වෙබ් ලිපිනය:

Showing posts with label මුදල්. Show all posts
Showing posts with label මුදල්. Show all posts

Monday, September 17, 2018

ඩොලර්කරණය


මෙයත් අපේ මිතුරෙකු වත්පොත හරහා අපගේ අවධානය යොමු කර තිබුණු ඔහුගේ සිසුවෙකුගේ අදහසකට අදාළව ලියැවෙන්නක්. මුල් අදහස පළ කළ මගේ මිතුරාගේ සිසුවාගේ මෙය කියවනු ඇතැයි මා සිතනවා. වත්පොත හරහා සංවාද වල යෙදෙන්න දැනට මගේ වැඩි කැමැත්තක් නැහැ.

ඔහු අහන්නේ සිම්බාබ්වේ මෙන් ලංකාවේ ගෙවීම් පියවීම් සඳහා රුපියල වෙනුවට කෙසේවෙතත් රුපියලට සමාන්තරව හෝ ඩොලරය යොදා ගැනීමෙන් රට ඇතුළට වැඩිපුර විදේශ විණිමය ආකර්ෂණය කරගත හැකිද වැනි අදහසක්. මේ ආකාරයට රටක ජාතික ව්‍යවහාර මුදල වෙනුවට වෙනත් රටක මුදල් ඒකකයක් ආදේශ කරගැනීම හැඳින්වෙන්නේ ඩොලර්කරණය ලෙසයි.

සිම්බාබ්වේ කැමැත්තෙන් ඩොලර්කරණය කළා නෙමෙයි. විශාල වශයෙන් ණය ගැනීමෙන් පසුව ඔවුන්ගේ මුදල් ඒකකය පිළිබඳ විශ්වාසය තවදුරටත් ගොඩ ගත නොහැකි තරමට බිඳ වැටීමෙන් පසුව එය අත් හැර දමනු හැර ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. (මේ කතාව කියන්න මම මේ ලිපියේ ඉඩ වෙන් කරන්නේ නැහැ. උඩ නෝට්ටුව දිහා බැලුවොත් අදහසක් එයි.) ලංකාව එපමණ නරක තැනකට වැටී නැහැ.

මේ ප්‍රශ්නය ඇසූ තරුණයා වැනි ගොඩක් අය ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය වීම අත්‍යවශ්‍ය කරුණක් සේ සිතනවා. ඒ වගේම එය සිදු නොවන්නේ ලංකාවේ රජයේ හෝ මිනිසුන්ගේ වැරැද්දක් හෝ අඩුපාඩුවක් නිසා කියලත් හිතනවා. ඒ පදනමින් ඒ වෙනුවෙන් තමන්ට කළ හැකි දේවල් කරන්න උත්සාහ දරනවා වෙන්නත් පුළුවන්.

විදේශ ව්‍යවහාර මුදල් අරගෙන ලංකාවට පැමිණෙන සංචාරකයින් වැනි අයට ලංකාවේදී තමන්ගේ විදේශ මුදල් රුපියල් කර ගැනීමේ අපහසුතාවයක් ඇතැයි මා හිතන්නේ නැහැ. ලංකාව ඇතුළේදී රුපියල් ඩොලර් කිරීම පහසු නැතත් ඩොලර් රුපියල් කිරීම ඉතාම පහසුයි. ප්‍රත්‍යන්ත නගරයකදී වුවත් බැංකු ශාඛාවකට ගිය ගමන් ඩොලර් මාරු කරගත හැකියි. බැංකු නොවන වෙනත් තැන් වලදීත් මෙය කරගත හැකියි. විදේශිකයින් නිතර පැමිණෙන ඇතැම් තැන් වල දැනට වුවත් මිල ගණන් තිබෙන්නේ ඩොලර් වලිනුයි.

අනෙක් කරුණ ලංකාවට එන සෑම විදේශිකයෙකුම වාගේ අතේ මේ වන විට වීසා හෝ මාස්ටර්කාඩ් වැනි සන්නාමයක් සහිත ක්‍රෙඩිට් කාඩ්පත් තිබෙනවා. මේ කාඩ්පත් නිකුත් කර තිබෙන්නේ කවර රටක බැංකුවකින් වුවත් ඒවා උපයෝගී කරගෙන රුපියල් වලින් ගෙවීම් කළ හැකියි. ඔවුන් ලංකාවේදී කිසියම් භාණ්ඩයක් මිල දී නොගන්නවානම් එසේ නොකරන්නේ මිල වැඩි නිසා මිසක් අතේ රුපියල් නැති නිසා නෙමෙයි.

ලංකාවේ භාණ්ඩ විදේශිකයින්ට මිල වැඩි වීමේ සිට ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීම දක්වා ප්‍රශ්න අටෝරාසියකට තිබෙන සරල හා තනි විසඳුම රුපියල සැලකිය යුතු තරමින් අවප්‍රමාණය කිරීමයි.

ලංකාවේ ආණ්ඩුව මේ දවස් වලත් ඇතැම් පාර්ශ්ව වල විරෝධය මැද්දේ වෙළඳ ගිවිසුම් පස්සේ පන්නනවා. කලින් ආණ්ඩුත් ඔය වැඩේම කළා. මේ හරහා බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අපනයන බදු රහිතව හෝ බදු සහන යටතේ අදාළ රටවල විකිණීමට අවස්ථාවක් ලබා ගැනීමයි. දැනට කිසියම් රටක් 10%ක ආනයන බද්දක් අය කරනවානම් එය ඉවත් වූ විට අපේ බඩු 10%ක් අඩු මිලකට ඒ රටේදී විකුණන්න පුළුවන්. එවිට ඉල්ලුම වැඩි වී වෙළඳ පරිමාව ඉහළ යනවා.

හැබැයි බොහෝ විට ඔය වගේ වෙළඳ ගිවිසුම් ද්විපාර්ශ්විකයි. අපට බදු සහනයක් ලැබෙන්නේ අපිත් බදු සහනයක් දුන් විටයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේදී අදාළ රටේ බඩු වල මිල පහළ යන නිසා ඒවාට තිබෙන ඉල්ලුමත් ඉහළ යනවා. ඒ එක්කම අපේ අපනයන පරිමාවත් ඉහළ යනවා. ඒ නිසා, අවසාන වශයෙන් ලංකාවේ වෙළඳ ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපනයන වැඩි වන ප්‍රමාණයට වඩා ආනයන වැඩි වුනොත් ප්‍රශ්නය තවත් දරුණු වෙන්න වුවත් පුළුවන්.

ඔය වෙනුවට රුපියල 10%කින් අවප්‍රමාණය වෙන්න ඇරියොත් විදේශ රටවලදී අපේ බඩුවල මිල 10%කින් අඩු වී අර 10% බදු සහනයේ වාසියම ලැබෙනවා. වෙළඳ ගිවිසුමකදී මෙන් එක රටකදී නොව හැම රටකදීම මෙය සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි. වෙළඳ ගිවිසුමකදී අපනයන වල මිල 10%කින් අඩු වෙද්දී ආනයන වල මිලත් 10%කින් අඩු වන නමුත් රුපියල අවප්‍රමාණය කළ විට වෙන්නේ එහි අනිත් පැත්තයි. අපනයන මිල 10%කින් අඩු වන විට ආනයන මිල 10%කින් වැඩි වෙනවා. එවිට අපනයන ඉහළ යන අතරම ආනයන පහළ ගොස් වෙළඳ හිඟය අඩු වෙනවා.

ගොඩක් අය ලංකාවේ වී වගා කිරීමේ අකාර්යක්ෂමතාවය ගැන කතා කරනවා. මේ අය පෙන්වා දෙන කරුණක් තමයි ලංකාවේ වී ගොවීන්ට වතුර නිකම් දීලා, පෝර අඩුවට දීලා අන්තිමට රජය විසින් වැඩි මිලකට වී මිල දී ගන්නත් අවශ්‍යයි කියන එක. ඒ අය කියන විදිහට හාල් රටින් ගේන එක ලාබයි. මතුපිටින් බැලුවොත් කතාව ඇත්ත. නමුත්, මෙතැනදී අමතක කරන දෙයක් තමයි මේ කතාවේ වලංගු භාවය රඳා පවතින්නේ රුපියලේ අගය මත කියන එක. යම් විදිහකින් ඩොලරය රුපියල් තුන්සීයක් විතර වුනානම් ඔය කතාව ඔය විදිහට කියන්න බැහැ.

රුපියල ශක්තිමත්ව තබාගන්නා තරමට දේශීය කර්මාන්ත බිඳ වැටෙනවා. වී කර්මාන්තය සහනාධාර වලින් ඔය විදිහට හරි ඇදගෙන ගියත්, නිෂ්පාදන කර්මාන්ත ගොඩක් ආනයන තරඟයට මුහුණ දෙන්න බැරුව දැනටමත් බිඳ වැටිලා ඉවරයි. ඉන්දියාවෙන් නැත්නම් චීනයෙන් ලංකාවේ වෙළඳපොළට එන ගොඩක් පොඩි පොඩි දේවල් ලංකාවේ හදන්න බැරි දේවල් නෙමෙයි. ඒවා ලංකාවේ නොහැදෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ වැරැද්දකිනුත් නෙමෙයි. එහෙම හදලා ලාබ ගන්න බැරි නිසයි. ඉන්දියාවෙන් හෝ චීනයෙන් ආනයනය කරන එක ඊට වඩා ලාබ නිසයි. ඩොලරයේ මිල රුපියල් තුන්සීයක් විතර වුනානම් රජයේ පෙළඹවීමක් නැතිවම ඔය පොඩි පොඩි දේවල් ගොඩක් ලංකාවේ නිෂ්පාදනය වෙයි.

ඇතැම් අය පෙන්වා දෙන දෙයක් තමයි ඩොලරය රුපියලකින් බාල්දු වූ විට ලංකාවේ ණය බර රුපියල් බිලියන තිස් ගාණකින් ඉහළ යන බව. ඩොලරය රුපියලකින් බාල්දු වූ විට රුපියල් බිලියන තිස් ගාණකින් නෙමෙයි පනස් ගාණකින්ම ලංකාවේ විදේශ ණය ඉහළ යනවා. නමුත්, ඔය විදේශ ණය ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නෙමෙයි. රුපියල අවප්‍රමාණය වෙන්න ඇරීමෙන් වෙන්නේ ඒ විදිහට ණය ආපසු ගෙවීම සඳහා ඩොලරයක් හෝ එකතු වීමයි. එසේ නොකිරීමෙන් වෙන්නේ ඩොලර් හිඟය තවත් උග්‍ර වීමයි.

ඩොලරය රුපියලකින් බාල්දු වන විට රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යන බව මේ විදිහට පෙන්වා දෙන තවත් කරුණක්. ඇත්ත. ආනයනික භාණ්ඩ වල හා ආනයනික භාණ්ඩ යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ වල දේශීය මිල ඉහළ යනවා තමයි. නමුත් දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යන්නේ නැහැ. ඒ නිසා දේශීය නිෂ්පාදන වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා.  රටේ දේශීය කර්මාන්ත දියුණු වෙලා, අපනයන ඉහළ ගිහින් ආනයන සීමා වෙන්නනම් වෙන්න ඕනෑත් ඕකම තමයි.

