වෙබ් ලිපිනය:

Showing posts with label බදු. Show all posts
Showing posts with label බදු. Show all posts

Sunday, December 30, 2018

මං උනත් ඉතිං ඉන්නෙ මෙ අවුෂදේ බලෙන්...


ග්‍රෙගෝරියන් අවුරුද්ද ඉවර වෙද්දී සංක්‍රාන්තිය සමරන්න අවුෂද ටිකක් ගන්න එක ගොඩක් දෙනෙක් කරන දෙයක්නේ. ඕකේ ඉතිං ලොකු වැරැද්දක් නැහැ. බොන්න උවමනාවක් නැති වුනත් යාලුවන්ගෙන් බේරෙන්න බැරි වුන වෙලාවට චුට්ටක් ගන්නවා කියල ලාල්කාන්ත සහෝදරයත් කියල තියෙනවනේ.

ඔය වගේ සමාජ සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් විදිහට වගේම ප්‍රශ්න වැඩි වුනහමත් තව අය බොනවනේ. එහෙම අය මුලින් කී අයට වඩා ටිකක් වැඩි වෙන්න ගන්නවා. ඒ අයට තියෙන එක විවේචනයක් තමයි බීල ප්‍රශ්න විසඳන්න බෑ කියන එක.

ආපහු සිහිය එන කොට තිබිච්ච ප්‍රශ්න ඔක්කොම තිබුණත් ඒ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක කරන එකත් එක විසඳුමක්නේ. හැබැයි ඔය විදිහට ප්‍රශ්න විසඳන්න අසීමාන්තික ලෙස එක දිගට බොන එකෙන් පස්සේ නැති ප්‍රශ්න ඇති වෙනවා. එහෙම තියෙද්දිත් සමහර අය ඔය වැඩේ කරන්නේ මේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැති නිසාද?

ටික දවසකට කලින් ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සරසවියක පර්යේෂකයෙකු වන අයෙකු එක්ක කරපු කතාබහක් ගැන කලින් ලිපියක සඳහන් කළානේ. ඔහුට අනුවනම් මිනිස්සු මේ විදිහට බොන්නේ පසුකාලීන හානි ගැන අවබෝධයක් නැතිව නෙමෙයි. ඒ හානි ගැන දැනගෙන හිටියත් බොන එකෙන් ලැබෙන දේ ඒ හානි වලට වඩා වටින නිසා. වෙනත් විදිහකින් කිවුවොත් මේ මිනිස්සු කරන්නෙත් නොබොන අනුවණ දනෝ වගේම බොහොම තාර්කික විදිහට කටයුතු කරමින් තමන්ට හොඳම දේ කිරීම. එහෙම වෙන්නේ කොහොමද?

ඔහුගේ අදහස වන්නේ වෙනත් විකල්පයක් නැති විට මානසික ආතතියට ප්‍රතිකාරයක් ලෙස මිනිස්සු මත්පැන් ගන්නවා කියන එකයි. හැබැයි වෙනත් වඩා හොඳ විකල්පයක් ලැබුනොත් ඔවුන් තව දුරටත් මේ වැඩේ කරන්නේ නැහැ.

ඔහුට අනුව, මේ චර්යාවම වෙනත් කරුණු හා අදාළව වුවත් පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කන බොන මිනිස්සුනේ. කන එකෙන් අපි හොඳට සතුටු වෙනවා. ඒ වගේම, ඇඟ හොල්ලන්න හොරයි. නමුත්, ඔය විදිහට කකා බිබී ව්‍යායාම නොකර ඉන්න කොට කොලෙස්ටරෝල් නගිනවා. ඔන්න එතකොට අකැමැත්තෙන් ඩයට් කරන්න වෙනවා. ව්‍යායාම කරන්න වෙනවා.

මෙතැන තේරීම් දෙකක් තිබෙනවා. එකක් හෘද රෝගයක් හැදීමේ අවදානම ගන්න එක. අනික අපි අකැමැති දේවල් වන ඩයට් කිරීම හා ව්‍යායාම කිරීම වැනි දේ කරන එක. දෙකෙන් එකක්වත් අපි කැමති දේවල් නෙමෙයි. ඒ නිසා, තිබෙන හොඳම විකල්පය අඩු නරක විකල්පය තෝරා ගැනීම.

දැන් ඔය මැතිවරණ වලදී ගොඩක් අය කරන්නෙත් ඕකමනේ. මොකා ආවත් එකයි කිවුවට මොකෙක් හරි එනවනේ. ඒ නිසා, අඩු නරක විකල්පය තෝරා ගන්න වෙනවා. ඉතිං ගොඩක් ඡන්ද වැටෙන්නේ කාව හරි දිනවන්න නෙමෙයි. අනිත් අපේක්ෂකයා දිනන එක වලක්වන්න. මිනිස්සුන්ගේ හැසිරීම තාර්කිකයි.

කොහොම වුනත් අමතර විකල්ප වැඩි වන තරමට අපට වඩා අඩු නරක හෝ වඩා හොඳ විකල්පයක් තෝරා ගැනීම පහසු වෙනවා. මා කිවූ පර්යේෂකයා මුලින්ම පෙන්වා දෙන්නේ කොලෙස්ටරෝල් පාලනය කරන්න ලිපිටෝර් වගේ ස්ටැටින් ඖෂධ සොයා ගැනීම. මේවායේ අතුරු ආබාධ හොඳටම අඩුයි. දැන් තුන්වන විකල්පයක් විදිහට ඩයට් නොකර, ව්‍යායාම නොකර ස්ටැටින් ඖෂධ වලින් කොලෙස්ටරෝල් පාලනය කරගෙන හෘද රෝග අවදානම අඩු කර ගන්න පුළුවන්. ඔහු පෙන්වා දෙන විදිහට මේ චර්යාත්මක වෙනස ඇමරිකාවේ ස්ථුලතාවය ඉහළ යන්න හේතු වී තිබෙනවා.

මේ ආකාරයටම ආතතිය පාලනය කරන ඖෂධ වෛද්‍ය නිර්දේශ නැතුව මිල දී ගැනීම පහසු වීමට සමාන්තරව ආතතියට විසඳුමක් ලෙස අධික ලෙස මත්පැන් පානය කිරීම අඩු වෙමින් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා. (මේ පර්යේෂණ ප්‍රතිඵල මේ විදිහටම වලංගු වන්නේ ඇමරිකාව වගේ රටකට බව මතක් නොකළොත් එය අඩුපාඩුවක්.) මේ කරුණු එක්ක ඔහු පෙන්වා දෙන්නේ තාක්ෂණය නිසා වඩා හොඳ අලුත් විකල්ප ලැබීමේ වාසිය හා ඒ එක්ක වෙළඳපොළ යාන්ත්‍රනය තුළ සමාජයීය ප්‍රශ්න ස්වභාවිකවම විසඳෙන ආකාරයයි.

Saturday, December 29, 2018

ලීනි සිබරල් කානි සිවුද?


දැන් ළමයි කොහොමද දන්නේ නැහැ. අපිනම් දෙවන භාෂාවක් ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලෙදිමයි. ඒ පෙරළි භාෂාව. බස් පෙරළීම හා "බස්" පෙරළීම කියා දෙකක් තියෙනවනේ! ඊට පස්සේ තුන්වන භාෂාවකුත් ඉගෙන ගත්තා. ඒ සීනි භාෂාව.

