වෙබ් ලිපිනය:

Monday, August 1, 2016

අරමණ යුදවිරුවන් ඇගයීම



පෙර ලිපි වලින් කතා කළ පැරකුම්බාවන්ගේ අරමණ ආක්‍රමණය සඳහා මුල් වූයේ ආර්ථික හේතූන්ය. මේ යුද මෙහෙයුම වියදම් අධික එකක් විය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස ලක් රජයේ ආදායම් වැඩි වන්නට ඇතැයි සිතිය හැකි වුවත් ඒ වැඩි වූ ආදායම වැය කළ යුද වියදමට තරම් වීද යන්න එතරම් පැහැදිලි නැත. වත්මන් නිදසුන් අනුව බැලූ විට බොහෝ විට පෙනෙන දෙයනම් බාහිර යුද මෙහෙයුම් වල මෙවැනි ශුද්ධ මූල්‍යමය වාසියක් නොමැති බවයි. කෙසේ වුවද, ප්‍රබල රාජ්‍යයන්හි නායකයින් මෙවැනි බාහිර යුද මෙහෙයුම් වලට නිරන්තරයෙන් යොමු වීමෙන් පෙනෙන්නේ එහි කවර හෝ වාසියක් තිබිය යුතු බවයි.

මහ පැරකුම්බාවන් අරමණ ආක්‍රමණයට යොමු වන්නේ ගජබාහු හා මානාභරණ ඇතුළු රජුන් සමඟ යුද වැද ලංකාව එක් සේසත් කර රට තුළ සිය දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරගෙන සිටින පසුබිමකය. අරමණ ආක්‍රමණයෙන් අනතුරුව මහ පැරකුම් අණ අනුව ක්‍රියා කරන ලංකා හමුදා දකුණු ඉන්දියාවේ යුද්ධයකටද මැදිහත් වී එහි කොටසකද සිය ආධිපත්‍යය කෙටි කලක් පතුරුවයි.

මෙසේ සිය බලය රටින් පිටතට පැතිරවීම මඟින් රටක පාලකයන්ට ලැබෙන ප්‍රධානම වාසියක් වන්නේ රට තුළ ජීවත් වන වැසියන් රාජ්‍යයේ ග්‍රහණයට වඩා පහසුවෙන් නතු කර ගත හැකි වීමයි. යුද ජයග්‍රහණ වලින් උත්කර්ෂයට පත් වන රටේ ජනතාව නොපැකිළ රජයට බදු ගෙවීමටත්, රාජ්‍ය විරෝධී කැරලි වලට එක් නොවීමටත් පෙළඹෙති.

රජයක් විසින් ඉහත වාසි ලබා ගැනීම සඳහා බාහිර යුද ජයග්‍රහණයට රට තුළ විශාල ප්‍රචාරයක් දීම මඟින් එය උත්කර්ෂයට නැංවිය යුතුය. අරමණ ජයෙන් පසුව පැරකුම්බාවන්ගේ රජයද මෙවැනි විජයග්‍රහණ සැමරුම් පවත්වන්නට ඇත. යුද ජයග්‍රහණයේ නියමුවන්ට රාජ්‍ය සම්මාන සමඟ ගම්වර ආදියද ලබා දෙන්නට ඇත.

මාවනැල්ල නගරයට සැතපුම් තුනක් පමණ ආසන්නව පිහිටි දෙවනගලින් හමුවන දෙවනගල සෙල්ලිපියෙන් අරමණ ආක්‍රමණයේ නියමුවකු වූ කීර්ති නගරගිරි හෙවත් කිත් නුවරගල් වෙත සිදු කළ මෙවැනි ගම්වර ප්‍රදානයක් ගැන තොරතුරු හමු වේ. මහ පැරකුම්බාවන්ගේ තේජස වනන සෙල්ලිපියේ මුල් කොටසින් පසු අදාළ කොටස මෙසේය.

"...සිංහ පරාක්‍රම ඇති පරාක්‍රමබාහු වත් හිමියන් වහන්සේ තමන් මුතුන් විජයරජපා ස්වර්ගස්ථභූත තැනැ සිටැ දෙසාලිස් හවුරුද්දක් නැසී තුබූ ලොසසුන් ඇති කරවමි යන සිතින් ගජබාහු මානාභරණ යන දෙදෙනා සමඟ යුධ කොට ලංකාජීපයෙහි එකච්චත්ර කොට පුලස්ති පුරවරෙහි රජ ශ්‍රී වළන්දන සමාහි දොළොස්වනු පොසොනැ පුර දසවකැ අරමණධිපති භුවනාදිත්තනම් කෙනෙකුන් රජ කරන කලැ ලක්දිවු සන්තාන නොකරම්හයි කී හෙයින් නැවු දහස් ගණනකට පිරිස් නඟා යවා අරමණය පාරනේ වදාළ කලැ කිත් නුවරගලුන් කුසුමිය යැයි යන නුවරක් පැහරැ පස් මසක් ර... ...... ... ගත් කලැ අරමණයන් සන්තාන කරම්හයි දූතයන් එවූ හෙයින් කිත් නුවරගලුන්ට හිරිසන්ද පවත්නා තෙක් සිටින පරිද්දෙන් මෙ ගලැ කොටා දුන් මලබටුව හා ... ... ... ... කිත්සෙන්පවුයෙන් බිජුවට දොළොසමුනු දෙ පෑළක් ඇතුළුවැ දෙයාලක් පමුණු කොට දුන්නේයි."

පැරකුම්බාවන් අරමණ ආක්‍රමණයට හමුදා යොදවන විට එහි පාලකයා වූයේ (භුවනාදිත්ත) අලවුන්සිතු රජුය. ඔහු බුරුමය පාලනය කළ ප්‍රබල රජෙකු වුවත් මේ කාලය වන විට ඔහු ඉතා වයස්ගතව මෙන්ම ඔහුගේ පුතුන් නිසා අභ්‍යන්තර ආරවුල් වලට මැදිවද හුන්නේය. පරණවිතානයන්ගේ ලිපියකට අනුව, අලවුන්සිතු රජු සිය පාලනයේ මුල් කාලයේදී ලංකාවට පැමිණ කාල නම් වූ සිය තානාපතියෙකු ලංකාවේ නවත්වා ගොස් තිබේ. කෙසේවුවද, මහාවංශයේ සඳහන් පරිදි ලංකා හමුදාවන් විසින් භුවනාදිත්ත අලවුන්සිතු මරා දමනු ලැබීම විශ්වසනීය නොවන කරුණකි. බුරුම මූලාශ්‍ර අනුව, ඔහු මේ සිදුවීමෙන් පසුවද ජීවත් වී වෙනත් අයුරකින් මිය ගොස් තිබේ. අරමණ රජු මරා දැමීමද, දහයක හෝ පහළොවක නැවු කණ්ඩායමක් නොකියා 'නැවු දහස් ගණනකට පිරිස් නඟා' යැවූ බව කීම වැනිම අතිශයෝක්තියක් විය හැකිය. සැබෑවටම මරා දමනු ලැබුවේ කුසුම්තොට පාලනය කළ ප්‍රදේශාධිපතියෙකු වන්නට පුළුවන.

විජයග්‍රහණ සැමරුමකදී එහි අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙවැනි අතිශයෝක්තීන්ද අවශ්‍ය වේ. ඒ කාලයේදී අඬබෙර ආදිය මඟින් යම් තරමකට මෙවැනි මාධ්‍ය මවාපෑම්ද සිදු කරන්නට ඇත. ඒ අනුව, අරමණ රජු මරා දැමූ පුවත මෙන්ම මේ යුද මෙහෙයුම සඳහා නැවු දහස් ගණනක් යෙදවුණු බවද ඒ කාලයේ ලංකාවේ ජීවත් වූ බොහෝ දෙනෙක්ද විශ්වාස කරන්නට ඇත. එසේ විශ්වාස කළ නිසා ලොකු පැකිලීමකින් තොරව රජයේ බදු මුදල් හා නොමිලේ ලබා දෙන ශ්‍රමය ආදිය ලබා දෙන්නටද ඇත.


කෙසේවුවද, මේ අතිශයෝක්තීන් විය හැකි කරුණු නොසලකා හැරියද අරමණ ආක්‍රමණය ලංකා ඉතිහාසයේ විශාලම යුද මෙහෙයුමකි.


(Image: mazinglanka.com)

Sunday, July 31, 2016

මියන්මාරය සමඟ අළුත් වෙළඳ ගිවිසුමක් !


පැරකුම්බා සමයේ ලංකා හමුදාවන් විසින් සිදු කළ අරමණ ආක්‍රමණය ගැන ලියන්නට පොරොන්දු වී තෙසතියකට ආසන්න කාලයක් ගත වී ඇති බව රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින් මතක් කර දුන්නේය. මේ කාලය ඉකොනොමැට්ටා විසින් ගත කරන තරමක අස්ථාවර කාලයක් නිසා වියුණුව පෙර කළ වේගයෙන්ම යාවත්කාලීන කිරීම අපහසු කරුණක්ව පවතී. තෝරා ගැනීම් හිඟ වූ විට මෙන්ම තෝරා ගැනීම් වැඩි වූ විටද ඇති වන්නේ අස්ථාවරත්වයකි.

ලංකා රාජ්‍යයේ ජාත්‍යන්තර වෙළඳ ආධිපත්‍යයට අරමණ පාලකයෙකුගෙන් එල්ල වූ බාධාවක් කරණ කොට ගෙන එම රට ආක්‍රමණය කිරීමට මහ පැරකුම්බාවන් ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වන්නේ රජුගේ ප්‍රධාන අමාත්‍යවරයෙකු නොවේ. පැරකුම්බාවන්ගේ හිතෛෂියෙකු වන ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ අවශේෂ මහ ඇමැත්තෙකි. ඇතැම් විට මේ මහ ඇමැත්තා ද්‍රවිඩ සම්භවයක් ඇත්තෙකු විය හැකිය.

අරමණ ආක්‍රමණය උදෙසා රට තුළ සැලකිය යුතු පිරිස් බලයක් ඇති මහ ඇමැතියෙකු (ප්‍රාදේශීය නායකයෙකු) නාවික බලය ඇතුළු අවි බලයෙන් ශක්තිමත් කරවීම දැඩි ආයාසයකින් රට එක්සේසත් කරගෙන සිටි මහ පැරකුම්බාවන් විසින් නොකළ යුතු දෙයක් ලෙස සිතුවා විය හැකිය. මෙය තේරුම් ගන්නා, රට තුළ තමාගේම වූ ලොකු පිරිස් බලයක් නැති, එහෙත් රජුගේ  විශ්වාසය දිනාගෙන සිටින, ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ දෙවන පෙල ඇමැත්තා අරමණ ආක්‍රමණයේ වගකීම කරට ගන්නේ මෙවැනි පසුබිමකය.

"එකල්හි ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් ඇති එහි එක් ගණක මහ ඇමතියෙක් බඳනා ලද ඇඳිලි ඇත්තේ තෙමේම එහි යනු කැමැත්තේ රජහට මෙබස් මෙසේ කීය. මේ ක්‍රියාවෙහි ප්‍රධාන වූ මහා ඇමතියන් නොයොදන සේක්වා. නුඹ වහන්සේලාගේ උපදේශ මාර්ගයෙන් අවක්‍රමණය නොකරන්නා වූ ප්‍රතිලබ්ධ නියෝග ඇති හුදකලා වූ මට දුරතික්‍රමනය අනුශාසනා ඇත්තා වූ ම ස්වාමිහුගේ අනුශාසනාව නොසිස් ආකාර කරනු පිණිස කිසි කලෙකත් බරෙක් නැතැයි කීය."

පස් මසක් පුරා අරමණ ආක්‍රමණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙන්නේ ඉන් පසුවය. පැරකුම්බා රජුගේ ජාත්‍යන්තර වෙළඳ හා නාවික කටයුතු භාරව ද්‍රවිඩ, කේරළ ඇතුළු විදේශ සම්භවයක් ඇති පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් සේවය කළේයැයි සිතිය හැකිය. ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් පුද්ගලයාද එවැන්නෙකු විය හැකිය. අරමණ විජයග්‍රහණයෙන් පසු යුද විරුවකු බවට පත් වන අනෙක් ප්‍රධාන චරිතය කීර්ති නගරගිරි නමැත්තාය. මොහු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීමට ඉඩ තිබේ.

කාකද්වීපය ජයගෙන (විනාශ කර), අරමණ රටට ලඟා වන ලංකා හමුදාවන් ක්‍රියා කරන්නේ ලංකාවට වරින් වර පැමිණි දකුණු ඉන්දීය හා යුරෝපීය ආක්‍රමණිකයින් ක්‍රියා කළ ආකාරයට වඩා වෙනස් අයුරකින් නොවේ.

ඔවුහු දිගට හරහට අරමණ වැසියන් මරා දමති. ඇතැමුන් යුද සිරකරුවන් ලෙස අල්ලා ගනිති. අරමණ වැසියන්ගේ නිවාස හා වගා බිම් ගිණි තබා විනාශ කරති. ගම් බිම් වනසමින් විශාල භීෂණයක් මුදා හරිති. ආක්‍රමණික පාර්ශ්වයකට මේවා කවදත් වීර ක්‍රියාවන්ය. දෙමළ අධිකාරීන් විසින් සෘජුව මෙහෙයවූ හමුදා අනු ඛණ්ඩයක් විසින් මේ අයුරින් පප්පළා තොට වනසද්දී, කීර්ති නගරගිරිගේ අණ යටතේ වූ හමුදා අනු ඛණ්ඩය කුසුම්තොට වනසයි.

"එකල්හි නැව් පසෙක නැන්ගවූ මහ බල ඇති යෝදයෝ අරමණ දේශයෙහි කුසුම්තොට ගොඩ බැස්සාහ. කීර්ති නගරගිරි ප්‍රධාන කොට ඇත්තා වූ ප්‍රබල වූ ඒ භටයෝ නැවෙන් ගොඩබට තොට පටන් බහා පළඳන ලද ඒ කවදත් හා ආයුධ ඇතිව අරමණ වැසි නොයෙක් දහස් ගණන් ඒ බලයෙන් බිහිසුණු යුදෙහිදී මරමින් මතැතුන් සෙයින් හාත්පස නෙරළු ආදී නොයෙක් වෘක්ෂයන් සිඳිමින් ගම්හි ගිණි ලමින් රාජ්‍යයෙන් භාගයක් විනාශ කළහ. ආදිත්‍ය ද්‍රවිඩාධිකාරින් විසින් අධිෂ්ඨිත නෞකා තොමෝද එම රට පප්පළා නම් තොට බටුවා, එසේම දෙමළ අධිකාරීන් ප්‍රධාන කොට ඇති ජනයෝ වෛරීන් විධ්වංසනය කරන්නා වූ ඝෝර වූ බිහිසුණු යුද කෙරෙමින් ජනලද වැසි බොහෝ වූ ඒ (අරමණ) ජනයන් ජීවග්‍රහණයෙන් අල්වමින් එකල්හි අරමණ නම් ඒ රට අත්‍යත්ථයෙන් ඇලලූහ."

