වෙබ් ලිපිනය:

Showing posts with label ගෝඨාභය රාජපක්ෂ. Show all posts
Showing posts with label ගෝඨාභය රාජපක්ෂ. Show all posts

Tuesday, December 31, 2019

ආර්එම්වී එකට සේවකයෝ මදිද?


ජනාධිපති රාජපක්ෂ විසින් හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදෙන්න තෝරාගත් මුල්ම තැනක් වුනේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි. කවුරුත් දන්න බාසාවෙන් ආර්එම්වී එක. මෙය අහම්බයක් නෙමෙයි. ලංකාවේ රජයේ ආයතන වල සිදුවන අක්‍රමිකතා ගැන කතා කරන අයට මුලින්ම මතක් වෙන්නේ රේගුව, ආර්එම්වී එක වගේ තැන්. මම කියන කතාවක් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ විසින්ම මේ කතාව කියනවා. ගෝඨාභය ආර්එම්වී එකට හදිසියේ යන්න ඇත්තේ කාටවත් හදන්න බැරි, අමාරු තැනින් වැඩේ පටන් ගන්නවා කියලා හිතලා වෙන්න ඇති.

ආර්එම්වී එක කියන්නේ ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙකුට තේරුම් ගන්න බැරි තරම් අමාරු සංකීර්ණ වැඩ ගොඩක් සිදු වෙන තැනක් නෙමෙයි. ඒ නිසා, ආර්එම්වී එකේ සේවකයින්ට ගෝඨාභයව අන්දන එක ටිකක් අමාරු වැඩක්. ඔවුන් ඉදිරිපත් කරපු සමහර නිදහසට කාරණා වලට ගෝඨාභය වහාම අනෙක් අතට පිළිතුරු දුන්නා. ඔහු ආර්එම්වී එකේ වැඩ කෙරෙන විදිහ දිහා බැලුවේ පාරිභෝගිකයාගේ පැත්තේ හිටගෙනයි.

ගෝඨාභයගේ විසිට් එක නිසා ආර්එම්වී එකේ වැඩ කටයුතු සිදු වන ආකාරය ගැන පිටත සිටින කෙනෙක්ට සෑහෙන අවබෝධයක් ලබා ගන්න අවස්ථාව සැලසුණා. මේ වෙද්දී ආර්එම්වී එක එහි කටයුතු සෑහෙන ප්‍රමාණයක් ස්වයංකරණය කර ඇති බව පේනවා. බොහෝ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය කාර්යාල වලින් අන්තර්ජාලය හරහා ලබා ගන්නා බවත්, දත්ත පරිගණකගත කිරීම සඳහා යතුරු පුවරු භාවිතා නොකර මෘදුකාංග ඇසුරෙන් ස්කෑන් ඡායාරූප වල අකුරු හඳුනා ගත හැකි තරමට ආර්එම්වී එකේ තාක්ෂණික යටිතලපහසුකම් වැඩි දියුණු වී ඇති බවත් පෙනෙන්න තිබෙනවා.

මේ සියල්ල වෙනුවෙන් පසුගිය කාලයේ සැලකිය යුතු මහජන මුදල් ප්‍රමාණයක් ආයෝජනය කෙරෙන්න ඇති. එය නරක දෙයක් නෙමෙයි. ගෝඨාභය වුනත් ආර්එම්වී එකට එනකොට හිතාගෙන එන්න ඇත්තේ තාක්ෂනය යොදාගෙන කාර්යක්ෂමතාව ඉහළ දැමීම ගැන වෙන්න පුළුවන්. කොහොම වුනත් විසිට් එකෙන් පස්සේ ගෝඨාභය ආපහු යන්නේ ආර්එම්වී එකට තවත් සේවකයින් අනුයුක්ත කළ යුතු බව තීරණය කරගෙන බව පේනවා. ඒ කියන්නේ ඉන්න සේවකයෝ ටිකට මීට වඩා දෙයක් කරන්න අමාරු බව ඔහුට ඒත්තු ගන්වන්න ආර්එම්වී එකේ සේවකයින් සමත් වී තිබෙනවා.

අවශ්‍ය තරමට යටිතල පහසුකම් තියෙද්දී, ඇතැම් වැඩ පෞද්ගලික සමාගමකට අවුට්සෝස් කරලත් තියෙද්දී, පාරිභෝගිකයින්ට අවශ්‍ය මට්ටමේ සේවයක් සැලසෙන්නේ නැත්නම් කරන්න තියෙන්නේ තවත් සේවක පිරිස් අනුයුක්ත කරන එක කියලා ගෝඨාභයට හිතෙන්න ඇති. ඇත්තටම කියනවානම් වීඩියෝව බලමින් මනසින් ගෝඨාභය එක්ක ආර්එම්වී එකේ නිරීක්ෂණ චාරිකාවට සහභාගී වන ඕනෑම කෙනෙකුට ඕක හිතෙනවා.

කියන විදිහට එක සේවකයෙක් දවසකට ෆයිල් දෙසීයක් විතර ගොඩ දානවලුනේ. ගෝඨාභයනම් සමහර දවස් වල ෆයිල් දාහක වැඩ ඉවර කළා කියනවා. ඒ කියන්නේ ෆයිල් එකක වැඩ ඉවර කරන්න මිනිත්තුවක්වත් අරගෙන නැහැ වගේ. අනේ මන්දා! කොහොම වුනත් දවසකට ෆයිල් දෙසීයක් කියන්නේ ටිකක් ලොකු ගාණක්.

ආර්එම්වී එකේ ප්‍රශ්නය සේවකයෝ මදිකමද?

ආර්එම්වී එකේ ඉන්න මුළු සේවකයින් ගණන 876ක්. දෙපර්තමේන්තුවේ වියදම් වෙනුවෙන් 2019 වසරේදී වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 4,129ක්. 2018 වසරේදී වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 3,383ක්. මුළු වියදමෙන් 20%ක් පමණ වැය වී තිබෙන්නේ සේවක වැටුප්, අතිකාල දීමනා ආදිය වෙනුවෙන්.

මේ සේවකයින් විසින් අවුරුද්ද ඇතුළත කරල තියෙන වැඩ මොනවද?

ආර්එම්වී එකෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ පහත කටයුතු තුනයි.
- අලුත් වාහන ලියාපදිංචි කිරීම
- පාව්ච්චි කළ වාහන විකිණීමේදී අයිතිය වෙනස් කිරීම
- රියදුරු බලපත් නිකුත් කිරීම

ආර්එම්වී එකෙන් කෙරෙන වෙනත් කටයුතු බොහොමයක් ඉහත කටයුතු තුනටම සම්බන්ධ කටයුතුයි. මගේ අවබෝධය අනුව ඊට අමතරව ආර්එම්වී එකෙන් කෙරෙනවානම් කෙරෙන්නේ ඉතාම සීමිත කාර්යයන් ටිකක් පමණයි.

පසුගිය 2018 වසර ඇතුළත ආර්එම්වී එකෙන් අලුත් වාහන 479,340ක් ලියාපදිංචි කරලා තිබෙනවා. ඊට අමතරව වාහන හිමිකම් පැවරීම් 666,752ක් කරලා තිබෙනවා. රියදුරු බලපත් 806,600ක් අලුතෙන් නිකුත් කර හෝ අලුත් කරලාත් තිබෙනවා. මේ ටික කරලා තිබෙන්නේ සේවකයින් 876 දෙනෙක් විසින් කියා සැලකුවාම අවුරුද්දක් ඇතුළත එක සේවකයෙක් විසින්,
- රියදුරු බලපත් නිකුත් කිරීම් 921ක්;
- අලුත් වාහන ලියාපදිංචි කිරීම් 547ක්; සහ
- වාහන හිමිකම් පැවරීම් 761ක් ලෙස සාමාන්‍ය වශයෙන් ගණුදෙනු 2,229ක් කරලා තිබෙනවා. මේ ගණනය කිරීමේදී මේ කටයුතු වෙනුවෙන් හවුල් කරගෙන තිබෙන මෙට්‍රොපොලිටන් සමාගමේ සේවකයින් එකතු කරලා නැහැ. පෙනෙන විදිහට ප්ලාස්ටික් කාඩ්පත් මුද්‍රණය කිරීම කරන්නේ ඒ අයයි.

දැන් ප්‍රශ්නය මේ වැඩ ප්‍රමාණය මහා විශාල වැඩ කන්දරාවක්ද කියන එකයි. වෙනත් තැනක් සමඟ සැසඳීමක් නොකර මේ ගැන නිගමනය කරන්න අපහසු නිසා මම ඇමරිකාවේ දත්ත දිහා බැලුවා. ඇමරිකාව ලංකාවට වඩා ගොඩක් විශාල රටක් නිසා මම ලංකාව සමඟ සැසඳිය හැකි ඇමරිකාවේ ප්‍රාන්තයක් තෝරා ගත්තා.

මා තෝරාගත් ඉන්දියානා ප්‍රාන්තයේ මෝටර් රථවාහන කාර්යාංශයේ එහෙමත් නැත්නම් බීඑම්වී එකේ සේවකයින් 1,564 දෙනෙකු ඉන්නවා. ඔවුන් විසින් පසුගිය 2018 වසර ඇතුළත අලුත් වාහන 933,108කට ඔප්පු නිකුත් කර තිබෙනවා. වාහන ලියාපදිංචි කිරීම් 7,335,106ක් කරලා තිබෙනවා. රියදුරු බලපත් (රිය පුහුණුවීමේ බලපත් හා ප්‍රාන්ත හැඳුනුම්පත්ද ඇතුළුව) 2,277,845ක් අලුතෙන් නිකුත් කර හෝ අලුත් කරලාත් තිබෙනවා. කරලා තිබෙන සියළුම ගණුදෙණු ප්‍රමාණය 13,806,802ක්.

මේ අනුව අවුරුද්දක් ඇතුළත එක සේවකයෙක් විසින් ගණුදෙනු 8,828ක් කරලා තිබෙනවා. ලංකාවේ ප්‍රමාණය මෙන් හතර ගුණයක්. ඉන්දියානා බීඑම්වී එකේ වැඩ ලංකාවේ ආර්එම්වී එකේ වගේ පෞද්ගලික සමාගම් වලට අවුට්සෝස් කරලත් නැහැ. මේ සියලු වැඩ කටයුතු කරන්නේ බීඑම්වී සේවකයින් විසින්මයි. මීට අමතරව ඉන්දියානා බීඑම්වී එකේ සේවකයින් විසින් පසුගිය වසර ඇතුළත පාරිභෝගිකයින්ගේ දුරකථන ඇමතුම් 1,809,244කටත් පිළිතුරු දී තිබෙනවා. බීඑම්වී එකට පැමිණි පාරිභෝගිකයෙකුට වැඩේ කර ගන්න ගත වී තිබෙන සාමාන්‍ය කාලය මිනිත්තු 18කුත් තත්පර 37ක් පමණයි.

ඇමරිකාවේ රජයේ කාර්යාල බොහොමයකම පාරිභෝගිකයින්ට තමන්ට ලැබුණු සේවාවේ තත්ත්වය ගැන දැනුම් දෙමින් බොත්තමක් එබීමේ අවස්ථාව තිබෙනවා. පිටවීමේ දොරටුව අසළ තිබෙන කොළ පාට හිනා මූණු බොත්තම හෝ රතු පාට ඇඹුල් වූ මූණ ඔබා ගෙන යන එකයි කරන්න තියෙන්නේ. ඇමරිකාවේ තිබෙන මේ මූණු බොත්තම් එබීම ගැන හොඳින් දන්නා ගෝඨාභය විසින් ආර්එම්වී එකට පැමිණ සිටින අයගෙන් අහන්නෙත් මේ මූණු ප්‍රශ්නයයි. හොඳ සන්නිවේදකයෙක් නොවන ඔහුට ප්‍රශ්නය හරියටම කටට එන්නේ නැහැ. ඉන්දියානා බීඑම්වී එකට පැමිණි පාරිභෝගිකයින්ගෙන් 96.83%ක්ම තමන්ට ලැබුණු සේවාව ගැන සතුටු වන බව පවසා තිබෙනවා.

ලංකාවේ ආර්එම්වී එකට එන කෙනෙකුට අඩුම වශයෙන් පැය තුන හතරක්වත් රස්තියාදු වෙන්න වෙන බව පේන්න තිබෙනවා. ඇමරිකාවේ මේ වැඩේ මිනිත්තු 18ක් ඇතුළත වෙන්නේ තාක්ෂනය වැඩිපුර යොදාගන්නා නිසානම් නෙමෙයි. ලංකාවේ තාක්ෂනය පේන හැටියට වඩා දියුණුයි. ඇමරිකාවේ බීඑම්වී සේවකයින් දත්ත පරිගණකයට ඇතුළු කරන්නේ යතුරු පුවරුව යොදාගෙනයි. ලංකාවේ ඇතැම් තොරතුරු කෙළින්ම ස්කෑන් කිරීමේ පහසුකම තිබෙන බව පේනවා. එහෙමනම් ලංකාවේ අකාර්යක්ෂමතාවයට හේතුව කුමක්ද?

මම හිතන විදිහට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව සුළු වැඩක් පවා කරන්න නිලධාරීන් හත් අට දෙනෙකු සම්බන්ධ වීම. පෝරමය නිකුත් කරන්න එක්කෙනෙක්. මුදල් ගන්න තව කෙනෙක්. ලිය කියවිලි පරීක්ෂා කරන්න තවත් කෙනෙක් ආදී වශයෙන්. ඉතින් පාරිභෝගිකයා කවුන්ටරෙන් කවුන්ටරේට යන්න ඕනෑ. ඇමරිකාවේදීනම් ඔය කටයුතු සියල්ලම කරන්නේ එකම නිලධාරියා විසිනුයි. යම් හෙයකින් දෙවැන්නෙක් වෙත යා යුතුනම් එසේ යන්නේ එම නිලධාරියා මිස පාරිභෝගිකයා නෙමෙයි. ලංකාවේ ගොඩක් රාජ්‍ය ආයතන වල අකාර්යක්ෂමතාවයට හේතුව ඉංග්‍රීසින්ගෙන් ලැබුණු, දැන් ඔවුනුත් වෙනස් කරගෙන තිබෙන මේ ක්‍රමවේදයයි. මෙය වෙනස් විදිහටකට වෙන තැනක් ලෙස රාජ්‍ය බැංකුද ඇතුළු ලංකාවේ බැංකු පෙන්වන්න පුළුවන්. ලංකාවේ බැංකු වල සාපේක්ෂ කාර්යක්ෂමතාවයට මෙය ප්‍රධාන හේතුවක්.

ආර්එම්වී එකේ අකාර්යක්ෂමතාවයට දෙවන හේතුව ලෙස මට පෙනෙන්නේ පරිගණක ඇසුරෙන් ස්වයංක්‍රීය ලෙස ලබා ගන්නා තොරතුරු නිලධාරියෙකු හෝ කිහිප දෙනෙකු විසින් නැවත පරීක්ෂා කරන්නට යාම. කිසියම් ක්‍රියාවලියක් පරිගණකගත කළාට පස්සේ නැවත එය පුද්ගලයෙකු විසින් පරීක්ෂා කරන්න යාම අනවශ්‍ය වැඩක්. එහෙම වෙනවානම් කොතැනක හෝ වැරැද්දක් තිබෙනවා.

මේ අඩුපාඩු දෙක හදා ගත්තොත් ආර්එම්වී එකේ දැනට ඉන්න සේවකයින් ප්‍රමාණය ඕනෑවටත් වැඩි වෙයි කියන එක මගේ අදහසයි.

අවුරුද්දත් ඉවරයිනේ. හැමෝටම සුබ නව වසරක්!

(Image: https://srilankamirror.com/news/15512-another-scam-at-rmv-this-time-4-billion)

Saturday, December 28, 2019

හාල් කඩේට ගෝටා පැනීම


සතියකට පමණ පෙර (දෙසැම්බර් 18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කලින් නොදන්වා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබුණා. ඉන් පසුව, ඒ ආකාරයටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහලට ගිහින් තිබුණා.

ලංකාවේ සිටි ජනාධිපතිවරුන් අතරින් මේ ආකාරයේ හදිසි නිරීක්ෂණ චාරිකා සඳහා ප්‍රසිද්ධව සිටියේ රණසිංහ ප්‍රේමදාසයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභයගේ ප්‍රතිවාදියා වූ සහ රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස විසින්ද ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියකදී කියා තිබුණේ තමන් බලයට පත් වූ පසු මෙවැනි හදිසි නිරීක්ෂණ චාරිකා වල නිරත වීමට බලාපොරොත්තු වන බවයි.

ජනාධිපති කියා කියන්නේ රටේ විධායකයේ ප්‍රධානියා. රටේ පවතින නීති පද්ධතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන බවට වග බලා ගත යුත්තේ විධායකයයි. ලංකාවේ රාජ්‍ය ආයතන වලින් වැඩි ප්‍රමාණයක් සැලකිය හැක්කේ විධායකයේ කොටස් ලෙසයි. ඒ නිසා මේ ආයතන අකාර්යක්ෂමනම් එහි වගකීම මුලින්ම වැටෙන්නේ විධායක ජනාධිපතිටයි.

තමන් යටතේ තිබෙන රාජ්‍ය ආයතන ගණනාවක්ම ඉතා අකාර්යක්ෂම බව ජනාධිපති ගෝඨාභය විසින් විශ්වාස කරන බව පේනවා. ඔහු ඒ බව සෘජුවම කියනවා. රටේ බොහෝ දෙනෙක් හිතන්නේත් මේ ආකාරයටයි. තමන්ගේ යටතේ තිබෙන රාජ්‍ය ආයතන අකාර්යක්ෂමනම් එම ආයතන කාර්යක්ෂම කිරීමේ වගකීම විධායක ජනාධිපතිවරයා සතුයි.

ඉඳහිට මෙවැනි හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදීමේ වරදක් නැතත් තමන්ගේ යටතේ තිබෙන ආයතනයක් කාර්යක්ෂම කිරීම සඳහා විධායක ජනාධිපති විසින් "හදිසි නිරීක්ෂණ චාරිකා" වල යෙදිය යුතුම නැහැ. ජනාධිපති හා රාජ්‍ය සේවයේ පහළම ස්ථරය අතර නිලධාරීන් ගණනාවක් සිටිනවා. විධායකයේ ප්‍රධානියා විසින් පහළ ස්ථර වලට නියෝග දිය යුත්තේ මේ ධුරාවලිය හරහායි. ඒ වෙලාවේ මොනවා කිවුවත්, ගෝඨාභයගේ හදිසි නිරීක්ෂණ චාරිකා වලින් පසුවත්, ජනාධිපතිවරයාගේ නිල විධාන  පහළට පැමිණෙනු ඇත්තේ මේ ධුරාවලිය හරහා කියා මම හිතනවා.

