වෙබ් ලිපිනය:

Tuesday, February 5, 2019

හැත්තෑ එකක කෙරුවාව


ලංකාවේ තවත් නිදහස් දින සැමරුමක් අවසන් වුණා. නිදහස් දිනයේදී බලයේ සිටින කවර හෝ ආණ්ඩුව රටේ පුරාජේරුව පෙන්වද්දී ඇතැම් අය කියන්නේ නිදහසින් පස්සේ රට අඩියක්වත් ඉස්සරහට ගිහින් නැති බවයි. සමහර අයට අනුව රට ආපස්සට ගිහින්. මේ වගේ කරුණක් ගැන නිකම්ම නිගමනයකට එන්නේ නැතුව සංඛ්‍යාලේඛණ දිහා පොඩ්ඩක් බැලුවොත් වෙලා තිබෙන දේ පැහැදිලි වෙනවා. පහුගිය අවුරුදු 71 ඇතුළත ලංකාවේ ජන ජීවිතයේ වෙනසක් වෙලා නැද්ද? වෙලානම් ඒ මොන විදිහටද?

1950දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 110ක් පමණයි. 2017 වන විට මේ ගණන ඇමරිකන් ඩොලර් 4,065ක් වෙලා. 37 ගුණයක වැඩි වීමක්. කොහොම වුණත් 1950 ඩොලරයක් කියන්නේ 2017 ඩොලර් 10ක් පමණ නිසා ඇත්තම වැඩි වීම 3.7ක් පමණ. ඒ කියන්නේ නිදහසෙන් පසුව ලංකාවේ එක් පුද්ගලයකුගේ සාමාන්‍ය ආදායම එපමණ ගුණයකින් වැඩි වෙලා.

නිදහසෙන් පස්සේ ලංකාවේ ආදායම් මට්ටම් ඉහළ ගිය තරමටම ජනජීවිතය අනෙක් අංශ වලිනුත් යහපත් වෙලාද?

අධ්‍යාපන මට්ටම අනුව 1953දී ලංකාවේ ජනගහණයේ සංයුතිය මෙහෙමයි.

පාසැල් නොගිය- 41.8%
ප්‍රාථමික- 46.8%
ද්වීතියික- 9.8%
පශ්චාත් ද්වීතියික- 1.8%

මේ සංයුතිය 2016 වෙද්දී වෙනස් වෙලා තිබුණේ මෙහෙමයි.

පාසැල් නොගිය- 3.3%
ප්‍රාථමික- 23.5%
ද්වීතියික- 44.1%
පශ්චාත් ද්වීතියික- 29.1%

1953 හා 2016 අතර නිවාස වල තත්ත්වය වෙනස් වුනේ කොහොමද?

1953දී රටේ ගෙවල් වලින් 59.5%ක්ම වරිච්චි හෝ මැටි බිත්ති ගෙවල්. ගඩොල් බිත්ති තිබුණේ ගෙවල් වලින් 28.9%ක පමණයි. 2016 වන කොට ගෙවල් වලින් 95.5% කම බිත්ති බැඳලා තිබුණේ ගඩොල්, සිමෙන්ති බ්ලොක් ගල් හෝ කබොක් ගල් වලින්.

1953දී ගෙවල් වලින් 50.7කම තිබුණේ මැටි ගෑ ගෙබිම්. සිමෙන්ති ගෙබිම් තිබුණේ ගෙවල් වලින් 24.7%ක පමණයි. 2016 වන විට ගෙවල් වලින් 95.6කම ගෙබිම් සිමෙන්ති, ටෙරාසෝ නැත්නම් පිඟන් ගඩොල් .

1953දී ගෙවල් 56.7%ක්ම පොල් අතු සෙවිලි කළ ගෙවල්. උළු ගෙවල් තිබුණේ 27.6%ක් පමණයි. 2016 වෙද්දී ගෙවල් වලින් 91.9%ක්ම උළු, ඇස්බැස්ටෝස් හෝ කොන්ක්‍රීට් වහල සහිත ගෙවල්.

1953දී විදුලි බලය තිබුණේ ලංකාවේ ගෙවල් වලින් 4.1%කට පමණයි. 2016 වෙද්දී මේ ප්‍රතිශතය 96.9% දක්වා ඉහළ ගිහින්.

1953දී ශීතකරණයක් තිබුණේ ගෙවල් වලින් 0.9%ක පමණක් වුවත් 2016 වන විට ගෙවල් වලින් 52.9%කම ශීතකරණ තිබෙනවා.

1953දී ගෙවල් 18.5%කටම වැසිකිළි පහසුකම් තිබුණේ නැහැ. 2016 වෙද්දී මේ ප්‍රමාණය 0.4% දක්වා අඩු වෙලා.

1953දී පවුලක ආදායමෙන් 59.9%ක්ම ආහාර වෙනුවෙන් වැය කළ යුතු වුවත් 2016දී අවශ්‍ය වෙන්නේ ආදායමෙන් 34.8%ක් පමණයි. ඒ ආහාර වේලක ගුණාත්මක භාවය විශාල ලෙස ඉහළ ගොස් තිබියදී.

මේ සියල්ල මේ විදියට වෙනස් වෙද්දී රටේ ආදායම් ව්‍යාප්තියට වෙලා තියෙන්නේ මොකක්ද?

මේ 1953දී තත්ත්වය.

දුප්පත්ම 20%- සමස්ත ආදායමෙන් 5.1%
මැද 60%- සමස්ත ආදායමෙන් 38.3%
පෝසත්ම 20%- සමස්ත ආදායමෙන් 56.7%

මේ 2016දී තත්ත්වය.

දුප්පත්ම 20%- සමස්ත ආදායමෙන් 4.8%
මැද 60%- සමස්ත ආදායමෙන් 44.4%
පෝසත්ම 20%- සමස්ත ආදායමෙන් 50.8%

දුප්පත්ම අයගේ පංගුව සුළු වශයෙනුත්, පෝසත් අයගේ පංගුව වැඩියෙනුත් අඩු වෙලා. ඒ අඩුවීම් එකතු වෙලා තිබෙන්නේ ලංකාවේ රාජ්‍ය සුබසාධනයේ වාසිය ලබන මැදි ආදායම් ලබන කණ්ඩායමටයි.

කොහොම වුනත් එයින් අදහස් වෙන්නේ පහළ හා ඉහළ කණ්ඩායම් වල තත්ත්වය 1953දීට වඩා නරක බව නෙමෙයි. ඒ අයගේත් ආදායම් වැඩි වී තිබුණත් එසේ වැඩි වී තිබෙන්නේ මැදි ආදායම් ලබන්නන්ට වඩා අඩුවෙනුයි.

හරියටම කියනවනම් දුප්පත්ම 20%ගේ ආදායම 3.5 ගුණයකිනුත්, පෝසත්ම 20%ගේ ආදායම 3.3 ගුණයකිනුත් වැඩි වෙද්දී මැද 60%ගේ ආදායම 4.3 ගුණයකින් වැඩි වෙලා. කාගෙවත් ජීවන තත්ත්වය පහළ ගිහින් නැහැ.

නිදහසින් පස්සේ ලංකාවේ ජන ජීවිතයේ යහපත් අතට සිදු වී තිබෙන වෙනස්කම් වලට හේතුව ආණ්ඩුද නැද්ද කියන එක කොහොම වුනත්, මේ  අවුරුදු 71 තුළ රට එතැනමයි කියන එකත්, දුප්පතා එතැනමයි කියන එකත් දෙකම ඇස් පනාපිට පේන බොරු!

(Image: https://www.tripadvisor.co.uk/LocationPhotoDirectLink-g293962-d10258879-i190903150-Colombo_Walks-Colombo_Western_Province.html)

Saturday, February 2, 2019

ජීවිතය බේරූ ඇඟිලි තුනේ සංඥාව


යුද්ධයක් කියන්නේ මානුෂික හැඟීම් වලට වැඩිපුර ඉඩ ලැබෙන අවස්ථාවක් නෙමෙයි. යුද්ධයක ඉලක්කය වන්නේම තමන්ගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා සතුරාට හැකි තරමින් හානි කිරීමයි. ජීවිත හා දේපොළ විනාශ වීම යුද්ධයක හෝ වෙනත් අවිගත් ගැටුමක මූලික ලක්ෂණයක්.

ජවිපෙ දෙවන කැරැල්ල වෙලාවේ ජවිපෙ විසින් තමන්ගේ අරමුණ ඉටු කර ගැනීම පිණිස පොදු හා පෞද්ගලික දේපොළ විශාල  ප්‍රමාණයක් විනාශ කළා. ජීවිත විශාල ගණනක්ද නැති කළා. ජවිපෙ මර්දනය කළ ආරක්ෂක අංශ විසිනුත් ජවිපෙ හා ජවිපෙ නොවන විශාල පිරිසක් මරා දැම්මා. ජවිපෙ පළමු කැරැල්ල වෙලාවෙත් මේ දේවල් මේ විදිහටම සිදුවුණත් දෙවන කැරැල්ලේ හානි ඊට වඩා ගොඩක් වැඩියි.

ඔය ආකාරයටම උතුරේ සටන්කාමී කණ්ඩායම්, විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය, විසින් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම පිණිස දශක තුනක් පමණ පුරා විශාල දේපොළ විනාශයක් සිදු කළා. ආරක්ෂක අංශ සාමාජිකයින් වගේම සිවිල් පුරවැසියන් විශාල පිරිසක්ද ඝාතනය කළා. තවත් විශාල පිරිසක් ආබාධිතයින් බවට පත් කළා. රජයේ ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුම් වලදීත් එල්ටීටීඊ සාමාජිකයින් හා එම සංවිධානය සතු වූ භෞතික සම්පත් වගේම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවූ සිවිල් පුද්ගලයින්ගේ ජීවිත හා දේපොළ විශාල ප්‍රමාණයක්ද විනාශ වුණා.

ලංකාවට රස්නය දැනුණේ අඩුවෙන් වුවත්, ලෝක මට්ටමෙන් ගත් විට මෑතකාලීනව වැඩිම ජීවිත හා දේපොළ විනාශයක් සිදු වූ අවස්ථාව දෙවන ලෝක යුද්ධයයි. යුද්ධය හේතුවෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණය මිලියන 70-85 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා.

ජපානය දෙවන ලෝක යුද්ධයේ ප්‍රධානම පාර්ශ්වකරුවෙක්. හිට්ලර්ගේ මරණයෙන් හා ජර්මනියේ යටත් වීමෙන් පසුව යුරෝපයේ යුද්ධය අවසන් වුවත් ජපානය යටත් වුණේ තවත් මාස ගණනකට පසුවයි. ඇමරිකාව දෙවන ලෝක යුද්ධයේදී ජපානයට එරෙහිව යුද්ධ කරමින් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ සිටි ප්‍රධානම රටක්.

කියන්න යන සිදු වීම සිදු වී තිබෙන්නේ ජපානයේ ඔකිනාවා නගරය ආසන්නයේදීයි. දෙපාර්ශ්වය අතර වූ ගැටුමකදී තුවාළ ලබා වැටී සිටින ඇමරිකන් සෙබළෙක් අධික රුධිර හානිය නිසා සිහි විසංඥ වෙන්න ආසන්නව ඉන්නවා. ජපන් සෙබළෙක් බයිනෙත්තුව උරුක් කරගෙන ඔහු වෙතට දිව එන්නේ සතුරාව ඉවරක් කර දමන්නයි. මොළයට ඔක්සිජන් සැපයුම අඩු වෙද්දී, ඇමරිකන් සෙබළාගේ හොඳ සිහිය ක්‍රමයෙන් අඩුවෙනවා. ඔහුගේ හිත ළමා කාලයට යනවා. ඔහුට මතක එපමණයි.

ඇමරිකන් සෙබළාට සිහිය එන විට ඔහු සිටින්නේ ඇමරිකන් හමුදා කඳවුරක ප්‍රතිකාර ලබමින්. ඔහුගේ සාක්කුවේ කිසියම් තුණ්ඩු කෑල්ලක් තියෙනවා. එහි ජපන් බසින් යමක් ලියා තිබෙනවා. ඔහු ජපන් බස දන්නා අයෙකු ලවා එය කියවා ගන්නවා.

"මා ඔබ වෙත ආවේ ඔබව මරා දමා ඉවරයක් කරන්නයි. ඒ එක්කම ඔබේ සිහිය නැති වී ගියේ ඔබේ අතේ ඇඟිලි වලින් බාලදක්ෂ ආචාරය සටහන් වෙද්දීයි. ඔබ කුඩා කළ මා මෙන්ම බාලදක්ෂයෙක්ව සිට ඇති බව පැහැදිලියි. ලෝකයේ කොහේ හිටියත් බාලදක්ෂයන් කියන්නේ සහෝදරයින්. මට මගේ සහෝදරයෙක්ව මරා දමන්න පුළුවන් කමක් නැහැ. මා ඔබේ තුවාල වලට සාත්තු කර ඉවත්ව යනවා. ඔබ සුවය ලබනු ඇතැයි ප්‍රාර්ථනා කරනවා."

මේ සටහන සමඟ අදාළ සෙබලාගේ නම ඇතුළු විස්තරත් තිබෙනවා.

ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් හා ඉන්පසුව ජපානයද යටත් වීමෙන් පසුව දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවා. පෙර කී හමුදා සෙබළා සුවය ලබනවා. ඔහුව ජපානයේ රැඳී සිටින ඇමරිකන් හමුදා අනු ඛණ්ඩයකට අනුයුක්ත කෙරෙනවා. මේ අතරවාරයේ ඔහු තමන්ගේ ජීවිතයේ බේරූ ජපන් සෙබළා ගැන සොයා බලනවා. එහිදී ඔහුට දැනගන්නට ලැබෙන පරිදි පසුව සිදු වූ සටනකදී මේ ජපන් සෙබළා මිය ගිහින්. ජපානයේ සිටින කාලය පුරා ඇමරිකන් සෙබළා විසින් ජපන් සෙබළාගේ දරු පවුලට හැකි සියළුම අයුරින් උදවු කරනවා.