ඔය භාෂා තුන ඔය පිළිවෙළටම මිසක් වෙනත් පිළිවෙලකට ඉගෙන ගන්න බැහැ. පෙරළි භාෂාව ඉගෙන ගන්න කලින් සිංහල ඉගෙන ගන්න වෙනවා. අර සිංහල උගත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක් හා ඒ කාලයේ ජීවත් වූ හිමිනමක් අතර පළමු පංතියේ දුම්රිය මැදිරියකදී වූ කතාබහක් ගැන කතාව අහල ඇතිනේ. සුද්දට ඇනගන්න වුනේ සිංහල කොයි තරම් හොඳින් ඉගෙනගෙන තිබුණත් පෙරළි භාෂාව ගැන දැනගෙන නොසිටි නිසයි. සීනි භාෂාව ඉගෙන ගන්නනම් සිංහලයි පෙරළි භාෂාවයි දෙකම කලින් හදාරලා තියෙන්න ඕනෑ.

දෙවන, තුන්වන ආදී භාෂා කොපමණ ඉගෙන ගත්තත් මවු භාෂාව හසුරුවන එක වඩා පහසුයි. ලියන්න වගේම කියවන්නත්. හැබැයි තමන්ට පහසුම භාෂාවෙන් ලියා තිබෙන දෙයක් වුවත් හැමෝම කියවන්නේ එකම විදිහට නෙමෙයි. එකම අකුරු හා වචන තමයි. නමුත්, කියවන එක් එක් පුද්ගලයා ඒ වචන වලින් තේරුම් ගන්නේ තම තමන්ට අවශ්‍ය දේවල්. එයත් අප අතර තිබෙන විවිධත්වයේ කොටසක්.

රනිල් ප්‍රධාන එජාප ආණ්ඩුව ලිබරල් මතවාදී ආණ්ඩුවක් ලෙස බොහෝ දෙනෙක් සලකනවා. එහෙමනම්, මහින්දලා ප්‍රති-ලිබරල්ද?

රනිල්ගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ලෙස රාජිත විසින් යෝජනා කළ පැණි බීම සඳහා වූ සීනි බද්ද මහින්ද විසින් ඉවත් කළා. මේ බද්ද දමපු වෙලාවේ ඒ ගැන බටහිර මාධ්‍ය වාර්තා වල ඉතා පැහැදිලිවම ලියා තිබුණේ මෙය ප්‍රති-ලිබරල් ක්‍රියාමාර්ගයක් බවයි. එහෙමනම් බද්ද ඉවත් කිරීම ලිබරල් තීරණයක්. කවුරු හෝ පුද්ගලයෙක්, ප්‍රතිපත්ති සම්පාදකයෙක් හෝ ආණ්ඩුවක් විසින් සමස්තයක් ලෙස කටයුතු කරන ආකාරය හා එවැනි පුද්ගලයකු හෝ ආණ්ඩුවක් විසින් ගන්නා හුදෙකලා ප්‍රතිපත්ති තීරණ දිහා එකම අච්චුවේ දමා බලන්න බැහැ.

ලිබරල් වගේ පුළුල් තේරුමක් තියෙන බර වචන පැත්තකින් තියලා නිදහස් වෙළඳපොළ කියන සාපේක්ෂව සරල සංකල්පය වෙත හැරෙමුකෝ. නිදහස් වෙළඳපොළක් කියන්නේ රජයේ මැදිහත්වීමක් නැතුව පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනු වලට ඉඩලැබෙන තැනක්. හරියට පැණිබීම නිෂ්පාදකයෙකු හා පාරිභෝගිකයෙකු අතර සිදුවන ගනුදෙනුවක් වගේ. ගනුදෙනුව සිදුවන මිල තීරණය කරන්නේ ඒ දෙන්නා. දෙන්නාගෙන් කාට හෝ පාඩුනම් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ගනුදෙනුවක් වෙනවනම් එයින් කියන්නේ දෙන්නටම වාසි බවයි.

සීනි බද්ද කියන්නේ රජය විසින් ඉහත කී ගනුදෙනුවට අකුල් හෙළන නියාමන ක්‍රියාමාර්ගයක්. එය නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බාධාවක්. එවැනි ක්‍රියාමාර්ගයක් යුක්තියුක්ත කළ හැක්කේ කවර පදනමකින්ද?

මේ ආකාරයේ බදු වලට කියන්නේ පිගෝවියන් බදු කියලා. කිසියම් හෝ හේතුවක් නිසා නිදහස් ගනුදෙනු වලට ඉඩ හැරීමෙන් සමාජයට අයහපතක් සිදුවෙනවාය යන උපකල්පනය මත ඒ අයහපත නැති කරන එකයි මෙවැනි බදු පැනවීමෙන් අපේක්ෂා කරන්නේ. ඇතැම් භාණ්ඩ මත පිගෝවියන් බදු පැනවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබෙනවා. මත්පැන් හා දුම්වැටි උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. වසර කිහිපයක සිට සීනි බදුත් මේ නිර්දේශ අතරට එකතු වී තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ අවසන් ඇමරිකානුවා වූ රිචඩ් ඕවර්ටන් වසර 112ක් හා දින 230ක් ආයු වළඳා පෙරේදා (දෙසැම්බර් 27) මිය ගියා. ඔහු නොකඩවා දිනපතාම දුම්පානය කළ, උදේට කෝපි එක්ක හෝ අමුවෙන්ම විස්කි වඩියක් සප්පායම් වූ, හැමදාම රෑට අයිස්ක්‍රීම් එකක් කන්න ප්‍රිය කළ පුද්ගලයෙක්. රිචඩ් ඕවර්ටන් වැනි ප්‍රති-උදාහරණ පෙන්විය හැකි වුවත්, අධික මත්පැන් භාවිතය හා දුම්වැටි භාවිතය නිසා පුද්ගලයෙකුට සෞඛ්‍යමය හානි වෙනවා කියන එක පිළිගත හැකි, පැහැදිලි කරුණක්.

ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයක් වන්නේ හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයෙක්ට තමන්ට හොඳම දේ තෝරාගැනීමේ හැකියාවක් තිබෙනවා කියන එකයි. ඒ අනුව, කවුරු හෝ දුම්වැටියකට ගෙවන මිල ගෙවන්නේ මේ හානි ගැන සැලකීමෙන්ද පසුව ඔහු හෝ ඇය දුම්වැටියෙන් ලබන සතුට ගෙවන මිලට වඩා වැඩි නිසයි. ඒ පදනම මත බැලුවොත් කවුරුහරි දුම්පානය හේතුවෙන් පෙනහළු පිළිකාවක් හදා ගත්තොත් ඒක ඒ පුද්ගලයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්.

