වෙබ් ලිපිනය:

Wednesday, October 31, 2018

ට්‍රික් ඕ ට්‍රීට්?


විධායකය හා ව්‍යවස්ථාදායකය අතර යම් සංහිඳියාවක් ඇති වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. සිදු විය හැකි අනෙකුත් දේවල් වලට සාපේක්ෂව මේ වෙලාවේ සිදු විය හැකි හොඳම දෙය සිදු වෙයි කියා හිතනවා. පිටට මොන විදිහට පෙන්නුවත් දැන් දෙපැත්තම හෙම්බත් වෙලයි ඉන්නේ.

අප ලියන දේවල් වැඩි දෙනෙක් කියවන්නේ නැහැ. නමුත්, වැඩි දෙනෙක්ට කතා කළ හැකි ටික දෙනෙක් මෙය කියවනවා. ඒ කියවන අයට අප ලියූ දේ තේරුණා කියා අප හිතනවා. ප්‍රශ්නය මේ වන විට නැවතී තිබෙන තැන අනුව ව්‍යවස්ථාව ගැන නැවත නැවත කතා කිරීම අවශ්‍ය නැහැ කියා මා හිතනවා.

මේ අඳුරු වලාවෙන් මතු වූ රිදී රේඛාව ලංකාවේ සෑහෙන දෙනෙක් රටේ ව්‍යවස්ථාව ගැන හදාරන්න උනන්දු වීමයි. රටක ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රනය ඇතුළේ ව්‍යවස්ථාවට තිබෙන තැන ගැන වගේම ව්‍යවස්ථාවේ තිබෙන දේ ගැනත් අවබෝධයක් රටේ සෑහෙන පිරිසකට තිබිය යුතුයි. අවම වශයෙන් රාජ්‍ය යාන්ත්‍රනයේ කොටසක් වන සියළු දෙනාටම ඒ අවබෝධය තිබිය යුතුයි. ප්‍රශ්නයක් මතු වූ විට ව්‍යවස්ථාවේ වචන අල්ලාගෙන තර්ක කරන්න සිදු වන තත්ත්වයක් ඇති වීම හොඳ දෙයක් නෙමෙයි.

හමුදාව ප්‍රශ්නයෙන් ඈත්ව ඉන්න තීරණය කර තිබීමෙන් පරිණත හැසිරීමක් පෙන්වා තිබෙනවා. ඒ වගේම, කතානායකවරයාගේ විමසීමට නීතිපතිවරයා පිළිතුරු දී නැහැ. එසේ කිරීම අවශ්‍ය නොවනාවක් මෙන්ම නීතිපතිවරයාගේ මතය කියන්නේ අධිකරණයේ මතයද නෙමෙයි. ව්‍යවස්ථාවේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් අතර පැහැදිලි වෙනස්කම් තිබීමෙන්ම පෙනෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරි කොයි තරම් සැලකිල්ලෙන් කර තිබෙනවාද කියන එකයි.

ලංකාවේ ප්‍රශ්නය හා අදාළව ඇමරිකාව තවමත් ක්‍රියා කරන්නේ රාජ්‍යතාන්ත්‍රික සීමාව ඇතුළේ සිටයි. ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී, මා හිතන විදිහට ප්‍රංශ පුවත් සේවයේ වාර්තාකරු විසින්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තම්න්තුවේ රොබර්ට් පැලඩිනෝගෙන් සෘජුවම ලංකාව හා අදාළ තීරණාත්මක ප්‍රශ්න කිහිපයක් ඇහුවත් ඔහු ඒ ප්‍රශ්න වලට සෘජු පිළිතුරු සැපයූවේ නැහැ.

-හිටපු අගමැතිවරයා තවමත් ලංකාවේ නීත්‍යනුකූල අගමැතිවරයා සේ ඔබ සලකනවාද?
-එසේනම්, ඔහුව ඉවත් කිරීම ඇමරිකානු මැදිහත්වීමක් අවශ්‍ය වන ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක්යැයි ඔබ විශ්වාස කරනවාද?

වාර්තාකරු දිගින් දිගටම විමසමින් මේ ප්‍රශ්න වලට සෘජු පිළිතුරක් ලබා ගන්න උත්සාහ කළත් රොබර්ට් පැලඩිනෝගේ පිළිතුර වූයේ මෙය ශ්‍රී ලංකාවේ නීතිය අනුව, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වුනු මහජන නියෝජිතයින් විසින් පාර්ලිමේන්තුව හරහා විසඳාගත යුතු ප්‍රශ්නයක් බවයි. කෙසේ වුවත්, ලංකාවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවා ප්‍රශ්නය නිරාකරණය කළ යුතු බව ඔහු අවධාරණය කළා.

අද හැලෝවීන් රාත්‍රිය. උණුසුම් කාලය නිමා වෙලා ශීත කාලය ආරම්භ වෙමින් පවතිනවා. මේ දවස්වල පරිසරය ඉතාම ලස්සනයි.

(Image: https://www.niutoday.info/2014/10/28/jack-o-lanterns-await-visitors-oct-31-to-lowden-hall-o-ween/)

චීන සුබ පැතුමේ සිට ඉන්දියානු නිහඬතාවය දක්වා...


ලංකාවේ පවතින තත්ත්වය මේ වන විට ඉතා වේගයෙන් බටහිර මාධ්‍ය වල අවධානය දිනා ගනිමින් තිබෙනවා. මේ හා අදාළ වාර්තා පිරික්සන විට සුවිශේෂී කරුණු කිහිපයක්ම කැපී පෙනෙනවා.

මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීම හා අදාළ පුවත වාර්තා කෙරෙන්නේ එක්කෝ ව්‍යවස්ථාවට එරෙහිව සිදු වූවක් ලෙස. එසේ නැත්නම් ව්‍යවස්ථාවට එරෙහිවද යන්න පැහැදිලි නොමැතිව ලෙස.

මහින්ද රාජපක්ෂ නම බොහෝ විට ලියැවෙන්නේත් නිකම්ම නෙමෙයි. "මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට ලක් වී ඇති", "මාධ්‍ය මර්දනය කිරීමේ චෝදනා වලට ලක් වී ඇති" වැනි හඳුන්වාදීම්ද සමගයි.

ඒ එක්කම අර්ජුනගේ ආරක්ෂකයෙකු විසින් කළ වෙඩි තැබීම ඇතුළුව මේ වන විට සිදුව තිබෙන මරණ දෙකකට විශාල බරක් වැටෙමින් තිබෙන බව පෙනෙනවා. නමුත්, මේ ගැන බොහෝ විට කියැවෙන්නේ පසුබිම් කතා නැතිව "බල අරගලය නිසා මේ වන විටත් ජීවිත හානි සිදු වී තිබෙනවා" වැනි කතා. විශාල ජීවිත හානියක් සිදු වීමේ අවදානමක් ගැන බොහෝ විට අවධාරණය කෙරෙනවා.

මහින්ද රාජපක්ෂව පත් කර වැඩි වෙලාවක් යන්න කලින්, 27 සෙනසුරාදා, චීන නායකයාගේ සුබ පැතුමක් සමඟ චීන තානාපතිවරයා ඔහුව හමු වුනා. ඔහු එදිනම රනිල් වික්‍රමසිංහවත් හමු වී තිබෙනවා. ප්‍රශ්නය මේ තරම් දුරදිග යයි කියා චීනය ඒ වන විට දැන සිටියාද කියා මා දන්නේ නැහැ.

මේ වන විට චීනයේ ස්ථාවරය වී තිබෙන්නේ ප්‍රශ්නයට මැදිහත් නොවී සිටීමයි. දින දෙකකට පෙර (29 සඳුදා) චීන විදේශ අමාත්‍යංශය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙය රට ඇතුළේ විසඳා ගත යුතු ප්‍රශ්නයක් බවයි.

නියම අගමැතිවරයා කවුද කියන ප්‍රශ්නය දිග් ගැස්සෙද්දී, අනෙකුත් රටවල් මුලින් කළේ විමසිල්ලෙන් බලා සිටීම පමණයි. ඔවුන් එක්වරම කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් සෘජුව පෙනී සිටියේ නැහැ. එසේ වුවත්, එක්සත් රාජධානිය, යුරෝපීය රටවල් කිහිපයක්, කැනඩාව හා ඉන්දියාව ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටියා. මේ වන විට (27 සෙනසුරාදා) රනිල් වික්‍රමසිංහ විසින් ඉහත රටවල් ඇතුළු තෝරාගත් රටවල් කිහිපයක තානාපතිවරුන් ගෙන්වා ඔහුගේ ස්ථාවරය පැහැදිලි කර උදවු ඉල්ලා සිටි බව වාර්තා වී තිබුණා.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය වගේම රනිල් පාර්ශ්වයත් අද දක්වාම කියන්නේ ව්‍යවස්ථාව අනුව තමන් නිවැරදි බවයි. ඒ නිසා, ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටීම පසුව ඕනෑ පැත්තකට නැවිය හැකි පතෝල ප්‍රකාශයක් පමණයි.

ඉරිදා (28) වෙද්දී කථානායකවරයා විසින් ව්‍යවස්ථානුකූල අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ බව තීරණය කර තිබුණා. එයට සමාන්තරව ඒ වන විට ජනාධිපතිවරයා විසින් කල් තබා තිබුණු පාර්ලිමේන්තුව වහාම නැවත කැඳවන මෙන් ඉල්ලීමක් එජාපයෙන් මතු වුණා. ඒ ඉල්ලීමට මහින්ද-මෛත්‍රී කණ්ඩායම් හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් කොටස්ද එකතු වුනා.

එදිනම (28 ඉරිදා) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගෙන ඇති මහජන නියෝජිතයන්ට ආණ්ඩුව මෙහෙයවිය යුත්තේ කවුරුන් විසින්දැයි තීරණය කිරීමට ඉඩ ලබාදෙමින්, කතානායකවරයා සමඟ සාකච්ඡා කොට වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරුණා. මෙයින් ඇමරිකාව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහව පිළිගන්නා බවක් අදහස් නොවුනත්, පාර්ලිමේන්තුව කල් තැබීම ඇමරිකාව අනුමත නොකරන බව ප්‍රකාශ වුනා. එය රනිල් පාර්ශ්වයට වාසිදායක ප්‍රකාශයක්.

සඳුදා (29) වෙද්දී කැනඩාවත් මේ ඉල්ලීම කරමින් ඇමරිකාවට එකතු වුනා. එයට අමතරව මාධ්‍යවේදීන්ගේ හා මානව හිමිකම් ක්‍රියාකාරිකයින්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කරන මෙන්ද කැනඩාව ඉල්ලා සිටියා. පාර්ලිමේන්තුව හරහා ඉක්මණින් ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් මේ වන විට (31 බදාදා) ඕස්ට්‍රේලියාවද ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති සිරිසේන විසින්ද පසුගිය සඳුදා (29) තානාපතිවරුන් හමු වී තිබෙනවා. එයින් අනතුරුව, නිවේදනයක් නිකුත් කරමින් යුරෝපීය සංගමය විසින්ද වහාම පාර්ලිමේන්තුව කැඳවීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

සඳුදා (29) එක්සත් රාජධානිය විසින් නිකුත් කෙරුණු නිවේදනයෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් කර තිබෙන ඉල්ලීමට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා සංහිඳියාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක් වී ශ්‍රී ලංකා රජය හා ජනතාව සමඟ කටයුතු කිරීමට කැප වී සිටින බව අවධාරණය කර තිබෙනවා.

පසුගිය ඉරිදා ඉන්දියාව විසින් කරපු පතෝල අදහස් දැක්වීමෙන් පසුව තවමත් ඒ පැත්තෙන් සද්දයක් නැහැ.

