Saturday, March 9, 2019
දෙකට බෙදෙන්නට යන ලොකුම සල්ලි කන්ද
දෙවසරකට පමණ පෙර ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමහර අය තවමත් දිගින් දිගටම උපුටා දක්වනවා. මේ ගැන මම මීට පෙරත් වරින් වර කතා කර තිබෙනවා. මේ සංඛ්‍යාලේඛණය අනුව, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමානයි.
ඔය සංඛ්‍යාලේඛණය ප්‍රසිද්ධ කරන කාලයේ ලැයිස්තුවේ ඉහළින්ම හිටියේ බිල් ගේට්ස් වුවත්, දැන් ලෝකයේ ලොකුම ධනවතා ජෙෆ් බෙසෝස්. ඇමසන් සමාගමේ නිර්මාතෘ වන ජෙෆ්ට මේ වන විට එම සමාගමේ කොටස් මිලියන 78.8ක් පමණ අයිතියි. අද (මාර්තු 8) දිනය අවසන් වෙද්දී ඇමසන් කොටසක් විකිණුනේ ඩොලර් 1620.80 බැගිනුයි. මේ කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 127.7ක් පමණ වෙනවා. ඔහු සතු වෙනත් වත්කම්ද ඇතුළුව, අද දිනය අවසන් වන විට ජෙෆ් බෙසෝස් සතු වූ මුළු වත්කම් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 134.4ක්.
ප්‍රින්ස්ටන් සරසවියෙන් පරිගණක විද්‍යා හා විදුලි ඉංජිනේරු උපාධිධරයෙකු සේ පිටවීමෙන් පසුව, 1994දී ඇමසන් සමාගම ආරම්භ කරන්නට පෙර, ජෙෆ් රැකියා කිහිපයක්ම කළා. 1993 වසරේදී මැකෙන්සි ටට්ල් සමඟ විවාහ වන විට ජෙෆ් වගේම මැකෙන්සිත් සේවය කරමින් හිටියේ නිවුයෝර්ක්හි ආයෝජන කළමණාකරණ සමාගමකයි. එම වසරේදී අන්තර්ජාල පරිශීලනයේ සිදුවූ ඇදහිය නොහැකි තරම් ඉහළ වර්ධන වේගය ජෙෆ්ට ඇමසන් වැනි ව්‍යාපාරයක් අරඹන්න පෙළඹුමක් ඇති කර තිබෙනවා.
ජෙෆ් මුලින්ම ඇමසන් සමාගම පටන් ගන්නේ ඔහුගේ නිවසේ ගරාජයේ සිටයි. තමන් ඉතිරි කරගත් ඩොලර් 10,000ක මුදල් යොදවමින් 1994 ජූලි 5 වෙනිදා ජෙෆ් ඔහුගේ බිරිඳ මැකෙන්සිවත් හවුල් කර ගනිමින් මේ ව්‍යාපාරය ආරම්භ කරනවා. ඇමසන් සමාගම කියා ලිවුවත් මුලින්ම මේ සමාගම හැඳින්වුණේ ඇමසන් නමින් නෙමෙයි. කඩබ්‍රා ලෙසයි. ඇමසන් ලෙස නම වෙනස් කරන්නේ 1995දී.
මුලින්ම මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිණිස මුදල් ආයෝජනය කළ පිරිස අතරින් ජෙෆ්ගේ දෙමවුපියන් දෙදෙනා කැපී පෙනෙනවා. ඔවුන් විසින් මෙසේ යොදවන්නේ ඔවුන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් එකතු කරගෙන තිබූ ඩොලර් 245,573ක මුදලකුයි. අන්තර්ජාලය කියන්නේ කුමක්ද කියාවත් නොදන්නා ජෙෆ්ගේ දෙමවුපියන් තමන් ජීවිත කාලයක් තිස්සේ එකතු කරගත් මුදල් ජෙෆ්ට දෙන්නේ තමන්ගේ පුතා ගැන තිබෙන විශ්වාසය මතයි. ඒ මුදල් නැති වෙන්න 70%ක පමණ ඉඩක් ඇති බව ජෙෆ් ඔවුන්ට පැවසූ බව සඳහන්.
වසරකට පෙර මිය ගිය මගේ පියා ජීවත්ව සිටියදී රජයේ රැකියාවක් කළ අයෙක්. මට මතක ඇති කාලයේ සිටම ඔහුගේ ජීවිතයේ ප්‍රධානම ඉලක්කයක් වුනේ ඔය රස්සාව පරිස්සම් කර ගැනීමයි. ඔහු බොහෝ වර ඒ බව කෙළින්ම කියා තිබෙනවා. යම් හෙයකින් කරමින් හිටපු රස්සාව නැති වුනානම් රස්සාවෙන් ඉපැයූ පමණ ආදායම් ඉපැයිය හැකි වෙනත් දෙයක් කිරීමේ හැකියාවක් නොතිබුණු බව ඔහු විශ්වාස කරන්න ඇති. ඔහු අකුරටම නීතිය පිළිපැදපු කෙනෙක්. එහෙම කළේත් රස්සාව නැති කරගන්න තිබුණු බය නිසා මිසක් යුක්තිගරුක හෝ ප්‍රතිපත්තිගරුක වූ නිසාම නෙමෙයි. නීතියට වෙට්ටු දැමිය හැකි අවස්ථා වලදී ඔහු ඒ සඳහා පැකිළුනේ නැහැ.
කුඩා කාලයේ මා ඇසුරු කළ බොහෝ වැඩිහිටියන් විශ්‍රාම වැටුප් සහිත ආණ්ඩුවේ රස්සාවක් කරන කෙනෙක් දිහා බැලුවේ ජීවිතය ජයගත් කෙනෙක් විදිහටයි. ලංකාවේ වෙනත් ගොඩක් අය වගේම මුල් කාලයේදී මගේ ඉලක්කය වුණෙත් ඔය ආකාරයේ ස්ථිර රස්සාවක්. විශ්‍රාම වැටුප් වරප්‍රසාද රහිත රැකියාවක් කර ජීවිතයේ අවසන් කාලය ගෙවන්නේ කොහොමද කියන එක ඒ කාලයේ මට විශාල ප්‍රහේලිකාවක්.
ඇමරිකාවේ ආණ්ඩුවේ රස්සා කරන අය වැඩිපුර නැහැ. වෙනත් රැකියා කරන බොහෝ දෙනෙක් විශ්‍රාම දිවිය ගෙවීම සඳහා අවශ්‍ය පමණ මුදලක් රැකියා කරන කාලයේදී ඉතිරි කර ගත යුතුයි. නිදහසේ විශ්‍රාම ගත හැක්කේ මේ විදිහට ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගෙන ඇත්නම් පමණයි. රැකියා කරන කාලයේදී සමාජ සංරක්ෂණ බදු සේ අයකරගන්නා මුදල් වලින් විශ්‍රාම වැටුපක් ලැබුණත් එය ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් නෙමෙයි.
බොහෝ ඇමරිකානුවන් රැකියා කරන කාලයේදී කිසියම් මුදලක් විශ්‍රාම වැටුප් අරමුදලකට බැර කරනවා. මෙවැනි අරමුදල් කළමනාකරණය කරන සමාගම් ඒ මුදල් මුලදී කොටස් වෙළඳපොළේත්, විශ්‍රාම වයස ආසන්න වෙද්දී බැඳුම්කර වලත් ආයෝජනය කර අවදානම හා ගලපමින් හැකි තරම් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන්න උත්සාහ කරනවා. විශ්‍රාම යාමෙන් පසුව මේ විදිහට ඉතිරි කරගත් මුදල් වලින් කිසියම් මුදලක් මාස්පතා ආපසු ගැනීමෙන් රැකියා කරන කාලයේ පවත්වාගත් ජීවන තත්ත්වය ඒ විදිහටම හෝ ආසන්න මට්ටමක පවත්වා ගන්න පුළුවන්.
ඇමරිකානුවන්ගේ විශ්‍රාම ඉතිරි කිරීම් මුල් කාලයේදී කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්නේ එහි ප්‍රතිලාභ බැඳුම්කර ප්‍රතිලාභ වලට වඩා කිහිප ගුණයකින්ම වැඩි නිසයි. නමුත්, විශ්‍රාම යන්න කිට්ටුව මේ අරමුදල් කොටස් වෙළඳපොළ ආයෝජන වලම රඳවා තැබීම අවදානම අධික කටයුත්තක්. කොටස් වෙළඳපොළ කඩා වැටුණොත් එය විශ්‍රාම ජීවිතයට විශාල සේ බලපානවා.
ජෙෆ් බෙසෝස්ගේ දෙමවුපියන් තමන්ගේ විශ්‍රාම දිවිය ගෙවන්න කාලයක් තිස්සේ එකතු කරගත් අරමුදල් ජෙෆ්ගේ ව්‍යාපාරය වෙනුවෙන් යෙදවීමෙන් විශාල අවදානමක් ගෙන තිබෙනවා. ඔවුන් එසේ කර තිබෙන්නේ විශාල මුදල් ලාභයක් ලැබීමේ අරමුණින්ම නෙමෙයි. ජෙෆ් පටන්ගන්න යන ව්‍යාපාරයේ ස්වභාවය ගැන පමණක් නෙමෙයි අඩු වශයෙන් අන්තර්ජාලය කියන්නේ කුමක්ද කියාවත් ඔවුන් දැන සිට නැහැ. මේ අවදානම ඔවුන් විසින් ගන්නට ඇත්තේ තමන්ගේ පුතා පිළිබඳ වූ විශ්වාසය මත හෝ ඔහුගේ අභිවෘද්ධිය පිණිස දරුවා කෙරෙහි වූ ආදරය මත පදනම්ව විය යුතුයි. එසේ කිරීමෙන් අර අවදානම ඉක්මවන සතුටක් ඔවුන් ලබන්න ඇති.
වසර කිහිපයක් පුද්ගලික සමාගමක් සේ ක්‍රියාත්මක වූ ඇමසන් සමාගම 1997 මැයි 15 වෙනිදා පොදු සමාගමක් බවට පත් වෙනවා. කොටස් වෙළඳපොලේ අළෙවිකරන සමාගම් කොටස් මිලියන 3ක් එක් කොටසක් ඩොලර් 18 බැගින් අලෙවි වෙනවා.
මේ වෙද්දී ඇමසන් සමාගම විසින් කොටස් 23,858,702ක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ජෙෆ් බෙසෝස් ඇතුළු මුල් අයිතිකරුවන් අතේ කොටස් 20,858,702ක් තිබෙනවා. ඇමසන් සමාගම (හෝ වෙනත් සමාගමක්) පොදු සමාගමක් වන විට ඒ මුල් කොටසක වෙළඳපොළ වටිනාකම කුමක්ද කියා නිශ්චිතව තීරණය වෙනවා. ඒ වගේම සමාගමේම වෙළඳපොළ වටිනාකමත් දැනගන්නට ලැබෙනවා. එක් කොටසක් ඩොලර් 18ක් සේ සැලකූ විට මේ වෙද්දී සමාගමේ වටිනාකම ඩොලර් මිලියන 430ක් පමණ වුණා.
මේ වන විට නිකුත් කර තිබෙන ඇමසන් කොටස් ප්‍රමාණය මිලියන 491.2ක්. ඒ සියළු කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 796ක්. මුළු කොටස් ප්‍රමාණයෙන් 16%ක පමණ හිමිකම තවමත් තිබෙන්නේ ජෙෆ් බෙසෝස්ටයි.
ඇමසන් සමාගම පොදු සමාගමක් බවට පත් වන්නට පෙර සමාගමේ කොටස් වලින් 48.3%ක, එහෙමත් නැත්නම් කොටස් 9,885,000ක හිමිකරු වුනේ ජෙෆ් බෙසෝස්. පොදු සමාගමක් බවට පත් වීමෙන් පසුව මුල් වසර කිහිපය ඇතුළත ඇමසන් කොටසක් 1:2, 1:3 හා 1:2 ලෙස තෙවරක් විභේදනය කරනු ලැබ ඇති නිසා මේ කොටස් ප්‍රමාණය සමාන කළ හැක්කේ වත්මන් ඇමසන් කොටස් මිලියන 118.62කටයි. නමුත්, මේ වන විට ජෙෆ්ගේ ඇමසන් කොටස් හිමිකම කොටස් මිලියන 78.8කට සීමා වන නිසා ඔහු තමන් සතු වූ ඇමසන් කොටස් වලින් තුනෙන් එකක් පමණ වරින් වර විකුණා ඇති බව පැහැදිලියි.
දෙමවුපියන් කියා කිවුවත් ජෙෆ් බෙසෝස්ගේ නීත්‍යානුකූල පියා වන මිගෙල් (මයික්) බෙසෝස් ජෙෆ්ගේ ජීවවිද්‍යාත්මක පියා නෙමෙයි. ඔහුගේ ජීවවිද්‍යාත්මක පියා ටෙඩ් ජෝගන්සන්. ජෙෆ් ඉපදෙන කොට ටෙඩ් ජෝගන්සන් අවුරුදු දහනවයක ගැටවරයෙක්. ජෙෆ්ගේ මව ජැකලයින් (ජැකී) වසර 17ක පාසැල් සිසුවියක්. ජෙෆ් ඉපදෙන විට ඔවුන් විවාහ වී හිටියත් ඒ විවාහය මාස 17කට සීමා වෙනවා. කොහොම වුනත් ජෙෆ්ගේ මුල් නම ජෙෆ් ජෝගන්සන්.
ටෙඩ්ගෙන් දික්කසාද වන ජැකී ඉන්පසුව කියුබාවෙන් පැමිණි සංක්‍රමණිකයෙකු වූ මයික් බෙසෝස් සමඟ විවාහ වෙනවා. මයික් ජෙෆ්ගේ නීත්‍යානුකූල පියා බවට පත් වෙනවා. ඒ අනුව, ජෙෆ් ජෝගන්සන් ජෙෆ් බෙසෝස් වෙනවා. ටෙඩ් ජෝගන්සනුත් වෙනත් කාන්තාවක් විවාහ කරගෙන බයිසිකල් පාට් කඩයක් කරගෙන වෙනම පළාතක ජීවත් වෙනවා. ජෙෆ්ට අවුරුද්දක් පමණ කාලයේදී ජෙෆ්ගෙන් හා ජැකීගෙන් වෙන්වන ඔහුට මිය යන තුරුම අඩු වශයෙන් ජෙෆ්ව හමුවෙන්න හෝ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් තමන්ගේ එකම දරුවා ලොකු තැනක ඉන්න බව අන්තිම කාලයේදී ඔහුට දැනගන්න ලැබී තිබෙනවා.
ජීව විද්‍යාත්මක පියා නොවුනත් ජෙෆ්ගේ සැබෑ පියා මයික් බෙසෝස්. මයික්ගේ පියා ලොකු උගත්කමක් නොතිබුණු, පොඩි සිල්ලර කඩයක් කරගෙන හිටපු ධෛර්යවන්ත කියුබානුවෙක්. මයික් කුඩා කාලයේදී ඔහුත් පියාගේ මේ කඩේ වැඩ වලට හවුල් වී තිබෙනවා. බැටිස්ටා එළවා දමා පිදෙල් කස්ත්‍රෝ කියුබාවේ බලයට පත් වන්නේ මේ කාලයේදීයි.
බැටිස්ටා කියන්නේ කියුබානු විප්ලවය සිදු වන කාලයේ කියුබානුවන් ප්‍රිය කළ නායකයෙක් නෙමෙයි. මයික් බෙසෝස්ගේ පියාත් වෙනත් බොහෝ කියුබානුවන් වගේම බැටිස්ටා එළවා කස්ත්‍රෝට බලයට එන්න උදවු කළ කෙනෙක්. එහෙත්, කස්ත්‍රෝ බලයට පැමිණි පසු බොහෝ දේවල් වෙන්නේ ඔවුන් මුලින් හිතපු විදිහට නෙමෙයි.
මුලින් කස්ත්‍රෝ මාක්ස් ලෙනින්වාදියෙක් නොවුනත් බලයට පැමිණීමෙන් පසුව ඔහු මාක්ස්වාදය වෙත නැඹුරු වෙනවා. කියුබාවේ මැතිවරණ සිතියම අකුළා දමන ඔහු මුලින්ම විදෙස් සමාගම් ජනසතු කරනවා. ඉන්පසුව දේශීය ව්‍යවසාය සියල්ලත් ජනසතු කරනවා. කියුබානු හමුදාව පැමිණ බෙසෝස් පවුල විසින් කාලයක් තිස්සේ කරගෙන ආ පොඩි සිල්ලර කඩයත් ආණ්ඩුවට ගන්නවා.
කියුබාවේ පාසැල් සියල්ල තාවකාලිකව වසා දැමෙන අතර ඒවා නැවත විවෘත වන්නේ මාක්ස්වාදය උගන්වනු පිණිස විෂය නිර්දේශ සියල්ල වෙනස් කිරීමෙන් පසුවයි. එන පොට තේරුම් ගන්නා මයික් බෙසෝස්ගේ දෙමවුපියන් ඔහුව නැවත පාසැල් නොයවා සරණාගතයෙකු සේ ඇමරිකාවට යවන්න තීරණය කරනවා. කුඩා සූට්කේසයක් පමණක් රැගෙන මයික් බෙසෝස් ගැටවරයා ඇමරිකාවට එනවා.
