වෙබ් ලිපිනය:

Sunday, March 6, 2016

ෆ්ලැමින්ගෝලා සහ ගජමෑන්



මේ තියෙන්නේ ෆ්ලැමින්ගෝ රංචුවක සිටි ෆ්ලැමින්ගෝලා තිදෙනෙකුගේ සමීප ඡායාරූපයකි. ඔයවල් අසබඩ ෆ්ලැමින්ගෝලා වැඩිපුර සිටිති. මේ ඡායාරූපයේ පෙනෙන පරිදි, කරන්නට විශේෂ වැඩක් නැති සාමාන්‍ය තත්ත්වයන් යටතේ ෆ්ලැමින්ගෝලාට ඇත්තේ එක් පයක් පමණි. ඒ නිසා, ෆ්ලැමින්ගෝලා එවැනි තත්ත්වයන් යටතේ 'පොදු ජනතාව' වෙනුවෙන් තනි පයින් පෙනී සිටිති.

පේන්නට නැතත් ෆ්ලැමින්ගෝලාට තවත් පයක් තිබේ. එය බලාගන්නටනම් ෆ්ලැමින්ගෝලාට කරන්නට වැඩක් භාර දිය යුතුය. ඡායාරූපයේ සිටින ෆ්ලැමින්ගෝ රංචුව මැද්දට කෑමක් විසි කළොත් ඒ අනිත් පය වගේම හංගාගෙන සිටින මූණත් හරියටම බලාගන්නට පුළුවන.


***



මේ  ගජ මෑන්.
ඔහු පොදු ජනයෙක්.
ඔහු දුගීයෙකුත් නොවේ, පෝසතෙකුත් නොවේ.
ඔහු උසත් නැත, කොටත් නැත.
කළුත් නැත , සුදුත් නැත.
ඔහු ලොවෙත් නැත.
ලොවි ගහෙත් නැත. 

උපුටා ගැනීම: http://pinchpoints.blogspot.com/2016/03/2.html

*** 
ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති ගජමෑන් ඇත්තටම ඉන්නා තැනක් තිබේ. ඒකට කියන්නේ නැති රට කියලාය. ඒ රට ඇති තැන දැනගන්නට ඕනෑ කෙනෙක්ට ලස්සන වසීලිස්සා පොත කියවා විස්තර හොයාගන්නට පුළුවන. නැති රටට වී ගජමෑන් නැති දේ හොයයි. හොයනවා කිවුවාට හොයන්නේත් නැත. එය හොයන්නට ෆ්ලැමින්ගෝලා ටිකක් ඔයක් මැද්දේ දූපතකට යවා නැති දේ අතටම ගෙනත් දෙන තුරු බලා සිටී. වැඩේට ෆ්ලැමින්ගෝලාවම තෝරාගත්තේ ඒ අය නැති දේ ගෙනත් දෙන බව එක පයින් කියා සිටි නිසාය.

***


ගජමෑන් නාන්නට බාත්රූම් එකට ගියේය. දොර වසාගෙන සරම ගලවා කොක්කක එල්ලා කරාමය ඇරියේය. වතුර නැත. ගජමෑන්ගේ බාත්රූම් එකට වතුර එන්නේ පැත්තක ඇති ලිඳකිනි. බාත්රූම් එකේ වතුර නැත්තේ වහලය උඩ ඇති ටැංකිය හිඳී ඇති බැවිනි. නැවත සරම ඇඳගත් ගජමෑන් වතුර මෝටරය ක්‍රියාත්මක කර ටැංකියට වතුර පිරෙන තුරු සාලයේ හාන්සි පුටුවකට හේත්තු වී රූපවාහිනිය ක්‍රියාත්මක කළේය.

රූපවාහිනියේ ෆ්ලැමින්ගෝලා අටෝරාසියකි. ඉස්සරනම් හිටියේ කණ කොක්කුය. කිරි කොක්කු කියා හිතාගෙන ගජමෑන්ලා දූපතට යවා ඇත්තේ කණ කොක්කු බව දැනගන්නට ලැබුණේ උන් ඉගිල්ලෙන්නට පටන් ගත් විටය. මෙය දැනගත් වහාම ගජමෑන්ලා කළේ කණ කොක්කුන් ආපසු කැඳවා ෆ්ලැමින්ගෝලා දූපතට යැවීමයි. සමහර පරණ කොක්කුත් දැන් පිහාටු පේන්ට් කරගෙන ෆ්ලැමින්ගෝලාට එක් වී සිටිති. තවත් පරණ කොක්කු දැන් තටු අකුලාගෙන නැවතත් කිරි කොක්කු වෙන්න හදති.

***

නැති දේවල් පමණක් ඇති නැති රටේ
නැති ආර්ථිකය දැන් අර්බුදයක බව ගජමෑන්ට නිතර අසන්නට ලැබේ. එහෙමනම්, නැති රටේ නැති රජයට වියදම් කපන්නට සිදු වී ඇති බව නිසැකය. ෆ්ලැමින්ගෝලාගේ නිල නිවාස වල ජල බිල්පත් සීමා කර ඇති නිසා දැන් ඒ අයට පොදු ලිඳෙන් නාන්නට වී ඇති බව කවුදෝ කියා තිබුණේ විහිළුවට වෙන්නට පුළුවන. ෆ්ලැමින්ගෝලා පොදු තැන් වල නාන නෑමේ හැටියට කතාව විහිළුවක්ම වෙන්නත් බැරිය. කොහොම වුණත් කාලෙකින් තමා පොදු ලිඳෙන් නා නැති බව ගජමෑන්ට සිහිවිය.

***

ලිඳ කිට්ටුවටම යන විට ගජමෑන්ට අමුත්තක් දැනුණේය. ලිඳ වටේ ආරක්ෂක නිලධාරීන්ය. ෆ්ලැමින්ගෝ කෙනෙක් පොදු ලිඳට නාන්නට ඇවිත්ය. ගුවන් විදුලි නිවේදකයෙක් වතුර ඇද දෙයි. ෆ්ලැමින්ගෝ හොඳට නා ගනී.

"නැති රටේ නැති පණතේ නැති වගන්තිය අනුව ෆ්ලැමින්ගෝ කෙනෙක්ට අයිතියක් තියෙනව රටේ ඕනෑම තැනකින් නාන්න. තමුසේ ඒක දන්නෙ නැද්ද?"

"අනේ අප්පේ, කිරි කල සීයක් උණු කරලා ටැංකිය පුරෝගෙන කිරි පැනින් නාන්න පුළුවන්කම තියෙන රාම කුමාරයගෙ මල්ලි වගෙ උත්තමයෙක් නේද මේ ජරා වතුර නාන්නේ?" ගජමෑන්ට හිතුණේය.

"තමන්ට කරන්න බලය තියෙන දේවල් ගැන ඔය තරං හොඳට මතක තියෙන එක කොච්චර දෙයක්ද? ඒ වුනාට ඒ බලය ලැබුනෙ කාගෙන්ද ඒ මොකටද කියන එකත් ඔය වගේම මතක තිබුණනම් තවත් හොඳයි!"

කොහොම වුණත් ෆ්ලැමින්ගෝ ස්නානය කර අවසන් වන තුරු ගජමෑන්ට බලා ඉන්නට සිදු වී ඇත.

"ෆ්ලැමින්ගෝ කෙනෙක් පොදු ළිඳකින් නාන එක කොයි තරම් ආදර්ශයක්ද? පොඩි අවුලකට තියෙන්නේ නාන්නේ බාත්රූම් එක ඇතුලෙ දොර වහගෙන කියන එක ෆ්ලැමින්ගෝට අමතක වෙලා තියෙන එකයි."

***

මේ අතර, ආරක්ෂක නිලධාරීහු කාටදෝ තගක් දමති.

"මේක පොදු ළිඳක්! ඔය දෙන්නට මෙතන එකට ඇවිත් නාන්න බෑ. ළමයෙක්වත් හිටියනං නාන්න දෙන්න තිබුණා."

සෝමපාල සහ සිරියාවතී ආපසු හැරී යයි.

"තව මාස පහක් තියෙනව මෙයාට. එහෙනං අපිට ඊට පස්සේ ඇවිත් නා ගන්න බැරුවයැ..."

***

දඩාස් ගා ජීප් රථයක් ඇවිත් ලිඳ අසළ නතර විය.

"අම්මටසිරි තව ෆ්ලැමින්ගෝ කෙනෙක්!"

ගජමෑන්ට නිකම්ම කියාවුනේය. මේ දෙවෙනි ෆ්ලැමින්ගෝනම් ආරක්ෂක භටයින් හෝ රියදුරෙකු නැතිව තනියම වාහනය එලවාගෙන පැමිණ තිබේ.

"බලනවකො, ගජමෑන්! මේ හරක් රංචුවක් ගාල කඩාගෙන දුවන ගමන් එකෙක් මේ ජීප් එකටත් ඇන්නනේ..."

"මම මේ වාහනේ හෝදගන්න කියල ආව."

ෆ්ලැමින්ගෝ සරම ඔළුවෙන් ගැලෙව්වේ පොදු ලිඳක් කියා ගාණක්වත් නැතුවය.


***

ඒ එක්කම තවත් වාහනයක් බරාස් ගා බ්රේක් ගැසුවේය. තවත් ෆ්ලැමින්ගෝ කෙනෙකි.

"ඔබතුමත් නාගන්නද?" ගජමෑන් ඇසුවේ පොදු ලිඳට ෆ්ලැමින්ගෝ කෙනෙකු වුණත් එන්නේ මාළු බාන්නට විතරක්ම නොවන නිසාය.

"ඔව්, අයිසේ! වැඩි පරිස්සමට මම පොල් සම්බෝල හදන්නෙ වත්තෙ ගස් වල පොල් වලින් විතරයි. අද උදේට පානුයි සම්බෝලයි කෑවට පස්සෙයි දැනගත්තේ පොල් කඩපු මනුස්සයගෙ යාලුවෙක්ගෙ මල්ලිට ඒඩ්ස් හැදිල කියල කටකතාවක් තියෙන බව."

"ඉතිං මේ තකහනියක්ම ආවේ විසබීජ ටික යවාගන්න හොඳට නාගන්න කියලා!"

ෆ්ලැමින්ගෝ විනාඩියට කලිසම සහ යට ඇඳුම එක පාරම ගලවා අවසානය.

"නාගන්න නාගන්න ආයේ කාගෙන් බාධාවක්ද?"

***

"මට කියන්න මොකද්ද වුනේ කියලා...කපල් වලට ඉඩ දෙන්නෙ නෑ?"

"කොහෙද තියෙන්නෙ කපල් වලට පොදු ලිඳෙන් නාන්න බෑ කියලා...?"

ඒ පාර තවත් ෆ්ලැමින්ගෝ කෙනෙකි. මේ ෆ්ලැමින්ගෝ දූපතට යන්නට පෙරනම් නැති රටේ
නැති ආර්ථිකේ ගැන කතා නොකළ දවසක් නැත. දූපතට ගිය පසු ඒ පරණ කතා නැත. නමට මුලින් එකම ටයිටලයත්, අගට එකම වාසගමත් ඇති කුරුල්ලෝ ටයිටලය උපයා ගත්තේ දුක් මහන්සියෙන්ද නැත්නම් පිනටදැයි භේදයක් නැතිව, එකම විදිහට නාන ආකාරය ගැන නැති රටේ නැති ප්‍රස්ථා පිරුළක් ගජමෑන්ට සිහිවිය.

ෆ්ලැමින්ගෝලා පෝලිමේ ඇවිත් පොදු ලිඳෙන් නාන විදිහට ගජමෑන්ට අදනම් නාන්න වෙන පාටක් නැත.

