වෙබ් ලිපිනය:

Monday, November 19, 2018

කරඬුව හිසට ගත යුත්තේ සරම තද කර ගෙනයි!


කරඬුවක් හිසට ගන්නවා කියන්නේ භාරදූර වැඩක්. හිසට ගත් කරඬුව බිම දමන්න බැහැ. කරඬුවක් හිසට දෙන්නේ එය බිම නොදමා පරිස්සමෙන් අරන් යන්න පුළුවන් කෙනෙක්ටයි. කරඬුව බිම නොදමා තියා ගන්නනම් අත් දෙකෙන්ම එය අල්ලාගෙන සිටිය යුතුයි.

කරඬුව හිසට ගත්තට පස්සේ සරම කැඩෙන්න යනවා වගේ දැනුනොත් කළ හැක්කේ කුමක්ද? සරම නැවත ගැට ගහ ගන්නත් අත් දෙකම නැතුව බැරි බව සරම් අඳින අය දන්නා දෙයක්. ඒ නිසා, සරම කැඩෙන්න කලින් කරඩුව පැත්තකින් තියලා සරම ඇඳ ගන්න වෙනවා.

සරම කැඩෙන්න කලින් කරඩුව පැත්තකින් තියලා සරම ඇඳ නොගත්තොත් වෙන්නේ මොකක්ද? එක්කෝ සරම කැඩුනට පස්සේ ඒක ඇඳගන්න කරඬුව පැත්තකින් තියන්න වෙනවා. එතකොට හෙළුව පෙනිලා ඉවරයි. නැත්නම් කරඬුව ඔළුවේ තියාගෙන දිගටම හෙළුවෙන් ඉන්නත් පුළුවන්. හැබැයි ඒ වැඩේ දිගටම කරන්න අමාරු නිසා අන්තිමට කොයි වෙලාවක හරි කරඬුව බිමින් තියන්න වෙනවා. දිගටම හෙළුවෙන් ඉඳිද්දී කාගෙන් හරි ගල් පාරක් එහෙම වැදුනොත් කරඬුවත් බිම දාලා සරමත් නැතුව දුවන්න වෙන්න පුළුවන්.

ඔය වගේ අකරතැබ්බ වෙන්න ඉඩ තියෙන නිසා කරඬුවක් ඔළුවට ගන්න කලින් සරම තද කරලා ඇඳ ගන්න අමතක කරන්න හොඳ නැහැ. කරඬුවක් ඔළුවට ගන්න ඕනෑවට වඩා හදිස්සි වීම නිසා සරම තද කර ගන්න අමතක වූ බව පස්සේ හෝ මතක් වුනොත් කරන්න පුළුවන් හොඳම දේ සරම කඩා වැටෙන්න කලින් කරඬුව පැත්තකින් තියලා සරම නැවත ඇඳ ගන්න එකයි. ඔය වගේ වෙලාවට සරම් අන්දන්න එන අයගෙනුත් පරිස්සම් විය යුතුයි. නැත්නම් සරමටයි කරඬුවටයි අමතරව තවත් දේවල් නැති වෙන්න පුළුවන්.

මම මේ ටික ලිවුවේ නිශ්චිත පුද්ගලයෙක්ව ඉලක්ක කරලා නෙමෙයි. මේ උපහැරණය කාට වුවත් අදාළයි. මිනිහෙක්ව තවත් මිනිහෙක් විසින් අඳුනගන්නේ පිටට පෙනෙන දේවල් වලින්. සරම් ඇතුළේ තියන දේවල් හෝ නැති දේවල් පිටට පේන්නේ නැහැ. සරම කඩා වැටුණට පස්සේ තියෙන දේවල් වගේම නැති දේවලුත් පේනවා. කරඬු ඔළුවට ගන්න තරමට සරම් බිම වැටෙන අවදානම වැඩි වෙනවා. එවිට බලා ඉන්න අයට සරමෙන් වැහිලා තිබුණු දේවල් හෝ නොතිබුණු දේවල් පැහැදිලිව පෙනෙනවා. එහෙම පෙනෙන දේවල් පුද්ගලයෙක් ගැන වෙනත් අයෙකු තුළ කලින් තිබුණු ප්‍රතිරූපය වෙනස් කරවන්න පුළුවන්.

කොහොම වුනත් කරඬුව ඔළුවට ගන්නෙම ඔය අවදානමට බය නැති අයයි. ඒ බව බලා ඉන්න අය දන්නවා. ඒ නිසා, කරඬුව අතට ගන්න ඕනෑ වෙලාවක පස්ස ගහන කෙනෙක්ගේ ප්‍රතිරූපය වුවත් ඒ හේතුව නිසාම වෙනස් වෙන්න පුළුවන්. අර්බුද කාලයක් කියන්නේ ප්‍රතිරූප වේගයෙන් පරිණාමය වන කාලයක්. ඒ එක්කම සමාජ සැකසුම එක පාරටම වෙනස් වෙනවා.

දේශපාලකයින්ගේ ප්‍රතිරූප වෙනස්වන විට මිනිස්සුන්ගේ දේශපාලන රුචිඅරුචිකම් වෙනස් වෙනවා. එවිට බලතුලනය වෙනස් වෙනවා. මේ වෙනස් වීම සාපේක්ෂ දෙයක්. ප්‍රතිරූප වෙනස් වීම දිහා බලන්න ඕනෑ කලින් තිබුණු තත්ත්වයට සාපේක්ෂවයි. අපි මේ දවස් වල විචේචනයට පාත්‍ර වන දේශපාලනඥයින් කිහිප දෙනෙක් නමින්ම ගනිමු.

මෛත්‍රීපාල සිරිසේන
කරු ජයසූරිය
මහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අනුර කුමාර දිසානායක
විමල් වීරවංශ
චම්පික රණවක
වාසුදේව නානායක්කාර
සජිත් ප්‍රේමදාස
එස් බී දිසානායක
ප්‍රසන්න රණවීර
පාලිත තෙවරප්පෙරුම

අපි ප්‍රසන්න රණවීරව ගනිමු. ඔහු කරපු දේ එතරම් රහසක් නෙමෙයි. මේ කරපු වැඩෙන් ප්‍රසන්න රණවීරට සිදු වුනු හානිය මොකක්ද? ඒක තීරණය වෙන්නේ ඔහුව විවේචනය කරන අය මත නෙමෙයි. ඔහුව ඡන්දයෙන් පත් කරලා පාර්ලිමේන්තුවට එවපු අය ප්‍රසන්න රණවීරට ඡන්දය දීලා එවුවේ ඇයි කියන එක මතයි.

මේ වැඩෙන්  ප්‍රසන්න රණවීර තමන්ගේ ප්‍රතිරූපය බිඳ ගත්තද තවත් වර්ධනය කර ගත්තද? මම දන්නේ නැහැ. එය ප්‍රසන්න රණවීර චරිතය ගොඩ නගපු අය මත තීරණය වන දෙයක්. මම දන්නේ බටහිර රටවල් වල ගොඩ දෙනෙක් මිරිස් නොකන බව පමණයි. ඒ ගොඩක් අයට කෑමක මිරිස් පොඩ්ඩක් තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ලංකාවේ ගොඩක් අයට එයින් අදහස් වනවාට වඩා වෙනස්ම දෙයක්.

ලැයිස්තුවේ ඉන්න හෝ නැති වෙනත් ඕනෑම කෙනෙක් ගත්තත් තත්ත්වය ඕකම තමයි. කාගේ හෝ ප්‍රතිරූපය බිඳ වැටුණද නැත්නම් වර්ධනය වුනාද කියන එක තීරණය වෙන්නේ ඒ අයගේ විවේචකයින් මත නෙමෙයි. ඒ ප්‍රතිරූප වන්දනා කරමින් සිටි අය මතයි. ඒ නිසා අර්බුදයක් වෙලාවක කැමැත්තෙන්ම සරම කැඩෙන්න ඇරලා කරඬුව ඔලුවේ තියාගෙන ඉන්න අයත් ඉන්න පුළුවන්.

ලැයිස්තුව කෙසේ වුවත් මේ මොහොත තියෙන ප්‍රතිරූප වෙනස් වෙලා අලුත් ප්‍රතිරූප හැදෙන මොහොතක්.

Sunday, November 18, 2018

ඉඟුරු දී මිරිස් කුඩු ගැනීම


මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩු බලයට අයිතිවාසිකම් කියන පාර්ශ්ව දෙක අතර තියෙන්නේ ගල උඩ සටනක් බව මා පෙර ලිපියේ සඳහන් කළා. අර්බුදය පටන් ගත්තේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැතිවරයාව තනතුරෙන් ඉවත් කිරීම හේතුවෙන්. ජනාධිපතිවරයාට එසේ කිරීමට තිබුණු ප්‍රතිපාදනය දහනවවන සංශෝධයෙන් ඉවත් කෙරුණා. ඒ නිසා, ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමේ බලයක් නැහැ. ඔහුට තමන් අභිමත අයෙකු අගමැති සේ පත් කළ හැකි වුවත් එසේ කිරීම සඳහා අගමැති ධුරය පුරප්පාඩු වී තිබිය යුතුයි.

දැන් මෙහි "ව්‍යවස්ථා විරෝධී ලෙස" කියා මා ඉදිරිපත් කරන්නේ මගේ මතයයි. එසේ කියන්නේ ඇයි කියා මෙය සිදු වූ ඔක්තෝබර් 26 දිනම මා ලියා තිබෙනවා. මේ මතය එජාප, ජවිපෙ, ද්‍රවිඩ සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල්ගේ, විදේශ රටවල් ගණනාවක මෙන්ම තවත් ස්වාධීන පුද්ගලයින් ගණනාවකගේ මතයයි. මේ වන විට ව්‍යවස්ථාදායකයේ නිල මතය ද එයයි. මේ ලිපියේ අරමුණ මේ මතය තහවුරු කිරීම වෙනුවෙන් තර්ක කිරීම නෙමෙයි. මගේ අරමුණ මේ වන විට ලංකාවේ පවතින දේශපාලනික හා නීතිමය තත්ත්වය පැහැදිලි කිරීම පමණයි.

මා ඇතුළු ඉහත සඳහන් කණ්ඩායම් වල මතය ඉහත පරිදි වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) අනුව්‍යවස්ථාව නොසලකා හරිමින්, ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල බව එහිම වෙනත් අනුව්‍යවස්ථා ගෙන හැර දක්වමින් පෙන්වා දෙන අයද ඉන්නවා. එසේ කියන අය අතර පොදුවේ එජනිස හා පොදුජන පෙරමුණේ සාමාජිකයින් මෙන්ම නීතිපතිවරයාද සිටිනවා. මා දන්නා තරමින් කිසිදු පාර්ශ්වයක් විසින් මේ හා අදාළ අධිකරණයේ මතය විමසා නැහැ.

මේ ලිපියේ අරමුණ අගමැතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දීම නොවූවත් ඒ බව පිළිගන්නා විශාල පිරිසක් රටේ හා රටෙන් පිටත ඉන්න බව පැහැදිලිව පෙන්වා දිය යුතුයි. ඒ පදනම අනුව, මහින්ද රාජපක්ෂ කිසි විටෙකත් ලංකාවේ අගමැති වී නැහැ. අගමැති වී නැති අයෙක්ව විශ්වාස භංගයකින් පරාජය කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නැහැ. දැන් පවතින අවුල තේරුම් ගැනීමටනම් මේ තත්ත්වය පැහැදිලිව අවබෝධ කර ගත යුතුයි.

අනෙක් පැත්තෙන් බැලුවොත්, අගමැතිවරයාව වසර හතරහමාරකට පෙර තනතුරෙන් ඉවත් කළ නොහැකි බවට වන අනුව්‍යවස්ථාව අදාළ නොවේනම්, ජනාධිපතිවරයාට අගමැති ඉවත් කර අලුත් අගමැතිවරයෙකු පත් කළ හැකියි. ඒ අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීම මත පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයකින් පරාජය වීම ද්වීතියික කරුණක්. එසේ පරාජය වන තුරු අලුත් අගමැති වන්නේ මෙසේ අලුතින් පත් කළ අගමැතිවරයායි.

මේ දෙවනු කී පදනම මත මහින්ද රාජපක්ෂ නීත්‍යානුකූලව ලංකාවේ අගමැති වී තිබෙනවා. ඔහුගේ තනතුර අහිමි වී ඇති සේ සැලකිය හැක්කේ විශ්වාශ භංගයකින් පරාජය වීම නිසි පරිදි සිදු වී ඇත්නම් පමණයි. මහින්ද-මෛත්‍රී පාර්ශ්වයේ මතය වන්නේ විශ්වාස භංගය නිසි සේ ඉදිරිපත් කර නොමැති නිසා තවමත් අගමැති මහින්ද රාජපක්ෂ බවයි.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය නිවැරදිනම් රනිල් තමන් තවමත් අගමැති සේ පෙනී සිටීම නීති විරෝධී කටයුත්තක්. ජනාධිපතිවරයාට මේ හා අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ හැකි වුවත් එවැන්නක් සිදු වී නැහැ. එම පාර්ශ්වයේ වෙනත් අයෙකු විසින් මේ කරුණ හා අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමක් කරලාත් නැහැ. ඒ වගේම නීත්‍යානුකූල අගමැති රනිල්නම්, ඒ කරුණ මත පදනම්ව වෙනත් අයෙකු (මහින්ද රාජපක්ෂ) අගමැති සේ පෙනී සිටීම වළක්වමින් රනිල් පාර්ශ්වයේ කිසිවෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු වුවත් එසේ ගිහිනුත් නැහැ. අඩු වශයෙන් නාගානන්ද කොඩිතුවක්කු හෝ වෙනත් "මධ්‍යස්ථ" පුද්ගලයින් කිසිවකු විසින් හෝ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරලත් නැහැ. එසේ සිදු නොවීම මේ මොහොතේ ලංකාවේ පවතින දේශපාලනයේ ස්වභාවය අනුව සිදු වූවක් බව මගේ නිගමනයයි. ඒ ගැන වැඩිදුර විග්‍රහ කිරීම් පසුවට තියමු.

ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක වෙත නැවත ආවොත් මේ මොහොතේ කණ්ඩායම් දෙක විසින්ම උත්සාහ කරන්නේ ව්‍යවස්ථාදායකයේ බලය අල්ලා ගැනීමටයි. නැත්නම් පවත්වා ගැනීමටයි. එසේ උත්සාහ කරන්නේ විධායකය වගේම ව්‍යවස්ථාදායකයත් බලවත් නිසා.

සැබෑ හේතුව නොවුණත්, මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් කියන්නේ විශ්වාස භංගය නිසි ආකාරයට ඉදිරිපත් කර නැති බවයි. මේ කතාව ඇත්තක්. ඒත් ඒ ඇත්ත ගොඩක් අය හිතාගෙන ඉන්න දෙය නෙමෙයි. මෙතැන තියෙන්නේ ස්ථාවර නියෝග නොපිළිපැදීමේ හා ශබ්දයෙන් ඡන්දය නොවිමසීමේ ගැටළුවකට වඩා ගැඹුරු දෙයක්. පෙර කී කරුණු දෙක ඉදිරිපත් කරන්නේ සැබෑ කරුණ යටපත් කිරීම සඳහා පමණයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කියන්නේ එහි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව ඇති කරගත් එකඟතාවයක් පමණයි. වැඩි දෙනෙකුගේ කැමැත්තෙන් ස්ථාවර නියෝග අත්හිටවීම ස්ථාවර නියෝග අනුවම කළ හැක්කක්. එසේ කිරීම සඳහා හඬින් ඡන්දය විමසීමත් ස්ථාවර නියෝග අනුවම කළ හැක්කක්. මෙසේ කිරීමෙන් පසුව තවදුරටත් ස්ථාවර නියෝග ක්‍රියාත්මක නොවන නිසා ඉන්පසුව සිදුවන කටයුතු ස්ථාවර නියෝග අනුව සිදුවීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. වඩා වැදගත් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ එකඟත්වය තිබේද යන්නයි. එය තිබේද යන්න අවසාන වශයෙන් තීරණය කරන්නේ කථානායකවරයා විසින්. ඒ තීරණයට වෙනත් කිසිවෙකුට, අධිකරණයට පවා, අභියෝග කළ නොහැකියි (වඩා නිවැරදිව කිවුවොත් ඉතාම අසීරුයි).

පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව පූර්ණ බලධාරියා වන්නේ කථානායකවරයා. නමුත්, ඒ අධිකාරී බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු හා අදාළව පමණක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු සභා ගර්භයේදී වෙනත් අයෙකුට හානියක් කළොත් (පිහියකින් ඇන තුවාල කළොත් හෝ ඇස් වලට මිරිස් කුඩු ගැහුවොත්) සාමාන්‍ය නීතිය අනුව කටයුතු කළ හැකියි. මා දන්නා තරමින්, එවැනි අවස්ථා වලදී පවා කථානායකවරයාට දැනුම් දීමක් කළ යුතුයි.

පාර්ලිමේන්තුවේ සම්මත වූ විශ්වාස භංග යෝජනාව ස්ථාවර නියෝග අනුව අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් සම්මත කර නැහැ. එසේ වුවත්, එය සම්මත කර ඇති ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කැමැත්ත තිබී ඇති බව පැහැදිලියි. අත්සන් ලේඛණය ගැන ජනාධිපතිවරයාට සැකයක් ඇති බව කියතත්, එහි අත්සන් තැබූ කිසිවකු විරෝධතාවක් දක්වා නැහැ.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විශ්වාස භංගය සම්බන්ධව දක්වන විරෝධයේ සැබෑ පදනම වන්නේ එය සම්මත කරගත් ක්‍රමවේදය අවුල් සහගත වීම නෙමෙයි. සැබෑ ප්‍රශ්නය තිබෙන්නේ සම්මත කරගත් යෝජනාවේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙන්නේ සම්මත විශ්වාස භංග යෝජනාවක් නෙමෙයි.

මහින්ද රාජපක්ෂට එරෙහිව සම්මත ක්‍රමයට සම්මත විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමටනම් පළමුව මහින්ද රාජපක්ෂ අගමැති සේ පිළිගන්න වෙනවා. නීත්‍යානුකූලව පත් වී නොමැති අගමැතිවරයකුව විශ්වාස භංගයකින් පරාජය කරන්න දෙයක් නැහැ. ජවිපෙ විසින් ඉදිරිපත් කළ යෝජනාවෙන් හෝ දෙවනුව ඉදිරිපත් කළ සංශෝධිත යෝජනාවෙන් මහින්ද රාජපක්ෂව අගමැති සේ නීත්‍යානුකූලව පත් කර ඇති බවක් පිලිගෙන නැහැ. එයින් පිළිගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස එවැනි පත්වීමක් කර ඇති බව පමණයි. ව්‍යවස්ථාදායකය විසින් අභියෝගයට ලක් කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් එසේ සිදු කර තිබෙන පත්වීම මිසක් මහින්ද රාජපක්ෂව නෙමෙයි. ඒ නිසා මේ සම්මත වී තිබෙන්නේ දැනට සිටින අගමැතිවරයෙකු ඉවත් කිරීම සඳහා ගෙන එනු ලබන සම්මත විශ්වාස භංග යෝජනාවක් නෙමෙයි.

නිසි ක්‍රමවේදය අනුගමනය කළත් දැනට සම්මත වී තිබෙන ආකාරයේ යෝජනාවක් පිළිගැනීමේ හැකියාවක් මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට නැහැ. පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාව ජනාධිපතිවරයා විසින් පිළිගන්නවා කියන්නේ ඔහු විසින් අගමැති ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව තමන් විසින්ම පිළිගැනීමක්. ඒ එක්කම ඉන් පසු ගත් තීරණ බොහොමයක් නීති විරෝධී වෙනවා. ඒ වගේම සිදු වී තිබෙන බොහෝ දේ රාජ්‍ය විරෝධී කටයුතු සේ තීරණය වෙන්නත් පුළුවන්.

මහින්ද පාර්ශ්වයට මේ වෙලාවේ බලය අතහරින්න අමාරු වී තිබෙන ප්‍රධාන හේතුව ඉහත කරුණයි. පවතින තත්ත්වය හේතුවෙන් දවසෙන් දවස මහින්දලාගේ ජනපදනම දියවෙන බව ඔවුන්ට නොත්රෙන්න හේතුවක් නැහැ. මහින්දව අගමැති සේ පත්වීම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය විසින් පිළිගෙන, පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීමේ පදනම මත ඔහුව අගමැති ධුරයෙන් ඉවත් කරන්න යෝජනාවක් ගෙනාවොත් මහින්දලා වහාම තනතුරු හැර යයි. එවිට, නීතිය අනුව මෙතෙක් ඔවුන් වරදක් කර නැහැ. මේ විදිහේ යෝජනාවක් සම්මත වුනොත් එය සිදුවුනේ ස්ථාවර නියෝග අනුවද නැද්ද එහෙම නැත්නම් හඬින්ද අත් ඔසොවාද වගේ ප්‍රශ්න මතු වෙන එකක් නැහැ.

නමුත්, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට මේ වෙලාවේ ඉහත ආකාරයේ ස්ථාවරයකට පැමිණීම අසීරුයි. ඔවුන් එසේ කළොත්, මුල සිටම ඔවුන් දැක්වූ විරෝධය නිකම්ම පුස්සක් වෙනවා. ඒ වගේම, එවැනි එකඟත්වයකට පැමිණියහොත් එය ඔවුන් විසින් ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාවේ නැති බලතල රැසක් ඔහු සතුව ඇති බව පිළිගැනීමක් වෙනවා. වරක් එසේ කිරීම නැවත එසේ කිරීම සඳහා ඉඩක් සපයනවා. ඒ නිසා මේ වෙලාවේ තියෙන්නේ ගල උඩ සටනක්. බිම වැටෙන පාර්ශ්වයට මාරාන්තික තුවාළ සිදු වීම වලක්වන්න අමාරුයි.

ප්‍රශ්නය විසඳෙන්න පුළුවන් එක් ආකාරයක් වන්නේ කවර ආකාරයකින් හෝ මහින්දලා 113 හදා ගැනීමයි. එවිට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ හඬ යටපත් වෙනවා. නමුත්, එවැනි තත්ත්වයක් යටතේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය විසින් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විකල්පය වන අධිකරණය වෙත යනු ඇතැයි සිතිය හැකියි. අනෙක් ක්‍රමය පාර්ශ්ව දෙක අතර යම් එකඟතාවයක් ඇති වීමයි. එහෙම වෙන්නනම් එක් පාර්ශ්වයකට හෝ දෙපාර්ශ්වයටම තවත් සටන් කළ නොහැකි තරමට තුවාල සිදු විය යුතුයි.

දැනට පවතින තත්ත්වය අනුවනම් මිරිස් වී තිබෙන ඉඟුරු තත්ත්වය නැවත ඉඟුරු වීම ඉක්මණින් වේදැයි සැක සහිතයි. ඒ නිසා, කොකා කෝලා හා ලෙමනේඩ් වලින් මිරිස් කුඩු හදනවා වගේ නව නිර්මාණ ඉදිරි සතිය තුළත් බිහි වෙන්න ඉඩක් තිබෙනවා.

(Image: http://vegananimal.co.za/index.php/2015/09/21/curry-powder-ginger-and-red-chillies/)

Saturday, November 17, 2018

ගල උඩ හටන


විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ඇති වී තිබෙන ගැටුම තවමත් විසඳී නැත්තේත්, බොහෝ දෙනෙකු සිතා ඉන්නා ආකාර වලින් නොවිසඳෙනු ඇත්තේත්, අර්බුදයට අදාළ පාර්ශ්ව පිස්සන් සේ හැසිරෙන නිසා හෝ වෙනත් පුද්ගල සාධක මත නිසා නෙමෙයි. ඇති වී තිබෙන අර්බුදයේ ස්වභාවය නිසායි.

අතුරු තහනම් නියෝගය ගැන ලිවුවට පස්සේ එක ඇනෝ කෙනෙක් ලියල තිබුණා "එහෙම කියන්න එපා ඉකොනො.... අතුරු තහනම් නියෝගයක් කියන්නෙ සෝමාලියාවට පාන් දැම්ම වගෙ.....!!!" කියලා. ඔව්, ඇත්ත. අතුරු තහනම් නියෝගය නිසා ගොඩක් දේවල් වෙනස් වුනා. නෛතිකව කෙසේ වෙතත් ප්‍රායෝගිකව එයින් සිදු වූ බලපෑම ඉතා විශාලයි. හැබැයි ඒ නිසා වුනේ ප්‍රශ්නය එක් අදියරකින් මුලට යාම පමණයි.

කථානායකවරයා කටයුතු කරන්නේ අත්තනෝමතිකව හා පක්ෂග්‍රාහී ලෙස බව මහින්ද පාර්ශ්වයේ ඇතැම් අය කියනවා. කොහොමටත් කථානායකවරයෙකු කියන්නේ කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු මිස නිර්පාක්ෂික පුද්ගලයෙකු නෙමෙයි. නිර්පාක්ෂිකයැයි කියන අයගේත් පෞද්ගලික රුචිඅරුචිකම් තිබෙනවා. ඒ නිසා, වඩා වැදගත් වෙන්නේ කථානායකවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරනවාද යන්නට වඩා ඔහු නීතියට පිටින් කටයුතු කරමින් තමන්ගේ කණ්ඩායමට වාසිදායක ලෙස කටයුතු කරනවාද යන්නයි.

මා හිතන ආකාරයට කථානායකවරයා කටයුතු කරන්නේ තමන්ට කටයුතු කළ හැකි සීමාව ඇතුළේ සිටයි. ස්ථාවර නියෝග කියන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ රීති මාලාවක් පමණයි. අවශ්‍ය අවස්ථාවක මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් ස්ථාවර නියෝග වලින් එකක්, කිහිපයක් හෝ සියල්ලම අත් හිටවීමට අවශ්‍ය ප්‍රතිපාදන ස්ථාවර නියෝග වලම තිබෙනවා.

ස්ථාවර නියෝග හදාගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමිනුයි. මේ සම්ප්‍රදායයන් බටහිර රටවල  සාමාන්‍ය මිනිස්සුන්ටත් පුරුදුයි. අපේ අසල්වැසි සංගමය වැනි කුඩා එකතුවක වුවත් කටයුතු සිදු වන්නේ මේ ආකාරයටයි. එජාප නායකත්වය මුල සිටම කටයුතු කරන්නේ බටහිර රටවල් සමඟ යම් සහයෝගීතාවයක් පවත්වා ගනිමින් හා තමන් කරන දේ ගැන බටහිර රටවල් දැනුවත් කරමින් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණු කරුණක්.

එජාපය ඇතුළු ඔවුන් හා එකඟව කටයුතු කරන අනෙකුත් පක්ෂ වල ආරම්භක චෝදනාව වුනේ විධායකය ව්‍යවස්ථා විරෝධීව කටයුතු කර ඇති බවයි. ඔවුන්ගේ දුක් ගැනවිල්ල කෙරෙහි බටහිර රටවල අනුකම්පාව හිමි වුනා. තමනුත්, ව්‍යවස්ථා විරෝධීව කටයුතු කර ඒ අනුකම්පාව නැති කර ගන්න ඔවුන් පෙළඹෙයි කියා හිතන්න අමාරුයි.