කොහොම වුනත් කිසියම් ධුරාවලියක ඉහළින්ම සිටින කෙනෙක් මේ ආකාරයට සඳළු තලෙන් කාණුවටම බහින්නේ ධුරාවලියේ අතරමැද ස්ථර පිළිබඳ විශ්වාසයක් නොමැති වූ විටයි. ගෝඨාභය විසින් පෙන්නුම් කර තිබෙන්නේ ඔහුට තමන්ගේ නිලධාරී තන්ත්‍රය හා කැබිනට් මණ්ඩලය පිළිබඳ වැඩි විශ්වාසයක් නැති බවයි. ජනාධිපතිවරයකුට කටයුතු කරන්න වෙන්නේ තමන් විසින් පත් නොකළ, තමන්ට "ලැබී තිබෙන" රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්කයි. එහෙත්, එහි ඉහළම ස්ථර සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා සතුයි. අමාත්‍යවරුන් තෝරා ගැනීමේදී එය කරන්න වෙන්නේ ජනතාව විසින් තෝරා පත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් නිසා ජනාධිපතිවරයා සතුව තිබෙන්නේ සීමිත තේරීමක්.

ලොක්කෙක්ට තමන්ගේ කණ්ඩායම ගැන විශ්වාසයක් නැති වෙන්න හේතු දෙකක් තිබෙනවා. එකක් කණ්ඩායම ඇත්තටම විශ්වාසය තැබිය නොහැකි එකක් වීම. දෙවැන්න ලොක්කා තමන් පිළිබඳව අධිනිශ්චයකට පැමිණීම. මේ තත්ත්ව දෙකම භයානකයි. දෙවැන්න වඩා භයානකයි.

ලොක්කෙක් තමන් පිළිබඳව අධිනිශ්චයට පැමිණුනු විට කරන දෙයක් වන්නේ අතරමැද ස්ථර සියල්ල බයිපාස් කර පහළ ස්ථර වලට සෘජුව නියෝග දීමයි. ආරම්භයේදී මේ වැඩේ නැගලා යනවා. කාලයක් තිස්සේ සිදු නොවුණු දේවල් ඉතා ඉක්මණින් සිදු වෙනවා. ගොඩක් අය ලොක්කාව අගය කරන්න පටන් ගන්නවා. පොඩි ලොක්කන් අප්‍රසාදයට පත් වෙනවා. හැබැයි සාමාන්‍ය නිරීක්ෂණය මේ වැඩේ පහු පහු වෙද්දී කොහු කොහු වෙන බවයි.

මේ වැඩේට ප්‍රසිද්ධව සිටි රණසිංහ ප්‍රේමදාස ඔය පුරුද්ද පටන් ගත්තේ අඩු වශයෙන් අගමැතිව සිටි කාලයේ සිටයි. රණසිංහ ප්‍රේමදාස විසින් හැම දෙයක් ගැනම සෘජුව පහළටම හොයා බලන බව දැන සිටි නිසා ඔහු යටතේ පැවති ආයතන වල සේවය කළ අයට හැම විටම මේ ගැන සැලකිලිමත්ව ඉන්න සිදු වී තිබුණා. "හදිසි නිරීක්ෂණ චාරිකා" වලදී ඔහු ක්ෂණික විධාන ලබා දුන්නා. ඉන් පසු මේ විධාන ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලුවා. ඒ නිසා, බොහෝ වැඩ කාර්යක්ෂම ලෙස කෙසේ වුවත් කාර්යක්ෂම සේ පෙනෙන ලෙස සිදු වුනා. ප්‍රේමදාසගේ වැඩ කිරීමේ පිළිවෙළ ප්‍රසාදයට ලක් වුනා.

කොයි තරම් විචක්ෂණශීලී පුද්ගලයෙකුට වුවත් හැම විටම හොඳම තීරණ ගන්න බැහැ. කාගේ වුවත් දැනුමේ හා තීරණ ගැනීමේ හැකියාවේ සීමාවන් තිබෙනවා. ඉංජිනේරුවෙක් කළ යුතු දෙයක් බාස් කෙනෙක්ට කළ හැකියි කියා ලොක්කෙක්ට හිතෙන්න පුළුවන්. ලොක්කා තමන්ගේ මතය ගැන අධිනිශ්චයක ඉන්නත් පුළුවන්. කලක් යද්දී වෙනත් අයට ලොක්කාගේ මේ සීමාවන් හඳුනා ගන්න ලැබෙනවා. ඉන් පසුව, ඕනෑම ලොක්කෙක්ව පහසුවෙන් අන්දන්න පුළුවන්. ලොක්කා අධිනිශ්චයක ඉන්නා තරමට වැඩේ පහසුයි.

ඒ දවස් වල රණසිංහ ප්‍රේමදාස කොහේ හෝ විවෘත කිරීමකට එන කොටස අවුරුදු ගණන් වලවල් හැදී තිබුණු පාරවල් එක සතියෙන් කාපට් වෙනවා. හරියට වෙස්සන්තර වංක ගිරියට යන කොට වගේ. හැබැයි ඔහොම හදිස්සියට හදන පාරවල් කිරි කිරියට තියෙන්නෙත් මාස දෙක තුනයි. ඒ නිසා ජනප්‍රසාදය වෙනුවට ලොක්කා ගොන්පාර්ට් එකක් වෙන එකයි වෙන්නේ.

හදිසි නිරීක්ෂණ චාරිකා වැඩි වුනොත් ඕක ගොඩක් අයට ඇණයක් වෙනවා. ඊට පස්සේ ඔය තැන් වල මිනිස්සු හිතන්නේ කොයි වෙලාවේ මොකා ආවත් කමක් නැහැ කියා තමන්ගේ වැඩේ පිළිවෙලට කරන්න නෙමෙයි. හදිසියේ ලොක්කා කඩා පනින එකට සූදානම් වන්නේ කොහොමද කියලයි. ඒ අනුව, ලොක්කා යන එන තැන් ගැන සහ ඊළඟට කඩා පනින්න වඩාත් ඉඩ තිබෙන තැන් ගැන හොයා බලා ඔත්තු සපයන්න යාන්ත්‍රණ හැදෙනවා. ගෝඨාභයගේ කතාවටම ආවොත් දේශීය ආදායම්, රේගුව වගේ තැන් දැනටමත් ගෝඨාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට මුහුණ දෙන්න සූදානම් වෙමිනුයි ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හෝ කලින් ගිය හාල් කඩේ ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙකුට තේරුම් ගන්න බැරි රොකට් සයන්ස් එකක් නැහැ. ඒ නිසා, ගෝඨා තමන් ගැන අධිනිශ්චයක ඉන්නවාද නැද්ද කියා එකවර නිගමනයකට එන්න බැහැ. බොහෝ විට ගෝඨාගේ ප්‍රශ්නය තමන්ගේ කණ්ඩායම ගැන සහතිකයක් නැති වීම වෙන්න පුළුවන්. ප්‍රශ්නය ඒකනම් මුලින්ම කරන්න තියෙන්නේ තමන්ගේ ටීම් එකේ අඩුපාඩු හදාගන්න එකයි. හොඳ පරිපාලකයෙක්, හොඳ විධායකයෙක් කියා කියන්න පුළුවන් එවැනි කෙනෙකුට මිසක් රෑට රෑට ජනතාවගේ දුක සැප හොයන්න ගෙවල් වලට රිංගන කෙනෙක්ට නෙමෙයි.

(Image: http://www.businessnews.lk/blog/2019/12/27/president-gotabaya-rajapaksa-visits-werahera-rmv-office-and-kdu-hospital/)

Thursday, December 19, 2019

බඩු මිල, බදු හා උද්ධමනය


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී දැන් මාසයක් වෙනවා. මේ කාලය ඇතුළත අලුත් ආණ්ඩුව විසින් කළ කී දේ වලින් චම්පික රණවකව අත් අඩංගුවට ගන්නා තුරු වැඩිපුරම කතා බහට ලක් වුනේ බදු අඩු කිරීමයි. බදු අඩු කිරීම නිසා අලුත් ආණ්ඩුව විසින් කෙටිකාලීනව වගේම දිගුකාලීනවත් විශාල පාඩුවක් කර ගෙන අවසන්. නමුත්, ඒ පාඩුවට හරියන වාසියක් ආණ්ඩුවට ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ.

රාජපක්ෂ පවුල ඇතුළේ ආර්ථික විශේෂඥයින් නැහැ. රාජපක්ෂලාට බදු අඩු කරන්න උපදෙස් දෙන්න ඇත්තේ ඔවුන් වටා ඉන්න ආර්ථික විශේෂඥයින් විය යුතුයි. පසුගිය ආණ්ඩුව බදු අනුපාතික විශාල ලෙස වැඩි කළා. ඒ හේතුව මත රනිල්ව බොහෝ විට සමච්චලයට ලක් වුනා. එහෙත්, රනිල්ගේ බදු ගැන විවේචන ප්‍රචාරණය කළේ පොදුජන පෙරමුණේ හා ජවිපෙ පාක්ෂිකයින් විසිනුයි. ඒ හැර සාමාන්‍ය ජනතාව අතර ඇත්තටම බදු විරෝධයක් ඇති වී තිබුණේ නැහැ. පැවති ආණ්ඩුවට බොහෝ දෙනෙකුගේ තිබුණු අකැමැත්ත ප්‍රකාශ කිරීමේදී බදු ගැහීම ගැනත් විවේචන කළත්, රනිල්ගේ බදු නිසා ඇත්තටම බඩු මිල මිනිස්සුන්ට දැනෙන තරමට වැඩි වී තිබුණේ නැහැ.

මිනිස්සුන්ට බඩු මිල ප්‍රශ්නයක් වී නොතිබුණු නිසාම බදු කැපිල්ලත් මිනිස්සුන්ට ලොකුවට දැනී නැහැ. ඇත්තටම බදු කැපුවා කියා බඩු මිල අඩු වෙලත් නැහැ. බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල පසුගිය මාසය තුළ වැඩි වී මිස අඩු වී නැහැ. එසේ මිල වැඩි වීමට ප්‍රධාන හේතුව බදු කැපීම කියා කියන්න පුළුවන්කමක් නැතත්, බදු අඩු කිරීම නිසා බඩු මිල අඩු වී නැති බවනම් පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂටම හාල් කඩ ගානේ රස්තියාදු වෙන්න වී තිබීමෙන් පේන්නේ වැඩේ හරි නොගිය බව ඔහුටත් තේරී ඇති බවයි.

උද්ධමනය හා ජීවන වියදම කියන්නේ එකම දේ නෙමෙයි. ආර්ථික විද්‍යාඥයින් උද්ධමනය ලෙස හඳුන්වන්නේ භාණ්ඩ හා සේවා වල වටිනාකමට සාපේක්ෂව රටේ මුදල් ඒකකයේ වටිනාකම අඩු වීමටයි. ඒ නිසා, ලංකාවේ උද්ධමනය රුපියල් වලින් ගනුදෙනු කරන කාටත් එක සේ දැනෙනවා. නමුත්, ජීවන වියදම කියන එක එක් එක් පුද්ගලයාගේ ජීවන විලාසිතා මත තීරණය වන දෙයක්. බෝංචි කිලෝවක් රුපියල් දාහට ගියත් බෝංචි නොකන කෙනෙකුගේ ජීවන වියදමට එය බලපාන්නේ නැහැ. එහෙත්, එය ඔහුගේ හෝ ඇයගේ අතේ තිබෙන රුපියල් වල වටිනාකමට බලපානවා.

සැපයුම් සාධක මත තාවකාලිකව බෝංචි මිල හෝ රතු ළූණු මිල ඉහළ ගියා කියා රටේ උද්ධමනය වැඩි වෙන්නේ නැහැ. උද්ධමනය වැඩි වෙන්නේ රටේ මුදල් සැපයුම වැඩි කළ විටයි. රටේ සෑම භාණ්ඩයකම හා සේවාවකම මිල ගණන් පරීක්ෂා කරන එක පහසු දෙයක් නොවන නිසා, උද්ධමනය මැනීම සඳහා යොදා ගන්නා මිල දර්ශකයක තිබෙන්නේ තෝරා ගත් භාණ්ඩ හා සේවා දෙතුන් සීයක් පමණයි. නමුත්, උද්ධමනය කියන සංකල්පයෙන් අදහස් වෙන්නේ මේ භාණ්ඩ දෙතුන් සීයේ මිල නෙමෙයි. රජයකට තෝරාගත් භාණ්ඩ වල මිල ටින්කරින් කරන්න පුළුවන් වුනත්, හොර පාරෙන් උද්ධමනය අඩු කරන්න බැහැ.

බදු අඩු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට රටේ මිනිස්සු අතේ රැඳෙන මුදල් ප්‍රමාණය ඉහළ ගියත්, රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සමානුපාතිකව ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, මිනිස්සුන්ගේ ආදායම් වැඩි වූ විට වැඩි වැඩියෙන් මිල දී ගන්න පෙළඹෙන භාණ්ඩ හා සේවා වල මිල මුලින්ම ඉහළ යනවා. මේ බොහෝ භාණ්ඩ ආනයනික භාණ්ඩ නිසා බදු අඩු කිරීමේ ප්‍රතිඵලය රටේ ගෙවුම් ශේෂයට නරක විදිහට බලපානවා. විණිමය අනුපාතිකය මත පීඩනය වැඩි වෙනවා.

උදාහරණයක් විදිහට උපයන විට ගෙවීමේ බද්ද ගත්තොත් මේ බද්ද අහෝසි කිරීමේ වාසිය ලැබුණේ රටේ මැදි ආදායම් ලබන ස්ථරයකට. මේ අය නොකා නොබී බඩගින්නේ සිටි අය නොවන නිසා හාල් පොල් ඉල්ලුම අමුතුවෙන් වැඩි වෙන්නේ නැහැ. නමුත්, දේශීය නිෂ්පාදන වලින් අළුත් මාළු, කුකුළු මස්, කැරට් බෝංචි වගේ "පොෂ්" එළවළු, බාස්මතී වගේ මිල අධික හාල් ආදියට ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම, චීස්, බටර්, කිරිපිටි වගේ ආනයනික ආහාර ඉල්ලුමත්, පෞද්ගලික වාහන සඳහා ඉන්ධන ඉල්ලුමත්, මත්පැන් ඉල්ලුමත් වැඩි වෙන්න පුළුවන්. මේ උදාහරණ කිහිපයක්. ආනයනික ද්‍රව්‍ය වලට ඉල්ලුම වැඩි වෙද්දී ආනයන වැඩි වැඩියෙන් රටට එන නිසා සැපයුමේ අඩුවක් සිදු නොවුණත් අළුත් මාළු, එළවලු වගේ දේවල් වල සැපයුම වැඩි නොවන නිසා මිල ඉහළ යාම වලක්වන්න අමාරුයි.

අයහපත් කාලගුණ තත්ත්වයක් නිසා මාළු සැපයුම අඩු වූ වහාම මේ කරුණ පැහැදිලිව පෙනෙයි. සැපයුම අඩුවෙන කොට කොහොමටත් මාළු මිල වැඩි වෙනවා තමයි. නමුත්, රටේ මුදල් සංසරණය වැඩි වී තිබෙන වෙලාවක මේ බලපෑම ගොඩක් වැඩියි. මොකද මිල ඉහළ ගියත් මාළු ගන්න අය ඉන්නවා. බෝංචි මිලට වුනත් යම් තරමකින් සිදු වී තියෙන්නේ මේ සන්තෑසියම තමයි.

අවසාන වශයෙන් මුළු පීඩනයම එන්නේ විණිමය අනුපාතිකයට. අයවැය හිඟය පුළුල් වෙමින් තියෙද්දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරලා මුදල් එකතු කරන එකත් වඩා අමාරු වෙනවා. පහුගිය ආණ්ඩුවත් මුලදීම රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරලා මේ වගේම අමාරුවක වැටුණා. ඉන් පසුව, බදු වැඩි කරන්න සිදු වුනේ ඒ වැටුණු වලෙන් ගොඩ යන්නයි.

Thursday, November 21, 2019

අයියාට මේ රජ ගේ...


මහින්ද රාජපක්ෂ තෙවන වරටත් ලංකාවේ අගමැති සේ දිවුරුම් දී තිබෙනවා. ජනාධිපතිවරණයකින් පසුව ආණ්ඩුව මාරු වීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් නැතත්, රනිල් වික්‍රමසිංහ විසින් ජනමතය වෙනස් වී ඇති ආකාරය තේරුම් ගෙන අගමැති කමින් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීම නිසා බල හුවමාරුව සුමට ලෙස සිදු වී තිබෙනවා. ඉදිරියේදී නැවත වටයකින් සිදු වීමට නියමිත එජාපයේ බිඳ වැටීමෙන් පසුව රාජපක්ෂ වරුන්ගේ දේශපාලන බලයට නුදුරු කාලයක ලොකු අභියෝගයක් ඇති වීමේ හැකියාවක් පෙනෙන්න නැහැ.

මෙවර මහින්ද රාජපක්ෂ අගමැති සේ දිවුරුම් දෙන්නේ තමන්ගේ බාල සහෝදරයා ඉදිරිපිටයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්. ඡායාරූපයේ වම් පසින් ඉන්න පී බී ජයසුන්දර එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම්. 2015 පරාජය දක්වා ආණ්ඩුවේ බරෙන් විශාල කොටසක් ඇද්දේ මේ තුන් දෙනා කියා කියන්න පුළුවන්. ඒ කාලයේ සිදු වූ හොඳ හෝ නරක බොහෝ දේවල් වලට මේ තිදෙනාගෙන් අයෙකුගේ කවර හෝ සම්බන්ධයක් තිබුණා. එවැනි තවත් කිහිප දෙනෙක්ද සිටියා.

අලුතෙන් පිහිටවනු ලබන ආණ්ඩුව ඇතුළේ පරණ රාජපක්ෂ ආණ්ඩුවේ මූණුම දකින්න ලැබුණොත් එහි ලොකු පුදුමයක් නැහැ. එහෙත්, අලුත් ආණ්ඩුව පරණ රාජපක්ෂ දශකයේම දිගුවක් වෙයි කියා කියන්න බැහැ. ප්‍රධාන පුද්ගලයින් එසේම සිටියත් ඔවුන්ගේ අලුත් භූමිකා පරණ ඒවාම නෙමෙයි. ගෝඨාභය හා මහින්ද සොහොයුරන් වුවත් ඔවුන් දෙදෙනා අතර මූලික වෙනස්කම් ගණනාවක් තිබෙනවා. මේ වෙලාවේ බලාපොරොත්තු තියන්න වෙන්නේ මේ වෙනස්කම් සංයෝජනය වීම තුළින් ලැබිය හැකි හොඳ ප්‍රතිඵල පිළිබඳවයි. මෙය විස්තරාත්මකව කතා කළ යුතු කරුණක්. දැන් එයට අවස්ථාව නෙමෙයි.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහේ ඇදගෙන ගියත් අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ. අලුත් ආණ්ඩුවටත් මහ මැතිවරණය වන තුරු තරමක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව පරණ ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම ගැන හිත හිතා ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ.

