ධනවාදයට හා මාක්ස්වාදයට විකල්පයක් ලෙස ජාතිකවාදය හඳුනා ගන්නා ගොඩක් අය ඉන්නවා. මේ තුන්-මුළු විසංයෝජනය ලෝකය පුරා ව්‍යාප්ත ජනප්‍රිය අදහසක්. ඔය අදහස ලෝකයට ගෙන ගිය ජනප්‍රිය පුද්ගලයෝ ඉන්නවා. එහෙත් ජාතිකවාදය දෙස මම බලන්නේ මේ ආකාරයේ තුන්-මුළු ආකෘතියක් ඇසුරෙන් නෙමෙයි. ඒ ඇයි කියා මම මීට පෙරත් විස්තර කර තිබෙනවා. තව දුරටත් පැහැදිලි කරන්නම්.
කොහොම වුනත්, තුන්-මුළු ආකෘතියත් මගේ ආකෘතිය වගේම තවත් ආකෘතියක් නිසා වෙනත් අය ධනවාදය, මාක්ස්වාදය හා ජාතිකවාදය එකම ගැටලුවකට ලබා දෙන විසඳුම් තුනක් සේ හඳුනා ගැනීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. වෙනත් අය ගැටලුව සේ හඳුනා ගන්නේම මම අවධානය යොමු කරන ගැටලුව නොවෙන්න පුළුවන්.
මගේ ලිපි මාලාව හරහා ධනවාදය හා මාක්ස්වාදය සංසන්දනය කිරීමේදී මම අවධානය යොමු කළ ගැටලුව වූයේ මනුෂ්‍ය සංහතිය සතු සීමිත සම්පත් අසීමිත අවශ්‍යතා තිබෙන මිනිසුන් අතර බෙදා ගන්නේ කොහොමද කියන එකයි. මේ ගැටලුව ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික ගැටළුව ලෙස හැඳින්විය හැකියි. සියලුම මිනිසුන්ගේ අවශ්‍යතා ඉක්මවන සම්පත් ප්‍රමාණයක් ඔවුන් හැම දෙනෙකු සතුවම තිබෙනවානම් ආර්ථික විද්‍යාඥයෙකුට කරන්න රස්සාවක් නැහැ. ආර්ථික විද්‍යාව කියා විෂයයක් අවශ්‍ය වන්නේත් නැහැ. අප ජිවත් වන ලෝකය එවැනි යුතෝපියාවක් නෙමෙයි.
කරුණක් ලෙස ගත්තොත්, අප ජිවත් වන ලෝකයේ බොහෝ මිනිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතා වලට සරිලන තරමේ සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේ හැකියාවක් නැහැ. එවැනි හැකියාවක් ඇති අය ඇත්නම් ඒ ඉතා කලාතුරකින්. මාක්ස්වාදය ඇතුළේ වගේම පොදුවේ සමාජවාදී අදහස් විසින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස දකින්නේ සම්පත් සමානව හෝ වඩා සමානව බෙදා ගැනීමයි. එයින් වෙනස්ව ධනවාදය විසින් සම්පත්, එම සම්පත් නිර්මාණය කරන අයගේ නිදහස් කැමැත්ත අනුව ප්‍රයෝජනයට ගැනීම යෝජනා කරනවා.
ධනවාදී පරමාදර්ශය තුළ මිනිස්සු කොටස් වලට බෙදා ඔවුන්ට වෙනස් ලෙස සැලකීමක් යෝජනා කෙරෙන්නේ නැහැ. හැම මිනිහෙක්ම නිදහස් කැමැත්තක් තිබෙන මිනිහෙක්. මේ අදහසේ සීමාවන් ගැන පෙර කතා කළා. ඒ සීමාවන්ට යටත්ව, නිදහස් මිනිස්සු හැමෝම සමානයි.
