වෙබ් ලිපිනය:

Friday, March 24, 2017

අවුරුද්දේ ඇනෝමලිය

සියවස් කිහිපයකට පෙර ඉර, හඳ හා තාරකා වල චලනය විස්තර කළ පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය ප්‍රතිස්ථාපනය කරමින් සූර්ය කේන්ද්‍රීය ආකෘතියක් ජනප්‍රිය විය. මේ සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව පොළොව සිය අක්ෂය වටා කැරකේ. එසේ කැරකෙන අතර ඉර වටාද කැරකේ. දවස හා වර්ෂය යන සංකල්ප සරල ලෙස පැහැදිලි කරන්නට මේ ආකෘතිය ප්‍රමාණවත්ය. පොළොවේ අක්ෂයේ අංශක 23.5ක ඇලය ඉහත මූලික ආකෘතියට එකතු කළ විට වසර තුළ පොළොවේ වෙනස් තැන්වල වෙනස් ලෙස සිදුවන සෘතු වෙනස්වීම්ද, දිවා රෑ කාලවල වෙනස්වීම්ද පැහැදිලි කළ හැකිය.

කෙසේවුවද, සූර්ය කේන්ද්‍රීයව විමසිය හැකි ඉර හා පොළොව අතර සාපේක්ෂ චලිතය වුවද මේ සරල ආකෘතියෙන් විස්තර කරනවාට වඩා බොහෝ සංකීර්ණය.
-පොළොව ඉර වටා ගමන් කරන්නේ වෘත්තාකාර පථයක නොව ඉලිප්සාකාර පථයකය.
-මේ ඉලිප්සාකාර පථයේ විවිධ කොටස් හරහා පොළොව ගමන් කරන්නේ එකම වේගයකින් නොවේ.
-ඉලිප්සාකාර පථයේ දිගු අක්ෂයේ දිශානතියද චක්‍රීය ලෙස වෙනස් වේ.
-ඉලිප්සාකාර පථයේ හැඩය කලින් කලට චක්‍රීය ලෙස වඩාත් ඉලිප්සාකාර හා අඩුවෙන් ඉලිප්සාකාර (ආසන්න ලෙස වෘත්තාකාර) වේ.
-පොළොවේ අක්ෂයේ ඇලයේ දිශානතියද චක්‍රීය ලෙස වෙනස් වේ.
-පොළොවේ අක්ෂයේ ඇලයද චක්‍රීය ලෙස වෙනස් වේ.

මේ බොහෝ වෙනස්කම් සිදුවන්නේ සෙමෙන් වුවත් නොසලකා හැරිය හැකි තරම් සෙමින් නොවේ. ඇතැම් සුළු වෙනස්වීමක් නිසා වුවත් පොළොවේ කාලගුණය මත සිදුවන බලපෑම ඉතා විශාලය.

ඇත්තටම කියනවානම් මේ චක්‍රීය වෙනස්වීම් සියල්ල අප හදාගත් කතන්දරයි. එසේ කීමෙන් මේ ප්‍රවාද වල වැදගත්කම අවතක්සේරු වන්නේ නැත. මේ කතන්දර කිසිදු පදනමක් නැති හිතින් මවාගත් කතන්දර නොවේ. නිරීක්ෂණය කළ හැකි සංසිද්ධි සමඟ ගැලපෙන කතන්දරයි. ඊට පෙර තිබුණු කතන්දර වලට වඩා හොඳ කතන්දරයි. වඩා හොඳ කතන්දරයක් හදාගන්නා තුරු අපට මේ කතන්දර වලින් ප්‍රයෝජන ගන්නට පුළුවන.

පොළොවත් ඉරත් අතර නිරීක්ෂණය කළ හැකි සාපේක්ෂ චලිතයක් තිබේ. සිය අක්ෂය වටා ආනතියක් සහිතව භ්‍රමණය වන අතර ඉර වටා යන පොළොවක් පිළිබඳ ආකෘතියකින් මේ සාපේක්ෂ චලිතය සෑහෙන දුරකට පැහැදිලි කළ හැකි වුවත් එසේ පැහැදිලි කළ නොහැකි කොටසක්ද තිබේ. ඉතිරි කොටස් එකතු කෙරෙන්නේ මෙසේ නිරීක්ෂණය කළ හැකි සාපේක්ෂ චලිතයත්, මුල් ප්‍රවාදයෙන් පුරෝකථනය කළ හැකි සාපේක්ෂ චලිතයත් අතර වෙනස පැහැදිලි කිරීමටය.

පොළොවට සිය අක්ෂය වටා රවුමක් කරකැවීමට ගතවන කාලය පැය 23 ක් මිනිත්තු 56 ක් හා තත්පර 4ක් පමණ වුවත් දවසක කාලය පැය 24කි. දවසක් කියන්නේ හරියටම පොළොවට සිය අක්ෂය වටා රවුමක් කරකැවීමට ගතවන කාලය නොවේ. පොළොවට ඉර හා නැවත සම්මුඛ වීමට ගතවන කාලයයි. පොළොව සිය අක්ෂය වටා කරකැවෙන අතරම ඉර වටාද ගමන් කරන බැවින් හරියටම රවුමක් කැරකී මුල් පිහිටුමට එන විට ඉර වටා යන පථයේද යම් දුරක් ඉදිරියට ගොස් සිටින නිසා ඉර සම්මුඛ නොවේ. ඒ සඳහා තවත් ටිකක් වැඩිපුර කැරකෙන්නට සිදුවේ. මේ වැඩිපුර ප්‍රමාණය කැරකීමට මිනිත්තු 3ක් හා තත්පර 56ක් ගත වේ. මේ ආකාරයෙන් දින 365ක් ගෙවෙන විට පොළොව සිය අක්ෂය වටා 366 වරක් කැරකී අවසන්ය.

මිනිසුන් විසින් දවසනම් වූ සංකල්පය හදාගන්නා කාලයේ පෙරදිග මෙන්ම අපරදිග රටවලද ජනප්‍රියව තිබුණේ පොළොව වටා ඉර ගමන් කරන්නේය යන ප්‍රවාදයයි. ඒ ප්‍රවාදයට අනුව දවස යනු ඉරට පොළොව වටා වටයක් ගමන් කර නැවත ක්ෂිතිජයෙන් මතු වීමට ගතවන කාලයයි. මේ සංකල්පය සරල වන අතරම නිවැරදි සංකල්පයකි. පොළොවට වටයක් කරකැවීමට පැය විසිහතරක් ගත නොවූවත් ඉරට පොළොව වටා වටයක් යාමට පැය විසිහතරක් ගත වේ.

පෙරදිග මෙන්ම අපරදිගද අවුරුද්ද නම් වූ සංකල්පය බිහිවුනේද පෘථිවි කේන්ද්‍රීය ආකෘතියක් ජනප්‍රියව පැවතෙද්දීය. මේ අනුව, අවුරුද්දක් යනු පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට සාපේක්ෂව ඉර ඈතින් පිහිටි කවර හෝ නක්ෂත්‍ර තාරකාවක් සමඟ දිශානුගතව සිටින අවස්ථා දෙකක් අතර ගතවන කාලයයි. මේ ආකාරයෙන් අර්ථදක්වන 'නක්ෂත්‍ර අවුරුද්දක' කාලය නොවෙනස්වන ලෙස සැලකිය හැකි නිශ්චිත කාලයකි. පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වන වේගය අඩුවීම නිසා දවසේ කාලය දිගුවීම, පොළොව හා ඉර අතර දුර ක්‍රමයෙන් වැඩිවීම ආදී හේතූන් නිසා නක්ෂත්‍ර අවුරුද්දක කාලයද දිගුකාලීනව වෙනස් නොවන නමුත් ඒ වෙනස්වීම නොගිණිය හැකි තරම් සුළු වෙනසකි.

දවස යන සංකල්පය මෙන්ම අවුරුද්ද යන සංකල්පයද වඩා සංකීර්ණ සූර්ය කේන්ද්‍රීය ආකෘතියක් හා ගලපන විට අමතර ප්‍රශ්න මතුවේ. අවුරුද්දක් යනු සරලව පොළොවට ඉර වටා ගමන් කිරීමට ගතවන කාලය බව අපට කියන්නට පුළුවන. එහෙත්, මේ ප්‍රවාදය අංග සම්පූර්ණ නැත.


පොළොව ඉර වටා ගමන් කරන්නේ හරි රවුමක නොවේ. ඉලිප්සාකාර පථයකය. ඊට අමතරව ඉර පිහිටා ඇත්තේ මේ ඉලිප්සාකාර පථයේ මධ්‍යයේද නොවේ. බිත්තර බාගයක කහමදය මෙන් පැත්තකට වෙන්නටය. ඒ නිසා, මේ පථය දිගේ ඉර වට ගමන් ගන්නා පොළොව වරෙක ඉරට ලං වේ. වරෙක ඈත් වේ. මේ වසරේ ඉරත් පොළොවත් අතර දුර අඩුම ජනවාරි 4 දිනයි. දුර වැඩිම ජූලි 4 දිනයි. ජනවාරි මාසයේ ඉර, ජූලි මාසයේදීට වඩා 3.4%ක් පොළොවට ආසන්න වන අතර පොළොවට ලැබෙන ඉර එළියේ තීව්‍රතාවය 6.4%කින් පමණ වැඩිය.

කෙසේවුවද, පොළොවේ සෘතු වෙනස්කම් වලට හේතුවෙන්නේ මෙසේ ඉර සහ පොළොව අතර දුර වෙනස්වීම නොවේ. පෙර ලිපියකින් පැහැදිලි කළ පොළොව කරකැවෙන අක්ෂයේ ආනතියයි. මේ ආනතියේ බලපෑම වැඩි නිසා, පොළොවට ලැබෙන ඉර එළියේ තීව්‍රතාවය සමස්තයක් ලෙස වැඩිම දිනය වන ජනවාරි 4 වෙනිදා වන විට ශිශිර සෘතුව ගෙවෙන උත්තරාර්ධ ගෝලයේ රටවල උෂ්ණත්වය ඉර පොළොවට වඩාත්ම ඈතින් සිටින ජූලි 4 වෙනිදා තරම් උණුසුම් නොවේ.

උත්තරාර්ධගෝලයේ රටවල් වලට කෙළින් ඉර එළිය වැටෙන ග්‍රීෂ්ම සෘතුවේදී ඉර තිබෙන්නේ පොළොවට ඈතින් වීම හා ශිශිර සෘතුවේදී ඉර තිබෙන්නේ පොළොවට ළඟින් වීම නිසා උත්තරාර්ධගෝලයේ රටවල කාලගුණය උණුසුම් හා සිසිල් අන්ත වලට යාම යම් තරමකින් හෝ අඩු වේ. එහෙත්, දක්ෂිණාර්ධගෝලයේ වෙන්නේ එහි අනිත් පැත්තයි. මේ අනුව, දකුණු අර්ධයේ රටවල ග්‍රීෂ්ම සෘතුව හා ශිශිර සෘතුව උතුරේදීට වඩා නරක විය යුතු වුවත් එය එසේ නොවන්නේ පොළොවේ දකුණු අර්ධගෝලයේ වැඩිපුර ඇත්තේ ගොඩබිම් නොව සාගර නිසාය.


පෙර කී ලෙසම පොළොව ඉර වටා කැරකෙන ඉලිප්සාකාර පථය හැම විටම නොවෙනස්ව නොපවතී. කාලයකදී එහි දිගු අක්ෂය හැකිලී ආසන්න ලෙස වෘත්තාකාර පථයක් බවට පත් වේ. තවත් කාලයකදී එහි දිගු අක්ෂය වඩාත් දිගු වේ. පෘථිවියේ ගමන් මාර්ගය මේ අයුරින් හැකිලීම හා දික්වීම ආසන්න ලෙස වසර 100,000කට පමණ වරක් චක්‍රීය ලෙස සිදුවේ. දැන් තිබෙන්නේ මේ චක්‍රයේ අතරමැද තත්ත්වයකි.

පෘථිවියේ පථය වඩා වෘත්තාකර වන විට වසරේ විවිධ දින තුළ පොළොවට වැටෙන හිරුඑළියේ තීව්‍රතාවය එතරම් නොවෙනස්ව පවතින අතර එහි හැඩය වඩා දිගටි වන විට වසර තුළ හිරු එළිය වැටීමේ තීව්‍රතාවය වෙනස්වීම තවත් වැඩි වේ.

පොළොව ඉර වටා යන ඉලිප්සාකාර අක්ෂය වරෙක වඩා රවුම් වුවත්, එහි දිගු අන්තයක් හැම විටම තිබෙන නිසා පොළොවට ඉර වටා රවුමක් යාමට ගතවන කාලය මැනිය හැකි එක් ක්‍රමයක් වන්නේ මේ පොළොව දිගම අන්තයේ සිට ඉර වටා රවුමක් ගොස් නැවත එතැනට පැමිණීමට ගත වන කාලය අවුරුද්දක් ලෙස සැලකීමයි. මේ අයුරින් අර්ථදක්වන අවුරුද්ද අක්‍රමික (ඇනෝමලිස්ටික්) වසරක් ලෙස හැඳින්වේ.

එසේනම්, ඇනෝමලිස්ටික් වසරක් නක්ෂත්‍ර වසරකට සමානද?

පොළොව ඉර වටා යන පථය ඇකිලීම හා දිගුවීම චක්‍රීය ලෙස සිදු වුවත්, මේ පථයේ දිගු අන්තය හැමවිටම යොමුවී පවතින්නේ එකම දිශාවකටනම් එය එසේ විය යුතුය. එහෙත්, මේ පථයේ සිදුවන එකම චක්‍රීය වෙනස්කම ඉලිප්සයේ හැඩය වඩා දිගටි හා රවුම් වීම පමණක් නොවේ. එහි දිගු අන්තය යොමුවී ඇති දිශාවද චක්‍රීය ලෙස වෙනස් වේ. පහත රූප සටහනෙහි මෙන් පෘථිවිය ඉර වටා යන පථයේ දිගු අන්තය වාමාවර්තව කැරකෙන අතර නැවත මුල් තැනට පැමිණෙන්නේ වසර 112,000කට පසුවය. (රූප සටහනෙන් පෙන්වන්නේ චක්‍රයෙන් කොටසක් පමණි.)


