වෙබ් ලිපිනය:

Showing posts with label සාහිත්‍යය. Show all posts
Showing posts with label සාහිත්‍යය. Show all posts

Saturday, December 26, 2015

රැල්ල

මම හොඳටම වකුටු වී දෙකට තුනට නැමී සිටියෙමි. මට කෙළින් විය නොහැකිය. මම දණහිස් බදාගෙන අමාරුවෙන් හුස්ම ගත්තෙමි. වරෙක හුස්ම හිරවෙන්නට යයි. සිරුර හොඳටම තැලී පොඩිවී ඇත. කටේ වැලි පිරී ඇත. කහින විට ලේ පිටවේ. කොයිතරම් කෙළ ගැසුවත් කටේ ලුණු රස එසේමය. සිරුර හොඳටම බර ලෙසක් දැනේ. "මේ කලිසං කෑලි වල බර වෙන්න ඕනෑ" මම සිතුවෙමි. මම ඒවා ඉරා දැම්මෙමි.

එතකොට අර රැළි වලට මොකද වුණේ? මා අවට හැමතැනකම වතුර පිරී ඇතත් වතුර නිසලය. රැල්ලක් නොනැඟේ. මේ විල්ද නැත්නම් කලපුවද?

මට කෙළින් සිටිය නොහැකිය. දෙපා මඩේ එරී ඇත. මම මේ දකින්නේ සිහිනයක්දැයි සිතමින්, එසේ නොවන බව හොඳාකාරවම දැන සිටියත් ඒ බව සහතිකේටම පිළිගන්නට බයෙන්, ඈත, පේනතෙක්මානය දිහා, ඔහේ බලා සිටියෙමි. අවට සිටි සියල්ලන්ටම සිදු වී ඇති දෙය කුමක්දැයි සිතන්නට මා පෙළඹුණේ මේ වෙලාවේදීය. එතකොට මේ හැමෝම මැරිලද? එහෙම වෙන්න ඇති. ඔවු, මේ හැමෝම මැරිලා!

***

1964 දී උපන් ස්ටීවන් ලිසන්බර්ග් හැදී වැඩුණේ සහ පාසල් ගියේ නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆඩ් ප්‍රදේශයේය. පාසැල් අධ්‍යාපනය නිමා කර, ආර්ථික විද්‍යාව හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වූ ඔහු එහිදීද දක්ෂ සිසුවෙකු ලෙස කැපී පෙනුණේය. සිය ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසු පස්වසරක් ගුරු වෘත්තියේ නියැළුණු ස්ටීව් නැවතත් අධ්‍යාපනය කෙරෙහි යොමු විය. පළමුව වොරික් සරසවියෙන් කාර්මික සම්බන්ධතා පිලිබඳව පශ්චාත් උපාධියක් උපයාගත් ඔහු ඉන් අනතුරුව ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් සම්පූර්ණ කිරීම සඳහා නැවතත් කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් විය.

ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 1997දී ස්ටීව් ලාභ-නොලබන ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන පොදු ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයට (Institute for Public Policy Research) සම්බන්ධ විය. විශේෂයෙන්ම ආර්ථිකමිතික ආකෘති ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධව ඔහු සතු වූ කුසලතාවයන් හේතුවෙන් සහ විවිධ පර්යේෂකයින් සමඟ සහයෝගයෙන් පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු සතු වූ දක්ෂතාව හේතුවෙන් ඉතා කෙටි කලෙකින්ම ඔහුට මේ ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් විය හැකි විය.

ස්ටීව් විවාහ වූයේ ඔහුගේ කේම්බ්‍රිජ් පෙම්වතිය වූ, ශ්‍රී ලංකාවේ උපන්, සොනාලි දැරණියගල සමඟය. ඇයද ඔක්ස්ෆර්ඩ් ආචාර්ය උපාධිධාරිනියකි. ඔවුන්ගේ කැදැල්ලට කුරුළු පැටවුන් දෙදෙනෙකු එකතු වී සිටියහ. 2004 දෙසැම්බරය ගත කිරීමට ස්ටීව්, සොනාලි සහ දරු දෙදෙනා ලංකාවට පැමිණෙන විට වැඩිමල් වික්‍රම්ගේ වයස අවුරුදු අටකට කිට්ටුව තිබුණේය. මල්ලි ලෙස කවුරුත් හැඳින්වූ නිඛිල්ගේ වයස අවුරුදු පහකි. ලංකාව ඔවුන්ට නුපුරුදු තැනක් නොවීය. 2004 නත්තල සැමරීමට ඔවුන් තෝරා ගත්තේ යාල අභය භූමිය අසල පිහිටි නිවාඩු නිකේතනයකි. සොනාලිගේ දෙමවුපියන් ඇතුළු තවත් අය ඔවුන් හා එක්ව සිටියහ.

ජීවිතය අස්ථිරය. එක් නිමේෂයකින් බොහෝ දේ වෙනස් විය හැකිය. මෙයට හරියටම වසර එකොළහකට පෙර ජීවිත ලක්ෂ ගණනක් බිලිගත් සුනාමියට අසුවුණු සොනාලිට ඉතා පුදුමසහගත ලෙස දිවි ගලවාගත හැකි විය. එහෙත්, ඇගේ සැමියා, දරු දෙදෙනා මෙන්ම දෙමවුපියන්ද මේ සුනාමියට බිලි වූහ.

මෙවැනි තත්ත්වයට මුහුණ දුන් අයෙකුගේ මානසික තත්ත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මේ සිදුවීමේ කම්පනයෙන් මිදෙන්නට සොනාලිට පහසු වූයේ නැත. සොනාලි කිහිප වරක්ම සිය දිවි නසා ගැනීමට තැත් කළාය. මත්පැනින් මතකය පොඟවා දියකර දමන්නට තැත් කළාය. අවසානයේදී, කෙසේ හෝ ජීවිතයට මුහුණ දීමට ඇය අදිටන් කරගත්තීය. සොනාලි තුළ වූ ලේඛිකාව අවදි විය. ඈ ඇගේ අත්දැකීම් අකුරු බවට හැරවීය. 2013 වසරේදී පළවුණු වඩාත්ම ජනප්‍රිය පොත් අතරින් එකක් වූ ඇගේ සම්මානලාභී කෘතිය බිහි විය.

රැල්ල (Wave) නම් වූ  කඳුළු කතාව මේ නූතන පටාචාරාවගේ ථෙරී ගාථා සමුච්ඡයයි.

***

ඔවුන් නැතුව මම කුමක් කරන්නද? මම සිතුවෙමි. තවමත් මා හුස්ම ගන්නේ අමාරුවෙනි. මගේ සිරුර මටම වලංගු නැත. එය මඩේ ලිස්සා යයි.

කිසියම් පිරිසක් කෑගසන හඬ ඇසේ. මුලින්ම ඈතිනි. පසුව ලඟිනි. ඒ සිංහලෙන් එකිනෙකා සමඟ උස් හඬින් කතා කරන මිනිසුන් කණ්ඩායමකි. ඔවුන්ට මා නොපෙනේ. මට ඔවුන්ව නොපෙනේ.

"මුහුද ගොඩ ගලලා. මහසෝනා ඇවිල්ලා.." අයෙක් කෑගසයි. මුහුද ගොඩ ගලලලු. මහසෝන ඇවිල්ලලු. මහසෝනා!

මම මේ වචනය දැන සිටියෙමි. ඒත් මොහු මේ කියන්නේ කුමක්ද? මා මේ වචනය අවසන් වරට අසා තිබුණේ කුඩා කළ අපේ නිවසේ විසූ මෙහෙකාරිය යක්කු සහ පෙරේතයින් ගැන කතා කියා දුන් කාලයේදීය. මහසෝනා යනු කනත්තේ යක්ෂයාය. කෙතරම් අවුල් සහගතව සිටියත් මට යමක් තේරුම් ගියේය. කුමක් නමුත් අතිශය භයානක සිදුවීමක් සිදුවී තිබේ. අවට හැමතැනකම පෙනෙන්නේ මරණයයි. මේ මිනිසුන් කෑගසන්නේ ඒ නිසාය.

"කවුරු හරි පණ පිටින් ඉන්නවනම් කතා කරන්න. දැන් වතුර බැහැලා. අපි ඇවිත් ඉන්නේ උදවු කරන්න."

මගෙන් හඬක් තබා කෙඳිරිල්ලක් හෝ පිටවුණේ නැත. ඒ තරමටවත් පණක් මගේ සිරුරේ ඉතිරිව නැත.

"මාව බේරගන්න. මාව ගහගෙන ගියා."

ඒ ළමයෙකුගේ හඬකි. හඬ නැඟූ ළමයා සොයමින් මිනිසුන් මා සිටි තැන කිට්ටුවට එනු මට ඇසුණේය. මම වකුටු වී මගේ දණහිස් වටා දෑත් යවා බදාගෙන නිහඬව සිටියෙමි.

මා දුටු ඔවුහු ඉක්මන් ගමනින් මා වෙත පැමිණියහ. ඔවුන් මට කතා කළත් මම පිළිතුරක් නොදුන්නෙමි. මා කඩිනමින් ඔවුන් සමඟ පැමිණිය යුතු බවත්, නැවතත් රැල්ලක් පැමිණිය හැකි බවත් ඔවුහු පැවසූහ. මම කිසිවක් නොපවසා හිස දෙපසට වනමින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමි.

මම දැඩි ලෙස විඩාපත්ව සිටියෙමි. ඒ නැතත්, මගේ කොළු පැටවුන් දෙදෙනා නොමැතිව මා කොහේ යන්නද? ඔවුන් කෙසේ හෝ බේරී ඇත්නම්? ඔවුන් මේ ළඟපාතකම සිටීමට පුළුවන. මට ඔවුන් තනිකර යා නොහැකිය. නමුත්, මේ කිසිවක් හඬ නඟා කීමට මට නොහැකි විය. ඔවුන් ගැන සොයා බලන මෙන් මේ මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නට මට නොහැකි විය. අප සියල්ලන්ම ජීප් රථයෙන් පිටතට විසිවී වතුරට වැටුණු බව මට ඔවුන්ට කිව නොහැකි විය. මා එසේ කීවොත් මා දකින මේ සියල්ල යථාර්තයක් බවට පත්වේ. මට අවශ්‍ය වන්නේ මේ සියල්ල සිහිනයක් බව සිතන්නටය.

පිරිස නොඉවසිලිමත් වූහ. ඔවුහු ඔවුනොවුන් හා සාකච්ඡාවකය. ඔවුන්ට මා මෙහි අතහැර දමා යා නොහැක.

"ඒත් අපි මෙයාව මේ විදිහට ගෙනියන්නෙ කොහොමද?" එක් අයෙක් විමසයි. "හරියකට ඇඳුමක්වත් නැතුව"

මොකක්? මම සිතුවෙමි. අයෙක් ඔහුගේ කමිසය ගලවා මගේ ඉන වටා එතුවේය.

(Images: rubinmuseum.org and contrary-mom.com)

Monday, October 19, 2015

මේ ඇන්ටන් චෙකොෆ් වැවූ චෙරිවත්ත නොවේ.

මා සයවන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදී මසකට පමණ වරක් සති අන්තයේදී ගිය එක්තරා ගමනක් විය. ප්‍රධාන පාරෙන් නොගොස් එවකට අප පදිංචිව සිටි නිවසේ සිට අතුරු පාරවල් ඔස්සේ සැතපුම් තුනක් පමණ වූ දුරක් කඳුවැටි, ඕවිටි, පාළු සොහොන්පිටි, රබර්වතු, තේවතු පසු කරමින් එවකට මගේ සිංහල ගුරුතුමියගේ නිවසට මෙසේ ඇවිදගෙන ගියේ රත්තරන් හෙලේනාව හඳපානේ කැන්දන් එන්නට නොවේ. රත්තරන් හෙලේනා කුමරිය ඒ වනවිටත් වසර කිහිපයක සිටම පොත් රාක්කයේ වසීලිස්සා පොත ඇතුලේ සිටි නිසා එවකට මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇය නොසිටියාය.

මේ ගුරුතුමිය අදාල කාලයේදී එක්තරා දුරකට මගේ වීරවරියකි. මේ දිනවල 'වයසට වඩා පැහී සිටි' මා සම්බන්ධව වැඩිහිටියන්ගේ ප්‍රතිචාර වර්ග තුනක් තිබුණේය. පළමු කොටස සිතුවේ මා ඕනෑවට වඩා පණ්ඩිත බවයි. ඔවුන්ට අනුව මගේ දෙමවුපියන් මා කියවන දේ පිලිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය. එදිනෙදා උගන්වන පාඩම් පමණක් යන්තම් උඩින් පල්ලෙන් බලාගෙනවිත් තරමක් වෙනස් ප්‍රශ්නයක් ඇසූවිට ඇණගෙන නොදන්නාකම කටෙන් සහ වේවැලෙන් වසාගන්නා ඇතැම් ගුරුවරුද සිටියේ මේ ගොඩේය. මේ අයව මට ඇල්ලුවේම නැත.

දෙවන කොටස මේ පණ්ඩිතකමින් විනෝදයක් ලැබූ අයයි. වැඩිහිටියන්ගේ සාකච්ඡාවක් මැද්දට හදිසියේම මා කැඳවන මෙවැනි කෙනෙකු මගෙන් 'බරපතල' ප්‍රශ්නයක් අසයි. ඔවුන් මේ ප්‍රශ්නය අසන්නේ පිළිතුර දැනගැනීමට අවශ්‍ය නිසා නොව පොඩි එකා දෙන ලොකු උත්තරයෙන් ෆන් එකක් ගැනීම සඳහාය. ඇතැම් විට මෙය ඉලක්කම් තුනක සංඛ්‍යාවක් තවත් ඉලක්කම් තුනක සංඛ්‍යාවකින් මනසින් ගුණ කිරීම වැනි දෙයකි. මෙවැන්නක් ඒ කාලයේදී තරමක විනෝදජනක දෙයක් වූ අතර මගේ පිළිතුර පරීක්ෂා කිරීමට ගණක යන්ත්‍රයක් බොහෝ විට ළඟ පාතක නොතිබුණු නිසා උත්තරය හරියටම නිවැරදි නොවීම ලොකු ප්‍රශ්නයක් වුනේ නැත. එසේ නැත්නම් කෙනෙකුගේ උපන්දිනය සහ වෙලාව පවසා ලග්නය ඇසීම වැනි දෙයක් විය හැකිය. මෙවැනි වැඩිහිටියන් හමුවේදී 'පොරක් වීමෙන්' සතුටක් ලැබුණත් මේ දෙවන කාණ්ඩයේ අයගෙන්ද ගන්නට යමක් නැතිබව ඒ කාලයේදීම මට තේරුණේය.

මා ඉහත කී සිංහල ගුරුතුමිය ඇතුළු සුළු පිරිසක් තුන්වන කාණ්ඩයට අයත්විය. කුඩා දරුවෙකු යනු අර්ධ මිනිසකු නොවන බව සලකමින් මා නොදන්නා දේ විස්තර කරන අතරම, නොදන්නා දේ නොදන්නා බව නොපැකිල පවසමින්, මගේ අදහස් වලටද හොඳින් සවන් දුන් මේ තුන්වන කාණ්ඩයේ අය අදත් මගේ මතකයේ රැදී සිටිති. මා බොහෝ දේ උකහා ගත්තේ මෙවැනි අයගෙනි. එවැන්නන් සමඟ පැය ගණනක් එක දිගට කතා කරන්නට මට බොහෝ දේ තිබුණේය.

මේ ගමනින් ලැබුණු එකම ප්‍රයෝජනය පුරාවිද්‍යාව, ඉතිහාසය, ආගම්, නාට්‍ය, සාහිත්‍යය ඔස්සේ ඇදී ගිය මෙවැනි කතාබහ පමණක් නොවේ. එවකට අවිවාහකව සිටි මේ ගුරුතුමිය වාසය කළ ඇගේ දෙමවුපියන්ගේ නිවසට උදේ කාලයේ යන මා එහිදී දිවා ආහාරයද ගෙන හැන්දෑ වරුවේ ආපසු එන විට රැගෙන ඒමට බරටම දේවල් තිබුණේය. පළමුව, මේ නිවසේ වූ පොත් රාක්කයකින් එකතුකර ගන්නා පොත් හත අටකි. දෙවනුව, ආයුර්වේද වෛද්‍යවරයෙකුද වූ ඇගේ පියාගේ ලොකු එළවළු කොටුවෙන් එකතු කර දෙන එළවළු සහ අලවර්ග මල්ලකි. තෙවනුව, අදාල කාලය අනුව මේ වත්තෙන් එකතු කරගන්නා රඹුටන්, මැන්ගුස්, වෙරළු, නමිනං වැනි පලතුරු මල්ලකි. වසරකට පමණ පසු මේ ගුරුතුමිය විවාහ වී නිවසෙන් පිටව යන තුරු, ගෙනගිය පොත් කියවා අවසන් වීමෙන් පසු ඒවාද රැගෙන මා නැවත නැවතත් එහි ගියෙමි.

මේ ගුරුතුමියගේ නිවස 'කැම්පස් ගෙදරකි'. සාමාජිකයින් හත් අට දෙනෙකුගෙන් යුතු මේ පවුලේ එවකට අවිවාහකව නිවසේ සිටියේ බාලම සාමාජිකාවන් දෙදෙනා පමණි. පවුලේ වැඩිමලා එවකටත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු මෙන්ම ශාස්ත්‍රීය පොත් ගණනාවක් පළ කර තිබුණු ප්‍රසිද්ධ ලේඛකයෙකි. මේ සියල්ලන්ගේම පොත් එකතු සහිත රාක්ක කිහිපයකින්ම සිත් සේ පොත් තෝරාගැනීමේ නිදහස මා සතුවිය. ඇන්ටන් චෙකොෆ්ගේ චෙරිවත්ත නාට්‍යයේ පරිවර්තනය මා මෙසේ රැගෙන ගොස් කියවූ පොතකි. මාර්ටින් වික්‍රමසිංහට ගම්පෙරලිය ලිවිම සඳහා ප්‍රස්තුතය සැපයුවේ චෙකොෆ්ගේ චෙරිවත්ත බවට අදහස් පලවී තිබේ. එමෙන්ම. චෙකොෆ් සැබෑ ජීවිතයේදීද චෙරිවත්තක් වවා ඇති බව සඳහන්ය.

මගේ මතකය පරිදි චෙරිවත්ත පරිවර්තනය එතරම් ආකර්ෂණීය නිමාවක් නොතිබුණු කුඩා පොතක් වූ අතර ප්‍රගති ප්‍රකාශක මන්දිරයෙන් පලකළ සෝවියට් පොතක් නොවීය. එහෙත්, පොතේ අන්තර්ගතයෙහි වරදක් තිබුණේ නැත. වසර දෙකතුනකට පසුව චෙරිඋයන නම් වූ මේ පොතේම වෙනත් පරිවර්තනයක්ද මට කියවන්නට ලැබුණේය.

චෙකොෆ්ගේ චෙරිවත්ත කුඩා කාලයේදීම රසවින්දත් එහි නව නළු රස හැර චෙරි රසක්නම් මට එවකට දැනුණේ නැත. ඒ එවකට මා ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අද්භූත හා ශාන්ත රස මිස චෙරි රස හඳුනාගෙන නොසිටි බැවිනි. ඔය කිවුවාට මා වාසය කළ වෙනත් ප්‍රදේශයක ළඟ පාත ගෙදරක චෙරිගසක් කියා ගසක් තිබුණේය. එහි කිසියම් ගෙඩි වර්ගයකුත් හැදුනේය. එහෙත්, ඒවායේ තිබුණේ පැණි රසක් හෝ ඇඹුල් රසක් නැති නොඉදුණු දන් ගෙඩියක් කන විට දැනෙන රස වැනි රසකි.

