වෙබ් ලිපිනය:

Friday, April 10, 2020

ඇමරිකාවේ කෝවිඩ් හා ලංකාවේ ආර්ථිකය

මේ වන විට ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම පාලනය වී තිබෙන බව පැහැදිලියි. එයින් අදහස් වෙන්නේ ඉදිරි දවස් වලදී රෝගීන් හමු නොවන බව හෝ මරණ සිදු නොවන බව නෙමෙයි. ඇමරිකාවේ කෝවිඩ්-19 මරණ ප්‍රමාණය මේ වන විට 18,000ක් පමණ වෙනවා. වොෂින්ටන් සරසවියේ ඇස්තමේන්තු අනුව, මේ මරණ ප්‍රමාණය 60,000 පමණ දක්වා ඉහළ යා හැකියි.


(Grapph: https://covid19.healthdata.org/united-states-of-america)

එහෙමනම්, කෝවිඩ්-19 පැතිරීම පාලනය වී ඇති බව කියන්නේ කොහොමද?

කිසියම් රටක කෝවිඩ්-19 පැතිරීම ආරම්භ වූ අවදියේදී ඝාතීය වර්ධනයක් දකින්න ලැබෙනවා. ඇමරිකාවේ හා යුරෝපීය රටවල් බොහොමයකම මේ තත්ත්වය දකින්න ලැබුණා. රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය ඇතුළු ලොකු ජනගහණයක් සිටින හා ප්‍රමාද වී කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දුන් රටවල මේ වන විට මේ ඝාතීය වර්ධන තත්ත්වය දැකිය හැකියි. එහෙත්, ඇමරිකාව හා යුරෝපීය රටවල් බොහොමයක් මේ වන විට ඝාතීය වර්ධන අවදිය පසු කර රේඛීය වර්ධන අවදියකට අවතීර්ණ වී තිබෙනවා. ඒ කියන්නේ, තවමත් දිනපතා රෝගීන් වැඩි වන නමුත් දිනකට වැඩිවන රෝගීන් ගණන එන්න එන්නම වැඩි වෙන්නේ නැහැ. ලංකාවේනම් මුල සිටම දැකිය හැකිව තිබුණේ රේඛීය වර්ධනයක්.


(Grapph: https://www.worldometers.info/coronavirus/)

කලින්ම හා වේගයෙන්ම රෝගය පැතිරුණු රටවල් කලින්ම ඝාතීය වර්ධන අවදිය පසු කළා. ඒ නිසා, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය වැනි රටවල සිදු විය හැකි මරණ වලින් විශාල ප්‍රමාණයක් දැනටමත් සිදු වී හමාරයි. නමුත්, ටික දවසකට පෙර ඝාතීය වර්ධන අවදිය පසු කළ ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ මරණ ප්‍රමාණය තවත් කිහිප ගුණයකින් වැඩි වෙයි.

තෝරාගත් රටවල් කිහිපයක සිදු විය හැකි මරණ ප්‍රමාණයන් පිළිබඳ දැනට තිබෙන (වෙනස් විය හැකි) ඇස්තමේන්තු හා දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණ මේ විදිහයි.

ඇමරිකා එක්සත් ජනපදය 18,000 -> 61,500
ඉතාලිය 19,000 -> 20,500
ස්පාඤ්ඤය 16,000 -> 18,500
ප්‍රංශය 12,000 -> 15,500
එක්සත් රාජධානිය 9,000 -> 37,000
ජර්මනිය 2,600 -> 7,000
නෙදර්ලන්තය 2,500 -> 18,000
බෙල්ජියම 3,000 -> 4,300

මේ ලැයිස්තුවේ තිබෙන රටවල් ලංකාවේ ඇඟලුම් මිල දී ගන්නා ප්‍රධාන රටවල්. 2018 වසරේදී මේ රටවල් ලංකාවෙන් මිල දී ගත් ඇඟළුම් වල වටිනාකම ඩොලර් මිලියන වලින් මෙහෙමයි.

ඇමරිකා එක්සත් ජනපදය 2,269
ඉතාලිය 463
ස්පාඤ්ඤය 23
ප්‍රංශය 64
එක්සත් රාජධානිය 737
ජර්මනිය 265
නෙදර්ලන්තය 130
බෙල්ජියම හා ලක්සම්බර්ග්  214

සමස්තයක් ලෙස ඩොලර් බිලියන 5 කට ආසන්න වූ ලංකාවේ ඇඟලුම් අපනයන ආදායමෙන් 90%ක් පමණම ලැබෙන්නේ ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් සහ යුරෝපීය සංගමයේ රටවලින්. 60%කට වඩා ලැබෙන්නේ එක්සත් රාජධානියෙන් හා ඇමරිකා එක්සත් ජනපදයෙන්.

කෝවිඩ්-19 පැතිරීමත් සමඟම මේ රටවල මිනිස්සු ගෙවල් වලට වී ඉන්නවා. මේ තත්ත්වය හෙමින් මිසක් එකවර වෙනස් වෙන එකක් නැහැ. මේ වගේ වෙලාවක මිනිස්සුන්ට අලුතින් ඇඳුම් මිල දී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් ඇඳුම් ඇඳලා කොහේ කියලා යන්නද?

ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපානවා. චීනයේ කෝවිඩ්-19 පැතිරී චීන ආර්ථිකය දුර්වල වන විට වෙන්නේ ලංකාවේ ආනයන අඩු වී වියදම් පහළ බහින එකයි. නමුත්, ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරෙන කොට වෙන්නේ ලංකාවේ අපනයන අඩු වී ආදායම් පහළ බහින එකයි. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ජාත්‍යන්තර බැඳුම්කර වල ආයෝජනය කරන ආයෝජකයෝ ඔය බව හොඳින්ම දන්නවා.

ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත්තේ යුරෝපයේ අනෙක් ඇතැම් රටවලට වඩා තරමක් පසුවයි. මේ රටවල් දෙකේ කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය ඝාතීය ලෙස වර්ධනය වුනු කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ඒ ආකාරයටම ඉහළ ගියා.

පසුගිය සතියේ ඇමරිකාව හා බ්‍රිතාන්‍යය මේ ඝාතීය වර්ධන අවදිය පහු කිරීමත් සමඟම ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ක්ෂණිකව ස්ථාවර වී තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ් පැතිරීම පාලනය වීම රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගත හැකි විකල්ප බොහොමයක්ම දැනටමත් ප්‍රයෝජනයට ගෙන අවසන්ව දහ අතේ කල්පනා කරමින් ඉන්න ලංකාවට යම් තරමක හෝ අස්වැසිල්ලක් වෙයි.

එහෙත්, මේ නැඹුරුවෙන් පෙන්වන්නේ ඇමරිකාව එක් සටනක් ජයගෙන ඇති බව මිස යුද්ධය දිනා අවසන් බව නෙමෙයි. යුරෝපය හා අදාළව තත්ත්වයත් එසේමයි. කෝවිඩ්-19 පළමු චක්‍රය අපේක්ෂා කර තිබුණු පරිද්දෙන්ම අවසන් වෙමින් ඇති බව පෙනෙන්නට ඇතත්, දෙවන චක්‍රයක් මතු වීමේ අනතුර එසේම තිබෙනවා.

මේ තත්ත්වය ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර වල ඵලදා වක්‍රයෙන්ද පිළිබිඹු වෙනවා. කෙටි අන්තයේ පොලී අනුපාතික අඩු වී ඇතත් වක්‍රයේ මැද කොටස ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ අවදානම පසුපසට තල්ලු වී ඇතුවා මිස පහව ගොස් නැති බවයි.


Thursday, April 9, 2020

කොරෝනාවට පෙර ලෝකය


ධනවාදය, සමාජවාදය, ජාතිකවාදය හා ජාත්‍යන්තරවාදය කියන "වාද" හතර (ඉංග්‍රීසියෙන් කියනවනම් "isms" හතර) මම පෞද්ගලිකව ආකෘතිගත කර ගන්නේ කොහොමද කියන එකයි කලින් ලිපියේ ලිවුවේ. මේ ආකෘතිය අනුව, ධනවාදය හා සමාජවාදය කියන්නේ තිරස් අක්ෂයේ ප්‍රතිවිරුද්ධ පැති. ඒ නිසා, ධනවාදයට නැඹුරු වීම සමාජවාදයෙන් බැහැර වීමක්ද වෙනවා. නමුත්, ජාතිකවාදය කියන එක වෙනත් මානයක්. ඒ මානය තිබෙන්නේ ධනවාදී-සමාජවාදී අක්ෂයට ලම්බක වෙනම මානයක. ඒ නිසා කිසියම් රටක් ජාතිකවාදයට නැඹුරු වීම ධනවාදයට යාමක්වත්, ධනවාදය බැහැර කිරීමක්වත් නෙමෙයි. එය වෙනම කරුණක්.

ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ නිදහස් ගනුදෙනු කියන සංකල්පය මතයි. මෙහි නිදහස් කියා කියන විට රටක ආණ්ඩුවේ බලපෑම් වලින් නිදහස් වීම ප්‍රධානයි. බොහෝ ධනවාදීන් ආණ්ඩු වල බලපෑම අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත්, ගනුදෙනු සියල්ල ආණ්ඩුවේ බලපෑමෙන් නිදහස් වූ රටවල් ලෝකයේ කොහේවත් නැහැ. ඇතැම් රටවල සමාජවාදය ක්‍රියාත්මක කරන්න ගොස් ඇති වූ විකෘතීන් ආපසු හැරවුණු අවස්ථා අත ඇරියොත් ආණ්ඩු එන්න එන්නම දුර්වල වනවාට වඩා ශක්තිමත් වන බවකුයි පෙනෙන්නට තියෙන්නේ.

මධ්‍යගත සැලසුම් වෙනුවෙන් පෙනී සිට ඇති හෝ පෙනී සිටින බොහෝ දෙනෙක් මාක්ස්වාදීන්. ඔවුන් කතා කරන දියුණු කොමියුනිස්ට් සමාජයකට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ලෝකය ඒ තත්ත්වය කරා යන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩා වඩා කාර්යක්ෂම වී එක්තරා සීමාවක් ඉක්මවූවාට පස්සේ. එවිට, පෞද්ගලික දේපොළ අයිතිය අවශ්‍ය නොවන වාස්තවික තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ අදහස සමඟ මට පෞද්ගලිකව ලොකු අවුලක් නැහැ. මට අවුලක් තිබෙන්නේ මාක්ස්වාදීන් විසින් සමාජවාදය නමින් සමාජය බලහත්කාරයෙන් පරිණාමය කරවන්න දැරූ උත්සාහය සම්බන්ධවයි.

සමාජවාදය පදනම් වන්නේ සියලුම මිනිසුන් සමාන නිසා සියලුම මිනිසුන්ට සමානව පරිභෝජනය කිරීමේ අයිතියක්ද තිබෙනවා කියන අදහස මතයි. මේ අදහස අනාගතයේ කිසියම් දවසක යථාර්තයක් වෙන්න පුළුවන්. සමස්ත මිනිස් සමාජයට සාමූහිකව නිෂ්පාදනය කරගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය එම සමාජයේ තනි මිනිස්සු සියලු දෙනාටම  මුළුමනින්ම තෘප්තිමත් විය හැකි පරිභෝජන මට්ටමකටත් වඩා ගොඩක් වැඩිනම් ඔය වගේ සමතුලිතතාවයක් පවතින්න පුළුවන්. මෙහිදී සාමූහිකව කියන එකෙන් මධ්‍යගත සැලසුමක් යටතේ කියා අදහස් වෙන්නේ නැහැ. ඕනෑම ධනවාදී සමාජයක් ක්‍රියාත්මක වන්නේද සාමූහිකත්වය මතයි.

කොහොම වුනත් පෙර කී ආකාරයේ නිෂ්පාදන තාක්ෂණයක් තවම නැහැනේ. ලෝකයේ ජීවත්වන සියලු දෙනාටම තෘප්තිමත් විය හැකි පරිභෝජන මට්ටමක් පවත්වා ගත හැකි තරම් නිෂ්පාදනයක් සමස්තයක් ලෙස ලෝකයේ සිදු වන්නේ නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් තිබෙනවා. සම්පත් බෙදාහැරීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. මෙහිදී දේපොළ අයිතිය ප්‍රශ්නයක් වෙනවා.

පවතින යථාර්තයන් යටතේ නිෂ්පාදන හැකියාව අතින් සියලු මිනිසුන් සමාන නැහැ පමණක් නෙමෙයි විවිධ මිනිසුන්ගේ නිෂ්පාදන හැකියාවන් විචල්‍ය වන පරාසය ඉතා විශාලයි. සියවස් හතර පහකට කලින් එවැනි පරතරයක් තිබුණේ නැහැ. මේ පරතරය ඇති වුනේ මිනිසුන් විසින් ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමේ ක්‍රියාවලිය ක්‍රමයෙන් වේගවත් වීමත් සමඟයි. සමස්තයක් ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය වඩ වඩා කාර්යක්ෂම වුනේත්, වෙන්නේත් මේ විදිහට මිනිසුන් විසින් වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමට සමාන්තරවයි. මධ්‍යගත සැලසුම් සමාජවාදය කියා කියන්නේ ඔය ක්‍රියාවලියේ එක අදියරක් වැරදියට විග්‍රහ කිරීමේ ප්‍රතිඵලයක්.

ධනවාදය තුළ සියලු මිනිසුන් ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් අනුව අසමානයින් නිසා සම්පත් බෙදී යාමේ විෂමතාවයන් තිබීම වැරැද්දක් ලෙස පිළිගැනෙන්නේ නැහැ. යමෙකුගේ නිෂ්පාදන ඵලය ඔහුගේ හෝ ඇයගේ අයිතියක් ලෙස පිළිගැනෙනවා. ඒ නිෂ්පාදන ඵලය තනිව භුක්ති විඳිනවාද වෙනත් අය සමඟ හවුලේ භුක්ති විඳිනවාද කියා තීරණය කිරීම පුද්ගල අයිතියක්. මේ ධනවාදී සම්පත් බෙදී යාම ස්වභාවිකවම සිදුවන දෙයක් නිසා එය ක්‍රියාත්මක කරන්න අමුතු මහන්සියක් අවශ්‍ය වන්නේ නැහැ. පුද්ගලික දේපොළ අයිතිය තහවුරු කිරීම ප්‍රමාණවත්.

නමුත්, සමාජවාදී ක්‍රමයකට මේ විදිහට ස්වභාවික පැවැත්මක් නැහැ. ක්‍රමය සමාජවාදී වුවත් පවතින නිෂ්පාදන ක්‍රමවේද යටතේ මිනිස්සු නිෂ්පාදන හැකියාවන් අනුව සමානයින් නොවන නිසා වඩා කාර්යක්ෂම මිනිසුන් විසින් නිපදවන දෙයින් කොටසක් අකාර්යක්ෂම මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කෙරෙන කෘතීම යාන්ත්‍රණයක් අවශ්‍යයි. මධ්‍යගත සැලසුම් හරහා වෙන්නේ ඔය කාර්යයයි. මෙය සිදු වුනේ හෝ සිදු වන්නේ පැරණි හා වත්මන් සමාජවාදී රටවල පමණක් නෙමෙයි. ඇමරිකාව වගේ රටක වුවත් මෙය අඩු පරිමාණයකින් සිදු වෙනවා. රටක බදු ක්‍රමය හරහා වෙන්නෙත් මේ දෙයයි.

සමාජවාදය වුවත්, ධනවාදය වුවත් ක්‍රියාත්මක කළ හැක්කේ ලෝකයේ පවතින දේශපාලනික බෙදීම් ඇතුළත සිටයි. ඉතිහාසයේ කවර කලෙකවත් ලෝක ආණ්ඩුවක් පැවතී නැහැ. නමුත්, සියලුම මිනිසුන් සමාන නිසා සියලුම මිනිසුන්ට සමානව පරිභෝජනය කිරීමේ අයිතියක්ද තිබෙනවා කියන අදහස දේශපාලනික සීමාවකට යටත් කරන්න බැහැ. රට ඇතුළේ හිටියත්, රටින් පිටත හිටියත් ඒ ඉන්නේ මිනිස්සු කියා සැලකුවොත් සමාජවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදී විය යුතුයි. එහෙමනම්, ලෝකයේ කොයි රටක හිටියත් වැඩි නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අයගේ නිෂ්පාදන ඵලයෙන් කොටසක් අඩු නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අය වෙත යා යුතුයි. මේ කරුණ බැහැර කර හදන මධ්‍යගත සැලසුමක් සමාජවාදයේ හරය සමඟ ගැටෙනවා.