මෙයින් වෙනස්ව මාක්ස්වාදය පටන් ගන්නේම මිනිස්සු උපදින ආකාරය අනුව කුල වලට වර්ග කරලා. සියලුම යහපත් ලක්ෂණ තිබෙන්නේ උපතින් ප්‍රාග්ධනය අහිමි නිර්ධන පංතිකයින්ට. උපතින් ප්‍රාග්ධනය හිමි අය සියලුම නරක එකතු වී හැදුනු පිරිසක්. ඔය කණ්ඩායම් දෙකටම දමන්න බැරි සුළු ධනේශ්වර ආදී අතරමැදි කුල ගණනාවක්ද තියෙනවා.
ප්‍රාග්ධනය හිමි අය සතු ප්‍රාග්ධනය පාලනය කිරීමේ බලය ඒ අයගෙන් උදුරා ගෙන එතෙක් ප්‍රාග්ධනය අහිමිව සිටි නිර්ධන පංතිකයින් අතරින් තෝරාගත් පිරිසකගේ අතට ගිය වහාම මැජික් එකකින් වගේ හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. ගමේ සිල්ලර කඩයක්වත් හරියකට පවත්වා ගෙන ගොස් නැති අය "අපිට බලය දෙන්න. එවිට අපි කරල පෙන්වන්නම්!" කියලා ලොරි ටෝක් දෙන එකේ දාර්ශනික පදනම ඕකයි.
ඔය විදිහට ලොරි ටෝක් දීලා බලය ගන්න අය දිගින් දිගටම කරලා තියෙන්නේ කුමක්ද කියා එකින් එක නිදර්ශන සපයන්න අවශ්‍ය වන්නේ නැහැ. එසේ තිබියදීත්, උපතින් ප්‍රාග්ධනය හිමි අයගේ නිදහස් කැමැත්ත පිළිගන්න බැරි ගොඩක් අයට එසේ උපතින් ප්‍රාග්ධනය හිමි නොවූ "ජනතා නියෝජිතයෙකුගේ" නිදහස් කැමැත්ත අපහසුවකින් තොරව පිළිගන්න පුළුවන්. හැබැයි එහෙම වෙනත් අයෙකුගේ නිදහස් කැමැත්තට තමන්ගේ නිදහස් කැමැත්ත කැමැත්තෙන්ම යට කරන ගොඩක් අයට පසු තැවෙන්න වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මේ වගේ පසු තැවීමකට මුහුණ දෙන්න වෙන්නෙම, මොන විදිහට හිතා ගෙන හිටියත්, ඒ අයටත් නිදහස් කැමැත්තක් තිබෙන නිසා.
පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණ වලින් ඉතාම සීමිත කොටසක් පමණක් තිබෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතුළේ ගොඩක් අය එකතු වෙලා තමන්ගේ නිදහස් කැමැත්ත වඩා හොඳින් නියෝජනය කරනවායැයි සිතන ජනතා නියෝජිතයෙක්ව තෝරා පත් කර ගන්නවා. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ජනතා නියෝජිතයාගේ නිදහස් කැමැත්ත. එය තමන්ගේ නිදහස් කැමැත්ත නොවන බව ඉතා ඉක්මණින් තේරෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නය විසඳා ගන්නේ නියෝජිතයාව මාරු කරලා. අන්තිමට හිටපු තැනමයි. ප්‍රශ්නයට හේතුවම තමන්ගේ නිදහස් කැමැත්ත වෙනත් අයෙකුගේ නිදහස් කැමැත්තට යට කිරීම නිසා ඔය ක්‍රමයට කවදාවත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඔය විදිහට දිගටම ප්‍රශ්නය සමඟ ජිවත් වීමත් නිදහස් කැමැත්තක්ම තමයි!