අපි ලිපිය පටන්ගත් ඩොලර්කරණයට නැවත ආවොත්, ඩොලර්කරණය කියන්නේ කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. රුපියල් වේවා ඩොලර් වේවා සල්ලි අච්චු ගැහීම ආණ්ඩු වලට විශාල ලාබයක් ලබා දෙන වැඩක්. රුපියල් නෝට්ටු වගේම ඩොලර් නෝට්ටු කියන්නෙත් නිකම්ම කඩදාසි කොළ. ඩොලර් සීයක නෝට්ටුවක් මුද්‍රණය කරන්න වැය වෙන්නේ ඩොලර් ශත 13ක් පමණයි. ඉතිරි ඩොලර් 99.87ම ඇමරිකාවේ රජයට (මහ බැංකුවට) ලාබ.

මේ ආකාරයේ මුදල් නෝට්ටු (ෆියට් මුදල්) සංසරණයට එකතු කරන කොයි රජයත් එමඟින් විශාල ලාබයක් ලබනවා. ලංකාවේ සංසරණයට රුපියල් දාහක් හෝ පන්දාහක් එකතු වන හැම විටම එයින් රුපියල් කිහිපයක් හැර ඉතිරි මුළු මුදලම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාබයක් වෙනවා. පසුව බොහෝ විට ලංකාවේ රජයේ ලාබයක් වෙනවා. අපි නිකමට කියමු රුපියල් 5000කින් රුපියල් 4990ක් කියා. ලංකාවේ රජයේ කාර්යක්ෂමතාවය පිළිබඳ මොන තරම් ප්‍රශ්න තිබුණත් ඔය මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත රට ඇතුළේ මොනවා හෝ ප්‍රයෝජනවත් වැඩක් වෙනුවෙන් යෙදවෙනවා. රුපියල් වෙනුවට ඩොලර් භාවිතා කරනවා කියන්නේ ඔය ලාබය ගෙඩි පිටින්ම ඇමරිකාවට පටවනවා කියන එකයි.

ඉහතින් ලිවුවේ ඩොලර්කරණයේ තිබෙන එකම ප්‍රශ්නය නෙමෙයි. ඩොලර්කරණය වූ රටකට ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගන්න බැහැ. එවිට ඒ වගේ රටක ආර්ථිකය පාලනය වෙන්නේ ඇමරිකාවේ ආර්ථිකය අනුවයි. ඒ නිසා, ඇතැම් තත්ත්ව යටතේ ඩොලර්කරණය කරන්න සිදු වීම වැළැක්විය නොහැකි දෙයක් වුවත් එය කිසිසේත්ම හොඳ තත්ත්වයක් නෙමෙයි.

Monday, August 14, 2017

දහයෙ කොළේ කතන්දරේ



අද වත්පොතේ දකින්නට ලැබුණු කෙටි වීඩියෝවක පාරේ හමුවන සාමාන්‍ය පුද්ගලයෙකු රුපියල් දහයේ නෝට්ටුවක දකින්නට ලැබෙන රූප ගැන විවරණයක් කරයි. මේ වගේ සරල කතන්දර හරහා එළියට එන්නේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානයයි. වත්පොත් වැනි වේදිකා නොතිබුණු කාලයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානය එළියට ආවේ මෙවැනි සරල කතන්දරද ඇතුළු ජන කතා, ජන කවි, තේරවිලි ආදිය හරහාය.

ලංකාවේ රජය සෑම වසරකම වාගේ ආදායම ඉක්මවා වියදම් කරයි. ඒ නිසා රාජ්‍ය අයවැය ශේෂය හැමදාමත් සෘණ අගයකි. මේ හිඟයෙන් කොටසක් පියවෙන්නේ අලුතින් මුද්‍රණය කරන මුදල් මඟින් නිසා රුපියලේ වටිනාකම වසරින් වසර පහළ යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් රුපියල් දහයකින් කළ හැකි දෙයක් නැති තරම්ය. මේ වන විට රුපියල් දහයේ කාසි වලින් රුපියල් දහයේ නෝට්ටු බොහෝ දුරට ප්‍රතිස්ථාපනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු නිකුත් කිරීමේදී ආකර්ශනීය නිමාවකින් යුතුව ඒවා නිකුත් කරයි. මේවායේ ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය හා වෘක්ෂලතා ආදිය සංකේතවත් කරන විවිධ චිත්‍ර සටහන් දැකිය හැකිය. මහ බැංකුව විසින් අවසන් වරට නිකුත් කළ රුපියල් දහයේ නෝට්ටුවක මෙවැනි රූප සටහන් හතරක් දකින්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවක ඉදිරිපස යාපහුවේ සිංහයාගේ රූපයක් දැකිය හැකිය. පසුපස ඉහළින්ම ඇත්තේ කොකෙකුගේ රූපයකි. මා හිතන පරිදි මේ කොකා ලතුවැකියානම් පක්ෂියා විය යුතුය. මේ පක්ෂියාගේ තරමක් අසාමාන්‍ය පුරුද්දක් වන්නේ බිත්තර මත වසුරු හෙළා සුදු පැහැ ගැන්වීමයි. මෙසේ ලතුවැකියාගේ වසුරු අපට සුදු පැහැයෙන් පෙනුනත් පාරජම්බුල පරාසය දක්වා විහිදෙන චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති ලතුවැකියාට උගේ වසුරු හා ඒවා තවරනු ලැබූ බිත්තර ඇතැම් විට වර්ණවත්ව පෙනෙනවා වන්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවේ පසුපස මැද හරියේ දැකිය හැක්කේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රූපයකි. මෙය දැන් ජනාධිපති ලේකම් කාර්යාලයයි. ඊට පහළින් ඇති මල් වර්ගය මට හරියටම හඳුනාගත නොහැකිය.

වත්පොතේ දුටු වීඩියෝව අනුව මේ රූප හතරෙන් කියවෙන කතාව මෙවැන්නකි.

දේශපාලනඥයෝ ජනතාවට මල් (සුබ අනාගතයක්) පෙන්නා පාර්ලිමේන්තුවට යති. එසේ යාමෙන් පසුව ඔවුහු සිංහයෝ වෙති. ඉන්පසුව, ජනතාව මල් හොයාගෙන පැමිණි විට මේ දේශපාලකයින් විසින් කරන්නේ ඔවුන්ට මල් වෙනුවට කොකා පෙන්වීමයි. ඔවුන්ට නැවත ජනතාව මතක් වන්නේ තමන්ගේ ධුර කාලය අවසන්ව නැවත මැතිවරණයකට මුහුණ දෙන්නට වූ විටය. එහෙත්, වරක් ජනතාවට කොකා පෙන්වා සිංහයින් වී සිටින අයට නැවත ජනතාවට මල් පෙන්වීම පහසු නැත. දහයේ කොළේ සිංහයා නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන විරවපට්ටන් වී ඉන්නේ එබැවිනි. (වීඩියෝව අනුව සිංහයා ඇඟිල්ල අධෝමුඛයේ ගසාගෙන සිටී.)

මේ කතාව දේශපාලනඥයින්ට පමණක් නොව මාධ්‍යවේදීන්, කලාකරුවන් හා ව්‍යවසායකයින් වැනි බොහෝ දෙනෙකුට ආදේශ කළ හැක්කකි. ධනවාදී රාමුවක් තුළ ව්‍යාවසායකයෙකුට පාරිභෝගිකයින් 'සූරා කෑමේ' හැකියාවක් නැත. ඒකාධිකාර නැති තරඟකාරී වෙළඳපොලක යමෙක් එසේ කරන්නට උත්සාහ කළ වහාම පාරිභෝගිකයා ඔහුගෙන් හෝ ඇයගෙන් ගිලිහේ. ඒ නිසා, ව්‍යවසායකයෙකුට තමන්ගේ ලාභ පවත්වා ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම හඳුනාගෙන ඔවුන්ව තෘප්තිමත් කළ හැකි මාර්ග සොයන්නට සිදු වේ.

නිදහස් වෙළදපොලක සිදුවන ගනුදෙනුවක් යනු හැමවිටම වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසෙන අන්තර්ක්‍රියාවකි. තමන්ට පාරිභෝගික අතිරික්තයක් නැත්නම් කිසිවකු භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ නැත.

ඇතැම් ගනුදෙනු වල ස්වභාවය අනුව, කිසියම් සේවාවක් ලබා ගැනීමට පෙර පාරිභෝගිකයාට ඒ සඳහා මුදල් ගෙවන්නට සිදුවේ. මෙහිදී පාරිභෝගිකයාට ගනුදෙනුවට එළඹීමේ තීරණය ගන්නට වෙන්නේ එහි අපේක්ෂිත වාසිය ඇස්තමේන්තු කරමිනි. මෙවැනි අවස්ථාවක ව්‍යවසායකයෙකුට මුදල් අය කිරීමෙන් පසු පාරිභෝගිකයාට සතුටු විය හැකි අයුරින් සේවාව නොසපයා ඉන්නට කිසියම් ඉඩකඩක් ලැබේ. එහෙත්, එවැන්නෙකුට වැඩිකලක් වෙළඳපොළෙහි රැඳී සිටිය නොහැකිය. මල් වෙනුවට කොකා පෙන්වන මෙවැනි ව්‍යාපාරිකයින් වෙළඳපොළෙන් ඉවත්කර දමන්නට ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රණයට ස්වභාවික හැකියාවක් තිබේ. එවිට සිදුවන්නේ නැට්ට දෙපරන්ද අස්සේ ගසාගත් සිංහයා මෙන් විරවපට්ටන් ගහගෙන ඉන්නටය.

මේ වගේ වෙලාවට දේශපාලනඥයින් විසින් ඇතැම් විට මැතිවරණ කල් දැමීම මඟින් දිගටම සිංහයින් ලෙස සිටින්නට උත්සාහ කරති. ධනවාදයක් තුළ ව්‍යාපාරිකයෙකුට එසේ කිරීමට හැකියාවක් නැතත්, රාජ්‍ය යාන්ත්‍රනය විසින් රටේ සමස්ත ආර්ථිකය වෙලාගත් විට ආණ්ඩුවේ උදවුවෙන් ව්‍යාපාරිකයින්ටද තරඟකාරිත්වයට මුහුණ නොදී සුපිරි ලාභ ලබමින් සිංහයින් සේ වැජඹෙන්නට ඉඩ සැලසේ. එවැනි පසුබිමක දහයේ කොළේ කතන්දරේ දේශපාලනඥයින්ගේ පමණක් නොව ව්‍යවසායකයින්ගේ කතන්දරයක්ද විය හැකිය.