පසුව මේ සිදුවීම සැමරීමට ස්මාරකයක් හදා තිබෙනවා. මා එය දැක නැහැ. කවදා හෝ එහි ගියොත් යන්න හිතාගෙන සිටින, බකට් ලිස්ට් එකේ තියෙන තැනක්. අන්තර් ජාලයෙන් සොයාගත හැකි වූ අදාළ ස්ථානයේ ඡායාරූප මෙහි තිබෙනවා.

Thursday, January 31, 2019

ගින්දර සීතල වුනේ කොහොමද?


පටබැඳිගේ දොන් ජිනදාස නන්දසිරි විජේවීර හෙවත් කවුරුත් දන්නා විදිහට රෝහණ විජේවීරගේ ජීවිතය අලලා හැදූ "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය මේ දිනවල ලංකාවේ ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා. මෙය ඇමරිකාවේ ප්‍රදර්ශනය කළේ ලංකාවේ ප්‍රදර්ශනය කරන්නටත් පෙර වුවත්, ඒ මා ජීවත් වන පැත්තේ නොවන නිසා මට තවමත් මේ චිත්‍රපටය නරඹන්නට ඉඩක් ලැබී නැහැ. එවැනි ඉඩක් ලැබෙන දවසක් ගැන අදහසක්ද නැහැ. ඒ නිසා, චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කතා කිරීමේ හැකියාවක් මට නැහැ. කොහොම වුනත් මේ චිත්‍රපටය මේ වෙලාවේ මේ විදිහට හැදෙන පසුබිම ගැන කතා කිරීමට එය නරඹා නොතිබීම බාධාවක් නෙමෙයි.

මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ දින කිහිපයකට පෙරයි. ඒ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විදුර සමඟ කර තිබුණු මාධ්‍ය සාකච්ඡාවකට සවන් දීමෙන් පසුව. ලිපියට මාතෘකාව ලෙස මුලින්ම යෙදුවේ "සීතලෙන් උපන් ගින්දර" යන්නයි. ලිපිය පළ කරන්නටද පෙර ඒ මාතෘකාව යටතේම හෙන්රි වර්ණකුලසූරිය විසින් ලියා පළ කර තිබුණු ලිපියක් දක්නට ලැබුණා. එය චිත්‍රපටය පිළිබඳ විචාරයක්. හෙන්රි වර්ණකුලසූරිය යනු චිත්‍රපටයක් විචාරය කරන්නට අවශ්‍ය සුදුසුකම් මෙන්ම විජේවීරගේ දේශපාලනය පිළිබඳ අත්දැකීම්ද ඇති අයෙක්. මටනම් ඔය දෙකෙන් එකක්වත් නැහැ.

හෙන්රි මෙන්ම අජිත් පැරකුම්, මධ්‍යස්ථ මතධාරියා වැනි බ්ලොග්කරුවන් ඇතුළු තවත් අය ගින්නෙන් උපන් සීතල විඳ තමන් ලද  අත්දැකීම් බෙදාහදාගෙන තිබුණා. දේශපාලනිකව පුළුල් පරාසයක විසිර සිටින බොහෝ අය පොදුවේ එකඟ වන කරුණු කිහිපයක් පෙනෙන්නට තිබෙනවා. පළමු කරුණ, චිත්‍රපටයක් ලෙස මෙය හොඳ එකක් කියන එක. අද Cult බ්ලොගයේ දුටු විග්‍රහයනම් මීට වඩා වෙනස් එකක්. දෙවන කරුණ, මෙහි විජේවීරගේ දේශපාලනයට අඩු අවධානයක් යොමු කර ඔහුගේ පවුල් ජීවිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බව. මා හිතන පරිදි දෙවැන්න නිර්මාණකරු විසින් හිතාමතාම කර ඇති දෙයක්. කෙසේ වුවත්, මේ චිත්‍රපටය මිනීමරුවෙක් වන විජේවීරගේ චරිතය සුදු කරන්නට හැදූවක් බව කියන අයගේ සිට විජේවීර නම් වූ ශ්‍රේෂ්ඨ විප්ලවවාදියාගේ කාර්ය භාරය අවතක්සේරු කරමින් ඔහුව පූස් පැටියෙක් කරන නිර්මාණයක් බව කියන අය දක්වා තවත් විවිධ අය සිටිනවා.

විජේවීර චරිතය ලංකාවේ දේශපාලන ඉතිහාසයෙන් මකා දැමිය හැකි චරිතයක් නොවෙයි. ඒ අතරම, අප අමතක නොකළ  යුත්තේ ඉතිහාසය කියන්නේ නිශ්චිත දෙයක් හෝ අතීතයේ යම් දිනක සැබෑවටම සිදු වූ දෙයක් නොවන බවයි. ඉතිහාසය යනු වර්තමානයේ අප දන්නා හා අප විශ්වාස කරන තොරතුරු මත පදනම්ව අතීතය ලෙස අප එකිනෙකා විසින් වර්තමානයේදී මවා ගන්නා දේවල් පමණයි. ඒ නිසා, අප එකිනෙකා ඉතිහාසය ලෙස හඳුනා ගන්නේ එකම දෙයක් නොවයි. මෙය විජේවීර චරිතයට හා ඔහුගේ දේශපාලනයටද අදාළයි.

අද වන විට විජේවීරගේ උරුමයට අයිතිවාසිකම් කියන ප්‍රධාන පාර්ශ්ව අඩු වශයෙන් තුනක් සිටිනවා. පළමුව, ඔහුගේ බිරිඳ හා දරුවෝ. දෙවනුව, ජවිපෙ. තෙවනුව, ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය. මේ පාර්ශ්ව තුන අතරින් සාමාන්‍ය ජනතාව වැඩිපුරම විජේවීර උරුමය සමඟ සම්බන්ධ කර දකින්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

ගින්නෙන් උපන් සීතල යනු වාර්තා චිත්‍රපටයක් නොවෙයි. එය වාර්තා චිත්‍රපටයක් වුවද අවසාන වශයෙන් වාර්තා විය හැකිව තිබුණේ විජේවීර සේ නිර්මාණකරු විසින් හඳුනාගත් හෝ නිර්මාණකරුට විජේවීර සේ පෙන්වන්නට අවශ්‍ය වූ චරිතය මිස සැබෑ විජේවීර චරිතයම නොවිය හැකිව තිබුණා. සැබෑ චරිතයක් පාදක කරගත් කලා නිර්මාණයකදී කොහොමටත් වෙන්නේ ඒ ටිකයි.

විජේවීර වැනි දේශපාලනික චරිතයක් ඒ අයුරින් චිත්‍රපටයක් තුළ ප්‍රතිනිර්මාණය කිරීම කෙතරම් අභියෝගාත්මක කරුණක්ද යන්න කිව යුතු නැහැ. දුටුගැමුණු හෝ පණ්ඩුකාභය ඇසින් දුටු අය නැතත් රෝහණ විජේවීරව ලඟින් ඇසුරු කළ අය තවමත් ජීවතුන් අතර සිටිනවා. විජේවීරගේ උරුමය ඉදිරියට රැගෙන යන ප්‍රධාන පාර්ශ්ව දෙක සේ සැලකිය හැකි ජවිපෙට හා විජේවීර කුටුම්භයට සතුටු විය හැකි මට්ටමකින් විජේවීර චරිතය ගොඩ නගන්නට නිර්මාණකරු සමත්ව ඇති බව පෙනනවා. පෙරටුගාමී පක්ෂය මෙය කෙළෙස දකිනවාදැයි මා දන්නේ නැහැ.

අද ජවිපෙ කියන්නේ විජේවීර විසින් හදපු ජවිපෙම නෙමෙයි. එහි ඇති වරදක් නැහැ. ජවිපෙ වගේම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන එජාප හා ශ්‍රීලනිපත් කාලයත් එක්ක පරිණාමය වී තිබෙනවා. වැරැද්ද දේශපාලන පක්ෂයක් ඒ විදිහට පරිණාමය නොවනවානම් මිස පරිණාමය වීම නොවෙයි.

ලංකාවේ රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමේ අරමුණින්ම ගොඩ නගනු ලැබූ ජවිපෙ අද වන විට මැතිවරණ හරහා බලයට පත් වෙන්න බලාගෙන සිටින පක්ෂයක්. විජේවීර ජීවත්ව සිටින කාලයේදීම ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ක්‍රියාත්මක වෙමින් මැතිවරණ වලට ඉදිරිපත් වුණා. එසේ කළේ විප්ලවයකින් බලය අල්ලා ගැනීමේ අරමුණ අත නොහැර තාවකාලික උපක්‍රමයක් ලෙසද එසේ නැත්නම් අවංකවම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කළ නිසාද කියන එක පැහැදිලි නැහැ.

විජේවීර මරණයට පත් වුණේ දෙවන වරටත් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගන්න දැරූ උත්සාහය අසාර්ථක වීම තුළයි. දෙවන වර ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වීමට ජේආර් ජයවර්ධන විසින් එම පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ කටයුතු කිරීම අවහිර කිරීම සෑහෙන තරමකට හේතු වුණා. කොහොම වුනත් විජේවීර විසින් ජවිපෙ හැදුවේම ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය එළිපිටම ප්‍රතික්ෂේප කරන පක්ෂයක් විදිහටයි.

අද ජවිපෙ විවෘතව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්. නමුත්, එදා මෙන්ම අදත් ජවිපෙ පෙනී සිටින්නේ නිදහස් වෙළඳපොළට විරුද්ධව, මාක්ස්-ලෙනින්වාදය අනුව යමින්, ටික දෙනෙකු විසින් රටේ අනෙක් අය පරිභෝජනය කළ යුතු දේ තෝරා දෙන ආර්ථික ක්‍රමයක් වෙනුවෙනුයි.

ජවිපෙ කියන්නේ ලංකාවේ පළමු හෝ වඩාත්ම ශක්තිමත්ව පැවතුණු මාක්ස්වාදී පක්ෂය නෙමෙයි. මතක තිබෙන ආකාරයට ජවිපෙ විසින් කිසිදු මැතිවරණයකදී තනිව තරඟ කර 10% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නැහැ. 2001 මැතිවරණයේදී ඔවුන් විසින් ලබාගත් 9.1% ඡන්ද ප්‍රතිශතය ජාතික මැතිවරණයකදී ඔවුන් විසින් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය කියා මා හිතනවා.

මෙයට සාපේක්ෂව ලංකා සමසමාජ පක්ෂය 1952 මහ මැතිවරණයේදී 13.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එම ප්‍රතිශතය 1956 වෙද්දී 10.4% දක්වාත්, 1970 වෙද්දී 8.7% දක්වාත් අඩු වුණා. මේ විදිහටම ලංකාවේ අනෙක් මාක්ස්වාදී පක්ෂය වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඡන්ද පදනමත් ක්‍රමයෙන් දිය වී යද්දී, ලසසප හා කොප වෙත ආකර්ශනය විය හැකිව තිබුණු තරුණ ඡන්ද වලින් කොටසක් තමන් වෙත ආකර්ශනය කරගන්න ජවිපෙ සමත් වුනා.

කෙසේ වුවත්, 1982 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර ලබාගත්තේත් 4.2%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. විජේවීර ජීවත්ව සිටියදී කවදාවත් ඔහුට ලසසප වැනි පැරණි වාමාංශික පක්ෂයකට වූ තරමේ ජනසහයෝගයක් ජවිපෙ වෙත ලබාගන්න පුළුවන් වුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ විජේවීර ජීවත්ව සිටියදීට වඩා විජේවීරගේ මරණයෙන් පසුව ජවිපෙ භූමිකාව ප්‍රබලයි. නමුත්, ජවිපෙ තවමත් 1950 දශකයේදී ලසසප සිටි තැනටවත් පැමිණ නැහැ.

පළමු කැරැල්ල ආරම්භ කරද්දී ජවිපෙට ජනසහයෝගයක් නොවූ තරම්. එවැනි පක්ෂයක් ගැන රටේ මිනිස්සු දැනගෙන හෝ හිටියේ නැහැ. නමුත්, එසේ වූ පමණින්ම 71 කැරැල්ල (ජවිපෙ පැත්තෙන් බැලූ විට) තනිකරම මෝඩ වැඩක් කියා කියන්න බැහැ. ලෝකයේ ඇතැම් රටවල එවැනි කැරළි ජයග්‍රහණයෙන් කෙළවර වී තිබෙනවා. ජවිපෙට යම් හෙයකින් 1971දී රටේ පාලන බලය අල්ල ගන්න හැකි වුනානම් ඒ බලය පවත්වාගැනීමත් කළ හැකිව තිබුණා. එසේ වූවානම් ජවිපෙට ජනසහයෝගය තිබෙනවාද නැද්ද යන්න වැදගත් කරුණක් වන්නේ නැහැ. කොහොම වුනත්, ප්‍රමාණවත් ජනසහයෝගයක් නැති වීම හා සමගි පෙරමුණේ ජනප්‍රියත්වය ගිලිහී නොතිබීම පළමු කැරැල්ල බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණා. බොහෝ තැන් වලදී සාමාන්‍ය ජනතාව "චේ ගුවේරා කාරයින්" ගැන ආරක්ෂක අංශ වලට ඔත්තු දුන්නා.

දෙවන කැරැල්ල අවස්ථාවේදී ජවිපෙ ඉහත කරුණු දෙකම ගැන අවධානය යොමු කර තිබෙන බව පෙනෙනවා. ඒ වන විට අවුරුදු 11ක් බලයේ රැඳී සිට තිබුණු ජේආර්ගේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය හොඳටම අඩු වෙලා තිබුණා. එහි වාසිය ගන්නා අතරම ජනසහයෝගය ලබා ගැනීමේ අරමුණින් ජවිපෙ සාමාන්‍ය ජනතාව භීෂණයට පත් කළා. ඒ හරහා ජවිපෙට එරෙහි විය හැකි හා ආරක්ෂක හමුදා වලට ඔත්තු දීමට ඉඩ තිබුණු අයගේ කටවල් වැහුවා. මේ උපක්‍රමය යම් තරමකින් සාර්ථක වුනා කියා කියන්න පුළුවන්. ජවිපෙ සේ සැක කර ජවිපෙ නොවන තරුණයින් පවා මරා දමන තැනට ආණ්ඩුව තල්ලු වුනේ ආරක්ෂක හමුදා වලට ජවිපෙ සාමාජිකයින් පිළිබඳ සැබෑ තොරතුරු හොයා ගැනීම අමාරු වූ නිසයි. ආණ්ඩුව එසේ කරද්දී තමන් වෙත ලැබෙන ජනසහයෝගය වැඩිවනු ඇතැයි ජවිපෙ නායකත්වය හිතන්න ඇති.