***

"මෝටරේ ගහල ඇවිත් මෙතන නිදිද? අන්න ටැංකිය උතුරනව!"

ඒනම් ෆ්ලැමින්ගෝ කෙනෙකු නොවේ. ගජමෑන්ගේ හාමිනේය.

Saturday, March 5, 2016

මරණය දුකක් වන්නේ කාටද?


දුක විස්තර කෙරෙන "තත්‌ථ කතමං දුක්‌ඛං අරියසච්‌චං? ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛා, මරණම්‌පි දුක්‌ඛං, සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසාපි දුක්‌ඛා, අප්‌පියෙහි සම්‌පයොගො දුක්‌ඛො, පියෙහි විප්‌පයොගො දුක්‌ඛො, යං පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං, සංඛිත්‌තෙන පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා දුක්‌ඛා." යන සච්ච විභංග පාඨය අප බොහෝ දෙනෙකු බොහෝ වර අසා ඇත. මෙහි කියවෙන්නේ දුකට හේතු වන කරුණු ගැනය.

මේ කරුණු වලින් දෙකක් හැර අනෙත්වා සම්බන්ධව බෞද්ධයෙකු නොවන කෙනෙකුට වුණත් ලොකු අවුලක් තිබිය නොහැකිය. වයස්ගත වීම, අප්‍රියයන් හා එක්වීම වැනි කරුණු දුකට හේතුවන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයන්ය. එහෙත්, ටිකක් හිතා බැලුවොත් උපත හෝ මරණය දුකක් වන බව එවැනි ප්‍රත්‍යක්ෂ සත්‍යය නොවේ. කිසිවෙකු අපට කියා දී ඇති නිසා හෝ තර්කානුකුල හේතූන් මත විශ්වාස කරනු මිස උපත හෝ මරණය දුකක් බව අපට ප්‍රත්‍යක්ෂ කළ හැකිද?

මේ ගැන කතා කරන්නට පෙර වියාචනයක් (රවිගෙන් උගත් වචනයකි.) කරන්නට සිදුවේ. මේ ලිපියෙන් කිසිවෙකුගේ ආගමික විශ්වාසයන්ට අපහාසයක් කිරීමේ අරමුණක් නැතත් එසේ සිදුවනවානම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනු හැර වෙනත් කළ හැකි දෙයක් නැත. මා හිතන දේවල් මා නොලිවුවොත් ඒවා ලියන්නට වෙන කෙනෙක් නැති විය හැකිය. 

මේ දෙකෙන් මරණය ගැන පළමුව කතා කළහොත්, මියයන අයෙකුගේ අවසාන අත්දැකීම කුමක්ද කියා හරියටම දැනගැනීමට අපට කිසිම ක්‍රමයක් නැත. මේ තත්ත්වයට කිට්ටුවම අපට ඇති පළමෝත නිරීක්ෂන වන්නේ කිසියම් හේතුවකින් මරණය කිට්ටුවටම ගොස් ආපසු පැමිණි අයගේ මරණාසන්න අත්දැකීම්ය. මේ වන විට එවැනි අත්දැකීම් ලැබූ දහස් ගණනක් විසින් වාර්තා කර ඇති අත්දැකීම් වල කිසියම් සමානත්වයක් තිබේ.

මාසයකට පමණ පෙර රසික විසින් ඔහු ලැබූ මෙවැනි අත්දැකීමක් විස්තර කර තිබුණේය. එය වෙන
ත් අය ලැබූ එවැනි අත්දැකීම් වලින් ලොකුවට වෙනස් නොවේ.

ඊ ළඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.

"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.


මෙවැනි අත්දැකීම් වාර්තා එකතුවක් පවත්වාගෙන යන http://www.nderf.org වෙබ් අඩවියේ මේ වන විට එවැනි සිදුවීම් පිලිබඳ වාර්තා 4100ක් සටහන්ව ඇත. ඒ අත්දැකීම් පැහැදිලි කිරීම පසෙකට තබා දැනට යම් සාරාංශගත කිරීමක් පමණක් කළහොත් බොහෝ දෙනා ලබා ඇති අත්දැකීම් මෙසේය.

-ඉතා දීප්තිමත් ආලෝකයක්
-හැම දිශාවම දර්ශනය වන පෙනීමක් (panoramic view)
-තමන්ගේ සිරුරින් ඉවත්ව සිටිනාවක් වැනි හැඟීමක්
-කාලය නොයන බව හෝ කාලය පිලිබඳ හැඟීමක් නොමැති තත්ත්වයක්
-වඩාත්ම වැදගත් කරුණ: වේදනාවක් නැති සහනදායී හැඟීමක් 


මරණාසන්න මොහොතේදී තමන්ට ඉවසන්නට අමාරු තරමේ වේදනාවක් දැනුනු බවක් බොහෝවිට වාර්තා වී නැති අතර වාර්තා වී ඇත්තේ එහි අනිත් පැත්තයි. කෙසේවුවද, තමන් ජීවත්ව සිටියදී බැඳී සිටි යමක් සිහිව නැවත හැරී ආ බවද බොහෝ විට කියැවී ඇති දෙයකි.

මරණාසන්න අත්දැකීම් වාර්තා කර ඇති අය ඒ තත්ත්වයට පත් වූවන්ගේ අහඹු නියැදියක් ලෙස අපට නිශ්චය කිරීමට නුපුළුවන. මරණයට පත්වන අයගේ අත්දැකීම්, ඇතැම් විට, මෙසේ මරණය ආසන්නයටම ගොස් ආපසු හැරී එන අයගේ අත්දැකීම් වලින් වෙනස් වන්නට පුළුවන.

මෙසේ ආපසු හැරී එන අය වෙනස් වන්නේ මේ ක්‍රියාදාමය අතරතුර යම් මොහොතක ඇතිවන ජීවත්වීමේ ආශාව නිසාද? එසේනම්, මියයන අය අවසන් මොහොතේ එවැනි ආශාවක් ඇති නොවූ, අර රසික විස්තර කළ සැන්ශේෂණල් ෆීලින් එකෙන්ම මරණයට පත්වූ අයද? එසේ නැත්නම්, තමන් ආශා කළ දේ සිහි කරමින්, ආපසු ඒමට නොහැකි වීම ගැන විශාල දුකකින් ඔවුන් මරණයට පත් වනවාද?

අප දැඩි සේ ආදරය කරන කෙනෙකු සදහටම වෙන්වීම අපට විශාල දුකකි. ඇතැම් විට මියයන පුද්ගලයෙකුටද තමන් ආශා කළ සියළු දෙයින් සදහටම වෙන්වීමට සිදුවන බව සිහිවීම මරණාසන්න මොහොතේ ඇතිවන විශාල දුකක් වන්නට පුළුවන. ඒ හැරුණු විට මරණය හා අදාළ විශාල ශාරීරික වේදනාවක් ඇති බවක්නම් පෙනෙන්නේට නැත. මරණාසන්න අත්දැකීම් වලින්ද පසුවට එන මේ අවසන්ම අවසන් මොහොත කවරක් වුවද, ඒ ගැන විශ්වාස කරනු මිස ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීමේ හැකියාවක් අපට නැත.

මේ මරණය ගැනය. එසේනම්, ඉපදීම දුකක්දැයි අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකිද?


(Image: www.desktopwallpapers4.me)

Friday, March 4, 2016

ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...


පළමු කොටස

දෙවන කොටස  


පසුගිය ලිපි දෙකෙන් විස්තර කළ පරිදි රටවල් දෙකක් අතර නිදහස් වෙළඳාමකින් දෙරටටම වාසි සැලසේ. එහි පදනම තුලනාත්මක වාසියයි. කිසියම් රටකට කිසිදු භාණ්ඩයක් සම්බන්ධව පරිපූර්ණ වාසියක් නැත්තේ වුවද තුලනාත්මක වාසි අනිවාර්යයෙන්ම තිබේ.

අපි දැන් අපේ පළමු ආකෘතියට ආපසු යමු. එම ආකෘතිය අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල (අල වලට සාපේක්ෂව) මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

මේ අනුව, මාළු කිලෝඑක අල කිලෝ 0.333කට වැඩි හා කිලෝ 3කට අඩු ඕනෑම පදනමකින් රටවල් අතර සාර්ථක වෙළඳාමක් සිදුවිය හැකිය. කෙසේවුවද, විවිධ බාධාවන් නිසා මෙය මේ අයුරින්ම සිදු නොවීමට ඉඩ තිබේ. මේ ඇතැම් බාධා ස්වභාවික බාධාවන්ය. තවත් ඒවා කෘතීම බාධාවන්ය.

මේ අතරින් පළමුවැන්න ප්‍රවාහන වියදමයි. මෙය පැහැදිලි කිරීමට පළමුව මම මුදල් ඒකක දෙකක්ද හඳුන්වා දෙමි. අල්ලංකාවේ මුදල් අලර් වන අතර ගලවංකාවේ මුදල් ගලර් නම් වේ. අල්ලංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම අලර් එකකි. ගලවංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම ගලර් එකකි. නාමික විනිමය අනුපාතිකය අලර් එකකට ගලර් එකකි.

එක් එක් රටේ මිල ගණන් මෙසේය.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.

ප්‍රවාහන වියදම් නොමැතිනම් අල්ලංකාවෙන් ආනයනය කරන මාළු වල මිල ගලවංකාවේදී ගලර් 0.333ක් වනු ඇත. එමෙන්ම, ගලවංකාවෙන් ආනයනය කරන අල වල මිල අල්ලංකාවේදී අලර් 0.333ක් වනු ඇත.

රටකින් තවත් රටකට භාණ්ඩ ප්‍රවාහනයේදී වියදමක් දැරීමට සිදුවේ. අපනයනය කරන භාණ්ඩයක් වෙනත් රටක විකුණන විට මේ ප්‍රවාහන වියදමද ආවරණය කර ගැනීමට සිදුවේ. ඉහත උදාහරණදී අල හෝ මාළු කිලෝවක් අනිත් රටට ප්‍රවාහනය කිරීමට යන වියදම අලර් (හෝ ගලර්) 0.667කට වඩා වැඩිනම් දෙරට අතර වෙළඳාමක් සිදු නොවේ. ප්‍රවාහන වියදම් ඊට වඩා අඩුනම් වෙළඳාම සිදුවේ.

එමෙන්ම, මේ භාණ්ඩ කල් තබා ගත හැකි, නරක් නොවන භාණ්ඩද විය යුතුය. ප්‍රවාහනය කිරීමට ගතවන කාලය තුළ මාළු නරක් වෙනවානම් එවැනි භාණ්ඩයක් අපනයනය කිරීම අපහසු කරුණකි. යම් හෙයකින් අපනයනය කරන්නේනම් ප්‍රවාහනය කරන කාලය තුළ මාළු නරක් වීමේ අවදානම නිසා වන පාඩුවද විකිණුම් මිලට එකතු කිරීමට හැකි වන තරමේ මිල වෙනසක් පැවතිය යුතුය.

මෙවැනි ස්වභාවික බාධා නිසා යම් රටක නිපදවන සෑම භාණ්ඩයක්ම අපයනය කිරීමක් සිදු නොවේ.  කෙසේවුවද, තාක්ෂණයේ දියුණුව සමඟ ප්‍රවාහනයට ගතවන කාලය අඩුවීම හා ප්‍රවාහන වියදම් අඩුවීමත්, කල්තබා ගතහැකි ක්‍රම සහ ඇසුරුම් ක්‍රම දියුණු වීමත් සිදුවන විට මේ ස්වභාවික බාධා වල බලපෑම අඩුවේ.

