මම මුලින්ම ශ්‍රමය වෙනුවෙන් මුදල් උපයන්න පටන් ගත්තේ හතරවන ශ්‍රේණියේ සිටියදී. ඒ කියන්නේ වයස අවුරුදු නවයක කාලයේදී. මෙය අර්ධකාලීන රැකියාවන් කර මුදල් සෙවීමක් කියා කියන්න පුළුවන්. වෙනත් අය වෙනුවෙන් කඩේ ගොස් ඒ වෙනුවෙන් කිසියම් මුදලක් ලබා ගැනීම සැලකුවොත්නම් මේ කාලය තවත් අවුරුදු දෙකක් පසුපසට ගෙන යන්න වෙනවා. කඩේ යාම කියා කිවුවේ එම වචනයෙන් කියැවෙන ප්‍රධාන දෙය මිසක් අද අර්ථයෙන් වෙනත් අයට විවිධ ආකාරයෙන් කඩේ යාම් නෙමෙයි. මේ විදිහට අවුරුදු හතක කාලයේදී සිට කඩේ යාම වෙනුවෙන් යම් මුදලක් ලබා ගැනීමත් ශ්‍රමය වෙනුවෙන් මුදල් ඉපැයීමක් කියා කිව හැකි වුවත්, මා මුලින්ම සඳහන් කළේ දවසකට පැය ගණනක් එක දිගට ඊට වඩා තරමක් "වෘත්තීය" වූ යම් කටයුත්තක යෙදී මුදල් ඉපැයීම ගැනයි.
පරිගණක භාවිතයක් නොතිබුණු ඔය කාලයේ ගණක යන්ත්‍ර (කැල්කියුලේටර) භාවිතාවද එතරම් ප්‍රචලිතව තිබුණේ නැහැ. සමහර විට ලංකාවේ ගණක යන්ත්‍ර භාවිතය වුවත් ටිකෙන් ටික ප්‍රචලිත වෙන්න ඇත්තේ හැත්තෑ හතෙන් පසුව වෙන්න ඇති. මේ වයසේදී මට පොඩි පහේ ගණනක් නිවැරදිව මනසින් හදන්න පුළුවන්කම තිබුණා. උදාහරණයක් විදිහට ඉලක්කම් තුන හතරක ගණනක් ඉලක්කම් දෙකක ගණනකින් වැඩි කරමින් එකතුව හොයන එක වගේ පොඩි දෙයක්. සමහර විට මූලික මට්ටමේ ගණක යන්ත්‍රයක් තිබුණත් එයට වඩා ඉක්මණින් හා නිවැරදිව මනසින් පිළිතුර හොයා ගන්න පුළුවන්. ගණක යන්ත්‍රයට වරදින්නේ නැතත් ගණක යන්ත්‍රය භාවිතා කරන පුද්ගලයාට වරදින එක දුලබ දෙයක් නෙමෙයි.
ඔය විදිහට මනසින් ගණන් හැදීමේ හැකියාව උපතින්ම ලැබුණු එකක් නෙමෙයි. ප්‍රගුණ කළ එකක්. එය පෙර භවයකින් හෝ අදෘශ්‍යමාන බලවේගයක උදවුවෙන් ලැබුණු දෙයක් කියා මම කවදාවත්ම විශ්වාස කළේ නැහැ. හැබැයි අඥේයවාදී ලෙස හිතා බැලුවොත් එවැනි සම්බන්ධයක් නොතිබුණු බව සහතික කර කියන්න පුළුවන්කමකුත් නැහැ. කොහොම හරි මේ හැකියාව අඩු වයසකදී අර්ධකාලීන රැකියාවක් කර යම් මුදලක් හොයා ගන්න උපකාරී වුනා. ඊටත් වඩා වැදගත් කරුණනම් ඔය හැකියාව එම අර්ධකාලීන රැකියාව තුළ දිගින් දිගටම භාවිතා කරද්දී අදාළ කුසලතාවය තව තවත් වර්ධනය වුනා.
ඔය ආකාරයෙන්ම මම පෞද්ගලිකව මුහුණ දුන් තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ උපක්‍රමයක් විදිහට දිගින් දිගටම ප්‍රයෝජනයට ගැනීම නිසා මගේ මතක තබා ගැනීමේ කුසලතාවයත් කුඩා කාලයේදී හොඳින් වර්ධනය වුනා. ඔය හැකියාවන් දෙකම පාසැලේ අධ්‍යයන කටයුතු කරද්දී උපකාරී වුනා. මා මුහුණ දුන් බොහෝ විභාග වලට දවසකට හෝ දෙකකට පෙර සූදානම් වීමෙන් පසුව හොඳ ප්‍රතිඵල ලබා ගෙන තිබෙනවා. ඒ කියන්නේ, කලින් කාලයක් තිස්සේ හදාරා තිබුණු විෂයයක් විභාගයට පෙර දවසක් දෙකක් පුනරීක්ෂණය කළා කියන එක නෙමෙයි. සමහර වෙලාවට විෂයට අත ගැහුවේම විභාගයට දවසකට හෝ දෙකකට කලින්.