ලංකාවේ මුදල් නෝට්ටු අතරින් සුන්දර නිමාවක් ඇත්තේ දහයේ නෝට්ටුවේ පමණක් නොවේ. උදාහරණයක් ලෙස රුපියල් පන්සීයේ නෝට්ටුවක් ගත්තත් එහි මෙවැනි රූප සටහන් ගණනාවක් තිබේ.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද මහනුවර ලංකාතිලක විහාරයේ රූප සටහනක් දැකිය හැකිය. මේ විහාරය දාහතර වන සියවසේදී හතරවන බුවනෙකබාහු රජු විසින් ඉදිකළ බව සැලකේ. ගම්පොළ සිට රාජ්‍ය කළ බුවනෙකබාහු රජු මේ විහාරය ඉදි කිරීමේ කටයුත්ත සේනාලංකාධිකාර මහ ඇමතියාට පවරා ඇති අතර ඔහු විසින් විහාරය සැලසුම් කිරීම දකුණු ඉන්දියානුවෙකු වූ ස්ථාපතිරායර් වෙත පවරා තිබේ. මෙහි සැලැස්මෙහි දකුණු ඉන්දීය හින්දු සංස්කෘතික ලක්ෂණ පමණක් නොව ඉන්දුචීන සංස්කෘතික ලක්ෂණද දැකිය හැකිය.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස මැද ලංකාතිලක විහාරයට අමතරව ලෝක වෙළඳ මධ්‍යස්ථාන ද්විත්ව කුළුණු හා ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල දැකිය හැකිය. මහ බැංකු ගොඩනැඟිල්ල හා හිල්ටන් හෝටලය ඇතුළු වැදගත් තැන් රැසක් පිහිටි මේ ප්‍රදේශය ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රය ලෙස සැලකිය හැකි අතර කිහිප වරක්ම එල්ටීටීඊ ප්‍රහාර වලටද ලක්විය.

මේ අනුව, පන්සීයේ නෝට්ටුවේ මැද හරියේ ඇති සංකේත වලින් පිළිබිඹු කරන්නේ ලංකාවේ ප්‍රමුඛ සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනත් සංස්කෘතීන් හා මිශ්‍රව ඇති ආකාරය හා තේ, රබර්, පොල් වලින් ඔබ්බට ගොස් ඇති ලංකාවේ වත්මන් සේවාමූලික ආර්ථිකයයයි. ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵල තීරණය කරන ප්‍රධාන සාධක වන්නේද පන්සීය කොළයේ මැද ඇති රූප සටහන් වලින් සංකේතවත් වන සංස්කෘතික හා ආර්ථික කරුණුය.

පන්සීයේ නෝට්ටුවේ ඉදිරිපස දකුණු පැත්තේ අළු ගිරවෙකු දැකිය හැකිය. ගිරවා ප්‍රසිද්ධව සිටින්නේ එකම දෙය පුනරුච්චාරනය කිරීමේ හැකියාව ඇති සතෙකු ලෙසය. ලංකාවේ මැතිවරණ ආසන්නව මෙන්ම ඉන් පසුවද එකම කතාව එපා වන තුරු නැවත නැවත අසන්නට ලැබීම සුලභ සිදුවීමකි.

නෝට්ටුවේ ඉදිරිපස වම් පැත්තේ පෙනෙන්නට ඇත්තේ සමනලයෙකි. මේ සමනලයා ශ්‍රී ලංකාවට ආවේණික Ceylon Indigo Royal වර්ගයේ සමනලයෙකි. පහුගිය දවස්වල සමනල විප්ලව ගැනද කතාබහ සිදුවිය. 

පන්සීයේ නෝට්ටුවේ පසුපස ඉහළින්ම පද්මනිධි බහිරවයාගේ රූපයක් සහිත මුරගලක් දැකිය හැකිය. මුරගල් වලින් සංකේතවත් කෙරෙන්නේ සම්පත් වල ආරක්ෂාවයි. පරිස්සමට තබන දේවල් ඈලියාවට ගොස් සම්පත් අතුරුදහන් වූ විට බහිරවයා ගිල්ලා වගේ කියාද කියයි.

නෝට්ටුවේ පසුපස මැද ඇත්තේ තෙල්මේ නැටුම නටන නැට්ටුක්කාරයෙකුගේ හා යක් බෙරයක් වයන බෙරවායෙකුගේ රූපයකි. තෙල්මේ නැටුම 'තෙල් මෙහෙය' කිරීමේ අරමුණින් පවත්වන පහතරට සම්ප්‍රදායේ නැටුමකි. මේ නැටුමට ඇත්තේ දකුණු ඉන්දීය මූලයකි. දකුණු ඉන්දීය සංස්කෘතිකාංග සුමට ලෙස සිංහල සංස්කෘතිය තුළට අවශෝෂණය කරගෙන ඇති ආකාරය ගැන ලංකාතිලක විහාරය මෙන්ම තෙල්මේ නැටුමද හොඳ උදාහරණයකි. යක්බෙරය වාදනය කරන්නේද පහතරට නැටුම් වෙනුවෙනි.

බෙර වලින් ලොකු සද්දයක් ආවත් බෙරේ මැද හිස්ය. ඒ නිසා, බෙර පලා කිසිවක් ලබාගත නොහැකිය. ඒ වුනත්, නැට්ටුක්කාරයෙකුට බෙරේ සද්දය වෙනත් සද්ද වලින් වෙන් කර හඳුනා ගන්නට බැරිකමක් නැති නිසා හැංගි හැංගි වෙස් බඳින නැට්ටුක්කාරයින්ට බෙරේ සද්දේ ඇහෙන විට එළියට ඇවිත් නටන්නේ නැතුව සිටින්නට නොහැකිය. එහෙම නටන්නට ආවත් අන්තිමේදී සමහර නැට්ටුක්කාරයින් නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත.

දහයේ කොළේ කතාව වගේම අවශ්‍ය කෙනෙකුට පන්සීයේ කොළේ කතාවක් වුවත් හදාගන්නට පුළුවන. මම කළේ එහෙම හදාගන්නට අවශ්‍ය කෙනෙක්ට වැදගත් විය හැකි තොරතුරු ටිකක් සටහන් කිරීම පමණය.



Sunday, October 4, 2015

අක්බාර් කෑම වේලට බලපෑ උද්ධමනය සහ හිල්ඩා සල්ලි


පසුගිය ලිපියට කිහිප දෙනෙකු විසින් දක්වා ඇති ප්‍රතිචාර කියවාගෙන යන කෙනෙකුට පේරාදෙණියේ අක්බාර් කැන්ටිම ඇතුළු අනෙකුත් කැන්ටින් වල කෑම වේලක මිලත්, අඩුවක මිලත් දශක දෙකක පමණ කාලයක් තුල සිවු ගුණයකින් වැඩි වී ඇති ආකාරය පෙනී යයි. බොහෝ භාණ්ඩ වල මිල කාලයත් සමඟ මෙසේ වැඩිවන්නේ උද්ධමනය නිසාය.

උද්ධමනය ලෙස හඳුන්වන්නේ රටේ සියළුම භාණ්ඩ හා සේවා වල මිල මට්ටමේ සිදුවන සාමාන්‍ය වැඩිවීමකි. කිසියම් හේතුවක් නිසා එක් භාණ්ඩයක මිල වැඩි වීම උද්ධමනය ලෙස සැලකෙන්නේ නැත. කෙසේ වුවද, අක්බාර් කෑම වේලේ හෝ හෝටලයක සාමාන්‍ය කෑම වේලක මිල වැඩි වන්නේ බොහෝ දුරටම උද්ධමනයේ බලපෑම අනුවය.

මෙවැනි පිසූ කෑම වේලක් සැකසීම සඳහා යන පිරිවැයට හාල්, එළවළු, මස්, මාළු, තුනපහ, පොල් ආදී ආහාර ද්‍රව්‍ය රැසක මිල වෙනස්වීම් වලින් බලපෑමක් වේ. එමෙන්ම, විදුලි ගාස්තු, ප්‍රවාහන වියදම් ආදියේ බලපෑමද මෙයට එකතුවේ. ඊට අමතරව සේවක වැටුප් වල සිදුවන වෙනස්කම්ද මේ පිරිවැයට බලපෑමක් කරයි. මේ අනුව, පිසූ කෑම වේලක් යනු හාල් කිලෝවක්, පොල් ගෙඩියක් වැනි එක් භාණ්ඩයක්ම නොවේ. ඒ නිසා, සාමාන්‍ය පවුලක මාසික වියදමෙන් වැඩි ප්‍රමාණයක් ආහාර සහ බිල්පත් ගෙවීම් සඳහා වැය කරන ලංකාව වැනි රටක පිසූ කෑම වේලක මිල යනු සෑහෙන දුරකට උද්ධමනය මැනිය හැකි නිර්ණායකයකි. සරසවි කැන්ටින් වල කෑම වේලක මිල කිසියම් නියාමනයකට ලක් කර තිබුණද, රටේ උද්ධමනයේ බලපෑම නිසා සිදුවන නිෂ්පාදන පිරිවැය වැඩිවීමෙන් මේ මිල නිදහස් නැති බව පැහැදිලිය.

උද්ධමනය නරක දෙයක් වන්නේ භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීම නිසාම නොවේ. එහි ඇති වෙනත් වක්‍ර බලපෑම් නිසාය. උද්ධමනයේ හානි බොහෝ ඇතත් සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවාවල මිල වැඩි වන විට වැටුප් වැඩිවී, ආදායමද වැඩි වන නිසා භාණ්ඩ වල මිල වැඩි වීම සෘජු ලෙසම ප්‍රශ්නයක් වන්නේ නැත. භාණ්ඩ වල මිල වැඩිවන විට භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආයතනයන්හි ආදායම්ද සමානුපාතිකව වැඩි වී වෙළඳපොළ බලවේග අනුව වැටුප්ද වැඩි වේ. කෙසේ වුවද, බොහෝ දෙනෙකු රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන වල වැඩ කරන නිසා ලංකාවේදීනම් මේ වැටුප් වැඩිවීමේ ක්‍රියාවලිය ස්වභාවිකවම සිදුවන්නේ නැත.

අධ්‍යාපනය ලබන කාල සීමාව තුලදී, ලංකාවේ සරසවි සිසුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් යැපෙන්නේ මහපොළ ශිෂ්‍යත්ව දීමනාවෙනි. තවත් සුළු පිරිසකට ශිෂ්‍යාධාර හෝ වෙනත් ශිෂ්‍යත්ව හිමි වේ. මෙවැනි කටයුත්තක් සඳහා ලංකාවේ පවුලක ආදායම මැනීමේ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතතා නිසා මවුපිය දෙදෙනාම ගුරු වෘත්තීය වැනි වැටුප් ලබන සාමාන්‍ය රැකියා කරත්නම් සරසවි සිසුවෙකුට හෝ සිසුවියකට බොහෝ විට මේ ශිෂ්‍යත්ව හිමි නොවේ. එහෙත්, මවුපියන් සුළු ව්‍යාපාරිකයින්, ඉඩම්හිමි වැවිලි කරුවන් හෝ වෙනත් වැටුප් නොවන ආදායම් ලබන්නන්නම් ආදායම අඩුවෙන් පෙන්වා ශිෂ්‍යත්වයක් ලබා ගත හැකිය. උසස්පෙළ ලකුණු අනුව ආදායම නොසලකා කුසලතා ශිෂ්‍යත්ව යම් ප්‍රමාණයක් ද ලබා දේ.

