Saturday, July 18, 2020
ණයෙන් හුළං ගසා රුපියල උඩ යැවීම
චීන වත්කම් ගැන ලියූ ලිපියෙන් මා ඉදිරිපත් කළේ අලුත් අදහසක් නෙමෙයි. එහි මා ලියා තිබෙන්නේ මේ බ්ලොග් එක පටන් ගත් කාලයේ සිටම දිගින් දිගටම කියන කතාවක්. එහෙත්, මෙවර එම ලිපියට වෙනදා තරම් විරෝධයක් ආවේ නැහැ. මම හිතන්නේ එයට හේතුව චීන සන්දර්භයේ මේ අදහස ඉදිරිපත් කිරීමයි.
මේ කතාවම මීට පෙර යහපාලන ආණ්ඩු කාලයේදී කියද්දී ගොඩක් අය එය තේරුම් ගත්තේ එජාපයට වාසිදායක ප්‍රකාශයක් විදිහටයි. එහෙත් දැන් එජාප සාධකය නොමැති වීම මේ වෙනසට එක් හේතුවක් වෙන්න පුළුවන්. එක පැත්තකින් දැන් එජාප ආණ්ඩුවක් නැහැ. අනෙක් පැත්තෙන් එජාපයට මෙවර මහ මැතිවරණයෙන් බලයට පත් වීමේ විභවයක් නැහැ. ඒ නිසා, ඉතා පැහැදිලිවම දැන් මේ සමීකරණයේ එජාපය නැහැ.
එජාපය නැතත් ලංකාවේ ආර්ථික අර්බුදය අවසන් වී නැහැ. එය වඩා උග්‍ර වී තිබෙනවා පමණයි. ඒ නිසා, කාලයක් තිස්සේ මෙහි ලියූ දේවල් කිසිවක් අවලංගු වී නැහැ.
ඓතිහාසිකව ගත්තොත් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට කිසිදු ප්‍රබල දේශපාලන මතවාදයක් තිබුණේ නැහැ. එජාපය වගේම ශ්‍රීලනිපයත් කටයුතු කළේ බොහෝ දුරට ජනප්‍රියවාදය හා අවස්ථාවාදය මත පදනම්වයි. දැනටත් එජාපය හෝ එයින් කැඩී ගිය සමගි ජන බලවේගය ලංකාව ඇතුළේ කිසිදු ශක්තිමත් දේශපාලන මතවාදයක් පෝෂණය කරන්නේ නැහැ.
දැනට ලංකාවේ යම් කිසි ජනපදනමක් තිබෙන දේශපාලන මතවාද දෙක ජවිපෙ මාක්ස්වාදය හා රාජපක්ෂලාගේ ජාතිකවාදයයි. ජවිපෙ මාක්ස්වාදය ජවිපෙට වගේම ලංකාවටත් පිටින් වර්ධනය වී ජවිපෙ විසින් තමන්ට අවශ්‍ය ආකාරයට හදාගත් එකක්. රාජපක්ෂලාගේ ජාතිකවාදය ලංකාව ඇතුළේ රාජපක්ෂලාට පරිබාහිරව වර්ධනය වී රාජපක්ෂලා විසින් තමන්ට අවශ්‍ය තරමට අයිති කරගත් එකක්. මේ බ්ලොග් එක කියවන බොහෝ දුරට ස්වාධීනව හිතන විශාල පිරිසක් අතරේ ඉහත කණ්ඩායම් දෙකේ අයත් ඉන්නවා. අප ලියන ලිපි වලින් බොහෝ විට සිත් රිදීම් ඇති කර ගන්නේ එම කණ්ඩායම් දෙකෙන් එකක සිටින අයයි.
ප්‍රතිවිරුද්ධ මතවාද දැරුවත් ඉහත කුලක දෙකේම සිටින සැලකිය යුතු පිරිසකගේ යම් පොදු ලක්ෂණ ටිකක් තිබෙනවා. බටහිර විරෝධය, ඇමරිකන් භීතිකාව, චීන ආදරය, විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් පෙනී සිටීම, ආර්ථික ආරක්ෂණවාදයක් වෙනුවෙන් පෙනී සිටීම ආදිය ඒ පොදු ලක්ෂණයි. සමහර විට මේ ලක්ෂණ ශ්‍රී ලාංකික සමාජය ඇතුළේ පක්ෂ දේශපාලනයට පිටින් තිබෙන පොදු ලක්ෂණ වෙන්නත් පුළුවන්.
ඇතැම් විට චීන වත්කම් ලිපියට ලොකු ප්‍රතිරෝධයක් නො ආවේ එය ස්ථානගත කර තිබෙන ආකාරය නිසා වෙන්න පුළුවන්. ඇමරිකාව කරන දෙයක්නම් කීයටවත් හරි දෙයක් වෙන්න බැහැ. හැබැයි චීනය කරන දෙයක්නම් එතැන මොකක් හරි තේරුමක් තියෙන්න පුළුවන්!
සමහර විට මෙය ඒ තරම් බරපතල දෙයක් නොවෙන්නත් පුළුවන්. ලිපියේ විවේචකයන් විය හැකි අය මේ වෙලාවේ මහ මැතිවරණය වෙනුවෙන් වැඩ නිසා මෙහි ඇවිත් බ්ලොග් ලිපි කියවන්න වෙලාවක් නැතිව ඇති.
කොහොම වුවත් එක් පාඨකයෙක් විසින් මේ ලිපිය කියැවූ පසු ඇසිය යුතු වැදගත්ම ප්රශ්නය අසා තිබෙනවා.
"ඇයි ලංකාව ණය වෙලා හරි රුපියල ශක්තිමත් කරන්නෙ? අපිත් චීනේ වගේ බාල්දු කළානම් හුඟක් ප්‍රශ්න විසඳෙනවනේ!"
මේ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් ලෙස මා සඳහන් කළ පරිදි මේ ප්රශ්නය ඇතුළේ ලංකාවේ සමස්ත ආර්ථික-දේශපාලන අර්බුදයම කැටි වී තිබෙනවා. අවාසනාවට මේ කරුණ කවරෙකු විසින්වත් පුළුල් ලෙස විග්රහ කර නැහැ. ඒ නිසා, මේ කියන කරුණේ බැරෑරුම්කම ගැන ලංකාවේ බොහෝ දෙනෙකුට හරි අදහසක් නැහැ. එවැනි හරි අදහසක් එන කොට බොහෝ විට පරක්කු වැඩි වී තියෙයි.
රුපියල ශක්තිමත් කිරීම මම කියන තරම්ම නරකනම්, එය ඉතා පැහැදිලිනම්, ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම ඒ වැඩේ කරන්නේ ඇයි? මම මේ කරුණ නිශ්චිත ලෙස පැහැදිලි කළේ නැත්නම් මගේ පෙර තර්කය විශ්වාසනීය එකක් කියා ගොඩක් අය තේරුම් ගන්න එකක් නැහැ. විශාල පිරිසක් එකතු වෙලා කාලයක් තිස්සේ කරන දෙයක් මේ බ්ලොග් පඩංගුවක ලියා තිබෙන දෙයක් නිසා වැරදියි කියා අහක දමන්න පුළුවන්ද?
මේ කරුණ තේරුම් ගන්න ලංකාවේ ආණ්ඩු ඇතුළු ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් දිගින් දිගටම ණය වෙලා හරි රුපියල ශක්තිමත්ව තියා ගන්න දඟලන්නේ ඇයි කියන කරුණ පැහැදිලි කරන්න වෙනවා. ඉතා කෙටි පිළිතුරක් දෙනවානම් ලංකාවේ පෙනෙන්නට තිබෙන සමස්ත ආර්ථික සෞභාග්‍යයම රඳා පවතින්නේ මේ විදිහට ණය ගනිමින් රුපියල ශක්තිමත්ව තබා ගැනීම මතයි.
දැන් අපි තරමක් දිගු පැහැදිලි කිරීමක් කරා යමු.
රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්‍රධාන ඉලක්ක මොනවාද?
- දළ ජාතික නිෂ්පාදිතය ඉහළ දමා ගැනීම
- විරැකියා අනුපාතිකය පහළ දමා ගැනීම
- උද්ධමනය පහළ දමා ගැනීම
ප්‍රධානම කරුණු තුන මේ තුනයි. අනෙක් හැම දෙයක්ම ද්වීතියිකයි. ඔය ඉලක්ක තුන සැපිරී ඇත්නම් අවශේෂ දේවල් බොහෝ විට ඉබේටම වගේ හරියනවා. පැහැදිලි නැති කරුණක් ඇත්නම් ප්‍රශ්න ඇහුවොත් පැහැදිලි කළ හැකියි.
විදේශ ණය ගනිමින් රුපියල ශක්තිමත් කිරීම මේ ඉලක්ක අත්පත් කර ගැනීමට උදවු වෙන්නේ කොහොමද?
අපි දළ ජාතික නිෂ්පාදිතය ගනිමු. මෙයින් අදහස් වෙන්නේ සැබෑ, භෞතික වර්ධනයක්. පසුගිය අවුරුද්දේ මාළු ටොන් 100ක් ඇල්ලුවානම්, මේ අවුරුද්දේ මාළු ටොන් 105ක් ඇල්ලුවානම්, එය 5%ක වර්ධනයක්. මේ වර්ධනය ලැබෙන්නේ කොහොමද?
- ධීවරයින් ගණන වැඩි වීමෙන් (ශ්‍රමය)
- ධීවර බෝට්ටු ඇතුළු ධීවර ආම්පන්න ප්‍රමාණය වැඩි වීමෙන් (ප්රාග්ධනය)
- එක් ධීවරයෙකු විසින් අල්ලන මාළු ප්‍රමාණය වැඩි වීමෙන් (තාක්ෂනය/ ඵලදායීතාවය)
මොන විදිහකින් හරි එක වර ප්රාග්ධනය සැලකිය යුතු ලෙස ඉහළ ගියොත් ධීවර බෝට්ටු ඇතුළු ධීවර ආම්පන්න ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. එවිට වැඩි ධීවරයින් පිරිසකට මුහුදු යන්න පුළුවන්. ඒ වගේම පරණ බෝට්ටු හා උපාංග වෙනුවට අලුත් තාක්ෂනය සහිත උපාංග ආවොත් එක් ධීවරයෙකු විසින් අල්ලන මාළු ප්‍රමාණයත් වැඩි වෙනවා. ප්රශ්නය වන්නේ ඒ විදිහට එක වර ප්රාග්ධනය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි ආකාරයක් තිබෙනවද?
අපි හිතමු සමස්තයක් ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන අය විසින් ණය ලෙස කර්මාන්තයට පිටතින් ප්රාග්ධනය ලබා ගන්නවා කියලා. ඒ ණය ලබා ගන්නේ රට ඇතුළෙන්මයි කියා සිතමු. දැන් ධීවර අංශයේ නිෂ්පාදිතය ඉහළ යනවා. නමුත්, මේ විදිහට ධීවර අංශයට ප්රාග්ධනය එනකොට වෙන කවර හෝ අංශයකට ප්රාග්ධනය යන එක අඩු වෙන්නත් ඕනෑනේ. ඒ නිසා, සමස්තයක් විදිහට මේ වැඩෙන් ලොකු මැජික් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දළ ජාතික නිෂ්පාදිතය විශාල ලෙස ඉහළ යන්නේ නැහැ. එක අංශයක නිෂ්පාදිතය ඉහළ යද්දී වෙනත් අංශයක නිෂ්පාදිතය පහළ යනවා.
නමුත්, විදේශ ණය ලබා ගත්තහම තත්ත්වය වෙනස්. දැන් ලංකාවේ ධීවර අංශයට ප්රාග්ධනය ගලා ගෙන එන්නේ ලංකාවේම වෙනත් අංශයකින් නෙමෙයි. ඒ නිසා, ධීවර අංශයේ නිෂ්පාදිතය ඉහළ යද්දී වෙන අංශයක නිෂ්පාදිතය අඩු වෙන්නේ නැහැ. පළමු වටයේදී වැඩේ ගොඩ. ධීවර අංශයේ නිෂ්පාදිතය ඉහළ යනවා. විදේශ ණය වෙනුවට සෘජු විදේශ ආයෝජනයක් හෝ කළඹ ආයෝජනයක් (portfolio investment) ආවත් ප්‍රශ්නයක් නැහැ. ඔය වැඩේම වෙනවා.
හැබැයි පොඩි අවුලක් තිබෙනවා. දේශීය ණය (හෝ වෙනත් ආකාර වල ප්රාග්ධනය) අරගෙන ධීවර කර්මාන්තය වර්ධනය කළොත් ඒ ලබාගත් ප්රාග්ධනය වෙනුවෙන් ගෙවන ප්‍රතිලාභත් රට ඇතුළේම ඉතිරි වෙනවා. විදේශ ප්රාග්ධනය ලබාගත් විට ඒ ප්රතිලාභ රටෙන් පිටට යනවා. දැන් සංඛ්‍යාලේඛණ බලපුවහම ලංකාවේ ආර්ථික වර්ධනය වැඩි වෙලා. විරැකියාව අඩු වෙලා. හැබැයි ඒ විදිහට ආර්ථික වර්ධනය වැඩි වීමේ හා විරැකියාව අඩු වීමේ වාසිය ලබාගෙන තියෙන්නේ රටෙන් පිටත සිටින කෙනෙක්.
දැන් ඊළඟ වටයේදී අවුලක් වෙනවා. ධීවර කර්මාන්තය ඇතුළේ කලින් තිබුණු තරමටවත් ප්රාග්ධනය නැහැ. කර්මාන්තය කඩා වැටෙනවා. හැබැයි ඔය වැඩේ වෙන්නේ ප්රාග්ධනය ලබා දුන් විදේශිකයා තමන්ගේ ප්රාග්ධනයේ ප්රතිලාභ සියල්ල අරන් ගියොත්. එහෙම නොකර එම ප්රතිලාභ නැවත රට ඇතුළේම ආයෝජනය කළොත් අවුලක් නැහැ. විදේශ ණය හා අදාළව ගත්තොත් පසුගිය වසරේ ලබාගත් විදේශ ණය හා ඒ විදේශ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලියට වඩා වැඩි මුදලක් මේ අවුරුද්දේ විදේශ ණය ලෙස නැවත ලබා ගන්නා තුරු ආර්ථික වර්ධනය පවත්වා ගන්න පුළුවන්. ණය ගැනීම අඩු කළ ගමන්ම ආර්ථික වර්ධනය නැවතෙනවා. ණය නොගෙන හිටියොත් ආර්ථිකය ක්ෂණිකව කඩා වැටෙනවා.
මෙහිදී සාකච්ඡා කළේ විදේශ ණය ගැනීම පිළිබඳවයි. විදේශ ණය රාජ්‍ය ණයම විය යුතු නැහැ. පෞද්ගලික අංශය විසින් සෘජුව ලබා ගන්නා ණය වෙන්නත් පුළුවන්.
දැන් අපි රාජ්‍ය ණය කියන කරුණ සාකච්ඡාවට ගනිමු. සරල කරුණක් විදිහට ගත්තොත් රජය විශාල කිරීමෙන්, එහෙමත් නැත්නම් වැඩි වැඩියෙන් රාජ්‍ය සේවකයින් බඳවා ගැනීමෙන්, රටේ විරැකියා අනුපාතය අඩු කරන්න පුළුවන්. වෙන කිසිදු හානියක් නැත්නම්, විරැකියා අනුපාතය අඩුවීම හොඳ බව ඉතාම පැහැදිලියිනේ.
අලුතින් බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ට රජයෙන් වැටුප් හිමි වෙනවා. ඒ කියන්නේ රටේ සමස්ත ආදායම ඉහළ යනවා. හැබැයි අනික් පැත්තට රජය විසින් මේ වියදම් බදු ලෙස අය කර ගත යුතුයි. ඒ විදිහට අය කර ගන්න වෙන්නේ රටේ වෙනත් කවුරු හෝ ඉපැයූ ආදායමක්. ඒ කියන්නේ ඇත්තටම රටේ සමස්ත ආදායම ඉහළ යන්නේ නැහැ. එහෙම වෙන්නනම් රජය මේ අලුත් සේවකයින්ට වැටුප් ගෙවිය යුත්තේ බදු ඉහළ නොදමමින්. ඒ කියන්නේ අයවැය හිඟයක් පවත්වා ගනිමින්.
දැන් රජයේ අයවැය හිඟය පියවීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. එක විසඳුමක් වන්නේ දේශීය ණය ගැනීම. හැබැයි එවිට රටේ ජාතික ආදායම සමස්තයක් ලෙස ඉහළ යන්නේ නැහැ. එක් කෙනෙක්ගේ ආදායමෙන් කොටසක් අරගෙන වෙන කෙනෙකුට දෙන එක පමණයි. ඒ නිසා, ඒ වැඩෙන් ආර්ථිකය පුම්බන්න බැහැ. ඉතිරි ක්‍රම දෙක විදේශ ණය ගැනීම හා මහ බැංකුවෙන් ණය ගැනීම හෙවත් සල්ලි අච්චු ගැසීමයි. මේ කරුණු දෙකත් එකිනෙකට සම්බන්ධයි.
අපි දන්නවා සල්ලි අච්චු ගැසීම එහෙමත් නැත්නම් මහ බැංකුවෙන් ණය ගැනීම උද්ධමනයට හේතු වන බව. මේ කරුණ මා වරින් වර පැහැදිලි කර තිබුණත් මේ ලිපියේ පැහැදිලි කර නැති නිසා පසුව නැවත විස්තර කරන්නම්. දැනට අපි මේ කරුණ එළෙස පිළිගනිමු.
රජය විසින් විදේශ ණය අරගෙන ඒ විදේශ ව්‍යවහාර මුදල් මහ බැංකුවට දී මහ බැංකුවෙන් රුපියල් අරගෙන වියදම් කළා කියා හිතමු. එහෙම කළත් අන්තිමට වෙන්නේ රටේ මුදල් සැපයුම ඉහළ යාමයි. ඒ කියන්නේ අවසාන වශයෙන් උද්ධමනයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා, විදේශ ණය ලෙස ලබා ගන්නා ඩොලර් සියල්ල මහ බැංකුවේ සංචිත ලෙස තබා ගැනීමත් රටේ උද්ධමනය පාලනය කර ගැනීමත් කියන දෙකම එකවර කිරීම සෛද්ධාන්තිකවම කරන්න බැහැ. විදේශ ණය ගන්නා අතරම උද්ධමනයත් පාලනය කරන්නනම් අනිවාර්යයෙන්ම ඒ විදේශ ණය වැය කර අපනයන ආදායම් ඉක්මවා භාණ්ඩ ආනයනය කරන්න වෙනවා. පළමුව වෙළඳ ශේෂ හිඟයත්, දෙවනුව ජංගම ගිණුම් ශේෂයේ හිඟයත් පුළුල් වෙන්න ඉඩ අරින්නම වෙනවා.
දැන් අපි උද්ධමනය කියන කරුණට එමු. ඉතාම සරල උදාහරණයක් ගනිමු. ලංකාවේ එකම නිෂ්පාදිතය පොල් පමණයි. වසරකට ලංකාවේ පොල් ගෙඩි 100ක් නිපදවනවා. රටේ මුදල් සැපයුම රුපියල් 10,000යි. අපේ පහසුව සඳහා රුපියලක් වසරකදී ගනුදෙනු සඳහා යොදා ගන්නේ වරක් පමණයි කියා හිතමු. දැන් පොල්ගෙඩියක මිල රුපියල් 100ක් ලෙස තීරණය වෙනවා. පොල් නිෂ්පාදිතය ගෙඩි 125ක් වී මුදල් සැපයුම වෙනස් වුනේ නැත්නම් පොල් ගෙඩියක් රුපියල් 80 දක්වා පහළ වැටෙනවා. පොල් නිෂ්පාදිතය ගෙඩි 80ක් දක්වා අඩු වී වී මුදල් සැපයුම වෙනස් වුනේ නැත්නම් පොල් ගෙඩියක් රුපියල් 125 දක්වා ඉහළ යනවා. පොල් නිෂ්පාදිතය 100 ලෙසම තිබියදී මහ බැංකුව මුදල් සැපයුම රුපියල් 12,000 දක්වා වැඩි කළොත් පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ යනවා.
