒ ගෝඨාභයට ඡන්දය දීම, සජිත්ට ඡන්දය දීම හා ඡන්දය නොදා සිටීම කියන විකල්ප තුනයි. වැඩිම ඡන්ද ගන්න අපේක්ෂකයා වලංගු ඡන්ද වලින් 50%කට වඩා අරගෙන ජනාධිපති වෙනවා.

දැන් ගෝඨාභය හා සජිත්ට අමතරව තෙවන අපේක්ෂයෙකු ලෙස අනුර කුමාර එකතු වෙනවා කියමු. එතකොට මොකක්ද වෙන්නේ? අනුර කුමාරටත් කිසියම් ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ඡන්ද කොටස් තුනකට වර්ග කළ හැකියි. ඒ ගෝඨාභයට ලැබිය හැකිව තිබුණු ඡන්ද, සජිත්ට ලැබිය හැකිව තිබුණු ඡන්ද හා ඒ දෙදෙනාටම ලැබිය නොහැකිව තිබුණු ඡන්ද ලෙසයි. මෙහිදී අනුර කුමාර තරඟයට ඉදිරිපත් වීම නිසා ගෝඨාභය හා සජිත් දෙදෙනාගේම ඡන්ද අඩු වෙනවා. ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශත සමානුපාතිකව ඊටත් වඩා වැඩියෙන් අඩුවෙනවා.

යම් හෙයකින් අනුර කුමාර විසින් ගෝඨාභයට ලැබිය හැකිව තිබුණු ඡන්ද හෝ සජිත්ට ලැබිය හැකිව තිබුණු ඡන්ද එකක්වත් නොගෙන ඒ දෙදෙනාටම ලැබිය නොහැකිව තිබුණු ඡන්ද පමණක් ගත්තත් ගෝඨාභය හා සජිත් දෙදෙනාගේම ඡන්ද ප්‍රතිශත අඩු වෙනවා. එහෙත්, එය සිදු වන්නේ සමානුපාතිකව නිසා ජයග්‍රාහකයා කවුද කියන කරුණ වෙනස් වන්නේ නැහැ. ජයග්‍රාහකයාට 50% නොලැබෙන්නට ඉඩක් තිබුණත් ජයග්‍රහණය වැළකෙන්නේ නැහැ. (මේ උදාහරණයේදී අනුර කුමාර විසින් ලබා ගන්නේ සජිත්ට හා ගෝඨාභයට කොහෙත්ම කැමති නැති අයගේ ඡන්ද පමණක් නිසා ඔවුන් දෙවන මනාපයක් ලබා නොදෙයි කියා උපකල්පනය කළ හැකියි.)

නමුත්, තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වූ විට ඔහුට ලැබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයින්ට ලැබිය නොහැකිව තිබුණු ඡන්ද පමණක් නොවන නිසා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද ප්‍රතිශත වඩා වැඩියෙන් අඩු වෙනවා. ඒ වගේම, එය සිදු වන්නේ සමානුපාතිකව නෙමෙයි. ඇතැම් විට කලින් මුල් තැන සිටි අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශතය වඩා වැඩියෙනුත්, දෙවන තැන සිටි අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රතිශත අඩුවෙනුත් අඩු වීම නිසා (පළමු මනාපය පමණක් සැලකූ විට) ජයග්‍රාහකයා කවුද කියන එක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තෙවන අපේක්ෂයෙකු ඉදිරිපත් වීම නිසා ප්‍රතිඵලය වෙනස් වෙනවා. මෙහිදී සිදු වුනේ තෙවන අපේක්ෂකයා විසින් ඡන්ද කැඩීමක්ද?

එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. තෙවන අපේක්ෂකයෙකු වෙනුවෙන් පළමු මනාපය දෙන අයෙකු එසේ කරන්නේ ඔහු හෝ ඇය ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නාටම වඩා මේ තෙවන අපේක්ෂකයාට කැමති නිසයි. ඒ කියන්නේ තෙවන අපේක්ෂකයා විසින් ලබා ගන්නේ ඔහුගේ හෝ ඇයගේම ඡන්ද මිසක් කාගෙන්වත් කඩා ගන්න ඡන්ද නෙමෙයි. සිවුවන, පස්වන හෝ තිස්පස්වන අපේක්ෂකයාටත් මේ කතාව අදාළයි.

(Image: http://www.dailymirror.lk/article/Towards-the-Presidential-Elections-151637.html)

Wednesday, October 9, 2019

බර ඔබේ උර මතයි!


මැතිවරණ කොමිසම විසින් කියා තිබෙන ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ගණන "අසාමාන්‍ය ලෙස" වැඩි වීම නිසා මැතිවරණ වියදම රුපියල් බිලියනයකින් ඉහළ ගොස් තිබෙනවා. කොහොම වුනත්, පසුගිය ජනාධිපතිවරණ දෙකේදීත් පිළිවෙලින් අපේක්ෂකයින් 22ක් හා 19ක් ඉදිරිපත් වූ නිසා මැතිවරණ කොමිසම විසින් මුලින් වියදම ඇස්තමේන්තු කිරීමේදී අඩු වශයෙන් අපේක්ෂකයින් 20-25 අතර ප්‍රමාණයක්වත් තරඟ කරනු ඇතැයි නොහිතන්න හේතුවක් නැහැ. ඒ නිසා, අනපේක්ෂිත වැඩි වීම අපේක්ෂකයින් 10-15 අතර ප්‍රමාණයකට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. වියදම රුපියල් බිලියනයකින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන්නේ මේ ආකාරයට අනපේක්ෂිත ලෙස වැඩි වූ අපේක්ෂකයින් 10-15 නිසයි. ඒ කියන්නේ එක් අපේක්ෂකයෙකු තරඟයට එකතු වීම නිසා රුපියල් මිලියන 70-100 අතර ප්‍රමාණයකින් ඇස්තමේන්තුගත වියදම ඉහළ ගොස් තිබෙනවා කියන එකයි.

අපේක්ෂකයින් ප්‍රමාණය ඉහළ යන කොට මේ ආකාරයට වියදම ඉහළ යන්නේ කොහොමද?

