වෙබ් ලිපිනය:

Monday, June 7, 2021

අපට නිදහස් කැමැත්තක් තිබේද?


ධනවාදය කියා කියන්නේ කුමක්ද කියන එක මෙහි පෙර ලිපි වල පැහැදිලි කර තිබෙනවා. බටහිර රටවල පැකේජ් එකක් ලෙස එකට දැකිය හැකි වුවත්, ධනවාදය කියා කියන්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේත් වෙනම දේවල් දෙකක්. ඇමරිකාව හෝ ඇමරිකානු ක්‍රමය කියන්නේ ඔය දෙකෙන්ම වෙනස් තවත් දෙයක්. ඇමරිකාවේ වගේම වෙනත් බටහිර රටවලද හැම දෙයක්ම වෙන්නේ ධනවාදයේ මූලධර්ම අනුව නෙමෙයි. මේවා අතර අතිපිහිත වීම් තිබීම වෙනම කරුණක්. 

ආර්ථික විද්‍යාව කියා කියන්නේ සහ ධනවාදය කියා කියන්නේත් එකම දෙය නෙමෙයි. මා මේ කියන්නේ මාක්ස්වාදී ආර්ථික විද්‍යාව ගැන නෙමෙයි. ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාව ගැන. එහෙත් ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාව ධනවාදී පරමාදර්ශය සමඟ බොහෝ දුරට අතිපිහිත වෙනවා. 

ලිබරල්වාදය කියා කියන්නේත් ධනවාදය නෙමෙයි. එසේ වුවත්, ලිබරල්වාදයේ වගේම ධනවාදයේත් මූලික හරය තුළ පුද්ගල කැමැත්ත කියන අදහස තිබෙනවා. මේ අදහසට එරෙහිව සිදු කෙරෙන විවේචනයක් වන්නේ පුද්ගලයකුට ඇත්තටම නිදහස් කැමැත්තක් තිබෙනවාද කියන කරුණයි. මෙහි ධනවාදයට අදාළ කොටස පුද්ගලයින් අතර සිදුවන ගනුදෙනු වලදී එම පුද්ගලයින්ගේ නිදහස් කැමැත්ත කෙතෙක් දුරට පිළිබිඹු වෙනවාද කියන කරුණයි.

ඔබ සුපිරි වෙළඳසැලකට ගිය විට මිල දී ගන්නේ ඔබට අවශ්‍ය දේවල් පමණක්ද? වෙළඳ දැන්වීම් වලින් ඔබව ඔබට අනවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පොළඹවන්නේ නැද්ද? 

නිදහස් කැමැත්ත කියන එකෙන් අදහස් වන්නේ ඔබේ කැමැත්ත අනෙක් හැම දෙයකින්ම මුළුමනින්ම ස්වාධීන දෙයක් කියන එක නෙමෙයි. අප ඉපදෙද්දී අපට "අහඹු ලෙස" හිමිවන ජාන වලින්ම ජිවිත කාලය තුළ අප ගන්නා තීරණ යම් තරමකින් තීරණය වී අවසන් බව පැහැදිලිව පෙනී යන දෙයක්. ඉපදීමෙන් පසුව, කුඩා කාලයේ අප හැදෙන වැඩෙන පරිසරය වැඩිහිටියන් ලෙස අපේ කැමැත්ත කුමක්ද කියා තීරණය කරනවා. ඉන් පසුව, අප ඇසුරු කරන අය, කියවන පොත්පත්, බලන ටෙලි නාට්‍ය, ලබන අධ්‍යාපනය, ආගමික හා දේශපාලන ඉගැන්වීම්, වෙළඳ ප්‍රචාරණයන් ආදිය අප හිතන පතන ආකාරය හා තීරණ ගන්නා ආකාරය කෙරෙහි බලපෑමක් කරනවා.

