සිංහල මාස ආරම්භ වන්නේ අමාවක පෝයෙන් පසුව එළැඹෙන පුර පෑලවියෙනි. මේ අනුව, පසළොස්වක පෝය යෙදෙන්නේ මාසයේ මැද, පහළොස්වන දවසේය. අද මෙන් කෘතීම ආලෝකය නොතිබුණු පෙර කාලයේ, රාත්‍රී කාලයේද හොඳින් එළිය ඇති පසළොස්වක පෝය දවස උත්සව කටයුතු සඳහා වඩා යෝග්‍ය දවසක් විය.
රන් රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද
තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ
බිනර මාසය බක් මාසයේ සිට හයවන මාසයයි. බිනර මාසයේ මැද පායන්නේ බිනර පුර පසළොස්වක හඳයි. මේ හඳ සාමාන්‍යයෙන් සිංහල අවුරුද්දෙන් පසුව පායන පස්වන අලුත් හඳෙන් පසු පායන පසළොස්වක හඳ වුවත් ඔය අතරට අධික මාසයක් වැටුනේනම් එය අවුරුද්දෙන් පසුව පායන හයවන අලුත් හඳට පසුව එන පසළොස්වක හඳ වන්නත් බැරි නැත. වෙනත් විදිහකින් කියනවානම් බිනර පසළොස්වක හඳ සිංහල අවුරුද්දෙන් පසුව පායන පස්වන හෝ හයවන පුර පසළොස්වක හඳ වන්නට පුළුවන.
සිංහල මාස චන්ද්‍ර මාස නිසා මාසයකට වැටෙන සාමාන්‍ය දින ගණන 29.5ක් පමණ වේ. එහෙත්, සිංහල අවුරුද්ද සූර්ය අවුරුද්දක් නිසා අවුරුද්දකට දින 365.25ක් පමණ ඇති අතර සූර්ය මාසයක් දින 30.5ක් පමණ වේ. චන්ද්‍ර මාස බක්, වෙසක්, පොසොන් ආදී ලෙස ගණන් ගැනෙන අතර සූර්ය මාස මේෂරවි, වෘෂභරවි, මිථුනරවි ආදී ලෙස සූර්යයා ගමන් කරන රාශිය අනුව තීරණය වේ. අමාවක ආසන්නව හඳ තිබෙන්නේ පොළොවත් ඉරත් අතර සරල රේඛාවක නිසා චන්ද්‍රමාසයක් ඇරැඹෙන විට හඳ තිබෙන්නේද ඉර තිබෙන රාශියේමය. ඒ නිසා, මාසය ඇරඹෙන විට හඳ තිබිය යුතු තැන දැකිය හැකි රාශිය අනුව චන්ද්‍ර මාසය තීරණය වන බව වුවද කියන්නට පුළුවන.
සූර්ය මාසයක් චන්ද්‍ර මාසයකට වඩා දිග නිසා මේ මාස ක්‍රම දෙක එකතු කරන්නට අතරින් පතර අධික චන්ද්‍ර මාස එකතු කරන්නට සිදුවේ. බොහෝ විට සූර්ය මාසයක් තුළ ආරම්භවන්නේ එක් චන්ද්‍රමාසයක් පමණක් වුවත්, සූර්ය මාසය ඇරැඹුණු වහාම වාගේ චන්ද්‍ර මාසයද ඇරඹුනොත්, සූර්ය මාසය අවසන් වන්නට ඔන්න මෙන්න කියා තවත් චන්ද්‍ර මාසයක් ආරම්භ වන්නට පුළුවන. එවිට මේ මාස දෙකෙන් එකක් අධික මාසයක් ලෙස නම් කෙරේ.
ලංකාවේ දැනට චන්ද්‍ර මාස ගණනය කරන ක්‍රමය අනුව සූර්යයා මේෂ රාශියේ සිටියදී ආරම්භ වන චන්ද්‍ර මාස බක් මාස වන අතර, සූර්යයා වෘෂභ රාශියේ සිටියදී ඇරඹෙන මාස වෙසක් මාසයි. බිනර මාස ආරම්භ වන්නේ සූර්යයා පස්වන රාශිය වන සිංහ රාශියේ සිටියදීය. එහෙත්, බිනර මහේ මැද, පසළොස්වක පෝය එළැඹෙන විට සූර්යයා සිංහ රාශියේම සිටින්නට හෝ සිංහ රාශියෙන් කන්‍යා රාශියට සංක්‍රමණය වී සිටින්නට ඉඩ තිබේ.