හැබැයි පුද්ගලයෙක් දුම්වැටියකට ගෙවන මිල තීරණය කරද්දී ඒ නිසා තමන්ට ලැබෙන සතුට හා සිදුවිය හැකි හානි ගැන මිසක් වෙනත් අයට සිදුවිය හැකි හානි ගැන හිතන්න හේතුවක් නැහැ. කවුරු හෝ මගේ සේවා ස්ථානයේ, නිවසේ හෝ වෙනත් පොදු ස්ථානයක සිට දුම්පානය කරද්දී, මටත් සිගරට් දුම ආඝ්‍රාණය වෙනවා. ඒ නිසා, මගේ පෙනහළු පිළිකා අවදානම ඉහළ යාම වෙනුවෙන් මට ලැබෙන දෙයක් නැහැ. පිගෝවියන් බදු පිටුපස තිබෙන අදහස වන්නේ දුම්පානය කරන පුද්ගලයාගෙන් හා සිගරැට් වෙළෙන්දාගෙන් මුදලක් අය කරගෙන තෙවන  පාර්ශ්වයක් වන මගේ හානිය ප්‍රතිපූරණය කළ යුතු බවයි. මත්පැන් පානය කිරීමේ පුරුද්ද නිසා ගෘහස්ථ හිංසනයේ ගොදුරු වන අය, රිය අනතුරු වලට ලක්වෙන අය ආදීනුත් මෙවැනි තෙවන පාර්ශ්ව සේ සැලකිය හැකියි. සීනි වැඩිපුර බීමෙන් මේ විදිහට කවර හෝ තෙවන පාර්ශ්වයන්ට හානි වෙනවද?

තෙවන පාර්ශ්වයන්ට හානි වෙන අවස්ථා වලදී නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය කිසියම් නියාමනයකට ලක් කිරීම පිළිබඳව මගේ මූලික ප්‍රතිවිරෝධතාවයක් නැහැ. නමුත්, එසේ කරන්න කලින්, ඒ විදිහට තෙවන පාර්ශ්වයන්ට හානි වෙන බවත්, නියාමන ක්‍රියාමාර්ග නිසා ඒ හානි අඩුවන බවත් පැහැදිලිව පෙන්වා දෙන්න නියාමකයින්ට හැකි විය යුතුයි.

ඇතැම් විට ඉහත මූලධර්මයට අමතරව වෙනත් මූලධර්ම මතත් නියාමන ක්‍රියාමාර්ග ගැනෙනවා. උදාහරණයක් විදිහට මත්පැන් හා දුම්වැටි මිල දී ගැනීමේදී අවම වයස් සීමාවක් පැනවීම පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී යොදා ගැනෙන මූලධර්මය වන්නේ මේ දේවල් වල හොඳ නරක කිරා මැන බැලීමේ හැකියාවක් තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයින්ට පමණක් බවයි. තවත් උදාහරණයක් ගත්තොත් බොහෝ බටහිර ඖෂධ විකිණිය හැක්කේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කර ඇත්නම් පමණයි. මොකද ප්‍රමාණවත් පුහුණුවක් නැත්නම් මේ ඖෂධ වල හොඳ නරක කිරා මැන බලන්න සාමාන්‍ය පුද්ගලයෙකුට බැහැ. මේ ආකාරයේ නියාමනයක් තිබීම ගැන වෛද්‍යවරුන් නොවන වැඩිහිටි පුද්ගලයින්ගේ විරෝධයක් නැහැ. ඒ නිසා, නියාමනය සමාජයේ පොදු තීරණයක්.

මේ විදිහට බැලුවොත්, මත්පැන්, දුම්වැටි හා පැණි බීම මත බදු පැනවීමෙන් මේ දේවල් වල සෞඛ්‍යමය හානි පිළිබඳව සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක්ට වුවත් අවබෝධයක් නැති බව පිළි ගැනෙනවාද? මේ වගේ තත්ත්වයක් නැහැ කියා කියන්න බැහැ. එහෙම තත්ත්වයක් තියෙනවනම් එයට විසඳුම කුමක්ද?

මෙය දේශපාලනික කරුණක්. පළමු විසඳුම වන්නේ වෛද්‍යවරුන් බෙහෙත් නිර්දේශ කරනවා වගේ "දන්නා අය විසින්" අනෙක් අයට ඔවුන්ගේ තේරීම් සිදු කළ යුතු ආකාරය නියම කිරීමයි. දෙවන විසඳුම දන්නා අය විසින් ඒ අයගේ දැනුම් පරතරය අඩු කරගන්න උදවු කිරීමයි. මගේ දේශපාලනික තේරීම දෙවැන්නයි. නමුත්, සියළුම දේශපාලනඥයින් අඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ පළමු විසඳුම වෙනුවෙනුයි. ඔවුන්ට වෘත්තීය පැවැත්මක් තිබෙන්නේ ඒ තුළයි.

(Image: http://www.dailymirror.lk/article/Snaring-children-in-the-sugary-drink-trap-140964.html)

සීනි දී සැනසීම


පහුගිය "දින පණහ" ඇතුළත සිදු වූ එක් දෙයක් තමයි මහින්ද විසින් පැණි බීම මත පනවා තිබුණු සීනි බද්ද අඩු කිරීම. මේ බද්ද දැම්මේ අවුරුද්ද මුලදී රාජිත විසින්. කර්මාන්තයට දැනෙන තරමේ ලොකු බද්දක්.

මානව ඉතිහාසයේ වැඩි කාලයක් තිස්සේ මිනිස්සු හිටියේ ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම කැලරි ප්‍රමාණය හෝ ලබා ගැනීම අභියෝගයක් වූ පරිසරයකයි. ඒ කාලයේ වැඩි කාලයක් ජීවත් වී තමන්ගේ ජාන අනාගතයට ඉතිරි කරන්න පුළුවන් වුනේ මොන විදිහකින් හෝ මේ ශක්ති අවශ්‍යතාවය සපුරා ගත් අයටයි.

මිනිස්සු සාමාන්‍යයෙන් ගන්නා ආහාර අතරින් සීනි හා තෙල් කියන්නේ කැලරි පොදි. ඉතා පොඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් විශාල කැලරි ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා.

පසුගිය අවුරුදු දහදාහක පමණ කාලය ගත්තොත් සීනි හා තෙල් කියන්නේ මිනිස්සුන්ට කලාතුරකින් හමු වූ දේවල්. සීනි ලැබුණේ හදිසියේ අහම්බෙන් හමු වූ ඉදුණු පළතුරු පිරුණු ගහක් වගේ තැනකින්. ඒ වගේ වෙලාවක පුළුවන් තරම් ඉදුණු පළතුරු කනවා මිස, ඒ පළතුරු ගෙදර ගෙනිහින් කල් තබා ගෙන ටික ටික කන්න පුළුවන් තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ.

සීනි හා තෙල් වැඩියෙන් කන්න කැමැත්තක් තිබුණු හා මේ ආහාර වලින් ලැබුණු ශක්තිය සිරුරේ තැන්පත් කරගෙන ටිකෙන් ටික ප්‍රයෝජනයට ගන්න හැකියාවක් තිබුණු අයට අනෙක් අයට සාපේක්ෂව පරිණාමික වාසියක් ලැබුණා. ඒ නිසා, සීනි හා තෙල් වලට වැඩි කැමැත්තක් නැති මිනිස්සු ටිකෙන් ටික වඳ වී යද්දී මේ දෙකට වැඩි රුචිකත්වයක් දක්වන අය ඉතිරි වුනා. අපි හැමෝම වගේ ඒ විදිහට ඉතිරි වූ පරම්පරා වල අය. ඒ නිසා, අප ඉපදෙන්නෙම සීනි හා තෙල් වලට තිබෙන කැමැත්ත එක්කයි.