 

කිසියම් වසරක පෘථිවිය මේ පථයේ දිගු අන්තයේ සිටින විට ඉර හා කෙළින් ඉතා දුරින් යම් නක්ෂත්‍ර තාරකාවක් තිබුණේයැයි සිතමු. නක්ෂත්‍ර වසරක් ගත වූ බව අප සලකන්නේ පොළොව නැවතත් හරියටම මේ මුලින් ඉර හා කෙළින් තිබුණු නක්ෂත්‍ර තාරකාව එල්ලයට පැමිණි විටය. එහෙත්, පොළොව වටයක් ගොස් එතැනට එන අතර පොළොවේ ගමන් මාර්ගයද වෙනස් වී ඉලිප්සයේ දිගු අන්තය තරමක් ඉදිරියට ගොස් ඇති නිසා, නක්ෂත්‍ර වසරක් සම්පූර්ණ වෙද්දී ඇනෝමලිස්ටික් වසරක් සම්පූර්ණ නොවේ. ඒ සඳහා පොළොව තවත් ඉදිරියට ගමන් කළ යුතුය. මෙසේ ඉදිරියට ගමන් කළ යුතු අමතර කාලය අවුරුද්දක කාලයෙන් 112,000කින් කොටසක් හෙවත් මිනිත්තු 4කුත් තත්පර 42ක් පමණ වේ.

ඉහත හේතුව නිසා පෘථිවිය ඉර වටා ගමන් කරන පථයේ කිසියම් තැනක සිට ඉර වටා වටයක් ගමන් කර සිටි තැනට පැමිණීමට ගතවන කාලය හෙවත් ඇනෝමලිස්ටික් වසරක කාලය, පොළොවට ඈතින් පිහිටි නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව ඉර වටා වටයක් යාමට ගතවන කාලය වන නක්ෂත්‍ර වසරක කාලයට වඩා මිනිත්තු 4කුත් තත්පර 42කින් වැඩිය.

අප දැනට භාවිතා කරන ජනප්‍රිය දිනදසුන වන ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට පාදක වී ඇත්තේ පොළොවට ඉර වටා වටයක් යාමට ගතවන කාලය මනින මිනුම් දෙකක් වන නක්ෂත්‍ර වසර හෝ ඇනෝමලිස්ටික් වසර යන දෙකෙන් එකක්වත් නොවේ. පොළොවේ සෘතු වෙනස්වීම් සමඟ වඩා හොඳින් ගැලපෙන නිවර්තන වසරයි. නක්ෂත්‍ර වසරකට වඩා මිනිත්තු 20කින් පමණත්, ඇනෝමලිස්ටික් වසරකට වඩා
මිනිත්තු 25කින් පමණත් කෙටි නිවර්තන වසර ගැන ඉදිරි කොටසකින් කතා කරමු.

(Images: Wikipedia, http://www.ces.fau.edu, http://www.thesuntoday.org/solar-facts/happy-aphelion-2015/) 

Monday, March 20, 2017

සුරලොව ඔරලෝසුව


දෙවුලොව කාලය ගැනත්, දෙවියන්ගේ ආයුෂ ගැනත් ප්‍රවාද අපට බොහෝ තැන් වලින් අසන්නට ලැබී තිබේ. මේ බොහෝ ප්‍රවාද අනුව, දෙවුලොව කාලය ගෙවෙන්නේ මිනිස් ලොවට වඩා බොහෝ සෙමිනි.

අනෙක් තැන් වල කෙසේ වෙතත්, සූර්ය සිද්ධාන්තයේනම් සුරයන්ගේ හා අසුරයන්ගේ කාලය ගැන පැහැදිලි, පිළිගත හැකි ප්‍රවාදයක් ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රවාදය අනුව, සුරයන්ගේ හා අසුරයන්ගේ දවසක් මිනිසුන්ගේ වසරකි. ඔවුන්ගේ රැයක් හෝ දවාලක් ගෙවෙන විට මිනිස් ලොව මාස හයක් ගෙවී අවසන්ය.

එසේනම්, සුරයන්ගේ හා අසුරයන්ගේ ඔරලෝසු කැරකෙන්නේ මිනිසුන්ගේ ඔරලෝසු වලට වඩා 365 ගුණයක් හෙමින්ද?

සුරයන්ගේ හා අසුරයන්ගේ දවසක දිග සමාන වුවත් ඔවුන් දෙපිරිසට කාලය ගෙවෙන්නේ එකම අයුරින් නොවේ. සුරයන්ට ඉර උදාවන විට අසුරයන්ට ඉර බසී. අසුරයන්ට ඉර උදාවන විට සුරයන්ට ඉර බසී. සුරයන්ගේ දවාල අසුරයන්ගේ රැයයි. අසුරයන්ගේ දවාල සුරයන්ගේ රැයයි. සුරයන්ගේ මධ්‍යහ්නය අසුරයන්ගේ මැදියම් රැයයි. අසුරයන්ගේ මධ්‍යහ්නය සුරයන්ගේ මැදියම් රැයයි.

කාලය පිළිබඳ සූර්ය සිද්ධාන්ත ප්‍රවාදය තේරුම් ගන්නටනම් සූර්ය සිද්ධාන්ත කතුවරයා දැන සිටි ලෝකය ගැන මුලින්ම තේරුම් ගත යුතුය.

සූර්ය සිද්ධාන්ත ලෝකයේ මධ්‍යය ලෙස සැලකුණේ ලංකාවයි. සමකය මත පිහිටි ලංකාව සූර්ය සිද්ධාන්ත කතුවරයාට හොඳින් හුරුපුරුදු උදේනි, රෝහිතක හා කුරුක්ෂේත්‍ර යන නගරවලට හරි කෙළින් දකුණේ පිහිටියේය. ලංකාවේ සිට ඉහත නගර හරහා අඳින සෘජු රේඛාවක් දිගේ උතුරට යන විට මහාමේරුව (උත්තර ධ්‍රැවය) පිහිටියේය. පොළොවේ මහාමේරුවට ප්‍රතිවිරුද්ධ පැත්තේ වඩවානාලය (දක්ෂිණ ධ්‍රැවය) පිහිටියේය.

සමකය මත ලංකාවට ප්‍රතිවිරුද්ධ පැත්තේ වූයේ සිද්ධපුරයයි. ලංකාවට බටහිරින්, සමකය මත, ලංකාවට හා සිද්ධපුරයට සමදුරින් රෝමකපට්ටනයද, රෝමකපට්ටනයට ප්‍රතිවිරුද්ධ පැත්තේ යමකෝටියද පිහිටියේය. මහාමේරුව සුරයන්ගේ වාසභවන වූ අතර, වඩවානාලය දෛත්‍ය නම් වූ අසුරයන්ගේ වාසභවනය විය.

ලංකාවට ඉර පායන විට, යමකෝටියට ඉර මුදුන් වූ අතර සිද්ධපුරයේ ඉර බසින වෙලාවද, රෝමකපට්ටනයේ මැදියම් රැයද විය.

ප්‍රවාහනය ඉතා නොදියුණු මට්ටමක තිබුණු, සූර්ය සිද්ධාන්තය ලියැවුණු යුගයේදී කිසියම් රටක ජීවත්වූ විද්‍යාර්ථිකුට භූගෝල විද්‍යා දැනුම ලබා ගත හැකිවූයේ දේශ සංචාරයේ යෙදුණු නාවිකයින් ලබා ගන්නා හෝ නාවිකයින්ගෙන් තොරතුරු ලබාගත් වෙනත් අයගෙන් ලබා ගන්නා තොරතුරු මත පදනම්වය. උදේනි නුවර ආසන්නයේ ජීවත් වූ විද්‍යාර්ථිකුට හිමාල කඳු පන්තියට දකුණින් හා ලංකාවට උතුරින් වත්මන් ඉන්දියානු උපමහාද්වීපයට අයත් බිම් පෙදෙස් වල පිහිටීම ගැන සාපේක්ෂව තරමක් නිවැරදි තොරතුරු ලැබෙන්නට ඇති අතර, බටහිරින් පිහිටි රෝමකපට්ටනය වැනි ඈතින් පිහිටි නගර ගැනද යම් දැනුමක් ලබා ගන්නට හැකිවන්නට ඇත.

එහෙත්, පොළොවේ උතුරු හා දකුණු ධ්‍රැව වල හෝ ප්‍රතිවිරුද්ධ පැත්තේ (වත්මන් ඇමරිකානු මහාද්වීපයේ) පිහිටි පෙදෙස් ගැන එවැනි දැනුමක් ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නට ඉඩක් නැත. මේ පෙදෙස් ගැන සූර්ය සිද්ධාන්තයේ සඳහන් භූගෝලීය තොරතුරු නිවැරදි නොවන්නේ එබැවිනි.

කෙසේ වුවත්, අහසේ ලෝකය නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වන්නේ ඉවසීම හා තියුණු ඇසක් පමණි. ඒ සඳහා දේශාටනයේ යෙදෙන්නට අවශ්‍ය නොවේ. මේ නිරීක්ෂණ හා ගණිත දැනුම භාවිතා කරමින් පොළොවේ උතුරු හා දකුණු ධ්‍රැව ආසන්නයේ දිවා රෑ මාරු වන්නේ සමකයේ දින වලින් සමසකට වරක් බව අවබෝධ කරගන්නට සූර්ය සිද්ධාන්ත කතුවරයාට හැකි වී තිබේ. සුරයන්ගේ හා අසුරයන්ගේ දිවා කාලයක් හා රාත්‍රී කාලයක් ගෙවෙන්නට මිනිස් වසරක් ගෙවෙන බව ඔහු කියන්නේ එබැවිනි.

Sunday, March 19, 2017

අහසේ රිද්මය හා පොළොවේ රිද්මය


හෙට දිනය (මාර්තු 20) අහසේ ලෝකයටත්, පොළොවේ ලෝකයටත් සුවිශේෂී දවසකි. හෙට දින ලෝකයේ උත්තරාර්ධගෝලයේ බොහෝ තැන් වල වසන්ත විෂුවය සිදුවෙද්දී, දක්ෂිණාර්ධගෝලයේ බොහෝ තැන්වල හේමන්ත විෂුවය සිදුවේ. සමකය ආසන්නයේ පිහිටි රටවලට මෙන්ම සමකයෙන් ඈත්ව, සමකය දෙපැත්තේම පිහිටි රටවලටද මේ දවස් වල ගෙවෙන්නේ ආසන්න වශයෙන් සමාන දිවා හා රෑ කාලයන්ය.

දෙසැම්බර් 21 දින සිට ජූනි 21 දින දක්වා උත්තරායනයෙහි යෙදෙන හිරු මේ වන විට සිය ගමනින් අඩක් නිමවා තිබේ. සූර්ය උත්තරායනයේ දෙවන අර්ධය තුළ ලෝකයේ උතුරු අර්ධ ගෝලයේ රටවල දිවාකාලය ක්‍රමයෙන් දිගුවෙමින් රාත්‍රී කාලය කෙටි වෙද්දී, දකුණු අර්ධ ගෝලයේ රටවල එහි අනිත් පැත්ත සිදුවේ. උතුරු අර්ධ ගෝලයේ රටවල් ක්‍රමයෙන් උණුසුම් වෙද්දී දකුණු අර්ධ ගෝලයේ රටවල් ක්‍රමයෙන් ශීතල වේ. උතුරේ රටවල වසන්තය උදාවී තුරු ලතා දළු හා මලින් කෝටු සිරුරු වසා ගනිද්දී,  දකුණේ රටවල තුරු ලතා සිය පත් හලා දමමින් නිරුවත් වෙන්නට පටන් ගනී.

ලංකාව වැනි සමකය ආසන්න රටක වෙසෙන්නෙකුට සෘතු විපර්යාස එතරම් ලොකුවට නොදැනේ. එහෙත්, ලංකාව වැනි රටකින් කිසිදා බැහැර නොවී සිය ජීවිත කාලයම ගෙවා ඇති අයෙකුට වුවත් වාර්ෂික රටාවකට සිදුවන වර්ෂා හා වියලි කාලගුණයන් හොඳින් පුරුදුය. මේ පොළොවේ රිද්මයයි.

මේ පොළොවේ රිද්මය සමඟ සම්පාත වන අහසේ රිද්මයක්ද තිබේ. ඒ අහසේ රිද්මය, විවිධ, වෙනස් ආකෘති හරහා තේරුම් ගන්නට පුළුවන. සහස්වස් ගණනක් බොහෝ දෙනෙක් මේ රිද්මය තේරුම් ගත්තේ පෘථිවි කේන්ද්‍ර ආකෘතියක් යොදා ගනිමිනි. සියවස් කිහිපයකට පෙර මේ පෘථිවි කේන්ද්‍ර ආකෘතිය විස්ථාපනය කරමින් සූර්ය කේන්ද්‍ර ආකෘතියක් ජනප්‍රිය ආකෘතිය ලෙස මතු විය. සූර්යයාගේත්, අනෙකුත් ග්‍රහයන්ගේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය කේන්ද්‍ර කරගත් ආකෘතියක් මේ වන විට ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එහෙත්, තවමත් වැඩි දෙනෙකු පිළිගන්නට කැමති සූර්ය කේන්ද්‍ර ආකෘතියයි. තවත් කලකදී, වෙනස්ම ආකෘතියකින් අද අප යොදාගන්නා සියළු ආකෘති විස්ථාපනය වී යන්නට පුළුවන.