ජවිපෙ වෙත වැඩිම ජනසහයෝගයක් ලැබුණු කාලය ලෙස හඳුන්වන්න පුළුවන් වෙන්නේ විමල් වීරවංශ ජවිපෙන් කැඩී යන්න ආසන්න කාලයයි. ඒ කාලය වෙද්දී මාක්ස්වාදීන්ම නොවූ වෙනත් කොටස් පක්ෂය වෙත ආකර්ෂණය කරගන්න ජවිපෙ සමත් වුණා. නමුත්, මේ කාලය වෙද්දීත් ජවිපෙ දාගෙන හිටි ප්‍රජාතන්ත්‍රවාදී වෙස්මූණ බොරුවක් බව බොහෝ දෙනෙක්ට පැහැදිලි වුනේ පෙසපෙ කණ්ඩායම කැඩී යාමෙන් පසුවයි.

ජවිපෙන් කැඩී යන්න ආසන්න කාලයේ සිටි තැනට ජවිපෙ ඉන්පසුව හෝ ඉන් පෙර විජේවීරගේ කාලයේදී කිසිවිටෙකත් ලඟා වී නැහැ. ඒ කාලයේදී පවා 1950 දශකයේදී ලසසපය සිටි තැනට ලඟා වී නැහැ. ලංකාවේ ඡන්දදායකයින් අතර සමාජවාදී ප්‍රතිපත්ති වලට තිබෙන ඉල්ලුම 1950 කාලයේදී 20% පමණ මට්ටමේ තිබී ඇතත් දැන් එය වැඩිම වුනොත් 5%කට වඩා වැඩි නැහැ. ඒ නිසා, සමාජවාදී පක්ෂයකට සමාජවාදය ඉස්සරහට දමා මැතිවරණ ජයග්‍රහණයක් ලබන්න තිබෙන හැකියාව කැරැල්ලකින් රාජ්‍ය බලය පැහැර ගන්න තිබෙන ඉඩකඩටත් වඩා අඩුයි.

විමල් වීරවංශ වැනි අය මුල් වී ජවිපෙ ඉදිරි සීමාව (frontier) පුළුල් කළේ ජාතිකවාදය උදවු කරගනිමිනුයි. ඒ වන විට චන්ද්‍රිකාගේ ශ්‍රීලනිපය හෝ එජාපය යන පක්ෂ දෙකෙන් එකකවත් ජාතිකවාදී නැඹුරුවක් නොතිබීම එයට උදවුවක් වුණා. නමුත්, දැන් මහින්ද ඉඳිද්දී ඒක කරන්න බැහැ. ජවිපෙට ඉස්සරහට යන්නනම් සමාජවාදය හැර වෙන මොනවා හෝ ආකර්ශනීය දේවල් ටිකක් අවශ්‍යයි. ජවිපෙට නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්න වී තිබෙන්නේ ඒ අනුවයි.

කොහොම වුනත්, මේ කාර්යයේදී ජවිපෙ කරන්නේ බොරුවක් කියා කියන්න බැහැ. මම හිතන විදිහට පෙසප කණ්ඩායම ඉවත් වීමත් එක්ක කරපු බොරුව නැවතුණා. විජේවීර පක්ෂය හැදුවේ නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට විසි කරමින් වුවත් නැවත එතැනට වැටෙන්න අමාරු තරමට විජේවීර ක්‍රමයෙන් ජවිපෙ ඈත් වෙලා ඉවරයි.

නමුත්, ජවිපෙට විජේවීරව අහක දාන්නත් බැහැ. මොකද නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රටේ ප්‍රධාන පක්ෂ දෙකමත් පෙනී සිටිනවා. ඊට අමතරව ඒ පක්ෂ දෙක නිදහස් වෙළඳපොළක් වෙනුවෙනුත් පෙනී සිටිනවා. වෙනස්කම් තිබෙන්නේ ප්‍රායෝගික භාවිතාවේ.

ජවිපෙට තමන් අනෙක් පක්ෂ දෙකෙන් වෙනස් බව පෙන්වන්න සහ විජේවීර ප්‍රතිපත්ති වලින් දුරස් වී නැතිබව පෙන්වන්න යම් තරමකට හෝ වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන්න වෙනවා. නමුත් එහෙම කරලා 5% සීමාවට එන්නත් අමාරුයි. ඒ නිසා, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙකට වඩා වැඩියෙන් පෙනී සිටින්නත් වෙනවා.

මැතිවරණ තරඟය ඇතුළේ ඉස්සරහට එන්න නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යයි. එසේ කරද්දී පක්ෂයෙන් ගිලිහෙන කොටස මේ වන විටත් පෙසප එක්ක ඉවත් වෙලා ඉවරයි. ඒ නිසා ඒකේ අවුලක් නැහැ. නමුත්, විජේවීර ලකුණ අත ඇරියොත් ඉන්න අයගෙන් සෑහෙන කොටසක් හැලෙනවා. අල්ලපු අත්ත නවා ගන්න ගිහින් පය ගහපු අත්තෙන් බිමට වැටෙන්න බැහැ. ඒ නිසා සමාජවාදය හරි තියාගන්න ඕනෑ.

විජේවීරගේ ඇත්ත ප්‍රතිරූපය ඉස්සරහට දමලා ජවිපෙ දැන් හිරවෙලා ඉන්න තැනින් ඉස්සරහට යන්න අමාරුයි. ඒ වැඩේට ඕනෑ කරන්නේ දැනට ජවිපෙ ඇතුලේ ඉන්න අයට වගේම මැතිවරණයක් දිනීම සඳහා ඇතුළට ගන්න අවශ්‍ය කණ්ඩායමටත් එක සේ පිළිගත හැකි ටිකක් වෙනස් විජේවීර කෙනෙක්. සමාජවාදී වුවත්, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින, මළ ගෙදරකදී ඕමියකට සෙට් වෙන්න ඉඩ තිබෙන, යහපත් පවුල් ජීවිතයක් ගත කරන, ගින්දර වගේ වැඩ තිබුණත් ඇතුළෙන් සීතල මනුස්සයෙක්. ඒ මනුස්සයා ඇත්ත විජේවීරද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

අනුරුද්ධ ජයසිංහගේ චිත්‍රපටිය ජවිපෙ කොන්ත්‍රාත්තුවක් කියා මම කියන්නේ නැහැ. එය ස්වාධීන නිර්මාණයක් වෙන්න ඇති. හැබැයි ඔහු වෙළෙඳපොළ ගැන නොහිතා මේ චිත්‍රපටිය හැදුවා කියන්න බැහැ. චිත්‍රපටියේ ඉන්නේ මේ වෙලාවේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ගැන කළ කිරී සිටින, ජවිපෙ සාමාජිකයින් නොවන අය ඉල්ලන රෝහණ විජේවීර. ඒ රෝහණ විජේවීර එක්ක පෙසපෙ එක්ක නොගිහින් ඉතුරු වෙලා ඉන්න ජවිපෙ සාමාජිකයින්ටත් අවුලක් නැහැ.

කොහොම වුනත්, විජේවීරගේ ගින්දර හීතල කරලා මාකට් කරන එක හිතන තරම්ම පහසු නැහැ. නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය කියන කරුණු දෙක ගැන වගේම පෞද්ගලික දේපොළ අයිතිය කියන එක ගැනත් ලංකාවේ ගොඩක් අය සංවේදීයි. හොඳම උදාහරණය විදිහට විජේවීර කුටුම්භයම පෙන්වන්න පුළුවන්.

විජේවීරගේ බිරිඳ සෘජුවම තමන්ගේ සැමියාගේ, දරුවන්ගේ තාත්තාගේ, උරුමය ඉල්ලා සිටිනවා. ජවිපෙට කෙසේ වුවත් ඇයට හා විජේවීරගේ දරුවන්ට රෝහණ විජේවීර පොදු දේපොළක් නෙමෙයි. උවිඳුටත් ජවිපෙ එක්ක ප්‍රශ්න තිබෙන බව පැහැදිලියි. ඇත්තටම මේ ප්‍රශ්න ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නම නෙමෙයි. ජවිපෙ තවමත් පෙනී සිටින සමාජවාදයේ ප්‍රශ්න. ඒ නිසා, චිත්‍රපටය හරහා හැදෙන විජේවීරගේ අලුත් ප්‍රතිරූපය එක්ක වුනත් ජවිපෙට මහා දුරක් යන්න අමාරුයි.

Monday, January 28, 2019

පිත්තල පවුල් හා රත්තරන් පවුල්


දැන් ලංකාවේ ගොඩක් පවුල් වල ඉන්නේ දරුවන් එක්කෙනෙක් හෝ දෙන්නක් පමණයි. නමුත් අපේ දෙමවුපියන්ගේ පරම්පරාවට සමකාලීන බොහෝ පවුල් වල දරුවන් හත් අට දෙනෙක් හිටියා. සංඛ්‍යාලේඛණ වලින් බැලුවත් 2017දී ලංකාවේ එක් කාන්තාවකට සාමාන්‍ය දරුවන් ගණන 2.05ක් පමණයි. 1960දී මේ අනුපාතය 5.54ක්. ඊට පෙර ආසන්න අවුරුදු වලදී ඊටත් වඩා වැඩිව තියෙන්න ඇති. මේ විදිහට පවුලක දරුවන් විශාල ගණනක් ඉන්න එක ඉතිහාසය පුරාම පැවතුනු තත්ත්වයක්ද?

කිසියම් රටක ජනගහණය ස්ථාවරව තියා ගැනීම සඳහා කාන්තාවක් දරුවන් 2.1ක් පමණ ලැබිය යුතු බව සැලකෙනවා. ලංකාවේ ඒ අනුපාතය දැන්නම් මේ ගාණටත් වඩා තරමක් අඩු වෙලා. කොහොම වුනත්, 1800 වන විට මිලියන 0.75-0.9 අතර පැවති සේ ඇස්තමේන්තු කර ඇති ලංකාවේ ජනගහණය මේ වන විට මිලියන 21.5ක් පමණ වෙලා තියෙන්නේ පසුගිය සියවස් දෙකක කාලය තුළ ලංකාවේ ජනගහණය වේගයෙන් වර්ධනය වූ නිසයි. ඒ කාලයේ ලංකාවේ පවුලක හත් අට දෙනෙක් හිටපු බව බොරුවක් නෙමෙයි. නමුත්, ඒ තත්ත්වය ඊට පෙරත් ඒ විදිහටම පැවතුණු තත්ත්වයක්ද?

පසුගිය දෙසියවස තුළ ලංකාවේ ජනගහණය 20 ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. අපි නිකමට හිතමු ඊට පෙරත් ඒ වේගයෙන්ම වැඩි වුණා කියා. එහෙමනම්, 1620 පමණ වෙද්දී ලංකාවේ ජනගහණය 45,000ක් පමණ විය යුතුයි. ඊට දෙසියවසකට පමණ පෙර 2,250 පමණ විය යුතුයි. එය එසේ නොවූ බව ඉතා පැහැදිලියි. 1820 පමණ වෙද්දී ලංකාවේ සිටි ජනගහණය සියවස් ගණනක් තිස්සේම ආසන්න වශයෙන් ස්ථාවරව පැවතී තිබෙන මට්ටමක්. ඊට පෙර කාන්තාවක් දරුවන් හදා තිබෙන්නේ ජනගහණය ස්ථාවරව පවත්වා ගන්න අවශ්‍ය මට්ටමට ඉතා ආසන්නවයි. මෙහි "හදා තිබෙන්නේ" කියන එකෙන් අදහස් වෙන්නේ "වදා තිබෙන්නේ" කියන එක නෙමෙයි.

මෑතකාලීනව පවුලක දරුවන් ගණන අඩු වෙන්න හේතු වුනේ උපත් පාලන ක්‍රම ප්‍රචලිත වීම බව පැහැදිලි කරුණක්. එහෙමනම්, මිනිස්සු උපත් පාලන ක්‍රම ගැන දැනගන්න කලින් පවුලක විශාල දරු පිරිසක් හිටියද?

ඇත්තටම එහෙම ඉඳලා නැහැ. මගේ කලින් ලිපි වල විස්තර කළ බිළිඳු දරුවන් මරා දැමීම හෝ මැරෙන්නට හැරීම 1800 පමණ වන තුරු ලංකාවේ (වගේම තවත් රටවලත්) ප්‍රචලිතව තිබූ පවුල් සැලසුම් ක්‍රමයයි. එය ඒ කාලය වන තුරුම වැරදි වැඩක් සේ සැළකී නැහැ. පවුල් වල දරුවන් ගණන විශාල සේ වැඩි වෙන්නේ මේ පුරුද්දට තිත තැබීමට සමාන්තරවයි.

"මීට වඩා හොඳයි මේකිව උපන් ගමන්ම මරල ගඟට වීසි කළානම්!" කියා දෙමවුපියන් විසින් කියන අවස්ථාත්, "මීට වඩා හොඳයි උපන් ගමන්ම මාව මරල දැම්මනම්!" කියා දරුවන් දෙමවුපියන්ට කියන අවස්ථාත් මගේ කණටම ඇහිල තියෙනවා. මේ වගේ කියමන් සමහර විට හැමෝගෙම පොදු අත්දැකීම් නොවෙන්න පුළුවන්. දැන් මට හිතෙන්නේ ඔය වගේ කියමන් වාග් කෝෂයට එකතු වෙලා තියෙන්නේ අහම්බෙන් නෙමෙයි කියලයි. පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් මේ ඉරණමට ගොදුරු වෙන්න ඇති කියන එක තර්කානුකූල වනවා වගේම ඇතැම් මූලාශ්‍ර වලිනුත් තහවුරු වෙනවා.