මානව ඉතිහාසයේ මෑතම යුගය දක්වාම සීනි හා තෙල් වලින් ලැබෙන ශක්තිය සිරුරේ තැන්පත් කරගන්න පුළුවන් වීම මිනිස්සුන්ට වාසියක් මිස අවාසියක් වුනේ නැහැ. පළතුරු පිරුණු ගහක් හෝ මේද පිරුණු සිරුරක් සහිත ලොකු සතෙක් වරක් හමු වීමෙන් පසුව නැවත හමු වුනේ සෑහෙන කාලයක් ගිහින්. ඒ වන විට සිරුරේ තැන්පත්ව තිබූ ශක්තිජනක ටික වැය වී අවසන්.

නමුත්, දැන් තත්ත්වය වෙනස්. සාගින්නෙන් පෙළෙන මිනිස්සු අදටත් ලෝකය පුරා විසිරී ඉන්න බව ඇත්තක් වුවත් ලංකාව වැනි රටක පවා බොහෝ දෙනෙක්ගේ ආදායම් තමන්ට අවශ්‍ය අවම ආහාර ප්‍රමාණයට වඩා ආහාර වෙනුවෙන් වැය කළ හැකි තරමට ඉහළ ගිහින්. ඉතිං අපි අපිට ආස දේවල් හිතේ හැටියට කනවා.

පරම්පරා ගණනක් අපේ සෞඛ්‍ය වර්ධනයට හේතු වූ පුරුද්දකින් දැන් වෙන්නේ අපේ මරණය ඉක්මන් කරන එකයි. හෘදයාබාධ, ආඝාත හා දියවැඩියාව කියන්නේ ලාංකිකයෙක්ව මරණයට පත් කරන ප්‍රධාන හේතු. වෙනත් බොහෝ රටවල තත්ත්වයත් එහෙමමයි.

රාජිත විසින් සීනි බද්ද හඳුන්වා දීමෙන් අපේක්ෂා කර තිබුණේ මේ වන විටත් ලංකාවේ විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයක් වී තිබෙන දියවැඩියාව පාලනය කිරීමයි. මේ තීරණයේ සෘජු ප්‍රතිඵලය වන්නේ පැණි බීම මිල ඉහළ යාමයි. පැණි බීම වලට සීනි බද්දක් පැනවීම මෑත කාලයේදී වෙනත් බොහෝ රටවල් විසින්ද කර තිබෙන දෙයක්.

ජාන වලින්ම එන පුරුද්ද නිසා පොඩි කාලේ ඉඳලම අපි පැණිරසට ආසයි. ගොඩක් පොඩි කාලේ අම්මගේ නංගිගෙන්, පුංචි අම්මගෙන්, ඉල්ලුවහම බෝතලෙන් සීනි හැන්දක් අල්ලට දමනවා. හැබැයි අම්මා නැති වෙලාවට. අම්ම දැක්කොත් පුංචි අම්මටත් බැණුම් අහන්න වෙනවා.

දැන් පොඩි එකාට වැඩියෙන් ආදරේ අම්මාද නැත්නම් පුංචි අම්මාද? අම්මා හිතනවා සීනි වැඩිපුර දීම හොඳ දෙයක් නොවන බව. සමහර විට ඒ දවස්වල හිතන්න ඇත්තේ දත් නරක් වෙන එක හරි කිරිපණුගාය හැදෙන එක හරි ගැන මිසක් දියවැඩියාව ගැන නොවෙන්න පුළුවන්.

එතකොට පුංචි අම්මා කරන්නේ නරකක්ද? පුංචි අම්මත් කොල්ලට ආදරෙයි. ඈ හිතන්නේ ඔය ඉඳලා හිටලා සීනි හැන්දක් දීලා පොඩි එකාගේ ආසාව ඉටු කළාට මහ ලොකු හානියක් වෙන්නේ නැහැ කියලයි.

මහින්ද කළේත් අපේ පුංචි අම්මා පොඩි කාලේ කළා වගේ වැඩක්. සීනි බද්ද නිසා පැණි බීම මිල වැඩි වුණත් පැණි බීම නැතුවම බැරි එකා කොහොමටත් බොනවා. පැණි රස වැඩිපුර කෑමේ සෞඛ්‍යමය හානි ඉතා හොඳින්ම දන්නා මම වුනත් ජානමය තෙරපුම නිසා හෝ ඇබ්බැහිය නිසා හෝ වෙනත් හේතුවක් නිසා සීනි වලට තියෙන කැමැත්තට ගොඩක් වෙලාවට ඉඩ දෙනවා. මේ ගැන ඇමරිකාවේ ප්‍රධානම සරසවියක පර්යේෂකයෙක් එක්ක ළඟදී කරපු කතාබහක් ගැන පස්සේ වෙනම ලියන්නම්.

රාජිත ක්‍රියා කළේ අපේ අම්මා වගේ. සීනි හැන්දක් දුන්නොත් කොල්ලා දැන් සතුටු වෙයි. ඒත් අනාගතයේදී කණගාටු වෙයි. ඒ නිසා, කොල්ලාගේ දිගුකාලීන සතුට ගැන හිතනවානම් කරන්න ඕනෑ සීනි නොදී ඉන්න එකයි. (කොල්ලා ඒ ගැන දැන් ඉන්නේ සතුටෙන්ද? ඒක වෙනම ප්‍රශ්නයක්!)

මේ සීනි ප්‍රතිපත්ති දෙකෙන් පොදුවේ මහින්දගේ හා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවාද කියන එකත් නිරූපණය වෙනවා. මහින්ද කරන්නේ ණය අරගෙන හරි කන්න දීලා, තව ප්‍රාග්ධන ආයෝජනත් මොනවා හරි කරලා, මිනිසුන්ව අද සතුටින් තියන එකයි. පස්සේ දියවැඩියාව හැදුනහම, ණය ආපසු ගෙවන්න වුනහම...ඒක ඒ වෙලාවට බලා ගම්මු!

රනිල්ලා හදන්නේ අද සතුට තරමක් කැප කරමින් වුනත් දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ කරන්නයි. හැබැයි මතක තියා ගන්න "දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ".

දැන් මේ ප්‍රතිපත්ති දෙකෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය කොයි එකද? ඇත්තටම බැලුවොත් මහින්ද කටයුතු කරන ආකාරය වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි. ඔහු බොහෝ විට දෙන්න උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් ඉල්ලන දෙයයි. පස්සේ ණය ගෙවන්න වෙනවා කියන එකේ ලංකාවේ වැඩි දෙනෙක්ට අවුලක් නැහැ. වඩා වැදගත් අද කාල බීල ඉන්න එකයි.

