වෙබ් ලිපිනය:

Showing posts with label වසංගත. Show all posts
Showing posts with label වසංගත. Show all posts

Sunday, January 31, 2021

ඉන්දියානු මෛත්‍රිය

පසුගිය වසර තුළදී කෝවිඩ් ව්‍යාප්තිය සිදු වූ ආකාරය සැලකුවොත්, වරින් වර ලෝකයේ ඇතැම් රටවල කෝවිඩ් පැතිරීම පාලනය වුනා. චීනය වැනි ඇතැම් රටවල් ඒ පාලනය දිගටම පවත්වා ගන්න සමත් වුනා. වෙනත් ඇතැම් රටවල් වලින් පාලනය ගිලිහුනා. කොහොම වුනත් සමස්තයක් ලෙස ලෝකයම සැලකුවහොත් දිගින් දිගටම සිදු වුනේ ලෝකයේ කොහෙන් හෝ දිනකට හමු වන ආසාදිතයින් ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි.


කවර ආකාරයකින් හෝ පසුගිය සති තුන ඇතුළත මේ ප්‍රවණතාවය ආපසු හැරී තිබෙනවා. ලෝකය පුරා කෝවිඩ් වසංගතයට එරෙහිව එන්නත්කරණය ආරම්භ වී ව්‍යාප්ත වීම සිදු වුනේද මෙයට සමගාමීවයි. කෙසේ වුවත් මේ වනතුරුද එන්නත්කරණයේ රැකවරණය ලබා තිබෙන්නේ ලෝක ජනගහණයෙන් 1%කට ආසන්න පිරිසක් පමණක් නිසා මෙය තනිකරම එන්නතේ බලපෑමෙන් සිදු වූ දෙයක් ලෙස සලකන්න බැහැ.

වසංගතවේද ආකෘති අනුව, සාමාන්‍යයෙන් වසංගතයක් ආරම්භයේදී වේගයෙන් පැතිරී යම් උපරිම මට්ටමකට පැමිණීමෙන් පසුව ස්වභාවිකවම ක්‍රමයෙන් ක්ෂය වී යනවා. මෙසේ වසංගතය පැතිරීම ස්වභාවික ලෙසම මන්දගාමී වෙන්නේ සාමූහික ප්‍රතිශක්ති මට්ටමට ළඟා වීමෙන් පසුවයි. එන්නතකින් කරන්නේ රෝගය ආසාදනය වීමෙන් "නරක ක්‍රමයට" සාමූහික ප්‍රතිශක්තිය ඇති වෙන්නට පෙර වඩා හොඳ ක්‍රමයකට සාමූහික ප්‍රතිශක්තිය ඇති කිරීමයි. 

අලුත් රෝගයක් වූ කෝවිඩ් වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගනිද්දී ඒ සඳහා එන්නතක් තිබුණේ නැහැ. ඒ නිසා, ලෝකයේ හැම රටකටම වගේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෙනත් උපක්‍රම භාවිතා කරන්න සිදු වුනා. පොදු වශයෙන් මෙහිදී සිදු වුනේ සංචරණයට හා සමාජ සම්බන්ධතා වලට සීමා පැනවීමයි. එම උපක්‍රම තාවකාලිකව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වුනා. 

ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවලද මෙවැනි සංචරණ සීමා හේතුවෙන් ආරම්භයේදී වසංගතයේ ව්‍යාප්තිය පාලනය වුවත්, එම සීමා ක්‍රමයෙන් ලිහිල් කරද්දී නැවතත් රෝග ව්‍යාප්තිය ඉහළ ගියා. 

වසර තුළ කාලගුණයේ විශාල වෙනස්කම් සිදුවන බොහෝ බටහිර රටවල එම කාලගුණ වෙනස්වීම් සමඟ මිනිස් හැසිරීම්ද විශාල ලෙස වෙනස් වෙනවා. මෙය රෝග ව්‍යාප්තිය කෙරෙහිද බලපානවා. ස්වභාවික තත්ත්වයන් තුළද ග්‍රීෂ්ම කාලය තුළ රෝග ව්‍යාප්තිය පාලනය වී, ශීත සෘතුව තුළ නැවතත් වඩා දරුණු ආකාරයකින් හිස එසැවිය හැකි බව ඇමරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවල් විසින් වසංගතය ආරම්භයේදීම නිවැරදිව පුරෝකථනය කළා. 

පළමු රැල්ල ඕනෑවට වඩා පාලනය කිරීමෙන් ශීත සෘතුව තුළ පැමිණිය හැකිව තිබුණු දෙවන රැල්ල වඩා භයානක විය හැකි විය හැකි බව ආකෘති අනුව පෙනෙන්නට තිබුණා. ඒ වගේම ග්‍රීෂ්ම සෘතුව තුළ සංචරන සීමා ආදිය යම් තරමකින් ලිහිල් කළද විශාල හානියක් සිදු වන්නට ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා, ඇමරිකාවේ උපක්‍රමය වුනේ ග්‍රීෂ්ම කාලය තුළ සීමාවන් යම් තරමකින් ලිහිල් කර ශීත කාලය තුළ නැවතත් සංචරණ සීමා පිළිබඳව වඩා සැලකිලිමත් වීමයි. දැන් ආපසු හැරී බැලුවොත් සෘතු භේද පැහැදිලිව දැකිය හැකි බොහෝ රටවල රෝග ව්‍යාප්තියේ "රැළි දෙක" පැහැදිලිව දැක ගත හැකියි.  

සමකය ආසන්නයේ පිහිටි ඉන්දියාව වැනි රටකට සෘතු භේද බලපාන්නේ අඩුවෙන්. ඒ නිසා, ඉන්දියාව වැනි රටක රෝග ව්‍යාප්තිය තනි රැල්ලකින් අවසන් විය හැකිව තිබුණා. දැන් ආපසු හැරී බැලුවොත් පෙනෙන පරිදි ඉන්දියාවේ කෝවිඩ් වේගයෙන් ව්‍යාප්ත වී ඒ ව්‍යාප්ත වුනු වේගයෙන්ම අඩු වී ගොස් තිබෙනවා. දින තුනකට පෙර ඉන්දියානු සෞඛ්‍ය ඇමති හර්ෂ් වර්ධන් විසින් ප්‍රකාශ කර සිටියේ මේ වන විට ඉන්දියාව කෝවිඩ් වසංගතය පාලනය කර ගැනීමට සමත්ව සිටින බවයි. ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාද වන හර්ෂ් වර්ධන් වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙක්.


ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718කින් 146කින්ම පසුගිය සතිය තුළ කිසිදු කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නැහැ. මේ වන විට ඉන්දියාවේ සිටින කෝවිඩ් ආසාදිතයින්ගෙන් 78%ක්ම කේරළ, මහා රාෂ්ඨ, උත්තර ප්‍රදේශ්, කර්ණාටක හා බටහිර බෙංගාල ප්‍රාන්ත වලට සීමා වී තිබෙනවා. කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන්නේ ඉන්දියානුවන්ගෙන් 0.8%ක් පමණක් වුවත්, අහඹු රුධිර පරීක්ෂණ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ මෙම ප්‍රමාණය 28-32 ගුණයකින් වැඩි බවයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල මේ වන විටද සාමූහික ප්‍රතිශක්තිය ඇති වී තිබෙන්නට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. 

බිලියන 1.37ක ඉන්දියානු ජනගහණය එන්නත් කිරීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දෙන අතරම කලාපයේ රටවලට එන්නත් මෛත්‍රිය පතුරවන්නටද ඉන්දියාවට හැකි වී තිබෙන්නේ ඉන්දියාව තුළ මේ වන විට කෝවිඩ් ව්‍යාප්තිය ස්වභාවික ලෙසම සෑහෙන තරමකින් පාලනය වී තිබීම නිසයි.

Friday, January 29, 2021

සාමූහික ප්‍රතිශක්තිය දැනටමත් ඇවිත්ද?


පසුගිය සති තුනක කාලය ඇතුළත ඇමරිකාවෙන් දෛනිකව හමුවන කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණයේ සීඝ්‍ර අඩු වීමක් පැහැදිලිව දැක ගත හැකියි. පසුගිය වසර මුල ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව දෛනික ආසාදිතයින් ප්‍රමාණයේ මෙවැනි සීඝ්‍ර අඩු වීමක් දැකිය හැකි වී තිබෙන්නේ පළමු වරටයි. 

දෛනික මරණ ප්‍රමාණයේ ලොකු වෙනසක් තවමත් දැකිය නොහැකි වුනත් මරණ ප්‍රමාණයද අඩු වෙන්නට පටන් ගෙන ඇති බව යාන්තමින් පෙනෙනවා. සාමාන්‍යයෙන් මරණ ප්‍රමාණය අඩු හෝ වැඩි වන්නේ දෛනික ආසාදිතයින් ප්‍රමාණය අඩු හෝ වැඩි වී සති තුනකට පමණ පසුවයි.

ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය වීමට එන්නත්කරණය දායක වී ඇති බවට සැකයක් නැතත්, එය එකම හේතුව විය නොහැකියි. තවමත් එන්නත්කරණය කර තිබෙන්නේ ඇමරිකානු ජනගහණයෙන් 8%ක් පමණයි. 

ජනගහණයෙන් 8%ක් එන්නත්කරණයට ලක්ව තිබෙද්දී ජනගහණයෙන් තවත් 8%ක් මේ වන විට කෝවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා. රට පුරා සිදු කර ඇති අහඹු ප්‍රතිදේහ පරීක්ෂා වල ප්‍රතිඵල අනුව පෙනී ගොස් තිබෙන්නේ සැබෑ කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය හඳුනා ගන්නා ආසාදිතයින් ප්‍රමාණය මෙන් හතර ගුණයක් පමණ විය හැකි බවයි. මේ අනුව, ඇමරිකානු ජනගහණයෙන් 32%කට පමණ මේ වන විට කෝවිඩ් ආසාදනය වී තිබිය යුතුයි. එන්නත් ලබා ගෙන තිබෙන 8%ද එකතු කළොත් එයින් අදහස් වෙන්නේ මේ වන විට ඇමරිකාවේ ජනගහණයෙන් 40%කට පමණ කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබී තිබිය යුතු බවයි.

ඇමරිකාව වැනි විශාල රටක සමස්තයක් ලෙස 40%කට පමණ පිරිසකට කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබෙන විට ඇතැම් ප්‍රදේශ වල මෙම ප්‍රතිශතය සාමූහික ප්‍රතිශක්තිය සඳහා අවශ්‍ය මට්ටමට ලඟා වී තිබිය හැකියි. ඒ අනුව, මේ වන විටද ඇමරිකාව සාමූහික ප්‍රතිශක්තිය කරා පිය නගමින් සිටිනවා වෙන්න පුළුවන්. 


එක්සත් රාජධානියේද මේ ආකාරයේම රටාවක් දැකිය හැකියි. මේ වන විට එක්සත් රාජධානියේ ජනගහණයෙන් 12.3%ක්  එන්නත්කරණය කර තිබෙන අතර ජනගහණයෙන් 5.5%ක් පමණ කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනා ගෙන තිබෙනවා. එක්සත් රාජධානියේ සැබෑ ආසාදිතයින් ප්‍රමාණය හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය මෙන් පස් ගුණයක් පමණ විය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, මේ වන විට එක්සත් රාජධානියේ ජනගහණයෙන්ද 40%කට පමණ කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබී තිබිය යුතු බවයි පෙනෙන්නේ. පසුගිය තෙසතිය තුළ එක්සත් රාජධානියෙන් අළුතින් හඳුනා ගැනෙන දෛනික ආසාදිතයින් ප්‍රමාණය අඩකින් පමණම අඩු වී තිබීම මේ කරුණ සනාථ කරනවා.

Sunday, January 3, 2021

කෝවිඩ් පරීක්ෂාවට මනුෂ්‍ය නොවන දැනුම


ඇමරිකාව තුළ මුලින්ම කෝවිඩ් පැතිරෙද්දී තිබුණු ලොකුම ප්‍රශ්නය ප්‍රමාණවත් තරම් කෝවිඩ් පරීක්ෂණ කට්ටල නැති වීම. නිවු යෝර්ක්, නිවු ජර්සි වගේ ප්‍රාන්ත වල කෝවිඩ් පැතිරෙද්දී පරික්ෂාවට ලක් කර හඳුනා ගැනුනේ කෝවිඩ් ආසාදිතයින් අතරින් දරුණු රෝග ලක්ෂණ පහළ වූ අය පමණයි. ඒ නිසා, ඇමරිකාවේ කෝවිඩ් මරණ අනුපාතය ඉතා ඉහළ මට්ටමක ඇති බව පෙනෙන්නට තිබුණා. සාපේක්ෂව වැඩියෙන් කෝවිඩ් පරික්ෂා කිරීමට සමත් වූ ජර්මනිය වැනි රටවල මරණ අනුපාතයද අඩු මට්ටමක ඇති බව පෙනෙන්නට තිබුණා. කෝවිඩ් පරීක්ෂණ කට්ටල සුලභ වීමෙන් පසුව රෝගය ව්‍යාප්ත වූ රටවල මරණ අනුපාතය තවත් අඩු බව පෙනෙන්නට තිබෙනවා.

කෝවිඩ් පරීක්ෂා සිදු කිරීම ක්ෂණිකව කිරීම අසීරු, තරමක කාලයක් ගත වන කටයුත්තක්. ඒ නිසා, සැක සහිත කෝවිඩ් කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම වැනි දේ ප්‍රචලිතව තිබෙනවා. ඒ වගේම, කෝවිඩ් පරීක්ෂාවන්හි නිරවද්‍යතාවය එතරම් ඉහළ මට්ටමකද නැහැ. කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මිනිසුන්ට නොදැනෙන දේ දැනෙන වෙනත් සතුන් යොදා ගන්න බැරිද?

කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පුහුණු කළ සුනඛයින්ව යොදා ගත හැකි බව මේ වන විට තහවුරු වී තිබෙනවා වගේම රටවල් කිහිපයක්ම මේ ක්‍රමය දැනටමත් යොදා ගන්නවා.

ජර්මන් පර්යේෂක කණ්ඩායමක් විසින් පළ කර තිබෙන පර්යේෂණ පත්‍රිකාවකට අනුව, දින හතක පුහුණුවක් ලැබූ සුනඛයින් අට දෙනෙකුට ස්වයංක්‍රීය ලෙස අහඹු නියැදි 1,012ක් ඉදිරිපත් කිරීමේදී, ඒවායින් 157ක් පොසිටිව් ලෙසත්, 792ක් නෙගටිව් ලෙසත් නිවැරදිව හඳුනා ගැනීමට මේ සුනඛයින් සමත් වී තිබෙනවා. ඔවුන්ට වැරදී තිබෙන්නේ අවස්ථා 63කදී පමණයි.

ප්‍රංශ හා ලෙබනන් පර්යේෂක කණ්ඩායමක් විසින් පළ කර තිබෙන තවත් පර්යේෂණ පත්‍රිකාවට අනුව, ඔවුන් විසින් පරීක්ෂාවට ලක් කළ සුනඛයින් හය දෙනෙකු 76%-100% අතර නිරවද්‍යතාවයකින් යුතුව කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගෙන තිබෙනවා. මේ කෝවිඩ් ආසාදිතයින්ට රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන්නන්ද ඇතුළත්.

පුහුණු කළ සුනඛයෙකුට පැයකට පුද්ගලයින් 250 දෙනෙකු පමණ පරීක්ෂා කළ හැකියි. ෆින්ලන්තය, ඩුබායි, චිලී ඇතුළු රටවල් ගණනාවක කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දැනටමත් සුනඛයින් යොදා ගැනෙනවා.

References

Jendrny, P., Schulz, C., Twele, F., Meller, S., von Köckritz-Blickwede, M., Osterhaus, A. D. M. E., ... & Manns, M. P. (2020). Scent dog identification of samples from COVID-19 patients–a pilot study. BMC infectious diseases, 20(1), 1-7.

Grandjean, D., Sarkis, R., Lecoq-Julien, C., Benard, A., Roger, V., Levesque, E., ... & Berceau-Falancourt, D. (2020). Can the detection dog alert on COVID-19 positive persons by sniffing axillary sweat samples? A proof-of-concept study. PloS one, 15(12), e0243122.


Saturday, January 2, 2021

එන්නත් විරෝධය හමුවේ සාමූහික ප්‍රතිශක්ති අභියෝගය


මේ වෙද්දී ලෝකයේ හැම රටකම වගේ පළමු ඉලක්කය වී තිබෙන්නේ හැකි ඉක්මණින් කෝවිඩ් වලට එරෙහිව සාමූහික ප්‍රතිශක්තිය හදා ගැනීමයි. ඒ සඳහා, විශ්වාසනීයම මාර්ගය වැටී තිබෙන්නේ එන්නත් හරහා. මෙහිදී බොහෝ අඩු ආදායම්ලාභී රටවලට ප්‍රශ්නයක් වී තිබෙන්නේ එන්නත් වල මිල හා එන්නත් ලබා ගැනීමට පොරොත්තු ලේඛණයක ඉන්න වී සිටීමයි.

කෝවිඩ් එන්නත්කරණය අතින් ඉදිරියෙන්ම සිටින රට ලෙස හැඳින්විය හැක්කේ ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය මේ වන විට එරට මිලියන 9කට නොවැඩි ජනගහණයෙන් මිලියනයක්ම එන්නත් කර අවසන්. පසුගිය නොවැම්බර් මාසයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, යුදෙවු හා ග්‍රීක සම්භවයක් ඇති පයිසර් ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බොර්ලා සමඟ පෞද්ගලිකවම කතා කර පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් ඊශ්‍රායලයට කලින්ම ලබා ගැනීමට ගිවිසුමක් ඇති කර ගත්තා. ඇතැම් වාර්තා අනුව, ඊශ්‍රායලය විසින් මේ එන්නත් ලබා ගෙන තිබෙන්නේ ඩොලර් 62ක් තරම් අධික මිලකට. ඇමරිකාව පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් ලබා ගත්තේ ඩොලර් 19.50 බැගිනුයි.

චීන බලධාරියෙකු උපුටා දක්වන බ්ලූම්බර්ග් අනුව චීනය තුළ මේ වෙද්දී කෝවිඩ් එන්නත් මිලියන 4.5ක් ලබා දී තිබෙනවා. මුලින්ම එන්නතක් අනුමත කළ බටහිර රට වන එක්සත් රාජධානිය දෙසැම්බර් 27 වන විට එන්නත් මිලියනයක් පමණ ලබා දී තිබෙන අතර ඇමරිකා එක්සත් ජනපදය දෙසැම්බර් 30 වන විට එන්නත් මිලියන 2.8ක් ලබා දී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීම සඳහා තිබෙන ප්‍රධානම බාධාව රට තුළ තිබෙන ප්‍රබල එන්නත් විරෝධයයි. ජනමත සමීක්ෂණ අනුව, කෝවිඩ් එන්නතක් ලබා ගැනීමට සූදානම්ව සිටින්නේ ඇමරිකානුවන්ගෙන් 58%ක් පමණයි. මේ තත්ත්වය යටතේ දැනට අනුමත කර තිබෙන 95%ක ඵලදායීතාවයක් තිබෙන එන්නත් දෙකෙන්ම ගොඩ යනවා මිස අඩු ඵලදායීතාවයක් තිබෙන ඇස්ට්‍රසෙනිකා වැනි එන්නතකින් ඇමරිකාවට ගොඩ යන්න අමාරුයි. 70%ක ඵලදායී තාවය තිබෙන එන්නතකින් ප්‍රතිශක්තිය ඇති කර හැක්කේ 40%කගේ පමණයි. නමුත්, 95%ක ඵලදායී තාවය තිබෙන එන්නතකින් 55%කගේ ප්‍රතිශක්තිය ඇති කර ගත හැකියි. ඒ ගණනට, කෝවිඩ් හැදී ප්‍රතිශක්තිකරණය ලැබුණු 10%ක් පමණ එකතු වූ විට 65%ක පමණ මට්ටමට යා හැකියි.