ලන්දේසි කාලයේ ලංකාවේ පවුල් හා දේපොළ ගැන ඉතා විස්තරාත්මක හා සාපේක්ෂව නිවැරදි මූලාශ්‍ර ලෙස ඔවුන් විසින් පවත්වාගෙන ආ තෝම්බු ඉතිරිව තිබෙනවා. මේ තෝම්බු වල ඔවුන්ගේ පාලන ප්‍රදේශ වල එක් එක් නිවසේ සාමාජිකයින් පිළිබඳ  තොරතුරු වගේම දේපොළ පිළිබඳ තොරතුරුත් ඉතා විස්තරාත්මකව වාර්තා වී තිබෙනවා. සංඛ්‍යාත්මකව ගත්තොත් පුද්ගලයින් 250,000කගේ පමණ තොරතුරු.

යේල් සරසවියේ ෆේබියන් ඩ්‍රික්ස්ලර් හා නෙදර්ලන්තයේ රාද්බවුඩ් සරසවියේ යාන් කොක් විසින් 1756-68 අතර කාලයේ සියනෑ කෝරළයේ මැද පත්තුවේ හා හාපිටිගම් කෝරළයේ උඩුගහ පත්තුවේ තෝම්බු පරීක්ෂා කරමින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට අවම වශයෙන් උඩුගහ පත්තුවේ ගැහැණු ළමුන්ගෙන් 57%ක් උපතේදීම අතුරුදහන්. එක පවුලක ඉතිරිව සිට ඇති සාමාන්‍ය දරුවන් ගනන 2.7ක් පමණයි. මැද පත්තුවේ ගැහැණු ළමුන්ගෙන් අවම වශයෙන් 27%ක් අතුරුදහන්.

මේ ගණන් ඇස්තමේන්තු කර තිබෙන්නේ සාමාන්‍ය ගහණයක උපතේදී පැවතිය යුතු ගැහැණු පිරිමි අනුපාතය මත පදනම්වයි. ඇතැම් අවුරුදු වලදී තත්ත්වය වඩාත් දරුණුයි. එවැනි ඇතැම් අවුරුදු වල පිරිමි දරුවන් 500කට ගැහැණු දරුවන් ඉන්නේ 100ක් පමණයි. ඒ වගේම, ගැහැණු දරුවකුට පසුව ඉපදෙන ගැහැණු දරුවකු අතුරුදහන් වෙන්න තිබෙන්නේ විශාල ඉඩක්. පිරිමි දරුවන්ගෙන් කොටසකුත් අතුරුදහන් වී ඇති බව සැලකූ විට මේ ඇස්තමේන්තු මීට වඩා ගොඩක් වැඩි විය යුතුයි.

මේ තත්ත්වය වෙනස් වුනේ ආසන්න වශයෙන් ඉංග්‍රීසීන් ලංකාවට පැමිණි කාලයේ. එයින් අදහස් වෙන්නේ ඉංග්‍රීසීන් පැමිණි නිසා ඒ වෙනස වුනා කියන එකම නෙමෙයි. අදාළ කාලය ලෝකය පුරාම ජනගහණ වර්ධනයේ වෙනසක් සිදු වුණු කාලයක්. ඉංග්‍රීසින් නොආවත් ආසන්න කාලයකදී ලංකාවේ එවැනි වෙනසක් විය හැකිව තිබුණා. ඉංග්‍රීසින්ගේ පැමිණීම නිසා එය ඉක්මන් වුනා.

(Image: http://lankapura.com/2009/05/a-native-family-ceylon-1880-1890/)

Saturday, January 26, 2019

සාධාරණ සමාජය



පවුල් සැලසුම කියන සංකල්පය අලුත් එකක් නෙමෙයි. සියවස් ගණනක් තිස්සේ ලෝකයේ බොහෝ සංස්කෘතීන් වල ජීවත් වූ මිනිස්සු පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කරලා තියෙනවා. වෙනස තියෙන්නේ කරපු ක්‍රමයේ.

ඉතිහාසයේ වැඩි කාලයක් පුරා පවුල් සැලසුම් කිරීම කියන එකෙන් අදහස් වුනේ අනවශ්‍ය දරුවන් උපන් අළුතම මරාදැමීම හෝ මැරෙන්නට හැරීමයි. ඊට අමතරව, දරුවන් අවශ්‍ය අයෙක් සිටීනම් දරුවා හදා ගන්න දීමත් සිදුවෙලා තියෙනවා.

ග්‍රීක හා රෝම සංස්කෘතීන් පැතිර තිබුණු ප්‍රදේශ වල උපන් අළුත දරුවන් මරා දැමීම ඉතා සාමාන්‍ය දෙයක් ලෙස මෙන්ම පිළිගත් සමාජ සම්මතයක්ව පැවතී තිබෙනවා. මෙය වරදක් ලෙස සලකා නැත්තේ උපන් අළුත දරුවෙකු මිනිසෙකුව නැතැයි යන පදනමින්. තර්කානුකූලව බැලූ විට මෙය අද බොහෝ සමාජ වල ගබ්සාව සමාජ සම්මතයක් වීමෙන් වෙනස් වන්නේ නැහැ.

ඔක්සිරින්කස් ප්‍රදේශයේ සිට ඇලෙක්සැන්ඩ්‍රියාවට රැකියාව පිණිස පැමිණ සිටි හිලරියන් විසින් ගමට යන කණ්ඩායමක කෙනෙකු අතේ ඔහුගේ ගැබ්බර බිරිඳට ලිපියක් යවනවා.  ක්‍රිස්තු පූර්ව 1 වසරේ ජූනි 17දා (සීසර්ගේ 29 වෙනි අවුරුද්දේ පවුනි මාසයේ 23 වෙනිදා) පැපිරස් පතක ලියන මේ ලිපියේ ඔහු බිරිඳට මෙහෙම කියනවා.

"අනෙක් අය ගමට එද්දී මම ඇලෙක්සැන්ඩ්‍රියාවේ නතරව සිටීම ගැන කණගාටු වෙන්න එපා. පොඩි පුතාව ආදරයෙන් බලාගන්න. පඩි ලැබුණු ගමන් සල්ලි එවන්නම්. මා එන්න කලින් දෙයියන්ගේ පිහිටෙන් කරදරයක් නැතුව දරුවා ලැබුනොත්, පුතෙක්නම් තියාගන්න. දුවෙක්නම් ගිහින් දාන්න."

දැන් මේ විදිහට දුවෙක්නම් ගිහින් දාන්න කියන එකෙන් කියන්නේ අලුත උපන් අනවශ්‍ය දරුවන් ගෙනිහින් දමන තැනකට ගිහින් දාන්න කියලයි. එවිට දරුවන් අවශ්‍ය අයෙක්ට කැමතිනම් දරුවා එතැනින් අරගෙන ගිහින් හදාගන්න පුළුවන්. නමුත් බොහෝ විට වෙන්නේ දරුවා මරණයට පත් වෙන එකයි. ආබාධිත දරුවන් මරා දැමිය යුතු බව කලක් රෝම නීතියේ කොටසක්ව තිබී තිබෙනවා. මේ වගේ පුරුදු පාලනය වී තිබෙන්නේ ක්‍රිස්තියානි ආගම පැතිරීමෙන් පසුවයි. මේ ආකාරයටම මැදපෙරදිග බිළිඳුන් මරා දැමීම පාලනය වී තිබෙන්නේ ඉස්ලාම් ආගම පැතිරීමෙන් පසුවයි. චීනයේ, ජපානයේ හා ඉන්දියාවේ අනවශ්‍ය බිළිඳු දරුවන් මරා දැමීම දහනවවන සියවස දක්වාම ප්‍රචලිතව තිබී තිබෙනවා. ජපානයේ මෙය හැඳින්වී තිබෙන්නේ කප්පාදු කර දැමීම යන අදහස ඇති මබිකි (まびき) යන නමින්.

පසුගිය සටහනේ පලකළ රොබට් නොක්ස්ගේ සටහන අනුව දිය බඳුනක හිස ගිල්වීමෙන්, පණ තිබියදීම වලලා දැමීමෙන් හා මිය යන තුරු කෑම බීම නොදී සිටීමෙන් ලංකාවේ අනවශ්‍ය දරුවන් මරා දමා තිබෙනවා. තමන්ගේම කුලයේ අයෙක් ඉදිරිපත් වූ අවස්ථාවලදී දරුවාව හදාගන්න දී තිබෙනවා. රොබට් නොක්ස් කියන්නේ මේ පුරුද්ද නැවැත්වීමට එවකට කිසිදු නීතියක් නොවූ බවයි. එහෙත්, පසුකාලීනව එවැනි නීතියක් පනවා තිබෙනවා.

1825 අගෝස්තු 25දා ගාලු කොටුවෙන් ලංකාවට ගොඩ බැස ලංකාව පුරා සංචාරය කරන රෙජිනෝල්ඩ් හෙබර් බිෂොප් වරයා විසින් ඒ වන විටත් ලංකාවේ බිළින්දන් ඝාතනය වෙමින් තිබීම ගැන 1825 සැප්තැම්බර් 16 දින සටහන් කරන්නේ මෙහෙමයි (පිටුව 252).

"උපන් අළුත බිළිඳියන් මරා දැමීමේ බිහිසුණු පුරුද්ද දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්ක වල තවමත් තිබේ. පසුගිය 1821 සංගණනයට අනුව රටේ පිරිමින් ගණන ගැහැණුන් ගණනට වඩා 20,000කින් වැඩිය. එක් දිස්ත්‍රික්කයක පිරිමින් 100කට ගැහැණුන් සිටින්නේ 55ක් පමණි. ගැහැණු පිරිමි අනුපාතය සමානව තිබෙන්නේ තනිකරම මුසල්මානුවන් පමණක් ජීවත් වන ප්‍රදේශ වල පමණි. මේ අස්වාභාවික හැසිරීමට හේතුව එක් ගැහැණියක පිරිමින් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු සමඟ පවුල් කෑමේ අමුතු සිරිත හේතුවෙන් ගැහැණු දරුවන් විවාහ කර දීම අපහසු වී තිබීම හා ගැහැණියක අවිවාහකව ජීවත්වීම ලැජ්ජාවට කරුණක් සේ සැලකීමයි. ගැහැණු උපතක් සිදු වූ වහාම නැකත්කරු විමසනු ලැබ ඈ නරක ග්‍රහ පිහිටීම් සහිතව උපත ලබා ඇත්නම් වන මෘගයෙකුට ගොදුරු වී හෝ කූඹි කා මිය යන්නට ඉඩ හරිමින් කැලෑවක අතහැර ඒම සිදු වේ. කෙසේ වුවද, මෙය සිදුවන්නේ මවුවරුන්ගේ කැමැත්තෙන් නොවන බව අසන්නට ලැබීම සතුටට කරුණකි."

Friday, January 25, 2019

උපන් හැටියෙම ගලේ ගහපිය!

වයස්ගත වැඩිහිටියන්ට නොසලකා හැරීම හා අමානුෂික ලෙස හැසිරීම පිළිබඳ පුවත් තවමත් ඉඳහිට ලංකාවෙන් වාර්තා වෙනවා. දැන් මම කියන්න හදන්නේ මේ වගේ දේවල් වෙන්නේ ලංකාවේ විතරක් කියන එක නෙමෙයි. ඒ නිසා, කවුරුවත් ඇමරිකාවේ හරි වෙනත් බටහිර රටක හරි වාර්තා වුනු ඔය වගේ දේවල් හොයන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ තවමත් ඔය වගේ දේවල් ලංකාවේ වෙන බව පමණයි.

පහුගිය ලිපියෙන් පෙන්වා දුන් පරිදි දෙසිය වසකට පමණ පෙර ඔය වගේ සිද්ධි අදට වඩා සුලභව සිදු වෙලා තියෙනවා. මේ දේවල් මේ විදිහට වුනේ ලංකාවේ එවකට තිබුණු බෞද්ධ සංස්කෘතියේ අවුලක් නිසා කියා මම කියන්නේ නැහැ. නමුත්, රටේ තිබුණේ බෞද්ධ සංස්කෘතියක් වූ පමණින් හැම දෙයක්ම වෙන්නේ ආගමේ උපදෙස් දෙන හැටියට නෙමෙයි. ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න සත්තු මැරුවේ වැද්දෝ විතරක් නෙමෙයි. මාළු ඇල්ලුවේ රෝමානු කතෝලිකයෝ විතරක් නෙමෙයි.


තමන්ගේ වයස්ගත අම්මව හරි අප්පච්චිව හ‍රි මැරෙන්න ඉඩ හරිමින් කැලේට ගිහින් දාන එක දරුවෙක් විසින් කරන්නේ දරුවාගේ තියෙන නපුරු කමටම නෙමෙයි. බොහෝ විට වෙන කරන්න දෙයක් නැති නිසා. ජීවිතය පවත්වා ගන්න අවශ්‍ය කැලරි ප්‍රමාණය හොයා ගන්න එකත් අසීරු වැඩක් වුණාම වෙරළු ගෙඩිය හත් දෙනෙක් එක්ක කන එක ප්‍රායෝගිකව හරියන වැඩක් නෙමෙයි.

ලොකුවට මුදල් භාවිතයක් නොවුණත් සුද්දෝ එන්න කලින් ඉඳලම ලංකාවේ නිදහස් ගනුදෙනු සිදුවුනා. ගොඩක් වෙලාවට මේ ගනුදෙනු සිදු වුනේ භාණ්ඩ හෝ සේවා (ශ්‍රමය) හුවමාරු කරගැනීම් විදිහටයි. කුල ක්‍රමය හරහා කිසියම් ආකාරයක ශ්‍රම විභජනයක් හා විශේෂිත ශ්‍රමය ජනනය වීමක් සිදුවුනා. මේ දේවල් කාර්යක්ෂමතාවය ඉහළ නංවන නමුත් ඔය කියපු ගණුදෙනු බොහොමයක්ම සිදු වුණේ ගම් ඒකක ඇතුළේ. ඒ හැර රටේ විවිධ ප්‍රදේශ අතර ආර්ථික ගනුදෙනු සිදුවුනේ ගොඩක් අඩුවෙන්.