කූඹියෝ බලපු අය දන්නවා ඇති සමහර ගේම් ගැහුවේ කවුද කාටද කියා දැන ගන්න සෑහෙන කාලයක් යන බව.

Tuesday, October 30, 2018

දේශපාලන අර්බුදය කොයිබටද? (දෙවන කොටස)


පවතින දේශපාලන අර්බුදය ගැන, විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාව ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න ගැන, මගේ පෞද්ගලික මතය මම දැනටමත් සටහන් කරලා තිබෙනවා. නමුත්, මේ හා අදාළ මගේ පෞද්ගලික මතය කිසිසේත්ම වැදගත් කරුණක් නෙමෙයි. ඒ නිසා අපි එය පැත්තකින් තබමු.

මේ කටයුත්තේ නෛතිකත්වය පිළිබඳව විවිධ අය දරන අදහස් වල පැහැදිලි බෙදීමක් තිබෙනවා. ජනාධිපතිවරයා කියන ආකාරයට ඔහු කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුකූලවයි. මේ ගැන මහින්ද රාජපක්ෂගේ පැහැදිලි කිරීම මෙවැන්නක්.

"පැවති රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් වීම හේතුකොට ගෙන එම සභාග රජය අහෝසි විය. ඒ සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ආණ්ඩුවක් පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරුණි. ජනාධිපතිවරයා නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය තනතුර භාර ගන්නා ලෙස මට ආරාධනා කර සිටියේය."

මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය අනුව, ජනාධිපතිවරයාට අගමැති ඉවත් කර නව අගමැතිවරයෙක් පත් කරන්න ඉඩ ලැබී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශ්වය පැවති රජයෙන් ඉවත් වීම නිසයි. ජනාධිපතිවරයාගේ තීරණයේ නෛතිකත්වය වෙනුවෙන් පෙනී සිටින වැඩි දෙනෙකුගේ තර්කය වන්නේත් ජාතික ආණ්ඩුවෙන් එජනිසය ඉවත් වීම හේතුවෙන් පැවති ආණ්ඩුව අහෝසි වූ බවයි. නීතිපතිවරයා ඉන්නේත් මේ මතයේමද යන්න පැහැදිලි නැහැ.

ඉහත මතයට වඩා වෙනස් මතයක් ඉදිරිපත් කරමින්  තීරණයේ නෛතිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ (මා දන්නා තරමින්) නලින් ද සිල්වා (සහ ඔහුගේ මතය පිළිගන්නා වෙනත් අය) පමණයි. ඒ මතයේත් සෑහෙන අඩුලුහුඬුකම් තිබෙනවා. ඒ ගැන වැඩිමනත් අදහස් ඉදිරිපත් කිරීමට මේ වෙලාවේ කාලය යෙදවීමේ  තේරුමක් තියෙනවා කියා මා හිතන්නේ නැහැ. මේ හා අදාළව මා හිතන ආකාරයේ වැදගත්කමක් නැහැ.

අනෙක් අතට,  ජනාධිපතිවරයාගේ තීරණයේ නෛතිකත්වයට අභියෝග කරන අය අතරත් විවිධ පාර්ශ්ව සිටිනවා. ඇතැම් අයට ප්‍රශ්නයක් සේ පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය තිබෙන පුද්ගලයා බව තහවුරු කර නොගෙන අගමැති සේ පත් කිරීමයි. මේ මතය දරන අය ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට ඇති අයිතිය ප්‍රශ්න කරන්නේ රනිල් වික්‍රමසිංහට තවමත් පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය තිබෙනවාය යන පදනමින්.

මේ තර්කයත් පුහු තර්කයක්. මේ කරුණ මත ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කර ඇති බවක් කියන්න බැහැ. 42(4) අනුව එය ඉතා පැහැදිලියි. 2015 ජනවාරියේදී පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් තිබුණු (මතක විදිහට) රනිල් වික්‍රමසිංහව අගමැති සේ පත් කළේත් එසේ කළ හැකි නිසා.

මා ඇතුළු බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාගේ තීරණයේ නෛතිකත්වය ප්‍රශ්න කරන්නේ ව්‍යවස්ථාව අනුව ඔහුට අගමැතිවරයාව ඉවත් කිරීමේ හැකියාවක් නැතිය යන පදනමින්. ව්‍යවස්ථාවේ තිබෙන පරස්පර නිසා මේ හා අදාළව විවිධ තර්ක ගේන්න පුළුවන්. මගේ නිගමනය මත මා තවමත් රැඳී සිටින්නේ අලුතින් මතු වී තිබෙන තර්ක ද ඇතුළුව ඒ සියලු තර්ක විතර්ක කරුණු කාරණා ආදිය කිරා බැලීමෙන් පසුවයි.

පදනම කුමක් වුවත් මෙහිදී වැදගත් වන්නේ ජනාධිපතිවරයාගේ තීරණය ව්‍යවස්ථානුකූලද නැද්ද යන්නයි. මේ දෙකෙන් එකක් මිස දෙකම එක වර වෙන්න විදිහක් නැහැ. ලංකාවේ වලංගු නීතියට චතුර්කෝටික තර්ක හරියන්නේ නැහැ. ඒ නිසා එක්කෝ මේ තීරණය ව්‍යවස්ථානුකූලයි. එසේ නැත්නම් නැහැ.

මේ අනුව, එකවර අගමැතිලා දෙන්නෙක් ඉන්න බැහැ, එක්කෝ අගමැති මහින්ද රාජපක්ෂ. නැත්නම් රනිල් වික්‍රමසිංහ. අගමැති රනිල් නොවේනම් මේ වන විට හිටපු ඇමති වරුන් සියලු දෙනාගේම ඇමති ධුර අහෝසි වී අවසන්. අගමැති රනිල්නම් ඔවුන් තවමත් ඇමතිවරු. එහෙමනම් අලුත් ඇමති පත්වීම් කිසිවක් වලංගු නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දෙන තුරු හෝ පාර්ලිමේන්තුව රැස් වන තුරු මේ අවුලේ කෙළවරක් දකින්න ලැබෙන එකක් නැහැ.

දැනට පෙනෙන අයුරින් කිසිදු පාර්ශවයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමේ සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. දෙගොල්ලන්ම බලා ඉන්නේ පාර්ලිමේන්තුව හරහා ප්‍රශ්නය විසඳා ගන්නයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවත් ඒ සඳහා මාස දෙකක් දක්වා කල් ගන්න ව්‍යවස්ථාවෙන් ඉඩ තිබෙනවා. ඒ නිසා, පාර්ලිමේන්තුව හරහා ප්‍රශ්නය විසඳා ගැනීම නරක අදහසක් කියන්න බැහැ. එය වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කියා කියන්නත් පුළුවන්.

මේ වන විට පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා කල් තබලයි තියන්නේ. ඊට පෙර පාර්ලිමේන්තුව කැඳවන මෙන් එජාපය, ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථාව අනුව බැලුවොත්, කිරීමේ හෝ නොකිරීමේ හැකියාව තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. පාර්ලිමේන්තුව රැස් වීමෙන් අනතුරුව ප්‍රශ්නය සමථයකට පත් වෙනු ඇතැයි සිතිය හැකි වුවත් ඒ වන තෙක් පවතින අරාජිකත්වය හේතුවෙන් සිදුවන විනාශය තව දුරටත් එසේමයි. ඊට අමතරව, පාර්ලිමේන්තුව රැස් වී ප්‍රශ්නය සමථයකට පත් වීමෙන් පසුවත් ඉතිරි වන දිගුකාලීන ගැටළු ගණනාවක් තිබෙනවා.

යම් හෙයකින් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථානුකූල බව පසුව තහවුරු වුනොත්, පෙර සිටි ඇමතිවරුන් දැන් ගන්නා තීරණ  කිසිවක් වලංගු නැහැ. එහි අනිත් පැත්ත වුවහොත්, ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථානුකූල සේ සලකා ගත් තීරණ කිසිවක් වලංගු නැහැ. උදාහරණයක් ලෙස පොලිස්පතිවරයා විසින් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව අඩු කිරීමට ගත් තීරණය.

ජනාධිපතිවරයා ඔහුගේ ධුරයේ සිටියදී ගන්නා තීරණ හා අදාළව ඔහුට මුක්තියක් තිබෙනවා. නමුත්, ඔහුගේ වැරදි තීරණයක ප්‍රතිඵල මත පත් වන අයෙකුගේ නියෝග ක්‍රියාත්මක කරන අයෙකුට පසුව ඒ වෙනුවෙන් වගවෙන්න සිදුවිය හැකියි. මේ හේතුව නිසා ව්‍යවස්ථාව තම තම නැණ පමණින් විග්‍රහ කර ගන්නා රාජ්‍ය නිලධාරීන් අවදානම් තීරණ නොගෙන ඉන්න ඉඩ තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ පාර්ලිමේන්තුව රැස් වන තුරුම රාජ්‍ය යාන්ත්‍රනය අකර්මන්‍ය වීමයි. ආර්ථිකයට දැනටමත් දිගුකාලීන හානි රැසක් හානි සිදු වී අවසන්. කවුරු ආණ්ඩුව පිහිටවූවත් එහි හානිය රටටයි.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කතානායකවරයාව වෙනස් කිරීමට හෝ ඔහුගේ තීරණ වලට බලපෑම් කිරීමට හැකියාවක් නැහැ. දහනවවන සංශෝධනයෙන් අලුතින් එකතු කර තිබෙන 33අ අනුව්‍යවස්ථාව අනුව "ස්වකීය බලතල, කාර්ය හා කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම හා යථා පරිදි ඉටුකිරීම සම්බන්ධයෙන්" ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. නමුත්, පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යටත් නැහැ.

මේ තත්ත්වය යටතේ, විධායකය තමන්ගේ සීමාවෙන් ඔබ්බට අඩිය තැබීම නිමිත්තක් කර ගනිමින් ව්‍යවස්ථායකයත් ඉදිරියට පැන ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පෙනෙන්න තිබෙනවා. වත්මන් ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායකය වඩා බලවත් බව පෙනෙන්න තිබුණත් අවසාන වශයෙන් එය තීරණය වන්නේ ප්‍රයෝගික භාවිතාව තුළයි. මේ වෙලාවේ සිදුවන සිදුවීම් අනාගතයට පූර්වාදර්ශ සපයනවා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබා තිබීම නොසලකා හරිමින් පාර්ලිමේන්තුව රැස් වුවහොත් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයක් ඇතැයි මා සිතන්නේ නැහැ. රාජ්‍යය කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියන කොටස් තුනම මිසක් එයින් එක් කොටසක් නෙමෙයි. රාජ්‍යයක ස්ථාවර භාවය පිණිස මේ අංශ අතර සාමකාමී සහජීවනයක් අවශ්‍ය වන්නේ ඒ නිසයි. මේ අංශ දෙකක් අතර ගැටුමක් කියන්නේ රාජ්‍ය ව්‍යුහයේ අර්බුදයක්. ඒ වගේ වෙලාවක විදේශ රටකට වුවත් අත පෙවීමක් කරන්න පහසුයි.

කතානායකවරයා මේ වන විට අගමැති සේ පිළිගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහවයි. ඒ නිසා, රනිල්ට තමන්ට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇති බව පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට කැමතිනම් ස්වේච්ඡාවෙන් ආණ්ඩුවට සහාය පළ කිරීමේ යෝජනාවක් සම්මත කරගත හැකියි. රනිල්ට 113 තිබේනම් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංගයක් වුවත් එන්න පුළුවන්.