අපේක්ෂකයින් ගණන වැඩි වන තරමට ඡන්ද පත්‍රිකාවේ දිග වැඩි වෙනවා. මෙවර ඡන්ද පත්‍රිකාව අඩි 2කුත් අඟල් 2ක් (සෙන්ටි මීටර 66ක්) දිග එකක්. ඡන්ද පත්‍රිකාව දිග වැඩි වන තරමට මුද්‍රණ වියදම්ද ඉහළ යනවා. එහෙත්, ඉහළ යන මුද්‍රණ වියදම් කියන්නේ මැතිවරණයේ සමස්ත වියදම ඉහළ යන එක් ආකාරයක් පමණයි. වියදම විශාල ලෙස වැඩි වන්නේ මුද්‍රණ වියදම් ඉහළ යාම නිසාම නෙමෙයි.

ඡන්ද පත්‍රිකාව විශාල වන විට ඡන්ද පෙට්ටියකට දැමිය හැකි ඡන්ද පත්‍රිකා ප්‍රමාණය අඩු වෙනවා. බොහෝ විට එක ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද දමන්නේ එක් පෙට්ටියකට හෝ ගැහැණු හා පිරිමි ලෙස පෙට්ටි දෙකකට වුවත්, මෙවර එසේ කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, මෙවර අමතර ඡන්ද පෙට්ටි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අමතර ඡන්ද පෙට්ටි සකස් කිරීම හෝ අළුතින් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් දැනටමත් කටයුතු කරමින් සිටිනවා. ඡන්ද පෙට්ටි ගණන වැඩි වන විට ඡන්ද පොළකට අවශ්‍ය නිලධාරීන් ගණනත් වැඩි වෙනවා. එවිට වියදමත් ඉහළ යනවා.

ඡන්ද මධ්‍යස්ථානයක් තුළ රැඳී සිටීමට එක් අපේක්ෂකයෙකුගේ නියෝජිතයින් දෙදෙනෙකුට ඉඩ දෙනවා. අපේක්ෂකයින් 35ක් කියා කියන්නේ නියෝජිතයින් 70ක්. ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළේ අපේක්ෂකයන්ගේ නියෝජිතයින් 70කට පහසුකම් සැලසීම ඉතා අසීරු කටයුත්තක්. මේ සඳහා ලොකු ඉඩක් අවශ්‍යයි. ඒ වගේම 70 දෙනෙකුගේ අනන්‍යතා පරීක්ෂා කිරීම ආදිය වෙනුවෙන් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. මේ ආකාරයට උදෙන්ම ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණෙන නියෝජිතයින් හවස් වන තුරුම එක දිගට එහි රැඳී ඉන්නේ නැහැ. බොහෝ දෙනෙක් කෑම, තේ ආදිය සඳහා පිටත යන්නේ තමන් වෙනුවට ආදේශකයින් අසුන් ගන්වලා. එහෙම ඡන්දපොළ නියෝජිතයින් මාරු වන සෑම විටෙකම ඔවුන්ගේ අනන්‍යතා පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ වගේම, මෙවැනි පිරිසක් ඡන්ද මධ්‍යස්ථානය ඇතුළේ ගැවසෙන විට ඔවුන්ව නිරීක්ෂණය කිරීමට හා පාලනය කර ගැනීමට නිලධාරීන් වැඩි පිරිසක් අවශ්‍ය වෙනවා. ඒ වගේම, අමතර පොලිස් නිලධාරීන් ප්‍රමාණයක්ද අවශ්‍ය වෙනවා.

දැනට තෝරාගෙන තිබෙන ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දපොළ නියෝජිතයින් 70කට පහසුකම් සැලසීමට ඉඩකඩ මදි විය හැකියි. මැතිවරණ කොමිසමට එවැනි තැන් වෙනුවට වඩා ඉඩකඩ තිබෙන විකල්ප ස්ථාන හඳුනා ගන්න වෙනවා. මේ තත්ත්වය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලටත් බලපානවා. ගණන් කිරීමේ මධ්‍යස්ථානයක රැඳී සිටීමට එක් අපේක්ෂකයෙකුගේ නියෝජිතයින් 5 දෙනෙකුටම අවසර ලැබෙනවා. මේ අනුව මෙවර නියෝජිතයින් 175 දෙනෙකුට පහසුකම් සැලසිය යුතුයි. ඔය තරම් පිරිසකට එකවර ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ හැකිද කියන එකත් ප්‍රශ්නයක්. මෙවැනි පිරිසකට ඉඩ ලබා දෙන්න පුළුවන් තරම් ඉඩකඩ නැති ගණන් කිරීමේ මධස්ථාන වෙනුවට විකල්ප ස්ථාන හොයා ගන්න වෙයි.

ඔයාකාරයට ඉඩකඩ ඇති තැන් හොයා ගත්තත්, ගණන් කිරීමේ කටයුත්තට වෙනදාට වඩා වැඩි කාලයක් යනවා. ඒ වගේම වැඩි නිලධාරීන් පිරිසක්ද අවශ්‍ය වෙනවා. එයට සමාන්තරව ඔවුන්ට කෑම බීම, වැසිකිලි, ප්‍රවාහන පහසුකම් වැනි සුබසාධන සේවා සැපයීම සඳහා යන වියදම් වගේම ඒ වැඩ වලට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණයත් ඉහළ යනවා. ඒ වගේම විදුලි බිල්, ජල බිල්, ජෙනරේටර් සඳහා වියදම් ආදී අනෙකුත් වියදම්ද වැඩි වෙනවා. මැතිවරණ කොමිසම විසින් ඉහත කී පරිදි රුපියල් බිලියනයකින් වියදම ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කරන්න ඇත්තේ මේ කරුණු සියල්ල සලකා බැලීමෙන් පසුවයි.

මැතිවරණ කොමිසමේ ඇස්තමේන්තු අනුව එක් අමතර අපේක්ෂකයෙකු නිසා මැතිවරණ වියදම රුපියල් මිලියන 70-100කින් පමණ ඉහළ යන පේනවා. නමුත්, අපේක්ෂකයෙකු විසින් ඇප සේ තැන්පත් කළ යුත්තේ රුපියල් 50,000ක් හෝ 75,000ක් පමණයි. ඉතිරි වියදම් පැටවෙන්නේ සාමාන්‍ය මහ ජනතාවගේ උර මතයි. මැතිවරණයේ මුළු වියදම ඡන්දදායකයන් සියල්ලන්ම විසින් සම සමව දරා ගන්නවා කියාත්,  ඒ ආකාරයට වියදමට දායක වෙන්නේ තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා නිසා කියාත් හිතුවොත්, කිසියම් අවම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයින් තරඟයට එකතු වීම හේතුවෙන් වෙනත් අයට අනවශ්‍ය බරක් වැටෙන්නේ නැහැ කියා නිගමනය කරන්න පුළුවන්.