ගොඩක් අයගේ නිදහස් කැමැත්ත ඔවුන්ගේම නිදහස් කැමැත්තට එරෙහිව ක්‍රියාත්මක වන්නේ කොහොමද? මේ ගොඩක් අයට තමන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. නමුත් අනෙක් අයගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන්න දෙන්න අවශ්‍ය නැහැ. තමන්ට අවශ්‍ය දේ ලියන්න නිදහස අවශ්‍යයි. එයින් එහාට ගිහින් තමන්ට අවශ්‍ය දේ වෙනත් අය විසින්ද ලියන්න අවශ්‍යයි!
ලංකාව ඇතුළේ මිනිසුන්ගේ නිදහස් කැමැත්තට එරෙහිව සමාජවාදී දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වන්නේ ඔය විදිහට. ලංකාවේ ප්‍රශ්නය මිනිසුන්ට නිදහස් කැමැත්තක් නැතිකම නෙමෙයි. ඒක කොහොමටත් නැති නොවන, නැති කළ නොහැකි දෙයක්. ඒ වගේම හැමෝටම අවශ්‍ය දෙයක්. ලංකාවේ සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් කරලා තියෙන්නේ මිනිස්සු අනෙකාගේ නිදහස් කැමැත්තට ගරු කිරීම වලක්වන එකයි. අනුන් වෙනුවෙන් හිතීමේ අයිතිය තනි කැමැත්තෙන් තමන් වෙත පවරාගෙන තිබෙන, නිදහස් කැමැත්තක් නැතැයි කියන මිනිස්සුත් අප ලිවිය යුතු දේ හා නොලිවිය යුතු දේ ගැන අපට උපදෙස් දෙනවා. ඒ කාගේ නිදහස් කැමැත්තද?
කිසියම් සමාජයක ජිවත්වන මිනිසුන්ට ඔවුන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ හැකියාව වැඩි කර ගත හැක්කේ අනෙක් අයගේ නිදහස් කැමැත්තටද ගරු කිරීමෙන් පමණයි. එවැනි පොදු එකඟතාවයක් නැතිව සමතුලිතතාවයක් ඇති වන්නේ නැහැ. තෝරාගත් ජනතා නියෝජිතයෙකු වෙත බොහෝ දෙනෙකුගේ නිදහස් කැමැත්ත පාලනය කිරීමේ බලය කැමැත්තෙන් පවරන බොහෝ අය එසේ කරන්නේ තමන්ගේ වාසියට අනෙක් අයගේ නිදහස් කැමැත්ත පාලනය කිරීමේ අරමුණින්.
මෙහිදී ජනතා නියෝජිතයෙකු වෙනුවෙන් පෙනී සිටින අයෙකු විසින් එම ජනතා නියෝජිතයා විසින් අනෙක් අයගේ නිදහස් කැමැත්තට එරෙහිව තමන්ගේ නිදහස් කැමැත්ත වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ අපේක්ෂාවම අසාධාරණ අපේක්ෂාවක්. ඒ වගේම කිසි විටෙකත් ඉටු වීමේ ඉඩක් නැති අපේක්ෂාවක්. ජනතා නියෝජිතයෙකුට කවදාවත් ඔහුව හෝ ඇයව තෝරාපත් කරගනු ලැබූ සියල්ලන්ම සතුටු කිරීමේ හැකියාවක් නැහැ. ඒ එකිනෙකාගේ අපේක්ෂාවන් එකිනෙකට වෙනස්. ඒ නිසා ප්‍රායෝගිකව සිදු වන්නේ ඔහුට හෝ ඇයට වඩා වැදගත් සුළු පිරිසක් සතුටු කරනු ලැබීමයි. ඒ සුළු පිරිසගේ පමණක් නිදහස් කැමැත්ත ක්‍රියාත්මක වීමයි.
