ලංකාවට වෙලා තියෙන දේ ගැන නලින් ද සිල්වා විසින් තනි වාක්‍යයකින් කියා තිබුණා: "උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම".
මෙය කියා තිබෙන ලිපියේම තිබෙන ඇතැම් කරුණු ගැන මට විශාල ප්‍රශ්න තිබෙනවා. එසේ වුවත්, මේ තනි වාක්‍යයට මම කැමතියි. ලංකාවට වෙලා තියෙන දේ ගැන තනි වාක්‍යයකින් කියන්න කියා කවුරු හරි කිවුවොත් මට වුවත් නොපැකිල "උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම." කියා කියන්න පුළුවන්. ඒ වගේම මේ තනි වාක්‍යය ඇසුරෙන් ලංකාවේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් වෙත ප්‍රවේශ වී පැහැදිලි කරන්න පුළුවන්.
හැබැයි මම මේ තනි වාක්‍යය යොදා ගන්නේ නලින් ද සිල්වා එය යොදාගෙන තිබෙන තේරුමෙන්ම නෙමෙයි. ඊට වඩා පටු, ආර්ථික විද්‍යා අර්ථයකින්. මම සරල ලෙස "උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම" කියා කියන්නේ "ප්‍රමාණවත් තරමට වඩා මානව ප්රාග්ධනය වැඩි වීම හා ප්‍රමාණවත් තරමට භෞතික ප්රාග්ධනය නැති වීම". ඇතැම් අයට වැඩිය දිරවන්නේ නැති කොබ්-ඩග්ලස් ආකෘතියට ගියොත්, L ඕනෑවට වඩා වැඩි වීම හා K අවශ්‍ය තරමට නැති වීම.
ලංකාව මේ තත්ත්වයට වැටීම අහම්බයෙන් සිදු වූ දෙයක් නෙමෙයි. නිදහසින් පසුව ලංකාව පාලනය කළ පාලකයන්ගේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා සිදු වුනු දෙයක්. සමාජවාදීන් විසින් පරම්පරා දෙක තුනක කාලයක් තිස්සේ ලංකාවේ කරලා තිබෙන මොළ ශෝධනය කොයි තරම්ද කියනවානම් තමන් ධනවාදියෙක් ලෙස හඳුන්වාගන්න කැමති අය තවමත් ලංකාවේ නැති තරම්. එය පවක් වගේ. හැබැයි. සමාජවාදය වෙනුවෙන් පෙනී ඉන්න, ධනවාදය විවේචනය කරන්න, ඕනෑ තරම් අය ඉන්නවා.
ධනවාදය හා සමාජවාදය/ මාක්ස්වාදය අතර වෙනසත් සමාජවාදය සමාජ පරිණාමය ආපසු හරවන පිළිලයක් වන්නේ ඇයි කියන එකත් මම මේ වන විට පැහැදිලි කර තිබෙනවා.
මූලික ප්රශ්නය: නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ජනිත වන අතිරික්තය ශ්‍රමය හා ප්රාග්ධනය අතර බෙදී යා යුත්තේ කෙසේද?
ධනවාදී පිළිතුර: ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබාදුන් අයටත් ප්රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්රාග්ධනය ලබාදුන් අයටත් හිමි විය යුතුයි.
මාක්ස්වාදී පිළිතුර: ප්රාග්ධනය වෙනුවෙන් කිසිවක් හිමිවිය යුතු නැති අතර ශ්‍රමය ලබා දුන් අයට මුළුමනින්ම හිමි විය යුතුයි.
මාක්ස්වාදී පිළිතුරේ වැරැද්ද: ධනවාදී පිළිතුරෙන් විසඳුම් නොදෙන කිසිම ප්‍රශ්නයකට මාක්ස්වාදී විසඳුම පිළිතුරු නොදෙන අතර මාක්ස්වාදී පිළිතුර නිෂ්පාදනය වර්ධනය වීමේ වේගය අඩාල කිරීම හරහා සමාජ ප්‍රගතියට අකුල් හෙළයි. එහෙයින් මාක්ස්වාදී විසඳුම අනිවාර්යයෙන්ම අකාර්යක්ෂම එකකි.
ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. ධනවාදය විවේචනය කරන හෝ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මුලින්ම මේ ප්‍රශ්නයට පිළිතුරක් ඉදිරිපත් කළ යුතුයි. එවැනි පිළිතුරක් නැත්නම් අමතර පැහැදිලි කිරීම් වෙනුවෙන් අපේ කාලය නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.
ධනවාදී ක්‍රමයක් යටතේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබාදුන් අයටත්, ප්රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්රාග්ධනය ලබාදුන් අයටත් ලැබෙනවා. ඒ නිසා මේ දෙක අතර හැම විටම සමතුලිතතාවයක් ඇති වෙනවා. ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඉහළ යන විට මානව ප්රාග්ධනය වෙනුවෙන් කරන ඒකීය පුද්ගල ආයෝජන ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට L වැඩි වෙනවා. L වැඩි වෙද්දී ශ්‍රමය සපයන අය අතර තරඟය නිසා ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය අඩු වෙලා එය නියම මට්ටමට එනවා.
මේ විදිහටම ප්රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ඉහළ යන විට භෞතික ප්රාග්ධනය වෙනුවෙන් කරන ඒකීය පුද්ගල ආයෝජන ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට K වැඩි වෙනවා. K වැඩි වෙද්දී ප්රාග්ධනය සපයන අය අතර තරඟය නිසා ප්රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය අඩු වෙලා එය නියම මට්ටමට එනවා. ඒ නිසා, ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමයේ පංගුව "සූරාකන්න" අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
දෙවන කාරණය ඉටු වෙන්නනම් ප්රාග්ධනය සපයන අය අතර ප්‍රමාණවත් තරඟයක් ඇති විය යුතුයි. එය සිදු වන්නේ ඒකීය පුද්ගලයින්ට බාධාවකින් තොරව ප්රාග්ධනය එක්රැස් කර ගත හැකි වූ තරමටයි. එහෙත් මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ එහි අනෙක් පැත්ත වන ප්රාග්ධනයේ ඒකාධිකාරයක්. ඒකාධිකාරය තිබෙන්නේ රජය සතුවයි.
හැම සමාජවාදී රටකම රජය සතු ප්රාග්ධනය විසින් කර තිබෙන්නේත්, කරන්නේත් ශ්‍රමයේ පංගුවෙන් කොටසක් සූරාකන එක බව සංඛ්‍යාලේඛන ඇසුරෙන් පෙන්වා දිය හැකි කරුණක්. එහෙත් මාක්ස්වාදී තර්කනය අනුව සෛද්ධාන්තිකව එවැන්නක් සිදු වන්නේ නැහැ. ශ්‍රමයේ පංගුව ප්රාග්ධනයේ ඒකාධිකාරය තිබෙන රජය විසින් සූරා නොකන තත්ත්වයක් යටතේ වුවත්, ප්‍රාග්ධන සංචිත පවත්වා ගැනීම හා ක්‍රමිකව වර්ධනය කර ගැනීම සඳහා නිෂ්පාදන අතිරික්තයෙන් ප්‍රමාණවත් කොටසක් රජයට වෙන් කර ගන්න වෙනවා. මේ පංගුව ධනවාදී ක්‍රමයක් යටතේ ප්රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රසස්ථ මට්ටමමනම් හා රජය පෞද්ගලික ව්‍යවසායකයන් තරමටම කාර්යක්ෂමනනම් සමාජවාදී ක්‍රමයක් යටතේ වුවත් ප්රාග්ධනයේ යෙදවුම් හා අදාළ අකාර්යක්ෂමතා අවම කර ගන්න පුළුවන්. බොහෝ විට ප්‍රායෝගිකව එසේ සිදු නොවීම වෙනම කරුණක්.
