වෙබ් ලිපිනය:

Thursday, December 20, 2018

මහ බැංකු ස්වාධීනත්වය


ඊයේ දිනයේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් නැවත වරක් ඉලක්ක පොලී අනුපාතික ඉහළ දැම්මා. මේ අනුව, මේ වන විට ඉලක්ක පොලී අනුපාතික පරාසය 2.25-2.5 ලෙස පවතිනවා. මේ, මේ වසර තුළ මෙලෙස පොලී අනුපාතික ඉහළ දමනු ලැබූ සිවුවන වතාවයි.

පසුගිය නොවැම්බර් මාසයේදීත් ඇමරිකාවේ සේවා වියුක්ති අනුපාතිකය 3.7% මට්ටමේ පැවතුණා. එය එක දිගටම මාස තුනක්ම තිබෙන්නේ එම මට්ටමේ. එය දිගුකාලීනව පැවතිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමක්. ඒ අතර නොවැම්බර් මාසයේ ඇමරිකාවේ උද්ධමනය 2.2% මට්ටමේ පැවතුනා. මෙය සුළු වශයෙන් වුවත් ෆෙඩරල් සංචිත බැංකුවේ ඉලක්ක උද්ධමන මට්ටම වන 2%ට වඩා වැඩියි.

මේ දර්ශක දෙකෙන්ම පෙන්වන්නේ ඇමරිකාවේ පවතින ආර්ථික ක්‍රියාකාරීත්වය නියම මට්ටමට වඩා තවමත් වැඩි බවයි. ෆෙඩරල් සංචිත බැංකුව විසින් මේ දර්ශක දෙස සැලකිල්ලෙන් බලමින්, ආර්ථික වර්ධනය තරමක් අඩාල වන අයුරින් පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. ඒ තීරණය දැනුම් දීමෙන් පසුව ඩවු-ජෝන්ස් කොටස් වෙළඳපොල දර්ශකය ඊයේ දිනය ඇතුළත ඒකක 352කින් (1.5%කින්) පහළ ගියා.

ආර්ථික වර්ධනය අඩාල කරමින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ යාම ගැන රජයකට අසතුටු වෙන්න හේතු දෙකක් තිබෙනවා. එක පැත්තකින් එය රජයේ මූල්‍යකරන පිරිවැය ඉහළ දැමීමට හේතු වෙනවා. අනික් පැත්තෙන් ආර්ථික වර්ධනය අඩාල වීම රජයේ බදු ආදායම් සීමා කරනවා. මේ හේතු දෙකෙන්ම රජයක අයවැය හිඟය තුලනය කිරීම අසීරු කරනවා. එහෙත්, මහ බැංකුවක මූලික ඉලක්කය මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම නිසා ඇතැම් තත්ත්වයන් යටතේදී ආර්ථික වර්ධනය අඩාල වෙන්නට ඉඩ හරිමින් පොලී අනුපාතික ඉහළ දමන්න සිදුවෙනවා. රටක මහ බැංකුව රජයෙන් ස්වාධීන නොවේනම් එය කිරීම අපහසුයි.

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව යනුවෙන් පහසුව තකා මා ඉහත සඳහන් කළත් නිවැරදි වචනය ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය යන්නයි. එයට හේතුව වෙනත් රටවල මහ බැංකු මෙන් ඇමරිකාවේ "මහ බැංකුව" තනි ආයතනයක් නොවීමයි. එය ආයතනික පද්ධතියක්.

ෆෙඩරල් සංචිත පණතින් සංචිත බැංකු කටයුතු හා අදාළව ඇමරිකාව කලාප 12කට වෙන් කර තිබෙනවා. මේ එක් කලාපයක් ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයක් ලෙස හැඳින්වෙන අතර එය එම කලාපය තුළ ෆෙඩරල් සංචිත බැංකුව පිහිටි නගරය අනුවත්, දිස්ත්‍රික්කය හඳුනා ගැනෙන කිසියම් අංකයකිනුත් හැඳින්වෙනවා. උදාහරණ විදිහට නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් දෙවන ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයේ කටයුතු නියාමනය කරන අතර සැන් ෆ්‍රැන්සිස්කෝ ෆෙඩරල් සංචිත බැංකුව විසින් දොළොස්වන ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයේ කටයුතු නියාමනය කරනවා. දොළොස්වන දිස්ත්‍රික්කයට කැලිෆෝර්නියා, නෙවාඩා, යූටා, වොෂින්ටන්, ඔරෙගන්, අයිඩහෝ, ඇලස්කා, හවායි හා ඇරිසෝනා යන ප්‍රාන්ත නවයත් ගුවාම්, ඇමරිකන් සමෝවා හා උතුරු මරියානා දූපත් යන ප්‍රදේශත් අයත් වෙනවා. දෙවන දිස්ත්‍රික්කයට නිවුයෝර්ක් ප්‍රාන්තය, නිවුජර්සි ප්‍රාන්තයේ උතුරු කොටස, කනෙක්ටිකට් ප්‍රාන්තයේ බටහිර කොටසක් හා පෝර්ටරිකෝ හා ඇමරිකන් වර්ජින් දූපත් අයත් වෙනවා. මේ ෆෙඩරල් සංචිත බැංකු සියල්ලේ කටයුතු අධීක්ෂණය කරන ෆෙඩරල් අධිපති මණ්ඩලය වොෂින්ටන් ඩීසීහි පිහිටා තිබෙනවා.

එක් එක් ෆෙඩරල් සංචිත බැංකුවේ "අයිතිය" තිබෙන්නේ අදාළ දිස්ත්‍රික්කයේ බැංකු වලටයි. මේ එක් එක් බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 9 දෙනෙකුගෙන් 6 දෙනෙක්ම පත්කරගන්නේ එම බැංකු විසිනුයි. ඉතිරි තිදෙනාව ෆෙඩරල් අධිපති මණ්ඩලය විසින් පත් කරනවා. බැංකු විසින් පත් කර ගන්නා අධ්‍යක්ෂවරුන් හය දෙනාගෙන් තිදෙනෙක් වෘත්තීය බැංකුකරුවන් විය යුතු අතර ඉතිරි තිදෙනා කෘෂිකාර්මික, කර්මාන්ත, පාරිභෝගික හා කම්කරු ක්ෂේත්‍ර වල කැපී පෙනෙන නායකයින් අතරින් තෝරා පත් කර ගත යුතුයි. ෆෙඩරල් අධිපති මණ්ඩලය විසින් පත් කර කරන නියෝජිතයින් තිදෙනා වාණිජ බැංකුවක නිලධාරීන්, කොටස් හිමිකරුවන් හෝ සේවකයින් නොවිය යුතුයි. එක් එක් ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිවරයාව තෝරා ගැනෙන්නේ මේ අධ්‍යක්ෂවරුන් අතරින් ඔවුන්ගේ ඡන්දයෙනුයි. එහිදී, බැංකුකරුවන්ට ෆෙඩරල් අධිපති මණ්ඩලයට වඩා වැඩි බලයක් තිබෙන බව පැහැදිලි කරුණක්.

ෆෙඩරල් අධිපති මණ්ඩලය සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන්ව ඇමරිකාවේ ජනාධිපති විසින් පත් කරනු ලැබ සෙනෙට් සභාව විසින් අනුමත කළ යුතු වෙනවා. මේ අයුරින් පත් කරන සාමාජිකයෙකුගේ ධුර කාලය වසර 14ක්. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකුට සාමාජිකයින් හත් දෙනාම එක වර පත් කළ නොහැකියි. ඒ සඳහා ධුරයක් පුරප්පාඩු විය යුතුයි. මේ ධුර හතෙන් එක් ධුරයක් වසර දෙකකට වරක් බැගින් පුරප්පාඩු වෙනවා. එවිට, ජනාධිපතිවරයාට සෙනෙට් සභාවේ අනුමැතියට යටත්ව තමන් කැමති අයෙකු එම ධුරයට පත් කළ හැකියි. එහෙත්, එසේ පත් කිරීමෙන් අනතුරුව වසර 14ක කාලයක් යන තුරු ඔහුව හෝ ඇයව එම තනතුරෙන් ඉවත් කළ නොහැකියි.

ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ධුර කාලය වසර 14ක් වුවත්, ඇමරිකන් ජනාධිපතිවරයෙකුගේ ධුරකාලය වසර හතරක් පමණයි. ඒ වගේම, එකම පුද්ගලයෙකුට ඇමරිකන් ජනාධිපති තනතුර දැරිය හැක්කේ උපරිම වශයෙන් වසර අටක කාලයක් පමණයි. ඒ නිසා, එක් ජනාධිපතිවරයෙකුට වෙනස් කළ හැක්කේ ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනෙකුගෙන් හතර දෙනෙක් පමණයි. එය කළ හැක්කේද දෙවන වරට පත් වුවහොත් එම දෙවන ධුර කාලය අවසන් වෙන්න කිට්ටුවයි.

ඇමරිකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඇතුළු මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්නේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසිනුයි. එයත් ෆෙඩරල් සංචිත පද්ධතියට අයත් ආයතනික ව්‍යුහයේ කොටසක්. එහි සාමාජිකයින් දොළොස් දෙනෙකු සිටිනවා. එයින් බහුතරය එනම් හත් දෙනෙකු ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයින්. ඉතිරි පස් දෙනා තෝරා ගැනෙන්නේ ෆෙඩරල් සංචිත බැංකු සභාපතිවරුන් අතරෙනුයි. මේ ආකාරයේ සංකීර්ණ ආයතනික ව්‍යුහයක් තිබෙන නිසා ඇමරිකන් රජයට හෝ ජනාධිපතිවරයාට ඇමරිකාවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට සෘජු බලපෑමක් කළ නොහැකියි.

ලංකාවේ බැඳුම්කර වංචාව ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව 2015 පෙබරවාරි 27 දින පැවති බැඳුම්කර වෙන්දේසියේදී සිදුවී තිබෙන අක්‍රමිකතාව හේතුවෙන් රජයට රුපියල් මිලියන 689ක පමණ පාඩුවක් සිදු වී තිබෙනවා. මහබැංකු අධිපතිවරයා විසින් ඉහත අක්‍රමිකතාවය සිදු කරද්දී, අදාළ කටයුත්ත නිසා රජයට සිදුවිය හැකි හානිය ගැන අවබෝධයක් තිබිය යුතු, පළපුරුදු නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනා නිහඬව සිටීම ගැන කමිටුව විමතිය පළකර තිබෙනවා. ලංකාවේ පවතින ආයතනික සංස්කෘතිය හා ආයතනික රාමුව ඇතුළේ මේ අයුරින් දෙවැන්නන් විසින් ලොක්කන් විසින් කියන දේ කටවහගෙන අනුමත කිරීම පිළිබඳව මටනම් විමතියක් නැහැ. රාජ්‍ය ආයතන වගේම ලංකාවේ ව්‍යවස්ථාදායකය හා දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වෙන්නෙත් ඔය විදිහටමයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ වර්තමාන ස්වරූපයත් එයයි. මේ තත්ත්වය වෙනස් වෙන්න තව කලක් යයි.

ජනාධිපති කොමිසමේ පරීක්ෂාවට භාජනය වූ කාලය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබා ඇති ලාභ ඉහත ඇස්තමේන්තුවේ තිබෙන රජයට වූ අලාභයට වඩා ගොඩක් වැඩියි. ඒ ලාභය රුපියල් බිලියන එකොළහක් පමණ වෙනවා. එයින් වැඩි කොටසක් උපයා තිබෙන්නේ රාජ්‍ය ආයතන හා සිදුකළ ගණුදෙනු හරහායි. කෙසේවුවත්, මෙහිදී සිදුවී තිබෙන්නේ එම රාජ්‍ය ආයතන වලට පාඩුවක් වීම නොවෙයි. ලැබිය හැකිව තිබුණු ලාබයක් අහිමි වීමයි.

රාජ්‍ය ආයතනයකට වෙළඳපොළේ වැඩි මිලකට විකිණිය හැකි දෙයක් අඩු මිලකට විකිණීමට සිදුවන විට ලැබිය හැකි ලාබ නොලැබී යනවා. ඒ ලාබ වෙනත් අයෙකු විසින් ලබා ගන්නවා. මෙහිදී සිදු වී තිබෙන්නේත් එයයි. අදාළ රාජ්‍ය ආයතන වලට රජයට වැඩි පොලියකට මුදල් ලබා දී ලබාගත හැකිව තිබුණු ලාබය කිසියම් හේතුවක් නිසා අහිමි වී තිබෙනවා. මේ "කිසියම් හේතුව" කුමක්ද?

මහ බැංකුව විසින් හෝ මහා භාණ්ඩාගාරය (මුදල් අමාත්‍යාංශය) විසින් රාජ්‍ය බැංකු වලට හා සේවක අර්ථසාධක අරමුදලට පොලී අනුපාතික පහළින් තබා ගන්නා මෙන් බලපෑම් කරන බව මේ ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් දන්නා දෙයක්. මෙය අද ඊයේ සිට සිදුවන දෙයක් නෙමෙයි. සදාචාරාත්මක හේතු මත, මා පෞද්ගලිකව දන්නා, එහෙත් ප්‍රසිද්ධ තොරතුරු නොවන දේ ගැන කතා කරන්නට මා එතරම් කැමති නැහැ. දැන් මා මේ ගැන සෘජුව කතා කරන්න නොපැකිලෙන්නේ ජනාධිපති කොමිසම විසින් ප්‍රසිද්ධ කර තිබෙන දුරකථන සංවාද වලින් මේ කරුණ සනාථ වී අවසන් නිසයි.

රජය ණය ගන්නවනම් එහි මිල ගෙවන්නට රජයට සිදු වෙනවා. තමන්ට බලපෑම් කළ හැකි ආයතන වලින් "කුණු කොල්ලයට" ණය ගත්තත්, පෞද්ගලික ආයතන වලින් එසේ කුණු කොල්ලයට ණය ගන්න බැහැ. ඔවුන් නියම මිල අය කරනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය බැංකු හා සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන වල ලාබ අඩු වීමයි. උදාහරණයක් විදිහට කිසියම් ප්‍රාථමික වෙළෙන්දෙක් 12%ක පොලී අනුපාතිකයකට රජයට ණය දෙනවා. එය රජය විසින් ගෙවිය යුතු "නියම" මිලයි. නමුත්, රාජ්‍ය බැංකුවකට රජයෙන් ඒ මිල අය කර ගැනීම වලක්වා තිබෙනවා. නියම මිලට වඩා අඩුවෙන්, 9%ක පොලී අනුපාතිකයකට රජයට ණය දෙන්නට එම රාජ්‍ය බැංකුවට සිදුවෙනවා. අදාල රාජ්‍ය බැංකුවට රජයට සෘජුව ණය ලබා දී ලබා ගත හැක්කේ 9%ක පොලී අනුපාතිකයක් පමණක් නිසා ඔවුන් කරන්නේ ප්‍රාථමික වෙළෙන්දෙකුට 9.5%කට ණය දෙන එකයි. එසේ කිරීම රාජ්‍ය බැංකුවට වාසියි.

ඉහත අවස්ථාවේදී රාජ්‍ය බැංකුවට රජයට 12%කට ණය දීමේ හැකියාව වලක්වා තිබෙන්නේ ප්‍රසිද්ධියේ නෙමෙයි. එය කරන්නේ  අදාළ නිලධාරියෙකුට කරන වාචික බලපෑමක් හරහායි. මේ බව දැනගන්නා ප්‍රාථමික වෙළෙන්දෙකු විසින් (තාක්ෂණිකව වඩා සංකීර්ණ අයුරකින් වුවත්) කරන්නේ 9.5% බැගින් රාජ්‍ය බැංකුවකින් ණය ලබාගෙන අනික් පැත්තට 12% පොලියට රජයට ණය ලබා දීමයි. එසේ කිරීම රාජ්‍ය බැංකුවටත් ලාබයි. රජයට 9% බැගින් ණය දීම රාජ්‍ය බැංකුවට ඊට වඩා පාඩුයි. මෙතැනදී රාජ්‍ය බැංකුවට ලබාගත හැකිව තිබුණු ලාබය නැති කර තිබෙන්නේ අර ප්‍රාථමික වෙළෙන්දා නෙමෙයි. ඔවුන්ට 12% බැගින් රජයට ණය ලබා දීමට තිබුණු අවස්ථාව අහිමි කළ මහ බැංකුවේ හෝ මහා භාණ්ඩාගාරයේ නිලධාරියා විසිනුයි.