සම්පත් පාලනය කිරීම කියන කරුණට ආවොත් ධනවාදය තුළ සම්පත් පාලනය වන්නේ එම සම්පත් නිර්මාණය කරන "අයිතිකරුවන්" විසින්. කිසියම් මොහොතක මේ සම්පත් සීමිත පිරිසක් අතේ සංකේන්ද්‍රණය වී තිබිය හැකියි. මෙයට විකල්පයක් ලෙස දේශපාලන බලය යොදවා එම සම්පත් වල පාලනය වෙනත් පිරිසක් වෙත සම්ප්‍රේෂණය කළ විට සිදුවන එකම වෙනස සම්පත් කළමනාකරණය කිරීම ඒ කටයුත්ත සඳහා පළපුරුද්දක් නැති අය අතට යාම පමණයි. සම්පත් තවදුරටත් සීමිත පිරිසක් අතේ සංකේන්ද්‍රණය වී තිබීම නොවැලැක්විය හැකියි.
සම්පත් බෙදා හැරීමේ ප්‍රශ්නය පැත්තකින් තියා බලය බෙදා හැරීමේ ප්‍රශ්නය, එනම් දේශපාලන විද්‍යාඥයෙකුගේ ප්‍රශ්නය, වෙත අවධානය යොමු කළොත්, සම්පත් මෙන්ම බලයද එකම පිරිසක් අතේ සංකේන්ද්‍රණය වී තිබීමට සාපේක්ෂව කණ්ඩායම් දෙකක් අතේ සංකේන්ද්‍රණය වී තිබීම වඩා හොඳ නැද්ද?
මේ වගේ ප්‍රශ්නයකට සියල්ලන්ටම එකඟ විය හැකි පිළිතුරක් නැතත්, සමාජවාදය විසින් යෝජනා කරන්නේ එය එසේ විය යුතු බවයි. එය නරක අදහසක් කියා කියන්න බැහැ. ඒ වගේම එය එසේ නොවිය යුතුයැයි ධනවාදය විසින් යෝජනා කරන්නේද නැහැ. කෙසේ වුවත්, ඉලක්කය මෙයනම් එම ඉලක්කය කරා යා හැකි වඩා කාර්යක්ෂම ක්‍රමය සමාජවාදී ක්‍රමය නෙමෙයි. ධනවාදය තුළම මෙය සිදු වෙනවා වගේම දියුණු ධනවාදයක් ඇති රටවල මෙය දැනටමත් සිදු වී තිබෙනවා. දැනටම වුවත් බොහෝ විශාල සමාගම් වල ප්‍රාග්ධන හිමියන් හා කළමණාකරුවන් කියන්නේ දෙපිරිසක්. මේ කළමණාකරුවන් වෙළඳපොළ තරඟය තුළ ඉතිරි වන දක්ෂයින් මිසක් දේශපාලන බලය මත තේරී පත්වන පිරිසක් නෙමෙයි.
ධනවාදය ඇතුළේ කුල භේදයක් නැහැ. ඕනෑම නිදහස් මිනිසෙකුට ශ්‍රමිකයෙක්, ප්‍රාග්ධන හිමියෙක්, ව්‍යවසායකයෙක් හෝ කළමනාකරුවෙක් වෙන්න පුළුවන්. මොනවා කළත් අන්තිමට ලැබෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය.
ධනවාදය ගැන හා සමාජවාදය ගැන මේ ආකාරයට කතා කළත් ඔය දෙකම ක්‍රියාත්මක වන්නේ ලෝකයේ පවතින දේශපාලන බල ව්‍යුහය ඇතුළේ. එම දේශපාලන බල ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ ජාතික රාජ්‍ය මත පදනම්වයි. ජාතික රාජ්‍ය ආකෘතිය ඇතුළේ මොන විදිහකින්වත් ලෝකයේ හැම මිනිහෙක්ම සමාන වන්නේ නැහැ. ඒ නිසා අපට මේ කරුණ අමතක කරලා ධනවාදය ගැන හෝ සමාජවාදය ගැන කතා කරන්න බැහැ. මෙතෙක් කතා කළ හැම දෙයක්ම එලෙසම වලංගු වන්නේ එක්කෝ සමස්ත ලෝකයේම දේශ සීමා අහෝසි වී යාමෙන් පසුව. එසේ නැත්නම් කිසියම් රටක් සම්පූර්ණයෙන්ම දේශ සිමා වසා ලෝකයෙන් හුදෙකලා වීමෙන් පසුව. ඔය දෙකේ ව්‍යුහමය වෙනස්කමක් නැහැ.