මම හිතන විදිහට ලිබරල්වාදියෙකු විසින් වුවත් නිදහස් කැමැත්ත කියා කියද්දී පුද්ගල කැමැත්ත කෙරෙහි මෙසේ විවිධ සාධක බලපෑම් කරන බව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එය ඉතා පැහැදිලි කරුණක්. නිදහස් කැමැත්ත කියන එකෙන් අදහස් කරන්නේ මේ සියලු තත්ත්වයන් යටතේ වුවත් පුද්ගලයෙකු විසින් යම් මොහොතක තීරණයක් ගැනීමේදී එම පුද්ගලයා සතුව තේරීමක් තිබෙනවා කියන එකයි.

උදාහරණයක් ලෙස එක් අයෙකු මත්පැනට ඇබ්බැහි වීමටත්, වෙනත් අයෙකු එසේ නොවීමටත් උපතින් ලැබෙන ජාන, කුඩා කළ හැදුනු වැඩුණු පරිසරය හෝ වෙනත් කිසියම් අහඹු සිදුවීමක් හේතු වෙන්න පුළුවන්. නිදහස් කැමැත්ත කියන එකෙන් අදහස් වෙන්නේ මේ කවර හෝ අවාසිදායක තත්ත්වයක් යටතේ වුවත්, පුද්ගලයෙකුට මත්පැනට ඇබ්බැහි නොවී සිටීමේ යම් තේරීමක් තිබෙන බවයි. ඒ වගේම, කෙතරම් වාසිදායක තත්ත්වයක් යටතේ වුවද මත්පැනට ඇබ්බැහි වීමේ තේරීමක් තිබෙන බවයි.

මෙයට විකල්ප ලෙස පුද්ගලයෙකුට කිසිදු නිදහස් කැමැත්තක් නැතැයි යන විකල්ප අදහසක්ද තිබෙනවා. මේ අදහසේ හරය සංකල්පීය ලෙස ද්‍රව්‍යවාදී එකක්. ඒ අනුව, මහා පිපිරුමේදීම ඉන්පසුව සිදු වන හැම දෙයක්ම තීරණය වී අවසන්. අප විසින් අප සතු නිදහස් කැමැත්තක් ඇතැයි සිතුවත් ඇත්තටම එවැනි නිදහස් කැමැත්තක් කියා දෙයක් නැහැ. සබින් හොසෙන්ෆෙල්ඩර්ගේ පහත වීඩියෝව නරඹන්න. (මෙය යොමු කළ හිතවතාට ස්තුතියි!)


උදාහරණයක් විදිහට මම මේ මොහොතේ මේ ලිපිය යතුරු ලියනය කරනවා. එය මෙතෙක් සිදු වූ ක්‍රියාවලියක අනිවාර්ය ප්‍රතිඵලයක් මිසක් මගේ කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. එය තේරුම් ගෙන මම මේ ලිපිය යතුරු ලියනය කරන එක නැවැත්තුවා කියා කියමු. එයත්, කොහොමටත් වෙන්න තිබුණු දෙයක් මිසක් මම හිතාමතා කරන දෙයක් නෙමෙයි.

මේ වගේ ප්‍රශ්න දර්ශනයේ එහෙමත් නැත්නම් භෞතික විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයට අයත් බරපතල ප්‍රශ්න. මෙවැනි දේ ගැන අවසන් නිගමනයකට පැමිණෙන්න මට පුළුවන්කමක් නැහැ. දාර්ශනිකව කොයි තරම් වැදගත් ප්‍රශ්නයක් වුවත් ප්‍රායෝගිකව මේ ප්‍රශ්නයේ එතරම් වැදගත්කමක් ඇතැයි මා හිතන්නේ නැහැ. 