එන්නත්කරණය වැනි කටයුත්තක් මධ්‍යගත ඒකාධිපති පාලනයක් ඇති රටකට ප්‍රජාතන්ත්‍රවාදී රටකට වඩා සාර්ථකව කළ හැකියි. ප්‍රජාතන්ත්‍රවාදී රටකට එන්නත් විරෝධීන්ගේ හඬටද ඉඩක් දෙන්න සිදු වෙනවා. ඇමරිකාව තුළ එන්නත් විරෝධීන්ගේ හඬද ප්‍රබලයි.

මේ වියුණුව දිගටම කියවන අය දන්නා පරිදි, මා එන්නත් විරෝධයට එරෙහිව එන්නත්කරණය වෙනුවෙන් පෙනී සිටින අයෙක්. එහෙත්, බලහත්කාරයෙන් එන්නත් කිරීම මා අනුමත කරන්නේ නැහැ. අවශ්‍ය කෙනෙකුට එන්නතක් ලබා ගැනීමේ නිදහස වගේම එන්නතක් ලබා නොගෙන සිටීමේ නිදහසද තිබිය යුතුයි. එන්නත් විරෝධීන්ගේ හඬ කරුණු මත පදනම්ව පරාජය කරනු මිස යටපත් නොකළ යුතුයි.

එන්නත් කියන්නේ කෝකටත් තෛල නෙමෙයි. එන්නත් විරෝධීන් විසින් පෙන්වා දෙන බොහෝ හානි එන්නත් වල ඇත්තටම තිබෙනවා. එන්නත් විරෝධීන් විසින් බොහෝ විට කරන්නේ මේ ඇත්තටම තිබෙන හානි අතිශයෝක්තියෙන් යුතුව උලුප්පා පෙන්වීමයි. එවැනි හානි තිබියදීත් එන්නත්කරණය වෙනුවෙන් පෙනී සිටින මා ඇතුළු බොහෝ දෙනෙක් එසේ කරන්නේ එන්නත් වලින් ලැබෙන වාසි සිදුවන හානි වලට වඩා වැඩි නිසයි.

කෝවිඩ් එන්නත් මහා පරිමාණයෙන් ලබා දීම සිදු වන්නේ සාමාන්‍යයෙන් එන්නතක් පරීක්ෂාවට ලක් කෙරෙන කාලය තුළ ඒවා පරීක්ෂා නොකරයි. ඒ නිසා, මේ එන්නත් වලින් දිගුකාලීනව අතුරු ආබාධ ඇති නොවන බවට අපට සහතික කරන්න බැහැ. නමුත්, එවැනි අතුරු ආබාධ තිබේද කියා දැනගන්නත් කෝවිඩ් වලින් බේරී ජීවත් වෙන්න වෙනවා.

වයස ඇතුළු වෙනත් ඇතැම් සාධක අනුව කෝවිඩ් යනු ඇතැම් අයට ගණන් ගත යුතු මට්ටමේ ලෙඩක් නෙමෙයි. එවැනි අයෙක් එන්නතේ අතුරු ආබාධ වල අවදානම ගන්නවා වෙනුවට කෝවිඩ් වැළඳීමේ අවදානම ගන්නවානම් එවැන්නෙකුගේ පෞද්ගලික තීරණයට ඉඩ දිය යුතුයි. ඇමරිකාවේ එන්නත් විරෝධීන් බොහෝ දෙනෙක් කෝවිඩ් අවදානමද එතරම් දුරට නොතකන අයයි. ඒ නිසා, එවැනි අය එන්නත සඳහා තරඟ නොකර කෝවිඩ් හදා ගැනීමෙන් ප්‍රතිශක්තිය හදා ගැනීම නිසාද අවසාන වශයෙන් ඇමරිකාවට සාමූහික ප්‍රතිශක්ති ඉලක්කයට යාම පහසු වෙනවා. ඒ වගේම, ඔවුන් එන්නත් සඳහා වන තරඟයෙන් ඉවත් වීම නිසා එන්නත් අවශ්‍ය අයට වඩා ඉක්මණින් එන්නතක් ලබා ගැනීමේ අවස්ථාවද හිමි වෙනවා.


Wednesday, December 30, 2020

එක්සත් රාජධානිය එන්නත්කරණය වේගවත් කරයි!


අද දිනයේ (දෙසැම්බර් 30) එක්සත් රාජධානිය විසින් ඇස්ට්‍රසෙනිකා එන්නතටද හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අනුව, ඇස්ට්‍රසෙනිකා එන්නත බටහිර රටක අනුමැතිය ලබන තෙවන එන්නත බවට පත් වෙනවා. 

ඇස්ට්‍රසෙනිකා සමාගමට අනුව, දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි, එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 70.4%ක්. මේ අගය පදනම් වන්නේ සායනික පරීක්ෂණ සඳහා සහභාගී වූ එක්සත් රාජධානියේ හා බ්‍රසීලයේ පුද්ගලයින් 11,636 දෙනෙකුගේ දත්ත මතයි. මෙම ප්‍රමාණය පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා යොදාගත් පුද්ගලයින් ප්‍රමාණයට වඩා අඩු නිසා ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවයද සාපේක්ෂව අඩුයි. ඒ අනුව, මෙහි ඵලදායීතාවය 54.8-80.6% පරාසයේ විචලනය විය හැකියි. 

ඉහත මට්ටමේ ඵලදායීතාවයක් ලැබෙන්නේ දෙවන මාත්‍රාව ලබා දී දින 14කට පසුවයි. එහෙත්, මේ වෙද්දී බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබෙන්නේ හැකි තරම් විශාල පිරිසකට ඉතා ඉක්මණින් එන්නතේ එක් මාත්‍රාවක් ලබා දීමටයි. ඒ නිසා, එන්නතේ ඵලදායීතාවය මීට වඩා බෙහෙවින්ම අඩු විය හැකියි.

මොඩර්නා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 94.1% වන අතර එය 89.3-96.8% පරාසයේ විචලනය විය හැකියි. පයිසර්-බයෝඑන්ටෙක් එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 95.0% වන අතර එය 90.3-97.6% පරාසයේ විචලනය විය හැකියි. 

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත මුලින්ම අනුමත කළේද එක්සත් රාජධානියයි. මේ වන විට එක්සත් රාජධානිය තීරණය කර තිබෙන්නේ එම එන්නතද පළමුව එක් මාත්‍රාවක් බැගින් හැකි තරම් වැඩි පිරිසකට ලබා දීමටයි. පයිසර්-බයෝඑන්ටෙක් සමාගම් වලට අනුව, පළමු මාත්‍රාව ලබා දී දෙවන මාත්‍රාව ලබා දෙන්නට පෙර කාලය තුළ එම එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 52.4%ක්. එම අගය 29.5-68.4% පරාසයේ විචලනය විය හැකියි.

එක්සත් රාජධානිය විසින් දැනටමත් ඇණවුම් කර තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් හා ඇස්ට්‍රසෙනිකා එන්නත් ප්‍රමාණය රටේ ජනගහණයට අවශ්‍ය එන්නත් ප්‍රමාණයට වඩා වැඩියි. ඒ නිසා, මුලින් එක් මාත්‍රාවක් බැගින් ලබා දුන්නත් දෙවන මාත්‍රාවද ඉතා ඉක්මණින් ලබා දෙන්න පුළුවන් වෙයි.

ඇස්ට්‍රසෙනිකා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය අඩු වුවත්, එම එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තබා ගත හැකිවීම එහි ඇති වැදගත් වාසියක්. එමෙන්ම, මේ එන්නත අඩුආදායම්ලාභී රටවලට දරා ගත හැකි, ඩොලර් 4කට නොවැඩි මිලකට අලෙවි කිරීමට නියමිතයි. 

ලෝකයේ සෑම රටකම 20%ක ජනගහණයකට හැකි ඉක්මණින් කෝවිඩ් එන්නතක් ලබා දීමේ අරමුණින් ලෝක බැංකුව විසින් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 300ක් වෙන් කර ගෙන ඇතත් එම ප්‍රමාණය සෑහෙන්නේ ලෝක ජනගහණයෙන් 2%කට පමණයි. රටවල් ගණනාවක්ම තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් දැනටමත් එන්නත් වෙන් කර ගෙන හෝ වෙන් කර ගනිමින් සිටින නිසා, 20% කෙසේ වෙතත්, ඉතිරිවන රටවල 5%ක පමණවත් ප්‍රතිශතයකට මෙම එන්නත් ලබා ගන්න ඉඩ සැලසෙයි කියා හිතන්න පුළුවන්. 

චීනය විසින්ද අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ඔවුන්ගේ සිනෝපාර්ම් එන්නත සායනික පරීක්ෂණ වලදී 79.34%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි. එහෙත්, අමතර තොරතුරු කිසිවක් නැති නිසා මේ ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවය පිළිබඳව දැනට තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. 

අනුමත වූ පළමු කෝවිඩ් එන්නත ලෙස හඳුන්වා ගන්නා රුසියාවේ ස්පුට්නික්-වී එන්නත එරට විසින් අනුමත කළේ තෙවන අදියරේ සායනික පරීක්ෂණ සිදු නොකරයි. දෙසතිකට පෙර ඉදිරිපත් කළ සායනික පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම එන්නතේ ඵලදායීතාවය 91.4%ක්.

රුසියානු එන්නතේ මාත්‍රා බිලියන 2.4ක් සඳහා ඉන්දියාව, බ්‍රසීලය, චීනය, දකුණු කොරියාව ඇතුළු රටවලින් ඇනවුම් ලැබී ඇති බව සඳහන්ව තිබෙන අතර එන්නතක් ඩොලර් 10කට නොවැඩි මිලකට ලබා දෙන බවද සඳහන්ව තිබෙනවා. 

ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා රුසියානු ස්පුට්නික්-වී එන්නතේ හා ඇස්ට්‍රසෙනිකා එන්නතේ මිශ්‍රණයක් ලබා දීමේ හැකියාවද මේ වන වට පරීක්ෂා කෙරෙමින් පවතිනවා.


Tuesday, December 29, 2020

කෝවිඩ් ජාතිකත්වය


මා පෙර ලිපියක විස්තර කළ පරිදි, ඇමරිකාව විසින් කෝවිඩ් එන්නත් වැඩි දියුණු කිරීම සඳහා කරන ආයෝජන වශයෙනුත්, එන්නත් මිල දී ගැනීම සඳහා කරන පෙර ගෙවුම් ලෙසත්, සමාගම් ගණනාවකට ඩොලර් බිලියන 12කට ආසන්න මුදලක් ගෙවා තිබෙනවා. මේ ආයෝජන හා පෙර ගෙවුම් සිදු කර තිබෙන්නේ අදාළ එන්නත් සාර්ථක වනු බවට කිසිදු සහතිකයක් නැතිවයි. වෙනත් විදිහකට කිවුවොත් නැති එන්නත් මිල දී ගැනීම වෙනුවෙන් ඇමරිකානුවන්ගේ බදු මුදල් වලින් ඩොලර් බිලියන 12ක පමණ මුදලක් වැය කර තිබෙනවා.

මේ ආකාරයෙන් එන්නත් හදන්නත් කලින් එන්නත් මිල දී ගත් එකම රට ඇමරිකාව නෙමෙයි. ඇමරිකාව මෙන්ම අනෙකුත් බටහිර රටවල් සියල්ලම මෙන්ම නැති එන්නත් මිල දී ගැනීම වෙනුවෙන් විශාල මුදලක් වැය කර තිබෙනවා. මේ විදිහට සමාගම් ගණනාවකට අදාළ එන්නත් හදන්න කලින්ම පෙර ගෙවුම් කිරීමෙන් කර තිබෙන්නේ ඔට්ටු ඇල්ලීමක්. එම රට වලට ගත් අවදානම වෙනුවෙන් මේ වෙද්දී ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. 

විවිධ රටවල් විසින් පෙර ගෙවුම් ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අවම වශයෙන් එන්නත් බිලියන 8ක් මේ වන විට විකිණී අවසන්. එය ලෝක ජනගහණය ඉක්මවන ප්‍රමාණයක්. එක් අයෙකුට බොහෝ විට එන්නත් දෙකක් අවශ්‍ය වන නිසා මේ එන්නත් ප්‍රමාණය අවම වශයෙන් ලෝක ජනගහණයෙන් බාගයකට ප්‍රමාණවත් වුවත්, එම එන්නත් ලෝකයේ රටවල් අතර ජනගහණයට සමානුපාතිකව බෙදී යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. උදෙන්ම ඇහැරුණු කුරුල්ලෝ වැඩියෙන් පණුවෝ අල්ලයි.

ඇමරිකාව වෙනුවෙන් සමාගම් හයකින් දැනටමත් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය මිලියන 550 කට ප්‍රමාණවත්. එහෙත්, ඇමරිකාවේ ජනගහණය මිලියන 330ක් පමණයි. ඒ අනුව, රටේ ජනගහණය මෙන් 167%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් වෙනුවෙන් ඇමරිකාව මේ වන විට මුදල් ගෙවා අවසන්. එහෙත්, මේ එන්නත් වලින් මේ වන තුරු අනුමත වී තිබෙන්නේ සමාගම් දෙකක එන්නත් පමණයි. එම සමාගම් දෙකෙන් මිල දී ගැනෙන එන්නත් වුවත් ජනගහණයෙන් 60%කට ප්‍රමාණවත්. එම මට්ටමේදී සාමූහික ප්‍රතිශක්තිය ඇති වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ඊයේ උදේ වෙද්දී ඇමරිකානුවන් 2,127,143 දෙනෙකු විසින් කෝවිඩ් එන්නතක් ලබාගෙන තිබුණා. මේ ප්‍රමාණය ලෝකයේ කිසියම් රටක ලබා දී තිබෙන වැඩිම එන්නත් ප්‍රමාණය වුවත්, එම ප්‍රමාණය ඇමරිකාවේ ජනගහණයෙන් 0.64%ක් පමණයි.

මේ කාර්යයේදී වෙනත් බටහිර රටවල් ගණනාවක්ම ඇමරිකාවටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. මිලියන 38ක ජනගහණයක් සිටින කැනඩාව විසින් සමාගම් හතකින් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය මිලියන 117කට, එනම් රටේ ජනගහණය මෙන් 308%කට, ප්‍රමාණවත්.දැනට අනුමත වී තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් පමණක් වුවත් කැනේඩියානුවන්ගෙන් 80%කට ප්‍රමාණවත්. ඒ මට්ටමේදී කැනඩාව තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති නොවන්නට හේතුවක් නැහැ. මේ වන විට අවම වශයෙන් කැනේඩියානුවන් 52,324 දෙනෙකු විසින් එන්නත ලබා ගෙන තිබෙනවා. එහෙත්, එම ප්‍රමාණය කැනඩාවේ ජනගහණයෙන් 0.16%ක් පමණයි.

එක්සත් රාජධානිය විසින් සමාගම් හතකින් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය එරට ජනගහණය මෙන් 290%කට ප්‍රමාණවත්. එහෙත්, එක්සත් රාජධානිය විසින් මේ වන තුරු අනුමත කර තිබෙන්නේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නත පමණයි. එම එන්නතෙන් මිල දී ගෙන ඇති ප්‍රමාණය එරට ජනගහණයෙන් 30%කට ප්‍රමාණවත්. එක්සත් රාජධානිය විසින් වැඩිපුර ඔට්ටු දමා තිබෙන්නේ ඇස්ට්‍රසෙනිකා එන්නත වෙනුවෙනුයි. ඇස්ට්‍රසෙනිකා එන්නත එක්සත් රාජධානිය තුළ ඉතා ඉක්මණින් අනුමත වේයැයි අපේක්ෂිතයි. එම එන්නත අනුමත වුවහොත්, එක්සත් රාජධානියේ ජනගහණයෙන් ඉතිරි 70% සඳහා අවශ්‍ය වන එන්නත් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් එරටට ලැබෙනවා. දැනට ලැබී තිබෙන දත්ත අනුව, ඇස්ට්‍රසෙනිකා එන්නතේ ඵලදායීත්වය අඩු නිසා එරටට සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීම සඳහා ජනගහණයෙන් 90%ක් පමණ එන්නත් කරන්න අවශ්‍ය විය හැකියි. එක්සත් රාජධානිය තුළ මේ වන විට අවම වශයෙන් 625,981 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. එම ප්‍රමාණය ජනගහණයෙන් 1.18%ක්. මේ අනුව, එන්නත්කරණය අතින් එක්සත් රාජධානිය ඇමරිකාවට හා කැනඩාවට වඩා ඉදිරියෙන් සිටිනවා.

යුරෝපීය සංගමය විසින්ද කලාපයේ රටවල ජනගහණය මෙන් 170%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් වෙනුවෙන් සමාගම් හයකට පෙර ගෙවුම් කර තිබෙනවා. දැනට අනුමත කර තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙන් යුරෝපීය සංගමයට ලැබෙන ප්‍රමාණය කලාපයේ ජනගහණයෙන් 22%කට ප්‍රමාණවත්. යුරෝපීය සංගමය විසින් මේ වන විට ඇස්ට්‍රසෙනිකා, මොඩර්නා හා ජැන්සෙන් (ජොන්සන් සහ ජොන්සන්) එන්නත් අනුමැතිය සඳහා සලකා බලමින් සිටිනවා. එම සමාගම් වලට කර ඇති පෙර ගෙවුම් මත යුරෝපීය සංගමයට ලැබෙන එන්නත් ප්‍රමාණය ජනගහණයේ ඉතිරි 78% සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත්.

ඕස්ට්‍රේලියාව එරට ජනගහණයට අවශ්‍ය ප්‍රමාණය මෙන් 230% කටද, නවසීලන්තය එරට ජනගහණයට අවශ්‍ය ප්‍රමාණය මෙන් 247% කටද පෙර ගෙවුම් කර ඇතත් එම රටවල් විසින් තවමත් කිසිදු එන්නතක් අනුමත කර නැහැ.

ලෝකයේ රටවල් අතරින් කෝවිඩ් එන්නත්කරණයෙන් මේ වන විට ඉදිරියෙන්ම සිටින රට ඊශ්‍රායලයයි. මිලියන 9ක පමණ ජනගහණයක් සිටින ඊශ්‍රායලය මේ වන විටද 495,000 දෙනෙකු එන්නත් කර අවසන්. මේ ප්‍රමාණය එරට ජනගහණයෙන් 5.7%ක් පමණ වන අතර එරටෙන් මෙතෙක් හඳුනාගෙන තිබෙන කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය වන 409,338ද ඉක්මවනවා. ඊශ්‍රායලය විසින් පයිසර්-බයෝඑන්ටෙක් සමාගම සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම අනුව එන්නත් මිලියන 8ක්ද, මොඩර්නා සමාගම සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම අනුව තවත් එන්නත් මිලියන 6ක්ද, එරටට හිමි වෙනවා. මෙම ප්‍රමාණය මිලියන 7කට, එනම් ඊශ්‍රායලයේ ජනගහණයෙන් 80%කට පමණ, ප්‍රමාණවත්. මේ එන්නත් දෙකේම ඵලදායීතාවය 95% මට්ටමේ තිබෙන නිසා ලෝකයේ මුලින්ම සාමූහික ප්‍රතිශක්තිය ලබන රට ඊශ්‍රායලය විය හැකියි. හරියටම දිනන අස්සයින්ට ඔට්ටු දමමින් අඩුම වියදමකින් ඉලක්කයට යන්නට සමත්වීම ඊශ්‍රායලය සතු උපාය මාර්ගික හැකියාව හොඳින් පෙන්වා දෙනවා.