මෙහි ප්‍රතිඵලයක් විදිහට වී ගොවිතැන වඩා කාර්යක්ෂම ලෙස කළ හැකිව තිබුණු අම්පාර මාතර වගේ පැතිවල වගේම එහෙම කරන්න බැරි පැති වල මිනිස්සුත් එල්ලිලා හිටියේ වී ගොවිතැනේ. අවුල තිබුණේ මොකක් හරි හේතුවකින් එක දිගට කන්න දෙක තුනක් පාළු වුණු වෙලාවටයි. ඒ වගේ වෙලාවක ඒ වගේ පැත්තකට ආහාර අතිරික්තයක් තිබුණු රටේ වෙන පැත්තකින් ආහාර එන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. වයස්ගත දෙමවුපියන්ව කැලේ ගහන්න සිදු වුනේ ඔය වගේ කාල වලදීයි.

මිනිස් සමාජයක ඉන්න වයස්ගත අය කියන්නේ අනෙක් අයගේ උදවු අවශ්‍ය දුර්වල කණ්ඩායමක්. එහෙම අයට ඔය වගේ ඉරණමක් අත් වුනානම් ඊටත් වඩා දුර්වල කොටසක් වූ බිළින්දන්ට අත් වුනේ මොන වගේ ඉරණමක්ද? බිළින්දන්ව උපන් අළුතම මරා දැමීම හෝ මැරෙන්නට ඉඩ හැර අත් හැර දමනු ලැබීම ලෝකයේ ගොඩක් සංස්කෘතීන් වල ජනගහණ පාලන උපක්‍රමයක් ලෙස සිදු වී තිබෙන දෙයක්. ලංකාව කියලත් වෙනසක් තිබිලා නැති බව ඉතාම පැහැදිලි කරුණක්. උපන් අලුත දරුවන් කුණු ගොඩවල් වලට නැත්නම් වැසිකිලි වලවල් වලට විසිකර දමන අවස්ථා අදටත් වාර්තා වෙනවනේ.

"පිරිමි ජාතිය උතුම් ජාතිය උපන් හැටියෙම මල් පුදාපිය
ගෑණු ජාතිය ජරා ජාතිය උපන් හැටියෙම ගලේ ගහපිය"

ඔය අපි පොඩි කාලේ ඉගෙන ගත්ත කවියක්. මමත් ඔය කවිය මගේ සොහොයුරියට හා වෙනත් ඥාති සොහොයුරියන්ට කියල තියෙනවා. මම හිතන්නේ ඕකත් පරම්පරා ගාණක් තිස්සේ පහළට සම්ප්‍රේෂණය වූ කවියක් කියලයි. උපන් අළුත පිරිමි දරුවන් ඉතිරි කරගෙන දැරිවියන් මරා දැමීම ගොඩක් රටවල සිදුවී තිබෙන දෙයක්. පැරණි ලංකාවේ උපන් අළුතම දරුවන් මරා දමන එක කොයි තරම් දුරකට සිදු වුනාද?

මේ පිළිබඳ මූලාශ්‍ර ගණනාවක්ම තියෙනවා. මම වඩා විශ්වාසනීය මූලාශ්‍රයක් වන රොබට් නොක්ස්ගේ එදා හෙළදිව උපුටා දක්වන්නම්.

"දරුවෙකු මෙලොව එළිය දුටු කෙණෙහි, දරුවාගේ පියා හෝ සෙසු ආසන්න ඥාතියෙක් නැකැත්කරු වෙත ගොස්, දරුවා යහපත් ග්‍රහබල සහිතව හොඳ වෙලාවක උපන්නේද නැතහොත් අයහපත් ග්‍රහබල සහිතව නරක වේලාවක උපන්නේද, යන බව දන්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින්නේය. ඉදින් උපත ලද දරුවා නරක ග්‍රහබල ඇතිව නරක වෙලාවක උපන් බව ප්‍රකාශ වුවහොත් ඔහුගේ පැවැත්මෙන් පවුලට අවුල වන හෙයින්, දරුවා ආහාර නොමැති කමින් මිය යන තුරු හාමත් කර තැබීමෙන්, දිය බඳුනක හිස ඔබා තබා හුස්ම හිරවී මැරෙන්නට සැලැස්වීමෙන් හෝ පණ පිටින්ම වළලා දමමින් මැරෙන්නට ඉඩ හරිති. ... එසේ වුවද, කුළුඳුලෙන් උපන් දරුවෙකුට එසේ කරනු ලබන්නේ කලාතුරකිනි."

නිල් පාටින් තිබෙන කොටස් ඩේවිඩ් කරුණාරත්නගේ අනුවර්තනයේ (පිටු 295-296) ඇතත්, රතු පැහැයෙන් ඇති කොටස් එහි නැහැ. රොබට් නොක්ස්ගේ පොතේ තිබෙන පැරණි සිංහලයාගේ කුරිරුකම මතු කර පෙන්වන ඒ කොටස් ඔහු සිංහල පාඨකයාට පෙන්වන්නේ නැත්තේ හිතාමතාම විය යුතුයි. ඉතිහාසය කියා අප දන්නා දෙය කාලයත් එක්ක වෙනස් වෙන ආකාරයට මෙයත් එක් නිදසුනක්.

බිළිඳු දරුවන් මරා දැමීමට හේතුව ලෙස මෙහි පෙන්වන්නේ ග්‍රහඅපලයි. එවැනි දේ ඉතිහාසයේ බොහෝ කල් සිටම සිදුවූ බවට පණ්ඩුකාභය කතාවත් සාක්ෂි සපයනවා. කෙසේ වුවත්, පළමු දරුවා එසේ මරා දැමීම කලාතුරකින් සිදුවන්නක් බව කීමෙන් මෙහි තිබෙන ආර්ථික සාධක වල බලපෑම පැහැදිලිව පෙනෙනවා. ගැහැණු දරුවන්ව වැඩිපුර මරා දමනු ලැබූ බවක් රොබට් නොක්ස් විසින් සඳහන් කර නැහැ. එහෙත් එවැන්නක්ද සිදුවී ඇති බවත්, දරුවා ගැහැණුනම් පළමු දරුවන්ගෙන් පවා සැලකිය යුතු කොටසක් මරා දමනු ලැබ ඇති බවත් වෙනත් මූලාශ්‍ර වලින් තහවුරු වෙනවා. ඒ කරුණු ඉදිරි ලිපියකට ඉතිරි කරමු.

ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට...


කලින් පෝස්ට් එක දැම්මේ යටි පෙළක් ඇතිව නෙමෙයි. මතක හැටියට පොඩි කාලේ අහපු කතාවයි ලිවුවේ. අන්තිම හරිය හරියටම මතක තිබුණේ නැහැ. මම අහපු කතාවෙත් අන්තිමට වුනේ කතා කතු විසින් සටහන් කර තිබුණ දේ හෝ GG විසින් සටහන් කර තිබුණ දේ වෙන්න පුළුවන්. බොහෝ විට කතාවේ වර්ෂන් කිහිපයක් තියෙන්න ඇති. ප්‍රතිචාර දමන්නට කාලය යෙදවූ සියල්ලන්ටම ස්තුති කරනවා වගේම ඒ ප්‍රතිචාර කියෙවුවහම අප උපයාගෙන තිබෙන ධනයක් වන මෙය කියවන පාඨකයින් ගැන සතුටක් හා ආඩම්බරයක් ඇති වෙනවා. කොහොම වුණත් කතාව සටහන් කළේ වෙන දෙයක් ගැන කතා කරන්න ප්‍රවේශයක් විදිහටයි.

තවත් ගොඩක් අය අහල තියෙන මේ කතාවේ හෝ මේ වගේ කතාවක හැටියට පුතා විසින් තමන්ගේ වයස්ගත අම්මව කැලේකට හෝ අමු සොහොනකට ගිහින් දාලා ඇගේ බරින් නිදහස් වෙන්න හදනවා. මේ සිද්ධිය කාගේ හරි හිතේ ඇඳුනු මනඃකල්පිත සිදුවීමක් පමණක්ද? නැත්නම් ඇත්ත සිදුවීමක් මත පදනම් වූ කතාවක්ද? ඒ වගේ ඇත්ත සිදුවීමක් වුණානම් එය එක් හුදෙකලා සිදුවීමක්ද? එසේ නැත්නම් නැන්දම්මා ලේලි ගැටුම් වගේ නිතර සිදුවුණු සාමාන්‍ය දෙයක්ද?

ජෝන් ෆර්ගසන් විසින් දහනවවන සියවසේ අග හරියේදී සටහන් කර තිබෙන පරිදි, ඒ සියවසේ මුල් කාලය වෙද්දීත්, ඒ කියන්නේ ඉංග්‍රීසින් ලංකාවට එන කාලය වෙද්දී, ලංකාවේ මේ වගේ දෙයක් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඔහු විසින් සටහන් කර තිබෙන පහත කරුණු මා අනුවර්තනය කර මෙහි පළ කරන්නේ බෞද්ධයින්ගේ දෙබිඩිකම පෙන්වා දීම සඳහා නෙමෙයි. ඒ කාලයේ සමාජය මොන වගේ එකක්ද කියන එක පෙන්වා දෙන්නයි. ජෝන් ෆර්ගසන් අදහස් කළේ බෞද්ධයින්ගේ දෙබිඩිකම පෙන්වා දීම වෙන්න පුළුවන්.

"සතුන් මැරීම මුළුමනින්ම තහනම් වූ බුද්ධාගමේ ආභාෂය ලබමින් දීර්ඝ කාලයක් හැදුණු මිනිස්සු වුවත් මේ අය ඇතැම් පොඩි සත්තුන්ට සලකන්න පුරුදු වී තියෙන්නේ ඉතිහාසයේ දැකිය හැකි කුරිරුම ආකාරයන්ටයි. කැස්බෑවන්ව පණ පිටින් පුච්චන පුරුද්ද නවත්තන්න අන්තිමට නීතියක් දාන්න පවා සිදු වුණා."

ඉබ්බන් වගේම කැස්බෑවනුත් පණ පිටින් පුච්චන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්ව තිබී ඇති බව තහවුරු කරන තවත් ජන කතාවක් වන්නේ අප හැමෝම වගේ අසා තිබෙන දස සිල් උපාසකගේ කතාවයි.

"මස් මෙළෙක් වෙනවායයි සිතා කළුකුමන් මරන්නට පෙර පණ පිටින් සිටියදී උන්ගේ දිව කපන එකත් මේ අයගේ පුරුද්දක්. ඔය වගේ දේවල් තව ලැයිස්තුවක් ලියන්න පුළුවන්."

ඔය විදිහටම ඌරෝ මරන්න කලින් මස් මෙළෙක් කර ගැනීමට උන්ට පොළු වලින් පහර දෙන එක වසර තිහ හතළිහකට පෙර කාලයේත් සිදු වූ බව මා අසා තිබෙනවා.

බෞද්ධයින්ගේ දෙබිඩිකම මසුන් මරණ බෞද්ධයින් කියන කතාව පහත කතාවෙන් පැහැදිළිව පේන බව ජෝන් ෆර්ගසන් සටහන් කරනවා (පිටුව 180).

"අපි මාලුන්ව මරන්නේ නැහැ. අපි කරන්නේ උන්ව වතුරෙන් ගොඩට ගන්න එක විතරයි. උන් මැරෙන්නේ ඉබේටයි."

මේ විදිහටම සත්තු මැරීමේ පවෙන් බේරිලා සත්තුන්ගෙන් නිදහස් වෙන්න බලු පැටවුන් හා පූස් පැටවුන් වාහනයකට අහුවෙන්න පාරක් මැදින් තබන බවත්, සර්පයින්ව වේවැල් කූඩයකට දමා ගඟ දිගේ මුහුදට පා කර අරින බවත් ඔහු කියනවා.

"මේ දේවල් වෙන්නේ හොඳම බෞද්ධයින් ඉන්න දකුණේ මාතර දිස්ත්‍රික්කයේ."

ඔන්න මාතර කට්ටියගේ ඉතිහාසය.

"මේ විදිහටම මහළු අසරණ මිනිස්සුන්ව ඔවුන්ගේ නෑදෑයින්ට කරදරයක් වීමෙන් බේරෙන්නට බත් මුලක් හා වතුර භාජනයක් අතට දී, වන සතුන්ට ගොදුරු වී මැරෙන්න ඉඩහැර මහ කැලේ තනිකර දමා එන එක මේ සියවසේ මුල දක්වාම තිබුණු පුරුද්දක්."

ඔය විදිහට අර ජනකතාවේ සිදුවීම මනඃකල්පිත හෝ කලාතුරකින් පමණක් සිදු වී තිබෙන සිදුවීමක් නෙමෙයි.



(Images: http://www.ips.lk/talkingeconomics/2016/06/15/world-elders-abuse-awareness-day-sri-lankas-greying-economy-an-impending-problem/)

Thursday, January 24, 2019

ආපසු ආ අම්මා...


මම පොඩි කාලේ කතා අහන්න ගොඩක් කැමැත්තෙන් හිටපු හා වැඩිහිටියන් කිහිප දෙනෙක්ගෙන්ම නිතර කතා අහන්න වාසනාවන්ත වූ අයෙක්. මේ විදිහට බ්ලොග් එකේ කතන්දර ලියන පුරුද්ද එන්න ඇත්තෙත් ඔය කතා අහල වෙන්න පුළුවන්.

මේ විදිහට අහපු කතා පරම්පරා ගාණක් කටින් කට සම්ප්‍රේෂණය වූ කතා වෙන්න පුළුවන්. මහා වංශය වගේ වංශ කතා වල තියෙන්නෙත් ඔය වගේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වූ කතා. අතරින් පතර සාමාන්‍ය ජන සමාජය ගැන තොරතුරු හැංගිලා තිබුණත් මහා වංශය කියන්නේ මහා විහාරික පරම්පරාවේ පන්සල් වල හා ඒ පන්සල් වලට උදවු කරපු රජවරුන්ගේ කතා.