අපි හිතමු රජය දේශීය ණය ලෙස රුපියල් 2000ක් ලබාගෙන රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. එහෙම නැත්නම් කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදවනවා. මේ වැඩෙන් රටේ මුදල් සැපයුම වැඩි වෙන්නේ නැහැ. රටේ මුදල් සැපයුම තිබුණේ රුපියල් 10,000 ලෙසනම් ණය ලෙස ලබා ගන්නේ එම මුදලින් රුපියල් 2000ක්. එය නැවත ආර්ථිකයට එකතු වෙනවා. ඒ නිසා මිල මට්ටමේ වෙනසක් වෙන්නේ නැහැ.
මේ වැඩෙන් රාජ්‍ය අංශයේ රැකියා ප්‍රමාණය ඉහළ යනවා. ඒ නිසා දළ දේශීය නිෂ්පාදිතයට යම් ධනාත්මක බලපෑමක් ඇති වෙනවා. නමුත්, ඒ එක්කම ධීවර කර්මාන්තය වගේ කිසියම් අංශයකට ලැබෙන්න තිබුණු ප්‍රාග්ධන ප්‍රවාහ අඩු වෙනවා. මොකද රජය විසින් අර රුපියල් 2000 එකතු කර ගත්තේ නැත්නම් ඒ මුදල වෙනත් කවර හෝ අංශයක ආයෝජනය වෙනවා. දැන් එය වෙන්නේ නැහැ. ඒ නිසා, රාජ්‍ය අංශයෙන් පිටත නිෂ්පාදිතය අඩු වෙනවා. විරැකියාව ඉහළ යනවා. අන්තිමට රටට ලැබුණු සමස්ත වාසියක් නැහැ.
මේ රුපියල් 2000 ණය ලෙස ගත්තේ මහ බැංකුවෙන්නම් ඉහත කී පරිදි දළ දේශීය නිෂ්පාදිතයට හා විරැකියා අනුපාතිකයට සිදු වන සාධනීය බලපෑම නිශේධනය වන්නේ නැහැ. නමුත්, මෙය උද්ධමනයට හේතු වෙනවා. කලින් රුපියල් 100ක් වූ පොල් ගෙඩිය රුපියල් 120ක් වෙනවා. ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට පරිභෝජනය කළ හැකිව තිබුණු පොල් ප්‍රමාණය 1/6කින් අඩු වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් රාජ්‍ය අංශයෙන් පිටත සිටි අය පරිභෝජනය කළ පොල් ගෙඩි 6කින් එකක් රාජ්‍ය අංශය ඇතුළේ ඉන්න අය විසින් පරිභෝජනය කරන්න පටන් ගන්නවා. මෙයත් බද්දක් වගේමයි. බද්දක් පෙනෙන්න නැති කම පමණයි වෙනස. ඒ නිසා සමස්තයක් ලෙස රටේ මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ.
දැන් අපි හිතමු රජය ඩොලර් 10ක ණයක් ගත්තා කියලා. ඊට පස්සේ මම යෝජනා කරන විදිහට මේ ඩොලර් 10 මහ බැංකුවට දී රුපියල් ලබා ගන්නවා. මහ බැංකුව විසින් ඩොලරයට රුපියල් 200 බැගින් රජයට ගෙවනවා. රජය අමතර රුපියල් 2000ක් වියදම් කරනවා. මහ බැංකුව විසින් මුදල් සැපයුමෙන් සමාන්තරව රුපියල් 2000ක් ආපසු ලබා ගත්තේ නැත්නම් මේ වැඩෙන් වෙන්නේත් උද්ධමනය ඉහළ යන එකයි. කලින් ක්‍රමයේදී වෙන දෙයමයි.
දැන් අපි මේ වගේ දෙයක් හිතමු. රජය විසින් ඩොලර් 20ක විදේශ ණයක් ගන්නවා. එයින් ඩොලර් 10ක් මහ බැංකුවට දී රුපියල් 2000ක් ලබා ගන්නවා. ඉතිරි ඩොලර් 10 වැය කර පොල් ගෙඩි 20ක් ආනයනය කර සහනාධාරයක් ලෙස බෙදා හරිනවා. ඒ එක්කම අර අමතර රුපියල් 2000 යොදවා රාජ්‍ය සේවය පුළුල් කරනවා.
මෙය සෘජුව නැතිව වක්‍ර ආකාරයකින් වුවත් සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ රජය විසින් ඩොලර් 20ම මහ බැංකුවට දී රුපියල් 4000ක් ලබාගෙන එම මුදල වියදම් කරනවා. මුදල් සැපයුම රුපියල් 4000කින් වැඩි වෙනවා. කවුරු හෝ කෙනෙක් එයින් රුපියල් 2000ක් නැවත මහ බැංකුවට දී ඩොලර් 10ක් ලබාගෙන එයින් පොල් ආනයනය කරනවා. අවසාන ප්‍රතිඵලය කලින් එකමයි. මුදල් සැපයුම අවසානයේදී රුපියල් 2000කින් වැඩි වෙනවා. නිල සංචිත ඩොලර් 10කින් වැඩි වෙනවා.
මේ වැඩෙන් විරැකියාව අඩු වෙනවා. ආර්ථික වර්ධනය වැඩි වෙනවා. එකම අවුල උද්ධමනය ඉහළ ගියොත් මේ වාසි නිශේධනය වෙන එකයි.
දැන් මුදල් සැපයුම රුපියල් 12,000ක් වෙලා. රටේ පොල් නිෂ්පාදිතය ඉහළ ගිහින් නැහැ. නමුත්, ආනයනය කළ පොල් ගෙඩි 20ත් සමඟ රටේ පොල් සැපයුම 120ක් වෙලා. මුදල් සැපයුම 20%කින් ඉහළ යද්දී පොල් ගෙඩි ගණනත් 20%කින් ඉහළ ගිහින්. ඒ නිසා උද්ධමනයක් නැහැ. දැන් අවසාන ප්‍රතිඵලය කුමක්ද?
- ආර්ථිකය වර්ධනය වෙලා. ඒක පුද්ගල ආදායම වැඩි වෙලා.
- විරැකියා අනුපාතය අඩු වෙලා.
- උද්ධමනය පාලනය වෙලා.
- විදේශ සංචිතත් ඉහළ ගිහින්.
අපි තවත් අමතර කරුණු ටිකක් දෙසත් බලමු. රජය විසින් වෙළඳපොළට එකතු කරන අමතර ඩොලර් 10 නිසා ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව ඩොලර් සැපයුම ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට රුපියල ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ රුපියල් 200ට වූ ඩොලරය රුපියල් 180ක් වෙනවා වගේ දෙයක් වෙන්න පුළුවන්.
දැන් මේ වැඩේ වුනේම විදේශ ණය අරගෙන වියදම් කිරීම නිසානේ. ඒ කියන්නේ විදේශ ණය ඩොලර් වලින් බැලුවොත් අනිවාර්යයෙන්ම ඉහළ ගිහින්. අපි හිතමු කලින් ඩොලර් 200ක විදේශ ණය තිබුණා කියලා. දැන් ඩොලර් 220ක විදේශ ණය තිබෙනවා. නමුත්, රුපියල් වලින් බැලුවොත් කොහොමද තත්ත්වය. කලින් විදේශ ණය ප්‍රමාණය 200x200 = රුපියල් 40,000යි. දැන් 220x180 = රුපියල් 39,600යි. කොහොමද ටිකිරි මොළේ? අන්තිමට ණයත් අඩු වෙලා.
රාජපක්ෂ රෙජීමයේ ආර්ථික කළමණාකරණය හරහා ළඟා කරගත් සෞභාග්‍යය ඔය වගේ සංකීර්ණ දෙයක්. බැලූ බැල්මටම පෙනෙන පරිදි සංඛ්‍යාලේඛණ හැම එකක්ම හොඳයි. ආර්ථික විද්‍යාව ගැන දැනුමක් හා පුහුණුවක් තිබෙන ස්වාධීන විශ්ලේෂකයින් ගොඩක් අයට මෙහි අවුලක් තිබෙන බව පේනවා. නමුත්, එය සාමාන්‍ය පුද්ගලයෙකුට තේරෙන විදිහට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. කොහොමටත් එවැනි ස්වාධීන විශ්ලේෂකයින් ලංකාවේ ඉන්නවානම් ඉන්නේ ඉතාම අඩුවෙන්.
අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය විසින් කළේ කාලයක් තිස්සේ සිදුවෙමින් තිබුණු ක්‍රියාවලියක් භයානක අන්තයකට තල්ලු කිරීම පමණයි. මේ ආර්ථික ආකෘතිය රාජපක්ෂලාගේම නිර්මාණයක් නෙමෙයි. නිදහසේ සිටම ක්‍රමිකව වර්ධනය වූ තත්ත්වයක ප්‍රතිඵලයක්. එක පැත්තකින් මේ සැලසුමේ නිර්මාණකරු ජේආර් කියා කියන්න පුළුවන්. එය ඔහු හැත්තෑ හතේදී පටන්ගත් ව්‍යාපෘතියක් නෙමෙයි. හතළිස් හතේදී පටන්ගත් ව්‍යාපෘතියක්.
මේ සියල්ල විස්තර කිරීමෙන් පසුවත් කියවන අයට මෙහි තිබෙන අවුල නොතේරෙන්න පුළුවන්. මේ ආර්ථික සැලසුමේ ප්‍රතිඵල මොනවාද?
- ආර්ථිකය වර්ධනය වෙලා. ඒක පුද්ගල ආදායම වැඩි වෙලා.
- විරැකියා අනුපාතය අඩු වෙලා.
- උද්ධමනය පාලනය වෙලා.
- විදේශ සංචිතත් ඉහළ ගිහින්.
- රුපියල ශක්තිමත් වෙලා.
- දදේනි අනුපාතිකයක් ලෙස රාජ්‍ය ණය පහළ ගිහින්.
ඔය වගේ තත්ත්වයක් පේන්න තියෙනවානම්, ඉතිං හත් දෙයියනේ මොකක්ද මේකේ තියෙන අවුල. හැම දේම මාර සිරාවට වෙලානේ.
කියවන අය අතර ඉංජිනේරු මිතුරන් ගොඩක් ඉන්නවනේ. අපි හිතමු අපිට තට්ටු පහක ගොඩනැගිල්ලක් හදන්න අවශ්‍යයි කියලා. අපි මුලින්ම ඔතැන පස් වල තත්ත්වය පරීක්ෂා කරලා අවශ්‍ය පමණ ශක්තිමත් පාදමක් දමනවානේ. දැන් අපි ඕකේ හතරවන තට්ටුවේ ස්ලැබ් එක දමද්දී ඔතැනට රාජ්‍ය බලධාරියෙක් එනවා. ඇවිත් නියම කරනවා ගොඩනැගිල්ල තට්ටු හයකට ගහන්න කියලා. නමුත්, පාදම සැලසුම් කරලා තියෙන්නේ තට්ටු පහක ගොඩනැගිල්ලකට. කරන්නම දෙයක් නැහැ. අන්තිමට වැඩේ කරනවා. දැන් තට්ටු හයයි.
ඔය ගොඩනැගිල්ල කඩා වැටෙනවද? ගොඩක් වෙලාවට කඩා වැටෙන්නේ නැහැ. මොකද තට්ටු පහකට සැලසුම් කළත් බොහෝ විට තට්ටු හයක් ගහන්න තරමට වුනත් පාදම ශක්තිමත්. සැලසුම හදලා තියෙන්නේ සේෆ්ටි ෆැක්ටර්ස් තියලා. දැන් මේ හය වන තට්ටුව කාපට් කරලා, ඒසී කරලා මාර ලස්සනට තිබෙනවා. අර රාජ්‍ය බලධාරියාට පුළුවන් පොර ටෝක් දෙන්න තමන්ගේ "අවුට් ඔෆ් ද බොක්ස්" ප්‍රවේශය ගැන. ඊට පස්සේ ඔය වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. හයට උඩින් හත් වෙනි තට්ටුවකුත් ගහනවා. ඒත් ගොඩනැගිල්ල කඩා වැටිලා නැහැ. නමුත්, එහි ස්ට්‍රක්චර් එක දවසින් දවස දුර්වල වෙනවා. එය පිටතට පේන්නේ නැහැ. ගොඩනැගිල්ලේ ඉන්න විට බයක් දැනෙන්නේ අදාළ ඉංජිනේරුමය දැනුම තිබෙන අයට පමණයි. අනෙක් අයට කිසිම අවුලක් නැහැ.
ඔය ගොඩනැගිල්ල සමහර විට කාලයක් කඩා නොවැටී තියෙන්න පුළුවන්. නමුත්, කාලයත් එක්ක එය කඩා වැටීමේ අවදානම ඉහළ යනවා. සුළි සුළඟක් වගේ ආපු වෙලාවක ඔය ගොඩනැගිල්ලේ ඉන්න එක අන්තිම භයානකයි. ලංකාවේ ආර්ථිකය ගත්තොත් කෝවිඩ් කියන්නේ ඒ වගේ සුළි සුළඟක්.
මේ ගොඩනැගිල්ල උඩට උස්සන්න අවශ්‍යනම් එය මුළුමනින්ම කඩා ඉවත් කරලා පාදම ශක්තිමත් කරන්න ඕනෑ. නමුත්, ඒ වැඩේ ජනප්‍රිය වැඩක් නෙමෙයි. ගොඩනැගිල්ල ඇතුළේ සැපට ඉන්න පුළුවන්. එය කඩා අළුතින් හදන්න මහන්සි වෙන්න ඕනෑ.
ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට දායක වන ප්‍රධාන කණ්ඩායම් තුනක් ඉන්නවා. පළමුව දේශපාලන අධිකාරිය එහෙමත් නැත්නම් බලයේ සිටින ආණ්ඩුව. දෙවනුව මහා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්. තෙවනුව මහ බැංකුව. දේශපාලන අධිකාරිය ගත්තොත්, හැම විටම වාගේ ආණ්ඩුවකට කර ගහන්න වෙන්නේ පරණ පවු වලට. උදාහරණයක් විදිහට ගෝඨාභය රාජපක්ෂට විසඳන්න වී තිබෙන්නේ ඊට පෙර ආණ්ඩු විසින් ඇති කළ ප්‍රශ්නයක්. යහපාලන ආණ්ඩුව හෝ ඊට පෙර රාජපක්ෂ රෙජීමය ගත්තත් එහෙමයි. ප්රශ්නය විසඳනවා කියා කියන්නේ ගොඩනැගිල්ල කඩා පාදම ශක්තිමත් කර අළුතින් හදන එක. එය දේශපාලනිකව වාසිදායක වැඩක් නෙමෙයි. තමන් ආණ්ඩු කරන වසර හතර පහ ඇතුළත ගොඩනැගිල්ල කඩා නොවැටෙනු ඇතැයි යන විශ්වාසය මත ප්රශ්නය අමතක කර සිටීම ඔවුන්ගේ පැත්තෙන් වාසිදායකයි.
මහා භාණ්ඩාගාරයේ හෝ මහ බැංකුවේ ඉහළ නිලධාරීන් ගත්තත් ඔවුන්ගේ තීරණ දේශපාලනිකයි. ප්රශ්නය විසඳනවාට වඩා කල් දැමීම ගොඩක් අයට පෞද්ගලිකව ලේසි වැඩක්. හැබැයි දැන් තත්ත්වය තව දුරටත් ඉදිරි ආණ්ඩුවකට පැටවීමට අසීරු තරමටම ඔඩු දුවා තිබෙනවා.
වඩාත්ම නිරවුල්ව ප්රශ්නය කුමක්ද?
පවතින ආකෘතිය යටතේ ප්‍රධාන ආර්ථික නිර්ණායක හැම එකක්ම හොඳින් පවතින බව සහතික කරන්න පුළුවන් වුනත් එසේ කළ හැක්කේ ඉතාම භයානක පූර්ව කොන්දේසි යටතේයි. ඒ පූර්ව කොන්දේසි මොනවාද?
- සෑම වසරකම දැනට ඇති විදේශ ණය පියවීමට අලුතෙන් විදේශ ණය ගත යුතුයි.
- දැනට ඇති විදේශ ණය සඳහා පොලී ගෙවීමටද අලුතෙන් විදේශ ණය ලබාගත යුතුයි.
- ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවත්වා ගැනීමටනම් ඉහත මට්ටම් ඉක්මවා තවත් විදේශ ණය ලබා ගත යුතුයි.
කෙටියෙන් කිවුවොත් හැම වසරකදීම අලුතින් විදේශ ණය ලබා ගත යුතුවාක් මෙන්ම එසේ අලුතින් ලබා ගන්නා විදේශ ණය ප්‍රමාණය වසරින් වසර ඉහළ දැමිය යුතුයි. මෙය සමාන කළ හැක්කේ පිරමිඩ් ක්රමයකටයි.
එක්සත් ජාතික පක්ෂය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ බටහිර රටවල් මේ පිරමිඩ් ආකෘතියට මූලධාර්මික ලෙස විරුද්ධ නැති බවත් මෙහිදී පැහැදිලිව කිව යුතුයි. රාජපක්ෂලා යටතේ විණිමය අනුපාතිකය පාලනය කිරීමට මහ බැංකුව මැදිහත් වන විට එක්සත් ජාතික පක්ෂය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ වන බව අපට බොහෝ විට පෙනෙන දෙයක්. මේ කණ්ඩායම් වල ස්ථාවරය වන්නේ විණිමය අනුපාතිකය ස්වාධීනව නිර්ණය වීමට ඉඩ හැරිය යුතු බවයි. යහපාලන ආණ්ඩුව කාලයේ ඔවුන් යම්තාක් දුරකට මේ ස්ථාවරයේ සිටියා. එහෙත්, මා කියන දෙය මෙයම නෙමෙයි.
මා කතා කරන්නේ මහ බැංකුව මැදිහත් නොවී යම් මොහොතක විදේශ විනිමය වෙළඳපොළ සමතුලිතතාව පවත්වා ගැනීම පිළිබඳව නෙමෙයි. එයින් ඔබ්බට ගොස් රටේ ශුද්ධ වත්කම් හා බැරකම් පරතරය සමතුලිත කරගැනීම ඉලක්ක කළ යුතු බවයි. සමතුලිත කර ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි බව පැහැදිලි වුවත්, අඩු වශයෙන් වත්කම් හා බැරකම් අතර පරතරය භයානක මට්ටමකට යා නොදී ස්ථාවර කර ගත යුතු බවයි. මේ කතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කියන කතාව හෝ බොහෝ නිදහස් මතධාරී ආර්ථික විද්‍යාඥයින් විසින් කියන කතාවම නෙමෙයි. විදේශ ණය අරගනිමින් විදේශ විනිමය වෙළඳපොළ සමතුලිතතාව පවත්වා ගැනීමේ වරදක් ඇතැයි ඔවුන් බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. එහෙත්, ලංකාවේ ආර්ථිකයේ ගෙල සිරකරන තොණ්ඩුව තිබෙන්නේ එතැනයි.
මා පෙර පෙන්වා දී ඇති පරිදි මේ වන විට ලංකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 45ක් පමණ වෙනවා. ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් තිබෙන චීනය වැනි රටකට ඉදිරි වසර පහක කාලය තුළ තවත් ඩොලර් බිලියන 15ක් ලංකාවට ණය ලෙස දෙන එක අසීරු වැඩක් නෙමෙයි. ඒ නිසා, මේ ආණ්ඩුවටත් ප්රශ්නය ඉදිරි ආණ්ඩුවකට තල්ලු කිරීම කළ නොහැකි දෙයක් නෙමෙයි. එය තීරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂට ප්රශ්නය තේරුම් ගැනීමට හැකි වනු ඇත්ද යන කරුණ මතයි. ඔහු ප්‍රශ්න කල් දැමීම වෙනුවට ස්ථිර විසඳුම් සෙවීමට කැමැත්තක් දක්වන බව පෙනෙන්නට ඇතත් පළමුව ඔහු මෙහි ප්‍රශ්නයක් තිබෙන බව තේරුම් ගත යුතුයි. එහෙත්, මේ ප්රශ්නය ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් තිබෙන බොහෝ දෙනෙකුට පවා හරියටම වටහා ගත නොහැකි සංකීර්ණ ප්‍රශ්නයක්.