පසළොස්වක දවසකදීද ඉර, හඳ හා පොළොව සරල රේඛාවක පිහිටියත්, අමාවක දවසේදී මෙන් නොව පසළොස්වක දවසකදී ඉර හා හඳ ස්ථානගත වී තිබෙන්නේ පොළොවෙන් ප්‍රතිවිරුද්ධ දිශා වලය. ඒ නිසා බිනර මහේ මැද, පසළොස්වක පෝය එළැඹෙන විට හඳ තිබෙන්නේ ඉරට අංශක 180ක් දුරින් කුම්භ හෝ මීන රාශියකය. පොළොවේ සෙවනැල්ල හරහා හඳ ගමන් කිරීම නිසා හඳ ටික වෙලාවකට නොපෙනී යාමෙන් ඇතැම් පසළොස්වක පෝය දිනවල චන්ද්‍රග්‍රහණ ඇතිවන්නේද මෙසේ ඉර හා හඳ පොළොව දෙපැත්තේ එකම සරල රේඛාවක් මත පිහිටීම නිසාය. පායා ඇති හඳ හිටිවනම "රාහු ගිලීම" කලින් සැලසුම් කර ඇති වැඩ බොහොමයක් අවුල් කරයි.
පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
පායපු ඉර වලාගැබේ පතුලට වීදෝ
මැවූ සිහින මාලිගාව බිඳී වැටුනදෝ
මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ
සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ස්වභාව ධර්මයේ අපූරු නිමැවුම්ය. පසළොස්වක පෝය දවසක පොළොවේ සෙවනැල්ල හරහා හඳ ගමන් කරන විට චන්ද්‍රග්‍රහණයක් ඇති වේ. අමාවක පෝය දිනක ඉර හා පොළොව අතරින් හඳ ගමන් කරද්දී ඉර හඳට ආවරණය වීම නිසා සූර්යග්‍රහණ ඇතිවේ.
පොළොවට කිලෝමීටර මිලියන 149.6ක් පමණ දුරින් පිහිටි ඉරේ විෂ්කම්භය කිලෝමීටර් 1,391,400ක් පමණ වේ. මෙයට සාපේක්ෂව, පොළොවට කිලෝමීටර 384,400ක් පමණ සාමාන්‍ය දුරකින් පිහිටි හඳේ විෂ්කම්භය කිලෝමීටර 3,474ක් පමණි. කෙසේවුවද, ඉරේ විෂ්කම්භය ඉරට ඇති දුරින් බෙදීමෙන් සොයා ගත හැකි, පොළොවට පෙනෙන පරිදි ඉර විසින් හදන කෝණය (අංශක 0.53), හඳ විසින් එසේ හදන කෝණයට (අංශක 0.52) ආසන්නව සමාන නිසා පොළොවට ඉර හා හඳ පෙනෙන්නේ ආසන්න ලෙස එකම විශාලත්වයෙනි. මේ නිසා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන විට ඉර හඳෙන් මුළුමනින්ම ආවරණය වෙයි.
දිගු කාලයක් තුළ සිදුවන සාමාන්‍ය සූර්යග්‍රහණ ප්‍රමාණය හා චන්ද්‍රග්‍රහණ ප්‍රමාණය ආසන්න වශයෙන් සමාන වුවත්, පොළොවේ නිශ්චිත ස්ථානයකට පෙනෙන සූර්යග්‍රහණ ප්‍රමාණය එසේ පෙනෙන චන්ද්‍රග්‍රහණ ප්‍රමාණයට වඩා බොහෝ අඩුය. හඳ ගමන් කරන පථය ආසන්නයේදී පොළොවේ සෙවනැල්ලේ විෂ්කම්භය සාපේක්ෂව විශාල නිසා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පොළොවේ රාත්‍රී කාලය පවතින ස්ථාන බොහොමයක සිට නිරීක්ෂණය කළ හැකි වුවත්, කිසියම් පූර්ණ සූර්යග්‍රහණයකදී හඳ විසින් ඉර මුළුමනින්ම ආවරණය කරනු දැකිය හැක්කේ පොළොවේ පටු තීරුවක් තුළ පිහිටි ස්ථාන වල සිට පමණි. ඒ නිසා, සෑම වසරකම සූර්යග්‍රහණ ගණනාවක් සිදුවුවත්, කිසියම් නිශ්චිත තැනක සිට පූර්ණ සුර්යග්‍රහණයක් දැකිය හැක්කේ සාමාන්‍ය වශයෙන් වසර 350-375 අතර කාලයකට වරකි.
චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ වලට වඩා වැඩිපුර දකින්නට ලැබෙන නිසා චන්ද්‍රග්‍රහණ ගැන ජනශ්රැති වැඩිපුර අසන්නට ලැබේ. බොහෝ සංස්කෘතීන්හි චන්ද්‍රග්‍රහණ තේරුම් ගැනුණේ සැබෑ ලෝකයේ දැකිය හැකි හෝ මනඃකල්පිත කිසියම් සතෙකු විසින් හඳ ගිලගැනීමක් ලෙසිනි. ඉන්කාවරුන් සිතූ පරිදි මෙසේ හඳ ගිලගන්නට ආවේ ජගුවරයෙකි. මේ ප්‍රවාදය ඇසුරෙන් චන්ද්‍රග්‍රහණයකදී හඳ රත් පැහැ ගැනීම ඔවුන්ට පැහැදිලි කළ හැකි විය. ඒ අනුව, හඳ ආහාරයට ගැනීමෙන් පසු මේ ජගුවරයා පොළොවටද පැමිණීම වැළැක්වීමට ඔවුහු ආරක්ෂාකාරී පියවර ගත්හ.
චීන ජාතිකයින් විශ්වාස කළ පරිදි චන්ද්‍රග්‍රහණයකදී හඳ ගිලින්නේ දැවැන්ත මකරෙකි. මාතලන් චිත්‍රපටයේ එන "හඳ රාහු මුඛයේහි ගිලුණා ලෙසේ" ගීතය ආරම්භයේ පෙන්වන බිත්තියේ ගසා ඇති චිත්රයේ සිටින්නේ මේ චීන මකරාය. ඉර හා හඳ ගිලින රාහු ලෙස ඉන්දියානුවන් හඳුනාගෙන සිටියේ මේ ආකාරයේ මකරෙක් නොවේ.
හින්දු විශ්වාස අනුව රාහු හා කේතු බවට පත්වන්නේ ස්වර්භානු නම් වූ අසුරයාය. ස්වර්භානු අසුරයා විසින් ඉර හා හඳ ගිලින බව ක්‍රිස්තු පූර්ව 15 වන සියවසේදී පමණ ප්‍රබන්ධ කෙරුණු සෘග් වේදයේ (40:9 ශ්ලෝකය) සඳහන්ව තිබේ.
පසුකාලීනව පුරාණ ග්රන්ථ වලත්, මහා භාරතයේත් මේ ප්‍රවාදය විස්තරාත්මක කථාපුවතක් ලෙස දිග හැරෙන අතර බොහෝ හින්දු කථාවලදී සිදුවනවාක් මෙන් සුර අසුර යුද්ධයටද සම්බන්ධවේ. සුරයන් හා සුරයන් එක්ව කිරිමුහුද කළඹද්දී අමෘතය පහළ වේ. ඒ සමඟම මෝහිණියගේ වෙස් ගන්නා විෂ්ණු දෙවි අමෘතය බෙදා දීම පිණිස පොළොවට පැමිණේ. ඔහුගේ සැලසුම වන්නේ සුරයින් හා අසුරයින් වෙන් වෙන්ව පෝලිම් ගස්වා සුරයින්ට අමෘතයත්, අසුරයින්ට සුරාවත් බෙදීමයි. කිරි මුහුද කැළඹීමේ අරමුණ වූයේම අසුරයින් රවටා ඔවුන්ගේ උදවු ගැනීමෙන් පසුව සුරයින්ට පමණක් අමෘතය ලබා ගැනීමයි.
කෙසේ හෝ සුරයන්ගේ පෝලිමට හොරෙන්ම එකතු වන ස්වර්භානු අසුරයාට මෝහිණී ලෙස වෙස්ගෙන සිටින විෂ්ණු විසින් අමෘතය බෙදන අතර ඔහුගේ දෙපැත්තෙන් සිටින සූර්යයා හා චන්ද්‍රයා මේ බව පෙන්වා දෙන විටත් ස්වර්භානු අසුරයා අමෘතය කටට හලාගෙන අවසන්ය. විෂ්ණු ක්ෂණිකව ක්‍රියාත්මක වී ස්වර්භානුගේ හිස කඳෙන් වෙන් කරන නමුත් ඒ වන විට ඔහු ප්‍රමාද වැඩිය.