නමුත්, ප්‍රශ්නය තිබෙන්නේ වැඩි නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අයගෙන් විශාල පිරිසක් සිටින්නේ මධ්‍යගත සැලසුම් පිළි නොගන්නා වෙනත් දේශපාලන බල අධිකාර තුළ වීමයි. ඒ නිසා, ඔවුන්ගේ නිෂ්පාදන ඵලය වෙනත් අය වෙත බෙදා හැරීමේ හැකියාවක් මෙවැනි මධ්‍යගත සැලසුමකට නැහැ. උදාහරණයක් විදිහට පැරණි සෝවියට් දේශය ගනිමු.

සෛද්ධාන්තිකව ගත්තොත් රට ඇතුලෙ සියලු දෙනාගේම පරිභෝජන මට්ටම් සමාන වන සම්පත් බෙදා හැරීමක් කරන්න සෝවියට් දේශයට පුළුවන්. ඒ වගේම, සෝවියට් දේශයට වඩා ආදායම් මට්ටම අඩු ලෝකයේ අනෙකුත් රටවල් සියල්ලේම මිනිසුන්ගේ පරිභෝජන මට්ටම් සමාන වන තුරු සෝවියට් දේශයේ හදන දේවල් එම රටවල් වලට දෙන්නත් පුළුවන්. ඒ රටවල් වලට නොමිලේ දෙන දෙයක් ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැනේ. නමුත්, ඇමරිකාව හෝ වෙනත් බටහිර රටවල හදන දේවල් අයිති කරගෙන බෙදා හැරීමේ හැකියාවක් සෝවියට් දේශයට නැහැ. ඒ නිසා, සෝවියට් දේශය ජාත්‍යන්තරවාදී වෙනවා කියා කියන්නේ රටින් පිටත මිනිසුන් වෙනුවෙන් රට ඇතුළේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්න ඉඩ අරිනවා කියන එකයි.

සමාජවාදී මධ්‍යගත සැලසුම් යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය ධනවාදී රටවල එම  ක්‍රියාවලියට වඩා අතිශයින්ම කාර්යක්ෂම වුනානම් සමහර විට මෙය කළ හැකිව තිබුණා. මොකද අනෙක් රටවල් වලටත් සම්පත් විශාල ලෙස බෙදා හරිමින් පරිභෝජන මට්ටමත් ඉහළින් තබා ගත හැකි තරමේ නිෂ්පාදනයක් රට ඇතුලෙ සිදු වෙනවා. නමුත්, මධ්‍යගත සැලසුම් යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම වුනේ ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලියට වඩා අඩුවෙනුයි. ඒ නිසා, සෝවියට් දේශයට කවදාවත් එක් සීමාවකින් ඔබ්බට ජාත්‍යන්තරවාදී විය හැකි තරමේ ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. එහෙත්, ආර්ථිකයට ඔරොත්තු දෙන තරමට සෝවියට් දේශය ජාත්‍යන්තරවාදී වුනා.

සමාජවාදී මධ්‍යගත සැලසුමක් යටතේ සංකල්පීය ලෙස කොහොම වුනත් ප්‍රායෝගිකව ජාත්‍යන්තරවාදී විය හැකි සීමාවක් තිබෙනවා. සමාජවාදී රටක් ජාත්‍යන්තරවාදී වෙන්න උත්සාහ කරන තරමට රට ඇතුළේ සිටින මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටෙනවා. එවිට, රට ඇතුළේ මිනිස්සුන්ගේ සහයෝගය පවත්වාගත හැකි තරමට ජාතිකවාදී වෙන්න සිදු වෙනවා. මේ එක්කම සංකල්පීය අවුලක් ඇති වෙනවා. සියලුම මිනිසුන් සමානයි. එහෙත්, රට ඇතුළේ ජීවත් වන මිනිස්සු වඩා සමානයි.

සෝවියට්  ආර්ථීකය බිඳ වැටීම, සෝවියට් දේශය බිඳ වැටී රුසියන් ජාතිකවාදය ඉස්මතු වීම වගේම චීන ජාතික සමාජවාදය මේ සන්දර්භය ඇතුළේ තේරුම් ගන්න පුළුවන්.

ධනවාදය ඇතුළේ සියලුම මිනිසුන් (නිෂ්පාදන හැකියාව අතින්) සමාන සේ පිළි නොගැනෙන නිසා මේ අවුල මේ විදිහට ඇති වෙන්නේ නැහැ. නමුත්, වෙනත් විදිහක අවුලක් තිබෙනවා.

ධනවාදයේ පදනම නිදහස් ගනුදෙනු වලින් ගනුදෙනුවේ දෙපාර්ශ්වයටම හිමිවන ලාබය. මෙහිදී වැදගත් වන්නේ ලාබයේ ප්‍රමාණය මිස ගනුදෙනුවේ පාර්ශ්ව කවුද කියන එක නෙමෙයි. ලංකාවේ අර්තාපල් කිලෝවක් හදන්න යන වියදමට වඩා අඩුවෙන් ඉන්දියාවෙන් අර්තාපල් කිලෝවක් ආනයනය කරන්න පුළුවන්. ලංකාවෙන් ඇඟළුම් ආනයනය කරන එක ඇමරිකාවේ ඇඟලුම් හදනවාට වඩා ලාබයි.

රටවල් අතර පූර්ණ නිදහස් වෙළඳාමක් තිබෙනවානම් ලෝකයේ කොහේ හෝ තිබෙන ලාබම ශ්‍රමයට වැඩිම ඉල්ලුමක් ලැබෙනවා. ඒ නිසා, ලෝකයේ කොහේ හෝ ඉන්න දුප්පත්ම මිනිස්සුන්ගේ ආදායම් එන්න එන්න වැඩි වී රටවල් අතර ආදායම් පරතරය අඩු වෙනවා. ඒ වගේම දුප්පත් රටවල් වල ආදායම් විෂමතාත් අඩු වෙනවා. නමුත්, මේ වැඩෙන් ධනවත් රටවල රට ඇතුළේ ආදායම් පරතරය වැඩි වෙනවා.

සෛද්ධාන්තිකව ගත්තොත් ධනවාදයත් ජාත්‍යන්තරවාදීයි. ලංකාවේ පාරිභෝගිකයෙක්ට වැදගත් වන්නේ පුළුවන් තරම් ලාබෙට අර්තාපල් කිලෝවක් මිල දී ගන්න එක මිසක් ගෙවන සල්ලි යන්නේ ලංකාවේ ගොවියෙක්ටද ඉන්දියාවේ ගොවියෙක්ටද කියන එක නෙමෙයි. සමස්ත ක්‍රියාවලියම සලකා බැලුවහම ඉන්දියාවේ ගොවියාට සල්ලි යන එක වඩා කාර්යක්ෂමයි. එයින් වෙන්නේ ලංකාවේ ගොවියාට තමන්ගේ අකාර්යක්ෂමතාවය නඩත්තු කරගන්න බැරි වීමයි. එය ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික ප්‍රශ්නයක් මිස සමාජ ප්‍රශ්නයක් නොවෙයි කියා හිතුවොත් මෙහි අවුලක් නැහැ. නමුත්, ගොඩක් අය එහෙම හිතන්නේ නැහැ.

රටවල් අතර සිදු වන ගනුදෙනු නිසා වන වාසි හා අවාසි පිළිබඳ තත්ත්වය මීටත් වඩා සංකීර්ණයි. හේතුව කිසිම රටක පූර්ණ නිදහස් වෙළඳපොළක් නැතිවීමයි. රටවල් ඇතුළේ වෙළඳාම නිදහස්ව නොතිබියදී ජාත්‍යන්තර වෙළඳාම පමණක් පූර්ණව නිදහස් කරලා අපේක්ෂිත කාර්යක්ෂමතාවය ලබා ගන්න බැහැ. අපි හිතමු ඉන්දියාවේ රජය විසින් ඉන්දියාවේ අර්තාපල් වගාව සුබසාධනය කරනවා කියලා. දැන් ලංකාවට එන ඉන්දියානු අර්තාපල් ලාබයි. ලංකාවේ අර්තාපල් ගොවියාට මේ මිලට අර්තාපල් හදන්න බැහැ. නමුත්, ඒ ලංකාවේ අර්තාපල් ගොවියාගේ අකාර්යක්ෂමතාවය නිසා නෙමෙයි. ජාතික රාජ්‍ය ලෙස දේශපාලනිකව වෙළඳපොළ බෙදී තියෙද්දී මේ වගේ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

ආර්ථික වර්ධනය පිළිබඳ අභිසාරී වීමේ න්‍යාය කාලයක් ජනප්‍රියව තිබුණු එකක්. මේ න්‍යාය අනුව, දුප්පත් රටවල් වඩා වේගයෙන් සංවර්ධනය වී කලක් යද්දී ලෝකයේ රටවල් අතර ආදායම් විෂමතා දුරු විය යුතුයි. එහෙත්, ප්‍රායෝගිකව සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි. රටවල් අතර ආදායම් විෂමතා එන්න එන්නම වැඩි වෙනවා. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ධනවත් රටවල අඩු ආදායම්ලාභීන් දිගින් දිගටම සුබසාධනය වීමයි.

කොහොම වුනත් පසුගිය දශක ගණනාවක් මුළුල්ලේම ධනවාදයේ යම් ජාත්‍යන්තරවාදී ප්‍රවේශයක් දකින්න ලැබුණා. එහි වාසිය දුප්පත් රටවල ශ්‍රමිකයින්ටත්, ධනවත් රටවල ප්‍රාග්ධන හිමියන්ටත් ලැබුණා. එහෙත්, ධනවත් රටවල පහළ ස්ථර වලට මෙයින් සිදු වුනේ අවාසියක්. බටහිර රටවල ජාතිකවාදයන් ශක්තිමත් වෙන්න පටන් ගත්තේ මේ කණ්ඩායම ටිකෙන් ටික විශාල වී අදාළ රටවල බහුතරය බවට පත් වීමෙන් පසුවයි.

ඇමරිකාව වැනි බටහිර රටක පහළ ආදායම් ස්ථරයක සිටින අයෙකු තමන්ගේ ජීවන තත්ත්වය පහළ යාමට හේතුව චීන ශ්‍රමිකයෙකුට රැකියා හිමි වීම කියා හිතද්දී, තමන් එම චීන ශ්‍රමිකයාට වඩා අකාර්යක්ෂමය යන කරුණ අමතක කරනවා. ඒ පදනම මත ජාතිකවාදය විසඳුමක් සේ දකිනවා. එහෙත්, ධනවාදය විසින් සොයන්නේ කාර්යක්ෂමතාවය නිසා චීන ශ්‍රමිකයා වෙනුවට ඇමරිකන් ශ්‍රමිකයෙකු ආදේශ වෙන්නේ නැහැ. එසේ වුවහොත් ඒ තාවකාලිකව පමණයි. බොහෝ විට චීන ශ්‍රමිකයා වෙනුවට ආදේශ වෙන්නේ ස්වයංක්‍රීය රෝබෝවක් වෙන්න පුළුවන්.

(Image: https://www.livescience.com/8315-earth-survive.html)

Wednesday, April 8, 2020

කඩා වැටෙන්නේ මොකක්ද?

සමහර අය කියන විදිහට ධනවාදය කඩා වැටෙමින් තිබෙනවා. තවත් අය කියන විදිහට බටහිර විද්‍යාව අසරණ වෙලා. බටහිර සංස්කෘතිය බිඳ වැටිලා කියා කියන අයත්, ඇමරිකාවට කෙළ වෙලා කියන අයත් බහුලයි. ඇමරිකාවේ අඩුපාඩුවක් ලෙස පෙන්විය හැකි මොකක් හරි දෙයක් අමාරුවෙන් හරි හොයා ගත්තොත් ඒක ධනවාදයේ කඩා වැටීම. බටහිර සංස්කෘතියේ කඩා වැටීම. ඒ දෙයම වෙන රටක සිදු වුනොත් ඒක ඇමරිකන් කුමන්ත්‍රණයක්.

ඔය කියන දේවල් කොහොම වුනත් රුපියලනම් කඩා වැටෙමින් තිබෙන බව පේනවා. අද ඉතිහාසයේ පළමු වරට ඇමරිකන් ඩොලරය රුපියල් දෙසීය පන්නලා. වෙනත් විදිහකට කිවුවොත් ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් දෙසීය ඉක්මවා ඉහළ ගිහින්. රුපියල ඇමරිකන් ඩොලර් ශත බාගෙකටත් වඩා අඩු වෙලා.

සමහර අය කියන විදිහට කොරෝනා එක්ක සටන් කර ගන්න බැරුව ඇමරිකාව අසරණ වෙලා ඉඳිද්දී, ලංකාව ඉතා සාර්ථකව අර්බුදයට මුහුණ දී තියෙද්දී ඩොලරයේ අගය ඉහළ ගිහින් රුපියලේ අගය පහළ යන්නේ කොහොමද? මේක කවුරු හරි විස්තර කරනකම් මම බලා ඉන්නවා.

කොහොම වුනත් කොරෝනා එක්ක ලෝකය යම් තරමකින් ප්‍රතිනිර්මාණය වීමක් වෙනවා. ඒ තුළ, කඩා වැටෙන දේවල් හා අලුතින් හැදෙන දේවල් තිබෙනවා. මේ දේවල් වෙන්නේ කොරෝනා නිසාම නෙමෙයි. කොහොමටත් සිදු වෙමින් තිබුණු හෝ සිදු වෙන්න නියමිතව තිබුණු දේවල් කොරෝනා එක්ක ටිකක් ඉක්මණින් වෙනවා පමණයි.

රුපියල කඩා වැටීමත් ඒ වගේ දෙයක්. රුපියල කඩා වැටෙන්න හේතුව කොරෝනා නෙමෙයි. එය ආසන්න හේතුව පමණයි. කොරෝනා නොතිබුණානම් මොකක් හරි ඒ වගේ වෙනත් ආසන්න හේතුවක් හැදෙයි. රුපියල කඩා වැටෙන්නේ කොරෝනා නිසා කියා කීම හරියට පළමු ධර්ම සංගායනාව පැවැත්වුණේ සුභද්‍රගේ අභද්‍ර වචනය නිසා කියා කියනවා වගේ කතාවක්.

කොරෝනා වලින් පස්සේ ලෝකය පරණ ලෝකයට වඩා ටිකක් වෙනස් වෙයි. හැබැයි ඒ කොරෝනා පැතිරුණු නිසාම නෙමෙයි. ලෝකයේ කොහොමටත් සිදුවෙමින් තිබුණු සමාජ පරිවර්තනයක් කොරෝනා නිසා වේගවත් වූ නිසයි. මෙහිදීත් කොරෝනා කියන්නේ ආසන්න හේතුව පමණයි.

මෙතැනින් ඉදිරියට යන්න ධනවාදය, සමාජවාදය, ජාතිකවාදය වගේ "වාද" මම තේරුම් ගන්නා විදිහ පැහැදිලි කරලා ඉන්න ඕනෑ. මේ වචන එක එක අය අර්ථදක්වන්නේ එක එක විදිහටයි. මගේ විග්‍රහ පදනම් වෙන්නේ මගේ ආකෘතිය හා මගේ අර්ථකතන මතයි.

ධනවාදය හා සමාජවාදය කියන බෙදීම සාපේක්ෂව පරණයි. ජාතිකවාදය ඔය දෙක අතරට අලුතින් තරමක් පසුව එකතු වූ එකක්. ඊට කලින් ගොඩක් වෙලාවට සමාජවාදීන් විසින් ධනවාදය හා සමාජවාදය "දක්ෂිණාංශික" මතවාද විදිහට එක ගොඩකට දමලයි තිබුණේ. මේ වාමාංශික හා දක්ෂිණාංශික බෙදීම ඔස්සේ ලෝකය දකින්න පුරුදු වී හිටපු ඇතැම් අය ජාතිකවාදය කියන එක දැක්කේ තුන්වන විකල්පයක් විදිහටයි.