පවතින තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව පරාජය කිරීම සඳහා 113 පෙන්වන්න සිදු වන්නේ මහින්ද-මෛත්‍රී පාර්ශ්වයටයි. මහින්දව අගමැති සේ පිළිගන්නා මෙන් කථානායක වරයාට බලපෑම් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැහැ. එය කළ හැකි එකම ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථදක්වා ගැනීමයි. මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට මාස දෙකක් දක්වා කල් ගත හැකියි. ඒ වගේම අර්ථදැක්වීම ලබා දෙන තුරු දැනට ගත් තීන්දු අත්හිටවීමේ ඉඩක් තිබෙනවා. එසේ වුනොත් මහින්ද-මෛත්‍රී පාර්ශ්වයේ සැලසුම් අවුල් වෙනවා. මම හිතන විදිහට ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නේ නැත්තේ ඒ නිසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරිපත් නොවී, පාර්ලිමේන්තුව රැස් වෙන්න පෙර තත්ත්වයේ වෙනසක් වෙන්නේ කථානායකවරයා විසින් කල් පසුවී හෝ ජනාධිපතිවරයාගේ ක්‍රියාවේ ව්‍යවස්ථානුකූල බව පිළිගත්තොත් පමණයි. ඔහුට තමන්ගේ හෘද සාක්ෂිය හා නීති උපදෙස් අනුව එසේ කිරීමට හෝ නොකිරීමට පුළුවන්කම තිබෙනවා. යම් හෙයකින් ඔහු ජනාධිපතිවරයාගේ ක්‍රියාවේ ව්‍යවස්ථානුකූල බව පිළිගත්තොත් ඒ වහාම තවත් ගොඩක් දේවල් වෙනස් වෙනවා. රනිල්ට අරලියහ මන්දිරයේ ඉන්න තිබෙන අයිතිය නැති වෙනවා. එජාපයට 113 තිබුණත් හදන්න වෙන්නේ අලුත් ආණ්ඩුවක්. එහෙම වුනොත් එජාපය මෙතෙක් ගෙන ආ තර්ක සියල්ල පුහු තර්ක වෙනවා. ඒ නිසා, එය සිදුවෙන්න බැරි නැතත්, වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි.

පවතින තත්ත්වය යටතේ, මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් 113 හොයා ගත්තොත් ඔවුන්ට කළ හැක්කේ විශ්වාස භංගයක් මගින් ආණ්ඩුව පරාජය කිරීමයි. එය යම් ආකාරයකින් නැවත මුලට යාමක්. මෙතෙක් කරපු දේවල් වලින් ඔවුන්ට ලැබෙන වාසිය 113 හොයා ගැනීම වඩා පහසු වීම පමණයි. එය සුළුපටු වාසියක් නොවන බවත් කිව යුතුයි.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට තවමත් මන්ත්‍රීවරුන් 113කගේ සහයෝගය ඇති බවක් පෙනෙන්නේ නැහැ. එසේ තිබේනම් ඔවුන්ට පාර්ලිමේන්තුව රැස් නොකර ඉන්න හේතුවක් නැහැ. ඒ අතරම, රනිල් පාර්ලිමේන්තුව ඉක්මණින් රැස් කරගන්න උත්සාහ ගනිමින් සිටීමෙන් පෙනෙන්නේ මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් 113 හදාගැනීමේ උත්සාහය වැළැක්වීමේ අරමුණයි. මහජන නියෝජිතයින් ගෙම්බෝ වගේ දෙපැත්තට පනින ආකාරය අනුව අන්තිමට කවුරු කොයි පැත්තේ සිටීද කියන එක ගැන අනාවැකි කියන්න අමාරුයි.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය 113 හදාගත්තොත් තාවකාලිකව ප්‍රශ්නය විසඳෙනවා. ඉන් පසුව, මහින්ද බොහෝ විට මැතිවරණයකට යන්න ඉඩ තිබෙන නිසා (මැතිවරණයෙන් දිනුවොත්) කලින් සිදු වූ දේවල් බොහොමයක් යට වෙලා යයි. අනික් අතට මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට යම් හෙයකින් 113 හදාගන්න බැරි වුනොත්, ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒමේ සිට තවත් ගොඩක් දේවල් වෙන්න පුළුවන්.

ඔය සියල්ලටම වඩා වැදගත් කරුණ නොවැම්බර් 16 දක්වා කාලය තුළ කුමක් වෙයිද කියන එකයි. විශේෂයෙන්ම රනිල්ව බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීම සඳහා ගන්නා උත්සාහයක් විශාල විනාශයකින් කෙළවර වෙන්න පුළුවන්. ඒ තරම් දුරකට මහින්ද-මෛත්‍රී පාර්ශ්වය යන බවක් දැනටනම් පෙනෙන්න නැහැ.

Monday, October 29, 2018

දේශපාලන අර්බුදය කොයිබටද? (පළමු කොටස)

ලංකාවේ දේශපාලන අර්බුදය මේ වන විට වඩාත් සංකීර්ණ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම, කථානායකවරයා විසින් ජනාධිපතිවරයා විසින් සිදු කර තිබෙන අගමැති පත්වීම පිළිනොගැනීමට තීරණය කිරීමත් සමඟ මෙය රටේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සෘජු බල ගැටුමක් දක්වා දිගු වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ මින් පෙර ඇති නොවූ තත්ත්වයක්. මෙය රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඇති වී තිබෙන බල අරගලයට සම්බන්ධ වුවත්, මා අවධානය හෙළන්නේ ඊට වඩා ගැඹුරු රටේ රාජ්‍ය ආකෘතිය පිළිබඳ ප්‍රශ්නයකටයි.

රටේ විධායකය ක්‍රියා කර ඇති ආකාරය ව්‍යවස්ථානුකූලද නැද්ද කියන කරුණ රටට දිගුකාලීනව ලොකුවටම බලපාන කරුණක්. නමුත්, එය නිරාකරණය කර ගැනීමට කිසිදු පාර්ශ්වයක් උත්සාහ දරන බවක් පෙනෙන්නේ නැහැ. ප්‍රමුඛත්වය ලැබී තිබෙන්නේ ආණ්ඩු බලය ලබාගැනීම/ පවත්වා ගැනීම කියන කරුණටයි.

නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන බලකණු තුන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කොටස් තුනයි. ඇමරිකාව වැනි රටක රාජ්‍ය ආකෘතිය හැදී තිබෙන්නේ මේ අංග තුන අතර සෑහෙන තරමේ බල තුලනයක් සහිතවයි. එක්සත් රාජධානිය වැනි රටවල ව්‍යවස්ථාදායකය විධායකයට වඩා බලවත්.

ලංකාව නිදහස ලැබූ තැන් පටන්, 1978 ව්‍යවස්ථාව හඳුන්වා දෙන තුරුම තිබුණේ පාර්ලිමේන්තුවට යටත් නාමික විධායක ජනාධිපතිධුරයක්. නමුත්, 1978 ව්‍යවස්ථාවෙන් එය වෙනස් වී පූර්ණ විධායක ජනාධිපති ධුරයක් ඇති වුණා. 2015 අප්‍රේල් 28 වනදා 19 වන සංශෝධනය හරහා මේ තත්ත්වයේ විශාල වෙනසක් සිදු වුනා. පාර්ලිමේන්තුව නියෝජනය කළ එක් මන්ත්‍රීවරයෙකු හැර එජාප, ශ්‍රීලනිප, ජවිපෙ, දෙමළ හා මුස්ලිම් පක්ෂ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කළ සියළු පක්ෂ වලට අයත් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ මේ සංශෝධනය හරහා විධායක ජනාධිපතිගේ බලතල විශාල ලෙස කප්පාදු කර ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වගකිව යුතු තනතුරක් බවට පත් කෙරුණා.

ඒ අනුව, 33A අනුව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වුනා.


මේ අනුව, 2015 අප්‍රේල් 28 දින සිට ලංකාවේ ජනාධිපතිවරයා කියන්නේ ඊට පෙර සිටි ජනාධිපතිවරයාම නෙමෙයි. ඒ ධුරය දරන පුද්ගලයා එකම පුද්ගලයෙක් වීම වෙනත් කරුණක්.

ලංකාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව කාලයක් තිස්සේම තිබුණු ඉල්ලීමක්. 19 වන සංශෝධනය කෙටුම්පත් කිරීමේදී මෙය සලකා බැලුනත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුනේ ඇතැම් සංශෝධන කළ හැක්කේ ජනමතවිචාරණයක් හරහා පමණක් බවයි. ඒ අනුව, අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා අගමැතිවරයා වන ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වැනි වෙනස්කම් කළ හැකි වුනේ නැහැ.

ලංකාවේ ජනාධිපතිධුරය මේ වන විට නාමික ධුරයක් වී නැහැ. නමුත්, කලින් වූ පූර්ණ විධායක බලතල මේ වන විට සීමා වී තිබෙනවා. එයට සාපේක්ෂව ව්‍යවස්ථාදායකය ශක්තිමත් වී තිබෙනවා. මේ අවස්ථාව ලංකාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බලය බෙදී ගොස් තිබෙන ආකාරය පරීක්ෂාවට ලක් වන අවස්ථාවක්.

ඉහත නෛතික කරුණේ සිට ලංකාවේ දේශපාලන පක්ෂ අතර මේ වන විට පවතින බල අරගලයට නැවත ආවොත්, අවසාන වශයෙන් මෙය පාර්ලිමේන්තුවේ වඩා හොඳ ආකාරයකින් විසඳී අවසන් වෙයි කියා මා හිතනවා. ඒ අතරම, මෙය ඕනෑවට වඩා දිග්ගැස්සී වීදි සටන් හරහා විසඳෙන්න යාමේ අවදානමත් මෙහි තිබෙනවා.

අද සිදු වී තිබෙන ආකාරයේ වෙනසක් සිදු විය යුතු බව දිගු කාලයක් තිස්සේම යෝජනා කළ පුද්ගලයෙක් ලෙස නලින් ද සිල්වා ගැන කතා නොකර බැහැ. ඔහුගේ ලිපි වල කොටස් ඇතැම් අය මෙහි පෙර ලිපි වලට ප්‍රතිචාර ලෙස උපුටා දක්වා තිබෙනවා. මා ඔහු ගැන විශේෂයෙන් සඳහන් කරන්න හේතු වන දෙවන කරුණ ඔහු වෙනත් ඕනෑම කෙනෙක් මෙන්ම අපක්ෂපාතී පුද්ගලයෙකු නොවූවත්, තමන්ගේම මතයක් තිබෙන ස්වාධීන පුද්ගලයෙක් සේ මා සලකන නිසයි.

නලින් ද සිල්වා විසින් යෝජනා කළ පළමු දෙය රනිල්ව එළවීම සඳහා මහින්ද විසින් මෛත්‍රීපාලට ශක්තිය දිය යුතු බවයි. ඔහු එය කියන අවස්ථාවේදී එය සිදුවීමට අසීරු දෙයක් මෙන් තිබුණත් මේ වන විට එය සිදු වී තිබෙනවා.

දෙවනුව, නලින් ද සිල්වා විසින් එය කළ හැකි ආකාරයක් යෝජනා කළා. ඔහු (ඔහුගේ මතය අනුව) පෙන්වා දුන්නේ පවතින ව්‍යවස්ථාවට පටහැනි නොවී මෙය කළ හැකි බවයි. ව්‍යවස්ථාව නොසලකා හැරිය යුතු බව ඔහු යෝජනා කළේ නැහැ.

දැනටත්, මහින්ද පාර්ශ්වයේ මෙන්ම මෛත්‍රී පාර්ශ්වයේ අයත් කියන්නේ ඔවුන් කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුව බවයි. මේ බව කියමින් ගෙනෙන තර්ක අතර ජනප්‍රියම තර්කය වන්නේ ජාතික ආණ්ඩුවේ එක් පක්ෂයක් ඉවත් වූ පසුව අමාත්‍ය මණ්ඩලය අහෝසි වන බවයි. අදාළ තර්කය ගෙන එන අය අතරින් එක් අයෙක් වන අලි සබ්‍රිව අජිත් පැරකුම් ජයසිංහ විසින් උපුටා දක්වනවා. අදාළ උපුටනය පහත ලිපියේ තිබෙනවා.

අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබේදැයි විමසිය යුතු ද? නැද්ද?

ජාතික ආණ්ඩුවේ එක් පක්ෂයක් ඉවත් වූ පසුව අමාත්‍ය මණ්ඩලය අහෝසි වන්නේය යන්න ඉතාම දුර්වල තර්කයක්. ජාතික ආණ්ඩුවක් තිබීම හෝ නොතිබීම අදාළ වන්නේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය හා අදාළව පමණයි. මෙය නලින් ද සිල්වා විසින්ම පහත ලිපියේ පැහැදිලි කර තිබෙනවා.

රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව

පවතින ව්‍යවස්ථාව යටතේම ජනාධිපතිවරයාට අගමැතිවරයාව ඉවත් කළ හැකි බව නලින් ද සිල්වා විසින් යෝජනා කරන්නේ වෙනත් පදනමකිනුයි. මා නලින් ද සිල්වාගේ මතය සමඟ එකඟ වන්නේ නැතත්, ඒ මතය විමසිල්ලට ලක් කරන්න කැමතියි. මගේ වචන වලින් කියනවානම් නලින් ද සිල්වා යෝජනා කරන්නේ බොහෝ විට නොසැලකිල්ල නිසා හෝ අතපසුවීම් නිසා ව්‍යවස්ථාවේ දැකිය හැකි අසංගත තැන් ඔහු පෙනී සිටින දේශපාලන අරමුණ වෙනුවෙන් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයයි. නීතිය හා සම්බන්ධ කටයුතු වලදී මෙවැනි දේ සිදුවීම සාමාන්‍ය දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මෙහිදී නලින් ද සිල්වා යෝජනා කරන්නේ 43 (3) වගන්තිය අනුව මෙය කළ හැකි බවයි.

"43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරුන්ට භාර විෂය වෙනස් කළ හැකියි. 43 (1) හා 43 (2) වගන්ති අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැතිගේ අදහස් විමසිය යුතු බවට සඳහනක් ඇති නමුත් 43 (3) එවැනි සඳහනක් නැහැ. සමහරවිට මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පතේ අතපසු වීමක් වන්න පුළුවන්. එසේ වුවත් 43 (3) අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. ඒ අගමැතිත් ඇතුළුව."

මේ තර්කයේ පදනම වන්නේ 43(3) වගන්තියේ "අමාත්‍ය මණ්ඩලය" යන අර්ථදැක්වීමට අගමැතිධුරයත් අයත් වන බවයි. පහත තිබෙන්නේ 43(3) වගන්තිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ වචන පටලැවිල්ලක් ගැන මහින්ද රාජපක්ෂ විසින් කියා ඇති නිසා මා කෙළින්ම අවධානය යොමු කරන්නේ සිංහල පිටපතටයි.


නලින් ද සිල්වා කියන 43(3) අනුව්‍යවස්ථාව තනිව බැලුවොත් ඔහු කියන කරුණට යම් පදනමක් තිබිය හැකි බව පෙනෙනවා. නමුත්, ඊට පෙර තිබෙන 42 අනුව්‍යවස්ථාවේ කෙටි ටයිටලය "අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය" වීමෙන් පෙනෙන්නේ "අමාත්‍ය මණ්ඩලය" යන අර්ථ දැක්වීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළත් නොවන බවයි. 43(3) අනුව්‍යවස්ථාවේ කතා කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ගැන පමණයි. නමුත්, මේ හා අදාළව වෙනත් ආකාර වලින් තර්ක කිරීමටත් ඉඩක් තිබෙනවා.

නලින් ද සිල්වා කියන ආකාරයට 43(3) අනුව අගමැති වෙනස් කළ හැකියි කියා සිතමු. 43(3) අනුවම, එසේ කිරීමෙන් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම වෙනස් වෙන්නේ නැහැ. 46(2) අනුව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය පවතින තුරු අගමැති ධුරය අහෝසි වෙන්න විදිහක් නැහැ. ඒ නිසා, 43(3) අනුව්‍යවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය යන්නට අගමැති ද ඇතුළත් සේ සැලකීම පරස්පරයක්.



ඇත්තටම ව්‍යවස්ථාවේ පරස්පර සෑහෙන්න තිබෙනවා. මේ පරස්පර හමුවේ නිවැරදි දෙය කුමක්ද කියා නලින් ද සිල්වා හෝ මා හෝ හිතන ආකාරය නෛතික ලෙස හා ප්‍රායෝගික ලෙස වැදගත් නොවුණත් ජනාධිපතිවරයා හා කථානායකවරයා හිතන ආකාරය වැදගත්. මේ වෙලාවේ ඔවුන් හිතන්නේ දෙආකාරයකටයි.

ජනාධිපතිවරයා හිතන ආකාරයට ඔහුට ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත් කර අලුත් අගමැතිවරයකු පත් කළ හැකියි. කතානායකවරයා හිතන ආකාරයට ඔහුට එය කළ නොහැකියි. මෙය සුළුපටු අර්බුදයක් නෙමෙයි. මේ වෙලාවේ බලය හුවමාරු වීම පිළිබඳ කරුණක් පමණකුත් නෙමෙයි.

මේ වගේ වෙලාවක අවසන් තීරණය තියෙන්නේ කාගේ අතේද? පහත උපුටා දක්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125(1) අනුව්‍යවස්ථාව. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අපි වගේ බ්ලොග් පඩංගු ලියන හාල් කෑලි වලට වගේම වෙනත් ව්‍යවස්ථා විශාරදයින්ටත් අදහස් දක්වන්න පුළුවන් වුවත් ඒවා නිකම්ම නිකම් අදහස් පමණයි.


මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාව අනුව අර්ථ නිරූපණය කළ වහාම පවතින අර්බුදය විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ වාසියට කැරකෙනවා. එය කොයි පැත්තට කැරකෙයිද කියා ස්ථිරව කීමේ හැකියාවක් මට නැහැ. අදාළ පාර්ශ්ව දෙකෙන් එකක්වත් ඒ අවදානම ගන්න සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. මෙහි කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිඵල ගැන පසුව කතා කරමු.

Sunday, October 28, 2018

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඇමරිකාව ඉල්ලා සිටී.


ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කණස්සල්ල පළ කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පහත තිබෙන්නේ අදාළ නිවේදනයේ සිංහල පරිවර්තනයක්.

"හෙදර් නවර්ට් 
දෙපාර්තමේන්තු ප්‍රකාශක 
වොෂින්ටන්, ඩීසී
ඔක්තෝබර් 28, 2018

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින සිදුවීම් පිළිබඳව නිරතුරු අවධානයෙන් සිටී. භීෂණකාරී ක්‍රියාවන්ගෙන් හා බියගැන්වීම් වලින් වැලකී සිටින මෙන් අපි සියළු පාර්ශ්ව වලින් ඉල්ලා සිටිමු. ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගෙන ඇති මහජන නියෝජිතයන්ට ආණ්ඩුව මෙහෙයවිය යුත්තේ කවුරුන් විසින්දැයි තීරණය කිරීමට ඉඩ ලබාදෙමින්, කතානායකවරයා සමඟ සාකච්ඡා කොට වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිමු."

ඒ සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් විසින්ද මේ වන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

"මේ වන විට ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් පිළිබඳව මහලේකම් වරයා මහත් අවධානයෙන් බලා සිටී. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා ක්‍රමවේදයන්ටත්, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ටත් ගරු කරමින්, ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතතාව තහවුරු කෙරෙන පරිදි නීතියේ ආධිපත්‍යය සුරකින මෙන් ඔහු රජයෙන් ඉල්ලා සිටී.

සංයමයකින් යුතුව හා සාමකාමී ආකාරයකින් පවත්නා තත්ත්වය කළමනාකරණය ගන්නා මෙන් ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී."

(Image: https://en.wikipedia.org/wiki/United_States_Department_of_State)

ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගතය කුමක්ද?


මම හිතන විදිහට මෑතකාලීන ඉතිහාසයේ ශ්‍රී ලංකා රාජ්‍යය මුහුණ දුන් ලොකුම අර්බුදයටයි මේ වන විට මුහුණ දී තිබෙන්නේ. ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අඛණ්ඩ ඉතිහාසය නිදහස ලැබෙන්නත් පෙර සිට පැවත එන්නක්. ඊටත් පෙර සිටම ලංකාවේ රාජ්‍ය පාලනය හා අදාළ බල හුවමාරුව සිදු වුනේ තත්කාලීනව පැවති නීති හා සම්ප්‍රදායයන්ට යටත්ව. වෙන එකක් තබා ඉංග්‍රීසින්ට උඩරට රාජ්‍යය භාර දුන්නෙත් ගිවිසුමක් හරහා.

ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබුණාට පසුව දිගින් දිගටම ලංකාවේ රාජ්‍ය පාලනයේ බලය හුවමාරු වුනේ රටක උත්තරීතර නීතිය ලෙස සැලකෙන තත්කාලීනව පැවති ව්‍යවස්ථාව අනුවයි. ඇතැම් පාලකයින් තමන්ගේ වාසියට ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය කරගත්තා. නමුත්, කිසිවෙකු පවතින ව්‍යවස්ථාවට පිටින් යන්න උත්සාහ කළේ නැහැ.

නිදහසින් පසු ශ්‍රී ලංකා රාජ්‍යය විවිධ අභියෝග වලට මුහුණ දුන්නා. ජවිපෙ මුල් වී දෙවරක්ම බලහත්කාරයෙන් රාජ්‍ය බලය උදුරාගන්න උත්සාහ කළා. එල්ටීටීඊ සංවිධානය ප්‍රධාන තවත් දෙමළ සංවිධාන ශ්‍රී ලංකා රාජ්‍යයේ අධිකාරී බලයට සෑහෙන කාලයක් තිස්සේ අභියෝග කළා. නමසිය හැට දෙකේදී හමුදා කුමන්ත්‍රණයක් හරහා රාජ්‍ය බලය උදුරා ගැනීමේ උත්සාහයක් තිබුණා. නමුත්, මේ අභියෝග සියල්ලටම මුහුණ දෙන්න හැකි තරමට ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයක් රටේ තිබුණා.

මුලින් කිවුවා වගේම, ලංකාවේ රාජ්‍ය බලය හිමි කරගත් ඇතැම් පාර්ශ්වයන් විසින් වරින් වර තමන්ගේ වාසියට රටේ ව්‍යවස්ථාව වෙනස් කරගත්තා.

සමගි පෙරමුණු ආණ්ඩුව තමන්ගේ ආණ්ඩු කාලය වසර දෙකකින් දිගු කරගත්තා. එහි ප්‍රතිඵලය වුණේ ඊළඟ මැතිවරණයේදී එම ආණ්ඩුව දැවැන්ත පරාජයකට පත් වීමයි. ජේආර් සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ එජාපයේ වාසියටයි. එහි ප්‍රතිඵලයක් ලෙස එජාපයට විශාල කාලයක් විපක්ෂයේ ඉන්න සිදු වුණා. මහින්ද රාජපක්ෂට තෙවන වරට ජනාධිපති වීමට තිබුණු බාධාව ඉවත් කර ගැනීමට දහඅට වන සංශෝධනය සම්මත කරගත්තත් ඔහුට ඒ වාසිය භුක්ති විඳින්න ලැබුණේ නැහැ.