(Image: https://www.dailymail.co.uk/health/article-3336474/University-Bath-says-spoonful-sugar-secret-athletic-success.html)

Wednesday, October 3, 2018

පර්මිට් සංහිඳියාව


ඉහත මාතෘකාව යටතේ වන ලිපියක් සරස තුමා විසින් ඔහුගේ මල්ලෙපොල් අඩවියේ පළ කරල තියෙනවා. ඒ එක්කම තිබෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සකස් කළ බව කියන ලේඛණයක ඡායාරූපයක්. පසුගිය කාලයේ මහජන නියෝජිතයින් විසින් තීරුබදු රහිතව ආනයනය කරපු වාහන ගණනාවක වත්මන් අයිතිකරුවන් මේ ලැයිස්තුවෙන් හඳුනාගන්න පුළුවන්.

සරස තුමා පෙන්වා දෙන්නේ මේ කටයුත්තේදී ලංකාවේ විවිධ ජාතික ආගමික අනන්‍යතා දරන පුද්ගලයින් කොයි තරම් සහයෝගයෙන් කටයුතු කරලා තියෙනවාද කියන එකයි. ඔහු විශේෂයෙන් සඳහන් නොකළත් මේ කටයුත්තේදී මිනිස්සුන්ට පේන්න වාද විවාද කිරීමෙන් නොනැවතී ගහ මරා ගන්න පවා නොපැකිළෙන ප්‍රතිවිරුද්ධ දේශපාලනික අනන්‍යතා දරන මහජන නියෝජිතයින් අතර කොයි තරම් පුළුල් එකඟත්වයක් තියෙනවද කියන එකත් ඉතාම පැහැදිලියි. ඔය එකඟතාවය රටට බලපාන ප්‍රතිපත්ති තීරණ වලදීත් පෙනෙන්න තියෙනවානම් කොයි තරම් හොඳද?

පහුගිය දවස්වල ඇතැම් දේශපාලනඥයින් ප්‍රසිද්ධියේම කිවුවේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම හේතුවෙන් රජයට පාඩුවක් නොවන බවයි. එයට හේතුව ලෙස ඉදිරිපත් කළ තර්කය වූයේ මේ වාහන නොගෙනාවා කියා රජයේ බදු ආදායම වැඩි වන්නේ නැති බවයි. ඒ තර්කයේ තිබුණු නිරර්ථක බව මම ඒ දවස් වලම පැහැදිලි කළා. එසේ පැහැදිලි කරමින් පළ කළ ලිපි වල වූ කරුණු මේ ලැයිස්තුවෙන් තහවුරු කරනවා.

මේ ලැයිස්තුවේ වාහන වැඩි ප්‍රමාණයක් ටොයෝටා ලෑන්ඩ් කෲෂර් රථ. ඉතිරි ඒවා මර්සිඩීස් බෙන්ස් 350 රථ. විවිධ අනන්‍යතා දරන මහජන නියෝජිතයින් විශාල පිරිසකගේ තේරීම වාහන මාදිලි දෙකකට පමණක් සීමා වීමෙන් පෙනෙන්නේ මේ අය කොයි තරම් සමජාතීය පිරිසක්ද කියන එකයි.

අටවන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකුට හිමිවන තීරුබදු රහිත වාහන බලපත්‍රයේ යම් යම් සීමාවන් තිබෙනවා. ඒ අනුව වාහනයේ වටිනාකම, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු (CIF අගය) ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 62,500ක්, යුරෝ 55,000ක් හෝ යෙන් මිලියන 7ක් ඉක්මවන්න බැහැ. මේ ගොඩක් අයගේ වාහන වල එම අගය හරියටම උපරිම සීමාවට සමානයි. වෙනත් විදිහකින් කිවුවොත් මේ සියලු දෙනා විසින්ම කර තිබෙන්නේ තමන්ගේ වරප්‍රසාදයේ සීමාවට යටත්ව හැකි තරම් මිල අධික වාහනයක් ආනයනය කිරීමයි.

මේ වාහන තමන්ගේ නමින් ආනයනය කර තිබෙන මහජන නියෝජිතයින් කෙසේ වෙතත් ඒවායේ වත්මන් අයිතිකරුවන් මේ වාහන මිල දී ගන්න කැමැත්තෙන් සිට ඇති හා ඒ සඳහා ගෙවිය යුතු මිල ගෙවන්නන්ට තරම් වත්කමක් තිබී ඇති අයයි. ඔවුන් මේ වාහන සාමාන්‍ය ක්‍රමයට ආනයනය කළානම් එක් වාහනයක් වෙනුවෙන් අවම වශයෙන් ලක්ෂ 300 ඉක්මවන බදු මුදලක් රජයට ගෙවිය යුතුව තිබුණා. නමුත් දැන් සිදු වී තිබෙන්නේ ඒ බදු මුදල රජයට අහිමි වී බලපත්‍රලාභී මහජන නියෝජිතයා හා වාහනයේ වත්මන් අයිතිකරු අතර බෙදී යාමයි.

බලපත්‍ර හරහා ආනයනය කල වාහනය විකුණා දමා ඇති මේ මහජන නියෝජිතයින් කිසිවෙකු දැන් බස් එකේ හෝ කෝච්චියේ යන්නේ නැහැ. ඔවුන් දැන් භාවිතා කරන්නේත් මෙවැනිම හෝ ඇතැම් විට මීටත් වඩා වටිනා නිල වාහන වෙන්න පුළුවන්. ඒ වාහන සඳහා වැය කර තිබෙන්නේත් මහජනයාගෙන් අය කර ගන්නා බදු මුදල්.

මේ ලැයිස්තුව පිළියෙල කර ප්‍රසිද්ධ කර තිබෙන රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ටත් වාහන ආනයනය කිරීමේදී තීරු බදු සහන ලැබෙනවා. ඒ අය අතරින් වැඩි දෙනෙකුත් කොහොමටත් වාහනයක් මිල දී ගන්න ඉඩ තිබුණු අයයි. ඔවුනුත් රජයේ බදු ආදායම් පහළ ගොස් අයවැය පරතරය පුළුල් කිරීමට දායක වී තිබෙනවා.

ඊට අමතරව මේ සියලු තීරුබදු සහන බලපත්‍රලාභීන් ලංකාව දැන් මුහුණ දී සිටින ගෙවුම් ශේෂ ප්‍රශ්නයට, සරලව කියනවානම් ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් අවප්‍රමාණය වීමට, සෑහෙන තරමකින් පෞද්ගලිකව දායක වී තිබෙන අයයි.

අදාළ පෙර ලිපි:







(Image: http://mallepol.blogspot.com/2018/10/blog-post_2.html)

Monday, August 6, 2018

තේ කොළ හා කෝපි දළු

අපි දත් ගැලවිල්ල ගැන කතා කරමින් හිටියනේ. ඇමරිකාවේදී දතක් ගලවනවා කියන එක ඒ තරම් වේදනාකාරී දෙයක් නෙමෙයි. එයට හේතුව මේ වැඩේ කරන්නේ ප්‍රතිකාරලාභියාගේ ඉල්ලීම පරිදි අදාළ ප්‍රදේශය හිරිවැට්ටවීමෙන් හෝ අවශ්‍යනම් රෝගියාව  සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීමෙන් පසුව නිසායි. සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීම කෙසේ වුවත් අදාළ ප්‍රදේශය හිරිවට්ටවන එක ලංකාවෙත් සාමාන්‍යයෙන් කරන දෙයනේ.