මා සරසවියේ සිටි කාලය තුළ අක්බාර් කෑම වේලක මිල මෙන්ම මහපොළ ශිෂ්‍යත්ව වාරිකයද වරින් වර වැඩි වුණේය. මෙය මුලින්ම රුපියල් තුන්සිය පණහක් විය. පසුව, පන්සීය සහ හයසිය පණහ දක්වාත් අවසානයේදී රුපියල් දහස දක්වාත් වැඩිවිය. කුසලතා ශිෂ්‍යත්වයකට සාමාන්‍ය ශිෂ්‍යත්වයකට වඩා රුපියල් පණහක් වැනි මුදලක් වැඩිපුර හිමිවූ අතර ශිෂ්‍යාධාර වාරිකයක් මහපොළ ශිෂ්‍යත්ව වාරිකයකට වඩා තරමක් අඩුය.

මේ අවසාන වැඩිවීම අවස්ථාව අනුව ඉබේටම මෙන් ගැනුණු ක්ෂණික තීරණයකි. මහපොළ ශිෂ්‍යත්වලාභීන්ට පළමු වාරිකය සාමාන්‍යයෙන් පිරිනැමෙන්නේ උත්සවාකාරයෙනි. මෙය සිදුවන්නේ මහපොළ සංවත්සර ප්‍රදර්ශනයකට සමගාමීවය. මහපොළ නිර්මාතෘ වූ ලලිත් ඇතුලත්මුදලි ඇතුළු කණ්ඩායමක් ප්‍රේමදාස රජයට දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාව දක්වා මේ උත්සව වල මුල්තැනක් හිමි වුනේ ඇතුලත්මුදලි මහතාටය. දෝෂාභියෝග සමයේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මේ සිද්ධියට අදාළ මහපොළ සංවත්සර වේදිකාවට ඇතුලත්මුදලි මහතා ගොඩවන විට විශාල ලෙස එක් රැස්වී සිටි සරසවි සිසුන් ඇතුළු ජනකායෙන් නැඟුනේ දීර්ඝ, උත්කර්ෂවත් අත්පොළසන් නාදයකි. ඒ වන විටත් ජනප්‍රියත්වයෙන් පිරිහී සිටි, සරසවි සිසුන්ගේ ප්‍රසාදය කොහොමටත් දිනා නොසිටි රාජ්‍ය නායකයාට මෙවැනි පිළිගැනීමක් නොලැබීම මදිකමක් වූවා විය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ක්ෂණික තීරණයකින් මහපොළ වාරිකයේ මේ අනපේක්ෂිත වැඩිවීම සිදුවිය. (මේ අවස්ථාවට මා පෞද්ගලිකව සහභාගී වූයේ නැත. මේ එයට සහභාගී වූ මිතුරන්ගෙන් දැනගත් කරුණුය.)

රුපියල් දහසක් යනු ඒ කාලයේදී වුවද චැලියකට පෙට්‍රල් ගසා නඩත්තු කිරීමට ප්‍රමාණවත් විශාල මුදලක් නොවීය. සරසවි සිසුන්ගේ සටන් පාඨ වල රජයෙන් ඉල්ලා තිබුණේ මීට වඩා වැඩි වාරික මුදලකි. කෙසේ වුවද, මේ මුදලින් අමාරුවෙන් වුවත් වියදම් පිරිමසාගැනීමේ හැකියාවක් නොතිබුණා නොවේ.

පසුගිය සටහනේ ප්‍රතිචාරයක සඳහන් කර තිබුණු 'අක්බාර් මුදල් ඒකක'  කලින් කලට සරසවියේ විවිධ ආපනශාලා වලින් නිකුත් විය. මා සිටි කාලයේ මේ වැඩේ ලොකුවටම සිදුවුණේ හිල්ඩා ඔබේසේකර ශාලාවේය. හිල්ඩා ශාලාව පිහිටා ඇත්තේ ගඟෙන් එගොඩ ගලහ පාර අයිනේය. ඉංජිනේරු පීඨයට ආසන්නව පිහිටි එම පීඨයේ සිසුන් වැඩිපුර නවාතැන් ගත් අක්බාර් ශාලාව හෝ වෛද්‍ය පීඨය ආසන්නව පිහිටි වෛද්‍ය සිසුන් වැඩිපුර නවාතැන්ගත් මාර්ස් ශාලාවෙන් වෙනස්ව, හිල්ඩා ශාලාවේ බොහෝ විට පේරාදෙණි සරසවියේ සෑම පීඨයකම සිසුන්ගේ මිශ්‍රණයකි. හිල්ඩා ශාලාවට ආසන්නව කිසිදු අධ්‍යයන පීඨයක් පිහිටා නැති නිසා අක්බාර් ශාලාවේ මෙන් ලොකු දිවා ආහාර පෝලිමක් හිල්ඩා ශාලාවේ නැත. එහි නේවාසික සිසුන් බොහෝවිට හිල්ඩා ආපනශාලාවෙන් ලබා ගත්තේ උදේ සහ රාත්‍රී ආහාරයි. දිවා ආහාරය සඳහා තරමක ලොකු පෝලිමක් පැවතියේනම් ඒ සති අන්තයේදී හෝ විභාග කාලයේදීය.

මේ කාලයේදී මහපොළ වාරිකයක් රුපියල් පන්සීයක් හෝ හයසිය පණහකි. 'පොළ ගත්' දවසට බොහෝ සිසුන් අතේ සීයේ පටි කැරකේ. මේ සීයේ නෝට්ටුවක් දී කෑම ගත් පසු හිල්ඩා මුදලාලිගෙන් ඉතුරු නොලැබේ. ඒ වෙනුවට ලැබෙන සීල් එකක් ගසා ඇති කාඩ්බෝඩ් කෑල්ලේ උඩින්ම රුපියල් සීයක් සටහන් කර ඇති අතර දෙවන පේලියේ ලබා ගත් කෑම වල මිල සටහන් කර ඇත. දෙවන වරට කෑම ගැනීමේදී අදාල මුදලද මේ කාඩ් පතේ සටහන් වේ. අඩුවක් ගත්තොත් අඩුවේ මිලද සටහන් වේ. කාඩ්පත පහළට මෙසේ ගණන් සටහන් වී පේලි දහයක් දොළහක් එක් වූ විට හිල්ඩා මුදලාලි ගණන් එකතු කර ඉතිරිය ලංකාවේ වලංගු මහ බැංකුව මඟින් නිකුත් කර ඇති මුදලින් ආපසු දෙයි. මේ වන විට බොහෝ විට ඉතිරිය රුපියල් විස්සක තිහක පමණ හෝ ඊටත් අඩු මුදලකි.

හිල්ඩා නෝට්ටු මුලින්ම නිකුත් කරන විට සිසුන් මේවා භාර ගත්තේ කැමැත්තෙන් නොවේ. සාමාන්‍ය මුදල් නෝට්ටුවක් මෙන් පිළිවෙලක් නොතිබුණු මේ කාඩ්බෝඩ් කෑල්ල කොහේ හෝ හලා ගත්තොත් රුපියල් සීයට බඩුය. අමතක වීමෙන් මේ හිල්ඩා නෝට්ටුවේ තීරුවක් ඉරා හොට් ප්ලේටයකට අල්ලා සිගරැට් දැල්වූ අවස්ථා තිබුණේය. කලිසම් හෝදද්දී සාක්කුවේ තිබී පෙඟී ගිය අවස්ථා තිබුණේය. කලිසම් සාක්කුවේ අමතක වී හිල්ඩා ගිණුමේ ශේෂය දියවී යාම මටද වරක් සිදුවී ඇති පාඩුවකි.

හිල්ඩා කැන්ටිමෙන් කෑවේ එම ශාලාවේ නේවාසිකව සිටි සිසුන් පමණක් නොවේ. ඇතැම් විට, හිල්ඩා ශාලාව ඉදිරිපස ගලහ පාරේ අනිත් පැත්තේ ඇති ජේම්ස් පීරිස් ශාලාවේ නේවාසික සිසුහු වෙනසක් සඳහා ජේපී කන්ද බැස හිල්ඩා ශාලාවට පැමිණියහ. බොහෝවිට විභාග කාලය මුස්ලිම් වරුන්ගේ රාමසාන් කාලය සමඟ සම්පාත වේ. හිල්ඩා ශාලාවේ සිටි මුස්ලිම් සිසුන් වෙනුවෙන් නෝම්බි ඇල්ලීමට පෙර කුස පුරවාගැනීමට පාන්දර පහට විශේෂ ආහාර වේලක් සකස් විය. මේ ආහාර වේලක් විකිණුවේ සාමාන්‍ය ආහාරවේලක් විකුණන මිලට වඩා සිවුගුණයකටත් වඩා වැඩි මිලකටය. අධ්‍යයන නිවාඩු සමයේ දවල් වන තුරු නිදාගෙන, හවස් වරුවේ රස්තියාදුවක් ගසා ඇඳිරි වැටෙද්දී 'බොගට සෙට් වී' පාන්දර වන තුරුම අදිමින් නිශාචර මාසයක් ගෙවමින් සිටි අපිද ඇතැම් දිනවල විට නිදාගැනීමට පෙර මේ කෑම වේල භුක්ති විදීමට හිල්ඩා ශාලාවට බසින මාකස් ප්‍රනාන්දු හා  ජේම්ස් පීරිස් ශාලාවල නේවාසික මුස්ලිම් සිසුන්ට එකතු වුනෙමු.

හිල්ඩාවෙන් මෙසේ අතරින් පතර කෑම වේලක් ගන්නා ළඟ පාත පිහිටි අනෙකුත් ශාලා වල නේවාසික සිසුන්ට මෙන්ම, සාමාන්‍යයෙන් එහි නොපැමිණෙන නමුත් කවර හෝ කාර්යයකට පැමිණි අක්බාර්, මාර්ස් වැනි දුරින් පිහිටි ශාලාවක වසන සිසුවෙකුට හිල්ඩා නෝට්ටු වාතයක් වූ බව කිවයුතු නැත. මේ නෝට්ටු මුදල් කර ගැනීමට නැවත හිල්ඩා ශාලාවටම පැමිණිය යුතුය.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබේ. මහ බැංකුවෙන් නිකුත් කරන නෝට්ටු වල මෙන් එළියකට ඇල්ලු විට පෙනෙන්නට නොතිබුණත් වැඩි කලක් නොගොස් හිල්ඩා නෝට්ටු වල ඇති රිදී රේඛා හොයා ගැනීමට නොහැකි තරමේ නිර්මාණශීලිත්වයේ අඩුවක් සරසවි සිසුන්ට තිබුණේ නැත. ඒ නිසා ටික දවසක් යද්දී හිල්ඩා නෝට්ටු සිසුන්ට ලාභ උපදවන මඟක් බවට පත් විය. මුදලාලි නෝට්ටුවේ ගණන් එකතු කරන්නේ එහි පහළ දක්වා ගණන් ලියවී ඇති බව පෙනුණු විටය. අඩුකෑමට ගෙවීම වැනි සුළු මුදල් අතින් ගෙවා ලොකු වියදම් හිල්ඩා නෝට්ටුවට බැර කළ විට පේලි හත අටකින් රුපියල් සීය පැන්නිය හැකිය. දෙදෙනෙකුගේ කෑම සඳහා එකවර මුදල් ගෙවූ විට එහි ලකුණු වන්නේ එක් සටහනක් පමණි. මෙවැනි විටක ගිණුමේ බැර එකතුව රුපියල් සීයට වඩා වැඩි වුවත් මුදලාලිට එය ක්ලික් වන්නේ නැත. හිල්ඩා නෝට්ටුව පැත්තකට විසිකර දැමූ විට රුපියල් කිහිපයක් ලාබය. අනෙක් ක්‍රමය වූයේ මේ කාඩ්බෝඩ් නෝට්ටුවේ යටින් ගණන් සඳහන් කොටස්ද සමඟ කුඩා තීරුවක් කතුරකින් කැපීමයි. එවිට ඉතුරු ලැබෙන්නේ කපා දැමූ තීරුවේ ඇති මුදල් සැලකිල්ලට නොගනිමිනි. කෙසේ වුවද, මගේ අදහස පරිදි මෙවැනි දේ ඇතැම් විට ඇතැම් සිසුන් කළ දේ මිස බහුලව සිදුවූ දේවල් නොවේ.