මෙවැනි ස්වභාවික බාධක වලට අමතරව ජාත්‍යන්තර වෙළඳාමට කෘතීම බාධකද තිබේ. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත බාධකය ආනයන හා අපනයන බදුය.

ආනයන හා අපනයන බදු පැනවීම මඟින් යම් රටක රජයකට ආදායමක් ලැබිය හැකිය. කෙසේවුවද, එමඟින් සිදුවන්නේ සමස්තයක් ලෙස වැඩි දෙනෙකුට යහපතක් සැලසෙන ගනුදෙනුවක් කෘතීම ලෙස වලක්වනු ලැබීමයි. උදාහරණයක් ලෙස පහත තත්ත්වය සලකමු.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.
නාමික විනිමය අනුපාතිකය: අලර් එකකට ගලර් එකකි.
ප්‍රවාහන, ඇසුරුම් හා කල්තබාගැනීම සඳහා වන වියදම් සහ ව්‍යවසායකයාගේ ශ්‍රමයේ වටිනාකම: මාළු කිලෝඑකක් සඳහා අලර් 0.167කි. අල කිලෝඑකක් සඳහා ගලර් 0.067කි.

දැන් අල්ලංකාවේ මාළු නිෂ්පාදකයෙකුට ගලවංකාවට මාළු ප්‍රවාහනය කර එහි පාරිභෝගිකයෙකුට ගලර් 0.500 කට මාළු විකිණිය හැකිය. ඉන්පසු, ඒ මුදලින් අල කිලෝ 1.5ක් මිල දී ගත හැකිය. ඒ අල අල්ලංකාවට ප්‍රවාහනය කර කිලෝව අලර් 0.400 බැගින් විකිණිය හැකිය.

මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතන අල්ලංකාවේ රජයට අල සඳහා ආනයන බද්දක් පැනවිය හැකිය. මෙය අල කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවේ අල කිලෝවක් විකිණෙන්නේ අලර් 0.600කටය. ගලවංකාවේ නිෂ්පාදකයින්ට කිසිදු පාඩුවක් වී නැත. එහෙත්, අල්ලංකාවේ රජය ආදායමක් ලබයි. කලින් දේශීය අල කිලෝ එක අලර් 1.000කට මිලදී ගත් ලංකාවේ පාරිභෝගිකයින්ටද ආනයනික අල කිලෝව අලර් 0.600කට මිල දී ගැනීමට හැකි වීම වාසියකි. කෙසේවුවද, මෙහිදී අල්ලංකාවේ රජය විසින් නැති කර ඇත්තේ තම රටේ පාරිභෝගිකයින්ට ලබා ගත හැකිව තිබුණු වාසියකින් කොටසකි. එසේ එකතු කර ගන්නා බදුමුදල් නැවත රටේ යහපත වෙනුවෙන්ම යොදවනවානම් මේ බද්දට අල්ලංකාවේ ජනතාව විරුද්ධ නොවන්නට පුළුවන.

එමෙන්ම අල්ලංකාවේ රජයට මාළු සඳහා අපනයන බද්දක් පැනවීමටද පුළුවන. මෙය මාළු කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවෙන් අපනයනය කරන මාළු ගලවංකාවේ විකිණෙන්නේ ගලර් 0.700 කටය. මේ මිල ගලවංකාවේ දේශීය මාළු මිල වූ ගලර් 1.000ට වඩා තවදුරටත් අඩු නිසා මේ මිලට එහි මාළු විකිණීම ප්‍රශ්නයක් නොවේ. දැන් අල්ලංකාවේ රජයට අපනයන බදු වලින් ආදායමක් ලැබෙන නමුත් අල්ලංකාවේ කිසිවෙකුට එයින් අවාසියක් සිදුවී නැත. අවාසිය ඇත්තේ ගලවංකාවේ පාරිභෝගිකයින්ටය. වැඩේ නරක නැත!

ප්‍රශ්නය තියෙන්නේ  අල්ලංකාවේ රජය මෙසේ බදු පනවන විට ගලවංකාවේ රජයද එකට එක කිරීමයි. අන්තිමේදී දෙරටේම මාළු හා අල කිලෝවක මිල අලර් (හෝ ගලර්) 1.000ක් වන තුරු, එනම් තවදුරටත් බදු ඉහළ නැංවීමෙන් ලාභයක් නැති වන තුරු, රජයයන් දෙකම බදු ඉහළ නංවනු ඇත. අන්තිමට දෙරටින් එක් රටකටවත් විශේෂ වාසියක් නැත.

ඉහත ආකාරයෙන් දෙරටක් 'තරඟයට' ආනයන අපනයන බාධක දැමීමෙන් දෙරටේම පාරිභෝගිකයින් ගෙවන මිල අන්තිමේදී වැඩි වේ. මේ වැඩි මිලේ වාසිය යන්නේ ඒ රටවල රජයන්ටය. තමන්ගේ රටේ වැසියන්ට හැකි තරම් අඩුවෙන් අවාසියක් වන පරිදි ආනයන අපනයන බදු පැනවීමට දෙරටම උත්සාහ කළත් අවසානයේ සිදුවන්නේ එක් රටකටවත් එවැනි විශේෂ වාසියක් නැති වී අකාර්යක්ෂමතාවයන් වැඩිවීම පමණි. එහෙත්, මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එය වෙනස් කිරීම පහසු නැත. එක් රටක් ඒක පාර්ශ්වීය ලෙස බදු ඉවත් කළ විට ඒ වාසිය අනිත් රටට ලබා ගැනීමට පුළුවන. එය සිදු නොවන පරිදි, දෙරටම එක් වර මෙවැනි බාධක ඉවත් කිරීම ප්‍රායෝගිකව සිදු වන්නේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟිනි.



(Image: d4nations.com)

Wednesday, March 2, 2016

මරණය දුකකි!


පසුගිය දෙසතිය තුළ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මරණ ගැන අසන්නට ලැබුණේය. ජනප්‍රිය ගායකයෙකු වූ ඇන්ටන් ජෝන්ස් වසර 79ක් ආයු වළඳා පසුගිය පෙබරවාරි මස 21 වන දින මිය ගියේය. දියවැඩියාව ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා විඳිමින් සිට මිය ගිය ඔහු ගැන සඳුන් සෙවණේ චන්දන හා මාතලන් විසින් සටහන් තබා තිබුණේය. ලංකාවේ සිදුවන මරණ වලින් 8%කට පමණ හේතු වන්නේ දියවැඩියාවයි.

පෙබරවාරි 27 වන දින තවත් මරණ දෙකක් ගැන අසන්නට ලැබුණේය.  පේරාදෙණිය සරසවියේ දේශපාලන විද්‍යා අංශාධිපති සහ මහාචාර්යවරයෙකු ලෙසද, කැබිනට් ඇමතිවරයෙකු ලෙසද කලක් සේවය කළ ආචාර්ය විශ්වා වර්ණපාලගේ මරණය එයින් පළමුවැන්නයි. ඔහුද වසර 79ක් ආයු වළඳා මිය ගොස් තිබේ. මරණයට හේතුව මා දන්නේ නැත. එංගලන්තයේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වන විශ්වා වර්ණපාල ගැන රසික විසින් සටහනක් තබා තිබුණේය. [නොදන්නා කෙනෙක් ඉන්නවානම් මහාචාර්ය (Professor) යනු තනතුරු නාමයකි. ආචාර්ය (Doctor) යනු අධ්‍යාපන සුදුසුකමකි. සරසවියක සේවය කරන ආචාර්ය උපාධිධාරියෙකු හෝ ඇතැම් විට ඊට වඩා අඩු අධ්‍යාපන සුදුසුකමක් ඇත්තෙකු මහාචාර්යවරයෙකු විය හැකිය.]

පෙබරවාරි 27 වන දිනම සිදුවූ අනෙක් මරණය ආචාර්ය අජන්තා රණසිංහගේ මරණයයි. වසර 76ක් ආයු වළඳා ඔහු මියයන්නේ නිවසේ සිදුවූ වැටීමක් හේතුවෙනි. මෙවැනි වැටීම් නිසාද ලංකාවේ සිදුවන මරණ වලින් 1.5%ක් පමණ සිදුවේ. බොහෝ කලාකරුවන් මියයාමට පෙර ජීවත්ව සිටියදී ඔවුන් ගැන කතාකරන චන්දන විසින් අජන්තා රණසිංහ ගැන මරණයට පෙර හා පසු සටහන් දෙකක්ම තබා තිබුණේය. රවී විසින් ඔහුගේ නිදහස් සිතිවිලි වියුණුවේ තවත් සටහනක් තබා තිබුණේය. කලාකරුවෙකු ලෙස අජන්තා රණසිංහගේ ප්‍රතිභාව ගැන මා හොඳින් දන්නා නමුත් ඔහුගේ ආචාර්ය උපාධිය ගැනනම් වැඩි විස්තරයක් දන්නේ නැත.

මොවුන් තිදෙනාම ඉපදුනු 1930 දශකයේදී ලංකාවේ පිරිමියෙකුගේ අපේක්ෂිත ආයුකාලය පිලිබඳ නිවැරදි සංඛ්‍යාලේඛණ නැතත් පසුකාලීන ප්‍රවණතා අනුව එය පනස් ගණනකට නොවැඩි විය යුතු බව ඇස්තමේන්තු කිරීමට පුළුවන. දැනටද එය වසර 71.6කි. මේ පදනම මත, මේ තිදෙනාම ඔවුන්ගේ වයස් කාණ්ඩයේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි කලක් ජීවත් වී තිබේ.

ඊයේ මට තවත් දුක්බර පුවතක් අසන්නට ලැබුණේය. ඒ, ඉහත පුද්ගලයින් මෙන් ජනප්‍රිය චරිතයක් නොවූවත්, සරසවියේ මට වඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ සිටි මිතුරෙකුගේ අකල් මරණයයි. මා මෙය අකල් මරණයක්යැයි කියන්නේ හැටේ දශකයේ උපන් ලාංකිකයෙකු මේ වන විට තමන් උපදින විට තිබූ අපේක්ෂිත ආයුකාලය කරා ලඟා වී නොමැති බැවිනි. ඔහු මියගොස් ඇත්තේ පිළිකාවකිනි. ලංකාවේ සිදුවන මරණ වලින් 10.65%ක් පමණ ප්‍රමාණයකට හේතු වන්නේ පිළිකාවකි. මෙය දෙවැනි වන්නේ හෘදයාබාධ නිසා ඇතිවන මරණ (25.74%) වලට පමණි. මෙයට මුඛ පිළිකා (1.51%), පෙනහළු පිළිකා (1.11%), පියයුරු පිළිකා (1.07%), ගලනාල පිළිකා (1.03%), ආමාශ පිළිකා (1.0%), අක්මා පිළිකා (0.61%), ගැබ්ගෙල පිළිකා (0.55%), ගුද මාර්ගයේ පිළිකා (0.45%), ගර්භාෂ පිළිකා (0.38%), මුත්රාශ පිළිකා (0.17%) ආදී ශරීරයේ විවිධ ස්ථාන වල ඇතිවන පිළිකා ඇතුළත්ය.

තමන් දැන සිටින කෙනෙකු මියගිය විට අපට යම් කම්පනයක් ඇතිවේ. මරණය අකල් මරණයක් වූ විට මෙන්ම තමන්ට පාලනය කළ නොහැකි හේතුවකින් සිදුවූවක් වූ විට මේ කම්පනය වඩා වැඩිය. එසේ මරණයට පත්වූ පුද්ගලයා තමන්ගේ වයස් කාණ්ඩයට සමීප පුද්ගලයෙකු වූ විට, ඇතැම් විට 'අත්තානං උපමං කත්වා' පදනමින්, මේ කම්පනය වඩාත් වැඩියෙන් දැනේ. මෙයට හේතුව අපට ජීවත් වීමට ඇති ආශාව විය යුතුය.