මේ තුන ත්‍රිකෝණයක මුළු තුනේ තිබෙන විකල්ප තුනක් විදිහට මම දකින්නේ නැහැ. ඒ වගේ ආකෘතියක් යොදා ගෙන කිසියම් රටක් එක වරම ධනවාදී හා ජාතිකවාදී වීම එහෙමත් නැත්නම් සමාජවාදී හා ජාතිකවාදී වීම පැහැදිලි කරන්න බැහැ. එය කළ හැක්කේ මුළු හතරක් තිබෙන ද්විමාන ආකෘතියකින් පමණයි. පහත රූප සටහනේ තිබෙන්නේ එවැනි ආකෘතියක්.


මෙහි වම් පැත්ත සමාජවාදය, දකුණු පැත්ත ධනවාදය. උඩ පැත්ත ජාත්‍යන්තරවාදය. යට පැත්ත ජාතිකවාදය.

මෙහි ධනවාදය කියා කියන්නේ කුමක්ද? ඒක මේ පහුගිය සියවස හෝ දෙක තුළ ඇති වුනු දෙයක් නෙමෙයි. ඉතිහාසය පුරාම තිබුණු ස්වභාවික ක්‍රමය. මිනිස්සු තම තමන්ගේ ශක්ති ප්‍රමාණය අනුව විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. ඉන්පසුව, තම තමන්ගේ කැමැත්ත පරිදි ඒ දේවල් වෙනත් අය සමඟ හුවමාරු කර ගන්නවා.

එක එක පුද්ගලයාගේ හැකියාවන් වෙනස්. ඒ නිසා නිෂ්පාදන ධාරිතාවන්ද වෙනස්. ඒ වගේම එක් එක් පුද්ගලයාගේ රුචිකත්වයන්ද වෙනස්. නිදහස ගනුදෙනු වලට ඉඩ ලැබෙන සමාජයක කිසියම් පුද්ගලයෙකු තමන් පරිභෝජනය කරන්න වඩා කැමති දෙයම නිෂ්පාදනය කළ යුතු නැහැ. තමන්ට වැඩිම නිෂ්පාදන හැකියාවක් තිබෙන දෙය හදා එය වෙනත් අයෙකු සමඟ හුවමාරු කර තමන් කැමති දෙය ලබා ගැනීම වඩා වාසියි. ධනවාදය ඇතුළේ වෙන්නේ ඕකයි.

මේ හුවමාරු කිරීමේ හැකියාව ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමටද උදවු වෙනවා. තමන්ට පරිභෝජනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිෂ්පාදනය කරන අයෙකුට අතිරික්තය වෙනත් අයෙකු සමඟ හුවමාරු කර කල් තබා ගත හැකි ප්‍රාග්ධන භාණ්ඩයක හිමිකරුවෙක් විය හැකියි. ප්‍රාග්ධනය කියා කියන්නේ පරිභෝජනය කර වැය නොකළ ශ්‍රමයේ ඵලය. ඒ නිසා, යමෙක් පරිභෝජනය සීමා කරන තරමට වඩා වැඩියෙන් ප්‍රාග්ධනය රැස් වෙනවා.

ස්වභාවික තත්ත්වයන් යටතේ ඇතැම් අය තමන්ගේ පරිභෝජනය සීමා කර ප්‍රාග්ධනය එක් රැස් කර ගන්නවා. තවත් ඇතැම් අය එසේ නොකර මේ මොහොතේ පරිභෝජනය ගැන පමණක් හිතනවා. ප්‍රාග්ධනය එක් රැස් කරගත් අයට පසුව එම ප්‍රාග්ධනය යොදවා නිෂ්පාදන ධාරිතාව ඉහළ දමා ගන්න පුළුවන්. ධනවාදය කියා කියන්නේ මේ ස්වභාවික තත්ත්වයට ඉඩ දෙන එකටයි.

ධනවාදයේ විවිධ අවදි ලෙස බොහෝ දෙනෙක් විසින් හඳුන්වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ සිදු වූ විවිධ වෙනස් වීම්. ඉතිහාසය පුරා එවැනි වෙනස්වීම් වරින් වර සිදු වී තිබෙනවා. දැනටත් සිදු වෙමින් පවතිනවා. අනාගතයේදීත් සිදු වෙයි. එහෙත්, ධනවාදයේ මූලික ලක්ෂණ එසේමයි. එහි පදනම මිනිසුන්ට තමන්ගේ හැකියාවන් අනුව කැමති අයුරින් තනි පුද්ගලයින් ලෙස හෝ සාමූහිකව නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්න සහ එහි ඵල වෙනත් අය සමඟ නිදහසේ හුවමාරු කර ගන්න ඉඩ සැලැස්වීමයි. මෙහිදී ඇතැම් අය අඩුවෙනුත්, තවත් අය වැඩියෙනුත් නිෂ්පාදනය කරනවා. ඒ නිසා, එකිනෙකාට පරිභෝජනය කරන්න ලැබෙන සම්පත් ප්‍රමාණයද වෙනස් වෙනවා. නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැති අයට ජීවත් වෙන්න සිදුවන්නේ එවැනි හැකියාවක් තිබෙන අයගේ සහකම්පනය මතයි.

සමාජවාදය කියන එක සංකල්පයක් විදිහට වෙනස් වෙන්නේ ඉහත කී ස්වභාවික තත්ත්වය තිබිය යුතු හොඳම තත්ත්වය ලෙස පිළිනොගෙන එය වඩා යහපත් ලෙස වෙනස් කරන්න දරන උත්සාහය තුළයි. ධනවාදය ඇතුළේ වුවත් හැම මොහොතකම ලෝකය ප්‍රතිනිර්මාණය වීමක් වෙනවා. එහෙත්, එය වෙන්නේ කෙනෙකුගේ වෙනස් අදහස් තවත් අය වෙත කාන්දු වී අවසානයේ බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක් වීමෙන් පසුවයි. එසේ නැතුව එකවර හදිසියේ සිදුවන විප්ලවයකින් පසුව නෙමෙයි.

ධනවාදය ඇතුළේ මිනිස්සු කියන්නේ තමන්ට හොඳම දෙය තීරණය කිරීමේ හැකියාවක් තිබෙන සවිඥානක අය බව පිළිගැනෙනවා. නමුත්, සමාජවාදය ඇතුලෙ වෙන්නේ කිසියම් පිරිසක් සියලු දෙනාම වෙනුවෙන් වඩා හොඳ තීරණ ගත හැකි පිරිසක් ලෙස තමන්වම හඳුන්වා ගනිමින් ඉස්මතු වීමයි. තමන් වෙනුවෙන් තීරණ ගත නොහැකි අය ලෙස හඳුනාගන්නා පිරිස් වෙනුවෙන්ද තීරණ ගන්න ඔවුන් ඉදිරිපත් වෙනවා. එහි අන්තය රටේ නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්‍රියාවලිය මධ්‍යගත සැලසුමක කොටසක් වීමයි. එහි තනි පුද්ගලයින්ගේ තීරණ වලට ඉඩක් නැහැ. ඔවුන්ට සිදු වන්නේ සීමිත පිරිසක් විසින් හදන මධ්‍යගත සැලසුමේ දැති රෝද වෙන්නයි. තනි පුද්ගලයින්ගේ පරිභෝජනය තීරණය කරන්නෙත් මේ පිරිසයි.

මා කලින් කීවාක් මෙන් ධනවාදය යටතේ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැති අයට ජීවත් වෙන්න සිදුවන්නේ එවැනි හැකියාවක් තිබෙන අයගේ සහකම්පනය මතයි. සමාජවාදය යටතේ ඔවුන්ට වගේම, තීරණ ගන්නා සුළු පිරිස හැර අති මහත් බහුතරයකටම ජීවත් වෙන්න සිදු වෙන්නේ මධ්‍යගත තීරණ ගන්නා සුළු පිරිසකගේ සහකම්පනය මතයි.

මේ අන්ත දෙකම සෛද්ධාන්තික අන්ත දෙකක්. මුළුමනින්ම නිදහස් ගනුදෙනු වලට ඉඩ සලසනු ලැබූ හෝ මුළුමනින්ම මධ්‍යගත සැලසුම් මත තීරණ ගැනුණු රටවල් කවදාවත් ලෝකයේ පැවතී නැහැ. පැවති හා පවතින හැම ක්‍රමයක්ම අඩු වැඩි වශයෙන් අතරමැදි තත්ත්වයක්. පැරණි සෝවියට් දේශය හෝ වත්මන් කියුබාව රූප සටහනේ වම් අන්තය කිට්ටුවෙන් හිටියත් එම රට වලත් මධ්‍යගත යාන්ත්‍රණයකින් පාලනය නොවුණු හෝ නොවන දේවල් ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම, දකුණු අන්තයට කිට්ටුව ඇති ඇමරිකාව වගේ රටක ඒකීය පුද්ගලයෙකු විසින් කරන ගනුදෙනු සියල්ල මුළුමනින්ම නිදහස් නැහැ.

මේ සන්දර්භයට ජාතිකවාදය එන්නේ කොහොමද? ලෝකයේ හැම රටක්ම දේශපාලනික ලෙස සංවිධානය වී තිබෙන්නේ ජාතික ආණ්ඩු යටතේ. ඕනෑම රටක පුරවැසියෙකු වෙනත් රටක පුරවැසියෙකු හා සමාන සේ සැලකෙන්නේ නැහැ. මෙයත් හෝමෝ සේපියන්ස්ලා හා සම්බන්ධව ස්වභාවික දෙයක්. මිනිස්සු කාලයක් තිස්සේ පරිණාමය වී තිබෙන්නේ ගෝත්‍රවාදීන් ලෙසයි. එහිදී තමන්ගේ ගෝත්‍රයේ අය සහ වෙනත් ගෝත්‍ර වල අය ලෙස බෙදීමක් තිබෙනවා.

සමාජය සංකීර්ණ වීමත් එක්ක මේ ගෝත්‍ර වඩ වඩා පුළුල් වී තිබෙනවා. ජාතික රාජ්‍ය කියා කියන්නේ මෙසේ ඉතා විශාල ලෙස පුළුල් වී තිබෙන ගෝත්‍ර. ඊටත් වඩා කුඩා බෙදීම් මේ වන විට ප්‍රායෝගිකව කෙසේ වුවත් අඩු වශයෙන් ප්‍රසිද්ධියේ බොහෝ දෙනෙකු විසින් ප්‍රතික්ෂේප කරනවා. මේ වෙද්දී තමන්ව ජාතිවාදියෙකු හෝ වර්ගවාදියෙකු ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වාගන්න අය ඉන්නවානම් ඒ ඉතාම සීමිතවයි. මෙය සමාජවාදී ධනවාදී හරස් ඉර දිගටම දැකිය හැකි තත්ත්වයක්.

තමන්ව ජාතිවාදියෙකු ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා ගන්න කැමති නැති බොහෝ දෙනෙක් තමන්ව ජාතිකවාදියෙකු ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා ගන්න පැකිළෙන්නේ නැහැ. ජාතික සීමාවන්ගෙන් ඔබ්බට මිනිසුන්ගේ ගෝත්‍රික සීමාව පුළුල් වී නැහැ. බොහෝ විට ධනවාදයක් යටතේ නිදහස් ගනුදෙනු සිදු වෙන්නේත්, සමාජවාදයක් ඇතුලෙ මධ්‍යගත සැලසුම් හැදෙන්නෙත් මේ ජාතික රාජ්‍ය වල සීමාවන් ඇතුළේ. එහිදී රටින් පිටත සිටින අයෙක් සමඟ නිදහස් ගනුදෙනු සිදු නොවීම හෝ එවැනි අය මධ්‍යගත සැලසුමේ කොටසක් නොවීම සාමාන්‍ය තත්ත්වයක්.

කොහොම වුවත් ඇතැම් පුද්ගලයින් මේ ගෝත්‍රික සීමාව ජාතික රාජ්‍ය වල සීමාවන්ගෙන් ඔබ්බට පුළුල් කරන්න උත්සාහ ගෙන තිබෙනවා. දැනටත් එසේ උත්සාහ කරනවා. ජාත්‍යන්තරවාදය කියා කිව හැක්කේ ඒ උත්සාහයටයි. මේ උත්සාහයන් රූප සටහනේ වම්-දකුණු තිරස් ඉර දිගටම වරින් වර දකින්න ලැබී තිබෙනවා.

පැරණි සෝවියට් දේශය සෑහෙන තරමකින් ජාත්‍යන්තරවාදී නැඹුරුවක් පෙන්වූවා. ඒ සමාජවාදී මධ්‍යගත සැලසුම් ඇතුළේම සිටිමින්. තමන්ගේ රටේ මිනිස්සුන්ට පාඩුවක් වෙද්දී වෙනත් රටවල මිනිස්සුන්ට ඇතැම් දේවල් නොමිලේ හෝ සුබසාධිත මිලකට දුන්නේ මේ පදනමින්. එහෙත්, චීනය එසේ කළේ නැහැ. චීනය හැම විටම වගේ මධ්‍යගත සැලසුම් හැදුවේ තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව ඇතුළේ හිටපු මිනිස්සු කේන්ද්‍ර කරගෙනයි.

අනෙක් පැත්තෙන් නිදහස් ගනුදෙනු වලට මුල් තැන දුන් රටවල් බොහෝ විට ප්‍රමුඛතාවය දුන්නේ තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව ඇතුලෙ සිටින මිනිසුන්ගේ යහපතට වුවත් සීමාවෙන් පිටත සිටි මිනිසුන් ගැන සැලකිලිමත් වූ අවස්ථාද ඕනෑ තරම් තිබුණා. GSP සහන ලබා දීමේදී සලකා බලන කොන්දේසි ආදියේ පදනමත් එවැන්නක්. දැනටත් තිබෙනවා.ආගමික පදනමකින් ජාත්‍යන්තරවාදී වීම වෙනම කරුණක්. එය සිදුවන්නේ තෙවන මානයකයි. මා ඒ ගැන දැනට අවධානය යොමු කරන්නේ නැහැ.

මෑතකාලීන නැඹුරුව ලෝකයේ බොහෝ රටවල් ඉහත රූප සටහනේ දකුණු, පහළ අන්තය වෙත යොමු වෙමින් සිටීමයි. එහෙම වෙන්න හේතු සහ එහි අනාගත ප්‍රතිඵල ඉදිරියේදී කතා කරමු. මෙහි තිබෙන්නේ කතාව පටන් ගන්න අවශ්‍ය මූලික කරුණු පමණයි.

Tuesday, April 7, 2020

රක්ෂණ වාරිකයට වට්ටමක්!


මා වාහන රක්ෂණ මිල දී ගෙන ඇති සමාගමෙන් ඊයේ විද්‍යුත් ලිපියක් ලැබුණා. ඔවුන් දැනුම් දී තිබුණේ රක්ෂණ ගිවිසුමේ මිල 15%කින් අඩු කළ බවයි. මේ කියන්නේ මාස කිහිපයකට පෙර මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා මිල දී ගත් තවත් මාස කිහිපයකට වලංගු වාහන රක්ෂණ ගිවිසුම ගැනයි. ඒ අනුව, දැනට ගෙවා ඇති මුදල හා අඩු කළ මිල අතර වෙනස ඔවුන් මගේ බැංකු ගිණුමට බැර කිරීමට නියමිතයි.

ඇමරිකාවේ රක්ෂණ කර්මාන්තය ඩොලර් ට්‍රිලියන 1.2ක කර්මාන්තයක්. මෙයින් අඩක් පමණ ජීවිත රක්ෂණ. ඉතිරි අඩ දේපොළ රක්ෂණ. දේපොළ ගොඩට ප්‍රධාන වශයෙන්ම වැටෙන්නේ වාහන රක්ෂණ හා නිවාස රක්ෂණ. බැලූ බැල්මටම පෙනෙන්නේ මේ වෙළඳපොළ කතිපයාධිකාරී වෙළඳපොළක් ලෙසයි. බොහෝ දෙනෙක් රක්ෂණ ගිවිසුම් මිල දී ගන්නේ ප්‍රධාන සමාගම් හත අටකින්. එහෙත්, ඇමරිකාවේ රක්ෂණ සේවා සපයන සමාගම් 6000ක් පමණ තිබෙනවා.