මේ අවම ඡන්ද ප්‍රමාණය කොපමණද? එක් ඡන්දදායකයෙකු තරඟයෙන් ඉවත් වුවහොත් මැතිවරණයේ වියදම පහළ යන්නේ රුපියල් මිලියන 70-100කින්. එනම්, මුළු වියදමෙන් 1.5%-2%ක් පමණ අඩු වෙනවා. ඒ නිසා, කිසියම් අපේක්ෂකයෙකු විසින් අඩු වශයෙන් මුළු ඡන්ද වලින් 2%ක් පමණවත් ලබා ගන්නවානම් එවැන්නෙකු ඡන්දයට ඉදිරිපත් වීමේ වියදම ඔහුගේ හෝ ඇයගේ ඡන්දදායකයින් විසින් පියවා ඇතැයි නිගමනය කරන්න පුළුවන්. එසේ නැත්නම්, අදාළ අපේක්ෂකයා තරඟයට එකතු වීම නිසා ඉහළ ගිය වියදම ගෙවන්න වෙන්නේ ඒ අපේක්ෂකයාගේ දේශපාලනය සමඟ එකඟ නොවන, ඔහුට හෝ ඇයට අකැමැති වෙනත් ඡන්දදායකයින්ටයි.

ලංකාවේ පැවැත්වුණු පළමු ජනාධිපතිවරණ දෙකට ස්වාධීන අපේක්ෂයින් ඉදිරිපත් වුනේ නැහැ. පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හය දෙනෙකුගෙන් හතර දෙනෙකු හා දෙවන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ තිදෙනාම 2% ඉක්මවා ඡන්ද ලබාගත්තා. එහෙත්, ඉන් පසුව, 1999 ජවිපෙ අපේක්ෂකයා හැර වෙනත් කිසිදු තෙවන අපේක්ෂකයෙකු 1% ඉක්මවා ඡන්ද ලබා නැහැ. මෙවර ඉදිරිපත්ව සිටින අපේක්ෂයින්ගෙන් සිවු දෙනෙකු හැර ඉතිරි අය 1% මට්ටම නොඉක්මවන බව පැහැදිලියි. ඔවුන් නිසා ඉහළ යන වියදම වැටෙන්නේ ඔවුන්ට කැමැත්තක් නොදක්වන ඡන්දදායකයින්ගේ උර මතයි.

ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඇතැම් අය තරඟයට ඉදිරිපත්ව සිටින්නේ තමන්ගේ මතවාදය ප්‍රවර්ධනය කිරීමටයි. ඔවුන්ට තමන්ගේ මතවාදය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ ඒ මතවාද වලට ඉල්ලුමක් නැති නිසයි. ඉල්ලුමක් නැති මතවාදයක් කවුරු හෝ විසින් ප්‍රවර්ධනය කිරීමේ වරදක් නැහැ. හැබැයි තමන්ගේ වියදමෙන් හෝ තමන්ගේ මතවාදයට කැමති අයගේ වියදමෙන්!

Monday, October 7, 2019

ජනාධිපති තරඟය ලාබ වැඩියිද?

මේ වන විට නොවැම්බර් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. ඇප මුදල් තැන්පත් කළ අයගෙන් හය දෙනෙකු නාම යෝජනා භාර දී නැහැ. ඒ අය අතරින් චමල් රාජපක්ෂ නාම යෝජනා භාර නොදීමට හේතුව පැහැදිලි කරුණක්. ඔහු ඇප මුදල් තැන්පත් කළේ ගෝඨාභයට එරෙහි නඩුවේ තීන්දුව අවාසිදායක එකක් වුනානම් ගෝඨාභය වෙනුවට තරඟ කිරීමටයි. නාම යෝජනා නුදුන් ඉතිරි අය අතර කුමාර් වෙල්ගමත් කැපී පෙනෙනවා.

කොහොම වුනත්, අවසාන වශයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. මෙය වාර්තාගත තරඟකරුවන් ගණනක්. තරඟකරුවන් ප්‍රමාණය ඉහළ යාම නිසා ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදම රුපියල් බිලියන හතරේ සිට පහ දක්වා රුපියල් බිලියනයකින් ඉහළ යනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් ගණන ඉහළ යන තරමට ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදමත් ඉහළ යනවා. නමුත්, එය සිදු වන්නේ රේඛීය ලෙස නෙමෙයි. ඒ කියන්නේ වැඩිවන සෑම අපේක්ෂකයෙකු හේතුවෙන්ම වියදම වැඩි වන්නේ සමාන මුදලකින් නෙමෙයි.

තරඟ කරන්නේ එක් අයෙක් පමණක්නම්, ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු නැහැ. ඒ නිසා, වියදම නොසලකා හැරිය හැකි තරම් සුළු වියදමක් පමණයි. එහෙත්, තරඟකරුවන් ගණන දෙදෙනෙකු වූ වහාම වියදම විශාල ලෙස ඉහළ යනවා. ජනාධිපතිවරණය පැවැත්වීමේ අවම වියදම මෙන්ම දෙවන තරඟකරුවකු ඉදිරිපත් වීමේ ආන්තික වියදම රුපියල් බිලියන 3.5 කට අඩු නැතැයි මා හිතනවා. මැතිවරණ රාජකාරි වල නිරත වන නිලධාරීන් වෙනුවෙන් ගෙවිය යුතු දීමනා, ඉන්ධන වියදම් ඇතුළු ප්‍රවාහන වියදම් හා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ වියදම් ආදිය මෙයට ඇතුළත්.

තරඟකරුවන් ගණන වැඩිවන තරමට මේ සියලුම වියදම් ඉහළ යනවා. මා හිතන ආකාරයට තෙවන අපේක්ෂකයාගෙන් පසුව වැඩිවන සෑම අපේක්ෂකයෙකු නිසාම ඉහළ යන ආන්තික පිරිවැය යම් තරමකින් හෝ ටිකින් ටික ඉහළ යනවා. ඒ කියන්නේ, තෙවන අපේක්ෂකයෙකු එකතු වීම නිසා වියදම රුපියල් මිලියන 30කින් ඉහළ යනවානම්, සිවුවන අපේක්ෂකයෙකු එකතු වූ විට වියදම රුපියල් මිලියන 30කට වඩා වැඩියෙන් ඉහළ යනවා.