හිල්ඩා මුදල් වලට සීමිත හුවමාරු වටිනාකමක් තිබුණේය. ඇතැම් විටෙක සිසුවෙකු තවෙකෙකුට "මචං, අදනං කන්නවත් සල්ලි නෑ. රුපියල් පණහක් තියෙනවනං දියං. හෙට පොළ ගත්තහම දෙන්නං." කියූ විට "සල්ලිනං මගෙ අතෙත් නෑ මචං. ඉඳා, මේකෙන් කාපන්. මටත් එනකොට පොල් රොටී දෙකක් අරන් වරෙන්" කියා තමන්ගේ හිල්ඩා නෝට්ටුව දීමත්, හිල්ඩා සිසුවෙකු දුරින් පිහිටි ශාලාවක නේවාසිකව සිටි මිතුරෙකු හමුවීමට ගිය විට "මචං, මට හිල්ඩා එකෙන් සීයක ඉතුරු ගන්න තියෙනවා. ඒ පැත්තේ යන්න වෙලාවකුත් නෑ" කියා හිල්ඩා නෝට්ටුවක් දික්කළ විට අතේ ඇති මුදලින් ඔහුට ගණන් බේරා හිල්ඩා නෝට්ටුව ලබා ගැනීම වැනි දේද සිදුවිය හැකිව තිබුණු දේවල්ය.

පේරාදෙණියේ කැන්ටින් මුදලාලිලා අතර වර්ග දෙකක් සිටිති. එක කොටසක් සිස්ටම් එක අල්ලා ගත් අයයි. දෙවන කොටස සිස්ටම් එක නොදන්නා ආවා-ගියෝ මාදිලියේ අයයි. පේරාදෙණිය වැනි නේවාසික සරසවියක වාසය කරන විට උත්තර ධ්‍රැවය ඇත්තේ ගලහ හන්දියේ බවත් දක්ෂිණ ධ්‍රැවය ඇත්තේ රාමනාදන් හන්දියේ බවත් සිතීම පටු චින්තනයක්ම නොවේ. මේ සංවෘත පද්ධතිය ඇතුළත බොහෝ අවශ්‍යතා පිටත සම්බන්ධයකින් තොරව පහසුවෙන් ඉටු වේ. සිසුවෙකුගේ ෆැන්ටසිය බිඳ දැමූ විට ඇති වන වේදනාව බත් හැන්දක් හෝ මස් කෑල්ලක් අඩුවූ විට දැනෙන වේදනාවට වඩා වැඩි බව සිස්ටම් එක අල්ලාගත් මුදලාලිලා දනිති. ඔවුන් දිගින් දිගටම කැන්ටින් කිරීමේ රහස එයයි.

කෑම පිඟානේ මොන අඩුපාඩු තිබුණත් මුදල් ගෙවා මිලදීගෙන, යාන්තම් අතගා කටක් දෙකක් ගිල දමා, ඉතිරිය සද්ද බද්ද නැතිව කුණු බක්කියට හලා බඩගින්නේ දවස ගෙවන සිසුහුද සිටිති. ඒ වගේම සුළු අඩුපාඩුවකට වුවත් ලොකුවටම සද්ද දාන සිසුහුද සිටිති. සිස්ටම් එක අල්ලාගත් මුදලාලිලා මේ සිසු කාණ්ඩ අත්දැකීමෙන් හෝ 'ඉවෙන්' හඳුනා ගනිති. මෙසේ නිතරම 'අදින' සිසුවෙකු පෝලිමේ එද්දී ඇතැම් විටෙක කෑම නිකුත් කරන සේවකයා 'මේ පිඟානට අඩුවෙන් බත් වැටිලා තියෙන්නේ. තව හැන්දක් දාල එවන්න' කියා බත් බෙදන සේවකයාට පිඟාන ආපසු යවන්නේ එවැනි සිසුවෙකු වචනයක් හෝ පැවසීමට පෙරය. යම් හෙයකින් වචන හුවමාරුවක් සිදුවුවහොත් තවත් සිසුන් වහා එකතු වන බවත්, කෑම ගෙන ඉක්මණින් ඊළඟ දේශනයට යාමට බලාගෙන පෝලිමේ නොඉවසිල්ලෙන් සිටින සිසුන් ආවේගශීලී වන බවත් මේ සේවකයා පළපුරුද්දෙන්ම දනී. එමෙන්ම, දිගු කාලයක් කැන්ටින් කිරීමටනම් කුණුහරුප වලට ඇතුළු විය නොහැකි ස්වභාවික පෙරණයක් උපතින් කන් වල පිහිටා තිබිය යුතුය. සිස්ටම් එක අල්ලා ගත් මුදලාලිලාට උපතින්ම මේ ජානය පිහිටා තිබුණේය.

සිස්ටම් එක නොදන්නා කැන්ටින් මුදලාලිලා ලොකුවට පටන් ගනිති. මේ අය දෙන කෑම වල තත්ත්වය ආරම්භයේදී ඉහළ මට්ටමක පවතී. මා පෙර කී හිල්ඩා නෝට්ටු නිතුත් කළේද එවැනි මුදලාලි කෙනෙකි. කෙසේ වුවද, මෙවැනි මුදලාලිලා සාමාන්‍යයෙන් මාස දෙක තුනකට වඩා කැන්ටින් නොකරති. ඔවුන්ට හිටිවනම දමා ගසා ඉවත්වීම අපහසු කරුණක් නොවන්නේ කැන්ටින් කිරීමට ගන්නා ලොකු භාජන වැනි බොහෝ උපාංග සරසවිය සතු ඒවා වීම නිසාය. මෙසේ දමා ගසා ගිය විට ඔවුන්ට අහිමි වන තැන්පතු මුදල විශාල එකක් නොවේ.

"මචං, අන්න හිල්ඩා එකේ කැන්ටින් කාරයා අකුලාගෙන යන්න සෙට් වෙනවා. උඹේ සල්ලි ගන්න තියෙනවනං ඉක්මණට පලයං." කියා සගයකු දැනුම් දුන් විට වහාම ක්‍රියාත්මක වූ සිසුන්ට ඔවුන්ගේ හිල්ඩා නෝට්ටු නැවත මුදල් කරගත හැකි වුවත් ඇතැම් අය එහි යන විට ප්‍රමාද වැඩිය. හිල්ඩා නෝට්ටු භාවිතා කිරීමෙන් ඇතැම් සිසුන් වරින් වර යම් ලාභ ලැබුවත් අවසාන වශයෙන් ශුද්ධ ලාභයක් ලබන්නට ඇත්තේ කැන්ටින්කරුවාය.

මා සිටි කාලයේ ඇත්තටම ඉතිරි දීමට නැති අවස්ථා වලදී අනිත් කැන්ටින්කරුවන්ද මෙවැනි නෝට්ටු නිකුත් කළත් ඒවා හැකි පළමු අවස්ථාවේදීම මුදල් කර දීමට ඔවුහු වගබලාගත්හ. මෙය පුරුද්දකට කළේ මාස කිහිපයක් හිල්ඩා කැන්ටිම කළ ආවා-ගියෝ මුදලාලි කෙනෙක් පමණි.

හිල්ඩා නෝට්ටු ව්‍යාප්ත කිරීමට කැන්ටින්කරුට හැකි වුණේ සරසවි සිසුන් මේ සීල් ගැසූ කාඩ්බෝඩ් කෑලි වල හුවමාරු වටිනාකම ගැන විශ්වාසය තැබූ නිසාය. නිකම්ම නිකම් කඩදාසි කෑලි වන ෆියට් මුදල් හෙවත් ආඥාප්ති ව්‍යවහාර මුදල් වල වටිනාකම රඳා පවතින්නේ ඒ පිළිබඳව සමාජයේ ඇති විශ්වාසය මතය. ඒ හැරුණු විට මේ මුදල් වල නෛසර්ගික වටිනාකමක් නැත. මහ බැංකුවෙන් නිකුත් කරන මෙවැනි කඩදාසි කෑලි වල හිල්ඩා මුදලාලිගේ සීල් එක වෙනුවට මහ බැංකු අධිපතිගේත්, මුදල් ඇමතිගේත් අත්සන් තිබේ. ඒවා වඩා හොඳ කඩදාසිවල ආකර්ශනීය නිමාවකින් මුද්‍රණය කර තිබේ. ඒ හැරුණු විට ඒවාත් හිල්ඩා නෝට්ටු වගේම කඩදාසි කෑලිය. ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම් හෝ යුරෝ වලට වුවද මේ කතාව එලෙසින්ම අදාලය.

හිල්ඩා මුදලාලි කැන්ටිම අතහැර ගියපසු සිසුන් අත ඉතිරිව තිබුණු හිල්ඩා නෝට්ටු වල හුවමාරු වටිනාකම ශුන්‍ය වී නිකම්ම නිකම් කඩදාසි කෑලි බවට පත් විය. ලෝකයේ ඇතැම් රටවල මහ බැංකු මඟින් නිකුත් කළ මුදල් වලටද මේ සන්තෑසියම සිදු වූ අවස්ථා තිබේ. හිල්ඩා මුදලාලි දිගටම කැන්ටිම කරගෙන සිටියේනම්, රුපියල් සීයක් හිල්ඩා මුදලාලිට දී ලබාගන්නා හිල්ඩා නෝට්ටුවක් මාසයකට පසු ආපසු ඉදිරිපත් කළ විට නැවත රුපියල් සීයක් ලබා ගැනීමේ අවස්ථාව තිබුණේය. එහෙත්, මාසයකට පෙර ඇමරිකානු ඩොලර් තිස්හතක් පමණ ශ්‍රී ලංකා මහ බැංකුවට දී ලබාගත හැකිව තිබුණු රුපියල් පන්දාහේ නෝට්ටුවක් දැන් ආපසු ඉදිරිපත් කළහොත් ආපසු ලැබෙන්නේ මුලින් දුන් ඩොලර් ගණනට වඩා ඩොලර් දෙකක් පමණ අඩුවෙනි.

(Photo credit: www.serendib.btoptions.lk)

Sunday, August 2, 2015

රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුර

පසු ගිය පෙබරවාරි මාසයේදී "මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළ" බව වාර්තා විය. අදාළ පුවත අනුව "දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් ඔප්පු කළ බව ජනප්‍රවාදයේ සඳහන්ය."

