වෙබ් ලිපිනය:

Showing posts with label යතාර්ථය. Show all posts
Showing posts with label යතාර්ථය. Show all posts

Wednesday, April 6, 2016

මරණාසන්න අත්දැකීම්


ලොව පුරා විවිධ රටවල විවිධ සංස්කෘතීන් යටතේ ජීවත් වූ හෝ ජීවත් වන පුද්ගලයින් විසින් වාර්තා කර ඇති මරණාසන්න අත්දැකීම් වල පුදුමාකාර සමානත්වයක් තිබේ. ඉතා දීප්තිමත් ආලෝකයක් දැකීම, සිරුරෙන් ඉවත්ව අහසේ පාවීම, කාලය පිලිබඳ හැඟීමක් නොමැති වීම, වේදනා රහිත සුවදායක හැඟීම් මෙන්ම 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ ගැන පූර්ණ අවබෝධයක් තිබීම බොහෝ දෙනෙකු විසින් වාර්තා කර ඇත.

ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලකටම වාගේ පොදු මූලික විශ්වාසයක් වන්නේ ශරීරය තුළ පිහිටි, භෞතික නොවන, ස්ථිර පැවැත්මක් ඇති ආත්මයක් පිලිබඳ අදහසයි. එක් එක් ආගමේ අවසන් අරමුණ වෙනස් වුවද, සිරුර අතහැර මේ අවසන් අරමුණ කරා ලඟා වන්නේ ඉහත කී ආත්මයයි. මේ අදහස අනුව, මරණය යනු භෞතික සිරුරින් මේ ආත්මය ඉවත්ව යාමයි. ප්‍රධාන ආගම් අතරින් මෙවැනි ආත්මයක් නැති බව ප්‍රකාශ කෙරෙන්නේ බුද්ධ දර්ශනය තුළ පමණි. කෙසේවුවද, ප්‍රායෝගිකව බොහොමයක් බෞද්ධයින්ට මේ 'අනාත්ම' සංකල්පය පැහැදිලි නැති බැවින් බුද්ධාගම අදහන බොහොමයක් පිරිස්ද මේ කරුණ හා අදාළව බොහෝ විට අනෙකුත් ආගම් අදහන අයගෙන් වෙනස් නැත.

මරණාසන්න අත්දැකීම් පැහැදිලි කෙරෙන ප්‍රධාන ප්‍රවාද දෙකක් තිබේ. මෙයින් පළමුවැන්න අනුව, මේ අත්දැකීම් වලට හේතුව සිරුර තුළ පැවති ආත්මය සිරුරෙන් පිටව කිසියම් කාලයකට පසුව නැවත සිරුර තුළට පිවිසීමයි. එසේ සිරුරෙන් පිටව සිටින කාලය තුළද, මේ ආත්මයට බාහිර පරිසරයේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තිබේ. මේ ප්‍රවාදය බොහෝ දෙනෙකුගේ ආගමික විශ්වාස සමඟ වඩා හොඳින් ගැලපේ.


දෙවන මතය අනුව, මරණාසන්න අත්දැකීම් යනු සැබෑවටම මොළය අක්‍රීයව පැවති කාලයේ ලැබූ අත්දැකීම් නොවේ. ඒවා, මොළය අක්‍රිය වීමට ආසන්නව හෝ නැවත ක්‍රියාකාරී වූ වහාම ලැබුණු අත්දැකීම් විය හැකිය. ඊට අමතරව, කිසියම් 'හිස්තැන් පිරවීමේ' ක්රියාවලියක්ද මෙහිදී සිදුවේ. මේ ප්‍රවාදය අනුව, අක්‍රීයව පැවති කාලය තුළ මොළය විසින් අළුත් තොරතුරු ලබා නොගනී. කෙසේවුවද, 'මියයාමට පෙර' අවස්ථාවේ සිට 'නැවත පණ ලැබුණු' අවස්ථාව දක්වා ජීවිතය සුමටව, අඛණ්ඩව ගලා නොයාම මොළය විසින් විසඳාගත යුතු ගැටළුවකි.

මා උදේ සේවයට යන විට නිවසේ බඩුභාණ්ඩ තිබුණු පිළිවෙලත්, මා දොරගුළු ලූ බවත් මට හොඳ හැටි මතකය. එහෙත්, මා ආපසු පැමිණෙන විට මගේ නිවසේ දොර විවෘතව ඇති අතර හා මගේ ලිපිගොනු යම් කිසිවෙකු විසින් අවුස්සා දමා තිබේ. මා නිවසේ නැති අතරේ සිදු වූ දේ මා නොදනිතත්, මා දන්නා දේ ඇසුරින් හැකි පරිදි මේ 'හිස්තැන පුරවා ගැනීමට' මගේ මොළය ක්‍රියා කරයි. දෙවන ප්‍රවාදය අනුව, මරණාසන්න අත්දැකීම් වලදී සිදුවන්නේද මෙවැන්නකි. වෛද්‍යවරුන් හා අනෙකුත් රෝහල් සේවකයින් විසින් කරන්නට ඇතැයි මා මගේ පෙර අත්දැකීම් ඇසුරින් සිතන දේත්, මරණය ගැන මගේ ආගමික විශ්වාස මත මා හිතන දේත්, මා අසා ඇති වෙනත් මරණාසන්න අත්දැකීම් අනුවත් මගේ මොළය විසින් මේ හිස්තැන පුරවයි.

මරණාසන්න අත්දැකීම් මඟින් ඉහත මා ඉදිරිපත් කළ මත දෙකෙන් එකක්වත් වැරදි හෝ නිවැරදි බව තහවුරු නොවේ. එම මත දෙකෙන් කවර එකක් මඟින් වුවද මරණාසන්න අත්දැකීම් පැහැදිලි කළ හැකිය.

ස්ටනි බෘක්හි පිහිටි නිවු යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සහාය මහාචාර්ය සෑම් පාර්නියා ප්‍රධාන ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින් සිදු කළ, බොහෝ දෙනෙකු විමසිල්ලෙන් බලා සිටි පර්යේෂණයේ අරමුණ වූයේ මේ ගැටළුව විසඳා ගැනීමයි. 2008 වසරේදී ඇරඹුණු මේ පර්යේෂණ අධ්‍යනය සඳහා ඇමරිකාවේ, එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රියාවේ පිහිටි රෝහල් 15ක නේවාසිකව සිටි හදවත අකර්මන්‍ය වීමෙන් පසු 'නැවත පණ ලබා දීමට' උත්සාහ ගැනුණු රෝගීන් යොදා ගැනිණි. මෙහිදී පර්යේෂකයින් විසින් යොදාගත් උපාය මාර්ගය වූයේ රෝගියා සිටි කාමරයේ උස් රාක්කයක් මත ඉතා හොඳින් පෙනෙන (චිත්‍රයක් වැනි) කිසියම් භාණ්ඩයක් රැඳවීමයි. කෙසේවුවද, ඇඳ මත වැතිර සිටින විට මෙය නොපෙනෙන අතර කාමරයේ සිවිලිම මට්ටමේ සිට බිම බලන විට පමණක් මේ භාණ්ඩය ඉතා පැහැදිලිව දර්ශනය වේ. රෝගීන්ට මේ භාණ්ඩය පැහැදිලිව විස්තර කළ හැකිනම් එයින් අදහස් වන්නේ මරණාසන්න අත්දැකීම් යනු 'මියගොස් සිටි කාලයේ' සැබෑවටම සිදුවූ දේ බවයි.
 

රෝගීන් 2,060 දෙනෙකුව යොදා ගෙන සිදුකළ මේ දැවැන්ත පරීක්ෂණයේ ප්‍රතිඵල 2014 දෙසැම්බරයේදී 'රීසස්ටිකේෂන්' ජර්නලයේ පළවිය. මේ පර්යේෂණ ප්‍රතිඵලය විශාල මාධ්‍ය අවධානයක්ද දිනා ගත්තේය. කෙසේවුවද, අදාළ පර්යේෂකයින්ට ඔවුන් විසඳුම් සෙවූ මූලික ගැටළුවට පැහැදිලි පිළිතුරක් ලබා දීමට හැකිවී නැත. 

පර්යේෂණය සඳහා යොදාගත් රෝගීන් අතරින් 'ආපසු ඒමට' හැකි වුනේ 140 දෙනෙකුට පමණි. ඔවුන් අතරින්ද, විස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වීමට යෝග්‍ය තත්ත්වයක සිටියේ 101 දෙනෙකු පමණි. ඒ අතරින්, 9 දෙනෙකු කිසියම් ආකාරයක මරණාසන්න අත්දැකීම් ලබා තිබුණු අතර 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ මතක තිබුණේ දෙදෙනෙකුට පමණි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට මේ කාලය තුළ සිදු වූ ඇතැම් දේ නිවැරදිව විස්තර කළ හැකි වී තිබේ. කෙසේවුවද, මේ දෙදෙනාම හදිසි තත්ත්වයක් යටතේ මේ අත්දැකීම් ලබන විට සිටියේ අර 'මල් පෝච්චිය තිබුණු' කාමරයේ නොවූ නිසා මුලින් සැලසුම් කළ පරීක්ෂණයනම් සිදුවී නැත.

නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් දත්ත නොමැති නිසා මේ පරීක්ෂනයෙන්ද මරණාසන්න අත්දැකීම් පිලිබඳ ගැටළුව විසඳී නොමැත.


(Image: www.acts17.net)

Sunday, March 27, 2016

නොපෙනෙන ලොව දකින්නට විටමින්


අප දකින වර්ණ යනු වස්තුවක කිසියම් භෞතික ලක්ෂණයක් නොවේ. යම් වස්තුවක් මඟින් පරාවර්තනය කරන විද්‍යුත් චුම්භක තරංග වල වලට ප්‍රතිචාර ලෙස අපේ ඇස් හා මොළය අපට "පෙන්වන" ගුණයකි. දැනට දෙසියවසකට පමණ පෙර අප දැන සිටි එකම විද්‍යුත් චුම්භක තරංග ප්‍රභවය දෘශ්‍ය ආලෝකය පමණක් වුවද නැනෝ මීටර 390-720 අතර වූ මේ තරංග ආයාම පරාසය සමස්ත විද්‍යුත් චුම්භක තරංග ආයාම පරාසයෙන් ඉතාම සුළු කොටසක් පමණක් බව දැන් අප දනිමු. එසේනම්, අපට සෘජුවම දැකගත නොහැකි බොහෝ දේ භෞතික ලෝකයේ ඇති බව පැහැදිලිය.

මෙසේ අපට සාමාන්‍යයෙන් ග්‍රහණය නොවන දේ දැකිය හැකි පරිදි අපේ ඉන්ද්රියමය සීමාවන් අතික්‍රමණය කළ නොහැකිද?

ඉන්ද්රියමය සීමාවන් අතික්‍රමණය කළ හැකි "විද්‍යාවට අහු නොවන" ක්‍රම ගැන ඕනෑ තරම් ලියැවී තිබේ. මා කතා කරන්නේ එවැනි ප්‍රවේශයන් ගැන නොවේ. අපට අපේ ජීව විද්‍යාත්මක මෙහෙයුම් පද්ධතියේ දෘඩාංග හා මෘදුකාංග උත්ශ්‍රේණි කර ගැනීම මඟින් දෘශ්‍ය පරාසය පුළුල් කර ගත නොහැකිද?

නිරවි යුද සමයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ඇමරිකානු නාවික සෙබළුන් යොදාගනිමින් අධෝරක්ත කිරණ දැකිය හැකි පරිදි මිනිස් දෘශ්‍ය පරාසය පුළුල් කිරීමේ පරීක්ෂ
සිදු කෙරී තිබේ. පසුව අතහැර දමනු ලැබුවද, යම් සාර්ථකත්වයක් ලබා ඇති මේ පර්යේෂණ සිදුකර ඇත්තේ ඉතා සරල ක්‍රමවේදයක් අනුගමනය කරමිනි.

අපට නැනෝ මීටර 390-730 පරාසයෙන් පිටත තරංග ආයාම නොපෙනෙන්නේ අපේ ඇස් වල ඇති කේතු සෛල සංවේදී වන්නේ එම පරාසය තුළ පමණක් බැවිනි. එසේනම්, කිසියම් අයුරකින් අපේ කේතු සෛල වල සංවේදීතාව වැඩි කළ නොහැකිද?

කේතු සෛල නිෂ්පාදනය සඳහා විටමින් ඒ උපකාරී වේ. විටමින් ඒ ඌණතා ඇති විට ඇස් පෙනීම දුර්වල වන්නේ මේ නිසාය. මේ විටමින් ඒ කාණ්ඩයේ සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර වල ඇති විටමින් ඒ-1 වලට අමතරව එයට ආසන්න ව්‍යුහයක් ඇති විටමින් ඒ-2 ප්‍රභේදයක්ද තිබේ. මේ පර්යේෂණ වලදී සිදු කෙරුණේ හිතාමතාම විටමින් ඒ-1 සහිත ආහාර පාලනය කර ඒ වෙනුවට විටමින් ඒ-2 අඩංගු ආහාර ලබා දීමයි.

ආලෝක සංවේදී සෛල නිෂ්පාදනය කිරීමට විටමින් ඒ-1 නොලැබෙන විට අපේක්ෂා කළ පරිදිම සිරුර ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් විටමින් ඒ-2 වලින් මේ ප්‍රභා සංවේදී සෛල නිපදන්නට පටන් ගත්තේය. ඒවා තුන්හතර  ගුණයක් වැඩියෙන් සංවේදී විය. මේ අනුව, පර්යේෂණය සඳහා යොදාගත් සෙබළුන්ට යම් තරමකින් කලින් නොපෙනුණු දේ පෙනෙන්නට විය. අධෝරක්ත කිරණ සංවේදීතාව ලබාගැනීම මඟින් බලාපොරොත්තු වුනේ වඩා හොඳ රාත්‍රී දැක්මක් (නයිට් විෂන්) ලබා ගැනීමයි.

පර්යේෂණය සාර්ථක වුවද මේ කාලයේදීම රාත්‍රියේ පෙනීම ලබා දෙන උපාංග වැඩි දියුණු කෙරුණු බැවින් එම පර්යේෂණ තවදුරටත් ඉදිරියට ගෙනයාමේ වැදගත්කම අඩුවිය. කිසිදු සරසවියකට හෝ රජයකට සම්බන්ධ නැති ස්වේච්ඡා පර්යේෂක කණ්ඩායමක් (science for the masses) දැන් මේ පැරණි පර්යේෂණය ඉදිරියට ගෙනයාමට නවමු උත්සාහයක් දරති.


දෘශ්‍ය වර්ණාවලියේ රතු අන්තයේ තත්ත්වය මෙසේ වෙද්දී, ජම්බුල අන්තයේ ඇත්තේ වෙනස් තත්ත්වයකි. අපේ ඇස් වල ඇති කෙටි (නිල්) කේතු සෛල සාමාන්‍යයෙන් අපට දැකිය නොහැකි නැනෝමීටර 390ට වඩා අඩු තරංග ආයාම වලටද සංවේදීය. එහෙත් මේ තරංග ආයාම අපේ ඇස් වල කාච මඟින් පෙරන නිසා ඒවා ඇසේ දෘෂ්ඨි විතානය කරා ළඟා නොවේ.

ඇසේ සුද මතුවූ විට ඇතැම් රෝගීන්ගේ අක්ෂි කාචය ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කෙරේ. මෙසේ කළ විට ආලෝක කිරණ නාභිගත නොවීම නිසා පෙනීම අපැහැදිලි වීම වැළැක්වීම සඳහා බාහිර හෝ අභ්‍යන්තර කෘතීම කාචයක් ඇතැම් විට යොදාගැනේ. කෘතීම කාචයක් සහිතව හෝ රහිතව උපතින් ලැබුණු අක්ෂි කාචය ඉවත් කළ විට පාරජම්බුල කිරණ වලට දෘෂ්ඨි විතානය කරා ළඟා වීමට තිබුණු බාධාවන්ද යම් තරමකින් ඉවත්වේ. මෙසේ අක්ෂි කාචය ඉවත් කරනු ලැබූ රෝගීන්ට යම් තරමක පාරජම්බුල දෘෂ්ඨියක් ලැබී ඇති බවද වාර්තා වී තිබේ.

හිතාමතාම හෝ වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් අපේ ජීව විද්‍යාත්මක පද්ධතිය 'හැක් කිරීමෙන්' අපට අපේ ඉන්ද්‍රියන්ගේ සංවේදීතා සීමාවන් නිසා නොපෙනෙන ලෝකයෙන් යම් කොටසක් දැකිය හැකිය. එහෙත්, මෙසේ උත්ශ්‍රේණි කරගැනීමෙන් ලබාගත හැක්කේ  අපේ විජානනයේ ඉතා සීමිත දියුණුවක් පමණි. කෙසේවුවද, මෙවැනි උත්ශ්‍රේණි කරගැනීම් සඳහා වන නිරන්තර උත්සාහයන් මඟින් පෙනෙන්නේ අපේ ජීවවිද්‍යාත්මක සීමාවන් අතික්‍රමණය කිරීමට හෝමෝ සේපියන්ස්ලා දක්වන උනන්දුවයි.