අනාගත ආකෘතියක පදනම වෙනස්ම එකක් විය හැකි වුවත්, දැනට මිනිසුන් අතර වඩාම ජනප්‍රියව ඇති හා පැවතී ඇති සූර්ය කේන්ද්‍ර ආකෘතියේ මෙන්ම පෘථිවි කේන්ද්‍ර ආකෘතියේත් පදනම සාපේක්ෂ චලිතයයි. සූර්ය කේන්ද්‍ර ආකෘතියෙහි සූර්යයා නිසලව ඇති ලෙස සලකමින් සූර්යයාට සාපේක්ෂවද, පෘථිවි කේන්ද්‍ර ආකෘතියෙහි පෘථිවිය නිසලව ඇති ලෙස සලකමින් පෘථිවියට සාපේක්ෂවද, අනෙකුත් ආකාශ වස්තුන්ගේ පිහිටීම් විස්තර කෙරේ.

පෘථිවි කේන්ද්‍ර ආකෘතිය අනුව,
-සූර්යයා පොළොව වටා කැරකේ.
-ඈතින් පිහිටි නක්ෂත්‍ර තාරකා සූර්යයාට වඩා මඳක් වැඩි වේගයකින් පොළොව වටා කැරකේ.
-හඳ පොළොව වටා කැරකේ.
-බුධ හා සිකුරු වරෙක සූර්යයාගෙන් ඈත් වෙමින් හා වරෙක ලං වෙමින් සූර්යයා සමඟ පොළොව වටා කැරකේ.
-අඟහරු, බෘහස්පති, සෙනසුරු ඇතුළු අනෙකුත් ග්‍රහයෝ සූර්යයාගෙන් ස්වායත්තව පොළොව වටා කැරකේ.

සූර්ය කේන්ද්‍ර ආකෘතිය අනුව,
-පොළොව සිය අක්ෂය වටා කැරකේ.
-පොළොව සූර්යයා වටා කැරකේ.
-හඳ පොළොව වටා කැරකේ.
-බුධ හා සිකුරු පොළොවට වඩා සූර්යයාට කිට්ටුවෙන් සූර්යයා වටා කැරකේ.
-අඟහරු, බෘහස්පති, සෙනසුරු ඇතුළු අනෙකුත් ග්‍රහයෝ පොළොවට වඩා සූර්යයාට ඈතින් සූර්යයා වටා කැරකේ.

මේ ආකෘති දෙකෙන් ඕනෑම එකක් යොදාගනිමින් දිවා රෑ ඇතිවීම, "දවස" යන සංකල්පය මෙන්ම "වර්ෂය" යන සංකල්පයද (යම් වෙනස්කම් සහිතව) පැහැදිලි කළ හැකිය. ඊට අමතරව පොළොවේ රිද්මය, පොළොවේ සෘතු විපර්යාස සිදුවන රටාව, හඳුනා ගැනීමට හා පැහැදිලි කිරීමටම මේ ආකෘති දෙකෙන් ඕනෑම එකක් යොදාගත හැකිය.


අප යොදාගන්නේ පෘථිවි කේන්ද්‍ර ආකෘතිය වුවත්, සූර්ය කේන්ද්‍ර ආකෘතිය වුවත්, "දවස" හා "වර්ෂය" යන සංකල්ප පැහැදිලි කිරීමට සරල ද්විමාන ආකෘතියක් යොදාගත හැකිය. එහෙත්, දවසේ දිවා රෑ පැය ගණන් වෙනස් වීම හා සෘතු විපර්යාස පැහැදිලි කිරීමට ද්විමාන ආකෘතියක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා, ත්‍රිමාන ආකෘතියක් යොදාගන්නට සිදුවේ.


සූර්ය කේන්ද්‍ර ආකෘතියෙන් මෙය පැහැදිලි කරන්නේ ඉර වටා පොළොව කැරකෙන තලයත්, පොළොව සිය අක්ෂය වටා කැරකෙන තලයත් අතර ඇති ආනතිය ඇසුරෙනි. පොළොව ඉර වටා ගමන් කරන (ආකෘතිය අනුව) තලයට හරියටම ලම්බකව පොළොව තමන් වටා භ්‍රමණය වන අක්ෂය පැවතියේනම් පොළොවේ ඕනෑම තැනක, වසරේ ඕනෑම දිනක දිවා රෑ පැය ගණන් සමානව පැවතිය හැකිව තිබුණි. එහෙත්, එය එසේ නොවන බැවින් වසරේ විවිධ කාල වල පොළොවේ විවිධ තැන් වලට ඉර එළිය ලැබෙන පැය ගණන වෙනස් වේ.



සමකය ආසන්න පෙදෙස් වල වසර පුරාම ආසන්න ලෙස සමාන දිවා හා රෑ කාල පවතී. එහෙත්, සමකයෙන් ඈත් වෙද්දී මේ තත්ත්වය වෙනස් වේ. උත්තරාර්ධගෝලයේ රටවල දිවා කාලය දෙසැම්බර් 21 සිට ජූනි 21 දක්වා කාලය තුළ ක්‍රමයෙන් දිගුවේ. රාත්‍රී කාලය ඒ අනුරූපව කෙටි වේ. උත්තර ධ්‍රැවයට ආසන්නවම පිහිටි ආක්ටික් වලයට අයත් වන පෙදෙස් වලට මේ මාස හයම එක් දිගු දිවා කාලයකි. දක්ෂිණ ධ්‍රැවය ආසන්න පෙදෙස් වලට මාස හයක දීර්ඝ රාත්‍රියකි. මේ කාලය තුළ දක්ෂිණාර්ධගෝලයේ රටවල රෑ කල දිගු වේ. දිවා කල කෙටි වේ. දක්ෂිණ ධ්‍රැවය ආසන්න පෙදෙස් වලට මේ කාලය මාස හයක දීර්ඝ රාත්‍රියකි.

ඉතිරි වර්ෂාර්ධය තුළ මෙහි විලෝමය සිදුවේ. ඒ මාස හය තුළ, උත්තර ධ්‍රැවය ආසන්න පෙදෙස් වල මාස හයක දිගු රාත්‍රියකි. දක්ෂිණ ධ්‍රැවය ආසන්න පෙදෙස් වල මාස හයක දිගු දවාලකි. දිගු දිවා කල් සමඟ දක්ෂිණ අර්ධගෝලයේ රටවල් රත් වෙද්දී, උතුරු අර්ධ ගෝලයේ රටවල රාත්‍රිය දිගු වී කාලගුණය සිසිල් වේ.

ඉහත සංසිද්ධිය පෘථිවි කේන්ද්‍රීය ආකෘතියෙන්ද, වෙනස් ලෙසකින්, එහෙත් නිවැරදිව විස්තර කෙරුණේය.  පෘථිවි කේන්ද්‍රීය ද්විමාන ආකෘතියක ඉර, හඳ හා තාරකා පොළොව වටා යන්නේ නැගෙනහිර, ඉහළ, බටහිර, පහළ දිශා සම්බන්ධ කෙරෙන තලයකය. සෘතු විපර්යාස පැහැදිලි කිරීමට මේ තලයට ලම්බකව ඇති උතුරු දකුණු අක්ෂයද ආකෘතියට එකතු කර එය ත්‍රිමාන ආකෘතියක් ලෙස පුළුල් කළ යුතුය. මේ ආකෘතිය අනුව, ඉර පොළොව වටා නැගෙනහිර, ඉහළ, බටහිර, පහළ ලෙස කැරකෙන අතරම උතුරු දකුණු අක්ෂයේද චලනය වේ. මෙය හරියටම මාරක ලිඳක මෝටර් සයිකලයක් පදවන්නෙකු ලිඳේ බිත්තිය වටේ රවුමට ගමන් කරන අතරම ඉහළට හෝ පහළටද ගමන් කර ආකාරයට සමානය.

පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව, මේෂරවි හා තුලාරවි මාස වල ආරම්භයේදී ඉර පොළොව වටා කැරකෙන්නේ සමකයට ආසන්නවය. සූර්ය කැලැන්ඩරය අනුව, මාස නම් කෙරෙන්නේ මේෂරවි, වෘෂභරවි ආදී වශයෙන් අදාළ මාසය තුළ ඉර උදාවන විට නැගෙනහිර ක්ෂිතිජය එල්ලේ පැවති තාරකා රාශිය අනුවය. මේෂරවි මාසයේ සිට මාස තුනක් ඉර (පොළොව වටා කැරකෙන අතරම) පොළොවේ උතුරු දෙසට ගමන් කරයි. මාස තුනකට පසු, කටකරවි මාසය ඇරඹෙන විට ඉර පොළොව වටා කැරකෙන්නේ සමකයට උතුරෙන් පිහිටි කටක නිවර්තනය (Tropic of Cancer) හරහාය.

කටකරවි මාසයේදී ඉර සිය උතුරු ගමන හෙවත් උත්තරායනය අවසන් කර දකුණු ගමන හෙවත් දක්ෂිණායානය අරඹයි. තවත් මාස තුනකට පසු තුලාරවි මාසය ඇරඹෙන විට ඉර නැවතත් පොළොව වටා කැරකෙන්නේ සමකය වටාය.

එතැන් සිට මකරරවි මාසයේ ආරම්භය තෙක් ගතවන මාස තුන තුළ ඉර තවත් දකුණට ගොස් අවසානයේදී මකර නිවර්තනය
(Tropic of Capricorn) හරහා පොළොව වටා කැරකේ. ඉන්පසු නැවතත් උත්තරායනය අරඹයි.

ඉර පොළොව වටා කැරකෙන්නේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි සමකය හා කටක නිවර්තනය අතර අක්ෂාංශයක් හරහානම් උතුරු අර්ධගෝලයේ රටවල දිවාකාලය රාත්‍රී කාලයට වඩා දිගුය. ඉර පොළොව වටා කැරකෙන්නේ දකුණු අර්ධ ගෝලයේ පිහිටි සමකය හා මකර නිවර්තනය අතර අක්ෂාංශයක් හරහානම් දකුණු අර්ධගෝලයේ රටවල දිවාකාලය රාත්‍රී කාලයට වඩා දිගුය.


පෘථිවි කේන්ද්‍රීය පැරණි ආකෘතිය හා සූර්ය කේන්ද්‍රීය අළුත් ආකෘතිය වෙනස් වන එක් තැනක් තිබේ. සූර්ය කේන්ද්‍ර ආකෘතිය හා ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව, දැනට උත්තරාර්ධගෝලයේ වසන්ත විෂුවය, ගිම්හාන සූර්ය නිවෘත්තිය, හේමන්ත විෂුවය හා ශිශිර සූර්ය නිවෘත්තිය සිදුවන්නේ පිළිවෙලින් මාර්තු 20, ජූනි 21, සැප්තැම්බර් 22, දෙසැම්බර් 21 ආසන්න දින වලය. එහෙත්, ලංකාව ඇතුළු ඇතැම් පෙරදිග රටවල භාවිතා කෙරෙන පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව මේ සිදුවීම් වලට අනුරූප මේෂ සංක්‍රාන්තිය, කටක සංක්‍රාන්තිය, තුලා සංක්‍රාන්තිය හා මකර සංක්‍රාන්තිය මේ කාලයේ සිදුවන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අප්‍රේල් 14, ජූලි 16, ඔක්තෝබර් 17 හා ජනවාරි 14 ආසන්නව දින 25කට පමණ පසුවය. ඒ ගැන අපි වෙනත් ලිපියකින් කතා කරමු.

(Image: http://scijinks.gov/solstice/, http://www.bolton.govoffice.com)

Saturday, March 18, 2017

අහසේ ලෝකය හා පොළොවේ ලෝකය

මිනිසුන් වන අපේ ලෝක දැක්ම සකස් වන්නේ අපේ දැනුමට සාපේක්ෂවය. අපේ දැනුම අපට ලැබෙන්නේ මූලිකවම අපේ ඉන්ද්‍රියයන් විසින් අපේ මොළයට ලබා දෙන සංඥාවන් හා අපේ මතකයේ තැන්පත්ව ඇති "පැරණි දැනුම" පාදක කරගෙන  අපට අළුතෙන් ලැබෙන සංඥා විශ්ලේෂණය කරමින් අපේ පැරණි දැනුම යාවත්කාලීන කිරීම යන ක්‍රියාවලිය හරහාය.

මිනිස් සත්ත්වයාට ඉන්ද්‍රියයන් කිහිපයක්ම තිබුණත් බොහොමයක් මිනිසුන්ට මේ ඉන්ද්‍රිය අතරින් ප්‍රධානම ඉන්ද්‍රිය වන්නේ පෙනීම හා අදාළ ඉන්ද්‍රිය පද්ධතියයි. අපේ ඇස් අප රවටන බව අප සිතන්නේ කලාතුරකිනි. අපේ අනෙකුත් ඉන්ද්‍රියයන් ගැන අප විශ්වාසය තබන්නේ ඊට වඩා අඩුවෙනි.

පෙනීම හා අදාළ ඉන්ද්‍රිය පද්ධතියෙන් පසුව දෙවන තැන ගන්නේ ස්පර්ශය හා අදාළ ඉන්ද්‍රිය පද්ධතියයි. මිනිසාගේ ලෝක දැක්ම සකස් කිරීමට ස්පර්ශය හා අදාළ ඉන්ද්‍රිය පද්ධතියද විශාල දායකත්වයක් ලබා දේ. පෙනෙන බොහෝ දේ ස්පර්ශ කර බැලීමට අපට සහජ (පරිණාමීය) ආශාවක් තිබේ.

භෞතික මිනිස් සිරුර තුළින් "පුද්ගලයෙකු" බිහිවීමේ ක්‍රියාවලියේ මූලික අදියරක් වන්නේ පෙනීම ලබා දෙන සංඥාවන් හා ස්පර්ශය (සිරුරු අවයව චලනය) හා අදාළ සංඥාවන් සම්බන්ධීකරණය කරගැනීමට (hand-eye coordination) මොළය පුහුණු කිරීමයි. මේ සංඥාවන් දෙක හොඳින් සම්බන්ධීකරණය කරගැනීමට සාපේක්ෂව ඉතිරි ඉන්ද්‍රිය පද්ධතීන් වෙතින් ලබා දෙන සංඥාවන් සම්බන්ධීකරණය කර ගැනීම අපට අපහසු නැත. නැත්නම් එතරම් වැදගත් නැත.