මේ ආකාරයට තරඟයට අමතර අපේක්ෂකයෙකු එකතු වීම නිසා ඉහළ යන මැතිවරණ වියදම තරඟ කරන මුළු අපේක්ෂයින් ගණන මත තීරණය වන්නක් වුවත්, අපට කිසිදු අපේක්ෂකයකු පළමු අපේක්ෂකයා හෝ අවසන් අපේක්ෂකයා ලෙස නම් කරන්න පදනමක් නැති නිසා කිසියම් නිශ්චිත අපේක්ෂකයෙකු තරඟයට එකතු වීම නිසා ඉහළ ගිය මැතිවරණ වියදම ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, එක් අපේක්ෂයෙකුගේ වියදම ලෙස අපට සලකන්න වෙන්නේ මුළු වියදම අපේක්ෂකයින් ගණනෙන් බෙදූ විට ලැබෙන මුදලයි.

රුපියල් බිලියන පහක වියදම තිස් පහෙන් බෙදූ විට රුපියල් මිලියන 143ක පමණ මුදලක්. නමුත්, එයින් කියැවෙන්නේ එක් අපේක්ෂකයෙකු තරඟයෙන් ඉවත් වූවානම් රුපියල් මිලියන 143ක පමණ මහජන මුදල් ඉතිරි වන බව නෙමෙයි. එසේ ඉතිරි වන මුදල රුපියල් මිලියන 30කට පමණ ආසන්න මුදලක් විය හැකියි. පසුගිය ජනාධිපතිවරණ සඳහා වැය වූ මුදල් ප්‍රමාණ පිළිබඳ දත්ත තිබේනම් මේ මුදල වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි.

හරි. ගණන කීය වුනත් තරඟකරුවෙකු එකතු වීමේ සැලකිය යුතු වියදමක් තියෙනවනේ. දැන් මේ වියදම දරන්නේ කවුද?

වියදම දරන්නේ රටේ ජනතාව මිස ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් නෙමෙයි. අපි 18ට අඩු අය අයින් කරලා රටේ ඡන්දදායකයින් ගණනින් බෙදලා බලමු. මේ ගණන මිලියන 15.7ක්නේ. ඒ කියන්නේ එක් ඡන්දදායකයෙකු විසින් දරන වියදම රුපියල් 320ක් පමණ වෙනවා.

මැතිවරණ පැවැත්වීම වෙළඳපොළ යාන්ත්‍රනය තුළ තීරණය වන ක්‍රියාවලියක් නොවන නිසා ඡන්දදායකයකුට මැතිවරණයේ වටිනාකම රුපියල් 320ට වඩා වැඩිද කියා අපිට හරියටම නිගමනය කරන්න බැරි වුනත්, එය එසේයැයි අපි උපකල්පනය කරමු. බොහෝ දෙනෙක් මැතිවරණයෙන් තමන් කැමති අපේක්ෂකයාව තෝරා පත් කර ගන්න විශාල උනන්දුවක් දරනවනේ. ඒ උනන්දුව එක්ක බැලුවහම ඔය රුපියල් 320 ලොකු ගාණක් නෙමෙයි කියා හිතන්න අමාරු නැහැ.

එතකොට ඡන්දය නොදාන අය? ඒ අය අතරෙන් වුවත් සෑහෙන පිරිසකට ජනාධිපතිවරණය රුපියල් 320ක් වටිනවා කියා මම හිතනවා. ඔවුන් ඡන්දය නොදැමීමෙන් අදහස් වන්නේ ඡන්දය දමන අයගේ බහුතර තීරණය සමඟ අනුගත වීමට තිබෙන කැමැත්ත මිසක් ඡන්දය පැවැත්වෙනවාට තිබෙන අකැමැත්තක් කියා මම හිතන්නේ නැහැ. නමුත්, මැතිවරණ අවශ්‍ය නැති, මැතිවරණය වෙනුවෙන් රුපියල් 320ක් වැය කරන්න කැමති නැති යම් පිරිසකුත් ඇති. ඒ අයටනම් සිදු වෙන්නේ අකැමැත්තෙන් මැතිවරණ වියදම් වලට දායක වෙන්නයි. එහෙම අය ගොඩක් ඉන්නවා කියා මම හිතන්නේ නැහැ. මොකද මැතිවරණ තියන්න කියා ඉල්ලන අය මිසක් මැතිවරණ එපා කියා කියන අය එතරම් නැහැනේ.

මේ විදිහට රටේ ගොඩක් අය ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් 320 බැගින් ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා කියා හිතුවොත්, ඔවුන් ඒ මිල කැමැත්තෙන් ගෙවන්නේ තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු දැකීමෙන් ලබන මානසික සතුට හා වෙනත් මුදල් වාසි ඇත්නම් ඒවා වෙනුවෙනුයි. වෙනත් අයෙකු ජයග්‍රහණය කළොත් ඒ සතුට ලැබෙන්නේ නැහැ.

තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි සහතිකයක් කිසිදු ඡන්දදායකයෙකුට නැහැ. එහෙත්, ඒ සඳහා කිසියම් සම්භාවිතාවක් තිබෙන බව ඔවුන් දන්නවා. අපේක්ෂයා දිනුවොත් ලැබෙන මානසික හෝ මුදල් වාසිය මේ සම්භාවිතාවයෙන් ගුණ කළ විට ඡන්දදායකයෙකුගේ අපේක්ෂිත වාසියේ වටිනාකම ලැබෙනවා. ඡන්දදායකයෙකු ඡන්දයකට කැමති වන්නේ මේ අපේක්ෂිත වාසිය මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිලට වඩා වැඩිනම් පමණයි.

ඇතැම් ඡන්දදායකයින්ට මේ විදිහට මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවීමෙන් පසුව ලැබෙන අතිරික්ත වාසිය වුවත් ගොඩක් වැඩියි. මැතිවරණ වලදී තමන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් මුදල් හා ශ්‍රමය වැය කරන්නේ එවැනි අයයි. තවත් ඇතැම් අයට කවුරු දිනුවත් වෙනසක් නැහැ. ඒ නිසා, මැතිවරණයෙන් වැඩක් නැහැ. නමුත්, එහෙම කියලා එවැන්නෙකුට මැතිවරණයේ වියදම් වලට දායක නොවී සිටීමේ හැකියාවක් නැහැ. රජය ඒ මුදල කොහොමටත් බලෙන්ම ගන්නවා. ඒ නිසා, එවැන්නෙකුට කළ හැක්කේ මැතිවරණය හා අදාළව තමන්ගේ පාලනය යටතේ තිබෙන වියදම් කොටස අඩු කර ගැනීම පමණයි. ඡන්දය නොදා සිටීම එය කරන එක් ක්‍රමයක්.