අමෘතය දැනටමත් පානය කර අවසන් නිසා ස්වර්භානු මරණයට පත් නොවන අතර ඔහුගේ හිස රාහු බවටත් හිසසුන් කඳ කේතු බවටත් පත් වේ. පසුව රාහුට නාග සිරුරක්ද, කේතුට නාග හිසක්ද හිමිවන අතර සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ යනු තමන්ගේ දෙපැත්තේ සිට අමෘතය සොරාගත් බව විෂ්ණුට පෙන්වූ සූර්ය දිව්‍ය රාජයාගෙන් හා චන්ද්‍ර දේවතාවාගෙන් ස්වර්භානු අසුරයා වාඩුව ගන්නා ආකාරයයි.
හින්දු කථා අනුව ස්වර්භානු යනු සොහොයුරන් සියයක් හා එක් සොහොයුරියක් සිටින පවුලක වැඩිමලාය. ඔහුගේ මව හිරණ්‍යකාශ්‍යපගේ දියණිය වන සිංහිකාය. පියා විප්‍රචිත්තිනම් අසුරයාය. සංයුත්ත නිකායේ සගාථාවග්ගපාළියේ දේවපුත්ත සංයුත්තයේ අවසන් සූත්‍ර දෙක චන්දිම සූත්‍රය හා සූරිය සූත්‍රයයි. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා වලදී අසන්නට ලැබෙන මේ සූත්‍ර දේශනා දෙකේ රාහු අසුරයා ගැනත්, විප්‍රචිත්ති හෙවත් වේපචිත්ති අසුරයා ගැනත් අසන්නට ලැබේ.
චන්දිම සූත්‍රයේ පෙළ ඇති සැටියෙන්ම මෙසේය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි චන්දිම දේවපුත්‍ර තෙමෙ රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල චන්දිම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය.
’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ සියලු තන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’
එකල්හි භාග්‍යවතුන් වහන්සේ චන්දිම දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.
’’එම්බා රාහු, චන්දිම තෙම අර්හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ චන්දිම දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’
එවිට රාහු අසුරිඳු චන්දිම දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාව ඇත්තේ වේපචිත්ති අසුරිඳු යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, කැළඹුණු සිතැත්තේ, හටගත් ලොමු දහගැනුම් ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳු ගාථායෙන් (මෙසේ) කීය.
’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් චන්දිම දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු ස්වභාව ඇතිව, බිය ගත්තෙකු මෙන් සිටිනෙහිද?’’
(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්ත්‍රණය කරණලද්දෙමි. (ඒ මම) ඉදින් චන්දිම දෙව්පුතු නොමිදුයෙම් නම් මා හිස සත්කඩෙක්ව පැලෙන්නේය..ජීවත්වුවද සැපක් නම් නොලබන්නෙමි.’’
සූරිය සුත්‍රයේ පෙළද බොහෝ දුරට මෙයට සමානය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල සූර්ය්ය දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කරනුයේ මේ ගාථාව කීය.
’’බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ හැමතන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.’’
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූර්ය්ය දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ.
’’එම්බා රාහු, සූර්ය්ය දෙව්පුත් තෙම අර්හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ සූර්ය්ය දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.’’
’’එම්බා රාහු, අන්ධකාරයෙහි යමෙක් එලිය කරන්නේද, බබළන්නේද, මඬුලු සටහන් ඇත්තේද, උග්‍ර තේජස් ඇත්තේද, එසේවූ අහස හැසිරෙන සූර්‍ය්‍යයා නොගිලුව, මගේ ශ්‍රාවක බවට පැමිණි සූර්‍ය්‍යයා අතහරුව,’’
එකල රාහු අසුරිඳු සූර්ය්ය දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාවය ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත පැමිණියේය. පැමිණ, කැලැඹුණේ ලොමු දැහැගැනුම ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳුට ගාථායෙන් (මෙසේ) කීය:
’’එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් හිරු දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු, ස්වභාවය ඇතිව, බිය ගත්තකු මෙන් සිටිනෙහිද?’’
(එවිට රාහු අසුරිඳු මෙසේ කීය:) ’’බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්ත්‍රණය කරණලදුයෙමි. (ඒ මම) ඉදින් සූර්ය්ය දෙව්පුතු නොමුදාලීම් නම්, මා හිස සත්කඩකට පැලෙන්නේය. ජීවත්වන්නෙම් නම් සැපයක් නම් නොලබන්නෙමි.’’
සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇතිවීම පිළිබඳව බුද්ධ කාලයේ පැවති දැනුම චන්දිම සූත්‍රයෙන් හා සූරිය සූත්‍රයෙන් පිළිබිඹු වේ. කෙසේවුවද, බුද්ධ කාලයෙන් වසර සහශ්රයකට පමණ පසුව සූර්ය සිද්ධාන්තය ලියැවෙන කාලය වන විට මේ ස්වභාවික සංසිද්ධි පැහැදිලි කිරීමට පමණක් නොව නිවැරදිව පුරෝකථනය කිරීමටද හැකි තරමට ජ්‍යෝතිෂය දියුණු වී තිබුණේය.
දැන් අප දන්නා පරිදි පොළොව, හඳ හා ඉර ඒ පිළිවෙලට සරල රේඛාවක පිහිටි විට සූර්ය ග්රහණයද, හඳ, පොළොව හා ඉර ඒ පිළිවෙළට සරල රේඛාවක පිහිටි විට චන්ද්‍රග්‍රහනද ඇතිවේ. පොළොව, හඳ හා ඉර ඒ පිළිවෙලට සරල රේඛාවක පිහිටන්නේ අමාවක දිනවල නිසා සූර්යග්‍රහණ ඇතිවිය හැක්කේ අමාවක දින වල පමණි. හඳ, පොළොව හා ඉර ඒ පිළිවෙළට සරල රේඛාවක පිහිටන්නේ පසළොස්වක පෝය දිනක පමණක් නිසා චන්ද්‍රග්‍රහණ ඇති විය හැක්කේ පසළොස්වක පෝය දින වල පමණි.
කෙසේවුවද, අප දන්නා පරිදි සෑම අමාවක පෝය දිනකම සූර්යග්‍රහණ ඇති නොවන අතර සෑම පසළොස්වක දිනකම චන්ද්‍රග්‍රහණද ඇති නොවේ. එයට හේතුව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකම තලයක් නොවීමයි. මේ තල දෙක අතර ආනතියක් ඇති නිසා ඉර, හඳ හා පොළොව එකම ඉරක් මත දිශානුගත වන අමාවක හා පසළොස්වක පෝය දින බොහොමයකදීම හඳ පිහිටන්නේ පොළොවට වඩා එක්කෝ තරමක් ඉහළිනි. නැත්නම් පහළිනි.
හඳ පොළොවේ සෙවනැල්ලට උඩින් හෝ යටින් සෙවනැල්ල පසුකර ගියහොත් පසළොස්වක දිනක චන්ද්‍රග්‍රහණයක් ඇති නොවේ. එමෙන්ම, ඉර හා පොළොව අතරින් යද්දී ඉරට උඩින් හෝ ඉරට යටින් ගියහොත් අමාවක දිනක සූර්යග්‍රහණයක් ඇති නොවේ. සිරිබෝ අයියා චිත්‍රපටයේ එන මියුරු ජනකවි වල "සඳට හොරෙන් සඳ මුදුනින් රාහු ගියා" කියන්නේ පසළොස්වක දිනක පොළොවේ සෙවණැල්ල හඳ මඟහැර හඳට උඩින් (හෝ යටින්) යාම ගැන වන්නට පුළුවන.
ග්‍රහණයක් ඇතිවීමට ඉර, හඳ හා පොළොව එකම රේඛාවක පිහිටීම ප්‍රමාණවත් නොවන අතර මේ රේඛාව එකම තලයක තිබීමද අවශ්‍යය. තල දෙකක ඡේදනය රේඛාවකි. ග්‍රහණයක් ඇතිවීම සඳහා ඉර, හඳ හා පොළොව එකම රේඛාවක පිහිටීමට අමතරව, පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව ඉහත රේඛාව සමඟ ආසන්න ලෙස සමපාත වීමද අවශ්‍යය.
සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ නිවැරදිව පුරෝකථනය කිරීම සඳහා පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව පවතින තැන නිවැරදිව දැන සිටීම අවශ්‍යය. කේන්ද්‍ර සටහනක රාහු හා කේතු ලෙස එකිනෙකට හරියටම ප්‍රතිවිරුද්ධ පැති වල ලකුණු කරන්නේ පොළොවේ සිට අඳින මේ රේඛාවේ දෙපැත්තයි. මා මේ පැහැදිලි කිරීම කරන්නේ වැඩිදෙනෙකු පිළිගන්නා සූර්ය කේන්ද්‍ර ආකෘතිය අනුව යමිනි.