ලංකාවේ ගොඩක් අය වගේම මමත් සෑහෙන කාලයක් හිතාගෙන හිටියේ විධිමත් අධ්‍යාපනයේ අරමුණ කිසියම් විභාගයක් සමත් වී අදාළ සහතිකය හෝ සුදුසුකම ලබා ගැනීම බවයි. ඒ නිසා, මට අවශ්‍ය නොවූ දේවල් හැදෑරීම සඳහා කාලය නාස්ති කරමින් එම දැනුම කාලයක් තිස්සේ ගබඩා කරගෙන තියා ගැනීමේ අරමුණක් මට තිබුණේ නැහැ. මම කළේ ධාරිත්‍රකයක් විද්‍යුත් ශක්තිය ගබඩා කරගෙන නැවත මුදා හරිනවා වගේ විභාගයට පෙර දිනයේ අවශ්‍ය දේවල් ගබඩා කරගෙන විභාගයෙන් පසුව විසර්ජනය කර දැමීමයි. අත්වැඩ, සරඹ, නැටුම්, සංගීතය වැනි කුසලතා මත පදනම් වූ විෂයයන් හැර අනෙක් විෂයයන්හිදී මේ උපක්‍රමය බොහෝ විට සාර්ථක වුනා.
සාමාන්‍ය පෙළ විභාගය මට මුල සිටම ලොකු අභියෝගයක් ලෙස පෙනුණේ නැහැ. මා උපකාරක පන්ති කිසිවකට ගියේ නැතුවාක් මෙන්ම ඇත්තටම කියනවානම් විෂයයන් වැඩි ප්‍රමාණයක් හා අදාළව පාසැලේ ගුරුවරුන්ගෙන්ද ඉගෙනගත් දෙයක් නැහැ. ඔවුන් බොහෝ විට කළේ පෙළ පොත් වල තිබෙන දෙයින් තෝරාගත් කොටසක් නැවත වමාරන එකයි. ඒ වමාරන දේ අභ්‍යාස පොතක පිටපත් කරගෙන නැවත කියවනවාට වඩා මුල් පෙළ පොතම කියවන එක වඩා කාර්යක්ෂම බව පහළ පන්ති වල සිටියදීම මට තේරී තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ලකුණු තීරණය කරන්නේ විෂය භාර ගුරුවරයා හෝ ගුරුවරිය නොවූ නිසා ඔවුන්ව බයිපාස් කර යාමේ වාසියක් මිස කිසිම පාඩුවක් පෙනෙන්නට තිබුණේ නැහැ. එහෙත් වාර විභාග වලදී ලකුණු දෙන්නේ ඔවුන් නිසා ඔවුන්ව අමනාප කර නොගෙන සිටින්නටද සිදු වුනා. ඒ වගේම, විභාග වලට වැඩක් තිබුණත් නැතත්, ඇතැම් ගුරුවරුන්ගෙන් පෙළ පොත් වල නැති මා කැමති ආකාරයේ දැනුම්ද ලැබුණා. මට සාපේක්ෂව හොඳ ගුරුවරු වුනේ ඒ අයයි. මේ සමහර ගුරුවරු පොදු සම්මතය අනුව හරියට උගන්නන්නේ නැති ගුරුවරු විදිහට සැලකුණු අය.
සාමාන්‍ය පෙළ විභාගයේ අනෙකුත් සියලුම විෂයයන් මට අභියෝගයක් නොවූවත් විශාල අභියෝගයක් වූ එක් විෂයයක් තිබුණා. ඒ ඉංග්‍රීසි භාෂා විෂයයයි. මොන තරම් උත්සාහ කළත් ඉංග්‍රීසි භාෂා විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක මට්ටමට යාම පහසුවෙන් කළ හැකි දෙයක් බව පෙනෙන්න තිබුණේ නැහැ. පෙළ පොත කියවා ඒ මට්ටමෙන් එහාට යන්න පුළුවන්කමක් නොතිබුණා වගේම, ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ගුරුවරියගෙන් ඊට වඩා ඉහළට යන්න උදවුවක් ලැබුණේත් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත්, ඉංග්‍රීසි භාෂා විෂය කියන්නේ මා සාමාන්‍ය පෙළ දක්වා උගත් විෂයයන් අතරින් මට බැරිම විෂයයයි. සම්මත පෙළ පොත් නොතිබුණු නිසා සාමාන්‍ය පෙළ විෂයයන්ට සාපේක්ෂව උසස්පෙළ විෂයයන්නම් හිතුවාට වඩා අමාරු වුනා. ඉංග්‍රීසි විෂය පිළිබඳ දැනුම වැඩි කරගැනීම සඳහා මම අනවරත උත්සාහයක නිරත වුනා. තවමත් නිරත වෙනවා.
මෙහෙම හිටපු මට රජයේ පූර්ණකාලීන ඉංග්‍රීසි උපගුරු පත් වීමක් ලැබුණා. මෙය වයස අවුරුදු නවයක වයසේ සිට අර්ධකාලීන රැකියා කරමින් සිටි මා නිරත වූ පළමු පූර්ණකාලීන රැකියාව නොවූවත්, ඒ වන විටත් මා වයසින් මෙන්ම ශරීර ප්‍රමාණයෙන්ද එතරම් පරිණතව සිටියේ නැහැ. සේවයට වාර්තා කිරීම සඳහා පාසැලට ගිය පළමු දින මුල් ගුරුතුමිය, අනෙක් ගුරුවරු හා සිසුන් ඇතුළු හැම දෙනෙක්ම හිතුවේ මා පාසැලට අලුතෙන් ඇතුළු වීමට පැමිණි සිසුවෙකු බවයි. මට වඩා දෙතුන් වසරකින් පමණක් බාල වූ ඇතැම් සිසුන් පෙනුමෙන් මට වඩා මුහුකුරා ගොස් සිටියා. ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලයක් තිස්සේ දැඩි උත්සාහයක් දරමින් සිටි මට ඉංග්‍රීසි භාෂාව හෝ ඉගැන්වීම පිළිබඳ කිසිදු පුහුණුවක් නොලබා ඉංග්‍රීසි උගන්වන්න සිදු වුනා. මා කළේ කණෙක් අන්ධයෙක්ට ඉගැන්වීමක් මිස අන්ධයෙක් කණෙක්ට ඉගැන්වීමක් නොවූ නිසා මගෙන් උගත් සිසුන් ගැන මට කණගාටුවක් නැහැ. අදටත් මා විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස උගන්වන විෂයයන් පිළිබඳව මා දන්නා දේට වඩා නොදන්නා දේ ඉතා විශාලයි. ඒ දේවල් මා තවමත් ඉගෙන ගනිමින් ඉන්නවා.