දැන් මේ ඡන්දදායකයාගේ පැත්තනේ. එතකොට අපේක්ෂකයාගේ පැත්ත?

අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ලැබෙන ප්‍රධානම වාසිය වන්නේ එසේ ඉදිරිපත් වීමෙන් රටේ ජනාධිපති වීමට අවස්ථාවක් ලැබීමයි. ජනාධිපති වීමේ වාසි ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත්, මේ වාසි ලැබෙන්නේ දිනුවොත් පමණයි. දිනන එක සහතික නැහැ. එහෙත්, දිනන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. ඒ අනුව, ලැබෙන අපේක්ෂිත වාසිය ගණනය කළ හැකියි. දිනන්න කවර හෝ සම්භාවිතාවක් පෙනෙන්නට ඇති අයෙකුට මේ අපේක්ෂිත වාසිය ඉතා විශාල එකක්. එයට සාපේක්ෂව දැරිය යුතු වියදම එතරම් විශාල නැහැ.

නමුත්, මේ වාසිය තිබෙන්නේ ජයග්‍රහණය කිරීමට කවර හෝ සම්භාවිතාවක් ඇත්නම් පමණයි. එහෙමනම්, ජයග්‍රහණය කරන්න කිසිම ඉඩක් නැති බව හොඳින්ම දන්නා අපේක්ෂයින් බුරුතු පිටින් තරඟයට ඉදිරිපත් වෙන්නේ ඇයි?

මෙයට හේතුව, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට කිසිදු ඉඩක් නැතත්, තරඟයට ඉදිරිපත් වීමේ වෙනත් වාසි තිබීමයි. මේ වෙනත් වාසි යනු ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා ලැබෙන ප්‍රචාරනාත්මක වාසියයි.

මේ වාසියත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇතැම් අපේක්ෂකයින් හා ගත් විට ඔවුන් මේ ප්‍රචාරනාත්මක වාසිය යොදා ගන්නේ තමන්ගේ අනාගත දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන්. නමුත්, මේ වන විට මීට අමතරව මේ ප්‍රචාරනාත්මක වාසිය දේශපාලනික නොවන පෞද්ගලික වාසි වෙනුවෙන් ලබා ගැනීමේ ප්‍රවනතාවක්ද ඇති වී තිබෙනවා. ඒ පෞද්ගලික වාසිය වෙනත් අපේක්ෂයෙකු දිනවීමෙන් හෝ වෙනත් අපේක්ෂයෙකුගේ ජයග්‍රහණය වැළැක්වීමෙන් ලබන වාසියක් වෙන්නත්, ඒ දෙකම නොවන වඩා පෞද්ගලික ආකාරයේ වාසියක් වෙන්නත් පුළුවන්.

මේ යන ආකාරයට ගියොත් අනාගතයේදී වෙළඳ ප්‍රචාරණය අරමුණු කර ගනිමින් වුවත් අපේක්ෂකයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි. උදාහරණයක් විදිහට කුඩ නිෂ්පාදකයෙකුට තමන්ගේ කුඩ ප්‍රචාරණය කර ගැනීම පිණිස කුඩය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එය වෙළඳ දැන්වීම් වෙනුවෙන් මුදල් වැය කරනවාට වඩා ලාබ විය හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුව බැලුවොත්, දිනන්න ඉඩක් තිබුණත් නැතත්, ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ හැරීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම, නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුව බැලුවොත් කවුරු හෝ තමන්ට කවර හෝ වාසියක් ලැබෙන කටයුත්තක නිරත වීමේ වැරැද්දක් නැහැ. ඒ නිසා යමෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ දිනීමේ අරමුණින්ද එහෙම නැත්නම් වෙනත් අරමුණකින්ද කියන එක අදාළ කරුණක් නෙමෙයි. එහෙමනම්, මේකේ තියෙන වැරැද්ද මොකක්ද?

මෙතැන තිබෙන වැරැද්ද මෙහිදී අනුන්ගේ පානෙන් එළිය බැලීමක් හෙවත් ෆ්‍රී රයිඩින් ප්‍රශ්නයක් තිබීමයි. කෙනෙක් කිසියම් වාසියක් ලැබීමේ කිසිදු අවුලක් නැතත්, එහි මිල ගෙවන්න වෙන්නේ වෙන අයෙකුටනම් එහි වැරැද්දක් තිබෙනවා. මෙහිදී, සුළු පිරිසක් විසින් අනිසි සේ ලබා ගන්නා ප්‍රචාරාත්මක වාසියේ මිල ගෙවන්න සිදු වන්නේ ඒ මිල ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් හෝ කැමැත්තක් නැති පිරිසකටයි.

උදාහරණයක් විදිහට ටියුෂන් ගුරුවරයෙක් තමන්ට වැඩිපුර සිසුන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරණයට තරඟ කරනවා කියා හිතමු. ඔහුට දිනන්න කිසිදු අරමුණක් නැහැ. ජනාධිපතිවරණයට තරඟ කර ලබන ප්‍රචාරනාත්මක වාසිය වෙන ආකාරයකින් ලබා ගන්නනම් ඔහුට මිලියන ගණනක් වැය වෙනවා. මේ වැඩේ ඊට වඩා ලාබයි. ඒ නිසා, ඔහුට විශාල වාසියක් ලැබෙනවා. එහි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ඔහු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා මිලියන ගණනකින් මැතිවරණ පිරිවැය ඉහළ යාමයි. එය ගෙවන්න වෙන්නේ වෙනත් පිරිසකටයි. ඔවුන්ට ඒ මිල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. රජයෙන් ඒ මුදල ඔවුන්ගෙන් බලෙන්ම අය කර ගන්නවා.