මෙතෙක් ආර්ථික අගාධයක වැටී සිට "ගොඩගිය" රටවල් ලෙස සැලකිය හැකි ජර්මනිය, ජපානය, දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව වැනි හැම රටක්ම වාගේ බැරකම් ගොඩගසා ගැනීම වෙනුවට වත්කම් ගොඩගසා ගත් රටවල්. ලෝකයේ එක් එක් රටවල ශුද්ධ වත්කම් හා බැරකම් දෙස බැලූ විට ශුද්ධ විදේශ බැරකම් ඇති රටවල් ලෙස අපට ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව වැනි "හොඳින් ඉන්න" රටවල්ද හඳුනාගන්න පුළුවන්. මේ රටවල් වලට ශුද්ධ විදේශ බැරකම් අඩු කර ගත හැකි විකල්ප මාර්ගයක්ද තිබෙනවා. ඒ බැරකම් වල අයිතිය හිමි විදේශිකයාව ස්වදේශිකයෙකු කර ගැනීමයි. සංක්‍රමණිකයෙකුට පහසුවෙන් ස්වදේශිකයෙකු වීමට ඉඩ සලසන සංස්කෘතියක් ඇති රටක් සතුව ශුද්ධ බැරකම් තිබීම ප්‍රශ්නයක් වන්නේ අඩුවෙන්.
චීනය, ජපානය හෝ කොරියාව වැනි රටවල ඉහත සාධකය නැහැ. විදේශිකයෙකුට චීනයට සංක්‍රමණය වී චීනෙකු වෙන්න බැහැ. ජපානයට සංක්‍රමණය වී ජපනෙකු වෙන්න බැහැ. මෙවැනි තත්ත්වයක් ඇති රුසියාව හා මැද පෙරදිග කලාපයේ රටවලත් ශුද්ධ විදේශ බැරකම් වෙනුවට ශුද්ධ විදේශ වත්කම් තිබෙනු දැකිය හැකියි.
ලංකාව සිටින්නේත් මේ දෙවන ගොඩේ. විදේශිකයෙකුට ලංකාවට පැමිණ ලංකාවේ සංස්කෘතියට අවශෝෂණය වීම මේ වන විට නොකළ හැකි තරම් අසීරු වැඩක්. සැබෑවක් නොවුනත් MCC භීතිකාව පැතිරූ අය ජනගත කළ අදහසක් වුනේ ලංකාවේ ඉඩම් ඇමරිකානුවන් විසින් අයිති කර ගනු ඇති බවයි. යම් හෙයකින් ලංකාවේ ගම් වල අතරින් පතර ඇමරිකානුවන්, චීනුන් හෝ අප්‍රිකානුවන් පදිංචි වෙන්න පටන් ගත්තොත් එය බොහෝ දෙනෙකු දකිනු ඇත්තේ විශාල ප්‍රශ්නයක් ලෙසයි. එහෙත්, ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව වැනි රටක සමාජය මේ වන විට එවැනි දෙයකට හුරු වෙලා සිටිනවා.
ලංකාවේ මේ තත්ත්වය කෙටි කලකදී වෙනස් වෙයි කියා හිතන්න අමාරුයි. සංක්‍රමණිකයින් විශාල ලෙස පිළිගන්න ලංකාවේ සමාජය සූදානම් නැත්නම්, ශුද්ධ බැරකම් පුළුල් කර ගැනීම ගැන මීට වඩා බරපතල ලෙස හිතන්න වෙනවා. රැවුලයි කැඳයි දෙකම බේරගන්න බැහැ.
Friday, July 17, 2020
මහ මැතිවරණය හා කොරෝනා
අගෝස්තු 5 ලංකාවේ මීළඟ මහ මැතිවරණය සඳහා දින නියම වී තිබෙනවා. ඒ වරක් මේ දිනය කල් දැමීමෙන් පසුවයි. ඒ අතර නැවතත් රටේ කොරෝනා පැතිරෙනවා. එයට සමාන්තරව මැතිවරණය තවදුරටත් කල් දැමිය යුතු බවට අදහසක්ද ප්‍රචලිත වෙමින් තිබෙනවා.
මුලින්ම දින නියම කළ පරිදි ජූනි 20 මැතිවරණය පැවැත්වූවානම් ලොකු අවුලක් සිදු විය හැකිව නොතිබුණු බව දැන් අපි දන්නවා. එහෙත්, දැන් නැවත අතීතයට යන්න බැහැ. ඒ වගේම, මැතිවරණය කල් දමන විට පැවති අවිනිශ්චිත තත්ත්වයන් අනුව ඒ වෙලාවේ එවැනි තීරණයක් ගැනීමේ වැරැද්දක් නැහැ.
කොරෝනා ගැන තවමත් නොදන්නා දේ බොහොමයි. එහෙත්, මුලින් නොදැන සිටි බොහෝ දේ දැන් අපි දන්නවා. අඩු වශයෙන් වැඩිදුර නිගමන වලට ඉඩ සලසන සාක්ෂි රැසක් දැන් අප සතුයි.
- උණුසුම් කාලගුණයක් ඇති හෝ ආර්ද්‍රතාවය වැඩි රටවල් කොරෝනා රෝගයෙන් ආරක්ෂිත නැහැ.
- දුඹුරු හම තිබෙන හෝ ආසියානු සම්භවයක් තිබෙන අය කොරෝනා වලින් ආරක්ෂිත නැහැ.
- බීසීජී එන්නත ලබා ගෙන තිබීම නිසා කොරෝනා වලින් ආරක්ෂා වෙන්නේ නැහැ.
- ස්වභාවික ප්‍රතිශක්තිය ලැබී රෝගය අවසන් වීම ප්‍රායෝගික යථාර්තයක් නෙමෙයි.
- කොයි තරම් දැඩි ක්‍රියාමාර්ග ගත්තත් කොරෝනා මුළුමනින්ම තුරන් කිරීම අසීරුයි.
- වැලිසර හා කන්දකාඩු නිරීක්ෂණ අනුව ලංකාවේ තිබෙන "සාමාන්‍ය" තත්ත්වයන් යටතේ ඉතා වේගයෙන් රෝගය පැතිරෙන්න පුළුවන්.
- එහෙත් රෝගය පැතිරීම පාලනය කර ගැනීමේ හැකියාව අප සතුයි.
- එන්නත් කිරීමේ විකල්පය ලැබෙනු ඇත්තේ අඩු වශයෙන් ලබන වසර මුලදී.
- එන්නත් කිරීමෙන් පසුවද බොහෝ විට සාමූහික ප්‍රතිශක්ති මට්ටමට යන්න බැරි වෙන්න ඉඩ තිබෙනවා.
- එන්නත් කිරීමෙන් පසුවද බොහෝ විට ප්‍රතිශක්තිය දිගු කාලයක් පවතින එකක් නැහැ. වාර්ෂිකව කෝවිඩ් එන්නතක් ලබා ගන්න අවශ්‍ය විය හැකියි.
මේ කරුණු ඇතුළු තවත් කරුණු වලින් පෙනී යන්නේ ලංකාව වැනි රටකට වුවත් කෝවිඩ් සමඟ ජීවත් වීමට පුරුදු වීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.
කෝවිඩ් වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ග වල ආර්ථික හානිය ගැනත් දැන් අපට ඉතා පැහැදිලියි. ලංකාව වැනි රටකට වුවත් ආර්ථිකය අමතක කර කෝවිඩ් පැතිරීම ගැන හිතන්න පුළුවන්කමක් නැහැ. ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් සිදු වුනොත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙසත් විශාල ලෙස කෝවිඩ් පැතිරෙන්න පුළුවන්.
කෝවිඩ් වැළැක්වීම හා ආර්ථිකය බිඳ වට්ටා නොගැනීම වැදගත්. එහෙත්, ප්රජාතන්ත්රවාදයත් එසේම වැදගත්. මැතිවරණ කියන්නේ ප්රජාතන්ත්රවාදයේ අනිවාර්ය හා අත්‍යාවශ්‍ය අංගයක්. ඒ වගේම, විශේෂයෙන්ම මේ වගේ ආපදා අවස්ථාවකදී, රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්.
හැම දෙයකටම මිලක් තිබෙනවා. මේ වෙලාවේ මැතිවරණය පැවැත්වීමේත් මිලක් තිබෙනවා. එහෙත්, ඒ මිල ගෙවිය යුතු මිලක්.
මේ වගේ අවස්ථාවක මැතිවරණ ප්රචාරක කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන්නේ නැහැ. එහෙත්, එය නිශේධනීය කරුණකට වඩා සාධනීය කරුණක් කියා කියන්න පුළුවන්. ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයේ බොහෝ අංග නැති විය යුතු අංග මිසක් අමාරුවෙන් පවත්වා ගත යුතු අංග නෙමෙයි.
මේ මැතිවරණ ප්‍රතිඵලයේ යම් විකෘතියක් තිබීම පැහැදිලිවම සිදු විය හැකි කරුණක්. එහෙත්, එවැනි විකෘතියක් ලංකාවේ මැතිවරණ ඉතිහාසයට සාපේක්ෂව බැලූ විට බරපතල විකෘතියක් වීමේ ඉඩක් නැහැ.
මෙවර ඡන්ද භාවිතය සෑහෙන තරමකින් අඩු වෙයි. ඒ හේතුවෙන් යම් විකෘතියක් සිදු වෙයි.
ඡන්ද භාවිතය අඩු වී මැතිවරණ ප්‍රතිඵල විශාල ලෙස විකෘති වූ අවස්ථා කිහිපයක්ම ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ දැකිය හැකියි. හොඳම උදාහරණ වන්නේ 1989 හා 2005 ජනාධිපතිවරණයි. එම වසර වලදී මෙන් සමස්ත ප්‍රතිඵලය කණපිට හැරීමේ ඉඩක් මෙවර පෙනෙන්නට නැහැ.
මෙවර ජයග්‍රාහකයා පොහොට්ටුව වනු ඇති බව අවිවාදිත කරුණක්. ආණ්ඩුවේ ඉලක්ක මොනවා වුවත් ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව පවා ආණ්ඩුවට තුනෙන් දෙකක් ගැනීමේ හැකියාවක් පෙනෙන්න තිබුණේ නැහැ. ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී මිස වැඩි වී නැහැ.
අනෙක් අතට මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ විපක්ෂය වෙන කවර දාකටවත් වඩා දුර්වලව සිටියදී. ඒ නිසා, කොරෝනා නොතිබුණත් මේ මැතිවරණය බොහෝ විට ඇල්මැරුණු එකක්. කෝවිඩ් නිසා ඒ තත්ත්වය උග්‍ර වෙලා.
මහ මැතිවරණයක ප්‍රතිඵලය තීරණය වන්නේ දිස්ත්‍රික් මට්ටමින් නිසා ඡන්ද භාවිතය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වුනා කියා ලොකු විකෘතියක් වෙන්නේ නැහැ. එහෙත් වෙනත් ආකාර වල විකෘති සිදු විය හැකියි. උදාහරණයක් විදිහට පාවෙන ඡන්දදායකයින් බොහෝ පිරිසක් ඡන්දය භාවිතා නොකරන්න ඉඩ තිබෙනවා. එය පාක්ෂික ඡන්ද ගොඩක් තිබෙන පක්ෂයකට වාසියක්. ඒ වගේම, අඩු ඡන්ද ප්‍රමාණයක් ලබන පක්ෂයකට කොටෙන් ගොඩ යන එක වඩා පහසු වෙන්නත් ඉඩ තිබෙනවා.
මේ කරුණු වල සමස්ත ප්‍රතිඵලය පුරෝකථනය කිරීම අසීරුයි. කොහොම වුනත් කෝවිඩ් අස්සේ මැතිවරණය පැවැත්වුවා කියා කිසිදු දේශපාලන පක්ෂයකට විශාල අවාසියක් සිදු වෙනවා කියා කියන්න බැහැ.
මැතිවරණය නියමිත පරිදි නොපැවැත්වුවහොත් රටේ ව්‍යවස්ථාදායකයක් නැති වීමේ අඩුව දැනෙන්නනම් වැඩි දවසක් යන එකක් නැහැ.
Labels:
දේශපාලනය,
මැතිවරණ ප්‍රතිඵල,
වසංගත
Wednesday, July 15, 2020
චීන වත්කම්
ලංකාවේ වගේම ඇමරිකාවේත් ශුද්ධ බැරකම් ගැන කලින් ලිපියෙන් කතා කළා. මේ එක් එක් රටේ ශුද්ධ බැරකම් එම රට වල ජාතික ආදායමෙන් බාගයකට ටිකක් වැඩියි. ඇමරිකන් ඩොලර් බිලියන 84ක ජාතික ආදායමක් උපයන ලංකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 45ක්. ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 21.4ක ජාතික ආදායමක් උපයන ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 12.1ක්.
ඉහත සමානකම තිබුණත් ඇමරිකාවේ ශුද්ධ බැරකම් ලංකාවේ ශුද්ධ බැරකම් මෙන් රටට බරක් නොවන බව මම පැහැදිලි කළා. ඇමරිකාවේ ශුද්ධ බැරකම් මුළු බැරකම් ප්‍රමාණයෙන් 31%ක් පමණක් වුවත්, ලංකාවේ ශුද්ධ බැරකම් මුළු බැරකම් ප්‍රමාණයෙන් 77%ක් වීම මේ වෙනසට එක් හේතුවක්. එක් එක් රට තමන්ගේ වත්කම් වලින් උපයන හා බැරකම් වෙනුවෙන් ගෙවන පොලී අනුපාතික අතර වෙනස දෙවන හේතුවයි. කොහොම වුනත් ලෝකයේ විශාලතම ශුද්ධ බැරකම් සහිත රට ඇමරිකාව බව පැහැදිලි කරුණක්.
ලෝකයේ රටවල් අතරින් වැඩිම ශුද්ධ වත්කම් ඇති රටක් වන්නේ චීනයයි. 2020 මාර්තු අවසානයේදී ලෝකය පුරා වූ චීන වත්කම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 7,635.4ක් වෙද්දී චීනයේ බැරකම් වල වටිනාකම වුනේ ඇමරිකන් ඩොලර් බිලියන 5,498.1ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් ප්‍රමාණයක් චීනය සතුයි. එම ප්‍රමාණය චීනයේ මුළු බැරකම් ප්‍රමාණයෙන් 39%ක්.
ලංකාවේ ඩොලර් 100ක වත්කම් වලට සාපේක්ෂව බැරකම් ලෙස ඩොලර් 438ක් තිබෙනවා. ඇමරිකාවේ ඩොලර් 100ක වත්කම් සාපේක්ෂව වලට බැරකම් ලෙස ඩොලර් 145ක් තිබෙනවා. එහෙත්, චීනයේ ඩොලර් 100ක වත්කම් වලට සාපේක්ෂව බැරකම් තිබෙන්නේ ඩොලර් 72ක් පමණයි. වෙනස පැහැදිලියිනේ.
හැබැයි ශුද්ධ බැරකම් තිබුණු පලියටම ඇමරිකාවෙන් ප්රාග්ධනය පිටතට ගලා නොයන බව අපි පෙර ලිපියෙන් දැන ගත්තානේ. ඒ කියන්නේ ශුද්ධ වත්කම් තිබුණු පලියටම ප්රාග්ධනය රටක් ඇතුළට ගලා එන බවටත් සහතිකයක් නැහැ. ඒ නිසා, අපට චීනයේ වත්කම් හා බැරකම් වල සංයුතිය දෙසත් බලන්න වෙනවා.
පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී චීනයේ ශේෂ පත්රයයි. මෙයට හොංකොං ඇතුළත්ව නැහැ.
වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන)
සෘජු විදේශ ආයෝජන- 2,089.5
කළඹ ආයෝජන- 640.8
මූල්‍ය ව්‍යුත්පන්න- 10.5
වෙනත් ආයෝජන- 1,714.3
නිල සංචිත- 3,180.3
එකතුව- 7,635.4
බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන)
සෘජු විදේශ ආයෝජන- 2,906.4
කළඹ ආයෝජන- 1,263.2
මූල්‍ය ව්‍යුත්පන්න- 11.9
වෙනත් ආයෝජන- 1,316.6
එකතුව- 5,498.1
චීනයේ වත්කම් හා බැරකම් වල සංයුතිය දිහා බැලුවහම අපට කලින් නොපෙනුණු කරුණු කිහිපයක් පෙනෙනවා. රාජ්‍ය මැදිහත්වීම් වල බලපෑම අඩු සෘජු විදේශ ආයෝජන හා කළඹ ආයෝජන පමණක් සැලකුවොත් චීනයේ වත්කම් වලට වඩා බැරකම් වැඩියි. චීනයේ ශුද්ධ විදේශ වත්කම් වලට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ චීනය සතු විශාල විදේශ සංචිත ප්‍රමාණයයි.
චීනය සතු ඇමරිකන් ඩොලර් බිලියන 3,180.3ක නිල සංචිත වලින් ඇමරිකන් ඩොලර් බිලියන 3,060.6ක්ම විදේශ ව්‍යවහාර මුදල් සංචිත. මේ විදේශ ව්‍යවහාර මුදල් සංචිත තිබුණේ නැත්නම් චීනයේ ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් ශුද්ධ බැරකමක් බවට හැරෙනවා. මේ විදිහට සංචිත ලෙස එකතු වී තිබෙන්නේ කාලයක් තිස්සේ ඇමරිකාව සමඟ කළ විදේශ වෙළඳාමේ වෙළඳ ශේෂය කියන්නත් පුළුවන්. එය සෘජුව වගේම වක්‍ර ලෙසිනුත් සිදු වී තිබෙනවා. උදාහරණයක් විදිහට අපිට ලංකාව කතාවට එකතු කරන්න පුළුවන්. ලංකාව ඇමරිකාව සමඟ කරන වෙළඳාමෙන් එකතු කර ගන්න ඇමරිකන් ඩොලර් චීනය සමඟ කරන වෙළඳාමේදී චීනයට යනවා.
ලංකාව විසින් ලෝකයට ණය වෙමින් රුපියල ආරක්ෂා කරගන්න දඟලද්දී චීනය විසින් කාලයක් තිස්සේ කළේ එහි අනික් පැත්තයි. චීන මහ බැංකුව විසින් අපනයන හරහා චීනයට ලැබෙන ඇමරිකන් ඩොලර් එකතු කර ගනිමින් දිගින් දිගටම චීනය ඇතුළේ කෘතීම ඩොලර් හිඟයක් ඇති කළා. එහි ප්‍රතිඵලය ලෙස එක පැත්තකින් චීනයට ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සීමා වී ආනයන සීමා වෙද්දී අනික් පැත්තෙන් චීන යුවානය එහි නියම වටිනාකමට වඩා දුර්වල වී ඩොලරය එහි නියම වටිනාකමට වඩා ශක්තිමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස චීන භාණ්ඩ චීනයෙන් පිටතදී එහි නියම මිලට වඩා ලාබ වෙනවා. ඇමරිකන් බඩු මිල අධික වෙනවා.
මෙහි ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාව ඇතුළේදී චීන භාණ්ඩ ගොඩක් ලාබ වෙනවා. ඇමරිකන් භාණ්ඩ වලට චීන බඩු එක්ක තරඟ කරන්න අසීරු වෙනවා. චීනය හා ඇමරිකාව අතර චීනයට වාසිදායක වෙළඳ ශේෂයක් ඇති වෙනවා. චීන ආනයන වෙනුවෙන් ඇමරිකාව ගෙවන ඩොලර් ඇමරිකන් අපනයන සමඟ හුවමාරු වී නැවත ඇමරිකාවට එන්නේ නැහැ. ඒ නිසා, චීනය ඇතුළේ ඇමරිකන් ඩොලර් එකතු වෙනවා.