වැඩි විස්තර පසුව කතා කරමු! දැනට අපි අලුත් ආණ්ඩුවට සුබ පතමු!!


Sunday, November 17, 2019

නව ජනාධිපතිට සුබපැතුම්!


මේ වන විට, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිල වශයෙන්ම නිකුත් වී අවසන්. මෙතෙක් ලංකාවේ පැවැති අනෙකුත් ජනාධිපතිවරණ සියල්ලේදීම සිදු වූ අයුරින් මෙවරත් ජයග්‍රාහකයා විසින් පහසුවෙන් 50% ඉලක්කය පසු කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රතිශතය 52.25%ක්. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතය 41.99%ක් පමණයි. ජවිපෙ ඡන්ද ප්‍රතිශතය මීට පෙර ජනාධිපතිවරණ වලදී එම පක්ෂයේ අපේක්ෂකයින් විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශත වල මට්ටමින් පහතට වැටී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය, ඉතා පැහැදිලිව නොවූවත්, මුල සිටම පෙනෙන්නට තිබුණු දෙයක්. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ හා එම පෙරමුණ සමඟ එක්ව කටයුතු කළ අනෙකුත් කණ්ඩායම් විසින් 43%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එජාපය හා සජිත්ට සහයෝගය දුන් දෙමළ, මුස්ලිම් පක්ෂ හා කණ්ඩායම් සියල්ලම විසින් ලබා ගත්තේ 36%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ශ්‍රීලනිපය/එජනිසය විසින් 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ජනාධිපතිවරණයේදී එම ඡන්ද වලින් 75%ක් පමණ ගෝඨාභය රාජපක්ෂ විසිනුත් ඉතිරි 25% සජිත් ප්‍රේමදාස විසිනුත් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව ජවිපෙ ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක්ද සජිත් ප්‍රේමදාස වෙත විතැන් වී තිබෙනවා.

ඡන්ද ප්‍රතිඵලයේ තිබෙන කණගාටුදායකම කරුණ ජනවාර්ගික ධ්‍රැවීකරණයයි. ගෝඨාභය රාජපක්ෂ විසින් මුළුමනින්ම වාගේ ලබාගෙන තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්දයි. උතුරු නැගෙනහිර මෙන්ම, පුත්තලම හා මාවනැල්ල වැනි තැන් වලත්, මීගමුවේ හා වත්තලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් දැකිය හැක්කේ වෙනත්ම රටාවක්. ගෝඨාභය රාජපක්ෂට දිවුරුම් දෙන්න සිදු වී තිබෙන්නේ බෙදුණු රටක ජනාධිපති ලෙසයි. සුළුතර වාර්ගික කණ්ඩායම් වල සහයෝගය නොලබා ජනාධිපති වීම සතුටු විය හැකි කරුණක් නෙමෙයි. අනෙක් අතට බහුතර කණ්ඩායමේ සහාය නොලබන අයෙකු සුළුතරයේ බහුතර කැමැත්තෙන් ජනාධිපති සේ පත් වූවානම් එය ඊටත් වඩා අවුලක්.

ජනාධිපතිවරණ සමයේ කවුරු මොනවා කිවුවත් ගෝඨාභය රාජපක්ෂට භාරගන්න වෙන්නේ මෙතෙක් තිබුණු රට මිස අමුතු අලුත් රටක් නෙමෙයි. ජනාධිපති හෝ ආණ්ඩුව වෙනස් වුනා කියා රට හමුවේ තිබෙන අභියෝග වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. පහුගිය ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ ආර්ථිකය වැටෙන්න නොදී අල්ලාගෙන හිටියත් එහි ආකෘතිමය ප්‍රශ්න තවමත් එසේම තිබෙනවා. ආණ්ඩුව වෙනස් වුනා කියා ඒ ප්‍රශ්න වල ස්වරූපය එක රැයින් වෙනස් වන්නේ නැහැ.

දේශපාලනිකව බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ හමුවේ තිබෙන ලොකුම අභියෝගය වන්නේ අත පුච්චා නොගනිමින් ඔහුව බලයට පත් කළ සිංහල බෞද්ධ බහුතර කණ්ඩායමේ අපේක්ෂාවන් ඉටු කිරීමයි. එක් වැරදි තීරණයකින් වීරයා ද්‍රෝහියකු වෙන්න පුළුවන්. තවත් කියන්න බොහෝ දේවල් තිබෙනවා. ඒවා පසුවට තියමු.

අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපේ සුබ පැතුම්!



Saturday, November 16, 2019

කවුරු දිනයිද?


ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ඉදිරි පැය කිහිපය ඇතුළත නිකුත් වීමට නියමිතයි. අවසන් ප්‍රතිඵලය ගැන නිශ්චිතව යමක් කියන්න තවමත් කල් වැඩියි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස හැර වෙනත් අයෙකු විසින් ජනාධිපතිවරණය ජය නොගන්නා බව ඉතා පැහැදිලියි. 

තැපැල් ඡන්ද හෝ දකුණේ දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රකාශ වී ඇති ආකාරය දෙස පමණක් බලා සමස්ත ප්‍රතිඵලය ගැන ස්ථිරව යමක් කිව නොහැකි වුවත් ඡන්ද භාවිතා වී ඇති ආකාරයේ දිශානතීන් ගැන යම් අදහසක් ගත හැකියි. ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස විසින් පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගන්නනම්, වලංගු ඡන්ද වලින් 50%ක් ලබා ගත යුතුයි. අපගේ ඇස්තමේන්තු අනුව මේ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලක්ෂ 66කට ආසන්න ප්‍රමාණයක්. 

ගෝඨාභය හෝ සජිත් විසින් මේ ඡන්ද ප්‍රමාණය ලබා ගන්නනම්, එක් එක් දිස්ත්‍රික්කයෙන් කොපමණ ඡන්ද ප්‍රමාණයක් ඉලක්ක කළ යුතුද? අප විසින් පහත වගුව සකස් කර තිබෙන්නේ එක් එක් අපේක්ෂකයාට එක් එක් දිස්ත්‍රික්කය තුළ තිබෙන ශක්තිය සලකා බලමිනුයි. කිසියම් දිස්ත්‍රික්කයක් තුළ යම් අපේක්ෂකයෙකු අවශ්‍ය ඉලක්ක මට්ටම ආසන්නයට පැමිණ නැත්නම් එයින් පෙනෙන්නේ ඒ අපේක්ෂකයාට 50% ඉලක්කයට යාම අපහසු බවයි. නිල ප්‍රතිඵල ලැබෙන විට මේ වගුව යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

Gotabaya Rajapaksa Sajith Premadasa
Required Current Required Current
Sri Lanka 6,626,250 50.00% 6,924,195 52.25% 6,626,250 50.00% 5,564,289 41.99%
Colombo 654,170 46.10% 727,713 53.19% 764,892 53.90% 559,921 40.92%
Gampaha 766,258 52.34% 855,870 59.28% 697,798 47.66% 494,671 34.26%
Kalutara 463,609 55.65% 482,920 59.49% 369,414 44.35% 284,213 35.01%
Mahanuwara 433,980 46.05% 471,502 50.43% 508,366 53.95% 417,355 44.64%
Matale 179,965 53.07% 187,821 55.37% 159,142 46.93% 134,291 39.59%
Nuwara-Eliya 184,693 39.67% 175,823 36.87% 280,867 60.33% 277,913 58.28%
Galle 435,183 58.15% 466,148 64.26% 313,151 41.85% 217,401 29.97%
Matara 346,009 60.75% 374,481 67.25% 223,511 39.25% 149,026 26.76%
Hambantota 277,825 64.83% 278,804 66.17% 150,725 35.17% 108,906 25.85%
Jaffna 57,904 17.69% 23,261 6.24% 269,471 82.31% 312,722 83.86%
Vanni 34,922 18.72% 26,105 12.27% 151,663 81.28% 174,739 82.12%
Batticaloa 46,609 18.41% 38,460 12.68% 206,630 81.59% 238,649 78.70%
Digamadulla 132,743 35.55% 135,058 32.82% 240,695 64.45% 259,673 63.09%
Trincomalee 57,154 27.44% 54,135 23.39% 151,134 72.56% 166,861 72.11%
Kurunegala 650,582 55.86% 652,278 57.90% 514,034 44.14% 416,961 37.01%
Puttalam 221,415 50.84% 230,760 50.83% 214,074 49.16% 199,356 43.91%
Anuradhapura 322,465 56.05% 342,223 58.97% 252,839 43.95% 202,348 34.87%
Polonnaruwa 131,765 46.86% 147,340 53.01% 149,425 53.14% 112,473 40.47%
Badulla 270,522 48.72% 276,211 49.29% 284,699 51.28% 251,706 44.92%
Moneragala 196,174 61.90% 208,814 65.34% 120,768 38.10% 92,569 28.96%
Ratnapura 443,415 57.86% 448,044 59.93% 322,928 42.14% 264,503 35.38%
Kegalle 318,881 53.25% 320,424 55.65% 280,012 46.75% 228,032 39.60%

Monday, November 11, 2019

පාස්පෝට් එක ඇත්ත එකක්ද?


ජනාධිපතිවරණ ප්‍රචාරන ව්‍යාපාරයේ සනීපාරක්ෂක තුවා වටයෙන් හා එම්සීසී වටයෙන් ගෝඨාභය කඳවුරේ අය සජිත්ගේ පැත්තට බර දැම්මා. දැන් පේන ආකාරයට රාජිත සේනාරත්න විසින් සුදු වෑන් නාට්‍යයක් පෙන්වලා තත්ත්වය බැලන්ස් කරන්න උත්සාහ කරලා වගේ. රාජපක්ෂ කඳවුරේ තිබෙන වැරදි අදහසක් වන්නේ 2015දී මෛත්‍රීපාල සිරිසේන දිනුවේ ප්‍රතිවිරුද්ධ කඳවුරේ බොරු ප්‍රචාර නිසා බවයි. රාජිතලා වගේ අයත් හිතන්නේ ඒ විදිහටම බව පෙනෙනවා.

මෙවර ජනාපතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපාන නිර්පාක්ෂික පාවෙන ඡන්ද ටික ආකර්ශනය කර ගන්න අවශ්‍ය කවර පාර්ශ්වයකට වුවත් එය කළ හැකි වන්නේ ඇත්තට මුහුණ දී ඇත්ත කතා කර පමණයි. මේ කණ්ඩායම අන්දන එක හිතන තරම් පහසු නැහැ. පහසුවෙන් අන්දන්න පුළුවන් පිරිස කොහොමටත් තම තමන්ගේ පක්ෂ වලට ඡන්ද දෙනවා.

අලි සබ්රි විසින් පෙන්වා තිබෙන ගෝඨාභයගේ ඇමරිකන් ගමන් බලපත්‍රය බොරු එකක් කියා පෙන්වන්න ප්‍රතිවිරුද්ධ පක්ෂය උත්සාහ කරනවා. එහිදී ඉදිරිපත් කරන තර්ක බොහොමයක් පහසුවෙන් පරීක්ෂා කර ඇත්ත තහවුරු කරගත හැකි දේවල්.

පළමු තර්කය කණ්ණාඩි තර්කය. ගෝඨාභයගේ ඇමරිකන් ගමන් බලපත්‍රයේ ඔහු උපැස් යුවලක් පැළඳ සිටිනවා. ඇමරිකන් ගමන් බලපත්‍රයක් ලබා ගන්නා අයෙක් අදාළ ඡායාරූපය ගත යුත්තේ උපැස් ගලවලයි. උපැස් පැළඳ සිටිය හැක්කේ සුවිශේෂී සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇත්නම් පමණයි. එහෙත්, මේ නීතිය අනිවාර්ය කෙරුණේ 2016 නොවැම්බර් සිටයි. ප්‍රසිද්ධ කර ඇති තොරතුරු අනුව, ගෝඨාභය රාජපක්ෂගේ අවසන් ඇමරිකන් ගමන් බලපත්‍රය ලබා ගෙන තිබෙන්නේ 2012 ඔක්තෝබර් මාසයේදී. ඒ වන විට උපැස් පැළඳ ගමන් බලපත් ඡායාරූපයක් ලබා ගැනීම ප්‍රශ්නයක් වුනේ ඒ හේතුව නිසා පුද්ගලයාව හඳුනා ගැනීම ප්‍රශ්නයක් වේනම් පමණයි. එමෙන්ම, 2016 නොවැම්බර් නීතිය ක්‍රියාත්මක කරන විට උපැස් සහිත ඡායාරූප තිබුණු ගමන් බලපත් වෙනුවට අලුත් ගමන් බලපත් ලබා ගැනීම අවශ්‍ය නොවන බව විශේෂයෙන් දැනුම් දී තිබුණා.

දෙවැනි තර්කය දිනය සටහන් කර ඇති ආකාරය සම්බන්ධවයි. ඇමරිකාවේ දිනය ලියන්නේ මාසය-දිනය-අවුරුද්ද ලෙසයි. එහෙත්, ලෝකයේ බොහෝ රටවල පිළිවෙළ වන්නේ දිනය-මාසය-අවුරුද්ද ලෙස ලිවීමයි. ගමන් බලපත් අවශ්‍ය වන්නේ ඇමරිකාවෙන් පිටතදී වීම හෝ ගමන් බලපත් වලට ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබීම නිසා ඇමරිකාවේ ගමන් බලපත් වලත් දිනය තිබෙන්නේ දිනය-මාසය-අවුරුද්ද ලෙසයි. මේ තර්කයත් ඕනෑම ඇමරිකන් ගමන් බලපත්‍රයක් පරීක්ෂා කර තහවුරු කරගත හැකි වැරදි එකක්.

තෙවන තර්කය වන්නේ "CANCEL" යනුවෙන් සඳහන් මුද්‍රාව "CANCELLED" විය යුතු බවයි. ඇමරිකානු ගමන් බලපත්‍රයක් අවලංගු කරන සාමාන්‍ය ක්‍රමය වන්නේ එහි ජීවදත්ත පිටුවද ඇතුළත් දෙවන කොළයේ සිදුරු දෙකක් විදීමයි. බොහෝ විට මේ සිදුරු කිරීම කරන්නේ ගමන් බලපත් කවරය හා දෙවන පිටුව යන දෙකම සිදුරු වන ලෙසයි. ඊට අමතරව "CANCEL" හෝ "CANCELED/CANCELLED" ලෙස මුද්‍රාවක් තැබීම අවශ්‍ය කරුණක් නෙමෙයි. "CANCELLED" ලෙස සඳහන් මුද්‍රාවක් තැබීම කලකට පෙර කර ඇතත් දැන් කරන්නේ නැහැ. අලි සබ්‍රි පෙන්වන ගමන් බලපත්‍රයේ මුල් පිටුව (කවරය) සිදුරු කර නැතත්, දෙවන පිටුව නියමිත ක්‍රමයට සිදුරු කර තිබෙනවා. ඒ නිසා, මේ පෙන්වන්නේ දැනට අවලංගු ඇමරිකානු ගමන් බලපත්‍රයක් කියන එක ඉතා පැහැදිලියි.

යමෙක් තානාපති කාර්යාලයකදී ඇමරිකන් පුරවැසිකම අත් හැරීමෙන් පසුව අදාළ ඉල්ලීම රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනුමත වන තුරු ගමන් බලපත්‍රය අදාළ තානාපති කාර්යාලයේ රඳවා ගන්නවා. ඉල්ලීම අනුමත වූ වහාම කිසිවක් නොකළත් ඇමරිකන් ගමන් බලපත්‍රය අවලංගු වෙනවා. ඉන් පසුව පුරවැසිකම අහෝසි වීමේ සහතිකය  අදාළ පුද්ගලයාට ලබා දෙන විට ඒ සමඟ අවලංගු කළ ගමන් බලපත්‍රයද (ඉල්ලා සිටියහොත්) ආපසු දෙනවා. මේ හා අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තානාපති කාර්යාල වලට ලබා දී තිබෙන උපදෙස් පහත තිබෙනවා.

"When the post receives the approved CLN, the post should promptly cancel all unexpired passports (books and cards).  Do not damage the entry-exit or visa stamp or foreign visas if possible.  The canceled passport(s) may be returned to the expatriate upon request."

මෙහි ගමන් බලපත් අවලංගු කළ යුතු බව මිස එය කළ යුතු ආකාරය නිශ්චිතව සඳහන් කර නැහැ. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකන් ගමන් බලපතක් අවලංගු කළ පළමු අවස්ථාව මෙය විය හැකියි. ඒ නිසා, සිදුරු කරනවාට අමතරව "CANCEL" ලෙස මුද්‍රාවක් තබන්න තිබෙන ඉඩකඩ එකවර බැහැර කළ නොහැකියි. මේ ගැන සැකයක් ඇති අයෙක් කළ යුත්තේ ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් විමසීමයි. මෙය ගෝඨාභය රාජපක්ෂට අදාළ පෞද්ගලික කරුණක් නොවන නිසා, ඇමරිකන් තානාපති කාර්යාලය පිළිතුරක් නොදී ඉන්න හේතුවක් නැහැ. අහන්න තියෙන්නේ ඔවුන් ගමන් බලපත්‍රයක් අවලංගු කරන විට "CANCEL" යනුවෙන් මුද්‍රාවක් තබනවාද කියන එක පමණයි. මෙය ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් අසනු මිස වෙනත් තැන් වලින් විමසා හෝ සොයා බලා තේරුමක් නැහැ.

කෙසේ වුවත්, අවලංගු කළ ගමන් බලපත හා පුරවැසිකම අහෝසි වීමේ සහතිකය ගෝඨාභයට ලැබී ඇත්නම් ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහෝසි වීම පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් අධිකාරිය සැප්තැම්බර් අවසානය වන විට දැනුවත්ව සිටිය යුතුයි. අවසන් බදු වාරිකය නිසි පරිදි ගෙවා ඇත්නම්, නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ නැත්තේ දේශීය ආදායම් අධිකාරියට දැනුම් දී ඇති විස්තර අනුව ගෝඨාභය රාජපක්ෂගේ වත්කම් හා ආදායම් අවශ්‍ය මට්ටමට නැති නිසා විය හැකියි.