ඉහත අවස්ථාවේදී රාජ්‍ය ආයතනයකට පොලී අනුපාතික පහළින් තබා ගන්නා සේ "නියෝග කරන" මහ බැංකුවේ හෝ මහා භාණ්ඩාගාරයේ නිලධාරියා එසේ කරන්නේ ඇයි? බොහෝ විට ඔහු හෝ ඇය එසේ කරන්නේ පෞද්ගලික වාසියක් වෙනුවෙන් නෙමෙයි. මෙහි අරමුණ රජයේ පොලී වියදම් පහළින් තියා ගැනීමයි. මහා භාණ්ඩාගාරයේ වගේම රාජ්‍ය ණය කළමනාකරණය කරන මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුත් රජයේ පොලී වියදම් හැකිතාක් අවම කරගැනීමට උත්සාහ කිරීම කළ යුතු දෙයක්. නමුත්, ගැටළුව තිබෙන්නේ මෙය කරන්නේ වෙනත් රාජ්‍ය ආයතනයක වියදමින් වීමයි. එහි බරපැන වැටෙන්නේ සේවක අර්ථසාධක මුදලේ අරමුදල් හිමිකරුවන් හා රාජ්‍ය බැංකු වල තැන්පතුකරුවන් වන සාමාන්‍ය මහජනතාවටමයි.

සෘජු නිකුතු කියා කරන්නෙත් රාජ්‍ය ආයතන මත මුදල් අමාත්‍යංශයට හා මහ බැංකුවට ඇති අධිකාරී බලය උපයෝගී කරගනිමින් "බලහත්කාරයෙන්" අඩු පොලියට ණය ගැනීමයි. මෙය රජයට ලාබදායක බවට කෝප් කමිටු සාමාජිකයින් හා ජනාධිපති කොමිෂන් සාමාජිකයින්ට පෙනී යාමේ වැරැද්දක් නැතත් ඒ ලාබය රජයට ලැබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයින්ගේ හා රාජ්‍ය බැංකු වල තැන්පතුකරුවන්ගේ වියදමින් කියන එක ගැන ඔවුන් අවබෝධ කරගෙන තිබෙන බවක් පෙනෙන්නේ නැහැ.

මෙහි තිබෙන්නේ පිළිසිඳියා ගැටුමක්. ලංකාවේ මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අමතරව රාජ්‍ය ණය කළමනාකරණය කිරීමත්, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමත් කරනවා. රාජ්‍ය ණය කළමනාකරණයේ ඉලක්කය වන්නේ හැකි හැමවිටම පොලී අනුපාතික පහළින් තබා ගැනීමයි. සේවක අර්ථසාධක අරමුදලේ ඉලක්කය වන්නේ අරමුදල් වෙනුවෙන් හැකි තරම් ඉහළ පොලී අනුපාතිකයක් ලබා ගැනීමයි. මුදල් ප්‍රතිපත්ති ඉලක්කය පවතින සාර්ව ආර්ථික තත්ත්වය අනුව ඔය දෙකෙන් කොයි එක හෝ වෙන්න පුළුවන්. මහබැංකුවේ කාර්යභාරය විය යුත්තේ  සාර්ව ආර්ථික තත්ත්වයන් වෙනස් වන ආකාරය නිරීක්ෂනය කරමින් පොලී අනුපාතික අවශ්‍ය පරිදි අඩු හෝ වැඩි කිරීමයි. දෙකෙන් එකක් මිස දෙකම නෙමෙයි.

මේ කටයුතු ස්වාධීනව කිරීම සඳහා මහ බැංකුවේ වෙන වෙනම දෙපාර්තමේන්තු තිබෙන බව ඇත්තක් වුවත් ඒ දෙපාර්තමේන්තු සියල්ලම තියෙන්නේ මුදල් මණ්ඩලයේ පාලනයට යටත්වයි. මහබැංකු අධිපති පත්වීම දේශපාලනික පත්වීමක්ව තිබීමට, අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් නිල බලයෙන්ම මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු වීම ප්‍රශ්නය තවත් උග්‍ර කරනවා. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලාබ ලබා තිබෙන්නේ ආචාර ධාර්මික සීමාවන් ඉක්මවමින් බව පැහැදිලි කරුණක්. නමුත්, මෙහි විස්තර කර තිබෙන තත්ත්වයන් නොසලකා හරිමින් ඒ ආචාර ධාර්මික වැරදි දිහා වියුක්ත ලෙස බැලීම නිවැරදි නැහැ.

(Image: https://federalreserveonline.org/)

Tuesday, December 18, 2018

ප්‍රජාතන්ත්‍රවාදය, බහුතරය හා කූඹියෝ


පසුගිය කාලයේ ජනප්‍රිය වූ කූඹියෝ ටෙලි නාට්‍යය කතා කරන්න බොහෝ දේ ඉතිරි කළ නාට්‍යයක්. එය එසේ ජනප්‍රිය වෙන්න විවිධ හේතු බලපෑවා. ඒ ඇතැම් දේවල් ගැන වෙනත් බොහෝ තැන්වල වගේම මේ බ්ලොග් එකේත් කතා කර තිබෙනවා. නමුත්, දන්නා තරමින් කොතැනක හෝ කතා නොකෙරුණු දේවලුත් තිබෙනවා. එයින් එක් වැදගත් දෙයක් වන්නේ ඒ හරහා ජනගත කළ දාර්ශනික පදනමයි. මෙසේ කීමෙන් අදාළ කතාවේ තිර රචකයින් විසින් එවැන්නක් හිතාමතා කළ බව අප කියන්නේ නැහැ. ඔවුන් ඇතැම් විට එවැනි පැත්තක් ගැන සිතා නොතිබුණා වෙන්නත් පුළුවන්.

කූඹියෝ දර්ශනවාදයට අනුව අප ජීවත් වන ලෝකය කිසියම් දක්ෂ සැලසුම්කරුවෙක් විසින් සැලසුම් කළ ලෝකයක්. ඒ ලෝකයේ ජීවත් වන අනෙකුත් සියලු දෙනාම ඒ සැලසුම්කරුවාගේ තිර පිටපත අනුව රඟපාන අය පමණයි. නමුත්, ඒ බොහෝ දෙනෙක් තමන් කරන්නේ වෙනත් අයෙකුගේ සැලසුමක් ක්‍රියාත්මක කිරීම බව දන්නෙවත් නැහැ. ඔවුන් ඔවුන්ට සාපේක්ෂව හිතාමතා ස්වාධීන තීරණ ගන්නවා. නමුත්, ඒ තීරණ හරහා ඇත්තටම වෙන්නේ කලින් සැලසුම් කර තිබෙන පිටපතේ තිබෙන දේ ක්‍රියාත්මක වීමයි. වෙනත් අයුරකින් කිවුවොත් අර මහමොළකරුට හැර වෙනත් කිසිවෙකුට ඇත්තටම ස්වාධීනත්වයක් නැහැ. නමුත්, ඒ බව නොදන්නා නිසා තමන්ට ස්වාධීනත්වයක් තිබෙන බව හිතා සතුටු වෙන්න පුළුවන්. නිර්මාණවාදී ආගම් පසුපස තිබෙන දර්ශනවාදයත් ඔය වගේ එකක්.

නිර්මාණවාදී ආගම් වලට අනුව ලෝකය හා මිනිසුන් මැවූ නිර්මාණකරුගේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ දාර්ශනික අදහස වැරදියි කියා තර්කනයෙන් ඔප්පු කර පෙන්වන්න අමාරුයි. පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ උත්සාහයෙන් කිසියම් සිදුවිය හැකිව තිබුණු දෙයක් වෙනස් කර ගත හැකි වූ බව යමෙකුට කියන්න පුළුවන්. නමුත්, ඒ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් එසේ කළේත් නිර්මාණකරු විසින් සැලසුම් කර තිබුණු පරිදි නොවන බව එයින් කියැවෙන්නේ නැහැ.

ඇතැම් දේවල් සිදුවන්නේ කාගේ හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බව සිතන අය ඉන්නවා. ඉහත කී ආකාරයේ කතා වලට ප්‍රචාරයක් දෙන කණ්ඩායම් අතර සමාජවාදී ව්‍යාපාර කාලයක්ම ඉදිරියෙන් සිටියා. ඒ කතා වලට අනුව සැලසුම් පිටුපස සිටියේ ධනවාදීන්, බටහිර රටවල්, ඇමරිකාව වැනි "ජනතා සතුරන්". මේ කුමන්ත්‍රණ පැරදවිය හැකි විසඳුමක්ද ඔවුන් සතුව තිබුණා. ඒ දැනට ක්‍රියාත්මක වන සැලසුම පරදවා "ජනතා හිතවාදී" වෙනත් සැලැස්මක් ක්‍රියාත්මක කරවීමයි. ඔවුන්ට අනුව එය කිරීමේ හැකියාව තිබුණේ දේශපාලන පක්ෂයකටයි. මෙවැනි මතවාදයක් ජනගත කිරීමේ අවසාන අරමුණ වුනේ මිනිසුන්ගේ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව ඔවුන්ගේ කැමැත්තෙන්ම මහමොළකරුවෙකුගේ සැලසුමකට යට කිරීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයකගේ මතය ක්‍රියාත්මක කිරීම කියන එක ඉතාම පටු අර්ථදැක්වීමක්. එය ඊට වඩා සංකීර්ණ දෙයක්. පහත කොටස මම උපුටා ගන්නේ බව වෙබ් අඩවියෙන්.

"පුරාතන ග්‍රීසියේ පළමු වරට දෘශ්‍යමාන වූ මෙම අදහස [ප්‍රජාතන්ත්‍රවාදය] සඳහා ලබා දිය හැකි සරල අර්ථයක් වන්නේ සමාජය යනු කිසියම් ස්වභාවික වූ නියාම ධර්මයකට අනුව, අනිවාර්ය මූලධර්මයකට අනුව, නියත ධූරාවලියකට අනුව පාලනය විය යුතු දෙයක් නොවන බව එම සමාජයේ ප්‍රතික්ෂේපිත වූ මිනිසුන් වටහා ගන්නා මොහොතයි. එවැනි මිනිසුන් සඳහා ද සමාජය නියාමනය විය හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්විය හැකි බව සහ එවැනි මිනිසුන් හට මුළුමහත් මිනිස් වර්ගයා නියෝජනය කළ හැකි බව පිළිගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයයි. එම අර්ථයෙන් ගත්විට ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවත් මිනිසුන් විසින් ධනය නැති මිනිසුන් පාලනය කිරීම නොවනවා සේම ධනවත් මිනිසුන්ට එරෙහිව ධනය නැති මිනිසුන් කැරළි ගැසීම නිසා ඇති වන අරාජිකවාදයද නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවත් මිනිසුන් සමග එකම වේදිකාවක සිට සමස්ත සමාජයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට ධනය නැති මිනිසුන්ට සමාන අවස්ථාව හිමි වන පාලන ක්‍රමයකි."

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කිසියම් සමාජයක "සෑම දෙනෙකුටම" සමාජය තුළ තමන්ගේ අදහස නියෝජනය කරන්න අවස්ථාවන් හිමි වන ක්‍රමයක්. එවැනි ක්‍රමයක් තියෙන්නේ කොහෙද? බව වෙබ් අඩවියේ ලියා තිබෙන්නේ මේ විදිහටයි.

"එම අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉතාම අහම්බයෙන් දැකිය හැකි වන ඓතිහාසික අත්දැකීමක් බව පැහැදිළි වේ. පුරාතණ ග්‍රීසියෙන් පසුව එය අපට අත්දැකිය හැකි වූ ඓතිහාසික අවස්ථාවන් මොනවාද කියා තීරණය කිරීමද තරමක් අපහසු කරුණකි."

ඇත්තටම කියනවානම් පුරාතණ ග්‍රීසියේ වුවත් මේ අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වූවාද කියන එක සැක සහිතයි. නමුත්, විවිධ සමාජ වල විවිධ මට්ටම් වලින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ප්‍රායෝගික භාවිතාවක්. එය කුමක්ද කියා මෙවැනි බ්ලොග් ලිපියකින් පැහැදිලි කිරීම අපහසු කරුණක්. යම් ආකාරයකින් එය පුද්ගලයෙකු විසින් ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගත යුතු දෙයක්. ඇමරිකාවේ මා අත් දකින ප්‍රජාතන්ත්‍රවාදය මා කිසිදිනක ලංකාවේදී අත් නොවිඳි දෙයක්. නමුත්, එයින් අදහස් වන්නේ ඇමරිකාවේ වුවත් සෑම දෙනෙකුටම සමාජයට බලපෑම් කරන්න හරියටම එක සමාන අවස්ථා තිබෙන බව නෙමෙයි. ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේදී තනි පුද්ගලයෙකුගේ ස්වාධීන අදහසකට යා හැකි දුර බොහෝ දිගු එකක්.

දේශපාලන පක්ෂ හරහා කෙරෙන්නේ පුද්ගලයින්ගේ ස්වාධීන අදහස් නියාමනයකට ලක් කෙරී යටපත් වී යාමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ නියම අර්ථය සැලකුවහොත් දේශපාලන පක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මත පෝෂණය වෙමින් වැඩුණු පිළිලයක්. ඇමරිකා එක්සත් ජනපදය ආරම්භ වූ කාලයේ එම රාජ්‍යයේ නිර්මාතෘවරුන් විසින් දේශපාලන පක්ෂ බිහිවීමක් අපේක්ෂා කර නැහැ. එහෙත්, වැඩි කලක් යන්න පෙර එය සිදු වී තිබෙනවා. මා හිතන්නේ එයට පරිණාමික හේතු බලපා ඇති බවයි. අප නිර්මාණය වී තිබෙන ආකාරයෙන් වියුක්තව කටයුතු කිරීම පහසු නැහැ.

අප අද සිටින අදියර දක්වා සමාජ සත්ත්වයන් ලෙස පරිණාමය වීමේදී ගෝත්‍ර ලෙස එක්ව සහයෝගයෙන් කටයුතු කළ අයට පරිණාමික වාසියක් ලැබී තිබෙනවා. ඒ නිසා, ගෝත්‍ර ලෙස එක් වෙන්න කැමැත්තක් අප කා තුළත් තිබෙනවා. දේශපාලන පක්ෂ හරහාත් යම් දුරකට මේ අවශ්‍යතාවය ඉටුවෙනවා. පවතින සංකීර්ණ සමාජයේ පවා මෙසේ හැසිරීමේ පරිණාමික වාසියක්ද තිබෙනවා. පක්ෂයක් වෙනුවෙන් අපේ ස්වාධීනත්වයෙන් කොටසක් කැප කිරීම ඒ වාසිය වෙනුවෙන් අප වැය කරන ආවස්ථික පිරිවැයෙන් කොටසක්. මේ වාසිය හරියටම සැපයුම්කරුවන් කිහිපදෙනෙකු කාටලයක් ලෙස ක්‍රියා කරන විට ලැබෙන ආකාරයේ වාසියක්.

දේශපාලන පක්ෂ හෝ වෙනත් සාමූහික අනන්‍යතා වලින් නියාමනය නොවූ පුද්ගල ස්වාධීනත්වයන් වැඩි වැඩියෙන් මතු වන තරමට සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වයේ ගුණාත්මකභාවය ඉහළ යනවා. ආර්ථික ස්වාධීනත්වය නැති වන තරමට පුද්ගල ස්වාධීනත්වය අභිබවා සාමූහික අනන්‍යතා ඉස්මතු වෙනවා. රාජ්‍යයන්ගේ සීමාවන් කුඩා වන තරමට ආර්ථික ස්වාධීනත්වයට වගේම පුද්ගල ස්වාධීනත්වයටත් වැඩි අවකාශයක් ලැබී ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් කරළියට එනවා. එසේ නොවූ විට ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මතු වෙන්නේ බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම කියන පටු අදහස පමණයි.

අප එදිනෙදා දකින ගොඩක් දේවල් සිදුවෙන්නේ කිසියම් පූර්ව සැලසුමකට හෝ කාගේ හෝ ගේම් එකකට අනුව කියන අදහස සමඟ මම එකඟ නැහැ. නමුත්, ඉතා පටු අර්ථයකින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන වටාපිටාවක ගේම් කාරයින්ටත් සැලකිය යුතු දෙයක් කරන්න පුළුවන්.

(Images: http://www.dailynews.lk/2018/04/10/features/147953/enter-enchantress)

Monday, December 17, 2018

බිලියන දාහ පාඩු වුනේ කොහොමද?