ඉහත කී තත්ත්වය වලක්වා ගන්නනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයෙකුගෙන් එහි මිල අය කර ගත යුතුයි. තරඟකරුවන් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල හරහා සිදු වන්නේ මේ කාර්යයයි. අවශ්‍ය අවම ඡන්ද ප්‍රතිශතය ලබා ගන්නා අපේක්ෂකයෙකුට තමන් විසින් තැන්පත් කළ ඇප මුදල ආපසු ලැබෙනවා. ඔවුන්ගේ මැතිවරණ පිරිවැය කොටහ ගෙවන්නට කැමැත්තෙන් සිටින පිරිසක් රටේ සිටින බව තහවුරු වී තිබෙන නිසා ඇප මුදල ආපසු දීමේ වැරැද්දක් නැහැ. එහෙත්, ඒ බව තහවුරු කළ නොහැකි අය තමන් නිසා ඉහළ ගිය මැතිවරණ වියදම් පියවිය යුතුයි. ඇප මුදල් රාජසන්තක කිරීමේ මූලධර්මය මෙයයි.

ජනාධිපතිවරණයට තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු විසින් රුපියල් 50,000ක මුදලක්ද ස්වාධීන අපේක්ෂකයෙකු විසින් රුපියල් 75,000ක මුදලක්ද ඇප සේ තැන්පත් කළ යුතුයි. මේ ඇප මුදල ආපසු ලැබෙන්නේ 12.5%ක අවම ඡන්ද ප්‍රතිශතයක් ලබාගතහොත් පමණයි. මෙතෙක් ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම සිදුවී තිබෙන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයින් දෙදෙනාගේ හැර අනෙකුත් සියලුම අපේක්ෂයින්ගේ ඇප මුදල් රාජසන්තක වීමයි. මේ ආකාරයට තමන්ගේ ඇප මුදල රාජසන්තක වන බව දැන දැනම බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඇප ලෙස තැන්පත් කරන සොච්චම් මුදලට සාපේක්ෂව තමන්ට ලැබෙන ප්‍රචාරනාත්මක වාසිය ගොඩක් වැඩි නිසයි.

මේ ඇප මුදල් නිර්ණය වී තිබෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පණතේ ප්‍රතිපාදන අනුවයි. 1981දී රුපියල් 50000ක් කියා කියන්නේ සැලකිය යුතු මුදලක්. ඒ වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 5,725ක් පමණයි. එහෙත්, 2018 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 666,817 දක්වා 116 ගුණයකින් වැඩි වී තිබෙනවා. මේ වැඩි වීමට උද්ධමනය හේතුවෙන් රුපියලේ මූර්ත අගය පහළ යාම සහ මූර්ත ආර්ථික වර්ධනය යන කරුණු දෙකම හේතු වී තිබෙනවා. එයට සමාන්තරව මැතිවරණ වියදම්ද ඉහළ ගොස් ඇතත් අපේක්ෂයින් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණ වෙනස් වී නැහැ.

පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂයක අපේක්ෂයෙකු විසින් තැන්පත් කළ යුතු වූ ඇප මුදල එවක රටේ ඒක පුද්ගල ආදායම මෙන් 8 ගුණයකටත් වැඩියි. එසේ තිබියදීත් අපේක්ෂකයින් 6 දෙනෙකු තරඟයට ඉදිරිපත් වුනා. ඉන් පසුව, රටේ ආදායම් ක්‍රමයෙන් ඉහළ යද්දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය ඇප මුදල ක්‍රමක්‍රමයෙන් සුළු මුදලක් බවට පත් වුනා. රුපියල් 50,000ක් කියා කියන්නේ 2018දී ලංකාවේ ඒක පුද්ගල ආදායමෙන් 1/13කටත් අඩු මුදලක්. මේ ආකාරයට ඇප සේ තැන්පත් කළ යුතු මුදලේ නාමික අගය වෙනස් නොවීම හා මූර්ත අගය පහළ යාමට සමාන්තරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තරඟකරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.

1982- 6
1989- 3
1994- 6
1999- 13
2005- 13
2010- 22
2015- 19
2019- 35

රටේ ඒක පුද්ගල ආදායම ඉහළ යාම සැලකුවොත් 1981දී නිර්ණය වූ රුපියල් 50,000 හා 75,000 මුදල් ප්‍රමාණ 2018 වන විට රුපියල් මිලියන 5.8 හා රුපියල් මිලියන 8.7 මට්ටමට ඉහළ ගොස් තිබිය යුතුයි. නමුත්, එසේ වී නැහැ. ඊළඟ ජනාධිපතිවරණයට පෙර හෝ මේ ඇප මුදල් ප්‍රමාණ විශාල ලෙස ඉහළ නොදැම්මොත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයින් ගණන සීය පන්නයි.

Sunday, October 6, 2019

රනිල් වික්‍රමසිංහ- ගමනක අවසානය?


නොවැම්බර් 16 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා දීමට පෙර ඇප මුදල් තැන්පත් කළ හැකිව තිබුණු කාලය මේ වන විට අවසන්ව තිබෙන අතර විවිධ පක්ෂ යටතේ හා ස්වාධීනව පුද්ගලයින් 41 දෙනෙකු විසින් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව, ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත්තේ මේ 41 දෙනාගෙන් එක් අයෙකුයි. ඒ කවුද කියා හරියටම කීමේ හැකියාවක් තවමත් නැහැ.

ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා පිළිබඳව එක් දෙයක්නම් දැන් ස්ථිරවම කිව හැකියි. ඒ, ඔහු අලුත් කෙනෙක් බවයි. මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරී නැහැ. ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අලුත් කෙනෙක් වනවාට අමතරව ඔහු මෙතෙක් ලංකාවේ අගමැති ධුරය හෙබවූ අයෙකුද නොවෙයි. මහින්ද රාජපක්ෂට හෝ රනිල් වික්‍රමසිංහට ලංකාවේ මීළඟ ජනාධිපති වීමේ ඉඩක් දැන් නැහැ. ගෝඨාභය කඳවුර හා සජිත් කඳවුර විසින් අදාළ පක්ෂ ඇතුළේ ගෙනගිය අරගල මේ වෙද්දී ජයග්‍රහණයෙන් කෙළවර වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහට එජාපයට පිටින් වගේම එජාපය ඇතුළෙනුත් කලක සිටම විශාල ප්‍රතිරෝධයක් තිබුණා. බොහෝ දෙනෙකු ඔහුව හැඳින්වූවේ විශාල වාර ගණනක් පරාජය වීත් එජාප නායකත්වය අත නොහරින අයෙකු ලෙසයි. ඔහු තවමත් එජාප නායකත්වය අතහැර නැහැ.

