වෙබ් ලිපිනය:

Sunday, March 12, 2017

ලංකාවට වාහන වැඩිද?


ඇතැම් අය හිතන්නේ ලංකාවට වාහන වැඩි බවයි. මෙසේ හිතන අය ඒ ආකාරයෙන් හිතන්නට එක් හේතුවක් වන්නේ ලංකාව කුඩා රටක් බවත්, රටේ දැනටමත් තිබෙන වාහන ප්‍රමාණය තිබෙන පාරවල් ප්‍රමාණයට ඔරොත්තු නොදෙන බවටත් ඇති අදහසයි.

රටේ ඇති පාරවල් වලට වාහන වැඩිද යන ප්‍රශ්නය වෙනත් ආකාරයකින්ද ඇසිය හැකිය. ඒ, රටේ තිබෙන වාහන ඉල්ලුමට ප්‍රමාණවත් පරිදි මහාමාර්ග පද්ධතිය පුළුල් වේද යන්නයි.

අඩු වශයෙන් හේතු දෙකක් නිසා දෙවන ප්‍රශ්නය වඩා නිවැරදිය.

පළමුව, ලංකාවේ වාහන මිල දී ගන්නා සියළු දෙනාම වාගේ එසේ වාහන මිලදී ගන්නේ තමන් උපයා ගන්නා තමන්ගේ මුදල් යොදවමිනි. වාහන මිලදී ගැනීම සඳහා බොහෝ දෙනෙකු මූල්‍ය පහසුකම් ලබා ගන්නේ වුවද, මෙසේ ලබා ගන්නා ණය පොලියත් සමඟ ආපසු ගෙවන්නේද ඒ අයම මිස වෙනත් අය නොවේ. එසේනම්, වාහන සඳහා ඇති ඉල්ලුම ස්වභාවික ඉල්ලුමක් මිස කෘතීම ඉල්ලුමක් නොවේ.

දෙවනුව, රටක මහා මාර්ග පද්ධතිය යනු හැමදාම එකම තත්ත්වයේ පැවතිය යුතු දෙයක් නොවේ. මිනිසුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ඉහළ යද්දී රටේ අළුතින් මාර්ග ඇති විය යුතුය. තිබෙන මාර්ග පුළුල් විය යුතුය. නඩත්තු විය යුතුය.

ලංකාවේ තිබෙන වාහන ප්‍රමාණය ඕනෑවට වඩා වැඩි බව කිසිවකු සිතනවානම් මුලින්ම විමසිය යුත්තේ එයට හේතුව වාහන 'තිබිය යුතු ප්‍රමාණයට' වඩා වැඩි වීමද එසේ නැත්නම් පාරවල් 'තිබිය යුතු ප්‍රමාණයට' වඩා අඩු වීමද යන්නයි. එසේනම්, මේ තිබිය යුතු ප්‍රමාණ මොනවාද?

රටේ මාර්ග පද්ධතිය නඩත්තු කිරීම හා පුළුල් කිරීම වියදම් අධික කටයුත්තකි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව නැති බව යමෙකුට කියන්නට පුළුවන. රජයට වියදම් කළ හැක්කේ වෙනත් අයෙකුගෙන් ලබා ගන්නා මුදල් පමණි. එසේ නැත්නම්, වෙනත් අයගෙන් අනාගතයේදී අයකරගෙන ගෙවන්නට දැන් ණය ලබා ගන්නට පුළුවන. රජය මෙසේ රටේ මාර්ග පද්ධතිය නඩත්තු කිරීම හා පුළුල් කිරීම වෙනුවෙන් වැය වන පිරිවැය කිසියම් පිරිසකගෙන් අය කරගන්නවානම් එය කළ යුතු සාධාරණම ආකාරය වන්නේ රටේ මාර්ග ප්‍රයෝජනයට ගන්නා අයගෙන් එහි මිල අය කිරීමයි

පාරවල් භාවිතා කරන්නේ වාහන භාවිතා කරන අයයි. මේ අය අතර, වාහන හිමියන් මෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීහුද සිටිති. එසේනම්, පාරවල් හැදීමේ හා ලොකු කිරීමේ වියදම් අය කරගත යුත්තේ මේ අයගෙනි. ආණ්ඩුව එසේ කරනවාද?