ඇමරිකාවට පැමිණ මුලින්ම සරණාගත කඳවුරක ජීවිතය ගෙවන මයික් ඉන්පසුව කතෝලික පල්ලියෙන් නඩත්තු කරන ළමා නිවාසයක නැවතී පාසැල් අධ්‍යාපනය අවසන් කරනවා. ඉන්පසුව ඔහු කියුබානු සරණාගතයින් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යත්වයක් ලබාගෙන සරසවියකට ඇතුළු වෙනවා. මයික් ජෙෆ්ගේ මව හා විවාහ වන්නේ මේ කාලයේදී. ජෙෆ්ව දරුකමට හදාගන්නා ඔහුට මේ පවුල නඩත්තු කරන්න රැකියාවක් අවශ්‍ය වෙනවා. උපාධිය ලබා ගන්නා මයික් තෙල් සමාගමක රැකියාවක් ලබා ගන්නවා.
මේ තොරතුරු ඉදිරිපත් කළේ ජෙෆ්ගේ මව, ජීව විද්‍යාත්මක පියා හෝ නීත්‍යානුකූල පියා ලොකු ප්‍රාග්ධනයක් එක් රැස් කරගෙන සිටි ධනවතුන් නොවූ බව පෙන්වන්නයි. ජෙෆ්ට ඔහුගේ දෙමවුපියන්ගෙන් ලැබුණු කිසියම් ප්‍රාග්ධනයක් ඇත්නම් ඒ ඔවුන් ජීවිත කාලයක් රැකියා කර විශ්‍රාම දිවිය ගෙවනු පිණිස එකතු කරගත් මුදලින් කොටසක්. එය ඇමරිකානු සම්මත අනුව විශාල මුදලක් නෙමෙයි. ඒ නිසා, දැනට ලෝකයේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ජෙෆ් බෙසෝස් බිංදුවෙන් පටන්ගත් අයෙක් කියා කියන එකේ ලොකු වැරැද්දක් නැහැ.
ජෙෆ් බෙසෝස් හා ඔහුගේ බිරිඳ මැකෙන්සි ඔවුන්ගේ සියවස් කාලක විවාහ ජීවිතය අවසන් කරමින් දික්කසාද වෙන්නට යන බව පසුගිය ජනවාරියේදී දැනුම් දුන්නා. ඇමරිකාවේදී විවාහයක් කියන්නේ නීතිමය ගිවිසුමක් මිසක් මානුෂික සම්බන්ධයක් නෙමෙයි. විවාහයට සමාන්තරව යන මානුෂික සම්බන්ධතාවයක් තිබීම (හෝ නොතිබීම) වෙනම කරුණක්. ගැහැණියක් හා පිරිමියෙකු අතර, එහෙමත් නැත්නම් සමලිංගික යුවලක් අතර අවශ්‍ය ආකාරයක ලිංගික හෝ වෙනත් මානුෂික සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ඔවුන් දෙදෙනා විවාහ වීම ඇමරිකාවේදී අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. විවාහය කියන්නේ බොහෝ දුරට දේපොළ අයිතිය හා අදාළ ගිවිසුමක්.
විවාහක යුවලක් දික්කසාද වූ පසු සාමාන්‍යයෙන් සිදුවන්නේ දෙදෙනා සතුව ඇති මුළු වත්කම් දෙදෙනා අතර සමව බෙදී යාමයි. විවාහ වීමට පෙර එක් අයෙකු සතු වූ කිසියම් වත්කමක් ඇත්නම් එය මෙසේ බෙදී යන්නේ නැහැ. මෙහිදී විවාහයෙන් පසුව අත්පත් කරගත් වත්කම් තියෙන්නේ කාගේ නමටද කියන එක එතරම් වැදගත් වන්නේ නැහැ. සමලිංගිකයින්ගේ විවාහ වීමේ අයිතියේ පදනම වන්නේත් දේපොළ අයිතිය හා සම්බන්ධව එක්ව ජීවත්වන (ඇමරිකාවේ) ගැහැණියකට හා පිරිමියෙකුට තිබෙන නීතිමය වරප්‍රසාද සමලිංගික යුවලකටත් තිබිය යුතු වීමයි.
ඇමසන් සමාගම පටන්ගෙන තිබෙන්නේ ජෙෆ් හා මැකෙන්සි විවාහ වීමෙන් පසුවයි. ඒ නිසා, දික්කසාදයෙන් පසුව ජෙෆ් සතු ඇමසන් කොටස් බොහෝ විට ජෙෆ් හා මැකෙන්සි අතර සමසමව බෙදී යන්න ඉඩ තිබෙනවා. එසේ වුවහොත්, මැකෙන්සි ලෝකයේ ධනවත්ම කාන්තාව බවට පත් වීමට නියමිතයි. ලෝකයේ ලොකුම ධනවතා ලෙස ජෙෆ්ට හිමි තැන අහිමි වනු ඇති නමුත් තවදුරටත් ලොකුම ධනවතුන් ලැයිස්තුවෙහි ඉහළ ස්ථානයක ඉන්න ඔහුට නොහැකි වන එකක් නැහැ.
(Image: https://www.eonline.com/news/1003894/inside-jeff-bezos-mysterious-private-world-a-dating-flow-chart-that-booming-laugh-and-more-billions-than-anyone-else)
Thursday, March 7, 2019
කෝච්චියේ හිඟන්නා සහ රන්ජන්
අවුරුදු 25 ක් තිස්සේ සිඟාකෑමෙන් උපයා ගත් මුදලින් ගෙවල් තුනක් තනා ඇති, රුපියල් ලක්ෂ පහක බැංකු තැන්පතු වලද හිමිකරුවෙකු වන අයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ගොසිප්ලංකානිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. එයින් නිවාස දෙකක් සිය දියණියන් දෙදෙනාට දෑවැදි සේ දී ඇති බවත්, තෙවැන්නේ තමන් පදිංචිව සිටින බවත් පවසා ඇති ඔහු කුලියට දීම පිණිස තවත් නිවසක් හදමින් සිටින බවත්, තමන්ගේ මාසික ආදායම රුපියල් 150,000ක් බවත් පවසා තිබෙනවා.
මේ අතර යූටීයුබ් නාලිකාවක් සමඟ එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ඔහුගේ කුලී නිවසේ ඇතුළත දර්ශන පෙන්වනවා. එහිදී ඔහු උජාරුවෙන් කියන්නේ තමන් සතුව කිසිදු නිශ්චල දේපොළක් නැති බවයි. මේ බව ඔහු මීට පෙරද කියා තිබෙනවා.
ඇතැම් අයගේ විග්‍රහ අනුව ප්‍රාග්ධනය අහිමි පන්තියේ අය හා ප්‍රාග්ධනය හිමි පන්තියේ අය කියා කොටස් දෙකක් ඉන්නවා. එය පැහැදිලි බෙදීමක්. දැන් අර හිඟන්නා අයිති වෙන්නේ ඔය කොයි පංතියටද? රංජන් ඉන්නේ ඒ පංතියේමද? නැත්නම් ඉහළ හරි පහළ හරි පංතියකද?
තවත් සමහර කියන විදිහට ඒ අය තමන් ප්‍රාග්ධනයේ වහළුන්ව සිටින බව අවබෝධ කරගෙන සිටින අයයි. තමන්ගේ වහල්කම අවබෝධ කරගන්න එකනම් නරක නැහැ.
වහල්කමෙන් මිදෙන්න අවශ්‍ය වන පළමු කොන්දේසිය වන්නේ තමන් වහලෙක්ව සිටින බව අවබෝධ කරගැනීම බවට මේ අය කියන කතාවේනම් වරදක් නැහැ. වැරැද්ද තියෙන්නේ වහල්කමෙන් මිදෙන්න උත්සාහ කරන ආකාරයේයි.
තවත් සමහර සමාජවාදීන් තමන්වත් කුමක්දැයි හරියටම නොදන්නා පරිභෝජනවාදයක් ගැන නන් දොඩවන අතර පරිභෝජනවාදය ධනවාදය එක්ක ඈඳන්න උත්සාහ කරනවා.
පරිභෝජනවාදය කියන වචනය මා එතරම් කැමති වචනයක් නෙමෙයි. මේ වචනය භාවිතා කරන අය හිතන ආකාරය අනුව මිනිහෙක්ට ජීවත් වෙන්න අවශ්‍ය මූලික දේ මිල දී ගැනීම පරිභෝජනවාදයක් නෙමෙයි. එතැනින් එහාට වෙනත් දේ අයිති කරගැනීමට උත්සාහ කිරීම පරිභෝජනවාදයයි. ඔය සංකල්පයේම වුවත් තියෙන අවුල වන්නේ ඔය මූලික දේ කියන එකත් පුද්ගලයාට සාපේක්ෂ දෙයක් වීමයි.
පන්ති බෙදීම් කොහොම වුනත් ඇතැම් අය ඉපදෙන්නේ උරුමයෙන් කිසියම් ප්‍රාග්ධනයකට හිමිකම් කියමිනුයි. නමුත්, සියල්ලන්ටම ඒ වාසනාව නැහැ. පළමු කණ්ඩායමට තමන්ගේ ශ්‍රමය වගේම ප්‍රාග්ධනයත් ආයෝජනය කර ආදායම් ඉපැයිය හැකි වුවත්, දෙවන කණ්ඩායමට කළ හැක්කේ තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට සමාන ආදායමක් ලබන්නට පමණයි.
හැබැයි එහෙම වුනා කියා දෙවන කණ්ඩායම ප්‍රාග්ධනයේ වහළුන් සේ හැමදාම ජීවත් විය යුතු නැහැ. ඔවුන්ටත් ප්‍රාග්ධනයේ හිමිකරුවන් වෙන්න සහ ඔවුන්ගේ දරුවන් ප්‍රාග්ධනය අහිමිව ඉපදෙන එක වලක්වන්න බැරිකමක් නැහැ. ඒ සඳහා කරන අරගලයක් කරන්න තියෙන්නේ තමන් එක්කම මිස වෙන කවුරුවත් එක්ක නෙමෙයි. තමන්ගේ ඇඟ හොල්ලන්ගේ නැතුව අනුන්ගේ මහන්සියෙන් උපයාගත් ප්‍රාග්ධනය සාමූහික අරගලයකින් පැහැරගන්න බලා ඉන්න අයටනම් ඉතිං හැමදාම ප්‍රාග්ධනයේ වහල්ලු විදිහටම තමයි ඉන්න වෙන්නේ.
ප්‍රාග්ධනය කියන්නේ පරිභෝජනය කර අවසන් කර නොදැමූ ශ්‍රමයේ ප්‍රතිලාභ මිස වෙන දෙයක් නෙමෙයි. අපි හිතමු කිසිදු ප්‍රාග්ධනයක උරුමයක් නැතිව ඉපදෙන හා තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් එක සමාන ආදායම් උපයන දෙදෙනෙකු ගැන. මේ දෙන්නාගෙන් පළමුවැන්නා තමන්ගේ ආදායම පරිභෝජනය වෙනුවෙන් වැය කරද්දී දෙවැන්නා තමන්ගේ පරිභෝජනය සීමා කර ආදායමින් අඩක් ඉතිරි කළොත් කලක් යද්දී දෙවැන්නා සතුව කිසියම් ප්‍රාග්ධනයක් එකතු වෙනවා. ඇයගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට අමතරව මෙසේ එක්රැස් කරගත් ප්‍රාග්ධනය ආයෝජනය කර ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයට සමාන අමතර මුදලකුත් ඇයට උපයන්න පුළුවන් වන නිසා පසු කාලයේදී ඇයට මුලින් මෙන් පරිභෝජනය සීමා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයට තමන්ගේ ආදායම් සැලකිය යුතු මට්ටමක තබාගනිමින්ම පරිභෝජනය සැලකිය යුතු ලෙස වැඩි කළ හැකියි.
මේ වගේ වෙලාවක පළමුවැන්නාට දෙවැන්නා දිහාවට ඇඟිල්ල දික්කර ඇය පරිභෝජනවාදයේ ගිලී සිටින බව කියන්න පුළුවන්. එහෙත්, ඇත්තටම මෙහි නියම පරිභෝජනවාදියා පළමුවැන්නාමයි.
මගේ අර්ථදැක්වීම අනුවනම් පරිභෝජනවාදියෙක් කියා කියන්න පුළුවන් තමන්ගේ ආදායමට ඔරොත්තු නොදෙන තරමින් වියදම් කරන කෙනෙක්ටයි. අපි හිතමු ගුරු වෘත්තියේ යෙදෙන කෙනෙක් මරුටි මෝටර් රථයක් ගත්තා කියා. නමුත්, ඇයට වාහනය දිනපතා පාවිච්චි කරන්න තරම් ආදායමක් නැති නිසා වැඩට යන්නේ දුම්රියේ. ඉඳහිට මගුල් ගෙදරක යන්න හෝ හන්දියට යන්න පමණක් පාවිච්චි කරන මේ මෝටර් රථයේ කල්බදු පොලී, ආදායම් බලපත්‍ර, දුම්බදු ආදිය ලෙස දැන් මාසික පඩියෙන් බාගයක් පමණ වැය කළ යුතුයි. ඒ නිසා මාසෙ අන්තිමේදී අතේ සතපහක් ඉතුරු වෙන්නේ නැහැ.
ඔය එක්කම දොස්තර කෙනෙක් තමන්ගේ වාහන බලපත්‍රය යටතේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන එය දිනපතා පාවිච්චි කරනවා. පයින් යා හැකි ගමනක් යන්නේත් මෝටර් රථයෙන්. එහෙම කළත්, ඇය උපයන ආදායමෙන් වැඩි කොටසක් තවදුරටත් ඈ වෙත ඉතිරි වෙනවා. දැන් ඇය මරුටි මෝටර් රථයක් මිල දී නොගෙන අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීම නිසා ඈ පරිභෝජනවාදයේ ගිලී සිටින බව කියන්න පුළුවන්ද? හරිනම් මෙහි පරිභෝජනවාදයේ ගිලී ඉන්නේ මරුටි මෝටර් රථය පාවිච්චි කරන ගුරුවරියයි.
කොහොම වුනත්, ඉහත කී පළමුවැන්නා ගිණි පොලියට මරුටි මෝටර් රථයක් මිල දී ගෙන ඇත්නම් එය ඇගේ කැමැත්තයි. ඒ නිසා ඈ පරිභෝජනවාදයේ ගිලී සිටින බවට චෝදනා කරන්න මම කැමති නැහැ. නමුත්, ඇගේ චර්යාව හේතුවෙන් ඇයට ප්‍රාග්ධනයේ වහලෙක්ව සිටින්න සිදු වී ඇත්නම් එයට පවතින ක්‍රමයට හෝ වෙන කාටවත් දොස් කියා පලක් නැහැ. පවතින තත්ත්වය වෙනස් විය යුතුයි කියා ඈ හිතනවානම් එය කරගැනීමට යතුර තියෙන්නේ ඈ අතේමයි. ඒකට තවත් අය හවුල් කරගෙන සාමූහික අරගල කරන්න දෙයක් නැහැ.
අර කොටුවේ හිඟන්නා විසින් පෙන්වා දී තිබෙන්නේ අධිෂ්ඨානයක් ඇත්නම් හිඟා කා වුවත් ප්‍රාග්ධනය එක්රැස් කරගත හැකි බවයි. ඔහු තමන් ඉපැයූ ආදායම මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ වෙනත් පරිභෝජන ද්‍රව්‍ය වෙනුවෙන් වැය නොකර මෙවැනි ආයෝජනයක් කිරීම අගය කළ යුතු දෙයක්. ඔහු එසේ කළ නිසා ඔහුගේ දරුවන් ඔහු මෙන් හිඟන්නන් වී නැහැ.
දැන් කාට හෝ කියන්න පුළුවන් ඔහු ආදායම් උපයා තියෙන්නේ කිසිවක් නොකර හිඟා කෑම හරහා බව. හිඟා කෑමත් කලාවක්. එය හැමෝටම කරන්න බැහැ. හිඟා කා වැඩි ආදායමක් ලැබිය හැක්කේ ඒ සඳහා වැඩි කුසලතාවයක් තිබෙන අයෙකුටයි.
හිඟන්නෙක් කාගෙන්වත් බලහත්කාරයෙන් මුදල් ගන්නේ නැහැ. හිඟන්නෙක්ට රුපියල් පහක් දෙන කෙනෙක් එය කරන්නේ කැමැත්තෙන්. එසේ කිරීමෙන් ඇය ඇතැම් විට පිනක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. එසේ නැත්නම් අහිංසක පුද්ගලයෙක්ට උදවුවක් කළා කියා සතුටු වෙනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන් අනුන් ගැන හිතන කෙනෙක් බව වෙනත් අයට පෙන්වන්න රුපියල් පහක් දුන්නා වෙන්නත් පුළුවන්. මේ මොකක් වුනත් රුපියල් පහක් හිඟන්නෙක්ට දෙන කෙනෙක් එයින් ලබා ගන්නා දෙයක් තිබෙනවා. යමෙක් රුපියල් පහක් හිඟන්නෙක්ට දෙන්නේ එයින් ලැබෙන හිතේ සතුට හෝ වෙනත් කවර හෝ දෙය රුපියල් පහකට වඩා වටින නිසයි. හිඟන්නා විසින් මෙහිදී ඒ සතුට හෝ වෙනත් දෙය ලබාගන්න අදාළ පුද්ගලයාට උදවු කරනවා. රුපියල් පහ ඇයට ඒ වෙනුවෙන් ලැබෙන ගාස්තුවයි.
රන්ජන් වගේ කලාකරුවන්ගේ ඉඳලා දේශපාලනඥයින්, පූජකයින් ඇතුළු බොහෝ වෘත්තිකයින් විසින් කරන්නෙත් මිනිස්සුන්ව කවර ආකාරයකින් හෝ සතුටු කරලා එහි මිල අය කරගන්න එකයි. හිඟන්නෙක් කරන්නෙත් ඒකම තමයි. සරලව කියනවනම් අනික් අයට ආතල් එකක් දෙන එක.