උදෙන් ඇහැරුණු කුරුල්ලන් ලොකු පණුවන් කලින්ම අල්ලා ගනිද්දී, දවල් වන තුරු නිදා ගන්නා කුරුල්ලන්ගේ අහිංසක පැටවුන්ට බඩගින්නේ ඉන්න වෙනවා. ඒ අයගේ පිහිටට ඉන්නේ ලෝක බැංකුවයි. ලෝක බැංකුව විසින් එන්නත් දැනටමත් ඇනවුම් කර නැති රටවල් වලට අවම එන්නත් ප්‍රමාණයක් ලබා දීම සඳහා සමාගම් තුනක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එහෙත්, ඒ එන්නත් අතරින් එළැඹෙන 2021 වසර තුළ සාර්ථක ප්‍රතිඵල පෙන්වීමේ ශක්‍යතාවයක් තිබෙන්නේ ඇස්ට්‍රසෙනිකා එන්නතට පමණයි. 

ලෝක බැංකුව විසින් මිලියන 200ක් මිලදී ගන්න සූදානම්ව සිටින යූබීඅයි එන්නත තවමත් තිබෙන්නේ සතුන් යොදවා පරීක්ෂා කරන අදියරකයි. ලෝක බැංකුව විසින් තවත් මිලියන 200ක් මිලදී ගන්න සූදානම්ව සිටින සනෝෆි එන්නත මිනිසුන් තුළ ප්‍රතිශක්තිකරණය ඇති කිරීමට සමත්ව නැහැ. එම එන්නත වෙනුවෙන් වැය කළ ඩොලර් බිලියන 2.1ක ඇමරිකානු බදු මුදල්ද, යුරෝපීය සංගමය, එක්සත් රාජධානිය හා කැනඩාව විසින් වැය කළ මුදල්ද දැනට පෙනෙන විදිහටනම් වතුරේ. 

කොවැක්ස් වැඩසටහන යටතේ ලෝක බැංකුවට දැනට ලැබෙන බවට සහතිකයක් තිබෙන්නේ මිලියන 150කට ප්‍රමාණවත් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 300ක් පමණයි. මේ එන්නත් ලබා ගන්නට බලා සිටින රටවල ජනගහණය සැලකූ විට, ලෝක බැංකුවේ ඉලක්කය සෑම රටකම අවම වශයෙන් 20%ක්වත් එන්නත් කෙරෙනු ඇති බවට වගබලාගැනීම වුවත්, සැබැවින්ම යා හැක්කේ 2% මට්ටමට පමණයි. 


Sunday, December 27, 2020

කෝවිඩ් එන්නත් හා ඇමරිකන් සල්ලි



ඊයේ (26) උදේ වන විට ඇමරිකානුවන් මිලියන දෙකකට ආසන්න පිරිසක් (1,944,585 දෙනෙකු) විසින් කෝවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා. එතරම්ම නරක තත්ත්වයක් නෙමෙයි.

මේ වන විට කෝවිඩ් එන්නත් තරඟය තුළ ඉදිරියෙන්ම සිටින්නේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නතයි. මෙම එන්නත සඳහා හෝ වෙනත් කෝවිඩ් එන්නතක් සඳහා ඇමරිකාව තුළ පූර්ණ අනුමැතිය ලැබී නැහැ. එහෙත්, පවතින හදිසි තත්ත්වය යටතේ පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් ඇමරිකාව තුළ තාවකාලිකව භාවිතා කිරීම සඳහා මේ වන විට අනුමැතිය ලබා දී තිබෙනවා.

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත අනුමත කර තිබෙන්නේ වයස අවුරුදු 16ට වඩා වැඩි අයටයි. මොඩර්නා එන්නත අනුමත කර තිබෙන්නේ වයස අවුරුදු 18ට වඩා වැඩි අයටයි. ඇමරිකාවේ ජනගහණය මිලියන 330ක් පමණ වෙනවා. එයින් 20%ක් පමණ වයස අවුරුදු 16ට අඩු අයයි. ඒ අනුව, වයස අවුරුදු 16ට වැඩි ඇමරිකානුවන් ප්‍රමාණය මිලියන 264ක් පමණ වෙනවා. කෝවිඩ් එන්නත් සඳහා ඉල්ලුම එන්නේ මේ පිරිස අතරිනුයි.

ඇමරිකානු රජය විසින් පසුගිය ජූලි මාසයේදී ඩොලර් බිලියන 1.95ක මුදලකට පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් මිලියන 100ක් ලබා ගැනීම සඳහා (එක් එන්නතක් ඩොලර් 19.50 බැගින්) එම සමාගම් සමඟ ගිවිසුමක් අත්සන් කළා. ඒ එම සමාගම් විසින් තෙවන අදියරේ සායනික පරීක්ෂණ ආරම්භ කරමින් සිටියදී. මේ වෙද්දී ඇමරිකාව තුළ බෙදා හැරෙමින් තිබෙන්නේ එම ගිවිසුම අනුව ඇමරිකාවට හිමි විය යුතු පළමු වටයේ නිපදවන එන්නත්. මේ එන්නත් වලින් මිලියන 25ක් දෙසැම්බර් 31 වන විටත්, ඉතිරි එන්නත් මිලියන 75 මාර්තු 31 වන විටත් ලැබෙන්නට නියමිතයි.

ඉන් පසුව, පසුගිය සතියේ ඇමරිකානු රජය හා පයිසර්-බයෝඑන්ටෙක් සමාගම් අතර දෙවන ගිවිසුමක්ද අත්සන් කළා. ඒ අනුව, ඩොලර් බිලියන 1.95ක මුදලකට පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් තවත් මිලියන 100ක් ඇමරිකානු රජය විසින් මිල දී ගෙන තිබෙනවා. ගිවිසුම අනුව මේ එන්නත් වලින් මිලියන 70ක් ජූනි මාසය අවසන් වන විටත්, ඉතිරි මිලියන 30 ජූලි මාසය තුළත් ඇමරිකානු රජයට සැපයිය යුතුයි.

මේ අයුරින්ම ඇමරිකානු රජය විසින් පසුගිය අගෝස්තු මාසයේදී මොඩර්නා එන්නත් මිලියන 100ක් මිල දී ගැනීම සඳහාද ගිවිසුම් අත්සන් කළා. ඒ ඩොලර් බිලියන 1.525ක මුදලකට. ඒ වන විට ඇමරිකානු රජය විසින් එන්නත වැඩි දියුණු කිරීම සඳහා එම සමාගමට ඩොලර් මිලියන 955ක මුදලක්ද ලබා දී තිබුණා. එම එන්නත් වලින් මිලියන 20ක් දෙසැම්බර් 31 වන විට ලැබෙන්නට නියමිතයි. 

ඇමරිකානු රජය හා මොඩර්නා සමාගම අතර ඇති කරගත් මුල් ගිවිසුම අනුව ඇමරිකානු රජයට අවශ්‍යනම් තවත් එන්නත් මිලියන 400ක් දක්වා එන්නතක් ඩොලර් 16.50 බැගින් මිල දී ගත හැකියි. ඒ අනුව, මේ වන විට ඩොලර් බිලියන 1.65ක මුදලකට මිලියන 100ක දෙවන එන්නත් තොගයක්ද ඇමරිකානු රජය විසින් මොඩර්නා සමාගමෙන් මිල දී ගෙන තිබෙනවා. එම එන්නත් මිලියන 100ද ඇතුළුව ඉතිරි එන්නත් මිලියන 180ක ප්‍රමාණය ජූනි අවසානය වන විට ලැබෙන්නට නියමිතයි.

මේ අනුව, මේ වන විට අනුමත කර තිබෙන එන්නත් දෙකෙන් එකකින් මිලියන 200 බැගින් එන්නත් මිලියන 400ක් ජූලි මාසය අවසාන වන විට ඇමරිකානු රජය වෙත ලැබෙනවා. ඇමරිකානු රජය විසින් මිලක් අය නොකර මෙම එන්නත් ඇමරිකානුවන් වෙත බෙදා හරිමින් සිටිනවා. 

මිලියන 264ක් පමණ වන වයස අවුරුදු 16 ඉක්මවූ ඇමරිකානුවන්ගෙන් 75%කට වඩා වැඩි පිරිසකට මෙම එන්නත් ප්‍රමාණය ප්‍රමාණවත්. ඊට වඩා වැඩි ඇමරිකානුවන් පිරිසක් එන්නත ලබා ගැනීම සඳහා පැමිණේද යන්න සැක සහිතයි. දැනට කර ඇති සමීක්ෂණ අනුව එන්නත ලබා ගැනීමට සූදානමින් ඉන්නේ ඇමරිකානුවන්ගෙන් 60%ක් පමණයි. වැඩිහිටි ඇමරිකානුවන්ගෙන් 75%ක් පමණ මේ එන්නත් දෙකෙන් එකක් ලබා ගත්තොත් ඇමරිකාව තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති වී වසර මැද වන විට කෝවිඩ් උවදුර ඇමරිකාවෙන් තුරන් වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. එසේ සිදු නොවුනොත් ඒ අවශ්‍ය පමණ ඇමරිකානුවන් පිරිසක් විසින් එන්නත ලබා නොගැනීම නිසා මිස එන්නත් ප්‍රමාණවත් නොවීම නිසා නෙමෙයි. 

එන්නත් තරඟය තුළ මුලින්ම ඉදිරියෙන් සිටියේ ඇස්ට්‍රසෙනිකා එන්නතයි. මා සේවය කරන ආයතනය මුල්වද මාස ගණනක සිට ඇස්ට්‍රසෙනිකා එන්නතේ ඵලදායීතාවය පිළිබඳ සසම්භාවී සායනික පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතිනවා. ඇමරිකානු රජය විසින් ඩොලර් බිලියන 1.2ක මුදලකට ඇස්ට්‍රසෙනිකා එන්නත් මුල් තොගයෙන් මිලියන 300ක් ඇණවුම් කර තිබුණත්, මේ වන විට මේ එන්නතේ ඵලදායීතාවය පිළිබඳ සැක සංකා මතු වී තිබෙනවා. සාර්ථක වුවහොත්, මේ එන්නත සාපේක්ෂව මිල අඩු එන්නතක් වනු ඇති.

ඇමරිකානු රජය විසින් ජොන්සන් සහ ජොන්සන් සමාගමටද එන්නත් සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 456ක් ලබා දී තිබෙන අතර එම එන්නත සාර්ථක වුවහොත් ඩොලර් බිලියනයක මුදලකට එන්නත් මිලියන 100ක් ලබා ගැනීමට නියමිතයි. දැනට සිදු කෙරෙන එම එන්නතේ තෙවන අදියරේ සායනික පරීක්ෂණ වල ප්‍රතිඵල ජනවාරි මාසයේදී ලැබෙන්නට නියමිතයි. මේ එන්නත සාර්ථක වුවහොත් ප්‍රතිශක්තිකරණය ඇති වීමට තනි එන්නතක් ප්‍රමාණවත් විය හැකියි. ඒ නිසා එන්නත් මිලියන 100 එම ප්‍රමාණයේ පිරිසකට ප්‍රමාණවත්.

සනෝෆි සමාගමේ එන්නත වැඩි දියුණු කිරීම සඳහා සහ එන්නත් මිලියන 100ක් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජය විසින් ඩොලර් බිලියන 2.1ක් වැය කළා. එහෙත්, මේ වන විට පෙනී ගොස් ඇති පරිදි එම එන්නතෙන් අපේක්ෂා කළ පරිදි ප්‍රතිශක්තිය ඇති වී නැහැ. 

ඇමරිකානු රජය විසින් නොවාවැක්ස් සමාගමටද එන්නත් සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දී තිබෙනවා. මෙම එන්නතේ තෙවන අදියරේ සායනික පරීක්ෂණද මේ වන විට පැවැත්වෙනවා. එන්නත සාර්ථක වුවහොත් ලබන වසරේ පළමු කාර්තුව තුළ ඇමරිකාවට නොවාවැක්ස් එන්නත් මිලියන 100ක් ලැබෙනවා.

මේ අනුව, සහතිකයක් නැතත්, ඉදිරි මාස කිහිපය තුළ ඇස්ට්‍රසෙනිකා, ජොන්සන් සහ ජොන්සන් හා නොවාවැක්ස් එන්නත් වල ඵලදායීතාව තහවුරු වී ඇමරිකාවට තවත් එන්නත් මිලියන 500 දක්වා ප්‍රමාණයක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. එම ප්‍රමාණය මිලියන 300කට ප්‍රමාණවත්. එසේ වුවහොත්, ඇමරිකාවේ එන්නත් ඉල්ලුම ජූලි මාසයට මාස ගණනක් කලින්ම සම්පූර්ණ වෙන්න පුළුවන්. 

සමහර විට ඇමරිකන් රජය විසින් වැඩියෙන් ඇණවුම් කළ වෙන්ටිලේටර් රටින් රටට බෙදා ගෙන ගියා වගේ ලබන වසර මැද වෙද්දී අඩු ආදායම්ලාභී රටවලට එන්නත් බෙදාගෙන යන්න වුනත් බැරිකමක් නැහැ.

දැනට වැඩි දියුණු වී තිබෙන හා වැඩි දියුණු වෙමින් පවතින කෝවිඩ් එන්නත් ඉක්මණින් බිහිවීම සඳහා ඇමරිකන් රජයෙන් ලැබුණු තල්ලුවේ දායකත්වය ඉතාම විශාලයි. ඇමරිකන් රජය විසින් එන්නත් සංවර්ධනය සඳහා ලෝබ නැතිව වියදම් කරන්නේ ණයට ගන්නා සල්ලි. ඒ සල්ලි වලින් ඇමරිකානුවන්ට වැඩක් වුනත්, ඇමරිකානුවන් නොවන අයට වැඩක් වුනත්, කාටවත් වැඩක් නොවී අපතේ ගියත්, අවසාන වශයෙන් මේ ණය ගෙවන්න වෙන්නේ ඇමරිකානුවන්ටයි.


Thursday, December 24, 2020

නත්තලට එන්නතක්!


ලොකු සාද හෝ එකතු වීම් නැතිව, පවුලේ සාමාජිකයින් පමණක් එකතුව පවත්වන මෙවර නත්තල ඇමරිකානුවන්ට සරු නත්තලක් කියා මොන විදිහකින්වත් කියන්න බැහැ. මේ වන විට ඇමරිකානුවන්ගෙන් දහසකට එක් අයෙක් කෝවිඩ්-19 හේතුවෙන් මිය ගිහින්. මේ වන විටත් දිනකට තවත් මරණ තුන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ඉහත ගණනට එකතු වෙනවා. කොහොම වුනත්, මෙවර නත්තලේදී නත්තල් සීයා අරගෙන එන වටිනාම තෑග්ග කෝවිඩ්-19 එන්නතක්.

කෝවිඩ්-19 සඳහා වන පයිසර්-බයෝඑන්ටෙක් එන්නතට පසුගිය 11 වනදාත්, මොඩර්නා එන්නතට පසුගිය 18 වනදාත් පවතින හදිසි තත්ත්වය යටතේ ඇමරිකාව තුළ භාවිතය සඳහා අවසර ලැබුණා. ඊයේ (දෙසැම්බර් 23) උදෑසන වන විට ඇමරිකානුවන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් විසින් මේ එන්නත් දෙකෙන් එකක පළමු මාත්‍රාව ලබා ගෙන තිබුණා. 

පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් දෙකේම ඵලදායීතාවය ආසන්න වශයෙන් 95% තරම් ඉහළ අගයක්. මුල් අදියරේදීම මෙතරම් ඉහළ ඵලදායීතාවයක් තිබෙන එන්නත් නිපදවා ගැනීමට හැකි වීම අපේක්ෂා කළාට වඩා ගොඩක් හොඳ තත්ත්වයක්. 70% තරමේ ඵලදායීතාවයක් ඇති එන්නතකට වුවත් මුල් අදියරේදී හදිසි භාවිතාව සඳහා අනුමැතිය ලැබිය හැකිව තිබුණා. ලෝක ඉතිහාසය තුළ මිනිස් වර්ගයා විසින් මෙතරම් සාර්ථක ලෙස හා මෙවැනි කෙටි කලකින් මෙවැනි දරුණු වසංගතයකට මුහුණ දිය හැකි සාර්ථක ක්‍රමයක් සොයාගත් මුල් අවස්ථාව මෙය විය හැකියි.

අවම වශයෙන් ලෝකයේ රටවල් ගණනාවක සමාගම් දෙසීයකට අධික ප්‍රමාණයක් කෝවිඩ්-19 සඳහා එන්නත් නිපදවීමේ කාර්යය තුළ සිටියා. ඉක්මන් හා සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න හේතු වුනේ මේ එන්නත් නිෂ්පාදකයින් අතර වූ තරඟයයි.

මේ විදිහට තරඟ නොකර කවුරුත් එකතු වී එක එන්නතක් නිපදවූවානම් මීට වඩා හොඳ නැද්ද?

පැහැදිලිවම නැහැ. එන්නතක් "සොයා ගැනීමේ" මූලික කටයුතු ටික කරන්න මහා විශාල පිරිසක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම, ඒ වැඩේට විශාල කාලයක් යන්නේත් නැහැ. සමහර විට අවශ්‍ය දැනුම හා පුහුණුව තිබෙන හත් අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට සති කිහිපයක් තුළ කළ හැකි දෙයක්. මේ දැනුම හා පුහුණුව තිබෙන අය ලෝකයේ බොහෝ රටවල ඉන්නවා. ඒ හැමෝම එකතු වුනා කියලත් ඔය වැඩේ ඔයිට වඩා හොඳින් හෝ ඉක්මණින් කරන්න බැහැ. එහෙම වුනානම් වෙන්නේ දැන් තිබෙන දෙසිය ගණනක් වන විකල්ප වෙනුවට එක් විසඳුමක් පමණක් ඉතිරි වීමයි. එහි ඵලදායීතාවය ඉහළ මට්ටමක නොතිබෙන්න පුළුවන්.

එහෙමනම් එන්නතක් හදන්න අවුරුද්දකට කිට්ටු කාලයක් ගියේ ඇයි?

ඇත්තටම එන්නත් හදන්න සති කිහිපයකට වඩා කාලයක් ගත වී නැහැ. ඉතිරි කාලය අවශ්‍ය වන්නේ මේ එන්නත් වල සුරක්ෂිතතාව හා ඵලදායීතාවය පරීක්ෂා කර තහවුරු කරන්නයි. ඒ සඳහා නිශ්චිත අවම කාලයක් යනවා. එන්නත ලබා දී වසර දෙකකට පසුව එහි අතුරු ආබාධයක් නොඑන බව තහවුරු කරගන්නනම් අඩුම වශයෙන් වසර දෙකක් ඉන්නම වෙනවා. වැඩියෙන් මුදල් හා පිරිස් බලය යෙදෙවූවා කියා මේ කාලය අඩුකරන්න පුළුවන්කමක් නැහැ. 