මරණය දුකකි. එහෙත්, මරණය දුකක් වන්නේ කාටද?

(Image: www.pinterest.com)

Tuesday, March 1, 2016

ඉතිහාසයේ ටක්කෙටම හරිගිය අනාවැකි


ඒ මීට අවුරුදු 512කට පෙර හැන්දෑවකි. ස්වදේශීය අරවක් ගෝත්‍රිකයින් විසින් ක්ෂේමයිකා ලෙස එවකට හැඳින්වූ ජැමෙයිකාවේ මුහුදුබඩ පෙදෙසක යුරෝපීයයන් කණ්ඩායමක් සහ ස්වදේශිකයින් අතර රැස්වීමකි.

"තමුසෙලට මම කිවුවනේ, පැහැදිලි කරලා. කෝ ඇහුවද?"

ක්‍රිස්ටෝපර් කතා කරයි. පරිවර්තකයෙකු එය ස්වදේශිකයින්ට විස්තර කරයි.

"අපේ දෙවියන් වහන්සේ හොඳටම කෝප වෙලයි ඉන්නේ. මට කිවුවා තව ටිකකින් තමුසෙලගෙ 'කාරායා'ව පුච්චල නැති කරල දානව කියලා."

ඇතැම් ස්වදේශිකයින්ගේ මුහුණෙහි බියක සලකුණු ඇඳී ඇත. කාරායාව පුච්චල නැති කරල දාන්න? මනුස්සයෙකුට පුළුවන්ද එච්චර දෙයක් කරන්න. ඔහු අහස දෙස බලයි. 'නී' තාමත් අහසේ සිටී. රෑ බෝ වී නී ගුහාවට රිංගූ පසු කාරායා ගුහාවෙන් එළියට එනු ඇත.

රැස්ව සිටින ස්වදේශිකයින් කණ්ඩායමේ එක් අයෙකු වන මකාකා වටපිට බලයි. ඔහු මෙන් බය වී සිටින්නේ ඔහුගේ සගයන් කිහිප දෙනෙකු පමණි. අනිත් අයගේ මුහුණේ ඇත්තේ සම්ච්චලයකි.

"මොකද කියන්නෙ? ගිහින් අපිට කන්න බොන්න මොනව හරි ටිකක් අරං එනවද? නැත්තං..."

"මේ වැඩේ දැන් අපි මාස හයක් තිස්සෙම කළානේ?" මකාකා සිතයි.

"මොකක්ද අපිට ලැබුන ප්‍රයෝජනේ? දිගටම වුනේ අපිව රවට්ටන එකයි අපේ තියෙන දේවල් හොරකම් කරන එකයි. දැන්  'කාරායා'ව පුච්චල නැති කරල දාන්න කතා කරනවා. මේ ගොල්ලන්ගේ ඔය කියන දෙයියෝ ඔය තරං බලවත්ද? ඇරත් අද කාරායා හොඳටම බලවත් දවස. ඒක කොහොමවත් වෙන්න බෑ."

"නෑ. ආයෙනම් කෑම දෙන්නේ නෑ. ඔහේ මැරිල ගියාවෙ බඩගින්නෙ..."

මකාකාගේ සගයින් කවුරුත් හිතන්නේ මකාකා හිතන විදිහටමය.

නී ගුහාවට රිංගුවේය. කළුවර වැටීගෙන එයි. කාරායා ගුහාවෙන් එළියට ඇදේ.

"මොනව මේක වෙන්න පුලුවන්ද?"

කාරායා වෙනදා මෙන් කහ පාටින් බැබළෙන්නේ නැත. තනිකරම ලේ රතු පාටය. ගිණිගෙන දැවෙනවා වගේය. දැන්නම් මකාකාගේ අනිකුත් සගයින්ගේ මුහුණුවල ඇත්තේත් බියකි.

කාරායා හිමිහිට උඩට මතු විය. එහෙත්, ඇගේ මුහුණේ ඇත්තේ වෙනදා ඇති ප්‍රසන්න පෙනුම නොවේ. රතු වූ වේදනාබර මුහුණකි.

"දැක්ක නේද මොකද වෙලා තියෙන්නේ කියල?" ක්‍රිස්ටෝපර්ගේ මුහුණේ පෙනෙන්නට ඇත්තේ ලොකු යුද්ධයක් දිනුවාක් වැනි හැඟීමකි.

"මොකද කියන්නෙ දැන්වත් ගිහිං කෑම අරං එනවද?"

"මේ මනුස්සය ඇත්තනෙ කියල තියෙන්නේ.." මකාකා සිතයි. එහෙත්, කවුරුත් කෑම ගෙනෙන්නට යන පාටක් නැත. සියල්ලෝම විමතියෙන් කාරායා දෙස බලා සිටිති. දැන් ටිකෙන් ටික කාරායාගේ පැත්තක් අඩුවෙන්නට පටන්ගෙන තිබේ. හරියට කවුරු හරි ගිල දමනවා වගේය.

"යමු යමු ගිහින් කෑම මොනව හරි අරගෙන එමු."

මකාකා ගෙදර දුවන්නට සැරසේ. තවත් අය ඔහු පසුපසය.

"ආ ගෙනාවද? කොහෙද ඕක කරන්න දෙවියෝ කෝප වෙනකම්ම හිටියනේ..."

මකාකා කෑම මල්ලක්ම ගෙනත් ගොඩ ගැහුවත් ක්රිස්ටෝපර්ගේ මුහුණේ තාමත් හිනාවක් නැත. තවත් අයත් කෑම ගෙනත් ගොඩගසති.

මකාකා අහස දෙස බැළුවේය. දැන් පෙනෙන්නට ඇත්තේ කාරායාගේ කුඩා තීරුවක් පමණි. මොහොතකින් එයද නොපෙනී ගියේය.

"අනේ පිං අත්වෙයි. කරුණාකරලා මේ දේව කෝපෙන් අපිව ගලවල දෙන්න!"

"අපි බලමු එහෙනං දෙවියන්ට යාඥා කරලා.."

කාමරයට ගොස් දොර වසාගත් ක්‍රිස්ටෝපර් දෙවියන්ට යාඥා කර ප්‍රශ්නය විසඳන තුරු මකාකා ඇතුළු පිරිස අඳුරේ බලා සිටිති. කාමරයට ගිය ක්‍රිස්ටෝපර්  රෙගියෝමොන්ටනස් නම් වූ ආරුඪ නමකින් ප්‍රකාශ කර ඇති ජොහැන්නස් වොන් කොනින්බර්ග්ගේ ලිත නැවතත් අතට ගත්තේය. මීටත් වඩා බලගතු දෙවි කෙනෙක් සිටිය හැකිද? යාන්තම් වැඩේ ගොඩය.

ලිත අනුව මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය විනාඩි 48ක් පවතිනු ඇත. ක්‍රිස්ටෝපර් කොලොම්බස් වැලි ඔරලෝසුව විනාඩි 48ක ප්‍රමාණයට පුරවා අනිත් පස හැරවීය. දැන් ඇත්තේ බලා සිටින්නටය.

මේ ක්‍රිස්ටෝපර් විසින් නව ලෝකයට සිදුකළ සිවුවන මුහුදු චාරිකාවයි. ඔහුගේ මුහුදු යාත්‍රාවේ දැවමය කොටස් පණුවන් වර්ගයක් බෝවීමෙන් සිදුරුව යාත්‍රා කළ නොහැකි තත්ත්වයට පත් වී ඇති නිසා දැන් මාස හයක් තිස්සේ ඔහු මේ ජැමෙයිකා වෙරළේ සිය නාවිකයින් සමඟ සිර වී සිටී. පසුගිය කාලය මුළුල්ලේම ස්වදේශිකයෝ ඔවුන්ට බොහෝ උපකාර කළහ. එහෙත්, ඔහුගේම කණ්ඩායමේ පිරිස් ස්වදේශිකයින්ව රවටන්නටත්, ඔවුන්ගේ බඩු සොරා ගැනීමට හා පැහැර ගැනීමටත් පටන් ගැනීම නිසා දැන් මාස හයකට පසු ස්වදේශිකයින්ගෙන් ලැබුණු උදවු උපකාර නැවතී තිබේ. අන්තිමේදී, ක්‍රිස්ටෝපර්ට තම කණ්ඩායම පාලනය කර ගැනීම පවා අමාරු වන තත්ත්වයක් ඇති විය. ඔවුන් සූදානම් වූයේ ආයුධ රැගෙන ගොස් ස්වදේශිකයින්ගේ ආහාර පැහැර ගැනීමටය.

ආධාරක නැවක් පැමිණෙන තුරු මාස හයක්වත් බලා ඉන්නට සිදුවනු ඇත. ඒ නිසා දැන්මම ස්වදේශිකයින් සමඟ ගැටුම් ඇති කර ගැනීම නුවණට හුරු කරුණක් නොවේ. ක්‍රිස්ටෝපර් හැමවිටම පරිහරණය කරන ලිත අනුව පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව දැන සිටි ඔහු සිය කණ්ඩායමේ නාවිකයින්ගෙන් ඉල්ලා සිටියේ තමන් දින තුනකින් මෙම ප්‍රශ්නය විසඳන තුරු ඉවසා සිටින ලෙසය. ලිතේ ඇත්තේ යුරෝපයට මෙම චන්ද්‍රග්‍රහණය පෙනෙන වෙලාව නිසා, තමන් සිටින තැනට මෙය පෙනෙන වෙලාව පිළිබඳව තමන් විසින් සිදු කළ ගණනය කිරීම් ගැන ක්‍රිස්ටෝපර්ට සැකයක් නොතිබුණා නොවේ. කෙසේවුවද, දැන්නම් බයවෙන්නට දෙයක් නැත.

අන්තිම වැලි ටික වැටෙන්නට දැන් ඔන්න මෙන්නය. තව ටික වෙලාවකින් සඳ නැවත මතු වනු ඇත. ක්‍රිස්ටෝපර් කාමරයෙන් එළියට ආවේය.

"යාඥාව ඉවරයි වගේ"

මකාකා සැනසුම් සුසුමක් හෙලයි.

"දෙවියන් වහන්සේ සමාව දෙන්න සූදානම්. මොකද කියන්නේ දිගටම අපිට කෑම බීම ගෙනත් දෙනවද?"

නොවරදවා එසේ කරන බව ස්වදේශික අරවක් ගෝත්‍රිකයෝ එකාවන්ව සපථ කරති.

"ඔන්න එහෙනම් කාරායාට ආපහු පණ ලැබෙයි!"

ක්‍රිස්ටෝපර් අහසට අත් දිගුකර කිසියම් යාඥාවක් කරයි. ස්වදේශිකයින්ගේ ඇස් අහසට යොමු වූ ගමන්ය.

විනාඩියක්වත් ගතවුණේ නැත. සඳ නැවතත් හිමිහිට මතුවන්නට පටන්ගෙන ඇත. ස්වදේශික අරවක් ගෝත්‍රිකයෝ ප්‍රීති ඝෝෂා නඟති. ටික වෙලාවක් යද්දී සම්පුර්ණයෙන් මතු වුනු පූර්ණ චන්ද්‍රයා අහසේ බබලයි. ස්වදේශිකයෝ සතුටින් විසිර යති. තවත් මාස හයකට පසු පැමිණෙන නැවකින් නැවත යුරෝපයට යනතුරු ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ කණ්ඩායමට ආහාර හිඟයක් නොවේ. මේ කොලොම්බස්ගේ අවසන් චාරිකාවයි.