රනිල් තිරුපති ගිහින් තමන්ගේ බරට හඳුන් පුදන්නේත්, මහින්ද ඒ විදිහටම ගිතෙල් පුදන්නේත් තිරුපති ගමනෙන් ඒ අයට ලැබෙන මොකක් හෝ ආතල් එකක් තියෙන නිසයි. ගින්නෙන් උපන් හීතල නායකයෙක්ගේ කතා අහන තරුණියක් තමන්ගේ කරාබු දෙක ගලවලා වේදිකාවට විසි කරන්නේත්, තරුණයෙක් ඒ නායකයා වෙනුවෙන් කට්ට කාගෙන නොමිලේ වැඩ කරන්නේත් ඔය හේතුවටමයි.
දුම්රියපොළේ හිඟන්නා තමන්ගේ ආදායම මුළුමනින්ම පරිභෝජනය වෙනුවෙන් වියදම් නොකර එයින් කොටසක් ආයෝජනය කර තිබෙනවා. හිඟන්නාගේ මාසික ආදායම මෙන් කිහිප ගුණයක ආදායමක් නූපයන්නට හේතුවක් නැති රන්ජන් එසේ කර නැහැ. ඒ නිසා, ඔහුට ඔහු සතු කිසිදු නිශ්චල දේපොළක් නැහැ. ඕක ඒ තරම් ආඩම්බර වෙන්න දෙයක්නම් නෙමෙයි. හැබැයි ඉතිං තමන් උපයන ආදායම වියදම් කළ යුත්තේ කොහොමද කියන එක ඔහුගේ කැමැත්ත.
ඔය වගේ තමන් උපයන ආදායම් ඒ වෙලාවේ පරිභෝජනය කර අවසන් කර දමන, තමන්ටම කියා ප්‍රාග්ධනයක් අයිති කර ගැනීම පිණිස කිසිදු කැප කිරීමක් නොකරන ඇතැම් අය පස්සේ කියන කතාවක් තමයි සමාජය වෙනුවෙන් වැඩ කළ නිසා තමන් හිඟන්නෙක් වූ බව. කවුරු හෝ සමාජය වෙනුවෙන් වැඩක් කළා කියා කියනවානම් ඒ කරපු වැඩේ වටිනාකම මනින්න තිබෙන හොඳම නිර්ණායකය තමයි ඈ ඉපැයූ ආදායම. උදාහරණයක් විදිහට අර කොටුවේ හිඟන්නා අඩුවශයෙන් මාසයකට රුපියල් 150,000ක ආතල් එකක් දුම්රිය මගීන්ට දීල තියෙනවා. එහෙම නැතුව කවුරු හෝ කියනවානම් තමන් පාඩුවට යමක් කළා කියා, ඈ එය කර තිබෙන්නේ තමන්ගේ ආතල් එක වෙනුවෙන්ම මිසක් සමාජය වෙනුවෙන් නෙමෙයි.
(Image: http://www.dailymirror.lk/weird-news/When-the-dumb-beggar-started-talking/310-161664)
Labels:
ආයෝජනය,
ධනවාදය,
පරිභෝජනය,
පරිභෝජනවාදය,
ප්‍රාග්ධනය
Wednesday, March 6, 2019
රත්තරන් වූ ගිතෙල් හා සඳුන්
පසුගිය ලිපිය සමඟ පලකළ මහින්ද විසින් තිරුපතියට තුලාභාර දෙන ඡායාරූපය කලින් දැක නැති බව කියන නයනේ විසින් එය පොටෝෂොප් පින්තූරයක්දැයි සැක පහළ කර තිබෙනවා. සමාජ මාධ්‍ය වල සංසරණය වන මෙවැනි ඡායාරූප බොහොමයක් පොටෝෂොප් කළ ඒවා.
එපමණක් නෙවෙයි බොහෝ විට ප්‍රධාන මාධ්‍ය වල දකින්න ලැබෙන්නේත් පොටෝෂොප් කළ ඡායාරූප හෝ ඔවුන්ගේ පුස්තකාල වලින් හෝ දැන්නම් අන්තර්ජාලයෙන් ගත් පැරණි ඡායාරූප මිස වාර්තා කරන සිද්ධියට අදාළ සැබෑ ඡායාරූප නෙමෙයි. ඒ නිසා, ඡායාරූපයක් පොටෝෂොප් කළ එකක් නොවන බව ස්ථිරව කියන එක ගොඩක් අසීරු වැඩක්.
සමහර අය ඇත්ත ඡායාරූප පොටෝෂොප් ඡායාරූප බව කියන්න සැබෑ ඡායාරූපය ලෙස පොටෝෂොප් කළ ඡායාරූප පෙන්වන වෙලාවලුත් තිබෙනවා. මේ ගොඩක් දේවල් වලින් තහවුරු වෙන්නේ අප දකින්නේ නිර්මිත යථාර්තයක් හෝ වෙනත් සාපේක්ෂ යථාර්තයක් මිස නිරපේක්ෂ යථාර්තයක් නොවන බවයි.
පොටෝෂොප් කළ එකක් වුවත් නැතත් මහින්ද තුලාභාර දෙන ඡායාරූපය අපටනම් වසර ගණනකට පෙර සිටම දැක පුරුදු එකක්. එය හෝ එවැනි ඡායාරූප දෙස් විදෙස් මාධ්‍ය ගණනාවක පළ වී තිබෙනවා. ඒ වගේම, අප දන්නා තරමින් මහින්දගේ තුලාභාර කතාව කාලයක් තිස්සේම බොහෝ දෙනෙක් දැන සිටි, මාධ්‍ය වල කතා බහට ලක් වූ පුවතක්. නයනේ වැනි කෙනෙක් ඒ ගැන දැන නොසිටීම පුදුමයක්.
මහින්දගේ කාලයේ යුද්ධය අවසන් වීම නිසා බොහෝ දෙනෙක්ට මහින්ද වීරයෙක්ව සිටිනවා. තමන්ගේ වීරයින්ගේ තමන් කැමති නැති පැති නොපෙනී යාම අමුතු දෙයක් නෙමෙයි. මේ විදිහට මහින්ද හා සම්බන්ධ තවත් බොහෝ දේ ලංකාවේ සාමූහික මතකයෙන් ගිලිහෙමින් තිබෙනවා.
මහින්ද මුලින්ම ජනාධිපති සේ තේරී පත් වුනු 2005 ජනාධිපතිවරණයේදී ඔහු 50% ඉක්මවා ලබාගත්තේ ඡන්ද 28,633ක් පමණයි. මේ මැතිවරණයේදී ප්‍රභාකරන් විසින් උතුරේ ඡන්ද තහනමක් ක්‍රියාත්මක නොකළේනම් මැතිවරණ ප්‍රතිඵලය මීට වඩා වෙනස් විය හැකිව තිබුණු බව පැහැදිලි කරුණක්. මහින්දගේ 2005 මැතිවරණ ජය පසුපස වූ තීරණාත්මක සාධකය වුනේ ප්‍රභාකරන්.
ඒ වගේම, මහින්ද 2005 මැතිවරණයට ගියේ එල්ටීටීඊ සංවිධානය සමඟ සාම සාකච්ඡා කරන බව කියමින් මිස යුද්ධය හරහා උතුරේ ප්‍රශ්නය අවසන් කරන බව කියමින් නෙමෙයි. මැතිවරණ ජයෙන් පසුවත්, මහින්ද උත්සාහ කළේ ප්‍රශ්නය සාකච්ඡාවෙන් විසඳන්නයි. එය නොකළ හැකි වූයේ ප්‍රභාකරන්ගේ පැත්තෙන් සාකච්ඡා සඳහා සැබෑ උවමනාවක් නොතිබීම හේතුවෙනුයි. එක පැත්තකින් ප්‍රභාකරන් විසින් දිගින් දිගටම යුද්ධයම ඉල්ලා සිටිද්දී මාවිල්ආරු සිදුවීමෙන් පසුව රතන හිමි වැනි අය මහින්දගේ ආණ්ඩුව යුද්ධයට බලෙන් වගේ තල්ලු කළා. ප්‍රතිඵලය නරක එකක් වුනානම් එහි බර ඔවුන් වෙත වැටෙනවා.
ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයට ඉස්ලාම් ත්‍රස්තවාදය ප්‍රශ්නයක් වීමෙන් පසුව ත්‍රස්තවාදය සම්බන්ධ ඔවුන්ගේ ආකල්ප වෙනස්වීම, ඉන්දියාවේ ස්ථාවරය වෙනස්වීම හා මහින්ද ඇතුළු කණ්ඩායම යුද්ධයේ අවසන් අදියරේදී සෘජු ස්ථාවරයක සිටීම මත යුද්ධය අවසන් වුනා. ඒ එක්කම කාලයක් තිස්සේ ලංකාවේ මධ්‍යම රජයේ පාලනයෙන් ගිලිහී අර්ධ-ස්වාධීන ආර්ථිකයක් ලෙස පැවතුණු ප්‍රදේශ නැවත එකම ආර්ථිකයක කොටසක් බවට පත් වී රටේ දළ දේශීය නිෂ්පාදිතය වසර කිහිපයක කෙටි කාලයක් තුළ එක් වර ඉහළ ගියා. යුද්ධය අවසන් වීමේ හා එහි වක්‍ර ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය ප්‍රසාරණය වීමේ වාසිය රාජපක්ෂ ආණ්ඩුවට ලැබී මහින්ද බොහෝ දෙනෙකුගේ වීරයෙක් වුණා. දැන් ඇතැම් අයට 2005 දී මහින්ද කළ කී දේ අමතකව තිබීම පුදුමයක් නෙමෙයි.
ජනාධිපති සේ මුලින්ම පත් වීමෙන් පසුව මහින්ද විසින් මුලින්ම කළ කාර්යයක් වුනේ තිරුපතියට ගොස් තුලාභාරය ඔප්පු කිරීමයි. මහින්ද ජනාධිපති සේ දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 වෙනිදා. ඔහු තිරුපතියට ගොස් තුලාභාර පූජාව සිදු කර තිබෙන්නේ 2005 දෙසැම්බර් 30 සිකුරාදා.
තිරුපති ගොස් තුලාභාර කරන කෙනෙකු තමන්ගේ බරට රත්තරන්ම පූජා කළ යුතු නැහැ. රත්තරන් පූජා කිරීමක් සිදුවනවානම් එය සිදුවනවා ඇත්තේ ඉතා කලාතුරකින්. රිදී, යකඩ වැනි වෙනත් ලෝහ වර්ගයක්, ධාන්‍ය හා පළතුරු වර්ග ඇතුළු ආහාර වර්ගයක් හෝ ඒ මුකුත්ම නැත්නම් තමන්ගේ බරට වතුර වුවත් එහිදී පූජා කළ හැකියි. මෑතකදී නරේන්ද්‍ර මෝදි විසින් තමන්ගේ බරට නෙළුම්මල් පූජා කර තිබුණා. තුලාභාර සඳහා අවශ්‍ය ගොඩක් දේවල් එහිදීම මුදල් ගෙවා ලබා ගත හැකියි.
තිරුපති ගමනේදී මහින්ද රාජපක්ෂ විසින් කුඩා රන් ඔටුන්නක් හා පිත්තල පහනක් තිරුපතියට පූජා කර තිබෙන අතර ඊට අමතරව තමන්ගේ බරට සමාන බරක ගිතෙල් තිරුපතියට පූජා කර තිබෙනවා. මාධ්‍ය වාර්තා අනුව ඉහත කතා කළ ඡායාරූපය ඒ අවස්ථාවේදී ගෙන තිබෙන එකක්. එම වාර්තා වල මහින්දගේ බර කොපමණදැයි වාර්තා වී නැහැ.
මහින්ද විසින් තමන්ගේ බරට රත්තරන් පූජා කළ කතාව 2015 මැතිවරණ සමයේ ප්‍රචාරය වූ බොරුවක්. ඔහු ඉහත කී රන් ඔටුන්න හැර වෙනත් රත්තරන් තිරුපතියට පූජා කර ඇති බවක් මා දන්නේ නැහැ. මේ ගමනින් පසුවත් වරින් වර මහින්ද තිරුපතියට ගොස් තිබෙනවා. ඇතැම් විට 2005ට පෙරත් මහින්ද තිරුපති යන්න ඇති.
මහින්ද වගේම රනිලුත් නිතර තිරුපති යන බව පේනවා. 2015 ජනාධිපතිවරණයෙන් පසුව, අගෝස්තු මහ මැතිවරණයට පෙර, රනිල් තිරුපතියට ගොස් තිබෙනවා. 2015 අප්‍රේල් 18 වෙනිදා ඔහු තමන්ගේ බර වූ කිලෝග්‍රෑම් 77ක ප්‍රමාණයක, රුපියල් 847,000ක් වටිනා සඳුන් තුලාභාරයක් සේ පූජා කර තිබෙනවා. මේ රුපියල් ඉන්දියන් රුපියල් විය යුතුයි. පසුගිය ලිපිය සමඟ පළ කර තිබෙන ඡායාරූපයේ දැකිය හැකි කුට්ටිසාක්කු ඇතුළේ තිබෙන්නේ එම සඳුන් වෙන්න පුළුවන්. මේ කුට්ටිසාක්කු කියන වචනයේ සාක්කු කෑල්ල බිඳී ඇවිත් තියෙන්නේ sack යන්නෙන් බව පෙනෙන නමුත් කුට්ටි යන්නේ ප්‍රභවය කුමක්ද කියන එක පැහැදිලි නැහැ.
මාධ්‍ය වාර්තා වල තිබෙන ඉන්දියානු රුපියල් 847,000ක වටිනාකම නිවැරදිනම් රනිල් වික්‍රමසිංහ විසින් සඳුන් කිලෝ ග්‍රෑමයක් මිල දී ගෙන තිබෙන්නේ ඉන්දියානු රුපියල් 11,000 බැගින්. මේ වන විට තිරුපතියේ මයිසූර් සඳුන් විකුණන්නේ කිලෝ ග්‍රෑමයක් ඉන්දියානු රුපියල් 23,000ක මිලටයි. ඇතැම් විට පසුගිය කාලයේ මිල වැඩිවුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල් පිටින් අඩුවට සඳුන් අරන් ගියා වෙන්නත් පුළුවන්.
මේ වන විට තිරුපතියේ ගිතෙල් කිලෝ ග්‍රෑමයක් විකුණන්නේ ඉන්දියානු රුපියල් 400 බැගින්. පෙනුම අනුව මහින්ද රනිල්ට වඩා බර වැඩියි කියා හිතන්න පුළුවන්. අපි මහින්දගේ බර විදිහට කිලෝ ග්‍රෑම් 90ක් දැම්මත් තුලාභාරයේ ගිතෙල් වල වටිනාකම ඉන්දියානු රුපියල් 36,000ක් පමණයි. රනිල්ගේ සඳුන් වලට වඩා ගොඩක් අඩුවෙනුයි මහින්දගේ ගිතෙල් වලට මුදල් වැය වී තිබෙන්නේ. අර කුඩා රත්තරන් ඔටුන්නටයි පිත්තල පහණටයි තව කීයක් හරි යන්න ඇති.
මහින්ද විසින් තුලාභාර පූජාව සිදුකර තිබෙන ඔහුගේ 2005 ඉන්දියානු සංචාරය පිළිබඳ තොරතුරු 2005 දෙසැම්බර් 31 "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබෙන්නේ මෙහෙමයි.
අපේ ප්‍රමුඛතාවය සාම ගිවිසුමක්- රාජපක්ෂ
මාණ්ඩලික වාර්තාකරු විසිනි.
'අප සාකච්ඡා සඳහා කොටි සංවිධානයට ආරාධනා කර ඔවුන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් ඉන්නවා.' පසුගිය සිකුරාදා ගුරුවායර්හි ශ්‍රී ක්‍රිෂ්ණා දේවාලයේදී තුලාභාර පූජාවේ යෙදෙන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි.
ගුරුවායර් සිට: ජනවාර්ගික සටනින් බෙදී ඇති සිය රට තුළ සටන් විරාමයක් ඇති කර ගැනීම සිය රජයේ ක්ෂණික අවශ්‍යතාවය බව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කියා තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙසේ ප්‍රකාශ කළේ සිය බිරිඳ ශිරන්ති රාජපක්ෂද සමඟ ශ්‍රී ක්‍රිෂ්ණා දේවාලය වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.
"අපට අවශ්‍ය සාමයයි, සියල්ලන්ටම සාමය" දේවාලය ඉදිරිපිටදී මාධ්‍යකරුවන් අමතමින් ඔහු පැවසීය.
කොටි සංවිධානය සමඟ නැවත අළුතින් සාම සාකච්ඡා ආරම්භ කරන්නේද යන පැනයට රාජපක්ෂ මහතා මෙසේ පිළිතුරු දුන්නේය. "අප විසින් දැනටමත් ඔවුන්ට සාකච්ඡා සඳහා ආරාධනා කර තිබෙනවා. අප ඔවුන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් ඉන්නවා."
කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් විසින් සටන් විරාම ගිවිසුමක් සඳහා කළ ආරාධනය පිළිගනු ගනු ඇත්දැයි විමසීමේදී ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ "මම එහෙම හිතනවා" යන්නයි. තිරුපති ගමන ගැන විමසීමේදී ඔහු මෙසේ පැවසීය. "අපට අවශ්‍ය සාමයයි. සියල්ලන්ටම සාමය ඉල්ලා යාඥා කරන්න මෙහි ආවේත් ඒ නිසයි."