අපි හිතමු වෙනත් කිසියම් විකල්ප ක්‍රමයකින් කෝවිඩ්-19 වැළැක්විය හැකි ක්‍රමයක් ඉක්මණින් හොයා ගත්තා කියලා. එහෙම හොයා ගත්තත් එහි සුරක්ෂිතතාව හා ඵලදායීතාවය පරීක්ෂා කර තහවුරු කර ගැනීම සඳහා ඔය වගේම කාලයක් ගතවෙනවා. එහෙම නැතුව එය කෝවිඩ්-19 වලක්වන බව නිශ්චිතව කියන්න පුළුවන්කමක් නැහැ. යම් කෙනෙකුට එවැනි නිසි පරීක්ෂාවකින් තොරව අදාළ විකල්ප ක්‍රමය පිළිබඳව විශ්වාසය තැබීමේ හැකියාව තිබෙනවා. එය සමාන කළ හැක්කේ කෝවිඩ්-19 සඳහා වන එන්නතක් එය "සොයා ගත්" වහාම නිසි පරීක්ෂාවකින් තොරව භාවිතා කිරීමටයි. 

උදාහරණයක් විදිහට මොඩර්නා එන්නත වැඩි දියුණු කළ වහාම, සායනික පරීක්ෂණ කිසිවක් සිදු නොකර කිසියම් රටක රජයක් මැදිහත් වී එය මහා පරිමාණයෙන් ඒ රටේ මිනිස්සුන්ට ලබා දුන්නා කියා හිතමු. එසේ කළානම් ඒ රට කෝවිඩ් වලින් සම්පූර්ණයෙන්ම වාගේ බේරෙන්න ඉඩ තිබුණා. හැබැයි එය එසේ විය හැකිව තිබුණු බව අප දන්නේ දැනුයි. යම් හෙයකින් මේ එන්නත ඵලදායී නොවූවානම් ඒ විදිහට එන්නත ලබා දුන්නා කියා කිසිම වැඩක් වෙන්නේ නැහැ. 

එන්නතක ඵලදායීතාවය කියා කියන්නේ කුමක්ද?

පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් දෙකේම ඵලදායීතාවය ආසන්න වශයෙන් 95% පමණ බව ගොඩක් අයට ඇහිලා ඇතිනේ. මෙයින් අදහස් වෙන්නේ කුමක්ද? එන්නත ලබාගත්තාට පසුවත් කෝවිඩ්-19 හැදෙන්න 5%ක ඉඩක් තිබෙනවා කියන එකද? 

පැහැදිලිවම නැහැ. එය අනිවාර්යයෙන්ම ඊට වඩා අඩු සම්භාවිතාවක්. 

එන්නතක් ලබා ගත්තත් නැතත් හැමෝටම කෝවිඩ්-19 හැදෙන්නේ නැහැ. ඒ නිසා, එන්නතක් (හෝ වෙනත් විකල්පයක්) ලබා ගැනීමෙන් පසුව එය ලබාගත් බොහෝ දෙනෙකුට කෝවිඩ්-19 හැදුනේ නැතත්, එසේ කෝවිඩ්-19 හැදුනේ නැත්තේ අදාළ එන්නත හෝ වෙනත් විකල්පය නිසා කියා කියන්න බැහැ. 

තෙවන අදියරේ සායනික පරීක්ෂා වලදී මොඩර්නා එන්නත 15,185 දෙනෙකුට ලබා දී තිබෙනවා. නොවැම්බර් 21 දින වන විට ඔවුන්ගෙන් 11 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙන නමුත් ඉතිරි කිසිවෙකුට කෝවිඩ්-19 ආසාදනය වී නැහැ. මේ අනුව එන්නත ලබා ගෙන සති 9කට පමණ පසුව එය ලබාගත් අයගෙන් 99.9%ක්ම කෝවිඩ් වලින් බේරී සිටිනවා. 

ඉහත ප්‍රතිඵලය මත පදනම්ව මොඩර්නා එන්නත 99.9%ක් සාර්ථක බව කියන්න පුළුවන්ද? කිසිසේත්ම බැහැ. සමහර විට මේ එන්නත ලබා දුන්නේ ලංකාවේනම් එන්නත ලබාගත් කාටවත්ම කෝවිඩ් නොහැදෙන්න වුනත් ඉඩ තිබුණා. එන්නත ලබා ගත් බොහෝ දෙනෙකුට කෝවිඩ් නොහැදුනේ ඔවුන් වෛරසයට නිරාවරණය නොවූ නිසා හෝ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය හේතුවෙන් මිස එන්නත නිසා නොවෙන්න පුළුවන්. එහෙමනම්, එන්නතේ ඵලදායීතාවය හොයා ගන්නේ කොහොමද?

එන්නතක හෝ වෙනත් ඖෂධයක ඵලදායීතාවය හොයා ගන්න සසම්භාවී සායනික පරීක්ෂණ පවත්වන්නේ එන්නත ලබා නොගත්තත් බොහෝ දෙනෙකුට කෝවිඩ් වැළඳෙන්නේ නැති නිසයි. තෙවන අදියරේ මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා 30,350 දෙනෙකු යොදාගෙන තිබෙන අතර පයිසර්-බයෝඑන්ටෙක්  සායනික පරීක්ෂණ සඳහා 43,651 දෙනෙකු යොදා ගෙන තිබෙනවා. සසම්භාවී සායනික පරීක්ෂණයකදී කරන්නේ මේ අයගෙන් ආසන්න වශයෙන් බාගයකට නියම එන්නතත්, අනෙක් බාගයට බොරු එන්නතකුත් ලබා දෙන එකයි. බොරු එන්නත ලබාගත් කණ්ඩායමේ අයට කෝවිඩ් වැඩියෙන් හැදී ඇත්ත එන්නත ලබාගත් අයට අඩුවෙන් හැදෙනවානම් එයින් පැහැදිලි වන්නේ එන්නත වැඩ කරන බවයි.

මේ වගේ පරීක්ෂණයක් සාර්ථක වෙන්නනම් කරුණු කිහිපයක් ඉටු විය යුතුයි. සසම්භාවී සායනික පරීක්ෂණයක මූලික උපකල්පනයක් වෙන්නේ කණ්ඩායම් දෙක සමාන කණ්ඩායම් දෙකක් බවයි. දහ දෙනෙකුගේ පමණ කුඩා කණ්ඩායමක් අහඹු ලෙස පහේ ගොඩවල් දෙකකට දැම්මා කියා ඒ කණ්ඩායම් දෙක හරියටම සමාන වන්නේ නැහැ. එහෙත්, තිස් දහසක පමණ විශාල කණ්ඩායමක් අහඹු ලෙස ගොඩවල් දෙකකට බෙදූ විට එම කණ්ඩායම් දෙක අතර අසමානතා නැති තරම්. පරීක්ෂණය සඳහා යොදා ගන්නා කණ්ඩායම් දෙක සමාන සේ සැලකිය හැක්කේ විශාල පිරිසක් පරීක්ෂණය සඳහා යොදා ගන්නා තරමටයි. ඒ සඳහා සැලකිය යුතු කාලයක් හා මුදලක් වැය වෙනවා. ඒ වගේම, එන්නතේ අතුරු ආබාධ තිබිය හැකි නිසා මෙය අවදානම් කටයුත්තක්. 

සායනික පරීක්ෂණ සඳහා විශාල පිරිසක් යොදවා ගැනීමේ අවදානම අඩු කර ගැනීම සඳහා මුලින්ම තෝරාගත් සුළු පිරිසකට එන්නත ලබා දිය යුතුයි. ඊට පෙර, එහි සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා වෙනත් පරීක්ෂණ කළ යුතුයි. මේ එක් එක් අදියරේ පරීක්ෂා සඳහා යම් අවම කාලයක් ගත වෙනවා. ඒ කාලය අඩු කරන්න බැහැ. කාලය අඩු කිරීම අවදානම වැඩි කිරීමක්.

සසම්භාවී සායනික පරීක්ෂණයක් සඳහා විශාල පිරිසක් යොදවා ගත්තත්, එය ලබාගත් පිරිස කෝවිඩ් ආසාදනය කරන වෛරසයට නිරාවරණය වුනේ නැත්නම් කොහොමටවත් කෝවිඩ් නොහැදෙන නිසා එන්නතේ ඵලදායීතාවය පරීක්ෂා කරන්න විදිහක් නැහැ. එහෙමයි කියලා පරීක්ෂණයට සහභාගී වුනු අයට කෝවිඩ් හැදීමේ ඉඩකඩ වැඩි කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා, මේ කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෛරසයට නිරාවරණය වන තුරු බලා ඉන්න වෙනවා. 

මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා යොදාගත් අයගෙන් 15,185 දෙනෙකුට ඇත්ත එන්නත ලබා දුන්නා. ඉතිරි 15,165 දෙනෙකුට ලබා දුන්නේ බොරු එන්නතක්. ඇත්ත එන්නත ලබාගත් 11 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වෙද්දී බොරු එන්නත ලබාගත් 185 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙනවා. කණ්ඩායම් දෙක සමාන කණ්ඩායම් නිසා, එන්නත ලබා නොදුන්නානම් එය ලබාගත් කණ්ඩායමේද 185 දෙනෙකු ආසාදිතයින් විය හැකි බව අපට උපකල්පනය කරන්න පුළුවන්. ඒ අනුව, එම ප්‍රමාණය 11 දක්වා අඩු වී තිබෙන්නේ එන්නත නිසා බව උපකල්පනය කළ හැකියි. ඒ කියන්නේ එන්නත ලබා ගැනීම නිසා 185 - 11 = 174 දෙනෙකු කෝවිඩ් වලින් බේරිලා.

මේ ආකාරයේ සසම්භාවී සායනික පරීක්ෂාවක් නොකළේනම් අපට පෙනෙන්නේ එන්නත ලබාගත් 15,185 දෙනෙකුගෙන් 15,174 දෙනෙකුම එන්නත නිසා කෝවිඩ් වලින් බේරුණු බවයි. ඇමරිකාවේ කෝවිඩ් මේ තරමටම ප්‍රචලිතව නොතිබුණානම්, දැනට ලංකාවේ ප්‍රචලිතව ඇති මට්ටමේ තිබුණානම්, එන්තත ලබාගත් කිසිවෙකුට කොවිඩ් නොවැළඳෙන්න ඉඩ තිබුණා. ඒ වගේම නියැදිය මෙපමණ විශාල නොවී, නියැදියේ ප්‍රමාණය දහසක් පමණ වුනානම් බොහෝ විට එම නියැදියෙන් කොවිඩ් වැළඳුනු කිසිවෙකු හමු නොවෙන්න ඉඩ තිබුණා. 

එන්නත ලබාගත් 15,185 දෙනෙකුගෙන් 15,000කටම කෝවිඩ් නොවැළඳුනේ එන්නත නිසා නොව වෛරසයට නිරාවරණය නොවූ නිසා හෝ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා මිස එන්නත නිසා නොවන බව අප දන්නේ සසම්භාවී සායනික පරීක්ෂාවක් කළ නිසයි. එන්නත නොතිබුණත් කෝවිඩ්-19 හැදෙන්නට ඉඩ තිබුණේ ඉතිරි 185 දෙනාට පමණයි. ඒ 185 දෙනාගෙන් 11 දෙනෙකුට මොඩර්නා එන්නත අරගෙනත් කෝවිඩ් හැදිලා. ඒ නිසා, එන්නත නිසා රෝගය වැලකී තිබෙන්නේ 185 දෙනෙකුගෙන් 174 දෙනෙකුගේ පමණයි. මෙය ප්‍රතිශතයක් ලෙස 174/185 = 94%ක්. මොඩර්නා එන්නත ආසන්න වශයෙන් 95%ක් ඵලදායී බව කියන්නේ මේ පදමිනුයි. 

සැබෑ එන්නත හෝ බොරු එන්නත ලබාගෙන කාලය ගත වෙද්දී කණ්ඩායම් දෙකේම අය වැඩි වැඩියෙන් වෛරසයට නිරාවරණය වෙමින් සිටිනවා. එහිදී, කණ්ඩායම් දෙකේ වෛරස් ආසාදිතයින් ප්‍රමාණ අතර පරතරය එන්න එන්නම පුළුල් වෙමින් පවතිනවා. 


මේ ආකාරයෙන්ම පයිසර්-බයෝඑන්ටෙක් සායනික පරීක්ෂණ වලදී 21,823 දෙනෙකුට සැබෑ එන්නතත්, 21,828 දෙනෙකුට සේලයින් දියරය අඩංගු බොරු එන්නතකුත් ලබා දී තිබෙනවා. බොරු එන්නත ලබාගත් 162 දෙනෙකුට කොවිඩ්-19 වැළඳෙන විට ඇත්ත එන්නත ලබාගත් කණ්ඩායමෙන් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වී තිබෙන්නේ 8 දෙනෙකු පමණයි. මේ අනුව, පයිසර්-බයෝඑන්ටෙක් එන්නත නිසා 162 දෙනෙකුගෙන් 154 දෙනෙකු කෝවිඩ්-19 වලින් බේරී තිබෙනවා. මෙය ප්‍රතිශතයක් ලෙස 154/162 = 95%ක්.


එන්නතක් ලබා ගැනීම පෞද්ගලික තීරණයක් වුවත් එය පෞද්ගලික යහපත වගේම පොදු යහපත සැලසෙන තීරණයක්. කිසියම් රටක හෝ ප්‍රදේශයක එන්නතක් ලබා ගන්නා පිරිස ඉහළ යන තරමට එන්නත ලබා නොගන්නා අයට රෝගය ආසාදනය වීමේ අවදානමත් විශාල ලෙස පහත වැටෙනවා. ඊයේ වෙද්දී ඇමරිකාව තුළ පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා  කෝවිඩ් එන්නත් 9,465,725ක් බෙදා හැර තිබුණු අතර ඇමරිකානුවන් 1,008,025 දෙනෙකු විසින් මේ එන්නතක පළමු මාත්‍රාව ලබා ගෙන තිබුණා. 

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබාගත් අය දින 21කට පසුවත්, මොඩර්නා එන්නත ලබාගත් අය දින 28කට පසුවත් එන්නතේ දෙවන මාත්‍රාවක් ලබාගත යුතුයි. මේ එන්නතක් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට එය ලබා ගත හැකි තරමේ එන්නත් සැපයුමක් තවමත් නැතත් මාර්තු අවසානය පමණ වන විට බොහෝ ඇමරිකානුවන්ට එන්නතක මාත්‍රාවක් ලබා ගන්න පුළුවන් වෙයි. 

දැනට තිබෙන සීමිත එන්නත් ප්‍රමාණය වැඩි ප්‍රමුඛතාවයක් අවශ්‍ය අයට ලබා දෙන නිසා අපටනම් නත්තල් තෑගි විදිහට කෝවිඩ් එන්නත් ලැබෙන්නේ නැහැ. කොහොම වුනත්, සිංහල අවුරුදු තෑග්ගක් විදිහටවත් අපට කෝවිඩ් එන්නතක් ලැබෙයි. එතකන් ඉතින් අත්ත බිඳෙයි පය බුරුලෙන් තමයි!


Saturday, October 31, 2020

පොම්පියෝ හා වෙන්ටිලේටර්


පොම්පියෝගේ ලංකා ගමනට සමාන්තරව ඇමරිකාව විසින් යාන්ත්‍රික වෙන්ටිලේටර 200ක් ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. යාන්ත්‍රික වෙන්ටිලේටරයකින් කරන්නේ පෙනහළු දුර්වල වී තිබෙන රෝගියෙකුගේ පෙනහළු යථා තත්ත්වයට පත් වන තුරු පෙනහළු තුළට යාන්ත්‍රිකව ඔක්සිජන් පොම්ප කිරීමයි. කෝවිඩ් හා වෙන්ටිලේටර අතර විශාල සම්බන්ධයක් තිබෙනවා.

කෝවිඩ් යනු පෙනහළු වලට අමතරව මොළය, හෘදය වස්තුව, වකුගඩු, අක්මා වැනි අවයව ගණනාවකටම හානි කරන රෝගයක් බව මේ වන විට පෙනී ගොස් ඇතත්, ආරම්භයේදී කෝවිඩ් සැලකුණේ පෙනහළු වලට හානි කරන, පෙනහළු ආශ්‍රිත රෝගයක් ලෙසයි. ඒ අනුව, එවකට කිසිදු ප්‍රතිකාරයක් නොතිබුණු කෝවිඩ් රෝගියෙකු මිය යාම වලක්වා ගැනීම සඳහා කළ හැකි හොඳම දෙය ලෙස පෙනෙන්නට තිබුණේ යාන්ත්‍රික වෙන්ටිලේටරයකින් දිගින් දිගටම පෙනහළු වලට ඔක්සිජන් සැපයීමයි. චීනයේ වුහාන් වලත්, විශේෂයෙන්ම ඉන්පසුව ඉතාලියේත් බොහෝ මරණ සිදු වුනේ ප්‍රමාණවත් තරම් වෙන්ටිලේටර නොතිබුණු නිසා බව මුලදී තිබුණු අදහසයි.

අප්‍රේල් මැද වන විට ඇමරිකාවේ රෝහල් පද්ධතිය සතුව යාන්ත්‍රික වෙන්ටිලේටර 95,000කුත්, ඇමරිකන් රජයේ ජාතික සංචිතයේ තවත් යාන්ත්‍රික වෙන්ටිලේටර 10,000කුත් තිබුණා. ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳව මාර්තු මුලදී ඇස්තමේන්තු කර තිබුණු ආකාරයට මෙම වෙන්ටිලේටර ප්‍රමාණය අවශ්‍ය සියළු රෝගීන් සඳහා ප්‍රමාණවත් නොවිය හැකිව තිබුණා. වෙන්ටිලේටර නොමැතිකමින් බොහෝ කෝවිඩ් රෝගීන් මිය යාමට තිබුණු ඉඩකඩ පිළිබඳව බොහෝ දෙනෙකු කණස්සල්ලෙන් හිටියා. ඇමරිකාව ජනගහණයට සාපේක්ෂව ලෝකයේ වැඩිම රෝහල් පහසුකම් ඇති රටක් වුවත්, ඇතැම් අය ඇස්තමේන්තු කළේ රෝහල් පහසුකම්ද ප්‍රමාණවත් නොවනු ඇති බවයි.

දේශපාලන ප්‍රකාශයක් වුවත්, ජනාධිපති ට්‍රම්ප් විසින් මාර්තු මාසයේදී ප්‍රකාශ කර සිටියේ වෙන්ටිලේටර අවශ්‍ය වන කිසිදු ඇමරිකානුවෙකු වෙන්ටිලේටර නැතිකමින් මිය නොයනු ඇති බවයි. ඒ වන විට ඇමරිකානු නිෂ්පාදකයින් සතු ධාරිතාව අනුව වසරක් තුළදී නිෂ්පාදනය කළ හැකි වූයේ වෙන්ටිලේටර 29,000ක් පමණයි. එහෙත්, ඇමරිකන් රජය විසින් වෙන්ටිලේටර 200,000 පමණ දක්වා ප්‍රමාණයක් අවශ්‍යතාවය පරිදි මිල දී ගැනීමට ගත් තීරණයත් සමඟ ෆෝර්ඩ්, ජීඑම්, ටෙස්ලා වැනි මෝටර් රථ නිෂ්පාදකයින්ද වෙන්ටිලේටර නිෂ්පාදනයට අත ගැසුවා. 

කෙසේ වුවත් ක්ෂණිකව වෙන්ටිලේටර නිෂ්පාදනය ඉහළ දැමීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ සඳහා අවම වශයෙන් මාස ගණනක් ගත වෙනවා. ඊට පෙර කෝවිඩ් වේගයෙන් පැතිරී බොහෝ දෙනෙකුට වෙන්ටිලේටර අවශ්‍ය විය හැකිව තිබුණා. ඇමරිකාවේ ප්‍රාන්ත යම් ප්‍රමාණයකට "වසා දමමින්" වසංගත වක්‍රය පැතලි කිරීමේ එක් අරමුණක් වුණේ වෙන්ටිලේටර ඇතුළු අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ඉහළ නංවා ගන්නා තුරු කල් ගැනීමයි. 