කිසියම් ව්‍යවස්ථා සංශෝධනයකින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්වන බව පෙනුණු හැම විටකම ලංකාවේ ඡන්දදායකයා සවිඥානිකව එයට එරෙහිව ප්‍රතිචාර දැක්වූවා. නමුත්, මේ කියූ අවස්ථා එකකදීවත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය බිඳ වැටුනේ නැහැ. ඔය සියළුම සංශෝධන ගෙන ආවේ තත්කාලීනව පැවති සම්මත ක්‍රමවේදය තුළ ඉඳගෙනයි. වඩා නිවැරදිව කියනවානම් පැවති ව්‍යවස්ථාව අනුව කටයුතු කරමිනුයි.

සම්ප්‍රදායට පිටින් යාමේ උත්සාහයන් අතර මීට පෙර දැකිය හැකි වූ ලොකුම සිදුවීම හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ සිද්ධියයි. රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් පෙළ ගැහෙන්න ප්‍රධාන උත්තේජකයක් සැපයූවේ මේ සිද්ධිය කියා කියන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට යහපාලන ආණ්ඩුව බලයට පත් වුණා.

දහනවවන සංශෝධනය හරහා සිදු කෙරුණේ ප්‍රධාන වශයෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්ගේ ඉල්ලීම්. මෙහිදී සිදු වූ ප්‍රධානම වෙනස්කම විධායක ජනාධිපතිගේ බලතල කප්පාදුවට ලක් කිරීමයි. සංශෝධනය නිසා ජනාධිපතිට ව්‍යවස්ථාදායකය මත තිබුණු අධිකාරී බලය සෑහෙන තරමින් සීමා වුණා. තමන්ගේ අභිමතය පරිදි අගමැතිව ඉවත් කරන්න ජනාධිපතිට තිබුණු හැකියාව නැති වීම මේ සංශෝධනය හරහා සිදු වුනු ප්‍රධානම වෙනස් කමක්.

දහනව වන සංශෝධනය හරහා ලංකාවේ රාජ්‍ය ආකෘතියේ ඔය තරම් ලොකු වෙනසක් සිදු වූවත් ඒ වෙනසට රටේ කී දෙනෙක් සංවේදීද කියන එක ප්‍රශ්නයක්. දැන් මතු වෙලා තිබෙන ප්‍රශ්නයේ මුල එයයි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්න නීති තිබීම පමණක් මදි. ඒ සඳහා රටේ පුරවැසියන්ගෙන් විශාල ප්‍රතිශතයක් නීති ගැන දැනුවත් වී තිබීමත් වැදගත්. විශේෂයෙන්ම ව්‍යවස්ථා නීතිය ගැන. ව්‍යවස්ථාවට හැමදාම සංශෝධන ගේන කොට මිනිස්සුන්ට රටේ පවතින නීතියත් එක්ක යාවත්කාලීන වෙන්න බැරුව යනවා.

පහුගිය අවුරුදු දෙසිය තිහටම ඇමරිකානු ව්‍යවස්ථාවට සංශෝධන ගෙනත් තියෙන්නේ දාහතක් පමණයි. හැත්තෑ හතේ හදපු ලංකාවේ ව්‍යවස්ථාවට මේ වන විට සංශෝධන දහනවයක්. ඔය කාලය ඇතුළත ඇමරිකාවේ ව්‍යවස්ථාව සංශෝධනය කරලම නැහැ.

පහුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඡන්ද ලක්ෂ 28ක් ගත්තා. මුළු ඡන්ද ප්‍රමාණයෙන් 2.1%ක්. නමුත්, ජනාධිපති වුණේ ට්‍රම්ප්. එහෙම වුනා කියලා අවුරුදු දෙසීයකට වඩා පරණ ඇමරිකාවේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න යන්නේ නැත්තේ පවතින ක්‍රමයට මිනිස්සු පුරුදු වෙලා ඉන්න නිසයි.

ලංකාවේ ගොඩක් අය රනිල්ව ඉවත් කර මහින්දව පත් කිරීම දිහා බලන්නේ දිමු ජයරත්නව ඉවත් කරලා රනිල්ව පත් කරපු විදිහටමයි. ඒ අතර සිදු වුනේ කොයි තරම් ලොකු වෙනසක්ද කියන එක ගැන මිනිස්සු දැනුවත් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ තරම් ලොකු වෙනසක් වෙලා තියෙද්දී මිනිස්සුන්ව, අඩු වශයෙන් රජයේ සේවකයින්ව හා ආරක්ෂක සේවා සාමාජිකයින්ව නිසි පරිදි දැනුවත් නොකිරීම ආණ්ඩුව පැත්තෙන් සිදු වූ අඩුපාඩුවක්. අද රනිල්ගේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නයට එයත් හේතුවක්.

මේ විදිහටම රටේ ආර්ථිකය හා සම්බන්ධව ගන්න තීරණ ගැන වුවත් ආණ්ඩුව මිනිස්සුන්ව දැනුවත් කළේ නැහැ. ඒ නිසා, ආණ්ඩුව හා මිනිස්සු අතර විශාල දුරස්ථ බවක් ඇති වෙලයි තිබුණේ. පහුගිය ආණ්ඩුව කාලයේ ආණ්ඩුව මොනවා කළත් මිනිස්සු එක්ක සම්බන්ධය තියාගෙනයි එය කළේ. ඊට පෙර තිබුණු එජාප ආණ්ඩු කටයුතු කළෙත් ඒ විදිහටයි.

සමහර විට ලංකාවේ මිනිස්සුන්ට එහෙම ඇඟිල්ලෙන් ඇනලා කියා දෙන්න අවශ්‍ය නැති බව ආණ්ඩුවේ ප්‍රධානීන් හිතන්න ඇති. කොහොමත් රනිල් වික්‍රමසිංහ හා ඔහු එක්ක ඉන්න අය හිතන ආකාරයේත් රාජපක්ෂලා හිතන ආකාරයේත් ලොකු වෙනසක් තියෙනවා.

රාජපක්ෂලා ජනබලය ගැන විශ්වාසය තියන අය. මිනිස්සු තමන් එක්ක ඉන්නවනම් නීතිය කඩන්න අමාරු නැති බව ඔවුන් දන්නවා. අනික් අතට රනිල්ලා හිතන්නේ නීතියට හා සම්ප්‍රදායට අනුකූලනම් මොනව කළත් ප්‍රශ්නයක් නැති බව.

මහ බැංකු සිද්ධිය කියන්නේ රනිල්ගේ හැරුම් ලක්ෂ්‍යය. මදුරුවෙක් මැරීම හා හරකෙක් මැරීම කියන දෙකම එක සමාන ප්‍රාණඝාත දෙකක් විදිහට සිංහල බෞද්ධයින් නොසලකන බව හිතන්න බැරි තරම් ඔහු ලංකාවේ සාමාන්‍ය සමාජයෙන් දුරස්. ඒ නිසා නීතිය යටතේ මදුරුවාත් හරකාත් සමාන ලෙස සිතමින් ඔහු කටයුතු කළා. වැඩේ පත්තු වුණා.

මෛත්‍රීපාල සිරිසේන කරලා තියෙන්නේ ව්‍යවස්ථාවට පටහැනි දෙයක්. ඒ හේතුව මත ඔහුගේ ජනාධිපති ධුරයට වුවත් අභියෝග කළ හැකියි. නමුත්, එය කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. මේ වෙලාව රනිල්ට තුනෙන් දෙක තියා දෙකෙන් එකවත් ෂුවර් නැති වෙලාවක්.

වැරැද්ද කරලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන විසින් වුවත්, මේ වෙලාවේ රනිල් ක්‍රියාකරන්නේ කොහොමද කියන එකත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව ඉතාම තීරණාත්මක කරුණක්. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම හෝ නොපෙන්වීම මේ වෙලාවේ වැදගත්ම දෙය නෙමෙයි.

විධායකය ක්‍රියා කරලා තියෙන්නේ වැරදියටනම්, අදාළ ක්‍රියාවේ වින්දිතයා වී ඉන්නේ  ව්‍යවස්ථාදායකයනම් ව්‍යවස්ථාදායකයට පමණක් තනිව ප්‍රශ්නය විසඳා ගැනීම අසීරුයි. මේ වෙලාවේ කළ යුත්තේ අධිකරණයේ සහයෝගය ලබා ගැනීමයි. සහයෝගය ලබා ගැනීම කියන එකෙන් අදහස් කළේ රනිල්ට දිගටම බලයේ ඉන්න සහයෝගය ලබා ගැනීම නෙමෙයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ බලතල අර්ථනිරුපණය කර ගැනීම හා ජනාධිපති වැරදියට ක්‍රියාකර ඇත්නම් ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනගැනීමටයි අදහස් විමසිය යුත්තේ. යම් විදිහකින් රනිල්ව ඉවත් කිරීම ව්‍යවස්ථාව අනුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයනම් පාර්ලිමේන්තුව රැස් වූ පසු අලුත් ආණ්ඩුව පරාජය කරන්න උත්සාහ කිරීම දෙවනුව සලකා බැලිය යුතු කරුණක්.

රනිල්ගේ ආණ්ඩුව බිඳ වැටීම හෝ මහින්ද බලයට පත්වීම දේශපාලනික කරුණක්. නමුත්, විධායකය විසින් ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම හා ව්‍යවස්ථාදායකය හා අධිකරණය විසින් එයට ඉඩදීම ඊට වඩා ගොඩක් බරපතල කරුණක්. එයින් අදහස් වෙන්නේ එතැනින් එහාට ලංකාවේ නීතියේ පාලනයක් නැහැ කියන එකයි. රටේ ව්‍යවස්ථාව නොසලකා කටයුතු කරන පාලකයෙකුට නොකළ හැකි දෙයක් නැහැ.

මේ මට්ටමේ කරුණකදී ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරනවා කියන්නේ ලංකාවේ රාජ්‍ය ව්‍යුහයට බලපාන මූලික මට්ටමේ කරුණක්. රාජ්‍ය ව්‍යුහයට හා ජනතා පරමාධිපත්‍යයට මේ වෙලාවේ සිදුවන හානියේ වගකීම ජනාධිපති සිරිසේනට වගේම ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන රනිල්ටත්, මොනවා හෝ බලපෑමක් කළ හැකි අනික් හැම දෙනෙක්ටමත් තියෙනවා.

Friday, October 26, 2018

අගමැති හටන


ජනාධිපති සිරිසේන විසින් මහින්ද රාජපක්ෂව ලංකාවේ අගමැති ලෙස පත් කරලා තියෙනවා. ඒ අතර, රනිල් වික්‍රමසිංහ තමන්  තවදුරටත් අගමැති ලෙස කටයුතු කරන බව කියනවා. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන් තවමත් ලංකාවේ අගමැති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ කියන කතාව හරි. එහි 46(2) අනුව්‍යවස්ථාවේ තියෙන්නේ මේ විදිහටයි.

"අග්‍රාමාත්‍යවරයා-

(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්, හෝ 
(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුවහොත්, හෝ

මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේ ය."

මේ කරුණු කිසිවක් මේ අවස්ථාවේ සිදු වෙලා නැහැ. ජනාධිපති සිරිසේනට අවශ්‍යනම් මහින්ද රාජපක්ෂව අගමැති ලෙස පත් කිරීමේ හැකියාව තිබෙන බවට වූ මතයක් පහුගිය කාලයේ ඇතැම් අය විසින් ප්‍රචලිත කළා. පුළුවන් තමයි. ඒකනේ ඔය කරල තියෙන්නේ. නමුත්, ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එහෙම කරන්න පුළුවන්ද කියන එකයි.

පුළුවන් කියා කියන අය එසේ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) අනුව්‍යවස්ථාව අනුවයි. එහි තිබෙන්නේ මේ විදිහටයි.

"ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේතුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය."

මේ අනුව, වැදගත් වෙන්නේ ජනාධිපතිවරයාගේ මතයයි. පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවාද වැනි කරුණු මෙහිදී සෘජුව වැදගත් වෙන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සේ දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහව පත් කළේ ඔය වගන්තියේ විධිවිධාන අනුවයි.