ජනවාර්ගික ප්‍රශ්නය විසඳිය හැක්කේ උතුරු නැගෙනහිර පළාත් වල ආර්ථික සංවර්ධනය තුළින් පමණක් බව පැවසූ රාජපක්ෂ මහතා ඒ සඳහා ඉන්දියාව විශාල සහයෝගයක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.
සිය ඉන්දීය සංචාරය ඉතා සාර්ථක එකක් වූ බව පැවසූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ විශාල ඉඩකඩක් පෙනෙන්නට ඇති බවද පැවසීය. රාජපක්ෂ මහතා දේවාලයේදී ගිතෙල් වලින් තුලාභාර පූජාව සිදු කළේය. ඊට අමතරව සම්ප්‍රදායික පිත්තල පහණක් හා කුඩා රන් ඔටුන්නක්ද ඔහු දේවාලයට පූජා කළේය.
(Image: https://www.cntraveller.in/story/tirumalas-tirupati-temple-may-shut-five-days-august/)
Labels:
ඉන්දියාව,
මහින්ද රාජපක්ෂ,
රනිල් වික්‍රමසිංහ,
විශ්වාස
Tuesday, March 5, 2019
කුවේරට ගෙවීමට ඇති හිඟ මුදල කොපමණද?
ගොඩක් පවුල් වල අඹු සැමියන් අතර පොඩි පොඩි ආරවුල් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඔය වගේ දේවල් වෙන්නේ මිනිස් පවුල් වල විතරක් නෙමෙයි. දෙවිවරුන්ගේ පවුල් වලත් ඔය වගේ ආරවුල් ඇති වෙනවා.
බොහෝ කාලයකට කලින් දවසක සතුටින් පවුල් කමින් සිටි විෂ්ණු හා ලක්ෂ්මී අතරත් ඔය වගේ ආරවුලක් ඇති වුනා. ආරවුලට හේතු වුනේ ඔවුන්ගේ වෛකුන්ඨ භවනට ආ අමුත්තෙක්. අමුත්තා භෘගු සෘෂිවරයා. භෘගු කියන්නේ සප්තාර්ශීගෙන් එක්කෙනෙක්.
මේ සප්තාර්ශීන් ගැන මා මීට පෙර ලියා තිබෙනවා. එම ලිපියේ සඳහන් වූ ලැයිස්තුවේ හිටියේ මරිචි, පුලස්ති, පුලහ, අංගීරස, අත්‍රි හා ක්‍රතු යන හත් දෙනා වුවත් වෙනත් විකල්ප සප්තාර්ශී ලැයිස්තු ගණනාවක්ම තිබෙනවා. භෘගු ආදේශ වන්නේ ඉහත ලැයිස්තුවේ මරිචි වෙනුවටයි.
වෛකුන්ඨ භවනට භෘගු එන කොට විෂ්ණු ආදීශේෂනම් මන්ත්‍රය ජපකරමින් සිටිනවා. ඒ නිසා, අමුත්තෙකු පැමිණ සිටින බව ඔහුගේ අවධානයට ලක් වෙන්නේ නැහැ. මෙයින් කෝපයට පත් වන භෘගු විෂ්ණුගේ පපුවට පයින් ගහනවා. අර ඒ දවස් වල අරලියගහ මන්දිරේ ඇතුළෙත් ඔය වගේ දේවල් වුනා කියනවනේ. අපිනම් දැකලා නැහැ.
කොහොම හරි ගහපු පාර වදින්නේ විෂ්ණුගේ හදවත වාසභවනය කරගෙන සිටින ලක්ෂ්මීටයි. මේ සිද්ධියෙන් පස්සේ ලංකාවේ පොලීසිය සමහර වෙලාවට කරනවා වගේ විෂ්ණු විසින් කරන්නේ වින්දිතයා වූ ලක්ෂ්මී ගැන හොයා බලනවා වෙනුවට වැරැද්ද කරපු භෘගුගෙන් සමාව අයැදිමින් ඔහුගේ කකුල අතගාන එකයි.
ඔය වගේ වෙලාවක පවුල් ආරවුලක් ඇතිවෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. දිව්‍ය ලෝකයේ කියලත් ඕකේ වෙනසක් නැහැ. ගුටි කාල ඉන්න තමන්ගේ බිරිඳ ගැන නොසලකා වැරැද්ද කරපු භෘගුගෙන් සමාව යැදීම ගැන විෂ්ණු එක්ක අමනාප වන ලක්ෂ්මී වෛකුන්ඨය පමණක් නෙමෙයි දෙවුලොවම හැර යනවා. එසේ යන ඇය ඕපපාතිකව මිනිස් ලොවේ උපදිනවා.
සැමියෙක්ට බිරිඳකගේ අගය තේරෙන්නේ ඔය වගේ අවුලක් වුනාට පස්සෙනේ. විෂ්ණුට කියලත් වෙනසක් නැහැ. ඔහු සිය බිරිඳ හොයාගෙන මිනිස් ලොවට එනවා. ඇවිදින් චෝල රටේ වෙන්කත කන්ද කිට්ටුව තියෙන පුෂ්කරනී විල අසල වූ සියඹලා ගහක් යට වේතුඹසක් ඇතුළට වී භාවනා කරමින් සිටිනවා. ඔය වෙන්කත කන්දත් රූමස්සල වගේ හිමාලයෙන් ගෙනාපු කොටසක් කියලයි කියන්නේ.
මේ එක්කම වගේ රටේ කිරි ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. රටේ කිවුවේ චෝල රටේ. මේ දවස්වල ලංකාවේ තියෙන කිරි ප්‍රශ්නය වගේ එකක්නම් නෙමෙයි.
හිටපු ගමන්ම රජ්ජුරුවන්ගේ එළදෙනකගේ කිරි නැතිව යනවා. ඒ ගැන හොයා බලන්න එළදෙන පස්සෙන් එන ගොපල්ලා එළදෙන සියඹලා ගහයට වේතුඹස ඇතුළේ ඉන්නා කාට හරි දිනපතා කිරි දෙන බව දැනගන්නවා. මේ විදිහට රාජ්‍ය සම්පත් අවභාවිතා කරන්නේ කවුද කියා හොයා බලන්න ගොපල්ලා වේ තුඹසට පොරවකින් ගහනවා. පොරෝ පාර වදින්නේ විෂ්ණුගේ නළලට. විධායක බලැති රාජ්‍යනායකයින්ගේ මල්ලිලාටත් පොරෝපාරවල් වදින එකේ දෙවිකෙනෙක්ට පොරෝපාරක් වදින්න බැරිද?
පොරෝ පාර නිසා ඇති වෙච්ච තුවාලයට බෙහෙත් හොයාගෙන ඉබාගාතේ යන විෂ්ණු නවතින්නේ ශ්‍රී වරාහස්වාමිගේ අසපුවේ. මේ වන විට විෂ්ණු පෙනී සිටින්නේ සිරිනිවාස යන නමිනුයි. ශ්‍රී වරාහස්වාමි කියන්නේ ඌරෙක් ලෙස පහළ වූ විෂ්ණුගේ තෙවන අවතාරය. කතාව ටිකක් බැක් ටු ද ෆියුචර් වගේ. දැන් විෂ්ණුට වෙනත් ස්වරූපයකින් විෂ්ණුම හමු වෙනවා.
සිරිනිවාස වරාහස්වාමිගෙන් නවාතැන් ඉල්ලා හිටියත් නොමිලේ නවාතැන් දෙන්න වරාහස්වාමි කැමති වෙන්නේ නැහැ. ඔහු ඒ වෙනුවෙන් කුලී ගෙවීමක් අපේක්ෂා කරනවා. තමන්ගේම පුනර්භවයකට වුනත් නොමිලේ නිවාස පහසුකම් සපයන්න බැහැනේ. තමන් අයත් වන්නේ ප්‍රාග්ධනය අහිමි පංතියට බව කියන සිරිනිවාස තමන් අත කිසිදු මුදලක් නැති බව පවසනවා.
කොහොම හරි අන්තිමේදී සිරිනිවාස වරාහස්වාමි එක්ක ඩීල් එකක් දාගන්නවා. මේ ඩීල් එක අනුව, තමන්ගේ බැතිමතුන් සියලු දෙනාම තමන්ට වඳින්න කලින් වරාහස්වාමිට වඳින බවට වග බලා ගැනීමට සිරිනිවාස පොරොන්දු වෙනවා. වරාහස්වාමිට පළමු මනාපය හා තමන්ට දෙවන මනාපය දෙන්න කියා සිරිනිවාස ඔහුගේ බැතිමතුන්ට දැනුම් දෙනවා. එහි හිලවුවට සිරිනිවාසට නවාතැන් ලැබෙනවා.
සිරිනිවාස වරාහස්වාමිගේ ආශ්‍රමය කිට්ටුව අඩු වියදම් නිවාසයක් හදාගන්නවා. වෛකුලදේවී නම් වූ කාන්තාවක් සිරිනිවාසගේ දායිකාවක වීමෙන් නොනැවතී ඔහුගේ කිරිමවු ලෙස ඔහුට සත්කාර කරමින් රැක බලාගන්නවා.
මේ අතරේ චන්ද්‍රවංශයට අයත් ආකාශරාජ නම් වූ රජු තමන්ට දරුවන් නැති නිසා දරුවන් ලබා ගැනීමට කරන පූජාවක කොටසක් ලෙස හාන්න කුඹුරට යනවා. නගුලෙන් පස් පෙරලද්දී ඔහුට නෙලුම් පොහොට්ටුවක් හමු වෙනවා. පොහොට්ටුව පරීක්ෂා කරද්දී එය තුළ ගැහැණු දරුවෙකු සිටින බව පෙනෙනවා. ආකාශරාජ රජු විසින් මේ දැරිවිය සිය දියණියක සේ හදා වඩා ගන්නවා. නෙළුමෙන් උපන් නිසා ඈ පද්මාවතී සේ නම් කෙරෙනවා. මේ විදිහට පද්මාවතී ලෙස උපදින්නේ විෂ්ණුගේ බිරිඳව සිටි ලක්ෂ්මියයි. එහෙත් පද්මාවතී ඒ බව දන්නේ නැහැ.
ඔහොම කාලයක් යද්දී දවසක දඩයමේ ගොස් වෙහෙසව ගසක් යට වාඩි වී සිටින සිරිනිවාසගේ හා සිය මිතුරියන් සමඟ මල් නෙලන්න කැලයට පැමිණ ගී ගයමින් නටන පද්මාවතීගේ දෙනෙත් හමුවෙනවා. ඔවුන් එක් වරම එකිනෙකාට ප්‍රේම කරන්න පටන් ගත්තත්, පද්මාවතීගේ මිතුරියන් විසින් මේ "දඩයක්කාරයාව" එළවා දමනවා.
ප්‍රේමයෙන් ආතුර වන සිරිනිවාසගේ කෑම රුචිය ගිලිහී ගිහින් බලා ගත් අතේ බලා ඉඳිද්දී ඔහුගේ කිරිමවු වූ වෛකුලදේවී විසින් කරුණු විමසනවා. මේ අවස්ථාවේදී සිරිනිවාස විසින් පද්මාවතිය කෙරෙහි තමන් තුළ වන ප්‍රේමය ගැන වගේම තමන් විසින් මෙතෙක් හෙළි කර නොතිබුණු සැබෑ අනන්‍යතාවයත් ඇයට හෙළිකර ආකාශරාජ වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන සේ ඇගෙන් ඉල්ලා සිටිනවා.
මේ විවාහ යෝජනාව ගැන ආකාශරාජ විසින් බ්‍රහස්පතිගෙන් විමසනවා. එහිදී බ්‍රහස්පති විසින් විවාහය අනුමත කරනවා. විවාහයට කැමැත්ත ලැබේදැයි සැකයෙන් ඉන්න සිරිනිවාස විසිනුත් සාත්තර කියන්නියකගේ වෙසින් රජ මැදුරට ගොස් වර්ණපාල කළා වගේ වැඩක් කරනවා. විවාහය තීන්දු වෙනවා. හැබැයි අවුල තියෙන්නේ ඊට පස්සෙයි.
විවාහයනම් තීන්දුයි. ඒත් ඉතිං කෝ වෙඩින් එක ගන්න සල්ලි? මහජන මුදලින් යැපෙන, කවදාවත් රස්සාවක් නොකරපු සිරිනිවාස අතේ සතපහක්වත් තියෙන එකක්යැ?
කොහොම වුනත්, සිරිනිවාසට ජයට මගුල් කන්නත් ඕනෑ. තමන්ගේ අතේ සතේ නැති බව මාමණ්ඩිට පෙන්නන්නේ කොහොමද?
දේව මණ්ඩලයටම ආරාධනා කරලා මගුලනම් ජයට ගත්තා. සැරසිලි වැඩ සියල්ල සැලසුම් කළේ විශ්වකර්ම විසින්. හැබැයි ඔය ඔක්කොම කළේ ණය වෙලා. ණය ගත්තේ ගිවිසුමක් ගහලා කුවේරගෙන්. ගිවිසුම අනුව, ණය හා පොලිය ආපහු ගෙවනකම් විෂ්ණුට නැවත වෛකුන්ඨ භවනට යන්න බැහැ. ඒ විදිහටම කියලා නැතත් කුවේර විසින් වෛකුන්ඨ භවන ඇපයට තියාගෙන බවයි කතාව අනුව පේන්නේ.
ඔය ණය තාම එහෙම්මමයි. හැබැයි හොඳ වෙලාවට ණය ගෙවන්න උදවු කරන්න සෑහෙන්න කට්ටිය ඉන්නවා. ඉන්දියාවේ විතරක් නෙමෙයි ලංකාවෙත්. දකුණු ඉන්දියාවේ තිරුපති දේවාලයේ භාරකාරයෝ තමයි ඔය ණය හා පොලිය එකතු කරලා කුවේරට ගෙවන කටයුත්ත කරමින් ඉන්නේ. ණය ගැන සඳහන් කරමින් ඔවුන් දිගින් දිගටම මුදල් එකතු කරනවා. සිරිනිවාසට නැවත වෛකුන්ඨ භවනට යන්න උදවු කරන්න මිනිස්සු සල්ලි දෙනවා. සමහර අය තමන්ගේ බරට රත්තරන් දෙනවා. එහි හිලවුවට විෂ්ණු විසින් මේ මිනිස්සුන්ගේ ඉල්ලීම් ඉටු කරනවා.
තිරුපති දේවාලයේ මේ මූල්‍ය වසර තුළ අපේක්ෂිත ආදායම ඉන්දියානු රුපියල් කෝටි 2,894ක්. වාර්ෂිකව ඔය වගේ විශාල ආදායමක් ලැබිලත් තිරුපති දේවාලයේ පාලකයින්ට තවම සිරිනිවාස-පද්මාවතී මගුලට කුවේරගෙන් ගත්තු ණය ගෙවා අවසන් කරන්න හැකි වී නැහැ. මේකත් ලංකාවේ රාජ්‍ය ණය වගේම ගෙවුවට ගෙවුවට ඉවර නොවන ණයක් වගේ.
ලංකාවේ ආණ්ඩුව පහුගිය කාලයේ තොරතුරු දැනගැනීමේ පණතක් සම්මත කළානේ. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුව ඔහොම පණතක් සම්මත කළේ 2005දී. සමාජ ක්‍රියාකාරිකයෙකු වන නරසිංහ මූර්ති විසින් 2014දී මේ පණතේ ප්‍රතිපාදන යටතේ තිරුපති දේවාලයේ පාලකයින්ගෙන් පහත තොරතුරු ඉල්ලා හිටියා.
1. විෂ්ණු විසින් කුවේරගෙන් ලබාගෙන තිබෙන මුළු ණය ප්‍රමාණය කොපමණද?
2. විෂ්ණු විසින් එම ණය ලබාගෙන තිබෙන්නේ කුමන අවශ්‍යතාවයක් සඳහාද?
3. මේ වන විට කුවේර වෙත විෂ්ණු විසින් ආපසු ගෙවා ඇති මුදල කොපමණද? එයින් කොපමණ මුදලක් පොලී ලෙසත් කොපමණ මුදලක් ණය වාරික ලෙසත් ගෙවා තිබේද?
4. මේ වන විට විෂ්ණු විසින් කුවේරට ගෙවීමට ඉතිරිව ඇති හිඟ මුදල කොපමණද?
නරසිංහ මූර්තිට මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණාදැයි දැනගන්නට නැහැ. මාස කිහිපයකට පෙර වාර්තා වී තිබුණේ දෙවියන්ට අපහාස කිරීම මත ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවයි.
ලංකාවේ ආණ්ඩුවටත් විෂ්ණුට වගේම ණය ප්‍රශ්නයක් තිබෙනවා. මේ ණය අර්බුදය ඇති කළේ රාජපක්ෂ ආණ්ඩුව විසින් නොවූවත් එම ආණ්ඩුව පැවති කාලය ණය අර්බුදය ඔඩු දිවූ කාලයක්. රාජපක්ෂ ණය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක් වුණා. එසේ වුවත්, මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව සිදුවී තිබෙන්නේත් රාජ්‍ය ණය තවත් ඉහළ යාම පමණයි.