රනිල් වික්‍රමසිංහ මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ 1977දී අටවෙනි පාර්ලිමේන්තුවේ බියගම මන්ත්‍රීවරයා ලෙසයි. එවිට ඔහු වයස අවුරුදු 28ක තරුණයෙක්. එදා සිට අද දක්වාම ඔහු දිගටම ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් රනිල් වික්‍රමසිංහට වඩා පැරණි පාර්ලිමේන්තු ඉතිහාසයක් තිබෙන්නේ මහින්ද රාජපක්ෂට පමණයි. මහින්ද රාජපක්ෂ 1970දී පාර්ලිමේන්තුවට තේරී පත්වන විට ඔහුගේ වයස අවුරුදු 24ක් පමණයි. එහෙත්, මහින්ද රාජපක්ෂට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අඛණ්ඩව රැක ගැනීමට හැකි වූයේ නැහැ. 1977දී මහින්ද රාජපක්ෂ රන්ජිත් අතපත්තුට පරාද වුනා. ඉන්පසු, මහින්දට නැවත පාර්ලිමේන්තු එන්න ලැබුණේ 1989දීයි.

අටවෙනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ රනිල්ට ජේආර්ගේ ආණ්ඩුවේ කැබිනට් මන්ත්‍රීධුරයක්ද හිමි වුනා. රැකියා හා යෞවන කටයුතු ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කළ මේ කාලයේදී ඔහු විසින් සංවිධානය කළ යොවුන්පුර කඳවුරු වැඩසටහන් ඒ කාලයේ විවිධ විවේචන වලටද පාත්‍ර වුනා.

සමානුපාතික ක්‍රමයට පැවැත්වුණු 1989 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වීමට රනිල් වික්‍රමසිංහට හැකි වුවත් ගම්පහ මනාප ලැයිස්තුවේ ඔහු සිටියේ තෙවැනි තැනයි. ජෝශෆ් මයිකල් පෙරේරා හා ජෝන් අමරතුංග රනිල්ට වඩා ඉදිරියෙන් සිටියා. ඒ වෙද්දී එජාපයේ දෙවන පෙල නායකයන් සේ කැපී පෙනුණේ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායකයි. 1989 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ලලිත් ඇතුලත්මුදලි දිවයිනේ වැඩිම මනාප වාර්තා කරද්දී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ගාමිණී දිසානායක දිවයිනේ වැඩිම මනාප ප්‍රතිශතය (තමන් තරඟ කළ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද වල ප්‍රතිශතයක් ලෙස) වාර්තා කළා. ඒ වෙද්දී, රනිල් වික්‍රමසිංහ එජාපයේ සිටි මේ දැවැන්ත චරිත වල අහලකින්වත් හිටියේ නැහැ.

ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව ලලිත්, ගාමිණී ඇතුළු කණ්ඩායම විසින් ගෙන ආ දෝෂාභියෝග යෝජනාව, ඉන්පසුව එම කණ්ඩායම එජාපයෙන් ඉවත් වීම හා ප්‍රේමදාස, ලලිත්, ගාමිණී ඝාතන ආදී සිදුවීම් රැසකින් පසුව රනිල් වික්‍රමසිංහ එජාප නායකයා බවට පත් වුනා. ඉන්පසුව, එජාපය පක්ෂයක් ලෙස ලබාගත් ජයග්‍රහණයන් කෙසේ වුවත්, දිගින් දිගටම එජාපය ඇතුලෙ සිටි ජනප්‍රියම නායකයා වූයේ රනිල් වික්‍රමසිංහයි. එතෙක් මෙතෙක් පැවති සෑම මහා මැතිවරණයකදීම විශාල ඡන්ද ප්‍රමාණයක් හා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වුනා.

රනිල් වික්‍රමසිංහ කිහිප වරක්ම ලංකාවේ අගමැති ධුරය දැරුවත් ඔහුට කිසි විටෙකත් ලංකාවේ ජනාධිපති ධුරය දැරීමේ වාසනාව හිමි වුනේ නැහැ. ඔහු දෙවරක්ම එම ධුරය සඳහා තරඟ කළත් පළමු වර චන්ද්‍රිකා කුමාරතුංගටත්, දෙවන වර මහින්ද රාජපක්ෂටත් පරාජය වුනා. ඒ පරාජයන් දෙකටම එල්ටීටීඊ සංවිධානයෙන් දායකත්වයක් ලැබුණා.

චන්ද්‍රිකා කුමාරතුංග පළමු වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ජනප්‍රියතාව අතින් ඉතා ඉහළ තැනක හිටියත් ඇය 1999දී දෙවන වර තරඟ කරන විට ඒ තත්ත්වය බොහෝ දුරට වෙනස් වී තිබුණා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට එවර ජයග්‍රහණය කරා යාමට සැලකිය යුතු ඉඩක් තිබුණා. නමුත්, ජනාධිපතිවරණයට දින තුනක් තිබියදී අවසන් ප්‍රචාරණ රැළියේදී චන්ද්‍රිකා කුමාරතුංගට එල්ටීටීඊ ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ රටේ බොහෝ දෙනෙකුගේ අනුකම්පාව දිනා ගැනීමට ඈ සමත් වුනා. මේ සිදුවීම නොවන්නට ඇතැම් විට එවර රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළ හැකිව තිබුණා.

මේ අයුරින්ම 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ පරාජයට හේතු වූයේත් එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ ඡන්ද වර්ජනයක් ක්‍රියාත්මක කිරීමයි. එවර රනිල් මහින්දට පැරදුනේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකින්. එල්ටීටීඊ සංවිධානය විසින් එජාපයේ ප්‍රමුඛ නායකයින් තිදෙනෙකුම කෙටි කලක් තුළ ඝාතනය කිරීමේ වාසිය නිසා එජාප නායකත්වයට පත් වුනු රනිල්ට ලංකාවේ ජනාධිපති වීමට තිබුණු අවස්ථාව එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියා හේතුවෙන්ම දෙවරක්ම වැළැකීම දෛවයේ සරදමක්.