කෙසේවුවද, යුරෝපීයයෝ ජැමෙයිකාවේ සහ යාබද පෙදෙස් වල සිය බලය පතුරුවති. අරවක් ගෝත්‍රිකයෝ ඔවුන් වෙනුවෙන් හරි හැටි කෑමක්වත් නොලබමින් වැඩ කරති. යුරෝපීයයන් ගෙන එන වසංගත රෝග වලට ඔවුහු ගොදුරු වෙති. යුරෝපීයයන්ගේ බලගතු දෙවියන් යුරෝපීයයන්ව මේ වසංගත වලින් බේරාගත්තත් ස්වදේශිකයින්ගේ දෙවියන්ට එවැනි බලයක් නැති නිසා ඉතා කෙටි කලකින් අරවක් ගෝත්‍රිකයෝ එකා පසු පස එකා වැටී මිය යති. ලක්ෂ හෝ මිලියන ගණනක ජනගහණයක් සිටි අරවක් ගෝත්‍රය දශක කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම වඳ වී යයි.

ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට උදවු කළ රෙගියෝමොන්ටනස්ගේ ලිත වැනි ලිත් යුරෝපයේ නොකඩවා වාර්ෂිකව පළවේ. මේ වන විට නාසා ආයතනයන් නිකුත් කරන  දත්ත ඇසුරින් සකස්වන, දැනට එංගලන්තයේ මුද්‍රණය කෙරෙන, වසර දෙසියයක පමණ ඉතිහාසයක් ඇති රපායෙල්ගේ ලිත වැනි ග්‍රහ වස්තූන්ගේ චලන හා අදාළ දත්ත වගු සහිත වාර්ෂික ප්‍රකාශන වලින් එසේ උපුටාගත් බවවත් සඳහන් නොකරමින් උපුටාගන්නා දත්ත වගු සියවස් එකහමාරකට වැඩි කාලයක් තිස්සේ නොකඩවා ඈත පෙරදිග දිවයිනක දේශීය භාෂාවකට පරිවර්තනය වී පංචාංග ලිත් නමින් පළවේ. අවුරුද්දකට වරක් මේ ප්‍රකාශනයක් මිලදී ගන්නා වෘත්තිකයෝ පිරිසක්, ඒවා ඇසුරෙන් මේ දිවයිනේ වැසියන්ට අනාගතයේ සිදු විය හැකි දේ ගැන ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට කියන්නට බැරි වූ බොහෝ දේ කියා දෙති. 

(Image:http://aerospace.wcc.hawaii.edu/shadows.html)

Monday, February 29, 2016

අගවිනිසුරුතුමාට සුබ උපන් දිනයක්!


ලංකාවේ පාලන ව්‍යුහය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ තුනකින් සමන්විතය. ජනාධිපති, අගමැති හා අගවිනිසුරු පිළිවෙලින් මේ අංශ තුනේ ප්‍රධානියෝ වෙති. මේ තනතුරු තුනෙන් දීර්ඝතම ඉතිහාසයක් ඇති තනතුර අගවිනිසුරු ධුරයයි.

ලංකාවේ අගවිනිසුරු ධුරය ඇති කෙරුණේ, උඩරට ගිවිසුම අත්සන් කිරීමටද පෙර, ලංකාවේ පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් රටේ මුහුදුබඩ පළාත් පාලනය කළ කාලයේ, 1801 අප්‍රේල් මස 18 දින නිකුත් කෙරුණු නීති ප්‍රඥප්තිය මඟිනි. මේ අනුව, එඩ්මන්ඩ් කැරින්ටන් (Edmund Carrington) ලංකාවේ පළමු
අගවිනිසුරු ලෙස පත් විය.

මේ වන විට ලංකාවේ අගවිනිසුරු ධුරය හොබවන කනකසබාපති ශ්‍රීපවන් (கனகசபாபதி சிறீபவன்) ලංකාවේ 44 වන අගවිනිසුරු වරයාය. ඔහුට පෙර මේ ධුරය හෙබවූයේ ශිරාණි බණ්ඩාරනායකයි. ඇය 2011 මැයි 18 වන දින ලංකාවේ 43 වන අගවිනිසුරු ලෙස පත් වී 2015 ජනවාරි 28 වන දින ඉල්ලා අස්වනතුරු එම ධුරයේ කටයුතු කළාය. මේ මා අද දන්නා නිවැරදි ඉතිහාසයයි.

අතීතය ලෙස අප දන්නේ මේ මොහොතට පෙර සිදුවූ බව අප දැන් සිතා සිටින දෙයයි. එය කලකට පෙර අප අත්විඳි වර්තමානයම නොවිය හැකිය. එමෙන්ම, අනාගතයේ දිනෙක අතීතය ලෙස දකින මේ මොහොත අප දැන් අත්විඳින මේ මොහොතම නොවිය හැකිය.

අද මා දන්නා ඉතිහාසය අනුව, මොහාන් පීරිස්නම් වූ පුද්ගලයෙකු කිසිදා ලංකාවේ අගවිනිසුරුව සිට නැත. එහෙත්, යම් හෙයකින් දෙවසරකට පෙර මා මේ සටහන ලිවුවානම් එය වෙනස් අයුරකින් ලියවෙනු ඇත. මේ අයුරින්, අද අපි දන්නා පරිදි ඉතිහාසයේ කවදාවත් සිදුනොවුණු දේ එසේ සිදුවූ බව අපි යම් කාල වල විශ්වාස කළෙමු. උදාහරණයක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය වසර හතකට අහිමි වූ බව, සරත් ෆොන්සේකා කිසියම් වරදකට සිර දඬුවමක් විඳි බව මෙන්ම වික්‍රමබාහු කරුණාරත්නගේ රැකියාව අහිමි කරනු ලැබූ බව වැනි සිදු නොවූ දේ සිදුවූ බව අපි කලක් විශ්වාස කළෙමු. 2013 හා 2014 වසර වල ලංකාවේ ආර්ථික වර්ධනය පිළිවෙලින් සියයට 7.2 ක් හා 7.4 ක් බව අපි කලකට පෙර 'දැන සිටියෙමු'. මේ අයුරින්ම මේ මොහොතේ සිදුවන බව අපට දැනෙන දේ වෙනත් අයුරකින් සිදුවී ඇති බව අපට අනාගතයේදී 'දැන ගන්නට' ලැබිය හැකි වීම සිදු විය හැක්කකි. මේ මොහොත අනන්‍ය වන්නේ ඒ නිසාය.

මෙය කියවන සියල්ලෝම පාහේ මේ වන විට සිය 16 වන උපන් දිනය පසුකර ඇත්තෝයැයි මම සිතමි. බොහෝ දෙනෙකුට තමන්ගේ 16 වන උපන් දිනයට පෙර වාහනයක් එළවීමට, විවාහ වීමට, මත්පැන් මිලදී ගැනීමට හෝ ඡන්දය දීමට නීතියෙන් අවසර නොලැබේ.

තමන්ගේ 16 වන උපන්දිනය රටේ අගවිනිසුරු ලෙස සැමරීමට හැකි වීමේ දුර්ලභ වාසනාව ලබා ඇත්තේ ලෝකයෙන්ම එක් අයෙක් පමණක් විය යුතු බව මගේ විශ්වාසයයි. වත්මන් අගවිනිසුරු කනකසබාපති ශ්‍රීපවන් මේ දුර්ලභ වාසනාව ලබා ඇති පුද්ගලයාය.

පෙබරවාරි 29 දිනක උපදින අයෙකු සිය වයස 18, 21 වැනි කඩඉම් අවස්ථාවක් සම්පූර්ණ කරන්නේ කවදාද යන්න ගැටළු සහගත කරුණකි. ඇතැම් රටවල මෙය පෙබරවාරි 28 ලෙසත් තවත් රටවල මාර්තු 1 ලෙසත් නිර්වචනය කර තිබේ. ලංකාවේ මෙවැනි නිර්වචනය කිරීමක් සිදුවී ඇති බවක් මා දන්නේ නැත. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය අනුව අගවිනිසුරු වරයෙකු විශ්‍රාම ගත යුත්තේ වයස 65 සම්පූර්ණ වූ විටය. මේ අනුව, අද 64 වන විය සපුරන ශ්‍රීපවන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය අවසන් වියයුත්තේ ලබන වසරේ පෙබරවාරි 28 දිනද මාර්තු 1 වැනි දිනද යන්න මා දන්නේ නැත. කෙසේවුවද, නීතියේ ඇති වෙනත් අවුල් සමඟ සැසඳූ විට මෙය එතරම් බරපතල කරුණක් නොවේ.

අගවිනිසුරුතුමාට සුබ උපන් දිනයක්!

Saturday, February 27, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -2


පළමු කොටස

පෙර ලිපියෙන් මම ජාත්‍යන්තර වෙළඳාමට අදාළ 'පරිපූර්ණ වාසිය' නම් වූ සංකල්පය හඳුන්වා දුන්නෙමි. ඒ සඳහා මා උදාහරණයට ගත්තේ ප්‍රමාණයෙන් සමාන ආර්ථිකයන් ඇති රටවල් දෙකකි. මගේ උදාහරණයේදී මා රටවල් දෙකේ ජනගහණය සමාන ලෙස සැලකුවද, එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැත. උදාහරණයක් ලෙස ගලවංකාවේ ජනගහණය 100ක් නොවී 1000ක් වීනම් සහ එක් පුද්ගලයෙකුගේ නිෂ්පාදන හැකියාව අල ග්‍රෑම් 300ක් හා මාළු ග්රෑම් 100ක් වූයේනම් ලැබෙන්නේද එකම ප්‍රතිඵලයයි. මෙහිදී අදාළ වන්නේ ආර්ථිකයේ ප්‍රමාණයයි. කෙසේ වුවද, ප්‍රමාණයෙන් වෙනස් ආර්ථිකයන් දෙකක් අතර සිදුවන වෙළඳාම මගේ පළමු ආකෘතිය මඟින් තේරුම් ගැනීමට නොහැකි විය හැකිය.

ප්‍රමාණයේ වෙනස ගැන කතා කිරීමට පෙර මේ උදාහරණයේදී දෙරටටම වාසි ලැබුණේ කෙසේද යන කරුණ සාකච්ඡා කළ යුතුය. යම් රටක ආර්ථිකයක් හුදෙකලාව ඇති විට එහි විවිධ භාණ්ඩ හා සේවාවන්හි සාපේක්ෂ මිල මට්ටම් සකස් වන්නේ රට තුළ එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා නිෂ්පාදන සාධක වල ඵලදායීතාව අනුවය. ඒ අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

රටවල් දෙකටම වාසියක් ලැබීමට හේතු වූයේ මේ වෙනසයි. මාළු කිලෝඑක අල කිලෝ 0.333 කට වැඩි ඕනෑම මිලක් අල්ලංකාවට වාසිදායකය. මාළු කිලෝඑක අල කිලෝ 3 කට වඩා අඩු ඕනෑම මිලක් ගලවංකාවට වාසිදායකය. මේ පරාසය තුළ ඕනෑම මිලකට රටවල් දෙක අතර ගණුදෙණුවක් සිදුවීමේ ඉඩකඩක් පවතී. මගේ උදාහරණයේදී එය සිදුවුනේ මාළු කිලෝඑකකට අල කිලෝඑකක් යන පදනමිනි. එහිදී, දෙරටේම ජාතික ආදායම් දෙගුණ විය. වෙනත් අයුරකින් කිවහොත් දෙරටටම සමාන වාසියක් ලැබුණේය.