මහින්ද රාජපක්ෂට වගේම රනිල් වික්‍රමසිංහටත් විසඳන්න තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවේ ණය ප්‍රශ්නය විතරක් නෙමෙයි. මේ දෙන්නාම විෂ්ණු විසින් කුවේරගෙන් ගත් ණය ගෙවන එක ගැනත් සැලකිලිමත්. ඒ නිසා, මේ දෙන්නම කාලයෙන් කාලයට තිරුපති ගිහින් තමන්ගේ බරට රත්තරන් හෝ වෙන මොනවා හරි දී කුවේරගේ ණය පියවන්න උදවු කරනවා. මේවා ඒ අයගේ පෞද්ගලික අවකාශයට අයත් දේවල් ලෙස අප සලකන නිසා මේ ලිපිය තිරුපති දේවාලය ගැන කරුණු ඉදිරිපත් කරන්නක් මිස කාගෙවත් පුද්ගලික විශ්වාස පිළිබඳව කරන විවේචනයක් නෙමෙයි.
(Image: http://dayal-bathee.blogspot.com/2019/03/blog-post.html)
Labels:
ඉන්දියාව,
දේශපාලනය,
රාජ්‍ය ණය,
හින්දු දහම
Monday, March 4, 2019
බැලුම පාට වෙයිද?
ඔය ඉඳ හිටලා දවසක අපි යාළුවෝ එක්ක මානුෂික සබඳතා පවත්වලා ආපහු නිවසට එනකොට පොලීසියෙන් නවත්වලා බැලුමක් පුම්බලා දෙන්න කියා ඉල්ලා හිටින්න ඉඩක් තියෙනවනේ. ඒ වගේ වෙලාවක හදිසියේවත් බැලුම කොළ පාට වුනොත් සිද්ද වෙන අවුල ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා කාල් මාක්ස් කියල තියෙන නිසා මාක් කරගෙන හරියටම කාලක් ගැහුවා කියලා පොලිස් නිලධාරියාගෙන් බේරෙන්න බැහැනේ. ඒ නිසා, ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න තිබෙන ඉඩප්‍රස්තා අවම කරගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එක අපි කාටත් හොඳයි.
රථවාහන ආඥාපණතේ 151 වගන්තිය අනුව, මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් අනතුරුව ලංකාවේ මහා මාර්ගයක වාහනයක් ධාවනය කිරීම නීතිමය වරදක්. මේ වරද වරදක් වීම සඳහා රිය අනතුරක් සිදුවීම හෝ වාහනය නිසි සේ ධාවනය නොකිරීම වැනි දෙයක් සිදුවිය යුතු නැහැ.
කිසියම් රියැදුරෙක් මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට පොලිස් නිලධාරියෙකුට සැකයක් ඇති වුවහොත් පොලිස් නිලධාරියාට අදාල රියදුරා මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා "බැලුම් පුම්බන" ලෙස රියදුරාගෙන් ඉල්ලා සිටිය හැකියි. එසේ නැත්නම් අදාළ රියැදුරාව රජයේ වෛද්‍ය නිලධාරියෙක් වෙත ඉදිරිපත් කළ හැකියි. රියැදුරා විසින් මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළහොත් පණත අනුව එසේ මත්පැන් පරීක්ෂාව ප්‍රතික්ෂේප කිරීම මතම රියැදුරා මත්පැන් පානය කර ඇති බව උපකල්පනය කළ හැකියි.
මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් අනතුරුව ලංකාවේ මහා මාර්ගයක වාහනයක් ධාවනය නොකළ හැකි බව කීම අවිනිශ්චිත ප්‍රකාශයක්. මේ විදිහට වාහනයක් ධාවනය කළ නොහැක්කේ මත්පැන් පානය කර කොපමණ කාලයක් ඇතුළතද?
කිසියම් අයෙක් මත්පැන් පානය කර සිටීද යන්න නිගමනය කිරීමේ නිර්ණායකයක් ලෙස බොහෝ රටවලදී කරන්නේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය පරීක්ෂා කර බැලීමයි. බොහෝ බටහිර රටවල යමෙක් මත්පැන් ගෙන වාහනයක් ධාවනය කිරීමේ වරදට වරදකරු කළ හැක්කේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය 0.08% මට්ටම ඉක්මවා ඇත්නම් පමණයි. මේ සීමාව මීට වඩා අඩු හා වැඩි රටවල් හා ප්‍රදේශත් ඕනෑ තරම් තිබෙනවා.
රථවාහන ආඥාපණතේ ප්‍රතිපාදන අනුව අදාළ විෂය භාර ඇමතිවරයාට රියැදුරෙක් මත්පැන් පානය කර තිබේද යන්න නිශ්චිතව නිගමනය කරන ආකාරය සඳහන් කරමින් නියාමන කොන්දේසි සකස් කළ හැකියි. මේ ආකාරයේ නියාමන කොන්දේසි අදාළ විෂය භාර ඇමතිවරයා විසින් 1979 ජූලි 13 දින ගැසට් කර තිබෙනවා. ඒ අනුව, මත්පැන් පානය කර රිය ධාවනය කිරීමට යමෙක් වරදකරු වෙන්නේ රුධිර මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් ප්‍රමාණය ග්‍රෑම් 0.08කට එහෙමත් නැත්නම් මිලිග්‍රෑම් 80කට වඩා වැඩිනම් පමණයි. මේ ගැසට් නිවේදනය ඉන්පසුව යාවත්කාලීන කර ඇති බවක් මා දන්නේ නැහැ. ඒ නිසා, එය තවමත් වලංගුයැයි මා හිතනවා.
ඉහත ගැසට් නිවේදනය හා රථවාහන ආඥාපණත එක්ව ගත් විට මත්පැන් පානය කර රිය ධාවනය කළ බවට යමෙකුට චෝදනා කළ හැක්කේ රුධිර පරීක්ෂාවක් හෝ ප්‍රශ්වාස වාත පරීක්ෂාවක් වැනි නිශ්චිත පරීක්ෂාවක් කිරීමෙන් පසුව පමණයි. වෛද්‍යවරයෙකු විසින් එවැනි පරීක්ෂාවක් සිදු නොකර යමෙක් මත්පැන් පානය කර ඇති බව නිගමනය කර ඇති විටක චුදිතයාට වෛද්‍යවරයාගේ එම නිගමනය අභියෝග කිරීමේ හැකියාවක් තිබෙනවා. එසේ වෛද්‍ය මතය හා පහළ අධිකරණය ලබාදුන් තීන්දු අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වී ඇති අවස්ථාත් තිබෙනවා. කෙසේ වුවත්, මෙවැනි චෝදනාවක් ඉදිරිපත් වූ විට බොහෝ දෙනෙක් එයට අභියෝග කරන්න යන්නේ නැහැ.
රථවාහන පොලිස් නිලධාරියකු අතේ ප්‍රශ්වාස වාත පරීක්ෂණ උපකරණයක් ඇති විට මත්පැන් පානය කර සිටින රියැදුරෙකුට ගැලවෙන එක පහසු නැහැ. බැලුම පුම්බපු ගමන් බඩු මාට්ටු. දැන් ලංකාවේ ගොඩක් රථවාහන පොලිස් නිලධාරීන් අතේ බැලුම් තිබෙනවා. ඒ නිසා, තමන්ගේ රුධිරයේ මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් ප්‍රමාණය මිලිග්‍රෑම් 80කට වඩා වැඩියි කියා සැකයක් තිබේනම් සුක්කානමට අත නොතැබිය යුතුයි. එසේ නොකිරීමෙන් නීතියෙන් ගැලවෙන්න වගේම තමන්ගේ හා අනුන්ගේ ජීවිත අවදානමේ නොහෙළා ඉන්නත් පුළුවන්.
ඔහොම කිවුවට අපි මානුෂික සබඳතා පවත්වලා අවසන් කරලා රෑ දෙගොඩ ජාමේ ගෙදර යන්න කලින් බැලුම් පුම්බලා බලන්නේ නෑනේ. එහෙමනම්, ඒ වගේ වෙලාවක දළ වශයෙන් තමන්ගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඇස්තමේන්තු කර ගත හැකි ක්‍රමයක් තියෙනවද?
වැඩේ ගොඩක්ම අමාරු නැහැ. මුලින්ම තමන් ඇල්කොහොල් මිලිලීටර් කීයක් බිව්වද කියන එක ගණන් හදා ගන්න ඕනෑ.
අපි හිතමු 8.8%ක ඇල්කොහොල් සාන්ද්‍රණයක් තියෙන මිලි ලීටර 625ක බියර් බෝතලයක් බිව්වා කියලා. ඒ කියන්නේ ඇල්කොහොල් මිලි ලීටර 55ක් පමණ රුධිරයට එකතු වෙලා. 33.3%ක සාන්ද්‍රණයක් තිබෙන අරක්කු බෝතලයක් (මිලි ලීටර 750ක්) හතර දෙනෙක් එක්ක බිව්වොත් ඇල්කොහොල් මිලි ලීටර 62.5ක් රුධිරයට එකතු වෙලා.
මේ විදිහට රුධිරයට එකතු වන ඇල්කොහොල් නිසා රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය කොයි තරම් ඉහළ යනවද කියන එක ශරීරයේ බර හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව තීරණය වෙන දෙයක්. එකම ඇල්කොහොල් ප්‍රමාණය බොන බර වැඩි කෙනෙක්ගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යන්නේ බර අඩු කෙනෙකුට වඩා අඩුවෙන්. සමාන බර තිබෙන පිරිමියෙකුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් ගැහැණියකගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යනවා.
රුධිර මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් මිලිග්‍රෑම් ප්‍රමාණය හොයා ගන්න බීපු ඇල්කොහොල් මිලි ලීටර ගණන කිසියම් අනුපාතයකින් ගුණ කළ යුතුයි. බර කිලෝ ග්‍රෑම් 76ක් පමණ වන පිරිමියෙක් හා අදාළව මේ අනුපාතය 1.5ක් පමණ වෙනවා. ඒ කියන්නේ අරක්කු කාලක් බිව්වට පස්සේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 94ක් පමණ දක්වා ඉහළ යනවා. 8.8% සැර බියර් බෝතලයක් බිව්වට පස්සේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 82.5ක් පමණ දක්වා ඉහළ යනවා. සමාන බර ගැහැණියකගේ සිරුරේ මේ සාන්ද්‍රණය 10%කින් පමණ වැඩියි.
සිරුරේ බර අඩු වැඩි වෙද්දී ඉහත අනුපාතය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කිලෝග්‍රෑම් 60ක් බර පිරිමියෙක් හා අදාළව මේ අනුපාතය 1.9ක් පමණ වෙනවා. ඒ කියන්නේ අරක්කු කාලක් බිව්වට පස්සේ ඔහුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 119ක් පමණ දක්වා ඉහළ යනවා. අදාළ මිලිග්‍රෑම් ප්‍රමාණය ආසන්න වශයෙන් පහත ආකාරයෙන් සොයාගන්න පුළුවන්.
ඇල්කොහොල් සාන්ද්‍රණය (මිලි ලීටර 100කට මිලි ග්‍රෑම්) = පානය කළ ඇල්කොහොල් ප්‍රමාණය (මිලි ලීටර) * 115/ සිරුරේ බර (කිලෝග්‍රෑම්).
මේ පිරිමියෙක් හා අදාළව. ගැහැණියක් හා අදාළවනම් 115 වෙනුවට 126 යොදාගෙන ගණන හදාගන්න පුළුවන්.
දැන් ඔය විදිහට ගණන හදාගත්තට පස්සේ 80 කිට්ටුවට ඇවිත්නම් ඒ කියන්නේ බීමත්ව රිය පැදවීමේ වරදට අහුවෙන්න ඉඩ තිබෙනවා කියන එකයි. ඒ වෙලාවට, සුක්කානමට අත තැබිය යුත්තේ රුධිරයේ ඇල්කොහොල් මට්ටම අඩුවෙන්න කාලයක් දීමෙන් පසුවයි. ඒ සඳහා කොයි තරම් වෙලාවක් යනවද?
ගැහැණු පිරිමි හෝ මහත කෙට්ටු වෙනසක් නැතුව රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය අඩුවෙන නිශ්චිත වේගයක් තියෙනවා. කෑම කෑවට, දෙහි බිව්වට, තේ කෝපි බිව්වට, නෑවට, ව්‍යායාම කළාට ඒ වේගය වෙනස් කරගන්න බැහැ. රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 15 කින් අඩු වෙන්න පැයක් පමණ යනවා. බීපු අරක්කු ප්‍රමාණයේ හා සිරුරේ බර අනුව (කිලෝ 60ක පිරිමියෙකුට) සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 119ක් පමණ දක්වා නැගලනම් සාන්ද්‍රණය 80 මට්ටමට බස්සගන්න පැය 3කට කිට්ටුව යනවා. නමුත්, ඒ ප්‍රමාණයම බීපු කිලෝ 76ක පිරිමියෙකුට පැයෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
මෙහෙම කිවුවට මේ ගාණ හදාගන්න එකත් ටිකත් බොන්න ඕනෑ ප්‍රශ්නයක් වගේ තේරෙනවා ඇති නේද? එහෙම තේරෙනවනම් ඒත් හොඳම වැඩේ සුක්කානමට අත නොතියා ඉන්න එක. නැත්නම් ලාල්කාන්ත සහෝදරයාට වුණා වගේ අකරතැබ්බ වෙන්න පුළුවන්.
(Image: https://www.chem.wisc.edu/deptfiles/genchem/demonstrations/Gen_Chem_Pages/04chemrxnpage/breathalyzer_test.htm)
Labels:
ජීව විද්‍යාව,
නීතිය,
මත්පැන්
Sunday, March 3, 2019
"මානුෂික සබඳතා" චුට්ටක් වැඩි වුනොත්...
මාස දෙකකට කලින් මා මත්පැන් ගැන කතා කරමින් ලියූ ලිපි කිහිපයක ජවිපෙ නායකයෙකු වන ලාල්කාන්ත ගැනද සඳහනක් කළා. එසේ කළේ, කතා කරන මාතෘකාවට ප්‍රවේශයක් ලෙස පමණයි. "ලාල්කාන්ත සහෝදරයා වගේ "උවමනාවක් නැතත්" යාලුවන්ගේ වදේට හරි "මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් විදිහට" හරි ගන්න අයත් ගොඩක් ඉන්නවනේ" කියා මා ඒ ලිපියේ ලිවුවා.
මා හිතන විදිහට ජවිපෙ හිතවතෙකු විය හැකි අපේ පාඨකයෙක් මෙයින් නිගමනය කර තිබුණේ මා ලාල්කාන්ත සමඟ අරෝවක් ඇති කර ගෙන ඇති බවකුයි. මට ඔහු සමග එවැනි කිසිදු පෞද්ගලික අරෝවක් තිබුණේ නැහැ. දැනටත් නැහැ.
ඔහු දමා තිබුණු ප්‍රතිචාරය පහත එලෙසම පළ කර තිබෙනවා.
"ඉකොනෝ ලාල්කාන්ත සහෝදරයා ගැන අරෝවක් ඇතිකරගත්තේ ලාල්කාන්තගේ පහත ප්‍රකාශය නිසා නේද?
'අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලුණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.
'
'තව කෙනෙක්ව පීඩාවට පත්වෙන්නේ නැත්නම් ඕනෑ දෙයක් අවුලක් නැහැ. කාල්මාක්ස් කියලා තියෙනවා මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා. අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද? අපි දෙන්නා බොන ගමන් පරණ කතා මතක් කරනවා කියලා හිතමු. කාටවත් මොකක්ද තියෙන ප්‍රශ්නය. හැබැයි මට පොඩි සීමාවක් තියෙනවා. මොකද දැන් කෝල් එකක් එන්න පුළුවන් හදිසි තත්ත්වයක් තියෙනවා, එන්න කියලා. අපට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ටිකක් නොබී ඉන්නවා නම් මම නොබී ඉන්නේ. ඒ කාලේ ඉඳන් ආර්ථික අමාරුකම් එක්ක පක්ෂයේ හැදුණ මත්පැන් නොබොන සංස්කෘතියක් තියෙනවා. තව කෙනෙක් අහන්න පුළුවන් නොකා නොබී ජීවත්වෙලා ඇති වැඬේ මොකක්ද කියලා. අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා, ඉස්කෝලේ 83 කණ්ඩායම වාර්ෂිකව සාදයක් එහෙම දානවා. එතකොට මම යනවා. උංගෙන් ඉතින් බේරෙන්න බෑ බීපං කියලා. ඉතින් චුට්ටක් බොනවා. ඒක මට බොන්න තියෙන වුවමනාවක් නෙවෙයි. ඒත් ඒක තමයි එතැන මම පවත්වන මානුෂීය සම්බන්ධයේ ස්වරූප'
ඉකොනෝට ඉහත මුල් ප්‍රකාශයෙන් රිදිලා තියෙන අන්දම මේ ටිකේම හැම පොස්ට් එකටම ලාල්කාන්ත ගැන මොකක් හරි කියන එකෙන් පේනවා.
ඉකොනෝ වගේ සමාජශීලි නැති, හැම දේම මුදලින් මනිනා අයට නම් මිනිස් සබදතා තේරෙන්නේ නැහැ. අපිට සමහර වෙලාවට අපි අකමැති දේවලුත් කරන්න වෙනවා මේ අවකාශය තුලදී. ඉකොනෝට ඕක තේරෙන්නේ නැහැ. මොකද ඔබට එහෙම ජිවිතයක් නැහැ. ඔබ කිසි ජිවිතයක් නැති මනුස්සයෙක්. මම මේක කලිනුත් මේ බ්ලොග් එකේ කොතැනක හරි කිව්වා."