ධනවාදී ක්‍රමයකදී පෞද්ගලික ප්‍රාග්ධන ආයෝජන කිරීමට විකල්පයක් විදිහට, පෞද්ගලික ප්රාග්ධනයට ඉඩක් නැති සමාජවාදී ක්‍රමයකදී භෞතික ප්රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කරන්නේ රජයයි. ඊට අමතරම සමාජවාදී ක්‍රමයකදී ශ්‍රමිකයෙකුට ලැබෙන ප්රතිලාභ හා ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය අතර සම්බන්ධය බිඳෙන නිසා මානව ප්රාග්ධනය වෙනුවෙන් සිදු කෙරෙන පෞද්ගලික ආයෝජනද නවතිනවා. ඒ නිසා, ඒ වැඩේ භාර ගන්න වෙන්නෙත් රජයටයි. සමාජවාදීන්ට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය වගේ දේවල් ඉතාම වැදගත් ඒ නිසයි. සමාජවාදී පැකේජ් එකට මේ දේවල් නැතුවම බැහැ. ඒ වගේම මානව ප්රාග්ධනය වෙනුවෙන් රජය විසින් වෙන් කෙරෙන නිෂ්පාදන අතිරික්තයේ පංගුව ධනවාදී ක්‍රමයක් යටතේ මානව ප්රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රසස්ථ මට්ටමමනම් සමාජවාදී ක්‍රමයක් යටතේ වුවත් මානව ප්රාග්ධනයේ යෙදවුම් හා අදාළ අකාර්යක්ෂමතා අවම කර ගන්න පුළුවන්.
මේ කරුණු දෙකම එක්ව ගත්තොත් හරියටම ක්‍රියාත්මක වන සමාජවාදී ක්‍රමයකට සෛද්ධාන්තිකව ධනවාදී ක්‍රමයකට තරමක් ආසන්න කාර්යක්ෂමතා මට්ටමකට එන්න පුළුවන්. නමුත් ලංකාවේ වගේ අච්චාරු ක්‍රමයකදී වෙන්නේ ඔය දෙපැත්තම නැති වෙන එක.
සෝවියට් පන්නයේ සමාජවාදයක් ඇතුළේ ප්රාග්ධනය තිබෙන්නේ රජය සතුව නිසා මතවාදී තලයේදී පොදුවේ රට ඇතුළේ සමස්තයක් ලෙස ප්රාග්ධනයට එරෙහිව යාමක් වෙන්නේ නැහැ. රාජ්‍ය ඒකාධිකාරය යටතේ වුවත් ප්රාග්ධනය වර්ධනය වෙනවා. ධනවාදී ක්රමයක කොහොමටත් ප්රාග්ධනය වර්ධනය වෙනවා. නමුත් ලංකාවේ තියෙන්නේ ඔය දෙකටම නැති තත්ත්වයක්. රාජ්‍ය ඒකාධිකාරය කොයි තරම් විශාල වුවත්, පැත්තකින් පෞද්ගලික ප්‍රාග්ධනයත් තියෙනවා. රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ආන්තික ලෙස තීරණය කරන්නේ රජය නිසා පෞද්ගලික අංශය ඇතුළෙත් හැම විටම අකාර්යක්ෂමතාවයට ඉඩක් ඉතුරු වෙනවා.
ලංකාවේ පෞද්ගලික අංශයට රජයට වඩා යාන්තමින් කාර්යක්ෂම වී ප්රාග්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ප්රතිලාභ ලබන්න පුළුවන්. රජය විසින් ප්රාග්ධනයේ කාර්යක්ෂමතාවයේ උපරිම සීමාව සලකුණු කරන නිසා ප්‍රාග්ධන හිමියන් අතර ඇති වන්නේ සීමිත තරඟයක්. ඒ නිසා අලුතින් "මුදලාලිලා" බිහිවෙන්නේ නැහැ. ඉන්න "මුදලාලිලා" ටික දෙනාට ප්රාග්ධනයේ ආන්තික ප්රතිලාභ විදිහට ලොකු කුට්ටියක් ලැබෙනවා.