හැබැයි ප්‍රායෝගිකව තිබෙන්නේ ඔය තත්ත්වයන් දෙකෙන් එකක්වත් නෙමෙයි. ලෝකයේ දේශ සීමා පවතිනවා වගේම ලෝකයේ කිසිම රටක් හුදෙකලා වී නැහැ. ජාතිකවාදය ගැන කතා කළ යුත්තේ මේ පසු බිමේ සිටයි. ජාතිකවාදයට කෙනෙකු පක්ෂ වුවත් නැතත් ලෝකයේ හැම රටකම යම් තරමකින් ජාතිකවාදයක් ක්‍රියාත්මක වෙනවා. ජාතිකවාදය හා ආර්ථික විද්‍යාඥයාගේ ප්‍රශ්නය අතර සම්බන්ධය කුමක්ද?
ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික ප්‍රශ්නය වන්නේ මනුෂ්‍ය සංහතිය සතු සීමිත සම්පත් අසීමිත අවශ්‍යතා තිබෙන මිනිසුන් අතර බෙදා ගන්නේ කොහොමද කියන එකයි. එම ප්‍රශ්නය සඳහා ධනවාදී හා සමාජවාදී පිළිතුරු මා විස්තර කර තිබෙනවා.
ලෝකයේ දේශ සීමා නැත්නම් හෝ දේශ සීමා මුළුමනින්ම වැසී ඇත්නම් මේ ප්‍රශ්නයට ඉහත විසඳුම් දෙකෙන් එකක් ප්‍රමාණවත්. ධනවාදය තුළ සියලු මිනිසුන් සමානයි. මාක්ස්වාදය තුළ මිනිසුන් උපතින්ම කිසියම් කුලයකට අයත් වන නමුත් එම බෙදීම් හා ජාතික රාජ්‍යයන්හි දේශ සීමා අතර කිසිදු සම්බන්ධයක් නැහැ.
එහෙත්, පවතින ලෝක දේශපාලන බල ව්‍යුහය තුළ ඕනෑම මිනිහෙක් ඉපදෙන්නේ කිසියම් ජාතික රාජ්‍යයක් හා බැඳුනු අනන්‍යතාවයක් සමඟයි. හැම මිනිහෙක්ම තමන් ජිවත් වන රටේ සමාජ දේශපාලන සම්මුතීන්ට යටත් වන නමුත් රටෙන් බාහිරව ජිවත් වන විදේශිකයින්ට එවැනි බැඳීමක් නැහැ. ඔවුන්ගේ බැඳීම තිබෙන්නේ වෙනත් සමාජ දේශපාලන සම්මුතියක් සමඟයි. කිසියම් රටක ආර්ථික-දේශපාලන ක්‍රමය ධනවාදී වුවත්, සමාජවාදී වුවත් එම රටේ ජිවත් වන්නන් හා ජිවත් නොවන්නන් සමාන සේ සලකා කටයුතු කළ හැකිද? ලෝකයේ කිසිදු රටක් කිසිදු අවස්ථාවක එසේ කටයුතු කර නැහැ.