මේ වන විට බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ලාල්කාන්තව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ සම්බන්ධව විමසීමේදී ජවිපෙ සාමාජිකයින්ට මත්පැන් පානය කිරීමේ තහනමක් නැති බවත්, එසේ වුවත් පක්ෂ නායකයින් මත්පැන් නොබීමේ සම්ප්‍රදායක් ඇති බවත්, ලාල්කාන්ත මත්පැන් බී ඇති බවක් මීට පෙර වාර්තා වී නැති බවත්, එවැන්නක් සිදුව ඇත්නම් ඔහුට අවවාද කිරීමට බලාපොරොත්තු වන බවත් ටිල්වින් සිල්වා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
ජවිපෙ සාමාජිකයින්ට මත්පැන් තහනම් කළ යුතුද, සම්ප්‍රදායක් ලෙස ජවිපෙ නායකයින් මත්පැන් පානයෙන් වැලකී සිටිය යුතුද, එසේ මත්පැන් පානය කරන ජවිපෙ නායකයින් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතුද වැනි කරුණු ජවිපෙ සාමාජිකයින් විසින් තීරණය කළ යුතු එම පක්ෂයේ අභ්‍යන්තර තීරණ. මත්පැන් සම්බන්ධව දැඩි හෝ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම එම පක්ෂයේ අයිතියක්.
කොහොම වුනත්, ලාල්කාන්ත මත්පැන් බී ඇති බවක් මීට පෙර වාර්තා වී නැතැයි ටිල්වින් සිල්වා කරන ප්‍රකාශයනම් නිවැරදි වෙන්න බැහැ. දෙමසකට පමණ පෙර ඇනෝ කෙනෙක් විසින් උපුටා දක්වා තිබෙන ඉහත පුවත්පත් සාකච්ඡාවේදී තමන් මත්පැන් පානයෙන් වැලකී සිටින සම්ප්‍රදායක නැති බව ලාල්කාන්ත විසින් සෘජුවම ප්‍රකාශ කර තිබෙනවා. ලාල්කාන්තට අනුව පක්ෂයේ මත්පැන් නොබොන සංස්කෘතියේ පදනම බොහෝ සාමාජිකයින්ට ආර්ථික අමාරුකම් තිබීමයි. ඔහු එයින් අදහස් කරන්නේ ආර්ථික අමාරුකම් නොවේනම් මත්පැන් බීමේ වෙනත් සදාචාරත්මක වරදක් නැති බව විය යුතුයි. තමන් හිඟන්නෙක් නොවන බව වැනි දෙයකුත් ඔහු වෙනත් තැනක කියා තිබුණා.
බොහෝ සමාජවාදීන් හා සමාජවාදී පක්ෂ මත්පැන් සම්බන්ධව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් ජවිපෙ යනු ආරම්භයේ සිටම කිසියම් මත්පැන් විරෝධයක් තිබුණු පක්ෂයක්. ලංකාවේ මත්පැන් විරෝධයට ආගමික හා සංස්කෘතික පසුබිමක් තිබෙනවා. ලංකාවේ සම්ප්‍රදායික මාක්ස්වාදී පක්ෂ මත්පැන් සම්බන්ධව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඔවුන් විසින් පසුගාමී සේ සැලකූ ලංකාවේ ආගමික හා සංස්කෘතික පුරුදු වල කොටසක් ලෙස මත්පැන් විරෝධය දුටු නිසා වෙන්න පුළුවන්. සිංහල බෞද්ධ ග්‍රාමීය පසුබිමක් තුළ ව්‍යාප්ත වූ ජවිපෙට මේ කරුණේදී පැරණි වාමාංශික පක්ෂ වලින් වෙනස් වීමේ අවශ්‍යතාවයක් ඇති වීම තේරුම් ගත හැකියි.
ජවිපෙ විසින් සමාජවාදයට දේශප්‍රේමය එකතු කළ 1988/89 කාලය ඔවුන්ගේ මත්පැන් විරෝධය කැපී පෙනුණු කාලයක්. ඒ කාලයේ ගම් වල සිටි නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදකයින් හා බෙදාහරින්නන් බොහෝ දෙනෙකුට ජවිපෙ/දේජව්‍යා තර්ජන හමුවේ සිය ව්‍යාපාර නවත්වා දමන්න සිදුවුණා. මේ අතින් රජයේ පොලීසි වලට අත් කරගත නොහැකි වූ ප්‍රගතියක් ඔවුන් විසින් අත්පත් කරගත්තා.
පොලීසියට අහු වූ විට අල්ලස් දී බේරී හෝ උසාවියේදී සුළු දඩයක් ගෙවා ආපසු පැමිණීමෙන් පසුව නැවත පුරුදු රස්සාව කරගෙන යන්න බාධාවක් නොතිබුණත් සහෝදරවරුන්ගෙන් ඒ විදිහට බේරෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දිගින් දිගටම මත්පැන් විකිණීමේ වන්දිය මරණය විය හැකිව තිබුණා. මෙවැනි තැනකින් මත්පැන් පානය කරන්න යාම පවා දැඩි දඬුවම් ලැබිය හැකි කටයුත්තක් වුණා. ඇතැම් ගම් වලදී නිතිපතා මත්පැන් පානය කරන අය නැවත එසේ කර අසුවුවහොත් කට කපන බවට සහෝදරවරුන් විසින් තර්ජනය කර තිබුණා. පාර අයිනට වී කසිප්පු බූලියක් හිස මත තබාගෙන හා මත්පැන් විකිණීමෙන් තමන් වරදක් කළ බවත්, නැවත එම වරද නොකරන බවත් සඳහන් බෝඩ් එකක් බෙල්ලේ එල්ලාගෙන සිටි අය ඒ දවස්වල දකින්න ලැබුණා. මේ විදිහට ගම් වල සුළු හොරකම් කළ අය හා කසිප්පු පෙරීම හා විකිණීම කළ අය එම කටයුතු වලින් වැළැක්වීම දෙවන කැරැල්ලේ මුල් කාලයේදී ජවිපෙට කිසියම් ජනප්‍රසාදයක් ලබාගැනීමට ඉවහල් වුනා.
මේ වන විට ජවිපෙ විසින් මත්පැන් පානය මානුෂික සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් කියා හිතන තැන දක්වා විපරිණාමය වී තිබෙනවා. උඩ සඳහන් කළ ඇනෝ වගේ අය හිතනවා ඇත්තේ මත්පැන් නොබොන කෙනෙක් කියන්නේ සමාජශීලී නොවන, මිනිස් සබඳතා නොතේරෙන, ජීවිතයක් නැති මනුස්සයෙක් කියලයි.
මා මත්පැනින් වැලකී සිටින කෙනෙක් නෙමෙයි. නමුත්, මත්පැන් බීම හා සමාජශීලී වීම කියන්නේ හැමවිටම එකටම යා යුතු කරුණු දෙකක් කියා මම විශ්වාස කරන්නේ නැහැ. සමාජශීලී නැති බේබද්දන් වගේම මත්පැන් නොබොන ඉතා සමාජශීලී අයත් ඉන්නවා.
පසුගිය කාලය තුළ දැකිය හැකි වූ ජවිපෙ මත්පැන් ප්‍රතිපත්තියේ විකාශනය ජවිපෙ විකාශනයේම පිළිබිඹුවක්. මේ වන විට ජවිපෙ කියන්නේ අර්ධ නාගරික පක්ෂයක්. එම පක්ෂයට මුලින් ආකර්ශනය වූ සිංහල, බෞද්ධ, ග්‍රාමීය මධ්‍යම කොටස් වල ජීවන තත්ත්වය පසුගිය දශක තුනක පමණ කාලය තුළ විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. ඒ එක්කම මේ කණ්ඩායමේ ආකල්ප වලත් විශාල වෙනසක් ඇති වී තිබෙනවා. ජවිපෙ තුළින් පිළිබිබු වන්නේ එම වෙනසයි.
අදාළ රිය අනතුර සිදු වූ වෙලාවේ ලාල්කාන්ත මත්පැන් පානය කර සිටියාද, එය අදාළ රිය අනතුරට හේතු වූවාද වැනි කරුණු අධිකරණය විසින් තීරණය කළ යුතු දේවල්. ඒ හා අදාළව නිගමන වලට එළැඹෙන්න මා හදිස්සි වන්නේ නැහැ. කොහොම වුනත්, මත්පැන් පානය කර රිය එළැවීම තවමත් දුලබ දෙයක් නෙමෙයි.
මත්පැන් පානය කර වාහන එළවා අසු වූ විට නියම කළ හැකි දඩ මුදල වසර එකහමාරකට පමණ පෙර රුපියල් 2,000ක සිට රුපියල් 25,000 දක්වා විශාල ලෙස වැඩි කළා. මෙයින් අපේක්ෂා කළේ බීමත් රියදුරන් අතින් සිදුවන අනතුරු අවම කර ගැනීමයි. රථවාහන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් ඉහළ යාමට සාපේක්ෂව රථවාහන අනතුරු පහළ යන බව සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන කරුණක්.
වැඩිහිටි පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් තනිව හෝ කණ්ඩායමක් සමඟ මත්පැන් පානය කිරීම ඔවුන්ගේ පෞද්ගලික නිදහසේ කොටසක්.
"අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද?"
තෙවන පාර්ශ්වයන්ට හානියක් නොකරමින් කණ්ඩායමක් එක්ව මත්පැන් පානය කිරීමේ සමාජයීය ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා, එසේ කරන අයෙකුගේ කට කපා දඬුවම් නොකර ඒ පෞද්ගලික නිදහසට ඉඩ දීම මානුෂිකයි. නමුත්, තෙවන පාර්ශ්වයකට හානියක් වූ වහාම තත්ත්වය වෙනස් වෙනවා. අයෙකුගේ මත්පැන් පානය තවත් අයෙකුගේ ජීවත්වීමේ නිදහසට බාධා කළ යුතු නැහැ. අයෙකුගේ මත්පැන් පානයේ මිල වෙනත් අයෙකු විසින් ගෙවිය යුතුද නැහැ.
බීමත් රියදුරන් විසින් සිදුකරන රිය අනතුරු කියන්නේ මත්පැන් පානය හේතුවෙන් තෙවන පාර්ශයන්ට හානි සිදු කරන එක් ආකාරයක් පමණයි. මත්පැන් පානයෙන් පසු ගැටුම් වලට පැටලීම, සද්ද බද්ද වැඩිවීම ආදී වෙනත් බොහෝ ආකාර වලින් තෙවන පාර්ශ්වයන්ට හානි සිදුවිය හැකියි. මත්පැන් පානය හේතුවෙන් සිදුවන රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට පොදු අරමුදල් වැය වීම මේ ගොඩට දැමීමනම් තරමක් ප්‍රශ්නකාරීයි. මත්පැන් හා දුම් පානය කරන්නන් විසින් බදු සේ ගෙවන මුදල ලංකාවේ රජයේ සෞඛ්‍ය වියදම් මුළුමනින්ම වාගේ ආවරණය කිරීම එයට හේතුවයි.
මත්පැන් පානය කරන්නන් බොහෝ විට වැඩේ පටන් ගන්නේ මානුෂීය සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් ලෙස මිස තෙවන පාර්ශ්වයන්ට හානි කිරීමේ අරමුණක් ඇතිව නෙමෙයි. නමුත්, සමහර වෙලාවට දන්නෙම නැතුව මානුෂික සම්බන්ධතාව ටිකක් වැඩි වෙනවා. තමන්ගේ රිය පැදවීමේ හැකියාව මත්පැන් නිසා දුර්වල වී තිබෙන බව ඒ වෙලාවට හිතෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලය අසරණ ජීවිතයක් වෙන්න පුළුවන්. සිහිකල්පනාව යථා තත්ත්වයට පැමිණෙන විට ආපසු හැරවිය නොහැකි සේ වැරැද්ද සිදුවී අවසන්.
ජවිපෙ මුල් වී සිදු කළ රාජ්‍ය විරෝධී කැරළි දෙකකදී විශාල ජීවිත හා දේපොළ විනාශයක් සිදුවුනා. රටේ ආර්ථිකය වසර ගණනාවකින් ආපස්සට ගියා. එයට හේතු වුනේ මාක්ස්වාදයෙන් මත්වීම තුළ සිදු වූ දේශපාලන අධිනිශ්චයයි. ඒ හානි දැන් ආපසු හරවන්න බැහැ. බීමත් අයෙකුට තමන් ඉන්නේ හොඳ සිහි කල්පනාවෙන් නොවන බව තේරෙන්නේ නැහැ. ආගමික, දේශපාලනික හෝ වෙනත් මතවාදයකින් මත් වූ විටත් එය එසේමයි. වෙළඳපොළ යාන්ත්‍රණයට ඉඩ අහුරමින්, රාජ්‍ය යාන්ත්‍රනය විශාල කරමින්, ආදායම ඉක්මවා වියදම් කරමින් සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යාම නිසා සිදුවන හානිත් ආපසු හරවන්න අමාරුයි.
(Image: https://www.whiskytempel.de/shop/glenallachie-9y-karl-marx-200th-anniversary-ruby-port-cask-finish-limited-to-200-960.html)
Thursday, February 28, 2019
කොටි නැගිටිනු දුටු ගංජා කාරයා
පහුගිය දවස් වල මත්ද්‍රව්‍ය හා අදාළ පුවත් ගණනාවක් ලංකාවේ ජනමාධ්‍ය වල පළ වුනා. ඩුබායි හෝටලයේ උපන් දින සාදයේ විස්තර ඉවර වෙන්නත් කලින් ලංකාවෙන් විශාල මත්ද්‍රව්‍ය තොග අහු වූ බව වාර්තා වුනා.
ගංජා කියන්නෙත් ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍යයක්. ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත වල මේ වන විට ගංජා භාවිතය නීති විරෝධී සේ නොසැලකෙන නමුත් ටෙක්සාස් වගේ ගොඩක් ප්‍රාන්ත වල තවමත් ගංජා කියන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍යයක්.
සති දෙක තුනකට කලින් ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් කිට්ටුව පොලීසියකට "වගකිවයුතු පුරවැසියෙකුගෙන්" දුරකථන ඇමතුමක් ලැබී ලැබෙනවා.
"හලෝ, ඔය පොලීසියද?"
"ඔව්, පොලීසිය තමයි. මොකක්ද ප්‍රශ්නේ?"
"පොඩි ඔත්තුවක් දෙන්නයි කතා කළේ..."
"ඔව්, කියන්න."
"මේ හරියේ ගෙදරක කොටියෙක් ඉන්නවා..."
"කොටියෙක්...?"
"ඔව්, කොටියෙක් තමයි!"
කවුරු හරි කෝල් කරලා ගෙදරක කොටියෙක් නැත්නම්, මිනී මෝරෙක් ඉන්නවා කිවුවට පොලීසිය එක පාරටම කලබල වෙන්නේ නැහැනේ. බොරුවක් වෙන්න බැරිද? නැත්නම් මේ කෝල් කරන්නේ මොකක් හරි මානසික ආබාධයක් තියෙන කෙනෙක් වෙන්න බැරිද?
"තව ටිකක් විස්තර කියන්න පුළුවන්ද? කොහොමද කොටියව දැක්කේ?"
පොලීසිය වැඩිපුර විස්තර අහල බලද්දී කෝල් එක දීල තියෙන්නේ ගංජා භාවිතයට ඇබ්බැහි වී සිටින කෙනෙක්. මේ පුද්ගලයා ඔය කොටියා හිටපු ගෙදරට රිංගලා තියෙන්නේ නිවාඩු පාඩුවේ සූස්තියක් අදින්නයි. ගෙදර කවුරුවත් නැති නිසා වැඩේට හොඳ තැනක් කියලා හිතල තියෙනවා. නමුත්, ගේ ඇතුළට රිංගුවට පස්සේ....
"අම්මටසිරි! කොටියෙක් නේද...?"
දැන් මේ ඔත්තුව ලබාගත් පොලිස් නිලධාරියාට ඔය කතාව විශ්වාස කරන්න පුළුවන්ද? මේ කියන්නේ ගංජා මත වැඩිකමට දැකපු දෘෂ්ඨි මායාවක් ගැන වෙන්න බැරිද?
වැඩිදුර විස්තර ඇහුවට පස්සේ පොලිස් නිලධාරියාට තේරෙනවා මේ කතාව බොරුවක්ම වෙන්න බැරි බව. ඒ නිසා කියපු ගෙදරට ගිහින් බැළුවහම මෙන්න බඩු!
ගෙදර ළඟට ගිහින් බලද්දී කොටියගේ සද්දේ පොලිස් නිලධාරීන්ට ඇහෙනවා. කොටි ගඳත් එනවා. ඒත් උසාවි අවසරයක් නැතුව ගේ ඇතුළට යන්න බැරි නිසා ඒ අවශ්‍ය කටයුතු කරගෙන නැවත ආපහු ඇවිත් බලන කොටත් ගරාජ් එක ඇතුලෙ කූඩුවක කොටිය ඉන්නවා.
කොටියට කෑමෙන් බීමෙන්නම් අඩුපාඩුවක් කරලා නැහැ. නමුත් ව්‍යායාම මදිකම නිසා ටිකක් වැඩිපුර මහත් වෙලා. අන්තිමට කොටියට සත්ව නිවහනකට යන්න අවස්ථාව ලැබෙනවා. කොටියා පැත්තක ඉඳිද්දී ගංජා ළඟ තබා ගැනීම හෝ අනවසරයෙන් අනුන්ගේ ගෙදරකට රිංගීම මත ඔත්තුව දුන්න මනුස්සයාව අත් අඩංගුවට අරගෙනනම් නැහැ.
