වෙබ් ලිපිනය:

Thursday, February 21, 2019

ඔබේ සුසුමේ සුව දැණුනේ...


පරිණාමයේ එක අවදියකදී මිනිස් ගැහැණියකගේ කුසේ දරුවෙකු පිලිසිඳ ගත හැකි හා නොහැකි අවස්ථා පිළිබඳව ඈ දෙස පිටින් බලා නිගමනය කිරීමේ හැකියාව නැතිව ගොස් තිබීම ගැනත්, ඒ හේතුව මිනිස් ගැහැණියක් හා මිනිස් පිරිමියෙක් දිගුකාලීනව එකතු කර තබන්නට හේතු වී තිබීම ගැනත් පෙර ලිපියක කතා කළා. මේ පුරුද්ද නිසා මිනිස් දරුවෙකුට වෙනත් සතුන්ට සාපේක්ෂව වැඩි කලක් දෙමවුපියන්ගේ රැකවරණය ලැබීමත්, උඩ පරම්පරාවකින් පහළ පරම්පරාවට ජාන වලට අමතරව "දැනුම" කියා දෙයක් සම්ප්‍රේෂණය වීමත් සිදුවෙන්න පටන් ගත්තා.

ඒ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන දැනුම් සම්භාරය ක්‍රමයෙන් විශාල වෙද්දී, මිනිස් දරුවෙකුට පිරිපුන් මිනිසෙකු වෙන එක වඩා වැඩි කාලයක් ගත වන කටයුත්තක් බවට පත් වුනා. මිනිස් දරුවන්ට දෙමවුපියන්ගේ රැකවරණය වැඩි වැඩියෙන් අවශ්‍ය වුණා. දරුවෙකුට මේ රැකවරණය වැඩිපුරම ලැබුණේ මවගෙනුයි. දරුවෙකුගේ මව කවුද කියන එක සැක සහිත දෙයක් නොවන නිසා එය එසේ වීම පුදුමයක් නෙමෙයි.

වැඩි වැඩියෙන් දරුවන් වදන හා හදන මිනිස් ගැහැණියකට තමන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා අවශ්‍ය සම්පත් සොයා යන්න ප්‍රමාණවත් කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට විසඳුම වන්නේ අවශ්‍ය සම්පත් වැඩියෙන් සම්පාදනය කළ හැකි මිනිස් පිරිමියෙක්ව තෝරා ගැනීමයි. ඒ නිසා වැඩි සම්පත් ප්‍රමාණයක් සැපයිය හැකි මිනිස් පිරිමින්ට මිනිස් ගැහැණුන්ගේ ඉල්ලුම වැඩි වුනා. මුල් කාලයේදී එවැනි පිරිමින් වුනේ වඩා ශක්ති සම්පන්න හා ශරීර ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල පිරිමින්. එවැනි පිරිමියෙකුට ගැහැණුන් සොයා ගැනීම අපහසු වුනේ නැහැ.

මිනිස් ගණනයක වැඩි ගැහැණුන් පිරිසකගේ ආකර්ශනය ලැබුවේ ගහණයේ සිටි හැඩිදැඩි පිරිමින්. ඔවුන් ගහණයේ වඩා ආකර්ශනීය මිනිස් ගැහැණු ටික මුලින්ම තෝරා ගත්තා. ඉන්පසුව ඉතිරි වූ ගැහැණුන්ට ආකර්ශනය කර ගත හැකිව තිබුණේ සම්පත් සැපයීමක් ලොකුවටම කළ නොහැකි වූ සෝමාරි පිරිමින්.

කෙසේ වුවත්, එවැනි ගැහැණුන්ට දෙවන විකල්පයකුත් තිබුණා. ඒ හැඩිදැඩි පිරිමියෙක්ගේ දෙවන බිරිඳ වීම. එහිදී සම්පත් බෙදී යාමක් සිදුවුණත් ඇතැම් විට හැඩිදැඩි පිරිමියෙකුගේ සම්පත් වලින් අඩක් සෝමාරි පිරිමියෙකු විසින් සපයන මුළු සම්පත් ප්‍රමාණයට වඩා වැඩි වූ නිසා මේ පුරුද්දේ පරිණාමික වාසියක් තිබුණා.

ඉහත හේතුව නිසා, මිනිස් ඉතිහාසයේ බොහෝ කාලයක් පුරාවටම ගණනයේ ශක්තිමත්ම මිනිසුන්ට සහකාරියන් එක් අයෙකුට වඩා සිටිද්දී, දුර්වලම මිනිස් පිරිමින්ට සහකාරියක නොලැබී යාම නිසා ඔවුන්ගේ ජාන ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වුනේ නැහැ.

මිනිස් පිරිමියෙක් ශරීර ප්‍රමාණය අනුව මිනිස් ගැහැණියකට වඩා 15%කින් පමණ විශාලයි. එයින් පෙනෙන්නේ කාලයක් තිස්සේ දිගින් දිගටම ශරීර ප්‍රමාණයෙන් විශාල පිරිමින්ට තමන්ගේ ජාන ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න වැඩි ඉඩක් ලැබී තිබෙන බවයි.

කාලයත් එක්ක මිනිසුන් වැඩි වැඩියෙන් දැනුමෙන් සන්නද්ධ වෙද්දී ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ ගිහින් මිනිසුන්ගේ අතිරික්ත ශ්‍රමය ප්‍රාග්ධනය බවට පරිවර්තනය වෙද්දී, ජාන හා දැනුමට අමතරව ප්‍රාග්ධනයත් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශනය වෙන්න පටන් ගත්තා. පසුකාලීනව ගැහැණියකට වැඩියෙන් සම්පත් සැපයිය හැකි පිරිමියෙක් වුනේ වැඩි ප්‍රාග්ධනයකට හිමිකම් කී පිරිමියෙක්. ඒ එක්කම හැඩි දැඩි පිරිමින් සතු වූ ගැහැණුන්ගේ කැමැත්ත ප්‍රාග්ධනය හිමි පිරිමි වෙත විතැන් වෙන්න පටන් ගත්තා. කෙසේ වුවත්, මෙවැනි වෙනසක් එක වර වෙන්නේ නැහැ. ඒ නිසා, හැඩි දැඩි පිරිමින්ට මිනිස් ගැහැණුන්ගේ වන ආකර්ශනය තවමත් මුළුමනින්ම ක්ෂය වී නැහැ.

ශරීර ප්‍රමාණය, ප්‍රාග්ධනය හෝ බලය තිබෙන පිරිමින් විසින් සහකාරියන් එක් අයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් අයිති කර ගැනීමත් ඒ දේවල් නොතිබුණු පිරිමින්ට සහකාරියක නොලැබී යාමත් බොහෝ සමාජ වල කාලයක් තිස්සේ සිදු වූ දෙයක්. මේ පුරුද්ද ක්ෂය වී ගිහින් එක් ගැහැණියක හා එක් පිරිමියෙකු අතර විවාහය සම්මතය බවට පත් වීම සිදු වුනේ බටහිර සංස්කෘතිය පැතිරීමට සමාන්තරවයි. මැද පෙරදිග කලාපයේ මුස්ලිම් රටවල හා බොහෝ අප්‍රිකානු රටවල අදටත් එක් පිරිමියෙක් හා ගැහැණු කිහිප දෙනෙක් අතර සිදුවන බහු විවාහ සාමාන්‍ය දෙයක්.