(Image: http://www.lifenews.com/2013/12/16/human-engineering-augmenting-human-sight-into-the-infrared-range/)

Wednesday, March 23, 2016

කපුටාගේ කැත කපුටාගේ ප්‍රශ්නයක් නොවේ!


කපුටා කළුය. කැතය. මොණරා ලස්සනය. පාට මහ ගොඩකි.

"එයාට තියෙන පාට ගනින්න මගේ මේ ඇ‍ඟේ තියෙන පිහාටු මදි. ඒ තරමට එයාගේ පිහාටුවෙන් පිහාටුවට එක එක පාට!” මොණරා ගැන කපුටා මෙසේ හිතනවායැයි අපි සමහර වෙලාවට හිතමු.

කපුටා හිතන විදිහ ගැන අපට හිතා ගන්නට නොහැකිය. ඒ නිසා අපට කළ හැකි හොඳම උපකල්පනය වන්නේ කපුටාත් අපි හිතන විදිහටම හිතන බව හිතීමයි.

කළු පාට කැත බව අපට කියන්නේ අපේ මොළය බව අපි බොහෝ දෙනෙකු දනිමු. ඇතැම් වෙලාවට කළු දැකුම්කළු වන බවත් අපි දනිමු. ඒ වගේම, කතාවල කෙසේ වුවත්, කපුටන් අපි මෙන්ම හිතන බව අපි බොහෝ දෙනෙකු ඇත්තටම නොහිතන්නෙමු.

මොණරාගේ ලස්සන ගැන කපුටා හිතන්නේ කෙසේවුවද, 1970 පමණ දක්වා ස්වභාව විද්‍යාඥයින් පවා සිතුවේ කපුටාට මොණරාව පෙනෙන්නේ අපට පෙනෙන ලෙසටම කියාය.

මොණරාගේ පිල් කළඹේ නැති පාටක් හෙවීම අමාරු වෙද්දී කපුටා කළුම කළු වුනේ ඇයි?

මොණරාගේ පිල් කළඹේ වැදී පරාවර්තනය වන විද්‍යුත් චුම්භක තරංග වලින් නැනෝමීටර 400 සිට 700 දක්වා තරංග ආයාමයක් ඇති විද්‍යුත් චුම්භක තරංග අපේ ඇස් වල කාච මඟින් පෙරා දෘෂ්ඨි විතානය මත ප්‍රක්ෂේපණය කරයි. මේ පරාසයෙන් පිටත ඇති අධෝරක්ත හා පාරජම්බුල පරාස වල විද්‍යුත් චුම්භක තරංග වලට එසේ අපේ ඇස් වල කාච විනිවිදින්නට නොහැකිය.

අපේ ඇස් වල ඇති කේතු සෛල වර්ග තුන මේ පරාසයේ වෙනස් තරංග ආයාමයන්ට වෙනස් ලෙසින් සංවේදී වේ. මේ වෙනස්කම් හඳුනාගන්නා අපේ මොළය විසින් කේතු සෛල මඟින් ලබා දෙන වෙනස් සංඥා වෙනස් වර්ණ ලෙස හඳුනා ගනී. ඒ නිසා මොණරාගේ පිල් කළඹ අපට වර්ණවත්ව පෙනේ.

මේ අයුරින්ම කපුටාගේ පියාපත් වල වැදී පරාවර්තනය වන විද්‍යුත් චුම්භක තරංගද අපේ ඇස වෙත පැමිණේ. එහෙත්, මෙසේ පැමිණෙන විද්‍යුත් චුම්භක තරංග වල තරංග ආයාමයන් නැනෝමීටර 400 සිට 700 දක්වා පරාසයෙන් පිටතනම් ඒවාට අපේ ඇසේ කාච විනිවිදිය නොහැකිය. එසේ විනිවිද පැමිණියද, අපේ ඇස් වල කේතු සෛල උත්තේජනය කිරීමට තරම් තීව්රතාවයක් නැත්නම් මොළයට සංඥාවක් නොලැබේ. අපේ ඇස් වල කේතු සෛල හෝ යෂ්ඨි සෛල කිසිවක් උත්තේජනය කිරීමට කපුටාට නොහැකි නිසා අපිට කපුටාව කළු කැත සතෙක් ලෙස පෙනේ.

කපුටාට අපේ කේතු සෛල හෝ යෂ්ඨි සෛල කිසිවක් උත්තේජනය කිරීමට කිසිම උවමනාවක් නැත. කපුටාට අවශ්‍ය වන්නේ කපුටීගේ කේතු සෛල හා  යෂ්ඨි සෛල උත්තේජනය කිරීමටය. කපුටාට වැඩක් කර ගත හැකි වන්නේ එවිටය. එහෙමනම් කපුටා කපුටීව ආකර්ෂණය කරගන්නේ කොහොමද?

මෙහි ඇති ගැටළුව වන්නේ කපුටීට කපුටාව පෙනෙන්නේ අපට පෙනෙන ආකාරයේම කළු, කැත සතෙක් ලෙසද යන්නයි.

හෝමෝ සේපියන්ස්ලාගේ ඇස් වල තියෙන්නේ කේතු සෛල වර්ග තුනක් පමණක් වුවත් බොහෝ පක්ෂීන්ගේ ඇස් වල කේතු සෛල වර්ග හතරක් තිබේ. එමෙන්ම, හෝමෝ සේපියන්ස්ලාගේ අක්ෂි කාච විනිවිද නොයන පාරජම්බුල කිරණ වලට කුරුල්ලන්ගේ අක්ෂි කාච විනිවිද ගොස් උන්ගේ ඇස් වල ඇති පාරජම්බුල කිරණ වල තරංග ආයාමයට සංවේදී වන, අපට නැති  සිවුවන වර්ගයේ කේතු සෛල සංවේදී කරන්නට පුළුවන. මේ නිසා, එක් අතෙකින් අපට නොපෙනෙන තරංග ආයාම කුරුල්ලන්ට පෙනේ. අනෙක් අතින් අපට නොපෙනෙන වෙනස් වර්ණ ප්‍රභේද මිලියන ගණනක් කුරුල්ලන්ට පෙනේ.

චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකු දකින ලෝකය ත්රිකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට කිසිදා තේරුම් ගත නොහැකිය. ඒකකේතුක, එනම් කළුසුදු, දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ දෘෂ්ඨිය යනු කුමක්දැයි තේරුම් ගත නොහැක්කාක් මෙනි.

එක් කේතු සෛලයක සංවේදිතා මට්ටම් සියයක් ඇතැයි සැලකුවහොත් ඒකකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වෙන් වශයෙන් හඳුනාගත හැක්කේ වර්ණ සියයක් පමණි. එහෙත්, ද්විකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ දසදහසක්ද, ත්‍රිකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ මිලියනයක්ද වෙන් වශයෙන් හඳුනාගැනීමට පුළුවන. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ මිලියන දහයක් වෙන් වශයෙන් හඳුනාගැනීමට පුළුවන. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකු දකින ලෝකය ත්‍රිකේතුක දෘෂ්ඨියක් ඇති අප බොහෝ දෙනෙකුට සිතාගන්නටවත් නොහැකි වර්ණවත් ලෝකයකි.


අපට පාරජම්බුල කිරණ දැකිය නොහැකි වුවත් විවිධ වස්තු වලින් පරාවර්තනය කරන පාරජම්බුල කිරණ වල තරංග ආයාම මැනීමේ හැකියාව තිබේ. කුරුල්ලන් සම්බන්ධව සිදුකර ඇති මේ ආකාරයේ පරීක්ෂණ තුළින් අපට කුරුල්ලන් දකින වර්ණවත් ලෝකය ගැන අදහසක් ලබාගත හැකිය. 

අප කළු පැහැයෙන් දකින බොහෝ කුරුල්ලන්ගේ පිහාටු වලින් අපට සංවේදී නොවන පාරජම්බුල කිරණ පරාවර්තනය කරයි. සිරුරේ තැන්තැන්වල ඇති පිහාටු වලින් මෙසේ පරාවර්තනය කරන්නේ සමාන තරංග ආයාම ඇති විද්‍යුත් චුම්භක තරංගම නොවේ. එමෙන්ම, ගැහැණු හා පිරිමි කුරුල්ලන්ගේ මේ රටාවන් සමානද නැත. මේ අනුව පැහැදිලි වන්නේ, අපට කළු කැත සේ පෙනෙන බොහෝ කුරුල්ලන් එසේ පෙනෙන්නේ අපේ ඉන්ද්‍රියයන්ගේ ඇති සීමාවන් නිසා බවයි. කුරුල්ලන්ගේ අපට නොපෙනෙන සැබෑ වර්ණ ඔවුන්ගේ ගැහැණු සත්තුන්ට පෙනේ.



මේ අයුරින්ම, අප සිතන්නේ ඇතැම් කුරුල්ලන් අනුන්ගේ කූඩු වල දමන බිත්තර ඔවුන්ට තමන්ගේ බිත්තර වලින් වෙන් කර හඳුනාගත නොහැකි බවයි. එහෙත්, බොහෝ විට අපට එක පාටින් පෙනෙන මේ බිත්තර ඔවුන්ට ඉතා පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිය.

ඇතැම් විට අහසේ ඉතා ඉහළ පියාඹන මාංශභක්ෂක කුරුල්ලෙකු ක්ෂණිකව පහත් වී තණබිමක සිටින මීයෙකු ඩැහැගනී. එහෙත්, අපට එහි මීයෙකු සිටි බව නොපෙනේ. ඇත්තටම මේ කටයුත්ත කුරුල්ලාට ඉතා පහසු වැඩකි. අර මීයා තමන් යන මාර්ගය මුත්‍රා වලින් සලකුණු කරමින් යයි. මේ සලකුණු වලින් පරාවර්තනය කරන පාරජම්බුල කිරණ, අපට නොපෙනුණත්, ගොළුබෙල්ලෙකු ගිය පාර සටහන් වන අයුරින් පැහැදිලිව තණබිමේ සලකුණු වේ. මේ සලකුණ ඉතා ඉහළ අහසේ සිට වුවද පැහැදිලිව පෙනෙන නිසා ක්ෂණිකව පහත් වී මීයාව අල්ලාගැනීම පහසුවෙන් කළ හැකි දෙයකි.


කුරුල්ලන් නරඹන්නට යන අය සාමාන්‍යයෙන් පරිසරයේ පාටට කිට්ටු, කැමෆ්ලාජ් ඇඳුමක් ඇඳගෙන යාම පුරුද්දකි. එහෙත්, ඔවුන් නොදන්නා කරුණක් වන්නේ රෙදි වල ඇති සායම් වලින් මෙන්ම රෙදි සේදීමට යොදන ද්‍රව්‍ය වලින්ද අපට නොපෙනෙන පාරජම්බුල කිරණ පරාවර්තනය කර යවන බවයි. මේ නිසා අප කොතරම් හොඳින් කැමෆ්ලාජ් වී හිටියත් කුරුල්ලන්ට ඉතා පැහැදිලිව, වෙනස්ම පාට දෙකක් ලෙස ඈත තියාම පහසුවෙන් හඳුනාගත හැකිය. 

හෝමෝ සේපියන්ස්ලා බොහෝ දෙනෙකුට ඇත්තේ ත්රිකේතුක දෘෂ්ඨියක් වුවත්, පිරිමින්ගෙන් 8%කට පමණත් ගැහැණුන්ගෙන් 0.5%කට පමණත් ඇත්තේ ද්විකේතුක දෘෂ්ඨියකි. එමෙන්ම, කාන්තාවන් අතර චතුර්කේතුක දෘෂ්ඨිය ඇති අය සුළු ප්‍රතිශතයක්ද සිටිති. ඔවුන් දකින ලෝකය අනෙත් අය දකින ලෝකයට වඩා අතිශයින්ම වර්ණවත් ලෝකයකි. කෙසේවුවද, මෙවැනි කාන්තාවන් බොහෝ දෙනෙකු තමන්ට චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති බව නොදනිති. එයට හේතුව, අප ජීවත් වන්නේ ත්රිකේතුක දෘෂ්ඨියක් ඇති අය වෙනුවෙන් සැලසුම් කළ ලෝකයක වීමයි.

මෙය කියවන ඔබ කාන්තාවක්නම්, ඔබට පෙනෙන වෙනස් වර්ණ වෙනත් අයට වෙන් වශයෙන් හඳුනාගත නොහැකි බව කෙදිනක හෝ ඔබට සිතී ඇත්ද?


(Images: www.birdbgone.co, archives.evergreen.edu, atrl.net )

Sunday, March 20, 2016

කළු, කැත කපුටා හා ලස්සන මොණරා


අද ලිපිය පටන්ගන්නේ රන්දිල් නෝනා විසින් පරිවර්තනය කර නිදහස් සිතිවිලි වියුණුවේ පළකර ඇති කතාවකිනි.

තමන්ගේ ජිවිතය ගැන බොහොම තෘප්තිමත් සිතින් පසු වූ හුදෙකලා කපුටෙක් ඈත ඈත වනන්තරයේ වාසය කළේය. නමුත් පළමු වරට හංසයෙකු දුටු දා පටන් ඔහුගේ සිතුවිලි වෙනස් විය.

“අනේ අප්පේ, මේ හංසයා සුදු ම සුදුයිනේ” කපුටා සිතුවේය.

“ඒකට මම!, මම කට්ට කලුයි. මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත් ම කුරුල්ලා මේ හංසයා වෙන්න ඕනෑ”

අනතුරුව තමන්ගේ සිතුවිල්ල පිළිබඳ ව ඔහු හංසයා සමග පැවසීය.

“ඇත්තටම,” හංසයා පිළිතුරු දුන්නේය.

“පාට දෙකක් තියෙන, ගිරවෙකු දකින කං මාත් මං ගැන හිතාගෙන හිටියේ එහෙම තමයි. එයා දැකපු දවසේ මට තේරුණා ප්‍රීතිමත් ම කුරුල්ලා මං නෙමෙයි ඒ ගිරවා තමයි කියලා.”

ඉක්බිති අපේ මේ කපුටා ඒ ගිරවා සොයාගෙන ගියේය. ගිරවා ඔහුට සිය සිතුවිලි මෙසේ පැහැදිලි කළේය.

“මම ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ එක ඇත්ත. හැබැයි ඒ මොණරෙකු දකින කං විතරයි. මට තියෙන්නේ පාට දෙකයි. ඒකට මොණරාට! එයාට තියෙන පාට ගනින්න මගේ මේ ඇ‍ඟේ තියෙන පිහාටු මදි. ඒ තරමට එයාගේ පිහාටුවෙන් පිහාටුවට එක එක පාට”

ඉතිරි කොටස කියවීමට කැමති කෙනෙකුට නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියට පිවිස කියවීමට පුළුවන.

දැන් මේ කතාව අනුව,
-කපුටා කළුය.
-හංසයා සුදුය.
-ගිරවාට පාට දෙකකි.
-මොණරාට පාට මහ ගොඩකි.
-කළු පාටට වඩා සුදුපාට ලස්සනය.
-සුදු පාටට වඩා පාට දෙකක් ලස්සනය.
-පාට දෙකකට වඩා පාට මහ ගොඩක් ලස්සනය.

අවුරුදු දහස් ගණනක් පුරා අපි කුරුල්ලන් ගැන ඔයාකාරයට හිතුවෙමු. පහතින් ඇත්තේ අවුරුදු දහස් ගණනක් පැරණි සංස්කෘත සුභාෂිතයක් හා එහි සිංහල තේරුමයි.

काकः कृष्णः पिकः कृष्णः को भेद पिककाकयोः
वसन्तसमये प्राप्ते काकः काकः पिकः पिकः

කපුටාත් කළුය කොවුලාත් කලුය.
එසේනම් කපුටාගේත් කොවුලාගේත් වෙනස කුමක්ද?
වසන්ත කාලය පැමිණි කළ,
කපුටාගේ කාකනාදයත් කොවුලාගේ කූජනයත් ඇසෙනු ඇත!

මෙතැනදීත් අපේ සිතීම මෙවැන්නකි.
-කපුටා කළුය.
-කොවුලාද කළුය.
-ඒ නිසා පෙනෙන හැටියට කපුටාගේත් කොවුලාගේත් වෙනසක් නැත.
-කපුටු හඬ අමිහිරිය.
-කොවුල් හඬ මිහිරිය.
-හඬේ වෙනසින් කපුටාත් කොවුලාත් වෙනස් බව දැනගත හැකිය.

(කපුටාගේත් කොවුලාගේත් වෙනසක් නොපෙනෙන්නේ කටවහගෙන ඉන්න තාක්කල් පමණි. අවශ්‍යනම්, වැඩක් කරන්නට අවස්ථාවක් ලැබෙන තුරු හෝ විපක්ෂයේ ඉන්න තාක්කල් කියන්නත් බැරිකමක් නැත.)