චීනයේ රාජ්‍ය මැදිහත් වීම නොවන්නට මෙවැනි තත්ත්වයක් වැඩිකල් පවතින්නේ නැහැ. චීනය ඇතුලෙ ඩොලර් සැපයුම ටිකෙන් ටික ඉහළ යන විට ඩොලර් ඉල්ලුම අඩු වී ඩොලරය පිරිහෙනවා. එහෙත්, චීනය එය සිදුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. චීනයට එන ඩොලර් ටික වෙළඳපොළෙන් එකතු කර ගන්නවා. යුවානය ශක්තිමත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. චීනයේ සංචිත ඉහළ යනවා. චීන ඇමරිකා වෙළඳ යුද්ධයට හේතු වුනේ චීන රජය විසින් මේ ආකාරයට දිගින් දිගටම චීනයේ වාසියට විණිමය අනුපාතිකය පාලනය කිරීමයි.
දැන් මේ විදිහට සංචිත ලෙස චීනය ඇතුළේ එකතු වන ඇමරිකන් ඩොලර් වලට මොකද වෙන්නේ? සුරක්ෂිතතාව ගැන හිතනවානම් මේ ඩොලර් නැවත ඇමරිකාවේම ආයෝජනය කළ යුතුයි. ඒ නිසා, ඩොලර් වැඩි ප්‍රමාණයක් නැවත ඇමරිකාවටම ආපසු එනවා. හැබැයි එහෙම කරලා චීනයට ලොකු පොලී ආදායමක් උපයන්න බැහැ. මොකද ඇමරිකාව චීනයෙන් ණය ඉල්ලන්නේ නැහැ. සල්ලි අරගෙන ඇමරිකාවට එන්නේ චීනයයි. ඒ නිසා, චීනයට ගන්න වෙන්නේ ඇමරිකාව විසින් ලබා දෙන පොලී අනුපාතිකයයි.
චීනය සමඟ කරන වෙළඳාමෙන් ඇමරිකාවට එක පැත්තකින් ලාබෙට බඩු ලැබෙනවා. අනෙක් පැත්තෙන් අඩු පොලියකට ප්රාග්ධනය ලැබෙනවා. මේ වැඩේ කාලයක් තිස්සේ අවුලක් නැතුව සිදු වුනේ ඒ නිසයි. ඇමරිකාවට සිදු වූ අවුල මේ වැඩෙන් ඇමරිකානුවන්ගේ රැකියා අහිමි වීමයි. ඇමරිකාවේ චීන විරෝධය මතු වුනේ රැකියා ප්රශ්නය මුල් කරගෙනයි.
චීනය පැත්තෙන් බැලුවහම චීනයට මේ වැඩෙන් විශාල වෙළඳපොළක් හිමි වුනා. චීනය විසින් විණිමය අනුපාතිකය අවප්‍රමාණය කර තියා ගන්නවා කියා කියන්නේ චීන නිෂ්පාදකයින්ට නියම මිලට වඩා අඩු මිලක් ලැබෙනවා කියන එක. චීන ශ්‍රමිකයින්ට නියම වැටුපට වඩා අඩු වැටුපක් ලැබෙනවා කියන එක. ඒ කියන්නේ චීන රජය විසින් සැලසුම් සහගතව චීන ශ්‍රමිකයාව සූරාකෑමක්. චීනය සතු ඩොලර් සංචිත කියා කියන්නේ ඒ විදිහට චීන රජය විසින් එකතු කරගත් නිෂ්පාදන අතිරික්තය. මේ ක්‍රමයට චීනය හා ඇමරිකාව අතර වෙළඳාම චීනයේ වාසියට සිදු වුනත් ඒ වාසිය ලැබෙන්නේ චීන රජයට මිසක් චීන ශ්‍රමිකයාට නෙමෙයි. ඒ නිසා, චීන ශ්‍රමිකයාගේ ආදායම් ඉහළ ගිහින් ඇමරිකාව වැනි බටහිර රටක නිෂ්පාදන මිල දී ගැනීමේ හැකියාවක් චීනය ඇතුළේ හැදෙන්නේ නැහැ.
චීනයේ එකතු වන සංචිත සියල්ලම නැවත ඇමරිකාව ඇතුළේම ආයෝජනය කළොත් චීනයට වෙන්නේ අතින් කාලා හරක් බැලුවා වගේ වැඩක්. වත්කම් තිබුණට මොකටද ඒ වත්කම් වලින් ප්‍රමාණවත් ආදායමක් හැදෙන්නේ නැත්නම්?
චීනයේ ගොඩ ගැහෙන සංචිත වලින් පාඩුවක් නොවෙන්නනම් ඒ සල්ලි කාට හෝ වැඩි පොලියකට දෙන්නම වෙනවා. ලංකාව වගේ රටවල් ණය ගන්න චීනය පස්සේ ගියත් ඇත්තටම කාට හෝ ණය දෙන්න අවශ්‍ය චීනයටමයි. වත්කම් වලට වටිනාකමක් ලැබෙන්නේ ඒ වත්කම් වලින් ආදායම් ඉපැයිය හැකි තරමටයි.
චීනය වගේ රටවල් ඇමරිකාව එක්ක වෙළඳ යුද්ධ වල නිරත වෙන්නේ තමන්ගේ ජාතික ව්‍යවහාර මුදලේ වටිනාකම පහළින් තියා ගන්නයි. චීනයට කලින් ඇමරිකාව මේ වගේ වෙළඳ යුද්ධයක පැටලී හිටියේ ජපානය එක්කයි. එහෙත්, ලංකාව කාලයක් තිස්සේම උත්සාහ කරන්නේ රුපියල මොන විදියෙන් හෝ ශක්තිමත්ව තියා ගන්නයි.
ලංකාවේ රුපියල ශක්තිමත්ව තියා ගන්න උදවු කිරීමෙන් චීනයට වාසි ගණනාවක් ලැබෙනවා. පළමුව මේ වැඩෙන් ලංකාව ඇතුළේ චීන බඩු ලාබ වෙනවා. ඒ නිසා, ලංකාවට සිදු කෙරෙන චීන ආනයන ඉහළ යනවා. දේශීය කර්මාන්ත වැහෙනවා. රැකියා නැති වෙනවා. ඇමරිකාවේදී වෙන දේමයි. හැබැයි ඊට අමතරව තවත් දේවල් වෙනවා.
ලංකාව වගේම චීනයත් තෙවන රටකට විකුණන භාණ්ඩයක් ගැන හිතන්න. දැන් ලංකාවේ භාණ්ඩය නියම මිලට වඩා ගණන්. චීනයේ භාණ්ඩය නියම මිලට වඩා ලාබයි. එක පැත්තකින් ලංකාවට වෙළඳපොළ නැති වෙනවා. අනික් පැත්තෙන් ආයෝජකයෙකුට ලංකාවේ තිබෙන ආකර්ශනීයත්වය අඩු වෙනවා. එක පැත්තකින් ලංකාවේ ආනයන ආදායම අඩු වෙද්දී අනික් පැත්තෙන් ප්රාග්ධනය ආකර්ශනය කර ගැනීම, සෘජු ආයෝජන වගේම කළඹ ආයෝජනත්, අසීරු වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ලංකාවට වැඩි පොලියක් ගෙවා හෝ විදේශ ණය ගන්න සිදු වෙන එකයි. චීනයට තවත් වාසියක්!
ඇමරිකාව එක්ක කරන වෙළඳාම හරහා චීනය සංචිත එකතු කරන තාක් ඒ සංචිත වලින් කොටසක් වැඩි පොලියකට ආයෝජනය කළ හැකි ලංකාව වගේ තැන් හොයා ගන්න එකත් කරන්නම වෙනවා. මෙහිදී අවදානම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අවදානම ගැන හිතනවානම් සල්ලි ආයෝජනය කරන්න තිබෙන්නේ නැවතත් ඇමරිකාවේමයි. කොහොමටත් ඒ වැඩේ වෙනවා. ලංකාව වගේ රටවලදී කෙරෙන්නේ වැඩි අවදානම්- වැඩි වාසි ආයෝජන. අවදානම ඉහළ වුනත් ලැබෙන පොලිය බැලුවහම ඒ අවදානම ගන්න එකේ පාඩුවක් නැහැ.
මොන කතන්දර කිවුවත් අන්තිමේදී ඇමරිකාව චීනයට ණයයි කියන එක වහන්න බැහැනේ. චීනයට වගේම ඇමරිකාවටත් දැනටනම් වැඩෙන් පාඩුවක් නැහැ. චීනය තමන්ගේ වත්කම් වලින් කොටසක් සුරක්ෂිත අඩු පොලී ආයෝජන වලත්, තවත් කොටසක් වැඩි අවදානම් වැඩි පොලී ආයෝජන වලත් දමලා ලාබ ගන්නවා. ඇමරිකාව තමන්ගේ වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු පොලියකට ණය ලබා ගෙන එහි වාසිය ගන්නවා. ඒ නිසා, ඇමරිකාව සතුව ශුද්ධ බැරකම් තිබුණත් ඇමරිකාව ලංකාව වගේ අවදානමක නැහැ.
ඇමරිකාවට මේ වාසිය තියෙන්නේ චීනය වගේ රටවල් ඇමරිකන් ඩොලර් ගොඩගහගන්න නිසානේ. චීනය ඩොලර් එක අත ඇරියොත් ඇමරිකාවට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඩොලර් එක වැටෙන්න ඕනෑ නේද?
කොයි තරම් කතන්දර තිබුණත් ඔය වැඩෙන් ඇමරිකාවට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඇයි? චීනය සතු ඩොලර් සංචිත ප්‍රමාණය එක්ක බැලුවහම ඩොලර් එක වැටෙනවා කියා කියන්නේ චීනයට විශාල පාඩුවක්. චීනය අල්ලාගෙන ඉන්නේ කොටි වලිගයක්. ඒක එහෙම එක පාරට අතාරින්න බැහැ. යම් විදිහකින් චීනය ඔය සංචිත නිදහස් කරනවානම් එය කරන්න වෙන්නේ ටිකෙන් ටික සතෙන් සතේ මිසක් එක පාරට නෙමෙයි.
කොහොම වුනත් චීනය වගේ රටක් ඩොලර් සංචිත සැලකිය යුතු තරමින් නිදහස් කළොත් ඇමරිකන් ඩොලරය පිරිහෙනවා. එයින් ඇමරිකාවට සිදු වන බලපෑම කුමක්ද?
ඇමරිකන් ඩොලරය පිරිහෙනවා කියා කියන්නේ ඇමරිකාව ඇතුළේ ආනයනික භාණ්ඩ මිල අධික වෙනවා කියන එකයි. ඒ වගේම ඇමරිකන් බඩු ඇමරිකාවෙන් පිටතදී ලාබ වෙනවා කියන එක. මේ වගේ දෙයක් වුනොත් ඇමරිකානු නිෂ්පාදකයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා.
ඇමරිකාව ඇතුළේ ආනයනික භාණ්ඩ මිල අධික වෙනවා කියා කියන්නේ ලංකාව ඇතුළේ ඒ දේම වෙනවා වගේ දෙයක් නෙමෙයි. ඇමරිකාව ආනයනය කරන්නේ ඇමරිකාව ඇතුළේ හදන්න බැරි දේවල් නෙමෙයි. ආනයනික භාණ්ඩ හැම දෙයක්ම වගේ ඇමරිකාව ඇතුළේ හදන්න අවශ්‍ය තාක්ෂනය, භෞතික ප්රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් ඇමරිකාව ඇතුළේ තියෙනවා. එහෙම තියෙද්දී පිටින් ආනයනය කරන්න එකම හේතුව මිල අඩුකම පමණයි.
දැන් ඩොලරය පිරිහී ආනයනික භාණ්ඩ වල මිල වැඩි වුන ගමන් වෙන්නේ කුමක්ද? මේ හැම දෙයක්ම රට ඇතුළේ හැදෙනවා පමණක් නෙමෙයි අපනයන වෙළඳපොළටත් යනවා. ලෝකයට නැවතත් ඩොලර් අවශ්‍ය වෙනවා. ඇමරිකානු ජාතිකවාදය විසින් කරගන්න උත්සාහ කරන්නේත් ඔය වගේ දෙයක්.
ඔය ටික චීනය නොදන්නවා නෙමෙයිනේ. ඒ නිසා, චීනය ඔය කතන්දර වල තියෙන දේවල් කරන්න යන්නේ නැහැ. ඇමරිකාව හා චීනය අතර පෙනෙන්න තිබෙන වෙළඳ යුද්ධය හෝ තරඟය හෝ මොකක් හරි එකේ මතු පිටින් පෙනෙන තරම් ගැඹුරක් නැහැ. රටවල් දෙක අතර සහයෝගීතාවය ඊට වඩා ගැඹුරුයි. ඒ වගේම රටවල් දෙකටම වාසියි.
Labels:
ඇමරිකාව,
ගෙවුම් ශේෂය,
චීනය,
ජාත්‍යන්තර වෙළඳාම,
දේශපාලනය,
වත්කම්
Tuesday, July 14, 2020
වත්කම්, බැරකම්, බැරිකම් හා පුළුවන්කම්
ඊයේ පෙරේදා දවසක අහම්බෙන් වගේ හිරු නාලිකාවේ ගිය, අනුර කුමාර දිසානායක සහභාගී වූ දේශපාලන සංවාදයක කොටසක් නරඹන්න ලැබුණා. එහිදී අනුර කුමාර විසින් ලංකාවේ ණය අර්බුදයට ඔවුන්ගේ විසඳුම ගැන අදහස් ප්‍රකාශ කළා. තවත් දේවලුත් කතා කළා. අනුර කුමාරගේ අදහස්, මම හිතන විදිහට මේ මොහොතේ ජවිපෙ නිල මතය, කෙටියෙන් මේ විදිහට පෙළ ගස්වන්න පුළුවන්.
- ණය ගැනීම අපරාධයක් හෝ පවක් නෙමෙයි.
- ප්රශ්නය ණය ගැනීම නෙමෙයි. ගත් ණය වලට සරිලන වත්කම් හැදී නැති එකයි.
- ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නෙත් ණය අරගෙනම තමයි.
සති තුනකින් පසුව පැවැත්වෙන්නට නියමිත මහ මැතිවරණය පිළිබඳව තවමත් අවිනිශ්චිතතා තිබෙනවා. මහ මැතිවරණය බාධාවකින් තොරව දින නියම කර ඇති ආකාරයට පවත්වන්නට ඉඩ ලැබෙනු ඇතැයි අපි දැනට හිතමු.
පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙට ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව පැහැදිලි කරුණක්. මගේ පෞද්ගලික මතය මෙවර මහ මැතිවරණයේදී ජවිපෙ යම් තරමකින් හෝ ඉදිරියට පැමිණෙනු ඇති බවයි. එහෙත්, ජවිපෙ මේ මැතිවරණය ජයග්‍රහණය නොකරන බව ඉතාම පැහැදිලියි.
මැතිවරණයක් ජයග්‍රහණය නොකරන බව පැහැදිලිව පෙනෙන පසුබිමක දේශපාලන පක්ෂයකට තමන් බලයට ආ පසු කරන දේවල් ගැන ඕනෑ තරම් කතන්දර කියන්න පුළුවන්. නමුත්, ණය අර්බුදය හා අදාළව ජවිපෙ එවැනි මනඃකල්පිත කතන්දරයක් කියන්නේ නැහැ. මම හිතන විදිහට ජවිපෙ විසින් යෝජනා කරන්නේ බලයට පත් වන කවර ආණ්ඩුවකට වුවත් ප්‍රායෝගිකව කළ හැකි දේ.
මොනවා වුනත් ජවිපෙහි මේ ස්ථාවරය අගය කළ යුතුයි. එහි වටිනාකම කැපී පෙනෙන්නේ බලයට පැමිණීමට වැඩි ශක්‍යතාවයක් තිබුණු දේශපාලන පක්ෂ මැතිවරණ වලට පෙර ප්‍රකාශ කර සිටි ස්ථාවරයන් හා සංසන්දනය කළ විටයි.
වසරින් වසර අලුත් වන අර්බුදයක් වුවත් ලංකාවේ ණය අර්බුදය අලුත් එකක් නෙමෙයි. මෑත කාලය ගත්තොත්, යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් ණය අර්බුදය ගැන ලොකුවට කතා කළා. එහෙත්, අර්බුදයෙන් ගොඩ යන ආකාරය පිළිබඳ පැහැදිලි වැඩ පිළිවෙලක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන්ට අනුව ණය අර්බුදයට හේතුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වූ නිසා ඒ වංචා හා දූෂණ නැවැත්වූ පසු පහසුවෙන්ම අර්බුදයෙන් ගොඩ යා හැකිව තිබුණා. මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ආකර්ශනීය ප්‍රකාශයක් වුවත් ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. බලයට පත් වූ පසු ඔවුන්ට වෙනත් විකල්ප වලට යන්න වුනා.
මෙවර ජනාධිපතිවරණයට කලින් ප්‍රචාරය කෙරුණු යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වගේම තවත් කතාවක්. ඒ කතාවට අනුව, රනිල්ට බැරි වුනත් රාජපක්ෂලාට පුළුවන්. මේ හැම කතාවක්ම සිල්ලර කතා. ටිකක් බර විදිහට කියනවානම් ඡන්දදායකයින්ගේ බුද්ධියට නිගා කරන කතා. මම මේ කරන්නේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාව හෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ පිළිබඳ කතාව ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. මා අවධානය යොමු කරන්නේ ලංකාවේ ණය අර්බුදය ඒ වගේ දේවල් වලට ලඝු කිරීමේ තිබෙන රැවටිල්ල පිළිබඳවයි.
ඒ අතින් බැලුවහම ජවිපෙ අවංකයි. ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නේත් තවත් ණය ගනිමින්ම තමයි. එහෙම නැතුව මැජික් විසඳුමක් නැහැ. ඉක්මන් විසඳුමකුත් නැහැ. ආණ්ඩු බලය ලබා ගැනීමේ වැඩි ශක්‍යතාවයක් තිබෙන පක්ෂ විසින් නොකියන මේ ඇත්ත ජවිපෙ විසින් කියනවා.
ණය හා වත්කම් පිළිබඳ ජවිපෙ විග්රහයත් පදනමක් තිබෙන එකක්. ණය ගැනීම වැරැද්දක් හෝ නොකළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි එය එසේ වෙන්නේ ණය ගැනීමේ අවසන් ප්‍රතිඵලයක් විදිහට ශුද්ධ වත්කමක් හැදෙනවානම් පමණයි.
ණයක් කියන්නේ බැරකමක්. ඒ නිසා, ණයක් ගන්න හැම විටකම ක්ෂණිකව හා අනිවාර්යයයෙන්ම බැරකමක් හැදෙනවා. එහි හානිය වලක්වාගන්නනම් අදාළ ණය මුදල යොදවා කිසියම් වත්කමක් හදාගත යුතුයි. ඒ විදිහට හදා ගන්නා වත්කම නිසා ඇති වන ධනාත්මක බලපෑම ණය නිසා ඇති වූ සෘණාත්මක බලපෑමට වඩා වැඩිනම් මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුද්ධ වත්කමක් ලෙස සලකන්න පුළුවන්.
අපි උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. කවුරු හෝ කෙනෙක් ණයක් අරගෙන ත්‍රිරෝද රථයක් මිල දී ගන්නවා. කල්බදු ක්‍රමයට කියමු. දැන් මේ ණය වෙනුවෙන් මාස්පතා වියදමක් දරන්න වෙනවා. පොලී මුදල් හා ණය වාරික කියමු. තව ආදායම් බලපත්‍ර, රක්ෂණ වාරික වගේ වියදමුත් එකතු වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිරෝද රථය බැරකමක්. නමුත්, ත්‍රිරෝද රථය කුලියට දීලා මාස්පතා යන වියදමට වඩා ආදායමක් හොයා ගන්න පුලුවන්නම් ඒ බැරකම ඉක්මවන වත්කමක් හැදිලා. ඒ නිසා ත්‍රිරෝද රථය ශුද්ධ වත්කමක් කියා කියන්න පුළුවන්. රටකට වුනත් මේ කතාව අදාළයි.
ණය ගන්න එකේ වැරැද්දක් නැහැ. ප්රශ්නය ගත් ණය වියදම් කරන්නේ කොහොමද කියන එකයි. ණය මුදල් යොදවා හදාගත් වත්කම් වල ආදායමින් ණය ගෙවාගෙන යන්න පුලුවන්නම් ගත්ත ණය රටට බරක් වෙන්නේ නැහැ. වසරින් වසර ලංකාවේ ණය ඉහළ යන්නේ ඒ විදිහට ලංකාව විසින් ගත් ණයට සරිලන වත්කම් හැදී නැති නිසයි.