අද අප බටහිර සංස්කෘතිය සේ හඳුනා ගන්නා සංස්කෘතියේ මූලිකාංග බොහොමයක්ම පැරණි ග්‍රීසිය ආශ්‍රිතව බිහිවූ දේවල්. හෙලනික සංස්කෘතිය ලෝකයේ ප්‍රධාන සංස්කෘතිය බවට පත් වීම පිටුපස මහා ඇලෙක්සැන්ඩර් විසින් කර තිබෙන කාර්ය භාරය ඉතා විශාලයි.

අධිරාජ්‍යයන් බිහි කර ව්‍යාප්ත කළ වෙනත් බොහෝ පුද්ගලයින් වගේම මහා ඇලෙක්සැන්ඩර් වීරත්වයට පත් වන්නේත් "මහා" වෙන්නේත් යුද්ධයෙහි දැක්වූ සාමාර්ථය මතයි. පැරණි ග්‍රීසියේ සිට උතුරු අප්‍රිකාව, මැද පෙරදිග හා බටහිර ඉන්දියාව දක්වා විශාල ප්‍රදේශයක් ආවරණය වන අධිරාජ්‍යයක් මහා ඇලෙක්සැන්ඩර් විසින් ගොඩ නගනවා. ඇලෙක්සැන්ඩර්ගේ අකල් මරණයෙන් පසුව ඔහු විසින් ගොඩ නැගූ අධිරාජ්‍යය කෑලි වලට කැඩී ගියත් හෙලනික සංස්කෘතියේ බලපෑම ඒ ප්‍රදේශ වල තව දුරටත් ඉතිරි වෙනවා.

යුරෝපීයයන්ට යටත් වෙන්න කලින් ලංකාවේ බහුභාර්යා විවාහ වගේම බහුපුරුෂ විවාහත් අසම්මත දේවල් සේ සැලකී නැහැ. ලෝකයේ වෙනත් බොහෝ රටවල වගේම ලංකාවේත් ඒකවිවාහ ප්‍රචලිත වන්නේ ක්‍රිස්තියානි බලපෑම් එක්කයි. එහෙත්, ඒකවිවාහ කියන්නේ මුල සිටම ක්‍රිස්තියානියේ වූ අංගයක් නෙවෙයි. මෙය ක්‍රිස්තියානි සංස්කෘතියේ කොටසක් බවට පත් වෙන්නේ ක්‍රිස්තියානිය මැද පෙරදිග කලාපයේ සිට යුරෝපයට පැතිරෙද්දීයි. ඒකවිවාහ කියන්නේ ක්‍රිස්තියානිය පැතිරෙන්න පෙර හෙලනික සංස්කෘතිය තුළ ප්‍රචලිත වූ සමාජ සම්මතයක්.

කිසියම් සංස්කෘතියක් තිබෙන ප්‍රදේශයක් වෙනස් සංස්කෘතියක් තිබෙන කණ්ඩායමකගේ පාලනයට නතු වූ පමණින් දෙවන කණ්ඩායමේ සංස්කෘතිය මුල් සංස්කෘතිය වෙනුවට ආදේශ වන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක සැපයුම් සාධක වලට අමතරව ඉල්ලුම් සාධකත් බලපාන බව අමතක නොකළ යුතුයි. බොහෝ විට එවැනි ආදේශනයක් සිදුවන්නේ ආගන්තුක සංස්කෘතිකාංගයකට කිසියම් පරිණාමික වාසියක් ඇති විටයි.

ඒකවිවාහ කියන්නේ හෙලනික සංස්කෘතිය තුළ ඇති වූ විකෘතියක්. පරිණාමික අර්ථයෙන් විකෘතියක් කියන්නේ නරක දෙයක් කියන එක නෙමෙයි. සාමාන්‍ය සම්මතයට වඩා වෙනස් දෙයක් කියන එකයි. එය හොඳ හෝ නරක වෙනසක් වෙන්න පුළුවන්. මේ හොඳ හෝ නරක තීරණය කරන්නේ කාලය විසින්.

බොහෝ විකෘතීන් පරිණාමික වාසියක් නැති විකෘති. මේ කරුණ ජානමය විකෘති වලට වගේම සමාජයීය විකෘති වලටත් අදාලයි. එවැනි විකෘති වලට පැවැත්මක් නැහැ. එහෙත් ඇතැම් විකෘති පවතින තත්ත්වයට සාපේක්ෂව වඩා වාසිදායකයි.

මේ වාසිදායකකම තීරණය වන්නේත් බාහිර සාධක මතයි. උදාහරණයක් ලෙස උෂ්ණත්වය අඩුවෙන් දැනීමේ ජානමය විකෘතියක් ගැන හිතමු. කාන්තාර දේශගුණයකදී මෙය වාසියක් වුවත් ධ්‍රැවාසන්න ප්‍රදේශයකදීනම් අවාසිදායක කරුණක්. සංස්කෘතික හෝ සමාජයීය විකෘති වලටත් මේ කරුණ අදාළයි.

සමාජ සම්මතය ඒක විවාහ වූ සමාජයක් ස්වභාවිකත්වයෙන් දුරස්ථ වුවත් වඩා "සාධාරණ" සමාජයක්. එවැනි සමාජයක සමාජ ස්ථරයේ පහළින්ම ඉන්න පිරිමියෙක්ට වුවත් සහකාරියක සොයා ගැනීමට සැලකිය යුතු ඉඩකඩක් තිබෙනවා. සමාජයක බහුභාර්යා සේවනය වැඩි වැඩියෙන් ප්‍රචලිත වෙද්දී පහළ තට්ටුවේ පිරිමින්ට ගැහැණු හොයා ගැනීම වඩ වඩා අසීරු වෙනවා.

කලින් කී පරිදි ප්‍රාග්ධනය හා බලය වැඩිපුර තිබෙන පිරිමියෙකුට වැඩි සහකාරියන් පිරිසක් සමඟ පවුල් කන්න පුළුවන්. එවැනි අය වැඩි වන තරමට පහළ තට්ටුවට ඉතිරි වන ගැහැණු ප්‍රමාණය අඩු වෙනවා. සමාජයක් ලෙස වඩා සෞභාග්‍යමත් වෙද්දී ස්වභාවිකවම සම්පත් බෙදී යාමේ විෂමතාවයනුත් වැඩි වෙනවා. ඉහළ තට්ටුව සතු ප්‍රාග්ධනය හා බලය වැඩි වෙද්දී ඔවුන් විසින් ගැහැණුන්ගෙන් වැඩි කොටසක්ද අයිති කර ගන්නවා. පහල තට්ටුවේ පිරිමින්ට තනිකඩයින් වෙන්න වෙනවා.