පෙර ලිපියකට ප්‍රතිචාර දක්වමින් කතා කතු විසින් ලියා තිබුණේ මා පෙර ලියූ බැඳුම්කර ලිපි පෙළින් කර තිබෙන්නේ රනිල්ට එල්ල වන චෝදනා තනුක කිරීම බවයි. අප ලියන ලිපි අතරින් එජාපයට වාසිදායකයැයි ඔහු සිතන (හා බොහෝ විට මගේ මතය අනුවද සැබෑවටම එජාපයට වාසිදායක) ඇතැම් දේ ඔහු විසින් වරින් වර විවේචනය කර තිබෙනවා. පළමුව කිව යුත්තේ අප ලියන දේ සැලකිල්ලෙන් කියවීම වගේම ලියන දේ හා අදාළව තමන්ට සිතෙන දේ සටහන් කිරීම අප අගය කරන බවයි. විවේචන ලියන දේවල් හා අදාළනම් හා ශිෂ්ඨ බසින් ලියන්නේනම් අප ලියන ඕනෑම දෙයක් හා එකඟ නොවෙමින් ප්‍රතිචාර දැක්වීමේ කිසිදු වරදක් නැහැ. එවැනි විවේචන අපගේ ලිපි වලට එළියක්.

මා ලියන දෙයින් රනිල්ට හෝ වෙනත් අයෙකුට හෝ එජාපයට හෝ වෙනත් දේශපාලන පක්ෂයකට වාසියක් වෙනවාද නැද්ද යන්න මට වැදගත් කරුණක් නොවෙයි. එවැනි වාසියක් සිදුවන්නට ඉඩක් තිබීමේ හේතුවෙන් මා ලිවිය යුතු දෙයක් නොලියා ඉන්නේ නැහැ. වඩා නිවැරදිව කියනවානම් මගේ බැඳුම්කර ලිපි පෙළින් රනිල් වික්‍රමසිංහ වෙත එල්ල වී තිබෙන චෝදනා තනුක කරනු තබා මා ඔහුට කිසිදු චෝදනාවක් එල්ල කර හෝ නැහැ. දැන් කරන්නේත් නැහැ. විස්වාසනීය ලෙස එවැනි චෝදනාවක් එල්ල කිරීමට තරම් සාක්ෂියක් තවමත් මට හමු වී නැහැ.

ඊයේ ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙන කථාවට අනුව 2007 සිට බැඳුම්කර ගනුදෙනු වලින් රජයට සිදුව ඇති හානිය රුපියල් බිලියන 1000ක්. ඔහුට මේ බව පෙන්වා දී තිබෙන්නේ ආර්ථික විශේෂඥයින් විසිනුයි. මේ කියන ආර්ථික විශේෂඥයින් කවුද කියා ජනාධිපතිවරයා හරියටම කිවුවේ නැහැ.

ජනාධිපතිවරයාට උපදෙස් දෙන නීති විශේෂඥයින්ද සිටින බව ඔහුගේ කතාවේ සඳහන්ව තිබෙනවා. ඒ විශේෂඥයින්ගේ උපදෙස් අනුව කටයුතු කර දැන් ඔහු හොඳටම ඇණගෙනයි ඉන්නේ. පුද්ගලයෙකුට සෑම විෂයකම ප්‍රවීණයෙකු විය නොහැකියි. ඒ නිසා විශේෂඥයින්ගේ උපදෙස් ගන්න වෙනවා. මේ විදිහට විශේෂඥයින් තෝරා ගැනීමේදී තමන්ව අමාරුවේ නොදමන විශේෂඥයින් තෝරා ගැනීමට කුසලතාවයක් නොතිබුණොත් අමාරුවේ වැටෙන්නේ උපදෙස් ගත් පුද්ගලයා මිස උපදෙස් ලබාදුන් පුද්ගලයා නෙමෙයි.

බැඳුම්කර සිදුවීම ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ ලොකුම මූල්‍ය වංචාව බව බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණක්. එසේ විශ්වාස කරන අය අතර එජාප පාක්ෂිකයින්ද සිටිනවා. එහෙත්, මා තවමත් එසේ සිතන්නේ නැහැ. මා නිගමන වලට එළැඹෙන්නේ මා දන්නා කරුණු මත පදනම්වයි. මේ හා අදාළව මා නොදන්නා කරුණු තිබිය හැකියි. එවැනි කරුණු හමුවුවහොත් මගේ අදහස වෙනස් විය හැකියි.

බැඳුම්කර සිදුවීම සම්බන්ධව යමක් ලිවීම මා කලක් හිතාමතාම අතපසු කරමින් සිටියා. ඒ, ඒ වන විට වටින් ගොඩින් කියැවුණු මේ හා අදාළ බොහෝ කරුණු ගැන දැනගන්නට පිළිගතහැකි මූලාශ්‍රයක් මා සතු නොවූ නිසයි. මේ කාලයේ මා මේ ගැන නොලියන බවට ඇතැම් බ්ලොග්කරුවන් දිගින් දිගටම චෝදනා කළා. කතාකතුත් ඒ අතර වූ බවට යාන්තම් මතකයක් තිබෙනවා. මගේ මතකය නිවැරදි නොවෙන්න පුළුවන්. මා මේ හා අදාළව මුලදීම ලිවුවානම් කොහොමටත් ලියන්න වෙන්නේ බොහෝ දෙනා කියූ කරුණු ඇත්ත වුවත් බොරු වුවත් එම කරුණු නීතිය ඉදිරියේ ඔප්පු කළ හැකි සාක්ෂි නොතිබුණු බව පමණයි.

පසුව විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාව ප්‍රසිද්ධියට පත් වූ පසුව මේ හා අදාළ වැඩිමනත් තොරතුරු දැනගන්නට ලැබුණා. මගේ ලිපිපෙළ පදනම් වූයේ මේ වාර්තා දෙකෙහි වූ කරුණු මතයි. අදාළ වාර්තා අනුව, අදාළ කාලයේ "අසාමාන්‍ය" බැඳුම්කර වෙන්දේසි දෙකක් සිදු වී තිබුණු අතර එම වෙන්දේසි දෙක නිසා රජයට සිදුව හැකිව තිබුණු උපරිම පාඩුව රුපියල් බිලියන 1.674 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා. ඒ 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියෙන් වූ රුපියල් 889,358,050ක පාඩුවක් හා 2016 මාර්තු 29 දින තවත් 784,898,755ක පාඩුවක් ලෙසයි. මේ ඇස්තමේන්තු සකස් කිරීමේ පදනම වී තිබුණේ මුලින් දැනුම් දුන් බැඳුම්කර ප්‍රමාණය මිල දී ගත හැකිව තිබුණු මුදලටම අවසාන වශයෙන් මිලදී ගත් බැඳුම්කර ප්‍රමාණයද මිල දී ගත හැකිව තිබුණේය යන්නයි. මගේ පළමු ලිපිපෙළේ අවසානයේදී මා පෙන්වා දුන්නේ මේ උපකල්පනය නිවැරදි නැති බව හා සැබෑ පාඩුව මීට වඩා අඩු විය යුතු බවයි. විගණකාධිපති වාර්තාවේ හා කෝප් වාර්තාවේ ඇස්තමේන්තු සකස් කිරීමේදී මේ හා අදාළ සංකීර්ණ තාක්ෂණික කරුණු සියල්ල සැලකිල්ලට ගෙන තිබුණේ නැහැ.

පසුව ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපති කොමිෂමේ වාර්තාව පෙර වාර්තා දෙකට සාපේක්ෂව පුළුල් හා සංකීර්ණ ලෙස කරුණු හා සාක්ෂි සොයා බලමින් සකස් කර තිබුණු පිටු 1,154ක දීර්ඝ වාර්තාවක්. එහි නිගමන සමඟ මට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇතැම් අය උනන්දුවක් දක්වන නිසා ඉදිරි කාලයේ ඉඩ ලැබෙන පරිදි එහි ඇති දේ ගැන ලියන්නම්.

ජනාධිපති කොමිෂමේ වාර්තාවේ සඳහන් වන්නේ 2015 පෙබරවාරි 1 දින සිට 2016 මාර්තු 31 දක්වා පැවති සියළු වෙන්දේසි වලින් රජයට සිදුව තිබෙන අලාභය රුපියල් 688,762,100ක් බවයි. මේ අලාභය සිදු වී තිබෙන්නේ  2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී. එම අලාභයට හේතුව හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හරහා පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් මිල-සංවේදී හෝ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම බව කොමිසම විසින් නිගමනය කර තිබෙනවා. ඒ අනුව, එම අලාභය අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් හා පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් අය කරගත ගත යුතු බව එම කොමිසම විසින් නිර්දේශ කර තිබෙනවා. 2016 මාර්තු 29 දින හෝ අදාළ කාලය තුළ වෙනත් දිනක මෙවැනි අක්‍රමිකතාවයක් සිදු වී තිබෙන බව එම කොමිසම විසින් නිරීක්ෂණය කර නැහැ. ඒ වගේම, මේ සිද්ධියට රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධයක් ඇති බවත් නිරීක්ෂණය කර නැහැ.

රුපියල් මිලියන 689ක් නැත්නම් බිලියන 0.69ක් කියන්නේ අප බොහෝ දෙනෙක්ට විශාල මුදලක්. නමුත්, ජනාධිපති සිරිසේනගේ කතාවේ කියන රුපියල් බිලියන 1000ට සාපේක්ෂව ඉතාම සුළු මුදලක්. ජනාධිපතිවරයාම පහුගිය දවස්වල කියපු ආකාරයට පසුගිය සති වල මන්ත්‍රීවරයෙක් විකිණිලා තියෙන්නෙත් රුපියල් මිලියන 500කට. දෙපැත්තේ තරඟය තව පොඩ්ඩක් වැඩි වුණානම් ඔය මිල රුපියල් මිලියන 689 පන්නනවා. ඔයිට වඩා විශාල පාඩු රජයට සිදු වූ අවස්ථා ඕනෑතරම් තියෙනවා. නීතිවිරෝධීව සිදු කළ හෙජිං සූදුව නිසා සිදු වූ පාඩුව මීට වඩා ගොඩක් වැඩියි. ඒ ගැන ලියූ වෙලාවේ "හෙජිං ගිවිසුම අනීතික උපකරණයක් නොවන බව" එක ඇනෝ කෙනෙක් ලියල තිබුණා. "හෙජිං යනු පිළිගත් අවදානම් අඩු කර ගැනීමේ ක්‍රමවේදයක්" බව කතා කතු ලියලා තිබුණා. නමුත්, සිදුවී තිබුණේ අවදානම් අඩුකර ගැනීමේ ක්‍රියාමාර්ගයක් නොවන සමපේක්ෂණ සූදුවක් බවත්, අදාළ ගිවිසුම නීත්‍යානුකූල නොවන ශුන්‍ය එකක් බවත් ජාත්‍යන්තර අධිකරණ වලදී පෙන්වා දුන්නේ තෙල් සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින්මයි.

කතා කතු මේ හෙජිං ගණුදෙනුව හා මහින්ද රාජපක්ෂ අතර සම්බන්ධයක් ගැන කතා කර තිබුණා. එහෙත්, මම එවැනි දෙයක් ලිවුවේ හෝ අදහස් කළේ නැහැ. නමුත්, ඒ ගැන හිතපුවහම ඇත්තටම සම්බන්ධයක් තිබෙනවා. මොකද මේ ගිවිසුම අත්සන් කළේ අමාත්‍ය මණ්ඩලයේ සාමූහික තීරණයක් අනුවයි. එවකට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා මහින්ද රාජපක්ෂයි. බැඳුම්කර සිදුවීම හා රනිල් අතර එවැනි සම්බන්ධයක් කිසිවෙකු පෙන්වා දී නැහැ. තිබෙන ප්‍රධානම චෝදනාව වන්නේ රනිල් විසින් අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති සේ පත් කිරීමට යෝජනා කර තිබීමයි. ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව 2004 සිට සිදු කෙරුණු අධිපති පත්වීම් වලට සාපේක්ෂව මෙය යෝග්‍ය පත්කිරීමක්. මට රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍ය නැහැ. නමුත්, කතාකතුගේ හා ඇනෝගේ විවේචන වලට මා ප්‍රතිචාර දිය යුතුයි. එහි වාසිය රනිල්ට වීම හා අවාසිය මහින්දට වීම ගැන මට කරන්න දෙයක් නැහැ. එය මට අදාළ කරුණක් නෙමෙයි.

බැඳුම්කර සිදුවීමට නැවත පැමිණියොත්, ඇතැම් අය මේ සිදුවීම නිසා දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ ගිය බවට බොරු තර්කයක් ගොඩ නැගුවා. නමුත්, කොමිෂන් වාර්තාවේ පැහැදිලිව කියන්නේ පොලී අනුපාතික විචලනය වීමට වෙනත් සාධක විශාල ගණනක් බලපාන නිසා එවැනි නිගමනයකට පැමිණිය නොහැකි බවයි. එසේනම්, ජනාධිපති සිරිසේන කියන රුපියල් බිලියන 1000න් ඉතිරි රුපියල් බිලියන 999.3ක පාඩුව රජයට වුණේ 2015 පෙබරවාරි 1ට පෙරද? ඔහු කියන්නේ මේ අලාභය 2007 සිට සිදු වී ඇති සමස්ත අලාභය බවයි. නමුත්, 2015 පෙබරවාරි සිට සිදුව තිබෙන අලාභය රුපියල් බිලියන 0.7ක් පමණයි.

මේ වන විට නිකුත් කර තිබෙන මුළු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේම වටිනාකම රුපියල් බිලියන 4000ක් පමණ වෙනවා. ජනාධිපතිවරයා කියන ආකාරයට එයින් 25%කටම හේතු වී තිබෙන්නේ ඉහත අක්‍රමිකතාවනුයි. ඒ වගේම, රටේ මුළු ණය වලින් 10%කට පමණ හේතු වී තිබෙන්නේ ඉහත අක්‍රමිකතාවයි. 2007-2015 කාලයේදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ අක්‍රමිකතා හේතුවෙන් රජයට එවැනි අලාභයක් සිදු වූ බව මා විශ්වාස කරන්නේ නැහැ. නමුත්, එම කාලයේ හෝ ඉන්පසුව මෙම අලාභය සිදු වූ ආකාරය ඇස්තමේන්තු කර ඇති වෙනත් රහසිගත වාර්තාවක් ජනාධිපති සිරිසේන සතුව තිබෙනවාද කියා මම දන්නේ නැහැ. එවැන්නක් තිබෙනවානම් එය දකින්න ලැබුණු දවසක අදහස් දැක්විය හැකියි.

(Images: https://www.colombotelegraph.com/index.php/maithripala-to-appoint-presidential-commission-to-investigate-bond-scam/)

Sunday, December 16, 2018

පරණ ආණ්ඩුවමද? අළුත් ආණ්ඩුවක්ද?


අද දිනයේ (16 ඉරිදා) ජනාධිපති ලේකම් විසින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබෙනවා. පළමුවැන්න අනුව, මහින්ද රාජපක්ෂ ඊයේ (දෙසැම්බර් 15) සිට අගමැති ධුරයෙන් ඉවත් වී තිබෙනවා. දෙවැන්න අනුව, රනිල් වික්‍රමසිංහව අද සිට අගමැති සේ පත් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා විසින් මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කළ විට එය රටේ සියලු දෙනා විසින් පිළිගත යුතුයි. එහෙත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථා විරෝධීව ගැසට් නිවේදන නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. එවැනි එක් ව්‍යවස්ථා විරෝධී ගැසට් නිවේදනයක් ශුන්‍ය හා අවලංගු බව මේ වන විට අධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

මා මෙයින් අදහස් කළේ අද නිකුත් වූ ගැසට් නිවේදන දෙකම හෝ දෙකෙන් එකක් ව්‍යවස්ථා විරෝධී බව නෙමෙයි. නමුත්, ඇතැම් විට මේ ගැසට් නිවේදන ශුන්‍ය විය හැකියි.

අද නිකුත් කර තිබෙන ගැසට් නිවේදන දෙක වලංගුනම් එයින් අදහස් වන්නේ දෙසැම්බර් 15 දක්වා ලංකාවේ නීත්‍යානුකූල අගමැති වූයේ මහින්ද රාජපක්ෂ බවයි. එසේනම්, ඊට පෙර ඔක්තෝබර් 26වන දින ඔහුව අගමැති සේ පත් කළ ගැසට් නිවේදනයත්, රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයත් වලංගු විය යුතුයි.