ලිබරල්වාදියෙකු විශ්වාස කරන ආකාරයට පුද්ගලයෙකුට නිදහස් කැමැත්තක් තිබේනම් මා කළ යුත්තේ මගේ එම නිදහස් කැමැත්ත මට අවශ්‍ය පරිදි භාවිතා කිරීමයි. ඒ එක්කම අනෙක් අයගේ නිදහස් කැමැත්ත පිළිගෙන එයට ඉඩ සැලසීමයි. ඒ අනුව කිසිවකුගේ නිදහස් කැමැත්තට ඉඩ නොදී වෙනත් අයෙකු විසින් බලය යොදා පාලනය කිරීම හොඳ දෙයක් කියා කියන්න බැහැ.

ලිබරල්වාදීන් වැරදිනම්, භෞතිකවාදීන් නිවැරදිනම් තත්ත්වය කුමක්ද? එසේ වුවත්, හොඳම දෙය මගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමයි. මා කරන දෙයින් ඇත්තටම සිදුවන්නේ කොහොමටත් වෙන්න තියෙන දෙයක්නම්, මා විසින් මගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන විට සිදු වන්නේ කොහොමටත් වෙන්න තියෙන දෙයයි. කිසිවෙකුට නිදහස් කැමැත්තක් නැත්නම් මට නැති නිදහස් කැමැත්ත වෙනත් කෙනෙකුට තියෙන්න හේතුවක් නැහැ. ඒ නිසා, මගේ නිදහස් කැමැත්ත වෙනත් අයෙකු විසින් බලය යොදා පාලනය කිරීම හොඳ දෙයක් ලෙස පිළිගන්න මට කිසිම හේතුවක් නැහැ.

4 comments:

  1. ඉරණම නැතොත් දෛවය අප නටවනවා
    කියලා කියන දේකුත් මට සිහි වෙනවා
    ඒවා එහෙම වූවත් - සටනක් දෙනවා
    මගේ කැමැත්තට - මම නං ඉඩ දෙනවා!

    ඒ අතරේම අනුනුත් - මං වාගේය
    එයාලටත් choice තියෙන්නට හැකිය
    කියන වගත් මට අමතක වෙන්නැතිය
    එනයින් ලබමි - මම නම් සැනසිලි සුවය

    ReplyDelete
  2. විඩියෝ එකේ තරමක් brutal විදිහට කියනවා වගේ පෙනුනත්, මට නම් ඒක making sense. අපිට ස්වභාව දර්මය ඉඩ දෙන දුරට විතරයි නිදහස් කැමත්ත තියෙන්නෙ, හරියට කඹයේ දිග ප්රමානයට නිදහස තියෙන හරකා වගේ (in other words, there is no free will). කොහොමත් ජීවිතයේ major events/people වලට (විවාහය, දරුවන්) නිදහස් කැමැත්තක් නැහැ නේද.

    ReplyDelete
    Replies
    1. //අපිට ස්වභාව දර්මය ඉඩ දෙන දුරට විතරයි නිදහස් කැමත්ත තියෙන්නෙ//

      නිදහස් කැමැත්ත විවිධ සාධක මත සිමා වෙනවා කියන එක පැහැදිලි දෙයක්. එයින් ඔබ්බට ගිහින් වීඩියෝ එකේ කියන්නේ අපට කිසිම නිදහස් කැමැත්තක් නැහැ කියන එක. ඒ කියන්නේ කඹයේ දිගක් ඇත්තේම නැහැ කියන එක.

      Delete
  3. බෙන්ජමින් ලිබෙට් ( Benjamin Libet) විසින් සිදු කල පරික්ෂනයකිනුත් මෙම free will කියන දේ අභියෝගයට ලක් උනා නේද?
    https://en.wikipedia.org/wiki/Neuroscience_of_free_will

    ඒ වගේම බුදු දහමේ එන පටිච්ච සමුප්පාද ධර්මතාවෙනුත් කියවෙන්නේ, "කරන්නෙක් හෝ කරවන්නෙක්" නොමැති "හේතූන් ඇතිවිට විද්‍යමාන" වන ධර්මතා ලෙස නේද?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...