උත්තර අර්ධගෝලයේ රටවලට අද (මාර්තු 20) වසන්තය එළැඹේ. ලංකාවේනම් දැන් කපුටෝත්, කෝකිලයෝත් හවුලේ කුණු අහුලාගෙන කති. මගේ ආයතනයේ සේවකයින්ගෙන් විද්‍යුත් ලිපියක් මඟින් ඊයේ කාරුණිකව ඉල්ලා තිබුණේ ආයතන භූමිය පුරා නිදහසේ සැරිසරන පාත්තයින් කණ්ඩායම් වලට කෑම දීමෙන් වැළකෙන ලෙසය. ඒ පාත්තයින් පිලිබඳ වූ තරහකට නොවේ. පාත්තයින්ගේම හොඳටය.

මිනිස්සු බොහෝවිට පාත්තයින්ට දෙන්නේ උන් ස්වභාවික පරිසරයෙන් අහුලාගෙන කන කෑමම නොවේ. තමන් කන කෑමයි. මේ වැඩේ දිගටම කරන විට උන් මිනිස් කෑම වලට පුරුදු වෙති. උන්ගේ සිරුරු පරිණාමය වී ඇත්තේ මිනිස් ආහාර බුදීමට නොවන බැවින් මේ ආහාර නිසා පාත්තයෝ නොයෙක් රෝගාබාධ වලට ලක්වෙති. අර විද්‍යුත් ලිපියෙන් පාත්තයින්ට කෑම නොදමන ලෙස ඉල්ලා සිටියේ ඒ නිසාය. මිනිස්සු පාත්තයින්ට දමන්නේ තමන් කන "හොඳ කෑම" වුවත් අවසාන ප්‍රතිඵලය ලංකාවේ කුණු අහුලාගෙන කන කපුටන්ගේ හා කොවුලන්ගේ තත්ත්වයෙන් වෙනස් නැත. ඇත්තටමනම්, කුණු අහුලාගෙන කන කපුටන්ට හා කොවුලන්ට මීට වඩා තේරීමක් තිබේ.

අප බොහෝ විට සිතන්නේ අපේ දෑස් වලට ලස්සනට පෙනෙන, දෙසවනට මිහිරි නාද සේ ඇසෙන, දිවට රස අහර සේ දැනෙන සියළු දේ වෙනත් අයටත් එසේම පෙනෙන, ඇසෙන, දැනෙන බවයි. එහෙත්, ඇත්ත එය නොවේ.

(දෙවන කොටසක්ද ඇතත් තවමත් ලියා නැති බැවින් එය පළ කෙරෙන දිනය හරියටම කිව නොහැක.)

(Image: www.moralstories.org)

Saturday, March 19, 2016

කවදාක කොහොම කොයි ලෙසකද මා බිහි වූයේ?



මේ ලිපිය කලින් "මරණය දුකක් වන්නේ කාටද?" මාතෘකාව යටතේ පළකළ ලිපියට සම්බන්ධය. එමෙන්ම, ඒ ලිපියේ මුලින් ඇති වියාචනය මේ ලිපියටද අදාළය. පෙර ලිපියෙන් මා කතා කළේ මරණය දුකක්ය යන කරුණ විශ්වාසය හෝ තර්කනය මත මිස ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගත නොහැකි බවයි. ඒ, අප කවුරුත් තවම මියගොස් නැති බැවිනි.

අප කිසිවෙකු තවම මියගොස් නැත්තේ වුවද ඉපදී සිටින්නෙමු. එසේනම්, අපට ඉපදීම දුකක්ය යන්න විශ්වාසය හෝ තර්කනය මත පිළි නොගෙන ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගැනීමේ හැකියාවක් තිබේද?

බුද්ධ දේශනා අනුව, ඉපදීමේ දුක ලෙස දක්වා ඇති කරුණු බොහොමයක් ඇත්තටම ඉපදීමෙන් පසුව ජීවත්වීමේදී ඇතිවන දුක්ය. මේ අර්ථයෙන්, ඉපදීම දුකක් වන්නේ ඉපදීම නිසා වෙනත් දුක් ඇතිවන බැවිනි. ඒ හැරුණු විට, ඉපදීම හා කෙළින්ම අදාළ වන කරුණු කිහිපයක්ද විස්තර වේ.

ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ- මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිදු වීම.
ගර්භ පරිහරණ මූලික දුක්ඛ - මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.
ගර්භ විපත්ති මූලික දුක්ඛ- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක
විජායන මූලික දුක්ඛ- පර්‍වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක.
වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ- අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇති වීම.


ඉපදීම හා සෘජුවම අදාළ වන මේ දෑ දුක්යැයි අපට ප්‍රත්‍යක්ෂ කළ හැකිද? අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුක අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකි එකකි. එහෙත්, ඒ දුක උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇති වන දුකට සමාන කරන්නට වන්නේ තර්කනයෙන් හෝ විශ්වාසයෙනි. අප කවරෙකුට හෝ මාස නවයක් නොව දවසක් වුවද අතපය හකුළුවා කුඩා අවකාශයක සිර වී සිටින්නට සිදුවුවහොත් විඳින්නට වන දුක අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකි එකකි. එහෙත්, අපට එය දුකක් වන්නේ අතපය දිගහැර ගෙවන නිදහස් ජීවිතයකට අප පුරුදු වී සිටින නිසාය. එවැනි අවකාශයක සිටීමට හුරු වී සිටින කෙනෙකු ඒ ගැන ඒ අයුරින්ම සිතනු ඇත්ද? ගර්භාෂයෙන් එළියට පැමිණ නිදහසේ වසර ගණනක් දිවි ගෙවා ඇති වැඩිහිටියෝද බොහෝ විට තමන් වටකර අදෘශ්‍යමාන කාල්පනික ගර්භාෂ බිත්තියක් මවාගෙන ඒ තුළ සිරවී සිටීමට කැමැත්තක් දක්වනු අපට බොහෝවිට නිරීක්ෂණය කළ හැකි දෙයකි.

අවාසනාවකට මේ අවස්ථා කිසිවක් අපට මතක නැත. ගර්භ කාලය හෝ ඉපදෙන අවස්ථාව තබා තමන්ගේ ජීවිතයේ මුල් වසර දෙක තුළ සිදුවූ සිදුවීමක්වත් හරිහැටි මතක ඇති කිසිවෙකු මේ ලිපිය කියවන්නන් අතර ඇතැයි මම නොසිතමි. පර්යේෂණ අනුව පෙනී යන්නේ වැඩිහිටියෙකුට විස්තරාත්මකව මතක ඇති මුල්ම සිද්ධිය වයස 2-4 අතර කාලයේදී සිදුවූවක් බවයි. මගේ වයස වසර 2 1/2 දී පමණ අපේ පවුලට අළුතින් සාමාජිකයෙකු එක්වීම මට කිසිසේත්ම මතක නැතත් වයස වසර 3 1/2 දී අළුත් සාමාජිකයෙකු එකතු වනු මට හොඳින් මතක තිබේ. එමෙන්ම, මේ සිදුවීම් දෙක අතර කිසියම් අවස්ථාවක සිදුවූ ගෙවල් මාරු කිරීමක්ද මට මතක තිබේ. මට දැනට මතක ඇති පැරණිම සිදුවීම මේ ගෙවල් මාරුවයි.


එසේනම් ඊට පෙර සිටියේ මා නොවේද?

මා නමැති පුද්ගලයා මා විසින් අර්ථ දක්වා ගන්නේ මගේ වර්තමාන මතකයට සාපේක්ෂවය. මෙය කාටත් පොදුය. මේ මොහොතේ ඔබ ඉකොනොමැට්ටාගේ බ්ලොගය කියවයි. ඊයේ හෝ පෙර දිනකද ඔබ එය කියවූ බව ඔබට මතක තිබේ. ඒ අනුව, අද ජීවත්වන්නේ ඊයේ හෝ එදා ඉකොනොමැට්ටාගේ බ්ලොගය කියවූ ඔබමයැයි ඔබට සිතේ.

දශක හතරකට පමණ පෙර තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පරකන්දෙණිය ගමේ කොල්ලෙක් බිම වැටී තිබූ රුපියල් දෙකේ කොළයක් දැක හිමිහිට සාක්කුවට දමාගනී. පසුව එම මුදල ඔහුගේ බැංකු ගිණුමේ තැන්පත් කරයි. තවත් දවසක් හෝ කිහිපයක් සිය නැන්දා විසින් දෙන කෑම කන්නට එන බල්ලන්ට ගල් වලින් ගසා උන් වේදනාවෙන් කෑගසමින් දුවනු දැක සතුටුවේ. මේ සිදුවීම් මතකයේ ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මැදිවිය ඉක්මවූ වැඩිහිටි පුද්ගලයෙකු දශක හතරකට පෙර මේ දේවල් කළ කොල්ලා තමායැයි සිතා අනුන්ගේ මුදලක් වැරදි ලෙස ගැනීම ගැනත්, අසරණ සතෙකුට හිරිහැර කිරීම ගැනත් වරදකාරී හැඟීමක් ඇති කරගනිමින් පසු තැවේ. මේ දෙදෙනා එක් අයෙකු වන්නේ වැඩිහිටියාගේ අඛණ්ඩ මතකය තුළය. එසේනම්, මම මා වන්නේ මගේ මතකය තුළද? මා විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යනු දුටු බව බොහෝ දෙනෙකුට මතක ඇතත් මට ඒ බව අමතකනම් ඇත්තටම මා එවැන්නක් කළෙම්ද? 


බොහෝ වැඩිහිටියන්ට තමාගේ වයස 2-4 පමණ කාලයට පෙර සිදුවීම් මතක නැතත් එය එසේ වන්නේ වයස 4-5දී හෝ ආසන්න කාලයකදී කුඩා කාලයේ මතක ක්ෂය වී යන බැවිනි (Childhood amnesia). කුඩා දරුවෙකුට වයස අවුරුදු 1-2 අතර කාලය පිලිබඳ යම් මතකයක් තිබේ. එහෙත්, ඊට පෙර කාලය පිලිබඳ එවැනි පැහැදිලි මතකයක් ඇති බවක් තහවුරු වී නැත. එසේනම් ඊට පෙර සිටියේ මමමද?

මමයැයි මා සිතන ජීවත්වන, මියයාමට නියමිත පුද්ගලයෙකු සිටීනම් ඔහු (හෝ ඇය) ඉපදුනු අවස්ථාවක්ද තිබිය යුතුය. මගේ මතකයේ ඇති මුල්ම සිදුවීම සිදුවන විට මම ඉපදී සිටියෙමි. එමෙන්ම, මගේ පියාගේ ශුක්‍රාණුවක් හා මවගේ ඩිම්බයක් එකට එකතුව යුක්තානුවක් ඇති වන තුරු මා ඉපදී සිටීමේ ඉඩකඩක් නැත. මා යනු මගේ සිරුර නොවුවද මගේ සිරුර නැත්නම් මා යනුවෙන් පුද්ගලයෙකු සිටීමේ ඉඩක් නැත. එසේනම්, පිළිසිඳගැනීම සිදුවූ තැන් සිට මගේ මතකයේ ඇති මුල්ම සිදුවීම සිදුවන අවස්ථාව අතරතුර යම් මොහොතක මගේ උපත සිදුව තිබිය යුතුය.

මේ මොහොත මා මවුකුසින් එළියට පැමිණි මොහොතද?

ඇත්තටම ඒ අවස්ථාවේ වෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් කිහිපයක් පමණි. මගේ මව හා පැවති ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය බිඳ දමා ඇතැම් ජීව විද්‍යාත්මක කරුණු අතින් ස්වාධීන සිරුරකට හිමිකම් කීමට හැකිවීම මගේ උපතනම්, ඉපදීම යනු ජීව විද්‍යාත්මක හා භෞතික කරුණක් පමණි. එසේනම්, මා යනු මගේ සිරුර විය යුතුය. එය එසේ විය නොහැකි බව පෙර ලිපියක අපි කතා කළෙමු.

උපන් අළුත කුඩා දරුවෝ මෙන්ම ගර්භාෂයේ සිටින දරුවෝද බාහිර සංවේදනාවන්ට ප්‍රතිචාර දක්වති. ඒ නිසා, මතකයේ ආරම්භක සීමාවට පෙර මා නම් වූ පුද්ගලයෙකු නොපැවති බව කිවනොහැක. එමෙන්ම මොළයක් හා/හෝ ස්නායු පද්ධතියක් වර්ධනය වන තුරු මම නම් වූ පුද්ගලයෙකු සිටිය නොහැකිය. බාහිර සංවේදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට මොළය පුහුණු වෙද්දී යම් කිසි අවස්ථාවක මමනම් වූ මැරෙන තුරු ජීවත්වන පුද්ගලයා උපදී.

එය සිදුවන නිශ්චිත මොහොතක් තිබේද?


(Image: www.themotherish.com)

Saturday, February 13, 2016

ඉර බැස ගිය තැන නෑ...මාගෙ ලොවේ...


ඒ 1993 අප්‍රේල් මාසයේ අග හරියේ එක් සිකුරාදාවකි. වේලාව හවස තුනට පමණ ඇත. පේරාදෙණිය සරසවියේ කලාගාරය අසල ස්ත්යග්රයකි. රැස් වී සිටින සිසුන් ගණන සියයකට වඩා අඩු මිස වැඩි නැත. එළඹෙන සති අන්තය තුළ මේ පිරිස රඳවා තබා ගැනීම පහසු කරුණක් නොවේ. කලා පීඨ ශිෂ්‍ය සභා නියෝජිතයෙකු වන ගෙම්බා පිරිස දෙස ඇස ගසාගෙනම ඉන්නේ අවධානය ඉවතට යොමු කළ වහාම හිමිහිට මාරු වෙන්නට සෑහෙන දෙනෙකු බලා ඉන්නා බව දන්නා නිසාය.

"මචං, ගෙම්බා. මම පොඩ්ඩක් කාමරේට ගිහිං වොෂ් එකක් දාගෙන එන්නං..."

ඒ ටකරමාය.

"ආපහු එනවනේ, නේද?"

"ඔව්, මචං. එන්නං.."

ඔය කිවුවාට ටකරමා ආපහු නොඑන බව ගෙම්බා සහසුද්දෙන් දනී. හිල්ඩා එකට යන ටකරමා කරන්නේ බෑග් එක ලෑස්ති කරගෙන හිල්ඩා එක අයිනේ හොරගල් අහුලමින් සිට හිල්ඩා ගහ ළඟ නුවර බස් එක නවත්තන පරක්කුවට දිවවිත් එහි නැඟ නුවර ගොස් එතනින් 636 ගෙන වත්තේගම බලා පිටත්වීමයි. ටකරමාට එක සති අන්තයක් ගමේ කෑල්ල හමු නොවී ඉන්න බැරිය.

ගලහ පාර දිගේ හිමිහිට ඇදුණු පරණ මෝටර් රථයක් කලාගාරය අයිනේ නතර වේ. මේ මෝටර් රථය නොහඳුනන කෙනෙකු නැත. එය බහුටාගේය.

මෝටර් රථයකට හිමිකම් කියූ සරසවි සිසුන් සිටියානම් ඒ ඉතාම අතළොස්සකි. බහුටා ඒ අයගෙන් කෙනෙකි. ඔහුට බහුටා කාඩ් එක වැදී තිබුණේ ඔහුගේ මිශ්‍ර,
බහුවාර්ගික සම්භවය නිසාය.

අතේ තරමක් සල්ලිය බාගේ ගැවසුනත් බහුටා කා සමඟත් කතාබහ කළ ජනප්‍රිය සිසුවෙකි. බොරු සෝබන සහ නයි ඇදිලි ටික අයින් කර ගත් විට හිතහොඳ සුන්දර මිනිසෙකි.

"කොහොමද මචං වැඩේ යනව නේද? මොනවාද කෙරෙන්න ඕනෑ?"

බහුටා ගෙම්බාව විමසයි.

"මං ලලිත්ට කෝල් එකක් දීල බලන්නම් සපෝට් එකක් ගන්න."

මේ කියන්නේ ලලිත් ඇතුලත්මුදලි ගැනය. ලලිත් ගාමිණීලා ජනාධිපති ප්‍රේමදාසට දෝෂාභියෝග කර නව පක්ෂයක් පිහිටුවා ගෙන පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වී සිටි මේ කාලයේදී පෙර සරසවි වල වීරයින් නොවූ මේ පැරණි එජාප චරිත වලට තරමක වීරත්වයක් ආරෝපණය වී තිබේ.

"උඹේ කෝල් ගැනිල්ල ගැන ඉතිං අපි නොදන්න එකක්යැ...උඹයි මායි අඳුරන ලලිත්!"

ගෙම්බා හිතෙන දේ එළියට නොදා ගිලගන්නේ උදවුවක් කරන්නට බොක්කෙන්ම සූදානම්ව සිටින බහුටාගේ හිත නිකම් රිදවන්නට අවශ්‍ය නොවන නිසාය.