සදාචාරාත්මකව, සම්ප්‍රදාය අනුව හා නෛතිකව නිවැරදි වීම කියන්නේ එකිනෙකට වෙනස් දේවල්. රහසිගතව අත යටින් කරන මුදල් ගනුදෙනුවක් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂපාතීත්වය වෙනස් කර ගැනීම සදාචාරාත්මකව නිවැරදි නොවුනත් නෛතික වරදක් සිදු වී ඇති බව පෙන්වීම ඉතාම අසීරුයි. නීතියේදී සම්ප්‍රදායට සැලකිල්ලක් ලැබෙන නමුත් එසේ වන්නේ නීතිය පැහැදිලි නැති අවස්ථා වලදී පමණයි. පැහැදිලි නීතියක් ඇති විට සම්ප්‍රදාය ද්වීතියික කරුණක්. උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුව කල් තබන්න කලින් කථානායකවරයා දැනුවත් කළ යුතු වීම, මගේ අදහස පරිදි, සම්ප්‍රදාය පිළිබඳ කරුණක් මිසක් නෛතික අවශ්‍යතාවයක් නෙමෙයි.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායකය සතුව විශාල බලයක් සංකේන්ද්‍රනය වී තිබෙන බව අප කලින් කතා කර තිබෙන දෙයක්. ඒ අතරම, ව්‍යවස්ථාදායකය හා අධිකරණය සතුවත්, විධායකයේ බලයට අභියෝග කළ හැකි, විශාල බලයක් තිබෙනවා. එය දහනවවන සංශෝධනයට පෙර සිටම පැවති තත්ත්වයක්. රනිල් ප්‍රධාන එජාපය මුල සිටම කටයුතු කළේ ව්‍යවස්ථාදායකය සතු බලය පිළිබඳව විශ්වාසය තබමිනුයි.

රාජ්‍ය යාන්ත්‍රනය මෙහෙයවන යන්ත්‍රය විධායකය වුවත් ඒ යන්ත්‍රයට තෙල් දමන්නේ ව්‍යවස්ථාදායකයයි. විධායකයේ මෙන්ම අධිකරණයේත් කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නේ ව්‍යවස්ථාදායකය විසිනුයි. ව්‍යවස්ථාදායකයට පවතින නීති වෙනස් කිරීමට හා අළුත් නීති හැදීමට බලයක් තිබෙනවා. එවිට ඒ නීති අනුව කටයුතු කිරීමට විධායකය මෙන්ම අධිකරණයද බැඳී සිටිනවා. කෙසේ වුවත්, එසේ අළුතින් නීති හැදිය හැක්කේ පවතින නීති රාමුවේ, විශේෂයෙන්ම ව්‍යවස්ථා නීතියේ, ප්‍රතිපාදන අනුවයි.

විධායකයට ව්‍යවස්ථාදායකයේ බලයට අභියෝග කළ හැකි වූ ලොකුම මෙවලම වූයේ ජනාධිපතිවරයාට සිය කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණු නිදහසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය වහාම ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙනවා. දහනවවන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව මුල් වර රැස් වී වසරකට පසුව එය විසුරුවා හැරිය හැකි වුනා. දහනවවන සංශෝධනයෙන් මේ කාලය වසර හතරහමාරක් දක්වා දිගු කෙරුණා.

ඉහත සංශෝධනයෙන් සිදු කෙරුණු වෙනස් කම් නොසලකා හරිමින් ජනාධිපති සිරිසේන විසින් වසර හතරහමාරක් කල් ගතව නොතිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඔහු වෙනුවෙන් පෙනී සිටින අයට අනුව, ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් එසේ කිරීමට බලය ලැබෙනවා.

ලංකාවේ නීතිඥයින් බොහෝ දෙනෙකු හදාරා ඇති තරමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හදාරා ඇතත් මා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙක් නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය වැඩි දුර හදාරා ඇති හා වසර ගණනක් එම ක්ෂේත්‍රයේ නීති වෘත්තියේ යෙදී ඇති බොහෝ දෙනෙක් මේ කරුණ හා අදාළව අදහස් දක්වා තිබෙනවා. වෙනත් අයත් අදහස් දක්වා තිබෙනවා. මේ කරුණේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සේ සැලකිය හැකි අය අතර පවා අතර පවා ඒකමතිකත්වයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මගේ පෞද්ගලික මතය මෙහිදී වැදගත් නැහැ.

කිසියම් කරුණක නෛතික නිරවද්‍යතාවය නිර්ණය කිරීම කියන්නේ අදාළ ලිඛිත නීති තර්කානුකූලව හෝ තමන්ගේ විශ්වාසය මත පදනම්ව විශ්ලේෂණය කර මතයක් ඉදිරිපත් කිරීම පමණක් නෙමෙයි. මේ කරුණටම ආවොත් ව්‍යවස්ථාවේ සියළු වගන්ති හැදෑරීම වුවත් ඒ සඳහා ප්‍රමාණවත් නැහැ. කිසියම් කරුණක නෛතික නිරවද්‍යතාවය නිර්ණය කිරීමේදී පැරණි නඩු තීන්දු වලට විශාල වැදගත්කමක් ලැබෙනවා. වරක් තීන්දුවක් දී ඇති ආකාරයේ නඩු නිමිත්තක් නැවත මතු වූ විට පෙර තීන්දුවට වඩා වෙනස් තීන්දුවක් ලබා දීම ඉතා අඩුවෙන් සිදුවන දෙයක්.

නඩුවක තීන්දුව ලබා දෙන විට අධිකරණය විසින් නීතියක් අර්ථදැක්වීමට අමතරව කිසියම් ආකාරයක නීති හැදීමකුත් කරනවා. එසේ වන්නේ වත්මන් අධිකරණ තීන්දු විසින් අනාගත අධිකරණ තීන්දු වලට පූර්වාදර්ශ සපයන නිසයි. නීතියේ සමානාත්මතාව මූලධර්මයක් කරගත් මූලික අයිතිවාසිකම් නඩුවකදී මේ කරුණට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. මේ වන විට අධිකරණය හමුවේ විභාග වන ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට බලය තිබේද යන්න ලංකා රාජ්‍යයේ මූලික ස්වභාවය නිශ්චය කෙරෙන ඉතා තීරණාත්මක නඩුවක්. එවැනි නඩු තීන්දුවක් ආවාට ගියාට හෝ හදිසියෙන් ලබා දීමේ හැකියාවක් නැහැ.

ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර ඇති බව කියන පාර්ශ්ව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥයින් වගේම ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින්ද සිටිනවා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ලියැවිලි (සබ්මිෂන්ස්) පැරණි නඩු තීන්දු විශාල ගණනක් ඇමුණුම් සේ එකතු කර ඇති පිටු ගණනාවක ලියැවිලි විය යුතුයි. මෙවැනි කරුණකදී අනෙකුත් රටවල අදාළ තීන්දු පවා සලකා බැලෙනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් කලින් දැන නොසිටි මේ කරුණට අදාළ නඩු තීන්දු ඕනෑ තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා, දෙපාර්ශ්වය විසින්ම ඉදිරිපත් කරන කරුණු ඉතා සැලකිල්ලෙන් පරීක්ෂා කර බැලිය යුතුයි. එය කාලය අවශ්‍ය වැඩක්.

කොහොම වුනත්, රටේ අනෙක් බොහෝ දෙනෙකු නිගමන වලට පැමිණීමේදී සලකන සරල කරුණු පමණක් විමසමින් ඉක්මන් නිගමනයකට එන එක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකුටත් කරන්න පුළුවන්. බොහෝ විට කිසියම් කරුණකින් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත්ද නැත්ද යන්න එක වරම පැහැදිලිව පෙනෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සම් බොහොමයක්ම වැඩිදුර විභාගයට නොගෙන මූලික විරෝධතා අදියරේදීම නිෂ්ප්‍රභා වෙනවා. එවැනි නඩුවක් තවදුරටත් ඉදිරියට ගෙනයන්නේ කිසියම් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇති බව පෙනෙන්නට තිබේනම් පමණයි.

මේ නඩුවට සම්බන්ධව සිටින නීති විශාරදයින් අතරින් දේශපාලනිකව බෙදී සිටින ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක හැරුණු විට ඉතිරි බොහෝ දෙනෙක් ඉන්නේ ජනාධිපතිවරයා වැරදියි කියන මතයේ. අනෙක් කණ්ඩායම් කොහොමටත් තමන්ගේ සේවාදායකයාගේ මතය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ඇතැම් නීතිඥයින් පවා තමන්ගේ සේවාදායකයාගේ නිරවද්‍යතාවය විශ්වාශ නොකරන හෝ සැක කරන බව මා පෞද්ගලිකව දන්නා තොරතුරු අනුව පෙනෙනවා. කෙසේවුවත්, ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිය යුතු, රජයේ සේවකයෙක් වන, නීතිපතිවරයා ඉන්නේ ජනාධිපතිවරයා නිවැරදියි කියන මතයේ.

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් ආරම්භයේදී අතුරු තහනම් නියෝගයක් ලබා දීම අත්‍යවශ්‍යම කරුණක් නෙමෙයි. මේ වෙලාවේදී එවැනි නියෝගයක් ලබා දීමෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයා ක්‍රියා කර ඇති ආකාරය නිවැරදි නොවන බවට විනිසුරු මඩුල්ල දළ නිගමනයකට පැමිණ ඇති බවයි. පෙර ගැසට් පත අනුව පාර්ලිමේන්තුවට රැස් වීමට ඉඩ සලසමින් මේ අතුරු තහනම් නියෝගය ඉතා ඉක්මණින් ලබා දීමෙන් ඒ අදහස තහවුරු වෙනවා. අවසන් තීන්දුව මෙයම වීමට වැඩි ඉඩක් තිබුණත් එය එසේම විය යුතු නැහැ. අතුරු තහනම් නියෝගයට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට කාලය දීමේ සිට දෙපාර්ශ්වයටම කරුණු ඉදිරිපත් කිරීමට අදියර කිහිපයක් යටතේ (සාමාන්‍යයෙන් මෙවැනි නඩු විභාගයකදී සිදු වන ආකාරයට) ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබෙන නිසා අවසන් තීන්දුව ලබා දෙනු ඇත්තේ සියළු කරුණු කාරණා සලකා බැලීමෙන් පසුවයි.

දැනට අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබෙන නිසා අවසන් තීන්දුවෙන් පෙත්සම් නිෂ්ප්‍රභා වුවහොත් ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු වූ දින සිට පාර්ලිමේන්තුවේ සිදු වූ කටයුතු වලංගු නොවීම සිදුවිය යුතුම නැහැ. ඒ වගේම, ජනවාරි පස් වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමත් සිදු විය යුතුම නැහැ.  යම් හෙයකින් පෙත්සම් නිෂ්ප්‍රභා කෙරුනොත්, මේ කරුණු හා අදාළව කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උපදෙස් දෙයි කියා මා හිතනවා.

අවසන් තීන්දුවක් නොවුනත් අතුරු තහනම් නියෝගය නිසා ව්‍යවස්ථාදායකය නැවත සක්‍රිය වුනා. අවසන් තීන්දුවෙන් පෙත්සම් නිෂ්ප්‍රභා වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න වෙනවා. එසේ වුවත්, ව්‍යවස්ථාදායකය එතෙක් කර ඇති කිසිවක් ඒ නඩු තීන්දුව හේතුවෙන් ව්‍යවස්ථා විරෝධී හෝ නීති විරෝධී කටයුත්තක් බවට පත් වන්නේ නැහැ. ඒ වගේම, විධායකය කටයුතු කර ඇති ආකාරය ව්‍යවස්ථාවට අනුකූල බව තහවුරු වෙනවා. අනෙක් අතට, යම් හෙයකින් නඩු නිමිත්ත කලින් අහෝසි නොවුවහොත් බොහෝ විට සිදු විය හැකි පරිදි, අතුරු තහනම් නියෝගය ස්ථිර නියෝගයක් බවට පත් වුවහොත් ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී සේ කටයුතු කර ඇති බව තහවුරු වුවත් එය චේතාන්විතව කර ඇති බව තහවුරු වෙන්නේ නැහැ. තමන් මෙය ව්‍යවස්ථානුකූල බව සද්භාවයෙන් විශ්වාස කළ බව ජනාධිපතිවරයාට කියන්න පුළුවන්. ඒ නිසා, දැනට අධිකරණය හමුවේ විභාග වන නඩුව ගල උඩ හටනක් නෙමෙයි. ගල උඩ හටන වෙනම එකක්!

නීතිමය තත්ත්වය එසේ වුවත්, තමන් කරන දේ නිවැරදි බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වය විසින් සැබෑවටම විශ්වාස කළා කියා මා හිතන්නේ නැහැ. එවැනි විශ්වාසයක් තිබුණානම්, ඔහුට කළින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකිව තිබුණා. ඔහු එසේ නොකිරීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පිළිබඳව ඔහුට සැකයක් තිබී ඇති බවයි.

කොහොම වුවත් දැන් නැවතත් ව්‍යවස්ථාදායකය සක්‍රිය වී තිබෙනවා. ව්‍යවස්ථාදායකයේ බලය මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් කිසි විටෙකත් අවතක්සේරු කළේ නැහැ. ඔවුන්ගේ සැලසුම වුනේ විධායකයේ බලය අල්ලා ගැනීමෙන් පසුව ව්‍යවස්ථාදායකයේත් බලය අල්ලා ගැනීමයි. පාර්ලිමේන්තුව කල් දමමින් උත්සාහ කළේ එයටයි. වැඩේ කරගන්න අමාරු වුනේ කරුණු දෙකක් නිසා. එක පැත්තකින් රනිල්ගේ කණ්ඩායම ඇතුළු මහින්ද-මෛත්‍රී විරෝධී කණ්ඩායමට මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් කලින් නොසිතූ තරමේ, ඇත්තටම රනිල්ගේ කණ්ඩායම පවා නොසිතූ තරමේ, ජන සහයෝගයක් ලැබුණා. ඒ හේතුවෙන් මන්ත්‍රීවරයෙකු තමන්ගේ පැත්තට ගැනීමේ මිල ඉහළ ගියා. අනෙක් පැත්තෙන් ජනාධිපති සිරිසේන මත විශාල ජාත්‍යන්තර පීඩනයක් ඇති කරන්න රනිල්ගේ කණ්ඩායම සමත් වුනා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මේ තත්ත්වය හමුවේ දැක්වූ ඉක්මන් ප්‍රතිචාරයක් මිස සැලසුම්සහගතව කළ දෙයක් විය නොහැකියි.