ඇමරිකාවට එන විට මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේදී ඉංග්‍රීසි ඉගැන්වූ කාලයේ තිබුණු දැනුමට වඩා ගොඩක් වැඩි වුනත් එම දැනුමත් ඉතා සීමිත දැනුමක්. දැන් කියලාත් මහා ලොකු ඉංග්‍රීසි දැනුමක් නැහැ. ඒ දැනුම ඇමරිකාවට ප්‍රමාණවත්. හැබැයි මම ලංකාවේ හිටියානම් බොහෝ විට මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවට ප්‍රමාණවත් වෙන එකක් නැහැ. ඇමරිකාවේදී ඉංග්‍රීසි වරදින එක ලංකාවේදී තරම් ප්‍රශ්නයක් නෙමෙයි.
ඉංග්‍රීසි භාෂාව භාවිතයේදී මට අල්ලා ගන්න ගොඩක්ම අමාරු වූ දෙයක් වුනේ "the" භාවිතයයි. "the" දැමිය යුත්තේ හෝ නොදැමිය යුත්තේ මොන තැන් වලද? දැන් ඉංග්‍රීසියෙන් ලියද්දී පුරුද්ද නිසා බොහෝ විට හරියන නමුත් තවමත් මෙය වරදින එක දුලබ දෙයක් නෙමෙයි. සිංහලෙන් "table" හා "the table" අතර වෙනසක් නැහැ. ඒ නිසා, සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට පරිවර්තනය කරන කෙනෙකුට කාලයක් පුහුණු නොවී හරියට "the" යොදන එක අභියෝගයක්. ඉංග්‍රීසි නොවන වෙනත් ඇතැම් භාෂා මවු භාෂාව වූ අයට මේ ප්‍රශ්නය නැහැ. මවු භාෂාව සිංහල වූ අයට මෙය ප්‍රශ්නයක්. ලංකාවේ ඉපදුනත් ඉංග්‍රීසියෙන් හිතන අයට මෙය ප්‍රශ්නයක් නොවනවා වෙන්න පුළුවන්. සමහර විට මා තරම් අදක්ෂ නැති වෙනත් අයටත් මෙය අල්ලා ගැනීම මට මෙන් ප්‍රශ්නයක් වී නැතුව ඇති.
ඉංග්‍රීසියෙන් "table" කියා කියන විට එයින් අදහස් වෙන්නේ වියුක්ත සංකල්පයක්. එහෙත්, සිංහලෙන් "මේසය" කියන එක සංයුක්ත අදහසක්. "මේසය" කියා කියන විට සිංහල බස මවුබස වූ අප බොහෝ විට එය තේරුම් ගන්නේ කිසියම් නිශ්චිත මේසයක් ලෙසයි. වෙනත් අයෙකුගේ හිතේ මැවෙන්නේ හෝ නොමැවෙන්නේ මොනවාද කියන එක මට දැනගන්න විදිහක් නැහැ. මට කරන්න පුළුවන් එය මගේ හිතේ මවා ගන්න පමණයි. මම හිතන විදිහට "මේසය" කියා කියන විට බොහෝ විට සිංහලයෙක්ගේ හිතේ මැවෙන්නේ නිශ්චිත මේසයක්. මේ නිශ්චිත මේසය ඉංග්‍රීසියෙන් "table" කියා හඳුන්වන්න බැහැ. එය "the table" විය යුතුයි.
මම මේ ඉදිරිපත් කරන අදහස සමහර විට මීට කලින් නලින් ද සිල්වා විසින් හෝ වෙනත් අයෙක් විසින් ඉදිරිපත් කර තිබෙන අදහසක් වෙන්න පුළුවන්. පහුගිය කාලයේ සිංහලෙන් ලියැවී තිබෙන බොහෝ දේ මා කියවා නැහැ. හැබැයි මේ ගැන වෙනත් කිසිවෙකු කතා කර තිබෙනු මම දැක නැහැ. වෙනත් කිසිවෙකු එවැන්නක් කියා තිබෙන බවක් කිසිවෙකු විසින් නොපෙන්වුවහොත් මෙය සලකන්න වෙන්නේ ඉකොනොමැට්ටාගේ අලුත් අදහසක් විදිහටයි. කැමති කෙනෙක්ට රෝයල්ටි ගෙවා හෝ නොගෙවා අදහස ප්‍රයෝජනයට ගත හැකියි. අප මීට පෙර ලියූ බොහෝ දේද වෙනත් අය මූලාශ්‍රය ගැන සඳහනක් පවා නැතිව භාවිතා කර තිබෙන නමුත් අප රෝයල්ටි ඉල්ලා නඩු දමා නැහැ. නැත්නම් මෝඩ අදහසක් බව පෙන්වා දිය හැකියි. කොහොමටත් අපි ලියන දේවල් හරියන්නේ ඉතාම කලාතුරකින්. ඒ හරියන්නෙත් බටහිර මැදිහත්වීමක් වුනොත් විතරයි.