මේ කතාව යන අතරතුර සිසුන් දහ දොළොස් දෙනෙකුම හිමිහිට මාරු වූ බව ගෙම්බාගේ උකුසු ඇසට පෙනේ. කොයිතරම් ඇහැ ගහගෙන හිටියත් මේ ඉන්නා ටික දෙනාගෙන්ද බාගයක් රෑ වන විට අතුරුදහන් වන බව ඔහු පළපුරුද්දෙන් දනී.

"මචං උදේට බ්‍රෙක්ෆස්ට් එකට පාන් ගේන්න ඕනෑ. උඹට පුළුවන් නේද අට විතර වෙනකොට පාන්ගෙඩි පණහක් අරං එන්න."

ගෙම්බා කිසියම් මුදලක් බහුටා අත තබයි.

"මදි පාඩුවක් වුනොත් දාල ගෙනෙන්. මං දෙන්නං."

මේ මුදල පාන් රාත්තල් පණහකට ප්‍රමාණවත් නොවන බව ගෙම්බා නොදන්නවා නොවේ. ඒ මුදල බහුටා කැමැත්තෙන්ම අතින් දමනු ඇත. මෙවැනි වියදම් ආපසු ඉල්ලාගෙන බහුටා පස්සෙන් එන්නේ නැත.

"එහෙනං උදේට එන්නං මචං. මම ලලිත්ට කතා කරල බලන්නන්කෝ මොනව හරි සපෝට් එකක් ගන්න."

මහවැලි ගඟ උඩින්, පැණිදෙනිය පැත්තෙන් ඉර බැස යයි. හන්තාන කඳුවැටිය උඩින් තරු පිරිවරා හඳ නැඟ එයි.

ඉතිරි වී සිටින බැචියන් හත් අට දෙනාව බෙල් එක වදින්නට පෙර නාදන් එකට ඇරලවන්නට ඔවුන්ගේ අයිතිකාරයෝ පිටවෙති. ඉතිරි වී සිටින ටික දෙනාගෙන් කිහිප දෙනෙකු කණ්ඩායම් කිහිපයකට බෙදී කාඩ් ගසති. ඉතිරි අය තෙල් බෙදති.

හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළුතලා පිස එන දුම්වැටියක කටුක දුමාරය දුම්වැටි ප්‍රිය නොකරන සිසුවෙකුගේ නැහැයට අපුලක් දනවයි.

***

පැණිදෙණියෙන් බැස ගිය ඉර හෝ වෙනත් ඉරක් හන්තාන උඩින් මතු වේ. පරිප්පු හොද්දක් සහ සම්බෝල කටට කෙළ උනවමින් පැත්තක බලා සිටී. රැයක් නිදි වැරූ නෙත් සියයක් පමණ පාතරාසය රිසිව බලා සිටින්නේ බහුටාගේ හුචක්කුව ගලහ පාරෙන් මතුවන තුරුය.

වෙලාව අට පසුවී මිනිත්තු දහතුනකි. ගෙම්බා නොඉවසිල්ලෙන් වරින්වර ඔරලෝසුව දෙස බලයි. බහුටාගේ හැටි ඔහොමමය. කවදාවත් කියන වෙලාවට වැඩක් නැත. ඒත් හැම වෙලාවේම කියන්නට හේතුවක්නම් ඇත. කොහොමවුනත් බහුටා කවදාවත් පොලු තියා නැත.

ගෙම්බාගේ පෙනහළු තුළින් රුධිරයට එක් වරම අම්ලකර ධාරාවක් එකතු කරමින් බහුටාගේ මෝටර් රථය කලාගාරය ඉදිරිපිට නතරවේ.

"මචං පරක්කු නෑ නේද?"

බහුටා ඩිකිය විවෘත කරයි. සිසුන් දෙදෙනෙකු වහාම පාන් මළු දෙක ඉවත් කරගනී.

"මචං මං ලලිත්ට කෝල් එකක් ගත්තා. ඒකයි පොඩ්ඩක් පරක්කු වුනේ."

ගෙම්බාගේ මුව අගට නැඟෙන සම්ච්චල් හිනාව ඔහු ආයාසයෙන් වලකා ගනී.

"ගොඩක් වෙලාවට හවස තුනට විතර මේ පැත්තේ එන්නත් පුළුවන්!"

"උඹට හොඳටම ෂුවර්ද හවසට එයි කියලා? උඹ ඇත්තටම කෝල් එකක් ගත්තද?"

මැද්දට පනින්නේ පැත්තක සිටි යකඩයාය. තවත් හත් අට දෙනෙක්ම මේ කතාවට සවන් දෙන්නේ විශාල උනන්දුවකිනි.

"නැතුව බං. මං මේ දැන් පැයකට කලින් කතාකළේ. ඒකයි පාන් ටික ගේන්නත් පොඩ්ඩක් පරක්කු වුනේ."

මේ දවස් වල මෝටර් රථයක හිමිකරුවෙකු වූ බහුටාටවත් ජංගම දුරකතනයක් තිබුණේ නැත. කියන විදිහට ඔහු ලලිත්ට කතාකර ඇත්තේ මහනුවර නාගරික සීමාවේ තිබුණු ඔහුගේ ගෙදර දුරකතනයෙනි. එවරනම්, ගෙම්බාටත් සිනහව පාලනය කර ගැනීම අසීරු විය.

"මචං ඊයෙ රෑ ලලිත්ට වෙඩි තියල. දැන් උදේ ප්‍රවෘත්ති වලට කිවුවේ!"

බහුටාගේ ඇස් උඩයි. මුන් මාව බයිට් එකට ගන්න හදනවද? ඒත්, ගෙම්බා සාමාන්‍යයෙන් එහෙම කරන කෙනෙක් නෙමෙයි.

බහුටා වටපිට සිසාරා බලයි. අනිත් සිසුන්ගේ දෑස් දෙස බලන විට ප්‍රවෘත්තිය තහවුරු කර ගැනීම අසීරු නැත.

බහුටා සිය ඩිජිටල් ඔරලෝසුව දෙස බලයි. එහි අටයි විස්ස සටහන් වී ඇත.

"මචං තව හදිසි වැඩක් තියෙනවා. මං ගිහිං එන්නං!"

බහුටා සිය මෝටර් රථයට නැඟී ගලහ පාර දිගේ ඉගිල යන්නේ ඇසිපිය හෙළන සැනෙකිණි.

(මනඃකල්පිත කතාවකි. සැබෑ සිද්ධියකට සම්බන්ධයක් ඇත්නම් ඒ අහම්බයෙනි.)

***

අනාගතය නිශ්චිතව ලියවී ඇත්ද යන්න ගැටළුසහගත දාර්ශනික ප්‍රශ්නයකි. නිශ්චිත වර්තමානයක් පැවතීම නිශ්චිත අනාගතයක් පැවතීම සඳහා ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවූවත් අනිවාර්යය අවශ්‍යතාවයකි. නිශ්චිත වර්තමානයක් නැත්නම් නිශ්චිත අනාගතයක්ද තිබිය නොහැකිය. එසේනම්, නිශ්චිත, නිරීක්ෂකයෙකුගෙන් ස්වායත්ත වර්තමානයක් තිබේද?

අප අත් විඳින වර්තමානය යනු අපේ ඉන්ද්‍රියයන් සහ මොළය එකතු වී අපට පෙන්වන ප්‍රක්ෂේපනයකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වෙනත් අයුරකින් කිවහොත්, අප එකිනෙකා වර්තමානය ලෙස හඳුනාගන්නේ එකම දෙය නොවේ. අපේ වර්තමානයට සාපේක්ෂව අප දකින අතීතය හෝ අනාගතයද වෙනස් නොවන ස්ථිර එකක් නොවේ.

ලලිත් ඇතුළත්මුදලි මිය ගියේ හරියටම කොයි වේලාවේද? මට අනුවනම් මා එය දැනගත් මොහොතේය. බහුටා නිරීක්ෂණය කළ ලෝකයේ උදේ අටයි
විස්ස දක්වා ලලිත් ඇතුලත්මුදලි ජීවත් විය. ගෙම්බා නිරීක්ෂණය කළ ලෝකයේ ලලිත් ඇතුලත්මුදලි ජීවත් වුනේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇසෙන තුරු පමණි. මාධ්‍ය වල සේවය කළ බොහෝ දෙනෙකු නිරීක්ෂණය කළ ලෝකවල ලලිත් ඇතුලත්මුදලි ඒ වන විට මියගොස් සිටියේය. ඔහුගේ මරණය තහවුරු කළ වෛද්‍යවරයාට අනුව පෙරදින පස්වරු 8.50ට මේ මරණය සිදු විය. ඇතැම් විට, ඔහුට වෙඩි තබනු ලැබූ වෙලාව වූ පස්වරු 8.10ට හෝ ඒ වෙලාවේ සිට මරණය තහවුරු කළ පස්වරු 8.50 අතර යම් මොහොතක මේ මරණය සිදු වූවාද විය හැකි බව යමෙකුට කිව හැකිය.

2015 ජනවාරි 08 දින පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය විය. රටේ බොහෝ දෙනෙකුට අනුව ඔහුව පරාජය වූයේ මැතිවරණ කොමසාරිස් විසින් අවසන් මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කළ අවස්ථාවේදීය. එහෙත්, මහින්ද රාජපක්ෂ සිය මැතිවරණ නියෝජිතයින්ගෙන් ලබාගත් තොරතුරු අනුව මේ ප්‍රතිඵලය ඊට පෙර දැනගෙන සිටියේය. ඒ නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වන විට ඔහුට අනුව ඔහු පැරදී අවසන්ය. කෙසේවුවද, ඡන්ද විමසීම අවසන් වන විට මෙය තීරණය වී අවසානය. එසේනම්, මහින්ද පැරදුනේ ඒ මොහොතේද? එසේ නැත්නම් ඊටත් පෙර "ආන්තික ඡන්දය" ප්‍රකාශ වුණු මොහොතේද?

මහින්ද පැරදුණු එවැනි නිශ්චිත මොහොතක් තිබිය හැක්කේ නිරීක්ෂකයෙකුට සාපේක්ෂව පමණි.

***
සැන්දෑව සුන්දරය. සැන්දෑව පෙම්වතුන්ට වඩාත් සුන්දරය. කෝකිලා සහ සුපුන් ගාලුමුවදොර සිට ඈත සිතිජය දෙස බලා සිටිති. ඉර ඈත මුහුදේ ගිලේ. ඉතිරිව ඇත්තේ එහි අවසන් කඩක් පමණි. සුන්දර ගාලුමුවදොර සුන්දර සැන්දෑව සුපුන්ගේ කැමරා කාචයේ සටහන් වේ. පස්වරු 6:03 ලෙස වෙලාවද එහි සටහන් වේ. එහෙත්, ඔහු හෝ ඔහුගේ කැමරා කාචය දකින ඈත සිතිජයේ ඇත්තටම ඉර නැත. ඔවුන් මේ දකින්නේ විනාඩි 8කුත් තත්පර 19කට පෙර එහි තිබුණු ඉරයි.

තවත් ටික වෙලාවකින් සඳ නැඟගෙන එනු ඇත. එසේ පැමිණ තත්පර 1.29 කින් පසු සුපුන් සහ කෝකිලා පෙම් සුව විඳිමින් සඳ එළියේ කිමිදෙනු ඇත. සඳ හා සමඟ තරුද පැමිණ ඔවුන්ගේ සොඳුරු පෙම් ලොව එළිය කරනු ඇත. එහෙත්, ඔවුන් දකින මේ බොහෝ තරු දැන් ඇත්තටම නැත. ඒවා මියගොස් වසර සිය ගණනකි. දහස් ගණනකි. මිලියන් ගණනකි. බිලියන් ගණනකි.

සුපුන් සහ කෝකිලා ඔවුනොවුන් දෙස ආදරයෙන් බලති. සුපුන් මේ දකින්නේ ඔහු දෙස දැන් බලා සිටින කෝකිලාව නොවේ. කෝකිලා දැන් බලා සිටින්නේ ඇය දෙස දැන් බලා සිටින සුපුන් දෙසද නොවේ.




(Image: misstourist.com)

Wednesday, January 6, 2016

1984 සිට 2014 දක්වා

"නවවන තුන් අවුරුදු සැලැස්මේ හයවන කාර්තුවද වන, 1983 වසරේ සිවුවන කාර්තුව තුළ නිෂ්පාදනය කෙරෙනු ඇතැයි නිල වශයෙන් පුරෝකථනය කෙරුණු විවිධ පාරිභෝගික භාණ්ඩ වල නිෂ්පාදන මට්ටම් දෙසැම්බර් මස 19 වන දින ටයිම්ස් පුවත්පතේ පළ වී තිබුණේය. අද පළ වී ඇති සැබෑ නිෂ්පාදන මට්ටම් පිලිබඳ පුවත්පත් නිවේදනය අනුව මේ පුරෝකථන සැබෑ සංඛ්‍යා සමඟ ළඟපාතකින්වත් නොයයි. වින්සන්ට්ට කරන්නට ඇත්තේ පසුව පළකෙරුණු සංඛ්‍යා සමඟ ගැලපෙන පරිදි මුලින් පළකළ සංඛ්‍යා නිවැරදි කිරීමයි."

"Or again, The Times of the nineteenth of December had published the official forecasts of the output of various classes of consumption goods in the fourth quarter of 1983, which was also the sixth quarter of the Ninth Three-Year Plan. Today's issue contained a statement of the actual output, from which it appeared that the forecasts were in every instance grossly wrong. Winston's job was to rectify the original figures by making them agree with the later ones."

"උදාහරණයක් වශයෙන්, සුලභතා අමාත්‍යංශය පුරෝකථනය කර තිබුණේ කාර්තුව තුළ සපත්තු නිෂ්පාදනය කුට්ටම් මිලියන 145ක් බවයි. දැන් සැබෑ නිෂ්පාදනය ලෙස දක්වා ඇත්තේ සපත්තු කුට්ටම් මිලියන 62කි. කෙසේවුවද, වින්සන්ට් විසින් මේ පුරෝකථනය පිලිබඳ වාර්තාව නැවත ලිවීමේදී, හැමවිටම සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන පරිදි නිෂ්පාදන ඉලක්ක බලාපොරොත්තු වූ මට්ටමද ඉක්මවා ළඟා කරගත් බව පෙන්වීමට ඉඩ සලසමින්, මේ සංඛ්‍යාව 57 ලෙස පහළට ගෙන ආවේය. ඔය මොනවා ලිවුවත්, මිලියන 62 ලෙස වෙනස් කළ පුරෝකථනය මිලියන 145ට හෝ මිලියන 57ට වඩා සත්‍යයට ආසන්නයැයි කියන්නට නුපුළුවන. එක සපත්තුවක්වත් නිපදවා නොතිබෙන්නටත් ලොකු ඉඩකඩක් තිබේ. නිපදවා ඇති සපත්තු ගණන කිසිවෙකු හරියටම නොදන්නවා විය හැකි අතර එය දැනගැනීමට කිසිවෙකුට උවමනාවක්ද නැති විය හැකිය. සියල්ලන්ම දැන සිටි කරුණනම්, වාර්තා අනුව කාලයක් තිස්සේම කාර්තුවෙන් කාර්තුවට සපත්තු නිෂ්පාදනය ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගියත්, ඕෂනියාවේ වැසියන්ගෙන් අඩක් පමණම ඇවිද්දේ සපත්තු තියා සෙරෙප්පුවත් නැතුව බවයි. අනෙකුත් ලොකු කුඩා සංඛ්‍යාලේඛණ සියල්ලේම තත්ත්වයද මෙයට වඩා වෙනස් වූයේ නැත."

ඉහත කොටස් උපුටාගනු ලැබුවේ ජෝජ් ඕර්විල් යන ආරූඪ නාමයෙන් ලියූ ඉංග්‍රීසි ලේඛක එරික් ආතර්  බ්ලෙයාර්ගේ "1984" කෘතියෙනි. වඩා ප්‍රචලිත "සත්ත්ව ගොවිපොළ" (Animal Farm) කෘතියද ඔහු ලිව්වේ මේ ආරූඪ නාමයෙනි. 1949 වසරේදී ප්‍රකාශයට පත් කළ මේ කෘතියෙහි වසර 35කට පසු ලෝකය මේ ලේඛකයා විසින් දකින අයුරු චිත්‍රනය කර තිබේ. බ්ලෙයාර් දුටු අනාගතය වෙනත් ඇතැම් විද්‍යා ප්‍රබන්ධ වල පෙන්වන දියුණු අනාගත සමාජ මෙන් සුන්දර එකක් වූයේ නැත. මේ පොත ගැන විස්තර කියනවානම් බ්ලොග් සටහනක් නොව වෙනම බ්ලොග් එකක්ම ලියන්නට තරම් දේවල් තිබේ. ඒ නිසා ඒ තරම් දුරට නොගොස් කෙටියෙන් කියනවානම් ඔහු දුටු 1984 රජය විසින් මිනිසුන් හිතන පතන ආකාරය පවා පාලනය කරන යුගයකි. සිංහලටද පරිවර්තනය වී ඇති, 1984 මෙන්ම සත්ත්ව ගොවිපොළ කෘති ලිවීමට බ්ලෙයාර්ට උත්තේජනයක් සැපයූවේ ස්ටාලින්ගේ සෝවියට් දේශය සහ හිට්ලර්ගේ ජර්මනියයි.