අනෙක් අන්තයේ සිදු වන විකෘතිය ඊට වඩා ගොඩක් වැඩියි. සෝවියට් පන්නයේ සමාජවාදී රටක මානව ප්රාග්ධනය වෙනුවෙන් රජය විසින් කරන ආයෝජන වල ප්රතිලාභ නැවත ලබාගන්නේත් රජයයි. නමුත් ලංකාවේදී මේවා පෞද්ගලික ප්රතිලාභ. උදාහරණයක් විදිහට වෛද්‍ය අධ්‍යාපනය ගන්න පුළුවන්. ලංකාවේ රජය විසින් සූරාගන්නා නිෂ්පාදන අතිරික්තය ආපසු ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙකුට තිබෙන එකම ක්‍රමය නිදහස් අධ්‍යාපනය. ලංකාව ඇතුළේදී මානව ප්රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමේ වියදම අඩුයි. පුද්ගල මට්ටමෙන් සලකා බැලුවොත් ඊට සාපේක්ෂව ප්රතිලාභ වැඩියි. ඒ නිසා ලංකාවේ කාලයක් තිස්සේම මානව ප්රාග්ධනය අත් පත් කර ගැනීම සඳහා විශාල තරඟයක් තිබෙනවා.
ඇමරිකාව වගේ ධනවාදී රටක ඔය තරඟය ඔය විදිහට ඇති වෙන්නේ නැහැ. මොකද අධ්‍යාපනය වෙනුවෙන් කළ යුතු ආයෝජනය පෞද්ගලික එකක්. ප්රතිලාභ වැඩි වුනත් කළ යුතු ආයෝජනය සැලකූ විට ආන්තික ප්රතිලාභ සමානයි. ඒ නිසා වෛද්‍යවරයෙක් වෙන්න හිතන්නේ ඇත්තටම ඒ රස්සාවට කැමති කෙනෙක්.
සෝවියට් පන්නයේ සමාජවාදයක් ඇතුළේත් ඔය තරඟය ඔය විදිහට ඇති වෙන්නේ නැහැ. අධ්‍යපනය වෙනුවෙන් කළ යුතු ආයෝජනය රජයෙන් කරනවා වුවත් එහි ප්රතිලාභ ලබා ගන්නේද රජය විසින්ම නිසා අතිරික්ත පෞද්ගලික ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා එහිදීත් වෛද්‍යවරයෙක් වෙන්න හිතන්නේ ඇත්තටම ඒ රස්සාවට කැමති කෙනෙක්. ලංකාවේදී මානව ප්රාග්ධනය වෙනුවෙන් පෞද්ගලික ආයෝජන සිදු නොකර පෞද්ගලික ප්රතිලාභ ලැබිය හැකියි. මතුපිටින් පෙනෙන්න තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් වුවත් ඇත්තටම මෙහි වාසිය ලබන්නේ ලංකාවේ ප්රාග්ධනය හිමි සීමිත පිරිසයි.
දෘෂ්ඨිවාදී තලයේදී මාක්ස්වාදය විසින් පෞද්ගලික ප්රාග්ධනයට එරෙහිව රාජ්‍ය ප්රාග්ධනය ප්‍රවර්ධනය කරනවා. ඒ එක්කම මේ වෙද්දී පෞද්ගලික ප්රාග්ධනය මුළුමනින්ම අහෝසි කිරීමේ විකල්පය ප්‍රායෝගිකව ලෝක මට්ටමෙන්ම අසාර්ථක වී තිබෙනවා. චීන සමාජවාදය වගේම ඊට බොහෝ කිට්ටු ලංකාවේ සමාජවාදය කියන්නේ සමාජවාදී ආකෘතිය ඇතුළේම සිටිමින් පෞද්ගලික ප්රාග්ධනයට සීමිත ඉඩක් ලබා දෙන ඉතා නරක, එහෙත් ප්‍රායෝගිකව සාර්ථක තෙවන විකල්පයක්. ඇතැම් අය මේ ක්‍රමය රාජ්‍ය ධනවාදය ලෙස හඳුන්වනවා.