මහින්ද රාජපක්ෂගේ පත්වීමේ වලංගු භාවය ප්‍රශ්න කෙරෙන නඩුවක් මේ වන විට අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතිනවා. එමඟින් ඉල්ලා තිබෙන්නේ ඔහු අගමැති සේ කටයුතු කිරීම වාරණය කරන ලෙසයි. මේ වන විට ඔහු අගමැති සේ කටයුතු නොකරන බැවින් ඒ නඩුව දිගටම ඇසෙනු ඇතැයි මා හිතන්නේ නැහැ. ඒ නඩුවේ පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිටි  අතරමැදි සහනයක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂගේ අගමැති පත්වීම තාවකාලිකව වාරණය කෙරුණා. ඒ තාවකාලික වාරණය අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරුණු නඩුවත් දිගටම විභාග වෙන්න හේතුවක් නැහැ. ඒ අනුව, රනිල්ව ඉවත් කිරීම නීතිය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන්නට ඉඩ තිබෙන්නේ ඕෂල හේරත්ගේ හා දඹර අමිල හිමිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනෙන අවස්ථාවේදී පමණයි. කොහොම වුවත් මා දන්නේ මේ නඩු හා අදාළව මාධ්‍ය වල පළ වී තිබෙන තොරතුරු පමණයි.

අදාළ කාලය ඉකුත් වී ඇති බැවින් රනිල්ව ඉවත් කිරීමට එරෙහිව වෙනත් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් දැන් නැහැ. ඒ නිසා, ඉහත නඩු මූලික විරෝධතාවක් මත විභාගයට නොගැනුනොත් හෝ පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කරගනු ලැබුවහොත් ජනාධිපතිවරයා විසින් අගමැති ඉවත් කිරීම ව්‍යවස්ථානුකූලද යන නීතිමය ප්‍රශ්නය තවදුරටත් එසේම පැවතිය හැකියි. මෙවැනි වැදගත් කරුණක් හා අදාළව ඒ ආකාරයේ බරපතල අවිනිශ්චිතතාවයක් ඉතිරිවීම හොඳ දෙයක් නෙමෙයි. ඕෂල හේරත්ගේ හා දඹර අමිල හිමිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් නීතිමය වශයෙන් කොයි තරම් ශක්තිමත්ද කියා (අවශේෂ හේතුවක් මත ප්‍රතික්ෂේප නොවන්නට තරම්) මා දන්නේ නැහැ. ඒ වගේම එම පෙත්සම් වල කරුණු ඉදිරිපත් කර තිබෙන ආකාරය අනුව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමට බලපෑ හේතුව මේ වන විට ඉවත් වී තිබෙන බව තීරණය කෙරෙන්නත් පුළුවන්. එසේ වුවත් වෙන්නේ මේ නීතිමය ගැටලුව අනාගතයට ඉතිරි වීමයි.

දිගින් දිගටම එජාප (හා එජනිස, ඊපීඩීපී හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ තුනේ) ස්ථාවරය වුණේ ඔක්තෝබර් 26 සිදු වූ දේ ව්‍යවස්ථානුකූල නොවන බවයි. ඒ ස්ථාවරය අනුව, ඔක්තෝබර් 26 සිට දෙසැම්බර් 15 තෙක් ව්‍යවස්ථා විරෝධී ලෙස පත් වූ අය විසින් ගත් තීන්දු නිත්‍යානුකූල නැහැ. දැන් ආණ්ඩු බලය නැවත හිමිකරගෙන තිබෙන එජාපෙ ආණ්ඩුව ඉහත තත්ත්වය නිවැරදි කිරීම පිණිස ක්‍රියා කරයිද? නැත්නම් හිමිහිට ප්‍රශ්නය මග හැර යයිද?

ප්‍රශ්නය මග හැර ගියොත් එයින් අදහස් වෙන්නේ පහුගිය දවස් පණහ තිස්සේ එජාපය දැඟලුවේ නැවත බලය අතට ගන්න මිසක් නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් නොවන බවයි. ඒ වගේම, අනාගතයේ නැවත මෙවැනිම සිදුවීමක් වෙන්න පූර්වාදර්ශයකුත් ඉතිරි වෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මඟින් ව්‍යවස්ථාව උල්ලංඝනය වූ බව තීන්දු වී හමාරයි. නමුත්, ඒ හේතුවෙන් වෙනත් බරපතල හානියක් සිදු වුනේ නැහැ. යම් හෙයකින් අතුරු තහනම් නියෝගය නිසි වෙලාවට නොදුන්නානම් එවැනි හානියක් විය හැකිව තිබුණා. අනෙක් අතට රනිල්ව ඉවත් කිරීම මඟින් ව්‍යවස්ථාව උල්ලංඝනය වූ බව මේ වන විටත් අධිකරණය විසින් තීන්දු කර නැහැ. ව්‍යවස්ථාදායකයට එවැනි තීන්දුවක් ලැබෙන තුරු බලා සිටීමෙන් අනතුරුව හෝ ඊටත් පෙරම යම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව යම් හෙයකින් ව්‍යවස්ථාව උල්ලංඝනය වී නැති බව අධිකරණය විසින් තීන්දු කළොත් ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර අවුලක් ඇති වෙන්නත් ඉඩ තිබෙනවා.

එජාප ආණ්ඩුවට ක්‍රියා කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා. පහසුම ආකාරය වන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වී තිබුණත්, පැවති තත්ත්වය සලකා එයට දායක වූ අයට (විශේෂයෙන්ම රජයේ සේවකයින්ට) පොදු සමාවක් ලබා දෙන බවට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීමයි. එවිට අධිකරණ තීන්දු ලැබුණත්, නොලැබුණත්, ඒ තීන්දු මොනවා වුනත් ප්‍රශ්නයක් නැහැ. දෙවැන්න අධිකරණ තීන්දු ලැබීමෙන් පසුව ඒ මත පදනම්ව හෝ එසේ නැතිව නඩු පැවරීමක් වැනි මට්ටමක් දක්වා යාමයි. පසුගිය කාලයේ ක්‍රියා කර තිබෙන ආකාරය අනුව, එවැනි මට්ටමකට එජාප ආණ්ඩුව යයිද යන්න සැක සහිතයි. තෙවැන්න, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනිමින් මහින්දලා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හරහා බලය පැහැර ගන්න උත්සාහ කළ බව දිගින් දිගටම කියමින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීමයි. බොහෝ විට තෙවැන්න සිදුවිය හැකියි.

Saturday, December 15, 2018

සත් සතියේ නිමාවෙන් පසු...


ලංකාවේ දේශපාලන අර්බුදයට සත් සතියක් ඉක්මී යාමෙන් පසුව එම අර්බුදය අවසන් වන බවක් පෙනෙන්නට තිබෙනවා. දේශපාලන අර්බුදය නිමා වන ලකුණු පෙනෙන්නට තිබුණත් අර්බුදයේ ගමන් මඟ දෙස ආපසු හැරී බැළුවහම තවත් ප්‍රශ්න ගණනාවක් දිගටම ඉතිරි වන බව පැහැදිලියි. දේශපාලන අර්බුදය නිමා වුනත්, ඇති වුනු නෛතික අර්බුදයේ නිමාවක් දකින්න තවත් මාසයක්වත් යයි.

මේ සත් සතිය තුළ බොහෝ දේ සිදුවුණා. ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද අගමැති පුටුවේ වාඩි වෙන්න ඇත්තේ කෙසේ හෝ ව්‍යවස්ථාදායකයේ බලය තහවුරු කරගන්නේය යන අධිෂ්ඨානයෙන් විය යුතුයි. එයට පහසුවක් සලසනු පිණිස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැම්මා. රනිල් ඇතුළු පිරිස පාර්ලිමේන්තුව ඇරෙන තුරු අනිමිසලෝචනයෙන් බලා සිටියා. හදිසියේ වැටුණු වැස්සෙන් බේරෙන්න දෙමළ රාජ්‍ය පක්ෂය හා ජවිපෙ එජාපයට ආරක්ෂාව සැපයුවා. ජනාධිපති සිරිසේන දිගින් දිගටම විධායකයේ රුවන් මැදුරේ රැස් විහිදුවමින් සිට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුන් ලෝකයටම ලොක්කා ලෙස ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අධිකරණයේ පිහිටෙන් පාර්ලිමේන්තුව විවෘත කරගැනීමෙන් පසුව කතානායකවරයාට යෝජනා සම්මත කරගන්න මාර පරාජය කරන්න සිදු වුණා. මුලින් ඒ පැත්තටත්, පසුව මේ පැත්තටත් මන්ත්‍රීවරුන් රුවන් සොයා සක්මන් කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය තීන්දු කරද්දී සත් සතිය ගෙවුණා. නමුත්, සත් සතියෙන් පසුව මුලින්ම ඇහුණේ නිෂ්ක්‍රමණ දේශනාවක් මිස මංගල දේශනාවක්නම් නෙමෙයි. එහි ඇති කරුණු ගැන පසුව කතා කරමු.

විධායකයේ ප්‍රධානියා විසින් ඇති කළ, ව්‍යවස්ථාදායකය ඇතුළු තවත් බොහෝ පාර්ශ්වයන් වින්දිතයන් කළ අවුල ලෙහන්න අවසාන වශයෙන් මැදිහත් වෙන්න වුනේ අධිකරණයටයි. මේ හා අදාළව අධිකරණයේ විභාග වන ප්‍රධාන නඩු තුනකින් එකක පමණක් තීන්දුව මේ වන විට ලැබී තිබෙනවා.

රනිල්ව අගමැති ධුරයෙන් පහ කිරීමට විරුද්ධව පෙත්සම් දෙකක් ඉදිරිපත් වුනේ තරමක් කල් පසුවයි. මේ පෙත්සම් ජනවාරි මාසයේ විභාගයට ගැනීමට නියමිතයි. ලැබෙන තීන්දුව අනුව, මහින්ද රාජපක්ෂ කිසිදු දිනක ලංකාවේ අගමැති නොවූ බව තීරණය වෙන්න පුළුවන්. එසේ නොවන්නත් පුළුවන්. අධිකරණ තීන්දුව කුමක් වේදැයි නිශ්චිතව පැවසීමේ හැකියාවක් මට නැහැ. නමුත්, එය 50:50 ඉඩ ඇති දෙයක් නෙමෙයි. නෛතික කරුණු අනුව රනිල් ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල නොවන බව තීන්දු වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ව්‍යවස්ථාව අනුව රනිල් ඉවත් කිරීමේ වැරැද්දක් නැත්නම් මහින්දව අගමැති සේ පත් කිරීමේ වැරැද්දක් නැහැ. මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරය තිබීම හෝ නොතිබීම ද්වීතියික කරුණක්.

ජනවාරියේදී ලැබෙන්නට නියමිත අධිකරණ තීන්දුව අනුව පහත කරුණු දෙකෙන් එකක් පමණක් සත්‍ය විය හැකියි. දෙකම සත්‍ය විය නොහැකියි.
1a . ඔක්තෝබර් 26 දින ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් හෝ ජාතික ආණ්ඩුව බිඳ වැටීම මත ඔහුගේ අගමැති ධුරය අහෝසි වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ලංකාවේ නීත්‍යානුකූල අගමැති සේ පත් කරනු ලැබීම
1b . ඔක්තෝබර් 26 දින ජනාධිපතිවරයාගේද එකඟත්වය මත ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් හරහා රනිල් වික්‍රමසිංහව  බලයෙන් පහකර මහින්ද රාජපක්ෂ විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීම.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් දහයක් හා අදාළ තීන්දුව මේ වන විට ලබා දී තිබෙනවා. ඊට පෙර, අදාළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වමින් තාවකාලිකව අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවා. අවසන් තීන්දුව පිටු 88ක ලේඛණයක්. (විනිසුරු සිසිර ආබෲගේ පිටු 19ක තීන්දුවද සමඟ එක්ව ගත් විට පිටු 107ක්.) මෙය නෛතික, දේශපාලනික හා ශාස්ත්‍රාලයීය ලෙස ඉතා වැදගත් ලියැවිල්ලක් බව මගේ අදහසයි. ලංකාව, එංගලන්තය, ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක නඩු තීන්දු පරිශීලනය කරමින් ඉතා පැහැදිලි හා පුළුල් නෛතික පදනමක් මත නිගමනයන්ට පැමිණෙමින් ලබා දී තිබෙන මේ තීන්දුව ඇතුළත් ලේඛණය තුළ පසුගිය සත් සතිය පුරා ප්‍රසිද්ධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කළ තර්ක විතර්ක සියල්ලටම වාගේ පිළිතුරු සොයාගත හැකියි. ඒ එක්කම දහනවවන සංශෝධනයෙන් අනතුරුව මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අටුවාවක් ලෙස මේ ලියැවිල්ල සැලකිය හැකියි. මෙය තවදුරටත් දේශපාලනික කරුණක් නොවන නිසා අදාළ ලියැවිල්ල ඇසුරෙන් අවශ්‍ය පැහැදිලි කිරීමක් කරන්නට අප‍ට හැකි වුවත් දැනට අප ඒ සඳහා වචන වැය කරන්නේ නැහැ. අවශ්‍යනම් අධ්‍යාපනික පදනමකින් එවැනි පැහැදිලි කිරීම් කළ හැකියි.

ඉහත කී අවසන් තීන්දුව ලබා දෙන්න කලින් අතුරු තහනම් නියෝගයක් ලබා දුන් බව කවුරුත් දන්නා කරුණක්. එය රැඳවුම් නියෝගයක්. මේ රැඳවුම් නියෝගය අනුව පාර්ලිමේන්තුවට නැවත රැස් වීමට බලයක් නොලැබෙන බව ඇතැම් අය මතු කළ අදහසක්. එවැනි තත්ත්වයක් මතුවන්නේ පාර්ලිමේන්තුව රැස්වීමට එරෙහිව රැඳවුම් නියෝගයක් නිකුත් කළානම්. නමුත්  නියෝගය මඟින් රැඳවූයේ පාර්ලිමේන්තුව විසුරුවමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මිසක් පාර්ලිමේන්තුව නෙමෙයි. ඒ නිසා, නෛතිකව එවැනි ගැසට් නිවේදනයක් නොමැති තත්ත්වයක් තාවකාලිකව ඇති වී පාර්ලිමේන්තුව නැවත සක්‍රිය වුණා. අවසන් තීන්දුවෙන් අහෝසි වුනෙත් ඉහත කී ගැසට් නිවේදනයයි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබුණු මැතිවරණය අවලංගු වුණා. එසේ නැතිව අධිකරණය විසින් මැතිවරණ පැවැත්වීම වැලැක්වූයේ නැහැ. එජනිසය හා එජාපය එක්ව සම්මත කරගත් දහනවවන සංශෝධනය අනුව නීතිය කුමක්දැයි පැහැදිලි කරදුන්නා පමණයි.

අතුරු තහනම් නියෝගයක් අවසාන තීන්දුවෙන් ස්ථිර වීම හැමවිටම අනිවාර්යයයෙන්ම සිදුවන දෙයක් නෙමෙයි. අවසන් තීන්දුවෙන් යම් හෙයකින් ගැසට් නිවේදනය නැවත සක්‍රිය වුණානම් ඒ අනුව නියමිත දිනට මහ මැතිවරණය පවත්වන්න අසීරු වෙනවා. අතුරු තහනම් නියෝගයක් දෙන්නට පෙර අධිකරණය මෙවැනි අතුරු ප්‍රතිඵල ගැන සැලකිල්ලක් දක්වනවා.

පාර්ලිමේන්තුව නැවත රැස්වීමෙන් පසුව අගමැති සේ පත් කරනු ලැබ තිබුණු මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවා. මේ විශ්වාස භංග යෝජනාවේ පදනම වන්නේ මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ හෝ රටේ විශ්වාසය කඩන කිසිවක් කිරීම නෙමෙයි. එවැනි චෝදනාවක් එජාපය, ජවිපෙ, දෙමළ රාජ්‍ය පක්ෂය ඇතුළු පක්ෂ විසින් ඉදිරිපත් කළානම් එය එසේ විශ්වාසය කඩන අවස්ථාව වන තුරු රටේ අගමැති මහින්ද රාජපක්ෂ වූ බව ව්‍යවස්ථාදායකය විසින් පිළිගැනීමක් වෙනවා. නමුත්, සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව ව්‍යවස්ථාදායකය විසින් මහින්ද රාජපක්ෂ කිසිවිටෙකත් (මේ වසරේදී) ලංකාවේ අගමැති වූ බව පිළිගෙන නැහැ. එයින් පිළිගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස එවැනි පත්වීමක් සිදු කර ඇති බැවින් ඔහු කෙරෙහි විශ්වාසයක් නැති බවයි. මේ අනුව, ව්‍යවස්ථාදායකය විසින් බහුතර කැමැත්තෙන් තීරණය කර තිබෙන්නේ ඔක්තෝබර් 26 දින සිදු වූයේ ඉහත 1a තත්ත්වය නොව 1b තත්ත්වය බවයි.