දැන් මේ විදිහට මගේ රක්ෂණ සමාගම මුදල් ආපසු ගෙවන්නේ ඇයි? ආණ්ඩුවෙන් එහෙම නියම කරලද? එහෙම නැත්නම් මේ සමාගම හදවතක් තිබෙන, මානුෂික සමාගමක් නිසා තමන්ගේ පාරිභෝගිකයින් ගැන අනුකම්පා කරලද?

හේතුව ඔය එකක්වත් නෙමෙයි. මෙය ධනවාදී ආර්ථිකයක ක්‍රියාත්මක වන සමාගම් තමන්ගේ ලාබ වැඩි කරගන්න දරන උත්සාහයේම කොටසක් පමණයි. ඒ උත්සාහය ඇතුළේ කාගේවත් මැදිහත්වීමක් නැතුව පාරිභෝගිකයින්ට මෙවැනි වාසි සැලසෙනවා.

අපි වගේ පාරිභෝගිකයින් වාහන රක්ෂණයක් මිල දී ගන්නේ ඇයි? නීතිය අනුව වාහනයක් පාරට දමන්න රක්ෂණයක් අවශ්‍ය වීම එක් හේතුවක්. අනෙක් හේතුව කිසියම් අනතුරක් වූ විට විශාල වන්දියක් අතින් ගෙවන්නට වීමේ අවදානම හා වාහනය හදාගන්න විශාල මුදලක් වැය කරන්න වීමේ අවදානම අඩු කර ගැනීමේ අවශ්‍යතාවයයි.

රක්ෂණ සමාගමක් විසින් රක්ෂණ ගිවිසුමක මිල තීරණය කරන්නේ කිසියම් පාරිභෝගිකයෙකු විසින් වාහන අනතුරක් කර ගන්න තිබෙන සම්භාවිතාව හා වාහනයේ වටිනාකම මතයි. වාරික ලෙස එකතු කර ගන්නා මුදලට වඩා මුදලක් වන්දි මුදල් ලෙස ගෙවන්න වෙනවානම් රක්ෂණ සමාගමකට පවතින්න බැහැ. ඒ වගේම, මේ විදිහට ගෙවන වන්දි මුදල් වල පිරිවැයට අමතරව සේවකයින් නඩත්තු කිරීම ඇතුළු අනෙකුත් පිරිවැය ආවරණය කර ගන්න වෙන්නෙත් රක්ෂණ වාරික ලෙස එකතු කර ගන්නා මුදලින්. ඔය සියලු වියදම් ඇරලා සමාගමේ ආයෝජකයින් වෙනුවෙන් ලාබයක්ද උපයා ගත යුතුයි.

පාරිභෝගිකයෙකු එක වරම රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නේ නැහැ. බොහෝ විට සමාගම් කිහිපයකින් ඇස්තමේන්තු ලබා ගැනීමෙන් පසුවයි ගිවිසුමක් මිල දී ගන්නේ. ඒ නිසා, රක්ෂණ සමාගම් වලට හිතුමතේ ලාබ ලබන්න බැහැ. එහෙම කරන්න ගියොත් පාරිභෝගිකයින් නැති වෙනවා. ඔවුන් ලබන්නේ තරඟකාරී වෙළඳපොළක ආයෝජකයෙකු විසින් ලබන සාමාන්‍ය මට්ටමේ ලාබයක් පමණයි.

මේ දවස් වල ඇමරිකාවේ ඉන්ධන මිල හොඳටම අඩු වෙලා. අපේ පැත්තේ පැට්‍රෝල් ගැලුමක් ඩොලර් 1.55ක් පමණයි. ඒ කියන්නේ ලීටරයක් රුපියල් 80ක් වගේ. සාමාන්‍යයෙන් ඉන්ධන මිල අඩු වෙනකොට ගමන් බිමන් වැඩි වෙන එකයි වෙන්නේ. එහෙත්, මේ වෙලාවේ සිදු වෙලා තිබෙන්නේ ගමන් බිමන් අඩු වීම නිසා ඉන්ධන මිල අඩු වීමයි.

ඉන්ධන මිල P කියාත්, ඉන්ධන සඳහා තිබෙන ඉල්ලුම Q කියාත් කිවුවොත් අපට Q = a  - bP වගේ සමීකරණයක් ලියන්න පුළුවන්. සාමාන්‍ය ගණිත මූලධර්ම අනුවනම් මේ සමීකරණයම P = (a  - Q)/b කියා ලියන්න පුළුවන්. එහෙත්, ආර්ථික විද්‍යාවේදී P = (a  - Q)/b කියන එකෙන් අදහස් වෙන්නේ  Q = a  - bP කියන එකම නෙමෙයි. ඒ දෙක දෙකක්. ආර්ථික විද්‍යාවේදී ගණිතය මෙවලමක් විදිහට යොදා ගත්තත් එය කරන්නේ ඒ බව දැන ගෙනයි. වසංගතවේදය වැනි වෙනත් විෂයකදී වුවත් එහෙමයි.

ඉන්ධන මිල වෙනස් වීම අනුව ඉන්ධන සඳහා ඉල්ලුම වෙනස් වන ආකාරය අපට Q = a  - bP ලෙස සූත්‍රගත කරන්න පුළුවන්. ඒ වගේම, ඉන්ධන සඳහා ඉල්ලුම වෙනස් වන ආකාරය මත ඉන්ධන මිල වෙනස් වීම P = c  + dQ ලෙස ලියන්න පුළුවන්. මෙහි c  + dQ කියන්නේ (a  - Q)/b නෙමෙයි. ඒ නිසා, සමීකරණ දෙකකින් නොදන්නා පද හතරක් හොයා ගන්න බැහැ. එය කරන්න තවත් තොරතුරු අවශ්‍යයි. ඒ අමතර තොරතුරු හොයා ගැනීම අභියෝගයක්. ඇත්තටම මෙහි මේ විදිහට රේඛීය සමීකරණ ලිවුවත් මෙහි තිබෙන්නේ නොදන්නා ශ්‍රිත දෙකක්. Q = f(P) හා P =g(Q) වගේ. ඒ ශ්‍රිත මොන වගේද කියා කලින්ම උපකල්පනය කිරීම පහසුවට කරන දෙයක් පමණයි.

මේ දවස් වල පාරවල් වල වාහන හොඳටම අඩුයි. පාරවල් වල වාහන අඩු වන විට අනතුරුත් අඩුයි. මාර්ග අනතුරු ප්‍රමාණය වැඩි වන්නේ ධාවනය වන වාහන ගණනට අනුලෝමව සමානුපාතිකව නෙමෙයි. එය ඊට වඩා වැඩි වේගයකින් වැඩි වෙනවා. පාරේ වාහන 2ක් තිබේනම් ඔය වාහන දෙක හැප්පෙන්න පුලුවන් ආකාර තියෙන්නේ එකයි. වාහන තුනක් වුනොත් ආකාර තුනයි. හතරක් වුනොත් හයයි. මෙය සරල උදාහරණයක් පමණයි. එක වාහනයක් තිබුණත් එය කොහේ හරි හැප්පෙන්න පුළුවන්. මගේ අතින් සිදු වුනු අන්තිම රථවාහන අනතුරු දෙකම සිදු වුනේ ගෙදර ගරාජ් එකෙන් වාහනය එළියට ගනිද්දී. ඒ වගේ අනතුරුනම් ඉහළ යන්නේ වාහන ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික ලෙසයි.

වසරකට ඇමරිකාවේ රිය අනතුරු මිලියන 6ක් පමණ සිදු වෙනවා. ඒ අනතුරු වලින් වසරකට මිලියන 3ක පමණ පිරිසකට ශරීර හානි සිදු වෙනවා. එයින් මිලියන 2ක් පමණ ස්ථිර හානි. වසරකට 38,000ක පමණ පිරිසක් රිය අනතුරු හේතුවෙන් මිය යනවා. මේ වන විට කෝවිඩ්-19 නිසා මිය ගොස් ඇති පිරිස 11,000කට වැඩියි. දැනට තිබෙන ඇස්තමේන්තු අනුව මේ ගණන වාහන අනතුරු වලින් මිය යන ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් විය හැකියි.

පාරවල් වල වාහන අඩු වන විට වාහන අනතුරුත් අඩු වෙනවා.එවිට රක්ෂණ සමාගම් විසින් වන්දි සේ ගෙවිය යුතු මුදල් ප්‍රමාණයද අඩු වෙනවා. ඒ සමාගම් වල ලාබ ඉහළ යනවා. මා ඇතුළු පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්න පෙර සමාගම් ගණනාවකින් මිල ගණන් විමසන නමුත් අවසානයේදී මිල දී ගන්නේ මිල අඩුම තැනින් නෙමෙයි. එහිදී ගෙවන මිලට වගේම ලැබිය හැකියයි අපේක්ෂිත සේවාවටද බර තබනවා. රක්ෂණ සමාගම් හය දහසක් පමණ තිබුණත් බොහෝ දෙනෙක් ප්‍රධාන සමාගම් හත අටෙන් එකකටම යන්නේ ඒ නිසයි.

රක්ෂණ සමාගමක සේවාව වැදගත් වන්නේ අනතුරක් සිදු වූ විටයි. ගොඩක් අඩු මිලට සේවා සපයන ඇතැම් කුඩා සමාගම් වල ඉන්නේ සීමිත සේවක පිරිසක් නිසා අනතුරක් සිදු වූ විට වන්දි ලබා ගැනීමට සෑහෙන්න වද විය යුතුයි. මා කිහිප වරක්ම මේ අත්දැකීමට මුහුණ දී තිබෙනවා. මා එවැනි සමාගම් ගැන නොසිතන්නේ ඒ නිසයි. එහෙත්, වාහනය තිබෙන්නේ ගෙදරනම් මෙය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා, මා වැනි පාරිභෝගිකයින් මේ වෙලාවේ මිල අඩු රක්ෂණ ගිවිසුමක් ලබාදෙන සමාගමක් වෙත මාරු වෙන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත් එය මගේ රක්ෂණ සමාගමට පාඩුවක්. ඔවුන් මට 15%ක වට්ටමක් දෙන්නේ ඒ නිසයි.

(Image: https://www.ipwatchdog.com/2019/11/06/understanding-insurance-coverage-intellectual-property-claims/id=115632/)

Monday, April 6, 2020

කන්ද පාත් කිරීම

කෝවිඩ්-19 හමුවේ බටහිර රටවල උපාය මාර්ගය වී තිබෙන්නේ වක්‍රය සමතලා කිරීමයි (flattening the curve). දැන් මේ විදිහට සමතලා කරන වක්‍රය කුමක්ද? ඒ, කාලයත් සමඟ ආසාදිතයින් ගණන වෙනස් වන ආකාරය පෙන්වන වක්‍රයයි.

කලින් ලියූ "කුටීර ආකෘති" කියන ලිපියේ පහළින්ම තිබෙන රූප සටහනේ රතු පාටින් සලකුණු කර තිබෙන්නේ එම වක්‍රයයි. එය කාලයත් සමඟ ක්‍රමයෙන් ඉහළ ගොස් කිසියම් ශිඛරයකට ලඟා වීමෙන් පසුව ක්‍රමයෙන් පහත බසින වක්‍රයක්. හරියට කුඩා කඳු ගැටයක් වගේ. බටහිර උපක්‍රමය වන්නේ මේ කන්ද පාත් කරන එකයි.

උපක්‍රමයක් ලෙස කන්ද පාත් කරන්න කලින් පළමුව මෙවැනි කන්දක් තිබෙන බව හඳුනාගත යුතුයි. මා විස්තර කළ "අආඉ ආකෘතිය" අනුසාරයෙන් මේ වක්‍රයේ හැඩය නිර්ණය කරන්න පුළුවන්. ගණිතයේ භාෂාවෙන් කියනවානම් ඒ සඳහා අවකල සමීකරණ තුනක් විසඳිය යුතුයි. අපට ලැබෙන විසඳුම ස්ථිතික විසඳුමක් නෙමෙයි. ගතික විසඳුමක්. ඒ කියන්නේ උත්තරය විදිහට ලැබෙන්නේ නිශ්චිත සංඛ්‍යාවන් නෙමෙයි. නිශ්චිත සංඛ්‍යා ශ්‍රේණි. එහෙමත් නැත්නම් කාලය එක්ක කිසියම් නිශ්චිත ආකාරයකින් වෙනස් වන සංඛ්‍යා පේලි.

ආසාදිතයින් සංඛ්‍යාව පෙන්වන රතු වක්‍රය ගත්තොත් මේ සංඛ්‍යා පේලියේ සංඛ්‍යා වල අගය ක්‍රමයෙන් වැඩි වී ඉන් පසුව ක්‍රමයෙන් අඩු වෙනවා. වක්‍රයේ කිසියම් තැනකට වමෙන් ඇති කොටසේ ඉඩ ප්‍රමාණයෙන් ඒ වන විට රෝගය ආසාදනය වූ මුළු ප්‍රමාණය පෙන්වනවා. මේ ප්‍රමාණයට ඒ වන විට සුව වූ හෝ මිය ගොස් ඇති අයද ඇතුළත්. වක්‍රය ශුන්‍ය මට්ටමට පහත් වීමෙන් පසුව එහි ඉඩ ප්‍රමාණයෙන් වසංගතය ආසාදනය වූ මුළු පිරිස පෙන්වනවා.

වැදගත්ම කාරණය වන්නේ මේ ආකෘතිය අනුව වසංගතය අවසාන වීම සඳහා ජනගහණය තුළ සිටින සියලුම දෙනාට වෛරසය ආසාදනය විය යුතු නැති වීමයි. කිසියම් නිශ්චිත සංඛ්‍යාවකට (ප්‍රතිශතයකට) වෛරසය ආසාදනය වීමෙන් පසුව වසංගතය අවසන් වන බව ගණිතමය විසදුමෙන් පෙන්වනවා.

දැන් මේ සියල්ල ඉහත කී ආකෘතිය අනුව සිදු විය යුතු දේවල්නේ. සැබෑ ලෝකයේ ඕක ඔය ආකාරයටම සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද?

මේ ආකෘතිය අලුත් එකක් නෙමෙයි. වසර අනූවක් පමණ පැරණි ආකෘතියක්. පහුගිය කාලය මුළුල්ලේම විවිධ වසංගත පැතිරෙන ආකාරය මේ ආකෘතිය හෝ එහිම වැඩි දියුණු කළ සංකීර්ණ ස්වරූපයක් අනුසාරයෙන් සාර්ථකව විස්තර කරන්න හැකි වී තිබෙනවා. රෝග වැළැක්වීම සඳහා එන්නත් කිරීමේ පදනමත් මේ ආකෘතිය මත තීරණය වී ඇති එකක්.

වක්‍රයේ හැඩය නිශ්චිත එකක් කියා කීවත් එය එසේ වන්නේ එම හැඩය තීරණය කරන පරාමිතීන් නිශ්චිත වූ විටයි. පරාමිතීන් වෙනස් වන විට වක්‍රයේ හැඩයත් වෙනස් වෙනවා. පරාමිතීන් වෙනස් වී තිබෙන හා වෙනස් විය හැකි ආකාරය දන්නවානම් වක්‍රයේ හැඩය වෙනස් වන ආකාරය නිර්ණය කළ හැකියි. පරාමිතීන් කවර හෝ ආකාරයකින් පාලනය කළ හැකිනම් වක්‍රයේ හැඩයද පාලනය කළ හැකියි. උපක්‍රමයක් ලෙස වක්‍රය සමතලා කිරීමට උත්සාහ කරන්නේ ඒ පදනමිනුයි.

පෙර ලිපි වලින් විස්තර කළ මූලික ප්‍රජනන අංකය මේ වක්‍රයේ හැඩය තීරණය කරන එක් පරාමිතියක්. එහෙත්, එය එකම පරාමිතිය නෙමෙයි. එකම මූලික ප්‍රජනන අංකය තිබියදී විවිධ වක්‍ර තිබෙන්න පුළුවන්. "කෝවිඩ් පැටවු ගහන හැටි" ලිපියේ මා පෙන්වූ උදාහරණ දෙකේදීම මූලික ප්‍රජනන අංකය සමානයි. එහෙත්, රෝගය පැතිරෙන වේගය වෙනස්. එක අවස්ථාකදී කන්ද උසයි කෙට්ටුයි. අනෙක් අවස්ථාවේදී කන්ද කොටයි මහතයි. පහත රූප සටහනේ දැකිය හැක්කේ එවැනි උස් හා පැතලි වක්‍ර දෙකක්. (සැබෑ වක්‍ර මෙහි පෙන්වා ඇති වක්‍ර මෙන් සමමිතික විය යුතු නැහැ.)