මහින්ද-මෛත්‍රී විරෝධී කණ්ඩායමට ආරම්භයේ සිටම ව්‍යවස්ථාදායකයේ බලය තිබුණත්, එය කොයි වෙලාවේ හෝ ඔවුන් අතින් ගිලිහෙයිද කියන බය ඔවුන්ට තිබුණා. ඔවුන්ට අවශ්‍ය වුනේ ඊට පෙර පාර්ලිමේන්තුව නැවත රැස් කර ගන්නයි. කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව රැස් කරන බවට වහසිබස් ඇහුණත් මහින්ද-මෛත්‍රී විරෝධී කණ්ඩායම එවැනි දෙයකට යොමු වුනේ නැහැ. එසේ කළානම් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරනවාය කියමින් ජනාධිපතිවරයාට චෝදනා කර බටහිර රටවල අනුකම්පාව දිනාගෙන සිටින ඔවුන්ට එම රටවල සහයෝගය තවදුරටත් ලබා ගැනීම අසීරු වෙනවා. ඒ හේතුව නිසාම දැනටත් ඔවුන් කටයුතු කරන්නේ පොතේ හැටියටයි. ගැලරියේ සිට බලා සිටින බටහිර රටවල නියෝජිතයින්ට ඔවුන් ඒ බව  පෙන්වනවා.

දේශපාලන අර්බුදය ආරම්භ වුනේ ජනාධිපතිවරයා විසින් අගමැති ඉවත් කර අලුත් අගමැතිවරයෙකු පත් කිරීමෙන්. මෙය ව්‍යවස්ථා විරෝධී බව කොටසක් කියනවා. කොටසක් එසේ නැතැයි කියනවා. මේ කණ්ඩායම් දෙක බෙදී සිටින්නේ දළ වශයෙන් ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනට විභාග වන නඩුවේ නඩු නිමිත්ත හා අදාළව බෙදී සිටින ආකාරයටමයි. වැදගත්ම කරුණ මේ පළමු තීරණය ප්‍රශ්න කරමින් මේ වන තුරුත් කිසිවකු අධිකරණය වෙත ගොස් නොතිබීමයි.

යම් හෙයකින් එජාපය මුලදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියානම්, අවසන් තීන්දුව දෙන්න කලින්, රනිල් තාවකාලිකව අගමැති ධුරයේ සිටිය යුතු බවට අතුරු තහනම් නියෝගයක් ලැබෙන්න ඉඩක් තිබුණේ නැද්ද? එහෙම තිබුණානම් රනිල්ගේ පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නොගියේ ඇයි?

ගල උඩ සටනට තවම ආවේ නැහැ. නමුත්, දැනටම ලිපිය ගොඩක් දිග නිසා අදට නවතිමු.

(Image: https://www.etthawitthi.com/news/amended-no-faith-motion-against-pm-and-govt-passed-speaker)

Friday, November 16, 2018

කෙල්ල ගෙට ගං!


මා පෙර ලිපි වල දිගින් දිගටම ලිවුවේ මේ මොහොතේ කවර අභියෝග තිබුණත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිළිබඳව මා තව දුරටත් විශ්වාසය තබනවාය යන්නයි. මේ ප්‍රකාශය සමඟ පසුගිය දින තුන ඇතුළත පාර්ලිමේන්තුවේ පැවති තත්වයන් ගලපන්නේ කොහොමද? විශේෂයෙන්ම පසු ගිය දින තුනේ පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම් වල වීඩියෝ දර්ශන වලින් සැලකිල්ලෙන් තෝරාගත් කොටස් රූපවාහිනියේ ප්‍රචාරය වන විට විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට දැඩි අපහසුතාවයක් ඇති වන බව කියන්න දෙයක් නැහැ.

කොහොම වුනත්, මා මෙහිදී පවා දකින්නේ පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වී තිබෙන ආකාරයයි. දශක තුන හතරකට පෙර ගම් වල හිටපු මිනිස්සු ඔවුන් කැමති දේශපාලන පක්ෂ වල නායකයින් වෙනුවෙන් තමන්ගේ ළඟම ඥාතීන් සමඟ, නැත්නම් හදිසි ලෙඩ දුකකදී උදවුවට ඉන්න අසල්වැසියන් එක්ක, ගහ මරා ගැනීම දේපොළ විනාශ කිරීම ආදිය දුලබ දසුනක් වුණේ නැහැ. ගම් වල එහෙම වෙද්දී මේ දේශපාලන පක්ෂ වල නායකයෝ එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදාය අකුරටම පිළිපදිමින් සභා ගර්භයේ වාද විවාද කරලා පස්සේ පාර්ලිමේන්තු කැන්ටිමට ගිහින් හැඳි ගෑරුප්පු වලින් කාලා හොඳ යාලුවෝ වගේ ගෙදර ගියා.

මම සතුටු වෙන්නේ මෙදා සැරේ දේශපාලන අර්බුදය මේ තරම් ඔඩු දුවලා තියෙද්දීත් ලංකාවේ ගම් වල මිනිස්සු ඒ කාලේ වගේ කලබල නොවීම ගැනයි. සමහර අය ෆේස්බුක් එකේ මරා ගන්නවා තමයි. ඒ ගහ මරා ගැනීම් වලින් තුවාල වෙන්නේ නැහැනේ.

අනෙක් පැත්තෙන් රටේ ජනතාව ගහ මරා ගත්තේ නැති වුනාට පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් බටර් පිහි අරන් ගිහිං වෙනත් මහජන නියෝජිතයින්ට උරුක් කරන්නත්, කතානායක පුටුවට වතුර හලන්නත් කට්ටියනම් හිටියා. ගම් වල දේශපාලන විරුද්ධවාදීන්ට හූ කියන්න කවුරුත් නොහිටියත් පාර්ලිමේන්තුවේ හූ සද්ද වලින් අඩුවක් නැහැ. අන්න නියම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය!

අන්තිමේදී ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරන මන්ත්‍රීවරුන්ගේ කණට ගහන්නත්, පුටු වලින් දමා ගහන්නත්, මන්ත්‍රීවරුන්ට හා පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ගහන්නත් තරමට ලංකාවේ මහජන නියෝජිතයින් දියුණු වෙලා තියෙනවා. දැන් ඡන්දදායකයෝ නිකරුණේ තමන්ගේ අසල්වැසියන් එක්ක ගහ මරා ගන්න ඕනෑ නැහැ. ඔවුන් වෙනුවෙන් ගහ මරා ගන්න ගැලපෙන නියෝජිතයෙක්ව පාර්ලිමේන්තුවට පත් කරලා යැවුවහම ඇති. ඒ අය නියමෙට වැඩේ කරයි. හැබැයි ඔහොම කිවුවට ඔය වගේ කට්ටිය මහ ගොඩක් පාර්ලිමේන්තුවේ නැති බවත් සිහියේ තබා ගත යුතු දෙයක්.

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා ලංකාවේ ඒකීය රාජ්‍යය බිඳ වැටිලයි තියෙන්නේ. එල්ටීටීඊ කාලයේදීත් ඔයාකාරයටම උතුරු නැගෙනහිර පළාත් වල සමාන්තර ඩි ෆැක්ටෝ රාජ්‍යයක් තිබුණා. නමුත්, ඒ රාජ්‍යයේ බලය රටේ සීමිත ප්‍රදේශයකට සීමා වෙලයි තිබුණේ.

දැන් පවතින තත්ත්වය වඩා බරපතලයි. රටේ නීත්‍යානුකූල රජය කුමක්ද යන්න ගැන රට ඇතුළේ පැහැදිලි එකඟතාවයක් නැහැ. එහෙම වුණාම රටෙන් පිට සිටින අයට එය තීරණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. එය රටකට එතරම් හොඳ දෙයක් නෙමෙයි.

පාර්ලිමේන්තුව ඇතුළේ ගහ මරා ගන්න කොට අපි වගේ රටෙන් පිට ඉන්න අයට අපහසුතාවයක් ඇති වෙනවා තමයි. නමුත්, ප්‍රශ්නය පාර්ලිමේන්තුවෙන් පිටතට යාමට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇතුළට සීමා වී තිබීම හොඳයි. දේශපාලන අර්බුදයේ ගැඹුර කෙතරම් වුවත් රට ඇතුළේ සාමාන්‍ය ජනතාව සාමකාමීව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාම නිසා තවමත් ලොකු ප්‍රශ්නයක් ඇති වී නැහැ. නමුත්, ප්‍රශ්නය දිගින් දිගටම ඇදුනොත් කොයි වෙලාවක හෝ විනාශයකින් කෙළවර වෙන්න පුළුවන්.

ස්වාධීනව හිතා තීරණ ගත හැකි විශාල පිරිසක් මේ වන විට ලංකාවේ සිටින බව මා විශ්වාස කරනවා. ඔවුන්ගේ ශක්තිය මා තවමත් අවතක්සේරු කරන්නේ නැහැ. ලංකාවේ දැන් තියෙන්නේ කලින් රට අත් නොදුටු බොහෝ දේවල් වෙන්න පුළුවන් වාතාවරණයක්!

Wednesday, November 14, 2018

ඒකීය රාජ්‍යය තවමත් තිබේද?


පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපති සිරිසේන විසින් නටන්නට පටන් ගත් තොවිලයෙන් මේ වන විට අහිමි වී තිබෙන්නේ බෙර පළුවක් පමණක් නොවෙයි. ලංකාවේ රාජ්‍යයේ ඒකීය ස්වභාවයේ සිට දිගු කලක් තිස්සේ ගොඩ නඟා ගත් ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ රාජ්‍ය පාලනය පිළිබඳ කීර්ති නාමය හා අසීරුවෙන් තුලනය කර ගනිමින් සිටි ආර්ථික ස්ථාවරත්වය දක්වා බොහෝ දෑ දැනටමත් මේ බල වියරුව හේතුවෙන් අභියෝගයට ලක් වී අවසන්.

මේ සා දැවැන්ත බිඳවැටීම් රැසක් හමුවේ වුවත් නැවත ස්වයං-පිළිසකර කර ගත හැකි තරමට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව ශක්තිමත් බව තහවුරු වෙමින් තිබීම සතුටට කරුණක්. එසේ වුවත් අවදානම් තත්ත්වයන් කිසිවක් තවමත් පහ වී නැහැ.

ශ්‍රී ලංකාව ජනරජයක්. ඒ නිසා රටේ පරමාධිපත්‍යය තිබෙන්නේ ජනතාවටයි. ඒ වගේම එය ඒකීය රජයක්. එහි බල අධිකාර එකකට වඩා තිබිය නොහැකියි. නමුත්, පසුගිය ඔක්තෝබර් 26 සිට ගෙවුණු කාලය තුළ ලංකාවේ පැවතුණේ එක් බල අධිකාරයක් පමණක්යැයි කියන්න බැහැ. වෙනත් අයුරකින් කිවුවොත් ඔක්තෝබර් 26 සිට ලංකාවේ ඒකීය රාජ්‍යයක් පැවති බව කීම අවිවාදාත්මක කරුණක් නෙමෙයි. මේ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් වෙනස් වී නැහැ.

ශ්‍රී ලංකාවේ වලංගු ව්‍යවස්ථාව අනුව, ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන ආකාර තුනක් තිබෙනවා. ඒ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වශයෙනුයි. මේ එක් කොටසක් අනෙක් කොටස් වලට යටත් නැහැ.

ව්‍යවස්ථාදායක බලය කියන්නේ නීති හැදීමේ බලය. අධිකරණ බලය කියන්නේ නීති අර්ථදැක්වීමේ බලය. විධායක බලය කියන්නේ නීති ක්‍රියාත්මක කිරීමේ බලය.

සරල උදාහරණයක් ගත්තොත් බීමත්ව රිය පැදවීම වරදක්ය යනුවෙන් නීතියක් පනවන්නේත්, ඒ වරදට ලබා දිය යුතු දඬුවම් පුළුල් හා පොදු වශයෙන් තීරණය කරන්නේත් ව්‍යවස්ථාදායකය විසින්. කිසියම් පුද්ගලයෙකු බීමත්ව රිය පැදවූයේද යන්න නිගමනය කර ඒ නිගමනය මත පදනම්ව පවතින නීතිය යටතේ ලබා දිය යුතු නිශ්චිත දඬුවම තීරණය කරන්නේ අධිකරණය විසින්. බීමත්ව රිය පදවන බවට සැක කර පුද්ගලයෙකු අධිකරණය වෙත යොමු කර චෝදනා ඉදිරිපත් කරන්නේත්, අධිකරණය විසින් නියම කරන දඬුවම් ක්‍රියාත්මක කරන්නේත් විධායකය විසින්. රාජ්‍යයක් ශක්තිමත්ව පැවතීමට මේ අංශ තුනම නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුවා වගේම අංශ තුන අතර මනා සහයෝගීතාවක්ද තිබිය යුතුයි.

ජනමතවිචාරණයකදී සිදුවන්නේ රටේ ජනතාව විසින් සෘජුවම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමක්. එසේ නොවන අනෙකුත් අවස්ථා වලදී ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව හරහා මහජන නියෝජිතයින් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) විසින්. පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවන්නේ මේ මහජන නියෝජිතයින් අතරින් තෝරා ගැනෙන කථානායකවරයා විසිනුයි.

ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා. අමාත්‍ය මණ්ඩලය වගේම ඒ අමාත්‍ය මණ්ඩලය යටතේ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් විසින් ද කරන්නේ විධායක බලය ක්‍රියාත්මක කිරීමයි. නීතිපති දෙපාර්තමේන්තුව සැලකිය හැක්කේත් විධායකයේම කොටසක් ලෙසයි. නීතිපතිවරයා විසින් කරන්නේ රජය වෙනුවෙන් අධිකරණය නියෝජනය කිරීමයි.

අධිකරණ බලය ක්‍රියාත්මක වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහළට ඇති අධිකරණ පද්ධතිය හරහා. කෙසේ වුවත්, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධව අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටමයි.

ලංකාවේ ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා හැරුණු විට අනෙකුත් සාමාජිකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද වෙනවා. මෙහිදී එකම පුද්ගලයින් කණ්ඩායම වරෙක විධායකයේ කොටසක් ලෙසත් තවත් වරෙක අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ව්‍යවස්ථාදායකය ලෙසත් කටයුතු කරනවා.

දහතුන් වන සංශෝධනය නිසා සිදු වී තිබෙන වෙනස්කම් ගැන අපි දැනට කතා නොකර ඉමු.

ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපතිවරයා විසින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් අධිකරණය හෝ ව්‍යවස්ථාදායකය හා අදාළව කිසිදු වෙනස්කමක් වුණේ නැහැ. අගමැති තනතුර හා ඇමති තනතුරු වෙනස් කිරීම විධායකය ඇතුළේ සිදු වුනු වෙනසක්.

පෙර කී පරිදි, ජනමතවිචාරණ අවස්ථාවකදී හැර, රාජ්‍යයේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව විසින්. මෙහිදී ව්‍යවස්ථාදායකයේ තීරණය ලෙස සැලකිය හැක්කේ පාර්ලිමේන්තුවේ බහුතර මතයයි.

ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපතිවරයා විසින් ක්‍රියා කළ ආකාරය ව්‍යවස්ථානුකූල නොවන බව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ මතය වුණා. ඔවුන් ඒ බව කථානායකවරයා වෙත ලිඛිතව දැනුම් දුන්නා. කථානායකවරයා හිටියේත් ඒ මතයේ. මෙහිදී වුනේ ව්‍යවස්ථාදායකය විසින් විධායකයට අභියෝග කිරීමක් කියා කියන්න පුළුවන්.

මෙයට සමාන්තරව රටේ නියම විධායකය කුමක්ද කියන ගැටළුව මතු වුණා. ඇතැම් අය රනිල් වික්‍රමසිංහව තවදුරටත් අගමැති සේ පිළිගනිද්දී තවත් අය අගමැති මහින්ද රාජපක්ෂ බව විශ්වාස කළා. අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් කවුරුන්ද යන්න හා අදාළවත් මේ බෙදීම සිදු වුණා.

ඒකීය රාජ්‍යයක විධායකයන් දෙකක් තියෙන්න විදිහක් නැහැ. ඒ නිසා, නීත්‍යානුකූල අගමැති විය හැක්කේ රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගෙන් එක් අයෙකු පමණයි. මේ දෙදෙනාගෙන් රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ ඇමති මණ්ඩලය විසින් පසුගිය ඔක්තෝබර් 26 දින සිට රටේ විධායක බලය ක්‍රියාත්මක කිරීමක් සිදු වුනේ නැහැ. එය කළේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ඇමති මණ්ඩලය විසිනුයි. රාජ්‍ය සේවයේ නිරත අති මහත් බහුතරය විසින් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ඇමති මණ්ඩලය විධායකය සේ සලකමින් ඔවුන්ගේ නියෝග පිළිපැද්දා. රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ ඇමති මණ්ඩලය විසින් ප්‍රායෝගිකව රටේ විධායක බලය ක්‍රියාත්මක කිරීම අත හැර දමා තිබුණා.

කිසියම් තනතුරක් නීත්‍යානුකූලව හිමි තැනැත්තා වෙනුවට වෙනත් අයෙකු එම තනතුරේ කටයුතු කරන විට එසේ කටයුතු කරන පුද්ගලයා හැඳින්වීමට "ඩි ෆැක්ටෝ" යන ලතින් වචනයත් තනතුර නීත්‍යානුකූලව හිමි තැනැත්තා හැඳින්වීමට "ඩි ජුරේ" යන ලතින් වචනයත් යොදා ගැනෙනවා. පසුගිය දෙසතිය තුළ ඩි ෆැක්ටෝ අමාත්‍ය මණ්ඩලය වූයේ මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම ලෙස සැලකීම වඩා නිවැරදියි.

රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම විසින් දිගින් දිගටම කියා සිටියේ ඩි ජුරේ අමාත්‍ය මණ්ඩලය තමන්ගේ කණ්ඩායම බවයි. එහෙත්, මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම විසින් ද තමන් ඩි ෆැක්ටෝ කණ්ඩායම බව ප්‍රදර්ශනය කරන අතරම ඩි ජුරේ අමාත්‍ය මණ්ඩලය තමන්ගේ කණ්ඩායම බවත් කියා සිටියා.

ඉහත තත්ත්වය තුළ ලංකාවේ ඩි ජුරේ විධායකය කුමක්ද යන්න පිළිබඳව රටේ බෙදීමක් ඇති වුණා. මේ වගේ අවස්ථාවක අර්බුදයේ සෘජු පාර්ශ්වකරුවන් නොවන අයගේ අදහස් වලට වැඩි වටිනාකමක් ලැබෙනවා. එසේ කීමෙන් මා කරන්නේ  අර්බුදයේ සෘජු පාර්ශ්වකරුවන් නොවන අය නිරපේක්ෂ ස්වාධීන පුද්ගලයින් සේ හැඳින්වීමක් නෙමෙයි. ස්වාධීනත්වයක් ගැන කතා කළ හැක්කේ කිසියම් සන්දර්භයක පමණයි.

මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ඇමති මණ්ඩලයේ නීත්‍යානුකූල භාවය වෙනුවෙන් පෙනී සිටි හා තර්ක කළ සියල්ලන්ම පාහේ මහින්ද ඇතුළු කණ්ඩායම නැවත බලයට පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණු අය. මේ අතරින් ප්‍රමුඛ කණ්ඩායම පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණට ඡන්දය දුන් අයයි. ප්‍රමාණාත්මකව ගත්තොත් ලක්ෂ 50.3ක්.

පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ හැර අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් වලට ඡන්දය දුන් පිරිස ලක්ෂ 73.8ක්. නමුත්, එයින් කොටසක් එම පක්ෂයේ සහයෝගය ලැබූ වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් විසින් ලැබූ ඡන්ද. ඒ වගේම, ශ්‍රීලනිපය හා එජනිසය විසින් ලබාගත් ලක්ෂ 15ක ඡන්ද ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක්ද මේ ප්‍රශ්නය ආරම්භය වන විටත් මහින්ද පාක්ෂිකයින් වී සිටියා වෙන්න පුළුවන්. මේ සියල්ල සැලකූ විට ව්‍යවස්ථානුකූල භාවය කෙසේ වුවත්, මහින්ද ඇතුළු කණ්ඩායම බලයට පත් වනු දකින්න කැමති විශාල පිරිසක් රටේ හිටියා. ඒ කණ්ඩායම බොහෝ විට රටේ ජනගහණයෙන් අඩකට වඩා වැඩි වෙන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විසින් ප්‍රයෝජනයට ගත්තේ ඔවුන් සතු වූ ඉහත කී ජන පදනමයි. කොහොමවුවත්, එම කණ්ඩායමට රටේ තිබුණු ජන පදනම රටේ වැඩිහිටි ජනගහණයෙන් හරි අඩකට වඩා ගොඩක්ම වැඩි වෙන්න විදිහක් නැහැ.

මෙයින් වෙනස්ව රජයේ සේවකයින් අතරේ මහින්දගේ ජන පදනම මීට වඩා ගොඩක්ම වැඩි වූ බව මගේ අදහසයි. එයට හේතු තේරුම් ගැනීම අපහසු නැහැ. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට ඩි ෆැක්ටෝ විධායකය වීම මේ තරම්ම පහසු වුනේ ඒ නිසයි.

එජාපය හා අදාළව ගත්තොත් පැවතුණේ මෙයින් හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. පළාත් පාලන මැතිවරණ වලදී ඔවුන්ට ලබාගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 36.5ක් පමණයි. රජයේ සේවකයින් අතර එජාපයේ ජනප්‍රියතාවය හොඳටම අඩු වෙලයි තිබුණේ. ඇත්තටම කියනවානම් ඔක්තෝබර් 26 වෙනිදා ගැසට් නිවේදන නිකුත් වූ වහාම රනිල් වික්‍රමසිංහගෙන් ලොකු සටන්කාමයක් ප්‍රදර්ශනය වුණේ නැහැ. ඔවුන් කළේ තමන් සතු වූ, ඔවුන්ට අනුව නීත්‍යානුකූල ලෙස ඔවුන් සතු වූ විධායක බලය වැඩි ප්‍රතිරෝධයක් නොදක්වා අත හැර දමනු ලැබීමයි.

කොහොම වුනත්, රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම උපාය මාර්ගිකව කටයුතු කරන්න උත්සාහ කළා කියා කියන්න පුළුවන්. අර කියනවනේ මොළෙන් අහවල් එක කරනවා කියලා.

රනිල් මුල සිටම උත්සාහ කළේ තමන් සතු වූ ව්‍යවස්ථාදායක බලය යොදාගනිමින් විධායකයේ (ඔහුට අනුව) වැරදි තීරණයට අභියෝග කරන්නයි. මේ අවස්ථාවේදී රනිල් ජාත්‍යන්තර මතය තමන්ගේ වාසියට යොදාගන්න මුල සිටම උත්සාහ කළා. ඔහුට එහි ප්‍රතිඵල ලැබුණා. බටහිර රටවල් රනිල්ගේ කණ්ඩායම රටේ ඩි ජුරේ විධායකය සේ පිළිගන්නා බව අඟවන්න පැකිළුනේ නැහැ. කවුරු කොයි තරම් කයිවාරු ගැහුවත් ලංකාව වගේ රටකට බටහිර රටවල මතය නොසලකා කටයුතු කළ හැකි සීමාවක් තිබෙනවා. බටහිර රටවල ස්ථාවරය ජනාධිපතිවරයා මත සෑහෙන පීඩනයක් ඇති නොකළා කියන්න බැහැ.

විධායකයේ බලය අල්ලා ගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ඉලක්කය වුනේ ව්‍යවස්ථාදායකයේ බලය අල්ලා ගැනීමයි. එජනිස ඇතුලෙ සිටි මහින්ද-මෛත්‍රී කණ්ඩායම් වලට (ඊපීඩීපී මන්ත්‍රීධුරයද ඇතුළුව) මන්ත්‍රීවරු 96ක් සිටියා. එජාපයට තිබුණේ (මුස්ලිම් කොංග්‍රසයද ඇතුළුව) මන්ත්‍රී ධුර 107යි. ඉතිරි මන්ත්‍රී ධුර 22 තිබුණේ ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය සතුවයි.

ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටියානම් එජනිසයට එජාපය ඉක්මවීම සඳහා එජාපයේ මන්ත්‍රී වරුන් හය දෙනෙකු තමන්ගේ පැත්තට ඇද ගැනීම ප්‍රමාණවත්ව තිබුණා. මෙය එතරම්ම අමාරු ඉලක්කයක් බව පෙනෙන්න තිබුණේ නැහැ. එසේ වුණානම් ව්‍යවස්ථාදායකයේ බලය හිමි වන්නේ මහින්දගේ කණ්ඩායමටයි.

මහින්දලා තමන්ගේ ඉලක්කය වෙත වේගයෙන් ළඟා වෙමින් සිටියා. ඔවුන්ට ව්‍යවස්ථාදායකයේ බලය හිමි වන බව සැකයක් නැතිව තහවුරු වුණානම් මන්ත්‍රී වරයෙකු ඒ පැත්තට බා ගැනීමේ මිල විශාල ලෙස පහළ යනවා. එසේ වුනානම් ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගන්න ඉඩ සැලසෙනවා. රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව හැකි ඉක්මණින් නැවත කැඳවා ගැනීමට සිදු කළ උත්සාහය ඇතුළේ ඔවුන්ගේ පිලේ සාමාජිකයින් එකිනෙකා අහිමි වීමේ අවදානම ගැන වූ බිය පෙනෙන්නට තිබුණා.

ඉහත සමතුලිතාවය වෙනස් වෙන්න හේතු වුනේ ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය විසින් ගත් ස්ථාවරයයි. මේ කණ්ඩායම් මුලින් ප්‍රශ්නයට මැදිහත් නොවී සිටින බවක් පෙනුණත් මහින්ද කණ්ඩායම විසින් ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයෙකු බිලී බා ගැනීමත් සමඟම ද්‍රවිඩ සන්ධානයට එජාපයට සහයෝගය දෙන්න අවශ්‍ය වූ හේතුව හමු වුණා. මේ මන්ත්‍රී වරයා වෙනුවෙන් මහින්ද කණ්ඩායම ගෙවූ මිල ඉතා විශාලයි.

ද්‍රවිඩ සන්ධානයේ ස්ථාවරය වෙනස් වීමත් සමඟම මහින්ද-මෛත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බලය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වූ මන්ත්‍රීවරුන් ගණන 102 සිට 113 දක්වා ඉහළ ගියා. එජාප කණ්ඩායමේ මන්ත්‍රීවරුන් ගණන ඉක්මවීම තවදුරටත් ප්‍රමාණවත් සාධකයක් වුණේ නැහැ.