මේ (2017) වසර තුළ ආනයනය කරන වාහන වලින් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බදු ලෙස පමණක් රජය විසින් අය කර ගැනීමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 230කි. මේ මුදල ගෙවන්නේ කවුද?

පළමු වටයේදී, බදු රහිත වාහන ගෙන්වීමේ වරප්‍රසාදය ඇති ටික දෙනෙකු හැර වාහනයක් මිලදී ගන්නා සියල්ලෝම, බදු සහන ලබන අයද ඇතුළුව, මේ රුපියල් බිලියන 230ට දායක වෙති. දෙවන වටයේදී පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීහුද මෙයට දායක වෙති.

පෞද්ගලික බසයක් හෝ ත්‍රිරෝද රථයක් මිල දී ගෙන පොදු ප්‍රවාහන හෝ කුලී සේවා සපයන්නෙකු අවසාන වශයෙන් පාඩු ලබන්නේ නැත. මේ වාහන හිමියෝ තමන් විසින් වැය කළ බදු මුදල් ඇතුළු සියළු වියදම් අවසාන වශයෙන් මඟීන්ගෙන් අය කර ගනිති.

මේ අයුරින්ම භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කරන විට ගෙවන බදු මුදල් මුලින්ම භාණ්ඩ ප්‍රවාහන කුලී ගාස්තු වලට එක් වී දෙවනුව භාණ්ඩ මිලට එකතු වේ. දඹුල්ලේ ගොවියෙකුට ලැබෙන හා මහරගම පාරිභෝගිකයෙකු විසින් ගෙවන තක්කාලි කිලෝවක මිල අතර පරතරය වැඩි වීමට මේ තක්කාලි කිලෝව ප්‍රවාහනය කරන ලොරි හිමියා විසින් ලොරිය ආනයනය කරන විට ගෙවා ඇති විශාල බදු මුදලද හේතු වේ.

රටේ පාරවල් සෘජුව හෝ වක්‍රව ප්‍රයෝජනයට ගන්නා පිරිස් විසින් රජයට ගෙවන එකම බද්ද මෙසේ වාහන ආනයන මත පනවන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්ද නොවේ. ආනයන බදු, වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, අධිවේගී මාර්ග ප්‍රවේශ ගාස්තු, පෙට්‍රෝලියම් නිෂ්පාදන මත අය කෙරෙන විශේෂ විධිවිධාන බද්ද, වාහන අයිතිය වෙනුවෙන් හා වාහන විකිණීමේදී ගෙවන බදු ආදී ලෙස ලංකාවේ මාර්ග පද්ධතිය භාවිතා කරන්නන් විසින් රජයට ගෙවන බදු ප්‍රමාණය ඉතා විශාලය.

එසේනම් ප්‍රශ්නය වන්නේ මෙසේ ලංකාවේ මහාමාර්ග භාවිතා කරන්නන් විසින් රජයට ගෙවන මිලට සරිලන සේවාවක් ඔවුන්ට ආපසු රජයෙන් ලැබෙනවාද යන්නයි.

මේ (2017) වසරේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ සමස්ත වැය ශීර්ෂය රුපියල් බිලියන 163.4කි. එයින් බිලියන 38.6ක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වැය ශීර්ෂය යටතේ ඇති උසස් අධ්‍යාපනය සඳහා වන වියදම්ය. අධිවේගී මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, මාර්ග පුළුල් කිරීම හා වැඩි දියුණු කිරීම, පාලම් හා ගුවන් පාලම් තැනීම, ස්වභාවික ආපදා වලට ලක්වූ මාර්ග පිලිසකරණය, ග්‍රාමීය මාර්ග සංවර්ධනය (මගනැගුම හා දැයට කිරුළ ව්‍යාපෘති) ආදී සියළුම අංශ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 124.6කි.