අප වර්තමානය ගැන සතුටට හෝ දුකට පත්වන්නේ අතීතය සමඟ සැසඳීමෙනි. අතීතයේ පැවතුනාට වඩා වර්තමාන ජීවන තත්වය හොඳනම් අපි සතුටු වෙමු. එසේ නැත්නම් දුක්වෙමු. සැසඳීමක් නැත්නම් සතුටක් හෝ දුකක්ද නැත.

අතීතය යනු කුමක්ද? අතීතය යනු කලකට පෙර සැබෑවටම සිදුවූ දෙයයැයි යමෙකුට කිව හැකිය. එහෙත්, මේ 'සිදු වූ දෙය' අපි හරියටම දන්නේ කොහොමද? එක් ක්‍රමයක්නම් අතීත මූලාශ්‍ර පරිශීලනය කිරීමයි. ඒ ඇසුරෙන් අපි අතීතය ගැන 'දැන ගනිමු'. මේ මූලාශ්‍ර නිවැරදි නැත්නම් අපට සැබෑවටම සිදුවූ දෙය දැනගත හැකිද? තවත් එක් ක්‍රමයක් තිබේ. ඒ අපේ මතකයයි. එසේනම්, අතීත මූලාශ්‍ර සහ පුද්ගල මතකයන් සංශෝධනය කිරීමෙන් අතීතය අපට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකිය. එසේ කිරීමෙන් අපේ සතුට වැඩිකරගත හැකිනම් එය නොකළ යුතුද? මේ බ්ලෙයාර් දුටු 1984දී පාලකයින් අනුගමනය කරන දර්ශනවාදයයි.

උදාහරණයක් ලෙස මේ වස‍රේ ආර්ථික වර්ධනය 5-6%ක් පමණ වුවහොත් අප සතුටු විය යුතුද? එය තීරණය වන්නේ පසුගිය වසර වල ආර්ථික වර්ධනය කුමක්ද යන්න මතය. පසුගිය වසර වල ආර්ථික වර්ධනය 3-4% පමණ වීනම් 5-6% යනු ඉතා හොඳ මට්ටමකි. එහෙත්, පසුගිය වසර වල ආර්ථික වර්ධනය 7-8% මට්ටමේ වී නම් මෙය හොඳ තත්ත්වයක් නොවේ. වර්තමානය යනු කාටත් ඇස්පනාපිට පේන්නට ඇති දෙයයි. එය වෙනස් කිරීම තරමක් අසීරුය. එහෙත්, අතීතය වෙනස් කිරීම එතරම් අපහසු නැත. මේ බ්ලෙයාර්ගේ 1984 දර්ශනවාදයයි. කලකට පෙර මංගල සමරවීර විසින් මහින්ද යුගයේ ලංකාවද බ්ලෙයාර් දුටු 1984 සමඟ සසඳා තිබුණේය.

කෙසේවුවද, වාසනාවට සැබෑ 1984 බ්ලෙයාර් දුටු ආකාරයේ එකක් වූයේ නැත. එය පුද්ගල නිදහස වඩා දියුණුව පැවති වසරකි. 1984 සිට දැන් තවත් වසර 32ක් ගත වී තිබේ. හදිසියේ මට 1984 කෘතිය සිහිවූයේ පසුගිය වසර වල ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන දත්ත පිරික්සීමේදීය.

නිදහසින් පසු ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තේ එකම එක් වරක් පමණි. ඒ 2001 වසරේදීය. මේ වසර තුළ බලයේ සිටියේ පොදු පෙරමුණු රජයයි. එහෙත්, දෙසැම්බරයේ පැවති මහ මැතිවරණයෙන් එජාපය ජයගෙන රජයක් පිහිටවූ බැවින් 2001 ආර්ථික වර්ධනය පිලිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත්වන විට ජනාධිපති ධුරය චන්ද්‍රිකා කුමාරණතුංග අතේ තිබුණත් ආණ්ඩු කළේ පොදු පෙරමුණ නොවේ. නිකමට ලිවුවාට මේ දෙකේ සම්බන්ධයක් නැත. පොදු පෙරමුණම බලයේ සිටියත් ආර්ථික වර්ධනය සෘණ අගයක් නොවී පැවතෙන්නට විදිහක් නැත.


පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ ආර්ථික වර්ධනය වාර්තාගත ලෙස ඉහළ ගියේය. මහ මැතිවරණයට පෙර ප්‍රකාශයට පත් කෙරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්ෂික වාර්තාවේ පළමු පරිච්ඡේදයේ පළමු වාක්‍යය අනුව "ශ්‍රී ලංකා ආර්ථිකයට දේශීය සහ විදේශීය කම්පන වලට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව පෙන්නුම් කරමින් 2014 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) 2013 වසරේදී වාර්තා වූ සියයට 7.2 ක වර්ධනයට සාපේක්ෂව සියයට 7.4කින් වර්ධනය විය".

මහ බැංකුව විසින් වාර්ෂික වාර්තාවට අමතරව වසර මැද වනවිට ආර්ථිකයේ තත්ත්වය ගැන විස්තර කරමින් තවත් වාර්තාවක් වාර්ෂිකව පළකරයි. මෙය හැඳින්වෙන්නේ "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා" යනුවෙනි. 2014දී මේ තරම් හොඳට තිබුණු ආර්ථිකයට 2015දී වෙන්නේ කුමක්ද යන්න කාටවුණත් උනන්දුවක් ඇති කරවන ප්‍රශ්නයකි. මේ තියෙන්නේ ඒ ගැන මහ මැතිවරණයට පසු, සැප්තැම්බරයේදී මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරුණු "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා - 2015 සුවිශේෂ සිදුවීම් සහ 2016 අපේක්ෂාවන්" වාර්තාව කියන දෙයයි.

"2014 වසරේ වාර්තා කළ මූර්ත දළ ජාතික නිෂ්පාදිතයේ (ද.දේ.නි.) සියයට 4.5ක වර්ධනයට සාපේක්ෂව ආර්ථිකය, 2015 වසරේදී සියයට 5.7කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කරන අතර, ආර්ථිකයේ අංශ තුනෙහිම එකතු කළ අගයේ ඉහළ යාම මේ සඳහා දායක වනු ඇත". තවදුරටත් වාර්තාව පිරික්සීමේදී 2014 වසරේදීද ආර්ථික වර්ධනය පෙර වසරේදීට වඩා වැඩි වී තිබේ. 2013 වසරේදී ආර්ථික වර්ධනය 3.4%ක් පමණක්ව පැවති බැවිනි.

ඉකොනොමැට්ටා 1984 කියවා තිබුණු නිසා 2014 කියවා කැරකිල්ලක් හැදුණේ නැත. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ආර්ථික වර්ධනය ඇතුළු 'ජාතික ගිණුම් ඇස්තමේන්තු' සිදුකරන ක්‍රමවේදය තාක්ෂණිකව වඩා නිවැරදි වන පරිදි වෙනස් කර තිබේ. මේ නව ක්‍රමවේදය අනුව 2010 වසරේ සිට 2014 වසර දක්වා දළ දේශීය නිෂ්පාදිතය නැවත ගණනය කිරීමේදී මෙසේ ආර්ථික වර්ධන ප්‍රතිශතද වෙනස් වී ඇත.

(Images: http://mycatbirdseat.com, carrieslager.wordpress.com, www.cbsl.lk)


Sunday, November 29, 2015

රෙද්ද උස්සා බලමු!

ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද ගැන බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වා තිබුණේය. මා මේ කොහෙවත් තියෙන මාස ගණනක් පරණ රෙද්දක් නැවත ඉස්සුවේ එකම දෙය අප එකිනෙකාට විවිධ අයුරින් පෙනෙන බව අවධාරණය කරන්නටය.

කාල වේලා ප්‍රශ්න නිසා මේ සටහනට වැටුණු ප්‍රතිචාර සම්බන්ධව අදහස් දැක්වීමක් කිරීමට ඉඩ නොලැබුණි. කෙසේ වුවද, කිසියම් ප්‍රතිචාරයක් සටහන් කිරීමට උනන්දුවක් දැක්වූ සහ කාලය යෙදවූ අයට යම් පිළිතුරක් නොදී මඟ හැර යාම නුසුදුසු නිසාත්, ඇතැම් අයට මේ සංසිද්ධිය ගැන දැන ගැනීමට උනන්දුවක් ඇති නිසාත් මේ රෙද්ද ගැන අද තව ටිකක් කතා කරමු.

මේ රෙද්ද මටනම් මුලින්ම පෙනුණේත්, දැන් පෙනෙන්නෙත් නිල්/කළු පැහැයෙනි. ගවුමේ සැබෑ පැහැයද නිල්/කළු එකතුවකි. එහෙත්, මට නිවැරදි පාට පෙනෙන බව සහ ඔබට එසේ නොපෙනෙන බව එයින් අදහස් නොවේ. මා මේ ඡායාරූපය මිස සැබෑ ගවුම දැක නැත. ගවුමේ සැබෑ පැහැය නිල්/කළු වුවද ගවුමේ ඡායාරූපයේ සැබෑ පැහැය නිල්/කළු බව එයින් අදහස් නොකෙරේ. එහි සැබෑ පැහැය ඔබට එය පෙනෙන පැහැයයි. මෙතැන ඔබටත් මටත් එකඟ විය හැකි 'නිරපේක්ෂ' සත්‍යයක් නැත. ඔබේත් මගේත් පිළිතුරු සම්පූර්ණයෙන් වෙනස් වුවද මෙහිදී අප දෙදෙනාම නිවැරදිය.

ග්‍රේස්ගේ අම්මගෙ රෙද්දේ ඡායාරූපය මුලින්ම සමාජ ජාල වල සංසරණය වන විට රෙද්දේ ඇත්තම පාට කවරක්දැයි කිසිවකු දැන සිටියේ නැත. කෙසේ වුවද, ඡායාරූපය දකින අය බොහෝ දෙනෙකු ඇත්තටම දැක්කේ මේ ඡායාරූපය නොවේ- කොහේවත් තියෙන රෙද්දකි. ඒ රෙද්දේ නියම පාට කිසිවකු දැන නොසිටි නිසා ඒ ගැන දැන ගැනීමට තිබුණු එකම දෘශ්‍ය ආධාරකය (හැඟවුම්කාරකය) මේ ඡායාරූපයයි. මුල් දින වලදී මේ රෙද්ද රන්/සුදු බව බහුතරයේ මතය වූ අතර සැලකිය යුතු තරම් විශාල සුළුතරයක් එය කළු/නිල් ලෙස දුටුවහ.

දින කිහිපයක් ඇතුළත ගවුමේ සැබෑ පැහැය කළු/නිල් බව ප්‍රසිද්ධ විය. ඉන්පසු, එය කළු/නිල් ලෙස දකින ප්‍රතිශතය විශාල ලෙස වැඩිවිය. කෙසේවුවද, ගවුමේ සැබෑ පැහැය කළු/නිල් බව දැනගැනීමෙන් පසුවද එය තවදුරටත් රන්/සුදු ලෙසම දකින පිරිසද සැලකිය යුතු විශාල ප්‍රතිශතයක් විය.

මේ අවුලට මූලික හේතුව  (ජගත් සහ ලොකු පුතා වැනි) ඇතැම් දෙනා සටහන් කර තිබූ පරිදි ඡායාරූපයේ ගුණාත්මක භාවයේ අඩුවකි. එය ඕනෑවට වඩා ආලෝකයට නිරාවරණයව තිබුණේය. කෙසේ වුවද, කොහේවත් ඇති රෙද්දක පාට බැලීමට උත්සාහ නොකර අතේ ඇති ඡායාරූපයේ පාට ගැන සිත යොමු කරනවානම් ඡායාරූපයේ ගුණාත්මක භාවය ප්‍රශ්නයක් නොවේ. එහෙත්, බොහෝ දෙනෙකුට ඡායාරූපයක් යනු සැබෑ ගවුම දැක ගැනීම සඳහා උදවු කරන දෘශ්‍ය ආධාරකයක් මිස දැකීමට අවශ්‍ය සැබෑ 'වස්තුවක්' නොවේ.


එමෙන්ම, මුල් සමීක්ෂණ වලදී ප්‍රතිචාර දැක්වීම සඳහා තිබුණේ රන්/සුදු සහ නිල්/කළු යන තෝරා ගැනීම් දෙක පමණි. ජගත් විසින්ද මෙය පෙන්වා දී තිබුණි. රෝසා ලේෆර්-සූසා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් පුද්ගලයින් 1,401 දෙනෙකු යොදාගෙන පසුව සිදු කළ විද්‍යාත්මක සමීක්ෂණයේදී මෙසේ නිශ්චිත තෝරාගැනීම් කිහිපයක් ඉදිරිපත් නොකර නිදහසේ පාට පිලිබඳ අදහස් දැක්වීමට ඉඩ ලබා දුන්නත් බොහෝ දෙනෙකුගේ තේරීම වූයේ පෙර තෝරා ගැනීම් දෙකමය. ඊට අමතරව, සැලකිය යුතු පිරිසක් ගවුමේ පැහැය නිල්/දුඹුරු ලෙසද හඳුනාගත්හ. මේ අතර වෙනත් වර්ණ සංකලන දකින අයද සුළු පිරිසක් සිටියහ.

මේ සංසිද්ධිය සඳහා පැහැදිලි කිරීම් කිහිපයක්ම යෝජනා වී ඇත. බොහෝ විට මේ හේතු දැක්වීම් සියල්ලම නිවැරදිය.

පළමු පැහැදිලි කිරීම සරලය. මෙය වර්ණ වල නම් වලට සම්බන්ධය. හෝමෝ සේපියන් කෙනෙකුට වර්ණ මිලියන දෙක තුනක් වෙන් කර හඳුනා ගත හැකි සේ සැලකේ. එහෙත්, සාමාන්‍යයෙන් භාෂාවක වර්ණ හැඳින්වීමට ඇත්තේ නම් විස්සකට ආසන්න ගණනකි. වර්ණ හා අදාල ක්ෂේත්‍ර වල නම් වැඩි ප්‍රමාණයක් භාවිතා වුවත්, මේ නම් සාමාන්‍ය ජනතාව අතර භාවිතයේ යෙදෙන්නේ අඩුවෙනි. මේ නිසා අපට නමකින් හැඳින්විය හැකි සීමිත වර්ණ කිහිපයට අපට හඳුනාගත හැකි වර්ණ රැසක් කාණ්ඩගත කිරීමට අපට සිදුවේ. මෙය සියල්ලන්ම කරන්නේ එකම අයුරින් නොවේ. මේ නිසා නිල් සහ සුදු අතර පරාසයේ අප දකින වර්ණ නිල් සහ සුදු ලෙස වෙන් කිරීමට අප ගසන ඉර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මේ අනුව, දෙදෙනෙකු එකම පැහැය දැක්කත් එය ප්‍රකාශ කරන්නේ එකම අයුරින් නොවේ.

දෙවනුව, මා පෙර ලිපි වලින් විස්තර කළ පරිදි අපේ ආලෝක සංවේදී සෛල වල සංවේදිතා වෙනස්කම් මත අප එකිනෙකාට පෙනෙන පැහැයම වෙනස් විය හැක.

තෙවැනි පැහැදිලි කිරීම අපේ මොළය විසින් පෙනීම හා අදාල දත්ත සැකසුම් කිරීමට සම්බන්ධය. අප පරිණාමය වී සිටින්නේ දිවා ආලෝකය යටතේ ලෝකය දකින්නටය. මේ දිවා ආලෝකයද නිශ්චිත දෙයක් නොවේ. එය උදේ කාලයේදී රෝස පැහැතිය. පසුව නිල් පැහැ වී ඉර බැස යනවිට තැඹිලි පැහැයට ආසන්න වේ. මේ වෙනස් ආලෝක තත්ත්වයන් යටතේදී එකම වස්තුව අපට එකම පැහැයෙන් නොපෙනේ. එහෙත්, මේ පෙනෙන්නේ එකම වස්තුව බව අපේ මොළය දනී. ඒ නිසා ඇසේ කේතු සෛල මඟින් ලබා දෙන දත්ත සැකසුම් කිරීමේදී පරිගණක මෘදුකාංගයකින් කරන්නාක් මෙන් කිසියම් වර්ණ ගැලපීමක් කරයි. මෙය උදේ කාලයේදීනම් රෝස පැහැය අඩුකිරීමකි. දිවා කාලයේදීනම් නිල් පැහැය අඩු කිරීමකි.