පිරිමියෙකුට ගැහැණියක් හොයා ගැනීම අමාරු වන විට ඔවුන් එය වඩා පහසුවෙන් කළ හැකි ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න පෙළඹෙනවා. ඒ කියන්නේ ආදායම් විෂමතා වැඩි තැනක ජීවත් වන අඩු ආදායම්ලාභී පිරිමි ගැහැණුන් සොයා ආදායම් විෂමතා අඩු ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා. එසේ වෙද්දී, එවැනි සමාජයකට යුද්ධයකට අවශ්‍ය සොල්දාදුවන් සොයා ගැනීම වඩ වඩා අසීරු වෙනවා. පිරිමි වැඩි සමාජයකට යුධමය වාසියක් ලැබෙනවා.

දැන් මේ සිදුවීම් වල චක්‍රීය බලපෑම පැහැදිලි විය යුතුයි. යුදමය ශක්තිය වැඩි රටක් වඩා පොහොසත් වෙද්දී ඒ රටේ ආදායම් විෂමතාවය වැඩි වෙනවා. ගැහැණු බෙදී යාමේ විෂමතාවයත් වැඩි වෙනවා. එවිට ඒ රටේ පිරිමි රටින් පිටතට සංක්‍රමනය වෙනවා. එසේ යන්නේ ආදායම් විෂමතා අඩු සාපේක්ෂව දුප්පත් රටකටයි. එවිට ඒ දුප්පත් රටේ පිරිමි ප්‍රමාණය වැඩි වී යුදමය ශක්තිය වැඩි වෙනවා. ඒ රට පෝසත් වෙනවා. නැවත ඒ රටටත් පළමු රටට සිදු වූ දෙයම වෙනවා. මේ ක්‍රියාවලිය අධිරාජ්‍යය බිහිවීමේ ක්‍රියාවලියට යම් පමණකින් තිරිංග හෙළනවා.

හෙලනික සංස්කෘතිය ඇතුලෙ සිදු වූ ඒකවිවාහ සම්මතය නම් වූ "විකෘතිය" නිසා ඉහත චක්‍රය කැඩුණා. රටේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම හා ආදායම් විෂමතා ඉහළ යාම සිදු වෙද්දී ඒ හේතුව නිසාම සමාජයේ පහළ ස්ථර වලට වූ පිළිගැනීම නැති වී ගියේ නැහැ. දුප්පත් මිනිහෙක්ට වුනත් ගැහැණියක් හොයා ගන්න පුළුවන් වුනා. ඔහුටත් පොහොසතෙක්ට වගේම මිනිහෙක් ලෙස සමාජයේ පිළිගැනීමක් ලැබුණා. ආර්ථික සෞභාග්‍යයට හා සමාජ සාධාරණත්වයට එක්ව පවතින්න පුළුවන් වුනා. මෙය ඒ කාලයේ වෙනත් බොහෝ සමාජ වලට සාපේක්ෂව වෙනස් තත්ත්වයක්.

ඇලෙක්සැන්ඩර් විසින් තමන්ගේ අධිරාජ්‍යය ව්‍යාප්ත කරද්දී අලුතෙන් අල්ලා ගත් ප්‍රදේශ වල ජීවත් වූ මිනිස්සු හෙලනික සංස්කෘතියේ වූ සමාජ සාධාරණත්වයට ආකර්ශනය වුනා. ඒ සමාජ සාධාරණත්වය ගැහැණුන්, ළමුන් හෝ වහලුන් දක්වා ව්‍යාප්ත නොවූ සීමිත එකක් වුවත් අඩු ආදායම්ලාභී වැඩිහිටි පිරිමියෙකුට සමාජයේ කිසියම් පිළිගැනීමක් ලැබීම ඒ කාලයේ හැටියට ලොකු වෙනසක්. ඒ නිසා සහ තවත් හේතු නිසා, ඇලෙක්සැන්ඩර් අකාලයේ මිය ගියත් හෙලනික සංස්කෘතිය අකාලයේ මැරුණේ නැහැ.

(Image: https://gkdata.gr/marriage-in-ancient-greece/)

30 comments:

  1. ස්ත්‍රියකගේ වඳභාවය පිටින් බලා තීරණය කල නොහැකි සේම පුරුෂයෙකුගේ ලිංගික දුර්වලතා ද පිටින් බලා තීරණය කල නොහැකි නේද? අම්මලාට දූවරුම උපදින්නේ තාත්තලාගෙ අඩුපාඩු නිසා.ඒ උනාට දොස් අහන්නේ අම්මලා.

    ReplyDelete
    Replies
    1. මෙහි කතා කර තිබෙන්නේ ගැහැණියකගේ හෝ මිනිසකුගේ වඳභාවය ගැන නෙමෙයි. දරුපල ලැබිය හැකි කාන්තාවක වුවත් (සරු පිරිමියෙකු වෙතින් වුවද) ගැබ් නොගන්නා කාලය ගැනයි.

      //අම්මලාට දූවරුම උපදින්නේ තාත්තලාගෙ අඩුපාඩු නිසා.//
      පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
    2. මැල්කම් ලිට්ල් නැතිනම් මැල්කම් එක්ස් කියන්නේ උස මහත හැඩි දැඩි පුරුෂයෙක් - ඇල්ෆා ‍මේල් වගේ ප්‍රබල නායකත්ව ලක්ෂණ තිබුනු අයෙක් - නමුත් ඔහුට සිටියේ දූවරු 6 දෙනෙක් - නමුත් මැල්කම් එක්ස් කිසිවිටකත් දුර්වල පුරුෂයෙක් නොවේ - ඒ නිසා ඉහත ඇනෝ කොමෙන්ටුව නොදැනුවත් කම පළ කරන ලද අදහසක්

      Delete
    3. දූවරු උපදින්නෙ නිර්භීත පිරිමින්ට දාව කියලා අදහසක් තියනවා නේද? හමුදාවල ඉන්න හුඟක් අයට ඉන්නෙ දූවරු විතරයි.. එහෙම බලපුවම ඒකෙ ඇත්තම් තියනවා වෙන්න පුළුවන්..

      Delete
    4. @ ඉකොනොමැට්ටා
      අම්මලාට දූවරුම උපදින්නේ තාත්තලාගෙ "අඩුපාඩු" නිසා ය කියන කතාව වැරදියි.

      නමුත් ඒ කතාව පසුපස ඇති සත්‍යය තමයි කාන්තාවන්ට XX ක්‍රොමොසෝම යුගලක් තිබීම සහ පිරිමින්ට XY ක්‍රොමොසෝම යුගලක් තිබීම. ඒ කියන්නේ පිරිමි කළලයක් සඳහා Y ක්‍රොමසෝමයක් අවශ්‍යමයි. එය ලැබිය හැක්කේ පිරිමියෙකුගෙන් ම පමණයි.