මා කුඩා කාලයේ නිවසට එනකෙනෙකු ළඟපාත කඩේකින් බිස්කට් පැකට්ටුවකට විකල්පයක් ලෙස ඇතැම් විට ගෙන ආ කේක් ගෙඩිය බොහෝ විට බටර් කේක් එකක් හෝ ඉඳහිට සම්ප්‍රදායික අයිසිං කේක් එකක් වුවා මිස ගැටෝ කේක් එකක් වුනේ නැත. ඒ අයුරින්ම, අයිස් පලම්, අයිස් චොක්ස් හෝ අයිස් කෝන් එකක් මිස අයිස්ක්‍රීම් සන්ඩේ ගැන ඒ දිනවල මා අසා තිබුණේ නැත. මේ නිසා අයිස්ක්‍රීම් සන්ඩේ එකක් සමඟ එන චෙරි ගෙඩියක් හෝ චෙරි ගෙඩි හයක් ගැසූ ගැටෝ කේක් එකක් සමඟ චෙකොෆ්ගේ වත්තට රිංගන්නට මට අවස්ථාවක් ලැබුණේ අනූව දශකයේදී විය යුතුය. මේ කාලයේදී චෙරි ගෙඩි ලෙස හඳුනාගත් සීනි ගුලි නියම චෙරියයි තවත් වසර ගණනාවක් මම සිතා සිටියෙමි.

චෙරි වත්තකට රිංගා, චෙරි ගසකට නැඟ බඩකට පිරෙන්නට චෙරි ගිල දැමීමේ අවස්ථාව ලැබෙන කාලය වනවිටනම් සැබෑ චෙරි රස විඳීමේ අවස්ථා ඕනෑ තරම් ලැබී තිබුණත් බොහෝ විට මෙසේ රසවිඳ තිබුණේ සාමාන්‍යයෙන් යුරෝපීය සහ උතුරු ඇමරිකානු වෙළඳපලේ බහුලවම දක්නට ලැබෙන තද දම් පැහැති චෙරි වර්ගයයි.

ප්‍රධාන වශයෙන්ම චෙරි වර්ග දෙකක් තිබේ. මෙයින් පළතුරක් ලෙස ආහාරයට ගන්නා පැණි රසක් ඇති ප්‍රභේද 'ස්වීට් චෙරි' ලෙසත්, ඇඹුල් රසැති ප්‍රභේද 'ටාර්ට් චෙරි' හෝ 'සවර් චෙරි' ලෙසත් හැඳින්වේ. ටාර්ට් චෙරි ප්‍රයෝජනයට ගන්නේ චෙරි යුෂ, වියලි හෝ ටින් කළ චෙරි ආදිය සෑදීම සඳහා පමණි. ඉතා ඉක්මණින් නරක් වන පලතුරක් වන චෙරි දින කිහිපයකට වඩා කල් තබා ගත නොහැක. මේ නිසා ඇපල් හෝ මිදී මෙන් වසර පුරාම වෙළඳපොලේ චෙරි දක්නට නොලැබේ. උත්තර අර්ධ ගෝලයේ චෙරි වැවෙන රටවල පලදාව නෙලන්නේ වසරේ අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලය තුලදීය. දක්ෂිණ අර්ධ ගෝලයේ රටවල දෙසැම්බර් ආසන්නයේ චෙරි ගස් පලබර වේ.

සාපේක්ෂව වගා කිරීමට අසීරු පළතුරක් වන චෙරි ඝර්ම කලාපීය රටවල වැවිය නොහැක. චෙරි වැවෙන්නේ සමකයෙන් ඈත්ව පිහිටි නිශ්චිත උෂ්ණත්ව පරාසයක් පවතින ප්‍රදේශ වලය. ස්වීට් චෙරි මෙන්ම ටාර්ට් චෙරි නිෂ්පාදනය අතින්ද ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ තුර්කියයි. ස්වීට් චෙරි නිෂ්පාදනයෙන් දෙවන තැන සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඉතාලිය සහ ස්පාඤඤය වැනි දකුණු යුරෝපීය රටවල් සහ ඉරානයද ස්වීට් චෙරි නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටින රටවල්ය. ටාර්ට් චෙරි නිෂ්පාදනයෙන් දෙවන තැන සිටින්නේ රුසියාවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ස්වීට් චෙරි නිෂ්පාදනය මුළුමනින්ම පාහේ සිදුවන්නේ කැලිෆෝර්නියා, ඔරිගන්, වොෂින්ටන් යන බටහිර වෙරළබඩ ප්‍රාන්ත වලය. කැලිෆෝර්නියාවේ දකුණු ප්‍රදේශ වල චෙරිගස් අප්‍රේල් වෙද්දී පලබර වන අතර උතුරට යද්දී මේ අස්වනු කාලය ක්‍රමයෙන් පමා වෙයි. බටහිර වෙරලේ උතුරින්ම පිහිටි වොෂින්ටන් ප්‍රාන්තයේ කැනඩා මායිම ආසන්න කඳුකර පෙදෙස් වල චෙරි ගස් පලබර වන්නේ අගෝස්තු ආසන්නවය.

චෙරි ගස උගුරැස්ස හෝ ලොවි ගසක් වැනි මධ්‍යම ප්‍රමාණයේ ගසකි. එහෙත් උගුරැස්ස ගසක මෙන් කටු නැත. මලින් බර වූ චෙරිගසක් ඉතා ප්‍රිය දසුනකි. ජපානයේ සකුරා යනුද චෙරි වර්ගයේම ගසකි. බහුලවම දක්නට ඇති තද දම් පැහැති චෙරි වලට වඩා පෙනුමෙන් පැහැදිලිව වෙනස් තැඹිලි පැහැති රේනර් චෙරි මිලෙන්ද තරමක් වැඩිය. උඩින්ම ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ පලබර වී ඇති රේනර් චෙරි ගසකි. මේ ප්‍රභේද දෙකේ අතරමැද පැහැයක් ගන්නා දෙමුහුන් චෙරි ප්‍රභේද රැසක් තිබේ. රතු පැහැති වර්ගයද එවැන්නකි.

ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනි ඇතැම් චෙරි වතු වල චෙරි පලදාව 'යූ-පික්' ක්‍රමයට ඉඩමේදී විකිණේ. මෙහිදී අපට චෙරි වත්තට ඇතුළු වී අවශ්‍ය පමණ චෙරි කඩා ගත හැකිය. පිටතට ගෙන යන චෙරි වලට බර අනුව මුදල් ගෙවිය යුතුය. බඩකට පිරෙන්නට චෙරි වත්තේදීම ගිල දමන චෙරි වෙනුවෙන් මුදල් ගෙවීමක් නැත. සාමාන්‍යයෙන් දෙතුන් වරක් අස්වනු නෙලීමෙන් පසු ඉතිරිවන චෙරි මේ ක්‍රමයට අලෙවි කරන්නේ කම්කරුවන් යොදවා චෙරි නෙලීමට වඩා මේ ක්‍රමය වාසිදායක නිසාය.

එකම කෘතියක් වුවත් චෙරිවත්ත හා චෙරිඋයන ලෙස දෙදෙනෙකු පරිවර්තනය කළ විට දැනෙන්නේ එකම රසය නොවේ. චෙකොෆ්ගේ නාට්‍යයේ මෑතකාලීන පරිවර්තනයක් වන 'ඉඩමේදී විකිණේ' රසවිඳීමේ අවස්ථාව මට හිමිවී නොමැති නිසා එහි රස ස්වීට් චෙරි රසක්ද නැත්නම් ටාර්ට් චෙරි රසක්ද කියා මා දන්නේ නැත.





Saturday, October 10, 2015

අපරාධය සහ දඬුවම සහ ආවස්ථික පිරිවැය


අඩ සියවසකට හෝ ඊටත් පෙර, කේටරින් සර්විස් වලට කොන්ත්‍රාත් නොදී හත් දොහක් මඟුල් කන යුගයේදී ගමේ ප්‍රභූ වරයෙකුගේ නිවසක පැවති මංගල උත්සවයකට සහභාගී වී බඩ පැලෙන්නට කෑමබීම සහ අතුරුපස ගිලදමා උස්මුරුත්තා වී, හුස්ම ගැනීමට පවා අපහසුව දඟලන ජෙමා ගැන අනුකම්පා සිතුණු ගමේ වෙදමහත්තයා ඔහුට මෙවැනි උපදෙසක් දුන් බව කියවේ.

"ජෙමෝ, ඇඟිල්ලක් උගුරට දාල වමනෙ කරපං. එතකොට ඕක හරියයි!"

එවිට ජෙමාගේ පිළිතුර වී ඇත්තේ මෙවැන්නකි.

"කොහේ ඇඟිලි ගහන්නද වෙද මහත්තයෝ! ඇඟිල්ලක් ගහන්න ඉඩක් ඉතුරුවෙලා තිබුනනං මම තව කෙහෙල් ගෙඩියක් කනවනේ."

ඇඟිල්ලක් ගසන්නට හැකි ඉඩක් ඉතුරු කර ගැනීමේ ආවස්ථික පිරිවැය තවත් කෙසෙල් ගෙඩියක් කෑමට ඇති අවස්ථාවයි.

***
සාහිත්‍ය මාසය තුළ සාහිත්‍යයට අදාළ බ්ලොග් සටහන් රැසක් ලියවී තිබුණේය. සාහිත්‍යය ගැන කතා කිරීමට සාහිත්‍ය මාසයක්ම අවශ්‍ය වේයැයි මා සිතන්නේ නැත. මේ අයුරින්ම කාන්තාවන්, දරුවන්, ආබාධිතයින් හෝ වෙනත් විශේෂ විෂයයක් ගැන කතා කිරීම විශේෂ දින වලම සිදුවීම අවශ්‍ය නැත. එහෙත්, මෙවැනි දින හෝ මාස නම් කර තිබීම නිසා ඒ කාලය තුළ හෝ අදාළ විෂයය ගැන විශේෂ අවධානයක් යොමුවීම එසේ නොවනවාට වඩා සාධනීය දෙයකි.

සාහිත්‍ය මාසය තුළ සාහිත්‍යය ගැන කතා කිරීමට යම් තරමකින් බාධාවක් වූයේ අදාළ මාසය තුළ සිදුවූ කණගාටුදායක සිදුවීම් කිහිපයක් නිසා බොහෝ දෙනෙකුට සාහිත්‍යය පැත්තකින් තබා අපරාධ සහ දඬුවම් ගැන කතා කිරීමට සිදුවීමයි.

බ්ලොග් ලිවීම පිරිවැය අධික කටයුත්තකි. අපායේ ඉන්ටවල් එකක් වැනි කාලයකදී බ්ලොග් ලිවීම ඇරඹු මා මේ දිනවල වැඩේ ඇදගෙන යන්නේ අන්තිම කෙසෙල් ගෙඩිය ඔබා ගැනීමට ඇති ඉඩකඩද ප්‍රයෝජනයට ගනිමිනි. මෙසේ අමාරුවෙන් කාලය සොයාගනිමින් යමක් ලියන බොහෝ දෙනෙකුට අපරාධ සහ දඬුවම් ගැන කතා කරන්නට වෙන්නේ සාහිත්‍යය වැනි වෙනත් කරුණක් ගැන කතා කිරීමට ඇති අවස්ථාවක් නැති කර ගනිමිනි. මේ මෑතකාලීන අපරාධ වල තවත් 'වියදමකි'.

***
ෆියෝදර් දොස්තොයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක් ලෙස බොහෝ දෙනා සලකති. එහෙත්, සාමාන්‍යයෙන් පොත් කියවන අය අතරින් වුවද බොහෝ දෙනෙකු මේ පොත කියවා නොමැති බව මගේ අදහසයි. එසේ කියවා නැත්තේ මේ පොත කියවීමේ 'විශාල' ආවස්ථික පිරිවැය නිසාය. මේ පිරිවැය විශාල වන්නේ මේ පොත අනෙක් පොතකට සාපේක්ෂව විශාල ලෙස මිල අධික එකක් නිසා නොවේ. පොත නොමිලේ ලැබුණද එය කියවීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවිනි. ඒ කාලය තුළ වෙනත් සරල පොත් කිහිපයක් කියවිය හැකිය. අපරාධය සහ දඬුවම වැනි කෘතියක් කියවා තෘප්තියක් ලැබිය හැක්කේ කලක් පොත් කියවා පුහුණුවක් ඇති කෙනෙකුටය. සාමාන්‍යයෙන් පොත් නොකියවන කෙනෙකුට මෙවැනි 'බර' පොතකින් තෘප්තියක් ලැබීම අපහසුය.

***
දශක කිහිපයකට පෙර අපරාධ මුල්කර ගත් ත්‍රාසජනක 'මාරක' කතා ප්‍රමුඛ සරල පොත් දහසකට අධික ගණනක් ලියූ ඩීමන් ආනන්දව කිසිවිටෙකත් සම්භාව්‍ය ලේඛකයෙකු ලෙස සැලකුණේ නැත. කෙසේවුවද, ඔහු ලියූ මේ සම්භාව්‍ය නොවන පොත් ඒ දිනවල උණුකැවුම් මෙන් විකිනුණේය. අසංග අබේසුන්දරගෙන් ලබාගත් තොරතුරු අනුසාරයෙන්, පසුගිය වසරේ සාහිත්‍ය මාසයේදී නාලක ගුණවර්ධන විසින් සටහන් කර ඇති පරිදි සාහිත්‍යකරණයට විශාල උනන්දුවක් තිබූ ඩීමන් ආනන්දගේ මුල්ම සාහිත්‍ය නිර්මාණය වී ඇත්තේ දොස්තොයෙව්ස්කිගේ අපරාධය සහ දඬුවම කෘතියේ සිංහල පරිවර්තනයකි. එහෙත්, වෙළඳපොළ සාධක මත මේ අත්පිටපතේ ආයුකාලය දිගු එකක් වී නැත. එයින් පසුව ඩීමන් ආනන්ද විසින් 'විකිණෙන පොත්' ලියන්නට පටන්ගෙන තිබේ. ප්‍රකාශකයෙකු සොයාගත නොහැකිව ගිණිතබා පුළුස්සා දැමීම සඳහා අත්පිටපතක් ලිවීමට ආවස්ථික පිරිවැයක් දැරීමට වඩා විකිණෙන පොතක් වෙනුවෙන් ඒ පිරිවැය දැරීම පලදායක බව ඔහුට තේරී ඇත.


***
තමන්ගේ නිර්මාණකරණයේ සමාජ දායකත්වය පිළිබඳව ඩීමන් ආනන්දගේ අදහස වී ඇත්තේ මෙවැන්නකි.

‘‘රේස් කොලේ කියමින් සිටි වැඩ කරන ජනතාවට පොත් කියැවීම පුරුදු කළේ මමයි!’’

‘‘අද සිටින සමහර ප‍්‍රවීණ උගතුන් මුලින් මගේ පොත් කියවා ගැටවර අවධියේ එතැනින් වෙනත් පොත්පත්වලට යොමු වූ අයයි. ඔවුන් ප‍්‍රසිද්ධියේ කීවත් නොකීවත් එය මා දන්නවා.’’

(උපුටා ගැනීම: http://nalakagunawardene.com/2014/09/24/)

පොත් නොකියවන කෙනෙකු කවර අයුරකින් හෝ පොත් කියවීමට හුරුවූ පසු තවතවත් පොත් කියවීමට පෙළඹීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. ඒ අනුව, ඩීමන් ආනන්දගේ පොත්වලින් යහපතක් සැලසී ඇත. අනෙක් අතට, මෙවැනි පොත් වලින් කියවීම අරඹන ඇතැමුන් පසුකාලීනව වඩා ගැඹුරු පොත් කියවීමට යොමුවිය හැකිවුවත් මෙවැනි මට්ටමකින් කියවීම අරඹන පාඨකයෙකු අපරාධය හා දඬුවම වැනි පොතක් රස විඳිය හැකි මට්ටමට රුචිකත්වය පුළුල් කර ගැනීම සුලභ සිදුවීමක්යැයි මා සිතන්නේ නැත. ඩීමන් ආනන්දගේ පොත් සහ දොස්තොයෙව්ස්කිගේ පොත් වල පරිවර්තන ආදේශක ලෙස සැලකිය හැකිනම් ඒවා ඉතා දුර්වල ආදේශක විය යුතුය. කෙසේවුවද, දොස්තොයෙව්ස්කිගේ පොතක් කියවන මට්ටමට පාඨකයෙකුගේ රුචිකත්වය වර්ධනය නොකිරීම නිසා රේස් කොළය පමණක් කියවන කෙනෙකුට මොනවා හෝ පොතක් කියවීමට පුරුදු කිරීමේ සමාජ වටිනාකම අවතක්සේරු කළ යුතු නැත.

***
කියවීම මඟින් මිනිසෙකු 'හොඳ' මිනිසෙකු කෙරෙන බව පැවසේ. මෙහි 'හොඳ' යන්නෙන් අදහස් වෙන්නේ දියුණු සමාජ හැසිරීමකි. මේ පදනම මත වැඩි සමාජ වාසියක් සැලසෙන්නේ අපරාධය හා දඬුවම වැනි පොතකින්ද නැතහොත් මාරක කතා පොතකින්ද?

මේ ප්‍රශ්නය බැලූ බැල්මටම පෙනෙන තරම් සරල ප්‍රශ්නයක් නොවේ. අපරාධය හා දඬුවම වැනි පොතක් සාමාන්‍යයෙන් කියවන්නේ කලක් තිස්සේ පොත් කියවීම පුහුණු කළ සාපේක්ෂව හොඳ සමාජ හැසිරීමක් ඇති, පුළුල් සමාජ දෘෂ්ඨියක් ඇති අයෙකි. මෙවැන්නෙකු අපරාධය හා දඬුවම නොකියවූ පමණින් දරුණු සමාජ විරෝධියෙකු වීමට විශාල ඉඩකඩක් නැත. අනෙක් අතට, රේස් කොළය පමණක් කියවන්නෙකු සමාජ විරෝධී පුද්ගලයෙකු වීමට වැඩි ඉඩකඩක් තිබේ. එවැන්නෙකු, 'පොතක් පත්තරයක් කියවීමට' හුරුකිරීමේ ආන්තික සමාජ වටිනාකම කොහොමටත් සමාජ විරෝධියෙකු වීමට අඩු ඉඩකඩක් ඇති අයෙකුට සම්භාව්‍ය කෘතියක් කියවීමට ඉඩ සැලසීමෙන් ලැබෙන ආන්තික සමාජ වටිනාකමට වඩා වැඩි විය හැකිය.

එක් පිස්සෙක් තවත් පිස්සෙක්ට ඉරට වඩා ප්‍රයෝජනවත් වන්නේ හඳ බව කියා ඇත. ඉර පායන්නේ කොහොමටත් එළිය ඇති දවල් කාලයේය. හඳ පායන්නේ එළියක් නැති රෑටය. ඒ නිසා, හඳ විසින් කරන්නේ ඉරට වඩා වැඩි සේවයකි. උඩින් මා කියා ඇති දෙය, මේ කතාව වැනි එකක් නොවේ.

***
සාහිත්‍ය මාසයේදී නිර්මාණ හැකියාවක් ඇති ඇතැම් අයට අපරාධ ගැන සහ ඒවාට ලබාදිය යුතු දඬුවම් ගැන කතා කිරීමට කාලය යෙදවීමට සිදුවීමෙන් සිංහල සාහිත්‍යයට යම් පාඩුවක් වූවා විය හැකිය. රසික විසින් පෙන්වාදී ඇති පරිදි සිංහල බ්ලොග්ද සිංහල සාහිත්‍යයේ කොටසක් බැවිනි. කෙසේවුවද, වෙනත් හේතුවක් නිසා මේ අවාසිය අඩුවී තිබේ.

සාමාන්‍යයෙන් අපරාධ සහ දඬුවම් සම්බන්ධ කටයුතු වෙනුවෙන් කාලය යොදවන ආයතනයක් මෙවර සාහිත්‍ය මාසය තුළ ප්‍රබන්ධකරණය සඳහා විශාල කාලයක් යෙදවීම ඉතා වැදගත් සිදුවීමකි. වයස වසර එකසිය හතලිස් නවයක් වුවත් තවමත් "ලොකු වී" නැති මේ ආයතනයට මීළඟ සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ප්‍රබන්ධය සඳහා සම්මානය හිමිවන්නට ඉඩතිබේ.

***
අන්තිම කෙහෙල්ගෙඩියත් ගිලනොදමා, හදිසියේ උස්මුරුත්තා වුවහොත් වමනය දැමීම සඳහා ඇඟිල්ලක් ගැසීමට ඉඩක්වත් ඉතිරි කර ගත හැකිනම් ඒ ආයතනයේ පමණක් නොව රටේත් සෞඛ්‍යයට හොඳය.

(Photo credit: https://bookinfosl.com/Book/Details/11/aparadhaya-saha-danduwama)

Sunday, September 20, 2015

කතෘ ප්‍රකාශන රාක්ක වල යට තට්ටුවට යන්නේ ඇයි?