මගේ ඇඟිලි යතුරු පුවරුවේ කිසියම් අකුරක් ස්පර්ශ කරන මොහොතේ එහි ඇත්තේ මා ඒ මොහොතේ දකින අකුරම නොවේනම් මා අපහසුතාවයට පත්වන නමුත් රූපවාහිනියේ පෙන්වන ටෙලි නාට්‍යයක රූප හා හඬ අතර සුළු එහෙත් හඳුනාගත හැකි තරමේ පරතරයක් තිබීම එතරම්ම ප්‍රශ්නයක් නොවේ. අකුණක් දකින්නට පෙර අකුණු හඬ ඇසීම කොහෙත්ම ප්‍රශ්නයක් නොවේ. ඒ දෙක සම්බන්ධීකරගෙන එක් සිදුවීමක් ලෙස ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අපේ පරිණාමීය ක්‍රියාවලිය තුළ අපි පුහුණු වී නොසිටිමු.

වසර දහස් ගණනකට පෙර සිට මිනිසුන් දුටු ලෝකයේ ප්‍රධාන කොටස් දෙකක් තිබුණේය. ඒ අහසේ ලෝකය හා පොළොවේ ලෝකයයි. අහසේ ලෝකයේ ඇති දේ දැකිය හැකිය. එහෙත් ස්පර්ශ කළ නොහැකිය. පොළොවේ ලෝකයේ ඇති දේ දකිනවාට අමතරව ස්පර්ශ කර අවබෝධ කර ගැනීමටද පුළුවන.

අපේ ශරීර අවයව, අපට අයත් භාණ්ඩ, වෙනත් මිනිසුන් හා සතුන්, අප අවට පරිසරය ආදිය අයත් වුණේ පොළොවේ ලෝකයටය. ඉර, හඳ, තාරකා ආදිය අයත් වුණේ අහසේ ලෝකයටය. ඔලිම්පස් හෝ හිමාල කඳු පන්ති වැනි වලාකුළු වලට උඩින් පෙනුණු, මිනිසාට ළඟා වීම පහසු නොවූ කඳු පංති අයත් වුණේද අහසේ ලෝකයටය. මේ දෙක අතරමැද වූ, අහසේ ලෝකයට හා පොළොවේ ලෝකයට හවුලේ අයත් වුණු සීනායි හා ශ්‍රීපාද කඳු වැනි එතරම්ම උස් නොවූ කඳුද නොතිබුණා නොවේ.

අහසේ ලෝකයේ රිද්මයක් තිබුණේය. රටාවක් තිබුණේය. ඉතා පැහැදිලි පිළිවෙලක් තිබුණේය. මේ රිද්මය, රටාව හෝ පිළිවෙළ මිනිස් ජීවිත කාලයක් තුළ හෝ මිනිස් ජීවිත කාල සියගණනක් තුළ වුවද පැහැදිලිව පෙනෙන අයුරින් වෙනස් වුණේ නැත. අද අප දකින අහස වසර දසදහසකට පෙර අපේ මුතුන් මිත්තන් දුටු අහසට වඩා විශාල ලෙස වෙනස් නැත.

පොළොවේ ලෝකයේත් රිද්මයක් තිබුණේය. රටාවක් තිබුණේය. එහෙත් ඒ රිද්මය අහසේ ලෝකයේ තරම් පැහැදිලි රිද්මයක් නොවීය. අහසේ ලෝකයේ රිද්මය මෙන් නොව, පොළොවේ ලෝකයේ රිද්මය මුළුමනින්ම නොවූවත් මිනිසුන්ට ටිකෙන් ටික වෙනස් කරන්නට පුළුවන් විය. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අද අප දකින පොළොවේ ලෝකය වසර දහසකට, දෙදහසකට හෝ පන්දහසකට පෙර අපේ මුතුන් මිත්තන් දුටු පොළොවේ ලෝකයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ.

පොළොවේ ලෝකය මිනිසාට ස්පර්ශ කළ හැකි වුවත්, පාලනය කළ හැකි වුවත් එය මුළුමනින්ම සිය අණසකට යටත් කරගැනීමට ඔවුන්ට නුපුළුවන් විය. අහසේ ලෝකයට පොළොවේ ලෝකය මත විශාල බලපෑමක් කළ හැකි විය. පොළොවේ ලෝකයට ආලෝකය ලැබුනේ අහසේ ලෝකයේ වූ ඉරෙනි. ඉර නැති විට ආලෝකයද නොවීය. අහසේ ලෝකයට අයත් වූ ඉර ස්පර්ශ කිරීමට හෝ පාලනය කිරීමට පොළොවේ ලෝකයේ සිටි මිනිසුන්ට නොහැකි විය. පොළොවේ ලෝකයේ කලින් කලට රටාවකට මෙන් ආ වැසි, ගං වතුර, නියඟ ආදියද පොළොවේ ලෝකයේ විසූ මිනිසුන්ට පාලනය කළ නොහැකි විය.

අහසේ ලෝකය පාලනය කළ නොහැකි වුවත් අහසේ ලෝකය තේරුම්ගත් මිනිසුන්ට අහසේ ලෝකයේ සිදුවන දේ පුරෝකථනය කරන්නට පුළුවන් විය. ඉර නොපෙනෙන රාත්‍රී කාලයේ ඉර තිබෙන තැන පොළොවේ ලෝකයේ මිනිසුන්ට නොපෙනුණේය. එහෙත්,  ඒ ගැන ප්‍රවාද ගොඩ නැඟූ මිනිසුන්ට එය ඇති තැන ගණනය කරන්නටත්, ඒ අනුව පසුදින නැවත ඉර දකින්නට ලැබෙන මොහොත නිවැරදිව කියන්නටත් හැකි විය.

ඉර, හඳ, තාරකා අහසේ පෙනෙන විටත්, නොපෙනෙන විටත් ඒවා අහසේ ඇති තැන කියන්නට මෙන්ම "අනාගතයේ" ඒවා දකින්නට ලැබෙනු ඇති තැන් හා වේලාවල් හරියටම කියන්නට හැකි වීම මිනිස් දැනුමේ සුවිශේෂී සන්ධිස්ථානයකි. මේ දැනුම හරහා මිනිසුන්ට අනාගතය දකින්නට හැකිවිය. ඒ අතරම, මේ දැනුම සමාජයක සියළු දෙනාගේම පොදු දැනුමක් නොවූ නිසා අහසේ ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි සුවිශේෂී පිරිසක් පොළොවේ ලෝකයේ මිනිසුන් අතරින් බිහිවිය.

පොළොවේ ලෝකයේ පැවති ඇතැම් රටාවන් පුරෝකථනය කිරීම එතරම්ම පහසු නොවීය. එහෙත්, පොළොවේ ලෝකයට වැසි, ගංවතුර හා නියඟ ආදිය ඇතිවන රටාව අවබෝධ කරගැනීමේ වටිනාකම ඉතා විශාල විය. පොළොවේ ලෝකයේ දිගුකාලීන නිරීක්ෂණ අනුව පෙනී ගියේ පොළොවේ රිද්මයත් අහසේ රිද්මයත් අතර සමානකම් ඇති බවයි. පොළොවේ ලෝකයේ කාලගුණ රටා අහසේ ලෝකයේ චලන රටා සමඟ කිසියම් අයුරකින් සම්බන්ධ විය.

අහසේ ලෝකය හා පොළොවේ ලෝකය අතර සම්බන්ධතා අවබෝධ කරගැනීමෙන් පසු අහසේ ලෝකය ගැන හදාරන්නට මිනිසාට වූ උනන්දුව තවත් වැඩි විය. ඒ, අහසේ ලෝකය තේරුම් ගැනීමෙන් පොළොවේ ලෝකය තේරුම් ගැනීමටද, පොළොවේ ලෝකයේ අනාගතය දැකීමටද හැකි වීමයි.

අහසේ ලෝකයත් පොළොවේ ලෝකයත් අතර පැවති ඇතැම් සම්බන්ධතා ඇත්තටම හේතුඵල සම්බන්ධතා (causal relationships) වුවත්, හැම සම්බන්ධතාවක්ම එවැනි එකක් නොවීය. ඇතැම් සම්බන්ධතා හේතුඵල සම්බන්ධතා නොවූ  සහසම්බන්ධතා (associations) පමණක් විය. ඒ නිසා, මේ දෙවන වර්ගයේ සම්බන්ධතා පාදක කරගත් පුරෝකථන පළමු වර්ගයේ ඒවා මෙන් ටක්කෙටම හරි ගියේ නැත.

අහසේ අනාගතය "සිදුවිය යුතු පරිදි" හැමවිටම ගලාගියත්, පොළොවේ අනාගතය හැමවිටම "සිදුවිය යුතු පරිදි" සිදු වුණේ නැත.  උදාහරණයක් ලෙස තරු රටා අනුව වැස්ස ලැබිය යුතු අවස්ථා බොහොමයකදීම පොළොවේ ලෝකයට වැස්ස ලැබුණේය. එහෙත් හැම අවස්ථාවකදීම එය එසේ වුණේ නැත. මෙය මිනිසුන් තේරුම් ගත්තේ පොළොවේ ලෝකයේ කිසියම් වරදකින් සිදුවන දෙයක් ලෙසිනි.

පොළොවේ ලෝකයේ ඇතැම් වැරදි වලට පොළොවේ ලෝකයේ දඬුවම් ලැබුණේය. ඒ දඬුවම් දීමට පොළොවේ ලෝකයේ දඬුවම් දෙන්නෝ සිටියහ. පොළොවේ ලෝකයේදී, දඬුවම් දෙන්නා සතුටු කිරීමෙන් ඇතැම් විට දඬුවමින් මිදෙන්නට හැකි විය.

මිනිසා තමන් නොදන්නා දේ තේරුම් ගන්නේ තමන් දන්නා දේ ඇසුරිනි. දඬුවම් ලැබේනම් වරදක් වී තිබිය යුතු අතර, දඬුවම් දෙන්නෙක්ද සිටිය යුතුය. මේ දඬුවම් දෙන්නා පොළොවේ ලෝකයේ පෙනෙන්නට නැත්නම්, අහසේ ලෝකයේ සිටිනවා විය හැකිය. අහසේ ලෝකයේ සිටිනු ඇතැයි සිතිය හැකි මේ දඬුවම් දෙන්නා සතුටු කිරීමෙන් ඇතැම් විට දඬුවමින් මිදෙන්නට හැකි වන්නට පුළුවන.


(Image:http://webpage.pace.edu/nreagin/f2005ws267/amyching/stepmother.html)

Friday, March 17, 2017

කේන්ද්‍රය හා ග්‍රහයෝ


පෙර ලිපියෙන් අපි ලග්න ගැන කතා කළෙමු. රාශි නමින්ද හැඳින්වෙන ලග්න වලින් අදහස් වෙන්නේ පෘථිවියට පෙනෙන පරිදි අහසේ තැනින් තැන දැකිය හැකි තරු රාශීන්ය. ලංකාවේ භාවිතාවෙන ජ්‍යෝතිෂය අනුව කිසියම් පුද්ගලයකුගේ ජන්ම ලග්නය හෝ ජන්ම රාශිය ලෙස හැඳින්වෙන්නේ මේ තරු රාශී දොළොස අතරින්, ඔහු හෝ ඇය ඉපදෙන විට නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නවම පැවති තරු රාශිය හඳුනා ගන්නා නමයි. 

ලග්න ගැන කතා කරද්දී කේන්ද්‍ර හා ග්‍රහයින් ගැනද කතා නොකර සිටිය නොහැකිය. ජනකලා කේන්ද්‍රය, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ආදී විවිධ කේන්ද්‍ර ගැන අපි අසා ඇත්තෙමු. මේ තැන්වල කේන්ද්‍ර යන වචනය හැදෙන්නේ "සෙන්ටර් (center)" යන ඉංග්‍රීසි වචනයෙනි. ඒ වචනයේ තේරුම කිසියම් පද්ධතියක මධ්‍යය නැත්නම් "රෙෆරන්ස් පොයින්ට් එක" යන්නයි. ජ්‍යෝතිෂයේ කතා කරන කේන්ද්‍රය යන වචනයේ ඇත්තේද එම තේරුමමය.

ජ්‍යෝතිෂයේ කේන්ද්‍ර සටහන ලෙස පිළියෙළ කරන රූප සටහන යනු කිසියම් නිශ්චිත මොහොතක් හා ස්ථානයක් කේන්ද්‍ර කරගෙන එසේ නැත්නම් "රෙෆරන්ස් පොයින්ට් එක" කරගෙන පිළියෙළ කරන අහසේ සිතියමකි. මේ නිශ්චිත මොහොත හා තැන කිසියම් පුද්ගලයෙකු උපන් මොහොත හා තැන වූ විට අදාළ රූප සටහන එම පුද්ගලයාගේ ජන්ම කේන්ද්‍රය ලෙස හැඳින්වේ. රූප සටහනේ කේන්ද්‍රය ඔබ දැන් සිටිනා මොහොත හා තැන වූ විට එය තත්කාල කේන්ද්‍ර සටහන ලෙස හැඳින්වේ.

පොළොවට නිරීක්ෂණය වන පරිදි ඉර, හඳ හා රාශි තාරකා ඇතුළු තාරකා ගමන් කරනු පෙනෙන්නේ නැගෙනහිර ක්ෂිතිජය, හිස් මුදුන හා බටහිර ක්ෂිතිජය යන රටාවටය. අනෙකුත් ග්‍රහ වස්තූන් බොහෝ විට ගමන් කරනු පෙනෙන්නේත් මේ අයුරිනි. ආකාශ වස්තූන්ගේ චලනයේ මේ කොටස නැවත නැවත නිරීක්ෂණය කළ හැකි, ප්‍රත්‍යක්ෂ දැනුමකි. බටහිර ක්ෂිතිජයෙහි ගිලී නොපෙනී යන මේ පෙනෙන දේවල් නැවත නැගෙනහිර ක්ෂි
තිජයෙහි මතුවන තෙක් සිදුවන දෙය එසේ සෘජුව නිරීක්ෂණය කළ නොහැකි 'අබිරහසකි'.