මහා වංශයේ සඳහන් පරිදි, මෙසේ නගර කිහිපයක භීෂණය පතුරුවන ලංකා හමුදාවන් පසුව ආරවුලට මුල් වූ නගරයට ඇතුළුව එහි පාලකයාව මරා දමයි. ඉන්පසුව, අරමණ දේශය හෝ එහි කොටසක් ලංකා රාජ්‍යයේ ආධිපත්‍යයට නතු කර ගනී.

විදේශ හමුදාවකගේ ආක්‍රමණය හේතුවෙන් බොහෝ පීඩාවට පත් වන අරමණ වැසියෝ දෙරට සංඝ සංස්ථා අතර ඇති සමීප සම්බන්ධතාවය ප්‍රයෝජනයට ගනිමින් සාම සාකච්ඡා වලට එළඹෙති. ත්‍රෛනිකායික සඟුන්ගේ මැදිහත්වීමෙන් පැරකුම්බා රජු සිය හමුදා ආපසු ගෙන්වා ගැනීමට කැමති වන අතර (පැරකුම්බා සමයේ පැවති නිකායත්‍රය කුමක්දැයි පැහැදිලි නැත), ලංකාවට වඩාත් වාසිදායක පරිදි වෙළඳ ගිවිසුමක් නැවත අත්සන් කෙරේ. ඒ අනුව, ඉන්පසුව අවුරුදු පතා ලංකාවට බොහෝ ඇතුන් පැමිණේ.

රටවල් දෙකක් අතර සිදුවන වෙළඳාමෙන් සාමාන්‍යයෙන් දෙරටටම සිදුවන්නේ වාසියකි. එහෙත්, බොහෝ විට මේ එක් එක් රටට ලැබෙන වාසි සමාන නැත. ප්‍රායෝගිකව, ඒ වාසි දෙරට අතර බෙදෙන ආකාරය වෙළඳ ගිවිසුම් මඟින් තීරණය වේ. වෙළඳ ගිවිසුම් වල කොන්දේසි තීරණය වන්නේ එක් එක් රට සතු හෙට්ටු කිරීමේ හැකියාව මතය. වඩා ප්‍රබල ආර්ථික, දේශපාලනික හෝ යුද ශක්තියක් ඇති රටකට බොහෝ විට වැඩි හෙට්ටු කිරීමේ හැකියාවක් තිබේ. අරමණය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව එහි අළුත් පාලකයින් සමඟ මහ පැරකුම්බාවන් විසින් අත්සන් කළ වෙළඳ ගිවිසුම පෙර පැවති ගිවිසුමටත් වඩා ලංකාවට වාසිදායක වූ බව නිසැකය.


(Image: www.crossed-flag-pins.com)

Monday, July 11, 2016

මියන්මාර් පාලනය පෙරළීමට ලංකාවෙන් මෙහෙයුමක්!


ථෙරවාද බෞද්ධ රටවල් වූ ලංකාව හා මියන්මාරය අතර කවදත් තිබුණේ සමීප සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයකි. මහ පැරකුම්බා සමයේදී ලංකාව ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සිය ස්ථාවරය තිරසාර කර ගනිමින් සිටියදී, මියන්මාර පාර්ශ්වයෙන් පැනවූ සෘජු හා වක්‍ර වෙළඳ සම්බාධක හේතුවෙන් මේ සම්බන්ධය පළුදු වී ලංකා හමුදාවන් විසින් මියන්මාරය ආක්‍රමණය කිරීමට පෙළඹීම දක්වා තත්ත්වය ඔඩු දුවයි. මහා වංශයේ හැත්තෑ හය වන පරිච්ඡේදය අනුව, මහ පැරකුම් සමයට පෙර දෙරට අතර පැවති සබඳතාව මෙවැන්නකි.

"සම්‍යග්දෘෂ්ඨි සමඟි මිනිසුන්ගේ නිවස බැවින් ලංකා රාමඤඤ දේශයන්ගේ භේදයෙක් හැම කල්හි නොවීය. ලක්දිව අධිපති වූ රජ දරුවෝද රාමඤඤ දේශ ඊශ්වරයෝද යන මේ දෙපක්ෂයෙහි ඇත්තෝ සාදෘශ්‍යයෙන් හැම කල්හිම පරාම සෞගතයහ. එහෙයින්, දේශ දෙක්හිම පූර්වික සියලු රජදරුවෝ දැඩි සේ හටගත් විස්වස් ඇත්තේ සිතින් යුක්තවම හිතයෝය. මාහැඟි නොයෙක් පඬුරු උනුන් වෙත පමුණුවමින් බොහෝ කලක් නොකඩවා සමඟි බැව් පැවැත්වූහ."

මේ සමීප රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව මෙසේ පැවතෙද්දී කලක් තිස්සේම සිදුවුණු එක් චාරිත්‍රයක් ලෙස මියන්මාරයට ලංකාවෙන් පැමිණෙන සෑම නැවකටම අරමණ රජයෙන් ලැබෙන තුටු පඬුරක් ලෙස ඇතෙකු බැගින් ලැබුණේය. පෙර ලිපියෙන් විස්තර කළ වෙළඳ සම්බාධක හා මිල වැඩි කිරීමට අමතරව අරමණ රජු විසින් මේ චාරිත්‍රය බිඳිමින් ඇත් පඬුර නවත්වයි. ඒ අතරම, ලංකාවෙන් එහි යැවෙන අපනයන භාර ගන්නා නමුත් එහි මිල ලෙස ලබා දීමට පොරොන්දු වූ භාණ්ඩ ලබා දීම මඟ හරිමින් ජාත්‍යන්තර වෙළඳ නීති උල්ලංඝනය කරයි.  ලංකා වෙළඳ නියෝජිතයෝ සිර ගත කරනු ලබති.


"ගෙන යන පඬුර පිණිස නැවක් පාසා එකෙක් එකෙක් බැගින් දෙනු ලබන්නා වූ පුරාණ ඇත් පඬුර මුලිනිදිරි. තමන් උදෙසා එලවන ලද රන්මුවා ලියුම් දක්නේත්, ... සියලු වස්තු උදුරාගෙන ලංකේශ්වරයාගේ දූතයින්  කඳුරට බලකොටුවක ලැවීය. ... දිය ඇදීම් පිණිසද සිර ගෙට ලද යෙදුවේයි."

" නැවත එක් කලෙක ඇතුන් විකිණ ගන්නා පිණිස ලංකේශ්වරයා විසින් මෙහෙයන ලද පඬුරු හා බඩුත් දූතයන් අතින් හැරගෙන 'ඇතුන් තුදුසක්  තොපට දෙමු. රිදී මිල හෝ දෙමු.' යයි මෙසේ කියා උන්ට කිසිවක් නොදෙන්නේ හුදෙක් බොරුම කීය. ඉක්බිති ලංකාධිපතීහු විසින් කාම්බෝජ රට බලා යවන ලද රජ කුමරියක්ද බලාත්කාරයෙන් උදුරා ගත."


මේ අනුව, ලංකාව මුහුණ දුන් ප්‍රශ්නය ලංකාව හා මියන්මාරය අතර ද්විපාර්ශ්වික වෙළඳාම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. පැරකුම්බා රජයේ සමස්ත අපනයන  වෙළඳපොළ ව්‍යාපෘතියටම එල්ල වූ තර්ජනයකි.


මේ  ආකාරයෙන් දිගින් දිගටම කෙණෙහිලිකම් සිදු වෙද්දී මහ පැරකුම්බාවන්ගේ ඉවසීමේ සීමාව පනී. ඔහු සිය ඇමතියන් රැස් කරවා "අරිමර්දන රජහු අල්වා ගැනීම හෝ මැරීම හෝ වහාම කටයුතුය"යි නියෝග කරයි. "එකල්හි, ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් ඇති එහි එක් ගණක මහ ඇමතියෙක්" මේ කටයුත්ත සඳහා වහාම ඉදිරිපත් වේ. පසුව, අරමණ ආක්‍රමණයේ  ප්‍රධාන නියමුවන් වන්නේ  ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ මේ මහ ඇමති වරයා සහ කීර්ති නගරගිරි නම් වූ සෙනෙවියෙකි.

ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී විසින් රජුගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට වහාම ඉදිරිපත් වීම ගැන සතුටු වන පැරකුම්බාවෝ අවශ්‍ය පෙර සූදානම් කටයුතු වහා අරඹයි.

"පසුව මහා යසස් ඇති ඒ රජ තෙමේ 'නොයෙක් සියගණන් නැව් වහා සම්පාදනය කටයුත්තාහ'යි නියෝග කෙළේයි. එකල්හි මොනවට පටන් ගන්නා ලද නැව් කර්මාන්තයෙන් ආකූල වූ හාත්පස මුහුදුබට දේශයේ එක් කර්මාන්ත ශාලාවක් බඳු වූහ. පසුව පස්මසකින් ඒ සියළු නැව්කම් නිමවා දළුවක් නම් තොට යුහුව රැස් කරවී. ඒ රජ තෙමේ අවුරුද්දකට පොහෝනා සහල් ආදී මාර්ගෝපකරණද සන්නාහ ආයුධ ආදී නොයෙක් යුද්ධෝපකරණද, ... අයෝමය සන්නාහද, ගෝණ සමින් කළ සන්නාහද, .." ඇතුළු කළමනා ප්‍රසම්පාදනය කරයි. මෙසේ එකතු කරන සම්පත් අතර විෂ පෙවූ හී වල විෂ නසන ඔසුද, විස මුසු ජලයේ විෂ නසන ඔසුද තිබේ. මේ අනුව පෙනෙන්නේ යුද්ධ වලදී සතුරන් නැසීම පිණිස විෂ යොදා ගැනීම ඒ කාලයේදී සාමාන්‍ය දෙයක් බවයි.

අරමණ දේශය ගැනීමට යන කණ්ඩායමේ යුද සෙබළුන්ට අමතරව තවත් ප්‍රධාන කණ්ඩායම් දෙකක් සිටිති. ඒ, "තියුණු  බුද්ධි ඇති වෙදුන්" හා "සප්පායකාර ස්ත්‍රීන්"ය. මේ සප්පායකාර ස්ත්‍රීන්ගේ කාර්ය භාරය වූයේ යුද භටයින්ගේ ඉවීම් පිහීම්, සාත්තු සේවා, පිරිසිදු කිරීම් වැනි කටයුතු කිරීමද එසේ නැත්නම් නිවෙස් වලින් බැහැරව කලක් ගත කරන ඔවුන්ගේ සියළු අවශ්‍යතා සැපිරීමද යන්න පැහැදිලි නැත.

මෙසේ සියළු කටයුතු සම්පූර්ණ කෙරුණු පසු අරමණ දේශය බලා ගමන් ඇරැඹු නැව් පන්තිය "ඉතා වේගයෙන් යන්නේ ගමන් ගත් දිවයිනක් සේ පෙනිණ."


අරමණ ආක්‍රමණයට ආසන්න හේතුව වූයේ එහි පාලකයාගේ හැසිරීමයි. කෙසේ වුවද, ආර්ථික ශක්තියෙන් ඉදිරියට එන රටවල පාලකයින්ට "සස්නද ලොවද සෘජු කොට තබන්නෙම්නම් යෙහෙකි." යැයි සිතීම සාමාන්‍ය දෙයකි. එදා මෙදාතුර, ආර්ථික ශක්තිය අතින් ඉදිරියෙන් සිටින බොහෝ රටවල පාලකයෝ තමන්ගේ රටින්  පිටත වෙනත් රටවල්ද  තමන්ගේ අභිලාෂ වලට ගැලපෙන  පරිදි පැවතෙනු දකින්නට කැමැත්තෝය. එමෙන්ම, යුද්ධාභිලාෂ  කිසියම් රජයක රාජ්‍ය ප්‍රතිපත්තියෙහි ප්‍රමුඛ අංගයක් වූ කළ, පැත්තක සිටින පාර්ශ්ව වලටද පීඩා විඳින්නට සිදුවේ.

අරමණ මෙහෙයුමේ පළමු ගොදුර වන්නේ අරමණ වැසියන් නොවේ. අතරමඟ පැත්තක සිටින, ලංකාවට කිසිදු කෙණෙහිලි කමක් කර නැති, කාකද්වීපයේ වැසියෝය.

"එක් නැවෙක නැංගා වූ ඉතා සමර්ථ බොහෝ භටයෝ කාක දිවයිනට ගොඩ බැස්සෝ එහි යුද කොට ඒ දිවයින් වැසි නොයෙක් ජනයින් ජීවග්රහයෙන් අල්ලාගෙන එයින් ගෙනවුත් ලංකාධිකාරීන්ට දැක්වූහු."

කෙසේ වුවද, පසුව ලංකා හමුදාවෝ සිය අවසන් ඉලක්කය වන අරමණ දේශයේ කුසුම්තොටට ගොඩ බසිති. ඉන් පසු සිදු වූ දේ  ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.


(Image: wwp.greenwichmeantime.com)

Thursday, July 7, 2016

වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට...


පරාක්‍රමබාහු යුගයේදී, ඒ කාලයට සාපේක්ෂව, ලංකාව ආර්ථික, දේශපාලනික හා යුදමය ලෙස බලවත්ව හා ස්ථාවරව පැවති රටකි. මේ යුගය ගැන සැලකිය යුතු විස්තරයක් මහාවංශයෙහි ලියවී තිබේ.

රට එක්සේසත් කර සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීම සඳහා වූ පැරකුම්බාවන්ගේ අධිෂ්ඨානය මෙන්ම සිය රටට අමතරව බුදුසසුන හා රටින් පිටත ලෝකය ගැන ඔහුගේ පැවති අපේක්ෂාවන්ද මහා වංශයේ හැටනවවන පරිච්ඡේදය ආරම්භයේ මෙසේ ලියැවී තිබේ.

"එකල්හි පැරකුම්බා රජතෙම මෙසේ සිය රජය නිරවුල් කොට තබා කටයුතු මෙසේ සිතී."

"මෙකල්හි මම වහාම ලංකාව එක්සේසත් කොට සස්නද ලොවද සෘජු කොට තබන්නෙම්නම් යෙහෙකි."