Sunday, November 10, 2019

උපවාස ත්‍රස්තවාදය හා උපවාස නාටක


සහශ්‍ර අභියෝගිතා ගිවිසුමට එරෙහිව උපවාසයක් ආරම්භ කළ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ හැරෙන තැපෑලෙන් උපවාසය අවසන් කළා. දැන් ඉඟුරුවත්තේ සුමංගලනම් හිමි නමක් ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකන් පුරවැසිකම අත්හැරීම පිළිබඳ ලේඛන පෙන්වන මෙන් ඉල්ලමින් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. දින තුනක් ඇතුළත අදාළ ලේඛන පෙන්වනු නොලැබුවහොත් ගිණි තියාගෙන මැරෙන බවත් කියනවා.

මේ වගේ බොහෝ උපවාස රඟපෑම් පමණයි. නමුත්, එසේ නොවන අවස්ථාත් තිබෙනවා. 1987දී තිලීපන්ට මිය යන තුරුම උපවාසය අත්  හරින්න අවස්ථාවක් ලැබුනේ නැහැ. වසර කිහිපයකට පෙර බෝවත්තේ ඉන්දරතනනම් බෞද්ධ භික්ෂුවක් ගව ඝාතනයට එරෙහිව දළදා මාලිගාව අසලදී සිය සිරුරට ගිණි තබාගත්තා. දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස උපවාස යොදාගත් අය ගැන කතා කරද්දී මහත්මා ගාන්ධි නම අමතක කරන්න බැහැ.

උපවාස ගැන බොහෝ දෙනෙක්ගේ අදහස මෙය ඉතා අවිහිංසාවාදී වැඩක් කියන එකයි. වෙනත් විරෝධතා වලදී මෙන් උපවාසයකදී උපවාසකරු කළහකාරී ලෙස හැසිරෙන්නේ නැහැ. එහෙත්, උපවාසයක් වෙනත් විරෝධතාවයකට වඩා අහිංසක ක්‍රමයක් කියා කියන්න බැහැ.

එක පැත්තකින් උපවාසයක් කියා කියන්නේ සෘජු තර්ජනයක්. අනෙක් පැත්තෙන් උපවාසයක් හරහා හැම විටම වගේ කෙරෙන්නේ විශාල පිරිසක් තුළ වෛරී හැඟීමක් ඇති කරන එකයි. උපවාස ඇතුළේ තිබෙන්නේ ත්‍රස්තවාදයක්. උපවාසකරුවෙකු කරන දෙය හා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු කරන දේ අතර ලොකු සංකල්පීය වෙනසක් නැහැ. බැලූ බැල්මට එකක් වඩා අහිංසක ක්‍රියාවක් සේ පෙනුනත්, දෙකෙන්ම වෙන්නේ තමන්ටත් හානියක් කරගෙන තවත් විශාල පිරිසකට හානියක් කිරීමයි.

හැබැයි ඒ ඇත්ත උපවාස. බොහෝ විට දකින්න ලැබෙන්නේ උපවාස සේ හඳුන්වන ව්‍යාජ රඟපෑම්. මේවා සමාන කළ හැක්කේ මරාගෙන මැරෙන බෝම්බයක් බැඳගෙන එය පුපුරවා ගන්නා බවට තර්ජනය කිරීමටයි. එසේ කරන කෙනෙකු බෝම්බය පුපුරා නොගත්තොත් පසුව නීතියෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. එහෙත්, උපවාසයක් කරන අයෙකුට සාමාන්‍යයෙන් උපවාසය අත් හැරීමෙන් පසුව එවැනි නීතිමය ගැටලුවකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා, උපවාස වඩා ප්‍රචලිතයි.

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකන් පුරවැසිකම පිළිබඳව ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් මතු කරන ප්‍රශ්නයට පිළිතුරු සැපයීම පහසු කටයුත්තක් නෙමෙයි. අදාළ කටයුතු නිසි පරිදි කරගෙන ඇත්තේ වුවත්, එය රට ඉදිරියේ තහවුරු කිරීම ගෝඨාභය පාර්ශ්වයට පහසු නැහැ. ඇත්ත ලේඛන පෙන්වුවත් ඒවා බොරු ඒවා බව බොහෝ දෙනෙක් හිතන්න ඉඩ තිබෙනවා. අවුල ඇති වුනේ ගෝඨාභය පාර්ශ්වය විසින්ම මුලින් ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කර අතේ මාට්ටු වීම නිසයි. දැන් වෙලා තියෙන්නේ කොටි ආවෝ කතාව වගේ එකක්.

යම් හෙයකින් ඇමරිකන් තානාපති කාර්යාලයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේනම් හෝ ෆෙඩරල් රෙජිස්ට්‍රියක ගෝඨාභය රාජපක්ෂගේ නම තිබුනේනම් ඔහුට අවුල ලිහා ගන්න තිබුණා. නමුත්, දැන් ඒ දෙකම වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා වැඩේ සංකීර්ණයි.

මේ වෙලාවේ ඉඟුරුවත්තේ සුමංගල හිමි වගේ කෙනෙකුට උපවාසයක් ආරම්භ කරන්න ඇරලා ඒ පිළිබඳව විශාල අවධානයක් යොමු වුනාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ඒ හාමුදුරුවන් වෙත ගිහින් තමන් සතුව තිබෙන ලේඛන පෙන්වීමෙන් පසුව හාමුදුරුවන් විසින් ප්‍රකාශයක් කර උපවාසය නැවැත්තුවොත් ගෝඨාභය ගොඩ. වෙන්න යන්නේ ඒ වගේ දෙයක්ද කියන එක බලන්න දවස් දෙක තුනක් ඉන්න වෙනවා.

Saturday, November 9, 2019

ෆෙඩරල් රෙජිස්ට්‍රියේ මෙවරත් ගෝඨාභයගේ නම නැහැ!


සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ වසරේ තෙවන කාර්තුව තුළ ඇමරිකන් පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය අත් හළ බවට වාර්තා වී ඇති 183 දෙනෙකුගේ නම් ඇතුළත් ෆෙඩරල් රෙජිස්ට්‍රිය ලබන අඟහරුවාදා (නොවැම්බර් 12) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු  ලැබීමට නියමිතයි. අදාළ නම් ලැයිස්තුව මහජන විමර්ශනය සඳහා මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙවර නම් ලැයිස්තුවටද ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නැහැ. මෙසේ ප්‍රකාශයට පත් කෙරෙන්නේ ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයට පෙර නිකුත් කෙරෙන අවසන් ෆෙඩරල් රෙජිස්ට්‍රියයි. අදාළ නම් ලැයිස්තුව පහත තිබෙනවා.

https://s3.amazonaws.com/public-inspection.federalregister.gov/2019-24474.pdf

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධව ඇමරිකානු රජය විසින් මේ වන තුරු කිසිදු නිල ප්‍රකාශයක් කර නැති නිසා මේ කරුණ හා අදාළව කිසියම් අවිනිශ්චිතතාවයක් තිබෙනවා.

මේ අවිනිශ්චිතතාවය දුරු කරන සේ ඉල්ලමින් ඇමරිකාවේ නිව් ජර්සි හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන අනුර රූපසිංහ නම් අයෙකු නිව් යෝර්ක්හි දකුණු දිස්ත්‍රික් අධිකරණයේ ඊ‌යේ (08) නඩුවක් පවරා ඇති බව ලංකාඊනිවුස් වාර්තා කර තිබෙනවා.


Monday, October 28, 2019

ගෝඨාභයගේ කැලිෆෝර්නියා නඩුව


ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව චෝදනා නගමින් ඔහුගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් ලොස් ඇන්ජලීස්හි, කැලිෆෝර්නියා මධ්‍යම දිස්ත්‍රික්කයට අයත් ඇමරිකන් දිස්ත්‍රික් අධිකරණයෙහි පවරා තිබුණු සිවිල් නඩුව පසුගිය 17 වනදා විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරනු ලැබුවා. එම නඩුව මේ අයුරින් නිෂ්ප්‍රභා කරනු ලැබුවේ නඩුව විභාගයට ගැනීම සඳහා අදාළ අධිකරණයට අධිකරණ බලයක් නැති බවට ගෝඨාභය පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ විරෝධතාව සැලකිල්ලට ගනිමිනුයි. අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව අහිංසා වික්‍රමතුංග පාර්ශ්වය ප්‍රකාශ කර තිබෙනවා.

අහිංසා වික්‍රමතුංග ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් හා පදිංචිකාරියක්. ගෝඨාභය රාජපක්ෂ මෙම නඩුව පවරනු ලබන විට ඇමරිකන් පුරවැසියෙක්. එමෙන්ම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු වූ 2009 ජනවාරි 9 වන විටත් ඔහු ඇමරිකන් පුරවැසියෙක්. මෙම සිද්ධිය සිදුවන විට ඔහු ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළා. අදාළ කාලයේ ආරක්ෂක ඇමති ධුරය දැරුවේ ගෝඨාභය රාජපක්ෂගේ සොහොයුරු හා එවක විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ වූ නිසාත්, රටේ සිවිල් යුද්ධයක් පැවතීමත් නිසා එම තනතුර සමඟ විශාල බලයක් කේන්ද්‍රගතව තිබූ බව නොරහසක්.

ඇමරිකාවේ ආරක්ෂක ලේකම් යනු ලංකාවේ ආරක්ෂක අමාත්‍ය තනතුරට සමාන තනතුරක්. ඇමරිකාවේ කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ ආරක්ෂක ලේකම්, රාජ්‍ය ලේකම්, භාණ්ඩාගාර ලේකම් ඇතුළු ලේකම් වරුන්ගෙන්. ගෝඨාභය රාජපක්ෂගේ තනතුරද බොහෝ විට ආරක්ෂක ලේකම් ලෙස හැඳින්වුනත්, එය ඇමරිකාවේ ආරක්ෂක ලේකම් තනතුර සමඟ සැසඳිය හැකි තනතුරක් නෙමෙයි. අදාළ කාලයේම පී බී ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස මිස මුදල් ලේකම් ලෙස හැඳින්වුනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝර්නියා අධිකරණයේ පවරා තිබුණු නඩුවේ ලේඛන වලද ඔහුගේ තනතුර සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක ලේකම් ලෙසයි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබුණු නඩුව සිවිල් නඩුවක්. යම් හෙයකින් එම නඩුව විභාගයට ගෙන ඔහුව වරදකරු කරනු ලැබුවානම් ඔහුට අගතියට පත් පාර්ශ්වයට වන්දියක් ගෙවීමට සිදු විය හැකිව තිබුණු නමුත් සිර දඬුවමක් පැනවෙන්නේ නැහැ.

නඩුව විභාගයට ගැනීම තාවකාලිකව අත් හිටවන මෙන් ඉල්ලමින් හා නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන මෙන් ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ විසින් මෝසම් දෙකක් ඉදිරිපත් කළා. පළමුවන මෝසමෙන් ඉල්ලා සිටියේ ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු හා එම ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වුවහොත් ධුරය භාර ගන්නා තුරු නඩු විභාගය අත් හිටවන ලෙසයි. මේ ඉල්ලීම සාධාරණීකරණය කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමට විශාල ඉඩකඩක් තිබීම හා එසේ ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහුට රාජ්‍ය නායක මුක්තිය ලැබෙන නිසා මෙම නඩුව ඉදිරියට ගෙනයාමේ හැකියාවක් නොමැති වන බව පෙන්වා දෙමිනුයි.

දෙවන මෝසමෙන් කරුණු හතරක් ඉදිරිපත් කරමින් මෙම කරුණු වලින් එකක් හෝ කිහිපයක් මත මෙම නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන මෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉල්ලා සිටියා.
1. ගෝඨාභය රාජපක්ෂ චෝදනාවට අදාළ සිද්ධියට වගකිවයුතුනම් එසේ වගකිව යුත්තේ ස්වාධීන විදේශ රජයක නිලධාරියෙකු ලෙස තනතුරට අදාළව සිදුකළ දෙයක් වෙනුවෙනුයි.
2. පෞද්ගලික හා පොදු යහපත සැලකූ විට මෙම නඩුව විභාග කිරීම වඩාත්ම පහසු ලංකාවේයි.
-ශ්‍රී ලංකාවේ ස්වාධීන හා හොඳින් ස්ථාපිත අධිකරණ පද්ධතියක් තිබෙනවා.
-අහිංසා වික්‍රමතුංග ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් හා පදිංචිකාරියක නිසා ඇමරිකාවේ නඩුව විභාග කළත් ලංකාවේ එය කළත් ඇයට වෙනසක් නැහැ.
-ඒ වගේම, සාක්ෂිකරුවන් වැඩි දෙනෙකු සිටිය හැක්කේ ලංකාවේ.
3. ස්වාධීන විදේශ රාජ්‍යයක් වන ලංකාවට හා එහි නීති පද්ධතියට ගරු කිරීමක් වශයෙන්
4. වෙනත් විවිධ හේතු මත
-මේ සිදුවීමට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නොතිබීම
-පැමිණිලිකාරිය විසින් ලංකාවේදී ගත හැකිව තිබුණු සියලුම නීතිමය ක්‍රියාමාර්ග උත්සාහ කර නොතිබීම
-චෝදනා නගා ඇති පණතේ ඇතැම් (තාක්ෂනික) සීමාවන්

අධිකරණය මඟින් නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට තීරණය කර ඇත්තේ ඉහත පළමු කරුණ, එනම් ගෝඨාභය රාජපක්ෂ චෝදනාවට අදාළ සිද්ධියට වගකිවයුතුනම් එසේ වගකිව යුත්තේ ස්වාධීන විදේශ රජයක නිලධාරියෙකු ලෙස තනතුරට අදාළව සිදුකළ දෙයක් වෙනුවෙන් වීම නිසයි. මේ විරෝධතාව පිළිගැනීමෙන් පසු ඉතිරි කරුණු සලකා බැලීම අවශ්‍ය නොවන නිසා අනෙකුත් කරුණු සැලකිල්ලට ගෙන නැහැ. එමෙන්ම, මේ විරෝධතාව පිළිගැනීමෙන් පසුව අනෙකුත් මෝසමට අදාල නඩු නිමිත්ත අහෝසි වී ඇති නිසා නඩුව තාවකාලිකව අත් හිටුවීම ගැන සලකා බැලීමත් අවශ්‍ය වී නැහැ.

නඩුව නිෂ්ප්‍රභා කිරීමේදී සැලකිල්ලට ගෙන තිබෙන්නේ පළමු කරුණ පමණයි. මේ ආකාරයට පිළිගත් විදේශ රාජ්‍යයක නිලධාරියෙකු ලෙස කළ ක්‍රියාවක් සඳහා මුක්තිය ලැබෙන්නටනම් කරුණු දෙකකින් එකක් සම්පූර්ණ විය යුතුයි.
-අදාළ විදේශ රාජ්‍යය විසින් එවැනි මුක්තියක් ලබා දෙන මෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම එල්ලීම පිළිගැනීම
-අදාළ විදේශ රාජ්‍යය විසින් එවැනි ඉල්ලීමක් කර නැති අවස්ථාවක, යම් හෙයකින් එවැනි ඉල්ලීමක් කර තිබුණේනම් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම ඉල්ලීම පිළිගැනීමට ඉඩකඩ තිබීම

මේ නඩුව හා අදාළව ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය නිලධාරී මුක්තිය ලබා දෙන මෙන් ලංකාවේ රජය විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර නැති නිසා දිස්ත්‍රික් අධිකරණය විසින් සලකා බලා තිබෙන්නේ ඉහත දෙවන කරුණයි. පැමිණිලිකාර පාර්ශ්වය විසින් චෝදනා ගොනු කිරීමේදී ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක ලේකම් ධුරයේ බලතල ගැන විස්තර කිරීමට ලොකු බරක් දී තිබීම හා ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඔහු වගකිවයුතු බව සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක ලේකම් ධුරයේ බලතල යොදාගනිමින් බව කියා තිබීම මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ වාසියට හේතු වී තිබෙනවා. පැමිණිලිකාර පාර්ශ්වය විසින් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු බව මිස සෘජුව සම්බන්ධ වී ඇති බව කියා නැහැ. මේ අනුව දිස්ත්‍රික් අධිකරණයේ මතය වන්නේ යම් හෙයකින් මේ ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතුනම් එසේ වගකිවයුතු වන්නේ එවක ලංකාවේ ආරක්ෂක ලේකම් ලෙස මිස පෞද්ගලිකව නොවන බවයි. ඒ අනුව ඔහුට පිළිගත් විදේශ රාජ්‍යයක නිලධාරියෙකු එම රාජ්‍යය වෙනුවෙන් කළ ක්‍රියාවන් සඳහා පොදු නීතිය යටතේ ලැබෙන මුක්තිය ලැබී තිබෙනවා.

අහිංසා වික්‍රමතුංග පාර්ශ්වය මේ තීන්දුවෙන් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන්ගේ මතය වන්නේ ලසන්ත වික්‍රමතුංග හෝ වෙනත් ජනමාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන නැති නිසා ගෝඨාභය රාජපක්ෂ විසින් කර තිබෙන්නේ ලංකාවේ රජය වෙනුවෙන් කටයුතු කිරීමක් නොවන බවයි. ඒ අනුව, ඔවුන් මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. එවැනි අභියාචනා කිරීමකින් පසුව මෙම නඩුව ඉදිරියට ගෙන යාමට තීරණය වුවත්, ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වී සිටියහොත් ඔහුට රාජ්‍ය නායක මුක්තිය ලැබෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා.

(Image: http://asiantribune.com/node/93111)

Friday, August 16, 2019

ගෝඨාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක්ද?


ගෝඨාභය රාජපක්ෂව මේ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා. ලංකාවේ දැනට වලංගු නීතිය අනුව වෙනත් රටක පුරවැසිකම හිමි අයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැහැ. පසුගිය අප්‍රේල් 17 දින දක්වා ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකුව සිටි බව මේ වන විට අවිවාදිත කරුණක්.

ගෝඨාභය පාර්ශ්වය විසින් ප්‍රකාශ කරන ආකාරයට මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු නෙමෙයි. එහෙත්, මේ කතාව විශ්වාස කරන්න බොහෝ දෙනෙක් මැලි වෙනවා. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ 2019 දෙවන කාර්තුව තුළ ඇමරිකානු පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය අහිමි කරගත් පුද්ගලයින්ගේ නාම ලේඛණයක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් නොවීම හේතුවෙන් මේ අවිශ්වාසය තවදුරටත් වර්ධනය වෙමින් තිබෙනවා.

ගෝඨාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක්ද?

මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දීමේ හැකියාවක් අපට නැහැ. එහෙත්, සිදු විය හැකි හා නොහැකි දේ විමසා බැලීමක් කළ හැකියි. මේ කරන්නේ එයයි.

ගෝඨාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක්ද යන ප්‍රශ්නයට අමතරව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඇතුළු වෙනත් කරුණු ගණනාවක් ගැනත් සැක සංකා මතු වී තිබෙනවා. එහෙත්, අප මෙහිදී කතා කරන්නේ ඔහුගේ ඇමරිකන් පුරවැසිකම ගැන පමණයි.

ඇමරිකන් පුරවැසිකම හා ඇමරිකානු ජාතිකත්වය 

ඇමරිකන් පුරවැසියෙකු නෛතික ලෙස හැම විටම ඇමරිකන් ජාතිකයෙකුද වෙනවා. එහෙත්, සියලුම ඇමරිකන් ජාතිකයින් ඇමරිකන් පුරවැසියන් නෙමෙයි. උපතින් ඇමරිකන් පුරවැසියෙකු නොවූ අයෙකු ඇමරිකන් පුරවැසිකම ලබා ගනිද්දී එවැන්නෙකුට ඇමරිකන් ජාතිකත්වයද හිමි වෙනවා. යමෙකුගේ ඇමරිකන් ජාතිකත්වය අහිමි වන අවස්ථාවකදී ඇමරිකන් පුරවැසිකමද අහෝසි වෙනවා.

ඇමරිකන් පුරවැසියකුගේ වගකීම් 

ඇමරිකන් පුරවැසිකමට විශාල ඉල්ලුමක් තිබෙනවා. එහෙත්, ඇමරිකන් පුරවැසියෙකු වීම පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. එසේ වුවත්, සෑම වසරකදීම විශාල පිරිසක් ඇමරිකන් පුරවැසිකම ලබා ගන්නවා. පසුගිය 2018 වසරේදී 756,800 දෙනෙකු අලුතෙන් ඇමරිකන් පුරවැසිකම ලබාගත්තා.

ඇමරිකන් පුරවැසිකමට මෙපමණ ඉල්ලුමක් තිබෙන්නේ ඒ හේතුවෙන් ලැබෙන විවිධ වරප්‍රසාද හා අයිතිවාසිකම් නිසා. එහෙත්, ඒ වරප්‍රසාද හා අයිතිවාසිකම් වලට අමතරව ඇමරිකන් පුරවැසිකම සමඟ විවිධ වගකීම් හා යුතුකම් රැසක්ද එකතු වෙනවා. ඇමරිකන් පුරවැසියෙකු විසින් තමන් විසින් ලෝකයේ කොහේ හෝ රටක උපයන ආදායම් වලට මෙන්ම කොහේ හෝ රටක ඇති වත්කම් වලටත් ඇමරිකානු රජයට බදු ගෙවිය යුතුයි. මේ බදු වගකීම ඇමරිකානු පුරවැසියන්ට මෙන්ම ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවන්ටත් තිබෙනවා.

ඇමරිකන් පුරවැසිකම අත් හැරීම 

ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය හිමි අයෙකුට තමන්ගේ මේ අයිතීන් නැති කර ගැනීම මේ දේවල් හිමි කර ගන්නා තරම් අමාරු නැහැ. එහෙත්, ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය අහිමි කර ගැනීමට පෙළඹෙන්නේ සාපේක්ෂව ඉතා සුළු පිරිසක්. මෙසේ 2018 වසර තුළ ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය අහිමි කරගත් 3,974 දෙනෙකුගේ නම් එම වසර සඳහා වූ ෆෙඩරල් රෙජිස්ට්‍රි වල පළ වී තිබුණා.

මේ අයගෙන්, ඇමරිකන් පුරවැසියන් ප්‍රමාණය කොපමණක්ද යන්න ෆෙඩරල් රෙජිස්ට්‍රියෙහි ඇති තොරතුරු වලින් සොයා ගත නොහැකියි. එමෙන්ම, පුරවැසිකම අහිමි කරගත් බොහෝ දෙනෙකුගේ නම් ෆෙඩරල් රෙජිස්ට්‍රියෙහි පළ නොවනවා විය හැකියි. මේ හේතු නිසා වසරකදී ඇමරිකන් පුරවැසිකම අහිමි කරගන්නා පුද්ගලයින් ගණන නිශ්චිතව දැන ගැනීම අසීරු වුවත් එම ප්‍රමාණය වසරකට ඇමරිකන් පුරවැසිකම ලබා ගන්නා ප්‍රමාණයට සාපේක්ෂව සුළු ප්‍රමාණයක් බව පැහැදිලියි.

බොහෝ ඇමරිකන් පුරවැසියන් තම පුරවැසිකම ස්වේච්ඡාවෙන් අතහරින්නේ ඇමරිකන් රජයට බදු ගෙවීමේ වගකීමෙන් ගැලවෙන්නයි. උදාහරණයක් විදිහට වසර කිහිපයකට පෙර ඇමරිකන් පුරවැසිකම අත් හළ ෆේස්බුක් සමාගමේ ආරම්භකයෙකු වන එඩුවාඩෝ සවරින් එසේ කළේ තමන්ගේ වත්කම් හා ආදායම් වලින් ඇමරිකන් රජයට ගෙවිය යුතු බදු නොගෙවා සිටීම පිණිස බව පොදු පිළිගැනීමයි.

ඇමරිකන් පුරවැසිකම අහිමි කරගත හැකි ආකාර 

ඇමරිකන් පුරවැසියෙකුට තමන්ගේ පුරවැසිකම අහෝසි කරගත හැකි ආකාර හතක් තිබෙනවා. මෙසේ පුරවැසිකම අතහැරීමට බොහෝ පුද්ගලයින් පෙළඹෙන හේතුවක් වන්නේ ලෝකයේ කොහේ හෝ තිබෙන තමන්ගේ වත්කම් හෝ ලබන ආදායම් මත ඇමරිකන් රජයට බදු ගෙවිය යුතු වීමයි.

ආකාර හතක් තිබුණත් බොහෝ දෙනෙක් ඇමරිකන් පුරවැසිකම අහෝසි කර ගන්නා ක්‍රමය ගෝඨාභය රාජපක්ෂ විසින් ද අනුගමනය කර ඇති ප්‍රචලිත ක්‍රමවේදයයි. මේ ක්‍රමවේදයට පියවර ගණනක් අයත් වුවත්, වඩාත්ම වැදගත් පියවර වන්නේ ඇමරිකාවෙන් පිටත වෙනත් රටක තානාපති කාර්යාලයකදී ස්වේච්ඡාවෙන් තමන්ගේ ඇමරිකානු ජාතිකත්වය හා පුරවැසිකම අත් හැරීමයි. එසේ කරන අයෙකු ඒ අවස්ථාවේදී තමන්ගේ ඇමරිකානු ගමන් බලපත්‍රයද තානාපති කාර්යාලයේ නිලධාරියෙකුට භාර දිය යුතුයි.

මේ ආකාරයෙන් ඇමරිකාවෙන් පිටත කිසියම් ඇමරිකානු තානාපති කාර්යාලයකදී යමෙකු සිය ඇමරිකන් පුරවැසිකම අත් හැරීමෙන් පසුව, අදාළ තානාපති කාර්යාලය විසින් ඒ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා. පුරවැසිකම අත් හැරීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගැනීමෙන් පසුව ඇමරිකානු ජාතිකත්වය අහෝසි වූ බව තහවුරු කරමින් සහතිකයක් නිකුත් කරනවා. ඉන් පසුව, අදාළ තානාපති කාර්යාලය විසින් මේ සහතිකය හා අවලංගු කළ ඇමරිකානු ගමන් බලපත්‍රය පුරවැසිකම අත් හළ පුද්ගලයාට භාර දෙනවා.

නෛතික ලෙස කිසියම් පුද්ගලයෙකුගේ ඇමරිකන් පුරවැසිකම අහිමිවීමේ දිනය සේ සැලකෙන්නේ ඉහත කී පරිදි කිසියම් තානාපති කාර්යාලයකදී  ඇමරිකන් පුරවැසිකම අත් හළ දිනය වුවත්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එවැනි ඉල්ලීමක් අනුමත කර ඇමරිකානු ජාතිකත්වය අහිමි වීමේ සහතිකය නිකුත් කරන තුරු ගත වන කාලය එක්තරා ආකාරයක ගන්ධබ්බ කාලයක්. මේ කාලය තුළ කිසියම් පුද්ගලයෙකු ඇමරිකන් පුරවැසියෙකු නොවූ බව ස්ථිරව දැනගන්නට ලැබෙන්නේ සහතිකය අතට ලැබුණු පසුව පමණයි.

ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහිමි වුනාද?

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු ජාතිකත්වය අහිමි වීමේ සහතිකය ලෙස මුලින් සංසරණය වූයේ කූඨ ලේඛණයක් බව ගෝඨාභය රාජපක්ෂ විසින්ම පිළිගෙන තිබෙන නිසා ඒ ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. එහෙත්, දෙවනුව සංසරණය වූ සහතිකය ව්‍යාජ එකක් බව කිව හැකි පැහැදිලි හේතු නැහැ.

මේ දෙවන සහතිකය අනුව ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 අප්‍රේල් 17 දින සිය ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගෙන තිබෙන අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2019 මැයි 3 දින මේ ඉල්ලීම පිළිගෙන අදාළ සහතිකය නිකුත් කර තිබෙනවා. ප්‍රසිද්ධ කර තිබෙන සහතිකය ව්‍යාජ එකක් නොවේනම් 2019 අප්‍රේල් 17 දින සිට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයි.

සහතිකය ව්‍යාජ එකක්ද?

ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සම්බන්ධව අහිංසා වික්‍රමතුංග විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ නඩුවක් මේ වන විට ඇමරිකානු අධිකරණයක විභාග වෙනවා. මෙම නඩුව හා අදාළව ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වයේ නීතිඥයින් විසින් 2019 ජූනි 27 දින එම අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 අප්‍රේල් 17 දින සිය ඇමරිකානු පුරවැසිභාවය අත් හළ බව සඳහන් කර තිබෙනවා. මෙය විශ්වාසනීය මූලාශ්‍රයක්. මේ දිනය දෙවන සහතිකයේ දිනය සමඟ ගැලපෙනවා. එහෙත්, මේ අත් හැරීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බවක් අදාළ ලේඛණය මඟින් තහවුරු කරන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ විසින් සිය පුරවැසිකම අත් හැර මේ වන විට මාස හතරක් ගත වී තිබෙනවා. විශේෂ හේතුවක් නැත්නම්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබෙන්න මෙය ප්‍රමාණවත් කාලයක්. යම් කිසිවෙකු ඇමරිකානු පුරවැසිකම අත් හැරීමෙන් පසුව, අදාළ ඉල්ලීම අනුමත නොවීම ඉතා විරල සිදු වීමක්. ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමෙන් පසුවද ඉන් පෙර කළ හෝ පසුව කරන වරදකට කිසියම් පුද්ගලයෙකුට දඬුවම් කිරීමේ හැකියාව අහිමි නොවන නිසා ඇමරිකානු අධිකරණයක විභාග වෙමින් තිබෙන නඩුවක චුදිතයකු වූ පමණින් මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කෙරෙන්නේ නැහැ.

2019 අප්‍රේල් 17 දින ඇමරිකානු පුරවැසිකම අත් හළ අයෙකුට 2019 මැයි 3 වන විට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීම බොහෝ විට සිදු විය හැකි දෙයක්. ඒ නිසා, දෙවන වරට දකින්නට ලැබුණු සහතිකය බොහෝ විට සැබෑ එකක් විය හැකියි.

ඒ වගේම, මේ හා අදාළව ගෝඨාභය කඳවුරේ ප්‍රතිචාරය නිරීක්ෂනය කිරීමත් වැදගත්. ප්‍රතිවාදීන් ගෝඨාභයගේ පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නය අල්ලාගෙන දඟලද්දී ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ කණ්ඩායම මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට වද නොවී ජනාධිපතිවරණය ඉලක්ක කර සිය ශක්තිය යොදවනු පෙනීමෙන්ද හැඟී යන්නේ ඔවුන් ප්‍රශ්නය විසඳාගෙන අවසන් බවයි.

එහෙමනම්, ෆෙඩරල් රෙජිස්ට්‍රියේ ගෝඨාභයගේ නම නැත්තේ ඇයි?

ඇමරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් සෑම කාර්තුවක් ඇතුළතම ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය (ග්‍රීන් කාඩ්) ඉවත් කරගත් පුද්ගලයින්ගේ ලේඛණයක් ප්‍රකාශයට පත් කරනවා. 2019 දෙවන කාර්තුව සඳහා වූ ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂගේ නම නැහැ. යම් හෙයකින් එම ලැයිස්තුවේ ඔහුගේ නම තිබුණානම් එය මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු නොවන බව තහවුරු කරනවා. කෙසේ වුවත්, අදාළ ලැයිස්තුවේ ඔහුගේ නම නොතිබූ පමණින් ඔහු තව දුරටත් ඇමරිකානු පුරවැසියෙකු බව තහවුරු වන්නේ නැහැ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරන මේ ලැයිස්තුවට නම ඇතුළත් වීම යමෙකුගේ ඇමරිකානු පුරවැසිකම අහිමි වීම පිණිස අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි. මේ හා අදාළ නීතිමය ප්‍රතිපාදනය ඇතුළත් ඇමරිකානු දේශීය ආදායම් පණතේ 6089G(d) වගන්තිය අනුව මෙසේ ප්‍රසිද්ධ කළ යුත්තේ  877(a) හෝ 877A වගන්ති වලින් අර්ථදැක්වෙන පුද්ගලයින්ගේ නම් පමණයි.

"Notwithstanding any other provision of law, not later than 30 days after the close of each calendar quarter, the Secretary shall publish in the Federal Register the name of each individual losing United States citizenship (within the meaning of section 877(a) or 877A) with respect to whom the Secretary receives information under the preceding sentence during such quarter."

මේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමේ අරමුණ වන්නේ කිසියම් පුද්ගලයෙකු බදු පැහැර හැරීමේ අරමුණින් ඇමරිකන් පුරවැසිබව හෝ ස්ථිර පදිංචිය අත් හරින බව සැක කළ හැකි විට එවැනි පුද්ගලයෙකු විසින් බදු පැහැර හැරීම වලක්වා ගැනීමයි. ඒ අනුව, බදු පැහැර හැරීමේ අරමුණින් තොරව පුරවැසිකම අත් හළ බව පෙනෙන අයගේ නම් මේ ලැයිස්තුවට ඇතුළත් නොවිය හැකියි. එවැන්නන් හඳුනා ගැනීම පිණිස නිර්ණායක තුනක් භාවිතා කෙරෙනවා. ඒවානම්, පසුගිය වසර පහේ සාමාන්‍ය ආදායම, මුළු වත්කම් එකතුව හා පසුගිය වසර පහ තුළ නිසි පරිදි බදු ගෙවා තිබීම යන කරුණුයි. 2019 අප්‍රේල් මාසයේදී ඇමරිකන් පුරවැසිභාවය අත් හරින අයෙකු පහත කොන්දේසි තුනම සපුරා ඇත්නම් 877(a) වගන්තියෙන් අර්ථදක්වා ඇති "ආවරණය වන පුද්ගලයෙකු" සේ සැලකෙන්නේ නැහැ.

1) පසුගිය පස් වසරේ සාමාන්‍ය වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් 165,000කට නොවැඩි වීම
2) ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 2කට නොවැඩි වීම
3) 2014 සිට 2018 දක්වා එක් එක් වසර සඳහා ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි ගෙවා තිබීම

ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව ඔහු ඉහත කොන්දේසි තුනම සපුරා ඇත්නම් ඔහුගේ නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ පළ නොවිය හැකියි. කිසියම් පුද්ගලයෙකුගේ නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ පළ වීම හෝ නොවීම එම පුද්ගලයාගේ ආදායම හා වත්කම් මත තීරණය වීමත්, කිසියම් පුද්ගලයෙකුගේ ආදායම හා වත්කම් යනු රහස්‍ය පෞද්ගලික තොරතුරක් වීමත් නිසා මේ හා අදාළ වැඩි විස්තර හෙළිදරවු කිරීම ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරනවා විය හැකියි.

කෙසේ වුවත්, ෆෙඩරල් රෙජිස්ට්‍රියේ පළ වන්නේ "ආවරණය වන පුද්ගලයින්ගේ" නම් පමණක්ද යන්න හරියටම පැහැදිලි නැහැ. මේ හා අදාළව වෙනස් මත පළ කරන නීතිවේදීන්ද සිටින නිසා ගෝඨාභයගේ නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ නොතිබීම ඔහුගේ පුරවැසිකම ඉවත් කරගෙන තිබීම සැක කිරීමට හේතුවක් නොවන බව සියයට සියයක් තහවුරු කළ නොහැකි වුවත්, මගේ අදහස අනුව ඔහු 2019 අප්‍රේල් 17 දින සිට ඇමරිකන් පුරවැසියෙකු නොවන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2019 මැයි 3 දින තහවුරු කර තිබීමට විශාල ඉඩකඩක් තිබෙනවා.

මුලින් අතේ මාට්ටු වන ව්‍යාජ සහතිකයක් එළියට දමා ඒ ගැන අවධානය යොමු වීමෙන් පසුව හරි සහතිකය එළියට දැමීම ගෝඨාභය කඳවුරේ ප්‍රචාරක උපක්‍රමයක් වෙන්න පුළුවන්.

Thursday, August 15, 2019

ගෝඨාභය නම නැතිව ෆෙඩරල් රෙජිස්ට්‍රිය පිට වේ!


මේ වසරේ දෙවන කාර්තුව ඇතුළත, එනම් 2019 අප්‍රේල් 1 දින සිට ජූනි 30 දක්වා කාලය ඇතුළත, ඇමරිකානු පුරවැසිකම ස්වේච්ඡාවෙන් අහිමි කරගත් පුද්ගලයින් 609 දෙනෙකුගේ නාම ලේඛනය නිල වශයෙන් අද (අගෝස්තු 15) ප්‍රකාශයට පත් කෙරුණා. සාමාන්‍ය පිළිවෙත අනුව, මහජන නිරීක්ෂණය පිණිස මේ ලැයිස්තුව ඊට පෙර ඊයේ (අගෝස්තු 14) නොනිල ලෙස ප්‍රසිද්ධ කෙරුණා. උදය ගම්මන්පිල වැනි  ඇතැම් ගෝඨාභය හිතවාදීන් විසින් ස්ථිර කර පැවසූ පරිදි ගෝඨාභය රාජපක්ෂගේ නම මේ ලැයිස්තුවට ඇතුළත්ව නැහැ.