පෙර ලිපියකට ප්‍රතිචාර දක්වමින්, කතෘ ප්‍රකාශන වලට පොත් වෙළෙන්දන්ගෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි ගැන නලින් මගේ අවධානය යොමුකරවූවේය. හරී විසින් පෙන්වූ පාරක ගොස් කියවූ අරුණිගේ පැරණි ලිපියක් අනුව "අළුත් කර්තෘවරයෙක් විසින් ලියන ලද අළුත් පොතක් නම් කල පොත් කඩයට බාරදුන් පොත හොයා ගන්නට සර්ච් පාටියක් ද රැගෙන යා යුතු වන්නේය. අහවල් කඩ‍යට පොත් දැම්මා එතැනින් ගන්න කියා සල්ලි රැගෙන පොතක් ලබාගන්න යවන අයව එහෙම පොතක් මෙහෙ නැහැ කියා හරවා යවන කඩ සේවකයෝ සිටිති"

පොතක් ලිවීමේ සිට එය පාඨකයකුගේ අතට ලැබෙන තුරු සිදුවන ක්‍රියාදාමය පිළිබඳව මගේ දැනුම පරිපුර්ණ එකක් නොවේ. මා මෙහිදී බොහෝ දුරට උපයෝගී කරගත්තේ අරුණිගේ හා රසිකගේ ලිපිවලත් නලින්ගේ කොමෙන්ටුවේත් ඇති කරුණුය. කෙසේවුවද, විශ්ලේෂණයක් කිරීමට මේ කරුණු ප්‍රමාණවත්ය.

කතාව පටන්ගන්නට පෙර නොදන්නා අය සඳහා නිදන්ගත පිරිවැය (sunk cost) යන සංකල්පය පහදා දීමට සිදුවේ. රසිකගේ කොමෙන්ටුවක්ට අනුව ඔහුගේ කවිපොත නිෂ්පාදනය කිරීමේ විචල්‍ය පිරිවැය රුපියල් 100කි. රුපියල් 150කට මිල කර ඇති මේ පොත පොත් වෙළෙන්දෙකුට 40%ක වට්ටමක් සහිතව රුපියල් 90කට ලබා දිය යුතුය. මේ අනුව, විකිණෙන පොතකින් රසිකට රුපියල් 10ක් පාඩු වේ.

එසේනම් රසික විසින් මේ පොත් නොවිකිණිය යුතුද?

පොත මුද්‍රණය කිරීමෙන් පසුව ඒ සඳහා වැයකළ රුපියල් 100 නිදන්ගත පිරිවැයකි. පොත නොවිකුණුවත් ඒ මුදල ආපසු නොලැබේ. එවිට සිදුවන්නේ පාඩුව රුපියල් 100ක් වීමයි. පොත විකිණීමෙන් මේ පාඩුව රුපියල් 10ක් දක්වා අඩුකර ගත හැකි බැවින් අනෙක් විකල්පයට සාපේක්ෂව පොත විකිණීමෙන් රුපියල් 90ක වාසියක් සැලසේ.

දැන් අපි පොත් වෙළෙන්දෙකු සතු විකල්ප දෙකක් සසඳමු.

a . ලේඛකයෙකු ඔහුගේ පොතක් කිසිදු අත්තිකාරමක් නොලබා පොත් වෙළෙන්දාට දෙයි. පොතේ මිල රුපියල් 150කි. එය විකිනුණහොත් වෙළෙන්දාට රුපියල් 60ක ලාභයක් ලැබිය හැකිය. නොවිකුණහොත් සෘජු පාඩුවක් සිදු නොවේ. පොත විකිණූ විට එය නොවිකිණීමට සාපේක්ෂව ලැබෙන වාසිය රුපියල් 60කි.

b. පොත් ප්‍රකාශකයකුගෙන් මේ වෙළෙන්දාම රුපියල් 90ක් ගෙවා පොතක් මිලදී ගනී. පොතේ මිල රුපියල් 150කි. එය විකිනුණහොත් වෙළෙන්දාට රුපියල් 60ක ලාභයක් ලැබිය හැකිය. නොවිකුණහොත් රුපියල් 90ක පාඩුවක් සිදුවේ. රුපියල් 90 නිදන්ගත පිරිවැයක් වී අවසාන නිසා පොත විකිණූ විට එය නොවිකිණීමට සාපේක්ෂව ලැබෙන වාසිය රුපියල් 150කි.

දැන් මේ විකල්ප දෙක අතරින් වඩා වාසිදායක විකල්පය b බව පැහැදිලිය.

පොතක් පේන්නට තැබූ විට විකිණීමට ඇති ඉඩකඩ වැඩිය. ප්‍රකාශකයාගේ පොත විකිණීම වඩා වාසිදායක නිසා එය රාක්කයේ උඩට යයි. කතෘ ප්‍රකාශනය යටට යයි.

යම් ලේඛකයෙක් තමන් විසින්ම පොතක් ප්‍රකාශ කිරීමට පෙළඹෙන්නේ ඇයි?

මේ සඳහා විවිධ හේතු තිබිය හැකිය.

- ප්‍රකාශකයෙකු අදාළ පොත භාරගැනීමට ඉදිරිපත් නොවීම එක් හේතුවකි. මෙසේ වන්නේ ප්‍රකාශකයාට අනුව මේ පොත අලෙවි කිරීම අපහසු පොතක් බැවිනි. කතෘ ප්‍රකාශන අතර මෙවැනි පොත් යම් ප්‍රමාණයක් ඇති බව පොත් වෙළෙන්දා දනී. ප්‍රකාශකයෙකුගේ පොතක්නම් සාමාන්‍යයෙන් විකිණිය හැකි එකක් විය යුතුය. රාක්කයේ උඩ තට්ටුවේ විකිණෙන පොතක් තැබූ විට ඉතා ඉක්මණින් තවත් පොතකට ඒ ඉඩ හිමිවේ. නොවිකිණෙන පොතක් තැබූ විට එය සිදු නොවේ. මෙවැනි 'නොවිකිණෙන' පොතකට අත්තිකාරමක් ගෙවීමට පොත් වෙළෙන්දා සූදානම් නැත.

- ලේඛකයාට තමන්ගේ හිත මිතුරන්ට පිටපත් නොමිලයේ දීමට අවශ්‍ය විය හැකිය. මෙවැන්නෙකු පොත විකිණීමෙන් ලැබෙන මුදල් ලාභය වැඩිපුර නොතකයි.  මෙවැනි ලේඛකයෙකු අත්තිකාරම් නොලබා පොත පොත් හලට දැමීමට අකැමැත්තක් නොදක්වයි.

- ලේඛකයාට තමාගේ පොත විකිණිය හැකි බව හොඳටම සහතික නිසා එයින් වැඩිම ලාභයක් ගැනීමට උත්සාහ දරනවා විය හැකිය. මගේ අදහස අනුව, අරුණිගේ පියා සිටින්නේ මේ ගොඩේය. ඇත්තටම, ඔහු අරුණි සඳහන් කර ඇති පරිදි ලාභ ලබා ඇත්තේ ලේඛකයෙකු වශයෙන්ම නොවේ. පොත් නිෂ්පාදන සහ බෙදාහැරීම් ක්‍රියාවලියේ ඉදිරි පියවර සියල්ල අතට ගැනීම මඟින් 'සිරස් අනුකලනය' (vertical integration) කිරීම මඟිනි. ඔහු ලබන ලාභය ඔහු ලේඛකයෙකු වශයෙන් ලබන ලාභයේත්, ආයෝජකයෙකු, අතරමැදියෙකු සහ ව්‍යවසායකයෙකු ලෙස ලබන ලාභයේත් එකතුවයි.

අරුණිගේ පියාගේ කෘති මාද කලෙක කියවූ ඉතා ජනප්‍රිය පොත් වූ බව අවිවාදිතය. එසේ වුවද, මේ පොත් මිලදී ගැනීමට සමඟි පෙරමුණු රජය කාලයේ පාන් ගැනීමට සිටියාක් මෙන් පොත් සාප්පු ඉදිරිපිට පාඨකයින් පෝලිම් ගැසී සිටියේ නැත. ඒ පොත් විකිණීමටද යම් කාලයක් ගතවන බැවින් අතරමැදියා ලබන 40% ශුද්ධ ලාභයක් නොවේ.

අනෙක් පොත් වලින් නොලැබෙන විශාල ලාභයක් මේ පොත් වලින් අතරමැදියාට ලැබුනේනම් ඔහුට යම් අත්තිකාරමක් ලබාගැනීමට හෝ 40% වට්ටම අඩු කර ගැනීමට පොත් වෙළෙන්දන් සමඟ එකඟතාවකට පැමිණීමේ අවස්ථාව පැවත තිබේ.

Sunday, September 13, 2015

සෝවියට් වරුන් විසින් ඝාතනය කෙරුණු සිංහල ලේඛකයෝ


සෝවියට් දේශය බිඳ වැටෙන තුරුම රුසියන් මෙන්ම සෝවියට් පොත් වල සිංහල පරිවර්තන අපට අඩු මිලට ලැබුණේය. මේ පොත් පෞද්ගලිකව මට ලැබුණු වාසියකි. වෙනත් පොතක් මිලදී ගැනීම සඳහා වැය කළ යුතු වූ මුදලට මට සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගත හැකි විය. මෙය මගේ පොත් රාක්කය පුරවා ගැනීම පහසු කළේය.

සෝවියට් පොත් අඩු මිලට විකිණීමට හැකි වූයේ ඔවුන්ගේ නිෂ්පාදන තාක්ෂනය දියුණු, අඩු වියදම් එකක් වූ නිසාමයැයි මා සිතන්නේ නැත. එය තරමක් දුරට එසේ විය හැකි වුවත් ප්‍රවාහන වියදම්ද සැලකූ පසු මේ පොත් බොහොමයක් වැයකළ පිරිවැයටත් වඩා අඩුවෙන් මිල කෙරී තිබුණු බව තේරුම් ගැනීම අපහසු නැත. එසේනම් මේ වියදම යම් කිසිවෙකු විසින් දැරිය යුතුය.

මා සෝවියට් පොතක් අඩු මිලට ලබා ගන්නා හැම විටකම සිදුවූයේ එහි 'නියම' මිලෙන් කොටසක් වෙනත් අයෙකු විසින් දැරීමයි. මෙහිදී මේ පිරිවැය දැරුවේ සෝවියට් දේශයේ සාමාන්‍ය මහජනතාවයි. මෙහිදී සිදුවුනේ තිලකේ හෝ රසික ඔවුන්ගේ පොතක් මිතුරෙකුට තෑගි කරන විට සිදුවන දෙයට සම්පුර්ණයෙන්ම නොවෙතත් තරමක් සමාන දෙයකි. මේ පොත් අපට ලැබුනේ 'සල්ලි එක්ක'ය.

රසික ඔහුහේ රුපියල් දෙසීයකට මිල කර ඇති පොතක් දන්නා කෙනෙකුට නොමිලේ දෙනවිට මේ දන්නා කෙනා රුපියල් දෙසීය ගෙවා පොත මිල දී ගැනීමත් රසික ඔහුට වෙනම රුපියල් දෙසීයක් දීමත් දෙකම එක වර සිදුවේ. මෙහිදී කාර්යක්ෂමතා හානියක් සිදුවිය හැකිය. රසිකට දෙසීයක පාඩුවක් වෙද්දී දන්නා කෙනාට ලැබෙන වාසිය දෙසීයට අඩු විය හැකිය. දෙසීයේ පොත රසික වෙනත් අයෙකුට තුන්සීයකට විකිණුවහොත්, පොත මිල දී ගන්නා තැනැත්තා එය කරන්නේ ස්වේච්ඡාවෙන්නම් දෙදෙනාටම වෙන්නේ වාසියකි.

'නියම' මිල රුපියල් දහයක් විය යුතු බරීස් පලෙවොයිගේ සැබෑ මිනිසෙකුගේ කතාවක්හි සිංහල පරිවර්තනය මා විසින් රුපියල් පහකට මිල දී ගන්නා විට උස්බෙකිස්තානයේ ඉවාන්ලාට සහ සයිබීරියාවේ ඇනාලාට ඉතිරි රුපියල් පහ ගෙවන්නට සිදුවේ. සෝවියට් රාජ්‍යය මඟින් ඉටු කර ඇත්තේ එහි පොදු ජනතාවගේ අවශ්‍යතාවය නොවිය හැකි බව මුඛ්‍ය කරුණට අදාල නොවන නිසා අමතක කළහොත් ඔවුන් මේ පිරිවැය කැමැත්තෙන්ම දරන්නේ ඉන්දියානු සාගරය මැද කුඩා දුපතක ජීවත් වන නොදන්නා කොලු ගැටයෙකු මේ පොත කියවනු දැකීම ඔවුන්ගේ සතුටට හේතුවන නිසාය. රසික දන්නා කෙනෙකුට ඔහුගේ පොතක් තෑගි කරන්නේත් මේ හේතුව නිසාය. ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ස්කොට් සහ හෙදර් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් බණ්ඩාරවෙලදී නොමිලේ බෙදාහරින ආගමික ප්‍රකාශන වල පිරිවැය දරන්නේත්, කොටුව දුම්රියපල ඉදිරිපිට 'කම්කරු පුවත්' විකුණන විකොස පූර්ණකාලිකයෙකු අව්වේ කට්ට කන්නේත්, මා පාතරාසයවත් නොගෙන මේ බ්ලොග් කටුව කොටන්නේත් එකම හේතුවකටය. අපිට අවශ්‍ය දේවල් කියවීමට වෙනත් අයව පෙළඹවීමෙන් අපට සතුටක් ලැබේ.

වෙනත් යමෙකුට කියවීම සඳහා මාව පෙළඹවීමට ඇවැසි වී මගේ වියදමින් කොටසක් එවැනි අයෙකු දරද්දී මගේ කියවීමේ අවශ්‍යතාව ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාව සමඟ සම්පාත වූ විට මට ලැබෙන්නේ විශාල වාසියකි. රසිකගේ පොත කීයක් හෝ දී කියවීමට බලාගෙන ඉන්නා කෙනෙකුට ඔහුගෙන් පොතක් තෑගී ලැබුණොත් සිදුවන්නේ මෙවැන්නකි. (එතරම් යෝග්‍ය විහිළුවක් නොවුවත්) එවිට සිදුවන්නේ සරසවියේ අවසාන වසරේ සිසුවියකගෙන් වෙලාව ඇසූ විට වෙන දෙයමය. මෙහි ඇති ප්‍රශ්නය අවශ්‍යතා සම්පාත වන බව මෙසේ තහවුරු කර ගත නොහැකි වීමයි. නොමිලේ බෙදන ආගමික ප්‍රචාරක පත්‍රිකා කුණු කූඩ වලට යන්නේ මේ නිසාය.

මගේ ගැටවර වියේදී අඩුමිලට වුවත් මා බොහෝ විට මිලදී ගත්තේ මා කැමති සෝවියට් පොත්ය. එහෙත්, මෙය හැම විටම ඒ අයුරින්ම සිදුවුණේ නැත. මා ප්‍රාග්ධනය පොත නොකියවූයේ ඒ නිසාය. මෙහිදී ඒ වෙනුවෙන් පිරිවැය දැරූ ඉවාන්ගේ සහ ඇනාගේ අරමුණ ඉටු වී නැත.

කෙසේ වුවද සමස්තයක් වශයෙන් සෝවියට් පොත් සහනාධාර වලින් මට මෙන්ම වෙනත් බොහෝ අයට යම් වාසියක් සැලසෙන්නට ඇත. එහෙත්, මෙසේ හොඳ ලෙස පෙනෙන බොහෝ දේ වල වෙනත් පැතිද තිබේ.

වෙනත් පොතක් වෙනුවට සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගැනීම මට හොඳ විකල්පයක් විය. එහෙත් මෙසේ සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගන්නා හැම විටකම වෙනත් සිංහල පොතක් මිල දී ගැනීමේ අවස්ථාව මගෙන් ගිලිහුණේය. ඒ සමඟම පොතක් විකුණාගැනීමේ අවස්ථාව සිංහල ලේඛකයෙකුට නැති වී ගියේය. මේ අයුරින් සෝවියට් පොත් අඩුමිලට දීමෙන් සෝවියට් නොවන පොත් වාරණයක්ද අනියමින් ක්‍රියාත්මක කෙරුණේය.

මේ කාලයේදී විකිණුනු සෝවියට් පොත් ප්‍රමාණය සහ සිංහල පොත් වෙළඳපොලේ ඇති ආකෘතිමය සීමාවන් සැලකූ විට මල්වර වන්නට සිටි සිංහල ලේඛකයින් කොපමණ ප්‍රමාණයක් ලාබෙට විකිණුනු සෝවියට් පොත් වලට යටවී තිඹිරිගෙයිම මියගියේදැයි සොයන්නටනම් කාලය යොදවා පර්යේෂණයක්ම කළ යුතුය.

Friday, September 11, 2015

පොත් ප්‍රකාශනයේදී අතරමැදියා ගසා කනවාද?



සිංහල ලේඛකයින් පොත් ලිවීම අධෛර්යය වීමට එක් හේතුවක් වන්නේ පොත් ලිවීමෙන් ලාභයක් නොමැති වීම බවට බොහෝ තැන් වල අදහස් පල වී ඇත. මේ සම්බන්ධ ජනප්‍රිය අදහසක් වන්නේ සිංහල පොත් වෙළඳපලේ ලාභය ගන්නේ අතරමැදි පොත් අලෙවිකරුවන් බවයි.

මේ සම්බන්ධව මටනම් පළමෝත අත්දැකීම් නැත. එහෙත්, කිහිප තැනකින් දැකගත හැකි පරිදි පොතක් අලෙවි කිරීමෙන් ලැබෙන මුදල සාමාන්‍යයෙන් බෙදීයන්නේ පහත පරිදිය.

ලේඛකයා 10%
ප්‍රකාශකයා 50%
අතරමැදි අලෙවිකරුවා 40%

මේ විග්‍රහය තුළ පාඨකයා නැත. කෙසේ වුවද, පාඨකයාද මේ සමස්ත ව්‍යාපෘතියේ කොටස්කරුවෙකි.

පළමුව අපි පොත් ප්‍රකාශනයේදී පොතක් වෙළඳපොලට සැපයීම සඳහා දායක වන පාර්ශ්ව තුනම එක් ඒකකයක් ලෙස සලකමින් මේ තිදෙනාටම ලබා ගත හැකි මුළු මුල්‍ය ලාභය ගැන සලකමු. ගොඩවල් තුනට කුමන අයුරින් හෝ බෙදෙන්නේ මේ ලාභයයි.

සැපයුම් පාර්ශ්වකරුවන්ගේ ශ්‍රමය හා වක්‍ර වියදම් ඉවත් කළත් පොත මුද්‍රණය කිරීමට සෘජුව වැයවෙන කඩදාසි, තීන්ත, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය බලශක්තිය ආදිය මුද්‍රණය කරන පිටපත් ගණන අනුව වෙනස් වන විචල්‍ය පිරිවැයකි. එක් පොතක් 'නිෂ්පාදනය කිරීම' සඳහා මෙසේ වැයවෙන විචල්‍ය පිරිවැයට වඩා අඩුවෙන් පොතක් විකිණිය නොහැක.

අනෙක් අතට පොතක අවසාන වටිනාකම තීරණය කරන්නේ එය 'පරිභෝජනය කරන' පාඨකයාය. එක් එක් පාඨකයාට එකම පොතේ ඇත්තේ වෙනස් වටිනාකම්ය. මේ වටිනාකම පොතේ මිලට වඩා වැඩිනම් යමෙක් පොතක් මිලදී ගනු ඇත. මේ අනුව, පොතක් විකිණිය හැකි උපරිම මිල ඒ සඳහා කිසියම් පාඨකයෙකු ලබා දෙන වැඩිම වටිනාකමයි.

මේ අනුව පොතක මිල වියයුත්තේ එහි විචල්‍ය නිෂ්පාදන පිරිවැය සහ පාඨකයකුගෙන් ඒ සඳහා ලැබෙන වටිනාකම අතර අගයකි.