ඉංග්‍රීසියෙන් හිතන කෙනෙකුට සංයුක්ත අදහසක් හිතට එන්නේ "the table" ලෙස හැඳින්වුවොත් පමණයි. "table" ලෙස හැඳින්වුවොත් එන්නේ වියුක්ත අදහසක්. "table" කියා කියන්නේ ලෝකයේ කොහේවත් තිබෙන මේසයක් නෙමෙයි. එයින් අදහස් වන්නේ ලෝකයේ තිබෙන මේස ලෙස හඳුනාගන්නා සියලුම දේවල් වලට තිබෙන පොදු ගුණ සමුදායක්. මේ අදහස පහසුවෙන් සිංහලෙන් විස්තර කරන්න බැහැ. මේ අඩුපාඩුව නිවැරදිව හඳුනා නොගත්තොත් සිංහලයෙක්ට කවදාවත් ඉංග්‍රීසියෙන් "table" කියන අදහස ග්‍රහණය කර ගන්න බැහැ.
අපි බොහෝ දෙනෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගෙන තිබෙන්නේ වෙනත් විෂයයක් ඉගෙන ගන්න විදිහටයි. එහෙම නැති අයත් ඇති. මේසයට ඉංග්‍රීසියෙන් කියන්නේ "table" කියා අපි පොඩි කාලයේදීම ඉගෙන ගන්නවා. ටී-ඒ-බී-එල්-ඒ ටේබල් කියලා කටපාඩම් කරනවා. ඕක ටාබ්ලේ නොවී ටේබල් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් මතු වුනත්, ඒ ප්‍රශ්නයට විසඳුමක් කාගෙන්වත් නොලැබෙන හින්දා ඒක ඉංග්‍රීසි භාෂාවේ වැරැද්දක් කියලා හිත හදා ගන්නවා. එහෙම වැරදි නැති සිංහල භාෂාව ගැන ආඩම්බරයක් ඇති කර ගන්නවා. ඊට පස්සේ ඉතිං "table"නම් මේසයම තමයි. ඕක ඉස්සරහින් සමහර වෙලාවට සුද්දා "the" දාන්නේ ඇයි කියන එක අපට හිතා ගන්න බැහැ.
ඉංග්‍රීසියෙන් "table", "chair", "tree", "man" වගේ යෙදුම් යොදන්නේ වියුක්ත සංකල්ප විස්තර කරන්න. මේ වචන වල තේරුම සිංහලෙන් මේසය, පුටුව, ගහ, මිනිහා කියන එකම නෙමෙයි. ගහ කියා කියූ විට සිංහලයෙක් හිතා ගන්නේ නිශ්චිත ගහක් ගැන මිසක් සියලුම ගස් වල පොදු ගුණාංග වල එකතුවක් ගැන නෙමෙයි. ඉංග්‍රීසියෙන් "tree" කියා කියන්නේ මේ පොදු ගුණාංග ටිකට. ඒ පොදු ගුණාංග ටික චිත්තරූපයක් විදිහට හිතින් මවා ගන්න බැහැ. අපට පුළුවන්කම තියෙන්නේ ඔය පොදු ගුණාංග තිබෙන සියලුම සාමාජිකයින් අතරින් එක් සාමාජිකයෙක්ව හෝ සාමාජිකයින් කිහිප දෙනෙක්ව චිත්තරූප විදිහට හිතෙන් මවා ගන්නයි. ගණිතයේ භාෂාවෙන් කිවුවොත් "tree" කියන වියුක්ත අදහස සමඟ ආසන්න ලෙස සමපාත කළ හැකි සියලුම සාමාජිකයින් ඇතුළත් සර්වත්‍ර කුලකයේ එක් සාමාජිකයෙකු හෝ සාමාජිකයින් කිහිප දෙනෙක්ව හිතෙන් මවා ගන්න.
මේ විදිහට අපි හිතින් මවා ගන්නේ එක්කෝ අපි කවදා හෝ දැක තිබෙන එක් නිශ්චිත ගහක චිත්තරූපයක්. එහෙම නැත්නම් අපි කවදා හෝ දැක තිබෙන ගස් වල ලක්ෂණ ඇසුරෙන් හිතින් මවා ගන්න එක් නිශ්චිත ගහක චිත්තරූපයක්. ඒ කියන්නේ "tree" කියන වියුක්ත අදහස අපිට හිතෙන් මවා ගන්න පුළුවන් වෙන්නේ එක්කෝ "the tree" එකක් විදිහට. එහෙම නැත්නම් "a tree" එකක් විදිහට. දැන් මේ "a tree" කියන අදහස "ගහක්" ලෙස පහසුවෙන් සිංහලට පරිවර්තනය වන නිසා සිංහලයෙක්ට මේ අදහස තේරුම් ගන්න අමාරුවක් නැහැ. කොයි ගහද කියලා දන්නේ නැහැ. මොකක් හරි ගහක්. අර කියන්නේ නමනම් දන්නේ නැහැ. හැබැයි මනුස්සයෙක්.
අවුල තියෙන්නේ "the tree" සහ "tree" වෙන් කර ගන්න යන කොට. මිහිඳු හිමි තිස්ස රජුගෙන් "මේ ගස කුමක්ද?" කියා අසන විට ඒ අසන්නේ නිශ්චිත ගසක් ගැනයි. මිහිඳු හිමි මේ ප්‍රශ්නය ඇහුවේ මොන භාෂාවෙන්ද කියා මම නිශ්චිතව දන්නේ නැහැ. වත්මන් සිංහල භාෂාවෙන් වෙන්න බැහැ. කොහොමටවත්ම ඉංග්‍රීසි භාෂාවෙන්නම් වෙන්න බැහැ. මහින්දාගමනය සිදු වුනේ වත්මන් කාලයේදීනම් ඔය ප්‍රශ්නය ගොඩක් වෙලාවට අහන්න ඉඩ තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. එහෙම වුනානම් ප්‍රශ්නය මොන වගේ එකක් වෙයිද?