      කළලය සඳහා පිරිමියාගේ සම්මාදම X ක්‍රොමසෝමයක් වූ විට ඉපදි හැක්කේ ගැහැණු ළමයෙක් (XX) පමණයි.

      පුතෙක් සෑදීම සඳහා තාත්තා නොදෙන Y ක්‍රොමසෝමය දෙන්නට අම්මාට බෑ!


      Delete
  2. ලංකාවෙ තිබිලා තියෙන්නෙ ඔය කියනාකාරයේ බහු භාර්යයා සංස්කෘතියක්ද? අපේ ඉතිහාස කතා, ජනකතා හැමඑකකම වගේ තියෙන්නෙ අම්මයි, තාත්තයි දරුවොයි ඉන්න පවුල් මිසක් අම්මලා දෙතුන් දෙනෙක් ඉන්න පවුල් නෙමේනෙ. ඕකෙ අනික් පැත්ත, එක ගෙයි කෑමනම් තිබිලා තියනවා නේද?

    "හෙලනික්" හා "හෙළ" අතර මොකක් හරි ලින්ක් එකක් තියනවා කියලා සාධක එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. අර ගමරාළගේ කෙස් ගලවපු කතාව එහෙම අහල නැද්ද?

      Delete
    2. අහලා නැත. එකක් දෙකක් තියෙන්න පුළුවන් නෙ⁣්ද, මොකද අතරින් පතර බහු භාර්යා කේසුත් තියෙන්න ඇතිනේ...ඒත්අති බහුතරයක් කතා වල ⁣ඉන්නේ ගමරාලයි, ගම මහගේයි මිසක් මහගේලා රංචුවක් නෙමේ... කෙස් ගලවපු කතාවත් කියුවනම් අගෙයි

      Delete
    3. කෙටියෙන් කතාව මෙහෙමයි. තරුණ බිරිඳ ගමරාළ තමන් වගේ වෙන්න සුදු කෙස් ගලවනවා. මහළු බිරිඳ කළු කෙස් ගලවනවා. අන්තිමට ගමරාළගේ ඔළුවේ කෙස් ගහක්වත් ඉතුරු වෙන්නෙ නැහැ.

      Delete
    4. මේ හෙලනික් කියන්නේ මේකද
      https://en.wikipedia.org/wiki/Hellenic

      මේ වගේ විකෘතියක් හෙලනික් සංස්කෘතියෙන් ආරම්භ වෙන්න හේතු මොනවද ? අනිත් රටවල් අභිබවා මේ වගේ සමාජ සංකල්ප ග්‍රීක රෝම ශිෂ්ටාචාර වලින් බිහි වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද ? ඒ මිනිස්සු වඩා දක්ෂ හෝ බුද්ධිමත් වීම පරිනාමිකව වෙන්න ඇත්තේ කොහොමද ?

      Delete
    5. ඉකොනොමැට්ටා,

      ලෝකය දැන් බොහෝ දුරට විශ්ව ගම්මානයක් බවට පත්වී හමාරය.එමෙන්ම රටක ප්‍රගමනයට අනෙක් රටවල බලපෑම,නොවැලැක්විය හැකි කාරණයක් බවට පත්වන්නේ මෙම ආර්ථික,සමාජ දේශපාලන වටපිටාව දෙස බැලූ විටයි. රටක් තුළ පවතින ගැටලු රට තුළ විසඳගත යුතු වුවත් ඊට විදේශික බලවේග මැදිහත්වීම ගෝලියකරණය තුල ස්භාවිකය. අප කළ යුත්තේ රටට අනිසි බලපෑම් සිදු කරන ප්‍රජාවන් තුලනය හා නියාමනය කිරීමයි. ඇමරිකා එක්සත් ජනපද, රුසියාව,ජර්මනිය,බ්‍රිතාන්‍යය ආදී රාජ්‍යයන් සුපිරි බලවතුන් ලෙස ලෝකය විසින් හඳුනාගෙන සිටියද, මීට වසර දහස් ගණනකට පෙර හෙලනික් යුගයේදී [The Era of Hellenic] යුරෝ-ආසියාවේ ප්‍රථම ශිෂ්ටාචාරගත දේශය වන්නේ ගිනිකොනදිග යුරෝපයේ,බෝල්කන් අර්ධද්වීප [Sub-continent of the Balkan] තුල පිහිටා ඇති හෙලනික් ජනරජයයි [Hellenic Republic]. එය යුරෝපයේ ප්‍රථම ශිෂ්ටාචාර ගතවූ දේශයවූවා පමණක් නොව අද දින අප අත්විඳින සිය ගණනක් වූ සාහිත්‍ය කලාවන් හා විද්‍යාවන්හි තිඹිරිගෙයද වෙයි. ඉන්දියානු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ට දෙවැනි නොවන දේව සභාවකද හිමිකාරිත්වය දරන ඔවුන් සෙසු ලොව තුල නම්දරා සිටින්නේ හෙලනික් ජනරජය ලෙස නොව ග්‍රීසිය යන නමිනි. ලොව පුරාණෝක්ති වැඩිම සංඛ්‍යාවක දායකත්වය සමඟ සභ්‍යත්වය යුරෝපයට හඳුන්වාදුන් ග්‍රීකයන් ලොව එතෙක් මෙතෙක් බිහිවූ බලවත්ම ජාතීන් අතර ප්‍රමුඛස්ථානයක් ආයාසයකින් තොරවම වෙන් කරගෙන ඇත.

      ඉපැරැණි දේවකථා (ග්‍රීක) පුරාණයට අනුව ඔලිම්පස් කන්ද මුදුන වාස භුමිය කර ගත් මහා දෙවි සියුස් [ Zeus] මෙන්ම, රන් දුන්නක් දරන ඇපලෝ [Apollo], සියුස්ගේ පුතු හර්මස් [Hermes], ලොවම දන්නා සුරූපී දෙවඟන ඇතීනා [ Athena] ඇතුළු ඔලිම්පියන්වරු [Olympians] දොළොස් දෙනෙකුගෙන් මෙම දේව පරපුර ආරම්භ වේ. එමෙන්ම ගින්දර ලොවට ලබා දුන් ප්‍රොමිතියස් [Prometheus] හා ලොවම දෑතින් ඔසවා සිටිය හැකි ඇට්ලස් [Atlas] ආදී ලෙස ටයිටන්වරු [Titan] නම් තවත් දිව්‍යය සමුහයක්ද ග්‍රීක දේශයේ දිව්‍යය පුරාණයට අනුව ඇත.