ඉහත කී සුවිශේෂී තත්ත්වයන් යටතේ ජනාධිපතිවරණ දෙකකින්ම පරාජය වුවත්, මා දන්නා තරමින්, රනිල් වික්‍රමසිංහ ඔහු පෞද්ගලිකව තරඟ කළ අනෙක් මැතිවරණ සියල්ලම ජයගත් අයෙක්. ඔහු ඇතැම් අය කියන ආකාරයට දිගින් දිගටම මැතිවරණ පැරදුණු අයෙක් නෙමෙයි. රනිල්ට දිගින් දිගටම එජාප නායකත්වයේ ඉන්න හැකි වුනෙත් ඔහු දිගින් දිගටම එජාපය තුළ සිටි ජනප්‍රියම නායකයා වූ නිසයි. තමන්ගේ පක්ෂ නායකත්වයට එරෙහිව වරින් වර නැගුනු විවිධ අභියෝග හමුවේ නායකත්වය රැක ගැනීමට ඔහු මෙතෙක් සමත් වුනා. එහෙත්, මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ හැරවුම් ලක්ෂ්‍යයක් කරා එළැඹ සිටින බව පැහැදිලියි. සජිත් ප්‍රේමදාස එජාප අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම රනිල්ගේ අවශ්‍යතාවය ඉටුවීමක් සේ සැලකිය නොහැකියි. එය රනිල්ගේ පරාජයක්!

රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ මාමණ්ඩිය වන ජේ ආර් ජයවර්ධන අතර සමානතා ගණනාවක් තිබෙනවා. ඔවුන් දෙදෙනාම කිසියම් දැක්මක් තිබුණු නායකයින්. ඒ දැක්ම කෙතරම් පරිපූර්ණ දැක්මක්ද කියන එක වෙනම කරුණක්. ඔවුන් දෙදෙනාම තමන්ගේ දැක්ම පරිදි කටයුතු කිරීමට අවස්ථාවක් එළැඹෙන තුරු බලා සිටියා මිස කෙටි මං හොයන්න ගියේ නැහැ. ජේ ආර්ට ඔහු විසින් දශක ගණනාවක් බලා සිටි අවස්ථාව ලැබෙන විට ඔහු සෑහෙන තරමකට වයස්ගත පුද්ගලයෙක්. රනිල් වික්‍රමසිංහට ඒ අවස්ථාව කවදාවත් ලැබුණේ නැහැ.

ජේ ආර් ජයවර්ධනට 1977දී හයෙන් පහක බලයක් ලැබුණේ හදිසියේම ලංකාවේ ඡන්දදායකයින්ට ජේ ආර්ගේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ගැන පැහැදීමක් ඇතිවූ නිසා නෙමෙයි. සමඟි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ නිසා බොහෝ දෙනෙක් ඒ වන විට හොඳටම හෙම්බත් වී සිටි නිසයි. එසේ නොවන්නට, ජේ ආර්ට ඔහුගේ ඉදිරිගාමී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ජේ ආර්ගේ දැක්ම සමකාලීන දේශපාලනඥයින් බොහෝ දෙනෙකුට වඩා ඉදිරිගාමී වූ බව කැපී පෙනෙන්නේ මේ වෙද්දී ශ්‍රීලනිපය වැනි පක්ෂ වලට පමණක් නොව ජවිපෙ වැනි පක්ෂ වලට පවා තමන්ගේ පසුගාමී ආර්ථික දේශපාලන ව්‍යාපෘති අතහැර අඩු වැඩි වශයෙන් ජේ ආර් ගිය මඟම යන්නට සිදු වී තිබීමෙනුයි.

ජේ ආර්ට ඔහුගේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව දෘඪ විශ්වාසයක් තිබුණත්, ඒ වැඩ පිළිවෙල රටට තබා පක්ෂයට හෝ අළෙවි කිරීමේ දක්ෂතාවයක් ඔහුට තිබුණේ නැහැ. ඇතැම් විට ඔහුට ඒ සඳහා උවමනාවක් නොතිබුණා වෙන්නත් පුළුවන්. ජේ ආර්ගේ මේ දුර්වලතාවය රනිල් වික්‍රමසිංහටත් එළෙසම තිබෙනවා. කොහොම වුනත්, හයෙන් පහක මැතිවරණ ජයග්‍රහණය සමඟ ලැබුණු පිටියේ වාසිය නිසා ජේ ආර්ට තමන්ගේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අසීරු වුනේ නැහැ. ඔහු සීමාවෙන් ඉදිරියට පැන අත දිග හැර ප්‍රහාර එල්ල කළා.

රනිල් වික්‍රමසිංහ ඔහුගේ මාමණ්ඩිය තරම් වාසනාවන්තයෙක් වුනේ නැහැ. ඔහුට කිහිප වරක්ම පන්දුවට පහර දීමට පිත්ත අතට ලැබුණත්, එසේ ලැබුණේ ජේ ආර්ට ලැබුණු ආකාරයේ පිටියේ වාසියක් සමඟ නෙමෙයි. කඩුල්ල රැක ගැනීම ගැන මිස ලකුණු රැස් කිරීම ගැන හිතන්න ඔහුට වැඩි ඉඩකඩක් ලැබුණේ නැහැ. නමුත්, කඩුල්ල රැක ගනිමින් ඔහු තමන්ට හැකි තරම් ලකුණු රැස් කළා. මා හිතන ආකාරයට, තමන්ට සැලකිය යුතු දේශපාලන බලයක් ලැබුණානම් දැකිය හැකිව තිබුණු රනිල් වික්‍රමසිංහගේ සැබෑ ස්වරූපය කිසිදා මුළුමනින්ම නිරාවරණය වී නැහැ. සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණක් දැකිය හැකි වූ, ලංකා ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහගේ භූමිකාව ගැන තව අවුරුදු දහයකින් අදට වඩා ගොඩක් දේවල් කතා කෙරෙයි.

මේ මොහොත වෙද්දී පවතින තත්ත්වය අනුව, ඉදිරි ජනාධිපතිවරණය ජයගන්න ඉඩ තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස යන දෙන්නාගෙන් එක් අයෙක්. යම් හෙයකින් සජිත් ප්‍රේමදාස ජයග්‍රාහකයා වුවහොත්, රනිල් වික්‍රමසිංහගේ අතේ තියාගෙන සිටින එජාප නායකත්වයේ වගේම ඔහුගේ දේශපාලනයේත් අවසානය එය විය හැකියි. අනෙක් අතට, ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයකින් පසුව තවත් ටික කලක් එජාප නායකත්වයේ සිටීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහට ලැබෙන්න පුළුවන් වුවත්, ඔහුට අනාගතයේදී නැවතත් බලයට එන්න අවස්ථාවක් ලැබේද යන්න සැක සහිතයි. ඒ නිසා, රනිල් වික්‍රමසිංහ ඉතිහාසයට එකතු වනු ඇත්තේ ටික දෙනෙක් ටිකක් කියවූ, කිසිවකු සම්පූර්ණයෙන්ම නොකියවූ ලොකු පොතක් ලෙසයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...