ඔක්තෝබර් 26 දින සිට නොවැම්බර් 14 දක්වා පැවති තත්ත්වය ඉහත 1b තත්ත්වයනම් ඇත්තටම විශ්වාස භංගයක් අවශ්‍ය වන්නේ නැහැ. එසේ අවශ්‍ය වන්නේ පැවතියේ ඉහත 1a තත්ත්වයනම් පමණයි. ඒ නිසා, මේ විශ්වාස භංග යෝජනාවේ යම් අවුලක් තිබෙනවා. කෙසේ වුවත්, ජනාධිපතිවරයාට අනුව ඒ වන විට පැවතියේ ඉහත 1a තත්ත්වයයි. එය එසේ වීනම්, විශ්වාස භංග යෝජනාව සම්මත වීමෙන් පසුව මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය අහෝසි වෙනවා. එයින් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු පත් කළ යුතුයි. ඒ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ විය යුතු නැහැ. එජාප මන්ත්‍රීවරයෙකු විය යුතුද නැහැ.

ජනාධිපතිවරයාගේ මතය අනුව රටේ පැවති නෛතික තත්ත්වය 1a වුවත්, ඔහු අලුත් අගමැතිවරයෙකු පත් නොකළේ විස්වාශ භංග යෝජනාව නිසි අයුරින් සම්මත නොවුණේය යන පදනමින්. එම යෝජනාව සම්මත වූ ආකාරයේ ප්‍රශ්න බොහෝ තිබුණා. නමුත්, ඒ හේතුව මත මේ යෝජනාව නිසි යෝජනාවක්දැයි පිළිගැනීමේ අයිතිය තිබෙන්නේත් ව්‍යවස්ථාදායකයේ බහුතරය සතුව මිස ජනාධිපතිවරයා සතුව නෙමෙයි. ඒ අනුව, ව්‍යවස්ථාදායකය පැත්තෙන් බැලූ විට සිදුවුනේ ජනාධිපතිවරයා විසින් කළ යුතු කටයුත්තක් සිදු නොකර පැහැර හැරීමක්. අමාත්‍ය මණ්ඩලය හා අදාළවද මෙවැනිම යෝජනාවක් සම්මත වුනා.

ඉහත සිදුවීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ක්වෝ වොරෙන්ටෝ ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණය වෙත ගියා. අදාළ ඉල්ලීමේ තිබෙන කරුණු මා නිශ්චිතව දන්නේ නැහැ. එය මට දකින්නට ලැබී නැහැ. කෙසේ වුවත්, මේ ඉල්ලීම අනුව අගමැති (මහින්ද රාජපක්ෂ) හා ඇමති මණ්ඩලය විසින් ඔවුන්ව පත් කරනු ලැබ තිබුණු ධුර වල කටයුතු කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගය හා අදාළ සම්පූර්ණ තීන්දුවම මට කියවන්නට ලැබුණා. මෙහිදී අභියාචනාධිකරණය විසින් මේ අයුරින් අගමැති හා ඇමති මණ්ඩලය සිය ධුර වල කටයුතු කිරීම තාවකාලිකව නැවැත්විය යුතුද යන්න ගැඹුරින් සලකා බලා තිබුණා. අතුරු තහනම් නියෝගයක් කියන්නේ අවසන් නියෝගයක් නොවන නිසා අවසන් නියෝගය කුමක් වුවත් අතුරු තහනම් නියෝගයේ අහිතකර ප්‍රතිඵල කිසියම් ප්‍රමාණයක් තිබීම නොවැළැක්විය හැකියි.

යම් හෙයකින් අගමැති හා ඇමති පත්වීම් ව්‍යවස්ථානුකූල බව අවසාන නිගමනය වුවහොත්, අතුරු තහනම් නියෝගය නිසා ඔවුන්ට සිය වගකීම් ඉටු කිරීමට නොලැබීමේ අවාසි ඉතිරි වෙනවා. අනෙක් අතට, පත්වීම් ව්‍යවස්ථානුකූල නොවේනම් ධුරයට හිමිකම නැති අයෙකු ගන්නා තීරණ වල හානිය ඉතිරි වෙනවා. අභියාචනාධිකරණයේ නිගමනය වී තිබෙන්නේ දෙවැන්නේ හානිය පළමුවැන්නේ හානියට වඩා බොහෝ වැඩි බවයි. මේ නිගමනයට එළඹීමේදී අදාළ පත්වීම ව්‍යවස්ථානුකූල නොවේය යන්නට සැලකිය යුතු බරක් තබා තිබෙන බව පැහැදිලියි.

ක්වෝ වොරෙන්ටෝ නඩු විභාගයකදී කරන්නේ කිසියම් පොදු තනතුරක කටයුතු කරන්නෙකුට අදාළ තනතුර දැරීමට ඇති හිමිකම ප්‍රශ්න කිරීමයි. නොවැම්බර් 14 වන විට පැවතියේ ඉහත 1a  තත්ත්වයනම් විශ්වාස භංගය තිබුණත් නොතිබුණත් මහින්ද රාජපක්ෂට අගමැති සේ කටයුතු කළ නොහැකියි. පැවතුණේ ඉහත 1b තත්ත්වයනම්, මහින්ද රාජපක්ෂට එම හිමිකම ලැබෙන්නේ විස්වාශ භංග යෝජනාවක් විධිමත් ලෙස සම්මත වී ඇති බව අධිකරණය පිළිගත්තොත් පමණයි. මේ හා අදාළව අධිකරණය තවමත් කිසිදු නිගමනයකට එළැඹී නැහැ. අදාළ පෙත්සම් විභාගය නැවත කැඳවනු ලැබ තිබෙන්නේ ජනවාරි මාසයේ. එහි තීන්දුව පහත තුනෙන් එකක් විය හැකියි.

2a. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී නැත.
2b. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී ඇතත්, විස්වාශ භංග යෝජනාව විධිමත් ලෙස සම්මත වී තිබෙන නිසා මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය අහෝසි වී ඇත.
2c. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී ඇති අතර විස්වාශ භංග යෝජනාව විධිමත් ලෙස සම්මත වී නැත.

මහින්ද රාජපක්ෂගේ අගමැතිකම අත්හිටවනු ලැබූ ඉහත අතුරු තහනම් නියෝගයට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. එහි තීන්දුවද තවමත් ලබා දී නැහැ. එය විභාගයට ගැනෙන්නේත් ජනවාරි මාසයේදී. වාර්තා වී ඇති පරිදි ඊයේ (සිකුරාදා) සිදු වී තිබෙන්නේ එම නඩුව ඉදිරි දිනකට කල් තැබීම පමණයි. ඒ අනුව, ඔහුගේ අගමැති පත්වීම තාවකාලිකව අත් හිටවනු ලැබූ රැඳවුම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. මේ කොටස මා ලියන්නේ ද්වීතියික මූලාශ්‍ර වල තිබෙන කරුණු ඇසුරෙන්. නිල ලේඛන මා දැක නැහැ.

පවතින නෛතික වාතාවරණය ඔහොමයි. එතකොට දැන් නිල අගමැති කවුද?

මේ ප්‍රශ්නයට ඊයේ වන තුරුත් නෛතික පිළිතුරක් තිබුණේ නැහැ. පිළිතුර පහත තුනෙන් ඕනෑම එකක් විය හැකියි.

3a. රනිල් වික්‍රමසිංහ
3b. මහින්ද රාජපක්ෂ
3c. පුරප්පාඩු වී තිබේ.

-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1b වුවහොත් එයින් ගම්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය අහෝසි වී නැති බවයි. ඒ අනුව, පිළිතුර 3a. අභියාචනාධිකරණ තීන්දුව කුමක් වුවත් එය අදාළ නැහැ.
-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1a වී, අභියාචනාධිකරණ තීන්දුව 2c වේනම් මහින්ද රාජපක්ෂ අගමැති සේ පත් වී ඇති අතර එම තනතුර තවමත් (ඔහු ඉල්ලා අස්වන්නේනම් එවැන්නක් නිල වශයෙන් පිළිගැනෙන තුරු) වලංගුයි. ඒ අනුව, පිළිතුර 3b .
-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1a වී, අභියාචනාධිකරණ තීන්දුව 2b වේනම් මහින්ද රාජපක්ෂ අගමැති සේ පත් වී ඇති නමුත් එම තනතුර මේ වන විට අහෝසි වී තිබෙනවා. ඒ අනුව, පිළිතුර 3c .

නිවැරදි පිළිතුර මේ තුනෙන් එකක් පමණයි. එහෙත් එය නිශ්චය කරන්නට වෙන්නේ ඉහත කී නඩු තීන්දු දෙකම ලැබුණු පසුවයි. කෙසේ වුවත් නෛතික කරුණු පෙළගැසී ඇති ආකාරයට පිළිතුර 3b වන්නට විශාල ඉඩක් නැහැ.

වාර්තා වල දැක්වෙන ආකාරයට මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී රනිල් අගමැති සේ දිවුරුම් දුන්නොත් වෙන්නේ කුමක්ද?

පවතින තත්ත්වය 3a නම් මේ දෙකම නෛතිකව ශුන්‍ය කටයුතු දෙකක් පමණයි. සිදු වන කාර්යයක් නැතත්, නැති තනතුරකින් ඉල්ලා අස්වීමේ හෝ තිබෙන තනතුරේම නැවත දිවුරුම් දීමේ වැරැද්දක් පෙනෙන්නට නැහැ. පවතින තත්ත්වය 3bනම් මහින්ද අගමැති ධුරයෙන් ඉවත්ව රනිල් අගමැති ලෙස අලුතින් පත් වෙනවා. එය නීතිය අනුව සිදුවන දේශපාලනික බල හුවමාරුවක්. පවතින තත්ත්වය 3cනම් මහින්ද ඉල්ලා අස්වීම ශුන්‍ය කටයුත්තක් වුවත් රනිල් දිවුරුම් දීම නෛතික කටයුත්තක්.

ඔය තුනෙන් කොයි එක වුවත් ප්‍රයෝගිකව සිදුවන්නේ රනිල්ට අගමැති සේ කටයුතු කිරීමට නැවත ඉඩ ලැබීමයි. ඒ සමඟ දේශපාලනික අර්බුදය විසඳෙන්න පුළුවන්. එහෙත් මූලික නෛතික ප්‍රශ්නය හා අතුරු ප්‍රශ්න තවදුරටත් එසේමයි. දේශපාලන අර්බුදය විසඳුනහොත්, ඒ නෛතික ප්‍රශ්න දේශපාලන එකඟතා (ඩීල්) හරහා යටපත් වී යන්නටද ඉඩ තිබෙනවා. එසේ වුවහොත් අනාගතයට තවත් ප්‍රශ්න ඉතිරි වෙනවා.

(Image: https://www.colombotelegraph.com/index.php/mahinda-ranil-the-big-picture/)

Friday, December 14, 2018

රජෙක් පිස්සෙක් වුනොත්?



ඉඩියට් (idiot) කියන ඉංග්‍රීසි වචනයේ විධිමත් නීතිමය හා මනෝවිද්‍යාත්මක අර්ථය වන්නේ මානසික මට්ටමෙන් අවුරුදු දෙකකට වඩා වයසෙන් අඩු, තමන්ගේ ආරක්ෂාව තමන්ටම සපයාගත නොහැකි මනස නොවැඩුණු පුද්ගලයෙක් කියන එකයි. ඉහත ප්‍රකාශය පදනම් වෙන්නේ විකිපීඩියාවේ තියෙන කරුණු මතයි. ඒ හැර වඩා විශ්වාශනීය මූලාශ්‍ර වල තිබෙන අර්ථදැක්වීම් මොනවාද කියලා මම හෙවුවේ නැහැ. මේ වචනය ගූගල් කළාම විකිපීඩියා පිටුව පෙන්වනවා. මේ විදිහට ගූගල් සෙවුමේ "images" ක්ලික් කළොත් උඩින්ම දැකිය හැක්කේ ජනාධිපති කෙනෙක්ගේ ඡායාරූපයි. ලංකාවේ ජනාධිපතිගේනම් නෙමෙයි.

පසුගිය අඟහරුවාදා ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායිට ඇමරිකන් කොංග්‍රසයේ කමිටුවක් ඉදිරියේ මේ ගැන කරුණු පැහැදිලි කරන්න සිදු වෙලා තිබෙනවා. මේ වැඩේ කිසිවෙකු විසින් හිතාමතා කරන දෙයක් නොවන බව පැහැදිලි කරන්න ඔහුට පහසු වෙලා නැහැ.

විධිමත් අර්ථයෙන් ගත්තොත් ජනාධිපති ට්‍රම්ප් ඉඩියට් කෙනෙක් නෙමෙයි. නමුත්, මේ වචනයට අවිධිමත් අර්ථයකුත් තිබෙනවා. එය වඩා ප්‍රචලිතයි. සිංහලෙන් පිස්සා කියා කියන්නේ මානසික රෝගීන්ටම නොවන්නාක් මෙන්. බොහෝ දෙනෙක් ට්‍රම්ප් කියන වචනය ඉඩියට් කියන වචනයත් එක්ක සම්බන්ධ කර භාවිතා කරන විට ගූගල් මෘදුකාංගය ඒ වචන දෙක අතර සම්බන්ධයක් ඇති බව තීරණය කරනවා.

ජනාධිපති ට්‍රම්ප්ට මානසික ආබාධයක් හා ආබාධ කිහිපයක් ඇති බවට ඇතැම් අය අදහස් පළ කර තිබෙනවා. මේ අය අතර අදාළ වෘත්තිකයින්ද සිටිනවා. වෘත්තිකයින් (මානසික වෛද්‍යවරුන්) විසින් නිසි රෝග පරීක්ෂාවක් නොකර, ප්‍රසිද්ධියේ පෙන්වන හැසිරීම් මත පදනම්ව, මෙවැනි ප්‍රකාශ කිරීම වෙනත් වෘත්තිකයින්ගේ විවේචනයටද ලක් වී තිබෙනවා. තමන් යහපත් මානසික සෞඛ්‍යයකින් සිටින බව පැහැදිලි කිරීමට ජනාධිපති ට්‍රම්ප් විසින් උත්සාහ කිරීමෙන් පෙනෙන්නේ මේ ප්‍රකාශ ගැන ඔහු කණස්සල්ලෙන් පසුවන බවයි. එය තේරුම් ගත හැකි දෙයක්. යහපත් මානසික සෞඛ්‍යයක් නැති බව තහවුරු වුවහොත් එය ඔහුගේ තනතුරට බලපානවා.

ජනාධිපති ට්‍රම්ප් කියන්නේ මානසික රෝගයකින් පෙළෙන බවට සැක කෙරුණු පළමු ඇමරිකන් ජනාධිපති නෙමෙයි. එක් පර්යේෂණ පත්‍රිකාවකට අනුව ඇමරිකන් ජනාධිපතිවරුන්ගෙන් අඩක් පමණ කවර හෝ මානසික ආබාධයකින් පෙළී තිබෙනවා. මානසික ආබාධයකින් පෙළෙන අයෙකු විධායකයේ ප්‍රධානියා වීම භයානක ප්‍රතිවිපාක වලට හේතු විය හැකියි.

පිස්සෙක් රජෙක් වීම වගේම රජෙක් පිස්සෙක් වීමත් භයානකයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර නිසි බලතුලනයක් තිබීම වැදගත් වන්නේ ඒ නිසයි.


Source: Davison et al (2006) .Journal of Nervous & Mental Disease 194(1):47-51

Thursday, December 13, 2018

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව


ලංකාවේ සහ ලෝකයේ බොහෝ දෙනෙක් බලා සිටි මූලික අයිතිවාසිකම් නඩු දහයක තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන විට ලබා දී තිබෙනවා. මෙය ඉතා වැදගත් නඩු තීන්දුවක්. රුපියල් බිලියන ගණනක දැවැන්ත පාඩුවකින් කෙළවර වූ තෙල් සංස්ථාවේ හෙජින් ගිවිසුම් ගැන සරසවි ගණනාවක මූල්‍ය කළමනාකරණ පාඨමාලා වලදී කතා කෙරෙනවාක් මෙන් මේ නඩු තීන්දුවටත් අනාගතයේදී ශාස්ත්‍රාලයීය වැදගත්කමක් ලැබෙනු ඇතැයි සිතිය හැකියි.