ලංකාවේ රජය විසින් මේ වන විට රුපියල් ට්‍රිලියන 14 ඉක්මවන ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන බව අපි දන්නවා. එම ණය ප්‍රමාණය ලංකාවේ රජයේ බැරකමක්. රජයට ණය දුන් අයගේ වත්කමක්. මේ ණය වලින් රුපියල් ට්‍රිලියන 7.2ක් දේශීය ණය. ඒ කියන්නේ රජයේ බැරකම් වලට සරිලන වත්කම් රට ඇතුළේ කවුරු හෝ සතුව තිබෙනවා. එහෙත්, ඉතිරි රුපියල් ට්‍රිලියන 6.8ට සරිලන වත්කම් ඒ අයුරින් රට ඇතුළේ නැහැ. ඒ නිසා, ඒ කොටස ලංකාවේ රජයේ බැරකමක් වනවාට අමතරව රටේ බැරකමක්ද වෙනවා.
ලංකාවේ බැරකම් වෙන්නේ ලංකාවේ රජයේ බැරකම් පමණක් නෙමෙයි. පෞද්ගලික අංශය විසින් විදේශ ණය ලබාගෙන ඇත්නම් ඒවාද ලංකාවේ බැරකම්. වත්කම්ද එසේයි. ඒ වගේම රටේ බැරකම් වෙන්නේ ණය පමණක්ම නෙමෙයි. සෘජු විදේශ ආයෝජන වගේ දේවලුත් රටේ බැරකම්. මොකද කවුරු හෝ විදේශිකයෙක් විසින් ලංකාවේ කරන ආයෝජනයක් වෙනුවෙන් ලැබෙන ප්රතිලාභ දිගින් දිගටම රටෙන් එළියට යනවා. කල්පනාකාරී වුනේ නැත්නම් සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම උගුලක අහුවීමක් වෙන්න පුළුවන්.
සමාගමක ශේෂ පත්‍රය හදනවා වගේ රටක ශේෂ පත්‍රයත් හදන්න පුළුවන්. එහි රටේ වත්කම් හා බැරකම් සටහන් වෙනවා. මේ වත්කම් හා බැරකම් සැසඳීමෙන් රටේ ශුද්ධ වත්කම් හෝ බැරකම් තත්ත්වය පරීක්ෂා කර බලන්න පුළුවන්.
කිසියම් රටක වත්කම් හා බැරකම් පහත පරිදි ලැයිස්තුගත කරන්න පුළුවන්.
1. සෘජු විදේශ ආයෝජන: විදේශිකයින් විසින් ලංකාවේ කර ඇති සෘජු ආයෝජන බැරකම් වන අතර ලාංකිකයින් විසින් විදේශ වල කර තිබෙන ආයෝජන ලංකාවේ වත්කම්.
2. කළඹ ආයෝජන: රාජ්‍ය හෝ පෞද්ගලික සුරැකුම්පත් ආදියෙහි, එසේ නැත්නම් කොටස් වෙළඳපොළෙහි කර ඇති ආයෝජන. ලාංකිකයින් විසින් වෙනත් රටවල කර තිබෙන ආයෝජන වත්කම් වන අතර විදේශිකයින් විසින් ලංකාවේ කර තිබෙන කළඹ ආයෝජන ලංකාවේ බැරකම්.
3. මූල්‍ය ව්‍යුත්පන්න: ලංකාවේ මූල්‍ය ව්‍යුත්පන්න ආයෝජන නැති තරම්.
4. වෙනත් ආයෝජන: රජය හෝ මහ බැංකුව විසින් සෘජුව ලබා ගන්නා ණය, දේශීය ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා හෝ ලබා දෙන වානිජ ණය හෝ අත්තිකාරම් ආදිය මේ යටතට වැටෙනවා. වත්කම් මෙන්ම බැරකම්ද තිබිය හැකියි.
5. නිල සංචිත: රටක නිල සංචිත එම රටේ වත්කම් වලින් කොටසක්. ඉහත අනෙකුත් අයිතමයන් මෙන් මෙයට අනුරූප බැරකමක් නැහැ.
පහත තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ලංකාවේ ශේෂ පත්රයයි.
වත්කම් (ඇමරිකන් ඩොලර් මිලියන)
සෘජු විදේශ ආයෝජන- 1,504
කළඹ ආයෝජන- 0.1
මූල්‍ය ව්‍යුත්පන්න- -
වෙනත් ආයෝජන- 4,239
නිල සංචිත- 7,534
එකතුව- 13,277
බැරකම් (ඇමරිකන් ඩොලර් මිලියන)
සෘජු විදේශ ආයෝජන- 12,455
කළඹ ආයෝජන- 9,946
මූල්‍ය ව්‍යුත්පන්න- -
වෙනත් ආයෝජන- 35,860
එකතුව- 58,211
මේ අනුව ලංකාවේ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 58,211ක් වුවත්, වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 13,277ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 44,985ක ශුද්ධ බැරකමක්. ඉහත එක් එක් අයිතමය වෙන වෙනම ගත්තත් හැම විටම වත්කම් මෙන් කිහිප ගුණයක බැරකම් ඇති බව පැහැදිලිව පෙනෙනවා. ඉහත ශුද්ධ බැරකම් රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට ඇමරිකන් ඩොලර් 2,102 ක්.
ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ රටවල් අතරින් ශුද්ධ බැරකම් වැඩිම රටයි. පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ඇමරිකාවේ ශේෂ පත්රයයි.
වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන)
සෘජු විදේශ ආයෝජන- 6.982.0
කළඹ ආයෝජන- 10,987.4
මූල්‍ය ව්‍යුත්පන්න- 3,000.5
වෙනත් ආයෝජන- 5,259.7
නිල සංචිත- 537.5
එකතුව- 26,767.1
බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන)
සෘජු විදේශ ආයෝජන- 8,789.8
කළඹ ආයෝජන- 19,778.4
මූල්‍ය ව්‍යුත්පන්න- 2,965.2
වෙනත් ආයෝජන- 7,311.2
එකතුව- 38,824.6
ඇමරිකාවේ වත්කම් ප්‍රමාණය වන ඩොලර් බිලියන 26,767.1 ට සම්මුඛව ඩොලර් බිලියන 38,824.6 ක බැරකම් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 12,057.5ක ශුද්ධ බැරකමක්. ඒ කියන්නේ එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක් පමණ. එක් ලාංකිකයෙකුට ඇමරිකන් ඩොලර් 2,100ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක්නම් එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක් නොවන්නේ කොහොමද?
ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 12,057.5ක් බව ඇත්ත. එහෙත් එය හැදී තිබෙන්නේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් හා ඩොලර් බිලියන 38,824.6 බැරකම් වල එකතුවක් ලෙසයි. ඇමරිකාවේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් වලින් ලැබෙන ආදායම ඩොලර් බිලියන 38,824.6 බැරකම් වෙනුවෙන් වැය කළ යුතු වියදමට වඩා වැඩියි. ඒ නිසා, ශුද්ධ වශයෙන් ඇමරිකාවේ බැරකම් වැඩි වුනත් වත්කම් හා බැරකම් වලින් ශුද්ධ ලෙස ඇමරිකාවට ආදායමක් ලැබෙනවා. මෙය ඇමරිකාවට සුවිශේෂී තත්ත්වයක්.
ඇමරිකාවේ වත්කම් හා බැරකම් වල සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ පැහැදිලි වෙනවා. වත්කම් හා බැරකම් අතර වෙනසට ප්‍රධානම හේතුව කළඹ ආයෝජන වල වෙනසයි. අනෙක් කොටස් සෑහෙන දුරට සමතුලිතයි. ඇමරිකාවේ බැරකම් වලින් අඩකටත් වඩා කළඹ ආයෝජන. මෙයින් සැලකිය යුතු කොටසක් විදේශිකයින් විසින් ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල කර තිබෙන ආයෝජන. ඒ වෙනුවෙන් ඇමරිකන් රජය විසින් ගෙවන්නේ ඉතා අඩු පොලියක්.
බොහෝ රටවල් හා අදාළව බැරකම් වලින් පිළිබිඹු වෙන්නේ බැරිකම්. බැරකම් ඉහළ ගොස් තිබෙන්නේ බැරිකම් වසා ගැනීමට ණය ඉල්ලාගෙන විදේශිකයින් වෙත යාම නිසයි. එවැනි තත්ත්වයක් යටතේ ණය ලබා ගන්න වෙන්නේ අවදානමට සරිලන විශාල පොලී අනුපාතිකයක් යටතේ.
නමුත්, ඇමරිකාවේ තත්ත්වය වෙනස්. ඇමරිකන් රජය ණය ඉල්ලාගෙන වෙනත් රටවල් වෙත ගොස් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ වෙනත් රටවල් විසින් සුරක්ෂිත ආයෝජනයක් සේ සලකමින් ඇමරිකන් රජය විසින් නිකුත් කරන ණය සුරැකුම්පත් ඉල්ලාගෙන පැමිණීමයි. ඇමරිකාව එහි වාසිය ලබමින් ඉතා අඩු පොලියකට ප්රාග්ධනය ආකර්ශනය කර ගන්නවා. ඒ නිසා, ඇමරිකාව හා අදාළව බැරකම් කියා කියන්නේ බැරිකම් නෙමෙයි. පුළුවන්කම්.
ඇමරිකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 69%ක් පමණයි. එසේ වුවත්, බැරකම් වෙනුවෙන් ඇමරිකාව වැය කරන මුදල වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු මට්ටමක තිබෙන්නේ මේ පොලී අනුපාතික වෙනස නිසයි.
ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 22.8%ක් පමණයි. එයින් වැඩි කොටසක් නිල සංචිත. නිල සංචිත ආයෝජනය කරන්නේ සුරක්ෂිතතාවට ප්‍රමුඛතාවය දෙමින් නිසා එයින් විශාල පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. ඉතිරි කොටස වාණිජ බැංකු වල සංචිත හා සමාගම් විසින් ලබා දී ඇති වාණිජ අත්තිකාරම්. ඒවායින්ද සැලකිය යුතු පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. එහෙත්, බැරකම් වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ලබාගෙන තිබෙන ණය. ඒ වෙනුවෙන් සැලකිය යුතු පොලී වියදමක් දරන්න වෙනවා. ලංකාවේ බැරකම් ප්‍රමාණය වත්කම් ප්‍රමාණය මෙන් හතර පස් ගුණයක් වීමට අමතරව බැරකම් වෙනුවෙන් වැඩි පොලී අනුපාතිකයක් ගෙවන්න සිදු වීමේ අවාසියද ලංකාවට තිබෙනවා.
කවුරු ආණ්ඩු කළත් ලංකාව පැටලී සිටින ණය උගුලෙන් අවුරුදු හතර පහකින් ගොඩ යන්න බැහැ. ගොඩ යන තුරු තව තවත් ණය ගන්න වෙනවා. උගුලෙන් ගොඩ යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ගන්න ණය ආයෝජනය කරන්නේ කොහොමද කියන එක මතයි.
Labels:
අනුර කුමාර දිසානායක,
ආර්ථික අර්බුදය,
දේශපාලනය,
රාජ්‍ය ණය
Sunday, July 12, 2020
කෝවිඩ් නැත්තේ කොහේද?
මේ වන විට ලෝකය පුරා කෝවිඩ් ආසාදිතයින් මිලියන 13ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. සෑම දිනකම තවත් ලක්ෂ දෙකකට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් මේ ගණනට එකතු වෙනවා. ලංකාවත් මේ වෙද්දී කන්දකාඩුවෙන් පටන් ගත් කොරෝනා පොකුර මර්දනය කර ගැනීම සඳහා වෙර දරමින් සිටිනවා. එය වැලිසර පොකුර පාලනය කළ තරම් පහසු වන එකක් නැහැ. එහෙත්, කළ නොහැක්කක් නෙමෙයි.
ලෝකයම කෝවිඩ් සමඟ සටන් කරමින් සිටින මේ මොහොතේ තවමත් කෝවිඩ් වලින් බේරී සිටින රටවල් තිබේද? ඒ මොනවාද?
උතුරු කොරියාව- මිලියන 25.6ක ජනගහණයක් සිටින උතුරු කොරියාව මුලින්ම කෝවිඩ් වසංගතය ආරම්භ වූ චීනයටත්, ඉන් පසුව වසංගතය පැතිරුණු දකුණු කොරියාවටත්, මේ වන විට වේගයෙන් කොරෝනා පැතිරෙන රුසියාවටත් මායිම් වී ඇති රටක් වුවත් නිල සංඛ්‍යාලේඛණ අනුව මෙතෙක් උතුරු කොරියාවෙන් කෝවිඩ් ආසාදිතයින් කිසිවකු හමු වී නැහැ. කවුරුත් දන්නා පරිදි උතුරු කොරියාව ඒකාධිපති සමාජවාදී පාලනයක් පවත්වා ගෙන යන ලෝකයෙන් වෙන්ව සිටින රටක්. දේශපාලනික හේතු මත ලෝකයෙන් වෙන්ව සිටීම මේ අවස්ථාවේදී උතුරු කොරියාවට වාසියක් වී ඇති බව පෙනෙනවා.
තුර්ක්මේනිස්ථානය- මිලියන 6ක ජනගහණයක් සිටින තුර්ක්මේනිස්ථානය මේ වන විට වේගයෙන් කොරෝනා පැතිරෙන ඉරානයට හා කසකස්ථානයට මායිම් වී ඇති මධ්‍යම ආසියානු රටක්. එහෙත්, නිල සංඛ්‍යාලේඛණ අනුව මෙතෙක් තුර්ක්මේනිස්ථානයෙන් කිසිදු කෝවිඩ් රෝගියෙකු හමු වී නැහැ. පැරණි සෝවියට් සංගමයේ සාමාජිකයෙකු වූ තුර්ක්මේනිස්ථානය සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසුව මේ වන විට තුර්ක්මේනිස්ථානු ප්රජාතන්ත්රවාදී පක්ෂය ලෙස නම් කර ඇති තුර්ක්මේනිස්ථානු කොමියුනිස්ට් පක්ෂය යටතේ පාලනය වන, ලෝකයේ වඩාත්ම මර්දනකාරී රාජ්‍යයක් සේ සැලකෙන රටක්. උතුරු කොරියාව තරමටම නැතත් තුර්ක්මේනිස්ථානයද බොහෝ දුරට ලෝකයෙන් හුදෙකලාව සිටින රටක්. ඊට අමතරව ඉතා අඩු ජන ඝනත්වයක් ඇති රටක් වීමේ වාසියද තුර්ක්මේනිස්ථායට තිබෙනවා.
සොලමන් දූපත්- පැපුවා නිව්ගිනියාවට නැගෙනහිරින් පිහිටි 655,000ක පමණ ජනගහණයක් ජීවත් වන දූපත් රාජ්‍යයක්. කෝවිඩ් වසංගතය ආරම්භයේදීම දේශ සීමා වසා දමමින් රටට වෛරසය ඇතුළු වීම වලක්වා ගැනීමට සමත් වුනා. මේ වන තුරු වෛරසයෙන් බේරී සිටිනවා.
වන්වාතු- ජනගහණය 305,000ක් පමණ වන වන්වාතු සොලමන් දූපත් වලට නැගෙනහිරින් පිහිටි තවත් දූපත් රාජ්‍යයක්. පසුගිය මාර්තු අවසන් සතියේ සිට වන්වාතු දූපත් රාජ්‍යයද හදිසි තත්ත්වයක් දිගටම පවත්වා ගනිමින් කෝවිඩ් උවදුර රටට ඇතුළු වීම මෙතෙක් වලක්වාගෙන සිටිනවා.
සමෝවා- ජනගහණය 202,000ක් වන පැසිෆික් සාගර මධ්‍යයේ පිහිටි දූපත් රාජ්‍යයක්. පෙබරවාරි මාසයේ සිටම රටට පැමිණෙන්නන් දැඩි ලෙස පාලනය කරමින් සිටිනවා. තවමත් කෝවිඩ් වලින් තොර රටක්.
කිරිබාස්- ලෝකයේ හරි මැද පිහිටි රටක් ලෙස සැලකිය හැකි කිරිබාස් දිවයින පැසිෆික් සාගරය මැද පිහිටි කුඩා දිවයිනක්. ජනගහණය 122,000ක් පමණ. හුදෙකලා භූගෝලීය පිහිටීමේ වාසිය ලබමින් කිරිබාස් දිවයින කෝවිඩ් සතුරාගෙන් තවමත් බේරී සිටිනවා.
මයික්‍රෝනීසියාව- ජනගහණය 105,000ක් පමණ සිටින, පැපුවා නිවුගිනියාවට උතුරෙන් පිහිටි සිංගප්පූරුවට වඩා මඳක් කුඩා දූපත් රාජ්‍යයක්. මාර්තු මැද පමණ සිට රටට ඇතුළු වන විදේශිකයින් අනිවාර්යයෙන්ම නිරෝධායනයට ලක් විය යුතු වූ අතර රටේ නිරෝධායන පහසුකම් ධාරිතාව සීමා වන අවස්ථා වලදී විදේශිකයින් පැමිණීමද සීමා කළා.
ටොංග- පැසිෆික් සාගරයේ ජාත්‍යන්තර දින රේඛාව ආසන්නයේ පිහිටි තවත් දූපත් රාජ්‍යයක්. ජනගහණය ලක්ෂයකට මඳක් වැඩියි. සිංගප්පූරුවට වඩා මඳක් විශාල රටක්. රටට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ කෝවිඩ් වලින් තොර වෙනත් රටක දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වීමෙන් පසුව පමණයි.
මාෂල් දිවයින්- පැසිෆික් සාගරය මැද හුදෙකලාව පිහිටි, ජනගහණය 58,000ක් වන දූපත් රාජ්‍යයක්. තවමත් කෝවිඩ් රකුසාගෙන් ගැලවී සිටිනවා.
පලාව්- ජනගහණය 18,000ක් පමණ. ලෝකයේ ජනගහණය අඩුම රටවල් හතරෙන් එකක්. තවමත් කෝවිඩ් වලින් තොර රටක්.
නවුරූ- මාෂල් දිවයින් වලට දකුණින් පිහිටි කුඩා දිවයිනක්. ජනගහණය 11,000ක් පමණයි. ලෝකයේ කුඩාම හා ජනගහණය අඩුම රටවල් තුනෙන් එකක්. තවමත් කෝවිඩ් වලින් බේරී සිටිනවා.
ටූවලූ- ජනගහනය 10,200ක් පමණයි. වතිකානුව හැරුණු විට ලෝකයේ ජනගහණය අඩුම රට. ලෝකයේ කුඩාම රටවල් හතරෙන් එකක්. කෝවිඩ් වෛරසය තවමත් මේ කුඩා රාජ්‍යයට ඇතුළු වීමට සමත් වී නැහැ.
බටහිර සහරාව- වර්ඩෝමීටර් අනුව බටහිර සහරාවෙන් මේ වන විට කෝවිඩ් රෝගීන් 10 දෙනෙකු හමු වී තිබෙනවා. එහෙත්, බටහිර සහරාව ලෙස හඳුන්වන රට කුමක්ද කියන එක මතභේදාත්මක කරුණක්. බටහිර සහරාව ලෙස පොදුවේ හැඳින්වෙන බිම්කඩෙන් තුනෙන් දෙකක් පමණ තිබෙන්නේ මොරොක්කෝවේ පාලනය යටතේ. මොරොක්කෝව විසින් සලකන්නේ බටහිර සහරාව මොරොක්කෝවේ කොටසක් ලෙසයි. සහරාවී අරාබි ප්රජාතන්ත්රවාදී ජනරජය ලෙසින් හඳුන්වා ගන්නා බටහිර සහරාවේ නැගෙනහිර බිම් තීරුව පොලිසාරියෝ පෙරමුණ විසින් පාලනය කරනවා. බටහිර සහරාවෙන් මෙතෙක් හමු වී ඇති කෝවිඩ් රෝගීන් සියලු දෙනාම හමු වී තිබෙන්නේ මොරොක්කෝ පාලනය යටතේ ඇති බටහිර කොටසින්. නැගෙනහිර කොටසින් තවමත් කිසිදු කෝවිඩ් රෝගියෙකු හමු වී නැහැ.