ආමන්ත්‍රණ කොටස ඉවත් කළොත්, සමහර විට "What is this tree?" වගේ එකක් වෙයි. මෙහි "tree" කියන එක වියුක්ත අදහසක්. සිංහල අදහස "ගස" කියන එක. ප්‍රශ්නය අහන කොටසම මිහිඳු හාමුදුරුවෝ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගෙන. තිස්ස රජුගෙන් අහන්නේ ඒ නිශ්චිත සාමාජිකයා කවුද කියලයි.
තිස්ස රජු හෝ ඔහුගේ භාෂා පරිවර්තකයා ඔය ප්‍රශ්නයට ඉංග්‍රීසියෙන් මොන විදිහට පිළිතුරු දෙයිද? "This is a mango tree" විදිහට පරිවර්තනය කළොත් මෙහි "a" යෙදුමෙන් අවිනිශ්චිත බවක්, නොදැනුමක් අවධාරණය වෙනවා. සිංහලෙන් අපි "ක්" එකතු කරන්නේ මේ නොදැනුම හඟවන්න. "මෙය අඹ ගසක්."
මේ පිළිතුර නිශ්චිත පිළිතුරක් නෙමෙයි. එහෙත් එම පිළිතුරෙන් අවිනිශ්චිතතාවය අඩු කරනවා. හරියට කෝවිඩ් වලට එන්නතක් ලබා ගත්තහම වගේ. "ගස" කියන අදහස වගේම "අඹ ගස" කියන අදහසත් වියුක්ත අදහසක්. මිහිඳු හාමුදුරුවෝ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගෙන ප්‍රශ්නය ඉදිරිපත් කරද්දී තිස්ස රජු එම ගසම "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නවා. ඒ හැර මේ නිශ්චිත ගස කුමක්ද කියන ප්‍රශ්නයට තිස්ස රජු විසින් පිළිතුරක් දෙන්නේ නැහැ.
"හිමියනි, මේ ගස අපගේ දීර්ඝකාලීන කල්‍යාණ මිත්‍ර, ඔබ වහන්සේගේ පියාණන් වූ අශෝක රජුගේ රුක් රෝපණ සංකල්පය අනුව, මගේ විධානයෙන්, අමාත්‍ය සේනයන්ගේ මෙහෙයවීමෙන්, සිටුවර පරාක්‍රමයන්ගේ ධන පරිත්‍යාගයෙන් හා ගම් වැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මගේ පියා වූ මුටසීව රජුගේ අතින් රෝපණය කරනු ලැබූ අඹ පැලයක්." වගේ පිළිතුරක් දුන්නානම් එසේ පිළිතුරු දෙන්නේ මේ ගස නිශ්චිතව හඳුනාගෙන. එහෙත්, තිස්ස රජුට මේ ගස තවත් එක් අඹ ගසක් මිස සුවිශේෂී නිශ්චිත අඹ ගසක් නෙමෙයි. තිස්ස රජු මේ අඹ ගස නිශ්චිත ලෙස හඳුනා ගන්නේ නැහැ.
තිස්ස රජු මේ අඹ ගස නිශ්චිත ලෙස හඳුනා ගන්නේ නැතත් එය අඹ ගසක් ලෙස හඳුනා ගන්නවා. ඒ කියන්නේ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නවාට අමතරව "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙසද හඳුනා ගන්නවා. "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගත හැකි තවත් වියුක්ත අදහසක්. මේ උදාහරණයෙන් පැහැදිලි වන පරිදි, කිසියම් වියුක්ත අදහසක් සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නා දේ අතර වෙනත් වියුක්ත අදහස්ද තිබිය හැකියි. ඇතැම් විට වියුක්ත අදහස් පමණක්ම වුවත් තිබිය හැකියි.
යමෙකුට "ගස" හෝ "අඹ ගස" කියන වියුක්ත අදහස් චිත්තරූප ලෙස හිතේ මවාගන්න පුලුවන්ද? එය කළ නොහැකියි. අපට හිතෙන් මවා ගත හැක්කේ සැබෑවටම පවතින හෝ නොපවතින නිශ්චිත ගසක්. එහෙත් අවශ්‍යනම් අපට ගතික චිත්තරූපයක් හෝ චිත්තරූප කිහිපයක් හිතෙන් මවාගෙන මේ වියුක්ත අදහස් තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට "ගස" කියන වියුක්ත අදහස සමඟ අප දැක තිබෙන අඹ ගසක් අපට මතක් වෙනවා. ඒ එක්කම මේ අඹ ගස ගතික ලෙස පොල් ගහක්, කොස් ගහක් ආදී වශයෙන් සෑම ක්ෂණයකදීම වෙනස් වෙනවා. එහෙමත් නැත්නම් විවිධ ගස් තිබෙන කැලෑවක චිත්තරූපයක්. අපි මේ ගස් සියල්ල දෙස සමස්තයක් ලෙස බලමින් "ගස" කියන වියුක්ත අදහස තේරුම් ගන්නවා. හැබැයි ඔය වගේ අනුමාන කරන්න වෙන්නේම චිත්තරූප ඇසුරෙන් අදහසක් තේරුම් ගන්න යනවානම් පමණයි. අපට "ගස" කියන වියුක්ත අදහස හිතේ මවාගන්න චිත්තරූපයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. උපතේ සිට කිසි දිනක ඇස් නොපෙනුණු අයත් ඉතා හොඳින් ලෝකය තේරුම් ගන්නවා. එවැනි අයෙකුගේ හිතේ ඇස් පෙනෙන අයෙකු දකින ආකාරයේ චිත්තරූප මැවෙන්න විදිහක් නැහැ.
"මේ අඹ ගස හැර තවත් අඹ ගස් තියෙනවා ද?"