රජය විසින් මහාමාර්ග භාවිතා කරන්නන්ගෙන් අය කරගන්නා මුදලින් බාගයක්වත් මහාමාර්ග සංවර්ධනය වෙනුවෙන් ආපසු වැය කරන්නේ නැත. රටේ මහාමාර්ග භාවිතා කරන අයගෙන් එහි මිල ගෙවා නැත්තේ පූර්ණ බදුසහන සහිතව වාහන ගෙන්වන දේශපාලනඥයින් පමණි. 50%ක බදු සහන ලබමින් වාහන ගෙන්වන රජයේ නිලධාරීන් පවා අඩු වශයෙන් තමන්ගේ මාර්ග භාවිතයේ වියදම ගෙවා තිබේ. ඉතිරි සියල්ලෝම තමන් විසින් ගෙවිය යුතු සාධාරණ මිල මෙන් දෙගුණයක් ගෙවති.

ලංකාවේ ප්‍රශ්නය වාහන වැඩිකම නොවේ. වාහන හිමියන්ගෙන් අය කරගන්නා මුදල් රජය විසින් මාර්ග සංවර්ධනය සඳහා නොයෙදවීමයි. ලංකාවේ වාහන පාරිභෝගිකයින් කියන්නේත් මත්පැන් හා දුම්වැටි පාරිභෝගිකයින් මෙන්ම රජය විසින් 'සූරාකෑමට ලක්කෙරෙන' පිරිසකි.

ලංකාවේ බොහෝ දෙනෙකුට වාහනයක 'නියම මිලට' වාහනයක් ගැනීමට ඇති අයිතිය රජය විසින් අහුරා තිබුණත් රටේ මිනිස්සුන්ගේ වාහන අවශ්‍යතාවය හෝ ඉල්ලුම අඩු වන්නේ නැති නිසා තල්ලු ස්ටාට් එන්ජින් වලට ලෑලි තට්ටු ගැසූ කෞතුකාගාර වල තිබිය යුතු වාහන පවා ලංකාවේ මාර්ග වලින් ඉවත් නොවේ. ලොරි තට්ටු කඩා වැටී සිසුන් තුවාළ ලබන්නේ එවැනි වාහන වල රියදුරන්ගේ වැරැද්ද නිසාම නොවේ.


(Image: Adaderana Biz)

21 comments:

  1. මාර්ග තැනීමට සහ නඩත්තු වැඩ සඳහා රජය විසින් ගන්නා ණය සහ ලැබෙන විදෙස් ආධාර ප්‍රමාණය ඔය බිලියන 124.6 ට ඇතුලත් ද?

    ReplyDelete
    Replies
    1. මේ රසික විසින් පහළින් දමා ඇති ඇමති වරයාගේ උපදේශකයන්ගේ වියදම් ආදියද ඇතුළත්ව අමාත්‍යංශයේ සම්පූර්ණ වැය ශීර්ෂයෙන් උසස් අධ්‍යාපන කොටස අඩු කළ විට ගණනයි. මේ වර්ෂය තුළ මාර්ග තැනීමට සහ නඩත්තු වැඩ සඳහා කියා රජය විසින් විශේෂයෙන් ණය ගන්නවාද කියා හෝ විදෙස් ආධාර ලැබෙනවාද කියා මා හරියටම දන්නේ නැත. එසේ ලැබෙනවානම් බදු මුදල් වලින් වැය කෙරෙන්නේ තවත් අඩු මුදලකි. පසුගිය රජය විසින් මහාමාර්ග, ගුවන් තොටුපොළ හා වරාය සංවර්ධන කටයුතු වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කළ ඇතැම් අවුරුදු වලදී පවා, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු හා වාහන ආනයනයේදී අය කළ බදු ප්‍රමාණය ඒ සමස්ත සංවර්ධන වියදමට වඩා වැඩි විය. වෙනත් අයුරකින් කියනවානම් මේ බදු අදාළ සංවර්ධන වැඩ වෙනුවෙන් යෙදෙවුවානම් ණය වෙන්නට අවශ්‍යතාවයක් නොතිබුණේය. දැන් මහාමාර්ග භාවිතා කරන්නන්ගෙන් අය කරන බදු හා මාර්ග සංවර්ධන වියදම් අතර වෙනස පෙරටත් වඩා බොහෝ විශාලය.

      Delete
  2. මාර්ග නඩත්තුව සඳහා ඉන්ධන බදු ආදායම ද වැය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඉන්ධන වලින් අය කරන බදු වලින් සැලකිය යුතු කොටසක් දරනු ඇතැයි සිතිය හැක්කේ වාහන භාවිතා කරන අයයි. විදුලිය උත්පාදනය හරහා කර්මාන්ත ශාලා හිමියන් ආදීන්ටද මේ බරෙන් කොටසක් පැටවේ.