ඇමරිකාව ගත් විවිධ ක්‍රියාමාර්ග නිසා වසංගත වක්‍රය හිතුවාටත් වඩා පැතලි වුනා. වක්‍රය පැතලි කළ විට රෝගීන් ප්‍රමාණය හෝ කොහොමටත් මිය යන ප්‍රමාණය අඩු වෙන්නේ නැතත්, රෝහල් පහසුකම් නැතිකමින් මිය යන ප්‍රමාණය අඩු වෙනවා. කෝවිඩ් රෝගීන් නිසා ඇමරිකාවේ රෝහල් ධාරිතාව ඉක්මවා ගියේ හෝ හෝ වෙන්ටිලේටර මදි වුනේ නැහැ. 

අනෙක් පැත්තෙන් කෝවිඩ් ප්‍රතිකාරයක් ලෙස යාන්ත්‍රික වෙන්ටිලේටර යොදා ගැනීම එතරම් ඵලදායී වුනේ නැහැ. වෙන්ටිලේටර වලට දැමූ බොහෝ රෝගීන් මිය ගොස් තිබෙනවා. ඊට සාපේක්ෂව ඖෂධ ප්‍රතිකාර වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබෙනවා. මේ වන විට කෝවිඩ් ප්‍රතිකාරයක් ලෙස ඇමරිකාවේ අනුමත කර තිබෙන, වෙක්ලරි (Veklury) නමින් වෙළඳපොළට එන රෙම්ඩෙසිවිර් (remdesivir) ඖෂධය බොහෝ කෝවිඩ් ආසාදිතයින්ට ඉක්මණින් සුව වීමට උපකාරී වී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප්ට ලබා දුන්නේද මෙම ඖෂධයයි.

එක පැත්තකින් යාන්ත්‍රික වෙන්ටිලේටර හිතූ තරම් අවශ්‍ය නොවීමත්, අනෙක් පැත්තෙන් රජය සමඟ අත්සන් කළ ගිවිසුම් අනුව වෙන්ටිලේටර නිෂ්පාදනය විශාල ලෙස ඉහළ යාමත් නිසා මේ වෙද්දී ඇමරිකන් රජය සතු ජාතික සංචිතයේ යාන්ත්‍රික වෙන්ටිලේටර ලක්ෂයක් පමණ ගොඩ ගැසී තිබෙනවා. එහෙත්, ලෝකයේ බොහෝ රටවල තවමත් ප්‍රමාණවත් තරම් යාන්ත්‍රික වෙන්ටිලේටර නැහැ. ඇතැම් රටවල තිබෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රමාණයක්.

ඇමරිකාව සතු නිෂ්පාදන ධාරිතාවේ වාසිය ලබමින්, ඇමරිකන් රජය විසින් මේ වන විට USAID හරහා ලෝකයේ රටවල් ගණනාවකට යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රදානය කර තිබෙනවා. ඉන්දුනීසියාවට හා දකුණු අප්‍රිකාවට යාන්ත්‍රික වෙන්ටිලේටර 1000ක් බැගින් පරිත්‍යාග කිරීමට පොරොන්දු වී එයින් කොටසක් දැනටමත් ලබා දී තිබෙන අතර, රුසියාව, ඉන්දියාව, ලංකාව, පකිස්ථානය, නයිජීරියාව, කෙන්යාව, කොලොම්බියාව, බොලීවියාව ආදී රටවලට වෙන්ටිලේටර 200 බැගින්ද,  මාල දිවයිනට 60ක්ද ඊජිප්තුවට හා පේරු රාජ්‍යයට 250 බැගින්ද, ගෝතමාලාවට, මොසැම්බික් රාජ්‍යයට හා කොංගෝවට 50 බැගින්ද, හොන්ඩියුරාස් රටට හා රුවන්ඩාවට 100ක් බැගින්ද, හයිටියට 37ක්ද, එල් සැල්වදෝරයට 408ක්ද, මෙක්සිකෝවට 211ක්ද, ආදී වශයෙන් මේ වන විට ඇමරිකාව යාන්ත්‍රික වෙන්ටිලේටර විශාල ප්‍රමාණයක් ලෝකයේ විවිධ රටවලට ප්‍රදානය කර තිබෙනවා.

මගේ ඇස්තමේන්තුව අනුව ලංකාව සතුව තිබූ යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රමාණය 500-600 අතර ප්‍රමාණයකට වඩා වැඩි විය නොහැකියි. ඒ අනුව, තවත් වෙන්ටිලේටර 200ක් එකතු වෙනවා කියන්නේ රටේ හදිසි ප්‍රතිකාර සේවා ධාරිතාවේ සැලකිය යුතු වෙනසක්. මේ වෙන්ටිලේටර කෝවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය නොවුනත්, පෙනහළු ආශ්‍රිත රෝග වලින් සෑම වසරකදීම විශාල පිරිසක් මියයන ලංකාවේ එම මරණ සෑහෙන ප්‍රමාණයක් වලක්වා ගැනීමට මේ වෙන්ටිලේටර උපකාරී වෙයි.

මේ වෙන්ටිලේටර ප්‍රදානයත් ඇමරිකන් කුමන්ත්‍රණයක්ද? තාමනම් කවුරුත් එහෙම කියල තියෙනවා දැක්කේ නැහැ. 

(Image: https://lk.usembassy.gov/the-united-states-donates-200-ventilators-to-support-sri-lankas-response-to-covid-19/)


පොකුරු පොකුරු ඈ එන මග...


මේ වෙද්දී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය අවසන් අදියරට පැමිණ ඇති බව පෙනෙනවා. රජය විසින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටියත්, වෛරසය මේ වෙද්දී රජයේ පාලනයෙන් නිදහස් වී අවසන් බව පැහැදිලියි. අලුත්ම පොකුර මුලින් බ්‍රැන්ඩික්ස් පොකුර නමින්ද, පසුව මිනුවන්ගොඩ පොකුර ලෙසින්ද හැඳින්වුවා. පසුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරු බවට පත් වෙලා තිබෙනවා. මේ පොකුරු කතාවට තව දුරටත් තේරුමක් තිබෙයි කියා හිතන්න අමාරුයි.

ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳව මා වරින් වර "අනාවැකි" පළකර තිබෙනවා. එහෙත්, ලංකාව සම්බන්ධව මා එවැනි අනාවැකි පළ කළේ නැහැ. ඇතැම් අය ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ විවිධ පුරෝකථන කරද්දී මා එසේ නොකළාක් මෙන්ම එසේ නොකිරීමට හේතුවද පැහැදිලි කර තිබෙනවා.

කෝවිඩ් වැනි වසංගතයක් පැතිරෙන ආකාරය පිළිබඳව සෑහෙන තරම් නිවැරදි ලෙස අනාවැකි කිව හැකියි. මෙවැනි වසංගතයක් පැතිරෙන ආකාරය පුරෝකථනය කරන්නේ වසංගතවේදයේ ආකෘති අනුසාරයෙනුයි. එම ආකෘති සකස් කර තිබෙන්නේ යම් නිශ්චිත උපකල්පන මතයි. උපකල්පන නිවැරදි වන තරමට ආකෘතිය යොදාගෙන කරන පුරෝකථනද නිවැරදියි.

ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල කෝවිඩ් පැතිරෙන්නේ මෙවැනි ආකෘතියකින් පුරෝකථනය කර හැකි තරම් "නිශ්චිත" රටාවකට කියන එක පෙන්වා දෙන්න ගොඩක් තාක්ෂණික කරුණු කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පහත ප්‍රස්ථාර දෙස බැලූ විට ඕනෑම කෙනෙකුට එවැනි රටාවක් ඇති බව පැහැදිලිව පෙනෙනවා. 


ඇමරිකාවෙන් දිනකට හමුවන කෝවිඩ් රෝගීන් ප්‍රමාණය මාර්තු මැද සිට සති තුනක පමණ කාලයක් ක්‍රමයෙන් ඉහළ ගියා. ඉන් පසුව, ජූනි මැද දක්වා ටිකෙන් ටික අඩු වුනත් එතැන් සිට ජූලි මැද දක්වා නැවතත් ක්‍රමයෙන් වැඩි වුනා. ජූලි මැද සිට දෙමසක පමණ කාලයක් කෝවිඩ් ව්‍යාප්තිය අඩු වුනත්, සැප්තැම්බර් මැද සිට නැවතත් වැඩි වෙමින් තිබෙනවා. මේ අනුව දැන් යන්නේ තෙවන චක්‍රය කියා කිව හැකියි.


ඇමරිකාවේ රටාවෙන් වෙනස්ව ඉන්දියාවේ කෝවිඩ් වසංගත වක්‍රය අප්‍රේල් මැද සිට මාස පහක් පමණ එක දිගටම ඉහළ ගියා. සැප්තැම්බර් මැද සිට එම ප්‍රවණතාව ආපසු හැරවී තිබෙනවා.

ඇමරිකාවේ හෝ ඉන්දියාවේ වසංගත වක්‍රයේ හැසිරීම ආකෘතියක් ඇසුරෙන් පහසුවෙන් පැහැදිලි කරන්න පුළුවන්. වසංගතරෝග විද්‍යාඥයින් විසින් පසුගිය මාර්තු මාසයේදීම ඇමරිකාවේ වසංගත වක්‍රයේ හැසිරීම නිවැරදිව පුරෝකථනය කළා. එයින් අදහස් වෙන්නේ මිය යන ප්‍රමාණය හෝ ආසාදිතයින් ප්‍රමාණය හරියටම පුරෝකථනය කළා කියන එක නෙමෙයි. එවැනි දේ ආකෘතියක පරාමිතීන් වෙනස් වන විට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අප පෙර පැහැදිලි කර දී තිබෙන R0 අගය එවැනි පරාමිතියක්. 

ආකෘතියක පරාමිතීන් වෙනස් වන විට එය යොදාගෙන කරන පුරෝකථනද වෙනස් වෙනවා. මේ පරාමිතීන් ඇස්තමේන්තු කරන්න වෙන්නේ අනුභූතික දත්ත අනුසාරයෙන්. මිනිසුන්ගේ හැසිරීම් වෙනස් වන විට R0 අගය වැනි පරාමිතීන්ද වෙනස් වෙනවා. එහෙත්, එසේ වුනා කියා ආකෘති අහක දාන්න අවශ්‍ය නැහැ. මිරිස් කොටන මෝලේම කොත්තමල්ලිත් කොටන්න පුළුවන්.

එකම ආකෘතිය යොදාගත්තත් විවිධ රටවල් හා අදාළව ආකෘතියකින් පෙන්වන්නේ එකම ප්‍රතිඵලය නෙමෙයි. එයට හේතුව ආකෘති වල ආදාන සේ යොදාගන්නා පරාමිතීන් රටින් රටට වෙනස් වීමයි. එකම රටකට වුවත් එකම පරාමිතීන් හැමදාටම වලංගු වන්නේ නැහැ. කෙසේ වුවත්, ලංකාව සඳහා මෙතෙක් මෙවැනි සම්මත ආකෘතියක් යොදා ගැනීම කළ නොහැකි වුනේ ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය මෙතෙක් සිදු වුනේ වසංගත ව්‍යාප්තිය පැහැදිලි කරන SIR ආකෘතියට හෝ එහි ව්‍යුත්පන්න ආකෘතියකට ගැලපෙන ආකාරයෙන් නොවූ නිසයි.

ඉතාම මූලික මට්ටමේ SIR ආකෘතියකදී අහඹු ලෙස හමුවන ඕනෑම පුද්ගලයෙක් ආසාදිතයෙක් විය හැකියි. එහෙත්, කලාතුරකින් මිස මෙතෙක් ලංකාවෙන් එසේ අහඹු ලෙස ආසාදිතයින් හමු වුනේ නැහැ. ඔවුන් හමු වුනේ පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් අතරින්. ඇතැම් අය ලංකාවේ කෝවිඩ් සමාජ පැතිරීමක් නැති බව දිගින් දිගටම කිවුවේ මේ පදනමෙන්.

ඕනෑම අහඹු පුද්ගලයෙක් ආසාදිතයෙක් විය හැකියි කියන එක ඉතාම සරල SIR ආකෘතියකදී කරන උපකල්පනයක් පමණයි. සැබෑ ලෝකයේ එය එසේම වෙන්නේ නැහැ. ඇතැම් අය ආසාදිතයින් වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම මූලික මට්ටමේ SIR ආකෘතියකදී ඕනෑම අහඹු පුද්ගලයෙකුට වෙනත් ඕනෑම පුද්ගලයෙකු අහඹු ලෙස හමු විය හැකි බව උපකල්පනය කරනවා. සැබෑ ලෝකයේ එසේ වෙන්නේ නැහැ. 

මූලික මට්ටමේ වසංගත විද්‍යා පාඨමාලාවකදී මුලින්ම උගන්වන්නේ මෙවැනි සරල SIR ආකෘතියක් වුවත්, ඒ තරම්ම සරල ආකෘති ප්‍රායෝගිකව භාවිතා කරන්නේ නැහැ. වඩා සංකීර්ණ ආකෘතියක පරාමිතීන් වැඩි ප්‍රමාණයක් තිබෙනවා. කෙසේ වුවත්, එවැනි වඩා සංකීර්ණ ආකෘතියක් වුවත් සැබෑ ලෝකයේ ඇත්තටම රෝගය පැතිරෙන ආකාරයට වඩා ගොඩක් සරලයි. හයේ හතේ පන්ති වලදී පරාවර්තනය හෝ වර්තනය ඉගැන්වීම සඳහා ආලෝකය සරල රේඛීයව ගමන් කරන සේ සැලකීම ප්‍රමාණවත්. ඒ වගේම රෝගය පැතිරෙන ආකාරය ගැන අදහසක් ගන්න මේ ආකෘති ප්‍රමාණවත්.

ඇමරිකාව හෝ ඉන්දියාව වැනි රටක් ගත්තත් ඕනෑම අහඹු පුද්ගලයෙකු කෝවිඩ් ආසාදිතයෙකු වෙන්න තිබෙන සම්භාවිතාව සමාන නැහැ. එය විවිධ කරුණු ගණනාවක් මත වෙනස් වෙනවා. ඒ වගේම, මේ වෙද්දී වුනත් ඇමරිකාවේ කෝවිඩ් පැතිරෙන්නේ පොකුරු විදිහටයි. බොහෝ විට කෝවිඩ් පරීක්ෂාව කර ගන්න යන්නේ ආසාදිතයෙකු සමීපව ඇසුරු කළ අයයි. එහෙත්, රට පුරා මෙවැනි පොකුරු විශාල ප්‍රමාණයක් තිබෙන නිසා ඕනෑම අහඹු පුද්ගලයෙකු කෝවිඩ් ආසාදිතයෙකු වෙන්න පුළුවන් කියන උපකල්පනය මත ගොඩ නගපු ආකෘති වැඩ කරනවා.

සමාජ පැතිරීම හා පොකුරු පැතිරීම කියන්නේ ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන් තත්ත්වයන් දෙකක් නෙමෙයි. පොකුරු විදිහට පැතිරුණත් එය සමාජ පැතිරීමක්ම තමයි. වඩා වැදගත් වෙන්නේ ආකෘතියක් යොදාගෙන තේරුම් ගත හැකි තරමට පැතිරීමක් වෙලාද කියන එකයි. මගේ අදහස අනුව මේ වෙද්දී ලංකාව ඒ තත්ත්වයට අවතීර්ණ වෙලා.

ලංකාව ආරම්භයේ සිට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා. මේ ක්‍රියාමාර්ග හරහා කෝවිඩ් ව්‍යාප්තිය සෑහෙන දුරකට පාලනය කළ හැකි වුනා. එහෙත්, මේ පාලනය කොයි වෙලාවක හෝ ගිලිහීමේ අවදානම මුල සිටම තිබුණා. දැන් එය සිදු වී තිබෙනවා.

කෝවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් හොයාගෙන නිරෝධායන මධ්‍යස්ථානයක සති දෙකක් තියාගත් විට ඔවුන්ට කෝවිඩ් වැළඳී තිබුණානම් බොහෝ විට සති දෙක තුළ රෝග ලක්ෂණ මතු වෙනවා. ඒ නිසා, බාහිර සමාජයේ වෙනත් අයට වෛරසය ආසාදනය වීම පාලනය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ලංකාවේ රජය දිගින් දිගටම කළේ මෙයයි.

මේ ක්‍රමයේ වූ ගැටළුව ආසාදිතයෙකු නොවූ අයෙකුට නිරෝධායන මධ්‍යස්ථානයේදී කෝවිඩ් ආසාදනය වීමේ ඉඩක් තිබීමයි. එය සිදු වුනේ සති දෙකක කාලය අවසන් වන දිනයේදීනම් රෝග ලක්ෂණ මතු වන්නේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිට වී සති දෙකකට පසුවයි. යම් හෙයකින් එවැන්නෙකු රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයෙකු වී තවත් අයට වෛරසය ආසාදනය කළේනම් එවැනි ආශ්‍රිතයෙකු රෝග ලක්ෂණ පෙන්වන්න මාසයක් පමණ ගත විය හැකියි. ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදය අනුව සමාජයේ අහඹු පුද්ගලයෙකු ආසාදිතයෙකු වීනම් ඒ බව එකවර දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඕනෑම මොහොතක රටේ කොහෙන් හෝ කෝවිඩ් පොකුරක් හමු වීමේ අවදානම දිගටම තිබුණා. එසේ නොවීම වාසනාවක්.

දැන් කරුණු හොයාගෙන තිබෙන විදිහට කොරෝනා පොකුරට යුක්‍රේන සම්භවයක් ඇති බව කියනවා. සම්භවය කුමක් වුවත් මේ වෙද්දී කෝවිඩ් රටවටා පැතිරී අවසන්. ආසාදිතයින් සියලු දෙනාගේම ආශ්‍රිතයින් සොයමින් නිරෝධායනය කිරීම තව දුරටත් කළ හැකි බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ රජය විසින් මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය තව දුරටත් වැඩ කරන එකක් නැහැ. 

පසුගිය සති තුනක පමණ දත්ත අනුව අපට පෙනී යන්නේ සම්මත වසංගතවේද ආකෘතියක් යොදාගත හැකි තරමේ පැතිරීමක් මේ වන විට ලංකාවේ සිදු වී ඇති බවයි. අපගේ ප්‍රාර්ථනාව නොවුනත් ඉදිරි කාලය ලංකාවට හොඳ කාලයක් වන එකක් නැහැ.




Sunday, October 25, 2020

කෝවිඩ් හටන


වර්ඩෝමීටර්ස් දත්ත අනුව පෙරේදා (ඔක්තෝබර් 23) දින ඇමරිකා එක්සත් ජනපදයෙන් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 81,414ක්. එම ප්‍රමාණය මෙතෙක් දිනකදී එක්සත් ජනපදයෙන් හමු වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි. එදිනම ලංකාවෙන් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 866ක්. එම ප්‍රමාණය මෙතෙක් දිනකදී ලංකාවෙන් හමු වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි. 

කෝවිඩ්-19 සමස්ත මිනිස් ප්‍රජාව මුහුණ දී සිටින පොදු ප්‍රශ්නයක්. තරඟය තිබෙන්නේ අදාළ රෝගකාරක වෛරසය හා හෝමෝ සේපියන්ස්ලා අතර මිස ලෝකයේ එක් එක් රටවල් අතර නෙමෙයි. ඒ නිසා, කෝවිඩ්-19 හා අදාළව ලෝකයේ රටවල් සංසන්දනය කිරීමේ තේරුමක් තිබෙන්නේ තර්ජනයට මිනිස් ප්‍රජාව සේ පොදුවේ මුහුණ දීමේදී වඩා සාර්ථක ක්‍රමවේදයන් හඳුනාගැනීමේ අරමුණින් පමණයි.