මේ විදිහට අලුත් අගමැතිවරයෙක් පත් කිරීමෙන් පසුව අගමැතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලයක් අලුතෙන් පත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ 43(1) හා 43(2) අනුව්‍යවස්ථා වල තිබෙනවා. ඒ වගේම, අගමැතිවරයාගේ උපදෙස් අනුව මේ ඇමතිවරුන් වෙනස් කළ හැකි වුවත් ඒ හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට බලපෑමක් නොවන බව 43(3) අනුව්‍යවස්ථාවේ කියැවෙනවා.

මේ අනුව, අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම තිබෙන තාක් කල් අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහයි. ඔහුගේ නිර්දේශ අනුව ජනාධිපති වරයා විසින් ඉවත් කළොත්, ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වුවහොත් මිස අගමැති වෙනස් නොවන තාක් කල් ඇමති වරයෙකුගේ ධුරයක් හෝ වෙනස් වෙන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩලය පවතින තුරු ඔවුන් ඇමතිවරු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) අනුව්‍යවස්ථාව අනුව අලුත් අගමැතිවරයෙක් පත් කරන්නනම් එම ධුරය හිස් වී තිබිය යුතු බව පැහැදිලි කරුණක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ එවැන්නක් සිදු වී නැති බැවින් තමන් තවමත් අගමැති බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සේ දිවුරුම් දීමෙන් පසුව ඒ වන විට අගමැති සේ කටයුතු කළ දි.මු. ජයරත්නව ඉවත් කරලා රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස පත් කළා. දැන් කරලා තිබෙන පත්වීම නීත්‍යානුකූල බව පෙන්වන්න උත්සාහ කරන අය ඉහත සිද්ධිය පූර්වාදර්ශයක් ලෙස පෙන්වනවා. නමුත්, එදා තත්ත්වය හා අද තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඒ වන විට දහනවවන සංශෝධනය සම්මත වෙලා තිබුණේ නැහැ.

දහනවවන සංශෝධනය සම්මත වන්නට පෙර, ධුර කාලය අවසන් වෙන්නට පෙර අගමැතිවරයාගේ තනතුර නැති විය හැකි ඉහත 46(2) අනුව්‍යවස්ථාවේ තිබෙන ක්‍රම දෙකට අමතරව තවත් ක්‍රමයක් තිබුණා. ඒ ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන සහිත ලිපියක් මගින් අගමැතිවරයාව ධුරයෙන් ඉවත් කිරීම. එය ඉතා පහසුවෙන් කළ හැකිව තිබුණු දෙයක්. නමුත්, ඒ ප්‍රතිපාදනය මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. ඒ නිසා, මේ වෙලාවේ ජනාධිපති සිරිසේන විසින් කර තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්.

ජනාධිපති සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යවා තිබෙන ලිපියේ වගේම අදාළ ගැසට් නිවේදනයේත් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව අනුව" තමන් ඔහුව පත් කළ බව කියන නමුත් "මා වෙත පැවරී ඇති බලතල අනුව" කියා කියනවා මිසක් ඉවත් කරන්න බලතල ලැබුණේ කොහොමද කියා කියන්නේ නැහැ.

දැනට පවතින ව්‍යවස්ථාවට අනුකූලව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන්න තිබුණු පහසුම ක්‍රමය විශ්වාස භංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කිරීමයි. එවිට, අමාත්‍ය මණ්ඩලය වගේම අගමැතිවරයාත් අලුතින් පත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට හිමිවෙනවා. ඒ සඳහා උත්සාහයක් දැරුවත් එය සාර්ථක වුනේ නැහැනේ. මේ විදිහට ව්‍යවස්ථාවට පිටින් ගිහින් අගමැති ඉවත් කිරීමේ අදහස එන්න ඇත්තේ ඉන් පසුව වෙන්න ඇති.

මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර බලය වුවත් නැති වෙන්න පුළුවන්. ඔහුට බහුතර බලය තිබෙනවානම් අලුතෙන් පත්වන ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේදී පරාජය කළ හැකියි. නමුත්, එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඔහු අගමැති ධුරය හැර ගියොත්. එසේ ධුරය හැර යනවා කියන්නේ ඔහු ජනාධිපතිගේ ක්‍රියාවේ නීතිමය වලංගු භාවය පිළිගැනීමක්. රනිල් එහෙම කරයිද?

රනිල් නීතිය මත ඕනෑවට වඩා විශ්වාසය තියාගෙන ඉඳලා තිබෙන බව පේනවා. ලංකාව වගේ රටක මිනිස්සු හිතන විදිහ ගොඩක් වෙලාවට නීතියට වඩා බලවත්. ඒ තත්ත්වය වෙනස් කරන්න රනිල්ගේ කාලයේදී යම් උත්සාහයක් දැරුවත් ලොකු වෙනසක් වෙලාද කියන එක සැක සහිතයි.

ඒ නිසා, මේ වෙලාවේ ඇත්තටම ලංකාවේ සෑහෙන අවුලක් තියෙනවා. ඒ අවුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම විසඳෙයි කියා හිතන්න අමාරුයි. පොතේ නීති තිබුණත් සාමාන්‍ය කරුණකදී ඒ නීති ලංකාවේ බොහෝවිට ක්‍රියාත්මක වුනේ පොතේ හැටියටම නෙමෙයි. දැන් මේ තත්ත්වය සාමාන්‍ය කරුණු නොවන ලොකු කරුණු දක්වාම දුර දිග ගිහින්.

මිනිස්සු ඉන්නේ මහින්ද එක්ක කියා පෙනෙන විට රනිල් පහුබහින්න ඉඩතිබෙනවා. රනිල් අගමැති ධුරය අතහැර ගියොත් එජාප මන්ත්‍රීවරුන් අනිත් පැත්තට පනින එක වලක්වන්න කොහොමත් බැරි වෙනවා. ඒ නැතත්, රනිල් ඉදිරියේ තියෙන්නේ සෑහෙන අවදානමක්.

රනිල් පරාජය බාර ගනීද? තමන් අවුරුදු තුනක් තිස්සේ රටේ අධිකරණ පද්ධතිය කොයි තරම් ශක්තිමත් කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න යයිද? මේ තත්ත්වයට වෙනත් රටවල් කවර ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද? දැන් ටිකකට පෙර පළ කර තිබෙන ටයිම්ස් ඔෆ් ඉන්දියා ලිපියක් කියෙවුවහම ලංකාවේ දේශපාලනයට ඉන්දියාව කොයි තරම් දුරට මැදිහත් වෙනවද කියන කරුණ පැහැදිලියි. වෙන්නේ මොනවාද කියලා බලා ඉන්න තමයි තියෙන්නේ.

රාජපක්ෂ පරම්පරාව


කලින් ලිපියේ ලිවුවා වගේ දරු උපතක් ගැහැණු හෝ පිරිමි වීමේ සම්භාවිතාව සමාන නැහැ. පිරිමි දරු උපතකට තිබෙන ඉඩකඩ වඩා වැඩියි.

පිරිමි ස්වභාවයෙන්ම ගැහැණුන්ට වඩා කළහකාරීයි. අවදානම් ගන්නවත් වැඩියි. ඒ නිසා, වයස්ගත වෙලා හෝ ලෙඩ රෝගයකින් මැරෙන්න කලින් කිසියම් අනතුරකින් පිරිමියෙක් මැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ගැහැණු හා පිරිමි එක සමාන ප්‍රමාණ වලින් ඉපදුනොත් වැඩි පිරිමි ප්‍රමාණයක් අඩු වයසෙන් මිය යාම නිසා දරුවන් බිහි කරන වයසට එද්දී ගැහැණු ජනගහණය වඩා වැඩි වෙනවා. උපතේදී පිරිමි දරු උපත් ගණන වැඩි වෙලා තිබීම මෙය සමතුලිත කිරීම සඳහා වන ස්වභාව ධර්මයේ උපක්‍රමයයි.

සමස්ත ජනගහණය දිහා බැලුවහම දකින්න පුළුවන් ඉහත කී වෙනස්කමට අමතරව තනි පුද්ගලයෙක් ගත්තහම ඔහුට ගැහැණු හෝ පිරිමි දරුවන් ලැබෙන්න තිබෙන ඉඩකඩ සමාන නැහැ. ඔහුට කියා කිවුවේ හිතාමතාමයි. මේ කරුණේදී වැදගත් වන්නේ දරුවෙකු බිහි කරන්න දායක වන පිරිමියා.

එක්සත් රාජධානියේ, නිවු කාසල් සරසවියේ පර්යේෂකයෙකු වූ කොරී ජෙලාට්ලි විසින් වාර්තා හොයා ගත හැකි යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ පවුල් 927ක පුද්ගලයින් 556,387 දෙනෙකුගේ දරු උපත් රටාවන් පරීක්ෂා කර පෙන්වා දුන්නේ දරුවෙකු ගැහැණු හෝ පිරිමි වීම කිසියම් දුරකට පියාගේ පරම්පරාව අනුව තීරණය වන බවයි. මවගේ පැත්තෙන්නම් එවැනි සම්බන්ධයක් පෙනී ගොස් නැහැ. මෙය සිදුවෙන්න ඉඩ තිබෙන ආකාරය පිළිබඳ ඔහුගේ යෝජිත ආකෘතිය අදාළ පර්යේෂණ පත්‍රිකාවේ තිබෙනවා.

මේ අනුව, අයියලා මල්ලිලා ගොඩක් ඉන්න පවුලක පිරිමියෙකුට පිරිමි දරුවන් ලැබෙන්න ඉඩ වැඩියි. අක්කලා නංගිලා ගොඩක් මැද්දේ ඉපදෙන පිරිමියෙකුට ගැහැණු දරුවන් ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ අනුව, බැලුවහම දේවානම්පිතිස්සගේ පරම්පරාව ගැන මහා වංශයේ තිබෙන තොරතුරු වැරදියි කියා කියන්න බැහැ.


මේ හා අදාළ මෑතකාලීන උදාහරණ වුවත් හොයාගන්න එතරම්ම අමාරු නැහැ. මහින්ද රාජපක්ෂට ඉන්නේ පුත්තුම තුන් දෙනෙක්. ගැහැණු දරුවන් නැහැ. උඩ පරම්පරාව දිහා බැලුවත් පිරිමි වැඩියි. චමල්, මහින්ද, චන්ද්‍රා, ගෝඨාභය, බැසිල්, ඩඩ්ලි සහෝදර සමාගමේ ඉන්න පිරිමි හය දෙනෙකුගේ පවුලේ ගැහැණු ඉන්නේ තුන් දෙනෙක් පමණයි. ඊට පෙර පරම්පරාවෙත් හතරෙන් තුනක්ම පිරිමි. මේ විදිහට රාජපක්ෂ වරුන්ට වැඩිපුර පිරිමි දරුවන් ලැබෙන එක අහම්බයක් නොවෙන්න පුළුවන්.

(Image: http://archives.dailynews.lk/2010/06/07/fea23.asp)

Thursday, October 25, 2018

සැමන් මාළු, වලස්සු හා කණාමැදිරියෝ...


අභිජනනය පිණිස සැතපුම් සිය ගණනක් උඩු ගං බලා පීනන සැමන් මාළු ගැන කලින් ලිපියක ලිවුවනේ. එහි මා සඳහන් කළ පරිදි, මේ ගැන ලියන්න මාව උනන්දු කරමින් විශාල තොරතුරු ප්‍රමාණයක් විද්‍යුත් තැපෑලෙන් එවුවේ කැනඩාවේ ජීවත් වන පාඨකයෙක්. මම හිතන විදිහට මේ වගේ ගඟ ඉහළට පීනන සැමන් මාළු දැකලා ඔහුට ඇති වුනු සංවේදී හැඟීම එයට හේතු වෙන්න ඇති. පහළින් තිබෙන්නේ ඒ ගැන විස්තර කරමින් ඔහු වසරකට පමණ පෙර එවපු විද්‍යුත් ලිපියෙන් කොටසක්.