Saturday, July 11, 2020
දෙවන පොකුර
ලංකාවෙන් නැවතත් කොරෝනා "පොකුරක්" මතු වෙලා. මීට පෙර මේ විදිහට කොරෝනා පොකුරක් මතු වුනේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්. මේ වන විට එම පොකුර පාලනය වී තිබෙනවා.
මා කොරෝනා ගැන මෙහි ලියන්නේ කොරෝනා කෝවිඩ් නමින් බෞතීස්ම කරන්නත් පෙර සිටයි. මගේ ලිපි දිගටම කියවූ අය දන්නා පරිදි හා නොකියවූ අයට දැනටත් කියවා තහවුරු කර ගත හැකි පරිදි මා කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පිළිගත් ආකෘති, කොරෝනා පරීක්ෂාවන් ගැන හා කොරෝනා එන්නත් වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහි විස්තර කර තිබෙනවා. බොහෝ විට එසේ කර තිබෙන්නේ තාක්ෂණික කරුණු මත හා දත්ත මත පදනම්වයි.
මෙහි මා වරින් වර ලෝකයේ විවිධ රටවල කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පුරෝකථනයන් සිදු කර තිබෙනවා. පුරෝකථනයන් හැම විටම නිවැරදි වෙන්නේ නැහැ. එහෙත්, අහඹු අනුමාන වලට වඩා නිසි ආකෘතියක් යොදාගෙන කරන පුරෝකථන නිවැරදියි. ඇමරිකාව කොරෝනා ආසාදිතයින් වැඩිම රටක් වන බව මා සටහන් කළේ එසේ වීමට ගොඩක් කලිනුයි. දැන් ඇමරිකාවට පසුපසින් සිටින බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව ගැන ලිවුවේත් ගොඩක් කලින්. ඒ ආකාරයටම මෙක්සිකෝව හා දකුණු අප්‍රිකාව වේගයෙන් ලැයිස්තුවේ උඩට එමින් සිටින බව දැන් අපහසුවකින් තොරව කියන්න පුළුවන්.
ලෝකයේ විවිධ රටවල් ගැන මෙවැනි පුරෝකථන කළත් මා ලංකාව ගැන මෙවැනි පුරෝකථන කර නැහැ. එහෙත්, වෙනත් අය වරින් වර එවැනි පුරෝකථන සිදු කර ඇති බව පෙනෙන්නට තිබෙනවා. මා ලංකාව ගැන පුරෝකථන සිදු නොකළේ පැහැදිලි හේතුවක් ඇතුවයි.
ලංකාවේ කොරෝනා ගැන මා සිංහල අවුරුදු දින ලියූ ලිපියක් මෙහි පහත තිබෙනවා.
ලංකාවේ කොරෝනා
එම ලිපියේ මා ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය අදියර තුනකට වෙන් කළා. තෙවන අදියර ලෙස මා සැලකුවේ කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු කාලයයි. එම ලිපිය අවසන් වුනේ මේ විදිහටයි.
"මේ කරුණු අනුව පෙනෙන්නේ දිනකට හමුවන රෝගීන් ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමටනම් දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් එළෙසම පවත්වා ගත යුතු බවයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ උපක්‍රම ලිහිල් කළහොත් ඉතා ඉක්මනින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. යම් හෙයකින් කටුනායක ඇරියොත්නම් වහාම ප්රශ්නය උග්‍ර වන බව පැහැදිලියි. ඒ වගේම දැනට කරන සියලු කටයුතු එක දිගටම එළෙසම කළත් ආසන්න දිනයකදී අලුත් රෝගීන් හමු වීම මුළුමනින්ම අවසන් වේයැයි හිතන්න අමාරුයි."
නාවික හමුදා පොකුර මතු වුනේ මේ ලිපිය ලිවීමෙන් අනතුරුවයි. ඒ අවස්ථාවේදී බොහෝ දෙනෙක් කලබල වුනත් මා ඒ ගැන එතරම්ම කලබල වුනේ නැහැ. දැන් අලුතෙන් තවත් පොකුරක් හමු වී තිබියදීත් මා එතරම් කලබල වෙන්නේ නැහැ. මගේ විග්‍රහය අනුව ලංකාව තවමත් තිබෙන්නේ ඉහත ලිපියේ සඳහන් කළ තෙවන අදියරේ.
මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ විවෘත කර ඇතත් තවමත් කොරෝනා ව්‍යාප්තිය හා අදාළ පාලකය රජයේ හස්තයෙන් ගිලිහී නැහැ. මානුෂිකව ඉතා සංවේදී කරුණක් වුවත් මැද පෙරදිග හිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ලංකාවේ රජයේ ස්ථාවරය තේරුම් ගන්න වෙන්නේත් මේ සන්දර්භය ඇතුළේ සිටයි. ලංකාවේ රජයේ උපක්‍රමය වී තිබෙන්නේ කෝවිඩ් ආසාදිතයින් සේ සැක කළ හැකි පිරිස රජයට සමීපව නිරීක්ෂණය කළ හැකි තරමට සීමා කර ගැනීමයි.
මුල සිටම කෙසේ වෙතත් අඩු වශයෙන් කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුව ලංකාවේ රජයේ කෝවිඩ් මර්දන උපක්‍රමය වුනේ කෝවිඩ් ආසාදිතයින් වීමේ විභවයක් ඇති අය කලින් හඳුනා ගැනීමයි. ලංකාවේ පැවති හා තවමත් පවතින තත්ත්වයන් යටතේ මෙය සාර්ථක උපක්‍රමයක්. මෙය සාර්ථක උපක්‍රමයක් කියා මා කියන්නේ හේතු කිහිපයක් මත පදනම්වයි.
පළමුව, ලංකාවට කෝවිඩ් පරීක්ෂාවන් සිදු කළ හැකි සීමාවක් තිබෙනවා. මහා පරිමාණයෙන් අහඹු පරීක්ෂා සිදු කිරීමේ ආර්ථික ශක්තියක්, තාක්ෂනය හෝ මානව සම්පත් ලංකාවට නැහැ.
දෙවනුව, ලංකාවේ රජයේ මධ්‍යගත පාලනය යටතේ පුළුල් හා සංවිධානාත්මක නිරීක්ෂණ යාන්ත්‍රණයක් තිබෙනවා. මෙයට මහජන සෞඛ්‍ය විෂයද ඇතුළත්. මේ යාන්ත්‍රනය පොදු අරමුදලින් කොහොමටත් නඩත්තු කෙරෙන නිසා මේ වෙලාවේ ඒ වෙනුවෙන් අමුතු වියදමක් දරන්න වෙන්නේ නැහැ. මහජන සෞඛ්‍යය හා අදාළව කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස් වලට අමතරව ලංකාවේ රජයට බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක සේවා නිලධාරීන්ද අමතර වියදමක් නොදරා මේ කටයුත්ත වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.
මේ වන විට ලංකාවේ සිදු කර තිබෙන කෝවිඩ් පරීක්ෂා ප්‍රමාණය 114,765ක් පමණයි. එම පරීක්ෂා හරහා කෝවිඩ් ආසාදිතයින් 2,464 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 2.15%ක්. වෙනත් විදිහකින් කිවුවොත් පරීක්ෂාවට ලක් වූ 47 දෙනෙකුගෙන් අයෙක් කෝවිඩ් ආසාදිතයෙක්.
ලංකාවේ ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් කෝවිඩ් ආසාදිතයින් හමු වී තිබෙන්නේ 0.01%ක් පමණයි. එහෙමත් නැත්නම් 8,691කට අයෙක් පමණයි. ලංකාවේ බුද්ධි අංශ හා මහජන සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම විසින් සිදු කර ඇති පූර්ව විශ්ලේෂණ හරහා කෝවිඩ් ආසාදිතයෙකු වීමේ ඉඩකඩක් ඇති අයෙකු පරීක්ෂා කර හඳුනා ගැනීමේ ඉඩකඩ 186 ගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා.
මා හිතන පරිදි ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදයේ වඩාත්ම සාර්ථක තැන මේ අයුරින් පීසීආර් පරීක්ෂාවක් කිරීමට පෙර පරීක්ෂණ ප්‍රතිඵලය ධන වීමේ ඉඩකඩ වැඩි අය සැලකිය යුතු නිරවද්‍යතාවයකින් යුතුව කලින්ම හඳුනා ගැනීමට හැකි වීමයි. ඒ නිසා, ලංකාවේ දැනට පවතින පරාමිතීන් අනුව පීසීආර් පරීක්ෂාවන් මීට වඩා පුළුල් කිරීම අවශ්‍ය දෙයක් කියා මා හිතන්නේ නැහැ. එය සම්පත් නාස්තියක් පමණයි.
එසේනම් මේ ක්‍රමවේදය යටතේ රජයේ "දැලට" අහු නොවන අයට මොකද වෙන්නේ?
අනිවාර්යයෙන්ම මේ ක්‍රමය හරහා රටේ සිටින සියලුම කෝවිඩ් ආසාදිතයින් රජයේ දැල ඇතුළෙන්ම හමු වන බව සහතික කරන්න බැහැ. දැලට අහු නොවන අය අහුවෙන්නේ රෝග ලක්ෂණ මතු වූ පසුවයි. ඒ වන විට එවැනි අයෙක් තවත් බොහෝ දෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කර තියෙන්න පුළුවන්. වැලිසර හා කන්දකාඩුව උදාහරණයි. එසේ වුවත්, මේ සම්භාවිතාව එතරම් විශාල නොවන බව පැහැදිලියි.
ලංකාවේ කොරෝනා මරණ අනුපාතය 0.45%ක් පමණයි. මා හිතන පරිදි මෙය සැබෑ කෝවිඩ් මරණ අනුපාතයයි. ඇමරිකාව වැනි රටවල මරණ අනුපාතය වඩා විශාල ලෙස පෙනෙන්නේ කෝවිඩ් ආසාදිතයින්ගෙන් 90%ක් පමණම හඳුනාගෙන නැති නිසයි. ඇමරිකාවේ පරීක්ෂා ඉහළ යද්දී මරණ අනුපාතය පහළ යනවා. ලංකාවේ මරණ ප්‍රමාණ හා ආසාදිතයින් ප්‍රමාණ සියයට සියයක්ම නිවැරදියි කියා මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත්, සමස්ත චිත්‍රය වෙනස් කළ හැකි තරමේ වැරැද්දක් නිල සංඛ්‍යාලේඛණ වල නැති බව මගේ අදහසයි. ලංකාවේ මරණ අනුපාතයෙන් පෙන්වන්නේ රජයේ දැලට පසුව හෝ අහු නොවුණු කෝවිඩ් ආසාදිතයින් ඇත්නම් ඉතාම සුළු ගණනක් බවයි.
දැනට රටේ ජනගහණයෙන් කෝවිඩ් ආසාදිතයින් සිටින්නේ 0.01%ක් පමණක් වන තත්ත්වයක් යටතේදී මුළු රටේම සියල්ලන්ම පීසීආර් පරීක්ෂාවන්ට ලක් කළත් එම පරීක්ෂාවන්හි ඇති මිනුම් වරද නිසා රජයේ දැලට අහු නොවනවාට වඩා ප්‍රතිශතයක් අහු නොවී බේරෙන්න පුළුවන්.
දැනට රජයේ උපක්‍රමය වන්නේ දැලට මුලින් යමෙක් අහු නොවුණු අවස්ථාවන් වලදී පසුව අවශ්‍ය පරිදි දැල පුළුල් කිරීමයි. වැලිසර සිද්ධියෙන් පසුව රජය කළේ මෙයයි. මේ දෙවන පොකුර හමුවීමෙන් පසුවද රජය එය කරමින් සිටිනවා. එයද සාර්ථක වනු ඇතැයි අපි සිතමු. එසේ වුවත්, ඉදිරියේදී මෙවැනි පොකුරු වරින් වර මතුවීම වලක්වන්න බැහැ. ඒ වගේම කිසියම් මොහොතක කෝවිඩ් ව්‍යාප්තිය රජයේ පාලනයෙන් ගිලිහීමේ අවදානමක්ද තිබෙනවා. හැබැයි ඒ අවදානම් තිබුණා කියා වෙනත් වඩා හොඳ විකල්පයක් නැහැ.
කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ සම්මත ආකෘති හා ආර්-නෝට් අගය වැනි දේ අදාළ වන්නේ වසංගතයක් ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට පැමිණීමෙන් පසුවයි. අනාගතය ගැන කිසිවක් කිව නොහැකි වුවත් ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය මේ වන තුරුත් ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට ගොස් ඇති බවක් පෙනෙන්නට නැහැ. මගේ විග්‍රහය අනුව ලංකාව තවමත් ඉන්නේ තෙවන අදියරේ. ඒ නිසා පුරෝකථන කිරීමට සම්මත ආකෘති යොදා ගැනීම තේරුමක් නැති වැඩක්.
පහසු ඉලක්කයක් නොවුනත්, එන්නතක් වැඩි දියුණු කෙරෙන තුරු ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට යා නොදී ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත හැකි වුවහොත් එය විශාල ජයග්‍රහණයක්. අවම වශයෙන් මහ මැතිවරණය අවසන් වන තුරු එවැන්නක් සිදු නොවුනොත් එයත් විශාල ජයග්‍රහණයක්. රටේ මානව සම්පතේ, ආර්ථිකයේ වගේම ප්රජාතන්ත්රවාදයේත් වැදගත්කම අවතක්සේරු කළ යුතු නැහැ.
(Image: Florence Weis https://www.theartblog.org/2020/04/artists-in-the-time-of-coronavirus-an-ongoing-virtual-exhibition-part-13/)
Wednesday, July 8, 2020
මාස හතරට ට්‍රිලියනයකින් ණය වැඩි වෙලා!
මේ වසරේ පළමු මාස හතර තුළ පමණක් ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2019 වසර අවසානයේදී රුපියල් බිලියන 13,031.5ක් වූ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය 2020 අප්‍රේල් මාසය අවසන් වෙද්දී රුපියල් බිලියන 14,024.7ක් වෙලා.
රජයේ දේශීය ණය වගේම විදේශීය ණයත් මේ කාලය ඇතුළත ඉහළ ගොස් ඇති බව පෙනෙනවා. දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,217.7 දක්වා 8.9%කින්ද, විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,807.1 දක්වා 6.3%කින්ද ඉහළ ගොස් තිබෙනවා.
ලංකාවේ රාජ්‍ය ණය වසරින් වසර ඉහළ යාම සාමාන්‍ය දෙයක්. එහෙත්, මාස හතරක් ඇතුළත රුපියල් ට්‍රිලියනයකින් රාජ්‍ය ණය ඉහළ යාම වාර්තාගත වෙනසක්. පසුගිය 2019 වසර ආරම්භයේදී රුපියල් බිලියන 12,030.5ක් වූ ලංකාවේ රාජ්‍ය ණය රුපියල් බිලියන 13,031.5 දක්වා රුපියල් ට්‍රිලියනයකින් වැඩි වීමට වසරක් ගත වුනත් එම ණය ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ යාමට ගත වී තිබෙන්නේ මාස හතරක් පමණයි.
ඉහත ණය මුදල රටේ ජනගහණයෙන් බෙදූ විට පෙනෙන පරිදි ලංකාවේ රජය විසින් එක් වැසියෙකු වෙනුවෙන් රුපියල් 655,000ක් මේ වන විට ණය වී තිබෙනවා.
Tuesday, July 7, 2020
ලෝකයට ණය වීම හා ලෝකයට ණය දීම
කලින් ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන්ම කතා කළේ රටක ජංගම ගිණුම ගැනයි. දිගින් දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්නා රටකට දිගින් දිගටම ප්රාග්ධනය ගලා එනවා. ඒ වගේම දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් පවත්වා ගන්නා රටවලින් දිගින් දිගටම ප්රාග්ධනය පිටතට ඇදී යනවා.
මේක හරිම සරල දෙයක්. රටවල් පැත්තකින් තියලා තනි පුද්ගලයින් දිහා බැලුවත් ඔය දේ පැහැදිලිව පෙනෙනවා. දිගින් දිගටම ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් අතේ ප්රාග්ධනය එකතු වෙනවා. ආදායමට වඩා වියදම් කරන කෙනෙක් සතු ප්රාග්ධනය ටිකෙන් ටික ක්ෂය වෙනවා.
සෛද්ධාන්තිකව බැලුවොත් ආදායමට වඩා වියදම් කරන කෙනෙක් ආරම්භයේදී කොයි තරම් ධනවතෙක් වුනත් කාලයක් යද්දී දුප්පතෙක් විය යුතුයි. ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් කාලයක් යද්දී ධනවතෙක් විය යුතුයි.
රටවල් වලටත් මේ කතාව අදාළයි. ජංගම ගිණුමේ අතිරික්තයක් තියෙනවා කියා කියන්නේ ඒ රටේ සමස්ත පරිභෝජනය සමස්ත නිෂ්පාදිතයට වඩා අඩුයි. නිෂ්පාදිතයේ අතිරික්තය අපනයනය කර ලැබෙන ආදායම අනික් අතට ආනයන වෙනුවෙන් වැය කරන්නේ නැති නිසා රට ඇතුළේ විදේශ වත්කම් ගොඩ ගැහෙනවා. ඒ වගේම මෙහි අනිත් පැත්ත වුනොත්, ඒ කියන්නේ ආනයන ආදායම් ඉක්මවා අපනයන වෙනුවෙන් වියදම් කළොත්, බැරකම් ගොඩ ගැහෙන එකත් සිදු විය යුතුයි. නැත්නම් ආනයන සිදු වෙන්න විදිහක් නැහැ.
කලින් ලිපියේත් කතා කළ මේ කාරණා ඇසුරෙන් රටවල් තුළ ශුද්ධ වත්කම් හා බැරකම් සමුච්ඡය වෙන්න ජංගම ගිණුමේ ශේෂය බලපාන ආකාරය පැහැදිලි කළ හැකියි. නමුත්, මේ කතාව අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා, කාට හරි එසේ නොවන තැන් හොයාගෙන උදාහරණ ලෙස පෙන්වන්න බැරිකමක් නැහැ. ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටක් වුනත් ටිකෙන් ටික ධනවත් වෙන අවස්ථා ඇතැම් විට දකින්න පුළුවන්. ඒ වගේම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙනත් ටිකෙන් ටික දුප්පත් වන රටවලුත් තිබෙනවා.
තනි පුද්ගල උදාහරණයට නැවත ගියොත් අපි හැම මාසයේම වැටුපෙන් කීයක් හෝ ඉතිරි කරන පුද්ගලයෙක් ගැන හිතමු. හරිනම් මේ පුද්ගලයා අතේ ටිකෙන් ටික ප්රාග්ධනය එකතු විය යුතුයි. නමුත්, කාලයකට පෙර පියා විසින් ඉඩම උගස් කර ලබාගත් ණයක පොලිය ගෙවන්න තිබෙනවානම්, මාසයේ වැටුපෙන් ඉතිරි වන මුදල ගෙවිය යුතු ණය පොලියට වඩා වැඩිනම්, මාස්පතා මුදලක් ඉතුරු කළත් කවදාවත් ධනවතෙක් වෙන්න බැහැ. ඒ වගේම, කිසිම රස්සාවක් නොකර කකා බිබී ඉන්න මනුස්සයෙක්ට වුනත් පරම්පරාවෙන් උරුම වූ දේපොළ විශාල තොගයක් තිබෙනවානම්, ඒ දේපොළ වලින් ලැබෙන ආදායම මාසයකදී වියදම් කරන මුදලට වඩා වැඩිනම් අවසාන වශයෙන් වෙන්නේ මේ පුද්ගලයා තවතවත් ධනවත් වෙන එකයි.