රටවල් දෙකක් අතර සිදුවන ගණුදෙණුවලදී ඉහත උදාහරණයේ මෙන් හැම විටම දෙරටටම සම වාසි සිදුනොවේ. උදාහරණයක් වශයෙන් හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 0.333-1.00 අතර (0.5 හෝ 0.75 වැනි) අනුපාතයකින්නම් ගලවංකාවට වැඩි වාසි ලැබේ. එමෙන්ම, හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 1.00-3.00 අතර (1.5 හෝ 2.5 වැනි) අනුපාතයකින්නම් අල්ලංකාවට වැඩි වාසි ලැබේ. එය තීරණය වන්නේ දෙපාර්ශ්වය අතර සිදුවන හෙට්ටු කිරීම් මතය. කෙසේ වුවද, කවර තත්ත්වයක් යටතේ වුවද ස්වේච්ඡාවෙන් කරන ගනුදෙණුවකින් එහි එක් පාර්ශ්වයකටවත් අවාසියක් සිදු නොවේ. සිදු විය හැක්කේ ලැබෙන වාසියේ අඩු වැඩි වීමකි.

සාමාන්‍යයෙන් ඕනෑම රටකට තවත් රටකට සාපේක්ෂව පරිපූර්ණ වාසියක් ඇති නිෂ්පාදන යම් ප්‍රමාණයක් තිබේ. ජාත්‍යන්තර වෙළඳාම වාසිදායක වන්නේ එවැනි පරිපූර්ණ වාසි ඇති විට පමණක්ද? එමෙන්ම, රටවල් දෙකේ ආර්ථික ප්‍රමාණයෙන් අසමාන වූ විට සිදු වන්නේ කුමක්ද?

යම් රටකට කිසිදු නිෂ්පාදනයක් හා අදාළව පරිපූර්ණ වාසියක් නැතත් 'තුලනාත්මක වාසියක්' ඇති නිසා එවැනි තත්ත්වයක් යටතේ වුවද ජාත්‍යන්තර වෙළඳාමෙන් සිදුවන්නේ වාසියකි. දැන් අපි මේ 'තුලනාත්මක වාසිය' නම් වූ සංකල්පය ගැන කතා කරමු.

මේ දෙවන ආකෘතියේද අල්ලංකාව පළමු ආකෘතියේ අල්ලංකාවට සමානය. ජනගහණය 100කි. එයින් 25 දෙනෙකු මාළු අල්ලද්දී 75 දෙනෙකු අල ගලවති. අල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් (පෙර මෙන්ම) මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 1 බැගින් කිලෝ 75 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3 බැගින් කිලෝ 75 කි.

අල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 3කට හුවමාරු වේ.

මේ දෙවන ආකෘතියේ අල්ලංකාව වෙළඳාම් කරන්නේ හොල්ලංකාව නම් වූ වඩා විශාල ආර්ථිකයක් ඇති රටක් සමඟය. එහිද ජනගහණය 100කි. එහෙත්, හොල්ලංකාවේ වැසියෙකු අල මෙන්ම මාළු නිෂ්පාදනය අතින්ද අල්ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. හොල්ලංකාවේ 50 දෙනෙකු මාළු අල්ලද්දී 50 දෙනෙකු අල ගලවති. හොල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 2.25 බැගින් කිලෝ 112.5 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3.5 බැගින් කිලෝ 175 කි.

හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට (3.5/2.25) හුවමාරු වේ.

මේ රටවල් දෙක අතරින් අල වලින් මෙන්ම මාළු වලින්ද පරිපූර්ණ වාසිය ඇත්තේ හොල්ලංකාවටය. එසේනම්, හොල්ලංකාව සමඟ ගණුදෙනු කිරීමෙන් අල්ලංකාවට වාසියක් ලබා ගත නොහැකිද?

පරිපූර්ණ වාසියක් නැතත් අල්ලංකාවට තුලනාත්මක වාසියක් ලබා ගැනීමට බාධාවක් නැත.

අල්ලංකාවේ අල කිලෝ 1ක් හුවමාරුවන්නේ මාළු කිලෝ 3කටය. හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට හුවමාරු වේ. මාළු කිලෝ 3ක් දී අල්ලංකාවෙන් අල කිලෝවක් ගන්නවාට වඩා මාළු කිලෝ 1.556 කට හොල්ලංකාවෙන් අල කිලෝවක් ගැනීම අල්ලංකාවට වාසිදායකය. එමෙන්ම, අල කිලෝවකට හොල්ලංකාවෙන්  මාළු කිලෝ 1.556ක් ගන්නවාට වඩා අල්ලංකාවෙන් මාළු කිලෝ 3ක් ගැනීම හොල්ලංකාවට වාසිදායකය. ඒ නිසා, අල කිලෝවකට මාළු කිලෝ 1.556-3.00 අතර, දෙරට එකඟවන ඕනෑම අනුපාතයකට හුවමාරුවක් කිරීම දෙරටටම වාසිදායකය. මෙසේ එකඟවන අනුපාතය අපි අල කිලෝවකට මාළු කිලෝ 2.333 වැනි අතරමැදි ගණනක් ලෙස සලකමු.

දැන් අල වලට පරිපූර්ණ මෙන්ම තුලනාත්මක වාසියක්ද ඇති හොල්ලංකාව අල ගලවයි. මාළු වලට පරිපූර්ණ වාසියක් නැතත්, තුලනාත්මක වාසියක් ඇති අල්ලංකාව මාළු අල්ලයි.

අල්ලංකාව මාළු කිලෝ 300ක් (3.0x 100)නිපදවයි.
හොල්ලංකාව අල කිලෝ 350ක් (3.5x 100) නිපදවයි.

අල්ලංකාව හොල්ලංකාවට මාළු කිලෝ 210ක් අපනයනය කර අල කිලෝ 90ක් (210/2.333 = 90) ආනයනය කරයි.

දැන් අල්ලංකාවේ පරිභෝජනය මාළු කිලෝ 90ක් (300 - 210) සහ අල කිලෝ 90 කි. වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 75ක් සහ අල කිලෝ 75 ක් විය. මේ අනුව, අල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

හොල්ලංකාවේ සිදුවන්නේ කුමක්ද? එහි පරිභෝජනය මාළු කිලෝ 210ක් සහ අල කිලෝ 135 කි (225-90). වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 175ක් සහ අල කිලෝ 112.5 ක් විය. මේ අනුව, හොල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

මේ උදාහරණයේදී රටවල් දෙකේම අල හා මාළු පරිභෝජනය එකම ප්‍රතිශතයකින් වැඩි වුවද එය හැම විටම එසේ සිදු නොවේ. හුවමාරු අනුපාතය වෙනස් වන විට දෙරටේ වාසි අවාසි වෙනස් වෙයි. එහෙත්, සමස්තයක් වශයෙන් දෙරටටම හැම විටම සිදුවන්නේ වාසියකි.

(Image: www.yourarticlelibrary.com)

Friday, February 26, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -1



රටවල් දෙකක් අතර ඇති කර ගන්නා වෙළද ගිවිසුමකින් ඒ එක් එක් රටේ විවිධ අංශ වලට සිදුවන බලපෑම හැදෑරීම සංකීර්ණ, කාලය ගත වන වැඩකි. එට්කා ගිවිසුමට පක්ෂ වීමට, විරුද්ධ වීමට හෝ මධ්‍යස්ථව අදහස් දැක්වීමට සදාචාරාත්මක වගකීමක් ඇති ආර්ථික විද්‍යාඥයින් ඕනෑ තරම් සිටින පසුබිමක, විනෝදාංශයක් වශයෙන් කරන කටයුත්තක් වෙනුවෙන් එවැනි ලොකු කාලයක් යෙදවීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් මට නැත. එහෙත්, එට්කා ගිවිසුම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාම විෂයයෙහි උනන්දුවක් ඇති වී ඇති මේ වෙලාවේ, ඒ හා අදාළ මූලික විෂය කරුණු කිහිපයක් කතා කිරීමනම් එතරම් මහන්සියක් විය යුතු කටයුත්තක් නොවේ.

රටවල් දෙකක් අතර වෙළඳාම නිදහස් කිරීම හොඳද නරකද යන්න සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙකු සාකච්ඡා කරන මාතෘකාවක් නොවේ. එය තරමක හෝ ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයෙකුට "කුකුළාගේ කරමල රතුද නැත්නම් සුදුද?" ආකාරයේ, පිළිතුර පිළිබඳ අවිනිශ්චිතතාව අඩු, ප්‍රශ්නයකි. ආර්ථික විද්‍යාඥයෙකු මෙවැනි කරුණක් අරභයා විමසන ප්‍රශ්න වන්නේ "කුකුළාගේ කරමල සුදුවීමට ඇති ඉඩකඩ මොනවාද?" හෝ "කුකුළාගේ කරමල සුදුවුනේ ඇයි?" වැනි ප්‍රශ්නයි.

ජාත්‍යන්තර වෙළඳාම හා අදාළ මූලික සංකල්ප දෙකක් වන්නේ 'පරිපූර්ණ වාසිය (absolute  advantage)' සහ 'තුලනාත්මක වාසිය (comparative advantage)' යන තත්ත්වයන්ය. මේ ලිපියේ අරමුණ මේ සංකල්ප දෙකෙන් පළමුවැන්න පැහැදිලි කිරීමයි. 


දැන් අපි අපේ පළමු සරල ආකෘතියට යමු.

ගලවංකාව සහ අල්ලංකාව කියා රටවල් දෙකක් තිබේ. මේ රටවල් දෙක ජනගහණය අතින් සමානය. එක් රටක 100 බැගිනි. රටවල් දෙකේම ජනජීවිතය හා ආහාර පුරුදු සමානය. රටවැසියෝ එක්කෝ ඉබේ වැවී ඇති අල ගලවති. නැත්නම් මාළු අල්ලති. ඉන්පසු අල සහ මාළු යොදා හදන කෑමක් කා ඇල්වතුර බී නිදාගනිති. රටවල් දෙකේම තත්ත්වය මේ කරුණු අනුව සමානය. කෙසේ වුවද, අල සහ මාළු නිෂ්පාදනය කිරීමට වැය කළ යුතු ශ්‍රමය (නිෂ්පාදන සාධක) අතින් රටවල් දෙක සමාන නැත.

පළමුව අපි අල්ලංකාවට යමු. මෙහි වැසියෙකුට දවසක් මහන්සි වී මාළු කිලෝ 3ක් ඇල්ලිය හැකිය. නැත්නම් අල කිලෝවක් ගැලවිය හැකිය. ඕනෑම අල ගලවන්නෙකුට මාළු අල්ලන්නෙකු වීමට හෝ මාළු අල්ලන්නෙකුට අල ගලවන්නෙකු වීමට හැකි නිසා අල්ලංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම අල කිලෝවකි. නැත්නම්, මාළු කිලෝ තුනකි. ඒ අනුව,
අල්ලංකාව තුල අල කිලෝවක් මාළු කිලෝ තුනකට හුවමාරු වේ. 

අල්ලංකාවේ අල වවන්නෝ අල ග්‍රෑම් 250ක් මාළු ග්‍රෑම් 750කට හුවමාරු කරති. මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 2250ක් අල ග්‍රෑම් 750කට (අල වවන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ අල්ලංකාවේ කවුරුත් අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

ගලවංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. එහි වැසියෙකුට දවසක් මහන්සි වී අල කිලෝ 3ක් ගැලවිය හැකිය. නැත්නම් මාළු කිලෝවක් ඇල්ලිය හැකිය. ගලවංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම මාළු කිලෝවකි. නැත්නම්, අල කිලෝ තුනකි.
ඒ අනුව, ගලවංකාව තුල මාළු කිලෝවක් අල කිලෝ තුනකට හුවමාරු වේ.