      පැරැණි ලෝකයේ වූ ශිෂ්ටාචාරයන්ගේ පැවැත්මට ආගම දෙවියන් හා ඇදහිලි මෙන්ම මනා ලෙස සැකසුනු දැනුමද මහත්සේ ඉවහල්වේ. ග්‍රීකයෝ හොඳින් තම මොළය සමඟ පාපන්දු ගැසූ මිනිස් වර්ගයකි. ප්‍රථම ශිෂ්ටාචාරගත ජාතිය වූවාසේම ඔවුහු ලොවට දැනුම ලබා දීමේ කාර්යයේද පෙරගමන්කරුවන් වූහ . ලෝකය හොඳින් හඳුනන අරිස්තෝත්ල [Aristotle] තර්කනයේ මෙන්ම සාහිත්‍යය විචාර කලාවේ පියා වන අතර ඔහු එතෙක් මෙතෙක් මෙතෙක් මානව වර්ගයාගේ චින්තනය වෙත කර ඇති බලපෑම ඇති මහත්ය. ඔහු විසින් ප්‍රකාශිත බොහෝ දේ දේව භාෂිතයන් නොවුනද වර්ථමානයේද ලෝකයේ ඇගයීමට හා විවාදයට මහත්සේ බඳුන් වෙයි. ලෝකය පුරා ඇති විශ්ව විද්‍යායලයන් වෙත පළමු නිදසුන ලබා දුන්නේද ග්‍රිකයෝය. ඒ අරිස්තෝත්ලගේ ගුරුවරයා වූ ප්ලතෝ [Plato] විසිනි. ඔහු ලොව ප්‍රථම ශාස්ත්‍රාලයේ නිර්මාතෘවරයා වූ අතර එය ඇකඩමි [ Academy] නම් විය. ඔහු ආකර්ශනීය ග්‍රීකයෙකු වූ සොක්‍රටීස්ගේ ශිෂ්‍යයයෙකි. දර්ශනයට පමණක් ග්‍රීක දැනුම සීමා නොවූ අතර ගණිතය , ජ්‍යාමිතිය, වෛද්‍යය විද්‍යාව ආදී ක්ෂේත්‍රයන්ගේද පුරෝගාමීන් වුයේ මෙම බෝල්කන් අර්ධද්විපයේ ග්‍රීක වැසියන්ය. ගණිතඥ ඉයුක්ලීඩ් [ Euclid] , බටහිර වෛද්‍යය විද්‍යාවේ පියා ලෙස විරුදය ලද හිපොක්‍රටීස් [ Hippocratic] , අප මොළ තුලට ප්‍රමේයන් ඇතුළු කල ගණිතඥ පෛතගරස් [ Pythagoras] වැන්නන් වාන් දමමින් සෙසු ලෝකය වෙත උතුරා ගිය බටහිර දැනුමේ උල්පත්ය . සම්භාව්‍යය ආදි ග්‍රීකයන්ගේ ලැයිස්තුවේ දහස් ගණනක් අතර සිටින අසමසම කිවිවර හෝමර් [ Homer]විසින් ඉලියඩ් හා ඔඩෙසි [ Iliad and odyssey] නම් මහා කාව්‍යය රචනා කරන ලදී. එයට අදද ලොව නිර්මාණය වූ ප්‍රමුඛතම සාහිත්‍යය ප්‍රබන්ධයක් ලෙස තනි අංකයේ ස්ථානයක් ලැබී ඇත.

      Delete
    6. ඒවගේම පැරණි ලොව දියුණු ශිෂ්ටාචාරයන්හි සංගීතය, අනෙකුත් කලා හා සාහිත්‍යාංග අඩු වැඩි වශයෙන් තිබුනත් , ඒවායේ නොතිබුණු පොදු ජනකලාවක් වූයේ නාට්‍යය කලාවයි. නමුත් පැරණි ග්‍රීක ශිෂ්ටාචාරය තුල එම ප්‍රාසංගික අංගයද තිබුණු අතර එහි උප්පත්තියද ග්‍රීක දේශයේදීම සිදු විය. මිදී අස්වැන්නට හා වයින් නිෂ්පාදනයට අධිපතියෙක් වන දියෝනිසස් [ Dionysus] දෙවියන්ට පැවැත්වීමට යෙදුනු පූජා විධික්‍රමයන් හරහා උපත ලැබූ ග්‍රීක නාට්‍යය අදද ලොව බිහිවූ ඉහලම මට්ටමේ ප්‍රසාංගික අංගයක් ලෙස හඳුන්වනු ලැබේ. එමෙන්ම දියෝනිසස් අනුකරණය කල තෙසිපිස් [Thespis] නමැති ගැමියා ලොව පළමු නළුවා බවට පත් විය. එමෙන්ම පොදුජන රසාස්වාදය ඉහලට ගෙන ගිය නාට්‍යය කලාවේ පුරෝගාමීන් අතර ඊඉඩිපස් රජු [Oedipus king] නාට්‍යය නිපදවූ සොකෆොලිස් [Sophocles], ට්‍රෝජන් කාන්තාවෝ සෑදු යුරිපිඩිස් [Euripides] මෙන්ම ප්‍රොමිතියස් බන්ධන සෑදු ඊස්කීලස් [Aeschylus] යන ඉදිරිපෙළේ නාට්‍යයකරුවන් ත්‍රිත්වය සුවිශේෂ වේ. ඔවුන් තම ඛේදාන්ත නාට්‍යය ශෛලිය මතින් අදද ප්‍රේක්ෂක නෙතු අඟ කඳුලු අතුරාලයි.

      එමෙන්ම නාට්‍යය තුලට හාස්‍යය නැතිනම් ප්‍රහසනය හඳුන්වදුන්නේද ග්‍රීකයෙකු වන අරිස්ටොපානිස් [Aristophanes] නම් නාට්‍යයකරුවාය. මෙසේ එකී නොකී චින්තකයන් හා විද්‍යාඥයන් හෙලනික් දේශයෙන් නැතිනම් ග්‍රීසිය නම්වූ ලෝකයේ පුරෝගාමී දේශයෙන් බිහි වී ඇත.