දළ අදහසක් ලෙස ජාතිකවාදය යන්නෙන් අදහස් වන්නේ කිසියම් රටක ජිවත් වන්නන් එම රටේ ජිවත් නොවන්නන්ගෙන් වෙනස් පිරිසක් සේ සලකා කටයුතු කිරීමයි. මෙය කරන හෝ කරන්නට අපේක්ෂා කරන ආකාරය අනුව විවිධ ජාතිකවාද තිබෙනවා. එකිනෙකින් වෙනස් විවිධ ජාතිකවාද විශාල ප්‍රමාණයක් මිස ජාතිකවාදය ලෙස හැඳින්විය හැකි එක් තනි පරමාදර්ශයක් නැහැ. ඒ නිසා, ජාතිකවාදය අර්ථදැක්වීමට පහසුම ක්‍රමය එහි ප්‍රතිවිරුද්ධ අන්තය පරමාදර්ශයක් සේ සැලකීමයි.
ජාතිකවාදය මෙන් නොව ජාත්‍යන්තරවාදය පහසුවෙන් අර්ථදැක්විය හැකියි. ජාත්‍යන්තරවාදියෙකුට අනුව දේශ සීමා වලින් වෙන් වූ පමණින් මිනිසුන් වෙනස් වන්නේ නැහැ. පරමාදර්ශ අනුව බැලුවොත් ධනවාදය වගේම මාක්ස්වාදයද ස්වභාවයෙන්ම ජාත්‍යන්තරවාදීයි. ආර්ථික ක්‍රමයක් සේ ධනවාදය පිළිගන්නා ලිබරල් ජාත්‍යන්තරවාදීන්ට අනුව ලෝකයේ සියලුම මිනිසුන් සමානයි. මාක්ස්වාදී ජාත්‍යන්තරවාදීන්ට අනුව ලෝකයේ මිනිසුන් ඔවුන් ඉපදුනු සමාජ තත්ත්වය අනුව විවිධ කුල වලට බෙදිය හැකි නමුත් ජීවත් වන ස්ථානය හෝ දේශ සීමා අනුව මිනිසුන් අසමාන වන්නේ නැහැ.
පරමාදර්ශී ජාත්‍යන්තරවාදය තුළ දේශ සීමා නැතත් ප්‍රායෝගික යථාර්තය තුළ දේශ සීමා තිබෙනවා. මාක්ස්වාදය විසින් යෝජනා කළ නිර්ධන පංති ආඥාදායකත්වය තුළ බලය ලබා ගන්නේ ලෝක කම්කරුවන් විසින් මිසක් රුසියාවේ කම්කරුවන් විසින් නෙමෙයි. එහෙත් ධනවාදී වෙළඳපොළ වඩා දියුණු වී තිබුණු බටහිර රටවල සෝවියට් පන්නයේ සමාජවාදී විප්ලවයක් සිදු වුනේ නැහැ. තවත් පරිවාර රටවල් එකතු කරගෙන සමාජවාදී රාජ්‍යයක් හදපු සෝවියට් දේශයට ඔවුන්ගේ පුරෝගාමී සමාජවාදී රාජ්‍යය ලෝකය පුරා ව්‍යාප්ත කරන්න අවශ්‍ය වුනත් බටහිර රටවල බහුතරයක් මිනිස්සුන්ට එවැන්නක කිසිම උවමනාවක් තිබුණේ නැහැ. මේ තත්ත්වයත් එක්ක ලෝකයේ බල කඳවුරු දෙකක් හැදුනා. එහි ප්‍රතිඵලයක් විදිහට සමාජවාදී කඳවුරේ රටවල පමණක් නොව ප්‍රතිවිරුද්ධ ධනවාදී කඳවුරේ රටවලද රජයයන් වඩවඩා ශක්තිමත් වුනා.