ගොඩක් වෙලාවට ඉතිහාසය කියන්නේ රජවරුන්, පූජකයින් වගේ සමාජයේ උඩම ස්ථරයේ ඉතිහාසය. ජන කතා වලත් ගොඩක් වෙලාවට රජවරුන් වගේ සමාජයේ ඉහළ ස්ථරයේ අයට වැඩි අවකාශයක් ලැබුණත් ඉතිහාසයේ ජීවත් වූ සාමාන්‍ය මිනිස්සු ගැනත් තරමක් දුරට දැන ගන්න පුළුවන්.

නැන්දම්මගෙයි ලේලිගෙයි ආරවුල් ලංකාවේ ගොඩක් කතා වල පොදු මාතෘකාවක්නේ. බැඳලා අළුත් පිට වැඩි කෙණෙහිලිකම් ලේලිටයි. නමුත් වයසට යද්දී ගොඩක් වෙලාවට වෙන්නේ නැන්දම්මට රිටර්න් එක හම්බ වෙන එකයි. මේ කියන කතාවේ වුනෙත් ඒ වගේ දෙයක්. අහේනි කාලයකදී ගෙදර කෑම බීම හිඟ වෙද්දී වයස්ගත නැන්දම්මාට කන්න දෙන එක අමාරු නිසා ගෙදරින් කොහේ හරි කැලේකට ගිහින් දාන්න කියලා ලේලිගෙන් සැමියාට ගැලවිල්ලක් නැහැ. වදෙන් බේරෙන්න බැරිම තැන පුතා මහ රෑ අම්මව කැලේ මැද්දේ සොහොනකට ගිහිං දාල ආපහු ගෙදර එනවා.

ඔය වගේ අවස්ථාවකට මුහුණ දෙන වයස්ගත කාන්තාවකට නැවත ජීවිතේ බේරාගෙන එන එක ලේසි නෑනේ. ගොඩක් වෙලාවට වෙන්නේ සොහොනේ තැන තැන තියෙන මිනී කන්න එන කැලෑ සත්තුන්ට ඔය වගේ කෙනෙක්ව ගොදුරු වෙන එකයි. හැබැයි මේ අම්මා වාසනාවන්තයි.

ගෙවල් කිහිපයක්ම බිඳපු හොරු රංචුවක් හරියටම එදා රෑ මේ සොහොනට එන්නේ කාටවත් නොපෙනෙන්න තමන් සතු වස්තුව බෙදා ගන්නයි. සොහොනේ තනියම බයේ ගැහි ගැහී ඉන්න වයසක අම්මා දකිනවා මිනිස්සු ටිකක් සොහොනට ආපු බව. ඇය ඔවුන් වෙත යන්නේ ඔවුන්ගෙන් උදවුවක් ලබා ගෙන පණ බේරගන්නයි.

කතා වල සාමාන්‍යයෙන් වෙන විදිහටම මේ එන්නේ හොල්මනක් කියා හිතන හොරු ටික හොඳටම බය වෙලා පණ එපා කියලා දුවනවා. හොරු හිටපු තැනට ගිහින් බලන වයසක අම්මා දකින්නේ රන්, රිදී, මුතු, මැණික් මාර තොගයක්. ඔය වස්තු සම්භාරය පොදි බැඳගන්න අම්මා කොහොම හරි පාර හොයාගෙන ආපහු පුතාගේ ගෙදරටම යනවා. පුතා කළ දේ මොකක් වුනත් අම්ම කෙනෙක් එහෙම කරන එකේ ලොකු අමුත්තක් නැහැනේ. තමන්ව සොහොනට ගිහින් දැම්මේ ආර්ථික ප්‍රශ්න නිසා පුතාට වෙන කරන්නම දෙයක් නැති නිසා කියලා ඈ හිතන්න ඇති. දැන් ලැබුණු වස්තු සම්භාරය පුතාට දුන්නොත් පුතා ගොඩ යන බවත් තේරෙන්න ඇති.

හිතපු විදිහටම ඇයට නැවත ගෙදර දොර ඇරෙනවා. පොඩි කාලේ අහපු කතාවක් නිසා හරියටම මතක නැහැ. හැබැයි ඇය ගෙදරට කියන්නේ ඇත්ත කතාව නෙමෙයි. මතක විදිහට දෙවි කෙනෙක් ඇවිදින් උදවු කරපු කතාවක් වගේ එකක්. කොහොම හරි ඊට පස්සේ ඇයට මැරෙන කල්ම පුතාගෙන් වගේම ලේලිගෙනුත් සැලකිලි ලැබෙනවා.

මේ කතාව අහල තියෙන අය ඉන්නවද?

(Image: http://www.boondi.lk/article.php?ArtID=3226) 

Tuesday, January 22, 2019

1800 ගෙදර හා 2017 ගෙදර



උඩින් තිබෙන ඡායාරූප දෙක සහිත පෝස්ටුව මේ වන විට බුකියේ බොහෝ දෙනෙකු අත හුවමාරු වී තිබේ. කියන විදිහට එහි උඩින් තිබෙන්නේ 1800 අවුරුද්දේදී ලංකාවේ නිවසකි. පහළින් තියෙන්නේ 2017 ලංකාවේ නිවසකි. නිවෙස් දෙකම පොල් අතු සෙවිලි කළ, කටු මැටි ගැසූ නිවෙස්ය. සසඳා බැලූ විට 1800 නිවස 2017 නිවසට වඩා වර්ග ප්‍රමාණයෙන් තරමක් හෝ ලොකු එකක් බව පෙනේ. ඒ අනුව, මෙය සකස් කළ පුද්ගලයා විසින් පෙන්වන්නට හදන්නේ 1800-2017 අතර කාලයේ ලංකාවේ ජීවන තත්ත්වය අයහපත් අතට මිස යහපත් අතට හැරී නොමැති බවයි. එසේ නොමැතිනම් අවම වශයෙන් රටේ දුප්පතා එතැනම බව පෙන්වීමේ උත්සාහයක් මෙහි තිබේ. මෙය බෙදා හදාගෙන තිබෙන හා මෙයට කැමැත්ත පළ කරන ඇතැම් අයද එසේ සිතනවා වන්නට පුළුවන. එසේ නැත්නම් යුගයේ ජනප්‍රිය පුරුද්ද අනුව වැඩිදුර නොසිතා මෙය ප්‍රචාරය කළා විය හැකිය.

පළමුව, මෙහි පළමු ඡායාරූපය ලංකාවේ 1800 නිවසක් වීමේ හැකියාවක් නැත. ඒ වන විට මෙවැනි ඡායාරූප ගැනීමේ තාක්ෂනය ප්‍රචලිතව තිබුණේ නැත. ලංකාවේ මුල්ම ඡායාරූප 1840 පමණ කාලයේ ඒවාය. සාපේක්ෂව හොඳ මට්ටමේ මුල්ම ඡායාරූප 1850 හෝ පසු වසරකදී ගත් ඒවාය.

ඉහත ඡායාරූපයේ වඩා පැහැදිලි කොපියක් ලංකාපුර වෙබ් අඩවියේ තිබේ. එහෙත්, ඡායාරූපය පිළිබඳ වැඩිමනත් තොරතුරක් එහි නැත. මේ ඡායාරූපය වැඩිම වුනොත් දහනවවන සියවසේ දෙවන භාගයේදී ගත් එකක් මිස ඊට වඩා පැරණි එකක් නොවේ. කෙසේ වුවත්, එයින් 1800 පමණ කාලයේ ලංකාවේ සාමාන්‍ය නිවසක් නිරූපණය වන්නේය යන්න පිළිබඳව බොහෝ දෙනෙකු එකඟ වනු ඇත.

කියන විදිහට දෙවන නිවස 2017 වසරේදී ලංකාවේ නිවසකි. එම වසරේදී මෙන්ම අදටත් මෙවැනි නිවෙස් යම් ප්‍රමාණයක් ලංකාවේ නැතුවා නොවේ. ඒ නිසා, ඡායාරූප දෙක පිළිබඳව විශාල ගැටළුවක් නැත.

දහනවවන සියවස මුලදී ලංකාවේ ගෙවල් වැඩි ප්‍රමාණයක් උඩ ඡායාරූපයේ තිබෙන ආකාරයේ ගෙවල් විය. විසිවන සියවස මුලදීද එවැනි ගෙවල් විශාල ප්‍රමාණයක් තිබුණේය. මා කුඩා කළ, 1970 දශකයේදී වුවද ලංකාවේ ඇතැම් ගම් වල බොහෝ නිවෙස් ඉහත ආකාරයේ ඒවා විය.

එහෙත්, අද තත්ත්වය එසේ නැත. දෙවන ඡායාරූපයේ තිබෙන ආකාරයේ නිවෙස් අදටත් ලංකාවේ තිබෙතත් ඒ සුළු ප්‍රමාණයකි. අද එවැනි නිවෙසක් හොයා ගැනීම එතරම් පහසු නැත. 1800 නිවෙස කෙසේ වෙතත් 2017 නිවෙස කිසිසේත්ම එම වසරේ ලංකාවේ සාමාන්‍ය නිවෙසක් නිරූපණය කරන්නේ නැත.

අනෙක් අතට 1800 සිට වසර සියයක්, පන්සියයක් හෝ දහසක් පසුපසට ගියද ලංකාවේ සාමාන්‍ය නිවෙසක් ලෙස බොහෝ විට හමු වනු ඇත්තේ උඩ ඡායාරූපයේ දැකිය හැකි ආකාරයේ නිවෙසකි. ඒ තත්ත්වය සියවස් ගණනාවක් තිස්සේ වෙනස් වුනේ නැත. ඊට වඩා හොඳ ගෙයක් හදා ගැනීමට හැකි ආර්ථික ශක්තියක් ඒ කාලයේ ලංකාවේ සාමාන්‍ය ගැමියෙකුට තිබුණේ නැත. එවැනි හැකියාවක් තිබුණේනම් ඒ විශාල ඉඩම් හිමියන්, ප්‍රාදේශීය පාලකයින් වැනි සීමිත පිරිසකට පමණි. ඉතිරි බහුතරයට තිබුණේ නොමැරී ජීවත් වීමට ප්‍රමාණවත් යැපුම් මට්ටමේ ආදායමක් පමණි.

ආසන්න වශයෙන් දහනවවන සියවසේ මුල පටන් ඉහත තත්ත්වය වෙනස් වෙන්නට පටන් ගත්තේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය වෙනුවට මිනිසුන් අතර නිදහස් ගණුදෙනු ප්‍රචලිත වන්නට පටන් ගැනීමත් සමඟය. ඒ සමඟම ලෝකයේ අනෙක් රටවල මෙන්ම ලංකාවේ මිනිසුන් අතේද වඩා හොඳ ගෙයක් වෙනුවෙන් යෙදවිය හැකි අතිරික්ත ප්‍රාග්ධනයක් ඉතිරි විය. නමුත්, රටේ සියළු දෙනාම එක වර මේ පියවර තැබුවේ නැත. ඒ නිසා, රටේ සියලුම පොල් අතු ගෙවල් එකවර උළු ගෙවල් වුනේ නැත. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ කෙසේ වුවත්, ලංකාවේ ගම්බද ගෙවල් බොහොමයක් වඩා හොඳ ගෙවල් බවට පත් වූයේ 1980 පමණ සිට ගම්බද කාන්තාවන් ඇඟලුම් කම්හල් රැකියා හා මැදපෙරදිග රැකියා ආදිය හරහා ශ්‍රම බලකායට එක් වන්නට පටන් ගැනීමට සමාන්තරවය.

දහනවවන සියවස මුලදී ලංකාවේ උළු සෙවිලි කළ ගෙවල් තිබුණේ 20,000ක් පමණ ප්‍රමාණයකි. රටේ ජනගහනයෙන් අති මහත් බහුතරය ජීවත් වූයේ උඩ පළමු ඡායාරූපයේ ඇති ආකාරයේ නිවෙසකය. ඒ වන විට වැලි හා බොරළු ඇතිරූ පාරවල් මිස ගල් දැමූ පාරවල් කිසිවක් රටේ තිබුණේ නැත. වාහන කියා රටේම තිබුණේ කරත්ත 50ක පමණ ප්‍රමාණයකි.

සියවසේ අවසානය කිට්ටුව 1893 වසර වෙද්දී රටේ උළු සෙවිලි කළ ගෙවල් ප්‍රමාණය 550,000ක් විය. ගල් ඇතිරූ පාරවල් සැතපුම් 1,450ක් හා දුම්රිය මාර්ග සැතපුම් 265ක් හැදී තිබුණේය. රටේ ප්‍රධාන නගර බොහොමයක් කරත්ත පාරවල් වලින් යා වී තිබුණු අතර රටේ කරත්ත ප්‍රමාණය 25,000 දක්වා ඉහළ ගොස් තිබුණේය. මේ මාර්ග පද්ධතියේ උදවුවෙන් වැඩි වැඩියෙන් නිදහස් ගනුදෙනු සිදුවිය.

පසුගිය 2017 වසර වෙද්දී රටේ දුම්රිය මාර්ග පද්ධතිය කිලෝමීටර 1,562ක්ද, අධිවේගී මාර්ග කිලෝමීටර 170ක්ද, අනෙකුත් ප්‍රධාන මාර්ග කිලෝමීටර 12,210ක්ද හැදී රටේ ගම් නියම් ගම් සියල්ලම වාගේ ජාතික ආර්ථිකය සමඟ බද්ධ වී තිබුණේය. කාර් 756,856ක්, ත්‍රිරෝද රථ 1,139,524ක්, මෝටර් සයිකල් 4,044,010ක් ඇතුළුව මෝටර් වාහන 7,247,122ක් මේ මාර්ග වල ධාවනය විය. රටේ ගෙවල් වලින් 99.3%කටම විදුලි බලයද, 88.8%කට පානීය ජල පහසුකම්ද (49.2%කට පයිප්ප වතුරද) තිබුණේය. ඔය අතරේ ඉහත දෙවන රූපයේ පෙනෙන ආකාරයේ ගෙවල් යම් ප්‍රමාණයක්ද තවමත් ඉතිරිව තිබෙනවා විය හැකි වුවත් එවැනි නිවෙසකින් කිසිසේත්ම වත්මන් ලංකාවේ ජනජීවිතය නිරූපණය වන්නේ නැත. එවැනි නිවෙසක් දැන් හොයා ගත යුත්තේ ඉතා අසීරුවෙනි.