ගලවංකාවේ මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 250ක් අල ග්‍රෑම් 750කට හුවමාරු කරති. අල වවන්නෝ අල ග්‍රෑම් 2250ක් මාළු ග්‍රෑම් 750කට (මාළු අල්ලන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ ගලවංකාවේ වැසියනුත් අල්ලංකාවේ වැසියන් මෙන්ම අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

මේ රටවල් දෙකෙන් අල්ලංකාවට ගලවංකාවට සාපේක්ෂව මාළු නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. එමෙන්ම, ගලවංකාවට අල්ලංකාවට සාපේක්ෂව අල නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. මෙහිදී පරිපූර්ණ වාසියක් ලෙස හැඳින්වෙන්නේ සමාන නිෂ්පාදන සාධක යොදවා එක් රටකට වෙනත් රටකට වඩා වැඩි නිෂ්පාදනයක් කිරීමට ඇති හැකියාවයි.


තමන්ට පරිපූර්ණ වාසියක් ඇති භාණ්ඩයක් නිපදවා වෙනත් රටකට විකිණීමෙන් ඕනෑම රටකට වාසියක් ලැබේ. උදාහරණයක් වශයෙන් අල්ලංකාවේ සියල්ලෝම මාළු අල්ලද්දී ගලවංකාවේ සියල්ලෝම අල ගලවතැයි සිතමු. දැන් අල්ලංකාවේ මාළු කිලෝ 300ක්ද ගලවංකාවේ අල කිලෝ 300ක්ද නිපදවේ. අල්ලංකාවේ මාළු වලින් කිලෝ 150ක් ගලවංකාවේ අල කිලෝ 150ක් සමඟ හුවමාරු කරයි.

අන්තිමේදී අල්ලංකාවේ වැසියෙකු තමන් අල්ලන මාළු කිලෝ තුනෙන් කිලෝ 1.5ක් ගලවංකාවේ වැසියකුගේ අල කිලෝ 1.5ක් වෙනුවෙන් හුවමාරු කරයි.  අල්ලංකාවේ මෙන්ම ගලවංකාවේ වැසියෝත් අල කිලෝ 1.5ක් සහ මාළු කිලෝ 1.5ක් බැගින් පරිභෝජනය කරති. රටවල් දෙක අතර වෙළඳාම නිසා දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වී තිබේ. මෙහිදී, කිසිවෙකුට අවාසියක් වී නැත.

දෙවන සංකල්පය වන තුලනාත්මක වාසිය පිළිබඳව ඊළඟ ලිපියෙන් කතා කරමු.


(Image: lexleader.net)

Wednesday, February 24, 2016

එක්ටාද? ඒක්තාද?


ලොව පුරා වසන මිලියන දහසයකගේ මවු බස සිංහලයි. මේ මිලියන දහසයෙන් මිලියන දෙකක් පමණම මේ වන විට වෙසෙන්නේ ලංකාවෙන් පිටතය. මෙයට අමතරව මවුබස සිංහල නොවන තවත් මිලියන තුනක් පමණද සිංහල කතා කරති.

සිංහල සැලකෙන්නේ ඉන්දු ආර්ය භාෂාවක් ලෙසිනි. භාෂාවේ ඇති ඉන්දු ආර්ය මූලයන් හඳුනා ගැනීම අපහසු නොවුවද සිංහල භාෂාව අනෙතුත් උතුරු ඉන්දීය ඉන්දු ආර්ය භාෂාවන්ගෙන් දුරස්ථව හා දකුණු ඉන්දීය ද්‍රාවිඩියන් භාෂා සමඟ මුසු වෙමින් සහශ්‍ර දෙකහමාරක පමණ කාලයක් වෙනම පරිණාමය වීම නිසා අද වන විට සිංහල මවු බස වූ අයෙකුට උතුරු ඉන්දීය භාෂාවක් මුල සිටම අමුතුවෙන් අධ්‍යනය නොකර තේරුම් ගත නොහැකිය. එහෙත්, හින්දි, මරාති, බෙංගාලි වැනි උතුරු ඉන්දීය බසක් මවු බස වූ අයෙකුට අමුතු ඉගෙනීමක් නැතිව වෙනත් උතුරු ඉන්දීය බසක් යම් තරමකට තේරුම් ගැනීමට පුළුවන. මේ අයුරින්ම දෙමළ මවුබස වූ අයෙකුට මලයාලම් වැනි වෙනත් දකුණු ඉන්දීය බසක් තේරුම් ගැනීමද විශාල ලෙස අපහසු කාර්යයක් නොවේ.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් භාෂා 22ක් ඉන්දියාවේ ප්‍රධාන භාෂා ලෙස හඳුනාගෙන තිබේ. මේ අතරින් 15ක් ඉන්දු-ආර්ය භාෂාවන් වන අතර 5ක් ද්රාවිඩියන් භාෂාවන්ය. මේ බොහෝ භාෂාවන් සිය මුල් බස ලෙස වහරන ජනකොටස් ඉන්දියාවේ කිසියම් ප්‍රදේශයක කේන්ද්‍රගතව සිටිති. භූගෝලීය වශයෙන් ලංකාවට කිට්ටුවෙන්ම සිටින ඉන්දු-ආර්ය භාෂාවක් මුල් බස වූ ජනකොටස මරාතීන්ය. මුල්බස ලෙස කතාකරන ජනගහණය අනුව ඉන්දියාවේ සිවුවන විශාලතම භාෂාව සහ ලෝකයේ 19වන විශාලතම භාෂාව වන මරාති බස වහරන්නෝ මිලියන 72ක් ඉන්දියාවේ සිටිති. ඔවුන් බොහොමයක්ම වෙසෙන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේය. තවත් මිලියනයක් පමණ ඉන්දියාවෙන් පිටත වෙසෙති.

හින්දි හා නේපාලි භාෂා මෙන්ම මරාති බසද ලියන්නේ සංස්කෘත ලිවීමේදී භාවිතා කරන දේවනාගරී හෝඩිය භාවිතා කිරීමෙනි. වෙනත් ඇතැම් උතුරු ඉන්දීය භාෂා ලියන අක්ෂර මාලාවන් දේවනාගරී අක්ෂර වලින් යම් තරමකට විකාශනය වූ ඒවාය. පහතින් ඇත්තේ මරාති වාක්‍යයකි.

तू एकटा आहेस का?

තූ එක්ටා ආහෙස් කා?

මෙහි අර්ථය "ඔබ තනියම ඇයි?" යන්නයි. මෙහි එක්ටා (एकटा) යන වචනයේ තේරුම තනිව, හුදෙකලාව, අතහැර දමනු ලැබ වැන්නකි.

ලංකාවේ සිට දකුණු ඉන්දියානු භාෂා කලාප හා මරාති භාෂා කලාප පසුකර උතුරට ගිය විට හින්දි භාෂා කලාපය හමුවේ. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව වන හින්දි බස මවුබස වූ මිලියන 422ක් (2001 සංගණන දත්ත අනුව හින්දි වලට බොහෝ ආසන්න වෙනත් භාෂා රැසක්ද ඇතුළත්ව) ඉන්දියාවේ වෙසෙති. හින්දි ලෝකයේ භාෂා අතරින් මවුබස ලෙස වහරන ජනගහණය අනුව සිවු වැනි තැන සිටී.

පහතින් ඇත්තේ හින්දි වාක්‍යයකි.

एकता में बल है

ඒක්තා මේන් බල් හේ

මෙහි අර්ථය "සමඟිය බලය වේ" යන්නයි. මෙහි ඒක්තා (एकता) යන වචනයේ අරුත සමඟිය, ඒකීයත්වය, එකතු වීම වැන්නකි.

යුරෝපීය බසක් මුල්බස වූ අයෙකුට ඉතාම සමාන ලෙස ඇසෙන එක්ටා හා ඒක්තා යන වචන වල ඇත්තේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තේරුම් දෙකකි. එක්ටා යනු තනිව යන ගමනකි. ඒක්තා යනු එකතුව යන ගමනකි.

යම් කරුණක් හා අදාළව තනිව යනවාද, එක්ව යනවාද, එක්ව යනවානම් ඒ කා සමඟද ආදී කරුණු පුද්ගල තේරීම්ය.




(Image: https://en.wikipedia.org/wiki/Languages_of_India#/media/File:Indoarische_Sprachen_Gruppen.png)

Sunday, February 21, 2016

"රනිල් කියන ගොනා ගොනා -ගොන් පණතක් ගෙනා ගෙනා"


ඒ 1981 වසරේ කිසියම් දිනයකි. කාලගුණය පැහැබරය. එවකට මා ඉගෙනුම ලබමින් සිටියේ පාසැලේ කනිෂ්ඨ ද්වීතියික පන්තියකය. එදින උදේ මා පාසැලට පැමිණෙන විට පාසැලේ වෙනදා නොතිබෙන කිසිදු කලබලකාරී කමක් පෙනෙන්නට නොතිබුණේය. මම කෙළින්ම අපේ පන්තියට ගියෙමි.

පළමු කාල පරිච්ඡේදය සාමාන්‍ය පරිදි අවසන් විය. ඉන් පසුව ඇත්තේ දෙවන කාල පරිච්ඡේදය ආරම්භ වීමට පෙර පන්තිභාර ගුරුවරයා පැමිණ නම් ලකුණු කිරීම සඳහා වෙන්වූ විනාඩි පහක කාලයයි. කිසියම් හේතුවකින් ඔහුගේ පැමිණීම ප්‍රමාද වෙමින් පැවතුණේය. අපේ පන්තිය ඉදිරියෙන් උසස්පෙළ පන්ති වල උගත් සිසුන් සැලකිය යුතු පිරිසක් ඇවිදගෙන යති. ඔවුන් යන්නේ පාසැල් පිට්ටනිය දිශාවටය. මෙය තරමක් අසාමාන්‍ය දසුනකි.

"ස්ට්‍රයික් කරන්න යන්නේ..."

ඒ මගේ පන්ති සගයෙකි.

"අපිත් යමුද?"

මා මේ කාලයේදී පන්තියේ දීප්තිමත් සිසුවෙකු වුවද, නසරානි වැඩ වලදී පෙරමුණ ගැනීමට එය බාධාවක් කොට නොසැලකුවෙමි.

"ගිහිං බලමු!"

අපි වහවහා අපට ඉදිරියෙන් ගිය දෙතුන් සියයක වැඩිහිටි සිසු කණ්ඩායම හා එක් වූයෙමු. අපේ ගමනාන්තය වූයේ ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටි පාසැල් පිට්ටනියයි.

ටික වෙලාවකින් මේ කණ්ඩායම තවත් විශාල විය. එහෙත්, එහි එක්රැස්වී සිටි දික්කලිසං අයියලා අතර අප වැනි කොටකලිසං මල්ලිලා හිටියේ ඉතා සුළු පිරිසකි. මෙයින් වසර හත අටකට පසු සිදු වූ අයුරින් පහළ පන්තිවලට රතිඤ්ඤා විසිකර සිසුන් පන්ති වලින් එළියට ගැනීමක් සිදු නොවුණු නිසා අපට මෙන් ලොකු අමාරුවක් නොතිබුණු අනිත් කොටකලිසං මල්ලිලාට පිට්ටනියට පැමිණීමට අවශ්‍යතාවයක් තිබුණේ නැත.