මේ දේශපාලනික අරමුණ වියදම් අධික කටයුත්තකි. පැරකුම්බාවෝ ඒ වියදම් අධික කටයුත්තට අත ගසති.

"මෙසේ සිතා සාමන්තයන් හා මාණඩලීකයන්ට සේනාවද, යුද පිණිස උපකරණද සපයනු පිණිස උපදෙස් දෙමින් ක්ෂත්‍රිය තෙමේ පළමු කොට රත්කුරවක නම් රට දෙමළ සෙනඟට අධිපති වූ මලය රට නැමැත්තා කැඳවා නොයෙක් බලද හසුන්ද ඔවුන්ට සන්නාහයන් හා අවිද සපයා එහි වසන පිණිස යැවී. තඹ රටද, ගිරිබා පටද, මොණර වැවද, මීපල් නම් රටද, බුත්ගමු නම් රටද අළ වන නම් රටද, බෝගම්බරනම් රටද, කටුපේකට නම් රටද පසල් දනව් රක්නා ඇමතියන් වෙන් වෙන් වශයෙන් කැඳවා නොයෙක් දහස් ගණන් යෝධයින් හා කොටුද, සන්නාහයන් ද, කඩු තෝමර හෙල්ල ආදී නොයෙක් ඇවිද සපයා ඒ ඒ තන්හිම වසන පිණිස යැවී."

යුද උපකරණ වලට මෙන්ම දේශීය හා විදේශීය සෙබළුන් බඳවා ගනිමින් හමුදා ශක්තිය තර කිරීමටද පැරකුම්බා රජය මුදල් වැය කරයි.

"මහත් සිරුරු හා මහ බලැතියන් නොයෙක් දහස් ගණන් මුගුරු ගන්නා යෝධයන් කොට යුද්ධෝපකරණ ද දින. අන්‍ය දේශවාසී වූ කේරළාදී කෘතහස්ත යෝධයන් සම්බන්ධී වූ බොහෝ දහස් ගණන් ද සෑදී."

මෙසේ යුද වියදම් වැඩි වෙද්දී, පරිපාලනයද පුළුල් වී පැරකුම්බාවන්ගේ රජය ප්‍රසාරණය වෙයි. සිය පරිපාලන නිලධාරීන්ගේ විදෙස් භාෂා දැනුම ඇතුළු මානව ප්‍රාග්ධනය එකතු කිරීම ගැනද ගැනද පැරකුම්බාවෝ සැලකිලිමත් වෙති.

"ඇත් අස් කඩු ශිල්පයෙහිද අන්‍ය දේශ  භාෂායෙහිද නැටීම් ගීයෙහිද දක්ෂව රාජ කාර්යයෙහි නුවණැතිව වැඩෙත්වයි නොයෙක් කුලවතුන්ගේ පුත් සොහොවුරු මුණුබුරන් එකල අධිපති තෙමේ සිය මැදුරෙහි වැඩුවේය." මෙසේ සිය පරිපාලන නිලධාරීන් පුහුණු කරන අතරම ඔවුන් යටතේ සේවය කිරීම සඳහා තවත් දහස් ගණනක් රාජ්‍ය සේවකයෝ බඳවා ගැනෙති.


මෙසේ රජයේ යුද හා පරිපාලන වියදම් පුළුල් වෙද්දී පැරකුම්බා රජයේ අයවැය හිඟය ඉහළ ගොස් රාජ්‍ය භාණ්ඩාගාරය හිස්වන්නට පටන් ගනී. කෙසේවුවද, පැරකුම්බා රජය අයවැය හිඟය පියවා ගැනීම සඳහා පහසුම ක්‍රමය වන බදු වැඩි කිරීම වෙනුවට වෙනත් විකල්පයක් ගැන සිතයි.

"පිය රජහුගේ භාණ්ඩාගාරාධිකාරින්ගෙන් ධන ප්‍රමාණ දැන මා විසින් මෙපමණ ධනයෙන් ලංකා තොමෝ එක්සත් කරන්ට නොහැක්කීයයි නිශ්චය කොට ජන සමූහයා නොපෙළ මෙසේ ධනය රැස් කළේයි."



සිය පරිපාලනය විධිමත් කරමින් පැරකුම්බාවෝ පළමුව මුදල් හා ආරක්ෂක ඇමති වරුන්ද ඉන්පසුව වෙනත් ඇමති වරුන්ද පත් කරති. මේ අතර සිය ආර්ථික උපාය මාර්ගය අනුව විදෙස් වෙළඳාම පුළුල් කර රජයේ ආදායම වැඩි කර ගැනීමේ අරමුණෙන් "අන්තරංග" නම් ධුරයක් ඇති කර එම ධුරයට ඇමති වරයෙකු පත් කරයි. රටේ ආර්ථික වැදගත් කමක් ඇති ප්‍රදේශ මේ ඇමතිවරයාගේ සෘජු පාලනයට යටත් කෙරේ.

"මුහුදු තෙර රටින්ද, රුවන් ආකාර රටින්ද, මහ මලය රටින් ද, ඉන් අවශේෂ රටින්දැයි ඒ මිහිපල් තෙමේ සියල් සාර තැන් වෙන් කොට අන්තරංග ධුරයයැයි නම් කොට ඇමතියෙක් කෙරෙහි තැබී. හේ තෙමේ බොහෝ රුවන් නැව් වලින් යවා වෙළඳාම් කරවා ධන රාශියද වැඩී."


පැරකුම්බාවන්ගේ මේ ආර්ථික උපාය මාර්ගය සාර්ථක වෙයි. ලංකාව පෙර අපරදිග වෙළඳාම සිදුවන වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් වේ. නොයෙක් රටවලින් ආනයනය කෙරෙන වෙළඳ භාණ්ඩ වෙනත් රටවලට ප්‍රති අපනයනය කෙරේ.

ලංකාවේ අලි ඇතුන් වෙළඳාම මේ වන විට සියවස් ගණනක් පැරණි වෙළඳාමකි. රට තුළ අලි ඇතුන්ගේ හිඟයක් නැත. එහෙත්, වල් අලියෙකු අල්ලා හීලෑ කර වෙළඳ භාණ්ඩයක් ලෙස සකස් කිරීමට කාලයක් ගත වෙයි. එහි ආවස්ථික පිරිවැයද සැලකිය යුතු මට්ටමක පවතී. අරමණ දේශයේ (මියන්මාරයේ) හීලෑ අලි අඩු මිලකට විකිණේ. ඒ නිසා, අරමණ රටින් අලි ඇතුන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම හොඳ ව්‍යාපාරික අවස්ථාවකි. අරමණ දේශය සමඟ ඇති දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික හා සංස්කෘතික සම්බන්ධතා නිසා මේ කටයුත්ත වඩාත් පහසුය. කෙසේවුවද, ප්‍රවාහන වියදම් වෙන් කිරීමෙන් පසු ලාභයක් ලැබීමටනම් මියන්මාරයෙන් මේ අලි ඇතුන් අඩු මිලකට ලබා ගැනීමට හැකි විය යුතුය.

ලංකාව විසින් මියන්මාරයෙන් අලි ඇතුන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම කලක් සාර්ථක ලෙස සිදුවේ. එහෙත්, කල් ගතවෙද්දී ලංකාවේ ස්ථානගත කර සිටි සිය චර පුරුෂයකු ලබාදෙන තොරතුරු අනුව සිය අලි ඇතුන් කුණු කොල්ලයට විකිණෙන බවත්, ඔවුන් ප්‍රති අපනයනය කිරීමෙන් ලංකාව විශාල ලාභයක් ලබන බවත් මියන්මාර රජ තුමා දැනගනී. ඒ අනුව, ඔහු ලංකාවට වෙළඳ සම්බාධක පනවයි. ඉන් පසුව සිදු වූ දේ මහාවංශයේ හැත්තෑ හය වන පරිච්ඡේදයේ විස්තර වේ.



"...ඒ රජ තෙමේ මේ ලක්දිවින් ගිය කණෙහි කොඳුරන්නා වූ කිසි දූත කෙනෙකුන්ගේ බස් අසමින් තමන් වෙත ගිය ලංකේශ්වරයානන්ගේ දූතයන්ට පුරාණ සිරිත් වූ දෙනු ලබන්නා වූ වැටුප් පිරිහෙලී. බැහැර නොයෙක් තැන නොයෙක් දෙනා විසින් විකුණනු ලබන්නා වූ "ඇත්තු නොවිකිණිය යුත්තාහ ය" සම්මතයකුදු කරවී. යම් ඇත් කෙනෙකු වනාහී පූර්වයෙහි රිදී සියයට හෝ වැලි දහසට හෝ එහි පූර්වයෙහි විකුණනු ලබන්නෝ  "සහශ්‍රද්වයට හෝ සහශ්‍රත්‍රයට හෝ වික්ක යුත්තාහ" යි මෙසේ දුෂ්ට අදහස් ඇත්තා වූ හේ තෙමේ ගණන් සීමා තැබ්බ වී."

අරමණ රජු විසින් ක්ෂණිකව මෙවැනි විශාල මිල වැඩි කිරීමක් සිදු කළ විට නිදහස් වෙළඳාමෙහි වාසිය ලබමින් සිටි ලංකාව ලොකු අමාරුවක වැටෙන බව කිව යුතු නැත. ආර්ථික ශක්තිය ඇති රජයක එම ආර්ථික ශක්තිය දුර්වල කෙරෙන බාහිර ක්‍රියාවක් සිදු වූ විට එවැනි රජයක් යුදමය ක්‍රියාමාර්ග වෙත එළැඹීම අද මෙන්ම එදාත් සිදු වූ දෙයකි. ඒ අනුව, මහ පැරකුම්බාවෝද අරමණ දේශය ආක්‍රමණය කිරීමට තීරණය කරති.

ලංකා ඉතිහාසයේ, ලංකාව විසින් දකුණු ඉන්දියාවෙන් පිටත රටක් ආක්‍රමණය කළ එකම අවස්ථාව ලෙස සැලකිය හැකි පැරකුම්බාවන්ගේ මේ අරමණ ආක්‍රමණය ගැන ඊළඟ කොටසින් කතා කරමු.



උපුටා ගැනීම් සියල්ල හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩාවේ පඬිතුමන් විසින් සකස් කරන ලද, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ප්‍රකාශිත මහාවංශ සිංහල පිටපතෙනි.


(Image: www.delcampe.net)

Friday, July 1, 2016

අත්වැඩකරුවන් හිඟද?


ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අත්වැඩකරුවන්ගේ හිඟය ගැන එම ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු මැසිවිලි නඟති. පෙදරේරුවන් වැනි පුහුණු ශ්‍රමිකයන් හා අදාළවද මෙවැනි කතා අසන්නට ලැබේ. බොහෝ පිරිස් ත්‍රිරෝද රථ සේවා සැපයීම කෙරෙහි යොමුවීම මෙයට හේතුවක් බව ඇතැම් අය සිතති.

කිසියම් වෙළඳපොළක ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවක් පවතීනම් එහි ස්වභාවික හෝ කෘතීම බාධාවක් තිබිය යුතු අතර එය හඳුනාගත හැකි විය යුතුය.

පළමුව, දිගුකාලීනව ඉදිකිරීම් සිදු නොවන තරමේ ශ්‍රමික හිඟයක් මම නොදකිමි. එවැනි තත්ත්වයක් පවතීනම්, ඉදිකිරීම් කර්මාන්තයෙහි නියැලෙන්නෙන් අතර ශ්‍රමිකයින් වෙනුවෙන් උග්‍ර තරඟයක් ඇති වී, මේ ශ්‍රමිකයින්ගේ ශ්‍රමය වෙනුවෙන් ඔවුන් ගෙවන මිල කෙටි කලක් තුළ විශාල ලෙස වැඩිවනු පෙනිය යුතුය. එහෙත්, එවැන්නක් නොපෙනේ.

මා හිතන පරිදි, ඇත්තටම පවතින ප්‍රශ්නය අවශ්‍ය වෙලාවට ප්‍රමාදයකින් තොරව අත්වැඩකරුවන් හා/හෝ පෙදරේරුවන් සොයාගැනීමයි. මෙයද සැලකිය යුතු ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නය පැහැදිලිව දෘශ්‍යමාන වන්නේ කලකට පෙර පැවති තත්ත්වය සමඟ සැසඳීමේදීය.

ඉදිකිරීම් කටයුතු වලදී අත්වැඩකරුවන්ගේ ශ්‍රමය සඳහා වන ඉල්ලුම බොහෝ විචල්‍ය ඉල්ලුමකි. කොන්ක්‍රීට් දැමීම වැනි අවස්ථාවක එකවර විශාල ශ්‍රමිකයින් පිරිසක් අවශ්‍ය වෙයි. විශේෂයන්ම නාගරික ප්‍රදේශ වලදී මේ ඉල්ලුම සැපිරුනේ නාගරික පැල්පත්වාසීන් වූ අඩු අධ්‍යාපනයක් ලබා ඇති, රැකියා විරහිත තරුණයින්ගෙනි. මේ අය අතර දිනපතා මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ, කරන්නට වෙනත් නිශ්චිත කාර්යයක් නොමැති පිරිස්
අඩු නොවීය. තැරැව්කරුවෙකු හරහා අවශ්‍ය අවස්ථාවක මෙවැනි කණ්ඩායමක් එකතු කර ගැනීම දශකයකට හෝ දෙකකට පෙර එතරම් අසීරු හෝ වියදම් අධික කටයුත්තක් නොවීය. පසුගිය දශක දෙක තුළ රැකියා නියුක්තියෙහි සිදුවූ විශාල වැඩිවීම හේතුවෙන් දැන් මෙවැනි පිරිස් අවශ්‍ය වෙලාවට එසේ එකතු කරගැනීම පහසු නොවන බව පෙනේ.

අත්වැඩකරුවන් සඳහා මෙන්ම පෙදරේරුවන් හා තීන්ත ආලේපකරුවන් වැනි පුහුණු ශ්‍රමිකයින් සඳහා වන ඉල්ලුමද වසර පුරා එක ලෙස නොපවතින විචල්‍ය ඉල්ලුමකි. සිය ශ්‍රමය සඳහා වන ඉල්ලුම නියත ඉල්ලුමක් නොවූ විට ශ්‍රමිකයෙකුට ඉල්ලුම් කළමනාකරණ ක්‍රමවේද ගැන සිතන්නට සිදුවේ.