ලංකාවේ දැනට පවතින දේශපාලන අර්බුදය ඇරැඹුණේ පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ඒ වන විට නීත්‍යානුකූල අගමැති වූ රනිල් වික්‍රමසිංහව ධුරයෙන් පහකොට මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කරන්නට ජනාධිපති සිරිසේන විසින් කටයුතු කිරීමත් සමඟයි. මෙය ව්‍යවස්ථා විරෝධී බව අප ඒ වෙලාවේම පෙන්වා දුන්නා. අදාළ ලිපිය අවසන් කළේ පහත ආකාරයටයි.

"දැනට පවතින ව්‍යවස්ථාවට අනුකූලව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන්න තිබුණු පහසුම ක්‍රමය විශ්වාස භංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කිරීමයි. එවිට, අමාත්‍ය මණ්ඩලය වගේම අගමැතිවරයාත් අලුතින් පත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට හිමිවෙනවා. ඒ සඳහා උත්සාහයක් දැරුවත් එය සාර්ථක වුනේ නැහැනේ. මේ විදිහට ව්‍යවස්ථාවට පිටින් ගිහින් අගමැති ඉවත් කිරීමේ අදහස එන්න ඇත්තේ ඉන් පසුව වෙන්න ඇති.

මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර බලය වුවත් නැති වෙන්න පුළුවන්. ඔහුට බහුතර බලය තිබෙනවානම් අලුතෙන් පත්වන ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේදී පරාජය කළ හැකියි. නමුත්, එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඔහු අගමැති ධුරය හැර ගියොත්. එසේ ධුරය හැර යනවා කියන්නේ ඔහු ජනාධිපතිගේ ක්‍රියාවේ නීතිමය වලංගු භාවය පිළිගැනීමක්. රනිල් එහෙම කරයිද?

රනිල් නීතිය මත ඕනෑවට වඩා විශ්වාසය තියාගෙන ඉඳලා තිබෙන බව පේනවා. ලංකාව වගේ රටක මිනිස්සු හිතන විදිහ ගොඩක් වෙලාවට නීතියට වඩා බලවත්. ඒ තත්ත්වය වෙනස් කරන්න රනිල්ගේ කාලයේදී යම් උත්සාහයක් දැරුවත් ලොකු වෙනසක් වෙලාද කියන එක සැක සහිතයි.

ඒ නිසා, මේ වෙලාවේ ඇත්තටම ලංකාවේ සෑහෙන අවුලක් තියෙනවා. ඒ අවුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම විසඳෙයි කියා හිතන්න අමාරුයි. පොතේ නීති තිබුණත් සාමාන්‍ය කරුණකදී ඒ නීති ලංකාවේ බොහෝවිට ක්‍රියාත්මක වුනේ පොතේ හැටියටම නෙමෙයි. දැන් මේ තත්ත්වය සාමාන්‍ය කරුණු නොවන ලොකු කරුණු දක්වාම දුර දිග ගිහින්.

මිනිස්සු ඉන්නේ මහින්ද එක්ක කියා පෙනෙන විට රනිල් පහුබහින්න ඉඩතිබෙනවා. රනිල් අගමැති ධුරය අතහැර ගියොත් එජාප මන්ත්‍රීවරුන් අනිත් පැත්තට පනින එක වලක්වන්න කොහොමත් බැරි වෙනවා. ඒ නැතත්, රනිල් ඉදිරියේ තියෙන්නේ සෑහෙන අවදානමක්.

රනිල් පරාජය බාර ගනීද? තමන් අවුරුදු තුනක් තිස්සේ රටේ අධිකරණ පද්ධතිය කොයි තරම් ශක්තිමත් කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න යයිද? මේ තත්ත්වයට වෙනත් රටවල් කවර ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද?"

රනිල් පරාජය භාරගත්තේ නැහැ. ඔහු අගමැතිධුරය අතහැර නොදැමූ නිසා රටේ දේශපාලන බලතුලනය මහින්ද-මෛත්‍රී පාර්ශ්වය අපේක්ෂා කළ ආකාරයට වෙනස් වුනේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදිහට මන්ත්‍රීවරයකු මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු මිල විශාල ලෙස ඉහළ ගියා. මිලියන පන්සීයක් ගෙවා හෝ අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණන හොයා ගන්න අපහසු වූ බව මේ වන විට ජනාධිපති සිරිසේන විසින්ම ප්‍රකාශ කර ඇති දෙයක්. ජනාධිපති සිරිසේන මේ ප්‍රකාශය කරන්න කළින්ම මා මේ විදිහට මන්ත්‍රීවරුන්ගේ මිල ඉහළ ගියේ ඇයි කියා පැහැදිලි කළා. මා කතා කළේ පුළුල් ලෙස "ආවස්ථික පිරිවැය" ගැනයි. ජනාධිපති සිරිසේන කතා කළේ එහි එක් කොටසක් වන මුදල් පිරිවැය ගැන පමණයි. නමුත්, සැබෑ පිරිවැයට ඇමතිධුර, ෆයිල් යටගැසීම් වැනි තවත් බොහෝ දේ ඇතුළත්.

"ලංකාවේ මහජන මන්ත්‍රීවරුන් මුදලට විකිණීම ඒ අයගේ හෝ ඒ අයව මිල දී ගන්නා අයගේ පමණක් වැරැද්දකින් සිදුවන්නක් නොවෙයි. ඒ අයව තෝරා ගන්නා ඡන්දදායකයින් විසින් වක්‍රව එවැනි කටයුතු අනුමත කිරීමත් එයට හේතුවක්. එය එසේ නොවන විට මහජන මන්ත්‍රීවරයෙකු විසින් මුදලට පක්ෂපාතීත්වය මාරු කිරීමේ ආවස්ථික පිරිවැය විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මේ ආකාරයට මන්ත්‍රීවරුන් මිල දී ගැනීම වඩා අසීරු කාර්යයක් බවට පත් වෙනවා. පසුගිය දෙසතිය තුළ දකින්නට ලැබුණේ ඒ තත්ත්වයයි."

අර්බුදය ඇරැඹෙන විට ජනප්‍රියත්වයෙන් ඉතාම පහළ අඩියක හිටපු රනිල් වික්‍රමසිංහට වැඩිම සහයෝගයක් දුන්නේ ඇතැම් මහින්දාගමිකයින් විසිනුයි. දේශපාලනිකව මහින්ද වෙනුවෙන් පෙනී සිටියත්, ඉහළම ශාස්ත්‍රාලයීය සුදුසුකම් හා විනයක් තමන්ට ඇති බව පෙන්වාගෙන සිටි ඇතැම් මහින්ද පාක්ෂිකයින් තමන්ගේ පෞද්ගලික වාසි හා 2015 ආණ්ඩු පෙරළියෙන් පසුව තමන්ට නැති වූ දේ වෙනුවෙන් නීතිය, ශිෂ්ඨත්වය හා ඇතැම් විට පෞද්ගලික මිත්‍රත්වයන් පවා කොයි තරම් දුරට අමතක කරන්න පුළුවන්ද කියා පෙන්වන්න පැය ගණනකට වඩා කල් ගත්තේ නැහැ. රෝයල් ගියත් උපන් ගති නෑරේ කියා කවුද ඇනෝ කෙනෙක් කලකට පෙර කියල තිබුණනේ.

හැබැයි මහින්ද වෙනුවෙන් පෙනී සිටි සියළු දෙනාවම මේ ගොඩට දමන්න බැහැ. මේ ඇතැම් අය රනිල් විරෝධීන් හා වඩා පුළුල් ලෙස බටහිර විරෝධීන් වුවත් මහින්දාගමිකයින් වුණේ නැහැ. ඔවුන්ගේ ප්‍රමුඛ තේරීම මහින්ද වීමත්, ඉදිරිපත් කළ තර්ක පක්ෂග්‍රාගී වීමත් වෙනම කරුණක්.

අදහස් දැක්වීමේදී පක්ෂග්‍රාහී වීමේ වැරැද්දක් නැහැ. විශේෂයෙන්ම නීති වෘත්තියේ යෙදෙන්නන්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීම මිසක් අපක්ෂපාතී වීම නෙමෙයි. අපක්ෂපාතී විය යුත්තේ අධිකරණයයි.

අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳව සැක සංකා පැවති යුගයක් තිබුණා. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ඉක්මවා සිරිසේනට මතු වෙන්න ඒ සැක සංකා වලිනුත් තල්ලුවක් ලැබුණා. ඒ හේතුව මත සිරිසේන-වික්‍රමසිංහ සංයෝගයට ඒ සැක සංකා දුරු කරන්න කිසියම් කාර්ය භාරයක් කරන්න බල කෙරුණා. එහි ප්‍රතිඵල දැන් පෙනෙන්නට තිබෙනවා.

පරාජය භාර නොගත්තත්, තමන් අවුරුදු තුනක් තිස්සේ රටේ අධිකරණ පද්ධතිය කොයි තරම් ශක්තිමත් කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න රනිල් මුලදීම හිතුවේ නැහැ. මේ ගැන ඔහුගේ සැක සංකා මුළුමනින්ම දුරු වී නොතිබෙන්න ඇති. එයටත් හේතුවක් තිබෙනවා. සදාචාරාත්මක හේතු මත ලියන්නේ නැහැ. රනිල් විශ්වාසය තැබුවේ ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථාදායකය මත හා යම්තාක් දුරකට ජාත්‍යන්තර සහයෝගය මතයි.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වයන් විසින් රනිල් නිකම්ම අගමැතිකම හැර යනු ඇති බව උපකල්පනය කළේයැයි සිතීම ඕනෑවට වඩා සරල නිගමයක්. එය එසේ නොවනු ඇති බව ඔවුන් දැන නොසිටින්නට හේතුවක් නැහැ. රනිල් අගමැතිකම හැර දමා යනු ඇති බවට සහතිකයක් තිබුණානම් රාජ්‍ය මාධ්‍ය වල බලය අල්ලා ගැනීමට ඔය තරම් ප්‍රමුඛත්වයක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අනුව, පාර්ලිමේන්තුව කල් තැබීමත් මහින්ද-මෛත්‍රී පාර්ශ්වයේ මුල් සැලසුමේම කොටසක් ලෙස සලකන්න පුළුවන්.

පාර්ලිමේන්තුව කල් තැබීම නිසා රනිල්ට ව්‍යවස්ථාදායක බලය යොදා ගනිමින් විධායකයේ බලයට අභියෝග කරන්න තිබුණු ඉඩකඩ ඇහිරුණා. ඒ එක්කම රනිල්ලාගේ පැත්තේ සිටි මන්ත්‍රීවරුන් එකිනෙකා අඩු වීමේ අවදානමක් ඇති වුණා. මේ වන විට ඇති වී තිබුනේ විධායකය විසින් ව්‍යවස්ථාදායකයේ බලයට අභියෝග කිරීමක් නිසා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට අධිකරණයේ මතය විමසිය යුතු බවයි ඔක්තෝබර් 28 වන විටත් මගේ මතය වුණේ.

"විධායකය ක්‍රියා කරලා තියෙන්නේ වැරදියටනම්, අදාළ ක්‍රියාවේ වින්දිතයා වී ඉන්නේ  ව්‍යවස්ථාදායකයනම් ව්‍යවස්ථාදායකයට පමණක් තනිව ප්‍රශ්නය විසඳා ගැනීම අසීරුයි. මේ වෙලාවේ කළ යුත්තේ අධිකරණයේ සහයෝගය ලබා ගැනීමයි. සහයෝගය ලබා ගැනීම කියන එකෙන් අදහස් කළේ රනිල්ට දිගටම බලයේ ඉන්න සහයෝගය ලබා ගැනීම නෙමෙයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ බලතල අර්ථනිරුපණය කර ගැනීම හා ජනාධිපති වැරදියට ක්‍රියාකර ඇත්නම් ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනගැනීමටයි අදහස් විමසිය යුත්තේ. යම් විදිහකින් රනිල්ව ඉවත් කිරීම ව්‍යවස්ථාව අනුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයනම් පාර්ලිමේන්තුව රැස් වූ පසු අලුත් ආණ්ඩුව පරාජය කරන්න උත්සාහ කිරීම දෙවනුව සලකා බැලිය යුතු කරුණක්."

මේ කරුණේදී අධිකරණය සම්බන්ධ කරගත හැකි ආකාර දෙකක් තිබුණා. පහසුම ආකාරය වුණේ ජනාධිපතිවරයා විසින් අධිකරණයේ මතය විමසීමයි. තමන් කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුකූලව බව ජනාධිපති සිරිසේන විසින් අවංකවම විශ්වාස කළේනම් ඔහුට අධිකරණයේ මතය විමසා ඉතා පහසුවෙන් ඒ බව තහවුරු කර ගත හැකිව තිබුණා. මීට පෙර තමන්ගේ ධුර කාලය පිළිබඳව පැවති අවිනිශ්චිතතාවය දුරු කරගැනීම සඳහා ඔහු අධිකරණයේ මතය විමසා තිබුණා.  එවැනිම කරුණක් හා අදාළව ඊට පෙර එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ද අධිකරණයේ මතය විමසා තිබුණා. නමුත්, මෙවර ඔවුන් එසේ නොකළේ රටට මොනවා කිවුවත් තමන් කරන දේ ගැන ඔවුන් දැන සිටි නිසයි.

අධිකරණය සම්බන්ධ කරගත හැකිව තිබුණු දෙවන ආකාරය මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමයි. එය රටේ ඕනෑම පුරවැසියෙකුට කළ හැකිව තිබුණු දෙයක්. පැවති දේශපාලන අර්බුදය හා අදාළව (මා දන්නා තරමින්) මුලින්ම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණේ නාගානන්ද කොඩිතුවක්කු විසිනුයි. නමුත්, ඔහු විසින් අභියෝගයට ලක් කර තිබුණේ පාර්ලිමේන්තුව කල් තැබීම මිස රනිල් ඉවත් කර මහින්දව පත් කිරීම නෙමෙයි. මා දන්නා තරමින් රනිල්ව ඉවත් කිරීම අභියෝගයට ලක් කර තිබෙන්නේ මුලින්ම දඹර අමිල හිමි විසින් හා පසුව ඕෂල හේරත් විසින්. මේ පෙත්සම් දෙක මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතිනවා.

අධිකරණය ගැන ඒ වන විටත් නොසිතූ රනිල් මුලදී උත්සාහ කළේ කල් තබා තිබුණු පාර්ලිමේන්තුව හැකි ඉක්මණින් නැවත රැස් කරගන්නයි. ඒ වෙනුවෙන් රනිල් පාර්ශ්වය ජනාධිපති සිරිසේනට බලපෑම් කළත් ඒ බලපෑම් වලින් වැඩක් වුනාද කියන එක සැකසහිතයි. මේ කටයුත්තේදී රනිල් ජාත්‍යන්තර සහයෝගයත් හෙවුවා.

ජාත්‍යන්තර මතය දිගටම තිබුණේ රනිල්ට වාසිදායක අයුරිනුයි. ඔක්තෝබර් 28 වෙනිදා වෙද්දී වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටිමින් ඇමරිකාව විසින් නිවේදනයක් නිකුත් කළා. ඊළඟ දවස් කිහිපය ඇතුළත ජනාධිපති සිරිසේන මත පීඩනයක් ඇති කරන්න තවත් බටහිර රටවල් එකතු වුණා. පාර්ලිමේන්තුව රැස් කරන බව ජනාධිපතිවරයා ඔවුන්ට පොරොන්දු වී තිබුණා. ඒ එක්කම රනිල් ඉවත් කර මහින්දව පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත්, නීත්‍යනුකූල අගමැති සේ තමන් පිළිගන්නේ රනිල් වික්‍රමසිංහව බවත් කතානායකවරයා විසින් ප්‍රකාශ කිරීම නිසා පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම ගැටළුකාරී දෙයක් බවට පත් වුණා. කවුරු හෝ විසින් අධිකරණය වෙත යාමේ වැදගත්කම ඒ වෙලාවේදී මා නැවතත් අවධාරනය කළා.

"මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාව අනුව අර්ථ නිරූපණය කළ වහාම පවතින අර්බුදය විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ වාසියට කැරකෙනවා. එය කොයි පැත්තට කැරකෙයිද කියා ස්ථිරව කීමේ හැකියාවක් මට නැහැ. අදාළ පාර්ශ්ව දෙකෙන් එකක්වත් ඒ අවදානම ගන්න සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ."