මේ අතර, 2015 දී මෛත්‍රීපාල සිරිසේනව ඉදිරියට තල්ලු කළ එජාප නොවන බලවේග නැවත සක්‍රිය වෙන්න පටන් ගත්තා. එජාප කණ්ඩායම ඇතුළේ සිටි හෙළ උරුමය වගේම එයින් පිටත හිටපු ජවිපෙත් රැල්ල අඳුනා ගත්තා. බලාපොරොත්තු නොවූ ජන සහයෝගයක් ලැබෙන්න ගනිද්දී එජාපයේ ජවය වැඩි වුනා. මහින්ද විරෝධී කණ්ඩායම් වලට ඔවුන්ගේ ප්‍රතිවිරෝධතා අත හැර එකතු විය හැකි පොදු නිමිත්තක් ජනාධිපතිවරයා විසින් සපයා තිබුණා. රටෙන් බාහිරව රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමට වැඩි පිළිගැනීමක් ලැබීමත්, රට ඇතුළේ රැල්ල මහින්ද පිලෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට හැරෙන්න වීමත් එක්ක මහින්ද කණ්ඩායමට තමන්ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව හොයා ගැනීම වඩ වඩා අමාරු වුනා පමණක් නෙමෙයි එජනිස මන්ත්‍රී වරුන් තමන් වෙත රඳවා ගැනීම පවා අභියෝගයක් වුනා.

මහින්ද-මෛත්‍රී කණ්ඩායමට ව්‍යවස්ථාදායක බලය රහිතව විධායක බලය දිගින් දිගටම පවත්වා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ අනුව, ජන බලය මත විශ්වාසය තබමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යන්න විධායකය තීරණය කළා.

මේ එක්කම වුනේ විධායකය විසින් ව්‍යවස්ථාදායකයට සෘජුව අභියෝග කිරීමක්. ඊට පෙර කතානායකවරයාගේ නිවේදන ආදිය හරහා ව්‍යවස්ථාදායකය විසින් විධායකයට අභියෝග කර තිබුණත්, පාර්ලිමේන්තුව කල් තබා තිබූ බැවින් ඒ විරෝධයන්ගේ තිබුණේ නෛතික ස්වභාවයකට වඩා දේශපාලන ස්වභාවයකුයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් ව්‍යවස්ථාදායකයට නීත්‍යානුකූල ලෙස විධායකයේ තීරණයට අභියෝග කිරීමට තිබුණු අවස්ථාව අහිමි කරනු ලැබුණා. මෙයට එරෙහිව අධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් වුණා. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමේ බල තුලනය තීරණය කිරීම අධිකරණය වෙත පැවරුණා.

(මතු සම්බන්ධයි)

Tuesday, November 13, 2018

ලංකාව තවමත් ජනරජයකි!


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. එසේ කර තිබෙන්නේ අගතියට පත් පාර්ශ්වයට තාවකාලික සහනයක් ලබා දීමක් වශයෙනුයි. අවසන් තීන්දුවට පෙර මෙවැනි අතුරු තහනම් නියෝගයක් ලබා දීම සාමාන්‍යයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් ආරම්භයේදී, මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව, සිදු කෙරෙන්නක්. ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇති ආකාරය ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න තීන්දු කෙරෙනවා ඇත්තේ පසුවයි.

ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇති ආකාරය ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළොත් එය ඔහු සිය ධුරයේ කටයුතු කිරීමට නුසුදුස්සෙක් වීමට හේතුවක්. අපට ලැබී තිබෙන තොරතුරු අනුව මේ වන තුරු එවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් වී නැහැ. පෙත්සම් විභාගය දිගටම සිදුවීමට නියමිතයි.

මේ හරහා එක් අතකින් ලංකාවේ අධිකරණය පිළිබඳ විශ්වාසය තහවුරු කෙරී තිබෙන අතර විධායකයට අත්තනෝමතික සේ ක්‍රියා කිරීමට ඇති හැකියාව අභියෝගයට ලක් කෙරී තිබෙනවා.

මේ අනුව, පාර්ලිමේන්තු මැතිවරණයක් කලින් දැනුම් දුන් දින වකවානු වලදී පැවැත්වෙන්න ඉඩක් නැහැ. ඒ එක්කම, ජනාධිපතිවරයාගේ පෙර ගැසට් නිවේදනය අනුව හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස් විය යුතුව තිබෙනවා.

ඊට පෙර ජනාධිපතිවරයා විසින් වෙනත් තුරුම්පු ගහන්න ඉඩ තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා අතේ තිබෙන කොළ අත දැන් කාටවත් රහසක් නෙමෙයි. ඒ නිසා, ඔහුට සර්ප්‍රයිස් කරන්න ටිකක් අමාරුයි. ඒ වගේම, ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය ලෙස අර්ථකථනය කර ගැනීමේදීත්, තමන් වටා ඉන්න කේවට්ට උපදේශකයින්ගේ මත පිළිගැනීමේදීත් මින් ඉදිරියට හෝ ඔහු දෙවරක් සිතනු ඇතැයි අප හිතනවා.

මේ තීන්දුව හරහා සිදු වී තිබෙන්නේ ප්‍රශ්නය එක් අදියරකින් පසුපසට යාම පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පෙර තිබුණු අනෙකුත් අවිනිශ්චිතතාවයන් සියල්ල තවමත් තිබෙනවා. ඒ නිසා, ඉදිරි පැය 24ත් ලංකාවට ඉතා තීරණාත්මකයි.

අපි බලා සිටිමු!

අප වෙත සැණෙකින් තොරතුරු ලබා දුන් අධිකරණ ක්ෂේත්‍රයේ හිතවතුන්ට අපේ ස්තුතිය!

Monday, November 12, 2018

අධිකරණ තීන්දුව දෙස බලා සිටිමු!


මේ මොහොතේ අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින මූලික අයිතිවාසිකම් නඩු කිහිපය පිළිබඳව ලැබෙනු ඇතැයි සිතිය හැකි තීන්දු ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසය තුළ එසේ ගැනෙන වැදගත්ම තීන්දු කිහිපයක් වන්නට පුළුවන්. මතුපිටින් බැලූ විට සරල මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග සේ පෙනුනත් මේ තීන්දු වලින් තීරණය කෙරෙන්නේ මේ මොහොතේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වභාවයයි.

පසුගිය ඔක්තෝබර් 26 දින සිට ජනාධිපතිවරයා විසින් ගත් ආන්දෝලනාත්මක ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව මේ වන විට රට ඇතුළේ වගේම රටෙන් පිටතත් වෙසෙන බොහෝ දෙනෙකු තම තමන්ගේ මත වලට එළැඹ අවසන්. එසේ වුවත්, මෙසේ තමන්ගේ මත ඉදිරිපත් කරන බොහෝ දෙනෙක් එය කරන්නේ ව්‍යවස්ථාව සමස්තයක් ලෙස නොගෙන එහි තමන්ට අවශ්‍ය කොටස් පමණක් උපුටා ගනිමිනුයි. ඇතැම් අය එසේ කරන්නේ අවංකව නොවන බව පැහැදිලිව පෙනෙනවා.

ව්‍යවස්ථාවේ තිබෙන පරස්පර වලට බොහෝ දුරට හේතු වී තිබෙන්නේ දහනව වන සංශෝධනය ගෙන ඒමේදී සිදු වුනු වෙනස්කම්. 1978 ව්‍යවස්ථාව සැලසුම් කර තිබෙන්නේම විධායක ජනාධිපති ධුරය වෙත විශාල බලයක් සංකේන්ද්‍රනය වන අයුරිනුයි.

දහනව වන සංශෝධනය ගෙන ආවේ මේ බලතල සීමා කිරීම අරමුණු කරගෙනයි. එහෙත්, අධිකරණයේ මතය වූයේ ජනමතවිචාරණයක් නොපවත්වා ව්‍යවස්ථාවේ මූලික ආකෘතිය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවයි. ඒ අනුව, ව්‍යවස්ථාව සංශෝධනය කෙරුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් කළ හැකි තරමට පමණයි.

මේ ගැන ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා විසින් 2015 අප්‍රේල් 27 දින අපර භාග 12.10ට පාර්ලිමේන්තුවේදී සිදු කළ අදහස් දැක්වීම හැන්සාඩ් වාර්තාවේ සටහන් වී තිබෙන්නේ මෙහෙමයි.

"මේ දහනව වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වුණ වෙනස මොකක්ද කියලා අපි පොඩ්ඩක් හිතලා බලමු. අද සමාජයේ යම් යම් තැන්වල අදහසක් තිබෙනවා, මේ නිසා දැවැන්ත විපර්යාසයක් සිදු වුණාය කියලා. ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් සිදු වෙලා නැහැ."

එසේ කියන අතරම ඔහු මේ හරහා සිදු වී තිබෙන වෙනස්කම් ගැනත් අදහස් පළ කළා.

"මීට ඉස්සර තිබුණු තත්ත්වය අනුව පාර්ලිමේන්තුව තුළ මොකක් හරි අර්බුදයක් තිබෙනවානම්, ස්ථාවර ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න බැරි තත්ත්වයක් තිබෙනවා නම්, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට පුළුවන්. එතුමාගේ හස්තයේ ඒ බලය තිබුණා. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත හෙට දිනයේ දී සම්මත වුණොත් හෙට ඉඳලා ජනාධිපතිවරයාට ඒ බලය නැහැ. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒක ලොකු වෙනසක්. අවුරුදු හතරහමාරකට ජනාධිපතිවරයාගේ අත් බැඳලායි තිබෙන්නේ."

මේ විවාදයේදීම ගරු විමල් වීරවංශ මහතා පළ කර තිබෙන අදහස් මෙහෙමයි.

"ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ජනාධිපතිවරයාව අයින් කරන්න පුළුවන් කම මේ දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙනවා. හැබැයි, අගමැතිතුමාව ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක් දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කියා නැහැ. අගමැතිතුමාට හිතිලාම ඉවත් වුනොත් හෝ එහෙම නැතිනම් මිය ගියොත් තමයි. අපි හිතමු ඉල්ලා අස් වෙන්නේත් නැහැ. මිය යන්නේත් නැහැ, මහජන නියෝජිතයින් 225 දෙනා අතරත් ඉන්නවා කියා. හැබැයි, අගමැතිතුමාට පිස්සු කියා හිතන්නකෝ. එහෙම වුණොත් මොකක්ද වෙන්නේ? ජනාධිපතිවරයාට අදාළව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තිබෙනවානේ රෝගයක් හෝ මානසික රෝගී තත්ත්වයක් තිබෙනවානම් එතුමාව එම තනතුරින් ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක්. නමුත් අගමැතිතුමා ඉවත් කරන්න ක්‍රමයක් නැහැ. ඒක හරි ද?"

මා මේ කොටස් දැම්මේ දහනවවන සංශෝධනයෙන් පසුව ව්‍යවස්ථාදායකය හා විධායකය අතර බල තුලනය වෙනස් වුනේ කොහොමද කියන එක ඔක්තෝබර් 26 වෙනිදා වන තුරුම සියලු දෙනාටම වගේ පැහැදිලිව පෙනුණ කරුණක් බව කියන්නයි. අලියාගේ තැන් තැන් පෙන්වමින් අලියා ගැන විස්තර කරන අය හදිසියේම ප්‍රාදුර්භූත වුනේ පහුගිය සති දෙක තුන ඇතුළතයි.

හරි. කොහොම වුනත් දැන් ප්‍රශ්නය අධිකරණය දක්වා ගිහින්නේ තියෙන්නේ. අධිකරණයේ තීරණය කුමක් වෙයිද කියා මා දන්නේ නැහැ. ඒ වගේම, මේ කරුණේදී ලංකාවේ මිනිස්සුන්ගේ අදහස් ධ්‍රැවීකරණය වී තිබෙන ආකාරය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණායින් පසුව වුවත් ප්‍රශ්නයේ කෙළවරක් දකින්න ලැබෙයිද කියන එක සැක සහිතයි. තව වැඩි කාලයක් නැහැනේ. අපි බලා ඉඳිමු!

Sunday, November 11, 2018

මන්ත්‍රීවරුන්ගේ මිල ඉහළ ගියේ ඇයි?


ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රධාන තවත් අය විසින් සති දෙකකට වැඩි කාලයක් තිස්සේ  අල්ලමින් ඉන්න අඩවුවෙන් පැහැදිලි වන පළමු කාරණය වන්නේ ලංකාවේ පවතින ව්‍යවස්ථාව යටතේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල තුලනය කෙතරම් දුර්වලද කියන එකයි.

තවමත් ඇති වී තිබෙන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් පමණයි. ඉදිරි සතිය තුළ දී බොහෝ විට ප්‍රශ්නයට අධිකරණය මැදිහත් වන ආකාරයත් බලා ගන්න පුළුවන් වෙන්න ඉඩ තිබෙනවා. එයින් ප්‍රශ්නය විසඳෙයිද නැත්නම් තවත් ඔඩු දුවයිද කියන එක පිළිබඳවනම් සැකයකුයි තියෙන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් එක්ක ප්‍රශ්නය වඩා සංකීර්ණ වී තිබෙනවා. අධිකරණයේ මැදිහත්වීම සිදුවන ආකාරය අනුව එය මීට වඩා සංකීර්ණ වීමේ අවදානමකුත් තිබෙනවා. ඒ ගැන කතා කිරීම අපි පසුවට තියමු.

ප්‍රශ්නය පටන් ගත්තේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීමත් සමඟයි. ඒ මොහොතේ හා පසුව කවුරු මොනවා කිවුවත් ජනාධිපති සිරිසේන විසින් මහින්දව අගමැති සේ පත් කරන මොහොතේ මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරයක සහයෝගය නොතිබුණු බව සියලු පාර්ශ්වයන් විසින් පිළිගන්නා කරුණක්.

මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් උත්සාහ කළේ පාර්ලිමේන්තුව රැස් වන්නට පෙර කවර ආකාරයකින් හෝ බහුතරය හදාගන්නයි. ඒ උත්සාහය තුළ තිරය පිටුපස සිදු වූ බොහෝ දේ රටේ බොහෝ දෙනෙක්ට තිරය විනිවිද දකින්නට හැකි වුනා. කෙසේ වුවත්, අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින තැනට ජනාධිපතිවරයා තල්ලු වුනේ කවර ආකාරයකින් හෝ පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීම අසීරු බව පෙනී යාමෙන් පසුව බව පැහැදිලියි.

තමන් විසින් තෝරා පත් කරගත් මහජන නියෝජිතයින් කරවල හාල්මැස්සන් සේ අලෙවි වීම බොහෝ දෙනෙකුගේ ජුගුප්සාවට භාජනය වූ කරුණක්. මහජන නියෝජිතයින් පක්ෂ මාරු කිරීම වලක්වන නීති ගෙන ආ යුතු බව කියමින් බොහෝ දෙනෙක් අදහස් පළ කර තිබුණා.

ජේආර් ජයවර්ධන විසින් 1978 ව්‍යවස්ථාව හඳුන්වා දුන් මුල් කාලයේ මහජන නියෝජිතයින්ට පක්ෂ මාරු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත්, ඒ කාලයේ තත්ත්වය වඩා ප්‍රජාතන්ත්‍රවාදී වූ බව කියන්න බැහැ. එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ පක්ෂ නායකයින්ගේ වහලුන් පිරිසක් පමණයි. මේ තත්ත්වය වෙනස් වුනේ අධිකරණ තීන්දු මතයි.

දැන් ඉන්න  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ පක්ෂ නායකයින්ගේ වහලුන් නොවේද කියා කාට හෝ අහන්න පුළුවන්. නමුත්, අප මේ තත්ත්වය දෙස බැලිය යුත්තේ ජේආර්ගේ කාලයට සාපේක්ෂවයි.

සිදු වන්නේ කුමක් වුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු තමන් නියෝජනය කරන පිරිස් වල මතය නියෝජනය කළ හැකි පුද්ගලයින් විය යුතුයි. ඒ මතය කිසියම් මන්ත්‍රීවරයෙකුගේ දේශපාලන පක්ෂයේ මතය සමඟ නොගැලපෙන අවස්ථා තිබෙන්න පුළුවන්.

මේ විදිහට කිවුවත් මන්ත්‍රීවරුන්ට ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීමට ලැබී තිබෙන අවකාශය ඔවුන් විසින් අවභාවිතා කරනවානම්, ඔවුන් කැමැත්තෙන්ම මුදලට හෝ වෙනත් වරදාන වෙනුවෙන් විකිණෙනවානම් කළ හැක්කේ කුමක්ද?

පසුගිය දෙසතියේ සිදු වූ දෑ වලින් පිළිබිඹු වූ දෙවැන්න එවැනි තත්ත්වයන් සම්පූර්ණයෙන් වලක්වා ගැනීම කෙසේ වුවත්, සෑහෙන තරමකින් පාලනය කරගත හැකි තරමට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් බවයි.

ලංකාවේ මහජන මන්ත්‍රීවරුන් මුදලට විකිණීම ඒ අයගේ හෝ ඒ අයව මිල දී ගන්නා අයගේ පමණක් වැරැද්දකින් සිදුවන්නක් නොවෙයි. ඒ අයව තෝරා ගන්නා ඡන්දදායකයින් විසින් වක්‍රව එවැනි කටයුතු අනුමත කිරීමත් එයට හේතුවක්. එය එසේ නොවන විට මහජන මන්ත්‍රීවරයෙකු විසින් මුදලට පක්ෂපාතීත්වය මාරු කිරීමේ ආවස්ථික පිරිවැය විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මේ ආකාරයට මන්ත්‍රීවරුන් මිල දී ගැනීම වඩා අසීරු කාර්යයක් බවට පත් වෙනවා. පසුගිය දෙසතිය තුළ දකින්නට ලැබුණේ ඒ තත්ත්වයයි.

ලංකාවේ සාමාන්‍ය ඡන්දදායකයා මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුළ සෑහෙන තරම් සක්‍රිය දායකත්වයක් සපයනවා. ඒ හමුවේ, විධායකයට, ව්‍යවස්ථාදායකයට වගේම අධිකරණයටත් රිසි සේ පිස්සු කෙළින්න තිබෙන හැකියාව සෑහෙන තරමකින් සීමා වෙනවා.

ලාංකීය ඡන්දදායක ප්‍රජාව ඇතුළේ සිටින නිර්පාක්ෂික ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. දේශපාලන පක්ෂ වල වහලුන් නොවන විශාල පිරිසක් මහින්ද විරෝධී කණ්ඩායමේ වගේම රනිල් විරෝධී කණ්ඩායමේත් ඉන්නවා. මතවාදී ස්ථාවරයක එල්බ සිටීමත් තමන්ගේ පක්ෂය කියන ඕනෑම දෙයක් කිරීමත් එකක් නොව දෙකක්. තර්කානුකූලව ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවක් තිබෙන පළමු කණ්ඩායම එන්න එන්නම ශක්තිමත් වෙනවා. ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක අවසන් ප්‍රතිඵලය තීරණය කරනු ඇත්තේ මේ පිරිසයි.

ව්‍යවස්ථාවේ මොන තරම් හිල් තිබුණත්, මේ මොහොතේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ශක්තිය අවතක්සේරු කළ යුතු නැහැ.

(Cartoon by Awantha Artigala https://www.facebook.com/Awantha.artigala/photos/a.580926191924881/2735286016488877/?type=3&theater)

Saturday, November 10, 2018

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා නියෝජිතයාගේ ප්‍රජාතන්ත්‍රවාදය


තවත් සිකුරාදා මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදනයක් මේ වන විට නිකුත් වී තිබෙනවා. මෙය කිසිවෙකුටත් කලින් එක තරමේ සර්ප්‍රයිස් එකක් වුනා කියා මා හිතන්නේ නැහැ.

කලින් ගැසට් නිවේදනයෙන් වෙනස්ව මෙවර නිවේදනයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරවීමට තමන්ට බලතල ලැබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර වගන්ති වලින්ද යන්න සඳහන් කර තිබෙනවා. අදාළ වගන්ති පමණක් තනිව ගත්තොත් ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම නිවැරදියි. නමුත්, ව්‍යවස්ථාවක වගන්ති ඒ ආකාරයෙන් අනෙක් වගන්ති වලින් වියුක්තව අර්ථ දක්වන්න බැහැ.

එක වරදක් කළ පසු එය වහගන්න තවත් වැරදි ගොඩක් කරන්න වෙනවා. දැන් වෙලා තියෙන්නේ එයයි.

මේ සිදුවීම් දාමයෙන් පැහැදිලිව පෙනෙන්නේ 1978 ව්‍යවස්ථාව කෙතරම් භයානක එකක්ද කියන එකයි. දහනවවන සංශෝධනය හරහා යම් වෙනස්කම් සිදු කර තිබුණත් තවමත් ජනාධිපතිවරයාගේ බලය ඉතා විශාලයි.

ජනාධිපතිවරයා විසින් හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවානම්, බලය අයුතු ලෙස භාවිතා කරනවානම් හෝ ජනාධිපතිවරයා මානසික රෝගයකින් පෙලෙනවානම් සාමාන්‍යයෙන් සිදු නොවන දේ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ව්‍යවස්ථාව අනුව තත්ත්වය සමනය කරන්න කළ හැක්කේ කුමක්ද?

මේ වගේ වෙලාවක යමක් කිරීමේ හැකියාව තිබෙන්නේ ව්‍යවස්ථාදායකයටයි. 38(2) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බව, බලය අයුතු ලෙස භාවිතා කරන බව හෝ මානසික රෝගයකින් පෙලෙන බව ඇතුළු කරුණු ගණනාවක් සිදුවන අවස්ථා වලදී කථානායකවරයාට දැනුම් දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුළුවන්. අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වඩා අත්සන් කර ඇත්නම් කථානායකවරයාට එවැනි යෝජනාවක් භාර ගන්නත් පුළුවන්.

නමුත්, එවැනි ක්‍රියාමාර්ගයක් තේරුමක් තිබෙන අවසානයක් දක්වා ගෙන යා හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබේනම් පමණයි. එපමණක් වුවත් මදි. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ එකඟතාවයත් අවශ්‍යයි. වෙනත් විදිහකින් කිවුවොත් දහනවවන සංශෝධනයෙන් පසුව වුවත් ලංකාවේ විධායක ජනාධිපතිවරයාට පිස්සු කෙළින්න විශාල අවකාශයක් ඉතිරි වී තිබෙනවා. සති දෙකක් තිස්සේ නටපු නාඩගම නිසා පැහැදිලිව පෙනුණු පළමු කරුණ මෙයයි.

විධායකය විසින් පිස්සු කෙළීමේ ප්‍රතිඵලය රාජ්‍ය යාන්ත්‍රණයේ ඉතිරි කොටස් දෙක වන අධිකරණය හෝ ව්‍යවස්ථාදායකය යන දෙකෙන් එකක් ව්‍යවස්ථා විරෝධී සේ අකර්මන්‍ය කර දැමීම වුවහොත් ඇති වන තත්ත්වය කුමක්ද?

පළමුවැන්න වසර කිහිපයකට පෙර සිදු වුනා. වැරැද්ද නිවැරදි කරන්න වසර කිහිපයක්ම ගියා. මේ හේතුව නිසා 2013 ජනවාරි සිට වසර දෙකක් පමණ කාලයක් ලංකාවේ අගවිනිසුරුවරියට සිය ධුරයේ කටයුතු කරන්න ඉඩ ලැබුණේ නැහැ. දැන් දෙවැන්න සිදු වී තිබෙනවා.

පොදුජන පෙරමුණ පැත්තෙන් බැලුවොත් මහා මැතිවරණයකට යාම ඔවුන් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය දැකීමෙන් පසුව ඔවුන්ට මැතිවරණ ජයග්‍රහණයක් ගැන සැකයක් තිබුණේ නෑ කියා හිතන්න පුළුවන්.

නියමිත කාලය තෙක් සිටියානම් රනිල්ගේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය තවත් අඩු වී මහින්දලාට තව තවත් වාසි වෙන්න තිබුණා. ඒ වගේම, අලුත් මැතිවරණ ක්‍රමය ආවානම් එය පොදුජන පෙරමුණට (හෝ සිංහල බෞද්ධයන්ගේ බහුතර ඡන්ද දිනාගත හැකි කණ්ඩායමට)  විශාල වාසියක් වෙනවා. බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයකදී සිංහල බෞද්ධයන්ගේ බහුතර ඡන්ද දිනාගත හැකි කණ්ඩායම පැරදවිය නොහැකි වෙනවා.

එසේ තිබියදීත් රාජපක්ෂලා ඉතිරි කෙටි කාලය ගෙවෙන තුරු බලා නොසිට වහා ක්‍රියාත්මක වුනේ රාජපක්ෂ පවුලේ ඇතැම් සාමාජිකයින්ට එරෙහිව විභාග වෙමින් පැවති නඩු නිසා බව කියැවෙනවා. එය එසේ වෙන්න පුළුවන්.

මහින්දලාට මෛත්‍රීව ඕනෑ වුනේ පැවති ආණ්ඩුව කවර ආකාරයෙන් හෝ කලින් බිඳ දමන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාවක් තිබුණු බවක් ඔවුන් විශ්වාස කළානම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කලින්ම කරන බව පැහැදිලි කරුණක්. නමුත්, ජනාධිපතිවරයා එසේ කළේ නැහැ.

පාර්ලිමේන්තුව විසුරවා හරින්න දින දෙකකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින්, අර්බුදය ඇරඹීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් අළුතෙන් පත් කළ නිලධාරියෙකුගේ අත්සනින් ප්‍රකාශයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේය යන්න සංවිධානාත්මක කණ්ඩායම් විසින් පතුරුවා හරින අසත්‍ය හා පදනම් විරහිත කටකතාවක් බවයි.

බදාදා වන විටත් මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් බහුතරය හදා ගැනීමේ අපේක්ෂාව අත හැර නොතිබුණු බව පැහැදිලියි. ඉන් පසු දින දෙක තුළ තත්ත්වයේ වෙනසක් සිදුවන්නට ඇති බව පෙනෙනවා.

ලංකාවේ දැනට වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයා විසින් අර්ථ දක්වන ආකාරය නිවැරදිනම් පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ කිසිදු තේරුමක් නැහැ. මැතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත් ජනාධිපතිවරයාට තමන් කැමැති අයෙක්ව අගමැති සේ පත් කරන්න වගේම එසේ පත්කරන අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය හදාගත හැකි බවක් නො පෙනේනම් පාර්ලිමේන්තුව රැස් නොකරම හෝ වෙනත් ඕනෑම වෙලාවක හේතු නොදක්වා විසුරුවා හරින්න වුවත් පුළුවන්.

එහෙම බැලුවොත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට තිබෙන අයිතියට පමණයි. ඉන් පසු, ඔහු හෝ ඇය බලයේ සිටින තාක් කල් සියල්ල සිදුවන්නේ ඒ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදියි. මේකට කියන්න වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියා නෙමෙයි. නියෝජිතයාගේ ප්‍රජාතන්ත්‍රවාදය කියලයි. තෝරාගන්නා නියෝජිතයාගේ අභිමතය වෙනස් වන ආකාරය අනුව නියෝජිතයාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය වෙනස් වන නිසා සාධාරණ වශයෙන් නියෝජිතයාගේ ප්‍රජාතන්ත්‍රවාදය කියා නොකියා නියෝජිතයාගේ නමින්ම හඳුන්වන්නත් පුළුවන්.

ලිපිය අවසන් කිරීම පිණිස පහත කොටස මා උපුටා ගන්නේ ජනාධිපති සිරිසේනගේ 2015 රාජාසන කතාවෙන්.