මෙයින් පෙනෙන්නේ මූලික ප්‍රජනන අංකය එසේම තිබුණත් ආසාදිතයෙකු රෝගය වෙනත් අයෙකුට ආසාදනය කිරීමට ගන්නා කාලය වැඩි වන විට වක්‍රය වඩා පැතලි වන බවයි. හැබැයි එසේ වුනා කියා කන්ද හැදී තිබෙන පස් ගොඩ අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආසාදිතයින් ප්‍රමාණය එලෙසම ඉන්නවා.

එහෙමනම් කන්දේ පස් අඩු කරන්නම බැරිද? බැරි නැහැ. මූලික ප්‍රජනන අංකය පහළට ගත්තොත් කන්දේ පස් අඩු වෙනවා. මෙය කන්දේ පස් තුනී කරනවා වෙනුවට පස් කපා පැත්තකට දැමීමක් වගේ දෙයක්. එහෙම කපා අයින් කරන පස් පැත්තක වෙනම ගොඩ ගැහෙනවා. ඒ පස් වලින් අලුත් කන්දක් හැදෙනවා. දෙවන චක්‍රය කියා කියන්නේ ඒ අලුත් කන්දටයි.

අපි හිතමු අපේ මුළු ශක්තියම යොදවලා මුළු කන්දේම පස් ඉවත් කළා කියා. දැන් අපිට කිසිම අමාරුවක් නැතිව කන්ද (කන්ද තිබුණු තැන) තරණය කරන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් දුරින් ආයෙම ඒ වගේම කන්දක් තියෙනවා. අන්තිමට අර මහා කන්ද අයින් කරන්න දරපු මුළු මහන්සියේම තේරුමක් නැහැ. ශක්තිය තියෙනවානම් ඒ කන්දත් කලින් වගේම අයින් කරන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ කෙළවරක් නැහැ. හැමදාම කඳු අයින් කර කර ඉන්නවා මිසක් ගමන යන්න වෙන්නේ නැහැ.

ඒ කියන්නේ කන්ද තියෙන විදිහටම තියෙන එක හොඳයිද?

මෙතැන තියෙන ප්‍රශ්නය විශාල පිරිසකට තරණය කරන්න බැරි තරමට මේ කන්ද උසයි. විශේෂයෙන්ම වයස්ගත අයට හා විවිධ රෝගාබාධ තිබෙන අයට කන්ද නගින්න බැහැ. ඒ අය හති වැටිලා මැරෙනවා. හැබැයි එවැනි හැමෝමත් නෙමෙයි. අනූව පැනපු ඇතැම් වයස්ගත අයත් කන්ද තරණය කරනවා.

ඒ වගේම, නිරෝගී, තරුණ අයෙක්ටනම් කන්ද තරණය කරන එක එතරම් අමාරු නැහැ. එහෙත්, එවැනි ඇතැම් අයටත් කන්ද තරණය කර ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා.

සමාජයක් විදිහට අපට කන්ද තරණය කරන්න අමාරු අයට කිසියම් උදවුවක් දෙන්න පුළුවන්. එසේ කිරීමෙන් වැඩි පිරිසක් එහා පැත්තට යවා ගන්න පුළුවන්. නමුත්, වෙනත් අය වෙනුවෙන් අප‍ට කළ හැකි දේවල් වල සීමාවක් තිබෙනවා. රතු හරස් කඩ ඉර ඒ සීමාවයි. මේ සීමාව ලකුණු වී තිබෙන්නේ කිසියම් රටක සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව මතයි.

කන්ද රතු ඉරට වඩා උසනම් තනිවම කන්ද නැගගන්න බැරි අයට රටේ සෞඛ්‍ය පද්ධතියෙන් උදවුවක් ගන්න බැරි වෙනවා. මොන විදිහකින් හෝ කන්ද ඒ මට්ටමට පාත් කරගත්තොත් කන්ද නැග ගන්න අමාරු සියල්ලන්ටම උදවු කරන්න අපට පුළුවන්.

අපි කන්ද මේ මට්ටමට පාත් කරගත්තා කියා කියමු. ඒත් කන්දක් තියෙනවා. රටේ සෞඛ්‍ය පද්ධතියෙන් උදවු ලැබුණත් කිසියම් පිරිසකට ඒ පාත් කළ කන්දත් නැග ගන්න අමාරුයි. ඒ නිසා, ඒ පිරිස මිය යනවා.

එහෙමනම් කන්ද තවත් පාත් නොකරන්නේ ඇයි? තේරුමක් නැහැනේ. කන්ද මුළුමනින්ම පාත් කළොත් ඕනෑම වයස්ගත හෝ රෝගී කෙනෙක් පහසුවෙන් ඔතැනින් යයි. නමුත්, ටිකක් දුර යන කොට අර අයින් කරපු පස් ගොඩ නැවත හමු වෙනවා. ආපහු ප්‍රශ්නයේ මුලටමයි ඇවිත් ඉන්නේ.

කන්ද සමතලා කරද්දී කොහොමටත් පැත්තක තව පස් ගොඩක් හැදෙනවා. නමුත්, ඒ පස් ගොඩ පළමු පස් ගොඩ තරම් ලොකු නැත්නම් බොහෝ විට පළමු කන්ද තරණය කළ කෙනෙකුට දෙවන එකත් ගොඩ දාගන්න පුළුවන්.

ඒ වගේම මේකේ තවත් පැත්තකුත් තියෙනවා. කන්ද පාත් කරන එක ලේසි වැඩක් නෙමෙයි. කන්ද තරණය කරද්දී මැරෙන අය අඩු කරගන්න උත්සාහ කර කන්ද කපන්න මහන්සි වීම නිසා ඒ මහන්සියට වැඩි පිරිසක් මැරෙනවානම් ඒත් තේරුමක් නැහැනේ.

Sunday, April 5, 2020

වෙනත් ඝාතීය වර්ධනත් තිබේද?

මේ දවස් වල ගොඩක් අය කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ නිබඳ පරිශීලනය කරන නිසා ඝාතීය වර්ධනයක් කියන්නේ මොන වගේ එකක්ද කියා හොඳින් දන්නවා. ඇමරිකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය වර්ධනය වූ ආකාරය හොඳම උදාහරණයක්.

මාර්තු 6 - 319
මාර්තු 13 - 2,183
මාර්තු 20 -  19,367
මාර්තු 27 -  104,126
අප්‍රේල් 3 - 277,161


මේ රටාවේත් පහතින් තිබෙන රටාවේත් කුමක් හෝ සමානකමක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න.

මාර්තු 6 - 4.50%
මාර්තු 13 - 5.72%
මාර්තු 20 -  11.34%
මාර්තු 27 -  21.55%
අප්‍රේල් 3 - 91.55%

දෙවනුවට තිබෙන්නේ ශ්‍රී ලංකාව විසින් නිකුත් කර තිබෙන 2020 ඔක්තෝබර් 3 දින කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක ඵලදා අනුපාතිකය පසුගිය සති හතර තුළ ඉහළ ගිය ආකාරයයි. මේ දවස් වල මේ බැඳුම්කර අතින් අත මාරුවෙන්නේ කෝවිඩ්-19 පැතිරෙනවාටත් වඩා වේගයෙන්. හරියට රත් වූ භාජනයක් අතින් අත මාරු කරද්දී වගේ.

මේ දෙකම ඝාතීය වර්ධන. දෙකෙන් වඩා භයානක කොයි එකද?

ශ්‍රිත දෙකම ඝාතීය වර්ධන වුවත් පළමු ශ්‍රිතයේ වර්ධන වේගය එන්න එන්නම අඩු වෙනවා. සතියකට 9 ගුණයකින් වූ වර්ධනය දැන් සතියකට 3 ගුණයක් පමණ දක්වා පහත වැටිලා. එහෙත්, දෙවන ශ්‍රිතයේ වර්ධන වේගය එන්න එන්නම වැඩි වෙනවා.

පළමු ශ්‍රිතයේ වර්ධන වේගය මේ ආකාරයෙන් ක්‍රමයෙන් පහත වැටෙන්නේ කොහොමද කියා මා පැහැදිලි කර තිබෙනවා. දෙවන ශ්‍රිතයේ වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යන්නේ කොහොමද කියාත් පැහැදිලි කළ හැකියි. එහෙත්, ඒ සඳහා කාලය නාස්ති කරන එකේ තේරුමක් නැහැ. ඉතා ඉක්මණින්ම සිදු වන දෙය නිරීක්ෂණය කරන්න ලැබෙයි.



Saturday, April 4, 2020

කුටීර ආකෘති

මේ ලිපිය ලියන්නෙත් වසංගතවේදයේ ආකෘති ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙනුයි. එහෙත්, ඕනෑම කෙනෙකුට අඩු වශයෙන් කොටසක් හෝ තේරුම් ගත හැකි වෙන්න පුළුවන් තරම්ම සරලවයි මම ලියන්නේ.

වසංගත පැතිරෙන ආකාරය ආකෘතිගත කරන්න ඉතා ජනප්‍රියව හා සුලභව යොදා ගැනෙන්නේ කුටීර ආකෘති. විවිධ වසංගත පැතිරෙන ආකාරය විස්තර කිරීමට විවිධ කුටීර ආකෘති යොදා ගැනෙනවා. ඒ ආකෘති අතර විවිධ වෙනස්කම් තිබුණත් මූලික ලක්ෂණ අනුව බොහෝ දුරට සමානයි. ඒ නිසා අපි පැරණිම හා සරලම කුටීර ආකෘතියකින් පටන් ගනිමු. ආකෘතිය සරල වුවත් මෙය කෝවිඩ්-19 සඳහා බොහෝ දුරට ගැලපෙනවා.

මේ ආකෘතිය අනුව කිසියම් ජනගහණයක සිටින නිශ්චිත පුද්ගලයෙක් කිසියම් නිශ්චිත අවස්ථාවක ඉන්නේ කුටීර තුනකින් එකක් ඇතුළේ. ආරම්භයේදී ඉන්නේ පළමු කුටීරයේ. ඉන් පසුව, දෙවන කුටීරයටත් අවසානයේදී තෙවන කුටීරයටත් යනවා. මේ කුටීර තුන අපි අ, ආ, ඉ කියා හඳුන්වමු. මේ නාමකරණය අනුවම යමින් අපට මේ ආකෘතිය "අආඉ ආකෘතිය" ලෙස හඳුන්වන්න පුළුවන්. මේ සිංහල නම ඉකොනොමැට්ටාගේ නමක්. සමහර විට නිවැරදි තාක්ෂනික යෙදුමක් ඇති. මම දන්නේ නැහැ. ඉංග්‍රීසි නම SIR ආකෘතිය.

දැන් මේ කුටීර තුන මොනවාද? ඒවා මොනවාද කියා කිවුවට පස්සේ මම මේ ආකෘතිය "අආඉ ආකෘතිය" ලෙස හැඳින්වූවේ ඇයි කියන එකත්, ඉංග්‍රීසියෙන් SIR ආකෘතිය කියන්නේ ඇයි කියන එකත් පැහැදිලි වෙයි.

පළමු කුටීරය - අවදානමක සිටින පිරිස (susceptible)
දෙවන කුටීරය - ආසාදිත පිරිස (infected)
තෙවන කුටීරය - ඉවත් වූ පිරිස (removed)

කෝවිඩ්-19 වගේ අලුතෙන්ම පැතිරෙන රෝගයක් ගත්තහම ආරම්භයේදී රටේ මුළු ජනගහණයම ඉන්නේ පළමු කුටීරය ඇතුළේ. තවම මේ රෝගයට කිසිවෙකුව එන්නත් කර නැහැ. කිසිවෙකුට ස්වභාවික ප්‍රතිශක්තිය ඇති බව තහවුරු වෙලත් නැහැ. දෙවන චක්‍රයකදීනම් තත්ත්වය වෙනස්.

පළමු කුටීරයේ ඉන්න අය ක්‍රමයෙන් දෙවන කුටීරයට යනවා. දෙවන කුටීරයේ ඉන්න අය සුව වූ පසු හෝ මිය යාමෙන් පසු තෙවන කුටීරයට යනවා. මේ ආකෘතියේදී සුව වූ අය සහ මිය ගිය අය වෙන් කර අධ්‍යයනය කරන්නේ නැහැ. දෙගොල්ලොම ඉන්නේ එක ගොඩේ. ආකෘතියේ උපකල්පන අනුව, ඔය දෙකෙන් කොයි එක වුනත් ආසාදිතයින් ප්‍රමාණය අඩු වෙන එකයි වෙන්නේ.

අපි මේ කණ්ඩායම් තුන ඉංග්‍රීසි මුල් අකුරු අනුව යමින් මේ විදිහට හඳුන්වමු.

S = S(t) - අවදානමක සිටින පිරිස
I = I(t) - ආසාදිත පිරිස
R = R(t) - ඉවත් වූ පිරිස

ඒ වගේම රටේ මුළු ජනගහණය N ලෙස හඳුන්වමු.

මෙහිදී අපි S, I හා R නිශ්චිත අගයන් ලෙස සලකා නැහැ. කිසියම් මොහොතක එම අගයන් නිශ්චිත වුවත් කාලයත් සමඟ වෙනස් වෙනවා. S(t), I(t) හා R(t) ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. එහෙමනම්, කිසියම් මොහොතක රටේ මුළු ජනගහණය කොපමණද? එම ප්‍රමාණය මේ කුටීර තුනේ ඉන්නා පිරිස් වල එකතුවට සමාන විය යුතුයි.

N = S(t) + I(t) + R(t)

දැන් මේ N කාලයත් සමඟ වෙනස් වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනෑනේ.

- කෝවිඩ්-19 මරණ නිසා
- කෝවිඩ්-19 නොවන මරණ නිසා
- අලුත් දරු උපත් නිසා
- රටින් පිටතට යන හා රටට එන අය නිසා.

මේ ආදී විවිධ හේතු නිසා රටේ මුළු ජනගහණය කාලයත් සමඟ වෙනස් වෙනවා. ඒ සියලු කරුණු සලකා බැලෙන වඩා සංකීර්ණ ආකෘති තිබුණත් මේ මූලික ආකෘතියේදී අපට N නියතයක් ලෙස උපකල්පනය කරන්න පුළුවන්. කෝවිඩ්-19 නිසා වසරක් තුළදී රටක ජනගහණයෙන් 1%ක් මිය යා හැකියි කියා හිතුවත්, සාමාන්‍යයෙන් වසරක් ඇතුළත ජනගහණ වර්ධනයද 1%ක්නම් අන්තිමට ජනගහණයේ වෙනසක් වෙන්නේ නැහැ. ඔය වැඩේ ඔහොම හරියටම සමතුලිත නොවුනත් කෙටි කාලයක් තුළ කෝවිඩ්-19 තිබුණා හෝ නොතිබුණා කියා රටේ ජනගහණය විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ.

අපි හිතමු ආරම්භයේදී කවර හෝ ආකාරයෙන් රටේ යම් පිරිසක් ආසාදනය වුනා කියා. මේ ප්‍රමාණය m කියා කියමු. දැන්, රටේ ජනගහණයෙන් මේ m පිරිස හැර අනෙක් සියලු දෙනාම ඉන්නේ පළමු කුටීරයේ. ආසාදනය වූ අය ඉන්නේ දෙවන කුටීරයේ. තෙවන කුටීරයේ කිසිවෙකු නැහැ. ඒ නිසා,

S(0) = N - m
I(0) = m
R(0) = 0

උදාහරණයක් විදිහට අපි හිතමු මුළු ජනගහණය 100 හා ආරම්භයේදී ආසාදනය වී සිටි ගණන 2 බව. මේ උදාහරණයේදී,

S(0) = 98
I(0) = 2
R(0) = 0

ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මෙය පැහැදිලි කිරීම සඳහා අපට ඉතා කුඩා නිශ්චිත කාලාන්තරයක් තුළදී පළමු කුටීරයේ සිට දෙවන කුටීරයටත්, දෙවන කුටීරයේ සිට තෙවන කුටීරයටත් "ගලා යාමක්" සිදු වන ආකාරය පිළිබඳව ප්‍රවාදයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා, අපි පහත උපකල්පන කරමු.