පෞද්ගලිකව මම ඔය නිර්වින්දනය කියන විකල්පයට එතරම් කැමති නැහැ. මේ වගේ වැඩක් කෙරෙද්දී මට හොඳ සිහියෙන් ඉන්න ඕනෑ. හිරි වැට්ටවීමෙන් පසුව දන්ත ප්‍රතිකාරයක් කරන විට රෝගියාට වේදනාවක් දැනෙනවානම් වහාම අතක් උස්සා දැනුම් දීමක් කරන මෙන් ඉල්ලීමක් කරනවා. එවැනි ඉල්ලීමක් කළ විට වැඩේ තාවකාලිකව නවත්වා අමතර නිර්වින්දන ඖෂධ ලබා දීමෙන් පසුවයි නැවත වැඩේට බහින්නේ. නමුත්, මම පෞද්ගලිකව මේ වගේ වෙලාවකදී යම් කිසි මට්ටමකට වේදනාව ඉවසාගෙන ඉන්න කැමතියි. ඒ නිසා, තරමක වේදනාවක් දැනුණත් ප්‍රශ්නයක් නැති බව කියමින් වේදනාව දරාගෙන ඉන්නවා.

දන්ත ප්‍රතිකාරයක් කරද්දී මේ ක්‍රමයට වේදනාව පාලනය කළත් ගෙදර ආවට පස්සේ වේදනාව එනවනේ. එය වළක්වාගන්න ගෙදර එන විට ප්‍රබල වේදනා නාශක ලැබෙනවා. මේ විදිහට බොහෝ විට ලැබෙන ඖෂධ මත්ද්‍රව්‍ය ගණයේ ලා සැලකිය හැකි ඒවා (opioid). මේ වන විට ඇමරිකාව විසඳුම් හොයන දැවෙන ප්‍රශ්නයක් වන්නේ මෙවැනි ඖෂධ අවභාවිතය හා ඒවා යොදාගනිමින් ගෙවල් වලම හදා ගන්නා මත්ද්‍රව්‍යයි. ආරක්ෂාකාරී පියවරක් සේ සලකා මේ විදිහට නියම කරන වේදනා නාශක ෆාමසියකින් මිල දී ගත්තත්, නිර්වින්දන ඖෂධ වල ක්‍රියාකාරීත්වය ඉවත් වූ පසුවත් මම සාමාන්‍යයෙන් කරන්නේ හැකිතාක් දුරට වේදනාව ඉවසා සිටින්න උත්සාහ කිරීමයි.

දන්ත ප්‍රතිකාරය අවසන් වූ පසුව මේ ආකාරයෙන් ෆාමසියෙන් මිල දී ගත යුතු වේදනා නාශක, ප්‍රතිජීවක ඇතුළු ඖෂධ සඳහන් බෙහෙත් තුණ්ඩුව ඇතුළු තවත් දේ අඩංගු පාර්සලයක් දන්ත වෛද්‍යවරයාගෙන් ලැබෙනවා. ඇමරිකාවේ දන්ත වෛද්‍යවරයෙකු හමු වීමෙන් පසුව දත් බුරුසුවක්, දන්ත ආලේපන ටියුබයක් හා ඩෙන්ටල් ෆ්ලොස් වැනි දේ අඩංගු ගුඩි බෑග් එකක් කොහොමටත් ලැබෙනවා. දතක් ගැලවීම වගේ ලොකු වැඩකින් පස්සේ බෙහෙත් තුණ්ඩුව, අමතර ගෝස් කෑලි, පසු ප්‍රතිකාර උපදෙස් ආදියත් මේ බෑග් එකටමයි එකතු වෙන්නේ.

දතක් ගැලවීමෙන් පසුව කලින් කී ගුඩි බෑග් එකට එකතු වන තවත් දෙයක් තියෙනවා. ඒ ටී බෑග් එකක්. මේක දෙන්නේ දිගටම ලේ එනවනම් ලේ නවත්වන්න. තේ කොළ වල තිබෙන ටැනික් ඇසිඩ් වලින් ලේ කැටි ගැහෙන්න උදවු වෙන බවත්, රුධිර නාල සංකෝචනය වීම නිසා රුධිර වහනය අඩු වන බවත් කියවෙන නමුත් ඇමරිකාවේ දන්ත වෛද්‍යවරුන්ගේ පසු ප්‍රතිකාර උපදෙස් සමඟ ටී බෑග් එකක් ලැබෙන්නේ මේ හා අදාළව කිසිවකු විසින් සිදු කළ පර්යේෂණයක් හේතුවෙන් කියා මම හිතන්නේ නැහැ.

ලේ නවත්වන්න ටී බෑග් එකක් යොදා ගැනීම සාමාන්‍ය ඇමරිකානුවන් විසින් හොයාගත් අත් බේතක් කියලයි මම හිතන්නේ. ඔය අත් බේත පසුව දන්ත වෛද්‍යවරුන් විසිනුත් භාවිතයට ගන්න ඇති. මීයෝ අල්ලනවනම් පූසා මැටියෙන් වුනාම මොකද? පුරුද්දක් ලෙස දිනපතා තේ පානය කරන අය අතර මොළයේ රුධිර නාල පිපිරී සිදුවන රුධිර වහන (Hemorrhage) හතර ගුණයකින් අඩු බව මෑතකාලීන ජපන් පර්යේෂකයෙකුගේ පත්‍රිකාවකනම් සඳහන් වෙලා තිබුණා.

අපි කුඩා කාලයේදී තුවාලයක් වුනාම කරපු අත් බේතක් තමයි කෝපි දළු ටිකක් කටින් හපලා තුවාලයට තියන එක. ඉක්මණින් ලේ නවතින බව අත් දුටුවයි සත්තයි! තේ කොළ මොකද කෝපි කොළ මොකද?

දිගින් දිගටම රටෙන් එළියට විදේශ විණිමය ගලන එකත් තුවාලයකින් නොනවත්වා ලේ ගලනවා වගේම දෙයක් තමයි. කොහොම හරි ඉක්මණින් නැවැත්තුවේ නැත්නම් වැඩේ බරපතල වෙන්න පුළුවන්.

ලංකාවේ ආර්ථිකය දැන් කලක සිට මුහුණ දී සිටින විදේශ විණිමය ප්‍රශ්නය ඉංග්‍රීසින් විසින් ලංකාව අල්ලා ගත් මුල් කාලයේ ඔවුන්ටත් මුහුණ දෙන්න සිදු වූ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඉංග්‍රීසීන් විසින් දැරූ උත්සාහය තුළ සෑහෙන තරමකින් ලංකාවේ ඉතිහාසය වෙනස් වුනා වෙන්න පුළුවන්.

අද ඉන්දියාව කියා අපි දන්නා රට ඉංග්‍රීසින්ගේ නිර්මාණයක් බව ගොඩක් අය දන්න දෙයක්නේ. ආසන්න වශයෙන් ඉන්දියාව පිහිටා තිබෙන බිම් ප්‍රදේශය එසේ හඳුන්වන්න වෙලානම්නම් අවුරුදු සහශ්‍ර දෙක තුනක්වත් වෙනවා. එය වෙනත් කරුණක්.