කෝවිඩ්-19 තර්ජනයට ලෝකයේ විවිධ රටවල ආණ්ඩු ප්‍රතිචාර දැක්වූයේ විවිධ ආකාර වලින්. එම ප්‍රතිචාර වල අදාළ ආණ්ඩු වල දේශපාලනය දැකගත හැකි වුනා. එහෙත්, ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් "වැරදි තීරණ" ගත්තේ නැහැ. හැම ආණ්ඩුවක් විසින්ම ගත්තේ ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන්ට සාපේක්ෂව නිවැරදිම තීන්දු. මේ විශ්ලේෂණ වලදී එක් රට හා අදාළ සුවිශේෂී භූගෝලීය, සමාජයීය, ආර්ථික, සංස්කෘතික, දේශපාලන කරුණු සැලකිල්ලට ගැනුණා. ඒ සාධක වෙනස් වූ ආකාරය අනුව විවිධ රටවල ප්‍රතිචාරද වෙනස් වුනා. එය එසේ සිදුවීම නරක දෙයක් නෙමෙයි. 

කෝවිඩ්-19 තර්ජනයට ප්‍රතිචාර දැක්වීමේදී ඉහත සාධක වල වෙනස්කම් වගේම කෝවිඩ්-19 හා අදාළ දැනුමේ සීමාවන්ද බලපෑම් කළා. වසංගතය පැතිරුණු මුල් කාලයේදී ඒ පිළිබඳව තිබුණේ සීමිත දැනුමක්. මේ දැනුම තවමත් සීමිත වුවත්, මුල් කාලයේදී තරම්ම සීමිත නැහැ. වසංගතය පිළිබඳ දැනුම වඩා සීමාකාරී වන තරමට වැඩිපුර "කණාපල්ලන්" ගහන්න වෙනවා. මේ විදිහට කණාපල්ලන් ගැහීමේදී වාස්තවික කරුණු වලට වඩා තීරණ ගන්නා අයගේ පෞද්ගලික මතිමතාන්තර ඉස්මතු වෙනවා. ඒ පෞද්ගලික මතිමතාන්තර වෙනස්වන ආකාරය අනුව විවිධ රටවල ප්‍රතිචාරද වෙනස් වෙනවා. එහෙත්, රෝගය පිළිබඳ දැනුම පුළුල් වෙද්දී වඩා නිවැරදි ප්‍රතිචාර හඳුනා ගැනීම පහසු වෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය වැනි විශාල රටක පොදු වශයෙන් බලපාන තීරණ ගැනීමේදී ලංකාව වැනි රටකට සාපේක්ෂව වැඩි පිරිසක් මැදිහත් වෙනවා. අවිනිශ්චිත තත්ත්වයන් යටතේ වුවත්, වැඩි පිරිසකගේ දායකත්වයෙන් ගන්නා තීරණ නිවැරදි වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඊට සාපේක්ෂව තනි පුද්ගලයෙකු විසින් ගන්නා තීරණ වැරදෙන්න වැඩි ඉඩක් තිබෙනවා.

බලය කියා කියන්නේ ඕනෑම රටක ආණ්ඩුවකට වටිනාම දෙයක්. ආණ්ඩුවක් ජනප්‍රියයි කියා කියන්නේ ඒ ආණ්ඩුව සතු බලය වැඩියි කියන එකයි. ඒ නිසා ආණ්ඩුවකට ජනප්‍රිය විය හැකි දේ කරන්නත්, ජනප්‍රිය නොවන දේ නොකරන්නත් ස්වභාවික නැඹුරුවක් තිබෙනවා. 

කෝවිඩ්-19 නිසා රටක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරෙද්දී කිසිම ආණ්ඩුවක ජනප්‍රියත්වය ඉහළ යන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවක් සතු බලය දුර්වල වෙනවා මිසක් වඩා ශක්තිමත් වෙන්නේ නැහැ. සමාජවාදී වේවා, ධනවාදී වේවා, ප්‍රජාතන්ත්‍රවාදී වේවා, ඒකාධිපති වේවා, ඕනෑම රටක ආණ්ඩුවක්, ඕනෑම රටක පාලකයෙක් එම රටේ කෝවිඩ්-19 පැතිරෙන එක වලක්වා ගත හැකිනම් එය නොකර ඉන්නේ නැහැ. හැම රටකම වගේ ආණ්ඩු කෝවිඩ්-19 හමුවේ තම තම නැණ පමණින් කළ හැකි දේ කර තිබෙනවා. ඒ කළ දේවල් හා කළ දේවල් වල ප්‍රතිඵල රටින් රටට වෙනස් වීම වෙනම කරුණක්.

චීන ආණ්ඩුවට හමු වුනු කෝවිඩ්-19 සතුරා හිටියේ රට ඇතුළේ. ඒ වෙද්දී චීනයෙන් පිටත කෝවිඩ්-19 තිබුණේ නැහැ. ඒ නිසා, චීනයට තිබුණේ පැහැදිලි, නිශ්චිත ඉලක්කයක්. චීනය මුලින්ම සතුරාව වට කරලා ඉන් පසුව සතුරා හඹා ගොස් පහර දී විනාශ කළා. 

ඒ වන විටත් සතුරු කණ්ඩායම් චීන ආණ්ඩුවේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගෙන එළියට ගිහින් තිබුණා. එහිදී චීන ආණ්ඩුව විසින් කළේ සතුරා සිටිය හැකි වඩා විශාල ප්‍රදේශයක් වට කරලා ඉතිරි ප්‍රදේශ බේරගන්න එකයි. මධ්‍යගත පාලනයක් තිබෙන විශාල රටක් වීම මෙහිදී චීනයේ වාසියට හිටියා.

චීනය කෝවිඩ්-19 තුරන් කරලා නැහැ. තවමත් වරින් වර චීනයෙන් කෝවිඩ්-19 රෝගීන් හමු වෙනවා. එසේ හමු වෙන අවස්ථා වලදී ඉක්මණින් සතුරා හඳුනාගෙන, සතුරා හඹා ගොස් පහර දී විනාශ කිරීම චීනය විසින් තවමත් සාර්ථකව කරමින් සිටිනවා.

ඇමරිකාව ඇතුළු ලෝකයේ අනෙක් හැම රටකටම වගේ මුහුණ දෙන්න වුනේ වෙනස් ආකාරයක ප්‍රශ්නයකට. සතුරා හිටියේ රටින් පිට. ඒ නිසා, චීනය මෙන් වට කර පහර දීම වෙනුවට තමන්ගේ මායිම් ආරක්ෂා කර ගැනීමයි කළ යුතු වුණේ. ලංකාව කළේත්, ඇමරිකා එක්සත් ජනපදය විසින් කළේත් මෙයයි.

මේ කාර්යයේදී එක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළකින් (ප්‍රායෝගිකව) පමණක් ලෝකය හා සම්බන්ධ වී සිටි කුඩා දූපත් රාජ්‍යයක් වූ ලංකාවට හා අයිස්ලන්තය, නවසීලන්තය, සීෂෙල්ස් වැනි වෙනත් දූපත් රාජ්‍ය වලට තිබුණු භූගෝලීය වාසිය ඇමරිකා එක්සත් ජනපදයට තිබුණේ නැහැ. ඒ වගේම, රෝගය ගැන ලෝකය දැන ගන්නා අවස්ථාව වන විටත් කෝවිඩ්-19 ඇමරිකාවට ඇතුළු වී අවසන්.

ලංකාවේ ඇතැම් අය ඇමරිකාවට විරුද්ධව චීනයේ පැත්ත අරගෙන කුලියට කහින නමුත් ඇමරිකාව හා චීනය අතර තිබෙන ආර්ථික වගේම සංස්කෘතික සම්බන්ධතාත් ලංකාව හා චීනය අතර තිබෙන එම සම්බන්ධතා වලට වඩා කිහිප ගුණයකින් ප්‍රබලයි. චීනයෙන් පිටත චීනයේ ඉපදුණු පුද්ගලයින් වැඩිම ප්‍රමාණයක් ජීවත් වන රට ඇමරිකා එක්සත් ජනපදයයි. හොංකොං වල සිටින චීන ප්‍රධාන භූමියේ ඉපදුනු ප්‍රමාණය පවා ඊට අඩුයි. 

ඇමරිකාවට එන විදේශ සිසුගහණයෙන් තුනෙන් එකක්ම එන්නේ චීනයෙන්. චීන ජාතිකයින් සරණාගතයින් සේ වැඩිපුරම එන්නේත් ඇමරිකාවටයි. ඇමරිකාවෙන් පිටතට යැවෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් හතරෙන් එකක් යන්නේ චීනයට. චීන අපනයන වලින් පහෙන් එකක්ම මිල දී ගන්නේ ඇමරිකාවයි.

කාලයක් ලංකාවේ රාජ්‍ය නායකයින් ඇමරිකාව ඇතුළු බටහිර රටවල හයිය අරගෙන ඉන්දියාවට චණ්ඩි පාට් දැම්මා. එහෙත්, බටහිර රටවල් ඉන්දියාවේ වෙළඳපොල අමතක කර ලංකාවේ පැත්ත ගත්තේ නැහැ. චීනය ගැන කියන්න තියෙන්නේත් ඔය ටිකම තමයි. චීනය ලංකාවට කෑම මේසයේ වැදගත් තැනක් දුන්නත් ඒ තැන කරපිංචා වලට ලැබෙන තැනයි. ඇමරිකාවේ පමණක් නෙමෙයි ඉන්දියාවේ වෙළඳපොළ පවා වැඩි කල් නොයා චීනයට ලංකාවට වඩා වැදගත් වෙනවා.

චීනය පැත්තකට තියලා ලංකාවේ කෝවිඩ් වලට එමු. ලංකාව මුලදීම පිටින් රටට කෝවිඩ් එන එක පාලනය කරගත්තා. ඉන් පසුව, රට ඇතුළේ කෝවිඩ් සතුරා සිටින තැන් හඹා ගොස් වටකර පහර දුන්නා. වටකර කියා කිවුවත් අත් අඩංගුවට ගෙන පොලීසියේදී පහර දුන්නා කියන එක වඩා නිවැරදියි. මේ ක්‍රියාදාමය ඇතුළේ සතුරාට පහර දීමටත් වඩා ප්‍රමුඛ වුනේ සැක කටයුතු සතුරන් අත් අඩංගුවට ගැනීමයි.

නිරෝධායන මධ්‍යස්ථාන නමින් ලංකාවේ ආණ්ඩුව විසින් කළේ මහත මිනිස්සු එකතු කර කර රේල්පාරට තල්ලු කරන එකයි. මෙය නිරීක්ෂණයක් මිසක් විවේචනයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ කැමැත්ත එයනම්, වැඩෙත් කෙරෙනවානම් විවේචනය කරන්න පදනමක් නැහැනේ.

වෙනත් පිරිසකගේ ජීවිත බේරාගැනීම සඳහා ආණ්ඩුව විසින් තමන්ව බිලි දෙනවාට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. එහෙත්, එහෙම අකැමැති වුනා කියා තනි පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නැහැ. ආණ්ඩුවේ බලය හමුවේ ඇස් දෙක පියාගෙන ට්‍රොලිය කිසියම් ආශ්චර්යයකින් තමන්ව යට නොකර බේරන තුරු බලා ඉන්නවා හැර වෙනත් කළ හැකි දෙයක් මහත මිනිහාට නැහැ. 

ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක ආණ්ඩුවකට මේ වගේ දෙයක් කරන්න බැහැ. හඬක් නැති මහත මිනිහා වෙනුවෙන් කතා කරන්න තවත් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙනවා. එසේ කරන්නේ පෞද්ගලික නිදහස කියන සටන් පාඨය අරගෙන. හැබැයි බටහිර රටක ආණ්ඩුවකට ලීවරය ඇදලා ට්‍රොලිය අතුරු මාර්ගයකට හරවන්න පුළුවන්. ඒ වැඩෙන් වෙන්නෙත් පැත්තක ඉන්න කෙනෙක් මැරෙන එක. මේ වගේ වෙලාවකත් විවේචන ආවත් ඒ විවේචන ආණ්ඩුවේ ක්‍රියාවට බාධාවක් වෙන්න තරම්ම ප්‍රබල නැහැ. 

කෝවිඩ්-19 හමුවේ ආණ්ඩුවකට වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන් සුළු පිරිසක් බිල්ලට දෙන්න තිබෙන අයිතිය පිළිගන්නවානම්, උපයෝගීතාවාදී පදනමකින් බැලුවහම ලීවරය අදින එක නිවැරදි වෙන්නත්, මහත මිනිස්සු හොය හොයා නිරෝධායන කඳවුරු වල ගාල් කරන එක වැරදි වෙන්නත් තර්කානුකූල හේතුවක් නැහැ. මේ වගේ වෙලාවක හරි වැරැද්ද තීරණය වෙන්නේ බහුතර මතය අනුව. බහුතර මතය වෙනස් වන ආකාරය අනුව කිසියම් රටක ලොක්ඩවුන්, ඇඳිරි නීති, නිරෝධායන කඳවුරු ආදී ඕනෑම උපාය මාර්ගයක් හරි හෝ වැරදි වෙන්න පුළුවන්. 

ලංකාව අනුගමනය කළ නිරෝධායන කඳවුරු ක්‍රමය නිසා රටේ බොහෝ දෙනෙකුගේ කෝවිඩ්-19 අවදානම විශාල ලෙස අඩු වුනා. එහි මිල ගෙවන්න වුනේ එම කඳවුරු වල ගාල් වූ සුළු පිරිසකට. මගේ විශ්වාසය අනුව මේ නිරෝධායන කඳවුරු වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් සැලකිය යුතු පිරිසකට වෛරසය අසාදනය වෙන්න ඇත්තේ එම කඳවුරකදී. ඉතාලියෙන් හා ඉන්දියාවෙන් ආ කණ්ඩායම් වල සිට හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනාම ඒ රටවලින් කෝවිඩ්-19 අරන් ආ අය කියා මම හිතන්නේ නැහැ. 

ලංකාවේ නිරෝධායන කඳවුරක් මම පෞද්ගලිකව නිරීක්ෂණය කරලා නැහැ. ඒ කඳවුරකදී එක් අයෙකුගෙන් වෙනත් අයෙකුට කෝවිඩ්-19 බෝවෙන්න විදිහක් නැහැ කියලා තර්ක කරන අය ඉන්න පුළුවන්. එහෙත්, කන්දකාඩු පොකුරෙන් පසුව එවැනි තර්කයකට වලංගු භාවයක් නැහැ.

නිරෝධායන කඳවුරු ක්‍රමය හරි හෝ වැරදිද කියන එක සදාචාරාත්මක ප්‍රශ්නයක්. පිළිතුර විෂයමූලිකයි. එහෙත්, මේ ක්‍රමය හා සමස්තයක් ලෙස ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදය ඵලදායීද කියන එක විෂයමූලික නොවී සලකා බැලිය හැකි කරුණක්. මේ ක්‍රමය මෙතෙක් කල් ලංකාවට වැඩ කළා. එය තව දුරටත් එසේම වැඩ කරයිද?


Saturday, October 24, 2020

විස්ස දිනුවත් දහනවය පරාදද?


විස්ස නම් කොහොම හරි ගොඩ දාගත්තනේ. කොහොම හරි කිවුවත් කවුරුවත් නොහිතපු අමුතු දෙයක් වුනේ නැහැ. ආණ්ඩුව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ එය ඉන්තේරුවෙන්ම දිනන්න පුළුවන් බව දැනගෙන, එහෙමත් නැත්නම්, දිනන්න පසුබිම හදාගෙන බව, පොඩි හෝ දේශපාලන අවබෝධයක් තියෙන කෙනෙක් සැක කළා කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම ඒ තත්ත්වය වෙනස් කිරීමේ කිසිදු හැකියාවක් අදාළ සංශෝධනයට විරුද්ධ වූ ජවිපෙ හෝ සජබ වැනි පක්ෂ වලට තිබුණේ නැහැ. එහෙම පුළුවන්කමක් තිබුණානම් ඒ ආණ්ඩුව ඇතුළේම තිබුණු ප්‍රතිවිරෝධතා වල උදවුවෙන් පමණයි. එහෙත්, ඒ ප්‍රතිවිරෝධතා බොහොමයක් ලෙමන් පෆ් එකකින් ගහලා කඩන්න පුළුවන් තරමේ සබන් බෝල පමණක් වූ බවත් මුල සිටම පෙනෙන්න තිබුණු කරුණක්.

විස්ස ගැන ලියන්න ඕනෑ තරම් දේවල් තිබුණත් ඒ කිසිම දෙයක් ලියන එකේ කිසිම තේරුමක් තිබුණේ නැහැ. ඒ නිසා, චචන නාස්ති කරගන්න ගියේ නැහැ. කොහොම හරි දැන් විස්ස පාස්නේ. ඒ කියන්නේ දහනවය ෆේල්. 

එක දහනවයක් පරාද කළත් ජය පැන් සමරන්නවත් ඉඩක් නොතියා දැන් ආණ්ඩුවට තවත් දහනවයක් කරදර කරන්න පටන් අරන්. ඒ කෝවිඩ්-19. ආණ්ඩුවට අනුව "සමාජගත වෙලා" කියන එකේ අර්ථ දැක්වීම මොකක් වුනත් දැන් කෝවිඩ්-19 ආසාදිතයින් ලංකාව හැම තැනින්ම වගේ හමු වෙන්න පටන් අරන්. 

කෝවිඩ්-19 ලෝක වසංගතයක්. වෛරසය පැතිරෙන්නේ ජාති, ආගම්, ජාතිකත්ව, දේශපාලන මතවාද, රැකියා, අධ්‍යාපන මට්ටම්, ආදායම් මට්ටම් ආදිය බල බල නෙමෙයි. එහෙත්, රෝගය පැතිරෙන්නේ මේ කිසිවක් නොතකමින් තනිකරම අහඹු ලෙස කියා කියන්නත් බැහැ. වසංගතය පැතිරීමට ඉහත සාධක වලද යම් බලපෑමක් තියෙන්න පුළුවන්. ජාති, ආගම්, ජාතිකත්ව, දේශපාලන මතවාද, රැකියා, අධ්‍යාපන මට්ටම්, ආදායම් මට්ටම් ආදිය අනුව මිනිස්සුන්ගේ හැසිරීම් වෙනස් වෙනවා. කෝවිඩ්-19 පැතිරෙන ආකාරයට මිනිසුන්ගේ හැසිරීම් බලපානවා. ඊට අමතරව කිසියම් ආසාදිතයෙකුට කෝවිඩ්-19 නිසා ඇතිවන බලපෑම ප්‍රධාන වශයෙන්ම වයස හා ශරීරයේ බර ඇතුළු තවත් කරුණු ගණනාවක් මත වෙනස් වෙනවා.

මේ වන තුරු කිසිම රටක් කෝවිඩ් වලින් නිදහස් වී නැහැ. එහෙත් හැම රටක් වගේම කෝවිඩ් යම් තරමකින් පාලනය කරගෙන තිබෙනවා. ඒ කොපමණකින්ද කියන එක සංකීර්ණ කරුණු ගණනාවක් මත තීරණය වී ඇති දෙයක්. ආණ්ඩු වල මැදිහත්වීමේ ප්‍රමාණය ඒ කරුණු අතරින් එකක් පමණයි.