කොටියෙක් දැක්කා කියල කවුරු හරි කිවුවොත්, කිවුවේ ගංජා ගහපු කෙනෙක් වුනත් ටිකක් හොයල බලන එක නරකම නැහැ. නැත්නම් හිර කරලා ඉන්න අහිංසක කොටියෙක්ට නිදහස් වෙන්න තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්.
(Image: https://personalusenyc.wordpress.com/2012/10/02/strain-of-the-day-white-widow/)
Labels:
ඇමරිකාව,
ගංජා,
නීතිය,
මත්ද්‍රව්‍ය,
සත්ත්ව ලෝකය
Thursday, February 21, 2019
ඔබේ සුසුමේ සුව දැණුනේ...
පරිණාමයේ එක අවදියකදී මිනිස් ගැහැණියකගේ කුසේ දරුවෙකු පිලිසිඳ ගත හැකි හා නොහැකි අවස්ථා පිළිබඳව ඈ දෙස පිටින් බලා නිගමනය කිරීමේ හැකියාව නැතිව ගොස් තිබීම ගැනත්, ඒ හේතුව මිනිස් ගැහැණියක් හා මිනිස් පිරිමියෙක් දිගුකාලීනව එකතු කර තබන්නට හේතු වී තිබීම ගැනත් පෙර ලිපියක කතා කළා. මේ පුරුද්ද නිසා මිනිස් දරුවෙකුට වෙනත් සතුන්ට සාපේක්ෂව වැඩි කලක් දෙමවුපියන්ගේ රැකවරණය ලැබීමත්, උඩ පරම්පරාවකින් පහළ පරම්පරාවට ජාන වලට අමතරව "දැනුම" කියා දෙයක් සම්ප්‍රේෂණය වීමත් සිදුවෙන්න පටන් ගත්තා.
ඒ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන දැනුම් සම්භාරය ක්‍රමයෙන් විශාල වෙද්දී, මිනිස් දරුවෙකුට පිරිපුන් මිනිසෙකු වෙන එක වඩා වැඩි කාලයක් ගත වන කටයුත්තක් බවට පත් වුනා. මිනිස් දරුවන්ට දෙමවුපියන්ගේ රැකවරණය වැඩි වැඩියෙන් අවශ්‍ය වුණා. දරුවෙකුට මේ රැකවරණය වැඩිපුරම ලැබුණේ මවගෙනුයි. දරුවෙකුගේ මව කවුද කියන එක සැක සහිත දෙයක් නොවන නිසා එය එසේ වීම පුදුමයක් නෙමෙයි.
වැඩි වැඩියෙන් දරුවන් වදන හා හදන මිනිස් ගැහැණියකට තමන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා අවශ්‍ය සම්පත් සොයා යන්න ප්‍රමාණවත් කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට විසඳුම වන්නේ අවශ්‍ය සම්පත් වැඩියෙන් සම්පාදනය කළ හැකි මිනිස් පිරිමියෙක්ව තෝරා ගැනීමයි. ඒ නිසා වැඩි සම්පත් ප්‍රමාණයක් සැපයිය හැකි මිනිස් පිරිමින්ට මිනිස් ගැහැණුන්ගේ ඉල්ලුම වැඩි වුනා. මුල් කාලයේදී එවැනි පිරිමින් වුනේ වඩා ශක්ති සම්පන්න හා ශරීර ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල පිරිමින්. එවැනි පිරිමියෙකුට ගැහැණුන් සොයා ගැනීම අපහසු වුනේ නැහැ.
මිනිස් ගණනයක වැඩි ගැහැණුන් පිරිසකගේ ආකර්ශනය ලැබුවේ ගහණයේ සිටි හැඩිදැඩි පිරිමින්. ඔවුන් ගහණයේ වඩා ආකර්ශනීය මිනිස් ගැහැණු ටික මුලින්ම තෝරා ගත්තා. ඉන්පසුව ඉතිරි වූ ගැහැණුන්ට ආකර්ශනය කර ගත හැකිව තිබුණේ සම්පත් සැපයීමක් ලොකුවටම කළ නොහැකි වූ සෝමාරි පිරිමින්.
කෙසේ වුවත්, එවැනි ගැහැණුන්ට දෙවන විකල්පයකුත් තිබුණා. ඒ හැඩිදැඩි පිරිමියෙක්ගේ දෙවන බිරිඳ වීම. එහිදී සම්පත් බෙදී යාමක් සිදුවුණත් ඇතැම් විට හැඩිදැඩි පිරිමියෙකුගේ සම්පත් වලින් අඩක් සෝමාරි පිරිමියෙකු විසින් සපයන මුළු සම්පත් ප්‍රමාණයට වඩා වැඩි වූ නිසා මේ පුරුද්දේ පරිණාමික වාසියක් තිබුණා.
ඉහත හේතුව නිසා, මිනිස් ඉතිහාසයේ බොහෝ කාලයක් පුරාවටම ගණනයේ ශක්තිමත්ම මිනිසුන්ට සහකාරියන් එක් අයෙකුට වඩා සිටිද්දී, දුර්වලම මිනිස් පිරිමින්ට සහකාරියක නොලැබී යාම නිසා ඔවුන්ගේ ජාන ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වුනේ නැහැ.
මිනිස් පිරිමියෙක් ශරීර ප්‍රමාණය අනුව මිනිස් ගැහැණියකට වඩා 15%කින් පමණ විශාලයි. එයින් පෙනෙන්නේ කාලයක් තිස්සේ දිගින් දිගටම ශරීර ප්‍රමාණයෙන් විශාල පිරිමින්ට තමන්ගේ ජාන ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න වැඩි ඉඩක් ලැබී තිබෙන බවයි.
කාලයත් එක්ක මිනිසුන් වැඩි වැඩියෙන් දැනුමෙන් සන්නද්ධ වෙද්දී ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ ගිහින් මිනිසුන්ගේ අතිරික්ත ශ්‍රමය ප්‍රාග්ධනය බවට පරිවර්තනය වෙද්දී, ජාන හා දැනුමට අමතරව ප්‍රාග්ධනයත් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශනය වෙන්න පටන් ගත්තා. පසුකාලීනව ගැහැණියකට වැඩියෙන් සම්පත් සැපයිය හැකි පිරිමියෙක් වුනේ වැඩි ප්‍රාග්ධනයකට හිමිකම් කී පිරිමියෙක්. ඒ එක්කම හැඩි දැඩි පිරිමින් සතු වූ ගැහැණුන්ගේ කැමැත්ත ප්‍රාග්ධනය හිමි පිරිමි වෙත විතැන් වෙන්න පටන් ගත්තා. කෙසේ වුවත්, මෙවැනි වෙනසක් එක වර වෙන්නේ නැහැ. ඒ නිසා, හැඩි දැඩි පිරිමින්ට මිනිස් ගැහැණුන්ගේ වන ආකර්ශනය තවමත් මුළුමනින්ම ක්ෂය වී නැහැ.
ශරීර ප්‍රමාණය, ප්‍රාග්ධනය හෝ බලය තිබෙන පිරිමින් විසින් සහකාරියන් එක් අයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් අයිති කර ගැනීමත් ඒ දේවල් නොතිබුණු පිරිමින්ට සහකාරියක නොලැබී යාමත් බොහෝ සමාජ වල කාලයක් තිස්සේ සිදු වූ දෙයක්. මේ පුරුද්ද ක්ෂය වී ගිහින් එක් ගැහැණියක හා එක් පිරිමියෙකු අතර විවාහය සම්මතය බවට පත් වීම සිදු වුනේ බටහිර සංස්කෘතිය පැතිරීමට සමාන්තරවයි. මැද පෙරදිග කලාපයේ මුස්ලිම් රටවල හා බොහෝ අප්‍රිකානු රටවල අදටත් එක් පිරිමියෙක් හා ගැහැණු කිහිප දෙනෙක් අතර සිදුවන බහු විවාහ සාමාන්‍ය දෙයක්.
අද අප බටහිර සංස්කෘතිය සේ හඳුනා ගන්නා සංස්කෘතියේ මූලිකාංග බොහොමයක්ම පැරණි ග්‍රීසිය ආශ්‍රිතව බිහිවූ දේවල්. හෙලනික සංස්කෘතිය ලෝකයේ ප්‍රධාන සංස්කෘතිය බවට පත් වීම පිටුපස මහා ඇලෙක්සැන්ඩර් විසින් කර තිබෙන කාර්ය භාරය ඉතා විශාලයි.
අධිරාජ්‍යයන් බිහි කර ව්‍යාප්ත කළ වෙනත් බොහෝ පුද්ගලයින් වගේම මහා ඇලෙක්සැන්ඩර් වීරත්වයට පත් වන්නේත් "මහා" වෙන්නේත් යුද්ධයෙහි දැක්වූ සාමාර්ථය මතයි. පැරණි ග්‍රීසියේ සිට උතුරු අප්‍රිකාව, මැද පෙරදිග හා බටහිර ඉන්දියාව දක්වා විශාල ප්‍රදේශයක් ආවරණය වන අධිරාජ්‍යයක් මහා ඇලෙක්සැන්ඩර් විසින් ගොඩ නගනවා. ඇලෙක්සැන්ඩර්ගේ අකල් මරණයෙන් පසුව ඔහු විසින් ගොඩ නැගූ අධිරාජ්‍යය කෑලි වලට කැඩී ගියත් හෙලනික සංස්කෘතියේ බලපෑම ඒ ප්‍රදේශ වල තව දුරටත් ඉතිරි වෙනවා.
යුරෝපීයයන්ට යටත් වෙන්න කලින් ලංකාවේ බහුභාර්යා විවාහ වගේම බහුපුරුෂ විවාහත් අසම්මත දේවල් සේ සැලකී නැහැ. ලෝකයේ වෙනත් බොහෝ රටවල වගේම ලංකාවේත් ඒකවිවාහ ප්‍රචලිත වන්නේ ක්‍රිස්තියානි බලපෑම් එක්කයි. එහෙත්, ඒකවිවාහ කියන්නේ මුල සිටම ක්‍රිස්තියානියේ වූ අංගයක් නෙවෙයි. මෙය ක්‍රිස්තියානි සංස්කෘතියේ කොටසක් බවට පත් වෙන්නේ ක්‍රිස්තියානිය මැද පෙරදිග කලාපයේ සිට යුරෝපයට පැතිරෙද්දීයි. ඒකවිවාහ කියන්නේ ක්‍රිස්තියානිය පැතිරෙන්න පෙර හෙලනික සංස්කෘතිය තුළ ප්‍රචලිත වූ සමාජ සම්මතයක්.
කිසියම් සංස්කෘතියක් තිබෙන ප්‍රදේශයක් වෙනස් සංස්කෘතියක් තිබෙන කණ්ඩායමකගේ පාලනයට නතු වූ පමණින් දෙවන කණ්ඩායමේ සංස්කෘතිය මුල් සංස්කෘතිය වෙනුවට ආදේශ වන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක සැපයුම් සාධක වලට අමතරව ඉල්ලුම් සාධකත් බලපාන බව අමතක නොකළ යුතුයි. බොහෝ විට එවැනි ආදේශනයක් සිදුවන්නේ ආගන්තුක සංස්කෘතිකාංගයකට කිසියම් පරිණාමික වාසියක් ඇති විටයි.
ඒකවිවාහ කියන්නේ හෙලනික සංස්කෘතිය තුළ ඇති වූ විකෘතියක්. පරිණාමික අර්ථයෙන් විකෘතියක් කියන්නේ නරක දෙයක් කියන එක නෙමෙයි. සාමාන්‍ය සම්මතයට වඩා වෙනස් දෙයක් කියන එකයි. එය හොඳ හෝ නරක වෙනසක් වෙන්න පුළුවන්. මේ හොඳ හෝ නරක තීරණය කරන්නේ කාලය විසින්.
බොහෝ විකෘතීන් පරිණාමික වාසියක් නැති විකෘති. මේ කරුණ ජානමය විකෘති වලට වගේම සමාජයීය විකෘති වලටත් අදාලයි. එවැනි විකෘති වලට පැවැත්මක් නැහැ. එහෙත් ඇතැම් විකෘති පවතින තත්ත්වයට සාපේක්ෂව වඩා වාසිදායකයි.
මේ වාසිදායකකම තීරණය වන්නේත් බාහිර සාධක මතයි. උදාහරණයක් ලෙස උෂ්ණත්වය අඩුවෙන් දැනීමේ ජානමය විකෘතියක් ගැන හිතමු. කාන්තාර දේශගුණයකදී මෙය වාසියක් වුවත් ධ්‍රැවාසන්න ප්‍රදේශයකදීනම් අවාසිදායක කරුණක්. සංස්කෘතික හෝ සමාජයීය විකෘති වලටත් මේ කරුණ අදාළයි.
සමාජ සම්මතය ඒක විවාහ වූ සමාජයක් ස්වභාවිකත්වයෙන් දුරස්ථ වුවත් වඩා "සාධාරණ" සමාජයක්. එවැනි සමාජයක සමාජ ස්ථරයේ පහළින්ම ඉන්න පිරිමියෙක්ට වුවත් සහකාරියක සොයා ගැනීමට සැලකිය යුතු ඉඩකඩක් තිබෙනවා. සමාජයක බහුභාර්යා සේවනය වැඩි වැඩියෙන් ප්‍රචලිත වෙද්දී පහළ තට්ටුවේ පිරිමින්ට ගැහැණු හොයා ගැනීම වඩ වඩා අසීරු වෙනවා.
කලින් කී පරිදි ප්‍රාග්ධනය හා බලය වැඩිපුර තිබෙන පිරිමියෙකුට වැඩි සහකාරියන් පිරිසක් සමඟ පවුල් කන්න පුළුවන්. එවැනි අය වැඩි වන තරමට පහළ තට්ටුවට ඉතිරි වන ගැහැණු ප්‍රමාණය අඩු වෙනවා. සමාජයක් ලෙස වඩා සෞභාග්‍යමත් වෙද්දී ස්වභාවිකවම සම්පත් බෙදී යාමේ විෂමතාවයනුත් වැඩි වෙනවා. ඉහළ තට්ටුව සතු ප්‍රාග්ධනය හා බලය වැඩි වෙද්දී ඔවුන් විසින් ගැහැණුන්ගෙන් වැඩි කොටසක්ද අයිති කර ගන්නවා. පහල තට්ටුවේ පිරිමින්ට තනිකඩයින් වෙන්න වෙනවා.
පිරිමියෙකුට ගැහැණියක් හොයා ගැනීම අමාරු වන විට ඔවුන් එය වඩා පහසුවෙන් කළ හැකි ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න පෙළඹෙනවා. ඒ කියන්නේ ආදායම් විෂමතා වැඩි තැනක ජීවත් වන අඩු ආදායම්ලාභී පිරිමි ගැහැණුන් සොයා ආදායම් විෂමතා අඩු ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා. එසේ වෙද්දී, එවැනි සමාජයකට යුද්ධයකට අවශ්‍ය සොල්දාදුවන් සොයා ගැනීම වඩ වඩා අසීරු වෙනවා. පිරිමි වැඩි සමාජයකට යුධමය වාසියක් ලැබෙනවා.
දැන් මේ සිදුවීම් වල චක්‍රීය බලපෑම පැහැදිලි විය යුතුයි. යුදමය ශක්තිය වැඩි රටක් වඩා පොහොසත් වෙද්දී ඒ රටේ ආදායම් විෂමතාවය වැඩි වෙනවා. ගැහැණු බෙදී යාමේ විෂමතාවයත් වැඩි වෙනවා. එවිට ඒ රටේ පිරිමි රටින් පිටතට සංක්‍රමනය වෙනවා. එසේ යන්නේ ආදායම් විෂමතා අඩු සාපේක්ෂව දුප්පත් රටකටයි. එවිට ඒ දුප්පත් රටේ පිරිමි ප්‍රමාණය වැඩි වී යුදමය ශක්තිය වැඩි වෙනවා. ඒ රට පෝසත් වෙනවා. නැවත ඒ රටටත් පළමු රටට සිදු වූ දෙයම වෙනවා. මේ ක්‍රියාවලිය අධිරාජ්‍යය බිහිවීමේ ක්‍රියාවලියට යම් පමණකින් තිරිංග හෙළනවා.
හෙලනික සංස්කෘතිය ඇතුලෙ සිදු වූ ඒකවිවාහ සම්මතය නම් වූ "විකෘතිය" නිසා ඉහත චක්‍රය කැඩුණා. රටේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම හා ආදායම් විෂමතා ඉහළ යාම සිදු වෙද්දී ඒ හේතුව නිසාම සමාජයේ පහළ ස්ථර වලට වූ පිළිගැනීම නැති වී ගියේ නැහැ. දුප්පත් මිනිහෙක්ට වුනත් ගැහැණියක් හොයා ගන්න පුළුවන් වුනා. ඔහුටත් පොහොසතෙක්ට වගේම මිනිහෙක් ලෙස සමාජයේ පිළිගැනීමක් ලැබුණා. ආර්ථික සෞභාග්‍යයට හා සමාජ සාධාරණත්වයට එක්ව පවතින්න පුළුවන් වුනා. මෙය ඒ කාලයේ වෙනත් බොහෝ සමාජ වලට සාපේක්ෂව වෙනස් තත්ත්වයක්.