ඡායාරූප හෝමෝ සේපියන්ස්ලාට අළුත් දෙයකි. හෝමෝ සේපියන්ස්ලාගේ දෘශ්‍ය පරිපථ ඡායාරූප දැකීමට පරිණාමය වී නැත. සැබෑ දසුනක් දකින විට අපේ මොළය අදාළ දත්ත සැකසුම සිදු කරන්නේ වටාපිටාවේ ආලෝක තත්ත්වය ගැන තක්සේරුවක්ද සහිතවය. ඡායාරූපයක් විශ්ලේෂණය කිරීමේදී අපට එය කැමරාවේ සටහන් වන විට පැවති ආලෝක තත්ත්වය ගැන නිරවුල් අදහසක් නැත. අප එකිනෙකාගේ මොළ ඒ පිලිබඳව වෙනස් තක්සේරු වලට එළඹේ. මෙහිදී යමෙකුගේ මොළය ග්‍රේස්ගේ අම්මගෙ රෙද්දේ නිල් පැහැය අඩු කර දත්ත සැකසුම් කළහොත් එය රන්/සුදු ලෙස පෙනේ. එමෙන්ම, කහ පැහැය අඩු කර දත්ත සැකසුම් කළහොත් එය නිල්/කළු  ලෙස පෙනේ.

මා පෙර කී පරිදි මට මේ රෙද්ද පෙනෙන්නේ නිල්/කළු පැහැයෙනි. එය ලා නිල්/ දුඹුරු ලෙසද මට දැකිය හැකිය. එහෙත්, රන්/සුදු ලෙස කිසිසේත්ම නොපෙනේ. මුල් සමීක්ෂණ වලට මෙන්ම මගේ සටහනටද ලැබුණු ප්‍රතිචාර අනුව මෙය වැඩි දෙනෙකුට පෙනෙන්නේ රන්/සුදු ලෙසය.

මා බොහෝ විට රාත්‍රී කාලයේදී වැඩ කිරීමට පුරුදුව සිටින අයෙකි. දිවා කාලයේ වුවද මා වැඩි වෙලාවක් ගත කරන්නේ ස්වභාවික ආලෝකය ලබමින් නොවේ. ස්වභාවික ආලෝකයට සාපේක්ෂව කෘතීම ආලෝකයේ කහ පැහැය වැඩිය. මේ නිසා මගේ මොළයට මගේ ඇස් වලින් ලබා දෙන මේ ගවුම පිලිබඳ දත්ත සැකසුම් කිරීමේදී පළමුව කහ පැහැය ඉවත් කරන බව පෙනේ. ඒ නිසා ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද මට පෙනෙන්නේ නිල්/කළු පැහැයෙනි. අදාල ඡායාරූපය කැමරාවේ සටහන් වන අවස්ථාවේදී පැවති ආලෝක තත්ත්වය යටතේ එයට වැඩිපුර කහ පැහැය එකතු වී තිබේ. මෙය මගේ මොළයේ සිදුවන දත්ත සැකසුමට කෙළින්ම සම්බන්ධ නැති අහඹු සිදුවීමකි. කෙසේ වුවද, මේ නිසා මගේ මොළයෙන් ඡායාරූපයේ කහ පැහැය ඉවත් කළ විට මට ග්‍රේස්ගේ අම්මගෙ රෙද්දෙ ඡායාරූපයෙන් ගවුමේ සැබෑ පැහැයට ආසන්න පැහැයක් පෙනේ.

කිසිවෙකුට තමන්ට අවශ්‍ය පරිදි ලෝකය වෙනත් කෙනෙකුට මවා පෙන්වන්නට උත්සාහ දැරිය හැකිය. එහෙත්, මා දකින්නේ මගේ මොළය මට මවා පෙන්වන ලෝකයයි.
 ck to Open Overlay Gallery






Friday, November 27, 2015

මෙය 18+ ප්‍රශ්නයකි

නිශාදි සත් හැවිරිදි ලෙහානිගේත් පස් හැවිරිදි යෙවිඳුගේත් දත් මද්දවා ඔවුන්ගේ කාමරයට ඇරලවීය. කුස්සියේ ඉතිරි වැඩ ටික අවසන් කිරීමට ඇයට වැඩි වෙලාවක් ගියේ නැත. නිශාදිගේ සැමියා චමත් ලොකු උනන්දුවකින් පරිගණකයේ යමක් කියවයි. ඇය හෙමිහිට පරිගණක තිරයට ඔළුව පෙව්වේය.

"මොනාද අනේ ඔය කියවන විකාර? අම්මගෙ රෙද්ද මොන පාටද? ඔය කෙහෙම්මල පැත්තකට දාල එන්න නිදාගන්න! ඉකොනොමැට්ටා? මොකාද ඔය ටික දවසක ඉඳන් ලොකු උනන්දුවකින් කියවන මැට්ටා?"

"හරි හරි තව විනාඩි දහයක් දෙන්න."

නිශාදි පොරවනය යටට ගුලි වුණේය. ටික වෙලාවකින් ඒ පොරවනය යටටම රිංගාගත් චමත් මේස ලාම්පුවේ එළිය අඩවන් කළේය.

වැඩි වෙලාවක් ගියේ නැත. යෙවිඳු අඩ අඳුරේම දෙමවුපියන්ගේ කාමරයට ඇදී නිශාදි සහ චමත් මැද්දට පැන්නේය.

"ඇයි යෙවිඳු මේ? තාම නිදි නැද්ද? මොකද අම්මලගෙ කාමරේට ආවේ? ඔයාට ඇඳක් තියෙනවනේ..."

"කාමරේ යකෙක් ඉන්නව. මට බයයි!"

"යක්කු කියල ජාතියක් නෑ ළමයෝ...ගිහිං බය නැතුව නිදා ගන්න!"

"නෑ, අදනං ඇත්තටම යකෙක් ඉන්නව."

"ඔයා කොහොමද දන්නේ?"

"සද්දෙ ඇහෙනවා. බොරුනම් ඇවිත් බලන්න."

නිශාදි විදුලි ලාම්පුවේ එලිය වැඩි කර යෙවිඳු සමඟ දරුවන්ගේ කාමරයට ඇවිදගෙන ආවේය.

"ඔය ඇහෙනව නේද සද්දේ? බොරුද මම කිවුවේ?"

"මොන සද්දයක්ද? මටනං කිසි සද්දයක් ඇහෙන්නෙ නෑ! ඔය දවල් තිස්සෙම කාටුන් බලලා හිතේ තියෙන ඒවා..."

"නෑ අම්මේ, ඔය සද්දයක් ඇහෙන්නේ...මටත් ඇහෙනවා."

"ඔයත් තාම නිදි නැද්ද, ලෙහානි? මම හිතුවේ ඔයා නිදි කියලා..."

නිශාදිට කිසිදු ශබ්දයක් නෑසේ. එහෙත්, දරු දෙදෙනාම කියන්නේ ශබ්දයක් ඇසෙන බවයි.

"අනේ චමත්, ඔයාවත් ඇවිත් බලන්න. මේ ළමයින්ට සද්දයක් ඇහෙනවලු. මටනම් කිසිම සද්දයක් ඇහෙන්නෙ නෑ."

ප්‍රවාහන ඇමති වරයා අයවැය කතාව අහගෙන ඉන්නවාටත් වඩා අඩු උනන්දුවකින් චමත් ඇඳෙන් නැඟිට එන්නේ වෙන කරන්නම දෙයක් නැති නිසාය.

"කෝ මොන සද්දද? ඔහේ ඇති යකෙකුත් නෑ. සද්දෙකුත් නෑ. විකාර නැතුව ගිහිං ඔය රෙද්ද පොරෝගෙන නිදාගන්න."

යෙවිඳුට සහ ලෙහානිට ඇසෙන බව කියන එහෙත් නිශාදිට හෝ චමත්ට නොඇසෙන මේ යකාගේ ශබ්දය ඇත්තටම සැබෑ ලෝකයේ නැති ළමයින්ගේ මනසේ නිර්මාණය වූවක්ද?

***
අපට පෙනෙන රූප යනු අපේ ඇස් හා මොළය එක්වී ආලෝක තරංගයකට දක්වන ප්‍රතිචාරය වන්නා සේම අපට ඇසෙන ශබ්ද යනු අපේ ශ්‍රවණේන්ද්‍රිය හා මොළය එක්වී ශබ්ද තරංගයකට දක්වන ප්‍රතිචාරයයි. පෙර කතා කළ දෘශ්‍ය ආලෝකයද ඇතුළත් විද්‍යුත් චුම්භක තරංග වලට 'ගමන් කිරීමට' මාධ්‍යයක් අවශ්‍ය නොවේ. එහෙත්, ශබ්ද තරංග වලට 'ගමන් කිරීමට' ජලය, වාතය වැනි මාධ්‍යයක් අවශ්‍ය වේ.

මා මෙහිදී ගමන් කිරීමට කියා කිවුවත් ඇත්තටම ශබ්ද තරංගයක් කියන්නේ මෙවැනි මාධ්‍යයක් තුල ඇතිවන කිසියම් නිශ්චිත රටාවකි. ඔබ පහතින් ඇති රූපය දෙස බලා සිටියොත් වමේ සිට දකුණට තරංගයක් ගමන් කරනු ඔබට පෙනේ. එහෙත්, මේ තරංගය ගමන් කරන දිශාවට එය සැදී ඇති බව පෙනෙන කළු තිත් ගමන් නොකරයි. ඒවායේ ඇත්තේ චක්‍රීය චලිතයකි. රූපසටහනේ ඇති රතු තිත් දෙස බලා සිටියහොත් මෙය පැහැදිලි වනු ඇත.
www.acs.psu.eduතරංගයක තරංග ආයාමය ගැන අපි පෙර කතා කළෙමු. තරංග ආයාමය යනු තරංගයක එක සමාන තැන් දෙකක් අතර දුරයි. තරංගයක් හඳුනාගන්නා තවත් මිනුමක් වන්නේ එහි සංඛ්‍යාතයයි. තරංගයක සංඛ්‍යාතය යනු තත්පරයක් තුලදී එය සම්පුර්ණ කරන ආවර්ත නැත්නම් චක්‍ර ගණනයි.උදාහරණයක් ලෙස ඉහළ රූප සටහනේ ඇති රතු තිතක් තත්පරයක් තුල සම්පුර්ණ කරන 'රවුම්' ගණන තරංගයේ සංඛ්‍යාතයයි. තරංගයක තරංග ආයාමය සහ සංඛ්‍යාතය එකිනෙකට සම්බන්ධය. එකක් වැඩිවන විට අනෙක අඩුවේ.

තරංගයක සංඛ්‍යාතය මනින්නේ හර්ට්ස් වලිනි. ඉතා දිගු තරංග ආයාම ඇති ශබ්ද තරංග බොහෝ විට හඳුන්වන්නේ තරංගයේ සංඛ්‍යාතයෙනි. හෝමෝ සේපියන්ස්ලාට සාමාන්‍යයෙන් ඇසෙන්නේ හර්ට්ස් 20-20000 අතර පරාසයේ ශබ්ද තරංගයි. සංගීත ස්වරයක් යනු මෙවැනි එක් නිශ්චිත සංඛ්‍යාතයකි. මෙයට වඩා කෙටි තරංග ආයාම ඇති, අපට ඇසිය නොහැකි උච්ච සංඛ්‍යාත 'අල්ට්‍රාසොනික්' හෝ 'සුපර්සොනික්' ලෙස හැඳින්වේ. එමෙන්ම අපට ඇසිය නොහැකි තරම් දිගු තරංග ආයාම ඇති, අඩු සංඛ්‍යාත 'ඉන්ෆ්‍රාසොනික්' ලෙස හැඳින්වේ.

හෝමෝ සේපියන්ස්ලාගේ ශ්‍රව්‍ය පරාසය හර්ට්ස් 20-20000 ලෙස සාමාන්‍යයෙන් දැක්වුනත් අප බොහෝ දෙනෙකු මේ මුළු පරාසයටම සංවේදී නැත. අප වයස්ගත වෙද්දී අපේ ශ්‍රව්‍ය සීමාව ඉතා සීග්‍රයෙන් පිරිහේ.

මෙසේ අපේ ඇසීම දුර්වල වී 'චමින්දලා' වෙන්නට හැට පැනිය යුතු නැත. දහඅට විස්ස වන විටම බොහෝ දෙනෙකු චමින්දලා වී අවසානය. ළමයින්ට සහ ගැටවරයින්ට ඇසෙන බොහෝ ශබ්ද වැඩිහිටියන්ට නොඇසේ. මෙය තරුණ වයසේ සිටින්නන්ටද අදාලය. මේ අයුරින් විශේෂයෙන්ම නෑසී යන්නේ උච්ච සංඛ්‍යාතයි.

සාප්පු සංකීර්ණ වල රස්තියාදු ගැසීම පුරුද්දක් කරගත් ඇතැම් ගැටවර වයසේ තරුණ තරුණියන්ගෙන් එලොවටවත් මෙලොවටවත් වැඩක් තිබේද නොතිබේදැයි මා නොදන්නා නමුත් මෙවැනි ඇතැම් සාප්පු සංකීර්ණ වල හිමිකරුවෝ ඔවුන් මහා ඇණයක් ලෙස සලකති. වැඩකට ඇති පාරිභෝගිකයන්ට වදයක් නොවන ලෙස මෙවැනි කණ්ඩායම් ඉවත්කර ගැනීම සඳහා භාවිතා වන එක් ක්‍රමයක් වන්නේ මෙසේ වැඩිහිටියන්ට නෑසෙන සංඛ්‍යාතයකින් කණ කඩාගෙන යන නාදයක් නිකුත් කිරීමයි.

මෙහිම අනිත් පැත්තද සිදුවේ. ඇතැම් පාසැල් සිසුන්ගේ ජංගම දුරකථන වල 'රිඟින් ටෝන්' ගුරුවරුන්ට නෑසේ.

සාමාන්‍යයෙන් හර්ට්ස් 10,000 පමණ දක්වා සංඛ්‍යාත බොහෝ දෙනෙකුට ඇසේ. එහෙත්, හර්ට්ස් 14,500න් පමණ ඉහළ සංඛ්‍යාත බොහෝ විට ඇසෙන්නේ වයස 18-20 නොඉක්මවූ අයට පමණි.

මෙහි ගොස් මේ සංඛ්‍යාත වලින් ඔබට ඇසෙන උපරිම සංඛ්‍යාතය කුමක්දැයි පරික්ෂා කරන්න. ඉන්පසු වයස 15ක පමණ හෝ ඊට අඩු ඔබේ දරුවෙකු, බාල සොයුරෙකු හෝ අල්ලපු ගෙදර ළමයෙකු කැඳවා ඔබට නොඇසෙන සංඛ්‍යාත වලට දක්වන ප්‍රතිචාරය පරික්ෂා කරන්න.

https://sites.google.com/site/econaudios/

(photo credit: www.123rf.com)

Wednesday, November 25, 2015

අම්මගෙ රෙද්ද මොන පාටද?

ඒ පසුගිය පෙබරිවාරි මාසයේ මැද දිනයකි. ග්‍රේස් ඇගේ පෙම්වතා වන කේර් සමඟ තවත් සතියකින් පසු පැවැත්වීමට නියමිත ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය ගැන කතා බහක යෙදී සිටිද්දී හිටිවනම ඇගේ දුරකථනය නාද විය.

"අම්මගෙන් කෝල් එකක්"

ඇය සිය ජංගම දුරකථනයෙන් සිය මව හා සම්බන්ධ වූවාය.

"මම ගත්තා ඔයාගේ වෙඩින් එකට අඳින්න ලස්සන ලේස් ගවුමක්. කළු ලේස් අල්ලපු නිල් පාට එකක්."

ග්‍රේස්ගේ මව සිසිලියාට ගවුම ගැන කියන්නට මහ ගොඩක් විස්තර තිබේ.

"හරි හරි ඕකේ ෆොටෝ එකක් අරන් එවන්නකො අපිටත් බලන්න."

ග්‍රේස් ඇගේ දුරකථන ඇමතුම අවසන් කර කේර් සමඟ පිළිසඳරට නැවත එක් වී වැඩි වෙලාවක් යාමට පෙර ඇගේ දුරකථනයට මවගේ අළුත් ගවුමේ ඡායාරූපයක් යොමු විය. ඒ දෙස බලා සිටි ඇගේ මුහුණ වෙනස් වේ.

"ඇයි? මොකද ප්‍රශ්නේ?" කේර් අසයි.

"මේ බලන්නකෝ අනී. අම්ම ගත්තයි කිවුවේ කළු ලේස් අල්ලපු නිල් පාට ගවුමක්නේ. දැන් මේ ෆොටෝ එකේ තියෙන්නේ රත්තරන් පාට ලේස් අල්ලපු සුදු ගවුමක්."

ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද නිල් වුනත්, සුදු වුනත් කේර්ට ඇති අමාරුවක් නැත. ග්‍රේස් සමඟ විවාහ උත්සවයේ අනෙක් දේවල් සම්බන්ධව වාදවිවාද කර දැන් කේර්ට ඇති වෙලාය. ඒත් මේ වෙලාවේ ඕවා කියන්න යනවාට වඩා ෆොටෝ එක බොරුවට හෝ උනන්දුවෙන් බලන එක ශරීර සෞඛ්‍යයට ගුණදායකය.