කෝවිඩ් පාලනය කිරීම සඳහා විවිධ රටවල ආණ්ඩු විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මේ ඇතැම් ක්‍රියාමාර්ග දැඩි ක්‍රියාමාර්ග ලෙසත් තවත් ඒවා සාපේක්ෂව ලිහිල් ක්‍රියාමාර්ග ලෙසත් හඳුන්වන්න පුළුවන්. චීනය හා ලංකාව වැනි රටවල් රජයයන් මුල් වී දැඩි ක්‍රියාමාර්ග ගත් රටවල් සේ සැලකිය හැකියි. ස්වීඩනය වැනි රටවල් අනුගමනය කළේ සාපේක්ෂව බොහෝ ලිහිල් ක්‍රමවේදයක්. එහිදී රජය මුල් වී දැඩි නීති පනවනු වෙනුවට පුද්ගල විනය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කළා.

කෝවිඩ්-19 පැතිරෙද්දී ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය වැනි රටවල රාජ්‍ය බලය හෙබවූයේ බොහෝ දෙනෙකු "දක්ෂිණාංශික" සේ හඳුන්වන දේශපාලන පක්ෂ විසිනුයි. මේ රටවල රාජ්‍ය නායකයින්, "වාමාංශික" පක්ෂ බලය හෙබවූ ජර්මනිය හා නවසීලන්තය වැනි වෙනත් බටහිර රටවල රාජ්‍ය නායකයන්ට සාපේක්ෂව කෝවිඩ්-19 ඒ තරම් ගණන් ගත්තේ නැහැ. ජනාධිපති ට්‍රම්ප්ට, අගමැති බොරිස් ජොන්සන්ට හා ජනාධිපති බොල්සොනාරෝට කෝවිඩ්-19 ආසාදනය වී සුවවීම අහම්බයන් සේ සැලකීමට බැරිකමක් නැතත් ඒ අහම්බයන් ඔවුන්ගේ දේශපාලන මතවාද වලින් වියුක්තයැයි සලකන්න බැහැ.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය යන රටවල් තුනම කෝවිඩ්-19 මරණ අනුපාතය අනුව (ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස) ලැයිස්තුවේ ඉහළින් සිටින රටවල්. බොහෝ විට මෙහි වරද මේ රටවල් පාලනය කළ ආණ්ඩු වලට බැර කෙරෙනු දැකිය හැකියි. ආණ්ඩු වල බලපෑමක් නැතැයි කිව නොහැකි වුවත් එය එකම සාධකය නෙමෙයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය වැනි රටවල දක්ෂිණාංශික ආණ්ඩු බලයට පත් වී සිටින්නේ එම රටවල බහුතර ජනතාව හෝ අඩු වශයෙන් ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දක්ෂිණාංශික අදහස් දැරූ නිසයි. මේ ජනමතය කෝවිඩ් වසංගතය පැතිරීමෙන් පසුව වෙනස් වී තිබිය හැකි වුවත්, වසංගතය පැතිරෙද්දී එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. අදාළ රටවල රාජ්‍ය නායකයින්ගෙන් නිරූපණය වුනේ එම රටවල විශාල පිරිසක් හිතන ආකාරයයි. 

මේ රටවල් අතරින් මා වැඩිපුර දන්නා ඇමරිකාවේ බොහෝ දෙනෙකු කෝවිඩ්-19 පිට දමා රටේ මිනිස් ජීවිත හැසිරවීමේ ලීවරය ආණ්ඩුව අතට ගන්නවාට කැමැත්තෙන් හිටියේ නැහැ. කාලයක් තිස්සේ ආණ්ඩුවේ රූකඩ සේ ජීවත් වීමට මිනිස්සුන්ව පුරුදු කර තිබෙන චීනය හෝ සිංගප්පූරුව වැනි රටක ආණ්ඩුවකට කළ හැකි දේ බටහිර රටක ආණ්ඩුවකට කළ නොහැකියි. මේ කරුණ "වාමාංශික" සේ සැලකෙන ආණ්ඩුවක් බලයේ සිටින ජර්මනිය වැනි රටකට වුවත් සාධාරණ ප්‍රකාශයක්.

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයට බලය තිබුණු ප්‍රාන්ත කෝවිඩ්-19 හමුවේ රිපබ්ලිකන් පක්ෂයට බලය තිබුණු ප්‍රාන්ත වලට සාපේක්ෂව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රාන්ත වල වසංගතයේ ව්‍යාප්තිය මන්දගාමී වුනා. එහෙත්, එම ප්‍රාන්ත වසංගතයේ ව්‍යාප්තිය සීමා කිරීමට සමත්ව නැහැ. යුරෝපයේ රටවල් අතරින් සෑහෙන තරමකින් සාර්ථකව වසංගතය පාලනය කළ සේ සලකනු ලැබූ ජර්මනියේත් මේ වෙද්දී නැවතත් කෝවිඩ්-19 පැතිරෙනවා.

දැඩි ක්‍රියාමාර්ග හරහා කෝවිඩ්-19 පාලනය කරගත් රටක් ලෙස දැනට හඳුනාගත හැක්කේ චීනය පමණයි. චීනය විසින් මුලදීම කළේ උපයෝගීතාවාදී පදනමකින් ජීවිත පහක් බේරා ගැනීම සඳහා මහත මිනිහාව දුම්රිය මාර්ගයට තල්ලු කරන එකයි. එසේ නොවේනම් අවම වශයෙන් වැඩිදුර නොහිතා ක්ෂණිකව ලීවරය ඇද අතුරු මාර්ගයට ට්‍රොලිය හරවන එකයි. එයට සාපේක්ෂව බොහෝ බටහිර රටවල් විසින් කළේ අතුරු මාර්ගයේ සිටින පුද්ගලයාවත් බේරාගෙන ඉතිරි ජීවිත පහ බේරාගන්නා ආකාරය ගැන සැලසුම් හදමින් කල් ගැනීමයි. 

පසුගිය ඔක්තෝබර් 8 දින දක්වා චීනයේ සිදු වී ඇති කෝවිඩ් මරණ 4,634කින් 4,512ක්ම සිදුව තිබෙන්නේ හුබෙයි ප්‍රාන්තයේ. එයින්ද මරණ 3,869ක්ම සිදුව තිබුණේ මිලියන 11.1ක ජනගහණයක් සිටින වුහාන් ආශ්‍රිතවයි. වුහාන් ආශ්‍රිතව කෝවිඩ් පැතිරෙද්දී, චීන ආණ්ඩුව විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී අදාළ ප්‍රදේශය ලොක් ඩවුන් කළා. මෙහිදී චීනය විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ගය වූයේ මිලියන 1400ක් ඉක්මවන රටේ සෙසු ප්‍රදේශ වල සිටින ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා වුහාන් වල සිටින සීමිත ජනගහණය බිල්ලට දීමයි. 

මේ ක්‍රියාමාර්ගය නොවන්නට වුහාන් වල ජීවත් වූ පිරිස් "පණ බේරා ගැනීම" සඳහා ප්‍රදේශයෙන් පිටතට සංක්‍රමණය වීමත්, ඒ හරහා රට පුරා වසංගතය ව්‍යාප්ත වීමත් සිදු විය හැකිව තිබුණා. චීන ආණ්ඩුව විසින් ගත් ක්ෂණික ක්‍රියාමාර්ගය නිසා එක පැත්තකින් වුහාන් වැසියන්ට පණ බේරා ගන්න තිබුණු අවස්ථාව අහිමි වෙද්දී වුහාන් වලින් පිට සිටි අයගේ අවදානම අඩු වුනා.

කෙසේ වුවත්, ඒ වන විටත් වුහාන් වලින් පිටතට වසංගතය පැතිරී තිබුණා. ඒ නිසා චීනයට වුහාන් ඇතුළත් හුබෙයි ප්‍රාන්තයම ලොක් ඩවුන් කරන්න සිදු වුනා. 

දැන් අප දන්නා පරිදි කෝවිඩ්-19 මරණ අනුපාතය කලින් සිතා සිටියාට වඩා බෙහෙවින්ම අඩු වුවත්, ආරම්භයේදී මේ ප්‍රතිශතය 2% පමණ සේ ඇස්තමේන්තු කර තිබුණා. ඒ වගේම, ඇස්තමේන්තු කර තිබුණු R0 අගය අනුව රෝගය ස්වභාවිකවම පාලනය වීම සඳහා මුළු ජනගහණයෙන් 50%කට පමණවත් රෝගය වැළඳිය යුතුව තිබුණා. මේ අනුව, උපරිම වශයෙන් ජනගහණයෙන් 1%ක් පමණ මේ වසංගතයෙන් මිය යා හැකිව තිබුණා. 

මිලියන 11ක වුහාන් ජනගහණයෙන් 1%ක් කියා කියන්නේ 110,000ක පිරිසක්. දැනට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබෙන කෝවිඩ්-19 මරණ ප්‍රමාණය මේ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩියි. බ්‍රසීලයේ හා ඉන්දියාවේ මරණ ප්‍රමාණද මීට වඩා වැඩියි. සමස්ත චීනයේම ජනගහණය අනුව බැලුවොත් මේ මරණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට 76ක පමණ ප්‍රමාණයක්. එය චීනයට දැනෙන මරණ ප්‍රමාණයක් නෙමෙයි. 

අනෙක් අතට මේ මරණ ප්‍රමාණය උපරිම සීමාවක්. සංචරණය සීමා කර R0 අගය පහත හෙළිය හැකි නිසා ජනගහණයෙන් 50%කට රෝගය ව්‍යාප්ත වන තුරු රෝගය පැතිරෙන්නේ නැහැ. චීන රජයට බය නැතිව ලීවරය අදින්න පුළුවන් වුනේ මේ සියළු තත්ත්වයන් එක්කයි.

විශාල ජනගහණයක් සිටින විශාල රටක් වන චීනයට තිබෙන සියළු වාසි ලංකාව වගේ පොඩි රටකට නැහැ. අනෙක් අතට ලංකාවට දූපතක් වීමේ වාසිය තිබෙනවා. කෙසේ වුවත්, දූපතක් වීමේ වාසිය තිබෙන්නේ යම් සීමාවක් තුළ පමණයි. දූපතකට පිටතින් කෝවිඩ් පැමිණීමේ අවදානමින් බේරී ඉන්න පුළුවන් වුනත්, රට ඇතුළේ කෝවිඩ් පැතිරුනොත් ඉතා ඉක්මණින් වසංගතය රට පුරා ව්‍යාප්ත වීමේ අවදානම එසේම තිබෙනවා.

(Image: https://www.cagle.com/tom-janssen/2020/03/corona-and-goliath)


Friday, October 16, 2020

එතුවක් දුරින් ඉන්න ඈතින්...

කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 ගැන අන්තිමට කතා කළේ මාසයකට පමණ පෙරයි. වසංගතයේ ව්‍යාප්තිය ආරම්භයේදී අප මේ හා අදාළ ලිපි ගණනාවක් පළ කළත්, පසුගිය ජූලි මාසයේ සිට කොරෝනා ගැන කතා කර තිබෙන්නේ මසකට වරක් පමණයි. ඒ ලිපි වලත් ගැඹුරු තාක්ෂණික කරුණු කිසිවක් කතා කර නැහැ.

සිවු මසකට පෙර "කෝවිඩ් නැත්තේ කොහේද?" යනුවෙන් ලිපියක් මෙහි පළ කරමින් අප ඒ වන විට ලෝකයේ කෝවිඩ් වලින් තොර රටවල් ගැන කතා කළා. එහි සඳහන් කළ උතුරු කොරියාව හා තුර්ක්මේනිස්ථානය යන රටවල් නිල වශයෙන් කෝවිඩ්-19 ආසාදිතයින් වාර්තා කර නැතත් අදාළ රටවල් කෝවිඩ් වලින් නොතොර බව බොහෝ විශේෂඥයින්ගේ මතයයි. බටහිර සහරාවේ පොලිසාරියෝ පෙරමුණ විසින් පාලනය කරන නැගෙනහිර බිම් තීරුව සම්බන්ධ තත්ත්වයත් මෙවැන්නක්.

තොරතුරු නිවැරදිව වාර්තා නොවන ඉහත රටවල් /ප්‍රදේශ හැරුණු විට කෝවිඩ් වලින් තොර රටවල් සේ සැලකිය හැකිව තිබුනේ ශාන්තිකර සාගර කලාපයේ දූපත් රාජ්‍ය දහයක් පමණයි. මේ කලාපයේ පිහිටි ජනගහණය වැඩිම දූපත් රාජ්‍යය වූ ෆිජි ජනරජයෙන් ඒ වන විටද කෝවිඩ්-19 ආසාදිතයින් වාර්තා වී තිබුණා. 


ඉහත කී දූපත් රාජ්‍ය දහය අතරින් වැඩිම ජනගහණයක් සිටින රට වන සොලමන් දූපත් වලින්ද මේ වන විට කෝවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හමු වී තිබෙනවා. මේ අනුව, මේ වෙද්දී කෝවිඩ් වලින් බේරී සිටින්නේ ශාන්තිකර කලාපයේ දූපත් රාජ්‍ය නවයක් පමණයි. මේ අතරින් වැඩිම ජනගහණයක් සිටින දූපත් රාජ්‍යය වන්වාතු. එහි ජනගහණය ආසන්න වශයෙන් ලක්ෂ තුනක් පමණ වෙනවා. වන්වාතුද ඇතුළුව මේ දූපත් රාජ්‍ය නවයේම ජනගහණය මිලියනයකට වඩා අඩුයි.


ලක්ෂයක පමණ ජනගහණයක් සිටින බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයක් වන සෙන්ට් වින්සන්ට් සහ ග්‍රෙනඩීස් දූපත් වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් 64 දෙනෙකුත්, එම කලාපයේම පිහිටි පනස් දහසක පමණ ජනගහණයකින් යුත් සෙන්ට් කිට්ස් සහ නෙවීස් දූපත් වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකුත් මේ වන විට සුවය ලබා සිටින නිසා එම රටවල්ද මේ වන විට කෝවිඩ් වලින් නිදහස් බව ඕනෑනම් කියන්න පුළුවන්. 

ඉහත කී රටවල් සියල්ල සීමිත ජනගහණයක් සිටින හුදෙකලා දූපත් රාජ්‍යයන්. ඇමරිකාව හෝ ඉන්දියාව වැනි විශාල කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණයක් සිටින රටවල වුවත් කෝවිඩ්-19 ආසාදිතයින් නැති මෙවැනි කුඩා ප්‍රදේශ තියෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙද්දී කෝවිඩ්-19 විසින් ලෝකයම ග්‍රහණයට අරගෙන කියන එක සෑහෙන තරමේ සාධාරණ ප්‍රකාශයක්. වරින් වර කෝවිඩ්-19 "සාර්ථකව මර්දනය කළ" බොහෝ රටවල දැන් නැවතත් ආසාදිතයින් හමු වෙන්න පටන් අරන්. [මෙය ලංකාව ඉලක්ක කර කරන ප්‍රකාශයක් නෙමෙයි.]


ඉහත ප්‍රකාශය අභියෝගයට ලක් වෙනවානම් මුලින්ම එය වෙන්නේ කෝවිඩ්-19 මුලින්ම පැතිරුණු චීනයේදී. චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පිටත ජනගහණය ලක්ෂයකට කෝවිඩ්-19 ආසාදිතයින් ගණන 15කට වඩා අඩුයි. චීනය හැරුණු විට මේ මට්ටමේ කෝවිඩ්-19 පාලනයක් දැකිය හැක්කේ චීනයට යාබද වියට්නාමය, ලාඕසය හා කාම්බෝජය ඇතුළත් භූගෝලීය කලාපයේ හා නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ පමණයි. 

කෝවිඩ්-19 සාර්ථකව පාලනය කිරීම සම්බන්ධව ටැන්සානියාව දෙවෙනි වනවානම් ඒ උතුරු කොරියාවට හා තුර්ක්මේනිස්ථානයට පමණයි. නිල වශයෙන් රටක කෝවිඩ්-19 ආසාදිතයින් සිටිය හැක්කේ පරීක්ෂා කර හඳුනාගෙන අදාළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළොත් පමණයි. කෝවිඩ්-19 පරීක්ෂණ සිදු කිරීම සම්පූර්ණයෙන් නැවැත්වූ විට අලුත් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වන එකත් සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒ වන විට හඳුනාගත් ආසාදිතයින් සුව වූ පසු රට කෝවිඩ් වලින් තොර වෙනවා.

රටවැසියන්ගේ යාඥා වල ප්‍රතිඵලයක් ලෙස ටැන්සානියාව කෝවිඩ් වලින් තොර වී ඇති බව එරට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර රෝග ලක්ෂණ ඇති අය පරීක්ෂා කිරීම නැවැත්වීමෙන් පසුව ටැන්සානියාවෙන් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වන්නේ නැහැ. සිම්පල් ප්ලෑන් එකක්!

තොරතුරු වාරණයක් සිදු වනවා විය හැකි වුවත් චීනය ටැන්සානියාවේ ගොඩට දමන්න බැහැ. හුබෙයි ප්‍රාන්තයෙන් කෝවිඩ්-19 ව්‍යාප්තිය ආරම්භ වූ මුල් අදියරෙන් පසුව චීනය රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අවදානම් සහිත ජන කණ්ඩායම් මහා පරිමාණයෙන් පරීක්ෂාවට ලක් කිරීමද චීනය විසින් අනුගමනය කරන ක්‍රමවේදයේ කොටසක්. එහෙත්, එය චීනය විසින් කරන එකම දෙය නෙමෙයි ආක්‍රමනශීලී ලෙස සබඳතා හමා යාම, විශාල ජනගහණයක් සිටින ප්‍රදේශ ලොක් ඩවුන් කිරීම ඇතුළු තවත් බොහෝ දේ චීනය විසින් කරනවා.

චීනය මධ්‍යගත පාලනයක් තිබෙන විශාල රටක් වීම කෝවිඩ් මර්දනයේදී උදවුවක් වී තිබෙනවා. මෙහිදී දෙවන සාධකය අමතක කර පළමු සාධකය ගැන පමණක් කතා කරන්න බැහැ. ඇත්තටම චීනයේ දැඩි මධ්‍යගත පාලනය නොවන්නට ඇතැම් විට කෝවිඩ් ව්‍යාප්තිය මුල් අදියරේදීම හඳුනාගනු ලැබ වුහාන් වලටම සීමා වන්නට වුවත් ඉඩ තිබුණා. කෙසේ වුවත්, යම් මට්ටමකට වසංගතය පැතිරුණු පසුව චීනය විසින් වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා.

චීන්නු කටවහගෙන ආණ්ඩුව කියන දේ ඒ විදිහටම කරන්න කාලයක් තිස්සේ පුරුදු වී සිටීම වැඩේට පහසුවක් වුනා. හැබැයි එහෙම කටවහගෙන ආණ්ඩුව කියන දේ කරන ජනතාවක් සිටි පමණින් කුඩා රටකට චීනය කළ දේවල් කරන්න පහසු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මිලියන 60ක පමණ ජනගහණයක් සිටින හුබෙයි ප්‍රාන්තය ලොක් ඩවුන් කරද්දී රටේ වැඩ කටයුතු කරගෙන යන්න තවත් මිලියන 1380ක පමණ ජනගහණයක් හුබෙයි ප්‍රාන්තයෙන් පිටත හිටියා. ලංකාව වගේ රටක ජනගහණය මෙන් තුන් ගුණයකගේ සංචරණය සීමා කළාට පසුවත් චීනයෙන් 96%ක්ම වැඩ. 