"ඇත, ස්වාමීනි."
"ඒ අඹ ගස් හැර තවත් ගස් තියෙනවා ද ?"
"ඇත ස්වාමීනි..බොහෝ ඇත."
"ඒ ගස් සියල්ල හැර තවත් ගස් තියෙනවා ද ?"
"ඇත ස්වාමීනි..ඒ මෙම අඹ ගසයි."
මෙහි අවසාන පියවර දක්වාම තිස්ස රජු විසින් කිසිම ගසක් නිශ්චිත ලෙස හඳුනාගෙන නැහැ. තිස්ස රජු දන්නේ "ගස" හා "අඹ ගස" කියන වියුක්ත සංකල්ප ගැන පමණයි. ඒ ගස් කිසිවක් තිස්ස රජුගේ මනසේ මිස මහ පොළොවේ නැහැ (nowhere). නමුත්, අන්තිමට "ඇත ස්වාමීනි" කියා කියන්නේ මේ දැන් මේ මෙතැන (now,here) තිබෙන අඹ ගසක් ගැනයි. ඒ අඹ ගසත් ඇත්තටම තිබෙන එකක්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඉංග්‍රීසියෙන්නම් ඔය මැද කොමාවේ වෙනසනේ. කොහොම වුනත් අනෙක් සියලුම ගස් වියුක්ත සංකල්ප පමණයි. ප්‍රශ්න වටය අවසානයේදී නිශ්චිත අඹ ගසක් දැන්, මෙතැන තිබෙන බව තිස්ස රජු දකිනවා. රහත් වී සිටි මිහිඳු හිමිටනම් එතැන අඹ ගසක් නැති බව පෙනෙන්න ඇති.
මේ ප්‍රශ්න වටය අවසානයේදී තමන් විසින් මෙහි දකින අඹ ගස සැබෑවටම තිබෙන අඹ ගසක් සේ දකින්නට හෝ පෙනෙන්නට හේතු වෙන ක්‍රියාවලිය ගැන අදහසක් තිස්ස රජුට ඇති වුනාද නැද්ද කියා මම දන්නේ නැහැ. මිහිඳු හිමි විසින් පළමු ප්‍රශ්නය අසද්දී තිස්ස රජුට මෙහි දැන් තිබෙන නිශ්චිත අඹ ගස පිළිබඳව සුවිශේෂී වූ දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා, එය ඔහුට තවත් එක් අඹ ගසක් පමණයි. අඹ ගසක් පෙර කවදාවත් දැක නොතිබුණානම් තිස්ස රජුට මේ ගස තවත් ගසක් පමණයි. එහෙම වුනානම් පිළිතුරු දෙන්න වෙන්නේ "නමක් ගමක්නම් දන්නේ නැහැ. හැබැයි ගහක්" කියලයි.
ගස වගේම අඹ ගසත් වියුක්ත සංකල්ප. ඒ වියුක්ත සංකල්ප වලට හේතුව දැනුමයි. අඹ ගස ගැන දැනුමක් නැත්නම් මනසේ අඹ ගසක් හැදෙන්නේ නැහැ. ගස ගැන දැනුමක් නැත්නම් මනසේ අඩු වශයෙන් ගසක් හෝ නැහැ. අඹ ගස හෝ ගස දකින්න උදවු වෙන්නේ දැනුමයි. එහෙත් දැන් මෙතැන තිබෙන නිශ්චිත අඹ ගසක් පිළිබඳව එවැනි දැනුමක් තිස්ස රජුට නැති නිසා එය ඔහු දෑසින් දැක්කත් එම අඹ ගස පිළිබඳ නිශ්චිත හෝ වියුක්ත සංකල්පයක් ඔහුගේ මනසේ නැහැ. ඒ නිසා, තිස්ස රජු මිහිඳු හිමිගේ පළමු ප්‍රශ්නයට පිළිතුරු දෙන අවස්ථාවේදී එම අඹ ගස නිශ්චිත අඹ ගසක් ලෙස දකින්නේ නැහැ.
මෙහි දැන් තිබෙන අඹ ගස තිස්ස රජු මීට පෙර දැක හඳුනාගෙන නැහැ. ඒ නිසා, මිහිඳු හිමි විසින් පළමු ප්‍රශ්නය අහන විට තිස්ස රජුට එම අඹ ගස ගැන නිශ්චිත දැනුමක් නැහැ. ඔහුට පුළුවන්කම තිබෙන්නේ තමන්ගේ දැනුම උපයෝගී කරගෙන "ගස" කියන වියුක්ත අදහස ඇතුලේ තිබෙන අවිනිශ්චිතතාවය "අඹ ගස" දක්වා අඩු කිරීම පමණයි. සාමාන්‍යයෙන් දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ මෙයයි.
දැනුම වැඩි වැඩියෙන් ලබා ගනිද්දී අපට වඩා අවිනිශ්චිත දේ අඩුවෙන් අවිනිශ්චිත සේ පෙනෙන්නට ගන්නවා. ඒ සමඟම අපට වඩා හොඳින් ලෝකය තේරුම් ගැනීම සඳහා වඩ වඩා දැනුම ලබා ගැනීමේ ලෝභයක් ඇති වෙනවා. ඒ අනුව අප වැඩි වැඩියෙන් දැනුම සොයා යනවා. අප එකිනෙකා විසින් සොයා යන දැනුම වගේම දැනුම සොයා යන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. එහෙත් අපි කවුරුත් අපේම ක්‍රමයකට නිරන්තරයෙන් දැනුම සොයා යනවා. මෙය එක් ආකාරයක තණ්හාවක්.