      Delete
    2. මා කියන්නේ ඉන්ධන බදුවලින් වැඩි කොටසක් මාර්ග නඩත්තුව සඳහා යෙදවිය යුතුයි කියායි.

      IN Australia: The tax collected is partly used to fund national road infrastructure projects and repair roads, but most of it (approximately 75%) goes into general revenue.[Wikipedia]

      Also see: (http://www.smh.com.au//breaking-news-national/raise-highway-spend-from-fuel-tax-nrma-20100103-lmq2.html)

      Delete
    3. ඕස්ට්‍රේලියාවද කරන්නේ ලංකාව කරන දෙයම බව පෙනේ. ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින් වාහන සඳහා භාවිතා කරන ඉන්ධන වලින් අය කෙරෙන බදු සියල්ලම සමීකරණයක් අනුව භාර අරමුදල් දෙකකට යයි. 12% පමණ පොදු ප්‍රවාහන සේවා අරමුදලට හා ඉතිරි වැඩි ප්‍රමාණය මහාමාර්ග භාර අරමුදලට වශයෙනි. මහාමාර්ග සංවර්ධනය හා නඩත්තු කටයුතු කෙරෙන්නේ මහාමාර්ග අරමුදලේ ඇති මුදල් වලිනි. පොදු ප්‍රවාහන සේවා අරමුදලේ ඇති මුදල් නාගරික බස් සේවා, උමං දුම්රිය ආදිය සංවර්ධනය පිණිස වැය කෙරේ. ඉතිරියක් ඇත්නම් ඉදිරි වසර වලදී ප්‍රයෝජනයට ගැනීමට සඳහා අරමුදලට ඉතිරි වේ. මේ අයුරින්ම ගුවන් යානා සඳහා භාවිතා කරන ඉන්ධන වල බදු ගුවන් තොටුපොළ නඩත්තු කිරීමේ අරමුදලකට යයි. ප්‍රාන්ත මඟින් එකතු කරන ඉන්ධන බදු, වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, රියදුරු බලපත් ගාස්තු, වාහන විකුණන විට අයකරන බදු, රථවාහන වැරදි සඳහා අයකරන දඩමුදල් ආදී සියල්ලමද මාර්ග සංවර්ධන හා නඩත්තු කටයුතු වෙනුවෙන් වැය කෙරේ. මෙයට අමතරව පෞද්ගලික අංශය සමඟ හවුල් ආයෝජන ලෙසද මාර්ග ඉදි කෙරේ.

      Delete
  3. කිරිඇල්ල ගේ උපදේශකයින් එකසිය දෙනාට පඩි සහ වියදම් සඳහාත් බිලියනයක් විතර යනවා ඇතිනේ?

    ReplyDelete
    Replies
    1. ඊට අමතරව අදාළත්වයක් නැති වෙනත් අමාත්‍යංශ වල උපදේශකයින්ගේ බර දරන්නේද වාහන පාරිභෝගිකයින්ය.

      Delete
  4. අපේ රටේ සමහර පාරවල් ආණ්ඩුවටය තවත් ඒවා පළාත් සභාවටය..ඔය කියන එහෙකටවත් අයිති නැති පාරවල් ද තියෙනවා ..ඒවා තනිකර අවුල් ය .එවයි බස් දුවයි.රූට් පොමිට් ගාස්තුව පාල්ත්සභාව ගනියි එත් පාර එහීම්මමය

    ReplyDelete
    Replies
    1. //එහෙකටවත් අයිති නැති පාරවල් ද තියෙනවා//
      එහෙම ඒවත් තියෙනවද?

      Delete
    2. ඔව්..ප්‍රාදෙශීය සභා කියලා ජාතියක් තියෙනවා. එව්වට යටත් පාරවල් ගම්වල තියෙනවා. ඔය එකෙක්වත් ඒවා ගැන බලන්නේ නැහැ. ඒවා පෙන්නන්න නම් පාරේ වලවල්වල මාළු අල්ලන්න ඕනේ. එතකොට තමයි සුදු කොලර් හාදයින්ගේ ගෙවල්වලයි, ලොක්කන්ගේ ගෙවල්වලයි තාච්චියේ ෆරිය්ඩ් ෆිශ් විත් ටාටා සෝස් කන්න පුලුවන්/

      Delete
  5. මිනිස්සු බදු වංචා කරන්න පෙලබෙන්⁣නෙත් ඔය හේතුව නිසාම වෙන්න අැති. ඇයි ගෙවන බද්දට ලැබෙන ප්‍රතිලාභයක් නෑනේ...