ඒ නිසා ඇත්තටම මේ ඡායාරූප දෙකෙන් පෙන්වන්නේ ඉතිහාසයට සාපේක්ෂව පසුගිය දෙසියවස තුළ ලංකාවේ ජන ජීවිතයේ දැකිය හැකි සුවිශාල ප්‍රගතියයි.

Friday, January 18, 2019

දොඩන්නැතුව කෝමෙයි?


පහුගිය ලිපියට වැඩිපුර ලැබිල තිබුණේ යන්නෙ කොහෙද මල්ලෙ දොඩම් ප්‍රතිචාර. කතා කළේ ඉරටයි හඳටයි යන එක ගැනයි. දොඩමුත් ඉර හඳ වගේ ගෝලාකාර නිසා දොඩම් මතක් වුනාද දන්නෙ නෑ. කොහොම වුනත් දොඩම් ගැන කතාවක් ඇදිල ඇවිත් නිසා ඒ ගැනත් මක්කා හරි දොඩන්නැතුව කෝමෙයි?

ඔය ප්‍රතිචාර වල කියන කවුරු හරි විදේශිකයින් කණ්ඩායමක් බිබිලේ දොඩම් වලට ගේම දුන්නා කියන කතාව ටිකක් පරණ කතාවක්. මට ඔය කතාව අහන්න ලැබිලා අඩු ගානේ අවුරුදු තිහක් තිස් පහක්වත් ඇති. ඒ දවස් වල ඔය වගේ කතාවක් ඇහුනහම වැඩි හොයා බැලිල්ලක් නැතුව කතාවට ප්‍රචාරයක් දෙන එක අපිත් කරපු වැඩක්.

ඔය වගේ කතාවක් පැතිරෙන්න මොකක් හෝ හේතුවක් තියෙන්න පුළුවන්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනේ. හැබැයි ගිණි නැතුවම දුම් නගින වෙලාවලුත් තියෙනවා. මේ කතාවේ පසුබිම හා අදාළ වැඩි තොරතුරු සමහර විට කියවන අය දන්නවා ඇති. මමනම් දන්නේ නැහැ. නොදත් පමණින්, ඔය කතාව බොරුවක් බව හෝ ඔය වගේ දේවල් වෙන්න විදිහක් නෑ කියලා කියන්නත් බෑ. කොහොම වුනත්, පදනමක් ඇතුව හෝ නැතුව ඔය වගේ කතාවක් වේගයෙන් පැතිරුණේ කොහොමද කියන එක ගැනනම් අදහස් දක්වන්න බැරිකමක් නැහැ.

දැන් ලංකාවේ ඕනෑම අහුමුල්ලකින් රටින් එන කහ දොඩම් මිල දී ගන්න පුළුවන්. ඇමරිකාවත් දොඩම් නිෂ්පාදනය කරන හා අපනයනය කරන රටක් වුනත් ලංකාවට මේ දොඩම් එන්නේ ඇමරිකාවෙන් කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලින් වෙන්න පුළුවන්. මේ හා අදාළ අළුත් සංඛ්‍යාලේඛණ තියෙන තැනක් මට හමු වෙලා නැති නිසා නිශ්චිත ප්‍රකාශයක් කරන්න අමාරුයි.

කොහොම වුනත් ඔය කහ පාට රට දොඩම් ලංකාවට එන්න ගත්තේ අසූව දශකයේ මැද හරියේදී වගේ. ඊට කලින් අපි (මම) දැකලා තිබුණේ කොළ පාට දොඩම් විතරයි. අපේ ගම් වල ගොඩක් ගෙවතු වල දොඩම් ගහක් තිබුණා. ඒ ගස් වල කවදාවත්  "මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ" කියන්න තරම් ගෙඩි හැදුනේ නැහැ. හැබැයි ගෙඩි හැදුනා. ගස් ලොකු නිසා ගෙඩියක් කඩා ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ වගේම පැණි දොඩම් කියා කිවුවත් ඔය දොඩම් දැන් තියෙන රට දොඩම් තරම් පැණි රස නැහැ. පොඩි ඇඹුල් ගතියකුත් තිබුණා. ඒ නිසා, ගොඩක් වෙලාවට දොඩම් මිරිකලා දොඩම් යුෂ හදලා බොනවා මිසක් දොඩම් බිකි ගලවාගෙන කෑවේ නැහැ.

ඔය කාලේ වෙද්දී මොණරාගල බිබිලේ වගේ පැති වල වාණිජ වගාවක් විදිහට දොඩම් වවන්න ඇති. මමනම් ලංකාවේ එවැනි වාණිජ දොඩම් වගාවක් කවදාවත් දැකලා තිබුණේ නැහැ. කොහොම වුනත්, ඒ පැති වලින් ආපු හෝ එහෙම නැත්නම් අපේ පැත්තේම ගෘහස්ථ වගාවක් ලෙස වවපු ගස් වලින් කඩාගත් දොඩම් කඩෙන් මිල දී ගත හැකිව තිබුණා. ලෙඩෙක් බලන්න එහෙම යන වෙලාවල් වලදී අපි ගෙදර ගහකින් කඩාගත් හෝ කඩෙන් ගත් දොඩම් ගෙඩි දෙක තුනක් අරං ගියා.

දොඩම් ගෙඩි දෙකක් තරමවත් උස නැති කාලේ දැකලා නොතිබුණත් ටිකක් ලොකු මහත් වුනාට පස්සේ කාලෙදී කඩවල් වල කහපාට රට දොඩම් තිබුණු බව මතකයි. මේ රට දොඩම් වල දේශීය දොඩම් වල නොතිබුණු ප්‍රණීත රසයක් වගේම සිත් ඇදගන්නා සුළු පෙනුමකුත් තිබුණා. කොහොමත් ඉතිං මාකට් එකට පොත්ත රතු ගෙඩියක් බැස්සහම ගොඩක් අයට කකා හිටපු ගෙදර වත්තේ ගෙඩිය අමතක වෙනවනේ. ඊට අමතරව මේ ගෙඩියේ රහත් හොඳයි. මිරික මිරික ඉන්න දෙයක් නැහැ. පොත්ත ගැලෙව්වා. ඇදල ඇරියා.

ඉතා පැහැදිලිවම ඔය රට දොඩම, අඩු වශයෙන් මුල් කාලයේදී, දේශීය දොඩම් වලට වඩා ලංකාවේ ගොඩක් අය අතර ජනප්‍රිය වුණා. ඊට අමතරව මේ දොඩම් ගෙඩියක් විකිණුනේ දේශීය දොඩමක මිලට වඩා ටිකක් හෝ අඩු මිලකටයි. ඒ නිසා, රට දොඩම ආපු ගමන් ලංකාවේ දේශීය දොඩම් වලට තිබෙන ඉල්ලුම අඩු වන එකත්, ඒ හේතුව නිසා දේශීය දොඩම් නිෂ්පාදනය පහත වැටෙන එකත් අනිවාර්යයෙන්ම සිදුවිය හැකිව තිබුණු දේවල්. දේශීය දොඩම් නිෂ්පාදනය වට්ටන්න කවුරු හෝ විසින් කුමන්ත්‍රණයක් කළත් නොකළත් එය සිදු විය හැකිව තිබුණා.

රට දොඩම් ලංකාවේ වෙළඳපොළට ඇවිත් ටික කාලයක් යද්දී දේශීය දොඩම් වැඩිපුර පේන්න නැතුව ගියා. ඔය කුමන්ත්‍රණ කතාව වේගයෙන් ප්‍රචලිත වුනේ ඔය කාලයේදී. බිබිලේ කියන නම ඊට පෙර සිටම විදේශීය කුමන්ත්‍රණ හා අදාළව කතා කරද්දී කියැවුණු නමක් වීමත් මේ කතාව පැතිරෙන්න උදවුවක් උනාද දන්නේ නැහැ.

දැන්නම් නැවතත් කොළපාට දේශීය දොඩම් වලට ලංකාවේ ඉල්ලුමක් ඇති වී තිබෙනවා. එය තරමක් දුරට ලංකාවේ සිදු වූ සංස්කෘතික වෙනසක් එක්ක සිදු වුනු දෙයක් වෙන්න පුළුවන්. කොහොම වුනත් රට දොඩම් වල ජනප්‍රියත්වයත් තවමත් අඩු වෙලා නැහැ. මිල වුවත් දේශීය පළතුරු වල මිල එක්ක බැළුවහම එතරම් වැඩි නැහැ.

දැන් ලංකාවේ ආගමික කටයුතු සිදුවෙන විදිහෙත් අමුතු හා අලුත් දේවල් තියෙනවනේ. පහුගිය අවුරුද්දේ මගේ පියාගේ තුන් මාසේ දානය වෙලාවේ හාමුදුරුවරුන්ට පළතුරු කූඩයක් බැගින් පූජා කළ යුතු බව ගමේ හාමුදුරුවෝ විසින්ම කියලා තිබුණා. තවත් විශේෂ ඉල්ලීමුත් තිබුණා. දානයට වැඩම කරපු අප කාලයක් තිස්සේ දැන සිටි ජ්‍යෙෂ්ඨ නායක හිමිවරුන් කිහිප නමක් ඇතුළු වෙනත් විහාරාධිපති හිමිවරුන් තරමට ගමේ පන්සල මිල දී ගෙන අළුතින් පැමිණ සිටි මේ හාමුදුරුවන්ව අප ඇසුරු කර තිබුණේ නැහැ. කෙසේ වුවත් ගමේ පන්සල නිසා තීරණ ගැනීමේදී අපි ඒ හාමුදුරුවන්ට තැන දුන්නා.

ඔය වැඩේට පළතුරු ගන්න ගියේ මම. කූඩ තිහක් හදන්න ප්‍රමාණවත් තරමට ගත්ත පළතුරු අතර දේශීය පළතුරු වර්ග ගණනාවක්ම තිබුණා. ගෝනි කිහිපයක්. රට පළතුරුත් තිබුණා. නමුත්, මම අදහස් කරපු විදිහට කූඩ හැදුවහම වර්ග ගණනාවක් අතරේ රට පළතුරු ටික ලොකුවට මතු වෙලා පේන්නේ නැහැ. ගෙදර අනෙක් අයට ඕනෑ වුනෙත්, ගමේ හාමුදුරුවන්ට ඕනෑ වෙලා තිබුනෙත් ඇපල්, රට දොඩම් හා රට දෙළුම් වලින් පිරුණු කූඩ. ඒ නිසා අන්තිමට අර දේශීය පළතුරු පැත්තකට දමලා වැඩිපුර රට පළතුරු දමලා කූඩ පුරවන්න වුණා.

මම කියන්න හදන්නේ අවසාන වශයෙන් වෙළඳපොළ සමතුලිතතාවය තීරණය කරන්නේ පාරිභෝගික රුචිකත්වය විසින් බවයි. ලංකාවේ මිනිස්සු වඩා කැමති දේශීය දොඩම් වලටනම් මොන ලෙඩ බෝවුනත් ඒ ලෙඩ වලට පිළියම් කොහෙන් හෝ ලැබී නැවත ගස් වල දොඩම් හැදෙයි. වඩා කැමති රට දොඩම් වලටනම් කුමන්ත්‍රන නැතත් දේශීය දොඩම් නිෂ්පාදනයට පැවැත්මක් නැහැ.

රටින් එන පළතුරු වලට බෙහෙත් ගහලා කියන එක ප්‍රචලිත කතාවක්. කතාව බොරුවක් නෙමෙයි. ඇමරිකාවේදී අළුත් ඇපල්, දොඩම්, මිදි ආදිය කාලා ලංකාවට ආවහම ලංකාවේ වෙළඳපොළේ විකුණන්න තිබෙන ඒ පළතුරු කටේ තියන්නවත් හිතෙන්නේ නැහැ. එක පාරටම වෙනස තේරෙනවා. හැබැයි ඔය වැඩේ කෙරෙන්නේ ලංකාවේදීමයි. ඒ වගේම ඔය විදිහට රසායනික ගහන්නේ රට පළතුරු වලට විතරක් නෙමෙයි. කෙසෙල්, ගස්ලබු, අඹ වගේ දේශීය පළතුරක් ගත්තත් වෙනසක් නැහැ. මෙතැන සිදුවන්නේ බාහිර කුමන්ත්‍රණයක් නෙමෙයි.

දැන් ඔය කතාවට අනුව ඔය කුමන්ත්‍රණය වෙන්න කලින් බිබිල මොණරාගල පැත්තේ මාර විදිහට දොඩම් හැදිලා තිබෙනවා. බිබිලේ දොඩම්, නාවල අන්නාසි, මල්වානේ රඹුටන්, කළුතර මැන්ගුස් වගේ සමහර පළතුරු වල නම් එක්ක ගම් වල නම් කියවුනත් ඔය සම්බන්ධතා කොයි තරම් ප්‍රබලව පැවතුනාද කියන එක සොයා බැලිය යුතු දෙයක්.

කාලයක් බිබිල මොණරාගල පැත්තේ සරුවට දොඩම් හැදී තිබෙන බව බොරුවක් නෙමෙයි. මේ කියන කාලය අසූව දශකයට පෙර කාලයක්. නමුත්, මහා දිග කාලයක් නෙමෙයි. මම හිතන හැටියට වැඩිම වුනොත් දශක කිහිපයක කාලයක්. බිබිලේ දොඩම් වගාව විනාශ වුනේ කොහොමද කියන එක වගේම බිබිලේ දොඩම් හැදුණේ කොහොමද කියන එකත් කතා කළ යුතුයි.

ලංකාවේ දැන් ජනප්‍රියව තිබෙන බොහෝ පළතුරු වර්ග යුරෝපීය පාලන කාලයන් වලදී හඳුන්වා දෙනු ලැබූ හෝ ව්‍යාප්ත වූ පළතුරු. රඹුටන්, දුරියන්, මැන්ගුස් වගේ නම් මැලේ නම්. මේ පළතුරු පෘතුගීසි කාලයේදී වත්මන් මැලේසියාවෙන් හෝ ඉන්දුනීසියාවෙන් පැමිණි පළතුරු . නමුත්, දොඩම්නම් සෑහෙන කාලයක සිට ලංකාවේ තිබී ඇති පළතුරක්.