ඉංග්‍රීසින් විසින් වෙන වෙනම පාලනය වුනු බිම් කොටස් සිය ගණනක් එකතු කරලා ඉන්දියාව (හා පකිස්ථානය) හදන කොට ඔය ඉන්දියාව කියන අලුත් රටට ඒ ආසන්නයේම තිබුණු ලංකාවත් එකතු නොකර සිටීම බලාගෙන ගියාම සුවිශේෂී දෙයක්. එහෙම නොවෙන්න එක් ප්‍රධාන හේතුවක් වුණේ ලංකාව මුල ඉඳලම වගේ ඉන්දියාවෙන් ස්වාධීන වෙනම බ්‍රිතාන්‍ය කොළනියක් සේ පාලනය කරනු ලැබීමයි.

ඉන්දියාවට සම්බන්ධයක් නැති වෙනම රටක් වූ, ලංකාව මෙන් දහගුණයක් විශාල, මියන්මාරය පවා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක්ව තිබී වෙනම කොළනියක් වුණේ ඉන්දියාවට නිදහස ලැබෙන්න යාන්තම් අවුරුදු දහයකට කලිනුයි. එහෙම බැලුවහම ලංකාව බේරිලා තියෙන්නේ යාන්තමිනුයි.

කොහොම වුණත් ලංකාවත් ඉංග්‍රීසීන්ගේ මදුරාසි පාලනයේ කොටසක් වූ කාලයක් තිබුණා. ලංකාවෙන් ලන්දේසි එළවා ලන්දේසින් සතු වූ ප්‍රදේශ අයිති කර ගැනීමේදී බරපැන දැරුවෙත් මදුරාසියේ තිබුණු ඉංග්‍රීසි ආණ්ඩුවයි. මතක හැටියට පවුම් දොළොස් දාහක් වගේ මුදලක්.

ලංකාව අල්ලාගත්තායින් පස්සේ ඒ අල්ලාගත් ප්‍රදේශ පාලනය කළෙත් ඔය මදුරාසි ආණ්ඩුවමයි. පාලනය කළා කිවුවට ඇත්තටම කළේ බොහොම හදිස්සියෙන් ආදායම් එකතු කරන්න දඟලන එකයි. ඇල්ලුවට හපන්න බෑ කිවුව වගේ ඔන්න ඔතැනදී තමයි මදුරාසි ආණ්ඩුව ඇණ ගත්තේ.

මදුරාසි ආණ්ඩුව කළේ මදුරාසියේ ආදායම් එකතු කළ ක්‍රමය ගෙඩි පිටින් ලංකාවේ ක්‍රියාත්මක කිරීම. නමුත්, ඊට පෙර සිටි පෘතුගීසින් හා ලන්දේසින් විසින් කළේ සියවස් ගණනක් තිස්සේ සිංහලයින් පුරුදු වී සිටි රාජකාරි ක්‍රමය ඒ විදිහටම තියෙද්දී ඒ ක්‍රමයටම ආදායම් එකතු කර ගැනීමයි.

පෘතුගීසින්ට හා ලන්දේසින්ට ලංකාවේ ඒ වන විට තිබුණු රාජකාරි ක්‍රමය ඇතුළේම ඔවුන්ට අවශ්‍ය දේ පහසුවෙන්ම කරගන්න පුළුවන් වුණා. ආණ්ඩුවට අවශ්‍ය මිනිස් ශ්‍රමය වෙනුවෙන් ඔවුන් මුදල් වැය කළ යුතු නොවූ නිසා වියදම් ඉතිරි වුණා. ඒ නිසා, මුදලින් නැතුව ශ්‍රමයෙන් බදු ගෙවන එකේ අවාසියක් තිබුණේ නැහැ. රාජකාරි ක්‍රමයට අස්වැන්නෙන් කොටසක් ලබා දිය යුතු අය ස්වේච්ඡාවෙන්ම එය කළා. රටේ සාමාන්‍ය ජනතාව හා ආණ්ඩුව අතර කටයුතු සම්බන්ධීකරණය කළේ සම්ප්‍රදායික ප්‍රභූන් වූ ඉඩම් හිමි, ඉහළ කුල වල පිරිස් අතරින් තෝරාගත් අයයි.

ඉංග්‍රීසින් ලංකාවට එන විට ලන්දේසින්ගේ කාලය දක්වාම මුහුදුබඩ පළාත් වලත් ක්‍රියාත්මක වුනු බදු ක්‍රමය ඉංග්‍රීසින්ට තේරුම් ගන්න අමාරු තරමේ සංකීර්ණ එකක්. ඉඩම් භුක්ති විඳීමේ හිලවුවට රාජකාරි ක්‍රමයට ඉඩම් ලබාගත් අය අවුරුද්දකට මාස තුනක් ආණ්ඩුවට වැඩ කරනවා. බිං අඳේට ඉඩම් ලබාගත් අය වවන භෝගය අනුව දහයෙන් එකේ සිට දෙකෙන් එක දක්වා නියමිත කොටස ආණ්ඩුවට ගෙවනවා. මුදලි තනතුරට හා එයින් පහළ තනතුරු වලට පත් කර තිබුණු අය මේ කටයුතු සම්බන්ධීකරණය කරනවා. සමහර ඉඩම් වල බිං අඳේ ගන්නේ මේ අයයි.

ඉංග්‍රීසීන් පැමිණි ගමන්ම කළේ එක පාරටම මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන එකයි. මේ අනුව ඔවුන් උත්සාහ කළේ සියලුම බදු රිදී වලින්ම අය කර ගන්නයි. ඉඩමේ ප්‍රමාණය අනුව ඇස්තමේන්තු කරන ලද, ලැබිය හැකි අස්වැන්නෙන් බාගයක වටිනාකම බදු ලෙස මුදලින්ම ගෙවිය යුතු බව නියම කෙරුනා. ඒ වන විට අතේ රිදී කාසි ලොකුවට ඉතිරි කරගෙන හිටියේ නැති ලංකාවේ මිනිස්සුන්ට මේ අලුත් බදු ක්‍රමය කොයි තරම් ප්‍රශ්නයක් වුනාද කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ!

වැඩිපුරම ප්‍රශ්නයක් වුණේ 1796 සැප්තැම්බර් 1 සිට ක්‍රියාත්මක වන පරිදි පොල් ගහකට පනම ගානේ දමපු බද්දයි. මේක අලුත් බද්දක්ම නොවුනත් ලන්දේසින්ගේ කාලේ ඔය බද්ද ක්‍රියාත්මක වී නොතිබුණු නිසා මිනිස්සුන්ට සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුණු එකක්.

මේ අලුත් බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් මදුරාසියෙන් රැගෙන ආ නිලධාරීන් ඔමිල්දාර්ලා ලෙස හා ඔවුන්ගේ පහළ නිලධාරීන් ලෙස පත් කළා. ඒත් එක්කම ඒ වන විට වරප්‍රසාද ලබමින් සිටි මුදලි, ආරච්චි ආදී තනතුරු වල සිටි අයට මෙතෙක් ලැබුණු වරප්‍රසාද නැති වුණා. දකුණු ඉන්දියාවෙන් ආනයනය කළ අයව ඔමිල්දාර්ලා ලෙස හා එයින් පහළ පේෂ්කාර්, පට්ටකාරර් ආදී තනතුරු වලට පත් කෙරුණා.