"වෙහෙසකර ගමනක නිරතවන මෙම සතුන් දුටු, අප සියලු දෙනා තුළම ඇතිවූයේ වචනයෙන් විස්තර කළ නොහැකි කිසියම් පාලු ගුප්ත භාවයකින් යුත් ඉතාමත්ම තද කණගාටුදායක කනස්සල්ලක් වන් තත්ත්වයකි. පිහිනන බොහොමයක් මාළුවන් තුළ දකින්න ලැබුනේ ඉතා දුර්වල වෙහෙසකර භාවයක්. සමහර සැමන් මාළු අඩි කිහිපයක් පිහිනා ගොස් පැත්ත පෙරැළී ටික වෙලාවක් හුස්ම ඇද ඇද සිටී..... තවත් තැනක ගල් මත පතිත වී සහ ගල් අතර සිරවී මියගොස් සිටින මසුන්..... හරිම හිත් කම්පා කරවන දර්ශනයක්. තවත් තැනක (අවසර දී ඇති ස්ථාන වල) බිලී පිති අමෝරාගෙන අහිංසක ගැබ්බර මාළුන් ඩැහැගන්න බලා සිටින පුද්ගලයෝ.....මේ අතර දකින්න ලැබුණ කුඩා ළමුන් සමග බිලි බෑමේ නිරතවන පවුල්..... අනේ සංසාරේ කියලා හිතෙනවා...  :(    ඊටත් වඩා..... දුක තවත් තීව්‍ර වන්නේ අනේ මේ මාළු යන්නේ තමාගේ අවසන් ගමන නේද කියලා හිතෙනකොට දැනෙන විස්තර කරන්න අමාරු කණගාටුව......"

මම හිතන්නේ මේ හැඟීම විස්තර කළ හැකි වචනය සහකම්පනය. අපේ පාඨක හිතවතා මේ අවස්ථාවේදී හදවතින් සැමන් මාළු එක්ක එක් වෙලා සැමන් මාළුන්ගේ වෙහෙසට, දුකට, කණගාටුවට සම්මාදම් වෙනවා. හැබැයි ඉතිං සැමන් මාළුවාට දැනෙන හැඟීම මේ දිහා බලා සිටින අපේ පාඨකයාට දැනෙන හැඟීමම කියා කියන්න බැහැ. ඇත්තටම ඔහු සම්මාදම් වෙන්නේ තමන්ගේම හිතේ ඉන්න සැමන් මාළු අහිනකගේ දුකටයි.

දැන් මේ විස්තරයේ තියෙන විදිහටම අමාරුවෙන් උඩු ගං පීනන මාළුන්ව වලසුන්ගේ වගේම මිනිස්සුන්ගේ පහසු ගොදුරු බවට පත් වෙනවා. ඒ වුනත්, සැමන් මාළු ගැන පමණක්ම නොහිතා පරිසර පද්ධතියක් සේ හිතුවොත් මෙහි ඇති "වැරැද්දක්" නැහැ. සැමන් මාළුන්ව ගඟ අයිනේ ජීවත්වන, ආහාර දාමයේ සැමන්ලාට වඩා උඩින් ඉන්න, වලස්සු වගේ සතුන්ට ගොදුරු වෙන එක ඒ සතුන්ගේ පැවැත්මට වගේම සැමන් මසුන්ගේ පැවැත්මටත් වැදගත් කරුණක්.

මේ විදිහට වලසුන්ට හා මිනිස්සුන්ට ගොදුරු වෙන්නේ සැමන් අහිනේ ඉන්න දුර්වලම සත්තු. බේරිලා යන්නේ ශක්තිමත්ම සත්තු. ඒ නිසා, අභිජනනය කර අළුත් සැමන් පරම්පරාවක් බිහි කරන්න දායක වෙන්නේ මාළු අහිනේ ඉන්න හොඳම මාළු ටික. හැම අළුත් සැමන් පරම්පරාවක්ම කලින් පරම්පරාවට වඩා ඉදිරියෙන්.

ඔහොම කාලයක් යද්දී සැමන්ලා ගොඩක් "ස්මාර්ට්" වෙලා මිනිසුන්ගෙන් හා වලස්සුන්ගෙන් බේරිලා යාමේ කුසලතාවය ඉහළ ගියොත් මොකද වෙන්නේ?

එවිට වෙන්නේ ගඟ අද්දර ඉන්න මිනිස්සුන්ගෙන් හා වලස්සුන්ගෙන් කොටසක් කන්න මාළු නැතුව මැරෙන එකයි. මේ විදිහට මැරෙන්නේ මාළුවෙක්වත් අල්ලගන්න බැරි දුර්වල මිනිස්සු හා වලස්සු. වඩා ශක්තිමත් මිනිස්සු හා වලස්සු කොහොම හරි මාළුවෙක් අල්ලගනියි.

ඔය කිවුවට මිනිස්සු හා වලස්සු කන්න මාළු නැතුව මැරෙන එකක්ම නැහැ. නමුත්, මාළුවෙක් අල්ලගන්නවත් බැරි පිරිමි මිනිහෙක්ට හෝ වලහෙක්ට ගැහැණු සතෙක්ව හොයා ගැනීම වඩා වඩා අමාරු වීම නිසා වර්ගයා බෝ කරන්න අවස්ථාව නැති වෙයි. එහි ප්‍රතිඵලයත් කලින් එකමයි. ඒ එක්කම, අළුත් පරම්පරාවේ වලස්සු හා මිනිස්සු පෙර පරම්පරාවට වඩා "ස්මාර්ට්" වීම නිසා මාළුන්ට ලැබුණු ඉන්ටවල් එක වැඩි කාලයක් පවතින්නේ නැහැ.

ස්වභාව ධර්මය පරිසර පද්ධති වල සමතුලිතතාවය පවත්වාගන්නේ ඔය විදිහටයි. හැබැයි ස්වභාව ධර්මයට වුනත් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. වලස්සු ඉන්නේ මේ සීමාව ඇතුළේ වුනත් මිනිස්සු ඉන්නේ ඒ සීමාවෙන් පිට වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයට ප්‍රතිචාර දක්වන්න කාලයක් නොදී ඉතා කෙටි කාලයක් තුළ පරිසර පද්ධතියකට විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් මිනිස්සුන්ට තිබෙනවා. නමුත්, ඒ විදිහට මිනිස්සුන්ට දිගින් දිගටම ස්වභාව ධර්මය අභිබවා යාමේ හැකියාවක් තියෙනවද?

මේ දවස් වල පෙන්වන කණාමැදිරියෝ ටෙලිනාට්‍යයේ මේ අදහස සාකච්ඡාවට බඳුන් කරනවා.

ස්වභාව ධර්මය හා මිනිසා අතර ගැටුම පිළිබඳ අදහස් විශාල පරාසයක පැතිරිලයි තියෙන්නේ. එක අන්තයක ඉන්න අය මිනිස්සු සහ මිනිස් නිර්මාණ අයින් කරලා ඉතිරි වෙන කොටස ස්වභාව ධර්මය ලෙස සලකමින් මිනිස්සු විසින් ස්වභාව ධර්මය විනාශ කිරීම ගැන කතා කරනවා. එතකොට මතුවන ප්‍රශ්නය ඇයි මිනිස්සු සහ මිනිස් නිර්මාණ පමණක් ස්වභාව ධර්මයේ කොටසක් නොවන්නේ කියන එකයි. වඩු කුරුළු කූඩුවක් ස්වභාව ධර්මයේ කොටසක් වෙද්දී, නෙලුම් කුළුන ස්වභාව ධර්මයේ කොටසක් නොවන්නේ කොහොමද? ස්වභාව ධර්මය කියන්නේ දෙවියන් විසින් මවපු ලෝකයේ මුලින්ම තිබුණු දේවල් ටිකද?

කණාමැදිරියෝ බලන්න ගත්තේනම් ඒක ඇතුලෙ තියෙන දාර්ශනික සංවාද නිසා නෙමෙයි. කුතුහලය තරමක් දුරට හෝ පවත්වා ගන්න පුළුවන් විදිහට කතාව ගෙනියන නිසයි. ඒ අතින් කූඹියෝ තිර රචනයට ටිකක් කිට්ටුයි.

කූඹියෝ ටෙලිනාට්‍යය වටා පෙළගැහිච්ච රසිකයෝ කොටස් දෙකක් හිටියනේ. කට්ටියක් කැමති වුණේ ඒකෙ තිබුණා කියා හිතාගෙන හිටපු දේශපාලනයට. කතාවේ තියෙන්නෙ තමන් හිතාගෙන හිටපු දේශපාලනය නෙමෙයි කියා තේරෙන කොට ඒ කට්ටිය හිමිහිට අයින් වුනා.

දෙවන කණ්ඩායම කූඹියෝ බැලුවේ එහි වේගවත් ගලා යාම හා ත්‍රිලර් ගතියට. අන්න ඒ ගතිය ටිකක් කණාමැදිරියෝ ටෙලි නාට්‍යයේත් තියෙනවා. නමුත්, කණාමැදිරියෝ බලන්න ලොකු රැල්ලක් හැදිලා නැති එකෙන් පේන්නේ කූඹියෝ වටේ වැඩිපුර ඉඳල තියෙන්නේ පළමු කණ්ඩායමේ අය බව. කූඹියෝ සහ ඒ එක්කම වාගේ විකාශනය වූ සහෝදරයා අතර සමානකම් දැක්කේ ඒ අයයි.

වේගවත් ගලා යාම කියා කියද්දී මිණිගංදෑළ මතක් වෙන එක නවත්තන්න බැහැ. අර කතාවක් තියෙනවනේ එකම ගඟ දෙවරක් දකින්න බැහැ කියලා. මුලින් උනන්දුවෙන් බලන්න පටන්ගත්ත මිණිගංදෑළ බලන එක ඒ දවස වලම නවත්තල නොදැම්මනම් ඔය කතාව පට්ට බොරුවක් බව ඔප්පු කරන්න තිබුණා. කොහොම වුනත් ඒ කාලය කණාමැදිරියෝ බලන්න ඉතිරි වුණා.

කණාමැදිරියෝ ගලාගෙන යන්නේ තාත්ත්වික සීමාවෙන් එපිට අන්ත දෙකක ඉන්න චරිත දෙකක් මැදින්. මුලින්ම හිතුනේ තිර රචකයා ප්‍රොෆෙසර් මහේන්ද්‍රගේ පැත්තේ කියලයි. කතාව තවම ඉවර නැතත්, යන විදිහට පේන්නේ මුලින් වෙන්න බැරි දේවල් වගේ පෙනුණු දේවල් වලට "විද්‍යාත්මක" පැහැදිලි කිරීම් එකින් එක එමින් තියෙන බවයි.

(Image: https://pgcpsmess.wordpress.com/tag/spawning-salmon-and-bears/)

Wednesday, October 24, 2018

සාධාරණ කාසි


ලංකා ඉතිහාසයේ මුල හරියේ හමුවන රජ වරුන්ට පුත්තු වැඩිපුර ඉඳලා තිබෙන බව මහා වංශය අනුව පේනවනේ. ඒ වගේම, අන්තිම හරියේ රජකරපු "රජවරුන්ටත්" ඉන්නේ පුත්තුමනේ. එහෙම වෙන්න පුලුවන්ද?

ගොඩක් අය හිතාගෙන ඉන්නේ කාට හරි ලැබෙන දරුවෙක් ගැහැණු හෝ පිරිමි වීම අහඹු දෙයක් කියලයි. හරියට කාසියක් උඩ දැම්මහම සිරස හා අගය ලැබීම වගේ.