තිලකසිතේ මිල ලංකාවේදීනම් රුපියල් 400කි. මේ පොතට මා ලබාදෙන වටිනාකම මෙයට වඩා වැඩිය. මේ පොතම කප්රුකේ විකිණෙන්නේ ඇමරිකානු ඩොලර් 4.73ක මුදලකටය. මෙය රුපියල් 650ක පමණ මුදලකි. තිලකසිත අයිති කර ගැනීම සඳහා මේ මුදල ගෙවීමටද මා සූදානම්ය. එහෙත් මේ පොත අන්තර්ජාලය හරහා ගෙන්වා ගැනීමට යන තැපැල් ගාස්තුව එක් වූ විට පොතේ මිල රුපියල් දෙදහස ඉක්මවයි. මේ මිල මා අධෛර්යය කරවන්නකි.

මා තිලකසිත වැනි සාහිත්‍ය කෘතීන් සඳහා දායක වී නැති නමුත් පොත් දෙකක් සඳහා දායකත්වය සපයා තිබේ. මේ පොත් දෙකෙන් එකකවත් මුද්‍රිත පිටපත් මා සතුව නැත්තේ ඒ පොත් මිල දී ගැනීමට මා වැය කළ යුතු වූ මුදල පොතක මුද්‍රිත පිටපතක් සඳහා මා ලබාදුන් වටිනාකමට වඩා වැඩි වූ නිසාය. එක්තරා ආයතනයක සේවය කරද්දී තවත් ලේඛිකාවන් දෙදෙනෙකු සමඟ ලියා, සෝදුපත් බලා අවසන් කළ මෙයින් එක් පොතක් මුද්‍රණයෙන් පිටවී ඇති බව අහම්බෙන් මා දැනගත්තේ ශ්‍රී ලංකාව හා අදාලව ලියවුනු පොත් පිළිබඳව ඇමරිකානු විශ්ව විද්‍යාලයක පුස්තකාල වෙබ් අඩවියේ අන්තර්ජාල සෙවීමක් කරද්දීය. රුපියල් 300කට මිල කර තිබුණු මේ පොත ඇමරිකානු ඩොලර් තුනකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සඳහා තැපැල් ගාස්තු ලෙස තවත් ඩොලර් පහළොවක් ගෙවිය යුතු වීම නිසා ලංකාවෙන්ම පොත ගැනීමට සිතා වැඩේ අතහැරියත් මා ලංකාවට යනවිට එහි එක් පිටපතක් හෝ නොවිකිණී ඉතිරිව තිබුණේ නැත.

තිලකසිතේ විචල්‍ය පිරිවැය රුපියල් 200ක් යැයි අපි සිතමු. රුපියල් 400කට මේ පොත විකිණීමෙන් රුපියල් 200ක ලාභයක් ලැබේ. (ඇත්තටම මෙය නියම 'ආර්ථික' ලාභය නොවේ. අපි දැනට එසේ සිතමු.) පොත් 1000ක් විකිණුවහොත් මුළු ලාභය රුපියල් 200*1000 = 200,000කි.

රුපියල් 400 පොතේ 'නියම' මිලයැයි අපි සිතමු. තිලකසිතට රුපියල් 500ක් ගෙවීමට වුවද කැමති මා වැනි අය සිටිති. එසේනම්, පොතේ මිල ඉහළ නංවා ලාභය වැඩි කර ගත නොහැකිද?

මෙය කළ නොහැක්කේ ලාභය නිෂ්පාදකයාට තනිව තීරණය කළ නොහැකි දෙයක් බැවිනි. තිලකසිතේ වටිනාකම රුපියල් 400ට වැඩියැයි සිතන අය 1000ක් සිටිති. ඒ නිසා ඒ මිලට පිටපත් 1000ක් විකිණිය හැකිය. එහෙත් මේ පාඨකයෝ සියළු දෙනාම පොතේ වටිනාකම රුපියල් 500කට වඩා වැඩියැයි නොසිතති. එසේ සිතන පිරිස 600ක් යැයි සිතමු. දැන් එක් පොතකින් ලාභය රුපියල් 300ක් වුවත් මුළු ලාභය රුපියල් 300*600 = 180,000ක් පමණි. ඒ නිසා පොතේ මිල වැඩිකිරීමෙන් ලාභය වැඩි කරගත නොහැක.

එතකොට අඩුවට දුන්නොත්? පොත රුපියල් 300කට විකිණුවහොත් එක් පොතකින් ලාභය රුපියල් 100ක් පමණි. එහෙත් පොත් වැඩි ප්‍රමාණයක් අලෙවි කර ගත හැකිය. මිල රුපියල් 300ක් දක්වා අඩු කළ විට පොතේ වටිනාකම රුපියල් 300 සිට 400 දක්වා වූ  මුදලක් ලෙස සිතන පාඨකයින්ද තිලකසිත මිල දී ගනු ඇත. මේ පිරිස අඩුවශයෙන් 1000ක්නම් මිල අඩුකිරීමෙන් ලාභය වැඩි වේ. එසේ නැත්නම් මිල අඩුකිරීම අවාසිදායකය. පොතේ මිල රුපියල් සියයකින් අඩුකළ විට එය මිල දී ගැනීමට සූදානම් පිරිස දෙගුණයක් වේයැයි සිතීම අපහසුය. ඒ නිසා ලාභය අඩුවනු ඇත.

රුපියලක් වැනි සුළු ගණනකින් මෙසේ මිල වැඩි කළත්, අඩු කළත් ලාභය වැඩි නොවේනම් ඒ මේ පොතේ 'නියම' මිලයි.

මෙතෙක් සරලව කතා කළත් පොතේ 'ලාභය' පාර්ශ්ව තුනක් අතර බෙදේ. මේ මුළු ලාභය තීරණය වන්නේ පොතට වටිනාකමක් දීමට සිටින පාඨකයින් ගණන අනුවය. සිංහල නොදන්නා අයෙකුට සිංහල පොතක වටිනාකමක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා සිංහල පොතකට වටිනාකමක් දිය හැකි අය සොයන්නට වෙන්නේ සිංහල කියවන පිරිස් අතරෙනි. මේ අය පොතේ අන්තර්ගතයටද කැමති විය යුතුය.

පොතක අන්තර්ගතය එකම වුවත් ඉංග්‍රීසියෙන් ලියවුනු පොතකට වටිනාකමක් දීමට සූදානම් පිරිස එවැනිම සිංහල පොතකට වටිනාකමක් දෙන පිරිසට වඩා බොහෝ වැඩි නිසා ඉංග්‍රීසියෙන් ලියන කෙනෙකුට ලාභ ලැබීමට වැඩි ඉඩකඩක් ඇත. සිංහල භාෂාවට වඩාත්ම සමාන උතුරු ඉන්දීය බස සේ මා සලකන වංග බසින් ලියවෙන පොත් කියවන්නට සිටින පිරිස සිංහල පාඨක පිරිස මෙන් 13 ගුණයකි. වංග සාහිත්‍යය සිංහල සාහිත්‍යය අභිබවා ඉදිරියට යාමට ප්‍රධානම හේතුව මේ සාධකයයි. පාර්ශ්වකරුවන් අතර කවර ආකාරයෙන් බෙදාගන්නට හෝ සිංහල පොතකින් ලැබෙන්නේ සීමිත ලාභයකි.

පොත් ප්‍රකාශකයෙකු කරන්නේ සාපේක්ෂව සරල නිෂ්පාදන කාර්යයකි. එමෙන්ම, මූලිකවම මුද්‍රණ කරුවෙකු වන 'අත්පිටපත් අමුද්‍රව්‍ය ලෙස ගන්නා මුද්‍රිත පොත් නිෂ්පාදකයෙකුට' කළ හැකි එකම කටයුත්ත පොත් නිෂ්පාදනය නොවේ. පෝස්ටර්, ප්‍රචාරක පත්‍රිකා වැනි බොහෝ මුද්‍රණ විකල්ප ඔහු සතුය. මුද්‍රණ තාක්ෂනය ඉගෙන ගැනීමට බොහෝ සේ අපහසු තාක්ෂණයක්ද නොවේ. මේ නිසා අවශ්‍ය ප්‍රාග්ධනය ඇති අයෙකුට මුද්‍රණ කර්මාන්තයට ඇතුළු වීමට විශාල බාධකයක් නැත. මුද්‍රණ කර්මාන්තයෙන් විශාල ලාභ ලැබිය හැකිනම් බොහෝ දෙනා මේ කර්මාන්තයට අලුතින් එක් වනු ඇත. එසේ එක් නොවන්නේ එවැනි අධික ලාභ මෙහි නොමැති නිසාය. අනෙක් අතට මුද්‍රණකරුවෙකුට කියවීම ප්‍රවර්ධනය කිරීම සඳහා පාඩුවට පොත් මුද්‍රණය කර දී සතුටක් ලබන්නට තර්කානුකූල හේතුවක්ද නැත. මේ නිසා මගේ අදහස පරිදි ලංකාවේ පොත් ප්‍රකාශකයෙකු ලබන්නේ කර්මාන්තය සඳහා යොදවන සම්පත් වෙනුවෙන් ලැබිය යුතු 'නියම' ලාභයයි.

නලින් සඳහන් කර ඇති පරිදි පොතක මිලෙන් 50%ක් ලබා ගන්නා පොත් ප්‍රකාශකයෙකුගේ මුද්‍රණ වියදම පොතේ මිලෙන් 40%ක් පමණ වේ. මෙය එපමණ  වියයුතු බව මගේද අදහසයි. මේ අනුව, රුපියල් 400කට මිල කෙරෙන පොතක විචල්‍ය පිරිවැය ඉවත් කළ විට ප්‍රකාශකයාට රුපියල් 40ක්, එනම් පොතේ මිලෙන් 10%ක්, ඉතිරි වේ. පොත් මුද්‍රණයේදී ප්‍රකාශකයා විශේෂ අවදානමක් නොගනී. බොහෝ විට පොත් මුද්‍රණයට පෙර ප්‍රකාශකයා අත්තිකාරම් මුදලක් ලබා ගනු ඇති බවත්, මුද්‍රිත පොත් බැහැර දීමට පෙර ඉතිරි මුදලද අය කර ගනු ඇති බවත් මගේ උපකල්පනයයි. එසේනම්, මේ රුපියල් 40 ප්‍රකාශකයාගේ ලාභයද?

මෙය ප්‍රකාශකයාගේ ගිණුම්කරණ ලාභය විය හැකිය. එහෙත්, මෙය ඔහුගේ හෝ ඇයගේ ආර්ථික ලාභයනම් නොවේ.

විචල්‍ය පිරිවැය හැරුණු විට ප්‍රකාශකයා දරන ස්ථිර පිරිවැය තිබේ. මුද්‍රණාලය පිහිටි ගොඩනැගිල්ලේ කුලිය, විදුලි බිල්, දුරකථන බිල් ආදිය ගෙවිය යුතුය. මුද්‍රණ යන්ත්‍ර ගැනීමේදී බැංකු ණය ලබාගෙන ඇත්නම් ඒ සඳහා පොලිය ගෙවිය යුතුය. මුද්‍රණ කාර්යයට කෙලින්ම සම්බන්ධ නොවන පිළිගැනීමේ නිලධාරිනියන් වැනි අයගේ වේතනද ඇතුළුව සියළු වේතනද ගෙවිය යුතුය. මේ සියළු වියදම් වලට අමතරව ඔහු හෝ ඇය වැය කරන තමන්ගේ ශ්‍රමයේ වටිනාකම සඳහාද කිසිවක් ඉතිරි නොවේනම් මේ බිස්නස් එක කිරීමෙන් වැඩක් නැත. විචල්‍ය පිරිවැය ඉවත් කළ විට ඉතිරිවන රුපියල් 40 ප්‍රමාණවත් වන්නේ යන්තමින් මේ වියදම් පියවා ගැනීමට පමණි. ඉතිරි වන යම් මුදලක් ඇත්නම් ඒ තමන්ගේ ශ්‍රමයේ වටිනාකමයි. මේ අනුව ගිණුම්කරණ ලාභය කෙසේ වෙතත් ප්‍රකාශකයා ආර්ථික ලාභයක් නොලබයි.

තරඟකාරී වෙළඳපොලක ව්‍යාපාරයක් කිරීමෙන් ආර්ථික ලාභයක් ලැබිය නොහැක. ව්‍යාපාරයෙන් අතට කිසිම මුදලක් නොලැබෙන බව එයින් අදහස් නොකෙරේ. මුදලක් ලැබේ. එහෙත් ඒ මුදල දීර්ඝකාලීනව තමන්ට වෙනත් තැනක වැඩකර ලබාගත හැකි වැටුපේත්, ආයෝජනය කර ඇති මුදල වෙනත් තැනක ආයෝජනය කර ලබා ගත හැකි පොලියේත්, ගොඩනැඟිල්ල තමාගේමනම් එය වෙනත් අයෙකුට කුලියට දීමෙන් ලබාගත හැකි කුලියේත් එකතුවට වඩා විශාල ලෙස වෙනස් විය නොහැක.

කෙසේ වුවද, කෙටිකාලීනව යම් කර්මාන්තයකින් මෙවැනි 'සුපිරි' ලාභයක් ලැබීමට බැරිකමක් නැත. මේ කර්මාන්තය රජයේ නියාමනයට යටත් නැත්නම් සහ වෙනත් කෙනෙකුට ඉගෙන ගත නොහැකි තරමට මෙහි තාක්ෂනය සංකීර්ණ නැත්නම් (සහ වෙනත් එවැනි කරුණු සමහරක් නිසා නොවේනම්) මේ  'සුපිරි' ලාභය දකින වෙනත් අය මේ කර්මාන්තයට ආකර්ශනය වනු ඇත. එවිට තරඟකාරීත්වය වැඩිවී ලාභය අඩුවනු ඇත. අවසානයේදී, මේ කර්මාන්තය අලුතෙන් පිවිසෙන්නෙකුට ආකර්ෂණීය නොවී යනු ඇත.

ඇතැම් කාල වල රැල්ලට සිදු වූ පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ, චීන අවන්හල් සහ කමියුනිකේෂන් ආයෝජනයන් ටික කලකින් නැවතී ගියේ මේ අනුවය.

ප්‍රකාශකයා සුපිරි ලාභයක් නොලබයි. එසේනම් ලේඛකයා?

ලංකාවේ සාමාන්‍යයෙන් ලේඛකයින් ලාභ නොලබන බව පොදු මතයයි. මෙය වැරදි අදහසක් නොවන බවට හොඳම නිදසුන බොහෝ සිංහල ලේඛකයින් වෘත්තීය ලේඛකයින් නොවීමයි.

රසිකගේ සිවු වසරක් මරදානේ පොත අලෙවිකර ඇත්තේ රුපියල් දෙසීයකටය. (මේ ගණන් නිවැරදි නොවූවත් එයින් මා කියන කරුණ වෙනස් වන්නේ නැත.) ඉහත සුත්‍රය අනුව පොතකින් රසිකට රුපියල් 20ක් ලැබේ. පොත් 1000ක් විකිණුවහොත් රුපියල් 20,000කි. මේ රසිකගේ ලාභයද?

මෙය රසික බදු ගෙවීමේදී පෙන්විය යුතු ඔහුගේ ගිණුම්කරණ ලාභය විය හැකිය. එහෙත්, මේ ඔහුගේ ආර්ථික ලාභය නොවේ.  ආර්ථික ලාභය ගණනය කිරීමට මේ ලාභයෙන් ඔහුගේ ආවස්ථික පිරිවැය අඩු කළ යුතුය. මේ පොත ලිවීම සඳහා ගත කළ කාලය වෙනත් වැඩකට යෙදවූවානම් ඔහුට උපයාගත හැකිව තිබුණු වැඩිම මුදල කීයද?

පොත් ලියා, පුත්තු හැදුවාට ගස් හිටවා නැති රසික මේ කාලය ඇපල් ගස් කිහිපයක් හිටවීමට යෙදවූවානම් ඔහුට නොමිලේ ශාරීරික ව්‍යායාම සමඟ ඇපල් විකුණා ගාණක් හොයා ගැනීමට හැකිවනු ඇත. මේ ගණන රුපියල් 20,000ට වැඩිදැයි මා දන්නේ නැත. මේ කාලය උපදේශන සේවා සැපයීමක් වැනි වෙනත් කටයුත්තකට යෙදවූවානම් ඔහුට ඉහත මුදලට වඩා මුදලක් උපයා ගැනීමට තිබිණි. මෙය රසිකට පමණක් නොව පොත් ලියා ඇති තිලකේ, කුරුටු වැනි වෙනත් අයටත් මේ ආවස්ථික පිරිවැය සහ එයින් වන පාඩුව සලකා වැඩේ අතහැර දමන මාතලන් වැනි අයටත් පොදුය. මේ අනුව, බොහෝ ලේඛකයින් පොත් ලියන්නේ අතින් කයිට් කරගෙනය. ඒ ඇයි?

ලේඛකයෙකු පොත් ලියන්නේ පොත විකිණීමෙන් ලැබෙන මුදල් ලාභය පමණක්ම බලාගෙනනම් ඔහු හෝ ඇය කළ යුත්තේ වැඩිම ඉල්ලුමක් ඇති වර්ගයක පොතක් ලිවීමයි. එසේ කරන ලේඛකයෝද සිටිති. උදාහරණයක් ලෙස 'මල්' පොත් වලට පසුගිය දශක කිහිපයේම හොඳ ඉල්ලුමක් තිබුණේය. මේ පොත් විකිණීමෙන්නම් ලේඛකයින් පාඩුවක් නොලබන්නට ඇත.

කෙසේ වුවද, තිලකේ හෝ රසික ලියා ඇත්තේ මල් පොත් නොවේ. ඒ ඇයි?

මෙතැනදී වෙන්නේ තරමක් සංකීර්ණ දෙයකි. තිලකේ සහ රසික වැනි අය එකවරම නිෂ්පාදකයෝද, පාරිභෝගිකයෝද වෙති. ඔවුහු පොත් විකිණීමෙන් කිසියම් මුදල් ලාභයක් බලාපොරොත්තු වෙති. එමෙන්ම, තමන් කැමති දෙයක් ලිවීමෙන් සහ එය වෙනත් අය කියවනු සහ අගය කරනු දැකීමෙන් ලබන සතුට තුලින් පාරිභෝගිකයෝද වෙති. මෙසේ තමාගේම නිෂ්පාදනයට වටිනාකමක් දෙමින් ඔවුහු එහි 'මිල' ගෙවති. මෙහිදී පොත් ලියා විකිණීමේ සමස්ත ක්‍රියාදාමය තුල ලබන මුල්‍ය පාඩුවට වඩා ඔවුන් පාරිභෝගිකයින් ලෙස ලබන තෘප්තිය ඉහළය. ඔවුන් දන්නා කියන අයට පාඩුපිට පොත් නොමිලේ බෙදන්නේත්, ඒ පොත් නොකියවා පැත්තකට විසි කර තිබෙනු දැක පසුතැවෙන්නේත් ඒ නිසාය. නොකියවන එකා සල්ලි එක්ක දුන්නත් නොකියවන බව කණගාටුවෙන් කියන්නේ ඒ නිසාය.


ඇත්තටම සල්ලි එක්ක පොත් දීමෙන් පොත් නොකියවන අය පොත් කියවීමට පෙළඹවීම බැරි දෙයක් නොවේ. හැබැයි ටිකක් වැඩිපුර දිය යුතුය. කිසියම් පොතක් විභාගයක් සඳහා නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් වූ විට එය මිලදී ගැනීම මෙන්ම කියවීමද විශාල ලෙස වැඩි වන්නේ ඒ නිසාය. මෙහිදී ලැබෙන මුදල විභාගය සමත් වූ පසු හොඳ රැකියාවක් ලැබීමෙන් ඉහළ යන අනාගත ආදායමයි. විභාග වලට පොත් නිර්දේශකර ගැනීම සඳහා අතයටින් මුදල් මාරු වීමද මෙයට සම්බන්ධ දෙයකි.


මෙසේ තමාගේ සතුට වෙනුවෙන් ලිවීම දුලභ දෙයක් නොවේ. බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ ජෝජ් මැක්ෆ්ලයි විද්‍යා ප්‍රබන්ධ ලියා ඒවා කිසිවෙකුට නොපෙන්වන්නේ ඔහු මෙහිදී පාරිභෝගිකයෙකු පමණක් වන නිසාය. ඔහුට නිෂ්පාදකයෙකුද විය හැකි බව කියාදෙන්නට ඔහුගේ අනාගත පුතු වන මාටිට කාලය හරහා පැමිණීමටම සිදුවන්නේ පාරිභෝගිකයෙකු ලෙස ඔහු ලබන සතුට ඉතා විශාල නිසාය. ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිධරයෙකු වන හඳගම පාඩුවට චිත්‍රපට හදන්නේ මේ නිසාය. බොහෝ දෙනා බ්ලොග් ලියන්න්නේත් මේ නිසාය.