ඉංග්‍රීසින් යටතේ බදු ආදායම් එකතු කරන එක සෑහෙන තරමකට පුද්ගලීකරණය වෙලයි තිබුණේ. මේ ක්‍රමය යටතේ කිසියම් ප්‍රදේශයක කිසියම් බද්දක් එකතු කිරීමේ අයිතිය වෙන්දේසියේ විකුණලා වැඩිම ඉල්ලුම්කරුට දෙනවා. ඕක ඊජිප්තුව, රෝමය, ග්‍රීසිය වගේ රටවලත් ක්‍රියාත්මක වූ ක්‍රමයක්. ඊට පස්සේ බදු එකතු කර ගැනීම වෙන්දේසියෙන් දිනන පුද්ගලයාගේ වැඩක්. ආණ්ඩුවට ගෙවන්න පොරොන්දු වූ මුදල එකතු කරගන්න බැරි වුනොත් පාඩු වෙනවා. වැඩිපුර එකතු කරගත්තොත් ලාබ. ආණ්ඩුවේ පැත්තෙන් ගත්තහම බදු ආදායම් සම්බන්ධ අවිනිශ්චිතතාවය නැතුව යනවා.

මේ ක්‍රමයේ තිබුණු ප්‍රධාන ප්‍රශ්නය තමයි වෙන්දේසිය දිනන පුද්ගලයින් විසින් බදු එකතු කර ගැනීම සඳහා මිනිස්සුන්ව විශාල ලෙස පීඩාවට පත් කිරීම. විශේෂයෙන්ම ඒ වගේ තත්ත්වයක් වලක්වන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන විට.

ලංකාව ඉංග්‍රීසින් විසින් අල්ල ගත්තට පස්සේ මේ විදිහට බදු එකතු කිරීමේ කොන්ත්‍රාත් ගත්තු වැඩි දෙනෙක් ආණ්ඩුවේ පහළ ස්ථරය වූ ඔමිල්දාර්ලා වැනි අයමයි. ඒ අය බොහෝ විට බදු එකතු කරන්න යොදාගත්තේ ඔවුන්ගේ පහළ නිලධාරීන්වයි. පහළ මට්ටමේදී යුක්තිය පසිඳලීමේ බලතල තිබුණෙත් ඒ අයටමයි. ඒ නිසා, මේ බදු එකතු කිරීමේ පලහිලව්ව දුර දිග ගියොත් ඒ ගැන පැමිණිලි කරන්න වෙන්නෙත් මේ අයටමයි. වෙන එකක් තබා ඒ දවස් වල ලංකාවේ බ්‍රිතාන්‍ය පරිපාලනයේ ඉහළින්ම සිටි රොබට් ඇන්ඩෲස්ගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලෙස කටයුතු කරපු ජර්විස් උන්නැහේ පවා තමන්ගේ රස්සාවට අමතරව මේ බදු කොන්ත්‍රාත් වැඩේ කරපු කෙනෙක්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!

ඉන්දියාවෙන් ආපු ඔමිල්දාර්ලා කලින් හිටපු මුදලි ආරච්චි පේරු වල ඇත්තෝ වගේ ලංකාවේ මිනිස්සු ගැන යාන්තමින් හෝ කැක්කුමක් තිබුණ අය නෙමෙයි. ඔවුන් වෙනම සංස්කෘතියක හිටපු, වෙනම භාෂාවක් කතා කරපු මිනිස්සු. කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේ අයට බදු එකතු කරගන්න උදවු වෙන්න දකුණු ඉන්දියාවේ ඉඳලා ඒ අයගේ යාලුවෝ නෑදෑයෝ සනුහරෙන් සෑහෙන ප්‍රමාණයකුත් ඇවිත් තියෙනවා. බදු එකතු කිරිල්ල කොහොම වුනාද කියන එක හිතාගන්න පුළුවන්නේ!

මේ අලුත් බදු ක්‍රමය නිසා අලුත් ඉංග්‍රීසි ආණ්ඩුවට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුනා. ආණ්ඩුවේ වැඩ වලට අවශ්‍ය කුලීකරුවන් ඉන්දියාවේදී වගේ දවස් කුලියකට නැත්නම් මාස් පඩියකට බඳවා ගන්න ඔවුන් බලාපොරොත්තු වුවත් කීයක් දුන්නත් කුලී වැඩ කරන්නනම් බෑ කියන එක තමයි සිංහලයන්ගේ ප්‍රතිචාරය වෙලා තියෙන්නේ. ඕනෑනම් රාජකාරී ක්‍රමයට වැඩ කරන්න ඕනෑ දවස් ගාණ වැඩ කරන්නම්. හැබැයි ඔය රිදී කාසි කොච්චර දුන්නත් කුලී වැඩ කරන්න කියලනම් අපිට කියන්න එපා!

අවුරුද්දකටම පනමක ගෙඩි නොහැදෙන කණාටු පොල් ගහකටත් පනමක බද්දක් ගෙවන්න නියම කරලා ඔමින්දාර්ලාගේ මැරයෝ තාඩන පීඩන කරන්න පටන් ගත්තහම දුක කියන්නවත් කෙනෙක් නැති පහතරට මිනිස්සු විශාල අසහනයකට පත් වුණා. තනතුරු නැතිවෙලා හිටපු ආරච්චිලා මුදලිලා ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. පහතරට පුරා කැරැල්ලක් මතු වුණා. තමන්ගේ ආණ්ඩුව වට්ටපු ඉංග්‍රීසින් ගැන කැමැත්තකින් නොසිටි ලංකාවේ පදිංචිව සිටි ලන්දේසීන් කැරළිකරුවන්ට යටින් උදවු කළා.

අන්තිමේදී, මේ අවුල් සහගත තත්ත්වය ගැන කරුණු හොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන්න 1797 අවුරුද්දේ ජූනි 9 වෙනිදා ජෙනරාල් ඩි මියුරන්ගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණා.

ඩි මියුරන් කමිටුවේ නිර්දේශ වල ප්‍රතිඵලයක් ලෙස රාජකාරි ක්‍රමය නැවත ස්ථාපිත කෙරුණා. ඉන්දියාවෙන් ආ නිලධාරීන් ආපසු යැවුනා. ලංකාවේ කලින් හිටපු මුදලි, ආරච්චි ආදීන්ගේ තනතුරු නැවත ලැබුණා. 1797 සැප්තැම්බර් 16 වෙනිදා සිට පොල් බද්ද අහෝසි වුණා.

1798 ඔක්තෝබර් 12 වෙනිදා ෆෙඩ්රික් නෝර්ත් ලංකාවේ පළමුවෙනි ආණ්ඩුකාරයා විදිහට පත් වෙලා ආවා. ලංකාව ඉන්දියාවෙන් ස්වාධීන වෙනම කොළනියක් වුණා. ලංකාවට නිදහස ලැබෙන තුරුම ඒ තත්ත්වය ඒ විදිහටම පැවතුණා.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...