මගේ අදහස මහින්දගේ භාරය ගැන කතා කිරීම නොවේ. දෙවියන්ට වුවත් තවමත් කඩදාසි මුදල් වලට වඩා විශ්වාස, භාරය ඔප්පු කිරීමට යොදාගත් රන් හා රිදී ගැන කතා කිරීමය.

පෙර ලිපියෙහි සඳහන් කළ පරිදි, භාණ්ඩ හුවමාරුවෙන් වෙළඳාම ඇරඹු හෝමෝ සේපියන්ස්ලා පසුව මුදල් භාවිතය ඇරඹුහ. මුදල් ලෙස මුලින්ම භාවිතයට ගැනුණේ ධාන්‍ය වර්ග, එළුවන්, ගවයින් වැනි දේය. මේ දේවල් වල මුදල් නොවන වටිනාකමක්ද සෑම දෙනෙකුටම වාගේ තිබුණේය. අඩුවශයෙන් සහශ්‍ර නවයකට පෙර මෙවැනි ද්‍රව්‍ය මුදල් ලෙස භාවිතා කෙරී ඇත.

මුදල් වශයෙන් ලෝහ භාවිතය ජනප්‍රිය වෙන්නේ සහශ්‍ර තුනකට පමණ පෙරය. රන්, රිදී වැනි ලෝහ වල මුදල් නොවන වටිනාකමක්ද ඇතත් එය සීමිත වටිනාකමකි. රන් හැන්දෙන් රිදී පිඟානක ආහාර ගැනීමේ අවස්ථාව හැමෝටම නොලැබේ. රන් ගෑරුප්පුවකින් ඇණ චොකලට් සෝස් තැවරූ තෝර මාළු පෙති කෑමටද හැමෝටම නොලැබේ. එහෙත්, එවැනි අය සීමිත පිරිසක් හෝ සිටින බව සියළු දෙනාම දන්නා නිසා තමාගේ ශ්‍රමය හා හුවමාරුවට රන් හෝ රිදී වැනි දෙයක් භාර ගැනීමට බොහෝ දෙනා සූදානම් වූහ.

හරියටම කියනවානම් බොහොමයක් සාමාන්‍ය ජනතාවට රන් කාසියක් අතගෑමේ අවස්ථාව ජීවිත කාලයටම නොලැබුණු අතර බොහෝ විට ඔවුන්ගේ වත්කම මැනුනේ රිදී කාසි වලිනි. 'රිදී තිහක්' කියා අවිච්චියා කෑගසන්නේ අවිච්චියන් වූ සාමාන්‍ය ජනතාවගේ මුදල් රිදී වූ නිසාය. පැරණි භාෂාවන් වන ලතින් භාෂාවේ 'ආජෙන්ටුම්' යන වචනයත්, 'කෙසේ' යන හීබෘ වචනයත් මුදල් මෙන්ම රිදී යන තේරුම් දෙකෙන්ම යෙදෙන්නේ මේ නිසාය. සෑම බලවත් රටකම ධනවතුන්ටනම් රිදී වලට අමතරව රත්තරනින් රන් මාල බැඳීමට හැකි විය.

ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව 500 සිට ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා වූ සහශ්‍ර දෙක තුළ ප්‍රධාන වශයෙන් ලෝකයේ භාවිතා වුයේ මුදල් වර්ග දෙකකි. ඒ රන් සහ රිදීය. චීනයේදී, පර්සියාවේදී හෝ රෝමයේදී රන් සහ රිදී වෙනත් භාණ්ඩ වෙනුවෙන් හුවමාරු කිරීමෙහි කිසිදු අපහසුතාවක් නොවීය. මේ යුගයේදී රටවල් අතර වෙළඳ පරිමාව අඩු වුවත්, ලෝකයම එකම වෙළඳපොළක් වූ ලෙස සැලකීම නිවැරදිය.

මේ කාලයේදී රන් හෝ රිදී ආකාර සොයාගත් හෝ යුද්ධයෙන් අයිති කරගත් ජාතීන්ට අනෙක් ජාතීන් අභිබවා ඉදිරියට පැමිණීමට හැකි විය. ග්‍රීසියේ සෞභාග්‍යයේ ඇරඹුම එහි රිදී ආකාරයි. ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙනු ලැබ තිබුණු ග්‍රීසියේ රිදී ආකාර වල ආදායමද රජුට පමණක් අයිති නොවී සියලු දෙනාටම අයිති වූ නිසා රිදී කැනීමට ජනතාව පෙළ ගැසුණේ විශාල උනන්දුවකිනි.


මේ කාලයේ රටවල් සතුව ස්ථිර හමුදා නොපැවති අතර හමුදා වල සේවය කළෝ ගොවීහුමය. එනිසා හමුදා නඩත්තු කිරීම වියදම් අධික කාර්යයක් වූයේ නැත. ග්‍රීසියේදී මේ තත්ත්වය වෙනස් වූ අතර ස්ථිර නාවික හමුදාවක් සාදා නඩත්තු කිරීම වෙනුවෙන් තම රිදී ලාභාංශ යෙදවීමට ග්‍රීක වැසියන් කැමති වීම අවසන් වූයේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ අධිරාජ්‍යය ඉන්දියාවේ මායිමටම ව්‍යාප්ත වීමෙනි.

මහා ඇලෙක්සැන්ඩර් රජු පර්සියාව යටත් කර අත්පත් කරගත් රත්රන් සංචිත නැවත ග්‍රීසියට ගෙන ආ විට එහි රන් මිල 50%කින් අඩු වූ බව පැවසේ. එල්ටීටීඊ රත්තරන් ඒ තරම් නොතිබුණු නිසා ලංකාවේනම් එසේ වූයේ නැත.

 'ස්කන්ධ' නමින් ඉන්දියාවේදී හැඳින්වෙන කතරගම දෙවියන් යනු මහා ඇලෙක්සැන්ඩර් රජු බව එක් මතයකි. මේ මතය අනුව රණ ශූර ඇලෙක්සැන්ඩර් 'ඇලෙස්කන්ඩ' වී පසුව  'ස්කන්ධ' බවට පත් වී තිබේ. ඒ දවස් වල ගෑරුප්පු පාවිච්චිය ඇරඹී නොතිබුණ නිසා රන් ගෑරුප්පු නොතිබුණත් ඇලෙක්සැන්ඩර් වයින් බිවුවේත්, කෑම කෑවෙත් රනින් වැඩ දැමූ රිදී බඳුන් වලය. (ඔව්, දැකල තියෙනවා.) එය එසේ වී නම් රන් හා රිදී වලට ඇති කතරගම දෙවියන්ගේ කැමැත්ත තේරුම් ගැනීමට අපහසු නැත.

විශාල වටිනාකමකින් යුතු ගනුදෙනු පියවීම සඳහා ලෝහ යොදා ගැනීම අපහසු වූ නිසා ලෝහ වල අයිතිය සඳහන් කල පොරොන්දු පත්‍රයක් ලබා දීම පසුව මුද්‍රිත මුදල් දක්වා විකාශනය විය. එහෙත් මේ මුල් කාලීන මුද්‍රිත මුදල් වලට රන් (හෝ රිදී) වලින් මැනිය හැකි නිශ්චිත වටිනාකමක් තිබුණේය. මේ නිශ්චිත වටිනාකම නිසා රටවල් අතර වෙළඳාම තවදුරටත් කාර්යක්ෂම ලෙස පවත්වා ගත හැකි විය.

කෙසේ වුවද මෙවැනි කඩදාසි මුදල් ව්‍යාප්තිය වැඩි වෙද්දී එක් එක් රට වෙන වෙනම මුදල් නෝට්ටු නිකුත් කිරීම නිසා ඒවායේ හුවමාරු වටිනාකම පිලිබඳ අවිනිශ්චිතතාවක් ඇති විය. රන් සම්මුතිය හෝමෝ සේපියන්ස්ලා මේ ප්‍රශ්නයට සොයාගත් විසඳුමයි. මේ සම්මුතිය අනුව එක් එක් මුදල් ඒකකයේ වටිනාකම රනින් මිල කෙරුණු අතර ඕනෑම රටකට මුදල් නිකුත් කළ හැකි වූයේ තමන් සතුව ඇති රන් සංචිත වල ප්‍රමාණයටය.

රන් සම්මුතිය යටතේ රටවල් අතර උද්ධමනයේ වෙනසක් තිබීමට ඉඩක් නැති අතර යම් භාණ්ඩයක මිල සෑම රටකම වැඩි හෝ අඩු වන්නේ සමාන ආකාරයකටය. උදාහරණයක් ලෙස එක් රටක තිරිඟු නිෂ්පාදනය හදිසියේම වැඩි වුවහොත් ඒ රටේ තිරිඟු මිල අඩු වෙයි. එවිට අනෙතුත් රටවලින් තිරිඟු මිල දී ගැනීම (ලාබෙට ඇති නිසා) නිසා ඒ රටට වැඩියෙන් රන් සංචිත එකතු වේ. රන් වැඩි වී, තිරිඟු අඩු වීම නිසා (කොටසක් අපනයනය කිරීමෙන්) තිරිඟු මිල නැවත වැඩි වේ. එහෙත් මුලින් පැවති මිලටම වැඩි නොවේ. අනෙකුත් රටවල රන් සංචිත අඩු වී තිරිඟු සංචිත වැඩි වන නිසා ඒ රටවල තිරිඟු මිලද මේ මට්ටමටම පැමිණේ.

එක් රටක අලුතින් රන් සංචිත හමුවූ විටද සිදු වූයේ මෙවැන්නකි. එවිට ඉල්ලුම වැඩිවී ඒ රටේ භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වේ. එවිට ඒ රට අනෙකුත් රටවලින් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම නිසා රන් සංචිත අනෙකුත් රටවලට බෙදී යයි.

මේ ක්‍රමය යටතේ එක් එක් රටවල වෙනස් මුදල් ඒකක තිබුණත් ඒවායේ වටිනාකම වෙනස් වූයේ ලෝකයේ කොහේ හෝ අලුතින් හමුවන රන් ප්‍රමාණය සහ ලෝකයේම සමස්ත නිෂ්පාදිතය අනුව එකම ආකාරයකටය. මේ ක්‍රමය බිඳ වැටී අද පවතින ක්‍රමය ඇති වූ ආකාරය පසුව සාකච්ඡා කරමු.

(පළමු හා තෙවන ඡායාරූප අන්තර්ජාලයෙනි. අනිත් දෙක ඉකොනොමැට්ටාගේය.)

Sunday, July 26, 2015

සල්ලි මොටද බඩගින්නට කන්න බැරී?




මේ ප්‍රශ්නය පිස්සු ප්‍රශ්නයක් මෙන් බැලූ බැල්මටම පෙනේ. ගස්වල සල්ලි තිබේනම් කෙල්ලෝ වඳුරන්ටත් ආදරේ බව ත්‍රිරෝද රථ හිමියෙක් කියා තිබේ. සල්ලි නැත්නම් පොදු වැසිකිළියක මුත්‍රා කිරීමටවත් නොහැකිය.

ප්‍රශ්නයේ වැදගත්කම තේරුම් ගැනීමට ටිකක් ගැඹුරට යා යුතුය. තව මේ වගේම ප්‍රශ්න කිහිපයක් ඇසූ විට ප්‍රශ්නය පැහැදිලි වේ.