ගවුමේ ඡායාරූපය දෙස වරක් බැලූ කේර් ඒ දෙස නැවත නැවතත් බැලුවේය.

"ඉතිං මේක කළු ලේස් අල්ලපු නිල් පාට ගවුමක් තමයිනේ!"

ග්‍රේස් දුරකථනය නැවතත් අතට ගත්තේය.

"අනේ මන්දා? අම්මයි ඔයයි කතා වෙලා මාව අන්දවන්න හදනවද?"

"ඔයාව දැන්ම අන්දවන්නෙ මොකටද? ඒකට තව සතියක් තියෙනවනේ..."

"මටනම් පේන්නෙම රත්තරන් පාට ලේස් අල්ලපු සුදු ගවුමක්!"

ඡායාරූපය දෙස කොයිතරම් වෙලා බලා සිටියත් දෙන්නාට පෙන්නේ පාට දෙකකි. මේ නිසා ඡායාරූපය ඔවුන්ගේ යහළු යෙහෙළියන් කිහිප දෙනෙකුටද පෙන්වනු ලැබුවත් එයින් වුනේ ප්‍රශ්නය තවත් උග්‍ර වීම පමණි. ඇතැම් අයට මෙය නිල්-කළු ගවුමකි. තවත් අයට රන්-සුදු ගවුමකි. සමහර අයට වෙන වෙන පාටත් පෙනේ. තවත් අයට මෙය පාට වෙනස් වන මැජික් ගවුමකි.

ග්‍රේස් මේ ගැන සිය මවට කීවාය. ග්‍රේස්ට යැවූ ඡායාරූපය දෙස නැවත බැලූ ඇයට ග්‍රේස්ට මෙන්ම එය රන්-සුදු ගවුමක් සේ පෙනේ. එහෙත්, මේ ඡායාරූපය ගත් ඇගේ සහකරු පෝල් මෙය ඔහුට පෙනෙන්නේ නිල්-කළු ගවුමක් ලෙස බව දිවුරා පවසයි.

මේ රන්-සුදු නිල්-කළු වාදය ග්‍රේස්ගේ විවාහ මංගල දිනයේත් නැගලා ගියේය. විවාහ උත්සවයට සංගීතය සැපයූ කණ්ඩායමද ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද අරභයා දෙපිලකට බෙදුණු අතර පසුව මේ ඡායාරූපය අන්තර්ජාලයටද එක් කෙරිණි.

ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද ජාත්‍යන්තර ප්‍රශ්නයක් වීමට වැඩි වෙලාවක් ගියේ නැත. මේ ප්‍රශ්නය සමාජ ජාල හරහා පැතිරෙන්නට වූයේ අසුරු සැනෙකිණි.

දින හතර පහක් ඇතුලත මේ පිළිබඳව ටම්බ්ලර්හි පළවූ ආරම්භක සටහන කියවා තිබුණු වාර ගණන මිලියන 73 ඉක්මවීය. එය පලකළ පෙබරවාරි 26 දින පස්වරු 10.30-11.30 අතර පැයේදී විනාඩියකට මෙය කියවූ ගණන 140,000ක් පමණ වේ. එමෙන්ම දිනක් යන විට වැටුණු කමෙන්ට්ස් ගණන 483,000කි.

සැණෙකින් මෙය අනෙකුත් සමාජජාල වෙතද ව්‍යාප්ත විය. ප්‍රසිද්ධ නළු නිලියන්, ගායිකාවන් සහ ක්‍රීඩකයින්ද අදහස් දැක්වීමට පටන් ගැනීම නිසා වැඩේ තවත් නැගලා යන්නට විය.

මේ පිළිබඳව කෙරුණු එක් අන්තර්ජාල මත විමසුමක ප්‍රතිඵලය අනුව මිලියන 2.3කට (68%) මේ ගවුම රන්-සුදු ලෙසත්, මිලියන 1.1කට කළු-නිල් ලෙසත් (32%) පෙනුණේය.

ෆේස්බුක් දත්ත විද්‍යාඥයින් වන මයික් ඩෙවලියන් සහ ඒඩ්රියන් ෆ්‍රිජරි විසින් වත්පොත් සටහන් ඇසුරෙන් සිදුකළ විශ්ලේෂණයකට අනුව වත්පොතේ රන්-සුදු පක්ෂයේ ප්‍රතිශතය 58%ක්ද කළු-නිල් ප්‍රතිශතය 42%ක්ද වේ. එමෙන්ම, පිරිමින්ට සාපේක්ෂව ගැහැණුත්, තරුණයන්ට සාපේක්ෂව වයස්ගත අයත්, පරිගණක ඇසුරින් වත්පොත් යන අයට වඩා ජංගම දුරකථන මඟින් පිවිසෙන අයත්, රාත්‍රියේ මෙය දකින අයට වඩා දවල් කාලයේ දකින අයත් ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද රන්-සුදු ලෙස දකිති. මෙහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව එය නිල්-කළු ලෙස දකිති.

ඔබට ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද පේන්නේ මොන පාටින්ද?

මේ වනවිට මේ ඡායාරූපය මුල් කරගත් ශාස්ත්‍රාලීය පර්යේෂණ ගණනාවක් සිදු කෙරී ඇති අතර Current Biology විමර්ශිත ජර්නලය මේ හා අදාල පර්යේෂණ පත්‍රිකා කිහිපයක්ම ළඟ ළඟ පළ කර තිබේ. මේ එයින් කිහිපයකි.

1. Lafer-Sousa, Rosa, Katherine L. Hermann, and Bevil R. Conway. "Striking individual differences in color perception uncovered by ‘the dress’ photograph." Current Biology (2015).

2, Gegenfurtner, Karl R., Marina Bloj, and Matteo Toscani. "The many colours of ‘the dress’." Current Biology (2015).

3. Brainard, David H., and Anya C. Hurlbert. "Colour Vision: Understanding# TheDress." Current Biology 25.13 (2015): R551-R554.

4. Winkler, Alissa D., et al. "Asymmetries in blue–yellow color perception and in the color of ‘the dress’." Current Biology (2015). 


Monday, November 23, 2015

තැඹිලි තැඹිලි පාටද? (දෙවන කොටස)


පෙර ලිපියෙන් සාකච්ඡා කළ පරිදි අපේ දෘෂ්ඨි පරිපථ වලට ග්‍රහණය කර ගත හැක්කේ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ සීමිත පරාසයකි. මේ පරාසයේ ඉහළ හා පහළ සීමාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවද ඒ සාමාන්‍යයෙන් සුළු වශයෙනි. අප එකිනෙකා ලෝකය දකින ආකාරය වැඩිපුරම වෙනස් වන්නේ මේ පරාසය තුළ ඇති විවිධ වර්ණ වෙන්කර හඳුනාගන්නා ආකාරය අනුවය.

භෞතික ගුණාංග අනුව වර්ණ එකිනෙකින් වෙනස් වන්නේ ඒවායේ තරංග ආයාම අනුවය. දැන් අපි ශුද්ධ කහ පැහැය ලෙස නිශ්චිත තරංග ආයාමයක් හඳුනා ගනිමු. මේ තරංග ආයාමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව මොහොතකට අමතක කරමු.

මේ තරංග ආයාමය සහිත විද්‍යුත් චුම්භක තරංග අපේ අක්ෂි කාචය විනිවිද දෘෂ්ඨි විතානය මත පතිත වූ විට (පෙර ලිපියෙන් හඳුන්වා දුන්) අපේ කේතු සෛල තුන් වර්ගයෙන් රතු (දිගු) සහ කොළ (මැදි) කේතු සෛල දෙවර්ගයම උපරිමයට තරමක් කිට්ටු වන තරම් (90% පමණ) ප්‍රතිචාර දක්වන අතර නිල් (කෙටි) කේතු සෛල ප්‍රතිචාර නොදක්වන තරම්ය. මේ ප්‍රතිචාර සංයෝගය අපේ මොළය විසින් කහ පැහැය ලෙස හඳුනා ගනී.

යම් හෙයකින් කහ වර්ණයට වඩා කෙටි තරංග ආයාමයක් ඇති කොළ පැහැයට හුරු එළියක් සහ දිගු තරංග ආයාමයක් ඇති රතු පැහැයට කිට්ටු එළියක් එක තැන, අපේ ඇස් වලට වෙනස් ස්ථාන දෙකක් ලෙස හඳුනාගත නොහැකි තරම් කිට්ටුවෙන් තිබුණොත් කුමක් වේද? රතු තරංගය අපේ රතු කේතු සෛල 90% මට්ටමට සංවේදී කරවන අතර කොළ තරංගය කොළ කේතු සෛල 90% මට්ටමට සංවේදී කරවයි.

මේ ප්‍රතිචාර සංයෝගය කහ පැහැය හමුවේ මොළයට ලැබෙන ප්‍රතිචාර සංයෝගයට සමාන නිසා මොළය දැන් දකින්නේ කහ පැහැයයි. එහෙත්, භෞතික වශයෙන් මෙහි ඇත්තේ වෙනස් තරංග දෙකකි. ඔබේ රූපවාහිනිය, පරිගණක තිරය මෙන්ම වර්ණයෙන් මුද්‍රිත ඡායාරූපයක් හෝ පුවත්පතක් ඔබේ මොළය රවටන්නේ වර්ණ දැකීමේ ක්‍රියාවලියේ ඇති මේ දුර්වලතාවය උපයෝගී කරගනිමිනි. වර්ණ මුද්‍රණයේදී බොහෝ විට මූලික භෞතික වර්ණ වන රතු, කොළ සහ නිල් වල අතරමැදි වර්ණ වන මැජෙන්ටා, සියැන් සහ කහ වර්ණ මිශ්‍ර කෙරේ.

එක් එක් කේතු සෛල වර්ගයේ ඇති වෙනස් සංවේදිතා මට්ටම් සියයකට වැඩි ප්‍රමාණයක් හෝමෝ සේපියන් මොළයක දෘශ්‍ය පරිපථ වලට වෙන් වශයෙන් හඳුනාගත හැකිය. එනම්, රතු පාට මට්ටම් සියයක්, කොළ පාට මට්ටම් සියයක් සහ නිල් පාට මට්ටම් සියයක් වශයෙනි. මේ අනුව, වෙනස් වර්ණ (100x 100x 100) මිලියනයකට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය දෘෂ්ඨියක් ඇති කෙනෙකුගේ මොළයට හඳුනාගත හැකිය. මේ වර්ණ ප්‍රමාණය මිලියන 2.3-10 දක්වා ප්‍රමාණයක් ලෙස විවිධ පර්යේෂකයින් විසින් ඇස්තමේන්තු කර තිබේ.

ශක්තිය ඉතිරි කර ගැනීමේ උපායක් ලෙස මෙසේ එකතු කරගන්නා දත්ත ඒ ආකාරයෙන්ම සැකසුම් නොකර තරංග ආයාම සංවේදීතාව අනුව එක ළඟ පිහිටි කේතු සෛල දෙකක වෙනස අනුව සැකසුම් කෙරේ. මේ අනුව, රතු සහ නිල් කේතු සෛල වල සංවේදිතා මට්ටම් ඒ අතර පිහිටි කොළ කේතු සෛල වල සංවේදිතා මට්ටම සමඟ සැසඳේ. රතු සංවේදීතාව වැඩිනම් රතු පැහැයත් අඩුනම් කොළ පැහැයත් තෝරා ගැනේ. මේ අයුරින්ම, නිල් පැහැය වැඩිනම් නිල් පැහැයත් අඩුනම් කහ පැහැයත් තෝරාගැනේ. (සැසඳීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් කහ පැහැයක්ද තිබේ.)

ඇසේ කේතු සෛල වලින් වෙන් වශයෙන් හඳුනා ගන්නා මූලික 'භෞතික' වර්ණ තුන ඇසුරෙන් මොළය විසින් හඳුනා ගන්නා ඉහතින් සඳහන් කළ වර්ණ හතර ප්‍රාථමික 'මානසික' වර්ණයි. මෙහිදී පහසුවට රතු, කොළ ලෙස නම් කළත් ඇත්තටම මේ මූලික මානසික වර්ණ වල ඇත්තේ රතු සහ කොළ පැහැයන්ට ආසන්න වර්ණ දෙකක් මිස හරියටම රතු සහ කොළ වර්ණ නොවේ.

ප්‍රාථමික 'මානසික' වර්ණ




රතු (සරිස්)
කහ
 කොළ (ඇක්වා)
 නිල්

අවසාන වශයෙන් අප දකින පැහැය මෙසේ තෝරා ගැනෙන වර්ණ දෙකේ එකතුවකි. සැසඳීමේදී සංවේදිතා මට්ටම් සමානනම් සුදු ආලෝකය මිස වර්ණයක් එකතු නොවේ. එවිට අපට පෙනෙන්නේ එක සැසඳීමකින් එකතුවන වර්ණයයි. සැසඳීම් දෙකෙන්ම ප්‍රතිපල සමානනම් අපට අවසාන වශයෙන්ද සුදු පැහැය පෙනේ.

ප්‍රාථමික 'මානසික' වර්ණ මිශ්‍රණ

.        
කහ     −    මැදි      +     නිල්         .

කොළ                                            කොළ

 +                                                +

මැදි                                             මැදි 

 −                                                −

රතු                                            රතු

.        
කහ     −    මැදි      +     නිල්         .
(source: http://midimagic.sgc-hosting.com/huvision.htm)

දැන් මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට එකවර රතු සහ කොළ වර්ණ දැකිය නොහැකිය. මොළයට සංවේදී වන්නේ මේ වර්ණ දෙක අතර වෙනසයි. මෙයින් අදහස් වන්නේ රතු සහ කොළ වල අතරමැදි වර්ණ ගැන නොවේ. කහ සහ නිල් පැහැයන්ට අදාලවද මෙය මෙසේමය. එමෙන්ම, මෙහිදී මා සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස හඳුන්වන්නේ ඇසේ කේතු සෛල වර්ග තුනක් ක්‍රියාකාරිව ඇති අයෙකි. මෙවැනි කේතු සෛල වර්ග තුනකට අඩුවෙන් ක්‍රියාකාරිව ඇති වර්ණාන්ධ අය මෙන්ම කේතු සෛල වර්ග හතරක් ක්‍රියාකාරිව ඇති අයද යම් ප්‍රතිශතයක් සිටිති. ඒ ගැන පසුව කතා කරමු.

සාමාන්‍ය හෝමෝ සේපියන් මොළයකට වෙනස් වර්ණ මිලියන ගණනක් වෙන් කර හඳුනාගත හැකි වුවත් මේ වර්ණ මතක තබා ගන්නේ එසේ හඳුනාගන්නා තරමේ නිරවද්‍යතාවක් සහිතව නොවේ. වර්ණයක් මතක තබා ගන්නේ මොළය විසින් හඳුනාගන්නා 'සැබෑ' වර්ණයට කිට්ටුවෙන් ඇති 'දන්නා කියන' වර්ණයක් වශයෙනි. බොහෝ විට කෙනෙකුට සාරියක පැහැය මතක තබා ගෙන ගොස් සාප්පුවකින් ඒ පාටම සාරියක් තෝරා ගත නොහැකිය. එහෙත්, සාරියේ කොනකින් කෑල්ලක් කපා ගෙන ගියහොත් ඉතා නිවැරදිව සසඳා ඒ තේරීම කළ හැකිය.

මෙසේ යමෙකුගේ මතකයේ ඇති  'දන්නා කියන' වර්ණ ප්‍රමාණය උපන්දා ලෙස ලැබෙන පුහුණුවෙහි ප්‍රතිපලයකි. උපතින් පුර්ණ අන්ධව සිටි කෙනෙකුට පසුකාලීනව පෙනීම ලැබුණු වහාම කිසිවක් 'නොපෙනෙන්නේ' මේ නිසාය.

දැන් ඔබේ මනස දකින නිල් පැහැය මා දකින නිල් පැහැයමද? එය එසේ විය යුතු නැත.

උදාහරණයක් ලෙස යමෙකු දකින මූලික මානසික වර්ණ වල ධ්‍රැවීයත්වය මාරු වූයේයයි සිතමු. දැන් මා දකින නිල් ඔබ දකින කහ පැහැයයි. මා දකින කොළ පැහැය ඔබ දකින රතු පැහැයයි. මේ උදාහරණයේදී මූලික වර්ණ හතරම හරියටම අනිත් පැත්ත ගසා ඇති නිසා ඔබේ මනසට පෙනෙන්නේ මට පෙනෙන ලෝකයේ නෙගටිව් පිටපතකි. ඔබට තැඹිලි වල්ලක් පෙනෙන්නේ මට ඉහතින් ඇති තැඹිලි වල්ල පෙනෙන අයුරිනි.