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු මූලික උපාධියක් හෝ පශ්චාත් උපාධියක් හැදෑරීම වෙනුවෙන් කාලය සහ මුදල් යොදවන්නේ අනාගතයේදී ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් ආයෝජනයක් වශයෙනි. එහෙත්, පශ්චාත් උපාධි තුන හතරක් ඇති කෙනෙකු තවත් එකක් කිරීමෙන් එවැනි වාසියක් නොලැබේ. මෙහිදීද සිදුවන්නේ අධ්‍යාපනය ලැබීම පරිභෝජන භාණ්ඩයක් වීමයි.

අවසාන වශයෙන් සිටින්නේ පොතේ මිලෙන් 40%ක් ඩැහැගන්නා අතරමැදියාය. මේ අතරමැදියා සුපිරි ලාභයක් ලබනවාද?

අතරමැදියන්  'අයුතු' හෝ 'අසාධාරණ' ලාභයක් ලබන්නේය යන්න ජනප්‍රිය අදහසකි. මෙයට එක් හේතුවක් වන්නේ අතරමැදියෙකුගේ 'ලාභය' නිෂ්පාදකයෙකුගේ හෝ පාරිභෝගිකයෙකුගේ ලාභයට වඩා පාරදෘශ්‍ය වීමයි. අතරමැදියාගේ කාර්යය වන්නේම නිෂ්පාදකයකුගෙන් අඩුමිලට ලබා ගන්නා භාණ්ඩයක් වැඩිමිලට විකිණීම නිසා මේ දෙක අතර වෙනස පැහැදිලි වුවත් අතරමැදියෙකුගේ වියදම් ඒ තරමටම පැහැදිලි නැත.

පොත් වෙළඳාමේදී අතරමැදියා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මට ඇත්තේ දළ අදහසක් නිසා පහත ඇතැම් වියදම් අදාළ නැති විය හැකි වුවත් මා සිතන පරිදි ලේඛකයාට සහ ප්‍රකාශකයාට සාපේක්ෂව සාමාන්‍යයෙන් අතරමැදියෙකුගේ වියදම් සකස් වනු ඇත්තේ මෙසේය.


-අතරමැදියෙකු භාණ්ඩයක් මිලදී ගැනීමේදී මුදලක් ආයෝජනය කළ යුතුය. රුපියල් 200කට මිල කෙරෙන පොතක් වෙනුවෙන් මේ ආයෝජනය ප්‍රකාශකයාට ගෙවන මුදල රුපියල් 100ක් යැයි සිතමු. පොත විකිණුනොත් ලේඛකයාට රුපියල් 20ක් ගෙවා ඉතිරිය අතරමැදියාට ළඟ තබා ගත හැකිය. නොවිකිණුනොත්? එවිට අතරමැදියාට තමා අපේක්ෂා කළ ලාභය පමණක් නොව ආයෝජනය කළ මුදලද ආපසු නොලැබේ. සාපේක්ෂව, ප්‍රකාශකයාට සහ ලේඛකයාට සාමාන්‍යයෙන් මෙවැනි ආයෝජනය අහිමිවීමේ අවදානමක් නැත.

-භාණ්ඩය විකිණෙන තුරු මෙසේ ආයෝජනය කර ඇති මුදල වියදමකි. ඒ මුදල බැංකු ගිනුමක තබා ගැනීමෙන් ලැබෙන පොලිය අතරමැදියා නැති කර ගනී.

-භාණ්ඩයක් ගබඩා කර තබා ගැනීම වියදම් යන වැඩකි. නොවිකිණෙන පොත් වට්ටම් දී 'කීයකට හෝ' විකුණා දමන්නේ ඒ නිසාය.

-මෙයට අමතරව අතරමැදියා දරන ස්ථිර වියදම් බොහෝය. මෙය ප්‍රකාශකයාගේ වියදම් ගැන කතා කරද්දී විස්තර කළ දේවලට සමානය.


කෙසේ වුවද, මේ සියළු වියදම් පියවා ගැනීමට පොතක මිලෙන් 40%ක් අවශ්‍යද යන ප්‍රශ්නයට පිළිතුරක් මෙහි නොමැති බැවින් ඒ පිළිතුර සොයා ගත යුතු වන්නේ වෙනත් නිරීක්ෂණ තුලිනි.

පොත් වෙළඳාමේ අතරමැදියකු වීමට සුවිශේෂී හැකියාවක් අවශ්‍ය නොවේ. ආයෝජනය සඳහා අවශ්‍ය මුදල් තිබීම ප්‍රමාණවත්ය. එමෙන්ම, එවැනි මුදලක් ඇති අයෙකුට පොත්ම විකුණන්නට අවශ්‍යතාවක් නැත. ගෘහ විද්‍යුත් උපකරණ, නිමි ඇඳුම් වැනි වෙනත් දෙයක්ද විකිණීමට පුළුවන. පොත් වෙළඳාමෙන් සුපිරි ලාභයක් ලැබිය හැකිනම් බොහෝ දෙනා මේ ව්‍යාපාරයට අළුතින් එකතු විය යුතුය. එහෙත්, පොත් වෙළඳාමේ අතරමැදියන් අතර පසුගිය දශක කිහිපය තුළ බිහිවුණු එවැනි 'වීර චරිත' නැත.

පොත් වෙළඳාමෙන් පසුගිය කාලයේදී ව්‍යාපාරික දැවැන්තයින් බිහි වී නැතත්, එවැනිම වෙනත් අංශ වල අතරමැදියන් වූ ව්‍යාපාරික දැවැන්තයින් පසුගිය කාලයේ බිහිවී තිබේ. හොඳම උදාහරණය නිමි ඇඳුම් වෙළඳාමයි.

මැද පෙරදිග සුළු රැකියාවක් කර ඉතිරි කරගන්නා මුදලක් ආයෝජනය කර නුවරඑළිය පොළේ බඩු විකුණන මුබාරක්ට ප්‍රංශ මුළු වලින් එළියට පැමිණ සීමා අතික්‍රමණය කරන්නට පුළුවන. ගෙදර ඉස්තෝප්පුවෙන් එළියට බහින සුමනපාලට සහ ධර්මලතාට ගාලු කොටුවේ බැම්ම උඩින් පියඹා කොළොම්තොට කූඩු හදන්නට පුළුවන. වැල්ලවත්තේ පදික වේදිකා පියමං කර ඩුප්ලිකේෂන් පාර හරහා පැමිණෙන ප්‍රීතිට සහ නීලාට දකුණු ආසියාවේම ලොක්කෙකු වන්නට පුළුවන. මෝටර් රථයේ ඩිකියෙන් එළියට බහින ඔටාරාගේ අයියා ඒ වන විටත් දැවැන්තයෙකු වී සිටීම නිසා ඇගේ කතාව වීර කාව්‍යයක් නොවන්නේ නැත. තිලකවර්ධනලා සහ සුබියාන්ලා ඇතුළු මේ ගොඩට දැමිය හැකි වීරයෝ තවත් බොහෝ සිටිති.


මේ අය මෙසේ ඉහළට මතුවුණේ ඔවුන්ගේ ව්‍යාපාරික දක්ෂතාවය නිසායැයි යමෙකු කිවහොත් එය බොරුවක් නොවේ. ඔවුන් සියළු දෙනාටම 'සුපිරි ලාභ' ඇති තැන අනිත් අයට කලින් අල්ලා ගැනීමේ 'ඉව' තිබුණේය. මේ අය පොත් විකිණීමට නොසිතා ඇඳුම් වැඩේට බහින්නේ ඒ නිසාය. එමෙන්ම, තමන්ගේ පාරිභෝගිකයන් හඳුනාගැනීමේ හැකියාවද මේ අය සතු විය. ප්‍රීති, නීලමනී සහ සුජීව වැල්ලවත්තෙන් ඩුප්ලිකේෂන් පාරට එන විටත් තමන්ගේ පාරිභෝගිකයින්ට ෆිටෝන් කාමරයකින් නිසි ප්‍රයෝජනය පමණක් ගැනීමට ඇති සංයමය පිළිබඳව නිවැරදි තක්සේරුවක් ඔවුන්ට තිබුණේය. එහෙත්, මූලික කරුණනම් නිමි ඇඳුම් වෙළඳාමේ අතරමැදියෙකුට ලබා ගත හැකි  'සුපිරි ලාභ' තිබීමයි. මේ ක්ෂේත්‍රයේ සුපිරි ලාභ තවමත් පිරිහී නොමැති බව මගේ අදහසයි.

පොත් ක්ෂේත්‍රයේනම් මෙවැනි තත්ත්වයක් යාන්තමින්වත් පෙනෙන්නට නැත. ඒ පොත් වෙළඳාමෙන් අතරමැදියා සුපිරි ලාභයක් නොලබන බැවිනි. එසේ වුවද ඔවුන් පාඩුවක්ද නොවිඳ නිසි ලාභයක් ලබති. දිගුකාලීනව ව්‍යාපාරය අත් හැර නොයන්නේ ඒ නිසාය.

සිංහල කියවන්නන්ගේ ප්‍රමාණය විශාල නොවීමේ පාඩුව ප්‍රකාශකයා හෝ අතරමැදියා නොදරන බැවින් අවසාන වශයෙන් එය දරන්නට වෙන්නේ ලේඛකයින්ටය. කෙටිකාලීනව මේ වෙළඳපොළ පුළුල් වන බවක් පෙනෙන්නට නොමැති නිසා මුදල් ලාභයම සලකා 'විකිණෙන පොත්' ලිවීමට නොසිතන ලේඛකයින්ට තවත් කාලයකට මේ කටයුත්තට දායක වීමට සිදුවනු ඇත්තේ මුදල් ලාභ ගැන ලොකු බලාපොරොත්තුවකින් තොරව තමන්ගේම සතුට වෙනුවෙනි.

(මෙයට පෙර මා ලියූ සටහන කිසියම් තාක්ෂණික හේතුවක් නිසා සින්ඩි වල සහ රෝල් වල අප්ඩේට් වුණේ නැත.)

(Photo credit: archives.dailynews.lk)

Tuesday, September 8, 2015

මා ප්‍රාග්ධනය උපයාගත් හැටි...

සරල, නිහතමානී පුද්ගලයෙකු ලෙස හැඳින්විය හැකි මගේ පියාගේ මට වැඩිපුර ඇල්ලුවේ නැති එක් දෙයක් වූයේ වරින් වර දාන ලොකු ටෝක්ය. මෙවැනි සමහර ප්‍රකාශ ලොකු ටෝක් ලෙස තීරණය කර තිබීම ඇත්තටම මගේ අවබෝධයේ අඩුකමක් බව මට තේරුණේ බොහෝ කලකට පසුවය.

මා කුඩා කළ මෙසේ ඔහු නිතර නිතර දැමූ එක් ලොකු ටෝක් එකක් වූයේ මහා ගොඩක් නොවූ  සිය දෙමවුපියන්ගේ ඉඩකඩම් දේපොළ ඔහුගේ පවුලේ දරුවන් අටදෙනෙකු අතර බෙදන සුවිශේෂී අවස්ථාවේදී ඔහුට වඩා වැඩිමහළු සොයුරන් අසාධාරණ හා ආත්මාර්ථකාමී ඉල්ලීම් වෙනුවෙන් සටන් කරද්දී මගේ පියා වීරයෙකු මෙන් සිදුකළ "අයියණ්ඩිය, බිය නොවන්න!" මාදිලියේ ප්‍රකාශයයි. ඔහු නිතර නිතර කියූ පරිදි "දෙමවුපියන්ගේ දේපොළ සත පහක්වත් එපා!" කියමින් ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන් සමඟ වූ කිසියම් නොමනාපයක් නිසා නොවේ. ඔහු කිසිදා මේ තීරණයට හේතුව පැහැදිලි කළේ නැතත් සැබෑ හේතුව සිය දෙමවුපියන්ගෙන් මූල්‍ය ස්වාධීනත්වය ලබා ගැනීමට වූ අවශ්‍යතාව බව මගේ අදහසයි.

කෙසේ හෝ මේ කතාව නිතර ඇහෙද්දී, කාටවත් නොකිවුවත්, මාත් හිතාගත්තේ මගේ පියාගේ දේපොළ බෙදන දවසට මාද මෙවැනි ප්‍රකාශයක් කර වීරයෙකු වන බවයි. ඒත් පොඩි පරහකුත් තිබුණේය.

මගේ පියා දඬුවම් මාරු සහ එසේ නොවන සාමාන්‍ය ස්ථාන මාරු ලබමින් මා ඔහුත් සමඟ ගතකළ වසර දහඅට තුළ පදිංචිය වෙනස් කළ අවස්ථා දහතුනෙන් මට මතක නැති මුල් අවස්ථා තුන ඉවත් කළ විට ඉතිරි අවස්ථා වලදී වඩාත්ම සැලකිල්ලෙන් ප්‍රවාහනය කළ ලොකු තොම්සන් බිත්ති ඔරලෝසුව, පියාගේ දේපොළ එපා කිවුවත් ඔහුගේ පියාගෙන් ලබා ගෙන තිබුණු කැටයම් දැමූ පතරොම් තුවක්කුව වගේම යුනික් රේඩියෝව වැනි වටිනා වස්තු අමාරුවෙන් වුවත් අමතක කළ හැකි විය. එහෙත් ඔහුගේ පොත් රාක්කයේ ඇති පොත් වලින් ලොකු පොත් කිහිපයක්නම් නොගෙන ඉන්නට හිත හදා ගැනීම පහසු කටයුත්තක් වුනේ නැත.

මගේ පියා සතුව තිබුණු වටිනාම ද්‍රව්‍යමය දේපොළ වූයේ ඔහුගේ මේ ප්‍රකාශන එකතුවයි. මෙය පුළුල් විෂය පරාසයක පැතිරුණු පොත් එකතුවක් නොවූ අතර බොහෝ දුරට ඔහු විසින් උනන්දුවක් දැක්වූ විෂය ක්ෂේත්‍ර කිහිපයකට සීමා විය. මේ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අළුත් හෝ පැරණි පොතක් ගැන දැනගත් විට එය කෙසේ හෝ අයිති කරගන්නා තුරු ඔහුට ඉවසිල්ලක් තිබුණේ නැත.

පඩි දිනයේ දියර වර්ග රැගෙන නොආවත් පොත් කිහිපයක්නම් ඔහු නොවරදවා රැගෙන ආවේය. මෙයට අමතරව සෑම සතියකම ඉරිදා පත්තර කිහිපයක් සහ සතිපතා පත්තර කිහිපයක්ම මිල දී ගැනීමට ඔහු වැය කළ මුදල අපේ පවුලේ මුළු ආදායම සැලකූ විට විශාල මුදලකි. ඇතැම් පුවත්පත් වල මංගල කලාපයේ සිට සියළුම කලාප ඔහු සතුව තිබුණේය.

ටික ටික ලොකු වෙන විට පොඩි කාලේ ඇති පොඩි තණ්හාවල් ලොකු තණ්හාවල් බවට පත් වේ. මේ ධර්මතාවය අනුව මට ලොකු වී මගේ පියාට වඩා ලොකු පෝසතෙක් වීමටත් අවශ්‍ය විය. ඒ සඳහා ඔහු සතු පොත් ගොඩ පරදවන ලොකු පොත් ගොඩක් අවශ්‍ය වේ. ඒ පොත් තියන්නට ලොකු පොත් රාක්කයක්ද අවශ්‍ය වේ. එවිට මටත් පොර සේ ඔහුගේ දේපොළ කිසිවක් අවශ්‍ය නැති බව කියන්නට පුළුවන. මේ වැඩේ කළ යුත්තේ පියාගේ උදවු නොලබමිනි.

රොබට් කියෝසාකි කියා ඇති විදිහට ආයෝජනය පටන් ගත යුත්තේ හැකි තරම් කුඩා කාලයේදීය. පොඩි පරහකට තියෙන්නේ ආයෝජනය කිරීමට මුදල් අවශ්‍ය වීමයි. වයස අවුරුදු එකොළහක් වෙන තුරු එවැනි ස්ථිර ආදායම් මාර්ගයක් මට තිබුණේ නැත. කළ හැකි වූ එකම දෙය නිවසට එන නෑදෑයෙකු "ටොපී කෑමට" අතේ මිට මොළවන මුදල් එකතු කර පොතක් මිල දී ගැනීමයි.

එසේ වුවත්, මගේ වයස අවුරුදු නවයකට ආසන්න වෙද්දී සිදුවූ පදිංචිය වෙනස් වීමක් සමඟ අර්ධ කාලීන රැකියා කර කිසියම් මුදලක් සොයා ගැනීම සඳහා අවස්ථා කිහිපයක් උදාවිය. මෙවැනි එක් රැකියාවක් වූයේ පොල්කටු ගණන් කිරීමයි. ඒ දිනවල අපි සිටි නාගරික ප්‍රදේශයක පාරක් අයිනේ පිහිටි නිවසට නිවෙස් දෙකක් එහායින් සිල්ලර කඩයක් තිබුණේය. අපේ අසල්වාසීන් සහ පවුලේ හිතවතුන් වූ මේ අය පොල්කටු ව්‍යාපාරයක්ද කළේය. ගෙවල් වලින් පොල්කටු මිල දී ගැනේ. පිරිමි පොල්කට්ටක් සතයකි. ගෑණු පොල්කට්ටක් සත බාගයකි. පිරිමි පොල්කටු රබර් වතු වලටත් ගෑණු පොල්කටු අඟුරු සෑදීම සඳහා ලංගම ඩිපෝව ඇතුළු කම්මල් වැඩ කරන තැන් වලට විකිණේ. ඔවුන්ට මගේ සේවය අවශ්‍ය වූයේ ලොකු ඕඩරයක් පැමිණි විට එය නිසි පරිදි පිළියෙළ කිරීමටය. මා පරීක්ෂාවෙන් සිටින විට ගණන් නොවරදින බව ඔවුන්ගේ විශ්වාසය විය.

පොල්කට්ටෙන් පටන් ගත් වැඩේ ටික දවසකින් කඩේ වැඩ කිරීම දක්වා ව්‍යාප්ත විය. එහෙත් මට කරන්නට තිබුණේ සීනි කිරීම වැනි සරල කටයුත්තක් නොවේ. සීනි කිරන්නට ඇති පදං කට්ටිය කඩේ සිටියේය. කර ගන්නට අමාරුව තිබුණු කාරිය ගාණ හදා ගැනීමය. කඩය කළ මව සහ සොයුරු සොයුරියෝ කිසිවෙකුට මේ වැඩේ සීනි කිරන තරමට පහසු වුනේ නැත. ගණක යන්ත්‍ර නොතිබුණු මේ යුගයේ මගේ රාජකාරිය වුණේ ගණක යන්ත්‍රයක කාර්යයයි. බඩු ටික කිරා අවසන් වන විට මා හිතින් ගාණ හදා අවසානය.

මේ ගණන් කවදාවත් වැරදුණේ නැති බැවින් මේ රැකියාවට තිබුණු ඉල්ලුම අඩු නොවුණත් මේ සඳහා මේ අසල්වැසියන්ට අපේ ගෙදරින් අවසර ලබා ගත හැකි වුණේ අතරින් පතර දවසක නිසා මට ලබා ගත හැකි වූයේ සීමිත ආදායමක් පමණි. මේ වැඩෙන් සහ වෙනත් මෙවැනි 'රැකියා' කිහිපයකින් මට යම් මුදලක් උපයාගත හැකි වූ අතර මෙමඟින් ඉඳහිට පොතක් මිලදී ගෙන හෙමින් හෙමින් වුවත් මගේ ඉලක්කය කරා ගමන ඇරඹිය හැකි විය.