මාක්ස්වාදීන්ගේ අවසන් ඉලක්කය රාජ්‍යයන් අහෝසි වූ කොමියුනිස්ට් ක්‍රමයක් වුවත් ඒ කරා යන මාර්ගය වැටී තිබෙන්නේ රජය වෙත සියලු සම්පත් පාලනය කිරීමේ අයිතිය ලබා දීම හරහා. සමාජවාදී ලෝක ආණ්ඩුවක් වෙනුවට ජාතික සමාජවාදයක් බිහි වූ වහාම, ජාතික රාජ්‍යය මොන නමකින් හැඳින්වුවත්, කොයි තරම් විශාල වුනත්, එම රාජ්‍යයේ සීමාවෙන් පිටත සිටින බාහිර සතුරාට විරුද්ධව රජය ශක්තිමත් කරන්න සිදු වෙනවා. සම්පත් සියල්ලේ පාලනය තිබෙන්නේ රජය සතුව නිසා මේ වැඩේ පහසුවෙන්ම කරන්න පුළුවන්. අවසන් ප්‍රතිඵලය වන්නේ මාක්ස්වාදය විසින් මුලින් ඉලක්ක කළ අරමුණට වඩා වෙනස් දෙයක්.
චීනය වැනි රටකට සාපේක්ෂව සෝවියට් දේශය පෙනී සිටියේ ජාත්‍යන්තර මාක්ස්වාදයක් වෙනුවෙන් වුවත්, සෝවියට් දේශයද එහි ආකෘතිය අනුවම ජාතික සමාජවාදී රාජ්‍යයක්. කිසිම රටකට කළ නොහැකි, තම රටේ වැසියන් හා අනෙකුත් අය සමානයන් සේ සැලකීම සෝවියට් දේශයට කළ හැකිව තිබුණු දෙයක් නෙමෙයි. ඔවුන් එසේ කරන බව පෙන්වන්න පුළුවන් තරම් උත්සාහ කළා පමණයි. මේ සීමිත උත්සාහය නිසා වුවත් සෝවියට් වැසියන්ට සිදු වුනේ අවාසියක්.
යම් හෙයකින් ලෝකය පුරාම එකවර සමාජවාදී විප්ලවයක් සිදු වී දේශ සීමා සියල්ල අහෝසි වුවහොත්, එහි ප්‍රතිඵලයක් ලෙස මාක්ස් විසින් පුරෝකථනය කළ පරිදි බිම් මට්ටමේ සිට පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නැගී රජය ක්‍රමයෙන් අහෝසි වී යයිද? මෙවැන්නක් සිදුවිය හැකි යාන්ත්‍රණය කුමක්ද කියා එතරම් පැහැදිලි නැහැ.
කෙසේ වුවත් ලිබරල් ජාත්‍යන්තරවාදී පරමාදර්ශය තුළ ක්‍රමක්‍රමයෙන් දේශසීමා වල වැදගත්කම අහෝසි වී යන ආකාරයනම් පැහැදිලියි. ගනුදෙනු හරහා ලාබයම හොයන කෙනෙකුට ගනුදෙනුවේ පාර්ශ්වකරුගේ ජාතිකත්වයෙන් වැඩක් නැහැ. ඒ නිසා, ලාබය ඉලක්ක කර ගනිමින් වෙළඳපොළ පුළුල් වන්නේනම් දේශ සීමා වල වැදගත්කම ක්‍රමයෙන් නැති වී යනවා.
මෙවැන්නක් විය හැකි දෙයක් වුවත් ඇත්තටම සිදු වන්නේ මෙවැන්නක් නොවන බව අපට පෙනෙනවා. ඇමරිකාවේ ප්‍රාන්ත අතර වෙනස්කම් ක්‍රමක්‍රමයෙන් දිය වී යනවා වගේම ඇමරිකාව හා කැනඩාව වැනි රටවල් අතර දේශසීමා බොඳ වී යනවා. යුරෝපා සංගමයේ රටවල් අතරත් මෙවැන්නක් සිදු වනවා. එහෙත් ඇමරිකාව හෝ යුරෝපා සංගමය තනි ප්‍රදේශයක් ලෙස ගත්තොත් සිදු වන්නේ දේශ සීමා වඩා ශක්තිමත් වීමයි. ඇමරිකානු ෆෙඩරල් රජය එන්න එන්නම ශක්තිමත් වී තිබෙනවා මිස දුර්වල වී නැහැ.