මීට පෙර ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිකමින් ඉවත් වීමේ සහතිකය ලෙස සඳහන් කූට ලේඛනයක් ප්‍රසිද්ධ වූ අතර එය කූඨ ලේඛනයක් බව ඉතා ඉක්මනින්ම හඳුනා ගනු ලැබුණා. එයට ප්‍රතිචාර ලෙස ගෝඨාභය විසින් ප්‍රකාශ කර තිබුණේ එම සහතිකය නියම එක නොවූවත්, සැබෑ සහතිකය තමන් සතුව තිබෙන බවයි. පසුව සැබෑ සහතිකය ලෙස සඳහන් දෙවන සහතිකයක්ද සංසරණය වුනා.

ඇමරිකානු පුරවැසියෙකු වීම ගෝඨාභය ලංකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීම වළක්වනවාක් මෙන්ම ඒ හා අදාළව ජනතාවට බොරු කියා ඔහු විසින් රැවටිල්ලක් කර ඇත්නම්, එය අවංක හා විනයගරුක පුද්ගලයෙකු ලෙස ඉදිරිපත් කෙරෙන ගෝඨාභය ප්‍රතිරූපයට ආරම්භයේදීම සිදු කෙරෙන හානියක් ද වනවා.

අද (අගෝස්තු 15) නිල වශයෙන් ප්‍රකාශයට කළ 2019 දෙවන කාර්තුවේදී ඇමරිකානු පුරවැසිකම අහිමි කරගත් පුද්ගලයින්ගේ නාම ලේඛණය පහත සබැඳියේ තිබෙනවා.

https://www.federalregister.gov/documents/2019/08/15/2019-17498/quarterly-publication-of-individuals-who-have-chosen-to-expatriate-as-required-by-section-6039g


Wednesday, August 14, 2019

ගෝඨාභය දිනයිද?


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විදිහට මේ වන විට ගෝඨාභය රාජපක්ෂව නම් කර තිබුණත්, එජාපය හෝ කිසියම් ඡන්ද පදනමක් තිබෙන වෙනත් පක්ෂයක් තවමත් තමන්ගේ අපේක්ෂකයකු නම් කර නැහැ.

සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්න සෑහෙන සටනක් කරනවා. අවසානයේදී සජිත් එජාප අපේක්ෂකයා වෙයි කියා අපේ වියුණුවේ ප්‍රතිචාර දමන කිහිප දෙනක්ම හිතන බව පෙනෙනවා. වෙනත් නම්ද කියැවෙනවා. ජවිපෙ විසින් ඔවුන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙන බවක්ද කියැවෙනවා. මුස්ලිම් පක්ෂ එකතු වී අපේක්ෂකයෙකු දමන කතාවක්ද තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂව පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පත් කරනු ලැබූ බව කීවත් ඇත්තටම වුනේ පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ඔහුට නොදී බැරි වීමයි. එජාප අපේක්ෂකත්වය සජිත්ට ලැබෙනු ඇතැයි ඇතැම් අය හිතන්නේත් ඒ පදනමින්ම වෙන්න පුළුවන්.

නමුත්, ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සජිත් කරන සටනේත්, ගෝඨාභය වෙනුවෙන් කෙරුණු සටනේත් වෙනසක් තිබෙනවා. ගෝඨාභය වෙනුවෙන් සටන් කළේ ගෝඨාභය අවශ්‍යයැයි සිතූ වෙනත් අයයි. ගෝඨාභය කළේ මේ ඉල්ලීමට අවනත වීමයි. නමුත්, සජිත්ගේ සටන බොහෝ දුරට ඔහුගේ පෞද්ගලික සටනක්.

එයින් කියන්නේ සජිත්ව ඉල්ලා සිටින වෙනත් අය නැති බව නෙමෙයි. සජිත් ඔය සටන කරන්නේ ඒ වෙනත් අයගේ බල කිරීම නිසා නොවන බවයි. නමුත්, ගෝඨාභයට එවැනි ඉල්ලුමක් නොතිබුණානම් ඔහු තමන්ගේ ඇමරිකානු පුරවැසිකම තියාගෙන පැත්තකට වී සිටිය හැකිව තිබුණා.

නලින් ද සිල්වා විසින් ගෝඨාභයව හඳුන්වා තිබෙන්නේ reluctant politician කෙනෙක් ලෙසයි. ඒ කියන්නේ වෙනත් අයගේ බල කිරීම නිසා දේශපාලනයට පැමිණි කෙනෙක් ලෙස. මේ කතාව බොරුවක් නෙමෙයි. ඇමරිකාවට වී සිටි ගෝඨාභය ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම් ධුරය භාර ගත්තේත් ඔය වගේ පසුබිමකයි. ඉන් පසුව, ගෝඨාභය පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස කටයුතු කළා.

ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවෙකු වූ බව කිවුවත්, ගෝඨාභය විසින් බොහෝ විට කළේ ඔහුට ලබා දුන් විශේෂිත වගකීම් හෝ ඉලක්ක හා අදාළ කටයුතුයි. එයට ඔහුගේ හමුදා විනය හේතු වෙන්න ඇති. හමුදා නිලධාරියෙක් සාමාන්‍යයෙන් ලබා දුන් ඉලක්කයක් කරා යාම ගැන හිතන්න වෙහෙසෙනවා මිස සාමාන්‍ය වෘත්තීය දේශපාලනඥයෙකු මෙන් ධුරාවලියේ ඉහළට යාම ප්‍රධාන ඉලක්කයක් කර ගන්නේ නැහැ. මේ ලක්ෂණය සරත් ෆොන්සේකාගෙනුත් දෘශ්‍යමාන වෙනවා.

වෘත්තීය දේශපාලනඥයින් හිතන්නට හා ක්‍රියා කරන්නට පුහුණු වී තිබෙන ආකාරය අනුව ඔවුන්ගේ ඔලු හැම විටම වැඩ කරන්නේ බලය කරා යාම හා ලබා ගත් බලය රැකගැනීම ගැන හිතන්නයි. අනෙක් දේවල් කරන්නේ බලය කරා යාමට හා බලය රැක ගැනීමට උදවුවක් ලෙසයි. මහින්ද, රනිල්, සජිත්, චම්පික වැනි ගොඩක් අය ඉන්නේ ඔය ගොඩේ. ගෝඨාභයම වුවත් වෘත්තීය දේශපාලනඥයෙක් සේ පරිණත වීමේදී මේ තත්ත්වයටම පත් වෙන්න පුළුවන්.

ලංකාවේ මෙතෙක් පැවති සෑම ජනාධිපතිවරණයකදීම ජයගත් අපේක්ෂකයා විසින් 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණත් ලංකාවේ ජනාධිපති වීම සඳහා 50%ක ඡන්ද ගැනීම අවශ්‍යම නැහැ. රටේ වැඩි දෙනෙකුගේ වැඩි කැමැත්ත තිබෙන අපේක්ෂකයා වීම ඒ සඳහා ප්‍රමාණවත්. ජනාධිපතිවරණයකදී අනුපිළිවෙලින් මනාප තුනක් ලකුණු කරන්න අවස්ථාව දී තිබෙන්නේ මේ වැඩි කැමැත්ත හොයා ගන්නයි. එහෙත්, මෙතෙක් කිසි විටෙකත් මේ දෙවන තුන්වන මනාප ගණන් කරන්න අවශ්‍ය වී නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි තනි දේශපාලන පක්ෂයයි. පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එම පෙරමුණ හා එම පෙරමුණේ අනුග්‍රහය ලැබූ ස්වාධීන කණ්ඩායම් විසින් ලබාගත් 41.24% යනු ගෝඨාභය රාජපක්ෂට ලබා ගත හැකි ඡන්ද ප්‍රමාණයේ අවම සීමාවක්.

පළාත් පාලන මැතිවරණ පැවැත්වෙද්දී පොදුජන පෙරමුණ ඉතිහාසයක් නැති, හරියකට අයිතිකාරයෙක් නැති පක්ෂයක්. එතරම් වැදගත්කමක් නොතිබුණු පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ අය විසින් කළේ යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව දෙකට තමන්ගේ විරෝධය පෙන්වීම පමණයි. එසේ කිරීමෙන් ඒ අය බලාපොරොත්තු වූ වෙනත් දෙයක් නැහැ. ඒ වගේම, වෙනත් වචන වලින් කිවුවොත්, මේ ඡන්දදායකයින් විසින් කළේ මහින්ද රාජපක්ෂ කෙරෙහි තමන්ගේ වූ පක්ෂපාතීත්වය පෙන්වීමයි.

කොහොම වුනත්, පළාත් පාලන ඡන්ද පැවැත්වෙන විට මහින්ද නිල වශයෙන් ශ්‍රීලනිප සාමාජිකයෙක්. ශ්‍රීලනිපයත්, ශ්‍රීලනිප හෝ එජනිස ලෙස පළාත් පාලන මැතිවරණ වලට තරඟ කර 12.07%ක ඡන්ද ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. පැරණි ශ්‍රීලනිපයේ තැනට පොදුජන පෙරමුණ පත් වී ඇති බව පැහැදිලිව තිබෙන පසුබිමක, ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ සන්ධානගත නොවූවත් මේ ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් ශ්‍රීලනිප හා තවමත් රැඳී සිටින දේශපාලනඥයින් ගණනාවක්ද සමඟ පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වීම නොවැලැක්විය හැකියි. නමුත්, එම ප්‍රමාණය ගෝඨාභයට 50% සීමාවට යාමට අවශ්‍ය වන 8.74%ට වඩා අඩුද වැඩිද කියන එක තවත් සාධක ගණනාවක් මත තීරණය වන්නක්.

වෙනත් තැනකින්, එනම් 2015 ජනවාරි ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් විශ්ලේෂණය පටන් ගත්තොත්, මහින්ද රාජපක්ෂ විසින් එම මැතිවරණයේදී 47.58%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ශ්‍රීලනිප හා තවමත් රැඳී සිටින දේශපාලනඥයින් හා ඡන්දදායකින්ගෙන් කොටසක් ජනාධිපතිවරණයට පෙර නිරුත්සාහයෙන් ආකර්ෂණය කර ගැනීමේ උපකල්පනය මත, එම ඡන්ද ප්‍රතිශතය ඉදිරි ජනාධිපතිවරණයකදී ගෝඨාභයට ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවන නිසා ඔහුගේ අවම සීමාව පහසුවෙන්ම 47.58% මට්ටම දක්වා ඔසොවන්න පුළුවන්.

කෙසේ වුවත්, 2015 ජනවාරියේදී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නැහැ. එම මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් 51.28%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළා. ඒ නිසා, ගෝඨාභයට පළමු වටයෙන් 50% මට්ටමට ළඟා වී පහසු ජයග්‍රහණයක් ලබන්නනම් 2015 ජනවාරියේදී මහින්දට එරෙහිව මෛත්‍රීපාල විසින් ලැබූ ඡන්ද වලින් කිසියම් ප්‍රමාණයක්ද ලබා ගත යුතු වෙනවා. මේ ප්‍රමාණය විශාල ප්‍රමාණයක් නොවූවත් එම සුළු ඡන්ද ප්‍රමාණය මැතිවරණ ප්‍රතිඵලයට ඉතා තීරණාත්මක ලෙස බලපානවා.

කෙසේ වුවත්, පෙර කී පරිදි, ගෝඨාභයට ජයග්‍රහණය පිණිස 50%ක ඡන්ද ලබා ගැනීම අවශ්‍ය වන්නේ 2015 ජනවාරියේදී මෙන් ඔහුට එරෙහිව පොදු අපේක්ෂකයෙකු මැතිවරණයට ඉදිරිපත් වන පසුබිමකදීයි. සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි තෙවන අපේක්ෂකයින් ඡන්දයට ඉදිරිපත් වේනම්, ගෝඨාභයට ජයග්‍රහණය කිරීමට 50%ක ඡන්ද අවශ්‍ය වන්නේ නැහැ.

පොදුජන පෙරමුණ හැරුණු විට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි තනි පක්ෂය එජාපයයි. එජාපය පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී ලබාගත්තේ 29.41%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මෙය ගෝඨාභයට ලබා ගැනීමට අසීරු නොවන ඉලක්කයක් වන 47.58% මට්ටමට වඩා බොහෝ අඩු ප්‍රතිශතයක්. ඒ නිසා, කවර හෝ එජාප අපේක්ෂයෙකුට පටන් ගන්න වෙන්නේ ගෝඨාභයට වඩා බොහෝ අවාසිදායක තැනක සිටයි. එජාප හෝ එජාප සහයෝගය ලබන අපේක්ෂකයෙකුට පළාත් පාලන මැතිවරණ වලදී දෙමළ හා මුස්ලිම් පක්ෂ විසින් ලබාගත් ඡන්ද වැඩි ප්‍රමාණයක්ද ලබාගත හැකි නිසා මේ පරතරයෙන් කොටසක් අඩු වෙනවා.


ඉකොනොමැට්ටාගේ ඇස්තමේන්තු අනුව, 2015 ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද වලින් 57.9%ක්ද, දෙමළ නොවන කතෝලික හා ක්‍රිස්තියානි ඡන්ද වලින් 44.7%ක්ද, ශ්‍රී ලාංකික දෙමළ ඡන්ද වලින් 18.2%ක්ද, ඉන්දියානු දෙමළ ඡන්ද වලින් 19.6%ක්ද, ඉස්ලාම් භක්තිකයින්ගේ ඡන්ද වලින් 11.5%ක්ද ලබාගත්තේ මහින්ද රාජපක්ෂ විසිනුයි. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලාංකික දෙමළ හෝ ඉස්ලාම් ඡන්ද වලින් මීට වඩා වැඩි ප්‍රතිශතයක් ලැබේයැයි සිතන්න බැහැ. ඇතැම් විට මේ ප්‍රතිශත යම් තරමකින් අඩු වෙන්න වුවත් පුළුවන්. ඉන්දියානු දෙමළ පදනමක් ඇති දේශපාලන පක්ෂ වල සහයෝගය ලැබීම මත ඉන්දියානු දෙමළ ඡන්ද ප්‍රතිශතය තරමක් වාසිදායක ලෙස වෙනස් කර ගැනීමේ හැකියාවක් තිබුණත් එහි සමස්ත බලපෑම එතරම් විශාල නැහැ. ඒ නිසා, 50% මට්ටමට යන්නනම්, ගෝඨාභයට ඉලක්ක කරන්න වෙන්නේ සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ඡන්ද ප්‍රතිශත ඉහළ දමා ගැනීම කෙරෙහියි.

සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ඡන්දදායකයින්ගේ ප්‍රතිශතය ආසන්න වශයෙන් 75%ක් පමණ වෙනවා. 50% මට්ටමට යාමට ගෝඨාභයට අඩු 2.42%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. සිංහල ඡන්ද වලින් 2015දී නොලැබුණු ඡන්ද 3.23%ක් ලබා ගත්තොත් මේ ඉලක්කය සම්පූර්ණ වෙනවා. මෙය සිංහල බෞද්ධ ඡන්ද වලින් 61.1%ක් හා සිංහල කතෝලික හා ක්‍රිස්තියානි ඡන්ද වලින් 47.9%ක ඉලක්කයක් කියා කියන්නත් පුළුවන්.

ප්‍රතිවාදී අපේක්ෂයෙකුට ගෝඨාභයව අභිබවන්නටනම්, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අමතරව ගෝඨාභය විසින් මෛත්‍රීපාල සිරිසේන විසින් 2015දී ලබාගත් සිංහල ඡන්ද වලින් 3.23%ක් ලබා ගැනීම වලක්වන්නටද සිදු වෙනවා. ඒ සඳහා උත්සාහයක් හෝ දරන්නනම් දෙමළ හා මුස්ලිම් ඡන්ද අඩු කර නොගෙන 2015දී මෛත්‍රීපාල සිරිසේන වෙත ලැබුණු සිංහල ඡන්ද ද රඳවාගත හැකි පුද්ගලයෙකු පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන්න සිදු වෙනවා.

ලංකාවේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ බොහොමයක්ම අපේක්ෂකයින් දෙදෙනෙකු අතර පැවති තරඟයි. ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි තෙවන තරඟකරුවෙකු සිටියේ අවස්ථා තුනකදී පමණයි. ඒ, ජවිපෙ වෙනම තරඟ කළ අවස්ථා දෙකේදී හා ඔසී අබේගුණසේකර තරඟ කළ අවස්ථාවේදීයි. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර තරඟ කළ 1982දී ඔහු 4.19%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. 1999දී ජවිපෙ අපේක්ෂක නන්දන ගුණතිලක විසින් 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ජවිපෙ තරඟ නොකළ හා ඡන්දය දැමූවන්ට මරණ තර්ජන කළ 1989දී ඔසී අබේගුණසේකර විසින්  4.63%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. කිසිදු තෙවන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකදී 5% මට්ටමට ගොස් නැහැ.

මෙවර දෙමළ පක්ෂ වලින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙන බවක් පෙනෙන්නට නැහැ. එම පක්ෂ වල අභිලාශය වන්නේ ගෝඨාභයට එරෙහිව ඉදිරිපත් වන ප්‍රධාන ප්‍රතිවාදියාගේ ජයග්‍රහණය බව පැහැදිලියි. මුස්ලිම් දේශපාලන පක්ෂ එකතු වී අපේක්ෂයෙකු ඉදිරිපත් කරන බව කීවත්, එවැන්නක් සිදු වේයැයි මා හිතන්නේ නැහැ. මේ වෙලාවේ, ජන වාර්ගික කණ්ඩායමක් ලෙස සැලකූ විට ගෝඨාභයට වඩාත්ම ප්‍රතිපක්ෂව ඉන්නේ මුස්ලිමුනුයි. ඒ නිසා, ඔවුන්ට ගෝඨාභය බලයට පැමිණීම වලක්වන්න තිබෙන්නේ දෙමළුන්ට තිබෙනවාටත් වඩා උවමනාවක්. ගෝඨාභයගේ ප්‍රතිවාදියාට ඡන්දය නොදී මුස්ලිම් අපේක්ෂකයෙකුට ඡන්දය දීමෙන් තමන්ගේ අපේක්ෂාව ඉටු නොවන බව සාමාන්‍ය මුස්ලිමුන් දන්නා නිසා යම් හෙයකින් එවැනි අපේක්ෂකයෙකු ඉදිරිපත් වුනත් එවැන්නෙකුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි වන එකක් නැහැ. මුස්ලිම් දේශපාලන පක්ෂ මේ බව හොඳින්ම දන්නා නිසා ඔවුන් එවැනි අපේක්ෂකයෙකු දමන්න ලොකු ඉඩක් නැහැ.