      එහි සාමන්‍යය ජනයාද දැනුමැති චින්තකයන් මෙන්ම ලොව අන් ජාතීන්ගෙන් ඉහලට උස් වී පෙනෙන අනෙක් කරුණ වන්නේ ඔවුන් සතු මනාසේ වැඩුණු ශරීරයන් හා නිරෝගී බවයි. ඔවුන් ප්‍රීතිමත්, ශක්තිමත් හා උද්‍යෝගිමත් මිනිසුන්ගේ සංකේතය ලෙස හැඳින්වේ. ග්‍රීකයෝ මොළය වෙහෙසා සිතුවිලි පුබුදු කරන අතරම තම ශරීරයන් ක්‍රීඩා සඳහා යොදවා ශරීර සුවතාවය පවත්වා ගත්හ. ඇකඩමි ආරම්භ කල ප්‍රඥයා ප්ලේටෝ මේ සඳහා ඉතා හොඳ නිදසුනකි. ඔහු දක්ෂ මල්ලව-පොර ක්‍රීඩකයෙකි. අප හොඳින් දන්නා ඔලිම්පික් [Olympic] උළෙල ඇරඹේන්නේද මෙම ක්‍රීඩාශීලි ග්‍රීකයන් නිසාවෙනි. සියුස් මහා දෙවියන්ට පුද පුජාවක් ලෙස ඇරඹි මෙය පසුව ජගත් ක්‍රීඩා උළෙලක් දක්වා විකාශනය විය. එකල ඔලිම්පික් ඉසව්වන්හි ජයග්‍රාහකයෝ ඔලිව් පත්‍ර ඔටුන්න හිස දරමින් තම කිරිගරුඬ ශක්තිමත් සිරුර චලනය නොවන සේ ගමන් කලේ, ග්‍රීසියේ ග්‍රීෂ්ම හිරු වියන යට තමා වටා සිටිමින් ජය ඝෝෂා නගන දහස් සංඛ්‍යාත ජනතාව සමඟ සාඩම්බර නෙතඟින් සිනාසෙමින්ය. එමෙන්ම ඇපලෝ දෙවියන් වෙනුවෙන් පවත්වන "පිතියන්" [Pythian games] ක්‍රීඩා තරඟය හා සියුස් දෙවි පුත් හේරකල්ස් හෙවත් හර්කියුලස් [Hercules] උදෙසා පැවැත්වෙන නිමියන් [Nemean Games] ආදී පුරාණ ග්‍රීක ක්‍රීඩා තරඟයන් ග්‍රීකයන්ගේ ක්‍රීඩාවට ඇති ඇල්මට සාක්ෂි වේ. ග්‍රීකයෝ සති අන්තයේ තමන් අස්වැන්න නෙලූ ගොවිපල බිමෙහි මෙන්ම අලංකාර මුහුදු වෙරළේද කෙළිදෙලෙන් පසුවූහ. ගැහැණු පිරිමි භේදයකින් තොරව ඔවුන් කඩු හරඹ, මල්ලවපොර, ජිම්නාස්ටික්, මළල ක්‍රීඩා හා පිහිනීම වැනි බොහෝ ක්‍රීඩාවන්හි නිමග්නව සිටි අයුරු දැක්වෙන සිතුවම් හා මුර්ති කැටයම් රාශියක් ග්‍රීසියේ මෙන්ම යුරෝපාකරයේ කෞතුකාගාර වල දක්නට ඇත.

      Delete
    7. බුද්ධියෙන් මෙන්ම ශක්තියෙන්ද අග තැන්පත් ආකර්ශනීය පෙනුමැති ග්‍රීකයන් මෙවුන්දම සඳහාද මනා සමත්කම් ඇත්තවුන් ලෙස ලොව ප්‍රචලිතය. ග්‍රීකයන් නිදහස් සම්භෝගී දිවිපෙවතක් සඳහා මහත් ඇල්මක් දක්වා ඇත. තම සිරිරු මතට වැටී ඉහිරීයන බෝල්කන් හිරු රැසින් වර්ණ ගැන්වුණු හැඩති ග්‍රීක කාන්තා ශරීරයන් , ශක්තිමත් පිරිමින් හා ආලිංගනයේ යෙදීම එකල සුලභ සරල දෙයකි. ඉතිහාසඥ හෙරෝඩෝටස්ට [Herodotus] අනුව ග්‍රීසිය පුරා විවිධ ආකාරයේ ශරීරයන් හිමි වෛශ්‍යයාවන් සිට ඇත. ඔවුන් තම රසවතුන්ගේ අවශ්‍යයතාවයන් හා රස පහස තවත් උද්දීපනය සඳහාම විශේෂ පුහුණුවීම්හි නිරත වූ අතර ඒ සඳහා නව උපක්‍රමද අත් හදා බැලීය. මෙම සම්භෝගී දිවිය සදාචාරය හෝ ආගමික සිමා මායිම් වලින් මඩින ලද්දක් නොවූ අතර ඔවුන්ගේ අදහස වූයේ එය කලාවක හා ක්‍රීඩාවක සංකලනයක් යන්නයි. කාන්තාවන්ද තම රස ආශාවන් රහස් ලෙස තබා නොගත් අතර ප්‍රජාතන්ත්‍රවාදයේද උපන්බිම වන ග්‍රීසිය තම කාන්තාවන්හටද කාමභෝගී දිවියට ඇවැසි නිදහස ලබා දී තිබුණි. සරු පෝෂණීය අහාර වලින් තම ගොවිබිමිහි ශ්‍රමය වැය කොට ලබා ගත් දරා ගැනීමේ ශක්තිය තුලින් මෙන්ම ක්‍රීඩා ව්‍යායාමයන්ගෙන් ලද වේගවත් බැවින් යුතුවූ ආදි ග්‍රීකයෝ සාර්ථක සම්භෝගයක් සඳහා අවශ්‍යය කායික හා මානසික ශක්තිය ඒවායින් ලබා ගත්හ. ග්‍රීකයේ හා යුරෝපයේ මතු නොව මුළු විශ්වයේම පෙම්වතුන් හා අඟනුන්ගේ දිව්‍යමය කුමරු වන මල්සරා [Cupid] එරොස් හෙවත් කාමයට, ආශාවට අධිපතියා වශයෙන් හැඳින්වේ.

      කාන්තාවන් වෙතද ලිංගික නිදහස ලබා දුන් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ දේශය නව නිපැයුම් ලෙස ලොවට දායාද කල දේ අතර දේශපාලනික න්‍යායන්ද රාශියකි. ප්‍රජාත්නත්‍රවාදය සේම පෞර රාජ්‍යයය නම් ඔවුගේ රාජ්‍යය පාලන ආකෘතිය වසර දහස් ගණනකට පසුද දේශපාලන නූල් බෝලයන්ගේ පැටලී දෙකොන සොයන්නන් හට ආදර්ශයකි. එමෙන්ම රාජ්‍යතාන්ත්‍රික වශයෙන්ද පැරණි ග්‍රීසියෙන් සාර්ථක දේශයකට ඉගෙනගත හැකි දේ බොහෝය. මෙහිදීද නැවත වරක් ඇරිස්ටෝටල් කරළියට එන්නේ ප්‍රායෝගික දේශපාලන ආචාර ධර්ම පිලිබඳව ඔහු ලියු පොලිටික්ස් [Politics] නම් මාහැඟි කෘතිය සමඟිනි. මේ ගැන වඩත් විස්තරාත්මකව ඉකොනොමැට්ටාට පොස්ට් එකක් දැමිය හැකිනම් ඉතා අගනේය.

      Delete
    8. දිගු ප්‍රතිචාරයට බොහොම ස්තුතියි, ඇනෝ!

      Delete
    9. ඇනෝගේ ප්‍රතිචාරය 29/03/2015 ඉරිදා දිවයින පුවත් සඟරාවේ පළ වූ ලිපියක් නේද?

      රචකයා ප්‍රවීණ සේනාධීර [prvaeenavisual@yahoo.com] විය යුතුයි!