මේ ක්‍රියාවලිය නවතින්නේ කොහොමද? යමෙක් යමක් නිශ්චිත සේ දැනගත් බව "දැනගත්" වහාම තවදුරටත් දැනුම සොයා යාමේ ලෝභය තුනී වී යනවා. සමස්තයක් ලෙස නෙමෙයි. යම් නිශ්චිත කරුණක් හා අදාළව. උදාහරණයක් විදිහට යම් කෙනෙකුට වියලි කැස්සක් හැදුනහම ඒ කෝවිඩ්ද කියා සැකයක් ඇති වෙනවා. මේ අවිනිශ්චිතතාවය විසින් දැනුම සොයා ගොස් අවිනිශ්චිතතාවය අඩු කර ගැනීමේ ලෝභයක් ඇති වෙනවා. මේ කාරණාවේදී දැනුම තිබෙන්නේ පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵලය.
පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය පරම සත්‍යයක් ලෙස විශ්වාස කරන අයෙකු විසින් තමන් නෙගටිව්ද පොසිටිව්ද කියා දැනගත් වහාම එම පුද්ගලයාට සාපේක්ෂව නොදැනුම නැති වී යනවා. දැන් තමන්ට කෝවිඩ් තිබෙන බව හෝ නොතිබෙන බව නිශ්චිතවම දන්නා නිසා තවදුරටත් අවිනිශ්චිත භාවයක් නැහැ. අවිනිශ්චිතතාවය අඩු කර ගැනීම සඳහා දැනුම සොයා යාමේ ලෝභයක් නැහැ. නමුත්, පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය සැක කරන අයෙකුගේ අවිනිශ්චිතතාවය අඩු වනවා මිස නැති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනුම සොයා යාමේ ලෝභයත් අඩු වෙන්නේ නැහැ.
පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය පරම සත්‍යයක් ලෙස විශ්වාස කරන අයෙකුගේ ලෝභය කෙළවර වන්නේ මෝහයකින්. තමන්ගේ නොදැනුම පිළිබඳ සැකය දුරු වූ වහාම දැනුම සොයා යාමේ ලෝභය අවසන් වී එය මෝහයක් බවට හැරෙනවා. වැඩිපුර සැක නොකරන කෙනෙක් ඉතා පහසුවෙන් හැම දෙයක්ම "දැන ගන්නවා". දිගින් දිගටම සැක කරන පුද්ගලයා දිගින් දිගටම දැනුම සොයා යනවා. යම් දැනුමක් නිශ්චිත දැනුමක් සේ හඳුනාගත් වහාම අදාළ කරුණ පිළිබඳව දැනුම සොයා යාමේ ලෝභය මෝහයක් බවට හැරෙනවා දැනුම කියන දෙයම සැක කරන්නට පෙළඹෙන තුරු දැනුම සොයා යාමේ ලෝභය අවසන් වන්නේ නැහැ.
"ඒ ගස් සියල්ල හැර තවත් ගස් තියෙනවා ද ?"
"ඇත ස්වාමීනි..ඒ මෙම අඹ ගසයි."
පළමු ප්‍රශ්න වටය අවසන් වී, ලෝකය වටේ ගොස් ආපසු මුලින් පටන් ගත් අඹ ගස ළඟටම එන විට තිස්ස රජුට හමු වන්නේ කලින් දැන සිටි අඹ ගසක්. පළමු ප්‍රශ්නය අසද්දී එම අඹ ගස ගැන සුවිශේෂී දැනුමක් නොතිබුණත් දැන් එවැනි දැනුමක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවානම් පළමු ප්‍රශ්නය අහද්දී තිස්ස රජු ඉදිරියේ තිබුණේ "a mango tree" එකක් වුවත් දැන් එහි තිබෙන්නේ "the mango tree" එකක්. එම නිශ්චිත අඹ ගස පිළිබඳ සංකල්පයක් ඒ වෙද්දී තිස්ස රජුගේ මනසේ තිබෙනවා. අවසන් ප්‍රශ්නයට පිළිතුරු දෙන විට ඔහු දකින්නේ තමන්ගේ මනසේ තිබෙන නිශ්චිත අඹ ගසක්. තිස්ස රජුගේ මනසේ කලින් නොතිබුණු දැනුමක් වූ එම නිශ්චිත අඹ ගස පිළිබඳ දැනුම අලුත් සංකල්පයක් ලෙස ඔහුගේ මනසේ පැලපදියම් වීමෙන් පසුව ඔහුට එම දැනුම පිළිබඳව තවදුරටත් සැකයක් නැහැ. එය පරම සත්‍යයක්, ඇත්තටම පවතින දෙයක් බවට පත් වෙනවා.
දෙවන ප්‍රශ්න වටයත් මේ විදිහටම යනවා. මුල් වටය නිශ්චිත අඹ ගහකින් අවසන් වුනා වගේම දෙවන වටය "මම" නම් වූ නිශ්චිත පුද්ගලයාගෙන් අවසන් වෙනවා. අර නිශ්චිත අඹ ගහ වගේම දැන් නිශ්චිත පුද්ගලයෙක් ඉන්නවා. නිශ්චිත අඹ ගහ ගැන දැනුමක් තිස්ස රජුට කලින් තිබුණේ නැතත්, මමනම් වූ පුද්ගලයා ගැන නිශ්චිත දැනුමක් තිස්ස රජුට මුල සිටම තිබෙනවා. පළමු වටයේ පළමු ප්‍රශ්නයට අනුරූප ප්‍රශ්නයක් දෙවන වටයේදී මිහිඳු හිමි විසින් අහන්නේ නැත්තේ ඒ නිසයි. පළමු වටයේදී මෙන් දෙවන වටයේදී තිස්ස රජු විසින් "මම"නම් වූ පුද්ගලයා පිළිබඳව අලුත් දැනුමක් සංස්කරණය කර ගන්නේ නැහැ. මමනම් වූ පුද්ගලයෙකු ඇත්තටම සිටින බව තිස්ස රජුගේ දැනුමක්. එහෙමනම් මේ දෙවන වටයේ තේරුම කුමක්ද?