1. ඉතා කුඩා නිශ්චිත කාලාන්තරයක් තුළදී පළමු කුටීරයේ සිට දෙවන කුටීරයට ගලා යාමේ වේගය පළමු කුටීරයේ සිටින අයෙකු දෙවන කුටීරයේ සිටින අයෙකුව හමු විය හැකි අවස්ථා ගණනට අනුලෝමව සමානුපාතිකයි. ඕනෑම අයෙකු තවත් අයෙකු සමඟ අහඹු ලෙස මිශ්‍ර විය හැකි බව අපි කලින්ම උපකල්පනය කරලා තියෙන නිසා මෙම අවස්ථා ගණන S(t) * I(t)  ගුණිතයට සමානයි. ඉහත උදාහරණය ගත්තොත් දැනට පළමු කුටීරයේ (අවදානම් තත්ත්වයේ) ඉන්න 98 දෙනාට දෙවන කුටීරයේ සිටින ආසාදිතයින් ඕනෑම කෙනෙක් හමු විය හැකි නිසා මෙවැනි හමු 98*2 = 196ක් සිදු විය හැකියි. එසේ හමුවන අවස්ථාවකදී රෝගය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව β ලෙස සැලකුවොත්, මෙම කාලාන්තරය අතරතුර β * S(t) * I(t) දෙනෙකු අලුතෙන් ආසාදනය වෙනවා. උදාහරණයක් ලෙස අපි හිතමු β = 1/100 කියා. ඒ කියන්නේ ඉහත කී සිදු විය හැකි හමු 196දී ආසන්න වශයෙන් ආසාදනය වීම් 2ක් පමණ සිදු විය හැකියි.

පහත දුඹුරු පාටින් ඇති කොටස් ගණිතය හදාරා ඇති අයට පමණයි. අනෙක් අයට එම කොටස් අතහැර කියැවුවා කියා අඩුවක් වෙන්න හේතුවක් නැහැ.

මේ අනුව,

පළමු කුටීරයේ සිට දෙවන කුටීරයට ගලා යාමේ වේගය  ∝ S(t) * I(t)

මුළු ජනගහණය N නියතයක් නිසා අපට මෙසේද කියන්න පුළුවන්.

පළමු කුටීරයේ සිට දෙවන කුටීරයට ගලා යාමේ වේගය  ∝ S(t) * I(t)/N 

මෙහි I(t)/N යනු කිසියම් මොහොතක ජනගහණය තුළ ආසාදිතයින්ගේ ප්‍රතිශතයයි.

අපට නියතයක් යොදා ගෙන මෙහි සමානුපාතික ලකුණ ඉවත් කළ හැකියි. මේ නියතය අපි β ලෙස හඳුන්වමු. මේ අනුපාතයට කාලයත් සමඟ පළමු කුටීරයේ ජනගහණය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා,

dS(t)/dt = -β * S(t) * I(t)/N.


2. දෙවන කුටීරයේ සිට තෙවන කුටීරයට ගලා යාමේ වේගය දෙවන කුටීරයේ සිටින (ආසාදිතයින්) ගණනට අනුලෝමව සමානුපාතිකයි. අපි හිතමු දෙවන කුටීරයේ සිටින අයෙකු තෙවන කුටීරයට යාමට (සුව වීමට හෝ මියයාමට) දින 10ක් ගත වන බව. ඒ අනුව, දෙවන කුටීරයේ සිටින අයෙකු දිනක් තුළ එයින් ඉවත් වීමේ සම්භාවිතාව 1/10යි. එහි 20 දෙනෙකු ඉන්නවානම් එයින් දෙදෙනෙකු දිනක් ඇතුළත තෙවන කුටීරයට යනවා.

මේ අනුව,

දෙවන කුටීරයේ සිට තෙවන කුටීරයට ගලා යාමේ වේගය  ∝ I(t)

අපට නියතයක් යොදා ගෙන මෙහිද සමානුපාතික ලකුණ ඉවත් කළ හැකියි. මේ නියතය අපි γ ලෙස හඳුන්වමු. මේ අනුපාතයට කාලයත් සමඟ තෙවන කුටීරයේ ජනගහණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ නිසා,


dR(t)/dt = γ * I(t)


දැන් අපට කාලයත් සමඟ ආසාදිතයින් ප්‍රමාණයද පහසුවෙන්ම සූත්‍රගත කළ හැකියි.

දෙවන කුටීරයේ ජනගහණය (ආසාදිතයින් ගණන) වෙනස් වීම = පළමු කුටීරයෙන් එකතු වන ප්‍රමාණය - තෙවන කුටීරයට ඉවත් වන ප්‍රමාණය.

අවකල සමීකරණයක් ලෙස,

dI(t)/dt = β * S(t) * I(t)/N - γ * I(t).

ඉහත අවකල සමීකරණ තුන එක් පද්ධතියක් ලෙස සලකා විසඳිය හැකියි. එවිට, අපට කිසියම් මොහොතක එක් එක් කුටීරයේ සිටින ජනගහණය සඳහා විශ්ලේෂණාත්මක විසඳුමක් ලැබෙනවා. නිරීක්ෂණය කරන දත්ත යොදාගනිමින් එහි පරාමිතීන් හොයා ගන්න පුළුවන්. මගේ කලින් ලිපි වල විස්තර කළ R0 අගය මේ අවකල සමීකරණ වල එන β/γ අගයට සමාන බවද ගණිතය යොදා ගෙන පෙන්වා දිය හැකියි. එහෙත් එය යොදා ගන්නා කුටීර ආකෘතිය අනුව වෙනස් වෙන්න පුළුවන්.

මේ ආකෘතියට අනුව කාලයත් සමඟ එක් එක් කුටීරයේ සිටින ප්‍රමාණය වෙනස් වෙන්නේ පහත රූප සටහනේ පෙන්වා දී තිබෙන ආකාරයේ රටාවකටයි.



(Image: https://www.researchgate.net/publication/224209140_To_agent-based_simulation_from_System_Dynamics/figures?lo=1)

Thursday, April 2, 2020

කෝවිඩ් පැටවු ගහන හැටි


වසංගත පැතිරීම ආකෘතිගත කරන ආකාරය සම්බන්ධ තාක්ෂනික කරුණු දැන ගන්න කැමති බව කිහිප දෙනෙක්ම ලියල තිබුණනේ. මෙය ඇත්තටම බ්ලොග් ලිපි දෙක තුනකින් පැහැදිලි කළ හැකි තරම් සරල දෙයක් නෙමෙයි. තනිකරම විෂයයක්නේ. කොහොම වුනත් මේ වගේ අලුත් නොදන්නා විෂයයක් ගැන උනන්දුවක් ඇති වීම මේ අඳුරු වලාවේ එක් රිදී රේඛාවක් කියා කියන්න පුළුවන්. යන විදිහට ගොඩක් දෙනෙක්ට ආර්ථික විද්‍යාව ගැන දැන ගන්න විශාල උනන්දුවක් ඇති වෙන්නත් ලොකු කාලයක් යන එකක් නැහැ.

වසංගත පැතිරීම ගැන කතා කරන්න කලින් අපි ඒ සඳහා දැන ගන්න අවශ්‍ය මූලික කරුණක් කතා කරමු. මේ ලිපිය ලියන්නේ ගණිතය හා සංඛ්‍යානය ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙනුයි. අනෙක් අයට ටිකක් බර වැඩි වෙන්න පුළුවන්.

අපි අර මූලික ප්‍රජනන අගය ගැනත් එය ඇස්තමේන්තු කිරීමේ අසීරුව ගැනත් ගොඩක් කතා කළානේ. දැනට අපි ඒ සියල්ල අමතක කරලා මේ අගය 2.0 ලෙස සලකමු. ඒ කියන්නේ එක් ආසාදිතයෙක් තවත් දෙදෙනෙකුට රෝගය පතුරුවනවා. මේ ගණන නිවැරදි බවත්, හැම ආසාදිතයෙක්ම තවත් ආසාදිතයින් දෙදෙනෙකුට රෝගය පතුරුවන බවත් අපි උපකල්පනය කරමු. අප්‍රේල් පළමුවෙනිදා රටේ එක් අයෙක් කෙසේ හෝ ආසාදනය වුනා කියා හිතමු. එහෙමනම්, දවස් 21කට පසුව රටේ ආසාදිතයින් ගණන ඇස්තමේන්තු කරන්න කාට හරි පුලුවන්ද?

මෙය ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ ගැටළුවක්. මේ සරල ගැටළුවට වුවත් විසඳුමක් හොයා ගැනීම පහසු නැහැ. ඒ ඇයි?

මේ ආසාදිතයා වෙනත් අයට රෝගය බෝ කරන්නේ දවස් කීයකට පස්සෙද කියන එක අපි දන්නේ නැහැ. එය සිදු වන්නේ 22වන දවසේනම් 21 වන දවස වන විටත් රටේ ඉන්නේ අර පළමු රෝගියා පමණයි. විසඳුම හොයා ගන්නනම් අපට තවත් වැඩිමනත් තොරතුරු අවශ්‍ය වෙනවා.

උදාහරණයක් විදිහට ආසාදිතයෙක් ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා කියා අපි හිතමු. දැන් පළමු දිනයේ සිට රෝගීන් වැඩි වෙන්නේ මේ ආකාරයටයි.

1 - 1
2-  1
3-  2
4-  3

දැන් පළමු රෝගියා තමන්ගේ "යුතුකම" කරලා ඉවරයි. ඔහු හෝ ඇය තවත් දෙදෙනෙකුට රෝගය බෝකරලා. මේ රෝගීන් දෙන්නාව අපි 2A හා 2B රෝගීන් ලෙස නම් කරමු. මෙයින් පසුව රෝගය පැතිරෙන්නේ මොන ආකාරයටද?

වැඩේ සංකීර්ණ නිසා අපි අපේ පහසුවට මේ විදිහේ උපකල්පනයක් කරමු. මුල් රෝගියා වගේම අනෙක් සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා. මේ උපකල්පනය මත අපට ගණන් හදාගන්න පුළුවන්.

දැන් අර 2A රෝගියා ආසාදනය වුනේ 3 වන දවසේ නිසා ඇය 5 හා 6 දින වලදී තවත් දෙදෙනෙකුට (3A සහ 3B පුද්ගලයින්ට) වෛරසය සම්ප්‍රේෂණය කරනවා. නමුත්, 2B රෝගියා ආසාදනය වුනේ 4 වන දවසේ නිසා ඔහු තවත් දෙදෙනෙකුට (3C  සහ 3D පුද්ගලයින්ට) වෛරසය සම්ප්‍රේෂණය කරන්නේ 6 හා 7 දින වලදී. ඒ අනුව, ඊළඟ දවස් දෙකේදී තත්ත්වය මෙහෙමයි.

5- 4  (1, 2A, 2B, 3A)
6- 6  (1, 2A, 2B, 3A, 3B , 3C)

හත් වෙනි දවසේ වෙන්නේ කුමක්ද? හත් වන දවසේදී 2B විසින් 3D ආසාදනය කරනවා. ඒ සමඟම දෙවන පරම්පරාවේ රෝගීන් රෝගය බෝ කර අවසන් වෙනවා. ඒ අතර තුන් වන පරම්පරාව වැඩ පටන්ගන්නවා. හත් වන දවසේ 3A විසින් 4A ආසාදනය කරනවා. එතැන් සිට වැඩේ යන හැටි පහත පෙන්වා තිබෙනවා. මෙහි තේරුම් ගැනීමේ පහසුව පිණිස එක් එක් පරම්පරාවේ රෝගීන් වෙන වෙනම තීරු වල දක්වා තිබෙනවා. අන්තිම තීරුව එක් එක් දිනය අවසානයේ මුළු ආසාදිතයින් ගණන.

1 1 1
2 1
3 1 2
4 1 3
5 1 4
6 2 6
7 1 1 8
8 3 11
9 3 1 15
10 1 4 20
11 6 1 27
12 4 5 36
13 1 10 1 48
14 10 6 64
15 5 15 1 85
16 1 20 7 113
17 15 21 1 150
18 6 35 8 199
19 1 35 28 1 264
20 21 56 9 350
21 7 70 36 1 464

මේ අනුව දින 8කට පමණ වරක් ආසාදිතයින් ප්‍රමාණය 10 ගුණයකින් ඉහළ යන බව පේනවා ඇති. එය ඇමරිකාවේ රටාවට ආසන්නව සමානයි.

මේ ඇස්තමේන්තුව හැදුවේ සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා කියන උපකල්පනය මතයි. දැන් අපි හිතමු මේ වැඩේ වෙන්නේ ටිකක් පහුවෙලා කියලා. දෙවන උදාහරණයේදී සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 4 වන හා 5 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා. මේ වෙනස සමඟ රෝගීන් වැඩි වෙන ආකාරය වෙනස් වෙන්නේ කොහොමද? එය පහත පෙන්වා තිබෙනවා.

1 1 1
2 1
3 1
4 1 2
5 1 3
6 3
7 1 4
8 2 6
9 1 7
10 1 8
11 3 11
12 3 14
13 1 1 16
14 4 20
15 6 26
16 4 1 31
17 1 5 37
18 10 47
19 10 1 58
20 5 6 69
21 1 15 85

කලින් තත්ත්වය යටතේ දින 21කට පසුව 464 දෙනෙකුට රෝගය ව්‍යාප්ත වුනා. දැන් එම ගණන 85 දක්වා අඩු වෙලා. නමුත්, අවස්ථා දෙකේදීම මූලික ප්‍රජනන අංකය සමානයි.

මෙතැන වෙන්නේ මේ වගේ දෙයක්. කිසියම් රටක රතු හා කොළ කියා ජනවර්ග දෙකක් ඉන්නවා. කොයි ජනවර්ගයේ වුවත් එක් කාන්තාවක් වදන්නේ හරියටම දරුවන් දෙන්නෙක් පමණයි. එහෙමනම් එක ජනවර්ගයක් වැඩියෙන් වර්ධනය වෙන්න පුළුවන්ද?

පැහැදිලිවම ඔව්. එසේ නොවන්නේ ජනවර්ග දෙකේම කාන්තාවන් දරුවන් වදන්නේ එකම වයසකදීනම් පමණයි. එසේ නැත්නම් අඩු වයසෙන් විවාපත් වී දරුවන් වදන කණ්ඩායම වැඩියෙන් බෝවෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේ අඩුවෙන් දරුවන් හදන කණ්ඩායම වැඩියෙන් බෝවෙන්න වුවත් පුළුවන්.

Wednesday, April 1, 2020

කොරෝනා පාලනය


කොරෝනා පැතිරීම ගැන මෙතෙක් ලිවූ ලිපි කිහිපයකින්ම උත්සාහ කළේ වසංගතවේදයේදී යොදා ගැනෙන සම්මත ආකෘති හා අදාළ මූලික කරුණු කිහිපයක් පැහැදිලි කරන්නයි. ඒ හැර, කොරෝනා දේශපාලනය ගැන හෝ කොරෝනා අභියෝගය හමුවේ ලංකාව විසින් ගන්නා ක්‍රියාමාර්ග ගැන මා කතා කළේ නැහැ. විස්තර කළ යුතු තාක්ෂණික කරුණු තවත් රැසක් තිබෙනවා. එහෙත්, කියවන බොහෝ දෙනෙකුට වැදගත් වන්නේ ලංකාවට කුමක් වෙයිද කියන එක නිසා ඒ ගැනත් ටිකක් කතා කරමු. එහෙත්, මෙය මා දකින පරිදි පවතින තත්ත්වය පිළිබඳ විග්‍රහයක් මිස කාවවත් විවේචනය කිරීමක් හෝ කාටවත් කඩේ යාමක් නෙමෙයි.

පළමුවෙන්ම කියන්න තියෙන්නේ ලෝකයේ කිසිදු රටක් කොරෝනා පරාජය කර නැහැ. යමෙක් එහෙම හිතනවානම් එය මුලාවක්. නමුත්, විවිධ රටවල් විවිධ මට්ටම් වලින් රෝගය පාලනය කරගෙන ඉන්නවා.