      Delete
    10. //තරුණ බිරිඳ ගමරාළ තමන් වගේ වෙන්න සුදු කෙස් ගලවනවා. මහළු බිරිඳ කළු කෙස් ගලවනවා. අන්තිමට ගමරාළගේ ඔළුවේ කෙස් ගහක්වත් ඉතුරු වෙන්නෙ නැහැ.//

      ගමරාළලාගේ කතා නම් ඕනෑ තරම් තියෙනවා ඉකොනොම්, ඉකොනොම්ට මතකද ඔයවගේ කතාවක තරුණ ගමරාළ කෙනෙක් තමන්ගේ ගෙදර හාන්සි පුටුවේ දිගාවෙලා කල්පනා කරමින් ඉඳිත්දී එයාගේ ගෙදර ඉඳිවැට දෙපැත්තේ ඇති මුරුංගා ගස් දෙක කරල් වලින් බරවෙලා තියෙනවා දැක්කා.

      ඔන්න එතකොට මෑන් හිතනව, ශාහ්, මෙදා නම් මුරුංගා ගස් දෙකම කරල් වලින් බරවෙලා. බලපුවාම මේ පැත්ත පලාතකම වෙන මුරුංගා ගස්වල දකින්න කරලක්වත් නැහැ. ඉතින් ඔන්න මෙදා පාර නම් මුරුංගා විකුණලා මට
      කාසි බාගේ සෑහෙන්න එකතු කරගන්න පුළුවන්. පස්සෙ මුරුංගා වලින් මට විකුණල ලැබෙන කාසි එක්කහුකොරලම එළදෙනුන් හත් අට දෙනෙක් ගන්න ඕන.

      ඊටපස්සෙ ඒ දෙනුන් පැටවුන් විසි තිස් ගණනක් බිහි කොරලන්නේ නැතෑ. එතකොට ලැබෙන එළකිරි විකුණලා මට පවුම් හැට හැත්තෑ අසූවක් හම්බ කොරගන්න පුළුවන්. ඔන්නොහොම වැඩි කාලයක් යන්නෙම නැතිව තවත් පැටවුන් ලැබෙයි. ඔහොම යද්හි ඌන් එළදෙනුන් සිය දෙසිය ගණනක් මං ගාව ඉඳීවි, ඒකෙන් මයෙ මාසික ආදායමත් රුපියල්ම සිය ගණනක් වත් වේවි.

      ඔන්නොහොම ගොහින් මගේ තත්වයට ගැලපෙන විවාහයක් කර ගන්න ඕන, ගමේ පළවෙනි ගමරාළගේ දූ මගේ බිරිද වශයෙන් ගානට ගැලපේවි. ඉතින් බොලව් ඔන්න ඒකිව කැන්ද ගෙන එන මගේ මගුල් උලෙල බොහෝම ලස්සනට අහල ගන් හත අටකවත් නැති විදිහට මහා ඉහලින් කරන්ට ඕනෑ. අපේ නෑදෑයෝ කට්ටිය බදින තොරණ ඇරෙන්න මාත් විසාල තොරණක් බදින්න ඕන, ඉතින් ඒ තොරණ් වහන්සේ මේ පළාතේ වෙන තැනක හැදුවේ නැති තරම් ලස්සන ලොකු එකක් වෙන්නෝනෑ.

      ඔන්න ඉතින් තොරන මෙතන බඳිනව මෙන්න මෙහෙම, හුටා මෙන්නමේ කසිකබල් මුරුංගා ගස් දෙක නිසා මගේ මගුල් තොරණ බදින්ට ඉඩ නෑ. ඒ නිසා මේ ගස් දෙක කපල විසිකරන්න්නෝන, මේ විදියට මනෝ රාජ්‍යෙයේ සැරි සැරූ තරුණ ගොන් ගමයා පොරවක් ගෙන ගොස් මුරුංගා ගස් දෙක කපා දැම්මා. දෙයි හාමුදුරුවනේ, ඔන්න ඉතින් එයිට පස්සෙ තමයි සිදුවුණ අලාභය මෝඩ පන්ඩිත තරුණ ගමරාල ගොයියාට වැටහුනේ. ඔන්න ඔහොම මනෝ පාර දාපු අපේ මෝඩ ගමරාලයාට අන්තිමේදී හීන මවාපු සියලුම යස ඉසුරු බලා පොරොත්තු විනාස වෙලා යසට තිබ්බ වත්තේ මුරුංගා ගස් දෙකටත් කෙළවුනා.

      අපේ තවත් කතාවක හැටියට මහදැන මුත්තා එලුවාගේ බෙල්ල කැපුවා මිස එළුවාගේ අයිතිකාරයාගේ (ගමරාළගේ) බෙල්ල කපා වැඩ වනකර ගතේ නැති නමුත් මේවන විට ඉන්න හැටහුටාමාඅරක ගොබ්බ ආර්ථික ඔස්තාර්ලා එළුවාගේ බෙල්ල කපා ඉනුදු නොනැවැත එළුවාට අහිමි කළ හිස ගමරාළගේ බෙල්ල කපා ඒකට සවි කරන්නට උත්සාහ කරන්නේ ඇයි කියා මට නොතේරේ.

      Delete
  3. ඇරිස්ටෝටල්, මහා ඇලෙක්සැන්ඩර්ගේ ගුරුවරයා විදිහට කටයුතු කරල තියනව නේද? ඇලෙක්සැන්ඩර් ලොව පුරා පතුරපු අද සාමාන්‍යයෙන් බටහිර දෙවල් කියල පිළිගැනෙන බොහෝ දෙවල් පසුපස ඇරිස්ටෝටල්ගේ බලපෑමත් තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර. ඇලෙක්සැන්ඩර්ට ඇරිස්ටෝටල් විසින් කුඩා කල සිටම ලොකු බලපෑමක් කර තිබෙනවා.

      Delete
  4. https://www.gaia.com/article/gynocentrism-matriarchal-societies-throughout-ages

    ReplyDelete
  5. මහාචාර්‍ය ඉකොනොමැට්ටා,

    බහු භාර්යයා සංස්කෘතියක් තිබෙන ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්තා වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අඩු වියදමක් යටතේ වේගවත් හා ගුණාත්මක බවකින් යුත් අන්තර්ජාල සම්බන්ධතා පවත්වාගැනීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පිහිටවූ NBI (National Broadband Initiative) නම් ඒකකය අත්හිටුවීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති XXX විසින් තීරණය කිරීමය.

    විදුලි සංදේශන NBI ඒකකය පිහිටවනු ලැබුවේ 2010 දී එවක ජනාධිපති ලේකම් මෙන්ම විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපති වූ ලලිත් වීරතුංග විසිනි. 2010 න් පසු වේගවත් අන්තර්ජාල සබඳතා සාධාරණ මිලකට ලබාදීම සඳහා එම ඒකකය විසින් විශාල වැඩකොටසක් සිදුකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී ලෝකයේම අඩු වියදමක් සහිත අනත්රජාල සබඳතා ලබාදෙන රට ලෙස ජාත්‍යන්තර විදුලි සංදේශන එකමුතුව විසින් ශ්‍රී ලංකාව නම්කොට තිබේ.