මිහිඳු හිමිගේ ප්‍රශ්න ගැන නලින් ද සිල්වාගේ ප්‍රචලිත ප්‍රවාදයක් තිබෙනවා. ඒ නිසා, නලින් ද සිල්වා ඉල්ලුවේ නැතත්, නලින් නැට්ටන් මිහිඳු හිමිගේ ප්‍රශ්න ගැන කතා කිරීම වෙනුවෙන් රෝයල්ටි ඉල්ලන්න පුළුවන්. ධර්මසේන හිමි වෙනුවෙන් එහෙමත් ඉල්ලයිද දන්නේ නැහැ. මම කියන කතාව නලින් ද සිල්වාගේ කතාව නෙමෙයි. එයට විරුද්ධ කතාවකුත් නෙමෙයි. එයට සම්බන්ධයක් නැති වෙනම කතාවක්.
තමන් යමක් හරියටම දන්නවා කියන අදහස ඇතුළේ හැම විටම වගේ තිබෙන්නේ මුලාවක්. මම කියන පුද්ගලයා ඇත්තටම ඉන්න බව තිස්ස රජු දන්නවා. ඒ පිළිබඳව තිස්ස රජුට කිසිම සැකයක් නැහැ. එවැනි කෙනෙක් ඇත්තටම සිටිනවාද කියන එක ගැන තිස්ස රජු තුළ සැකයක් ඇති කරන්න මිහිඳු හිමිට අවශ්‍යයි. මම කියන අදහසම මුලාවක් බව පැහැදිලි කරන්න අවශ්‍යයි. එහෙත් එය පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා මිහිඳු හිමි වඩා පහසු අඹ ගහෙන් පටන් ගන්නවා. පළමු ප්‍රශ්න වටය අවසන් වෙද්දී තිස්ස රජුගේ මනසේ නැති අඹ ගහක් ඇති අඹ ගහක් බවට පත් වෙනවා. මේ ගැන තිබෙන දැනුම එක්ක මම කියන පුද්ගලයා හැදුනේත් මේ විදිහටම වෙන්න බැරිද කියන සැකය මිහිඳු රජුට ඇති වෙන්න පුළුවන්. එවැන්නක් ඒ වෙලාවේම වුනාද නැද්ද කියා මම දන්නේ නැහැ.
සිංහල භාෂාව තුළ නිශ්චිත ගහක් හා ගහ කියන වියුක්ත අදහස වෙන් කර හඳුනාගත හැකි නිශ්චිත ක්‍රමයක් නැහැ. ඒ වෙනස හඳුනාගන්න වෙන්නේ භාෂාව භාවිතා කිරීමෙනුයි. ගහ කියා කියන්නේ ඔය දෙකෙන් කුමක් හෝ වෙන්න පුළුවන්.
"ගහ කපන්නයි ආවේ" කියලා කවුරු හරි කියන කොට මේ කියන්නේ ටික දවසකට කලින් ඇවිත් කපලා දමන්න කියපු නිශ්චිත ගහක් ගැන බව අහන කෙනා බොහෝ විට දන්නවා. දන්නේ නැත්නම් "මොන ගහද?" කියලා අහයි. එහෙම අහන්නේත් මේ අහන්නේ කුමක් හෝ නිශ්චිත ගහක් ගැන බව දන්නා නිසා. එසේ වුවත්, "ගහ දන්න කෙනාට කොළ කඩා පාන්න එපා" කිවුවහම කවුරුවත් "මොන ගහද?" කියලා අහන්නේ නැහැ. මේ කියන්නේ ගහ කියන වියුක්ත සංකල්පය ගැන මිසක් නිශ්චිත ගහක් ගැන නොවන බව අහන පුද්ගලයා දන්නවා.
සමහර වෙලාවට වචන භාවිතය එකම වෙන්නත් පුළුවන්. කවුරු හරි "මනුස්සයා අන්තිම භයානක සතෙක්!" කියා කිවුවොත් ඒ කියන්නේ කවුරු හරි නිශ්චිත මනුස්සයෙක් ගැන වෙන්න පුළුවන් වගේම මනුස්සයා කියන වියුක්ත අදහස ගැන වෙන්නත් පුළුවන්. මේ ප්‍රකාශය කරන්නේ ධර්ම දේශනාවකට හරි වෙනත් දේශනාවකට හරි සවන් දුන්නට පස්සේනම් ඔය කියන්නේ "මනුස්සයා" කියන වියුක්ත අදහස ගැන වෙන්න පුළුවන්. එහෙත්, මේ ප්‍රකාශය කරන්නේ කවුරු හරි මනුස්සයෙක් ගෙදර ඇවිත් ආපහු ගියාට පස්සේනම් ඔය කියන්නේ ඒ මනුස්සයා ගැනයි.
ඉංග්‍රීසි භාෂාවේ මේ පැටලිල්ල නැහැ. එක්කෝ "man". නැත්නම් "the man". භාෂාවේ ඔය අවුල නැති නිසා ඉංග්‍රීසි භාෂාව මුල් බස වූ අයෙක් වියුක්ත සංකල්ප හා සංයුක්ත නිරීක්ෂණ පටලවා ගන්නේ අඩුවෙන්. සිංහලයින්ට වියුක්තව හිතන්න අමාරු වෙන්න පොදුවේ ආගමට හෝ සංස්කෘතියට වඩා භාෂාවේ මේ අවුල බලපානවා.