-පාන් මොකටද? බඩගින්නට කන්නටය.
-මෝටර් සයිකල් මොකටද? පයින් යනවාට වඩා ඉක්මණින් ගමනක් යන්නටය.
-කුඩ මොකටද? වැස්සට නොතෙමී ඉන්නටය.

මේ ගොඩක් දේවල් වල නිශ්චිත ප්‍රයෝජනයක් හෝ ප්‍රයෝජන කිහිපයක් තිබේ. ඒ නිසා මේ දේවල් ලබා ගැනීමට මහන්සි වී වැඩ කිරීමේ තර්කානුකූල පදනමක් තිබේ. එහෙත්, බොහෝ විට අපි මහන්සි වී වැඩ කරන්නේ 'මුදල්' ලෙස හඳුනාගන්නා කඩදාසි විශේෂයක් ලබා ගැනීම සඳහාය.



රුපියල් පන්දාහේ නොට්ටුවකින් කළ හැක්කේ කුමක්ද? අපි වේයන් නොවන නිසා බඩගින්නට කන්නට නොහැකිය. විලි වසා ගැනීමට ලොකු මදිය. වැස්සට නොතෙමී සිටීමටද උදවු නොකරයි. ඕනෑනම් ගෑස්‌ ලිපේ දැල්ලට අල්ලා පත්තුකර සිගරැට්ටුවක් පත්තු කර ගැනීමට භාවිතා කළ හැකිය. එවැන්නක් ලබා ගැනීම සඳහා කෙල්ලන් වඳුරන්ට ආදරය කරන්නේ ඇයිද යන්න සිතා බැලිය යුතු කරුණකි.

සාමාන්‍ය භාවිතයේ 'සල්ලි' හෝ මුදල් යන වචනය එකිනෙකට කිට්ටුවෙන් සමාන, එහෙත් වෙනස්, අර්ථ කිහිපයකින් භාවිතා වේ.

පහත ඇත්තේ උදාහරණ කිහිපයකි.

සල්ලි උනන ෆෙංෂුයි රහසක් දැනගන්න කැමතිද?
ඡන්දෙට නොඑන්නේ සල්ලි නැති නිසාලු.
ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නෑ.. දැන් ආතල්ද?

මෙහි පළමු වැකියේ සල්ලි යන වචනය යොදාගෙන ඇත්තේ ආදායම යන අර්ථයෙනි. දෙවැන්නේ වත්කම් යන අර්ථයෙනි. තුන් වැන්නේදී ගෙවීම් මාධ්‍යයක් යන අර්ථයෙනි. මේ අරුත් තුනෙන් ආර්ථික විද්‍යාවේ එන 'මුදල්' යන අර්ථය වඩාත් ආසන්න තුන්වැන්නටය. ආර්ථික විද්‍යාවේ 'මුදල්' ලෙස අර්ථදැක්වෙන්නේ ගෙවීම් මාධ්‍යයක් ලෙස යොදා ගැනීම සඳහා සුදුසු වත්කම් අතුරින් එක්තරා විශේෂ කොටසකි.

මුදල් යනු හෝමෝ සේපියන්ස්ලා විසින් නිර්මාණය කර ගත් තවත් සුවිශේෂී සංකල්පයකි. මේ නව නිර්මාණය මඟින් හෝමෝ සේපියන්ස් සමාජයේ ප්‍රගතිය උදෙසා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කර තිබේ. මුදලේ වැදගත්කම අවබෝධ කර ගැනීමට මුදල් නමැති සංකල්පය සොයා ගැනීමට පෙර වූ අතීතයට ගමන් කළ යුතුය.

පුරා විද්‍යාත්මක සාධක අනුව මුදල් භාවිතයට වසර දහස් ගණනක අතීතයක් ඇත. එහෙත් වෙළඳාම ඇරඹෙන්නේ මුදල් සොයා ගැනීමට බොහෝ පෙරය.

වෙළඳාමේ මුල් අවදිය භාණ්ඩ හුවමාරු යුගයකි. මේ යුගයේදී දඩයම්කරුගේ ගෝනමස් ගාතය එඬේරාගේ කිරි කලය හා කෙළින්ම හුවමාරු විය. සමාජ අවශ්‍යතා වඩා සංකීර්ණ වෙද්දී මේ ක්‍රමය පවත්වා ගැනීමට තිබුණු ප්‍රධාන බාධකය 'දෙදෙනෙකුගේ අවශ්‍යතා සම්පාත වීම' හැමවිටම සිදු නොවීමයි.

සාර්ථක භාණ්ඩ හුවමාරුවක් සඳහා දෙදෙනෙකුගේ අවශ්‍යතා සම්පාත වීම අත්‍යවශ්‍ය සාධකයකි. උදාහරණයක් ලෙස ඉකොනොමැට්ටා කරන්නේ දවස පුරාම බ්ලොග් ලිවීමයැයි සිතමු. පරිගණක නැති ඉකොනොමැට්ටා බ්ලොගය ලියන්නේ පුස් කොළයකය. මෙසේ ලිය ලියා සිටින විට ඉකොනොමැට්ටාට බඩගිණි වේ. පාන් සමඟ මස් කරියක් කෑමට ආශාවක් ඇතිවේ. දැන් ඉකොනොමැට්ටාට පළමුව ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට කැමති බේකරිකාරයෙකුත්, දෙවනුව එවැනිම මස්කඩ කාරයෙකුත් සොයාගැනීමට සිදුවේ. එහෙම අය හිටියොත් ඉකොනොමැට්ටා ගොඩය. නැත්නම් බඩගින්නේය. (ඉකොනොමැට්ටාට මස් කරිය උයා ගත හැකි නිසා හොඳ වෙලාවට කෝකියෙක් අවශ්‍ය නොවේ.)

ඔය අස්සේ තැබෑරුම්කාරයාට ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට ආශාවක් ඇති වේ. එහෙත්, ඉකොනොමැට්ටා සැර දේවල් වලට කැමති නැත්නම් තැබෑරුම්කාරයාට ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට අවස්ථාවක් නොලැබේ.

මුදල් නමැති සංකල්පය මේ ප්‍රශ්නයට විසඳුමක් විය. දැන් ඉකොනොමැට්ටා තැබෑරුම්කරුගෙන් මුදල් අයකරගෙන ඔහුට පුස්කොලයේ ඇති සටහන කියවීමට අවස්ථාව සලසයි. ඒ මුදල් ගෙවා ඉකොනොමැට්ටාගේ සටහන් කියවීමට අකැමැති බේකරිකාරයෙකුගෙන් වුවද පාන් මිලදී ගැනීමට ඉකොනොමැට්ටාට හැකි වන නිසා ඔහුගේ සටහන් කියවීමට කැමති බේකරිකාරයෙක් හමුවන තුරු ඔහුට බඩගින්නේ සිටීමට සිදු නොවේ.

මුදලේ ඇති එකම ප්‍රයෝජනය මෙය පමණක් නොවේ. මුදල් මඟින් භාණ්ඩ වල වටිනාකම් සැසඳීම පහසු කරයි. උදාහරණයක් ලෙස භාණ්ඩ වර්ග 100ක් ඇති ආර්ථිකයක මේ භාණ්ඩ හුවමාරු විය හැකි 'මිලවල්' 5050ක් තිබිය යුතුය. සෑම භාණ්ඩයක්ම අනෙතුත් සියළු භාණ්ඩ සමඟ හුවමාරු වියයුතු මිලක් තිබිය යුතු නිසාය. මුදල් හඳුන්වා දීමෙන් පසු මේ ගණන 100කට අඩුවේ. මෙය තීරණ ගැනීම විශාල ලෙස පහසු කර වෙළඳාම කාර්යක්ෂම කරවයි.

මුදලෙහි තුන්වන ප්‍රයෝජනයක්ද තිබේ. ඒ තමන් සතු වත්කම් වර්තමානයේ සිට අනාගතය දක්වා සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස දඩයම්කරුවෙකු ගෝනෙකු මරාගනී. ඔහු වියලි හෝ වෙනත් අයුරකින් කල් තබාගත් ගෝනමස් වලට වඩා අමු ගෝනමස් වලට කැමතිය. එහෙත්, ගෝනාගේ මස් සම්පුර්ණයෙන්ම ආහාරයට ගැනීමට ඔහුට නොහැකිය. ගෝනමස් නරක් නොවී ඒ අයුරින්ම කල් තබා ගැනීමටද නොහැකිය. කිරි වැනි වෙනත් දෙයකට හුවමාරු කළ හැකි වුවත් ඒ ද්‍රව්‍යද කල් තබා ගත නොහැකිය.

මුදල් භාවිතය මෙයට විසඳුමකි. අද ඔහුගේ අතිරික්තය මුදල් කිරීමෙන්, වසරකට පසු වෙනත් දඩයක්කරුවෙකු ගෝනෙකු එලාගත් විට ඔහුට මුදල් ගෙවා අමු ගෝනමස් ලබාගත හැකිය.

මුදල් වශයෙන් මුල් කාලයේදී භාවිතා වූයේ මේ කාර්යයන් තුන ඉටුකිරීමේ හැකියාව ඇති ද්‍රව්‍යයන්ය. මෙවැනි ද්‍රව්‍යයක් සුලභ නොවිය යුතුය. කල් තබා ගත හැකිවිය යුතුය. යම් තරමකට ආකර්ශනීය විය යුතුය. සිප්පි කටු, වර්ණවත් ගල්, ධාන්‍ය වර්ග, සත්ව හම් ආදිය මුල් කාලයේදීත්, රන් රිදී වැනි ලෝහ වර්ග පසු කාලයකදීත් මේ කාර්යය ඉටුකර ඇත. කඩදාසි මුදල් සහ විද්‍යුත් මුදල් මේ පරිණාමයේ පසුකාලීන අදියරයන්ය.

මුදල් වලට හුරු වූ සමාජයක පුද්ගලයෙකු තමාට වටිනාකමක් ඇති භාණ්ඩයක් (හෝ සේවාවක්) තමාට වටිනාකමක් නොමැති 'මුදල්' නම් වූ දෙයක් වෙනුවෙන් හුවමාරු කරයි. එසේ කරන්නේ මේ 'මුදල්' නම් වූ දෙය ලබාගෙන තමාට වටිනාකමක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමට සූදානම් බොහෝ දෙනෙකු සිටින බවට ඇති විශ්වාසය නිසාය.

මුදලක වටිනාකම රඳා පවතින්නේ මේ සාමුහික විශ්වාසය මතය. ඒ විශ්වාසය බිඳුණු විට මුදල් නිකම්ම කඩදාසි කෑලි පමණි. යමෙකු තම මහන්සියෙන් උපයාගන්නා මුදල්ම වෙනත් අයෙකු ඉතා පහසුවෙන් මුද්‍රණය කර ගනු පෙනීම මුදලක් මත වන විශ්වාසය බිඳ වැටීමට හේතුවකි.

(ඡායාරූප http://uncyclopedia.wikia.com සහ www.e-allmoney.com වෙබ් අඩවි වලිනි.)

Wednesday, July 22, 2015

රුපියල් වගේද මල්ලි ඩොලර්?