ඔය අතර එක්වර වැඩි මුදලක් උපයාගත හැකි වන අවස්ථාද පැමිණුනේය. අවුරුදු කාලයේ වැඩිහිටියන්ට බුලත් දී වැඳීම හොඳ ආදායම් මාර්ගයකි. බුලත්අත ආපහු ලැබෙන්නේ රුපියලක් හෝ දෙකක් සමඟය. අපේ ගෙදරට අමුත්තන්ගෙන් අඩුවක් නොතිබුණු නිසා මේ වැඩේ කිසිම අමාරුවක් තිබුණේ නැත. අවුරුදු කාලයෙන් පසුව වුවද ඉඳහිට මෙවැනි අවස්ථා හිමිවේ. පාසැලට හෝ දහම් පාසැලට ආධාර පිණිස ලැබෙන 'කොටු කොළ' මහඟු ආදායම් මාර්ගයකි. ගෙදරට එන සමහර අමුත්තන්ට මගෙන් මේ කොටුකොළය සමඟ මුලින්ම පෑනක් වෙනුවට ලැබෙන්නේ අල්පෙනිත්තකි. සත පනහක් දී කොටුවක් හිල් කළ හැකිය. සතපනහ ගෙන කොටු කොළය අනෙක් පස හරවා නියපොත්ත ඇතිල්ලූ විට හිල නොපෙනී යයි.

මගේ සම්පත් දායකයින්ට පැන්සලක් ලැබෙන්නේ මෙසේ කොටුවකට හිල් දෙක තුනක් වැදුණු පසුවය. කොටු කොළයේ ඉටිපන්දමක් අතුල්ලා ඇති නිසා කතිරය වැදෙන්නේ යන්තමිනි. එය නියපොත්තෙන් සූරාදැමීම අපහසු නැත. අපේ ගෙදරට අමුත්තන්ගෙන් අඩුවක් නොවූ නිසා මෙවැනි කොටුකොළයකින් සෑහෙන ආදායමක් උපයා ගත හැකිය.

පොල්කටු ව්‍යාපාරය තිබුණු ප්‍රදේශයේද අප සිටියේ වසර දෙකකට අඩු කාලයකි. යූඇන්පී කාරයෙකු වීම නිසා සමඟි පෙරමුණු රජය කාලයේ ළඟ ළඟ ස්ථාන මාරු ලැබූ මගේ පියාගේ දේශ සංචරණය ආණ්ඩුව මාරු වූ පසු වෙනස් වූයේ නැත. ආණ්ඩු මාරුවෙන් පසු මාරුවීම් ලැබුණේ ශ්‍රී ලංකා කාරයෙකු වී සිටීම නිසාය.

ඇත්තටම ඔහු මේ කාලයේදී මේ මොන කාරයෙක්වත් වී නොසිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරඹුණු කාලයේදී සිය යූඑන්පී ඥාති සමූහයෙන් පිටමං වී සක්‍රිය ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයෙකුව සිට තිබුණේ වුවද රජයේ නිලධාරියෙකු වූ පසු ඔහු ක්‍රියා කළේ මනුතාපයේ ජන්තුටත් වඩා අකුරටම නීතිය ක්‍රියාත්මක කරන්නෙකු ලෙසිනි. ප්‍රදේශයේ ස්වභාවික ආපදාවකට ලක්වූ පිරිසකට බෙදීම සඳහා බේකරියකින් උණු උණුවේ බෑ පාන් රාත්තල් පන්සීයක් නිවසේ ඉදිරිපස කොටසේ ගොඩ ගැහෙද්දී ඒ කටයුත්ත වෙනුවෙන්ම මුළුතැන්ගෙයි පිසෙන ලොකු පරිප්පු හොද්ද හැඳිගාමින් සිටි සිය ගැබ්බර බිරිඳට උණු උණුවේ පාන් කෑල්ලක් කන්නට ඇති වුණු දොළදුක සංසිඳුවා ගැනීමට ඔහුගෙන් අවසරයක් නොලැබුණු බව ඇය නිතර නිතර මතක් කරයි.

ඔහුව මුලින්ම යූඑන්පී කාරයෙකු ලෙස නම් කර රටවටේ යවා තිබුණේ හැත්තෑ එකේදී චේගුවේරා ලේබලය ගසා යූඑන්පී තරුණයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ මන්ත්‍රී වරයෙකු වූ, ප්‍රගතිශීලී දේශපාලනඥයෙකු කළ ඉල්ලීම නොසලකා හැරීම නිසාය. මගේ පියාගේ ඥාතියෙකුද වූ මේ ප්‍රසිද්ධ දේශපාලනඥයා ආණ්ඩුව මාරුවන තුරුම මේ වාඩුව අත ඇරියේ නැත.

ධුරාවලිය අනුව වැඩි වැදගත් කමක් නැති තනතුරක් දැරු මගේ පියා අවශ්‍ය අවස්ථා වලදී හැමවිටම තමාගේ රැකියාවේ ධාරිතාවට වඩා විශාල පරාසයක වැඩ කළ අයෙකි. "කැපවීමෙන් අකුරටම වැඩ කරන අවංක නිලධාරියෙකු" ලෙස ඉහළ නිලධාරීන්ගේ ඇගයීමට ලක්ව සිටීම නිසා මගේ පියාට දුෂ්කර පළාතකට මාරුවක් ලබා වැඩි කල් සිටීමට ඉඩ ලැබුණේද නැත. ඔහුගේ "වැඩ වලින්" ලකුණු දමාගෙන රැකියා බේරාගත් සහ උසස්වීම් ලබාගත් බොහෝ ඉහළ නිලධාරීන් සිටි නිසා ඉතා ඉක්මණින් ඔහුට නැවත කැඳවීමක් ලැබේ. එහෙත්, පෙර කී දේශපාලඥයා මෙය දැනගත් වහාම ඔහුට නැවතත් දුර බැහැරක යාමේ අවස්ථාව උදාවේ. සමඟි පෙරමුණු රජය පෙරළෙන තුරුම මෙය සිදුවිය.

කෙසේ වුවද හැත්තෑ හතේ පෙරළියෙන් අනතුරුව ශ්‍රී ලංකා කාරයින්ගෙන් පලිගැනීම වැලැක්වූ නිසා ඔහුට ශ්‍රී ලංකා කාරයින්ට ලැබෙන පලිගැනීම් මාරුද හිමි වුණේය. තමන්ගේ සේවා කොන්ත්‍රාත්තුව අනුව "ලංකාවේ හතර දිග් බාගේ ඕනෑම කියන තැනකට" යාමට සූදානමින් සිටි ඔහු හැමවිටම කළේ ඔහු සිතූ පරිදි නිවැරදි දෙයයි. කවර දුෂ්කරතා තිබුණත් ඔහු "මාරුව හදා ගැනීම" සඳහා දේශපාලඥයින් හෝ ඉහළ නිලධාරීන් පසු පස ගියේ නැත.

කෙසේ වුවද, හැත්තෑ හතේදී යූඑන්පියෙන් ඉල්ලා රැල්ලට ගොඩගිය පෙර කී වාමාංශික දේශපාලනඥයාගේ හිටපු පුද්ගලික ලේකම් වරයා මගේ පියාව හොඳින් දැන සිටි කෙනෙකි. මගේ පියා එවකට රජරට-උතුරු පළාත් මායිමේ දුෂ්කර ප්‍රදේශයක අඹු සුතනුවන්ගෙන් දුරස්ථව "දුක් විඳින" බව කෙසේ හෝ දැනගත් ඔහු මගේ පියාව තමාගේ ප්‍රදේශයට කැඳවා ගත්තේය. මේ දේශපාලනඥයා වෙනත් වැරදි කර තිබුණත් මගේ පියාගෙන්නම් කිසිදු ප්‍රතිඋපකාරයක් ඉල්ලා නැත. බොහෝ දෙනා යෝජනා කළත්, හිතා ගත හැකි පරිදිම, මගේ පියා මේ දේශපාලනඥයාට ස්තුති කරන්නට ගියේත් නැත.

අකුරටම වැඩකළ මගේ පියා ඔහුගේ මේ ප්‍රතිපත්තියෙන් බැහැරව "හොර වැඩ" කළ වෙලාවල්ද තිබුණේය. මගේ වයස යාන්තම් එකොළහක් වෙද්දී වයස දහසයක් සේ "හොරට කොළ පුරවා" අවට තිබූ පුස්තකාල කිහිපයකම සාමාජිකත්වය රැගෙන දීම මෙවැනි හොර වැඩකි. මේ හොරකම පේනවාටත් වඩා ලොකු හොරකමක් වන්නේ ඒ වන විට මේ පුස්තකාල තිබුණේ ඔහුගේම අධීක්ෂණය යටතේ බැවිනි. කෙසේ හෝ, මේ නිසා සතියකට පොත් දහයක් දොළහක් කියවීමේ අවස්ථාව මට ලැබුණේය. ඇත්තටම මේ කාලයේදී මා කළ ප්‍රධානම කටයුත්ත පොත් කියවීමයි.

සමහර පොත් කියවූ පසු ඒවා අයිති කර ගැනීමේ ආශාවක්ද ඇතිවේ. ආතර් සී ක්ලාක්ගේ පොත් වල පරිවර්තන, කොවූර්ගේ පොත් සහ සරච්චන්ද්‍රගේ සහ නවගත්තේගමගේ නවකතා මෙසේ මුල් කාලයේදී මට "කෙසේ හෝ" අයිති කර ගැනීමට අවශ්‍ය වූ පොත් අතර තිබුණේය. මේ අනුව, මේ කාලයේදී මගේ පොත් එකතුව ටික ටික ලොකු විය.

පොත් ගොඩක් තිබුණු පලියටම හෝ පොත් ගොඩක් කියවා තිබුණු පලියටම කෙනෙක් උගතෙක්, බුද්ධිමතෙක් හෝ "පොරක්" වන්නේ නැත. ඒ සඳහා කාටත් පේන්නට මේ පොත් තැබිය හැකි ලොකු පොත් රාක්කයක්ද අවශ්‍යය.

අපේ මීළඟ වාසස්ථානය පිහිටියේ පාසැලක් ඉදිරිපිටය. මේ කාලයේදී මේ පාසැලේ මහපොළ ප්‍රදර්ශනයක් පැවැත්වුනේය. මෙය ආදායම් උපයාගැනීම සඳහා තවත් අනගි අවස්ථාවක් විය. අපේ නිවසේ මිදුලේ වාහන නැවැත්වීමට ඉඩදීමෙන් යම් මුදලක් සොයා ගත හැකි විය. එහෙත් මේ මුදල අපේ නිවසේ නැවතී පාසැල් ගිය මගේ පියාගේ මිතුරෙකුගේ දරුවකු වූ "පන්ති සගයෙකු" සහ මගේ බාල සොයුරා සමඟ බෙදාගත යුතුවිය.

ප්‍රදර්ශනය සඳහා පාර හරහට ලොකු තොරණක් ඉදි වුණේය. එහි ජේආර්ගේ, ප්‍රේමදාසගේ සහ ඇතුලත්මුදලිගේ රූප තිබුණේය. ප්‍රදර්ශනය අවසානයේදී මේ තොරණ ඉවත් කරන විට එය සෑදීමට යොදාගත් ඇල්බීසියා ලෑලි ප්‍රදර්ශනය සඳහා ගෙනැවිත් තිබුණු අසල වූ ලොකු කුණු බක්කියකට දැමීමට සූදානම් වනු දුටු මා වහාම ඉදිරිපත් වී මේ ලෑලි ඉල්ලා සිටියෙමි. ලොකු පොත් රාක්කයක් සාදාගැනීමට මේ ලෑලි ප්‍රමාණවත් විය.

යකඩ ඇණ සහ ලැකර් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනය මා සතුව ඒ වන විටත් තිබුණේය. යාබද නිවසින් කියතක් ඉල්ලාගත් මා ඇල්බීසියා ලෑලි වල පැන්සලකින් කැපුම් ලකුණු කර ඒවා නිසි පරිදි කපා ගැනීමට හැදුවත් මේ කාර්යය හිතූ තරම් පහසු වූයේ නැත. කෙසේ වුවද, කිසියම් කාර්යයකට මගේ පියා හමුවීමට පැමිණ ඔහු එනතුරු බලා සිටි වඩු වැඩ දත් වැඩිහිටියෙකුගේ උදවුව ලැබුණු නිසා වැඩි අපහසුවකින් තොරව මගේ පියාගේ පොත් රාක්කය තරම්ම විශාල තට්ටු පහක ලොකු පොත් රාක්කයක අයිතිකරුවා වීමට මට හැකිවිය.

මීළඟ ප්‍රශ්නය මතුවූයේ රාක්කයේ පොත් ඇහිරීමෙන් පසුවය. මා ඒ වන විට එක් රැස් කරගෙන සිටි මහා වස්තු සම්භාරයම මේ විශාල රාක්කයේ තට්ටුවකින් අඩකට වඩා පිරවීමට ප්‍රමාණවත් නොවීය.

එක් එක් පුද්ගලයා ජීවිතයේ එක් එක් කාලයේදී "පීක්" වන බව කොහේ හෝ ලියවී තිබුණේය. මතක හැටියටනම් දැනට විවෘතව නොපවතින චානුක වත්තේගමගේ සිහි සටහන් බ්ලොගයේ විය යුතුය. මේ කාලය සාමාන්‍ය පෙළ, උසස් පෙළ, පහේ ශිෂ්‍යත්වය හෝ වෙනත් අවස්ථාවක් විය හැකිය. මා සම්බන්ධව මෙය ඇතැම් විටෙක සිළුමිණ වැනි "ලොකු පත්තර" කියවීම ඇරඹු වයස තුනක පමණ කාලය හෝ පහේ ශිෂ්‍යත්වය ලියූ වයස දහයේ කාලය විය යුතුය.

ශිෂ්‍යත්වයෙන් ලබා ගත හැකි මුළු ලකුණු ගණනට ඉතා කිට්ටු ගණනක් ගෙන දිවයිනේ ඕනෑම පාසැලකට පහසුවෙන් ඇතුළත් වීමේ අවස්ථාව ලබා ගත්තත් කොළඹ බෝඩිමකට වැයවෙන අමතර පිරිවැය දැරීමේ හැකියාවක් මගේ පියාට නොවූ නිසාත්, මුදල් ආධාරයක් ලබා ගැනීමට නොහැකි තරමට ඔහුගේ ආදායම ලොකු වැඩි වූ නිසාත් ශිෂ්‍යත්වය සමත් වීමට මා දැරූ (ඇත්තටම මහ ලොකුවට නොදැරූ) උත්සාහය වතුරේ ගියේ නැත. මගේ වයස අවුරුදු එකොළහක් වන විට, මා හය වන ශ්‍රේණියට ඇතුළත් වන විට, පුද්ගලික උපකාරක සේවා ලබා දීම සඳහා ලැබුණු ඉල්ලුම ඉන්පසු අඩු වුණේම නැත.

මේ අනුව පසු කාලයේදී ස්වේච්ඡා, අර්ධ කාලීන මෙන්ම ස්ථිර හා පූර්ණ කාලීන පදනමින් මා කලින් කලට කළ මගේ මුල්ම "ස්ථිර" රැකියාවට පදනම වැටුණේය. මෙයින් ලැබුණු ආදායම ගෙවත්තේ ලිඳ අසල ලොකු කංකුන් පාත්තියක් දමා කන්කුන් මිටි විකිණීමෙන් හෝ බුලත් අතක් සමඟ තුටුපඬුරක් ගෙන මගේ පියාගෙන් අකුරු කියවා ගැනීමට ළමුන් ගෙන එන පාරිභෝගිකයින්ගෙන් කොටසක් "කඩා ගැනීමෙන්" ලැබුණු ආදායම මෙන් නොව, මාස්පතා ලැබුණු ස්ථිර ආදායමකි.

දෙමවුපියන්ගේ උපකාරයකින් තොරව වෙනත් පුද්ගලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහාද කිසියම් මුදලක් වැය කළත්, මේ මුදල් මා ප්‍රධාන වශයෙන්ම වැය කළේ පොත් ගැනීම සඳහාය. එහෙත්, රාක්කයනම් පිරෙන පාටක්වත් පේන්නට තිබුණේ නැත.

රාක්කය පුරවා ගැනීම සඳහා තරමක් පහසු ක්‍රමයක් වූයේ ලොකු කැමැත්තක් නැතත් නොමිලේ හෝ අඩු මිලට ලැබෙන පොත් හෝ ප්‍රකාශන ලබා ගැනීමයි. නොමිලේ රාක්කය පුරවා ගැනීමට ප්‍රධාන මාර්ග දෙකක් තිබුණේය.

පළමුවැන්න, නොමිලේ ලැබෙන සෝවියට් දේශය සඟරාවන්ය. මට වඩා වසර ගණනක් වැඩිමල් දුරින් ඥාතියෙකු වූ තරුණයෙකු ගෙන්වා ගත් මේ සඟරාවක අවසාන පිටුවේ ඇති ෆෝරමයක් පුරවා යැවූ විට මාස දොළහක් තුල මේ සඟරාවේ කලාප දොළහක් නොමිලේ ලැබුණේය. මෙය දිගටම ලබා ගැනීම සඳහා කළ යුතු වූයේ වසරකට වරක් මෙසේ ෆෝරමයක් පුරවා යැවීම පමණි.

අනෙක් මාර්ගය වූයේ නොමිලේ ලැබෙන බයිබල් කොටස් ඇතුළු ක්‍රිස්තියානි ප්‍රකාශන ලබා ගැනීමයි. රසික කළාක් මෙන් මා කෙතරම් අකැමැති පොතක වුවද පිට කවරය ඉරීමට තබා පාඩම් පොතක ඉරක් ඇඳීමට තරම්වත් ධෛර්යයක් නැති මට මේ ප්‍රකාශන වල අන්තර්ගතය ප්‍රශ්නයක් වුනේ නැත.

පොත් මිලදී ගැනීමේදී මා කැමති පොත් බොහෝ තිබුණත් අතේ වූ සීමිත මුදලට වැඩිම පොත් ගණනක් ගැනීමටනම් මිලදී ගත යුතු වූයේ ලාබෙට තිබුණු සෝවියට් පොත්ය. වෙනත් එවැනි ප්‍රමාණයේම පොතක මිලට වඩා බාගයක හෝ තුනෙන් එකක මිලට කියවන්නට ආසා හිතෙන සෝවියට් පොතක් මිල දී ගත හැකි විය. ප්‍රගති ප්‍රකාශක මන්දිරයේ පොත් සමඟ මහජන ප්‍රකාශකයින් ප්‍රදර්ශන තබමින් රට වටා යද්දී මා උපයාගන්නා මුදල් ඔවුන්ට දෙමින් මම මගේ පොත් රාක්කය ලස්සන කර ගත්තෙමි.

සෝවියට් පොත් අතරත් කතා පොත් වලට වඩා විශාල ලෙසින් මිල අඩු, ඉතාම සුළු මුදලකට අලෙවි කළ පොත් කිහිපයක්ද තිබුණේය. මාක්ස්, එංගල්ස්, සහ ලෙනින් පොත් ත්‍රිත්වය විකිණුනේ එකක් රුපියල බැගිනි. ඒ වන විට වෙනත් සෝවියට් පොතක් වුවද අඩුම වශයෙන් තුනයි පනහක්වත් විය. කැමති පොතක් මිලදී ගැනීමටනම් රුපියල් පහක්වත් වැය කළ විය යුතුය. සෝවියට් දේශයේ පස් අවුරුදු සැලසුම් ගැන පොතක්ද මෙසේ අඩු මිලට විකුනුණේය. මෙසේ වයස අවුරුදු එකොළහක කාලයේදී රුපියලක් ගෙවා මා ලාබෙට මිලදී ගත් එක් පොතක් 'ප්‍රාග්ධනය යනු කුමක්ද?' නම් වූවකි. මෙය ප්‍රාග්ධනය පොතේ සංක්ෂිප්ත අනුවාදයක් හෝ එක් වෙළුමක් විය යුතුය.


විශාල ආශාවක් නොතිබුණත් මෙසේ අමාරුවෙන් උපයාගත් මුදල් වැය කර මිලදීගත් මේ පොත් මා අමාරුවෙන් හෝ කියවා දැම්මෙමි. එහෙත්, ප්‍රාග්ධනය පොතනම් කියවන්නට ගත් නමුත් ඒ වයසේදී කියවන්නට කිසිම ආසාවක් ඇතිවුණේ නැත. ලාබෙට ලැබුණු නිසා මගේ පොත් රාක්කය ලස්සන කරන්නට මිල දී ගත් මේ පොත මා තවමත් සම්පූර්ණයෙන් කියවා අවසන් කර කියවා නැත.