බොහෝ කාලයක් මිනිසුන්ගේ කුතුහලය දැනවූ මේ අබිරහස විසඳීමට පැරණි තාරකා විද්‍යාඥයින් විසින් කළේ තමන්ට ප්‍රත්‍යක්ෂ නිරීක්ෂන අනුසාරයෙන් ප්‍රවාද ගොඩ නඟමින් නිගමනයන්ට එළැඹීමයි. ඉර, හඳ හා රාශි තාරකා නැගෙනහිරින් මතුවී, ආසන්න ලෙස පැය හයක පමණ කාලයක් ඉහළ නැඟ මුදුන් වී, තවත් පැය හයක කාලයක් තිස්සේ පහළට බැස බටහිරින් බැස යන ආකාරයෙන්ම, තමන්ට නිරීක්ෂණය කළ නොහැකි ඉතිරි පැය දොළොස තුළ පොළොවේ අනිත් පැත්තෙන් බටහිර සිට නැගෙනහිරට ගමන් කරනවා විය යුතු බව ඔවුහු නිගමනය කළෝය. මේ ප්‍රවාදය ග්‍රහ වස්තූන් නොපෙනෙන විටද අහසේ ඒවා ඇති තැන නිවැරදිව පුරෝකථනය කිරීමට ප්‍රමාණවත් ප්‍රවාදයක් විය. කේන්ද්‍ර සටහනේ ඇත්තේ මෙසේ සෘජු නිරීක්ෂණ මඟින් හෝ ප්‍රවාද මඟින් දැනගත් විවිධ ග්‍රහවස්තූන්ගේ පිහිටීම් ඇතුළත් සිතියමකි.

කේන්ද්‍ර සටහන් අඳින විවිධ ආකෘති ඇතත් ලංකාවේ වඩා ජනප්‍රිය ආකෘතිය පහත රූප සටහනේ ( රූප සටහන 1) ඇති ආකෘතියයි. ආකෘතිය මෙය වුවත්, වෙනකක් වුවත්, එහි කේන්ද්‍රය වටා පැතිරුණු ප්‍රධාන කොටස් 12කි. මේ කොටස් ඉහළින්ම (ඉහළ මැද) ඇති කොටුවෙන් (හෝ කොටසින්) පටන්ගෙන වාමාවර්තව (ඔරලෝසුවේ කටු කැරකෙන දිශාවට විරුද්ධ අතට) අනුපිළිවෙලින් නම් කෙරේ.




කේන්ද්‍ර සටහනක ඉහළ මැද ඇති පළමු කොටුවෙන් නැගෙනහිර ක්ෂිතිජයත්, පහළ මැද ඇති හත්වන කොටසින් බටහිර ක්ෂිතිජයත්, දකුණුපස මැද ඇති දහවන කොටුවෙන් අහසේ මුදුනත් අදහස් කෙරේ. හත්වන කොටුවේ සිට පළමු කොටුව දක්වා පිහිටීම් පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිවුවත් පළමු කොටුවේ සිට හත්වන කොටුව දක්වා පිහිටීම් සාමාන්‍යයෙන් එසේ නිරීක්ෂණය කළ නොහැකිය.

අප පෙර දැනගත් පරිදි, පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට සාපේක්ෂව, රාශි තාරකා දොළොස චලනය වන්නේ එකම පද්ධතියක් ලෙස මිස තනිතනිව නොවේ. ඒ නිසා මේ රාශි තාරකා (ලග්න) වල පිහිටීම කේන්ද්‍ර සටහනේ වෙනවෙනම
ලකුණු කිරීම අවශ්‍ය නැත. එක් රාශියක පිහිටීම සලකුණු කළ විට අනෙක් සියළු රාශි පිහිටා ඇති තැන් අපට පැහැදිලිය. ලංකාවේ භාවිතා කරන ජ්‍යෝතිෂයේ සම්මතයක් ලෙස මෙසේ කේන්ද්‍ර සටහනේ ලකුණු කරන්නේ පළමු කොටුවට අයත් තාරකා රාශියේ නමයි. මෙය මැද කොටුවේ (කේන්ද්‍රයේ) සටහන් කෙරේ. ජන්ම කේන්ද්‍රයක මැද, ලග්නය ලෙස සටහන් කර ඇත්තේ මෙයයි. මේ අනුව, ඉතිරි කොටු දොළහට අයත් රාශි පහසුවෙන් දැනගන්නට පුළුවන.

රාශි තාරකා ඇතුළු තාරකා එක් පද්ධතියක් ලෙස චලනය වුවත්, ඉර, හඳ හා අනෙකුත් ග්‍රහ වස්තූන්ට ඇත්තේ තාරකා වල චලිතයෙන් ස්වායත්ත චලිතයකි. ඒ නිසා, ඒවායේ පිහිටීම කේන්ද්‍ර සටහනක වෙනම ලකුණු කරන්නට සිදුවේ.

කේන්ද්‍ර සටහනක රවි ලෙස හෝ 'ර' අකුරෙන් සටහන් කෙරෙන්නේ ඉරේ පිහිටීමයි. උදෑසන හයට පමණ ඉපැදුණු අයෙකුගේ රවි පළමු කොටුවේත් (ලග්නයේ), මධ්‍යහ්නය ආසන්නයේ ඉපදුනු අයෙකුගේ රවී ග්‍රහයා
දහවන කොටුවේත්, හවස හයට පමණ උපන් අයෙකුගේ රවි ග්‍රහයා හත්වන කොටුවේත්, මැදියම් රැයේ ඉපදුණු කෙනෙකුගේ රවි ග්‍රහයා හතරවන කොටුවේත් සලකුණු කෙරේ. රසික වැනි උදේ දහයට පමණ ඉපදුණු කෙනෙකුගේ කේන්ද්‍රයේ රවි ග්‍රහයා සිටිය යුත්තේ එකොළොස්වන කොටුවේය.

මේ ආකාරයෙන්ම චන්ද්‍ර ලෙස හෝ 'ච' අකුරෙන් සඳුගේ පිහිටීමද ලකුණු කළ හැකිය. ඔබ දැන සිටිය යුතු පරිදි, අමාවක පෝය ඇතිවන්නේ ඉර හා හඳ පොළොවේ එකම පැත්තක පිහිටි විටය. ඒ නිසා, අමාවක පෝය ආසන්න දිනක ඉපදුණු කම්මල වැනි අයෙකුගේ කේන්ද්‍රයේ රවි සිටින කොටුවේම චන්ද්‍රයාත් සිටිය යුතුය. එමෙන්ම, පසළොස්වක පෝය දින ඉර හා හඳ පිහිටන්නේ පොළොව දෙපස නිසා පසළොස්වක පෝය ආසන්නයේ ඉපදෙන අයෙකුගේ චන්ද්‍රයා සිටිය යුත්තේ රවි සිටින කොටුවේ සිට හත්වන කොටුවේ රවිගෙන් ප්‍රතිවිරුද්ධ පැත්තේය. අටවක දිනක උපදින අයෙකුගේ චන්ද්‍රයා රවි සිටින කොටුවේ සිට හතරවන හෝ දහවන කොටුවක සිටිය යුතුය.

බුධ ග්‍රහයා ඉරට ආසන්නවම සිටින ග්‍රහයාය. ඒ නිසා පොළොවට පෙනෙන පරිදි බුධ ග්‍රහයා දැකිය හැක්කේ ඉරට ඉතා ආසන්නවය. ඒ නිසා බුධ ග්‍රහයා කේන්ද්‍රයක රවි සිටින කොටුවේම හෝ දෙපස ඇති කොටුවක සිටිය යුතුය. මේ ආකාරයෙන්ම සිකුරු, අඟහරු, බ්‍රහස්පති හා සෙනසුරු වැනි අනෙකුත් ග්‍රහයන් පොළොවට සාපේක්ෂව සිටින තැන්ද ඈතින් පිහිටි තරු රාශි 'රෙෆරන්ස් පොයින්ට්' කර ගනිමින් කේන්ද්‍ර සටහනක ලකුණු කළ හැකිය.


(Image: https://www.mytravelaffairs.com/jyotish-horoscope/)

Thursday, March 16, 2017

ඔබේ ලග්නය කුමක්ද?

වලාකුළු අඩු රාත්‍රියක පියවි ඇසින් අහස නිරීක්ෂණය කරන ඔබට අහසේ ඇති සියදහස් ගණනක් තරු පහසුවෙන් දැකගත ගත හැකි වනු ඇත. මෙසේ ඔබ අහස නිරීක්ෂණය කරන්නේ අර කම්මල ඉපදුණු දවස වැනි මාසෙ පෝය ආසන්න දවසකනම් මේ නිරීක්ෂණය තවත් පහසු වනු ඇත. මේ කටයුත්ත දින ගණනක්, පැය ගණනක්, සති මාස ගණනක් එක දිගට කළහොත් ඔබට අහසේ ඇති එක් එක් තාරකා පිහිටා ඇති තැන් සහ ඒවා පොළොවට සාපේක්ෂව චලනය වන ආකාරය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එහෙත්, මේ සියදහස් ගණනක් වූ තාරකා එකින් එක අහසේ තියෙන තැන හරියටම මතක තියා ගන්නේ කොහොමද?

අද අහස නිරීක්ෂණය කරන අයෙකු මේ කටයුත්ත කරන ආකාරයේත්, වසර දහස් ගණනකට පෙර අහස නිරීක්ෂණය කළ අයෙකු ඒ දෙයම කළ ආකාරයේත් ලොකු වෙනසක් නැත. මෙහිදී, අප කරන්නේ පොළොවට පෙනෙන තරු රටා හඳුනාගෙන ඒ රටා මතක තබා ගැනීමයි. එක ළඟ පිහිටි සේ පෙනෙන (එහෙත් ඇත්තටම ආලෝක වර්ෂ ගණනක් දුරින් පිහිටි) මෙවැනි තරු කිහිපයක් සරල රේඛා වලින් යා කළ විට මනසින් මවා ගත හැකි රූපය, අප දන්නා සතෙකු හෝ වෙනත් වස්තුවක් සමඟ සසඳමින් නම් කිරීම මේ තරු පිහිටි තැන් මතක තබා ගැනීම පහසු කරයි.


රාත්‍රී අහසේ දක්නට දක්නට ලැබෙන විවිධ රටා ඇසුරින් අහස හඳුනාගත් පසු නිරීක්ෂකයෙකුට මේ තරු රටා අහසේ චලනය වන ආකාරයද නිරීක්ෂණය කළ හැකිය. වසර දහස් ගණනකට පෙරද අපේ මුතුන් මිත්තන් විසින් හඳුනා ගත් පරිදි මේ තාරකා මණ්ඩල චලනය වුණේ තනි තනිව නොවේ. එක් පද්ධතියක් ලෙසිනි.

හැන්දෑවේ බටහිරින් හිරු බැස යද්දී නැගෙනහිරින් තරු පායා ආවේය. මෙසේ හැන්දෑවේ නැගෙනහිරින් පායා ආ තාරකාවෝ රෑ මැදියම වෙද්දී අහසේ  මුදුන් වී උදෑසන බටහිරින් බැස ගියෝය. ඇඳිරි වැටෙන විට අහසෙහි මුදුන්ව පැවති තාරකාවෝ රෑ මැදියම වෙද්දී බටහිර ක්ෂිතිජයෙහි ගිලී නොපෙනී ගියේය. රෑ මැදියම වෙද්දී නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවුනු තාරකාවෝ උදෑසන වන විට අහසේ මුදුන්ව සිටියෝය. කිසියම් දිනෙක හැන්දෑවේ බටහිර ක්ෂිතිජයෙන් නොපෙනී යන තාරකාවක් පසුදින උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයෙහි දකින්නට ලැබුණේය. මේ නිසා, මේ තාරකා සියල්ලම එකම පද්ධතියක් ලෙස පොළොව වටා ගමන් කරන බවත්, දිවා කාලයේ අපට නොපෙනුණත් මේ තාරකා අහසේ නිශ්චිත තැනක ඇති බවත් සියවස් ගණනාවකට පෙර ජීවත් වූ භෞතික විද්‍යාඥයෝ දැන සිටියහ.

හඳුනා ගැනුණු විවිධ තාරකා පද්ධති හා තාරකාවන් අතර ඒවා සමඟ එක්ව චලනය නොවෙමින්, වෙනස් වේගයකින් චලනය වුනු වස්තූන් කිහිපයක්ද හඳුනා ගැනුණු අතර මේවා ග්‍රහ වස්තූන් ලෙස හැඳින්වුනේය. මේ ග්‍රහ වස්තූන්ගේ චලිතයද රාත්‍රී කාලය තුළ නිරීක්ෂණය කිරීමෙන් ඒවා දිවා කාලය තුළ අහසේ චලනය විය යුතු ආකාරය පුරෝකථනය කිරීමටද ඔවුන්ට හැකිවිය.

කෙසේ වුවද, සෑම දිනකම හැන්දෑවේ නැගෙනහිරින් පායා ආවේ එකම තාරකා සමූහය නොවේ. කිසියම් දිනක උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබුණු තාරකාවක් පසු දින හැන්දෑවේ දකින්නට ලැබුණේ අහසේ මඳක් ඉහළිනි. තවත් දිනකට පසු එම තාරකාව දකින්නට ලැබුණේ වඩාත් ඉහළිනි. ඒ තාරකාවම තෙමසකට පසුව හැන්දෑවේ අහස මුදුනේ පෙනෙන්නට තිබුණු අතර සමසකට පසුව හැන්දෑ වෙද්දී බටහිර ක්ෂිතිජයෙන් බැස යනු දැකිය හැකි විය.