    බදු ගෙවලා පාරවල්වල යන්න ගියාම ඒවා කැඩිලා, එහෙම නැත්නම් මදි.
    බදු ගෙවලා බේත් ගන්න ගියාම දොස්තරගෙ ඉදන් ඇටෙන්ඩන්ට යනකම්ම පුප්පනවා.
    බදු ගෙවලා බස් එකේ කොච්චියේ යන්න ඕනා සත්තු වගේ තෙරපිලා, මහා යුද්ධයක් කර කර..

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කියන දෙයක් තමයි නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය නොතිබුණානම් අද මම මෙතැන නෑ කියන එක. ඇත්තටම ඒ දේවල් වෙනුවෙන් ගෙවිය යුතු මුදල ලැබෙන ආපසු දෙයට වඩා බොහෝ විශාලයි.

      Delete
    2. හරියටම හරි ඉකොන්.....උදාහරනයට අපි ඉන්න කුඩා නිවස, අවුරුද්දට කවුන්සිල් ටැක්ස් පවුම් 1200ක්. එක කවුන්සිල් එකක ගෙවල් දස දාස් ගානක්. ඊටත් වැඩියි. මේ සියල්ල අරන් නඩත්තු කරන්නේ මොනවද... මේ ගැන කියන්න බොහො දේ තියෙනවා. ඒ විතරක් නෙමේ එංගලන්තේ අනෙකුත් බදු ගැන කියන්න ඕන නැහැනේ. බදු තුලින් නඩත්තු වෙන රාජ්‍ය්යන්.. ලෝකය නඩත්තු කරන්නේ වැසියන්. ඒ නිසාමයි මම කියන්නේ දම්වැල් තරමටම වතුරත් ඕන කියලා. ඇමරිකාවෙත් එකයි. එරිත්‍රියාවෙත් එකයි. බොරු තියරි අවසානයෙ.

      Delete
  6. මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමේත් සීමාවක් තිබෙනවා නේද ? 

    ReplyDelete
    Replies
    1. මෙවැනි සීමාවකට මුලින්ම පැමිණිය යුත්තේ සිංගප්පූරුව, හොංකොං වැනි රටවල්. එවැනි රටවලත් මාර්ග සංවර්ධන කටයුතු තවදුරටත් සිදුවෙනවා. අඩු වශයෙන් තියෙන පාරවල් ටික නිසි පරිදි නඩත්තු කිරීම වුවත් දිගින් දිගටම කළ යුතු දෙයක්.

      Delete
  7. With extremely high tax for vehicles the market has been totally distorted. The result is high second-hand market which led to purchase of a vehicle an investment rather than anything else. (please compare some other countries which have less taxes) In this sense we have too much vehicles.

    ReplyDelete
    Replies
    1. I agree with the first part, vehicles in Sri Lanka are 'investment vehicles'. But, it's hard to conclude that we have more vehicles than needed based on that observation alone. My guess is that, in an alternative world with law taxes, most Sri Lankans who use motor bikes, 3-wheelers and decade-old vehicles would switch to safer and more comfortable vehicles leaving the total vehicle population in the country at least at the current level.

      Delete
  8. සැමට වාහනයක් කියල අපේ චන්දෙ ගන්න උන් වාහන ගන්නේ පමිට් එකට, ජෝන් බාසුත් මතක් උනා වාහන මිල වැඩි කරේ අනවශ්‍ය අය වාහන ගන්න නිසා කියල කිව්වා නිසා.

    ReplyDelete
    Replies
    1. වාහන සඳහා අයකරන ඉතා විශාල බදු වලින් සමාජ ධුරාවලිය පවත්වාගැනීමකුත් වෙනවා.

      Delete
  9. ලංකාවේ වාහන කියන්නේ එක්තරා ටැක්ස් ෆයිල් වර්ගයක්...

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...