මූලික ප්‍රජනන අංකය ගැනත්, එය ඇස්තමේන්තු කිරීමේ අපහසුව ගැනත් මම පැහැදිලි කළානේ. මේ පිළිබඳ අවිනිශ්චිතතා කොපමණ තිබුණත් එක දෙයක් සක් සුදක් සේ පැහැදිලියි. ඒ මේ අගය 1.0 ට වඩා වැඩියි කියන එකයි. ඒ කියන්නේ රෝගය පැතිරීම මොනයම් ක්‍රමයකින් හෝ පාලනය නොකළොත්, රටක බහුතරයට රෝගය හැදෙන තුරු පැතිරීම නවතින්නේ නැහැ. සම්මත ආකෘති අනුව රෝගය පැතිරීම නවතින්නේ විශාල පිරිසකට රෝගය වැළඳී, එයින් යම් පිරිසක් මිය ගොස් ඉතිරි පිරිසට ස්වභාවික ප්‍රතිශක්තිය ලැබුණු පසුවයි. නමුත්, කිසිම රටක් තවමත් ඒ තත්ත්වය කිට්ටුවත් ගිහින් නැහැ. ඒ නිසා, කොපමණ පිරිසක් මැරෙයිද, කොපමණ පිරිසකට ස්වභාවික ප්‍රතිශක්තිය ලැබෙයිද, එහෙම ස්වභාවික ප්‍රතිශක්තිය ලැබුනොත් එය කොපමණ කලක් තියෙයිද වගේ කරුණු ගැන අපට තවම කිසිම දෙයක් සහසුද්දෙන්ම කියන්න බැහැ.

රෝගය වැඩිපුරම ව්‍යාප්ත වී තිබෙන රටවල් වන ඉතාලියේ හා ස්පාඤ්ඤයේ ජනගහණයෙන් ආසන්න වශයෙන් දහසකට දෙදෙනෙකු පමණ මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙනවා. නමුත්, එම රටවල පවා තවමත් දහසකින් 998 දෙනෙකු එසේ හඳුනා නොගත් අයයි. යම් හෙයකින් නොදැනම වෛරසය ආසාදනය වී අවසන්ව නැත්නම් මේ අයට කොයි වෙලාවක හෝ වෛරසය වැළඳිය හැකියි. අනිවාර්යයෙන්ම මේ අයගෙන් යම් කොටසකට මේ වන විට නොදැනම වෛරසය වැළඳී තිබිය හැකි වුවත් ඒ ප්‍රමාණය කොපමණද කියා අප දන්නේ නැහැ. කිසිම අදහසකුත් නැහැ.

මේ තත්ත්වය ලංකාවට හෝ වෙනත් රටකට කියා වෙනස් වන දෙයක් නෙමෙයි. ලංකාවට අදාළ මූලික ප්‍රජනන අංකය 2.2 නොවිය හැකියි. එහෙත් එය 1.5 වුනත් 4 වුනත් රෝගය පැතිරෙන වේගය වෙනස් වනවා මිස රෝගය පැතිරීම නවතින්නේ නැහැ. මෙය මතක තබා ගත යුතු පළමු වැදගත් කරුණයි.

දෙවන වැදගත් කරුණ වන්නේ විවිධ ක්‍රියාමාර්ග හරහා රෝගය පැතිරීම පාලනය කළ හැකි බවයි. ඒ කියන්නේ අපට අපේ උත්සාහයෙන් මූලික ප්‍රජනන අංකය අඩු කර ගත හැකියි. එය 1.0 මට්ටමෙන් පහළට ගත්තොත් රෝගය පැතිරීම ක්‍රමයෙන් අඩු වී අන්තිමේදී නවතිනවා. පාලිත තත්ත්වයන් යටතේදී එය 1.0 මට්ටමෙන් පහළට ගෙන මාසයක් දෙකක් එලෙසම පවත්වා ගත හැකි බව චීනය විසින් ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ඒ වගේම, ඉතාලිය හා ස්පාඤ්ඤය වැනි රටවල්ද ඇතුළුව ලෝකයේ හැම රටක්ම වගේ මූලික ප්‍රජනන අංකය යම් තරමකින් අඩු කරගෙන තිබෙනවා. එහෙත්, 1.0 මට්ටමෙන් පහළට නොගත්තොත් රෝගය පැතිරීමේ වේගය මිස රෝගය පැතිරීම අඩු වන්නේ නැහැ. හැම බටහිර රටකම වගේ තවමත් රෝගය පැතිරෙන්නේ ඒ නිසයි. දැනට පවතින තත්ත්වයන් අනුව ස්වභාවික ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වීමෙන් මිස බටහිර රටවල රෝගය පැතිරීමේ වේගය මිස රෝගය පැතිරීම නවතින්න ඉඩක් නැහැ.

එක ඇනෝ කෙනෙක් අසා තිබුණා හදිසියේ කෝවිඩ් හැදී ඉකොනොමැට්ටා මළොත් දැනගන්නේ කොහොමද කියා. එහෙම වුනොත්, මටනම් දැනගන්න වෙන්නේ නැහැ. මම මැරිලානේ!

ඉදිරි නරක කාලය ඇතුළත අපි කවුරු වුනත් මැරෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. මේ වන විට අපේ පැත්තේ දන්නා කියන අයටත් රෝගය වැළඳෙමින් තිබෙනවා. ගෙදරටම වී හිටියත්, කොයි තරම් පරිස්සම් වුනත් කොයි වෙලාවක හෝ අපිත් වෛරසයේ ගොදුරක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් ඇමරිකාවේ හිටියා කියා ලොකු වාසියක් නැහැ. ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වෙන්නේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය මතයි. ඒක මේ හදිස්සියේ ලොකුවට වැඩි කරගන්න පුළුවන් කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා, මම මේ ගැන එතරම් වද වෙන්නේ නැහැ. මම වැඩිපුර වද වෙන්නේ මගේ පාලනයට නතු දේවල් ගැනයි.

ඕක තමයි තත්ත්වය. හැබැයි එහෙමයි කියා මම ඇමරිකාව හෝ ඇමරිකන් ආණ්ඩුව විවේචනය කරන්නේ නැහැ. මේ හා අදාළව ආණ්ඩුවට ඔයිට වඩා කරන්න ලොකු දෙයක් නැහැ. කොරෝනා හැදී ඉකොනොමැට්ටා මැරුණත් මෙය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ ඉකොනොමැට්ටාගේ යාළුවෝ, නෑදෑයෝ හැඟීම්වර වෙලා ඇමරිකාව විවේචනය කළ හැකි වුනත් එසේ වූ පමණින් මේ කරුණ වෙනස් වෙන්නේ නැහැ.

එක දෙයක් හැර ලංකාවේ ආණ්ඩුව විසින් කළ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් ඇමරිකාවේ ආණ්ඩුව විසිනුත් කළා. ලංකාවට කළ නොහැකි ඇමරිකාව වැනි රටකට කළ හැකි තවත් දේවලුත් කළා. ලංකාව කරන දේවල් වලින් ඇමරිකාව විසින් නොකළේ සබඳතා හඹායාම (contact tracing) පමණයි. එය ඇමරිකාවට හෝ වෙනත් බටහිර රටකට කළ නොහැකි දෙයක්. එවැනි දෙයක් කරන්න ගියොත් මේ රටවල මූලික පදනමම බිඳ වැටෙනවා.

ලංකාව වගේම චීනය හා දකුණු කොරියාවත් රෝගය පාලනය සඳහා මේ සබඳතා හඹායාම කියන උපක්‍රමය සාර්ථකව භාවිතා කළා. මේ කටයුත්තේදී ලංකාවට විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබීම වාසියක් වුනා. මේ වෙලාවේ වාසියක් වූ පමණින් මා විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. එහෙත්, යම් තත්ත්වයන් යටතේ එවැන්නක වාසියක් තිබෙන බව කියන්නට මැලි වන්නේත් නැහැ.

මේ වන විට ලංකාවෙන් හමු වී තිබෙන්නේ කොරෝනා රෝගීන් 146 දෙනෙකු පමණයි. ඔවුන්ගෙන් විශාල පිරිසක් වෙනත් රටකදී රෝගය බෝ කරගත් අය හෝ නිරෝධායනය වෙමින් සිටියදී හඳුනාගත් අයයි. මා විස්තර කළ මූලික ප්‍රජනන අංකය යොදා ගත හැක්කේ රෝගය ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට පැමිණි විට පමණයි. ඒ නිසා, මෙතෙක් ලංකාවේ වාර්තා වී තිබෙන ආනයකික ආසාදිතයින්ගේ දත්ත මත ලොකු නිගමන වලට එන්න බැහැ. කොහොම වුනත් එක දෙයක් පැහැදිලියි. ලංකාව තවමත් මූලික ප්‍රජනන අංකය 1.0 ට පහළින් හෝ ආසන්නව පවත්වා යනවා. එසේ නැත්නම් මේ වන විට රෝගය මීට වඩා වේගයෙන් ව්‍යාප්ත විය යුතුයි.

බටහිර රටක දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් ලංකාව අනුගමනය කරන ක්‍රමයේ අඩු වශයෙන් ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබෙනවා. පළමු ප්‍රශ්නය මිනිස්සුන්ට වන පීඩාවක් වලක්වන්න ආණ්ඩුව විසින් ඔවුන්ට වෙනත් විශාල පීඩාවක් කිරීමයි. නමුත්, එය ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්තනම් එවැනි පීඩාවක් තිබෙන බව කියන්න බැහැ. ඇමරිකාවේදී හේතුවක් නැතිව පොලීසියෙන් වාහනයක් නවතා හැඳුනුම්පත පරීක්ෂා කළොත් එය ලොකු අවුලක්. නමුත්, ලංකාවේ ජීවත් වන කෙනෙකුට එය සාමාන්‍ය දෙයක්. ඇඳිරි නීතිය විශාල පීඩාවක් වුවත් ලාංකිකයින්ට නුපුරුදු දෙයක් නෙමෙයි. අපේ වයසේ අයටනම් 88/89 කාලයේ අවුරුදු දෙක තුනක් එක දිගටම ඇඳිරි නීතිය යටතේ ජීවත් වී පුරුද්දක් තිබෙනවා. උතුරු නැගෙනහිර අයටනම් දශක ගණනක්. මේ හේතු නිසා ලොකු සහෝදරයා ගෙදරටම හොම්බ දමන එක මේ වෙලාවේ ලංකාවේ වැඩි දෙනෙකුට වෛරස් තර්ජනයට සාපේක්ෂව හිතට වද දෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ලංකාව හා අදාළව මා මේ කරුණ බැහැර කරනවා.

දෙවන ප්‍රශ්නය සම්පත් සීමාවන් පිළිබඳ ප්‍රශ්නයක්. දැනට ලංකාවේ ඉන්නේ කෝවිඩ්-19 රෝගීන් 150කට අඩු ප්‍රමාණයක්. එහෙත්, මා දන්නා තරමට අඩු වශයෙන් විසි දහසක පමණ පිරිසක් රාජ්‍ය යාන්ත්‍රනය විසින් නිරන්තරව නිරීක්ෂණය කෙරෙමින් පවතිනවා. රටේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙන නිසා මෙය කළ හැකියි. ලංකාවේ විශාල රාජ්‍ය යාන්ත්‍රණය ඉතා අකාර්යක්ෂමයි. නමුත්, මේ වෙලාවේ වෙන්නේ එසේ අකාර්යක්ෂමව තිබුණු සම්පත් ප්‍රයෝජනයට ගැනීමක්. ආණ්ඩුව විසින් කොරෝනා මර්දනය කරන්න අලුතින් රාජ්‍ය සේවකයින් හෝ හමුදා සෙබළුන් බඳවාගෙන නැහැ. ඒ නිසා දැනට සිටින රාජ්‍ය සේවකයින් මේ ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම උචිත දෙයක්. ඇමරිකාවේ රජය සතුව මෙවැනි ප්‍රයෝජනයට නොගැනෙන මානව සම්පත් නැහැ.

එහෙත් යම් හෙයකින් රෝගීන් ප්‍රමාණය 1500 දක්වා වැඩි වුනොත් මේ වැඩේ මේ ආකාරයෙන්ම කරගෙන යන්න බැරි වෙනවා. එවිට යටට ඔබා ගෙන සිටින රබර් බෝලයක් උඩ එනවා වගේ දැනට 1.0 මට්ටමේ හෝ පහළින් තිබෙන R0 අගයද ඉහළ යනවා. රෝගීන් ගණන 150 සිට 1500 දක්වා ඉහළ යන එක් අහඹු සිදු වීමක් නිසා එක සතියක් ඇතුළත විය හැකි දෙයක්. කොයි තරම් හොඳින් තත්ත්වය කළමනාකරණය කළත් එවැන්නක් වීමේ අවදානමක් තිබෙනවා. එසේ නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කිසිවෙකු විසින් තමන්ගේ නොසැළකිල්ල නිසා රටේ විශාල පිරිසක් අවදානමක නොහෙළනු ඇතැයි අපේක්ෂා කරමු.

තෙවන ප්‍රශ්නය වන්නේ මේ වැඩේ මේ විදිහට කොයි තරම් කාලයක් කරන්නද කියන එකයි. සතියක්? මාසයක්? අවුරුද්දක්?

බටහිර රටවල්, විශේෂයෙන්ම ඇමරිකාව හා බ්‍රිතාන්‍යය, ඕනෑවට වඩා දැඩි පාලනයකට නොයන්නේ මේ නිසා. ලංකාව කවදා හෝ ඇඳිරි නීතිය ඉවත් කළ යුතුයි. කවදා හෝ ගුවන් තොටුපොළ ඇරිය යුතුයි. එසේ කළ විට වහාම රෝගය වේගයෙන් පැතිරිය හැකියි. කොහොම වුනත් මේ හේතුව නිසාම ලංකාව කරන වැඩේ තේරුමක් නැහැ කියා කියන්න බැහැ.

තරමක් දේශපාලනික කරුණකට ආවොත් ලංකාව ස්වයංපෝෂිත කිරීමේ සිහිනයක සිටින අය ඉන්නවා. මා මෙය මේ ලිපියෙන්  වැඩිපුර විශ්ලේෂණය කරන්න අදහසක් නැහැ, එසේ නොකර කියන්න තිබෙන දේ කියනවානම්, ලංකාව වගේ කුඩා රටකට එය කළ නොහැකියි. මා මෙයින් කියන්නේ රටේ හැදිය හැකි හැම දෙයක්ම පිටින් එන තුරු බලා සිටිය යුතු බව නෙමෙයි. පැහැදිලිවම එය නොකළ යුතු දෙයක්. මා කියන්නේ ලංකාවට දොරගුළු වසාගෙන විශාල කාලයක් සිටිය නොහැකි බවයි. එවැන්නක් කළ හැක්කේ චීනය, ඉන්දියාව, රුසියාව, ඇමරිකාව හා සමස්ත යුරෝපීය සංගමය වැනි විශාල ජනගහණයක් හා භූමියක් ඇති දේශපාලන ඒකකයකට පමණයි. ලංකාව වැනි රටකට දොරවල් වහගෙන ඉන්න පුළුවන්. එහෙත් එසේ සිටිද්දී රටේ ජීවන තත්ත්වය අනිවාර්යයයෙන්ම දැන් තිබෙන තත්ත්වයෙන් ගොඩක් පහළට වැටෙනවා.

එහෙමනම් මේ කරන වැඩේ තේරුමක් තිබෙනවාද? මෙතැනදී අපට මා කලින් විස්තර කර තිබෙන ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කුමක්ද කියා හිතන්න වෙනවා. මේ අවස්ථාව ලෝකයේ හැම රටක්ම දොරගුළු වහගෙන ඉන්න අවස්ථාවක්. ඒ නිසා, ලංකාව විවෘතව තබා ගැනීමේ වාසි මේ වෙද්දී කොහොමටත් නැති වෙලයි තියෙන්නේ. ඒ තත්ත්වය මාස ගණනකට වෙනස් වෙන්න ඉඩක් නැහැ.