ඇඟ මහන්සි වී කරන වැඩ වලට මිනිසුන්ගේ ස්වභාවික ප්‍රතිරෝධයක් තිබේ. අඩුවෙන් මහන්සි වී වැඩි ප්‍රතිලාභයක් ලබන්නට කවුරුත් වාගේ කැමතිය. තාක්ෂනය මඟින් එසේ අඩුවෙන් මහන්සි වී වැඩි ප්‍රතිලාභ ලබන්නට මිනිසුන්ට ඉඩ සලසයි. තාක්ෂණ දියුණුව සමඟ නුපුහුණු ශ්‍රමයට ඇති ඉල්ලුම අඩු වන නමුත්, පුහුණු ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභ වඩා වේගයෙන් වැඩි වන නිසා නුපුහුණු ශ්‍රම සැපයුමද සමාන්තරව අඩු වේ. මේ නිසා රටක ආදායම් හා අධ්‍යාපන මට්ටම් ඉහළ යද්දී නුපුහුණු ශ්‍රමය සඳහා වන වෙළඳපොළේ ඇති ශ්‍රම අතිරික්තය ක්‍රමයෙන් ක්ෂය වී යයි.

නුපුහුණු ශ්‍රම වෙළඳපොළෙහි සිය ශ්‍රමය විකුණන අත්වැඩකරුවෙකු හෝ පුහුණු ශ්‍රමය විකුණන පෙදරේරුවෙකු කම්හලක හෝ රජයේ කාර්යාලයක සේවය කරන්නෙකු මෙන් සතියේ දින පහක් වැඩ කර දින දෙකක් විවේක ගන්නට කැමති වනු ඇත. එහෙත්, ඒ ආකාරයෙන් සිය ශ්‍රමය විකිණීමටනම් ශ්‍රමය සඳහා විචල්‍ය නොවන ස්ථාවර ඉල්ලුමක් පැවතිය යුතුය. එහෙත්, පවතින ඉල්ලුම එවැනි ස්ථාවර එකක් නොවේ. මේ නිසා, මෙවැනි රැකියාවක නිරත අයෙකුට තමන්ගේ ශ්‍රමයට ඇති විචල්‍ය ඉල්ලුම ස්ථාවර කර ගැනීම සඳහා ක්‍රමෝපායික වන්නට සිදුවේ. මෙහිදී එවැන්නෙකු විසින් ක්‍රමෝපායික වන්නේ (වෙනස්කම් ඇතත්) චැනල් සේවා සැපයීමේදී වෛද්‍යවරයෙකු ක්‍රමෝපායික වන ආකාරයටමය.

පෙදරේරුවෙකු ඉල්ලුම ඇති විට එකවර ඇණවුම් කිහිපයක් භාරගනී. එසේ ඇණවුම් කිහිපයක් භාර ගැනීමෙන් පසු එවැන්නෙකු එක දිගට එකම තැනක වැඩ නොකර මේ සේවා ස්ථාන දෙක තුන අතර මාරුවෙන් මාරුවට වැඩ කරයි. එහෙත්, පෙද
රේරුවෙකුගේ සේවය ලබා ගන්නා අයෙකුට අවශ්‍ය වන්නේ ඔහුගෙන් (මේ වෘත්තියෙහි නිරත වන කාන්තාවන් ඉතා සීමිත නිසා ඔහු යන වචනය යොදමි.) එක දිගට වැඩ ගැනීමටය. ඒ නිසා, තමන් සමාන්තරව භාරගෙන ඇති අනෙකුත් ඇණවුම් සම්බන්ධ තොරතුරු  එළිදරවු නොකර බොරු කියන්නට ඔහුට සිදුවේ. තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය කටයුත්ත සිදු නොවී ප්‍රමාද වන බැවින් පෙදරේරුවාගේ සේවය ලබා ගන්නා අයට පෙදරේරුවන්ගේ හිඟයක් පෙනේ.

අවශ්‍ය අයෙකුට අවශ්‍ය වෙලාවටම පෙදරේරුවෙකුගේ, තීන්ත ආලේපකරුවෙකුගේ හෝ අත්වැඩකරුවෙකුගේ සේවය ලබා ගැනීමට හැකිවීමටනම් එවැන්නන්ගේ සැපයුම, වසර තුළ ඉල්ලුම උපරිමයක් වන මට්ටමට පැවතිය යුතුය. එහෙත්, සැපයුම ඒ තරමට වැඩි වුවහොත් මෙවැන්නන්ට වසරේ සැලකිය යුතු කලක් රැකියා විරහිතව ඉන්නට සිදුවේ.

කලකට පෙර විශාල පිරිසක් රැකියා විරහිතව සිටියදී මෙවැනි අතිරික්ත ශ්‍රම සැපයුමක් පැවති නිසා ක්ෂණික ශ්‍රම අවශ්‍යතාවයක් සපුරාගැනීම අපහසු කරුණක් නොවූවත් එය තවදුරටත් එසේ නොවේ. මෙසේ රැකියා විරහිතව සිටි කණ්ඩායමෙන් පිරිසක් මේ වන විට ත්‍රිරෝද රථ සේවා සැපයුමෙහි නිරතව සිටිනවා විය හැකිය. ඔවුන් දවසක් තුළ කිසියම් ඵලදායී කාර්යයක නිරත වන කාලය පැය කිහිපයක් වන්නටද පුළුවන. නමුත්, වසරක් තුළ දින කිහිපයක් පමණක් කිසියම් ඵලදායී කාර්යයක නිරත වීමට සාපේක්ෂව එය සේවා නියුක්තියේ සැලකිය යුතු වැඩිවීමකි.

එසේනම්, පෙදරේරුවෙකු හෝ අත්වැඩකරුවෙකු අවශ්‍ය අයෙකුට පොරොත්තු කාලය අඩු කරගැනීමට නොහැකිද?

බැරිකමක් නැත. ඒ සඳහා ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල වැඩි විය යුතුය. එවිට, සේවා නියුක්තිය සතියකට දින දෙක තුනක් වුවත් මේ සේවා සපයන්නෙකු බලාපොරොත්තු වන ආදායම ලැබෙන බැවින් තවත් පිරිසක් මේ සේවාවන් සැපයීම කෙරෙහි යොමුවනු ඇත.

එසේනම්, වෙළඳපොළ බලවේග මඟින් එවැනි මිල වැඩිවීමකට ඉඩ නොසලසන්නේ ඇයි?


අඩුම වශයෙන් හේතු තුනක් නිසාය.

1. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු හා නුපුහුණු ශ්‍රමය මිල දී ගන්නා ඉදිකිරීම් සමාගම්, කොන්ත්‍රාත්කරුවන් හා නිවාසයක් තැනීම වැනි කටයුත්තක යෙදෙන සාමාන්‍ය පුද්ගලයින්ට 'වැඩේ හැකි ඉක්මණින් ඉවර කර ගැනීමේ' හදිස්සිය කොතරම් වැඩි වුවත් 'පුළුවන් තරම් අඩුවට වැඩේ කර ගැනීමේ' උවමනාව ඊට වඩා වැඩිය. වෙනත් අයුරකින් කිවහොත් පොරොත්තු කාලය අඩු කර ගැනීම සඳහා ගෙවිය යුතු මිල ගෙවන්නට ක්ෂේත්‍රය සූදානම් නැත.

2. ඓතිහාසික හේතු මත අත්වැඩකරුවන් මෙන්ම පෙදරේරුවන්ද සිටින්නේ ලංකාවේ සමාජ ධුරාවලියේ පහළ මට්ටමකය. එවැන්නෙකුගේ ආදායම් මට්ටම කාර්යාලීය රැකියාවක යෙදෙන්නෙකුගේ ආදායම් මට්ටමට වඩා බෙහෙවින් වැඩි වුවද මේ තත්ත්වය එසේමය. සමාජ තත්ත්වය පෙන්වීමේ පීඩනය අඩු නිසා මේ රැකියා කරන්නෝ ඔවුන්ට දැනට ලැබෙන ආදායමෙන් ජීවත් වීම ප්‍රශ්නයක් ලෙස නොදකිති. ඒ නිසා, ඔවුන්ගෙන් සිය වැටුප් ඉහළ නංවා ගැනීම සඳහා පීඩනයක් ඇති නොවේ.

3. මේ ශ්‍රමිකයන්ට ලොකු මූල්‍ය කළමණාකරණ කුසලතා නැත. ඔවුහු බොහෝ විට කරන්නෝ එදිනෙදා ආදායමෙන් එදිනෙදා වියදම් පියවා ගැනීමයි. ඒ නිසා, වසරේ අහඹු දින සියයක් තුළ දිනකට රුපියල් හයදහස බැගින් ලැබෙන විකල්පයකට වඩා, දින තුන්සියයක් දිනකට රුපියල් දෙදහස බැගින් ලැබෙන විකල්පයකට ඔවුහු කැමැත්තෝය.


(Image: www.unhabitat.lk)

Wednesday, June 29, 2016

අලින්ට කිරි අපිට කැකිරි...


පසුගිය සතියේ අපි උඩවලව ඇත් අතුරු සෙවණේ  'අලි පැටවුන්ට කිරි පොවනු බලන්නට' ගියෙමු. ලංකාවේ අලි ගැනත්, ලංකාවේ අලි දඩයම් ගැනත්, ලංකාවේ අලි වෙළඳාම ගැනත්, අලි පැටවුන්ට මිනිසුන්ගෙන් කිරි බීමට සිදු වී තිබීම ගැනත් මෙන්ම  සද්දන්ත හස්ති රාජයින් මෙන් පෙනී සිටි අය කිරි බොන අලි බබාලා වී සිටීම ගැනත් කියන්නට බොහෝ දේ ඇතත් මේ ලිපිය ඒ එකක්වත් ගැන නොවේ.

මේ ලිපිය උඩවලව ඇත් අතුරු සෙවණේ අලි පැටවුන්ට කිරි පොවනු පෙන්වීමේ සේවාව හා ඒ වෙනුවෙන් අය කරන මිල ගැන සරල සටහනකි. මේ හුදෙකලා වෙළඳපොළ ගැන කතා කරන්නේ ලංකාවේ වෙනත් බොහෝ වෙළඳපොළ වල ඉල්ලුම හා සැපයුම සමතුලිත වන ආකාරයද මෙහි එය සිදුවන ආකාරයට සමාන බැවිනි.

වසර දහයකට පමණ පෙර උඩවලව ජාතික වනෝද්‍යානය නරඹන්නට යනවිට මේ කිරි පෙවීමේ කටයුත්ත නැරඹීමට මුදලක් අය කළ බවක් මතකයේ නැත. එහෙත්, දැන් ඒ සඳහා දේශීය වැඩිහිටියෙකුගෙන් රුපියල් විස්සක මුදලක් හා දරුවෙකුගෙන් රුපියල් දහයක මුදලක් අය කෙරේ. මේ මුදල් අයකිරීමෙහි කිසිදු වරදක් නැත. ජාතික වනෝද්‍යාන නඩත්තු කිරීමේ පිරිවැය බදු මඟින් පොදුවේ මහජනතාවගෙන් අයකරගන්නවාට වඩා ඒවා නරඹන්නට පැමිණෙන අයගෙන් අය කර ගැනීම සාධාරණය. එවිට එම පිරිවැය දරන්නේ රජය විසින් මෙවැනි තැන් නඩත්තු කිරීම හේතුවෙන් සතුටක් ලබන අය පමණක් බැවිනි. එයට අමතරව මිලක් නියම කිරීම මඟින් ඉල්ලුම කළමනාකරණය කිරීමේ හැකියාවද උද්‍යාන පාලකයින්ට ලැබේ.

දේශීය නරඹන්නන්ගෙන් එවැනි මිලක් අය කළද විදේශිකයින්ගෙන් අය කරන මුදල ඊට වඩා බොහෝ වැඩිය. මේ ස්ථානයේදී එසේ අය කරන මුදල මට හරියටම මතක නැතත් එම මුදල 37.5 ගුණයකින් පමණ වැඩි යැයි සිතමි. පසුගිය දිනවල අප නැරඹු කෞතුකාගාර, වනෝද්‍යාන වැනි බොහෝ තැන්වල දේශීය හා විදේශීය ප්‍රවේශපත්‍ර ගාස්තු අතර අනුපාතය බොහෝ විට රුපියල් 4කට ඩොලරයක් විය. මේ අනුපාතය වැඩි විය හැකි වුවත්, විදේශීය නරඹන්නන්ගෙන් වැඩි මිලක් අය කිරීම මම වරදක් ලෙස නොදකිමි.

එයට හේතුව බටහිර රටවල මෙවැනි තැනක් නැරඹීමට ගෙවිය මිල ඩොලර් පහළොවක් විස්සක්වත් වීම හෝ විදේශික සංචාරකයින්ට ගෙවන්නට ඇති තරම් සල්ලි තිබීම නොවේ. පළමු තර්කය බටහිර රටවලින් පැමිණෙන සංචාරකයින්ට අදාළ වුවත් ඉන්දියාව වැනි රටවලින් පැමිණෙන්නට අදාළද නැත.

ලංකාවේ කෞතුකාගාර, වනෝද්‍යාන වැනි තැන් බොහොමයක්ම නඩත්තු කරන්නේ රජය විසිනි. එය බොහෝ විට ලාභ ලබන කාර්යයක් නොවන බැවින් ආදායම් හා වියදම් අතර පරතරය පියවෙන්නේ මහජන මුදලිනි. බදු ගෙවීම් හරහා රටේ ජනතාව මේ පරතරය පියවන බැවින් ඔවුහු එවැනි තැනක් නරඹන්නට පැමිණෙන්නට පෙරම එහි නඩත්තු වියදමින් කොටසක් ගෙවා අවසන්ය. විදේශික නරඹන්නන් එවැනි දායකත්වයක් දක්වා නැත. ඒ නිසා වඩා සාධාරණ වන්නේ මෙවැනි මිල වෙනසක් තිබීමයි. වඩාත්ම සාධාරණ වන්නේ දේශීය හා විදේශීය නරඹන්නන්ගෙන් අය කරන මුදලින් පිරිවැය හැකිතාක් කලමනාකරණය කරගෙන බදු මුදල් යෙදවීම තවදුරටත් අඩු කිරීමයි. මේ සඳහා, දේශීය නරඹන්නන්ගෙන් අයකරන ප්‍රවේශ ගාස්තුද යම් තරමකින් ඉහළ දමන්නට සිදු විය හැකිය.

කෙසේ වුවද, බටහිර රටකදී මෙවැනි තැනක් නැරඹීමට වැඩි මිලක් අය කළත් සාමාන්‍යයෙන් ගෙවන මිලට සැලකිය යුතු යමක් ලැබෙන බව මගේ අත්දැකීමයි. කිසියම් සේවාවක් සඳහා මුදල් අය කරන්නේනම් එම මුදලට සරිලන සේවයක් සැපයීම සේවා සපයන්නෙකුගේ යුතුකමකි.