    අමෙරිකාවේදී 2014 මෙයට අමතරව අමෙරිකාවේ Akamai Technologies විසින් පැවැත්වූ සමීක්ෂණයකින් අධිවේගී අන්තර්ජාල ලබාදෙන (4 mbps වලට වඩා ඉහල වේගයක් සහිතව) හොඳම රටවල් 50 ට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබුනේ 47 වන ස්ථානය හිමිකරගනිමිනි. එම ලැයිස්තුවේ 50 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවී තිබූ අතර මැලේසියාව 72 වන ස්ථානයත්, චීනය 87 වන ස්ථානයත් ඉන්දියාව 99 වන ස්ථානයත් හිමිකරගෙන තිබුණි.

    බිලියන ගණන් වැයවෙන ව්‍යාපෘති විශේෂඥ දැනුම මගින් රටට ඉතිරි කර දීමට සමත්ව තිබුණ NBI ඒකකය විසින් ලබාගත් මෙම ජයග්‍රහණ පිටුපස සිටියේ එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධනයි.

    නමුත් විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් XXX දෙසැම්බර් 31 වනදා සිට එම ධූරයෙන් සනත් සිරිවර්ධනව ඉවත් කිරීමට කටයුතුකොට තිබේ. ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදුලි සංදේශන නියාමන ආයතනයේ වෙනත් පිරිස් යොදවා අධිවේගී අන්තර්ජාලය පිළිබඳව වෙනත් කමිටුවක් පිහිටුවීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.

    Summary: ආණ්ඩුව internet වලටත් කෙලින්න වගේ හදන්නේ !

    ReplyDelete
    Replies
    1. ඔක අලුත් දෙයක් නෙමෙයි. අනික ලංකාව හොදායි. Australia වලනම් කවදාවත් කිසිම දෙයක් කර් එකේ සීට් උඩ හරි පෙන්න තියන්නෙ නෑ. අනිවාර්යෙන් කඩනවා. වහනේ අයිති කාරය ලග හිටියත් කඩල අරන් යනවා.
      තව Aussie පොලිසියත් කියන්නේ වහනේ key එක අතේ නැතුව වහනෙන් එලියට බහින්න එපා කියල.

      Delete
    2. මේකනම් පට්ටපල් බොරුවක් පුලුවන්නම් එවැනි සිදුවීමක් වුන තැනක් කියන්න

      තව Aussie පොලිසියත් කියන්නේ වහනේ key එක අතේ නැතුව වහනෙන් එලියට බහින්න එපා කියල.
      කොයි පොලිසියද දන්නේ නෑ මෙහෙම කිව්වේ

      Delete
    3. @AnonymousFebruary 22, 2019 at 7:59 AM,

      Its a problem with Victoria Police (the primary law enforcement agency of Victoria, Australia), I'm not happy about criticism against entire Australian police services & law enforcement agencies on this.

      If you stating the areas having the biggest car crime problems, Victoria finished the year as the most vehicle crime-ridden state, with 15,332 thefts,Victoria lays claim to over a third of national PLC thefts. NSW placed second with 10,037 while Queensland took an unwanted third place, with 9,029 thefts. The sunshine state experienced a 14% short-term crime surge.

      An emerging problem of professional vehicle thefts developed in Western Australia, with a sudden 6% rise.

      Queensland had three local government areas placed in the top five crime hot-spots; Brisbane ranked the highest, Gold Coast city next and Logan city placed fourth. The Greater ACT area came in third and Hume, Victoria was fifth.

      The most stolen type, Passenger/light commercials were the most likely to go missing, with 42,592 thefts. Motorcycle thefts decreased 4%. Other vehicles, such as big commercials accounted for 2,228 cases.

      Source: https://www.finder.com.au/2017-australian-car-theft-report

      Delete
  6. හොඳ පෝස්ට් එකක්, මාතෘකාවට අදාළ නැතත් ඔබගේ මීළඟ පෝස්ට් එකට ටොපික් එකක් දෙන්නම්, මේ මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල ඔඩුදුවා ඇති කාර් සොරුන්ගේ ප්‍රශ්නයයි. මෙන්න ඇරඹුමක් වශයෙන් විස්තර කිහිපයක්. ඇමරිආඅවේ කාර් සොරුන් මර්දනය කරන ආකාරය ගැනත් ලියන්න පුලුවන්නම් වටිනවා;

    01. https://www.smh.com.au/national/queensland/violent-car-theft-caught-on-video-20180720-56ma0.html

    02. https://www.theaustralian.com.au/national-affairs/state-politics/nsw-motorists-should-be-warned-you-are-entering-cartheft-country/news-story/826ca625924e7dac9c3789a92a004c1f?nk=16f17a6c031fb1a2036d55d51064e4de-1550900406

    03. https://www.9news.com.au/2019/02/22/19/59/sydney-news-gymea-police-operation-sutherland-shire-man-pinned-to-ground

    04. https://www.express.co.uk/news/world/1067019/sydney-stabbing-attack-car-jacking-theft-crime-spree-rockdale-wiley-park-australia-news

    05. http://www.upstart.net.au/fighting-victorias-car-theft-crisis/

    06. https://www.perthnow.com.au/news/wa/one-vehicle-stolen-almost-every-hour-in-wa-new-figures-reveal-ng-b88734409z

    07. https://www.youtube.com/watch?v=jCgJvIAYu7M

    ReplyDelete
  7. ගොඩක් ගෑනු බහුභාර්යා ක්‍රමයට අකමැති වීමට පරිනාමික හේතුවක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව්. එක හා සමාන පිරිමි ගැන සැලකුවොත් පිරිමියාගේ සම්පත් ගැහැණු කිහිප දෙනෙක්ගේ දරුවන් අතර බෙදී යාමට සාපේක්ෂව එක් ගැහැණියකගේ දරුවන් අතර බෙදී යාම වාසිදායකයි. එවිට එම දරුවන් ලොකු මහත් වී දරුවන් හදන්න ඉඩ වැඩියි. ඒ නිසා, සැමියෙකු බෙදා ගැනීම වාසිදායක වෙන්නේ ඔහු අනෙක් පිරිමින්ට වඩා ගොඩක් ඉහළ මට්ටමේ අයෙක්නම් පමණයි.

      Delete
  8. මගේ ලඟ ඥාති සහෝදරයෙක්ටත් කසාද බිරිඳට අමතරව තව බිරියන් දෙදෙනෙක් ඉන්නවා. මිනිහට හොඳට සල්ලිත් තියෙනවා. මටනම් ඒකේ වරදක් පේන්නේ නෑ. සිංහලයන් සඳහා බහු භාර්යා සහ බහු පුරුශ විවාහයට අවසර ලැබිය යුතුයි කියන මතය මම දරනවා.

    ReplyDelete
  9. මෙච්චර දැනුම්-හපන්කම් තිබිලත් ග්රීකයන්ට තේරුනේ නැද්ද වයින්වලට ඊයම් මිශ්‍රවීමෙන් ඔවුන් පිරිහෙන බව? ඒ මතය වැරදිද?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...