කිසිසේත්ම එකම හේතුව නොවුනත් ඇමරිකන් ෆෙඩරල් රජය මේ තරමට ශක්තිමත් වීමටද ලෝක සමාජවාදී ව්‍යාපාරය විශාල බලපෑමක් සිදු කර තිබෙනවා. බාහිර සතුරෙකු පෙනෙන්නට ඇති හැම විටෙකම රජයයන් ශක්තිමත් වෙනවා. යුරෝපා සංගමය වැනි කලාපීය එකතු වීම් දකින්නට ඇතත් ලෝක දේශපාලනය තුළ ජාතික රාජ්‍යයන්ගේ භූමිකාව ඉතා ප්‍රබලයි.
මා ලිපි ගණනාවකින් කතා කළ ධනවාදය, සමාජවාදය හෝ එහි කිසියම් මිශ්‍රණයක් ක්‍රියාත්මක වන්නේ මේ එක් එක් ජාතික රාජ්‍යයේ සීමාව තුළයි. එවැනි සීමාවක් තුළ සිට මගේ මුල් ප්‍රශ්නය ඇසූ විට එයට යෝජනා වී තිබෙන පිළිතුරු තිබෙන්නේ දෙකක් පමණයි. ඒ ධනවාදී පරමාදර්ශය හා සමාජවාදී පරමාදර්ශයයි. කවර හෝ ජාතිකවාදයක් විසින් කරන්නේ ධනවාදී පරමාදර්ශය, සමාජවාදී පරමාදර්ශය හෝ මේ දෙකේ කිසියම් මිශ්‍රණයක් ක්‍රියාත්මක වන භූගෝලීය සීමාව වටා තිබෙන තාප්පයේ ශක්තිය තීරණය කරන එකයි. ඒ හැර ලංකාවේ හෝ ලෝකයේ කිසිදු ජාතිකවාදියෙකු විසින් ධනවාදී පරමාදර්ශයෙන් හා සමාජවාදී පරමාදර්ශයෙන් (හෝ මේ දෙකේ මිශ්‍රණයකින්) වෙනස් තෙවන විකල්පයක් මෙතෙක් යෝජනා කර නැහැ.
තේ බීම හා කිරි බීම විකල්ප දෙකක්. අවශ්‍යනම් තේ සහ කිරි කවර හෝ අනුපාතයකින් මිශ්‍ර කරගෙන බොන්න පුළුවන්. ධනවාදය හා සමාජවාදය තේ සහ කිරි සේ සැලකුවොත් ජාතිකවාදය මෙයට එකතු කරන සීනි ප්‍රමාණය වැනි දෙයක්. එකතු කරන සීනි ප්‍රමාණය කොපමණ වුවත්, සීනි ඇත්තේම නැතත්, බොන්න වෙන්නේ තේ, කිරි හෝ මේ දෙකේ මිශ්‍රණයක්. ඒ නිසා, ජාතිකවාදය ධනවාදයට හා සමාජවාදයට එරෙහි තෙවන විකල්පයක් සේ සලකන්න අමාරුයි. එහෙම සැලකිය හැක්කේ රණවරා හෝ බෙලිමල් වැනි වෙනම දෙයක්. කිසිදු ජාතිකවාදියෙකු විසින් එවැන්නක් යෝජනා කර නැහැ.
මෙයින් අදහස් වන්නේ මා විසින් විස්තර කළ ආර්ථික විද්‍යාඥයෙකුගේ මූලික ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර කෙරෙහි බලපාන ජාතිකවාදයේ භූමිකාවක් නැති බව නෙමෙයි. එවැනි භූමිකාවක් තිබෙනවා වගේම එය ඉතා ප්‍රබලයි. ඒ ගැන ඉදිරියේදී කතා කරමු.