දොඩම් වල නිජබිම උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය හා දකුණු චීනය අයත්වන ප්‍රදේශයක්. මුලින්ම දොඩම් පැතිරිලා තියෙන්නේ ආසියාවේ. සෑහෙන කාලයකට පෙර දකුණු යුරෝපයටත් පැතිරිලා තියෙනවා. නමුත් ඇමරිකාවට පැතිරිලා තියෙන්නේ කොලොම්බස් ආවට පස්සේ.

චන්ද්‍රසිරි දොඩම්ගොඩ, තුමිඳු දොඩම්තැන්න, බෙනඩික්ට් දොඩම්පේගම වගේ මිනිස්සු ගැනත් දොඩම්ගස්ලන්ද, දොඩම්පේ, දොඩම්දූව වගේ ගම් ගැනත් අපට අහන්න ලැබෙන එකෙන් පේන්නේ දොඩම් ගස් කාලයක් තිස්සේ ලංකාවේ පැතිර තිබී ඇති බවයි. නමුත්, ඒ අර මම මුලින්ම කිවුවා වගේ ගෘහස්ථ බෝගයක් විදිහට මිසක් වාණිජ බෝගයක් විදිහට නෙමෙයි. මේ ගස් වලින් ලොකු පලදාවක් ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, දහනවවන සියවසේ දෙවන අර්ධයේදීත් දොඩම් කියන්නේ ලංකාවේ ගෙවතු වගාවක් මිස වාණිජ භෝගයක් නෙමෙයි.

ලංකාවේ දොඩම් වගාව ගැන 1881දී ඩබ්. ෆර්ගසන් විසින් ලියනු ලැබ ඔබ්සර්වර් පුවත්පතට යැවූ ලිපියක් 1908 දී "ද ට්‍රොපිකල් ඇග්රිකල්චිර්ස්ට්" සඟරාවේ (වෙළුම 30, පිටුව 99) පළවී තිබෙනවා. එහි ඔහු මෙසේ කියනවා. (අරුත පැහැදිලි වන පරිදි මගේ වචන වලිනුයි ලියන්නේ)

"දොඩම් වගාව වෙනුවෙන්ම වෙන් කර ඇති කිසියම් ඉඩමක් ලංකාවේ ඇති බවක් මා දන්නේ නැහැ. ආර් එල් එම් බ්‍රවුන් මහත්තයා (වාණිජ බෝගයක් ලෙස) මහර පැත්තේ දොඩම් වවන්න උත්සාහ කළත් එය සාර්ථක වුනේ නැහැ. ලංකාවේ දොඩම් වවන්නේ ගෙවල් අවට හා වතු වල මිශ්‍ර වගාවක් ලෙසයි. ඒ නිසා, කොළඹ විකුණන්න තියෙන දොඩම් එන්නේ කොහෙන්ද කියා හොයන්න යන කෙනෙක් අමාරුවේ වැටෙනවා. පසුගිය අවුරුදු විසිපහ පුරා ගලහ වත්තේ දොඩම් ප්‍රසිද්ධියට පත්ව තිබුණත් එහි දොඩම් වවා තිබෙන්නේ කෝපි වවා ඇති මේ වත්තේ පාරවල් දිගේ මිසක් වෙනම වගාවක් ලෙස නෙමෙයි."

ලිපිය පළ වූ 1908 වෙද්දී ගලහට අමතරව හැටන් හා බදුල්ල ප්‍රදේශ වලත් වාණිජ භෝගයක් ලෙස දොඩම් වගාව ව්‍යාප්ත කරන්න උත්සාහ තිබෙන බව පෙනෙන නමුත් සාර්ථක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෙසේ වුවත්, හැටන් වලට වඩා බදුල්ල දොඩම් වගාවට යෝග්‍ය බව පෙනී ගොස් තිබෙනවා.

වෙනත් වාර්තාවක ඇති තොරතුරු අනුව 1880 මැයි 13න් අවසන් වූ දෙසතිය තුළ ලංකාවේ නගර කිහිපයක දොඩම් විකිණිලා තිබෙන්නේ පහත මිල ගණන් වලටයි.

ලොකු දොඩම් ගෙඩි දුසිමක්
කොළඹ - ශත 50
මහනුවර - ශත 48
ගාල්ල - ශත 50
නුවරඑළිය - ශත 25

පොඩි දොඩම් ගෙඩි දුසිමක්
කොළඹ - ශත 37
මහනුවර - ශත 36
ගාල්ල - ශත 37
නුවරඑළිය - ශත 18

මිල ගණන් වල වෙනස්කම් අනුව පෙනෙන්නේ ඒ වන විට වැඩිපුර දොඩම් වවා තිබෙන්නේ නුවරඑළිය පැත්තට වෙන්න බවයි. පහතරට කලාපයේ වැවෙන පළතුරක් වන අන්නාසි ගෙඩියක මිල දිහා බැලූ විට මේ කරුණ පැහැදිලි වෙනවා.

අන්නාසි ගෙඩියක්
කොළඹ - ශත 4
මහනුවර - ශත 25
ගාල්ල - ශත 6
නුවරඑළිය - ශත 37

සමහර විට ඔය දවස්වල නාවල පැත්තේ ලොකුවට අන්නාසි වවන්න ඇති.

බ්‍රිතාන්‍ය පාලන කාලයේදී, 1912දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව රටේ විවිධ ප්‍රදේශ වල දොඩම් වගාව අත්හදා බලා තිබෙනවා. නමුත්, මුලදී සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම පහසු වෙලා නැහැ. අන්තිමට බදුල්ල හා මොණරාගල පැති වල දොඩම් වවා සරු අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 1940 පමණ වෙද්දීයි.

කොහොම වුවත්, ඒ සාර්ථකත්වය වැඩි කලක් පැවතිලා නැහැ. 1950 පමණ වෙද්දී ට්‍රිස්ටෙසා වෛරසය පැතිරීම හා වෙනත් හේතු නිසා දොඩම් ගස් කණාටු වෙලා අස්වැන්න අඩුවෙලා ගිහින් තියෙනවා. මේ ලංකාවේ දොඩම් වගාවට මේ වගේ හානියක් සිදු වෙලා තිබෙන පළමු අවස්ථාව නෙමෙයි. දොඩම් වගාව රටේ ව්‍යාප්ත වෙන්නත් කලින් 1900 පමණදීත් හඳුනා නොගත් රෝගයක් වැළඳී ලංකාවේ දොඩම් වගාව විනාශ වෙලා තිබෙනවා. මේ විදිහට වෛරස් හෝ වෙනත් රෝග පැතිරීම නිසා වගාවන් විනාශ වීම දුලබ දෙයක් නෙමෙයි. ලංකාවේ කෝපි වගාව විනාශ වුනෙත් මෙවැනිම හේතුවකිනුයි.

සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන විදිහට 1960 දශකයේදී ලංකාවේ දොඩම් වගාව නැවතත් පණ ගසා ඇවිත් තියෙනවා. මේ වන විට ලංකාවේ පරිභෝජනය කරන දොඩම් ප්‍රමාණය තරමටම දොඩම් 1963, 1964 වගේ අවුරුදු වලදී රටේ නිෂ්පාදනය වී තිබෙනවා. නමුත්, සෑම වසරකම එක වගේ පලදාවක් ලැබී නැහැ. පලදාව විශාල ලෙස විචලනය වී තිබෙනවා. එසේ වුවත්, 1980 පමණ වන තුරු ලංකාවට දොඩම් ආනයනය කර නැති නිසා පරිභෝජනය කර තිබෙන්නේ රටේ හැදුණු දොඩම් ප්‍රමාණය පමණයි. මේ කාලයේදී දොඩම් වාරයට මිල ගණන් විශාල ලෙස පහත වැටීමත්, අවාරයට මිල ගොඩක් ඉහළ යාමත් සිදු ඇති බව පේනවා. දොඩම් ආනයනය කරන්න පටන් ගැනීමෙන් පසුව වසරේ සෑම කාලයකදීම ලංකාවේ වෙළඳපොළෙන් දොඩම් මිල දී ගන්න හැකි වී තිබෙනවා වගේම මිල ස්ථාවර වී ද තිබෙන බව පෙනෙනවා.

බිබිලේ දොඩම් වගාව විනාශ කරන්න කුමන්ත්‍රණය කර තිබෙන්නේ කවුරු වුවත් බිබිල පැත්තට දොඩම් වගාව හඳුන්වා දී ව්‍යාප්ත කර තිබෙන්නේනම් ඉංග්‍රීසින් විසිනුයි. 1850 පමණ සිට උත්සාහ කිරීමෙන් පසුව ඒ වැඩේ සාර්ථක වී තිබෙන්නේ 1940 පමණ වෙද්දීයි. එහෙම නැතුව අනාදිමත් කාලයක සිට මොණරාගල බිබිල පැති වල දොඩම් වගා තිබී නැහැ. සාර්ථකය කියා කීවත් මේ වගාවන්ගෙන් හොඳ මට්ටමේ පලදාවක් ලැබී තිබෙන්නේ අතරින් පතර වසර කිහිපයක කෙටි කාලාන්තර කිහිපයක් ඇතුළත පමණයි.


ඉංග්‍රීසින් ගියාට පස්සේ ලංකාවේ ආණ්ඩු යටතේත් කෘෂිකාර්මික අංශයටනම් යම් සැලකිල්ලක් ලැබුණු ලැබුණු බව කියන්න පුළුවන්. එහි වරදක් නැහැ. ඒ හේතුව නිසා හෝ වෙනත් වෙළඳපොළ සාධක මත මෑත වසර වලදී ලංකාවේ දොඩම් වගාව නැවතත් ජනප්‍රිය වෙමින් තිබෙනවා. මේ වන විට ලංකාවේ දොඩම් වගාව වෙනුවෙන් යෙදවෙන භූමි ප්‍රමාණය ඉතිහාසයේ කවර කලකවත් මේ වගාව වෙනුවෙන් යෙදෙවී නැහැ. එහෙත්, ලංකාවේ දොඩම් පරිභෝජනය රටේ දොඩම් නිෂ්පාදනය මෙන් දෙගුණයක් පමණ වෙනවා. මෙයට එක හේතුවක් වන්නේ දේශීය දොඩම් ආනයනික දොඩම් වලට පූර්ණ ආදේශකයක් නොවීමයි. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ වගේ අය හොයන්නෙම පොත්ත රතු ගෙඩි නිසා දේශීය නිෂ්පාදනය ඉහළ යාම ආනයනික දොඩම් ඉල්ලුම මුළුමනින්ම නැති කරන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය වන්නේ ලංකාවේ දොඩම් ඵලදා අනුපාතය ගොඩක් අඩු මට්ටමක පැවතීමයි. දොඩම් වගාවට වෙන් කරන ඉඩම් ප්‍රමාණයේ තරමට දොඩම් නැහැ. ඒ නිසා, වැඩි ඵලදාවක් තියෙන රටවලට මෙහේ හදනවට වඩා ගොඩක් අඩු මිලට ලංකාවට දොඩම් එවන්න පුළුවන්. පහත තියෙන්නේ ලංකාවේ හා වෙනත් ප්‍රධාන හා අසල්වැසි දොඩම් වවන රටවල ඉඩම් හෙක්ටයාරයකින් ලබාගන්නා දොඩම් කිලෝග්‍රෑම් ප්‍රමාණයයි.

බ්‍රසීලය- 27,640
ඇමරිකාව- 21,525
චීනය- 16,975
ඉන්දියාව- 12,724
මෙක්සිකෝව- 14,432
ස්පාඤ්ඤය-  23,894
ඊජිප්තුව- 25,203
තුර්කිය- 37,982
ඉතාලිය- 17,920
දකුණු අප්‍රිකාව-  42,195
ඇල්බේනියාව- 41,502
ඝානා- 39,926
ඉන්දුනීසියාව- 39,233
ගෝතමාලාව- 35,004
ග්‍රීසිය- 32,466
ඉරානය- 26,013
ඕස්ට්‍රේලියාව- 19,334
තායිලන්තය- 21,217
පකිස්තානය- 11,612
නේපාලය- 10,078
ලංකාව- 937

පේනවනේ තත්ත්වය. ලංකාවේ දොඩම් ගහක ගෙඩියක් හැදෙන කොට වෙන රටවල් වල ගහක ගෙඩි තිහ හතළිහක් හැදිලා. ලෝක ආහාර සංවිධානයේ දත්ත අනුව දොඩම් පලදාව අතින් ලංකාවට පහළින් ඉන්නේ තව එක රටක් (බොස්නියාව) විතරයි.  ඔය බිබිලේ දොඩම් අස්වැන්න සරුවටම තිබුණු අවුරුදු වලදීවත් ලංකාවේ දොඩම් අස්වැන්න අනික් රටවල් වල කිට්ටුවකවත් තිබිලා නැහැ. අනෙක් පැත්තෙන් බැලුවොත් දොඩම් නිෂ්පාදනය හෝ පරිභෝජනය අතින් ලංකාව කිසිම දවසක ලැයිස්තුවේ උඩ ඉන්න රටවල් වලට කිට්ටු කරලා නැහැ.

පළ ඇති දොඩම් රුක් තියෙන,  ලොකු දේශීය දොඩම් ඉල්ලුමක් තියෙන, දොඩම් අපනයනය කරන රටවල් තව සිය ගානක් තියෙද්දී, හිඟන්නාගේ දොඩම් පාත්තරේටම හෙනහුරාගෙන් ගෙනාපු ට්‍රිස්ටෙසා වෛරසය හරි වෙන පලිබෝධයක් හරි දාලා බිබිලේ දොඩම් වගාව කවුරු හරි විනාශ කළානම් ඒ මොකක් හරි මාර ලොකු තරහකටම වෙන්න ඕනෑ.

අහන්න කලින්ම කියන්න තව දෙයක් තියෙනවා. ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සුළු සේවකයෙක් නෙමෙයි!

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...