චීන සමාජවාදය ඇතුළේ ධනවාදී ක්‍රමයක් ඇතුළේ තිබෙන ප්‍රාග්ධන හිමියන් අතර තරඟය නැහැ. ඒ නිසා ප්රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් ලබාගත හැකියි. මෙය කරන්නේ දෘෂ්ඨිවාදී ලෙස පෞද්ගලික ප්රාග්ධනයට එරෙහිව පොදු ප්රාග්ධනය වෙනුවෙන් පෙනී සිටිමින් රටේ බහුතරයට ප්‍රාග්ධන ප්‍රවේශය ඇහිරීම හරහා. එහෙත්, රජයට කිට්ටුවෙන් ඉන්න සුළු පිරිසකට මේ ප්රශ්නය නැහැ. රජය හා සීමිත ප්‍රාග්ධන හිමියන් පිරිසක් අතර තිබෙන්නේ අශුද්ධ සන්ධානයක්. මේ මුදලාලිලා ටික දෙනා හැර වෙනත් මුදලාලිලාට බිහි වෙන්න ඉඩක් නැහැ.
ලංකාවේද ක්‍රියාත්මක චීන සමාජවාදය ඇතුළේ ප්රාග්ධනය හිමි රජය හා ඉතුරු මුදලාලිලා ටික දෙනාට එකතු වී ශ්‍රමය සූරාකන්න පුළුවන්. මෙය දිගින් දිගටම කළ හැක්කේ ශ්‍රම සැපයුම ඕනෑවට වඩා වැඩිනම් පමණයි. ශ්‍රම දායකයන් අතර ලොකු තරඟයක් නැත්නම් ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමය සූරාකන්න අමාරුයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ආදිය හරහා කරන්නේ මේ තරඟය දිගින් දිගටම පවත්වා ගැනීම.
තනි පුද්ගලයෙක්ට සාපේක්ෂව බැලුවොත් ඔහුගේ හෝ ඇයගේ මානව ප්රාග්ධනය වැඩි කර ගන්න තිබෙන අවස්ථා ඉතාම සාධනීය බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, ඔය අවස්ථාවන් නොතිබුණානම් මේ වෙද්දී ශ්‍රමිකයන්ගේ තත්ත්වය මීට වඩා ගොඩක් නරක තත්ත්වයක් කියා සිතීම මුලාවක්. "උගතුන්" වැඩි වන තරමට වෙන්නේ උගතුන්ගේ තත්ත්වය සමස්තයක් ලෙස පහළ යාමයි. රජයට කිට්ටුවෙන් ඉන්න ඇතැම් ප්‍රාග්ධන හිමියන් රටේ මානව ප්රාග්ධනය වැඩි කිරීම ගැන කතා කළත් එහි සැබෑ වාසිය තමන් වැනි ප්‍රාග්ධන හිමියන්ට මිස ශ්‍රමිකයන්ට නොවන බව අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම අතහැර ව්‍යාපාර ලෝකයට පිවිසි මෙවැනි අය හොඳින්ම දන්නවා.
ලංකාවේ ප්රශ්නය උගතුන් වැඩිවීම හා මුදලාලිලා අඩු වීම. එය එසේ වෙන්න හේතු වී තිබෙන මූලික ප්රශ්නය ලංකාවේ පැලපදියම් කර තිබෙන සමාජවාදී දෘෂ්ඨිවාදය. උගතුන් රට හැර යාම, කාන්තාවන්ට රැකියා සොයා මැද පෙරදිග යන්න සිදු වීම, අකාර්යක්ෂම උපාධිධාරීන්ගෙන් රාජ්‍ය සේවය පුරවන්න සිදු වීම, රජය වටා සිටින ටික දෙනෙකුගේ විවිධ මගඩි ආදී බොහෝ අවශේෂ ප්‍රශ්න වලට හේතුව උගතුන් වැඩිවීම හා මුදලාලිලා අඩු වීම. වරාය නගර ව්‍යාපෘතිය සමස්තයක් ලෙස සාධනීය එකක් වන්නේ ඒ හරහා මේ මූලික ප්‍රශ්නයට යම් තරමකින් හෝ විසඳුමක් ලැබෙන නිසයි.