ඒ වගේම, ලිපිය මුලින්ම සටහන් කළ මගේ මතය හෝ වෙනත් අයෙකුගේ පෞද්ගලික මතය මේ කරුණේදී එතරම් වැදගත් නොවන බවත්, වැදගත් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බවත් 125(1) අනුව්‍යවස්ථාව උපුටා දක්වමින් මා පෙන්වා දුන්නා. එසේ කළේ ඒ වන විටත් ව්‍යවස්ථා විශාරදයින් වැහි වැහැලා හිටපු නිසයි.

"මේ වගේ වෙලාවක අවසන් තීරණය තියෙන්නේ කාගේ අතේද? පහත උපුටා දක්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125(1) අනුව්‍යවස්ථාව. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අපි වගේ බ්ලොග් පඩංගු ලියන හාල් කෑලි වලට වගේම වෙනත් ව්‍යවස්ථා විශාරදයින්ටත් අදහස් දක්වන්න පුළුවන් වුවත් ඒවා නිකම්ම නිකම් අදහස් පමණයි."

රනිල් ඉවත් කර මහින්දව පත් කිරීමේ තීරණය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිල මතය තවමත් ප්‍රකාශයට පත් වී නැහැ. අදාළ නඩු විභාගය නැවත ආරම්භ වනු ඇත්තේ උසාවි නිවාඩු කාලය අවසන් වීමෙන් පසුවයි. කොහොම වුනත්, ඔක්තෝබර් 26 දින සිටම රනිල් පාර්ශ්වයේ ආණ්ඩු කිරීම අරලියගහ මන්දිරයේ වාසය කිරීමට සීමා වී තිබුණා. මේ හා අදාළව ඇතැම් විට දෙපාර්ශ්වය අතර කිසියම් එකඟතාවයක් තියෙන්න ඇති.

ඔක්තෝබර් මාසය අවසන් වෙද්දී දෙපාර්ශ්වය අතර කිසියම් එකඟතාවයක් ඇති වන්නට යන බවක් පෙනෙන්නට තිබුණා. මේ එකඟතාවය ඇති වුනේ තමන් නිල අගමැතිවරයා ලෙස පිළිගන්නේ රනිල්ව වුවත්, පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රය පිළිගනිමින් මහින්ද රාජපක්ෂව අගමැති සේ සලකා අසුන් පනවන්නේනම් එයට බාධා නොකිරීමට කතානායකවරයා අනුකූලතාවයක් දැක්වීම මතයි. නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව නැවත රැස් කෙරෙන බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරුණා.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීමේ ඉඩක් නැති බව මේ වන විට කාටත් පැහැදිලි වී අවසන්. මේ වගේ ගැටුමකින් පසුව කිසියම් සම්මුතියකට එළැඹෙන්නනම් පරාජිත පාර්ශ්වයටත් කිසියම් හෝ පෙන්විය හැකි ජයග්‍රහණයක් අවශ්‍ය වෙනවා. ඒ අනුව, මහින්ද වෙනුවට රනිල් නොවන වෙනත් අයෙකු පත්කරන්න ජනාධිපති සිරිසේන විසින් උත්සාහ දැරුවා. ඔහු තවමත් මේ උත්සාහය අතහැර නැහැ.

තවමත් එජාපයේ බහුතරයකගේ කැමැත්ත ලබන නායකයා රනිල් වික්‍රමසිංහයි. ඔහු සමඟ පාර්ලිමේන්තුවේ බහුතරය සිටින බවත් මේ වන විට තහවුරු කර අවසන්. 43(4) අනුව්‍යවස්ථාව අනුව "ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ හැක්කේය" කියා සඳහන් වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සිය ධුරයේ කටයුතු කිරීමට හැකි තරමේ ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් තිබිය යුතුයි. එවැනි ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් තිබෙන සාමාන්‍ය පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා කවුද කියන එක නිර්ණය කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. නමුත්, මෙහිදී වැරදීම් වෙන්න පුළුවන්.

"ජනාධිපතිවරයාගේ මතය අනුව" කියන එකෙන් අදහස් වෙන්නේ "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා" කවුද කියන එක පැහැදිලි නැති වෙලාවක එය නිගමනය කිරීමේ අවකාශය ජනාධිපතිවරයා වෙත ඉතිරි කර ඇති බව මිසක් ඔහුගේ පෞද්ගලික රුචිඅරුචිකම් අනුව හෝ තමන්ට වැඩ කිරීමේ පහසුව මත අගමැති පත් කළ යුතු බව නෙමෙයි. ජනාධිපතිවරයාගේ තේරීම නිවැරදිම තේරීම නෙමෙයිනම් පත් කළ අගමැතිවරයාව විශ්වාසභංගයකින් පරාජය කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට තිබෙනවා.

සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර නියෝජනයක් තිබෙන පක්ෂයේ නියෝජිතයා ජනාධිපති විසින් අගමැති සේ පත් කිරීමයි. ඔහු හෝ ඇය "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා" ලෙස නිර්ණය කිරීම අපහසු නැහැ. නමුත්, කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර නියෝජනයක් නැත්නම් මේ වැඩේ කරන එක අසීරුයි. මේ වගේ අවස්ථා වලදී, කිසියම් අගමැති අපේක්ෂකයෙකු විසින් තමන්ට බහුතර සහයෝගය තිබෙන බව ලිඛිතව දැනුම් දීම මඟින් ඉහත අවිනිශ්චිතතාවය නැති කළ හැකියි.

මා දන්නා තරමින් 2015දී ජනාධිපති සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහව අගමැති සේ පත් කළේ ඉහත පදනම් දෙකෙන් එකක්වත් අනුව නෙමෙයි. නමුත්, ඒ වෙලාවේ ජනාධිපතිවරයා විසින් කළ පත් කිරීම පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක් වුනේ නැහැ. ඉන් පසුව දිගටම රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහයෝගය ලැබුණා. ඔහුට එරෙහිව ඉදිරිපත් වුනු විශ්වාස භංගයකදී පවා මේ තත්ත්වය තහවුරු වුනා. ඒ අනුව, "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් ඇති මන්ත්‍රීවරයා" කවුද යන්න පිළිබඳව "ජනාධිපතිවරයාගේ මතය" නිවැරදි බව දිගින් දිගටම තහවුරු වුනා. එයින් පෙනෙන්නේ ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් ගණනක් පමණක් සිටි එජාපයේ නියෝජිතයෙකුට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් වශයෙන් තිබෙනවාය යන නිවැරදි, එහෙත් අසීරු නිගමනයට එළැඹෙන්න තරමට ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් ජනාධිපති සිරිසේනට තිබුණු බවයි.

ඒ ශාරීරික හා මානසික යෝග්‍යතාවය ජනාධිපති සිරිසේනට තවමත් තිබෙනවාද කියා මා දන්නේ නැහැ. මෙයත් මේ වන විට අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වී තිබෙන කරුණක්.

එජාපය ඇතුළු දේශපාලන පක්ෂ වලට හා ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ පරිදි හා ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරුණු පරිදි පසුගිය නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කෙරුණේ නැහැ. ඒ වෙනුවට ජනාධිපති සිරිසේන විසින් කළේ ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමයි. මේ කටයුත්ත ව්‍යවස්ථා විරෝධී බව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සප්ත පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකවව තීන්දු කර අවසන්. එය තවදුරටත් මගේ අදහසක් පමණක් නෙමෙයි.

මේ හා අදාළව එදින මා ලියූ දේවල් පහත ලිපියේ තිබෙනවා.

Tuesday, December 11, 2018

ආර්ථිකයේ අවදානම් අඩුකරපු හැටි...


පසුගිය සියවස අවසන් වන තුරුම වගේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 25 මට්ටමට වඩා වැඩි වුණේ කිහිප වරකදී තාවකාලිකව පමණයි. 2001 අවුරුද්ද ඉවර වෙන කොටත් ඩොලර් 20කට අඩුවෙන් බොරතෙල් බැරලයක් විකිණුනා. නමුත්, ඉන් පසුව දිගින් දිගටම තෙල් මිල වැඩි වුණා. 2005 මුලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 50 පැන්නුවා. 2006 මැද වෙද්දී ඩොලර් 75ට කිට්ටු කළා. 2008 මුල හරියේදී ඩොලර් 100 පැන්නුවා.

ඔය කාලය වෙද්දී ඉහළ යන තෙල් මිලේ බර ලංකාවේ ආර්ථිකයට ඉතා දැඩිව දැනෙන්න ගත්තා. ලොකුම ප්‍රශ්නය වුනේ බොරතෙල් බැරලයක මිල කොහෙන් නවතීද කියා හරියටම කියන්න කාටවත් නොහැකි වීම. චීනය, ඉන්දියාව වගේ රටවල් වල තෙල් ඉල්ලුම විශාල ලෙස වැඩිවීමත්, තෙල් සංචිත වල සීමාවක් තිබීමත් මත පදනම්ව තෙල් මිල නැවත කිසි විටෙකත් පෙර මට්ටමට පහත නොවැටෙනු ඇති බව ඔය කාලයේ බොහෝ දෙනෙක්ගේ අදහස වුනා. ඒ අනුව, වඩා ප්‍රචලිත අදහස වුනේ තෙල් මිල කිසියම් මට්ටමක ස්ථාවර වී එතැන් සිට අඩු වේගයකින් ඉහළ යනු ඇති බවයි. තෙල් මිල වැඩි වුනු ප්‍රවණතාවය දිහා බැලුවහම මේ අදහස නරක එකක් වුනේ නැහැ.

ඔය දවස් වල තෙල් බැරලයක් ඩොලර් 200ක් වෙනවා කියන එක සිදු විය නොහැකි දෙයක් බව පෙනුණේ නැහැ. එහෙම වුනානම් එය ලංකාව ආර්ථික අර්බුදයක් කරා මෙහෙයවන්න ඉඩ තිබුණා. කොහොමටත් 2008 මැද වන විට රටේ උද්ධමනය 30% මට්ටමට ගිහිල්ලයි තිබුණේ. පසුව බොහෝ කතාබහට ලක් වුනු හෙජින් ගනුදෙනු සිදු වුනේ ඔය වගේ පසුබිමකයි.

තෙල් සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, ඩොයිෂ් බැංකුව හා සිටි බැංකුව වගේ විදේශ බැංකු එක්කත්, මහජන බැංකුව හා කොමර්ෂල් බැංකුව වගේ දේශීය බැංකු එක්කත් හෙජිං ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. මේ ගිවිසුම් බොහොමයක් අත්සන් කළේ 2008 මැද භාගයේදී වසරක කාලයක් සඳහා.

මේ හෙජිං ගිවිසුම් ගැන ගොඩක් අය දන්නේ නැති නිසා 2008 අගෝස්තු සිට වසරක කාලයක් සඳහා ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරපු ගිවිසුම මුලින්ම උදාහරණයකට ගන්නම්. ඒ ගිවිසුම සරලයි.

ගිවිසුම සඳහා පාදක කර ගත්තේ ඒ වන විට බොරතෙල් බැරලයක මිල වූ ඩොලර් 112.50. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මිල වැඩි වුනොත් මිල වෙනස ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න ඕනෑ. මිල අඩු වුනොත් මිල වෙනස තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවන්න ඕනෑ. වෙනත් විදිහකට කිවුවොත් මිල අඩු වුනත්, වැඩි වුනත් තෙල් සංස්ථාවට යන වියදම බැරලයකට ඩොලර් 112.50යි. වෙළඳපොළේ මිල වැඩි වුනොත් ඩොයිෂ් බැංකුවට පාඩුයි, තෙල් සංස්ථාවට ලාබයි. මිල අඩු වුනොත් ඩොයිෂ් බැංකුවට ලාබයි, තෙල් සංස්ථාවට පාඩුයි.

කලින් කියපු ගිවිසුම අත්සන් කළේ මාසයකට තෙල් බැරල් 100,000කට. ඒ කියන්නේ, අවුරුද්දට තෙල් බැරල් මිලියන 1.2කට. ගිවිසුම අත්සන් කළාට පසු අවුරුද්දේ තෙල් මිල ඩොලර් 113.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් ලාබයි. ඩොලර් 114.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 2.4ක් ලාබයි. ඩොලර් 111.50ට අඩු වෙලා දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් පාඩුයි.

කොහොම වුනත්, ගිවිසුම අනුව ඔය විදිහට ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න එකඟ වෙලා තිබුණේ උපරිම වශයෙන් ඩොලර් මිලියන 2.5ක් පමණයි. නමුත්, තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු මුදල ඒ ආකාරයට සීමා කරගෙන තිබුණේ නැහැ. තෙල් සංස්ථාව වෙනුවෙන් ගිවිසුම අත්සන් කරපු අය මිල අඩු වෙයි කියා කීයටවත් නොහිතපු බව එයින් පේනවා.

තෙල් මිල අඩු වෙන්න කිසිම ඉඩක් නැත්නම්, දුවන කෝච්චියකට බෙල්ල තියනවා වගේ වැඩි වන මිල තෙල් සංස්ථාවට ගෙවන්න බැංකු ඉදිරිපත් වෙන එකක් නැහැනේ. ඔවුන් ගිවිසුමට කැමති වුනේ තෙල් මිල අඩු වෙන්න කිසියම් ඉඩක් තිබුණු බව ඔවුන් දැකපු නිසයි.

කොහොම වුනත්, තෙල් මිල දිගින් දිගටම ඉහළ ගියොත් ගිවිසුම නිසා තමන්ට වන විශාල පාඩුව ගැනත් බැංකු කල්පනා කරලා තිබුණා. උපරිම පාඩුව මිලියන 2.5කට සීමා කර ගන්නා කොන්දේසිය ඔවුන් දමාගන්න ඇත්තේ ඒ නිසා. නමුත්, තෙල් සංස්ථාව පැත්තෙන් එවැනි කොන්දේසියක් දමා ගන්න හිතලා නැහැ. මිල අඩුවීමේ ඉඩකඩ ඉතාම අඩුයි කියා ඔවුන් ඇස්තමේන්තු කරන්න ඇති. ඒ නිසා, මිල අඩු වන සෑම ඩොලරයක් වෙනුවෙන්ම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් ගෙවිය යුතුව තිබුණා.

ඔය කියපු ගිවිසුම ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරන විටත් තෙල් මිල වැටෙන්න පටන් අරගෙනයි තිබුනේ. කලින් මාසයේදී තෙල් බැරලයක් ඩොලර් 145ක් පමණ වුණා. එතැන් සිට ක්‍රමයෙන් පහත වැටුණු තෙල් මිල වසර අවසන් වෙද්දී ඩොලර් 30 ආසන්න මට්ටමටම වැටුනා. ගිවිසුමේ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 60ක් පමණ වුණා. මේ මුදල මීටත් වඩා වැඩි විය හැකිව තිබුණා. නමුත්, ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5ක් පමණයි.

මේ ගිවිසුම එක් ගිවිසුමක් පමණයි. ඔය කාලය ඇතුළතම ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව එක්ක අත්සන් කරලා තිබුණු එක් ගිවිසුමක් අනුව ඩොලර් 139.35කට වඩා අඩු වන සෑම ඩොලරයකටම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් (වසරකට ඩොලර් මිලියන 1.2ක්) ගෙවිය යුතුයි. ඒ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 88ක් පමණ වුණා. නමුත්, තෙල් සංස්ථාවට ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5යි.