මේ කතා රටවල් වලටත් අදාළයි. ලෝකයට ණය වී සිටින රටවල් වලට ඒ වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න වෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබුණත් ඒ අතිරික්තය පොලී ගෙවන්න ප්‍රමාණවත් නැත්නම් වෙන්නේ රට ටිකෙන් ටික දුප්පත් වෙන එකයි. ඒ වගේම ජංගම ගිණුමේ හිඟයක් තිබුණත් ලෝකය පුරා තිබෙන වත්කම් වලින් ඊට වඩා පොලී ආදායමක් එනවානම් අවුලක් නැහැ. ඒ නිසා, අපි ලෝකයේ එක් එක් රටවල් වල අනාගතය තේරුම් ගන්නනම් එම රටවල ශුද්ධ වත්කම් හෝ ශුද්ධ බැරකම් තත්ත්වයන් හඳුනාගත යුතුයි.
Source: IMF
හරියටම සමාන නැති වුනත් දිගින් දිගටම සෘණ ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් බොහොමයක් ලෝකයට ණය වී සිටින බව, එනම් සමස්ත ජාත්‍යන්තර වත්කම් වලට වඩා සමස්ත ජාත්‍යන්තර බැරකම් වැඩි බව පැහැදිලිව දැකිය හැකි දෙයක්. ඒ වගේම කාලයක් තිස්සේ දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් සතුව ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් තිබෙන බව පෙනෙනවා.
ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් ඇති රටවල් අතර පෙරමුණේ ඉන්නේ ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල්. අනිත් ගොඩේ පෙරමුණේම ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය. උඩ සිතියමේ තැඹිලි පාටින් දැකිය හැකි රටවල් ලෝකයට ණය වී සිටින රටවල්. නිල් පාටින් දැකිය හැක්කේ ණය හිමියන්. මේ මොහොතේ ලෝක භූ දේශපාලන යතාර්ථයන් අවබෝධ කර ගන්න උත්සාහ කරන කෙනෙක් මේ සිතියම මතක තබා ගත යුතුයි.
තෙල් නිධි ඇති රටවල් බොහොමයක් නිල් පාට රටවල් බව කැපී පෙනෙන කරුණක්. එහෙත්, ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල් ඒ ගොඩේ ඉන්නේ එවැනි ස්වභාවික වාසියක් නිසා නෙමෙයි. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය විශාල ණයකරුවෙකු වී සිටින්නේ අනෙක් තැඹිලි පාට රටවල් ණය කරුවන් වී සිටින හේතු නිසාම නෙමෙයි.
ශුද්ධ විදේශ වත්කම් හෝ බැරකම් හා ජංගම ගිණුමේ ශේෂයට අමතරව රටවල් අතර අනාගත ප්‍රාග්ධන ප්‍රවාහ තීරණය කරන වෙනත් සංකීර්ණ සාධකද තිබෙනවා. චීන-ඇමරිකා සීතල යුද්ධය තේරුම් ගන්න ඒ සාධකත් හැදෑරිය යුතුයි. එහෙත්, ලංකාව ඇතුළු වෙනත් බොහෝ රටවල් හා අදාළව මේ නිල්-තැඹිලි භේදයේ බලපෑම ඉතා පැහැදිලියි.
මේක හරිම සරල දෙයක්. රටවල් පැත්තකින් තියලා තනි පුද්ගලයින් දිහා බැලුවත් ඔය දේ පැහැදිලිව පෙනෙනවා. දිගින් දිගටම ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් අතේ ප්රාග්ධනය එකතු වෙනවා. ආදායමට වඩා වියදම් කරන කෙනෙක් සතු ප්රාග්ධනය ටිකෙන් ටික ක්ෂය වෙනවා.
සෛද්ධාන්තිකව බැලුවොත් ආදායමට වඩා වියදම් කරන කෙනෙක් ආරම්භයේදී කොයි තරම් ධනවතෙක් වුනත් කාලයක් යද්දී දුප්පතෙක් විය යුතුයි. ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් කාලයක් යද්දී ධනවතෙක් විය යුතුයි.
රටවල් වලටත් මේ කතාව අදාළයි. ජංගම ගිණුමේ අතිරික්තයක් තියෙනවා කියා කියන්නේ ඒ රටේ සමස්ත පරිභෝජනය සමස්ත නිෂ්පාදිතයට වඩා අඩුයි. නිෂ්පාදිතයේ අතිරික්තය අපනයනය කර ලැබෙන ආදායම අනික් අතට ආනයන වෙනුවෙන් වැය කරන්නේ නැති නිසා රට ඇතුළේ විදේශ වත්කම් ගොඩ ගැහෙනවා. ඒ වගේම මෙහි අනිත් පැත්ත වුනොත්, ඒ කියන්නේ ආනයන ආදායම් ඉක්මවා අපනයන වෙනුවෙන් වියදම් කළොත්, බැරකම් ගොඩ ගැහෙන එකත් සිදු විය යුතුයි. නැත්නම් ආනයන සිදු වෙන්න විදිහක් නැහැ.
කලින් ලිපියේත් කතා කළ මේ කාරණා ඇසුරෙන් රටවල් තුළ ශුද්ධ වත්කම් හා බැරකම් සමුච්ඡය වෙන්න ජංගම ගිණුමේ ශේෂය බලපාන ආකාරය පැහැදිලි කළ හැකියි. නමුත්, මේ කතාව අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා, කාට හරි එසේ නොවන තැන් හොයාගෙන උදාහරණ ලෙස පෙන්වන්න බැරිකමක් නැහැ. ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටක් වුනත් ටිකෙන් ටික ධනවත් වෙන අවස්ථා ඇතැම් විට දකින්න පුළුවන්. ඒ වගේම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙනත් ටිකෙන් ටික දුප්පත් වන රටවලුත් තිබෙනවා.
තනි පුද්ගල උදාහරණයට නැවත ගියොත් අපි හැම මාසයේම වැටුපෙන් කීයක් හෝ ඉතිරි කරන පුද්ගලයෙක් ගැන හිතමු. හරිනම් මේ පුද්ගලයා අතේ ටිකෙන් ටික ප්රාග්ධනය එකතු විය යුතුයි. නමුත්, කාලයකට පෙර පියා විසින් ඉඩම උගස් කර ලබාගත් ණයක පොලිය ගෙවන්න තිබෙනවානම්, මාසයේ වැටුපෙන් ඉතිරි වන මුදල ගෙවිය යුතු ණය පොලියට වඩා වැඩිනම්, මාස්පතා මුදලක් ඉතුරු කළත් කවදාවත් ධනවතෙක් වෙන්න බැහැ. ඒ වගේම, කිසිම රස්සාවක් නොකර කකා බිබී ඉන්න මනුස්සයෙක්ට වුනත් පරම්පරාවෙන් උරුම වූ දේපොළ විශාල තොගයක් තිබෙනවානම්, ඒ දේපොළ වලින් ලැබෙන ආදායම මාසයකදී වියදම් කරන මුදලට වඩා වැඩිනම් අවසාන වශයෙන් වෙන්නේ මේ පුද්ගලයා තවතවත් ධනවත් වෙන එකයි.
මේ කතා රටවල් වලටත් අදාළයි. ලෝකයට ණය වී සිටින රටවල් වලට ඒ වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න වෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබුණත් ඒ අතිරික්තය පොලී ගෙවන්න ප්‍රමාණවත් නැත්නම් වෙන්නේ රට ටිකෙන් ටික දුප්පත් වෙන එකයි. ඒ වගේම ජංගම ගිණුමේ හිඟයක් තිබුණත් ලෝකය පුරා තිබෙන වත්කම් වලින් ඊට වඩා පොලී ආදායමක් එනවානම් අවුලක් නැහැ. ඒ නිසා, අපි ලෝකයේ එක් එක් රටවල් වල අනාගතය තේරුම් ගන්නනම් එම රටවල ශුද්ධ වත්කම් හෝ ශුද්ධ බැරකම් තත්ත්වයන් හඳුනාගත යුතුයි.
|
Source: IMF
හරියටම සමාන නැති වුනත් දිගින් දිගටම සෘණ ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් බොහොමයක් ලෝකයට ණය වී සිටින බව, එනම් සමස්ත ජාත්‍යන්තර වත්කම් වලට වඩා සමස්ත ජාත්‍යන්තර බැරකම් වැඩි බව පැහැදිලිව දැකිය හැකි දෙයක්. ඒ වගේම කාලයක් තිස්සේ දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් සතුව ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් තිබෙන බව පෙනෙනවා.
ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් ඇති රටවල් අතර පෙරමුණේ ඉන්නේ ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල්. අනිත් ගොඩේ පෙරමුණේම ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය. උඩ සිතියමේ තැඹිලි පාටින් දැකිය හැකි රටවල් ලෝකයට ණය වී සිටින රටවල්. නිල් පාටින් දැකිය හැක්කේ ණය හිමියන්. මේ මොහොතේ ලෝක භූ දේශපාලන යතාර්ථයන් අවබෝධ කර ගන්න උත්සාහ කරන කෙනෙක් මේ සිතියම මතක තබා ගත යුතුයි.
තෙල් නිධි ඇති රටවල් බොහොමයක් නිල් පාට රටවල් බව කැපී පෙනෙන කරුණක්. එහෙත්, ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල් ඒ ගොඩේ ඉන්නේ එවැනි ස්වභාවික වාසියක් නිසා නෙමෙයි. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය විශාල ණයකරුවෙකු වී සිටින්නේ අනෙක් තැඹිලි පාට රටවල් ණය කරුවන් වී සිටින හේතු නිසාම නෙමෙයි.
ශුද්ධ විදේශ වත්කම් හෝ බැරකම් හා ජංගම ගිණුමේ ශේෂයට අමතරව රටවල් අතර අනාගත ප්‍රාග්ධන ප්‍රවාහ තීරණය කරන වෙනත් සංකීර්ණ සාධකද තිබෙනවා. චීන-ඇමරිකා සීතල යුද්ධය තේරුම් ගන්න ඒ සාධකත් හැදෑරිය යුතුයි. එහෙත්, ලංකාව ඇතුළු වෙනත් බොහෝ රටවල් හා අදාළව මේ නිල්-තැඹිලි භේදයේ බලපෑම ඉතා පැහැදිලියි.
Labels:
ආර්ථික විද්‍යාව,
ගිණුම්කරණය,
ගෙවුම් ශේෂය,
ජාත්‍යන්තර වෙළඳාම,
ප්රාග්ධනය
Monday, July 6, 2020
ප්‍රාග්ධන උගුල: ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ
රටවල් අතර ගනුදෙනු සිදුවන එක අද ඊයේ පටන් ගත් දෙයක් නෙමෙයි. ලංකාව සැලකුවත්, ජාත්‍යන්තර ගනුදෙනු සිදු වෙන්නේ සහශ්‍ර ගණනක සිටයි. එහෙත්, ඉතිහාසයේ කවර කාලයකවත් ලෝකයේ රටවල් අද තරමට ජාත්‍යන්තර ගනුදෙනු වලින් බැඳී සිට නැහැ.
ඉතිහාසය පුරා බොහෝ විට ජාත්‍යන්තර ගනුදෙනු සිදු වුනේ භාණ්ඩ හුවමාරු ලෙසයි. භාණ්ඩ හුවමාරුවකදී ගනුදෙනුව සිදු වුනාට පස්සේ එය එතැනින් ඉවරයි. හුවමාරු කර ගත හැකි දෙයක් තමන් සතුව නැත්නම් බොහෝ විට ගනුදෙනුවක් නැහැ. ඒ නිසා රටවල් අතර වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.
පසුව ගනුදෙනු වලදී මුදල් භාවිතයට ගැනුණා. මුලදී මුදල් වුනේ රන් රිදී වැනි වටිනා ලෝහ. ඒ අනුව භාණ්ඩ සමඟ රන් රිදී හුවමාරු වුනා. ලංකාව වගේ රන් ආකාර නැති රටවලටත් ජාත්‍යන්තර වෙළඳාම හරහා රන් ලැබුණා. ඒ රන් වෙනුවෙන් මොනවා හෝ වෙනත් වටිනා දෙයක් දෙන්න වුනා. මුතු, මැණික්, අලි ඇත්තු, පසුව කුරුඳු. මේ ආකාරයට ලැබෙන රන් වලින් ගෙවා වෙනත් ඇතැම් භාණ්ඩ මිල දී ගත හැකි වුනා. නමුත්, උපයාගත් රන් නැත්නම් භාණ්ඩ මිල දී ගත හැකි නොහැකි නිසා තවදුරටත් වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.
දැන් ජාත්‍යන්තර වෙළඳාම සිදු වෙන්නේ ඉතිහාසයේ සිදු වුනු තරම් සරල ආකාරයකට නෙමෙයි. එක පැත්තකින් භාණ්ඩ එහා මෙහා වෙද්දී අනික් පැත්තෙන් භාණ්ඩ හෝ රන් එහා මෙහා වෙන්නේ නැහැ. ඒ වෙනුවට බැංකු කිහිපයක ගිණුම් සටහන් කිහිපයක් වැටෙන එකයි වෙන්නේ.
කිසියම් රටක් තවත් රටක් එක්ක ජාත්‍යන්තර වෙළඳාමේ නියැලෙමින් සිදු කරන අපනයන වල වටිනාකම හා ආනයන වල වටිනාකම හැම විටම හරියටම සමාන වෙන්නේ නැහැ. රටක ජංගම ගිණුමේ ශේෂයෙන් මේ වෙනස පිළිබිඹු වෙනවා. කිසියම් රටක් වෙනත් රටක් සමඟ වෙළඳාමේ නියැලෙන හැම විටෙකම ජංගම ගිණුමේ හර ගිණුම් සටහනක් හෝ බැර ගිණුම් සටහනක් වැටෙනවා. මේ සඳහා භාණ්ඩ හුවමාරුවක්ම සිදු විය යුතු නැහැ. සේවා හුවමාරුවක් වුවත් සිදු විය හැකියි. ආර්ථික වටිනාකමක් තිබෙන කවර හෝ දෙයක් වෙනුවෙන් මුදල් ලබා ගැනීමක් සිදු වූ විට එය ජංගම ගිණුමේ සටහන් වෙනවා.
මේ ආකාරයේ ගනුදෙනුවක් හරහා එක පැත්තකින් මුදල් සම්ප්‍රේෂණය වෙද්දී අනෙක් පැත්තෙන් කිසියම් ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් සම්ප්‍රේෂණය වන නිසා ගනුදෙනුව එතැනින් අවසානයි. එසේ නොවන ගනුදෙනුත් තිබෙනවා. විදේශ ණයක් ලබා ගැනීම එවැනි ගනුදෙනුවක්. එහිදී ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු වෙන්නේ නැහැ. ඒ නිසා ගනුදෙනුව එතැනින් ඉවර වෙන්නේ නැහැ. මේ මොහොතේ සිදු වෙන්නේ ගනු කොටස පමණක් නිසා දෙනු කොටස අනාගතයට ඉතිරි වෙනවා. මේ ආකාරයේ ගනුදෙනු ජංගම ගිණුමේ සටහන් වෙන්නේ නැහැ. ජංගම ගිණුමේ සටහන් නොවෙන ඉහත ආකාරයේ ගනුදෙනු සටහන් වෙන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.
කිසියම් රටක් වෙනත් රටක් සමඟ කරන වෙළඳාමේදී ජංගම ගිණුම සමතුලිත විය යුතුම නැහැ. එහි ධන හෝ සෘණ ශේෂයක් තිබෙන්න පුළුවන්. එය ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, ලෝකයේ අනෙක් හැම රටක් එක්කම කරන ගනුදෙනු වලින් පසුව ජංගම ගිණුමේ ශේෂයක් ඉතිරි වෙනවානම් එහි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාව ඇමරිකාව හා යුරෝපය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට වාසිදායක ධන ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. අනෙක් අතට ඉන්දියාව හා චීනය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට අවාසිදායක සෘණ ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. මේ ධන ශේෂය හා සෘණ ශේෂය එකිනෙකින් සමතුලිත වෙනවානම් අවසාන වශයෙන් ජංගම ගිණුම සමතුලිතයි.
කිසිම රටක ජංගම ගිණුම් ශේෂය කිසියම් වසරක් ඇතුළත හරියටම සමතුලිත වෙන්නේ නැහැ. භාණ්ඩ හෝ රන් හුවමාරු නොවන ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයකදී ලොකු අහම්බයකින් මිසක් එහෙම වෙන්න විදිහක් නැහැනේ. පොඩි ශේෂයක් හෝ ඉතිරි වෙන්න ඕනෑනේ. ඉහත සිතියමේ පෙන්වා තිබෙන්නේ 2017 වසරේදී ලෝකයේ රටවල් වල ජංගම ගිණුමේ ශේෂය හිඟයක්ද අතිරික්තයක්ද කියන එකයි. 2017න් පසුව බොහෝ රටවල සංඛ්‍යාලේඛණ යාවත්කාලීන වී නැති නිසයි 2018 හෝ 2019 වෙනුවට 2017 ගත්තේ.
කිසියම් වසරකදී ජංගම ගිණුමේ පොඩි ශේෂයක් ඉතිරි වීමත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දිගුකාලීනව ගිණුම සමතුලිතනම් කිසියම් වසරක ශේෂය සමතුලිත නොවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලෝකයේ ඇතැම් රටවල් ඒ විදිහට තමන්ගේ ජංගම ගිණුම දිගුකාලීනව සමතුලිත ලෙස පවත්වා ගන්නවා. ඒ වුනත්, එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. ඇතැම් රටවල් විසින් දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගැනීමත්, තවත් ඇතැම් රටවල් විසින් දිගින් දිගටම සෘණ ශේෂයක් පවත්වා ගැනීමත් අපට නිරීක්ෂණය වන සාමාන්‍ය තත්ත්වයයි.
Source: IMF
වෙනත් විදිහකින් කිවුවොත් හැම රටකම ජංගම ගිණුමේ අහම්බෙන් පොඩි ශේෂයක් පමණක් ඉතිරි වෙනවානම් ඉහත සිතියමේ පාට වසරින් වසර අහඹු ලෙස මාරු විය යුතුයි. නමුත්, එහෙම වෙන්නේ නැහැ. 2018 හෝ 2019 වසර වල සිතියම බැලුවොත් පාට මාරු වී තිබෙන්නේ ඉතාම සුළු රටවල් ගණනක පමණයි. ලංකාවේ ජංගම ගිණුම් ශේෂය දිගින් දිගටම සෘණ. ඇමරිකාව හෝ එක්සත් රාජධානිය ගත්තත් එහෙමයි. අනෙක් පැත්තෙන් ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ රටවල දිගින් දිගටම දැකිය හැක්කේ ධන ජංගම ගිණුම් ශේෂයක්.
මේ ආකාරයේ ජංගම ගිණුම් අසමතුලිතතා දිගින් දිගටම පවතිනවා කියන එකෙන් අදහස් වෙන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී ප්රාග්ධනය ගලා යන නිශ්චිත රටාවක් තිබෙනවා කියන එකයි. ඒ කියන්නේ සෑම වසරකම ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව වගේ රටවල කිසියම් අතිරික්ත ප්‍රාග්ධනයක් එකතු වෙනවා. ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, එක්සත් රාජධානිය වගේ රටවල ප්රාග්ධනය ක්‍රමයෙන් ක්ෂය වෙනවා. මෙවැන්නක් වෙන්න පුලුවන්ද?
කිසියම් රටක ජංගම ගිණුම අසමතුලිතනම් එම අසමතුලිතතාව මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය හරහා සමතුලිත විය යුතුයි. වෙනත් විදිහකට කිවුවොත් ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටවල් යම් ආකාරයකින් ඒ හිඟය පියවාගෙන තිබිය යුතුයි. එහෙම නැත්නම් වෙළඳාමක් සිදු වී තිබෙන්නේ බැහැනේ.
ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටකට ඒ හිඟය පියවා ගන්න වෙන්නේ විදේශ ණය අරගෙනයි. එය එකම ක්‍රමය නෙමෙයි. සෘජු විදේශ ආයෝජන, දේශීය සම්පත් විකිණීම වගේ තවත් ක්‍රමත් තිබෙනවා. මේ හැම අවස්ථාවකම සිදු වෙන්නේ රට ඇතුළේ තිබෙන වත්කම් වල අයිතිය විදේශිකයින්ට හිමි වීමක්. මේ ආකාරයේ ගනුදෙනු සටහන් කරන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.
මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ සටහන් වන ගනුදෙනු එතැනින් කෙළවර වන ගනුදෙනු නෙමෙයි. විදේශ ණය, දේශීය සම්පත් විකිණීම, සෘජු විදේශ ආයෝජන වගේ මොන ක්‍රමයකින් විදේශ ප්රාග්ධනය ලබා ගත්තත් අවසාන වශයෙන් සිදු වෙන්නේ අනාගතයේදී රටින් පිටතට ප්රාග්ධනය ගලා යන මාර්ගයක් විවෘත වෙන එකයි. අනෙක් අතට ණය දෙන, සෘජු විදේශ ආයෝජන කරන, විදේශ සම්පත් මිල දී ගන්න රටවලට අනාගතයේදී දිගින් දිගටම ආදායමක් ලැබිය හැකි, ප්රාග්ධනය ගලා එන මාර්ගයක් විවෘත වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ දිගින් දිගටම ජංගම ගිණුමේ ශේෂයක් පවත්වා ගනිමින් ප්රාග්ධනය එක් රැස් කර ගෙන සිටින රටවලටයි.
අවසාන වශයෙන් වෙන්නේ ජංගම ගිණුමේ අතිරික්තය ප්‍රාග්ධන උල්පතක් බවට පත් වී දිගින් දිගටම තවත් ප්රාග්ධනය උපයන්න පටන් ගන්න එකයි. මේ ආකාරයේ ප්‍රාග්ධන ආයෝජන ප්‍රමාණවත් තරමට ඇත්නම් පසුකාලීනව ජංගම ගිණුම් ශේෂය හිඟයක් වුනත් ප්‍රශ්නයක් නැහැ. මොකද ජංගම ගිණුමේ හිඟය පියවා ගත හැකි ආදායමක් ලබා දෙන වත්කම් රටෙන් පිට තිබෙන නිසා ඒ වෙනුවෙන් කාගෙන්වත් ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, අවසාන වශයෙන් වැදගත් වෙන්නේ කිසියම් රටකට රටින් පිටත තිබෙන වත්කම් හා බැරකම් මොනවාද කියන එකයි.
රටින් පිටත ආදායම් උපදවන වත්කම් ඇති රටවල් ලෝක ණය හිමියෝ. ඒ වගේම රටින් පිටතට බැරකම් ඇති රටවල් ලෝක ණයකරුවෝ. ලෝකයේ සෑම රටකම ජංගම ගිණුම් සමතුලිතව තිබුණත් ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටවලට දිගින් දිගටම ප්රාග්ධනය ගලා එනවා. ඒ රටවල් එන්න එන්නම පෝසත් වෙනවා. ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටවල් දිගින් දිගටම දුප්පත් වෙනවා. ඒ රටවල් වලින් ප්රාග්ධනය දිගින් දිගටම පිටතට ගලා යනවා.
ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ආදායම් එනවා. ඒ වගේම ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ප්රාග්ධනය ක්ෂය වෙනවා. මේ තත්ත්වයන් වසරින් වසර කළමනාකරණය කරන්න යාමේදී සිදු වෙන්නේ ශුද්ධ ජාත්‍යන්තර බැරකම් තවත් ඉහළ ගොස් ප්රාග්ධනය වඩා වේගයෙන් ක්ෂය වෙන එකයි. කොයි ආකාරයකින් හෝ මේ චක්‍රයෙන් මිදුනේ නැත්නම් තාවකාලිකව කවර ආශ්චර්යයන් පෙනෙන්න තිබුණත් දිගුකාලීනව රට යන්නේ වල පල්ලටයි.
ජපානය, චීනය, සිංගප්පූරුව, ජර්මනිය වගේ රටවල් මේ චක්‍රයෙන් මිදී සිටිනවා වගේම වෙනත් රටවල් මේ චක්‍රයේ සිර වී සිටීමේ වාසියද ලබා ගන්නවා. ලංකාව දිගින් දිගටම මේ උගුලේ සිර වෙමින් සිටිනවා. කෝවිඩ් වසංගත කාලය මේ ගැන ගැඹුරින් සිතා ක්‍රියාත්මක වීමට සුදුසුම කාලයක්!
ඉතිහාසය පුරා බොහෝ විට ජාත්‍යන්තර ගනුදෙනු සිදු වුනේ භාණ්ඩ හුවමාරු ලෙසයි. භාණ්ඩ හුවමාරුවකදී ගනුදෙනුව සිදු වුනාට පස්සේ එය එතැනින් ඉවරයි. හුවමාරු කර ගත හැකි දෙයක් තමන් සතුව නැත්නම් බොහෝ විට ගනුදෙනුවක් නැහැ. ඒ නිසා රටවල් අතර වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.
පසුව ගනුදෙනු වලදී මුදල් භාවිතයට ගැනුණා. මුලදී මුදල් වුනේ රන් රිදී වැනි වටිනා ලෝහ. ඒ අනුව භාණ්ඩ සමඟ රන් රිදී හුවමාරු වුනා. ලංකාව වගේ රන් ආකාර නැති රටවලටත් ජාත්‍යන්තර වෙළඳාම හරහා රන් ලැබුණා. ඒ රන් වෙනුවෙන් මොනවා හෝ වෙනත් වටිනා දෙයක් දෙන්න වුනා. මුතු, මැණික්, අලි ඇත්තු, පසුව කුරුඳු. මේ ආකාරයට ලැබෙන රන් වලින් ගෙවා වෙනත් ඇතැම් භාණ්ඩ මිල දී ගත හැකි වුනා. නමුත්, උපයාගත් රන් නැත්නම් භාණ්ඩ මිල දී ගත හැකි නොහැකි නිසා තවදුරටත් වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.
දැන් ජාත්‍යන්තර වෙළඳාම සිදු වෙන්නේ ඉතිහාසයේ සිදු වුනු තරම් සරල ආකාරයකට නෙමෙයි. එක පැත්තකින් භාණ්ඩ එහා මෙහා වෙද්දී අනික් පැත්තෙන් භාණ්ඩ හෝ රන් එහා මෙහා වෙන්නේ නැහැ. ඒ වෙනුවට බැංකු කිහිපයක ගිණුම් සටහන් කිහිපයක් වැටෙන එකයි වෙන්නේ.
කිසියම් රටක් තවත් රටක් එක්ක ජාත්‍යන්තර වෙළඳාමේ නියැලෙමින් සිදු කරන අපනයන වල වටිනාකම හා ආනයන වල වටිනාකම හැම විටම හරියටම සමාන වෙන්නේ නැහැ. රටක ජංගම ගිණුමේ ශේෂයෙන් මේ වෙනස පිළිබිඹු වෙනවා. කිසියම් රටක් වෙනත් රටක් සමඟ වෙළඳාමේ නියැලෙන හැම විටෙකම ජංගම ගිණුමේ හර ගිණුම් සටහනක් හෝ බැර ගිණුම් සටහනක් වැටෙනවා. මේ සඳහා භාණ්ඩ හුවමාරුවක්ම සිදු විය යුතු නැහැ. සේවා හුවමාරුවක් වුවත් සිදු විය හැකියි. ආර්ථික වටිනාකමක් තිබෙන කවර හෝ දෙයක් වෙනුවෙන් මුදල් ලබා ගැනීමක් සිදු වූ විට එය ජංගම ගිණුමේ සටහන් වෙනවා.
මේ ආකාරයේ ගනුදෙනුවක් හරහා එක පැත්තකින් මුදල් සම්ප්‍රේෂණය වෙද්දී අනෙක් පැත්තෙන් කිසියම් ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් සම්ප්‍රේෂණය වන නිසා ගනුදෙනුව එතැනින් අවසානයි. එසේ නොවන ගනුදෙනුත් තිබෙනවා. විදේශ ණයක් ලබා ගැනීම එවැනි ගනුදෙනුවක්. එහිදී ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු වෙන්නේ නැහැ. ඒ නිසා ගනුදෙනුව එතැනින් ඉවර වෙන්නේ නැහැ. මේ මොහොතේ සිදු වෙන්නේ ගනු කොටස පමණක් නිසා දෙනු කොටස අනාගතයට ඉතිරි වෙනවා. මේ ආකාරයේ ගනුදෙනු ජංගම ගිණුමේ සටහන් වෙන්නේ නැහැ. ජංගම ගිණුමේ සටහන් නොවෙන ඉහත ආකාරයේ ගනුදෙනු සටහන් වෙන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.
කිසියම් රටක් වෙනත් රටක් සමඟ කරන වෙළඳාමේදී ජංගම ගිණුම සමතුලිත විය යුතුම නැහැ. එහි ධන හෝ සෘණ ශේෂයක් තිබෙන්න පුළුවන්. එය ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, ලෝකයේ අනෙක් හැම රටක් එක්කම කරන ගනුදෙනු වලින් පසුව ජංගම ගිණුමේ ශේෂයක් ඉතිරි වෙනවානම් එහි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාව ඇමරිකාව හා යුරෝපය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට වාසිදායක ධන ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. අනෙක් අතට ඉන්දියාව හා චීනය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට අවාසිදායක සෘණ ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. මේ ධන ශේෂය හා සෘණ ශේෂය එකිනෙකින් සමතුලිත වෙනවානම් අවසාන වශයෙන් ජංගම ගිණුම සමතුලිතයි.
කිසිම රටක ජංගම ගිණුම් ශේෂය කිසියම් වසරක් ඇතුළත හරියටම සමතුලිත වෙන්නේ නැහැ. භාණ්ඩ හෝ රන් හුවමාරු නොවන ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයකදී ලොකු අහම්බයකින් මිසක් එහෙම වෙන්න විදිහක් නැහැනේ. පොඩි ශේෂයක් හෝ ඉතිරි වෙන්න ඕනෑනේ. ඉහත සිතියමේ පෙන්වා තිබෙන්නේ 2017 වසරේදී ලෝකයේ රටවල් වල ජංගම ගිණුමේ ශේෂය හිඟයක්ද අතිරික්තයක්ද කියන එකයි. 2017න් පසුව බොහෝ රටවල සංඛ්‍යාලේඛණ යාවත්කාලීන වී නැති නිසයි 2018 හෝ 2019 වෙනුවට 2017 ගත්තේ.
කිසියම් වසරකදී ජංගම ගිණුමේ පොඩි ශේෂයක් ඉතිරි වීමත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දිගුකාලීනව ගිණුම සමතුලිතනම් කිසියම් වසරක ශේෂය සමතුලිත නොවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලෝකයේ ඇතැම් රටවල් ඒ විදිහට තමන්ගේ ජංගම ගිණුම දිගුකාලීනව සමතුලිත ලෙස පවත්වා ගන්නවා. ඒ වුනත්, එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. ඇතැම් රටවල් විසින් දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගැනීමත්, තවත් ඇතැම් රටවල් විසින් දිගින් දිගටම සෘණ ශේෂයක් පවත්වා ගැනීමත් අපට නිරීක්ෂණය වන සාමාන්‍ය තත්ත්වයයි.
Table 1: Current Account Balance (Billions of US Dollars) | |||||||
2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | |
Germany | 251.6 | 245.4 | 278.7 | 288.6 | 295.1 | 287.2 | 293.1 |
Japan | 60.1 | 46.4 | 36.4 | 136.5 | 197 | 203.2 | 176.1 |
China, P.R.: Mainland | 215.4 | 148.2 | 236 | 304.2 | 202.2 | 195.1 | 25.5 |
Netherlands, The | 89.5 | 85.5 | 76 | 48.5 | 62.9 | 90.2 | 99.1 |
Korea, Rep. of | 48.8 | 77.3 | 83 | 105.1 | 97.9 | 75.2 | 77.5 |
Singapore | 52.1 | 48.3 | 56.5 | 57.6 | 56.2 | 55.6 | 64.1 |
Italy | -5.1 | 24 | 40.1 | 25.4 | 48.4 | 51.4 | 51.5 |
Thailand | -4.9 | -8.8 | 11.6 | 27.8 | 43.4 | 44 | 28.5 |
Switzerland | 71.3 | 79.7 | 60.6 | 76.6 | 66.2 | 43.6 | 57.9 |
Spain | 0.7 | 27.6 | 22.7 | 24.1 | 39.3 | 35.6 | 27.3 |
2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | 2019 | |
United States | -348.8 | -365.2 | -407.8 | -428.3 | -439.6 | -491 | -498.3 |
United Kingdom | -132.9 | -144.6 | -143.6 | -141.8 | -93 | -110.2 | -106.9 |
Canada | -58.1 | -41.9 | -54.7 | -47.3 | -46.4 | -43 | -35.4 |
Turkey | -55.9 | -38.8 | -27.3 | -26.8 | -40.6 | -20.7 | 8.7 |
India | -49.1 | -27.3 | -22.5 | -12.1 | -38.2 | -65.6 | -26.9 |
Australia | -47.9 | -43.4 | -57 | -41 | -35.8 | -29.3 | 7.1 |
Argentina | -13.1 | -9.2 | -17.6 | -15.1 | -31.2 | -27.3 | -3.5 |
Algeria | 1.2 | -9.3 | -27 | -26.2 | -22.1 | ||
Mexico | -31.5 | -25.4 | -31 | -24.3 | -20.5 | -23 | -2.4 |
France | -24.4 | -37.4 | -9.1 | -12.2 | -16.5 | -19 | -18.5 |
Source: IMF
වෙනත් විදිහකින් කිවුවොත් හැම රටකම ජංගම ගිණුමේ අහම්බෙන් පොඩි ශේෂයක් පමණක් ඉතිරි වෙනවානම් ඉහත සිතියමේ පාට වසරින් වසර අහඹු ලෙස මාරු විය යුතුයි. නමුත්, එහෙම වෙන්නේ නැහැ. 2018 හෝ 2019 වසර වල සිතියම බැලුවොත් පාට මාරු වී තිබෙන්නේ ඉතාම සුළු රටවල් ගණනක පමණයි. ලංකාවේ ජංගම ගිණුම් ශේෂය දිගින් දිගටම සෘණ. ඇමරිකාව හෝ එක්සත් රාජධානිය ගත්තත් එහෙමයි. අනෙක් පැත්තෙන් ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ රටවල දිගින් දිගටම දැකිය හැක්කේ ධන ජංගම ගිණුම් ශේෂයක්.
මේ ආකාරයේ ජංගම ගිණුම් අසමතුලිතතා දිගින් දිගටම පවතිනවා කියන එකෙන් අදහස් වෙන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී ප්රාග්ධනය ගලා යන නිශ්චිත රටාවක් තිබෙනවා කියන එකයි. ඒ කියන්නේ සෑම වසරකම ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව වගේ රටවල කිසියම් අතිරික්ත ප්‍රාග්ධනයක් එකතු වෙනවා. ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, එක්සත් රාජධානිය වගේ රටවල ප්රාග්ධනය ක්‍රමයෙන් ක්ෂය වෙනවා. මෙවැන්නක් වෙන්න පුලුවන්ද?
කිසියම් රටක ජංගම ගිණුම අසමතුලිතනම් එම අසමතුලිතතාව මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය හරහා සමතුලිත විය යුතුයි. වෙනත් විදිහකට කිවුවොත් ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටවල් යම් ආකාරයකින් ඒ හිඟය පියවාගෙන තිබිය යුතුයි. එහෙම නැත්නම් වෙළඳාමක් සිදු වී තිබෙන්නේ බැහැනේ.
ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටකට ඒ හිඟය පියවා ගන්න වෙන්නේ විදේශ ණය අරගෙනයි. එය එකම ක්‍රමය නෙමෙයි. සෘජු විදේශ ආයෝජන, දේශීය සම්පත් විකිණීම වගේ තවත් ක්‍රමත් තිබෙනවා. මේ හැම අවස්ථාවකම සිදු වෙන්නේ රට ඇතුළේ තිබෙන වත්කම් වල අයිතිය විදේශිකයින්ට හිමි වීමක්. මේ ආකාරයේ ගනුදෙනු සටහන් කරන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.
මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ සටහන් වන ගනුදෙනු එතැනින් කෙළවර වන ගනුදෙනු නෙමෙයි. විදේශ ණය, දේශීය සම්පත් විකිණීම, සෘජු විදේශ ආයෝජන වගේ මොන ක්‍රමයකින් විදේශ ප්රාග්ධනය ලබා ගත්තත් අවසාන වශයෙන් සිදු වෙන්නේ අනාගතයේදී රටින් පිටතට ප්රාග්ධනය ගලා යන මාර්ගයක් විවෘත වෙන එකයි. අනෙක් අතට ණය දෙන, සෘජු විදේශ ආයෝජන කරන, විදේශ සම්පත් මිල දී ගන්න රටවලට අනාගතයේදී දිගින් දිගටම ආදායමක් ලැබිය හැකි, ප්රාග්ධනය ගලා එන මාර්ගයක් විවෘත වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ දිගින් දිගටම ජංගම ගිණුමේ ශේෂයක් පවත්වා ගනිමින් ප්රාග්ධනය එක් රැස් කර ගෙන සිටින රටවලටයි.
අවසාන වශයෙන් වෙන්නේ ජංගම ගිණුමේ අතිරික්තය ප්‍රාග්ධන උල්පතක් බවට පත් වී දිගින් දිගටම තවත් ප්රාග්ධනය උපයන්න පටන් ගන්න එකයි. මේ ආකාරයේ ප්‍රාග්ධන ආයෝජන ප්‍රමාණවත් තරමට ඇත්නම් පසුකාලීනව ජංගම ගිණුම් ශේෂය හිඟයක් වුනත් ප්‍රශ්නයක් නැහැ. මොකද ජංගම ගිණුමේ හිඟය පියවා ගත හැකි ආදායමක් ලබා දෙන වත්කම් රටෙන් පිට තිබෙන නිසා ඒ වෙනුවෙන් කාගෙන්වත් ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, අවසාන වශයෙන් වැදගත් වෙන්නේ කිසියම් රටකට රටින් පිටත තිබෙන වත්කම් හා බැරකම් මොනවාද කියන එකයි.
රටින් පිටත ආදායම් උපදවන වත්කම් ඇති රටවල් ලෝක ණය හිමියෝ. ඒ වගේම රටින් පිටතට බැරකම් ඇති රටවල් ලෝක ණයකරුවෝ. ලෝකයේ සෑම රටකම ජංගම ගිණුම් සමතුලිතව තිබුණත් ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටවලට දිගින් දිගටම ප්රාග්ධනය ගලා එනවා. ඒ රටවල් එන්න එන්නම පෝසත් වෙනවා. ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටවල් දිගින් දිගටම දුප්පත් වෙනවා. ඒ රටවල් වලින් ප්රාග්ධනය දිගින් දිගටම පිටතට ගලා යනවා.
ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ආදායම් එනවා. ඒ වගේම ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ප්රාග්ධනය ක්ෂය වෙනවා. මේ තත්ත්වයන් වසරින් වසර කළමනාකරණය කරන්න යාමේදී සිදු වෙන්නේ ශුද්ධ ජාත්‍යන්තර බැරකම් තවත් ඉහළ ගොස් ප්රාග්ධනය වඩා වේගයෙන් ක්ෂය වෙන එකයි. කොයි ආකාරයකින් හෝ මේ චක්‍රයෙන් මිදුනේ නැත්නම් තාවකාලිකව කවර ආශ්චර්යයන් පෙනෙන්න තිබුණත් දිගුකාලීනව රට යන්නේ වල පල්ලටයි.
ජපානය, චීනය, සිංගප්පූරුව, ජර්මනිය වගේ රටවල් මේ චක්‍රයෙන් මිදී සිටිනවා වගේම වෙනත් රටවල් මේ චක්‍රයේ සිර වී සිටීමේ වාසියද ලබා ගන්නවා. ලංකාව දිගින් දිගටම මේ උගුලේ සිර වෙමින් සිටිනවා. කෝවිඩ් වසංගත කාලය මේ ගැන ගැඹුරින් සිතා ක්‍රියාත්මක වීමට සුදුසුම කාලයක්!
Labels:
ආර්ථික විද්‍යාව,
ගිණුම්කරණය,
ගෙවුම් ශේෂය,
ජාත්‍යන්තර වෙළඳාම,
ප්රාග්ධනය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...