ජවිපෙ අද ඉන්නේ 1982දී හා 1999දී හිටියාට වඩා තරමක් හෝ දුර්වල තැනකයි. ඒ නිසා, ජවිපෙට මෙවර තනිව තරඟ කර 4% මට්ටමෙන් ඔබ්බට යන්න අසීරුයි. කෙසේ වුවත්, 2015දී මහින්ද හා මෛත්‍රී අතර වූ පරතරය 3.7%ක් පමණයි. ජවිපෙට මේ මට්ටමට එන්න බැරිකමක් නැහැ. ඒ නිසා, ජවිපෙ විසින් වෙනම අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද කියන එක තීරණාත්මක කරුණක්. ජවිපෙ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ගෝඨාභයට ශ්‍රීලනිප නිල සහායක් නොමැතිව හා 50% නොලබා වුවත් ජනාධිපති ධුරයට පත් වීමේ ඉඩකඩක් විවර වෙනවා.

පසුගිය වකවානුව තුළ නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත වැනි වෙනත් තරඟකරුවන්ද කරලියට ආවා. මෙවර ජනාධිපතිවරණයද රාජපක්ෂවාදීන් හා රාජපක්ෂ විරෝධීන් අතර සටනක් වන පසුබිමකදී නාගානන්ද පන්නයේ තරඟකරුවෙකුට මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ.

තමන්ට ජයග්‍රහණය කළ නොහැකි ජනාධිපති හටනකදී ඔලුව හප්පා ගන්නවා වෙනුවට ඔලුව බේරාගෙන පැත්තකට විය හැකිනම් එය කිරීම හෝ මුට්ටියක් දමා බැලීම ජවිපෙ සාමාන්‍ය ක්‍රමයයි. ඒ නිසා, තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට ජවිපෙ විසින් සලකා බැලීමට ඉඩ තිබෙන තවත් විකල්ප දෙකක් තිබෙනවා. එකක් අවසාන මොහොතකදී පොදු අපේක්ෂකයෙකුට සහාය දීමයි. දෙවැන්න, නාගානන්ද වැනි වෙනත් තෙවන අපේක්ෂකයෙකුට සහාය දීමයි. යම් හෙයකින්, ජවිපෙ සහාය ලබන "ස්වාධීන" අපේක්ෂකයෙකු තරඟයට ඉදිරිපත් වුවහොත් 5%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි මා සිතන නමුත් එයින් ඔබ්බට යා හැකියැයි සිතන්නේ නැහැ.

ජවිපෙ විසින් ඔවුන්ගේම අපේක්ෂකයෙකු දැම්මොත් හෝ වෙනත් තෙවන අපේක්ෂකයෙකුට සහාය පළ කළහොත් එයින් ලොකුම බඩේ පාර වදින්නේ මෛත්‍රීපාල සිරිසේනටයි. ඔහුට රාජපක්ෂ කඳවුර සමඟ හෙට්ටු කිරීමට ඉඩකඩක් විවර වන්නේ ජවිපෙ සහායද ලබන පොදු අපේක්ෂකයෙකු ගෝඨාභයගේ ප්‍රතිවාදියා වන පසුබිමකදී පමණයි.

ශ්‍රීලනිපය සමඟ දැනට ඉතිරිව සිටින දේශපාලනඥයින් ටික දෙනාගෙන් වැඩි දෙනෙක් ඉදිරි කාලයේදී පොදුජන පෙරමුණ හෝ එජාපය සමඟ එක් වද්දී ඔවුන්ගේ ආධාරකරුවන්ගේ ඡන්දත් ශ්‍රීලනිපයෙන් ගිලිහී යාම නොවැලැක්විය හැකියි. ඒ නිසා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහු විසින් 2-3%ක ඡන්ද ප්‍රතිශතයක්වත් ලබා නොගැනීමට ඉඩ තිබෙනවා. නමුත්, මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කරන ආකාරය අනුව මෙවැනි අවාසිදායක තත්ත්වයක් හමුවේ වුවත් ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැරිකමක් නැහැ. ගෝඨාභය විරෝධී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වන පසුබිමකදී මිස මේ ඡන්ද වෙනුවෙන් රාජපක්ෂ කඳවුරෙන් නොවටිනා මිලක් ලබා ගැනීමේ හැකියාවක් ඔහුට නැහැ.

බොහෝ විට සිදු විය හැකි පරිදි, පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය සන්ධානගත වුවත් ගෝඨාභයට 50% මට්ටටට යාමේ හැකියාව 100%ක් තහවුරු වෙන්නේ නැහැ. එයට හේතුව පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රීලනිපය හා එජනිසය විසින් ලබාගත් 12.07%ක ඡන්ද ප්‍රතිශතයේ විෂමජාතීය ස්වභාවයයි. මෙයින් කොටසක් 2015දී මහින්ද වෙනුවෙන් භාවිතා වුනු ඡන්ද. ශ්‍රීලනිපය විසින් මේ ඡන්ද ලබාගත්තේ ඒ වෙද්දී මහින්ද යනු තවදුරටත් ශ්‍රීලනිපය නොව පොදුජන පෙරමුණ බව තේරුම් ගෙන නොසිටි පිරිසක් සිටි නිසයි. ඒ ඡන්ද, කොහොමටත් පොදුජන පෙරමුණ වෙත ආකර්ශනය වෙනවා. තවත් කොටසක් මෛත්‍රීපාලගේ හා ඒ වන විට ශ්‍රීලනිප සමඟ සිටි තවත් කිහිප දෙනෙකුගේ පෞද්ගලික ඡන්ද. ඒ වෙනත් අයගේ ඡන්ද වලින් කොටසක් ඒ වෙනත් අයද සමඟ පොදුජන පෙරමුණට හෝ එජාපයට යාමෙන් පසු ඉතිරි වන කොටස එතරම් විශාල නැහැ. තෙවන කොටස පාවෙන ඡන්ද. මේ ඡන්ද වලට ජනවාරි ඡන්ද කියා කියන්නත් පුළුවන්.

ජනවාරි ඡන්ද කියන්නේ 2015 වන විට රාජපක්ෂ විරෝධී වූ, එහෙත් ඊට පෙර මහින්ද වෙනුවෙන් වැටුණු සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද. මේ ගොඩක් ඡන්ද මහින්දගෙන් ගිලිහුණේ රාජපක්ෂලාගේ හොරකම් ගැන ප්‍රසිද්ධ වූ කතා එක්කයි. නමුත්, යහපාලන ආණ්ඩුව මේ හොරකම් කිසිවක් එළිදරවු නොකිරීමත්, ඊටත් වඩා ලොකු බැඳුම්කර හොරකමක පැටලීමත් හමුවේ (මේ අයගේ කෝණයෙන්) පළාත් පාලන මැතිවරණ වලදී මේ කණ්ඩායමේ තේරීම වුනේ යහපාලන ආණ්ඩුවේ "පිරිසිදු පාර්ශ්වය" ලෙස පෙනුණු මෛත්‍රීපාල සිරිසේනයි. ඔවුන් තව දුරටත් රාජපක්ෂ විරෝධීන් වූ බවත්, පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රීලනිපය හිටියේ රාජපක්ෂලාට වඩා එජාපයට කිට්ටුවෙන් බවත් අමතක කළ යුතු නැහැ.

මේ ඡන්ද ගෝඨාභයට ආකර්ශනය කර ගත නොහැකි ඡන්ද නොවූවත්, මෛත්‍රීපාල සිරිසේනට පාලනය කළ හැකි ඡන්ද නෙමෙයි. ඒ නිසා ශ්‍රීලනිප එකතු කර ගැනීමෙන් පොදුජන පෙරමුණට ලැබෙන ආන්තික වාසිය ඉතා සුළු එකක්. එය 50% මට්ටමට යාමට ප්‍රමාණවත් එකක් නෙමෙයි. එහෙත්, 2015 ජනවාරියේදී ගිලිහුණු සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද එකතු කර ගැනීමේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩියි. ගෝඨාභය කඳවුරට මේ සමතුලනය ගැන පැහැදිලි අදහසක් තිබෙන බව පේනවා. ඔවුන් ශ්‍රීලනිපය එකතු කර ගැනීමට වඩා ජනවාරි ඡන්ද එකතු කර ගැනීමට බර දමමින් සිටීමෙන් පෙනෙන්නේ එයයි.

මෙතෙක් කතා කළ පදනම මත, ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් ආසන්න වශයෙන් අඩක්, එනම් 12.07%න් 6.34%ක්  (=47.58% - 41.24%), කොහොමටත් පොදුජන පෙරමුණ වෙත ආකර්ශනය වන පසුබිමක 50% මට්ටම පහු කරන්න ගෝඨාභයට අවශ්‍ය වන්නේ ඉතිරි ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් ( 5.73%න්) අඩකට වඩා අඩු (2.42%ක) ප්‍රතිශතයක්. ගෝඨාභය පරද්දන්නනම් කාට හෝ පොදු අපේක්ෂකයෙකුට ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් අවම වශයෙන් 3.31%කට වඩා වැඩි කොටසක් ගෝඨාභය වෙත යාම වලක්වා තමන් වෙත ආකර්ශනය කරගන්න සිදු වෙනවා. එය කළ හැකි පොදු අපේක්ෂකයෙකු සොයා ගත හැකිනම් ගෝඨාභයට තරඟයක් දිය හැකියි.

රනිල් වික්‍රමසිංහට මෙය කළ නොහැකි බව පැහැදිලියි. ඔහු ඒ බව අවබෝධ කරගෙන සිටින බවත් පැහැදිලියි. ඒ වගේම, ඒ ඉලක්කයට යා හැකි අයෙකුට අවස්ථාවක් දීමට ඔහු පැකිළෙන එකක් නැහැ. වෙනත් අයෙකු ජනාධිපති කරගෙන තමන්ට අගමැති විය හැකිනම් එය නරක ප්‍රතිඵලයක් ලෙස සලකන්න හේතුවක් රනිල්ට නැහැ.

මේ ආකාරයට ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද ගොඩෙන් තුනෙන් එකක් පමණවත් ලබා ගැනීමේ හැකියාවක් රනිල්ට මෙන්ම රාජිත, රවී, මංගල වැනි අයෙකුටද නැහැ. මේ ඡන්ද සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද. සජිත්ට එය කළ හැකිද?

සජිත් කියන්නේ තවමත් ඔහුගේ පියාගේ යුගයේ ජීවත් වන අයෙක්. මට එක පාරටම මතක් වෙන්නේ අපේ පාසැල් කාලයේදී කියපු සිංදුවක්.

"අර බලපන්කෝ මේ බලපන්කෝ
අර බලපන් මේ බලපන් බුරි නැති කොල්ලෝ //"

ඕක කෝරස් එක. ඊට පස්සේ ඕකට එක එක පුද්ගලයින්ගේ නමින් කෑලි එකතු වෙනවා.

"ප්‍රේමදාස බුරිය දැකල මෙහෙම කියනවා
ප්‍රේමදාස බුරිය දැකල මෙහෙම කියනවා
බුරිය මැද්දෙ උදාගමක්
බුරිය මැද්දෙ උදාගමක්
බුරිය මැද්දෙ උදාගමක් හදමු කියනවා"

ඔය කියන්නේ සජිත්ගේ තාත්තා ප්‍රේමදාස ගැනයි. අවුරුදු තිහ හතළිහකට පස්සේ සජිත්ගේ ලෝකය තාමත් තියෙන්නේ ඔය බුරිය මැද්දෙමයි.

අනෙක් පැත්තෙන් සජිත් කියන්නේ අමු ගෝත්‍රවාදියෙක්. ඔහුගේ තේමාව වන්නේම යූඇන්පී කාරයින්ට සැලකීමයි. පාක්ෂිකයාට සැලකීම කියා කියන්නේ බොහෝ කලකට පෙර අසාර්ථක වූ අදහසක්. රාජපක්ෂලා කරන්නෙත් තමන්ගේ හිතවතුන්ට සලකන එක තමයි. නමුත්, වෙනසකට තියෙන්නේ ඕනෑම කෙනෙකුට වැඩි අමාරුවක් නැතිව රාජපක්ෂ හිතවතෙකු වීමේ ඉඩකඩක් විවරව තිබීමයි.

දැනට ඉතිරි වෙලා ඉන්න යූඇන්පී කාරයින් අතරින් පහළ සමාජ ස්ථර වල අය චූන් එකේ තියා ගන්න හා ඔවුන්ව චූන් කර ඡන්ද පොළට දක්කන්න සජිත්ට පුළුවන්. නමුත්, මේ වර්ගයේ අය දැන් එජාපයේ වැඩිපුර නැහැ. එහෙම අය හිටියේ සජිත්ගේ තාත්තගේ කාලයේ.  ඒ වගේම මහින්ද එක්ක ඉන්න එවැනි අය මහින්දගෙන් කඩලා තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක්ද සජිත්ට නැහැ. 2015දී මෛත්‍රීට ලැබුණු හා පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රීලනිපයට ලැබුණු සිංහල බෞද්ධ නාගරික ඡන්ද ගෝඨාභයට යන එක වලක්වා තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් සජිත්ට කොහෙත්ම නැහැ. ඒ නිසා, ඔහුගේ ජනාධිපති සිහිනය සිහිනයක්ම පමණයි.

සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද සඳහා ගෝඨාභය සමඟ තරඟ කළ හැකි එජාප පිලේ සිටින අපේක්ෂකයින් වන්නේ චම්පික හා කරු ජයසූරියයි. චම්පික වැනි එජාප නොවන අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනමන්න තවමත් එජාපය සූදානම්ද යන්න සැක සහිතයි. ඒ වගේම, තමන් සෙල්ලම් කරන්නේ අනුන්ගේ පිට්ටනියක බව දන්න නිසා චම්පික දැනට ක්‍රීඩා කරන්නේ කඩුල්ල ආරක්ෂා කර ගෙනයි. සීමාවන් ඉදිරියට පැන පහර දී දුවද්දී දැවී යාමේ අවදානමට මුහුණ දෙන්න සූදානම් බවක් ඔහු පෙන්වන්නේ නැහැ. චම්පික කියා කියන්නේ අවස්ථාව ලැබෙන තුරු ඉවසා සිටින කෙනෙක්.

ප්‍රතිවාදී ලැයිස්තුවට සරත් ෆොන්සේකාවත් දැමිය හැකියි. එහෙත්, ඔහු එජාප අපේක්ෂකයා ලෙස ඉදිරියට පැමිණීමේ හෝ එසේ පැමිණියත් ගෝඨාභයව අභිබවා යාමේ ඉඩකඩක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, එජාප පිලේ සිටින්නන් අතරින් පොදු අපේක්ෂකයෙකු වීමේ විභවයක් වැඩිපුරම පෙන්වන්නේ කරු ජයසූරියයි. මම හිතන විදිහට රනිල්ගේ තේරීම වන්නේත් කරු ජයසූරියයි.

එක අතකින් බලන කොට මේ පොදු අපේක්ෂක කතාවම විහිළුවක්. 2015දී වුනේ රාජපක්ෂ විරෝධය කියන පොදු තේමාව යටතේ නොගැලපෙන රෝද අමුණාගත් කරත්තයක් ඉදිරියට තල්ලු කරන්න උත්සාහ කිරීමක්. කරත්තය වැඩි දුරක් ගියේ නැහැ. එසේ තිබියදී, නැවතත් ඒ රෝදම දාගෙන අලුත් කරත්තයක් තල්ලු කරන්න පුලුවන්ද කියන එක වලංගු ප්‍රශ්නයක්.

කොහොම වුනත්, මහින්ද අගමැති සේ දිවුරුම් දීමෙන් පසුව පැහැදිලි වූ පරිදි මෙවැනි නොගැලපෙන රෝද එකතු කර කරත්තයක් හැදීමේ විභවයක් රාජපක්ෂ විරෝධයට තවමත් තිබෙනවා. ඒ නිසා, රාජපක්ෂ විරෝධය මත පමණක් විවිධ අදහස් දරන කොටස් එකතු කිරීම තවමත් කළ හැකි දෙයක්. එසේ කළත්, ගෝඨාභය අභිබවා ජයග්‍රහණය කිරීම අමාරු ඉලක්කයක්. නමුත්, කෙසේවත්ම සිදු නොවිය හැක්කක් නෙමෙයි.

පොදු අපේක්ෂක සිහිනය බිඳ වැට්ටවීමට ලොකුම දායකත්වයක් දෙන්නේ සජිත් විසිනුයි. සජිත්ගේ අරගලය හමුවේ එජාප ජනාධිපති අපේක්ෂකත්වය ඔහුට ලැබුණොත් ඔහුට ජය ගැනීමේ හැකියාවක් නැති බව පැහැදිලි නිසා ජවිපෙ විසින් තෙවන පාර්ශ්වයකට සහයෝගය දීමේ හෝ තමන්ගේම අපේක්ෂකයෙකු දැමීමේ ඉඩකඩ ඉහළ යනවා. එයින් වෙන්නේ ගෝඨාභයගේ ජයග්‍රහණය පැහැදිලි ලෙස තහවුරු වීමයි.

Monday, August 12, 2019

ගෝඨාභයගේ කතාව


ගෝඨාභය රාජපක්ෂව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා ලෙස නම් කරනු ලැබීමෙන් පසුව ඔහු විසින් කළ කතාව අවධානය යොමු කළ යුතු කතාවක්. සාමාන්‍යයෙන් මේ වගේ පුද්ගලයින්ගේ ප්‍රසිද්ධ කතා මගේම නොවන මගේ කතා. ගෝඨාභය, රනිල් හෝ මහින්ද වැනි කෙනෙක්ගේ ප්‍රසිද්ධ කතාවක් කියා කියන්නේ බොහෝ විට වෙනත් අයෙකු හෝ කිහිප දෙනෙකු විසින් ලියා දෙන කතාවක්.

එතරම්ම වැදගත් නොවන අවස්ථාවකදීනම් සිදු වන්නේ ඒ වෙලාවේ අතට ලැබෙන කොළයේ ඇති දේ කොළය (හෝ ටෙලිප්‍රොම්ටරය) බලාගෙන කියවන එකයි. නමුත්, ඊයේ වගේ සුවිශේෂී අවස්ථාවක ගෝඨාභය වගේ කෙනෙක් කරන කතාව දිහා රටම පමණක් නෙමෙයි ලෝකයම බලාගෙන ඉන්න බව ඔහු වගේම ඔහු වටා ඉන්න අයත් හොඳින්ම දන්නා නිසා මේ කතාවේ පිටපත ගෝඨාභය ඇතුළු කිහිප දෙනෙකුගේම පූර්ව විමර්ශනයට ලක් නොවූවක් වන්නට ඉඩක් නැහැ.