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Saturday, August 29, 2015

පෝසත් අප්පච්චී සහ දුප්පත් අප්පච්චී


ඉකොනොමැට්ටාගේ පෞද්ගලික මූල්‍ය කළමණාකරණය සම්බන්ධව දුර්වලතා තිබීමේ වරද කාගේ හෝ පිට පටවා අත පිස දමා ගැනීමට කෙනෙකු සොයන්නේනම් ඒ සඳහා සුදුස්සන් අතර අන්තිමයා ඉකොනොමැට්ටාගේ පියාය. ඔහු පුරුදු වී සිටි මූල්‍ය කළමණාකරණ ක්‍රමවේදය මැනවින් හදාරා ඉකොනොමැට්ටාගේ ජීවිතයේ කොටසක් කරගත්තානම් මේ වන විට ඉකොනොමැට්ටා ගජ පෝසතෙකි. ඉකොනොමැට්ටාගේ මැටිකමට ඔහු සිය පියාව හොඳින් අධ්‍යයනය කළේ නැත.

පෝසත් මනුස්සයෙක් වෙන්නට උවමනාවක් තිබුණානම් ඉකොනොමැට්ටාට කරන්නට තිබුණේ ඔහුගේ පියාගේ මූල්‍ය කළමණාකරණ ක්‍රමවේදය හොඳින් හදාරා ඒ ක්‍රමවේදයේ කිසිදු අංගයක් අනුගමනය නොකර සිටීම පමණි.

යමෙකුට ලොතරැයියක මුල් දිනුම ඇදුනොත් මේ මුළු මුදලම වඩාත් ඉක්මණින් වියදම් කර අවසන් කරන්නේ කෙසේදැයි අපට ආදර්ශයෙන් පෙන්වා දීමේ මගඟු අවස්ථාව ඔහුට ගිලිහී ගියේ කවදාවත් ඔහුට එවැනි දිනුමක් ඇදුනේ නැති නිසාය. මා දන්නා තරමින් ඔහුගේ අතේ වැඩිම මුදලක් එක් වර රැඳුනේ ඔහුගේ විශ්‍රාම පාරිතෝෂිකය ලැබුණු දිනයේදීය. මේ බරින් ඔහු නිදහස් වූ ආකාරය දැනට විස්තර නොකර සිටිමි.

අතේ ඇති ලොකු කුඩා ඕනෑම මුදලක් ඇසි පිය හෙළන සැණින් අතුරුදහන් කිරීමේ සුවිශේෂී හැකියාව මගේ පියා ප්‍රගුණ කළේ මත්පැන් පානය වැනි සම්මත දුශ්චරිත හරහා නොවේ.

කලාතුරකින් මංගල උත්සවයක් වැනි අවස්ථාවකදී ඉතා සුළු මත්පැන් ප්‍රමාණයක් තොල ගෑ නිසා ඔහු මත්පැන් කටේවත් නොතබන අයෙකු ලෙස මට හඳුන්වාදිය නොහැකිය. විශ්වාසදායී සහකරුවෙකුගේ අඩුපාඩුව නිසා කණගාටුවෙන් කල් ගෙවූ විහාරාධිපති හිමි නමගේ බලකිරීමට විශ්‍රාම ගැනීමෙන්ද පසු ටික කාලයක් මේ කලාතුර නිතර නිතර තත්ත්වයට වැඩිවී තිබුණත් ඒ හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව ඔහු නරක පුරුද්ද නවතා දැමීමෙන් පෙනුනේ වතාවතක් මෙන් කර තිබූ ඉහත කාර්යයද ධර්ම සංවේගයෙන්ම කළ එකක් බවයි.

මත්පැන් පානයට කිසිදා ඇබ්බැහි නොවූවත් මගේ පියා මා දන්නා කාලයේ සිටම අධික දුම් පානයට පුරුදු වී සිටියේය. කවුරු මොන අවවාද දුන්නත් සිය ජීවිතයේ නවවන දශකයට කිට්ටුකර සිටින ඔහු තවමත් දුම්පානයෙන්නම් මිදී නැත. කෙසේ වුවද, ඔහුගේ අතේ මුදල් නොරැඳීමට ප්‍රධාන හේතුව වූයේ මේ දුම්පානයද නොවේ.

තමන්ගෙන් යමක් ඉල්ලා සිටි යාචකයෙකුට තමන් සතුව තිබුණු වටිනාම පාරිභෝගික භාණ්ඩය වූ අඩක් ඉරුණු ඇඳිවත දන්දී නිරුවතින්ම ආවාසයට පැමිණ ජීවිතයේ ඉතිරි කාලය මේ ඇඳිවතේ බරින්ද තොරව සැහැල්ලුවෙන් ගෙවා දැමු ජෛන මහාවීරයන්ට තිබුණු ධෛර්යය මගේ පියා සතු නොවීයැයි මා සිතන්නේ ඔහු කිසිදා එවැන්නක් නොකළ බැවිනි. එහෙත්, සිය කමිසය යමෙකුට දී උඩුකය නිරුවතින් ගෙදර එන්නට තරම් ධෛර්යයක්නම් ඔහු සතු විය.

තමාගේ අතේ ප්‍රමාණවත් මුදලක් ඇත්නම් ළඟපාතක සිටින යන්තම් හෝ දැන ඇඳුනුම්කමක් ඇති කෙනෙකුගේ මෙන්ම එවෙලේ අඳුනාගත් කෙනෙකුගේ වුවද බස් ප්‍රවේශ පත්‍රය, ප්ලේන්ටිය හෝ සිගරැට්ටුව වෙනුවෙන් බරපැන දැරුවේ මගේ පියාය. එහෙත්, මේ වාසිය ලබන්නට බොහෝ දෙනෙකුට බොහෝ විට නොහැකි වුනේ ඔහු අතේ ආපසු ගෙදර එන්නට අවශ්‍ය බස් ගාස්තුවට වඩා වැඩි මුදලක් රැඳුනේ පඩි දවසේ සිට දින දෙක තුනක් යනතුරු පමණක් නිසාය. වැඩි වදයක් නොවිඳ, තමාගේ මාසික වැටුපෙන් දින දෙකතුනකින් පහසුවෙන් නිදහස් වන ඔහු මාසයේ ඉතිරි දින ගෙවා දැම්මේ සිගරැට්ටුවක් සහ ප්ලේන්ටියකට වඩා සංකීර්ණ නොවූ ඔහුගේ සරල ජීවිතය රස විඳිමිනි.

අනුන් වෙනුවෙන් මාසය පුරාම මුදල් වියදම් කිරීමේ හැකියාවක් මගේ පියා සතු නොවූවත් මාසය පුරාම ඔහු අනුන් වෙනුවෙන් කාලය හා ශ්‍රමය යෙදවූයේය. ශ්‍රමය කියා කීවාට ඇඟේ පතේ ලොකු හයි හත්තියක් නොතිබුණු ඔහු බොහෝ විට මෙසේ වැය කළේ කිසියම් ආකාරයක බුද්ධිමය ශ්‍රමයකි. ඔහුගේ ශ්‍රමයේ ඵල ප්‍රයෝජන ගත්තෝ නැති-බැරි අයම නොවූහ. මේ බොහෝ දෙනෙකු ඇති-හැකි බලවත් අයයි. ඇතැම් මහා පුරුෂයන් මෙන් උදවු ඇවැසියැයි පෙනුණු අය සොයා ගොස් උදවු කරනු වෙනුවට ඔහු කළේ යම් උදවුවක් ඉල්ලාගෙන එන කෙනෙකුට හැකි පරිදි 'අතින් කයිට් කරගෙන' උදවු කිරීමයි. මෙවැනි අයගෙන් අපේ ගෙදරට කවදාවත් අඩුවක් තිබුණේ නැත.

අනුන්ට උදවු කළත් මගේ පියා අනුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වූයේ නැත. දැනටත්, මොන අඩුපාඩු තිබුණත් තමන්ගේ දරුවන්ගෙන් හෝ ඔහු කිසිවක් බලාපොරොත්තු නොවේ. ඔහුගෙන් නැවත ආපසු දීමේ පොරොන්දුවට යමක් ඉල්ලාගත් කෙනෙකුට සාමාන්‍යයෙන් එය ආපසු ගෙවීම පිළිබඳව සිතීම අනවශ්‍ය දෙයක් විය. එසේ ආපසු දුන්නත් බොහෝ විට ඔහු එය ප්‍රතික්ෂේප කරනු ඇත.

මෙසේ කී විට යමෙකුට එක්වරම සිතෙන්නේ මගේ පියාට 'ලොකු ඔළුවක්' තිබුණු බවයි. ඔහු ඉපදුණු පවුල් පසුබිම අනුව ඉඳහිට යම් ලොකු කමක් පෙන්වන කතා කිවුවත්, බොහෝ දුරට නිරහංකාර, සරල පුද්ගලයෙකු වන ඔහු අතේ සල්ලි නැත්නම් නැති බව කියන්නට ලැජ්ජා වුනේත් නැත. තමන් වෙනුවෙන් වෙනත් අයෙකු බරක් දැරීම අපේක්ෂා නොකළා පමණි.

විය යුතු පරිදිම, අපේ ගෙදර සතුට උතුරා ගියේ නැතත් වාෂ්ප උෂ්ණත්වයට ටිකක් හෝ කිට්ටු කළේ මගේ පියාගේ පඩි දිනයේදීය. යශෝරාවයේ රන්ජනීලාගේ තාත්තා මෙන් තනියම ආතල් එකක් ගන්නට පඩි දිනයේ මගේ පියා දියර වර්ග ගෙන නොආවත්, කුකුළෙකු ඇතුළු වෙනත් දේ නොවරදවා රැගෙන ඒමට අමතක නොකළේ ඔහු මස් වලට ප්‍රිය කළ නිසා නොවේ. සදාචාරාත්මක හෝ ආගමික නොවන, ආහාර රුචිකත්වය පිලිබඳ හේතු මත ඔහු සාමාන්‍යයෙන් මස් මාළු ආහාරයට ගත්තේ නැත. ඇත්තටම ඉතා සුළු ආහාර ප්‍රමාණයකින් කවදත් සැනසුනු මගේ පියා මා දන්නා කාලයේ සිටම රුචිකත්වයක් දැක්වූයේ ඉතා පහසුවෙන් පිළියෙළ කළ හැකි, කොතනත් ඇති, අල, පරිප්පු වැනි ආහාර වර්ග අතළොස්සකට පමණි.

මේ විශේෂ වියදම් වලින් පසුව ඔහු කරන්නේ මාසය පුරා 'පොත් වලට' ගෙන ඇති කඩ වල ණය ගෙවා දැමීමයි. ඉන්පසු නැවත වටයකින් ණය ගැනීම ඇරඹේ. මෙය සෑම මාසයකම සිදුවන චක්‍රයකි.

කාලය හා තාක්ෂණය වෙනස් වී තිබුණත් මගේ පියාගේ මාසික වියදම් රටාව අදටත් ලංකාවේ මෙන්ම ඇමරිකාවේත් බොහෝ දෙනෙකුගේ ජනප්‍රියම වියදම් රටාවයි. දැන් හන්දියේ කඩේ වෙනුවට සුපිරි වෙළඳසැල් සහ මුදලාලිගේ පොත වෙනුවට ක්‍රෙඩිට් කාඩ් ආදේශ වී තිබුණත් සිදුවන්නේ පෙර වූ දෙයමය.

මගේ පියාට ආචාර්ය උපාධියක් නොතිබුණත්, ආසියානු ඇමරිකානුවෙකු වන රොබර්ට් කියෝසාකිගේ පියාට ආචාර්ය උපාධියක් තිබුණේය. මගේ පියාගේ වැටුපට වඩා විශාල වැටුපක් ලැබූ කියෝසාකිගේ පියාගේ පවුලේ ආදායමට හෙදියක වූ ඔහුගේ බිරිඳගේ ආදායමද එකතු විය. එහෙත්, ඔවුන්ගේ පවුලේ වියදම් රටාව මගේ පියාගේ වියදම් රටාවට වඩා වෙනස් වුනේ නැත.

කියෝසාකිගේ පියා හැමදාමත් ණයබරේ ගිලී හිටියේය. මාසික වැටුපෙන් පසුගිය මාසයේ ණය ගෙවන ඔහු නැවතත් ණය එකතු කරන්නට පටන්ගනී. මේ චක්‍රයෙන් ගැලවීමක් නැත. රොබර්ට් කියෝසාකිට අනුව මේ ඔහුගේ 'දුප්පත් අප්පච්චී'ය.

රොබර්ට්ගේ සහ ඉකොනොමැට්ටාගේ වගේම ලංකාවේත්, ඇමරිකාවේත් තවත් බොහෝ රටවලත් ළමයින් බොහෝ දෙනෙකුගේ අප්පච්චිලා දුප්පත් අප්පච්චිලා වී සිටින්නේ ආදායම අඩුකමටම හෝ මහන්සි වී වැඩනොකරන නිසා නොවේ. ධනවාදයේ අඩුපාඩු නිසාත් නොවේ. මූල්‍ය සාක්ෂරතාව අඩුකමටය. (මෙයින් කියන්නේ අනෙක් කරුණු බැහැර කළ යුතු බව නොවේ.) එදිනෙදා වියදම් සඳහා ගිණිපොලියට ණය ගන්නා මේ දුප්පත් අප්පච්චිලා ණය ගෙවා දමන්නේ අළුතෙන් ණය ගැනීමෙනි.

කණගාටුවට කරුණනම් ඇතැම් රටවල මූල්‍ය කළමණාකරණය සිදුවන්නේ දුප්පත් අප්පච්චිලා කරන ක්‍රමයටත් වඩා ප්‍රශ්නකාරී ක්‍රමයකට වීමයි. ඉකොනොමැට්ටාගේ පියා හැමදාමත් ණය උගුලක හිර වී හිටියත් මාසේ පඩියෙන් පියවීමට නොහැකි තරමට ණය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන වැඩේ අනාගත්තේ නැත. එහෙත්, එසේ කර එක් මොහොතක බෙල්ලටම හිරවන අය ඉකොනොමැට්ටාට ඕනෑ තරම් හමුවී තිබේ.

කෙසේ හෝ හොඳ වෙලාවට කියෝසාකිට 'පෝසත් අප්පච්චී' කෙනෙකුත් හිටියේය. ඒ ඇමරිකාවේ එකගෙයි කෑම තිබුණු නිසා හෝ කැත හිතකට මතක් වෙන වෙනත් කරුණක් නිසා නොවේ. රොබර්ට් කියෝසාකි 'පෝසත් අප්පච්චී' ලෙස හඳුන්වන්නේ ඔහුගේ වාසනාවට ඔහුට කුඩා කළ සිටම ඇසුරු කිරීමට ලැබුණු ඔහුගේ මිතුරෙකුගේ පියාය.

මේ පෝසත් අප්පච්චී යන්තම් අටපාස් පුද්ගලයෙකි. මහ ලොකු උගත් කමක් නොතිබුණු මේ පුද්ගලයා ආචාර්ය උපාධියක් තිබුණු රොබර්ට් කියෝසාකිගේ දුප්පත් අප්පච්චී මෙන් ණය බරින් මිරිකී නාහෙන් අඬමින් සිටිනු රොබර්ට්ට කිසිදා පෙනුණේ නැත. ඒ ඔහු එතනෝල් හෝ කුඩු බිස්නස් කළ නිසා නොවේ. ඔහුට මූල්‍ය සාක්ෂරතාව තිබුණු නිසාය.

වයස අවුරුදු නවයේදීම රොබර්ට් කියෝසාකිට මේ පෝසත් අප්පච්චිගේත්, දුප්පත් අප්පච්චිගේත් වෙනස තේරුණේය. ඒ නිසා, ඉකොනොමැට්ටාට කළ නොහැකි වූ බොහෝ දේ කිරීමට රොබර්ට් කියෝසාකිට හැකි විය. දරුවන්ට කුඩා කාලයේදීම මූල්‍ය සාක්ෂරතාව ලබා දීමේ වැදගත්කම පහදමින්, වසර පහළොවකට පෙර රොබර්ට් කියෝසාකි ලියූ, අලෙවි වාර්තා තැබූ පොත එවැන්නකි.

කෙසේ වුවද, මූල්‍ය සාක්ෂරතාව හෝ මූල්‍ය සාර්ථකත්වය හා අදාළව නොවූවත්, රොබර්ට් කියෝසාකිට මෙන්ම හැදෙන වැඩෙන කාලයේදී පෝසත් අප්පච්චි කෙනෙකු ආශ්‍රය කිරීමේ වාසනාව ඉකොනොමැට්ටාටද ලැබුණේය. ඒ පෝසත් අප්පච්චි ජීවත් වුණේ අර කලින් කී දුප්පත් අප්පච්චි ඇතුළේය. කණගාටුවට කරුණනම් අතරින් පතර දෙන දුරකථන හෝ ස්කයිප් ඇමතුමක් හැරුණු විට මේ පෝසත් අප්පච්චිගේ ආශ්‍රය ලබන්නට ඉඩකඩක් නැති තරමට ඉකොනොමැට්ටා දුප්පතෙකු වී සිටීමයි.

Thursday, August 27, 2015

පොතක වටිනාකම මැනිය හැකිද?


කැම්පස් එකේ නවක වද කාලය අපට සංස්කෘත වැනි වෙනත් භාෂාත්, සිංහලයේ බොහෝ පාරිභාෂික වචනත් ඉගෙන ගැනීමට ලැබෙන වැදගත් කාලයකි. ඒ අතර ලෝකයෙන් දැනුමද ඇති පදම් ලැබේ. ජ්‍යෙෂ්ඨ උත්තමයින්ගේ එකම අච්චුවේ ප්‍රශ්න වලට උත්තර දෙමින් ආසාවෙන් කන රැග් එක එපා වෙන වෙලාවට පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් ඇසීමේ හැකියාවක් ඇති උත්තමයෙක් හමු වූ විට පොඩි ආතල් එකක් තිබේ.


"තොට කවි ලියන්න පුළුවන් නේද?" කියා රසිකගෙන් ඇසූ හෙන්රි මෙන් සාමාන්‍ය අච්චුවෙන් ටිකක් වෙනස් "සිරා" ලේබලයේ ප්‍රශ්න අසන ජ්‍යෙෂ්ඨ උත්තමයින්ද ඉඳ හිට නැතුවා නොවේ. උසස් පෙළ ගණිත අංශයෙන් දිවයිනේ ඉහළම කිහිප දෙනා අතර සිටි මගේ බැචෙකුට දැන් මෙවැනි ඉඳහිට හමුවන මාදිලියේ උත්තමයෙක් හමු වේ.

"තෝ පොත් කියවනවද"

ජ්‍යෙෂ්ඨ උත්තමයා අසයි.

"ඔව්, ජ්‍යෙෂ්ඨ උත්තමයා"

"එහෙනං කියහං බලන්න කියවල තියෙන පොත් දහයක් ඒවයේ කතෘලත් එක්ක"

මගේ බැචාට මේකේ ගේමක් නැත.

"ත්‍රිකෝණමිතිය එස්සෙල්ලෝනි, ව්‍යවහාරික ගණිතය ගතිවිද්‍යාව ඩබ්ලියුකේ හේවගේ, ව්‍යවහාරික ගණිතය ඉස්ථිති විද්‍යාව ඩබ්ලියුකේ හේවගේ, භවුතික රසායනය ජේකේපී ආරියරත්න, කාබනික රසායනය..."

"නවත්තපං නවත්තපං. උඹ නවකතා කියෝලා නැද්ද?"

"කියවල තියෙනවා, ජ්‍යෙෂ්ඨ උත්තමයා"

"මොනවද?"

ජ්‍යෙෂ්ඨ උත්තමයා අමාරුවෙන් සැර මූණක් පෙන්වන්නට හැදුවත් පේන්නේ අහිංසක මූණකි.

"මනුතාපය"

(මනුතාපය අපේ කාලයේදී සාමාන්‍යපෙළ සිංහල විෂයට තිබුණු නිර්දිෂ්ඨ ග්‍රන්ථයකි.)

"වෙන මොනාද?"

"වෙනනං මතක නෑ, ජ්‍යෙෂ්ඨ උත්තමයා"

"යකෝ අඩුගානෙ අම්මවත් කියෝල නැද්ද?"

"අම්මනං නවකතා කියෝනව ජ්‍යෙෂ්ඨ උත්තමයා. මට තමයි ඉතිං වෙලාව අඩු."

ජ්‍යෙෂ්ඨ උත්තමයාට එවෙලේ  මතක් වුන අම්මානම් ගෝර්කිගේ අම්මා නොවන බව නොකිවමනාය.