අහසේ තාරකා සියල්ල එක් පද්ධතියක් ලෙස පොළොව වටා ගමන් කළත් සෑම දිනකම රෑ මැදියම හෝ වෙනත් නිශ්චිත වෙලාවක අහසේ දක්නට ලැබුණු තරු පිහිටීම සමාන නොවීය. එය දිනෙන් දින ක්‍රමයෙන් වෙනස් විය. කෙසේවුවද, කිසියම් දිනෙක නිශ්චිත වෙලාවක අහසේ දැකිය හැකි වූ තරු රටාවන්ම තවත් කලකට පසු නැවතත් එසේම දකින්නට ලැබුණේය. සූර්ය වර්ෂයක් ලෙස හඳුනා ගැනුනේ මෙසේ නිශ්චිත වෙලාවක අහසේ දකින්නට ලැබෙන තරු රටාව ඒ අයුරින්ම නැවත දැකගන්නට ලැබීමට ගත වන කාලයයි.

සූර්ය වර්ෂයක් සූර්ය මාස දොළහක් ලෙස සැලකුනේය. මේ සූර්ය මාස නම් කෙරුණේ උදෑසන හිරු නැඟෙන විට නැඟෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබුණු, හෝ තිබිය යුතුයැයි (නිවැරදිව) පුරෝකථනය කෙරුණු තාරකා පන්තියක නමිනි. පොළොව වටා නිශ්චිත අනුපිළිවෙලකට ගමන් කරන මෙවැනි තාරකා පන්ති දොළහක් හඳුනාගෙන තිබුණු අතර ඒ එක් එක් තාරකා පන්තිය එහි අඩංගු තාරකා වලින් මැවෙන රටාවෙන් සිතේ ඇඳෙන රුවක නමින් නම් කෙරුණේය. මේ එක් තරු රටාවක් ආසන්න වශයෙන් දින තිහක කාලයක් උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයෙන් මතුවෙයි. ඉන්පසුව උදෑසන අහසේ දකින්නට ලැබෙන්නේ වෙනත් තරු රටාවකි. වසරකට පසුව නැවතත් උදෑසන අහසේ මුල් තරු රටාව දකින්නට ලැබේ.

ජ්‍යෝතිෂය නොපිළිගන්නා ලාංකිකයින් වුවත් අසා පුරුදු ලග්න දොළොසේ නම් වලින් හඳුනා ගැනෙන්නේ මේ තරු රටාවන් දොළොසයි. ඒවා පිළිවෙලින් මෙසේය. 


මේෂ- එළුවා
වෘෂභ- ගවයා
මිථුන- ස්ත්‍රීපුරුෂ යුවලක් (මෛථුන්‍යය)
කටක- කක්කුට්ටා
සිංහ- සිංහයා
කන්‍යා- කන්‍යාව
තුලා- තරාදිය
වෘශ්චික- ගෝනුස්සා
ධනු- දුනුවායා
මකර- මකරා
කුම්භ- කලය
මීන- මාළුවා

ආසන්න වශයෙන් සිංහල අවුරුදු දින සිට දින තිහක පමණ කාලයක් ඉර උදාවෙද්දී ඉර හා ආසන්නව ක්ෂිතිජයේ දැකිය හැක්කේ මේෂ රාශියට අයත් තරු පංතියයි. ඊළඟ දින තිහ තුළ වෘෂභ රාශියට අයත් තාරකා පංතියද, තවත් දින තිහකින් පසුව මිථුන රාශියට අයත් තාරකා පංතියද සූර්යයා හා සම්පාතව අහසේ දැකිය හැකිය.

කිසියම් දිනක උදෑසන ඉර උදාව ආසන්නව ඉපදෙන කෙනෙකුගේ ලග්නය වන්නේ මෙසේ අදාළ දින තිහක කාලය තුල ඉර හා සම්පාත වී තිබුණු තරු පන්තියේ නමයි. වෙනත් වෙලාවක ඉපදෙන කෙනෙකුගේ ලග්නය වන්නේ ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයෙහි පෙනෙන්නට තිබුණු හෝ දිවා ආලෝකය නිසා නොපෙනුණත් තිබිය යුතු තරු පන්තියේ නමයි. මේ තරු පන්ති දොළහම දවසේ කිසියම් වෙලාවක නැගෙනහිර ක්ෂිතිජය හා සම්පාතව තිබෙන නිසා දවසක් තුළ ඉපදෙන අයට මේ ලග්න දොළහෙන් කවරක් වුවද ලග්නය ලෙස හිමි විය හැකිය.

උදෑසන නැගෙනහිර ක්ෂිතිජයේ දකින්නට ලැබෙන තරු පන්තිය ආසන්න ලෙස පැය විසිහතරකට පසුව නැවතත් එහි දැකිය හැකි අතර
ක්ෂිතිජයෙහි එක් තරු පන්තියක් දර්ශනය වී පැය දෙකකට පමණ පසුව ඊළඟ තරු පන්තිය දර්ශනය වේ. ඒ නිසා කිසියම් දිනක ආසන්න ලෙස පැය දෙකක කාලයක් තුළ ඉපදෙන දෙදෙනෙකුට හිමි වන්නේ එකම ලග්නයයි. පැය දෙකක පරතරයක් ඇතිව ඉපදෙන අයෙකුට එක ළඟ ලග්න දෙකක් ලැබේ.

සිංහල අවුරුද්ද පසුවී මාස හයකට පසුව දිනක රසික ඉපදුණු දින වැනි දිනක ඉර උදාවන විට ක්ෂිතිජයෙහි දක්නට ලැබෙන්නේ හත්වන ලග්නය වන තුලා ලග්නයයි. එහෙත්, (මගේ උපකල්පන අනුව) රසික ඉපදී ඇත්තේ ඉර උදාවී පැය හතරකට පමණ පසුව නිසා ඒ වන විට තුලා හා වෘශ්චික ලග්න වලට අයත් තරු රටා ක්ෂි
තිජයෙන් මතු වී අවසානය. ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජය එල්ලේ ඇත්තේ ධනු ලග්නයට අයත් තරු පන්තියයි.

රාශි දොළහට අයත් තාරකා පන්ති ඇතුළු තාරකා පොළොවට සාපේක්ෂව චලනය වන්නේ එක් පද්ධතියක් ලෙස වුවත්, ඉර, හඳ හා අනෙකුත් ග්‍රහයන් චලනය වන්නේ වෙනත් වේගයන්ගෙනි. කිසියම් මොහොතක පොළොවට සාපේක්ෂව මේ වස්තූන්ගේ පිහිටීම නැවතත් හරියටම සමාන ලෙස පිහිටන්නේ ඉතා විශාල කාලයකට පසුවය. ඒ නිසා, කිසියම් මොහොතක පොළොවට සාපේක්ෂව මේ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම සෑහෙන දුරකට අනන්‍ය පිහිටීමකි.

කේන්ද්‍ර සටහනක් යනු කෙනෙකු ඉපදෙන මොහොතේ හෝ වෙනත් නිශ්චිත වෙලාවක පොළොවට හා නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව ඉර, හඳ හා තවත් ග්‍රහ වස්තු කිහිපයක පිහිටීම පෙන්වන සටහනකි. මේ සටහනෙන්, නිරවද්‍යතා සීමාවකට යටත්ව, යම් පුද්ගලයෙකු උපන් මොහොත වැනි කිසියම් මොහොතක් අනන්‍ය ලෙස හඳුනා ගැනීමට හැකියාවක් තිබේ. 


 (කලකට පෙර ලියා පළ නොකළ ලිපියකි. කිසිවෙකුට අපහාස කිරීමේ අරමුණකින් ලියන්නක් නොවේ.)

(Image: http://wuwm.com/post/tips-how-observe-night-sky#stream/0)

Wednesday, March 15, 2017

ඇමරිකාවේ පොදු පාසැල්

ඇමරිකාවේ මූලික අධ්‍යාපනය ලැබිය යුතු වයසේ සිසුන්ගෙන් 3%කට නොඅඩු ප්‍රතිශතයක් ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන බවත්, තවත් 10%ක් පමණ පෞද්ගලික පාසැලක ඉගෙනුම ලබන බවත් දැන් ඔබ දනී. එසේ වුවද, මේ සිසුන්ගෙන් අතිමහත් බහුතරය, එනම් 87%කට ආසන්න පිරිසක් සිය මූලික අධ්‍යාපනය ලබන්නේ පොදු පාසැලකිනි.

මෙහිදී මම රජයේ පාසැල් යන වචනය හිතාමතාම නොයෙදුවේ මේ පාසැල් රජයේ නියාමනයට ලක්වුවත් ඒ ලංකාවට සාපේක්ෂව ඉතා අඩුවෙන් බැවිනි.

පොදු පාසැල් පද්ධතිය තුළද වරලත් පාසැල් හා මැග්නට් පාසැල් ආදී වඩා ස්වාධීන පාසැල් තිබුණත් වඩාම පොදු පාසැල් ආකෘතිය වන්නේ පාසැල් දිස්ත්‍රික්ක යටතේ පාසැල් සංවිධානය වීමයි. මේ පාසැල් දිස්ත්‍රික්කයක් යනු කුඩා ප්‍රදේශයක පිහිටි විවිධ වර්ග වල පාසැල් කිහිපයක එකතුවකි.

අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි සිසුන් විසිදහසකට වැඩි පිරිසක් සිටින අපේ පාසැල් දිස්ත්‍රික්කය සාපේක්ෂව විශාල පාසැල් දිස්ත්‍රික්කයකි. එයට මූලික පාසැල් 12ක් (පෙරපාසැල් වසරේ සිට හතරවන ශ්‍රේණිය දක්වා), අතරමැදි පාසැල් හතරක් (5 හා 6 ශ්‍රේණි), කනිෂ්ඨ උසස් පාසැල් හතරක් (7 හා 8 ශ්‍රේණි) හා උසස් පාසැල් දෙකක් (9-12 ශ්‍රේණි) ලෙස පාසැල් 22ක් අයිතිය.

මේ ආකාරයෙන් වර්ග හතරකට පාසැල් බෙදීම ඇමරිකාවේ සුලභම ක්‍රමය නොවේ. අපේ නිවසට සැතපුම් දෙක තුනක් දකුණින් ඇති ප්‍රදේශ අයත් වන පාසැල් දිස්ත්‍රික්කයේ ඇත්තේ පාසැල් වර්ග තුනකි. ඒ මූලික පාසැල් (පෙරපාසැල් වසරේ සිට පස්වන ශ්‍රේණිය දක්වා), මැදි විදුහල් (6-8 ශ්‍රේණි) හා උසස් පාසැල් (9-12 ශ්‍රේණි) වශයෙනි. ඇමරිකාවේ බොහෝ පාසැල් දිස්ත්‍රික්ක වල ඇත්තේ මේ තෙවර්ගයේ පාසැල්ය.

ඇමරිකාවේ පාසැල් දිස්ත්‍රික්කයකට අයත් වන සාමාන්‍ය පාසැල් ගණන 6-7 පමණද, සාමාන්‍ය සිසුන් ගණන 4,000 පමණද වුවත්, මිලියනය ඉක්මවන සිසුන් ගණනක් හා පාසැල් 1,800ක් පමණ අයත් වන විශාල පාසැල් දිස්ත්‍රික්කද තිබේ.

අධ්‍යාපනය ඇමරිකාවේ ප්‍රාන්ත විෂයයක් බැවින් ඒ කෙරෙහි ෆෙඩරල් රජයේ බලපෑම ඉතාම සීමිතය. මේ හේතුව නිසා අධ්‍යාපන ප්‍රතිපත්ති මෙන්ම පොදු පාසැල් පරිපාලනය හා නියාමනය කෙරෙන ආකාරයද ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට විශාල ලෙස වෙනස් වේ.

පාසැල් පරිපාලනය මූලිකවම අදාළ පාසැල් දිස්ත්‍රික්කයේ පාසැල් මණ්ඩලයේ කටයුත්තකි. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පාසැල් මණ්ඩලයට සාමාජිකයින් හත් දෙනෙකු අයත් වන අතර ඒ අය පාසැල් දිස්ත්‍රික්කයේ කලාප හතක් නියෝජනය කරයි. අප සිටින කලාපයේ නියෝජිතයා පත්වන්නේ අපේ ඡන්දයෙනි. අපේ පාසැල් දිස්ත්‍රික්කය තුළ, මේ කලාපයක් යනු ගෙවල් පන්දහසක් පමණ (සිසුන් තුන්දහසක් පමණ) අයත් වන වර්ග සැතපුම් දහතුනක පමණ ප්‍රදේශයකි.

නියෝජිතයෙකුගේ ධුර කාලය වසර හතරක් වන අතර අදාළ මැතිවරණ ඇමරිකාවේ මැතිවරණ දිනයේදී පැවැත්වේ. එහෙත් පාසැල් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනාවම එකවර වෙනස් කෙරෙන්නේ නැත. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ නියෝජිතයින් සිවුදෙනෙකු වරකටත්, ඉතිරි තිදෙනා දෙවසරකට පසුවත් මෙසේ තෝරා ගැනේ. ඇමරිකාවේ පාසැල් මණ්ඩල සාමාජිකයින් බොහෝ දෙනෙකු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති, වැටුප් නොගෙන ස්වේච්ඡාවෙන් වැඩ කරන අයයි.  


ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන අධ්‍යාපන අධිකාරීවරයාද තෝරාගැනෙන්නේ මහජන ඡන්දයෙනි. ප්‍රාන්තයේ ප්‍රධාන තනතුරක් වන මේ තනතුරනම් සාමාන්‍යයෙන් නිර්පාක්ෂික තනතුරක් නොවන අතර, මෙවර තරඟකර ජයගත්තේ රිපබ්ලිකන් පාක්ෂිකයෙකි.