මේ කරන්නට හදන්නේ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි විරෝධතාවක් බව අපි වැඩි වෙලාවක් නොගොස් දැනගත්තෙමු. එහෙත්, මේ විරෝධතාව මෙහෙයවන නායකයෙකු හෝ නායක කණ්ඩායමක් පෙනෙන්නට නොසිටියේය. කිසියම් පත්‍රිකා වගයක් බෙදා හැරෙනු දැක මා වහාම එයින් එකක් ලබාගත්තේ තිබුණු
පත්‍රිකා ප්‍රමාණය රැස්ව සිටි සිසුන් ගණනට වඩා අතිශයින්ම අඩු බව ක්ෂණිකව අවබෝධ වූ බැවිනි. "අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ" කියා පටන්ගෙන රතු අකුරින් කොළේ දෙපැත්තේම මුද්‍රණය කර තිබුණු විස්තරයට අනුව "ධවල පත්‍රිකාව" නම් වූ උගුලක් අටවා රජය විසින් අපේ නිදහස් අධ්‍යාපන අයිතිය උදුරා ගන්නට ලෑස්ති වේ. දැන් මේ අප පන්ති කට් කර පිට්ටනියට රැස් වී සිටින්නේ ඒ අයිතිය රැක ගන්නටය.

ඉතිං අපි කෑගසන්නට පටන් ගත්තෙමු.

"රනිල් කියන ගොනා ගොනා -ගොන් පණතක් ගෙනා ගෙනා"

ටික වේලාවක් යනතුරු වැඩේ නැගලා ගියේය. පාරේ බස්රථ වල යන මඟීහු කවුළු වලින් ඔළුව දමා මේ වෙන දෙය බලති. අපට හෙණ ආතල්ය.

කෙසේවුවද, වැඩේ කණපිට හැරීමේ පළමු සලකුණ දිස්වන්නට වැඩි වෙලාවක් ගත නොවීය. අපේ විදුහල්පතිවරයා පිට්ටනිය දෙසට සීරුවෙන් පිය මනී. කිසිදු කලබල ගතියක් මුහුණේ නැත. වේවැල රඳවාගත් දෑත පසුපසට බැඳගෙන, බඩ ඉස්සරහට දමාගෙන ඔහු සුපුරුදු ලැසි ගමණින් විදුහල්පති කාර්යාලයේ සිට පිට්ටනිය ලෙසට ඇති තාර පාර දිගේ ඇවිදගෙන එයි.

මම වටපිට බැළුවෙමි. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක කවුරුත් කරන්නේ විදුහල්පතිවරයාට මුහුණ නොපෙන්වා හැකි ඉක්මණින් පංතියට දිවීම හෝ වැසිකිළිය වැනි වෙනත් ආරක්ෂක ස්ථානයක සැඟවීමයි. එහෙත්, එදානම් කිසිවෙකු එසේ කරන පාටක් පෙනෙන්නට තිබුණේ නැත. අපි ස්ට්‍රයික්නේ...මොකට බය වෙනවද? අධ්‍යාපනය රැකගන්නනේ මේ හදන්නේ...

විදුහල්පතිවරයා සිසුකණ්ඩායම ඉදිරියට පැමිණ සෘජුව හිටගත්තේය. සටන්පාඨ මොහොතකට නැවතිණි. දැන් ඔහු සිසුන් පෝලිම් ගස්වා වේවැලෙන් පහර බැගින් දී පන්ති වලට පිටත් කරනු ඇති බව මගේ සිත කියයි. මම තරමක් පස්සට වුනෙමි. දැන් කොහොමත් පරක්කු වැඩිය. අනික් අතට විදුහල්පතිවරයාගෙන් වේවැල් පහරක් ලැබීම ටිකක් 'ලොකු' දෙයකි. හරියට දේශපාලනඥයෙකුට රක්ෂිත බන්ධනාගාරගත වීමේ අවස්ථාවක් ලැබෙනවා වැනි වීරයෙකු වීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

"දැන් මොකක්ද මේ ළමයි මෙතන කරන්නේ?"

ඔහු යම් සිසුවෙකුගේ මුහුණ බලා මේ ප්‍රශ්නය ඇසූ බැවින් ඒ සිසුවාට පිළිතුරක් නොදී සිටීමේ හැකියාවක් තිබුණේ නැත.

"සර්, අපි ස්ට්‍රයික් කරනවා..."



මේ සිසුවාගේ හඬ ටික වේලාවකට පෙර සටන් පාඨ කියමින් කෑගැසූ තරම් තේජාන්විත නැත.


"ඇයි?"

"ධවල පත්‍රිකාවට විරුද්ධව"

"දැන් මොකක්ද ඔය ධවල පත්‍රිකාව කියන්නේ?"

එවරනම් සිසුවා නිරුත්තරය. විදුහල්පතිවරයා හිස ඔසවා සිංහයෙකු මෙන් සිසු කණ්ඩායම දෙස බලයි.

ගහන පාටක් පෙනෙන්නට නැති නිසා මම වෙන දේ හොඳින් බලාගන්නට ඉස්සරහට ආවෙමි.

"ඔය ධවල ප්‍රතිකාව කියන එකේ තියෙන්නෙ මොනවද කියල දන්න කවුරු හරි මෙතන ඉන්නවද?"

ඇත්ත නේන්නං...දන්නේ නෑනේ...වස ලැජ්ජාවයි. විදුහල්පතිවරයා ඇසූ ප්‍රශ්නයට පට් ගා උත්තර දී පොරක් වීමට බැරිවීම ගැන මට ඇති වූයේ මා ගැනම කණගාටුවකි.

"අඩුගානේ ඔය ධවල පත්‍රිකාව මොන පාටද කියල කවුරු හරි දන්නවද?"

ඒ පාරනම් මගේ අත ඉස්සෙන්නම ගියේය. ධවල කියන්නේ සුදු පාටනේ. එහෙමනං ධවල පත්‍රිකාව සුදු මිසක් වෙන පාටක් වෙන්න බෑනේ...

සියගණනක් සිසුන් අතරින් නිවැරදි පිළිතුර පළමුවෙන්ම දී ජයග්‍රාහකයා වීමට තිබුණු උවමනාව මම ක්ෂණිකව පාලනය කරගත්තෙමි.

නෑ. සුදුපාට වෙන්න විදිහක් නෑ. ඒ තරම්ම ලේසි ප්‍රශ්නයක්නම් ඕක ප්‍රින්සිපල් කවදාවත් අහන්නෙ නෑ. දැන් ඔය කළුගඟ කියල කිවුවට ඕකේ වතුර කළු පාටයැ?

සියගණනක කණ්ඩායමක් වුවද පිරිස මීයට පිම්බාක් මෙන් නිහඬය. ඒ අතරින් සිහින් හඬක් මතු විය.

"ඊස්ට්මන් වර්ණ"

ඒ, ඒ දිනවල තිරගත වූ ජනප්‍රිය වර්ණ චිත්‍රපටයක් ප්‍රචාරනයේදී පට්ට ගැසූ වචනයකි. සිහින් සිනා හඬක් පැතිර ගියේය. ඉදිරිපෙළ සිටි අනෙක් සිසුන්ට මෙන්ම මටද ඒ සිනාවට දායක වීමට නොහැකි විය.

"ධවල පත්‍රිකාව මොන පාටද කියල මෙතන කවුරු හරි දන්නවද?"

විදුහල්පතිවරයා නැවතත් සැරෙන් ඇසීය. සිනාහඬ නැවතී නැවතත් නිහඬතාව රජයන්නට විය.

"මේ තියෙන්නෙ ඔය කියන ධවල පත්‍රිකාව."

විදුහල්පතිවරයා සිය සාක්කුවට අත දමා කුඩා පොත් පිංචක් එළියට ගත්තේය.

"අම්මටහුඩු, තැඹිලි පාට!"

වහාම මගේ ඇස ගියේ එහි පිටකවරයේ පැහැයටය.

"හොඳ වෙලාවට කට පියාගෙන හිටියේ. කිවුවනම් වස නෝන්ඩිය."

"අද ගෙදර ගියහම මේක හොයාගෙන හොඳට කියවල බලන්න. ස්ට්‍රයික් කරන්න හේතුවක් තියෙනවනම් හෙට උදේට මටත් ඇවිත් කියන්න."

සිසුහු විදුහල්පතිවරයාගේ  කට දිහා බලාගෙන සිටිති.

"දැන් පන්ති වලට යන්න!"

අපි එකා පස්සේ
එකා වැටී පන්ති වලට නැවත ගියෙමු. අපේ ධවල පත්‍රිකා විරෝධය එයින්ම නිමා විය.

මේ ධවල පත්‍රිකා විරෝධයට එක් වුනු සිසුහු දැන් හිස නිකට පැසුණු පුද්ගලයෝ වෙති. අපේ පාසැලේ ධවල පත්‍රිකා විරෝධය පහසුවෙන් නිමා කළ,  සාමාන්‍යයයෙන් හොඳ පරිපාලකයෙකු වූ, අපේ විදුහල්පතිතුමා මේ සිදුවීමෙන් වසර පහකට පසුව සිය සේවා කාලය තුළදීම හෘදයාබාධයක් වැළඳී සිය දිවිසැරිය නිමා කළේය.

ධවල පත්‍රිකා යෝජනා ඉදිරිපත් කිරීමට මුල් වූයේ එවකට ජේ ආර් ජයවර්ධන රජයේ අධ්‍යාපන ඇමතිව සිටි, වසර තිස්දෙකක තරුණ දේශපාලනඥයෙකු වූ රනිල් වික්‍රමසිංහයි. එවකට වයස මෙන් දෙගුණයකටත් වැඩි වයසකට එළැඹ සිටින රනිල් වික්‍රමසිංහ දැන් ශ්‍රී ලංකාවේ අගමැතිවරයාය.

ධවල පත්‍රිකා යෝජනාවලිය පුළුල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකිය. මේ යෝජනාවලියේ සාධනීය අංග රැසක් තිබුණේය. එමෙන්ම, ටික දෙනෙකු එකතු වී හදන ජාතික ප්‍රතිපත්තියක ඕනෑ තරම් අඩුපාඩු තිබිය හැක. තවත් අංග සැබවින්ම සාධනීය අංග වුවත් නිශේධනීය අංග ලෙස බොහෝ දෙනෙකුට පෙනිය හැකිය. එවැන්නක්, පුළුල් ලෙස සාකච්ඡා වීමට ඉඩ හැරිය යුත්තේ ඒ නිසාය. ධවල පත්‍රිකා යෝජනා සම්බන්ධව මෙවැනි පුළුල් කතිකාවකට ඉඩක් ලැබුණේ නැත. 
එමෙන්ම, එහි සාධනීය අංග නිසි ලෙස 'මාකට් කිරීමක්' රජය පාර්ශ්වයෙන් සිදු නොවීය.

කෙසේවුවද, ධවල පත්‍රිකා යෝජනාවලියට විරුද්ධ වූ සරසවි සිසුන් ප්‍රධාන බලවේග ඒ විරෝධය සාර්ථකව මාකට් කළේය. ධවල පත්‍රිකාව මොන පාටදැයි නොදත් බොහෝ දෙනා ඒ විරෝධතාවන්ට එක් වූහ. අපේ පාසැලේ පැවති විරෝධය ඉහත අයුරින් අවසන් වුවද, රට පුරා පැවති ධවල පත්‍රිකා විරෝධී රැල්ල එතරම් පහසුවෙන් අවසන් නොවූ අතර අවසානයේදී ජයවර්ධන රජයට මේ යෝජනාවලිය අකුලා ගැනීමට සිදුවිය. (ඒ යෝජනා එකිනෙක පසුව හිමිහිට ක්‍රියාත්මක කෙරුණු බව වෙනම කරුණකි.)

ඉතිහාසය වෙනස් කළ නොහැකිය. එහෙත්, ඉතිහාසය පුනරාවර්තනය වේනම් ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු පාඩම් නොසලකා හැරිය නොහැකිය.


(Image: www.sundaytimes.lk)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...