කාසියක් උඩ දැම්මහම සිරස හෝ අගය වැටීමේ සම්භාවිතාව 50%ක් නැත්නම් 0.5ක් කියලා ඉගෙන ගත්ත අය ඕනෑ තරම් මෙය කියවන අය අතර ඇති. ඒ පදනම මත බැලුවොත් කාසියක් එක දිගට උඩ දමන විට එක දිගටම සිරස නැත්නම් අගය වැටෙනවානම් ටිකක් අවුල් වගේනේ.

කවුරු හරි කාසියක් උඩ දමලා මේ කතාව හරිද කියලා පරික්ෂා කරල තියෙනවද?

කාසියක් එක පාරක් උඩ දමලා මේ කතාව හරිද වැරදිද කියන එක තහවුරු කරගන්න බෑනේ. එක්කෝ අගය නැත්නම් සිරස වැටෙයි. කතාව හරිද බලන්න වාර ගණනක් කාසිය උඩ දාන්න ඕනෑ.

අපි හිතමු ඔය කියන සම්භාවිතාව 0.5මයි කියලා. එවිට කාසිය දෙපාරක් උඩ දැම්මොත් දෙපාරම සිරස වැටෙන්න 0.25ක සම්භාවිතාවක් තිබෙනවා. අගය දෙපාරක් වැටෙන්නත් 0.25ක සම්භාවිතාවක් තිබෙනවා. සිරස හා අගය සමාන වාර ගණනක් වැටෙන්න තිබෙන සම්භාවිතාව 0.5ක් පමණයි.

එක දිගට කාසිය දහ පාරක් උඩ දැම්මොත් සිරස හා අගය වාර පහ බැගින් වැටෙන්න තිබෙන සම්භාවිතාව කුමක්ද? එය 0.2461ක් පමණ වෙනවා.

කාසිය උඩ දමන වාර ගණන වැඩි වෙද්දී සිරස හා අගය වැටෙන වාර ගණන සමාන වෙන්න තිබෙන සමභාවිතාව ටිකෙන් ටික අඩු වෙනවා. සිය වාරයක් උඩ දැම්මොත් සිරස හා අගය පණහ පණහ බැගින් වැටෙන්න තිබෙන සම්භාවිතාව 0.0786ක් පමණයි.

කොහොම වුණත් මේ විදිහට කාසිය උඩ දමන වාර ගණන වැඩි වන තරමට සිරස හෝ අගය වැටෙන වාර ගණන මුළු වාර ගණනේ ප්‍රතිශතයක් ලෙස 50%ට ටිකෙන් ටික කිට්ටු වෙනවා. ඕකට කියන්නේ විශාල සංඛ්‍යා වල නීතිය කියලා.

නමුත්, මේක වෙන්නේ එක වාරයක් කාසිය උඩ දැම්මහම සිරස හෝ අගය වැටෙන සම්භාවිතාව 0.5ක්නම් පමණයි. ඒ වගේ ප්‍රතිඵලයක් ලබා දෙන කාසියකට සාධාරණ කාසියක් කියා කියනවා.

ඔය සාධාරණ කාසියක් කියන්නේ ගණිතමය සංකල්පයක්. ඇත්ත කාසි කිසිවකට සාධාරණ කාසි කියන්න බැහැ. ඒවා හදලා තියෙන්නේ හරියටම සමමිතිකව නෙමෙයි. ඒ නිසා, කවුරු හරි සැබෑ ලෝකයේ කාසියක් අරගෙන විශාල වාර ගණනක්, අපි හිතමු වාර මිලියනයක් විතර, ඕක උඩ දැම්මොත් සිරස හෝ අගය වැටෙන වාර ගණන මුළු වාර ගණනේ ප්‍රතිශතයක් ලෙස කිට්ටු වෙන්න ඉඩ තිබෙන්නේ 0.5ට ආසන්න වුවත් 0.5ම නොවන සංඛ්‍යාවකටයි.

වාර කිහිපයක් සිරස හෝ අගය දෙකෙන් එකක්වත් නොවැටී කාසිය කෙළින් හිටින්නත් ඉඩ තිබෙනවා. රුපියල් පහේ කාසියක් වගේ ඝනකම කාසියක්නම් මේ ඉඩකඩ තවත් වැඩියි.

අපි හිතමු කාසිය ඔය කියන විදිහේ සෛධාන්තික සාධාරණ කාසියක්ම කියලා. එහෙම වුනත්, උඩ දාන පුද්ගලයා මත ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. හොඳට නිරීක්ෂණය කරල බලන්න කිසියම් පුද්ගලයෙක් කාසිය උඩ දාන්න පෙර එය තියා ගන්නේ කොහොමද කියලා. එක් එක් පුද්ගලයාට අනන්‍ය රටාවක් දකින්න බැරි වෙන එකක් නැහැ. සමහර අය සිරස උඩට තියාගෙන කාසිය උඩ දමයි. තවත් අය එහි අනිත් පැත්ත කරයි. මේ වගේ දේවල් වෙන්නේ නිරායාසයෙන්මයි.

කොහොම වුනත් ඔය කියපු වෙනස්කම් නිසා කාසියක් උඩ දැම්මහම සිරස හෝ අගය වැටීමේ සම්භාවිතාව මහා ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ක්‍රිකට් තරඟයක් අරඹන අවස්ථාවක් වගේ වෙලාවකදී ප්‍රායෝගිකව මේ සම්භාවිතාව 0.5ක් කියා ගන්න එකේ ලොකු අවුලක් නැහැ.

දැනට කර තිබෙන පර්යේෂණ අධ්‍යයන අනුව, දරුවෙකු පිළිසිඳගන්නා අවස්ථාවේදී ගැහැණු හෝ පිරිමි වීමේ සම්භාවිතාව 0.5 හෝ එයට ඉතාමත්ම කිට්ටු අගයක්. නමුත්, මේ විදිහට සිදුවන පිළිසිඳ ගැනීම් සියල්ලම සජීවී දරු උපත් විදිහට අවසන් වෙන්නේ නැහැනේ.

කළලයක් වැඩෙන මාස නවයක පමණ කාලය තුළ ස්වභාවිකවම ගබ්සා වන කළල වලින් වැඩි ප්‍රමාණයක් ගැහැණු කළල. සමහර විට ගැහැණියක් බිහි කිරීමේදී ස්වභාව ධර්මය වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා ඇති. එහෙම වෙන්න හේතු තියෙනවා. දුර්වල කළල වැඩි ප්‍රමාණයක් ස්වභාවිකව ගබ්සා වූ තරමට එසේ ගබ්සා නොවී ඉතිරි වන්නේ වඩා නිරෝගී කළල. ගැහැණියක් පිරිමියෙකුට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න මෙයත් හේතුවක් වෙනවා ඇති.

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට වඩා වැදගත් වෙන්නේ පිරිමියෙකුට වඩා ගැහැණියක් වැඩි කල් ජීවත් වීමයි. පිරිමියෙකුට වර්ගයා බෝ කිරීමේ තමන්ගේ යුතුකම කරන්න මහා ලොකු කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අවුරුදු විස්සක් ජීවත් වන පිරිමියෙකුට වුවත් දරුවන් සිය ගණනක් බිහි කරන්න බැරි කමක් නැහැ. නමුත්, ගැහැණියකට ඒ ආකාරයට කෙටි කාලයක් තුළ දරුවන් විශාල පිරිසක් බිහි කිරීමේ හැකියාවක් නැහැ.

ස්වභාවික තත්ත්වයන් යටතේදී සජීවී ගැහැණු දරු උපත් 100ක් සිදු වෙන විට සජීවී පිරිමි දරු උපත් 105ක් පමණ සිදු වෙනවා. ඒ කියන්නේ පිරිමි දරුවෙකු ඉපදෙන්න තිබෙන සම්භාවිතාව 51%කට ටිකක් වැඩියි. ගැහැණු දරුවෙක් ඉපදීමේ සම්භාවිතාව 49%කට ටිකක් අඩුයි.

මේ කිවුවේ ස්වභාවික තත්ත්වයන් යටතේ. දැන් තිබෙන්නේ ස්වභාවික තත්ත්වයන්ම නෙමෙයිනේ. ලෝකයේ ගොඩක් රටවල නීත්‍යානුකූලවත්, ලංකාව වගේ රටවල් වල නීතියට පිටින් අවිධිමත් විදිහටත් සැලසුම් සහගතව ගබ්සා කිරීම් සිදු වෙනවනේ. ඒ වගේම කළලයට සති ගණනක් වෙද්දී ගැහැණු පිරිමි බව හොයාගන්න එකත් දැන් සරල දෙයක්නේ. මේ කරුණු දෙකේ ප්‍රතිඵලයක් විදිහට ඇතැම් රටවල සජීවී පිරිමි දරු උපතක් සිදු වීමේ සම්භාවිතාව ඔය කලින් කියපු ගණනටත් වැඩියි.

අපේ අසල්වැසි ඉන්දියාවේ සජීවී ගැහැණු දරු උපත් 100ක් සිදු වෙන විට සජීවී පිරිමි දරු උපත් 111ක් පමණ සිදු වෙනවා. චීනයේ මේ අනුපාතය 115ක්. ඉන්දියාව හා චීනය කියන්නේ ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රටවල් දෙක නිසා ලෝකයම ගත්තහම සජීවී පිරිමි දරු උපත් අනුපාතය පැහැදිලිව පෙනෙන තරමට ස්වභාවික අනුපාතයට වඩා වැඩියි. ලංකාවේ අනුපාතයනම් ස්වභාවික අනුපාතයට කිට්ටුයි. ලංකාවේත් ගබ්සා කිරීම් විශාල සේ සිදු වුණත් ගැහැණු පිරිමි බව අනුව වෙනසක් ලොකුවට වෙනවා කියා මම හිතන්නේ නැහැ.

කොහොම වුනත්, උපදින දරුවෙකුගේ ගැහැණු පිරිමි බව කියන්නේ සාධාරණ කාසියක් උඩ දැමීමක් නෙමෙයි. ඒ නිසා, පුතෙක් බලාපොරොත්තු වන කෙනෙක්ගේ කැමැත්ත ඉටුවෙන්න තිබෙන ඉඩ 50%ට වඩා තරමක් වැඩියි.

රජවරුන්ගේ පුත්තු ගැන පැහැදිලි කරන්නනම් මේ ප්‍රවාදය ප්‍රමාණවත් නැහැ. ඒ ගැන කතා කරන එක තවත් දවසකට තියමු.

ඊට කලින් කැමති කෙනෙක්ට පිළිතුරු දෙන්න පොඩි ගණිත ගැටලුවක් පහත තියෙනවා. මෙය විසඳීමේදී ඉහත කියැවූ විස්තර අමතක කරලා දරුවෙක් ගැහැණු හෝ පිරිමි වෙන්න තිබෙන සම්භාවිතාව සමාන සේ සලකන්න.

අමලා සහ කමලා යන දෙන්නටම දරුවන් දෙදෙනා බැගින් ඉන්නවා. අමලාගේ වැඩිමල් දරුවා පුතෙක්. කමලාගේ (අඩු වශයෙන්) එක් දරුවෙක් පුතෙක්.

(1) අමලාට පුත්තුම දෙන්නෙක් සිටීමේ සම්භාවිතාව කීයද?
(a) 1/4
(b) 1/3
(c) 1/2
(d) 3/4

(2) කමලාට පුත්තුම දෙන්නෙක් සිටීමේ සම්භාවිතාව කීයද?
(a) 1/4
(b) 1/3
(c) 1/2
(d) 3/4

(Image: http://www.cityofphysics.com/blog/2015/12/08/flipping-coins-and-gender-quotas/)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...