පශ්චාත්-කෝවිඩ් ලෝකය දැන් තිබෙන ලෝකයම වෙන එකක් නැහැ. ගොඩක් දේවල් වෙනස් වී තිබෙයි. ලංකාව වගේ පර්යන්තයේ තිබෙන රටකට ඒ වෙනස්කම් සිදු වන ආකාරය දිහා බලා ඉන්නවා ඇර වෙනස්කම් වලට ලොකුවට දායක වෙන්න අමාරුයි. කරන්න පුළුවන්කම තියෙන්නේ සිදුවන වෙනස්කම් දෙස බලා උචිත ලෙස හැඩ ගැහෙන එකයි. ඒ වැඩේට කාලය අවශ්‍යයි. මොන දේ කළත් යම් අවස්ථාවක ලංකාවේත් කොරෝනා පැතිරෙන්න පුළුවන්. නමුත්, ඒ දවස කල් දමාගත් තරමට ලංකාවට තත්ත්වයට මුහුණ දෙන එක වඩා පහසු වෙයි.

Monday, March 30, 2020

කොහෙන් කෙළවර වෙයිද?


කලින් ලිපි දෙකෙන් උත්සාහ කළේ කෝවිඩ්-19 පැතිරීම පිළිබඳ පුරෝකථන කිරීමට උපයෝගී කර ගන්නා ආකෘති වල මූලික කරුණක් හැකි තරම් සරලව පැහැදිලි කරන්නයි. ඒ බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම මාධ්‍ය විසින්, වැඩි තේරුමක් නැතිව උපයෝගී කර ගන්නා මූලික ප්‍රජනන අංකය හෙවත් R0 කියන එක. මේ මූලික ප්‍රජනන අංකය වෙනස් නොවන නිශ්චිත එකක් කියා හිතුවොත්, රෝගය ස්වභාවිකවම ඉක්මණින් පාලනය වීම හෝ වේගයෙන් පැතිරීම එම අංකය මත තීරණය වන්නේ කොහොමද කියන එක දෙවනුව මා පැහැදිලි කළා. සමාජ දුරස්ථකරණය, ගුවන් ගමන් සීමා කිරීම, හඳුනාගත් රෝගීන් නිරෝධායනය, ඇඳිරි නීති දැමීම වාගේ විවිධ රටවල් විසින් කරන දේවල් නිසා මේ අංකය පහත වැටෙන බවත්, එසේ පහත වැටෙන කොට රෝගය ව්‍යාප්ත වෙන ආකාරය හොඳ අතට වෙනස් වන බවත් මා පෙන්වා දුන්නා.

මේ විදිහට සරල ආකාරයෙන් පැහැදිලි කිරීමක් කළත් ඇත්තම ආකෘතියක් මීට වඩා ගොඩක් සංකීර්ණයි. උදාහරණයක් විදිහට අපි හිතමු කිසියම් මොහොතක කිසියම් රටක R0 අගය 10යි කියා. ඒ කියන්නේ එක් අයෙකු රෝගය 10 දෙනෙකුට බෝ කරනවා. මෙය උදාහරණයක් පමණයි. ඉහළ අංකයක් ගත්තේ කුඩා අංකයක් උදාහරණයට ගත් විට පැහැදිලි කරන්න අපහසු නිසයි.

දැන් අපි එක් අයෙකු රෝගය හරියටම 10 දෙනෙකුට බෝ කරන බව ස්ථිරවම දන්නවා කියමු. නමුත්, ඒ විදිහට 10 දෙනෙකුට බෝ කරන්නේ කොපමණ කාලයක් ඇතුළතද? මෙහිදී මුලින්ම වයිරසය ආසාදනය වූ අයෙකු එය වෙනත් අයට බෝ කරන කාල වකවානුව ගැන දැන ගන්න වෙනවා. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපි හිතමු බොහෝ දෙනකුට අදාළව මේ කාලය දවස් 21ක් කියා. දැන් කිසියම් අයෙකු වෙනත් අයට රෝගය බෝ කරන්නේ දවස් 2කට වරක් එක් අයෙකුට බැගින්ද? දවස් 4කට වරක් දෙදෙනෙකුට බැගින්ද? නැත්නම් අටවන දවසේ එක වරම 10 දෙනෙකුට බෝ කරනවාද? මේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.

මේ වගේ ස්ථිරවම කියන්න බැරි දෙයක් ආකෘතිගත කරන්නේ සංඛ්‍යාන ව්‍යාප්තියක් යොදා ගෙනයි. ඒ කියන්නේ දින 21 ඇතුළත එක් එක් දවස හෝ පැය ඇතුළත වෙනත් අයෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව සඳහා කිසියම් නිශ්චිත සම්භාවිතාවක් ඇති බව උපකල්පනය කරනවා. රෝගයේ ස්වභාවය අනුව මේ සම්භාවිතාව කාලයත් සමඟ ටිකෙන් ටික ඉහළ ගිහින් උපරිමයකට ඇවිත් ඉන් පසු ක්‍රමයෙන් අඩු වී යනවා. උදාහරණයක් විදිහට පළමු දවසේ 0.1යි. දෙවන දවසේ 0.15යි. පස් වන දවස වෙද්දී 0.5යි. දහවන දවස වෙද්දී නැවත 0.15ට අඩු වෙලා. ඔය වගේ.

මේ ආකාරයේ අවිනිශ්චිතතාවයක් තියෙන්නේ දින 21 ඇතුළත රෝගය බෝවන ආකාරය පිළිබඳව පමණක් නෙමෙයි. ඔය දින 21 කියන එකත් නිශ්චිත නොවන අගයක්. එහි තිබෙන්නේත් සම්භාවිතා ව්‍යාප්තියක්. ඒ වගේම, කී දෙනෙකුට බෝවනවාද කියන එකත් එහෙම දෙයක්.

මෙතෙක් මම වැඩිපුර කතා කළේ රෝගය පැතිරෙන එක ගැනනේ. මරණ සිදු වීම වෙනමම කතාවක්. එය රෝගය පැතිරෙන ස්වභාවය මත වගේම කිසියම් රටක සෞඛ්‍ය සේවය, වයස්ගත හා රෝගී ජනගහණය වගේ දේවල් මතත් තීරණය වනවා. ඒ නිසා, මරණ ගැන ඇස්තමේන්තු කිරීම වඩාත් අසීරුයි. ඊට අමතරව මේ වගේ වෛරස් වේගයෙන් පරිණාමය වෙනවා. ඒ නිසා කාලයත් එක්ක වෛරසයේ හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. එය මරණ අනුපාතයට හොඳ අතට හෝ නරක අතට බලපාන්න පුළුවන්.

මේ තරම් අවිනිශ්චිතතා තියෙනවානම් මේ ආකෘති වලින් වැඩක් තියෙනවද?

මේක මේ වගේ දෙයක්. අපි මුහුද මැද්දේ බෝට්ටුවක අතරමං වෙලා ඉන්නවා. ඉන්න තැනක් දන්නේ නැහැ. ගොඩබිමක් හොයා ගෙන යන්න ඕනෑ. සිතියමක් සහ මාලිමාවක් අතේ තියෙනවා. දැන් අපි ඔහේ ඉබාගාතේ බෝට්ටුව පදිනවද නැත්නම් අර සිතියම සහ මාලිමාව භාවිතා කරනවද? සිතියම වැරදි එකක් වෙන්න පුළුවන්. මාලිමාව කැඩිලා වෙන්න පුළුවන්. නමුත්, එහෙම නොවෙන්න ඉඩ වැඩියි. ඒ නිසා, සිතියම වැරදි එකක් වෙන්න පුළුවන් නිසා ඒක පැත්තකට දමලා ඉබාගාතේ බෝට්ටුව පදින එකේ තේරුමක් නැහැ.

තවත් දෙයක් තියෙනවා. සිතියම කියවන්න ඕනෑ ඒ ගැන දැනුමක් පළපුරුද්දක් තියෙන කෙනෙක්. නැත්නම් සිතියම තිබුණා කියලත් වැඩක් නැහැ.

මේ වගේ රෝගයක් පැතිරෙන ආකාරය ආකෘතිගත කරන්න පුළුවන්කම තියෙන්නේ වසංගත රෝග පැතිරෙන ආකාරය පිළිබඳ ගණිතමය හා සංඛ්‍යානමය ආකෘති ගැන වසර ගණනක පළපුරුද්දක් තිබෙන විශේෂඥයෙකුට පමණයි. මේ වෙලාවේ හදිසියේ මතු වන අපි වගේ "විශේෂඥයින්ට" ඒ වගේ දෙයක් කරන්න අමාරුයි. එවැනි පළපුරුද්දක් තිබෙන අය සීමිත පිරිසක් ඉන්නවා. මේ රෝගය පැතිරෙන ආකාරය ගැන මුලින්ම වාර්තාවක් එළි දැක්වූ බ්‍රිතාන්‍යයේ නීල් ෆර්ගසන් ඇතුළු කණ්ඩායමේ එවැනි අය ඉන්නවා. ඇමරිකාවේ වොෂින්ටන් සරසවියේ කණ්ඩායමක් දින කිහිපයකට කලින් තවත් අලුත් ගණනය කිරීම් ටිකක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අය යොදා ගන්නා හෝ වැඩි දියුණු කරන ආකෘති තමයි ඇමරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, ලංකාව ඇතුළු කොයි රටක වුවත් වසංගතවේදීන් විසින් යොදා ගන්නේ. මේ කටයුත්තේදී බොහෝ විට රටවල් අතර සම්බන්ධීකරණය හා මාර්ගෝපදේශනය සිදු වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා. ප්‍රායෝගික තලයේදී ගොඩක් අය කරන්නේ කිසියම් ආකෘතියක් මත ගොඩ නගා තිබෙන මෘදුකාංගයකට දත්ත ඇතුළු කර විය හැකි දේ ගැන අදහසක් ගන්න එකයි. ඒ සමහර අයත් ආකෘතිය මත හදපු මෘදුකාංගය ලබා දෙන ප්‍රතිඵලය ගැන මිසක් ආකෘතිය ගැන දන්නේ නැහැ. ආකෘති වලට අත ගහන එක අතළොස්සක පිරිසක් කරන වැඩක්.

නීල් ෆර්ගසන් ඇතුළු කණ්ඩායමේ මුල් වාර්තාව අනුව කිසිවක් නොකර හිටියානම් ඇමරිකානුවන් මිලියන 2.2ක මේ වසංගතය හේතුවෙන් මිය යනවා. නමුත්, මේ වෙද්දී ඒ වාර්තාව පිළියෙළ කරද්දී උපයෝගී කරගත හැකිව තිබුණාට වඩා දත්ත තිබෙනවා. වැඩිපුර තොරතුරු ලැබෙන කොට සිදු විය හැකි දේ වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි.

තොරතුරු වැඩියෙන් හමු වීමට අමතරව ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අනෙක් රටවල් පැත්තකින් තිබ්බොත්, මුල්ම අදියරේදී ඇමරිකාව කළේ රෝගය ව්‍යාප්ත වී තිබුණු රටවලට සංචාරය කරන එක වැලැක්වීම, ඒ රටවල් වලින් පැමිණෙන අය නිරෝධායනය කිරීම වගේ දේවල්. මේ වෙද්දී, ඇමරිකාව සමාජ දුරස්ථකරණය කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. මේ දේවල් නිසා රෝග ව්‍යාප්තිය පාලනය විය යුතු බව ඉතා පැහැදිලියි.

අනික් පැත්තෙන් ධනවාදයේ අපූර්වත්වය වන්නේ කිසියම් අවශ්‍යතාවයක් හදිසියේ පැන නැගුණු විට එය තමන්ට ක්‍රියාත්මක වන්නට සුදුසු අවස්ථාවක් සේ දකින බොහෝ දෙනෙකු බිහිවීමයි. මෙය මේ වෙලාවේදීත් ඇමරිකාවේදී පැහැදිලිව දකින්න පුළුවන්. විවිධ සමාගම් විසින් ස්වශන ආධාරක, වෙනත් රෝහල් උපකරණ ආදිය ඉතා වේගයෙන් නිෂ්පාදනය කරමින් ඉන්නවා. කෝවිඩ්-19 රෝගියෙකු මිනිත්තු 5කින් හඳුනාගත හැකි පරීක්ෂණ උපකරණයක් එක් සමාගමක් විසින් මේ වන විටත් හදා භාවිතයට අනුමැතිය ලබාගෙන තිබෙනවා. සමාගම් ගණනාවක් එන්නත් හා ඖෂධ පිළිබඳ පර්යේෂණ කරමින් සිටියත් එවැනි පර්යේෂණ සඳහා නෛසර්ගිකවම කිසියම් නිශ්චිත කාලයක් ගත වෙනවා.

වොෂින්ටන් සරසවියේ පර්යේෂකයින්ගේ අලුත්ම ගණන් බැලීම් අනුව ඇමරිකාවේ කෝවිඩ්-19 මරණ ගණන 82,141ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ, මේ  වන තෙක් ගෙන තිබෙන විවිධ ක්‍රියාමාර්ග සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. මෙය මේ මොහොත වන විට සිදුව තිබෙන කෝවිඩ්-19 මරණ ගණන වන 2,854ට සාපේක්ෂව ඉතා විශාල මරණ ප්‍රමාණයක් වුවත් නීල් ෆර්ගසන් වාර්තාවේ සඳහන්ව තිබුණු මිලියන 2.2ට වඩා බෙහෙවින්ම අඩු ප්‍රමාණයක්. මේ අඩු වීමට මෙතෙක් ඇමරිකාවේ ආණ්ඩු, සමාගම් සහ ඒකීය පුද්ගලයින් විසින් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතු වී තිබෙනවා. එසේ වුවත්, අප්‍රේල් මාසය ඇමරිකාවට ඉතාම තීරණාත්මක මාසයක්.

දැන් මම මේ ලිපිය පටන් ගත්තේ මේ  වගේ දෙයක් ඇස්තමේන්තු කරන එක කොයි තරම් අසීරුද කියන එක පැහැදිලි කරමිනුයි. එහෙමනම්, මරණ ගණන 82,141ක් බව හරියටම කියන්නේ කොහොමද?

පර්යේෂකයින් එවැනි ටක්කෙටම අනාවැකි කියන්නේ නැහැ. මාධ්‍ය වලින් ප්‍රචාරය වෙද්දී මේ වගේ ඇස්තමේන්තු විවිධ ආකාරයෙන් අර්ථකථනය වුවත් සංඛ්‍යානමය ආකෘතියක් ඇසුරෙන්  පුරෝකථනයක් ඉදිරිපත් කරද්දී මේ විදිහට ඉදිරිපත් කරන්නේ දැනට තිබෙන දත්ත අනුව සිදු වෙන්න වැඩිම ඉඩකඩක් තිබෙන දෙයයි. තවත් විදිහකින් කිවුවොත් මේ ගණනින් කියන්නේ ඇමරිකාවේ මරන ප්‍රමාණය 82,141කට වැඩි වෙන්න සහ අඩු වෙන්න සමාන, ඒ කියන්නේ 50%ක සමභාවිතාවක් තිබෙන බවයි. ඒ එක්කම, මාධ්‍ය වලින් වැඩි ප්‍රචාරයක් නොලැබෙන නමුත්, මෙවැනි ඇස්තමේන්තුවක තිබෙන අවිනිශ්චිතතාවය පිළිබඳ දත්තත් හැම විටකම වගේ ඉදිරිපත් කෙරෙනවා. මේ වාර්තාවේත් එවැනි විස්තර කිරීමක් තිබෙනවා.

ඒ අනුව, අගෝස්තු 4 වනදා දක්වා කාලය තුළ, ඇමරිකාවේ මරණ ගණන අවම වශයෙන් 39,174ක් වෙන්න 97.5%ක ඉඩක් තිබෙනවා. මරණ ගණන 141,991 ඉක්මවන්න තිබෙන ඉඩකඩ 2.5%කට වඩා අඩුයි. ඒ කියන්නේ පළමු චක්‍රය අවසන් වෙද්දී මරණ ප්‍රමාණය 39,174-141,991 පරාසයේ තිබෙන්න 95%ක සම්භාවිතාවක් තිබෙනවා. 82,141 කියන්නේ පළමු චක්‍රය තුළ සිදු වීමට වඩාත්ම ඉඩ තිබෙන මරණ ගණනයි. ඉන් පසුව දෙවන චක්‍රයක්ද ඇති විය හැකියි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...