මේ ජ්‍යෙෂ්ඨ උත්තමයා ඇසුවේ වෙන ඕනෑම ජ්‍යෙෂ්ඨ උත්තමකුට වුවද ඇසිය හැකිව තිබුණු සරල ප්‍රශ්නයකි. බොහෝ ෆ්‍රෙෂාලාගෙන් ලැබෙන උත්තරය මගේ මුලින් කී බැචාගේ උත්තරයට වඩා ලොකුවට වෙනස් නොවිය හැකි නිසා මෙහි ලොකු අවදානමක් නැතත්, අතරින් පතර රසිකගේ වර්ගයේ ෆ්‍රෙෂාලාත් සිටින නිසා දඩයක්කරුවා ගොදුර බවට පත් වීමේ අවදානම ගන්නට ගොඩක් ජ්‍යෙෂ්ඨ උත්තමයින් පෙළඹෙන්නේ නැත. ලිංගික අධ්‍යාපනය වැනි ජ්‍යෙෂ්ඨ උත්තමයින් බොහෝ දෙනෙකුට විශේෂඥතාවක් ඇති මාතෘකාවක් කථා කිරීම වඩා සුරක්ෂිතය.

කෙසේ වුවද, ෆ්‍රෙෂා කියවා ඇති පොත් ගැන ඇසීමට ධෛර්යයක් තිබුණු ජ්‍යෙෂ්ඨ උත්තමයාට සහයට ඩැනීලා ගොඩක් සිටි බැවින් මේ කථාව ටිකක් ජනප්‍රිය විය. එහෙත්, ජ්‍යෙෂ්ඨ උත්තමයා මේ ප්‍රශ්නය ඇසුවා කියා හෝ කතාව ප්‍රසිද්ධ වුනා කියා මගේ බැචා නවකතා කියවන්නට පටන් ගත්තේ නැත. එහෙත්, ඔහු පීඨ පුස්තකාලයෙන් වසර පුරාම ප්‍රයෝජන ගත්තේය. අපි වැනි, පිටකවරයේ පාට ඩෙනිමට මැච් කරමින් පීඨ පුස්තකාලයෙන් පොත් ගත්, ඉඳහිට ගඟෙන් එගොඩ පුස්තකාලයෙන් රැගෙන ආ නවකතාවක් හෝ වෙනත් විෂය බාහිර පොතක්ද කියවූ බැචාලාව ගොඩ දමන්නට වසර අවසානයේ කුප්පි දමන්නට මගේ පෙර කී බැචාට හැකි වුනේ ඔහු ඔහුගේ කාලය නවකතා කියවීමට නොයොදවා විෂය කරුණු හැදෑරීමට යෙදවූ නිසාය.

කෙසේ වුවද, අවසාන වසරේදී ඔහුගේ වත්මන් අඹු සිඟිත්ත දැන අඳුනා ගැනීමෙන් පසුවනම් නේවාසිකාගාරයේ වැලමුල්ලේ වූ ඔහුගේ ඇඳ මතට කුමාර කරුණාරත්න මාදිලියේ ප්‍රබුද්ධ නවකතා මෙන්ම සන්නස්ගලලාගේ සීනි බෝල වචන වලින් හැඩ ගැන්වුණු මල් පත්තරද පැමිණුනේය.

***
මගේ ජ්‍යෙෂ්ඨ උත්තමයෙකු සහ බොහෝ දෙනා හඳුනන බ්ලොග්කරුවෙකු මෙන්ම අටවිසි මහල් ඇති තට්ටු ගොඩනැඟිලි හැදුවත් මහ පොළොවේ ජීවත්වන නිරහංකාර මිනිසකු වන තිලකසිරි ඒකනායක ලියූ තිලකසිත බොහෝ දෙනා කතාකර ඇති, බොහෝ දෙනා අගය කර ඇති පොතකි. ඉදිරියේදී පළවීමට නියමිත ඔහුගේ පළමු නවකතාව සහ දෙවන පොතද වන අටවිසි මහලද එවැනිම එකක් වනු ඇති බව කියන්නට පොත ලියා අවසන් වන තුරු වුවද සිටින්නට අවශ්‍ය නැත.

අලෙවිය සඳහා තිලකසිත මිල කර තිබුණේ රුපියල් හාරසීයක මුදලකටය. රුපියල් හාරසීයක් යනු තිලකසිතේ සැබෑ වටිනාකමද?

පොතක වටිනාකම මිල කළ නොහැකි බව කෙනෙකුට කිව හැකිය. ඇත්තටම පොතක වටිනාකම මුදලට සාපේක්ෂව ඇගයීම අසීරු දෙයකි. එහෙත්, එය බැරි දෙයක් නොවේ. වෙනත්, භාණ්ඩ හා සේවාවන් බොහොමයකට මෙන්ම පොතකටද නිශ්චිත වටිනාකමක් තිබේ.

පොතක වටිනාකම එහි මුද්‍රණ වියදම නොවේ. තිලකේ වෙනුවට ඔය ප්‍රමාණයේම ඔය පිටු ගණනම ඇති පොතක් ලියා මුද්‍රණය කරවන්නට ඉකොනොමැට්ටාට වුවත් බැරි නැත. අවශ්‍යනම් දැදිගම වී රුද්‍රිගුගේ අම්මා පරිවර්තනය ප්‍රමාණයේම පොතක් එළියට දැමිය හැකිය. මුද්‍රණ වියදම සමාන වුණත් ඉකොනොමැට්ටාට ඇලෙක්සේයි මක්සිමෝවිච් පෙෂ්කොව් වෙන්නට හෝ තිලකසිරි ඒකනායක වෙන්නට බැරි නිසා අර කලින් කී පොත් වල ඇති වටිනාකම දෙන්නට ඉකොනොමැට්ටාට නුපුළුවන.

පොතක වටිනාකමේ ප්‍රභවය ලේඛකයාය. එහෙත් ලේඛකයාගෙන් ජීවය ලබන පොතේ සම්පූර්ණ වටිනාකම ඵලදායී යථාර්තයක් වී බාහිර ලෝකයට පෙනෙන්නේ කියවන පාඨකයින් නිසාය. පොත මිලදීගන්නා පාරිභෝගිකයින් නිසාය. තිලකේ පොත ලියා අත්පිටපත ගෙදර තියා ගත්තානම් ඒත් තිලකසිත තිලකසිතමය. එහි වටිනාකමක් තිබේ. එහෙත් මේ වටිනාකම අසම්පූර්ණ වටිනාකමකි.

සිංහරාජය මැද තිබූ දැවැන්ත ගසක් කඩා වැටුණේය. හැතැම්ම දහපහළොවක දුරක මනුස්ස පරාණයක් හිටියේ නැත. ගස කඩා වැටෙන විට සද්දයක් ඇහුණාද?

තිලකේ දැන් පොත රුපියල් හාරසීයකට මිල නියම කරයි. පොත විකිණේ. රුපියල් හාරසීය පොතේ නියම වටිනාකමද?

පැහැදිලිවම උත්තරය "නැත". පොතේ වටිනාකම එක් එක් පුද්ගලයාට සාපේක්ෂය. පොත මිලදී ගන්නා පුද්ගලයෙකුට පොතේ වටිනාකම අඩුම වශයෙන් රුපියල් හාරසීයකි. එය රුපියල් 400ක්, 401ක්, 500ක්, 1000ක්, 5000ක්, හෝ 10,000ක් විය හැකිය. එහෙත්, එහි වටිනාකම "අසීමිත" නැත.

පොතේ මුද්‍රණය කළ පිටපත් 25,000කින් විකිණුනේ පිටපත් 24,000ක් පමණක්නම් එයින් අදහස් වන්නේ පොතේ වටිනාකම අඩුම වශයෙන් රුපියල් 400ක් යැයි සිතන අය අඩුම වශයෙන් 24,000ක් සිටින බවයි. පිටපත් සියල්ල විකිණුනේනම් එවැනි අය 25,000ක් හෝ වැඩි ප්‍රමානයක් සිටින බව පැහැදිලිය.

පොත මිලදී ගත් හැමකෙනෙක්ම එසේ කිරීමෙන් වාසියක් ලබා තිබේ.

"තිලක සිත ජීවිත කතා ගැන ලියවුණු පොත් අතරින්, මම කියවපු  ලස්සනම, රස ම පොතක්... බිම තියන්න නොහිතෙන තරම් කැමැත්තකින්, මුලු පොතේම තියෙන කතන්දර ටික එක හුස්මට කියවගෙන යන්න පුලුවන්..!"

සෞම්‍ය සඳරුවන් ලියනගේ තිලකේට සුබපැතුමක් එවීමට කාලය යෙදවීමෙන් ආවස්ථික පිරිවැයක් දරයි. දැන් පොත වෙනුවෙන් ඔහුගේ වියදම රුපියල් 400 ඉක්මවයි. ඔහු එසේ කරන්නේ ඔහුට පොතේ වටිනාකම රුපියල් 400ට සහ මේ අමතර "වියදමට" වඩා වැඩි නිසාය. මේ වැඩිමනත් වියදමෙන් අනතුරුවද ඔහුට වාසියක් ඇත.

මේ අතර පොත මිලදී ගන්නා නමුත් එය නොකියවන අයද සිටිති. මේ අය එසේ කරන්නේ පොත ගෙදර ප්‍රදර්ශනයට තැබීමෙන් ලබන සතුට රුපියල් 400ට වැඩි නිසාය. එය අදාල පුද්ගලයාගේ කැමැත්තයි. එවැනි පුද්ගලයින්ට බලෙන් පොත් කියවීමට උනන්දු කරවීම අනවශ්‍ය දෙයකි.

මේ අතරම "හැත්තෑව දශකයේත් ලාම්පු පත්තු කළ නිවසක විසු පිටිසර ගුරු පවුලක් වටා ලියැවුනු මේ කතාවල" වටිනාකමක් නැතැයි සිතන අයත් සිටිති. එහිත් ඇති වැරැද්දක් නැත. එවැන්නෙකුට පොතේ වටිනාකම එහි මිල වන රුපියල් 400ට වඩා අඩු නිසා පාඩුවක් විඳිමින් පොත මිලදී නොගෙන ඒ මුදලින් වෙනත් දෙයක් මිලදී ගනු ඇත. ඔහුට හෝ ඇයට පැත්තකට විසිකරන්නට පොතේ පිටපතක් අඩුමිලකට හෝ නිකම් දීමද අවශ්‍ය නැති දෙයකි.

පොතක මිල ගෙවා එය ලබා ගන්නේ එයට වැඩිම වටිනාකමක් දීමේ හැකියාව ඇති, එයින් වැඩිම ප්‍රයෝජනයක් හෝ සතුටක් ලබන පාඨකයින්ය.

(මේ මාතෘකාවට අදාළ මෙහි කථා කර නැති වෙනත් පැතිද තිබේ. ඒ ගැන පසුව කථා කරමු. පොතේ රූපය අවසර නැතුව හොරෙන් ගත්තාට තිලකේ නඩුමඟට නොයනු ඇතැයි සිතමි. උඩින් ඇති කතාව ඇත්තම නොවේ.)

Sunday, June 7, 2015

අපිට ළඟ නෑයන් නැත්තේ ඇයි?


සිංහලුන්, දෙමළුන්, ඇමරිකානු පුරවැසියන්, සිංගප්පූරු පුරවැසියන්, ශ්‍රී ලාංකික හා ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියන් මෙන්ම මොන පුරවැසිකමක්වත් නැති රෝහින්ගා මුස්ලිමුන් හා මැද පෙරදිග බිඩූන්ලා දක්වා අපි සියල්ලෝම හෝමෝ සේපියන්ස්ලා වෙමු. එසේ වෙන්නේ ජීව විද්‍යා වර්ගීකරණය අනුවය. හෝමෝ නැත්නම් 'මිනිස්' කියන්නේ අපේ 'ගණය' හෙවත් පවුලයි. සේපියන්ස් කියන්නේ මේ ගණයට අයත් අප සත්ත්ව කොට්ඨාශය අයත් වන විශේෂයයි. ජීවවිද්‍යාවේදී සතුන්ට නම් දාන්නේ මේ අයුරින් පවුලේ නම සහ සතාගේ නම එකතු කිරීමෙනි.



පූසන්ට කොටියන්, සිංහයන්, චීටාවන් වැනි බළල් පවුලේ නෑයෝ බොහෝ සිටිති. බල්ලන්ටද නරින්, වෘකයින් වැනි ළඟ නෑයෝ සිටිති. ඇමීබාවාගේ සිට ඔය කොයි සතාටත් දුර නෑකමක් අපට තිබේ. ඒත් හෝමෝ සේපියන්ලා වන අපට වෙන මිනිස් නෑයින් නැත. අපේ පවුලේ ළඟ නෑයන් නොමැති නිසා අපි අනිත් සතුන් සහ අප අතර ලොකු වැටක් ගහගෙන පොරවල් වී සිටිමු. අපිට ළඟ නෑයන් නැත්තේ ඇයි?


දැන් නැති වුවත් ඉතා මෑත කාලයක් දක්වා අපට ළඟ නෑයෝ සිටියහ. වසර මිලියන දෙකහමාරකට පෙර අප්‍රිකාවේ ජීවත් වූ ඔස්ට්‍රලෝපිතකස් හෙවත් දකුණේ වානරයාගෙන් පැවතුනු මිනිස් දරුවෝ ලොව පුරාම විසිරුනහ. ඔවුන් වෙනස් දේශගුණික තත්වයන්ට හැඩ ගැසෙද්දී මිනිස් වර්ග රැසක් බිහිවිය. පුරා විද්‍යා සාධක අනුව අපේ ඔස්ට්‍රලෝපිතකස් අප්පච්චී අඩුගානේ තවත් දරුවන් පස් දෙනෙක්වත්වත් ජාතක කර තිබේ. මේ අනිත් දරුවෝ වරින් වර මහ පොළොවෙන් තුරන් වී ගියහ. මානව ඉතිහාසය හා සසඳන කළ ඉතා කෙටි කලක් ලෙස සැලකිය හැකි වසර දොළොස් දහසකට පෙරත් අපේ නියන්ඩතාල් අයියා ජීවත් වී තිබේ.


හෝමෝ සේපියන්ලාට වඩා විශාල සිරුරකට මෙන්ම විශාල මොළයකටද හිමිකම් කියූ හෝමෝ නියන්ඩතාල්ලා දරුණු හිම යුගයද සාර්ථක ලෙස ජය ගනිමින් යුරෝපයේ සහ බටහිර යුරෝපයේ විශාල පෙදෙසක සිය ආධිපත්‍යය පතුරා සිටියදී හෝමෝ සේපියන්ලා අප්‍රිකාවේ කොටසකට සීමා වූ සාපේක්ෂව නොවැදගත් ජීවී කොට්ඨාශයක් විය.


වසර 150,000කට පෙර ඇරඹුණු හෝමෝ සේපියන්ලාගේ මුල් අවුරුදු අසූදහස මෙසේ පතෝල ලෙස නිකම්ම ගෙවී ගියත් වසර හැත්තෑ දහසකට පෙර හදිසියේම වෙනස් දෙයක් සිදු විය. වසර දහසක් වැනි ඉතා කෙටි කලක් තුල බොහෝ දේ ඉගෙන ගනිමින් 'දියුණු වූ' හෝමෝ සේපියන්ලා අරාබි මුහුද තරණය කරමින් මැද පෙරදිගටත් එතැනින් ආසියාව හරහා යුරෝපයටත් ව්‍යාප්ත වෙමින් ඇරඹු සම්ප්‍රදායික නියන්ඩතාල් නිජ භූමි ආක්‍රමණය සහ වර්ග සංහාරය අවසන් වූයේ නියන්ඩතාල්ලා සම්පූර්ණයෙන් මිහිපිටින් අතුගා දැමීමෙනි.


ශරීර ප්‍රමාණයන් මෙන්ම බුද්ධියෙන්ද සේපියන්ස්ලාට වඩා ඉදිරියෙන් සිටි නියන්ඩතාල්ලාව ඔවුන්ගේ වාස භූමි වලදීම පරාජය කිරීමට සේපියන්ලාට හැකි වූයේ කෙසේද? ජෙරුසලමේ හීබෘ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය යුවාල් නෝවා හරාරි මෙය සිදු වූයේ හෝමෝ සේපියන්ලා දෙවියන්ගෙන් දැනුම ලබා ගත් නිසායැයි කියන්නේ නැත. ඔහුගේ 'සේපියන්ස්: මිනිසුන් ගැන කෙටි ඉතිහාස කතාවක්' නම් ග්‍රන්ථයේ සඳහන් පරිදි මෙයට හේතුව අදාළ කාලයේදී සිදුවූ වාසිදායක ජාන විකෘතියකි.


චින්තන විප්ලවය ලෙස හරාරි විසින් හඳුන්වන මේ ජාන විකෘතිය මභින් පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන සැබෑ ලෝකයේ නැති දේවල් ගැන සිතීමේ හැකියාව හෝමෝ සේපියන්ලා සතු විය. ඒ අනුව, සිංහ ඔලුවක් ඇති මිනිසුන්, ලොව මැවූ දෙවියන්, මුදල්, ධනවාදය, සමාජවාදය, මානව හිමිකම්, ජාතිය, යහපාලනය වැනි සංකල්ප නිර්මාණය කර ගැනීමට සේපියන්ස්ලාට හැකිවිය. මේ මඟින් ඇතැම් ජීව විද්‍යා සීමාවන් අතික්‍රමණය කිරීමට සේපියන්ස්ලාට හැකි විය.


ස්වභාවික පරිසරයකදී කිසියම් සත්ත්ව කණ්ඩායමක විශාලත්වය 150කට වඩා වැඩිවන්නේ ඉතාම කලාතුරකිනි. සංඛ්‍යාව වැඩි වීමත් සමඟ කණ්ඩායම් හැඟීම ඇතිවීමට අවශ්‍ය අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනැංවීම අපහසු වන බැවිනි. චින්තන විප්ලවය මඟින් මේ සීමාව අතික්‍රමණය කිරීමට හෝමෝ සේපියන්ලාට ඉඩ සැලසිනි. දෙවිකෙනෙකු වැනි සංකල්පයක් පොදුවේ පිළිගත් විශාල කණ්ඩායමක සාමාජිකයන් අතර විශ්වාසය තහවුරු විය. මේ නිසා ඔවුන්ට සාමුහිකව ක්‍රියා කළහැකි විය.


සේපියන් මිනිසෙකු බොහෝවිට නියන්ඩතාල් මිනිසෙකුට පරාජය විය. සේපියන්ලා සියයක් බොහෝවිට නියන්ඩතාල්ලා සියයකටද පරාජය විය. එහෙත් සේපියන්ලා දහසකට පහසුවෙන් නියන්ඩතාල්ලා දහසක් පරාජය කළ හැකිවිය.


හරාරි ඉදිරිපත් කරන තර්ක හිතළු නොවේ. ඉතිහාසය, පුරා විද්‍යාව, මානව ජීව විද්‍යාව, ජීව විද්‍යාව, පරිණාමික මනෝ විද්‍යාව ආදී ක්ෂේත්‍ර වල අලුත්ම පර්යේෂණ මත ඒ තර්ක පදනම් වී තිබේ. ඉතා සංකීර්ණ ප්‍රශ්න වලට සරල විද්‍යාත්මක විසඳුම් ඇති බව හරාරි අපට පෙන්වයි.


හරාරිට අනුව සේපියන්ස්ලාගේ අවසානය ඉතා නුදුරේය. එහෙත් සේපියන්ස්ලා වඳ වී යනු ඇත්තේ ඔබට එක් වරම සිතිය හැකි විනාශයක් නිසා නොවේ. ඔවුන් සිය සීමාවන් තව දුරටත් ඉක්මවමින් වඩාත් දියුණු ජීවී කොට්ඨාශයක් (ඔහුගේ වචන වලින් දෙවිවරුන්) බවට පරිණාමය වීමෙනි. ජීවතාක්ෂණික, පරිගණක වැනි ක්ෂේත්‍ර වල සිදුවන දියුණුව සමඟ මෙය දැනටම සිදු වෙමින් පවතී.


හීබෘ භාෂාවෙන් ලියා ඇති හරාරිගේ කෘතිය ඉංග්‍රීසි ඇතුළු භාෂා තිහකට පමණ දැනටම පරිවර්තනය වී ඇත. දන්නා තරමින්නම් සිංහල පරිවර්තනයක් තවම නැත.


(ඡායාරූප අන්තර්ජාලයෙනි)



වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...