අපේ පාසැල් දිස්ත්‍රික්කයේ වියදම් වලින් වැඩිම කොටස ලබා ගන්නේ ප්‍රදේශයේ ජීවත්වන්නන් විසින් ගෙවන දේපල බදු වලිනි. මේ මුදලට ආසන්න ප්‍රමාණයක් ප්‍රාන්ත රජයෙන්ද ලැබේ. තවත් කොටසක් දෙමවුපියන්ගෙන් හා වෙනත් ආධාර ලෙස ලැබේ. ෆෙඩරල් රජයෙන් අපේ පාසැල් දිස්ත්‍රික්කයට සැලකිය යුතු මුදලක් නොලැබෙන බව මගේ අදහසයි.

ඇමරිකාවේ පොදු පාසැල් නඩත්තු කිරීම සඳහා බොහෝ විට යොදාගන්නේ අදාළ ප්‍රදේශයේ දේපළ වල වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස අය කරන දේපළ බදුය. මේ ක්‍රමය යටතේ දේපළ වටිනාකම අඩු පාසැල් දිස්ත්‍රික්ක වලට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබෙන්නට ඉඩ ඇති බැවින් ප්‍රාන්ත රජය විසින් අරමුදල් වෙන් කිරීමේදී එවැනි දිස්ත්‍රික්ක වලට වැඩිපුර ප්‍රතිපාදන ලබාදෙයි. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ වාසය කරන්නන් සාපේක්ෂව ඉහළ ආදායම් ලබන්නන් නිසා අපට ප්‍රාන්ත ප්‍රතිපාදන ලැබෙන්නේ අඩුවෙනි. මේ අයුරින්ම, ෆෙඩරල් රජය විසින් රටේ කවර හෝ ප්‍රාන්තයක ඇති ප්‍රමාණවත් ආදායම් නොලබන පාසැල් දිස්ත්‍රික්ක වෙනුවෙන් හා විශේෂ අවශ්‍යතා ඇති සිසුන් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරයි.

පාසැල් මණ්ඩල සාමාජිකයින් විසින් අධ්‍යාපන අධිකාරීවරයෙකු බඳවාගන්නා අතර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පරිපාලන කටයුතු මෙහෙයවන්නේ මේ අධිකාරීවරයාය. පාසැල් දිස්ත්‍රික්කය විසින් එක් එක් පාසැලේ ඇති විදුහල්පති හා ගුරු පුරප්පාඩු පුරවයි. මේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් එක් පාසැලකින් අස්වී වැඩි වැටුප් ගෙවන වෙනත් පාසැලක සේවයට යාම දුලබ දෙයක් නොවේ.

අපේ ප්‍රාන්තයේ විවිධ පාසැල් දිස්ත්‍රික්ක වල ගුරු වැටුප් සැසඳූ විට පෙනී යන කරුණක් වන්නේ වඩා හොඳ පාසැල් දිස්ත්‍රික්ක වල සාමාන්‍ය ගුරුවැටුප් අඩු බවයි. එතරම් ජනප්‍රිය නැති පාසැල් වලට ගුරුවරුන් බඳවාගැනීම අසීරු නිසා ඔවුන්ට වැඩි වැටුප් ගෙවන්නට සිදුවීම මෙයට හේතු වනවා විය හැකිය.

අපේ පාසැල් දිස්ත්‍රික්කයේ තත්ත්වය නඟා සිටුවීම පිණිස දේපළ බදු ලෙස දේපොළ වටිනාකමින් 0.2%ක් අමතරව ලබාගැනීම සඳහා පසුගිය මැතිවරණ දිනයේදී ජනමතවිචාරණයක් පැවැත්වුනේය. මේ මුදල් අවශ්‍ය වන්නේ කවර වියදම් සඳහාද යන්න පාසැල් මණ්ඩලය විසින් පැහැදිලි ලෙස දැනුම් දුන්නේය. වැඩිපුර ගුරුවරුන් බඳවාගෙන සිසු-ගුරු අනුපාතය පහළ දැමීම, ජාත්‍යන්තර භාෂා ඉගැන්වීම පුළුල් කිරීම, වඩා හොඳ ගුරුවරුන් බඳවා ගැනීම හා රඳවා ගැනීම පිණිස ගුරු වැටුප් හා අනෙක් පහසුකම් තරමක් ඉහළ දැමීම, ගුරුවරුන්ට ලබා දෙන පුහුණු වැඩසටහන් පුළුල් කිරීම මෙන්ම දැනට දෙමවුපියන් විසින් දරන ඇතැම් වියදම් පාසැල විසින් දැරීම මේ යෝජනා අතර විය. 


මේ යෝජනාව 70% ඉක්මවූ ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළේය. ඒ අනුව, ඉදිරි වසර හතක කාලය තුළ අපට 0.2%ක අමතර දේපළ බද්දක් පාසැල් නඩත්තුව වෙනුවෙන් ගෙවන්නට සිදුවනු ඇත. 

සිය දරුවන්ට පෞද්ගලික පාසැල් අධ්‍යාපනයක් හෝ ගෘහ පාසැල් අධ්‍යාපනයක් ලබාදීම සියළු දෙමවුපියන්ට කළ නොහැක්කකි. ඒ අතරම, අපේ ප්‍රදේශයේ පාසැල් යායුතු වයසේ දරුවන් සියල්ලන්ටම නිසි මූලික අධ්‍යාපනයක් ලැබීම ප්‍රදේශයේ සියල්ලන්ටම සමාජ ප්‍රතිලාභ ගෙනදේ. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන වියදම් සුබසාධනය වන පරිදි වැඩි බදු මුදලක් ගෙවීමට අපේ පාසැල් දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් කැමති වීමෙන් පෙනෙන්නේ මේ සමාජ ප්‍රතිලාභ පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ඇති බවයි.

(Image: http://www.educationnews.org/education-policy-and-politics/brookings-u-s-schools-move-up-in-international-rankings/)

Tuesday, March 14, 2017

ඇමරිකාවේ පෞද්ගලික පාසැල්


ඇමරිකාවේ මූලික අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන්ගෙන් සුළු, එහෙත් සැලකිය යුතු හා වර්ධනය වන, ප්‍රතිශතයක් ගෘහ පාසැල් අධ්‍යාපනය කරා යොමු වී ඇතත්, සිසුගහණයෙන් 96% ඉක්මවන අති මහත් බහුතරය සිය මූලික අධ්‍යාපනය ලබන්නේ රටේ පාසැල් පද්ධතිය හරහාය.

ඇමරිකාවේ පාසැල් වලින් 25%ක් පමණ පෞද්ගලික පාසැල් වන අතර සිසුහු මිලියන 5.40ක් පමණ (2013/14 සංඛ්‍යාලේඛණ) මේ පෞද්ගලික පාසැල් වල ඉගෙනුම ලබති. ප්‍රතිශතයක් ලෙස මේ සිසුන් ගණන සමස්ත සිසුගහණයෙන් 9.8%කි.

පෞද්ගලික පාසැල් ප්‍රතිශතය හා සිසු ප්‍රතිශතය දෙස බැලූ විට පෙනෙන පරිදි බොහොමයක් පෞද්ගලික පාසැල් වල ඉගෙන ගන්නේ සුළු සිසු පිරිසකි. ඇමරිකාවේ පෞද්ගලික පාසැල් වලින් 87%කම සිටින්නේ සිසුන් 300කට වඩා අඩුවෙනි.

ඇමරිකාවේ පෞද්ගලික පාසැල් වලින් බහුතරය ආගමික පාසැල්ය. එයින්ද වැඩි ප්‍රමාණය කතෝලික පාසැල්ය. පෞද්ගලික පාසැල් සිසුන් අතරෙන් අනාගමික පෞද්ගලික පාසැල් වල ඉගෙන ගන්නා සිසු ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර 2013/14 අධ්‍යයන වර්ෂයේදී 21.3%ක් විය.

පෞද්ගලික පාසැල් වල උගත් සිසුන්ගෙන් 41%ක් කතෝලික පාසැල් වලද, 5.1%ක් යුදෙවු ආගමික පාසැල් වලද. 0.9%ක් ඉස්ලාම් ආගමික පාසැල් වලද උගත් අතර ඉතිරි
සිසුහු විවිධ ක්‍රිස්තියානි නිකායන්ට අයත් පාසැල් වල අධ්‍යාපනය ලැබූහ.

ඇමරිකාවේ පොදු පාසැල් පද්ධතිය තුළ ආගමික අධ්‍යාපනයක් ලබා නොදේ. බොහෝ දෙමවුපියන් විසින් පෞද්ගලික පාසැල් තෝරාගන්නේ සිය දරුවන්ට ආගමික අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙනි. එහෙත්, විනය පුහුණු කිරීම හා වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීම වැනි අරමුණුද දෙමවුපියන්ගේ ප්‍රමුඛ අරමුණු අතර වේ.

සමීක්ෂණ වලින් පෙනෙන පරිදි අධ්‍යාපන කුසලතාවන් අතින් මෙන්ම විනය අතින්ද, සමාජයීය කුසලතාවන් අතින්ද පෞද්ගලික පාසැල් අධ්‍යාපනය ලබන සිසුන් පොදු පාසැල් අධ්‍යාපනය ලබන සිසුන්ට වඩා ඉදිරියෙන් සිටිති. ඇමරිකාවේ පොදු පාසැල් වල ඉගෙන ගන්නා සිසුන් දහදෙනෙකුගෙන් තිදෙනෙකු පමණ ප්‍රථම උපාධි හිමිකර ගනිද්දී පෞද්ගලික පාසැල් වල ඉගෙනුම ලබන සිසුන් දහදෙනෙකුගෙන් හයදෙනෙකු පමණ ප්‍රථම උපාධි ලබා ගනිති.


(Image: https://www.theadvocates.org/surprising-facts-private-schools/)

Monday, March 13, 2017

පාසැල් නොයන ඇමරිකන් දරුවෝ

අධ්‍යාපනය ප්‍රාන්ත විෂයයක් වන ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම දෙමවුපියන් විසින් සිය දරුවන්ට නිශ්චිත වසර ගණනක් මූලික අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය වන අතර පොදු පාසැල් පද්ධතිය හරහා එම අධ්‍යාපනය නොමිලේ ලබා දීමේ අවස්ථාවද ඔවුන්ට තිබේ. එසේ වුවද, පාසැල් වයසේ දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් පාසැලකට අඩියක්වත් නොතබති.

මේ පිළිබඳ සංගණනයක් අවසන් වරට කළ 2012 වසරේදී, පාසැල් වයසේ දරුවන්ගෙන් 3.4%ක් හෙවත් මිලියන 1.77ක් පාසැල් නොයැවීමට ඔවුන්ගේ දෙමවුපියන් විසින් තීරණය කර තිබුණේය. 2003 වසරේදී මේ ප්‍රමාණය
මිලියන 1.10ක් හෙවත් පාසැල් වයසේ දරුවන්ගෙන් 2.2%ක් පමණක් වූ අතර සංඛ්‍යාලේඛණ මඟින් පෙන්වන්නේ මෙය සීඝ්‍රයෙන් ජනප්‍රිය වන ප්‍රවණතාවක් බවයි. මේ වසරේදී මෙම සංගණනය නැවතත් පැවැත්වේ.

දරුවන්ව පාසැල් නොයැවීමට තීරණය කර ඇති දෙමවුපියන්ගෙන් 91%ක්ම එසේ කිරීමට හේතුවක් ලෙස පාසැල් යැවීමෙහි ඇති 'අතුරු ආබාධ' පෙන්වා දී ඇත. වෙනත් සිසුන්ගෙන් සෘණාත්මක ආකල්ප හුරුවීම, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීම හා ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න ඒ අතර වේ. 74%ක් පොදු හා පෞද්ගලික පාසැල් වල කරන ඉගැන්වීම් ගැන සතුටු නැත. 77%කට සදාචාරය පිළිබඳවත්, 64%කට තමන් අදහන ආගම පිළිබඳවත් දරුවන්ට ඉගැන්වීමට ඇති උවමනාව මෙයට මුල් වේ. 44%ක් මෙය කරන්නේ සිය දරුවන්ට සම්ප්‍රදායික නොවන අධ්‍යපනයක් ලබා දීමේ අරමුණෙනි.

ඇමරිකාවේ දෙමවුපියන් විසින් දරුවන්ට නිශ්චිත වසර ගණනක් අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය වුවත්, ඔවුන්ට ඒ සඳහා විකල්ප කිහිපයක් තිබේ. බහුතරය විසින් රජයේ නියාමනයට වැඩිපුර ලක්වන පොදු පාසැල් අධ්‍යපනය සිය දරුවන්ගේ අධ්‍යාපන විකල්පය ලෙස තෝරා ගනිද්දී, තවත් පිරිසකගේ තෝරා ගැනීම වන්නේ පෞද්ගලික පාසැලකි. ඉහත සඳහන් කළ කාණ්ඩයේ දෙමවුපියන් මේ දෙවර්ගයේම පාසැල් අධ්‍යාපනය ප්‍රතික්ෂේප කර සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම තමන් විසින්ම භාරගත් අයයි. මේ තෙවන විකල්පය ගෘහ පාසැල් අධ්‍යාපනය (Homeschooling) ලෙස හැඳින්වේ.

ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීම හා අදාළ නීතිරීතිද අධ්‍යාපනය හා අදාළ අනෙකුත් නීති හා නියාමන රෙගුලාසි මෙන්ම ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වේ. උදාහරණයක් ලෙස ඇතැම් ප්‍රාන්ත වල මෙසේ ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීමේදී ගුරුවරුන්ගේ සුදුසුකම්, විෂයමාලා ආදිය සඳහා පූර්ව අනුමැතිය ලබා ගැනීම, එක් එක් දින ඉගැන්වීම් කටයුතු සිදුකරන කාලවේලාවන් පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීම ආදී කොන්දේසි ගණනාවක් තිබේ. මෙවැනි ප්‍රාන්ත වල දරුවාට නිසි අධ්‍යාපනය ලැබෙන බව තහවුරු කිරීම දෙමවුපියන්ගේ වගකීමකි. තවත් ඇතැම් ප්‍රාන්ත වල දෙමවුපියන්ට මේ කටයුත්තේදී වැඩි නිදහසක් ඇති අතර දරුවාට යම් හෙයකින් නිසි අධ්‍යාපනය නොලැබෙන්නේනම් ඒ බව තහවුරු කිරීම ප්‍රාන්ත බලධාරීන් විසින් කළ යුතු දෙයකි.

දරුවන්ට ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීම සෑම ආදායම්, ජනවාර්ගික, ප්‍රාදේශීය, අධ්‍යාපනික කණ්ඩායමකටම අයත් දෙමවුපියන් අතර ජනප්‍රිය වුවත් සුදු, ග්‍රාමීය දෙමවුපියන් අතර මෙය වඩා ජනප්‍රියය.

ඇතැම් අය තමන්ගේ විශේෂ දක්ෂතා ඇති දරුවන්ට ඔවුන්ගේ කුසලතාවන්ට ගැලපෙන පරිදි වඩා වේගයෙන් ඉගැන්වීම සඳහා මේ ක්‍රමය තෝරා ගනිති. හිතන්නට අමාරු තරමේ අඩු වයසකින් සරසවි පිවිසුම් ලබන දරුවන් ගැන ඉඳහිට අසන්නට ලැබෙන්නේ මේ හේතුවෙනි. තවත් අය මෙය කරන්නේ ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන්ට වඩා හෙමින් අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙනු පිණිසය.  


මෙවැනි විශේෂ හේතුවක් නැතිව ගෘහ පාසැල් අධ්‍යාපනය තෝරාගත් මා දන්නා දෙමවුපියෝද සිටිති. ඔවුන් කරන්නේ මෙවැනි නිවාස හත අටක දෙමවුපියන් කණ්ඩායමක් ලෙස එකතු වී මේ දෙමවුපියන් විසින්ම සිය දරුවන්ට මූලික විෂයයන් උගන්වන අතර, සංගීතය වැනි විෂයයන් සඳහා මුදල් ගෙවා වෙනත් ගුරුවරයෙකුගේ සේවය ලබා ගැනීමයි.  ගෘහ පාසැල් අධ්‍යාපනය තෝරාගත් දෙමවුපියන්ගෙන් හතරෙන් එකක් පමණම දරුවන්ට ඉගැන්වීම පිණිස වෙනත් තැනකින් කිසියම් අධ්‍යාපනයක් ලබති.

ඇමරිකානු පොදු පාසැල් අධ්‍යාපනය සඳහා එක් දරුවෙකු වෙනුවෙන් වසරකට ඩොලර් එකොළොස්දහසක පමණ මුදලක් වැය වුවත් ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවෙකු වෙනුවෙන් වැය වන්නේ ඩොලර් හයසියයක පමණ මුදලකි. ගෘහ පාසැල් අධ්‍යාපනය ලබාදීම සඳහා විෂය මාලාවන් සකස් කිරීමේදී අඩුවෙන්ම ජනප්‍රිය තේරීම වන්නේ පොදු හෝ පෞද්ගලික පාසැලක විෂය මාලාවක් මත පදනම්ව එය කිරීමයි.

සම්මත පරීක්ෂණ ප්‍රතිඵල අනුව පෙනෙන්නේ ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවන් පොදු හා පෞද්ගලික දෙවර්ගයේම පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි. එහෙත්, එයට හේතුව ගෘහ පාසැල් අධ්‍යාපනය නොව ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඇති වෙනස්කම් වන්නට පුළුවන. ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සමාජයීය කුසලතා වර්ධනය විවාදිත කරුණක්ව පවතී.

Sunday, March 12, 2017

ලංකාවට වාහන වැඩිද?


ඇතැම් අය හිතන්නේ ලංකාවට වාහන වැඩි බවයි. මෙසේ හිතන අය ඒ ආකාරයෙන් හිතන්නට එක් හේතුවක් වන්නේ ලංකාව කුඩා රටක් බවත්, රටේ දැනටමත් තිබෙන වාහන ප්‍රමාණය තිබෙන පාරවල් ප්‍රමාණයට ඔරොත්තු නොදෙන බවටත් ඇති අදහසයි.

රටේ ඇති පාරවල් වලට වාහන වැඩිද යන ප්‍රශ්නය වෙනත් ආකාරයකින්ද ඇසිය හැකිය. ඒ, රටේ තිබෙන වාහන ඉල්ලුමට ප්‍රමාණවත් පරිදි මහාමාර්ග පද්ධතිය පුළුල් වේද යන්නයි.

අඩු වශයෙන් හේතු දෙකක් නිසා දෙවන ප්‍රශ්නය වඩා නිවැරදිය.

පළමුව, ලංකාවේ වාහන මිල දී ගන්නා සියළු දෙනාම වාගේ එසේ වාහන මිලදී ගන්නේ තමන් උපයා ගන්නා තමන්ගේ මුදල් යොදවමිනි. වාහන මිලදී ගැනීම සඳහා බොහෝ දෙනෙකු මූල්‍ය පහසුකම් ලබා ගන්නේ වුවද, මෙසේ ලබා ගන්නා ණය පොලියත් සමඟ ආපසු ගෙවන්නේද ඒ අයම මිස වෙනත් අය නොවේ. එසේනම්, වාහන සඳහා ඇති ඉල්ලුම ස්වභාවික ඉල්ලුමක් මිස කෘතීම ඉල්ලුමක් නොවේ.

දෙවනුව, රටක මහා මාර්ග පද්ධතිය යනු හැමදාම එකම තත්ත්වයේ පැවතිය යුතු දෙයක් නොවේ. මිනිසුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ඉහළ යද්දී රටේ අළුතින් මාර්ග ඇති විය යුතුය. තිබෙන මාර්ග පුළුල් විය යුතුය. නඩත්තු විය යුතුය.

ලංකාවේ තිබෙන වාහන ප්‍රමාණය ඕනෑවට වඩා වැඩි බව කිසිවකු සිතනවානම් මුලින්ම විමසිය යුත්තේ එයට හේතුව වාහන 'තිබිය යුතු ප්‍රමාණයට' වඩා වැඩි වීමද එසේ නැත්නම් පාරවල් 'තිබිය යුතු ප්‍රමාණයට' වඩා අඩු වීමද යන්නයි. එසේනම්, මේ තිබිය යුතු ප්‍රමාණ මොනවාද?

රටේ මාර්ග පද්ධතිය නඩත්තු කිරීම හා පුළුල් කිරීම වියදම් අධික කටයුත්තකි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව නැති බව යමෙකුට කියන්නට පුළුවන. රජයට වියදම් කළ හැක්කේ වෙනත් අයෙකුගෙන් ලබා ගන්නා මුදල් පමණි. එසේ නැත්නම්, වෙනත් අයගෙන් අනාගතයේදී අයකරගෙන ගෙවන්නට දැන් ණය ලබා ගන්නට පුළුවන. රජය මෙසේ රටේ මාර්ග පද්ධතිය නඩත්තු කිරීම හා පුළුල් කිරීම වෙනුවෙන් වැය වන පිරිවැය කිසියම් පිරිසකගෙන් අය කරගන්නවානම් එය කළ යුතු සාධාරණම ආකාරය වන්නේ රටේ මාර්ග ප්‍රයෝජනයට ගන්නා අයගෙන් එහි මිල අය කිරීමයි

පාරවල් භාවිතා කරන්නේ වාහන භාවිතා කරන අයයි. මේ අය අතර, වාහන හිමියන් මෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීහුද සිටිති. එසේනම්, පාරවල් හැදීමේ හා ලොකු කිරීමේ වියදම් අය කරගත යුත්තේ මේ අයගෙනි. ආණ්ඩුව එසේ කරනවාද?

මේ (2017) වසර තුළ ආනයනය කරන වාහන වලින් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බදු ලෙස පමණක් රජය විසින් අය කර ගැනීමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 230කි. මේ මුදල ගෙවන්නේ කවුද?

පළමු වටයේදී, බදු රහිත වාහන ගෙන්වීමේ වරප්‍රසාදය ඇති ටික දෙනෙකු හැර වාහනයක් මිලදී ගන්නා සියල්ලෝම, බදු සහන ලබන අයද ඇතුළුව, මේ රුපියල් බිලියන 230ට දායක වෙති. දෙවන වටයේදී පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීහුද මෙයට දායක වෙති.

පෞද්ගලික බසයක් හෝ ත්‍රිරෝද රථයක් මිල දී ගෙන පොදු ප්‍රවාහන හෝ කුලී සේවා සපයන්නෙකු අවසාන වශයෙන් පාඩු ලබන්නේ නැත. මේ වාහන හිමියෝ තමන් විසින් වැය කළ බදු මුදල් ඇතුළු සියළු වියදම් අවසාන වශයෙන් මඟීන්ගෙන් අය කර ගනිති.

මේ අයුරින්ම භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කරන විට ගෙවන බදු මුදල් මුලින්ම භාණ්ඩ ප්‍රවාහන කුලී ගාස්තු වලට එක් වී දෙවනුව භාණ්ඩ මිලට එකතු වේ. දඹුල්ලේ ගොවියෙකුට ලැබෙන හා මහරගම පාරිභෝගිකයෙකු විසින් ගෙවන තක්කාලි කිලෝවක මිල අතර පරතරය වැඩි වීමට මේ තක්කාලි කිලෝව ප්‍රවාහනය කරන ලොරි හිමියා විසින් ලොරිය ආනයනය කරන විට ගෙවා ඇති විශාල බදු මුදලද හේතු වේ.

රටේ පාරවල් සෘජුව හෝ වක්‍රව ප්‍රයෝජනයට ගන්නා පිරිස් විසින් රජයට ගෙවන එකම බද්ද මෙසේ වාහන ආනයන මත පනවන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්ද නොවේ. ආනයන බදු, වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, අධිවේගී මාර්ග ප්‍රවේශ ගාස්තු, පෙට්‍රෝලියම් නිෂ්පාදන මත අය කෙරෙන විශේෂ විධිවිධාන බද්ද, වාහන අයිතිය වෙනුවෙන් හා වාහන විකිණීමේදී ගෙවන බදු ආදී ලෙස ලංකාවේ මාර්ග පද්ධතිය භාවිතා කරන්නන් විසින් රජයට ගෙවන බදු ප්‍රමාණය ඉතා විශාලය.

එසේනම් ප්‍රශ්නය වන්නේ මෙසේ ලංකාවේ මහාමාර්ග භාවිතා කරන්නන් විසින් රජයට ගෙවන මිලට සරිලන සේවාවක් ඔවුන්ට ආපසු රජයෙන් ලැබෙනවාද යන්නයි.

මේ (2017) වසරේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ සමස්ත වැය ශීර්ෂය රුපියල් බිලියන 163.4කි. එයින් බිලියන 38.6ක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වැය ශීර්ෂය යටතේ ඇති උසස් අධ්‍යාපනය සඳහා වන වියදම්ය. අධිවේගී මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, මාර්ග පුළුල් කිරීම හා වැඩි දියුණු කිරීම, පාලම් හා ගුවන් පාලම් තැනීම, ස්වභාවික ආපදා වලට ලක්වූ මාර්ග පිලිසකරණය, ග්‍රාමීය මාර්ග සංවර්ධනය (මගනැගුම හා දැයට කිරුළ ව්‍යාපෘති) ආදී සියළුම අංශ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 124.6කි.

රජය විසින් මහාමාර්ග භාවිතා කරන්නන්ගෙන් අය කරගන්නා මුදලින් බාගයක්වත් මහාමාර්ග සංවර්ධනය වෙනුවෙන් ආපසු වැය කරන්නේ නැත. රටේ මහාමාර්ග භාවිතා කරන අයගෙන් එහි මිල ගෙවා නැත්තේ පූර්ණ බදුසහන සහිතව වාහන ගෙන්වන දේශපාලනඥයින් පමණි. 50%ක බදු සහන ලබමින් වාහන ගෙන්වන රජයේ නිලධාරීන් පවා අඩු වශයෙන් තමන්ගේ මාර්ග භාවිතයේ වියදම ගෙවා තිබේ. ඉතිරි සියල්ලෝම තමන් විසින් ගෙවිය යුතු සාධාරණ මිල මෙන් දෙගුණයක් ගෙවති.

ලංකාවේ ප්‍රශ්නය වාහන වැඩිකම නොවේ. වාහන හිමියන්ගෙන් අය කරගන්නා මුදල් රජය විසින් මාර්ග සංවර්ධනය සඳහා නොයෙදවීමයි. ලංකාවේ වාහන පාරිභෝගිකයින් කියන්නේත් මත්පැන් හා දුම්වැටි පාරිභෝගිකයින් මෙන්ම රජය විසින් 'සූරාකෑමට ලක්කෙරෙන' පිරිසකි.

ලංකාවේ බොහෝ දෙනෙකුට වාහනයක 'නියම මිලට' වාහනයක් ගැනීමට ඇති අයිතිය රජය විසින් අහුරා තිබුණත් රටේ මිනිස්සුන්ගේ වාහන අවශ්‍යතාවය හෝ ඉල්ලුම අඩු වන්නේ නැති නිසා තල්ලු ස්ටාට් එන්ජින් වලට ලෑලි තට්ටු ගැසූ කෞතුකාගාර වල තිබිය යුතු වාහන පවා ලංකාවේ මාර්ග වලින් ඉවත් නොවේ. ලොරි තට්ටු කඩා වැටී සිසුන් තුවාළ ලබන්නේ එවැනි වාහන වල රියදුරන්ගේ වැරැද්ද නිසාම නොවේ.


(Image: Adaderana Biz)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...