ඇලෙක්සැන්ඩර් විසින් තමන්ගේ අධිරාජ්‍යය ව්‍යාප්ත කරද්දී අලුතෙන් අල්ලා ගත් ප්‍රදේශ වල ජීවත් වූ මිනිස්සු හෙලනික සංස්කෘතියේ වූ සමාජ සාධාරණත්වයට ආකර්ශනය වුනා. ඒ සමාජ සාධාරණත්වය ගැහැණුන්, ළමුන් හෝ වහලුන් දක්වා ව්‍යාප්ත නොවූ සීමිත එකක් වුවත් අඩු ආදායම්ලාභී වැඩිහිටි පිරිමියෙකුට සමාජයේ කිසියම් පිළිගැනීමක් ලැබීම ඒ කාලයේ හැටියට ලොකු වෙනසක්. ඒ නිසා සහ තවත් හේතු නිසා, ඇලෙක්සැන්ඩර් අකාලයේ මිය ගියත් හෙලනික සංස්කෘතිය අකාලයේ මැරුණේ නැහැ.
(Image: https://gkdata.gr/marriage-in-ancient-greece/)
Labels:
ග්‍රීසිය,
පරිණාමය,
මහා ඇලෙක්සැන්ඩර්,
විවාහය,
සමාජ චර්යා,
සමානාත්මතාවය
Tuesday, February 19, 2019
කැලේ ගහක මල් පිපිලා...
කලින් ලිපියේ ලියූ කැලේ ගහක් වැටුනොත් සද්දයක් ඇහෙනවද කියන එක ගැන විස්තර කරන්න කියා පාඨකයෙක් ඉල්ලා හිටියා. ඒ කතාව ගැන වැඩි විස්තර මේ විකිපීඩියා පිටුවේ තියෙනවා. සමහර වෙලාවට ලොකුවට සද්දේ ආවත් ඇත්තටම ගහක් වැටිලා නැහැ. එහෙම වෙන්නේ කැලේ ගහක් (නො)වැටෙන වෙලාවට නෙමෙයි. මහ සෙනග මැද්දේ නගරයේ පාරක් අයිනේ තියෙන දැවැන්ත ගහක් (නො)වැටෙන වෙලාවටයි. සද්දේ හිමීට අඩු වෙලා ගියාට පස්සේ ගහ ඇත්තටම වැටෙනවා. ඒ වෙලාවට සද්දේ අහන්න කවුරුත් නැහැ. අර ඕෂල හේරත් හා දඹර අමිල හිමි දමපු මූලික අයිතිවාසිකම් නඩු වලට වෙන්නෙත් ඒ වගේ දෙයක්ද මන්දා.
කලින් ලිපියේ ලියූ ජනකතාවේ කාන්තාවට වල ඇතුළේදී නැවත සිහිය ආවට පස්සේ හොරු පෙට්ටිය ඇරපු නිසා නැවත එළියට එන්න පුළුවන් වුනා. අහම්බෙන් ඒ වගේ දෙයක් නොවුනානම් ඇය පසු දවසක කිසිවෙකු නොදැන වල ඇතුලේ ඇත්තටම මැරෙනවා. එහෙම මැරුණු අයත් ඇති. කවුද දන්නේ?
මිනිහෙක්ව මැරෙනවා කියන එක අපිට එක පාරට පේනවා වගේ නිශ්චිත භෞතික සිදුවීමක් නෙමෙයි. ඇත්තටම කියනවානම් මරණය කියන්නේ සමාජ සම්මතයක්. හැම වෙලාවෙම වගේ මිනිහෙක්ව මරා දමන්නේ "ජීවත් වන" අනෙක් මිනිස්සු විසිනුයි. එය ආර්ථික සාධක, ආචාර ධාර්මික සම්මත, සංස්කෘතික කරුණු, දැනුමේ සීමා ආදිය මත තීරණය කෙරෙන දෙයක්. අනෙක් මිනිස්සුන්ට කෙනෙක්ව ජීවත්ව තබා ගැනීම අවශ්‍ය නොවූ විට ඔහුව හෝ ඇයව මැරුණු කෙනෙක් විදිහට නම් කෙරෙනවා.
සමරිසි සේවනය ගැන ලියද්දී කියූ විදිහට මානසික හා ශාරීරික රෝග කියන්නේ සමාජ සම්මත. මේ දේවල් අර්ථ දක්වන්නේ ප්‍රකෘති මිනිස් ස්වභාවයට සාපේක්ෂව. නමුත් මේ ප්‍රකෘති මිනිස් ස්වභාවය කියන එක නිශ්චිත දෙයක් නෙමෙයි.
එක දෙයක් පැහැදිලියි. ප්‍රකෘති මිනිසෙක් ජීවත් වන මිනිසෙක් මිසක් මියගිය අයෙක් වෙන්න බැහැ. නමුත්, ප්‍රකෘති මිනිසා කියන සම්මතය වෙනස් වෙද්දී ජීවිතය හා මරණය අතර සීමාවත් වෙනස් වෙනවා. ඒ නිසා, මානසික හා ශාරීරික රෝග වගේම මරණය කියන්නෙත් සමාජ සම්මතයක්. මැරුණු මිනිහෙක් හා ජීවත් වන මිනිහෙක් අතර භෞතික වෙනස්කම් ඉරක් ඇඳලා වෙන් කරන්න බැහැ.
ලිපිය වෙනදාට වඩා කෙටියි තමයි. මගේ ලිපි වල වචන ගණන තීරණය වෙන්නේ සන්දර්භය මතයි.
(Image: https://www.emlawoffices.com/blog/fallen-tree-kills-director-new-jersey-cancer-society)
Saturday, February 16, 2019
මරණය නියතද?
මේ දවස් වල බ්ලොග් ලිපියක් ලියනවා කියන එක ගොඩක් වියදම් අධික වැඩක්. ඒ වෙනුවෙන් කාලය යොදවන්න වෙන්නේ ඊට වඩා වැදගත් වැඩ ගණනාවකින් මොකක් හෝ එකක් පැත්තකින් තියලයි. එහෙම වුනත් ඉතිං හදාගත්ත දරුවා නිකම්ම මැරෙන්න අරින්නත් බෑනේ. බ්ලොග් එක අමාරුවෙන් හරි පණ පිටින් තියා ගන්න අතරින් පතර හෝ මොනවා හරි ලියන්නේ නැතුව කොහොමද? අර කියන්නේ අවම බලය යොදවනවා කියලා. අඩු ගානේ ඒ වගේ වැඩක්වත් කරන්න එපායැ.
ඉංග්‍රීසින් ලංකාවට එන කාලේ ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ ආර්ථික සෞභාග්‍යය ගැන ෆර්ගසන්ගේ ලියවිල්ලක තිබුණු දෙයක් අනුව ඒ කාලයේ ලංකාවේ මිනිස්සුන්ගේ ආහාර පරිභෝජනය ප්‍රමාණවත් වෙලා තියෙන්නේ යාන්තමින් සිරුර හා ආත්මය එකට තියා ගන්න පමණයි. ඒ කියන්නේ ඒ කාලේ ලංකාවේ මිනිස්සු කරලා තියෙන්නේ ශරීර කූඩුව එක්තැන්ව තියා ගන්න අවශ්‍ය අවම බලය එයට සපයන එක විතරයි. හැබැයි ඒ ගැන ඔවුන් කණස්සල්ලෙන් සිට නැහැ.
ෆර්ගසන්ගේ ඔය ප්‍රකාශයෙන් පේනවා ඔහු ජීවිතය කියා විශ්වාස කළේ මොකක්ද කියන එක. මිනිහෙක්ගේ ආත්මය ශරීර කූඩුව ඇතුළේ හිර කරගෙන හිටිය හැකි තාක් කල් මිනිහෙක් ජීවත් වෙනවා. ආත්මය ශරීරයෙන් පිට වී ගියාට පස්සේ මිනිහා මැරෙනවා. හැබැයි ඒ විදිහට විනාශ වෙන්නේ භෞතික ශරීරය විතරයි. ශරීරයෙන් පිටව ගිය ආත්මය වෙන තැනක ස්ථිරව තියෙනවා.
ආත්මවාදය ගොඩක් පැරණි අදහසක්. අදටත් ලෝකයේ ප්‍රධාන ආගම් ගණනාවක්ම අදහන මිනිස්සු ස්ථිර ආත්මයක පැවැත්ම විශ්වාස කරනවා. ඒ අනුව මරණය කියා කියන්නේ ඔය ස්ථිර ආත්මය සිරුරෙන් ඉවත්ම යාමයි. ඔය කියන විදිහේ ආත්මයක් කියා එකක් නැති බවත් සිරුර කියන්නේ එය හැදී තිබෙන භෞතික කොටස් පමණක්ය කියන එකත් විශ්වාස කරන අනාත්මවාදීනුත් සෑහෙන කාලෙක සිටම ඉඳලා තියෙනවා. දැනුත් ඉන්නවා.
බෞද්ධ අදහස ආත්මවාදය හා අනාත්මවාදය යන දෙකම ප්‍රතික්ෂේප කිරීම බව අවිවාදිත කරුණක්. ඔය දෙකම ප්‍රතික්ෂේප කළාම තත්ත්වය ඔය දෙකෙන් එකක් තරම්වත් සරල නැහැ. ඒ නිසා, මට තේරෙන හැටියටනම්, මේ ගැන බෞද්ධ අදහස කියා විවිධ අය ඉදිරිපත් කරන්නේ එකම අදහස නෙමෙයි. තමතමන් තේරුම් ගන්න දෙය.
හරි. ඔය ඔක්කොම පැත්තකින් තියමු. අපි එක්ක ජීවත් වූ ගොඩක් අය මිය ගිහින් තිබෙනවා. ඒ විදිහට මැරුණු අය නැවත අප අතර ජීවත්ව නොසිටින බව පැහැදිලියි. ඒ කියන්නේ මරණය කියා ආපසු හැරවිය නොහැකි සේ පෙනෙන කිසියම් සංසිද්ධියක් තිබෙනවා. ජීවත් වන සියල්ලන්ටම ඒ සංසිද්ධියට කවදා හෝ මුහුණ දෙන්න සිදුවන බව අපට පේනවා. ඒ නිසා මරණය නියතයි කියා අප කියනවා. ඔය නියත මරණය ගැන ජීවත් වන අප නිතර අහනවා.
ඇත්තටම මරණය කියා නියත දෙයක් තියෙනවද? එහෙමනම් ඒ මොකක්ද?
මම අහල තියෙන එක ජනකතාවක වඩුවෙක් ඔහුගේ තරුණ බිරිඳට ගොඩක් ආදරෙන් ඉන්නවා. එක දවසක් දර කඩන්න කැලේට යන මේ කාන්තාව නයෙක් විසින් දෂ්ඨ කරනු ලැබ මිය යනවා. ගෙදර තිබුණු අලුත ඉරපු රුක්අත්තන ලෑලි වලින් පෙට්ටියක් හදන වඩුවා තමන්ගේ මිය ගිය තරුණ බිරිඳව වල දමන්නේ ඇගේ කණකර බඩුත් එක්කයි.
පෙට්ටි වල මිනී තැන්පත් කර වල දැමීම ලංකාවේ පෙර සිටම තිබුණු පුරුද්දක් නොවන නිසා මේ කතාව ගොඩක් පරණ එකක් වෙන්න බැහැ. ඒ වගේම, මෑතක් වන තුරුම ලංකාවේ ගොඩක් ගැමියන් සතුවූ වටිනා වස්තු වුණේ ඔය කණකර බඩු ටිකයි. දරුවෙක් අසනීප වුණහම කණකර බඩු උගස් කරන එක එක යුගයක සිංහල චිත්‍රපට හා නවකතා බොහොමයක දකින්න පුළුවන් දෙයක්නේ.
ලංකාවේ පැරණි ගැමියන්ගේ තිබුණු අදහස වුනේ කෙනෙක් මැරුණට පස්සේ මැරුණු කෙනාගේ පාරිභෝගික භාණ්ඩ ප්‍රයෝජනයට ගන්න එක ටිකක් හරි මදි වගේ කියන එකයි. ඒ නිසා, ගොඩක් අය මැරුණු කෙනාගේ පැදුරු කොට්ට ඇඳ ඇතිරිලි ආදිය පන්සලකට දෙනවා. මැරුණු කෙනා ගැන නිතර මතක් වෙන එක වළක්වාගන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්.
පාංශුකූල සිවුරක් කියන එකෙන් අදහස් වන්නේත් මිනියක් ඔතා සොහොනට විසිකළ රෙද්ද ඇතුළු පොළොවට දිරා යන්න නියමිත අපවිත්‍ර රෙදි වර්ග 23කින් එකක හෝ කිහිපයක කොටස් අරගෙන පිරිසිදුකර කෑලි මූට්ටු කර හදාගන්න සිවුරක් කියන එකනේ. දැන්නම් පාංශුකූල සිවුරු අඳින හාමුදුරුවරු නැහැ. පාංශුකූල දෙනවා කියලා කරන්නේ මතක වස්ත්‍ර පූජා කරන එකනේ.
කොහොම වුනත් රන් රිදී ඇල්ලීමෙන් වැළකී ඉන්න සපථ කර සිටින හාමුදුරු කෙනෙකුට මැරුණු කෙනාගේ කණකර බඩු දෙන්න බැහැනේ. ඒක කවුරුත් දන්නවා. ඒ නිසා, කතාවේ වඩුවා මිනියේ කණකර බඩු ගලවනවා කවුරු හරි දැක්කොත් කියයි "අරෙහෙ ගෑණි මැරිලා. ඒ අස්සේ මූට ගෑණිගේ රත්තරං බඩු වලට තණ්හාසේ!" කියල. ලංකාවේ ගොඩක් මිනිස්සු කැමති තමන් රත්තරන් වගේ වස්තු සම්පත් වලට ලොකු ආසාවක් නැති බව අනික් අයට පෙන්නන්නයි. විශේෂයෙන්ම ගෙදර මරණයක් වෙලා තියෙන වෙලාවක.
ඔහොම කිවුවට මිනියේ රත්තරන් බඩු එක්කම වලලලා දමන එක මොන අපරාදයක්ද? කොහොම හරි අන්තිම මොහොතේ මිනිය වහන්න කලින් අනිත් අයට නොපෙනෙන්න ඔය ටික ගලව ගන්න විදිහකුත් තියෙන්න ඕනැනේ. අර මිනිය තනි කරනවා කියන පුරුද්ද ඇති වෙලා තියෙන්නේ ඔය හේතුව නිසා කියනවනේ. ඕක ප්‍රසිද්ධ රහසක් නිසා අන්තිම මොහොතේ මිනියේ කණකර පාළු වෙලා කියලා දැකපු අය වුනත් ඒක ප්‍රශ්නයක් කරගෙන නැහැ.
කොහොම වුනත්, කතාවේ වඩුවානම් එහෙම කරලා නැහැ. ඔහු ඇත්තටම හිතලා තියෙන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ අහිමි වෙලා තියෙද්දී ඇගේ කණකර බඩු මොකටද කියලයි. එහෙම හිතලා රත්තරන් බඩුත් එක්කම පෙට්ටිය වල දැමූ බව ගමේ හැමෝම වගේ දැකල තියෙනවා.
රත්තරන් බඩු නිකම්ම පොළොවට පස් වෙන්න අරින්න පුළුවන්ද? බෑනේ. ඕක දැකපු ගොඩක් අය වල හාරලා රත්තරන් බඩු ගන්න එක ගැන හීන මවද්දී එයින් කීප දෙනෙක් එකතු වෙලා එදා රෑම වැඩේට බහිනවා. මේ කට්ටිය වල හාරලා පෙට්ටියේ පියන අරිනවා.
මළ කෙළියයි. මෙන්න වඩුවාගේ බිරිඳ නැගිටිනවා. කට්ටිය පණ එපා කියලා දුවනවා. වඩුවාගේ බිරිඳ ආපහු ගෙදර එනවා. ඈ ඇත්තටම මැරිලා ඉඳලා නැහැ. නයි විෂ නිසා සිහි මූර්ජා වෙලයි ඉඳල තියෙන්නේ. කතාවේ කියන හැටියට රුක්අත්තන ලීයට නයි විෂ උරාගැනීමේ හැකියාවක් තියෙනවලු. වත්තේ රුක්අත්තන පැලයක් හිටෙවුවහම නයි එන්නේ නෑ කියල කතාවකුත් මම අහල තියෙනවා. කොහොම වුනත්, හොඳ වෙලාවටයි වඩුවා ඇගේ කණකර ගලවා නොගත්තේ. නැත්නම් ඉතිං නැවත සිහිය ආවත් ඇයට නැවත ගෙදර එන්න ලැබෙන්නේ නැහැ. ඈ හිටියේ සිහි මූර්ජා වී බව වෙනත් කවුරුවත් දන්නෙත් නැහැ. අර දාර්ශනික ප්‍රශ්නයක් තියෙනවනේ මහ කැලේ මැද්දේ ලොකු ගහක් මුලින් ඉදිරී බිම වැටුණා. නමුත්, ඒ බව කවුරුත් දන්නේ නැහැ. එහෙමනං සද්දයක් ඇහුණද කියලා.
කොයි දේ වෙන්නෙත් හොඳට කියනවනේ. ඒ කියමනට අදාළ කතාවනම් දන්නවා ඇතිනේ. ඒ මේක නෙමෙයි. කොහොම හරි අන්තිමට අර රත්තරන් හොයපු අයට පිං සිද්ධ වෙන්න වඩුවාගේ බිරිඳ නැවත ගෙදර ආවා. ඈ වඩුවා එක්ක තවත් චිරාත් කාලයක් යහතින් ජීවත් වී, දරු මුණුපුරන් රොත්තක්ම හදා ඇත්තටම මිය ගියේ ගොඩක් පස්සේ දවසකයි.
(Image: http://www.info.shalanka.com/famous-people-in-sri-lanka/actorsactresses-people-in-sri-lanka/vijaya-kumaranatunga/)
Labels:
ආකල්ප,
ආගම් හා දර්ශන,
ජනකතා,
මරණය,
සමාජ චර්යා
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...