මුදල් ගෙවා අලින්ට කිරි පොවනු බලන්නට අප ගියද කිරි තබා අලි බැලීම හිතූ තරම් පහසු නොවීය. අතුරු සිදුරු නැතිව පිරී සිටි සෙනඟ අතර අලියෙකුගේ හොඬවැලක්වත් නොපෙනේ. මම මගේ බාල දරුවා කරට ගත්තෙමි. දැන් මට අලි නොපෙනුනත් ඔහුට පෙනේ. එහෙත්, වඩා නොඋස් මගේ බිරිඳට හෝ වැඩිමල් දරුවාට කිසිවක් නොපෙනේ.

"මොන කෙහෙම්මලක්ද සල්ලි ආපහු ඉල්ලගන්න ඕනෑ!" මගේ බිරිඳට මළ පැනලාය. ඇය මගේ වැඩිමල් දරුවාද රැගෙන ආපසු යන්නට සැරසුණේය.

රුපියල් විස්සක් යනු විශාල මුදලක් නොවේ. ඒ මුදලට වායු සමීකරණය කළ කුටියක සුව පහසු අසුනක දිගාවී අලි බලන්නට නොහැකිය. එහෙත්, ලැබෙන මොනවා හෝ දෙයක් තිබිය යුතුය. අප ප්‍රවේශපත් මිල දී ගත්තේ කිසියම් සේවාවක් අපේක්ෂාවෙනි.

අප නැරඹු කෞතුකාගාර කිහිපයක්ම සෙනඟ නැතිව පාළුවට ගොස් තිබුණත් මෙහි පැවතියේ එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයයි. සැපයුමට වඩා ඉල්ලුම බොහෝ වැඩිය. ආර්ථික විද්‍යා න්‍යාය අනුව එය එසේ වන්නේ මිල 'නියම මිලට' වඩා අඩු වූ විටය. මෙසේ මිල නියම මිලට වඩා අඩුවෙන් නියම කර ඇති බැවින් නරඹන්නෙකුට සේවාව ලබාගැනීම සඳහා තවත් අමතර මිලක් ගෙවන්නට සිදු වේ.

ඉහත කී අමතර මිල ගෙවිය හැකි ක්‍රම දෙකකි. පළමුවැන්න, සෑහෙන වෙලාවකට පෙර පැමිණ තැනක් අල්ලා ගැනීමයි. එවිට, ගෙවන්නට සිදුවන අමතර පිරිවැය මේ නාස්ති වන කාලයේ ආවස්ථික පිරිවැයයි. එදින අපේ වැඩසටහනට උඩවලව වනෝද්‍යානය, සංඛපාල රජමහා විහාරය, සීනි කර්මාන්ත ශාලාව හා ඉස්කාගාරය ඇතුළු තැන් කිහිපයක්ම ඇතුළත්ව තිබූ බැවින් අපට මේ කාලයේ ආවස්ථික පිරිවැය ඉතා විශාල විය. දෙවන ක්‍රමය වූයේ බාහු බලය ප්‍රයෝජනයට ගනිමින් බලු පොරයට වැටී සෙනඟ තෙරපාගෙන ඉදිරියට රිංගීමයි. අපට හා අපේ දරුවන්ට මේ දෙවැනි ක්‍රමයද නුහුරුය.

අප පත් වූ තත්ත්වයට පත්ව සිටි, වැඩි මිල ගෙවා පැමිණි විදේශීය නරඹන්නන්ද කිහිප දෙනෙකුම අපි දුටුවෙමු.


කෙසේ වුවද, නරඹන්නන් අතර සිටි එක් පරාර්ථකාමී මිනිසෙකු නිසා අපේ ප්‍රශ්නය යම් තරමකින් විසඳුණේය. සෙනඟ අතරින් කෙසේ හෝ ඉදිරියට රිංගා යාමේ ප්‍රවීණතාවය තිබුණු අනෙකුත් දරුවන් අතර දුර්වලයෙකු ලෙස කැපී පෙනුණු, පැත්තකට වී බලාපොරොත්තු කඩ කරගෙන සිටි මගේ වැඩිමල් දරුවාව බලෙන්ම වාගේ ඔසවාගෙන අලි පෙන්වන්නට අයෙකු ඉදිරිපත් විය. ඔහු එසේ කළේ ඔහුගේ එක් අතෙක තවත් දරුවෙකුද සිටියදීය.

මේ නොදන්නා පුද්ගලයා විසින් කළේ පහසු වැඩක් නොවේ. මගේ වැඩිමල් දරුවා කුඩා දරුවෙකු නොවේ. මා වසර ගණනකින් ඔහුව මෙසේ ඔසොවාගෙන නැත. මගේ ඇවිටිලි වලින් පසු ඔහු දරුවා බිම තැබුවේ දරුවාට අලින්ට කිරි පොවන හැටි යාන්තමින් වුවත්, ප්‍රමාණවත් තරමට බලා ගන්නට ඉඩ සැලැස්වීමෙන් පසුවය. ඉන්පසුව ඉදිරිපත් වූ ඔහුගේ බිරිඳ "මේ ළමයෙක් ඉන්නවා. පොඩ්ඩක් ඉඩ දෙන්න!" යැයි කියමින් ඔහුට ඉදිරියට යන්නට ඉඩකඩ සකස්කර දුන්නේය. අප පසුගිය දිනවල ආගිය තැන් වලදී තවත් මෙවැනි පරාර්ථකාමී මිනිසුන් අපට හමු වූ බව කිව යුතුය.

මිල නිසි පරිදි ඉහළ නැංවීම මඟින් මෙවැනි තැනක ඉල්ලුම හා සැපයුම පහසුවෙන් කලමණාකරණය කළ හැකි අතර එමඟින් ආදායම වැඩි කරගෙන මහජනතාව මත පැටවෙන බදුබර මඳකින් හෝ අඩු කිරීමටත්, මිල ගෙවා
නරඹන්නෙකුට ගෙවන මිලට වටිනා සේවයක් ලබාදීමටත් පුළුවන.

එවැනි වැඩි මිලක් අඩු ආදායම්ලාභියෙකුට දරා ගැනීමට අපහසු වේයැයි යමෙකුට කියන්නට පුළුවන. ඒ සඳහාද පහසු විසඳුම් තිබේ. අවශ්‍යනම් අඩු ආදායම්ලාභීන්ට නොමිලේම මෙවැනි තැන් නැරඹීම සඳහා කිසියම් ප්‍රවේශපත්‍ර සංඛ්‍යාවක් වෙන් කරන්නට පුළුවන. එමෙන්ම, කාලයේ ආවස්ථික පිරිවැය ගෙවා මුලින් එන අයට අඩු මිලකටත් අවසන් මොහොතේ එන අයට වැඩි මිලකටත් ප්‍රවේශපත්‍ර විකුණන්නටද පුළුවන. ඇතැම් විට මේ ඉල්ලුම සැමදා එක ලෙස නොපවතිනවා විය හැකිය. එසේනම්, සතිඅන්තයේදී ප්‍රවේශපත්‍ර මිල සතියේ දිනවල මිලට වඩා වැඩි කිරීම වැනි ක්‍රමයක් විසඳුමක් ලෙස යොදාගත හැකිය. මේ සියල්ල ක්ෂණිකව වුවද ක්‍රියාත්මක කළ හැකි දේවල්ය. තරමක් කල් ගතවන කාර්යයක් ලෙස ඇත් අතුරු සෙවණ නරඹන පීඨිකාව ක්‍රමයෙන් උස්වන පඩිපෙළක් ලෙස සෑදීමෙන් වැඩි පිරිසකට එකවර නරඹන්නට ඉඩ සැලැස්විය හැකිය.

අලින්ට කිරි පෙවීම ගැන කතා කළද, ලංකාවේ බොහෝ සේවාවන් සම්බන්ධ තත්ත්වය මෙයයි. නියම මිලට වඩා අඩුමිලට සැපයෙන බොහෝ සේවාවන් ලබා ගැනීමට වක්‍ර ලෙස අමතර මිලක් ගෙවන්නට එවැනි සේවාවන් ලබා ගන්නා බොහෝ දෙනෙකුට සිදුවේ. මේ නිසා ඇති වන ආතතියෙන් කොටසක් අතරින් පතර සිටින පරාර්ථකාමී මිනිසුන් නිසා සමනය වේ. බොහෝ දෙනෙකු එවැනි හොඳ මිනිසුන් වූ දිනෙක ලෝකය වඩා යහපත් වනු ඇතත්, එය එසේ සිදුවන්නට පෙරම මිල නිවැරදි කිරීම් මඟින් පමණක් වුවද බොහෝ අවුල් ලිහන්නට පුළුවන. 


(Image: www.sundaytimes.lk

Monday, June 27, 2016

බ්‍රෙක්සිට් දික්කසාදයෙන් ඔබ්බට...


එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බව මේ වන විට එම රටේ ඡන්දදායකයින් විසින් තීරණය කර අවසන්ය. ඉදිරි දෙවසර තුළ මේ වෙන්වීම හැකිතරම් සුමට ලෙස සිදු කෙරෙනු ඇත.

දේශ සීමානම් වූ කෘතීම බාධක මඟින් නිදහස් සංචරණයට හා වෙළඳාමට සීමා පැනවීම පසුගිය සියවසක පමණ කාලය තුළ ජනප්‍රිය වූ සංකල්පයකි. මානව ඉතිහාසයේ ගෙවී අවසන් දිගු කාලය තුළ එවැනි බාධාවන් නොපැවතුනි.

යුරෝපා සංගමය පිහිටුවීම ඉහත කී ආකාරයේ බාධාවන් ඉවත් කිරීම සඳහා වූ මෑතකාලීන පෙළඹුමේ තීරණාත්මක කඩඉමක් වූ අතර එමඟින් එයට සම්බන්ධ වූ රටවලට සමස්තයක් ලෙස සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ සැලසුණේය. කලාපය තුළ රටවල් අතර භාණ්ඩ හා සේවා නිෂ්පාදන වලටත්, නිෂ්පාදන සාධක වන ප්‍රාග්ධනයට හා ශ්‍රමයටත් නිදහසේ සංචරණය වීමට ඇති බාධා ඉවත් කිරීමට අමතරව පොදු නියාමන හා නීතිමය රාමුවක් හා මුදල් ඒකකයක් තුළ මේ රටවල් ඒකාබද්ධ කිරීමද යුරෝපා සංගමයේ අරමුණු අතර විය. එවැනි සාර්ථක ඒකාබද්ධ කිරීමක් සිදුවීනම් යුරෝපා සංගමය ලෝකයේ විශාලතම ආර්ථික, මුදල්, මූල්‍ය හා දේශපාලනික බලය ලෙස වැජඹිය හැකිව තිබුණි.

පැවති ජනමතවිචාරණයේ ප්‍රතිඵල අනුව සිදුවීමට නියමිතව ඇතැයි පෙනෙන්නේ නිදහස් සංචරණයට හා වෙළඳාමට පැවති බාධා ඉවත් කිරීමේ ලෝක ප්‍රවණතාවය ආපසු හැරවී ජාතිකවාදය හා ආරක්ෂණවාදය කරා එක්සත් රාජධානිය නැවතත් පියවරක් පසුබැසීමයි. ඒ හේතුවෙන්, එක්සත් රාජධානියට, යුරෝපා සංගමයේ රටවලට හා එයින් බාහිර ලංකාව ඇතුළු රටවලට සිදුවන නිශේධනාත්මක බලපෑම ගැන විවිධ අනාවැකි දැනටමත් පලවී තිබේ.

මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ යුරෝපා සංගමයෙන් වෙන්වීමට සහාය පළ කළ බොහෝ දෙනෙකු ආරක්ෂණවාදීන් හෝ නිදහස් ප්‍රාග්ධන සංචරණයට විරුද්ධ වූ පුද්ගලයින් නොවූ බවයි. ඒ නිසා, ඉදිරි කාලය තුළ වෙළඳ ගිවිසුම් මඟින් නැවතත් භාණ්ඩ, සේවා හා ප්‍රාග්ධන සංචරණයේ නිදහස තහවුරු කෙරෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. යුරෝපා සංගමයෙන් වෙන්වීමේ කටයුතු සම්පූර්ණ වීමට සමාන්තරවම මෙය සිදු වීමට බොහෝ දුරට ඉඩ ඇත.

ජනමතවිචාරණ ප්‍රතිපලය මඟින් ප්‍රධාන වශයෙන්ම පෙනෙන්නේ ශ්‍රමය නිදහසේ සංචරණය වීමට බ්‍රිතාන්‍ය ඡන්දදායකයින්ගේ ඇති නොකැමැත්තයි. එයට අමතරව, පොදු නියාමන, පරිපාලන හා නීති රාමුවකට ඇති නොකැමැත්තද එයින් පිළිබිඹු වේ.

යුරෝපා දීගය නිසා එක්සත් රාජධානිය හා සංගමයේ අනෙකුත් සාමාජික රටවල් අතර සිදුවූ ශ්‍රම සංචරණය බොහෝ දුරට එක් දිශාවකට සිදු වූවකි. යුරෝපා සංගමයට අළුතෙන් රටවල් එක් වෙද්දී එක්සත් රාජධානියට වාර්ෂිකව රැකියා පිණිස පැමිණෙන සංක්‍රමණිකයින් ගණනද ක්‍රමයෙන් ඉහළ ගියේය.


අනූව දශකයේ මැද වන තුරු එක්සත් රාජධානියට සංක්‍රමණිකයින් සැලකිය යුතු ප්‍රශ්නයක් වූයේ නැත. රට තුළට සංක්‍රමණය වූ ගණන හා රටින් පිටතට සංක්‍රමණය වූ ගණන විශාල ලෙස වෙනස් නොවූ නිසා ඒ වකවානුව දක්වා එක්සත් රාජධානියේ ශුද්ධ සංක්‍රමනික අනුපාතිකය පැවතියේ බිංදුව ආසන්නයේය.

ඇත්තටම අප කවුරුත් දන්නා පරිදි පසුගිය තෙසියවස තුළ වැඩිපුරම සිදුවුනේ බ්‍රිතාන්‍ය වැසියන් වෙනත් රටවලට සංක්‍රමණය වීමයි. ඔවුහු ලංකාව ඇතුළු ලොව පුරා පිහිටි වෙනත් රටවල් බොහෝ ගණනකට සංක්‍රමනය වෙමින් සිය ශ්‍රමය හා ප්‍රාග්ධනය වෙනුවෙන් සැලකිය යුතු ප්‍රතිලාභ ලබාගත්තා පමණක් නොව සෑහෙන දුරකට සිය සංස්කෘතියද ව්‍යාප්ත කළහ. ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව වැනි තැන් වල මුලින් පැවති සංස්කෘතිය ප්‍රතිස්ථාපනය කිරීමට පවා ඔවුන්ට හැකි විය. ඒ කාලය තුළ වෙනත් රටවලින් බ්‍රිතාන්‍යය වෙත සංක්‍රමණය වීම ලොකුවට සිදු වූ දෙයක් නොවේ.