මෙය චීනයට පමණක්ම කළ හැකි දෙයක්. රටේ ආර්ථික කටයුතු වලට විශාල බලපෑමක් කර නොගනිමින් මිලියන 60ක ජනගහණයක් පැත්තකට කරන්න පුළුවන් තරමේ විශාල ජනගහණයක් සිටින වෙනත් රටක් ඇත්නම් ඒ ඉන්දියාව පමණයි. ඉන්දියාවේද චීනයේ මෙන්ම විශාල ජනගහණයක් සිටියත් චීනයේ මෙන් දැඩි මධ්‍යගත පාලනයක් නැති නිසා ඉන්දියාවටත් මෙවැන්නක් කරන්න බැහැ. අනෙක් අතට මධ්‍යගත පාලනයක් තිබුණා කියලා පොඩි රටකට මෙවැන්නක් කරන්නත් බැහැ. 

චීනය කෝවිඩ් රටින් තුරන් කරලා නැහැ. රට ඇතුළෙන් වරින් වර කෝවිඩ් ආසාදිතයින් හමු වෙනවා. එහෙත්, ඒ විදිහට හමුවෙන ආසාදිතයින් ඉක්මණින් හඳුනාගෙන වෙන් කිරීමට හැකි යාන්ත්‍රණයක් චීනය සතුව තිබෙනවා. ඒ යාන්ත්‍රනය චීනයේ ආර්ථිකයට දරා ගත නොහැකි බරක් නෙමෙයි. අනෙක් පැත්තෙන් එන්නත් තරඟය තුළත් චීනය ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා, එන්නතක් වැඩි දියුණු කර ගන්නා තුරු කෝවිඩ් විශාල ලෙස රට ඇතුළේ පැතිරෙන එක වලක්වා ගන්න චීනයට බැරි වෙයි කියා කියන්න බැහැ. 

චීනයට දකුණින් තිබෙන ලාඕසය, වියට්නාමය හා කාම්බෝජය වගේ රටවල් වලට වගේම තායිලන්තයටත් චීනය කෝවිඩ් පාලනය කර ගැනීමේ වාසිය වක්‍ර විදිහට ලැබී තිබෙනවා. හැබැයි මේ තත්ත්වය කොයි වෙලාවක හෝ වෙනස් වෙන්න බැරිකමක් නැහැ. මෑතක් වන තුරුම කෝවිඩ් ව්‍යාප්තිය ඉතා අඩු මට්ටමක තිබුණු මියන්මාරයේ මේ වෙද්දී වේගයෙන් කෝවිඩ් ව්‍යාප්ත වන ආකාරය අනුව පැහැදිලි වන්නේ ඉහත රටවල දැනට පෙනෙන්නට තිබෙන ස්ථාවර තත්ත්වය එසේම දිගටම පවතිනු ඇති බවට කිසිදු සහතිකයක් නැති බවයි. චීන බෝඩරය ආරක්‍ෂිත වුනත් මියන්මාරය පැත්තෙන් හරි මැලේසියාව පැත්තෙන් හරි මේ බ්ලොක් එකේ රටවල කෝවිඩ් පැතිරෙන්න පුළුවන්.

කෝවිඩ් වසංගතය හමුවේ දූපත් රාජ්‍ය වලට යම් වාසිදායක තත්ත්වයක් දිගටම වගේ තිබුණා. අයිස්ලන්තය උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. එක පැත්තකින් දූපත් රාජ්‍යයක් වීමේ වාසියත්, අනෙක් පැත්තෙන් අඩු ජන ඝනත්වයක් තිබීමේ වාසියත් අයිස්ලන්තයට තිබුණා. ඊට අමතරව අයිස්ලන්තය මුල් කාලයේදීම තමන්ගේ රටේ ජනගහණය විශාල ලෙස පරීක්ෂාවට ලක් කළා. 

අයිස්ලන්තය ගැන බොහෝ දෙනෙක් කතා කළේ සාර්ථක ලෙස කෝවිඩ් මර්දනය කළ රටක් විදිහටයි. නමුත්, මේ වෙද්දී කෝවිඩ් "දෙවන රැල්ල" අයිස්ලන්තය හරහා හමා යනවා. සීෂෙල්ස්, නවසීලන්තය වගේ දූපත් රාජ්‍ය වල තත්ත්වයනම් තවමත් හොඳින් පාලනය වී තිබෙනවා.දූපත් රාජ්‍ය වලට කෝවිඩ් වලින් බේරීම සාපේක්ෂව පහසු වුනත් එය ඉබේටම වෙන්නේ නැහැ. එය තවත් සාධක ගණනාවක් මත තීරණය වන දෙයක්.

ලංකාවේ කෝවිඩ් මර්දන කටයුතු මෙතෙක් සාර්ථකව සිදු වී ඇති බව පැහැදිලි කරුණක්. එහෙත්, මේ වෙද්දී ලංකාව නැවතත් "හන්දියකට" පිවිස තිබෙනවා. මේ ලිපියෙන් මම ලංකාව ගැන කතා කරන්න යන්නේ නැහැ. කොහොම වුනත් දැන් පවතින තත්ත්වය අනුව, කාලයකට ඉස්සර ප්‍රේමකීර්ති ද අල්විස් විසින් දීලා තියෙන උපදෙස් පිළිපදින එක තමයි කරන්න තියෙන්නේ.

එතුවක් දුරින් ඉන්න ඈතින්...

එහෙම නැත්නම් වෙන දේත් කියල තියෙනවනේ.

මනසින් ලබන්න හැකි සුවේ...අප ලං වුනොත් දුරස් වෙතේ...



Sunday, September 13, 2020

අපේ අලුත් ජීවිතය

බ්ලොග් එක පැත්තේ ආවේ සති දෙකකටත් පස්සේ. මම හිතන්නේ තිබෙන කාර්ය බහුල තත්ත්වය නොවැම්බර් මැද වන තුරු අවසන් වන එකක් නැහැ. ඒ නිසා, එතෙක් කල් බ්ලොග් එක පණ පිටින් තියා ගන්න ඉඳහිට මේ වගේ යමක් ලියනවා හැර වැඩි දෙයක් කරන්න ලැබෙන එකක් නැහැ. 

පසුගිය වසර පහක පමණ කාලය තුළ වසරකට ලියා තිබෙන සාමාන්‍ය ලිපි ප්‍රමාණය මේ වසරේ දැනටමත් ලියා අවසන් නිසා ඉතිරි මාස කිහිපයේ වැඩිපුර නොලිවුවා කියා අඩුවක් දැනෙන එකක් නැහැ. කියවන්න අවශ්‍ය අයට කියවන්න ලිපි විශාල ප්‍රමාණයක් බ්ලොග් එකේ තිබෙනවා වගේම තවමත් සැලකිය යුතු පිරිසක් දිනපතාම පරණ ලිපි කියවනවා.

සැප්තැම්බර් මාසය කාර්ය බහුල වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේදීත් මෙහි පළ කර තිබෙන්නේ ලිපි තුනක් පමණයි. පෞද්ගලිකව ගත්තහම සැප්තැම්බර් මාසය බොහෝ දේ සැලසුම් කර ගත යුතු අවුරුද්දක ආරම්භය වැනි කාලයක්. මේ අවුරුද්දේ සුවිශේෂී ස්වභාවය නිසා තවත් අමාරුයි.

මේ වෙද්දී ඇමරිකාවේ කෝවිඩ් "දෙවන රැල්ල" මන්දගාමී වෙමින් යන නමුත් තවමත් දවසකට රෝගීන් හතළිස් දහසක් පමණ අලුතෙන් හඳුනා ගැනෙනවා. මරණ දහසකට කිට්ටුව සිදු වෙනවා. මා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් පසුගිය මාර්තු මාසයේ සිට තවමත් ඉන්නේ නිවස ඇතුළේ. මෙය ස්වේච්ඡාවෙන් සිරගත වීමක්. අපේ රැකියා වල ස්වභාවය නිසා අපට මේ අවස්ථාව හිමි වී තිබෙනවා.

පසුගිය මාසයේ ග්‍රීෂ්ම නිවාඩුවෙන් පසුව නැවතත් පාසැල් වාරය ආරම්භ වුනා. පාසැල් වල වගේම සරසවි වලත් බොහෝ විට සිදු වන්නේ තමන්ගේ රුචිකත්වය පරිදි පන්ති කාමරයට පැමිණ හෝ ගෙදර සිට ඉගෙන ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමයි. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ සිසුන් 22,000ක් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ගේ තේරීම් අනුව සිසුන් 7,000ක් මෙම පාසැල් වාරය අවසන් වන තුරු නිවෙස් වල සිට අධ්‍යයන කටයුතු කරන්නට කැමැත්ත පළ කර තිබෙනවා.

ඉතිරි සිසුන් 15,000 පන්ති කාමරයේ සිට ඉගෙන ගන්නවාට ඔවුන්ගේ දෙමවුපියන් කැමතියි. දරුවන් ගෙවල් වල තබා ගැනීම නිසා ඇති වන අමතර ප්‍රශ්නත් මෙයට හේතුවක්. අප නිවසේ සිට රැකියාව කරන නිසා දරුවන්ද නිවසේ සිටීම අපට ප්‍රශ්නයක් නොවූවත්, රැකියා සඳහා නිවෙසින් බැහැර යා යුතු දෙමවුපියන්ට එය ප්‍රශ්නයක්. තමන්ගේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු නිසි සේ සිදුවන බවට වග බලා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඒ වගේම, කොහොමටත් ගෙදරින් එළියට යන නිසා දරුවන් බැහැර ගියා කියා ඔවුන්ගේ අවදානම අමුතුවෙන් වැඩි වෙන්න දෙයකුත් නැහැ. 

පාසැල් සිසුන්ගේ (දෙමවුපියන්ගේ) වගේම සරසවි සිසුන්ගේ රුචිකත්වයන් දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන එක් දෙයක් වන්නේ පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුල් වල, විශේෂයෙන්ම ආසියානු සම්භවයක් ඇති පවුල් වල, ජනප්‍රිය තේරීම නිවසේ සිට අධ්‍යාපනය ලැබීම බවයි. මෙයට හේතු ගණනාවක් තිබෙනවා. 

පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුලකට ඇමරිකාව ඇතුළේ ඥාති සම්බන්ධතා ජාලයක් නැහැ. එසේ තිබියදී, පවුලේ අයෙකුට කෝවිඩ් ආසාදනය වී ඉතිරි අයටද බෝ වුනොත් බලන්න කෙනෙක් නැති කමින් අසරණ වෙනවා. ඥාති සම්බන්ධතා ජාලයක් තිබෙන කෙනෙකුට මේ වගේ අවස්ථාවක උදවු ලබා ගත හැකි සුරක්ෂිතතා දැලක් තිබෙනවා. ඒ නිසා, සංක්‍රමණිකයන්ට බය වෙන්න හේතු වැඩියි. 

ඉන්දියාව, චීනය වැනි ආසියානු රට වලින් ඇමරිකාවට සංක්‍රමණය වී සිටින බොහෝ දෙනෙක් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත ඇමරිකාවට සංක්‍රමණය වී සිටින වෘත්තීය රැකියා කරන අයයි. ඒ අයට බොහෝ විට නිවසේ සිට තමන්ගේ රැකියාව කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා, දරුවන්ද නිවසේ තබා ගැනීමට තිබෙන නැඹුරුව වැඩියි.

අනෙක් අතට මෙවැනි සංක්‍රමණික පවුල් වල දෙමවුපියන් බොහෝ විට ඉලක්ක කරන්නේ තමන්ගේ දරුවන්ටත් උසස් අධ්‍යාපනයක් ලබා දී හොඳ රැකියාවක් ලබා ගැනීමේ ඉඩකඩ වැඩි කරන්නයි. ඒ වගේම ඇමරිකාවේ ඉපදුනු සංක්‍රමණික පවුල් වල දරුවන් අතර පවා ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් උරුම වූ විභාග ඉලක්ක කළ අධ්‍යාපනය කෙරෙහි යම් නැඹුරුවක් තිබෙනවා. ඉලක්කය විභාගය හෝ ලකුණු වූ විට ඉගෙන ගන්නේ කොහොමද කියන එක එතරම් වැදගත් නැහැ.

හැම විටම නොවූවත්, පරම්පරා ගණනක් ඇමරිකාවේ ජීවත් වන සුදු හෝ කළු ඇමරිකානු පවුල් වල සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමවුපියන්ගේ ඉලක්කය අධ්‍යාපනය මිස විභාග හෝ ලකුණුම නෙමෙයි. ඔවුන් බලාපොරොත්තු වන අධ්‍යාපනය පූර්ණ එකක් වන්නේ සිසුන්ට පංති කාමරය තුළ අනෙක් සිසුන් සමඟ ගැටෙන්නට අවස්ථාව ලැබේනම් පමණයි. 

ඇමරිකාව හැම තැනම තත්ත්වය මා දන්නේ නැතත්, අපේ ප්‍රදේශයේ පාසැල් හා සරසවි විවෘත කර තිබෙන්නේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමිනුයි. සිසුන් හැම විටම මුහුණු ආවරණ නිසි පරිදි පැළඳ සිටිය යුතු අතර අඩි හයක පරතරය පවත්වා ගත යුතුයි. මේ කොන්දේසි යටතේ පන්ති කාමරයක ඉඩ තිබෙන්නේ සීමිත සිසුන් පිරිසකට පමණයි. ඒ නිසා, පාසැල් යාමට කැමති සිසුන් සියලු දෙනාටම ඒ අවස්ථාව ලබා දීමේ හැකියාවක් නැහැ.

අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පංති කාමරයේ සිට ඉගෙන ගැනීමට කැමති සිසුන්ට සතියේ දින පහෙන් දෙකක් එසේ පාසැල් යාමට අවස්ථාව ලැබෙනවා. ඉතිරි දින වල නිවසේ සිට ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ විය යුතුයි. වාසගමේ මුල් අකුරු අනුව ගෙදර සිටින දවස් හා පාසැල් යන දවස් තීරණය වෙනවා. 

ගෙදර හතර දෙනෙක් තැන් තැන් වලට වී සාමාන්‍යයෙන් නිවසෙන් පිටත පන්ති කාමරයක හෝ රැකියා ස්ථානයක කරන කටයුතු කිරීමත් පහසු වැඩක් නෙමෙයි. සමහර වෙලාවට එක ගාලගෝට්ටියක්! සංගීතය, සරඹ වගේ විෂයයනුත් තියෙනවනේ!!

(Image: https://www.reddit.com/r/funny/comments/fxgm1p/my_roommates_zoom_meeting_attire/)

Thursday, August 27, 2020

වරක් හැදුනත් ගැලවුමක් නැද්ද?


කෝවිඩ්-19 වරක් ආසාදනය වූ අයට නැවතත් එම වෛරසය ආසාදනය වී ඇති බවට වූ වාර්තා වරින් වර පළ වුණත් මේ වාර්තාවන්හි විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්න තිබුණා. රෝගය සුව වීමෙන් පසුවත් වෛරසයේ ශේෂ වූ කොටස් (හෝ අදාළ ක්‍රියාවලිය තුළ හැදෙන ද්‍රව්‍ය) කාලයක් සිරුරේ රැඳී තිබෙන නිසා මෙසේ දෙවන වරට ආසාදනය වී ඇති සේ හඳුනා ගැනෙන්නේ සැබෑවටම දෙවන වරට සිදු වූ ආසාදනයක් නොවීමට ලොකු ඉඩක් තිබීම ඊට හේතුවයි. 

කෝවිඩ්-19 වරක් ආසාදනය වූ අයෙකුට නැවතත් එම වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට හොංකොං සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් පළමු වරට තහවුරු කර තිබෙනවා. දෙවන වරට වෛරසය ආසාදනය වී තිබෙන්නේ පළමු වරට ආසාදනය වී දින 142කට පසුවයි. 

මෙසේ දෙවන වරටද වෛරසය ආසාදනය වී තිබෙන්නේ අවුරුදු 33ක හොංකොං වැසියෙකුටයි. ඔහු පළමු ආසාදනය සිදු වන විට මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටි අයෙක්. පළමු වරට ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන්නේ පසුගිය මාර්තු 23 වනදා. මාර්තු 26 වනදා ඔහු රෝහල්ගත වී තිබෙන අතර පරීක්ෂණ දෙකකින්ම කෝවිඩ්-19 සුව වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව අප්‍රේල් 14 වනදා ඔහු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මේ පුද්ගලයාට දෙවන වරටද කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව හඳුනා ගැනෙන්නේ අගෝස්තු 15 වනදා හොංකොං ගුවන් තොටුපොළේදීයි. ඒ ස්පාඤ්ඤ සංචාරයකින් පසුව එක්සත් රාජධානිය හරහා නැවත සියරට පැමිණෙන අවස්ථාවේදී. මේ අනුව, ඔහුව රෝහල් ගත කර ඇතත් පළමු වර මෙන් ඔහුට කැස්ස, උණ, හිසරදය හා උගුර ආසාදනය ආදී රෝග ලක්ෂණ පහළ වී නැහැ. 

දෙවන ආසාදනය පළමු ආසාදනයට සම්බන්ධ නැති අලුත් ආසාදනයක් බව තහවුරු කර ගැනීම පහසු වී තිබෙන්නේ ඔහු දෙවන වර ආසාදනයට ගොදුරු වී තිබෙන්නේ විදේශ සංචාරයක යෙදෙද්දී වීම නිසයි. ජෙනෝම විශ්ලේෂණය මගින් තහවුරු කරගෙන තිබෙන පරිදි, දෙවන ආසාදනයට හේතු වී තිබෙන වෛරසය ස්පාඤ්ඤයේ පැතිරෙන, හොංකොංහි මුලින් පැතිරුණු වෛරස ප්‍රභේදයෙන් වෙනස් එකක්.

ඉහත පර්යේෂණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බෙල්ජියම හා නෙදර්ලන්තය වැනි වෙනත් රට වලින්ද මෙවැනි දෙවන ආසාදනයන් පිළිබඳව තොරතුරු හෙළිදරවු වෙමින් පවතිනවා.

මේ වන විට ලොව පුරා හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය මිලියන 24කට වඩා වැඩියි. ඒ අනුව, එක පැත්තකින් බැලූ විට මෙසේ දෙවන වරට ආසාදනය වූ පුද්ගලයින් කිහිප දෙනෙකු හමු වී ඇතත් එය ඉතා දුලබ සිදු වීමක්. එමෙන්ම, මෙසේ දෙවන වරට ආසාදනය වූ පුද්ගලයින් විසින් මුල් වර මෙන් රෝග ලක්ෂණ පෙන්වා නොතිබීමද සැනසිල්ලට කරුණක්. ඩෙංගු වැනි ඇතැම් රෝග දෙවන වරට ආසාදනය වූ විට තත්ත්වය පළමු ආසාදනයට සාපේක්ෂව වඩා දරුණු වන නමුත් මෙහිදී පෙනෙන්නට තිබෙන්නේ එහි අනෙක් පැත්තයි.

අනෙක් පැත්තෙන් බැලූ විට, ගුවන් තොටුපොළ හරහා හොංකොං වෙත පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවට ලක් නොකරන්නට මේ පුද්ගලයාව ආසාදිතයෙකු සේ හඳුනා ගැනෙන්නේ නැහැ. එමෙන්ම, පළමු වර මෙන් කිසිදු රෝග ලක්ෂණයක් පහළව නොතිබූ නිසාත්, වරක් ආසාදනය වී සුව වී සිටි නිසාත් අඩු වශයෙන් ඔහු හෝ තමන් ආසාදිතයෙකු බව සැක කරන්නේ නැහැ. එසේ වුවත් ඔහු රෝග වාහකයෙක්. ගුවන් තොටුපොළේදී පරීක්ෂා කර හඳුනා නොගැනෙන්නට එවැන්නෙකු විසින් තවත් බොහෝ පිරිසකට රෝගය බෝ කළ හැකිව තිබුණා.  

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...