(ඔබගේ අවධානයට ලක් නොවීනම් පසුගිය සටහනට පසු සටහනක් එකතු කර ඇත.)

ඉකොනොමැට්ටාගේ පසුගිය සටහන් කිහිපයට වස්තු බීජය වූ රෝලට ණය නිධාන කථාවේ සියළුම ගණුදෙනු සිදුවන්නේ ඩොලර් වලිනි. මෙය ලංකාවේදී ප්‍රායෝගිකව සිදුවන දෙයක් නොවේ.

ලංකාව ඇතුළත සිදුවන ගණුදෙනු මුළුමනින්ම පාහේ සිදුවෙන්නේ රුපියල් සත වලිනි. එයට ප්‍රධානම හේතුව ඒ සඳහා වන නීතිමය අවශ්‍යතාවයයි. දෙවැන්න, රුපියලේ අගය පිලිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය තවමත් ස්ථිරව පැවතීමයි. ශ්‍රී ලංකා රජයේ බොහෝ අධිකාරී ආයතනයන්ට සමාන්තරව එවැනිම ආයතන උතුරේ ස්ථාපිත කළ එල්ටීටීඊ සංවිධානය පවා රුපියල නොසලකා හැරීමට එඩිතර වූයේ නැත.

කෙසේ වුවද, තවමත් ඉතා කුඩා වුවද ඩොලර් වෙළඳපොළක් (මා කතා කරන්නේ විදේශ විණිමය වෙළඳපොළ ගැන නොවේ.) ලංකාව තුළ මේ වනවිට පැහැදිලි ලෙස වර්ධනය වෙමින් පවතී.

දශක කිහිපයකට පෙරද කොළඹ තරුපහේ හෝටලයක ලැගුම් ගන්නා විදේශිකයෙකුට විදේශ මුදලින් සිය ගෙවීම් පියවිය හැකිව තිබුණි. එහෙත්, මෙහිදී සිදුවූයේ අදාළ හෝටලය හෝටල් සේවා සපයන්නෙකුගේ කාර්ය භාරයට අමතරව විදේශ විණිමය හුවමාරු කරන්නෙකුගේ කාර්ය භාරයද ඉටු කිරීමයි. ඒ හැරුණු විට බිල්පත ඉදිරිපත් වුයේ ශ්‍රී ලංකා මුදලිනි. එහෙත්, මේ වන විට පින්නවල අලි අනාථාගාරය වැනි තැනක විකිණෙන කුඩා සැමරුම් භාණ්ඩ වැනි දේ පවා කෙළින්ම ඩොලර් වලින් මිල කෙරී තිබෙනු දැකිය හැකිය. හික්කඩුව වැනි ප්‍රදේශ වලද කලක සිටම ඩොලර් ක්ෂුද්‍ර ආර්ථිකයක් පවතී.

ඇතැම් රටවල විදේශ මුදල් භාවිතය මීට වඩා වැඩිය. මේ සටහන් කියවන මාල දිවයිනේ ජීවත්වන හෝ එහි සංචාරය කර ඇති අයෙකු දන්නා පරිදි එහිදී ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම් හෝ යුරෝ වලින් ගෙවා කෙළින්ම භාණ්ඩ මිල දී ගත හැකි වීම සාමාන්‍ය දෙයකි. ඉන්දියාවට ආසන්න ඇතැම් නේපාල නගර වල ඉන්දියානු රුපියල් නේපාල රුපියල් වලටත් වඩා වැඩිපුර ගණුදෙනු සඳහා භාවිතා වේ. ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හිදී ස්වීඩන ක්‍රෝන භාවිතය ඉතා පහසුය. කෙසේ වුවද මේ සියළු අවස්ථාවන්හිදී විදේශ මුදල් භාවිතා වෙන්නේ දේශීය මුදලට සමාන්තරව හා අඩු වශයෙනි.

ඇතැම් තත්ත්වයන් යටතේ ඇතැම් රටවල දේශීය මුදල් භාවිතය බොහෝ දුරට හෝ මුළුමනින්ම නැවතී ඒ වෙනුවට විදේශ මුදලක් හෝ විදේශ මුදල් වර්ග කිහිපයක් ආදේශ වේ. මෙය සිදු වන්නේ දේශීය මුදල් ඒකකය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටුණු විටය.

යම් කිසි මුදල් ඒකකයක් පිළිබඳව වන විශ්වාසය බිඳ වැටෙන්නේ එම මුදලේ බාහිර හා අභ්‍යන්තර අගය සීඝ්‍රයෙන් අඩුවන විටය. බාහිර අගය වනුයේ විදේශ මුදල් ඒකක වලට සාපේක්ෂව මුදලේ වටිනාකමයි. එනම් විණිමය අනුපාතිකයයි. අභ්‍යන්තර අගය මැනෙන්නේ රට තුළ විකිණෙන භාණ්ඩ හා සේවාවන්ට සාපේක්ෂවය. මේ දෙආකාරයෙන්ම අගය අඩු වීමට මූලික හේතුව උද්ධමනයයි.

මුදල් ඒකකයක් පිළිබඳව විශ්වාසය බිඳ වැටෙන්නේ උද්ධමනය කොතරම් වැඩි වූ විටද? අපේ උද්ධමනය 30% පමණ දක්වා ඉහළ ගිය අවස්ථා තිබේ. එහෙත්, රුපියල පිලිබඳ විශ්වාසය එයින් බිඳ වැටුනේ නැත. 6-7% මට්ටමේ උද්ධමනයක් අපි සාමාන්‍යයෙන් භයානක දෙයක් ලෙස සලකන්නේ නැත. එහෙත්, 2-3% මට්ටමේ උද්ධමනය පවත්වා ගන්නා දියුණු රටවල් 5%ක උද්ධමනයක් වුවද සලකන්නේ විශාල අගයක් ලෙසය. වසර 25කට පෙරත්  රුපියල් 40කට පමණ හුවමාරු වූ ඇමරිකන් ඩොලරය මේ වන විට රුපියල් 135කට පමණ ආසන්නව හුවමාරු වන්නේ අපේ උද්ධමනය මේ වසර 25 තුළ ඇමරිකාවේ උද්ධමනයට වඩා ඉහළින් පැවතීම නිසාය.

අපේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි ඇමරිකාව ඩොලර් මුද්‍රණය කරන වේගයට වඩා වැඩි වේගයෙන් අපි රුපියල් මුද්‍රණය කරන නිසාය. රුපියල් වැඩි වැඩියෙන් මුද්‍රණය කිරීමට සිදුවන්නේ රජයේ ණය පියවා ගැනීමට වෙනත් ක්‍රමයක් නැති වූ විටය.

රජයක් ණය ලබා ගන්නා ප්‍රධානම ක්‍රමය බැඳුම්කර නිකුත් කිරීමයි. දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු බැඳුම්කර සඳහා මුදල් යොදවන්නේ ඒ සඳහා හිමි වන පොලිය ආකර්ශනීයනම් පමණි. ලබා ගැනීමට බලාපොරොත්තු වන ණය ප්‍රමාණය විශාල ලෙස වැඩිනම් ඒ ප්‍රමාණය අලෙවි කිරීමට පොලී අනුපාතිකය ඉතා විශාල ලෙස ඉහළ යාමට ඉඩ හැරිය යුතුය. එවිට ඊළඟ වටයේදී රජයේ වියදම් තවත් ඉහළ යයි.

මෙයට පහසු විසඳුමක් ලෙස ඒ බැඳුම්කර විකිණෙන්නේ රටේ මහ බැංකුවටය. මුදල් අලුතින් මුද්‍රණය කර බැඳුම්කර මිලදී ගත්විට මහ බැංකුවට විශාල පොලී අදායමක් ලබා ගෙන විශාල ලාභයක් ලැබිය හැකිය. මේ ලාභය අවසානයේදී සම්ප්‍රේෂණය වන්නේ රජයටමය. රජය විසින් ගෙවන පොලී මුදල් ආපසු රජයටමය.

කෙසේ වුවද මේ අයුරින් මුදල් මුද්‍රණය කර සංසරණයට එකතු කළ විට උද්ධමනය වැඩි වී මුදලේ වටිනාකම අඩුවේ. ඒ මුදලින් රජයට වුවද මිල දී ගත හැක්කේ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු භාණ්ඩ හා සේවා ප්‍රමාණයකි. එවිට රජයට තවත් වැඩිපුර මුදල් අවශ්‍ය වන අතර වැඩි වැඩියෙන් මුදල් මුද්‍රණය කිරීමට සිදුවේ. මෙහි කෙළවරක් නැත.

2008 ජුලි වන විට සිම්බාබ්වේහි උද්ධමනය 231,000,000%ක් වූයේ මෙසේ අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසාය. මේ මට්ටමට උද්ධමනය වැඩි වූ විට ප්‍රායෝගිකව රටේ ආර්ථික කටයුතු ඇණ හිටී. හන්දියට බස් එකේ ගිය පසු ගිය මුදලට ආපසු පැමිණිය නොහැක. කොණ්ඩය කැපීමට බාබර් සාප්පුවට ගිය විට වැඩේ අඩක් නිමවන කරණවෑමියා ඉතිරි කොටස නිම කිරීමට වැඩි මුදලක් අවශ්‍ය බව කියයි. සිම්බාබ්වේ මහ බැංකුවට ට්‍රිලියන සීයේ නෝට්ටු පවා නිකුත් කිරීමට සිදුවූවත් එවැනි විශාල මුදලක පවා වටිනාකම ඉතා ඉක්මණින් නැති වී යයි. මෙවැනි විශාල නෝට්ටු නිකුත් කෙරුණේ සිවු වරක් තුළ බින්දු 25ක් කපා ඉවත් කිරීමට අමතරවය.


රටක් ඉහත තත්ත්වයට පත් වූ පසු එම රටට අකැමැත්තෙන් වුවත් විදේශ මුදල් භාවිතයට ඉඩ හැරීමට සිදුවේ. මෙය හඳුන්වන්නේ ඩොලර්කරණය (Dollarization) යනුවෙනි. මේ අනුව, 2008 සැප්තැම්බර්හිදී සිම්බාබ්වේ රාජ්‍යය ඩොලර්කරණය විය. ඩොලර්කරණය වූ රටක දේශීය මුදල්ද භාවිතයේ පැවතිය හැකි නමුත් දේශීය මුදලෙහි ප්‍රායෝගික වටිනාකමක් නැත.

පසුගිය සතියේදී සිම්බාබ්වේ රජය විසින් වටිනාකමක් නැත්තටම නැති සිම්බාබ්වේ ඩොලර් සංසරණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේ අනුව යම් කිසිවෙකු සතුව සිම්බාබ්වේ ඩොලර් ක්වෝඩ්රිලියන් 35ක් (35,000,000,000,000,000ක්) ඇත්නම් ඒ මුදල වෙනුවෙන් ඇමරිකානු ඩොලරයක් ලබා ගැනීමේ පහසුකම තවමත් තිබේ. 1980දී සිම්බාබ්වේ ඩොලරයක වටිනාකම ඇමරිකානු ඩොලරයක වටිනාකමට වඩා වැඩි වූ බවද මතක් කර දිය යුතුය.

(ඡායාරූප අන්තර්ජාලයෙනි .)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...