සූර්යග්‍රහණයක් සිදුවන්නේ රාහු සිටින අංශකයට ආසන්න අංශකයකට ඉරත් හඳත් එකවර පැමිණි විටය. එසේ වූ විට, ඉරත්, හඳත්, පොළොවත් එකම රේඛාවක පිහිටන අතර එම රේඛාව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාවම හෝ එයට ආසන්නව ඇති රේඛාවකි. මේ වෙලාවේ කේතු ඉරට හඳට හා රාහුට ප්‍රතිවිරුද්ධ දිශාවේ පිහිටයි.
චන්ද්‍රග්‍රහණයක් සිදුවන විට රාහු සිටින අංශකයට ආසන්න අංශකයකට හඳත්, එයින් ප්‍රතිවිරුද්ධ පැත්තේ කේතු සිටින අංශකයට ඉරත් පැමිණේ. එසේ වූ විටද, ඉරත්, හඳත්, පොළොවත් එකම රේඛාවක පිහිටන අතර එම රේඛාව පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාවම හෝ එයට ආසන්නව ඇති රේඛාවකි.
ජ්‍යෝතිෂයේ එන රාහු හා කේතු යනු මේ අයුරින් සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ නිවැරදිව පුරෝකථනය කිරීම සඳහා ගොඩනඟාගෙන ඇති වියුක්ත සංකල්ප දෙකකි. මේ මනඃකල්පිත ග්‍රහයින් දෙදෙනා සිටින තැන්වල කිසිදු විශේෂ ශක්තියක් හෝ ආකර්ශනයක් නැත. එහෙත්, රාහු නම් වූ මනඃකල්පිත ග්‍රහයා පසළොස්වක පෝය දිනකදී හඳට ආසන්න වුවහොත් චන්ද්‍ර ග්‍රහණයක්ද, අමාවක දිනකදී ඉරට ලංවුවහොත් සූර්යග්‍රහණයක්ද ඇති වේ. මෙහිදී, ආසන්න වුවහොත් කියා කියන්නේ ඉර මෙන්ම හඳද පොළොවට පෙනෙන්නේ ලක්ෂ්‍ය ලෙස නොව කිසියම් විශ්කම්භයක් සහිත වස්තු ලෙසින් බැවිනි. ඒ නිසා, රාහු හරියටම ඉර හෝ හඳ මැදට නොපැමිණ ආසන්නයට පැමිණීම ග්‍රහණයක් ඇති වීමට ප්‍රමාණවත් සාධකයකි.
රාහු හඳ හා ඉර ග්‍රහණයට ගැනීම පිළිබඳ අදහස ඉහත ගණිතමය ආකෘතිය ගොඩ නැඟෙන්නට බොහෝ කලකට පෙර, බුද්ධ කාලයටත් පෙර සිටම පැවති අදහසකි. පොළොව ඉර වටා ගමන් කරන තලයත්, හඳ පොළොව වටා ගමන් කරන තලයත් එකිනෙක ඡේදනය වන රේඛාව පොළොවට සාපේක්ෂව චලනය වන ආකාරය නිවැරදිව ආකෘතිගත කිරීමෙන් පසු එහි දෙපැත්ත සටහන් කිරීමට අලුතින් නම් නොදමා එවකට භාවිතා කළ රාහු හා කේතු යන සංකල්පම යොදාගත් විට හඳ රාහු ඇල්ලීම මෙන්ම හඳට හොරෙන් හඳ මුදුනින් රාහු යාමද පහසුවෙන් පැහැදිලි කළ හැකිය. හතරවන සියවසේදී පමණ සිදුවුණේ මෙයයි. කෙසේ වුවද, හඳ ඇල්ලීමට ගොස් බුදු අණට බියෙන් වැඩේ අත හැර දමන රාහු ඔහුගේ අප්පච්චී ලෙස සැලකෙන වේපචිත්ති අසුරයා වෙත ගොස් බිය පළකළ බව වැනි කතා අපේ ආගමික සාහිත්‍යය තුළ තවමත් ඉතිරි වී තිබේ.
(Image: Gemstoneuniverse, http://www.cnyo.org/tag/orbital-plane/)