"ගරු කථානායක තුමනි, යම් රටක් හෝ ජාතියක් ස්වකීය අනන්‍යතාවේ පදනම වශයෙන් සලකන්නේ එරටෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජාතියේ උත්තරීතර ලේඛනය ලෙස අප සලකන්නේ ඒ හේතුවෙන්. නිදහසේ සිට ගෙවුණු වසර 60ක කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් අප ක්‍රියාවට නංවා තිබෙනවා. එහෙත් අද වන තෙක් අපට ශ්‍රී ලාංකික ජාතියෙහි පදනම ලෙස සියලු දෙනාට එකඟ විය හැකි ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නොහැකි වීම අභාග්‍යයක්. විශේෂයෙන් ම, අද අප රටේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දිනයේ පටන්ම එහි පදනම වන විධායක ජනාධිපති ධුරය හා මැතිවරණ ක්‍රමය පිළිබඳව බොහෝ පාර්ශ්වයන්ගේ මැසිවිලි සහ විරෝධතා එල්ල වෙමින් පවතිනවා. "මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්" ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූ දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මාගේ මැතිවරණ ප්‍රකාශනයේ එක් පොරොන්දුවක් ඉටු කිරීමක්. "විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතු ද, එසේනම් එහි ස්වභාවය කෙසේ විය යුතු ද?" යන්න පිළිබඳව අවසන් නිගමනය ගැනීම ඔබ අසුන්ගෙන තිබෙන මේ පාර්ලිමේන්තුවේ වගකීමක්."

(Image: http://www.pmdnews.lk/policy-statement-delivered-by-president-maithripala-sirisena-addressing-the-8th-parliament-of-sri-lanka-on-september-1-2015/)

Friday, November 9, 2018

මහ බැංකුව මුදල් අච්චු ගහන්න පටන් අරන්ද?


පසුගිය 26 වෙනිදා පටන් ගත් දේශපාලන පෙරළියෙන් පසුව මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම වේගවත් කර තිබෙන බව සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරෙමින් පවතින පුවතක්. මා දැක්කේ නැතත් මේ බව කියන පුවත්පත් ලිපිත් පළ වී ඇති බව පෙනෙනවා.

දින දෙකකට පෙර පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව විසින් මේ "සාවද්‍ය පුවත්පත් ලිපි" ගැන පැහැදිලි කිරීමක් කර තිබුණා. මහ බැංකුව කියන්නේ එහෙම දෙයක් වෙන්නේ නැති බවයි.

මහ බැංකුවේ නිවේදනයේත් තිබෙන විදිහට, සාමාන්‍යයෙන් මුදල් අච්චු ගැසීම කියා කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් (අධි බලැති මුදල්) ප්‍රමාණය ඉහළ යාමයි. මේ සංචිත මුදල් වලට සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටුත්, මහ බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල ගිණුම් වල ශේෂයන්ගේ එකතුවත් ඇතුළත්.

මහ බැංකුව විසින් අලුත් සල්ලි එළියට දමන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවැන්න, මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත්) මිල දී ගැනීමයි. මේ බිල්පත් ප්‍රාථමික වෙන්දේසියෙන් හෝ ද්වීතියික වෙළඳපොළෙන් (වාණිජ බැංකුවකින් හෝ ප්‍රාථමික වෙළෙන්දෙක්ගෙන්) මිල දී ගත හැකියි. දෙවන ක්‍රමය ඩොලර් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් මිල දී ගැනීමයි.

ඉහත අවස්ථා දෙකේදී රටේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යනවා මෙන්ම මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් හෝ විදේශ ව්‍යවහාර මුදල් විකුණා සංසරණයේ තිබෙන රුපියල් ආපසු එකතු කරගත් විට සංචිත මුදල් සැපයුම පහළ යනවා.

මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් හා විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු වල යෙදෙද්දී වරින් වර සංචිත මුදල් සැපයුම ඉහළ පහළ යාම සාමාන්‍ය දෙයක්. එයට සල්ලි අච්චු ගැහීම කියා කියන්න බැහැ. මේ තාවකාලික වෙනස්වීම් අත ඇරලා, අවුරුද්දක් වගේ සාපේක්ෂව දිගු කාලයක් තුළ සිදුවන දේ දිහා බැලුවොත් මහ බැංකුව කරන්නේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ දමන එක මිසක් පහළ දමන එක නෙමෙයි. සල්ලි අච්චු ගැහීම කියා කියන්නේ එයටයි.

මහ බැංකුව විසින් පෙර කී විදිහට සල්ලි අච්චු ගහන එකත් අසාමාන්‍ය දෙයක් නෙමෙයි. හැම අවුරුද්දකම මහ බැංකුව අලුතින් සල්ලි අච්චු ගහනවා. වෙනත් රටවල් වල මහ බැංකුත් එහෙමයි.

උද්ධමනයටත්, ඒ හේතුවෙන් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමටත් හේතු වෙන්නේ මේ විදිහට සල්ලි අච්චු ගැහීමයි. වැඩියෙන් සල්ලි අච්චු ගහන රටවල් වල උද්ධමනය වැඩියි. උද්ධමනය වැඩි රටවල මුදලේ වටිනාකම වේගයෙන් පහළ යනවා. විණිමය අනුපාතිකය දුර්වල වෙනවා.

ඩොලර් එකක රුපියල් මිල ඉහළ යාම බඩු මිල ඉහළ යන්න හේතුවන බව ගොඩක් අය "දකින" දෙයක්. නමුත්, ඇත්තටම බඩු මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා. උද්ධමනයට හේතු වෙන්නේ වැඩි වැඩියෙන් මුදල් අච්චු ගැසීමයි. උද්ධමනය වැඩි වන විට රුපියලක සැබෑ වටිනාකම පහළ යනවා. කිසියම් මැදිහත්වීමක් නොකෙරුණොත්, ඒ පහළ යාම විණිමය අනුපාතිකයෙන් පිළිබිඹු වෙනවා.

රුපියලක සැබෑ වටිනාකම පහළ ගියාට පස්සේ විදේශ සංචිත විකුණලා හෝ ණය අරගෙන  විණිමය අනුපාතිකය පහළින් තියා ගන්න දඟලන එකේ තේරුමක් නැහැ. විණිමය අනුපාතිකය ශක්තිමත්ව තියාගන්න අවශ්‍යනම් කළ යුත්තේ රුපියලේ සැබෑ වටිනාකම ආරක්ෂා කර ගැනීමයි. එහෙම කරන්නනම් පාලනයකින් යුතුව සල්ලි අච්චු ගැසීම කළ යුතුයි.

දැනට පවතින තත්ත්වය ගැන මහ බැංකුව කියන්නේ මෙහෙමයි.

"2017 වසර අවසානයේදී රුපියල් බිලියන 939.8 ක් වූ සංචිත මුදල් 2018 වසරේ සැප්තැම්බර් අවසානයේ රුපියල් බිලියන 1,010.5 වූ අතර, නොවැම්බර් 02 වැනි දින වන විට එය රුපියල් බිලියන 1,020.8 ක අගයක් වාර්තා කළේය. ඒ අනුව සංචිත මුදල්වල වාර්ෂික ලක්ෂමය වර්ධනය සියයට 11.6 ක් වන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනය කරන ලද අගයට වඩා පහළ මට්ටමක පවතී."

දැන් මේ කියන්නේ 11.6%කින් සංචිත මුදල් සැපයුම ඉහළ යාම මහ බැංකුව අපේක්ෂා කළාටත් වඩා අඩු මට්ටමක ඉහළ යාමක් බවයි. ඒ කියන්නේ මහ බැංකුව සැලසුම් කරලා තියෙන්නේ 11.6%කටත් වඩා වැඩි අලුත් සල්ලි ප්‍රමාණයක් අච්චු ගහලා වෙළඳපොළට දමන්න කියන එකයි. මේ වන විට රටේ ආර්ථික වර්ධනය 3.6% මට්ටමේ බව සැලකූ විට මහ බැංකුව කියන්නේ 8%ක පමණ උද්ධමනයක් ඇති කරන්න මහ බැංකුව විසින් සැලසුම් කර තිබෙන බවයි. ඇමරිකාවේ උද්ධමනය 2% පමණ සේ සැලකුවොත් එයින් කියවෙන්නේ ඩොලරයක "නියම" රුපියල් මිල තවත් 6%කින් පමණ වැඩි වෙන්න ඉඩ අරින්න මහ බැංකුව සැලසුම් කර තිබෙන බවයි.

පසුගිය 26 වෙනිදා සිට ගත වූ දෙසතියක කාලය තුළ පමණක් රටේ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 20.3කින් ඉහළ ගිහින් තිබෙනවා. ඊට පෙර සති තුනේ වෙලා තියෙන්නේ රුපියල් බිලියන 2.3ක අඩු වීමක්. ඒ නිසා, දේශපාලන අර්බුදයෙන් පසුව සති දෙක තුළ වැඩිපුර සල්ලි අච්චු ගැහීමක් සිදු වෙලා නැහැ කියලම කියන්න අමාරුයි.

කොහොම වුනත් රටේ සංචිත මුදල් ඉල්ලුම තාවකාලිකව ඉහළ පහළ යාම සාමාන්‍ය දෙයක් නිසා මේ වැඩිවීම මේ කාලයේදී සාමාන්‍යයෙන් සිදුවන වැඩි වීමක්ද කියන එකත් බලන්න වෙනවා. පහත තියෙන්නේ පසුගිය වසර වල ඔක්තෝබර් මාසයේ 26 ආසන්න සතියේ සිට ගත වූ දෙසතියක කාලය තුළ සංචිත මුදල් වෙනස් වී තිබෙන ආකාරයයි.

-2014 ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 5 දක්වා රුපියල් බිලියන 6.6ක අඩු වීමක්.
-2015 ඔක්තෝබර් 22 සිට නොවැම්බර් 5 දක්වා රුපියල් බිලියන 0.3ක අඩු වීමක්.
-2016 ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 10 දක්වා රුපියල් බිලියන 10.2ක වැඩි වීමක්.
-2017 ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 9 දක්වා රුපියල් බිලියන 6.7ක වැඩි වීමක්.
-2018 ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 8 දක්වා රුපියල් බිලියන 20.3ක වැඩි වීමක්.

මේ අනුව, පසුගිය දෙසතියේ සල්ලි අච්චු ගැසීම පසුගිය වසර පහේ එම කාලයේ සිදු වූ සල්ලි අච්චු ගැසීමට වඩා වැඩි බව කැපී පෙනෙනවා.

කොහොම වුනත් මේ අවුරුද්ද කොහොමටත් කලින් අවුරුදු වලට වඩා වෙනස් අවුරුද්දක්ද? දේශපාලන අර්බුදය සිදු නොවුනත් මේ කාලයේ සංචිත මුදල් වඩා වේගයෙන් වැඩිවිය හැකිව තිබුණද?

එහෙමනං ඔක්තෝබර් 26ට පෙර සති වලත් එවැනි වෙනසක් තිබිය යුතුයි. පෙර සති වල සංචිත මුදල් ප්‍රමාණයේ සාමාන්‍ය රටාවට වඩා විශාල අඩු වීමක් වී තිබුණානම්, පසුගිය සති දෙකේ වැඩි වීමට හේතුව ඒ අඩුව නැවත යථා තත්ත්වයට පත් වීම වෙන්න පුළුවන්. පහළින් තියෙන්නේ ඔක්තෝබර් 26ට පෙර සති තුනේ තත්ත්වය.

-2014 ඔක්තෝබර් 2 සිට ඔක්තෝබර් 23 දක්වා රුපියල් බිලියන 14.8ක වැඩි වීමක්.
-2015 ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 22 දක්වා රුපියල් බිලියන 0.7ක අඩු වීමක්.
-2016 ඔක්තෝබර් 6 සිට ඔක්තෝබර් 27 දක්වා රුපියල් බිලියන 19.1ක අඩු වීමක්.
-2017 ඔක්තෝබර් 4 සිට ඔක්තෝබර් 26 දක්වා රුපියල් බිලියන 0.7ක අඩු වීමක්.
-2018 ඔක්තෝබර් 4 සිට ඔක්තෝබර් 25 දක්වා රුපියල් බිලියන 2.3ක අඩු වීමක්.

මේ අනුව, ඔක්තෝබර් 26ට පෙර තෙසතිය තුළ අසාමාන්‍ය සංචිත මුදල් ඉල්ලුමක් හෝ අඩුවීමක් තිබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. 2014 හා 2016 අවුරුදු වලදීනම් තරමක් දුරට එවැනි තත්ත්වයක් පේනවා. ඒ නිසා, පසුගිය සති දෙකේ සල්ලි මැෂින් එක පොඩ්ඩක් වැඩිපුර දුවලා කියන එක අපට බැහැර කරන්න අමාරුයි.

කොහොම වුනත්, පසුගිය දෙසතියේ සංචිත මුදල් වැඩිපුර වැඩි වී ඇත්නම් ඒ රුපියල් බිලියන 15ක පමණ ප්‍රමාණයක් කියා කියන්න පුළුවන්. එය ඉතා විශාල වැඩි වීමක් නෙමෙයි. යම් හෙයකින් මෙය මහ බැංකුවේ ඉලක්කගත පථයෙන් පිට පැනීමක් වුවත්, ඉදිරි සතියක හෝ දෙකක කාලය තුළ සංචිත මුදල් වැඩිවීම ඉලක්කගත පථයට ආපසු දමා ගැනීම මහ බැංකුවට පහසුවෙන්ම කළ හැකි දෙයක්. ප්‍රශ්නයක් මතු වන්නේ එසේ නැතිව දිගින් දිගටම සංචිත මුදල් වැඩි වුනොත්.

මහ බැංකු නිවේදනයේ තවත් දේවල් තිබෙනවා. ඒ දේවල් ගැන දෙවනුව කතා කරමු.

(Image: https://www.123rf.com/stock-photo/sri_lanka_rupee.html?sti=nn1y15dn8nh0txr5p4|)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...