මෙවැනි ගිවිසුම් ගණනාවක් තිබුණා. එවැනි ගිවිසුම් අටකින් තෙල් සංස්ථාවට සිදු වී තිබුණු පාඩුවේ ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් මිලියන 500 ඉක්මවා තිබුණත්, තෙල් මිල ඉහළ ගියානම් ලැබිය හැකිව තිබුණු උපරිම ලාබය ඩොලර් මිලියන 10.5ක් පමණයි. ඒ කියන්නේ ගිවිසුම් අත්සන් කරද්දී තෙල් මිල අඩු වෙයි කියන එක ගැන හිතලාම තිබුණේ නැහැ. පහුගිය මාසයේ රාජපක්ෂ අගමැතිකම ගන්න කොට 113 හොයා ගන්න බැරි වුනොත් තත්ත්වය ගැන හිතලා නොතිබුණා වගේ, මේ හෙජින් ගනුදෙනු දිහා රජයේ පාර්ශ්වය බලලා තිබුණේ මාර සිරා ඩීල් ටිකක් දාගත්ත විදිහටයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ඔක්තෝබර් මාසයේදී මේ ගිවිසුම් අනුව තෙල් සංස්ථාව විසින් බැංකු වලට ගෙවිය යුතු මුදල් ගෙවන එක අත්හිටවනු ලැබුවා. ඉන්පසුව ගිවිසුම් වල පාර්ශ්වකරුවන් වූ විදේශ බැංකු ඔවුන්ට ගිවිසුම අනුව ලැබිය යුතු මුදල් අය කරගන්න විදේශ අධිකරණ වල නඩු පැවරුවා. ඇතැම් නඩු වලින් ඔවුන් පරාජය වීමත්, තවත් ඇතැම් නඩු හා අදාළව අතරමැදි එකඟතාවයකට පැමිණීමත් නිසා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු වූ මුළු මුදලම නොගෙවා සිටිය හැකි වුවත්, සෑහෙන පාඩුවක් වුනා. බැංකු වල අවාසියට හිටියේ පොදු ආයතනයක් වන තෙල් සංස්ථාවට මෙවැනි ගිවිසුම් වලට යන්න නීතිමය අයිතියක් නැතැයි යන නීති තර්කය මිසක් ගිවිසුමේ වගන්ති නෙමෙයි. එසේ නොවන්නට, ගිවිසුම අනුව ගෙවිය යුතු මුළු හිඟ මුදලට අමතරව ගෙවීම පමා වීම නිසා ඒ මත එකතු කළ යුතු පොලිය හා නඩු ගාස්තු ආදියත් ගෙවන්න වෙනවා.

ඔය ගිවිසුම් අත්සන් කරද්දී ඒවායින් රටට වන වාසිය ගැන සෑහෙන්න පුරසාරම් ඇහුණත්, ගිවිසුම් වලින් ඇත්තටම වාසියක් වුනානම් එහි නම්බුව ගන්න හිටපු බොහෝ දෙනෙක් තෙල් මිල අඩු වෙද්දී කළේ අන්තිමට ගිවිසුමට අත්සන තැබූ අයගේ පිටින් දමා ඇඟ බේරා ගැනීමයි. වැඩක් හරි ගියාම ලකුණු දාගන්න ඕනෑ තරම් අය හිටියත්, වැරදුනාම අන්තිමට කරපු කෙනෙක් නැහැ.

ලිපිය පටන් ගත්තේනම් හෙජිං ගණුදෙනු ගැන ලියන්න හිතාගෙන නෙමෙයි. තෙල් මිල ගැන ලියන්න හිතාගෙනයි. කමක් නෑ. ඒ ගැන පස්සේ කතා කරමු.

Saturday, December 8, 2018

තෙලේ බලේ දැලේ වෙලේ?


"තෙල් මිල අඩුවෙමින් තිබෙනවා. නියමයි! ඇමරිකාවටත්, ලෝකයටමත් ලැබුණු විශාල බදු සහනයක් වගේ. සතුටු වෙයල්ලා! තිබුණේ ඩොලර් 84ට. දැන් ඩොලර් 54යි. සවුදි අරාබියට ස්තුතියි, නමුත් තවත් ටිකක් අඩු කරමු!"

ජනාධිපති ට්‍රම්ප් පසුගිය නොවැම්බර් 21 වෙනිදා ට්වීට් කළා. ට්‍රම්ප්ගේ ට්විටර් සංඛ්‍යාලේඛණ වල නිරවද්‍යතාව පැත්තකින් තිබ්බත්, ඔක්තෝබර් හා නොවැම්බර් මාස ඇතුළත බොර තෙල් මිල විශාල ලෙස අඩු වුනා. සවුදි අරාබිය කළමණාකරණය කර ගැනීම මඟින් ඇමරිකාවේ හා ලෝකයේ තෙල් මිල පහළින් තබා ගත හැකි බවත්, තෙල් මිල පහළින් තබා ගැනීමෙන් ඇමරිකන් ආර්ථික වර්ධන වේගය ඉහළ යැවිය හැකි බවත් ජනාධිපති ට්‍රම්ප් විශ්වාස කරන බව පේනවා. එසේ නැත්නම් ඔහු තමන් එසේ සිතන බව පෙන්වනවා


තෙල් මිල පහළ යන විට ඇමරිකාව ඇතුළු ශුද්ධ ලෙස තෙල් ආනයනය කරන රටවල ආර්ථික වර්ධනය ඉහළ යනවා. ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවල ආර්ථික වර්ධනය අඩාල වෙනවා. ලෝකයටම කෙසේ වෙතත් ඇමරිකාව, චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල ආර්ථිකයන්ට ලෝක තෙල් මිල පහළ යාම බදු සහනයක් වගේ තමයි. නමුත්, රුසියාව හා සවුදි අරාබිය වැනි ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවලට තෙල් මිල පහළ යාම විශාල ප්‍රශ්නයක්.

තෙල් කියන්නේ පසුගිය සියවසේ ලෝක දේශපාලනය තීරණය කළ පරිභෝජන භාණ්ඩයක්. අඩු වශයෙන් වසර හැත්තෑ පහක සිට ඇමරිකාව ශුද්ධ තෙල් ආනයනකරුවෙක්. කැනඩාව හා නෝර්වේ වැනි රටවල් කිහිපයක් හැරුණු විට සමස්තයක් ලෙස බටහිර රටවල් බොහොමයක්ම ශුද්ධ තෙල් ආනයනකරුවන්. බටහිර ප්‍රජාත්නත්‍රවාදී රටවල් බොහොමයක් ශුද්ධ තෙල් ආනයනකරුවන් වෙද්දී ශුද්ධ තෙල් අපනයනකරුවන් වන බොහෝ රටවල ප්‍රජාත්නත්‍රවාදී නොවන පාලන පවත්වා ගැනීම පහසු වී තිබෙනවා.

තෙල් සම්පත් හා රටේ පවතින පාලන ක්‍රමය අතර සම්බන්ධයක් පැවතීම අහම්බයක්ම නෙමෙයි. කිසියම් රටක ආර්ථිකයෙන් විශාල කොටසක් ස්වභාවික සම්පත් මත පදනම් වූ විට, ඒ ස්වභාවික සම්පත් වලට හිමිකම ඇති අය හා නැති අය අතර විශාල වත්කම් පරතරයක් හා ආදායම් පරතරයක් ඇති වෙනවා. එවිට තමන්ගේ රටේ ස්වභාවික සම්පත් වලට අයිතියක් නැති අයට තමන් අසාධාරණයකට ලක් වූ බව පෙනෙනවා. එසේ වූ විට, රටේ ස්වභාවික සම්පත් වල අයිතිය පෞද්ගලික අයිතිකරුවන් වෙත ලබා නොදී රජය වෙත (හෝ රජු වෙත) තබාගෙන ඒ සම්පත් වල ප්‍රතිලාභ සියළු රටවැසියන් අතර "සාධාරණ" ලෙස බෙදා දීම රටේ බොහෝ දෙනෙකුගේ කැමැත්ත බවට පත් වෙනවා. මේ සම්පත් රටේ ජීවත් වන අයගේ "වාසනාවට" ලැබුණු දේ මිස මහන්සියෙන් උපයාගත් දේ නොවීම ඊට හේතුවයි.

සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග කලාපයේ වගේම, රුසියාව හා වෙනිසියුලාව වැනි රටවලත් තෙල් නිපදවීම සිදු වෙන්නේ රජයේ සෘජු හෝ වක්‍ර පාලනය යටතේ. ඒ නිසා තෙල් මිල නියම කරන්නෙත් රජය විසිනුයි. ලංකාව වැනි මුළුමනින්ම තෙල් ආනයනය කරන ඇතැම් රටවලත් තෙල් මිල හා අදාළව තිබෙන්නේ රජයේ ඒකාධිකාරයක්. නමුත්, ඇමරිකාවේ තිබෙන්නේ එවැනි තත්ත්වයක් නෙමෙයි.

ඇමරිකාවේ තෙල් කර්මාන්තය තරඟකාරී එකක්. හන්දියක හතර පැත්තේ තිබෙන තෙල් පිරවුම්හල් හතරක බැලුවොත් තියෙන්නේ මිල ගණන් හතරක්. මේ මිල ගණන් දිනපතාම විචලනය වෙනවා. එය ඉල්ලුම හා සැපයුම මත සිදුවන දෙයක්. කිසිදු තනි සමාගමකට වෙළඳපොළ මිල මත බලපෑමක් කරන්න අමාරුයි. රුසියාවේ, සවුදි අරාබියේ හෝ ලංකාවේ රජයට රටේ සිල්ලර තෙල් මිල නියම කළ හැකි වුවත්, ඇමරිකාවේ රජයට හෝ ජනාධිපති ට්‍රම්ප්ට එය කළ නොහැකියි.

ඇමරිකාවේ සිල්ලර තෙල් මිල ඇමරිකාව ඇතුලෙ සාධක කළමනාකරණය කරමින් පාලනය කරනවාට වඩා පහසුවෙන් සවුදි අරාබිය වගේ රටක් හරහා වක්‍ර ලෙස පාලනය කිරීම ඇමරිකන් ජනාධිපතිවරයෙකුට පහසුයි. ජමාල් ඛශෝගි ඝාතනය පිළිබඳව සවුදි රජ කුමරු වෙත සීඅයිඒ ඇඟිලි දික් වෙද්දී, ජනාධිපති ට්‍රම්ප් විසින් දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාරය වැනි දේ හරහා ලෝක තෙල් මිල පාලනය කළ හැකියයි ජනාධිපති ට්‍රම්ප් සිතනවා විය හැකියි. ඔහු එසේ පෙන්වනවා පමණක් වෙන්නත් පුළුවන්.

ජනාධිපති ට්‍රම්ප්ගේ ඉලක්කය වුනේ පසුගිය දෙදින පැවති ඔපෙක් රැස්වීමයි. තමන් සවුදි අරාබිය කළමනාකරණය කිරීම මඟින් තෙල් මිල පාලනය කරන බව ජනාධිපති ට්‍රම්ප් සිය අනුගාමිකයින්ට පෙන්වන්න හැදුවත් ඇත්තටම වී තිබෙන්නේ සවුදි අරාබියට තිබෙන විකල්ප කොහොමටත් සීමා වී තිබීමයි. ජනාධිපති ට්‍රම්ප් එහි වාසිය ගන්න උත්සාහ කරනවා.

ලෝක තෙල් වෙළඳපොළ තුළ පසුගිය සියවසේ දෙවන අර්ධය තුළ පැවති තත්ත්වයන් මේ වන විට බොහෝ දුරට වෙනස් වී තිබෙනවා. ඒ වෙනස ලෝක දේශපාලනයත් වෙනස් කර තිබෙනවා. දශක ගණනවක් ගත වීමෙන් පසුව වුවත් නිදහස් වෙළඳපොළෙහි "අදිසි හස්තය" ලෝක තෙල් මිලේ සුක්කානම අතට ගනිමින් සිටිනවා. ඒ නිසා, අනාගතයේදී කිසිදු රටකට තෙල් සම්පත් හිමිකම් මත පදනම්ව ලෝක දේශපාලනයට බලපෑම් කිරීම පහසු වෙන එකක් නැහැ.

ඔපෙක් රටවල් හා රුසියාව ඇතුළු ඇතැම් ඔපෙක් නොවන රටවල් විසින් දිනකට බැරල් මිලියන 1.2කින් නිෂ්පාදනය අඩු කිරීමට අවසාන වශයෙන් එකඟ වීමෙන් පසුව තෙල් මිල ඩොලර් දෙක තුනකින් වැඩි වී තිබෙනවා. එය විශාල වැඩි වීමක් කියා කියන්න අමාරුයි. කොහොම වුනත්, නිෂ්පාදන කප්පාදුව නිසා තෙල් මිල ඩොලර් පණහ මට්ටමෙන් පහළට වැටෙන එකක් නැහැ.

ලෝක තෙල් මිල හැසිරවීමේ සුක්කානම ක්‍රමයෙන් ඇමරිකාව අතට පත් වෙමින් තිබෙනවා. නමුත්, එය වෙන්නේ ඇමරිකන් රජයේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා හෝ ඇමරිකන් විධායකයේ දේශපාලන බලපෑම් හරහා නෙමෙයි. නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හරහායි. ඒ නිසා, පවතින අළුත් යථාර්තය වන්නේ තෙල් නිපදවන රටවල් විසින් තෙල් නිපැයුම සීමා කර මිල වැඩි වෙන්න ඇරියත්, සැපයුම වැඩි කර මිල වැටෙන්න හැරියත් අවසානයේ ඒ රටවල් වලටම එහි ප්‍රතිවිපාක වල මුහුණ දෙන්න සිදු වීමයි. ජනාධිපති ට්‍රම්ප් කිවුවත් නොකිවුවත්, ඔවුන් සැපයුම සීමා කිරීම ගැන දෙවරක් හිතන්නේ ඒ නිසයි.

(Image: https://www.forbes.com/sites/arielcohen/2018/12/07/high-five-at-opec-russia-and-saudi-arabia-agree-1-2mbd-production-cut/#66cebe566d24)

Friday, December 7, 2018

ණය ඉහළ යද්දී සංචිත පහළ යයි!


ගෙවුණු නොවැම්බර් මාසය ඇතුළත මහ බැංකුව විසින් නිල විදේශ සංචිත වලින් ඩොලර් මිලියන 884.9ක් විකුණා තිබෙනවා. ඒ අනුව, ඔක්තෝබර් අවසානයේදී ඩොලර් මිලියන 7,903.3 ක් වූ ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය නොවැම්බර් අවසානය වෙද්දී ඩොලර් මිලියන 7,018.4 දක්වා පහත වැටී තිබෙනවා. පසුගිය වසර අවසානයේදී නිල සංචිත තිබුණේ 7,958.7 මට්ටමේ. ඒ අනුව, වසරේ මුල් මාස නවය තුළ නිල සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 55.4කින් පමණයි.

මෙපමණ විදේශ සංචිත වැය කිරීමෙන් පසුවත් නොවැම්බර් මාසය තුළ ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 174.38 සිට 179.67 දක්වා ඉහළ ගොස් තිබෙනු දැකිය හැකියි. මාසය අවසන් වෙද්දී ඩොලරයේ මිල ස්ථාවර කරගෙන තිබෙන්නේ විදේශ සංචිත විකිණීමෙන් වියහැකියි.

මේ අතර, සැප්තැම්බර් අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,271.4 දක්වා ඉහළ ගොස් තිබුණා. එයින් රුපියල් බිලියන 5,469.1ක් විදේශ ණය. ඉතිරිය, එනම් රුපියල් 5,802.3ක්, දේශීය ණය. මේ අනුව, එක් ලාංකිකයෙකු වෙනුවෙන් රජය ඒ වන විට රුපියල් 525,000ක් පමණ ණය වී තිබුණා. පසුගිය දෙමස තුළ සිදුව ඇති අළුත් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතු දෙසත්, රුපියල අවප්‍රමාණය වීම දෙසත් බැලූ විට, මේ වෙද්දී ඉහත ණය ප්‍රමාණය තව දුරටත් වැඩි වී ඇති බව නිසැකයි.

රුපියල අවප්‍රමාණය වීම හොඳයි කියා කියන්නේ ඇයිදැයි ඇතැම් අය ප්‍රශ්න කරනවා. සරලම පිළිතුර දිගින් දිගටම ණය නොගෙන, සංචිත වැය නොකරමින් රුපියල පවතින මට්ටමේ තියාගන්න බැරි වීමයි. එසේ නොකර රුපියල තිබෙන මට්ටමේ තබාගත හැකිනම් ප්‍රශ්නයක් නැහැ. ඩොලරයක මිල අවශ්‍ය මට්ටමට ඉහළ ගිය පසු එය කළ හැකි වෙයි. එතෙක් රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ හරින්න වෙනවා. නමුත්, මේ වන විට සිදුවෙමින් තිබෙන්නේ සංචිත විශාල ලෙස වැය කරමින් රුපියල අවප්‍රමාණය වීම වලක්වන එකයි. 

මේ වසරේ පළමු මාස එකොළහ තුළ සංචාරකයින්ගේ පැමිණීම 11.2%කින් ඉහළ ගොස් තිබෙනවා. එයට ප්‍රධාන හේතුව රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක ඉපැයීම් 17.1%කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 387.20ක අමතර විදේශ විණිමය ප්‍රමාණයක්‌ රටට ලැබී තිබෙනවා. නමුත්, ඒ අමතර විදේශ විණිමය ප්‍රමාණය නිල සංචිත වලට එකතු කරගන්නවා වෙනුවට තිබෙන සංචිතත් විකුණා දැමීමයි පසුගිය මාසයේ සිදු වී තිබෙන්නේ.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...