ගෝඨාභයගේ කතාවෙන් පිළිබිඹු වන්නේ හරියටම ඔහු හිතන විදිහ කියා අපට කියන්න බැරි වුවත්, ඔහු හිතන විදිහ කියා ඔහුට පෙන්වන්න අවශ්‍ය විදිහ බව සැකයක් නැහැ. ඒ නිසා, ඔහු ලංකාවේ ජනාධිපති වුවහොත් ඔහු පිටතට පෙන්වන්න කැමැත්තනේ සිටින ප්‍රතිරූපයේ පිළිබිඹුවක් ලෙස ඔහුගේ මේ කතාව සැලකිය හැකියි. මේ මොහොත වෙද්දී ලංකාවේ මීළඟ ජනාධිපති ධුරයට වඩාත්ම කිට්ටුවෙන් ඉන්න පුද්ගලයා ගෝඨාභය නිසා ඔහුගේ කතාවේ මගේ අවධානයට යොමු වූ තැන් ගැන පොඩ්ඩක් කතා කරන්න කැමතියි.

"පසුගිය කාලය පුරා රට වෙනුවෙන් හඩක් නැගූ මහා සංඝරත්නය,  ආගමික පූජකතුමන්ලා, දේශපාලනඥයන්, ජාතික සංවිධාන, මාධ්‍යවේදීන්, සමාජ ජාලා ක‍්‍රියාකාරිකයන්, හා විශේෂයෙන්ම රටේ තරුණ පරපුර පෙරටුකරගත් පොදු මහජනතාවට මම මේ අවස්ථාවේ මගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරනවා."

මෙහි සඳහන් ලැයිස්තුවට සමාජ ජාලා ක‍්‍රියාකාරිකයන් ඇතුළත්ව සිටීම අවධානයට ලක් විය යුතු දෙයක්. කාලයක් තිස්සේම ලංකාවේ දේශපාලනයේ දිශානතිය තීරණය කළ මහා සංඝරත්නය, ආගමික පූජකතුමන්ලා, දේශපාලනඥයන්, ජාතික සංවිධාන, මාධ්‍යවේදීන් හා රටේ තරුණ පරපුර යන කොටස් අතරට සමාජ ජාලා ක‍්‍රියාකාරිකයන්ද එක් වී සිටින බව මේ වෙද්දී ගෝඨාභය විසින් හිතන බව පැහැදිලියි.

ගෝඨාභය රාජපක්ෂද ප්‍රධාන කොටස්කරුවෙකු වූ පසුගිය රාජපක්ෂ දශකයේදී පෞද්ගලික මාධ්‍යද ඇතුළුව විධිමත් මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සියල්ලක් මතම ආණ්ඩුවේ හෙවනැල්ල වැටී තිබුණු බව රහසක් නෙමෙයි. බොහෝ විට සිදු වුනේ මාධ්‍යකරුවන් විසින්ම ස්වයං වාරණයක් පනවා ගැනීමයි. වෙනත් දේවලුත් වුනා. නමුත්, සමාජ මාධ්‍ය කෙරෙහි ආණ්ඩුවෙන් එපමණම බලපෑමක් සිදු වුනේ නැහැ. එයට හේතුව පසුගිය ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය වල බලපෑම නිසි පරිදි හඳුනා ගෙන නොතිබීම විය යුතුයි. නමුත්, රාජපක්ෂලා ඒ වැරැද්ද නැවත වරක් කරන එකක් නැහැ.

තමන් පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකු ලෙස හඳුන්වාගෙන තිබෙන විජේබාහු නමින් ප්‍රතිචාර දමන පාඨකයා විසින් ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙකුයැයි  අප විශ්වාස කරන්නේදැයි විමසා තිබෙනවා. අප එසේ විශ්වාස කරන්නේ හෝ නොකරන්නේ නැහැ. තහවුරු කර ගැනීමට අසීරු දේ පිළිබඳව අපගේ සාමාන්‍ය ස්ථාවරයද එවැන්නක්. අප සාමාන්‍යයෙන් කරන්නේ නොදන්නා දේ නොදන්නා බව දැනගෙන ඒ පදනම මත කටයුතු කිරීමයි.

කොහොම වුවත් ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිකම පිළිබඳව ඇතැම් දේ පැහැදිලියි. ඔහු 2003 සිට ඉතා මෑතක් වන තුරුම ඇමරිකන් පුරවැසියෙක්. අවම වශයෙන් ඊට වසර පහකට පෙර සිට ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවෙක් (ග්‍රීන්කාඩ් හිමියෙක්). ඒ වගේම, ඔහු ඇමරිකන් පුරවැසිකම ලබාගෙන තිබෙන්නේ ලංකාවේ පුරවැසිකම නැති වෙන්නට ඉඩ හරිමිනුයි. ඒ ලංකාවේ පුරවැසිකම අත් නොහැරම ඇමරිකානු පුරවැසියෙකු වීමේ විකල්පය ඔහු හමුවේ තිබියදී. ගෝඨාභය විසින් නැවත ලංකාවේ ද්විත්ව පුරවැසිකම ලබා ගෙන තිබෙන්නේ වසර ගණනාවකට පසුවයි.

මේ වෙද්දී ගෝඨාභය විසින් තමන්ගේ ඇමරිකන් පුරවැසිකමෙන් මිදී සිටින්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. එහෙත්, එය ස්ථිරවම කිව නොහැකියි. එය එසේ බව පෙන්වමින් අන්තර්ජාලය හරහා කූඨ ලේඛන හුවමාරු වෙද්දී, එම ලේඛන කූඨ ලේඛන බව තහවුරු වන තුරු ඔහු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. කෙසේ වුවත්, ඇමරිකන් පුරවැසිකම තිබියදී ඔහුට ලංකාවේ ජනාධිපති ධුරයට තරඟ කිරීමේ නීතිමය හැකියාවක් නැති නිසා, යම් හෙයකින් මේ වෙද්දී මේ කටයුත්ත අවසන්ව නැති වුවත් ඉතා ඉක්මණින් අදාළ කටයුතු අවසන් වන බවට විශ්වාසයකින් ඔහු කටයුතු කරන බව ස්ථිරයි. ඒ නිසා, මේ ගැන හොයන්නට වද වීම වැදගත් කරුණක් කියා මා හිතන්නේ නැහැ.

මට පෙනෙන වැදගත්ම කරුණනම් අවසන් මොහොත තෙක්ම ගෝඨාභය තමන්ගේ ඇමරිකන් පුරවැසිකම අත් හරින්නට සූදානම් නොවීමයි. ඔහු එය කරන්නේ තමන්ට ලංකාවේ ජනාධිපති වීමට සැලකිය යුතු ඉඩක් තිබෙන බව තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඊට වඩා අඩු වෙනත් කිසිවක් වෙනුවෙන් ඔහු ඒ පියවර තබන්නට සූදානම්ව සිටියේ නැහැ. එයින් පෙනෙන්නේ ඔහු තමන්ගේ ඇමරිකන් පුරවැසිකම කොයි තරම් වැදගත් සේ සලකනවාද කියන එකයි.

ගෝඨාභයට ඇමරිකන් පුරවැසිකමෙහි ඔය තරම් විශාල වටිනාකමක් පෙනුණේ ඇයි? මෙයට හේතුව මූල්‍ය වාසි වෙන්න බැහැ.

ගෝඨාභය ඇමරිකාවට පැමිණ ඔහුට ලංකාවේදී ඉපැයිය නොහැකි තරම් විශාල ආදායමක් උපයා නැහැ. ලංකාවේදී මෙන් ඉහළ තනතුරු හෝ දේශපාලන බලය ඔහුට ඇමරිකාවේදී ලැබී නැහැ. ඇමරිකාවේදී ඔහු තවත් එක් සාමාන්‍ය පුද්ගලයෙක් පමණයි.

ගෝඨාභය වැනි කෙනෙක් ලංකාවේදී තමන්ට ලැබෙන බලය, තනතුරු ආදී සියලු වරප්‍රසාද හමුවේ ඇමරිකන් පුරවැසිකමට මෙතරම් වටිනාකමක් දීමෙන් පෙනෙන්නේ ඇමරිකාව පිළිබඳව ඔහුගේ තිබෙන දැඩි විශ්වාසයයි. යමෙක් ලංකාවේ පුරවැසිකම අතහැර ඇමරිකාවේ පුරවැසියෙකු වීමට තීරණය කරන්නේ පළමුව ඇමරිකාව හා ලංකාව අතර තමන් වැදගත් සේ සලකන නිර්ණායක අනුව විශාල පරතරයක් දැකීම හා දෙවනුව තමන්ගේ හෝ තමන්ගේ දරුවන්ගේ ජීවිත කාල තුළ ඒ පරතරය පියැවෙන බවක් නොදකින නිසයි. ගෝඨාභය හා සැලකූ විට මේ නිර්ණායක මුදල් හෝ සාපේක්ෂ සමාජ තත්ත්වය වැනි දේ විය නොහැකියි. එසේනම්, ඔහු ප්‍රසිද්ධියේ මොනවා කිවුවත්, ඇමරිකානු සමාජ ආර්ථික ක්‍රමය පිළිබඳව දැඩි සේ  විශ්වාසය තබන්නෙකු විය හැකියි.

ගෝඨාභයට පසුගිය කාලයේ යුද අපරාධ චෝදනා ඇතුළු විවිධ චෝදනා නැගුනා. අවසන් කාලයේ ඇමරිකන් අධිකරණ වල චෝදනා ඉදිරිපත් කෙරුණා. නමුත්, මෙවැනි චෝදනාවකට වරදකරු වීමේ අවදානම හමුවේ ගෝඨාභය ඇමරිකන් පුරවැසිකම ඉවත් කරගත්තේ නැහැ. එයින් පෙනෙන්නේ ඔහු ඇමරිකන් අධිකරණ ක්‍රමය පිළිබඳව කොපමණ විශ්වාසයකින් කටයුතු කර ඇත්ද යන්නයි.

එකම පවුලේ සොයුරන් වන මහින්ද හා ගෝඨාභය හිතන ආකාරයන් වෙනස් වෙන්න ඉඩ තිබෙන ප්‍රධාන හේතු දෙකක් වන්නේ ගෝඨාභයගේ හමුදා පසුබිම හා ඇමරිකන් පසුබිමයි. මෙයින් පළමුවැන්න විශාල සේ කතාබහට ලක් වී ඇතත් දෙවැන්න එතරම් සාකච්ඡාවට බඳුන් වී නැහැ. ගෝඨාභය ලංකාවේ රාජ්‍ය නායකයා වුවහොත් ඔහු බටහිර විරෝධියෙකු වේයැයි කිසිසේත්ම හිතන්න බැහැ. ඒ වගේම, ඊයේ ඔහු පැවැත්වූ කතාවෙන් බටහිර රටවලට මේ බව සංඥා කරන්නටත් ඔහු අමතක කර නැහැ. මා පහත කොටස් උපුටා ගන්නේ ඊයේ ගෝඨාභය විසින් කළ කතාවෙන් මිසක් රනිල් වික්‍රමසිංහගේ කතාවකින් නෙමෙයි.

"සෑම පුරවැසියෙකුටම  ආර්ථික ස්ථාවරත්වයකුත්, දියුණු වීමේ සම අවස්ථාවකුත්, ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතියත් තිබිය යුතුයි."

"අලූතින් රැකියා අවස්ථා බිහිකිරීමට  මෙන්ම තරුණ පරපුර තුලින් පුද්ගලික ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහිකිරීමට අවශ්‍ය කරන ආර්ථික වටපිටාව සකස් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා."

"අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ හරහා ශිල්පීය දැනුම ලබා දෙන අතර නව නිර්මාණයන් කිරීම සඳහා අපේ තරුණ පරපුරට අතහිත දිය යුතුයි.  අපේ දීර්ඝ කාලීණ අරමුණ විය යුත්තේ නව නිර්මාණයන්ගෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රට බවට පත් වීමයි."

ගෝඨාභය මෙහි සඳහන් කරන්නේ සැමට දියුණු වීමේ සම අවස්ථා ගැන මිසක්, ඔහු වටා ඉන්න ඇතැම් සමාජවාදීන්ගේ ඔලු වල තිබෙන ආකාරයේ සැමට සැම දේ සමානව ලැබෙන ක්‍රමයක් ගැන නෙමෙයි. සම්පත් සමානව බෙදීම වෙනුවට ව්‍යවසායකත්වයට වැඩි ඉඩකඩක් විවර කර එක් එක් පුද්ගලයාගේ දක්ෂතාවය අනුව සම්පත් අත් කර ගැනීමට සැමට සමාන ඉඩකඩක් සපයා දෙන සමාජ ආර්ථික ක්‍රමයක් ගැනයි. ඉහත වැකි තුන ඇමරිකන් ඌරුවට ලියැවුණු වැකි තුනක්.

ඒ වගේම උතුරේ දෙමළ ජනතාවගේ සිතුම් පැතුම් හා අදාළව ඔහු ප්‍රකාශ කරන අදහස ඔහු වටා සිටින බොහෝ ජාතිකවාදීන් හිතන ආකාරයට වඩා වෙනස් එකක්. ඔහු කරන්නේ බටහිර රටවල් වලට අවශ්‍ය ආකාරයේ ප්‍රකාශයක්.

"උතුරේ ජනතාවට විශේෂිත වූ අපේක්ෂාවන් ගැන අපට මනා අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ මේ ගැටළු අපේ රජයක් විසින් නිසැකවම විසඳන්නට කටයුතු කරනවා."

මේ ප්‍රකාශ වගේම වෙනත් ඇතැම් ප්‍රකාශත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශ වලට වඩා වෙනස් නැහැ.

"රටේ සෑම ප‍්‍රදේශයකටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා."

කෙසේ වුවත්, ආරක්ෂණවාදී නැඹුරුවක්ද ගෝඨාභයගේ කතාවෙන් ඉඟි කෙරෙනවා.

"අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය තුල දේශීය ව්‍යාපාර ආරක්ෂා කරමින් ගෝලිය ආර්ථිකය තුළ නව වෙළඳපොළ අවස්ථා සොයා යාමට බලාපොරොත්තු වෙනවා."

ඔය දෙකම එකවර කරන්න මෙතෙක් පැවති ආණ්ඩු බොහොමයක්ම උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. කොහොම වුවත්, වත්මන් ප්‍රවණතා අනුව ලංකාව වැනි රටක ආරක්ෂණවාදී නැඹුරුවක් තිබීම බටහිර රටවලට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

ඒ වගේම මහින්දගේ කාලයේදී ඔය දෙකෙන් එකක්වත් සිදු වුණේ නැහැ. කිවුවේ මොනවා වුනත්, එම දශකය තුළ පවත්වාගෙන ගිය රුපියල කෘතීම ලෙස ඕනෑවට වඩා ශක්තිමත්ව තබා ගැනීමේ විදේශ විණිමය ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය නිෂ්පාදන වෙනුවට විශාල ලෙස ආනයන ආදේශ වුනා. රටේ ආනයන අපනයන පරතරය විශාල ලෙස වැඩි වුනා.

මහින්ද රාජපක්ෂගේ කාලයේ මෙන් රජය මූලිකව යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කැමැත්ත ගෝඨාභය විසින්ද පෙන්වනවා.

"රටේ සෑම ප‍්‍රදේශයක්ම යාකරමින්  ඇතිකළ මාර්ග පද්ධති හා දුම්රිය මාර්ග දියුණුව ඉදිරියට ගෙන යමින්  ප‍්‍රවාහන සේවාවල විශාල ප‍්‍රගතියක් හැකි ඉක්මනින් අපි අත්පත් කරගත යුතුයි."

එහෙත්, රාජ්‍ය මූල්‍යනය පිළිබඳ කිසිදු සඳහනක් ගෝඨාභයගේ කතාවේ නැහැ. කතාවේ නොකිවුවත්, ප්‍රායෝගිකව රජය මුල් වී කරන මෙවැනි කවර හෝ ව්‍යාපෘතියක් වෙනුවෙන් වැය කරන්න වෙන්නේ විදේශ ණය ලෙස ලබා ගන්නා ප්‍රාග්ධනයයි. බටහිර රටවල් වලින් මෙවැනි ණය මහා පරිමාණයෙන් ලබා ගැනීමේ හැකියාවක් නැති නිසා නැවත යන්න වෙන්නේ චීනය පැත්තටම තමයි.

විදේශ ණය අරගෙන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමත් යන දෙකම එකවර කිරීම අසීරු දෙයක්. ප්‍රාග්ධන ගිණුමට විදේශ ව්‍යවහාර මුදල් ගලා එන තරමටම ජංගම ගිණුමේ හිඟයත් ඉහළ යනවා. ඒ කියන්නේ ආනයන අපනයන පරතරය ඉහළ යනවා. එය සිදු වීම වැළැක්විය හැකි එකම ක්‍රමය ණය ලෙස ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් රටින් පිටතට නොයවා විදේශ සංචිත සේ රඳවා ගැනීමයි. නමුත්, ප්‍රාග්ධන ආයෝජන සඳහා අවශ්‍ය දෑ රට තුළ නොනිපදවෙන නිසා එය කිරීම අසීරුයි. වෙනත් විදිහකින් කිවුවොත් විදේශ ණය ලබා ගෙන රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, දේශීය නිෂ්පාදන හා රටේ අපනයන ආර්ථිකය නැංවීමත් යන දෙකම එක වර කිරීම පහසු කටයුත්තක් නෙමෙයි.

කවුරු බලයට පත් වුවත්, රජය මුල් වී මහා පරිමාණ ආයෝජන විශාල ලෙස සිදු කළ හැක්කේ විදේශ ණය තව තවත් ගෙන රටේ අනාගතය අස්ථාවර වන්නට ඉඩ හරිමින් පමණයි. එසේ නොකරනවානම් සිදුවන්නේ ආශ්චර්ය අමතක කර ස්ථාවර සාමාන්‍ය ආර්ථික වර්ධනයකින් සෑහීමකට පත් වෙන්නයි.

අවසාන වශයෙන් ගෝඨාභයගේ කතාව ඇතුළේ පොදුජන පෙරමුණේ සාමාජිකයින් නොවන විවිධ කණ්ඩායම් ගණනාවකට ආමන්ත්‍රණය කෙරෙන විවිධ හා වෙනස් වාක්‍ය ගණනාවක් රිංගවා තිබීමෙන් පේන්නේ අතේ තිබෙන 41.2%ක ඡන්ද ප්‍රතිශතයේ සිට 50% මට්ටම දක්වා යාමට අවශ්‍ය අමතර ඡන්ද ප්‍රමාණය ලබාගැනීමේ අභියෝගය ගෝඨාභය රාජපක්ෂ විසින් සිල්ලරට ගෙන නැති බවයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...