එක්සත් රාජධානිය සංක්‍රමණිකයින්ට ආකර්ශනීය තැනක් බවට පත් වී දශක කිහිපයකට වඩා ගතවී නැත. සංචරණයේ නිදහසට කෘතීම බාධාවන් පැමිණවීම ලෝක ප්‍රවණතාව වූ පසුගිය සියවස තුළ එක්සත් රාජධානිය ක්‍රමයෙන් නීත්‍යානුකුල හා නීති විරෝධී සංක්‍රමණිකයින්ට ආකර්ශනීය තැනක් බවට පත් විය. මේ සඳහා සිවිල් යුද්ධ, දරිද්‍රතාව, දේශපාලන නිදහස වැනි 'තල්ලු කිරීම් සාධක' (push factors) මෙන්ම ආර්ථික හා අධ්‍යාපන අවස්ථා වැනි 'ඇදීම් සාධක'ද (pull factors) හේතු විය. පසුකාලීනව බොහෝ සංක්‍රමණයන්ට හේතු වූයේ ඇදීම් සාධකයි.

යුරෝපීය සංගමය සක්‍රිය වීමට පෙර, සම්ප්‍රදායිකව එක්සත් රාජධානියට සංක්‍රමණිකයින් වැඩිම පිරිසක් පැමිණි රටවල් අතර ඉන්දියාව, පකිස්ථානය හා බංගලි දේශය වැනි දකුණු ආසියාතික රටවල් ඉදිරියෙන්ම සිටියේය. එම රටවලින් පැමිණි සංක්‍රමණිකයින් බොහෝ විට එක්සත් රාජධානියේ ස්ථිර ලෙස නැවතීමත්, යුරෝපීය රටවලින් පැමිණි සංක්‍රමණිකයින් සැලකිය යුතු පිරිසක් නැවත තමන්ගේ මුල් රටටම ආපසු යාමත් ඒ කාලයේ පෙනෙන්නට තිබුණු දෙයයි. මේ නිසා, මා සිතන පරිදි අනූව දශකයේදී පමණ බොහෝ එක්සත් රාජධානි වැසියන් සිතුවේ ස්ථිරව නැවතීමට පැමිණෙන ආසියාතිකයින්ට සාපේක්ෂව කලක් රැකියාවක් කර ආපසු සියරට යන යුරෝපීයයන් අඩු ප්‍රශ්නයක් බවයි.

යුරෝපීය සංගමයට නැගෙනහිර යුරෝපීය රටවල් එකතු වීමට පෙරද ශුද්ධ සංක්‍රමණයේ දිශානතිය එක්සත් රාජධානිය වෙතට වුවත් එය තීරණාත්මක සමාජ ප්‍රශ්නයක් වූයේ නැත. මෙය තීරණාත්මක ප්‍රශ්නයක් බවට පත්වූයේ 2004 දී නැගෙනහිර යුරෝපීය රටවල් අටකට යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලැබීමත් සමඟය. මේ සමඟ එක්සත් රාජධානියේ ශ්‍රම වෙළඳපොළේ සිදුවූ වෙනස්කම් පිළිබඳව ලේඛකයාට තරමක් දුරට පෞද්ගලික අත්දැකීම්ද තිබේ.

කම්කරු නීති හා නියාමන කොන්දේසි කෙසේ වුවත් 2004ට පෙර එක්සත් රාජධානියෙහි නීති විරෝධී ලෙස රැඳී සිටින්නෙකුට හෝ රැකියා කිරීමට අවසර නොමැති අයෙකුට අවම වැටුප් මට්ටමේ හෝ ඊටත් අඩු මට්ටමේ රැකියාවක් (cash job) සොයා ගැනීම අපහසු කරුණක් නොවීය. මේ හේතුවෙන්, මේ කාලයේදී ශ්‍රී ලාංකිකයෝද මූලිකවම රැකියාවක් කිරීමේ, මුදල් ඉපැයීමේ හා දිගුකාලීනව එක්සත් රාජධානියේ පදිංචි වීමේ අරමුණින් විවිධ ක්‍රමවලින් එක්සත් රාජධානිය වෙත පැමිණියහ. මේ අතරින් බොහෝ දෙනෙකු එවකට ප්‍රචලිතව පැවති 'වීසා කොලේජ්' හරහා ශිෂ්‍ය විසා ලබා ගනිමින්ද, සරණාගතයින් ලෙස ලියකියවිලි ඉදිරිපත් කරමින්ද රට තුළට පැමිණි නමුත් මේ බොහෝ දෙනෙකුට මූලිකවම තිබුණේ ආර්ථික අරමුණකි. එය නරක සිහිනයක් පමණක්ම නොවීය.

යුරෝපීය සංගමයට නැගෙනහිර යුරෝපීය රටවල් එකතුවීමත් සමඟ ඉහත කී ලෙස නිසි අවසර රහිතව රැකියා සෙවූවන්ට රැකියා වෙළඳපොළේ පැවති ඉල්ලුම විශාල ලෙස අඩුවූ අතර කිසියම් හෝ රැකියාවක් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවට පත් විය. ඒ අතරම, එක්සත් රාජධානිය වෙත පැමිණෙන ශුද්ධ සංක්‍රමණිකයින් ගණනද විශාල ලෙස ඉහළ ගියේය. බල්ගේරියාව හා රුමේනියාව යුරෝපීය සංගමයට එකතු වී පරිවාස කාලයකින් පසු එම රටවල වැසියන්ට එක්සත් රාජධානියේ රැකියා කිරීමට ලැබීමත් සමඟ මේ තත්ත්වය වඩාත් උග්‍ර විය.

පසුගිය වසර තුළ පමණක් එක්සත් රාජධානියට පැමිණ ඇති ශුද්ධ සංක්‍රමණිකයින් ගණන 330,000කි. එයින් අඩක් පමණ පැමිණ ඇත්තේ යුරෝපීය සංගමයේ රට වලිනි. එයට අමතරව, යුරෝපීය සංගමයේ වෙනත් රටවලට සරණාගතයින් ලෙස විවිධ රටවලින් සංක්‍රමණය වූවෝද එක්සත් රාජධානිය සිය අවසන් ගමනාන්තය කරගෙන සිටිති.

මා දකින පරිදි එක්සත් රාජධානියේ ඡන්දදායකයින්ගේ තීරණය ආර්ථික ජාතිකවාදයක් හෝ ආරක්ෂණවාදයක් වෙත පසු බැසීමකට වඩා සංස්කෘතික ප්‍රශ්නයකි. සිය ප්‍රමුඛ සංස්කෘතිය බහුවාර්ගික සංස්කෘතියක් තුළ ගිලීයනු ඇතැයි යන බියෙන් පත්තු කළ පළමු වෙඩි මුරයකි. ඔවුන් විසින්ම පසුගිය තෙසියවස තුල ලෝකයේ බොහෝ සංස්කෘතීන් ගිලගෙන ඇති බැවින් එය නොවිය හැක්කක් නොවන බව ඔවුහු දනිති.



ඒ හැරුණු විට මේ ජනමතවිචාරණ ප්‍රතිඵල මඟින් පෙන්වන ආර්ථික අභිලාශ සීමිත බැවින් වරණාත්මක වෙළඳ ගිවිසුම් කිහිපයකින් පසුව එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත්වීමේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වනු ඇත්තේ ශ්‍රමයට හා රෙගුලාසි වලට සීමා පැනවුණු එහෙත් භාණ්ඩ, සේවා හා ප්‍රාග්ධනයට වැට නොබැඳුනු ලිහිල් සම්බන්ධතාවයකි. එවැන්නක ආර්ථික කාර්යක්ෂමතාව පවතින තත්ත්වයට සාපේක්ෂව තරමක් අඩු වුවත්, විශාල ලෙස අඩු නොවනු ඇත.

(Image: www.brunchnews.com)

Friday, June 17, 2016

සේවා ආර්ථිකය ගැන තවදුරටත්...


පසුගිය ලිපි වලට කමෙන්ටුවක් ලෙස රසික විසින් ලංකාඊනිවුස් වලින් උපුටා දක්වා ඇති  කරු ජයසූරියගේ ප්‍රකාශයක් පහත දැක්වේ.

"බොහෝ තරුණයන් කල්පනා කරනවා පාසලෙන් එන්නේ නිදහස් දාඩිය මහන්සියක් නැතුව දවසේ වියදම හොයාගන්න, ත්‍රිරෝද රථයක් ගන්න. අද රටේ ත්‍රී වීල් උඩ වාඩි වෙලා බලාගෙන සිටින ජවසම්පන්න තරුණයන් ලක්ෂ 13 සිටිනවා . බස්නාහිර පලාතේ පමණක් ලක්ෂ 05 සිටිනවා. ඔවුන්ගේ  ශ්‍රමය රටට පමණක්  නොවේ  ඔවුන්ටත්  අහිමි වෙලා  තිබෙන්නේ."

ඉහත ප්‍රකාශයෙන් පෙනෙන්නේ නූතන සේවා ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඇතැම් විට ඔහුට අවබෝධයක් නැති විය හැකි බවයි. එම ප්‍රකාශය වඩා හොඳින් ගැලපෙන්නේ ප්‍රාග්ධනයේ හිමිකරුවන් වූ ඉඩම් හිමියන් සහ නුපුහුණු, භෞතික ශ්‍රමය පමණක් හිමි කම්කරුවන්ගෙන් සමන්විත සමාජයකටය. සියවසකට පමණ පෙර පැවති ඒ ආකාරයේ නිෂ්පාදන ආර්ථිකයන් ක්‍රමයෙන් වෙනස් වී, පුහුණු ශ්‍රමය වඩා වැදගත් වන සහ භාණ්ඩ නිෂ්පාදනය අභිබවා සේවා නිෂ්පාදනය ඉදිරියට පැමිණ ඇති නවීන ආර්ථිකයකට මේ ප්‍රකාශය එතරම් නොගැලපේ.

ඉහත කී ආකාරයේ ප්‍රාග්ධන හිමියන්ගෙන් සහ නුපුහුණු ශ්‍රමිකයන්ගෙන් සමන්විත, ප්‍රධාන වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය සිදුවූ සහ සේවා ආර්ථිකයන් දියුණුව නොපැවති සමාජයක නිෂ්පාදන සාධකයක් ලෙස ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභය දවසේ වැඩ කරන පැය ගණනට සමානුපාතික විය. ඒ නිසා, 'ජවසම්පන්න තරුණයින්' වැඩි පැය ගණනක් වැඩ කළ විට ඔවුන්ට තරමක් වැඩි වැටුපක් උපයාගැනීමටද, ප්‍රාග්ධන සම්පත් (යන්ත්‍රෝපකරණ), ස්වභාවික සම්පත් (ඉඩම්) හා තාක්ෂණ ඥානය හිමිව පැවති සුළු පිරිසකට එම සාධක වෙනුවෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමටද හැකි විය. ඒ නිසා, මෙවැනි නුපුහුණු ශ්‍රමිකයින් විසින් වැඩි පැය ගණනක් වැඩකිරීම එසේ නොකිරීමට වඩා රටේ ආර්ථිකයට හොඳ වූ බව පැහැදිලිය.

පෙර කී යුගයේදී, කොටස් හා ණයකර වෙළඳපොළවල් තබා 'ප්‍රාග්ධනය කුලියට ගත හැකි' බැංකු පහසුකම් වුවද දියුණුව නොපැවති බැවින් උපතින් ප්‍රාග්ධනය හිමි නොවූ සමාජයේ අති මහත් බහුතරයකට ප්‍රාග්ධනය හිමිකර ගැනීමට තිබුණු එකම මාර්ගය සිය නුපුහුණු ශ්‍රමය වෙනුවෙන් ලැබුණු වැටුපයි. මෙසේ ලැබුණු සුළු වැටුප් බොහෝ විට මූලික අවශ්‍යතා සපුරාගැනීමටවත් ප්‍රමාණවත් නොවූ බැවින් කිසියම් ඉතිරි කිරීමක් කිරීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් විය. ඒ නිසා, ප්‍රාග්ධනය අහිමි අයෙකුගේ දරුවෙකුට ඒ තත්ත්වයෙන් මිදීමට හැකියාවක් තිබුණේ නැත. ඒ නිසාම, ප්‍රාග්ධනය හිමි අයෙකුගේ දරුවෙකුට ඒ තත්ත්වය පවත්වා ගැනීමද පහසු විය. 


අද වන විට ලංකාවේ මූල්‍ය වෙළඳපොළ බටහිර රටවල මට්ටමටම දියුණු වී නැතත්, සැලකිය යුතු තරමකට දියුණු වී තිබේ. ඒ නිසා, ප්‍රාග්ධනය අහිමි අයෙකුට කල්බදු පහසුකමක් වැනි ක්‍රමයකින් ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමේ හැකියාව තිබේ. එසේ ත්‍රිරෝද රථයක් මිලදී ගැනීම සාපේක්ෂව අඩු ආදායම් ලබන ස්ථර අතර ජනප්‍රිය වී ඇති අතර එසේ මිලදී ගන්නා ත්‍රිරෝද රථයක් යොදාගෙන සේවා සැපයීම ජනප්‍රිය ආදායම් මාර්ගයක් වී තිබේ.

ත්‍රිරෝද රථ එළවන ජවසම්පන්න තරුණයින් දහඩිය හෙලන්නේ නැතිවා විය හැකිය. මේ වන විට ලංකාවේ වචනාර්ථයෙන් දහඩිය හෙළන රැකියා කරන්නන් සිටින්නේ ඉතාම සුළු පිරිසකි. ඒ නිසා ත්‍රිරෝද රථ සේවා සපයන්නන් දහඩිය නොහෙලීමේ කිසිදු විශේෂත්වයක් නැත. වචනාර්ථයෙන් නොගත්තත් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයකදී වැදගත් වන්නේ ඒ සඳහා කොපමණ නිෂ්පාදන සාධක (inputs) වැය කරනවාද යන කරුණ නොවේ. කොපමණ වටිනාකමක් එකතු කෙරෙනවාද (value addition) යන්නයි. මේ වටිනාකම් එකතු වීම බොහෝ දුරට තීරණය වන්නේ පාරිභෝගික ඉල්ලුම් සැපිරෙන ආකාරය මතය.