මෙය කිසිවෙකුට නිරීක්ෂණය කළ හැකිද? එසේ කළ නොහැකිය. මා උඩින් ඇති තැඹිලි වල්ලේ රූපය ඔබට පෙන්වා ඔබට එය පෙනෙන්නේ කෙසේදැයි ඇසුවොත් ඔබ කියනු ඇත්තේ ඔබට පෙනෙන්නේ තැඹිලි වල්ලක නෙගටිව් ඡායාරූපයක් වන නිල් පැහැ තැඹිලි වල්ලක් බවයි. මගේ නිල් පැහැය ඔබට පෙනෙන්නේ මගේ තැඹිලි පාටිනි. එහෙත්, මගේ තැඹිලි පාට ඔබේ නිල් පැහැයයි. එය ඔබ දකින තැඹිලි පාට හෝ තැඹිලි වල පාට නොවේ.

මෙහිදී වෙන්නේද, මා පෙර ලිපිවල සඳහන් කළ අකුරු උඩු-යටිකුරු ලෙස පෙනෙන විට සිදුවන සංසිද්ධියමය. මෙහිදී අපි දකින වර්ණ රාමු වෙනස් වුනත් ඒවා හරියටම ගැලපේ. ඒ නිසා, අප ලෝකය අනෙකාට විස්තර කරන ආකාරයන්හි කිසිදු නොගැලපීමක් සිදු නොවේ.

උදාහරණයක් ලෙස ඉහතින් ඇති මූලික මානසික වර්ණ හතර ඔබට පෙනෙන්නේ මට පේන ආකාරයෙන්දැයි මට දැනගත නොහැකිය. එහෙත්, මේ ලිපියේ මා ඉදිරිපත් කරන කරුණු ඔබට තේරුම් ගැනීමට එය බාධාවක් වන්නේ ඔබ ත්‍රිවර්ණ-සංවේදී දැක්මක් නොමැති අයෙක්නම් පමණි. ලේ වල පාටත්, ස්ට්‍රෝබෙරි ගෙඩියක පාටත් (ආසන්න වශයෙන්) සමාන බවට සහ කෙහෙල් දල්ලක පාට එයට වඩා වෙනස් බවට අපට එකඟ වීමට රතු පාට සහ කොළ පාට ඔබට ඇත්තටම පෙනෙන ආකාරය බාධාවක් නොවේ.

පාට යනු එකිනෙකාගේ පෞද්ගලික හැඟීමකි.  එහෙත්, අපි එකිනෙකාට එකඟ විය හැකි නිශ්චිත තරංග ආයාමයක් ඇති භෞතික 'කහ පාටක්' (සහ වෙනත් පාට) ඇත්නම් මේ හැඟීම කවරක් වුවත් අපට වර්ණ හා අදාලව එකඟ විය නොහැකි තැනක් නොතිබිය යුතුය.

කෙසේ වුවද, බෝජනා දකින ලෝකයේ ඇතැම් දේ පමණක් උඩු යටිකුරු වී ඇති අයුරින් අපේ වර්ණ හඳුනාගැනීමේ රාමුවල ඇතැම් කොටස් පමණක් වෙනත් අයට වඩා වෙනස් ලෙස පෙනේනම් අපට අප එකිනෙකාගේ දැකීමේ ඇති වෙනස්කම් අවබෝධ කර ගත හැකිය. එමෙන්ම විද්‍යාත්මක ලෙස පරික්ෂා කර තහවුරු කිරීමටද පුළුවන.

පළමු කොටසේ සාකච්ඡා කළ පරිදි ඇත්තටම තත්ත්වය මෙසේය. අපේ කේතු සෛල වල සංවේදිතා වක්‍ර සමාන නොවන නිසා අපේ වර්ණ විසංයෝජනය කරන රාමුද සමාන නැත. ඒ නිසා එකම වස්තුව දකින අප දෙදෙනෙකුගේ මොළයට යැවෙන සංඥා එක සමාන නැත. ඇත්තෙන්ම අපේ ඇස් දෙකෙන් වෙනවෙනම යවන සංඥා දෙක වුවද හරියටම සමාන නැත.

(මගේ ලිපි උපුටා වෙනත් තැනක පළ කරන්නේනම් කියවන්නාට අවශ්‍ය විටෙක මුල් ලිපිය ඇති තැනට පහසුවෙන් ලඟා විය හැකි පරිදි සම්පුර්ණ ලින්ක් එකක්ද සමඟ පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොකිරීම වැඩිදුර තොරතුරක් දැනගැනීමට කැමති අයෙකුට කරන අසාධාරණයකි.)

Friday, November 20, 2015

තැඹිලි තැඹිලි පාටද? (පළමු කොටස)


උදේ පාන්දරම පටන්ගන්නේ මැටි ප්‍රශ්නයකිනි. තැඹිලි පාට කියන්නේ තැඹිලි වල පාටයි. හරියට කොළ පාට කියන්නේ කොළ වල පාට වගේය. එහෙනං ඒක තැඹිලි පාට නොවී වෙන පාටක් වෙන්නෙ කොහොමද?

හරි තැඹිලි තැඹිලි පාටයි කියමුකෝ! දැන් මේ මට පේන තැඹිලි පාටමද අනිත් අයටත් පේන්නේ?

මේ ප්‍රශ්නය විශ්ලේෂණය කරන්නටනම් මුලින්ම පෙනීම යනු කුමක්දැයි සාකච්ඡා කළ යුතුය. ඉතාම සරලව පෙනීම කියන්නේ එක්තරා පරාසයක විද්‍යුත් චුම්භක තරංග වලට අපේ මොළ දක්වන ප්‍රතිචාරයයි.



විද්‍යුත් චුම්භක තරංග ඒවායේ තරංග ආයාමයේ දිග අනුව ගැමා කිරණ, එක්ස්-කිරණ, පාරජම්බුල කිරණ, දෘශ්‍ය ආලෝකය, අධෝරක්ත කිරණ, ක්ෂුද්‍ර තරංග (මයික්‍රෝවේව්), රේඩියෝ තරංග ආදී ලෙස අපේ පහසුව සඳහා අපි වර්ග කරන්නෙමු. මෙහිදී තරංග ආයාමය කියන්නේ ඉහළ රූපයේ ඇති පරිදි තරංගයක හැඩය නැවතත් ඒ ආකාරයෙන්ම දැකිය හැකි තැන් දෙකක් අතර දුරයි.


(http://science-edu.larc.nasa.gov/)

 හෝමෝ සේපියන් මොළයකට සාමාන්‍යයෙන් ග්‍රහණය කර ගත හැක්කේ නැනෝමීටර 400 සිට 700 දක්වා පමණ පරාසයක විද්‍යුත් චුම්භක තරංගයි.  නැනෝමීටරයක් කියන්නේ මිලිමීටරයක් කොටස් මිලියනයකට බෙදූ විට ඇති දුරයි. මීට වඩා ඉතා කෙටි තරංග ආයාම ඇති ගැමා කිරණයක තරංග ආයාමය මැනිය හැක්කේ නැනෝමීටරයක් තවත් කොටස් මිලියනයකට බෙදූ විට ඇති ඒකක වලිනි. එමෙන්ම, රේඩියෝ කිරණයක දිගු තරංග ආයාම කිලෝමීටර ගණනක් දිග විය හැකිය. මෙවැනි පරාසයක ඇති විද්‍යුත් චුම්භක කිරණ වලින් අපට ග්‍රහණය කරගත හැකි ඉහත මුළු පරාසයම ඉතාම සොච්චමකි.

අප විවිධ වර්ණ ලෙස දකින්නේ අපේ ඇස් වලට සහ මොළයට ගෝචර වන ඉහත පරාසයේ විද්‍යුත් චුම්භක තරංග වල විවිධ තරංග ආයාමයන්ය. අපට පෙනෙන දිගම තරංග ආයාමයන් රතු පැහැයෙන්ද, කෙටිම ඒවා නිල් පැහැයෙන්ද පෙනේ. ඒ අතර පරාසයේ දේදුන්නේ ඇති, අපට පෙනෙන සියළු පාට තිබේ.



රතු පාටට වඩා දිග තරංග ආයාම අධෝරක්ත කිරණ ලෙසත්, නිල්/දම් පැහැයට වඩා කෙටි තරංග ආයාම පාර ජම්බුල කිරණ ලෙසත් හැඳින්වේ. මේවා සාමාන්‍යයෙන් හෝමෝ සේපියන්ස්ලාට පෙනෙන්නේ නැත. ද්‍රශ්‍ය ආලෝකයේ මේ අවම සහ උපරිම සීමා වලදී විද්‍යුත් චුම්භක තරංග වල භෞතික ලක්ෂණ වල විශේෂ වෙනසක් වෙන්නේ නැත. විද්‍යුත් චුම්භක තරංග අතරින් මේ කුඩා පරාසය පමණක් අප විසින් ග්‍රහණය කරගන්නේ පෙනීම හා අදාලව අපේ ඇති ජීව විද්‍යාත්මක සීමාවන් නිසාය. එමෙන්ම මෙසේ අපට ග්‍රහණය වන විද්‍යුත් තරංග රතු, නිල්, කොළ ආදී ලෙස වෙන්කරගැනීමද අපේ මොළය විසින් කරන දෙයකි.

අපේ පෙනීම වෙනුවෙන් වැදගත්ම කාර්ය භාරයක් කරන්නේ අපේ ඇස් වල ඇති ආලෝක සංවේදී සෛලයි. යෂ්ඨි සෛල සහ කේතු සෛල ලෙස හැඳින්වෙන මෙවැනි සෛල වර්ග දෙකක් තිබේ. ඒවා එසේ නම්කර ඇත්තේ හැඩය අනුවය. මේවායින් යෂ්ඨි සෛල පාට වෙන්කර හඳුනා ගැනීමට උදවු නොකරයි. ඒවා උපකාරී වන්නේ ආලෝකය සහ අඳුර වෙන්කර ගැනීමට පමණි. වර්ණ දැකීමට උදවු වන්නේ කේතු සෛලයි.

යෂ්ඨි සෛල මිලියන 90-120 පමණ තිබුණත් කේතු සෛල ඇත්තේ මිලියන 6-7ක් පමණි. මේ නිසා, කේතු සෛල වල සංවේදීත්වය මොළයට ප්‍රමාණවත් ලෙස දැනෙන්නට හොඳ ආලෝක තත්ත්වයක් අවශ්‍ය වේ. යෂ්ඨි සෛල ප්‍රමාණයෙන් වැඩි නිසා මඳ අඳුරේදී වුවද ප්‍රමාණවත් සංවේදීතාවක් දක්වයි. ඒ නිසා හොඳින් ආලෝකය නැති අවස්ථාවලදී අපට පෙනීමට උපකාරී වන්නේ යෂ්ඨි සෛලයි. දිවා කාලයේදී වර්ණවත් ලෙස පෙනෙන දේවල් රාත්‍රියේදී කළු-සුදු ලෙස පෙනෙන්නේ කේතු සෛල හොඳින් ක්‍රියාත්මක නොවන නිසා සහ යෂ්ඨි සෛල වලට පාට වෙන්කර හඳුනාගැනීමට උපකාරී විය නොහැකි නිසාය.

සාමාන්‍යයෙන් හෝමෝ සේපියන් ඇස් වල වෙනස් කේතු සෛල වර්ග තුනක් තිබේ. මේ එක් එක් වර්ගය වෙනස් ආකාර වලින් විවිධ තරංග ආයමයන්ට ප්‍රතිචාර දක්වයි. ඒවා සාමාන්‍යයෙන් වැඩිපුරම ප්‍රතිචාර දක්වන තරංග ආයාමයට අදාල පැහැය අනුව රතු, කොළ සහ නිල් ලෙස හැඳින්විය හැකිය.



ඇත්තටම මේ හැඳින්වීම සමාන කළ හැක්කේ අලි ඇඟක් තිබෙන නිසා අලියාට අලියා කීමටය. වර්ණ අර්ථදැක්වෙන්නේම මේ සෛල වල සංවේදීතාව අනුව බැවිනි. ඒ නිසා වඩා නිවැරදි වන්නේ දිගු, මැදි සහ කෙටි ලෙස හැඳින්වීමය. පහසුව තකා මා පෙර හැඳින්වීම යොදාගනිමි.

මොළයට වර්ණ වෙන් කර හඳුනාගත හැක්කේ මේ තෙවර්ගයේ කේතු සෛල ප්‍රතිචාර දක්වන ආකාරය සැසඳීමෙනි. උදාහරණයක් ලෙස රතු (දිගු) සහ කොළ (මැදි) කේතු සෛල එක සමානව සංවේදී වන අතර නිල් (කෙටි) කේතු සෛල සංවේදී නොවේනම් අපට පිරිසිදු කහ පැහැය පෙනේ.

ඉහත සඳහන් කළ කේතු සෛල තෙවර්ගය වෙනස් තරංග ආයාමයන්ට ප්‍රතිචාර දක්වන 'සංවේදීතා වක්‍ර' පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. උදාහරණයක් ලෙස විශේෂිත තත්ත්ව රැසක් දැනට අමතක කළත්, සාමාන්‍ය පුද්ගලයෙකුගේ මේ වක්‍ර උපරිම සංවේදීතාවක් දක්වන තැන් වල තරංග ආයාම නැනෝ මීටර 564–580 (රතු), 534–545 (කොළ) සහ 420–440 (නිල්) ලෙස විචල්‍ය වේ.

මේ අනුව, රතු හා කොළ කේතු සෛල වල සංවේදතා සමාන වී, නිල් කේතු සෛල වල සංවේදීතාව ශුන්‍ය වී ශුද්ධ කහ පැහැයක් පෙනෙන තරංග ආයාමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැම් විට කෙනෙකුට තමන්ගේ සංවේදිතා වක්‍ර වල ස්වභාවය අනුව ඇතැම් වර්ණ නොපෙනෙන්නටද පුළුවන. විශේෂයෙන්ම, සාපේක්ෂව එක ළඟ පිහිටි රතු සහ කොළ කේතු සෛල වල සංවේදීතා වක්‍ර බොහෝ සෙයින් සමාන වූ විට යමෙකුට රතු සහ කොළ පැහැයන් වෙන් වශයෙන් හඳුනා ගැනීම අසීරු වේ.

අපට යම් වස්තුවක් වර්ණවත්ව පෙනෙන්නේ එහි වැටෙන දෘශ්‍ය පරාසයේ විද්‍යුත් චුම්භක තරංග වලින් කොටසක් පමණක් අවශෝෂණය කරගෙන ඉතිරිය ආපසු හරවා එවූ විටය. මේ තරංග සියල්ලම අදාල වස්තුව විනිවිද ගියහොත් අපට වර්ණයක් නොපෙනේ. වාතය හෝ වීදුරු මෙනි. එමෙන්ම දෘශ්‍ය පරාසයේ තරංග සියල්ලම අවශෝෂණය කර ගතහොත් කේතු සෛල හෝ යෂ්ඨි සෛල කිසිවක් ප්‍රතිචාර නොදක්වන බැවින් අපට කළු පැහැය පෙනේ. දෘශ්‍ය පරාසයේ තරංග ආයාම සියල්ල එකවර ලැබුණහොත් කේතු සෛල තෙවර්ගයම උපරිමයටම සංවේදී වන නිසා (overload) මොළයට ඒවායේ වෙනස සැසඳිය නොහැක. එවිට අපට සුදු පැහැය පෙනේ.

දැන් අපි අපෙන් බාහිරව පවතින ඕනෑම පුද්ගලයෙකුට නිරීක්ෂණය කළ හැකි තැඹිලි වල්ලක් ගැන සිතමු (එවැන්නක් සැබෑවටම තිබේද යන්න අමතක කරමු). මේ තැඹිලි වල්ල දෘශ්‍ය පරාසයේ ඇතැම් තරංග ආයාම පමණක් ආපසු හරවා එවයි. මෙසේ එවන්නේ නිශ්චිත තරංග ආයාම එකතුවකි. ඒ තරංග ආයාම එකතුව අපේ ඇස් වල කාච මඟින් පෙරා දෘෂ්ඨි විතානය මත ප්‍රක්ෂේපණය කළ විට අපේ කේතු සෛල ප්‍රතිචාර දක්වයි. මේ ප්‍රතිචාර අපේ මොළයට ලැබේ. තැඹිලි ගෙඩියේ පාට තැඹිලි පාට විය යුතු බව අප ඉගෙන ගෙන ඇති නිසා දැන් අපි මේ ප්‍රතිචාර පැකේජය තැඹිලි පාට ලෙස හඳුනා ගනිමු.

තැඹිලි ගෙඩියේ පාට අපි කාටත් තැඹිලි පාටමය. එහෙත්, ඔබ දකින තැඹිලි පාට මා දකින තැඹිලි පාටම නොවේ. (ඔබ දකින තැඹිලි ගෙඩිය මා දකින තැඹිලි ගෙඩියමද?)

මේ ඊළඟ ලිපිය පළකරන තුරු පොඩි හෝම්වර්ක් එකකි. පහත රූපයේ ඔබට වෙනස් පාට කීයක් පෙනේද?



වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...