ත්‍රිරෝද රථ රියදුරෙකු රථගාලක නිකරුණේ සිටින විට කිසිදු වටිනාකම් එකතු වීමක් සිදු නොවේ. එහෙත්, ඔවුන් සක්‍රිය ලෙස සේවා සපයන සීමිත කාලය තුළ ප්‍රමාණවත් ආදායමක් ලබන බව ඉතා පැහැදිලිය. මේ ආදායම නිෂ්පාදන පිරිවැය, ශ්‍රමයේ වටිනාකම හා කුලියට ගත් ප්‍රාග්ධනයේ වටිනාකම (කල්බදු පොලී) ගෙවීමට හා බොහෝවිට අමතර ලාභයක්ද ලබාගැනීමට  ප්‍රමාණවත්ය. කල්බදු සමාගම් විසින් ත්‍රිරෝද රථ මිලදී ගැනීම සඳහා  'බය නැතුව' මූල්‍ය පහසුකම් ලබාදෙන්නේ මේ කර්මාන්තය ලාභදායක බවත්, තමන් විසින් ලබා දෙන මුදල් ආපසු නොලැබීමේ අවදානම එතරම් වැඩි නැති බවත් දන්නා බැවිනි. වෙනත් බොහෝ කටයුතු සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීම එතරම් පහසු නැත.

පසුගිය සතියේ මම ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් එම රටට පිවිසුනෙමි. මගේ මිතුරෙකු පැමිණෙන තුරු පැය එකහමාරක පමණ කාලයක් කොහොමටත් බලා සිටින්නට වන නිසාත්, පැය විසිහතරකට වැඩි ගුවන් ගමන් දෙකකින් පසු 'රිෆ්‍රෙශ්' වීමට අවශ්‍ය වූ නිසාත් අප ආගමන-විගමන හා රේගු පරීක්ෂන කුටි වෙත ගියේ ගුවන් යානයේ පැමිණි අනෙකුත් මඟීන් පිටත්වී සැලකිය යුතු වෙලාවකට පසුවය. ඒ වන විට එම කුටි අසල මඟින් කිසිවෙකු නොසිටියහ. ජවසම්පන්න, තරුණ ආගමන-විගමන නිලධාරීන් සහ රේගු පරීක්ෂණ නිලධාරීහු එක් කුටියක් අසල රැස්වී 'චැට් එකක් දමාගෙන නිකරුණේ කාලය නාස්ති කරති'. ගුවන් යානයක් පැමිණෙන අවස්ථා වල හැර කටුනායක තත්ත්වයද මෙසේ විය යුතුය. හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපළේනම් දවස පුරාම තත්ත්වය මෙසේ විය යුතුය.

එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ මම කොළඹ කෞතුකාගාරය සහ දිවයිනේ වෙනත් ප්‍රධාන නගරයක පිහිටි කෞතුකාගාරයක් නැරඹුවෙමි. මගේ පවුලේ පිරිස හැරුණු විට මා කොළඹ කෞතුකාගාරයේ ගතකළ කාලය තුළ එය නරඹන්නට පැමිණියේ නෙදර්ලන්ත ජාතික යුවලක් පමණි. බොහෝ ප්‍රදර්ශන භාණ්ඩ සමඟ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් විස්තරාත්මක සටහන් තිබුණු බැවින් අපට වෙනත් උපකාර අවශ්‍ය නොවූවත් සෑම කුටියකම අඩු වශයෙන් එක් නිලධාරියෙකු හෝ නිලධාරිනියක සේවයේ යොදවා තිබෙනු පෙනුණේය. ඇතැම් අය සේවයේ යෙදී සිටින බව කුටියට ඇතුළු වන්නට පෙරම දැනගන්නට ලැබුණේ ඔවුන්ගේ ගෙරවීම් හඬිනි. මේ අයගෙන් කිහිප දෙනෙකු අපේ සද්ද-බද්ද නිසාවත් නින්දෙන් ඇහැරුණේ නැත.

මා නැරඹු අනෙක් කෞතුකාගාරයටනම් නරඹන්නෙකු ඇතැම්විට සති ගණනකින් නොපැමිණියා විය හැකිය. මා වැනි නරඹන්නෙකු පැමිණීමේ විශේෂ අවස්ථාවක් බලාපොරොත්තුවෙන් එහිද සේවකයෝ කිහිපදෙනෙකුම සේවයේ නිරතව සිටියහ. ඇතැම් විට, කාර්යාල සගයෙකුට පැමිණීමේ ලේඛණය අත්සන් කරන මෙන් ඉල්ලීමක් කර ගෙදරටම වී සේවය කරන නිලධාරීන් වුවද මෙවැනි තැනක සිටින්නට බැරිකමක් නැත.

රජයේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන මගේ ඥාතියෙකු පැවසූ පරිදි ඔහුගේ සේවා ස්ථානයේ සේවකයෝ තිදෙනෙකු සේවා මුර ක්‍රමයට සේවය කරති. ඔවුන් සාමාන්‍යයෙන් කරන්නේ එකදිගට දින දෙකක් සේවය කර (පැය 48ක්) දින හතරක් නිවාඩු ගැනීමයි. මෙසේ පැය 48ක් එක දිගට සේවය කිරීමේදී ඔවුන් එක දිගටම කිසියම් නිශ්චිත කාර්යයක නියුතුව නොසිටින අතර (රෙගුලාසි අනුව නොවුවත්, ප්‍රායෝගිකව) නිදා ගන්නා කාලයද මේ සේවා කාලයට ඇතුළත්ය.


ගුවන් තොටුපළේ හෝ කෞතුකාගාරයේ සේවය කරන රජයේ නිලධාරියෙකුට කිසියම් 'වටිනාකම් එකතු කිරීමක්' කළ හැක්කේ පාරිභෝගිකයෙකු පැමිණි විටෙක පමණි. ඒ නිසා, පාරිභෝගිකයෙකු නොමැති විට ඔවුන් 'දාඩිය මහන්සියක් නැතුව උඩ බලාගෙන' සිටින්නේයැයි මම චෝදනා නොකරමි. පාරිභෝගිකයෙකු පැමිණි විට ඔවුන් කිසියම් වටිනාකම් එකතු කිරීමක් කරනු ඇත. කෙසේවුවද, පැමිණෙන පාරිභෝගිකයින් සුළු පිරිස හා සැලකිය යුතු සේවක පිරිස අනුව මෙවැනි ඇතැම් තැනක එසේ එකතු  කෙරෙන වටිනාකම වැයකෙරෙන මහජන මුදලට ප්‍රමාණවත්ද යන්න මම නොදනිමි. රජයක් කටයුතු කරන්නේ ලාභය අරමුණු කරගෙන නොවන බැවින් එය එසේ නොවිය හැකිය. කෙසේවුවද, ත්‍රිරෝද රථ සේවා සැපයීම සම්බන්ධවනම් මෙවැනි ගැටළුවක් පැන නොනඟින්නේ ලාභයක් නැත්නම් මේ කර්මාන්තයෙහි නිරතවීම මෙතරම් ආකර්ශනීය වීමට හේතුවක් නොමැති බැවිනි.

මා පෙර ලිපියෙහි සටහන් කළ පරිදි, ත්‍රිරෝද රථ සේවාවේදී නිෂ්පාදකයා (සේවා සපයන්නා) රස්තියාදු වෙද්දී චැනල් සේවාවේදී සිදුවන්නේ පාරිභෝගිකයාට රස්තියාදු වීමට සිදු වීමයි. මේ රස්තියාදුව ගැන කලකට පෙර, ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා වන මගේ මිතුරෙකු වත්පොත හරහා මැසිවිලි නඟා තිබුණේය. ඔහු සටහන් කර තිබුණු පරිදි "මේ දොස්තරලා හිතන්නේ ඔවුන්ගේ කාලයේ වටිනාකම ගැන විතරයි. ඒත් අපේ කාලය ඊට වඩා ගොඩක් වටිනවා."

චැනල් ගාස්තුව රුපියල් 1,500 ලෙසත් පැයක් තුළ බලන රෝගීන් ගණන 20 ලෙසත් සැලකුවහොත් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පැයක වටිනාකම රුපියල් 30,000කි. ඉහත කී මගේ මිතුරාගේ පැයක වටිනාකම මේ මුදල ඉක්මවනවා විය හැකිය. එහෙත්, වෛද්‍යවරයෙකු චැනල් කරන අතිමහත් බහුතරයකගේ කාලය එම මුදල නොඉක්මවයි. ඒ නිසා, මෙතැනදී රස්තියාදු වන්නට සිදුවන්නේ පාරිභෝගිකයාටය.


මේ රස්තියාදුව අඩුකර ගැනීමටනම් චැනල් ගාස්තුව කිහිප ගුණයකින් වැඩි කළ යුතුය. එවිටද මගේ ඉහත මිතුරා තවදුරටත් චැනල් සේවා ලබාගනු ඇතැයි මා සිතමි. එහෙත්, වෙනත් බොහෝ දෙනෙකු වෛද්‍යවරුන් චැනල් නොකර රජයේ රෝහල් වලින් සේවා ලබාගනු ඇත. ඒ, රජයේ රෝහල්වලින් නොමිලේ ලබාදෙන සේවාවන් චැනල් සේවාවන්ට සාපේක්ෂව විශාල ලෙස නරක නැති බැවිනි. චැනල් සේවා වල මිල යනු මේ සේවා තත්ත්වයන්ගේ වෙනසේ මුදල් වටිනාකමයි. අනෙක් අතට, බොහෝ දෙනෙකුට චැනල් සේවා වල රස්තියාදුව ප්‍රශ්නයක් නොවන්නේ එසේ රස්තියාදු නොවන විකල්පයක් ඔවුන් සතු නොමැති බැවිනි. රජයේ රෝහලක වරුවක් රස්තියාදු වීමට සාපේක්ෂව චැනල් සේවා ලබා ගැනීමට පැය දෙක තුනක් රස්තියාදු වීම කාල ඉතිරියකි.

ත්‍රිරෝද රථ සේවාවට නැවත පැමිණියහොත්, මේ සේවා සපයන්නන් කරන්නේ පාරිභෝගික ඉල්ලීම සැපිරීමකි. ඒ නිසා, මෙහි සේවා සපයන්නන් දහඩිය නොහැලීමේ ප්‍රශ්නයක් ලොකුවට නැත. එහෙත්, දහඩිය නොහැලීමේ ප්‍රශ්නයක්ද මෙහි තිබේ. එය ඇත්තේ ත්‍රිරෝද රථ සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයන්ගේ පැත්තේය.

දැන් ලංකාවේ බොහෝ දෙනෙක්ට ඉස්සර මෙන් මීටර් දෙතුන් සීයක් පයින් යන්නට බැරිකමක් ඇති වී තිබේ. ජවසම්පන්න තරුණයෝ දාඩිය දමාගෙන හන්දියට පයින් යන්නට ඇති කම්මැලිකමට ත්‍රිරෝද රථ සේවා සපයන්නෙකුට රුපියල් පණහක් ගෙවති. කාලයේ වැඩි වී ඇති වටිනාකමද මෙයට එක් ප්‍රධාන හේතුවක් වුවත්, ලංකාවේ ජහමනයින්ගේ ඇඟ හොල්ලන්නට ඇති කම්මැලිකමද ත්‍රිරෝද රථ සේවාවන්ට ඇති ඉල්ලුමට තවත් ප්‍රධාන හේතුවකි.


(අන්තර්ජාල සම්බන්ධතා සම්බන්ධ සීමාවන් නිසා ප්‍රතිචාර සැපයීමේ ප්‍රමාද ගැන කණගාටුව පළ කරමි.)
(Image: www.srilankatravel-guide.com)

Thursday, June 9, 2016

ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ගේ රස්තියාදුව හා චැනල් සෙන්ටර් වල රස්තියාදුව


පෙර ලිපියෙන් මා පැහැදිලි කළේ නිපදවන 'භාණ්ඩය' ගබඩා කිරීමේ හැකියාවක් නැති වෙළඳපොළවල් වල ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමේදී මිල හා නිෂ්පාදන මට්ටමට අමතරව ගනුදෙනුවක් සිදු වන තුරු බලා සිටිය යුතු කාලයද මේ සමතුලනය තුළ වැදගත් සාධකයක් වන බවයි. මෙහිදී, මෙසේ 'බලා සිටිය යුතු' කාලය නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර බෙදී යන්නේ කෙසේද යන්න තීරණය වන්නේ මේ එක් එක් පාර්ශ්වය හා අදාළව කාලයේ සාපේක්ෂ ආවස්ථික පිරිවැය අනුවය.

ආප්ප කඩයකදී, ඉල්ලුම වැඩිම හැන්දෑ වරුවලදී පොරොත්තු කාලයේ පිරිවැය පාරිභෝගිකයා විසින් දරද්දී, ඉල්ලුම අඩු දිවා පැය වලදී නිෂ්පාදකයා විසින් මේ පිරිවැය දරයි. ත්‍රිරෝද රථ සේවා ගනුදෙනුවකදී බොහෝ විට පාරිභෝගිකයාට කාලය නාස්ති කරගෙන බලා සිටින්නට සිදු නොවේ. ඒ, පාරිභෝගිකයාගේ නාස්තිවන කාලයේ බර සේවා සපයන්නා විසින් දරන බැවිනි. සේවා සපයන්නා විසින් අය කරන මිලට පාරිභෝගිකයෙකු පැමිණෙන තුරු මෙසේ නාස්ති කරන්නට සිදුවන කාලයේ පිරිවැයද ඇතුළත්ය.

වෙනත් උදාහරණ අතරින් හොඳම එකක් වන්නේ ගුවන් තොටුපොළ නිල කුලීරථ සේවාවයි. මේ සේවාව ලබාදීම සඳහා ලියාපදිංචි වී සිටින අටසියයකට අධික වෑන් රථහිමියන්ගෙන් අයෙකුට ගනුදෙනුවක් ලැබෙන්නේ දින තුනකට පමණ වරකි. එහෙත්, එසේ දින තුනකට වරක් පමණක් කුලීරථ සේවා සැපයීම වුවද ලාභදායක බව පෙනේ. සේවාව සඳහා ලියාපදිංචි වීම දේශපාලන සම්බන්ධතා මත පමණක් සිදුවන 'වරප්‍රසාදයක්' වී ඇත්තේ එබැවිනි.

ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ට මෙසේ කාලය නාස්ති කරන්නට සිදුවී ඇත්තේද අදාළ පාරිභෝගිකයන්ගේ කාලයේ වටිනාකම ඉතා වැඩි නිසාය. දිගු හා වෙහෙසකර ගුවන් ගමනක් නිමා කර රටට ගොඩබසින මඟියෙකුට සිය නිවෙස කරා ලඟාවීමට කුලීරථයක් සොයාගන්නා තුරු නාස්ති කරන්නට කාලයක් නැත. ඒ නිසා එවැනි පාරිභෝගිකයෙකුට ක්ෂණිකව සේවාවක් සපයාගත හැකි මට්ටමේ සැපයුමක් බිහිවී ඇති අතර එම මට්ටමට සැපයුම පවත්වාගැනීමට සේවා සපයන්නන්ට සැලකිය යුතු කාල නාස්තියක් කරන්නට සිදුවේ.

හරියටම මෙහි අනිත් පැත්ත සිදුවන තැනකට උදාහරණයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීම පෙන්වා දිය හැකිය. රුපියල් 1000-2000 අතර මුදලක් ගෙවීමෙන් පසුව, විනාඩි දෙකතුනක සේවයක් ලබා ගැනීම සඳහා බොහෝ විට පාරිභෝගිකයෙකුට පැය දෙකතුනක් රස්තියාදු වන්නට සිදුවීම මෙය කියවන බොහෝදෙනෙකුට අරුම අත්දැකීමක් නොවේ. මෙහිදී පාරිභෝගිකයින් විසින් කාල නාස්තියේ පිරිවැය මුළුමනින්ම වාගේ දරද්දී නිෂ්පාදකයා කිසිදු වියදමක් නොදරයි. මෙහි විශේෂත්වය වන්නේ බොහෝ පාරිභෝගිකයින් රජයේ රෝහලකින් නොමිලේ ලබා දෙන සේවාවන් වෙනුවට මුදල් ගෙවා වෛද්‍යවරයෙකු  චැනල් කිරීම තෝරාගන්නේ රජයේ රෝහලක රස්තියාදු වන්නට ඇති අකැමැත්තද සලකා බලමින් වීමයි.

මෙය මෙසේ වන්නේ ඇයි කියා පසුව සලකා බලමු.

(100 Mbps පමණ වේගයකට පුරුදුවී සිට 1.3 Mbps පමණ වේගයකින් වැඩ කරන්නට වීම පිස්සු හැදෙන අත්දැකීමකි. ඉදිරි සති කිහිපය තුළ බ්ලොගය පණපිටින් තබාගන්නට අතරින් පතර මොනවා හෝ ලියනවාට වඩා යමක් කළ නොහැකි බව පෙනේ. පසුගිය ලිපියට ලැබුණු ප්‍රතිචාර වලට යථා කාලයේදී  පිළිතුරු ලබා දෙන්නට වෙන්නේද ඉඩ ලැබෙන පරිදි බව කණගාටුවෙන් දැනුම් දෙමි.)

(Image: www.kandysupertaxi.com)



Thursday, June 2, 2016

ත්‍රිරෝද රථ රියදුරන් කාලය කනවාද?


මේ ප්‍රශ්නයද "සමන්තභද්‍ර රහත්ද?" "විජිත හේරත් බීලා හිටියාද?" ආකාරයේ ප්‍රශ්නයක් වුවත් මේ ප්‍රශ්නය තුළින් බොහෝ දෙනෙකු තුළ සේවා ආර්ථිකය පිළිබඳව ඇති නොදැනුවත්කම පිළිබිඹු වන බැවින් අපි මේ ගැන තව ටිකක් කතා කරමු.

ඓතිහාසිකව සේවා වෙළඳපොළ වර්ධනය වූයේ භාණ්ඩ වෙළදපොළට වඩා සෙමිනි. කාර්මික විප්ලවයෙන් පසු ගතවූ මුල් සියවස තුළ ශ්‍රම වෙළඳපොළෙන් වියුක්ත වූ සේවා වෙළඳපොළක් හඳුනාගැනීම පහසු නොවීය. එහෙත්, අද තත්ත්වය එසේ නොවේ. අද වන විට ශ්‍රම සාධකය පුළුල් ලෙස විශේෂීකරණය වී ඇතුවා පමණක් නොව ලෝකයේ මෙන්ම ලංකාවේද සේවා ආර්ථිකය පෙරමුණු ගණනාවකදීම භාණ්ඩ ආර්ථිකය අභිබවා ඉදිරියට පැමිණ ඇත. ඒ නිසා, සේවා ආර්ථිකය මඟ හැර නවීන ආර්ථිකයක් හඳුනාගැනීමට ගන්නා උත්සාහයන් උපන්ගෙයිම අසාර්ථක වේ.

සේවා ගණුදෙනුවකදී හුවමාරු වන භාණ්ඩය පෙනෙන්නට නැත. එහෙත්, මෙය වැදගත් කරුණක් නොවේ. සේවා නිෂ්පාදනය භාණ්ඩ නිෂ්පාදනයෙන් වෙනස්වන ප්‍රධානම කරුණ වනුයේ සේවාවක් නිෂ්පාදනය කිරීමෙන් පසු ගබඩාකර තබාගත නොහැකි වීමයි. ඒ නිසා සේවා ගණුදෙනුවක ස්වභාවය මේ ගතිගුණ ආසන්නව ඇති භාණ්ඩයක් මඟින් වුවද පැහැදිලි කළ හැකිය.

අපි ජාතික වැදගත්කමක් ඇති නිෂ්පාදනයක් වන ආප්ප නිෂ්පාදනය සලකමු. මෙය කියවන බොහෝ දෙනෙකු ලොකු තැන් වල ආප්ප කා නැතිවිය හැකි වුවත්, වරක් හෝ කඩේකට ගොඩවී ආප්ප කා ඇතැයි සිතමි. මේ දැන් දැමූ උණු ආප්පයක් මිස පරණ ආප්ප කන්නට කවුරුත් කැමති නැත. ඒ නිසා, ආප්ප ඇණවුම් කිරීමෙන් පසු අපට බලා ඉන්නට සිදුවේ.

ඇතැම් විට අපි ආප්ප කන්න යන්නේ තනිව නොව හත් අට දෙනෙකු සමඟය. එවිට වැඩි වේලාවක් බලා ඉන්නට සිදුවේ. කඩයක බොහෝ විට ඉන්නේ එක ආප්ප බාස් කෙනෙකි. ඉල්ලුම වැඩි වන තරමට බලා ඉන්නට ගතවන කාලය වැඩි වේ. ජුබිලි කණුව හන්දියේ සිටි ෆුඩ් සිට හිල්ටන් එකේ කරි ලීෆ් දක්වා කොහෙන් කෑවත් උණු ආප්ප කන්නටනම් පාරිභෝගිකයාට බලා ඉන්නට සිදුවේ. කාර්යක්ෂමයැයි කියන ඇමරිකාවේ ස්ටැටන් අයිලන්ඩ් එකේ ලක්රුවනේ ආප්ප වුවත්, පීසා හට් එකක පීසාවක් වුවත් ඉල්ලන පරක්කුවට නොලැබේ.

ආප්පයක් කන්නට මේ තරම් බලා ඉන්නට වෙන්නේ ඇයි?

ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නැති භාණ්ඩයක් නිපදවන්නට වෙන්නේ ඇණවුමක් ලැබීමෙන් අනතුරුවය. මෙවැනි භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙද්දී මේ පොරොත්තු කාලයද වැදගත් සාධකයක් බවට පත් වෙයි. ආප්පයක් කන්නට හන්දියේ කඩේට හවස්වරුවේ ගොඩවන තරුණයින් හත් අට දෙනෙකු එහි ගොඩවදින්නේ ආප්ප අවශ්‍ය නිසාම නොවේ. "සමන්තභද්‍ර රහත්ද?" "විජිත හේරත් බීලා හිටියාද?" වැනි වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරන්නත් එක්කය. ඒ නිසා ආප්ප ටික මේසයට එනතුරු විනාඩි දහයක් පහළොවක් බලා සිටීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. 


කෙසේ වුවද, මේ බලා සිටීමටත් සීමාවක් තිබේ. ආප්පයක් කන්නට මෛත්‍රී බුදුන් බුදුවන තුරු හෝ ජවිපෙ ආණ්ඩු බලය ගන්නා තුරු බලා සිටිය නොහැකිය. ආප්ප මේසයට එන්නට ඕනෑවට වඩා පරක්කුවනවානම් පාරිභෝගිකයින් ආප්ප නොකාම පිටවී යනු ඇත.

පාරිභෝගික ඉල්ලුම වැඩිනම් කඩේ මුදලාලි විසින් තවත් ආප්ප බාස් කෙනෙකු සේවයේ යොදවනවා ඇත. මේ අයුරින්, ආප්ප බාස්ලා ගණන වැඩි කර පාරිභෝගිකයෙකුට ඉල්ලන පරක්කුවට ආප්ප සපයන්නට බැරිකමක් නැත. ඒත් මුදලාලිලා කවුරුත් එහෙම කරන්නේ නැත. එසේ නොකරන්නේ ආප්ප බාස්ලා ගණන වැඩි කිරීමෙන් පිරිවැය වැඩිවීම නිසා සිදුවන පාඩුව, ඔය අතරින් පතර බලා ඉන්නට බැරුව ආප්ප නොකා බැණ බැණ පිටව යන පාරිභෝගිකයින් කීප දෙනෙක් නැති වීම නිසා වන පාඩුවට වඩා වැඩි නිසාය.

ආප්ප කන්නට කඩේට ගොඩවන අපට බොහෝ විට පෙනෙන්නේ ආප්ප බාස් 'ෆුල් බිසී' බවත් අපට බලා ඉන්නට සිදුවන බවත් පමණි. එහෙත්, පාරිභෝගිකයින් නොපැමිණෙන, ආප්ප බාස්ට පාරිභෝගිකයෙකු එනතුරු බලා ඉන්නට සිදුවන කාලයද සැලකිය යුතු කාලයකි. මෙය හවස්වරුවේ ආප්පයක් කන්නට කඩේට ගොඩවන අපට නොපෙනුණත් කඩේ මුදලාලිට පෙනේ.

කල් තබාගත නොහැකි භාණ්ඩයක් නිපදවා විකිණීමේදී භාණ්ඩය නිපදවිය හැක්කේ ඒකාකාරී වේගයකින් නමුත් භාණ්ඩය සඳහා වන ඉල්ලුම එසේ ඒකාකාරී නොවන නිසා නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට බලා සිටින්නට වීම නොවැලැක්විය හැකිය. නිෂ්පාදන තාක්ෂණයේ වෙනසක් නොවී, පාරිභෝගිකයා නිකරුණේ ගතකළ යුතු පොරොත්තු කාලය අඩු කිරීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකින් නිෂ්පාදකයා නිකරුණේ ගතකළ යුතු කාලය වැඩි වේ. එහි අනිත් පැත්තද එසේමය. 


එසේනම්, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර මෙසේ "නිකරුණේ ගතවන" කාලය බෙදිය යුතු ප්‍රශස්ත ක්‍රමවේදය කුමක්ද? මෙය තීරණය වන්නේ පාරිභෝගිකයාගේත් නිෂ්පාදකයාගේත් කාලයේ වටිනාකම මතය. කාලයේ වටිනාකම තීරණය වන්නේ එහි ආවස්ථික පිරිවැය මතය.

පාරිභෝගිකයාගේ කාලය අසීමිත ලෙස වටීනම් සහ නිෂ්පාදකයාගේ කාලය නොවටීනම් කිසියම් මොහොතක පැවතිය හැකි උපරිම පාරිභෝගික ඉල්ලුම වුවද සැපිරිය හැකි තරමට නිෂ්පාදකයින් ගණන වැඩි විය යුතුය. අනෙක් අතට, නිෂ්පාදකයාගේ කාලයේ වටිනාකම අසීමිතනම් සහ පාරිභෝගිකයාගේ කාලය නොවටීනම් නිෂ්පාදකයින් සිටිය යුත්තේ කිසියම් මොහොතක පැවතිය හැකි අවම පාරිභෝගික ඉල්ලුම සැපිරීමට ප්‍රමාණවත් ගණනක් පමණි. පාරිභෝගිකයාගේත්, නිෂ්පාදකයාගේත් කාලයේ වටිනාකම සමානනම් කිසියම් මොහොතක පැවතිය හැකි සාමාන්‍ය පාරිභෝගික ඉල්ලුම සැපිරිය හැකි තරමට නිෂ්පාදකයින් ගණනක් සිටිය යුතුය.

පාරිභෝගිකයින්ගේත් නිෂ්පාදකයින්ගේත් කාලයේ වටිනාකම කර්මාන්තය අනුව වෙනස් වේ. ත්‍රිරෝද රථ සේවා කර්මාන්තයේදී බොහෝ විට ඉල්ලුමක් ඇතිවන්නේම පාරිභෝගිකයෙකුට කාලය වටිනා නිසාය. කාලය එසේ නොවටීනම්, බස් හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවක් භාවිතා කිරීම හෝ කෙටි දුරක්නම් පයින් යාම ප්‍රශ්නයක් නොවේ. ඒ නිසා, ත්‍රිරෝද රථ සේවා සොයන පාරිභෝගිකයෙකුට එම සේවාව අවශ්‍ය වේලාවට ක්ෂණිකව ලබා ගැනීමට නොහැකිනම් ගණුදෙනුවක් සිදු නොවනු ඇත.

මෙසේ පාරිභෝගිකයින්ට ක්ෂණිකව සේවය සැපයිය හැක්කේ ප්‍රමාණවත් සේවා සපයන්නන් ගණනක් සිටීනම් පමණි. ඒ මට්ටමට සේවා සපයන්නන් ගණන වැඩි වූ විට සේවා සපයන්නෙකුගේ "නිකරුණේ සිටින" කාලය වැඩි වේ. ඒ නිසා, මේ කර්මාන්තය වෙත ඇදී එන්නේ තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු, ත්‍රිරෝද රථ රැකියාවේ නොයෙදුනේනම් එම කාලය තුළ වැඩි ආදායමක් ලබාගත හැකි වෙනත් මාර්ගයක් නොමැති අයයි.

ත්‍රිරෝද රථ සේවා සපයන්නකු රථ ගාලක නිකරුණේ ගෙවන සෑම විනාඩියකදීම ඔහු හෝ ඇය විසින් වෙනත් අයෙකු ප්‍රවාහන සේවාවක් බලාපොරොත්තුවෙන් මහමඟ ගෙවන විනාඩියක් ඉතිරි කරයි. එසේ ඉතිරි කරන විනාඩිය, අනිවාර්යයෙන්ම,  ඔහු හෝ ඇය විසින් නිකරුණේ නාස්ති කරනවාක් මෙන් පෙනෙන විනාඩියට වඩා වටිනාකම වැඩි විනාඩියකි.



(Image:
www.gettyimages.com)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...